Blog

  • ‘අසාත්මික (ඇලර්ජි ) සහ කොරෝනා එන්නත්කරණය’ ගැන ඔබ මේ කරුණු දැන සිටියාද ?

    ‘අසාත්මික (ඇලර්ජි ) සහ කොරෝනා එන්නත්කරණය’ ගැන ඔබ මේ කරුණු දැන සිටියාද ?

    තමන්ට අසාත්මික (ඇලර්ජි ) තත්වයක් ඇත්නම් කොරෝන එන්නත ලබා ගත හැකිද යන්න අද බොහෝ දෙනා හට ප්‍රශ්නයක්ව පවතී. මෙම ප්‍රශ්නය නිසා කොරෝනා එන්නත ලබා නොගැනීමට ඇතැමුන් පෙළඹී තිබේ. ඔබට ඇති යැයි ඔබ සිතන අසාත්මික(ඇලර්ජි ) තත්වය නිසා කොරෝනා එන්නත ලබා ගත නොහැකිද යන්න පැහැදිළි මෙම කෙටි ලිපියේ අරමුණයි.

    මෙයට පෙර ඔබට තිබුණු අසාත්මික(ඇලර්ජි) තත්වය යම් ආහාරයක්, එන්නතක් ,ඖෂධයක්, කෘමියෙක්, සතෙකු හෝ පරිසරයේ දුහුවිලි නිසා ඇතිවුවක් විය හැක. එය සුළු අසාත්මික(ඇලර්ජි) තත්වයක් නම් ඔබට කොරෝනා එන්නත ලබා ගත හැක. මෙහිදී සුළු අසාත්මික තත්වයන් ගණයට අයිති වන්නේ පහත සඳහන් රෝග ලක්ෂණයි.

    • කිසිදු ඖෂධයකින් තොරව නැතිවී ගිය සමෙහි සුළු පලු නැගීමක් හෝ කැසීමක්
    • ඇස් කැසීමක් හෝ රතුවීමක්
    • කට කැසීමක්, බඩ රිදුමක් හෝ පාචනයක්
    • නාසයෙන් දියර ගැලීමක් හෝ කිවිසුම් යාමක්
    • සුළු වියලි කැස්සක්
    • උණක් හෝ ඇඟ රිදුමක්

    මෙයට පෙර ඔබට තිබුණු අසාත්මික(ඇලර්ජි) රෝග ලක්ෂණය මෙවැන්නක් නම් ඔබට කිසිදු සැකයකින් තොරව එන්නත ලබාගත හැක. ඔබේ පවුලේ අයෙකුට යම් අසාත්මිකතාවයක් ඇතිවීම එන්නත ලබාගැනීමට කිසිදු බාධාවක් නොවේ.

    එනමුත් ඔබට මෙයට පෙර යම් ආහාරයක්, එන්නතක් ,ඖෂධයක්, කෘමියෙක්, සතෙකු හෝ පරිසරයේ දුහුවිලි නිසා ඇතිවූ අසාත්මික(ඇලර්ජි) රෝග ලක්ෂණය බරපතල නම්, ඔබ ඒ බව එන්නත්කරණ මධ්‍යස්ථානයට දැනුම් දිය යුතුය. මෙහිදී බරපතල අසාත්මික තත්වයන් ගණයට අයිති වන්නේ පහත සඳහන් රෝග ලක්ෂණයි.

    1. රුධිර පීඩනය අඩුවී අනෆිලකසිස් නම් රෝග තත්වය ඇතිවීම
    2. හුස්ම ගැනීමේ අපහසුතාවය
    3. මුළු ශරීරයම ඉදිමීම
    4. උගුර, මුඛය ඉදිමී ආහාර සහ හුස්ම ගැනීමේ අපහසුතාවය ඇතිවීම
    5. සිහි මුර්චා වීමක්

    මෙවන් රෝග ලක්ෂණයක් මින් පෙර ඔබට ඇතිවී නම් ඔබට එන්නත ලබා දියයුතුද , නැද්ද යන්න ඔබ ඒ බව එන්නත්කරණ මධ්‍යස්ථානයට දැනුම් දුන් පසු, එන්නත්කරන මධ්‍යස්ථානය භාර වෛද්‍යවරයා විසින් තීරණය කරනු ඇත. ඇතැම් විට ඔහු ඔබ වැඩිදුර විමසීම සඳහා විශේෂඥ වෛද්‍යවරයෙකුට යොමු කරනු ඇත.

    අසාත්මිකතාවයන් පිලිබඳ විශේෂඥ වෛද්‍ය අජිත් අමරසිංහ
    MBBS, DCH, MD (Sri Lanka),
    MRCP, MRCPCH(U.K),
    P.G Dip in Asthma & Allergy (CMC-Vellore),
    MBA-Health Care (Manipal)

  • Covid-19 කොවිඩ් ආසාදිත මරණ 24ක් සහ නව ආසාදිතයින් 2246ක්

    Covid-19 කොවිඩ් ආසාදිත මරණ 24ක් සහ නව ආසාදිතයින් 2246ක්

    අද (13) දින කොවිඩ්-19 ආසාදිතයින් 2249 මරණ 24ක් වාර්තා වූ බව රජයේ ප්‍රවෘත්ති දෙපාර්තමේන්තුව විසින් නිකුත් කළ නිල නිවේදනක සදහන් වේ. මරණකරුවන් පිළිබද සම්පූර්ණ නිවේදනය පහත දක්වේ.

    COVID-DEATH-MAY-13

  • එන්නත්කරණය ගැන ‘රාජ්‍ය ඇමතිනි සුදර්ශනී හා යුද්ධ හමුදාපති’ කළ සුපිරි හෙළිදරව්

    එන්නත්කරණය ගැන ‘රාජ්‍ය ඇමතිනි සුදර්ශනී හා යුද්ධ හමුදාපති’ කළ සුපිරි හෙළිදරව්

    වයස අවුරුදු 60 වැඩි පුද්ගලයින් සඳහා චීන සයිනොෆාම් කොවිඩ් මර්දන එන්නත ලබාදීම සඳහා කොවිඩ් මර්දන කාර්යය සාධක බලකාය තීරණය කළ බව රාජ්‍ය අමාත්‍ය සුදර්ශනී ප්‍රනාන්දුපුල්ලේ මහත්මිය පවසන අතර  එන්නත නොලැබේවි යැයි බියක් ඇතිකර නොගත යුතු බව යුද්ධ හමුදාපතිවරයා කියනවා.

    අද (13) එන්නත්කරණය ගැන මාධ්‍ය හමුවේ අදහස් දක්වමින් ඔවුන් මේ බව පවසා සිටියා.

    රාජ්‍ය අමාත්‍යවරි කියා සිටියේ ඇස්ට්‍රා සෙනෙකා එන්නතේ දෙවැනි මාත්‍රාව ලබාදීම සඳහා මාත්‍රා 600,000ක පමණ හිඟයක් ඇති නමුත්  එම අවශ්‍ය එන්නත් ප්‍රමාණය ලබාදීමට රටවල් කිහිපයක් එකඟතාව පළකර ඇති බවයි.

    නව තීරණය සම්බන්ධයෙන් මාධ්‍ය හමුවේ අදහස් දක්වමින් රාජ්‍ය ඇමතිවරිය මෙසේ ද කීවාය. “හැමෝම තමන්ගේ ජීවිතේට අදරෙයිනේ. ඉතින් කොහොමහරි බලන්නේ පොරකාලා හරි එන්නත ලබාගන්න. නමුත් දැනට අපි සතුව ඇති එන්නත් ප්‍රමාණය සීමිතයි. දැනට සයිනොෆාම් එන්නත දෙන්නේ අවුරුදු 30-60 අතර අය‍ට. අපි අද තීරණය කළා 60ට වැඩි කිසිදු සංකූලතාවයක් නැති වැඩිහිටියන්ටත් සයිනොෆාම් එන්නත ලබාදෙන්න. එහි දෙවැනි මාත්‍රාව සති හතරෙන් ලබාදිය යුතුයි. ඒ සදහා අවශ්‍ය සයිනොෆාම් එන්නත් තොග ඉදිරියේදී මෙරටට ලැබීමට නියමිතයි‘‘

    මේ අතර එන්නත්කරණය ගැන විශේෂ ප්‍රකාශයක් කරමින් යුද්ධ හමුදාපතිවරයා කියා සිටියේ එන්නත නොලැබේවි යැයි බිය නොවිය යුතු බවයි.

    මේ සම්බන්ධයෙන් වැඩි දුරටත් කරුණු පැහැදිලි කළ යුද්ධ හමුදාපතිවරයා, ‘‘කොවිඩ් එන්නත නොලැබේවි යැයි කිසිවකු බිය විය නැහැ. එන්නත්කරණය සදහා අවශ්‍ය කෙරෙන එන්නත් තොග විදේශයෙන් මිලදී ගැනීමට කටයුතු කරගෙන යනවා. ඇස්ට්‍රාසෙනිකා දෙවෙනි මාත්‍රාව ලබා දීම සඳහා එන්නත්  සොයා ගැනීමට ලලිත් වීරතුංග මහතාගේ ප්‍රධානත්වයෙන් යුතු කමිටුව  රටවල් කිහිපයක් සමග  සාකච්ඡා කරගෙන යනවා. එම එන්නත බොහෝ දුරට වෙනත් රටකින් ගෙන්වා ගැනීමට හැකියාව තිබෙනවා.

