Blog

  • ‘මේ තරගාවලිය ජය ගන්න අපිට හොඳ අවස්ථාවක් තියෙනවා‘

    ‘මේ තරගාවලිය ජය ගන්න අපිට හොඳ අවස්ථාවක් තියෙනවා‘

    දකුණු අප්‍රිකාවට එරෙහි පැවැති ටෙස්ට් තරගාවලිය නිමාවීමත් සමඟ හරියටම දින 7 ක කාලයකින් පසු ශ්‍රී ලංකා කණ්ඩායම හමුවේ තවත් අභියෝගාත්මක තරගාවලියකි. ඒ එංගලන්තයට එරෙහිව පැවැත්වෙන තරග 2 කින් සමන්විත ටෙස්ට් තරගාවලියයි.

    ලෝක ටෙස්ට් ශූරතාවලිය යටතේ පැවැත්වෙන මෙම තරගාවලියේ ආරම්භයට පෙර ශ්‍රී ලංකාවට ඇත්තේ එතරම් සුභදායී මතකයක් නොවේය. දකුණු අප්‍රිකාවට එරෙහිව පැවැති තරගාවලිය පරාජයට පත්වීම, ප්‍රධාන ක්‍රීඩකයින් 7 දෙනෙකුම ආබාධයන් වලට ලක්ව සිටීම හේතුවෙන් ශ්‍රී ලංකා කණ්ඩායම මෙම තරගාවලියට අවතීර්ණ වනුයේ තරමක් දෙගිඩියාවකින් යැයි කිවහොත් නිවැරදිය.

    එහෙත් තරගාවලිය පිළිබඳව අදහස් දක්වා සිටින ශ්‍රී ලංකා කණ්ඩායමේ කඩුලු රකින්නා වන මැද පෙළ පිතිකරු නිරෝෂන් දික්වැල්ල පවසන්නේ දකුණු අප්‍රිකානු තරගාවලියේදී සිදුවුණු අතපසුවීම් නිවැරදි කරගනිමින් සාර්ථකව ආරම්භයක් ලබා ගතහොත් තරගාවලිය ජයග්‍රහණය කිරීමේ වැඩි හැකියාවක් තම කණ්ඩායම සතුව පවතින බවයි.

    “ඇත්තටම දකුණු අප්‍රිකාවේදීත් අපිට ඒ සැලසුම් ඒ විදියටම තිබුණා. නමුත් අපේ ක්‍රීඩකයින්ට ඔවුන්ගේ තත්ත්වයන් සහ අවස්ථාවන් වලට ගැලපෙන ආකාරයට ක්‍රීඩා කරගන්න බැරි වුණා. විශේෂයෙන්ම ටෙස්ට් තරගයක් ජයග්‍රහණය කරන්න නම් මුලින්ම විනාඩි 10 ක්, විනාඩි 20 ක්, ඊට පස්සේ ඒක පැයක්, ෂෙසන් දක්වා කියන ගමන අපි මුලින්ම ජයග්‍රහණය කරන්න ඕන. එහෙම තමයි ටෙස්ට් තරගයක් ජයග්‍රහණය කරා යන්න ඕන. අපිට ඒ දේ දකුණු අප්‍රිකාවේදි කරගන්න බැරි වුණා. නමුත් එහෙදි වුණු අඩු පාඩු මොනවද කියන එක ගැන අපි හඳුනාගෙන තියෙන්නේ. අන්න ඒ වගේ අපිට මේ තරගාවලියේ ආරම්භයේ ඉඳන්ම ක්‍රීඩා කිරීමට හැකි වුණොත් කණ්ඩායමක් විදියට ලොකු දෙයක් කරන්න පුලුවන් වෙයි කියලා මම විශ්වාස කරනවා”යි දික්වැල්ල සඳහන් කරයි.

    දකුණු අප්‍රිකාවට එරෙහිව පැවැති ටෙස්ට් තරග 2 ම දින 3 ක් ඇතුළත හමාරවීම කැපී පෙනුණු අතර එහිදී ශ්‍රී ලංකා පිල ක්‍රීඩා කරන ලද ඉනිම 4 න් අවස්ථා පන්දුවාර 60 කට වඩා වැඩියෙන් ක්‍රීඩා කර ඇත්තේ එක් ඉනිමකදී පමණි. පළමු තරගයේ පළමු ඉනිමේදී පන්දුවාර 96 කට ක්‍රීඩා කරමින් රැස් කරන ලද ලකුණු 396 ක ඉනිමෙන් පසු අනෙක් ඉනිම 3 දීම ශ්‍රී ලංකා පිල ක්‍රීඩා කර ඇත්තේ පන්දුවාර 143.3 කට (ඕවර 46.1, දෙවැනි ටෙස්ට් තරගය – පළමු ඉනිම ඕවර 40.3 සහ දෙවැනි ඉනිම ඕවර 56.5) පමණි. එය දකුණු අප්‍රිකානු පිල පළමු ඉනිමේදී ක්‍රීඩා කරන ලද පන්දුවාර සංඛ්‍යාව (142.1) හා සසැඳූ විට පන්දු 8 ක් පමණක් ශ්‍රී ලංකා පිල වැඩියෙන් ක්‍රීඩා කර තිබේ.

    පළමු ටෙස්ට් තරගයට සහභාගිවීම සඳහා හම්බන්තොට සිට ගාල්ලට පැමිණ සිටින එංගලන්ත කණ්ඩායම අද (11 දා) දිනයේදී ගාල්ලේ සිය පළමු පුහුණු සැසියට සහභාගිවිය. එහිදී සතියක ස්වයං නීරෝධායනයට ලක්ව සිටි ක්‍රිස් වෝක්ස් ද අද දිනයේදී සිය පුහුණුවීම් වල නිරත වූවේය. දකුණු අප්‍රිකාවේ සිට ඉකුත් 08 වැනිදා සවස් යාමයේදී ගාල්ලට පැමිණි ශ්‍රී ලංකා කණ්ඩායමට ඊයේ (10 දා) දිනයේදී පුහුණු සැසියක් පැවැත්වීමට නියමිතව තිබුණු නමුත්, දිනය පුරාව ඇද හැළුණු වර්ෂාව හේතුවෙන් ක්‍රීඩාංගණයට යෑමේ අවස්ථාව අහිමිවිය. කෙසේ වෙතත් ශ්‍රී ලංකා පිල අද (11 දා) දිනයේදී ගාල්ල ජාත්‍යන්තර ක්‍රීඩාංගණයේදී සිය පුහුණුවීම් කටයුතු සඳහා සහභාගිවූවේය.

    ප්‍රභලම ක්‍රීඩකයින් වන බෙන් ස්ටෝක්ස් සහ ජොෆ්රා ආචර් විවේක ගැන්වීම සහ රොරී බර්න්ස් පීතෘ නිවාඩු ගෙන සිටීම මත මෙම තරගාවලියට සහභාගිවනු ලබන්නේ එංගලන්ත කණ්ඩායමේ උපරිම දක්ෂතාවයෙන් යුතු කණ්ඩායම නොවේ. ඒ අතරට ඉකුත් 2018 තරගාවලියේදී එංගලන්ත පිල 3-0 ක් ලෙස තරගාවලි ජයග්‍රහණය කරා රැගෙන ගිය ප්‍රධානම චරිතය වන අදෙලි රශීඩ් සහ කොවිඩ් 19 වෛරසය ආසාධනය වී සිටින මොයින් අලීගේ සහභාගිත්වයද එංගලන්ත පිලට අහිමිව තිබේ.

    දැවැන්ත නම් සහිත ක්‍රීඩකයින් කීප දෙනෙකුගේම සේවය එංගලන්ත පිලට අහිමිවී තිබෙන පසුබිමක 2018 තරග වාරයේදී තම කණ්ඩායමට එරෙහිව ලද 0-3 ක තරගාවලි ජයග්‍රහණයේ වාඩුව ලබා ගැනීමේ හොඳම අවස්ථාවක් මෙම තරගාවලිය තුළ පවතින බව දික්වැල්ල වැඩිදුරටත් අවධාරණය කර සිටියේය.

    “තරගාවලිය අතින් ගත්තොත් කණ්ඩායම් දෙකටම ඉතා අමාරු තරගාවලියක්. ඒත් 2018 පැවැති තරගාවලිය හා සංසන්දනය කරන විට, මේ තරගාවලිය ජය ගන්න අපිට හොඳ අවස්ථාවක් තියෙනවා. විශේෂයෙන් (ජොෆ්රා) ආචර් සහ (බෙන්) ස්ටෝක්ස් වගේම තවත් ක්‍රීඩකයින් කීප දෙනෙකු රහිතව එංගලන්ත පිල ක්‍රීඩා කිරීම, තරගාවලිය ජය ගැනීමට අපිට වඩා හොඳ අවස්ථාවක් පවතිනවා කියලා මම විශ්වාස කරනවා. ඒ වුණත් අපි ඔවුන්ව කොයිම විදියකින් අවතක්සේරුවෙන් සලකන්නේ නෑ. උපරිම දක්ෂතාවයෙන් යුතුව ක්‍රීඩා කරන්න බලාපොරොත්තු වෙනවා”යි දික්වැල්ල පැවැසීය.

    ශ්‍රී ලංකා ක්‍රිකට් නිල වෙබ්අඩවිය ඇසුරිණි

  • Covid-19 මරණ 04ක් සමග නව ආසාදිතයින් 584ක්

    Covid-19 මරණ 04ක් සමග නව ආසාදිතයින් 584ක්

    Covid-19 ආසාදනය වීම හේතුවෙන් තවත් පුද්ගලයන් සිවු දෙනෙකු මිය ගොස් ඇතැයි රජයේ ප්‍රවෘත්ති දෙපාර්තමේන්තුව අද (12) නිවේදනයක් නිකුත් කරමින් සඳහන් කළා.

    මෙම මරණ හතරත් සමග කොවිඩ්-19 ආසාදනය වීමෙන් මිය ගිය සමස්ත පුද්ගලයන් ගණන 244ක් දක්වා ඉහළ ගොස් තිබෙනවා.

    කොළඹ 13 සහ මාතලේ ප්‍රදේශවල පදිංචි 82 සහ 84 හැවිරිදි කාන්තාවන් දෙදෙනෙක්ද, හංවැල්ල සහ වැල්ලම්පිටිය ප්‍රදේශවල පදිංචි 47 සහ 65 හැවිරිදි පිරිමි පුද්ගලයන් දෙදෙනෙක්ද මෙසේ මියගොස් තිබෙනවා.

    මේ අතර අද (12) දින රජයේ ප්‍රවෘත්ති දෙපාර්තමේන්තුව විසින් නිකුත් කළ තවත් මාධ්‍ය නිවේදනයක සදහන් වුණේ මිනුවන්ගොඩ, දිවුලපිටිය සහ බන්ධනාගාර පොකුරු වලින් අද (12) දින ද කොවිඩ්-19 ආසාදිතයින් 584 දෙනෙකු හදුනාගත් බවයි.

    මේ දක්වා කොවිඩ්-19 ආසාදිත සංඛ්‍යාව 45,496 ක් වූ අතර අද රාත්‍රියේදී පැලියගොඩ පොකුරෙන් තවත් ආශ්‍රිතයින් 274 ක් වාර්තා විය. ඒ අනුව මේ වන විට කොවිඩ්-19 ආසාදිත මුළු සංඛ්‍යාව 45,770 කි.

  • Online ලොතරැයියෙන් මහපොළ ශිෂ්‍යත්ව භාර අරමුදලට මිලියන 673ක් අහිමි වෙයි

    Online ලොතරැයියෙන් මහපොළ ශිෂ්‍යත්ව භාර අරමුදලට මිලියන 673ක් අහිමි වෙයි

    මහපොළ  භාරකාර  අරමුදලේ මාර්ගගත (Online) ලොතරැයියක් වෙනත් අතරමැදියෙකු  හරහා අළෙවි  කිරීම හේතුවෙන් එම පුද්ගලයා  එමගින් උපයා රුපියල් මිලියන 673 ක මුදල මහපොළ  භාරකාර  අරමුදල වෙත ලැබී නොමැති බව කෝප් කමිටුවේදී අනාවරණය විය.

