Blog

  • වසංගතය භිෂණයක් කරගත යුතු නෑ

    වසංගතය භිෂණයක් කරගත යුතු නෑ

    කොවිඩ් 19 පාලනය කිරීම සදහා තීන්දු තීරණ ගැනීමේදී විද්‍යාත්මක පසුබිමක සිට එය කළ යුතු බවත් වසංගතය භිෂණයක් කර නොගත යුතු බවත් ප්‍රාථමික සෞඛ්‍ය සේවා, වසංගත රෝග සහ කොවිඩ් රෝග පාලනය පිළිබද රාජ්‍ය අමාත්‍ය විශේෂඥ වෛද්‍ය සුදර්ශිනී ප්‍රනාන්දුපුල්ලේ මහත්මිය සදහන් කළාය.

    රාජ්‍ය අමාත්‍යවරිය මේබව සදහන් කලේ කොවිඩ් 19 පාලනය ශක්තිමත් කිරීම සදහා වෛද්‍ය විශේෂඥයින්ගේ අදහස් ලබාගැනීම සදහා සෞඛ්‍ය අමාත්‍යාංශයේ පැවැති සාකච්ඡාවකදීය.

    වැඩිදුරටත් අදහස් දැක්වූ රාජ්‍ය අමාත්‍යවරිය සදහන් කලේ වසංගත රෝගය පාලනය කිරීමේදී මනා ලෙස සැලසුම් කළ තාක්ෂණික තීන්දු තීරණ ගතයුතු බවත්, එය සැමවිටම ජනතා කේන්ද්‍රීය සහ ජනතා හිතවාදී ක්‍රියාවලියක් ඔස්සේ ක්‍රියාවට නැංවිය යුතු බවත් ඒ සදහා මාධ්‍යවල සහ ජනතාවගේ සහයෝගය ලබාගැනීම වැදගත්වන බවයි.

    වත්මන් කොවිඩ් 19 පාලනයේ පවතින ගැටළු සහගත තැන්, වසංගත රෝගය පාලනයේ අනාගත දිශානතිය සහ ඉදිරි මාවත, වෛද්‍ය විශේෂඥයින් විසින් සෞඛ්‍ය අමාත්‍යාංශය වෙත සහයෝගය ලබාදීම උපදෙස් ලබාදීම සිදුකල යුත්තේ කෙසේද යන්න මෙන්ම ග්‍රාමීය සහ නාගරික අඩු ආදායම්ලාභීන්ගේ වැඩිහිටි සෞඛ්‍ය සේවා පහසුකම් වැඩිදියුණු කිරීම ආදී කරුණු සම්බන්ධයෙන් මෙහිදී සාකච්ඡාවූ අතර මෙම කාලය තුළ වෛද්‍ය අධ්‍යාපනය, හෙද අධ්‍යාපනය මෙන්ම වෛද්‍ය රසායනාගාර තාක්ෂණ අධ්‍යාපනය අඛණ්ඩව සිදුකිරීමේ වැදගත්කම මෙහිදී වෛද්‍ය විශේෂඥයින් විසින් රාජ්‍ය අමාත්‍යවරියගේ අවධානයට යොමුකරන ලදි.

    කොවිඩ් 19 සම්බන්ධයෙන් ඉදිරිපත්ව ඇති එන්නත් මෙරටට ගෙන්වීම පිළිබදව වෛද්‍ය විශේෂඥයින්ගේ මතය විමසූවිට ඔවුන් සදහන් කලේ මේ මොහොතේ කල යුතු වැදගත්ම කටයුත්ත එය බවයි. එබැවින් අනුමත කරන එන්නත ලබාගැනීමට සූදානම් බව ලෝක සෞඛ්‍ය සංවිධානය වෙත දන්වන ලෙස වෛද්‍ය විශේෂඥයින් විසින් මෙහිදී ඉල්ලීමක් කරන ලදි. ඒ හරහා ආර්ථිකය නැවත පණගැන්වීමේ අවස්ථාව උදාවන බවත් සංචාරක කර්මාන්තය සදහා සීමිතව අවස්ථාව ලබාදීම මේ මොහොතේ අගය කලයුතු බවයි. කොවිඩ් 19 සම්බන්ධයෙන් ඉදිරිපත්ව ඇති එන්නත් හෝ ඖෂධ පිලිබදව අමාත්‍යවරියගේ සෘජු අදහස් දැක්වීම අගය කරන බවත් මෙවන් අවස්ථාවක විශේෂඥ අදහස් ලබාගැනීමට කටයුතු කිරීම පිළිබදව සිය ස්තූතිය පුදකරන බව වෛද්‍ය විශේෂඥවරුන් විසින් අමාත්‍යවරිය වෙත දන්වන ලදි.

    මෙම සාකච්ඡාව සදහා රාජ්‍ය අමාත්‍යාංශයේ ලේකම් විශේෂඥ වෛද්‍ය අමල් හර්ෂ ද සිල්වා, කැළණිය විශ්ව විද්‍යාලයේ වෛද්‍ය පීඨයේ මහාචාර්ය ජනක ද සිල්වා, කැළණිය විශ්ව විද්‍යාලයේ වෛද්‍ය පීඨයේ මහාචාර්ය අනුජ ප්‍රේමවර්ධන, කැළණිය විශ්ව විද්‍යාලයේ වෛද්‍ය පීඨයේ මහාචාර්ය අර්ජුන ද සිල්වා, රුහුණු විශ්ව විද්‍යාලයේ වෛද්‍ය පීඨයේ මහාචාර්ය සරත් ලේකම්වසම්, අයිඩීඑච් රෝහළේ විශේෂඥ වෛද්‍ය ආනන්ද විජේවික්‍රම, කොළඹ ජාතික රෝහළේ විශේෂඥ වෛද්‍ය ප්‍රදීප් කුමාරසිංහ, ගම්පහ රජයේ රෝහළේ ශ්වසන රෝග පිළිබද විශේෂඥ වෛද්‍ය බෝධික සමරසේකර යන මහත්වරු ඇතුළු පිරිසක් එක්විය.

  • පෙම්වතාව පිස්සු වට්ටන්න පුළුවන් සුපිරි Makeup මෙන්න !

    පෙම්වතාව පිස්සු වට්ටන්න පුළුවන් සුපිරි Makeup මෙන්න !

    ‘වේශ නිරූපණය‘ යනු ඔබේ අදහස් ප්‍රකාශ කිරීමට, කලාත්මක වීමට සහ ටිකක් විනෝද වීමට හොඳ ක්‍රමයකි. වේශ නිරූපණය අඩුපාඩු නිවැරදි කර “ඉදිරිපත් කළ හැකි presentable” පෙනුමක් ලබා දෙන ක්‍රමයක් ලෙස සලකනු ලැබූ දින දැන් ගෙවී ගොස් ඇත. 

    මේ දිනවල වේශනිරූපණය යනු නිර්මාණශීලී වීමය. ඇඳුමට අමතර වටිනාකමක් හෝ ආකර්ෂණයක් එකතු කිරීම ය. එසේ නැතහොත් ඔබව අන්‍යයන්ගෙන් බොහෝ වෙන්කොට, සුවිශේෂ කොට හදුන්වාදීමය.

    උදාසීන හා කම්මැලි වේශ නිරූපණයෙන් වෙහෙසට පත්ව සිටින අයට කළ හැකි ආකර්ෂණීය වේශ නිරූපණ රැසක් අපි දැන් ඔබට ඉදිරිපත් කරමු. සාම්ප්‍රදායික සහ වෙනසකට බියක් දක්වන ලංකාවේ මේ වේශ නිරූපණ ගැන ඇතැම්විට සිතීමටත් නොහැකි විය හැකිය.

    එහෙත් මේ සුන්දර හා අපූරු වේශ නිරූපණ රස විදීමට එයින් ඔබට කිසිම බාධාවක් නම් නැත.

    මේ වන විටත් සෑම ආකාරයකම eyeliner භාවිතා කර වෙහෙසට පත්ව සිටින අයට සහ වෙනසක් සොයන අයට පහත දැක්වෙන eyeliner  වෙත යාම අලුත්ම අත්දැකීමක් විය හැකිය.

    වේශ නිරූපණය ගැහැණු ළමයින්ට පමණක් යැයි කීවේ කවුද? පැහැදිලිවම, යාලුවනේ ඔබටත් නිර්මාණශීලී විය හැකිය. මෙම විශිෂ්ට නිර්මාණ දෙස බලන්න. මෙය වචනාර්ථයෙන් වේශ නිරූපණ කලාවකි. 

    හැලොවීන් පෙම්වතුන් මෙහි සිටීද? නිවාඩු දිනය තාක්‍ෂණිකව අවසන් වී ඇති බවත්, සෑම කෙනෙකුම නත්තලට දින ගණන් කරන බවත් අපි දනිමු. මෙවැනි වේශ නිරූපණයක් හැලෝවීන් දාට කළ හැකි නම් කොපමණ අපූරුද ?

    eyeliner ගැන කොපමණ කතා කළත් අවසන් කිරීමට සිතෙන්නේ නැත. මේ වසංගත සමයේ මුහුණු ආවරණය නිසා ඔබේ වඩාත්ම කැපී පෙනෙන ස්ථානය වෙත අවධානය යොමු කිරීම කිසිසේත් කාලය හෝ මුදල් අපතේ යැවීමක් නොවේ. පහත දැක්වෙන ඡායාරූප දෙස බලා තීන්දුවක් ගන්න.

    ශාක හා සත්වයන් කලාත්මක නිර්මාණ තුළ සැමවිටම ජනප්‍රිය වන නමුත් මෙම වේශ නිරූපණය අභියෝගාත්මක වේ.

    අවසාන වශයෙන් මෙන්න අපි ආදරයෙන් බැඳුණු සැබවින්ම අමතර වේශ නිරූපණ කිහිපයක්. වියුක්ත හැඩතලවල සිට කාටූන් සහ ක්‍රීඩා චරිත සහ අභ්‍යවකාශ තේමා පෙනුම. 

    සැකසුම – තුෂාධවි

  • මොකටද මේ භූමදානය ?

    මොකටද මේ භූමදානය ?

    තමුසෙලා මුළු ත්‍රිපිටකයම කට පාඩම් කලත් වැඩක් නෑ, අබමල් රේණුවකවත් කරුණාවක් හිතේ නැතුව මොන බෞද්ධකමක්ද ?

    ගිය අවුරුද්දේ, ඉන්දියාවේ බරණැසි නුවර ගංගා ගං ඉවුරේ දුටු දර්ශන මට මතක් වෙනවා. එක් මළ සිරුරක් ගං ඉවුරේ තබාගෙන කිරි වලින් සෝදනවා, තවත් දේහයක් ලී වේදිකාවක් මත තබා සුදු රෙදි වලින් ඔතා හය දෙනෙකුගේ පමණ උරහිස් මත ඔසවා ගං ඉවුර වෙත ගෙන එනවා, තවත් දේහයක් දර සෑයක් මත දහනය කරනවා.

    උපත මෙන්ම මරණයත් ජීවිත චක්‍රයේ ස්වභාවික දෙයක් කියල බෞද්ධයින් වන අපි විශ්වාස කරනවා. බුද්ධාගමට සමානව හින්දු ආගමේත් ශරීරයේ තාවකාලික ස්වරූපය පිළිගන්නවා. දේහය කියන්නේ බඳුනක්  පමණක් බවත්, මරණයෙන් පසුව, පණ නැති දේහය අත්හැරලා අපේ ආත්මය වෙනත් ස්වරූපයකින් යලි උපත ලබන බව, පුනරුප්පත්තිය විශ්වාස කරන අපි විශ්වාස කරනවා.

    කොච්චර මෙහෙම විශ්වාස කරත්, අපේ ජීවිත වලින් සමීප කෙනෙක් සමුගත් විට අපිට දැනෙන්නේ කම්පනයක්, කණගාටුවක්, ඉදිරිපත් වන්නේ දුක්බර හැගීම් පිරුණු අවස්ථාවක්. අපේ ඥාතියාට, හිතවතාට, මිතුරාට පිං පමුණුවන්න, ඔවුන්ව මතක් කරන්න අපි නොයෙකුත් දේ කරනවා.

    ගිය අවුරුද්දේ මෙගේ ලොකු බාප්පා අප අතරින් හදිසියේම සමුගත් මොහොත මට සිහිපත් වෙනවා. කවුරුත් නොහිතපු මොහොතක, ඔහුගේ දියණිය සාමාන්‍ය පෙළ ලියන්න සති ගණනකට පෙර ඔහු මෙලොවෙන් සමු ගත්තා. කොඩි ඔසවලා, මළ බත උයලා, මතක බණ, හත් දවසේ දානය, තුන් මාසේ දානය, අවුරුද්දේ දානය වැනි විවිද චාරිත්‍ර යුතුකම් හැටියට ඉටු කරා. මේ දුක්බර අවස්ථාවේ,  අලුත් ආත්මයක් කෙරෙහි  තිබෙන අපේ අගමික විශ්වාසය, ඒ සිත් තුළ තිබුණු වේදනාවට යම්කිසි සිසිලසක් වුණා කියල මම හිතනවා.

    මම කියවලා තියෙනවා හින්දු ධර්මයට අනුව දේහයක් අදාහනය කිරීම තුළින්, මියගිය පුද්ගලයාගේ ආත්මය ඉක්මනින් ඒ ශරීරයෙන් නිදහස් වෙනවා කියලා, එතුළින් පුනරුප්පත්තියේ ගමන කඩිනම් කිරීමට අදාහනය සුදුසුයි කියලා කියනවා.

    දින 20ක් වයසැති බිළිදා ආදාහනය කිරීමට එරෙහි පොදුජන විරෝධය – බොරුල්ල කනත්ත අභියස

    කොරෝනා අසාදිත වූ දින 20ක දරුවෙකුගේ දේහය, PCR පරීක්ෂණයකින් තොරව හා දෙමව්පියන්ගේ අවසරයකින් තොරව ආදාහනය කිරීමට සෞඛ්‍ය බලධාරින්කටයුතු කළ බවට මාධ්‍යයෙන් වාර්තා කර තිබුණා. මේ ඛේදනීය සිදුවීම පිළිබඳව සමාජ මාධ්‍ය වල විවිද අදහස් පළවුණා..

    ඒ අතරින් එක් කාන්තාවකගේ facebook සටහනක් මගේ හිතට වැදුනා. ඇය මෙසේ කියා තිබුණා “දින 20ක දරුවෙකු පුළුස්සා දැමීම කොතරම් අමානුෂිකද”.

