Blog

  • සංචරණ සීමා පනවන දිනවල ‘ගොවීන්ට සහ පාරිභෝගිකයින්ට’කෘෂිකර්ම ඇමතිගෙන් සහතිකයක්

    සංචරණ සීමා පනවන දිනවල ‘ගොවීන්ට සහ පාරිභෝගිකයින්ට’කෘෂිකර්ම ඇමතිගෙන් සහතිකයක්

    ගොවිජනතාව සහ පාරිභෝගික ජනතාව ආරක්ෂා කිරීමට අපි කැප වෙනවා – කෘෂිකර්ම රාජ්‍ය අමාත්‍ය ශෂේන්ද්‍ර රාජපක්ෂ

    දිවයින පුරා දැඩි සංචරණ සීමා ක්‍රියාත්මක වන දිනවල ආර්ථික මධ්‍යස්ථා වසා දැමීමට පියවර ගත්ත ද ගොවිජනතාවට සහ පාරිභෝගික ජනතාවට කිසිම අපහසුතාවක් ඇති නොවන ආකාරයට එළවළු හා පලතුරු සැපයුම නිසි පරිදි ක්‍රියාත්මක කිරීමට කෘෂිකර්ම අමාත්‍යාංශය විසින් විධිමත් වැඩපිළිවෙළක් සකස් කර ඇතැයි කෘෂිකර්ම අමාත්‍ය මහින්දානන්ද අලුත්ගමගේ මහතා පැවසීය.

    කෘෂිකර්ම අමාත්‍යවරයා මෙහිදී පවසා සිටියේ පසුගිය සංචරණ සීමා කාලයේ මුහුණ දුන් අත්දැකීම්ද පදනම් කරගෙන නව වැඩපිළිවෙළ සකස්කර ඇති බවයි.

    අද (19) කෘෂිකර්ම අමාත්‍ය මහින්දානන්ද අලුත්ගමගේ මහතාගේ සහ කෘෂිකර්ම රාජ්‍ය අමාත්‍ය ශෂේන්ද්‍ර රාජපක්ෂ මහතාගේ සහභාගීත්වයෙන් හෙක්ටර් කොබ්බෑකඩුව ගොවිකටයුතු පර්යේෂණ හා පුහුණු කිරීමේ ආයතනයේ දී පැවති මාධ්‍ය හමුවේදී කෘෂිකර්ම අමාත්‍යවරයා මේ බව පැහැදිලි කළේය.

    මෙම මාධ්‍ය හමුව අමතා කෘෂිකර්ම අමාත්‍ය මහින්දානන්ද අලුත්ගමගේ මහතා මෙසේද පැවසීය,

     ‘‘පවතින කොවිඩ් වසංගතය සමග අපේ ගොවීන්ගේ නිෂ්පාදන වෙළෙදපොළට ගෙන ඒම සහ ඒවා පාරිභෝගිකයින් වෙත වඩාත් කාර්යක්ෂමව ගෙන යාම සදහා කෘෂිකර්ම අමාත්‍යාංශයේ දැඩි අවධානය යොමුව තිබෙනවා. පසුගිය සති අන්තයේ  පළාත් සහ දිස්ත්‍රික් මට්ටමින් විවිධ නීති පැනවූ විට ගොවීන් තමන්ගේ නිෂ්පාදන ආර්ථික මධ්‍යස්ථානවලට අරගෙන ඇවිත් අපිට විවිධ චෝදනා එල්ල කළා.

    නමුත් අපි පැහැදිලිව අපේ ආර්ථික මධ්‍යස්ථාන දැනුවත්කර තිබුණා මේ වකවානුව තුළ අපේ ආර්ථික මධ්‍යස්ථාන වසා දමනවා කියලා. නමුත් ඒ පණිවුඩය ගොවීන්ට ගිහිල්ලා තිබුණේ නැහැ. ඒ නිසා දඹුල්ල ආර්ථික මධ්‍යස්ථානය ඇතුළු ආර්ථික මධ්‍යස්ථාන කිහිපයකට ගොවීන් තම නිෂ්පාදන ගෙනත් ලා තමන්ගේ නිෂ්පාදන අලෙවිකර ගන්න නොහැකිව විශාල චෝදනා එල්ල කළා.

    ඒ නිසා රජය එළඹෙන සිකුරාදා සිට එක් දිනයක් හැර දින හතක් මුළු රටටම දැඩි සංචරණ නීති පනවලා තිබෙනවා. ඒ නිසා මේ කාලය තුළ ගොවීන්ට තමන්ගේ නිෂ්පාදන ආර්ථික මධ්‍යස්ථානවලට ගේන්න නොහැකි වෙනවා. ඒ නිසා අපි දන්නවා කෘෂිකර්ම අමාත්‍යාංශය හැටියට අපි කලින් ගොවීන්ට දැනුම් දීමක් කළොත් ගොවීන්ට පුළුවන් තමන්ගේ අස්වැන්න ඒ දවස් වල නෙළන්නේ නැතිව ඉන්න.

    මේ තත්ත්වය තුළ කෘෂිකර්ම රාජ්‍ය අමාත්‍යාංශය විසින් ආර්ථික මධ්‍යස්ථාන සම්බන්ධීකරණය කරමින් ගොවීන් සහ පාරිභෝගිකයා යන දෙපාර්ශ්වයම ආරක්ෂා කරන වැඩපිළිවෙළක් සකස් කරලා තිබෙනවා. ඒ නිසා අපි සමස්ත ගොවි ජනතාවගෙන් ඉල්ලීමක් කරනවා අපි දින කිහිපයක් ආර්ථික මධ්‍යස්ථාන වසා දමනවා ඒ නිසා එම වසා දමන දිනවල තමන්ගේ කෘෂිකාර්මික නිෂ්පාදන ආර්ථික මධ්‍යස්ථානවලට රැගෙන එන්න එපා කියලා. මොකද ඔබ අපේ අවවාදය පිළිනොගෙන කෘෂිකාර්මික නිෂ්පාදන රැගෙන ආවොත් ඔබට ඒවා විකුණා ගන්න හැකියාවක් නැහැ. ඒ නිසා මේ දින කිහිපය තුළ තමන්ගේ නිෂ්පාදන නෙළන්නේ නැතිව ඉන්න. එසේ කළා කියලා ඔබට ප්‍රශ්නයක් නැහැ.

    ඒ නිසා අපි අපේ ගොවිජනතාවට ඉතාම පැහැදිලිව කියනවා දීප ව්‍යාප්තව දැඩි සංචරණ සීමා පනවන දිනවල අපි අපේ ආර්ථික මධ්‍යස්ථාන වසා දමනවා. ඒ වගේම අපි පැහැදිලිව කියන්නේ අපි ආර්ථික මධ්‍යස්ථාන වසා දමන්නේ දින දෙකයි හෝ තුනයි. මේ නිසා කිසිම පාඩුවක් ගොවියට සිදුවන්නේ නැහැ.

    ඒ නිසා අපි සමස්ත ගොවි ජනතාවගෙන් ඉල්ලීමක් කරනවා කෘෂිකර්ම අමාත්‍යාංශය ලබා දෙන මේ මාර්ගෝපදේශ අනුව තමන්ගේ වැඩපිලිවෙළ ක්‍රියාත්මක කරන්න කියලා‘‘ යැයි කෘෂිකර්ම අමාත්‍යවරයා පැවසුවේය.

    ගොවිජනතාව සහ පාරිභෝගික ජනතාව ආරක්ෂා කිරීමට අපි කැප වෙනවා – කෘෂිකර්ම රාජ්‍ය අමාත්‍ය ශෂේන්ද්‍ර රාජපක්ෂ

    රටපුරා දැඩි සංචරණ සීමා ක්‍රියාත්මක වන දිනවල ආර්ථික මධ්‍යස්ථානවල ක්‍රියාකාරීත්වය සහ ගොවීන් කටයුතු කළ ආකාරය ගැන මෙහිදී පැහැදිලි කිරීමක් කළ කෘෂිකර්ම රාජ්‍ය අමාත්‍ය ශෂේන්ද්‍ර රාජපක්ෂ මහතා,

    ‘‘ කෘෂිකර්ම අමාත්‍යතුමා පැහැදිලි කළ ආකාරයට අපට පසුගිය සංචරණ සීමා පැනවූ අවස්ථාවේ ක්‍රියාකළ අත්දැකීම් සමග කෘෂිකර්ම අමාත්‍යාංශය විසින් රටේ තිබෙන ආර්ථික මධ්‍යස්ථාන සියල්ල වසා තබන හා විවෘතව තබන වේලාවන් පිළිබද කාලසටහනක් සකස් කර තිබෙනවා. මේ සදහා මූලික අරමුණ වුණේ ගොවි ජනතාව සහ පාරිභෝගික ජනතාව අපහසුතාවට පත් නොවන ලෙස කටයුතු කිරීමයි.

    පෑලියගොඩ මැනිං වෙළෙදපොළ ඇතුළු පොදුවේ සියලුම ආර්ථික මධ්‍යස්ථාන සදහා මේ කටයුත්ත ක්‍රියාත්මක කිරීමට අපි බලාපොරොත්තු වුණත් ඒ ඒ ආර්ථික මධ්‍යස්ථානවලට ස්වාධීනව තීරණ ගන්න හැකියාව තිබෙනවා.

    ඒ අනුව මැයි 21 සිකුරාදා රාත්‍රී 11 සිට මැයි 25 වන අගගරුවාදා පෙරවරු 04.00 දක්වා සියලුම ආර්ථික මධ්‍යස්ථාන වසා දැමීමට අපි තීරණය කළා. ඒ වගේම මැයි 25 වැනි අගහරුවාදා පෙරවරු 04.00 සිට එදින රාත්‍රි 11.00 දක්වා ආර්ථික මධ්‍යස්ථාන විවෘත තබනවා. නැවත මැයි 25 වැනි අගහරුවාදා රාත්‍රි 11 සිට මැයි 28 වන සිකුරාදා පෙරවරු 4.00 දක්වා නැවත ආර්ථික මධ්‍යස්ථාන වසා තබනවා. මේ ගැන ගොවීන්, ගොවි සංවිධාන වගේම ව්‍යාපාරික ප්‍රජාවත් අවධානය යොමු කළ යුතුයි.

    ඒ වගේම අදාළ දිස්ත්‍රික් ලේකම්වරු, ප්‍රාදේශීය ලේකම්වරු විසින් මැයි මස 24 වැනි සදුදා දිනයේත්, මැයි මස 28 වැනි සිකුරාදාත් භාණ්ඩ රැගෙන ඒමට සහ රැගෙන යාමට ලොරි රථවලට අවසර පත්‍ර ලබාදීම සිදුවෙනවා.

    ආර්ථික මධයස්ථාන කළමනාකරුවන් විසින් වෙළෙද සංගම් හරහා ගොවිජනතාව දැනුවත් කර තමන්ට අවශ්‍ය එළවළු සහ පලතුරු ප්‍රමාණය ගැන ඔවුන් දැනුවත් කරන ලෙස අපි දැනටමත් උපදෙස් දීලා තිබෙනවා.

    විශේෂයෙන්ම බස්නාහිර පළාත තුළ තිබෙන ආර්ථික මධ්‍යස්ථාන කළමනාකරුවන් විසින් බස්නාහිර පළාතෙන් පිට තිබෙන ආර්ථික මධ්‍යස්ථානව කළමනාකරුවන් සමග සම්බන්ධ වෙලා තමන්ට අවශ්‍ය තොග පිළිබද නිසි යාන්ත්‍රණයක් ගොඩනැගීමට අපි අදාළ උපදෙස් ලබාදී තිබෙනවා. මේ යාන්ත්‍රණය මගින් ගොවිජනතාව මෙන්ම පාරිභෝගිකයින් ද අපහසුතාවට පත් නොවන ලෙස ක්‍රියාත්මක වීමක් අපේක්ෂා කරනවා.