    මේ අතර රුසියාවේ නිෂ්පාදිත ස්පුට්නික් එන්නත් මාත්‍රා එක් කෝටි තිස් ලක්ෂයක් රුසියාවෙන් ලබාගැනීමට  රජය කටයුතු කරගෙන යනවා. ඉන් මාත්‍රා ලක්ෂ නමයක් ඉදිරි දින කිහිපයේදී මෙරටට ලැබීමට නියමිතව තිබෙනවා. මේ එන්නත ගබඩා කළ යුත්තේ සෙල්සියස් අංශක රින 20ක් වැනි ඉතාම පහළ උෂ්ණත්වයක. එය පැය දෙකකට වඩා එළිමහනේ තබා ගන්න නොහැකියි. මෙම එන්නතෙන් 15,000ක් මේ වන විට අපට ලැබී තිබෙනවා. ඒවා එන්නත් කර අවශ්‍ය වාර්තා අපි රුසියාවට ලබා දුන්නා.

    එමෙන්ම ෆයිසර් එන්නත් මාත්‍රා ලක්ෂ නමයක් ලබන ජුනි මස අග  හෝ ජුලි මස මුල මෙරටට ලැබෙනු ඇතැයි අපි විශ්වාසය කරනවා. ෆයිසර් එන්නතේ ඇති විශේෂත්වය තමයි එය ලබා දිය යුත්තේ එක මාත්‍රාවයි. ඒ අනුව එන්නත්කරණ ප්‍රමාණ සැලකිල්ලට ගෙන එය ගෙන්වා ගැනීමට පියවර ගන්නවා‘‘

  • ‘ඌරු ජුවා සහ කොස්ගොඩ තාරක ඝාතනය’ නීති විරෝධී බව ශ්‍රී ලංකා නීතිඥ සංගමය පොලිස්පතිට කියයි

    ‘ඌරු ජුවා සහ කොස්ගොඩ තාරක ඝාතනය’ නීති විරෝධී බව ශ්‍රී ලංකා නීතිඥ සංගමය පොලිස්පතිට කියයි

    කොවිඩ්-19 වසංගත රැල්ල සහ සංචරණ සීමා පිළිබද ජනතාව දැඩි අවධානයක් යොමු කර සිටියදී සිදු වූ ‘කොස්ගොඩ තාරක‘ සහ ‘ඌරුජුවා‘ නම් පාතල කල්ලි සාමාජිකයින් දෙදෙනාගේ ඝාතන දෙක ශ්‍රී ලංකා නීතිඥ සංගමයේ විධායක කමිටුව දැඩිව හෙළාදැක තිබෙනවා.

    ‘ශ්‍රී ලංකා නීතිඥ සංගමයේ විධායක කමිටුව විසින් පොලිසියේ අත්අඩංගුවේදී සැකකරුවන් ඝාතනය කිරීම පිළිබදව නිකුත් කරන නිවේදනය‘ යනුවෙන් ශ්‍රී ලංකා නීතිඥ සංගමය විසින් අද (13) දින මෙම නිවේදනය නිකුත් කර තිබෙනවා.

    මෙම නිවේදනය මගින් ශ්‍රී ලංකා නීතිඥ සංගමය කියන්නේ, ‘මෑතදී පොලිස් අත්අඩංගුවේ සිටි සැකකරුවන් දෙදෙනකු වන මෙලාන් මබුලා නොහොත් ‘ඌරු ජුවා‘‘ සහ තාරක පෙරේරා විජේසේකර නොහොත් ‘කොස්ගොඩ තාරක‘ ආසන්න දින දෙකක් තුළදී ඝාතන කිරීම ශ්‍රී ලංකා නීතිඥ සංගමයේ විධායක කමිටුව දැඩි ලෙස හෙළාදකී. මෙම මරණවලට අධිකරණමය නොවන ඝාතනවල සියලු ලක්ෂණ ඇති අතර සිය භාරයේ සිටින පුද්ගලයින්ගේ ආරක්ෂාව තහවුරු කරන ලෙස අපි රජයෙන් ඉල්ලා සිටිමු‘‘ යනුවෙනි.

    පුද්ගලයන්ගේ ස්වභාවය සහ ඒ ඒ පුද්ගලයින්ට එරෙහි චෝදනාවල ස්වභාවය නොසලකා තමන් භාරයේ සිටින පුද්ගලයින්ගේ ආරක්ෂාව සහතික කිරීමට පොලීසියට මෙන්ම රජයට ද අත්හළ නොහැකි වගකීමක් පැවරී ඇති බවද නීතීඥ සංගමය සිය නිවේදනය මගින් පෙන්වා දෙයි.

    අත්අඩංගුවේ සිටින නිරායුධ සැකකරුවන් ආරක්ෂා කිරීමට ශ්‍රී ලංකා පොලීසිය අවස්ථා ගණනාවකදී අපොහොසත් වී ඇති බවත් එම සිදුවීම පිළිබඳව බැරූරුම් ලෙස අවධානය යොමු කර එවැනි සිදුවීම් වළක්වාගැනීමට පියවර ගන්නා ලෙස ජනාධිපතිවරයාගෙන් සහ රජයෙන් ඉල්ලා සිටින බවත්  ශ්‍රී ලංකා නීතීඥ සංගමය සිය මාධ්‍ය නිවේදනයේ වැඩිදුරටත් සඳහන් කරයි.

    මෙම තත්වය පිළිබඳව පොලිස්පතිවරයා, අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ අධ්‍යක්ෂකවරයා සහ ශ්‍රී ලංකා මානව හිමිකම් කොමිෂන් සභාව යන ආයතනද එම ඝාතනයට පෙර දැනුවත් කර තිබූ බව ද නීතිඥ සංගමයේ නිවේදනයෙන් වැඩි දුරටත් සදහන් කර තිබේ.

  • ගම්මන්පිලගේ ප්‍රකාශයට සුදර්ශනීගෙන් ප්‍රතිචාර – කොවිඩ් එන්නත් කොක්ටේල් කරන්න බෑ

    ගම්මන්පිලගේ ප්‍රකාශයට සුදර්ශනීගෙන් ප්‍රතිචාර – කොවිඩ් එන්නත් කොක්ටේල් කරන්න බෑ

    එන්නත් මිශ්‍රකර භාවිතා කිරීම ගැටලුවක් නොවන බව“ ට ‘පසුගිය 11 වැනි දා පැවති කැබිනට් මාධ්‍ය හමුවේ දී සම කැබිනට් මාධ්‍ය ප්‍රකාශක උදය ගම්මන්පිල මහතා කළ ප්‍රකාශ සාවද්‍ය මෙන්ම සැලකිය යුතු ලෙස අනතුරුදායක බව මේ වන විට ලෝක සෞඛ්‍ය සංවිධානය, මෙන්ම ඔක්ස්ෆර්ඩ් එන්නත සමූහයේ (Oxford Vaccine Group) මහාචාර්ය මැතිව් ස්නේප් විසින් ද සනාථ කර තිබෙනවා.

    අද (13) පළ වූ බී.බී.සී වාර්තාවක සදහන් වුණේ ඇස්ට්‍රාසෙනෙකා සහ ෆයිසර් කොවිඩ් එන්නත් මාත්‍රාව මිශ්‍ර කිරීමෙන් පසු වැඩිහිටියන්ට මෘදු හා මධ්‍යස්ථ අතුරු ආබාධ (mild and moderate side-effects) වාර්තා කිරීමට වැඩි ඉඩක් ඇති බව අධ්‍යයනයකින් හෙළි වී තිබෙන බවයි.

    මේ අතර රාජ්‍ය ඇමතිනි, විශේෂඥ වෛද්‍ය සුදර්ශනී ප්‍රනාන්දුපුල්ලේ මහත්මිය විසින් ද ගම්මන්පිල මහතාගේ ප්‍රකාශය ප්‍රතික්ෂේප කරන ප්‍රකාශයක් කර තිබෙනවා. ඇය අවධාරණාත්මකව කියා සිටියේ ‘‘කොවිඩ් එන්නත් මාත්‍රා විවිධ වර්ගයේ එන්නත්වලින් ලබාදීම සඳහා ලෝක සෞඛ්‍ය සංවිධානය අනුමත කර නැති බවත්, එන්නත් සම්බන්ධ ශ්‍රී ලංකාවේ තාක්ෂණික කමිටුව විසින් ද ප්‍රකාශ කර ඇත්තේ මුල් මාත්‍රාව ලබාගත් එන්නත් වර්ගයෙන්ම දෙවන මාත්‍රාව ද ලබා ගන්නා ලෙස බවත් රාජ්‍ය ඇමතිවරිය සදහන් කළා.