    මගේ නූගත් හිතට එක්වරම සිතුනේ, මැරිච්ච් කෙනෙක්ගේ දේහය පුච්චන එක දරුවෙකු පණ පිටින් පුච්චනවාට සමාන කරන්නේ කොහොමද ? නමුත් මේ කාන්තාව මෙවැනි අදහසක් ප්‍රකාශ කරන්නේ ඇයි කියලා තේරුම් ගැනීමට මට අවශ්‍ය වුණා..

    හින්දු හා බෞද්ධ විශ්වාසයට අනුව පණ නැති දේහයක් යන්න, හිස් බඳුනක්  මෙන්, පණ නැති දේහය පලකට නැති දෙයක්. කෙසේ වෙතත් ආත්මය ගැනත්, මෘත දේහයක් ගැනත් එලෙස නොසිතන විශාල පිරිසක් ලංකාවේ සිටින බව මට පැහැදිලි වුණා.

    ඇයි මේ මුස්ලිම්වරු භූමදානය ගැන මෙතරම් සංවේදී ? මට මේක ප්‍රහේලිකාවක් වුණා.

    අන්තර්ජාලය ඔස්සේ මේ ගැන සොයා බලන විට වැඩි හරියක් තොරතුරු තිබෙන්නේ ශ්‍රී ලංකාවේ මුස්ලිම්වරුන්ගේ මළ සිරුරු බලහත්කාරයෙන් පුළුස්සන එක පිළිබදවයි. මේ මාතෘකාව ගැන වැඩි විස්තර සොයා ගැනීම තරමක් අපහසු කරුණක් බව මට වැටහුනා.

    මිතුරන් කිහිප දෙනෙකුගෙන් ලැබුණු තොරතුරුත්, අන්තර්ජාලයෙන් සොයාගත් තොරතුරු වලත් අනුව, ඉස්ලාමීය මෙන්ම කතෝලික හා ක්‍රිස්තියානි, යුදෙවූ යන ආබ්‍රහමික ආගම් තුළ අදාහනයට ඇති විරුද්ධත්වය හා භූමදානයට ලැබෙන ප්‍රමුඛත්වය ඒ ආගම් තුළ මුල්තැන් ගන්නා කාරණයක් බව හෙළි වුණා.

    බෞද්ධයින් හා හින්දු භක්තිකයින් මෙන්ම මරණයෙන් පසු ජීවිතයක් ගැන මුස්ලිම් හා ක්‍රිස්තියානි භක්තිකයින්ද  විශ්වාස කරනවා. පුනුරුප්පත්තිය වෙනුවට, ආබ්‍රහමික ආගම් විශ්වාසය කරන්නේ ‘නැවත ඉපදීම’ යන සංකල්පයයි. ඔවුන් විශවාස කරන පරිදි එක්තරා දිනයක දෙවියන් වහන්සේ විසින් මරණයට පත්වුණු සියලු ජීවිතවලට නැවතත් පණ ලබාදෙනවා. ඉන්පසු ඔවුන්ගේ ජීවිත කාලය පුරා කල හොද හා නරක දෙස බලා දෙවියන් වහන්සේ විසින් ඔවුන් ගැන විනිශ්චයක් ගන්නවා. නැවත කැදවන ජීවිතය දිවිය ලෝකයටද නැතිනම් අපායට යවන්නේද යන්න ‘විනිශ්චය දිනයේදී’ දෙවියන් වහන්සේ තීරණය කරනු ලබනවා.

    මාගේ වැටහීමට අනුව, මේ ආගම් තුළ අදාහනයට විරුද්ද වීමට ප්‍රධාන හේතුව රඳා පවතින්නේ ‘විනිශ්චය දිනය’ කෙරෙහි ඇති විශ්වාසය පදනම්වයි. ඔවුන් විශ්වාස කරන පරිදි, නැවත පණ දීමටනම්, පණ ලැබීමට නම් මියගිය පුද්ගලයාගේ දේහයේ යම්කිසි කොටසක්  භාවිතා කිරීමට සිදුවෙනවා. ආදාහනය තුලින් මියගිය කෙනෙකුගේ සමීපයන්ට ඔවුන්ගෙන් ඉටුවිය යුතු යුතුකම් පැහැර හැරියා මෙන් සැලකෙනවා.

    කොවිඩ් ආසාදිතයින් භූමිදානය කරන සමූහ මිනීවළක්

    කෙසේ වෙතත්, මෑත කාලීනව කතෝලික, ක්‍රිස්තියානි හා ආගම් තුළ එම විශ්වාසය පිලිබඳ යම් වෙනස්වීමක් සිදුවී ඇති බව මට දැනගැනීමට ලැබුණා. යුදෙවුවන් වුවද විශේෂ හේතු මත ආදාහනය අනුමත කර තිබෙන බව මට මිතුරෙකු පැවසූවා. නමුත් ඉස්ලාම් ආගමේ එවැනි වෙනස් වීමක් සිදුවී නෑ.

    එමෙන්ම ඉස්ලාමික භක්තිකයින්ට ඔවුන්ගේ ධර්මයෙන් පවසා ඇත්තේ මිය ගිය පුද්ගලයාට පවා  සැලකිය යුතු බවත් ගෞරව කල යුතු බවත්ය, ඒ ගෞරවය ජීවත්ව සිටින කෙනෙකුට හා සමාන විය යුතු බවත්ය. ආදාහනය යනු දේහය විකෘති කිරීමක් හෝ එයට අගෞරව කිරීමක් බැවින් සලකන නිසා ඉල්සාමිය පුද්ගලයින්ට අදාහනයකට සහභාගී වීම හෝ අනුබල දීම පවා තහනම්.

    මේ කරුණු  වටහාගනීමෙන් පසුව, ඉස්ලාමීය පසුබිමක හැඩුණු වැඩුණු පුද්ගලයෙකුට, ළදරුවෙකුගේ දේහය ආදාහනය කිරීම, පන ඇති දරුවෙකුව පුළුස්සනවා මෙන් හැගීමට ඉඩක් ඇති බව මට තේරුණා.

    නැවත නැගිටීම, දිව්‍ය ලෝකය, අපාය යන විශ්වාසයන් ගැන පෞද්ගලික විශ්වාසය කුමක් වූවත්, තමන්ගේ ඥාතියෙකු, හිතමිතුරෙකු, දරුවකු, මවක් හෝ පියෙක්, සහෝදරයෙක් හෝ සහෝදරියක් මියගිය කෙනෙකු කෙරෙහි මනුෂ්‍ය කමක් තියෙන ඕනෑම කෙනෙකුට දැනිය යුත්තේ අනුකම්පාවක් යයි මට හැඟුනා.

    එමෙන්ම මුළු ජීවිත් කාලය පුරාම දිනකට පස්වතාවක් යාඤා කරමින්, දිනපතා හෝ සති පතා පල්ලි යමින්, ආදායමෙන් අවම වශයෙන් 2.5 % දුප්පතුන් වෙනුවෙන් පරිත්‍යාග කරමින් ජීවත් වුන මුස්ලිම් භක්තියෙකුට ඔවුන්ගේ ආගමික විශ්වාසයට අනුව අවසන් ගෞරවය දීම වැලක්වීමට කවරෙකු හෝ දැනුවත්ව කටයුතු කරන්නේ නම්, මියගිය තැනැත්තාගේ පවුල් වල උදවියට, හිත මිතුරන්ට, ඔවුන්ගේ හිත් වලට දෙන දුක හෝ වේදනාව, බෞද්ධයෙකු ලෙස මා දකින්නේ ඔවුන් කරන පවක් ලෙසයි.

    COVID-19 නිසා සෞඛ්‍ය බලධාරීන් ගෙන ඇති පියවර හේතුවෙන් මිය යන මුස්ලිම් භක්තියින්ට තම ආගමික විශ්වාසයන්ට අනුව තම ඥාතීන් වෙනුවෙන් අවසන් කටයුතු කිරීමට හා අවසන් ගෞරව දැක්වීමට නොහැකි වී තිබෙනවා. පුරවැසියන් ලෙස බලධාරීන්ගෙන් අපි  බලාපොරොත්තු වන්නේ අපගේ නිදහසට යම් බාධාවක් කරන්නේ නම්, එයට පැහැදිලි හේතුවක් හා විශ්වාසීය තොරතුරු, සාධක හා සාක්ෂි ඉතා කඩිනමින් ඉදිරිපත් කිරීම පමණයි.

    මේ ගැටලුවට විසදුමක් මා සතුව නැත. කෙසේ වෙතත්, ඕනෑම ගැටළුවක් ඉදිරියේ තාර්කිකව මෙන්ම සංවේදීව හා මානුෂිකව බැලීමට අපගේ යුතුකමයි. එතුලින්, රටට මෙන්ම සිත් වලට සිදුවෙන හෝ සිදුවියහැකි හානිය අවම කරගැනීමට හැකිවනු ඇතැයි මා විශ්වාස කරනවා.

    ඉන්දියාවේ කොවිඩ් ආසාදිතව මියගිය පුද්ගලයෙකු මළදමන ආකාරය

    සමාජ මාධ්‍ය තුළ දකින සමහර සටහන් කියවන විට, මට සිතෙන්නේ, ඒවායේ රචකයින් මා ලෙසම මෙම ගැටලුව ගැන නිසි අවබෝධයක් නොමැති නිසා කල ප්‍රකාශයන විය යුතු බවයි.

    කෙසේ වෙතත් තවත් සමහර අදහස් කියවනවිට මට සිහිපත් වුනේ, කොළඹ ආනන්ද විදුහලේ හය වසර බුද්ධාගම පන්තියේ මට උගන්වපු ගරු ස්වාමීන් වහන්සේ එක් වතාවක් මුළු පන්තියටම බැණවැදුණු ආකාරයයි

    “තමුසෙලා මුළු ත්‍රිපිටකයම කට පාඩම් කලත් වැඩක් නෑ, අබමල් රේණුවකවත් කරුණාවක් හිතේ නැතුව මොන බෞද්ධකමක්ද ?”

    නීතිඥ වරුණ පද්මසිරි

  • දකුණු අප්‍රිකාවේදී මට ගේමක් නෑ – ශ්‍රී ලංකා කණ්ඩායමේ පුහුණුකරු මිකී ආතර්

    දකුණු අප්‍රිකාවේදී මට ගේමක් නෑ – ශ්‍රී ලංකා කණ්ඩායමේ පුහුණුකරු මිකී ආතර්

    කොවිඩ් වසංගතයේ බලපෑමෙන් පසු තවමත් ජාත්‍යන්තර තරගයකට ක්‍රීඩා කර නොමැති ශ්‍රී ලංකා කණ්ඩායම තවත් දින 4 කින් දකුණු අප්‍රිකානු පිල සමඟ පළමු ටෙස්ට් තරගයට සෙන්චූරියන්හි සුපර් ස්පෝර්ට්ස් පාක් ක්‍රීඩා පිටියේදී තරග වදිනු ඇත. ශ්‍රී ලංකා කණ්ඩායම ජාත්‍යන්තර තරගයකට ක්‍රීඩා කරනු ලබන මාස 10 කට ආසන්න කාලයකින් පසුව වීම කැපී පෙනෙයි.

    අවසන් වරට ශ්‍රී ලංකාව ටෙස්ට් තරගයකට ක්‍රීඩා කර ඇත්තේ සිම්බාබ්වේ පිලට එරෙහිව ඉකුත් ජනවාරි මස පැවැති තරගාවලියේදීය. තරග 2 කින් සමන්විත එම තරගාවලිය 1-0 ක් ලෙස ජය ගැනීමට දිමුත් කරුණාරත්න ඇතුළු පිරිවර සමත් විය.

    ලොව වේගවත්ම තණතීරු සහිත රටක් ලෙසින් සැලකෙන දකුණු අප්‍රිකාවේ තරග වැදීම සෑම කණ්ඩායමකට අභියෝගයක් නමුත් අවසන් වරට දෙරට අතර පැවැති ටෙස්ට් තරගාවලිය 2-0 ක් ලෙස ජය ගැනීමට ශ්‍රී ලංකා කණ්ඩායම සමත්විය. එම ජයග්‍රාහී මානසිකත්වයත් සමඟ ශ්‍රී ලංකා පිල තරගයට අවතීර්ණ වද්දී දකුණු අප්‍රිකානු කණ්ඩායම අවසන් වරට සහභාගිවී සිටින ටෙස්ට් තරග 9 න් එක් ජයග්‍රහණයක් පමණක් වාර්තා කර සිටින්නේ ශ්‍රී ලංකාවට එරෙහිව ලද පරාජයන් 2 ද සමඟිනි.

    හිටපු නායක ෆෆ් ඩුප්ලෙසිස් ටෙස්ට් නායකත්වයෙන් ඉවත් වීමත් සමඟ කණ්ඩායමට නිත්‍ය නායකයකු නොමැති වීම, කොවිඩ් ආසාධනය වීම හරහා ක්‍රීඩකයින් තෝරා ගැනීමේ අපහසුව මෙන්ම සිය ප්‍රධානතම වේග පන්දු යවන්නා වන කගිසෝ රබඩා සේවය කණ්ඩායමට අහිමිව තිබීම,  දකුණු අප්‍රිකානු පිල තුළ කිසියම් ව්‍යාකූලත්වයක් ඇති කරවීමට හේතු ලෙසින් සැලකිය හැක.

    මේ සියළු කාරණා සම්බන්ධව ශ්‍රී ලංකා කණ්ඩායමේ පුහුණුකරු වන මිකී ආතර් මහතා දැනුවත්ව සිටියද, ප්‍රතිවාදීන් කිසිසේත් අඩු තක්සේරුවෙන් සැලකීමට ඔහුගේ සූදානමක් නැත. අන්තර්ජාලය හරහා සිදුකරන ලද අදහස් දැක්වීමකදී මිකී ආතර් මහතා ඒ පිළිබඳව සඳහන් කර සිටියේය.

    “දකුණු අප්‍රිකාව ඉතා හොඳ කණ්ඩායමක්. ඔවුන් ඉතා හොඳින් මෙහෙයවනු ඇත. ඔවුන් ඉතා හොඳින් පුහුණුවීම් කරනවා. ඔවුන් ඉතා හොඳින් සූදානම් වෙනවා” යි මිකී ආතර් පවසයි.

