Blog

  • උපරිමාධිකරණයට නව විනිසුරුවරු 21 දෙනෙක්

    උපරිමාධිකරණයට නව විනිසුරුවරු 21 දෙනෙක්

    දේශීය අධිකරණයේ නව කඩඉමක් සනිටුවන් කරමින් උපරිමාධිකරණයට නව විනිසුරුවරු 21 දෙනෙක් ජනපති ඉදිරියේ අද (01) දින දිවුරුම් දුන්හ. ශ්‍රේෂ්ඨාධිකරණයට නව විනිසුරුවරු 06 දෙනෙක්, අභියාචනාධිකරණ නව සභාපති සහ අභියාචනාධිකරණ නව විනිසුරුවරු 14 දෙනෙක් මේ අනුව අද පස්වරුවේ ජනාධිපති කාර්යාලයේදී දිවුරුම් දුන්හ.

    මේ අවස්ථාවේදී ජනපතිවරයා කියා සිටියේෙ අධිකරණයේ ස්වාධීනත්වය ආරක්ෂා කර එහි ක්‍රියාකාරිත්වය දේශපාලන සහ වෙනත් මැදිහත්වීම්වලින් ඉවත් කරන බවට තමා සහතික වන බවයි.

    ශ්‍රේෂ්ඨාධිකරණ විනිසුරුවරුන් ලෙස,

    1. ඒ.එච්.එම්.දිලිප් නවාස් මහතා
    2. කුමුදිනී වික්‍රමසිංහ මහත්මිය
    3. ඇන්තනි ලලිත් ශිරාන් ගුණරත්න මහතා
    4. ජනක් ද සිල්වා මහතා
    5.  ආරච්චිගේ අචල උත්පලවර්ණ වෙන්ගප්පුලි මහතා
    6. මහින්ද අබේසිංහ සමයවර්ධන මහතා

    අභියාචනාධිකරණ නව සභාපති ලෙස අර්ජුන ඔබේසේකර මහතා දිවුරුම් දුන්නේය

    නව අභියාචනාධිකරණ විනිසුරුවරුන් වන්නේ,

    1. මේනකා විජේසුන්දර මහත්මිය
    2. ඩී.එන්. සමරකෝන් මහතා
    3. එම්. ප්‍රසන්ත ද සිල්වා මහතා
    4. එම්.ටී.එම්. ලෆාර් මහතා
    5. සී. ප්‍රදීප් කීර්තිසිංහ මහතා
    6. සම්පත් බී. අභයකොන් මහතා
    7. එම් .එස්.කේ.බී. විජේරත්න මහතා
    8. එස්.යූ.බී. කරලියද්ද මහතා
    9.  ආර්. ගුරුසිංහ මහතා
    10.  ජි.ඒ.ඩී. ගනේපොල මහතා
    11.  කේ.කේ.ඒ.වී. ස්වර්ණාධිපති මහත්මිය
    12. මායාදුන්න කොරයා මහතා
    13. ප්‍රභාහරන් කුමාරරත්නම් මහතා
    14. ඩබ්.එන්.එන්.පී. ඉද්දවල මහතා

    ( ඡායාරූප : ජිවන්  චන්දිමාල් , උපුල් නිලංග  , සුමින්ද කීර්ති – ජනාධිපති මාධ්ය අංශය )

  • මහර බන්ධනාගාරයේ ගැටුම තවමත් නිම වී නෑ – සිරකරු අයිතිවාසිකම් ආරක්ෂා කිරීමේ කමිටුව

    මහර බන්ධනාගාරයේ ගැටුම තවමත් නිම වී නෑ – සිරකරු අයිතිවාසිකම් ආරක්ෂා කිරීමේ කමිටුව

    රැඳවියකුගේ ඥාතියෙක් පොලිස් නිලධාරියෙක් ඉදිරියේ ආයාචනය කරන ආකාරය සමාජ මාධ්‍යවල සටහන්ව තිබූ අයුරු ඉහත ඡායාරූපයේ දැක්වේ.

    මහර බන්ධනාගාරය තුළ හටගත් නොසන්සුන් වාතාවරණය තවදුරටත් පහව ගොස් නොමැති බව සිරකරු අයිතිවාසිකම් ආරක්ෂා කිරීමේ කමිටුව පවසන අතර පොලිසිය පවසන්නේ, රැඳවියන් පිරිසක් බන්ධනාගාර පිවිසුමට පැමිණි නිසා ඔවුන් විසුරුවා හැරීම පිණිස අහසට වෙඩි තැබූ බවය.

    “ආයිත් වෙඩි තැබීම් වෙනවා කියල අපිට ආරංචි වෙනවා. මේ වෙනකොට කිසිම නිලධාරියෙක් ඇතුළේ නෑ කියල තමයි අපිට ආරංචි. එළියේ ඉඳල ඇතුළට වෙඩි තියනවා ඇතුළේ ඉන්න රැඳවියන් අපිව මරන්න එපා කියල කෑගහනවා,” යනුවෙන් සිරකරු අයිතිවාසිකම් ආරක්ෂා කිරීමේ කමිටුවේ සභාපති නිතීඥ සේනක පෙරේරා බීබීසී සිංහල සේවය සමඟ පැවසීය.

    නියෝජ්‍ය පොලිස්පති අජිත් රෝහණ පවසන්නේ, මේ වන විට බන්ධනාගාරය තුළ තත්ත්වය පාලනය කර ඇති බවය.

    “රැඳවියන් පිරිසක් ගේට්ටුව ලඟට ආපු නිසා ඔවුන්ව විසුරුවා හරින්න අහසට වෙඩි තියල තියෙනවා. ඒත් දැනට තත්වය පාලනය කරලා තියෙන්නේ,” නියෝජ්‍ය පොලිස්පතිවරයා පැවසීය.

    ඉරිදා ඇති වූ ගැටුම හේතුවෙන් මියගිය පුද්ගලයින් අට දෙනෙකුගේ මළසිරුරු මේ වන විට රාගම රෝහලට රැගෙනවිත් ඇති අතර, තුවාල ලැබූ 63 දෙනෙකු ප්‍රතිකාර සඳහා රෝහල් ගතකර ඇති බවත් රාගම රෝහලේ අධ්‍යක්ෂ වෛද්‍ය ෂෙල්ටන් පෙරේරා මාධ්‍ය වෙත පැවසීය. ඔහු පවසන පරිදි ඉන් 10 දෙනෙකුගේ තත්ත්වය බරපතළය.

    රාගම රෝහලට ඇතුළත් කරන ලද රැඳවියන් 71 දෙනෙකුගෙන් 48 දෙනෙකු මේ වන විට පී සී ආර් පරීක්ෂාව සඳහා යොමු කර ඇති අතර, ඔවුන් අතරින් රැඳවියන් 26 දෙනෙකු ම කොරෝනා ආසාදිතයන් බව තහවුරු වී ඇතැයි රාගම රෝහලේ ප්‍රකාශකයෙක් පැවසීය.

    ඉරිදා ගැටුම හටගැනීමත් සමඟම රැඳවියන්ගේ ඥාතීන් මහර බන්ධනාගාරය ඉදිරිපිටට රැස්වී තම ඥාතීන් පිළිබඳව විස්තර විමසූහ. එහෙත් ඔවුනට තම ඥාතීන් පිළිබඳව කිසිදු තොරතුරක් ලබාගැනීමට නොහැකි වූ බව සමහර දෙමාපියෝ පැවසූහ.

    සුජීවා ප්‍රනාන්දු බීබීසී සිංහල සේවය සමඟ පවසුවේ තම පුතා පිළිබඳව කිසිදු තොරතුරක් සොයාගැනීමට නොහැකි වූ බවයි.

    “අපි අද උදේ ඉඳල බන්ධනාගාරය ඉස්සරහ හිටියට අපේ පුතා ගැන කිසිම තොරතුරක් ලැබුනේ නෑ. අනේ සර් අපේ පුතාට මොකද උනේ කියල හොයල දෙන්න,” යනුවෙන් ඇය හඬමින් බීබීසී සිංහල සේවයෙන් ඉල්ලා සිටියාය.

    මවුවරුන් පොලිස් නිලධාරීන්ගේ දෙපා නමැද සිය දරුවන් බේරාදෙන ලෙසත් ඔවුන්ගේ ගැන තොරතුරු දන්වන ලෙසත් ආයාචනා කරන ඡායාරූප සමාජ මාධ්‍ය ඔස්සේ සංසරණය විය.

    මහර බන්ධනාගාරයේ නොසන්සුන්තාව පිළිබඳ විශේෂ පරීක්ෂණයක් කරන්නැයි, ආරක්ෂක ලේකම්වරයා පොලිස්පතිවරයාට උපදෙස් දුන් බව ආරක්ෂක අමාත්‍යාංශය නිවේදනයක් නිකුත්කරමින් පැවසීය. පොලිස් මාධ්‍ය ප්‍රකාශක අජිත් රෝහණ කියා සිටියේ, ඒ අනුව ඒ සම්බන්ධයෙන් වහාම විමර්ශනයක් ආරම්භ කිරීමට පොලිස්පතිවරයා අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවට උපදෙස් දුන් බවය.

    මේ අතර සිදුවීම විමර්ශනය කර නිර්දේශ ඇතුළත් පූර්ණ වාර්තාවක් ඉදිරිපත් කිරීම සඳහා අධිකරණ අමාත්‍ය, ජනාධිපති නීතිඥ අලි සබ්‍රි විසින් විශ්‍රාමික මහාධිකරණ විනිසුරු කුසලා සරෝජනී වීරවර්ධනගේ ප්‍රධානත්වයෙන් යුත් පංච පුද්ගල කමිටුවක් පත්කරනු ලැබ ඇති බව රජයේ ප්‍රවෘත්ති දෙපාර්තමේන්තුව නිවේදනය කළේය.

    එම කමිටුවේ අනෙකුත් සාමාජිකයින් ලෙස අධිකරණ අමාත්‍යාංශයේ ප්‍රධාන නීති උපදේශක ජනාධිපති නීතිඥ යූ ආර් ද සිල්වා, අධිකරණයේ අමාත්‍යාංශයේ අතිරේක ලේකම් (පාලන) රෝහණ හපුගස්වත්ත, නියෝජ්‍ය පොලිස්පති නීතිඥ අජිත් රෝහණ, හිටපු බන්ධනාගාර කොමසාරිස් ගාමිණී ජයසිංහ පත්කොට තිබෙන අතර, බන්ධනාගාර ප්‍රතිසංස්කරණ හා සිරකරුවන් පුනරුත්ථාපන රාජ්‍ය අමාත්‍යාංශයේ අතිරේක ලේකම් නිශාන් ධනසිංහ කමිටුවේ ලේකම්වරයා ලෙස කටයුතු කරයි.

    අදාළ සිද්ධියට පාදක වූ කරුණු, ඒ සඳහා වගකිව යුතු පාර්ශවයන් හා ඒ සඳහා ගතයුතු ක්‍රියාමාර්ග හා මෙවැනි සිද්ධීන් වළක්වා ගැනීමට ගතයුතු නිර්දේශ ඇතුළත් වාර්තාවක් අධිකරණ අමාත්‍යවරයා වෙත ඉදිරිපත් කළ යුතු අතර, අදාළ කමිටුව විසින් සතියක් ඇතුළත අතුරු වාර්තාවක් ද, මාසයක් ඇතුළත කෙටි කාලීන හා දීර්ඝ කාලීනව ගතයුතු ක්‍රියාමාර්ග පිළිබඳ නිර්දේශ ඇතුළත් සම්පුර්ණ වාර්තාවක් ද ඉදිරිපත් කළ යුතු යයි අධිකරණ අමාත්‍යාංශයේ ලේකම්වරයා විසින් දන්වා තිබෙන බවත් රජයේ ප්‍රවෘත්ති දෙපාර්තමේන්තුව පැවසීය.

    මේ අතර පවතින තත්ත්වය පිලිබඳව තම ට්විටර් ගිණුමේ සටහනක් තබමින් ඉසංක ජයසිංහ පැවසුවේ “සිරකරුවෝද මනුෂ්‍යයෝය යන්න මනුෂ්‍යයෝද සිරකරුවන් ය ලෙසින් වෙනස් වෙමින් පවතී. සූදානමින් සිටින්න,” යනුවෙනි.

    බී.බී.සී. සන්දේශය වෙතින් කළ ඍජු උපුටා ගැනීමකි

  • පාසල්වල ආරක්ෂාව: පාස්කු බිල්ලා අද ආණ්ඩුව පස්සේ පන්නවා – එරාන්

    පාසල්වල ආරක්ෂාව: පාස්කු බිල්ලා අද ආණ්ඩුව පස්සේ පන්නවා – එරාන්

    2018 ඒ අවාසනාවන්ත පාස්කු ප්‍රහාරයෙන් පසුව අපේ ආණ්ඩුව නැවත පාසල් විවෘත කරන්න යන විට, ළමුන්ව දෙමව්පියන්ව බය කළා. රජය පාසල් විවෘත කළත් ළමයි පාසල් ඇවිත් නෑ කියලා හිස් පන්ති කාමර පෙන්නුවා. political – media agenda අනුව එදා ආණ්ඩුව අපකීර්තියට පත්කරන්න උත්සාහ කළා. ගුරුවරුන් දෙන සහතිකය අවිශ්වාස කරන තැනට වැඩ හැදුවා. ඒ නරක වැඩේ අද ආණ්ඩුවට “පාරාවළල්ලක්” වෙලා.      

    ශ්‍රී ලංකාවේ අධ්‍යාපනයේ තිත්ත ඇත්ත මෙන්න   පාස්කු ප්‍රහාරයේදී පාසල් ගැන ඇති කළ භීතිය ගැන ආණ්ඩුවට පරාවළලක් වෙලා   ජාතික සමගි ජනබලවේගයේ ජාතික ලැයිස්තු මන්ත්‍රී එරාන් වික්‍රමරත්න මහතා අද (01) අධ්‍යාපන අමාත්‍යාංශයේ වැය ශීර්ෂයට අදාළ පාර්ලිමේන්තු විවාදයේ දී කළ සම්පූර්ණ කතාව.    

    රටක අධ්‍යාපනය සකස් විය යුත්තේ කොහොමද ? අද  වගේ කාලයක, අද වගේ දවසක මේක අහන්නම ඕන ප්‍රශ්නයක් ? ඇත්ත වශයෙන්ම අපි අද දවසේ අධ්‍යාපනය සකස් කරන්න අවශ්‍ය  අපේ දරුවන්ට හෙට ලෝකය දිනන්න අවශ්‍ය වන ලෙසයි. ඔවුන් අධ්‍යාපන සහතික දෙස බලමින් හූල්ලන, අධ්‍යාපන ක්‍රමයක් තිබිය යුතු නෑ. තරුණ අසහනය වර්ධනය වීම නිසා, අපේ  පරම්පරා දෙකක්  වන්දි ගෙවා තිබෙනවා. ඒ නිසා දැන් ඇති. එහෙම නම් අද දවසේ අපි අපේ අධ්‍යාපන  ප්‍රතිපත්තිය සකසන්න අවශ්‍ය “හෙට” ලෝකය දිනන්නයි.     

