Blog

  • ඍණාත්මක සිතුවිලි සමග පෙරට එන ‘විෂාදය ගැන’ නිවැරදිව දැන ගනිමු !

    ඍණාත්මක සිතුවිලි සමග පෙරට එන ‘විෂාදය ගැන’ නිවැරදිව දැන ගනිමු !

    විෂාදය හෙවත් ‘ඩිප්රෙෂන්’ (Depression) යනුවෙන් හැඳින්වෙන්නේ කිසිවකු දීර්ඝ කාලයක් මුළුල්ලේ නිශේධනීය ආකල්පවලින් පීඩා විඳීමේ රෝගී තත්වයකි.

    එය වරින් වර හටගන්නා ශෝකයක් හෝ මානසික වේදනාවකට වඩා බරපතළ මානසික පීඩාවකි.

    විෂාදයෙන් පෙළෙන්නෙකු බොහෝ අවස්ථාවල ‘ඇන්සයටි’ (Anxiety) නැතහොත් යමක් කෙරෙහි අධික ඇල්මක් දැක්වීමේ හෝ සාංකාවෙන් පෙළීමේ රෝග ලක්ෂණ පෙන්නුම් කරයි.

    ඇතැම් අවස්ථාවල දී සිතට වේදනාවක් දැනීම සාමාන්‍ය පුද්ගලයෙකුට ඇතිවන හැඟීමක් වුවත් විෂාදය යනු වෛද්‍ය ප්‍රතිකාර ලබා ගත යුතු රෝගී තත්වයකි.

    පසුගිය දා සෙලීනා ගෝමස් සහ ලේඩි ගාගා වැනි සුප්‍රසිද්ධ බටහිර ගායිකාවෝ තමන් විෂාදයෙන් පෙළුණු බවත් එයින් මිදීම පිණිස ප්‍රබල අරගලයක යෙදුණු බවත් ප්‍රසිද්ධියේ හෙළි කළහ.

    “මට සිද්ධ උනා ඒකෙන් මිදෙන්න. මට අවශ්‍ය හැම දේම මට තිබුණත් මම ඇතුළතින් සම්පූර්ණයෙන්ම කඩාවැටිලයි හිටියේ. මම කිසි දෙයක් නොවුණු විදිහට හැම දේම කරන්න උත්සාහ කළත් ඒක දීර්ඝ කාලයක් තිස්සේ සඟවන්න උත්සාහ කරනකොට තේරුණා මම මටම හානියක් කරගන්නේ කියලා,” ඇමරිකානු සංගීත සම්මාන උළෙළේ දී ජනප්‍රිය ගායිකා සෙලීනා ගෝමස් සිය අත්දැකීම් මාධ්‍ය හමුවේ විස්තර කළාය.

    විෂාදයෙන් මිදෙන්නේ කොහොමද?

    වෛද්‍ය ප්‍රතිකාර ගත යුතුයි

    ‘ඇන්සයටි’ නැතහොත් කාංසාව හෙවත් වියහැකි අනතුරක්, අපහසුවක් ගැන දිගින් දිගටම කනස්සල්ලට හා බියට පත්වීම සහ විෂාදය යන මානසික රෝගී තත්ත්ව පිළිබඳව බීබීසී ‘නිව්ස් රවුන්ඩ්’ වැඩසටහන මානසික වෛද්‍ය විශේෂඥවරියකගෙන් කරුණු විමසීය.

    “විෂාදය ‘ඇන්සයටි’ කියන තත්වයෙන් වෙනස්. විෂාදයෙන් පෙළෙන්නෙක් සෑම විටම දැඩි වේදනාවකින් දුකකින් පසු වෙනවා,” මානසික වෛද්‍ය විශේෂඥ ස්ටීවන් බක්ලි විෂාදය ගැන පැහැදිලි කිරීමක් කරමින් කියා සිටියාය.

    “අපි හැමෝම ජීවිතයේ ඇතැම් අවස්ථාවල දුක් වෙනවා ඒක සාමාන්‍යයයි. නමුත් විෂාදය නිසා යමෙක් මුළු දවසක් පුරා සති කීපයක්, මාසයක් වැනි දීර්ඝ කාලයක් දුකෙන් පසු වෙනවා. ඒ හේතුවෙන් ඔවුන්ගේ එදිදෙනා ජීවිතයට දැඩි බලපෑමක් ඇති වෙන්න පුළුවන්. තනිකම කාන්සිය ඇතිවෙන්නේ ඒ එක්කමයි.”

    විෂාදය හටගන්නේ ඇයි?

    ඒ ප්‍රශ්නයට නිසැක පිළිතුරක් සොයාගැනීමට තවමත් විද්‍යාඥයන් සමත් වී නැත.

    යමකුට විෂාදය වැළඳීමට හේතුවන කරුණු නිසැක වශයෙන්ම හඳුනා ගැනීම අපහසුය.

    යම් පුද්ගලයෙකු අධික ලෙස දුකට පත්වන අවස්ථාවක ඔහු හෝ ඇය මුහුණ දුන් ඒ හැඟීම් පහව නොයා දීර්ඝ කාලීනව පැවතීම විෂාදයට හේතු විය හැකිය.

    විෂාදය වැළඳීමට එවැනි එක් සිද්ධියක් හෝ හේතු කිහිපයක් වුවත් බලපැවැත්වෙන අවස්ථා තිබෙන බව විශේෂඥ වෛද්‍ය ස්ටීවන් බක්ලි පැහැදිළි කළාය.

    විෂාදයෙන් මිදෙන්නේ කොහොමද?

    “විවිධ හේතු මත පුද්ගලයෙකුට විෂාදයට වැළඳීමේ අවස්ථාව තියනවා. උදාහරණයක් ලෙස එදිනෙදා ඔහු හෝ ඇය මුහුණ දෙන ගෙදරදොර ප්‍රශ්න එහෙමත් නැත්නම් පාසලේ දී මුහුණ දෙන ප්‍රශ්න. හිරිහැරවලට ලක්වීම වැනි හේතු නිසා තමන් ගැනම නිශේධනීය ආකල්ප ඇතිවෙන්න පුළුවන්.”

    එදිනෙදා ජීවිතයට විෂාදය බලපාන්නේ කොහොමද?

    විෂාදය එක් එක් පුද්ගලයන්ට බලපාන්නේ විවිධ මට්ටම්වලිනි.

    කිසිවකු කොතෙක් දුරට විෂාදය හේතුවෙන් පීඩා විඳිනවාද යන්න හරිහැටි විනිශ්චය කළ හැක්කේ ඔවුන්ට දැනෙන හැඟීම්වල ස්වභාවය නිරීක්ෂණය කිරීමෙනි.

    කිසිවෙකු දිගු කලක් ශෝකයෙන් කල් ගෙවීමටත්, තවත් රෝගියෙකුට තමන් ගැනම ඉතා දැඩි නිශේධනීය ආකල්ප ඇතිවීමටත් තමන් වටිනාකමක් නොමැති පුද්ගලයෙක්ය යන හැඟීමෙන් පීඩා විඳීමටත් විෂාදය හේතු විය හැකිය.

    නිතර දැඩි මහන්සියක් දැනීම, නින්ද යාමේ අපහසුතා ඇති වීම සහ ඇතැම් විට අවශ්‍ය ප්‍රමාණයට වඩා නිදා ගැනීම වැනි රෝග ලක්ෂණ විෂාදයෙන් පෙළෙන්නකුගේ රෝග ලක්ෂණ විය හැකිය.

    එමෙන්ම ආහාර ගැනීමේ රටාව අක්‍රමවත් වීම හේතුවෙන් ඇතැම් විට ආහාර රුචිය අඩුවීම, අවශ්‍ය ප්‍රමාණයට වැඩියෙන් ආහාර ගැනීම සහ සෞඛ්‍යයට අහිතකර ආහාර පුරුදු ඇතිකර ගැනීමත් එහි රෝග ලක්ෂණ වියහැකිය.

    අවධානය යොමු කිරීමේ අපහසුතා

    යමක් කෙරෙහි අවධානය යොමු කිරීමේ අපහසුතා මෙන්ම දිගින් දිගටම නො සන්සුන් ස්වභාවයක් ඇතිවීමත් විෂාදයේ රෝග ලක්ෂණ වියහැකි බව වෛද්‍යවරු පෙන්වාදෙති.

    විෂාදයෙන් මිදෙන්නේ කොහොමද?

    දීර්ඝ කාලීනව විෂාදයෙන් පීඩා විඳින්නෙකුට සතුටින් කල්ගෙවීමේ අවස්ථාව අහිමිවීම මෙන්ම රෝගාතුර වීමට පෙර තමන් ආශා කළ විනෝදාංශ පවා අප්‍රිය වීමේ ස්වභාවයක් සහ ශරීර ශක්තිය හීන වී ඇතැයි හැඟීමක්ද පහළවිය හැකිය.

    ආත්ම විශ්වාසය හීන වීම, යම් කටයුත්තක නිරත වීමට උනන්දුවක් නොමැති වීම එහි තවත් රෝග ලක්ෂණ වේ.

    නිසි ප්‍රතිකාර

    විෂාදයෙන් මිදෙන්නේ කොහොමද?
    සෙලීනා ගෝමස් සහ ලේඩි ගාගා වැනි සුප්‍රසිද්ධ ගායිකාවන් තමන් විෂාදයෙන් පෙළුණු බවත් ඒ හේතුවෙන් විශාල ජීවිත අරගලයක යෙදුණු බවත් ප්‍රසිද්ධ මාධ්‍යයට හෙළි කළහ.

    “කවුරු හරි ‘ඇන්සයටි’ තත්වයෙන් හෝ විෂාදයෙන් පෙළෙනවා නම් තමන්ගේ හැසිරීමේ යම් වෙනසක් තියෙනවා, දුකක් දැනෙනවා කියලා දැනගත්ත ගමන්ම තමන්ට විශ්වාස කෙනෙක් එක්ක ඒ ගැන කතා කිරීම වැදගත්,” මානසික වෛද්‍ය විශේෂඥ ස්ටීවන් බක්ලි විස්තර කළාය.

    “එදිනෙදා කරන වැඩකටයුතු වලින් විවේකයක් අරගෙන අවශ්‍ය උපදෙස් උපකාර ලබාගන්න. ඔබ විෂාදයේ රෝග ලක්ෂණ හඳුනා ගත්තොත් පැකිළෙන්න එපා. ඉක්මනින්ම ඉන් ගැලවෙන්න අවශ්‍ය වෛද්‍ය උපදෙස් ලබා ගන්න.”

    විෂාදය යනු සාමාන්‍ය රෝගී තත්වයක්වන අතර, නිසි ප්‍රතිකාර ලබා ගැනීමෙන් එම රෝගය සුව කළ හැකි බව වෛද්‍ය විශේෂඥයෝ අවධාරණය කරති.

    “ඕනෑම සුළු ප්‍රශ්නයක් වුවත් ඔබට හිතවත් කෙනකු සමග බෙදා ගැනීමට පැකිළෙන්න එපා. විෂාදයෙන් ගැලවීමේ ප්‍රථම පියවර එය විය හැකියි.”

  • කුරුලෑ ගැන භීතියෙන් ද ? එසේ නම් මේ ලිපිය ඔබටමයි

    කුරුලෑ ගැන භීතියෙන් ද ? එසේ නම් මේ ලිපිය ඔබටමයි

    වෛද්‍යවරු සඳහන් කරන ආකාරයට ‘කුරුලෑ’ කියන්නේ බරපතළ සෞඛ්‍ය තත්ත්වයක් නොවෙයි. තරුණ වයසේදී කුරුලෑ ඇතිවීම ස්වභාවික තත්ත්වයක් වශයෙනුයි සැලකෙන්නේ.

    කවියෝ ගැහැනුන්ගේ මුහුණ උපමා කරන්නේ ‘පුර හඳට’ ‘සිසිවන වුවන’ කියලා පුරාණ කවියා කියන කොට වත්මන් කවියා ‘පුරහඳ ලෙස ඔබ සම කළ මගේ මුහුණේ ’ කියලා රචනා කළේ ඒකයි.

    පුර හඳ සෞම්‍යයි. සුන්දරයි. බලන්න, බලාගෙන ඉන්න ප‍්‍රියයි. ඒ නිසා වෙන්න ඇති ගැහැනු මුහුණත් හඳට උපමා කළේ.

    කොහොම වුණත් හඳේ ලප තියෙනවා කියලා කවුරුත් දන්නවා. ඒ හඳේ තිබෙන කඳු, ආවාට නිසා. අපිට හඳේ ඉන්න හාවා වගේ පේන්නේ ඒ කඳු.

    මේ කතාව කොහොමද ඔබට අදාළ වෙන්නේ. ඒ වෙන කිසිවක් නිසා නොවෙයි තරුණ ඔබේ මුහුණත් හඳ වාගේ ලස්සනට තියා ගන්න ඔබ අපමණ වෙහෙසක් ගන්න බව මම දන්න නිසයි.

    ඒත් හඳ වගේ තියෙන ඔබේ ලස්සන මුහුණ ක‍්‍රමයෙන් අවලස්සන වෙන්න පටන් ගන්නවා. හරියට හඳේ ලප වාගේ මුහුණෙත් ආවාට, කඳු හැදෙනවා. ඒක වෙන්නේ ඔබටත් හිතාගන්න බැරි තරම් ඉක්මනින්. මෙහෙම වෙන්නේ තරුණ ඔබට අමිහිරි අත්දැකීමක් එක් කරන ‘කුරුලෑ’ නිසානේ.
    ‘රුව ගුණ වරුණ’ තුළින් මා කියන්න යන්නේ මේ කරදරකාරී කුරුලෑ වලට වැට බැඳලා මුහුණ පුර හඳ වාගේ හැමදාම තියා ගන්න පුළුවන් ක‍්‍රම ගැන.

    කුරුළෑ බිය විය යුතු දෙයක් ද ?

    කුරුලෑ කියන්නේ ඔබ යොවුන් වියට පිවිසුණ බව පෙන්නුම් කරන පණිවුඩකරුවෙක් කියලා කිවුවොත් හරි. පිරිමි දරුවෙක්ගේ දැලි රැුවුල වැවෙන කොට, උඟුරු ඇටේ පනින කොට, කටහඬ රළු වෙන කොට ඔන්න එක පාරට කුරුලෑ එන්න පටන් ගන්නවා.

    ගැහැනු ළමයෙකු සම්බන්ධයෙනුත් ඒක ඒ ආකාරයෙන්ම සිදුවෙනවා. වැඩිවියට පත් වූ පසු ක‍්‍රමයෙන් ඇඟපත වැඩෙන කොට, මුහුණ පිරෙන කොට ඔන්න එක පාරටම උදේ පාන්දර මුණේ කුරුලෑවක් ඇවිත්.
    ඒක මුල් කාලේ ටිකක් සුන්දර අත්දැකීමක් වෙන්න පුළුවන්. ඒ කුරුලෑව මිරික මිරික ඉන්න එක, ඒක මිරිකලා ඒකේ තියෙන පීය අතට ගන්න එක ඔබට අලූත් අත්දැකීමක් වෙන්න ඇති.

    වෛද්‍යවරු සඳහන් කරන ආකාරයට ‘කුරුලෑ’ කියන්නේ බරපතළ සෞඛ්‍ය තත්ත්වයක් නොවෙයි. තරුණ වයසේදී කුරුලෑ ඇතිවීම ස්වභාවික තත්ත්වයක් වශයෙනුයි සැලකෙන්නේ.

    කුරුලෑ ඇති වූ විට ඒවා පාලනය කිරීම නිවැරදි සෞඛ්‍ය පුරුදු මගින් ඉතා හොඳින් කළ හැකියි. එහෙම නැතිව කුරුලෑ උරුලෑවෙකුගේ තත්ත්වයට ආවොත් වෛද්‍ය ප‍්‍රතිකාර මගින් ඒවා පාලනය කළ හැකියි.

    කුරුලෑ හැදෙන හැටි

    මිනිස් සිරුරේ හැම දෙයක්ම හැදෙන්න යම් කිසි නිශ්චිත හේතුවක් හෝ හේතු කිහිපයක් බලපානවා. ඒ නිසා කුරුලෑ ඇතිවීමටත් බලපාන හේතු තිබෙනවා.

    මිනිසාගේ බාහිර සම සකස් වී තිබෙන්නේ ‘අජීවී ෙසෙල වලින්. ඒ නිසා අප නොදැනුවත්ව ම මේ අජීවී ෙසෙල සහිත බාහිර සම ගැළවී යනවා. ඒ වෙනුවට නව ෙසෙල මේ ගැළවී යන ෙසෙල වල තැන ගන්නවා.
    අපේ සම තුළ ඇසට නොපෙනෙන සිදුරු තිබෙනවා. ඔබට දහඩිය දමන විට ඒවා සම මතු පිටට එන්නේ මෙන්න මේ සිදුරු වලින්. ඒවා හඳුන්වන්නේ ‘රෝම කූප’ කියලා.

    ඇතුල් සමෙහි තිබෙන ‘ස්නේහස‍්‍රාවී’ නමින් හඳුන්වන ග‍්‍රන්ථිවලින් වෑස්සෙන ‘සීබම්’ කියන දියරය නොකඩවා මේ රෝම කූප තුළට ගමන් කරනවා.

    මෙහිදී ඉතා වැදගත් කරුණක් ගැන ඔබ දැනුවත් විය යුතුයි. ඒ ‘සිබම්’ සමෙන් ඉවත් වීමට නම් රෝම කූප අවහිර නොවිය යුතුයි.

    ඒත් ඇතැම් විට, ඇතැම් පුද්ගලයින්ගේ මේ ක‍්‍රියාවට අවහිර වෙනවා. ඒ කියන්නේ සිබම් සිරුර මතුපිටට පැමිණෙන රෝම කූප අවහිර වීම සිදුවෙනවා. එවිට සිදුවන්නේ ඒවා ස්නේහාස‍්‍රාවී ග‍්‍රන්ථි තුළම ගොඩගැසීමයි.
    කුරුලෑවක ආරම්භය සිදුවන්නේ මේ අවස්ථාවේදීයි. ඉහත සඳහන් කළ ආකාරයට රෝම කූප අවහිර වීමට හේතු වෙන්නේ රෝප කූප ආස්ථරණය කරන ෙසෙල මිය ගියාට පස්සේ ඒවා ගැළවී ඉවත් වෙනවා වෙනුවට ඒ තුළම තැන්පත් වීමයි.

    විවිධ කුරුලෑ වර්ග

    ඔබ මොහොතක් කල්පනා කරලා බැලූවොත් ඔබට විවිධ කුරුලෑ ඔබේ මුහුණේ මතු වූ බව මතක් වේවි. ඒ කියන්නේ විවිධ කුරුලෑ වර්ග තිබෙනවා. මේ ආකාරයට විවිධ කුරුලෑ වර්ග හටගන්නේ රෝම කූපය අවහිර වන ආකාරය අනුව.

    1. බ්ලැක් හෙඞ්ස් : රෝම කූප විවරය සම මතුපිටින් අවහිර වූ විට ඇති වන කුරුලෑ හඳුන්වන්නේ ‘බ්ලැක් හෙඞ්ස්’ කියලා. මේ කුරුලෑ වර්ගය ‘ ඕපන් කොමිඩෝ ’ කියලත් හඳුන්වනවා. කළු පැහැති තිත් ආකාරයේ කුරුලෑ තමයි මේ බ්ලැක් හෙඞ්ස් කියලා කියන්නේ.
    2. වයිට් හෙඞ් / ක්ලෝස්ඞ් කොමිඩෝ : රෝම කූපයේ ගෙලෙහි ඇතිවන අවහිරතා නිසා හැදෙන කුරුලෑ වලට තමයි වයිට් හෙඞ් කියලා කියන්නේ.

    යොවුන් විය සහ කුරුලෑ

    කුරුලෑ එන්නේ යොවුන් වියට පත් වූ පසු බව අපි දන්නවා. ඒත් යොවුන් වියේදී කුරුලෑ හට ගන්නේ ඇයි ? මේ ප‍්‍රශ්නය විසඳා ගැනීමට ඔබ කැමැති ෙවිවි.

    යොවුන් වයසෙදී ඔවුන්ගෙන් ලිංගික හෝමෝන ස‍්‍රාවය වෙන්න පටන් ගන්නවා. මේ ලිංගික හෝමෝන තමයි කුරුලෑ ඇති වීමට බලපෑම් කරන්නේ.

    කුරුලෑ ඇතිවීමට බලපාන හෝමෝනය හඳුන්වන පොදු නම තමයි ‘ඇන්ඩ‍්‍රජන’ කියලා කියන්නේ. මේ හෝමෝනය ‘අධිවෘක්ක ග‍්‍රන්ථියෙන් ’ ස‍්‍රාවය වන දෙයක්.

    ඒ වගේම පිරිමින්ගේ වෘෂණ කෝෂ ආශ‍්‍රිතව ද ගැහැනුන්ගේ ඩිම්බ කෝෂ ආශ‍්‍රිතව ද මේ හෝමෝනය ශ‍්‍රාවය වෙනවා.

    ඇන්ඩ‍්‍රජන් හෝමෝනය ඕනෑම තරුණ තරුණියකගෙන් ස‍්‍රාවය වෙනවා. මේක පොදු තත්ත්වයක්. ඒත් කුරුලෑ හැමෝටම පොදු වුණත් එහි විවිධතා තිබෙනවා. සමහරුන්ගේ මුහුණේ කුරුලෑ එන්නේ කිහිපයක් පමණයි. ඒත් ඇතැමුන්ගේ මුහුණ විකෘති වන තත්ත්වය දක්වා කුරුලෑ හට ගන්නවා. මේක වෙන්නේ රෝම කූප අවහිර වීම අනුවයි. ඇතැමුන්ගේ රෝම කුප අවහිර වීම සුළුවෙනුත්, තවත් අයෙකුගේ වැඩියෙනුත් සිදුවිය හැකියි. ඒ අනුව කුරුලෑ හට ගැනීමත් අඩුවැඩි වශයෙන් සිදුවෙනවා. ඒ වගේම තමයි කුරුලෑ හට නොගන්නා තරුණ තරුණයින් ද ඇතැම් විට අපට දැකගත හැකියි.