    දකුණු අප්‍රිකානු ජාතිකයකු වන මිකී ආතර් දකුණු අප්‍රිකානු කණ්ඩායමේ ප්‍රධාන පුහුණුකරු ලෙසින් කටයුතු කළ හෙයින්, ප්‍රතිවාදී කණ්ඩායමකට එරෙහිව තරගයකට යෑමේදී ඔවුන් භාවිතා කරනු උපක්‍රම සම්බන්ධව ඔහු තුළ තිබීම ශ්‍රී ලංකාවට හිමි අතිරේක වාසියක් ලෙස සඳහන් කළ හැක. මෙම තත්ත්වය මත ශ්‍රී ලංකාවට එරෙහි තරගාවලියේදී වෙනනම ‘උගුලක්’ ඇටවීමට දකුණු අප්‍රිකානුවන්ට සිදුවනු ඇත.

    “ඔවුන් කියන්නේ කිසි විටෙකත් අපිව අත් නොහරින බවයි. නමුත් මමත් මෙහි තණතීරුවල තත්ත්වයන් ගැන හොඳින් දන්නවා. මෙය සාමාන්‍යයෙන් මන්දගාමීව ආරම්භ වන අතර තෙවැනි සහ සිව්වැනි ඉනිම වලදී පන්දුව වේගවත් සහ ඉපිලීමකින් යුක්ත වෙනවා. තණතීරුවේ මතු පිට දෙස බැලීමේදී කාසියේ වාසිය දිනා ගන්නේ නම් පන්දුවට පහර දීම සම්බන්ධව නිවැරදි තීරණයක් ගැනීමේ හැකියාව තියෙනවා”යි තමන් සතු දැනුම සම්බන්ධව ආතර් සත්කාරකයින් අනතුරු හැඟවීය.

    සිය අදහස් දැක්වීමේදී තම කණ්ඩායමද ප්‍රතිවාදීන්ට එරෙහි සටනට සූදානමින් සිටින බව සඳහන් කර සිටි ප්‍රධාන පුහුණුකරු පැයට කිලෝ මිටර් 140 කට වඩා වේගයෙන් පන්දු යැවිය හැකි තුරුම්පු තමන් සතුව වන බව සඳහන් කරමින් ළහිරු කුමාර සහ දුෂ්මන්ත චමීරව ඉස්මතු කර පෙන්වීය. කාලයක් තිස්සේම ශ්‍රී ලංකා ටෙස්ට් පිල නියෝජනය කරනු ලබන සුරංග ලක්මාල් අත්දැකීම් සහ දක්ෂතාවලින් සමන්විත ප්‍රධානම පන්දු යවන්නා බවද හේ සඳහන් කර සිටියේය. සමස්ථ සංචිතය වේග පන්දු යවන්නන් 7 දෙනෙකුගෙන් සමන්විත වන අතර විශ්ව ප්‍රනාන්දුද විකල්පයන් සොයා යෑමේදී හොඳ උදාහරණ බවද ආතර් සිය අදහස් දැක්වීමේදී පවසා සිටියේය.

    “අවසන් වර ශ්‍රී ලංකාව තරග වැදි තණතීරුවලට වඩා මේ වතාවේ ලැබිලා තියෙන තණතීරු තනිකර වෙනස්. නමුත් මම අද අද උදේ මම සෙන්චූරියන් තණතීරුව දැක්ක හැටියට නම් ඒක ගොඩක් හොඳ තණතීරුවක් වෙයි කියලා අපේක්ෂා කරන්න පුලුවන්” යි පවසන ආතර්, “සෑම අංශයක්ම ආවරණය වෙලා තියෙන්නේ. අපි කණ්ඩායමේ ක්‍රීඩකයින් 21 දෙනෙක් ඉන්නවා. ඒ අතර අපි ගාව හොඳ වේග පන්දු යවන්නන්, ඒ වගේම දඟ පන්දු යවන්නන් ඉන්නවා. ඒ වගේම මට විශ්වාසයක් තියෙනවා අපේ උඩ පිතිකරුවන් 6 දෙනා මේ තත්ත්වයන් හොඳින් හසුරුව ගනියි කියලා”යි වැඩිදුරටත් පැවැසීය.

    ශ්‍රී ලංකා කණ්ඩායමේ පුහුණුකරු ලෙස මිකී ආතර් පත්වීමෙන් පසු ක්‍රීඩකයකු අසාර්ථක වුණු පළියට තරගාවලියෙන් තරගාවලියට ක්‍රීඩකයින් මාරු කිරීමේ ක්‍රමවේදය නතර කරන ලදී. දීර්ඝ කාලයක් කණ්ඩායම තුළ රැඳී සිටීමට අවස්ථාව ලබා දෙමින් කණ්ඩායම තුළ විශ්වාසයක් ගොඩ නඟා ගැනීම සඳහා ක්‍රීඩකයින්ට අවස්ථාවක් ලබා දීමට මිකී ආතර් කටයුතු කළේය. මේ හරහා ක්‍රීඩකයින් කණ්ඩායම පරිණතත්වයකට පැමිණීමට අවකාශ උදාවී තිබේ.

     “හැම තරගාවලියක්ම අපිට හරි වැදගත්. අපි කණ්ඩායමක් විදියට කිසියම් දැක්මක නියැළිලා ඉන්නේ. ඒක නිසා අපිට ඕනේ අපේ ක්‍රීඩකයින්ගේ දක්ෂතා තව තවත් දියුණු කරගන්න ගමන් කණ්ඩායමක් විදියට ස්ථාවර වෙන්න. ඔබ ක්‍රීඩා පිටියේ තරග කීපයක් ජය ගැනීමට අවස්ථාව ලැබුණොත් විශ්වාස කියන එක මොන දේටත් වඩා බලවත් කියන එක මම දන්නවා. අපිට ඒ විශ්වාසයත් එක්ක ඊළඟට තියෙන එංගලන්ත තරගාවලියට යන්න පුලුවන් නම් ඒක ඉතාම හොඳ දෙයක් වෙයි. ඒ නිසා මේ තරගාවලිය අපිට හරිම වැදගත්. අවසන් වතාවේදී අපි ඔවුන්ව ඔවුන්ගේ රටේම පරාජය කළා” යි තම කණ්ඩායම සතු විශ්වාසය පිළිබඳව ආතර් අදහස් දැක්වීය.

    “අපි අපේ පුහුණුවීම් ආරම්භ කළා. විශේෂයෙන්ම පුහුණු දැල් වල භාවිතයෙන්. කණ්ඩායමකට ක්‍රීඩකයින් 7 දෙනෙක් විදියට බෙදිලා තමයි අපේ පුහුණුවීම් සිදුකළේ. ඒ කණ්ඩායම් සමාන විදියට බෙදලා කළේ. අපි ගොඩක් උත්සාහ කරනවා මෙහි තත්ත්වයන් වලට ඉක්මනින් අනුගත වෙන්න. ඒ සඳහා අපි ලොකු කැපවීමකින් පුහුණුවීම් වල නියැළෙනවා. එල්.පී.එල්. එකට කළින් අපි දවස් 10 ක් හොඳ පුහුණු සැසියක් ලබාගත්තා. මේ තරගාවලියට කළින් විස්සයි-20 තරගාවලියකට ක්‍රීඩා කළත් එල්.පී.එල්. වලදී වුණු හොඳම දේ තමයි කාලෙකට පස්සේ ක්‍රීඩකයින්ට තරගකාරී තරගාවලියකට ක්‍රීඩා කරන්න අවස්ථාව උදාවීම” යි ආතර් අදහස් දක්වයි.

    දකුණු අප්‍රිකාව ඔවුන්ගේ නිජ බිමේදී පරාජයට පත් කළ පළමු ආසියානු රට බවට පත් වුණු ශ්‍රී ලංකා පිල වෙනුවෙන් මහඟු කාර්යයක් ඉටු කළ ඕෂධ ප්‍රනාන්දුට පළමු ටෙස්ට් තරගයට ක්‍රීඩා කිරීමේ අවස්ථාව අහිමිවන බව පවසන ආතර්, “ඕෂධ විතරක් නොවෙයි. අපිට ඇන්ජලෝ (මැතිව්ස්) අහිමි වෙලා තියෙනවා. එහෙම වුණාට කණ්ඩායමේ ඉදිරි 6 දෙනා ගැන මට අදහසක් තියෙනවා. නමුත් ආක්‍රමණකාරී උපායකට යනවා නම් ඒ සදහා අපිට සම්පත් තියෙනවා. විශේෂයෙන් අපිට අපේ සංයුතිය වෙනස් කරන්න පුලුවන්. එතැනදි පන්දු යවන්නන් 5 දෙනෙක් සමඟ කඩුලු රකින්නා එක්ක පිතිකරුවන් 6 දෙනෙකු ක්‍රීඩා කරවන්නත් පුලුවන්. තවත් විදියක් තමයි වේග පන්දු යැවිය හැකි තුන් ඉරියව් ක්‍රීඩකයකු සමඟින් දඟ පන්දු යවන්නකුද කැටුව සංයුතිය සැකසීම. කොහොම වුණත් අපිට දව දින කීපයක් තියෙනවා සංයුතිය කොහොමද කියන එක ගැන බලන්න” යැයි ආතර් පවසයි.

    මෙම තරගාවලිය සඳහා ශ්‍රී ලංකා පිල යෑමට තීරණය කිරීමේදී ඒ සඳහා බලපෑ කාරණා අතර ප්‍රධානම තැනක් ගනු ලැබුවේ ක්‍රීඩකයින්ගේ සෞඛ්‍යාරක්ෂිත භාවය පිළිබඳවය. මේ සඳහා වැඩි අවධානයක් යොමු කළ ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය වෛද්‍ය දමින්දා අත්තනායක මහත්මිය සහ පුහුණුකරු මිකී ආතර්ව කළින්ම පිටත් කර හැරීමට පියවර ගනු ලැබීය.

    “ඇත්තම කියනවා නම් මෙහෙ ජෛව පරිසරය ඉතාම හොඳයි. මාත් වෛද්‍යවරියත් ඒ ගැන බලන්න කළින්ම ආවා. ඇත්තටම ඔවුන් දීලා තියෙන ක්‍රමවේදය ඉතා හොඳයි. කොහොම වුණත් මේ වසංගත තත්ත්වයත් එක්ක ඉදිරියට යනවා නම් මේ තමා ක්‍රිකට් ක්‍රීඩාවේ අලුත්ම සාමාන්‍ය තත්ත්වය. ඔවුන් අවශ්‍ය ආරක්ෂාව ලබා දීලා අපිව හොඳින් බලා ගන්නවා. දවස් 3 කට වතාවක් පරීක්ෂණවලට ලක් කරනවා”යි දකුණු අප්‍රිකාවේ පවතින සෞඛ්‍ය ආරක්ෂිත භාවයන් පිළිබඳව ආතර් සඳහන් කර සිටියේය.

    ශ්‍රී ලංකා ක්‍රිකට් නිල වෙබ්අඩවිය ඇසුරිණි

  • ත්‍රිකුණාමලේ යාම හැකිතාක් අවම කරන්න යැයි දැඩි ඉල්ලීමක්

    ත්‍රිකුණාමලේ යාම හැකිතාක් අවම කරන්න යැයි දැඩි ඉල්ලීමක්

    එළඹෙන උත්සව සමයේ ත්‍රිකුණාමලය දිස්ත්‍රික්කයට පැමිණීම හැකිතාක් අවම කරන ලෙස ත්‍රිකුණාමල දිස්ත්‍රික් කෙරෝනා මර්ධන කමිටුව ජනතාවගෙන් ඉල්ලීමක් කරනවා. පසුගිය දින තුනක කාලය තුළ දී එම දිස්ත්‍රික්කයෙන් ආසාදිතයින් 70කට අධික පිරිසක් වාර්තා වී ඇති තත්ත්වයක් තුළ දිස්ත්‍රික්කය තුළ වෛරසය පැතිරීයාමේ වැඩි අවධානමක් පවතීම නිසා මෙම ඉල්ලීම කරන බවයි එම කමිටුව පවසන්නේ.

  • ශ්‍රීපාද වන්දනාවේ පැමිණීමෙන් වැළකින්න – නුවරඑළිය දිස්ත්‍රික් කොරෝනා මර්දන කමිටුව

    ශ්‍රීපාද වන්දනාවේ පැමිණීමෙන් වැළකින්න – නුවරඑළිය දිස්ත්‍රික් කොරෝනා මර්දන කමිටුව

    පවතින වසංගත තත්ත්වය හමුවේ ශ්‍රීපාද වන්දනාව ආරම්භක සති කිහිපය තුළ බැතිමතුන් පැමිණීම දැඩි අවධානමක් පැවතීම හේතුවෙන් එළඹෙන ජනවාරී මාසයේ ශ්‍රීපාද වන්දනාවේ පැමිණීමෙන් වැළකී සිටින ලෙස නුවරඑළිය දිස්ත්‍රික් කොරෝනා මර්දන කමිටුව ජනතාවගෙන් ඉල්ලීමක් කරයි.

  • බස්නාහිර පළාතෙන් පිටව යන අය සඳහා ස්ථාන 11කදී  Rapid antigen test

    බස්නාහිර පළාතෙන් පිටව යන අය සඳහා ස්ථාන 11කදී Rapid antigen test

    බස්නාහිර පළාතෙන් පිටව යන පුද්ගලයින් සඳහා ක්ෂණික ප්‍රතිදේහජනක පරීක්ෂණ  Rapid antigen test සිදුකරනු ලබන ස්ථාන ගණන හෙට සිට 11ක් දක්වා වැඩිකරන බව පොලිස් මාධ්‍ය ප්‍රකාශක නියෝජ්‍ය පොලිස්පති අජිත් රෝහණ මහතා පවසයි.

    පොලිස් මූලස්ථානයේ අද (22) පැවැති ප්‍රවෘත්ති සාකච්ඡාවකදී පොලිස් මාධ්‍ය ප්‍රකාශකවරයා මේ බව සදහන් කළේය.

    නව තීරණය ගැන වැඩිදුරටත් සඳහන් කළ පොලිස් මාධ්‍ය ප්‍රකාශකවරයා අධිවේගී මාර්ගවලදීද ක්ෂණික ප්‍රතිදේහජනක පරීක්ෂණ සිදුකරන බවත් සදහන් කළේය.

    නව තීරණයේ ප්‍රධාන අරමුණ වන්නේ කොවිඩ්-19 ආසාදිතයින් හඳුනාගැනීම සහ අනු කොවිඩ් පොකුරු බිහිවීම වැළැක්වීම බව කී පොලිස් මාධ්‍ය ප්‍රකාශකවරයා බස්නාහිර පළාතෙන් පිටව යන පුද්ගලයින් සඳහා මේ දක්වා සිදුකර ඇති ක්ෂණික ප්‍රතිදේහජනක පරීක්ෂණ මගින් ආසාදිතයින් 14 දෙනෙක් හඳුනාගත් බව ද සදහන් කළේය.

