Blog

  • කොරෝනා මාරයාට එරෙහි සටනට තවත් සාර්ථක එන්නතක් එයි

    කොරෝනා මාරයාට එරෙහි සටනට තවත් සාර්ථක එන්නතක් එයි

    කොවිඩ්-19 වසංගතයට අභියෝගයක් එල්ල කිරීම සදහා වන සටනේ තවත් ජයග්‍රාහී පියවරක් එක්සත් රාජධානියෙන් අද (23) වාර්තා වුණ. ඒ ඔක්ස්ෆර්ඩ් විශ්වවිද්‍යාලය මගින් නිපදවා ඇති එන්නත 70% සාර්ථක බව නිල වශයෙන් නිවේදනය කිරීම සමගයි.

    ඔක්ස්ෆර්ඩ් එන්නත සම්බන්ධ මෙම නිල ප්‍රතිඵල නිකුත් වුයේ මහ පරිමාණ අත්හදාබැලීමේ ක්‍රියාවලියකින් අනතුරුවයි.

    මේ වන විට 95%ක සාර්ථකත්වයකට හිමිකම් කියන ඇමෙරිකානු එන්නත් නිෂ්පාදකයින් දෙනා වන ‘ෆයිසර් සහ මෝඩර්නා‘ ට තරගයක් දීමට මෙමගින් අවස්ථාව උදාවන බව විශේෂඥයින්ගේ අදහසයි.
      
    ‘ ඔක්ස්ෆර්ඩ් එන්නත ජයග්‍රහණයක් සේම බලාපොරොත්තු සුන්වීමක් ලෙසද අර්ථ දැක්විය හැකියි. මොකද ඒවා 95%ක සාර්ථකත්වයක් වාර්තා කරනවා. නමුත් අනෙක් එන්නත් හා සාපේක්ෂව ඔක්ස්ෆර්ඩ් එන්නත මිලෙන් අඩුයි. එසේම පහසුවෙන් ගබඩා කළ හැකියි. එසේම ලොව ඕනෑම තැනකට පහසුවෙන් මෙම එන්නත් තොග ප්‍රවාහනය කළ හැකිවීම ද විශේෂත්වයක් ලෙස සැලකිය හැකියි‘ පර්යේෂණ කණ්ඩායමේ සාමාජිකයෙක් මාධ්‍ය වෙත ප්‍රකාශ කළා.
     
    ‘සටන තවම අවසන් නැහැ. එය නියාමන ආයතන විසින් අනුමත කළ යුතුයි. නියාමන ආයතන විසින් මෙම එන්නත අනුමත කළ පසු කොවිඩ් පාලනයට එය වැදගත් මෙහෙයක් සිදුකරනු ඇතැයි බලාපොරොත්තු වෙනවා‘

    එංගලන්තය මේවනවිට ඔක්ස්ෆර්ඩ් කොවිඩ් එන්නතෙන් මාත්‍රා මිලියන 100ක් ඇණවුම් කර ඇති බව ද මාධ්‍ය වාර්තා කරයි.

    ඔක්ස්ෆර්ඩ් පර්යේෂකයින්ට මෙම එන්නත නිපදවීම සදහා මාස 10ක කාලයක් ගත වූ අතර අවස්ථා කිහිපයකදීම බරපතළ පසුබෑම් ඇති වී තිබෙනවා. සරසවිය ප්‍රකාශ කරන්නේ සාමාන්‍යයෙන් එන්නතක් නිෂ්පාදන කිරීමේ ක්‍රියාවලිය ට වසර 10ක් පමණ ගත වන බවයි.

  • එජාප මහ ලේකම් ධුරයෙන් අකිල ඉල්ලා අස්වෙයි

    එජාප මහ ලේකම් ධුරයෙන් අකිල ඉල්ලා අස්වෙයි

    එක්සත් ජාතික පක්ෂ මහලේකම් ධුරයෙන් ඉවත්වන බව අකිල විරාජ් කාරියවසම් මහතා පක්ෂ නායකත්වයට දැනුම් දී ඇත.

    එක්සත් ජාතික පක්ෂ නායක රනිල් වික්‍රමසිංහ මහතාගේ ප්‍රධානත්වයෙන් අද (23) දින පෙරවරුවේ සිරිකොත පක්ෂ මූලස්ථානය‍ේ පැවති පක්ෂ ජේෂ්ඨයන්ගේ හමුවේදී එජාප මහ ලේකම්වරයා විසින් මේ දැනුම්දීම කර ඇත.

    මේ සම්බන්ධයෙන් අප කළ විමසීමකට පිළිතුරු දෙමින් අකිල විරාජ් කාරියවසම් මහතා කියා සිටියේ ලබන වසර මුල පක්ෂයේ නව නිලධාරීන් පත් කිරීම සිදුවන බැවින් තමා තනතුරින් ඉල්ලා අස්වූ බවයි. මේ සම්බන්ධයෙන් එජාප නායකයා සමග සාකච්ඡා කිරීමට තමා බලාපොරොත්තු වන බව ද ඔහු සදහන් කළේය.

    මේ අතර ඊයේ මහනුවර දී පැවැති එක්සත් ජාතික පක්ෂ හමුවකදී එජාපයට හිමිව ඇති එකම ජාතික ලැයිස්තු මන්ත්‍රීධූරය සදහා පක්ෂ නායක රනිල් වික්‍රමසිංහ මහතා නම් කරන බව සදහන් විය.

  • Covid-19 Hot: අද උදෑසන වන විට සම්පූර්ණ නිල පුවත් මෙන්න !

    Covid-19 Hot: අද උදෑසන වන විට සම්පූර්ණ නිල පුවත් මෙන්න !

    ඊයේ (22) දින කොවිඩ් ආසාදනය වීමෙන් පුද්ගලයින් 04 දෙනකු මියගිය බව රජයේ ප්‍රවෘත්ති දෙපාර්තමේන්තුව විසින් නිකුත් කළ නිල නිවේදනයක සදහන් වේ.

    මේ අතර කොවිඩ්-19 පැතිරීම වැළැක්වීමේ ජාතික ක්‍රියාන්විත මධ්‍යස්ථානය විසින් අද (23) දින පෙරවරුවේ නිකුත් කළ නිල නිවේදනයේ සදහන් වන්නේ (සම්පූර්ණ නිවේදනය පහත දැක්වේ) අද (23) දින උදෑසන වනවිට ශ්‍රී ලංකාවෙන් කොවිඩ් – 19 ආසාදිත පුද්ගලයින් 400 දෙනෙකු හඳුනාගෙන ඇති බවත් ඉන් දේශියව පුද්ගලයින් 391 දෙනෙකු සහ විදේශිය රටවල සිට මෙරටට පැමිණි ශ්‍රී ලාංකිකයින් 9 දෙනෙකු බවයි.

    හඳුනාගත් ආසාදිතයින් අතරින් කොළඹ දිස්ත්‍රික්කයෙන් ආසාදිතයින් 121 ක්, ගම්පහ දිස්ත්‍රික්කයෙන් ආසාදිතයින් 112 ක් සහ නුවර දිස්ත්‍රික්කයෙන් ආසාදිතයින් 27 ක් ලෙස වාර්තා වී ඇති බව ද එම නිවේදනයේ වැඩි දුරටත් සදහන් වේ.

    මේ අතර සෞඛ්‍ය ප්‍රවර්ධන කාර්යාංශයේ නිල වෙබ් අඩවියේ අද (23) දින පෙ.ව 5.11ට සිදුකර ඇති නවතම යාවත්කාලීන කිරීම්වල සදහන් වන්නේ ශ්‍රී ලංකාවෙන් මේ දක්වා වාර්තා වූ සමස්ත කොවිඩ් ආසාදිතයින් සංඛ්‍යාව 20,171ක් බවයි. මරණ සංඛ්‍යාව 87ක් වන අතර දැනට රෝහල්වල විමර්ශනය යටතේ සිටින පුද්ගලයින් සංඛ්‍යාව 456ක් බව ද එහි සදහන් වේ.

    කොවිඩ්-19 පැතිරීම වැළැක්වීමේ ජාතික ක්‍රියාන්විත මධ්‍යස්ථානය වෙතින් අද (23) දින ඉදිරිපත් කරනු ලබන තොරතුරු පහත සඳහන් වේ.

    අද (23) දින උදෑසන වනවිට ශ්‍රී ලංකාවෙන් කොවිඩ් – 19 ආසාදිත පුද්ගලයින් 400 දෙනෙකු හඳුනාගෙන ඇත. ඉන් දේශියව පුද්ගලයින් 391 දෙනෙකු සහ විදේශිය රටවල සිට මෙරටට පැමිණි ශ්‍රී ලාංකිකයින් 9 දෙනෙකු ලෙස වාර්තා වේ. හඳුනාගත් ආසාදිතයින් අතරින් කොළඹ දිස්ත්‍රික්කයෙන් ආසාදිතයින් 121 ක්, ගම්පහ දිස්ත්‍රික්කයෙන් ආසාදිතයින් 112 ක් සහ නුවර දිස්ත්‍රික්කයෙන් ආසාදිතයින් 27 ක් ලෙස වාර්තා වේ.

    අද (23) දිනඋදෑසන වනවිටමිනුවන්ගොඩ ඇඟලුම් කම්හලට සහ කොළඹ මාළු වෙළඳපලට සම්බන්ධ පොකුරෙන් වාර්තා වූ කොවිඩ් – 19 වෛරසය ආසාදිත සම්පූර්ණ පුද්ගලයින් සංඛ්‍යාව 16,639 ක් වේ. ඉන් පුද්ගලයින් 10,503 දෙනෙකු මේ වනවිට පූර්ණ සුවය ලබා රෝහල්වලින් බැහැරව ගොස් ඇත.

    1. මිනුවන්ගොඩ ඇඟලුම් කම්හල් පොකුර           –             3,059
    2. කොළඹ මාළු වෙළඳපලේ පොකුර                   –           13,580

    ඊයේ (22) දින වනවිට, ශ්‍රී ලංකාව තුළ කොවිඩ්-19 වෛරසය ආසාදනය වු සම්පුර්ණ පුද්ගලයින් සංඛ්‍යාව 20,170 ක් වන අතර ඉන් පුද්ගලයින් 14,068 ක් පූර්ණ සුවය ලබා රෝහල්වලින් බැහැරව ගොස් ඇත. ඊයේ (22) දින වනවිට රෝහල් ගතව සහ අතරමැදි ප්‍රතිකාර මධ්‍යස්ථාන තුළ පුද්ගලයින් 6,015 දෙනෙකු තවදුරටත් ප්‍රතිකාර ලබයි.

    අද (23) දින උදෑසන 0600 වනවිට (පසුගිය පැය 24 තුළ) රෝහල් ගතව සහ අතරමැදි ප්‍රතිකාර මධ්‍යස්ථාන තුළින් පුද්ගලයින් 479 ක් පූර්ණ සුවය ලබා පිටව ගොස් ඇත.

    අද (23) දින උදෑසන වනවිට (පසුගිය පැය 24 තුළ) ශ්‍රී ලංකාව තුළින් කොවිඩ්-19 වෛරසය ආසාදනය වී පුද්ගලයින් 04 දෙනෙකු මියගොස් ඇති අතර එම පුද්ගලයා කො‍ළඹ 10, කොළඹ 12, කොළඹ 15 සහ බොරැල්ල  ප්‍රදේශයේ පදිංචි පුද්ගලයින් ලෙස වාර්තා වේ.  අනුව, අද (23) දින උදෑසන වනවිට ‍ශ්‍රී ලංකාව තුළින් කොවිඩ් – 19 ආසාදිත සම්පුර්ණ මරණ සංඛ්‍යාව 87 ක් දක්වා ඉහළ ගොස් ඇත.

    අද (23) දින උදෑසන QR 668 දරණ මගී ගුවන් යානය මගින් දෝහා කටාර් සිට පුද්ගලයින් 25 ක්, UL 230 දරණ මගී ගුවන් යානය මගින් කුවේට් සිට පුද්ගලයින් 295 ක් සහ UL 455 දරණ මගී ගුවන් යානය මගින් ජපානයේ සිට පුද්ගලයින් 02 ක් මෙරටට පැමි‍ණ ඇත. එසේ පැමිණි පුද්ගලයින් ත්‍රිවිධ හමුදාව මගින් පාලනය කරනු ලබන නිරෝධායන මධ්‍යස්ථාන තුළ නිරෝධායන කටයුතු සඳහා යොමු කිරීමට කටයුතු සූදානම් කර ඇත.

    අද (23) දිනයේදී ත්‍රිවිධ හමුදාව මගින් පාලනය කරනු ලබන නිරෝධායන මධ්‍යස්ථාන 42ක් තුළ පුද්ගලයින් 4,501 දෙනෙකු නිරෝධායනය වෙමින් සිටියි.

    ඊයේ (22) දිනය තුල PCR පරික්‍ෂණ 12,095 ක් සිදුකර ඇත.

  • Covid-19: මොඩර්නා එන්නතේ මිල ගණන් මෙන්න

    Covid-19: මොඩර්නා එන්නතේ මිල ගණන් මෙන්න

    එක්සත් ජනපදයේ ඖෂධ නිෂ්පාදන සමාගමක් වන මොඩර්නා Moderna සමාගම විසින් නිපදවා ඇති 95%ක සාර්ථකත්වයක් ඇති බව කියන කොවිඩ්-19 එන්නතේ මාත්‍රාවක මිල ඩොලඒ 25-37 අතර විය හැකි බව එම සමාගම ප්‍රකාශ කර තිබෙනවා.

    මාධ්‍ය වෙත ප්‍රකාශයක් කරමින් මොඩර්නාහි ප්‍රධාන විධායක ස්ටෙෆාන් බැන්සේ පැවසුවේ තම සමාගම විසින් නිපදවනු ලබන කොවිඩ්එ-19 න්නතේ මාතාවක් සඳහා රජයකට ඩොලර් 25ත් 37ත් අතර මුදලක් වැය කිරීමට සිදුවනු ඇති බවයි.

    ‘එහි මිල ඇණවුම් කරන ප්‍රමාණය මත යම් තරමක් වෙනස් විය හැකි‘ බව ද ඔහු සදහන් කළා.  

    “අපේ එන්නත සාමාන්‍ය සෙම්ප්‍රතික්ෂා/උණ සඳහා දෙන මාත්‍රාවක මිල වන ඩොලර් 10 ත් 50ත් අතර වෙයි කියලා අපි ගණනය කර තිබෙනවා‘

    මොඩර්නා සමාගම විසින් නිෂ්පාදනය කළ එන්නත් මාත්‍රා මිලියන ගණනක් මිලදී ගැනීමට යුරෝපා කොමිසම සාකච්ඡා කරමින් සිටින අතර යුරෝපීය කොමිසම පැවසුවේ එන්නතක් ඩොලර් 25කට ලබාගැනීමට ඔවුන් බලාපොරොත්තු වන බවයි.

    “ගිවිසුම් කිසිවක් තවම අත්සන් කර නැහැ. නමුත් අපි නුදුරේදීම යුරෝපීය කොමිසම සමග එකඟතාවයකට පැමිණීමට නියමිතයි. අපි අපේ නිෂ්පාදනය යුරෝපයට යැවීමට කැමතියි. එය ඉදිරි දින කිහිපය තුළ සිදුවේවි” මොඩර්නාහි ප්‍රධාන විධායක ස්ටෙෆාන් බැන්සේ වැඩි දුරටත් පැවසීය.
      