    රටපුරා සංචරණ සීමා ක්‍රියාත්මක වන දිනවල ජනතාව විසින් එළවළු – පලතුරු මිලදී ගන්නා ආකාරය ගැනත් අපි දැඩි අවධානයක් යොමුකර තිබෙනවා. ඒ අනුව දිවයින පුරා දිස්ත්‍රික් ලේකම්වරුන්ගේ මූලිකත්වයෙන් ප්‍රාදේශීය ලේකම්වරුන්ගේ අධීක්ෂණය යටතේ මීට පෙර සිදුකළ ආකාරයටම ක්‍රියාත්මක වන ලෙස අපි උපදෙස් දීලා තිබෙනවා. මේ අනුව කිසිම පාර්ශ්වයක් අපහසුතාවට හෝ දුෂ්කරතාවට පත් නොවී එළවළු හා පලතුරු සැපයුම නිසි පරිදි ක්‍රියාත්මක වනු ඇතැයි අපි දැඩිව අපේක්ෂා කරනවා‘‘

    මෙහිදී මාධ්‍ය වේදීන් විසින් රාජ්‍ය අමාත්‍යවරයාට යොමු කළ ප්‍රශ්න

    රාජ්‍ය ඇමතිතුමා මේ වන විට වසා දමා ඇති වැලිසර ආර්ථික මධ්‍යස්ථානය ගැන තත්ත්වය කුමක්ද ?

    මැයි 25 වැනිදාට වැලිසර ආර්ථික මධ්‍යස්ථානය විවෘත කර ගැනීමට අපට පුළුවන් වෙයි.

    පොලිසියෙන් විවිධ බාධා එල්ල වන බවක් අපි පසුගිය දිනවල දැක්කා. ඒ ගැන කුමක් හෝ තීන්දුවක් ගෙන තිබෙනවාද ?

    ඔව්, අපි මේ ගැන ස්වදේශ කටයුතු අමාත්‍යාංශය සමග සාකච්ඡා කළා. ඒ වගේම පොලිස්පතිතුමා ඇතුළු නියෝජ්‍ය පොලිස්පතිවරුන්ට හා පොලිස් අධිකාරීවරුන්ට නිසි දැනුම්දීමක් හා පැහැදිලි කිරීමක් කරලා තිබෙනවා. අපි දැක්වා පසුගිය දා එළවළු රැගෙන ගොස් එන ලොරි ආපසු එනවිට පොලිසිය සමග ගැටලුවට මැදි වෙනවා. ඒ නිසා මෙවර එළවළු රැගෙන යන විට වගේම ඒවා භාරදී ආපසු එනවිටත් කිසිම අපහසුතාවක් ඇති නොවන ලෙස කටයුතු කරන ලෙස අපි දන්වා තිබෙනවා. මේ සදහා අවශ්‍ය අවසර පත්‍ර විනාඩි පහක් වැනි කෙටි කාලයක් තුළ ලබා දෙන ලෙස අපි ප්‍රා දේශීය ලේකම්වරුන්ගෙන් ඉල්ලා තිබෙනවා. ඒ වගේම අත්‍යවශ්‍ය ආහාර ද්‍රව්‍ය ප්‍රවාහනයේදී ඇතිවන ගැටලුවලට කඩිනම් විසදුම් ලබාදීමට අපි දිස්ත්‍රික් ලේකම් කාර්යාලවල අතිරේක දිස්ත්‍රික් ලේකම්වරයාගේ අධීක්ෂණයෙන් වැඩපිළිවෙළක් සහ දුරකථන අංකයක් ප්‍රකාශයට පත්කර තිබෙනවා. මේවා මගින් අදාළ ඕනෑම දුෂ්කරතාවකට හෝ ගැටලුවකට විසදුම් ලබාගත හැකියි.

    ආර්ථික මධ්‍යස්ථානවල මිල ගණන් සම්බන්ධ ගැටලු තිබෙනවා නේද ?

    නැහැ, අපිට මේ දක්වා එවැනි ගැටලුවක් නැහැ. ආර්ථික මධ්‍යස්ථානවල භාරයන් හරහා අධික මිල ගණන් වලට නොයන ලෙස අපි යාන්ත්‍රණයක් සකස් කර තිබෙනවා.

  • නොමග යවන සුලු ‘ඔක්සිජන් ප්‍ර‍තිකාර ක්‍ර‍ම’ පිළිබඳ කරුණු පරීක්ෂාව

    නොමග යවන සුලු ‘ඔක්සිජන් ප්‍ර‍තිකාර ක්‍ර‍ම’ පිළිබඳ කරුණු පරීක්ෂාව

    ඉන්දියාව මේ වන විට මාරාන්තික කොරෝනා දෙවැනි රැල්ල සමගින් පොර බදමින් සිටින අතර සෞඛ්‍ය සේවා පද්ධතිය දැඩි පීඩනයකට ලක්ව තිබේ. මේ අතර ඉතා කඩිනමින් වෛද්‍ය ප්‍ර‍තිකාර අවශ්‍ය මට්ටමේ සිටින බරපතල රෝගීහු තමන්ට අවශ්‍ය ප්‍ර‍තිකාර ලබාගැනීමේ දුෂ්කරතා හේතුවෙන් විවිධ වූ විකල්ප ප්‍ර‍තිකාර ක්‍ර‍ම කෙරෙහි යොමු වෙමින් සිටිති.

    අන්තර්ජාලය ඔස්සේ සැරිසරන යම් තොරතුරු හේතුවෙන් ඇතැම් පුද්ගලයින් ඉතා අනතුරුදායක ලෙස නොමග යවන සුලු තත්ත්වයට පත්කර තිබේ. උදාහරණයක් වශයෙන්, නිෂ්ඵල වූ ගෘහස්ථ ක්‍ර‍මවේද මගින් ඔක්සිජන් සංතෘප්ත මට්ටම ඉහළ නංවාගත හැකි බව එම තොරතුරුවලින් කියැවේ.

    නෙබියුලයිසර් මගින් ඔක්සිජන් සපයනු නොලබයි

    මුළු මහත් දේශය පුරා ඔක්සිජන් සැපයුම වෙනුවෙන් ඉතා ඉහළ ඉල්ලුමක් මේ වන විට පැන නැගී ඇති අතර, ශ්වසන පද්ධතිය ආශ්‍රිත ගැටලුවලදී වෛද්‍යවරුන් අදාළ ඖෂධ රෝගියාට ලබා දීමට යොදාගන්නා ‘නෙබියුලයිසර්’ ලෙසින් හඳුන්වන කුඩා උපකරණයක්, ඔක්සිජන් සිලින්ඩරය වෙනුවට භාවිත කළ හැකි බවට වෛද්‍යවරයකු කරන ප්‍ර‍කාශයක් ඇතුළත් වීඩියෝවක් සමාජ මාධ්‍ය ඔස්සේ සංසරණය විය.

    ෆේස්බුක්, ට්විටර් සහ වට්ස්ඇප් ඔස්සේ සංසරණය වූ එම වීඩියෝවෙහි අන්තර්ගත වූ පරිදි අදාළ වෛද්‍යවරයා එම උපකරණය භාවිත කළ යුතු ආකාරය පෙන්වා දෙමින් හින්දි භාෂාවෙන් ප්‍ර‍කාශ කරන්නේ “මේ මගින් (නෙබියුලයිසර් උපකරණය) සැපයීමට තරම් ප්‍ර‍මාණවත් ඔක්සිජන් අපගේ වටපිටාවෙහි තිබෙනවා” යනුවෙනි.

    A screenshot from a viral video that spreads misleading information about oxygen procurement to Covid patients
    ‘නිබියුලයිසර්’ නිර්මාණය කර ඇත්තේ ශ්වසන ඖෂධ සැපයීම සඳහා වුව ද කොවිඩ් රෝගීන්ට ඔක්සිජන් සැපයීමක් සිදු කළ නොහැක

    එම වීඩියෝ පටයේ ඔහු වැඩිදුරටත් පවසන්නේ “ඔබට අවශ්‍ය වන්නේ නෙබියුලයිසරයක් පමණයි. එමගින් ඔබට අවශ්‍ය ඔක්සිජන් ඇදගත හැකියි” යනුවෙනි. ඔහුගේ ප්‍ර‍කාශනය ඇතුළත් පළකිරීමේ දැක්වෙන නවදිල්ලි නගරය ආසන්නයේ පිහිටා ඇති රෝහල, අදාළ වීඩියෝ පටයේ වගකීම භාර නොගනිමින් පෙන්වා දුන්නේ මෙම නෙබියුලයිසර් උපකරණය භාවිත කිරීම “සාක්ෂි හෝ විද්‍යාත්මක අධ්‍යයන” මගින් සනාථ කර නොමැති බවය.

    එසේම අමතර ඔක්සිජන් සැපයීම කෙරෙහි මෙම ක්‍ර‍මවේදය සම්පූර්ණයෙන්ම ප්‍ර‍තිඵල රහිත බව වෙනත් වෛද්‍ය වෘත්තිකයින් ද පෙන්වා දී තිබේ.

    මේ සම්බන්ධයෙන් පළ වූ විවේචනවලට පිළිතුරු ලබා දෙමින්, අදාළ වෛද්‍යවරයා යළිත් වීඩියෝවක් නිකුත් කරමින් පවසා සිටියේ සිය පණිවිඩය “වරදවා අවබෝධ කරගෙන” ඇති බවය. නෙබියුලයිසර් උපකරණය, ඔක්සිජන් සිලින්ඩරය වෙනුවට භාවිත කළ හැකි බවක් තමන් අදහස් නොකළ බව ඔහු කියා සිටියේය.

    කෙසේවෙතත්, මෙම වීඩියෝව අන්තර්ජාලය ඔස්සේ තවදුරටත් සංසරණය වෙමින් පවතී. ඉන්දීය අග්‍රාමාත්‍ය නරේන්ද්‍ර‍ මෝදි ද පසුගියදා පැවති රැස්වීමකදී මෙම වීඩියෝවෙහි රූපරාමු ගෙනහැර දැක්වීය.

    “බොහෝ වෛද්‍යවරු සමාජ මාධ්‍ය ඔස්සේ තොරතුරු බෙදාහරින අතර දුරකථන සහ වට්ස්ඇප් ඔස්සේ ජනතාව දැනුවත් කිරීමට කටයුතු කරනවා” යනුවෙන් අගමැතිවරයා ප්‍ර‍කාශ කළ අවස්ථාවේදී අදාළ වීඩියෝවෙන් ලබාගත් රූපරාමු පෙන්වූවත් එහි හඬ යොදා නොගැණුනි.

    ශාකසාර ඖෂධ මගින් ද ඔක්සිජන් මට්ටම ඉහළ නැංවීමක් නොකරයි

    ඔක්සිජන් මට්ටම පහළ යාම වැනි කොවිඩ් 19 වසංගත රෝග ලක්ෂණවලට ප්‍ර‍තිකාර වශයෙන් නිවසේදී සාදාගත හැකි විවිධ ශාකසාර බෙහෙත් වට්ටෝරුවලින් මේ වන විට ඉන්දීය සමාජ මාධ්‍ය පිරී ඉතිරී ගොසිනි.

    මේ අතරින් විශාල පිරිසක් අතර හුවමාරු වන එක් ‘ප්‍රතිකර්මයක්’ මගින් කියවෙන්නේ කපුරු, කරාබු නැටි, කැරම් බීජ සහ යුකැලිප්ටස් තෙල් ඇසුරින් සාදාගන්නා මිශ්‍රණයක් කොවිඩ් 19 වසංගත රෝගයෙන් පීඩා විඳින රෝගීන්ට ඔක්සිජන් මට්ටම පවත්වාගෙන යාමට උපකාරී වන බවය.