    සීෂෙල් පුවත වාර්තා කළ ආකාරයත් සාවද්‍යයි

    මේ අතර සීෂෙල් රාජ්‍ය සේ කොවිඩ් එන්නත ලබාගත් පුද්ගලයින් 3/1ක කොවිඩ් ආසාදනය වීම පිළිබද පුවතට ලංකාවේ ජනමාධ්‍ය ලබා දෙන ‘විකෘති / සාවද්‍ය ප්‍රචාරය ගැන ද සෞඛ්‍ය අංශවල අවධානය යොමුව තිබෙනවා. ඔවුන් කියන්නේ එන්නත්කරණය දීපව්‍යාප්තව සිදුවන මේ අවස්ථාවේ මෙවැනි නොමග යවනසුළු ප්‍රවෘත්ති, විශේෂයෙන්ම ශීර්ෂපාඨ පළ කිරීම වගකිව යුතු මාධ්‍යවලට තරම් නොවන බවයි.

    ‘මේ පුවත විශාල වශයෙන් කියවන හා හුවමාරු වන බවක් අපට පෙනී ගියා. ප්‍රකට ජාතික වෙබ්අඩවියක මේ ප්‍රවෘත්තියට ලබා දී තිබූ ශීර්ෂපාඨය වුණේ ‘එන්නත් දෙකම ගත්තු වැඩි දෙනකුට කොරෝනා“ යන්නයි. එය අති විශාල පිරිසක් කියවා තිබුණා. ඒත් මෙහි අන්තර්ගතයේ සදහන් වන්නේ, ‘සීෂෙල්ස් දූපත් රාජ්‍යයේ, කොරෝනා ප්‍රතිශක්තිකරණ එන්නතේ මාත්‍රා දෙකම ලබාගත් අයගෙන් තුනෙන් එකකට, ‘කොවිඩ් 19’ හෙවත් නව කොරෝනා වයිරසය ආසාදනය වී ඇති බවත්, ලෝක සෞඛ්‍ය සංවිධානය ද ඒ ගැන කනස්සල්ලෙන් පසුවන බවත් විදෙස් මාධ්‍ය වාර්තා සඳහන් කරයි‘ කියලයි

    ඒ කියන්නේ 3/1ක් කිසිසේත්ම ‘වැඩි දෙනෙක් “ වෙන්න බැහැනේ. මෙයින් අදහස් වෙන්නේ ‘බහුතරයක් / විශාල පිරිසක්‘ කියන සාමාන්‍ය අදහසයි. මිනිස්සු ප්‍රවෘත්තියක් කියවන්නේ ශීර්ෂපාඨය දිහා බලලා. ඉතිං ආකර්ෂණීය ශීර්ෂපාඨයක් ඇති ප්‍රවෘත්තියක් කවුරුත් කියවනවා. මේ වාගේ ප්‍රවෘත්ති හරහා පැහැදිලිව එන්නත්කරණ වැඩසටහනට බාධා හා අවහිරතා ඇති වෙනවා. ඒ ගැන දෙගිඩියාවක් ඇති අයට මේ ප්‍රවෘත්ති අනුබලයක් වෙනවා. අපි කියන්නේ කොවිඩ් වාර්තාකරණයේදී සංවේදී වීමට වඩා වගකීම, වගවීම කියන පැත්ත ගැන බලන්න කියලයි“ මේ ගැන අප සමග අදහස් දැක්වූ විශේෂඥ වෛද්‍යවරයෙක් අවධාරණය කළා.

  • ‘කෝවිඩ් එන්නත් මිශ්‍ර කිරීමෙන්’ වැඩිහිටියන් අතර මෘදු හා මධ්‍යස්ථ අතුරු ආබාධ

    ‘කෝවිඩ් එන්නත් මිශ්‍ර කිරීමෙන්’ වැඩිහිටියන් අතර මෘදු හා මධ්‍යස්ථ අතුරු ආබාධ

    ඇස්ට්‍රාසෙනෙකා සහ ෆයිසර් කොවිඩ් එන්නත් මාත්‍රාව මිශ්‍ර කිරීමෙන් පසු වැඩිහිටියන්ට මෘදු හා මධ්‍යස්ථ අතුරු ආබාධ (mild and moderate side-effects) වාර්තා කිරීමට වැඩි ඉඩක් ඇති බව අධ්‍යයනයකින් හෙළි වී තිබේ.

    විවිධ එන්නත් මාත්‍රාවන් සංයෝජනය කළ විට සෙම්ප්‍රතිශ්‍යාව, හිසරදය සහ මාංශ පේශි වේදනාව නිතර වාර්තා විය. වෙනත් අහිතකර ප්‍රතික්‍රියා කෙටි කාලීනව පැවතුණි.

    ඔක්ස්ෆර්ඩ් එන්නත සමූහයේ (Oxford Vaccine Group) මහාචාර්ය මැතිව් ස්නේප් (Prof Matthew Snape) පැවසුවේ “එය ඇත්තෙන්ම කුතුහලය දනවන සොයා ගැනීමක් මිස අප බලාපොරොත්තු වූ දෙයක් නොවේ.

    දෙවන මාත්‍රාව සඳහා වෙනස් එන්නතක් ලබාදීමෙන් දිගු කල් පවතින ප්‍රතිශක්තියක් ලබා දෙයිද, නව ප්‍රභේදයන්ට වඩා හොඳ ආරක්ෂාවක් ලබා දිය හැකිද යන්න හෝ සැපයුම් වලට බාධා ඇති වුවහොත් සායනවලට එන්නත් ලබා ගැනීමට ඉඩ දිය හැකිද යන්න සොයා බැලීමට කොම්-කෝව් අධ්‍යයනය පෙබරවාරි මාසයේදී දියත් කරන ලදී.

    කැනේඩියානු ඔන්ටාරියෝ සහ ක්විබෙක් පළාත් දෙකම නුදුරු අනාගතයේ දී එන්නත් මිශ්‍ර කිරීමට සැලසුම් කර ඇති බව පවසා තිබේ.

    ඔක්ස්ෆර්ඩ් විශ්ව විද්‍යාලය විසින් මෙහෙයවනු ලබන මෙම අධ්‍යයනයෙන් වයස අවුරුදු 50 ට වැඩි ස්වේච්ඡා සේවකයන් 830 ක් බඳවාගෙන තිබේ. එහි පළමු සම්පූර්ණ ප්‍රතිඵල ජුනි මාසයේදී ප්‍රකාශයට පත් කිරීමට අපේක්ෂා කෙරේ. නමුත් මූලික දත්ත දැන් වෛද්‍ය සඟරාව වන ලැන්සෙට් හි පර්යේෂණ ලිපියකින් ප්‍රකාශයට පත් කර ඇත.

    ස්වේච්ඡා සේවකයන් 10 දෙනෙකුගෙන් එක් අයෙකු සති හතරක කාලයක් තුළ ඇස්ට්‍රාසෙනෙකා එන්නත් දෙකක් ලබා දුන් බව වාර්තා විය – නමුත් ඔවුන්ට එක් ඇස්ට්‍රාසෙනෙකා එන්නත් එකක් සහ ෆයිසර් එකක් ලැබුනේ නම්, ඕනෑම අනුපිළිවෙලකට එම අනුපාතය 34% ක් දක්වා ඉහළ ගියේය.

    “සෙම්ප්‍රතිශ්‍යාව, තෙහෙට්ටුව, හිසරදය, සහ මාංශ පේශි කැක්කුම වැනි වෙනත් රෝග ලක්ෂණ සඳහා ද එම සැබෑ වෙනස්කම්ම අදාළ වේ” යැයි විමර්ශක මහාචාර්ය ස්නේප් පැවසීය.

    බී.බී.සී වාර්තාවකි

  • මෙන්න අලුත්ම සංචරණ මාර්ගෝපදේශ නිකුත් වෙයි!

    මෙන්න අලුත්ම සංචරණ මාර්ගෝපදේශ නිකුත් වෙයි!

    අද (12) රාත්‍රී 11 සිට මැයි 31 වනදා දක්වා සෑම දිනකම රාත්‍රී 11 සිට පසුදා අලුයම 4 දක්වා රට පුරා සංචරණ සීමා පැනවීමට කටයුතු කර ඇති බවත්එ සේම හෙට (13) රාත්‍රී 11 සිට සඳුදා (17) අලුයම 4 දක්වා අඛණ්ඩව (මැයි 14, 15, 16)  රට පුරා ක්‍රියාත්මක වන පරිදි සංචරණය අත්හිටුවීමට ද කටයුතු කරන බවත් පොලිස් මාධ්‍ය ප්‍රකාශක අජිත් රෝහණ මහතා අද (12) මාධ්‍ය සාකච්ඡාවකදී අනාවරණය කළා.

    සංචරණ සීමා පනවා ඇති දිනවල අත්‍යාවශ්‍ය නොවන කටයුතු සදහා කිසියම් අයකු නිවසින් පිටතට යන්නේ නම්, එසේ යා හැක්කේ තම ජාතික හැදුනුම්පතේ අංකයට අනුව යෙදෙන දිනයක දී (ඔත්තේ හෝ ඉරටේටේ) පමණක් බව පොලිස් මාධ්‍ය ප්‍රකාශක නියෝජ්‍ය පොලිස්පති අජිත් රෝහණ මහතා පවසනවා.

