Blog

  • දූරියන් වගාව ගැන අලුතින් හිතුවොත් ධන උල්පතක් කර ගන්න පුළුවන්

    දූරියන් වගාව ගැන අලුතින් හිතුවොත් ධන උල්පතක් කර ගන්න පුළුවන්

    දූරියන් වගාකරුවන් දැනගත යුතු තවත් විශේෂ දෙයක් තියෙනවා. ගෙවත්තේ එක දූරියන් ගසක් සිටවූවාට ගෙඩි හැදෙන්නේ නෑ. දෙකක්වත් හිටවන්න ඕනෑ. ඒකත් වර්ග දෙකකින් ගස් දෙකක්. එක වර්ගයකින් ගස් දෙකක් සිටුවා ගෙඩි ගන්නත් බෑ. අනිත් එක කිරිවවුලෝ ඉන්නත් ඕනෑ. වවුලෝ නැත්නම් දූරියන් ගෙඩිත් නෑ

    මෙරට දූරියන් ගස් බහුතරය රෝගී පැරණි ගස්

    අපි තවමත් මදුළු කනවා පමණයි

    අසල්වැසි රටවල දූරියන් චොක්ලට් සහ අයිස්ක්‍රීම්

    දකුණු ආසියාතික රටවල ඇතැම් ලැගුම්හල් හෝ හෝටල් තුළට මෙම පලතුර රැගෙනයාම තහනම්ය. අවට පරිසරයට දින කීපයක් පවතින සුවඳක් නිකුත් කරන නිසාත්, සමහරුන්ට මෙය ඉතා අප්‍රසන්න සුවඳක් නිසාත්, පොදු යහපත උදෙසා මෙවන් වාරණයක් පනවා තිබේ.

    සිංගප්පූරුවේ ප්‍රධාන පොදු ප්‍රවාහන පද්ධතියක් වන උමං දුම්රියට ඇතුල්වෙත්දීද දූරියන් රැගෙන නොඑන ලෙසට දැන්වෙන ස්ටිකරයක් දුම්රිය මැදිරි තුළ අලවා තිබෙනු පෙනෙන්නේය. ඒ සුවඳ නිසා පමණක් නොව, ගෙඩියේ තිබෙන තියුණු කටු මගින් ජනාකීර්ණ දුම්රිය මැදිරි තුළ ගමන් කරන්නවුන්ට හානියක් විය හැකිය යන සැකය හේතුවෙනි.

    කෙසේ වෙතත් දකුණු ආසියාතික රටවලදී අඹ ගෙඩියට ‘පලතුරු ලොවේ රජු’ සේ සලකා අචාර කරද්දී කාම්බෝජය, ලාඕස්, මියන්මාරය, මැලේසියාව, තායිලන්තය, වියට්නාමය, පිලිපීනය, සිංගප්පූරුව වැනි රටවල් වලින් සැදුම්ලත් ගිනිකොණ දිග ආසියාවේ රටවල් වල නම් ‘පලතුරු රජු‘ වන්නේ දූරියන්ය.

    19වැනි සියවසේ විසූ පරිණාමයේ සංසිද්ධිය ‘ස්වභාවික වරණය’ නමැති තේරීමේ යාන්ත්‍රණය ඔස්සේ පැහැදිලි කල මහා විද්‍යාඥ ඇල්ෆ්‍රඩ් රසල් වොලස්, දූරියන් මදය අගය කර ඇත්තේ ආමන්ඩ් වලින් රසවත් කළ කස්ටඩ් පුඩිමකට නොදෙවෙනි බව පවසමිනි.

    මෙරටට 16 වෙනි සියවසේදී මුලින්ම දූරියන් රැගෙනවිත් ඇත්තේ පෘතුගීසීන් විසිනි. ඊට පසුවද නොයෙක් අවස්ථාවලදී විවිධ ප්‍රභේද හඳුන්වාදීමක් සිදුවී ඇති අතර අද තිබෙනා බොහොමයක් දූරියන් ගස්, ඇට පැළවීමෙන් හටගත් දශක ගණනක් පැරණි වයස්ගත ශාක වේ. ජනතාව පුරුදුවී සිටින්නේ ගෙඩි හටගන්නා කාලයට දූරියන් ගස දෙස බලන්නටය.

    ඵල දරන්නේ යම්කිසි නිශ්චිත වාරයකට පමණක් බැවින්, තමාගේ අස්වැන්න ලැබෙන සමයේදී ගසට සාත්තු සප්පායම් කිරීමට කවුරු කවුරුත් ඉදිරිපත් වුවත්, ගෙඩි ඵලගන්නේ නැති කාලයේදී ඔවුහු නිහඬව ඉවත බලා ගනිති. මේ නිසා වැඩි සාත්තුවක් නැතිව පවත්නා වර්තමාන දේශීය දුරියන් වගාවට ඇත්තේ ඉතා අඩු පලදායීතාවයකි.

    මීට අමතරව දූරියන් ගස් වලට ඇති විවිධාකාර ආබාධ සම්බන්ධයෙන් ඒවාහි හිමිකරුවෝ පැමිණිලි කරති. මේ පැමිණිලි සුලභව පැමිණෙන තැනකි හොරණ පලතුරු පර්යේෂණ හා සංවර්ධන ආයතනය. එහි පලතුරු අභිජනනය පිළිබඳ ප්‍රධාන කෘෂි විද්‍යාඥ ඩබ්ලිව්. ඩී. ලෙස්ලි මහතා මේ ගැන අදහස් දක්වන්නේ මෙසේය.

    “අවුරුදු පනහ හැට පැරණි දූරියන් ගස් තමයි අද රටේ වැඩි හරියක් තියෙන්නේ. ඒවත් නිසි නඩත්තුවක් නැති ශාක. කෘෂිකර්ම දෙපාර්තමේන්තුව නිර්දේශ කළ වර්ග වල ගස් වලින් හැදෙන ගෙඩි ඉතා සුළු ප්‍රමාණයක් තමයි තවමත් වෙළඳපොළට එන්නේ. සාමාන්‍යයෙන් ගහක් මෝරලා ඵල දරන්න අවුරුදු පහක් හයක් යනවනේ. අනිත් කරුණ තමයි මේ පරණ ගස් බොහොමයකට කල් ගතවුණු රෝග තත්වයන් තියෙනවා. ඒවා අධීක්ෂණයක් හා මූලික ප්‍රතිකාර නොලැබුණු නිසා දැන් නිදන්ගත රෝග වගේ. ‘ෆයිටොප්තෙරා දිලීරය‘ නිසා ඇතිවෙන රෝගී තත්වය හා ‘ඇන්ත්‍රැක්නෝස්‘ රෝගය තමයි වැඩිපුර තියෙන්නේ. ෆයිටොප්තෙරා දිලීර ආසාදනය වුණහම එකපාරට රෝග ලක්ෂණ පෙනෙන්නෙත් නෑ. රෝගය අවුරුදු ගණනක් ශාකය තුළ තිබෙමින් ක්‍රමයෙන් පිළිකාවක් වගේ ගස පුරා පැතිරෙනවා. ගෙඩි නැති කාලෙට ගස ගැන අවධානයකුත් නැති නිසා තත්වය පහසුවෙන් දරුණු වෙනවා. ඵල දරන කාලෙට නම් ගෙඩි කළුවෙනවා, ලපටි ගෙඩි හැලෙනවා ආදී විවිධාකාර පැමිණිලි. රෝගය පාලනය කරන්න වියදමත් වැඩියි ආසාදනය දරුණු නිසා. පාලනය කෙරුවත් නිරෝගී ගසක් නැවත ලැබෙයි කියන සහතිකය දෙන්නත් බෑ. ගසේ වයසත් වැඩියි, ගස තුළ රෝග කාරකයේ පැතිරුණු ප්‍රමාණයත් වැඩියි.”

    රටේ පවතින දූරියන් ශාක බහුතරයක තත්වය මෙසේ නම්, ගෙඩි හැදෙන කාලයටවත් දූරියන් ගස සොයා යන්නට නොහැකි තත්වයක් උදාවේ යයි සිතෙන තරම්ය. එසේ නමුත් ලෝකයේ දුරියන් ප්‍රගතිය නම් ඉහළ ඉලක්කයන් කරා වේගයෙන් ගමන් කරයි. වයස්ගත දූරියන් ශාක, නිසි පෝෂණයක් හෝ සත්කාරයක් නැතිව හා ලෙඩරෝග පවා උසුලාගනිමින් අප වෙත ලබාදෙන ඵලදාව, ගෙඩිය බිඳගෙන මදුළු අනුභව කරනවා මිස ඊට වැඩි යමක් තවමත් මෙරට සිදුවන්නේද නැත.

    මහා මාර්ගය අයිනේ හෝ සිල්ලර පලතුරු කඩයක විකුනනවා හැරෙන්නට අගය වැඩි ඇසුරුමක් තුළ ඇසිරූ දූරියන් මදුළු සුපිරි වෙළඳසැල් තුල අලෙවි කරන්නේද නැත. නමුත් අප අවට ඇති ආසියාතික රටවල තත්වය නම් මීට හාත්පසින්ම වෙනස් වේ. මදුළු වෙන්කොට හුරුබුහුටි රිජීෆෝම් දීසි තුළ බහා, පොලිතීන් වලින් වැසූ නිෂ්පාදනයන් එවන් රටවලදී මග දෙපස ඇති පෙට්ටි කඩවලින් පවා මිලදී ගත හැකිය. මීට අමතරව චොක්ලට්, අයිස්ක්‍රීම්, ජෑම්, චිප්ස් ආදී නානාප්‍රකාර අගය වැඩිකළ නිපැයුම් රාශියකි.

    ඔවුන්ගේ රටවල නිෂ්පාදනයන් ප්‍රමාණවත් නොවන නිසා විශාල වශයෙන් ඔවුහු දූරියන් ආනයනය කරති. විදේශ විනිමය සෙවීමේ නව මංපෙත්වලට ඉව අල්ලමින් සිටිනා අප මෙම පසුබිම නිවැරදිව කියවිය යුතුය. සාම්ප්‍රාදායික වැවිලි අපනයනයන් වන පොල් සහ රබර් දේශීය අවශ්‍යතාවයටවත් නොමැති තත්වයක් යටතේ අලුත් අපනයන බෝග ප්‍රවර්ධනයට අත තැබිය යුතුය.

    “කෘෂිකර්ම දෙපාර්තමේන්තුව මගින් දැනට දූරියන් ප්‍රභේද පහක් නිදහස් කරලා තියෙනවා. කසුන්, අඹතැන්න, හොරණ ජම්බෝ, හොරණ ගෝල්ඩ් සහ ගන්නොරුව ස්වීට් කියන්නේ මේ වර්ග පහ. මේවායේ බද්ධ පැල දැනට ඇති තරම් නිෂ්පාදනය කෙරෙනවා. ඒ වගේම විශාල වගා වශයෙන් දූරියන් වවන්නත් ව්‍යාපාරික මට්ටමේ වැවිලිකරුවන් ඉදිරිපත් වෙලා ඉන්නවා. ඒ අය අපනයන ගමනාන්තයන් පවා දැනට හඳුනාගෙන අවසන්. ඉතින් සාර්ථකත්වය සඳහා දූරියන් වගාකරුවන් නිසි තැන හඳුනාගෙන ගස් සිටුවන්නට ඕනෑ, ඒ වගේම නඩත්තුව හා සාත්තුව හොඳට කරන්න ඕනෑ.”

    ලෙස්ලි මහතා සඳහන් කරන පරිදි දූරියන් වගාවට සුදුසු වන්නේ හොඳින් ජලය බැසයන, ප්‍රමාණවත් හිරු එළියක් වැටෙන, මීට ඉහතදී රබර්, මඤ්ඤොක්කා වැනි වගාවක් නොකළ ඉඩමකි. රබර් හා මඤ්ඤොක්කා වලට වැළඳෙන ‘සුදු මුල් රෝගය’ දූරියන් ශාකයටද හානිකරය. දිලීරය දිගු කලක් පසෙහි නොනැසී තිබෙන අතර අලුත පැල කරන ලද දූරියන්, පළමු වසර හය තුළදී මෙම රෝගයට බෙහෙවින් පාත්‍ර වේ.

    “දූරියන් වගාකරුවන් දැනගත යුතු තවත් විශේෂ දෙයක් තියෙනවා. ගෙවත්තේ එක දූරියන් ගසක් සිටවූවාට ගෙඩි හැදෙන්නේ නෑ. දෙකක්වත් හිටවන්න ඕනෑ. ඒකත් වර්ග දෙකකින් ගස් දෙකක්. එක වර්ගයකින් ගස් දෙකක් සිටුවා ගෙඩි ගන්නත් බෑ. අනිත් එක කිරිවවුලෝ ඉන්නත් ඕනෑ. වවුලෝ නැත්නම් දූරියන් ගෙඩිත් නෑ.”

    වගාකරුවන් නම් මැවිසිලි නගන්නේ රාත්‍රියට පැමිණෙන කිරිවවුලන් දූරියන් ගසේ මල් ටික තලා බිම දමා විනාශ කර යන බව පවසමිනි. එහෙත් පලතුරු අභිජනන විද්වත් ප්‍රකාශයට අනුව වවුලන් නැත්නම් දූරියන් ඵලදාවක්ද නැත. එසේම මේ කතාවට අනුව, ඉඩ ඇති තැනක දූරියන් පැලයක් සිටුවා ගන්නටද අවසර නැත. ගෙදර වත්තේ වවාගෙන දූරියන් කන්නට නම් ගස් දෙකක් වවාගත යුතුවේ. එයද වර්ග දෙකකිනි. කන්නට අකමැති වුවත් වවන්නට කැමැති අයට, එය රසවත් කතාන්තරයක් වනු ඇත.

    ලබන සතියට

    සනත් එම්. බණ්ඩාර – සහකාර කෘෂිකර්ම අධ්‍යක්‍ෂ, ජාතික කෘෂිකර්ම තොරතුරු හා සන්නිවේදන මධ්‍යස්ථානය, ගන්නොරුව, පේරාදෙණිය.

  • කොවිඩ් මරණ සංඛ්‍යාව 35 දක්වා ඉහළට

    කොවිඩ් මරණ සංඛ්‍යාව 35 දක්වා ඉහළට

    ශ්‍රී ලංකාවෙන් වාර්තා වන 35වන කොවිඩ්-19 මරණය අද (08) දින පස්වරු 21.00ට ස්වල්ප වේලාවකට පෙර වාර්තා වූ බව රජයේ ප්‍රවෘත්ති දෙපාර්තමේන්තුව විසින් ප.ව 21.00ට නිකුත් කළ මාධ්‍ය නිවේදනයක සදහන් වේ.

    මෙසේ මියගොස් ඇත්තේ 78 වන වියේ පසුවන පුද්ගලයෙකි.

    ඔහු රෝහලට ඇතුළත් කරන විටත් මියගොස් සිටි බවත් මරණය හේතුව කොවිඩ්-19 ආසාදනය සමග ඇති වූ හෘදයාබාධයක් බව පශ්චාත් මරණ පරීක්ෂණයේ දී එම පුද්ගලයා කොවිඩ් ආසාදිතයෙක් වශයෙන් තහවුරු වූ බවත් සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජනරාල් විශේෂඥ වෛද්‍ය අසේල ගුණවර්ධන මහතා වාර්තා කර ඇත.

  • හුදකලා කළ ප්‍රදේශවල කටයුතු සිදුවිය යුත්තේ මෙහෙමයි

    හුදකලා කළ ප්‍රදේශවල කටයුතු සිදුවිය යුත්තේ මෙහෙමයි

    හෙට (09) දින පෙ.ව 05.00 බස්නාහිර පළාතේ නිරෝධාන ඇදිරිනීතිය ඉවත් කිරීමෙන් පසු හුදකලා කර තැබෙන ප්‍රදේශවල ඇති අත්‍යවශ්‍ය සේවා සැපයුම්, ශ්‍රී ලංකා ආයෝජන මණ්ඩල සහ අපනයන සංවර්ධන මණ්ඩල කර්මාන්ත ශාලාවල සේවක සේවිකාවන්ට නිසි අවසර පත්‍ර ලබාගෙන එම ප්‍රදේශවලට ඇතුළු වීමට සහ ඉන් පිටවීමට අවසර හිමිවන බව පොලිස් මාධ්‍ය ප්‍රකාශක නියෝජ්‍ය පොලිස්පති අජිත් රෝහණ මහතා අද (08) පැවැති මාධ්‍ය සාකච්ඡාවකදී දැනුම් දුන්නේය.

    මෙහිදී වැඩි දුරටත් කරුණු පැහැදිලි කළ පොලිස් මාධ්‍ය ප්‍රකාශකවරයා අවධාරණය කළේ අදාළ සේවකයින් හුදකලා කළ ප්‍ර දේශවලට ඇතුළුවීම සහ පිටවීම නිසි නිරෝධායන නීතිවලට අනුකූලව සිදුකළ යුතු වෙයි. 

    මෙහිදී හුදකලා කළ ප්‍ර දේශ හරහා ගමන් කරන වාහනවල රියැදුරන් අනුගමනය කළ යුතු ක්‍රමවේදය පැහැදිලි කළ පොලිස් මාධ්‍ය ප්‍රකාශකවරයා,

    ‘ හුදකලා කර ඇති ප්‍රදේශ හරහා යම් මාර්ගයක් වැටී ඇත්නම් එම මාර්ගය හරහා ගමන් කිරීමට හැකියාව තිබෙනවා. ඒත් හුදකලා කර ඇති ප්‍රදේශයේ වාහන නවතා තැබීමට අවසර හිමි නොවන අතර එම හුදකලා ප්‍රදේශ තුළින් මගීන් ලබා ගැනීමට හෝ බැස්සවීමටත් අවසර ලැබෙන්නේ නැහැ. හුදකලා ප්‍රදේශ හරහා ගමන් කරන සියලුම රථවාහන නොනවත්වා ධාවනය කළ යුතුයි‘

    මෙහිදී හුදකලා කළ ප්‍ර දේශවල ජීවත් වන ජනතාව විසින් අනුගමනය කළ යුතු පියවර පැහැදිලි කළ පොලිස් මාධ්‍ය ප්‍රකාශකවරයා,

     “හෙට දින සිට හුදකලා කරන ප්‍රදේශවල සිටින අයට කිසිම හේතුවක් නිසා පිටතට පැමිණීමට හැකියාව ලැබෙන්නේ නෑ. ඒ වගේම කිසිවෙකුට එම ප්‍රදේශවෙත ඇතුළුවීමට අවස්ථාව ලැබෙන්නේ නෑ. එම ප්‍රදේශවලිනුත් පිටවයන්න බෑ. ඔවුන් තම නිවෙස්වලම රැඳීසිටිය යුතුයි. කුමණ හේතුවක් නිසාවත් එම අය නිවෙස්වලින් පිටතට යෑමෙන් වැළකිය යුතුයි. සෞඛ්‍යමය කරුණකට අදාළව කිසියම් අවශ්‍යතාවයක් ඇතිවුවහොත් කොවිඩ් රෝගයේ රෝග ලක්ෂණ නොවන හෝ කොවිඩ් රෝගය නොවන ඕන වෙනත් දේකට ප්‍රතිකාර ගැනීමට අවශ්‍ය නම් ළඟම තියෙන රෝහලකට ඇතුළත්වීමට හැකියාව ලැබෙනවා. ඒ සඳහා අවසර ගැනීමක් අවශ්‍ය වන්නේ නෑ. නමුත් අනෙකුත් සියලුම කාරණා සඳහා යම් අවශ්‍යතාවයක් වුවහොත් එම ප්‍රදේශයේ පොලිසිය, සෞඛ්‍ය වෛද්‍ය නිලධාරීන්ගෙන් අවසර ලබා ගැනීමකින් තොරව ගමන්බිමන් සිදුකිරීමට අවසර ලැබෙන්නේ නෑ,

  • රාජ්‍ය සේවා පවත්වාගෙන යෑම ගැන නිවේදනයක්

    රාජ්‍ය සේවා පවත්වාගෙන යෑම ගැන නිවේදනයක්

    හෙට (09) දින පෙ.ව. 5.00ට නිරෝධායන ඇඳිරිනීතිය ඉවත් කළ ද සේවයට කැඳවිය යුත්තේ රාජ්‍ය සේවයේ අත්‍යවශ්‍යම අවම කාර්යය මණ්ඩල පමණක් බව රාජ්‍ය සේවා, පළාත් සභා හා පළාත් පාළන අමාත්‍යාංශ ලේකම් ජේ.ජේ. රත්නසිරි මහතා අවධාරණය කළේය.

    සෞඛ්‍ය ආරක්ෂිත තත්ත්වයන් සලකා මෙම පියවර ගතයුතු බව සදහන් කළ රත්නසිරි මහතා ඒ ඒ ආයතන ප්‍රධානීන් විසින් සේවයට කැඳවන පිරිස් සම්බන්ධයෙන් තීරණය කළයුතු බව සෙසු කාර්යය මණ්ඩලය දැනට ක්‍රියාත්මක වන පරිදි නිවසේ සිට රාජකාරී සිදුකළ යුතු බවද සඳහන් කළේය.