    A screenshot from a video which shows an Indian doctor spreading misleading information to Covid patients
    ශාකසාර අත්බෙහෙත්වලට ඔක්සිජන් මට්ටම ඉහළ නැංවීමට නොහැක

    කොරෝනා වෛරසයට ගොදුරුවූවන්ට මෙමගින් සහනයක් ලැබෙන බවට මෙතෙක් සාක්ෂි මගින් සනාථ කර නොමැත. ඉන්දියාවේ සාම්ප්‍ර‍දායික ආයුර්වේද වෛද්‍යවරයෙකු විසින් ඉදිරිපත් කරනු ලැබූ මෙම මිශ්‍ර‍ණය ප්‍ර‍වර්ධනය කරන වීඩියෝව ෆේස්බුක් ඔස්සේ 23,000 ට වැඩි වාර ගණනක් මෙන්ම වට්ස්ඇප් ඔස්සේ ද හුවමාරු කර ඇත.

    සාමාන්‍යයෙන් කපුරු තෙල්, සමේ ගල්වන ආලේපන වර්ග සහ විලවුන් නිෂ්පාදනයේදී පුළුල් වශයෙන් යොදාගන්නා අතර ශරීර අභ්‍යන්තරට අදාළ පරිභෝජනය අහිතකර විය හැකිය.

    රෝග පාලනය පිළිබඳ එක්සත් ජනපද මධ්‍යස්ථානය අනතුරු අඟවන්නේ කපුරු වාෂ්ප ආශ්වාස කිරීම විෂවීමට ද ඉඩ ඇති බවය.

    ලෙමන් ද ‍විසඳුමක් නොවේ.

    ඉන්දියාවේ ජ්‍යෙෂ්ඨ දේශපානඥයෙකු සහ ව්‍යාපාරිකයෙකු පසුගියදා ප්‍ර‍කාශයක් කරමින් සඳහන් කළේ ලෙමන් බිංදු දෙකක් නාසයට දැමීමෙන් ඔක්සිජන් සන්තෘප්ත මට්ටම ඉහළ නැංවෙන බවකි.

    විජේ සන්කේශ්වර් නැමැති එම පුද්ගලයා පවසා සිටියේ ඔක්සිජන් මට්ටම ඉතා අවම තත්ත්වයේ සිටි තම සගයින්ට මෙම ප්‍ර‍තිකාරය තමන් යෝජනා කළ බවය. පැය භාගයක් ඇතුළත ඔවුන්ගේ ඔක්සිජන් මට්ටම 88% සිට 96% දක්වා ඉහළ නැංවුණු බව කී ඔහු ඉන්දියාවේ දැනට පවතින ඔක්සිජන් හිඟයෙන් 80%ක ප්‍ර‍තිශතයක් මෙම ක්‍ර‍මය ඔස්සේ විසඳාගත හැකි බව පැවසීය.

    A screenshot of senior Indian politician Vijay Sankeshwar
    ඔක්සිජන් සංතෘප්ත මට්ටමට ගෙන ඒම සඳහා ලෙමන් බින්දු ඉසීමට යෝජනා කරන විජේ සන්කෙශ්වර්

    කෙසේවෙතත්, ඔක්සිජන් සංතෘප්ත මට්ටම මෙම ක්‍ර‍මය තුළින් ඉහළ නැංවෙන බවට කිසිදු සාක්ෂියක් මෙතෙක් ලැබී නොමැත.

    මායා බලයක් ද නැත

    ඉන්දියාවේ ජනප්‍රියතම යෝගා ගුරු ලෙස සැලකෙන බාබා රාම්දේව් ප්‍ර‍වෘත්ති නාලිකා මෙන්ම ඔහුගේ යූටියුබ් නාලිකාව ඔස්සේ පෙනී සිටිමින්, නිවසේදීම ඔක්සිජන් මට්ටම ඉහළ නංවාගන්නා ආකාරය පෙන්වා දෙයි.

    “ඔක්සිජන් නොමැති බැවින් මුළු රටම එකම අඳෝනාවක් බවට පත්වෙලා තිබෙනවා. නමුත්, මම ඔබට මැජික් එකක් පෙන්වන්නම්” යනුවෙන් ඔහු පැවසුවේ තමන්ගේ එක් ඇඟිල්ලක ඔක්සිජන් මට්ටම පරීක්ෂා කරන උපකරණයක් සවිකරමිනි.

    A still from Yoga guru Baba Ramdev's YouTube channel
    යෝගා ගුරු බාබා රාම්දෙව්ගේ උපදෙස් ලෝක සෞඛ්‍ය සංවිධානයේ නිර්දේශවලට පටහැනිය

    යූටියුබ් ජාලයේ ඇති මෙම වීඩියෝව 300,000ට වැඩි පිරිසක් නරඹා ඇති අතර වාඩි වී සිටින ඉරියව්වෙන් හුස්ම රඳවා තබාගන්නා ආකාරය පෙන්වන ආශ්වාස ප්‍ර‍ශ්වාස ව්‍යායාම ක්‍ර‍ම ඔහු එහි පෙන්වා දෙයි. නිර්දේශිත සීමාව ඉක්මවා ඔහුගේ රුධිරගත ඔක්සිජන් ප්‍ර‍මාණය පහළ බසිනු එහි පෙන්නුම් කරයි.

    පසුව ඔහු සඳහන් කළේ “මෙයට (ඔක්සිජන්) පහළ බැසීමට තත්පර 20ක් ගත වුණා. ගැඹුරින් දෙවරක් හුස්ම ගැනීමෙන් ඔබට ඔක්සිජන් ලබාගත හැකියි. එය ඕනෑ තරම් අපේ වටපිටාවේ තිබෙනවා.” යනුවෙනි.

    සාමාන්‍යයෙන් යෝගා පුහුණු වීම ඔබේ සෞඛ්‍යයට හිතකර වුවත්, කොවිඩ් 19 වැනි සෞඛ්‍යමය ගැටලුකාරී තත්ත්වයක ඔක්සිජන් සංතෘප්ත බව පහළ බැස ඇති අවස්ථාවකදී අතිරේක වෛද්‍ය ප්‍ර‍තිකාරමය ඔක්සිජන් ලබාගත යුතු බවට ලෝක සෞඛ්‍ය සංවිධානය නිර්දේශ කරයි.

    “ඔක්සිජන් මට්ටම පහළ බැස ඇත්නම්, මෙම තත්ත්වය දීර්ඝ කාලයක් පැවතුනහොත්, එයට අවශ්‍ය මොහොතේ ප්‍ර‍තිකාර නොකළහොත්, සෛල හොඳින් ක්‍රියාකිරීම නවතිනවා. එසේම, ජීවිතය බේරාගැනීමට ලබාගත හැකි ප්‍ර‍තිකාරය වන්නේ වෛද්‍යයමය ඔක්සිජන් සැපයුමයි,” යනුවෙන් ලෝක සෞඛ්‍ය සංවිධානයේ වෛද්‍ය ජැනට් ඩයස් ප්‍ර‍කාශ කරන්නීය.

    Reality Check branding

    අප සංස්කරණ ප්‍රතිපත්තියක් ලෙස නිවැරදි, සමබර හා නිරවුල් තොරතුරු අප පාඨකයින් වෙත ඉදිරිපත් කිරීම සංස්කරණ ප්‍රතිපත්තියක් ලෙස සිදුකරන බැවින් බී.බී.සී සහ බී.බී.සී සන්දේශය වෙබ් අඩවියෙන් තොරතුරු උපුටා ගන්නේ වඩාත් විද්‍යාත්මක සහ නිරවුල් තොරතුරු අප පාඨකයින් වෙත ලබාදීම සදහාය. එහිදී අදාළ වෙබ් අඩවිවල උපුටා ගැනීම් නිවැරදිව දැක්වීමට අප පියවර ගන්නා අතර ශීර්ෂ පාඨය පමණක් බොහෝ විට සංස්කරණයට ලක්වේ. අන්තර්ගතකේ කිසිම වෙනසක් අප අතින් සිදු නොවේ – ප්‍රධාන සංස්කාරක

  • යළි පරිසර හිතකාමී ගොවිතැනට ගමන් කිරීමේ සැබෑ අභියෝග මොනවාද ? ඒවාට විසදුම් මොනවාද ?

    යළි පරිසර හිතකාමී ගොවිතැනට ගමන් කිරීමේ සැබෑ අභියෝග මොනවාද ? ඒවාට විසදුම් මොනවාද ?

    රසායනික පොහොර භාවිතය නතර කිරීම සාර්ථක වැඩපිළිවෙළක් හා අනාගත දරු පරපුර ආරක්‍ෂා කරන වැඩ පිළිවෙළක් වන බව පැහැදිලිය. එහෙත් මෙය ක්‍රියාත්මක කිරීමේ දී ගැටලු ඇති නොවේ යැයි සිතිය නොහැක. ඒ අනුව ඇති විය හැකි ප්‍රධාන ගැටලු මොනවාද යන්න පිළිබඳව හඳුනාගත යුතුය. ප්‍රධාන ගැටලුවක් ලෙස මෙහිදී දැකිය හැක්කේ මෙම ක්‍රියාවලිය සඳහා ගොවීන් හුරු කිරීම හා දැනුවත් කිරීමයි. දැනටමත් කාබනික පොහොර භාවිතය පිළිබඳ ගොවීන් දැනුවත් වුවද පෙහොර මිලදි ගැනීම හා භාවිතය පිළිබඳ ගොවීන් දැනුවත් විය යුතුය. ඒ සඳහා සාධාරණ කාලයක් ගත වනු ඇත.

    ආර්ථික විශ්ලේෂක / ශ්‍රී ලංකා කෘෂිකාර්මික පර්යේෂණ ප්‍රතිපත්ති සභාවේ සාමාජික චිත්‍රාල් ජයවර්ධන


    ලංකාව තුළ ඉදිරියේ දී රසායනික පොහොර, කෘමිනාශක ද්‍රව්‍ය භාවිතය තහනම් වනු ඇත. ඒ සඳහා වන කැබිනට් පත්‍රිකාව පසුගිය දිනෙක ජනාධිපතිවරයා ඉදිරිපත් කර තිබූ අතර, එය කැබිනට් මණ්ඩලය මගින් අනුමත කර තිබේ. මේ වන විට රසායනික පොහොර භාවිතය තහනම් කිරීම සම්බන්දව විවිධ පාර්ශ්ව වෙතින් විවේචනය එල්ල වෙමින් තිබේ. රසායනික පොහොර භාවිතය තහනම් කිරීම ඉදිරියේ දී ආර්ථිකමය වශයෙන් පමණක් නොව දේශපාලනික වශයෙන් බලපෑම් කරවන සාධකයක් වන බව පෙනේ.

    මෙමගින් ආර්ථිකමය වශයෙන් රජයට විශාල මුදල් ප්‍රමාණයක් ඉතිරිකර ගැනීමට හැකිවන අතර තවත් අතකින් ගොවීන්ට අස්වැන්න අඩුවුවහොත් වන්දි ගෙවීමට සිදු වන බව පෙනේ. මෙහි දේශපාලනික බලපෑම කෙරෙහි අවධානය යොමු කිරීමේ දී ගොවීන්ගේ අස්වැන්න අඩුවුවහොත් ඔවුන්ගේ ආදායම්වලට බලපෑම් ඇති වන බව පැහැදිලිය. ඒ හරහා ගොඩනැගෙන ජනතා අප්‍රසාදය සුළු කොට තැකිය නොහැකිය.එහෙත් දේශපාලන සාධක නොසලකා ජනාධිපතිවරයා රටේ දරු පරපුරේ අනාගතය වෙනුවෙන් ගන්නා ලද සාධනීය පියවරකි. මෙය සාර්ථකව ක්‍රියාවට නැංවීම සඳහා සහයෝගය ලබා දිය යුත්තේ එකී පදනමෙනි.