    මෙය මහා පරිමාණ දුෂණයක් බවත් මේ කාරණාව සම්බන්ධයෙන් නීතිපතිවරයා දැනුවත් කොට අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව  වෙත විධිමත් පරීක්ෂණයක් සඳහා යොමු කරන ලෙසට වෙළඳ අමාත්‍යාංශයේ ලේකම් ජේ.එම්.භද්‍රානි ජයවර්ධන මහත්මිය හට කෝප් කමිටු සභාපති මහාචාර්ය චරිත හේරත් මහතා දැනුම් දුන්නේය.

    ඒ මහතා මෙම දැනුම් දීම සිදු කළේ පසුගිය 08 වනදා කෝප් කමිටුව පාර්ලිමේන්තුවේදී රැස් වූ අවස්තාවේදීය.

    රාජ්‍ය අමාත්‍ය සුසිල් ප්‍රේමජයන්ත, රාජ්‍ය අමාත්‍ය (ආචාර්ය) නාලක ගොඩහේවා මහතා පාර්ලිමේන්තු මන්ත්‍රිවරු වන එරාන් වික්‍රමරත්න, නලින් බණ්ඩාර ජයමහ මහතා, ප්‍රේම්නාත් සී. දොලවත්ත සහ එස්.එම්. මරික්කාර්, යන මහත්වරු මීට සහභාගී වුහ.

    තවද, මහපොළ  භාරකාර  අරමුදල යටතේ පවතින පාලිත සමාගම්හි  සුරැකුම්පත් ගණුදෙනු තුළින් ප්‍රමාණවත් ප්‍රාග්ධන ප්‍රතිලාභ නොලැබීම හේතුවෙන් 2015/2016 වර්ෂ වලදී රු. මිලියන 18ක් හා රු. මිලියන 102 අලාභයක්ද, 2017 වර්ෂයේ නැෂනල් වෙල්ත් සංස්ථාව හි ආයෝජන උපයෝගී කොට ගෙන කළ ප්‍රතිමිළදී ගැනීම් වල ගණුදෙනු තුළ රු. මිලියන 13ක අලාභයක් සිදුවී තිබෙන බවද  පෙන්වා දුන් කෝප් කමිටුව මෙම අක්‍රමිකතා හේතුවෙන් අරමුදලට  මහත් වූ අලාභයක් සිදුව ඇති බව අවධාරණය කරනු ලැබීය.

    මේ සම්බන්ධයෙන් කරණු  දැක්වූ නිලධාරීහු  මෙම ආයතන තවදුරත් පාඩු මත පවත්වාගෙන යාම අනවශ්‍ය බැවින් ඈවර කිරීම සඳහා කැබිනට් මණ්ඩලයෙන් අනුමැතියක් ලැබී තිබෙන බව පැවසුහ. ඒ සම්බන්ධයෙන් ආදහස්  දැක්වූ කෝප් කමිටු සභාපති  මහාචාර්ය චරිත හේරත් මහතා පැවසුයේ නිසි පුද්ගලයන් හට නිසි දඩුවම් ලබා දීමෙන් අනතුරුව මෙය ඈවර කිරීම ගැටළුවක් නොවන නමුදු මෙවැනි මහා පරිමාණ වංචාවක් සිදුව ඇති අවස්ථාවක නිසි පරීක්ෂණයකින් තොරව  මෙම ආයතන එලෙස ඈවර කිරීම නුසුදුසු බවය.

    ඒ අනුව මහපොළ  භාරකාර  අරමුදල  යටතේ පවතින පාලිත සමාගම් වන නැෂනල් වෙල්ත් සංස්ථාව සහ නැෂනල් වෙලත් සිකියුරිටිස් සංස්ථාව  මගින් සිදුව ඇති අක්‍රමිකතාවය පිළිබඳව නිසි අධ්‍යනයක් සිදු කිරීමෙන් අනතුරුව  එම ආයතන දෙකම හැකි ඉක්මනින් කෝප් කමිටුව හමුවට කැඳවීමටත්, මෙම අක්‍රමිකතාවය පිළිබඳව නිසි ලෙස නිරීක්ෂණය කරන තුරු  ඈවර කිරීම ප්‍රමාද කිරීම කළ යුතු බවට කෝප් කමිටුව විසින් නිර්දේශ කරන ලදී.

    ශ්‍රී ලංකා තොරතුරු තාක්ෂණ සම්බන්ධව ආයතනයේ (SLIIT)  වර්තමාන තත්වය පිළිබඳවද සාක්ච්ඡාවට බඳුන් වූ අතර ආයතනයේ වර්තමාන තත්වය පිළිබඳවද සාක්ච්ඡාවට බඳුන් වූ අතර එම ආයතනය කෝප් කමිටුව හමුවට කැඳවා තිබුනද එම ආයතනය එසේ පැමිණීම නෛතිකව කිරීමට එම ආයතනය බැඳී නොමැති බව ජුලියස් ක්‍රේසි (Julius & Creasy) ආයතනය මගින් කෝප් කමිටුවට දන්වා එවීම පිළිබද සිය අප්‍රසාදය පළ කළ කෝප් කමිටුව මේ තත්වය පිලිබදව කරුණු නිරාකරණය කරලීම සඳහා පළමු කොට  ජුලියස් ක්‍රේසි (Julius & Creasy) ආයතනය කැදවිය යුතු බව තීරණය කරනු ලැබීය.

    ඒ අනුව SLIITආයතනය ජාතික  වැදගත්සකමකින් යුත් ආයතනයක් වන බැවින්, එම ආයතනය  සම්බන්ධ සාකච්ඡාවේ දිගුවක් ලෙස   අභ්‍යන්තර වාර්තාවක් සකස්  කොට පාර්ලිමේන්තුවට වාර්තා කරනු ලැබීමෙන් අනතුරුව  මේ සම්බන්ධයෙන් ගතයුතු ක්‍රියා මාර්ග පිළිබඳව නිගමනයකට ඒළඹීම යෝග්‍ය බව කෝප් කමිටුව විසින් තවදුරටත්  නිර්දේශ කරනු ලැබිය.

    තවද, අභ්‍යන්තර විගණකාධිපතිවරයෙකු හා ගණකාධිවරයෙකු  ආයතනය සතුව නොමැති බවට අනාවරණය විය. හැකි ඉක්මනින්  මෙම පුරප්පාඩුව පිරවීමට කටයුතු කරන මෙන් කෝප් කමිටුව නිර්දේශ කරන ලදී

    මහපොළ උසස් අධ්‍යාපන ශිෂ්‍යත්ව භාර අරමුදලේ ආයෝජන කළමණාකාරය සම්බන්ධව විශේෂ විගණන වාර්තාව මත සහ එම අරමුදලේ වර්තමාන කාර්යසාදනය පරික්ෂා කිරීම සඳහා විගණකාධිපති දෙපාර්තමේන්තුව විසින් ඉදිරිපත් කරන ලද විශේෂ වාර්තාව ඒ අනුව කෝප් කමිටුව හමුවේ සාකච්ඡාවට බදුන් කරනු ලැබිය.

  • අධිකරණයට අපහාස කිරීම: නීතිමය පසුබිම ගැන ඔබ දැනගත යුතු සියල්ල

    අධිකරණයට අපහාස කිරීම: නීතිමය පසුබිම ගැන ඔබ දැනගත යුතු සියල්ල

    පාර්ලිමේන්තු මන්ත්‍රී රන්ජන් රාමනායක මහතා අධිකරණයට අපහාස කළ බවට චෝදනා ලැබ සිවු අවුරුදු සිරදඩුවමක් නියම වීම සමග ශ්‍රී ලංකාවේ ‘අධිකරණයට අපහාස කිරීම’ ගැන දැන සිටිය යුතු නීති පසුබිම ගැන ජනතාව අතර උනන්දුවක් ඇති වී තිබෙනවා. මේ ඒ හා සම්බන්ධයෙන් ඔබ දැනගත යුතු මූලික නෛතික පසුබිම ගැන විද්වත් විමසුමක්.

    අධිකරණයට අපහාස කිරීම යනු කවරක් දැයි ශ්‍රී ලංකාවේ නීතිය තුළ නිශ්චිතව අර්ථ දක්වා නැත. නීතිය තුළ එවැනි අර්ථ දැක්වීමක් නොතිබීම අමාත්‍ය එස්බී දිසානායකට එරෙහිව 2003 දී පවරන ලද නඩුව සම්බන්ධයෙන් ප්‍රතිචාරය දක්වමින් එක්සත් ජාතීන්ගේ මානව හිමිකම් කොමිසම පවා අවධානය පළ කර තිබූ බව ජාතික මාධ්‍ය මධ්‍යස්ථානයේ අධ්‍යක්ෂ, නීතිඥ ජගත් ලියනාරච්චි බීබීසී සිංහල සේවය වෙත පැවසීය.

    “එසේම අධිකරණයට අපහාස කිරීම පිළිබඳ කටයුතු කරන අධිකරණ ක්‍රියාපටිපාටිය දැක්වෙන නීතියක් ද පණවා නැත. මේ නිසා අධිකරණවල විනිසුරුතුමන්ලාට ඇතිවන හැඟීම් අනුව ද දඬුවම් කිරීමට ඉඩක් ඇත,” යනුවෙන් ද නීතිඥ ජගත් ලියනාරච්චි විසින් ඒ සම්බන්ධයෙන් සකස් කරන ලද අධ්‍යයන වාර්තාවක දැක්වේ.

    කෙසේ වෙතත් අධිකරණයට අපහාස කිරීම සම්බන්ධයෙන් ශ්‍රී ලංකා ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ කරුණු දක්වා තිබේ.

    ශ්‍රී ලංකා ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ 105 (3) ව්‍යවස්ථාවේ දැක්වෙන පරිදි අධිකරණයේදී හෝ අන් ස්ථානයකදී අධිකරණයට අපහාස කිරීම සම්බන්ධයෙන් “බන්ධනාගාරගත කිරීමකින් හෝ දඩයකින් හෝ බන්ධනාගාරගත කිරීම සහ දඩය යන දඬුවම් දෙකින්ම හෝ දඬුවම් කිරීමේ බලය” ශ්‍රේෂ්ඨාධිකරණයට සහ අභියාචනාධිකරණයට පැවරේ. (එහි අන්තර්ගතය පහත දැක්වේ.)

    අධිකරණයට අපහාස කිරීම සම්බන්ධ ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ වගන්තිය

    ජ්‍යෙෂ්ඨ නීතිවේදී ලාල් විජේනායක බීබීසී සිංහල සේවය සමග කළ සාකච්ඡාවේදී පෙන්වා දුන් පරිදි,

    • ජනතාව ඉදිරියේ අධිකරණයේ ගරුත්වයට හානිවන ආකාරයේ ඕනෑම ක්‍රියාවක්
    • ජනතාව ඉදිරියේ අධිකරණය හෙළා දැකීම, හෑල්ලුවට ලක් කිරීම හෝ හාස්‍යයට ලක් කිරීම
    • අධිකරණ නියෝගයක් ක්‍රියාත්මක කිරීම ප්‍රතික්ෂේප කිරීම
    • අධිකරණ නියෝගයක් අභියෝගයට ලක් කිරීම (අභියාචනයක් ඉදිරිපත් කිරීම නොවේ)
    • අධිකරණය තුළ නොහික්මුණු හැසිරීම
    • සමස්ත අධිකරණයටම හෝ සියලු විනිසුරුවරුන්ට නිගරුවන අන්දමේ ප්‍රකාශ හෝ හැසිරීම්

    අධිකරණයට අපහාස කිරීමක් ලෙස සැලකිය හැකිය.

    දඬුවම් මොනවා ද?

    ජාතික මාධ්‍ය මධ්‍යස්ථානයේ අධ්‍යක්ෂ, නීතිඥ ජගත් ලියනාරච්චි බීබීසී සිංහල සේවය සමග පැවසූ පරිදි අධිකරණයට අපහාස කිරීම සම්බන්ධයෙන් පැනවිය හැකි දඬුවම් 1978 අංක 2 දරණ අධිකරණ සංවිධාන පනතේ දක්වා තිබේ.