  • Covid-19 එක්ක වර්ධනය වන ‘මානසික සෞඛ්‍ය ගැටලු’ ගැනත් අවධානය ඕනෑ

    Covid-19 එක්ක වර්ධනය වන ‘මානසික සෞඛ්‍ය ගැටලු’ ගැනත් අවධානය ඕනෑ

    මෙවන් වසංගත තත්වයන් හමුවේ මානසික සෞඛ්‍ය අර්බුදවලට පහසුවෙන් ලක් විය හැකි පිරිස් අතුරින් හීන වූ පෞරුෂයන් ගෙන් යුතු පුද්ගලයන් සහ මානසික අර්බුද සහ රෝග හට ගැනීමේ වැඩි පෞරුෂමය සහ ජෛවමය නැඹුරුවක් සහිත පිරිස් ප්‍රධාන වෙති.

    විශේෂඥ මනෝ වෛද්‍ය රනිල් අබේසිංහ – ශ්‍රී ලංකා මනෝ වෛද්‍ය සංගමයේ හිටපු සභාපති

    කොවිඞ් 19 වසංගතයත් සමඟ පැතිර යමින් පවතින බිහිසුණු සෞඛ්‍යය තර්ජනය පිළිබඳව ජාතික අවධානයක් යොමුව තිබේ. එහෙත්, එහි ඇති තවත් සුවිසල් පැතිකඩක් පිළිබඳව මෙතෙක් කිසිවකුගේත් අවධානය යොමු වී නැත. එනම්, මෙම වසංගත තත්වය යටතේ ජනතාවගේ මානසික සෞඛ්‍යය බිඳ වැටීමේ අවධානම පිළිබඳව ය.

    ගියවර කොවිඞ් 19 වසංගතය පැතිර ගිය සමයේ කොවිඞ් 19 ආසාදනය වූ තම අසල්වැසියකු විශේෂිත ආරක්ෂිත ඇඳුම් කට්ටල හැඳගත් දෙදෙනකු විසින් ගිලන් රියකට නංවාගෙන යනු දුටු කාන්තාවක් ඉන් හටගත් මානසික කම්පනයෙන් යුතුව තම නිවස තුළට පිවිසි අතර ඉන් පිටතට ඒම සම්පූර්ණයෙන් ප්‍රතික්ෂේප කළා ය. එපමණක් නොවේ. ජනමාධ්‍ය වලින් කොවිඞ් 19 පිළිබඳ තොරතුරු ඇසීම, දැකීම ප්‍රතික්ෂේප කළ ඇය කොරෝනා යන නම ඇසීමට පවා බියක් පළ කරනු දක්නා ලදී.

    පසුගිය මාස කිහිපය තුළ කොවිඞ් 19 පැතිරුණු සමයේ රථවාහන පරීක්ෂාවේ යෙදී සිටි පොලිස් නිලධාරිනියක් මාර්ගයේ ගමන් කරමින් තිබූ මෝටර් රථයක් පරීක්ෂා කොට එහි රියැදුරුගෙන් කරුණු විමසීමට සැරසුණා ය. ඒ මොහොතේ එම රියැදුරු ආරක්ෂිත මුව වැස්මක් පැළඳ නොසිටි අතර පොලිස් නිලධාරිනිය හා කතා බස් කිරීමට ඔහු රථයේ රියැදුරු අසුන පැත්තේ වූ වීදුරුව පහත් කළේ ය. එවිට එම රථයේ වූ වායු සමීකරණය මුල් කොට ගත් ශීත හුමාලය පොලිස් නිලධාරිනියගේ මුහුණට වැදිණ. ඉන් පසු සේවය නිම කොට නිවසට ගිය ඇයට තදබල උණක් වැළඳුණි. ඒ සමඟම ඇය තම පවුලේ ඥාතීන්ට පවසා සිටියේ එම මෝටර් රථයේ රියැදුරු ගෙන් තමන්ට කොරෝනා ආසාදනය වූ අතර ඒ බව ඒ මොහොතේම තමන්ට ඉතා හොඳින් දැනුණු බවකි. කෙසේ හෝ මෙම රෝගී තත්වය යටතේ රෝහල් ගත කරන ලද මෙම පොලිස් නිලධාරිනිය ඡක්‍ඍ පරීක්ෂණයට ලක් කරනු ලදුව එමඟින් ඇයට කොවිඞ් 19 ආසාදනය වී නොමැති බව තහවුරු විය. එහෙත්, ඒ බව පිළි නොගත් ඇය ඉන්පසුව දිගින් දිගටම කියා සිටියේ කොරෝනා කෙසේ වෙතත් මේ වන විටත් තම ශරීරය තුළ කිනම් හෝ මාරාන්තික වයිරසයක් ක්‍රියාත්මක වෙමින් පවතින බව ය.

    මා ඉහත සඳහන් කරන ලද්දේ හුදකලා සිද්ධීන් දෙකක් නොවේ. වත්මන් කොවිඞ් 19 වසංගතය මුල් කොට මෙබඳු සිද්ධීන් ජාලයක් අප සමාජය පුරා නිරන්තරවම සිදුවෙමින් පවතී. නමුදු මේවා මානසික අර්බුද හෝ මානසික රෝග ලක්ෂණ වශයෙන් හඳුනා ගෙන මනෝ වෛද්‍යවරුන් සහ මනෝ වෛද්‍ය සායන වෙත යොමු වනුයේ ඔවුන් අතුරින් ඉතා සීමිත පිරිසකි. සෙසු බහුතරය ගෙන් කොටසක් තුළ පවතින මෙවන් තත්ත්වයන් කෙටි කලකින් පහව යා හැකි නමුදු තවත් කොටසක් තුළ මේවා නිරන්තරව නැතහොත් මුළු ජීවිත කාලය පුරාම පැවතිය හැක. එය පොදු සමාජයීය මානසික යහපැවැත්ම සම්බන්ධයෙන් වුව අයහපත් තත්ත්වයකි.

    මෙවන් වසංගත තත්වයන් හමුවේ මානසික සෞඛ්‍ය අර්බුදවලට පහසුවෙන් ලක් විය හැකි පිරිස් අතුරින් හීන වූ පෞරුෂයන් ගෙන් යුතු පුද්ගලයන් සහ මානසික අර්බුද සහ රෝග හට ගැනීමේ වැඩි පෞරුෂමය සහ ජෛවමය නැඹුරුවක් සහිත පිරිස් ප්‍රධාන වෙති.

    මෙහිදී කෝවිඞ් 19 ආසාදිතයන් ඇසුරු කරන සහ ඔවුන් හා නිතර ගැටෙන සෞඛ්‍ය කාර්ය මණ්ඩල අතරින් සේම ගුවන් විදුලි සහ රූපවාහිනී මඟින් නිවසේ සිට මෙම පුවත් වලට සවන් දෙන්නවුන් අතරින් ද මෙවැන්නවුන් මතු විය හැක.

    කුමන හේතුවක් මත හෝ ඇතිවන මානසික පීඩනයන් මත ආතතිය (Stress) මුල්කොට ගත් විෂාද (Depression) සහ කාංසාත්මක තත්ත්වයන් (Anxiety) හට ගත හැකි අතර මේවා මානසික අර්බුද සහ රෝග කාරක ලෙස ද පැන නැඟිය හැක.

    එමෙන්ම විවිධ පුද්ගලයන් තුළ පැන නැඟිය හැකි කරදරකාරී ඇබ්බැහි වීම් හෙවත් ග්‍රස්තිමය ආබාධ (Obsessive Compulsive Disorder) සහ තමන් තුළ යම් රෝගයක් හෝ රෝග කිහිපයක් ඇතැයි යන මෝහමය සිතුවිල්ල (Hypochondria) සහ යම් යම් කරුණු මුල් කොට ඇතිවන අහේතුක බිය (Phobia) වැනි මානසික රෝග තත්වයන් මෙවන් කරුණු මුල්කොට ඉස්මතු විය හැකි අතර දැනටමත් පවත්නා එවන් තත්ත්වයන් වඩාත් තීව්‍ර ලෙසින් වර්ධනය විය හැක.

    තමන් ජීවත් වන පරිසරය මුල් කොට ගත් සංවේදීතාවයන් ප්‍රධානතම හෙවත් සයිකෝසීය මානසික රෝග (Psychotic disorder) කෙරෙහි ද සෘජුවම බලපැවැත්වෙන බැවින් මෙම වසංගත රෝග තත්වය ඔවුන් ගේ මානසික සෞඛ්‍ය තත්වය තව දුරටත් බිඳ දැමීමට සමත් වෙයි.

    මෙවන් වසංගත රෝග තත්වයන් සම්බන්ධයෙන් ආධ්‍යාත්මික ආරෝපණයන් සිදුකිරීම අප ජන සමාජයේ අතීතයේ සිට සිදු වූවකි. පැපොල, සරම්ප, කම්මුල්ගාය ආදී වසංගත රෝග දෙවියන් ගේ ලෙඩ යනුවෙන් හැඳින්වීම ඒ සඳහා වන කදිම නිදසුනකි. එහි දී එම රෝග සම්න්ධයෙන් සිදු කරනු ලබන ගුප්ත විශ්වාස මත පදනම් වූ අභිචාර විධි සහ ශාන්ති කර්ම මඟින් එම රෝග වලට ලක්වන පුද්ගලයන් සහ ඔවුන් ගේ පවුල්වල ඥාතීන් මානසික බිඳ වැටීම් වලින් අත්මිදී යහපත් මනෝ කායික ප්‍රතිශක්තියක් ස්ථාපිත කරගත් බව පැහැදිලි ය. දිගු කාලීනව කෙසේ වෙතත් ඒවා යම් තාවකාලික සහනයක් ලද හැකි නොවිධිමත් මනෝ චිකිත්සාවන් ලෙස සැලකිය හැකි ය.

    ඒ කෙසේ වෙතත් මෙබඳු වසංගත රෝග තත්ත්වයන් නිසා හටගන්නා දැඩි මානසික පසුබෑම් හා බිඳවැටීම් තත්ත්වයන් මත යමකු තුළ පවත්නා ජීවිතාශාව පවා අවප්‍රමාණ වීමේ පැහැදිලි හැකියාවක් පවතී. විශේෂයෙන් එය මුල් කොට පැන නඟින තීව්‍ර විශාද තත්වයක් යටතේ තමන් ගේ සුපුරුදු දෛනික කටයුතුවලින් ඉවත් වීම, වෙනත් රෝගාබාධ සඳහා ගනු ලබන ඖෂධ භාවිතයෙන් වැලකී සිටීම ආදී හේතු මත ඔවුන් තුළ නොයෙකුත් කායික රෝගාබාධ උත්සන්න වීමේ වැඩි නැඹුරුවක් තිබේ. එමෙන්ම මෙවන් දැඩි කායික මානසික බිඳ වැටීම් වල දී යමකුගේ ශරීරයේ පවත්නා ප්‍රතිශක්තිය බිඳ වැටීම, අලුතින් රෝග හට ගැනීමට, දැනට හටගෙන ඇති රෝග උත්සන්න වීමට සහ එසේ වීමෙන් ඒ තැනැත්තා අකල් මරණයකට ලක්වීමට වුව පුළුවන.

    දැනට කොවිඞ් 19 වසංගතය පවත්නා ලොව සෑම රටක පාහේ එම වසංගතය මුල් කොට බිඳ වැටෙන ජනතාවගේ මානසික සෞඛ්‍යය පිළිබඳව විවිධ මට්ටම් වලින් අවධානය යොමු වන අතරේ දේශපාලන, නිලධාරී හෝ පුරවැසි මට්ටමින් අපේ රටේ සියල්ලන්ම පාහේ ඒ පිළිබඳව වගේ වගක් නොමැතිව නිසොල්මන්ව සිටීම අප රටේ සමාජ, ආර්ථික, දේශපාලන ක්‍රමයේ දියුණුව මැනවින් කියා පාන්නකි.

  • ‘සහල් හිගය සහ මාෆියාව ගැන’ ඔබ දැනගත යුතුම කතාවක්

    ‘සහල් හිගය සහ මාෆියාව ගැන’ ඔබ දැනගත යුතුම කතාවක්

    සහල් හිගය‘ යළිත් ප්‍රධාන මාතෘකාවක් වී තිබෙන අතර ආණ්ඩුව ද ගැසට් පිට ගැසට් ගසමින්, නිලධාරීන් සමග නිමක් සාකච්ඡා කරමින් තත්ත්වය පාලනය කිරීමට උත්සාහා කරමින් සිටී. ඊට හේතුව වන්නේ වසංගත තත්ත්වය සමග ඇති ආහාර සුරක්ෂිතභාවය පිළිබද උනන්දුව නිසා ජනතාව වෙනදාට වඩා වැඩියෙන් සහල් රැස්කර තබා ගැනීමට වැඩි උනන්දුවක් දක්වන නිසා මේ අවස්ථාවේ සහල් හිගය ‘වඩාත් සංවේදී‘ වීමයි.

    ‘ගණන් බල බලා ඉන්න බැහැ. ලුණු බතුයි හරි කන්න හාල් ගෙදර තියෙන්නේ ඕනෑනේ. ඒ නිසා කියන ගාණකට අරං යනවා‘ මෙම ලියුම්කරු සමග අදහස් දැක්වූ කඩවත නාගරිකයෙක් කීවේය. හෙට (09) සිට කඩවත පොලිස් බල ප්‍රදේශය ඇතුළු ප්‍රදේශ කිහිපයක් ‘හුදකලා‘ කරන නිසා ඔහුගේ උත්සාහය තම ගෘහයේ ආහාර සුරක්ෂිතතාවය තහවුරු කර ගැනීමය.

    ‘සම්බා හාල් ඇත්තෙම නැහැ. අරලිය හාලුත් නැහැ. එක එක නම් වලින් හාල් වර්ග තියෙනවා. ඒත් ගාණ වැඩියි. ඒත් මොකද කරන්නේ. ? මේ වෙලාවේ මේ ටිකවත් ගෙදර අරං නොගියොත් හෙට ඉදන් හදේ හාල් තමයි කන්න වෙන්නේ‘ ඔහු සමග පැමිණ සිටි බිරිද කීවාය.

    සහල් මිල පාලන ගැසට්, පාලන මිල සහ සහල් හිගය ගැන දුරකථනය මගින් විස්තර විමසූ විට බොහෝ දෙනකුගේ පොදු මැසිවිල්ල කඩවත නාගරිකයාගේ මැසිවිල්ලම විය.

    ‘ගැසට් ගැහුවට වැඩක් නැහැ. අපිවත් ගැසට් එකේ ගාණ දන්නේ නැහැ‘ රජයේ විධායක නිලයක් දරන හොරණ මිතුරියක් කීවාය.

    ‘මෙයාලා බලයට පත් වුණාට පස්සේ හාල් මිල පාලනේට ගැසට් නම් කීයක් ගැහුවද ? කෝ එකකින් වත් වැඩක් වුණා ද ? බොරු බයිලා‘ වත්තල නගරයේ දුරකථන උපාංග අලෙවිසැලක් පවත්වා යන අයෙක් කීවේය.

    ‘ගැසට් ගහලා, පාලන මිල දාලා වැඩ කරන්න පුළුවන් නම් ඉතිං හොදා. ඒත් ඒවා තියරි විතරයි. ප්‍රායෝගික නෑ. මට පේන්නේ මේ ආණ්ඩුවත් රජ්ජුරුවන්ට සුදු හකුරු හැදුව මිනිහා වාගේ. කියන කොට එහෙමයි – කරන කොට මෙහෙමයි‘ නීතිඥයෙකු වන හොරණ මිතුරෙක් කීවේය.

    මේ කතා ගොන්න අතරට අලුත්ම තාලේ කතාවක් එක් කළේ වසර කිහිපයක් විදේශගතව සිටි පැමිණ සිටින ගණකාධිකාරිවරයෙකි.

    ‘සහෝදරයා ඔයාවත් ඇත්ත ලියන්න. හාල් කියන්නේ පුම්බන බැලුමක් වාගේ කතාවක්. ඇත්තටම ගෙදරක හාල්වලට යන මාසික වියදම ඩේටා බිලටත් වඩා අඩුයි. මගේ නිරීක්ෂණේ හැටියට පවුලක අත්‍යවශ්‍ය භාණ්ඩ වියදම්වලින් 10%ක්ටත් වඩා අඩුයි. අනික හාල් හැම පවුලකට ඉෂු එකක් නෙමෙයි. නාගරිකයින්ට, (ඔහු අදහස් කළේ මහල් නිවාස, වතු නිවාස ආදිය ගැන විය හැකිය) ඉහළ මධ්‍යම පන්තියට මේක අදාළම නැහැ. රොටි කන වතුකම්කරුවන්ට, මුස්ලිම් ජනතාවට, පාන් කන කතෝලික ජනතාවට, උතුරු නැගෙනහිර ජනතාවට මේක අදාළම නැහැ. එතකොට ඔය නිලධාරීන් කියන්නේ වී වගා කරන ගොවි පවුල් ලක්ෂ ගාණක් ඉන්නවා කියලනේ. එතකොට ඒ අයට මේක කොහොමටවත් අදාළ නැහැ. ඇත්තටම මට තේරෙන්නේ නැහැ හාල් ගැන මහ අවුලක් තියෙන හාල්පාරුවෝ කවුද කියලා‘

    ඔහු කාලක සිට මා හමුවේ දිග හැරීමට පුලපුලා බලා සිටි කතාවක් ජංගම දුරකථනය ඔස්සේ රළු එහෙත් කිසියම් හාස්‍යජනක ස්වරයෙන් කීවේය.

    තවත් සිය දෙනෙකුට කතා කළත් ලැබෙන පිළිතුරු ගණන ද සිය ගණනක් නිසා මිතුරන් අමතා අදහස් ලබා ගැනීම නතර කිරීමට සිදුවිය. එහෙත් මෙහි අවසානයට කරුණු දැක්වූ මාගේ ගණකාධිකාරී මිතුරා කී කතාව ගැඹුරින් අධ්‍යනය කළ යුතු කරුණක් බව මට දැඩිව දැනුණේය.

    ගැසට් පිට ගැසට් ගැහුවත් නෑ රිසාල්ට්

    රාජ්‍ය යාන්ත්‍රණය මැදිහත්වී වෙළදපොළ පාලනය වත්මන් ලෝකයට ‘අදාළම‘ නැති කරුණක් බව දශක කිහිපයක් තිස්සේ ප්‍රත්‍යක්ෂ වූ කරුණක් වුවත් කිසිදා පාඩම් ඉගෙන නොගන්නා ලංකාවේ පාලකයින් සහ ‘කේවට්ට උපදේශකයින්‘ දිගින් දිගටම පෞද්ගලික අංශයේ මිල පාලනයට රාජ්‍ය මැදිහත්වීම් (ගැසට් මගින් උපරිම හා අවම මිල නියම කිරීම) පුරුද්දක් ලෙස කරන්නේය.

    එය සිදුවන්නේ මේ ඊනියා නිලධාරීන්ගේ සහ කේවට්ට උපදේශකයින්ගේ ‘නිල‘ බලය හෝ රැකියාව මත පටවා ගත් අධිකාරී බලය ප්‍රදර්ශනය කිරීමට මිස යථාවබෝධයෙන් නොවන බව සාමාන්‍ය විචාර බුද්ධියක් ඇති ඕනෑම අයෙකුට පෙනේ. එහෙත් දේශපාලනඥයින්ට මේ ගැන නොවැටහීම හෝ දිගින් දිගටම කේවට්ට නිලධාරීන් ‘ලණුකෑම‘ සිදුවන්නේ ජනතාවගේම ‘අභාග්‍යයට‘ බව පෙනේ.

    උදාහරණයක් ලෙස පසුගිය කොවිඩ් පළමු රැල්ල ආ විට පරිප්පු සහ සැමන් සදහා ජනපතිවරයාම ජාතිය අමතා කළ ‘පාලන මිල‘ සැලකිය හැකිය. ‘අද රෑ සිට මිල අඩු කළ යුතුයි‘ කියා වෙළෙදුන්ට නියෝග නිකුත් කිරීමට තරම් ‘ප්‍රායෝගික අධිකාරී බලයක්‘ වත්මන් රාජ්‍යයට නැති බව ජනපතිවරයාට නොවැටහීම පුදුමක් වුවත් එකී මිල පාලනයට උපදෙස් දුන් කේවට්ට නිලධාරීන්ට නොවැටහීම ද පුදුම සහතය.

    අද සහල් සම්බන්ධයෙන් ද සිදුව ඇත්තේ ඊනියා නිලධාරීන්ගේ කේවට්ට උපදෙස් දීමක් මිස ඉන් එහාට ගිය යමක් නොවන බව පැහැදිලි වන්නේ මීට ඉහතින් උපුටා දක්වන ලද ගණකාධිකාරී මිතුරාගේ කතාව නිසාය.

    මාස 11කට සහල් මිල පාලන ගැසට් 04ක් !

    දැන් මුල් කතාවට පැමිණිය හැකිය. වත්මන් ආණ්ඩුවට බලයට පත් වූ කෙටි කාලය තුළ සහල් මිල පාලනය සම්බන්ධයෙන් නිකුත් කර ඇති ගැසට් සංඛ්‍යාව 04කි !

