Blog

  • සංගක්කාර සහ මාලිංග දශකයේ කණ්ඩායම් වලට

    සංගක්කාර සහ මාලිංග දශකයේ කණ්ඩායම් වලට

    අන්තර්ජාතික ක්‍රිකට් සභාව විසින් නිවේදනය කරන ලද දශකයේ කණ්ඩායම් අතරට ශ්‍රී ලාංකික ක්‍රීඩකයින් දෙපළක් වන හිටපු ටෙස්ට් නායක කුමාර් සංගක්කාර සහ විස්සයි-20 කණ්ඩායමේ නායක ලසිත් මාලිංග තෝරාගෙන තිබේ. කුමාර් සංගක්කාර දශකයේ ටෙස්ට් කණ්ඩායමටත් ලසිත් මාලිංග දශකයේ එක්දින සහ විස්සයි-20 කණ්ඩායම් වලටත් ඇතුළත්ව සිටිති.

    ගෙවී ගිය 2010 වසරේ සිට 2020 දක්වා වූ කාල සීමාව තුළ ජාත්‍යන්තර ක්‍රිකට් පිටියේ සුවිශේෂී දස්කම් දැක්වූවන් අදාළ කණ්ඩායම් සඳහා යොදා ගත හැකි හොඳම ක්‍රීඩකයින් 11 දෙනා දශකයේ ක්‍රිකට් කණ්ඩායම් සඳහා ඇතුළත් කර තිබේ. එම කාල සීමාව තුළ කුමාර් සංගක්කාර අංක 3 පිතිකරණ ස්ථානයේ ක්‍රීඩා කළද දශකයේ කණ්ඩායමේ කඩුලු රකින්නා ලෙසින් ඔහුව නම් කර තිබේ. ඒ අනුව ඔහුට වෙන්වී තිබෙන්නේ එම කණ්ඩායමේ අංක 6 පිතිකරණ ස්ථානය වේ.

    අන්තර්ජාතික ක්‍රිකට් සභාවේ විශේෂ තේරීම් මණ්ඩලයක් විසින් සිදුකරන ලද මෙම තෝරා ගැනීමේදී ඉන්දීය නායක විරාත් කෝලි දශකයේ කණ්ඩායම් 3 ටම ඇතුළත්ව සිටීම කැපී පෙනෙයි. එමෙන්ම දශකයේ ටෙස්ට් කණ්ඩායමේ නායකත්වය සඳහාද කෝලිව නම් කර තිබේ. කෙසේ වෙතත් දශකයේ විස්සයි-20 සහ එක්දින කණ්ඩායම් වල නායකත්වය හිටපු ඉන්දීය නායක මහේන්ද්‍ර සිං දෝනිව නම් කර තිබේ.

    දශකයේ ටෙස්ට් කණ්ඩායම – ඇලෙස්ටෙයාර් කුක්, ඩේවිඩ් වෝනර්, කේන් විලියම්සන්, විරාට් කෝලි (නායකයා), ස්ටීව් ස්මිත්, කුමාර් සංගක්කාර (කඩුලු රකින්නා), බෙන් ස්ටෝක්ස්, රවිචන්ද්‍රන් අශ්වින්, ඩේල් ස්ටේන්, ස්ටුවර්ට් බ්‍රෝඩ්, ජේම්ස් ඇන්ඩර්සන්.

    දශකයේ එක්දින කණ්ඩායම – රෝහිත් ෂර්මා, ඩේවිඩ් වෝනර්, විරාත් කෝලි, ඒ.බී. ඩිවිලියර්ස්, ශකීබ් අල් හසන්, මහේන්ද්‍ර සිං දෝනි (නායක), බෙන් ස්ටෝක්ස්, මිචෙල් ස්ටාර්ක්, ට්‍රෙන්ට් බෝල්ට්, ඉම්රාන් තහීර්, ලසිත් මාලිංග

    දශකයේ විස්සයි-20 කණ්ඩායම – රෝහිත් ෂර්මා, ක්‍රිස් ගේල්, ඒරන් ෆින්ච්, විරාත් කෝලි, ඒ.බී. ඩිවිලියර්ස්, ග්ලෙන් මැක්ස්වෙල්, මහේන්ද්‍ර සිං දෝනි (නායක), කිරන් පොලාර්ඩ්, රෂීඩ් ඛාන්, ජස්ප්‍රීට් බුම්රා, ලසිත් මාලිංග.

  • ශ්‍රී ලංකාවේ සියවස් දෙකක ප්‍රතිශක්තිකරණ උරුමය 2021දී උරගා බැලෙනු ඇති !

    ශ්‍රී ලංකාවේ සියවස් දෙකක ප්‍රතිශක්තිකරණ උරුමය 2021දී උරගා බැලෙනු ඇති !

    දශක ගණනාවක් තිස්සේ දැඩි ශික්ෂණයෙන් හා කැපවීමකින් ගොඩ නගා ගත් ජාතික ප්‍රතිශක්තිකරණ ක්‍රමවේදයක් ශ්‍රී ලංකාව සතුයි. වෛද්‍යවරුන්ගේ මගපෙන්වීම යටතේ මෙහි වැඩි වැඩ කොටසක් සිදු කරන්නේ ක්ෂේත්‍ර මට්ටමේ ප්‍රජා සෞඛ්‍ය සේවකයන් විසින්.  

    නාලක ගුණවර්ධන

    2020 වසරේ අපේ ලෝකය උඩුකුරු යටිකුරු කළ COVID-19 රෝගය වැළඳීමෙන් වැළකී සිටීමට හොඳම ආරක්ෂිත පියවර ලෙස එන්නත් සැලකිය හැකියි.

    ඇමරිකාව, යුරෝපා හවුල, රුසියාව සහ චීනය වැනි රටවල නිපදවූ එන්නත් නිසි සායනික අත්හදා බැලීම්වලින් පසුව ඒ ඒ රටවල ඖෂධ නියාමන බලධාරීන් විසින් මහජන භාවිතය සඳහා ආරක්ෂිත යැයි අනුමත කෙරෙමින් පවතිනවා. 

    මේවා වෛද්‍ය විද්‍යා ඉතිහාසයේ වඩාම කඩිනමින් අනුමැතිය ලැබූ එන්නත්. වෛද්‍ය පර්යේෂකයන් දහස් ගණනක ප්‍රයත්නවලින් බිහි වූ මේවා, බිලියන 7.5 මානවයන් සැමට ලබා දීම ඉතිහාසයේ දැවැන්තම සංවිධානාත්මක ක්‍රියාන්විතයක් වනු ඇති! 

    එන්නත් බෙදා හැරීමේ යටිතල පහසුකම් නිසි ලෙස පෙළ ගස්වා ගැනීම සහ රටේ සියලුම ජනයාට කෙටි කාල පරාසයක් තුළ COVID-19 එන්නත් ලබා දීම 2021දී ලෝකයේ සියලු රටවල ආණ්ඩු මුහුණ දෙන අභියෝගයයි.

    ඉල්ලුම සහ සැපයුම යන විශ්ලේෂණය සාමාන්‍යයෙන් හමු වන්නේ වෙළෙඳපොළ ආශ්‍රිතව වුවත්, වෙනත් සමාජයීය ක්‍රියාදාමයන් තේරුම් ගැනීමටද එය රාමුවක් කර ගත හැකියි.  ඒ අනුව එන්නත් සම්බන්ධයෙන් ද සැපයුම් පැත්තක් සහ ඉල්ලුම් පැත්තක් මා දකිනවා. 

    එන්නත් නිපදවා, ආරක්ෂිත බව තහවුරු කොට, නියාමන අනුමැතිය ලැබී, ප්‍රවේශමින් බෙදා හැරීම සැපයුම් පැත්තයි. මේ දිනවල වැඩිපුරම අවධානය යොමුව ඇත්තේ COVID-19 එන්නත්වල සැපයුම් පැත්තටයි.

    එන්නත් හරහා ලැබෙන ප්‍රතිශක්තිකරණය බෝවන රෝගවලින් බේරී සිටීමට ඇති සුරක්ෂිතම ක්‍රමෝපාය බව තේරුම් ගනිමින් ස්වේච්ඡාවෙන් සහ උද්යෝගයෙන් එම එන්නත් ලබා ගැනීමට මහජනයා පෙලගැසීම එහි ඉල්ලුම් පැත්තයි.

    මේ දෙපසෙහිම අභියෝග රැසක් තිබෙනවා. සැපයුම පැත්තේ අභියෝග ජයගන්නට වෛද්‍ය විද්‍යාත්මක, භෞතික විද්‍යාත්මක සහ කළමනාකරණ ක්‍රමවේදයන් අවශ්‍යයි. ඉල්ලුම පැත්ත මනාව පවත්වා ගන්නට සමාජ විද්‍යාත්මක, මානව විද්‍යාත්මක සහ සන්නිවේදන ක්‍රමවේදයන් ඕනෑ කරනවා.

    ප්‍රතිශක්තිකරණ සැපයුම් පැත්තේ පෙළ ගැස්ම ගැන අද තව ටිකක් කතා කරමු.

    ප‍්‍රතිශක්තිය (immunity) යනු ශරීරයට පිටතින් ඇතුළුවන රෝගකාරක ක්ෂුද්‍ර ජීවීන්ගෙන් පුද්ගලයකුට ඇති විය හැකි රෝග සහ සංකූලතා වළක්වා ගැනීමට ශරීරයේ ඇති ස්වභාවික හැකියාවයි.

    ප්‍රතිශක්තිකරණය (immunization) යනු බෝවන රෝග වැළඳීම වළක්වා ගැනීමට ප්‍රතිශක්තියක් ශරීරයේ කල් තබා ජනනය කොට තැබීමේ උපක්‍රමයක්.

    ප්‍රතිශක්තිකරණ එන්නත් දීමේදී කරන්නේ ඉතා අඩු මාත්‍රාවකින් අදාළ රෝග කාරකය සිරුරට හඳුන්වාදීමයි. එවිට ස්වභාවිකව ජනනය වන ප්‍රතිදේහ, සිරුරේ කලක් රැඳී පවතිනවා. අදාළ රෝග කාරකය සිරුරට පිවිසි එයට එරෙහිව වහාම ප්‍රතිරෝධයක් මතු කොට එම රෝගයෙන් බේරීමට හැකියාව ලබා දෙනවා. 

    ශ්‍රී ලංකාවේ ප්‍රතිශක්තිකරණ ඉතිහාසය වසර දෙසීයක් අතීතයට දිවෙනවා. අපේ රටේ වෛද්‍ය විද්‍යා ඉතිහාසය ගවේෂණය කොට විශිෂ්ට ලෙසින් ලේඛනගත කළ වෛද්‍ය ක්‍රිස්ටොෆර් ජී ඌරගොඩ කියන හැටියට, භයානක බෝවන රෝගයක් වූ වසූරියට එරෙහිව එන්නත් කිරීම බ්‍රිතාන්‍ය පාලකයන් විසින් මෙරටට හඳුන්වා දෙනු ලැබුවේ 1802දී. 

    ඒ අනුව ප්‍රතිශක්තිකරණය ලොවට හඳුන්වා දී වසර හයක් ඇතුළත එය ශ්‍රි ලංකාවටද පැමිණියා. මුල්වරට එන්නතක් නිපද වූයේ ඉංග්‍රීසි ජාතික වෛද්‍යවරයකු වූ එඩ්වඩ් ජෙනර් විසින්. ඒ වසූරියට එරෙහිව 1796දී. 

    එහෙත් අඛණ්ඩ ලෙස ප්‍රතිශක්තිකරණය පවත්වා නොගත් නිසා විටින් විට වසූරිය වසංගත මෙරට පැතිර ගියා. 1886දී පනවන ලද එන්නත් පිළිබඳ ආඥා පනතට (Vaccination Ordinance) අනුව සෑම පුද්ගලයකුටම වසූරිය එන්නත ලබා ගැනීම අනිවාර්ය කෙරුණා. මෙරට ප්‍රතිශක්තිකරණ වැඩකටයුතු විධිමත් ලෙස ක්‍රියාත්මක වුණේ එතැන් පටන්.

    වෛද්‍ය විද්‍යාවේ දියුණුවත් සමග තවත් බෝවන රෝගවලට එරෙහිව එන්නත් නිපදවනු ලැබුවා. නොබෝ කලකින් එම එන්නත් ශ්‍රී ලංකාවේ ද ලබා දීම ඇරඹුණා: ක්ෂයරෝගයට එරෙහිව BCG එන්නත (1949), ගලපටලය, කක්කල් කැස්ස සහ පිටගැස්මට එරෙහි ත්‍රිත්ව එන්නත (1961), මුඛ පෝලියෝ එන්නත (1962), නවජ දරුවන් සඳහා BCG එන්නත (1963), ගැබිණි මවුවරුන්ට පිටගැස්ම ධූලකය ලබා දීම (1969) ආදී වශයෙන්.

    ලොව පුරාම එන්නත් ආවරණය වැඩි කර ගැනීමේ අරමුණින් ලෝක සෞඛ්‍ය සංවිධානය (WHO) විසින් 1974දී ගෝලීය වශයෙන් ව්‍යාප්තිත ප‍්‍රතිශක්තිකරණ වැඩසටහන (Expanded Programme on Immunization, EPI) ආරම්භ කරනු ලැබුවා. එක්සත් ජාතීන්ගේ ළමා අරමුදල (UNICEF) සහ අනෙකුත් ලෝක සංවිධානවල නොමසුරු සහය එයට ලැබුණා.

    මෙම ගෝලීය ප්‍රයත්නයට සමගාමීව, UNICEF සහාය ඇතිව, 1978දී ශ්‍රී ලංකාවේ ජාතික ප‍්‍රතිශක්තිකරණ වැඩසටහන, කඩිනම් දීපව්‍යාප්ත වැඩසටහනක් ලෙස නව ජවයකින් දියත් කෙරුණා.

    එය කේන්ද්‍රගත වූයේ ළමා වියේ ක්ෂය රෝගය, පිටගැස්ම, ගලපටලය, පෝලියෝ සහ නවජ පිටගැස්ම පාලනය කිරීම කෙරෙහියි. 1988දී මෙම කේන්ද්‍රීය අවධානය රෝග තුරන් කිරීම කරා මාරු වුණා. 1991දී පෝලියෝ තුරන් කිරීමේ ක්‍රියාවලියට පහසුකම සැපයීම පිණිස පාසලට ඇතුලත් වීමේදී මුඛ පෝලියෝ එන්නතේ පස්වැනි මාත්‍රාව ලබා දීම පටන් ගත්තා.

    ශ්‍රී ලංකාවේ ප්‍රතිශක්තිකරණ ආවරණය කාලානුරූපව පුළුල් කොට තිබෙනවා. මෑත මංසලකුණු අතර: සරම්ප එන්නත හඳුන්වා දීම (1984), පිටගැස්ම ධූලකය සඳහා කාලසටහන සංශෝධනය කිරීම (1991), රුබෙල්ලා එන්නත හඳුන්වා දීම (1996), අදියර පදනමින් හෙපටයිටිස් බී එන්නත හඳුන්වා දීම (2003).

    මෙරට ජාතික ප්‍රතිශක්තිකරණ වැඩසටහන සෞඛ්‍ය අමාත්‍යාංශයේ මූලිකත්වයෙන් ක්‍රියාත්මක වන්නේ රාජ්‍ය අංශයේ තවත් ආයතන රැසක්, පෞද්ගලික සමාගම් සහ සිවිල් සමාජ සංවිධාන හවුල් කර ගෙනයි.

    උදාහරණයක් ලෙස පෝලියෝ ප්‍රතිශක්තිකරණ කටයුතු සඳහා ලෝක ව්‍යාප්ත ස්වේච්ඡා ආයතනයක් වන රෝටරි පදනමින් (Rotary Foundation) බොහෝ ආධාර ලැබී තිබෙනවා. 

    එපමනක් නොවෙයි. යුද්ධය පැවැති 1995 සහ 1996 වර්ෂවල ජාතික ප්‍රතිශක්තිකරණ දිනයේදී දිවයින පුරා සිටින දරුවන්ට එකම අවස්ථාවේ පෝලියෝ එන්නත් ලබා දීමට අවශ්‍ය වුණා. එහෙත් ඒ වන විට උතුරු නැගෙනහිර ඇතැම් ප්‍රදේශ පැවතියේ කොටි සංවිධානයේ පාලනය යටතේ.

    ප්‍රතිශක්තිකරණ දිනය සඳහාම සුවිශේෂී (පැය 24) කෙටි සටන් විරාමයක් සඳහා ශ්‍රී ලංකා යුද හමුදාව සහ LTTE සංවිධානය මානුෂීය පදනමෙන් එකඟ කරවා ගැනීමට මෙරට රෝටරි සමාජවල ජාතික නායකත්වය සමත් වුණා

    නිසි වේලාවට ප්‍රතිශක්තිකරණය ලබා දීම හරහා ළමා පරපුර රැක ගැනීමේ අරමුණ සටන් වැද සිටි දෙපාර්ශ්වයටම ඒත්තු ගැන්වීම ගැන දන්නෙ කී දෙනාද?

    සෞඛ්‍ය අමාත්‍යාංශයේ ශ්‍රී ලංකා ජාතික ප‍්‍රතිශක්තිකරණ වැඩසටහන 2016දී පල කරන ලද පොතක මෙසේ සඳහන් වනවා: “මෙලෙස එන්නත් වර්ග හා ඒවායේ ආවරණය වැඩි කර ගැනීම තුළින් ලෝකයේ බෝවන රෝග විශාල සංඛ්‍යාවක් වැළඳීම පාලනය කර තිබේ. එබැවින් එන්නත් මගින් වළක්වා ගත හැකි රෝග රාශියක වාර්ෂික පතනය (වර්ෂයක් තුළ අලුතින් බිහි වන රෝගීන් ප‍්‍රමාණය/incidence) අවම වී ඇත. මේ වන විට වසූරිය රෝගය ලෝකයෙන් තුරන් කර ඇති අතර, බොහෝ රටවල පෝලියෝ රෝගීන් තව දුරටත් වාර්තා නොවේ.”

    ප්‍රතිශක්තිකරණය සඳහා යම් පිරිවැයක් දැරීමට රජයට සිදුවන නමුත් එයින් ලැබෙන මානුෂික, සමාජයීය සහ ආර්ථික ප්‍රතිලාභ ඉමහත්.

    “[ප්‍රතිශක්තිකරණය] නිසා රෝග හේතුවෙන් පුද්ගලයාට, පවුලේ සාමාඡීකයින්ට සහ සමාජයට ඇති විය හැකි බලපෑම හා හානිය (burden of disease) අවම කර ගෙන ඇත. එසේම ප‍්‍රතිශක්තිකරණය ලබා ගන්නා ලද පුද්ගලයින් නිසා සමාජයේ සාමාන්‍ය ප‍්‍රතිශක්ති මට්ටම ඉහළ යාම හා ආසාදනය පැතිර යාම අවම වීම තුළින් ප‍්‍රතිශක්තිකරණය නොලබා සමාජයේ සිටින සුළු පිරිස ද ආරක්ෂා වේ (herd immunity)” යයි 2016 සෞඛ්‍ය අමාත්‍යාංශ පොතේ පෙන්වා දෙනවා.

    ප්‍රතිශක්තිකරණය සාර්ථකව පවත්වා ගැනීම සඳහා නිසි ප්‍රමිතියේ එන්නත් මෙන්ම ඒවා ආරක්ෂිතව බෙදා හැරීම සහ ශරීරගත කිරීම සඳහා නිසි පුහුණු ලත් සෞඛ්‍ය සේවා කාර්ය මණ්ඩලයත්, යටිතල පහසුකමුත් අවශ්‍යයි.

    සෞඛ්‍ය අමාත්‍යාංශයේ ප්‍රකාශනයට අනුව, සෑම එන්නතක්ම අධික උෂ්ණත්වයට නිරාවරණය වී යම් කිසි කාල සීමාවක් ගත වූ පසු ඒවාහි ගුණාත්මකභාවය විනාශ වනවා. එසේම සෑම අජීවී එන්නතක්ම අධිශීතනය වුවහොත් ඒවායේ ගුණාත්මකභාවය නැති විය හැකියි. ඊට අමතරව එන්නත් හිරු එළියට සෘජුවම නිරාවරණය වීම තුළින් ද විනාශ විය හැකියි. 

    මේ නිසා එන්නත්වල ගුණාත්මකභාවය සහතික කිරීමට නම්, එන්නත් නිෂ්පාදන කරන තැන සිට එන්නත්ලාභියාට එය ලබා දෙන තෙක්, සෑම එන්නතක්ම නියමිත උෂ්ණත්ව පරාසයේ ගබඩා කිරීම, ප්‍රවාහනය කිරීම හා භාවිතය සිදු කළ යුතුයි. සමහර එන්නත් ඒවා ලබා දෙන අවස්ථාවේ දී එන්නත් සායනයේ දී ද මෙම උෂ්ණත්ව පරාසය තුළ තබා ගැනීම අවශ්‍යයි. 