    මේ අතර ජාත්‍යන්තර විශේෂඥයින් බිය පළ කරන්නේ කොවිඩ් එන්නතක් සොයා ගත්ත ද එය ධනවත් රටවලට පමණක් සීමා වනු ඇති බවට බියක් ඇති බවයි.

  • ‘ගැසට් හාල්’ කන දවස ගැන බන්දුලගෙන් හෙළිදරව්වක්

    ‘ගැසට් හාල්’ කන දවස ගැන බන්දුලගෙන් හෙළිදරව්වක්

    සහල් සඳහා උපරිම මිල ප්‍රකාශයට පත් කරමින් නිකුත් කර ඇති ගැසට් නිවේදන යටතේ පාරිභෝගිකයින්ට සහල් මිලදී ගැනීමට හැකිවන්නේ ඉදිරි කන්නයේ වී අස්වැන්න ලැබෙන විට දී බව අමාත්‍ය බන්දුල ගුණවර්ධන මහතා පැවසීය.

    දඹුල්ල ආර්ථික මධ්‍යස්ථානය පිටුපස අභිනවයෙන් ඉදි වෙමින් පවතින එළවළු සහ පලතුරු කල්තබා ගැනීම, සහ උෂ්ණත්ව පාලන  ගබඩා සංකීර්ණයේ නිරීක්ෂණ චාරිකාවකට අද (22) දින පැමිණී බන්දුල ගුණවර්ධන අමාත්‍යවරයාගෙන් මාධ්‍ය කළ ප්‍රශ්න කිරීමකට පිළිතුරු දෙමින් අමාත්‍යවරයා මේ බව ප්‍රකාශ කළේය.

    එහිදී අමාත්‍යවරයා වැඩිදුරත් පැවසූයේ පසුගිය රජයන්, මෙන් ඉන්දියාවෙන් පොන්නි  සහල් ගෙන්වා රුපියල් 85 ක මිලකට රට පුරා බෙදා හැරීමට හැකියාව ඇතත් තම රජය එවැන්නක් සිදු නොකරන බවයි.  එමෙන්ම වත්මන් රජය ගොවියාගේ පැත්තේ සිටගන්නා බවද ඉදිරියේදී වී අස්වැන්න ලැබෙන විට සහල් මිල සාමාන්‍ය අතට පත් වෙද්දී මෙම ප්‍රශ්නයට විසඳුම් ලැබෙන බවද අමාත්‍යවරයා සඳහන් කළේය

    සහල් මාෆියාවක් ඇති බව කියමින් වත්මන් ආණ්ඩුව පසුගිය කාලයේ සහල් මිල පාලනයට ගැසට් නිවේදන 04ක් නිකුත් කළේය.

  • නව අමාත්‍යාංශ දෙකක් – පොලිසිය නව අමාත්‍යාංශය යටතට – ගැසට් නිවේදනය මෙන්න

    නව අමාත්‍යාංශ දෙකක් – පොලිසිය නව අමාත්‍යාංශය යටතට – ගැසට් නිවේදනය මෙන්න

    නව අමාත්‍යාංශ දෙකක් පිහිටුවීම සහ අමාත්‍යාංශ කිහිපයක විෂයයන් සංශෝධනය කිරීම සඳහා ජනාධිපති ගෝඨාභයා රාජපක්ෂ මහතා විසින් පසුගිය 20 වැනිදා ගැසට් නිවේදනයක් නිකුත් කර තිබෙනවා.

    ගැසට් නිවේදනයට අනුව මහජන ආරක්ෂක අමාත්‍ය ලෙස නව කැබිනට් අමාත්‍ය ධුරයක් හඳුන්වා දී ඇති අතර අභ්‍යන්තර ආරක්ෂාව, ස්වදේශ කටයුතු හා ආපදා කළමනාකරණ රාජ්‍ය අමාත්‍යවරයා යටතේ තිබූ පොලිස් දෙපාර්තමේන්තුව නව අමාත්‍යාංශය යටතට පත් කර තිබෙනවා.

    තාක්‍ෂණ අමාත්‍ය ලෙස තවත් නව අමාත්‍යාංශයක් ස්ථාපිත කර ඇති අතර සෙසු අමාත්‍යාංශ කිහිපයක විෂයයන්ද එයට එක්කර තිබෙනවා.

    අදාළ ගැසට් නිවේදන පහත දැක්වෙනවා.

    S

  • LPL හි ගුණාත්මකභාවය කඩකරන්නන්ට දැඩි දඬුවම්

    LPL හි ගුණාත්මකභාවය කඩකරන්නන්ට දැඩි දඬුවම්

    එළැඹෙන 26 වැනිදා ආරම්භ වන “My11Circle ලංකා ප්‍රිමියර් ලීග්” විස්සයි-20 ලීග් ක්‍රිකට් තරගාවලියේ ගුණාත්මක භාවය රැක ගැනීම සඳහා ගත යුතු ඕනෑම ක්‍රියාමාර්ගයක් ගැනීමට ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය පසුබට නොවන අතර එකී ගුණාත්මකභාවය බිඳ වැටෙන කුමන කටයුත්තකදී තරගාවලිය අතරතුරදී වාර්තාවුවහොත් ඒ සම්බන්ධව දැඩි තීරණය ගැනීමේ ප්‍රතිපත්තියක් අනුගමනය කරනු ඇත.

    LPL තරගාවලියේ දූෂණ විරෝධී ක්‍රියා පාලනය පිළිබඳව කටයුතු කිරීම සඳහා දැනටමත් අන්තර්ජාතික ක්‍රිකට් සභාව යටතේ පවතින දූෂණ විරෝධී අංශ නිලධාරීන් දෙදෙනකු ශ්‍රී ලංකාවට පැමිණ සිටින අතර ඔවුහු ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතන දූෂණ විරෝධී අංශයේ නිලධාරීන් සමඟ එක්ව කටයුතු කරති. ක්‍රීඩකයින් සහ කණ්ඩායම් භාර නිලධාරීන් නවාතැන් ගෙන සිටින හම්බන්තොට ෂැන්ග්‍රිලා හෝටලයේම නවාතැන් ගෙන සිටින එම නිලධාරීහු හෝටල් පරිශ්‍රය, තරග ක්‍රියාත්මක ක්‍රීඩාංගණයේදී මෙන්ම LPL හා සම්බන්ධව පැවැත්වෙන සියළුම නිල උත්සව අවස්ථාවන්හිදී ඒ පිළිබඳව සුපරික්ෂාකාරීව කටයුතු කරනු ඇත. 

    ඒ අනුව තරගාවලිය අතරතුර යම්කිසි දූෂිත ප්‍රවේශයන් වාර්තා වුවහොත් ඒ පිළිබඳව දූෂණ දූෂණ විරෝධී අංශ නිලධාරීන්ට පැමිණිලි කිරීමට තරගාවලිය නියෝජනය කරනු ලබන ක්‍රීඩකයින් සහ කණ්ඩායම් නිලධාරීහු බැඳී සිටිති. එසේ සිදුකරන පැමිණිලි සම්බන්ධව දැඩි රහස්‍ය භාවයකින් කටයුතු කිරීමට දූෂණ විරෝධී අංශය කටයුතු යොදනු ඇත.

    තරගාවලිය අතරතුර සැක සහිත හෝ දූෂිත ක්‍රියායාවක් පිළිබඳව වාර්තා වුවහොත් ඒ පිළිබඳව තොරතුරු ලබා දීම වෙනුවෙන් ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය සහ දූෂණ විරෝධී අංශය විසිහතර පැය පුරාම ඇමැතුම් ලබා ගැනීමට හැකිවන පරිදි දුරකථන අංකයක් පවත්වාගෙන යනු ලබන අතර තරගාවලිය සමාරම්භයට පෙර සියළුම ක්‍රීඩකයින්ට සහ නිලධාරීන්ට දූෂණ විරෝධී කටයුතු සම්බන්ධව වැඩි දුර දැනුවත් කිරීමේ වැඩසටහනක්ද පැවැත්වෙනු ඇත.

    කෙසේ වෙතත් දූෂණ විරෝධී කටයුතු සම්බන්ධ අනුගමනය කළ යුතු කරුණු, ක්‍රීඩකයින් සහ නිලධාරීන් වෙසෙන ස්ථානවලදී එලෙසින්ම ක්‍රියාත්මක කිරීමට දූෂණ විරෝධී අංශ නිලධාරීහු පියවර ගෙන තිබේ. 

    දූණ විරෝධී ක්‍රියාවන් සම්බන්ධව කණ්ඩායම්වලට හිමිකරුවන් සහ නිලධාරීන්ව පූර්ව දැනුවත් කිරීමක් ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතන ප්‍රධාන විධායක නිලධාරී ඈෂ්ලී ද සිල්වා මහතාගේ ප්‍රධානත්වයෙන් ඉකුත්දා ශ්‍රී ලංකා ක්‍රිකට් මූලස්ථානයේදී පැවැති අතර තරගාවලිය ඉතා ඉහළ ගුණාත්මකභාවයකින් යුතුව පවත්වාගෙන යෑමේ වැදගත්කම පිළිබඳව එහිදී අවධාරණය කර සිටි අතරම ඒ සඳහා වූ සහායද ඔවුන්ගෙන් ඉල්ලා සිටියේය.

    එහිදී අදහස් දක්වා ඈෂ්ලී ද සිල්වා මහතා, ” දූෂණ විරෝධී ලේඛනයට අදාළ කරුණු පිළිපදිමින් පිරිසිදු සහ සාධාරණ තරගාවලියක් පැවැත්වීමට කටයුතු කරන බවට සහතික වන මෙන් අපි ක්‍රීඩකයින්ගෙන් සහ නිලධාරීන්ගෙන් ඉල්ලා සිටියෙමු”යි සඳහන් කර සිටියේය. 

    ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය සහ දූෂණ විරෝධී අංශ හැරුණු විට දූෂිත ක්‍රියාවලින් තොරව තරගාවලිය ඉදිරියට පවත්වාගෙන යෑම සහතික කර ගැනීම සඳහා අවශ්‍ය විටෙක ශ්‍රී ලංකා රජයේ ආරක්ෂක අංශවල සහාය ලබා ගැනීමටද ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය බලාපොරොත්තුවෙන් පසුවේ.

    එපමණක් නොව, මෙම තරගාවලිය හා බැඳි සිටින්නන්, 2019 වසරේ අංක 24 දරණ ක්‍රීඩා පනතට අදාළව මෑතකදී බලාත්මක කරන ලද “අපරාධ වැළැක්වීමේ පනතෙහි” විධිවිධානවලට අනුකූලව කටයුතු කළ යුතු වේ.  එහිදී ක්‍රීඩාවේ ඕනෑම ආකාරයක දූෂිත අවස්ථාවක් හෙවත්, තරග පාවාදීමක්, නීති විරෝධී ලෙස හැසිරවීම සහ ඔට්ටු තැබීම ශ්‍රී ලංකා අපරාධ නීතිය යටතේ සාපරාධී වරදක් ලෙස සලකනු ලැබේ. 

    තරගාවලිය දූෂණ විරෝධී කටයුතු සම්බන්ධව දූෂණ විරෝධී අංශ දුරකථන අංක

    ශ්‍රී ලංකාව – +94769053800

    ඩුබායි – +97565458909 (Voice and Whatsapp)

    විද්‍යුත් තැපැල් (Email) – anti-corruption@srilankacricket.lk 

  • ජනපතිතුමනි, මුරුංගා අත්තෙන් බහින්න කාලය පැමිණ තිබේ !

    ජනපතිතුමනි, මුරුංගා අත්තෙන් බහින්න කාලය පැමිණ තිබේ !

    ජයදේව උයන්ගොඩ

    ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා සිය ධුරයේ පළමුවැනි වසර සම්පූර්ණ කරන මේ සතිය වනවිට එතුමාගේ පාලන තන්ත්‍රයෙත්, එතුමාත් නාගරික මධ්‍යම පන්තියේ විවේචනයටත්, තියුණු හාස්‍යයටත් පාත්‍ර වී තිබේ. ග්‍රාමීය ජනතාව අතර ප්‍රතිචාරය කෙසේදැයි මම ඒ ගැන නොදනිමි. එතුමා විවේචනයට වඩා හාස්‍යයට ලක්කරන බොහෝ නාගරික මධ්‍යම පාන්තිකයන්, මීට වසරකට පෙර එතුමාට බොහෝ උනන්දුවෙන්ද, උද්වේගයෙන්ද, බලාපොරොත්තු සහිතවද ඡන්දය දුන් අයයි.

    අප රටේ නාගරික මධ්‍යම පන්තික සමාජයේ වෙනස්වන දේශපාලන විඥානය ගැන දැන ගැනීමට මට ඇති විශ්වාසය තැබිය හැකි එක් මූලාශ්‍රයක් වන මගේ භාර්යාවට අනුව, රාජපක්ෂ මහතාට ඡන්දය දුන් බොහෝ දෙනා දැන් කියන්නේ, ඔවුන් ඡන්දය දුන්නේ අනුර කුමාර දිසානායක මහතාට බවයි. “දැන් මේ අය කියන කතා ඇත්ත නම් අනුරට ලේසියෙන්ම දිනන්නත් ඉඩ තිබුණා” යැයි, මෙම අලුතෙන් වර්ධනය වන මධ්‍යම පන්තික දේශපාලන උපහාස සාහිත්‍යයට සුළු එකතුවක් කරමින් ඇයද ලඟදි දවසක කියා සිටියාය.

    එහෙත් දේශපාලනය ගැන බැරෑරුම්ව සිතන විශ්වවිiාල ශාස්ත්‍රඥයින් වන අප වැනි අය උනන්දුවන තවත් දෙයක් තිබේ. එනම් ජනාධිපතිතුමා වැනි නැවුම් දේශපාලන නායකයින් තමන්ගේ ආධාරක ප්‍රජාවන්ගේ උපහාසයට මේ තරම් ඉක්මණින් පාත්‍රවීමෙන් ප්‍රකාශ වන දේශපාලන ප්‍රවණතාවයයි. මේ කෙටි ලිපියේ අරමුණ ඒ සඳහා උත්සාහයක් ගැනීමයි.

    එපාවීමේ දේශපාලනය

    ඡන්දයෙන් බලයට පත්වූ දේශපාලන නායකයින්, ජනතාවටත්, තමන්ට ඡන්දය දුන් අයටත් එපාවීමට සාමාන්‍යයෙන් අවුරුදු තුනක්වත් ගතවේ. එපාවීමෙන් පළමුවැනි අවුරුද්දේ නම් සිදුවන්නේම නැති තරම්ය. ප්‍රබල විරුද්ධ පක්ෂයක් නැති අකර්ශණහීලි විරුද්ධ පක්ෂ නායකයකුවත් නැති, මනබඳිනා විකල්ප දේශපාලන වැඩ පිළිවෙලක් රැඩිකල් ජවිපෙන්වත් ඉදිරිපත් වී නැති පසුබිමක් තුළ පත්වී ඇති මෙම තත්ත්වය ගැන බැරෑරුම් විග්‍රහයන් හෝ පැහැදිලි කිරීමක් හෝ ඉදිරිපත් කිරීමට තවමත් කල් මදිය. කෙනෙකුට කළ හැක්කේ තාවකාලික ප්‍රවාද කිහිපයක් ඉදිරිපත් කිරීමක් පමණි.

