Blog

  • පාලනයෙන් ගිලිහුණ ‘චීන රොකට්ටුව’ පෘථිවියට කඩා වැටීමට යයි

    පාලනයෙන් ගිලිහුණ ‘චීන රොකට්ටුව’ පෘථිවියට කඩා වැටීමට යයි

    මේ වන විට පාලනයකින් තොරව පෘථිවිය වටා කක්ෂයේ ඇදී යන චීන රොකට්ටුව පෘථිවි වායුගෝලයට පාලනයකින් තොර යළි ඇතුළු වීමකට සූදානම් වන අතර එය ගොඩ බසින්නේ කොතැනටදැයි විද්‍යාඥයෝ නොදනිති.

    1990 පසු ටොන් දහයකට වඩා බර කිසිවක් හිතාමතාම කක්ෂයේ ඉතිරි කර පාලනයකින් තොරව නැවත පෘථිවියට වැටීමට ඉඩ හැර නොමැත. නමුත් ටොන් 21ක් බරැති ‘ලෝන්ග් මාර්ච් 5බී’ ඉදිරි දින කීපය තුළ, මෙතෙක් එලෙස ගොඩබැසීමට හරින විශාලතම රොකට්ටුව බවට පත්වනු ඇත.

    මීටර් 5ක් (අඩි 16ක්) පළල සහ දිග මීටර් 30කින් (අඩි 98ක්) යුතු එම රොකට්ටුව, චීනයේ නව අභ්‍යවකාශ මධ්‍යස්ථානයේ කොටසක් (මොඩියුලයක්) අප්‍රේල් මස අවසානයේදී කක්ෂයට ගෙන යාම සඳහා භාවිත කර තිබේ. එය දැන් පෘථිවිය දෙසට කක්ෂගතව පැයට කිලෝමීටර 27,600 ක වේගයෙන් ඇදී යයි.

    රොකට්ටුව පතිත විය හැකි කලාපය

    බීබීසී විද්‍යා වාර්තාකරු ජොනතන් ඒමොස් පවසන්නේ එය ඇදී යන කලාපය සමකයට අංශක 41ක් උතුරට හා දකුණට විහිදෙන බවය. උතුරින් නිව්යෝර්ක්, ඉස්තාන්බුල් සහ බෙයිජිං ද, දකුණින් වෙලිංටන් සහ චිලී දක්වා එම කලාපය විහිදේ.

    “ඔබ මෙම කලාපයට උතුරින් හෝ දකුණින් ජීවත් වන්නේ නම් මෙය ඔබ මතට වැටෙන්නේ නැහැ. ඔබ ජීවත් වන්නේ සමකයට ආසන්නව එම කලාපය තුළ නම්, ඔබ මතට මොනයම් හෝ දෙයක් වැටීමට ඇති ඉඩකඩ ඉතා අල්පයි. පෘථිවියෙන් 70%ක් සාගරයෙන් වැසී තිබෙනවා. එබැවින් නැවත ගමනේ දේ ගිනිගෙන විනාශ වුණේ නැත්නම් එය ජලයට පතිත වෙන්න ඉඩ තිබෙනවා,” ඔහු පැවසීය.

    The Long March 5B rocket carrying the core module of China's space station in the launching area of the Wenchang Spacecraft Launch Site on April 23rd 2021
    මෙම රොකට්ටුව චීන අභ්‍යවකාශ මධ්‍යස්ථානයේ මූලික කොටස වන ‘ටියැන්හේ’ මොඩියුලය රැගෙන ගියේය

    2020 මැයි මාසයේ චීනයෙන් ලෝන්ග් මාර්ච් 5බී රොකට්ටුවක් දියත් කළ අවසාන අවස්ථාවේ දී බටහිර අප්‍රිකානු අයිවරි කෝස්ට් රාජ්‍යයේ ගම්මානවලට එහි සුන්බුන් වැටී තිබිණි. එහි දී කිසිවෙකුට හානියක් නොවූවත්, මීටර් 12ක් (අඩි 39) ක් දිග ලෝහ පයිප්පයක් ද එසේ වැටුණු සුන්බුන් අතර තිබිණි.

    ලෝන්ග් මාච් 5 බී රොකට්ටුව

    මැයි 10 වෙනි දින පමණ වන විට රොකට්ටුව කඩා වැටෙනු ඇතැයි විද්‍යාඥයින් බලාපොරොත්තු වේ. ඒ, එම දිනට එක් දිනක් හෝ දෙකක් පෙර හෝ පසු විය හැකි බවට ගණන් බලා ඇති ප්‍රමාද දෝෂයකට ඉඩ හරිමිනි. නමුත් එය පෘථිවියට වැටීමට පැයක පමණ ආසන්න වන තෙක් එසේ පතිතවන්නේ කොතැනදැයි ඔවුන් නිසැකවම දැන නොසිටිනු ඇත.

    චීන අභ්‍යවකාශ මධ්‍යස්ථානයේ චිත්‍රණයක්

    ‘ඇස්ට්‍රියාග්‍රාෆ්’ ලෙස නම් කළ සිතියමක් සඳහා එක්සත් ජනපද රජය අරමුදල් සපයා ඇති අතර එයින් අභ්‍යවකාශයේ ඇති, මිනිසුන් විසින් නිපදවන ලද සියලුම වස්තූන් සොයා ගැනීමට ඉඩ සලසයි. එවැනි වස්තූන් 26,000ක් පමණ ඇත.

    මෙම ව්‍යාපෘතියට සම්බන්ධ ටෙක්සාස් විශ්ව විද්‍යාලයේ අභ්‍යවකාශ ඉංජිනේරු මහාචාර්ය මොරිබා ජා පැවසුවේ “එම වස්තූන් ස්මාර්ට් ජංගම දුරකතනයේ සිට අභ්‍යවකාශ මධ්‍යස්ථානයක් දක්වා විශාලත්වයෙන් යුක්ත වෙනවා. ඒ අතර ක්‍රියාකාරී චන්ද්‍රිකා 3,500 ක් තියෙනවා. අනෙක් සියල්ල කැලි කසළ,” යනුවෙනි.

    20 වන සියවසේ දෙවෙනි භාගයේදී අභ්‍යවකාශ ගවේෂණය ඉහළ යාමත් සමඟ අභ්‍යවකාශ සුන්බුන් ප්‍රමාණය වැඩි වෙමින් පවතින අතර එය ක්‍රියාකාරී චන්ද්‍රිකාවලට තර්ජනයක් විය හැකිය. පැරණි රොකට් කැබලි ඇතුළු විශාල වස්තූන් 200ක් පමණ තිබෙන අතර, ඒවා “කාල බෝම්බ” ලෙස හැඳින්විය හැකි බව මහාචාර්ය මොරිබා ජා පැවසීය.

    “පිහිටීම, යාත්‍රණය සහ වේලාව, මූල්‍ය ගනුදෙනු, කාලගුණ අනතුරු ඇඟවීම් වැනි සේවාවන් සපයන චන්ද්‍රිකාව ඕනෑම අවස්ථාවක දී මෙම සුන්බුන් සමග ගැටී අක්‍රිය විය හැකිය. එබැවින් අභ්‍යවකාශය පදනම් කරගත් සම්පත්වලින් සැලකිය යුතු කොටසක් අහිමි වී මානව වර්ගයාට දැඩි බලපෑමක් එල්ල වනු ඇත.

    චීන රොකට්ටුව ඇස්ට්‍රියාග්‍රාෆ් සිතියමේ සොයාගත හැකි අතර එය CZ-5B ලෙස නම් කර තිබේ.

    එය සෑම මිනිත්තු 90 කට වරක් පෘථිවිය වටා ගමන් කරන නමුත් බොහෝ විචල්‍යයන් සහ ගණනය කිරීම් සිදු කළ යුතු බැවින් රොකට්ටුව වැටෙන ගමන් මාර්ගය සැලසුම් කිරීම දුෂ්කර වී තිබේ.

    එබැවින් මේ වන විට විද්‍යාඥයන් එහි බැස්ම නිරීක්ෂණය කරමින් සිටින්නේ එහි, ඉතා ආසන්න පෘථිවියට නැවත පිවිසීම අපේක්‍ෂා කරමිනි.

    Text by bbc sandesaya

  • ඉන්දීය B.1.617 ඇතුළු නව වෛරස 06ක ආසාදිතයින් මෙරටින් හඳුනාගනී

    ඉන්දීය B.1.617 ඇතුළු නව වෛරස 06ක ආසාදිතයින් මෙරටින් හඳුනාගනී

    මේ වන විට ඉන්දියාව විසාලාවක් බවට පත් කරමින් පැතිර යන B.1.617 වෛරසය ආසාදනය වූ පුද්ගලයෙකු මෙරටින් හඳුනාගත් බව ශ්‍රී ජයවර්ධනපුර විශ්ව විද්‍යාලයේ ආසාත්මිකතා හා ප්‍රතිශක්ති විද්‍යාව සහ ශෛල ජෛව විද්‍යාතනයේ අධ්‍යක්ෂ වෛද්‍ය ආචාර්ය චන්දිම ජීවන්දර පවසනවා.