    දැනට විවිධ රෝගවලට එරෙහිව දෙන එන්නත් බහුතරයක් සෙන්ටිග්‍රේඩ් අංශක 2 – 8 අතර පවත්වා ගත යුතුයි. (මෙය සාමාන්‍ය ශීතකරණයක උෂ්ණත්ව පරාසයයි.) ඝර්ම කලාපීය රටවල දහවල උෂ්ණත්වය සෙන්ටිග්‍රේඩ් අංශක 25 – 40 අතර වනවා.

    ඒ කියන්නේ එන්නත් බෙදා හැරීමට ශීත දාමයක් (cold chain) අත්‍යවශ්‍ය බවයි. එන්නත් නිෂ්පාදනයේ සිට එන්නත්ලාභියාට ලබා දෙන තෙක් එම එන්නත් ප්‍රශස්ත උෂ්ණත්වයේ පවත්වා ගැනීම ශීත දාමය ලෙස හඳුන්වනවා. මෙයට දායක වන කාර්ය මණ්ඩලය හා යොදා ගන්නා උපකරණ යන දෙකම ශීත දාමයේ අංගයි.

    ශීත දාමය පවත්වා ගැනීමට අවශ්‍ය උපකරණ වන්නේ ශීත කාමර (cold rooms, ශීතකරණ (refrigerators), අධි ශීතකරණ (freezers), ශීත පෙට්ටි (cold boxes), එන්නත් බහාලූම් (vaccine carriers), විදුලි ජනක යන්ත‍්‍ර (generators), උෂ්ණත්වමාපක, ඉලෙක්ට්‍රොනික උෂ්ණත්ව දත්ත මාපක, ඩේටා ලොජර් (data lodgers), ලොග් ටැග්ස් (log tags), අධිශීත දර්ශක (freeze tags) සහ එන්නත් ප්‍රවාහනය කරන වාහන. 

    ශීතදාමය නිසි ලෙස පවත්වා නොගත් එන්නත් ශරීර ගත කළොත් එම එන්නතෙහි ඇති රෝග වැළැක්වීමේ හැකියාව හීන වනවා. එසේම ස්ථානීය අතුරු ආබාධ ඇති වීමේ අවදානම වැඩි වනවා.

    ශ්‍රී ලංකාවට පිටරට සිට එන්නත් එවන්නේ ස්ටයිරොෆෝම් පෙට්ටිවල අසුරා ගුවන් මගින්. මෙරට පැමිණි විට රාජ්‍ය ඖෂධ නීතිගත සංස්ථාව විසින් භාර ගනු ලබන එන්නත් තොග, විශේෂ ශීතනය කළ වාහන මගින් සෞඛ්‍ය අමාත්‍යාංශයේ වසංගත රෝග විද්‍යා අංශයට ගෙන යනවා.

    ඉන් පසු එන්නත් ශීතදාමය නිසි ලෙස ආරක්ෂා කරනු ලබන ශීත කාමරවල ගබඩා කැරෙනවා. මෙම එන්නත් දිස්ත‍්‍රික්කවලට බෙදා හැරීම සිදු කරන්නේ ශීතකරණ අඩංගු වාහනවල අසුරා සෑම මාස දෙකකට වරක් පෙර සකස් කරන ලද කාලසටහනකට අනුවයි. 

    ප්‍රාදේශීය බෙහෙත් ගබඩාවලට ලබා දුන් එන්නත්, සෑම මාසයකටම වරක් දිස්ත්‍රික්ක ඇති සෞඛ්‍ය වෛද්‍ය නිලධාරි කාර්යාලවලට හා අවශ්‍යතාව මත සමහර රජයේ රෝහල්වලට ද ලබා දෙනවා. මෙහි දී එන්නත් ප්‍රවාහනය කරන්නේ ශීත පෙට්ටිවල තැන්පත් කොටයි.

    සෞඛ්‍ය වෛද්‍ය නිලධාරී කාර්යාලයේ සිට සායන දක්වා එන්නත් ගෙනා යා යුත්තේ එන්නත් බහාලූම් තුළයි. එන්නත් බහාලූමක උෂ්ණත්වය නිසි පරාසයක පවත්වා ගැනීම සඳහා එය තුළට පදම් කළ අයිස් පැක්ස් දැමිය යුතුයි.

    මෙහිදී මා සරලව සඳහන් කලත් ඉහත ක්‍රියාදාමයේ හැම අදියරකදී තත්ව පාලනය සහ උෂ්ණත්ව පාලනය රැක ගැනීමට සෞඛ්‍ය කාර්ය මණ්ඩල අනුගමනය කරන නිශ්චිත පියවර තිබෙනවා. විවිධ බෝවෙන රෝගවලට එරෙහිව ලබා දෙන විවිධ එන්නත් එකට ප්‍රවාහනය කලත්, ඒවා භාවිතයට පෙර සායනික සම්ප්‍රදායන් රැසක් අනුගමනය කරනවා. 

    මේසියල්ලෙන්තහවුරුවන්නේදශකගණනාවක්තිස්සේදැඩිශික්ෂණයෙන්හාකැපවීමකින්ගොඩනගාගත්ජාතිකප්රතිශක්තිකරණක්රමවේදයක්ශ්රීලංකාවසතුබවයිවෛද්යවරුන්ගේමගපෙන්වීමයටතේමෙහිවැඩිවැඩකොටසක්සිදුකරන්නේක්ෂේත්මට්ටමේප්රජාසෞඛ්සේවකයන්විසින්.  

    2020 වසරේ කොරෝනා රෝග මර්දනයේදී ප්‍රජා සහ ක්ෂේත්‍ර මට්ටමේ සෞඛ්‍ය සේවකයන්ට ලැබුණේ සාපේක්ෂව අඩු අවධානයක්. එහෙත් ලෝක ඇගයීමට ලක් වූ ශ්‍රී ලංකාවේ මහජන සෞඛ්‍ය සේවාවේ අරටුව වන්නේ පවුල් සෞඛ්‍ය සේවිකාවන්, මහජන සෞඛ්‍ය පරීක්ෂකවරුන් (PHI) ඇතුළු ප්‍රජා මට්ටමින් ක්‍රියාත්මක වන සෞඛ්‍ය සේවා කාර්ය මණ්ඩලයයි. 

    2021 වසරේදී WHO අනුමැතිය ඇතිව ලක් රජය මෙරටට ගෙන ඒමට නියමිත COVID-19 එන්නත්, මිලියන 22කට ආසන්න සියලු ලක් ජනයාට ක්‍රමානුකූලව සහ සුපරීක්ෂාකාරීව ලබා දීමේ අභියෝගයට උර දෙන්න ඔවුන් පෙළ ගැසෙනු ඇති.

    එන්නත් පිළිබඳ ඉල්ලුම් පැත්තේ අභියෝග ජය ගැනීම ගැන ලබන සතියේ.

    නාලක ගුණවර්ධන

  • කොරෝනා නිසා චීනයට සුපිරි වාසියක් – ජාත්‍යන්තර සමීක්ෂණයක සුපිරි හෙළිදරව්ව

    කොරෝනා නිසා චීනයට සුපිරි වාසියක් – ජාත්‍යන්තර සමීක්ෂණයක සුපිරි හෙළිදරව්ව

    කොවිඩ් වෛරස් වසංගතය සාමාන්‍ය ජනජීවිතය පමණක් නොව ගෝලීය ආර්ථික ආධිපත්‍ය පවා වෙනස්කරනු ලබනු ඇති බව ලොව ප්‍රකට සමීක්ෂණ ආයතනයක අලුත්ම වාර්තාවක සදහන් වෙනවා.

    ලෝකයේම අවධානය දිනාගත් මෙම සමීක්ෂණය සිදුකර ඇත්තේ බ්‍රිතාන්‍යයේ පවත්වාගෙන යන ආර්ථික සහ ව්‍යාපාර සමීක්ෂණ මධ්‍යස්ථානය – Centre for Economics and Business Research CEBR) විසිනුයි. එහි සදහන් වන ආකාරයට 2028 වන විට ලෝකයේ දැවැන්තම ආර්ථිකය බවට චීනය පත්වනු ඇති අතර වසර 2030 වන විට ඉන්දියාව, ලෝකයේ තුන්වැනි විශාලතම ආර්ථිකය බවට පත්වෙනවා.

    මෙම වාර්තාව මගින් සිදුකර ඇති විශ්ලේෂණයේ විශේෂත්වයක් වන්නේ මීට පෙර ප්‍රක්ෂේපනය කර තිබූ කාලයට වඩා වසර පහකට කලින් චීනය ලොව දැවැන්තම ආර්ථිකය බවට පවත්වන බවට අනාවැකි පළ කිරීමයි.

    මෙම වාර්තාවේ සඳහන් වන්නේ කොවිඩ් 19 “දක්ෂ ලෙස” කළමනාකරණය කිරීම මගින් චීන ආර්ථිකයේ සාපේක්ෂ වර්ධනය ඉදිරි වසර කීපය තුළ එක්සත් ජනපදය සහ යුරෝපය සමඟ සංසන්දනය කිරීමේදී ඉහළ යනු ඇති බවයි.

    මේ අතරතුර, වසර 2030 වන විට ඉන්දියාව, ලෝකයේ තුන්වැනි විශාලතම ආර්ථිකය බවට පත් වනු ඇති බව ද එම වාර්තාවේ සඳහන් වේ.

    ආර්ථික සහ ව්‍යාපාර සමීක්ෂණ මධ්‍යස්ථානය (CEBR) විසින් ලෝක ආර්ථික ලීග් ලැයිස්තුව සෑම වසරකම නිකුත් කරනු ලබන්නේ දෙසැම්බර් 26 වැනිදා ය.

    කොරෝනා වසංගතයෙන් මුලින් ම බැට කෑවේ චීනය වුවද අතිශයෙන් ම දැඩි වූ නීති පනවමින් ඉන් මිදෙන්නට හැකි වූ හෙයින් යුරෝපා රටවලට මෙන් ආර්ථිකය එක්තැන් කරවන ලොක්ඩවුන් කරා නැවත නැවතත් යාමට ඔවුනට අවශ්‍ය නොවුණි.

    BBC

    එහි ප්‍රතිඵලයක් වශයෙන්, දැවැන්ත ආර්ථිකයක් සහිත වෙනත් රටවලට මුහුණ දීමට සිදුවූ ආකාරයේ ආර්ථික අවපාතයකට 2020දී චීනය ලක් නොවීය. ඒ වෙනුවට 2%ක ආර්ථික වර්ධනයක් 2020දී චීනයේ සිදුවනු ඇති බවට ඇස්තමේන්තු කර ඇත.

    කොරෝනා වසංගතය හේතුවෙන් ඇමරිකා එක්සත් ජනපද ආර්ථිකයට මරු පහරක් එල්ල විණි.

    වසංගතයට ගොදුරු වී එරට 330,000කට අධික පිරිසක් මිය ගිය අතර ලේඛන ගතවී තහවුරු වූ සමස්ත ආසාදිතයන්ගේ සංඛ්‍යාව මිලියන 18.5 ඉක්මවා ගියේය. එක්සත් ජනපදයට සිදු වූ ආර්ථික හානිය මූල්‍ය ප්‍රතිපාදන සහ මහා පරිමානයේ මූල්‍ය උත්තේජක ඔස්සේ වසා ගැනුණු බව සැබවි; නමුත් ලබන වසර තුළ රැකියා විරහිත ජනතාවගෙන් මිලියන 14කට සහන දීමනා නොමැති වන තත්වයක් එක්සත් ජනපදයේ ඇති විය හැකි බවට දේශපාලන මත ඉදිරිපත් වී තිබේ.

    කෙසේ නමුත්, කොවිඩ් 19 වසංගතය සහ ඊට අනුරූපව සිදුවූ ආර්ථික බිඳ වැටීම් චීනයට වාසිදායක තත්වයක් උදා කර ඇති බව ඉහත කී සමීක්ෂණ වාර්තාවේ සඳහන් වේ.

    BBC

    එහි තවදුරටත් සඳහන් වන්නේ, “වසංගතය නිමා වීමෙන් අනතුරුව 2021 දී ශක්තිමත් ආර්ථික පොලාපැනීමක්” හේතුකොට ගෙන එක්සත් ජනපද ආර්ථිකයේ වාර්ෂික වර්ධනය, 2022 සිට 2024 දක්වා 1.9%ක් වන අතර ඉන් පසු වසර වලදී එය 1.6ක වර්ධනයකින් පවතිනු ඇති බවය.

    නමුත් චීන ආර්ථිකය 2025 වනතෙක් 5.7%ක වාර්ෂික වර්ධනයක් පෙන්නුම් කරන බවත් 2026 සිට 2030 දක්වා එය 4.5%ක වර්ධනයකින් පවතිනු ඇති බවත් එම වාර්තාවේ සඳහන් වේ.

    වසර 2000දී ලෝකයේ සමස්ත ආර්ථිකයෙන් 3.6%ක් චීනය සතුව පැවතුණි. මේ වන විට 17.8ක් දක්වා තම පංගුව වැඩි කර ගැනීමට චීනය සමත් වී සිටී. වසර 2023 වන විට චීනය “ඉහළ ආදායම් ලාභී ආර්ථිකයක්” බවට පත්වනු ඇති බවට ද ඉහත සමීක්ෂණ වාර්තාව අනාවැකි පල කරයි.

    චීන ආර්ථිකයට වාසිසහගත වී ඇත්තේ කොවිඩ් වසංගතය කල්තියා පාලනය කර ගැනීම පමණක් නොවේ. ආර්ථික සහ ව්‍යාපාර සමීක්ෂණ මධ්‍යස්ථානයේ (CEBR) උප සභාපති ඩග්ලස් මැක්විලියම්ස් පවසන පරිදි නවීන නිෂ්පාදන ආදී කර්මාන්ත සඳහා කඩිනම් ප්‍රතිපත්ති සම්පාදනයන් ඇතිකිරීම හේතුවෙන් ද චීන ආර්ථිකය වේගවත් වී ඇත.

    Getty Images
    චීනය ලෝකයේ විශාලතම ආර්ථිකය බවට පත් වුවද එක්සත් ජනපද වැසියෙකුට වඩා චීන වැසියෙකුගේ ආර්ථික මට්ටම ඉතා දුප්පත් වනු ඇත

    “එක් මට්ටමකින් මධ්‍යගත පාලනයක් පවත්වාගෙන යන ගමන් අනෙකුත් ක්ෂේත්‍ර තුළ නිදහස් වෙළඳ ආර්ථිකයක් පවත්වාගෙන යාමට ඔවුන් උත්සාහ කරන බවක් තමයි නෙනෙන්නට තියෙන්නේ. විශේෂයෙන් ම තාක්ෂණික නිමැවුම් ක්ෂේත්‍රය ඉදිරියට තල්ලු කර ගැනීම සඳහා ඔවුන්ට උදව් වෙන්නේ ඒ නිදහස් වෙළඳ ආර්ථික කොටස තමයි.” ඔහු බීබීසීයට පැවසීය.

    කෙසේ නමුත්, එක්සත් ජනපදය අභිභවා චීනය ලෝකයේ විශාලතම ආර්ථිකය බවට පත් වුවද එක් පුද්ගලයෙකු සතු දල වත්කම ගත් කල එක්සත් ජනපද වැසියෙකුට වඩා චීන වැසියෙකුගේ ආර්ථික මට්ටම ඉතා දුප්පත් වනු ඇත. එක්සත් ජනපදයේ මෙන් හතර ගුණයක ජනගහනයක් චීනය සතු ය.

    වෙනත් අනාවැකි:

    • එක්සත් රාජධානිය යුරෝපා හවුලෙන් ඉවත් වීමෙන් අනතුරුව 2021 සිට 2025 දක්වා එක්සත් රාජධානියේ වාර්ෂික ආර්ථික වර්ධනය 4%ක් විය හැක. එය 2026 සිට 2030 දක්වා 1.8%ක වාර්ෂික වර්ධනයකින් පවත්වාගෙන යනු ඇත. එක්සත් රාජධානියේ ආර්ථිකය ද 2020 දී හැකිළීමට ලක් විය.
    • වසර 2019 දී ඉන්දියාව ලෝකයේ පස්වැනි විශාලතම ආර්ථිකය බවට පත්වෙමින් එක්සත් රාජධානිය අබිභවා ගියේය. නමුත් කෝවිඩ් වසංගතය හමුවේ ආර්ථිකය කඩා වැටීම නිසා ඉන්දියාව යළිත් එක්සත් රාජධානියට පසුපසින් සිට ගත්තේය. වසර 2024 වන තුරු ඉන්දියාව නැවත පස්වැනි ස්ථානයට නොපැමිණෙන බව CEBR වාර්තාව සඳහන් කරයි.
    • වසර 2027 දී ඉන්දියාවේ ආර්ථිකය ජර්මනිය අබිභවා යන අතර 2030 වන විට ජපානය පසු කර යනු ඇත.

    Text by – bbc

  • ශ්‍රී ලංකාවට ඉණිමක සහ ලකුණු 45ක දැවැන්ත පරාජයක්

    ශ්‍රී ලංකාවට ඉණිමක සහ ලකුණු 45ක දැවැන්ත පරාජයක්

    තෙවැනි දිනයේදී සත්කාරක පිල දක්වන කැපී පෙනෙන දක්ෂතාවය හේතුවෙන් අපේක්ෂිත පරිදි සෙන්චූරියන්හි පැවැති බොක්සිං දින ටෙස්ට් තරගයෙන් සම්පූර්ණ දිනයක් ඉතිරිව තිබියදීම ශ්‍රී ලංකාවට එරෙහිව ඉනිමක සහ ලකුණු 45 ක ජයක් වාර්තා කිරීමට දකුණු අප්‍රිකානු කණ්ඩායම අද (29 දා) සමත්විය. ඒ අනුව තරග 2 කින් සමන්විත දෙරට අතර ටෙස්ට් තරගාවලිය 1-0 ක් ලෙස සත්කාරකයෝ පෙරමුණ ගත්හ.

    දකුණු අප්‍රිකානුවන්ට සිව්වැනි ඉනිමේදී පන්දුවට පහර දීමේ අවස්ථාව ලබා දීමට නම් ලකුණු 160 ක් ලබා ගැනීමේ අභියෝගය ශ්‍රී ලංකා පිතිකරුවන්ගේ කර මත පැටවී තිබූ නමුත් දිවා විවේකයෙන් මිනිත්තු කීපයකට පසු ශ්‍රී ලංකා දෙවැනි ඉනිම ලකුණු 180 කට දකුණු අප්‍රිකානු පන්දු යවන්නෝ සීමා කළහ.

    දකුණු අප්‍රිකාවට පැමිණ තරග කිරීමේදී මෙතෙක් ඉනිමක වාර්තා කළ ඉහළම ලකුණු සංඛ්‍යාව පළමු ඉනිමේ වාර්තා කරමින් තරගයට සාර්ථක අවතීර්ණ වීමට ශ්‍රී ලංකා කණ්ඩායමට හැකියාව ලැබුණත්, තරගය අතරතුර ක්‍රීඩකයන් වැඩි සංඛ්‍යාවක් ආබාධ වලට ලක්වීම නිසා සියලු වාසි දකුණු අප්‍රිකානු පිල වෙත පහසුවෙන් දෝලනය වන්නට විය. එම ඉනිමේදී කැපී පෙනෙන ඉනිමක් ක්‍රීඩා කළ ධනංජය ද සිල්වා සිව්වැනි ඉනිමේදී එකම පන්දුවකට හෝ පහර දීමට නොපැමිණීමද මෙතරම් ඉක්මනින් තරගය අවසන් වීමට හේතු කාරණාවක් වීය.

    ශ්‍රී ලංකාව වෙනුවෙන් කුසල් පෙරේරා සහ වනිඳු හසරංග අර්ධ ශතක ලබා ගැනීමට සමත් වූ නමුත් ඉන් ඔබ්බට බරපතල සටනක් දැක බලා ගැනීමේ අවස්ථාවක් නොමැති විය. කෙසේ වෙතත් කුසල් පෙරේරා සමග දිනය ඇරැඹි දිනේෂ් චන්දිමාල් පිළිබඳව බොහෝ දෙනා තුළ වැඩි බලාපොරොත්තුවක් රැඳවී තිබූ නමුත්, වියාන් මෝල්ඩර් විසින් චන්දිමාල්ව දවා ගැනීමට සමත්වීමත් සමඟ එම බලාපොරොත්තුවද ගහගෙන ගියේය. කිසියම් වේදනාවක් දරාගෙන පස්දුවට පහර දුන් චන්දිමාල් කෙළින්ම පන්දුව කඩුල්ලේ වැදී දැවී යන විට ලකුණු 25 ක් ලබා සිටියේය.