    අද, අපි වාද විවාද කල යුතුව තිබෙන්නේ ඒ ගැනයි! 

    ලංකාවේ, 10-13 ශ්‍රේණි ආශ්‍රිත ද්විතියික අධ්‍යාපනය ගැන කතා කරනකොට, තවමත් (net enrollment rate ) ශුද්ධ බඳවා ගැනීමේ අනුපාතය 65% යි. ඉතුරු 35% ට මොකද වෙන්නේ ?     ඒ වගේම තමයි සෑම වසරකම පළමු ශ්‍රේණියට ඇතුළත් වන ළමුන්ගෙන් 6%ක් පමණයි, විශ්ව විද්‍යාලයට යාමට  අවස්ථා හිමිකර ගන්නේ.

    ඒ වගේම තමයි, නිසි අධ්‍යාපන හෝ නිපුණතාව, පුහුණුවකින් තොරව 33% ක් රටේ ශ්‍රම වෙළඳපොළට එකතු වෙනවා. ඒ නිසාම, අවුරුදු 15-24ත් අතර තරුණ විරැකියා අනුපාතය ඉහළ අගයක සඳහන් වෙනවා.    

    ඒ වගේම තමයි කොවිඩ් ගෝලීය වසංගතය අවස්ථාවේ “දුරස්ථ අධ්‍යාපනයට” ළමුන් යොමුකරනවා කිව්වා. අපි ඒ සඳහා රටක් ලෙස සූදානම්ව සිටියද? අපි අධ්‍යාපන කටයුතු සිදුකල ආකාරය සම්බන්ධව තෘප්තිමත් වෙන්න පුළුවන්ද ? පාසල් ළමුන් කීයෙන් කී දෙනාටද, laptop, ipads. computer, smartphone තිබුණේ ? තමන්ගේ පවුලේ ජීවන බර දරාගන්න බැරුව හිටපු මිනිස්සු කොවිඩ් හමුවේ තවත් දුෂ්කරතාවට පත්වුණා. ඒ මිනිස්සු කොහොමද දරුවන්ට මේ තාක්ෂණික මෙවළම් අරගෙන දෙන්නේ ? ආණ්ඩුව ඒ ගැන හොයලා බැලුවද ? අනුන්ගේ එකක් හරි ඉල්ලගත්තත් හැමෝටම 4G පහසුකම් තිබුණද ? internent speed සහ  signal ප්‍රශ්න කොච්චර තිබුණද ?     

    මේ වගේ ප්‍රශ්න රැසක් සමඟ තමයි අද මේ අධ්‍යාපන අමාත්‍යංශ වැය ශීර්ෂය ගැන විවාදය සිදුකරන්න සිදුව තිබෙන්නේ.    

    ගරු කතානායකතුමනි,     

    අපි දන්නවා රටේ ආදායම් බෙදීයාමේ පරතරයක් තියෙනවා. අපේ වගේ රටවල එය බරපතල ලෙස තිබෙනවා. මේ ඇති නැති පරතරය නැති කරන මෙවලම තමයි අධ්‍යාපනය. සමාජ ඉණිමගේ ඉදිරියට යන්න ඕනෑම අයෙකුට හැකියාව තිබෙනවා. නමුත් ඒ සඳහා ඔහුට අධ්‍යාපනය ලැබීමේ අවස්ථාව හිමිවෙන්න ඕන.       

    අපේ රටේ ද්විතියික අධ්‍යාපනය ලබමින් සිටි පිරිසගෙන් බහුතරයකට කොවිඩ් නිසා අධ්‍යාපන අවස්ථාව නිසි ලෙස හිමි වුණේ නෑ. තියෙන කෙනා ඉගෙන ගනී, නැති කෙනා “අතහැරපු” අධ්‍යාපන ක්‍රමයක්  තමයි, පසුගිය කාලයේම ලැබුණේ.

    විධිමත් ලෙස ළමුන් Online අධ්‍යාපනයට යොමුකරන්න ආණ්ඩුව මොනවද කලේ ?  මැදිරියක සිට සජීවීව ඉගැන්වූ පාඩමක් ඉගෙන ගන්න, ළමයි කීදෙනෙක් සම්බන්ධ වුණාද ? මොනවද ඒ සම්බන්ධව තියන දත්ත ? මොකුත් නෑ.  අවාසනාවන්ත තරුණ කැරළි තුනකට මුහුණදීපු රටක් එහෙමද රටේ අනාගතය සමඟ කටයුතු කරන්නේ ? කොවිඩ් කවදා හෝ අවසන් වෙනතුරු අහිංසක නැතිබැරි කෙනාගේ දරුවට අධ්‍යාපන අවස්ථාව අහිමි කරනවද ?  

    පුතාට tab එකක් අරගෙන දෙන්න තාත්තට සල්ලි නැති නිසා ඒ දරුවගේ  අධ්‍යාපනය කඩාකප්පල් වෙන්න ඉඩ හරිනවද ? ඔය ටික වෙන්න දෙන්න ආණ්ඩුවක් මොකටද ? අධ්‍යාපන අමාත්‍යාංශයක් මොකටද ?    

    ගරු කතානායකතුමනි,    

    අපි අපේ ආණ්ඩුව සමයේ පාසල් සිසුන්ට tab පරිගණක දෙන්න යනකොට හැසිරුණු විදිය මතකද ?  ළමයින්ට tab දෙන්න එපා පිළිකා හැදෙයි කියලා මිනිසුන්ව බය කළා. පටු බල තණ්හාව මත අනාගත පරම්පරාව උකස් තිබ්බා. නමුත් අපේ ප්‍රතිපත්තිය වුණේ ළමුන්ට අධ්‍යාපන අවස්ථා උපරිම සමීප කිරීම. මේ කරදිය වළල්ලෙන් එහා ලෝකයේ දැනුම ලබන්න, “දරුවව” ඊට සමීප කරවීම. අපේ අධ්‍යාපන ප්‍රතිපත්තිය වුණේ 13 වසර දක්වාම “අධ්‍යාපනය”. අපේ අධ්‍යාපන ප්‍රතිපත්තිය වුණේ “හැම පාසලක්ම හොඳම පාසලක්” කිරීම.    

    ඒ වගේම වැදගත් කරුණක් කිවයුතුව තිබෙනවා. ඒ තමයි කොවිඩ් නිසා වහපු පාසල් විවෘත කළත් ළමයි පාසල් නොපැමිණීම. විදුහල්පතිවරු ගුරුවරු දෙයක් කිව්වාම එදා දරුවෝ ඔවුන්ව විශ්වාස කළා. දෙමාපියන් ගුරුතුමාගේ බසට ඇහුම්කන් දුන්නා.

    මොනවා නැතත් ගුරුවරයා සම්බන්ධ, පාසල සම්බන්ධ විශ්වාසය තිබුණා. නමුත් මෙවර ළමයින් පාසල් එන්න මැළි වුණා. ගුරුවරුන්ගේ වචනය දෙමාපියන් විශ්වාස කලේ නෑ. මේ දේ වෙනකොට විපක්ෂයේ අපි කිව්වේ නෑ “ළමයි පාසල් යවන්න එපා – කොවිඩ් හැදෙයි ” කියලා. 

    නමුත් 2018 ඒ අවාසනාවන්ත පාස්කු ප්‍රහාරයෙන් පසුව අපේ ආණ්ඩුව නැවත පාසල් විවෘත කරන්න යන විට, ළමුන්ව දෙමව්පියන්ව බය කළා. රජය පාසල් විවෘත කළත් ළමයි පාසල් ඇවිත් නෑ කියලා හිස් පන්ති කාමර පෙන්නුවා. political – media agenda අනුව එදා ආණ්ඩුව අපකීර්තියට පත්කරන්න උත්සාහ කළා. ගුරුවරුන් දෙන සහතිකය අවිශ්වාස කරන තැනට වැඩ හැදුවා. ඒ නරක වැඩේ අද ආණ්ඩුවට “පාරාවළල්ලක්” වෙලා.      

    ගරු කතානායකතුමනි,

    අපි බලය ගනියි, පරදියි, නැවත බලයට එයි. ඒත් ගුරු – සිසු විශ්වාසය බිඳීම ජාතික අපරාධයක්. රට බාරගන්න ඉන්න අනාගත පරම්පරාවේ අධ්‍යාපන කටයුතු ඇණහිටීම කියන්නේ ජාතික අවාසනාවක්. අපි නම් කොහොම වුනත් ඒ වගේ පහත් දේශපාලනයක් කරන්නේ නෑ. ඒ නිසා අපි කියනවා, අපේ රටටත් වඩා වසංගතයෙන් හානි වූ රටවල පවා පාසල් අධ්‍යාපන කටයුතු අඛණ්ඩව සිදුවෙනවා.

    බය නැතුව අවශ්‍ය තාක්ෂණික මෙවලම් භාවිත කරන්න. අධ්‍යාපන කටයුතු කඩාකප්පල් කරගන්න එපා. ගුරුවරුන්, විදුහල්පතිවරුන් දෙන උපදෙස්, සෞඛ්‍ය අංශ දෙන උපදෙස් අනුව කටයුතු කරමින් අධ්‍යාපන කටයුතු අඛණ්ඩව සිදුකරන්න. ඒ සඳහා දරුවන්ව යොමුකරන්න කියලා.    

    ගරු කතානායකතුමනි,     

    මම අවධානය යොමු කරන්නේ උසස් අධ්‍යාපනය සම්බන්ධවයි. 2018 වසරේ උසස් පෙළ විභාගය සඳහා අපේක්ෂකයන්  267,111ක් පෙනී සිටියා. එයින් විශ්ව විද්‍යාල ප්‍රවේශය සඳහා 167,907ක් සුදුසුකම් ලැබුවා. ප්‍රතිශතයක් ලෙස එය 62.86% ක්. නමුත් විශ්ව විද්‍යාල සඳහා ඇතුළත්වීමට අවස්ථාව හිමිවුණේ 31,451 ක් සඳහා පමණයි. ලක්ෂ ගණනක් සිසුන්ට අවස්ථාව අහිමි වෙනවා.       

    ශ්‍රී ලංකාවේ තෘතික අධ්‍යාපනයට අදාළව gross enrollment ratio, බැලුවම  1970 දී 1.01%යි. 2014 දී 21%යි.  නමුත් අපි බැලුවොත් ජපානය,1971 දී 17%යි. 2013දී 62%යි.  දකුණු කොරියාව ගතහොත්  1971 දී 7%යි. 2013 දී 95% යි.  දැන් පේනවා නේද රටක් ලෙස අපි කොතනද ඉන්නේ කියලා.      

    ඊළඟට අපි බලමු ( gross expenditure on teritary education as % of GDP )  තෘතික අධ්‍යාපනය සදහා දරන දල වියදම, දළ දේශීය නිෂ්පාදිතයේ ප්‍රතිශතයක් ලෙසද කොපමණද කියලා.     

    ලංකාවේ 2001 දී එය 0.37%යි. එය 2013 දී 0.34%යි.  නමුත් අපි ජපානය සැලකිල්ලට ගමු. ඔවුන් 1998 දී 0.41%යි. 2014දී 0.78%යි.  දකුණු කොරියාව බැලුවොත් 1998 දී 0.37යි. 2013 දී 0.86 යි. සිංගප්පුරුව 2008 දී 0.91%යි. 2013 දී 1.03% යි. මේ රටවල් එන්න එන්නම තෘතික අධ්‍යාපනය සඳහා වැඩි පංගුවක් වෙන්කරලා තිබෙනවා. නමුත් අපි එන්න එන්නම අඩු කරලා තියනවා. මම මේ දත්ත ඇතුලත් ලේඛනය සභාගත කරනවා.    

    ඒ වගේම තමයි  2016 ආදායම්-වියදම් සමීක්ෂණයට අනුව ශ්‍රී ලංකාවේ higher education gross enrollment ratio  සැලකීමේදී,  බස්නාහිර සහ මධ්‍යම පළාතේ තමයි ඉහළම අගයක් පෙන්නුම් කරන්නේ. එය 18%ක්.  උතුරු මැද පළාත ගත්තාම 8%ක් , ඌව 11%ක්. පොඩි රටක් වුණත් පළාත් අනුව සැලකිය යුතු විෂමතාවයක් පෙන්වනවා.      

    මේ තවත් වැදගත් කරුණක්. 2016-2017 වර්ෂයට අදාළව බස්නාහිර පළාතේ විශ්ව විද්‍යාල වලින්  undergraduate ලා , පළමු උපාධිය ලැබුවන් 60,878ක් වාර්තා වෙනවා. ඒ වසරේ සමස්ථ රටේම පළමු උපාධිය ලැබූවන් 106,404යි. ඒ කියන්නේ 57%ක ප්‍රතිශතයක් බස්නාහිර විශ්ව විද්‍යාල වලින් උපාධිය ලබලා.      

    ඒ වගේම තමයි 2016-2017 පශ්චාත් උපාධිධාරීන් සමස්ථ රටේම 23,447ක් වන විට එයින් 20,010 ක් බස්නාහිර පළාත් විශ්ව විද්‍යාල වලින්. ඒ කියන්නේ 85%ක් බස්නාහිරින්. මේ වගේ දැඩි විෂමතාවක් උසස් අධ්‍යාපනයේ තිබෙනවා.    

    ගරු කතානායකතුමනි,    

    විශ්ව විද්‍යාල, නැත්නම් උසස් අධ්‍යාපනය සම්බන්ධව කාලයක් තිස්සේ තිබෙන බරපතල ප්‍රශ්නයක් තියනවා. ඒ quality සහ  relevance  සම්බන්ධව. අපේ උසස් අධ්‍යාපනයේ ගුණාත්මකභාවය සහ රැකියා අවස්ථා වෙනුවෙන් වන අදාලත්වය කොතරම්ද කියන ප්‍රශ්නය තියනවා.       

    අපි දන්න දෙයක් තමයි විද්‍යා ක්ෂේත්‍රයේ උසස් අධ්‍යාපනය ලැබුවන්ට දෙස් විදෙස් රැකියා අවස්ථා තිබෙනවා. නමුත් බහුතරය  කලා විෂය ධාරාවේ සමාජීය විද්‍යා හැදෑරු උපාධිධාරීන්. මේ අයගේ රැකියා ප්‍රශ්නයක් තිබෙනවා. රැකියාවක් සඳහා අයදුම් කිරීමේදී නිපුණතාව සම්බන්ධව ප්‍රශ්න තියෙනවා.     

    සාමාන්‍ය සම්ප්‍රදාය තමයි ඔවුන්ව තොග වශයෙන් රජයේ රැකියා සඳහා එක්කර ගැනීම. නමුත් ඔවුන්ගේ වාර්ෂික රැකියා සැපයීමේ පමණක් නොවෙයි  උසස්වීම් පටිපාටියේ සිට ප්‍රශ්න රැසක් තිබෙනවා. එය නොවිසඳුණු ප්‍රශ්නයක්.      