    කුරුලෑ වැඩිවන විවිධ හේතු

    ඉහත විස්තර කළ ආකාරයට ඇන්ඩ‍්‍රජන් හෝමෝනයට අමතරව කැරුලෑ වැඩියෙන් හට ගැනීම කෙරෙහි තවත් කරුණු කිහිපයක් බලපානවා.

    1. විවිධ ගැටලූ මුල්කර ගෙන තැවෙන, පීඩාවට පත්වෙන අයට කුරුලෑ වැඩිවීමට හැකියි.
    2. ඇතැම් සැර සබන් වර්ග, පුයර වර්ග හා ආලේපන නිසා ද කුරුලෑ වැඩිවිය හැකියි.
    3. Corticeteroids සහ Bromide අඩංගු ඖෂධ මෙන්ම මීමැසිමොරය රෝගයට දෙන බෙහෙත් වර්ග නිසා ද කුරුලෑ වැඩි වෙනවා.

    කුරුලෑ සහ මිත්‍යා මත

    කුරුලෑ ඇතිවීම සම්බන්ධයෙන් අප අතර පවතින ජනප‍්‍රිය මිත්‍යා මත කිහිපයක් ද තිබෙනවා.

    1. තෙල් සහිත ආහාර කුරුලෑ වැඩි කරන බව කියන මතය අසත්‍යයි. කුරුලෑ සහ තෙල් සහිත ආහාර අතර සම්බන්ධයක් නැහැ.
    2. චොක්ලට්, පැණිරස ආහාර සහ කුරුලෑ අතර සම්බන්ධයක් නැහැ.
    3. ඉස්හොරි නිසා කුරුලෑ මතුවන කතාව සත්‍යයෙන් තොරයි.

    නරක විනෝදාංශය

    කුරුලෑවක් හටගත් විට අපි බොහෝ දෙනෙකුට එය ස්වභාවිකව වියලෙන තෙක් සිටීමට හැකියාවක් නැහැ. අපි බොහෝ දෙනෙක් කරන්නේ ඒක මිරිකලා දාන එක. ඒත් වෛද්‍ය විද්‍යාත්මකව නම් එය නොකළ යුතු දෙයක්. මොකද කුරුලෑව මිරිකීමෙන් ස්නේහස‍්‍රාවී ග‍්‍රන්ථි හානියට පත් වෙනවා. ඒවා තුවාල වීමෙන් සම මතුපිට කැලැල් ඇතිවිය හැකියි.

    විශේෂයෙන් දෙඇසි මධ්‍යයේ සිට මුව දෙපස දක්වා ප‍්‍රදේශයේ කුරුලෑ මිරිකීම ඉතාම හානිකරයි.

    කුරුලෑවට තිත තියන්නේ කොහොමද ?

    කුරුලෑ හටගත් විට ඒවා පාලනය කිරීම මෙන්ම කුරුලෑ හට ගැනීම අවම කිරීමත් අපට ඉතා පහසුවෙන් කළ හැකියි. ඒ සඳහා ඉතාම හොඳ හා පහසු, ලාභදායි ක‍්‍රමයක් වන්නේ ‘හුමාලයට මුහුණ ඇල්ලීමයි.

    හුමාලයට මුහුණ ඇල්ලීම නිසා රෝම කූපවල විවර ප‍්‍රසාරණය වෙලා රෝම කූප වල ඇති බාධා ඉවත් වෙනවා. එවිට සීබම්වලට පිටතට පැමිණීම පහසු වෙනවා.

    ඔබ සබන් වර්ගයක් පාවිච්චි කිරීමට කැමැති නම් ළදරු සබන් වැනි මෘදු සබන් වර්ගයක් භාවිත කිරීම වඩාත් සුදුසුයි. ඒ වගේම හොඳින් මතක තියා ගන්න මුහුණ පිස දැමීම සඳහා පිරිසිදු තුුවායක් භාවිත කළ යුතුමයි.

    වෛද්‍ය ප‍්‍රතිකාර අවශ්‍ය ද ?

    ඉහත සඳහන් කළ ක‍්‍රම මගින් අපහසුවකින් තොරව ඔබට කුරුලෑ පාලනය කරගත හැකියි. එහෙත් ඇතැම් අයගේ කුරුලෑ ආසාදන තත්ත්වයට පත්වන බවක් දැකිය හැකියි. එවිට වෛද්‍ය ප‍්‍රතිකාර සඳහා යොමුවිය හැකියි. එහිදී කුරුලෑවේ ස්වභාවය හඳුනා ගැනීම ඉතා ම වැදගත් වෙනවා. එය කළ හැක්කේ පළපුරුදු වෛද්‍යවරයෙකුට පමණයි.

    ඇතැම් සරල ආපේනවලින් කුරුලෑ සුව කළ හැකියි. තවත් අයෙකුට ඒ සඳහා ඖෂධ මාත‍්‍රා වශයෙන් පාවිච්චි කරන්න සිදුවිය හැකියි. ඒ නිසා වෛද්‍යවරයාගේ මග පෙන්වීම මත ඉවසීමෙන් යුතුව අඛණ්ඩව ප‍්‍රතිකාර කිරීම සිදුවිය යුතුයි. එසේ නැතිව දවසකින් දෙකකින් ප‍්‍රතිකාර නතර කළහොත් අවශ්‍ය සුවය ලැබෙන එකක් නැහැ.

    මෙහිදී ඔබ දැඩිසේ සැලකිලිමත් විය යුතු කරුණක් තිබෙනවා. ඒ වෙළෙඳ පොළේ ඇති ඕනෑම ආලේපනයක් මගින් කුරුලෑ සුවකළ නොහැකියි. තමන්ට ආසාදනය වී ඇති කුරුලෑ විශේෂයට අදාළ නියම ප‍්‍රතිකාර ඔබ විසින් ලබාගත යුතුයි. ඒ සඳහා පුහුණු වෛද්‍යවරයෙකුගේ හෝ පළපුරුදු රූපලාවන්‍ය ශිල්පිනියකගේ / ශිල්පියෙකුගේ මග පෙන්වීම ලබාගත යුතුයි.■

    චර්ම රෝග පිළිබඳ විශේෂඥ වෛද්‍යවරියක විසින් රූපලාවන්‍ය වැඩමුළුවකදී සිදුකළ විශේෂ දේශනයක් ඇසුරින් සකස් කරන ලදි.

  • ‘ව්‍යඝ්‍රා කනෙක්ට්’ පාවිච්චියට පෙර ඔබ දැන සිටිය යුතු සුපිරි කතාව

    ‘ව්‍යඝ්‍රා කනෙක්ට්’ පාවිච්චියට පෙර ඔබ දැන සිටිය යුතු සුපිරි කතාව

    ලිංගික බෙලහීනතාවට විසඳුමක් වශයෙන් නිපදවා අලෙවි කරනු ලබන ‘ව්‍යඝ්‍රා කනෙක්ට්’ ශාරීරික උත්තේජක පෙති ඖෂධ ශාලාවකට ගොස් වෛද්‍ය වට්ටෝරුවක් (prescription) නොමැතිව මිලට ගැනීම සඳහා එක්සත් රාජධානිය අවසර දී ඇත.

    එක්සත් රාජධානියේ සෑම පුරුෂයන් පස් දෙනෙකුගෙන්ම එක් අයෙකු ලිංගික අකර්මන්‍යතාවයෙන් පෙලෙන අතර එය සංඛ්‍යාත්මක වශයෙන් සමස්ත ජනගහනයෙන් ලක්ෂ 43ක් යයි ඇස්තමේන්තු කෙරෙයි.

    වෙනත් ඖෂධ භාවිතා කිරීමේදී මෙන්ම නිසි මාත්‍රාව ඉක්මවා ‘ව්‍යඝ්‍රා කනෙක්ට්’ උත්තේජකය භාවිත කිරීම අතුරු ආබාධ ඇතිවීමට බල පෑ හැකිය යන්න වෛද්‍ය උපදේශයයි.

    නිල් පැහැති මෙම කුඩා පෙති භාවිත කිරීමට පෙර අවධානය යොමු කළ යුතු කරුණු මොනවාද?

    භාවිත කළ යුත්තේ කවුරුන් විසින්ද?

    ‘ව්‍යඝ්‍රා කනෙක්ට්’ භාවිත කළ යුත්තේ ලිංගික බෙලහීනතාවයෙන් පෙළෙන පුරුෂයන් පමණකි.

    ලිංගික කටයුතුවල යෙදීමට තරම් ශරීර සෞඛ්‍ය යහපත් මට්ටමේ පසු නොවන පුද්ගලයන් එම උත්තේජකය භාවිතා කිරීමෙන් වැළකී සිටිය යුතු බව වෛද්‍ය උපදේශයයි. එසේම හෘද හෝ රුධිර නාලිකාවල දරුණු මට්ටමේ ගැටලු පවතින පුරුෂයන් ද ඊට ඇතුලත් වෙයි.

    පඩි පේලි දෙකක් නැගීම වැනි සැහැල්ලු ව්‍යායාමයක යෙදෙන විටදී අධික මහන්සියක් හෝ පපුවේ වේදනාවක් දැනෙන පුද්ගලයන් ‘ව්‍යඝ්‍රා කනෙක්ට්’භාවිත නොකළ යුතු බවට වෛද්‍යවරු උපදෙස් දෙති.

    මිලදී ගැනීමට පෙර කුමක් කළ යුතුද?

    තමාට ඇති රෝග ලක්ෂණ, සාමාන්‍ය සෞඛ්‍ය තත්ත්වය සහ පාවිච්චි කරනු ලබන වෙනත් ඖෂධ වේනම් ඒ පිළිබඳව ඖෂධවේදියෙකුගෙන් හෝ වෛද්‍යවරයෙකුගෙන් කරුණු විමසීම වැදගත් වෙයි.

    ඒ සඳහා කායික පරීක්ෂණයක් සිදු කිරීම අවශ්‍ය නොවේ.

    ‘ව්‍යඝ්‍රා’ ක්‍රියාකාරිත්වය?

    බොහෝ දෙනෙකුට බලාපොරොත්තු ප්‍රතිඵල ලැබෙන නමුත් ඇතැමෙකුට එය එසේ නොවිය හැක.

    පුරුෂ ලිංගයේ රුධිර වාහිනී සැහැල්ලු කර හොඳින් රුධිරය ගලා යාමට සැලැස්වීම ‘ව්‍යඝ්‍රා’ මගින් සිදු කෙරෙයි .එය ලිංගික උත්තේජනයකට ප්‍රතිචාර වශයෙන් ලිඟුව ප්‍රාණවත් වීමට ඉවහල් වනු ඇත.

    ‘ව්‍යඝ්‍රා’ ආහාර ගෙන හෝ නොගෙන භාවිත කළ හැක. කෙසේ නමුත් විශාල ආහාර වේලකින් පසු එහි ක්‍රියාකාරිත්වය අරම්භවීම සඳහා කෙටි වේලාවක් ගතවිය හැක.

    ලිංගික සංසර්ගයට පැයකට පමණ පෙර එය භාවිත කළ යුතුය යන්න උපදේශය වී ඇත.

    මිදී හෝ මිදී යුෂ සමග ‘ව්‍යඝ්‍රා කනෙක්ට්’භාවිත නොකළ යුතුය. ඖෂධයේ ක්‍රියාකාරිත්වය කෙරෙහි එය බල පෑමට ඉඩ ඇති හෙයිනි.

    දිනකට මිලිග්‍රෑම් 50 ට වඩා භාවිත නොකළ යුතු බවත් වෛද්‍ය උපදේශයයි.

    අධික ලෙස මත්පැන් පානය කිරීම ද ලිඟුව ප්‍රාණවත් වීම කෙරෙහි බල පෑමට ඉඩකඩ ඇත.

    බලපෑම ප්‍රබල නම් කුමක් කළ යුතුද?

    ‘ව්‍යඝ්‍රා’ බලපෑම දීර්ඝ වේලාවක් බල පැවැත්වෙන්නේ නම් නම් හෝ ප්‍රබල නම් ඖෂධවේදියෙකුගේ හෝ වෛද්‍යවරයෙකුගේ උපදෙස් පැතිය හැක.

    සාමාන්‍ය කාලය ඉක්මවා හෝ පැය හතරකට වැඩි වේදනාකාරී ප්‍රාණවත් වීමක් පවතින අවස්ථා ද ඇතැම්විට වාර්තා වී ඇත. එසේ වූ විට වහා වෛද්‍ය උපදෙස් පැතිය යුතුය.

    ඇතිවිය හැකි වෙනත් අතුරු බලපෑම් මොනවාද?

    • හිසරදය ඇති වීම සුලබ තත්ත්වයකි (සෑම පුරුෂයන් දස දෙනෙකුගෙන් එක් අයෙකුට හිසරදය ඇති විය හැක)

    සෑම පුරුෂයන් දස දෙනෙකුගෙන් එක් අයෙකුට ඇති විය හැකි සුලබ තත්ත්වයන්;

    • කැරකිල්ල
    • පෙනීම අපැහැදිලි වීම
    • දැඩි උණුසුමක් දැනීම
    • නාසය බරවීම
    • ඔක්කාරය

    ඖෂධය ලබා ගැනීම නවතා වහා වෛද්‍ය උපදෙස් පැතිය යුතු අතුරු බලපෑම්

    • පපුවේ වේදනාව
    • එකවර පෙනීම අඩුවීම හෝ නැති වීම
    • ආසාත්මිකතා (හුස්ම ගැනීම අපහසුවීම, හතිය හෝ තොල්, ඇසිපිය හෝ මුහුණ ඉදිමීම)
    • සිහි මුර්ඡා වීම

    වෙනත් ඖෂධ පාවිච්චි කරන්නෙක් ‘ව්‍යඝ්‍රා කනෙක්ට්’ භාවිත කිරීමට අදහස් කරන්නේ නම් ඔහු ඊට පෙර, ඒ පිළිබඳ විශේෂඥ උපදෙස් පැතිය යුතුය.

  • කාන්තාවන් සහ ගැහැනු ළමයි ‘සයිබර් අපරාධවලින්’ ආරක්ෂා කර ගන්නේ කෙසේද ?

    කාන්තාවන් සහ ගැහැනු ළමයි ‘සයිබර් අපරාධවලින්’ ආරක්ෂා කර ගන්නේ කෙසේද ?

    සයිබර් අපරාධ යනු වර්තමානයේ ලෝකය පුරාම කාන්තාවන් සහ ගැහැනු ළමුන් මුහුණ පාන සුලභ සහ අති බිහිසුණු අපරාධය බවට පත්ව ඇත. මේ සයිබර් අපරාධ හඳුනා ගැනීම, එයින් වැළකීමට ගත හැකි ප‍්‍රවේශ සහ සයිබර් අපරාධ සම්බන්ධ නීතිය පිළිබඳ දැනුවත් කෙරෙන ලිපි මාලාවේ දෙවැනි කොටසයි

    සයිබර් අපරාධවලින් දැඩි සේ වින්දිතභාවයට හෝ අපයෝජනයට ලක්වන්නේ කාන්තාවන් සහ ගැහැනු ළමුන් බව සමාජ විද්‍යාඥයින්ගේ අදහසයි. මෙහිදී ඔවුන් පෙන්වා දෙන්නේ බොහෝ විට කාන්තාවන් සමාජ සම්බන්ධතා ජාල මගින් සිය පවුලේ සමීපතමයින් සහ මිතුරු මිතුරියන් සමග විවිධාකාරයේ සම්බන්ධතා පැවැත්වීමට දැඩි නැඹුරුවක් සහ රුචියක් දක්වන බැවින් සයිබර් අපරාධකරුවන්ගේ පහසු ගොදුරක් බවට පත්වන බවයි. විශේෂයෙන් කාන්තාවන් සිය ඡුායාරූප සහ අතිෂය පෞද්ගලික තොරතුරු පවා සමාජජාලා තුුුළ හුවමාරු කර ගැනීම, තෑගි බෝග යැවීම ඇතුළු නිරන්තරයෙන් සිදුකරන ක‍්‍රියාකාරකම් සයිබර් අපරාධවලට ගොදුරු වීමට පහසු අවස්ථාවක් නිර්මාණය වන බව සමාජ විද්‍යාඥයින්ගේ විසින් හඳුනා ගෙන ඇත.

    මේ තත්ත්වය තුළ සයිබර් අපරාධකරුවෝ වඩාත් සක‍්‍රීයභාවට පත් වන අතර විශේෂයෙන් කාන්තාවන් සයිබර් අවකාශය තුළ වඩාත් නිරාවරණය වූ කොටස බවට පත් වෙති. උදාහරණයක් ලෙස බොහෝ කාන්තාවන් සමාජ මාධ්‍ය ජාල හරහා හඳුනා ගන්නා පුද්ගලයින් සමග පේ‍්‍රම සම්බන්ධතා ආරම්භ කර ගැනීම හෝ තම පෙම්වතා සමග සමාජ මාධ්‍ය තුළ සංවාදය, ඡුායාරූප හෝ වීඩියෝ හුවමාරු කර ගැනීම නිරන්තර පුරුද්දක් වශයෙන් කරති. මෙවැනි අවස්ථාවක සයිබර් අපරාධකරුවන්ට අදාළ කාන්තාවන් දැනුවත්ව හෝ නොදැනුවත්ව ඔවුන්ගේ පුද්ගලික තොරතුරු ලබා ගැනීමට හැකියාව ලැබේ. විශේෂයෙන් සමාජමාධ්‍ය හරහා තම ඡුායාරූප ඇතුළු අතිෂයින් පුද්ගලික තොරතුරු හුවමාරු කර ගන්නා පෙම්වතියන් අදාළ පේ‍්‍රම සම්බන්ධතා බිඳ වැටුණු විට සයිබර් අපරාධවල පහසු ගොදුරක් බවට පත් වන අවස්ථා නිරීක්ෂණය කළ හැකිය.

    මේ අතර සයිබර් විශේෂඥයින් සහ සමාජ විද්‍යාඥයින් විසින් සයිබර් අවකාශය තුළ සිදුවන තවත් දැවැන්ත සයිබර් අපරාධයක් දෙය සමාජයේ අවධානය යොමු කරති. ඒ අන්තර්ජාලය හරහා සිදුවන ලිංගික වෙළෙඳාම සහ ලිංගික සූරාකෑමයි. මෙය සයිබර් අවකාශය කාන්තාවන්ට එරෙහිව ක‍්‍රියාත්මක වන දරුණුතම අවස්ථාව වශයෙන් ඔවුහු හඳුන්වා දෙති.

    සයිබර් අවකාශයට නිරාවරණය වන දරුවන්, විශේෂයෙන් ගැහැනු දරුවන් සම්බන්ධ තත්ත්වය ද කාන්තාවට නොදෙවෙනි බව හඳුනා ගෙන ඇත. තම අධ්‍යාපන කටයුතු සඳහා මෙන්ම ක‍්‍රීඩාවක් වශයෙන් ද මිතුරු – මිතුරියන් සමග වඩාත් සමීප සම්බන්ධතා පවත්වා ගෙන යාමේ මාධ්‍යයක් වශයෙන් ද සමාජජාලා භාවිත කරන ගැහැනු ළමුන් සේම පිරිමි දරුවන් ද සයිබර් අවකාශය හරහා බහුල වශයෙන් හුවමාරු වන ලිංගික ප‍්‍රකාශන, නිරුවත් ඡයාරූප හෝ ලිංගික ක‍්‍රියා ඇතුළත් ඡුායාරූප හෝ වීඩියෝ පට සඳහා යොමු වීමේ සුලභ අවදානමක් ඇත. ඒ අතර ඉතාමත් සංවිධානාත්මක ආකාරයෙන් විවිධ විෂම පුද්ගලයින් සයිබර් අවකාශය හරහා දරුවන් සමග නොමනා සම්බන්ධතා ඇති කර ගැනීමේ ප‍්‍රවණතාවක් මේ වන විට පවතින අතර දරුවන් එහි ගොදුරු බවට පත්වීම ද සුලභ බව හඳුනා ගෙන ඇත. මේ තත්ත්වය තුළ දරුවන් ද සයිබර් අවකාශය තුළ වින්දිතයින් බවට පත්ව හුදකලාව සිටිනු දැකිය හැකි වන්නේ බොහෝ දරුවන් මේ පිළිබඳව තම වැඩිහිටියන් දැනුවත් කිරීමට තබා තමන්් සයිබර් අපරාධකරුවන්ගේ ගොදුරක් බවට පත්ව සිටින බව පවා නොදන්නා නිසාය. මේ තත්ත්වය සයිබර් අපරාධරුවන්ට පහසු ගොදුරු බිමක් නිර්මාණය කරන බව සමාජ විද්‍යාඥයින්ගේ අදහසයි.

    සයිබර් අපරාධවලට පෙළඹීම

    සයිබර් අපරාධවලට පුද්ගලයින් පෙළඹෙන හේතු මොනවාදැයි සමාජ විද්‍යාඥයින් සහ අපරාධ විද්‍යාඥයින් විසින් මේ වන විට නිවැරදි ලෙස හඳුනා ගෙන ඇත. ඒ අනුව ප‍්‍රමුඛතාව අනුව එවැනි හේතු හතරක් ඔවුුහු ඉදිරිපත් කරති.
    1 මූල්‍යමය වාසි
    2 සයිබර් අවකාශය තුළ නිර්ණාමිකව සහ අතථ්‍ය ලෙස පෙනී සිටීම
    3 අත්හදා බැලීම
    4 පළිගැනීම

    සයිබර් අපරාධවලට පුද්ගලයින් පෙළඹවන ප‍්‍රමුඛ හේතුව, එසේ නැතහොත් සයිබර් අපරාධවලින් සියයට 98ක් ම සිදු කිරීමට පුද්ගලයින් පෙළඹවන්නේ මූල්‍යමය වාසි බව හඳුනා ගෙන ඇත. විශේෂයෙන් අන්තර්ජාලය ඔස්සේ සිදුවන කාන්තාවන් සහ දරුවන් පිළිබඳ ලිංගික වෙළෙඳාම සහ සූරාකෑම මූල්‍යමය වාසි සඳහාම සිදු වේ.