    මේ වනවිට ස්ථාන 4කදී එම පරීක්ෂණ අහඹු ලෙස තෝරාගත් පුද්ගලයින් සඳහා සිදුවිය.

  • විදේශයන්හි සිට මගීන් ගෙන්වා ගැනීම පිළිබඳ කොන්දේසි සංශෝධනයට

    විදේශයන්හි සිට මගීන් ගෙන්වා ගැනීම පිළිබඳ කොන්දේසි සංශෝධනයට

    කොරෝනා වයිරසයේ නව ප්‍රභේදය හමුවේ, විදේශයන්හි සිට මෙරටට මගීන් ගෙන්වා ගැනීම පිළිබඳ කොන්දේසි රජය විසින් නැවත හඳුන්වා දීමට නියමිත බව විදේශ අමාත්‍යාංශය අද (22) දින නිකුත් කළ විශේෂ මාධ්‍ය නිවේදනයක සදහන් වේ.

    එම නිවේදනයේ මෙසේද සදහන් වේ.

    ඇතැම් රටවල වේගයෙන් ව්‍යාප්ත වන නව කොරෝනා වයිරස ප්‍රභේදයක් සොයා ගැනීමත් සමඟ, ශ්‍රී ලංකා රජය විසින් මෙරටට පැමිණෙන සියලුම සංචාරකයින් සඳහා විදේශ අමාත්‍යාංශයේ සහ සිවිල් ගුවන් සේවා අධිකාරියේ පූර්ව අනුමැතිය ලබා ගැනීම සඳහා දැනට පවත්නා ක්‍රියා පටිපාටිය අඛණ්ව ඉදිරියට ගෙන යාමට තීරණය කර තිබේ. 

    තත්ත්වය යළි ඇගයීමෙන් පසුව, නැවත මෙරටට ගෙන්වා ගැනීම පිළිබඳ සංශෝධිත මාර්ගෝපදේශ නිකුත් කරනු ලැබේ.

  • එංගලන්තයේ සිට මගීන් ගෙන්වීම තාවකාලිකව නවතී

    එංගලන්තයේ සිට මගීන් ගෙන්වීම තාවකාලිකව නවතී

    මේ දිනවල එක්සත් රාජධානියේ පැතිර යන කොවිඩ් 19 නව වෛරස් ප්‍රභේදය හේතුවෙන් එරට සිට මෙරටට මගීන් පැමිණීම අද (22) සිට තාවකාලිකව නතර කිරීමට ජනාධිපති  ගෝඨාභය රාජපක්ෂ මහතා තීරණය කරයි.

    දෛනිකව රැස්වන කොවිඩ් කමිටුව සමග අද (22) ජනාධිපති කාර්යාලයේ පැවති සාකච්ඡාවේදී කොවිඩ් නව වෛරස් ප්‍රභේදය හා එහි ව්‍යාප්තිය සමාලෝචනය කිරීමෙන් පසු මේ තීරණයට එළැඹිණ.

    එංගලන්තයේ සිට අද දිවයිනට ළගාවීමට  නියමිත මගීන් PCR පරීක්ෂණයට ලක් කිරීමෙන් පසු, හෝටලවල නතර කොට දින 14ක කාලයක් සෞඛ්‍ය අංශවල පූර්ණ නිරීක්ෂණය ඇතිව නිරෝධායනය කෙරේ. ඔවුන් සිය නිවෙස්වල තවත් දින 14ක කාලයක් නිරෝධායනය විය යුතුය.

    ලන්ඩනයේ සිට එන භාණ්ඩ ප්‍රවාහන ගුවන් යානාවල කාර්ය මණ්ඩල ද නිරෝධායන ක්‍රියාවලියට යටත් වෙති.

    කොවිඩ් එන්නත කඩිනමින් ශ්‍රී ලංකාවට ගෙන්වා ගැනීමේ අවශ්‍යතාව අද සාකච්ඡාවේදීත් ජනාධිපතිවරයා කොවිඩ් කමිටුවේ අවධානයට යොමු කළේය.

    ඇමරිකාව, එංගලන්තය, චීනය ප්‍රමුඛ රටවල් කිහිපයක් කොවිඩ් එන්නත් නිපදවා තිබේ. එම එන්නත් පිළිබඳ සවිස්තර අධ්‍යයනයකින් පසු අදාළ රටවල් සහ මෙරට සෞඛ්‍ය බලධාරීන් සමග සාකච්ඡා කොට අවශ්‍ය ක්‍රියාමාර්ග සම්බන්ධීකරණය සඳහා ජනාධිපති ප්‍රධාන උපදේශක ලලිත් වීරතුංග මහතාට බලය පවරනු ලැබීය.

    එන්නත ලබාදිය යුතු කණ්ඩායම් අවශ්‍යතාව සහ ප්‍රමුඛතාව අනුව තීරණය කෙරේ. වතු, මහල් නිවාස, නේවාසිකාගාර  ඇතුළුව රෝගය පැතිරයාමේ වැඩි අවදානමක් ඇති ස්ථාන සහ කණ්ඩායම් පිළිබඳව දත්ත  රැස් කිරීමට ද තීරණය කෙරිණ.

    සෞඛ්‍ය ඇමතිණි පවිත්‍රා වන්නිආරච්චි, රාජ්‍ය ඇමතිණි සුදර්ශනී ප්‍රනාන්දුපුල්ලේ, පාර්ලිමේන්තු මන්ත්‍රී මධුර විතාන, ජනාධිපති ලේකම් පී.බී. ජයසුන්දර, ජනාධිපති ප්‍රධාන උපදේශක ලලිත් වීරතුංග යන මහත්ම මහත්මීහූ, ගුවන් තොටුපොළ සහ ගුවන් සේවා නිලධාරීහූ සහ කොවිඩ් කමිටුවේ සාමාජිකයෝ සාකච්ඡාවට එක්ව සිටියහ.

  • කොළඹ ජාතික රෝහලත් PCR පරීක්ෂණ අරඹයි

    කොළඹ ජාතික රෝහලත් PCR පරීක්ෂණ අරඹයි

    ශ්‍රී ලංකා හෘද වෛද්‍යවරුන්ගේ සංගමයේ ඉල්ලීම පරිදි හේමාස් සමූහ ව්‍යාපාරය විසින් කොළඹ ජාතික රෝහලට රුපියල් මිලියන 05 ක් පමණ වටිනා PCR යන්ත්‍රයක් පරිත්‍යාග කිරීම අද දින (22) සෞඛ්‍ය අමාත්‍යාංශයේ ශ්‍රවණාගාරයේ දී සිදුවිය.

    කොළඹ ජාතික රෝහල තුල මෙතෙක් පී.සී.ආර් පරීක්ෂණ සිදු නොකළ අතර, මෙම පී.සී.ආර් යන්ත්‍රය ලැබීමත් සමග ඉදිරියේ දී කොළඹ ජාතික රෝහල තුල ද පී.සී.ආර් පරීක්ෂණ සිදු කිරීමට ඉඩ ප්‍රස්ථාව හිමි වේ. ඒ අනුව දෛනික සැත්කම් සදහා පොරොත්තු ලේඛණවල සිටින රෝගීන්ගේ පී.සී.ආර් පරීක්ෂණ කඩිනමින් සිදු කර ගැනීමේ හැකියාව ලැබෙන බව රෝහල් අධ්‍යක්ෂවරයා පවසන අතර, හේමාස් ආයතනය විසින් සිදු කළ මෙම පරිත්‍යාග සෞඛ්‍ය අමාත්‍ය පවිත්‍රා වන්නිආරච්චි මහත්මියගේ ඇගයීමට ලක් විය.

    සෞඛ්‍ය අමාත්‍ය පවිත්‍රා වන්නිආරච්චි මහත්මිය වෙත මෙම පරිත්‍යාගය සිදු කරන ලද්දේ හේමාස් රෝහලේ සභාපති මූර්තාසා ඊසුෆ්ලි මහතා (Mr. Murtaza Esufally), හේමාස් ආයතනයේ කළමණාකාර අධ්‍යක්ෂ ජූඩ් ප්‍රනාන්දු මහතා, ප්‍රධාන විධායක නිලධාරි කස්තුරි විල්සන් මහත්මිය සහ ප්‍රධාන මෙහෙයුම් නිලධාරී දිනේෂ් අතපත්තු යන මහත්ම මහත්මීන් විසිනි.

    මෙම පරිත්‍යාගය සිදු කිරීමේ අවස්ථාවට සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජනරාල් වෛද්‍ය අසේල ගුණවර්ධන මහතා, කොළඹ ජාතික රෝහලේ නියෝජ්‍ය අධ්‍යක්ෂ වෛද්‍ය   ඩබ්. කුමාර වික්‍රමසිංහ මහතා, ශ්‍රී ලංකා හෘද රෝග සංගමයේ හිටපු සභාපති විශේෂඥ වෛද්‍ය ස්ටැන්ලි අමරසේකර මහතා ඇතුලු කොළඹ ජාතික රෝහලේ හෘද රෝග අංශයේ විශේෂඥ වෛද්‍යවරු ඇතුලු පිරිසක් එක්ව සිටියහ.

  • ශ්‍රී ලංකාවට කොවිඩ්-19 එන්නත සැපයීමට එක්සත් ජාතීන්ගේ සහය

    ශ්‍රී ලංකාවට කොවිඩ්-19 එන්නත සැපයීමට එක්සත් ජාතීන්ගේ සහය

    අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මහතා සමඟ අද (22) දින අරලියගහ මන්දිරයේදී පැවැති විශේෂ හමුවකදී කොවිඩ්-19 එන්නත සැපයීම සහ පරිපාලනයට සහය ලබා දෙන බවට එක්සත් ජාතීන්ගේ නියෝජිතයන් ශ්‍රී ලංකාවට සහතිකයක් ලබා දුන්නේය.

    එක්සත් ජාතීන්ගේ නේවාසික සම්බන්ධීකාරක හනා සිගර්, ලෝක සෞඛ්‍ය සංවිධානයේ නියෝජිත වෛද්‍ය රාෂියා පෙන්ඩ්සේ මහත්මීන් සහ යුනිසෙෆ් නියෝජිත ටිම් සුටන් මහතා මෙම හමුවට එක්ව සිටියහ.

    රටවල් කිහිපයක් කොවිඩ්-19 එන්නත ලබාදීම ආරම්භ කර ඇති අතර ශ්‍රී ලංකාවට මෙම එන්නත ලබා දීම සම්බන්ධයෙන් සහතික විය හැකි බව අග්‍රාමාත්‍යතුමා සමඟ පැවැති මෙම සාකච්ඡාවේදී එක්සත් ජාතින්ගේ නියෝජිතයෝ විශ්වාසය පළ කළහ.

    “මෙම අභියෝගාත්මක කාලයේදී ශ්‍රී ලංකාවට සහයෝගය දැක්වීමට පූර්ණ වශයෙන් කැපවී සිටින බව සිගර් මහත්මිය පැවසුවාය.

    විශාල ප්‍රමාණයක් එන්නත් ලබා ගැනීමේදී ඒවා ලැබුණු වහාම එන්නත් කිරීම සහ අදාළ කටයුත්ත පරිපාලනය කිරීමට ශ්‍රී ලංකාවේ ප්‍රවේශය සම්බන්ධයෙන් එක්සත් ජාතීන්ගේ නියෝජිතයන් සහ රජයේ නියෝජිතයෝ අතර මෙහිදී එකඟතාවක් ඇතිවූහ.

    “බොහෝ රටවල කොවිඩ්-19 හි භයානක දෙවන රැල්ලක් පෙනෙන්නට තිබෙනවා” යැයි පෙන්වා දුන් අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මහතා වසංගතය අවසන් කළ හැකි එකම පියවර එන්නත් ලබාදීම බව පෙනෙන්නට ඇතැයි කියා සිටියේය.

    මෙම වසරේ අප්‍රේල් මාසයේ දී කොවිඩ්-19 ප්‍රවේශය වෙනුවෙන් “ACT-Accelerator” නමින් ගෝලීය සහයෝගීතාවයක් ඇති කරන ලදී.

    COVAX පහසුකම යටතේ කොවිඩ්-19 රෝග විනිශ්චය, චිකිත්සක සහ එන්නත් නිෂ්පාදනයට සමානව එන්නත් ලබාදීමේ ප්‍රවේශය වේගවත් කිරීම සඳහා ඊට සුදුසුකම්ලත් රටක ජනගහනයෙන් අවම වශයෙන් 20% ක් සඳහා එන්නත් මාත්‍රාවක් ලබා දෙනු ඇත. මුලදී ඉහළ අවදානම් කණ්ඩායම් වලට එන්නත් ලබාදීම සිදු වේ.

    එන්නත් ලබාදීමේ ක්‍රියාවලිය සහ මහජනතාව ඒ සම්බන්ධයෙන් දැනුවත් කිරීමේ වැදගත්කම පෙන්වා දුන් ටිම් සූටන් මහතා මුල් අදියරේ එන්නත් ප්‍රසම්පාදනය සඳහා යුනිසෙෆ් ආයතනය දැනටමත් සහාය වෙමින් සිටින බවත්, නියමිත 20% ඉලක්කය ඉක්මවා එන්නත් ලබාදීම සඳහා රජයට සහාය විය හැකි බවත් අග්‍රාමාත්‍යවරයාට කියා සිටියේය.

    කොවිඩ්-19 එන්නත් සම්බන්ධයෙන් විස්තර කළ වෛද්‍ය පෙන්ඩ්සේ මහත්මිය, එන්නත ලබා ගත්තද ජනතාව  පූර්වාරක්ෂාකව සමාජගතව සිටිය යුතු බව අවධාරණය කළාය.

    “එය තවමත් නව එන්නතක්,” යැයි කී වෛද්‍ය පෙන්ඩ්සේ මහත්මිය “එය මිනිසුන් මිය යාමෙන් ආරක්ෂා කරයි, නමුත් එය පැතිරයාම කොතරම් දුරට අඩු කරන්නේදැයි නොදන්නා බව” කියා සිටියාය.