    ඇත්තටම මොරටුව විශ්ව විද්‍යාලය ගත්තොත් ලෝකයෙත් ඉහල පිළිගැනීමක් තියනවා. ඒ එහි ගුණාත්මක භාවය නිසා. ගුණාත්මකභාවය රැකගැනීම අත්‍යාවශ්‍ය කරුණක්. මගේ අදහස නම් විශ්ව විද්‍යාල වලට නිදහස තිබෙන්න ඕන ඔවුන්ගේ ගුණාත්මකභාවය රැකගැනීමට කටයුතු කරන්න.    

    නමුත් අපේ රටේ එහෙම ක්‍රමයක් නෑ. තීන්දු තීරණ හැමදෙයක්ම ගන්නේ ආණ්ඩුව සහ විශ්ව විද්‍යාල ප්‍රතිපාදන කොමිසම. අදාළ විශ්ව විද්‍යාලයේ ශිෂ්‍යයාගේ අංකය පවා නිකුත් කරන්නේ UGC එක.     

    හරි නම් විශ්ව විද්‍යාලයක් සම්බන්ධව තීන්දුවක් ගන්නා විට එහි සෙනට් සභාවේ මතය විමසන්න ඕන. නමුත් එවැන්නක් සිදුවෙන්නේ නෑ. නිවැරදි ප්‍රතිපත්තිය විය යුත්තේ විශ්ව විද්‍යාල සෙනට් සභාවට අවස්ථාව තිබෙන්න ඕන තමන්ගේ ගුණාත්මක භාවය වැඩි කරගන්න.

    අපි උසස් අධ්‍යාපනය සඳහා සිසුන්ට මූල්‍ය පහසුකම් සපයන විට එය නිකුත් කලේ ආදාළ විශ්ව විද්‍යාලයට හෝ උපාධි ආයතනයට නෙවෙයි. අපි දුන්නේ සිසුවාට. ඔහු තමයි විශ්ව විද්‍යාලය තීරණය කරන්නේ. නමුත් අද සිදුවන්නේ අදාළ විශ්ව විද්‍යාලයට හෝ උපාධි ආයතනයට තමයි මුදල් නිකුත් කරන්නේ. විශ්ව විද්‍යාල අතර තරගයක් ඇති වෙන්න ඕන ගුණාත්මක බැවින් ඉහලට ගොස් සිසුන් ආකර්ෂණය කර ගන්න. ඒ ගැන ආණ්ඩුවේ අවධානය යොමුකිරීම වැදගත්.    

    ගරු කතානායකතුමනි,     

    විශ්ව විද්‍යාලයක තීන්දු තීරණ සම්බන්ධව වැදගත් කාර්යයක් හිමිවෙන ආයතන 2ක් තිබෙනවා. එකක් සෙනට් සභාව. එහි තමයි අධ්‍යාපන කටයුතු විභාග සහ කාලසටහන් සම්බන්ධව තීන්දු තීරණ ගන්නේ.     

    අනෙක් ආයතනය කවුන්සිලය. එහි නියෝජනය සකස් වෙන්නේ, නිදර්ශනයක් ලෙස faculty හතරේ පීඨාධිපතිවරුන් 4 , කුලපති සහ උප කුලපති, සමඟ තවත් අධ්‍යයන කාර්ය මණ්ඩල සාමාජිකයන් 2ක් ලෙසින්. ඒ ප්‍රමාණයට එකක් වැඩිපුර, එනම් තවත් නව දෙනෙකු කවුන්සිලයට පත්කිරීමේ අවස්ථාව උසස් අධ්‍යාපන ඇමතිට තිබෙනවා. ඒ ඇමති විසින් පත්කරන පිරිසට අදාළ අවම අධ්‍යාපන සුදුසුකමක් හෝ නිර්දේශ කර නෑ. ඔන්න අපේ විශ්ව විද්‍යාල තුළ තත්වය.    

    ඒ වගේම තමයි උපකුලපති පත්කිරීම. මීට පෙර තිබුණේ උප කුලපති ලෙස ඕනෑම අයෙකුට අයදුම් කරන්න පුළුවන්. තනතුර සඳහා අයදුම් කරන අය කවුන්සිලයට presentation එකක් කල යුතුයි. පසුව කවුන්සිලයේ ජන්ද විමසීමක් කරනවා. එයින් පළමු තිදෙනා ගේ නම් විෂය භාර අමාත්‍යවරයාගේ අනුදැනුම මත ජනාධිපතිට යවනවා. ජනාධිපති තමයි පත්වීම සිදුකරන්නේ.    

    ගරු කතානායකතුමනි,    

    වෙනසක් කරන්න කියලා 2020 මැයි නිකුත් කල චක්‍ර ලේකයක් නිකුත් කළා. ඒ මොකක්ද ? කළින් විදියම තමයි, නමුත් මෙතැන ලකුනුදීමේ පටිපාටියක් සිදුවෙනවා. වැඩිම ලකුණු ගත්ත තිදෙනාගේ නම් ඇමති දැනුවත්ව ජනාධිපතිට යවනවා. ජනාධිපති කෙනෙක්ව නම් කරනවා. මෙතන වෙනස අර ලකුණු දීමේ පටිපාටිය.    

    ආණ්ඩුව දැන් වෙනසක් කළා කියන නිසා මම අහනවා, වැඩිම ලකුණු ගත්ත අයද දැන් විශ්ව විද්‍යාල වල උප කුලපති කර තිබෙන්නේ ? ජනාධිපතිට නම් තුන යවනකොට ලකුණුත් යැව්වද ? ඉල්ලුම් කල පාර්ශව අතරින් ඉහලම ලකුණු ගත්ත කෙනා නම් උප කුලපති කරන්නේ, නම් 3ක් යවන්නේ මොකටද ? කියලා.    

    වෙනසක් කිව්වට කිසිම වෙනසක් නෑ. මේ නිසා තමයි විශ්ව විද්‍යාල ස්වාධීන ආයතන ලෙස වර්ධනය නොවන්නේ. එකතැන පල්වෙන ස්වභාවයක් තියෙන්නේ. ගුණාත්මකභාවය අඩුවෙලා පිළිගැනීම නැතිවෙලා තියෙන්නේ.    

    දැන් 2021 අයවැය යෝජනා අතර තිබෙනවා නගර විශ්වවිද්‍යාල city university 4 ක් ඇතිකරන්න. ඒ හරහා කළුතර, අම්පාර, පුත්තලම, නුවරඑළිය දිස්ත්‍රික්ක වෙත විශ්ව විද්‍යාල 4ක් හදන්න රුපියල් මිලියන 1000ක් වෙන්කර තිබෙනවා. එක විශ්ව විද්‍යාලයක් ආණ්ඩුව හදන්න යන්නේ රුපියල් මිලියන 250 කින්ද ? නවීන තත්වයන්ට ගැලපෙන විශ්ව විද්‍යාලයක් හදන්න පුළුවන්ද රුපියල් මිලියන 250 කින් ?    

    විශ්ව විද්‍යාලයක් කියන්නේ ගොඩනැගිලි නෙවෙයි. භෞතික වගේම දියුණු මානව සම්පතක් ඊට දායක කළ යුතුයි.     අපි පිලිගන්නවා අධ්‍යාපනය සැපයීමේ අවස්ථා පුළුල් කරන්න ඕන. ඒ සඳහා විශ්ව විද්‍යාල වැඩිපුර අවශ්‍යයි.  ඒක පැහැදිළි අභියෝගයක්.  තනියම රජයකට කරන්න බෑ. දැන් ලෝකයේ ඉහල පිළිගැනීමක් ඇති විශ්ව විද්‍යාල අරගෙන බලන්න. ඒවා ඒ ඒ රටවල රජයේ විශ්ව විද්‍යාල පමණක්  නෙවෙයි. පෞද්ගලික සමාගම් සතු ඒවත් නෙවෙයි, රජයෙන් ස්වාධීන ලාභ කොටස් කරුවන්ට නොබෙදෙන, non profit විශ්ව විද්‍යාලයක්. trust එකක් හරහා තමයි ඒවා පාලනය වෙන්නේ. අපි ඒ ගැනත් සලකා බලන්න ඕන.     රාජ්‍ය – පෞද්ගලික කියලා බෙදීම නෙවෙයි වැදගත්.

    අධ්‍යාපනයේ ගුණාත්මක භාවය රැකගෙන අධ්‍යාපන අවස්ථා පුළුල් කිරීමයි විය යුත්තේ. කෝ ——–ඇමතිතුමා ඉන්නවද ? ප්‍රශ්නයක් තියනවා අහන්න. දැන් ඔබතුමා ගියේ පෞද්ගලික පාසලකට. මම ගියේ රජයේ පාසලකට. ඔබ පෞද්ගලික පාසලකට ගියා කියා මොකුත් අඩුවක් වුණාද ?  නිදහසේ පියා රටේ පළමු අග්‍රාමාත්‍යවරයා DS සේනානායක, අග්‍රාමාත්‍ය SWRD බණ්ඩාරනායක, අධ්‍යාපනය ලැබුවේ පෞද්ගලික පාසලක. මොකුත් අඩුවක් වුණාද ? නෑ නේද ?       

    දැන් ප්‍රශ්නයක් තියනවා අහන්න. මොකක්ද ආණ්ඩුවේ ප්‍රතිපත්තිය. සයිටම් ගෙනාවේ අපි නෙවෙයි, මහින්ද රාජපක්ෂ රජය. සයිටම් වහන්න කියලා පාරට බැස්සෙත් ඒ පාර්ශවයම. එස්.බී ඇමතිතුමා සාක්ෂිදරයි. අපිට දැන් ආණ්ඩුවෙන් අහන්න වෙනවා ඔබලා තවදුරටත් දරුවන් පාවාදෙනවද කියලා.     

    ලංකාවේ අනාගතය තිබෙන්නේ දැනුම් ආර්ථිකයක් තුළ. අපි දැක්කේ නෑ අයවැය තුල දැනුම් ආර්ථිකයක්, අධ්‍යාපන කේන්ද්‍රස්ථානයක් ගොඩනැගීම සම්බන්ධව කිසිවක් නෑ. මට පෙන්නේ මෙහි වටිනාකම ආණ්ඩුව තේරුම් අරගෙන නෑ.    ඒ නිසා අධ්‍යාපනය සම්බන්ධ විෂයේදී සරල, ලාභ පහසු දේ කරන්නන් වාලේ කිරීම නෙවෙයි වැදගත්. හොඳම දේ, හොඳම ප්‍රතිපත්තිය, ක්‍රියාවට නැංවීමයි වැදගත්.     

    ජනාධිපතිතුමා, අගමැතිතුමා, වගේම අපි ඕන කෙනෙක් තමන්ගේ දරුවට දෙන්න කැමති, හොඳම දේ නේද ?  අන්න ඒ නිසා අධ්‍යාපනය විෂයේ හොදම දේ, රටේම දරුවන්ට දීමයි සිදුකල යුත්තේ. රටේ දරුවන්ට අධ්‍යාපන සහතික දෙස බලා හඬාවැටෙන්න සිදුවන අනාගතයක් නම් එපා.
  • GCE O/L කල්දමන බව අධ්‍යාපන ඇමැති කියයි

    GCE O/L කල්දමන බව අධ්‍යාපන ඇමැති කියයි

    2021 ජනවාරි මස 18 වන දින ඇරඹීමට තිබු අපොස සාමාන්‍ය පෙළ විභාගය එදිනට ආරම්භ කිරීමට නොහැකි බව අධ්‍යාපන අමාත්‍ය ජී.එල් පීරීස් මහතා අද (01) පාර්ලිමේන්තුවේ දී සඳහන් කළේය.

    සාමාන්‍ය පෙළ විභාගය කල්දැමීමට හේතු වශයෙන් අධ්‍යාපන අමාත්‍යවරයා පෙන්වාදෙන්නේ පවතින තත්ත්වය යටතේ 11 ශ්‍රේණියේ ඉගෙනුම ලබන සිසුන්ගෙන් 50%ක් පමණ පිරිසකට මේ වන විට අධ්‍යාපන කටයුතු සිදුකිරීමට නොහැකි තත්ත්වයක් පවතින බවයි.

    අපොස සාමාන්‍ය පෙළ විභාගය සඳහා පෙනී සිටින දරුවන්ට එයට සුදානම් වීමට අවශ්‍ය කාලය ලබා දෙමින් සති 6කට පෙර විභාග දිනය ප්‍රකාශයට පත්කරන බව කී අධ්‍යාපන අමාත්‍යවරයා රට තුළ පවතින කොවිඩ් තත්ත්වය සති දෙකෙන් දෙකට විශ්ලේෂණය කර බලමින්, විභාගය පැවැත්වීමට ඇති ඉඩකඩ සොයා බලන බව ද සදහන් කළේය.

  • උද්ධමනය ඉහළට

    උද්ධමනය ඉහළට

    කොළඹ පාරිභෝගික මිල දර්ශකයෙහි (කො.පා.මි.ද., 2013=100) වාර්ෂික ලක්ෂ්‍යමය වෙනස මගින් මනිනු ලබන මතුපිට උද්ධමනය, 2020 ඔක්තෝබර් මාසයේ පැවති සියයට 4.0හි සිට 2020 නොවැම්බර් මාසයේ දී සියයට 4.1 දක්වා සුළු වශයෙන් ඉහළ ගියේය.

    ආහාර සහ ආහාර නොවන යන කාණ්ඩ දෙකෙහිම අයිතමවල මිල ගණන්හි සිදු වූ ඉහළ යෑම් මේ සඳහා හේතු විය. මේ අතර, ආහාර කාණ්ඩයෙහි වාර්ෂික ලක්ෂ්‍යමය උද්ධමනය 2020 ඔක්තෝබර් මාසයේ පැවති සියයට 10.0හි සිට 2020 නොවැම්බර් මාසයේ දී සියයට 10.3 දක්වා සුළු වශයෙන් ඉහළ ගිය ගියේය. ආහාර නොවන කාණ්ඩයෙහි වාර්ෂික ලක්ෂ්‍යමය උද්ධමනය ද 2020 ඔක්තෝබර් මාසයේ පැවති සියයට 1.3හි සිට 2020 නොවැම්බර් මාසයේ දී සියයට 1.6 දක්වා සුළු වශයෙන් ඉහළ ගියේය.

    වාර්ෂික සාමාන්‍ය පදනම මත මනිනු ලබන කො.පා.මි දර්ශකයෙහි වෙනස 2020 නොවැම්බර් මාසයේ දී සියයට 4.6හි නොවෙනස්ව පැවතුණි.