    නිර්ණාමිකව සහ අතථ්‍ය ලෙස පෙනී සිටීමට සයිබර් අවකාශය තුළ ඉඩ සැලසන බැවින් එය ප‍්‍රයෝජනයට ගනිමින් සයිබර් අපරාධ සිදු කිරීමට පුද්ගලයින් දිරිමත් වන බව සමාජ විද්‍යාඥයින්ගේ අදහසයි. මේ නිර්නාමික / අතථ්‍ය ලෙස පෙනී සිටීම තුළ ඇතැම් විට තම අතිෂය සමීපතමයින් පවා සයිබර් අපරාධකරුවන්ගේ ගොදුරු බවට පත් වූ සිදුවීම් ලංකාව ඇතුළු බොහෝ රටවල්වලින් වාර්තා වීම මේ වන විට සුලභ තත්ත්වයක් බවට පත්ව ඇත.

    සයිබර් අපරාධවලින් සුළු ප‍්‍රතිශතයක් අත්හදා බැලීමක් වශයෙන් සයිබර් අපරාධවල නිරත වන බව හඳුනා ගෙන ඇත. අධ්‍යාපනය ලබාදීමෙන් සහ උපදේශනය මගින් මේ තත්ත්වය වළක්වා ගත හැකි බව පෙන්වා දෙන සමාජ විද්‍යාඥයෝ දරුවෝ ඇතැම් විට ස්වභාවික කුතුහලය නිසා තම ඡුායාරූප හෝ වීඩියෝ අන් අය සමග බෙදා ගැනීමට තැත් කිරීමෙන් ඔවුන් සයිබර් අපරාධකරුවන්ගේ පහසු ගොදුරක් වන බව පෙන්වා දෙති.

    සයිබර් අපරාධවල තවත් බිහිසුණු සහ සුලභ පැතිකඩක් පළිගැනීම හේතුවෙන් සිදු කරන සයිබර් අපරාධ මගින් හෙළි වේ. පෙම් සබඳතා බිඳ වැටීම සිදු වූ විට බහුල වශයෙන් කාන්තාවන් සහ ගැහැනු ළමුන්ගේ ඡුායාරූප අන්තර්ජාලයට මුදා හරින බවට තර්ජනය කිරීම හෝ සැබවින්ම ඒවා මුදා හැරීම මුළු ලෝකය පුරාම සයිබර් අවකාශය තුළ සිදුවන සුලභ අපරාධයක් බවට පත්ව ඇත.

    සුලභ සයිබර් අපරාධ වර්ග

    කාන්තාවන්ට සහ ළමුන්ට එරෙහිව සුලභ වශයෙන් සිදුවන සයිබර් අපරාධ වර්ග 07ක් සමාජ විද්‍යාඥයින් විසින් හඳුනා ගෙන ඇත.

    1 ඉලෙක්ට්‍රොනික තැපෑල මගින් කෙරෙන අඩන්තේට්ටම්
    2 සයිබර් අවකාශය හරහා රහසේ ලූහුබැඳීම
    3 සයිබර් ආශ‍්‍රිත කාමෝද්දීපන නිරුවක් ප‍්‍රකාශන
    4 සයිබර් අවකාශය ආශ‍්‍රිත නොමනා ක‍්‍රියා
    5 අපහාස කිරීම
    6 මෝෆිං
    7 විද්‍යුත් ලිපි ස්පූෆිං

    1 ඊමේල් මගින් කෙරෙන අඩන්තේට්ටම් නව සංකල්පයක් වශයෙන් සැලකිය නොහැකි බව සමාජ විද්‍යාඥයින්ගේ අදහසයි. ඔවුන් පෙන්වා දෙන ආකාරයට එය දීර්ඝ කාලයක් පුරා සිදු වූ සාමාන්‍ය තැපැල් ලිපි මගින් ද සිදුවිය හැකි හිරිහැර හෝ අඩන්තේට්ටම් කිරීම්වලට අතිෂය සමීපය. මෙහිදී අවමාන, තර්ජන, අයුතු බලපෑම් සහ වංචා කිරීම් යනාදිය සුලභ වශයෙන් සිදුවන බව හඳුනා ගෙන ඇත. සයිබර් අතවර / අඩන්තේට්ටම් ලිපි මගින් කෙරෙන අතවරවලට සමාන වුව ද ව්‍යාජ හැඳුනුම්පත් යොදා කෙරෙන සටහන් හේතුවෙන් බොහෝ විට ප‍්‍රශ්න රැුසකට මුහුණපෑමට සිදුවේ.

    2 සයිබර් අවකාශය හරහා රහසේ ලූහුබැඳීම යන්නෙන් අදහස් වන්නේ වින්දිතයා නිතර නිතර පරිහරණය කරන අන්තර්ජාල දැන්වීම් පුවරු, චැට් කාමර යනාදියෙහි බොහෝ විට තර්ජනාත්මක පණිඩුඩ සටහන් කිරීම සහ වින්දිතයා ඉලෙක්ට්‍රොනික හසුන් මාලා මගින් වෙහෙසට පත් කිරීම වැනි ක‍්‍රියා මගින් අන්තර්ජාලය පුරා කෙනෙකු යන එන ස්ථාන අනුව පසුපස යාමයි. පුරුෂයින් සෝදිසියෙන් කාන්තාවන් පසුපස යෑමෙන් ද වැඩිහිටි ගොදුරු සොයන්න වුන් හෝ ලාබාල දරුවන් කෙරේ කාමාශාවෙන් පෙළෙන්නවුන් විසින් ද දරුවන් පසුපස යෑමෙන් හෝ මෙම තත්ත්වය නිර්මාණය වේ. මෙහිදී වැඩි වශයෙන් මෙම අපරාධකරුවන්ගේ පහසු ගොදුරු බවට පත් වන්නේ කාන්තාවන්, ළමුන් සහ චිත්තවේගී දුබලකම් ඇති අය හෝ අස්ථාවර අය බව හඳුනා ගෙන ඇත.

    3 සයිබර් අපරාධවල පහසු සහ වඩාත් පුළුල් ව්‍යාප්තියක් ඇති ප‍්‍රභේදය වශයෙන් සයිබර් අවකාශය ආශ‍්‍රිත කාමොද්දීපන නිරුවත් ප‍්‍රකාශන සැලකිය හැකිය. කාමෝද්දීපන නිරුවත් ප‍්‍රකාශන සහිත වෙබ් අඩවි මීට අයත් වන අතර පරිගණක සහ අන්තර් ජාල යොදා ගනිමින් නිෂ්පාදනය කරන ල කාමෝද්දීපන නිරුවත් ප‍්‍රකාශන අඩංගු සඟරා ආදිය මේ අතර වේ. මෙම ප‍්‍රකාශන බාගත කිරීමේදී එමගින් සිදුවන ඍජු හානියට අමතර වශයෙන් මැල්වෙයාර් වෛරස් යනාදිය ද පහසුවෙන් අදාළ ප‍්‍රකාශන සමග බාගත වීමට වැඩි අවකාශයක් ඇති බව හඳුනා ගෙන ඇත.

    4 සයිබර් ආශ‍්‍රිත නොමනා ක‍්‍රියා වශයෙන් හඳුන්වන්නේ දරුවෙකු, පෙර යොවුන් වියේ කෙනෙකු තවත් එවැනිම කෙනෙකු විසින් අන්තර්ජාලය ඔස්සේ අන්තර් ක‍්‍රියා හෝ ඩිජිටල් තාක්ෂණය ඇසුරෙන් වද දීම, තර්ජනය කිරීම, හිරිහැර කිරීම, අවමන් කිරීම, අපහසුතාවට පත් කිරීම හෝ වෙනත් අතවරවලට භාජනය කිරීම සයිබර් අයුතු බලපෑමක් කිරීමයි.

    5 පරිගණකය හෝ අන්තර්ජලය මගින් අපහාස කිරීම ද සයිබර් අපරාධ අතර සුලභ අපරාධ වර්ගයක් වශයෙන් හඳුනා ගෙන ඇත.

    6 ‘‘මෝෆිං’’ යනුවෙන් හැඳින්වෙන්කේ අසම්මත පරිහරණය කරන්නකු හෝ ව්‍යාජ අනන්‍යතාවක් ඇති අයෙකු හෝ ඡුායාරූපයක් සංස්කරණය කිරීමයි. කාන්තාවන්ගේ ඡුායාරූප මෙහිදී බහුල වශයෙන් මෝෆිං කිරීමට ලක්වේ. පරිගණක භාවිත කරන ව්‍යාජ පුද්ගලයින් විසින් කාන්තාවන්ගේ ඡයාරූප සංස්කරණය කිරීමෙන් පසු (බොහෝ විට නිරුවත් ඡයාරූප ලෙස සංස්කරණය කර ) වෙනත් අය සේ ව්‍යාජ තොරතුරු සමග වෙනත් වෙබ් අඩවිවල සටහන් කෙරෙන බව හඳුනා ගෙන ඇත. වර්තමානයේදී කාන්තාවන් බහුල වශයෙන් මෙම සයිබර් අපරාධකරුවන්ගේ ගොදුරු බවට පත්වන අතර ඇතැම් ජනප‍්‍රිය හා බලවත් පුද්ගලයින් ද මෝෆිං ගොදුරු බවට පත්වන බවක් හඳුනා ගත හැකිය.

    7 කාන්තාවන් වින්දිතයින් බවට පත්වන තවත් සුලභ සයිබර් අපරාධයක් වශයෙන් විද්‍යුත් ලිපි ස්පූෆිං හඳුනා ගෙන ඇත. මෙනමින් අදහස් වන්නේ විද්‍යුත් ලිපියක මූලාරම්භය වරදවා විස්තර කිරීමය. එහි නියම ආරම්භයට වෙනස් වූ ආරම්භයක් පෙන්වීම සුලභම තත්ත්වය වේ. නිදසුනක් ලෙස තමා ‘‘සී’’ බව හඟවමින් ‘‘ඒ’’ විසින් ‘‘බී’’ට විද්‍යුත් තැපෑලක් යවනු ලැබේ. මෙහිදී විද්‍යුත් තැපෑල යවන්නා තමාගේ නියම අනන්‍යතාව සඟවන අතර වෙනත් පුද්ගලයෙකුගේ අනන්‍යතාවක් ආරෝපණය කර ගැනීම සිදුවේ.

    කාන්තාවන් මෙහිදී වින්දිතයින් බවට පත්වන සුලභ අවස්ථාවක් වන්නේ ඇතැම් පිරිමින් විසින් තමාගේ අසභ්‍ය ඡුායාරූපයක් ඊමේල් ඔස්සේ කාන්තාවකට යවා ඇයගේ රුව වර්ණනා කොට ඇයගෙන් හමුවීමට දිනයක් හෝ ඇයගේ සේවාවන් සඳහා කොපමණ මුදලක් අය කරන්නේ ද යන්න විමසීමයි.

    අක‍්‍රිය සහ සක‍්‍රිය සයිබර් අපරාධ

    ඉහතින් සඳහන් කළ සුලභ සයිබර් අපරාධවලට අමතරව සයිබර් අපරාධකරුවන් විසින් කාන්තාවන්ට සහ දරුවන්ට එරෙහිව අක‍්‍රිය හෝ සකී‍්‍රය ප‍්‍රහාරයන් එල්ල කිරීමට ද ඉඩ ඇතැයි හඳුනා ගෙන ඇත.

    මෙහිදී අක‍්‍රිය සයිබර් ප‍්‍රහාර වශයෙන් නිර්වචනය වන්නේ නීති විරෝධී ක‍්‍රියාවකට සහාය වීමට හෝ වැඩි දියුණු කිරීමට පරිගණකයක් යොදා ගැනීමට යමෙක් උත්සාහ කිරීමයි. අක‍්‍රිය පහරදීම් බහුල වශයෙන් දත්ත සොරකම් කිරීම කෙරෙහි යොමු වන අතර ‘‘ස්ටෝකිංවලට’’ සමාන අක‍්‍රිය පහරදීම් පරිගණක හෝ අන්තර්ජාලය භාවිත කරන්නන්ගේ තොරතුරු එක් රැුස් කිරීමෙන් ආරම්භ වේ. තොරතුරු එක්රැුස් කිරීමෙන් පු නියම පහරදීම ඩිජිටල් කේෂ්ත‍්‍රය තුළ හෝ ඉන් බැහැරව සිදුවිය හැකිය. ඍජු අන්තර් ක‍්‍රියාවෙන් තොරව හිංසා කිරීමේ අරමුණින් තොරතුරු යොදා ගන්නා හෙයින් එය අපරාධයක ප‍්‍රාරම්භක අවස්ථාවක් සේ සයිබර් අපරාධ විශේෂඥයින් විසින් හඳුන්වනු ලැබේ.

    සක‍්‍රිය ප‍්‍රහාරයක් හෝ අපරාධයක් වන්නේ යමෙකු අපරාධ කිරීමට පරිගණකයක් උපයෝගී කර ගැනීමෙන්, එනම් ආරක්ෂිත පරිගණක පරිශ‍්‍රයකට හෝ විද්‍යුත් සංදේශ උපකරණයකට අනවසරයෙන් ප‍්‍රවේශයක් ලබා ගැනීමයි. සක‍්‍රීය ප‍්‍රහාර පද්ධතියෙහි දෝෂ හෝ හුදු ශක්තිය මගින් හානි කිරීමට උත්සාහ ගැනීම මගින් සිදුවේ. වින්දිතයාගේ පරිගණකයෙහි වේගය හීන වන පරිදි, නවතින පරිදි හෝ සම්පූර්ණයෙන්ම කඩා වැටෙන සේ දැරිය නොහැකි තරම් වැඩි බර පැටවීමට ද සක‍්‍රීය ප‍්‍රහාර මගින් උත්සාහ දරනු දැකිය හැකියි.

    සක‍්‍රීය ප‍්‍රහාර හෙවත් අපරාධ තවත් අංශ රැසක් තුළ ක‍්‍රියාත්මක වේ.

    උදාහරණයක් ලෙස යමෙකුට විශාල මුදලක් දිනා ඇති බව හෝ ශිෂ්‍යත්වයක් දිනා ඇති බව දන්වමින් තවත් කෙනෙකු විසින් විද්‍යුත් ලිපියක් එවීම වැනි ව්‍යාජ පරිගණක කාර්යයක් හෝ විය හැකිය. මෙවැනි දැන්වීමක් මගින් අපරාධකරු විසින් අදාළ පුද්ගලයාගේ පුද්ගලික තොරතුරු ද සපයන මෙන් ඉල්ලීමක් කරයි නම් එය සක‍්‍රීය ප‍්‍රහාරයක් හෙවත් සක‍්‍රිය සයිබර් අපරාධයක් වශයෙන් සැලකිය හැකිය. පරිගණක අපරාධවල මෙම අංශය සමාජ සම්බන්ධතා ජාලගත කිරීම් යටතට අයත් වේ. ඇතැම් විටෙක පරිගණක අපරාධ සඳහා ව්‍යාජ තොරතුරු සත්‍ය තොරතුරු සමග මුසු කර භාවිතා කරනු ද දැකිය හැකිය. විශේෂයෙන් කාන්තාවන් සහ දරුවන්ගේ ව්‍යාජ පුද්ගලික තොරතුරු සත්‍ය ඒවා සේ ඉදිරිපත් කරනු සුලභව දැකිය හැකිය. එවැනි අවස්ථාවලදී අපරාධයක් කිරීමට පරිගණකය සක‍්‍රිය ලෙස භාවිත වේ. මේ තත්ත්වය නිදසුනක් මගින් පැහැදිලි කරන්නේ නම්, පිරිමියෙකු ගැහැනු දරුවෙකු සේ පෙනී සිටි වෙනත් ගැහැනු දරුවෙකු හා මිත‍්‍රත්වයක් ගොඩනගා ගෙන ඇය පිළිබඳ සියලූ පුද්ගලික තොරතුරු ලබා ගැනීම දැක්විය හැකිය. ඔහු මේ අවස්ථාවේදී සක‍්‍රිය කායික ක‍්‍රියාවක් මගින් පරිගණක අපරාධයක් කරනු බව සැලකිය හැකිය.

    සයිබර් අපරාධකරුවන්ගේ ගොදුරක් නොවීමට නම්

    ඉහත සඳහන් කළ සියලූ ආකාරයේ සයිබර් අපරාධවලට කාන්තාවන් සහ ළමුන් ලක් වන්නේ ඔවුන් තුළ ම පවතින නොදැනුවත්කම හෝ නොසැලකිල්ල නිසා බව පැහැදිලි කරුණකි. මේ තත්ත්වය තුළ කාන්තාවන් සහ ගැහැනු ළමුන් සයිබර් අපරාධවල වින්දිතයින් බවට පත්වීම වැළැක්වීම සඳහා ගත හැකි සක‍්‍රීය හා ඵලදායී පියවර රැසකි.

    Facebook වැනි සමාජ ජාල සම්බන්ධතා තුළ ආරක්ෂාව

    කාන්තාවන් සහ ගැහැනු ළමුන් වැඩි වශයෙන් සයිබර් අපරාධවලට ගොදුරු වන්නේ මුහුණුපොත වැනි සමාජ ජාලා තුළ බව හඳුනා ගෙන ඇත. එවැනි අවස්ථාවකදී තම ආරක්ෂාව සඳහා ගත හැකි පියවර රැසකි.

    1 ආරක්ෂාකාරී ලෙස මුහුණුපොතට සේන්දුවීම. එමගින් ඔබගේ රහස් වචනය (මුරපදය) සොයා ගෙන ඔබේ ජාලයේ සිදුවන දේ රහසින් දැන ගැනීමට ඇති පහසු අවකාශය වළකා ගත හැකි වේ.
    2 උපන් දිනය, ජීවත් වන ස්ථානය හා සම්බන්ධවීමට අදාළ තොරතුරු වැනි පුද්ගලික තොරතුරු මුහුණුපොතේ සටහන් කිරීම සීමාකර ගැනීම.
    3 පෞද්ගලිකත්වය රැුක ගැනීමේ උපක‍්‍රම භාවිත කරමින් තොරතුරු ලබා ගැනීමේ ඉඩකඩ මිතුරන්ට පමණක් සීමා කිරීම.
    4 සීමිත තොරතුරු ලැයිස්තු සකසා සැක සහිත මිතුරන් ලැයිස්තුව වෙන් කොට ඔවුන් ගැන සුපරික්ෂාකාරීව සොයා බලා පසුව ඔබ ගැන වැඩි විස්රතර ලබා ගත හැකි ලැයිස්තුවට ඇතුළත් කිරීම.
    5 සෙසු අයට ගවේෂක යන්ත‍්‍රවලට හෙළිවන තොරතුරු පාලනය කිරීම සඳහා පෞද්ගලිකත්වය රැුක ගැනීමේ උපක‍්‍රම භාවිත කිරීම.
    6 මුහුණුපොතේ ව්‍යාජයෙන් හෝ වෙනත් සැක සහිත සම්බන්ධතා මගින් ලැබෙන ව්‍යාජ ඉලෙක්ට්‍රොනික ලිපිවලින් ප‍්‍රවේශම් වීම.
    7 ඔබ මිතුරෙකු ලෙස කෙනෙකු පිළිගැනීමට පෙර දෙවරක් සිතන්න. එසේ පිළිගැනීමට පෙර ඉල්ලීම කළ අය සමග හැකි නම් ඊමේල් මගින් හෝ දුරකථනය මගින් සම්බන්ධ වී සත්‍යතාව විමසා බලන්න.
    8 චැට් කිරීමේ සම්ප‍්‍රයෝගයක් මුහුණුපොතේ අන්තර්ගත වේ. නොදන්නා අය එා චැට් කිරීමෙන් හෝ ඔවුන්ට ඔබ හඳුනා ගැනීමට හැකි වන තොරතුරු ලබාදීමෙන් වළකින්න.
    9 කිසිවෙකු අනුමාන නොකළහැකි හරස් වචනයක් තෝරා ගන්න. එය නිතර වෙනස් කරන්න.
    10 විශ්වාසය තැබිය හැකි පරිගණක පමණක් භාවිත කොට මුහුණුපොතට එක්වන්න. පරිගණක පද්ධතියක ඔබ භාවිත කරන සෑම යතුරු සලකුණක්ම සටහන් කරන කී ලොගාර්ස් නම් මෘදුකාංගය එහි තිබෙන්න පුළුවන.
    11 භාවිත කරන රහස් වචනය වෙනත් අය අතට පත් කිරීමේදී පරීක්ෂාකාරී වන්න. එය දුර්වල ආකාරයෙන් භාවිත කළහොත් එය ඔබ අමාරුවේ වැටීමට පහසු මඟක් විය හැකිය.

    Email භාවිතයේදී ආරක්ෂාකාරී වීම

    වර්තමානයේ බහුලම සන්නිවේදන මාධ්‍ය විද්‍යුත් තැපෑල හෙවත් ඊමේල් බවට පත්ව ඇතත් කාන්තාවන් හා ළමුන් සයිබර් අපරාධවලට ලක් කරනු සුලභම මාධ්‍යයක් වශයෙන් ද එය ඉහළ ස්ථානයක් හිමිකර ගෙන ඇත. එහෙත් පහත සඳහන් ආරක්ෂක පියවර මගින් ඔබට මේ සුවිශේෂ සන්නිවේදන මාධ්‍ය යහපත් මිතුරෙක් බවට පත්කර ගත හැකිය.

    1 අවම වශයෙන් සංකේත අටකින් යුත් මුරපදයක් නිර්මාණය කළ යුතු අතර එම මුරපදය සඳහා නම් හෝ පහසුවෙන් අනුමාන කළ හැකි වචන ඇතුළත් නොකළ යුතුය. කැපිටල් අකුරු, සිම්පල් අකුරු, සංඛ්‍යා සහ වෙනත් සංකේතාත්මක අකුරු (උදාහරණයක් ලෙස * @ # මුරපදයක් ලෙස භාවිත කළ යුතුය.
    2 වෙබ් ආශ‍්‍රිත සේවාවන් භාවිත කිරීමේදී https: // www.hotmail.com භාවිත කරන්න.
    3 ඩිජිටල් සහතික දෝෂ පණිවුඩයක් ලැබුණහොත් එම වෙබ් පිටුවට ඇතුළු වීමෙන් වළකින්න.
    4 මුරපදය වෙනත් අය සමග බෙදා ගැනීමෙන් වළකින්න.
    5 අන්තර්ජාලයට සම්බන්ධ ඉලෙක්ට්‍රොනික් පණිවිඩ සඳහා තමා භාවිත කරන සාමාන්‍ය මුරපදය භාවිත නොකළ යුතුය.
    6 නූතනම වෛරස් විරෝධී ස්කෑනරයක් පාව්චිචි කරන්න.
    7 අන්තර්ජාල සේවා සපයන ස්ථානවල පරිගණක පාවිච්චි කිරීමේදී සුපරික්ෂාකාරී වන්න. පාවිච්චි කරන සෑම පරිගණක යතුරක්ම සටහන් කර ගන්නා පරිගණක යතුරු කපනයක් KEY LOGGER සාමාන්‍යයෙන් මෙම ස්ථානවල පරිගණකවලට ඇතුළත් කර ඇත.
    8 හැකි සෑම අවස්ථාවකදීම ක්ෂණික පණිවිඩ මගින් නැති වූ මුරපදය නැවත ලබා ගැනීමට උත්සාහ කරන්න.
    9 මුරපදය යළි ලබා ගැනීමට උත්සාහ කිරීමේදී අසන රහස් ප‍්‍රශ්න අනුමාන කිරීම දුෂ්කරය.
    10 නොදන්න අය විසින් එවන ලද ඉලෙක්ට්‍රොනික පණිවිඩවල ඇමුණුම් attachments විවෘත කිරීමෙන් සහ සන්ධාන Link බොත්තම් තද කිරීමෙන් වළකින්න.