    පසුගිය කොවිඩ් පළමු රැල්ල පැවැති සමයේ දී ද මෙම ක්‍රමවේදය ක්‍රියාත්මක වූ බවයි පොලිස් මාධ්‍ය ප්‍රකාශකවරයා වැඩි දුරටත් සදහන් කළේ.

    මේ සම්බන්ධයෙන් වැඩි දුරටත් කරුණු පැහැදිලි කළ පොලිස් මාධ්‍ය ප්‍රකාශකවරයා,

    ‘‘රජය විසින් මේ තීරණය ගත්තේ හැකිතාක් දුරට සංචරණය සීමා කරමින් කොවිඩ් වසංගතය පාලනය කිරීම සදහායි. ඒ අනුව කිසියම් අයකුට නිවසින් පිටතට යා යුතු දිනය ඉරට්ටේ අංක සහිත දිනයක් නම්, එදිනට යා හැක්කේ තම ජාතික හැදුනුම්පතේ අවසන් අංකය ඉරට්ටේ (2-4-6-8 වශයෙන්) අංකයක් වන අයට පමණයි. එසේම යමෙකුට නිවසින් පිටතට යා යුත්තේ ඔත්තේ දිනදී නම් ඔහුගේ හෝ ඇයගේ ජාතික හැදුනුම්පතේ අවසන් අංකය අනිවාර්යයෙන්ම ඔත්තේ දිනයක් (1-3-5-7-9) විය යුතුයි. මෙහිදී ජාතික හැදුනුම්පතේ අවසාන අංකය බින්දුව වන අවස්ථාවක් ඉරට්ටේ අංකයක් ලෙස සලකනවා. මේ අනුව අදාළ දිනයේදී අත්‍යවශ්‍ය කාර්යයන් සඳහා එක් අයෙකුට පමණක් නිවසින් බැහැරට යා හැකියි. හැඳුනුම්පත නොමැති අවස්ථාවක දී පමණක් විදෙස්ගමන් බලපත්‍රය හෝ රියදුරු බලපත්‍රය භාවිත කළ හැකියි. එනිසා රාජකාරී සඳහා හෝ වෙනත් අත්‍යාවශ්‍ය කටයුත්තක් සඳහා නිවසින් බැහැරව යෑමේදී සියලුම පුරවැසියන් හැඳුනුම්පත රැගෙන යෑම අනිවාර්ය වෙනවා. අපි මේ නීතිය තදින් ක්‍රියාත්මක කිරීමට බලාපොරොත්තු වෙනවා‘‘

    මෙහිදී අත්‍යවශ්‍ය සේවා සදහා පළාත් අතර සංචරණය ගැන කරුණු පැහැදිලි කළ පොලිස් මාධ්‍ය ප්‍රකාශකවරයා, සෞඛ්‍ය මාර්ගෝපදේශ දැඩි ලෙස අනුගමනය කරමින් අත්‍යවශ්‍ය සේවාවන් සඳහා පමණක් පළාත් සීමා අතර ගමන් කිරීමට අවසර හිමි වන බව පැවසුවා.

    ඒ අනුව අවසර හිමිවන අත්‍යවශ්‍ය සේවාවන්,

    *සෞඛ්‍ය සේවා
    *පොලීසිය හා ත්‍රිවිධ හමුදාව
    *අත්‍යවශ්‍ය නිල සංචාර සඳහා රාජ්‍ය අංශයේ නිලධාරීන්
    *අත්‍යවශ්‍ය සැපයුම් බෙදාහරින්නන්
    *අත්‍යවශ්‍ය සේවා සපයන්න් (උපයෝගිතා සේවා)
    *පවුලේ ආසන්නතම සාමාජිකයෙකුගේ අවමංගල්‍යයක් සඳහා (තහවුරු කිරීම අනිවාර්ය වේ)
    *විදේශගත වීම / විදේශයක සිට පැමිණීම් හෝ ආනයන / අපනයන කටයුතු සඳහා අවශ්‍ය සේවාවන් (තහවුරු කිරීම අනිවාර්ය වේ)

  • කොවිඩ් වසංගතයෙන් වැළකෙන්න ‘වඩාත්ම ඵලදායී ක්‍රම 06ක්’

    කොවිඩ් වසංගතයෙන් වැළකෙන්න ‘වඩාත්ම ඵලදායී ක්‍රම 06ක්’

    ශ්‍රී ජයවර්ධනපුර විශ්ව විද්‍යාලයේ වෛද්‍ය පීඨයේ ආසාත්මිකතා, ප්‍රතිශක්තිවේද  හා සෛල ජෛව විද්‍යා  අධ්‍යයන අංශයේ  ප්‍රධානී, ආචාර්ය චන්දිම ජීවන්දර මහතා විසින් කොවිඩ්-19  රෝගය පාලනය කර ගැනිම සඳහා අනුගමනය කළ හැකි වඩාත් ප්‍රතිඵලදායි  ක්‍රම හයක් ජනතාවට හඳුන්වා දී ඇති අතර ආචාර්ය ජීවන්දර පවසන්නේ දැනට මෙරට තිබෙන සියලුම එන්නත්  ඉතාම හොඳ බවත් රෝගය පාලනය කර ගැනීමට ඇති ප්‍රධානම මෙවලම එන්නත්කරණය බවත්ය.

    කොවිඩ් වසංගතයෙන් වැළකීම සදහා ඔබ විසින් අනුගමනය කළ යුතු වඩාත්ම ඵලදායී ක්‍රම හය වන්නේ,

    1. කොරෝනා මර්දන  එන්නතක් ලැබෙනවානම් එය ලැබෙන මුල් අවස්ථාවේදීම ලබා ගැනීම,
    2. මුව ආවරණ නිවැරදිව පැළඳීම,
    3. පුද්ගලයන් අතර අඩි හයක පරතරයක් තබා ගැනීම,
    4. අත් නිවැරදිව සබන් යොදා සේදීම සහ දැන් විසබීජ නාශක දියර වලින් සේදීම,
    5. සෙනග විශාල වශයෙන් රැස්වන ස්ථානවලට නොයෑම සහ අත්‍යාවශ්‍යම කාරණයකට එසේ යෑමට සිදු වුවහොත් මිනිත්තු 15 කට පෙර එම ස්ථානවලින් පිටවීමට වග බලා ගැනීම
    6. තමන්ට යම් කිසි සැක සහිත රෝග ලක්ෂණ තිබේ නම් හැකි ඉක්මනින් ම පී .සී.ආර්  පරීක්ෂණයකට යොමුවීම හා පවුලේ සාමාජිකයන් ගෙන් සාමාජිකයන් ගෙන් ඈත්ව කටයුතු කිරීම

    මේ සම්බන්ධයෙන් වැඩි දුරටත් කරුණු පැහැදිලි කළ ආචාර්ය චන්දිම ජීවන්දර මහතා, ‘‘එන්නත් ගැන කරුණු විමසමින් අපට දිනකට දුරකථන ඇමතුම් විශාල ප්‍රමාණයක් ලැබෙනවා. අපි කියන්නේ දැනට මෙරට ජනතාවට ලබාදෙමින් තිබෙන සියලුම එන්නත්  ඉතාම හොඳ ඒවා. අපට කොවිඩ්-19 රෝගය පාලනය කර ගැනීමට ඇති ප්‍රධානම මෙවලම එන්නත්කරණය පමණයි. ඒ නිසා ඔබට අවස්ථාව ලැබෙන කුමන හෝ එන්නතක් වුණත් හැකි ඉක්මනින්ම ලබා ගැනීම තමයි ඉතා සුදුසුම ක්‍රියාමාර්ගය වන්නේ. එක එක එන්නත් ගැන විමසමින්  ඒවා එනකම් ඉන්න එපා. ලැබිලා තියෙන එන්නත  ඉක්මනට ගහගන්න. එහෙම නොකළ හොත් ඔබගේ ජීවිතය නැති වෙන්න වුණත් පුළුවන්‘‘

    ‘‘ ඒ වගේම තමයි අපි මීට පෙරත් පෙන්වා දී ඇති පරිදි ඉදිරි මාසය ඉතාම තීරණාත්මකයි. ඒ නිසා අත්‍යවශ්‍යම කරුණකට හැරෙන්නට වෙනත් කිසිම කාරණයකට නිවෙස්වලින් පිටවීම නොකළ යුතුයි. උණ, කැස්ස, උගුරේ වේදනාව, ඇඟපත වේදනාව සහ ගඳ සුවඳ නොදැනීම කොරෝනා රෝගයේ ප්‍රධාන ලක්ෂණයි. මෙවැනි සැකසහිත ලක්ෂණ තිබේ නම් වහාම සෞඛ්‍ය අංශ දැනුවත් කර අදාළ ප්‍රතිකාර ලබා ගැනීමට හැකි ඉක්මනින් පියවර ගන්න. ඔබ ආරක්ෂා වෙනවා කියන්නේ රටම ආරක්ෂා වෙනවා කියන එකයි‘‘