    1. 2019 දෙසැම්බර් 19 වනදා සිට බලපැවැත්වෙන අංක 2154/19 යටතේ නිකුත් කළ ගැසට් නිවේදනයේ සදහන් පරිදි සුදු/රතු සම්බා (කීරි සම්බා සූදුරු සම්බා හැර ) සහල් සදහා පාලන මිල කිලෝ එක රුපියල් 98 ක්ද සුදු/රතු නාඩු සහල් කිලෝ එක රුපියල් 98 ක්ද විය.
    2.  2020 අප්‍රියල් 10 වනදා අංක 2170/7 ගැසට් පත්‍රය – කීරි සම්බා කිලෝ එකක මිල රුපියල් 125ක් ලෙසද සුදු/රතු සම්බා කිලෝ එක රුපියල් 90ක මුදලකටත් සුදු/රතු නාඩු කිලෝ එක රුපියල් 90කටද සුදු/රතු කැකුළු සම්බා කිලෝ එක රුපියල් 90කටද සුදු/රතු කැකුළු සහල් කිලෝව රුපියල් 85ක්ද විය.
    3. 2020 මැයි 28 වන දින අංක 2177/9 ගැසට් පත්‍රය – කීරි සම්බා කිලෝ එක රුපියල් 120කටද සුදු/රතු සම්බා කිලෝ එක රුපියල් 98කටද සුදු/රතු කැකුළු සම්බා කිලෝ එක රුපියල් 98ක මිලකටත් සුදු/රතු නාඩු සහල් කිලෝ එක රුපියල් 96කටත් සුදු/රතු කැකුළු සහල් කිලෝව රුපියල් 93ක්ද විය. 
    4. 2020 නොවැම්බර් 04 වන දින අංක 2200/3 ගැසට් පත්‍රය – සුදු/රතු සම්බා සහල් කිලෝ එක රුපියල් 94ක්ද සුදු/රතු කැකුළු සම්බා කිලෝ එක රුපියල් 94ක්ද සුදු/රතු නාඩු සහල් කිලෝ එක රුපියල් 92ක්ද සුදු/රතු කැකුළු සහල් කිලෝ එක රුපියල් 89ක්ද විය.

    ඉහත දැක්වෙන්නේ වත්මන් ජනපතිවරයා බලයට පත් වූ වසරකට ආසන්න කාලය තුළ සහල් මිල පාලනය සම්බන්ධයෙන් නිකුත් කළ ගැසට් නිවේදන 04යි. එහි අන්තර්ගතය ගැන සැසදීමක් කිරීම සහ අදාළ කාලය තුළ අදාළ සහල් වර්ග මිලට ගත් සැබෑ මිල පිළිබද මතකය අවධි කර ගැනීම පාඨක ඔබට භාර දෙමින් කතාව තව දුරටත් ඉදිරියට කරගෙන යා යුතුය.

    බත් කෑම අඩු වෙලා

    මේ සංවාදය ආරම්භ කිරීමට පෙර මාගේ ගණකාධිකාරී මිතුරා මතු කළ ප්‍රශ්නය වෙත යළි යා යුතුය. ඔහු කියන්නේ තමා මාසිකව උපයන ආදායම සහ මාසිකව සහල්වලට වැය කරන මිල අතර දැවැන්ත පරතරයක් ඇති ලංකාවේ 20%ක් වන මධ්‍යම පන්තියට සහ ඉහළ පන්තියට සහල් මිල ඉහළ යාම නොව සහල් / බත් කෑම පවා ගැටලුවක් නොවන බවයි.

    ‘ඉහළ පන්තියේ මිනිස්සු කොහොමටත් බත් කන්නේ නැහැ. මධ්‍යම පංතියේ මිනිස්සු උපයන ඉහළ අදායම නිසා හාල් පිරිප්පු සැමන් මිල ඔවුන්ට අදාළම නැහැ. මං දන්න විදිහට මුස්ලිම් මිනිස්සු බත් කන්නේ අඩුවෙන්. මීගමුව – වත්තල වාගේ පැතිවල කතෝලික ජනතාව වැඩියෙන් කන්නේ පාන් සහ ඒ ආශ්‍රිත නිෂ්පාදන. වතුකරයේ ජනතාව බත් වෙනුවට කන්නේ රොටි. උතුරු නැගෙනහිර දෙමළ ජනතාව තෝසේ වගේ දේවල්. කොළඹ නාගරිකයෝ වගේම මුඩක්කු ජනතාව කන්නේම කඩෙන්. ඒ කොත්තු වාගේ දේවල්. ගාමන්ට් යන කෙල්ලෝ ගැන කතා කරලා වැඩක් නැහැ. එතකොට ඔය කියන විදිහට කඩෙන් හාල් ගෙනත් බත් කන්නේ කවුද ? අනික ලංකාවේ වී වගා කරන පවුල් ලක්ෂ ගාණක් ඉන්නවා කියලා තමයි නිලධාරීන්ගේ සංඛ්‍යා ලේඛනවල තිබෙන්නේ. එතකොට ඔවුන්ටත් මේ සහල් මිල අර්බුදයක් වෙන්න බැහැ. ඇත්තටම මේක ‘ජාතික අර්බුදයක්ද ? එහෙම නැතිනම් එක සමාජ ස්ථරයක අර්බුදයක් ද ? මං කියන්නේ මේ ගැන ගැඹුරින් සොයා බැලිය යුතුයි කියලා‘

    මේ සහල් මිල, සහල් හිගය ගැන වඩාත් විද්‍යාත්මක අදහස් ලබා ගැනීමට කළ උත්සාහයකදී දකුණු හා අග්නිදිග ආසියාවේ සංවර්ධන සන්නිවේදන සහ ග්‍රාමීය සංවර්ධන නියෝජිතායතනයේ විධායක අධ්‍යක්ෂ (හැනෝයි) ආචාර්ය ඉන්ද්‍රජිත් හේවාවිතාරණ මහතා පළ කළ අදහස්. එහිදී ඔහු නොකියා කියන්නේ ‘සහල් අර්බුදය යනු වෙන අර්බුදයක ප්‍රකාශනයක් බවයි‘

    ‘මම මෙහෙම අහන්නම් කෝ. ජන ලේඛන හා සංඛ්‍යා ලේඛන දෙපාර්තමේන්තුවේ 2018 වාර්තාවට අනුව ලංකාවේ නිවසක සාමාන්‍ය සහල් අවශ්‍යතාව වෙන්නේ (2016) කිලෝ 33.1යි. වැදගත්ම දේ තමයි මේ අගය 2009/10 තිබුණේ කිලෝ 36.3ක් විදිහටයි. ඒ කියන්නේ අවුරුදු 06ක් යන කොට ලංකාවේ ගෘහයක සාමාන්‍ය සහල් පාරිභෝජනය කිලෝ 36.3 සිට 33.1 දක්වා අඩුවෙලා තිබෙනවා. මේ සහල් පාරිභෝජනය පහළ යාමට සාපේක්ෂව ප්‍රෝටීන් ආහාර වන මස් පාරිභෝජනය 2009/10දී කිලෝ 1.4 සිට 2016 වන විට කිලෝ 1.8 දක්වාත්, මාළු පාරිභෝජනය කිලෝ 3.8 සිට 2016 දී 4.1 දක්වාත් බිත්තර පාරිභෝජනය 2009/10 බිත්තර 10 සිට 2016 වන විට බිත්තර 12 දක්වාත් වැඩි වෙලා තිබෙනවා.

    සහල් පාරිභෝජනය අඩුවීම සහ ප්‍රෝටීන් ආහාර සදහා ඉල්ලුම ඉහළ යාම හුදු අහඹු තත්ත්වයක් නොවෙයි. මේකට හේතු වශයෙන් හේතු කිහිපයක් දැක්විය හැකියි. අදායම් මට්ටම ඉහළ යාම, සෞඛ්‍යමය හේතු (දියවැඩියාව) ඊට ප්‍රධාන වෙනවා. මේ තත්ත්වය අඛණ්ඩව සිදුවිය හැකියි. අද සහල් ගැන, වී වගාව ගැන මහත් ඉහළින් කතා කරන අය මේ වෙනස් වීම් ගැන වඩාත් සංවේදී විය යුතුයි.

    මේ තත්ත්වය තුළ මගේ මෙහිදී තර්කය වෙන්නේ රුපියල් 100 ගානේ සහල් මිලදී ගත්තත් සාමාන්‍ය ගෘහ ඒකකයට මාසිකව යන්නේ රුපියල් 3500ට අඩු මුදලක්. පවුලේ සාමාජිකයින් සංඛ්‍යාව අඩුවැඩි වීම මත මේක වෙනස් විය හැකියි. ඒත් අපි හොදටම දන්නවා අද ලංකාවේ සාමාන්‍ය ගෘහ ඒකකයකට රුපියල් 3500ක් කියන්නේ තමන්ගේ සාමාන්‍ය මාසික ආදායමෙන් ඉතා සුළු කොටසක් කියලා‘

    වී වගාව සම්බන්ධ දත්තවල බරපතළ ගැටලු

    මෙහිදී ආචාර්ය ඉන්ද්‍රජිත් මතුකරන තර්කය වන්නේ ආණ්ඩුවේ නිලධාරීන් වී වගාව සම්බන්ධයෙන් ඉදිරිපත් කරන සංඛ්‍යා ලේඛනවල පැහැදිලි ගැටලු තිබෙන බවයි.

    ‘මේක දීර්ඝ කාලයක් පුරා තිබෙන ගැටලුවක්. ලංකාවේ වී වගා බිම්වලින් කොපමණ ප්‍රතිශතයක් තමන්ගේ ගෘහ පාරිභෝජනයට පමණක් වී වගා කරන පුද්ගලයින්ට අයත් ද කියලා දත්ත තිබෙනවාද ? මං හිතන්නේ නැහැ. මං දන්න ගම්පහ කුඹුරු වලින් වැඩි ප්‍රතිශතයක් තමන්ගේ ගෘහ පාරිභෝජනයට වී වගා කරන අයවලුන්ටයි අයත් වෙන්නේ. ඒක සෑම දිස්ත්‍රික්කයකම පොදු තත්ත්වයක්. අනුරාධපුරය, පොළොන්නරුව පළාත්වල වී ගොවියොත් තමන්ට කන්න හාල් තියා ගන්නවා. එතකොට මේ වගේ වී වගාවට ඍජුව සම්බන්ධ තවත් පවුල් ලක්ෂ ගාණක් ඉන්නවා සහල් මිල ගැන අර්බුදයක් නැති. මේක තමයි අපි මුලින්ම නිරාකරණය කරගත යුතු ප්‍රශ්නය‘

    අනෙක් කාරණය වී වල සැබෑ නිෂ්පාදිතය. නිලධාරීන් කියන සාමාන්‍යකරණය කළ සංඛ්‍යා ලේඛන නිවැරදි නැහැ. ඒක ඉතාම පැහැදිලියි. ඒත් ප්‍රශ්නේ වෙන්නේ මේ දත්ත මතයි ආණ්ඩුව තීරණ ගන්නේ. මං නැවත ප්‍රශ්න කරන්නේ පසුගිය දශකයේදිවත් සහල් පාරිභෝජනයේ සිදුවුණ වෙනස්කම් ගැන ජාතික වශයෙන් පිළිගත හැකි සමීක්ෂණයක් සිදුවෙලා තිබෙනවාද ? ඒ දත්ත තියෙන්නේ කා සතුවද ? එහෙම ඒවා තිබෙනවා නම් අදාළ ආයතන විසින් ඒවා ජනමාධ්‍ය වෙත මුදා හැරිය යුතුයි. මොකද පසුගිය දශකය තුළ ජනතාවගේ අදායම් මට්ටම් ඉහළ ගියා නම් පැහැදිලිව සහල් පාරිභෝජනය අඩුවිය යුතුයි. මං ඉහතින් ඉදිරිපත් කළ සංඛ්‍යා ලේඛන මගින් එය මනාව තහවුරු වෙනවා. ඒ වගේම දියවැඩියාව වාගේ බෝ නොවන රෝග නිසා සහල් පාරිභෝජනය අඩුවිය යුතුයි. නාගරීකරණය නිසා, මිනිස්සු වැඩි වැඩියෙන් කඩෙන් කන්න යොමුවීම නිසා සහල් පාරිභෝජනය පැහැදිලිවම සැලකිය යුතු ප්‍රතිශතයකින් අඩුවිය යුතුයි. මොකද අපි හොදටම දන්නවා මේ වන විට පාරවල් දෙපැත්තේ, හන්දියක් හන්දියක් ගානේ, ග්‍රාමීය නාගරික භේදයකින් තොරව කොත්තු කඩ බිහිවෙලා තිබෙනවා. පොඩි පොඩි පෙට්ටි කඩවල ඉදිආප්ප, නූල්ඩ්ස් වාගේ කෑම විකුණනවා. මේවා මිලදී ගන්න පවුල් පැහැදිලිව බත් වලින් ඉවත් වෙමින් සිිටිනවා. වැඩිහිටි ජනගහනය අඩුවෙන කොටත් පැහැදිලිව බත් කෑම අඩු වෙනවා. මේ ගැනත් ප්‍රක්ෂේපණය කරමින් තමයි සහල් ගැන තීන්දු ගත යුත්තේ. එහෙම නැතිව දේශපාලනඥයින් සතුටු කරන්න හරි තමන්ගේ රක්ෂාව බේර ගන්න හරි පුහු සංඛ්‍යා ලේඛන ඉදිරිපත් කරමින් ජාමේ බේරා ගැනීම නෙමෙයි‘

    කමතෙන් ගත්ත වී ටික කෝ ?

    ආචාර්ය ඉන්ද්‍රජිත් හේවාවිතාරණ බත් කෑම අඩුවීම සහ සහල් පාරිභෝජනය ගැන ඉහත සදහන් පරිදි තර්ක කරද්දී වී සම්බන්ධ තීන්දු – තීරණ ගන්නා සෑම නිලධාරී හමුවකදීම කියනු ලබන්නේ ‘වී ඇති තරම් නිෂ්පාදනය‘ වන බවයි. එනම් ‘රට සහලින් ස්වයංපෝෂිත‘ බවයි.

    එසේ නම් අපි දන්නා කියන කාලයේ සිට මාස කිහිපයකට වරක් සහල් හිගයක්, මිල ඉහළ යාමක් සිදුවන්නේ ඇයි ? කුඹුරෙන් කමතට ගත් වී ටික ‘බහිරවයා ගිල්ලද ?‘

    මෙහිදී මේ ගැන උනන්දුවක් දක්වන සහ අවධානයෙන් සිටින පුද්ගලයින් පෙන්වා දෙන කරුණු කිහිපයකි.

    1. නිලධාරීන් කියන තරම් සහල් නිෂ්පාදනයක් සැබවින්ම රට තුළ සිදු නොවීම
    2. ජාතික දත්තවල සදහන් වන පරිදි වී වගා වපසරියක් රට තුළ සැබවින්ම නොපැවතීම
    3. වගා හානි සහ ගොවියාගේ නොසැලකිල්ල නිසා අපේක්ෂිත නිෂ්පාදනය සිදු නොවීම
    4. අදාළ කන්නයේ වී 100%ක්ම අලෙවියට නොපැමිණීම (පුද්ගලික අංශය සහ වී අලෙවි මණ්ඩය) නොලැබීම
    5. ජාතික වී නිෂ්පාදනයෙන් සැලකිය යුතු ප්‍රතිශතයක් පුද්ගලික / ගෘහ පාරිභෝජනය සදහා පමණක් වීම (මේ ගැන ජාතික වශයෙන් දත්ත ලබාගත හැකි නම් තර්කය වඩාත් ප්‍රබලව ඉදිරිපත් කළ හැකිය)
    6. සමපේක්ෂණ/ මිල ඉහළ යන තෙක් ඇතැම් වී ගොවීන් වී ගබඩාකර තබා ගැනීම
    7. සත්ව ආහාර හෝ මත්පැන් නිෂ්පාදනය සදහා ‘හොර පාරෙන්‘ වී තොග පිටවීම
    8. කාබනික ගොවිතැන, දේශීය වී වගාව ආදි ප්‍රවණතා නිසා ඇතැම් විට නිෂ්පාදනය දුර්වල වීම

    ඉහත සදහන් කරුණුවලට අමතරව තවත් කරුණු කමතේ වී සැබවින්ම සහල් වී වෙළෙදපොළට නොපැමිණීම සම්බන්ධයෙන් තිබිය හැකිය. මේ ගැන පර්යේෂණ කිරීම අදාළ වෘත්තිකයින්ට ඉඩ තබා ප්‍රශ්තුතය වෙත පැමිණිය යුතුය.

    වී ටික සත්ත්ව ආහාරවලට දුන්නා

    ආණ්ඩුව සහ නිලධාරීන් මොන තරම් සුන්දර කතා කීවත් වී ගොවියා යනු ‘ ලාභය අරමුණු කරගත් ආර්ථික කටයුත්තක නිරතව තව තවත් එක් නිෂ්පාදකයෙක් පමණක්‘ බව වටහා ගත යුතුය. ඔහු වී වගාවට වැය කරන ශ්‍රමයට, දරන ආයෝජනයට මෙන්ම නිෂ්පාදන සාධක එක්රැස් කිරීම වෙනුවෙන් (ව්‍යවසායකත්වය) ලාභයක් ද ලැබිය යුතුය. මෙය ආර්ථික විද්‍යාව අනුව ද ගැළපේ. එයින් අදහස් වන්නේ ඉතාම පැහැදිලිව ගොවියා වී අලෙවියෙන් පැහැදිලි ලාභයක් ලැබිය යුතු බවයි.

    (එහෙත් මේ ගැන වෙනත් සංවාදයක් ද තිබේ. එනම් ලංකාවේ කිසිම නිෂ්පාදකයෙකු නොලබන සහන සහ වරප්‍රසාද වී ගොවියා ලබන බවයි. උදාහරණයක් ලෙස ඔහුට වී වගාවට අවශ්‍ය සම්පූර්ණ ජල ප්‍රමාණය නොමිලේ ලැබෙන අතර අන් සියලුම නිෂ්පාදකයින් ජලය සදහා මිලක් ගෙවිය යුතුය. වී වගාව සදහා වගා උපදෙස් නොමිලේ ලැබෙන අතර බොහොමයක් නිෂ්පාදකයින් ඒ සදහා ද මිලක් ගෙවිය යුතුය. වී වගාවට වාර්ෂිකව රුපියල් කෝටි 3500ක පමණ පොහොර සහනාධාරයක් ලැබෙන අතර වෙනත් කිසිම නිෂ්පාදකයෙකුට එවැනි වරප්‍රසාදයක් නැත. මේ සමග කැබිනට් ඇමතිවරු ගණනාවක් ද ( කෘෂිකර්ම, වාරිමාර්ග, මහවැලි සංවර්ධන) රාජ්‍ය ඇමැතිවරුන් ද ඍජුව වී වගාව පදනම් කරගෙන සිටින අතර සමස්ත රාජ්‍ය යාන්ත්‍රණය තුළ රාජ්‍ය සේවකයින් 30,000කට ආසන්න පිරිසක් වී වගාව වෙනුවෙන් (එළවළු ද ඇතුළත් කළවිට) කැපවී සිටී. එහෙත් 2019 වර්ෂයේ දළ දේශීය නිෂ්පාදිතය තුළ ‘වී වගාවේ‘ දායකත්වය 0.7%කි. ඒ බව ඉහත සදහන් ශ්‍රී ලංකා මහ බැංකුවේ 2019 වාර්ෂික වාර්තාවෙන් මනාව පැහැදිලි වේ)

    වී ගොවියා යනු ‘ලාභ නොලබන සංවිධානයක් නොවේ. ඔහු රජයෙන් කොපමණ දේ නොමිලේ සහ සනධාර ලෙස ලබා ගත්ත ද වී අලෙවියේදී හැසිරෙන්නේ ‘ඉහළම ලාභය‘ අරමුණු කරගෙනය. ඒ ගැන චෝදනා කිරීමට හෝ විවේචනය කිරීමට කිසිවෙකුට අයිතියක් නැත්තේ සියලු දෙනා හැසිරෙන්නේ ‘උපරිම ලාභය‘ අරමුණු කරගෙන වීම නිසාය.

    මෙහිදී වී ගොවියා පහසුවෙන් බලනුයේ තමන්ගේ වී ටික ‘හැකි ඉක්මනින් මුදල් කර ගැනීමට‘ය. මේ ගැන මේ ලියුම්කරු සමග අදහස් දැක්වූ හම්බන්තොට පැත්තේ අක්කර 15ක පමණ වී වගා කරන, කොළඹ රාජ්‍ය ආයතනයක සුළු සේවකයෙකු සිනාමුසුව කියා සිටියේ,

    ‘කමතේදීම වී ටික විකුණන එක ගොඩක් අයට වාසියි. ගෙදරට ගෙනියන්න යන වියදම, ගෝණිවලට යන වියදම, වේලන්න යන වියදම, ගබඩා කරන්න යන වියදම වාගේ වියදම් ගණන් බැලුවම වී ටික කමතේදීම විකුණන එක ගොවියට වාසියි‘ කියාය.

    ඔහු එහිදී කියා සිටියේ මුදල් අහේනියක් නැති තමා කමතේදීම වී විකුණා දැමීමට එතරම් උනන්දුවක් නොදක්වන බවයි.