    උපහාසය තුළින් දැනට වඩාත්ම විවේචනයට ලක්වන බව පෙනෙන්නේ ජනාධිපතිතුමාට තිබෙන රූපවාහිනි සහ පුවත්පත් ප්‍රධාන කොටගත් ජනමාධ්‍ය විසින්ද, එතුමාගේ මාධ්‍ය ඒකකය විසින්ද, එතුමාම විසින්ද ඉදිරියටම දමා ඇති එතුමාගේ ප්‍රතිරූපයකි. මෙය ජනාධිපතිවරණයෙන් ජය ගැනීමට එතුමා ප්‍රචාරණයට පාත්‍ර කළ වෙළඳ දැන්වීම් ව්‍යාපාරය, දැන් අර්බුදයට පත්වීමේ ප්‍රකාශනයකි. එතුමාගේ ගොඩනගන ලද ප්‍රතිරූපය වූයෙත්, එතුමා තමන් ගැනම අව්‍යාජව විශ්වාස කළ දේ බව පසුගිය අවුරුද්ද තුළම පෙනුණෙත්, අප සමාජයේ සියලු ප්‍රශ්ණ විසඳීමේ පෙර නොවු විරු හැකියාවක්, බුද්ධි මහිමයක් පෙර සුදානමක්, වාසනා ගුණයක් සහ පුහුණු සහ විශේෂඥ පිරිස් බලයක් එතුමාට තිබෙන බවයි. එහෙත් ඒ ගැන මූලික සැකයක් එතුමා ඡන්දයෙන් දිනූ මුල් මාස තුන තුළම ප්‍රදර්ශනය විය. අලුත් ආණ්ඩු සහ අලුත් පාලකයින් පත්වීම පිළිබඳව තිබෙන දේශපාලන ව්‍යවහාරඥානයේ ඇති එක් ආත්තෝපදේශයක් නම් “ඕනෑම අලුත් ආණ්ඩුවක හැකියාව හෝ නොහැකියාව පළමුවැනි දින සියය තුළ ප්‍රදර්ශනය වේ” යන්නයි. අගමැති රනිල් වික්‍රමසිංහ 2015 දී තමන්ට පාර්ලිමේන්තුවේ බහුතරයක් නොමැතිවත්, “දින සියයේ” වැඩ පිළිවෙලක් ක්‍රියාත්මක කළේ මේ අදහස ගැන දැන සිටි නිසා විය හැකියි. එහෙත් එවැනි වැඩ පිළිවෙලක් රාජපක්ෂ මහතාගෙන් ඉදිරිපත් නොවුණි. ඒ වෙනුවට තමන්ට පාර්ලිමේන්තුවේ බහුතරයක් නොතිබීම” තම අකර්මණ්‍යතාවයට හේතුව ලෙස එතුමා ඉදිරිපත් කළේය. එහෙත් එතුමා නොකළ යුතුව තිබූ එක් දෙයක් කළේය. එය නම් ආණ්ඩුවේ අය බදු ආදායම විශාල ලෙස අඩු කිරීමකි.

    මේ ගැන තරමක් වෙනස් අර්ථකථනයක් කෙනෙකුට ඉදිරිපත් කළ හැකිය. මෙය වනාහී අවුරුද්දකට පසුව අදටත් වලංගු අර්ථකථනයකි. එය නම්, ජනාධිපතිවරයෙක් ඉහළින් දිනුවත්, ඉන්පසු කළ යුත්තේ කුමක්ද යන්න ගැන බැරෑරුම් සුදානමක් එතුමා හෝ එතුමාගේ කඳවුර තුළ හෝ නොතිබිණ යන්නයි. තමන් ජනාධිපතිවරණය ජයගත් පසු තමන්ට ගනුදෙනු කරන්නට සිදුවන්නේ විරුද්ධ පක්ෂයට බහුතරය තිබෙන පාර්ලිමේන්තුවක් සමග බවත්, එම පාර්ලිමේන්තුව තව මාස ගණනාවක්ම තම පාලනයට යටත් නොවී පවතින බවත් දැන සිටිය යුතු වූ එතුමා සහ එතුමාගේ උගත් උපදේශකයින් කළයුතුව තිබුණේ, ඊළඟ පාර්ලිමේන්තු මැතිවරණයෙන් බහුතරය ලබාගෙන තමාට පක්ෂපාත ව්‍යවස්ථාදායකයක් ලබා ගන්නා තුරු, තමන්ට පක්ෂපාත නැති පාර්ලිමේන්තුව සමග සහයෝගයෙන් කටයුතු කරමින් තම ප්‍රතිපත්ති සහ විසඳුම් ක්‍රියාත්මක කිරීමේ පළමු පියවර කිහිපය තැබීමයි. සාර්ථක දේශපාලන නායකයකුගේ නියම සාර්ථකත්වයේ මිණුම් දණ්ඩ වන්නේ, තමන්ට අවාසි සහගත වන ලෙස විරුද්ධ පක්ෂ සමග ඇති ප්‍රතිවිරෝධතා තියුණු කරගෙන, බලයේ කේන්ද්‍රීය ආයතන ලෙස පැවැති පාර්ලිමේන්තුවෙන් ප්‍රයෝජන නොගැනීම නොවේ. සිය අරමුණු දේශපාලන අතරමග සමාදානය සහ සාකච්ඡාව තුළින් ඉටුකර ගැනීමයි. එවැන්නක් සඳහා තමන්ට හැකියාවක් නොතිබුණු බව ජනාධිපතිතුමා ප්‍රදර්ශනය නොකළා පමණක් නොවේ. එවැන්නක් මගින් ඉටුකරගත හැකි වැඩ පිළිවෙලක්, ජනාධිපතිවරණය ජයගන්නා විට, එතුමාට නොතිබුණු බවද එතුමා ප්‍රදර්ශනය කළේය.
    මෙම දුර්වලතා නැවත වරක් ජනාධිපතිතුමා විසින් ප්‍රදර්ශනය කරනු ලැබුවේ පාර්ලිමේන්තුවේ තුනෙන් දෙකක බහුතරය ලබාගත් පසුය. තමන්ට නීත්‍යානුකූලව බලය ලැබුණු පළමුවැනි දවසේම පාර්ලිමේන්තුව විසුරුවා හැරීමෙන් පසුව ජනාධිපතිතුමා ජනතාවගෙන් ඉල්ලා සිටියේ, රටේ සියලු ප්‍රශ්න විසඳීම සඳහා තමන් සතු අවුට් ඔෆ් ද බොක්ස් විසඳුම් ක්‍රියාත්මක කිරීම තුනෙන් දෙකක පාර්ලිමේන්තු බහුතර බලයක් තමන්ට ලබා දෙන ලෙසයි. මෙය වනාහී මහින්ද රාජපක්ෂ මහතා තමන්ගේ දෑත ශක්තිමත් කිරීමට තුනෙන් දෙකක බලයක් ලබාදෙන ලෙස 2010 දී ඡන්ද දායකයාගෙන් කළ ඉල්ලීමද විය. මේ අවස්ථා දෙකේදීම පෙනුණේ තුනෙන් දෙකක බලයක් ලබාගෙන රටේ ප්‍රශ්න විසඳීමට කළ යුත්තේ කුමක්ද යන්න ගැන සූදානමක් නායකයින් දෙදෙනාම සතුව නොතිබුණු බවයි.

    මෙය වනාහී 2015 ජනවාරි මාසයේ සිටම මෛත්‍රීපාල සිරිසේන සහ රනිල් වික්‍රමසිංහ යන දෙපොළගෙන්ද ප්‍රදර්ශනය වූ, අප රටේ දේශපාලන නායකයින් සතු සුපුරුදු දුර්වලකමකි. බලය නැතිව සිටිද්දී බලයේ සිටින ආණ්ඩුව දුර්වල කරමින් ඡන්දය දිනා බලයට ඒමට අවශ්‍ය දක්ෂකම සහ අධිෂ්ඨානය ඔවුන්ට තිබේ. එහෙත් බලය ආ පසුව කළ යුත්තේ කුමක්ද ? යන්න ගැන සුදානම් වීමක්, පෙර සිතීමක්, සැලසුම් නිර්මාණය කිරීමක් ඔවුන් තුළ නැත. එහෙත් ඒවා තමන් වෙත තිබෙන බව නම් ඔවුහු මැතිවරණයට පෙර ජනතාවද විශ්වාස කරන පරිදි කියා සිටිති. ගෝඨාභය ජනාධිපතිතුමා පළමු වසර මුළුල්ලේම ප්‍රදර්ශනයකර ඇති අසාර්ථකත්වයට මූලික දායකත්වයක් කර ඇත්තේ මෙම දුර්වලතාව විසිනි.

    කොවිඞ් අර්බුදයේ අභියෝගය

    අප ඉහත සාකච්ඡා කළ කාරණයම, ජනාධිපතිතුමාට පක්ෂපාත දෘෂ්ඨිකෝණයකින් බලා පහත සඳහන් ආකාරයේ වෙනස් විග්‍රහයක්ද ඉදිරිපත් කළ හැකිය. එනම්, ජනාධිපතිවරණයෙන් දිනන විට, ජනාධිපතිතුමාට සහ ඔහුගේ කණ්ඩායමට අදහස් සහ සැලසුම් තිබිණ. එහෙත් ඒවා අවුල් කරන ලද්දේ නොසිතු විරූ කොරෝනා අර්බුදය විසිනි.
    එහෙත් මෙම පැහැදිලි කිරීමේ ඇත්තේ දුර්වල වලංගුතාවයකි. එයට හේතුව, කොරෝනා අර්බුදය නියම ලෙස අප රටට දැනෙන්ට පටන් ගන්නේ පෙබරවාරි අග කාලයේදී සිට වීමයි. එය වනාහී විශාල මහජන වරමකින් ජයග්‍රහනය කළ කෙනෙකු, මාස තුනක් නිකම් සිටි තත්ත්වයක සිටියේ මන්ද යන පහසුවෙන් පැහැදිළි කළ නොහැකි ප්‍රශ්නයට දිය හැකි දුර්වල පිළිතුරකි.ඒ කෙසේ වෙතත්, කොරෝනා අර්බුදයේ ජනාධිපති රාජපක්ෂ මහතාගේ පළමු වසරට බලපෑ හැටි පරික්ෂා කිරීම කළ යුතු දෙයකි. එතුමාට යම් කිසි සැලසුමක් තිබුණ නම් කොරෝනා අර්බුදය විසින් ඒ සියල්ල සම්පූර්ණයෙන්ම අවුල් කරන ලද බව කීම අඩු තක්සේරුවකි. ලෝක සහ ජාතික ආර්ථික පසුබෑම සහ කඩාවැටීම ඉදිරියේ ලංකාවේද ආණ්ඩුව ඉදිරියේ තිබෙන අභියෝග සුළුපටු නොවේ. මෙවැනි කාලයක ආණ්ඩුවක් ඍජුව සිටීම තමාගේ අවාසනාවයැයි පාලකයෙකු සිතනවානම් ඒ ගැන ඇතිවියයුත්තේ සහකම්පිත ප්‍රතිචාරයකි.

    මිත්‍යාවේ බලය නැතිවීම

    එහෙත් පසුගිය මාර්තු මාසයේ සිට ගිය මස දක්වා ජනාධිපතිතුමා කර තිබෙන්නේ කුමක්ද ? තමා පිළිබඳව තමා තුළම පවතින්නා වූත් ඡන්දදායකයන්ට ඉදිරිපත් කරන ලද්දාවුත් එක්තරා පුද්ගලවාද මිත්‍යාවක් මත වැඩ කිරීමයි. රටේද ඉරණම තම තමන්ද අනන්‍යවී තිබෙන, රටේ ප්‍රශ්න විසඳීමේ ගුණමහිමය සසඳනා බලය ඇති එකම පුද්ගලයා තමාය යන විශ්වාසය මත, සියලුම දේශපාලන බලය 19 වැනි සංශෝධනයට පිටතින් යමින්ද, ඉන් පසුව එය අහෝසිකර 20 වැනි සංශෝධනය සම්මත කර ගැනීමෙන්ද, ලංකාවේ ආණ්ඩුක්‍රමය ඒක පුද්ගල අධිකාරිවාදී පරිවර්තනයකට භාජනය කිරීමයි. “ජනාධිපති” යන තනිපුද්ගලයා වටා සියලු රාජ්‍ය බලය කේන්ද්‍රගත කර ගැනීමයි. 1958 දී ප්‍රංශයේ ජෙනරාල් චාල්ස් ඩිගොල් මහතාද ශ්‍රී ලංකාවේ 1978 දී ජෙනරාල් කෙනෙකු නොවු ජේ. ආර්. ජයවර්ධන මහතාද 2010 දී මහින්ද රාජපක්ෂ මහතාද මෙවැනි පුද්ගල කේන්ද්‍රීයවාදි ඒකාධිපති ව්‍යවස්ථා ප්‍රතිසංස්කරණ වලට යෑමේ පූර්වාදර්ශයයන්ය.

    එකපුද්ගල අධිකාරිවාදී ජනාධිපතිවරුන් 2020 ක් පසුව, එනම් පශ්චාත් කොරෝනා ලෝකය තුළ, මුහුණ දෙන අභියෝග කොතරම් පෙර නොවූ විරූ ලෙස ආරම්භකළ ඒවාද යත්, ඒවා වනාහී කිසිසේත්ම තනි පුද්ගලයකුට කර ගැසිය හැකි, කරගැසිය යුතු ඒවා නොවේ. ඒවා වනාහී හැකිතාක් දුරට සාමුහික, අන් අයගේද සහයෝගය ඇතිවූ, විරුද්ධ පක්ෂ වලද සහභාගීත්වය ඇතිව හැකිතාක් විවෘතව, සාකච්ඡා මාර්ගයෙන්, පොර බැදිය යුතු අභියෝග වෙති. ආඥා, නියෝග සහ ගැසට් පත්‍ර මාධ්‍ය කොටගෙන, විසඳීමේ කීර්තියේ ඒකාධිකාරය තනියම ලබා ගත හැකි ඒවා නොවේ. ඒවා එසේ යැයි කෙනෙකු සිතන්නේ නම්, එය වනාහී ස්වයං රවටා ගැනීමකි.

    පණිවුඩයක්

    ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතාගේ පළමුවැනි පදවිප්‍රාප්ත උළෙලේදි එතුමාට සුභ පතන, සෙත් පතා පුවත්පත් වල දැන්වීම් පළකරන, මුහුණු පොතේ සටහන් තබන බොහෝ දෙනා කරනු ඇත්තේ එතුමාගේ පළමුවසරේ අත්දැකීම් ගැන සමතුලිත විග්‍රහයක් එතුමාට ඉදිරිපත් කිරීම නොවේ. තමන් ගැන කරන සමතුලිත විග්‍රහයන්ට විශේෂයෙන්ම ලංකාවේ දේශපාලන නායකයින් තදින් අකැමැතිබව දන්නා මේසියලු දෙනාම පාහේ කරනු ඇත්තේ, එතුමා හැකිතාක් දුරට ව්‍යාජ ලෙස වර්ණනා කිරීමයි. ත්‍ඛ්ඔඔෑඍශ යනුවෙන් ඉංග්‍රීසි භාෂාවෙන්ද, “මුරුංගා අත්තේ තැබීම” යනුවෙන් සිංහල භාෂාවෙන්ද හඳුන්වන කලාව විශේෂඥ ලෙස ප්‍රගුණ කර ඇති අමාත්‍යවරුන්ද, පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන්ද, දේශපාලනඥයින්ද, රජයේ ඉහළ නිලධාරින්ද, ව්‍යාපාරිකයන්ද, ජනමාධ්‍ය ව්‍යාහාරිකයින්ද මේ දින කිහිපයම තුළ කරනු ඇත්තේ එයයි.