    2020 නොවැම්බර් මාසයේ දී කො.පා.මි. දර්ශකයෙහි මාසික වෙනස සියයට 0.4ක් ලෙස වාර්තා විය. ආහාර සහ ආහාර නොවන යන කාණ්ඩ දෙකෙහිම අයිතමවල මිල ගණන්හි සිදු වූ ඉහළ යෑම් මේ සඳහා හේතු විය. ඒ අනුව, 2020 නොවැම්බර් මාසයේ දී ආහාර කාණ්ඩයෙහි ලොකු ළූණු, රතු ළූණු සහ අර්තාපල් මිල ගණන් ඉහළ ගියේය. එසේ වුවද, මාසය තුළ දී පළතුරු, සහ නැවුම් මත්ස්‍ය මිල ගණන්හි පහළ යෑමක් වාර්තා විය. මේ අතර, ප්‍රධාන වශයෙන්, ප්‍රවාහන (බස් ගාස්තු) උපකාණ්ඩයෙහි දක්නට ලැබුණු මිල ඉහළ යෑම් හේතුවෙන්, ආහාර නොවන කාණ්ඩයෙහි අයිතමවල මිල ගණන්හි ඉහළ යෑමක් 2020 නොවැම්බර් මාසයේ දී වාර්තා විය.

    ආර්ථිකයෙහි යටිදැරි උද්ධමනය නිරූපණය කරන වාර්ෂික ලක්ෂ්‍යමය මූලික උද්ධමනය, 2020 නොවැම්බර් මාසයේ දී සියයට 3.0හි නොවෙනස්ව පැවතුණි. එසේ වුවද, වාර්ෂික සාමාන්‍ය මූලික උද්ධමනය 2020 ඔක්තෝබර් මාසයේ දී පැවති සියයට 3.4හි සිට 2020 නොවැම්බර් මාසයේ දී සියයට 3.2 දක්වා පහළ ගියේය.

  • මහර සිරකරු ඝාතනය: වැරදිකරුවන් කවුද ?

    මහර සිරකරු ඝාතනය: වැරදිකරුවන් කවුද ?

    මිනුවන්ගොඩ ඇඟලුම් කම්හලෙන් සම්ප්‍රේෂණය වීමට පටන් ගත් කොරෝනා දෙවන රැල්ල ආරම්භයත් සමග බන්ධනාගාර අශ්‍රිතවද කොරෝනා රෝගීන් හමුවිය. ඒ සමඟම දිවයිනේ විවිධ ප්‍රදේශයන් හි බන්ධනාගාර රැඳවියන් වහල මත නැගී පසුගිය සතියේ උද්ඝෝෂණ දියත් කළහ.

    පවතින කොරෝනා වසංගත තත්ත්වය යටතේ උසාවි ක්‍රියාමාර්ග ඉක්මන් කිරීම, ඇප ලබාදිය හැකි අයට ඇප ලබාදීම, සිව්වස් සමාලෝචනය කිරීම යන ඉල්ලීම් හා තමන්ට අවශ්‍ය මූලික ආහාර පාන හා මූලික පහසුකම් ලබාදෙන ලෙස ඔවුහු ඉල්ලා සිටියහ.

    මහර බන්ධනාගාරයේ රැඳවියන් පිරිසකට කොරෝනා වෛරසය ආසාදනය වීමත් සමඟ තවත් රැඳවියන් පිරිසක් බන්ධනාගාරයෙන් පළායාමට උත්සාහ දැරීමේ සිද්ධියක් මුල්කර ගනිමින් ඉරිදා (නොවැම්බර් 29) දහවල් මෙම නොසන්සුන්කාරී තත්ත්වය හටගත් බවට පොලිස් ප්‍රකාශක නියෝජ්‍ය පොලිස්පති අජිත් රෝහණ බීබීසී සිංහල සේවයට පැවසීය.

    ඉරිදා පස්වරුව වන විට මෙය ගැටුමක් දක්වා දුරදිග ගිය බවත් අනතුරුව තත්ත්වය පාලනය කිරීම සඳහා බන්ධනාගාර නිලධාරීන් අවම බලය පාවිච්චි කර ඇති අතර එහිදී වෙඩි ප්‍රහාර කිහිපයක් ද එල්ල කර තිබෙන බවත් ඔහු පැවසීය.

    බන්ධනාගාරය ඉදිරිපස රැස්වූ ඥාතීන්

    ඇති වූ නොසන්සුන්කාරී තත්ත්වය පාලනය කිරීම සඳහා පොලිස් විශේෂ කාර්ය බලකාය කැඳවීමට ද පියවර ගත් බවත් බන්ධනාගාරයෙන් පිටත ආරක්ෂාව තර කිරීමට කැලණිය සහ රාගම පොලිස් ස්ථාන මගින් ද පොලිස් කණ්ඩායම් 5 ක් යෙදවීමට පොලිසිය පියවර ගත් බවත් නියෝජ්‍ය පොලිස්පතිවරයා පැවසීය.

    මහර බන්ධනාගාරය තුළ ඇති වූ නොසන්සුන්කාරී තත්ත්වය හේතුවෙන් මියගිය පුද්ගලයින් අට දෙනෙකුගේ මළසිරුරු මේ වන විට රාගම රෝහලට රැගෙනවිත් තිබෙන බවත් සිද්ධියෙන් තුවාල ලැබූ 58 දෙනෙකු ප්‍රතිකාර සඳහා රෝහල් ගතකර ඇති බව රාගම රෝහලේ අධ්‍යක්ෂ වෛද්‍ය ෂෙල්ටන් පෙරේරා මාධ්‍ය වෙත පැවසීය.

    බන්ධනාගාර නිලධාරියෙකු බීබීසී සිංහල සේවයට පැවසුවේ රාත්‍රීය වන විට සිරකරුවන් බන්ධනාගාරයේ සෞඛ්‍ය කාර්යාලයට, ගබඩාවකට සහ තවත් ස්ථාන කිහිපයකට ගිනි තබා තිබූ බවය.

    මහර බන්ධනාගාරයේ හටගත් ගින්න
    මහර බන්ධනාගාරයේ හටගත් ගින්න

    ගින්න පාලනය කිරීම සඳහා ගිනි නිවීමේ රථ 6 ක් යෙදවීමටද පියවර ගත් අතර ගින්න අද උදැසන වනතුරුත් පැවති බවට ගිනි නිවීමේ දෙපාර්තමේන්තුවේ නිලධාරියෙක් සඳහන් කළේය. ඔහු සඳහන් කළේ මේ වන විට ගින්න සම්පූර්ණයෙන්ම මැඩපවත්වා ඇති බවය.

    බන්ධනාගාර ප්‍රතිසංස්කරණ රාජ්‍ය අමාත්‍යවරයාගේ ප්‍රධානත්වයෙන් මහර බන්ධනාගාරයේ ඇති වූ සිද්ධිය සම්බන්ධයෙන් සොයා බැලීම සඳහා කමිටුවක් පත්කර ඇති බව විෂය භාර රාජ්‍ය ඇමතිනී සුදර්ශනී ප්‍රනාන්දුපුල්ලේ සඳහන් කළාය.

    සිරකරු අයිතිවාසිකම් සුරැකීමේ කමිටුවේ ප්‍රධාන ලේකම් සුදේශ් නන්දිමාල් ද සිල්වා විසින් මාධ්‍ය වෙත වීඩියෝවක් නිකුත්කරමින්, මහර බන්ධනාගාරයේ පාලකයින් රැඳවියන්ට අමානුෂික ආකාරයෙන් සැලකු බවට චෝදනා කර සිටියි.

    “කොරෝනා දෙවෙනි රැල්ලත් එක්කම රැඳවියන්ට ඉතාමත් අමානුෂික විදිහට තමයි ඒ නිලධාරීන් සැලකුවේ. ඔවුන්ට ආහාරපාන වත් නිසි ආකාරව ලබාදෙන්නේ නෑ. ඒ විතරක් නෙමෙයි ඔවුනට බෙහෙත් හේත් වත් නිසි ආකාරයෙන් ලබාදෙන්නේ නෑ. ඒ වගේම ඔවුන්ව නිතරම විශාල වද හිංසන වලට ලක් කරනවා. පහර දීම නිතර නිතර මහර බන්ධනාගාරය තුළ සිද්ද වෙනවා. මෙවැනි රැඳවියන්ට ඉතාමත් ම අමානුෂිකව සලකන, තිරිසනුන්ට වගේ සලකන බන්ධනාගාරයක් තමයි මහර බන්ධනාගාරය,” යනුවෙන් සුදේශ් නන්දිමාල් ද සිල්වා පැවසීය.

    ඔහු පැවසුවේ මහර බන්ධනාගාරයේ පාලකයින් මෙලෙස එකදිගටම ක්‍රියාත්මක කළ පීඩනය දරාගත නොහැකිව සිටි රැඳවියන් පිරිසක් ඉරිදා දිනයේ වහලක් මත නැඟ උද්ඝෝෂණයක් කර ඇති අතර එයට පිළිතුරු ලෙස ඔවුන්ට වෙඩි උණ්ඩවලින් ප්‍රතිචාර එල්ල වූ බවත් එසේ රැඳවියන් කුපිත කිරීම නිසා මහර බන්ධනාගාරයේ බරපතල අවුලක් හටගත් බවය.

    බන්ධනාගාරය ඉදිරිපස රැස්වූ ඥාතීන්

    මේ වන විට බන්ධනාගාර ආශ්‍රිතව 1091 කට කොරෝනා වෛරසය ආසාදනය වී ඇතැයි වාර්තාවන අතර මෙයින් 1033 ක් රැඳවියන් වන අතර 58 දෙනෙක් බන්ධනාගාර නිලධාරීන් වේ. ඔවුන් අතරින් දෙදෙනකු මියගොස් ඇත.

    දිවයිනේ විවිධ ප්‍රදේශවල බන්ධනාගාර පහකින් මෙම සිද්ධීන් මේ වන විට අනාවරණය වේ.

    ශ්‍රී ලංකා බන්ධනාගාරවල අධික තදබදයක් ඇති අතර රැඳවියන් 26,000 කට වැඩි ප්‍රමාණයක් අඩු පහසුකම් සහිත මෙම බන්ධනාගාරවල පිරී ඇති බව සිරකරු අයිතිවාසිකම් සුරැකීමේ කමිටුවේ සභාපති, නීතිඥ සේනක පෙරේරා පැවසීය.

    ඔහු පවසන්නේ මහර බන්ධනාගාරය තුළ පහසුකම පවතින්නේ සිරකරුවන් 1000 ක් පමණ රැඳවීමට පමණක් වුවත්, මේ වන විට එහි රැඳවියන් 2300 ක් පමණ සිටින බවය. ඔහු තවදුරටත් පැවසුවේ ඉරිදා උදේ රැඳවියන් 200 කට පමණ පිරිසකට කොරෝනා වෛරසය ආසාදනය වී ඇතැයි වාර්තාවීමත් සමග මෙම නොසන්සුන්තාව හටගත් බවය.

    පසුගිය මාසයේ සිට ශ්‍රී ලංකාව කොරෝනා රෝගයේ නැවුම් ප්‍රභේදයක් මිනුවන්ගොඩ බ්‍රැන්ඩික්ස් ඇඟලුම් කම්හල ආශ්‍රිතව වර්ධනය වූ අතර ඒ මගින් පොකුරු දෙකක්; එකක් ඇඟලුම් කම්හලක් කේන්ද්‍ර කර ගෙනත් අනෙක පෑලියගොඩ මාළු වෙළඳපොළේ ආශ්‍රිතයන්ගෙන් සම්ප්‍රේෂණය වීම ආරම්භ විය.

    ඒ සමගම පොලිස් නිලධාරීන් සහ බන්ධනාගාර ආශ්‍රිතව මෙම රෝගය මේ වන විට පැතිරයමින් පවතී.

    පොකුරු දෙකෙන් තහවුරු වූ සිද්ධීන් නොවැම්බර් 29 වන ඉරිදා වන විට 19946 දක්වා වර්ධනය වී තිබිණ. මාර්තු මාසයේ සිට ශ්‍රී ලංකාවේ සමස්ත රෝගීන් සංඛ්‍යාව 23,484 කි. ශ්‍රී ලංකාව තුළ කෝවිඩ් 19 ආසාදිතයින් 116 දෙනකු මේ වන විට මරණයට පත් වී ඇත.

    සිරකරුවන්ගේ අයිතිවාසිකම් ආරක්ෂා කිරීමේ කමිටුවේ සභාපති නිතීඥ සේනක පෙරේරා බීබීසී සිංහල සේවය සමඟ කියා සිටියේ කොරෝනා අසාදිත රැදවියන් විශාල පරිසක් හමුවීමත් සමඟ ඔවුන් අනෙක් රැඳවියන්ගෙන් වෙන්කර තබන ලෙසට කළ ඉල්ලීමට ප්‍රතිචාර වශයෙන් බන්ධනාගාර නිලධාරීන් විසින් මෙලෙස වෙඩි තබා ඇති බවය.

    “නිලධාරීන් මිනිස්සුන්ට කන් දෙන්න ඕන ඒත් මේ අවාසනාවන්ත තත්ත්වය ඇතිවෙලා තියෙන්නේ නිලධාරීන් කන්දෙන්නේ නැතිව ක්‍රියා කළ නිසයි. දැන් ඉතින් රැඳවියන් ගිනිතිබ්බා, ගැහුවා කලහකරිව හැසුරුනා කියල වැඩක් නෑ. විරෝධතාවය වෙනත් මුහුණුවරක් අරගෙන තියෙනවා,” යනුවෙන් නිතීඥ සේනක පෙරේරා පැවසීය.

    මේ විරෝධතා ඇතිවෙන්නේ නිසි කොරෝනා පාලන ක්‍රමවේදයක් බන්ධනාගාර තුළ නොමැති කම නිසා කොරෝනා වෛරසය බන්ධනාගාර තුළ ඉතා සීග්‍රයෙන් පැතිර යාම නිසා බවත් පවතින කොරෝනා වසංගත තත්වය තුළ පිටතින් අහාර පාන රැදවියන්ට නොලැබෙන තත්වයක් තුළ ඔවුන්ට බන්ධනාගාර තුළ ආහාරපාන හිඟකම නිසා බවත් ඔහු පැවසීය.

    “ඔක්කොම තුවක්කුවට වෙඩිල්ලට කරන්න පුළුවන් කියල හිතන එක වැරදියි. අද මේක බන්ධනාගාර ඇතුළේ සිද්ද වුනාට මේක එළියටත් එනවා. මේක භයානක පෙරනිමිත්තක්. මේ කසකාරයෙක් විතරයි මේක එලියට එන්න වැඩිකාලයක් ගතවෙන්නේ නෑ,” යනුවෙන් නිතීඥ සේනක පෙරේරා වැඩිදුරටත් පැවසීය.