    ඒ අනුව,

    • මහාධිකරණයට අපහාස කිරීම සම්බන්ධයෙන් වැරදිකරුවන පුද්ගලයෙකුට වසර පහකට අඩු බරපතල හෝ බරපතල නොවන සිර දඬුවමක් හෝ රුපියල් 5000 කට අඩු දඩයක් හෝ ඒ දඬුවම් දෙකම නියම කිරීමේ බලය මහාධිකරණයට හිමි වේ. (18 වෙනි වගන්තිය)
    • දිසා අධිකරණයට අපහාස කිරීම සම්බන්ධයෙන් වසර දෙකක් දක්වා බරපතල හෝ බරපතල නොවන සිර දඬුවමක් හෝ රුපියල් 2500 කට අඩු දඩයක් හෝ එම දඬුවම් දෙකම නියම කිරීමේ බලය දිසා අධිකරණයට පවතී. (55 (අ) වගන්තිය)
    • මහේස්ත්‍රාත් හෝ සුළු අපරාධ අධිකරණයකට අපහාස කිරීම සම්බන්ධයෙන් මාස 18 ක් දක්වා සිර දඬුවම් හෝ රුපියල් 1000 ක් දක්වා දඩයක් හෝ ඒ දඬුවම් දෙකම නියම කළ හැකිය. (55 (ආ) වගන්තිය)
    නියෝජ්‍ය අමාත්‍ය රන්ජන් රාමනායක, මහාචාර්ය කාලෝ ෆොන්සේකා සමග අධිකරණ භූමියේ
    නියෝජ්‍ය අමාත්‍ය රන්ජන් රාමනායක, මහාචාර්ය කාලෝ ෆොන්සේකා සමග අධිකරණ භූමියේ

    අධිකරණයට අපහාසයක් නොවන්නේ කුමක්ද?

    • අධිකරණ නියෝගයක් හෝ අධිකරණ ක්‍රියාමාර්ගයක් සාධාරණ විවේචනයකට ලක් කිරීම
    • අධිකරණය පිළිබඳ අධ්‍යයනයක් මගින් අධිකරණය හෝ අධිකරණ ක්‍රියාමාර්ග විවේචනයට ලක් කිරීම
    • අධිකරණය ඉදිරියේ පවතින නඩු විභාග ප්‍රමාදවීම සම්බන්ධයෙන් කෙරෙන විවේචන
    • රටේ අධිකරණමය ක්‍රමවේදය සංශෝධනය කිරීම සඳහා වූ ඉදිරිපත් කරන විවේචන
    • විනිශ්චයකාරවරයෙකුට එරෙහිව පැමිණිල්ලක් යොමු කිරීම
    • අධිකරණ ක්‍රමය වඩා කාර්යක්ෂම කිරීම පිණිස කෙරෙන යෝජනා

    අධිකරණයට අපහාසයක් ලෙසින් නොසැලකිය යුතු බව ජ්‍යෙෂ්ඨ නීතිවේදී ලාල් විජේනායක පෙන්වා දෙයි.

    වෛද්‍ය අනුරුද්ධ පාදෙනිය
    වෛද්‍ය අනුරුද්ධ පාදෙනිය

    කෙසේ වුවත්, රටේ සාමාන්‍ය පුරවැසියන්ට පමණක් නොව, අධිකරණයේ විනිශ්චයකාරවරයෙකුට එරෙහිව පවා අධිකරණයට අපහාස කිරීමේ චෝදනාව එල්ලවිය හැකි බව ද ජ්‍යෙෂ්ඨ නීතිවේදියා පෙන්වා දෙයි.

    එමෙන්ම ශ්‍රී ලංකාවේ අධිකරණය තුළ පුරවැසියන් සහ ඇතැම් අවස්ථාවල නීතිවේදීන් පවා අසාධාරණයට ලක්වූ අවස්ථා පිළිබඳ ඉතිහාසයේ උදාහරණ පවතින බවත් නීතිඥ ලාල් විජේනායක බීබීසී සිංහල සේවය සමග කියා සිටියේය.

    “ඒ කියන්නේ අධිකරණය සම්පූර්ණ බලය පාවිච්චි කරලා පුද්ගලයන් පීඩනයට ලක්වෙන ආකාරයෙන් ක්‍රියා කළ අවස්ථාත් තිබුණා. අධිකරණයේ ගෞරවය හානිවෙන විදියට විනිශ්චයකාරවරු හැසිරෙනවා නම් ඒකත් අධිකරණයට අපහාස කිරීමක්.”

    බන්ධනාගාරයේදී පහර කෑමට ලක්වූ ටෝනි එම්මානුවෙල් ප්‍රනාන්දු දැන් කැනඩාවේ වාසය කරයි
    බන්ධනාගාරයේදී පහර කෑමට ලක්වූ ටෝනි එම්මානුවෙල් ප්‍රනාන්දු දැන් කැනඩාවේ වාසය කරයි

    වෙනත් උදාහරණ

    • අධිකරණයට අපහාස කිරීමේ චෝදනාවට වැරදිකරු කෙරුණු හිටපු අමාත්‍ය එස්බී දිසානායකට බරපතල වැඩ ඇතිව දෙවසරක සිර දඬුවමක් නියම කෙරිණ.
    • එවකට අගවිනිසුරුවරයාට එරෙහිව පවරා තිබූ නඩුවකදී අධිකරණයේදී ‘උස් හඬින්’ කථා කිරීමේ චෝදනාව මත අගවිනිසුරුවරයා විසින්ම ටෝනි එම්මානුවෙල් ප්‍රනාන්දුට වසරක සිර දඬුවමක් නියම කරන ලදි. එම තීන්දුව ජාත්‍යන්තර වශයෙන් ද විවේචනයට ලක්විය. පසුව බන්ධනාගාරයේදී ඔහුට පහරදීම සම්බන්ධයෙන් ඔහුට වන්දි ගෙවන මෙන් ශ්‍රේෂ්ඨාධිකරණය බන්ධනාගාර නිලධාරීන්ට නියෝග කළේය.
    • අධිකරණයට අපහාස වන ආකාරයේ ප්‍රකාශ කිරීමේ චෝදනාව යටතේ රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමයේ සභාපති වෛද්‍ය අනුරුද්ධ පාදෙනියට එරෙහිව මහාචාර්ය සරත් විජේසූරිය සහ ගාමිණි වියන්ගොඩ විසින් අධිකරණය වෙත පෙත්සමක් ගොනු කොට තිබේ.
    • බොදු බල සේනා සංවිධානයේ මහ ලේකම් ගලගොඩඅත්තේ ඥානසාර හිමියන් අධිකරණයට අපහාස කළ බව පවසමින් හෝමාගම මහේස්ත්‍රාත් රංග දිසානායක විසින් අභියාචනාධිකරණයේ පැමිණිල්ලක් ගොනු කොට තිබේ.
    • අධිකරණ නියෝග උල්ලංඝනය කරමින් අල්ලස් කොමිසම ඉදිරියේ උද්ඝෝෂණ කළ බවට ඒකාබද්ධ විපක්ෂයේ මන්ත්‍රීවරුන් සහ භික්ෂූන් වහන්සේ ඇතුළු කණ්ඩායමකට එරෙහිව නඩු පවරනු ලැබ තිබේ.
    අමාත්‍ය එස් බී දිසානායක
    එස් බී දිසානායක

    අධිකරණයට අපහාස කිරීම යනු කවරක් දැයි නීතිය නිශ්චිතව අර්ථ දක්වා නොමැති බැවින් ශ්‍රී ලංකා නීති කොමිසම විසින් 2008 දී ඒ පිළිබඳ නීති කෙටුම්පතක් සම්පාදනය කරන ලදි.

    කෙසේ වුවත්, කැබිනට් මණ්ඩලය පවා මෙතෙක් එම කෙටුම්පතට අනුමැතිය පළ කර නොමැති බව නීතිඥ ජගත් ලියනාරච්චි වැඩිදුරටත් සඳහන් කළේය.

    ශ්‍රී ලංකා නීති කොමිසම විසින් 2008 දී සකස් කරන ලද කෙටුම්පත
    ශ්‍රී ලංකා නීති කොමිසම විසින් 2008 දී සකස් කරන ලද අධිකරණයට අපහාස කිරීම සම්බන්ධ නීති කෙටුම්පත

    5 ජූනි 2018 දින බී.බී.සී. සන්දේශ වාර්තාවක් ඇසුරිණි

  • රන්ජන් රාමනායක ‘මෙතැනින් කොතැනටද ?’

    රන්ජන් රාමනායක ‘මෙතැනින් කොතැනටද ?’

    අධිකරණයට අපහාස කරන ලදැයි චෝදනා ලැබූ සමගි ජනබලවේගය පාර්ලිමේන්තු මන්ත්‍රී, හිටපු රාජ්‍ය අමාත්‍ය රන්ජන් රාමනායක මහතාට අද (12) දින ශ්‍රේෂ්ඨාධිකරණය විසින් වසර 4ක බරපතළ වැඩ සහිත සිරදඩුවමක් නියම කළා.

    මෙසේ බරපතළ වැඩ සහිත සිරදඩුවම් නියම වූ රන්ජන් රාමනායක මහතා නිරෝධායනය සඳහා පල්ලන්සේන තරුණ වරදකරුවන්ගේ අභ්‍යාස විද්‍යාලය වෙත ගෙනයන ලද බව බන්ධනාගාර මාධ්‍ය ප්‍රකාශකවරයා මාධ්‍ය වෙත පැවසුවා.

    රන්ජන් රාමනායක මහතාට බරපතළ වැඩ සහිත සිරදඩුවම් නියම කිරීම මේ වන විට දේශපාලන සහ සමාජයීය වශයෙන් බරපතළ සංවාදයකට ලක්ව තිබෙනවා. මේ ඒ ගැන ඇතුළුව රන්ජන් රාමනායක මහතාගේ මන්ත්‍රීධුරයේ අනාගතය ගැන විමසා බැලීමක්.

    සිදුවීමේ මුල

    2017 අගෝස්තු 21 වන දින කොළඹ අග්‍රාමාත්‍ය නිල නිවස ඉදිරිපිටදී රන්ජන් රාමනායක රාජ්‍ය අමාත්‍යවරයා විසින් කරන ලද ප්‍රකාශය අධිකරණයට අපහාස කිරීමක් බවට චෝදනා කරමින් විශ්‍රාමික යුද හමුදා නිලධාරියෙකු වන සුනිල් පෙරේරා විසින් ඉදිරිපත් කළ පැමිණිල්ලක් අනුව නීතිපතිවරයා විසින් ඔහුට එරෙහිව අධිකරණයට අපහාස කිරිමේ චෝදනා යටතේ නඩු පවරනු ලැබුවා. දීර්ඝ කාලයක් තිස්සේ විභාග වූ එම නඩුවේ තීන්දුව අද (12) දින ශ්‍රේෂ්ඨාධිකරණයට විසින් ප්‍රකාශයට පත් කළා.

    මෙහිදී සිය තීන්දුව ප්‍රකාශයට පත් කරමින් විනිසුරු මඬුල්ලේ සභාපති සිසිර ද ආබෲ විනිසුරුවරයා මෙසේ සදහන් කළා.

    2017 අගෝස්තු 21 වනදා අරලියගහ මන්දිරය අසලදී මාධ්‍ය හමුවේ, අධිකරණ විනිසුරුවරුන් සහ නීතිඥවරුන් සම්බන්ධයෙන් කළ ප්‍රකාශයක් මගින් අධිකරණයට අපහාසයක් සිදුවී ඇතැයි පැමිණිල්ල විසින් සාධාරණ සැකයෙන් ඔබ්බට ඔප්පු කොට ඇති බැවින් එකී චෝදනාවට විත්තිකාර රන්ජන් රාමනායක මහතා වරදකරු කරන බවයි.

    විත්තිකරු විසින් එම ප්‍රකාශය සිදුකර ඇත්තේ, චේතනාන්විතව බවත් නඩු විභාගයෙන් පසුව අධිකරණයෙන් නික්ම යන අවස්ථා කිහිපයකදීම ඔහු කළ ප්‍රකාශ මගින් තහවුරු වී ඇතැයි ද සභාපති විනිසුරුවරයා තීන්දුවෙන් දැනුම් දුන්නා.

    රන්ජන් කියන කතාව

    රන්ජන් රාමනායක මහතා පසුගිය කාලය පුරාම දේශපාලන වශයෙන් බරපතළ ගැටුම් හා විවාද ඇතිකර ගත්තා. මේ තත්ත්වය තුළ ඔහු අද තීන්දුව ප්‍රකාශයට පත් කිරීමෙන් පසු සිදුකළ ප්‍රකාශය ද සුවිශේෂයි.