    මගේ විග්‍රහය වනාහී එතුමාගේ අසාර්ථකත්වයට තව දුරටත් ඉදිරියට ගියහොත්, ඉන් ඇතිවීමට හැකි නිෂේධනීය දේශපාලන ප්‍රතිඵල වල බැරෑරූම්කම ගැන සවිඥානිකත්වය වෙතින් ගොඩ නැගුණකි. තව අවුරුදු හතරක් බලයේ සිටීමට නියමිත එතුමාට ස්වාධීන පුරවැසියකු ලෙස මා දෙන කාරුණික පණිවුඩය නම්, දැනට තිබෙන තුනෙන් දෙකේ බහුතර බලය සාධනීය අරමුණක් සඳහා යොදමින්, විසිවැනි සංශෝධනය අහෝසිකර, අඩුපාඩු වලට පිළියම් යොදා යළි සකස් කළ ප්‍රජාතන්ත්‍රවාදි 19 වැනි සංශෝධනය, 21 වැනි සංශෝධනය ලෙස පාර්ලිමේන්තුව ලවා සම්මත කර ගැනීමයි. ජනතාවගේ ඡන්දයෙන් පත්වී ඇති ජනාධිපතිධුරයට අත්‍යාවශ්‍ය අමාත්‍යාංශ එකක් හෝ දෙකක් ලබාදීම, නව 21 වැනි සංශෝධනයෙන් කළ හැකි නරක දෙයක් නොවේ.

    නොවැම්බර් 22 රාවය ඊ පුවත්පත ඇසුරිණි – ශීර්ෂ පාඨය පමණක් සංශෝධනය කර ඇත. ප්‍රධාන සංස්කාරක

  • ආණ්ඩුව වෙබ් නියාමනයට සූදානම් වෙයි

    ආණ්ඩුව වෙබ් නියාමනයට සූදානම් වෙයි

    වෙබ් අඩවි නියාමනයට පාලනයක් අවශ්‍ය බවත්, ඒ සඳහා නිසි වැඩපිළිවෙලක් ඉදිරි සති 02 තුළ ක්‍රියාත්මක කරන බවත් ජනමාධ්‍ය අමාත්‍ය කෙහෙලිය රඹුක්වැල්ල මහතා ජනමාධ්‍ය කටයුතු පිළිබඳ අමාත්‍යාංශයීය උපදේශක කාරක සභාවට පාර්ලිමේන්තුවේදී අද (21) එක් වෙමින් පැවසීය

    සමාජ මාධ්‍ය මඟින් ජාතිවාදය ඇවිස්සීමට ගන්නා උත්සහය පාලනය කල යුතු බව පාර්ලිමේන්තු මන්ත්‍රී සුරේන් රාඝවන් මහතා මෙහිදී පැවසීය. එවැනි දේ පාලනය වෙනුවෙන් සිංගප්පූරුවේ නව පනතක් සම්මත වූ බවත්, එය ද අධ්‍යයනය කර නව වැඩපිළිවෙලක් සැකසිය යුතු බවත් අධ්‍යාපන අමාත්‍ය මහාචාර්‍ය ජී.ඇල් පීරිස් මහතා මෙහිදි කීවේය.

    පුරවැසියන්ගේ ආත්ම ගරුත්වය ආරක්ෂා වන පරිදි කටයුතු කිරීම වෙනුවෙන් පුවත් පත් මණ්ඩල පනත සංශෝධනය කළ යුතු බව  අමාත්‍ය කෙහෙලිය රඹුක්වැල්ල මහතා උපදේශක කාරක සභාවේ දී අවධාරණය කළේය. ජනමාධ්‍ය මඟින් සමස්ත පුරවැසි අයිතීන් ආරක්ෂා කළ යුතු බව ද හෙතෙම පැවසීය. අසාධාරණ මඩගැසීම් පාලනය කළ යුතු බවත්, ජනමාධ්‍ය සඳහා යම් නියාමනයක් අවශ්‍ය බවත් අමාත්‍යවරයා පෙන්වා දුන්නේය.

    මෙහිදී අදහස් දැක්වූ පාර්ලිමේන්තු මන්ත්‍රී මහාචාර්‍ය චරිත හේරත් මහතා පැවසුවේ පුවත් පත් මණ්ඩල පනතට එක් කරන සංශෝධන පිළිබඳව ජනමාධ්‍ය කටයුතු පිළිබඳ අමාත්‍යාංශයීය උපදේශක කාරක සභාවේ දී සාකච්ජා කිරීම මඟින් එම කටයුතු පහසු වන බවයි. රූපවාහිනී හා ගුවන් විදුලි මාධ්‍ය නියාමනයට නිසි ක්‍රමවේදයක් සැකසිය යුතු බවද හෙතෙම පැවසීය.

    අදාළ සංශෝධන අමාත්‍යාංශයීය උපදේශක කාරක සභාවට යොමු කිරීමෙන් අනතුරුව වයවස්ථා කෙටුම්පත් කමිටුවට යොමු කිරීම ඉතා පහසුවන බව මෙහිදි අදහස් දැක් වූ අධ්‍යාපන අමාත්‍ය මහාචාර්‍ය ජී.ඇල් පීරීස් මහතා පැවසීය. පනතක් එවැනි තාක්ෂණීක කමිටුවකට යොමු කිරීම ඉතා වැදගත් බව ද මහාචාර්‍යවරයා පෙන්වා දුන්නේය.

    ජනමාධ්‍ය ආයතන වලට ස්වයං නියාමන ක්‍රමවේදයක් සැකසීම පිළිබඳව 2015 වසරේදී සාකච්ජා වූ බවත්, එම වැඩපිළිවෙල නැවත ක්‍රියාත්මක කිරීමේ අවශ්‍යතාව පාර්ලිමේන්තු මන්ත්‍රී මනූෂ නානායක්කාර මහතා මෙහි දී අවධාරණය කළේය.සිවිල් පුරවැසියන්ට මාධ්‍ය මඟින් සිදු කරන හානිය සුවිශාල බව ද ඔහු පැවසීය.

    එමෙන්ම ශ්‍රී ලංකා රූපවාහිනි සංස්ථාවේ අයි නාලිකාව මඟින් පාර්ලිමේන්තු සභාවාර විකාශය කිරීම නැවත ආරම්භ කිරීම සම්බන්ධයෙන් ද මෙහි දී සාකච්ජා විය. ජනමාධ්‍යයට සම්බන්ධ පාර්ශව වෘත්තීයවේදීන් ලෙස පිළිගැනීම, ජනමාධ්‍යවේදීන් සඳහා අවම වැටුප් ක්‍රමයක් සැකසීම, ජනසන්නිවේදනය පිළිබඳ උපාධිධාරින් ඊට අදාළ රැකියා සඳහා යොමු කිරීම, ජනමාධ්‍ය විෂය ඉගැන්වීම සඳහා ගුරුවරුන් පාසල් සඳහා පත් කිරීම වැනි කාරණා පිළිබදව ද කාරක සභාවේ අවධානය යොමු විය.

    රාජ්‍ය නාලිකාවල ප්‍රමිතිය ඇති කිරීම සම්බන්ධව පාර්ලිමේන්තු මන්ත්‍රී ශාන්ත බණ්ඩාර මහතා කාරක සභාවේ අවධානය යොමු කළේය. ස්වාධින රූපවාහිනි සේවයට වසර 04 ක් තුළ සභාපතිවරුන් 06 දෙනෙක් පත්කර තිබෙන බවත්  2014 වන විට එම නාලිකාව සමීක්ෂණ වාර්තා වලට අනුව අංක එකේ පසු වූ බවත් අමාත්‍ය කෙහෙළිය රඹුක්වැල්ල මහතා පෙන්වා දුන්නේය. පසුගිය රජය සමයේ රාජ්‍ය මාධ්‍ය ආයතන පාඩු ලබන තත්ත්වයට පත් වු බවත්, වසර 02 ක් තුල එම ආයතන ලාභ ලබන මට්ටමට නැවත පත් කරන බවත් ඊට පිළිතුරු දුන් අමාත්‍යවරයා තවදුරටත් පැවසීය.

    ජනමාධ්‍යවේදින්ට අධ්‍යාපනික ශිෂ්‍යත්ව ලබාදීම සහ, මාධ්‍ය උපකරණ ලබා ගැනීම වෙනුවෙන් සහනදායි ණය ලබා දෙන බවත් , ජනමාධ්‍යවේදීන් වෙනුවෙන් සුබසාධන වැඩකටයුතු රැසක් ක්‍රියාත්මක කරන බවත් අමාත්‍යවරයා සඳහන් කළේය. කාරක සභාව තුළදී දේශපාලන තීන්දු ගැනීමට සූදානම් නොමැති බවත්, සියලු පාර්ශව සමඟ සාකච්ජා කර පොදු තීරණ ගැනීමට කටයුතු කරන බවත් අමාත්‍යවරයා වැඩිදුරටත් පැවසීය.

    පාර්ලිමේන්තු මන්ත්‍රී උද්දික ප්‍රේමරත්න මහතා මෙහිදී පැවසුවේ ප්‍රවෘත්ති  සඳහා භාවිත කරන භාෂාවේ ප්‍රමිතිය සම්බන්ධව සොයා බැලිය යුතු බවයි. ඒ සඳහා ක්‍රමවේදයක් සැකසිය යුතු බවද හෙතෙම පෙන්වා දුන්නේය.

    ජනමාධ්‍යවේදීන් වෙනුවෙන් රක්ෂණ ක්‍රමයක් ළඟදීම ආර්ම්භ කරන බවත් , සදාචාරාත්මක මාධ්‍යවේදය ඉගැන්වීම සඳහා ජනමාධ්‍ය විද්‍යාලයක් ලබන වසරේ දී ආරම්භ කරන බවත් , ජනමාධ්‍ය අමත්‍යාංශයේ ලේකම් ජගත් පි. විජේවීර මහතා කාරක සභාවට දැනුම් දුන්නේය.

    උතුරු නැගෙනහිර පළාත්වල ඇතැම් අවස්ථාවල දී ජනමාධ්‍යවේදීන්ට තර්ජනවලට මුහුණ දීමට සිදුවන බවත්, එවා පාලනයට මැදිහත් වන ලෙසත් පාර්ලිමේන්තු මන්ත්‍රී සෙල්වරාසා ගජේන්ද්‍රන් මහතා සහාපතිවරයාගෙන් ඉල්ලිමක් කළේය. එවැනි අවස්ථාවල දී කඩිනමින් ජනමාධ්‍ය අමාත්‍යාංශය සහ පොලිස්පතිවරයා දැනුවත් කිරීමට කටයුතු කරන ලෙසත් සභාපතිවරයා පැවසීය.

    තැපල් දෙපාර්තමේන්තුවේ පුරප්පාඩු පිරවීම සහ ලිපි බෙදීමේ ප්‍රදේශ නැවත සීමානිර්ණය කල යුතු බවත් කාරක සභාවේදී සාකච්ජා විය. එමෙන්ම උප තැපල් කාර්‍යාල ප්‍රතිසංස්කරණය කිරීමේ වැඩපිළිවෙලක් ලබන වසරේ දී අරඹන බව ද තැපැල්පති රංජිත් ආරියරත්න මහතා කාරක සභාවේ දී පැවසීය. ආදේශකයන් ස්ථිර කිරීම පිළිබඳව ඉදිරියේ දී සලකා බලන බව ද හෙතෙම පැවසීය.

    මේ අවස්ථාවට අමාත්‍ය මහින්ද අමරවීර, පාර්ලිමේන්තු මන්ත්‍රීවරු වන ඉසුරු දොඩංගොඩ, ගුණතිලක රාජපක්ෂ, සාගර කාරියවසම්, ජයන්ත වීරසිංහ යන මහත්වරු ඇතුළු පාර්ලිමේන්තු මන්ත්‍රීවරු ද රාජ්‍ය නිලධාරිහු ඇතුළු පිරිසක් එක් වූහ.

  • ධනපතීන්ගේ සුවපහසුවට හැදූ කොවිඩ් මාර්ගෝපදේශ දුප්පතුන්ටත් අදාළ කිරීම

    ධනපතීන්ගේ සුවපහසුවට හැදූ කොවිඩ් මාර්ගෝපදේශ දුප්පතුන්ටත් අදාළ කිරීම

    ඇත්තම කතාව නම්, කොවිඞ්-19 වසංගතය පාලනය සඳහා ආරක්ෂණ පියවර හා මාර්ගෝපදේශ සකසා ඇත්තේ සමස්ත ලංකාවම තමන්ගේ මැද පන්තික වුවමනාවන් හා අගයන් සහිත එකම සුවපහසු තැන්නක් යැයි සිතන්නාවූ ඉහළ නිලධර පැලැන්තිය වන්නේය. ඔවුන්ගේ ආත්මාර්ථකාමී පැවැත්මට ගැළපෙන අයුරිණි

    කුසල් පෙරේරා

    ගම දුප්පත් නිසා ජීවිතයක් සොයාගෙන මහ නගරයට පැමිණි අහිංසක තරුණයන් මහත්වරුන් සේ අන්දවා ගිනි ගහන මධ්‍යාහ්නේ මදුරුතලා පිති වනන්නට පදිකයේ සිටුවා තිබූ සැටි මම දැක ඇත්තෙමි. තුට්ටු දෙකේ දෛනික වැටුපකට “මෑන් පවර්” රැකියා ඒජන්සි මගින් තැන තැන රැකියාවල යොදවන දිනකට පැය 12 ක් කඹුරන තරුණියන් මට හමුව ඇත. නගරයේ මැද පාන්තිකයින් උදේ හවස සනීපාරාක්ෂාවට ඇවිදින බෙල්ලන්විල මංතීරු අසල පාරේ ත්‍රීරෝද රථයේම රෑ නිදන තරුණයන් සමග මා කතා කර ඇත. වැඩ මුරයට අතිකාලය එකතුව දවසම හිටගෙන සේවය කරන්නට සිදුවන සුපර්මාකට් තරුණ තරුණියන්ගේ දුක මම අසා ඇත්තෙමි. කොරෝනාව හේතුවෙන් ආදායම් සොයා ගත නොහැකිව කහට කෝප්පයකින් දවස ගෙවූ තරුණයන්ද මට හමුව ඇත.

    පැය කිහිපයක දැනුම් දීමකින් රටම වසා දැමීමේ ඇඳිරි නීතිය ඉකුත් මාර්තු 20 වන සිකුරාදා පැනවූ පසු මේ අසරණුන් ගම් බිම් බලා යන්නට පොරකන විට, ඔවුන්ට දොස් නැගූ නාගරික මැද පන්තිකයින්ගේ අවලාද මම අසා සිටියෙමි. ඉන්න තැන සිට ආරක්ෂා වන හැටි ඉගැන්වීමට සමාජ මාධ්‍ය ජාලවලට ගොඩ වූ සහතිකධාරීන් දුටුවෙමි. සුව පහසු ඇඳිරි නීති ජීවිත සඳහා බඩු තොග ගසා ගත් නෝනලාගේ මහත්වරුන්ගේ පාණ්ඩිත්‍යයද මට ඇසුණි. ඒවායේ තිබූ ආත්මාර්ථයද මම දුටුවෙමි.