    ලංකාවේ ගොවිතැන ගැන සලකා බැලීමේ දී යල මහ කන්නවල හෙක්ටයාර් මිලියන 1.33 වී ගොවිතැන සිදු කර ඇත. අනෙකුත් බෝග වගා කර ඇති බිම් ප්‍රමාණය හෙක්ටයාර් 97,120 ක් පමණවේ. 2020 වර්ෂයේ දී ලංකාවට රසායනික පොහොර මෙට්‍රිරික් ටොන් 574,705.9 ක් ආනයනය කර තිබූ අතර, ඒ සඳහා රුපියල් බිලියන 36 ක පමණ අති විශාල මුදලක් වැයකර තිබේ. මේ මුදල සෑම වසරකම සාපේක්‍ෂව ඉහළ යමින් පවතින ප්‍රවණතාවක් දක්නට ලැබේ. 2020 වර්ෂයේ දී කෘමිනාශක ද්‍රව්‍ය මෙට්‍රික් ටොන් 1,260,053 ක් ආනයන කර ඇති අතර එම රසායනික ද්‍රව්‍ය ආනයනය සඳහා රජය හා පෞද්ගලික අංශය වසරකට රුපියල් බිලියන 36 ක මුදලක් වැයකර තිබේ. අනෙක් අතට ජනතාවට වස කැවීම සඳහා ජනතාවගෙන්ම බදු මුදල් රුපියල් බිලියන 100 කටත් වැඩි ගණනක් වැය කිරීමට සිදුවීම කෙතරම් ඛේදජනක වන්නේදැයි සිතා බැලිය යුතුය.

    ලංකාව තුළ පොහොර නිෂ්පාදනය වැඩි කිරීමේ හැකියාව පවතින අතර, විශේෂයෙන් එප්පාවල පොස්පේට් නිධියෙන් අවශ්‍ය පොහොර නිෂ්පාදනය කර ගත හැකිය. මෙම පොහොර වලින් උපරිම ප්‍රතිඵල ලබා ගැනීමට විදේශ තාක්‍ෂණය උපයෝගි කර ගැනීමට පසුගිය ආණ්ඩු උත්සාහ ගන්නා ලද අවස්ථා පැවති අතර අදූරදර්ශී දේශපාලන හස්තයන් නිසා එම ව්‍යාපෘති වැළකි ගොස් තිබේ.

    ඉදිරියේ දී රසායනික පොහොර ආනයනය නැවැත්වෙන බැවින් එප්පාවල Tripe super phospate නිෂ්පාදනය වෙනුවට ඉහළ ගුණත්වයෙන් යුත් Sing Super phospate නිෂ්පාදනය සිදු කළ යුතුය. ඒ අනුව රජයට TSP ආනයනය සඳහා වසරකට වැයවන රුපියල් බිලියන 7 ක මුදල ඉතිරි කර ගත හැකිය. එප්පාවල පොහොර නිධියේ නිෂ්පාදන තවදුරටත් පුළුල් කිරීමෙන් වසරකට සාපේක්‍ෂව රුපියල් මිලියන 103 ක පමණ මුදලක් ඉතිර කර ගත හැකි අතර ගුණාත්මක බවින් යුතු පොහොර නිෂ්පාදනය කර ගත හැකි බව පෙනේ.


    රසායනික පොහොර භාවිතයේ ප්‍රතිවිපාක

    රසායනික පොහොර භාවිතය නිසා ජනතාවගේ සෞඛ්‍යයට විශාල ලෙස හානි පමුණුවමින් පවති. රසායනික පොහොර භාවිතය නැවැත්වීමට ජනාධිපතිවරයා තීරණය කිරීමේ ප්‍රධාන හේතුවක් ද වී ඇත්තේ මෙය බව පැහැදිලිය. දිගින් දිගටම රසායනික පොහොර භාවිතයෙන් විෂ ආහාර ද්‍රව්‍ය ආහාරයට ගැනීම මගින් කුස තුළ වැඩෙන කාලයේ සිට ඉපදෙන දරුවා දක්වා බලපෑම් කර තිබේ. පිළිකා රෝගයට ගොදුරු වන සංඛ්‍යාව ඉහළ යමින් පවති. 2020 වර්ෂයේ දී පිළිකා රෝගයට ගොදුරු වූ ගණන 29,604ක් ලෙස හඳුනාගෙන ඇති අතර 2020 වර්ෂයේ දී පිළිකා රෝගය නිසා මරණ 16,691ක් සිදුවී තිබේ. අනෙක් අතට වගා බිම් වලින් පිරිසුදු ජලයට නිකුත් වූ රසායනික ද්‍රව්‍ය හේතුවෙන් වකුගඩු රෝගීන් ද දිනෙන් දින ඉහළ යමින් පවති. රටේ ශ්‍රම බලකාය රෝගාබාධවලට ගොඳුරු වීම අනාගතයේ රටේ ආර්ථිකයට විශාල බලපෑමක් ඇති කරනු ලබයි. ඒ තුළින් රටේ ආර්ථික හා සමාජීය ගැටලු ගණනාවක් නිර්මාණය කිරීමට බලපෑම් එල්ල කරනු ලබයි.

    ආනාගත ගැටලු හඳුනාගැනීම

    රසායනික පොහොර භාවිතය නතර කිරීම සාර්ථක වැඩපිළිවෙළක් හා අනාගත දරු පරපුර ආරක්‍ෂා කරන වැඩ පිළිවෙළක් වන බව පැහැදිලිය. එහෙත් මෙය ක්‍රියාත්මක කිරීමේ දී ගැටලු ඇති නොවේ යැයි සිතිය නොහැක. ඒ අනුව ඇති විය හැකි ප්‍රධාන ගැටලු මොනවාද යන්න පිළිබඳව හඳුනාගත යුතුය. ප්‍රධාන ගැටලුවක් ලෙස මෙහිදී දැකිය හැක්කේ මෙම ක්‍රියාවලිය සඳහා ගොවීන් හුරු කිරීම හා දැනුවත් කිරීමයි. දැනටමත් කාබනික පොහොර භාවිතය පිළිබඳ ගොවීන් දැනුවත් වුවද පෙහොර මිලදි ගැනීම හා භාවිතය පිළිබඳ ගොවීන් දැනුවත් විය යුතුය. ඒ සඳහා සාධාරණ කාලයක් ගත වනු ඇත.

    අනෙක් අතට කාබනික පොහොර භාවිතයට ගොවීන් හුරු වීමට ද කාලයක් ගත වේ. සෑම විටම රසායනික පොහොර භාවිත කළ ගොවීන් එකවිටම කාබනික පොහොර භාවිතයට හුරුවේ යැයි සීතීම සැක සහිතය. දෙවනුව කාබනික පොහොර භාවිතයෙන් ගොවීන්ගේ අස්වැන්න අඩුවුවහොත් සිදු වන මූල්‍යමය පාඩුව හා ඒතුළින් මිල ගණන්වලට සිදුවන බලපෑම පිළිබඳව ද ඉදිරියේ දී අවධානය යොමුවිය යුතුය. දැනටමත් රජය මේ සම්න්ධයෙන් පැහැදිලි කිරීමක් සිදු කර ඇති අතර අස්වැන්න අඩුවුවහොත් ඒ සඳහා රජය සාධාරණ වන්දියක් ගෙවීමට සූදානම් බව සඳහන් කර ඇත. කෙටිකාලීන වශයෙන් මෙය යහපත් අදහසක් වුවද දීර්ඝ කාලීන වශයෙන් කාබනික පොහොරවලින් ඵලදායිතාව ඉහළ නැංවිය හැක්කේ කෙසේද යන්න පිළිබඳව සලකා බැලිය යුතුය. අනෙක් අතට සමහර විද්‍යාඥයන් පෙන්වා දෙන්නේ දිගින් දිගටම එකම පොහොර භාවිත කිරීමෙන් පසේ අසමතුලිතතාවක් ඇති විය හැකි බවයි. ඒ අනුව භෝග වගාවලට හා අස්වැන්නට බලපෑම් ඇති විය හැකි බවයි.

    අනෙක් ගැටලුව වන්නේ කාබනික පොහොර කෙටි කාලයක් තුළ නිෂ්පාදනය කරන්නේ කෙසේ ද යන්නයි. ඒ සඳහා රජය ප්‍රාදේශීය මට්ටමින් කාබනික පොහොර නිෂ්පාදනය ආරම්භ කිරීමට පියවර ගැනීමට සූදානම් බව අදාළ අංශ පෙන්වා දෙයි. මේ තුළින් ප්‍රාදේශීයව පවතින කසළ ගැටලුවට ද පිළියමක් වන බව පෙනේ.

    තවත් අතකින් මෙරටට ආනයනය කරනු ලබන රසායනික පොහොර හා කෘමිනාශකවල ගුණාත්මකභාවය සොයා බලන්නේ ද යන්න පිළිබඳ විශාල ගැටලුවක් පවති. අනිත් අතට රසායනික පොහොර, කෘමිනාශක හා වල්නාශක නිසි ආකාරයෙන් යෙදවිය යුතු ප්‍රමාණ පිළිබඳව ගොවින්ට ඇත්තේ අඩු දැනුමකි. සමාගම් වලින් යෙදවුම් පිළිබඳව හා ප්‍රමාණ පිළිබඳ ලබාදෙන දැනුම වංචාසහගත වන්නට පුළුවන. ඒ අනුව පසට ඕනෑවට වඩා විෂකාරක එක්වනු පෙනේ.

    කාබනික පොහොර භාවිතයේ වාසි

    කාබනික පොහොර යෙදීමෙන් පසට සැලකිය යූතු ප්‍රමාණයක ශාක පෝෂක එක් වනු ඇත. තවද, රසායනික පොහොර මගින් සැපැයිය හැකි ශාක පෝෂක වර්ග ප්‍රමාණය සීමා සහිතය. එහෙත් කාබනික පොහොර මගින් ශාක වර්ධනයට අවශ්‍ය මූලික, ද්වීතියික හා අංශුමාත්‍රවලට අවශ්‍ය ශාක පෝෂ්‍ය සියල්ල පසට එක්වීම සිදුවේ. මෙය එකවර සිදු නොවූවත් ක්‍රම ක්‍රමයෙන් සිදුවන ක්‍රියාවලියකි. මේ නිසා කාබනික පොහොරවලට දිගු කාලයක් තුළ සෙමෙන් හා පහසුවෙන් ශාක පෝෂ්‍ය නිදහස් කිරීමේ හැකියාව පවති. එහෙත් රසායනික පොහොර මගින් ඉතා ඉක්මනින් ශාක පෝෂක නිදහස් වීම මගින් පෝෂ්‍ය පදාර්ථ පරිසරයෙන් ඉක්මනින්  සෝදායාම සිදුවේ. මේ නිසා කාබනික පොහොර භාවිතය නිසා පසේ වැදගත් රසායනික ලක්‍ෂණයක් වන ශාක පෝෂක රඳවා තබා ගැනීමේ හැකියාව නිසා පොහොර දියවී පසෙන් ඉවත් වී අපතේ යාම අඩුවේ. වාණිජකරණයේ දී කාබනික පොහොර යනු කාබනික ද්‍රව්‍ය සඳහා අගය එකතු කිරීමයි. සරලව කිවහොත් කාබනික ද්‍රව්‍ය සඳහා අගය එකතු කිරීම මගින් වැඩි ඵලදායිතාවක් ලබා ගත හැකිය.