    ආචාර්ය චන්දිම ජීවන්දර පැවසුවේ නිරෝධායන මධ්‍යස්ථානයකින් කොළඹ පිහිටි පෞද්ගලික රෝහලක් වෙත එවන ලද වෛරස් සාම්පලයකින් එම ආසාදිතයා හඳුනා ගෙන ඇති බවයි.

    මේ අතර ලෝක සෞඛ්‍ය සංවිධානයේ දැඩි අවධානයට ලක්ව ඇති විනාශකාරී කොවිඩ් වෛරස් ප්‍රභේද වන දකුණු අප්‍රිකානු වෛරස් ප්‍රභේදය වන B.1.351 කාණ්ඩය ආසාදනය වූ ආසාදිතයෙකුද, නයිජීරියාවේ ව්‍යාප්ත වන B.1.525 වෛරස් ප්‍රභේදය ආසාදිතයින් (බණ්ඩාරගම සහ කොළඹ දිස්ත්‍රික්කවලින්) , ඩෙන්මාර්කය/ යුරෝපය සහ මැදපෙරදිග ව්‍යාප්තවන B.1.428 වෛරස් ප්‍රභේදය (යාපනය දිස්ත්‍රික්කයේ කොවිඩ් ආසාදිතයින්ගේ සිදුකළ ජානමය අනුක්‍රමණ පරීක්ෂණයෙන් ) සහ බ්‍රිතාන්‍යයේ කෙන්ට් ප්‍රානත්යෙන් හමුවූ B.1.1.7 නම් කොවිඩ් ප්‍රභේදය ආසාදනය වූ ආසාදිතයින් විශාල පිරිසක් ද හදුනාගත් බවයි ආචාර්ය චන්දිම ජීවන්දර වැඩි දුරටත් පවසා සිටියේ.

  • සොයිසා කාන්තා රෝහලේ දී බිහි වූ බිළිඳුන් 70කට කොරෝනා

    සොයිසා කාන්තා රෝහලේ දී බිහි වූ බිළිඳුන් 70කට කොරෝනා

    කොළඹ සොයිසා කාන්තා රෝහලේදී කොවිඩ් -19 ආසාදිත බිළිඳුන් 70 දෙනකු පමණ මේ වනවිට උපත ලබා ඇති බව විශේෂඥ වෛද්‍ය නලින් ගමඇතිගේ මහතා පවසයි.

    ඊයේ (07) කොළඹ පැවැති මාධ්‍ය හමුවකට එක් වෙමින් නව ජන්ම ළදරුවන් පිළිබඳ විශේෂඥ වෛද්‍ය නලින් විශේෂඥ වෛද්‍ය ගමඇතිගේ මහතා මේ බව පැවසුවේය.

    මේ පිළිබදව මාධ්‍ය වෙත අදහස් දක්වමින් ගමඇතිගේ මහතා මෙසේද සදහන් කළේය. ‘‘මේ වන විට කොළඹ සොයිසා කාන්තා රෝහලේදී පමණක් කොවිඩ්-19 ආසාදිත බිළිදුන් 70 දෙනකු පමණ බිහිවී තිබෙනවා. එම සියලු බිළිඳුන් වෙන් වෙන්ව ආරක්ෂා සහිතව රැකබලා ගැනීමට අවශ්‍ය ක්‍රියාමාර්ග ගෙන තිබෙනවා. කොවිඩ් ආසාදිත ගර්භනී මවුවරුන්ගේ ගර්භාෂය තුළදී ම වෛරසය ආසාදනය වීමේ ඉහළ ප්‍රවණතාවක් තිබෙනවා“

    මෙම මාධ්‍ය හමුවට එක්වූ කාසල් වීදිය කාන්තා රෝහලේ ළදරු රෝග විශේෂඥ වෛද්‍ය සමන් කුමාර මහතා සඳහන් කළේ, ඉදිරියේදී සෑම රෝහලකම කොවිඩ් ආසාදිත බිළිඳුන් රැකබලා ගැනීම සඳහා වෙන්ව ඒකකයක් පිහිටුවීමට පියවර ගත යුතු බවයි. ගැබිණි කාන්තාවන්ට කොවිඩ් -19 ආසාදනයවීම වළක්වා ගැනීම සඳහා ආරක්ෂිත වැඩපිළිවෙලක් ක්‍රියාත්මක කළ යුතු බවද ඔහු සදහන් කළේය.

  • ඡන්දය බල්ලට ගිහින් ! සුපිරි ඡායාරූප එකතුව

    ඡන්දය බල්ලට ගිහින් ! සුපිරි ඡායාරූප එකතුව

    ඡන්දේ බල්ලට ගිහින්“ කියලා අපි ඇතැම් විට කියනවා. ඒත් ඇත්තටම බල්ලන්ට ලෝකේ කිසිම රටක ඡන්ද බලය නැහැ වගේම බල්ලන්ට ඡන්දය දෙන්නෙත් නැහැ. ඒත් පසුගිය දා මහා බ්‍රිතාන්‍ය යේ පැවැති ඡන්ද විමසීම අතරතුර ලෝකය පුරා සංසරණය වූ අපූරු ඡායා රූප බැලූ විට නම් හිතුණේ ‘ඡන්දය බල්ලට ගියා නම්“ හොදයි කියලා.

    බී.බී.සී වාර්තා දක්වන ආකාරයට මහා බ්‍රිතාන්‍ය යේ ඡන්ද මධ්‍යස්ථානවල සුනඛයන්ගේ පින්තූර මැතිවරණ දින සම්ප්‍රදායක් බවට පත්ව තිබෙනවා. මේ පසුගිය දා මහා බ්‍රිතාන්‍ය යේ පැවැති ඡන්ද විමසීමේදී ඡන්ද පොළ තුළ දක්නට ලැබුණු අපූරු සුනඛ සුරතලුන්ගේ සුන්දර ඡායාරූප එකතුවක්.

    ලන්ඩනයේ ඩල්විච් විලේජ් හි ඡන්ද මධ්‍යස්ථානයෙන් පිටත බංකුවක් වටා බල්ලන් ගණනාවක් වාඩි වී සිටිති
    ඇනා ස්කිප්වර්ත් පැවසුවේ ලන්ඩනයේ ඩල්විච් විලේජ් හි ඡන්ද මධ්‍යස්ථානයේ “අපූරු ඡන්දය ප්‍රකාශ කිරීමක්” සිදුව ඇති බවයි
    සොසේජස් බල්ලෙක් ලන්ඩනයේ හැක්නි හි ඡන්ද මධ්‍යස්ථානයක රතු දුනු ටයි පටියක් ඇඳ සිටිනු දක්නට ලැබේ
    කාන්තාවක් සහ ඇගේ බල්ලා රෝස පැහැති පොල්කා තිත් වලින් වැසී ඇති ඡන්ද මධ්‍යස්ථාන ගොඩනැගිල්ලක් පසුකර යති
    රූප ශීර්ෂයයෝක්ෂයර් හි ෂෙෆීල්ඩ් හි පිහිටි පොල්කා ඩොට් බෑන්ක් වීව් කැෆේ ඡන්ද මධ්‍යස්ථානයෙන් පිටත ඇති තටාකයක් පිටතට පැමිණීම ගැන කලබල විය
    බර්ක්ෂයර් හි රීඩින් හි කැවර්ෂාම් හි ඡන්ද මධ්‍යස්ථාන ලකුණක් අසල බල්ලෙක් වාඩි වී සිටී
    බිස්කට් පිරිනමන අතරේ බල්ලෙක් ඡන්ද මධ්‍යස්ථාන ලකුණක් ඉදිරිපිට සිටගෙන සිටියි
    මිනිසෙක් බල්ලෙකු සමඟ ඔක්ස්ෆර්ඩ්හි ඡන්ද මධ්‍යස්ථානයක් පසුකර යයි
    බල්ලෙකු සහ එහි හිමිකරු වේල්සයේ කාඩිෆ්හි ඡන්ද මධ්‍යස්ථානයකට ඇවිද යති
    ලන්ඩනයේ ඡන්ද මධ්‍යස්ථාන ලකුණක් අසල බල්ලෙක් සිටගෙන සිටියි
    හාර්ට්පූල් හි ඡන්ද මධ්‍යස්ථානයක් ඉදිරිපිට බල්ලෙක් සිටගෙන සිටියි
    හාර්ට්පූල් හි ඡන්ද මධ්‍යස්ථානයක් ඉදිරිපිට බල්ලෙක් සිටගෙන සිටියි
    ලන්ඩනයේ ඡන්ද මධ්‍යස්ථාන ලකුණක් ඉදිරිපිට බලු පැටියෙක් සිටගෙන සිටියි
    ෂෙෆීල්ඩ් හි නොර්ෆොක් උද්‍යානයේ ඡන්ද මධ්‍යස්ථානයක් ඉදිරිපිට බල්ලෙක් සිටගෙන සිටියි
    ඇල්ෆි බයිකොන් ෆ්‍රයිස් බල්ලා ඡන්ද මධ්‍යස්ථාන ලකුණක් අසල සිටියි