    ඉහත කතාව ගැන සංවාදය පසෙක තබා වත්මන් සහල් හිගය ගැන අවධානය යොමු කිරීමේදී හෙළි වූ වැදගත් කරුණක් වූයේ ‘වී ටික කුකුල් කෑමවලට වික්කා‘ යන කතාවයි.

    මේ ආකාරයෙන් කුකුල් කෑමවලට වී විකුණා ඇත්තේ ගොවීන් නොව ගොවීන්ගෙන් වී මිලට ගත් සුළු හා මධ්‍ය පරිමාණ මෝල් හිමියන් විසිනි. (මෙහිදී ලියුම්කරු සමග අදහස් දැක්වූ කුකුල් කෑම ව්‍යාපාරයට සම්බන්ධ ව්‍යාපාරිකයෙකු කියා සිටියේ ඇතැම් මහා පරිමාණ මෝල් හිමියන් ද කුකුල් කෑම සදහා තමන් සතු වී තොග අලෙවි කරන බවයි)

    ‘මේක අපිට ලාභයි. අපි ගොවියගෙන් වී ගන්න ඕනෑ ආණ්ඩුව කියන සහතික මිලට. සේවක වැටුප්, ගබඩා, ප්‍රවාහන වියදම්, කාර්යාල කුලී, විදුලිබිල් වාගේ වියදම් අපි දැරිය යුතුයි. ඒ සියල්ල එක්ක තමයි අපි සහල් කිලෝවක විකුණුම් මිල තීරණය කරන්නේ. ඒ සේරටම වඩා අපිට ගොවියගෙන් ගත්ත ගමන් කුකුල් කෑමවලට වී දෙන එක ලාභයි‘

    මෙහිදී ඔහු කියා සිටියේ මෙරට කුකුල් කෑම සදහා යොදා ගන්නා ප්‍රධාන අමුද්‍රව්‍ය වන බඩඉරිගු මිලට ද ආණ්ඩුව ඉහළ පාලන මිලක් දැමීම සහ ආනයනයට සීමා පැනවීම නිසා කුකුල් කෑම නිෂ්පාදන කර්මාන්තය ද දැඩි දුෂ්කරතාවකට පත්ව සිටින තත්ත්වයක් තුළ වී කුකුල් කෑම බවට පත් කිරීම ඔවුන්ට ලාභදායක බවයි.

    එහෙත් රජය ද මේ ව්‍යාපාරය ගැන සංවේදී වී ඇති බව වැටහුණේ 2020 ජූලි 23 වනදා අංක 2185/67 දරන අතිවිශේෂ ගැසට් පත්‍රයෙන් දේශීයව නිපදවන සහල් හෝ වී, සත්ව ආහාර නිෂ්පාදනය සඳහා කෙළින්ම භාවිතා කිරීම හෝ අන්‍යාකාරයෙන් සත්ව ආහාර නිපදවීම සඳහා යෙදවුමක් ලෙස භාවිතා කිරීම සඳහා, හෝ විකිණීම, විකිණීම සදහා ඉදිරිපත් කිරීම, තොග රැස්කර තැබීම, ගබඩා කිරීම, ප්‍රවාහනය කිරීම, බෙදා හැරීම හෝ මිලදී ගැනීම නොකළ යුතු බවට සියළු නිෂ්පාදකයින්, වෙළදුන් සහ බෙදාහරින්නන් දැනුවත් කර තිබීම නිසාය.

    කුකුළු මස් සහ බිත්තර කර්මාන්තය සම්පූර්ණයෙන්ම විනාශවීමේ බරපතල අවදානමක් -  ColomboXnews

    මේකෙන් දැනෙන බලපෑමක් නෑ

    එහෙත් මේ සම්බන්ධයෙන් අප කුකුල් කෑම නිෂ්පාදනයට සම්බන්ධ විශේෂඥයෙකුගෙන් විමසා සිටි විට ඔහු කියා සියියේ ‘ඒක ඒ තරම් සාර්ථක දෙයක් නෙමේ. වී කියන්නේ බඩඉරිගුවලට සාර්ථක ආදේශකයක් නොවන බවයි.

    ‘ලංකාවේ කුකුළු පාලනය කියන්නේ අති දැවැන්ත, වේගයෙන් වර්ධනය වෙන කර්මාන්තයක්. ඒකට වාර්ෂිකව බඩඉරිගු මෙට්‍රික් ටොන් ලක්ෂ 3ක් විතර ඕනෑ වුණා. ආණ්ඩුව දේශීය බඩඉරිගු අලෙවි මිල ඉහළ දැමීම සහ ආනයනය පාලනය කිරීම නිසා තමයි අර්බුදය ඇති වුණේ. ඒත් ලංකාව වාර්ෂිකව වී මෙට්‍රික් ටොන් (මෙට්‍රික් ටොන් එකක් යනු කිලෝ 1000කි) ලක්ෂ 44කට වැඩි ප්‍රමාණයක් නිෂ්පාදනය කරනවා. ඒ නිසා කුකුල් කෑමවලට එයින් මෙට්‍රිික් ටොන් ලක්ෂ 04-5ක් ගත්තත් සහල් වලට දැඩි බලපෑමක් වෙන්න බැහැ. මොකද ඕනෑම කර්මාන්තයක 10%ක් වාගේ අඩුවීමක් දැවැන්ත හිගයකට හේතු වෙන්නේ නැහැ. අනික සහල් ඉල්ලුම වාර්ෂිකව ඉතාම පැහැදිලිව පහළ යමින් තිබෙනවා. ඒ නිසා සත්ත්ව ආහාරවලට වී වික්ක නිසා සහල් හිගයක් ඇති වුණා කියන එක පදනම් විරහිත කතාවක්. ඒක එහෙම වෙනවා නම් මම පුද්ගලිකව කැමතියි. මොකද බිත්තර සහ කුකුල් මස් කර්මාන්තය කියන්නේ ඉතාම වේගයෙන් වර්ධනය වන, රැකියා සහ ව්‍යාපාරික අවස්ථා ගණනාවක් බිහිවන කර්මාන්තයක්. රජයට ඒ ගැන බරක් නැහැ. සහනාධාර දෙන්න වුවමනා නැහැ. අනික් අතින් මේ රටේ ජනතාව බිත්තරවලට සහ කුකුල් මස්වලට ප්‍රමුඛතාවක් දෙනවා. රුපියල් 100ක් වෙන එළවළු කෑම එකක් එකපාරට රුපියල් 150ක් වෙන්නේ පුංචි කුකුල් මස් කෑල්ලක් නිසා. ඇත්ත ඒකයි. ජනතාව බත් එක්ක කුකුල් මස් කනවාට වඩා කුකුල් මස් එක්ක බත් කන්න කැමතියි. ඒ නිසා තමයි බිත්තර ආප්ප, කොත්තු, පරාටා, ප්‍රයිඩ්රයිස් වාගේ කෑමවලට අධික ඉල්ලුමක් තිබෙන්නේ. හතු පිපෙනවා වාගේ මේ කඩ බිහි වෙන්නේ. මේක ඉදිරියට තවත් වර්ධනය වෙනවා‘

    මේ සම්බන්ධයෙන් අප කළ විමසීමකදී කුකුළු මස් කර්මාන්තය සම්බන්ධයෙන් දැඩි අවධානයක් යොමු කරන ව්‍යාපාරික ප්‍රවීනයෙක් කියා සිටියේය.

    මේ අනුව ඉතාම පැහැදිලිව පෙනී යන්නේ සත්ත්ව ආහාර සදහා අවශ්‍ය සියලුම ධාන්‍ය සැපයුම වී මගින් කළ ද එමගින් නිලධාරීන් කියන ආකාරයේ ‘සහල් හිගයක්‘ නිර්මාණය නොවන බවයි.

    සහල් මාෆියාවක් ක්‍රියාත්මක ද ?

    ලංකාවේ සහල් මිල ඉහළ – පහළ යාම තීරණය කිරීමේ දී මහා පරිමාණ මෝල් හිමියන් (අරලිය – නිපුණ ආදි) ඍජුව මැදිහත් වන බවත් ඔවුන් ‘මාෆියාවක‘ ආකාරයෙන් ක්‍රියාත්මක වන බවටත් මතයක් සමාජගතව ඇත. එය තහවුරු කිරීම සදහා විටින් විට දේශපාලනඥයින් ද ජනමාධ්‍ය ද දායක වන අතර ඒ නිසාම ‘සහල් මිල ඉහළ යන්නේ මහා පරිමාණ මෝල් හිමියන්ගේ මාෆියාව‘ නිසා බවට පොදු මතයක් බිහි කිරීමට හැකිවී ඇත.

    සහල් මාෆියාව ගැන කොතරම් අණබෙර ගැසුවත්, විවේචනය කළත් පසුගිය කාලයේ කිසිම ආකාරයකින් දැවැන්ත රාජ්‍ය බලාධිකාරියට හෝ ජනමාධ්‍යවලට කළ හැකි කිසිවක් නොවීමෙන් ‘හෘද සාක්ෂියක් ඇති “ ජනතාවට පැහැදිලි වන්නේ සහල් මාෆියාව ද තම නොහැකියාව හෝ වෙනත් න්‍යාය පත්‍ර සාධනය කර ගැනීමට දේශපාලනඥයින් සහ ජනමාධ්‍ය නිතර නිතර භාවිතා කරන ‘තවත් බිල්ලෙක්‘ බවයි.

    මේ බිල්ලා ආණ්ඩුවේ නොහැකියාව හෝ ‘අනෙකා‘ වනසා දැමීමට අවශ්‍ය වන ඕනෑම අවස්ථාවක ‘බටහිර බිල්ලා… එන්ජීඕ බිල්ලා ආදි වශයෙන් එළියට ඒමත් ඩඩ්ලි සිරිසේන වැනි දැවැන්ත මොල් හිමියන් අභිසය පාරිභෝගික සේවා අධිකාරියේ අලුතින් පත්වීම් ලද මේජර් ජෙනරාල්ලා ‘කුජිත වීමත්‘ අභිසය තත්ත්වයේ සැබෑ ස්වභාවය වටහා ගත හැකිය.

    මෙම ලියුම්කරුට මහා පරිමාණ මෝලි හිමියන් ‘සුජාත කිරීමේ කිසිම වුවමනාවක්‘ නැතත් ලංකාවේ සහල් පාරිභෝගිකයින්ගේ රුචිය සහ ඉල්ලුම දෙස බලන විට ඔවුන් ‘අරලිය‘ ‘නිපුණ‘ සහල්වලට දක්වන ‘පුදුමාකාර‘ රුචිය හා කැමැත්ත පහසුවෙන් නොසලකා හැරිය නොහැකිය.

    ‘දේශපාලනඥයින් සහ ඇතැම් මාධ්‍ය සහල් මාෆියාවක් ගැන කතා කළත් මේ රටේ සහල් කර්මාන්තයට නවීන තාක්ෂණය හදුන්වා දුන්නේ මේ මහා පරිමාණ මොල් හිමියෝ. ඒ වගේම පාරිභෝගික රුචිය හා වත්කම අනුව, අවස්ථා අනුව සකස් කළ හැකි විවිධ සහල් වර්ග හදුන්වා දුන්නේ මහා පරිමාණ මෝලි හිමියෝ. මේක හරියට ආණ්ඩුවේ සමූපකාර කඩේ වෙනුවට සුපර් මාකට් ආවා වාගේ වැඩක්. කවුද අද සමූපකාරෙට යන්නේ ? ගමේ දුප්පත් මිනිහා පවා යන්නේ සුපර්මාකට් එකට. ඒකට හේතුව තමයි ‘රුචිය‘ උපයෝගීතාව‘ කියන කරුණු. ආර්ථික විද්‍යාවේ මළ පොතවත් කියවලා නැති පිරිස් තමයි කෘෂිකර්මාන්තය ගැන තීන්දු ගන්න තැන්වල ඉන්නේ. සාපේක්ෂ වාසිය, තෝරා ගැනීම, උපයෝගීතාවය, ආවස්ථික පිරිවැය, ඉල්ලුම – සැපයුම, නම්‍යතාව කියන මූලික ආර්ථික සංකල්ප පවා මේ පිරිස් දන්නේ නැහැ. ඒ නිසා තමයි ඔවුන් තාමත් වී වගාව ප්‍රමුඛ කරගත් ‘කෘෂිකර්මාන්තය‘ මේ රටේ ප්‍රධාන ආර්ථික අංශය ලෙස සලකන්නේ. ඒත් ඔවුන් දන්නේ නැහැ වී වගාව හරහා වාර්ෂිකව දළ දේශීය නිෂ්පාදනයට එකතු වෙන්නේ 0.7%ක් වාගේ අල්පයක් බව. එළවළු වගාවත් මේකට එක් කළොත් ඒ අගය 0.8%ක් විතර වෙන්නේ. දළ දේශීය නිෂ්පාදනය ගණනය කරන සාමාන්‍ය නිර්වචනය අනුව එය ‘කෘෂිකර්මාන්තය‘ ලෙස පොදුවේ සැලකුවත් එහි විස්තීර්ණ කිරීම තුළ ධීවර, වන වගාව, පශු, තේ, රබර් පොල් ඇතුළත් වැවිලි කර්මාන්තය, සුළුඅපනයන බෝග පමණක් නොවෙයි බිත්තර – මස් කර්මාන්තයත් තිබෙනවා. 01%ට වඩා අඩු අංශ ගණනාවක එකතුවෙන් තමයි 2019 දී දළ දේශීය නිෂ්පාදිතය තුළ කෘෂිකර්මික අංශයේ දායකත්වය වන 07%ක් හැදුණේ. කොටින්ම කිරි, බිත්තර සහ වෙනත් සත්ත්ව නිෂ්පාදවලින් පසුගිය 2018දී වී වගාව ලබා දුන් දායකත්වය වන 0.7%ක වටිනාකම ලබාදීලා තිබෙනවා. ඒ කිසිම රාජ්‍ය සහනාධාරයක් පවා නැතිව. ආගමික හා සංස්කෘතිය කෙනහිලිකම් මැද. ඒත් ප්‍රශ්නේ තමයි කුකුළු මස් කර්මාන්තයට අවශ්‍ය ආහාර ටික නිෂ්පාදනය කර ගන්න බඩඉරිගු ටික දෙන්නේ නැහැ‘

    මේ දීර්ඝ විස්තර යම්කිසි වේදනාවක් සමග සදහන් කළේ ආචාර්ය ඉන්ද්‍රජිත් හේවාවිතාරණ මහතායි.

    ඔහු එහිදී අවධාරණාත්මකව කියා සිටියේ වී වගාවේ පමණක් නොව එළවළු වගාවේ අතුරු නිෂ්පාදන හෝ ඉවත දැමීම් මෙරට බිත්තර සහ කුකුල් මස් ඇතුළු මස් කර්මාන්තයට ලබා දෙන්නේ නම් වී සහ එළවළු ගොවීන් මීට වඩා සමෘද්ධිමත් වනු ඇති බවයි.

    ‘මීට දශක කිහිපයකට ඉස්සර පවුලක / රටේ ආහාර සුරක්ෂිතභාවය වී / සහල් මත පදනම් වෙන්න ඇති. ඒත් දැන් ඒක එහෙම නෙමෙයි බතුයි – සම්බෝලයි කාලා ජීවත් වෙන්න සූදානම් ජනතාවක් නැහැ. ඔවුන් බත් කනවාට වඩා වෙනත් ආහාරවලට ඉහළ රුචියක් දක්වනවා. ඔවුන් දිගින් දිගටම සහල් වලින් ඉවත් වෙමින් ප්‍රෝටීන් ආහාර වෙත ගමන් කරමින් ඉන්නවා. ඒකට ආර්ථික, සමාජයීය සහ සෞඛ්‍ය හේතු බලපානවා. තවත් දශකයක් වන විට ලංකාවේ සහල් පාරිභෝජනය තවත් අඩුවිය හැකියි. ඒ නිසා අපි අපේ කෘෂිකර්මාන්තයේ අනාගතය ප්‍රක්ෂේපණය කළ යුත්තේ ‘බත්පත‘ ගැන පමණක් බලාගෙන නෙමෙයි. මොකද ලංකාවේ ඍජුව වී වගාව (ජීවනෝපාය) තම රැකියාව කර ගත් ජනතාව බොහොම අල්පයක් ඉන්නේ. ලංකාවේ වැඩියෙන්ම වී නිෂ්පාදනය කරන, නැගෙනහිර, උතුරු මැද පළාත්වල ඉන්නේ ඇත්තටම ‘වී ගොවියෝ‘ නෙමෙයි. ඔවුන් දැවැන්ත කෘෂි ව්‍යවසායකයෝ‘ අනෙක් අතින් අපේ පොහොර සහනාධාරයෙන් සැලකිය යුතු කොටසක් යන්නේ තමන්ගේ ගෘහ පාරිභෝජනවට වී ටිකක් වගා කර ගන්න, ඒත් වෙනත් ආදායම් මාර්ග ඇති පුද්ගලයින් අතට. මේකත් බරපතළ තත්ත්වයක්. ඒ වගේම කෘෂිකර්මාන්තයේ සේවා නියුක්තිය ගැන තිබෙන්නේ ‘ව්‍යාජ‘ ආකල්පයක්. පොදුවේ කෘෂිකාර්මික අංශය තුළ ධීවරයින්, වැවිලි කර්මාන්තයේ සේවයේ නියුක්ත වතුකම්කරුවන් වගේම, පශු පාලනයේ යෙදෙන, කුකුළු පාලනය කරන, ගව පාලනය කරන පුද්ගලයින් පවා සිටිනවා. ඒත් ප්‍රතිපත්ති සම්පාදනය තුළ ප්‍රමුඛත්වය දෙන්නේ වී වගාවට. වී ගොවියා කියන පුද්ගලයාට. ඒත් ඇත්තටම අම්පාරේ, මඩකළපුවේ, ත්‍රිකුණාමලයේ වී ගොවියට මේ කිසිම වටිනාකමක් නැහැ. ලංකාවේ කෘෂිකර්මාන්තයට වැඩිම දායකත්වයක් දෙන්නේ නැගෙනහිර පළාත සහ උතුරු පළාත. ඒත් රාජ්‍ය හා නිලධාරී අවධානය, මාධ්‍ය අවධානය යොමුවෙන්නේ උතුරු මැදට, වයඹට. මේකට හේතුව අපි වටහා ගත යුතුයි‘

    ආචාර්ය ඉන්ද්‍රජිත් මෙහිදී කියා සිටියේ ආරම්භක යුගයේ ‘කුල සාධකය‘ හා දේශපාලනය මේ සදහා පදනම සැපයූ බවයි.

    ‘ධීවර කර්මාන්තය ජාතික නිෂ්පාදනයට 1.2%ක දායකත්වයක් දෙනවා. ඒත් ඒ ගැන අපි කොතරම් අඩු අවධානයක් ද යොමු කරන්නේ. වාර්ෂික රාජ්‍ය ආයෝජනවලින් ධීවර කර්මාන්තය කොතරම් අල්පයක් ද යොමු වෙන්නේ. ඒත් ලංකාවට වැඩියෙන් දියුණු කළ හැකි කර්මාන්ත අතර ධීවර කර්මාන්තය ඉදිරියෙන්ම සිටිනවා. අපිට වගා කළ හැකි භූමිය මුළු ලංකාවම ගත්තත් වර්ග කිලෝමීටර් 65,610යි. ඒත් අපිට අයිති ජාත්‍යන්තර මුහුදු සීමාව වර්ග කිලෝමීටර් මිලියනයක්. මොරගහකන්ද හදන්න රුපියල් කෝටි 25,000ක් වැය කළාට ධීවර කර්මාන්තයේ දියුණුවට ඒකෙන් 10%ක් වෙන් කළේ නැහැ. ලංකාවේ තත්ත්වය මේකයි. මේ තත්ත්වය නිවැරදි නොකර, ජනතාවගේ, විශේෂයෙන් ග්‍රාමීය ජනතාවගේ ආදායම් මට්ටම ඉහළ නොදමා මේ ගැටලු විසදා ගන්න බැහැ. දවසට රුපියල් 1000-2000 උපයන්න පුළුවන් වන විදිහට ග්‍රාමීය ආර්ථිකය ශක්තිමත් කළොත් හාල් කිලෝඑකේ ගාණ ගැන බැණ බැණ ඉන්න ජනතාවට අවශ්‍ය නැහැ. මෙතැන තියන්නේ ජනතාවගේ ආර්ථිකය ශක්තිමත් නොකිරීම සහ දේශපාලන ගැටලුවක්. ආණ්ඩුව කියන විදිහට රුපියල් 2000-3000 සමෘද්ධියෙන් ජීවත් වෙන පවුල් ලක්ෂ 18ක් ලංකාවේ ඉන්නවා නම් (ඇතත්ටම) හාල් මිල දැවැන්ත ප්‍රශ්නයක් තමයි. ඒත් මේ පවුල් ලක්ෂ 18 සමෘද්ධිලාභීන් බවට පත්කළේ දැක්මක් නැති දේශපාලනේ නිසා කරන්න කිසිවක් නැහැ. ඒ හින්දා හිගන්නගේ තුවාලේ වාගේ සහල් මාෆියාව ගැනයි, මිල පාලන ගැසට් ගැහීමයි ඇරෙන්න වෙන වැඩක් නොකර ආණ්ඩුවට හා නිලධාරීන්ට ඉන්න පුළුවන්‘

    ආචාර්ය ඉන්ද්‍රජිත් හේවාවිතාරණ දීර්ඝ අදහස් දැක්වීම අවසන් කරමින් පැවසුවා.