    බී.බී.සී සන්දේශය වාර්තාවක් ඇසුරිණි

  • රනිල්ට සිදුවූයේ කුමක්ද ? – වික්ටර් අයිවන්ගේ සුපිරි විග්‍රහය

    රනිල්ට සිදුවූයේ කුමක්ද ? – වික්ටර් අයිවන්ගේ සුපිරි විග්‍රහය

    මට පෙනෙන ආකාරයට පරණ දේශපාලන නායකයන්ට හා එම පක්ෂවලට තිබෙන පිළිගැනීම අහිමි කිරීමේ ක්‍රියාදාමයද ලංකාවේ පරණ යුගය අවසන් කිරීම සඳහා ඉතිහාසය විසින් ක්‍රියාවට නගා තිබෙන ඓතිහාසික ක්‍රියාදාමයට ඇතුළත් දෙයක් ලෙස සැලකිය හැකිය. එජාප නායක රනිල් වික්‍රමසිංහට හා එම පක්ෂයට තිබූ පිළිගැනීම බිඳ වැටීමද එම ක්‍රියාදාමයේම ඵලයක් ලෙස සැලකිය හැකිය.

    එජාපයට හා එහි නායක රනිල් වික්‍රමසිංහට එම තත්ත්වය උදා කිරීමට දායක වූ සමගි ජන බලවේගය යම් තරමක පාර්ලිමේන්තු නියෝජනයක් හිමිකර ගැනීමට සමත්ව ඇතත්, බලවත් විකල්ප බලවේගයක් ලෙස ස්ථාපිතවීමට සමත් වී නැත. ඒ අර්ථයෙන් සිදුවූ බව පෙනෙන්නේ සංකේතාත්මක අර්ථයෙන් එජා පක්ෂයේ දේශපාලන ව්‍යාපාරය අවසන් වූ බවය.

    පවුල් බලය

    එජාප පරණකමින් දෙවැනි වනුයේ ලංකා සමසමාජ පක්ෂයට පමණය. නිදහසින් පසු ගෙවී ගොස් තිබෙන කාලයෙන් නැතහොත් යුගයෙන් අඩකට ආසන්න කාලයක් එම පක්ෂය රට විටින් විට පාලනය කර තිබෙන අතර මේ රට හිමිකරගෙන තිබෙන පරාජයන් හා ජයග්‍රහණයන් කෙරෙන් එම පක්ෂයද ශ්‍රීලනිප සමග හරි හරියට වගකිව යුතුය. එජාප ලංකාවේ සියලු පක්ෂ අතර තිබුණු විශාලතම පක්ෂය ලෙසද සැලකිය හැකිය.

    දේශපාලනයේ පවුල් බලය ගැන කතා කරන විට දැන් වැඩි වශයෙන් කතා කෙරෙන්නේ රාජපක්ෂ පවුල ගැනය. එහෙත් එජාපයද ඥාතිකමෙන් එකට බැඳුණු ඉතා බලවත් පවුල් කාටලයක් මත ගොඩ නගා පවත්වාගෙන ගිය පක්ෂයක් ලෙස සැලකිය හැකිය. එම පවුල් කාටලයේ ප්‍රබලයන් බි්‍රතාන්‍ය පාලන කාලයේදී අරක්කු වෙළෙඳාමද ඇතුළු විවිධ වාණිජ ව්‍යාපාර මගින් ධනවත් බවට පත්වූ හා ඒ මගින් ප්‍රභූ තත්ත්වයක් හිමි කරගත් පවුල් කණ්ඩායමක් ලෙස සැලකිය හැකිය. එජාප ආණ්ඩු කෙරුණු කාලයේදී පවා එය සැලකුණේ ‘මාමලාගේ බෑනලාගේ’ පක්ෂය වශයෙනි.

    බණ්ඩාරනායක එම පක්ෂය අතහැර ගියේ තමාට කොතරම් සුදුසුකම් තිබුණත් එම පක්ෂයේ නායකයාවීමට ඉඩක් නැතැයි කියන විශ්වාසය නිසාය. බණ්ඩාරනායක ඝාතනයෙන් පසුව බණ්ඩාරනායකගේ වැන්දඹු බිරිඳ ශ්‍රීලනිපය ගොඩ නගන ලද්දේ එම පවුලට හිමි බූදලයක් ලෙස සලකාය. 1977 මැතිවරණයේදී එජාප අගමැතිනි සිරිමා බණ්ඩාරනායකගේ පවුල හඳුන්වන ලද්දේ පවුල් ගසක් ලෙසය. ඒ සඳහා කාටූන් පොතක්ද පළකර තිබුණි.
    රාජපක්ෂවරුන් දේශපාලනයේදී පවුල් බලයට ලැබෙන වැදගත්කම ඉගෙන ගන්නට ඇත්තේ සේනානායකවරුන්ගෙන්, ජයවර්ධනවරුන්ගෙන් හා සිරිමා බණ්ඩාරනායකගෙනි. අවසානයේ එම විෂයෙහි කෙළ පැමිණි අය බවට පත්වූයේද රාජපක්ෂවරුන්ය.

    ජේ.ආර්. ජයවර්ධන

    තමන්ට රකින්නට කුමාර කුමාරිකාවන් නැති බව 1977 මැතිවරණ කාලයේදී ජේ.ආර්. ජයවර්ධන කීවද ඔහුද පවුලේ බලය ගැන ලොකු සංවේදීතාවක් පෙන්නුම් කළ නායකයෙකි. 1977දී අනාගත නායකයන් සඳහා පෝලිම සකස් කිරීමේදී ඒ වන විට ඉතාමත් තරුණ වියේ පසුවූ තම පවුලේ වැදගත් පුරුකක් වූ රනිල් වික්‍රමසිංහ පෝලිමේ වැදගත් තැනක තබන්නට ඔහු අමතක නොකළේය.

    ජනාධිපති ජයවර්ධන රනිල්ට විදේශ නියෝජ්‍ය ඇමතිකම දී, ඉන්පසු පළමු කැබිනට් මණ්ඩල සංශෝධනයේදීම කැබිනට් ඇමති ධුරයකට පත් කරන ලදි. පවුලේ උරුමය අනුව තමන්ගෙන් පසුව පක්ෂ නායකත්වය රනිල්ට ලැබිය යුතු යැයි ජනාධිපති ජයවර්ධනගේ අපේක්ෂාව වූවා විය හැකිය. ජනාධිපති රණසිංහ ප්‍රේමදාස, ලලිත් ඇතුලත්මුදලි හා ගාමිණී දිසානායක ඝාතනයට ලක්වීමෙන් පසුව බලවත් අභියෝගයකින් තොරව පක්ෂ නායකත්වය හිමිකර ගැනීමට රනිල් සමත් විය. ජයවර්ධන හා ප්‍රේමදාස යන නායකයන් දෙදෙනාම පක්ෂය පාලනය කළේ ගණන්කාර නායකයන් සිය කණ්ඩායම පාලනය කරන ආකාරයටය. ඒ මගින් පක්ෂ නායකයා කෙරෙහි වන උපරිම බය පක්ෂපාතීත්වයක් පක්ෂය තුළ පවත්වාගෙන යාමට එම නායකයෝ දෙපළ සමත් වූහ.

    රනිල්ගේ සීමිතකම්

    එහෙත් පූර්වගාමී නායකයන් දෙදෙනාට තිබූ ගණන්කාර උරුමය රනිල්ට තිබුණේ නැත. රනිල් වැනි නායකයකු එම තත්ත්වය ලබාගත යුතුව තිබුණේ පක්ෂයේ වැඩවසම් ස්වරූපය වෙනස් කොට ප්‍රජාතන්ත්‍රවාදී කිරීමෙනි. ඒ සඳහා අවශ්‍ය කරන දැනුම ඕනෑවටත් වඩා රනිල්ට තිබුණද, පක්ෂය ප්‍රජාතන්ත්‍රවාදී කොට ප්‍රජාතන්ත්‍රවාදී නායකයකු ලෙස ස්ථාපිත වීමට රනිල් කැමැත්තක් දැක්වූයේ නැත. ඒ වෙනුවට පක්ෂය ව්‍යවස්ථාවේ ඒකාධිපති ස්වරූපය වර්ධනය කරගනිමින් පක්ෂයට ඒකාධිපති නායකයකු වෙමින් රටට ප්‍රජාතන්ත්‍රවාදී නායකයෙක් වීමට උත්සාහ කෙළේය.

    ජනාධිපති ජයවර්ධන අතින් එජාප ශක්තිමත් කිරීමක් සිදුවූවා සේ ම පක්ෂය උපරිම මට්ටමකට දූෂිත කිරීමක්ද සිදුවිය. පක්ෂ අරමුදල් හා මැතිවරණ අරමුදල් සඳහා රටේ තිබුණු නීති අහෝසි කිරීම නිසා එජාපයද කළු සල්ලිවලින් යැපෙන පක්ෂයක් බවට පත්ව තිබුණි. මන්ත්‍රීවරුන් සඳහා පැවති රටේ නීතියටත්, ලෝකයේ පැවති පිළිගත් සදාචාරයටත් පටහැනි ලෙස මන්ත්‍රීවරුන්ට ආණ්ඩුව සමග ව්‍යාපාර කරන්නට ඉඩදීම නිසා පක්ෂය පමණක් නොව, පාර්ලිමේන්තුව හා මුළු දේශපාලන ක්‍රමයම දූෂණයෙන් කුණුවූ තත්ත්වයකට පත්ව තිබුණි.

    ජනාධිපති ජයවර්ධන විසින් වස්තු කොල්ලය රාජ්‍ය පාලනයේ නිත්‍ය ලක්ෂණයක් බවට පත් කොට තිබුණි. දූෂණය ලංකාව විනාශය කරා යන ගමන කෙරෙහි බලපෑ ප්‍රධාන ලක්ෂණයක් ලෙස සැලකිය හැකිය. රනිල්ට ලංකාව මුදා ගැනීමට අවංක වුවමනාවක් වී නම් දූෂණයෙන් රට මුදා ගන්නට පෙර දූෂණයෙන් පක්ෂය මුදාගත යුතුව තිබුණි. මොන හේතුවක් නිසා හෝ ඒ සඳහා වන අභිලාෂයක් රනිල්ට නොතිබුණි. ඒ මගින් රනිල් අවශ්‍ය තරම් දැනුම තිබියදී ශ්‍රී ලංකාව සඳහා වන අව්‍යාජ ප්‍රතිසංස්කරණ වැඩසටහනක් වෙනුවෙන් පෙනී සිටීමට තිබෙන හැකියාව අහිමි කර ගත්තේය. ඔහු 2001 පාර්ලිමේන්තු බලය ලබාගන්නා විට අධිකරණය දූෂණයෙන් වෙලාගෙන තිබුණු බව හොඳටම දැන සිටියේය. එහෙත් ඒ තත්ත්වය වෙනස් කිරීමට අවශ්‍ය තරම් බලය තිබුණත්, ඒ තත්ත්වය ගල් ගැසෙන්නට ඉඩ හැර බලා සිටියා මිස ඵලදායී කිසිවක් නොකළේය.

    උගුලට අසුවීම

    නූතන අර්ථයෙන් ලංකාව පරිණත දේශපාලන නායකයන් බිහිකළ රටක් ලෙස සැලකිය නොහැකිය. එසේ වුවත් රනිල් සමකාලීන දේශපාලකයන් අතර සිටි වැඩිම දැනුමක් හා පළපුරුද්දක් තිබූ නායකයා ලෙස සැලකිය හැකිය.

    රනිල් සැලකෙන්නේ දේශපාලනයේදී හොඳ උගුල් අටවන්නෙකු ලෙසය. අවසානයේදී ඔහු දේශපාලන වශයෙන් නැතිභංග වූයේද ඔහුට එරෙහිව අටවන ලද උගුලකට හසුවීමෙනි. මම යහපාලන වැඩසටහන එහි ආරම්භයේ සිටම දැක්කේ මහින්ද රාජපක්ෂ පමණක් නොව රනිල් වික්‍රමසිංහද පරාජය කොට තුන්වැනි පිරිසක් තමන් වෙත අනියම් ලෙස බලය ලබා ගැනීමේ අරමුණින් සෝභිත හිමියන්ගේ නාමයද යොදාගෙන ක්‍රියාවට නගමින් තිබුණු සටකපට වැඩසටහනක් ලෙසය. මා ඒ ගැන ඒ කාලයේ ප්‍රසිද්ධියේ කතා කර තිබෙනවා සේ ම ලියාද ඇත්තෙමි.

    පොදු අපේක්ෂකයකු අවශ්‍ය යැයි කියන තර්කය යොදාගෙන තිබුණේ මහින්ද රාජපක්ෂ වැනි බලවත් නායකයකු, පරාජය කිරීමේ ශක්තිය රනිල්ට නැතැයි කියන තර්කය සනාථ කිරීම සඳහාය. එහෙත් 2005දී මහින්ද සමග තරග කොට රනිල් පරාජය වූයේ ප්‍රභාකරන්ගේ මැතිවරණ වර්ජනය නිසාය. එජාපයට සිටින සුදුසුම අපේක්ෂකයා රනිල් නොවේ නම් සුදුසු අපේක්ෂකයකු සොයා ගත යුතුව තිබුණේ එම පක්ෂයෙන් මිස පිටස්තරින් නොවේ. එම පක්ෂයේ ජන බලයෙන් පිටස්තරයකු බලයට ගෙනාවිට බරපතළ අවුල් ඇතිවීම නොවැළැක්විය හැකිය. අනෙක් අතට එය එම පක්ෂයට කරන ලොකු අසාධාරණයක්ද වන්නේය. අනෙක් අතට පිටස්තරින් බලයට ගේන පුද්ගලයා තමන්ට ලැබෙන අතිවිශාල බලය වැරදි ලෙස යොදා ගතහොත් එය පාලනය කිරීමට ක්‍රමයක් තිබිය යුතු වුවත් එවැන්නක් එම වැඩසටහනට ඇතුළත්ව තිබුණේ නැත. එම සූත්‍රය සමග ඉදිරිපත් කර තිබූ ප්‍රතිසංස්කරණ වැඩසටහනද රටට අවශ්‍ය වී තිබූ සැබෑ ප්‍රතිසංස්කරණ අවශ්‍යතා නොසලකා සකස් කරන ලද බොරු ප්‍රතිසංස්කරණ වැඩසටහනක් ලෙසද සැලකිය හැකිය.

    මා මෙම වැඩසටහනේ භයානකත්වය ගැන මා දරන අදහස් රනිල් සමග කතා කළෙමි. ඒ වනවිට පොදු අපේක්ෂකයා ලෙස මෛත්‍රීපාල සිරිසේන තෝරාගෙන නොතිබුණි. එජාප ජනාධිපතිවරණයට අපේක්ෂකයකු ඉදිරිපත් කරන බව ප්‍රකාශ කළ හැකිනම් එවිට පොදු අපේක්ෂකයා පිළිබඳ සිහිනය බිඳ වැටි එජාපයට තරග කිරීමේ අවස්ථාව ලැබෙනු ඇති බවත් මුලදී සුළු සුළු ප්‍රශ්න ඇතිවිය හැකි වුවත් පසුව සියලුම මහින්ද විරෝධීන් එජාප අපේක්ෂකයාට සහාය දෙනු ඇති බවත් මම කීවෙමි. රනිල් මගේ අදහස්වලට සවන් දුන්නා පමණක් නොව ඒවා පිළිගන්නා බවද කීවේය.