    Chatroom වැට් කාමරයේ ආරක්ෂාව

    වර්තමානයේ බහුලවම භාවිත වන සන්නිවේදන ක‍්‍රමයක් වන ‘‘චැට්’’ කිරීමේදී එහි ආරක්ෂාව වෙනුවෙන් දැඩි සේ සැලකිලිමත් වීම අත්‍යවශ්‍ය වේ. එහිදී චැට් කාමරයේදී යම් හිංසනයක් පිළිබඳ සැකයක් ඇති වුවහොත් එම චැට් සැසියේ පිටපතක් ලඝු ගණකය ජය්එ එර්බාජරසචඑසදබ කදට තුළ සුරක්ෂිත කර ගන්න.

    වීඩියෝ බාගත කිරීමේදී ආරක්ෂා සහිත වීම

    වීඩියෝ බාගත කර ගැනීම සඳහා වෙබ් අඩවියට පිවිසීමට පෙර අශ්ශීල නිරුවත් ඡුායාරූප පමණක් නොව, හිංසනය, ජාතිවාදය, ත‍්‍රස්තවාදී බෝම්බ සකස් කිරීම ප‍්‍රචලිත කිරීම හෝ ප‍්‍රවර්ධනය කරන තොරතුරු සහ වෙනත් අයුතු තොරතුරු ඇතුළත් අනිසි අන්තර්ගතවලට අවසර නොදීමට පුද්ගලිකත්වය ආරක්ෂා වන අයුරින් පරිගණක පාලන රාමුව සකස් කර ගන්න.

    සෙවුම් අඩවිවල ආරක්ෂාව

    ගූගල් Google සහ ‘‘බිංග් Bing වැනි සෙවුම් අඩවි පාවිච්චි කිරීමේදී අයුතු අන්තර්ගතයන් වැළැක්වීම සඳහා පාරිගණක පාලන රාමුව සකස් කර ගන්න.

    ඉහතින් සඳහන් කළ ආරක්ෂක පියවර අනුගමනය කිරීම මගින් විශේෂයෙන් කාන්තාවන් සහ ගැහැනු ළමුන් සයිබර් අපරාධකරුවන්ගේ පහසු ගොදුරු බවට පත්වීමෙන් වළක්වා ගත හැකිය.

    මෙම ලිපිය අවසන් කිරීමට පෙර වර්තමානයේ බහුල වශයෙන් සයිබර් අපරාධවලට ගොදුරු බවට පත්වන ගැහැනු ළමුන් අන්තර්ජාලය තුළ අපරාධවල ගොදුරු බවට (වින්දිතයින් බවට) පත් වීම වළක්වා ගත හැකි ආරක්ෂක පියවර ගැන ද දැනුවත් කිරීම අත්‍යවශ්‍ය වේ.

    ගැහැනු දරුවන් සයිබර් අපරාධවලින් ආරක්ෂා කර ගැනීම

    1 දරුවන් භාවිත කරන පරිගණකවලට ෆයර් වොල් හෝ දෙමාපිය පාලනය සලසන මෘදුකාංග ඇතුළත් කිරීම. මෙම මෘදුකාංග මගින් අදාළ ක‍්‍රියාකාරකම්වල ඉතිහාසය සහ වෙබ් අන්තර්ගතයන්ට ප‍්‍රවේශ වීම සීමා කිරීම ද දෙමාපියන්ට කළ හැකිය.

    2 දරුවන් නිතර පරිහරණය කරන සියලූ වෙබ් අඩවි පිළිබඳ සොයා බැලීම හා ඔවුන්ගේ පරිගණක ක‍්‍රියා අධීක්ෂණය කිරීම.

    3 අන්තර්ජාල කටයුතුවලදී ආරක්ෂාව සලසා ගන්නා ආකාරයත්, වින්දිතයෙකු වීමේ අවදානමත් පිළිබඳ දරුවන් දැනුවත් කිරීම සඳහා දරුවන් සමග සන්නිවේදනය වැඩි දියුණු කර ගැනීම.

    4 සෑම දෙනාටම දරුවාගේ ඉරියව් පෙනෙන පරිදි පරිගණකය විවෘත ස්ථානයක තැබීම. ( වැඩිහිටියෙකු කාමරයට ඇතුළු වන විට දරුවා කලබල වීම අන්තර්ජාල අඩවි වෙනස් කිරීම වැනි ක‍්‍රියාවක යෙදෙන්නේ නම් එය විමසිලිමත් වීමට සලකුණකි)

    5 දරුවන් අධීක්ෂණයෙන් තොර පරිගණක භාවිතයෙන් වළක්වාලීම.

    6 දරුවන් අන්තර්ජාලයේ වැඩ කරන විට කල්පනාකාරී වීම.

    7 දරුවා නොදන්නා අය සමග ඉලෙක්ට්‍රොනික ලිපි හුවමාරු කර ගැනීමෙන්, චැට් කිරීමෙන් සහ දුරකථනයෙන් සම්බන්ධ වීමෙන් වළක්වාලීම.

    8 දරුවා නොදන්නා ද්‍රව්‍යයන් අන්තර්ජාලයෙන් ලබා ගැනීමෙන් දරුවාට විය හැකි හානි සහ පරිගණකයට විය හැකි හානි පිළිබඳව දරුවා දැනුවත් කිරීම.

    9 දරුවා වෙනත් අයගේ අන්තර්ජාල ප‍්‍රවේශ මාර්ග භාවිත කිරීමෙන් වැළැක්වීම.

    10 දරුවන් පරිගණක භාවිත කරන විට තනිව සිටීමට වැඩි කැමැත්තක් දක්වන විට විශේෂයෙන් පරීක්ෂා කාරී වීම.

    11 දරුවාගේ පරිගණකයෙහි අසභ්‍ය රචනා නොමැති බවට සහතික කිරීම.

    12නොහඳුනන අය සමග දරුවා කරන සංවාද අධීක්ෂණය කිරීම.

    13 දරුවන් අවසර නැතිව ක්‍රෙඩිට් කාඞ්පත් භාවිත කිරීමෙන් වළක්වාලීම.
    ඉහත සඳහන් ක‍්‍රමෝපායන් අනුගමනය කිරීම මගින් කාන්තාවන් සහ ගැහැනු ළමුන් සයිබර් අවකාශය තුළදී අපරාධකරුවන්ගේ ගොදුරු බවට පත්වීම පහසුවෙන් සහ ඵලදායී ආකාරයෙන් වළක්වා ගත හැකිය.

    සැකසුම
    තුෂාල් විතානගේ
    (ළමා සංවර්ධන සහ කාන්තා කටයුතු අමාත්‍යාංශය විසින් ප‍්‍රකාශයට පත් කරන ලද ‘‘කාන්තා සහ ගැහැනු දරු ආරක්ෂණය පිළිබඳ ශ‍්‍රී ලංකා නීති නාමාවලිය ඇසුරිණින් සකස් කරන ලදි)

  • සෞභාග්‍යයේ දැක්ම හාස්‍යයට: ‘දෙල්ගොඩ රක්ෂිතයේ’ මහා වන විනාශයක්

    සෞභාග්‍යයේ දැක්ම හාස්‍යයට: ‘දෙල්ගොඩ රක්ෂිතයේ’ මහා වන විනාශයක්

    කලවාන ප‍්‍රාදේශීය ලේකම් කොට්ඨාශයට අයත් වැවගම ග‍්‍රාම නිලධාරී වසමේ පිහිටි සුදුවැලිපත ගමේ සිංහරාජ අඩවියේ සුවිශේෂී වනාන්තර ප‍්‍රදේශයක් වන දෙල්ගොඩ රක්ෂිතය හා සම්බන්ධ අක්කර 143 ක වනාන්තර භූමිය ව්‍යාජ ඔප්පු සකස් කර ගත් පිරිසක් විසින් මහ පරිමාණයෙන් එළිපෙහෙළි කරමින් තේ වගාව ව්‍යාප්ත කිරීම සිදු කරමින් පවතී.

    මේ වන විට අක්කර 10 කට වඩා වැඩි භූමි ප‍්‍රදේශයක් එළිපෙහෙළි කිරීමට ලක් කර ඇත. මෙලෙස එළිපෙහෙළි කිරීමට ලක් කර ඇත්තේ කුකුළේ ගඟ හා සම්බන්ධ කුඩව ගගේ ප‍්‍රධාන අතු ගංගා වල ජලපෝෂක වනාන්තර පද්ධතියයි.

    කලවාන ප‍්‍රදේශයේ පදිංචි දෙල්ගොඩ අප්පු ලෙස හඳුන්වන පුද්ගලයකු සහ පානදුර, මතුගම, නුවර හා කොළඹ යන ප‍්‍රදේශ වල ව්‍යාපාරිකයන් පිරිසක් විසින් මෙම වනාන්තර කොටසේ ව්‍යාජ ඔප්පු මගින් වනාන්තර ඉඩම් අත්පත් කර ගෙන එළි කිරීම සිදු කරයි.

    මෙම වනාන්තර ඉඩම් සිංහරාජයට සම්බන්ධ කිරීමේ සැලැසුම් ක්‍රියාත්මක වන අතරතුර එම කටයුතු වැළැක්වීම සඳහා කඩිනමින් මෙම වනාන්තර එළිපෙහෙළි කර තේ වගාව ව්‍යාප්ත කර සංවර්ධනය කර ඇති බවට සනාථ කර ඉඩම් අයිතිය ලබා ගැනීමට සූදානම් වේ.

    සිංහරාජ අඩවියේ නීතිමය ආරක්ෂාව

    1988 අංක 3 දරණ ජාතික උරුම වන භූමි පනතේ 2 වන වගන්තියට අනුව 1988 ඔක්තෝම්බර් 21 වන දින අංක 528/14 දරණ ගැසට් නිවේදනය මඟින් හෙක්ටයාර 11,187 ක වනාන්තර ප‍්‍රදේශයක් සිංහරාජ ජාතික උරුම වන භූමිය ලෙස ප‍්‍රකාශයට පත් කර තිබේ.

    2009 අංක 65 දරණ පනතින් අවසන් වරට සංශෝධිත වන සංරක්ෂණ ආඥා පනතේ 3 වන වගන්තියට අනුව ප‍්‍රකාශිත 2019 නොවැම්බර් 20 දින අංක 2150/31 දරණ ගැසට් නිවේදනය මඟින් සිංහරාජ ජාතික උරුම වන භූමිය හා ඒ වටා පිහිටි වනාන්තර හෙක්ටයාර 36,475 ක් සිංහරාජ වන රක්ෂිතය ලෙස ප‍්‍රකාශයට පත් කර විශාල වනාන්තර පද්ධතියකට ආරක්ෂාව ලබා දී ඇත.

    මීට අමතර ව මෙම රක්ෂිත ප‍්‍රදේශ ආවරණය වන භූමි ප‍්‍රදේශ හා ඒ වටා කලාපය 1951 අංක 25 දරන පස සංරක්ෂණ පනතේ 3 වන වගන්තියට අනුව 2008 මැයි 22 වන දින අංක 1550/9 දරන ගැසට් නිවේදනය මඟින් පස සංරක්ෂණ කලාපයක් ලෙස ප‍්‍රකාශයට පත් කර තිබේ. ඊට හේතු ව මේ කලාපය කඳුවැටි සහිත නායයාමේ අවධානමක් පවතින කලාපයක් වීම ය.

    මෙවන් වූ සුවිශේෂී කලාපයක සිදු කරන  ඕනෑම සංවර්ධන ක්‍රියාවලියක් ජාතික පාරිසරික පනතට අනුව පාලනය කර ඇත. ඊට හේතු ව යම් සංවර්ධන ක්‍රියාවලියක් මඟින් රක්ෂිත වනාන්තර පද්ධතියේ පැවැත්මට හා එහි ජෛව ප‍්‍රජාවගේ පැවැත්මට මෙන් ම ජල පෝෂක වනාන්තර පද්ධතියේ පැවැත්මට හානිකර බලපෑම් එල්ල විය හැකි බැවිනි.

    පාරිසරික අණ පනත් උල්ලංඝනය කිරීම

    සංශෝධිත 1980 අංක 47 දරන ජාතික පාරිසරික පනතේ 23බ වගන්තියට අනුව ප‍්‍රකාශිත 1993 ජුනි 24 දින අංක 772/22 දරන ගැසට් නිවේදනයට අනුව හෙක්ටයාර එකකට වැඩි වනාන්තර ප‍්‍රදේශයක් එළි කර වනාන්තර නොවන භාවිතාවක් සඳහා යොදා ගැනීමේ ව්‍යාපෘති ක්‍රියාත්මක කිරීමට ප‍්‍රථම පරිසර බලපෑම් ඇගයීම් ක්‍රියාවලියට අනුව අනුමැතිය ලබා ගත යුතු ය. නමුත් විශාල වනාන්තර පද්ධතියක් එළි කර සිදු කරන තේ වගා බිම් ව්‍යාප්ත කිරීමේ කටයුතු කිසිදු පාරිසරික අනුමැතියකින් තොරව බලහත්කාරයෙන් සිදු කරමින් පවතී. ඒ සඳහා ජාතික පාරිසරික පනත ක්‍රියාත්මක කරන මධ්‍යම පරිසර අධිකාරිය මෙතෙක් මැදිහත් වී නොමැත.

    එපමණක් නොව එම ගැසට් නිවේදනයේ ම දැක්වෙන ලෙස ජාතික උරුම වන භූමියක් ලෙස ප‍්‍රකාශිත ප‍්‍රදේශයක මායිමේ සිට මීටර 100 ක් ඇතුළත සහ වන රක්ෂිතයක් ලෙස ප‍්‍රකාශිත භූමියක මායිමේ සිට මීටර 100 ක් ඇතුළත සංවර්ධන ව්‍යාපෘතියක් ක්‍රියාත්මක කිරීමට ප‍්‍රථමයෙන් ද පරිසර බලපෑම් ඇගයීම් ක්‍රියාවලියට අනුව අනුමැතිය ලබා ගත යුතු ය. මීට අමතර ව මෙම ගැසට් නිවේදනයට අනුව පස සංරක්ෂණ පනත යටතේ ප‍්‍රකාශයට පත් කළ යම් ප‍්‍රදේශයක් තුළ සංවර්ධන ව්‍යාපෘතියක් ක්‍රියාත්මක කිරීමේ දී ද පරිසර බලපෑම් ඇගයීම් ක්‍රියාවලියට අනුව අනුමැතිය ලබා ගැනීම සිදු කළ යුතු ය. ඒ අනුව මෙම සියලූ වනාන්තර එළි කිරීම් මෙම නීතිමය ප‍්‍රතිපාදනයන් සියල්ලට ම ඇතුළත් වන බැවින් මේ සියලූ වනාන්තර එළි කිරීම සිදු කරන්නේ නීති විරෝධී අයුරින් බව තහවුරු වේ.

    අනුමැතියකින් තොරව නීති විරෝධීව සිදු කරන මෙම සියලූ ක්‍රියා වලට එරෙහි ව නීතිමය ක්‍රියාමාර්ග ගැනී‌මේ බලය මධ්‍යම පරිසර අධිකාරියට ඇත. ජාතික පාරිසරික පනතේ 23අඅ උප වගන්තියට අනුව නිවැරදි පරිසර බලපෑම් තක්සේරු ක්‍රියාවලියට යටත් ව අනුමැතිය ලබා ගැනීමකින් තොර ව නීති විරෝධීව ව්‍යාපෘතියක් ක්‍රියාත්මක කරන අවස්ථාවක දී පනතේ 31 වගන්තියට අනුව මහේස්ත‍්‍රාත් අධිකරණයක් ඉදිරියේ එවන් පුද්ගලයකු වරදකරුවකු කරනු ලැබූ විට රුපියල් 15,000 ක් නොයික්මවන දඩයකට හෝ වසර 2 ක් දක්වා බන්ධනාගාර ගත කිරීමකට හෝ මෙම දඩුවම් දෙකට ම යටත් කළ හැකි ය.

    ශ‍්‍රී ලංකා ප‍්‍රජාතාන්ත‍්‍රික සමාජවාදී ජනරජයේ ආණ්ඩුක‍්‍රම ව්‍යවස්ථාවේ ඩස වන පරිච්ඡේදයේ රාජ්‍ය ප‍්‍රතිපත්ති මෙහෙයවීමේ මූලධර්ම සහ මූලික යුතුකම් කොටසෙහි 27(14) උප ව්‍යවස්ථාවට අනුව ජනතාවගේ යහපත තකා රජය විසින් පරිසරය ආරක්ෂා කර සුරක්ෂිත කර වැඩිදියුණු කළ යුතු බව සඳහන් වේ. නමුත් අද වන විට සිදු කරන සියලූ පරිසර විනාශයන් හමුවේ ජනතාවගේ බදු මුදල් වලින් වැටුප් ලබන මධ්‍යම පරිසර අධිකාරියේ සියලූ නිලධාරීන් මුණිවත රකින ආකාරයෙන් ම මෙම විනාශය හමුවේ ද නිද්‍රාශීලීව පසු වීම කණගාටුවට කරුණකි.

    සෞභාග්‍යයේ දැක්ම හාස්‍යයට ලක් කිරීම

    මෙවර ජනාධිපතිවරණයේ දී ‘‘ගෝඨාභය රට හදන සෞභාග්‍යයේ දැක්ම” ප‍්‍රතිපත්ති ප‍්‍රකාශනයේ ‘‘තිරසර පරිසර ප‍්‍රතිපත්තියක්” කොටසෙහි සඳහන් වන්නේ ‘‘මිනිසාට මෙන් ම අනෙක් සත්ත්වයින්ට භූමියට ඇති අයිතිය සුරක්ෂිත කරන භාරකරුවකු ලෙස රජය ක්‍රියා කළ යුතු බව ය.’’ එම ප‍්‍රතිපත්ති ප‍්‍රකාශනයේ තිරසර පරිසර ප‍්‍රතිපත්තියක් ලෙස සඳහන් කොටසේ තවදුරටත් දක්වා ඇත්තේ ‘‘වර්තමානයේ සිදු වන බොහෝ මනුෂ්‍ය ක්‍රියාකාරකම් නිසා පරිසර පද්ධතියට සිදු වන විනාශය අති විශාල ය. එම නිසා අනාගත පරපුරට සුරක්ෂිත පරිසර පද්ධතියක් තුළ ජීවත් වීමට ඇති අයිතිය ආරක්ෂා කිරීමේ වගකීම අපහට පැවරී තිබේ” යනුවෙනි. එපමණක් නොව එම ප‍්‍රතිපත්ති ප‍්‍රකාශනයේ භූමිය භාවිතාව පිළිබඳ ව සඳහන් කර ඇත්තේ ‘‘ශ්‍රී ලංකාවේ භූමිය භාවිතා කළ යුත්තේ ජනතාවගේ යහපැවැත්ම සඳහා ය. මිනිසාට මෙන්ම අනෙක් සත්වයන්ට භූමියට ඇති අයිතිය සුරක්ෂිත කරන භාරකරුවකු ලෙස රජය ක්‍රියා කළ යුතු ය. එලෙසට ම තමන් වෙනුවෙන් හඬක් නැගිය නොහැකි කොට්ඨාශ, එනම් සත්වයන් හා අනාගතයේ ඉපදීමට සිටින අනාගත පරම්පරාව සඳහා භූමිය ආරක්ෂා කරන භාරකාරයන් ලෙසට රජය ක්‍රියා කළ යුතු ය” යනුවෙන් හා ලංකාවේ වන ආවරණය සියයට 30 දක්වා වර්ධනය කරන බව ය.

    නමුත් මේ සියල්ල උල්ලංඝනය කරමින් ව්‍යාපාරිකයන් සිංහරාජ අඩවියේ සුවිශේෂී වනාන්තර විනාශ කරද්දී නිහඬ ව සිටීමෙන් සිදු වන්නේ සියලූ ම ජීවීන්ට භූමියට ඇති අයිතිය ව්‍යාපාරිකයින්ට පැවරීම ය. මේ සියල්ලට ම එරෙහිව ක්‍රියාත්මක වීමට ආණ්ඩුක‍්‍රම ව්‍යවස්ථාවේ 28 (ඊ) උප ව්‍යවස්ථාවට අනුව අපට බලය ඇත. එම උප ව්‍යවස්ථාවට අනුව ස්වභාවධර්මය හා ස්වාභාවික සම්පත් රැකගැනීම ශ‍්‍රී ලංකාවාසී සෑම තැනැත්තෙකුගේ ම යුතුකම වන බව සඳහන් වේ. එපමණක් නොව 28 (ඉ) උප ව්‍යවස්ථාවට අනුව සෙසු අයගේ අයිතිවාසිකම් හා නිදහස වෙනුවෙන් කටයුතු කිරීමට හැකි යාව ද සෑම පුරවැසියෙකුට ම තිබේ. ඒ අනුව ව්‍යාපාරිකයන් විසින් සිදු කරන ස්වාභාවික සම්පත් අයුතු භාවිතයට එරෙහිව කටයුතු කිරීමේ හැකියාව ජනතාවට ඇත. එම බලය පුරවැසියන් වන අප භාවිතා කළ යුතු ය. එසේ නොවුනහොත් සිංහරාජ අඩවියේ තේ වගා කර ව්‍යාපාරිකයන් අත්පත් කර ගෙන සියලූ ජෛව ප‍්‍රජාවට අහිමි කරනු ඇත. ඒ මගින් සිදු වන්නේ දැනට සුළු පරිමාණ තේ වගාවන් සිදු කරන ජනතාවගේ වගා බිම්වල ජල සුරක්ෂිතතාව බිඳ දැමීමයි.