    සැකසුම – තුෂාර වල්ගම

  • හෙට සිට දුම්රිය ධාවනය මෙහෙමයි

    හෙට සිට දුම්රිය ධාවනය මෙහෙමයි

    සෞඛ්‍ය ආරක්ෂිත ක්‍රමවේද භාවිත කරමින් හෙට (09) සිට උදෑසන සහ පස්වරු කාර්යාල දුම්රිය ධාවනය කිරීමට කටයුතු යොදා ඇති බවත් හුදකලා ප්‍රදේශ ලෙස නම්කර ඇති පොලිස් බලප්‍රදේශයන්හී දුම්රිය නොනවත්වා ධාවනය කිරීමට තීරණය කර ඇති බවත් දුම්රිය ගමනාගමන අධිකාරීවරයා ඩබ්ලිව්. ඩී රංජිත් පත්මලාල් මහතා නිවේදනයක් නිකුත් කරමින් සදහන් කරයි. එම මාධ්‍ය නිවේදනය සම්පූර්ණයෙන් පහත පළ වේ.

  • සෞඛ්‍ය අමාත්‍යාංශයේ මාධ්‍ය ප්‍රකාශකගෙන් ‘සුපිරි පුද්ගලික’ හෙළිදරව්වක්

    සෞඛ්‍ය අමාත්‍යාංශයේ මාධ්‍ය ප්‍රකාශකගෙන් ‘සුපිරි පුද්ගලික’ හෙළිදරව්වක්

    ආණ්ඩුවේ කොරෝනා මර්ධන මෙහෙයුම භාරව සිටින චරිත අතරට අලුතින්ම එක් වූ චරිතයක් වන්නේ සෞඛ්‍ය අමාත්‍යාංශයේ මාධ්‍ය ප්‍රකාශක  වෛද්‍ය ජයරුවන් බණ්ඩාරය. ඔහු දැන් නිතර නිතර මාධ්‍ය හමුවේ පෙනී සිටින අතර කොරෝනා මෙහෙයුම් ගැන ද ජනතාවට සෞඛ්‍ය අමාත්‍යාංශයේ තොරතුරු ලබා දෙන්නේය.

    එහෙත් ප්‍රශ්නයක් තිබේ. ඒ සෞඛ්‍ය අමාත්‍යාංශයේ මාධ්‍ය ප්‍රකාශකවරයා වන වෛද්‍ය ජයරුවන් බණ්ඩාරට ඇත්තටම ‘‘සෞඛ්‍ය අමාත්‍යාංශයේ මාධ්‍ය ප්‍රකාශක‘ තනතුරක් නොතිබීමය.

    ඒ ගැන වෛද්‍ය ජයරුවන් බණ්ඩාර විසින්ම හෙළිකර තිබුණේ අද (08) දින ‘රාවය‘ පුවත්පතටය. මේ ඒ කතාවයි.

    ‘…සෞඛ්‍ය අමාත්‍යාංශයේ මාධ්‍ය ප්‍රකාශක ලෙස මට නිල තනතුරක් ලබා දී හෝ පත්වීම් ලිපියක් ප්‍රධානය කර හෝ වගකීමක් පැවරීමක් හෝ බලයක් ලබා දීමක් සිදු කර හෝ නැහැ. අමාත්‍යවරියගෙන් ඒගැන විමසූ විට කියා සිටියේ මේ අවස්ථාවේ රෝගයෙන් බේරී සිටිය හැකි ආකාරය සම්බන්ධයෙන් වන දැනුවත් කිරීම් සහ අවශ්‍ය අවස්ථාවලදී අවශ්‍ය කාරණා සම්බන්ධනේ මිනිස්සු දැනුවත් කිරීමට අදාළ ප්‍රකාශ ලබා දෙන ලෙසයි. රටේ මිනිස්සු දැනුවත් කරන ලෙස අමාත්‍යවරිය කළ ඉල්ලීමට මට පිටුපෑමට නොහැකියි, මම ඒ වගකීම ඉටු කරනවා. සෞඛ්‍ය අමාත්‍යාංශයේ මාධ්‍ය ප්‍රකාශකවරයා නම් වගකීම් රාශියක් දැරිය යුතු තනතුරක් වුවත් එවැනි තනතුරක් නිල වශයෙන් මට ලබා දී නැහැ.

  • හෙට සිට ‘හුදකලා කරන’ ප්‍රදේශ මෙන්න !

    හෙට සිට ‘හුදකලා කරන’ ප්‍රදේශ මෙන්න !

    මේ වන විට නිරෝධාන ඇදිරිනීතිය ක්‍රියාත්මක සියලු ප්‍ර දේශයන්හි එම නිරෝධාන ඇදිරිනීතිය හෙඨ (09) දින පෙරවරු 05.00 ට ඉවත් කරනු ලබන බව කොවිඩ්-10 පැතිරීම වැළැක්වීමේ ජාතික ක්‍රියාන්විත මධ්‍යස්ථානය අද (08) දින නිකුත් කළ ප්‍රවෘත්ති නිවේදනයක් මගින් දැනුම් දෙයි.

    එසේ වුව ද කොළඹ නාගරික බල ප්‍ර දේශයට අයත්වන පොලිස් වසම් 12ක්, ගම්පහ දිස්ත්‍රික්කයේ පොලිස් වසම් 08ක්, කලුතර දිස්ත්‍රික්කයේ පොලිස් වසම් 02ක් සහ ග්‍රාම නිලධාරී වසමක්, කුරුණෑගල සහ කෑගල්ල දිස්ත්‍රික්කවල පොලිස් වසම් 02 බැගින් ‘හුදකලා ප්‍රදේශ‘ වශයෙන් නම්කර ඇති බව ද එම නිවේදනයේ වැඩි දුරටත් සදහන් වෙයි.

  • ජෝ බිඩෙන්ට තියුණු ජයක්!

    ජෝ බිඩෙන්ට තියුණු ජයක්!

    ඩොනල්ඩ් ට්‍රම්ප් පරාජය කරමින් ජෝ බිඩෙන් ජනපතිවරණය ජයග්‍රහණය කළේය. බිඩෙන් පෙන්සිල්වේනියාවේ ප්‍රධාන සටන් බිම ජයගෙන ඇති අතර ධවල මන්දිරය අත්පත් කර ගැනීම සඳහා අවශ්‍ය වන මැතිවරණ විද්‍යාල ඡන්ද 270 ට වඩා ඔහු ලබා ගෙන ඇත.

    ට්‍රම්ප්ගේ ප්‍රචාරක කාර්යාලය පෙන්වා දී ඇත්තේ තමන් බිඩෙන්ගේ ජයග්‍රහණය පිළිගැනීමට සූදානම් නැති බවයි.

    බිඩෙන්ගේ ජයග්‍රහණය පිළිබඳ බීබීසී ප්‍රක්ෂේපණය පදනම් වී ඇත්තේ දැනටමත් ඡන්ද ගණන් කිරීම අවසන් කර ඇති ප්‍රාන්තවල නිල නොවන ප්‍රතිඵල සහ විස්කොන්සින් වැනි ප්‍රාන්තවලින් අපේක්ෂිත ප්‍රතිඵල මත ය.

    මෙම මැතිවරණය 1900 න් පසු වැඩිම ඡන්දය ප්‍රකාශ කර තිබේ. බිඩෙන් මහතා මේ වන විට ඡන්ද මිලියන 73 කට වඩා ලබාගෙන ඇති අතර එය එක්සත් ජනපද ජනාධිපති අපේක්ෂකයෙකුට ලැබී ඇති වැඩිම ඡන්ද ප්‍රතිශතයයි. ට්‍රම්ප් මහතා මිලියන 70 කට ආසන්න ඡන්ද සංඛ්‍යාවක් ලබා ගෙන ඇති අතර එය ඉතිහාසයේ දෙවන ඉහළම අගයයි.

    ඡන්ද ගණන් කිරීම අවසන් නොවූ විට ජනාධිපති ට්‍රම්ප් තමන් මැතිවරණයේ ජයග්‍රාහකයා යැයි ව්‍යාජ ලෙස ප්‍රකාශ කර තිබුණි. එතැන් සිට ඔහු ගණන් කිරීමේ අක්‍රමිකතා චෝදනා කර ඇති නමුත් මැතිවරණ වංචා පිළිබඳ කිසිදු සාක්ෂියක් ඉදිරිපත් කර නැත.

    ඔහුගේ ප්‍රචාරක කාර්යාලය විසින් විවිධ ප්‍රාන්තවල නඩු පවරා ඇත.

    ඩොනල්ඩ් ට්‍රම්ප්

    එක්සත් ජනපදය පුරා කොරෝනා වෛරස් රෝගීන් හා මරණ අඛණ්ඩව ඉහළ යමින් තිබියදී මැතිවරණය සටන් වැදුණි. ජනාධිපති ට්‍රම්ප් බිඩෙන් ජනාධිපති ධුරයක් දැරීම නිසා අගුලු දැමීම හා ආර්ථික අඳුරු වීමක් සිදුවනු ඇතැයි තර්ක කළේය. කොවිඩ් -19 පැතිරීම පාලනය කිරීම සඳහා ප්‍රමාණවත් පියවර ගැනීමට ජනාධිපති අපොහොසත් වූ බවට ජෝ බිඩෙන් චෝදනා කළේය.

    ජෝ බිඩෙන් දැන් ධවල මන්දිරයට පැමිණීමට සූදානම් වන අතර එහිදී ඔහු ජනාධිපති බැරැක් ඔබාමාගේ උප ජනාධිපති ලෙස වසර අටක් සේවය කළේය. වයස අවුරුදු 78 දී ඔහු ඇමරිකානු ඉතිහාසයේ වයස්ගතම ජනාධිපති වනු ඇත. මීට පෙර ඔහු පරාජය කළ පුද්ගලයා වන 74 හැවිරිදි ඩොනල්ඩ් ට්‍රම්ප් විසින් තබා ඇති වාර්තාවකි.

    බී.බී.සී. ඇසුරිණි

  • තවත් Covid-19 මරණ හතරක්

    තවත් Covid-19 මරණ හතරක්

    තවත් කොවිඩ් මරණ 4ක් වාර්තා වී ඇති බව සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජනරාල් අසේල ගුණවර්ධන මහතා තහවුරු කරයි. ඒ අනුව මෙරටින් මේ දක්වා වාර්තා වී ඇති කොවිඩ් මරණ ගණන 34ක් දක්වා ඉහළ ගොස් තිබේ. මියගොස් ඇති පුද්ගලයින් අතර තිදෙනෙක් කාන්තාවන්ය.

    ඔවුන්ගේ වයස පිළිවෙලින් 42 (මාලිගාවත්ත), 69 (මාලිගාවත්ත) සහ 88 (ගණේමුල්ල) වේ. පිරිමි පුද්ගලයා 67 හැවිරිදි වැල්ලම්පිටිය ප්‍රදේශයේ පදිංචිකරුවෙකි.

  • LPL පවත්වන්න අනුමැතිය

    LPL පවත්වන්න අනුමැතිය

    ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය විසින් පවත්වනු ලබන ලංකා ප්‍රිමියර් ලීග් හෙවත් එල්. පී. එල්. පන්දුවාර විස්සයි – 20 ක්‍රිකට් තරගාවලිය සෞඛ්‍ය උපදෙස් පරිදි මෙම නොවැම්බර් මස 27 වැනිදා සිට දෙසැම්බර් මස 17 වැනිදා දක්වා හම්බන්තොට මහින්ද රාජපක්ෂ ක්‍රීඩාංගණයේදී පැවැත්වෙනු ඇත.

    කොවිඩ් 19 වසංගතයේ බලපෑම් හේතුවෙන් තරගාවලිය පැවැත්වීම සම්බන්ධව ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය නියෝජිතයින් සහ සෞඛ්‍ය අමාත්‍යාංශ නිලධාරීන් අතර සකච්ඡා වට කීපයක්ම පැවැත්විණි. ඒ අනුව සෞඛ්‍ය අමාත්‍යාංශ විසින් නියම කරනු ලබන සෞඛ්‍ය මාර්ගෝපදේශයන්ට යටත්ව තරගාවලිය පැවැත්වීම සඳහා රජය විසින් අනුමැතිය ලබා දී තිබේ.

     “තරගාවලිය පැවැත්වීම සඳහා රජයේ අනුග්‍රහය ලැබීම නිසා අපිට තරගාවලිය ඉදිරිය ගැන ලොකු විශ්වාසයක් ඇති වෙලා තියෙනවා. ඒ වගේම තරගාවලිය හම්බන්තොට පමණක් පැවැත්වීම නිසා තරගාවලිය වෙනුවෙන් නිර්මාණය කරනු ලබන ආරක්ෂිත ජෛව බුබුළ (Bio-Secure Bubble) පවත්වාගෙන යෑමත් පහසු කරවන්නක්” යැයි තරගාවලිය සම්බන්ධව ලංකා ප්‍රිමියර් ලීග් තරගාවලියේ අධ්‍යක්ෂකවරයා ලෙසින් කටයුතු කරන ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතන උප සභාපති රවීන් වික්‍රමරත්න මහතා සඳහන් කර සිටියේය.

    මේ අතර තරගාවලියේ සංවිධාන කටයුතු සිදුකරනු ලබන අයි. පී. ජී. ආයතනයේ ප්‍රධාන විධායක නිලධාරී අනිල් මොහාන් මහතාද අදහස් දක්වමින්, “අසීරු කාල වකවානුවක වුණත් ශ්‍රී ලංකා රජය සහ ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය ගත යුතු හොඳම තීරණයට එළැඹීම ගැන මම ස්තූතිවන්ත වනවා. එය පහසු කටයුත්තක් නොවේ. කොහොම වුණත් මේ ගත්ත හොඳ තීරණය ශ්‍රී ලංකා ක්‍රිකට් යහපැවැත්මට උපකාරී වෙනවා වගේම ශ්‍රී ලාංකිකයින්ගේ මතකයේ රැඳේවි කියලා මම විශ්වාස කරනවා”යි සඳහන් කර සිටියේය.

    තරගාවලිය පැවැත්වීම සඳහා අනුමැතිය ලබා දීම සම්බන්ධව අතිගරු ජනාධිපති ඝෝඨාභය රාජපක්ෂ මහතාටත්, මේ කටයුත්ත සාර්ථක කර ගැනීම වෙනුවෙන් කටයුතු කළ සෞඛ්‍ය ඇමැතිනී පවිත්‍රා වන්නිආරච්චි මැතිණියට මෙන්ම ක්‍රීඩා අමාත්‍ය නාමල් රාජපක්ෂ මහතාටද ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය විශේෂ ස්තූතිය පුද කර සිටියි.

    එමෙන්ම කොවිඩ් 19 මැඬලීමේ කාර්ය සාධක බලකායේ ප්‍රධානී ලුතිනන් ජනරාල් ශවේන්ද්‍ර ද සිල්වා, සෞඛ්‍ය අමාත්‍යාංශයේ ලේකම් වෛද්‍ය සංජීව මුණසිංහ සහ සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජනරාල් වෛද්‍ය අසේල ගුණවර්ධන යන මහත්වරු ලබා දුන් සහයෝගය පිළිබඳවද ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය සිය ස්තූතිය පළ කර සිටියි.

    නවතම සැලැස්මට අනුව තරගාවලියේ සංශෝධිත නව කාල සටහන නුදුරේදීම ප්‍රකාශයට පත් කිරීමට ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය කටයුතු යොදනු ඇත.

  • ධනවත් රට ළමයි උස යන්නත් – දුප්පත් රටවල ළමයි මිටි වෙන්නත් හේතු සොයා ගනී

    ධනවත් රට ළමයි උස යන්නත් – දුප්පත් රටවල ළමයි මිටි වෙන්නත් හේතු සොයා ගනී

    අපගේ සොයාගැනීම් මඟින් අපි ප්‍රතිපත්ති සම්පාදකයින්ට අවධාරණය කරන්නේ ළමුන්ට සහ නව යෞවනයින්ට ලබාගත හැකි ආහාර ප්‍රමාණය වැඩි කරගත හැකි වන ආකාරයට ප්‍රතිපත්ති සම්පාදනය කළ යුතු බවයි

    ‘ළමුන්ට ප්‍රමාණවත් පෝෂණයක් නොලැබීම‘ ලංකාවේත් ප්‍රබල ගැටලුවක්. නිසි පෝෂණය නොලැබෙන ළමුන් විවිධ රෝගාබාධවලට ලක්වීම පමණක් නොව නිසි පරිදි නොවැඩෛන බව ද පොදු පිළිගැනීමක්.

    ඒත් දිනෙන් දින පිරිහෙන ආර්ථික තත්ත්වය හමුවේ ලංකාවේ බහුතරයක් අඩු ආදායම්ලාභී පවුල්වල දරුවන්ට නිසි පෝෂණයක් ලබාදීම තවත් සංකීර්ණ වන අභියෝගයක් බවට පත් වෙමින් තිබෙනවා. විශේෂයෙන් කොවිඩ්-19 වැනි වසංගත හමුවේ අතිෂය පීඩාවට පත්වන දිළිදු ජනතාවට ළමයින්ට ‘නිසි‘ පෝෂණයක් ලබාදීම බරපතළ අභියෝගයක්.

    මේ අතර ළමා පෝෂණය සහ ඔවුන්ගේ වර්ධනය අතර පර්යේෂණයක ප්‍රතිඵල පිළිබද විශ්ලේෂණාත්මක වාර්තාවක් පසුගිය (06) වැනි දා බී.බී.සීයේ පළ වුණා. ලංකාවේ දෙමාපියන්ගේ පමණක් නොව ඊනියා ප්‍රතිපත්ති සම්පාදකයින්ගේ ද අවධනය යොමු විය යුතු මෙම ලිපිය පහත පළ වෙනවා.

    පාසැල් වයසේ ළමුන්ට නිසි පෝෂණයක් නොලැබීම (දුර්වල ආහාර ගැනීම – Poor diets) උසම හා කෙටිම ජාතීන් අතර සාමාන්‍ය උස සෙන්ටිමීටර 20 (අඟල් 7.9) සඳහා දායක විය හැකි බව විශ්ලේෂණයකින් හෙළි වී තිබෙනවා.

    2019 දී උසම (19 හැවිරිදි) පිරිමි ළමයින් නෙදර්ලන්තයේ (සෙන්ටිමීටර් 183.8 හෝ අඩි 6) ජීවත් වූ අතර එම වයසේම පසුවන උසින් අඩුම පිරිමි ළමුන් ජීවත් වූයේ නැගෙනහිර ටිමෝර් (මෙරට ටිමෝර් ලෙස්ටේ ලෙස ද හැදින්වේ -Timor Leste) හි (160.1cm) බවයි අදාළ විශ්ලේෂණය මගින් හෙළි වන්නේ.

    මේ අතර එක්සත් රාජධානියේ ගෝලීය උස ශ්‍රේණිගත කිරීම 39 වැනි ස්ථානය දක්වා පහත වැටී ඇති අතර 1985 දී එරට 28 වැනි ස්ථානයේ පසු වුණා.

    රටවල් කිහිපයක 2019දී වසය අවුරුදු 19ක් වන පිරිමි ළමුන්ගේ උස ශ්‍රේණිගත කර ඇති ආකාරය.

    පිරිමි ළමයින්ගේ උස සංසන්දනය කරන ආකාරය

    ඉහත වගු සටහනේ දැක්වෙන්නේ 2019 වසරේදී එක්සත් රාජධානිය, එක්සත් ජනපදය, චීනය සහ ඉන්දියාවේ වයස අවුරුදු 19ක් වන යෞවනයින්ගේ උස මට්ටම පිළිබද ගෝලීය විශ්ලේෂණයයි. එහි 39 සහ 47 වැනි ස්ථානවල එක්සත් රාජධානිය සහ එක්සත් ජනපදය පසුවන අතර අප අසල්වැසි ඉන්දියාව පසුවන්නේ 180 වැනි ස්ථනයේයි. සාමාන්‍යෙයන් ‘මිටි‘ ජාතියක් වශයෙන් සැලකෙන චීනය ද ගෝලීය වශයෙන් තරගයක් දෙමින් 65 වැනි ස්ථානයේ පසුවීම විශේෂත්වයක් වන අතර ඇමෙරිකානු තරුණයින් (19 වියේ පසුවන) සහ එම වයසේම පසුවන චීන තරුණයින් අතර උසේ වෙනස වන්නේ සෙන්ටිමීටර් 0.8ක් වැනි අල්පයක් වීම ද වැදගත් කරුණක්.

    පර්යේෂකයන් පවසන්නේ ලොව පුරා සහ කාලයාගේ ඇවෑමෙන් දරුවන්ගේ උස හා බරෙහි වෙනස්වීම් සොයා ගැනීම වැදගත් වන්නේ ඔවුන්ට (තරුණයින්ට) ලබා ගත හැකි පෝෂණයේ ගුණාත්මකභාවය පිළිබිඹු කළ හැකි නිසාත්, යෞවනයන් සඳහා සෞඛ්‍ය සම්පන්න පරිසරයක් නිර්මාණය කරන්නේ කෙසේද යන්න තීරණය කිරීමට එය වැදගත් වන නිසාත් බවයි.