    ඉන්පසු මම කරු ජයසූරිය මහතාද හමුවී පොදු අපේක්ෂකයකු පිළිබඳ වැඩසටහනේ පංගුකාරයෙකු වීම ගැන ඔහුට දොස් කියමින්ම එය ඇති කළ හැකි බිහිසුණු ප්‍රතිඵල ගැන කරුණු පැහැදිලි කිරීමක්ද කළේය. ඉන්පසු මා සෝභිත හිමියන්ද හමුවී ඒ ගැන කතා කළෙමි. උන්වහන්සේ හමුවන්ට ගිය ගමනට මනෝ තිත්තවැල්ල හා සුමතිපාල කාරියවසම්ද සහභාගි වූහ. මහින්ද රාජපක්ෂ පරාජය කිරීමට අවශ්‍ය නම් එය විධිමත් ක්‍රමයකට මිස, අවිධිමත් ක්‍රමයකට කරන්නට යාමෙන් විනාශකාරී ප්‍රතිඵල ඇති කිරීමට හේතුවිය හැකි බව මම කීවෙ.

    රනිල් අවසානයේ මෛත්‍රීපාල සිරිසේනට කැමති වූයේ ඔහු වෙනුවෙන් චන්ද්‍රිකා දෙන ලද සහතිකය නිසාය. චන්ද්‍රිකාගේ අනුග්‍රහය නිසා යහපාලන වැඩසටහන පිටුපස සිටින රනිල් විරෝධීන්ට මෛත්‍රීපාල සමග ලොකු ගනුදෙනුවකට යන්නට ඉඩ නොලැබෙනු ඇතැයි රනිල් විශ්වාස කළේය. අවසානයේ රනිල් යහපාලන උගුලේ ගැලවිය නොහැකි හිරකාරයකු බවට පත්විය.

    2015 ජනාධිපතිවරණයට රනිල් තරග කළේ නම් ළඟ ළඟ තරගයකින් රනිල් ජයගන්නට ඉඩ තිබුණි. ඒ නිසා රටට ලොකු විමුක්තියක් උදාවනු ඇතැයි මා විශ්වාස කරන්නේ නැතත්, එසේ වී නම් රට විනාශය කරා යන ගමන මේ තරම් වේගවත් නොවන්නට ඉඩ තිබුණි.

    වැරදුණේ කොතැනද

    එසේම දැන් ඇතිවී තිබෙන මහා විනාශයට වර්තමාන පාලකයින් පමණක් නොව පෙර පාලකයින් ද හරිහරියට වගකිව යුතුය. යහපාලනයට සම්බන්ධ සියලු නායකයෝ දැන හෝ නොදැන ලංකාවේ ප්‍රතිසංස්කරණ අවශ්‍යතාවන්ට වංචා කළෝය. එම ප්‍රතිසංස්කරණ අවශ්‍යතා සකස් වී තිබුණේ මෝඩ ලෙස වුවත් අවශ්‍ය වෙනස්කම් දිනාගැනීමට දරන උත්සහයන් නිසා ජීවිත පූජා කළ දස දහස් ගණනකගේ ලේවලින් සහ ඒ වෙනුවෙන් පීඩාවට පත් ලක්ෂ සංඛ්‍යාත ජනතාවගේ දාඩිය සහ කඳුළුවලිනි.

    බොහොමයක් ප්‍රතිසංස්කරණ ආපසු හරවා තිබෙනුයේ පුංචි සවලකින් ගලවා වීසි කෙරෙන ආකාරයටය. ඒවා ශක්තිමත් අතිවාරමක් නැතිව දඩි බිඩියේ වැල්ලේ තනන ලද ප්‍රතිසංස්කරණ බව පැහැදිලිව පෙනේ. අධිකරණය තිබුණේ හොඳටම ජරාජීර්ණ වූ තත්ත්වයකය. එම තත්ත්වය නිවැරදි කිරීම සඳහා වන කිසිම නිවැරදි දැක්මක් එම ආණ්ඩුවට නොතිබුණු අතර ස්වාධීන කොමිෂන් සභා ක්‍රමය විසින් අධිකරණය පිරිසිදු කරදෙනු ඇතැයි මෝඩ ලෙස විශ්වාස කළේය. රනිල් වික්‍රමසිංහ අගමැති ධුරයෙන් පහකිරීම වළකන අධිකරණ තීන්දුව සලකන ලද්දේ අධිකරණය හිමිකරගෙන තිබුණ ප්‍රගතිය අති විශාල ප්‍රගතිය පෙන්නුම් කරන වැදගත් මාපකයක් වශයෙනි. එවැනි තීන්දුවක් ලැබුණේ පොදුවේ අධිකරණය දියුණු තත්ත්වයක තිබුණ නිසා නොව විශ්‍රාම යාමට සිටි අගවිනිසුරුවරයාට ඊට පෙර එම විෂයෙහි යුක්තිය ඉටුකිරීමේ බලවත් අධ්‍යාශයක් තුබුණ නිසාය. ඉන් පසුත් අධිකරණය තුළ සිදු නොවිය යුතු බොහෝ දේවල් සිදුවිය. ඒවා ගැන කිසිදු සොයා බැලීමක් සිදු නොවීය. දැන් ලංකාව එම විෂයේදී සිටින්නේ අගාධයේ පතුළටම ගිය තත්ත්වයකය. ■

    2020 නොවැම්බර් 29 රාවය ඊ පුවත්පත ඇසුරිණි

  • ඉතිහාසයේ ප්‍රථම වරට කැබිනට් මණ්ඩල රැස්වීම ‘වීඩියෝ තාක්ෂණයෙන්’

    ඉතිහාසයේ ප්‍රථම වරට කැබිනට් මණ්ඩල රැස්වීම ‘වීඩියෝ තාක්ෂණයෙන්’

    ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා ජනාධිපති කාර්යාලයේ සිට සහ අමාත්‍යවරු සිය කාර්යාලවල සිට ඊට එක් වූහ. රැස්වීම සාර්ථකව සිදු විය.

    කොවිඩ් වසංගතය පමණක් නොව කාර්යක්ෂමතාව, පහසුව, කාලය සහ වියදම ඉතිරි කර ගැනීම සැලකිල්ලට ගනිමින් වීඩියෝ කැබිනට් මණ්ඩල රැස්වීම සංවිධාන කෙරිණ.

    නව තාක්ෂණය හඳුන්වා දීමට, භාවිත කිරීමට සහ හුරුකරවීමට ජනාධිපතිතුමා ප්‍රමුඛතාව දී තිබේ. “සෞභාග්‍යයේ දැක්ම” ප්‍රතිපත්ති ප්‍රකාශයේ ද එය අවධාරණය කර ඇත.

    එකී අරමුණ පෙරදැරිව තාක්ෂණ අමාත්‍යාංශය ද ජනාධිපතිවරයා පසුගියදා සිය අධීක්ෂණයට පවරා ගත්තේය.

    21 වැනි සියවසේදී නව තාක්ෂණයෙන් සන්නද්ධ සමාජයක් බිහි කිරීම සඳහා අධ්‍යාපන ක්ෂේත්‍රයේ ආයෝජන, ආර්ථික අංශ සමග බද්ධ කිරීමට රජය අපේක්ෂා කරයි. එමගින් ජනතාවගේ ජීවන තත්ත්වය ඉහළ නැංවීමට ඉවහල් වන පරිදි තාක්ෂණික නව්‍යකරණ සංස්කෘතියක් (culture of technology Innovation) ගොඩනැගීම ජනාධිපතිවරයාගේ අභිප්‍රාය වේ.

    රාජ්‍ය යාන්ත්‍රණය හා වෙළෙඳ පොළ ක්‍රියාවලිය සරල කිරීම, දැනුම හුවමාරුවේ මෙවලමක් ලෙස තොරතුරු තාක්ෂණය භාවිතයෙන් ඩිජිටල් ආණ්ඩුකරණය පුළුල් කිරීම නව අමාත්‍යාංශයේ ප්‍රමුඛතාවකි.

  • සුදර්ශනීගෙන් බන්ධනාගාරේ ගළවා කොවිඩ් රාජ්‍ය ඇමැතිකම දෙයි

    සුදර්ශනීගෙන් බන්ධනාගාරේ ගළවා කොවිඩ් රාජ්‍ය ඇමැතිකම දෙයි

    පාර්ලිමේන්තු මන්ත්‍රීනී වෛද්‍ය සුදර්ශනී ප්‍රනාන්දුපුල්ලේ මහත්මිය ප්‍රාථමික සෞඛ්‍ය සේවා, වසංගත රෝග හා කොවිඩ් රෝග පාලන කටයුතු රාජ්‍ය අමාත්‍ය ධූරයට පත් කරනු ලැබ සිටී.

    නව රාජ්‍ය අමාත්‍යවරිය අද (30) සවස ජනාධිපති කාර්යාලයේ දී ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා හමුවේ සිය ධූරයේ දිවුරුම් දුන්නාය.

    ප්‍රාථමික සෞඛ්‍ය සේවා, වසංගත රෝග හා කොවිඩ් රෝග පාලන කටයුතු නව රාජ්‍ය අමාත්‍ය පදවියකි.

    ප්‍රාථමික සෞඛ්‍ය සේවා ඉහළම ප්‍රමිතියට ප්‍රවර්ධනය කොට පවත්වාගෙන යාම “සෞභාග්‍යයේ දැක්ම” ප්‍රතිපත්ති ප්‍රකාශනයේ ප්‍රධාන අරමුණකි. ජනතාව සඳහා, විශේෂයෙන් ග්‍රාමීය ජනතාව සඳහා ඉහළ සෞඛ්‍ය මට්ටමක් සහතික කිරීමට ප්‍රථමික සෞඛ්‍ය සේවා වැඩිදියුණු කිරීම සහ පුළුල් කිරීම අත්‍යාවශ්‍ය සාධකයක් බව ජනාධිපතිවරයා පිළිගෙන තිබේ.

    කොවිඩ් 19 රෝග ව්‍යාප්තියත් සමග සියලු වසංගත රෝග ඇතිවීමේ ඉඩ කඩ කල්තබා හඳුනාගෙන ඒවා පාලනය කරනු පිණිස ප්‍රතිපත්තිමය හා ප්‍රායෝගික යාන්ත්‍රණයක් සකස් කළ යුතු බව ජනපතිවරයා තීරණය කළේය.

    නව රාජ්‍ය අමාත්‍ය ධූරය නිර්මාණය කරනු ලැබූයේ මේ පරමාර්ථය සපුරා ගනු පිණිසය.

    ප්‍රනාන්දුපුල්ලේ මහත්මිය මින් පෙර බන්ධනාගාර ප්‍රතිසංස්කරණ හා සිරකරුවන් පුනරුත්ථාපන රාජ්‍ය අමාත්‍ය ධූරය හෙබවූවාය.

  • Update: මහර බන්ධනාගාරයේ යුද්ධය – මියගිය ගණන 08 දක්වා ඉහළට

    Update: මහර බන්ධනාගාරයේ යුද්ධය – මියගිය ගණන 08 දක්වා ඉහළට

    ඊයේ (29) රාත්‍රිෙය් මහර බන්ධනාගාරයේ ඇති වූ ගැටුමෙන් තුලාව ලැබූ තවත් සිරකරුවන් දෙදෙනකු මියගොස් ඇති අතර මරණ සංඛ්‍යාව ඒ අනුව 08 දක්වා ඉහළ ගොස් ඇතැයි රාගම රෝහල් ආරංචි මාර්ග පවසයි.

    මේ අතර මාධ්‍ය වෙත ප්‍රකාශයක් කරමින් පොලිස් මාධ්‍ය ප්‍රකාශකවරයා සදහන් කර ඇත්තේ මහර බන්ධනාගාරයේ රැඳවියන්ගේ භාරයට ගත් බන්ධනාගාර නිලධාරීන් දෙදෙනාගෙන් එක් අයෙකුගේ තත්ත්වය බරපතළ බවයි.

    අද (30) පෙරවරුවේ දෙරණ රූපවාහිනී නාලිකාව ඔස්සේ විකාශනය වූ ‘දෙරණ අරුණ‘ වැඩසටහන සමග දුරකථනයෙන් සම්බන්ධ වෙමින් පොලිස් මාධ්‍ය ප්‍රකාශකවරයා වැඩි දුරටත් සදහන් කළේ මහර රිමාන්ඩ් බන්ධනාගාරයේ රැඳවියන් පිරිසක් යම් කලබලකාරී තත්ත්වයක් නිර්මාණය කර ඇති අතර, පසුව තවත් රැඳවියන් පිරිසක් එක්ව බන්ධනාගාරයෙන් පළායාමට උත්සහ දැරීමේ සිද්ධියක් මුල්කර ගනිමින් ඊයේ (29) සවස මෙම නොසන්සුන්කාරී තත්ත්වය හටගත් බවයි.

    පොලිස් මාධ්‍ය ප්‍රකාශකවරයා මෙසේද සදහන් කළේය.

    බන්ධනාගාර නිලධාරීන් සමග බහින්බස්වීමක් ඇති කර ගෙන, ඔවුන් දෙදෙනෙක්, මට බන්ධනාගාර කොමසාරිස් ජෙනරාල්වරයා දැනුම් දුන් ආකාරයට, මේ රැඳවියන්ගේ භාරයට ගෙන තිබෙනවා. බන්ධනාගාරයේ ප්‍රධාන ගේට්ටුවට අමතරව තවත් ගේට්ටු ගණනාවක් තියෙනවා. ඒ ගේට්ටු බිඳගෙන ඉදිරියට ඇවිත් තියෙනවා පිටව යෑමට. මේ අවස්ථාවේ දී බලය පාවිච්චි කරලා තියෙනවා. ඔවුන්ගේ භාරයේ සිටි බන්ධනාගාර නිලධාරීන් දෙදෙනා මුදාගෙන තිබෙනවා. දැනට ඔවුන්ගෙන් එක් අයෙකුගේ තත්ත්වය බරපතළ බවට වාර්තා වෙලා තියෙනවා. මුලින්ම මේක ඊයේ හවස 5ට ඇති වුණේ. අද උදෑසන වන තෙක් පැය 14ක පමණ කාලයක් ගත වෙලා තියෙනවා. ඔවුන් ඊයේ රාත්‍රිය පුරාම විවිධාකාරයේ කටයුතු සිදුකර තියෙනවා. ගිනි තැබීම්, අලාභ කිරීම්, අනර්ථය කිරීම් ආදී කටයුතු සිදුකර තිබෙනවා.“ 

    අළුතින් නිදහස් කරන ලද ශ්‍රී ලංකා සිරකරුවන් 2013 පෙබරවාරි 4 වන දින කොළඹදී පැවති 65 වන නිදහස් දිනය අතරතුර බන්ධනාගාර සංකීර්ණයකින් පිටව යති.
    කොළඹ බන්ධනාගාරයක රැඳවියෙකුගේ ඡායාරූපයක්

    මේ අතර බී.බී.සී. ඇතුළු ජාත්‍යන්තර මාධ්‍ය මහර බන්ධානාගාර ගැටුම වාර්තා කළේ Sri Lanka: Six die in prison riot over Covid panic කෝවිඩ් සන්ත්‍රාසය හේතුවෙන් බන්ධනාගාර කෝලාහලයෙන් හය දෙනෙක් මිය ගියහ‘ යන ශීර්ෂපාඨය යටතේ වීම විශේෂත්වයකි.