    ඡායාරූප – බී.බී.සී

  • ඇතැම් ප්‍රදේශවල අහඹු PCR පරීක්ෂණවලදී 25% දක්වා කොරෝනා ආසාදිතයන්

    ඇතැම් ප්‍රදේශවල අහඹු PCR පරීක්ෂණවලදී 25% දක්වා කොරෝනා ආසාදිතයන්

    ඇතැම් ප්‍රදේශවල සිදු කරන අහඹු පී.සී.ආර් පරීක්ෂණවලදී 8% සිට 25% දක්වා කොරෝනා ආසාදිතයන් වාර්තා වන තත්ත්වය හමුවේ මුළු රටම ලොක්ඩවුන් කිරීමට නොහැකි නම් අඩුම තරමින් පළාත් අතර උපරිම සංචරණ සීමා පනවමින් හෝ ජනතාව ආරක්ෂා කරගැනීමට රජය වහාම පියවර ගත යුතු බව මහජන සෞඛ්‍ය පරීක්ෂකවරුන්ගේ සංගමයේ සභාපති උපුල් රෝහණ මහතා පවසනවා.

    අද (07) පැවැති මාධ්‍ය හමුවකදී අදහස් දැක්වූ උපුල් රෝහණ මහතා කියා සිටියේ පළාත් අතර හෝ උපරිම සංවරණ සීමා පැනවීමට රජය කඩිනමින් කටයුතු නොකළහොත් ඉදිරියේදී දැඩි අවදානම් තත්ත්වයකට රට පත් වනු ඇති බවයි.

  • ඉන්දියාව නොමිලේ දුන් ‘අස්ට්‍රාසෙනිකා’ දැන් කළුනික වගේ !

    ඉන්දියාව නොමිලේ දුන් ‘අස්ට්‍රාසෙනිකා’ දැන් කළුනික වගේ !

    ඉන්දිය රජයේ පරිත්‍යාගයක් ලෙස ලැබුණු අස්ට්‍රාසෙනිකා එන්නතේ පළමු මාත්‍රාව ලබා ගත් ජනතාවට එහි දෙවැනි මාත්‍රාව ලබා දීම සඳහා එම එන්නත සොයා ගැනීම දුෂ්කර වී ඇතැයි එන්නත්කරණ වැඩපිළිවෙළ පිළිබඳ ජනාධිපති කාර්ය සාධක බලකායේ ප්‍රධානී ජනාධිපති උපදේශක ලලිත් වීරතුංග මහතා පවසනවා. මෙහිදී වීරතුංග මහතා කියා සිටියේ එන්නත් මිලදී ගැනීමට රජයට මුදල්වල ප්‍රශ්නයක් නැති බවයි.

    මේ පිළිබදව වැඩි දුරටත් කරුණු පැහැදිලි කළ ලලිත් වීරතුංග මහතා, ‘අස්ට්‍රාසෙනිකා එන්නත හදන සිරම් ආයතනයට ඉන්දියාව මුහුණ දී ඇති අර්බුදය නිසා එන්නත් සැපයිම කළ නොහැකි වෙලා තිබෙනවා. ඔවුන් හදන එන්නත් අද ඉන්දියාවට පවා ප්‍රමාණත් නැහැ. එම එන්නත් හැකිනම් ලබා දෙන්නැයි රජය සිරම් ආයතනයෙන් ඉල්ලීම් කර තිබෙනවා. එහෙත් ඔවුනට රජයේ ඉල්ලීම ඉටු කිරීමට නොහැකි බවයි පවසා තිබෙන්නේ. මේ එන්නත ලබා ගැනීම දුෂ්කර වෙලා තිබෙන්නේ අපිට පමණක් නොවෙයි. ලෝක සෞඛ්‍ය සංවිධානයේ කොවැක්ස් ආයතනයටවත් එම එන්නත සොයාගැනීම අද දුෂ්කර වී තිබෙනවා.

  • ආසාදිතයින් වැඩි වුවහොත් නිවෙස්වලත් රැඳවීමට  උපදෙස් මාලාවත් සූදානම්

    ආසාදිතයින් වැඩි වුවහොත් නිවෙස්වලත් රැඳවීමට උපදෙස් මාලාවත් සූදානම්

    ඉදිරි දිනවලදී කොවිඩ්-19 ආසාදිතයන් හමුවීම ප්‍රමාණාත්මකව වැඩි වුවහොත් සමහරුන් නිවෙස්වලත් රැඳවීමට සිදුවනු ඇතැයි කොරෝනා මර්දන රාජ්‍ය ඇමතිනි විශේෂඥ වෛද්‍ය සුදර්ශනී ප්‍රනාන්දුපුල්ලේ මහත්මිය අද (07) කොළඹ දී පැවති මාධ්‍ය හමුවකදී පැවසුවාය.

    මෙහිදී වැඩි දුරටත් අදහස් දැක්වූ රාජ්‍ය අමාත්‍යවරිය, ‘ආසාදිතයින් එසේ නිවෙස්වල රැඳවීමට සිදුවන අවස්ථාවල දී අනුගමනය කළ යුතු උපදෙස් මාලාවක් මේ වනවිට සකස් කරගෙන යනවා. එසේම කොරෝනා වෛරස ව්‍යාප්තිය හේතුවෙන් ප්‍රදේශ හුදෙකලා කිරීම පිළිබඳව තීරණ ගනු ලබන්නේ දේශපාලනිකව නොව ආසාදිතයන් වාර්තාවීම අනුව වසංගත විද්‍යාත්මකවයි.සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජනරාල්ගේ දැනුවත්භාවය මත වසම් මට්ටමෙන් වසා දැමීමේ බලය ප්‍රාදේශීය සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂවරුන්ට හිමි වෙනවා‘

    මෙහිදී අමාත්‍යවරිය පැවසුවේ අවශ්‍ය වුවහොත් ඇතැම් විට රට වසා දැමීමේ තීරණයකට වුවද යා හැකි බවයි.

  • ශ්‍රී ලංකාවේ බෞද්ධ සිද්ධස්ථාන 10,089ට අන්‍යාගමික සිද්ධස්ථාන 12,148ක් !

    ශ්‍රී ලංකාවේ බෞද්ධ සිද්ධස්ථාන 10,089ට අන්‍යාගමික සිද්ධස්ථාන 12,148ක් !

    ශ්‍රී ලංකාවේ ආගමික නිදහස පිළිබඳව බොහෝ අය  කතාබහ කළ ද  ශ්‍රී ලංකාවේ ගොඩනගා ඇති පූජනීය ස්ථාන 20,000කට ආසන්න සංඛ්‍යාවෙන් බෞද්ධ විහාර 10,089ක්, හින්දු කෝවිල් 7,630ක්, ක්‍රිස්තියානි දේවස්ථාන 2,066ක් සහ මුස්ලිම් දේවස්ථාන 2,452ක් ඇති බව හැමෝම අමතක කර දමා ඇතැයි එක්සත් රාජධානියේ ශ්‍රී ලංකා මහ කොමසාරිස් සරෝජා සිරිසේන මහත්මිය පෙන්වා දෙන්නේය. ආගමික සිද්ධස්ථාන ගොඩ නගා ගෙන ඇති ආකාරය අනුව ශ්‍රී ලංකාව  ආගමික නිදහස කප්පාදු කරන බවට කරන චෝදනා සාධාරණ දැයි ඇය ප්‍රශ්න කර සිටියාය.

    එක්සත් රාජධානියේ ශ්‍රී ලංකා මහ කොමසාරිස් කාර්යාලය, නිදහසින් පසු අනුප්‍රාප්තික ශ්‍රී ලංකා රජයන් විසින් සපයන ලද පොදු පහසුකම් හා දශක ගණනාවක් තිස්සේ එහි ජනතාව වෙනුවෙන් කරන ලද ශක්තිමත් ආයෝජනයන්ට ස්තූති වන්නට විශිෂ්ට දක්ෂතා දැක්වූ ශ්‍රී ලාංකිකයන් ඇගයීම සඳහා ඉකුත් දා පැවැති උත්සවයකදී මහ කොමසාරිස්වරිය මේ බව සඳහන් කළාය. 