    චන්දිමාල් සමඟ අනෙක් කෙළවරෙන් පන්දුවට පහර දුන් කුසල් පෙරේරා ආක්‍රමණශීලී පිතිහරඹයක නිරත වෙමින් කොහෙන් හෝ වාසියක් ලැබෙන අන්දමින් පන්දුවට පහර දෙමින් ලකුණු 64 ක් ලබා ගත්තේය. එය මෙම ඉනිමේදී ශ්‍රී ලංකා පිතිකරුවකු ලද ඉහළම ලකුණු සංඛ්‍යාව විය.

    මංගල තරගයට සහභාගි වුණු වනිඳු හසරංග දෙවැනි ඉනිමේදී මංගල අර්ධ ශතකයට හිමිකම් කීවේය. හතරේ පහර 12 ක් සහ එක් හයේ පහරකින් අලංකාර වුණු වනිඳුගේ ඉනිම සඳහා ඔහු පන්දු 53 කට පමණක් මුහුණ දුන්නේය. පළමු ඉනිමේදී අර්ධ ශතකයක් ලබා ඉනිම හමාර වන තෙක්ම කඩුල්ල ආරක්ෂා කරගත් දසුන් ශානකද පිටිය මැද වූ රංගණයට අවතීර්ණ වුවත් ලුතෝ සිපම්ලාගේ පන්දුවක් දසුන්ගේ පිටත දාරයේ වැදී කඩුලු රැකි ඩි කොක්ගේ අත්වැසුම් තුළ ආරක්ෂිතව රැඳීම මත ඔහුගේ ඉනිම ලකුණු 06 කට සීමා විය. ඊට පෙර නිරෝෂන් දික්වැල්ලට සිදුවූයේද දසුන්ට අත් වූ ඉරණමම වූ අතර වෙනසකට සිපම්ලා වෙනුවට පන්දු යවන ලද්දේ මල්ඩර් වීම පමණි.

    තරගයේ වීරයා සම්මානයෙන් දකුණු අප්‍රිකානු පිල වෙනුවෙන් ලකුණු 199 ක් රැස් කළ ෆෆ් ඩු ප්ලෙසිස් සම්මාන දිනා ගත්තේය. දෙරට අතර පැවැත්වෙන දෙවැනි ටෙස්ට් තරගය ලබන ජනවාරි 03 වැනිදා ජොහැනස්බර්ග්හි වොන්ඩර්ස් ක්‍රීඩාංගණයේදී ආරම්භවීමට නියමිතය.

    ශ්‍රී ලංකාව පළමු ඉනිම පන්දුවාර 96 කදී ලකුණු 389 යි –  (දසුන් ශානක 66*, දිනේෂ් චන්දිමාල් 85, දිමුත් කරුණාරත්න 22, කුසල් පෙරේරා 16, කුසල් මෙන්ඩිස් 12, ධනංජය ද සිල්වා (පිටියෙන් ඉවත් විය) 79, නිරෝෂන් දික්වැල්ල 49, වනිදු හසරංග 18, ලුතෝ සිපම්ලා 76/4, වියාන් මල්ඩර් 69/3) සහ දෙවැනි ඉනිම පන්දුවාර 46.1 කදී සියලු දෙනා දැවී ලකුණු 180 යි – (දිමුත් කරුණාරත්න 06, කුසල් පෙරේරා 64, කුසල් මෙන්ඩිස් 00, දිනේෂ් චන්දිමාල් 25, නිරෝෂන් දික්වැල්ල 10, දසුන් ශානක 06, වනිඳු හසරංග 59, විශ්ව ප්‍රනාන්දු 00, කසුන් රජිත 00, ළහිරු කුමාර 00, ලුතෝ සිපම්ලා 24/2, ලුංගි න්ගිඩි 38/2, එන්රිච් නෝර්ට්ජ් 39/2, වියෑන් මල්ඩර් 39/2)

    දකුණු අප්‍රිකාව පළමු ඉනිම පන්දුවාර 142.1 කදී ලකුණු 621 යි – (ඩීන් එල්ගාර් 95, ඒයිඩන් මාක්‍රම් 68, වැන්ඩර් ඩුසේන් 15, ඩු ප්ලෙසිස් 199, කුවින්ටන් ඩි කොක් 18, 71, වියාන් මල්ඩර් 36, කේෂව් මහරාජ් 73, ඇන්රිච් නෝර්ට්ජ් 00, ලුතෝ සිපම්ලා 00, ලුංග් න්ගිඩි 02*, විශ්ව ප්‍රනාන්දු 129/3, දසුන් ශානක 98/2, වනිඳු හසරංග 171/4, ළහිරු කුමාර 103/1)

  • 7% පොළියට දෙන නිවාස ණය ගැන ‘ඔබට ඇති ප්‍රශ්න 16කට’ මහ බැංකුව දුන් පිළිතුරු

    7% පොළියට දෙන නිවාස ණය ගැන ‘ඔබට ඇති ප්‍රශ්න 16කට’ මහ බැංකුව දුන් පිළිතුරු

    දැනට පවතින නිවාස ණය පොලී අනුපාතවල වෙනසක් නෑ

    2021 අයවැය මගින් ජනතාවට ලබාදුන් සුවිශේෂ සහනයක් වන 7%ක වාර්ෂික පොලි අනුපාතයකට ලබා දෙන උකස්කර මත ලබා දෙන නිවාස ණය සම්බන්ධයෙන් මේ වන විට ජනතාව අතර දැඩි උනන්දුවක් තිබෙනවා. ඒත් ඔවුන්ට ඒ ගැන නිවැරදි සහ නිරවුල් – පරිපූර්ණ අවබෝධයක් නැහැ.

    මේ තත්ත්වය තුළ ශ්‍රී ලංකා මහ බැංකුවේ බැංකු අධීක්ෂණ දෙපාර්තමේන්තුව විසින් පසුගිය දා 7% නිවාස ණය සම්බන්ධ සම්පූර්ණ පැහැදිලි කිරීමක් කළා.

    මේ ණය සම්බන්ධයෙන් ජනතාවට ඇතිවන ප්‍රශ්න 16කට පිළිතුරු දෙමින් මහ බැංකුව විසින් නිකුත් කළ එම නිවේදනය සම්පූර්ණයෙන්ම පහත පළ වෙනවා.

  • වූහාන් කොරෝනා ආරම්භය ලොවට කීමේ ‘වරදට’ සිව් වසරක සිර දඬුවමක්

    වූහාන් කොරෝනා ආරම්භය ලොවට කීමේ ‘වරදට’ සිව් වසරක සිර දඬුවමක්

    37 හැවිරිදි මාධ්‍යවේදිනිය පසුගිය මැයි මාසයේ දී රඳවා තබන ලද අතර ඇය මාස කීපයක් ආහාර වර්ජනය කිරීමක ද නිරතව සිටියාය

    වූහාන් නගරයෙන් කොරෝනාවෛරසය ආරම්භවීම සම්බන්ධයෙන් වාර්තාකළ චීන මාධ්‍යවේදිනිය වසර හතරක කාලයකට බන්ධනාගාර ගතකරනු ලැබුණි.

    ෂාන්ග් ෂාන් (Zhang Zhan) නම් එම මාධ්‍යවේදිනිය වැරදිකාරිය බවට පත්කරනු ලැබ තිබෙන්නේ “කුපිතකාරී තත්වයක් ඇතිකරනු ලැබීම සහ ආරාවුල් අඬදබර ඇතිකරනු ලැබීම” සම්බන්ධයෙනි. එය චීන ආණ්ඩුවට එරෙහි බොහෝ ක්‍රියාධරයන්ට එරෙහිව එල්ලකරනු ලබන පොදු චෝදනාවයි.

    “කුපිතකාරී තත්වයක් ඇතිකරනු ලැබීම සහ ආරාවුල් අඬදබර ඇතිකරනු ලැබීම” (picking quarrels and provoking trouble) 1997 පටන් මහජන චීන සමූහාණ්ඩුව විසින් ක්‍රියාත්මක කරනු ලබන නෛතික විධිවිධානයකි.

    කලින් නීතිඥවරියක ලෙසත් කටයුතුකර ඇති 37 හැවිරිදි මාධ්‍යවේදිනිය පසුගිය මැයි මාසයේ දී රඳවා තබන ලද අතර ඇය මාස කීපයක් ආහාර වර්ජනය කිරීමක ද නිරතව සිටියාය.

    ෂාන්ග් ෂාන් චීනයේ මහජන අයිතිවාසිකම් සහ නිදහස වෙනුවෙන් වාර්තාකරණයේ නිරතවෙන මාධ්‍යවේදිනියක් (citizen journalist) ලෙස සැලකෙයි.

    වූහාන් තොරතුරු වාර්තාකිරීම සම්බන්ධයෙන් මාධ්‍යවේදීන් කීපදෙනකු හිරිහැර ආදියට ගොදුරු වූ අතර, ෂාන්ග් ෂාන් ඔවුන් අතර එක් තැනැත්තියකි.

    චීනයේ නිදහස් මාධ්‍යකරණයට අවසරයක් නොමැත. සමාජ ක්‍රියාධරයන් එසේත් නැත්නම්, අනතුරක් සම්බන්ධයෙන් කල්තබා දැනුවත් කරන්නන් විසින් කොරෝනා වසංගතය සම්බන්ධයෙන් ආණ්ඩුව ගත් ක්‍රියාමාර්ග යටපත් කරන ලද බවට චෝදනා කරමින් බලධාරීන් විසින් ඔවුන් මර්දනය කරන ලද බවක් දැනගන්නට ඇත.

    “නඩු තීන්දුව ප්‍රකාශයට පත්කරත්ම ෂාන්ග් ෂාන් දැඩි කම්පාවකට පත්වූ ආකාරයක් දකින්න ලැබුනා,” ඇය වෙනුවෙන් අධිකරණය ඉදිරියේ පෙනීසිටි එක් නීතිවේදියකු වන රෙන් කොනියු (Ren Quanniu) AFP පුවත්සේවයට ප්‍රකාශ කළේය.

    විනිසකරු සිය තීන්දුව කියවද්දී මාධ්‍යවේදිනියගේ මව මහත් හඬින් හඬා වැළපුන බවත් විත්තිය වෙනුවෙන් පෙනීසිටි නීතිවේදී රෙන් සඳහන් කළේය.

    ‘විප්ලවීය ආත්මයක්’

    ඇය අත්අඩංගුවට ගනු ලැබීමට පෙර නිදහස් චිත්‍රපට නිෂ්පාදකයකු සමඟ පැවැත්වූ සාකච්ඡාවක දී අදහස් දැක්වූ ෂාන්ග් ෂාන් කොරෝනා වසංගතය ‘වුහාන්’ නගරයේ පැතිරයාම ආරම්භ වූ මොහොතේ එම නගරවාසියකු විසින් එහි පවතින තත්වය සම්බන්ධයෙන් අන්තර්ජාලයේ පළකරන ලද පෝස්ටුවක් කියැවීමෙන් අනතුරුව පසුගිය පෙබරවාරි මාසයේ එම නගරයට යාමට තීන්දුකළ බව කියා සිටියාය.

    ෂාන්ග් ෂාන් ‘වුහාන්’ නගරයට ලඟා වීමෙන් අනතුරුව නගරයේ වීදිවල,රෝහල්වල පවතින සැබෑ තත්වය දැකගත් අතර, ඒ සමඟ ඇය බලධාරීන්ගේ තර්ජන පවා නොතකා හරිමින් වාර්තාමය චිත්‍රපට සහ රචනා ප්‍රකාශයට පත්කරන්නට පියවරගත් අතර ඒවා සමාජ මාධ්‍ය ජාලයෙහි විශාල මට්ටමින් හුවමාරුවන්නට විය.

    ෂාන්ගේ වාර්තා මගින් රඳවා තබනු ලැබ සිටි නිදහස් මාධ්‍යවේදීන් සහ කොරෝනාවෛරසයට ගොදුරු වූ පුද්ගලයන් වෙනුවෙන් වගවීමක් ඉල්ලා සිටි පවුල්වල සාමාජිකයන් හිරිහැර ආදියට භාජනය කරනු ලැබීමත් ලෝකයට අනාවරණය වූ බව චීනයේ මානව හිමිකම් ආරක්ෂාව වෙනුවෙන් පෙනීසිටින්නන්ගේ ජාලය(CHRD) නම් මානව හිමිකම් සංවිධානය පවසයි.

    “වෙන්න පුළුවන්-මට විප්ලවීය ආත්මයක් තියෙන්න පුළුවන්! මම කරන්නේ සත්‍යය වාර්තාකරනු ලැබීම. ඇයි, මට සත්‍යය හෙළිදරව් කරන්න බැරි? බීබීසීය ලබාගත් ඇයගේ අදහස් රැගත් හඬපටයක් මගින් ෂාන් ප්‍රශ්න කරයි.

    “මම ඉටුකරමින් සිටින කාර්යභාරය නතර කරන්නේ නැහැ. මොකද? මේ රට (චීනය) ආපස්සට යන්න දෙන්න බැහැ.”

    china,covid-19
    කෝවිඩ්-19 වෛරස් වසංගතය ‘වුහාන්’ නගරවාසීන්ගේ ජන ජීවිතය සහමුළින්ම කණපිට හරවමින් දුෂ්කර තත්වයක් ඇති කළේය

    චීනයේ මානව හිමිකම් ආරක්ෂාව වෙනුවෙන් පෙනීසිටින්නන්ගේ ජාලය (CHRD) පවසන පරිදි, ෂාන් පසුගිය මැයි 14 වෙනිදා පටන් අතුරුදහන්ව ඇත. ෂාන් අතුරුදහන්වීමෙන් දවසකට පසු දැනගන්නට ලැබී තිබෙන්නේ, වූහාන් නගරයේ සිට කිලෝමීටර් 640කටත් ඈතින් පිහිටි ෂැන්හයි නගරයේ පොලිසියක ඇය රඳවාගෙන සිටින බවය.

    මාධ්‍යවේදිනියට එරෙහිව පළමුවරට නිලමට්ටමින් චෝදනා ගොණුකරන ලද්දේ පසුගිය නොවැම්බර් මාසයේය.

    ‘වීචැට්’ (WeChat) ‘ට්විටර්’ (Twitter) සහ ‘යූ ටියුබ්’ (YouTube) වැනි සමාජ මාධ්‍ය ජාලා ඔස්සේ පළකරන ලද පණිවුඩ, වීඩියෝ සහ වෙනත් ප්‍රකාශන මගින් “සාවද්‍ය තොරතුරු ප්‍රචාරය කිරීම” ෂාන්ට එරෙහිව ඉදිරිපත් වූ චෝදනා පත්‍රයට ඇතුළත් කරුණු විය.

    ඇයට එරෙහි තවත් චෝදනාවක් වුනේ විදේශීය මාධ්‍ය සඳහා සාකච්ඡා පිළිගැනීමය. එම චෝදනාව මගින් කියැවුණේ ‘වුහාන්’ නගරයේ කොවිඩ් -19 වෛරසය සම්බන්ධයෙන් “ද්වේශ සහගත තොරතුරු පතුරුවා හැරීමය.”

    ‘අනතුරු ඇඟවීමේ දඬුවමක්’

    තමා පොලිස් අත්අඩංගුවට ගනු ලැබීමට එරෙහිව ෂාන් ආහාර වර්ජනය කිරීමේ ව්‍යාපාරයක් ආරම්භ කළාය. ඒ සමඟ ඇයගේ ශරීර සෞඛ්‍යය පිරිහීමට පත් විනැයි පැවසෙයි.

    මෙම දෙසැම්බර් මාසය මුලදී සිය සේවාදායිකාව හමුවූ අවස්ථාවේ කරුණු දැක්වූ ඇය “බටයක් මගින් බලහත්කාරයෙන් තමාට ආහාර ශරීරගත කරන ලද” බව කියාසිටියේ යයි ෂාන් ප්‍රකාශකළ බව ඇය වෙනුවෙන් පෙනීසිටි එක් නීතිවේදියෙක් පැවසීය.

    සිය සේවාදායිකව හිසරදය, ක්ලාන්තය සහ බඩරුදාවෙන් පෙළුන බවත් එම නීතිවේදියා පවසයි.

    “දවසේ පැය 24 පුරාම සිරකර තබනු ලැබීම නිසා ඇයට නාන කාමරයට යාමටත් උදව්වක් අවශ්‍ය කරනවා. ඇය නින්දේදීත් එහාමෙහා පෙරළෙනවා,” නීතිවේදී ෂාන් කෙකේ (Zhang Keke) පවසයි.

    “ඇය ඉන්නේ දැඩි මානසික පීඩාවක. හැම දවසකම ඇය පසුවන්නේ මහත් වධ වේදනාවකින්.”

    එම පිරිහුණ සෞඛ්‍ය තත්වය ඉදරිපත් කරමින් සිය සේවාදායිකාවට එරෙහි නඩු විභාගය කල්තබන ලෙස නීතිවේදියා ඉල්ලීමක් ද කර තිබුණි.

    ෂාන් 2019 වසරේත් චීන පොලිසිය විසින් අත්අඩංගුවට ගනුලැබ ඇත. එම අත්අඩංගුවට ගැනීම සිදුව තිබෙන්නේ ඇය හොංකොං ප්‍රජාතන්ත්‍රවාදීන්ට සහයෝගය පළකිරීමය.

    ෂාන් නිදහස් මාධ්‍යවේදිනියට සිරදඬුවම් නියමකරනු ලැබීම CHRD සංවිධානයේ උපදේශක සහ පර්යේෂක ලියෝ ලෑන් (Leo Lan) විසින් විග්‍රහකරන ලද්දේ “අනතුරු ඇඟවීමක්” හැටියටය.

    “ඇයට නියමකරන ලද දඬුවම ඉතාම බරපතල එකක්. චීන ආණ්ඩුව ඇය නිහඬ කිරීමට දැඩි අධිෂ්ඨානයෙන් කටයුතු කළා. මෙය ‘වුහාන්’ නගරයේ සිද්ධවුණේ කුමක්ද? කියන කාරණය අනාවරණය කිරීමට උත්සාහ දරන සෙසු ජනයාත් බියගැන්වීමක් !” ලියෝ ලෑන් (Leo Lan) බීබීසියට අදහස් දක්වමින් සඳහන් කළේය.

    “වසංගතය සම්බන්ධයෙන් වාර්තාකරණයේ නිරතවීම නිසා අත්අඩංගුවට ගෙන සිටින අනිත් පුරවැසියන්ගේ ඉරණම ගැනත් මම ඉන්නේ කණස්සල්ලකින්.”

    ‘වුහාන්’ නගරයේ සිට වාර්තාකරණයේ නිරතවෙමින් සිටි ලී ෂේහුආ (Li Zehua), චෙන් ක්විෂි (Chen Qiushi) සහ ෆෑන්ග් බින් (Fang Bin) යන මිනිස් අයිතිය වෙනුවෙන් පෙනීසිටින නිදහස් මාධ්‍යවේදීන් ද මේ වසර ආරම්භයේ පටන් අතුරුදහන්වීමට ලක්වූහ.

    පසුව නිදහස් ලෝකයට පැමිණි ලී ෂේහුආ (Li Zehua) කියාසිටියේ තමා බලහත්කාරයෙන් නිරෝධායනය කළ බවය. මේ අතර චෙන් ක්විෂි (Chen Qiushi) ආණ්ඩුවේ අධීක්ෂණය යටතේ ඔහුගේ පවුලේ සාමාජිකයන් සමඟ රැඳී සිටින බවක් වාර්තා වෙයි.

    එහෙත් ෆෑන්ග් බින්ට (Fang Bin ) සිදු වූ දෙයක් තවමත් දැනගන්නට නැත.

    චීනය තුළ පැතිරුණ ආකාරය

    Text by bbc sandesaya

  • ශ්‍රී ලංකා සෞභාග්‍යතා දර්ශකය පහළට

    ශ්‍රී ලංකා සෞභාග්‍යතා දර්ශකය පහළට

    ශ්‍රී ලංකා සෞභාග්‍යතා දර්ශකය, 2018 වසරේ වාර්තා කළ 0.811 ක අගයට සාපේක්ෂව 2019 වසරේ දී 0.802 දක්වා පහළ ගොස් ඇති බව ශ්‍රී ලංකා මහ බැංකුව කියයි. මේ සඳහා ‘ආර්ථික සහ ව්‍යාපාර පරිසරය’ සහ ‘සමාජ-ආර්ථික යටිතල පහසුකම්’ යන උපදර්ශකයන්හි පහළ යෑම හේතු වී ඇති අතර ‘ජන ජීවිතයේ යහපැවැත්ම’ උපදර්ශකය මෙම වසර තුළ දී වැඩිදියුණු වී ඇති බවයි ශ්‍රී ලංකා මහ බැංකුව සදහන් කරන්නේ.