    බී.බී.සී. වාර්තාවේ මෙසේද සදහන් විය.

    ශ්‍රී ලංකාවේ බන්ධනාගාර කැරැල්ලකින් ආරක්ෂක භටයන් රැඳවියන් සමඟ ගැටීම හේතුවෙන් පුද්ගලයින් 6 දෙනෙකු මියගොස් 52 දෙනෙකු තුවාල ලබා ඇතැයි බලධාරීහු පවසති.

    සිරගෙවල්වල කොරෝන වෛරස් ආසාදන වැඩිවීම මධ්‍යයේ රැඳවියන් විරෝධතා දියත් කර තිබුණේ ඇප මත ඉක්මනින් නිදහස් කරන ලෙසත් වඩා හොඳ පහසුකම් ලබා දෙන ලෙසත් ය.

    පොලිස් මාධ්‍ය ප්‍රකාශක අජිත් රෝහණ කියා සිටියේ මහාර බන්ධනාගාරයේ නොසන්සුන්කාරී තත්වයක් පාලනය කිරීම සඳහා ආරක්ෂකයින් බලය යෙදවූ බවයි.

    රටේ ජනාකීර්ණ බන්ධනාගාර වලින් රෝගීන් 1,000 ක් පමණ වාර්තා වී තිබේ.

    කෝලාහල මැඩපැවැත්වීම සඳහා බන්ධනාගාර නියාමකයින් වෙඩි තබා ඇති බව මාධ්‍ය වාර්තා පවසයි. පරිශ්‍රයේ “දැවැන්ත ගින්නක්” දුටු බව නිවැසියන් උපුටා දක්වමින් ප්‍රාදේශීය පුවත් වාර්තා කරයි.

  • බැසිල් නිදොස් කොට නිදහස් කරයි

    බැසිල් නිදොස් කොට නිදහස් කරයි

    හිටපු ආර්ථික සංවර්ධන ඇමැති බැසිල් රාජපක්ෂ මහතා ඇතුළු විත්තිකරුවන් හතර දෙනෙකු නිදොස් කොට නිදහස් කරන ලෙස කොළඹ මහාධිකරණ විනිසුරු ආර්. ගුණසිංහ මහතා විසින් අද (30) නියෝග කළේය.

    2015 වසරේ පැවැත්වූ ජනාධිපතිවරණය සමයේ දිවිනැගුම සංවර්ධන දෙපාර්තමේන්තුවට අයත් අරමුදල්වලින් රුපියල් මිලියන 2992කට අධික මුදලක් වැය කර දිවිනැගුම සහනාධාරලාභීන්ට නිවාස ආධාර ලබා දීම තුළින් රජයේ අරමුදල් සාවද්‍ය ලෙස පරිහරණය කළේ යැයි එවකට ආර්ථික සංවර්ධන ඇමති බැසිල් රාජපක්ෂ මහතා ප්‍රමුඛ නිලධාරීන් සිවු දෙනකුට චෝදනා එල්ල වී තිබුණි. 

    මෙම නඩුවේ විත්තිකරුවන් ලෙස නම් කර සිටි ආර්ථික සංවර්ධන අමාත්‍යංශයේ හිටපු ලේකම් වෛද්‍ය නිහාල් ජයතිලක, දිවිනැගුම සංවර්ධන දෙපාර්තමේන්තුවේ හිටපු අධ්‍යක්ෂ ජනරාල් කිත්සිරි රණවක සහ එම දෙපාර්තමේන්තුවේ හිටපු නියෝජ්‍ය අධ්‍යක්ෂ ජනරාල් බන්දුල තිලකසිරි යන මහත්වරුන් ද මෙසේ නිදොස් කොට නිදහස් කිරීමට නියෝග කෙරුණි.

  • මහර බන්ධනාගාරය යුධ බිමක් වෙයි – 06ක් මරුට – 43කට තුවාල

    මහර බන්ධනාගාරය යුධ බිමක් වෙයි – 06ක් මරුට – 43කට තුවාල

    මහර බන්ධනාගාරය තුළ ඇති වූ නොසන්සුන්කාරී තත්ත්වය හේතුවෙන් මියගිය පුද්ගලයින් 6 දෙනෙකුගේ මළසිරුරු මේ වන විට රාගම රෝහලට රැගෙනවිත් තිබෙන බව රාගම රෝහලේ අධ්‍යක්ෂ වෛද්‍ය ෂෙල්ටන් පෙරේරා මහතා සඳහන් කළේය. ඒ මහතා වැඩි දුරටත් සදහන් කළේ සිද්ධියෙන් තුවාල ලත් පුද්ලයින් 43 දෙනකු ද ප්‍රතිකාර සදහා රෝහල්ගත කර ඇති බවයි.

    මෙම සිද්ධිය සම්බන්ධයෙන් ප්‍රකාශයක් කළ පොලිස් මාධ්‍ය ප්‍රකාශකවරයා ඊයේ (29) රාත්‍රි යේ කියා සිටියේ මහර බන්ධනාගාරයේ රැඳවියන් පිරිසකට කොරෝනා වෛරසය ආසාදනය වීමත් සමඟ තවත් රැඳවියන් පිරිසක් බන්ධනාගාරයෙන් පලා යාමට උත්සාහ දැරීමේ සිද්ධියක් හේතුවෙන් මුල්කර ගනිමින් ඊයේ (29) දහවල් නොසන්සුන්කාරී තත්ත්වය හටගත් බවයි.

    ‘ මේ සිද්ධිය මුල්කරගෙන ඇති වූ නොසන්සුන්කාරී තත්ත්වය පස්වරුව වන විට මෙය ගැටුමක් දක්වා දුරදිග ගොස් දැනට බන්ධනාගාරය තුළ රඳවා සිටින ජීවීතාන්තය දක්වා සිරදඬුවම් හිමිවූ සිරකරුවන්ට රිමාන්ඩ් බන්ධනාගාර ගතකර සිටින සිරකරුවන් විසින් පහරදීමට පටන්ගෙන තිබුණා. අනතුරුව තත්ත්වය පාලනය කිරීම සඳහා බන්ධනාගාර නිලධාරීන් අවම බලය පාවිච්චි කර ඇති අතර එහිදී වෙඩි ප්‍රහාර කිහිපයක් ද එල්ල කර තිබෙනවා‘

    මෙහිදී පොලිස් මාධ්‍ය ප්‍රකාශකවරයා සදහන් කළේ නොසන්සුන්කාරී තත්ත්වය පාලනය කිරීම සඳහා පොලිස් විශේෂ කාර්ය බලකාය කැඳවීමට ද පියවර ගෙන තිබූ බවයි. ඒ අනුව බන්ධනාගාරයෙන් පිටත ආරක්ෂාව තර කිරීමට පියවර ගැනුණු අතර කැලණිය සහ රාගම පොලිස් ස්ථාන මගින් ද පොලිස් කණ්ඩායම් 5 ක් යෙදවීමට පොලිසිය පියවර ගෙන ඇත.

    ‘‘එහෙත් රාත්‍රීය වන විට සිරකරුවන් බන්ධනාගාරයේ සෞඛ්‍ය කාර්යාලයට, ගබඩාවකට සහ තවත් ස්ථාන කිහිපයකට ගිනි තබා තිබුණා. ගින්න පැතිර යාම වැඩි වීමත් සමග ගින්න පාලනය කිරීම සඳහා ගිනි නිවීමේ රථ 6 ක් යෙදවීමටද පියවර ගත් බව ගිනි නිවීමේ දෙපාර්තමේන්තුව විසින් පියවර ගෙන තිබුණා‘ යැයි බන්ධනාගාර ප්‍රකාශකයෙක් සදහන් කළේය.

    මේ අතර මහර බන්ධනාගාරයේ ඇති වූ සිද්ධිය සම්බන්ධයෙන් සොයා බැලීම සඳහා බන්ධනාගාර ප්‍රතිසංස්කරණ රාජ්‍ය අමාත්‍යවරයාගේ ප්‍රධානත්වයෙන් මෙම කමිටුව පත්කර ඇතැයි විෂය භාර අමාත්‍ය සුදර්ශනී ප්‍රනාන්දුපුල්ලේ මහත්මිය මාධ්‍ය වෙත ප්‍රකාශ කළ බව සඳහන් වේ.

  • කොළඹින් මරණ 05ක් සහ  අකුරුස්සෙන් සහ හලාවතින් මරණ 02ක්

    කොළඹින් මරණ 05ක් සහ අකුරුස්සෙන් සහ හලාවතින් මරණ 02ක්

    අද (29) දින කොවිඩ්-19 ආසාදිත පුද්ගලයින් 07 දෙනකු මිය ගිය බව රජයේ ප්‍රවෘත්ති දෙපාර්තමේන්තුව විසින් අද දින ප.ව 21.20ට නිකුත් කළ ප්‍රවෘත්ති නිවේදනයක සදහන් වෙනවා.

    මියගිය පුද්ගලයින් අතර කාන්තාවන් තිදෙනෙක් සහ පිරිමි සිවු දෙනෙක් සිටින අතර මියගිය පුද්ගලයින් අතර අකුරැස්සේ (51 හැවිරිදි කාන්තාවක්) සහ හලාවත (70 හැවිරිදි පිරිමියෙක්) පුද්ගලයින් දෙදෙනෙක් සිටිනවා. සෙසු 05 දෙනා කොළඹ දිස්ත්‍රික්කයේ පදිංචිකරුවන් බවයි අදාළ ප්‍රවෘත්ති නිවේදනයේ සදහන් වන්නේ.

    මේ සමග ලංකාවෙන් වාර්තා වන කොවිඩ්-19 ආසාදිත මරණ සංඛ්‍යාව 116ක් දක්වා වර්ධනය වෙනවා.

    මේ අතර රජයේ ප්‍රවෘත්ති දෙපාර්තමේන්තුව විසින් අද දින ප.ව 20.40ට නිකුත් කළ ප්‍රවෘත්ති නිවේදනයක සදහන් වුණේ අද දින (29) කොවිඩ්-19 ආසාදිතයින් 496 දෙනකු වාර්තා වූ බවයි.

  • සිඩ්නි නුවරින් වාර්තාගත උණුසුමක්

    සිඩ්නි නුවරින් වාර්තාගත උණුසුමක්

    ඊයේ (28) සිඩ්නි නුවර උණුසුම්ම නොවැම්බර් රාත්‍රිය වාර්තා කළ බව බී.බී.සී වාර්තාවක සදහන් වේ. සිඩ්නි නගරයේ අවම රාත්‍රී උෂ්ණත්වය 25.4C ලෙස සටහන් වූ අතර අද (29) දින දිවා කාලයේදී 40C දක්වා ඉහළ ගියේය.

    සිඩ්නි හි වාර්තාගත උෂ්ණත්වය මධ්‍යම ව්‍යාපාරික දිස්ත්‍රික්කයේ නිරීක්ෂණාගාරය වන ‘හීල්‘  (Hill in the Central Business District) හි වාර්තා විය. 04:30 වන විට උෂ්ණත්වය සෙල්සියස් අංශක 30 දක්වා ඉහළ ගොස් ඇති බව සිඩ්නි මෝනිං හෙරල්ඩ් වාර්තා කරයි. හිල් හි මීට පෙර වාර්තාව 1967 දී සෙල්සියස් අංශක 24.8Cක් විය.

    ගිම්හානයේ නිල ආරම්භය තව දින කිහිපයක් තිබියදී ඉහළ ගිය උෂ්ණත්වය ගැන කාලගුණ විද්‍යාඥයින්ගේ දැඩි අවධානය යොමු වී ඇත.

    අඟහරුවාදා උණුසුම් කාලගුණය අනාවැකි පළ කිරීමත් සමඟ නිව් සවුත් වේල්ස් හි ස්ථාන රැසක මේ වන විටත් ලැව්ගිනි හටගෙන තිබේ.

    වික්ටෝරියා සහ දකුණු ඕස්ට්‍රේලියාවේ ප්‍රාන්තවල ද සති අන්තයේ තාපය ඉහළ යන බව වාර්තා විය.

    “නොවැම්බරය බොහෝ ආකාරවලින් අසාමාන්‍ය වී ඇත. අප දැක ඇත්තේ අපගේ සාමාන්‍ය වර්ෂාපතනයෙන් අඩක් පමණ වන අතර එය අපගේ වාර්තාගත උණුසුම්ම මාසවලින් එකක් විය හැකි ය” යනුවෙන් කාලගුණ විද්‍යා කාර්යාංශයේ (Bureau of Meteorology – BOM) ප්‍රකාශකයෙන් පසුගිය සිකුරාදා සඳහන් කළේය.

    සිඩ්නි නුවර ඡායාරූපවලින් දැක්වෙන්නේ විශාල ජනකායක් වෙරළට පැමිණෙන බවයි.

    කොරෝනා වෛරස් පැතිරීම වැළැක්වීම සදහා සමාජ දුරස්ථ රෙගුලාසි අනුගමනය කරන ලෙස නිව් සවුත් වේල්ස් සෞඛ්‍ය දෙපාර්තමේන්තුව ජනතාවට මතක් කරදී තිබේ.

    මිනිසුන් සහ ඔවුන්ගේ බල්ලන් සිසිල් කිරීම සඳහා ජලයේ ගිලී යයි
    සමාජ දුරස්ථ නීති රීති පිළිපැදීමට ජනතාවගෙන් ඉල්ලා ඇත

    උතුරු නිව් සවුල් වේල්ස් සහ ගිනිකොනදිග ක්වීන්ස්ලන්තයේ සමහර ප්‍රදේශවල දින පහක් හෝ හයක තාප තරංගයක් BOM විසින් පුරෝකථනය කර ඇත.

    ග්‍රාමීය ගිනි නිවීමේ සේවය –  Rural Fire Service (RFS) නිව් සවුත් වේල්ස් හි නැගෙනහිර සහ ඊසානදිග ප්‍රදේශවල “ දැඩි ගිනි අනතුරු අනාවැකි” ගැන අනතුරු අඟවා තිබේ. 

    සිකුරාදා, RFS නියෝජ්‍ය කොමසාරිස් පීටර් මැක්චෙක්නි ජනතාවගෙන් ඉල්ලා සිටියේ ගිනි සැලසුම් සූදානම් කරන ලෙසයි.

    “පසුගිය වසරේ විනාශකාරී සමයෙන් පසු පුළුල් ලෙස ඉහළ ගිය ගිනි අනතුරක් අප දුටු පළමු අවස්ථාව මෙයයි ” ඔහු පැවසීය.