    සුවිශේෂී වනාන්තර සංහරාජයට අහිමි කිරීම

    “ගම සමඟ පිළිසදරක්” වැනි වැඩසටහන් මගින් විධායකය විසින් රක්ෂිත වනාන්තරවල වගා බිම් ව්‍යාප්ත කිරීමට අනුබල ලබා දීමේ ප‍්‍රතිඵලයක් ලෙස මෙවන් තත්ත්වයන් වර්ධනය වෙමින් පවතී. එපමණක් නොව 2004 වසරේ දී ජනාධිපති කාර්යය සාධක බලකාය විසින් රටේ අනාගතය ගැන සිතා සැකසූ ඉතා හොද තීරණ ක්‍රියාත්මක නොවීම ද මෙම වන විනාශයන්ට ප‍්‍රධාන හේතුව වී ඇත. එම සැලසුමට අනුව 2004 ජූලි 22 වන දින අංක PS/CS/26/2004 දරණ අමාත්‍ය මණ්ඩල සංදේශය මගින් ඉල්ලා සිටියේ සිංහරාජ ජාතික උරුම වන රක්ෂිතයට යාව හෝ ඉන් කිලෝමීටර භාගයක දුර ප‍්‍රමාණය ඇතුළත පිහිටි සියලුම ඉඩම් ප‍්‍රතිසංස්කරණ කොමිෂන් සභාවට අයත් වනාන්තර ඉඩම්, 1972 ඉඩම් ප‍්‍රතිසංස්කරණ නීතියේ 22 (1) ඊ සහ 44 (එ්) වගන්ති ප‍්‍රකාරව වන සංරක්ෂණ දෙපාර්තමේන්තුව යටතට පැවරීමට නිර්දේශ ලබා දෙන ලෙස ය. ඒ සඳහා නිර්දේශ ලැබුණමුත් ඊට අදාළ ලිපි ගොනු පරිසර අමාත්‍යංශයේ පරිසර කළමනාකරණ අංශයේ වසර ගණනාවක කාලයක් තිස්සේ ගොඩ ගසා තිබේ. මේ කැබිනට් පත‍්‍රිකාව අනුව හෙක්ටයාර 2508.4 ක නොයිඳුල් වනාන්තර ඉඩම් ප‍්‍රමාණයක් සිංහරාජයට අළුතින් එක් කිරීමට නියමිත ව තිබේ. නමුත් ලියකියවිලි හුවමාරුවට පමණක් මේ ක්‍රියාවලිය සීමා වී ඇත. අද දක්වා ම එම වනාන්තර සිංහරාජ වන රක්ෂිතයට ඇතුළත් කිරීමට නොහැකි වී ඇත. මේ නිසා මෙම වනාන්තර දේශපාලකයින් හා ව්‍යාපාරිකයින් එක් ව ව්‍යාජ ඔප්පු සකස් කර රටට අහිමි කරමින් පවතී.

    වර්ෂ 2010 වන සංරක්ෂණ දෙපාර්තමේන්තුවේ වාර්තා වලට අනුව සමස්ත තෙත් කලාපීය ස්වාභාවික වනාන්තර ආවරණය සියයට 3 ක් බව හඳුනාගෙන තිබේ. මේ තත්ත්වය තුළ රක්ෂිත ආශ්‍රිත ව පිහිටන තෙත් වනාන්තර මේ ආකාරයෙන් විනාශ කිරීමෙන් තෙත් කලාපය දැවැන්ත පාරිසරික බිඳ වැටීමකට ඉදිරි කාලය තුළ දී මුහුණ දීමට සිදු වනු ඇත. මේ තත්ත්වය වැළැක්වීම සඳහා තෙත් කලාපයේ සියලූ වනාන්තර රක්ෂිත බවට පත් කිරීම මෙන් ම එම වනාන්තර ජාල ගත කිරීමේ වැඩපිළිවෙලක් කඩිනමින් ක්‍රියාත්මක කළ යුතු ව ඇත.

    සජීව චාමිකර

  • කොරෝනා එන්නත ගත්තොත් වඳ වෙයිද ?: ඇත්ත – නැත්ත කුමක්ද ?

    කොරෝනා එන්නත ගත්තොත් වඳ වෙයිද ?: ඇත්ත – නැත්ත කුමක්ද ?

    කෝවිඩ් එන්නත හේතුවෙන් ‘වඳ වෙන’ බවට සමාජ මාධ්‍යවල සංසරණය වන විවිධ ව්‍යාජ ප්‍රකාශ හේතුවෙන් ශ්‍රී ලාංකික තරුණ තරුණියන් කොටසක් එන්නත ලබා ගැනීම ප්‍රතික්ෂේප කර ඇති බව බීබීසී සිංහල සේවය කළ විමසුමක දී දැනගන්නට ලැබිණි.

    එන්නත ලබා ගැනීම ප්‍රතික්ෂේප කළ හේතුව කීපදෙනෙකුගෙන් විමසූ විට ඔවුන් පැවසුවේ තමන්ට කෙටි පණිවිඩ, ඊ මේල් සහ කට කතා ඔස්සේ දැනගැනීමට ලැබුණු කරුණු මත එම තීරණවලට එළැඹුණු බවය.

    “මම වැක්සීන් එක ගන්නේ නැහැ කියලා තීරණය කළා. මේකේ සයිඩ් ඉෆෙක්ට්ස් සෑහෙන තියෙනවා කියලා මට දැනගන්න ලැබුණා. විශේෂයෙන්ම වඳභාවය ඇති වෙනවා වගේ දේවල්. මම වැඩ කරන්නේ සෞඛ්‍ය අංශයේ. ළඟදී විවාහ වෙන්න ඉන්න නිසා මට ඇත්තටම බය හිතුණා,” කොළඹ රජයේ රෝහලක රැකියාවේ නිරත 24 හැවිදිරි කාන්තාවක් පැවසීය. ඇය සිය නම හෙළි නොකරන ලෙස ඉල්ලා සිටියාය.

    ශ්‍රී ජයවර්ධනපුර විශ්ව විද්‍යාලයේ ප්‍රතිශක්තිකරණ හා අණුක වෛද්‍ය විද්‍යා දෙපාර්තමේන්තුවේ ප්‍රධානී මහාචාර්ය නීලිකා මලවිගේ කෝවිඩ් එන්නත සම්බන්ධයෙන් සමාජයේ පැතිරී ඇති මිත්‍යා මත පිළිබඳ බීබීසී සිංහල සේවයට සිය අදහස් දැක්වීය.

    “කෝවිඩ්-19 එන්නත් හා සම්බන්ධ මිථ්‍යාවන් බොහෝමයක් සමාජ මාධ්‍ය ජාල ඔස්සේ ව්‍යාප්ත වී ඇති බව පෙනෙනවා.

    සමහරු මිත්‍යාවන් පතුරවන්නේ එන්නත් පිළිබඳ අවබෝධයක් නැති නිසායි. නමුත් සමහරු මිත්‍යා මත පතුරන්නේ එන්නත ගැන අනවශ්‍ය බියක් ඇති කරවීමට හෝ එන්නත් කිරීමේ වැඩසටහන් කඩාකප්පල් කිරීමේ චේතනාවෙන්. මම හිතන්නේ සමහර පුද්ගලයින් මේ වගේ මිත්‍යා මත පතුරන්නේ එයින් එන්නත් කිරීමේ වැඩසටහනට සිදුවන හානිය ගැන සිතා බලලා නෙමෙයි,” මහාචාර්යවරිය පැවසීය.

    මිත්‍යාවක්!

    වැදෑමහ වර්ධනය සඳහා අවශ්‍ය ප්‍රෝටීන එන්නතේ අඩංගු නිසා එයින් සරුභාවයට තර්ජන එල්ල වන බවට සමාජ මාධ්‍ය ජාල ඔස්සේ ව්‍යාජ තොරතුරක් සංසරණය වේ. එම ප්‍රෝටීන ඇතුළුවීමත් වීමත් සමග ප්‍රතික්‍රියා දක්වන ශරීරය වැදෑමහට ප්‍රහාර එල්ල කිරීම ආරම්භ කරන බවට එම පුවත්වල වැඩිදුරටත් සඳහන් වේ.

    Coronavirus vaccine myths

    මෙය අසත්‍යය තොරතුරකි. එන්නතෙහි ඇති ප්‍රෝටීන වැදෑමහ වර්ධනය සඳහා අවශ්‍ය ප්‍රෝටීනවලට යම් තරමක් සමාන වන නමුත් එය ශරීරය ව්‍යාකූල කිරීමට තරම් ප්‍රමාණවත් නොවේ.

    එන්නත පුද්ගලයෙකුගේ සරුභාවයට බලපාන බවට “පිළිගත හැකි ජීව විද්‍යාත්මක යාන්ත්‍රණයක්” නොමැති බව ලන්ඩන් කිංග්ස් විද්‍යාලයේ ප්‍රසව හා නාරිවේද පිළිබඳ මහාචාර්ය සහ ප්‍රසව හා නාරිවේද වෛද්‍යවරුන්ගේ රාජකීය විද්‍යාලයේ ප්‍රකාශක මහාචාර්ය ලුසි චැපල් පැවසීය.

    වෛරසයේ වඩාත් සුවිශේෂී කොටස් වටා එන්නත නිර්මාණය කර ඇත්තේ එය ශරීරයට ඇතුළු වූ පසු වෛරසය පමණක් හඳුනා ගැනීම තහවුරු කිරීම සඳහාය.

    මහාචාර්ය ලුසි චැපල් පවසන්නේ, අදාළ ප්‍රෝටීනවල යම් සමානකම් ඇති නමුත් එයින් “කිසිවක් අදහස් නොකෙරෙන” බවය. සොබාදහමේ විවිධ ස්ථානවල ද සමාන ප්‍රෝටීන විශාල ප්‍රමාණයක් පවතින අතර, ඒවායේ ප්‍රමාණය සහ අනුක්‍රමය අනුව සුවිශේෂී තත්ත්වයක් ලැබෙන බව ඇය පැවසීය.

    “පදනම් විරහිතයි”

    “කෝවිඩ්-19 එන්නතේ නිෂ්පාදනය වාර්තාගත වේගයකින් සිදු වුණා. මෙය සිදු කරන්න පුළුවන් වුණේ විද්‍යාඥයන්, තීරණ ගැනීමේ ආයතන, රජයන්, අරමුදල් සම්පාදකයින් සහ එන්නත නිෂ්පාදකයින්ගේ කැපවීමේ එකතුවකින්.

    කෝවිඩ්-19 නිසා ඇති වූ විනාශය නිසා ලෝකයේ පළමු වතාවට සෑම දෙනාම එක් හේතුවක් සඳහා වැඩ කිරීමට එකට එකතු වුණා” යැයි නීලිකා මලවිගේ පැවසීය.

    “කෝවිඩ්-19 ජය ගැනීමට එන්නත වේගයෙන් සංවර්ධනය කළත්, එන්නතේ ආරක්ෂාව සම්බන්ධයෙන් කෙටි මං භාවිත කරලා නැහැ.

    Coronavirus vaccine myths
    ශ්‍රී ජයවර්ධනපුර විශ්ව විද්‍යාලයේ ප්‍රතිශක්තිකරණ හා අණුක වෛද්‍ය විද්‍යා දෙපාර්තමේන්තුවේ ප්‍රධානී මහාචාර්ය නීලිකා මලවිගේ

    නියාමන ආයතන නිරීක්ෂණය කරන වැදගත්ම අංගයත් එන්නතේ ආරක්ෂාවයි. ආසාදනය වීම වැළැක්වීම සඳහා සෞඛ්‍ය සම්පන්න පුද්ගලයින්ටත් එන්නත් ලබා දෙනවා. දැනට අනුමත වී ඇති කෝවිඩ්-19 එන්නත්වලින් වඳභාවය ඇති විය හැකියි කියන දේ මිත්‍යාවක්. ඒක කිසිසේත්ම විශ්වාස කරන්න බැහැ.

    යම් පුද්ගලයෙක් එවැනි කතාවක් හැදුවේ කොහොම ද කියන එක වටහා ගන්න අපහසුයි. එය නියත වශයෙන්ම පදනම් විරහිත සහ සත්‍යතාවයක් නොමැති දෙයක්,” මහාචාර්යවරිය තවදුරටත් කරුණු පැහැදිලි කළාය.

    එන්නත ක්‍රියාත්මක වන්නේ කෙසේ ද?

    කොරෝනාවෛරසයේ සුවිශේෂී “උල් හැඩති කොටසේ” කුඩා සහ හානිකර නොවන කැබැල්ලක් නිෂ්පාදනය කිරීමට ඉඩ සලසමින් ශරීරය වෙත ‘සැලැස්මක්’ යැවීම මෙම එන්නත ක්‍රියාකාරී වීමෙන් සිදු වේ.

    මෙමගින් ඔබේ ප්‍රතිශක්තිකරණ පද්ධතිය ක්‍රියාශීලී වීමට පොළඹවන අතර, වෛරසයට එරෙහිව සටන් කිරීම සඳහා ප්‍රතිදේහ සහ සුදු රුධිරාණු නිපදවයි. එමෙන්ම වෛරසය නැවත හමු වුවහොත් එය හඳුනා ගනී.

    මෙයින් ඔබට වෛරසය ලබා නොදෙන අතර, ජානමය තොරතුරුවලට බලපෑම් එල්ල කිරීමේ ක්‍රමයක් ද නොමැත.

    “පණිවිඩකරුවෙකු ලෙස ක්‍රියාකරන මෙම අංශුවල” පැවැත්ම අතිශයින්ම කෙටිකාලීනය. ඒවා ශරීරයට පණිවුඩය ලබා දුන් පසුව විනාශ වේ. විශේෂයෙන්ම ෆයිසර් එන්නත ඉතා ප්‍රවේසමෙන් ගබඩා කළ යුත්තේ ද මේ හේතුවෙනි. එන්නතේ අඩංගු ජානමය ද්‍රව්‍ය විනාශ වී ඉතා පහසුවෙන් නිෂ්ඵල වීමට ඉඩ ඇත.

    ලීඩ්ස් විශ්ව විද්‍යාලයේ වෛරස් විද්‍යා මහාචාර්ය නිකොලා ස්ටෝන්හවුස් පැවසුවේ ඉහත ක්‍රියාදාමය ප්‍රජනන සෞඛ්‍යයට බලපෑමක් ඇති කළ හැකි යැයි සිතිය නොහැකි බවය.

    Coronavirus vaccine myths
    සමහරු මිත්‍යාවන් පතුරවන්නේ එන්නත් පිළිබඳ අවබෝධයක් නැති නිසායි”

    “මට මැසේජස් ආවා වැක්සීන් එක ගන්න එක හොඳ නැහැ කියලා තරුණ අයට. මම දන්නවා බොරු දේවල් පැතිරෙනවා කියලා. නමුත් හිතේ මහා බයක් ඇති වුණා. ඒක නිසා ගත්තේ නැහැ. මම සෞඛ්‍ය අංශයේ වැඩ කරන්නේ. මාත් එක්ක හිටිය තරුණ ගැහැණු පිරිමි ගොඩක් මේ විදිහට ප්‍රතික්ෂේප කළා. අපිට කළමනාකාරීත්වයෙන් පෞද්ගලිකව ඉල්ලීම් කළා. අනික් අය සෑහෙන බැන්නා ආත්මාර්ථකාමී අය කියලා. ඒත් හිතේ බය ඔය ඔක්කොටම වැඩියි,” යැයි තවත් රජයේ රෝහලක 28 හැවිදිරි සේවිකාවක පැවසුවාය.

    ඇය මෙම මිත්‍යා මතය දැඩි ලෙස විශ්වාස කරන බව කතා බහේ දී හැඟුණි.

    සාක්ෂි මොනවා ද?

    එන්නත සරුභාවය කෙරෙහි බලපෑමක් ඇති කළ හැකිද යන්න “නොදන්නා” බව සඳහන් කරන ලද එක්සත් රාජධානියේ රජය ප්‍රකාශයට පත් කළ වාර්තාවක් ද වට්ස් ඇප් සහ ෆේස්බුක්වල සංසරණය වේ. මෙය එන්නත සොයාගත් මුල් කාලයේ ප්‍රකාශයට පත් වූවකි. පසුව එය යාවත්කාලීන කර තිබෙන අතර, ප්‍රජනන පදධතියට කිසිදු හානිකර බලපෑමක් සත්ත්ව අධ්‍යයනයන් මගින් නොපෙන්වන බව සඳහන් කර තිබේ.

    මෙම ව්‍යාකූලත්වයට තවත් එක් හේතුවක් වන්නේ විද්‍යාඥයන් කරුණු විස්තර කරන ආකාරය සහ එදිනෙදා ජීවිතයේදී අප බොහෝ දෙනා ඒවා තේරුම් ගැනීම අතර වෙනසය.

    විද්‍යාඥයන් “කිසිදු සාක්ෂියක් නොමැති” යැයි පවසන විට ඔවුන් අදහස් කරන්නේ මෙම විශේෂිත එන්නත පිළිබඳ දීර්ඝ කාලීන අධ්‍යයනයක් කර නොමැති බවය. නමුත් මේ ගැන කිසිදු තොරතුරක් නොමැත යන්න එයින් අදහස් නොවේ.

    උණ රෝගයට ලබා දෙන එන්නත ඇතුළු අනෙකුත් සජීවී නොවන වෛරස් එන්නත්වලින් සරුභාවය කෙරෙහි කිසිදු බලපෑමක් නොමැති බවත්, ඒවා සම්පූර්ණයෙන්ම ආරක්ෂිත බව සහ ගර්භණී සමයේදී පවා භාවිත කිරීමට නිර්දේශ කරන බව මහාචාර්ය ලුසි චැපල් පැවසීය

  • පාස්කු කොමිෂන් සභා වාර්තාවෙන් ගත යුතු දෙයක් නෑ – විජිත හේරත්

    පාස්කු කොමිෂන් සභා වාර්තාවෙන් ගත යුතු දෙයක් නෑ – විජිත හේරත්

    2019 සැප්තැම්බර් මාසයේ හිටපු ජනාධිපතිවරයා විසින් පාස්කු ප්‍රහාරයට වගකිව යුතු පුද්ගලයන් පිළිබඳ සොයාබලන්න කොමිසමක් පත්කළ කොමිසමේ වාර්තාවෙන් ජනතාව බලාපොරොත්තු වූ දේ ඉටුවී නැතැයි ජනතා විමුක්ති පෙරමුණේ ප්‍රචාරක ලේකම්, පාර්ලිමේන්තු මන්ත්‍රී විජිත හේරත් සඳහන් කරයි.

    මන්ත්‍රීවරයා මේ බව සඳහන් කර සිටියේ ජනතා විමුක්ති පෙරමුණේ ප්‍රධාන කාර්යාලයේදී අද (24) පෙරවරුවේ පැවති හමුවකදීය.

    එහිදී වැඩිදුරටත් අදහස් දැක්වූ විජිත හේරත් මහතා,

    “2019 සැප්තැම්බර් මාසයේ හිටපු ජනාධිපතිවරයා විසින් පාස්කු ප්‍රහාරයට වගකිව යුතු පුද්ගලයන් පිළිබඳ සොයාබලන්න කොමිසමක් පත්කළා. කොමිසමට පැමිණිකරුවන් සාක්ෂිකරුවන් කැදවලා පරීක්ෂණ සිදුකළා. කොමිසම විසින් පාස්කු ප්‍රහාරය පිළිබඳ වාර්තාව පසුගියදා ජනාධිපතිවරයාට බාරදුන්නා. එය පෙබරවාරි 23දා එනම් දින 23කට පමණ පසුව තමයි කථානායකට බාරදී තිබුණේ. පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන්ටත් තවම එය ලබාදීලා නැහැ. පාර්ලිරම්න්තු පුස්තකාලයේ එහි පිටපතක් තිබෙනවා.

    මෙම වාර්තාව මගින් ප්‍රහාරය වළක්වා ගැනීමට පියවර නොගැනීම සම්බන්ධයෙන්, විවිධ අතපසුවීම්, නොසැලකිල්ල සම්බන්ධයෙන් හිටපු ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා, හිටපු පොලිස්පතිවරයා, බුද්ධි අංශ ප්‍රධානියා ඇතුළු කණ්ඩායමට චෝදනා ඉදිරිපත්වී තිබෙනවා. ප්‍රහාරය ඇතිවීමට හේතු, මෙවැනි ප්‍රහාරයක් මඟහරවා ගැනීමට ගත යුතු ක්‍රියාමාර්ග, ප්‍රහාරයට අන්තවාදී සංවිධානවල බලපෑම ගැන සඳහන් වෙලා තිබෙනවා. පාස්කු ප්‍රහාරය ඇතිවීමට බලපෑ සමාජීය කාරණා පිළිබඳ විග්‍රහයක් තිබෙනවා. නමුත් මේ ප්‍රහාරයේ සැබෑ මෙහෙයුම්කරුවා කවුද, එය සිදුකළේ කාගේ වුවමනාවටද, එහි පිටිපස්සේ තිබුණ හස්තය කාගෙද, විදේශීය බලපෑමක් තිබුණද, දේශීය සංවිධානයක බලපෑමක් තිබුනද කියන ප්‍රශ්නයට උත්තර නැහැ. අන්තවාදයේ කූඨ ප්‍රාප්තියක ප්‍රතිඵලයක් ලෙස මෙම ප්‍රහාරය ඇතිවූ බවට වාර්තාවේ සඳහන් කර තිබෙනවා.

    පැවති දේශපාලන තත්වයන් මත අන්තවාදී ක්‍රියා ඇති වූ බවද එහි සඳහන් වෙනවා. නමුත් රටම බලා සිටියේ මෙම ප්‍රහාරය කාගේ උවමනාවකට සිදුවූවක්ද කියා දැනගැනීමටයි. සැබෑ වගඋත්තරකරුවා හෙළි වීනැති නිසා එම පුද්ගලයා තවමත් නිදැල්ලේ. ජනාධිපති කොමිසමේ ප්‍රධාන වගකීම ඇත්ත වගඋත්තරකරුවා හෙළිදරව් කිරීමයි.