    මේ කවිය ලියූවේ ඒ සියල්ල ගැන ඇතිවූ අපුල සමග, ඇඳිරි නීති සමගින් දිග හරින හිතුවක්කාර පිළිවෙත් නිසා මුල් උදුරා දැමෙන නාගරික අවිධිමත් ක්ෂේත්‍රයේ වන මේ අසරණුන් වෙනුවෙනි. කොරෝනා පාලනයට ඔවුන්ද සමගින් සමාජයේ පහළ ස්ථර ඇතුළු කරගත හැකි විසඳුම් නොමැත්තේ නම්, කෝච්චිය යන්නේ වැරදි පීල්ලක, වැරදි තැනකට යැයි කීමටය.


    අන්තිම රේල්ලුව
    ඇයද යා යුතුය ගම,
    අප වැනිම විය යුතුය
    ඇවිදින් ඇයද නගරයට,
    සොයන්නට බඩ වියත.
    ඇයද යා යුතුය දැන්
    නොතකා මීටරේ ඉඩ,
    තව අයට ගම යන්න.

    පොදි බැඳන් අවිනිශ්චිතය,
    හිර කරන් බඩු මල්ල,
    එල්ල ගෙන කර මතින් ජීවිත,
    හිර කෙටුණු දුම්රිය පෙට්ටිවල,
    ගම යන්න හදිස්සිය,
    ඇඳිරි නීතිය වැටෙන්නට පෙර.

    කිරි කහට කෝප්පය
    රැය නිදන්නට ඉඩ නොදුන්,
    වැඩක් නැති දහවල,
    සෝදන්නෙ ගම යන්න දෑතම.
    කිම පලය දහවල සේදු අත,
    රේල්ලුවෙ ඉඩ නැතිව හිට ගන්න.

    ඉඩක් නැති කහින්නට,
    හෙටක් නැති හිතන්නට,
    කණස්සලු හිත් තොග පුරවගෙන,
    පීලි මත ගාට ගාට යන රේල්ලුව,
    වැරදිලා අවසන් නැවතුම,
    පැමිණ ඇත කොරෝනා නගරෙට.
    කුසල්
    2020 මාර්තු 22

    “මුඩුක්කු” ජනතාව

    කොළඹ අවිධිමත් වෙළෙඳපොළ ආර්ථිකයෙහි පොදි ගැසුණු එවන් අසරණුන් බහුතරයක් කොළඹ හැර ගියේ ඔවුන් කොළඹ නිත්‍ය පදිංචිකරුවන් නොවන හෙයිනි. එහෙත් කොළඹ හැර යන්නට නොහැකි නිත්‍ය පදිංචියක් ඇති එවැනිම දිළිඳු ප්‍රජාවක් කොළඹ සිටිති. අතීතයේ දෙමළෙන් “මුටුක්කු” යැයි කියූව සිංහලට පෙරළගෙන “මුඩුක්කු” වැසියන් යැයි හැඳින්වූ පිරිස ඔවුන්ය.

    කොළඹ නගරයේ මැද පන්තියට වඩා ඔවුන් ඓන්ද්‍රීය පදිංචිකරුවෝ වෙති. කොළඹ “ජැටිය” වටා මීට අවුරුදු සියයකට පෙර සිට පදිංචි වූ ඔවුහු ජැටියේ සහ අනෙක් අවශේෂ දෛනික සේවාවන්හි කුලී කම්කරුවන් වූහ. ජැටිය පසුව කොළඹ “හාබර් එක” වන විට එවැනි පිරිස් පදිංචි වූ මුඩුක්කු, විශේෂයෙන් උතුරු කොළඹ, මැද කොළඹ සහ බොරැල්ල, දෙමටගොඩ ප්‍රදේශවල “මුඩුක්කු වතු” ලෙස ව්‍යාප්ත විය. “හාබර් එක” කොළඹ “වරාය” ලෙස නවීකරණය වන කාලයේ, මේ මුඩුක්කු වතු සඳහා කොළඹ මහ නගර සභාව යම් නම්බුකාර යෙදුමක් ලෙස “ඌන පහසුකම් සමගින් වන වතු” යැයි ඒවා ආමන්ත්‍රණය කරන්නට විය.

    එහෙත් කොළඹ යැයි කී විට මැවෙන යෝධ වෙළෙඳ සංකීර්ණ, සුඛෝපභෝගී සුවිසල් නිවාස සංකීර්ණ, මාචුපීචු වල සිට මස්කට්, මහරස්ත්‍රා හරහා මැන්චුරියාව දක්වා කෑම වට්ටෝරු සහිත ඉහළ පෙළ අවහන් හල්, රාත්‍රී සමාජ ශාලා, නිරෝගී ශරීර සඳහා “ස්පා” හල්, ශරීර සෞඛ්‍ය වෙනුවෙන් ඇවිදින්නට ඉදිකෙරුණු මංතීරු සහිත උද්‍යාන, වාහන සඳහා විශාල රථ ගාල් වැනි අවශ්‍යතා සැපිරීමේ පහසුකම් ඇත්තේ මේ “ඌන පහසුකම් සමගින් වන වතු” ප්‍රජාවට නොවේ. ඒ වර්ණවත් සුවපහසු “කොළඹ” ඔවුන්ගේ කොළඹ නොවේ. එය දේශපාලන බලය කේන්ද්‍රගත වූ කොළඹ ය. එය විවෘත වෙළෙඳපොළ ආර්ථිකයෙහි සල්ලිකාර පාරිභෝගිකයින්ගේ කොළඹ ය. එය වෘත්තිකයින්ගේ, විද්වතුන්ගේ, විශේෂඥයින්ගේ, ඉහළ පරිපාලකයින්ගේ කොළඹ ය. එය අත මිට මිල මුදල් ගැවසෙන මැද පන්තික පාරිභෝගිකයින්ගේ කොළඹ ය.

    නගර සංවර්ධන අධිකාරයේ නිල වෙබ් අඩවියට අනුව, කොළඹ මහ නගර සභා බල ප්‍රදේශයේ නිත්‍ය පදිංචිකරුවන්ගෙන් සියයට 50 ක් එනමුත් මේ මැද පන්තික පාරිභෝගිකයින් නොවේ. කොළඹ නගරයෙන් සියයට 50 ක් “ඌන පහසුකම් සමගින් වන වතු” ප්‍රජාව වන්නාහ. කොළඹ මහ නගර සභා බල ප්‍රදේශයෙහි එවැනි “වතු” 1,499 ක් ඇත. ඒවායේ මනුස්ස පදිංචිය සඳහා නිරෝගී පරිසරයක් නැතැයි එම වෙබ් අඩවියහි සඳහන්කර ඇත. පිරිසිදු ජලය, සනීපාරක්ෂක පහසුකම්ද ඒවායේ අවශ්‍ය පරිදි නැතැයි සඳහන් වන්නේය. (https://www.uda.gov.lk/urban-regeneration-programme.html). එයටම අනුව එම වතුවල පවුල් 68,812 ක් වාසය කරති.

    මීට වසර 04 ට පෙර 2016 දී “සෙවනත” රාජ්‍ය නොවන සංවිධානය විසින් කොළඹ මහ නගර සභා බල ප්‍රදේශයෙහි කළ ක්ෂේත්‍ර අධ්‍යනයකට අනුව, “ඌන පහසුකම් සමගින් වන වතු” ජනගහනයෙන් –
    ■ සියයට 41 ක් පාවිච්චි කරන්නේ පොදු වැසිකිළිය
    ■ සියයට 08 ට වැසිකිළි නැත
    ■ සියයට 33 ට නල ජලය නැත
    ■ සියයට 15 ක ගෘහයන්ගෙන් සියයට 50 ක් තනි දෙමාපිය ගෘහයන්ය
    ■ සියයට 78 ක ගේ මාසික ආදායම රුපියල් 20,000 ට අඩුය.
    පසුගිය වසර 04 ඇතුළත මේ තත්ත්වයන්හි ගණන් හැදිය යුතු වැදගත් වෙනසක් සිදුව නැති බැව් නගර සංවර්ධන අධිකාරියේ විස්තරයෙන් කියවෙන්නකි.

    දෙනුවර කොරෝනා අන්දරය

    කොවිඞ්-19 වසංගතයේ දෙවන රැල්ල ශීඝ්‍රයෙන් පැතිරීම ගැන කතාව ඒ හා බැඳුණකි. මේ වනවිට එය පාලනය කිරීමේ අසීරුවක් දැකිය හැකි අතර ඉන් වැඩි අවදානමකට පත්ව ඇත්තේ කොළඹ ය. මේ ශීඝ්‍ර පැතිරීම තේරුම් ගැනීමට ශ්‍රී ජයවර්ධනපුර විශ්ව විද්‍යාලයයෙහි මහාචාර්ය නීලිකා මලවිගේ ප්‍රමුඛ විශේෂඥයින් කණ්ඩායමක් වෛරසයේ පැතිරීම පිළිබඳව සිදු කළ පර්යේෂණයකට අනුව එහි ඇතිව තිබෙන වෙනස්වීම් සමග අලුත් ප්‍රභේදයක් බිහිවීම එයට හේතු වන්නේය. එහෙත් උතුරු කොළඹ, මැද කොළඹ, බොරැල්ල හා දෙමටගොඩ ප්‍රදේශ විශේෂයෙන් එයට ගොදුරු වන්නේ ඇයිදැයි පර්යේෂණ මගින් කියවෙන්නේ නැත.

    කොළඹ නගරයේ ප්‍රාදේශීය වසංගත රෝග විද්‍යාඥ වෛද්‍ය දිනු ගමගේට අනුව කොළඹ මහ නගර සභා බල ප්‍රදේශයේ නොවැම්බර 16 වන දින වනවිට සමස්ත ආසාදිත සංඛ්‍යාව 4,500 ට අධික විය. ඒ වනවිට කොළඹ දිස්ත්‍රික්කයෙහි ආසාදනයවීම් 5,366ක් විය. සෞඛ්‍ය අමාත්‍යාංශයේ වසංගත රෝග විද්‍යා අංශයට අනුව ඔක්තෝබර් 04 වන දිනයද ඇතුළුව මෙතෙක් ගතවූ දින 14 තුළ කොළඹ මහ නගර සීමාව ඇතුළත ආසාදිත සංඛ්‍යාව 1,782 කි. මේ සංඛ්‍යාවෙන් බහුතරය ඇත්තේ “ඌන පහසුකම් සමගින් වන වතු” බහුතරයක් පිහිටි උතුරු කොළඹ, මැද කොළඹ, බොරැල්ල හා දෙමටගොඩ ප්‍රදේශවල ය. එය සනාථ වන්නේ හුදකලා ප්‍රදේශ ලෙස වසා දමා ඇති කොළඹ පොලිස් වසම් අනුවය. කොළඹ මහ නගර සභා සීමාව තුළ හුදකලා ප්‍රදේශ ලෙස දෙසතියකට පමණ ඉහතින් පළමුව වසා දමනු ලැබූයේ මට්ටක්කුලිය, මෝදර, බ්ලුමැන්ඩල්, කොටහේන, තොටළඟ, වෙරළාසන්න පොලිස් ප්‍රදේශය, ආදුරුප්පු වීදිය, මාලිගාවත්ත, දෙමටගොඩ, කෙසෙල්වත්ත සහ බොරැල්ල ප්‍රදේශයන් ය. පසුගිය 16 වන සඳුදා අලුයම සිට මරදාන, කොටුව, පිටකොටුව, කොම්පඤ්ඤවීදිය සහ වේල්ල වීදිය ප්‍රදේශ 05 හුදකලා කර වසා දැමුණි. ඒ අනුව කොළඹ මහ නගර සභා සීමාව ඇතුළත වසා දමා ඇත්තේ අධික ජනගහනයක් ඇති “ඌන පහසුකම් සමගින් වන වතු” බහුතරයක් පිහිටි උතුරු කොළඹ, මැද කොළඹ, බොරැල්ල හා දෙමටගොඩ ප්‍රදේශයන් ය.

    කොළඹ මියයෑම් වැඩියෙන් වාර්තා වන්නේද මේ ප්‍රදේශවලින්ය. ප්‍රවෘත්ති දෙපර්තමේන්තුවේ වාර්තා අනුව, මේ වනවිට 61 ක් වන මෙරට සමස්ත මරණ සංඛ්‍යාවෙන් නොවැම්බර් 04 වන දින සිට නොවැම්බර් 16 වන දිනය දක්වා කොළඹ 02, 08, 10, 11, 12, 13, 14 සහ 15 න් වාර්තා වූ මරණ සංඛ්‍යාව 21 කි. එනම් සමස්ත කෝවිඞ්-19 මරණ සංඛ්‍යාවෙන් සියයට 34 ක් උතුරු කොළඹ, මැද කොළඹ, බොරැල්ල හා දෙමටගොඩ ප්‍රදේශයන්හි ය. ඊට අමතරව, බොරැල්ල පොලීසියේ 90 ක්ද කොටුව පොලීසියේ 82 ක්ද ආසාදිතව ඇතැයි වාර්තා විය.

    මේ සියල්ලෙන් කියන කතාව වන්නේ වත් පොහොසත් මැද පන්තිකයින්ගේ සුව පහසු කොළඹට වඩා “ඌන පහසුකම් සමගින් වන වතු” වාසීන්ගේ කොළඹ කොවිඞ්-19 ට ශීඝ්‍රයෙන් ගොදුරුවී ඇති බවය.

    කොරෝනාවේ පන්ති පරතරය

    මේ හිර කෙටුණු “ඌන පහසුකම් සමගින් වන වතු” පිහිටි ප්‍රදේශවල මීටරයක සමාජ දුරස්ථභාවය, නිරතුරුව සනීපාරක්ෂක දියර සමග අත් සෝදා ගැනීම, ස්වයං නිරෝධායන පහසුකම් ක්‍රියාත්මක කළ නොහැකිය. ඔවුන් මුහුණු ආවරණ භාවිත කරන්නේද ඉතා ලාභ, සෞඛ්‍යාරක්ෂණ ප්‍රමිතීන්ට අනුව මසනු ලැබූ මුහුණු ආවරණ නොවේ. ඉතා කෙටියෙන් කියන්නේ නම්, කොළඹ නගරයේ මේ බහුතර පහත සමාජ ස්ථර සඳහා සෞඛ්‍ය අමාත්‍යාංශයේ කොවිඞ්-19 වසංගත ආරක්ෂණ පියවර හා මාර්ගෝපදේශ අදාළ නැත. එකිනෙකා අතර ඉඩක් තබා ගත නොහැකි ඌන පහසුකම් ඇති පරිසරයක එවැනි පියවර සඳහා ඉඩක් හැකියාවක් නැත.

    ඔවුන්ගෙන් ඇතැමුන් කොළඹ වරායේ සේවකයින් වූවත් බහුතරය දෛනික ආදායම් සොයා ගන්නා, විවෘත වෙළෙඳපොළ අවිධිමත් ක්ෂේත්‍රයෙහි යැපෙනවුන්ය. ප්‍රායෝගිකව ඔවුන්ට අනුගමනය කිරීමට නොහැකි කොවිඞ්-19 වසංගත පාලනයට පනවා ඇති ආරක්ෂණ පියවර වෙනුවෙන් දින නියමයක් නැතිව, හුදකලාකර වසා දැමීම අති බහුතරයකට ඔරොත්තු නොදෙන්නකි. එවැනි ආරක්ෂණ පියවර බලහත්කාරයෙන් ඔවුන් මත පටවන්නටද නොහැකිය.