    1985 සිට 2019 දක්වා කාලය තුළ අධ්‍යයන 2000 කට වැඩි සංඛ්‍යාවක් සිදුකර ඇති අතර අවුරුදු 5 ත් 19 ත් අතර ළමුන් හා නව යොවුන් වියේ පසුවන දරුවන් මිලියන 65 කට වැඩි සංඛ්‍යාවකගේ දත්ත විශ්ලේෂණය කර තිබෙනවා.

    2019 දී සාමාන්‍යයෙන් වයඹ සහ මධ්‍යම යුරෝපයේ ළමුන් සහ තරුණයින් (උදා: නෙදර්ලන්තයේ සහ මොන්ටිනිග්‍රෝවේ) ලෝකයේ උසම අය බව අදාළ පර්යේෂණය මගින් සොයා ගෙන තිබෙනවා.

    මේ අතර, සාමාන්‍යයෙන් උසින් අඩුව තරුණ – තරුණියන් (19 වැනි වියේ පසුවන) දකුණු හා ගිනිකොනදිග ආසියාව, ලතින් ඇමරිකාව සහ නැගෙනහිර අප්‍රිකාවේ ජීවත් වූ බවයි සමීක්ෂකයින් පවසන්නේ.

    උසම සහ මිටිම තරුණයින් සහ තරුණියන් – 2019 (19 වැනි වියේ පසුවන)

    රට අනුව උසම හා කෙටිම දරුවන්

    ඉහත විශ්ලේෂණයෙන් ඇඟවෙන්නේ 2019 දී:

    • සාමාන්‍යයෙන් ලාඕසයේ 19 හැවිරිදි පිරිමි ළමයින් නෙදර්ලන්තයේ 13 හැවිරිදි පිරිමි ළමයින්ගේ උසට සමාන විය. (සෙන්ටිමීටර 162.8)
    • වයස අවුරුදු 19 දී ග්වාතමාලාවේ, බංග්ලාදේශයේ, නේපාලයේ සහ ටිමෝර් ලෙස්ටේහි ගැහැනු ළමයින් 11 හැවිරිදි නෙදර්ලන්ත ගැහැණු ළමයින්ගේ සාමාන්‍ය උසට (සෙන්ටිමීටර 152 ක් හෝ අඩි 5 ක් පමණ) සමාන විය.
    • එක්සත් රාජධානියේ, 19 හැවිරිදි පිරිමි ළමයින්ගේ සාමාන්‍ය උස සෙන්ටිමීටර 178ක් සහ ගැහැණු ළමයින් උස 163.9cmක් විය.
    • පසුගිය අවුරුදු 35 තුළ ළමුන්ගේ සාමාන්‍ය උසෙහි විශාලතම දියුණුව චීනයේ සහ දකුණු කොරියාවේ දක්නට ලැබුණි.
    • නමුත් උප සහරා අප්‍රිකාවේ බොහෝ රටවල සාමාන්‍ය උස 1985 සිට වෙනස් නොවී හෝ අඩු වී ඇත.

    සෞඛ්‍ය සම්පන්න බර වැඩිවීම

    මෙම අධ්‍යයනයෙන් ළමයින්ගේ BMI පිළිබඳව ද අවධානය යොමු කරන ලද අතර එය පුද්ගලයෙකුගේ උස සඳහා නිරෝගී බරක් දැයි දැක්වීමට උපකාරී වේ.

    ඉහළම (largest) BMI අගයක් සහිත වැඩිහිටි යෞවනයන්  (older teenagers) පැසිෆික් දූපත්, මැදපෙරදිග, ඇමරිකා එක්සත් ජනපදය සහ නවසීලන්තයේ ජීවත් වූ බව පර්යේෂකයෝ සොයා ගත්හ.

    මේ අතර අඩුම ( lowest)  BMI අගයක් සහිත 19 හැවිරිදි ළමයින් ජීවත් වූයේ ඉන්දියාව, බංග්ලාදේශය වැනි දකුණු ආසියානු රටවල ය.

    අධ්‍යයනයේ අඩුම හා ඉහළම BMI සහිත රටවල් අතර වෙනස කිලෝග්‍රෑම් 25කට සමාන බව පර්යේෂකයෝ පුළුල් ලෙස තක්සේරු කරති.

    තරුණයින්ගේ සහ තරුණියන්ගේ BMI මට්ටම ගෝලීය වශයෙන් සැසදීම

    රට අනුව පිරිමි ළමයින් හා ගැහැණු ළමයින් තුළ BMI මට්ටම

    සමහර රටවල ළමුන් වයස අවුරුදු පහේදී නිරෝගී BMI මට්ටමකට ළඟා වූ නමුත් වයස අවුරුදු 19 වන විට ඔවුන් අධික බරට පත්වීමට ඉඩ තිබුණි.

    එක් එක් දරුවන්ගේ උස හා බර සඳහා ජානමය තත්ත්වය (Genetics) වැදගත් කාර්යභාරයක් ඉටු කරන බව පර්යේෂකයන් පිළිගන්නා අතර, ඔවුන් පවසන්නේ සමස්ත ජනගහනයේ සෞඛ්‍යය සම්බන්ධයෙන් ගත් කල, පෝෂණය සහ පරිසරය ප්‍රධාන වන බවයි.

    ගෝලීය පෝෂණ ප්‍රතිපත්ති (Global nutrition policies) වයස අවුරුදු පහට අඩු අය කෙරෙහි වැඩි අවධානයක් යොමු කළ ද එය ප්‍රමාණයත් නොවන බවට ඔවුහු තර්ක කරති. ඔවුන්ගේ අධ්‍යයනයෙන් පෙන්නුම් කරන්නේ වැඩිහිටි දරුවන්ගේ වර්ධන රටාවන් කෙරෙහි ද වැඩි අවධානයක් යොමු කළ යුතු බවයි.

    19 වැනි වියේ පසුවන තරුණියන්ගේ උස සැසදීම

    ගැහැණු ළමයින්ගේ උස සංසන්දනය කරන ආකාරය

    ඉහත වගු සටහන මගින් ගෝලීය වශයෙන් 19 වැනි වියේ පසුවන තරුණියන්ගේ උස මට්ටම වටහා ගත හැකිය. එහිදී චීනය එක්සත් ජනපදය ද ඉක්මවා ඉදිරියට ගොස් ඇති අතර (චීනයේ පිරිමි ළමුන්ගේ උස මට්ටමමේදී පසුවූයේ 65 වැනි ස්ථානයේය) ඉන්දියාව තරුණියන් සම්බන්ධයෙන් තව දුරටත් පසුපසට ගොස් 182 වැනි ස්ථානයට පත්ව ඇත. (තරුණයින්ගේ උස සම්බන්ධයෙන් 180 වැනි ස්ථානය)

    නොමිලේ පාසල් ආහාර

    මෙම පර්යේෂණයේ දත්ත විශ්ලේෂණය කරමින් ලන්ඩනයේ ඉම්පීරියල් කොලේජ් හි වෛද්‍ය ඇන්ඩ්‍රියා රොඩ්‍රිගුස් මාටිනස් (Dr Andrea Rodriguez Martinez) පැවසුවේ ‘ළමා කාලයේ සහ නව යොවුන් වියේ නිරෝගී බර හා උස මිනිසුන්ගේ යහපැවැත්මට ජීවිත කාලය පුරාම ප්‍රතිලාභ ලබා දෙන බවයි‘

    ඇය මෙසේ ද පැවසුවාය: “අපගේ සොයාගැනීම් මඟින් අපි ප්‍රතිපත්ති සම්පාදකයින්ට අවධාරණය කරන්නේ ළමුන්ට සහ නව යෞවනයින්ට ලබාගත හැකි ආහාර ප්‍රමාණය වැඩි කරගත හැකි වන ආකාරයට ප්‍රතිපත්ති සම්පාදනය කළ යුතු බවයි. පෝෂ්‍යදායී ආහාරවල මිල අඩු කරන ප්‍රතිපත්තියක් වෙත යොමුවිය යුතු බවයි. මෙය දරුවන්ගේ උස සඳහා අධික බරක් ලබා නොගෙන උසින් වැඩීමට උපකාරී වෙනවා. මෙම මුලපිරීම් වලට අඩු ආදායම්ලාභී පවුල් සඳහා පෝෂ්‍යදායී ආහාර සඳහා වවුචර් සහ නොමිලේ සෞඛ්‍ය සම්පන්න පාසල් ආහාර වේලක් ලබාදීම ඇතුළත් විය යුතුයි.

    මේ අතර, ලන්ඩන් සනීපාරක්ෂක හා නිවර්තන වෛද්‍ය විද්‍යාලයේ (London School of Hygiene and Tropical Medicine) මහාචාර්ය ඇලන් ඩන්ගෝර් පැවසුවේ මෙම පර්යේෂණය ‘අද්විතීය හා ප්‍රබල විශ්ලේෂණයක් බවයි‘

    “පළමු වරට මෙම ගෝලීය විශ්ලේෂණය පාසල් වියේ පසුවන දරුවන්ගේ හා නව යොවුන් වියේ දරුවන්ගේ වර්ධනය කෙරෙහි අවධානය යොමු කර ඇති අතර ළමයින් වැඩිහිටිභාවයට පත්වීම සහතික කිරීම සඳහා ලොව පුරා ආණ්ඩුවල ක්‍රියාකාරීත්වය කිසිසේත්ම ප්‍රමාණවත් නොවන බව හඳුනා ගෙන තිබෙනවා‘

    2020 නොවැම්බර් 06 වැනි දින බී.බී.සී. වාර්තාවකි. සැකසුම – තීක්ෂණ වෙළෙන්එගොඩ

  • ණය කන්ද හා ණය උගුල ගැන සම්පූර්ණ හෙළිදරව්වක් !

    ණය කන්ද හා ණය උගුල ගැන සම්පූර්ණ හෙළිදරව්වක් !

    කොරෝනා දෙවැනි රැල්ල සමග ලංකාව මුහුණ දී සිටින හා මුහුණදීමට නියමිත සැබෑම අභියෝගය වන ‘විදේශ ණය උගුල‘ ජනතා අවධානයෙන් පමණක් නොව ජනමාධ්‍ය සහ පාලකයින්ගේ අවධානයෙන් ද ගිලිහී ගොස් ඇත. එහෙත් මේ ගැන උනන්දුවක් දක්වන ආර්ථික විශේෂඥයින් පවසන්නේ කොරෝනා වසංගතය විදෙස් ණය උගුලේ රට තව තවත් හිර කරන තීරණාත්මක එක් සාධකයක් පමණක් බවයි.

    ලංකාව ඇත්තටම ණය උගුලක සිරවී සිටීද ?

    මේ ගැන පසුගිය කාලය පුරාම අඛණ්ඩව දේශපාලන හා සමාජ සංවාද සිදුවිය. ඒත් ඒවා ඒකපාර්ශ්වික වුණා මිස ‘ඇත්ත ඇති සැටියෙන් පහදා දෙන හෝ පිළිගන්නා ඒවා නොවීය. ආසන්නතම උදාහරණය ලෙස පසුගිය දා ලංකාවේ කෙටි නිල සංචාරයක නිතර වූ ඇමෙරිකානු රාජ්‍ය ලේකම්වරයාගේ මුවින් ද ලංකාවේ ණය උගුල (චීන ණය උගුල) ගැන අදහස් මතු විය. එහිදී වහා ක්ෂණික ප්‍රතිචාර දැක්වූ ජනපතිවරයා ඇමෙරිකානු රාජ්‍ය ලේකම්වරයාගේ ප්‍රකාශය ප්‍රතික්ෂේප කරමින් ‘අපි කිසිසේත් ණය උගුලක සිරවී නැතැයි‘ අවධාරණාත්මකව ප්‍රකාශ කළ අතර චීන ණය ගැන ප්‍රශංසාත්මක මුඛයෙන් කතා කළේය.

    ඒ සමග වත්මන් ආණ්ඩුවේ රාජ්‍ය මූල්‍ය ගැන සැබෑ වගකීම දරන රාජ්‍ය ඇමැති, හිටපු මහ බැංකු අධිපතිවරයෙකු වන අජිත් කබ්රාල් ද, ඔහුගේ මතය පුනරුච්චාරණය කරමින් ශ්‍රී ලංකා මහ බැංකුව ද දිගින් දිගටම ශ්‍රී ලංකාවේ ණය ගෙවීමේ හැකියාව ගැන ධනාත්මක ප්‍රකාශ නිකුත් කළේය. ඒවායේ පොදු අදහස වූයේ ‘ශ්‍රී ලංකාවට තමා ලබාගත් විදේශ ණය සදහා පොලිය සහ වාරික ගෙවීමේ හැකියාව පවතී‘ යන්නය. දින කිහිපයකින් ඒ කතාව ද නතර විය.

    ශ්‍රී ලංකා මහ බැංකුව සහ දේශපාලන බලාධිකාරිය විසින් ශ්‍රී ලංකාවේ ණය ගැනීමේ හා ගෙවීමේ හැකියාව ගැන සහතික නිකුත් කරද්දී ජාත්‍යන්තර වශයෙන් පිළිගන්නා සහ විශ්වාසනීය ආයතන තුනක් පසුගිය කෙටි කාලය තුළ ලංකාවේ විදේශ ණය ගෙවීමේ හැකියාව ප්‍රශ්න කරන වාර්තා තුනක් නිකුත් කළේය. ඒ ආයතන වන්නේ,

    1. නිව්යෝර්ක් නුවර පිහිටි ජාත්‍යන්තර ආයෝජන බැංකුවක් වන ගෝල්ඞ්මන් සැච්ස් (Goldman Sachs)
    2. ඒ.පී. මොර්ගස්
    3. මොර්ගස් ස්ටැන්ලි

    මෙම ආයතන තුන විසින් ශ්‍රී ලංකාවේ විදේශ ණය ගෙවීමේ හැකියාව ප්‍රශ්න කරද්දී ‘මූඩිස් ‘(Moody’s) ආයතනයේ ශ්‍රේණිගත කිරීම්වලදී ශ්‍රී ලංකාව ස්ථාන තුනකින් පහළට දැමූ අතර ශ්‍රී ලංකාව විදේශ ණය ගෙවා ගැනීමට බැරි රටක් හැටියට ශ්‍රේණිගත කර නොතිබුණත් එම තත්ත්වයට අප රට පත්වෙමින් සිටින බවට අනතුරු අගවනු ලැබුවේය.

    Goldman Sachs' Swiss Attack

    ගෝල්ඞ්මන් සැච්ස් කියන කතාව

    මෙහිදී වැඩි අවධානයක් යොමු වන්නේ ගොල්ඩ්මන් සැටිස් බැංකුවේ වාර්තාව කෙරෙහිය. නිව්යෝර්ක් නුවර පිහිටි ජාත්‍යන්තර ආයෝජන බැංකුවක් වන ගෝල්ඞ්මන් සැච්ස් (Goldman Sachs) විසින් පසුගිය ඔක්තෝබර් මස අවසාන සතියේ නිකුත් කරන ලද ජාත්‍යන්තර ආර්ථික විශ්ලේෂණ වාර්තාවකට අනුව 2021 වසරේදී ලෝකයේ විවිධ රාජ්‍යයන් විසින් ලබා ගන්නා ලද ණය ආපසු ගෙවා ගැනීමට නොහැකිව ‘ණය පැහැර හැරීමේ ඉහළම සම්භාවිතාවක් ඇති‘රටවල් හතරක් නම් කළේය. එම රටවල වන්නේ

    1. ඉරාකය,
    2. ශ්‍රී ලංකාව,
    3. ඇන්ගෝලාව
    4. ගැබොන් රාජ්‍යයයි.

    එම වාර්තාව අනුව ශ්‍රී ලංකාව ලෝකයේ ණය පැහැර හැරීමේ අවදානම සහිත දෙවන රාජ්‍යය බවට පත්ව ඇත.

    එමගින් ලොවට දෙන පණිවුඩය වන්නේ 2021 වසරේදී ශ්‍රී ලංකාව ආර්ථිකමය වශයෙන් බංකොළොත්භාවයට පත්වන ලොව දෙවන රාජ්‍යය බවය. ගෝල්ඞ්මන් සැච්ස් බැංකුව විසින් මීට පෙර එවැනි තත්ත්වයකට පත්වූ රාජ්‍යයක් ලෙස ඉක්වදෝරය, ලෙබනන් සහ ආර්ජන්ටිනාව නම් කර තිබේ.

    ශ්‍රී ලංකාව මේ ආකාරයෙන් විදේශ ණය ගෙවීමට නොහැකි තරම් අසරණ තත්ත්වයට පත්ව ඇති බව ජාත්‍යන්තර ආයතන සහ ශ්‍රී ලංකාවේ විපක්ෂය චෝදනා කළත් පොදුජනතාවට මේ පිළිබද පැහැදිලි අවබෝධයක් හෝ දැක්මක් ඇති බවක් දැකිය නොහැකිය. ඒ නිසා ඔවුන් දිගින් දිගටම රාජ්‍ය සහනාධාර සහ සුබසාධන ඉල්ලා සිටින අතර ආනයන පාලනය නිසා ඇති වී තිබෙන අපහසුතා ගැන දිගින් දිගටම මැසිවිලි නගමින් සිටී.

    එහෙත් පොදුජනතාව නොව ආර්ථිකය ගැන යම් පමණක හෝ අවබෝධයක් ඇති පුද්ගලයින් සහ මාධ්‍යකරුවන් ලංකාවේ සැබෑ ණය ප්‍රමාණය ගැන විශ්වාසනීව තොරතුරු දැන සිටිය යුතුය. නැතහොත් දැනගත යුතුය.

    ලංකාවේ ණය කන්ද වර්ධනය වුණ හැටි

    ආණ්ඩුව කරවන දේශපාලනඥයින්ට සහ ඔවුන්ට උපදෙස් දෙන නිලධාරීන්ට අනුව ශ්‍රී ලංකාව පසුගිය කාලය පුරාම ණය ලබාගෙන ඇත්තේ ‘සංවර්ධනය‘ සදහාය. බැලූ බැල්මට කතාව ඇත්තකි. හම්බන්තොට වරායේ සිට නෙළුම් කුළුණ දක්වාත්, මොරගහකන්ද ජලාශයේ සිට ඇවිදින මංතීරු ගොඩනැගීම දක්වාත් ශ්‍රී ලංකාව ‘සංවර්ධන ණය‘ ලබා ගෙන ඇත. එහෙත් ප්‍රශ්නය වන්නේ මේ ණය ලබා ගෙන ඉදිකළ කිසිම සංවර්ධන ව්‍යාපෘතියකින් ඒවායේ ‘දෛනික‘ වියදම් පියවා ගැනීම සදහාවත් ප්‍රමාණවත් ආදායමක් නොලැබීමය. මෙයට හම්බන්තොට වරාය හොද උදාහරණයක් වුවත් වත්මන් විිපක්ෂය ආණ්ඩු කළ සමයේ නිර්මාණය කළ මොරගහකන්ද මහා ජලාශය ද කදිම උදාහරණයක් ලෙස ගත හැකිය.

    ආණ්ඩුවේ වාර්තාවලට අනුව රුපියල් කෝටි 25,000ක් වැය කරමින් ඉදිකළ ‘ලංකාවේ විශාලතම වාරි යෝජනා ක්‍රමයෙන‘ මේ වන විට රටට ලැබෙන ප්‍රතිලාභය කුමක් දැයි විමසා බැලිය හැකිය.

    මේ ‘සුදු අලි‘ හෝ ප්‍රදර්ශන කාමයට බිහිකළ දැවැන්ත සංවර්ධන ව්‍යාපෘති ලංකාව ණය උගුලක සිරකිරීමට ‘ප්‍රමුඛ‘ සාධයක් වුව ද ඊටත් වඩා ලංකාව ණය උගුලකට යොමු කළේ ‘ණය වාරික හා පොලී ගෙවීමට ගත් ණය‘ බව ආර්ථික විශේෂඥයින්ගේ අදහසයි.

    ‘‘ණය වාරික ගෙවා දැමීමේදී ලංකාව අනුගමනය කරන්නේ ලොකු රෝලක් (ක්‍රමවේදයක්) අපිට ලොකු ණය වාරිකයක් ගෙවන්න තියෙන කොට අපි කරන්නේ ජාත්‍යන්තර වෙළෙඳපොළෙන් අපට අවශ්‍ය ප්‍රමාණයට ණයක් ලබා ගන්නවා. ඒක තමයි අපි දිගටම කරන්න පුරුදු වෙලා හිටියේ. ඒක හොඳ දෙයක් නොවුණාට ඒක තමයි අපිට තිබුණු විකල්පය‘ පසුගිය යහපාලන ආණ්ඩුවේ ආර්ථික ප්‍රතිපත්ති සම්පාදනය භාරව කටයුතු කළ පාර්ලිමේන්තු මන්ත්‍රී ආචාර්ය හර්ෂ ද සිල්වා ලංකාවේ ණය කන්ද තවත් වටයකින් වර්ධනය වූ ආකාරය පැහැදිලි කරමින් සදහන් කළේය.