    පසේ සාරවත් බව වැඩි දියුණු කිරීම සඳහා පසේ  භෞතික හා ජීව විද්‍යාත්මක සාධක බලපානු ලබයි. ඒ අතර, පසේ PHඅගය, ජලය රඳවා ගැනීම, පසේ අන්තර්ගත වාත ප්‍රමාණය, පසේ ගැඹුර, වැලි, මැටි, රොන් මඩ වැනි කොටස්වල අනුපාත වැදගත් වේ. පසක මෙවැනි ලක්‍ෂණ වැඩි දියුණු කිරීමට කාබනික පෙහොර වැදගත් වන අතර, ඒ අනුව භෝග වගාවල ඵලදායීතාව වර්ධනය වේ. කාබනික පොහොර භාවිතය නිසා පසේ ජීවත් වන ක්‍ෂුද්‍ර ජීවීන්ට අවශ්‍ය ආහාර ශක්තිය පහසූවෙන් ලබා දීම සිදුවේ. අනෙක් අතට කාබනික පොහොර පසට එක්වීමෙන් පසේ සිදූවන ප්‍රතික්‍රියා සඳහ ක්‍ෂුද්‍ර ජීවීන් එයට එක්වීම සිදුවේ. ඒ අනුව කාබනික පොහොර යෙදිම මගින් පසෙහි රසායනික, භෞතික හා ජීව විද්‍යාත්මක ලක්ෂණ වැඩි දියුණු වීමෙන් පස පූර්ණ සාරවත් බවට පරිවර්තනය වීම සිදුවේ. කාබනික පොහොර භාවිතය වැඩි වීම නිසා පසෙහි සාරවත් බව වැඩිදියුණු වන අතර පරිසරය ආරක්ෂා වීම ද සිදුවේ. කෙසේ වෙතත් රසායනික පොහොරවල මෙන් නොව කාබනික පොහොරවල ක්‍රීයාකාරිත්වය දිරිඝ කාලීනව පසේ රදා පැවැත්ම රටකට හිතකර ප්‍රතිඵල ලබා දෙයි.


    විදේශීය අත්දැකිම් තුළින් දේශීය මොඩලයක් වෙත ගමන් කිරීම

    කාබනික පොහොර සියයට සියයක් භාවිත කරමින් කෘෂිකර්මාන්තය සිදුකරන ප්‍රාන්තයක් ලෙස ඊසාන දිග ඉන්දියාවේ පිහිටි සිකිම් (Sikim Province) හඳුන්වා දිය හැක. ජාත්‍යන්තර මාධ්‍ය පෙන්නා දෙන්නේ ලෝකයේ සියයට සියයක් කාබනික පොහොර භාවිත කිරීමේ කාබනික රාජ්‍ය වශයෙනි. 2003 වර්ෂයේදී සිකීම් ප්‍රාන්තයේ බලයට පත්වූ පර්වාන් චාමිලිං මහ ඇමතිවරයා සිකිම් ප්‍රාන්තය ඉන්දියාව් ප්‍රථම කාබනික ප්‍රාන්තයක් බවට පත් කිරීමේ ඔහුගේ දැක්ම ඉදිරිපත් කළේය. 2010 වර්ෂයේ දී කාබනික මෙහෙවර Organic Mission යටතේ ක්‍රියාකාරි සැලැස්මක් සකස් කොට ඒ අනුව ක්‍රියාත්මක වැඩ පිළිවෙළක් ඉදිරිපත් කෙරිණි. එම ක්‍රියාකාරි සැලැස්මේ කූඨප්‍රාප්තිය වූයේ සිකීම් ප්‍රාන්තය ලෝකයේ පළමු කාබනික ප්‍රාන්තය ලෙස ප්‍රකාශයට පත් කිරීමයි. මෙම ක්‍රියාදාමය වසර ගණනාවක සිට ක්‍රියාත්මක වි තිබු අතර සියලුම පාර්ශව මෙහි ප්‍රගතිය සඳහා විශාල දායකත්වය සපයා තිබේ.

    මෙම වැඩපිළිවෙළ සාර්ථක කිරීම සඳහා ප්‍රාන්ත රජය තරුණ කොටස් සම්බන්ධකර ගැනීම හා දැනුම ලබා දීම සිදුකර තිබේ. කාබනික ගොවිතැන පාසල් විෂය මාලාවට ඇතුළත් කිරීම, රැකියා විරහිත තරුණ තරුණියන් කාබනික ගොවිතැන සඳහා යොමු කිරීමට පුහුණු මධ්‍යස්ථාන ඇති කිරීම 2016 වර්ෂයේදී කාබනික ගොවිතැන් පර් යේෂණ ආයතනයක් ඇති කිරීම වැනි පුළුල් වෙනස්කම් රාශියක් සිදුකර තිබේ. කේෂ්ත්‍රයේ ප්‍රවීණයන් පවසන්නේ සිකීම් යනු ඉන්දියාවේ තරුණ තරුණියන් භූමියේ රදා සිටීමට තීරණය කරන ස්ථානයක් බවයි. මෙවැනි පර් යේෂණ ප්‍රතිපත්ති කාරණා ගණනාවක ප්‍රතිඵලයක් ලෙස අද වන විට සිකිම් ප්‍රාන්තය සියයට සියයක් කාබනික ප්‍රාන්තයක් ලෙස පරිවර්තනය වී ඇත.

    ලංකාව තුළ කාබනික පොහොර ප්‍රචලිත කිරීමට නම් ලෝකයේ අනෙකුත් රටවල අත්දැකීම් උපයෝගි කර ගැනීම ඉතා වැදගත්ය. ලංකාව ඉදිරියේදී කාබනික රාජ්‍යක් කරා ගමන් කිරීමේ අභියෝගය ජය ගැනීමට නම් ඒ සඳහා ප්‍රතිපත්ති සම්පාදනය ඉතා වැදගත්ය. එක් විටම ලංකාව තුළ රසායනික පොහොර භාවිතය තහනම්‍ කිරීම ප්‍රායෝගික නොවන බව ප්‍රවිණයන්ගේ අදහසයි.

    හොඳම විකල්පයක් හඳුන්වා දිය හැක්කේ ලංකාවේ බහුලව ගොවිතැන් කරන දිස්ත්‍රික්ක හඳුනා ගනිමින් ප්‍රථමයෙන්ම ආදර්ශ මොඩලයක් නිර්මාණය කිරීමය. එම ප්‍රදේශය සම්පූර්ණයෙන් රසායනික පොහොර වලින් තොර කලාපයක් කිරීමට ක්‍රම උපායක් සකස් කළ යුතුය. ඒ අනුව විධිමත් වැඩසටහනක් යටතේ වසර 03 කාලයක් තුළ මෙය සම්පූර්ණ කිරීම සඳහා ක්‍රියාකාරි සැලැස්මක් සකස් කිරීම ඉතා වැදගත් වේ. එහි ප්‍රගතිය වසර 03ක් සමාලෝචනය කිරීමෙන් ලංකාව පුරා මෙම කාබනික ප්‍රතිපත්තිය ක්‍රියාවට නැංවිය හැකිය. ගොවින් දැනුවත් කිරීම හා පුහුණු වැඩසටහන් රට පුරා ගොවි සංවිධාන, කෘෂි නියාමකවරුන්, ගොවිජන සංවර්ධන දෙපාර්තමේන්තුව මගින් සිදුකර හැකිය. එමෙන්ම පාසල් විෂය මාලාවට තොරතුරු ඇතුළත් කළ හැකිය.

    ලංකාව තුළ කාබනික පොහොර මහා පරිමාණයෙන් නිෂ්පාදනය දිරි ගැන්වීම සඳහා ආයෝජකයන්ට පහසුකම් සැළසීම ඉදිරි වසර කිහිපය තුළ දී සිදු කිරීම ඉතා වැදගත් වේ. කාබනික වගාවට අලුතෙන් නවීන තාක්ෂණය උපයෝගිකර ගැනීමට ගොවින් උනන්දුකර ගැනීමෙන් ඵලදායිතාව ඉහළ නැංවීම හා ගුණාත්මක භාවයෙන් යුතු නිෂ්පාදන ඉහළ නැංවීම සිදු කළ හැකිය. මේ නිසා රටක් වශයෙන් රසායනික පොහොර වල සිට කාබනික පොහොර දක්වා ගමන් කිරීමේ දී එක විට එය කිරීමට වඩා ක්‍රම ක්‍රමයෙන් පරිවර්තනය ඇති කිරීම ප්‍රායෝගික වනු ඇත.

    මැයි 18 වැනි දින ලංකාදීප පුවත්පතේ ‘විමසුම‘ පිටුවෙන් කළ සම්පූර්ණ උපුටා ගැනීමකි

  • ලංකාවේ කොවිඩ් මරණ 1000 පනී

    ලංකාවේ කොවිඩ් මරණ 1000 පනී

    කොවිඩ් – 19 ආරම්භයේ සිට මේ වනවිට මෙරටින් දිනක වාර්තා වූ වැඩිම දෛනික කොවිඩ් ආසාදිත මරණ සංඛ්‍යාව ඊයේ (18) වාර්තා වී තිබේ. එම ගණන 34කි. මේ වනවිට මෙරටින් වාර්තා වී ඇති සමස්ත මරණ සංඛ්‍යාව 1015කි. මේ අතර ඊයේ දිනයේ වාර්තා වූ සමත්ත ආසාදිතයින් ගණන 2518කි. ඉන් 2,478ක් අලුත් අවුරුදු පොකුරෙන් වාර්තා වන බවත් තවත් 40ක් විදේශගතව සිට පැමිණි අයෙන් වාර්තා වූ බවත් රජයේ ප්‍රවෘත්ති දෙපාර්තමේන්තුව සඳහන් කරයි.

    ප්_රවෘත්ති-නිවේදනය-482

  • කොවිඩ්-19 මාතෘ මරණ අඩුකරගැනීමට ප්‍රසව හා නාරිවේද විශේෂඥ වෛද්‍යවරුන්ගෙන් නව යෝජනාවක්

    කොවිඩ්-19 මාතෘ මරණ අඩුකරගැනීමට ප්‍රසව හා නාරිවේද විශේෂඥ වෛද්‍යවරුන්ගෙන් නව යෝජනාවක්

    Covid-19 ආසාදිත වී සිදුවන මාතෘ මරණ අඩුකරගැනීමට නම් ගැබිණි මවුවරුන්ට Covid-19 එන්නත් ලබාදීම කඩිනමින් සිදුකළ යුතු බව ප්‍රසව හා නාරිවේද විශේෂඥ වෛද්‍යවරුන්ගේ විද්‍යායතනයේ සභාපති විශේෂඥ වෛද්‍ය ප්‍රදීප් ද සිල්වා මහතා අවධාරණය කරයි.

    විශේෂඥ වෛද්‍ය ප්‍රදීප් ද සිල්වා මහතා සඳහන් කරන්නේ ගැබිණි මවුවරුන් විශේෂිත කොටසක් සේ සළකා අවම වශයෙන් එන්නත් මාත්‍රා 50,000ක් වෙන්කර සති 28ට වැඩි මවුවරුන් 25,000ක් හෝ එන්නත් කළ යුතු බවයි.

    වෛද්‍ය ප්‍රදීප් ද සිල්වා මහතා මේ බව පැවසුවේ ප්‍රසව හා නාරිවේද විශේෂඥ වෛද්‍යවරුන්ගේ විද්‍යායතනයේ දී අද(18) පැවති මාධ්‍ය හමුවක් අමතමිනි.

    ඔහු මෙසේ ද සදහන් කළේය. ‘‘කොවිඩ් ආසාදිත වී සිදුවන මාතෘ මරණ අඩුකරගැනීමට නම් ගර්භනී මවුවරුන්ට එන්නත් ලබාදීම කඩිනමින් සිදුකළ යුතු බව ප්‍රසව හා නාරිවේද විශේෂඥ වෛද්‍යවරුන්ගේ විද්‍යායතනයේ අදහසයි. එන්නත්කරණය මගින් කොවිඩ් ආසාදිත වී අසාධ්‍ය වන මවුවරුන් සංඛ්‍යාව මෙන්ම මියයන සංඛ්‍යාව ද අඩුකර ගත හැකියි. විශේෂඥ වෛද්‍ය නිරීක්‍ෂණය යටතේ ගර්භනී කාන්තාවන්ට එන්නත ලබාදීම සුදුසු බවට බෝවන රෝග පිළිබඳ උපදේශක කමිටුව විසින් ද නිර්දේශ කර තිබෙනවා. ඔවුන්ට එන්නත් ලබාදීම පිළිබඳ සැලැස්මක් සකස් කරන ලෙස ද බෝවන රෝග පිළිබඳ උපදේශක කමිටුව විසින් පවුල් සෞඛ්‍ය කාර්යාංශයේ අධ්‍යක්‍ෂතුමියට දැනුම් දී තිබෙනවා‘‘

  • ඉදිරි දින 100 තුළ ආසාදිතයින් මිලියනක් !