    ඇත්තම කතාව නම්, කොවිඞ්-19 වසංගතය පාලනය සඳහා ආරක්ෂණ පියවර හා මාර්ගෝපදේශ සකසා ඇත්තේ සමස්ත ලංකාවම තමන්ගේ මැද පන්තික වුවමනාවන් හා අගයන් සහිත එකම සුවපහසු තැන්නක් යැයි සිතන්නාවූ ඉහළ නිලධර පැලැන්තිය වන්නේය. ඔවුන්ගේ ආත්මාර්ථකාමී පැවැත්මට ගැළපෙන අයුරිණි. එබැවින් එම පියවර පිළිපැදිය හැක්කේ නිවසේ සිට රාජකාරි කටයුතු කළ හැකි ඉහළ වෘත්තිකයින්ටය. මේ විවෘත වෙළෙඳපොළෙහි අන්තර්ජාල පාරිභෝගිකයින් වීමේ හැකියාව ඇත්තවූන්ටය. තම දරුවන්ට අන්තර්ජාලයෙන් පාසල් යා හැකි මැද පන්තිකයින්ටය. මේ වසංගතය පාලනය සඳහා ආරක්ෂණ පියවර හා මාර්ගෝපදේශ සකසා ඇත්තේ ආණ්ඩු පාලනයේ දේශපාලන වුවමනාවන්ටද ගැළපෙන අයුරු නාගරික මැද පන්තියේ නිලධර පිරිස්වල සෘජු දායකත්වය ඇතිවය.

    කොළඹ මහ නගර සභා සීමාව තුළ කොව්ඞ්-19 වසංගතය පැතිරීම පෙන්වන්නේ එවැනි මැද පන්තික විසඳුම් රටේ සියල්ලන්ට අදාළ නොවන බව පමණක් නොව, ඒවා බලහත්කාරයෙන් ක්‍රියාවට දැමීමෙන් වසංගතය පාලනය කිරීමටද නොහැකි බවය. එහි භයානකකම ඇත්තේ මේ නාගරික මැද පන්තික පියවර කටුනායක වෙළෙඳ කලාපයේ හා කම්හල්වල සේවක සේවිකාවන් අතරද සාර්ථකව ක්‍රියාවට නගන්නට නොහැකි වීමෙහිය. එය වඩාත් භයානක වන්නේ සමස්ත තේ වැවිලි ආර්ථිකයම ඇණ හිටුවිය හැකි ලෙස වැවිලිකරයේ ලයින් කාමර වලට පැතිරුණහොත් මේ පියවර කිසිත් විසඳුම් නොවන හෙයින්ය.

    සියල්ලන්ට විසඳුම් හැදීම

    ආරම්භයක් ලෙස මේ මොහොතේ එනිසා ප්‍රමාදව හෝ කළයුත්තේ කොළඹ මහ නගර සභා බල ප්‍රදේශයේ කොවිඞ්-19 පාලනයේ සියලු වගකීම් එහි ප්‍රධාන සෞඛ්‍ය වෛද්‍ය නිලධාරීට හා ඔහුගේ සෞඛ්‍ය දෙපාර්තමේන්තුවට බාරදීමය. කොළඹ මහ නගර සභා පොළොව හරි හැටි දන්නේ ඔවුන්ය. එහි ජනතාවගේ විශ්වාසය දිනා ගැනීමට මැදිහත්විය හැක්කේද ප්‍රදේශයේ ජනතාව දන්නා ඔවුන්ටය. ඒ වෙනුවෙන් මහ ආණ්ඩුව කොළඹ මහ නගර සභාවට සහාය දිය යුත්තේ හුදකලා කර වසා දමා ඇති ප්‍රදේශයන්හි ජනතාවට –
    ■ වැදගත් වියළි ආහාර මල්ලක් දෙසතියකට වරක් ලබා දීමට සහ වෙනත් අත්‍යවශ්‍ය භාණ්ඩ හා අවශ්‍යතා සඳහා රුපියල් 10,000 ක මාසික දීමනාවක් ලබා දීමෙන්ද
    ■ නගර සංවර්ධන අධිකාරිය ගණන් හදා ඇති “ඌන පහසුකම් සමගින් වන වතු” වල පවුල් 68,000 සේ වැඩිහිටියන් වහා පී.සී.ආර් පරීක්ෂණ සඳහා යොමු කරන්නට හා නැවත දින 10 කින් එම පරීක්ෂණ කිරීමට පහසුකම් ලබා දීමෙන්ද වන්නේය.

    කොළඹ මහ නගර සභාව වහා “ඌන පහසුකම් සමගින් වන වතු” ජනතාවගේ විශේෂයෙන් කාන්තා නියෝජනයක්ද සමග ප්‍රායෝගිකව ක්‍රියාත්මක කළ හැකි සෞඛ්‍ය ආරක්ෂණ පිළිවෙත් සැකසීමට පියවර ගත යුතුය.

    සෞඛ්‍ය ආරක්ෂණ පියවර සැලසුම් කළයුත්තේ පවතින සමාජ ආර්ථික තත්ත්වයන්ට අනුව මිස මැද පන්තියේ හැකියාවන්ට අනුව නොවන බැව් මේ දෙවන රැල්ලෙහි කොළඹ පැතිරීම ඔප්පු කරන්නකි. එනිසා ප්‍රමාදව හෝ ප්‍රදේශය හා සමාජය අනුව සැලසුම් කිරීමට අප ප්‍රජා සෞඛ්‍ය සේවාවන් මූලික කර ගැනීමට තීන්දු කළයුත්තේ විසඳුම ඇත්තේ එතැන හෙයිනි. ■

    කුසල් පෙරේරා විසින් 2020 නොවැම්බර් 22 වැනි දින රාවය ඊ පුවත්පතට සම්පාදිත ලිපියකි. කාලීනභාවය සහ මෙම තත්ත්වය ගැන වැඩි වැඩියෙන් පොදුජන අවධානය යොමු කළ යුතු හෙයින් සම්පූර්ණයෙන්ම උපුටා ගන්නා ලදි. ශීර්ෂ පාඨය පමණක් වෙනස්කර ඇත. – ප්‍රධාන සංස්කාරක

  • Covid-19 ආසාදිත වැඩිම දෛනික මරණ සංඛ්‍යාව වාර්තා වෙයි

    Covid-19 ආසාදිත වැඩිම දෛනික මරණ සංඛ්‍යාව වාර්තා වෙයි

    අද (21) දින කොවිඩ්-19 ආසානය වීමෙන් පුද්ගලයින් 09 දෙනකු මිය ගිය බවත් ඒ සමග ලංකාවේ සමස්ත කොවිඩ්-19 ආසාදිත මරණ සංඛ්‍යාව 83 දක්වා ඉහළ ගිය බවත් රජයේ ප්‍රවෘත්ති දෙපාර්තමේන්තුව විසින් අද දින ප.ව 23.00ට නිකුත් කළ මාධ්‍ය නිවේදනයක සදහන් වේ.

    මේ අතර රජයේ ප්‍රවෘත්ති දෙපාර්තමේන්තුව විසින් අද (21) දින ප.ව 22.40ට නිකුත් කළ නිවේදනයක සදහන් වූයේ අද දින තුළ නව කොවිඩ්-19 ආසාදිතයින් 487 දෙනකු වාර්තා වූ බවයි. මේ අනුව දිවුලපිටිය සහ පෑලියගොඩ පොකුරෙන් වාර්තා වූ සමස්ත ආසාදිතයින් සංඛ්‍යාව 16,252 දක්වා ඉහළ ගිය බව ද එම වාර්තා වේ වැඩි දුරටත් සදහන් වේ.

    සෞඛ්‍ය ප්‍රවර්ධන කාර්යාංශයේ නිල වෙබ් අඩවියට අනුව අද දින අවසන් වන විට ලංකාවෙන් වාර්තා වී ඇති සමස්ත කොඩිව්-19 ආසාදිතයින් සංඛ්‍යාව 19,771ක් වන අතර රෝහල්වල ප්‍රතිකාර ලබන රෝගීන් සංඛ්‍යාව 6098ක්. දැනට රෝහල්වල විමර්ශනය යටතේ පුද්ගලයින් 480 දෙනකු සිටින අතර සුවය ලැබූ සමස්ත ආසාදිතයින් සංඛ්‍යාව 13,590කි.

  • තවත් පොකුරු නිර්මාණය වීමේ ‘අවදානමක් ’ – වසංගත රෝග විද්‍යා අංශය

    තවත් පොකුරු නිර්මාණය වීමේ ‘අවදානමක් ’ – වසංගත රෝග විද්‍යා අංශය

    දිවයින පුරා තවත් කොවිඩ් පොකුරු නිර්මාණය වීමේ අවදානමක් පවතින බව වසංගත රෝග විද්‍යා අංශයේ ප්‍රධානී, වසංගත රෝග විද්‍යාඥ විශේෂඥ වෛද්‍ය සුදත් සමරවීර මහතා සඳහන් කළේය.

    අද (21) දින සෞඛ්‍ය ප්‍රවර්ධන කාර්යාංශයේ පැවැති මාධ්‍ය හමුවකදී සමරවීර මහතා මේ බව සදහන් කළේය.

    මෙහිදී වැඩි දුරටත් අදහස් දක්වමින් සුදත් සමරවීර මහතා කියා සිටියේ ඊයේ දිනයේ දී මෙරට පීසීආර් පරීක්ෂණ 11,398 ක් සිදුකර ඇති බවත් දිවයින පුරා රසායනාගාර 25 ක මේ වන විට පීසීආර් පරීක්ෂණ සිදුකෙරෙන බවත්ය.

    මේ පිළිබඳ වැඩිදුරටත් අදහස් දැක්වු වසංගත රෝග විද්‍යාඥ විශේෂඥ වෛද්‍ය සුදත් සමරවීර මහතා,

    “ මේ මොහොත වන විට අපි අත්දකිනවා තවත් ස්ථාන කිහිපයක මේ වගේ පොකුරු වශයෙන් නිර්මාණය වීම. එක් සේවකයෙක් හෝ කිහිපදෙනෙක් මුලින්ම ආසාදිත වීමෙන් පස්සේ, ඒ ආයතනය තුළ ඉන්න කාර්ය මණ්ඩලයට විශාල වශයෙන් පැතිරීම දකින්න පුළුවන්. ප්‍රධාන වශයෙන්ම ශ්‍රී ලංකා පොලීසිය තුළ, ඒ වගේ බන්ධනාගාර තුළ, නාවික හමුදාව ස්ථාන තුළ දී. මෙය බලාපොරොත්තු විය හැකි දෙයක්. යම් අවස්ථාවක එවැනි ආයතනයක් තුළ එක් රෝගියෙක්ට ආසාදනය වීම තුළින් එය තවත් අයට පැතිරීමේ හැකියාව තියෙනවා. එවැනි අවස්ථාවක නිරෝධායනය කරන්න විශාල පිරිසක් ඉන්නවා. මේ නිසා තමන්ගේ ආයතනය තුළ පොකුරක් නිර්මාණය වීම වළක්වා ගැනීම සඳහා ආයතන ප්‍රධානීන්ට, කාර්ය මණ්ඩලයට හා ආයතනයට පැමිණෙන අයට විශාල වගකීමක් තියෙනවා.

    පීසීආර් පරීක්ෂණ සිදුකිරීම සඳහා අපේ රට තුළ රසායනාගාර 25ක් ස්ථාපිත වෙලා තියෙනවා. මෙයින් 14ක් රජයේ රෝහල්වල සහ සෞඛ්‍ය අමාත්‍යාංශයේ ආයතනවල තියෙන රසායනාගාර. ඒ වගේම තවත් රසායනාගාර දෙකක් කොතලාවල ආරක්ෂක පීඨයේ හා කොතලාවල යුද හමුදා රෝහලෙත් පිහිටා තිබෙනවා. ඒ වගේම විශ්වවිද්‍යාල 4ක පීසීආර් පරීක්ෂණ සඳහා පහසුකම් තියෙනවා. ඒ අනුව රජයේ යටතේ ඇති ආයතන 20ක පීසීආර් පරීක්ෂණ සිදුවෙන අතර පෞද්ගලික ආයතන 5ක මේ වන විට පීසීආර් පරීක්ෂණ සිදුවෙමින් පවතිනවා.“

  • අයවැය දෙවැනි වර කියවීම 3/2 ඡන්දයෙන් සම්මතයි

    අයවැය දෙවැනි වර කියවීම 3/2 ඡන්දයෙන් සම්මතයි

    පක්ෂව ඡන්ද 151ක් සහ විපක්ෂව ඡන්ද 52ක් ලෙස 2021 අයවැය දෙවැනි වර කියවීම වැඩි ඡන්ද 99 කින් අද (21) පාර්ලිමේන්තුවේ දී සම්මත විය. සමගි ජන බලවේගයේ ජාතික ලැයිස්තු පාර්ලිමේන්තු මන්ත්‍රී ඩයනා ගමගේ ද අයවැයට පක්ෂව ඡන්ද දුන්නාය. අයවැය කාරක සභා අවස්ථා විවාදය ලබන සඳුදා ආරම්භ වීමට නියමිත අතර එය දෙසැම්බර් 10 වන දින දක්වා පැවැත්වෙන අතර එදින පස්වරු 05.00 ට තෙවන වර කියවීමේ ඡන්ද විමසීම පැවැත්වීමට නියමිතය.

  • කොවිඩ් එන්නත ගැන දුප්පත් රටවල බලාපොරොත්තු සුන්වන හැඩ

    කොවිඩ් එන්නත ගැන දුප්පත් රටවල බලාපොරොත්තු සුන්වන හැඩ

    ලොව පුරා මිලියන 55 කට අධික කොවිඩ්-19 වෛරස් රෝගීන් සංඛ්‍යාවක් වාර්තා වී ඇති අතර මිලියන 1.3 කට වඩා මිය ගොස් තිබේ. මේ මහා ව්‍යසනයෙන් ගැළවීමට ඇති එකම ඵලදායී මාවත වන්නේ එන්නතක් නිපදවා ගැනීමය. එහෙත් යම් හෙයකින් එන්නතක් සොයා ගතහොත් දුප්පත් ජාතීන්ට එය ලබා ගැනීම දුෂ්කර වනු ඇති බවට සෞඛ්‍ය අංශ තුළ දැඩි කණස්සලක්ක පවතී.

    තව නොබෝ දිනකින් දැවැන්ත ගැටලුවක් සහ අභියෝගයක් බවට පත්ව ඇති මේ ගැටලුව ගැන සහ එන්නත බෙදා හැරීමට හා ලබාදීමට සාධාරණ ක්‍රමයක් තිබේද ? සහ එය සාර්ථක වේද ? යන්න පිළිබඳව අපි විශේෂඥයින් සමඟ කතා කරමු.

    කල්තියා මිලදී ගැනීමට ඉක්මන් වීම

    මුල් ප්‍රතිඵලවලින් පෙනී යන්නේ අවම වශයෙන් එන්නත් දෙකක්වත් ඉතා ඵලදායී වන බවයි. මේ අතර තවත් සමහරක් අත්හදා බැලීම් කරා ළඟා වී ඇති අතර තවත් බොහෝ එන්නත් සංවර්ධනයේ යම් අවධියක පවතී.

    මෙම එන්නත් කිසිවක් තවමත් අනුමත කර නැත, නමුත් එනිසා රටවල් කල්තියා මාත්‍රා මිලදී ගැනීම ද නතර කර නැත.