    සංචාරක හා ඒ ආශ්‍රිත කර්මාන්ත කෙරෙහි පාස්කු ඉරු දින ප්‍රහාරයෙන් ඇති වූ බලපෑම මත විරැකියාව ඉහළ යෑම සහ 2019 වසරේ අග භාගයේ පැවති අයහපත් කාලගුණික තත්ත්වයන් පදනම් කොටගෙන සාපේක්ෂව ඉහළ උද්ධමනයක් වාර්තා වීම, ආර්ථික සහ ව්‍යාපාර පරිසරය උපදර්ශකයේ පහළ යෑමට ප්‍රධාන වශයෙන් හේතු වී තිබෙනවා.

    පාස්කු ප්‍රහාරයෙන් පසුව ආරක්ෂාව පිළිබඳව ඇති වූ අවිනිශ්චිතතාවය සමඟ පොදු ප්‍රවාහන මාධ්‍ය භාවිතය අඩු වීම, සමාජ-ආර්ථික යටිතල පහසුකම් උපදර්ශකයේ පහළ යෑම කෙරෙහි බලපෑ ප්‍රධාන සාධකය විය.

    සෞඛ්‍ය හා අධ්‍යාපන පහසුකම්වල ගුණාත්මකභාවය සහ මහජනතාවගේ වත්කම් යන අංශවල ඉහළ වර්ධනය, ජන ජීවිතයේ යහපැවැත්ම උපදර්ශකයේ ඉහළ යෑමට ප්‍රධාන වශයෙන් දායක විය.

  • කොවිඩ්-19 එක්ක එන මානසික ගැටලු

    කොවිඩ්-19 එක්ක එන මානසික ගැටලු

    චතුරි සුරවීර විශේෂඥ මනෝ වෛද්‍ය ජාතික රෝහල කොළඹ (ජ්‍යෙෂ්ඨ කථිකාචාර්ය – කොළඹ වෛද්‍ය පීඨය)

    කොවිඩ් -19 වසංගතය මහජනතාවට, සෞඛ්‍ය අංශවලට සේම ඒ සම්බන්ධ පර්යේෂණ සිදුකරන්නන්ට ද අලුත් රෝග තත්ත්වයකි. මේ වන විටත් අපි ඒ රෝගයේ ස්වභාවය පිළිබද ඉගෙන ගනිමින් සිටිමු.

    මින් පෙරත් ලෝකයේ මෙවැනි වසංගත තත්ත්වයන් ව්‍යාප්ත වූ නමුත් ඒවායෙන් ශ්‍රී ලංකාවට ඒ හැටි බලපෑමක් එල්ල නොවිණි. මෙහිදී අප සියලු දෙනා වටා ඇත්තේ දැඩි අවිනිශ්චිත භාවයකි. සියල්ල අපගේ පාලනය යටතේ පැවතීම අප අපේක්ෂා කරනමුත් කොවිඩ් ඇත්තේ අපේ පාලනය යටතේ නොවේ. එබැවින් මෙම රෝගය හේතුවෙන් මේ අවස්ථාවේදී බොහෝ දෙනා ආතති තත්ත්වයන්ට පත්විය හැක.   

    තවත් අතෙකින් මේ තත්ත්වය යටතේ පැනවෙන ඇඳිරි නීතිය, හුදෙකලා කිරීම් වැනි ක්‍රියාදාමයන් හේතු කරගෙන ද පුද්ගලයින්ට මානසික ආතතීන් ඇති වේ. කෑමබීම සපයාගැනීම, වැටුප් ලබාගැනීම, ප්‍රවාහන ගැටලු මුල්කරගනිමින් එවැනි තත්ත්වයන් යටතේ බොහෝ මිනිසුන් ආතතියට පත්වීම සුලබව දැකිය හැකි ය.  

    කොවිඩ් -19 අපගේ සුපුරුදු ජීවන රටාව උඩුයටිකුරු කොට ඇත. මින්පෙර බොහෝ දෙනා ගත කළේ අතිශය කාර්යබහුල ජීවිතයකි. මුදල් පසුබස හඹායෑමේදී වැඩි කාලයක් ගත කිරීමට සිදු වූයේ රැකියාව හෝ ව්‍යාපාරය වෙනුවෙනි. නිවසේ රැඳී සිටීමට ඉඩ ලැබුණේ ඉතා කෙටි කාලයකි. එයින් ද පැය දෙක තුනකට වැඩියෙන් නිවැසියන් හා ගත කිරීමට අවස්ථාවක් නොවිණි. ඒ වෙනුවට කොවිඩ් අපව නිවෙසටම කොටු කර ඇති වාතාවරණයක් යටතේ බොහෝ පවුල්වල සියලුම සාමාජිකයින් දවසේ පැය 24 ම නිවසේ ය. ඒ අනුව පුද්ගලයින් නිවෙසටම හිරවීම තුළ එකිනෙකා අතර ගට්ටන වැඩී වී ඇති බවක් ද පෙනෙන්නට තිබේ.

    නිවසේ සිට රාජකාරී කිරීමේ පිළිවෙතක් ක්‍රියාත්මක වූවද බොහෝ විට කාන්තාවන්ට නිවසේ සිට රාජකාරී කිරීම අපහසු ය. නිවසේ සිටියදී දරුවන්ගේ කටයුතු ඉවුම්පිහුම්, අනෙකුත් වැඩ අතරතුර රාජකාරිය ද පටලවා ගැනීමට සිදුවීම තුළ මානසික ගැටලු මතු වූ අවස්ථා බහුල ය. එසේ ම Work From home  ක්‍රමවේදයේදී මින් පෙර පැය අටේ රැකියාව කළ ඇතැම් පුද්ගලයින්ට කොවිඩ් -19 වසංගත තත්ත්වය තුළ නිවෙසට වී රාජකාරිය වෙලාවක් කලාවක් නැතිවම සිදු කරන්නට විය.  

    මේ වකවානුව තුළ මාර්ගගත අධ්‍යාපනය ද මානසික ගැටලු ඇති කිරීමට බලපෑ තවත් කාරණයකි. කොවිඩ් -19 ව්‍යාප්තියට මත්තෙන් දරුවන් දිනකට පැය දෙක තුනක් පාඩම් කළේ පාසලේ ඉගෙනුම් කටයුතු, අමතර පංතිවලට සහභාගී වීම වැනි ක්‍රියාදාමයක් තුළ ය.

    මේ වන විට දරුවන් පැය 24 ම නිවසේ රැඳෙන බැවින් ඇතැම් දෙමාපියන් අපේක්ෂා කරන්නේ දරුවන් පැය 24 ම අධ්‍යාපන කටයුතුවලට යොමු විය යුතු බව ය. එය දරුවන්ට එක්තරා අන්දමකින් මානසික පීඩනයක් ගෙනදෙන්නක් විය. එසේ ම ඒ සමඟ ම බොහෝ දරුවන් පරිගණකයට, දුරකථනයට දැඩි ලෙස ඇබ්බැහි වීමේ ගැටලු ද පැනනැඟිණි.

    දෙමාපියන් දරුවන්ට පරිගණකයෙන්, දුරකථනයෙන් ඈත්වීමට බල කළ ද ඒ වෙනුවනට තෝරාගත හැකි විකල්පයන් ලබා නොදීම ද ළමා මනසට දැඩි සේ බලපෑම් එල්ල කරයි. එළිමහනේ ක්‍රීඩා කිරීමට අවස්ථාවක් නොමැති වීම මාපියන් සමඟ අදහස් බෙදාගැනීමට ඉඩක් නොමැති වීම තුළ නිවෙසට ම කොටු වී සිටින දරුවන් යම් යම් මානසික ගැටලුවලට ලක්වීම ද මේ වකවානුව තුළ වැඩි වශයෙන් හඳුනාගත හැකි ය.  

    එක අතෙකින් බාහිර සමාජයේ සියලු දෙනා ආසාදිතයන් බව සිතමින් සමාජ දුරස්ථ භාවය පවත්වාගනිමින් අප  ප්‍රවේශම් වීම වැදගත් ය. තවත් අතෙකින් එහිදී සිදු වන්නේ සෑම පුද්ගලයකු තුළ ම විශාල සැකයක් ඇති කිරීම ය. සෞඛ්‍ය සේවකයින්, ආරක්ෂක අංශවල සේවකයින්, ඇඟළුම් සේවක සේවිකාවන්, මත්ස්‍ය වෙළෙන්දන් ආදී නොයෙකුත් කණ්ඩායම්වල පුද්ගලයන් දෙස “මේ සිටින්නේ ආසාදිතයකු විය හැකි ය” යන සැකයත් සමඟ බැලීම තුළම ඇතැම් පිරිස් එම පුද්ගලයන් කොන් කිරීමට ද කටයුතු කළ බවක් පෙනෙන්නට විය. එය ද යම් යම් පුද්ගලයන් තුළ මානසික ආතතිය වැඩිකරලීමට හේතුවකි.  

    මීට අමතරව දියවැඩියාව, අධිරුධිර පීඩනය වැනි රෝගවලින් පීඩා විඳින්නන් මේ දිනවල වැඩි වශයෙන් ආතතියට ලක්වී ඇත්තේ එම පුද්ගලයන්ට කොවිඩ් -19 ආසාදනය වීමේ වැඩි ඉඩක් පවතින බවත් එසේ ආසාදනය වුවහොත් සිදුවන බලපෑම වැඩි බවත් හඳුනාගෙන තිබෙන බැවිනි. මේ සමඟ ඇති වෙන මානසික පීඩනය හේතුවෙන්  එම රෝගවල උත්සන්න වීමක් ද දැකිය හැකි ය.

    එසේ ම එවැනි රෝගීන්ට මේ අවස්ථාවේ ඖෂධ ලබාගැනීමට, වෛද්‍යවරුන් මුණගැසීමට ඇති අපහසුතා මෙන් ම රෝගය කෙතරම් උත්සන්න වුව ද කොවිඩ් -19ට බියෙන් ප්‍රතිකාර සඳහා නිවෙසින් බැහැරට නොයා සිටීම තුළ කොවිඩ් -19 ආසාදනය වීමෙන් මෙන්ම වෙනත් රෝග හේතුවෙන්ද වාර්තා වන මරණ සංඛ්‍යාවේ වැඩිවීමක් සිදු වී තිබේ.සාමාන්‍යයෙන් මෙවැනි ආතතිකාරී තත්ත්වයන් හමුවේදී මානසික රෝගවලට මින් පෙර ගොදුරු වී සිටි පුද්ගලයන්ගේ රෝග තත්ත්වයන් උත්සන්න වීමේ ප්‍රවණතාවක් ද ඇත. ඒ අනුව විශේෂයෙන් ම විශාදයෙන්, කාන්සා රෝග තත්ත්වයන්ගෙන් පෙළෙමින් සිටි අයගේ එම රෝග තත්ත්වයන් උත්සන්න විය හැකි ය.

    කොවිඩ්-19 වෛරසයේ ගොදුරක් බවට පත් නොවී සිටීමට නිරන්තරයෙන් දෑත් හොඳින් සබන් යොදා සෝදන ලෙසට අපට උපදෙස් ලැබේ. එහෙත් නිතර වැඩිපුර අත හේදීම වැනි තත්ත්වයන් ද ඇතැම් මානසික රෝගයන්ගේ (ග්‍රස්ථිය ) රෝග ලක්ෂණ ය. එවිට එවැනි මානසික රෝග ද උත්සන්න විය හැකි ය. එසේම ඇතැම් මානසික රෝග තත්ත්වයන්ගෙන් පෙළෙන්නන් කොවිඩ් -19 වාතාවරණය යටතේ නිසි ලෙස ප්‍රතිකාර සඳහා යොමු නොවීම, ඖෂධ ක්‍රමානුකූලව භාවිතා නොකිරීම හේතුවෙන් රෝග තත්ත්වයන් උත්සන්න වී ඇති බවක් ද පෙනෙන්නට තිබේ.

    මේ සමගම සියදිවි හානිකර ගැනීම්වලට ද විවර වූයේ වැඩි ඉඩකඩකි.  උද්ගත ව ඇති තත්ත්වය පිළිබඳ හරිහැටි නොදැන සිටීම ද පුද්ගලයින් අවශ්‍ය ලෙස පීඩාවට පත්කිරීමට හේතුවකි. ඇතැම්විට නිරෝධායන මධ්‍යස්ථානවලට ගෙන යන අයුරු, නිරෝධායනය කෙරෙන අයුරු ආදි සියලු දේ සමාජ මාධ්‍යය ද ඇතුළුව ඇතැම් මාධ්‍යවලින් පෙන්වාදුන්නේ බිය උපදවනසුලු අන්දමෙනි.

    එයාකාරයෙන් ජනතාවට සියල්ල විවර නොකිරීම තුළින් ඇතැම්විට ඔවුන් මෙම රෝගය සුළුකොට තකා අනාරක්ෂිත ව සිටීමෙන්, රෝගයේ පැතිරීම පාලනය කරගත නොහැකි තත්ත්වයක් ඇති වන්නා සේ ම සියල්ල නිරන්තරයෙන් හෙළිදරව් කිරීම තුළ ද අනවශ්‍ය බියකින්, මානසික පීඩනයකින් ජනතාව පෙළෙන්නට ඉඩ ඇත. පසුගිය දිනවල ඇතැම් රටවල මිනී කඳුගැසෙන ආකාරය අපි මාධ්‍ය ඔස්සේ දැකගත්තෙමු.

    මෙරට තත්ත්වය එතරම් බරපතල නොවුණ ද ඇතැමුන් දැඩි සේ බියට පත්ව සිටිනුයේ අපට ද එවැනි ම ඉරණමක් අත්වන බව සිතමිනි. එකම සිදුවීම වුව සියල්ලන් දරාගන්නේ එක ම ආකාරයකින් නොවේ. මේ සමඟ ඇතැම් පිරිස් නිරෝධායනයෙන් පලා යන්නට ද සියදිවි නසාගන්නට ද පෙළඹී ඇත්තේ ඔවුන් මේ තත්ත්වය දකින භයානක ආකාරය අනුව ය. එබැවින් මෙහිදී ජනතාව දැනුවත් කිරීම ද සිදු විය යුත්තේ සමබරව ය. 

    එසේම තොරතුරු දැනගැනීමේදී පුද්ගලයින් විසින් එක් විශ්වාසදායි මාධ්‍යයක් තෝරාගැනීම ද දිනකට වරක් දෙවරක් පමණක් පුවත් විකාශනයන්ට යොමු වීම ද මෙහිදී වැදගත් ය. මන්ද සෑම මාධ්‍යයකින්ම විකාශය කරන ප්‍රවෘත්තිවලට නිරන්තරයෙන් අවධානය යොමු කිරීම ද අනවශ්‍ය බියක්, චකිතයක් ඇති කරවිය හැකි ය. එකම සිදුවීම එක් එක් මාධ්‍යවලින් ලබාදෙන්නේ එක් එක් ආකාරයට ය.

    කෙසේ වෙතත් අවශ්‍ය ම කරුණු සම්බන්ධයෙන් අප තුළ වන නොදැනුවත් භාවය තුළ තමාටත් අනෙකාටත් අසාධාරණයක් සිදු වන බව ද සිහි තබාගත යුතු ය.   නිරන්තරයෙන් ඒකාකාරී ජීවන රටාවක් ගතකළ කාටත් අමතක වූ කාරණයක් වූයේ ඒ සියල්ල නැතිවුවහොත් ජීවිතය ගෙවන්නේ කෙසේද? යන්න ය. නොනවත්වා යන්ත්‍ර මෙන් වැඩ කළ ඇතැමුන් සිය විනෝදාංශවලින්, රසවින්දනයෙන්, ව්‍යායාම, භාවනා ආදියෙන්, ආගමික වතාවත් ආදියෙන් මෙන් ම ප්‍රියයන්ගෙන් බොහෝ දුරස්ථ ය. රැකියාව සහ මුදල් පසුපසම හඹායෑම වෙනුවට ජීවිතය සමබර ව පවත්වාගෙන යෑමේ වටිනාකම කොවිඩ් -19 මේ වන විටත් පෙන්වා දී හමාර ය.

    ජීවිතය සමබර ව පවත්වාගෙන යෑමට යම්තරමින් හෝ පුරුදුපුහුණු වී සිටි පුද්ගලයන්ට නිවෙසට වී ගත කරන මේ කාලය අනවශ්‍ය පීඩනයක් ගෙනදුන්නේ නැති අතර ඔවුන් නිවසේ වැඩ කටයුතු ද නිසි ලෙස පාලනය කරමින්, පොත් පත් කියවමින්, රසවින්දන වැඩසටහන් නරඹමින්, ගෘහස්ත ක්‍රිඩාවල නිරත වෙමින්, ගෙවතු අලංකරණය, වගා කටයුතු, ව්‍යායාම්වල නියැලෙමින්, රසවත් ආහාරපාන අත්හදා බලමින් නිවැසියන් හා සතුටින් කල් ගෙවීය. අප සෑම දෙයක් දෙසම ඍණාත්මකව ම සිතිය යුතු නැත.

    ධනාත්මක චින්තනය තුළ ද අත්කරගත හැකි වාසි රැසකි.එතුළ එක අතෙකින් ආතතිය අවම කරගත හැක. කොවිඩ් වසංගතතය හේතුවෙන් නිවෙසට වී සිටීමත් සමඟ නිවැසියන් හා ගත කළ හැකි කාලය වැඩිකරගැනීමට, මාපිය දූදරු සබඳතා වැඩි දියුණු කරගැනීමට, තම තමන්ගේ විනෝදාංශ සඳහා යොමු වීමට, විවේකීව සිටීමට මෙන්ම නිදහසේ සිතන්නට සියලු දෙනාට ඉඩහසර විවර වී ඇත.එපමණක් නොව පෙර නොවූ තරමින් අප මේ වකවානුව තුළ තාක්ෂණයට හා දියුණු ක්‍රමවේදයන්ට හුරු වෙමින් සිටීම ද යහපත් ප්‍රවණතාවකි.

    මාර්ගගත අධ්‍යාපනය,වීඩියෝ මාර්ගයෙන් වෛද්‍ය උපදෙස් ලබාගැනීම, ලිපි වෙනුවට වැඩිවැඩියෙන් විද්‍යුත් තැපෑලට යොමු වීම, ඖෂධ සහ අත්‍යවශ්‍යය ද්‍රව්‍ය නිවෙසටම ගෙන්වා ගැනීම එහිලා පෙන්වාදිය හැකි උදාහරණ කිහිපයක් පමණි. එය වූකලී මෙම වසංගත තත්ත්වය පිළිබඳ නිරන්තරයෙන් නැඟෙන ඍණාත්මක සිතුවිලි තරමක් දුරට හෝ මැඩපවත්වා ගනිමින් ඉදිරියට යෑමට හේතුවක් නොවේද?කෙසේ වෙතත් මේ දිනවල සෞඛ්‍ය ආරක්ෂිත පිළිවෙත් සහ ආරක්ෂාව වෙනුවෙන් යොදා ඇති නීති අකුරටම පිළිපැදිය යුතු ය. එසේ සිදු කරන්නේ නම් මානසික රෝග ඇති කරවන තරමට බිය සැක උපදවා ගත යුතු වන්නේ නැත.

    විශේෂයෙන් ම දරුවන් සමඟ ගනුදෙනු කිරීමේදී මේ කාලය තුළ පෙරටත් වැඩියෙන් ප්‍රවේශම් විය යුතු අතර ඔවුන් වෙත අනවශ්‍ය මානසික පීඩනයක් ලබානොදීමට වැඩිහිටියන් වගබලා ගත යුතු ම ය.  නිවසේ රැඳී සිටින්නන් මේ දිනවල සිය දිවාරාත්‍රී චක්‍රය දැඩි වෙනසකට ලක් කරමින් මධ්‍යම රාත්‍රී 12, 01 වන තුරු නිදි වරා පසු දා උදෑසන 10, 11 වන තුරු නින්දේ සිටීම නම් සෞඛ්‍යයට එතරම් හිතකර නොවේ.

    එසේ ම මේ වකවානුව තුළ ඇති වන මානසික ආතතිය පිට දමන්නට මතට හා දුමට හුරුවීමට කිසිසේත්ම නොකළ යුත්තකි. විශේෂයෙන් ම දුම් පානය කරන්නන්ට කොවිඩ් -19 ආසාදනය වීමට වැඩි ඉඩක් ඇති අතර ආසානය වීමෙන් පසු සංකූලතා ඇතිවීමේ ඉඩකඩ ද ඉතා වැඩි ය. එසේ ම බෙදාගෙන එකම දුම්වැටිය ඉරීම රෝගය වේගයෙන් පතුරවන්නට හේතුවේ. මත්පැන් පානය ඔබට ප්‍රවේශම අමතක කරවයි. මේ, දුම්වැටියට සහ මතට තිත තැබීමට හොඳම අවස්ථාවකි. 