    තීන්දුවෙන් පසුව බන්ධනාගාර නිලධාරීන් විසින් අධිකරණයෙන් පිටතට රැගෙන යන අවස්ථාවේ මාධ්‍යවේදීන් හමුවේ අදහස් දැක්වූ රංජන් රාමනායක මන්ත්‍රීවරයා මෙසේ ප්‍රකාශ කළා.

    රන්ජන් රාමනායක අධිකරණයට යාමට ප්‍රථමව සිය මුහුණු පොතේ පළකළ ඡායාරූපයක්

    මම තිත්ත ඇත්ත කතා කළේ. හොරකං කළේ නෑ. පිල්ලෙයාන්ව මේ ආණ්ඩුවෙන් එලියට දැම්මා. මාව ඇතුළට දානවා. මම කුඩු ගංජා විකුණලා නෑ මම සටන දිගටම ගෙනියනවා. සටන නවත්තනේ නැතිව දිගටම ගෙනියමු. මේ දුෂිත ආණ්ඩුව පලවාහරින්න. මම කියපු සියලුම දේවල් ඇත්ත කිසිදෙයක් ඉල්ලා අස්කරගන්නේ නෑ මුන් ඇත්තටම හොරු. හොරු ගැන කිව්වයි කියල මංවගේ මිනිහෙක්ව ඇතුලට දානවා. මම සත පහක් හොරකන් කරලා නෑ හම්බවුන පඩි සල්ලිත් ජනතාවට බෙදුවාමේ හොරකං කරලා කුඩු විකුණලා නෙමෙයි. මම ආණ්ඩුවට කියනවා පිල්ලෙයාන්ව දැම්ම වගේ දුමින්ද සිල්වාවත් එලියට දාන්න. කුඩු කාරයෝ ගැන කිව්වයි කියල මාව ඇතුළට දාන්නේ. අපි බය නෑ මම තනිකඩයා. මැරුණත් බය නෑ. තිත්ත ඇත්ත කතා කරනවා. සමාව ඉල්ලන්නේත් නෑ. කුඩු විකුණලා නෑ, එතනෝල් ගෙනල්ල නෑ, උන් ගැන කිව්වයි කියල මේ ඇතුළට දැම්මේ,” යනුවෙන් ද ඔහු පැවසුවා.

    ආන්දෝලනයට හේතු

    රන්ජන් රාමනායක මහතා අධිකරණයට අපහාස කළ බවට චෝදනා ලැබ සිරදඩුවම් නියම වීම බන්ධනාගාර ගත කිරීම සමග එය වඩාත් වැඩි සමාජ අවධානයක් දිනා ගැනීමට ඒ හා ආසන්න තවත් සුවිශේෂ දේශපාලන සිදුවීමක් හේතු වුණා. ඒ පාර්ලිමේන්තු මන්ත්‍රී ජෝශප් පරරාජසිංහම් ඝාතනය සම්බන්ධයෙන් අධි චෝදනා පත් නිකුත්කර රිමාන්ඩ් බන්ධනාගාරගතකර සිටින පිල්ලෙයාන්ට එරෙහිව ඇති නඩුව නීතිපති විසින් ඉදිරියට ගෙන නොයන බවට ඊයේ (11) මඩකලපුව අධිකරණයට දැනුම්දී ඇති අවස්ථාවක වීමයි.

    මේ සම්බන්ධයෙන් සමාජමාධ්‍යවල දක්වන අදහස වන්නේ ..රන්ජන් රාමනායක මහතාට සිර දඬුවම් නියම කෙරෙන්නේ පාර්ලිමේන්තු මන්ත්‍රී ජෝශප් පරරාජසිංහම් ඝාතනය සම්බන්ධයෙන් අධි චෝදනා පත් නිකුත්කර රිමාන්ඩ් බන්ධනාගාරගතකර සිටින පිල්ලෙයාන්ට එරෙහිව ඇති නඩුව නීතිපති විසින් ඉදිරියට ගෙන නොයන බවට ඊයේ මඩකලපුව අධිකරණයට දැනුම්දී ඇති අවස්ථාවක වීම හාස්‍යජනක බවයි‘‘

    රන්ජන්ගේ මන්ත්‍රීධුරයට කුමක් වෙයිද ?

    බරපතළ වැඩ සහිත සිරදඩුවමක් නියම සිටින රන්ජන් රාමනායක මහතා පසුගිය පාර්ලිමේන්තු මැතිවරණයට තරග කළේ සමගි ජන බලවේගයෙන්. ඒ ගම්පහ දිස්ත්‍රික්කයට. එහිදී ඔහු මනාප ලැයිස්තුවේ 01වැනි ස්ථානයට පත් වීම විශේෂත්වයක්.

    මේ අතර රන්ජන් රාමනායක මහතාගේ මන්ත්‍රීධුරය සම්බන්ධයෙන් නීති ක්ෂේත්‍රයේ විවිධ මත පළ වෙනවා.

    මේ පිළිබඳව මත පළ කරන නීති විශේෂඥයන් පවසන්නේ යම් පාර්ලිමේන්තු මන්ත්‍රීවරයෙකුගේ මන්ත්‍රීධුරය අහෝසිවන්නේ ඔහුගේ ප්‍රජා අයිතිය අහෝසිවීම හේතුවෙන් බවයි. ඒ බව ව්‍යවස්ථාවේ 89 (ඈ) වගන්තියේ සඳහන් වන බවයි ඔවුන් කියන්නේ.

    89 (ඈ) වගන්තියේ මෙසේ සදහන් වෙනවා.

    “යම්කිසි තැනැත්තෙක් අවුරුදු දෙකකට නොඅඩු කාලයක් බන්ධනාගාරගත කිරීමෙන් දඬුවම් කළ හැකි වරදකට කවර වූ හෝ අධිකරණයක් විසින් වරදකරු කරනු ලැබීමෙන් පසුව නියම කරන ලද හය මාසයකට නොඅඩු කාලයකට කවර වූ හෝ ආකාරයක බන්ධනාගාරගත කිරීමේ දඬුවමක් විඳිමින් සිටී නම් නැතහොත් ගත වූ සත් අවුරුදු කාලය තුළ ඒ දඬුවම සම්පූර්ණයෙන් ම විඳ සිටියේ නම් නැතහොත් මරණ දණ්ඩනයට යටත්ව සිටී නම් නැතහොත් එවැනි දණ්ඩන නියමයක් ක්‍රියාවේ යෙදවීම වෙනුවට හය මාසයකට නොඅඩු කාලයකට බන්ධනාගාරගත කිරීමේ දඬුවමක් විඳිමින් සිටී නම් නැතහොත් ගත වූ සත් අවුරුදු කාලය තුළ ඒ දඬුවම සම්පූර්ණයෙන් විඳ සිටියේ නම් ඒ තැනැත්තා ජනාධිපතිවරයා තෝරා පත් කිරීමේ ඡන්ද විමසීමක දී හෝ පාර්ලිමේන්තු මන්ත්‍රීවරයන් තෝරා පත් කිරීමේ මැතිවරණයක දී හෝ ඡන්ද හිමියකු වීමට හෝ ජනමත විචාරණයක දී ඡන්දය දීමට හෝ සුදුස්සෙක් නොවන්නේ ය: එසේ වුව ද, මේ ඡේදය යටතේ නුසුදුස්සකු වූ කවර වූ හෝ තැනැත්තකුට කොන්දේසි රහිත සමාවක් දෙන ලද්දේ නම්, ඒ සමාව දුන් දිනයේ සිට ඒ නුසුදුසුකම නැති වී යන්නේ ය.”

    එහෙත් නීතිඥයින් අතර මේ ගැන මත දෙකක් තිබෙනවා. අධිකරණයට අපහාස කිරීමේ වරදට දිය යුතු දඬුවමට උපරිම හා අවම කාලයක් නීතියේ නිශ්චිතව සඳහන් කර නොමැති බැවින් මෙම වගන්තියට එය අදාළ නොවන බව ඇතැම් නීති විශේෂඥයන් පවසන අතර, තවත් නීති විශාරදයන් පවසන්නේ මෙම තීන්දුවත් සමඟම රන්ජන් රාමනායකගේ මන්ත්‍රී ධුරය අහෝසිවන බවයි.

    රන්ජන් වෙනුවට කවුද ?

    වත්මන් මැතිවරණ ක්‍රමය යටතේ යම් මන්ත්‍රීවරයෙකුගේ මන්ත්‍රීධුරය අහෝසි වුවහොත් ඔහු වෙනුවට පත් වන්නේ අදාළ මන්ත්‍රීවරයා මහ මැතිවරණයට තරග කළ දිස්ත්‍රික්කයේ ඔහු තරග කළ පක්ෂයට හෝ ස්වාධීන කණ්ඩායමට අයත් මනාව ලැයිස්තුවේ ඊළට මනාප දිනාගත් පුද්ගයායි.

    ඒ අනුව පසුගිය මහ මැතිවරණයෙන් සමගි ජන බලවේගයේ ගම්පහ දිස්ත්‍රික් මනාප ලැයිස්තුවේ ඊළගට සිටින්නේ (05 වැනි තැන) අජිත් මාන්නප්පෙරුම මහතායි.

    ත්‍රිපුද්ගල විනිසුරු මඩුල්ලක් මෙම තීන්දුව ලබා දුන් හෙයින් රන්ජන් රාමනායක මහතාට අදාළ තීන්දුව පිළිබඳව නැවත විමසීමක් කරන මෙන් ඉල්ලා සිටීමට අවස්ථාව තිබෙන බව ද මේ අතර නීතිඥවරු පෙන්වා දෙනවා.

    අධිකරණයට අපහාස කළ බවට චෝදනා ලැබ සිරගත වූ දේශපාලනඥයින් අතර මෑත කාලීන උදාහරණය වන්නේ එස්.බී. දිසානායක මහතායි. එමෙන්ම ගලගොඩඅත්තේ ඥානසාර හිමියන් ද අධිකරණයට අපහාස කිරීම යටතේ වරදකරු බවට පත්ව තිබෙනවා.

    සැකසුම – තීක්ෂණ වෙළෙන්එගොඩ

  • රංජන්ට වසර 4ක බරපතළ වැඩ සහිත සිරදඬුවම්

    රංජන්ට වසර 4ක බරපතළ වැඩ සහිත සිරදඬුවම්

    අධිකරණයට අපහාස කළැයි  චෝදනා ලැබු හිටපු රාජ්‍ය අමාත්‍ය රංජන් රාමනායක මහතා එම චෝදනාවට වරදකරු කළ  ශ්‍රේෂ්ඨාධිකරණය ඔහුට  වසර හතරක බරපතල වැඩ සහිත සිර දඩුවම්  නියම කළේය. අද (12)  ශ්‍රේෂ්ඨාධිකරණය හමුවේ මෙම නඩුව කැඳවූ අවස්ථාවේදී මෙම දඩුවම් නියම කෙරිණි.

    සිසිරද ආබෘ, විජිත් මලල්ගොඩ, ප්‍රීතිපද්මන් සූරසේන  යන  ත්‍රි පුද්ගල විනිසුරු මඩුල්ල හමුවේ නඩුව විභාගයට ගැණිනි.

    මේ අතර සිර දඬුවම් නියම වූ, හිටපු රාජ්‍ය අමාත්‍ය රංජන් රාමනායක මහතා නිරෝධායනය සඳහා  පල්ලන්සේන තරුණ වරදකරුවන්ගේ විශෝධන පුහුණු මධ්‍යස්ථානයේ නිරෝධායන මධ්‍යස්ථානය වෙත යවන බව බන්ධනාගාර මාධ්‍ය ප්‍රකාශක (කොමසාරිස් පාලන) චන්දන ඒකනායක මහතා පැවසීය.

  • චිරාත් – අනුෂ්කා මාපිය පදවිය ලබති

    චිරාත් – අනුෂ්කා මාපිය පදවිය ලබති

    සුපිරි බොලිවුඩ් නිළි අනුෂ්කා ෂර්මා ගැහැණු ළමයෙකු බිහි කළ බව ඇගේ සැමියා වන ඉන්දීය ක්‍රිකට් නායක විරාත් කෝලි සමාජ මාධ්‍ය ඔස්සේ නිවේදනය කළේය.