    මෙම විශේෂ හමුවේදී අවධාරණය වූ ප්‍රධාන පණිවිඩය නම් එන්නත ලැබීමෙන් පසුව වුවද මිනිසුන්ට මෙම වසංගතය සම්බන්ධයෙන් උදාසීන වී කටයුතු කළ නොහැකි බවයි.

    මේ සම්බන්ධ අධ්‍යයනයන් අඛණ්ඩව ක්‍රියාත්මක අතර එන්නත ඔස්සේ ලැබෙන ආරක්ෂාව කොපමණ කාලයක් වලංගුවනවාදැයි තවමත් නිශ්චිත නැති බව වෛද්‍යවරු පවසති. ඒ අනුව, එන්නත මඟින් වයිරසය ශරීරයෙන් මුළුමනින්ම ඉවත් කරයි ද නැතහොත් වයිරසයේ බලපෑම අඩුකරනවාද යන්න තවමත් අවිනිශ්චිතය.

    බලපෑම අඩුකිරීම පමණක් සිදුවේ නම් එන්නත ලබා ගත් පුද්ගලයෙකුගෙන් තවත් අයෙකුට ආසාදනය වීමේ හැකියාව පවතියි.

    එන්නත ලබා ගත් පසුවද මුව ආවරණයක් පැළඳීම, අත් සේදීම සහ ශරීරික දුරස්ථභාවය පවත්වා ගැනීමට මහජනයා දැඩිව සිහි තබාගත යුතුය.

    මෙම අවස්ථාව සඳහා අමාත්‍ය පවිත්‍රා වන්නිආරච්චි, රාජ්‍ය අමාත්‍යවරුන් වන අජිත් නිවාඩ් කබ්රාල්, සුදර්ශනී ප්‍රනාන්දුපුල්ලේ, අග්‍රාමාත්‍ය ලේකම් ගාමිණී සෙනරත්, සෞඛ්‍ය අමාත්‍යංශ ලේකම් මේජර් ජනරාල් එස්.එච්.මුණසිංහ, ප්‍රාථමික සෞඛ්‍ය සේවා, වසංගත රෝග හා කොවිඩ් රෝග පාලන කටයුතු රාජ්‍ය අමාත්‍යංශ ලේකම් අමල් හර්ෂ ද සිල්වා, සෞඛ්‍ය අධ්‍යක්ෂ ජනරාල් වෛද්‍ය අසේල ගුණවර්ධන ඇතුලු මහත්ම මහත්මීන් පිරිසක් එක්ව සිටියහ.

  • දකුණු අප්‍රිකානු නායක ක්වින්ටන් ඩි කොක් ශ්‍රී ලංකාවට අනතුරු අඟවයි !

    දකුණු අප්‍රිකානු නායක ක්වින්ටන් ඩි කොක් ශ්‍රී ලංකාවට අනතුරු අඟවයි !

    පෙර වසරේ පැවැති තරගාවලියට වඩා මෙවර තරගාවලියේදී ශ්‍රී ලංකාවට එරෙහිව හොඳින් දස්කම් දැක්වීම කෙරෙහි තම කණ්ඩායමේ ක්‍රීඩකයින් මහත් ඕනෑ කමකින් පසුවන බව පවසන දකුණු අප්‍රිකානු නායක ක්වින්ටන් ඩි කොක්, එදා සිදුවූ වරද නිවැරදි කර ගැනීමට තරග 2 කින් සමන්විත මෙම  තරගාවලිය හොඳ අවස්ථාවක් බව සඳහන් කර සිටියි.

    දකුණු අප්‍රිකානු පිල අවසන් වරට 2019 වසරේදී ෆෆ් ඩුප්ලෙසිගේ නායකත්වය යටතේ ශ්‍රී ලංකා කණ්ඩායම මුණ ගැසුණු අතර එම තරගාවලිය 2-0 ක් ලෙස සිය මව්බිමේදීම දකුණු අප්‍රිකානු පිල පරාජයට පත්විය. දිමුත් කරුණාරත්නගේ නායකත්වය යටතේ තරග වැදුණු ශ්‍රී ලංකා කණ්ඩායම එම දක්ෂතාවය දැක්වීමට සමත්වීමත් සමඟ ආසියානු කණ්ඩායමක් දකුණු අප්‍රිකාවට එරෙහිව ඔවුන්ගේ නිජ බිමේදී ටෙස්ට් තරගාවලියක් ජය ගනු ලැබූ පළමු අවස්ථාව වශයෙන් එම තරගාවලිය ඉතිහාස ගත විය.

    “ශ්‍රී ලංකාව හමුවේ පරාජයට පත් වුණු තරගාවලියේදී කණ්ඩායමේ හිටපු සාමාජිකයින් අතරින් මමත්, ෆෆ් ඩුප්ලෙසිත් කණ්ඩායමේ ඉතුරු වෙලා ඉන්නවා ඒ පරාජයේ මතකය තවමත් අපේ හිතේ රැඳිලා තියෙන නිසා එය අපිට මේ වතාවේ නිවැරදි කරගන්න අවශ්‍යයි” යැයි පරාජයේ වාඩුව ගැනීමේ බලාපොරොත්තුවේ අටියෙන් දකුණු අප්‍රිකානු නායකයා අදහස් දැක්වීය.

    මාස 18 ක කාලයකින් පසු දෙරට මුණ ගැසෙන මෙම තරගාවලියේ පළමු තරගය ලබන සෙනසුරාදා සෙන්චූරියන්හි සුපර්ස්පෝර්ට්ස් පාක් ක්‍රීඩා පිටියේදී ආරම්භ වනු ඇත. “අපි මේ තරගාවලියේදී ක්‍රීඩා කරන ආකාරයට වඩා දක්ෂ, ආක්‍රමණශීලී විය යුතුයි. අපිට තරගාවලියේ ඉදිරියට යා හැක්කේ එතකොටයි. මේ වෙලාවේ අපි අවස්ථානුකූලව ක්‍රීඩා කරන්න බලාපොරොත්තු වෙනවා”යි ඩි කොක් පවසයි.

    “අපි බලාපොරොත්තු වෙනවා හොඳින් ටෙස්ට් ක්‍රිකට් ක්‍රීඩාවේ නිරත වෙන්න. නමුත් මෙවර අපිට ප්‍රතිවාදීන්ට කළින් අපි ආක්‍රමණශීලී වෙන්න බලාපොරොත්තු වෙනවා. කළින් පැවැති තරගාවලදී අපිට කළින් ආකමණශීලී වුණේ ප්‍රතිවාදීන්. අන්න ඒකයි ඔවුන් අපට වඩා හොඳ වුණේ”යි ඩිජිටල් මාධ්‍ය භාවිතයෙන් පැවැති මාධ්‍ය හමුවකදී දකුණු අප්‍රිකානු නායකයා වැඩිදුරටත් සඳහන් කර සිටියේය.

    දකුණු අප්‍රිකානු කණ්ඩායමක් අවසන් වරට ටෙස්ට් තරගයකට ක්‍රීඩා කර ඇත්තේ මෙම වසර ආරම්භයේ එංගලන්ත පිලට එරෙහිව පැවැති ටෙස්ට් තරගාවලියේදී විය. එතැන් පටන් පැවැති සියළුම තරගාවලි අවලංගු වීම නිසා ශ්‍රී ලංකාවට මෙන්ම ඔවුන්ටද තරග වැදීමේ අවස්ථාව අහිමිවිය.

    “අපි ඔක්කොම ටෙස්ට් තරග පිටියට පිවිසීමට ඉතාමත් උනන්දුවෙන් සිටිනවා. මේ වසරේදී අපි විස්සයි-20 ක්‍රිකට් ක්‍රීඩාවට යොමු වෙලා හිටිය නිසා ආකෘතියෙන් වෙනස්ව ටෙස්ට් පිටියට පිවිසීමට ලැබීම සතුටක්. අපේ ක්‍රීඩකයින් තරග නැතුව බඩගින්නේ හිටියේ. අපි ඉරිදා හොඳ පුහුණු සැසියක් පැවැත්වුවා. එතැනදි අපේ අය ගොඩක් දේවල් ලබා ගත්තා”යි දකුණු අප්‍රිකානු නායකයා සඳහන් කර සිටියේය.

  • මහා බ්‍රිතාන්‍යයෙන් හමුවූ කොරෝනා නව ප්‍රභේදය ගැන අලුත්ම තොරතුරු

    මහා බ්‍රිතාන්‍යයෙන් හමුවූ කොරෝනා නව ප්‍රභේදය ගැන අලුත්ම තොරතුරු

    කොරොනාවෛරසයෙහි නව ප්‍රභේදයක් වේගයෙන් ව්‍යාප්ත වීම නිසා මිලියන සංඛ්‍යාත ජනතාවක් දැඩි සීමාවන්වලට යටත් කිරීමට, එංගලන්තය, ස්කොට්ලන්තය, වේල්සය සහ උතුරු අයර්ලන්තය පියවර ගෙන තිබේ. ඒ අනුව නත්තල් සමයේදී ද ලොක්ඩවුන් නීති ක්‍රියාත්මක වනු ඇත.

    එමෙන්ම, එක්සත් රාජධානියට සංචාරක තහනම් පැනවීමට ඉන්දියාව, කැනඩාව ඇතුළු රටවල් හතළිහකට වැඩි ප්‍රමාණයක් ක්‍රියා කර තිබේ.

    එවැනි පියවරකට ශ්‍රී ලංකාව ද එක්වූ අතර සිවිල් ගුවන් සේවා අධිකාරියේ සභාපති උපුල් ධර්මදාස බීබීසී සිංහල සේවයට පැවසුවේ එංගලන්තයෙන් පිටත්වන හෝ ඒ හරහා එන සියලු ගුවන් මගීන්ගේ පැමිණීම හෙට (දෙසැම්බර් 23) සිට තාවකාලිකව අත්හිටුවන බවය.

    එංගලන්තයේ සමහර ප්‍රදේශවල නොපැවති දෙයක් මාස කීපයක් ඇතුළත සුලභ වෛරසයක් බවට පත් වී ඇත්තේ කෙසේද?

    නව ආසාදනය වෙනත් ප්‍රභේදයන්ට වඩා වේගයෙන් සම්ප්‍රේෂණය විය හැකි බවට ඒ සම්බන්ධයෙන් ක්‍රියා කරන රජයේ උපදේශකයන්ට ඇත්තේ “මධ්‍යස්ථ” විශ්වාසයකි.

    වෛරසය සම්බන්ධයෙන් සියලුම කාර්යයන් තවමත් මුල් අවධියේ පවතින අතර දැඩි අවිනිශ්චිතතා සහ පිළිතුරු නොලැබුණු ප්‍රශ්න ලැයිස්තුවක් තිබේ.

    වෛරස් සෑම විටම වෙනස් වීමට භාජනය වන නමුත් වෛරසයේ හැසිරීම වෙනස් වේද යන්න පිළිබඳ දැඩි අවධානයක් යොමු කිරීම අත්‍යවශ්‍ය වේ.

    මෙම ප්‍රභේදය ගැන සැලකිලිමත් වීමට හේතුව කුමක්ද?

    මෙයට කරුණු තුනක් බලපා තිබේ:

    • එය කොරනාවෛරසයේ අනෙකුත් ප්‍රභේදයන් ඉතා වේගයෙන් ප්‍රතිස්ථාපනය කරමින් සිටියි.
    • එය කොරනාවෛරසයේ වැදගත් විය හැකි කොටස් කෙරෙහි බලපාමින් වෛරසය විකෘති කර තිබේ.
    • විද්‍යාගාර පරීක්ෂණවලට අනුව මෙසේ වෙනස් වූ සමහර වෛරස සෛල ආසාදනය කිරීමේ වැඩි හැකියාවක් පවතී.

    මේ සියල්ලම එකට එකතු වී වඩාත් පහසුවෙන් පැතිර යා හැකි වෛරසයක් ගොඩනැඟෙනු ඇත.

    කෙසේවෙතත්, අපට කිසිවක් නිශ්චිතව කිව නොහැක. එමෙන්ම, නියමිත වේලාවට සුදුසු තැනක රැදීම මගින් නව වෛරසය වඩාත් ව්‍යාප්ත විය හැකිය. මෑතක් වන තුරුම ලිහිල් සීමාවන් පමණක් ක්‍රියාත්මක වූ ලන්ඩන් වැනි ස්ථානයක එය පැතිරීම පහසු වී ඇත.

    නමුත් දැනටමත් ප්‍රභේදය පැතිරීම අවම කිරීම සඳහා පැනවූ දැඩි සීමාවන් සාධාරණීකරණය කිරීම සිදු වෙමින් තිබේ.

    “රසායනාගාර අත්හදා බැලීම් අවශ්‍යයි. නමුත් ඔබට සති හෝ මාස ගණනක් බලා සිටීමට අවශ්‍යද (ප්‍රතිඵල බැලීමට සහ පැතිරීම සීමා කිරීමට පියවර ගැනීමට)? මේ තිබෙන තත්ත්වය මත ඒක කරන්න බැහැ,” මහාචාර්ය නික් ලෝමන් පැවසුවේය.

    New variant of Coronavirus
    රටවල් හතළිහකට වැඩි ප්‍රමාණයක් එක්සත් රාජධානියට සංචාරක සීමා පනවා තිබේ

    මෙය කොතරම් වේගයෙන් ව්‍යාප්ත වේද?

    මෙය ප්‍රථම වරට අනාවරණය වූයේ සැප්තැම්බර් මාසයේදීය. නොවැම්බර් මාසයේ ලන්ඩනයේ කොරෝනාවෛරස රෝගීන්ගෙන් හතරෙන් එකක පමණ නව ප්‍රභේදය වාර්තා විය. මෙය දෙසැම්බර් මැද භාගයේදී තුනෙන් දෙකකට ආසන්න සංඛ්‍යාවක් දක්වා වර්ධනය විය.

    මිල්ටන් කීනස් ප්‍රදේශයේ සමහර මධ්‍යස්ථානවල පරීක්ෂණ ප්‍රතිඵලවලින් මෙම ප්‍රභේදය කෙතරම් දුරකට ආධිපත්‍යයක් දරන්නේ ද යන්න ඔබට දැක ගත හැකිය.

    ගණිතඥයෝ විවිධ ප්‍රභේදවල පැතිරීමේ සංඛ්‍යා දත්ත ලබාගනිමින්, සංසන්දනය කර, මේ වෛරසයේ ප්‍රභලත්වය ගණනය කිරීමට උත්සහ කරති. නමුත් මෙම තත්ත්වය ඇති වී තිබෙන්නේ මිනිසුන්ගේ හැසිරීම නිසාද නැත්නම් වෛරසය නිසාද යන්න පැහැදිළි කර ගැනීම දුෂ්කර කරුණක් වී ඇත.