    මෙම වසංත තත්ත්වය තුළ ප්‍රියයන්ගෙන් වෙන්වී සිටීමට සිදු වීම දරාගත නොහැකි වීම තුළ ද ඇතැම් පුද්ගලයන් තුළ යම් යම් මානසික ගැටලු ඇතිවීමක් දක්නට ලැබිණි. එවැනි අවස්ථාවලදී ද විශාද සහ කාන්සා රෝග තත්ත්වයන් ඇති විය හැකි ය. මින් පෙර පැවැති මානසික රෝග උත්සන්න වීමේ හැකියාව ද වැඩි ය. මානසික රෝගියෙකු යන ලේබලය ලබාදිය නොහැකි වුවද ඇතැම් පුද්ගලයන්ට වෙනදාට වැඩියෙන් තරහව, දුක, බිය, සැක ඇතිවීම වැනි මානසික ගැටලු ද ඇතිවිය හැකි ය.

    මේ අතරින් ඇතැම් මානසික ගැටලු ඉබේම පහව යා හැකි නමුත් ඇතැම් ඒවා සියදිවි නසා ගැනීමට පෙළඹීම දක්වා වුව ද උග්‍ර අතට හැරෙන්නට ඉඩකඩ පවතී. එබැවින් තම සමීපතමයින් පිළිබඳ සැලකිලිමත් වන්න. ඔවුන්ගේ පැහැදිලි වෙනස්කම් පිළිබඳ නොකතා සිටීම, ඔවුන් ඔබෙන් සදහට ම ඈත් කරවීමට හේතුවක් විය හැකි ය. 

    තමාට හෝ සමීපතමයකුට යම් මානසික ගැටලුවක් පවතින්නේ නම් එය ප්‍රතිකාර ගත යුතු තත්ත්වයක්ද? නැද්ද? යන්න තනිව තීරණය නොකරන්න. වෛද්‍යවරයෙකු වෙත යොමුවන්න. එහිදී අවශ්‍ය නම් ඔබව හෝ ඔබේ සමීපතමයාව මානසික වෛද්‍යවරයෙකු වෙත යොමු කෙරෙනු ඇත. මේ සම්බන්ධයෙන් මනෝ වෛද්‍යවරුන්ගේ සංගමයේ වෙබ් අඩවිය ද උපකාරකොට ගත හැකි ය.

    එසේ ම 1926 අංකය ඔස්සේ ජාතික මානසික රෝග විද්‍යායතනය හා සම්බන්ධ වීමෙන් ඔබට ඇති යම් යම් මානසික ගැටලු සම්බන්ධයෙන් උපදෙස් ලබාගැනීමේ අවස්ථාව උදා වේ. තව ද සාමාන්‍යයෙන් ඔබට නින්ද නොයයි නම්, ආහාර ගන්නා ප්‍රමාණයේ වැඩිවීමක් හෝ අඩුවීමක් සිදු වී ඇත්නම්, හිතට වෙනදාට වැඩියෙන් දුක දැනෙවා නම්, තරහා ඇතිවන්නේ නම්, ඇඟට පණ නැති බවක් දැනෙන්නේ නම්, නිතර බියෙන් සිටිනවා නම්, “මැරෙන්න ඕනෙ, මැරිලා ගියා නම් හොඳයි” වැනි සිතුවිලි පහල වේ නම්, එය කුමන හෝ මානසික රෝගයක ලක්ෂණ විය හැකි ය.

    එබැවින් එවැනි තත්ත්වයන් හමුවේ ඉක්මනින් ළඟම සිටින වෛද්‍යවරයෙකු හෝ මනෝ වෛද්‍යවරයකු වෙත යොමු වන්න. මන්ද මේ රෝග තත්ත්වයන් ඖෂධවලින් සහ මනෝ චිකිත්සක ප්‍රතිකාර ක්‍රමවලින් පාලනය කරගත හැකි ය.    

    චතුරි සුරවීර විශේෂඥ මොනෝ වෛද්‍ය ජාතික රෝහල කොළඹ (ජ්‍යෙෂ්ඨ කථිකාචාර්ය – කොළඹ වෛද්‍ය පීඨය)

    සටහන – කාංචනා සිරිවර්ධන

  • ආර්ථිකය නිසි පීල්ලට එනතෙක් ජනතාව ද කැප කිරීම් කළ යුතුයි

    ආර්ථිකය නිසි පීල්ලට එනතෙක් ජනතාව ද කැප කිරීම් කළ යුතුයි

    මේ වන විට පනවා ඇති ආනයන සීමා තුළ ජනතාව යම් තරමකින් අපහසුතාවට පත්කරමින්, බොහෝ දේ කෙටි කාලයකට හිඟ වීමේ ඉඩකඩ පවතින බව සැබෑවකි. එහෙත් ඒ අත්දකින්නාවූ හිඟය තුළම දේශීය නිෂ්පාදකයින්ට අවස්ථාවක්, පෙළඹවීමක් ඇති වේ.

    ආචාර්ය අජිත් දිසානායක – ආර්ථික විද්‍යා අධ්‍යයනාංශය – කැළණිය විශ්වවිද්‍යාලය

    ඕනෑම රටක් සිය සාර්ව ආර්ථික ප්‍රතිපත්ති මෙහෙයවිය යුත්තේ ආර්ථික සමතුලිත භාවය, ආර්ථික ස්ථායිතාවය, ආර්ථික වර්ධනය හා සංවර්ධනය, සමානාත්මතාවය, පූර්ණ සේවා නියුක්තිය වැනි මූලික අරමුණු සාක්ෂාත් කරගැනීම උදෙසා ය.

    සාර්ව ආර්ථික ප්‍රතිපත්ති, අභ්‍යන්තර ප්‍රතිපත්ති සහ බාහිර ප්‍රතිපත්ති වශයෙන් දෙකොටසකි. අභ්‍යන්තර ප්‍රතිපත්ති පිළිබඳ අවධානය යොමු කිරීමේදී පෙනී යන කරුණක් වන්නේ මෙරට තුළ වසරින් වසර පුළුල් වෙමින් එන අයවැය පරතරයක් ඇති බව ය. මෙරට ආදායම රටේ වියදම් පියවා ගැනීමට ප්‍රමාණවත් නොවේ. එවිට අයවැය හිඟය පියවා ගැනීමට සිදු වන්නේ වෙනත් මූලාශ්‍රවලිනි. එම මූලාශ්‍ර ඇතැම්විට ආර්ථිකයට දරාගත හැකි යහපත් මූලාශ්‍ර වන්නට සේ ම තවත් විටක ආර්ථිකයට දරාගත නොහැකි අයහපත් මූලාශ්‍ර වන්නට ද ඉඩ ඇත. එය වූකලී අභ්‍යන්තර තුලනයට අදාළ කරුණකි.

    අනෙක් අතින් රටක් ලෙස අප බාහිර වශයෙන් විදේශීය වෙළඳපොළ සමඟ ගනුදෙනු සිදු කරන විට අපේ අපනයන සහ ආනයන අතර ගෙවුම් ශේෂ හිඟයක් ඇති වේ. එනම් අපනයන ආදායම, ආනයන වියදම පියවා ගැනීමට ප්‍රමාණවත් නොවේ. එය වූකලී බාහිර තුලනයට අදාළ කරුණකි.       

    රටේ ජනගහනය සීඝ්‍රයෙන් වර්ධනය වේ. ඒත් සමඟ කනබොන කටවල් ප්‍රමාණය ද වැඩි වේ. මේ අතර ඊට වඩා වැඩි වේගයකින් ආනයන ප්‍රමාණය වැඩි විය. එපමණක් නොව විදෙස් වෙළඳපොළවලින් ආනයනය කරන භාණ්ඩවල මිල ගණන්ද දිගින් දිගටම වැඩි වෙමින් පවතී. එවිට අපට සිදු වනුයේ සීමිත ආනයන ප්‍රමාණයක් වෙනුවෙන් අසීමිත මුදල් සම්භාරයක් කැප කිරීමට ය.   

    මින් පෙර තේ කිලෝ ගෑම් 1000ක් දී මොටර් රථයක් ගෙන්නුවා නම් මේ වන විට මෝටර් රථයක් ගෙන්වීමට තේ කිලෝග්‍රෑම් 1200ක් එතෙරට පිදිය යුතු ය. මෙහිදී රටේ සම්පත් සූරාකෑමකට ලක්වේ. එබැවින් සංවර්ධනය හඹාගෙන අප හැම විටම යා යුත්තේ දරාගත හැකි ගමනකි. 

    නිෂ්පාදකයා වෙනුවට ව්‍යාපාරිකයා ඉස්මතු වීම

    ඉකුත් වසර ගණනාවක් මුළුල්ලේ ම දේශීය වශයෙන් අපට නිපදවිය හැකි වූ බොහෝ දේ අප විදේශීය වශයෙන් ආනයනය කළ බව කවුරුත් දන්නා සත්‍යයකි. සරුංගලය, වෙසක් කූඩුව, හඳුන්කූර, ගිනිපෙට්ටිය. ඇල්පෙනිත්ත පවා ගෙනාවේ පිටරටිනි. මේ අපට දේශීය වශයෙන් ඉතා පහසුවෙන් නිපදවිය හැකි දේ නොවේද? 

    කෘෂිකාර්මික රටක් වන ශ්‍රී ලංකාව පසුගිය කාලය පුරා මුංඇට, කඩල, කහ, ඉඟුරු, රටකජු පිටරටින් ගෙන්වීය. එයට හේතුව දේශීය නිෂ්පාදකයා කපාදමාගෙන ව්‍යාපාරික ප්‍රජාවක් නැඟීටීම ය. ඔවුන් සිදු කරන්නේ විදේශීය වශයෙන් නිපද වූ දෑ මෙරටට ගෙනැවිත් විකුණා මහා පරිමාණයේ ලාබ ලැබීම ය.

    මේ වන විට ව්‍යාපාරිකයා අතට පත්ව ඇති අපේ ආර්ථිකය නැවත වතාවක් දේශීය නිෂ්පාදකයා අතට පත් කළ යුතු ය. දේශීය වශයෙන් ශක්තිමක් ආර්ථිකයක් ගොඩනැනේනේ මේ කියන්නාවූ ව්‍යාපාරිකයන් පිටරටින් ගෙන්වන භාණ්ඩ දේශීය වශයෙන් නිෂ්පාදනය කිරීමට ඉඩ ලබාදීම තුළිනි. මෙහිදී අත්‍යවශ්‍ය භාණ්ඩ, අත්‍යවශ්‍ය නොවන භාණ්ඩ, දේශීය වශයෙන් නිපදවිය හැකි භාණ්ඩ, දේශීය වශයෙන් විකල්පවලට එළැඹිය හැකි භාණ්ඩ සහ අනිවාර්යෙන්ම ආනයනය කිරීමට සිදු වන භාණ්ඩ මොනවාද? යන කාරණා පිළිබඳව මූලික වශයෙන් තීරණය කළ යුතු ය. මේ වර්ගීකරණය නිවැරදිව සිදු කිරීම රටේ ඉදිරි ගමන සඳහා බෙහෙවින් ම වැදගත් වේ.    

    දේශීය වශයෙන් නිෂ්පාදනය කළ හැකි භාණ්ඩ ආනයනය කිරීම නවතා දැමීමේ කිසිඳු වරදක් නැත. නිදසුනක් ලෙස කහ, ඉඟුරු, රටකජු වැනි මෙරට තුළ වගා කළ හැකි බෝග ආනයනය කළ යුතු නොවේ. ඇඟළුම් මෙරට විදෙස්  විනිමය ඉපයීම්වල ඉහළම අගයක් ගන්නා නිෂ්පාදනයකි. ලෝකයේ පොහොසත් ම රටවල ව්‍යාපාරිකයන් මෙරටට පැමිණ ආයෝජනය කිරීමෙන් නිෂ්පාදනය කරන ඇඟළුම් මේ වන විටත් ඇමරිකාව, එංගලන්තය ඇතුළු ලොව ධනවත් බලවත් රාජ්‍යයන් පරිභෝජනය කිරීම රටට ආඩම්බරයකි. එනම් ලොව ඕනෑම රටකට පිළිගත හැකි උසස් ප්‍රමිතියෙන් යුතු ඇඟළුම් නිපදවන පුහුණු ශ්‍රම බලකායක් අපට හිමි ය. එ

    හෙත් කණගාටුවට කරුණ නම් අප ඇඟලන්නේ රටින් ගෙනා ඇඳුම් වීම ය. මහන යන්ත්‍ර, රෙදි, නූල්, බොත්තම් අපට නැතිනම් කළ යුත්තේ ඒවා පිටරටින් ගෙන්වා ඇඳුම් මෙරට තුළ නිපදවා ගැනීම ය. එහෙත් අමුද්‍රව්‍ය ගෙන්වා ඇඳුම් නිපදවා ගැනීම වෙනුවට අප සිදු කරන්නේ නිමි ඇඳුම් ගෙන්වීම ය. නිමි ඇඳුම් ආනයනය නැවැත්විය යුතු ය. එවිට ඇඳුම් වෙනුවෙන් මෙරටින් පිටරටට ගලන මුදල් රටට ඉතිරි වනු ඇත.

    දියුණු රටවල වෙළෙදපොළක් නොවීම

    මෝටර් රථ ගෙන්විය යුත්තේ වසර තුන හතරකින් මාරු කිරීමට නොවේ. සාමාන්‍යයෙන් ආනයන කෙරෙන්නේ දිගු කලක් පරිභෝජනය කළ හැකි මෝටර් රථ ය. එහෙත් ඒවායේ ආයු කාලය අවසන් වීමට මත්තෙන් නැවත නැවත මෝටර් රථ ගෙන්වන විට සිදු වන්නේ කුමක්ද? ආනයනය කරන මොටර් රථ උපරිම ආයු කාලයක් පාවිච්චියට ගත යුතු ය. නිසි ප්‍රතිපත්තියක් නැතිව මෙරට මහා මාර්ග පිරිතීරී යන තරමට මෝටර් රථ ආනයනය කළහොත් ඊට සාපෙක්ෂව මැදපෙරදිගින් බොරතෙල් ගෙන්වන ප්‍රමාණය වැඩි කිරීමට සිදු වනු ඇත. මෝටර් රථ වෙනුවෙන් වැඩි වැඩියෙන් අමතර කොටස් ගෙන්වීමට ද සිදු වේ. මේ සියල්ල වෙනුවෙන් අප නැවත නැවතත් එතෙරට මුදල් පිදිය යුතු ය.   

    මේ තත්ත්වය පැහැදිලිව හඳුනාගත යුතු ය. ලෝකයේ දියුණු යැයි සම්මත බටහිර කාර්මික රටවල් නැතහොත් කේන්ද්‍රීය රටවල් හැමවිට ම අප වැනි දියුණු වෙමින් පවත්නා රටවල් (පරිදියේ රටවල්) ඔවුන්ගේ වෙළඳපොළවල් ලෙස පාවිච්චි කරයි. දියුණු රටවල් ඔවුන්ගේ නිෂ්පාදන අලෙවි කරන්නේ අපට ය. එම නිෂ්පාදන පරිභෝජනය කරන්නේ අප ය.   

    යටත් විජිත සමයේදී මෙන් ම ඉන් අනතුරුවත් ඔවුන් සිදු කළේ අපේ රටවල් ඔවුන්ගේ අවශ්‍යතා අනුව පාලනය කිරීම ය. මෙරට දියුණුවට බාධා කළ ප්‍රබල සාධකයක් වූයේ 30 වසරක් පුරා පැවැති යුද්ධය යි. එක රටක් දෙපිළකට බෙදී 30 වසරක් යුද වැදීමේ වාසිය සැබවින් ම අත්පත් කරගත්තේ කවුරුන්ද? යුද්ධයට ආයුධ කොහෙන්ද? යුද උපකරණ හැදුවේ කවුරුන්ද? යුද පුහුණුව ලබාදුන්නේ කවුරුන්ද? 80 දශකයේදී ඊශ්‍රායලයේ මෝසාඩ් සංවිධානයෙන් කණ්ඩායම් දෙකටම පුහුණුව ලබාදුන් අතර දියුණු කාර්මික රටවල් අපට එකිනෙකා මරාගැනීමට ආයුධ අලෙවි කළ වග අමතක නොකළ යුතු ය. පරිදියේ රටවල වාර්ගික යුද්ධ, සිවිල් කෝලහාල ඇතිවන විට කේන්ද්‍රීය රටවල් එහි වාසිය අත් කරගනී. එක් කණ්ඩායමක් යුද වැදීමට අවිආයුධ විකුණට විට ඔවුන්ගේ ම අනෙක් කණ්ඩායම සාමය බෙදන්නට විය. සැබැවින් ම ඔවුන් සාමය බෙදනවා නම් ඔවුන් නිපදවන ආයුධ අපට බෙදා දුන්නේ කුමක් සඳහාද? 

    පාරිභෝජනයට ගිජු සමාජයක් බිහිවීම

    අප මෙතෙක් කල් ඉටුකොට ඇත්තේ කාගේ අවශ්‍යතාවද? බටහිර රටවල් විසින් ඔවුන්ගේ නිෂ්පාදන භාණ්වලට අපව ගොදුරු කරගනිමින් පරිබෝජනයට ගිජු සමාජයක් බිහිකොට ඇත. 2004 මහබැංකු මූල්‍ය ආර්ථික සමීක්ෂණය අනුව ශ්‍රී ලංකාවේ අත්‍යවශ්‍යම භාණ්ඩය බවට පාන්පිටි තෝරාගෙන තිබුණි. එහෙත් මෙරට ප්‍රධාන ආහාරය බත් ය.  ප්‍රධාන ආහාරය බත් වූ රටේ අත්‍යවශ්‍ය ආහාරය පාන්පිටි වී තිබීම කෙතරම් හාස්‍යජනකද?

    පිටරැටියන් තිරිඟුවල පෝෂදායි කොටස ඉවත් කරගෙන සුදු පාන්පිටි ටික අපේ රටවලට පටවන බව දැන දැනම එවැනි දේට ගිජුව ලෙඩ රෝගවලට ගොදුරු වීම අනුවණකමකි. ලෙඩ කරවන ආහාරපානවලට අප හුරු කරවා, අපේ රටවල මුදල් සූරගන්නා බටහිර රටවල් ඒ ආහාරපාන හේතුවෙන් ලෙඩවන අපට ඖෂධ විකුණා තව තවත්  මුදල් උපයන වග ද අප අමතක කළ යුතු නැත. බටහිර වෛද්‍ය ක්‍රමය තුළ දියවැඩියාව, අධිරුධිර පීඩනය වැනි බෝ නොවන රෝග පාලනය කරන බව මිස නිට්ටාවට සුව කරන බවක් අසා තිබේද? ප්‍රතිකාර අරඹා කලක් ගත වූ පසු රෝගියාව මිල වැඩි පෙත්තකට මාරු කරයි. බටහිරින් අපට අත්කොට දී ඇති සෝචනීය තත්ත්වය මෙය නොවේද?   අපේ දේ අපට අගයක් නැති වුවද දේශීය වෛද්‍ය ක්‍රමවල ලෙඩරෝග සුව කරනවා විනා වවාගෙන කන්නේ නැත.

    2014දී මෙරට තුළ වී අතිරික්තයක් පැවතිණි. පාන්පිටි පරිභෝජනය 30%ක් අඩු විය. මෙරට ජනතාව ධාන්‍ය සහ සහල් පරිබෝජනයට පෙළඹුණි. එහෙත් 2018 වන විට අප මෙරට සහල් අවශ්‍යතාවයෙන් 42%ක් පිටරටින් ගෙන්වන තැනට පත්විය. සහල් අතිරික්තයක් පැවැති රටක වසර 04ක් තුළ සහල් අවශ්‍යතාවයෙන් 42%ක් පිටරටින් ගෙන්වීම කෙතරම් සෝචනීය තත්ත්වයක්ද? 

    ආනයනය කළේ අත්‍යවශ්‍ය භාණ්ඩද ?

    මෙතෙක් කල් අප ආනයනය කොට ඇති භාණ්ඩ බොහොමයක් අත්‍යවශ්‍ය දේ නොවේ. එහෙයින් ආනයන සීමා පැනවීම සතුටුදායක ය. එහෙත් කර්මාන්ත පෙර සම්බන්ධතා හා පසු සම්බන්ධතා පිළිබඳව අනවබෝධයෙන් ආනයනය සීමා පැනවීම සිදු කළහොත් එය රටට යහපත් නොවනු ඇත. එබැවින් පාලනය කළ යුතු, තහනම් කළ යුතු සහ ගෙන්විය යුතු භාණ්ඩ සම්බන්ධයෙන් නිවැරදි තීන්දුව ගත යුතු ය.