  • හෙට රාත්‍රී 11 සිට 17 වැනිදා අළුයම 4.00 දක්වා මුළු දිවයිනටම සංචරණ සීමා

    හෙට රාත්‍රී 11 සිට 17 වැනිදා අළුයම 4.00 දක්වා මුළු දිවයිනටම සංචරණ සීමා

    Covid-19 වෛරසය පැතිරීම පාලනය කිරීමේ පියවරක් ලෙස හෙට (13) රාත්‍රී 11 සිට මැයි 17 වැනිදා අලුයම 4 දක්වා මුළු දිවයිනටම බලපැවැත්වෙන පරිදි සංචරණ සීමා කරන බව කොවිඩ් පැතිරීම පාලනය කිරීමේ ජාතික ක්‍රියාන්විත මධ්‍යස්ථානයේ ප්‍රධානී, යුද හමුදාපති ජෙනරාල් ශවේන්ද්‍ර සිල්වා මහතා පවසනවා. මේ කාලසීමාවේදී අත්‍යවශ්‍ය සේවා සහ එළවලු, පලතුරු ඇතුළු අත්‍යවශ්‍ය භාණ්ඩ ප්‍රවාහනය සඳහාත්, බස්නාහිර පළාත තුළ එන්නත්කරණ වැඩසටහන සඳහාත් අවසර හිමි වන බව යුද හමුදාපතිවරයා වැඩිදුරටත් පැවසුවා.

  • කොවිඩ්වලින් දුර්වල වූ ‘ඔබේ ශක්තිය නැවත ලබා ගැනීමට’ සුපිරි යෝග ව්‍යායාම 5ක්

    බොහෝ දෙනෙක් COVID-19 වලින් සුවය ලබන අතර, සුවය ලැබීමෙන් පසුව පවා බොහෝ දෙනා අත්විඳින එක් කරුණක් වන්නේ ආසාදනය ගෙන එන දුර්වලතාවයයි. පුද්ගලයන් ඔවුන්ගේ බරපතලකම අනුව ව්‍යායාම කිරීමට සති කිහිපයකට පෙර දින කිහිපයක් බලා සිටීම රෙකමදාරු කරනු ලැබේ. රෝග ලක්ෂණ සහ එසේ කිරීමට පෙර වෛද්‍යවරයෙකුගෙන් විමසන්න. 

    COVID වලින් සුවය ලැබීමෙන් පසු ශක්තිය හා සුවය නැවත ලබා ගැනීම සදහා කෙනෙකුට කළ හැකි යෝග ව්‍යායාම / ආසන කිහිපයක් මෙන්න. (මෙම ලිපියේදී අදාළ තාක්ෂණික වචන සදහා ඉංග්‍රිසි පදයම යොදා ගන්නා බව සලකන්න)

    දන්ඩාසනා – Dandasana

    යෝග

    ප්‍රතිලාභ: මෙම ඉරියව්ව ශරීරයේ අභ්‍යන්තර අවයව වලට සහය සහ සමබරතාවය ගෙන එයි, විශේෂයෙන් ආහාර ජීර්ණ අවයවවල ක්‍රියාකාරිත්වය වැඩි දියුණු කරයි. එය මාංශ පේශි ශක්තිමත් කරන අතර ශක්තිය වැඩි කරයි.

    පූර්වාරක්ෂාව: COVID වලින් සුවය ලැබීමෙන් සතියකට පසු කෙනෙකුට මෙම ආසනය ව්‍යායාම කිරීම ආරම්භ කළ හැකි අතර මැණික් කටුව හෝ පිටුපසට බරපතල තුවාල සිදුවුවහොත් එය කිරීමෙන් වළකින්න.

    කොහොමද කරන්නේ:

    • ඉහත ඉරියව්වේ දැක්වෙන ආකාරයට අංශක 90 ඉරියව්වකින් සැහැල්ලු මනසින් වාඩි වන්න.
    • දෑත් ශරීරය දිගේ තැබිය යුතු අතර අත්ල බිම තබා ගත යුතුය.
    • කලවා මාංශ පේශි ස්ථීර කර ඔබේ පාද නැමෙන්න.
    • සෙමෙන් ආශ්වාස ප‍්‍රශ්වාස කරන්න.
    • ගැඹුරු හුස්ම පහක් සඳහා මෙම යෝග ආසනයේ/ ඉරියව්වේ රැඳී සිටින්න.


    අදෝ මුඛා ස්වසන – Adho Mukha Svanasana

    යෝග

    ප්‍රතිලාභ: මෙම යෝග ව්‍යායාමය මගින් ශරීරයට ශාරීරිකව හා මානසිකව ශක්තිය ලබා දිය හැකිය. එය මොළයට රුධිර ප්‍රවාහය වැඩි කරන අතර තෙහෙට්ටුව සහ විඩාව ඉවත් කරයි.

    පූර්වාරක්ෂාව: වෙව්ලීම තිබේ නම්, නැවත යථා තත්ත්වයට පත්වීමෙන් පසුව එය උත්සාහ කරන්න.

    කොහොමද කරන්නේ:

    • සැහැල්ලු මනසකින් යුතුව ඉහත දැක්වෙන ඉරියව්ව වෙත යන්න.
    • උකුල ඔසවා හුස්ම ගන්නා විට දණහිස සහ වැලමිට කෙළින් කරන්න.
    • අත් සහ කකුල් එකිනෙකට සමාන්තර විය යුතුය.
    • ගැඹුරු හුස්මක් ගෙන ආශ්වාස – ප්‍රාශ්වාස කරන්න
    • ඉහත ඉරියව්ව විනාඩියක් තබා ගන්න.

     
    ප්‍රාචීර හුස්ම ගැනීම – Diaphragmatic Breathing

    යෝග

    ප්‍රතිලාභ: මෙය ප්‍රාචීරය භාවිතා කිරීමෙන් පෙනහළු ක්‍රියාකාරිත්වය ශක්තිමත් හා පහසු කරන අතර ස්නායු පද්ධතිය ලිහිල් කිරීම සහ යථා තත්වයට පත් කිරීම දිරිගන්වයි.

    පූර්වාරක්ෂාව: COVID යථා තත්ත්වයට පත් නොකිරීම වැදගත් වන අතර හුස්ම ගැනීමේ අපහසුතාවයකින් තොරව පුද්ගල හැකියාව මත මෙම අභ්‍යාසය කරන්න.

    කරන්නේ කෙසේද: 

    • ඉහත දැක්වෙන ඉරියව්ව වෙත සැහැල්ලු මනසින් සහ ලිහිල් කරගත් සිරුරින් ප්‍රවේශ වෙන්න.
    •  මෙම අභ්‍යාසය විනාඩියකට අදියර හතරකට බෙදා ඇත. සෑම පියවරක්ම, ඔබේ බඩට ගැඹුරු හුස්මක් ගෙන නාසය හරහා හුස්ම පිට කිරීම වැදගත්ය. 
    • පිට බිමට තදවන ලෙස සිටිමින් ගැඹුරු හුස්ම ගැනීම: ඔබේ පිට බිමට සමාන්තරව පිහිටන ලෙස වැතිරී, දණහිස් නමන්න. ඒවා ඔබේ බඩ මත තබා ගන්න. ඔබේ තොල් තදින් වසා ගන්න.
    • ඔබේ බඩ බිමට තදවන ලෙස සිටිමින් ගැඹුරු හුස්ම ගැනීම: ඔබේ බඩ පොළවට සමාන්තරව සිටින සේ බිම වැතිරෙන්න, ආධාරක සඳහා ඔබේ අත් ඔබේ මුහුණට පහළින් තබා ඔබේ තොල් තදින් වසා ගන්න.
    • වාඩි වී සිටියදී ගැඹුරු හුස්ම ගැනීම: ඇඳක් හෝ පුටුවක් අද්දර කෙළින්ම වාඩි වී, උදරයේ දෙපැත්තේ දෑත් තබා ඔබේ තොල් තදින් වසා ගන්න.
    • සිටගෙන සිටියදී ගැඹුරු හුස්ම ගැනීම: කෙළින් සිටගෙන, ඔබේ අත් ආමාශයේ දෙපැත්තේ තබා ඔබේ තොල් තදින් වසා ගන්න.

     
    උපවිස්තා කොනසනා / Upavistha Konasana

    යෝග

    ප්‍රතිලාභ: මෙම ව්‍යායාමය මගින් ශරීරයේ ස්ථායිතාව, මනසට ස්ථායිතාව සහ ශරීරයට වඩා හොඳ රුධිර සංසරණයක් ගෙන එයි. එය ස්නායු පද්ධතියද සන්සුන් කරයි.

    පූර්වාරක්ෂාව: ආහාර ගැනීම ගැනීමෙන් පැය හයකට පසු මෙම ඉරියව්ව සිදු කරන බවට සහතික වීම වැදගත්ය.