    “ඔබගේ සියලු ආදරය, යාච්ඥා සහ සුබ පැතුම් වලට අපි ඔබට ස්තූතිවන්ත වෙමු,” කෝලි සිය ට්විටර් හසුරුවමින් පළ කළේය.

    තරු යුවළ 2017 දෙසැම්බර් මාසයේදී ඉතාලියේදී විවාහ වූයේ පවුල් සබඳතාවකිනි

    “අනුෂ්කා සහ බබා යන දෙදෙනාම නිරෝගීව සිටින අතර අපගේ ජීවිතයේ මෙම නව පරිච්ඡේදය ආරම්භ කිරීමට ලැබීම අප ලද භාග්‍යයක් වේ” යැයි ඉන්දීය නායකයා සිය මිලියන සංඛ්‍යාත රසිකයින්ට ට්විටර් පණිවුඩයක් ලියා තිබේ.

    ප්‍රවෘත්තිය ප්‍රකාශයට පත් කිරීමෙන් මිනිත්තු 24 ක් ඇතුළත කෝලිගේ ඉන්ස්ටග්‍රෑම් පෝස්ටයට ලයික් මිලියනයක් ලැබුණි.

    අනුෂ්කා ෂර්මා යනු බොලිවුඩයේ වඩාත්ම සාර්ථක නිළියකි. ඇයගේ ජනප්‍රියත්වයට පී.කේ., සුල්තාන්, දිල් ධදක්නේ ඩෝ සහ ඒ දිල් හයි මුෂ්කිල් ඇතුළත් වේ. ඇය මෑතකදී විවේචනාත්මකව පිළිගත් අපරාධ වෙබ් මාලාවක් වන පාටාල් ලොක් නිෂ්පාදනය කළාය.

    ලොව දක්ෂතම පිතිකරුවෙකු වන කෝලි ඕස්ට්‍රේලියාවේ සිට ආපසු සිය රට බලා පිටත්ව ගියේය. ඔහු දුර්ලභ පීතෘත්ව නිවාඩු ලබාගෙන තීරණාත්මක තරග මාලාවෙන් ඉවත්ව ගියේය.

    ක්‍රීඩා තරු සහ බොලිවුඩයේ ජනප්‍රිය පුද්ගලයින් ඇතුළු කිහිප දෙනෙකු මෙම යුවළට සමාජ මාධ්‍ය ඔස්සේ සුබ පැතුම් එක් කළහ

  • හොඳම හා නරකම විලාසිතා ප්‍රවණතා 12 මෙන්න !

    හොඳම හා නරකම විලාසිතා ප්‍රවණතා 12 මෙන්න !

    කාන්තා විලාසිතා ලෝකය තරම්ම පැරණි වන අතර වසර ගණනාවක් පුරා විවිධ වෙනස්කම් වලට භාජනය වී ඇත. ස්වාභාවිකවම, අතීතයේ දී විස්මිත යැයි සැලකූ සමහර ප්‍රවණතා දැන් දැඩි ලෙස ප්‍රතික්ෂේප කිරීමට ලක්ව ඇත. 

    නමුත් සැම විටම එය එසේ නොවේ. පැරණි විලාසිතා තවමත් අලංකාර ලෙස සලකනු ලබන සමහර කාන්තාවන් තවමත් ඒවා අත්හදා බැලීමෙන් සතුටක් ලබන අතර පැරණි ප්‍රවණතාවන්ට නව ජීවයක් ලබා දේ. 

    මේ තත්ත්වය තුළ පසුගිය කාලයේ අතිෂය ජනප්‍රිය වූ ‘හොදම විලාසිතා‘ සහ නරකම විලාසිතා රැසක් අපි විමසා බලමු.

    හොඳම : මිනිස්කර්ට්ස් / Miniskirts – 60 දශකයේ මැද භාගයේ කුඩා නමුත් ඉතා වැදගත් විලාසිතා විප්ලවයක් සිදු කළ ලන්ඩන්හි නිර්මාණකරුවෙකු වන මේරි ක්වාන්ට්ට අපි සැවොම ස්තූතිවන්ත වෙමු. Miniskirts නොමැතිව අප සිටින්නේ කොහේද?  Miniskirts ඇගළු විට ඉතා අලංකාර පෙනුමක්, උණුසුම් බවක් දැනෙන අතර එය පුරුෂයින් හා ස්ත්‍රීන් විසින් එක සේ අගය කරති.

    මෙතෙක් පැවති හොඳම හා නරකම විලාසිතා ප්‍රවණතා 12 |  ඇගේ අලංකාරය

    නරකම : Cage crinolines – නවීන විලාසිතාව නිසා Cage crinolines ඉතා ආකර්ෂණීය පෙනුමක් ඇති කරයි. නමුත් අද දවසේ ? ඔහ්, නෝනාවරුනි, එය මෙතෙක් පැවති නරකම විලාසිතාවයි. Cage crinolines විලාසිතාවෙන් සැරසුණු විට ඔබට නිසියාකාරව ගමන් කළ නොහැකිවා පමණක් නොව, සාමාන්‍යයෙන් වාඩිවීමට හෝ වෙනත් පුද්ගලයින් සමඟ සමීප වීමට පවා නොහැකි ඇවිදීමේ හා කතා කිරීමේ ව්‍යසනයක් බවට පත්වේ.

    මෙතෙක් පැවති හොඳම හා නරකම විලාසිතා ප්‍රවණතා # 2 |  ඇගේ අලංකාරය

    හොඳම : The little black dress –The little black dress විලාසිතාව / ඇඳුම සැබවින්ම පරාජය කළ නොහැක. යුග ගණණක් පුරා කාන්තාවන් අතර අතිෂයින් ජනප්‍රිය මෙම විලාසිතාව කාන්තාවන්ගේ වැඩිම තෝරා ගැනීමක් ඇති විලාසිතා අතර ඉදිරියෙන්ම සිටී.

    මෙතෙක් පැවති හොඳම හා නරකම විලාසිතා ප්‍රවණතා # 3 |  ඇගේ අලංකාරය

    නරකම : Bare midriffs – ඔබට සුන්දර නාභියක් සහ උදරයක් ඇති පමණින් ඔබ ඒවා පෙන්විය යුතු යැයි අදහස් නොකෙරේ. සමහර අය සිතන්නේ පැතලි නොවූව ද ඔවුන්ගේ මැදපෙළ පෙන්විය හැකි බවයි!  ඔබ මැඩෝනා හෝ මිලී සයිරස් නම් වේදිකාවෙන් එය ඇද දැමිය හැකිය. නමුත් සැබෑ ජීවිතයේ ?

    12 හොඳම හා නරකම විලාසිතා ප්‍රවණතා # 4 |  ඇගේ අලංකාරය

    හොඳම : Leggings – ලෙගින්ග්ස් බොහෝ හේතු නිසා පුදුම සහගතය. එය ඕනෑම වයසක කාන්තාවකට කදිමට ගැළපෙන අතර ඕනෑම අවස්ථාවකට ද කදිමට ගැළපේ. ඕනෑම ඇඳුමක් සමඟ ඒවා මිශ්‍ර කරන්න හැකිවීම ද සැලකිය යුතු වාසියකි.

    මෙතෙක් පැවති හොඳම හා නරකම විලාසිතා ප්‍රවණතා 12 |  ඇගේ අලංකාරය

    නරකම : Sci-fi dresses – අපව වැරදියට තේරුම් ගන්න එපා, අපි ස්ටාර් වෝර්ස් යොමුවකට කැමතියි, නමුත් එදිනෙදා ඇඳුම් සම්බන්ධයෙන් නොවේ. ඕනෑවට වඩා ලෝහ ඔබේ සමට හොඳ නැත!

    මෙතෙක් පැවති හොඳම හා නරකම විලාසිතා ප්‍රවණතා # 2 |  ඇගේ අලංකාරය

    හොඳම : කුඩා ලෙදර් ජැකට් Little leather jacket– එය පිළිගන්න, කුඩා ලෙදර් ජැකට් යනු ඔබේ අල්මාරියේ වඩාත්ම ආදරණීය හා විවිධාකාර විලාසිතාව වේ. ඔබට ඒවා ඕනෑම විලාසිතාවක් සමග පැළඳිය හැකිය. ඔබේ අවසාන මොහොතේ පෙනුම එකට ඇද ගත හැකි අතර පිටත සිසිල් වන විට ඔබව උණුසුම්ව තබා ගත හැකිය.

    මෙතෙක් පැවති හොඳම හා නරකම විලාසිතා ප්‍රවණතා # 3 |  ඇගේ අලංකාරය

    නරකම : Platform sneakers – 90 දශකයේ Platform sneakers පැමිණි තැනම පැවතිය යුතුය. සියලු ආකාරයේ පිස්සු දේවල් එවකට උපත ලැබීය. නමුත් අපි දැන් ඒවා ඉවසිය යුතුය!

    12 හොඳම හා නරකම විලාසිතා ප්‍රවණතා # 4 |  ඇගේ අලංකාරය

    හොඳම : Grecian draping – පුරාණ ග්‍රීසියේ සිට අප වෙත පැමිණි සම්භාව්‍ය ඇඳුම ඇඳීමට ඔබ තෝරා ගන්නේ නම් කිසිවක් වැරදිය නොහැක. Grecian draping මඟින් ඔබට අලංකාර, සැබවින්ම සිත් ඇදගන්නා සුළු පෙනුමක් ලබා දෙයි. කීර්තිමත් පුද්ගලයින් මෙම විලාසිතාවට එතරම් ආදරය කරන්නේ ඒ නිසා විය හැකිය!

    මෙතෙක් පැවති හොඳම හා නරකම විලාසිතා ප්‍රවණතා 12 |  ඇගේ අලංකාරය

    නරකම : කෝර්සෙට් Corsets – කෙතරම් හොඳ පෙනුමක් තිබුණත් (එම කෘතිම කුඩා ඉණ), කෝර්සෙට් යනු විලාසිතා ඉතිහාසයේ නරකම විලාසිතාවේ නව නිපැයුම් වලින් එකකි. එමගින් කාන්තාවන්ගේ ශරීර විකෘති කොට, හුස්ම ගැනීමට අපහසු වූ අතර, සමහර විට අභ්‍යන්තර අවයව මිරිකීමෙන් කාන්තාවන්ට ඒවා පැළඳීම නිසා සැබෑ සෞඛ්‍ය ගැටලු ඇති විය.

    මෙතෙක් පැවති හොඳම හා නරකම විලාසිතා ප්‍රවණතා # 2 |  ඇගේ අලංකාරය

    හොඳම : Basic white T-shirt – මෙම මූලික අයිතමය ඕනෑම විලාසිතාවක කොටසක් විය හැකිය. එය බයිසිකලයක ඇඳුම, සරල ජීන්ස් හෝ ක්ලැසික් ජැකට් සමඟ මිශ්‍ර කරන්න. එය කුමක් වුවත් ඔබගේ අල්මාරියේ තිබිය යුතුම දේවලින් එකකි.

    මෙතෙක් පැවති හොඳම හා නරකම විලාසිතා ප්‍රවණතා # 3 |  ඇගේ අලංකාරය

    නරකම : –  Overalls – අළුත්වැඩියා කිරීම හෝ උයනේ වැඩ කිරීම හැර වෙනත් දෙයක් සඳහා යමෙකුට ඇඳුම් ඇඳීමට අවශ්‍ය ඇයි ? මෙය එදිනෙදා ජීවිතයට ගැළපෙන්නේ ම නැත.

    12 හොඳම හා නරකම විලාසිතා ප්‍රවණතා # 4 |  ඇගේ අලංකාරය

    සැකසුම – තුෂාධවි

  • ශ්‍රී ලංකාවට නව ශාරීරික යෝග්‍යතා කළමනාකරුවෙක්

    ශ්‍රී ලංකාවට නව ශාරීරික යෝග්‍යතා කළමනාකරුවෙක්

    ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතන පුහුණු අංශයේ ශාරීරික යෝග්‍යතා කාර්යය සාධන කළමනාකරු වශයෙන් දකුණු අප්‍රිකානු ජාතික ග්‍රාන්ට් ලූඩන්ව පත් කිරීමට ශ්‍රී ලංකා ක්‍රිකට් පාලනාධිකාරිය පියවර ගෙන තිබේ. ඒ අනුව ලූඩන්ගේ සේවය අද (ජනවාරි 11) සිට බලපැවැත්වෙනු ඇත.