    අග්‍රාමාත්‍ය බොරිස් ජොන්සන් සඳහන් කළ පරිදි නම්, මෙම ප්‍රභේදය පුද්ගලයෙකුගෙන් පුද්ගලයෙකුට බෝ වීමේ ප්‍රවණතාව 70%කි.

    ලන්ඩනයේ ඉම්පීරියල් කොලේජ් හි ආචාර්ය එරික් වොල්ස්ගේ ඉදිරිපත් කිරීමක ද මෙම 70% සංඛ්‍යාව ගැන සඳහන් විය.

    කතාව අතරතුර ඔහු මෙසේ පැවසීය: “එය කීමට ඇත්තෙන්ම කල් වැඩියි… නමුත් අප මෙතෙක් දුටු දෙය අනුව එය ඉතා ඉක්මණින් වර්ධනය වෙමින් පවතින බව පෙනෙනවා. එය පෙර පැවති ප්‍රභේදයකට වඩා වේගයෙන් පැතිර යනවා. මේ පිළිබඳ විමසිල්ලෙන් සිටීම වැදගත් වෙනවා.”

    ප්‍රභේදය කොතරම් දුරට බෝවිය හැකිද යන්න “නිශ්චිතව ම” කිව නොහැක. විද්‍යාඥයින් මේ සම්බන්ධයෙන් තවමත් සිය වැඩ කටයුතු ප්‍රසිද්ධ කර නොමැති අතර, බෝ වන වේගය 70% ට වඩා ඉහළ මෙන්ම අවම සංඛ්‍යාවක් ද ගත හැකි බවට පරස්පර මත ඉදිරිපත් වී ඇත.

    නමුත් එය තව දුරටත් සම්ප්‍රේෂණය වන්නේ ද යන්න පිළිබඳ ප්‍රශ්න ද පවතී.

    “වෛරසය සැබවින්ම සම්ප්‍රේෂණය වීම වැඩි වී තිබේද යන්න පිළිබඳව ප්‍රබල හෝ ස්ථිර මතයක් දැරීමට පොදුවේ ඇති සාක්ෂි ප්‍රමාණවත් වන්නේ නැහැ,” නොටිංහැම් විශ්ව විද්‍යාලයේ වෛරස් විද්‍යාඥ මහාචාර්ය ජොනතන් බෝල් පැවසුවේය.

    New variant of Coronavirus
    නත්තල් සමය තුළ සිය ඥාතීන් දැකීමට නොහැකි වීමත් සමග ඔවුන් වෙත පාර්සල් යැවීමට තැපැල් හල් ඉදිරියේ පෝලිම් ගැසුණු පුද්ගලයන් දැකිය හැකිය

    මෙය කෙතරම් දුරට ව්‍යාප්ත වී තිබේද?

    මෙම ප්‍රභේදය එක්සත් රාජධානියේ රෝගියෙකු තුළ මතුවී ඇත්ද නැත්නම් කොරෝනාවෛරස වෙනස් වීම් නිරීක්ෂණය කිරීමේ අඩු හැකියාවක් ඇති රටකින් ඇවිත් තිබේද යන්න ගැන පැහැදිළි නැත.

    නව ප්‍රභේදය උතුරු අයර්ලන්තය හැර එක්සත් රාජධානිය පුරා සොයාගත හැකි නමුත් එය දැඩි ලෙස පැතිරී ඇත්තේ ලන්ඩන්, ගිනිකොන සහ නැගෙනහිර එංගලන්තයේය.

    ලොව පුරා වෛරස් සාම්පලවල ජාන කේත අධීක්‍ෂණය කරන නෙක්ස්ට්ස්ට්‍රේන් හි (Nextstrain) දත්තවලට අනුව ඩෙන්මාර්කය සහ ඕස්ට්‍රේලියාව යන රටවල දැකිය හැකි වෛරසය පැමිණ ඇත්තේ එක්සත් රාජධානියෙනි. නෙදර්ලන්තයෙන්ද මේ හා සමාන රෝගීන් වාර්තා වී තිබේ.

    දකුණු අප්‍රිකාවේ මේ හා සමාන ප්‍රභේදයක් මතු වී ඇති නමුත් මේ සමඟ සම්බන්ධයක් නැති බව පැවසේ.

    මෙය මීට පෙර සිදුවී තිබේද?

    ඔව්.

    ලෝකයේ බොහෝ ස්ථානවල මේ වන විට පවතින්නේ චීනයේ වූහාන් හි ප්‍රථම වරට හමුවූ වෛරසය නොවේ.

    පෙබරවාරි මාසයේදී යුරෝපයෙන් මතු වූ D614G නම් ප්‍රභේදය පසුව ලෝකයේ ප්‍රමුඛ වෛරසය බවට පත්විය.

    A222V නමින් තවත් ප්‍රභේදයක් යුරෝපය පුරා ව්‍යාප්ත වූ අතර එය ස්පාඤ්ඤයේ ගිම්හාන නිවාඩුව හා සම්බන්ධ විය.

    නව ප්‍රභේද ගැන අප දන්නේ මොනවාද?

    නව ප්‍රභේදය පිළිබඳ මූලික විශ්ලේෂණයක් ප්‍රකාශයට පත් කර ඇති අතර වැදගත් වෙනස් වීම් 17 ක් හඳුනාගෙන තිබේ.

    වෛරසයේ තිබෙන උල් හැඩැති ප්‍රෝටීනයේ වෙනස්කම් සිදුව ඇත – අපගේ ශරීරයේ සෛලවලට ඇතුළුවන දොර ඇරීමට වෛරසය භාවිත කරන යතුර මෙයයි.

    N501Y නම් එක් ප්‍රභේදයක වෛරසයේ උල් හැඩැති කොටසේ වැදගත්ම අංගය වෙනස් කර ඇති අතර, එය “ප්‍රතිග්‍රාහක-බන්ධන ප්‍රදේශය (receptor-binding domain)” ලෙස හැඳින්වේ. වෛරසයේ උල් හැඩැති කොටස අප ශරීරයේ සෛල මතුපිට සමඟ මුලින්ම සම්බන්ධ වන්නේ මෙහිදීය. වෛරසයට ඇතුළුවීම පහසු කරවන ඕනෑම වෙනස්කමකට එය අවස්ථාව ලබා දෙනු ඇත.

    “මෙය වැදගත් අනුවර්තනයක් වගේ පෙනෙනවා, දැනෙනවා,” මහාචාර්ය ලෝමන් පැවසීය.

    ‘H69 / V70 ඩිලීෂන්’ නම් තවත් ප්‍රභේදයක උල්වලින් කුඩා කොටසක් ඉවත් වී තිබෙන අතර, මීට පෙර කීපවතාවක් එය මතුවී තිබේ. මෙය පසුගිය සමයේ ප්‍රසිද්ධ පුවතක් බවට පත් වූ ආසාදිත මින්ක් සතුන් තුළ දැකිය හැකි විය.

    කේම්බ්‍රිජ් විශ්ව විද්‍යාලයේ මහාචාර්ය රවී ගුප්තා සිදු කරන ලද පරීක්ෂණ කටයුතු අනුව මෙම ප්‍රභේදය රසායනාගාර පරීක්ෂණවලදී ආසාදනය වීම දෙගුණයකින් වැඩි කර පෙන්වා ඇත.

    එම කණ්ඩායමේම අධ්‍යයනවලින් පෙනී යන්නේ මේ කුඩා කොටසක් ඉවත් වූ ප්‍රභේදය ශරීරගත වී දිවි ගලවා ගත් අයගේ රුධිරයෙන් ලැබෙන ප්‍රතිදේහවල වෛරසය සමග සටන් කිරීමේ ශක්තිය අඩු බවය.

    “මෙය වේගයෙන් වැඩිවෙමින් තිබෙනවා. මේ ගැන රජය කනස්සල්ලට පත්වෙලා සිටිනවා. අපි කනස්සල්ලට පත්වෙලා, බොහෝ විද්‍යාඥයන් කනස්සල්ලට පත්වෙලා,” මහාචාර්ය රවී ගුප්තා පැවසුවේය.

    Police officers speak to a driver in one of lorries parked on the M20 motorway after France closed its border
    ,ප්‍රංශ – එක්සත් රාජධානිය දේශ සීමා වසා දැමීමත් සමග විවිධ භාණ්ඩ රැගත් ලොරි 1500කට අධික ප්‍රමාණයක් මායිමේ දින දෙකක පමණ කාලයක් සිර වී තිබේ.

    මෙය පැමිණියේ කොහෙන්ද?

    නව ප්‍රභේදය අසාමාන්‍ය සහ දැඩි ලෙස වෙනස් වී ඇත.

    මෙම තත්ත්වයට ආසන්නතම පැහැදිලි කිරීම නම් වෛරසය පරාජය කිරීමට නොහැකි වූ දුර්වල ප්‍රතිශක්තිකරණ පද්ධතියක් ඇති රෝගියෙකු තුළ මෙම ප්‍රභේදය මතු වී ඇති බවය.

    අදාළ ශරීරය වෛරසය වෙනස් වී බිහිවීමේ ස්ථානයක් බවට පත් වී ඇත.

    මෙය ආසාදනය වඩාත් මාරාන්තික වනු ඇත්ද?

    එසේ සිදු වන බවට කිසිදු සාක්ෂියක් නොමැත. නමුත් මෙය තවදුරටත් අධීක්ෂණය කිරීමට අවශ්‍ය වේ.

    කෙසේවෙතත්, බෝවීම වැඩි වීම පමණක් රෝහල්වල ගැටලු ඇති කිරීමට ප්‍රමාණවත් වේ.

    නව ප්‍රභේදය වැඩි පිරිසකට ඉක්මණින් ආසාදනය වීමෙන් සිදුවන්නේ වැඩි පිරිසකට රෝහල් ප්‍රතිකාර අවශ්‍ය වීමය.

    නව ප්‍රභේදයට එරෙහිව එන්නත් ක්‍රියා කරයිද?

    නිසැකවම එය එසේ වනු ඇත. අවම වශයෙන් දැනට හෝ එය ක්‍රියා කරනු ඇත.

    ප්‍රමුඛ පෙළේ එන්නත් තුනම දැනට පවත්නා කොරෝනාවෛරසය ආසාදනයට එරෙහිව ප්‍රතිශක්තිකරණ ප්‍රතිචාරයක් ලෙස නිර්මාණය කර තිබීම මෙම ප්‍රශ්නය පැන නැගීමට හේතු වේ.

    වෛරසයේ විවිධ කොටස් කීපයකට පහර දීම සඳහා, එන්නත් මඟින් ප්‍රතිශක්තිකරණ පද්ධතිය පුහුණු කරන අතර උල් හැඩැති කොටස වෙනස් වී ඇතත්, එන්නත් තවමත් ක්‍රියාත්මක විය යුතුය.

    “නමුත් අපි එයට තවත් වෙනස් වීම් එකතු කිරීමට ඉඩ දුන්නොත්, ඔබ කනස්සල්ලට පත් වීමට පටන් ගනීවි,” මහාචාර්ය රවී ගුප්තා පැවසීය.

    “මෙම වෛරසය එන්නතෙන් ගැලවීමේ මාවතක ගමන් කරනවා විය හැකියි. එය ඒ සඳහා පළමු පියවර කීපයක් ගෙන තිබෙනවා.”

    වෛරසය වෙනස් වූ විට එන්නතෙන් ගැලවී යාමක් සිදු වන අතර එමඟින් එන්නතෙහි සම්පූර්ණ බලපෑමෙන් මිදී දිගින් දිගටම මිනිසුන්ට ආසාදනය වෙයි.

    වෛරසයට කුමක් සිදුවන්නේ දැයි යන්න පිළිබඳ වඩාත් සැලකිල්ල යොමුවන මූලිකාංගය මෙය විය හැකිය.

    අප වැඩි දෙනෙකුට ආසාදනය වෙමින් වෛරසය අඛණ්ඩව අනුවර්තනය වන බව පෙන්වන නවතම ප්‍රභේදය මෙය වී තිබේ.

    “මේ වෛරසයට බොහෝ විට එන්නත්වලින් මිදී යා හැකි වෙනස් කිරීම් සිදු කිරීමට හැකි වනු ඇත,” යැයි ග්ලාස්ගෝ විශ්ව විද්‍යාලයේ මහාචාර්ය ඩේවිඩ් රොබට්සන්ගේ ඉදිරිපත් කිරීමක නිගමනයේ සඳහන් විය.

    මෙය අපව උණ රෝගය හා සමාන තත්ත්වයකට පත් කරනු ඇත. එහිදී එන්නත් නිරන්තරයෙන් යාවත්කාලීන කළ යුතුය. වාසනාවකට මෙන් අප සතුව ඇති එන්නත් වෙනස් කිරීමට පහසුය.

    (බීබීසී හි සෞඛ්‍ය හා විද්‍යා තොරතුරු පිළිබඳ වාර්තාකරු ජේම්ස් ගැලගර් සකස් කළ වාර්තාවක් පදනම් කරගත් ලිපියකි.)

  • ඉන්දියාවෙන් ලන්ඩන් ගිය හොර කොරෝනා පෙත්ත මගඩියක් !

    ඉන්දියාවෙන් ලන්ඩන් ගිය හොර කොරෝනා පෙත්ත මගඩියක් !

    කොවිඩ්-19 වෛරසයට ප්‍රතිකාරයක් ලෙස ලංකාවේ‘ හෙළ ඔසුව / ධම්මික පැණිය‘ ආදි නම්වලින් ‘නිල අනුමැතිය නොලත් ඖෂධයක් ප්‍රචලිත වේද්දී කොවිඩ්-19 වෛරසයෙන් දැඩිව බැටකන මහා බ්‍රිතාන්‍ය යෙන් සුවිශේෂී පුවතක් වාර්තා වේ. ඒ ඉන්දියාවේ නිෂ්පාදිත බව කියන ‘කොරෝනිල්’ ඉන්දීය කොරෝනා පෙත්ත බර්මිංහැම් සරසවිය විසින් ප්‍රතික්ෂේප කළ බවට වන පුවතයි.

    බී.බී.සීය විසින් වාර්තා කළ එම පුවත බී.බී.සී සන්දේශය වෙබ්අඩවියේ ද ඊයේ (21) දින පළ වූ අතර මෙරට ජනතාව විෂයෙහි ද අතිෂයින් වැදගත් මෙම ප්‍රවෘත්ති විශේෂාංගය අප ද ඔබගේ දැනගැනීම පිණිස සම්පූර්ණයෙන්ම උපුටා ගෙන පළ කරමු.