    එහි දී ඇය පෙනවා දුන්නේ  ශ්‍රී ලංකාවේ යථාර්ථය පිළිබිඹු කිරීමට, ශ්‍රී ලංකාව පිළිබඳ පවත්නා බටහිර හැඟීම් අසමත් වන බවයි. ශ්‍රී ලාංකික සම්භවයක් ඇති තරුණ තරුණියන්ගේ මනස වෙනස් කිරීම සඳහා දරන ලද දරුණු ප්‍රයත්න විශේෂයෙන් තැතිගන්වන සුළු වන අතර, ඒ පිළිබඳව අප සැවොම සැලකිලිමත් විය යුතු බව ඇය පැවසුවාය.

    අවම සම්පත් තිබිය දී ද ශ්‍රී ලංකාව සිය සිත් ඇදගන්නා සුළු සමාජ සංවර්ධන දර්ශක ළඟාකර ගැනීමට සමත් වී ඇත. එක්සත් රාජධානියේ ඒක පුද්ගල දළ දේශීය නිෂ්පාදිතයෙන් 10% ට වඩා අඩු වුවද, ශ්‍රී ලංකාව රෝගීන් 1000කට එක් වෛද්‍යවරයකුගේ අනුපාතය සහ ගුරු ශිෂ්‍ය අනුපාතය 16.5ක් ලෙස පවත්වාගෙන යයි. ශ්‍රී ලංකාවේ රජයේ පාසල් 10,000කට අධික සංඛ්‍යාවක් අතරින් 6,925ක් සිංහල මාධ්‍ය පාසල් වන අතර 3,240ක් දෙමළ  පාසල් බවද මහ කොමසාරිස්වරිය පෙන්වා දුන්නාය.

    ශ්‍රී ලංකා රජයන් විසින් සපයන ලද පොදු පහසුකම් හා දශක ගණනාවක් තිස්සේ එහි ජනතාව වෙනුවෙන් කරන ලද ශක්තිමත් ආයෝජනයන්ට ස්තූති වන්නට විශිෂ්ට දක්ෂතා දැක්වූ ශ්‍රී ලාංකිකයන් ප්‍රදර්ශනය කිරීම සඳහා වේදිකාවක් ආරම්භ කළේය. මෙම කටයුත්ත දියත් කරමින්, මහ කොමසාරිස් කාර්යාලයේ උපදේශක අබ්දුල් හලීම් මහතාගේ ජීවිතයේ සන්ධිස්ථාන දැක්වෙන කෙටි වීඩියෝවක් මහ කොමසාරිස් කාර්යාලය විසින් ඉදිරිපත් කරන ලදී.

    මෙහිදී අදහස් දැක්වූ මහ කොමසාරිස් කාර්යාලයේ උපදේශක අබ්දුල් හලීම් මහතාගේ කියා සිටියේ තමා ආඩම්බර ශ්‍රී ලාංකිකයෙකු වන අතර, නිදහස් අධ්‍යාපනයේ සහ නිදහස් සෞඛ්‍යයේ නිෂ්පාදනයක් වන බැවින්, තමා සිය මව්බිමට ස්තූතිවන්ත වන බවයි. 2009 දී අවසන් වූ ත්‍රස්තවාදී ගැටුම හේතුවෙන් ඔහුගේ ජීවිතය එතරම් පහසු නොවූ අතර, ඔහුගේ උපන් ගම ගැටුම්වලින් පීඩාවට පත් ප්‍රදේශයක පිහිටා තිබුණි. එසේ වුවද, ත්‍රස්තවාදී ගැටුම නොතකා ඔහුට පාසල් හා විශ්වවිද්‍යාල අධ්‍යාපනය සඳහා අඛණ්ඩව ප්‍රවේශ වීමට හැකි විය.

    තමා ග්‍රාමීයව හැදී වැඩීම හෝ සුළුතර ප්‍රජාවකට අයත් වීම, 2009 දී ශ්‍රී ලංකා විදේශ සේවයට බැඳීම සඳහා බාධාවක් නොවූ බව හලීම් මහතා විස්තර කළේය. ඔහු එම වසරේ දී විවෘත තරඟ විභාගයකින් ශ්‍රී ලංකා විදේශ සේවය සඳහා තෝරාගත් නිලධාරීන් එකොළොස් දෙනාගෙන් එක් අයෙකු විය. ඔවුන්ගෙන් පස් දෙනෙක් දෙමළ භාෂාව කතා කරන අය වූ අතර එයින් තිදෙනෙක් මුස්ලිම්වරු වූහ. වෙනත් ආකාරයකින් පෙන්වීමට විරුද්ධවාදීන් දරන උත්සාහයන්ට ප්‍රතිවිරුද්ධ ලෙස, අධිෂ්ඨානය හා නොපසුබට උත්සාහය තිබේ නම්, යමෙකුගේ ජනවාර්ගිකත්වය හෝ සමාජ පසුබිම ඕනෑම ශ්‍රී ලාංකිකයෙකුට සිය අරමුණු සාක්ෂාත් කර ගැනීම සඳහා බාධාවක් නොවේ.

  • ‘චීන Sinopharm’ එන්නත සඳහා අනුමැතිය ඉදිරි තෙදින තුළ

    ‘චීන Sinopharm’ එන්නත සඳහා අනුමැතිය ඉදිරි තෙදින තුළ

    ලෝක සෞඛ්‍ය සංවිධානයේ අධ්‍යක්ෂ ජෙනරාල් ආචාර්ය ටෙඩ්‍රොස් ඇඩ්හැනොම් (Tedros Adhanom) මහතා සහ ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා අතර අද (07) පෙරවරුවේ ජනාධිපති කාර්යාලයේ සිට සූම් (ZOOM) තාක්ෂණය ඔස්සේ පැවති  සාකච්ඡාව ඵල දරයි.

    කොවිඩ් පාලනය සඳහා රජය ගෙනයන වැඩපිළිවෙළට ලෝක සෞඛ්‍ය සංවිධානයේ ප්‍රශංසාව පළ කළ ටෙඩ්‍රොස් මහතා ඊට පූර්ණ සහාය ලබාදෙන බව ජනාධිපතිවරයා සමඟ පැවසීය.

    පළමු කොවිඩ් රැල්ලට සාර්ථකව මුහුණ දෙමින් වසංගතය පාලනයට ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මැතිතුමා දුන් නායකත්වය ටෙඩ්‍රොස් ඇඩ්හැනොම් මහතාගේ ප්‍රසාදයට ලක්විය. එහිදී ශ්‍රී ලංකාව අත්කරගත් සාර්ථකත්වය පිළිබඳව ලෝක සෞඛ්‍ය සංවිධානයේ මූලිකත්වයෙන් පැවති සමුළුවලදී සාකච්ඡාවට ලක් කෙරුණු බව අධ්‍යක්ෂ ජෙනරාල්වරයා කියා සිටියේය.

    මෙවරද, කොවිඩ් වෛරසය පැතිර යාම ඉතා ඉක්මණින් පාලනය කිරීමට ශ්‍රී ලංකා රජයට හැකිවනු ඇතැයි ලෝක සෞඛ්‍ය සංවිධානය බලාපොරොත්තු පළ කළේය.

    දෙවන මාත්‍රාව සඳහා ඇස්ට්‍රාසෙනිකා එන්නත් මාත්‍රා මිලියන 20ක අවශ්‍යතාවක් ගෝලීය වශයෙන් පවතී. මෙරටට ඇති එහි අවශ්‍යතාව එන්නත් මාත්‍රා ලක්ෂ 6කි. එම අවශ්‍යතාව සපුරා ගැනීමට ලෝක සෞඛ්‍ය සංවිධානයේ සහාය ලැබෙනු ඇතැයි තමා අපේක්ෂා කරන බව ජනාධිපතිවරයා පැවසීය.

    සයිනොෆාම් එන්නත භාවිතයට ලෝක සෞඛ්‍ය සංවිධානයේ අනුමැතිය ඉදිරි තෙදින තුළ ලබාදීමට හැකි වෙතැයි ටෙඩ්‍රොස් මහතා සඳහන් කළේය. අනුමැතියත් සමඟ මෙරට ජනතාවගෙන් වැඩි පිරිසකට සයිනොෆාම් එන්නත ලබාදීමට හැකිවන බව ජනාධිපතිවරයා පෙන්වා දුන්නේය.

    ලෝක සෞඛ්‍ය සංවිධානය කලාපීය මට්ටමින් හා කොළඹ පිහිටි කාර්යාලයෙන් ලබාදෙන සහයෝගය පිළිබඳව ජනාධිපතිතුමා ටෙඩ්‍රොස් මහතාට සිය ප්‍රශංසාව පළ කළේය.

  • කොවිඩ් එන්නත ජනතාවට දීම සහ ගෙන්වීම වේගවත් කරන්න – ජනපතිගෙන් උපදෙස්

    කොවිඩ් එන්නත ජනතාවට දීම සහ ගෙන්වීම වේගවත් කරන්න – ජනපතිගෙන් උපදෙස්

    කොවිඩ් එන්නත ජනතාවට ලබාදීම සහ ගෙන්වීම යන පියවර දෙකම වේගවත් කරන්නැයි ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා නිලධාරීන්ට උපදෙස් දෙයි. කෙටි කාලයක් තුළ හැකි උපරිමයෙන් එන්නත් ලබාදීම කළ යුතු බව දෛනිකව රැස්වෙන කොවිඩ් කමිටුව සමඟ අද (07) පෙරවරුවේ ජනාධිපති කාර්යාලයේ පැවති සාකච්ඡාවේදී ජනාධිපතිවරයා අවධාරණය කළේය.