    ශක්තීන් සහ තත්ත්වාරෝපණය කිරීම පිළිබඳ විශේෂඥයකු වන ලූඩන් ජාතික තලයේ පසුවන ක්‍රීඩකයින්ගේ ශක්තීන් වර්ධනය කිරීම කෙරෙහි අවධානය යොමු කරන අතරම ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය යටතේ පවතින සමස්ථ කණ්ඩායම් සියල්ලෙහි ශාරීරික යෝග්‍යතා කාර්යය සාධනය භාරව කටයුතු කරනු ඇත.

    ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය සමඟ කොන්ත්‍රාත්තුවකට එළැඹීමට ප්‍රථම 2014 වසරේ සිට 2019 වසර දක්වා වූ කාල සීමාවේදී ලූඩන් පාකිස්තානු ක්‍රිකට් කණ්ඩායමේ ශක්තීන් සහ තත්ත්වාරෝපණය කිරීම පිළිබඳව මෙන්ම පන්දු රැකීමේ පුහුණුකරු ලෙසද කටයුතු කර තිබේ. පාකිස්තානු ක්‍රිකට් කණ්ඩායම 2017 වසරේදී චැම්පියන්ස් කුසලාන දිනා ගන්නා අවස්ථාවේදී කණ්ඩායමේ පන්දු රැකීමේ අංශය දියුණු කර ගැනීම සඳහා ලූඩන් වැඩි දායකත්වයක් දක්වනු ලැබීය. ඊට අමතරව ඔහු 2008 සහ 2013 කාල සීමාවේදී බංග්ලාදේශ ක්‍රිකට් ආයතනයේ ශක්තීන් සහ තත්ත්වාරෝපණය කිරීම පිළිබඳව පුහුණුකරු ලෙසින් කටයුතු කරමින් අත්දැකීම් සම්භාරයක් ලබා ඇති අයෙකි.

    ජාත්‍යන්තර අත්දැකීම් වලට අමතරව ලූඩන් දකුණු අප්‍රිකානු පළමු පෙළ ක්‍රිකට් තරගාවලිය නියෝජනය කරනු ලබන නෂුවා ටයිටෑන්ස් සහ බී.පී.එල්. ක්‍රිකට් තරගාවලිය නියෝජනය කරනු ලබන ඩකා ග්ලැඩියේටර් කණ්ඩායමේද ශක්තීන් සහ තත්ත්වාරෝපණය කිරීම පිළිබඳ පුහුණුකරු ලෙස කටයුතු කර තිබේ.

    ක්‍රීඩා හා ව්‍යායාම තාක්ෂණය පිළිබඳව උපාධිධාරියකු වන ලූඩන් දකුණු අප්‍රිකානු ක්‍රිකට් ආයතනය විසින් පවත්වන ලද තෙවැනි මට්ටමේ ක්‍රිකට් පුහුණු සහතිකයද ලබා තිබේ. ශ්‍රී ලංකා ක්‍රිකට් ඉහළ කාර්යය සාධන මධ්‍යස්ථානය වෙත ලූඩන්ගේ සේවය ලබා ගැනීම පිළිබඳව අදහස් දක්වා සිටින ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතන ප්‍රධාන විධායක නිලධාරී ඈෂ්ලී ද සිල්වා මහතා, “අපේ ක්‍රිකට් පද්ධතියට අපි ලූඩන්ව සාදරයෙන් පිළිගන්නවා. ඔහුගේ පැමිණීම හරහා ජාතික කණ්ඩායමේ මෙන්ම නැගී එන ක්‍රීඩකයින්ගේ ශක්තීන් සහ තත්ත්වාරෝපණය කිරීම සම්බන්ධව වැඩි යමක් එක් කළ හැකි බව අපි විශ්වාස කරමු” යැයි සඳහන් කර සිටියේය.

  • මහා පරිමාණ බදු හොරුන්ගේ නම් ජනමාධ්‍ය මගින් රටට කියන්න යයි

    මහා පරිමාණ බදු හොරුන්ගේ නම් ජනමාධ්‍ය මගින් රටට කියන්න යයි

    විශාල වශයෙන් බදු නොගෙවන ආයතනවල ලේඛනය ඉදිරියේදී ජනමාධ්‍ය මඟින් මහජනතාව වෙත ප්‍රසිද්ධ කිරීමට කටයුතු කරන බව රජයේ ගිණුම් පිළිබඳ කාරක සභාවේදී පසුගිය (06 දා) තීරණය විය.

    එලෙස බඳු නොගෙවන ආයතනවල ලේඛනය මාස 02 ක් තුළ කාරක සභාවට ලබාදෙන ලෙස එහි සභාපති මහාචාර්ය තිස්ස විතාරණ මහතා දේශීය ආදායම් දෙපාර්තමේන්තුවට දැනුම් දුන්නේය.

    අයකර ගත හැකි බඳු කඩිනමින් අයකර ගැනීමට පියවර ගත යුතු බවත්, එමඟින් රාජ්‍ය ආදායම ඉහළ නැංවිය හැකි බවත් විගණකාධිපති ඩබ්ලිව්.පී.සී වික්‍රමරත්න මහතා කාරක සභාවේදී කීවේය.

    දේශීය ආදායම් නඩු රැසක් අධිකරණවල ගොඩගැසී ඇතිබවත්, ඒවා කඩිනමින් විසඳීම සඳහා අධිකරණ අමාත්‍යාංශය සහ මුදල් අමාත්‍යාශය එක්ව වැඩපිළිවෙලක් ක්‍රියාත්මක කිරීමේ අවශ්‍යතාවයද රජයේ ගිණුම් පිළිබඳ කාරක සභාවේදී සාකච්ජා විය.

    හිඟ බදු නීතිය කඩිනමින් සංශෝධනය කිරීමේ අවශ්‍යතාවය දේශීය ආදායම් කොමසාරිස් ජනරාල් එච්.එම්.සී බණ්ඩාර මහතා කාරක සභාවේදී මතුකළ අතර ,ඊට අදාළ යෝජනා වහාම ලබා දෙන මෙන් සභාපති මහාචාර්ය තිස්ස විතාරණ මහතා දේශීය ආදායම් කොමසාරිස් දෙපාර්තමේන්තුවට දැනුම් දුන්නේය.

    බදු ගෙවන්නන්ගෙන් අයවිය යුතු හිඟ බදු හා දඩ මුදල් පිළිබඳ විශේෂ විගණන වාර්තාව ඊයේ රජයේ ගිණුම් පිළිබඳ කාරක සභාවේදී සාකච්ජා විය.  

    මේ අවස්ථාවට, රාජ්‍ය අමාත්‍ය ලසන්ත අලගියවන්න, පාර්ලිමේන්තු මන්ත්‍රීවරයන් වන බි.වයි.ජි රත්නසේකර, වෛද්‍ය උපුල් ගලප්පත්ති, වීරසුමන වීරසිංහ, අශෝක් අබේසිංහ, තිස්ස අත්තනායක, නිරෝෂන් පෙරේරා, කාදර් මස්තාර්, ආචාර්‍ය හරිනි අමරසූරිය යන මහත්ම මහත්මීහු ඇතුළු රාජ්‍ය නිලධාහු පිරිසක් සභභාගි වූහ.

  • සීනි  බදු සංශෝධනය: රජයේ මුදල් පිළිබඳ කාරක සභාව වාර්තාවක් කැදවයි

    සීනි බදු සංශෝධනය: රජයේ මුදල් පිළිබඳ කාරක සභාව වාර්තාවක් කැදවයි

    සීනි බදු සංශෝධනයේදී  එහි වාසිය පාරිභෝගිකයන්ට   හිමි වන්නේද යන්න පිළිබඳව  අපක්ෂපාතී සහ විමර්ශනාත්මක වාර්තාවක් පාර්ලිමේන්තුවේ  රජයේ මුදල් පිළීබඳ කාරක සභාව වෙත ලබා දෙන ලෙස  එම කාරක සභාවේ සභාපති  නීතිඥ අනුර ප්‍රියර්ශන යාපා මහතා   මුදල් අමාත්‍යංශ නිලධාරීන්ට  දැනුම් දුන්නේය.

    මුදල් අමාත්‍යංශය විසින්   2020 ඔක්තෝබර් මස 13 පැනවූ අංක 2197/12 දරන ගැස‍ට් පත්‍රය මඟින් ආනයනිත සීනි කිලෝග්‍රෑමයක් සඳහා එතෙක් රු.50.00 ක් ලෙස පැවති බදු මුදල ශත  25 ක් තෙක්   සංශෝධනය  කිරීම මඟින්  එහි වාසිය පාරිභෝගිකයන්ට  කිසිසේත්ම නොලැබී ගිය බවද  මුදල් කාරක සභාවේ සභාපතිවරයා මෙහිදී අවධාරණය කළේය.

    මේ අතර, ඉදිකිරීම් සඳහා ගෙන්වන යකඩ කුළුණු පිළිබඳව  බදු සංශෝධනයෙන්ද සාමාන්‍ය පාරිභෝගිකයන්ට එම නිෂ්පාදනවල වාසිය හිමිවන්නේද යන්න පිළිබඳව වාර්තාවක් කාරක සභාව වෙත ලබා දෙන සභාපතිවරයා  තවදුරටත් මුදල් අමාත්‍යංශ නිලධාරීන්ට දැනුම් දුන්නේය.

    එසේම, පවතින කොවිඩ් -19 වසංගත තත්ත්වය යටතේ මහා පරිමාණ ඉදිකිරීම් කර්මාන්තකරුවන් කිසිවිටක තමන් ලාභ ලබන බව සඳහන් නොකළද රජයේ බදු සංශෝධනවල වාසිය සැබෑවටම  හිමි විය යුත්තේ පාර්ලිමේන්තුවේ ජනවරම හිමි සාමාන්‍ය මහජනතාවට බවද රජයේ මුදල් පිළීබඳ කාරක සභාවේ සභාපතිවරයා සඳහන් කළේය.

     ඔහු මේ බව සඳහන් කළේ , පසුගිය ඔක්තෝබර් මස සිට  නිකුත් කළ මුදල් අමාත්‍යංශයට අදාළ අති විශේෂ ගැසට් පත්‍ර කිහිපයක්  පසුගියදා (05) රජයේ මුදල් පිළීබඳ කාරක සභාවේදී අවධානයට ගැනුණු අවස්ථාවේ දී ය . 

     මෙහිදී සාකච්ඡාවට ගැනුණු  වෙනත් කරුණු අතර ටින් කරන ලද දේශීය කරදිය සහ මිරිදිය මත්ස්‍ය නිෂ්පාදනය දිරිගැන්වීමට ගත යුතු පියවර,සෞඛ්‍ය පරීක්ෂණ කට්ටල සඳහා  බදු සංශෝධනය, ආරක්ෂක  මුව ආවරණ  කට්ටල සදහා සංකේතාංක සංශෝධනය  ද අයත්ව තිබිණි . එසේ වුවද ජනතාවට වඩා යහපත් දිවියක් ගත කිරීමට ඇවැසි සියලු සාධනීය වෙනස්කම් රාජ්‍ය යාන්ත්‍රණය විසින් ගත යුතු බව  සභාපතිවරයා අවධාරණය කළේය. 

  • අන්තර්ජාල අපරාධ සම්බන්ධයෙන් පරිශීලකයන් අවධානයෙන් පසුවන්න

    අන්තර්ජාල අපරාධ සම්බන්ධයෙන් පරිශීලකයන් අවධානයෙන් පසුවන්න

    මේ දිනවල සමාජ මාධ්‍ය වෙබ් අඩවි හා ඊමේල් පණිවිඩ සම්බන්ද කරනිමින් සිදුකරනු ලබන මුල්‍යමය අපරාධ සහ සමාජ මාධ්‍ය ගිණුම් වලට අනවසරයෙන් ඇතුළුවීම් සම්බන්ධයෙන් වන අපරාධවල ඉහල යෑමක් පවතින බව පොලිස් මාධ්‍ය ප්‍රකාශක, නියෝජ්‍ය පොලිස්පති අජිත් රෝහණ මහතා විසින් ප්‍රකාශකොට ඇති බව ප්‍රධාන ධාරාවේ මාධ්‍ය හරහා වාර්තාවිය.