    ‘කොරෝනිල්’: බර්මිංහැම් සරසවිය ලන්ඩන් වෙළෙඳපොළට ආ ‘කොරෝනිල්’ ඉන්දීය කොරෝනා පෙත්ත බැහැර කරයි

    කෝවිඩ්-19 වෛරසයට ඔරොත්තුදෙන පරිදි මිනිස් ශරීරයේ ප්‍රතිශක්තිය නංවාලීමට උපකාරීවෙන බවක් පවසමින් ලන්ඩන් නගරයේ ඇතැම් වෙළඳසැල්වල අලෙවි කෙරෙමින් පවතින ඉන්දියානු “ඖෂධයක්” ව්‍යාජ නිර්මාණයක් බව බීබීසිය විසින් සිදුකරන ලද ගවේෂණයක් මගින් හෙළිදරව් වී තිබේ.

    ඉන්දියාවෙන් ආනයනය කරනු ලැබ ඇති ‘කොරෝනිල්’ (Coronil) නම් එම දේශීය (ඉන්දියානු) ශාකමය ඖෂධ ප්‍රතිකාරය ලන්ඩන් නගරයේ ආසියානු ප්‍රජාව වැඩිවශයෙන් ජීවත්වෙන කළාපවල වෙළෙඳසැල්වලින් හමුවූ බවත් වාර්තා වෙයි.

    එය නිර්මාණය කරන ලද ‘පතංජලී ආයුර්වේද්’ නිෂ්පාදකයන් පවසන්නේ “හුස්ම ගැනීම කෙරෙහි බලපාන ආසදනයවීම්” වලදී ඔවුන්ගේ “බෙහෙත” රැකවරණයක් වන බවය.

    එහෙත් බීබීසිය සඳහා සිදුකරන ලද අත්හදාබැලීම් වලින් එම ‘කොරෝනිල්’ (Coronil) පෙතිවලින් කොරෝනාවෛරසයෙන් බේරීමට රැකවරණයක් නොලැබෙන බව පෙන්නුම් කරනු ලැබ ඇත.

    බීබීසිය වෙනුවෙන් එකී ඉන්දියානු පෙතිවර්ගය සම්බන්ධයෙන් අදාළ පරීක්ෂණය සිදුකරන ලද්දේ ‘බර්මිංහැම්’ සරසවිය විසිනි. ‘පතංජලී ආයුර්වේද්’ ව්‍යාපාරයේ ‘කොරෝනිල්'(Coronil) පෙත්ත නිර්මාණය කිරීමට යොදාගනු ලැබ ඇති ශාක පදනම් කරගත් වට්ටෝරුව මගින් කොරෝනාවෛරසයට පිළියමක් නොලැබෙන බව එම පරීක්ෂණයේ ප්‍රතිපලය විය.

    “එම නිර්මාණය මගින් සිරුරේ ප්‍රතිශක්තිය නංවාලන බවක් ප්‍රකාශ කළත් කොරෝනාවෛරසයට ප්‍රතිකාරකිරීම අතින් එහි තේරුමක් නැති,” බව වෛරස් විශේෂඥවරියක වන වෛද්‍ය මෛත්‍රිය ශිව්කුමාර් (Virologist Dr Maitreyi Shivkumar) පවසයි.

    “කෝවිඩ් -19 වෛරසයට එරෙහිව අපේ ශරීරයේ ප්‍රතිශක්ති රටාව ප්‍රතිචාරය දක්වන්නේ කොහොමද? කියන කාරණය සම්බන්ධයෙන් නොයෙක් විශ්ලේෂණ ඉදිරිපත් වෙනවා. නමුත් ප්‍රතිශක්තිය නංවාලීමට හේතුවෙන ආකාරයවත් අපි දන්නේ නැහැ,” වෛද්‍යවරිය පවසයි.

    “කොරෝනිල් පෙත්ත ප්‍රතිශක්තිය වැඩිකරන්න හේතුවේද යන්න අපැහැදිලියි.”

    එක්සත් රාජධානියේ බලපැවැත්වෙන වෙළෙඳ දැන්වීම් රෙගුලාසි අනුව කෝවිඩ් -19 ගැන සඳහන් කරනු ලැබීම සහ “ප්‍රතිශක්තිය නංවාලීම” ප්‍රචාරක දැන්වීම්වලට ඇතුළත් කරනු ලැබීම තහනම් ක්‍රියාවකි.

    එහෙත් ඉන්දියාවේ ඊට අනුමැතිය ලැබෙන අතර පතංජලී ආයුර්වේද නිෂ්පාදන සඳහා විශාල ගැනුම්කරුවන් පිරිසක් ද සිටිති.

    ලන්ඩන් නගරයට අයත් ‘වෙම්බ්ලි’ (Wembley) කළාපයේ පිහිටි එක්තරා වෙළෙඳසැලක් ‘කොරෝනිල්’ පෙත්ත “කොවිඩ්-19 සම්බන්ධයෙන් ප්‍රතිශක්තිකාරකයක්” වන බව පැවසෙන දැන්වීම් පළකර ඇති අතර, ඔවුන්ගේ අන්තර්ජාල වෙබ් අඩවියේත් ඒ ගැන සඳහන් කර ඇත.

    එම වෙළෙඳසැල පමණක් නොව තවත් එවැනි ස්ථාන අඩුතරමින් හතරක්වත් බීබීසිය විසින් හඳුනාගනු ලැබ ඇති අතර, ඔවුන් පවසන්නේ එම “පෙත්ත” කෝවිඩ්-19 වෛරසයට ප්‍රතිකාරයක් වන බවය.

    “මගේ වයස අවුරුදු 78යි. ඒනිසා මම ‘කොරෝනිල්’ පෙත්ත ගන්නවා.”

    එක් පාරිභෝගිකයෙක් බීබීසියට පැවසීය.

    “මම මට අවශ්‍ය දේවල් මිලට ගන්න නගරයට ගියොත්, වෙනත් අයගෙන් මට වෛරසය බෝවේවි.ඒ නිසයි-මම ‘කොරෝනිල්’ ගන්නේ. මගේ ආරක්ෂාවට.”

    ‘කෝවිඩ් ප්‍රතිකාරයක්’

    ‘දැන්වීම් ප්‍රමිතිය පිරික්සනු ලබන බල අධිකාරිය’ (ASA) පෙන්වාදෙන පරිදි, සිරුරේ ප්‍රතිශක්තිය නංවාලීමට හේතුවන්නේ යයි පැවසෙන කිසිදු ද්‍රව්‍යයක් සම්බන්ධයෙන් එක්සත් රාජධානිය තුළ සෞඛ්‍යමය ප්‍රචාරක කටයුතුවලට අනුමැතියක් නැත.

    “වෛද්‍ය සහ සෞඛ්‍ය සංරක්ෂණ නිෂ්පාදන පාලන අධිකාරියේ” (MHRA) බලපත්‍රයකින් තොර, වෙනත් කිසිදු නිෂ්පාදනයක් කොරෝනාවෛරසයට ගොදුරුවීමෙන් වැලකීමට, ඉන් සහනයක් ලබාගැනීමට හෝ ප්‍රතිකාරයක් ලෙස යොදාගත හැකි බව පැවසෙන ප්‍රකාශන සඳහා එක්සත් රාජධානියේ අවසරයක් නොමැත.

    ‘කොරෝනිල්’ ඉන්දියානු පෙති පාවිච්චිය සඳහා “වෛද්‍ය සහ සෞඛ්‍ය සංරක්ෂණ නිෂ්පාදන පාලන අධිකාරිය” (MHRA) කිසිදු අනුමැතියක් දී නැත.

    “එක්සත් රාජධානියේ වෙළෙඳපොළෙහි එවැනි වෛද්‍යමය අනුමැතියකින් තොර නිෂ්පාදනයක් ප්‍රචාරය කරනු ලැබීම හෝ වෙළෙඳාම සිදුකෙරෙන්නේනම්, ඊට එරෙහිව සුදුසු පියවර ගනු ඇතැයි,” වෛද්‍ය සහ සෞඛ්‍ය සංරක්ෂණ නිෂ්පාදන පාලන අධිකාරියේ (MHRA)පවසයි.

    ‘පතංජලී ආයුර්වේද්’ නිර්මාතෘ බාබා රාම්දේව් පසුගිය ජූනි මාසයේ ප්‍රකාශයක් කරමින් කොවිඩ් -19 ආසාදිතයන්ට ‘කොරෝනිල්’ ලබාදීමෙන් ඔවුන් සුවපත්කළ බවක් කියා සිටියේය.

    “අපේ බෙහෙත දවස් තුනක් පාවිච්චි කරපු කොරෝනාවෛරස් ආසාදිතයන්ගෙන් 69%ක් වෛරසයෙන් තොර බව පැහැදිලි වුනා. බෙහෙත දවස් හතක් පාවිච්චිකරපු අය 100% කින් කොරෝනාවලින් මිදුනා.”

    ‘පතංජලී ආයුර්වේද්’ ව්‍යාපාරයට ‘කොරෝනිල්’ කොරෝනාවෛරසයට ප්‍රතිකාරයක් ලෙස නොව, ප්‍රතිශක්තිය නංවාලන නිෂ්පාදනයක් ලෙස අලෙවිකළ හැකි බව ඉන්දියානු ආණ්ඩුව පවසා ඇත.

    කෙසේවුවද, ‘කොරෝනිල්’ කෝවිඩ් -19 වෛරසයට ප්‍රතිකාරයක් වන බව පැවසෙන ප්‍රකාශන ඉවත්කර ගැනීමට ‘පතංජලී ආයුර්වේද්’ ව්‍යාපාරය මේවනවිට පියවර ගෙන ඇත.

    “මේවගේ නිෂ්පාදන සම්බන්ධයෙන් සිදුකෙරෙන වැරදි තොරතුරු ප්‍රචාරණය නිසා මහජන සෞඛ්‍යයට සහ ඔවුන්ගේ මුදල් තත්වයට හාණිකර බලපෑමක් ඇති කරනවා,” ෆුල් ෆැක්ට්(Full Fact) නම් ස්වාධීන තත්ව පරීක්ෂණ සංවිධානයක් පෙන්වා දෙයි.

    “මේ වගේ වසංගත තත්වයක් තුළ මහජනයා කුමක් හෝ විසඳුමක් සොයායාම තේරුම්ගන්න පුළුවන්. එය ස්වභාවික තත්වයක්,” ෆුල් ෆැක්ට් (Full Fact) සංවිධානයේ පර්යේෂක අබ්බාස් පන්ජ්වානි (Abbas Panjwani) පවසයි.

    covid-19
    ලියාපදිංචි වෛද්‍ය වෘත්තිකයන්ගෙන් ලබාගන්නා ලද මෙවැනි නිර්ව්‍යාජ කොරෝනාවෛරස් මෙවලම් පමණක් පාවිච්චි කරන ලෙස බ්‍රිතාන්‍ය පොලිසිය මහජනයාට දැනුම්දෙයි

    ‘ව්‍යාජ නිෂ්පාදනවලින් වලකින්න’

    කොරෝනාවෛරසයට ප්‍රතිකාර යයි පවසමින් නොයෙක් නිෂ්පාදන වෙළෙඳපොළට ඇතුල් කෙරෙමින් පවතින අතර, එවැනි සිද්ධියක් සම්බන්ධයෙන් බ්‍රිතාන්‍ය පොලිසිය විසින් එක්තරා පුද්ගලයකු පසුගියදා අත්අඩංගුවට ගනු ලැබුණි. කොරෝනාවෛරසයට ප්‍රතිකාරයක් යයි පවසමින් ව්‍යාජ නිෂ්පාදනයක් නිර්මාණය කිරීමේ චෝදනා යටතේ එම පුද්ගලයා අධිකරණය ඉදිරියට පමුණුවනු ලැබුණි.

    59 හැවිරිදි ෆ්‍රෑන්ක් ලුඩ්ලෝෆ් (Frank Ludlow) නම් එම තැනැත්තා ලන්ඩන් නාගරික පොලිසිය විසින් අත්අඩංගුවට ගනු ලැබ තිබුණේ ‘වෙස්ට් සසෙක්ස්’ ප්‍රදේශයේ ඔහුගේ නිවස අසල පිහිටි තැපැල් කාර්යාලයක් තුළ සිටියදීය.

    ඇමෙරිකානු බුද්ධි ආයතනයක් විසින් සපයන ලද තොරතුරු අනුව එම අත්අඩංගුවට ගැනීම සිදුකරන ලද්දේ බුද්ධිමය දේපොළවලට අදාළ අපරාධ පරීක්ෂණ අංශය විසිනි.

    ලුඩ්ලෝෆ් අත තිබුණ කෝවිඩ් ප්‍රතිකාර ‘මෙවලම්වල’ (kits) මිනිස් සිරුරට හානිකර රසායන වර්ගයක් අන්තර්ගත වූ අතර, මහජනයාට උපදෙස් දී තිබුණේ එම රසායනය කට සේදීම සඳහා පාවිච්චි කරන ලෙසය.

    ව්‍යාජ නියෝජිතයකු ලෙස පෙනීසිටීම, වංචා සහගත ක්‍රියා සඳහා පාවිච්චි කරනු ලබන ද්‍රව්‍ය ලඟ තබාගැනීම සහ වෛද්‍යමය භාණ්ඩයක් නීතිවිරෝධී මට්ටමින් නිෂ්පාදනය කරනු ලැබීම ලුඩ්ලෝෆ් ට එරෙහිව ඉදිරිපත් කරන ලද චෝදනා විය.

    එම චෝදනා යටතේ ‘බ්‍රයිටන්’ මහේස්ත්‍රාත් අධිකරණයට ඉදිරිපත් කරන ලද ෆ්‍රෑන්ක් ලුඩ්ලෝෆ් (Frank Ludlow) රක්ෂිත බන්ධනාගාරගත කරනු ලැබුණි.

    ලියාපදිංචි සෞඛ්‍ය වෘත්තිකයන්ගෙන් පමණක් උපදෙස් ලබාගන්නා ලෙස බ්‍රිතාන්‍ය පොලිසිය මහජනයාගෙන් ඉල්ලීමක් කර තිබුණි.