    ඉදිරි දින 100 තුළ ආසාදිතයින් මිලියනක් !

    “අපේ සාමාන්‍ය ගණනය කිරීම් අනුව දින 5 හෝ 6ක් ඇතුළත මේ රෝගය තවත් කෙනෙකුට බෝ කරනවා නම් සෑම දින 5කට වතාවක් මේ රෝගීන් සංඛ්‍යාව දෙගුණ වෙනවා. එහෙම වුණොත් අනිවාර්යයෙන්ම දින 100ක් පමණ කාලයක් ගතවෙනකොට 20 වතාවක් දෙගුණ වුණොත් මිලියනය ඉක්මවලා මේ රෝගීන් වාර්තා වෙන්න පුළුවන්.”

    මෙසේ පවසන්නේ සෞඛ්‍ය අමාත්‍යාංශයේ මාධ්‍ය ප්‍රකාශක විශේෂඥ වෛද්‍ය හේමන්ත හේරත් මහතා.

    හේමන්ත හේරත් මහතාගේ මේ ප්‍රකාශය බරපතළ දෙයක් බවයි වෛද්‍ය විශේෂඥයින් කියන්නේ. ඒත් මේ ප්‍රකාශය ගැන සාමාන්‍ය ජනතාව අතර පවා සැකයක් නැහැ. ඔවුන් ද මේ මතය පිළිගන්නවා.

    මේ අතර කොවිඩ් වෛරසය ගැන පර්යේෂණ පවත්වන ශ්‍රී ජයවර්ධන පුර විශ්වවිද්‍යාලයේ මහාචාර්ය නීලිකා මලවිගේ මහත්මිය අද (18) ජාතික පුවත්පතක් සමග පවත්වා ඇති සාකච්ඡාවකදී ද විශේෂඥ වෛද්‍ය හේමන්ත හේරත් මහතා කරන ප්‍රකාශයට සමාන ප්‍රකාශයක් කර තිබුණා.

    රෝග ලක්ෂණ කිසිත් නොපෙන්වා සිටියත් ඔවුන් ආසාදිතයෝ විය හැකියි කියල ද ඔබ පවසන්නේ?

    ඔව්. මේක තමා භයානකම තත්ත්වය. ලෝකයේ සෙසු රටවල් සමග බලන විට රෝග ලක්ෂණ පෙන්නුම් නොකරන අය තමයි සිටින්නේ. ඔවුන් රෝග ලක්ෂණ පෙන්නන්නෙ නෑ නමුත් රෝගය පතුරුවා හරිනවා. මේ රැල්ල එන්න පෙර පැවැති කොවිඩ් තත්ත්වය ගත්තත් ආසාදිතයන්ගෙන් වැඩි දෙනෙක් රෝග ලක්ෂණ පෙන්නුවේ නැහැ. නමුත් අපි ආසාදිතයෝ හඳුනාගෙන සමාජයෙන් වෙන් කළා රෝග ලක්ෂණ නොපෙන්වුවත්. එහෙ ම කළේ ඔවුන්ගෙන් රෝගය පැතිරෙන නිසා. දැනුත් ඕනෑ තරම් ආසාදිතයෝ ඉන්නවා රෝග ලක්ෂණ කිසිවක්ම පෙන්වන්නේ නැති.

    මේ වෙලාවේ මාත් එක්ක කතා කරන ඔබත් හොඳ සෞඛ්‍ය තත්ත්වයෙන් ඉන්නවා කියලා මට සිතෙනවා. නමුත් මේ මොහොතේ ඔයාට කොවිඩ් තිබෙන්න බැරි ද? පුළුවන්නේ. නමුත් ඔබ ඒක දන්නෙ නෑ. ඔබ නිරෝගී වගේ සිටියට ඔබේ ඇඟේ වෛරසය තිබෙනවා නම් ඔබව අද හමුවුණු අනෙක් අයට ඔබෙන් ඕක බෝ වෙන්න පුළුවන්. මම මේ කිව්වෙ එක උදාහරණයක්. මෙන්න මේ වගේ තත්ත්වයක් තමයි රටේ තිබෙන්නෙ. රෝග ලක්ෂණ නොපෙන්වුවත් ඔවුන්ගෙන් රෝගය පැතිරීම තමයි මේ වෛරසයේ තිබෙන භයානක තත්ත්වය. මොක ද කෙනෙක් රෝග ලක්ෂණ විද්‍යමාන කරනවා නම් අපි වුණත් ටිකක් පැත්තකට වෙනවානෙ. නමුත් එහෙම පෙන්වන්නේ නැත්නම් අපි වුණත් වැඩි ගාණක් ගන්නෙ නෑ.

    පොදු ස්ථානවලදී, රාජකාරී ස්ථානවලදී සිදු කරන ශරීරයේ උෂ්ණත්වය මැන බැලීමේ ක්‍රියාවලියෙන්වත් මෙවැනි පුද්ගලයන් හසුවන්නෙ නැද්ද?

    දැන් ඔය සුපර් මාකට් යද්දි හෝ වෙනත් පොදු ස්ථානවලට යද්දි ශරීරයේ උණ බලනවානේ. එතැනදි අහුවෙන්නෙ උණ තිබෙනවා නම් පමණයිනෙ. නමුත් ශරීරයේ උණක් නැති අයව ඇතුළට ගන්නවානෙ. කාටද කියන්න පුළුවන් උණ නෑ කියලා එයා ආසාදිතයෙක් නෙවෙයි කියලා. ඔවුන්ගේ ඇඟේ වෛරසය තිබෙන්නට පුළුවන් නමුත් රෝග ලක්ෂණ නැහැ. එහෙ ම රෝග ලක්ෂණ කිසිවක් පෙන්වන්නේ නැති අය තමයි නිදහසේ එවැනි පොදු ස්ථානවලට වැඩි වශයෙන් එන්නෙ.

    මොකද ඔවුන් සිතනවා රෝග ලක්ෂණ කිසිත් නැති නිසා රෝගයත් නෑ කියලා. නමුත් ඔවුන් දන්නෙ නෑ තමන් ආසාදිතයි කියලා. ඒක තමා භයානකම. මොක ද ඔය උණ බලන ඒවට අරවට මේවට ඇඟේ වෛරසය තිබෙනවා කියලා අහුවෙන්නෙ නෑ. ටෙස්ට් එකක් කළොත් විතරමයි වෛරසය ඇඟේ තිබෙන බව අසුවෙන්නෙ. රෝග ලක්ෂණ කිසිවක් නැති නමුත්, රෝගය ආසාදිත පිරිස් තමයි වැඩිපුර ම එළියේ ගැවසෙන්නේ. ඔවුන් තමා මේ රෝගය පතුරුවන්නෙ. ඒක වුවමනාවෙන් කරන්නෙ නැහැ. මොකද රෝග ලක්ෂණත් නෑනෙ. ඉතින් ඔවුන් දන්නෙත් නෑ ලෙඩේ තියෙනවා කියලා. ඒ නිසා තමයි වැඩිපුර ම ප්‍රවේශම් වෙන්න ඕනෑ.

    ඒ කියන්නෙ අපි නිරන්තරයෙන් අනෙකා ආසාදිතයෙක් විය හැකියි කියන මතයේ සිට කටයුතු කළ යුතුයි?

    මම කියන්නෙ නැහැ හැමෝ ම ආසාදිතයෝ කියලා සැක කරන්න කියලා. නමුත් තමාත් දන්නෙ නැත්නම් තමා ආසාදිතයි කියලා සහ තමා ඇසුරු කරන සෞඛ්‍යසම්පන්නයි කියලා හිතන අයත් ආසාදිතයෝ විය හැකියි කියලා ප්‍රවේශමෙන් වැඩ කරන එක කොහොමත් හොඳයි. සමාජ දූරස්ථතාව පවත්වා ගැනීම, මුව ආවරණ පැළඳීම, අත් විෂබීජහරණය කිරීම වගේ දේවල් අපි නිරන්තරයෙන් කළ යුතුයි.

    මම තව උදාහරණයක් කියන්නම්, ඔබ ඇසුරු කරන මිතුරා ඉතාම නිරෝගීව ඉන්න කෙනෙක් කියලා ඔබට පේනවා. කිසිම රෝග ලක්ෂණයකුත් නැහැ. ඒ නිසා ඔබ බය නැතිව එයාගෙ සමීපයට ගිහින් මාස්ක් එකත් ගලවලා කතා කරනවා. නමුත් එයා ආසාදිතයෙක් නම් ඔබටත් රෝගය වැළඳෙනවා. මොකද තරුණ අය බොහෝ විට මෙහෙ ම හැසිරෙනවා. අවසානයේ මිතුරත් ආසාදිතයි ඔබත් ආසාදිතයි. ඒ බව දන්නෙ නැතිව නිවසට ගිහිල්ලත් නිදහසේ ගනුදෙනු කරනවා. එතැනදි ඔබට ඔබේ මිතුරාට රෝග ලක්ෂණ නොපෙන්වුවත් ඔබේ ගෙදර ඉන්න ඔබේ අම්මා, තාත්තා, සීයා, ආච්චී, ඔබ තරම් වාසනාවන්ත නොවෙන්න පුළුවන්. මොකද ඔවුන්ට රෝගය වැළඳිලා රෝග ලක්ෂණ පෙන්වලා අමාරු වෙන්න පුළුවන් ඔවුන්ගේ වයසත් සමග. ඒ නිසා තමයි ඇතුළත පරිශ්‍රවල සිටිද්දි නිතර ම මාස්ක් එක භාවිත කරන්න කියන්නෙ.

  • කිරිදෙන මවුවරුන්ට ‘කොවිඩ් එන්නත ලබා ගැනීම’ කිසිම ගැටලුවක් නෑ

    කිරිදෙන මවුවරුන්ට ‘කොවිඩ් එන්නත ලබා ගැනීම’ කිසිම ගැටලුවක් නෑ

    කිරිදෙන සියලුම මව්වරුන් එන්නත් ලබාගැනීමට සුදුසු බවත් එන්නත ලබා ගැනීම මව්කිරී දීම වෙනස් කිරීමට ද හේතුවක් නොවන බවත් වංසගත රෝග විද්‍යා ඒකකයේ ප්‍රධානී, විශේෂඥ වෛද්‍ය සුදත් සමරවීර මහතා පවසයි.

    අද (18) මාධ්‍ය සාකච්ඡාවකදී සමරවීර මහතා මේ බව සදහන් කළේය.

    මේ සම්බන්ධයෙන් වැඩි දුරටත් කරුණු පැහැදිලි කළ විශේෂඥ වෛද්‍ය සුදත් සමරවීර මහතා, ‘‘ගර්භණී අවස්ථාවේදී එන්නත ලබාදීම සම්බන්ධයෙන් මේ දක්වා සම්පූර්ණ නිර්දේශයක් ලැබිලා නෑ. මොකද තාමත් මේ ගර්භණී මව්වරුන් අතර එන්නත් ලබාගැනීම පිළිබඳව පර්යේෂණ සිදුවෙලා නෑ. එන්නත ලබාගැනීමට නොහැකි වෙනත් කිසියම් කාරණයක් නොමැති නම් සාමාන්‍ය කෙනෙකු ලෙස ඕනෑම කිරිදෙන මවකට පුළුවන් වෙනවා එන්නත ලබාගන්න. ඒ වගේම එන්නත ලබා ගැනීම මව්කිරි දීම වෙනස් කිරීමට හේතුවකුත් නෙමෙයි. මේ මව්කිරි දෙන සියලුම මව්වරුන් එන්නත් ලබාගැනීමට සුදුසුයි. ගර්භණී කාන්තාවන්ට කොවිඩ් මර්දන එන්නත් ලබාදීම සම්බන්ධයෙන් සෞඛ්‍ය අමාත්‍යාංශයේ අවධානය යොමුවී තිබෙනවා.”