    මෙම ප්‍රහාරය වළක්වා ගැනීමට පියවර නොගැනීම සම්බන්ධව අදාළ බලධාරීන්ට විරුද්ධව ගත යුතු පියවර ගැන නම් එහි සඳහන් වෙනවා. මෙවැනි කොමිෂන් වාර්තාවක් අංග සම්පූර්ණ එකක් විය යුතුයි. මේ වාර්තාවේ අලුත් දෙයක් නැහැ. මෛත්‍රී රනිල් ආණ්ඩුව පාස්කු ප්‍රහාරය සම්බන්ධයෙන් වගකිව යුතුයි කියලා ජනතාව දැනගෙන හිටියා. වවිධ පාර්ශ්වයන්ගෙන් ඉදිරිපත් වූ කරුණු පදනම්කරගෙන සැබෑ කුමන්ත්‍රණකරුවා හෙළිකිරීම තමයි වැදගත්. ජනතාව ඒ දේ බලාපොරොත්තු වුණා. නමුත් එය සිදුවී නැහැ. පාස්කු ප්‍රහාරයට වගකිවයුත්තාට දඩුවම් කිරීමක් මේ වාර්තාවෙන් සිදුවෙලා නැහැ.

    හිටපු ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන විසින් මෙම කොමිසම පත්කිරීමේදී ගැසට් එකේ විශේෂයෙන් සඳහන් කර තිබුණේ මේ කුමන්ත්‍රණයේ සැබෑ වගඋත්තරකරුවා හෙළිදරව් කරගැනීම ප්‍රමුඛ කාර්යයක් කියලා. එවැන්නක් සිදුවෙලා නැහැ. එනිසා මෙම කොමිසම් වාර්තාවත් තවත් එක් වාර්තාවක් පමණක් බවයි අපිට වැටහෙන්නේ.

    මෙවැනි ප්‍රහාරයක් මෙහෙය වන අන්තවාදී සංවිධානයක නායකයා සියදිවි නසාගත් බව කීමත්ම ප්‍රහේලිකාවක්. වාර්තාවේම සඳහන් වෙනවා එසේ නොවූ බව. සහරාන් කියන්නේ නායකයා නොවේ නම් එහි නායකයා, ප්‍රහාරය මෙහෙය වූ පුද්ගලයා තවමත් සිටිනවා. එම සංවිධානය තවමත් තිබෙනවා. මූලයන් පිළිබද නිස්චිත තොරතුරක් නැහැ. අවුරුද්දයි මාස 05ක් පමණ කොමිසම ක්‍රියාත්මක වුණා. ජනතාව බලාපොරොත්තු වෙනවා සැබෑ මෙහෙයුම්කරුවා කවුද කියලා හෙළි වෙයි කියලා. මෙය කළේ දේශපාලන වුවමනාවකටද? ආගමික වුවමනාවකටද යන්න පැහැදිලි නැහැ. මෙම වාර්තාවේ ජනතාව දැනටමත් දන්නා කරුණු මිසක් විශේෂ යමක් සඳහන්ව නෑ. සත්‍ය දැනගැනීම ජනතාවට තිබෙන අයිතියක්. වාර්තාව ජනාධිපතිවරයාට දුන් දිනම එය මන්ත්‍රීවරුන්ට සහ ජනතාවටත් ලබාදිය යුතුව තිබුණා. එසේ නොකිරීමත් සැකසංකා උපදවන්නක්. අවුරුදු 1 1/2ක් පමණ කොමිසම කල්මරලත් ලබාදී තිබෙන්නේ අසම්පූර්ණ සහ සැක සහිත වාර්තාවක්.

    තවත් කාරණයක් තමයි, මෙහි රනිල්ට නඩු දාන්න කියල නැහැ. ඔහුට තිබෙන්නෙ නොසැලකිල්ල කියන චෝදනාව. ඔහු පසුගිය ආණ්ඩුවේ දෙවෙනි බලධරයා. ඔහු බබෙක් නොවෙයි. මෙතනත් සැඟවූ යමක් තිබෙනවා. මෛත්‍රීට සහ රනිල්ට දෙවිධියකට සැලකීම තුළ වාර්තාවේ සමබරතාවය ගැනත් ප්‍රශ්නයක් පැන නගිනවා. කෙසේ වෙතත් මෙම වාර්තාවත් සත්‍ය යටපත් කළ හුදු වාර්තාවක්ම පමණයි.

    ඒ වගේම මෙම වාර්තාවේ නිර්දේශ අනුව වගකිව යුත්තන්ට එරෙහිව නීතිය ක්‍රියාත්මක කිරීම ආණ්ඩුවේ වගකීමක් වෙනවා. රිෂාඩ් බදුයුදීන් සම්බන්ධයෙන් තිබෙන්නේ අල්ලස් හෝ දූෂණ පිළිබඳ චෝදනාවක්. නමුත් පහුගිය දවස්වල ඔහුට එරෙහිව විශාල චෝදනා ප්‍රමාණයක් තිබෙන බවට අදහස් සමාජගත වෙලා තිබුණා. අනෙක් මුස්ලිම් නායකයන්ට එරෙහිවත් තත්වය ඊට සමානයි. කොමිසමේ වාර්තාව මත පදනම් වෙලා සැබෑ වගඋත්තරකරුවා හෙළිවෙලා නැහැ. කෙසේ වෙතත් මෙම වාර්තාව සම්පූර්ණයෙන් අසාර්ථක එකක් කියලා අපි කියන්නේ නැහැ. ජනතා මුදල් වියදම් වුවත් මේ සම්බන්ධයෙන් ජනාධිපති කොමිසමක් පත්කළ යුතුව තිබුණා. නමුත් වාර්තාව අංග සම්පූර්ණ වාර්තාවක් කියලා පිළිගන්න බැහැ. මේ වාර්තාව මන්ත්‍රීවරන්ට මෙන්ම ජනතාවටත් අධ්‍යයනය කරන්න අවස්ථාවක් ලබාදිය යුතුයි.”

    මාධ්‍යවේදීන් නැගූ ප්‍රශ්නවලට පිළිතුරු ලබාදෙමින්…

    “කොමිසමට දඩුවම් කිරීමේ බලයක් නැහැ. කොමිසම කරන්නේ වගකිව යුත්තන් පිළිබඳ නිර්දේශ නිකුත් කිරීම පමණයි.

    ලංකාව තුළ මානව හිමිකම් ආරක්ෂා කිරීම පාලනය කරන ඕනෑම ආණ්ඩුවක වගකීමක්. යුද්ධය පැවැති සමය පිළිබඳ කරුණු තිබෙනවා. අනෙක් කරුණු යුද්ධය පැවැති සමයේ සිදුවූ දේවල් නොවේ. මහර බන්ධනාගාරය තුළ සිදුවූ වෙඩි තැබීම ගැන තිබෙනවා. ලෝකයේ එකම රට තමයි ලංකාව, කොවිඩ් වැළඳුණු බන්ධනාගාර රැදයවින්ට වෙඩි තැබීමේ සිදුවීමක් වර්තා වෙන. ඒවා යුද්ධයට අදාල දේවල් නෙවෙයි. ජිනීවා මානව හිමිකම් කවුන්සිලයට අපේ රටට චෝදනා කරන්න පාර කැපිලා තිබෙන්නේ රට ඇතුලේ මානව හිමිකම් කඩ වෙන නිසා. ජිනීවා පරද්දන්න නම් ආණ්ඩුව කළ යුත්තේ රටතුළ මානවහිමිකම් ආරක්ෂා කරන එකයි.”

  • අලි – මිනිස් ගැටුම විසදීමට මාස දෙකක් තුළ ක්‍රියාකාරී වැඩපිළිවෙළක් ඕනෑ

    අලි – මිනිස් ගැටුම විසදීමට මාස දෙකක් තුළ ක්‍රියාකාරී වැඩපිළිවෙළක් ඕනෑ

    මේවන විට ශ්‍රී ලංකාවේ ප්‍රධාන ගැටලුවක් බවට පත්ව ඇති අලි මිනිස් ගැටුම විසදීම සදහා ලබාදී ඇති නිර්දේශ කඩිනමින් ක්‍රියාත්මක කිරීමට විධිමත් වැඩපිළිවෙලක් සකස් කොට මාස දෙකක් තුළ එම වාර්තාව පාර්ලිමේන්තුවට ලබා දෙන ලෙස රජයේ ගිණුම් පිළිබද කාරක සභාව (කෝපා කමිටුව) වනජීවි සහ වනසංරක්ෂණ අමාත්‍යාංශයේ ලේකම්වරයා ඇතුළු අදාල බලධාරීන්ට උපදෙස් ලබා දුන්නේය.

    අලිමිනිස් ගැටුමට අදාල විසදුම් සෙවීම සදහා අතිගරු ජනාධිපතිතුමා විසින් පත්කළ ආචාර්ය පෘථිවිරාජ් ප්‍රනාන්දු මහතාගේ සභාපතීත්වයෙන් යුතු විශේෂ කමිටුවේ නිර්දේශ ඇතුළත් වාර්තාව මේවන විට ජනාධිපතිවරයාට පිළිගන්වා ඇති අතර ඊට අමතරව විද්වත් කමිටුවක් විසින් 2006 වසරේදි අලි මිනිස් ගැටුම විසදීමට අදාලව සැකසූ  ජාතික ප්‍රතිපත්තිය ද  සමාලෝචනය කොට  මෙම ක්‍රියාකාරි සැලැස්ම සකස්කරන ලෙස කෝපා කමිටුව දැනුම්දුන්නේය.

    අලි මිනිස් ගැටුම නිසා ලෝකයේ වැඩියෙන්ම අලි මරණ සිදුවන රට බවට ශ්‍රී ලංකාව පත්ව ඇති බවත් මිනිස් මරණ සිදුවන රටවල් අතර ශ්‍රී ලංකාව දෙවන තැන ගන්නා බවත් පසුගිය දෙසැම්බර් 9 වන දින පාර්ලිමේන්තුවේ පැවති රජයේ ගිණුම් පිළිබද කාරක සභාවේදී අනාවරණය විය. එබැවින් මෙම ගැටලුව සදහා කඩිනමින් ක්‍රියාත්මක වීමේ අවශ්‍යතාව කමිටුව අවධාරණය කරන ලදී.

    කමිටු සභාපති මහාචාර්ය තිස්ස විතාරණ මහතාගේ ප්‍රධානත්වයෙන් පැවති රැස්වීමට රාජ්‍ය අමාත්‍යවරුන් වන සුදර්ශනී ප්‍රනාන්දුපුල්ලේ,ලසන්ත අලගියවන්න පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් වන කාදර් මස්තාන්,වෛද්‍ය උපුල් ගලප්පත්ති,වීරසුමන වීරසිංහ,නිරෝෂන් පෙරේරා බී.වයි.ජී රත්නසේකර යන මහත්ම මහත්මීහු සහභාගී වූහ.

    ජනාධිපතිතුමාට පිළිගැන්වූ කමිටු වාර්තාවේ නිර්දේශ අනුව වනජීවී සංරක්ෂණ දෙපාර්තමේන්තුවට පමණක්  මෙහි සමස්ත වගකීම ලබාදිය නොහැකි බවත් ඒ සදහා ජනතාවගේම මූලිකත්වයෙන් ‍අදාල ප්‍රාදේශීය ලේකම් කාර්යාල,ගොවිජන සේවා දෙපාර්තමේන්තුව,මහවැලි අධිකාරිය වැනි ආයතනවල දායකත්වයෙන් විදුලිවැට ඉදිකිරීම සහ නඩත්තු කිරීම සිදුකළ යුතු බවත් මෙහිදී අනාවරණය විය.තවද ප්‍රජාමූලික ග්‍රාමිය විදුලි වැට සහ වගා කරන කාලයට පමණක් ක්‍රියාත්මක විදුලි වැට විකල්ප යෝජනා ලෙස මෙම නිර්දේශවල අන්තර්ගතව ඇත.

    දැනට ක්‍රියාත්මක කරන අලි පැන්නීම වැනි සාම්ප්‍රදායික ක්‍රියාමාර්ග වසර 50කට ආසන්න කාලයක් තුළ  අසාර්ථක වී ඇති බව අලිමිනිස් ගැටුම සම්බන්ධ පර්යේෂණාත්මක අත්දැකීම් සහිත විද්වතෙකු වන  ආචාර්ය පෘථිවිරාජ් ප්‍රනාන්දු මහතා මෙහිදී පෙන්වා දුන්නේය.  ඒඅනුව ප්‍රජා දායකත්වය සහ අදාල ප්‍රාදේශිය පාර්ශවකරුවන්ගේ දායකත්වය ලබාගෙන ඉතා සාර්ථකව ක්‍රියාත්මක වන අලිවැට සහිත ප්‍රදේශ මේවන විට පවතින බවත් එවැනි සාර්ථක ක්‍රමවේද අනෙකුත් ප්‍රදේශවලටද ගැළපෙන පරිදි යොදා ගැනීමෙන් මෙම ගැටලුව අවමකරගත හැකි බවත් කමිටුව නිරීක්ෂණය කළේය.

    මෙහිදී අදහස් දැක්වූ වනජීවි දෙපාර්තමේන්තුවේ නිලධාරීන් පැවසුවේ අලිවැට ඉදීකිරීම , එල්ලෙන වැට ඉදිකිරීම , අලි අගල් කැපීම , අලින් පලවා හැරීමට දායක වන මීමැසි පාලනය යනාදී වැඩසටහන් මේවන විට ක්‍රියාත්මක කරන බවයි.

    වනජීවි දෙපාර්තමේන්තුවේ සමස්ත සේවක සංඛ්‍යාව  1500කට ආසන්න වන බවත් ඉන් අලිවැට සම්බන්ධව කටයුතු කිරීම‍ට ඇත්තේ ඉතා සීමිත සේවක සංඛ්‍යාවක් බැවින්  බිම්මට්ටමේදී කටයුතු කිරීමේදී ගැටලු රැසක් මතුවන බවද මෙහිදී අනාවරණය විය.

    තවද ඇතැම් ප්‍රදේශවල ගම්වැසියන් අලිවැට තමන්ගේ භූමියේ සීමාවක් සේ සලකා එය ඉදිකිරීම ප්‍රතික්ෂේප කරනබවද ඇතැම් ප්‍රදේශවල අලිවැ‍ටෙහි බැටරිය සොරකම් කිරීම් වැනි පුවත්ද වාර්තා වන බව මෙහිදී සාකච්ඡා විය.

    කෙසේවෙතත් කමිටුව මෙහිදී අවධාරණය කළේ ගම්වැසියන් දැනුවත්කිරීම තුළින් ඔවුන්ගේ සක්‍රීය දායකත්වය ‍මෙම අලිවැට ඇතුළු කාරණා සදහා ලබාගත යුතු බවයි.දැනට අක්‍රීයව පවතින ගජමිතුරෝ වැනි ප්‍රජා සංවිධාන නැවත වහාම පණ ගැන්වීමට කටයුතු කරන ලෙසද කමිටුව දැනුම් දුන්නේය.තවද අදාල සියලු ප්‍රාදේශීය ලේකම් කාර්යාල ,ග්‍රාම නිලධාරීන් ඇතුළු පාර්ශවකරුවන්ගේ දායකත්වය මේ සදහා ලබාගතයුතු බවත් ගම්වැසියන් සමග වඩාත් සමීපව කටයුතු කිරීමේ වැදගත්කමද කමිටුව පෙන්වා දුන්නේය.

    මේවන විට අලි මිනිස් ගැටුම විසදීමට අදාල යෝජනා ප්‍රතිපත්ති ලේඛනවල තිබුණද ඒවා බිම්මට්මේ ප්‍රායෝගිකව ක්‍රියාත්මක නොවීම විශාල ගැටලුවක් බවත් කමිටුව පෙන්වා දුන්නේය.

    මීට පෙර අලි මිනිස් ගැටුමට අදාල නිර්දේශ ලෙස පැවති අලි රක්ෂිත සහ අලි කොරිඩෝ  ඉදිකිරීම නිසි පරිදී සිදු නොවීම, අධ්‍යාපන අමාත්‍යාංශය හරහා විෂය නිර්දේශයට මෙම ගැටලුවට අදාළ කරුණු මේවන තෙක් ඇතුළත් නොවීම, විදුලි වැට නිසි ප්‍රමිතියෙන් තොරව  ඉදිකිරීම වැනි විගණන විමසුම් පිළිබදවද කමිටුවේ අවධානය යොමුවූ අතර ඒ පිළිබද කඩිනමින් ක්‍රියාත්මක වීමේ අවශ්‍යතාවයද අවධාරණය කෙරිණි.

     වනජීවි සහ වනසංරක්ෂණ අමාත්‍යාංශයේ ලේකම්,රාජ්‍ය අමාත්‍යාංශයේ ලේකම් ,වනජීවී අධ්‍යක්ෂ ජනරාල් ඇතුලු රාජ්‍ය නිලධාරීහු පිරිසක් මීට එක්ව සිටියහ.

  • ‘රබර්වලට’ වාර්තාගත මිලක්

    ‘රබර්වලට’ වාර්තාගත මිලක්

    වසර 2011 න් පසුව දිගින් දිගටම වෙළඳපලේ රබර් මිළ ගණන් පහත වැටීමක් සිදු වූ අතර වසර 2011 දී රබර් කිලෝවක මිළ රුපියල් 650/- ක මට්ටමක පැවතුණි. වසර දහයකට පසුව නැවතත් රබර් කිලෝ එකක මිළ රු.650/- දක්වා ඉහළ ගොස් ඇත.

    මෙය ඉතා වාසිදායක තත්ත්වයක් වුවද නිර්දේශිත කිරි කැපීමේ තීව්‍රතාවය ඉක්මවා යමින් කිරි කැපුවහොත් දිගු කාලීන වශයෙන් එමගින් ලැබෙන අනිසි ප්‍රතිඵල ඉතා භයානක බව ශ්‍රී ලංකා රබර් පර්යේෂණායතනයේ නියෝජ්‍ය අධ්‍යක්ෂ ආචාර්ය ප්‍රියානි සෙනෙවිරත්න මහත්මිය පවසයි.

    2011 වසරේදී ද අධික මිළ හමුවේ වැඩි වාසි ලබා ගැනීමට දිනපතා කිරි කැපීම නිසා ඉතා හොඳ ඵලදාවක් ලබා දුන් නිරෝගී රබර් ගස් වුවද දිගින් දිගටම රබර් කැපීම නිසා ක්‍රමයෙන් වියළි තත්ත්වයට පත් විය. ඒ සමගම රබර් මිළද ක්‍රමයෙන් පහත වැටුණ අතර රබර් වගාවන් දිගින් දිගටම පාඩු ලබන තත්ත්වයට පත්විය. රබර් මිළ අඩුවීමට වඩා ඵලදාව ලබා දුන් ගස් ගණන අඩුවීම මෙම තත්ත්වයට ප්‍රධාන හේතුව විය.

    වර්තමානයේ රබර් මිළ වැඩිවීම හේතුවෙන් වැඩිපුර කිරි කැපීම වියළි ගස් හෙවත් පොත්ත තැම්බුණ ගස් ඇති වීමට කිසිසේත් ඉඩ නොතැබිය යුතු බවත්, මෑත භාගයේ වඩාත් ප්‍රචලිත කෙරුණු අඩු තීව්‍රතා කිරි කැපීමේ ක්‍රම සඳහා ඵලදා උත්තේජක හෙවත් එතරල් භාවිත කරන බැවින් එම වගාවන් කිසිම විටෙක තීව්‍රතාවය ඉක්මවා කිරි කැපීම නොකළ යුතු බවත් නියෝජ්‍ය අධ්‍යක්ෂවරිය වැඩිදුරටත් පවසයි.

    දින තුනකට වරක් හෝ හතරකට වරක් කිරි කැපීමට නිර්දේශිත රබර් වගාවන් කිසිම අයුරකින් දිනපතා හෝ දිනක් හැර දිනක් කිරි කැපීම සිදු නොකල යුතු අතර ඉදිරියේදී රබර් මිළ තවදුරටත් ඉහළ යා හැකි බැවින් ඔබගේ වගාව ප්‍රවේසම් කර ගැනීමට කටයුතු කළ යුතු වේ.

    තවද ඔබගේ වගාවේ එක්වරම කිරි ප්‍රමාණයේ වැඩිවීමක්, කිරිවල වතුර ගතිය වැඩිවීමක්, කිරි වෑස්සීමේ කාලය වැඩිවිමක් හෝ කැපුම් කට්ටයේ කිරි නොමැති ස්ථාන වැනි ලක්ෂණ පෙන්නුම් කරන්නේ නම් වහාම රබර් සංවර්ධන දෙපාර්තමේන්තුව හෝ  ශ්‍රී ලංකා රබර් පර්යේෂණ ආයතනයට දැනුම් දෙන ලෙස නියෝජ්‍ය අධ්‍යක්ෂවරිය අවධාරණය කරයි.

  • රට තුළ කොරෝනා ආසාදිතයින් අඩුවට පේන්නේ PCR නොකිරීම නිසයි

    රට තුළ කොරෝනා ආසාදිතයින් අඩුවට පේන්නේ PCR නොකිරීම නිසයි

    එන්නත් කරණය සිදුවන්නේ විද්‍යත්මක අනුපිළිවෙල නොසලකා හැරලා. හැදුණුම්කම්, බලය හෝ මුදල් යොදමින් නියමිත පටිපාටියෙන් තොරව එන්නත් විද ගනු ලබන අයට නිසි සෞඛ්‍ය සුපරීක්ෂාව නොලැබෙන බැවින්, ඔවුන් අවධානමකට ලක් විය හැකියි.

    රට තුළ හමුවන රෝගීන් ප්‍රමාණය අඩුවීමට හේතුව PCR පරීක්ෂණ පිළිබඳව අවධානය අත්හැර දැමීම බවත් එන්නත්කරණය නිසා රෝගය මර්දනය වෙමින් පවතින බවට ව්‍යාජ මතවාදයක් ඇති කිරීමට එය හේතුවක් වුවද, මේ මොහොතට අදාලව ශ්‍රි ලංකාව තුල එන්නත නිසා රෝගීන් අඩු වීමට කිසිදු කිසිදු විද්‍යාත්මක හැකියාවක් නැති බවත් සෞඛ්‍ය වෘත්තීයවේදීන්ගේ විද්වත් සංගමයේ සභාපති රවී කුමුදේශ් මහතා කියයි.