    එක්සත් ජනපදයේ ප්‍රධාන පර්යේෂණ මධ්‍යස්ථානයක්  (උතුරු කැරොලිනාවේ ඩියුක් විශ්ව විද්‍යාලය ) සිදු කෙරෙන සියලුම ගනුදෙනු පිළිබඳව ටැබ් තබා ගැනීමට උත්සාහ කරයි. විභව එන්නත් මාත්‍රාව බිලියන 6.4 ක් දැනටමත් මිල දී ගෙන ඇති බවට ඇස්තමේන්තු කර ඇති අතර තවත් බිලියන 3.2 ක් මිලදී ගැනීම සදහා සාකච්ඡා කෙරෙමින් හෝ “පවතින ගනුදෙනු වල විකල්ප පුළුල් කිරීම්” ලෙස වෙන් කර ඇත.

    ‘‘අත්තිකාරම් මිලදී ගැනීමේ ක්‍රියාවලිය ඖෂධ කර්මාන්තය තුළ හොඳින් ස්ථාපිත වී ඇති අතර එමඟින් නිෂ්පාදන හා අරමුදල් අත්හදා බැලීම් දිරිගැන්වීමට උපකාරී වනු ඇතැ‘යි ලන්ඩන් ආර්ථික විද්‍යා හා දේශපාලන විද්‍යා පාසලේ ගෝලීය සෞඛ්‍ය ප්‍රතිපත්ති පිළිබඳ සහකාර මහාචාර්ය ක්ලෙයාර් වෙන්හැම් පවසයි.

    ‘නිෂ්පාදනයේ මුල් අවධියේදී වැඩිපුරම ගෙවිය හැකි ඕනෑම කෙනෙකුට පෝලිමේ ඉදිරියෙන් සිටින බවද එයින් අදහස් වේ‘ මහාචාර්ය ක්ලෙයාර් වෙන්හැම් වැඩි දුරටත් පවසයි.

    ඩියුක් විශ්වවිද්‍යාලයේ පර්යේෂණයෙන් හෙළි වී ඇත්තේ මෙතෙක් මිලදී ගෙන ඇති එන්නත් මාත්‍රාවලින් “අතිමහත් බහුතරයක්” ඉහළ ආදායම් ලබන රටවලට යන බවයි.

    නිෂ්පාදන ධාරිතාව සහිත සමහර මධ්‍යම ආදායම් ලබන රටවලට නිෂ්පාදන ගනුදෙනු වල කොටසක් ලෙස විශාල මිලදී ගැනීමේ ගිවිසුම් සාකච්ඡා කිරීමට හැකි වී තිබේ. සායනික අත්හදා බැලීම් සඳහා යටිතල පහසුකම් ඇති අනෙකුත් රටවලට (බ්‍රසීලය සහ මෙක්සිකෝව වැනි ) අනාගත එන්නත් ලබා ගැනීමේදී එය උත්තේජනයක් ලෙස භාවිතා කිරීමට හැකි වී තිබේ.

    නිදසුනක් වශයෙන්, ඉන්දියාවේ සේරම් ආයතනය, රට තුළ බෙදා හැරීම සඳහා නිපදවන මාත්‍රාවලින් අඩක් තබා ගැනීමට කැපවී සිටී. 

    මේ අතර, ඉන්දුනීසියාව චීන එන්නත් නිපදවන්නන් සමඟ හවුල් වන අතර බ්‍රසීලය ඔක්ස්ෆර්ඩ් විශ්ව විද්‍යාලය සහ ඖෂධ සමාගමක් වන ඇස්ට්‍රාසෙනෙකා විසින් මෙහෙයවනු ලබන අත්හදා බැලීම් සමඟ හවුල් වේ.

    කුමන එන්නත් ක්‍රියාත්මක වේදැයි අප තවමත් නොදන්නා හෙයින්, සමහර රටවල් විවිධ විකල්ප මිලදී ගැනීමෙන් ඔට්ටු ඇල්ලීම සිදු කරයි. නවතම දත්ත වලට අනුව වැඩිම මාත්‍රාවක් වෙන් කර ඇති රටවල් අතර ඉන්දියාව, යුරෝපා සංගමය, එක්සත් ජනපදය, කැනඩාව සහ එක්සත් රාජධානිය ද සිටී.

    ලෝක සෞඛ්‍ය සංවිධානය (WHO) බීබීසීයට පැවසුවේ “නායකයින්ට අවශ්‍ය වන්නේ පළමුවෙන්ම තමන්ගේ ජනතාව ආරක්ෂා කර ගැනීමටයි. (ඔවුන් තම පුරවැසියන්ට වග කිව යුතු බවයි) නමුත් මෙම ගෝලීය වසංගතයට ප්‍රතිචාරය සාමූහික එකක් විය යුතුයි” යන්නයි.

    ලෝකයට සීමිත සැපයුමක් ලබා දීම

    ඩියුක් විශ්වවිද්‍යාලයේ විශ්ලේෂණයට නායකත්වය දුන් ඇන්ඩ්‍රියා ටේලර් මෙසේ පැවසුවාය.

    ‘‘ඉදිරි වසර කිහිපය තුළ නිෂ්පාදනය කළ හැකි මාත්‍රාවන් ගණන පිළිබඳ අත්තිකාරම් මිලදී ගැනීමේ ගිවිසුම් හා සීමාවන් නියම කර ගැනීම මගින් අදහස් කරන්නේ ධනවත් රටවලට එන්නත් හිමිවන නමුත් දුප්පත් රටවලට කිසිවක් නොලැබෙන බවයි‘

    විශේෂඥයන් සඳහන් කරන්නේ එන්නත් කීයක් වෙළඳපොළට ගෙන එනු ඇත්ද, ඒවා ලබා ගත හැක්කේ කවදාද යන්න අප තවමත් නොදන්නා බවයි. ගනුදෙනු තවමත් සිදු කෙරෙමින් පවතින අතර බෙදා හැරීම පිළිබඳ ප්‍රශ්න පවතී.

    ඉන්දියාවේ කෝවිඩ් -19 වසංගතයට එරෙහි සටනේ සම කර්තෘ චන්ද්‍රකාන්ත් ලහාරියාට අනුව, දුප්පත් රටවල ලබා ගත හැකි ප්‍රමාණය එන්නත් කොපමණ ප්‍රමාණයක් නිපදවා ඇත්ද, කෙතරම් ඉක්මනින් ඒවා නිෂ්පාදනය කරන්නේද යන්න මත රඳා පවතී.

    “ඉන්දියාව ද එන්නත් නිපදවා ඇති අතර අපගේ නිෂ්පාදන ධාරිතාවය සමඟ මිල ඉතා ඉක්මණින් පහත වැටෙනු ඇති බවත් අඩු හා මධ්‍යම ආදායම් ලබන රටවල ලබා ගත හැකි ප්‍රමාණය ඉතා ඉහළ බවත් මම පුරෝකථනය කරමි.”

    එක්සත් ජනපදයේ ගෝලීය සංවර්ධන චින්තන මධ්‍යස්ථානයේ ප්‍රතිපත්ති විශ්ලේෂක රේචල් සිල්වර්මන් පැවසුවේ වඩාත් පොරොන්දු වූ එන්නත් “බොහෝ දුරට ධනවත් රටවලින් ලබා ගත් උසස් මිලදී ගැනීමේ ගිවිසුම් මගින් ආවරණය වන බවයි‘

    ” සාර්ථක එන්නත් බොහොමයක් තිබේ නම්, ධනවත් රටවල් සමග තරග කිරීමට හෝ කේවල් කිරීමට දුප්පත් රටවලට සිදු නොවේවි. විකල්ප රැසක් ඇති විට තරගය අඩුයි‘ ඇය වැඩි දුරටත් පැවසුවාය.

    සමහර එන්නත් 90% කට වඩා වැඩි ඵලදායිතාවයක් කරා ළඟා වන බවට මෑතකදී කරන ලද නිවේදන (විශේෂයෙන් ෆයිසර් සහ මෝඩර්නා යන ඖෂධ සමාගම්වල ප්‍රකාශන) “සුවිශේෂී විද්‍යාත්මක ප්‍රවෘත්ති” බව සිල්වර්මන් මහත්මිය පැවසුවාය.

    “ලබන වසර අවසන් වන විට අඩු හා මධ්‍යම ආදායම් ලබන රටවලට එන්නත් ලබා ගැනීමට ඇති සම්භාවිතාව ඉතා අල්පය.”

    මේ අතර 90%ක් සාර්ථක එන්නතක් නිෂ්පාදනය කළ ෆයිසර් සමාගම පවසන්නේ 2020 දී මාත්‍රාව මිලියන 50 ක් සහ 2021 දී මාත්‍රාව බිලියන 1.3 ක් දක්වා නිපදවීමට බලාපොරොත්තු වන බවයි.

    “ ගණිත සමීකරණවලින් පමණක් සියල්ල සිදුවීමට ඉඩක් නැහැ. මෙය සංකීර්ණ කතාවක්‘ සිල්වර්මන් මහත්මිය පැවසුවාය.

    කෙසේ වෙතත්, ඇය පවසන්නේ මේ වන විට මොර්ඩනා එන්නත ද ෆයිසර් හා සමාන ප්‍රතිඵල පෙන්වා ඇති බැවින් වැඩි බලාපොරොත්තුවක් ඇති බවත්ය.

    මෝඩර්නා එන්නතෙහි ගබඩා කිරීම පිළිබඳ අඩු අවශ්‍යතා ද ඇති අතර (අධික ශීත උෂ්ණත්වයක් අවශ්‍ය නැත) එය දුප්පත් රටවලට, විශේෂයෙන් උණුසුම් ප්‍රදේශවල සහ දුර බැහැර ප්‍රදේශ සහ සීමිත විදුලිය ඇති රටවලට එය සහනයක් වේ.

    Officials unveil Nebraska COVID-19 vaccination distribution plan - KLKN-TV

    නව බිම් සලකුණු බෙදා හැරීමේ සැලැස්මක්

    ඇත්ත වශයෙන්ම ගෝලීය සෞඛ්‍යයේ අසමානතාවය අලුත් දෙයක් නොවේ. සෑම වසරකම ළදරුවන් මිලියන 20 කට ආසන්න සංඛ්‍යාවක් එන්නත් ලබා ගැනීමට නොහැකි තත්ත්වයක පසුවන බවට ලෝක සෞඛ්‍ය සංවිධානය ගණන් බලා තිබේ.

    2009 සූකර උණ වසංගතය තුළ එන්නත් සැපයුම ධනවත් රාජ්‍යයන් සමඟ කල්තියා මිලදී ගැනීමේ ගිවිසුම් මගින් ප්‍රමුඛ වූ බව පර්යේෂණවලින් පෙනී යයි.

    “ගෝලීය සෞඛ්‍යයේ 90/10 බෙදීම ගැන අපි කතා කරමු – ලෝකයේ ඖෂධ නිෂ්පාදනවලින් 90% ක්ම ලෝක ජනගහනයෙන් 10% කට සේවය කරයි. මෙය එම කතාවේ කොටසක්” යැයි වෙන්හැම් මහත්මිය පැවසුවාය.

    “වෙළෙදපොළ තත්ත්වයන් ගැන කල්පනා කළ යුතු නමුත් අප සැමට දැන් එකම බෝට්ටුවක සිටින අතර අප සියලු දෙනාම එකම නිෂ්පාදනයක් සඳහා එකම අවශ්‍යතාවයකට මුහුණ දී සිටිමු‘ ඇය පවසයි.

    ‘එහෙත් කොවිඩ් එන්නතේ සැපයුම සීමිතයි. ඉල්ලුම අසීමිතයි. ගැටලුව එන්නේ ඒ නිසයි. ආසන්න දශකවල ගෝලීය වශයෙන් මෙවැනි තත්ත්වයක් අප දැක නැහැ‘

    අනාගත කොරොන වයිරස් එන්නත් සමානව බෙදා හැරීම සහතික කිරීම සඳහා ‘කෝවාක්ස් Covax‘ නමින් හැඳින්වෙන සුවිශේෂී ගෝලීය එන්නත් සැලැස්මක් සකස් කර ඇත.

    ගැවි එන්නත් සන්ධානය, ලෝක සෞඛ්‍ය සංවිධානය සහ වසංගත සූදානම නවෝත්පාදන සන්ධානය (සීපීඅයි) අතර ඒකාබද්ධ වැඩසටහන මගින් සාමාජික රටවලට ඔවුන්ගේ ජනගහනයෙන් අවම වශයෙන් 20% ක් එන්නත් කිරීම සඳහා ප්‍රමාණවත් එන්නත් ලබා ගැනීම අරමුණු කරයි.

    කොරොන වයිරස් එන්නත බෙදා හැරීමේ අදියර: ජනගහනයෙන් 1: 3% - සෞඛ්‍ය හා සමාජ සත්කාර සේවකයින්.  අදියර 2: ජනගහනයෙන් 20% - 65 ට වැඩි සහ ඉහළ අවදානමක්.  අදියර 3: 20% + - තවදුරටත් ප්‍රමුඛතා කණ්ඩායම්

    එන්නත් මිලදී ගන්නා ධනවත් රටවල් දුප්පත් ජාතීන්ට ද මූල්‍ය ප්‍රවේශය සඳහා එකඟ වන පරිදි මෙම වැඩසටහන සැලසුම් කර ඇත. මේ වන විට ආර්ථිකයන් 186 ක් පමණ ඊට සම්බන්ධ වී ඇත.

    ගැවි පවසන්නේ සුදුසුකම් ලත් රටවල් 92 ක් අතර එන්නත් මිලදී ගැනීම සහ බෙදා හැරීම සඳහා ඩොලර් බිලියන 2 කට වැඩි කිරීමේ මූලික ඉලක්කය ඉක්මවා ඇති බවයි.

    Covax දැනටමත් රටවල් අතර සමානව බෙදා හැරිය හැකි එන්නත් මාත්‍රාව මිලියන සිය ගණනක් සඳහා අත්තිකාරම් මිලදී ගැනීමේ ගිවිසුම් ලබාගෙන ඇත. ඔක්ස්ෆර්ඩ් විශ්ව විද්‍යාලය සමඟ එන්නතක් නිපදවන ඇස්ට්‍රාසෙනෙකා මෙම වැඩසටහනේ කොටසකි.

    ප්‍රධාන විධායක නිලධාරි පැස්කල් සෝරියට් පවසන්නේ සමාගමේ අරමුණ වන්නේ ලොව පුරා සෑම රටකටම එකවර වැඩි හෝ අඩු ප්‍රවේශයක් ලබා ගැනීමට අවස්ථාව ලබාදීම බවයි.

    “වසංගතය අතරතුර” එන්නතෙන් ලාභ නොලබන බව සමාගම පවසා තිබේ.

    ෆයිසර් සමාගම කොවාක්ස් සමග ගිවිසුම් අත්සන් තබා නොමැති අතර බීබීසීයට පවසා ඇත්තේ “සාකච්ඡා දිගටම පවතින” බවයි. 

    සමාගම පැවසුවේ එන්නත ලබා ගැනීමට සෑම කෙනෙකුටම අවස්ථාව ඇති බව සහතික කිරීමට කැපවී සිටින බවත්, එහි නිෂ්පාදන අතිශය අඩු උෂ්ණත්වයක තබා ගත යුතු බැවින් ගබඩා ගැටළු සඳහා විසඳුම් සකස් කර ඇති බවත්ය.

    පැති ගනුදෙනු කරන රටවල්

    එක්සත් රාජධානිය සහ කැනඩාව ඇතුළු Covax අත්සන් කරුවන් කිහිපදෙනෙකු තමන්ගේම ගනුදෙනු සමඟ ඖෂධ සමාගම් සමඟ කෙලින්ම සාකච්ඡා කරමින් සිටින බවටද අවධානය යොමු වී තිබේ.