    මෙහිදී අදහස් දැක්වූ ළමා රෝග විශේෂඥ වෛද්‍යවරුන්ගේ විද්‍යායතනයේ සභාපති මහාචාර්ය ශාමන් රජීන්ද්‍රජිත් මහතා පැවසුවේ කොවිඩ් ආසාදිත මවුවරුන් සෞඛ්‍යාරක්‍ෂිතව දරුවන්ට මවුකිරිදීමේ වරදක් නොවන බවත් මවුකිරි දෙන මවුවරුන්ට ද කොවිඩ් මර්දන එන්නත් ලබාගත හැකි බවත්ය.

  • පී.සී.ආර් පරීක්ෂණාගාර තවත් වැඩිකිරීමට කටයුතු කරනවා – පවිත්‍රා

    පී.සී.ආර් පරීක්ෂණාගාර තවත් වැඩිකිරීමට කටයුතු කරනවා – පවිත්‍රා

    කොවිඩ් 19 පාලනයකිරීමට ඉක්මනින් මලිදීගැනීමට අවශ්‍ය මුදල් සහනයක් ලෙස ලබාදීමට කැබිනට් මණ්ඩලය කටයුතු කළ බැවින් ඉක්මනින්ම මෙරට පී.සී.ආර්. පරීකෂණාගාර තවත් වැඩිකිරීමට කටයුතු කරන බව සෞඛ්‍ය අමාත්‍ය පවිත්‍රා වන්නිආරච්චි මහත්මිය අද ( 18 ) පාර්ලිමේන්තුවේ දී පැවසුවාය.

    එසේම වැඩිවන රෝගීන් තත්ත්වය හමුවේ දැනට පවතින පී.සී.ආර් පරීක්ෂණාගාරවල ධාරිතාව වැඩිකිරීමට දැනටමත් කටයුතු කර ඇති බවත් මේ වන විටත් එම පරීක්ෂණාගාර පැය 24ම කාර්යයේ යෙදෙන බවත් අමාත්‍යවරිය වැඩිදුරටත් පැවසීය.

    සෞඛ්‍ය අමාත්‍යවරිය මේ බව පැවසුවේ පාර්ලිමේන්තු මන්ත්‍රී ගරු ෂානක්කියන් රාජපුත්තිරන් රාසමාණික්කම්  මහතා පාර්ලිමේන්තුවේදී ඉදිරිපත් කළ ප්‍රශ්නයකට පිළිතුරු ලබාදෙමින්ය.

    විශේෂයෙන් නැගෙනහිර දිස්ත්‍රික්කයේ පී.සී.ආර්. පරීක්ෂණ සිදුකිරීම අවම මට්ටමක පවත්න බවත් මේ වෙනුවෙන් අවශ්‍ය කටයුතු කරන ලෙසත් පාර්ලිමේන්තු මන්ත්‍රීවරයා මෙහිදී අමාත්‍යවරියගෙන් ඉල්ලීමක් කළ අතර ඊට පිළිතුරුදෙමින් සෞඛ්‍ය අමාත්‍ය ගරු පවිත්‍රා වන්නිආරච්චි මහත්මිය මේ බව පැවසීය.

  • කොළඹ වරාය නගරය පනත් කෙටුම්පත සංශෝධන සහිතව පාර්ලිමේන්තුවට

    කොළඹ වරාය නගරය පනත් කෙටුම්පත සංශෝධන සහිතව පාර්ලිමේන්තුවට

    කොළඹ වරාය නගරය ආර්ථීක කොමිෂන් සභාව පනත් කෙටුම්පත සංශෝධන සහිතව පාර්ලිමේන්තුවට ඉදිරිපත් කිරීමට නාගරික සංවර්ධන හා නිවාස කටයුතු පිළිබඳ අමාත්‍යාංශයීය උපදේශක කාරක සභාව පාර්ලිමේන්තුවේදී අද (18) අනුමැතිය ලබා දුන්නේය.

    නාගරික සංවර්ධන හා නිවාස කටයුතු පිළිබඳ අමාත්‍යාංශයීය උපදේශක කාරක සභාව එහි සභාපති අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මහතාගේ ප්‍රධානත්වයෙන් රැස්විය.

    කොළඹ වරාය නගරය ආර්ථීක කොමිෂන් සභාව පනත් කෙටුම්පත සම්බන්ධයෙන් ශ්‍රේෂ්ඨාධිකරණය ලබා දුන් තීරණය ප්‍රකාරව කටයුතු කිරීම සුදුසු බව අග්‍රාමාත්‍යවරයා මෙහිදී කීවේය.

    මෙයට අමතරව ශ්‍රී ලංකා ඉඩම් සංවර්ධනය කිරීමේ සංස්ථා (සංශෝධන) පනත් කෙටුම්පත ද සංශෝධන සහිතව පාර්ලිමේන්තුවට ඉදිරිපත් කිරීමට කාරක සභාවේ අනුමැතිය හිමිවිය.

    මේ අවස්ථාවට ලොහාන් රත්වත්තේ , ඉන්දික අනුරුද්ධ යන රාජ්‍ය අමාත්‍යවරුද, ප්‍රමිත බණ්ඩාර තෙන්නකෝන්, ජයන්ත කැටගොඩ, සම්පත් අතුකෝරළ ,මිලාන් ජයතිලක, කරුණාදාස කොඩිතුවක්කු,ප්‍රේමනාත් සී.දොලවත්ත යන ගරු පාර්ලිමේන්තු මන්ත්‍රීවරුද  කෝකිලා ගුණවර්ධන පාර්ලිමේන්තු මන්ත්‍රීවරියද , රාජ්‍ය නිලධාරිහු පිරිසක් ද එක් වූහ.

  • කොළඹ වරාය නගර කොමිෂන් සභා පනත් කෙටුම්පතේ ‘ශ්‍රේෂ්ඨාධිකරණය දුන්’ සම්පූර්ණ තීන්දුව මෙන්න !

    කොළඹ වරාය නගර කොමිෂන් සභා පනත් කෙටුම්පතේ ‘ශ්‍රේෂ්ඨාධිකරණය දුන්’ සම්පූර්ණ තීන්දුව මෙන්න !

    කොළඹ වරාය නගර ආර්ථික කොමිෂන් සභා පනත් කෙටුම්පතේ පරිච්ඡේද 8ක් ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවට පටහැනි බැවින් ඒවා පාර්ලිමේන්තුවේ තුනෙන් දෙකක (3/2) බහුතර ඡන්දයකින් සහ ජනමත විචාරණයකින් සම්මත විය යුතු බව ශ්‍රේෂ්ඨාධිකරණය ශ්‍රේෂ්ඨාධිකරණය කථානායකවරයාට දැනුම්දී තිබේ.

    කථානායක මහින්ද යාපා අබේවර්ධන මහතා එම ශ්‍රේෂ්ඨාධිකරණ තීරණය අද (18) පාර්ලිමේන්තුවට ඉදිරිපත් කළේය.

    කථානායකවරයාට ලැබී තිබූ අදාළ තීන්දුවේ වැඩිදුරටත් සඳහන් කර ඇත්තේ, පනත් කෙටුම්පත කියවා බැලූ විට “එහි නියාමන ව්‍යුහය අපැහැදිලි බවත් එම කොමිෂන් සභාවට අත්තනෝමතික බලයක් ලැබෙන බවත්” එබැවින් ව්‍යවස්ථාවේ 12 (01) වගන්තිය හා අනනුකූල බවය. එම වගන්ති සංශෝධනය කිරීම කළ හැකි ආකාරය සම්බන්ධයෙන් ද ශ්‍රේෂ්ඨාධිකරණය සිය තීන්දුවේ සඳහන් කර තිබේ.

    ශ්‍රේෂ්ඨාධිකරණ තීරණයට අනුව කෙටුම්පතේ  3(6),  30(3),  55(2) සහ 58(1),  3(5), 3(7), 6(1) (ආ), 30(3) , 71(1) සහ 74 (අර්ථ නිරූපණය “නියාමන අධිකාරිය“) යන වගන්තිවල විධිවිධාන ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවට අනනුකූල බැවින් එය පාර්ලිමේන්තුවේ විශේෂ බහුතරයකින් සම්මත විය යුතුය.

    එමෙන්ම පනත කෙටුම්පතේ 30 (1), 33(1), 40(2), 71(2) (ඕ), 60(ඈ), 60(ඊ), 37, 12(1) සහ 14(1) (උ) වගන්ති ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවට අනනුකූල බැවින් එය ද පාර්ලිමේන්තුවේ විශේෂ බහුතරයිකින් සම්මත විය යුතු බව ශ්‍රේෂ්ඨාධිකරණ තීරණයේ සඳහන් වේ.

    කෙසේවෙතත්, ශ්‍රේෂ්ඨාධිකරණ තීරණයෙහි සඳහන් පරිදි එම වගන්ති සංශෝධනය කරන්නේ නම් එම අනනුකූලතාවයෙන් ඉවත්ව වේ.

    මේ අතර පනත් කෙටුම්පතේ වගන්ති 9ක් සඳහා පාර්ලිමේනතුවේ විශේෂ බහුතරයිකින් සහ ජනමත විචාරණයකින් සම්මත විය යුතු බව ශ්‍රේෂ්ඨාධිකරණය තීරණය කර තිබේ.

    ඒ අනුව පනත් කෙටුම්පතේ 3(4), 6(1) ද, 68(1) (ඊ) ,68(3)  (අ), 52(5), 71(2) (ජ), 52(3), 53(ආ) සහ 53(2) (ආ) යන වගන්ති ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවට අනනුකූල බැවින් එය පාර්ලිමේන්තුවේ විශේෂ බහුතරයකින්  සහ ජනමත විචාරණයකින් සම්මත විය යුතුය.

    කෙසේවෙතත්, ශ්‍රේෂ්ඨාධිකරණ තීරණයෙහි සඳහන් පරිදි එම වගන්ති සංශෝධනය කරන්නේ නම් එම අනනුකූලතාවයෙන් ඉවත්ව යයි.

    කොළඹ වරාය නගර ආර්ථික කොමිෂන් සභා පනත් කෙටුම්පතට එරෙහිව පෙත්සම් 15ක් ශ්‍රේෂ්ඨාධිකරණයට ඉදිරිපත් වී තිබු අතර පංච පුද්ගල විනිසුරු මඩුල්ලක් ඉදිරියේ එය සලකා බැලුවේය.

    ඒ අනුව අදාළ තීන්දුව ලබාදී ඇත්තේ අගවිනිසුරු ජයන්ත ජයසූරිය සහ ශ්‍රේෂ්ඨාධිකරණ විනිසුරුවන් වන බුවනෙක අළුවිහාරේ, ප්‍රියන්ත ජයවර්ධන, මුර්දු ප්‍රනාන්දු සහ ජනක් ද සිල්වා ය.

    අප්‍රේල් 19, 20, 21, 22, සහ 23 වන දින වල එම විනිසුරුවන් විසින් ශ්‍රේෂ්ඨාධිකරණයට ඉදිරිපත් කරතිබූ පෙත්සම් සහ අතරමැදි පෙත්සම් සලකා බැලීය.