    මෙහිදී අපිට පෙනී යන කරුණ වන්නේ ‘සංවර්ධන කටයුතු සදහා පමණක් නොව ණය ගෙවීම සදහා ද ණය ගැනීමට මගින් ගැසූ ‘රෝල‘ ලංකාව අර්බුදයෙන් අර්බුදයට තල්ලු කළ බවකි.

    ‘වෙන මොනවා කරන්නද ? ලංකාවේ බොහොමක් සංවර්ධන ව්‍යාපෘති ආදායම් උප්පාදනය කරන්නේ නැහැ. රැකියා බිහි කරන්නේ නැහැ. ඒවා සුදු අලි පමණයි. උදාහරණයක් විදිහට මොරගහකන්ද ගන්න පුළුවන්. ඒක කවදාවත් රටට ලාභයක් දෙයි කියලා හිතන්න බැහැ. මොකද මේ රටේ කෘෂිකර්මාන්තයට යොදවන ආයෝජන මගින් ලබා දෙන්නේ අල්ප ආර්ථික දායකත්වයක්‘ මේ ගැන අප කළ විමසීමකදී ආචාර්ය ඉන්ද්‍රජිත් හේවාවිතාරණ සදහන් කළා.

    ණය කන්දේ විස්තර මෙන්න

    ලංකාවේ දේශීය හා ජාත්‍යන්තර ණය ප්‍රමාණය ගැන කතා කරන විට අපට අවශ්‍ය නිල දත්ත ලබා ගැනීමට හැකියාව තිබෙන්නේ ශ්‍රී ලංකා මහ බැංකුවේ වාර්ෂික වාර්තාවෙන්. එමගින් පසුගිය දා නිකුත් කළ ‘මෑතකාලීන ආර්ථික ප්‍රවණතා – ‘2020 සුවිශේෂ සිදුවීම් සහ 2021 අපේක්ෂා‘ නම් ග්‍රන්ථයේ දක්වා ඇති ‘මධ්‍යම රජයේ ණය‘ පිළිබද පුළුල් විස්තර සටහනක් ඉහත දැක්වෙනවා.

    ඉහත සටහන අනුව 2020 ජූලි මස ආවසානය වන විට ලංකාවේ සමස්ත ණය ප්‍රමාණය ප්‍රමාණය රුපියල් ට්‍රිලියන 14.2ක් වෙනවා. එය වඩාත් සරලව කිව්වොත් රුපියල් කෝටි 14,920,000ක්. මෙය ඇමරිකානු ඩොලර්වලින් සඳහන් කළහොත් ඩොලර් බිලියන 80කට ආසන්න අගයක්.

    මේ ප්‍රස්තාර සටහන මගින් අපට තවත් අදහසක් ලබා දෙනවා. ඒ තමයි 2018 දෙසැම්බර් අවසාන වන විට තිබූ රුපියල් ට්‍රිලියන 12ක් වූ ණය ප්‍රමාණය තවත් මාස 18ක් යන විට රුපියල් ට්‍රිලියන 14.2 දක්වා වර්ධනය වීම.

    ඔබ මෙහිදී තවත් වැදගත් කරුණක් ගැන අවධානය යොමු කළ යුතුයි. ඒ ලංකාවේ ආණ්ඩුව ණය ලබා ගෙන ඇත්තේ ‘විදේශ‘ වලින් පමණක් නොවන බව. ඇත්තටම ලංකාව වැඩියෙන්ම ණය ලබා ගෙන තිබෙන්නේ ‘දේශීය‘ වශයෙන්. එය රජයේ සමස්ත ණය ප්‍රතිශතයෙන් 54%ක් වැනි ඉහළ අගයක්. ඇත්තටම අපේ ආණ්ඩුවේ මුළු ණයවලින් විදේශ ණය තිබෙන්නේ 46%ක් පමණයි. එය බොහෝ දෙනෙක් කතා නොකරන සහ නොතකා හරින තත්ත්වයක්.

    ඊට හේතුව වන්නේ ආණ්ඩුව මේ ආකාරයෙන් දේශීය බැංකු, සේවක අර්ථසාධක අරමුදල ආදියෙන් දැවැන්ත ණය ප්‍රමාණයක් ලබා ගැනීම නිසා පුද්ගලික අංශයට ණය ලබා ගැනීමට ඇති හැකියාව සීමා වීමක් සිදුවෙනවා. ඒ වගේම පුද්ගලික අංශයට ණය දීම වෙනුවට රජයට ණයදීම වාසිදායක නිසා මූල්‍ය වෙළෙදපොළ තුළ තවත් විකෘතියක් ඇති වෙනවා.

    ඒත් පුදුමයකට වාගේ 46%ක් වන රජයේ විදේශ ණය ගැන කතා කරන, විවේචනය කරන කිසිවෙක් 56%ක් වන රජයේ දේශීය ණය නිසා ඇතිවී ඇති අර්බුදය හා ව්‍යාකූලතා ගැන කතා කරන්නේ නැහැ.

    ණය ගෙවන්නේ කොහොමද ?

    ණය ලබා ගැනීම කෙසේ වෙතත් ණය ගෙවීම ඕනෑම අයෙකුට ප්‍රශ්නයක්. ලබාගත් ණය නිසි පරිදි ආයෝජනය නොකළ විට, ඒවා නාස්ති වූ විට මෙන්ම අපේක්ෂිත ආදායම් නොලැබුණ විටත් පුද්ගලයෙක් මෙන්ම ආණ්ඩුවක් වුවත් ණය ගෙවා ගත නොහැකි තත්ත්වයට පත්වෙනවා. අද ලංකාවේ ණය ගැන බිය පළ කරන බොහෝ දෙනා කියන්නේ ඒ කතාවයි.

    ඔබ බැංකුවකින් ණය මුදලක් ලබා ගැනීමට ගිය විට පනවන මූලික කොන්දේසිය සිහියට නගා ගන්න.

    ‘ඔබට ණය ලබාගත හැකි වන්නේ මාසික ණය වාරිකය ආදායමෙන් සියයට 40% දක්වා පමණයි. නැතහොත් ඔබට ඔබේ ආදායමෙන් (වැටුපෙන්) 60%ක් දක්වා වන මාසික වාරිකයක් දක්වා ණය ලබාගත හැකියි‘ බැංකු කියනවා. ඒ කියන්නේ කිසිම බැංකුවක් ඔබේ මාසික ආදායමෙන් මාසික ණය වාරිකය 90%ක් වන මට්ටමට ණය නිකුත් කරන්නේ නැහැ.

    ඒත් ආණ්ඩුව ඒ අතින් හරිම වාසනාවන්තයි. ආණ්ඩුවකට ණය ලබා ගැනීමේ සාමාන්‍ය ජනතාවට මෙන් දැඩි සීමා කිරීම් නැහැ. ඒ නිසා ලංකාව මේ වන විට දළ දේශීය නිෂ්පාදිතයෙන් (ආණ්ඩුවේ ආදායමෙන් නොවෙයි) 90%ක් දක්වා වාර්ෂිකව ණය ගෙවනවා !

    මෙය කිසිසේත් යහපත් තත්ත්වයක් නොවෙයි. මේ තත්ත්වය සාමාන්‍ය පුද්ගලයෙකුගේ ජීවිතයට ආදේශ කළහොත් ඔහුගේ සමස්ත ආදායමෙන් 90%ක් ණය ගෙවීමට පමණක් වැය කළ යුතු තත්ත්වක් හා සමානයි. එවැනි පුද්ගලයෙකුට මුහුණ පෑමට සිදුවන නීරස සහ බිහිසුණු තත්ත්වය ගැන ඔබට අලුතින් කියන්න දෙයක් නැහැ.

    අභාග්‍යයකට වාගේ ලංකාවේ ආණ්ඩුව දළ දේශීය නිෂ්පාදිතයෙන් 90%ක් ණය ගෙවීම සදහා පමණක් වැය කරනවා. ආයෝජනයට, එදිනෙදා වියදම් පියවා ගන්න, සුබසාධන සදහා ආණ්ඩුව ඉතිරි වෙන්නේ දළ දේශීය නිෂ්පාදිතයෙන් 10%ක් පමණයි ! මේ නිසා තමයි අපේ රට ණය ගෙවීම් පැහැර හැරීමට ලක්වෙලා කියලා නින්දා ලබමින් සිටින්නේ.

    විදේශීය ණය ගැන කතා කිරීමේදී අපි බැලිය යුතු තවත් කරුණක් වන්නේ මේ වන විට රජය ගිවිසුම් ඇති කරගෙන තිබෙන තවත් ණය ප්‍රමාණයක් තිබීමයි. එවැනි ණය ඇමරිකානු ඩොලර් බිලියන 75.1ට අමතරව ඇමරිකානු ඩොලර් බිලියන 9.2ක් තිබෙනවා. ඒ ණයවලින් 22%ක් එන්නේ චීනයෙන්. දැනට ලංකාව අරගෙන තිබෙන ණයවලින් 47%ක් අරගෙන තියෙන්නේ වෙළෙඳපොළ ණය. ඒ කියන්නේ ඉහළ පොලී අනුපාතයක් යටතේ ගන්නා ලද ණය. ඒ වගේම දැනට ලබාගෙන තියෙන ණයවලින් 10%ක් අරගෙන තියෙන්නෙත් චීනයෙන්. මෙලෙස ගන්නා ලද ණයවලින් බොහොමයක් කෙටිකාලීනව ගෙවන්න තිබෙන ණය.

    ඉහත සදහන් කළ තත්ත්වය නිසා තමයි ගෝල්ඞ්මන් සැච්ස් ආයතනය විසින් ‘ශ්‍රී ලංකාව ස්වෛරී ණය පැහැර හැරීමේ අවදානම ඉහළ රටක් හැටියට‘ ශ්‍රේණිගත කරන්නේ.

    මේ ශ්‍රේණිගත කිරීම අපේ දේශපාලනකයින්ට සහ මහ බැංකුවේ නිලධාරීන් ‘කජ්ජක්‘ නොවුණට ඇත්ත තත්ත්වය බියකරුයි. ඒකට හේතුව තමයි ලංකාව ඉදිරියේදී ණය ගන්නා විට අපේ ණයවල අවදානම වැඩි නිසා පොලී අනුපාතිකය අතිවිශාල වශයෙන් ඉහළ දැමීම. මේක ‘ගහෙන් වැටුණ මිනිහට ගොනා ඇන්නා වාගේ තත්ත්වයට නොදෙවැනි තත්ත්වයක්.

    ස්වෛරී ණය පැහැර හැරීම කියන්නේ කුමක්ද ?

    මේ ලිපිය අවසන් කිරීමට පෙර මේ ගැනත් පැහැදිලි කිරීමක් කළ යුතුයි.

    මේ ලිපියේ ඉහතින් සදහන් කළ ආකාරයට ආණ්ඩුව දේශීය වශයෙන් 54%ක් ද විදේශීය වශයෙන් 46%ක් ද ණය ලබා ගෙන තිබෙනවා. දේශීය වුණත් විදේශීය වුණත් නියමිත පරිදි මේ ණය හා වාරික ගෙවිය යුතුයි. ඒත් දේශීය ණය ගෙවීමේදී ආණ්ඩුවක් දැඩි අර්බුදයකට ලක්වන්නේ නැහැ. ඊට හේතුව ‘දේශීය ණය ගෙවීමට ඩොලර් අවශ්‍ය නොවීමයි. ආණ්ඩුවට අලුතින් මුදල් මුද්‍රණය කරමින් හෝ (රුපියල්වලින්) ඒ ණය ගෙවා දැමිය හැකියි. අලුතින් මුදල් මුද්‍රණය කිරීම මගින් ඇතිවන උද්ධමනය ආදිය ගැන ආණ්ඩුව නොසලකන නිසා මෙහිදී ගැටලු හා පීඩනය අඩුයි.

    ඒත් ආණ්ඩුව විදේශ ණය ගෙවීමේදී පැහැදිලිවම ‘ඩොලර්වලින්‘ ඒ ණය ගෙවා දැමිය යුතුයි. අර්බුදය ඇතිවන්නේ ඒ අවස්ථාවෙියදීයි.

    ආර්ථික විද්‍යාවට අනුව ‘ස්වෛරී රාජ්‍යක් ( ස්වාධීන රටක්) විසින් ලබා ගන්නා ලද ණය ‘ස්වෛරී ණය‘ ලෙස හදුන්වනවා. විශේෂයෙන් රජයක් ‘විදේශීය විනිමය තුළින් ලබා ගන්නා ලද ණය‘ ස්වෛරී ණය ලෙස හඳුන්වනවා. ඒ අනුව ලංකාව විදේශීය විනිමය හරහා ගන්නා ස්වෛරී ණය සඳහා ඇපවීමක් සිදු කෙරෙනවා. එලෙස ඇප වන්නේ බැඳුම්කර හරහා. ඒවාට ස්වෛරී බැඳුම්කර කියා කියනවා. මේ වනවිට අපේ රට එවැනි බැඳුම්කර විශාල ප්‍රමාණයක් නිකුත් කර ණය ලබාගෙන තිබෙනවා.

    ආර්ථික විද්‍යාවට අනුව ස්වෛරී ණය පැහැර හැරීම යනුවෙන් අදහස් කරන්නේ ‘යම්කිසි ස්වෛරී රාජ්‍යයක් විසින් ගන්නා ලද ණය පරිණතවීමේදී එය ගෙවීම පැහැර හැරීමක් හෝ ගෙවීමේ නොහැකියාවක් තියෙන තත්ත්වයකට පත්වීමයි. එවැනි රටක් ‘ ස්වෛරී ණය පැහැර හැරීමේ අවදානම් සහිත රටවල් කියා නම් කිරීමක් කාලයක සිට ජාත්‍යන්තර බැංකු විසින් කරනවා.

    ලංකාවට ණය ගෙවා ගැනීමට නොහැකි යැයි කියන්නේ ඇයි ?

    මේ ගැන විවිධ අදහස් තිබෙනවා. ඒත් පොදුවේ පිළිගන්නා කරුණ වන්නේ ‘ලංකාව විදේශ ණය ගෙවීම කිසිදාක පැහැර හැර නැති බවයි. දැඩි මූල්‍ය අර්බුද මැද පවා ලංකාව නියමිත කාලය තුළ විදේශ ණය ගෙවා තිබෙනවා. ආචාර්ය හර්ෂ ද සිල්වා සදහන් කරන ආකාරයට, පසුගිය ඔක්තෝබර් මාසයේ ගෙවන්න තිබූ ඩොලර් මිලියන 1000ක ණය මුදල ශ්‍රී ලංකාව විසින් ගෙවා තිබෙන්නේ විදේශ සංචිතවලින්. ඒත් කොවිඩ් අර්බුදය සහ තවත් හේතු කිහිපයක් නිසා ශ්‍රී ලංකාවේ විදේශ සංචිත දිගින් දිගටම හීන වෙමින් තිබෙනවා. විශේෂයෙන් අපනයන ආදායම අඩුවීම, විදේශ ශ්‍රමිකයින්ගෙන් ලැබෙන ‘සංක්‍රාම අඩුවීම, සංචාරක ව්‍යාපාරය බිද වැටීම වගේම විදේශ ආයෝජන නොලැබීම නිසා මේ තත්ත්වය ඇති වෙලා තිබෙනවා.

    ශ්‍රී ලංකාව වාර්ෂිකව අපනයනවලින් ඩොලර් බිලියන 10ක්, විදේශ ශ්‍රමිකයින් හරහා ඩොලර් බිලියන 07ක් වශයෙන් ප්‍රධාන වශයෙන් ඩොලර් බිලියන 17ක විදේශ විනියම ලබා ගන්නවා. සංචාරක ව්‍යාපාරය ඇතුළු සෙසු ඉපයීම් හරහා ලැබෙන්නේ වාර්ෂිකව ඩොලර් බිලියනක් හෝ ඊට ආසන්න විදේශ විනියම ප්‍රමාණයක් ලැබෙන්නේ නැහැ.

    ඒත් ශ්‍රී ලංකාව වාර්ෂිකව ඩොලර් බිලියන 20ක් පමණ ආනයන (කිසිවෙකුගේ අවධානයට ලක් නොවන දුරකථන හා අන්තර්ජාල පිරිවැය) සදහා රටින් පිට කරනවා. මේ තත්ත්වය තුළ ලංකාව වාර්ෂිකව ගෙවුම් ශේෂය තුළ ඩොලර් බිලියන 03 හිගයකට ලක් වෙනවා.

    වර්තමානයේ ක්‍රියාත්මක දැඩි ආනයන පාලනය මගින් ඊට වැඩි සහනයක් නොලැබෙන බවයි ආර්ථික විශේෂඥයෝ කියන්නේ.

    තත්ත්වය මේ ආකාරයේ ඍණාත්මක තත්ත්වයක් කරා ගමන් කළත් විදේශීය සංචිත වැඩිකර ගැනීමට හැකියාවක් තිබෙන බව සනාථ කෙරෙන සලකුණත්, ඉඟියක් හෝ මගපෙන්වීමක් අපට දැකිය නොහැකියි. අපනයන කර්මාන්ත දියුණු කර ගැනීම වෙනුවට ආණ්ඩුව ආනයන පාලනයට සහ කෘෂිකර්මාන්තයට අනවශ්‍ය බරක් තබන ප්‍රතිපත්තියක් අනුගමනය කරමින් සිටිනවා.

    අද ලංකාව මුහුණ දී සිටින ආර්බුදය නිර්මාණය වන්නේ මේ සංකීර්ණ තත්ත්වය තුළයි. ආණ්ඩුවට මේ සදහා ආනයන පාලනය මගින් කෙටිකාලීන විසදුම් ලබාදිය හැකි වුවත් (එය කොතරම් ඵලදායිද යන්න ප්‍රශ්නයක් වුවත්) වඩාත් වැදගත් වන්නේ දීර්ඝ කාලීන තිරසාර විසදුමක් ලබාදීමයි. එය කිසිසේත් ‘අතීසාරයට අමුඩ ගසන‘ පන්නයේ විසදුමක් නොවිය යුතු බවයි ආර්ථික විශේෂඥයෝ කියන්නේ.

    සටහන – තුෂාර වල්ගම

  • ලෝකයේ කොහෙවත් නෑ – ආසියානු රටවලදීම පමණයි !

    ලෝකයේ කොහෙවත් නෑ – ආසියානු රටවලදීම පමණයි !

    ඔබ – මා ජීවත් වන ‘ආසියානු රටවල්‘ කියන්නේ විස්මිත රටවල්. විචිත්‍රවත් සංස්කෘතිය, විස්මිත ස්වභාවික පරිසරය පමණක් නොවෙයි සිරිත් – විරිත් පවා විස්මිත බවයි කියන්න තියෙන්නේ.

    ඉතිං ඔබ ලංකාවෙන් පිට වෙනත් ආසියානු රටවලට ගොස් තිබේ නම්, එය අධි තාක්‍ෂණික ජපානය, ශිෂ්ට තායිලන්තය හෝ ඉන්දුනීසියාවේ සමහර වනාන්තර වේවා, ඕනෑම මොහොතක සියලු ආකාරයේ අමුතු දේවල් දැකීමට අපේක්ෂා කළ හැකියි.

    ඒත් ලංකාවේ ඔබ ආසියානු රටවල් දිහා බලන ආකාරයට නොවෙයි බටහිර ජාතීන් ආසියාව දිහා බලන්නේ. ඊට වෙනස් කෝණයකින්. ඒකට සංස්කෘතිය, ඔවුන් ලබා ඇති ආර්ථික දියුණුව වගේම යටත්විජිතවාදී මානසිකත්වයත් බලපානවා.

    ඉතිං, බටහිර ජාතිකයෙකුගේ ඇසින් බලන විට (ඇතැම් විට ඔබට පවා) ආසියාවේ විස්මිත අවස්ථාවාල ඡායාරූප 20ක් අපි ඔබට ඉදිරිපත් කරනවා.

    බලන්න මේවා දැක්කාම ඔබත් විස්මියට පත් නොවේවිද කියලා.

    වීදි පුරා යන ගවයින්- ‘ගවයා‘ කියන්නේ ඉන්දියාවේ පූජනීය සතෙක්. නීතිය මගින් පවා ඔවුන්ව ආරක්ෂා කරලා තිබෙනවා. ඒ නිසා ගවයා කියන්නේ ඉන්දියාවේ අතිෂය සුලභ දසුනක්. ගමේ, නගරයේ, දිල්ලිය වාගේ මහා නගරවලත් ඔවුන් සුලභව හමු වෙනවා. ඒත් ඇත්තටම ඉන්දියාවේ නාගරික ජනතාවට නම් මේ වන විට මේ ගවයින් මහත් හිසරදක් වෙලා තිබෙනවා. මහා මාර්ග, විදී පමණක් නොව පදික වේදිකා පවා අවහිර කරමින් රංචු පිටින් ගමන් කරන මේ පූජනීය සතා විදේශිකයින්ට නම් ඇසට රසදුනක්.