    “ඔවුන් කොවාක්ස් හි නොමසුරුව ආයෝජනය කරන නමුත් ඒ අතරම ඔවුන් අවතක්සේරු කරන්නේ ඉල්ලුම සැපයුම ඉක්මවා යනු ඇති බවයි” යනුවෙන් ඩියුක් පර්යේෂක ටේලර් මහත්මිය පැවසුවාය.

    ධනවත් රටවල් මුලපිරුමේ ස්වභාවය අඩපණ කරන්නේ දැයි විමසූ විට ගාවි ප්‍රධාන විධායක නිලධාරී සෙත් බර්ක්ලි පැවසුවේ එය “සංකීර්ණ ප්‍රශ්නයක්” බවයි.

    “සෑම දේශපාලන නායකයෙකුටම තමන්ගේ ජනතාව ආරක්ෂා කර ගැනීමට අවශ්‍යයි. ඒ නිසා ඔබ බලාපොරොත්තු වන්නේ එයයි. නමුත් වසංගතයක් තුළ ඇත්ත වශයෙන්ම අප ආරක්ෂිත වන්නේ අප සැවොම ආරක්ෂිත නම් පමණයි. ඒ නිසා ඔවුන් මේ කරුණු දෙක ගැනම සිතිය යුතුයි”ඔහු පැවසීය.

    ඇම්නෙස්ටි ඉන්ටර්නැෂනල් ඇතුළු මානව හිමිකම් කණ්ඩායම් සහ ඔක්ස්ෆෑම් වැනි පුණ්‍යායතන පවසන්නේ ‘‘අනාගත එන්නත් සඳහා ගෝලීය ප්‍රවේශය සහතික කිරීම සඳහා තවත් බොහෝ දේ කළ යුතු බවයි‘‘

    ලෝක සෞඛ්‍ය සංවිධානයේ Covid-19 තාක්‍ෂණික ප්‍රවේශ සංචිතය හරහා තොරතුරු හුවමාරු කර ගන්නා ලෙස ඔවුන් ෆෟෂධ සමාගම්වලින් ඉල්ලා ඇත.

    කොරෝනා වයිරස් රෝග (COVID-19) එන්නත් අපේක්ෂක BNT162b2 බෙල්ජියමේ පුවර්ස් හි ෆයිසර් පහසුකමක දී වර්ගීකරණය කර ඇත්තේ වීඩියෝවෙන් යාවත්කාලීන නොවූ රූපයකිනි.
    එන්නත් නිපදවන සමාගම් අතර ෆයිසර් ද සිටී

    “කිසිදු තනි සමාගමකට ප්‍රමාණවත් සැපයුමක් ලබා දිය නොහැකි අතර, සැපයුම පිළිබඳ ගැටලුව විසඳා නොගතහොත්, දුප්පත් රටවල් සමඟ තරඟ කරන ධනවත් රටවල් සැමවිටම ජයග්‍රහණය කරනු ඇත” යනුවෙන් ඔක්ස්ෆෑම් සෞඛ්‍ය ප්‍රතිපත්ති උපදේශක ඇනා මැරියට් පැවසීය.

    “සියලුම එන්නත් නිෂ්පාදකයින් සහ ඖෂධ සංස්ථා ඔවුන්ගේ විද්‍යාව හා දත්ත එක්රැස් කළ යුතු අතර, නිෂ්පාදනය ඉහළ නැංවීමට හැකි වන පරිදි ඔවුන්ගේ තාක්‍ෂණය මාරු කිරීමට කැපවිය යුතුය. ඒ සඳහා කිසිවෙකු ඉදිරිපත් වී නැත.”

    ප්‍රතිපත්ති විශ්ලේෂක සිල්වර්මන් මහත්මිය මෙසේ පැවසුවාය: “අඩු හා මධ්‍යම ආදායම් ලබන රටවල භාවිතා කිරීම සඳහා එන්නත් ලබා ගැනීමට එක් ඵලදායී ක්‍රමයක් වන්නේ සාමාන්‍ය නිෂ්පාදකයින්ට බලපත්‍ර ලබා දීමයි.”

    “මෙය බොහෝ විට බුද්ධිමය දේපළ හා මිලකරණය පිළිබඳ ආරවුල් වලට පැටලෙන අතර එය තරමක් විවාදාත්මක විය හැකිය.”

    විවිධ රටවල ආසාදන, මරණ හා සීමා කිරීම්වල ප්‍රමාණය වෙනස් වන අතර, ලෝක සෞඛ්‍ය සංවිධානය පවසන්නේ වෛරසය මර්දනය කිරීම සඳහා සෑම රටකම ඕනෑම එන්නතක් ලබා ගත යුතු බවයි.

    “මෙතරම් බෝවන වෛරසයක් හා ගෝලීයකරණය වූ ලෝකයක, සියලු රටවල් ආරක්ෂා වන තුරු කිසිදු රටක් වසංගතයෙන් ආරක්ෂා නොවනු ඇත.” ලෝක සෞඛ්‍ය සංවිධානය පවසයි.

    2020 නොවැම්බර් 21 වැනි දින බී.බී.සී. වාර්තාවකි – සැකසුම – තීක්ෂණ වෙළෙන්එගොඩ

  • මධ්‍යම අධිවේගී මාර්ගය ඉදිකිරීමේ අක්‍රමිකතා රැසක් – කෝප් කමිටුවේදී හෙළි වෙයි

    මධ්‍යම අධිවේගී මාර්ගය ඉදිකිරීමේ අක්‍රමිකතා රැසක් – කෝප් කමිටුවේදී හෙළි වෙයි

    මධ්‍යම අධිවේගී මාර්ගය ඉදිකිරීමේදි අක්‍රමිකතා රැසක් සිදුවී ඇති බව පාර්ලිමේන්තුවේදී ඊයේ (20) පැවති පොදු ව්‍යාපාර පිළිබඳ කාරක සභාවේදී (කෝප්) අනාවරණය විය. මෙම මාර්ගයේ ශක්‍යතා අධ්‍යයනයට පමණක්  රු.බිලියන 1.7 කට වැඩි මුදලක් වැය වී ඇති බව මෙහිදී තහවුුරු විය

    මේඅතර මධ්‍යම අධිවේගී මාර්ගයේ කඩවත සිට මීරිගම දක්වා පළමු කොටසේ වැඩ කටයුතු ආරම්භ වීම 2015 සිට 2019 දක්වා ප්‍රමාද වීම නිසා රුපියල් බිලියන 08ක මූල්‍ය අලාභයක් සිදුවී ඇති බවද මෙහිදී අනාවරණය විය.

    මෙහිදී පළමු ශක්‍යතා අධ්‍යනය සඳහා SMEC සමාගම තෝරා ගැනීම  ප්‍රසම්පාදන ක්‍රියාවලියකින් තොරව සිදුව ඇති බව අනාවරණය විය. තවද 2012 දි උතුරු අධීවෙිගි මාර්ගය ලෙස  පියවර 03ක්  යටතේ පැවති ව්‍යාපෘතිය 2015 වර්ෂය වන විට මධ්‍යම අධිවෙිගී මාර්ගය ලෙස පියවර 04 ක් යටතේ වෙනස්ව තීබේ.

    මේ අනුව එඩේරමුල්ල සිට මීරිගම දක්වා ඉදිකරීමට තිබූ මාර්ගය කඩවත සිට ඉදිකිිරිමට තිරණය කොට ඇති අතර, එම තීරණය නිසා තවත් ශක්‍යතා අධ්‍යයන කිහිපයක් විශාල මුදලක් වැය කොට සිදු කර ඇත. වසර 2015 දී කිසිදු හෝ විද්වත් මත විමසීමකින් තොරව කැබිනට් මණ්ඩලය විසින් මෙම තීරණය ගෙන ඇති බව මෙහිදි අනාවරණය විය.

    මෙලෙස මුල් ව්‍යාපෘතිය වෙනස්වීම නිසා සිදුවූ මූල්‍ය අලාභය පිළිබඳ වාර්තාවක් වහාම ලබා දෙන ලෙසද කෝප් සභාපති මහාචාර්ය චරිත හේරත් මහතා මහාමාර්ග අමාත්‍යාංශයයේ ලේකම්වරයාට  නියෝග කළේය.

    පොදු ව්‍යාපාර පිළිබඳ කාරක සභාව  මෙසේ ඊයේ( 20 )  රැස්වූ අතර අමාත්‍ය මහින්ද අමරවීර, රාජ්‍ය අමාත්‍ය සරත් වීරසේකර, රාජ්‍ය අමාත්‍ය දිලුම් අමුණුගම ,රාජ්‍ය අමාත්‍ය අජිත් නිවාඩ් කබ්‍රාල්   පාර්ලිමේන්තු මන්ත්‍රිවරුන්  වන, එරාන් වික්‍රමරත්න, ජගත් පුෂ්පකුමාර, ප්‍රේම්නාත් සී. දොලවත්ත,රන්ජන් රාමනායක,ඩී.වී චානක  යන මහත්වරු  සහභාගී වුහ.

    මධ්‍යම අධිවේගී මාර්ගයේ  කඩවත සිට මීරිගම දක්වා කොටස උතුරු අධිවෙිගී මාර්ගය නමින් පැවති ව්‍යාපෘතියේ පොතුහැර සිට හෑදෙනිය කොටස ඉදිකිරීම සඳහා තෝරාගෙන තිබූ MCC නම් චීන සමාගමට ප්‍රසම්පාදන ක්‍රියාවලියකින් තොරව  ලබා දීමට 2015 දී කැබිනට් මණ්ඩලය තීරණය කර ඇති බවද මෙහිදි හෙළි විය.

    මේ සඳහා රුපියල් බිලියන 159 ක මුදලක් වැය වන අතර මෙම තිරණය ආර්ථීක කළමනාකරණය පිළිබඳ කැබිනට් කමිටුව (CCEM) මගින් ගෙන ඇති බවත් ගෙවීමි පිළිබඳ ගැටලුවක් නිසා වසර 04 ක කාළයක් තුළ මෙහි ඉදිකිරීම් ප්‍රමාද වී 2019 අගභාගයේදි වැඩ කටයුතු ආරම්භ කළ බවද වැඩිදුරටත් අනාවරණය විය. තවද මෙම ප්‍රමාදය නිසා බිලියන 8කට ආසන්න අලාභයක්ද සිදුව ඇති බවද හෙලිවිය.

    එසේම මධ්‍යම අධිවේගී මාර්ගයේ  ‍තෙවැනි කොටස වන පොතුහැර – ගල‍ගෙදර කොටසේ ප්‍රසම්පාදන ක්‍රියාවලියේ අක්‍රමිතා නිසා තවමත් ප්‍රසම්පාදන ක්‍රියාවලිය අවසන්ව නොමැති බව මෙහිදි අනාවරණය විය.ටෙන්ඩර් පටිපාටිය අනුව MS Taisei නම් සමාගමට මෙම ටෙන්ඩරය හිමිවිය යුතුව තිබුනද Fujita නම් සමාගමට මෙම ලබා දෙන ලෙස  CCEM කමිටුව මගින් බලපෑම්කර ඇති බවත් එමගින් ප්‍රසම්පාදන ක්‍රියාවලිය ප්‍රමාද වී ඇති බවටද කරුණු අනාවරනය විය.

    කෝප් කමිටු සභාපතිවරයා මෙහිදි පෙන්වා දුන්නේ CCEM වැනි කමිටු තිබීමේ වරදක් නොමැති වුවද බිලියන ගනනක ප්‍රසම්පාදන කටයුතු වලට සම්බන්ධ වන විට එය රටේ මූල්‍ය විනයට සුවිශාල බලපෑමක් සිදු කොට ඇති බවයි. CCEM කමිටුව ඇතැම් අවස්ථාවලදි ලිඛිතවද බලපෑම් කොට ඇති බවට සාක්ෂි ඇති බැවින් නිරීක්ෂණය හා සහය දීම සදහා වන කමිටු මෙලෙස එවැනි ප්‍රසම්පාදන ක්‍රියාවලියට බලපෑම් කිරීම විශාල ගැටලුවක් බවද සභාපතිවරයා පෙන්වා දුන්නේය. එබැවින් මෙම අධිවේගී මාර්ගයේ ඉදිරි වැඩ කටයුතු ප්‍රසම්පාදන ක්‍රියාවලියටම අනුකූලව සිදු කිරීමේ වැදගත්ම මෙහිදි සභාපතිවරයා විසින් අවධාරණය කරන ලදි.

    තවද  මධ්‍යම අධිවේගි මාර්ගයේ වර්තමාන තත්ත්වය කෝප් සභාපතිවරයා විමසු  අතර මෙහිදී අනාවරණය වූයේ කඩවත මීරිගම කොටසේ වැඩකටයුතු 5%ක ප්‍රමාණයක් පමණක් අවසන් වි ඇති බවත් මීරිගම සිට කුරුණෑගල දක්වා දෙවන කොටසේ වැඩකටයුතු 75%ක් අවසන්ව ඇති බවයි.දේශිය කොන්ත්‍රාත්කරුවන් යොදා දේශිය බැංකු මගින් ණය ලබාගෙන මෙම කොටසේ ඉදිකිරීම් සිදුකර ඇති බවත් ලබන වසරේ ජූනි මාසය වන විට ඉදිකිරීම් අවසන් කළ හැකි බවත් මහාමාර්ග අමාත්‍යාංශයේ ලේකම්තුමා මෙහිදී පැවසීය.

    මේ අතර පොතුහැර සිට ගල‍ගෙදර කොටසේ ප්‍රසම්පාදන ක්‍රියාවලිය  නැවතත් ආරම්භ වී ඇති බැවින් එහි වැඩකටයුතු ලබන වසරේ ආරම්භ කළ හැකිබව ව්‍යාපෘති අධ්‍යක්ෂවරයා පැවසීය.

    මෙහිදි මධ්‍යම අධීවේගී මාර්ගයේ පළමු, තෙවන හා සිව්වන කොටස්වල ප්‍රගතිය පිළිබඳ තත්ව වාර්තාවක් ලබා දෙන ලෙස කමිටුව නිර්දේශ ඉදිරිපත් කළේය.

    තවද 2012 වර්ෂයට පෙර මෙම අධිවේගී මාර්ගය ඉදිකිරීම සඳහා ශක්‍යතා අධ්‍යයන වාර්තාවන්  සඳහා රුපියල් මිලියන 284 අ‍ාසන්න මුදලක් වැයවී ඇති බව අනාවරණය විය. මෙම ඇතැම් ශක්‍යතා අධ්‍යයන වාර්තාවන් වර්තමාන අධිවේගී මාර්ගය සඳහා කිසිදු ප්‍රයෝජනයක් නොවීම පිළිබඳව කණගාටුව පළ කළ සභාපතිවරයා ඉදිරි සියලු  මූල්‍ය කටයුතු කළමනාකරණය කිරීමේ වැදගත්කම අවධාරණය කළේය.

    එමෙන්ම මෙම ව්‍යාපෘතිය සඳහා වන සියලු  ශක්‍යතා අධ්‍යයනයන් ව්‍යාපෘතියේ සාර්ථකත්වයට කුමන බලපෑමක් සිදු කර තිබේද යන්න වාර්තා කරන ලෙසද කෝප් සභාපති මහාචාර්ය චරිත හේරත් මහතා මහාමාර්ග අමාත්‍යාංශයේ ලේකම්වරයාට  නියෝග කළේය.