    කොළඹ වරාය නගර ආර්ථික කොමිෂන් සභා පනත් කෙටුම්පත සම්බන්ධයෙන් ශ්‍රේෂ්ඨාධිකරණයේ තීන්දුව මෙම දිගු ඔස්සේ ඔබට පරිශීලනය කළ හැකිය.https://www.scribd.com/embeds/508293531/content

  • කොළඹ වරාය නගර පනත් කෙටුම්පතේ වගන්ති ව්‍යවස්ථාවට පටහැනියි – ජනමත විචාරණයක් ද ඉල්ලයි

    කොළඹ වරාය නගර පනත් කෙටුම්පතේ වගන්ති ව්‍යවස්ථාවට පටහැනියි – ජනමත විචාරණයක් ද ඉල්ලයි

    කොළඹ වරාය නගර ආර්ථික කොමිෂන් සභා පනත් කෙටුම්පතේ ඇතුළත් වගන්ති 74කින් වගන්ති 26ක් ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව සමග ගැටෙන බව ශ්‍රේෂ්ඨාධිකරණය තීරණය කර ඇති අතර ශ්‍රේෂ්ඨාධිකරණයේ තීරණය ප්‍රධාන වගන්ති 08ක් යටතේ සාරාංශ කරමින් දක්වා තිබෙනවා.

    එම වගන්ති අටෙන් පහක් සම්මත කර ගැනීමට ප්‍රාර්ලිමේන්තුවේ 2/3ක බහුතර බලයද ඉතිරි වගන්ති තුන සම්මත කර ගැනීම සඳහා 2/3 බහුතරයට අමතරව ජනමත විචාරණයකින් මහජනතාවගේ අනුමැතිය ලබා ගතයුතු බවද ශ්‍රේෂ්ඨාධිකරණය දන්වා තිබෙනවා.

    මෙම පනත් කෙටුම්පත ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවට පටහැනි බව දක්වමින් ජනතා විමුක්ති පෙරමුණ ඇතුළු පාර්ශව ගණනාවක් ශ්‍රේෂ්ඨාධිකරණයට ඉදිරිපත් කරන ලද පෙත්සම් පංච පුද්ගල විනිසුරු මඩුල්ලක් විසින් සලකා බැලීමෙන් අනතුරුව මෙම තීන්දුව ලබා දී තිබෙනවා.

    මෙම පෙත්සම අගවිනිසුරු ජයන්ත ජයසූරිය සහ ශ්‍රේෂ්ඨාධිකරණ විනිසුරුවන් වන බුවනෙක අළුවිහාරේ, ප්‍රියන්ත ජයවර්ධන, මුර්දු ප්‍රනාන්දු සහ ජනක් ද සිල්වා ඉදිරියේ විභාග වුණා.

  • විශේෂ රජයේ නිවාඩු දින 02ක් ප්‍රකාශයට පත් කෙරේ

    විශේෂ රජයේ නිවාඩු දින 02ක් ප්‍රකාශයට පත් කෙරේ

    මැයි 24 සඳුදා සහ 25 අඟහරුවාදා දෙදින රජයේ විශේෂ නිවාඩු දින ලෙස ප්‍රකාශයට පත්කිරීමට රාජ්‍ය සේවා, පළාත් සභා හා පළාත් පාලන අමාත්‍යාංශය තීරණය කර තිබෙනවා.

  • රාජ්‍ය සේවකයින් කලකින් සුභ ආරංචියක්

    රාජ්‍ය සේවකයින් කලකින් සුභ ආරංචියක්

    රට තුළ පවතින වසංගත තත්ත්වය හේතුවෙන් රාජ්‍ය සේවකයන්ගේ මැයි මස වැටුප මැයි 21 වනදා ලබාදීමට තීරණය කර තිබෙන බව මුදල් අමාත්‍යාංශය දැනුම් දෙනවා.

  • කොළඹ වරාය නගර  පනත් කෙටුම්පතේ වගන්ති කිහිපයක් ව්‍යවස්ථාවට පටහැනියි – ශ්‍රේෂ්ඨාධිකරණය

    කොළඹ වරාය නගර පනත් කෙටුම්පතේ වගන්ති කිහිපයක් ව්‍යවස්ථාවට පටහැනියි – ශ්‍රේෂ්ඨාධිකරණය

    කොළඹ වරාය නගර ආර්ථික කොමිසන් සභා පනත් කෙටුම්පතේ වගන්ති කිහිපයක් ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවට පටහැනි බවට ශ්‍රේෂ්ඨාධිකරණය තීරණය කර තිබේ. ඒ අනුව එම පනත් කෙටුම්පත සම්මත කිරීමට නම් විශේෂ බහුතරයකින් සහ ජනමත විචාරණයකින් එය කළ යුතු බව ශ්‍රේෂ්ඨාධිකරණය කථානායකවරයාට දැනුම්දී තිබේ. 

    එම වගන්ති සංශෝධනය කිරීම කළ හැකි ආකාරය සම්බන්ධයෙන් ද ශ්‍රේෂ්ඨාධිකරණය සිය තීන්දුවේ සඳහන් කර තිබේ. කොළඹ වරාය නගර ආර්ථික කොමිෂන් සභා පනත් කෙටුම්පත සම්බන්ධයෙන් ශ්‍රේෂ්ඨාධිකරණයේ තීන්දුව පිටු 62ක් සමන්විතය. එම තීන්දුව ලබාදී ඇත්තේ අගවිනිසුරු ජයන්ත ජයසූරිය සහ ශ්‍රේෂ්ඨාධිකරණ විනිසුරුවන් වන බුවනෙක අළුවිහාරේ, ප්‍රියන්ත ජයවර්ධන, මුර්දු ප්‍රනාන්දු සහ ජනක් ද සිල්වා ය.

  • චීන තානාපති කාර්යාලයේ වෙබ් අඩව්වියට සයිබර් ප්‍රහාරයක් – අවදානම තවදුරටත්

    චීන තානාපති කාර්යාලයේ වෙබ් අඩව්වියට සයිබර් ප්‍රහාරයක් – අවදානම තවදුරටත්

    චීන තානාපති කාර්යාලයේ වෙබ් අඩව්විය සමග ශ්‍රී ලංකාවේ වෙබ් අඩවි කිහිපයක් අද උදෑසන (18) සයිබර් ප්‍රහාරයකට මුහුණ දී ඇත. අද උදෑසන සිදුවී ඇති සයිබර් ප්‍රහාර මාලාව Website defacement නමින් හදුන්වනු ලබේ. මෙම සයිබර් ප්‍රහාරය 2014 වසරේ සිට ශ්‍රී ලාංකික වෙබ් අඩවි ඉලක්ක කොටගෙන සිදුවන සයිබර් ප්‍රහාරයක් වේ. මෙම සයිබර් ප්‍රහාර මාලාව සම්බන්ධයෙන් අප ශ්‍රී ලංකා තොරතුරු තාක්ෂණ සංගමය මීට දින කිහිපයකට ප්‍රථම අනතුරු ඇගවීමක් සිදුකරන ලදී.

    පසුගිය වසර දෙකේදී මෙලෙසම සයිබර් ප්‍රහාරයට ගොදුරු වූ චීන තානාපති කාර්යාලයේ වෙබ් අඩවිය මෙවරත් සයිබර් ප්‍රහාරයකට ලක්වීම ශ්‍රී ලංකා රජය සයිබර් ආරක්ෂාව සම්බන්ධයෙන් කටයුතු කරනා ආකාරය විදහා දැක්වෙන බව අප ශ්‍රී ලංකා තොරතුරු තාක්ෂණ සංගමය පෙන්වා දෙන අතර ඒ සම්බන්ධයෙන් අප දැඩි කනගාටුවට පත්වෙමු.

    මෙම සයිබර් ප්‍රහාරය සිදුකල Tamil Eelam Cyber Force – TECF නම් කණ්ඩායම විසින් ඉදිරි දින කිහිපයේදීත් සයිබර් ප්‍රහාර එල්ල කිරීමේ හැකියාවක් පවතින බව අප ශ්‍රී ලංකා තොරතුරු තාක්ෂණ සංගමය පෙන්වා දෙමු.

  • ගැබිනි කාන්තාවන්ට කොවිඩ් එන්නත් ලබා දෙනවාද ? නැද්ද ? තීන්දුව කඩිනමින්

    ගැබිනි කාන්තාවන්ට කොවිඩ් එන්නත් ලබා දෙනවාද ? නැද්ද ? තීන්දුව කඩිනමින්

    “ගර්භණී මව්වරුන්ට එන්නත ලබාදීම සම්බන්ධයෙන් තියෙන වාසි සහ අවාසි ගැන සලකා බැලූ විට වැඩිපුර දැකිය හැකි වන්නේ වාසි බවත් ඒ අනුව වඩාත්ම සුදුසු වෙන්නෙ ශ්‍රී ලංකාවේ ගර්භණී මව්වරුන්ට එන්නත ලබාදීම,” යැයි ප්‍රසව හා නාරිවේද වෛද්‍යවරුන්ගේ විද්‍යායතනයේ ලේකම් විශේෂඥ වෛද්‍ය චාමින්ද මාතොට මහතා සඳහන් කරයි.

    අද (17) පැවති මාධ්‍ය හමුවකට එක්වෙමින් විශේෂඥ වෛද්‍ය චාමින්ද මාතොට මහතා සඳහන් කළේය.

    මෙහිදී වැඩි දුරටත් කරුණු පැහැදිලි කළ විශේෂඥ වෛද්‍ය චාමින්ද මාතොට මහතා, ‘‘කොවිඩ් – 19 වෛරසය ආසාදනයවීම හේතුවෙන් මේ වනවිට මෙරට තුළ ගර්භණී කාන්තාවන් පස් දෙනෙකු මරණයට පත්ව තිබෙනවා. ඉදිරියේදී මෙය තවදුරටත් ඉහළ යා හැකි බවයි අපි විශ්වාස කරන්නේ. ගර්භණී මව්වරුන්ට එන්නත ලබාදීම සම්බන්ධයෙන් තියෙන වාසි සහ අවාසි ගැන සලකා බැලුවාම අපිට වැඩිපුරම වාසි තමයි දකින්න තියෙන්නේ. ඒ අනුව වඩාත්ම සුදුසු වෙන්නෙ ශ්‍රී ලංකාවේ ගර්භණී මව්වරුන්ට එන්නත ලබාදීම‘‘

    මෙම මාධ්‍ය සාකච්ඡාවට එක්ව සිටි ප්‍රසව හා නාරිවේද වෛද්‍යවරුන්ගේ විද්‍යායතනයේ සභාපති විශේෂඥ වෛද්‍ය ප්‍රදීප් ද සිල්වා මහතා කියා සිටියේ ගර්භණී කාන්තාවන් සඳහා එන්නත් ලබාදීම පිළිබඳ අවසන් සාකච්ඡාව අද (17) දිනයේ පැවැත්වීමට කටයුතු සූදානම් කර තිබෙන බවයි.

    “ගර්භනී මවුවරුන්ට එන්නත් කිරීමට සුදුසු බවට ලෝක සෞඛ්‍ය සංවිධානය විසින් වෛද්‍යවරුන්ගේ අනුදැනුම් ඇතුව ගර්භණී මව්වරුන්ට භාවිත කිරීමට සයිනොෆාම් එන්නත නිර්දේශ කරලා තියෙනවා. බහුතරයක් රටවල්වල ඒ ඒ රටවල භාවිත කරන එන්නත් ගැබිනි කාන්තාවන්ට නිදහසේ ලබා දෙනවා. ගර්භණී කාන්තාවන් සඳහා එන්නත් ලබාදීම පිළිබඳ අද සාකච්ඡාවකුත් තියෙනවා. අපේ විද්‍යායතනයත් ගැඹුරින් කියනවා නම් මේක විය යුතුයි කියලා සාකච්ඡාවෙන් පසු සුභදායක පණිවුඩයක් අපිට ලැබෙයි‘‘ විශේෂ වෛද්‍ය ප්‍රදීප් සිල්වා මහතා කියා සිටියේය.