    රෝගය පැතිර යාමට බොහෝ සෙයින් පාදක වන බස්නාහිර පළාත කෙරෙහි විශේෂ අවධානය යොමු කිරීම වැදගත් වෙයි. රුසියාවේ නිෂ්පාදිත “ස්පුට්නික්” (Sputnik) එන්නත ලබාදීම ඊයේ (06) සිට ආරම්භ කෙරිණ. චීනයෙන් ලැබුණු “සයිනොෆාම්” එන්නත් ලක්ෂ 6ක් සෞඛ්‍ය අංශ සතුව ඇත. රටවල් 51ක මිලියන 55කට අධික පිරිසකට “සයිනොෆාම්” එන්නත සාර්ථකව ලබාදී තිබේ. එම රටවල සෞඛ්‍ය බලධාරීන් සමඟ සාකච්ඡා කර එම එන්නත කඩිනමින් ලබාදීමට ඇති හැකියාව සොයා බලන්නැයි ජනාධිපතිතුමා විසින් උපදෙස් දෙනු ලැබිණ. පළමු එන්නත ලබාගත් පිරිසට “ඇස්ට්‍රාසෙනිකා” එන්නතෙහි දෙවන මාත්‍රාව දීම සිදු කෙරෙමින් පවතී.

    “ඇස්ට්‍රාසෙනිකා” එන්නත් අතිරික්තයක් ඇති රටවලින් එන්නත් ලබාගැනීමට අවශ්‍ය සාකච්ඡා මේ වන විටත් සිදු කර තිබේ.

    ආසාදිතයන් හඳුනා ගත් ප්‍රදේශ වසා දමමින් සහ සීමා පනවමින් රෝගය පැතිර යාම වැළැක්වීමට උපරිම පියවර ගෙන ඇති බව නිලධාරීහු පෙන්වා දුන්හ. සියලු රෝහල්වල පහසුකම් අවශ්‍ය මට්ටමින් පවත්වාගෙන යාමට  පියවර ගෙන තිබේ. රෝගය පැතිර යාම වැළැක්වීමට ගෙන ඇති පියවර සාර්ථක කර ගැනීමට ජනතාවගේ සහායද අත්‍යාවශ්‍ය බව නිලධාරීහු පැවසුහ.

  • ‘අගමැතිගෙන්’ විවෘත ආයාචනයක් !

    ‘අගමැතිගෙන්’ විවෘත ආයාචනයක් !

    අපි රටක් ලෙස එකට අත්වැල් බැඳගෙන මෙම අභියෝගාත්මක කාලයට මුහුණ දෙමු යැයි රුවන්පුර අධිවේගී මාර්ග ව්‍යාපෘතියේ වැඩ ආරම්භ කිරීමේ සමාරම්භක අවස්ථාවට එක්වෙමින් අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මහතා අද (07) දින පෙරවරුවේ අරලියගහ මන්දිරයේ දී පැවැසීය.

    2014 වර්ෂය වනවිට සැළසුම් අවසන් කර තිබූ රුවන්පුර අධිවේගී මාර්ග ව්‍යාපෘතිය පසුගිය රජය විසින් සම්පූර්ණයෙන්ම අතහැර දමා තිබිණි. මෙම ව්‍යාපෘතියේ පළමු අදියරේ වැඩ කටයුතු අග්‍රාමාත්‍යතුමාගේ ප්‍රධානත්වයෙන් අද දින ආරම්භ වූ අතර ඒ අනුව කහතුඩුව සිට ඉංගිරිය දක්වා කිලෝමීටර් 24ක කොටසේ ඉදිකිරීම් ඇරඹිණි.

    දෙවැනි හා තෙවැනි අදියරේ දී රත්නපුරය සහ පැල්මඩුල්ල දක්වා මෙම අධිවේගී මාර්ගය දිගුවනු ඇත.

    රුවන්පුර අධිවේගී මාර්ගයේ ශක්‍යතා අධ්‍යනය, සැළසුම සහ ව්‍යාපෘතියේ ඉදිකිරීම්  මුළුමනින්ම දේශීය ඉංජිනේරුවන්, ආයතන සහ සමාගම් අතින් සිදුවීම විශේෂත්වයකි.

    අධිවේගී මාර්ගය ඉදිකිරීම ඔස්සේ මාර්ග තදබදය අඩුවීම,පිරිවැය අඩුවීම,කාලය ඉතිරිවීම, තේ, ඇඟලුම්, සුළු අපනයන බෝග හා මැණික් වෙළඳපොළ සහ සැපයුම් ස්ථානවලට පිවිසුම පහසුවීම, සංචාරක කර්මාන්තය ඇතුළු ආයෝජන අවස්ථා පුළුල් වීම සහ නව රැකියා බිහිවීම ඇතුළු අපේක්ෂිත ප්‍රතිඵල රැසකි.

    රුවන්පුර අධිවේගී මාර්ගයේ වැඩ ආරම්භ කිරීමේ අවස්ථාවට එක්වෙමින් අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මහතා කළ සම්පූර්ණ කතාව මෙසේය.

    සබරගමුව පළාතේ ජනතාවට ඉතා සමීප රුවන්පුර අධිවේගී මාර්ගය ඉදිකිරීමේ ආරම්භක අවස්ථාවට එක්වන්නේ ඉතාම සතුටින්.

    අපි මේ ආරම්භ කරන්නෙ ලංකාවේ හත්වැනි අධිවේගී මාර්ගය. එදා මට මතකයි අධිවේගී මාර්ග හදන්න පටන් ගනිපු මුල් කාලයේ ඉඳන් සබරගමුවේ අපේ ආදරණීය ජනතාව රත්නපුරේට අධිවේගී මාර්ගයක් හදන්නෙ කවදා ද කියලා අපෙන් ඇහුවා.

    ඒ අය ගැන අවධානය යොමු කරලා, රුවන්පුර අධිවේගී මාර්ගයේ වැඩ ආරම්භ කරන්න අපි සැළසුම් කරලා තිබුණෙ මං හිතන්නේ 2014 වර්ෂයේ දි.

    එදා අපි ඒ වෙනුවෙන් සියලු සැලසුම් සකස් කරලා අවසන් කරලා තිබුණේ. එහෙත් ඊට ආරම්භයක් ගන්න කලින් මැතිවරණය පරාජය වෙලා අපට ගෙදර යන්න වුණා.

    හැබැයි, අපි හිතුවා බලයට ආපු ඒ ආණ්ඩුව රටේ සංවර්ධනය අපි නවත්වපු තැනින්  පටන් ගනියි කියලා. ඒ අයට තිබුණෙ බලය උදුර ගැනීමේ උවමනාවක් මිස රට සංවර්ධනය කිරීමේ උවමනාවක් තිබුණේ නෑ.  ඒ නිසා අපි පටන් අරගෙන තිබුණ හැමදේම පහුගිය ආණ්ඩුවෙන් නතර කළා. ඒ විතරක් නෙමෙයි ඒ දේවල්වලට අපෙන් පළිගැනීම් කළා. අධිකරණය ඉදිරියට කොමිෂන් ඉදිරියට අපිව අරන් ගියා.

    අපි ආපහු භාරගත්තෙ ජාතික ආරක්ෂාවත් ආර්ථිකයත් බිංදුවට දාලා සංවර්ධනය නැවතිලා තිබුණ රටක්. නමුත් අපි මේ අභියෝගය ඉතාම සතුටින් භාරගත්තා.

    අපට අවශ්‍යවුණේ හැමදාමත් මේ රටටත් ජනතාවටත් හොඳම දේ දෙන්න. රට දියුණු කරන්න. රටේ ජනතාවගේ බලාපොරොත්තු ඉටුකරන්න.

    ඒ නිසා මොනතරම් බාධක ආවත්, කොතරම් දුෂ්කරතා හමුවේ වුවත් අපි රජයක් විධියට අප ඉදිරිපත් කළ ප්‍රතිපත්ති යථාර්ථයක් වනතුරු ඒ වෙනුවෙන් කැපවී කටයුතු කරනවා කියන එක ඔබ දන්නවා.

    අද ආරම්භවන රුවන්පුර අධිවේගී මාර්ගයේ කහතුඩුවේ සිට ඉංගිරිය දක්වා පළමු අදියරය වසර දෙකහමාරක් ඇතුළත අවසන් කරනවා කියලා අපේ ජොන්ස්ටන් ප්‍රනාන්දු ඇමතිතුමාත් රාජ්‍ය ඇමතිතුමත් අමාත්‍යංශයේ ලේකම්තුමාත් මා සමඟ කිව්වා.