    කොහොමද කරන්නේ:

    • ඉහළ ඡායාරූපයේ සදහන් ඉරියව්ව වෙත යන්න – ශරීරය මුලින් 90 ° ස්ථානයේ තිබිය යුතුය.
    • ඔබේ කකුල් සෙමින් දිගු කර ඔබේ අත් බිමට ගෙනෙන්න.
    • එක් එක් දිගු කිරීමෙන් පසු මන්දගාමී ලෙස හුස්ම ගන්න… පහත හෙළන්න.
    • විනාඩියක් මෙම ඉරියව්ව තබා ගන්න.

     සුප්තා වීරාසනා –Supta Virasana
    යෝග

    ප්‍රතිලාභ: එය මානසික ආතතිය හා තද බව ඉවත් කිරීමට උපකාරී වේ. එය සන්සුන් හා ප්‍රතිෂ්ඨාපන ආසනයකි.

    පූර්වාරක්ෂාව: ඉළ ඇට යට හෝ අවට උණුසුම් හෝ තද බව පිළිබඳ සංවේදීතාවයක් ඇත්නම් මෙම ආසනය නතර කළ යුතුය.

    කොහොමද කරන්නේ:

    • ඉහත ඡායාරූපයේ දැක්වෙන ඉරියව්ව වෙත යන්න.
    •  ඔබේ දණහිස් එකිනෙකට සමීපව, කකුල් උකුලට යටින් බිම දණ ගසන්න.
    • ඇඟිලි පිටතට යොමු කළ යුතුය.
    • කකුල් එකම ස්ථානයක තබාගෙන සෙමින්, සැතපෙන්න.
    • ඔබේ අත් ඔබේ දෙපැත්තේ හෝ කලවා වල තබා ගැනීමට හෝ ඔබේ හිසට ඉහළින් දිගු කළ හැකිය.
    • ගැඹුරු හුස්මක් ගන්න, පසුව සෙමින් හුස්ම පිටකරන්න
    • විනාඩියක් පමණ මෙම යෝග ඉරියව්වේ සිටින්න.

    ‘ෆෙමිනා‘ ඇසුරිණි – සැකසුම – තුෂාධවි

  • SLPP නායකයෝඅගමැතිගේ ප්‍රධානත්වයෙන් රැස්වෙති

    SLPP නායකයෝඅගමැතිගේ ප්‍රධානත්වයෙන් රැස්වෙති

    කොවිඩ් වසංගතය පාලනය කිරීම සම්බන්ධයෙන් ගත යුතු කඩිනම් ක්‍රියාමාර්ග පිළිබඳව අවධානය යොමු කිරීම ඇතුළු කරුණු කිහිපයක් මුල්කරගනිමින් ශ්‍රී ලංකා නිදහස් පොදුජන සන්ධානයේ පක්ෂ නායකයෝ  අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මහතාගේ ප්‍රධානත්වයෙන් අද (11) දින පස්වරුවේ අරලියගහ මන්දිරයේ දී රැස්වූහ.

    රජය මේ වනවිට කොවිඩ් වසංගතය පැතිරයාම පාලනය කිරීම වෙනුවෙන් ගෙන ඇති පියවරයන් මෙහි දී පක්ෂ නායකයන්ගේ අවධානයට ලක් වූ අතර අනාගත තත්ත්වයන්ට මුහුණ දීම සඳහා ඒ ඒ ප්‍රදේශවල අතිරේක ප්‍රතිකාර මධ්‍යස්ථාන ඉදිකිරීම පිළිබඳව සාකච්ඡා කෙරිණි.

    එන්නත්කරන වැඩපිළිවෙල සාර්ථක අයුරින් ඉදිරියට ගෙනයාමට අවශ්‍ය බව මෙහි දී අග්‍රාමාත්‍යවරයා පෙන්වා දුන්නේය.

    මෙයට අමතරව කොවිඩ් ආසාධිත රෝගීන්ට ඇතිවිය හැකි දුෂ්කරතා මගහැරීම පිළිබඳව ද පක්ෂ නායකයෝ මෙහි දී අවධානය යොමු කළහ.

    ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ තරුණ පෙරමුණ විසින් කොවිඩ් ආසාධිතයන්ගේ පිහිටට ක්‍රියාත්මක කරන දින 10න් ඇඳන් 10000ක් සකස් කොට ප්‍රතිකාර මධ්‍යස්ථානවල භාරදීමේ ව්‍යාපෘතිය මෙහි පැමිණ පක්ෂ නායකයන්ගේ ඇගයීමට ලක්විය.

    අපේ ජනබල පක්ෂයේ පූජ්‍ය අතුරලියේ රතන හිමි සහ දේශ විමුක්ති ජනතා පක්ෂයේ උප සභාපති ගලගම ධම්මරංසි හිමි මෙම හමුවට වැඩම කළහ.

    ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ සභාපති මහාචාර්ය ජී.එල් පීරිස්, ජාතික සංවිධායක බැසිල් රාජපක්ෂ, මහ ලේකම් සාගර කාරියවසම්, මහජන එක්සත් පෙරමුණේ නායක දිනේෂ් ගුණවර්ධන, ප්‍රජාතන්ත්‍රවාදී වාමාංශික පෙරමුණේ ප්‍රධාන ලේකම් වාසුදේව නානායක්කාර,පිවිතුරු හෙළ උරුමයේ නායක උදය ගම්මන්පිල, එක්සත් ජනතා නිදහස් සන්ධානයේ මහ ලේකම් මහින්ද අමරවීර, ශ්‍රිලනිප මහ ලේකම් දයාසිරි ජයසේකර, ලංකා සම සමාජ පක්ෂයේ ප්‍රධාන ලේකම් තිස්ස විතාරණ, ශ්‍රි ලංකා මහජන පක්ෂයේ ප්‍රධාන ලේකම් අසංක නවරත්න, එක්සත් මහජන පක්ෂයේ ලේකම් ටිරාන් අලස්, ජාතික කොංග්‍රසයේ ප්‍රධාන ලේකම් ඒ.එල්.එම් අතාවුල්ලාහ්, යුතුකම සංවිධානයේ සභාපති ගෙවිඳු කුමාරතුංග, ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ දිස්ත්‍රික් නායකයන්වන ජොන්ස්ටන් ප්‍රනාන්දු, ඩබ්ලිව්.ඩී.ජේ සෙනවිරත්න, පවිත්‍රා වන්නිආරච්චි, බන්දුල ගුණවර්ධන,සී.බී රත්නායක, එස්.එම් චන්ද්‍රසේන,ප්‍රසන්න රණතුංග,රොෂාන් රණසිංහ යන මැති ඇමතිවරුන් ඇතුළු පක්ෂ නායකයෝ පිරිසක් මෙම රැස්වීමට එක්ව සිටියහ.

  • Covid-19 ආසාදිත මරණ 23ක් සමග නව ආසාදිතයින් 2530ක්

    Covid-19 ආසාදිත මරණ 23ක් සමග නව ආසාදිතයින් 2530ක්

    2021 මැයි මස 05 වැනි දින සිට මැයි මස 11 වැනි දින දක්වා සිදුව ඇති කොවිඩ්-19 ආසාදිත රෝගීන්ගේ මරණ 23ක් සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජනරාල්වරයා විසින් අද (11) දින තහවුරු කළ බවත් ඒ අනුව ශ්‍රී ලංකාවෙන් වාර්තා වන මුළු කොවිඩ් ආසාදිත රෝගීන්ගේ මරණ සංඛ්‍යාව 85ක් බවත් රජයේ ප්‍රවෘත්ති දෙපාර්තමේන්තුව විසින් අද දින (11) නිකුත් කළ නිවේදනයක සදහන් වෙනවා.

    මේ අතර රජයේ ප්‍රවෘත්ති දෙපාර්තමේන්තුව විසින් අද (11) දින රාත්‍රි යේ නිකුත් කළ තවත් නිවේදනයක සදහන් වන්නේ අද දින නව කොවිඩ් ආසාදිතයින් 2530 දෙනකු වාර්කා වූ බවයි.

  • කොවිඩ් -19 ආසාදිත ගැබිනි මවුවරු 200ක් රෝහල්වල

    කොවිඩ් -19 ආසාදිත ගැබිනි මවුවරු 200ක් රෝහල්වල

    ‘කොවිඞ් 19’ ආසාදිත ගැබිනි මවුවරු 200 දෙනකු පමණ රෝහල්වල මේ වන විට ප‍්‍රතිකාර ලබන බව ප‍්‍රසව හා නාරිවේද විශේෂඥ වෛදවරුන්ගේ විද්‍යායතනය අද (11) දින නිකුත් කළ මාධ්‍ය නිවේදනයක සදහන් වේ. මෙහිදී එම සංගමය කියා සිටින්නේ ගැබිනි මවුවරුන්ට ‘කොවිඞ් 19’ මර්දන එන්නත ලබාදීම සුදුසු යැයි ප‍්‍රසව හා නාරිවේද විශේෂඥ වෛදවරු පෙන්වාදී ඇති බවයි.