    # 1 |  ආසියාවේ පමණක් ඔබ සොයා ගන්නා විකාර දේවල් 20 |  සෙස්ට්‍රඩාර්

    ජපානය කියන්නේ ආසියාවේ අභිමානය. ලෝකයේ දියුණුම රටවල් කිහිපය අතරින් මුලින්ම සිටින රටක්. තාක්ෂණය වගේම ජපන් සංස්කෘතියත් ලෝකයේම ආකර්ෂණය දිනා ගන්නවා. ඒ වගේම තමයි ජපන් ආහාර සංස්කෘතිය. ඉතිං, ‘චෙරි‘ කියන්නේ ජපන් සංස්කෘතියේම කොටසක්. චෙරි පලතුරක් වගේම පානයක් ලෙසත් ජපානයේ බොහෝ ජනප්‍රියයි. ඒත් ඔබ කිසිදාක චෙරිමල් ආහාරයක් ලෙස සකස් කර ඇතැයි විශ්වාස කළාද ? එසේ නම් මේ ඡායාරූපය බලන්න. මේ සුන්දර චෙරිමල් ආහාරයක් ලෙස සකස් කර ඇති ආකාරයයි.

    # 2 |  ආසියාවේ පමණක් ඔබ සොයා ගන්නා විකාර දේවල් 20 |  සෙස්ට්‍රඩාර්

    බොහෝ ආසියානු ව්‍යාපාර බොහෝ විට දැනටමත් ප්‍රසිද්ධ වී ඇති විශාල වෙළඳ නාම වලින් ආස්වාදයක් ලබනවා. ඉතින් ඔවුන්ගේම නිෂ්පාදනයක් සඳහා යම් අවධානයක් ලබා ගැනීමට එම කීර්තිය භාවිතා නොකරන්නේ ඇයි? පරිගණක මෘදුකාංග වෙළඳපොලේ නව තරඟකරුවෙකු වන ජපානයේ Binbows” තමයි මේ ඡායාරූපයේ සිටින්නේ.

    # 3 |  ආසියාවේ පමණක් ඔබ සොයා ගන්නා විකාර දේවල් 20 |  සෙස්ට්‍රඩාර්

    මේ කතාවත් ජපානයට සම්බන්ධයි. ජපන් කුටුම්භවල ඇති ප්‍රධාන නීතිවලින් එකක් නම් ඔබ නිවසට ඇතුළු වන විට ඔබේ සපත්තු ගළවා දැමීමයි. මෙම නියමය බොහෝ පොදු ස්ථාන සඳහා ද අදාළ වේ! ජපානයේ පොදු වැසිකිළියකට ඇතුළු වීමට පෙර ඔබ පැළඳිය යුතු සෙරෙප්පු මෙන්න.

    # 4 |  ආසියාවේ පමණක් ඔබ සොයා ගන්නා විකාර දේවල් 20 |  සෙස්ට්‍රඩාර්

    කුඩා පොලිතින් බෑගයකට දමාගත් තේ පැන් පානය කරන වීදි වෙළෙදුන් ඔබත් දැක ඇතිවාට සැකයක් නැහැ. මොකද ලංකාවෙත් විදී වෙළෙදුන් අතර එය සුලභ පුරුද්දක්. මේ අපිව අනුකරණය කළා ද කියලා හිතෙන අපේ අසල්වැසි මියන්මාරයේ ඡායාරූපයක්. ඔබ මියන්මාරයේදී කොතැනක හෝ රැගෙන යා හැකි තේ ඉල්ලුවොත්, ඔබට එය ප්ලාස්ටික් බෑගයක ද ලැබෙනු ඇත.

    # 5 |  ආසියාවේ පමණක් ඔබ සොයා ගන්නා විකාර දේවල් 20 |  සෙස්ට්‍රඩාර්

    මෙම දැවැන්ත හරිත QR කේතය තිබෙන්නේ චීනයේ. එය නිර්මාණය කිරීම සදහා චීනයේ ගස් 130,000 කට වඩා භාවිතා කර ඇති බවයි වාර්තා වෙන්නේ. ඒත් ඔබට කිසිදාක මෙය භූමියේ සිට දැක ගැනීමට වාසනාවක් නැහැ. එය නැරඹිය හැකි වන්නේ ‘කුරුළු ඇසකින්‘ පමණයි.  WeChat නම් චීන ඇප් එක සඳහා තමයි මෙය නිර්මාණය කර තිබෙන්නේ.

    # 6 |  ආසියාවේ පමණක් ඔබ සොයා ගන්නා විකාර දේවල් 20 |  සෙස්ට්‍රඩාර්

    ජපන් ජාතිකයින් සනීපාරක්ෂාව ගැන වගේම තම දරුවන් ගැනත් දැඩි අවධානයක් යොමු කරනවා. මේ ඊට හොද උදාහරණයක්. ජපානයේ සියලුම පොදු වැසිකිළි ළදරුවන් සදහාම නිර්මාණය කළ මෙම කොමඩ්වලින් සමන්විතයි.

    # 7 |  ආසියාවේ පමණක් ඔබ සොයා ගන්නා විකාර දේවල් 20 |  සෙස්ට්‍රඩාර්

    ඔබ මහරගම රෙදිවලට ප්‍රසිද්ධ පමුණුව පාරේ ගමන් කර තිබේ නම් තායිලන්තයේ මේක්ලෝන්ග් දුම්රිය  Maeklong railway මාර්ගයේ දැකිය හැකි මේ දසුන එතරම් දෙයක් නොවනු ඇති.

    # 8 |  ආසියාවේ පමණක් ඔබ සොයා ගන්නා විකාර දේවල් 20 |  සෙස්ට්‍රඩාර්

    ලොව ප්‍රකට වෙළඳ නාම භාවිතා කිරීම ජපානයේ පමණක් නොවෙයි අපේ අසල්වැසි ඉන්දියාවේ ද සුලභ දසුනක්. ලංකාවේ තත්ත්වය මීට දෙවැනි නැහැ නේද ?

    # 9 |  ආසියාවේ පමණක් ඔබ සොයා ගන්නා විකාර දේවල් 20 |  සෙස්ට්‍රඩාර්

    ජපන් ජාතිකයන් ඉතා සුවිශේෂී හා මුදු මොළොක් හැඟීමක් ඇති අය ලෙස ප්‍රසිද්ධයි. ඔවුන් සෑම දේකටම සෞන්දර්යාත්මක පෙනුමක් ලබාදීමට කැමතියි. මේ මෑන්හෝල් ආවරණ දුටුවිට ඒ කතාව තවත් තහවුරු වෙනවා නේද ?

    # 10 |  ආසියාවේ පමණක් ඔබ සොයා ගන්නා විකාර දේවල් 20 |  සෙස්ට්‍රඩාර්

    සැන්ටිසුක් Santisuk නම් 5 හැවිරිදි වඳුරෙකුගේ අතක් කැඩුණා. ඉතිං මොකද කරන්නේ කැලේ සතා වුණත් ප්‍රතිකාර කළ යුතුයිනේ. බලධාරීන් තායිලන්තයේ ප්‍රාදේශීය සායනයක දී ඔහුට ප්‍රතිකාර කළා. ටික දිනකින් සැන්ටිසුක් සනීප වුණා.එහෙත් ඔහුගේ භාරකාරයෙක් ඉදිරිපත් වුණේ නැහැ. මේක දැක්ක තායි පොලිසියට අපූරු අදහසක් ආවා. ඔවුන් මේ වදුරාව පුහුණුකර අපූරු කටයුත්තකට යොදා ගත්තා. ඒ පොලිසිය විසින් නවත්වනු ලබන මිනිසුන්ගේ ආතතිය සමනය කිරීම සඳහා දැන් ඔහු පාර අයිනේ පොලිස් මුරපොළක සේවයට යොදවා තිබෙනවා.

    # 11 |  ආසියාවේ පමණක් ඔබ සොයා ගන්නා විකාර දේවල් 20 |  සෙස්ට්‍රඩාර්

    කුරුළු වසුරු වලින් විවිධ ලෙඩ රෝග ආසාදනය විය හැකියි. ඒ අතර ආසියානු නගරවල අතිෂය සුලභ පරවියන් ද සිටිනවා. එබැවින් පරවියන් පෝෂණය නොකරන්න!

    # 12 |  ආසියාවේ පමණක් ඔබ සොයා ගන්නා විකාර දේවල් 20 |  සෙස්ට්‍රඩාර්

    පිරිසිදුකම සම්බන්ධයෙන් සිංගප්පූරුව ඉතා දැඩි නීති ක්‍රියාත්මක රටක්. ඔබ සිංගප්පුරුවේදී චුයින්ගම් හෝ බබල්ගම් විකා ඒවා වීථියේ කොතැනකට හෝ විසි කළහොත් ඩොලර් 1000ක දඩයක් ගෙවීමට සිදුවෙනවා.

    # 13 |  ආසියාවේ පමණක් ඔබ සොයා ගන්නා විකාර දේවල් 20 |  සෙස්ට්‍රඩාර්

    ඔබ ලංකාවේ කාර්යාල දුම්රියවල ගමන් කරන්නේ නම් මේ ඡායාරූපය ඒ තරම් දෙයක් නොවෙන්න පුළුවන්. ඒත් උමං දුම්රිය, බුලට් දුම්රියවල ගමන් කරන යුරෝපීන්ට නම් බංග්ලාදේශයේ සිට පැමිණි මෙම දුම්රිය විස්මිත දර්ශනයක්.

    # 14 |  ආසියාවේ පමණක් ඔබ සොයා ගන්නා විකාර දේවල් 20 |  සෙස්ට්‍රඩාර්

    ඇපල් සමාගමේ නව නිෂ්පාදනයක් චීනයේ වෙළඳපොළට පැමිණි තිබෙනවා. නමුත් සහතික කර කියන්න පුළුවන් ඇපල් සමාගම මේ ගැන හාංකවිසියක් දන්නේ නැති බව.

    # 15 |  ආසියාවේ පමණක් ඔබ සොයා ගන්නා විකාර දේවල් 20 |  සෙස්ට්‍රඩාර්

    චීනය ජනාකීර්ණ බවත් නව නිවාස සඳහා වැඩි ඉඩක් නොමැති බවත් අපි කවුරුත් දන්නවා. ඒත් චීනා කියන්නේ හොද කල්පනාකාරයෙක්. අලුත් අදහස් ක්‍රියාත්මක කරන්නෙක්. ඉදිකිරීම්කරුවන් නව අදහසක් ඉදිරිපත් කළේ ඒ නිසයි. මේ ඡායාරූපය දුටු විට ඔබට ඇත්ත කතාව වැහෛ්වි. ‘සියල්ලට ඉහළින් නිවාස තැනීම!

    # 16 |  ආසියාවේ පමණක් ඔබ සොයා ගන්නා විකාර දේවල් 20 |  සෙස්ට්‍රඩාර්

    මේ වගේ සුනඛයින් ලෝකයේ ඉන්නවාද ? ඔව් ඉන්නවා. ඒ ජපානවේ සහ තායිවානයේ. චතුරශ්‍රකාර සුනඛ ලොම් කප්පාදුව Square dog haircut ජපානයේ සහ තායිවානයේ සුලභ දෙයක්. එබැවින් චතුරස්රාකාර ලොම් සහිත සුනඛ මිතුරන් කිහිප දෙනෙක් පාරේ ඇවිදිනවා දුටුවහොත් පුදුම වෙන්න නම් එපා.

    # 17 |  ආසියාවේ පමණක් ඔබ සොයා ගන්නා විකාර දේවල් 20 |  සෙස්ට්‍රඩාර්

    ඔබේ සම සූර්යයාගෙන් ආරක්ෂා කර ගැනීමට බොහෝ ක්‍රම තිබේ – ඔබට  sun cream එකක් භාවිතා කළ හැකියි. නැතහොත් ඔබට විශේෂ මුහුණු ආවරණයක් ලබා ගත හැකියි. ඒවා විවිධ වර්ණවලින් ද පැමිණේ!

    # 18 |  ආසියාවේ පමණක් ඔබ සොයා ගන්නා විකාර දේවල් 20 |  සෙස්ට්‍රඩාර්

    ඉදිරියට නෙරා ආ හෝ අපිළිවෙළට පිහිටි දත්වලට කම්බි දැමීම තරුණියකට අමිහිරි අත්දැකීමක් බව අමුතුවෙන් කිව යුතු නැහැ. ඒත් ඒ ලංකාවේ. අග්නිදිග ආසියානු රටවල තරුණියන් ඒ ගැන ඒ හැටි හිතන්නේ නැහැ. මේ ඡායාරූපය ඊට හොද සාක්ෂියක්.

    # 19 |  ආසියාවේ පමණක් ඔබ සොයා ගන්නා විකාර දේවල් 20 |  සෙස්ට්‍රඩාර්

    ඔබ කිඹුලා බනිස් කාලා ඇති බවට සැකයක් නැහැ. ඒත් කිඹුල් අයිස්ක්‍රීම් ගැන ! සැබෑ කිඹුල් බිත්තර වලින් සාදන ලද අයිස්ක්‍රීම් තායිලන්තයේ තිබෙනවා. මොකද කියන්නේ කාලා බලමුද ?

    # 20 |  ආසියාවේ පමණක් ඔබ සොයා ගන්නා විකාර දේවල් 20 |  සෙස්ට්‍රඩාර්

    zestradar.com ඇසුරිණි – සකස් කළේ – තීක්ෂණ වෙළෙන්එගොඩ

  • 2020 ජාත්‍යන්තර IQ දර්ශකයේ ලංකාව 137 වැනි තැනට ඇවිත් !

    2020 ජාත්‍යන්තර IQ දර්ශකයේ ලංකාව 137 වැනි තැනට ඇවිත් !

    2020 වසර සඳහා ලෝකයේ ජාතීන්ගේ IQ මට්ටම පෙන්නුම් කරන ලෝක දර්ශකය අනුව ලංකාව ලකුණු 79ක් හිමිකර ගනිමින් සිටින්නේ 137 වැනි ස්ථානයේය. සිංගප්පූරුව ලකුණු 108ක් හිමිකර ගනිමින් පළමු ස්ථානය හිමිකරගෙන සිටින විට ලකුණු 59ක් හිමිකර ගනිමින් බටහිර අප්‍රිකාවේ ගිනිබිසෝව ලෝකයේ 184 වැනි ස්ථානය හිමි කරගෙන සිටී.

    රට වැටිය හැකි ප්‍රපාතයේ පතුළටම මේ වනවිට ලංකාව වැටී ඇතැයි කිව හැකිය. එය බාහිර කවුරුන් විසින් හෝ ප්‍රපාතයට තල්ලු කිරීම නිසා සිදුවූවක් නොව, රටේ නායකයින් හා බුද්ධිමතුන්ද ඇතුළුව රටේ ජනතාව සිය කැමැත්තෙන් උදාකරගත් තත්ත්වයක් ලෙස සැලකිය හැකිය.

    ලංකාව කටපාඩමෙන් අධ්‍යාපනය ලබාදෙන මෝඩ ජාතියකි. පළමු වැනි ශ්‍රේණියේ සිට විශ්වවිද්‍යාලය දක්වාම ඉගැන්වීම් කෙරෙන්නේ කටපාඩමෙනි. ගණිතයට තිබුණ ජාතික අසමත්භාවය ජය ගත්තේ සාමාන්‍ය පෙළ විභාගයේදී සාමාන්‍ය සමාර්ථයක් සඳහා ලබාදෙන ලකුණු සංඛ්‍යාව උපරිම මට්ටමකට පහළ දැමීමෙනි. සමහර වසරවල සාමාන්‍ය සමාර්ථයක් සඳහා අවශ්‍ය ලකුණු සංඛ්‍යාව 14 දක්වා පහත දමා තිබේ.

    මිනිස් දරුවකුට කුඩා කාලයේ සිටම උසස් තත්ත්වයේ ඥානන හැකියාවක් පවතී. සතියක් වයස දරුවකුට පවා සිය මවගේ කිරිවල සුවඳත් අන් මවකගේ කිරිවල සුවඳත් අතර වෙනස හඳුනාගත හැකිය. ළමුන් සමූහ ක්‍රියාකාරීත්වයෙන්, ගවේෂණයෙන් හා ප්‍රශ්න කිරීමෙන් ඉවත් කොට සියලු දේ කටපාඩමෙන් ඉගෙන ගතයුතු කෙනෙකු බවට පත් කළ විට සිදුවන්නේ ළමයා විචාර බුද්ධිය අහිමි කළ ඔලමොට්ටලයකුගේ තත්ත්වයට පත්වීමය. දැන් එය (ඔලමොට්ටලකම) මුළු ජාතියම වසා ගත් මහ පිළිකාවක් බවට පත්වී තිබෙන්නේ යැයි කිව හැකිය.

    IQ දර්ශකය

    2020 වසර සඳහා ලෝකයේ ජාතීන්ගේ ෂු මට්ටම පෙන්නුම් කරන ලෝක දර්ශකය අනුව ලංකාව ලකුණු 79ක් හිමිකර ගනිමින් සිටින්නේ 137 වැනි ස්ථානයේය. සිංගප්පූරුව ලකුණු 108ක් හිමිකර ගනිමින් පළමු ස්ථානය හිමිකරගෙන සිටින විට ලකුණු 59ක් හිමිකර ගනිමින් බටහිර අප්‍රිකාවේ ගිනිබිසෝව ලෝකයේ 184 වැනි ස්ථානය හිමි කරගෙන සිටී. පසුගිය දශක හතරක් තරම් කාලය තුළ ලංකාවේ ඇතිවී තිබෙන බුද්ධිමය පරිහානියේ තරම ඒ අනුව තේරුම් ගත හැකිය. කටපාඩම මත පදනම් වූ මෝඩ අධ්‍යාපන ක්‍රමයක් ලංකාවේ පවත්වා ගැනීමට ඉඩහැරීම මගින් අධ්‍යාපන බලධාරීන් හා රටේ පාලකයින් රටට කර තිබෙන විනාශයේ තරම ඒ අනුව සිතා ගත හැකිය. ඒ තත්ත්වයට බුද්ධිමතුන් සේ ම ජනමාධ්‍යවේදීන්ද වගකිව යුතුය.

    කටපාඩම මත පදනම් වී පවත්වාගෙන යන අධ්‍යපන ක්‍රමය ගැන රටේ කිසිම සංවාදයක් ඇත්තේම නැති තරම්ය. මෙම විනාශකාරී මෝඩ ක්‍රමය ගුරුවරුන්ගේ හෝ ගුරු වෘත්තිය සමිතිවලද විරෝධයට හේතුවී නැත. වඩාත්ම හාස්‍යජනක දේ වනුයේ මේ මෝඩ ක්‍රමය විශ්වවිද්‍යාල පද්ධතිය තුළත් බලවත් විරෝධයකට හසුවීමෙන් තොරව නිසසලව ගලා යන තත්ත්වයක් පැවතීමය.

    විචාර බුද්ධිය අහිමිකර ගැනීම

    විචාර බුද්ධිය අහිමි කරගත් සමාජයකට භුක්ති විඳිය හැකි විශේෂ ජොලියක් තිබේ නම් ලංකාව ඒ ජොලිය උපරිම ලෙස භුක්ති විඳින රටක් ලෙස සැලකිය හැකිය. ලංකාවේ ආර්ථිකය තිබුණේද තිබෙන්නේද අතිවිශාල අර්බුදයකය. රටේ ණය අර්බුදය තිබුණේද, තිබෙන්නේද වැඩි කල් නොගොස් ලංකාව මුළුමනින් බංකොළොත් තත්ත්වයට පත්කිරීමට නියමිත තත්ත්වයකය. ඒ සියල්ලට අතිරේකව දැන් රටේ කොරෝනා වසංගත තත්ත්වය තිබෙන්නේ මුළුමනින් පාලනයෙන් ගිලිහුණ අවුල්සහගත තත්ත්වයකය.

    ලංකාව තිබෙන්නේ අර්බුදයේ කරවටක් ගිලුණු බිහිසුණු තත්ත්වයක වුවද ලංකාවේ පාලක පක්ෂයට, විරුද්ධ පක්ෂයට, බුද්ධිමතුන්ට හෝ සමාජයට ඒ ගැන මොනම අවබෝධයක්වත් ඇති බවක් පෙනෙන්නේ නැත. ඒ ගැන වන කිසිම සංවාදයක් කොතැනක හෝ තිබෙන බවක්ද පෙනෙන්නේ නැත. රටේ බුද්ධිමතුන් ඇද වැටී තිබෙන තැන ඛේදජනකය.

    ජනමාධ්‍යවල හැසිරීමද හාස්‍යජනකය. ඔවුන් තමන්ගේ මුද්‍රාව සලකුණු කරගැනීම සඳහා ඕපාදූප කඳු තරගෙට සමාජ ගතකරමින් සිටිනවා විනා ඇතිවී තිබෙන විපත ගැන හෝ එය ජයගැනීම හෝ හානි අවම කරගැනීම සඳහා කුමක් කළ යුතුද යන්න ඵලදායි සංවාදයක් ආරම්භ කොට පවත්වාගෙන යන වේදිකාවක් ලෙස ක්‍රියා කිරීමට සමත් වී නැත.

    රටේ පාලන කටයුතුද රටේ නීතිය හා යුක්තිය ක්‍රියාත්මකවීමද අන් සියලු දේවල්ද සිදුවෙමින් තිබෙන්නේ රටේ මුල්බැස තිබෙන මුග්ධ තත්ත්වය ආරක්ෂා කිරීමට හා ශක්තිමත් කිරීමට හේතුවන ආකාරයටය.

    රාවය 2020 නොවැම්බර් 07 – උපුටා ගැනීමකි