    ඔවුන් ඇතුළු මාර්ග සංවර්ධන අධිකාරිය ඒ වෙනුවෙන් විශාල කැප කිරීමක් කරනවා.

    මේ මාර්ගයේ කිලෝ මීටර් 24 ක්  වන පළමු කොටස සඳහා  රජය දේශීය අරමුදල් රුපියල් බිලියන 54.7 ක් වැයකරනවා. මෙහි ඉදිකිරීම් භාරව කටයුතු කරන්නෙත් දේශීය සමාගමක්.

    පළමු අදියරේ කටයුතු අවසන් වූ වහාම දෙවැනි අදියර ඉංගිරිය සිට රත්නපුරයටත්, තුන්වැනි අදියරේ දී රත්නපුරේ සිට පැල්මඩුල්ල දක්වාත් රුවන්පුර අධිවේගී මාර්ගයේ ඉදිකිරීම් කඩිනම් කරන්න අවස්ථාව ලැබෙනු ඇතැයි මම විශ්වාස කරනවා.

    අධිවේගී මාර්ග තමයි මේ රටේ වැඩියෙන්ම විවේචනය වූ ව්‍යාපෘතිය. හැබැයි විවේචනය කරපු උදවියම අද අධිවේගී මාර්ගවල සුව පහසුව විඳිමින් එහාට මෙහාට යනවා. අපට ඒ ගැන තියෙන්නෙ නිහතමානී ආඩම්භරයක්. මොකද ඒ අධිවේගී මාර්ගයෙම ගිහිං ඒ අධිවේගී මාර්ගයෙම ආවා.

    මේ මොහොත වනවිටත් මධ්‍යම අධිවේගී මාර්ගයේ ඉදිකිරීම් සිදුවෙනවා. මීරිගම සිට පොතුහැර දක්වා කොටස ළගඳීම ජනතා අයිතියට පත්කරන්න අපි බලාපොරොත්තු වෙනවා. මං හිතන්නේ ජොන්ස්ටන් ප්‍රනාන්දු ඇමතිතුමත් ඒ ගැන විශේෂ අවධානයක් යොමු කරලා තියෙනවා.ඒ වගේම පොතුහැර සිට ගලගෙදර දක්වා කොටසත් මග නැගුමෙන් වැඩ ආරම්භ කරලා තියෙනවා.

    2006 වර්ෂයේ දි ලංකාවේ පළමුවැනි අධිවේගී මාර්ගය විධියට දක්ෂිණ අධිවේගී මාර්ගයට අපි මුල පුරන්නෙ රටේ යුද්ධයක් තියාගෙන. අද අපි රුවන්පුර අධිවේගී මාර්ගයට මුල පුරන්නෙ රට පමණක් නෙමෙයි මුළු ලෝකයම කොව්ඩ් වසංගතයෙන් වෙලා ගත් අභියෝගාත්මක අවස්ථාවක.

    ඔබ දන්නවා කොවිඩ්-19 වසංගතයෙන් ජනතාව ආරක්ෂා කරගැනීමට රජයක් විධියට අපි ප්‍රමුඛත්වය දී කටයුතු කරනවා.

    ඒ වගේම දුෂ්කරතා හමුවේ වුවත් රට සංවර්ධනය කිරීමේ මාවතෙන් අපි බැහැරවෙලා නැහැ බැහැර වෙන්නෙත් නැහැ.

    යහපත් මාර්ග පද්ධතියක් කියන්නෙ රටක දියුණුව මනින සාධකයක් කියලයි මම විශ්වාස කරන්නේ. මහින්ද චින්තනනයේ වගේම සෞභාග්‍යයේ දැක්මෙන් අපි ඒ ගැන පැහැදිළිව පෙන්වලා තියෙනවා.

    මේ වන විට මුළු ලෝකයම කොවිඩ් වසංගයට එරෙහිව සටන් කරනවා. කොවිඩ් කියල අපිට රට වහගෙන ඉන්න හැකියාවක් නැහැ. වෛරසයට එරෙහිව සටන් කරන ගමන් රටේ ජනතාවගේ ආර්ථික තත්ත්වය ගැනත් අපි හිතන්න ඕන. ජනතාව නිසි සෞඛ්‍ය උපදෙස් පිළිපදිනවා නම් අපිට මේ තත්ත්වය පාලනය කිරීම එතරම් අපහසු වන්නේ නැහැ කියන එක ඔබ දන්නවා. ඒ නිසා මම ජනතාවගෙන් ඉල්ලා සිටිනවා හැම විටම සෞඛ්‍ය අංශ ලබාදෙන උපදෙස් පිළිපදින්න.

    අපි රටක් ලෙස එකට අත්වැල් බැඳගෙන මෙම අභියෝගාත්මක කාලයට මුහුණ දෙමු.

    ඔබ සැමට සුබ අනාගතයක් වේවා ! යැයි අග්‍රාමාත්‍යතුමා පැවසීය.

  • ආසාදිතයින්ගේ වර්ධනය සෞඛ්‍ය පද්ධතියට දරාගත නොහැකියි

    ආසාදිතයින්ගේ වර්ධනය සෞඛ්‍ය පද්ධතියට දරාගත නොහැකියි

    මේ වන විට දෛනිකව කොවිඩ්-19 ආසාදිතයින් 2000කට ආසන්න පිරිසක් වාර්තා වීම නිසා මෙරට සෞඛ්‍ය පද්ධතියට දරාගත නොහැකි තත්ත්වයකට පත්ව ඇතැයි කොළඹ වසංගත රෝග විද්‍යා අංශයේ ප්‍රධානී විශේෂඥ වෛද්‍ය සුදත් සමරවීර මහතා පැවසීය.

    ඔහු මෙහිදී සදහන් කළේ රෝගීන් විශාල සංඛ්‍යාවක් රෝහල්ගතව සිටීම සහ සුවය ලබන පිරිස දෛනික රෝහල්ගත වීම්වලට වඩා ඉතා පහළ අගයක් ගැනීම නිසා වත්මන් තත්ත්වය උග්‍ර වී ඇති බවයි.

    ‘‘ මේ තත්ත්වය තව දුරටත් උග්‍ර වුණොත් දැඩි අර්බුදයක් නිර්මාණය විය හැකියි. ඒ නිසා සියලුම රට වැසියන් ඉතා වගකීමෙන් කටයුතු කළ යුතුයි. සෞඛ්‍ය අමාත්‍යාංශයට පමණක් සියල්ල සිදු කළ නොහැකියි.

  • එන්නත්කරණය අයාලේ යාම ගැන ‘චන්න ජයසුමනට’ විවාදකට විවෘත අභියෝගයක්

    එන්නත්කරණය අයාලේ යාම ගැන ‘චන්න ජයසුමනට’ විවාදකට විවෘත අභියෝගයක්

    ඊයේ දිනයේදී (06) බන්ධනාගාරය තුළදී විවිධ බාහිර පාර්ශ්වයන්ට විශාල වශයෙන් එන්නත් හොර පාරෙන් ලබාදී ඇතැයි තම සංගමයට වාර්තා වූ බව ද ඒ පිළිබඳව විධිමත් විමර්ෂණයක් කර, නිවැරදි කරුණු රටට හෙළිදරව් කරමින් එන්නත්කරණය  අයාලේ යාම නවතන ලෙස සෞඛ්‍ය වෘත්තියවේදීන්ගේ විද්වත් සංගමය සෞඛ්‍ය ලේකම් වරයාගෙන් ලිඛිත ඉල්ලීමක් කළ බව සෞඛ්‍ය වෘත්තියවේදීන්ගේ විද්වත් සංගමය කියයි.

    අද (07) කොළඹ දී පැවැති මාධ්‍ය හමුවකදී සෞඛ්‍ය වෘත්තියවේදීන්ගේ විද්වත් සංගමයේ සභාපති රවී කුමුදේශ් මහතා කියා සිටියේ එන්නත්කරණය අයාලේ යාම පිළිදව තමා ඇමති චන්න ජයසුමන සමග විවාදයකට වුව ද සූදානම් බවයි.