  • සංචරණ සීමා දැඩිකර – මුව ආවරණ නැති අය අල්ලන මෙහෙයුම් ද දෙගුණ කරයි

    සංචරණ සීමා දැඩිකර – මුව ආවරණ නැති අය අල්ලන මෙහෙයුම් ද දෙගුණ කරයි

    පවතින තත්වය සැලකිල්ලට ගෙන පළාත් අතර සංචරණ සීමා ඉතා දැඩිව ක්‍රියාත්මක කිරීමට පොලිසිය ඇතුළු ආරක්ෂක අංශවලට තමා විසින් උපදෙස් මාලාවක් දුන් බව කොවිඩ් 19 පැතිරීම පාලනය කිරීමේ ජාතික ක්‍රියාන්විත මධ්‍යස්ථානයේ ප්‍රධානී , යුද හමුදාපති ජනරාල් ජෙනරාල් ශවේන්ද්‍ර සිල්වා මහතා පවසයි.

    නව තීරණය සම්බන්ධයෙන තව දුරටත කරුණු පැහැදිලි කළ යුද්ධ හමුදාපතිවරයා, ‘‘මේ අවස්ථාවේදී සංචරණ සීමා කඩ කිරීමට කිසිවකුටත් ඉඩ දෙන්නෙත් නෑ. ඉඩ තියන්නෙත් නෑ. එම සීමා කඩකරන පුද්ගලයන්ට විරුද්ධව දැඩි ලෙස ක්‍රියාමාර්ග ගන්නවා. විශේෂයෙන් මුව ආවරණ නොපළඳින පුද්ගලයන් නීතියේ රැහැනට හසුකර ගැනීම සඳහා මෙහෙයුම් දෙගුණයකින් වැඩි කිරීමට ද පියවර ගෙන තිබෙනවා. මා මෙහිදී ජනතාවගෙන් විශේෂයෙන් ඉල්ලා සිටින්නේ කොරෝනා මර්දන රාජකාරි කටයුතුවල යෙදෙන ආරක්ෂක අංශවල නිලධාරීන්ට උපරිම සහාය ලබා දෙන ලෙසයි. එවැනි සහායකින් පමණයි අපිට රටක් ලෙස මේ අභියෝගයට මුහුණ දෙන්න පුළුවන් වෙන්නේ‘‘ යැයි ද කීවේය.

  • මොක්කද මේ තවම රහසක් වූ අති දරුණු ඉන්දීය කොවිඩ් ප්‍රභේදය..?

    මොක්කද මේ තවම රහසක් වූ අති දරුණු ඉන්දීය කොවිඩ් ප්‍රභේදය..?

    ඉන්දියාව තුළ හඳුනාගෙන ඇති කොරෝනාවෛරස ප්‍රභේදයක් සම්බන්ධයෙන් ලොව වටා විද්‍යාඥයින් විමර්ශනයක යෙදී ඇති නමුත් එය කෙතරම්දුරට ව්‍යාප්ත වී තිබේද යන්න හෝ ඉන්දියාව තුළ මාරාන්තික දෙවෙනි රැල්ලට එය හේතුවී තිබේද යන්න මෙතෙක් නොදනී.

    මොකක්ද මේ ඉන්දීය ප්‍රභේදය?

    සැමවිට ම විකෘතියට පත්වන වෛරස, ඒවායෙහි විවිධ අනුවාද හෝ ප්‍රභේද නිර්මාණය කරයි.

    මෙයින් බොහෝ විකෘති එතරම් සැලකිය යුතු තරම් නොවන අතර ඇතැම් විකෘති ඒවා වෛරසය හානියෙන් අඩු කරයි. එහෙත් ඇතැම් ඒවා වඩා බෝවන සුලු මෙන්ම එන්නතකින් මර්දනය කිරීම ද අසීරු වේ.

    පසුගිය ඔක්තෝබරයේ දී ඉන්දියාවෙන් පළමුවරට හඳුනාගන්නා ලද මෙම ප්‍රභේදය නිල වශයෙන් හඳුන්වනුයේ B1617 ලෙසිනි.

    කොතරම්දුරට පැතිරිලා ද?

    මෙම වෛරස ප්‍රභේදය කෙතරම්දුරකට හෝ වේගයකින් පැතිරී තිබේද යන්න නිර්ණය කිරීමට තරම් ප්‍රමාණවත් නියැදි පරීක්ෂාවක් ඉන්දියාව පුරා ව්‍යාප්තව ක්‍රියාත්මක නොවේ.

    පසුගිය ජනවාරියේ සිට මාර්තු දක්වා කාලය තුළ බටහිර ඉන්දීය මහාරාෂ්ට්‍ර ප්‍රාන්තය තුළ එක්රැස් කරන ලද නියැදි 361ක් අතරින් 220 ක මෙම ප්‍රභේදය නිරීක්ෂණය කෙරිණි.

    මේ අතර GISAID ගෝලීය දත්ත පදනමට අනුව, අවම තරමින් රටවල් 21ක් තුළ එය සොයාගනු ලැබ ඇත.

    එක්සත් රාජධානිය තුළට එය පැමිණ ඇත්තේ ජාත්‍යන්තර ගුවන් ගමන් හරහා බව පෙනෙන්නට තිබේ. පෙබරවාරි 22 දා සිට එසේ හඳුනාගන්නා ලද රෝගීන් සංඛ්‍යාව 103 කි.

    ඉන්දියාවෙන් පිටත්වන බොහෝ සංචාරකයින් එක්සත් රාජධානියට ඇතුලුවිම මේ වනවිට තහනම් කර තිබේ.

    මෙය “විමර්ශනයට ලක්ව ඇති ප්‍රභේද” කිහිපය අතරින් එකක් ලෙස එංගලන්තයේ මහජන සෞඛ්‍ය අංශය විසින් ලැයිස්තුගත කරනු ලැබුව ද “සැලකිල්ලට බඳුන්වන ප්‍රභේදයක්” ලෙස වර්ගීකරණයට තරම් බරපතල තත්ත්වයෙහි ලා මෙතෙක් නොසලකා ඇත.

    People wait in queue for their turn for COVID-19 testing at a test centre in Jammu, the winter capital of Kashmir, India, 20 April 2021.
    ජම්මු, කාශ්මීරය තුළ කොවිඩ් පරීක්ෂණය සඳහා පෙළගැසී සිටින ජනතාව

    එය වඩා බෝවන සුලු හෝ අනතුරුදායක ද?

    මෙම ප්‍රභේදය වඩා බෝවන සුලු හෝ එන්නත්වලට ප්‍රතිරෝධය දක්වන්නේදැයි යන්න විද්‍යාඥයෝ තවමත් නොදනිති.

    ලුයිසියානා ප්‍රාන්ත විශ්ව විද්‍යාලයේ වෛරසවේදී මහාචාර්ය ජෙරමි කාමිල් පවසන පරිදි මෙහි එක් විකෘතියක්, දකුණු අප්‍රිකාව හා බ්‍රසීලයෙන් හඳුනාගන්නා ලද ප්‍රභේදවලට සමාන වේ.

    කළින් ඇතිවූ ආසාදනයක අත්දැකීම හෝ එන්නතක් පදනම්ව කොරෝනාවෛරසයට එරෙහිව සටන් කිරීම සඳහා ප්‍රතිශක්තිකරණ පද්ධතියේ හටගන්නා ප්‍රතිදේහ මගහැර යාම සඳහා මෙම ව්කෘතිය වෛරසයට උදව් දෙනවා විය හැකිය.

    එහෙත් පෙනෙන්නට ඇති පරිදි මේ වනවිට වඩාත් පිඩාකාරී තත්ත්වයක් පළවන්නේ එක්සත් රාජධානියෙන් හඳුනාගෙන ඇති ප්‍රභේදයක් සම්බන්ධයෙනි. බ්‍රිතාන්‍යය තුළ මූලිකව පවතින එය රටවල් 50 ට අධික ප්‍රමාණයක පැතිර ගොස් තිබේ.

    “එක්සත් රාජධානියේ ප්‍රභේදයට වඩා ඉන්දීය ප්‍රභේදය බෝවනවාදයි යන්න ගැන මට තිබෙන්නේ සැකයක්. අප කලබල නොවිය යුතුයි” මහාචාර්ය කාමිල් පැවසීය.

    මේ ගැන එතරම් අවබෝධයක් නැත්තේ ඇයි?

    විද්‍යාඥයින් පවසන පරිදි ඉන්දීය ප්‍රභේදය පිළිබඳ ඇති දත්ත බොහොමයක් අසම්පූර්ණය. ඒ පිළිබඳ හුවමාරු වී ඇත්තේ නියැදි ස්වල්ප ප්‍රමාණයකි. ඉන්දියාවෙන් 298 ක් සහ ලොවපුරා 656 ක් වන පරිදි එම නියැදි හුවමාරු වෙද්දී එක්සත් රාජධානි ප්‍රභේදයේ අනුක්‍රම 384,000 ට වැඩි ප්‍රමාණයක් හුවමාරු වී තිබේ.