    උද්ගතවී ඇති COVID-19 වයිරස තත්වය යොදාගනිමින් සමාජ මාධ්‍ය පරිශීලකයන් ඉලක්ක කරගනිමින් සිදුවන සයිබර් අපරාධ වන ඉහළ යාමක් පසුගිය වසරේ සිට මේ දක්වා නිරීක්ෂණය කිරීමට අප ශ්‍රී ලංකා තොරතුරු තාක්ෂණ සංගමයට හැකිවිය.

    අප ශ්‍රී ලංකා තොරතුරු තාක්ෂණ සංගමය විසින් ඉදිරිපත් කරනු ලබන අන්තර්ජාලය හරහා සිදුවන අපරාධවලින් ආරක්ෂාවී සිටීමට පරිශීලකයන්ට අවශ්‍ය තොරතුරු තාක්ෂණික මාර්ගෝපදේශන කිහිපයක් පහතින්.

    1. සමාජ  මාධ්‍ය හා ඊමේල් ගිණුම් සදහා සුරක්ෂිත වෙනත් පුද්ගලයන්ට අනුමාන කළනොහැකි මුරපද භාවිතා කිරීම.
    2. සමාජ  මාධ්‍ය ගිණුම්, ඊමේල්  ගිණුම් සදහා දෙවන සාධක සත්‍යාපනය  නොහොත් 2 factor authentication සක්‍රිය කිරීම.
    3. අනාරක්ෂිත වෙබ් අඩවි භාවිතයෙන් වැළකීම (වෙබ් ලිපිනය පටන් ගන්නේ https:// මගින්ද යන්න පරික්ෂා කිරීම) / එවැනි අනාරක්ෂිත වෙබ් අඩවි වෙත credit,debit කාඩ් තොරතුරු ඉදිරිපත් කිරීමෙන් වැළකීම.
    4. COVID-19,Free Data,Free Laptop ආදී විවිධ ස්වරූපයෙන් WhatsApp යෙදුම හා ඊමේල් හරහා පැමිණෙන පණිවිඩ ක්ලික් කිරීමට යාමෙන් වැළකීම / එවැනි යොමු වෙත ඔබගේ දුරකථන අංකයද ඇතුළුව අනෙකුත් ඔබගේ පෞද්ගලික තොරතුරු ඇතුලත් කිරීමට යාමෙන් වැළකීම / එවැනි පණිවිඩ වල එවනු ලබන ගොනු (attachments) භාගත කරගැනීමට යාමෙන් වැළකීම
    5. නොදන්නා  යෙදුම් හෝ මෘදුකාංග ජංගම දුරකතනයට හෝ පරිගණකයට ස්ථාපනය කරගැනීමෙන් වැළකීම / පරිගණක ක්‍රීඩා හා මෘදුකාංග ලබාගැනීමේදී නිළ වෙබ් අඩවි වලින් මුදල් ගෙවා පමණක් ලබාගැනීම.
  • චරිත දෙකක් ගැන ජනපති ගෝඨා කළ ආන්දෝලාන්තමක කතාව

    චරිත දෙකක් ගැන ජනපති ගෝඨා කළ ආන්දෝලාන්තමක කතාව

    බලය තිබියදී ගමට නොයන දේශපාලන චර්යාව වෙනස් කළ බව ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා පවසයි. විපක්ෂයේ සිට හඳුනාගත් ජනතා ගැටළුවලට විසඳුම් දී ගමට තිරසාර සංවර්ධනයක් උදා කරන බව ජනාධිපතිවරයා කියා සිටී.

    සිදුකර ඇති වැරදිවලට දඬුවම්දීම නීතියට පැවරී ඇති කාර්යභාරයකි. ඊට මැදිහත් වී කලින් රජය කළාත් මෙන් දේශපාලන පළිගැනීම් කිරීමට තමා සූදානම් නැතැයි ජනාධිපති සඳහන් කරයි. ජනතාව අතරට වැරදි මත ගෙන යන්නේ නැතිව සාධාරණව දේශපාලනයේ නිරත වන්නැයි ජනාධිපතිවරයා විපක්ෂයට කියා සිටී.

    මහා සංඝරත්නය ඇතුළු ජනතාව ජනාධිපතිවරයා වීමට පෙර සිටි ආරක්ෂක ලේකම්වරයාගේ භූමිකාව අපේක්ෂා කරති. පිත්තල හන්දියේදී එල්ටීටීඊ ත්‍රස්තවාදීහු තමා ඉලක්ක කරගෙන මරාගෙන මැරෙන බෝම්බ ප්‍රහාරයක් එල්ල කළහ. එය සිදු කළ ත්‍රස්ත නායකයාට මුහුණපෑමට සිදු වූ ඉරණම ජනතාව දනිති. නන්දසේන ගෝඨාභය රාජපක්ෂ හෝ ගෝඨාභය රාජපක්ෂ හෝ යන චරිත දෙකෙන් ඕනෑම චරිතයකට  සූදානම් වුවත්  විපක්ෂය මෙන් පාදඩ දේශපාලනයකට  සූදානම් නැති බව ජනාධිපතිවරයා කියා සිටී.

    අද (09) උදෑසන අම්පාර, උහන, ලාතුගල ගම්මානයේ පැවති  “ගම සමග පිළිසඳර” වැඩසටහනට සහභාගීවෙමින් රාජපක්ෂ මහතා මේ බව සඳහන් කළේය.  ජනාධිපතිවරයා සහභාගී වූ “ගම සමග පිළිසඳර” පස්වන වැඩසටහන මෙයයි.

    2020 සැප්තැම්බර් මස 25 වැනි දින පළමු වැඩසටහන බදුල්ල, හල්දුම්මුල්ල ප්‍රාදේශීය ලේකම් කොට්ඨාසයේ වෙලංවිට ගම්මානයෙන් ආරම්භ විය. වැඩසටහනේ දෙවැන්න මාතලේ දිස්ත්‍රික්කයේ විල්ගමුව ප්‍රාදේශීය ලේකම් කොට්ඨාසයට අයත් හිඹිලියාකඩ, තෙවැන්න බලංගොඩ ඉඹුල්පේ, රාවණාකන්ද සහ සිව්වැන්න කැබිතිගොල්ලෑව කණුගහවැව ගම්මානවලදී පැවැත්විණ.

    අද පිළිසඳර සඳහා අම්පාර නගරයේ සිට කි.මි 24ක් දුරින් පිහිටි උහන ප්‍රා දේශීය ලේකම් බල ප්‍රදේශයේ ලාතුගල ගම්මානය තෝරාගෙන තිබිණ. ජන හමුව වෑරැන්කැටගොඩ, ලාතුගල ප්‍රාථමික විද්‍යාල භූමියේ දී පවත්වනු ලැබීය. උහන, දමන, ගලපිටගල, ගොනාගොල්ල, පදියතලාව, දෙහිඅත්තකණ්ඩිය, මහියංගනය, බණ්ඩාරදූව, මහකණ්ඩිය, බොක්කබැද්ද ඇතුළු ගම්මාන රැසක ජනතාව සිය දුක්ගැනවිලි ජනාධිපතිවරයාට දැනුම් දීම සඳහා රැස්ව සිටියහ.

    ලාතුගල ගම්මානයේ විශාලත්වය වර්ග කි.මි 09කි. ඌව වෙල්ලස්ස කැරැල්ලෙන් දිවි බේරාගෙන පැමිණි පවුල් 15ක පදිංචියත් සමග ජනාවාසය ආරම්භ වී ඇති බව ගම්මු පවසති. පවුල් 231කින් යුත් මෙහි ජන ගහණය 783කි. 

    වැසි ජලයෙන් සිදු කරන හේන් ගොවිතැන ලාතුගල ඇතුළු අවට ගම්මාන රැසක ජනතාවගේ ප්‍රධාන ජීවනෝපාය වේ. ඔවුන් බඩ ඉරිඟු, කවුපි, කුරක්කන්, එළවළු වගාවෙහි නිරත වන අතර,  සේනා දළඹු උවදුරින් ගොවීහු දැඩි පීඩාවට පත්ව සිටිති. වන අලි තර්ජනය ද ඔවුන්ට බලපා ඇති ප්‍රධාන ගැටළුවකි.

    වන ජිවි සහ වන සංරක්ෂණ මැනුම්වලදී රක්ෂිත ලෙස සළකුණු කිරීම හේතුවෙන් පාරම්පරික හේන් ගොවිතැනින් ඉවත් වීමට සිදුවීම ලාතුගල ජනතාව මුහුණපා සිටින සෙසු මූලික ගැටළු අතර ප්‍රධාන තැනක් ගනී. දිවයිනේ සියලු ගම්වල පාරම්පරිකව වගා කටයුතු සිදු කරන ගොවීන්ට මින් ඉදිරියට  වනජීවි හෝ වන සංරක්ෂණ හෝ වෙනත් කිසිඳු ආයතනයක බලපෑමකින් තොරව වගාව කරගෙන යාමට ඉඩ හැරීමේ  ප්‍රතිපත්තිමය තීන්දුවක් ගෙන ඇති බව ජනාධිපතිවරයා ජනතාවට දැනුම් දුන්නේය.  ඊට අනුගතව ජනතාවට සහය වන්නනැයි දිසාපතිවරුන්ට සහ ප්‍රාදේශීය ලේකම්වරුන්ට ජනාධිපතිතුමා කියා සිටියේය.

    ගමේ ජනතාව මුහුණ දෙන ගැටළු එකකි. නිලධාරීන් ප්‍රශ්න දෙස බලන විදිය තවත් ආකාරයකි. කොළඹ සිට මත හදන අයගේ අදහස් ඊටත් පරස්පරය. මේ නිසා නිලධාරීන් සිය කාර්යාලවලට සීමා නොවී ගමට ගොස් සැබෑ ජනතා ගැටළු හඳුනාගෙන විසඳුම් දිමේ අවශ්‍යතාව ජනාධිපතිවරයා අවධාරණය කළේය.

    අසනීප තත්ත්වයකදී ප්‍රතිකාර ගැනීමට කි.මි 16ක් දුරින් වූ උහන ඩිස්පැන්සරියට හෝ කි.මි 24ක් දුරින් පිහිටි අම්පාර රෝහලට හෝ යාමට ජනතාවට සිදු වෙයි. ඊට විසඳුමක් ලෙස අවට ගම්මාන රැසක ජනතාවට සේවාව සැපයෙන පරිදි බොක්කබැද්ද ග්‍රාමයේ ප්‍රාථමික සෞඛ්‍ය මධ්‍යස්ථානයක් පිහිටුවීමට ජනාධිපතිවරයා විසින් උපදෙස් දෙනු ලැබිණ.

    ලාතුගල ප්‍රාථමික විද්‍යාලයට නව ගොඩනැගිල්ලක් සහ ක්‍රිඩාපිටියක් ඉදිකර දීමටත්, පවතින ගුරු හිඟයට කඩිනම් විසඳුම් දීමටත් තීරණය කෙරිණ. උහන විද්‍යාලෝක විද්‍යාලය, වළගම්පුර විද්‍යාලය, උහන වෑරැන්කැටගොඩ මහා විද්‍යාලය, ගලහිටියාගොඩෙ, ප්‍රියංගල, රජගල, නුගේතැන්න සහ උහන තිස්ස, අම්පාර ජාතික යන විදුහල්වල ගුරු හිඟයට නොපමාව පිළියම් යොදන්නැයි ජනාධිපතිවරයා නිලධාරීන්ට දැනුම් දුන්නේය.