    දේශීය වශයෙන් අපට පළමු පියවරේදී නිෂ්පාදනය කළ නොහැකි අත්‍යවශ්‍ය භාණ්ඩ ද ඇත. යම් රෝගයකට අවශ්‍ය ඖෂධ වර්ගය මෙරට තුළ නොමැති නමුත් එකී රෝගය රට තුළ ව්‍යාප්ත වී ඇත්නම් එම ඖෂධය අනිවාර්යෙන්ම ගෙන්විය යුතු ය. එහෙත් ඒ වෙනුවට දේශීය වශයෙන් ද ඖෂධයක් සොයාගෙන ඇත්නම් එම ඖෂධය ද දියුණුකොට විකල්පයක් ලෙස පවත්වාගත යුතු ය. එවිට කල්ගත වන විට ක්‍රමිකව අපට ආනයනය කරන ඖෂධය පාලනය කිරීමට අවස්ථාවක් උදා වේ. මේ වන විට අප ගෙන්වන බොහොමයක් ඖෂධ ඉන්දියාවේ ගෘහ කර්මාන්ත ලෙස නිපදවන ඒවා ය.

    ක්ෂණික ආහාර, පැණිබීම වර්ග ආනයනය තහනම් කළ යුතු ය. කිරිපිටි ආනයනය කිරීම වෙනුවට දේශිය වශයෙන් දියර කිරි කර්මාන්තය දියුණු කළ යුතු ය. අද අප භාවිත කරන කැත්ත, උදැල්ල පවා ආනයනය කළ ඒවා ය. අපේ කර්මාන්ත බොහොමයක් මේ වන විට විනාශ මුඛයට ඇදවැටී තිබීම කණගාටුවට කරුණකි. අප උසස් ප්‍රමිතියෙන් යුතු රබර් අපනයනය කොට ඒ රබල්වලින් නිපදවන අත්වැසුම් ආනයනය කරන්නේ කුමක් නිසාද? අත්වැසුම් අපට ම නිපදවාගත නොහැක්කේ මන්ද?

    ආනයන සීමා හමුවේ මැසිවිලි එපා

    ආනයන සීමා කිරීමත් සමඟ ඇතැම් භාණ්ඩ සම්බන්ධයෙන් වෙළඳපොළේ ඇති හිඟය පිළිබඳ මැසිවිලි නැඟීම නොවේ සිදු කළ යුත්තේ එම භාණ්ඩ දේශීය ව නිපදවීමට උත්සුක වීම ය. එසේ නොහැකි නම් විකල්ප නිෂ්පාදන කරා එළැඹීම සුදුසු ය. ආනයනයට පෙළඹිය යුත්තේ ඒ කිසිවක් කළ නොහැකි තැනකදී ය. නිදසුනක් ලෙස සලකා බැලුවහොත් මේ වන විට තණකොළ කපන යන්ත්‍ර පිටරටින් ගෙන්වීම නවතා දමා ඇත. එවැනි යන්ත්‍ර මෙරට ප්‍රජාවට නිපදවිය නොහැකිද? සැබවින්ම වෙළඳපොළ තුළ හිඟ වී ඇති බොහෝ දේ දේශීය වශයෙන් නිපදවිය හැකි භාණ්ඩ ය.

    අපට දේශීය වශයෙන් නිපදවාගත නොහැකි සේම විකල්පයක් ද සොයාගත නොහැකි දේ පමණක් මේ අවස්ථාවේ ආනයනය කිරීම සුදුසු ය. නිදසුනක් ලෙස ගතහොත් ඛනිජ තෙල් ආනයනය කිරීම සාධාරණ ය. වාහන එන්ජින් ගෙන්වීමේ වරදක් නැත. එහෙත් ටයර් ගෙන්විය යුතු නැත. මන්ද ටයර් අපට දේශීය වශයෙන් නිපදවිය හැකි ය. අපට නිපදවිය හැකි දේ ආනයනය කිරීම නැවැත්විය යුතු ය. මේ පිළිවෙත අනුගමනය කිරීමට නම් රට ගැන හැඟීමකින් කටයුතු කළ යුතු ය. රටට ගැලපෙන ආකෘතිය නිවැරදිව තෝරාගත යුතු ය. එසේ ම යම් යම් තත්ත්වයන් දරාගත යුතු ය.  

    මේ වන විට පනවා ඇති ආනයන සීමා තුළ ජනතාව යම් තරමකින් අපහසුතාවට පත්කරමින්, බොහෝ දේ කෙටි කාලයකට හිඟ වීමේ ඉඩකඩ පවතින බව සැබෑවකි. එහෙත් ඒ අත්දකින්නාවූ හිඟය තුළම දේශීය නිෂ්පාදකයින්ට අවස්ථාවක්, පෙළඹවීමක් ඇති වේ.

    පිටරටින් අර්තාපල් ගෙන්වීම නවතා දැමුවහොත් මෙරට අල ගොවියා දේශීය අවශ්‍යතාව වෙනුවෙන් අල වගා කරන්නේ නැතිද? රටින් පරිප්පු ගෙන්වීම නවතා දැමුවහොත් මෙරට ජනතාව මුං, කවුපි වැඩි වැඩියෙන් වගාකොට පරිප්පු වෙනුවට පරිබෝජනය නොකරාවිද? පාන් පිටි ගෙන්වීම නවතා දැමුවහොත් අල, බතල, ධාන්‍ය ආහාරයට නොගනීවිද? කහ ආනයනය නවතා දැමූ පසු තම පරිභෝජන අවශ්‍යතාව වෙනුවෙන් කහ වගා කිරීමට බොහෝ දෙනා පෙළඹුණි.

    පළමු කොවිඩ් රැල්ලේදී වගා කළ කහවලින් දැන් දැන් අස්වැන්න  ලැබෙමින් පවතී. එබැවින් මැසිවිලි නැඟීමට වඩා වටින්නේ රටක් ලෙස ස්වයං පෝෂිතව නැඟීසිටීමේ අරමුණ වෙනුවෙන් එකිනෙකාට සහයෝගය ලබාදීම ය. දේශීය අමුද්‍රව්‍යවලින් උසස් නිෂ්පාදන බිහි කිරීම සඳහා පර්යේෂකයන් මැදිහත් විය යුතු ය. විවෘත ආර්ථික ප්‍රතිපත්තිය හරහා විනාශ මුඛයට ඇදවැටුණු අපේ ශක්තිමත් ආර්ථිකය, නැවත ගොඩනැඟීම වෙනුවෙන් නිවැරදි තීරණ ගැනීමටත් එම තීරණ බලගැන්වීමටත් බලධාරින්ට ඇත්තේ කර ඇරිය නොහැකි වගකීමකි.   

    සටහන – උමන්දා විජේමාන්න

  • දකුණු අප්‍රිකාවෙන් ශ්‍රී ලංකාවට තියුණු අභියෝගයක්

    දකුණු අප්‍රිකාවෙන් ශ්‍රී ලංකාවට තියුණු අභියෝගයක්

    දකුණු අප්‍රිකාවේ සෙන්චුරියන්හි පැවැත්වෙන පළමු ටෙස්ට් තරගයේ දෙවන දිනය වූ අද (27 දා) තරගය නිමා කරන විට සිය පළමු ඉනිම ක්‍රීඩා කරමින් සිටින සත්කාරක දකුණු අප්‍රිකානු කණ්ඩායම කඩුලු 4 ක්දැවී ලකුණු 317 ක් ලබා සිටියේය. ශ්‍රී ලංකා පිල පළමු ඉනිමේදී රැස් කරන ලද ලකුණු 396 ට පිළිතුරු ඉනිම ක්‍රීඩා කරමින් සිටින සත්කාරක පිල මේ වන විට තවත් ලකුණු 79 ක් පිටුපසින් සිටින්නේ කඩුලු 6 ක් අත ඉතිරිව තබාගෙනය.

    තෙවන දින (28) උදයවරුවේ දකුණු අප්‍රිකාවේ ඉතිරිව සිටින පිතිකරුවන් දවා ගැනීමට ශ්‍රී ලංකා කණ්ඩායම සමත්වුවහොත් මෙය තියුණු තරගයක් බවට පත්කර ගැනීමට අවස්ථාව සැළසේ.

    ශ්‍රී ලංකා කණ්ඩායමේ ප්‍රබල පන්දු යවන්නන් දෙදෙනෙකු වන ධනංජය ද සිල්වා සහ කසුන් රාජිත ආබාධිත තත්ත්වයකින් පසුවද්දී ඉතිරි පන්දු යවන්නන් කිහිපදෙනා දකුණු අප්‍රිකා ඉනිම අඩු සංඛ්‍යාවකට සීමා කරගැනීමට දැඩි ප්‍රයත්නයක නියැලුණහ.

    ලකුණු 396ක ශ්‍රී ලංකා පළමු ඉනිමේ සීමාව පසුකිරීමේ ප්‍රයත්නයෙන් දකුණු අප්‍රිකාව පන්දුවට පහර දෙද්දී වරක් ඔවුන් කඩුල්ලක් දැවී ලකුණු 200 සීමාවට පැමිණියත් ලකුණු 220 වන විට කඩුලු 4ක්ම දවාලමින් ලංකා කණ්ඩායම තරගයට අවතීර්ණ විණි. ආරම්භක පිතිකරුවන් දෙදෙනා ඩීන් එල්ගා (95) සහ ඒඩ්න් මාක්‍රම් (68) ප්‍රථම විකට්ටුවට ලකුණු 141ක් රැස්කිරීමෙන් පසු වැන්ඩර් ඩසන් (15) සහ ඩීන් එල්ගා ලකුණු සංඛ්‍යා 200 දක්වා ඉහළට රැගෙන ආහ. මේ අවස්ථාවේ ළහිරු කුමාර විසින් වැන්ඩර් ඩු‍සෙන්ද දසුන් ශානක විසින් පෙරළා උඩපන්දුවක් රැකගැනීමෙන් ඩීන් එල්ගාද වනිඳු හසරංග විසින් නායක කුයින්ටන් ඩි කොක්ද (18) දවාමින් දකුණු අප්‍රිකානු පිල පීඩනයට ඇදදැමූහ. මංගල ටෙස්ට් තරගයට ක්‍රීඩා කරමින් සිටින වනිඳු නායක ඩි කොක් දවා ගැනීම ඔහුගේ ටෙස්ට් තරග දිවියේ මංගල කඩුල්ල ලෙසින් සටහන් වනු ඇත.

    පස්වැනි කඩුල්ල වෙනුවෙන් ෆෆ්ඩු ප්ලෙසිස් (නොදැවී 55) සහ ටෙම්බා බවුමා (නොදැවී 41) ලකුණු 97ක සබදතාවක් තබා ලකුණු සංඛ්‍යාව කඩුලු 4කට 317ක් බවට පත්කර ගත්හ.

    පළමු ඉනිම වෙනුවෙන් ශ්‍රී ලංකාව කඩුලු 9කට ලකුණු 396ක් රැස්කරමින් ප්‍රමාණවත් ලකුණු සංඛ්‍යාවක් රැස්කළත් ලංකා කණ්ඩායමට මුහුණ පෑමට සිදුවු ගැටළුවක් වූයේ කණ්ඩායමේ ප්‍රබලම පන්දු යවන්නන් දෙදෙනෙකු වන ධනංජය ද සිල්වා සහ කසුන් රාජිතට ආබාධ මත තරගයෙන් ඉවත්වීමට සිදුවීමය.

    ශ්‍රී ලංකා ඉනිමේ ලකුණු සංඛ්‍යාව ඉහළ දැමීමේ අරමුණින් කඩුල්ලේ රැදී පිතිකරුවකුගේ සේවය හොදින් ඉටුකළ වේගපන්දු යවන කසුන් රාජිත දකුණු අප්‍රිකා ඉනිමේදී පන්දු යවන අවස්ථාවේ සිය තුන්වන පන්දු වාරය යවද්දී ආබාධයට ළක්වීමෙන් කසුන් රාජිතටද ආපසු ක්‍රීඩාගාරයට යාමට සිදුවූ අතර ඔහුටද මේ තරගයේ ඉදිරි දින කිහිපය අහිමිවනු ඇතැයි දකුණු අප්‍රිකානු ආරංචි මාර්ග සදහන් කරයි.

    ශ්‍රි ලංකාව කඩුලු හයකට ලකුණු 340ක් ලබා ප්‍රබල තත්ත්වයක සිට දෙවන දින (27) පන්දුවට පහර දීමට නැවත පිටියට පිවිසි අවස්ථාවේ දසුන් ශානක සහ කසුන් රාජිත හයවන කඩුල්ලේ සබඳතාව තව දුරටත් රඳවාගනිමින් මුළු ලකුණු සංඛ්‍යාව 387ක් දක්වා ඉහළ නංවා ගැනීමට සමත් වුයේ විශේෂයෙන්ම දසුන් චානකගේ ප්‍රහාරාත්මක පිතිහරඹයෙනි. කසුන් රාජිත මෙහිදි තම ශ්‍රේෂ්ඨ පිතිකරුට හිතුමනාපයෙන් වේග පහර එල්ල කිරීමට නිතරම අවස්ථාව සලසමින් දෙවන දින උදය වරුවේ දී මිනිත්තු 40ක කාලයක් කඩුල්ල ආරක්ෂා කර ගැනීමට වග බලාගත්තේ අගපෙළ පිතිකරුවෙකු ලෙස තම කාර්යය මනාව ඉටුකරමිනි.

    කසුන් රාජිත හත්වන කඩුල්ල ලෙසට මුළු ලකුණු 387ක් දැවී යාමෙන් පසුව ලංකා  කණ්ඩායමේ ඉතිරි පිතිකරුවන් දෙදෙනාද මුළු ලකුණු 396 වන විට  දැවී ගියේ දසුන් ශානක පමණක් හුදකලා කරමිනි.

    දෙවන දින උදෑසන ලංකා කණ්ඩායම තවත් පන්දු වාර 11කට මුහුණ දී කඩුලු තුනක් දැවී රැස්කළ ලකුණු  සංඛ්‍යාව 56කි. මෙයින් ලකුණු 41ක්ම දසුන් චානක නොදැවී ලබා ගත්තේ හතරේ පහරක් සහ හයේ පහර හතරක්ද එල්ල කරමිනි. ලංකා පළමු ඉනිමේදි දසුන් නොදැවී ලකුණු 66ක් ලබා සිටියේ පන්දු 87කට මුහුණ දී හතරේ තුනක් සහ හයේ පහක් ද එක් කරමිනි. මෙය ටෙස්ට් ඉනිමක දසුන්ගේ වැඩිම ලකුණු සංඛ්‍යාවයි. කසුන් රාජිත පන්දු 49කට මුහුණ දෙමින් තම කඩුල්ල ආරක්ෂා කර ගනිමින් ලබාගත් ලකුණු 12 ට හතරේ පහර 2ක්ද ඇතුළත් විය.

    ශ්‍රී ලංකා පළමු ඉනිම කඩුලු 9කට ලකුණු 396ක් ලෙස දිවා ආහාරයට පෙර නිමා වුයේ පන්දුවාර 96ක් පන්දුවකට මුහුණ දෙමි. ලංකා කණ්ඩායමට ලකුණු 400ක් ඉක්මවා පහසුවෙන්ම යාමට තිබු අවස්ථාව මගහැරිගියේ ප්‍රබල පිතිකරු ධනංජය ද සිල්වාට පන්දුව පහර දීමට පිටියට පිවිසිමට අවස්ථාව නොලැබීමෙනි.

    දකුණු අප්‍රිකාව වෙනුවෙන් ප්‍රබල පන්දු යැවීමක නියැලුණු ලුතෝ සිපම්ලා පන්දු වාර 16ක් යවා ලකුණු 74කට කඩුලු 4ක්ද වියාන් මල්ඩර් පන්දුවාර 20ක් යවා ලකුණු 69කට කඩුලු තුනක්ද දවාලූහ.කෙසේ වෙතත් ප්‍රතිවාදී කණ්ඩායමෙන් අතිරේක ලකුණු 37 ක් හිමිව තිබුණි.

    ලකුණු සාරාංශය – ශ්‍රී ලංකාව පළමු ඉනිම පන්දුවාර 96 කදී ලකුණු 389 යි –  (දසුන් ශානක 66*, දිනේෂ් චන්දිමාල් 85, දිමුත් කරුණාරත්න 22, කුසල් පෙරේරා 16, කුසල් මෙන්ඩිස් 12, ධනංජය ද සිල්වා (පිටියෙන් ඉවත් විය) 79, නිරෝෂන් දික්වැල්ල 49, වනිදු හසරංග 18, ලුතෝ සිපම්ලා 76/4, වියාන් මල්ඩර් 69/3)

    දකුණු අප්‍රිකාව පළමු ඉනිම පන්දුවාර 72 කදී කඩුලු 4ට ලකුණු 317 යි – (ඩීන් එල්ගාර් 95, ඒයිඩන් පාර්ක්‍රම් 68, වැන්ඩර් ඩුසේන් 15, ඩු ප්ලෙසිස් 55, කුවින්ටන් ඩි කොක් 18, ටෙමේබා බවුමා නොදැවී 191 කි)

    ශ්‍රී ලංකා ක්‍රිකට් නිල වෙබඅඩවිය ඇසුරිණි

  • සුපිරි පිතිකරු ‘හෂාන් තිලකරත්න’ ගැන සුපිරි හෙළිදරව්වක්

    සුපිරි පිතිකරු ‘හෂාන් තිලකරත්න’ ගැන සුපිරි හෙළිදරව්වක්

    සෙන්චූරියන් යන නම ඇසූ සැණින් එය ශ්‍රී ලාංකික ක්‍රීඩා ලෝලීන්ගේ හදවතට  කිට්ටු වන්නේ දකුණු අප්‍රිකාවේ ඇති ටෙස්ට් ක්‍රිකට් ක්‍රීඩා කරන ක්‍රීඩාංගණයක් නිසාම නොවේ. 2011 ලෝක කුසලාන ක්‍රිකට් තරගාවලිය සඳහා පල්ලකැලේ ඉදිකෙරුණු ජාත්‍යන්තර ක්‍රීඩාංගණය බොහෝ සෙයින් සෙන්චූරි යන්හි ඉදිකර ඇති සුපර් ස්පෝර්ට්ස් පාක් ක්‍රීඩාංගණයේ සැලසුමට සමානව ඉදි කර තිබීම, සෙන්චූරියන් යන නම බොහෝ දෙනාගේ හදවත් වල රැඳී තිබීමට හේතු වී තිබේ.

    ලෝක ටෙස්ට් ක්‍රිකට් ශූරතාවලිය යටතේ පැවැත්වෙන මෙම ටෙස්ට් තරගය  අදට යෙදී තිබෙන බොක්සිං දිනය හෙවත් දෙසැම්බර් 26 වැනි දින ශ්‍රී ලංකා වේලාවන් ප.ව. 1.30 ට ආරම්භ වනු ඇත. මාස 10 ක් තිස්සේ ක්‍රීඩකයින්ට මෙන්ම ක්‍රීඩා ලෝලීන්ද ගත කර දමන ලද අඳුරුතම කාල පරිඡේදයට හිරු එළියක් කැඳවමින් පැවැත්වෙන මෙම තරගය පිළිබඳව බොහෝ දෙනා අවධානය යොමු කර සිටින්නේ කොවිඩ් වසංගතයේ බලපෑමෙන් පසු පැවැත්වෙන පළමු තරගය පමණක් නිසාම නොවේ. 2019 වසරේදී මෙහි පැමිණි අවස්ථාවේදී දකුණු අප්‍රිකානු පිලට එරෙහිව පැවැති තරගාවලිය 2-0 ක් ලෙස ඉතිහාසගත ජයග්‍රහණයක් අත්කර ගැනීමට ශ්‍රී ලංකා කණ්ඩායම සමත්වීම මත මෙවර තරගාවලිය පිළිබඳව ක්‍රීඩා ලෝලීන් තුළ වැඩි උනන්දුවක් ඇතිවීමට හේතු වී තිබේ. ‘සෙන්චූරියන්’ ක්‍රීඩාංගණය කරළියට පැමිණෙන්නේ එබැවිනි.

    ඇත්තටම සෙන්චූරියන් පිටියේ වාසිය කාටද…?