    කොවිඩ්-19 සම්බන්ධ අපගේ සංස්කරණ ප්‍රතිපත්තිය

    කොවිඩ්-19 සම්බන්ධයෙන් හුදු ජනප්‍රිය හෝ අන්තර්ගතමය වටිනාකමක් නැති ආකර්ෂණීය පුවත් හා විශේෂාංග වෙනුවට ජනතාවට නිවැරදි අවබෝධයක් සහ දැනුමක් ලබාදිය හැකි නිවැරදි, නිරවුල් සහ විද්‍යාත්මක දැනුම සහ තොරතුරු පමණක් සන්නිවේදනය කිරීම අපගේ සංස්කරණ ප්‍රතිපත්තියයි. එම තත්ත්වය තුළ අප පාඨකයින් වෙනුවෙන් අදාළ නිවැරදි, නිරවුල්, සරල සහ විද්‍යාත්මක ලිපි පළ වන ඕනෑම වෙබ් අඩවියකින් හෝ පුවත්පතකින් එය ඍජුව උපුටා ගැනීමට අපි පියවර ගනිමු. මෙම කාලීන ලිපිය බී.බී.සී. සන්දේශය වෙබ් අඩවියේ පසුගිය 21 වැනි දින ‘කොරෝනිල්’: බර්මිංහැම් සරසවිය ලන්ඩන් වෙළෙඳපොළට ආ ‘කොරෝනිල්’ ඉන්දීය කොරෝනා පෙත්ත බැහැර කරයි යන ශීර්ෂය යටතේ පළ වූ වාර්තාවකින් උපුටා ගන්නා ලදි. ශීර්ෂ පාඨය පමණක් වෙනස්කර ඇති – ප්‍රධාන සංස්කාරක

  • නව පාසල් වාරයේ ආරම්භය ගැන අධ්‍යාපන අමාත්‍යාංශයේ නිල නිවේදනය

    නව පාසල් වාරයේ ආරම්භය ගැන අධ්‍යාපන අමාත්‍යාංශයේ නිල නිවේදනය

    අදාළ ප්‍රදේශයන්හි පෙරපාසල් හා දිවා සුරැකුම් ආයතනත් එදින සිට ආරම්භ කිරීමට අවසර

    කොළඹ, ගම්පහ සහ කලුතර දිස්ත්‍රික්ක අයත් වන බස්නාහිර පළාතේ පාසල් සහ කොවිඩ් හේතුවෙන් හුදකලා කළ ප්‍රදේශයන්හි පාසල් හැර මේ වනවිටත් 6-11 ශ්‍රේණි සඳහා විවෘත කර ඇති සෙසු සියලු පාසල්වල  නව පාසල් වාරය 2021 ජනවාරි මස 11 වැනි දා සිට ආරම්භ කෙරෙන අතර එම පාසල්වල 1-5 ශ්‍රේණි ද එදින සිට ආරම්භ කිරීමට පියවර ගෙන ඇත. ඊට සමගාමීව එම ප්‍රදේශවල පිහිටි පෙරපාසල් සහ දිවා සුරැකුම් ආයතන ද ජනවාරි 11 වැනි දා සිට ආරම්භ කිරීමට අවසර ලබා දෙනු ලැබේ.

    අධ්‍යාපන අමාත්‍ය මහාචාර්ය ජී එල් පීරිස් මහතා ඇතුළු අධ්‍යාපන බලධාරීන් සහ සෞඛ්‍ය ඇමතිනී පවිත්‍රාදේවී වන්නිආරච්චි මහත්මිය ප්‍රමුඛ සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජනරාල්වරයා ඇතුළු සෞඛ්‍ය බලධාරීන් සමඟ පසුගිය දා මේ සම්බන්ධයෙන් පැවති දීර්ඝ සාකච්ඡාවකින් අනතුරුව මෙම තීරණය ගෙන ඇත.

    දැනට විවෘත කර ඇති පාසල්වල තුන්වැනි වාරය දෙසැම්බර් 23 වැනි දායින් අවසන් වන අතර, දෙසැම්බර් 24 වැනිදායින් තුන්වැනි පාසල් වාර නිවාඩුව ආරම්භ වේ. පාසල් ආරම්භ කිරීම සම්බන්ධ සියලු තීරණ සෞඛ්‍ය බලධාරීන්ගේ පූර්ණ උපදෙස් මත පදනම් වෙමින් ගන්නා බව ද, ඔවුන් විසින් ලබාදී ඇති කොන්දේසි නිවැරදි ව අනුගමනය කරමින් ඉදිරියේ දී විවෘත කරනු ලබන පාසල් ක්‍රියාත්මක කරන බව ද මේ සම්බන්ධයෙන් අද (21) පැවති මාධ්‍ය හමුවේ දී අධ්‍යාපන අමාත්‍ය මහාචාර්ය ජී එල් පීරිස් මහතා පැවසීය.

     එමෙන් ම හුදකලා කළ පොලිස් වසම්වල පිහිටි පාසල් සහ බස්නාහිර පළාතේ පාසල් විවෘත කිරීම සම්බන්ධයෙන් පවත්නා හැකියාව තවදුරටත් සොයා බලන බව ද, දින 10න් 10ට පවත්නා සෞඛ්‍ය තත්ත්වයන් සමාලෝචනයට ලක් කරමින් එම තීරණය ගැනීමට සුදුසු පසුබිම පිළිබඳ විමසා බලන බව ද සඳහන් කළ අමාත්‍යවරයා, කවර හේතුවක් මත වුව ද දරුවන්ගේ සෞඛ්‍යාරක්ෂාව දෙවැනිතැනට දමා කටයුතු නොකරන බව ද සඳහන් කළේය.

    2021 නව පාසල් වාරය වෙනුවෙන් ජනවාරි 11 දින සිට ආරම්භ කෙරෙන පාසල්වල සෞඛ්‍යාරක්ෂාව තහවුරු කළ යුතු ආකාරය සම්බන්ධයෙන් ද අධ්‍යාපන අමාත්‍යාංශය විධිමත් වැඩපිළිවෙළක් හඳුන්වා දී ඇති බව ද අමාත්‍යවරයා පැවසීය. ඒ අනුව පාසල්වල සෞඛ්‍යාරක්ෂාව වෙනුවෙන් අවශ්‍ය උපකරණ මිලදී ගැනීම සහ අවශ්‍ය පහසුකම් ස්ථාපනය වෙනුවෙන් රුපියල් මිලියන 105 ක මූල්‍ය ප්‍රතිපාදන අදියර දෙකක් යටතේ මේ වනවිටත් ලබා දී ඇති බව ද අමාත්‍යවරයා පෙන්වා දුන්නේ ය.

    එමෙන්ම යුනිසෙෆ් ආයතනය මගින් උෂ්ණත්ව මාපක 1393ක්  ද, ලෝක සෞඛ්‍ය සංවිධානය විසින් උෂ්ණත්ව මාපක 1000ක් ද පාසල් වෙනුවෙන් ලබාදීමට එකඟ වී ඇති බව ද අමාත්‍යවරයා පැවසීය.

    පාසල් තුළ දරුවන්ගේ සෞඛ්‍යාරක්ෂාව සම්බන්ධයෙන් අධ්‍යාපන අමාත්‍යාංශය විසින් නිකුත් කර ඇති 2020-5-11 දිනැති 15/2020 දරන චක්‍රලේඛ ප්‍රකාරව හා 2019/2 දරන පාසල් සෞඛ්‍ය ප්‍රවර්ධන චක්‍රලේඛයත්, 2020-11-19 දිනැති උපදෙස් ලිපියත් අනුව පාසල් සෞඛ්‍ය ප්‍රවර්ධන කටයුතු සිදුකළ යුතු  අතර, ඒ අනුව සති දෙකකට වරක් සෞඛ්‍ය ප්‍රවර්ධන කමිටුව රැස්ව පාසලේ සෞඛ්‍යාරක්ෂාව සම්බන්ධ ඉදිරි ක්‍රියාමාර්ග සැලසුම් කළ යුතු බව ද පෙන්වා දුන් අමාත්‍යවරයා, පාසල් ආපන ශාලා විවෘත කිරීම සම්බන්ධ ව තීරණයක් ලබාදීම තවදුරටත් සලකා බලන බව ද ප්‍රකාශ කළේය. එහෙත් පාසල් නේවාසිකාගාර තුළ ආපන ශාලා සමාජ දුරස්ථභාවය ආරක්ෂා වන අයුරින් විවෘත කිරීමට උපදෙස් දී තිබේ.

    කිසියම් දරුවෙකු රෝගාතුරව සිටීනම් හෝ නිවැසියෙකු රෝගාතුරව සිටී නම් හෝ PCR  පරීක්ෂාවකට ලක් ව ප්‍රතිඵල අපේක්ෂාවෙන් සිටී නම් එවැනි නිවෙස්වල දරුවන් පාසල් නොඑවීමට දෙමව්පියන් වගබලාගත යුතු බව ද අමාත්‍යවරයා සිහිපත් කළේය.

  • දකුණු අප්‍රිකානු ක්‍රීඩකයින්ගේ කොවිඩ් පරීක්ෂණ සුභදායී වෙයි

    දකුණු අප්‍රිකානු ක්‍රීඩකයින්ගේ කොවිඩ් පරීක්ෂණ සුභදායී වෙයි

    ශ්‍රී ලංකාවට එරෙහිව පැවැත්වෙන තරග 2 කින් සමන්විත ටෙස්ට් තරගාවලියට සඳහා නම් කරන ලද දකුණු අප්‍රිකානු කණ්ඩායමේ සියලුම ක්‍රීඩකයින්ගේ කොවිඩ් 19 පරීක්ෂණ ප්‍රථිඵල සුභ දායක තත්ත්වයක පවතින බව එරට ක්‍රිකට් ආයතනය නිවේදනයක් නිකුත් කරමින් සඳහන් කර සිටියි.

    මෙම තරගාවලියට ප්‍රථම එංගලන්තය සමඟ පැවැති තරගාවලිය අතරතුරදී දකුණු අප්‍රිකානු කණ්ඩායමේ ක්‍රීඩකයින් කිහිප දෙනෙකුටම කොවිඩ් 19 වෛරසය ආසාධනය වීම මත එම තරගාවලිය අතර මඟ නවතා දමා නැවතත් එංගලන්ත පිල සිය රට බලා ගියේය.

    කෙසේ වෙතත් ශ්‍රී ලංකාවට එරෙහිව පැවැත්වෙන ක්‍රිකට් තරගාවලිය ජෛව සුරක්ෂිත පරිසරයක් නිර්මාණය කරමින් මෙහෙයුම් කටයුතු සිදු කිරීමට දෙරටේ ක්‍රිකට් බලධාරීන් කැමැත්ත පළ කර සිටීම නිසා මේ වන විට ක්‍රීඩකයින් සියල්ල එම ජෛව පරිසරය තුළ සිට සිය නීරෝධායන කාල සීමාව ගත කරමින් සිටිනු ඇත. ඒ අනුව ජෛව සුරක්ෂිත පරිසරයට පිවිසීමෙන් පසු සත්කාරක කණ්ඩායමේ ක්‍රීඩකයින් වෙනුවෙන් සිදු කරන ලද පරීක්ෂණ වල ප්‍රතිඵල සුභදායක වී තිබේ.

    ‘බෙට්වේ’ කුසලාන වෙනුවෙන් දෙරට අතර පැවැත්වෙන ටෙස්ට් තරගාවලියේ පළමු ටෙස්ට් තරගය ලබන 26 වැනිදා සෙන්චූරියන්හි සුපර් ස්පෝර්ට්ස් පාක් පිටියේදීද දෙවැන්න ජනවාරි 02 වැනිදා ජොහැන්නස්බර්ග් නුවර වොන්ඩරස් පිටියේදීද ආරම්භ වනු ඇත.

    මේ අතර දෙරට අතර ටෙස්ට් තරගාවලිය සඳහා නම් කරන ලද දකුණු අප්‍රිකානු කණ්ඩායමේ නායකත්වය ආරම්භක පිතිකරුවකු සහ කඩුලු රකින්නා ලෙසින් කටයුතු කරනු ලබන කුවින්ටන් ඩි කොක් වෙත ලබා දීමට එම තේරීම් කමිටුව පියවර ගෙන තිබේ. ඒ අනුව ඩි කොක් ටෙස්ට් තරගයකදී දකුණු අප්‍රිකානු පිල මෙහෙයවනු ලබන පළමු තරගය බවට පත් වන්නේ මෙම මස 26 වැනිදා ආරම්භ වන පළමු ටෙස්ට් තරගය වේ. ඩි කොක් මීට පෙර දකුණු අප්‍රිකානු එක්දින කණ්ඩායම වෙනුවෙන් අවස්ථා 8 කදී නායකයා ලෙසින් කටයුතු කර තිබේ.

    ක්‍රීඩකයින් 17 දෙනෙකුගෙන් සමන්විත දකුණු අප්‍රිකානු කණ්ඩායම සඳහා ඉදිරි පෙළ පිතිකරුවකු වන රේනාඩ් වැන් ටොන්ඩර් සහ වේග පන්දු යවන ක්‍රීඩක ලූතෝ සිපම්ලාට පළමු වරට දකුණු අප්‍රිකානු කණ්ඩායම සඳහා කැඳවීම් ලැබ සිටිති. ඔවුන් දෙපළට අමතරව ආබාධයක් හේතුවෙන් එංගලන්තයට එරෙහිව සුදු පන්දු භාවිතයෙන් පැවැති තරගාවලිය සඳහා ඇතුළත් නොවුණු ඩ්වේන් ප්‍රිටෝරියන්ද දකුණු අප්‍රිකානු ටෙස්ට් කණ්ඩායමට කැඳවා තිබේ.

    දකුණු අප්‍රිකානු කණ්ඩායම – ක්වින්ටන් ඩි කොක් (නායක), ටෙම්බා බවුමා, ඒඩියන් මාක්‍රම්, ෆෆ් ඩු ප්ලෙසිස්, බියුරන් හෙන්ඩ්‍රික්ස්, ඩීන් එල්ගාර්, කේෂව් මහරාජ්, ලුංගි න්ගිඩි, රාසී වැන්ඩර් ඩුසේන්, සරෙල් අර්වී, ඇන්රික් නෝර්ට්ජ්, ග්ලෙන්ටන් ස්ටූර්මන්, වියාන් මුල්ඩර්, කීගන් පීටර්සන්, කයිල් වෙරේයින්, මිගෙල් ප්‍රෙටෝරියස්, ඩ්වයින් ප්‍රෙටෝරියස්, ලුතෝ සිපම්ලා, රිනාඩ් වැන් ටොන්ඩර්.