    අද කොළඹදී පැවැති ප්‍රවෘත්ති සාකච්ඡාවකදී කුමුදේශ් මහතා මේ බව හෙළි කළේය.

    මෙහිදී වැඩි දුරටත කරුණු පැහැදිලි කළ රවී කුමුදේශ් මහතා, ‘‘රට තුළ හමුවන රෝගීන් ප්‍රමාණය අඩුවීමට හේතුව PCR පරීක්ෂණ පිළිබඳව අවධානය අත්හැර දැමීමයි. එන්නත්කරණය නිසා රෝගය මර්දනය වෙමින් පවතින බවට ව්‍යාජ මතවාදයක් ඇති කිරීමට එය හේතුවක් වුවද, මේ මොහොතට අදාලව ශ්‍රි ලංකාව තුල එන්නත නිසා රෝගීන් අඩු වීමට කිසිදු කිසිදු විද්‍යාත්මක හැකියාවක් නැහැ.  

    ️එන්නත් කරණය සිදුවන්නේ විද්‍යත්මක අනුපිළිවෙල නොසලකා හැරලා. හැදුණුම්කම්, බලය හෝ මුදල් යොදමින් නියමිත පටිපාටියෙන් තොරව එන්නත් විද ගනු ලබන අයට නිසි සෞඛ්‍ය සුපරීක්ෂාව නොලැබෙන බැවින්, ඔවුන් අවධානමකට ලක් විය හැකියි.

    ඉන්දියාව තුල   නව ප්‍රභේද විශාල සංඛ්‍යාවක් පැතිරෙමින් පවතී. වෙරළබඩ තීරයේ අහඹු පරීක්ෂණ සිදු කිරීම සැලසුම් සහගතව සිදු කළ යුතුයි. 

    කොවිෂීල්ඩ්  එන්නතෙහි නව ප්‍රභේද වලට එරෙහි ක්‍රියාකාරිත්වය සැක කටයුතු බැවින්දකුණු අප්‍රිකාව, ප්‍රංශය වැනි රටවල් එම එන්නත භාවිතය අත හර දමලා. විවිධ ප්‍රභේද මෙන්ම දෙමුහුම් ප්‍රභේද වලට අදාළව වාහක වර්ගයේ කොවිෂීල්ඩ් වැනි එන්නත් වල ක්‍රියාකාරීත්වය ප්‍රශ්ණකාරීයි. එන්නතෙහි ක්‍රියාකාරිත්වය පිළිබදවත්, ප්‍රභේධ හදුනා ගැනීම පිළිබදවත් ජාතික මට්ටමේ පර්‍යේෂණ  නොකරීම හේතුවෙන්, ප්‍රභේද පිලිබඳවත් එන්නත් රට අදුරේ අතපත ගාමින් සිටි.

    සෞඛ්‍ය කාර්ය සහායකයන් අනවශ්‍ය වර්ජනයකට ඇද දැමීමේ වගකීම සෞඛ්‍ය අමාත්‍යාංශය භාර ගත යුතුයි. සෞඛ්‍ය සේවාවට කිසිසේත්ම අදාල  නැති නිල නාම කිහිපයක් යොදමින්,  නිශචිත රාජකාරියක් හෝ පත්වීමේ බලධාරියෙකු නැති, අවම අධ්‍යාපන සුදුසුකමක් අදාල නොවන, කණ්ඩායම් ගණනාවක් සෞඛ්‍ය සේවාවේ විවිධ පුහුණු කිරීම් වලට බලහත්කාරයෙන් ඇතුළු සමස්ථ සෞඛ්‍ය සේවාවටම ගැටළුවක්. 

    සෞඛ්‍ය පුහුණුවක් ලබා දී, ඔවුන් සෞඛ්‍ය දෙපාර්තමේන්තුවට අනුයුක්ත නොකරන බව පැවසීම විහිළු සහගතයි.

  • රේගුව විධිමත් කරන්න ජනාධිපති පරීක්ෂණ කොමිෂමක්

    රේගුව විධිමත් කරන්න ජනාධිපති පරීක්ෂණ කොමිෂමක්

    ශ්‍රී ලංකා රේගු දෙපාර්තමේන්තුවේ වත්මන් තත්ත්වය අධ්‍යයනය කොට එහි ඵලදායීතාවය නැංවීමට නිර්දේශ ඉදිරිපත් කරනු පිණිස ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා විසින් ජනාධිපති පරීක්ෂණ කොමිෂන් සභාවක් පත් කරයි.

    රේගුවට එරෙහිව නැගෙන  විවිධ චෝදනා සහ සිදුවෙතැයි සැලකෙන අක්‍රමිකතා වළක්වා ගනිමින් කාර්යක්ෂම හා ඵලදායී සේවා සැපයීමට අදාළ නිර්දේශ ඉදිරිපත් කිරීම කොමිෂමට පැවරේ.

    තොරතුරු තාක්ෂණ උපයෝගීතාව තුළ ආරක්ෂාව හා නිරෝධායන නීති රීති අවධානයට ගනිමින් රේගුවේ කාර්යයන් විනිවිදභාවයෙන් යුතුව සිදු කිරීම සඳහා නිර්දේශ ඉදිරිපත් කිරීම කොමිෂමට පැවරෙන තවත් වගකීමකි.

    මහජනතාවගේ සහ වෙනත් පාර්ශ්වයන්ගේ අදහස් කැඳවීමට ද, රේගු වෘත්තීය සමිති ඉදිරිපත් කර ඇති යෝජනා සමාලෝචනයට ලක් කිරීමට ද ජනාධිපතිවරයා කොමිෂමට නියෝග කර ඇත.

    ශ්‍රේෂ්ඨාධිකරණ විනිසුරු ශිරාන් ඇන්තනි ගුණරත්න මහතා කොමිෂමේ සභාපති ධූරයට පත් කරනු ලැබ සිටී.

    අභියාචනාධිකරණ විනිසුරු ප්‍රියන්ත ප්‍රනාන්දු, මහාධිකරණ විනිසුරු දමිත් තොටවත්ත, ශ්‍රී ලංකා මහ බැංකුවේ නියෝජ්‍ය අධිපති කේ.එම්.එම්. සිරිවර්ධන, ජ්‍යෙෂ්ඨ උපදේශක (වෙළඳ) ආචාර්ය සනත් ජයනෙත්ති සහ ශ්‍රී ලංකා රේගුවේ හිටපු අතිරේක අධ්‍යක්ෂ ජනරාල් පී.ඒ. ඩයස් යන මහත්වරු සෙසු සාමාජිකයෝ වෙති.Sharing is caring!

  • ව්‍යායාම සහ මානසික සෞඛ්‍ය ගැන මේ කරුණු දැන සිටියාද ?

    ව්‍යායාම සහ මානසික සෞඛ්‍ය ගැන මේ කරුණු දැන සිටියාද ?

    අවුරුදු පනහට වැඩි වයසේ පසුවන පුද්ගලයන්ට සිය මනසේ ක්‍රියාකාරිත්වය තියුණු මට්ටමක පවත්වා ගැනීමට ගත හැකි හොඳම පියවර සතියකට කීප වරක් ව්‍යායාම කිරීම බව විද්‍යාත්මක අධ්‍යනයකින් හෙළිව තිබේ.

    හදවත සහ මාංශපේශි නිසි ලෙස ක්‍රියාත්මකවන අයුරින් විධිමත් ව්‍යායාම කිරීමෙන් සිතීමේ හැකියාව සහ මතකය වර්ධනය කර ගැනීමට හැකි බව විද්‍යාත්මක අධ්‍යන තිස් නවයකින් තොරතුරු හෙළිව තිබේ.

    සංජානන ක්‍රියාකාරකම් හීන වීමේ රෝග ලක්ෂණ පෙන්නුම් කළ පුද්ගලයන් පවා විධිමත් ව්‍යායාමවල යෙදීමෙන් පසු සිතීමේ ශක්තිය සහ මතක ශක්තිය වර්ධනය වීමේ ලකුණු පෙන්නුම් කරන බව විද්‍යාඥයෝ පවසති.

    ඔවුන් පෙන්වා දෙන්නේ කුමන වයස් සීමාවක පසු වුව ද මනස සහ ශරීරය ඉතා හොඳ සෞඛ්‍ය තත්වයක පවත්වාගෙන යාමට විධිමත් ව්‍යායාම ඉවහල් වන බවය.

    Exercise

    ඉතා අභියෝගාත්මක ව්‍යායාමවල යෙදීමට අපොහොසත් වයස පනහ ඉක්මවූ පුද්ගලයන්ට පවා විධිමත් රටාවකට අනුව තායි චි වැනි පහසු ව්‍යායාමවල නිරත වීම සුදුසු බව බ්‍රිතාන්‍යයේ ක්‍රියාත්මක කරන ලද අධ්‍යනයක් පෙන්වා දෙයි.

    මානසික රෝග වැළඳීමේ අවදානම

    ශාරීරික ක්‍රියාකාරකම් විවිධ ලෙඩ රෝග වැළඳීමට ඇති අවදානම අඩු කරන බව දීර්ඝ කාලයක සිට අප දැනුවත් කරුණක්.

    දෙවෙන කාණ්ඩයේ දියවැඩියාව ඇතැම් පිළිකා පමණක් නොව මැදි වයසේ දී ආරම්භවන මොළයේ ක්‍රියාකාරිත්වයේ සියුම් අඩු වීම් පවා හට ගැනීමට ඇති අවදානම අඩු කර ගැනීමට ව්‍යායාමවල යෙදීම ඉවහල් වේ.

    ව්‍යායාම වල නිරත වීමෙන් මොළයේ ලේ ගමනාගමනය ක්‍රමවත් වන අතර එමගින් මොළයට අවශ්‍ය ඔක්සිජන් නිසිලෙස ලැබීමෙන් මොළයේ සෛල වල ක්‍රියාකාරිත්වය වැඩි වේ.

    ඊට අමතරව මොළයේ නිපදවන හෝමෝන සහ නව ස්නායු සෛලවල ක්‍රියාකාරිත්වය වැඩි කිරීමටත් එමගින් විශාල පිටුවහලක් සැපයේ.

    Exercise

    කැන්බරා විශ්ව විද්‍යාලයේ ක්‍රියාත්මක කරන ලද අධ්‍යනයකින් සති හතරක කාලයක් තුළ වැඩිහිටියෙකුගේ මොළයේ ක්‍රියාකාරකම්වලට විධිමත් ව්‍යායාමවලින් කෙරෙන බලපෑම මැන බැලීය.

    ඒ අනුව ස්වායු ව්‍යායාම නැතහොත් ‘ඇරොබික්’ ව්‍යායාම මගින් වැඩිහිටියෙකුගේ මොළයේ සංජානන ක්‍රියාකාරකම් එනම් සිතීමේ ශක්තිය, කියවීම, ඉගෙනීම සහ යමකට බලපාන හේතුව හඳුනා ගැනීම වැනි හැකියාවන්වල වර්ධනයක් ඇති කරන බව එම අධ්‍යනයෙන් හෙළි වූ එක් කරුණකි.

    ස්වායු සහ ශක්තිය වර්ධනය කිරීමේ ව්‍යායාම

    ඊට අමතරව මාංශ පේශී ඉලක්ක කරගෙන විවිධ බර උපකරණ භාවිතයෙන් යෙදෙන ව්‍යායාමවලින් මතකය වර්ධනය, සැලසුම් කිරීමට සහ සංවිධානයට ඇති හැකියාව පමණක් නොව විධායක තීරණ ගැනීමට ඇති හැකියාව ද වර්ධනයවන බව අධ්‍යනයේ ප්‍රතිපල පෙන්වාදී ඇත.

    වයස අවුරුදු පනහට වැඩි වැඩිහිටියන්ගේ මොළයේ ක්‍රියාකාරිත්වය ඉහළ නංවා ගැනීමට ස්වායු ව්‍යායාම සහ බර උපකරණ යොදාගෙන සිදු කරන මාංශ පේශී ව්‍යායාම යන වර්ග දෙකම සුදුසු බව මෙම අධ්‍යනයෙන් තහවුරු වූ බව කැන්බරා විශ්ව විද්‍යාලයේ ක්‍රීඩා සහ ව්‍යායාම පර්යේෂණ ආයතනයේ ප්‍රධානී ජෝ නොර්තෙයි ප්‍රකාශ කළේය.

    “සතියකට එක් වරක් හෝ දෙවරක් ව්‍යායාමවල යෙදීමෙන් පවා ඔබගේ මොළයේ සංජානන ක්‍රියාකාරකම්වල වර්ධනයක් දකින්න පුළුවන්. නමුත් ඔබ සතියකට කිහිපවරක් විධිමත් ලෙස ව්‍යායාම්වල යෙදෙනවා නම් සංජානන ක්‍රියාකාරකම්වල ඉහළ වර්ධනයක් ඇති කර ගන්න පුළුවන් බව මේ අධ්‍යනයෙන් හෙළි වෙලා තියෙනවා.” ජෝ නොර්තෙයි පැවසුවේය.

    ව්‍යායාම

    ඔහු වැඩි දුරටත් කියා සිටියේ යමෙකු නිසි ලෙස විධිමත් ව්‍යායාමවල යෙදෙන්නේ නම් ඔහු හෝ ඇය එම ව්‍යායාමවල නිරත වන අතරතුර තවත් පුද්ගලයෙකු සමග සාර්ථක කතාබහක නිරත වීමට හැකියාව තිබිය යුතු බවය.

    වැඩිහිටියෙකු සතියක කාලයක් තුළ මිනිත්තු එකසිය පනහක කාලයක් විධිමත් ස්වායු ව්‍යායාම වල නිරත විය යුතු බවට බ්‍රිතාන්‍ය සෞඛ්‍ය සේවය උපදෙස් දෙයි.

    ඊට අමතරව මාංශ පේශී ඉලක්ක කරගනිමින් අඩුම තරමින් සතියකට දින දෙකක් වත් ව්‍යායාම වල නිරත විය යුතු බව බ්‍රිතාන්‍ය සෞඛ්‍ය සේවය නිර්දේශ කරයි.

    බ්‍රිතාන්‍ය පොදු සෞඛ්‍ය සේවය විසින් ක්‍රියාත්මක කරන ලද වැඩිහිටියකුගේ සෞඛ්‍ය සහ යහපැවැත්ම යනුවෙන් නම් කරන ලද අධ්‍යන වැඩසටහන මෙහෙයවන වෛද්‍ය ජස්ටින් වාර්නි කියා සිටියේ ඕනෑම ආකාරයේ ශාරීරික ක්‍රියාකාරකමක් ශරීරයට සහ මනසට ගුණාත්මක ප්‍රතිපල අත්කරන බවය.

    Exercise

    “මිනිත්තු දහයක කාලයක් ව්‍යායාම කිරීම පවා ඕනෑම පුද්ගලයෙකුගේ සෞඛ්‍යට හිතකර බලපෑමක් ඇති කරන්න ඉවහල් වෙනවා. මිනිත්තු 150 ක කාලයක් සතියක් තුළ ව්‍යායාම වෙනුවෙන් වෙන් කරනවා කියන්නේ ඩිප්රේෂන් නැතහොත් විෂාදය සහ චිත්ත වික්ෂේපය වැළඳීමට ඇති අවධානමෙන් තුනෙන් එකක් අඩු කර ගැනීමට වැඩිහිටියෙකුට ඉඩ සැලසෙනවා. එ විතරක් නෙවෙයි ඒ තුලින් මොළයේ ක්‍රියාකාරිත්වයේ විශාල වර්ධනයක් පවා ඇතිකර ගැනීමට ඔවුන්ට හැකි වෙනවා.” වෛද්‍ය ජස්ටින් වාර්නි පැවසුවේය.

    ‘ඇරොබික්’ සහ ශක්තිය වර්ධනය කිරීම යන වර්ග දෙකේම ව්‍යායාම වල විධිමත් ලෙස නිරත වීමෙන් විවිධ සෞඛ්‍ය ප්‍රතිලාභ විශාල ප්‍රමාණයකට හිමිකම් කියන්න ඔබට හැකියාව ලැබේ.

    නිවසේ සිට පාපැදියකින් හෝ පයින් සේවා ස්ථානයට යාම ඉතා හොඳ ස්වායු ව්‍යායාමයක් ලෙසත්, නිවසට අවශ්‍ය බදු බාහිරාදිය පිරවූ මලු දෙකක් රැගෙන පෑ ගමනින් නිවෙසට යාම ශක්තිය වර්ධනය කිරීමේ ව්‍යායාමයක් ලෙසත් පෙන්වා දිය හැකි බව ඔහු වැඩි දුරටත් කියා සිටියේය.

    ව්‍යායාම පමණක් ප්‍රමාණවත් ද?

    කෙසේ වෙතත් ස්කොට්ලන්තයේ කාර්ඩිෆ් විශ්ව විද්‍යාලයේ ස්නායුවේදය සහ මනෝ චිකිත්සාව පිලිබඳ මාහාචාර්ය ඩීන් බර්නෙට් , මෙම අධ්‍යයන මගින් ව්‍යායාම කිරීමෙන් මොලයට ඇතිවන සාධනීය බලපෑම සම්බන්ධයෙන් ඉතා පැහැදිලි අදහසක් ඉදිරිපත් කරන නමුත් මොළයේ සෞඛ්‍ය හා බැඳුනු තවත් වැදගත් පැතිකඩ කීපයක් පවතින බව පෙන්වා දෙයි.

    “අවුරුදු පනහට වැඩි වයසේ පසුවන පුද්ගලයන්ට හොඳ මානසික සෞඛ්‍යයක් පවත්වා ගැනීමට ව්‍යායාම කළ යුතු බවට හොඳ පණිවුඩයක්, පීඩනයක් මෙමගින් ඇති කරනවා තමයි, නමුත් අපි වයසට යනකොට ශාරීරික ක්‍රියාකාරකම්වල නිරත වීමේ අපහසුතා ඇති වෙනවා. මොකද අපේ සිරුර එතරම්ම නම්‍යශීලී නැහැ එ වයසේ දී. ශාරීරික ක්‍රියාකාරකම් තුළින් මොළයේ ක්‍රියාකාරිත්වය වර්ධනය වෙනවා තමයි ඒත් මොළයේ ක්‍රියාකාරිත්වය වර්ධනය වෙන්න බලපානේ ව්‍යායාම විතරක්ම නෙමෙයි.” මාහාචාර්ය ඩීන් බර්නෙට් පැහැදිලි කළේය.

    මහාචාර්ය ඩීන් බර්නෙට් වැඩිදුරටත් කියා සිටියේ පෝෂදායි සමබර ආහාර වේලක් ගැනීම, මත්පැන් පානය සීමා කිරීම සහ දුම් පානයෙන් සම්පුර්ණයෙන්ම ඉවත් වීම, මානසික සෞඛ්‍ය වර්ධනයට සහ මොළයේ ක්‍රියාකාරකම් ඉහල නංවා ගැනීමට ව්‍යායාම කිරීම තරම්ම වැදගත් වන බවය.

    Text by – bbc

  • වසර 70ක් තුළ චීනය ලෝකෙට ලොක්කෙක් වුණේ කොහොමද ?

    වසර 70ක් තුළ චීනය ලෝකෙට ලොක්කෙක් වුණේ කොහොමද ?

    “මහජන චීන ජනරජය” ප්‍රකාශයට පත් කර වසර 70ක් සපිරීම අති උත්කර්ෂවත් අන්දමින් චීනය සමරමින් සිටී. පසුගිය දශක හත ඇතුළත චීනය මහා ධන සම්භාරයකට හිමිකම් කියමින් ආසියාවේ දැවැන්තයා ලෙස නැගී සිටියේ කෙසේද?

    “කොමියුනිස්ට් පක්ෂය පාලනය භාර ගන්නාවිට චීනය ඉතාම දුප්පත් රටක්,” ඩීබීඑස් බැංකුවේ චීනය පිළිබඳ ආර්ථික විශේෂඥ ක්‍රිස් ලේයුන්ග් ප්‍රකාශ කළේය.

    “වෙළෙඳ හවුල්කරුවන් හිටියේ නැහැ. රාජ්‍යතාන්ත්‍රික සබඳතා තිබුණේ නැහැ. තනිවම තමයි හැම දේම කරගත්තේ.”

    නව වෙළෙඳ මාර්ග සඳහා දොරටු විවර කර ගැනීමටත් ආයෝජන ආකර්ෂණය කර ගැනීමටත් පසුගිය හතළිස් වසර තුළ චීනය වෙළෙඳ ප්‍රතිසංස්කරණ මාලාවක් හඳුන්වා දුන්නේය.

    ඉන් චීන ජාතිකයන් මිලියන සිය ගණනකගේ ජීවිත දිළිඳු බවින් මිදුනි.

    BBC

    මානව ඉතිහාසයේ දරුණුම සාගතය

    විසිවන සියවසේ සිදු වූ දරුණුතම මානව ව්‍යසනයන්ගෙන් එකක් 1950 දශකයේ දී දක්නට ලැබුණි.

    චීනයේ කෘෂි ආර්ථිකය කඩිනමින් කාර්මිකකරණය කිරීමට මාඕ සේතුං (Mao Zedong) පියවර ගත්තේය. නමුත් එය අසාර්ථක විය. අනතුරුව චීනයේ මහා සාගතයක් ඇති විය.

    සාගතයට ගොදුරු වී 1959 – 1961 අතර කාලය තුළ චීන වැසියන් මිලියන 10 – 40 අතර ප්‍රමාණයක් මිය ගිය බවට ඇස්තමේන්තු කොට තිබේ. මානව ඉතිහාසයේ දරුණුම සාගතය ලෙස එය ඉතිහාසගත විය.

    ඒ සමඟම ආරම්භ වූ සංස්කෘතික විප්ලවය හේතුවෙන් ද ආර්ථිකයට තවදුරටත් බාධා ඇති විය. සංස්කෘතික විප්ලවය යනු තම කොමියුනිස්ට් ප්‍රතිවාදීන් ඉවත් කිරීම සඳහා මාඕ සේතුං 1960 දශයක තුළ දියත් කළ විප්ලවයයි.

    නමුත් එය, තවදුරටත් චීන ජන සමාජය බිඳ දැමීමට හේතු විය.