    සෙන්චූරියන්හි සුපර් ස්පෝර්ට්ස් පාක්හි මෙතෙක් පවත්වා ඇත් ටෙස්ට් ජවනිකා 25 දී වැඩිම අවස්ථා ගණනකදී වීරයින් බවට පත්ව සිටින්නේ සත්කාරක දකුණු අප්‍රිකානු කණ්ඩායමයි. 1995 වසර තරම් ඈතට විහිදී යන මෙහි ටෙස්ට් තරග ඉතිහාසයේ ඔවුන් ක්‍රීඩා කර ඇති තරග වලින් පරාජයට පත්ව ඇත්තේ අවස්ථා ද්විත්වයකදී පමණි. එම තරග 25 අතරට ශ්‍රී ලංකා කණ්ඩායමද අවස්ථා 4 කදී ප්‍රතිවාදීන් වී තිබෙන නමුත් එම අවස්ථා සියල්ලෙන්ම ශ්‍රී ලංකාව පරාජය කිරීමට දකුණු අප්‍රිකානු පිල සමත්ව ඇත්තේ තරග 2 කදී ඉනිමක ජයග්‍රහණ ලබා ගනිමිනි.

    මෙම ක්‍රීඩාංගණ ඉතිහාසය ගෙන බැලීමේදී පිතිකරුවන් සිව් දෙනෙක් පමණක් ශතක වාර්තා කිරීමට සමත්ව සිටින අතර ඉන් තිදෙනෙක් දකුණු අප්‍රිකානුවෝ වෙති. ශ්‍රී ලංකාව වෙනුවෙන් සෙන්චූරියන්හි ශතකයක් ලද එකම හිමිකරුවා වන්නේ හිටපු ටෙස්ට් නායක හෂාන් තිලකරත්නය. 2002 වසරේ පැවැති තරගයේදී හෂාන් තිලකරත්න නොදැවී ලකුණු 104 ක් ලබා ගැනීමට සමත්ව සිටියි. පැය පහමාරකට අධික කාලයක් කඩුල්ලේ රැඳී සිටි වමත් පිතිකරුවා මෙතෙක් ශ්‍රී ලංකා පිතිකරුවකු සෙන්චූරියාහි ලබා ඇති ඉහළම ලකුණු සංඛ්‍යාව ලබා ගැනීම සඳහා පන්දු 231 කට මුහුණ දුන්නේය.

    දකුණු අප්‍රිකාවට එරෙහිව සෙන්චූරියන්හි පිටියේ පැවැති තරගයේදී හෂාන් තිලකරත්න ශතකයක් ලබා ගත් මොහොත…

    “ඒ තරගයට යනකොට බැට්ස්මන් කෙනෙක් හැටියට තණතීරුවෙන් අපිට මොනවද ලැබෙන්නේ කියන එක ගැන මට දළ අදහසක් තිබුණා. එක තැනකදි කියවුණා අපිට එහෙදි ‘ඩ්‍රයිව්’ කරනව නම් ඒ අවස්ථාව ලැබෙන්නේ හෝටලයේ ඉඳලා ග්‍රවුන්ඩ් එකට යන ‘ඩ්‍රයිව්’ එක විතරයි කියලා. ඒ කියන්නේ එහෙ සෙල්ලම් කරනවා නම් අපිට ඩ්‍රයිව් පහර එල්ල කරන්න හම්බ වෙන්නේ නැති තරම්. බැක් ෆුට් එක, එහෙමත් නැත්නම් පසුපස පාදයේ පහරවල්  තමයි අපිට වැඩි හරියක් ක්‍රීඩා කරන්න වෙන්නේ. එයාලාගේ පන්දු යවන්නන් බලන්නෙත් අපිව කොහොම හරි පස්සට තල්ලු කරලා තල්ලු කරලා ඉස්සරහට දාන බෝලෙන් දවා ගන්න. අපි එතැනදි තමයි පරෙස්සම් වෙන්න ඕන. සෙන්චූරියන්වලදී ලබා ගත්ත ශතකය මට ගන්න පුලුවන් වුණේ ඒ ගැන සැලකිල්ලක් දක්වපු නිසයි” යැයි එම ක්‍රීඩාංගණයේ එකම ශතක ලාභියා වන හෂාන් තිලකරත්න මහතා තම මතකය අවධි කළේය.

    ෂෝන් පොලොක්ගේ නායකත්වයෙන් යුතුව තරග වැදි දකුණු අප්‍රිකානු කණ්ඩායම වෙනුවෙන් පොලොක්ට අමතරව, මකායා එන්ටිනි, ස්ටීව් එල්වර්ති, ජැක්ස් කලිස් සහ ඇන්ඩෘ හෝල් වේග පන්දු යවන්නන් ලෙසින් ක්‍රීඩා කළහ. මෙම තරගයෙන් ශ්‍රී ලංකා පිලට කඩුලු 3 ක පරාජයක් හිමි වුවද තිලකරත්න මහතාගේ ඉනිම ප්‍රධාන කොට සෙන්චූරියන් පිටියේ දකුණු අප්‍රිකානු පිල හමුවේ ලද අවම පරතරයක් සහිත පරාජය ලෙසින් සනිටුහන් විය.

    “මම ලොකුවට කට් සහ පුල් පහර ගහන කෙනෙක් නොවෙයි. ඒත් මගේ ශක්තිය වගේම දුර්වල තැන් ගැනත් මා තුළ අවබෝධයක් තිබ්බා. එයාලා මාව බැක් ෆුට් එකට තල්ලු කරන්න තල්ලු කරන්න මම කළේ අවශ්‍ය බෝලෙට ගහලා අනිත් හැම බෝලයක්ම අත ඇරපු එක. මට පහර එල්ල කළ හැකි කළාපයට පන්දු යවන්නෝ පන්දුව දාන කල්ම මම කළේ ඒක. එහෙම කළාම එයාලා කරන්නේ බෝලෙ ටික ටික ඉස්සරහට දාලා මාව පහරකට පොළඹවගන්න උත්සාහ කරපු එක. ඒක ඒගොල්ලොන්ට පුරුදු නැති දෙයක්. මොකද එයාලා එකම ලෙන්ත් එකක (පන්දුව පතිත කරන ස්ථානය) තමයි හැමදාම, උදේ හවස බෝල් කරන්නේ. මම බෝලෙ අත අරින්න අතරින්න එයාලා පන්දුව පතිත කරන තැන ඉස්සරහට කළා. එතැනදි මම තව දෙයක් කළා. සැලස්මක් හදා ගත්තා කාටද ගහන්න ඕන කාටද ගහන්නේ නැත්තේ කියන එක ගැන. මොකද ඒ තරගයෙදි වේග පන්දු යවන්නම් 5 දෙනෙක්ම ක්‍රීඩා කරපු නිසා. එදා දවසේ මම දාපු ප්ලෑන් එක හරියටම වැඩ කළා”යි තිලකරත්න මහතා වැඩිදුරටත් අදහස් දක්වා සිටියේය.

    ශ්‍රී ලංකාව වෙනුවෙන් ටෙස්ට් තරග 83 කට ක්‍රීඩා කර ඇති හෂාන් තිලකරත්න මහතා ඉනිම 131 කදී ලකුණු 4545 ක් ලබා සිටින්නේ ඉනිමක ලකුණු ලබා ගැනීමේ සාමාන්‍ය 42.87 ක් රඳවා ගනිමිනි. ශතක 11 ක් සහ අර්ධ ශතක 20 ක්ද රැස් කර ඇති වමත් පිතිකරුවා බටහිර ඉන්දීය කොදෙව් පිලට එරෙහිව 2001 වසරේදී කොළඹ එස්. එස්. සී. පිටියේ පැවැති තරගයේදී නොදැවී රැස් කරන ලද ලකුණු 204 ක ඉනිම සිය ටෙස්ට් ක්‍රිකට් දිවියේ ඉහළම ලකුණු සංඛ්‍යාව ලෙසින් වාර්තා අතරට එක් කරගෙන තිබේ.

    අද තරගයේදී සෙන්චූරියන් ක්‍රීඩාංගණය දකුණු අප්‍රිකානු පිලට වැඩි පක්ෂපාතීත්වයක් දැක්වීම නිරායාසයෙන්ම සිදුවන්නක් බැවින්, එය අභිබවා යමින් තරගයේ වැඩි වාසි තමන් සංතකයට ගැනීමට දිමුත් ඇතුළු පිරිවර අධිෂ්ඨාන කරගත යුතුය. නොදැවී ලකුණු 153 ක් ලබා ගනිමින් ඩර්බන්හි වීරයා වුණු කුසල් පෙරේරා ද මෙම තරගයේදී ක්‍රීඩා කිරීම ශ්‍රී ලංකා පිලේ මානසික මට්ටම ඉහළ තලයක පවත්වාගෙන යෑමට අතිරේක වාසියක් ලෙසින් සැලකිය හැකි නමුත්,  ශ්‍රී ලංකා පිල මතකයේ තබා ගත යුතු ප්‍රධානම කරුණ වන්නේ ඔවුන් මෙවර තරග වදින්නේ ඩර්බන් හෝ පෝර්ට් එලිසබෙත්හි නොව අතිශයින්ම වේග පන්දු යවන්නන්ට දායකත්වයක් ලබා දෙන සෙන්චූරියන්හිදී බවය.

    දෙපිළම මෙම තරගයට අවතීර්ණ වන්නේ කොවිඩ් වසංගතය මත ක්‍රීඩාවෙන් මාස 10 ක කාලයක් හුදෙකලා වීමෙන් පසුවය. අද දිනයේ දිමුත් ඇතුළු පිරිවර මුණ ගැසෙන්නේ කුවින්ටන් ඩි කොක්ගේ නායකත්වයෙන් යුතු දකුණු අප්‍රිකානු පිලයි. දකුණු අප්‍රිකානු නායකයා තරග 200 කට අධික ජාත්‍යන්තර තරග අත්දැකීම් ඇති ක්‍රීඩකයකු වුවත්, ඔහු නායකත්වයට ආධුනිකයෙකි. ක්වින්ටන් කෙතරම් ආධුනිකයෙක් දැයි කිවහොත් ඔහු සුදු පන්දුවේ තරග වලදී නායකත්වය හදාරා ඇතත් පළමු පෙළ තරගයකදී හෝ නායකයකු ලෙස කටයුතු කිරීමට වරම් නොලැබූවෙකි. එබැවින් ශ්‍රී ලංකාවට එරෙහිව සටනක් දීමට ඩි කොක් මාර්ගයක් සොයා ගත යුතු වන්නේ ඔවුන් සතු ප්‍රධානතම වේග පන්දු යවන්නා වන කගිසෝ රබඩා නොමැතිවය.

    “අපේ අය ඔලුවේ තියා ගන්න ඕන ප්‍රධානම දේ තමයි මේ විකට් එකේ ඩ්‍රයිව් පහරවල් එක පාරට ගහන්න බෑ කියන එක. ඒ වගේම තමන් සතු ශක්තිය සහ දුර්වල තාවය ගැන අවබෝධය තමන් තුළ තියෙන්න ඕන. අපි බැලුවොත් ආසියානු විකට් වල ක්‍රීඩා කරන පිතිකරුවන්ට දකුණු අප්‍රිකාවේදී පන්දු යවන්නේ කොහොමද කියන එක ගැන හැමෝ තුළම අවබෝධයක් තියෙනවා. ඒ අවබෝධය තියාගෙන තමන්ගේ දක්ෂතාවය හරි විදියට අඳුරගෙන ක්‍රීඩා කළොත් අපිට වැඩි සාර්ථකත්වයකට ළඟා වෙන්න පුලුවන්. එක එක්කෙනාගේ දක්ෂතා වෙනස්. මං කළින් කිව්වා වගේ ඩ්‍රයිව් කරනවා කියන්නේ හොටෙල් එකේ ඉඳලා ග්‍රවුන්ඩ් එකට එන ඩ්‍රයිව් එක විතරයි එයාලා අපිට දෙන්නේ. ඒ කතාවේ ලොකු අර්ථයක් ගැබ් වෙලා තියෙනවා. ඒ ගැන හිතලා අපි ඉවසීමෙන් සහ අවබෝධයෙන් ක්‍රීඩා කළ යුතුයි”

    වත්මන් ශ්‍රී ලංකා වයස අවුරුදු 19 න් පහළ කණ්ඩායමේ පුහුණුකරු ලෙසින් කටයුතු කළ තිලකරත්න මහතා දකුණු අප්‍රිකානු තණතීරුවල පන්දුවට පහර දීමේදී ඉවසිලිවන්ත භාවය ඉතාමත් වැදගත් සාධකයක් වන බවද සඳහන් කර සිටියේය.

    “එතැනදි පසුපස පාදයේ ක්‍රීඩා කිරීම වගේම ලෙග් සයිඩ් එකෙන් (පා ඉන්න ප්‍රදේශයෙන්) පහර එල්ල කරලා ලකුණු ලබා ගන්න උනන්දු වෙන්න ඕන. අපිට ලෙග් එකට ගහන්න පුලුවන් නම් ඒ පැත්තේ ඉන්නේ පන්දු රකින්නන් තුන් දෙනයි. ඒ පැත්තට ගහන්න අමාරු නිසා තමයි අපි ඕෆ් සයිඩ් එක පැත්තට ගහන්නේ. මේ විකට් වල ඕෆ් සයිඩ් එකට ගහනවා කියන්නේ අපේ මරණ සහිතකය අපිම ලියා ගන්නවා වගේ වැඩක්. කුසල් (පෙරේරා) ගහපු විදිය මතකද…? ඒ වගේ ගොඩක් ලෙග් එකට ඇටෑක් කළොත් හරි. නමුත් එතැනදි මතකයේ තියාගන්න ඕන ඒ තණතීරු සහ මේ තරගාවලියේදී හම්බවෙලා තියෙන තණතීරු වෙනස් කියන එක. කළින් වතාවේ ක්‍රීඩා කළ ඩර්බන් සහ පෝර්ට් එලිසබෙත් විකට් වලට වැඩිය සෙන්චූරියන් සහ වොන්ඩරස් විකට්ස් වෙනස්. ඒවයේ දෝලනය වගේම ලොකු ඉපිලීමක් තියෙනවා. ඒක නිසා තමන්ගේ ස්ථානයට පන්දුව දාන කම්ම පන්දුව අත ඇරලා ඉවසගෙන පන්දුවට පහර දෙන්න උත්සාහ කරන්න ඕන. එහෙම වුණොත් එයාලා පන්දුව වට්ටන තැන වෙනස් කරනවා. මොකද එයාලා බෝලෙ අතාරිනවාට කැමැති නෑ. ඒ වගේ එක එක්කෙනා තම තමන්ට ගැලපෙන විදියට පොඩි පොඩි සැලසුම් දාගත්තොත් මේ ගේම් එක අපිට වාසි වෙන විදියට කැරකැවෙයි” යැයි සෙන්චූරියන් තණතීරුවේදී පන්දුවට පහර දීමේදී තමන් සතු අත්දැකීම් හෂාන් තිලකරත්න මහතා බෙදා ගත්තේය.

    ශ්‍රී ලංකා ක්‍රිකට් නිල වෙබඅඩවිය ඇසුරිණි

  • රුපියල බාල්දුවීම ගැන මහ බැංකුව කියන කතාව

    රුපියල බාල්දුවීම ගැන මහ බැංකුව කියන කතාව

    විනිමය අනුපාතිකයේ උච්චාවචනය මෑත දී වැඩිවීම අනවශ්‍ය හා පිළිගත නොහැකි බවත් රුපියල අනවශ්‍ය ලෙස අවප්‍රමාණය වීම වැළැක්වීම සදහා මහ බැංකුව විසින් පියවර රැසක් ගන්නා බවත් මාධ්‍ය නිවේදනයක් නිකුත් කරමින් ශ්‍රී ලංකා මහ බැංකුව කියයි. එම මාධ්‍ය නිවේදනයේ මෙසේ සදහන් වේ.

    විනිමය අනුපාතිකයේ උච්චාවචනය මෑත දී වැඩිවීම අනවශ්‍ය හා පිළිගත නොහැකි බව ශ්‍රී ලංකා මහ බැංකුවේ අදහසයි. ඒ අනුව, වෙනත් ක්‍රියාමාර්ග අනුගමනය කරන අතරම, මෙතැන් සිට ශ්‍රී ලංකා මහ බැංකුව දේශීය විදේශ විනිමය වෙළඳපොළෙහි මෙම උච්චාවචනය පාලනය කිරීමට සුදුසු ක්‍රියාමාර්ග ගනු ඇත.

    මෙම ක්‍රියාමාර්ගත් අත්යවශ්ය නොවන ආනයන සීමා කිරීම අඛණ්ඩව පවත්වා ගැනීමත් හේතුවෙන් ඉදිරි දින කිහිපය තුළ දී විනිමය අනුපාතිකය 2020 නොවැම්බර් මස නිරීක්ෂණය කළ එ.ජ. ඩොලරයට රුපියල් 185ට වඩා අඩු මට්ටමකට අතිප්රමාණය වනු ඇතැයි ශ්‍රී ලංකා මහ බැංකුව අපේක්ෂා කරයි.

    නිල සංචිත ප්‍රමාණවත් මට්ටමක පවතින බව මහ බැංකුව නැවත අවධාරණය කරයි. දැනට දළ නිල සංචිත එ.ජ. ඩොලර් බිලියන 5.6ක් වේ. සංචිත මට්ටම ඉහළ නැංවීම සඳහා මහ බැංකුවේ දේශීය හා විදේශීය හවුල්කරුවන් සමඟ පවත්වන සාකච්ඡා ද සාර්ථකව අවසාන අදියරකට පැමිණෙමින් තිබේ.

    මෙම අපේක්ෂිත ලැබීම් සහ දේශීය නිෂ්පාදන ආර්ථිකයේ අඛණ්ඩ වර්ධනයන් විදේශ විනිමය ලැබීම් ඉහළ යෑමට හේතු වන අතර, එමගින් ඉදිරි කාලයේදී ද විනිමය අනුපාතිකයේ ස්ථාවරභාවය පවත්වා ගැනීමට මෙන්ම, ශ්‍රී ලංකාවේ ණය වගකීම් නියමිත පරිදි පියවීම සඳහා ද උපකාරී වනු ඇත.

  • සටනේ තීරණාත්මක සාධකය පිතිකරුවන් – දිමුත් කරුණාරත්න

    සටනේ තීරණාත්මක සාධකය පිතිකරුවන් – දිමුත් කරුණාරත්න

    ඔබ මේ ලිපිය කියවන විටත් දකුණු අප්‍රිකාවට එරෙහිව පැවැත්වීමට නියමිත පළමු ටෙස්ට් තරගය ආරම්භවීමට ඉතිරිව ඇත්තේ පැය 48 කටත් අඩු කාලයකි.

    දෙපිළේම ක්‍රීඩකයින් මූලික වශයෙන් ක්‍රීඩකයින් 13 දෙනා බැගින් නම් කොට අවසන් සංයුතිය සැකසීමට සූදානම් වන මෙම කාල සීමාවේදී ශ්‍රී ලංකාව සතු සුභදායීම කරුණ බවට පත්ව තිබෙන්නේ මීට මාස 18 කට පෙර පැවැති තරගාවලියේදී දකුණු අප්‍රිකානු පිල ඔවුන්ගේ නිජ බිමෙහිම පරාජයට පත් කිරීමට සමත්වීමය. එම තරගාවලිය නියෝජනය කරනු ලැබූ දෙපිළේ ක්‍රීඩකයින් වැඩි හරියක් මෙම තරගාවලියේදීද දෙපිළම නියෝජනය කිරීම, ලද පරාජයේ වාඩුව ලබා ගැනීමට දකුණු අප්‍රිකානු කණ්ඩායමත් දිනා සිටින කිරුළ රැක ගැනීමට ශ්‍රී ලංකා කණ්ඩායමත් සිය උපරිම ශක්තීන් භාවිතා කරනු ඇත.

    මෙතැනදී පැන නැගෙන ගැටළුව වන්නේ ඉකුත් තරගාවලියේදී තිබූ වාසිය මෙම තරගාවලියේදීත් එලෙසින්ම ශ්‍රී ලංකා පිලට ලැබේද…? යන්නය. සැබැවින්ම එය එසේ නොවන්නේ ඉකුත් වතාවේ තරග පැවැති ක්‍රීඩාංගණවල තත්ත්වයන්ට හාත් පසින්ම වෙනස් හෙවත් වේග පන්දු යවන්නන්ට වැඩි දායකත්වයක් ලබා දෙනු ලබන ක්‍රීඩාංගණ දෙකක මෙවර තරග 2 පැවැත්වීමයි. දකුණු අප්‍රිකානුවන් ඔවුන්ගේ මව්බිමේදී පරාජයට පත් කළ පළමු ආසියානු කණ්ඩායම ලෙසින් ශ්‍රී ලංකා කණ්ඩායම ඉතිහාස ගත වුණු එම තරගාවලියේ තරග 2 දඟ පන්දු යවන්නන්ට උචිත ලෙසින් හැසිරෙන පෝර්ට් එලිසබෙත් සහ ඩර්බන් ක්‍රීඩාංගණ වලදී පැවැත්වුණත් මෙවර තරගාවලියේ තරග පැවැත්වෙන්නේ ලොව වඩාත්ම වේගවත් තණතීරු 2 ක් ලෙසින් නම් දරා සිටින සෙන්චූරියන්හි සුපර් ස්පෝර්ට්ස් පාක් සහ වොන්ඩරස් යන ක්‍රීඩාංගණවලදීය.