    මෙහිදී වැඩි දුරටත් කරුණු පැහැදිලි කළ රවී කුමුදේශ් මහතා, ‘‘චන්න ජයසුමන කියන්නේ මිත්‍යා දෘෂ්ඨික විශ්වාසයන්ගේ එල්බ ඇති ඇමතිවරයෙක්. විද්‍යාව මත පදනම්ව වැඩ කරන අපට ඔහු සමග ඇත්තේ එම ගැටුමක් පමණයි. තමන්ට දේශපාලනිකව  හිතෛෂී  කණ්ඩායමක් සමඟ පමණක් සාකච්ඡා කීරීම මගින් වසංගතය දේශපාලනීකරණය කර ඇත්තේ ඔහු මිස අප නොවෙයි. PCR ප්‍රතික්‍රීයක සංචිත; ඉදිරි අවශ්‍යතාවයට පුරෝකථනය නොකරමින්, සංචිත ගබඩා කිරීම ව්‍යාපාරික මගඩියක්. ඕනේ මොනවද කියලා අපි කාගෙන්වත් අහන්නේ නැතුව, ගබඩා කරන්න හදන්නේ මොනවාද?‘

  • කොවිඩ් පාලනය සදහා ආයුර්වේද රෝහල් පද්ධතිය යොදා ගැනීමට කඩිනම් කෙරේ

    කොවිඩ් පාලනය සදහා ආයුර්වේද රෝහල් පද්ධතිය යොදා ගැනීමට කඩිනම් කෙරේ

    ඇදන් 5000කින් සමන්විත ආයුර්වේද රෝහල් පද්ධතිය කොවිඩ් රෝගය පාලනය කිරීම සදහා යොදාගැනීමට තීරණාත්මක සාකච්ඡාවක් අද (06) දින ප්‍රාථමික සෞඛ්‍ය සේවා, වසංගත රෝග සහ කොවිඩ් රෝග පාලන කටයුතු රාජ්‍ය අමාත්‍ය විශේෂඥ වෛද්‍ය සුදර්ශිනී ප්‍රනාන්දුපුල්ලේ මහත්මිය සහ දේශීය වෙදකම් ප්‍රවර්ධන, ග්‍රාමීය හා ආයුර්වේද රෝහල් සංවර්ධන හා ප්‍රජා සෞඛ්‍ය රාජ්‍ය අමාත්‍ය අධිනීතිඥ සිසිර ජයකොඩි මහතා අතර විශේෂ සාකච්ඡාවක් සෞඛ්‍ය අමාත්‍යාංශයේදී පැවැත්විණි.

    සෞඛ්‍ය අධ්‍යක්ෂ ජනරාල් වෛද්‍ය අසේල ගුණවර්ධන මහතා ඇතුළු සෞඛ්‍ය අමාත්‍යාංශ නිලධාරීන් සහ ආයුර්වේද වෛද්‍යවරුන්  අමාත්‍යාංශ නිලධාරීන් සමග පැවැති මෙම සාකච්ඡාවේදී වැදගත් තීරණ කිහිපයක් ගනු ලැබීය.

    රාජ්‍ය අමාත්‍ය විශේෂඥ වෛද්‍ය සුදර්ශිනී ප්‍රනාන්දුපුල්ලේ මහත්මිය විසින් රාජ්‍ය අමාත්‍ය සිසිර ජයකොඩි මහතාගෙන් කරන ලද විමසීමක් අනුව ආයුර්වේද රෝහල් කොවිඩ් රෝගීන් සදහා අතරමැදි සත්කාර සේවා මධ්‍යස්ථාන (Intermediate Care Centers) ලෙස භාවිතා කිරීමට ඇති හැකියාව පිළිබද ලද ධනාත්මක ප්‍රතිචාර අනුව මෙම සාකච්ඡාව පැවැත්විය. ඒ අනුව අමාත්‍යවරියගේ යෝජනාවට ප්‍රතිපත්තිමය වශයෙන් එකගතාවය ලද අතර මේ මොහොතේදී කොවිඩ් රෝගය පාලනය සදහා ආයුර්වේද බටහිර වෛද්‍ය සේවා එක්ව කටයුතු කිරීමේ අවශ්‍යතාවය සාකච්ඡාවට බදුන්විය. රෝගීන්ට අගතියක් නොවන පරිදි තීන්දු තීරණ ගැනීමේ වැදගත්කම අමාත්‍යවරිය විසින් මෙහිදී පෙන්වා දුන් අතර දෙපාර්ශවය එක්ව කටයුතු කිරීමේ ක්‍රමවේදය සකස්කර ගැනීමට මෙහිදී උපදෙස් ලබාදෙන ලදි.  සෞඛ්‍ය අමාත්‍යාංශයේ මූලික අධීක්ෂණය යටතේ ආයුර්වේද රෝහල් අතරමැදි සත්කාර සේවා මධ්‍යස්ථාන (Intermediate Care Centers) ලෙස භාවිතා කිරීමට මෙහිදී එකගතාවය හිමිවිය.

    කොවිඩ් රෝගීන් හැසිරවීම පිළිබදව මූලික පුහුණුවක් ආයුර්වේද වෛද්‍ය කාර්ය මණ්ඩලයට ලබාදීමටත්, සෞඛ්‍ය අමාත්‍යාංශය යටතේ වෛද්‍ය නිලධාරියෙකුගේ අධීක්ෂණය යටතේ ආයුර්වේද අතරමැදි ප්‍රතිකාර මධ්‍යස්ථාන පවත්වා ගැනීමටත් කොවිඩ් පාලනයට අවශ්‍ය මුලික පහසුකම් ලබාදීමටත් මෙහිදී එකගතාවය හිමිවිය. මෙම මධ්‍යස්ථානවල සිදුකෙරෙන ප්‍රතිකාර පිළිබදවද සාකච්ඡාවූ අතර එහිදී රෝගියාගේ කැමැත්ත මත ආයුර්වේද හෝ බටහිර ප්‍රතිකාර ලබාගැනීමට අවශ්‍ය පහසුකම් සැලසීමටද යෝජනා විය.

    මෙම කටයුතු ක්‍රමවත් කිරීම සදහා විශේෂ උපදෙස් මාලාවක් නිකුත් කිරීමට සෞඛ්‍ය අධ්‍යක්ෂ ජනරාල්වරයා වෙත රාජ්‍ය අමාත්‍යවරිය විසින් උපදෙස් ලබාදුන් අතර සෑම දිස්ත්‍රික්කයක්ම ආවරණය වන පරිදි ආයුර්වේද රෝහල් ලබාදීමට අවශ්‍ය කටයුතු සලසන ලෙසද අමාත්‍යවරිය මෙහිදී ඉල්ලීමක් කලාය.

    මෙම කටයුතු කඩිනම් කිරීම සදහා රාජ්‍ය අමාත්‍යාංශ දෙකෙහි ලේකම්වරියන් දෙදෙනා සමග පස්දෙනෙකුගෙන් සමන්විත කමිටුවක් මගින් සතියක කාලයක් ඇතුලත අදාල කටයුතු සංවිධානය කිරීමට යෝජනා විය.

    කාර්යශූර හෙදකාර්ය මණ්ඩලයක් සිටින ආයුර්වේද රෝහල් පද්ධතිය තුළ වෛද්‍යවරු 2000ක පමණ පිරිසක් සිටින බවත් ඔවුන්ගේ සේවය කොවිඩ් මර්දනය සදහා යොදාගැනීමට යෝජනා වීම පිළිබද අමාත්‍ය සිසිර ජයකොඩි මහතා මෙහිදී ස්තුතිය පලකරන ලදි. 

  • ලෝක සෞඛ්‍ය සංවිධානයෙන් ලංකාවේ ජනතාවට විශේෂ ඉල්ලීමක්

    ලෝක සෞඛ්‍ය සංවිධානයෙන් ලංකාවේ ජනතාවට විශේෂ ඉල්ලීමක්

    ශ්‍රී ලංකාව තුළ කොරෝනා වෛරස් රෝගීන්ගේ සීග්‍ර ඉහළ යාම බරපතල ලෙස ගත යුතු බව ලෝක සෞඛ්‍ය සංවිධානයේ ශ්‍රී ලංකා නිත්‍ය නියෝජිතවරිය පවසයි. වෛද්‍ය ඔලිවියා නෙවේරාස් ඒ බව කියා සිටියේ ශ්‍රී ලංකාවේ පවතින කොවිඩ් තත්ත්වය පිළිබඳ වීඩියෝ පණිවුඩයක් නිකුත් කරමිනි.

    එන්නත් ලබා දීමෙන් පමණක් ගැටලුවට විසඳුම් නොලැබෙන බව කී ඇය සෞඛ්‍ය ආරක්ෂණ ක්‍රමවේද අනුගමනය කරන මෙන් ශ්‍රී ලාංකිකයන්ගෙන් ඉල්ලා සිටියාය.

    “ආණ්ඩුව, සෞඛ්‍ය අමාත්‍යංශයේ අපේ සගයන් සහ සෙසු අත්‍යවශ්‍ය සේවකයින් විඩා නොබලා වසංගතය පාලනය කරන්න කටයුතු කරමින් සිටිනවා. සෞඛ්‍ය සේවකයින්, ආරක්ෂක අංශ සහ සෙසු ප්‍රාදේශීය සෞඛ්‍ය බලධාරීන්ට මෙය තනිවම කරන්න බැහැ. අපි, අපේ කොටස ඉටු කළොත් මෙයින් ගොඩ ඒවි. එක්වෙලා අපිට ඒ දේ කළ හැකියි. ලෝක සෞඛ්‍ය සංවිධානය සහ එක්සත් ජාතීන් ජීවිත බේරා ගන්න සහ වෛරසයේ පැතිරීම පාලනය කිරීමට හැකි සෑම අයුරකින්ම සහය දීමට සූදානම්,” යනුවෙන් ඇය වැඩිදුරටත් සඳහන් කළාය.