    බී.බී.සී වාර්තාවකි – සැකසුම – තීක්ෂණ වෙළෙන්එගොඩ

  • ඇන්ඩ්‍රෙ රසල්ගේ සුපිරි පිතිහරඹයෙන් ‘කලම්බු කිංග්ස්’ දෙවැනි ජයත් ලබයි

    ඇන්ඩ්‍රෙ රසල්ගේ සුපිරි පිතිහරඹයෙන් ‘කලම්බු කිංග්ස්’ දෙවැනි ජයත් ලබයි

    පන්දුවාර විස්සයි-20 ලීග් තරග රටාවේ 5 වැනි වේගවත්ම අර්ධ ශතකයට හිමිකම් කී ඇන්ඩ්‍රෙ රසල්ගේ වෙඩි වරුසාවක් බඳු වූ පිතිහරඹය හේතුවෙන් “My11Circle ලංකා ප්‍රිමියර් ලීග්” පන්දුවාර විස්සයි-20 ලීග් ක්‍රිකට් තරගාවලිය යටතේ ඊයේ (28 දා) රාත්‍රියේ පැවැති තරගයේදී ගෝල් ග්ලැඩියේටර් පිල පරදවා ලකුණු 34 ක  දැවැන්ත ජයක් වාර්තා කිරීමට කලම්බු කිංග්ස් කණ්ඩායම සමත්විය. අදාළ තරග ජය කලම්බු කිංග්ස් පිලේ දෙවැනි ජයග්‍රහණයද ගෝල් ග්ලැඩියේටර්හි දෙවැනි පරාජය ලෙසින්ද සටහන් විය.

    පස්වරුවේ ඇද හැළුණු වර්ෂාව දිගින් දිගටම පැවැතීම හේතුවෙන් පන්දුවාර 5 කට සීමා වෙමින් රාත්‍රී. 10.56 ට ඇරැඹි මෙම තරගයේදී රසල්ගේ ඉනිම ප්‍රධාන කොට ලකුණු 97 ක අසීරු ඉලක්කයක් ගෝල් ග්ලැඩියේටර් කණ්ඩායමට හිමිවිය. එය හඹා යෑමේදී ගෝල් ග්ලැඩියේටර් පිලට රැස් කරගත හැකි වූයේ කඩුලු 2 ක් දැවී ලකුණු 62 ක් පමණි.

    එහිදී ගෝල්ග්ලැඩියේටර් පිල වෙනුවෙන් ඉසුරු උදාන යවන ලද පළවැනි පන්දුවාරයේදී හස්රතුල්ලා සසායි ලබාගත් ලකුණ හැරුණු කොට ඉතිරි ලකුණු 18ම ධනුෂ්ක ගුණතිලකගේ පිත්තෙන් වාර්තා විය. ගුණතිලක හයේ පහර 2 ක් සහ හතරේ පහර 2 ක් සමඟ පන්දු 15 කදී ලකුණු 30 ක් ලබා ගත් අතර නායක ශහිඩ් අෆ්රිඩි පන්දු 6 කදී ලකුණු 12 ක් ලබාගත්තේය.

    කලම්බු කිංග්ස් වෙනුවෙන් ඉනිම ඇරැඹි ඇන්ඩ්‍රෙ රසල් ග්ලැඩියේටර් පිල සතු ප්‍රබලම විදෙස් පන්දු යවන්නා වන මොහොමඩ් අමීර් යැවූ පළමු පන්දුවාරයේදී ලකුණු 26 ක් ලබා ගන්නා ලද්දේ ලබා දුන් වයිඩ් පන්දු 2 කද අතිරේක ලෙස එකතු කර ගනිමිනි.

    0-වයිඩ්-6-4-6-වයිඩ්-4-4 ලෙසින් දැඩි ප්‍රහාරයකට ආමර් ඇද දැමූ රසල් කලම්බු කිංග්ස් ඉනිම නිමා වන විට පන්දු 19 කදී නොදැවී ලකුණු 65 ක් ලබා සිටියේය. හයේ පහර 4 කින් සහ හතරේ පහර 9 කින් වර්ණවත් වුණු එම ඉනිම හේතුවෙන් තරගයේ වීරයා සම්මානයෙන්ද රසල් පිදුම් ලැබීය.

    එක් ඉනිමක් පන්දු 30 කින් සීමා වුණු මෙම තරගයේදී කලම්බු කිංග්ස් පිතිකරුවන් විසින් ලබාගත් ලකුණු 96 න් 76 ක්ම (6 පහර 6 යි, හතරේ පහර 10 යි) හයේ සහ හතරේ පහර 10 වලින් ලබාගත් ඒවා විය. කලම්බු කිංග්ස් කණ්ඩායමේ පිතිකරුවන් අතරින් ප්‍රහාරයට ලක් නොවුණු එකම පන්දු යවන්නා බවට පත්වූයේ මොහොමඩ් ශිරාස් වන අතර ඔහු තම පන්දුවාරය ලකුණු 11 කට යවා අවසන් කිරීමට සමත්විය.

    පැය 3 කට ආසන්න කාලයක් වර්ෂාවෙන් බාධා ඇති වුවද ක්‍රීඩාංගණ කාර්යය මණ්ඩලයේ උපරිම කැපවීමේ ප්‍රථිඵලයක් ලෙසින් පන්දුවාර 5 කට හෝ සීමාවෙමින් තරගය පැවැත්වූවා හැරෙන්නට වර්ෂාවේ බාධා කිරීම එතරම්ම දරුණු විය. එසේ ඇරැඹි තරගයේදී කලකට අමතක නොවන ප්‍රහාරයකට ලක් වුණු මොහොමඩ් ආමර් විසින් ක්‍රියාත්මක කරනලද පන්දු 12 තුළදී පමණක් ප්‍රතිවාදී පිතිකරුවෝ ලකුණු 46 ක් ලබාගෙන සිටියහ. ඉන් ලකුණු 30 ක්ම රසල්ගේ පිත්තෙන් වාර්තා විණ.

    විස්සයි-20 තරග පිටිය නියෝජනය කළ යුවරාජ් සිං (පන්දු 12 කදී), ක්‍රිස් ගේල් (පන්දු 12 කදී), හස්රාතුල්ලා සසායි (පන්දු 12 කදී) සහ මාකස් ට්‍රෙස්ක්‍රොතික් (පන්දු 13 කදී) වේගවත් අර්ධ ශතක ලබමින් රසල්ගේ ඉදිරියෙන් සිටිති. එමෙන්ම මෙම තරගයේදී කලම්බු කිංග්ස් පිල රැස් කරන ලද ලකුණු 96 පන්දුවාර 5 කට සීමා වෙමින් පැවැති තරගයකදී කණ්ඩායමක් රැස් කරන ලද ඉහළම ලකුණු සංඛ්‍යාවේ වාර්තාව ලෙසින්ද සටහන් විය.

    හෙට (30 වැනිදා ) සියළුම කණ්ඩායම්වලට විවේක දිනයකි.

    ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනයේ නිල වෙබ් අඩවිය ඇසුරිණි

  • කොළඹ කොවිඩ් පාලන කටයුතු PHIලාගේ ගිලිහීම බරපතළ තත්ත්වයක් – GMOA

    කොළඹ කොවිඩ් පාලන කටයුතු PHIලාගේ ගිලිහීම බරපතළ තත්ත්වයක් – GMOA

    මහජන පරීක්ෂක පද්ධතිය ශක්තිමත් කිරීමටකින් තොරව කොවිඩ්-19 ආවේක්ෂණ ක්‍රියාවලිය ඉදිරියට යා නොහැකි බවත් කොළඹ දිස්ත්‍රික්කයේ කොවිඩ් පාලන කටයුතු මහජන සෞඛ්‍ය පරීක්ෂකවරුන්ගෙන් ගිලිහීම බරපතළ තත්ත්වයක් බවත් රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමයේ සංස්කාරක වෛද්‍ය හරිත අලුත්ගේ මහතා අද (29) කොළඹදී පැවති මාධ්‍ය හමුවකදී පැවසීය.

    රෝහල් පද්ධතිය තුළ කොවිඩ් උප පොකුරු ඇති වීමේ අවදානමක් වර්ධනය වෙමින් පවතින බව කී අලුත්ගේ මහතා ඒවා පාලනය කිරීම සඳහා අවශ්‍ය ක්‍රියාමාර්ග ගත යුතු බව ද සදහන් කළේය.

    මෙහිදී හරිත අලුත්ගේ මහතා කියා සිටියේ මෙම සියලු කටයුතු මනා සම්බන්ධීකරණයකින් යුතුව සිදුවිය යුතු බවයි.

    බිම් මට්ටමේ ආසාදිතයින් ආවේක්ෂණය කිරීමේ තාක්ෂණික ක්‍රියාවලියේ ඍජු ලෙස නිරතවෙලා ඉන්න කණ්ඩායම තමයි මහජන සෞඛ්‍ය පරීක්ෂකවරු. මහජන සෞඛ්‍ය පරීක්ෂකවරුන්ගේ සංගමයට පැහැදිලිවම කියන්න සිද්ධ වුණා ලංකාවේ සමහර තැන්වල PHI මහත්වරුන්ගේ පාලනයෙන් මේ ආවේක්ෂණ ක්‍රියාවලිය ගිලිහෙමින් පවතිනවා කියලා. මේක ඉතාම බරපතළ තත්ත්වයක්. ඒ වගේම බරපතළ ප්‍රකාශයක්. විශේෂයෙන් කොළඹ මහනගර සභා සීමාව ඇතුළේ මෙහෙම තත්ත්වයක් තියෙනවා නම් බලධාරීන්ගේ වගකීම තමයි එතැනට වැඩි පිරිසක් යොමුකරලා මේ ක්‍රියාවලිය බිඳවැටීමකින් තොරව මහජන සෞඛ්‍ය පරීක්ෂකවරුන්ගේ සහ සෞඛ්‍ය පද්ධතියේ පාලනය තුළ මේ ක්‍රියාවලිය තබා ගන්න අවශ්‍ය කරන සම්පත් ඒ අයට ලබා දෙන්න‘‘

    මෙහිදී වැඩි දුරටත් කරුණු දක්වමින් වෛද්‍ය හරිත අලුත්ගේ මහතා කියා සිටියේ දෛනිකව වාර්තා වන නව ආසාදිතයින් අතර 100කට අධික පිරිසක් කොළඹ සහ ගම්පහ දිස්ත්‍රික්කවලින් වාර්තාවන බවයි. එම ප්‍ර දේශ මොනවාද යන්න ගැන වසංගත රෝග විද්‍යා අංශ කරුණු හෙළි නොකරන බව ද වෛද්‍ය අලුත්ගේ මහතා කියා සිටියේය.

    කොළඹ වරායට අති තර්ජනය දරුණුයි – වරාය අධිකාරියේ සභාපති

    මේ අතර අද (29) විශේෂ මාධ්‍ය සාකච්ඡාවක් කැදවිමන් වරාය අධිකාරියේ සභාපති, විශ්‍රාමික ජෙනරාල් දයා රත්නායක මහතා  කියා සිටියේ, කොළඹ වරාය අවට ප්‍රදේශය කොවිඩ් වෛරස ව්‍යාප්තිය බහුල ප්‍රදේශයක් බවත්, එය වරාය කටයුතු වලටද තර්ජනයක් වී ඇති බවත්ය.

    මෙම තර්ජනයෙන් බේරීම ගත හැකි සියලු ක්‍රමවේදය සෞඛ්‍ය අමාත්‍යාංශය සහ වරයා ආරක්ෂක අංශ සියලුදෙනා එකතුවී රැගෙන ඇති බව ද සදහන් කළ සභාපතිවරයා මෙසේද සදහන් කළේය.

    ‘‘කොළඹ වරාය සහ අවට ප්‍රදේශ තමයි ලංකාවේ දරුණුම තත්ත්වයේ මේ දෙවැනි රැල්ල සමග තියෙන්නේ. ගම්පහ සහ මාළු මාකර්ට් එක, බ්ලුමැන්ඩල් ප්‍රදේශය, මෝදර ප්‍රදේශය වැඩි හරියක් සේවකයින් ඉන්නේ, අපිට අනුබද්ධ සේවා සපයන අය ඉන්නේ, මේ ප්‍රදේශවල ඉන්නේ. ඒ අය ගෙනල්ලා මේ විදියට පාලනය කරගෙන ඉන්න එක තමයි සුවිශේෂි දේ කියලා අපි හිතනවා. තර්ජනය දරුණුයි. ඒ තර්ජනයෙන් බේරෙන්න ගන්න පුළුවන් උපරිම ක්‍රමවේදය සෞඛ්‍ය අමාත්‍යාංශය සහ අපේ ආරක්ෂක අංශ සියලුදෙනා එකතුවෙලා අපි ඒවා කරනවා. නිවෙස්වලින් එන අය අපි වෙනම තියලා තියන්න. එනකොටත් යනකොටත් පරීක්ෂා කරලා අරන් යන ක්‍රමවේදයක් අපි නිර්මාණය කරලා තියෙනවා. දිනපතා යන එන පිළිබඳ ක්‍රමවේදයක් අනුගමනය කරගෙන කටයුතු කරන්නේ. ඔවුන්ගේ විස්තරත් අපි දිනපතා බලනවා. ඕවා අස්සෙන් යන අයත් ඉන්නවා. ඒවා අහුවුණොත් ඒවට අවශ්‍ය පියවරත් ගන්නවා.“

    කොවිඩ් -19 ආසාදිතයින් 23,000 පනී

    මේ අතර අද දින (29)  දිනය තුළ කොවිඩ්-19 ආසාදිතයින් 323 දෙනෙකු හඳුනා ගෙන ඇතැයි රජයේ ප්‍රවෘත්ති දෙපාර්තමේන්තුව විසින් නිකුත් කළ මාධ්‍ය නිවේදනයක සදහන් වේ. ඒ අනුව මෙරට දී හඳුනාගත් සමස්ත කොවිඩ් ආසාදිතයින් ගණන 23,311ක් දක්වා ඉහළ ගොස් ඇති බවයි එම නිවේදනයේ වැඩි දුරටත් සදහන් වන්නේ.

    අද දිනයේ කොවිඩ් ආසාදිතව සිටි පුද්ගලයින් 346 දෙනෙක් පූර්ණ සුවය ලැබීමත් සමග මෙරට සමස්ත සුවය ලැබු ආසාදිතයින් ගණන ද 17,002ක් දක්වා ඉහළ ගිය බවයි එම නිවේදනයේ වැඩි දුරටත් සදහන් වන්නේ.

    අද දිනයේ වාර්තා වු ආසාදිතයින් සියලු දෙනා මීට පෙර වාර්තා වු ආසාදිතයින්ගේ ආශ්‍රිතයින් බවත්ඒ අනුව, මිනුවන්ගොඩ හා පෑලියගොඩ කොවිඩ් පොකුර 19,773ක් ලෙස වාර්තා වන බව ද රජයේ ප්‍රවෘත්ති දෙපාර්තමේන්තුව සඳහන් කරයි.

    මෙරට රෝහල්ගත සමස්ත ආසාදිතයින් ගණන 6,200ක් බව ද එහි වැඩි දුරටත් සදහන් වෙ.