    මෙකී ක්‍රීඩාංගණ වල තරග කිරීමට සිදුවීමේදී ඕනෑම ප්‍රතිවාදී කණ්ඩායමක් යම් කිසි තිගැස්මකට පත්වීම නිරායාසයෙන්ම සිදුවන්නකි. මෙම තණතීරුවල පවතින ඇදහිය නොහැකි වේගය සහ ඒ හා සමානවම පන්දුව ඉපිලීමකින්ද යුක්ත වීම එයට හේතුවන කරුණු වෙති. කෙසේ වෙතත් මේ සියල්ලටම පූර්ව සූදානමක් ලෙසින් වෙනත් තරගාවලිවලදී අනුගමනය කරනු ලබන සාම්ප්‍රදායික රටාවෙන් ඔබ්බට යමින් ක්‍රීඩකයින් 22 දෙදෙනෙක් තරගාවලියට පිටත් කර යැවීම සඳහා සූදානම් කළේය. ක්‍රිකට් ක්‍රීඩාවේ දියුණුව ඉලක්ක කර ගනිමින් පැහැදිළි දැක්මක් සහිතව කටයුතු කරනු ලබන වත්මන් ශ්‍රී ලංකා ක්‍රිකට් පරිපාලනය ගත් ඒ තීරණය නිසා සත්කාරකයින් ලබා දෙන ඕනෑම අභියෝගාත්මක තත්ත්වයක් හමුවේ සිය කණ්ඩායම් සංයුතිය සකසා ගැනීමට  පහසුම අවස්ථාවක් නායකයාට සහ පුහුණුකරුට හිමිව තිබේ.

    ඇන්ජලෝ මැතිව්ස් තරගාවලියට පෙර ආබාධයකට මුහුණ දීම මත සංචිතය 21 දක්වා අඩු කෙරුණද ඕනෑම තත්ත්වයක් හමුවේ කණ්ඩායම තෝරා ගැනීමට ඕනෑ තරම් කණ්ඩායම තුළ සම්පත් වේ. එහි වේග පන්දු යවන්නන්ම 7 දෙනෙකි. ඉන් ළහිරු කුමාර, දුෂ්මන්ත චමීර සහ අසිත ප්‍රනාන්දු පැයට කිලෝ මීටර 145 කට අධික වේගයෙන් පන්දු යැවීමට හැකි පන්දු යවන්නෝය. කණ්ඩායමේ වඩාත් පළ පුරුදුම පන්දු යවන්නා වන සුරංග ලක්මාල් මෙන්ම අවසන් වතාවේදී දකුණු අප්‍රිකානු පිල සුණු විසුණු කළ දැමූ පන්දු යවන්නන් අතරින් වැඩිම කඩුලු ලාභීන් දෙපළ වුණු වමතින් වේග පන්දු යවන විශ්ව ප්‍රනාන්දු සහ දකුණතින් වේග පන්දු යවන කසුන් රජිතගේ සහායද මෙවරත් ශ්‍රී ලංකාවට ලැබී තිබේ.

    සැබැවින්ම වේග පන්දු යැවීමේ ශක්තිය පිළිබඳව ඉකුත් තරගාවලිය හා සංසන්දනාත්මකව බැලීමේදී වඩා වැඩි ශක්තියක් මෙවර ශ්‍රී ලංකා පිලට ලැබී තිබේ. ශ්‍රී ලංකා කණ්ඩායමේ නායක දිමුත් කරුණාරත්න මේ පිළිබඳව අදහස් දක්වමින් සඳහන් කර සිටින්නේ සත්කාරකයින් සතු දේශීය වාසීන්ට මුහුණ දීම සඳහා විකල්පයන් තම කණ්ඩායම සතු නොවන බව ප්‍රතිවාදීන්ට හැඟී ගියහොත් ඔවුන් එය වාසියකට හරවා ගන්නා නමුත් වත්මන් කණ්ඩායම සතු ශක්තිය දෙස බැලීමේදී  එහි වාසිය දෙපිළමට සියයට 50 බැගින් බෙදී යන බව සඳහන් කර සිටියි.

    “අපි සෙල්ලම් කරන සෙන්චූරියන් සහ වොන්ඩරස් විකට් ගොඩක් වෙලාවට වේග පන්දු යවන්නන්ට තමයි දායකත්වය ලබා දෙන්නේ. මට මතකයි අපිට ගිය පාර මේ තරම් ඔප්ෂන්ස් (විකල්ප) තිබ්බේ නෑ. අපිට ළහිරු කුමාර සහ දුෂ්මන්ත චමීර හිටියේ නෑ. නමුත් අපිට මේ පාර ඒ දෙන්නගේම ශක්තිය තියෙනවා. මේ වගේ රටකට ඇවිල්ලා ක්‍රීඩා කරනවා කියන්නේ වේග පන්දු යවන්නන්ගේ වැඩි දායකත්වයක් තියෙන්න ඕන. අපේ පන්දු යවන්නන්ගේ වේගය සහ ඉපිලීම නෑ කියලා ප්‍රතිවාදීන් දැන ගත්තොත් එයාලා ඒ වාසියම අපිට එරෙහිව පාවිච්චි කරනවා. නමුත් මේ පාර ඒක වෙනස්. අපි ගාවත් හොඳ වේග පන්දු යවන්නන් ඉන්නවා. ඒක නිසා මම දකින්නේ මේ තරගාවලියේ එයාලගේ වේග පන්දු යවන්නන් සහ අපේ වේග පන්දු යවන්නන්ගේ දක්ෂතා 50 ට 50 වගේ සමානව තියෙන්නේ” යැයි දිමුත් තමන් සතු වේග පන්දු ශක්තිය පිළිබඳව විග්‍රහ කර සිටියි.

    එකම ශක්තීන් දෙකක් දෙපාර්ශ්වයම භාවිතා කිරීමේදී මෙහි වැඩි වගකීමක් පිතිකරුවන් අතට පත්වනු ඇති බව සිය විශ්වාසය බව පවසන ශ්‍රී ලංකා නායකයා සමස්ත තරගාවලිය නියෝනය කරනු ලබන පිතිකරුවන් අතරින් හොඳට කිරීමට සමත්වන කණ්ඩායමට තරගාවලි ජයග්‍රහණය කිරීමේ වැඩි අවස්ථාවක් පවතින බවද සඳහන් කර සිටියේය.

    “මේක ගොඩක් වෙලාවට පිතිකරුවන්ගේ තරගාවලියක් වෙයි කියලා මං හිතනවා. කොයි කණ්ඩායමේ පිතිකරුවන්ද හොඳට ලකුණු අතරට එන්නේ, මං හිතනවා ඒ කණ්ඩායමට තමයි මේ තරගාවලිය ජයග්‍රහණය කිරීමට හොඳ අවස්ථාවක් තියෙන්නේ” යි දිමුත් පවසයි.

    වසරකට ආසන්න කාලයක් ටෙස්ට් තරගයක් තබා කිසිම තරගයකට ක්‍රීඩා කිරීමට අවස්ථාව නොලබා සිටින ශ්‍රී ලංකා නායකයාට තරගය ආරම්භයට කණස්සල්ලට හේතු වී තිබෙන එකම ගැටළුව වන්නේ කණ්ඩායම සතු පළපුරුදම වේග පන්දු යවන්නා වන සුරංග ලක්මාල් සුලු පාදයේ ආබාධයකට ලක්ව සිටීමයි. “ලක්මාල්ට පොඩි ඉන්ජරි එකක් ඇවිල්ලා. එයා පළවැනි තරගය ගහනවද නැද්ද කියන එක තාම විශ්වාස නෑ. ඒ ඇරෙන්න අනිත් අය හොඳ ෆිට් එකේ ඉන්නවා. කොහොමත් අපි හෙට වෙනකොට අන්තිම 11 නම් කරන්න බලාපොරොත්තු වෙනවා. ගොඩක් වෙලාවට ළහිරු කුමාරත් එක්ක සුරංග ෆිට් නම් ඔහු ක්‍රීඩා කරනවා. නැත්නම් ඒ අවස්ථාව ගොඩක් වෙලාවට විශ්ව ප්‍රනාන්දුට ලැබෙයි” යැයි දිමුත් පවසයි.

    ලොව අංක 1 වේග පන්දු යවන්නා ලෙසින් සැලකෙන කාගිසෝ රබඩා දකුණු අප්‍රිකානු පිල සතු වුවද අවසන් වරට දෙපිළ මුණ ගැසුණු තරගාවලියේ වැඩිම කඩුලු ලාභියා බවට පත්වූයේ විශ්ව ප්‍රනාන්දුය. තරග 2 ටම ක්‍රීඩා කළ විශ්ව කඩුලු 12 ක් බිඳ හෙළනු ලබන්නේ කඩුල්ලක් දවා ගැනීමේ සාමාන්‍ය 18.91 ක් ලෙස රඳවා තබා ගනිමිනි. ඔහුට දෙවැනි වූ කසුන් රජිත තර 2 කදී කඩුලු 9 ක් බිඳ හෙළා එහි දෙවැනි ස්ථානයේ පසු වූ අතර තරග 2 කදී කඩුලු 8 ක් බිඳ හෙළීමට සමත්වූ රබඩාට හිමිවූයේ වැඩිම කඩුලු ලාභීන්ගේ ලැයිස්තුවේ තුන්වැනි තැනය.

    අවසන් වරට මෙම වසරේ පෙබරවාරි මසදී බටහිර ඉන්දීය කොදෙව් පිලට එරෙහිව පැවැති එක්දින සහ විස්සයි-20 තරගාවලියට ක්‍රීඩා කිරීමෙන් පසු එකම ශ්‍රී ලංකා ක්‍රීඩකයකු මේ වන තෙක් ජාත්‍යන්තර තරගයකට ක්‍රීඩා කර නොමැත. වත්මන් කණ්ඩායමේ ක්‍රීඩකයින් බොහෝමයක් එල්.පී.එල්. වරම් ලැබුවද විස්සයි-20 තරග අංශයට කිසිදු නැඹුරුවක් නොමැති ශ්‍රී ලංකා නායකයාට තරගකාරීත්වයෙන් අසීමිත වූ එම තරගාවලියද ආලින්දයේ සිට නැරඹීමට සිදුවිය.

    “පෞද්ගලිකව ගත්තොත් සිම්බාබ්වේ එක්ක තිබුණු ටෙස්ට් තරගාවලියෙන් පස්සේ මම ටෙස්ට් තරගයකට ක්‍රීඩා කරලා නෑ. ඒ වගේම දේශීය තරගාවලිය තරග පැවැති කාල සීමාවෙදිත් මම ආබාධයකට ගොදුරු වුණු නිසා මට ඒකට ක්‍රීඩා කරන්නත් බැරි වුණා. ඒ නිසා මේ තරගාවලියෙදි මමත් ටිකක් කලබලයට පත් වෙලා ඉන්නේ. පොඩි බයකුත් තියෙනවා. මං හිතන්නේ හැමෝටම ඒක ඇති. මොකද ලේසි නෑ අවුරුද්දකට විතර පස්සේ දකුණු අප්‍රිකාවේ සෙන්චූරියන්වලින් කෙළින්ම ටෙස්ට් මැච් එකකට ක්‍රීඩා කරන්න. ලොකු අභියෝගයක්. අපි ගොඩක් පුහුණුවීම් කරනවා. මහන්සි වෙනවා. මෙහේ ආවම මේ තත්ත්වයන්ට හුරු වීම අමාරුයි. නමුත් අපි වෙනදට වඩා ගොඩක් උත්සාහයක් කරනවා ඉක්මනින්ම මේ තත්ත්වයන්ට හුරු වෙන්න. අපි ඔක්කොගෙම සැලසුම වෙලා තියෙන්නේ හොඳ තරගයකට ක්‍රීඩා කරන්න”යි දිමුත් තමා ඉදිරියේ ඇති අභියෝගය පිළිබඳව වැඩිදුරටත් සිය අදහස් ගෙන හැර දැක්වීය.

    ලෝක ටෙස්ට් ශූරතාවලිය යටතේ ක්‍රියාත්මක මෙම තරගාවලිය ටෙස්ට් තරග 2 කින් සමන්විත වන අතර එහි පළමු වැන්න සැප්තැම්බර් 26 වැනිදා සෙන්චූරියන්හි සුපර්ස්පෝර්ට්ස් පාක් හිදීද දෙවැන්න ලබන ජනවාරි 03 දා ජොහැන්නස්බර්ග් නුවර වොන්ඩරස් ක්‍රීඩාංගණයේදීත් ආරම්භ වනු ඇත.

    ශ්‍රී ලංකා ක්‍රිකට් නිල වෙබ්අඩවිය ඇසුරිණි

  • අවිස්සාවේල්ල, කොස්ගම සහ රුවන්වැල්ල හුදෙකලා කරයි

    අවිස්සාවේල්ල, කොස්ගම සහ රුවන්වැල්ල හුදෙකලා කරයි

    අවිස්සාවේල්ල, කොස්ගම සහ රුවන්වැල්ල පොලිස් බලප්‍රදේශ වහාම ක්‍රියාත්මක වන පරිදි අද (24) දින සිට (මෙම මාධ්‍ය නිවේදනය නිකුත් කර ඇත්තේ අද (24) දින ප.ව 14.00ටය) හුදකලා ප්‍රදේශ ලෙස නම්කළ බව යුද හමුදපති ලුතිනන් ජෙනරාල් ශවේන්ද්‍ර සිල්වා මහතා විසින් නිකුත් කළ මාධ්‍ය නිවේදනයක සදහන් වේ.

  • කොළඹ ආසාදිතයින් අඩුවීමට හේතුව GMOA සංස්කාරක හෙළිකරයි

    කොළඹ ආසාදිතයින් අඩුවීමට හේතුව GMOA සංස්කාරක හෙළිකරයි

    එක්සත් රාජධානියෙන් හදුනා ගත් කොවිඩ් – 19 නව වෛරස් ප්‍රභේදය 70%ක වේගයකින් ව්‍යාප්ත වන බවත් මේ නව වෛරසයේ ව්‍යාප්තවීමේ වේගය අනුව ලෝකය පුරා රටවල කොවිඩ් තුන්වැනි රැල්ලක් නිර්මාණයවීමේ අවදානමක් පවතින බවත් රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමයේ සංස්කාරක වෛද්‍ය හරිත අලුත්ගේ මහතා පවසයි.

    මෙහිදී වෛද්‍ය අලුත්ගේ කියා සිටියේ නව වෛරසයෙන් වැළකීමට සාර්ථක සැලසුම් ශ්‍රී ලංකාවට තිබිය යුතු බවයි.

    මෙහිදී වැඩි දුරටත් වත්මන් තත්ත්වය ගැන පැහැදිලි කළ වෛද්‍ය හරිත අලුත්ගේ මහතා මෙසේද ප්‍රකාශ කළේය.

    ‘‘ මෙරටින් දැනට වාර්තා වන ආසාදිතයන්ගෙන් වැඩිපුරම සංඛ්‍යාවක් පෙරේදා (22) කළුතර දිස්ත්‍රික්කයෙන් වාර්තා වුණා. ඒ අනුව කලුතර දිස්ත්‍රික්කය සම්බන්ධයෙන් වැඩි අවධානයක් යොමු කර කළුතර දිස්ත්‍රික්කයේ රෝගීන් අවම වශයෙන් වාර්තා වීමක් සඳහා සැලසුම් සකස් කළ යුතුයි. කොළඹ දිස්ත්‍රික්කයෙන් වාර්තා වන ආසාදිතයන්ගේ සංඛ්‍යාවේ අඩුවක් පසුගිය දින දෙක තුන තුළ දක්නට ලැබුණා. ඒ ඇතැම් විට දෛනිකව සිදු කරන පීසීආර් පරීක්ෂණ සංඛ්‍යාවේ අඩුවක් දක්නට ලැබීම නිසා විය හැකියි‘

  • කොවිඩ් 19 අවධානම වැඩිම පිරිස වන වැඩිහිටියන් රැක ගන්න විශේෂ අවධානය

    කොවිඩ් 19 අවධානම වැඩිම පිරිස වන වැඩිහිටියන් රැක ගන්න විශේෂ අවධානය

    සමාජ සේවා දෙපාර්තමේන්තුව සහ වැඩිහිටි මහලේකම් කාර්යාලය නිරීක්ෂණයට එක්වෙමින් රාජ්‍ය අමාත්‍ය විශේෂඥ වෛද්‍ය සුදර්ශිනී ප්‍රනාන්දුපුල්ලේ මහත්මිය කියයි.

    කොවිඩ් 19 වැඩිම අවධානම පවතින්නේ වැඩිහිටි ජනගහණයට වන අතර ඒතුළින් ඔවුන් ආරක්ෂා කරගැනීම කලයුතු බවත්, ඔවුන් රැකීම සදහා විශේෂ සමාජ ආරක්ෂණ ක්‍රමයක් ස්ථාපිත කල යුතු බවත් ප්‍රාථමික සෞඛ්‍ය සේවා, වසංගත රෝග සහ කොවිඩ් රෝග පාලනය පිළිබද රාජ්‍ය අමාත්‍ය විශේෂඥ වෛද්‍ය සුදර්ශිනී ප්‍රනාන්දුපුල්ලේ මහත්මිය සදහන් කළාය.

    අමාත්‍යවරිය මේබව සදහන් කලේ ප්‍රාථමික සෞඛ්‍ය සේවා, වසංගත රෝග සහ කොවිඩ් රෝග පාලනය පිළිබද රාජ්‍ය අමාත්‍යාංශය යටතේ ඇති බත්තරමුල්ල සෙත්සිරිපාය පරිශ්‍රයේ පවතින සමාජ සේවා දෙපාර්තමේන්තුව සහ වැඩිහිටි මහලේකම් කාර්යාලය නිරීක්ෂණයට එක්වෙමින් එහි සිටි පිරිස හමුවූ අවස්ථාවේදීය.

    මෙහිදී වැඩිදුරටත් අදහස් දැක්වූ අමාත්‍යවරිය සදහන් කලේ සමාජයේ වැදගත් කණ්ඩායමකට විශාල සේවයක් ඉටුකරන දෙපාර්තමේන්තුවක් ලෙස සමාජසේවා දෙපාර්තමේන්තුව උපතේ සිට ආබාධිත තත්වයට පත්වූ අයට මියයන තෙක්ම විශාල සේවයක් ඉටුකරන ආයතනයක් වන අතර ඔවුන්ට වෘත්තීය පුහුණුවක් ලබාදී ආර්ථික වශයෙන් ශක්තිමත් කර සමාජගත කරන වැඩපිළිවෙලක් ක්‍රියාත්මක කරන බැවින් එය ප්‍රාථමික සෞඛ්‍ය සමග ඉතා සමීපව ඉටුකරන සේවාවක් ලෙස තමන් දකින බවයි.

    මේ මොහොතේ රට තුළ පැතිර යන කොවිඩ් 19 තත්වයෙන් ආරක්ෂාවීමට ආයතනික මට්ටමෙන්ද කල හැකි කාර්ය භාර්යක් පවතින බවත් සියලු දෙනාම හැකි සෑම විටම කොවිඩ් 19න් ආරක්ෂාවීම සදහා අන් අය දැනුවත් කිරීම වැදගත්වන බවත් නිරන්තර සෞඛ්‍ය පුරුදුවලට යොමුවිය යුතු බවත් අපගේ හැසිරීම් රටාව පිළිබදව සැලකිලිමත් වන අතර වැඩිහිටියන් ආරක්ෂා කරගැනීමට වගබලාගත යුතු බවත් අමාත්‍යවරිය මෙහිදී සදහන් කරන ලදි.

    මෙම අවස්ථාවට ප්‍රාථමික සෞඛ්‍ය සේවා, වසංගත රෝග සහ කොවිඩ් රෝග පාලනය පිළිබද රාජ්‍ය අමාත්‍යාංශයේ ලේකම් විශේෂඥ වෛද්‍ය අමල් හර්ෂ ද සිල්වා, සමාජ සේවා දෙපාර්තමේන්තුවේ අධ්‍යක්ෂ චන්දන රණවීර යන මහත්වරු ඇතුළු නිලධාරීන් සහභාගීවිය.