    අම්පාර, ලාතුගල මාර්ගයේ වැඩ කඩිනමින් අවසන් කිරීමට ද  උපදෙස් දෙනු ලැබිණ. ලාතුගල – බොක්කබැද්ද – ඇතුල්ඔය දක්වා මාර්ගය, බක්මිටියාව – පන්නල්ගම, මහඔය – කුරුදුවින්න මාර්ගවල වැඩ කඩිනමින් අවසන් කිරීමට ද නියම කෙරිණ. මාර්ග කි.මි ලක්ෂයක් සංවර්ධනය කිරීමේ වැඩසටහන යටතේ අම්පාර දිස්ත්‍රික්කයේ මාර්ග කි.මි 1150ක් සංවර්ධනය කිරීමට  සැලසුම් කර තිබේ. මේ මාර්ග සංවර්ධන කටයුතු කොන්ත්‍රාත්කරුවන්ට පැවරීමේ දී  වගකීමෙන් ඉටුකළ හැකි පිරිසට පමණක් පවරන ලෙස ද ජනාධිපතිවරයා උපදෙස් දුන්නේය.

    කෘෂිකාර්මික ක්‍රියාකාරකම්වලට ප්‍රධාන බාධාවක්ව පවතින ජල අවශ්‍යතාවට පිළියමක් ලෙස කොටපත්දමන වැව ප්‍රතිසංස්කරණය කඩිනම් කරන්නැයි  ජනාධිපතිතුමා නිලධාරීන්ට පැවසීය.  ජනතාවගේ පානීය ජල ගැටළුව කෙරෙහි ජනාධිපතිතුමාගේ විශේෂ අවධානය යොමු විය. ලාතුගල ගම්මානයට අයත් අතුරු මාර්ගවල ජල නළ ඇතිරීමට උපදෙස් දුන් ජනාධිපතිවරා කඩිනමින් පානීය ජල ගැටළුවට විසඳුම් දෙන්නැයි කියා සිටියේය.

    රඹකැන්ඔය ජලාශයෙන් පදියතලාවට ජලය සැපයීමටත්, ටැම්පිටිය, පූනාවලි, මල්ලියතිව් ඇතුළු ගම්මාන රැසකට පානීය ජල පහසුකම් සම්පාදනයටත් තීරණය කෙරිණ. යෝධකණ්ඩිය, කොටපත්දමන, ලාතුගල, හුලංනුගේ, හඳපාදාගම අතුළු වැව් කඩිනමින් පිළිසකර කිරීමට තීරණය විය.

    ලාතුගල ග්‍රාමයට පොහොර ගබඩා සංකීර්ණයක් ඉදිකර දෙන ලෙස ද උපදෙස් දෙනු ලැබිණ.

    ශ්‍රී ලංකා ටෙලිකොම්, මොබිටෙල් ආයතනය පරිත්‍යාග කළ පරිගණක යන්ත්‍ර 03ක් ලාතුගල සහ විද්‍යාලෝක විද්‍යාලවල විදුහල්පතිවරුන්ට හා  සිසුන්ට භාරදීම ද ජනාධිපති අතින් සිදු කෙරිණ.

    රාජ්‍ය අමාත්‍ය විමලවීර දිසානායක, පළාත් ආණ්ඩුකාර අනුරාධා යහම්පත්, පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් වන ඩබ්.ඩි. වීරසිංහ, තිලක් රාජපක්ෂ, ඒ.එල්.එම්. අතාවුල්ලා, ජනාධිපති ප්‍රධාන උපදේශක ලලිත් වීරතුංග යන මහත්ම මහත්මීහු සහ ජනතා නියෝජිතයෝ, අමාත්‍යාංශ ලේකම්වරු, රාජ්‍ය ආයතන ප්‍රධානීහු ඇතුළු පිරිසක් ලාතුගල “ගම සමග පිළිසඳර” වැඩසටහනට එක්ව සිටියහ.

  • නව කොන්දේසි සමග එකඟ නොවුනොත් WhatsApp ඉවරයි

    නව කොන්දේසි සමග එකඟ නොවුනොත් WhatsApp ඉවරයි

    ජංගම දුරකථන පරිශීලකයන් අතර වඩාත් ප්‍රචලිත සන්නිවේදන යෙදුමක් වන වට්සැප් සමාජ මාධ්‍ය යෙදුමෙහි කොන්දේසි සහ පෞද්ගලික ප්‍රතිපත්ති මාලාව ලබන පෙබරවාරි 8 දා සිට වෙනස් කිරීමට  වට්සැප් සමාගමේ මව් සමාගම වන ෆේස්බුක් සමාගම කටයුතු කර තිබේ.

    මේ අනුව පෙබරවාරි 8 දා සිට වට්සැප් යෙදුම භාවිතා කිරීමට නම් පරිශීලකයන් වට්සැප් සමාගම විසින් ඉදිරිපත් කරනු ලබන නව කොන්දේසි සහ නව පෞද්ගලික ප්‍රතිපත්ති මාලාව සමග එකඟ වියයුතු අතර එය සමග එකඟ වීමට අකමැති පරිශීලකයන් හට පෙබරවාරි 8 දා සිට වට්සැප් සමාජ මාධ්‍ය යෙදුම භාවිතා කිරීමේ අවස්තාව ගිලිහි යනු ඇති බව අප ශ්‍රී ලංකා තොරතුරු තාක්ෂණ සංගමය ලෙස ශ්‍රී ලාංකික ජනතාව දැනුවත් කරමු.

    වට්සැප් යෙදුමෙහි නව කොන්දේසි සහ නව පෞද්ගලික ප්‍රතිපත්ති මාලාව මගින් පරිශීලකයන් වට්සැප් යෙදුම හරහා සිදුකරනු ලබන ක්‍රියාකාරකම් නිරීක්ෂණය සදහා ෆේස්බුක් සමාගමට ඉඩප්‍රස්තාව සහ එම දත්ත වාණිජමය අරමුණු සදහා යොදාගැනීමට සදහා ඉඩලැබෙන බව අප ශ්‍රී ලංකා තොරතුරු තාක්ෂණ  සංගමය ලෙස ශ්‍රී ලාංකික ජනතාව වෙත වැඩිදුරටත් පෙන්වා දෙමු.

  • අකිල ධනංජයගේ ජාත්‍යන්තර තහනම ඉවතට

    අකිල ධනංජයගේ ජාත්‍යන්තර තහනම ඉවතට

    මෑත කාලීන ශ්‍රී ලංකා කණ්ඩායමේ දඟ පන්දු යවන්නන් අතර ප්‍රධාන බලාපොරොත්තුවක් බවට පත්ව සිටින අකිල ධනංජයගේ නව පන්දු යැවීමේ ඉරියව්ව නීත්‍යානුකූල බවට පරීක්ෂණවලින් තහවුරු වීම මත ඔහුට එරෙහිව පනවා තිබූ ජාත්‍යන්තර තරග තහනම වහාම ක්‍රියාත්මක වන පරිදි ඉවත් කිරීමට අන්තර්ජාතික ක්‍රිකට් සභාව අද (08 දා) පියවර ගත්තේය

    ශ්‍රී ලංකාව සහ නවසීලන්තය අතර 2019 වසරේ අගෝස්තු මසදී ගාල්ලේ පැවැති පළමු ටෙස්ට් තරගය අතරතුරදී අකිලගේ පන්දු යැවීම නීත්‍යානුකූල නොවන බවට එම තරගයේදී පිටියේ විනිසුරුවන් ලෙසින් කටයුතු කරන ලද මයිකල් ගෆ් සහ රිචර්ඩ් ඉලිංවර්ත් පැමිණිලි කරන ලදුව සිය නිර්දෝෂී භාවය සනාථ කිරීමට නොහැකි වීම මත එම සැප්තැම්බර් මස සිට වසරක කාලයක් අකිල ජාත්‍යන්තර තරග තහනමක් පැනවිණ.

    කොවිඩ් 19 වෛරස් තත්ත්වය හේතුවෙන් සංචරණ සීමා පැනවී ඇති බැවින් අකිලගේ නිර්දෝෂී භාවය නිරීක්ෂණය විශේෂ කමිටුවක් වෙත භාර දීමට අන්තර්ජාතික ක්‍රිකට් සභාව පියවර ගනු ලැබීය. නව පන්දු යැවීමේ ඉරියව් ඇතුළත් වීඩියෝ දර්ශණ එම කමිටුවේ අවධානයට යොමු කරන ලද අතර අකිලගේ පන්දු යවන අතේ වැළමිට, පන්දු යැවීමේ නීතියට අනුව ලබා දී තිබෙන අංශක 15 ඇතුළත පවතින බවට එම කමිටුව නිඟමනය කර තිබේ.

    ජාත්‍යන්තර තරග තහනමක් අකිලට එරෙහිව පැවැතුණිද දේශීය තරගවලට තරග කිරීමේ අවස්ථාව අකිලට විරෝධයක් නොතිබූ හෙයින් අන්තර් සමාජ පළමු පෙළ ක්‍රිකට් තරගාවලිය මෙන්ම අති සාර්ථකව අවසන් වුණු එල්.පී.එල්. තරගාවලියට ක්‍රීඩා කිරීමේ අවස්ථාව අකිලට උදාවිය.

  • ෂෙහාන් ජයසූරිය ශ්‍රී ලංකා ක්‍රිකට් වලට ආයුබෝවන් කියයි

    ෂෙහාන් ජයසූරිය ශ්‍රී ලංකා ක්‍රිකට් වලට ආයුබෝවන් කියයි

    ශ්‍රී ලංකාව තරග වදිනු ලබන ජාත්‍යන්තර තරග සඳහා මින් ඉදිරියට සහභාගි නොවනු ලබන බවත් එබැවින් ඉදිරි තේරීම් වලදී තමාව නොසලකා හරින ලෙසත් තුන් ඉරියව් ක්‍රීඩක ෂෙහාන් ජයසූරිය ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය වෙත දන්වා තිබේ.

    ලිපියක් මාර්ගයෙන් මේ පිළිබඳව දැනුම් දී සිටින ජයසූරිය, සිය පවුල සමඟ ඇමරිකාවේ පදිංචියට යෑමට තීරණය කිරීම එම තත්ත්වයට හේතුව බව වැඩිදුරටත් දැනුම් දී සිටියි.

    මොරටුව වේල්ස් කුමර විදුහලින් ක්‍රිකට් ක්‍රීඩාවට පිවිසි ෂෙහාන්ගේ විවාහ උත්සවය ඉකුත් 2020 වසරේදී ඇමරිකාවේදී පැවැති අතර අනතුරුව ඔහු පළමු වතාවට ශ්‍රී ලංකාවට පැමිණියේ ඉකුත්දා අති සාර්ථකව අවසන් වුණු ලංකා ප්‍රිමියර් ලීග් තරගාවලියට සහභාගිවීමටය.

    අනුශූරයින් බවට පත් ගෝල් ග්ලැඩියේටර් පිල වෙනුවෙන් ක්‍රීඩා කළ ෂෙහාන් ඇමරිකාවට ගිය පසු එරට ජාතික කණ්ඩායම නියෝජනය කිරීමට බලාපොරොත්තු වන බවත් ඒ සඳහා තමන්ට මේ වන විටත් ආරාධනාවක් ලැබී තිබෙන බවත් මීට එම තරගාවලිය අතරතුරදී ශ්‍රී ලංකා ක්‍රිකට් නිල වෙබ් අඩෙවිය සමඟ එක්වෙමින් සඳහන් කර සිටියේය.

    ශ්‍රී ලංකාව වෙනුවෙන් ප්‍රථමයෙන් ව2015 වසරේදී විස්සයි-20 තරග වරම් දිනා ගත් ෂෙහාන් අවස්ථා 18 කදී ශ්‍රී ලංකාව නියෝජනය කොට ප්‍රහාරාත්මක වේගය 108.55 ක් රඳවා ගනිමින් ලකුණු 241 ක් රැස් කර ගැනීමට සමත්ව සිටියි. අනතුරුව එක්දින තරග වරම් දිනූ වමත් පිතිකරුවා එක්දින තරග 12 කදී ශ්‍රී ලංකාව නියෝජනය කර තිබේ. ඔහුගේ වැඩිම ලකුණු ලෙස පාකිස්තානයට එරෙහිව කරච්චිහිදී රැස් කරන ලද ලකුණු 96 සටහන් වේ. දකුණතින් පිට දඟ පන්දු යවන ෂෙහාන් අංශ 2 යටතේ කඩුලු 6 ක් බිඳ හෙළීමට සමත්ව සිටියි. මේ පිළිබඳව කළ දැනුම් දීමේදී ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය ඇතුළු සියළුම පාර්ශ්වයන්ට තමා ස්තූතිය පළ කිරීමටද ෂෙහාන් අමතක කර නොමැත.