  • තෝරාගත් දිස්ත්‍රික්ක කිහිපයකට හෝ සංවරණ සීමා පනවන්න – ජාතික විද්වත් සංවිධානය

    තෝරාගත් දිස්ත්‍රික්ක කිහිපයකට හෝ සංවරණ සීමා පනවන්න – ජාතික විද්වත් සංවිධානය

    කොවිඩ් -19 වසංගතය පැතිරීමේ ස්වභාවය සැලකිල්ලට ගනිමින් මේ අවස්ථාවේදී තෝරාගත් දිස්ත්‍රීක්ක කිහිපයකවත් සංචරණය සීමා කිරීමට කටයුතු කරන්නැයි ජාතික විද්වත් සංවිධානයේ ප්‍රධාන ලේකම් සෞඛ්‍ය අමාත්‍යංශයේ හිටපු ප්‍රධාන වසංගත රෝග පිළිබඳ විශේෂඥවරයකු වන විශේෂඥ වෛද්‍ය නිහාල් අබේසිංහ මහතා රජයෙන් ඉල්ලා සිටිනවා.

    අබේසිංහ මහතා මේ ඉල්ලීම කළේ එම සංවිධානය ඊයේ (05) දින කැඳවා තිබූ මාධ්‍ය හමුවකදීයි.

    එහිදී වැඩි දුරටත් අදහස් දැක්වූ විශේෂඥ වෛද්‍ය නිහාල් අබේසිංහ මහතා මෙසේද ප්‍රකාශ කළා,

    ” 2020 මාර්තු – අප්‍රේල් වලදී වගේ එහෙම නැතිනම් ඔක්තෝම්බර් වලදි වගේ දිගින් දිගට පැතිරෙන්න ඇරලා කුඩා ප්‍රදේශ හුදකලා කිරීමෙන් මේ තත්වය වෙනස් කරන්න බැහැ. මේ වෙලාවේ තෝරාගත්ත දිස්ත්‍රික්ක කිහිපයකවත් යම් කිසි ප්‍රමාණයකට සංචරණය සීමා කළ යුතුයි. රෝග වැළක්වීමේ ක්‍රියාමාර්ග දිගින් දිගටම ක්‍රමවත්ව පවත්වාගෙන යා යුතුයි. මේ ගෝලීය වසංගතයට මුහුණ දෙන්න ලෝකේ කිසිම කෙනෙකුට අත්දැකීම් නැහැ. මේ වගේ වසංගතයකට මුහුණ දෙන්නේ වසර 100කට විතර පස්සේ. ලෝක සෞඛ්‍ය සංවිධානයත් ඇතුළුව හැම කෙනෙක්ම මේ පවතින තත්වයන් තුළින් තමයි මේ වසංගතයට මුහුණ දෙන්න ඉගෙන ගනිමින් ඉන්නේ.

    ලෝකය දෙයාකාරව මේ වසංගතයට මුහුණ දුන්නා. ඇමෙරිකාව,යුරෝපය,ඉන්දියාව, බ්‍රසීලය වගේ රටවල් තමන්ගේ රට තුළ ජනජීවිතය පවත්වාගනිමින් ව්‍යාපාර පවත්වා ගනිමින් මේ වසංගතයට මුහුණ දුන්නේ. නමුත් නවසීලන්තය, ඕස්ට්‍රේලියාව, වියට්නාමය, චීනය, තායිලන්තය වගේ රටවල් හැකිතාක් දුරට තමන්ගේ වෛරසය පැතිරීම වළක්වාගන්නත් මරණ වළක්වාගන්නත් කටයුතු කළා. දැන් ලෝකය පැහැදිලිවම තේරුම් අරගනිමින් ඉන්නවා ඇමෙරිකාවේ ට්‍රම්ප්ගේ ක්‍රමයට පාලනය කරපු රටවල් නෙවෙයි සාර්ථක කියලා.” යනුවෙන් පැවසීය.

    මෙම මාධ්‍ය හමුවට සහභාගීවූ වෛද්‍ය ජයන්ත බණ්ඩාර මහතා ” අපි දන්නවා සුදර්ශනී ප්‍රනාන්දුපුල්ලේ ඇමතිවරිය ඉතාම අසරණ වෙලා ඉන්නේ. ජනතාවට විනයක් ඇතුව කටයුතු කරන්න කියලා මේ තත්වය වෙනස් කරන්න බැහැ. පරීක්ෂණ වැඩි කරන්න ඕන, නිරෝධායන ක්‍රියාවලිය වගේම ආසාදිතයින් හඳුනාගැනීම වේගවත් වෙන්න ඕන. අපි දන්නවා රෝහල්තුළ රැපිඩ් ඇන්ටිජන් කිට් විශාල ප්‍රමාණයක හිඟයක් තිබෙනවා. පහුගිය කාලේ මේ තත්වය පාලනය කරලා තිබෙන කොට ආණ්ඩුව අපි තමයි කරේ කියලා ඒ ජයග්‍රහණය බුක්ති වින්දා. හැබැයි අද අසාර්ථක වෙද්දි ජනතාව පිට පටවනවා. රාජ්‍ය ඖෂධ සංස්ථාව තියෙනවා හැබැයි මොනවද ඒකෙන් වෙන්නේ. මාස්ක් එකක් සැනිටයිසර් ටිකක් ජනතාවට අඩු මුදලට දෙන්න ක්‍රමයක් හදලා තිබෙනවද? ඉන්දියාවෙන් ඇල්කොහොල් ලීටරයක් ලංකාවට රුපියල් 250කට වගේ ගෙනල්ලා එකෙන් හදන සැනිටයිසර් ලීටරයක් රුපියල් 3000කට වගේ විකුණන්නේ. ව්‍යාපාරික පැලැන්තියක් මේ කොවිඩ් වසංගතයෙන් විශාල ලාභ උපයනවා. එහෙම කරලා කොවිඩ් මර්දනය කරන්න බැහැ.” යනුවෙන් පැවසීය.

    කැළණිය විශ්වවිද්‍යාලයේ ජ්‍යෙෂ්ඨ කථිකාචාර්ය, ආචාර්ය අනුර කරුණාතිලක මහතා ‘‘කොවිඩ් වසංගතය නිසා විශාල බලපෑමකට ලක්වෙච්ච ක්ෂේත්‍රයක් තමයි මේ රටේ අධ්‍යාපන ක්ෂේත්‍රය. මේ වෙනකොට පාසල් අධ්‍යාපනය වගේම උසස් අධ්‍යාපනයක් බරපතළ කඩා වැටීමකට ලක්වෙලා. ඒ ගැන ආණ්ඩුවේ ප්‍රමාණවත් අවධානයක් මේ වෙනතුරුත් යොමු වෙලා නෑ. විශ්වවිද්‍යාල වල පාසල් වල සැනිටයිසර් ටිකක් දෙනවා ඇරෙන්න ළමයින්ගේ, ආචාර්යවරුන්ගේ, අනෙකුත් කාර්යමණ්ඩලවල ආරක්ෂාව වෙනුවෙන් මොනවද කරලා තියෙන්නේ. උපදෙස් මාලා, චක්‍රලේඛණ වලින් කොවිඩ් මර්දනය කරන්න පුළුවන්ද අද වෙද්දි ජී. එල්. පීරිස් ඇමතිවරයා කවුරුහරි ලියල දෙන දේ කියවන ඇමතිවරයෙක් බවට පත්වෙලා. මේ ඔන් ලයින් අධ්‍යාපන ක්‍රමය තුළ හුදෙකලා සත්වයෙක් වෙච්ච ළමයෙක් තමයි අනාගතයේදී බිහිවෙන්නේ. බහුතරයක් ළමුන්ගේ දෙමාපියන්ට මේ අන්තරජාල අධ්‍යාපනය ලබා දෙන්න තරම් හැකියාවක් නැහැ. මොකක්ද ආණ්ඩුව ඒ වෙනුවෙන් කරලා තිබෙන්නේ. ආර්ථික හැකියාව හා දක්ෂතාවයත් ඇති ළමයි විතරක් මේ ක්‍රමය ඇතුළේ ඉතිරි වෙයි. බහුතරයක් ළමයි මේ ක්‍රමය නිසා අධ්‍යාපනයෙන් පිටමං වීමේ අනතුරක් තිබෙනවා. මේක වෙනස් කරන්න ආණ්ඩුව මැදිහත් නොවුනහොත් අනාගතයේ බරපතළ සමාජ ප්‍රශ්නයක් මේ නිසා ඇති වෙන්න පුළුවන්.” යනුවෙන් පැවසීය.