    ඉන්දියාවෙන් පළමු රෝගියා වාර්තාවීමෙන් පසු ලොව පුරා එම රෝගීන් වාර්තා වී තිබෙන්නේ 400 ට අඩු ප්‍රමාණයක් බව වෛද්‍ය කාමිල් පැවසීය.

    Medical staff take nasal swabs for a Rapid Antigen Testing (RAT) test amidst rising Covid-19 coronavirus cases, in Mumbai on April 19, 2021

    ඉන්දියාවේ දෙවෙනි රැල්ලට හේතු වුණා ද?

    පසුගිය වසරේ උපරිම තත්ත්වයේ තිබියදී වාර්තා වූ 93,000 ක දෛනික රෝගීන් ප්‍රාමාණය අභිබවා යමින් අප්‍රේල් 15 වෙනිදා සිට ඉන්දියාව තුළ දිනකට රෝගීන් 200,000 ක් පමණ වාර්තා වේ.

    මරණ සංඛ්‍යාව ද ඉහළ යමින් පවතී.

    “ඉන්දියාවේ ඉහළ ජනගහනය වගේම ජන ඝනත්වය, මෙම වෛරසයට විකෘති අත්හදාබැලිය හැකි සර්ව සම්පූර්ණ පරිසරයක්” යැයි කේම්බ්‍රිජ් විශ්ව විද්‍යාලයේ සායනික ක්ෂුද්‍ර ජීවවිද්‍යාව පිළිබඳ මහාචාර්යවරයකු වන රවී ගුප්තා පැවසීය.

    කෙසේවෙතත් විශාල ඒකරාශීවීම් මෙන්ම මුව ආවරණ නොපැළඳීම හෝ සමාජ දුරස්ථභාවය රඳවා නොගැනීම වැනි වළක්වාගැනීමේ පියවර අනුගමනය නොකිරීම ඉන්දියාවේ රෝගීන් රැල්ලට හේතු වී තිබිය හැක.

    Wellcome Sanger Institute හි ආචාර්ය ජෙෆ්රි බැරට් පවසන පරිදි අලුත් ප්‍රභේදය ආශ්‍රිත හේතු ඵල සම්බන්ධයක් තිබිය හැකි වුව ද තවමත් ඊට සාක්ෂි නොමැත.

    පසුගිය වසරේ අවසාන භාගයේ පමණ සිට ඉන්දීය ප්‍රභේදය පවතින බව පෙන්වා දෙන ඔහු, “ඉන්දියාවේ පවතින රැල්ලට මෙය හේතුවක් වී තිබෙනවා නම් මේ තත්ත්වයට ඒමට ඊට මාස ගණනාවක් ගතවෙලා තිබෙනවා. එයින් කියවෙන්නේ එය කෙන්ට් B117 ප්‍රභේදයට වඩා සම්ප්‍රේෂණයෙන් අඩු බවයි.” යැයි පැවසීය.

    එන්නත් විසඳුමක් වේ ද?

    බරපතල රෝග වැළක්වීමේදී, දැනට පවතින එන්නත් මගින් ප්‍රභේදය පාලනය කිරීමට සහයක් ලැබෙනු ඇතැයි විද්‍යාඥයෝ විශ්වාසය පළකරති.

    මහාචාර්ය ගුප්තා සහ ඔහුගේ අනෙකුත් පර්යේෂකයින් විසින් ‘නේචර්’ සඟරාවේ පළකරන ලද පත්‍රිකාවකින් කියැවුණේ ඇතැම් ප්‍රභේද දැනට පවතින එන්නත් මගහරිනු ඇති බවකි. එහි ප්‍රතිඵලය වනුයේ, එන්නත් වඩා කාර්යක්ෂම කිරීම සඳහා ඒවා වෙනස්කිරීමට සිදුවීම ය.

    කෙසේවෙතත්, දැනට පවතින ප්‍රතිශක්තිකරණ වැඩපිළිවෙල හරහා රෝගය පැතිරීම මන්දගාමී කරනු ඇතැයි පෙනෙන්නට තිබේ.

    “රෝගය වැළඳීමෙන් තොර වීම සහ මිය යාමේ අවදානම සහිතව රෝහල්ගතවීම යන දෙක අතර වෙනස ගැන අවබෝධය එන්නත මගින් බොහෝ දෙනාට ලැබේවි.” යැයි මහාචාර්ය කාමිල් කියා සිටියේය.

    “කරුණාකර ඔබට ලැබෙන පළමු එන්නත ලබාගන්න. දෙපැත්තට වැනෙමින් හා සර්ව සම්පූර්ණ එන්නතක් බලාපොරොත්තුවෙන් හිඳීමේ අත්වැරැද්ද කරන්න එපා.”

    Text by – bbc sandesaya

  • එන්නත්කරණයට ඩිජිටල් හැඳුනුම්පත් ලබාදීමේ අවුලක් ගැන ITSSL හෙළිකරයි

    එන්නත්කරණයට ඩිජිටල් හැඳුනුම්පත් ලබාදීමේ අවුලක් ගැන ITSSL හෙළිකරයි

    එන්නත්කරණයට ඩිජිටල් හැඳුනුම්පත් ලබාදීමට ප්‍රථම පෞද්ගලිකත්වය ආරක්ෂා කිරීමට රජයේ අවධානය යොමු කිරීම අතිෂයින් වැදගත් යැයි ශ්‍රී ලංකා තොරතුරු තාක්ෂණ සංගමය අද (11) මාධ්‍ය නිවේදනයක් නිකුත් කරමින් අවධාරණය කරයි.

    එහි සභාපති යසිරු කුරුවිට මහතා විසින් නිකුත් කළ මාධ්‍ය නිවේදනය සම්පූර්ණයෙන් මෙසේය,

    සෞඛ්‍ය අමාත්‍යංශය සහ තොරතුරු හා සන්නිවේදන තාක්ෂණ නියෝජිතායතනය එන්නත්කරණය වඩාත් කාර්යක්ෂම කිරීමට ඉදිරි දින කිහිපය තුළ ඩිජිටල් හැඳුනුම්පතක් මහජනතාව වෙනුවෙන් නිකුත් කරන බව පවසා ඇත. කොවිඩ් මැඩලීමට නව තාක්ෂණය යොදාගැනීමට රජය පෙළබීම කාලෝචිත සහ අගය කලයුතු කරුණක් වුවත් ශ්‍රී ලංකා රජය ඩිජිටල් කරණයට අවශ්‍ය වන ප්‍රතිපත්ති සම්පාදනයේදී ඉතා පසුගාමී තත්වයක සිටින බව අප ශ්‍රී ලංකා තොරතුරු තාක්ෂණ සංගමයට අකමැත්තෙන් වුවද ප්‍රකාශ කිරීමට සිදුවේ.

    ඩිජිටල් සෞඛ්‍යයේදී රෝගීන්ගේ හෝ සෞඛ්‍ය සේවාව ලබාගන්නා පුද්ගලයාගේ පෞද්ගලිකත්වය සහ දත්ත වල ආරක්ෂාව තහවුරු කිරීමට බොහෝ රටවල විවිධ ප්‍රතිපත්ති සහ නීති සම්පාදනය වී තිබේ. ඇමරිකානු පුරවැසියන්ගේ සෞඛ්‍ය දත්ත ආරක්ෂාව සම්බන්ධයෙන් Health Insurance Portability and Accountability Act නොහොත් HIPAA හදුන්වා දී ඇත, යුරෝපා සමූහයේ GDPR මගින් පුරවැසියන්ගේ සෞඛ්‍ය දත්ත ඇතුළු අනෙකුත් දත්ත සදහා වගවීමක් සිදුවනු ලැබේ, ඉන්දියාවේද සෞඛ්‍ය සත්කාර දත්ත ‘සංවේදී පුද්ගලික දත්ත’ ලෙස වර්ගීකරණය කර ඇති බව උදාහරණ වශයෙන් දැක්විය හැකිය.

    පෞද්ගලිකත්වයට ඇති අයිතිය මූලික මානව හිමිකමක් ලෙස ශ්‍රී ලංකාව තුල පිලි නොගන්නා අවස්ථාවක දත්ත ආරක්ෂණ පනත සහ සයිබර් ආරක්ෂණ පනත පාර්ලිමේන්තුව මගින් අනුමත නොවී ඇති අවස්ථාවක එන්නත් කරණය සදහා ඩිජිටල් හැදුනුම්පත් නිකුත් කිරීම නොදුරු අනාගතයේදී ඇතිවිය හැකි අනතුරකට අත වැනීමක් වියහැකි බැවින් ඩිජිටල් හැඳුනුම්පත් නිකුත් කිරීමට ප්‍රථම ජනතාවගේ දත්ත සහ පෞද්ගලිකත්වය ආරක්ෂා කිරීමට අවශ්‍ය ප්‍රතිපත්තීන් සහ වැඩපිළිවෙලක් සම්පාදනය කළයුතු බව අප ශ්‍රී ලංකා තොරතුරු තාක්ෂණ සංගමය රජයට පෙන්වා දෙමු.