    සභාපති මාඕ සේතුං (Mao Zedong) විසින් 1949 ඔක්තෝබර් පළමුවෙනිදා මහජන චීන ජනරජය ප්‍රකාශයට පත්කරනු ලැබීම
    සභාපති මාඕ සේතුං (Mao Zedong) විසින් 1949 ඔක්තෝබර් පළමුවෙනිදා මහජන චීන ජනරජය ප්‍රකාශයට පත්කරනු ලැබීම

    “මුළු ලෝකයේම වැඩපොළ”

    1976 දී මාඕ මිය යාමෙන් අනතුරුව ද මෙම ප්‍රතිසංස්කරණ ඉදිරියට ගෙන යාම සඳහා ඩෙං ෂියාඕපිං (Deng Xiaoping) පෙරමුණ ගත්තේය. ක්‍රමයෙන් චීන ආර්ථිකය හැඩ ගැසෙන්නට පටන් ගත්තේය.

    ගොවියන්ට තම ඉඩම් වගා කර ගැනීමට අවසර ලැබිණ. ජීවන මට්ටම යහපත් අතට හැරෙන්නට විය. ආහාර හිඟය ක්‍රමයෙන් පහ වෙමින් පැවතිණි.

    1979 දී එක්සත් ජනපදය සමඟ චීනය රාජ්‍යතාන්ත්‍රික සබඳතා යළි ඇතිකර ගැනීමත් සමඟ විදෙස් ආයෝජන සඳහා දොරටු විවර විය. ඉතා ලාභ මිලට ලැබෙන කම්කරු ශ්‍රමයට ලොල් වූ ආයෝජකයන්ගෙන් මුදල් ගලා එන්නට විය.

    “ඉතිහාසයේ දුටු ඉහළම ආර්ථික ආශ්චර්ය 1970 අවසානයේ පටන් අප දුටුවා,” ස්ටෑන්ඩර්ඩ් චාටර්ඩ් බැංකුවේ, ගෝලීය ආර්ථිකය පිළිබඳ ප්‍රධාන ආර්ථික විද්‍යාඥ ඩේවිඩ් මාන් පැවසීය.

    1990 දශකය පුරා ශීඝ්‍ර ආර්ථික වර්ධනයක් වාර්තා කළ චීනය 2001 දී ලෝක වෙළෙඳ සංවිධානයට බැඳුණි. ඉන් චීන ආර්ථිකය තවත් ශක්තිමත් විය.

    වෙනත් රටවලට පනවා තිබූ වෙළඳ සීමා සහ තීරු බදු ලිහිල් විය. ගත වූයේ ඉතා කෙටි කාලයකි. චීන භාණ්ඩ ලොව පුරාම දක්නට ලැබිණ.

    “චීනය මුළු ලෝකයේම වැඩපොළ බවට පත් වුනා,” ආර්ථික විද්‍යාඥ ඩේවිඩ් මාන් ප්‍රකාශ කළේය.

    BBC

    ‘ලන්ඩන් ස්කූල් ඔෆ් ඉකොනොමික්ස්’ (LSE) ඉදිරිපත් කර ඇති සංඛ්‍යා ලේඛන අනුව 1978 දී චීනය සතුව පැවති මුළු අපනයන වටිනාකම වූයේ ඇමරිකානු ඩොලර් බිලියන 10ක් පමණි. එය ලෝක වෙළඳ පොළ තුළ 1%ක ප්‍රතිශතයකි.

    1985 වන විට චීනයේ සමස්ත අපනයනයන් හි වටිනාකම ඇමරිකානු ඩොලර් බිලියන 25 වර්තා කළේය. තවත් දශක දෙකක් ගෙවෙන්නටත් පෙර ඔවුන්ගේ අපනයන ආදායම ඇමරිකානු ඩොලර් ට්‍රිලියන 4.3ක් දක්වා ඉහළ ගියේය. භාණ්ඩ අපනයනය කරන ලෝකයේ විශාලතම වෙළඳ රාජ්‍යය බවට චීනය පත් විය.

    දිළිඳු බව

    Local women sell produce in the market. Zhongyi market, located at the southern gate of Dayan ancient city, in Lijian, Yunnan Province in China

    මෙම ආර්ථික ප්‍රතිසංස්කරණ හේතුවෙන් චීන ජාතිකයන් කෝටි ගණනකගේ අතමිට සරු විය. 2010 වසරේදී චීනය ලෝකයේ දෙවන ආර්ථික බලවතා බවට පත්විය.

    චීනයේ මිනිසුන් මිලියන 850ක් දිළිඳු බවින් මුදවාගෙන ඇති බව ලෝක බැංකුව පවසයි. 2020 වන විට දිළිඳු බව සම්පුර්ණයෙන් ම තුරන් කළ හැකි මාවතකට චීනය අවතීර්ණ වී ඇත.

    ඒ සමඟ ම එරට අධ්‍යාපන මට්ටම ද ඉහළ ගොස් තිබේ. 2030 වන විට චීනයේ ශ්‍රම බලකායෙන් 27%ක් පමණ විශ්ව විද්‍යාල අධ්‍යාපනය ලැබූ පිරිසක් වනු ඇති බවට ස්ටෑන්ඩර්ඩ් චාටර්ඩ් ප්‍රක්ෂේපනය කරයි. එය මේ වන විට ජර්මනියේ පවතින මට්ටම ය.

    BBC

    ඇති නැති පරතරය

    කෙසේ වෙතත්, ආර්ථිකයේ සාර්ථකත්වය තවමත් චීනය පුරා වෙසෙන බිලියන 1.3ක් වූ ජනතාව අතර සමව බෙදී ගොස් නැත.

    ප්‍රකෝටිපතියන් ගේ වත්කම ඉතා ශීඝ්‍රයෙන් ඉහළ යමින් පවතී. මධ්‍යම පාන්තිකයෝ ද හිස ඔසවමින් සිටිති. මේ අතර පිටිසර බද තවමත් දිළින්දන්ගේ අඩුවක් නොමැත.

    ඇති නැති පරතරය වැඩි වෙමින් පවතී. ගම නගරයෙන් ඈත්වෙමින් පවතී.

    “සමස්ත ආර්ථිකය ගත්තම එය එතරම් උසස් මට්ටමක නැහැ. එක් එක් පළාත් ගත්තම එකිනෙකට වෙනස් තත්වයක් තියෙන්නේ,” ස්ටෑන්ඩර්ඩ් චාටර්ඩ් බැංකුවේ, ගෝලීය ආර්ථිකය පිළිබඳ ප්‍රධාන ආර්ථික විද්‍යාඥ ඩේවිඩ් මාන් පැවසීය.

    ඒක පුද්ගල ආදායම සැලකිල්ලට ගත් කළ චීනය තවමත් සංවර්ධනය වෙමින් පවතින රටක් බව ලෝක බැංකුව පවසයි. දල වශයෙන් චීන වැසියෙකුගේ වාර්ෂික ආදායම ඇ.ඩො. 10,000ක් බව DBS බැංකුව සඳහන් කරයි. එක්සත් ජනපදයේ වැසියෙකුගේ නම් එය ඇ.ඩො. 62,000කි.

    BBC

    මේ වන විට චීනයේ ආර්ථික වර්ධනය මන්දගාමී කාල පරිච්ඡේදයකට අවතීර්ණ වී තිබේ. එක්සත් ජනපදය සමඟ පවතින ‘වෙළෙඳ යුද්ධය’ දිග්ගැසෙමින් පවතී.

    චීනයේ වාර්ෂික ආර්ථික වර්ධනය 5% හෝ 6% මට්ටමට පැමිණියත්, චීනය තවමත් ලෝක ආර්ථික වර්ධනයේ බලවත්ම එන්ජිම සහිත රාජ්‍යය යි.

    චීනය තම ආර්ථික සැලසුම් ගෝලීය වශයෙන් ද මෙහෙයවමින් සිටී. මහා පරිමාණයේ යටිතල පහසුකම් සංවර්ධනය කිරීමේ ව්‍යාපෘති රැසක් විදෙස් රටවල් රාශියක මේ වන විට දියත් කර ඇත.

    ඔවුන් විසින් හඳුන්වා දෙනු ලබන මෙම ‘සේද මාවත’ ඔස්සේ ලෝක ජනගහනයෙන් අඩකට පමණ ළඟා විය හැකි වනු ඇත.

    BBC

    චීනය සිය යුද බලය ලෝකයට ප්‍රදර්ශනය කරමින් සිය රටේ විප්ලවයේ හැත්තෑ වෙනි සංවත්සරය අනුස්මරණය කරමින් සිටී.

    චීන මහජන ජනරජය (PRC) මෙම හැත්තෑ වෙනි සංවත්සරය නම්කරනු ලැබ තිබෙන්නේ “මහා උපන් දිනය” යනුවෙනි.

    ඊට එක්වූ යුද හමුදා පෙළපාලිය අධීක්ෂණය කරමින් අදහස් දැක්වූ ජනාධිපති ෂි ජින්පින් “චීනය සෙලවිය හැකි වෙනත් බලවේගයක් ලොව නැහැ” යැයි කියා සිටියේය.

    චීන ආරක්ෂක අමාත්‍යංශය විසින් වාර්තා කරන ලද පරිදි විප්ලවීය සමරු පෙළපාලියෙහි යුද හමුදා භටයන් 15,000 ක් ගමන් ගත් අතර,580 ක් පමණ යුද උපකරණ එම පෙළපාලිය තුළ ප්‍රදර්ශනය කිරීමේ සැලැස්මක් විය.

    යුද ශක්තිය

    යුද්ධ ටැංකි, සන්නද්ධ රථ, නියමුවන් නොමැති ඔත්තු බලන යානා සහ නියමුවන් නොමැතිව දියයට කිමිදෙන යාත්‍රා වැනි නව නිර්මාණ රැසක් මෙවර පෙළපාලියට එක් කරන ලද බව වාර්තා වේ.

    ඕනෑම අවස්ථාවක භාවිත කළ හැකි තත්ත්වයක පවතින සියරට සතු ඉතා දියුණු මට්ටමේ යුදඅවි සම්භාරය චීනයේ මහජන විප්ලවීය හමුදාවේ (චීන රතු හමුදාව ) බලවත් ආශ්වාදයට හේතුවන බව විශ්ලේෂකයෝ පවසති.

    ප්‍රදර්ශනය කරන ලද අවි ආයුධ අතර ප්‍රහාරක ශක්තිය වැඩි දියුණු කරන ලද දේශීය අවි නිෂ්පාදනයට අයත් නව නිර්මාණ රැසකි.

    පසුගිය කාල සීමාව තුළ චීනයේ යුද වියදම සැලකිය යුතු මට්ටමකින් ඉහළ ගිය අතර, ජනාධිපති ෂි ජින්පින් (Mr Xi) විසින් 2015 වසරේ ප්‍රකාශයට පත් කරන ලද ප්‍රධාන ප්‍රතිසංස්කරණ යටතේ එම වියදම් මහා පරිමාණයෙන් වැඩි කරනු ලැබිණි.

    පසුගිය වසර දහයක කාලය ඇතුළත වසරක් පාසා බේජිං පාලනයේ යුද වැය ශීර්ෂය 10%ක මට්ටමින් දිගටම ඉහළ ගිය අතර, දැන එහි වාර්ෂික වැය මට්ටම ඇමෙරිකානු ඩොලර් බිලියන 168.2 ක මට්ටමේ පවතී.

    ඒ අනුව චීනය ලෝකයේ යුද වියදම් අතින් දෙවැනි ස්ථානය හිමිකර ගනී.

    Text by – bbc

  • පාස්කු ප්‍රහාරයේ වගකීම මෛත්‍රී – රනිල් යහපාලන ආණ්ඩුවට

    පාස්කු ප්‍රහාරයේ වගකීම මෛත්‍රී – රනිල් යහපාලන ආණ්ඩුවට

    පාස්කු ඉරිදා එල්ලවූ ප්‍රහාරයෙන් ඇතිවූ ඛේදවාදකයට එවකට සිටි ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන සහ අගමැති රනිල් වික්‍රමසිංහ යන මහත්වරුන් ප්‍රමුඛ රජය වගකිව යුතුයැයි පාස්කු ඉරුදින ප්‍රහාරය සම්බන්ධයෙන් විමර්ශනය කළ ජනාධිපති කොමිෂන් සභාව නිර්දේශ කර ඇත.

    මෙම ප්‍රහාර වැළැක්වීමට රජය සහ එහි නිලධාරීන් අපොහොසත්වීම රටේ රාජ්‍ය පරිපාලනය සහ නීතිය ක්‍රියාත්මක කිරීම පිළිබඳ ආයතන විසින් එතෙක් මෙතෙක් වාර්තා කරන ලද විශාලතම අත්වැරදීම යැයිද කොමිෂන් සභාව වාර්තාවේ සඳහන් කර තිබේ.

    මෛත්‍රීපාල සිරිසේන මහතා 2019 අප්‍රේල් 16 සිට 21 දක්වා ඉන්දියාවට සහ සිංගප්පූරුවට යන අවස්ථාවේදී ආරක්ෂක ඇමැතිධුරය සඳහා කිසිදු වැඩබලන පත්වීමක් ලබානොදීම සහ ප්‍රහාරය පිළිබඳව දැනුවත් භාවයක් සහිතවම එය සිදු කිරීමෙන් චේතනාන්විතවම සහරාන්ගේ අයි.එස්. තර්ජනයට මගපෑදු බවත් එය ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව උල්ලංඝනය කිරීමක් බවත් පැහැදිලි වන්නේ යැයි කොමිසම සඳහන් කර ඇත.

    එබැවින් මෛත්‍රීපාල සිරිසේන මහතාට එරෙහිව දණ්ඩ නීති සංග්‍රහයේ සුදුසු විධිවිධාන යටතේ අපරාධ නඩු පැවරීම සම්බන්ධයෙන් නීතිපතිවරයා විසින් සලකා බැලිය යුතු බවද කොමිෂන් සභාව නිර්දේශ කර ඇත.

    හිටපු අගමැතිවරයා ලෙස රනිල් වික්‍රමසිංහ මහතා ඉස්ලාම් අන්තවාදය කෙරෙහි දැක්වූ ලිහිල් ප්‍රවේශය එවකට රජය ක්‍රියාශීලි පියවර ගැනීමට අපොහොසත්වීමට ප්‍රධාන හේතුවක් බවද කොමිෂන් සභාව පෙන්වා දී ඇත.

    ඉස්ලාම් අන්තවාදය පාස්කු ඉරිදා ප්‍රහාරය දක්වා ඉස්ලාම් අන්තවාදය ගොඩනැගීමට එය පහසුකම් සපයන්නක් බවද කොමිෂන් සභා වාර්තාවේ සඳහන් කර තිබේ.

    මේ අතර හිටපු ආරක්ෂක ලේකම් හේමසිරි ප්‍රනාන්දු, හිටපු පොලිස්පති පූජිත ජයසුන්දර, හිටපු ජාතික බුද්ධි ප්‍රධානී සිසිර මෙන්ඩිස්, හිටපු රාජ්‍ය බුද්ධි ප්‍රධානී නිලන්ත ජයවර්ධන යන මහත්වරුන්ට එරෙහිවද දණ්ඩ නීති සංග්‍රහයේ සුදුසු විධිවිධාන යටතේ අපරාධ නඩු පැවරීම නීතිපතිවරයා විසින් සලකා බැලිය යුතු බවද කොමිෂන් සභාව නිර්දේශ කර ඇත.

    ලංකාදීප ඊ පුවත්පත ඇසුරිණි

  • කණ්නාඩි දාන අයට කොවිඩ් අවදානම අඩු බව පර්යේෂණයකින් හෙළිවෙයි

    කණ්නාඩි දාන අයට කොවිඩ් අවදානම අඩු බව පර්යේෂණයකින් හෙළිවෙයි

    ගෝලීය වශයෙන් කොවිඩ් ව්‍යාප්තියේ සැලකිය යුතු අඩුවක් වාර්තා වුණත් එහි අවධානම තවම පහව ගොස් නැහැ. එනිසා සෞඛ්‍ය මාර්ගෝපදේශ නිසි පරිදි අනුගමනය කිරීම අප කාගෙත් වගකීමක්.

    මේ අතර කොවිඩ් වෛරසය ආසාදනය වීම පිළිබදව පසුගිය දා ඉන්දීය පර්යේෂකයින් පිරිසක් විසින් සිදුකළ සොයා ගැනීමක් ගැන ජාත්‍යන්තරයේ දැඩි අවධානය යොමුව තිබෙනවා.

    ඉන්දීය වෛද්‍ය පර්යේෂකයින් කණ්ඩායමක් සිදුකළ පර්යේෂණයකදී සොයා ගෙන ඇත්තේ ඇස් කණ්ණාඩි පලඳින පුද්ගලයන්ට ‘කොවිඩ් 19’ වයිරසය ආසාදනය වීමේ ප්‍රවණතාව ඉතා අඩු බවයි.

    ‘‘ කොවිඩ් ආසාදනය ගැන කියන විට දෙන ප්‍රමුඛ අවවාදයක් තමයි ඇස් ස්පර්ශ කිරීම නොකරන්න කියන එක. මොකද මේ වෛරසය ආසාදනය විය හැකි ප්‍රමුඛ ක්‍රමයක් තමයි ඇස් ස්පර්ශ කිරීම. ඇස් කණ්ණාඩි පලඳින පුද්ගලයන්ගේ ඇස්වලට වයිරස විෂබීජ යෑම අඩු වන අතර, කණ්ණාඩි පලඳින පුද්ගලයන් මුහුණ සහ ඇස් ස්පර්ශ කිරීම ද ඉතා අඩු යැයි සමීක්ෂණයේ දී අපට තහවුරු වුණා. ඒ නිසා තමයි ඇස් කණ්නාඩි පළදින පුද්ගලයින්ට මේ වෛරසය ආසාදනය වීම ඉතා අඩු වෙන්නේ. දීර්ඝ කාලයක් තිස්සේ ඇස් කණ්ණාඩි පලඳින පුද්ගලයන් මුහුණ අල්ලන්නේ ඉතා අඩුවෙන්. ඇස් අල්ලන්නේ අඩුවෙන්. එහෙයින් ඔවුන් වයිරසයෙන් ආරක්ෂා වෙනවා

    මෙහිදී පර්යේෂකයින් සොයා ගෙන ඇත්තේ සෑම පුද්ගලයෙකුම පැයකට 23වරක් පමණ මුහුණ ස්පර්ශ කරන බවත්, තෙවරක් ඇස් ස්පර්ශ කරන බවයි.

  • උපුල් තරංග ජාත්‍යන්තර ක්‍රිකට් පිටියට සමුදෙයි

    උපුල් තරංග ජාත්‍යන්තර ක්‍රිකට් පිටියට සමුදෙයි

    ශ්‍රී ලංකා එක්දින කණ්ඩායමේ නායකයකු ලෙසින් කටයුතු කරන ලද ආරම්භක පිතිකරු උපුල් තරංග ජාත්‍යන්තර ක්‍රිකට් පිටියෙන් සමුගන්නා බව නිවේදනය කර සිටියි. ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය වෙත ලිපියක් යොමු කරමින් සිය සමුගැනීම පිළිබඳව දැනුම් දී සිටින තරංග සිය වසර 16 ක ජාත්‍යන්තර ක්‍රිකට් තරග දිවියේදී ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතන ලබා දුන් සහයෝගය සහ මඟ පෙන්වීම පිළිබඳව සිය ස්තූතිය පුද කර තිබේ.

    මීට අමතරව ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය යටතේ වන පුහුණුකරුවන්, ක්‍රීඩකයින්, පරිපාලකයින්, කලමනාකරණ සහ සහාය කාර්යය මණ්ඩලයද සිය ලිපිය හරහා ස්තූතිය පුද කිරීමට තරංග අමතක කර නොමැත.

    තරංගගේ සමුගැනීමේ තීරණය පිළිබඳව අදහස් දක්වා සිටින ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනයේ ප්‍රධාන විධායක නිලධාරී ඈෂ්ලී ද සිල්වා මහතා, “උපුල් තරංග සිය ක්‍රීඩා දිවිය තුළ ශ්‍රී ලංකාවේ ක්‍රිකට් ක්‍රීඩාවට විශිෂ්ටසේවයක් ඉටු කර ඇති අතර ඔහුගේ දක්ෂතා ජාතික කණ්ඩායමේ බොහෝ ජයග්‍රහණවලට ඉවහල් වී තිබෙනවා” යැයි පැවැසීය.

    ඉකුත් 2019 වසරේදී දකුණු අප්‍රිකාවට එරෙහිව කේප්ටවුන් හිදී අවසන් වරට ජාත්‍යන්තර තරගයකට ක්‍රීඩා කර ඇති තරග ශ්‍රී ලංකාව වෙනුවෙන් ටෙස්ට් තරග 31 කට සහ එක්දින තරග 235 කට ක්‍රීඩා කර තිබේ. ටෙස්ට් තරග වලදී ලකුණු 1754 ක් සහ එක්දින තරග වලදී ලකුණු 6951 ක් රැස් කර ගැනීමට සමත්ව සිටින තරංග දෙඅංශයේම ඉනිමක ලකුණු ලබා ගැනීමේ සාමාන්‍ය ලකුණු 31 කට වැඩියෙන් පවත්වාගෙන යෑමට සමත්ව තිබේ.

    ශ්‍රී ලංකාව වෙනුවෙන් එක්දින තරග 22 කදී නායකයා ලෙසින් කටයුතු කර ඇති තරංග විස්සයි-20 තරග 6 කදී ශ්‍රී ලංකාව මෙහෙයවා තිබේ. ටෙස්ට් අංශයේදී ලබාගෙන තිබෙන ශතක 3 ට අමතරව එක්දින තරග අංශයෙන් ශතක 15 ක් වාර්තා කිරීමට තරංග සමත්ව සිටියි. ශ්‍රී ලංකාව වෙනුවෙන් එක්දින තරග වලදී වැඩිම ශතක ලාභී පිතිකරුවන් අතර පස්වැනි ස්ථානය තරංගට වෙන්ව තිබේ. ඔහුට ඉදිරියෙන් සනත් ජයසූරිය, කුමාර් සංගක්කාර, තිලකරත්න ඩිල්ෂාන් සහ මහේල ජයවර්ධන වැඩිම ශතක ලාභීන් බවට පත්ව සිටිති.