Blog

  • විදේශ සබඳතාවලදී රටේ ස්වාධීනත්වයට මුල් තැන – ජනපති පොම්පෙයෝට කියයි

    විදේශ සබඳතාවලදී රටේ ස්වාධීනත්වයට මුල් තැන – ජනපති පොම්පෙයෝට කියයි

    ආර්ථික සංවර්ධන ඉලක්ක සපුරා ගැනීම සඳහා ශ්‍රී ලංකාව සමග අඛණ්ඩ සහයෝගයෙන් ක්‍රියාකිරීමට සූදානම් යයි අමෙරිකා එක්සත් ජනපදයේ රාජ්‍ය ලේකම් මයික් පොම්පෙයෝ මහතා ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා සමග කියා සිටී.

    දෙරට අතර දැනටමත් පවත්නා ශක්තිමත් ද්විපාර්ශ්වික සබඳතා තවදුරටත් වර්ධනය කර ගැනීම තම රටේ අරමුණ බව රාජ්‍ය ලේකම්වරයා පවසයි.

    ඊයේ දිවයිනට ළඟා වූ අමෙරිකා එක්සත් ජනපදයේ රාජ්‍ය ලේකම් මයික් පොම්පෙයෝ මහතා ප්‍රමුඛ ඉහළ පෙළේ දූත පිරිස අද (28) පෙරවරුවේ ජනාධිපති කාර්යාලයේ දී ජනාධිපති රාජපක්ෂ මහතා හමු වූහ. දෙපාර්ශ්වය අතර පැවති සුහද සාකච්ඡාවේ දී ද්විපාර්ශ්වික හා කලාපීය වැදගත්කමක් සහිත ක්ෂේත්‍ර ගණනාවක් ගැන අදහස් හුවමාරු කර ගන්නා ලදී.

    ඉහළ සංවර්ධන මට්ටමක් අත්කර ගැනීමට ගනු ලබන ප්‍රයත්නයේදී ශ්‍රී ලංකාව සමග අඛණ්ඩව එකට සිටීම අමෙරිකාවේ අභිලාෂය බව කී රාජ්‍ය ලේකම් පොම්පෙයෝ මහතා රට තුළ අමෙරිකානු ආයෝජන ප්‍රවර්ධනයට ඉහළ ප්‍රමුඛත්වයක් දෙන බව පැවසීය. සංචාරක ව්‍යාපාරය රැකියා සහ විනිමය ආදායම් උත්පාදනයට ඉවහල්වන ප්‍රධාන ක්ෂේත්‍රයකි. විධිමත් සැලැස්මක් යටතේ එහි දියුණුවට අත දීමට තම රට සූදානම් බව රාජ්‍ය ලේකම්වරයා කීය.

    ශ්‍රී ලංකාවේ අවශ්‍යතාව නොකඩවා ණය ගැනීම නොව විදේශ ආයෝජන ආකර්ශණය කර ගැනීමෙන් ඉහළ ආර්ථික වර්ධනයක් අත්කර ගැනීම යයි ඊට ප්‍රතිචාර වශයෙන් ජනාධිපති රාජපක්ෂ මහතා සඳහන් කළේය.

    “විදේශ ආයෝජනයට බාධා කරන නිලධාරීවාදී පරිපාටි ඉවත් කිරීම අපි දැනටමත් පටන් අරන්. ශ්‍රී ලංකාව ඉහළ කෘෂිකාර්මික දියුණුවක් ඇති කර ගැනීමට අවශ්‍ය සාධක සහිත රටක්. අපේ කෘෂිකර්ම ක්ෂේත්‍රය නවීකරණය කළ යුතුයි. ඒ සඳහා විද්‍යාත්මක පර්යේෂණ කළයුතු වෙනවා. ඒ සඳහා අපට උදව් කරන්න”, ජනාධිපතිවරයා පැවසීය.

    ශ්‍රී ලංකාවේ විදේශ ප්‍රතිපත්තිය පැහැදිළි කළ ජනාධිපතිවරයා එය මධ්‍යස්ථභාවය මත පදනම්ව ඇතැයි පෙන්වා දුන්නේය.

    ශ්‍රි ලංකාව සෙසු රාජ්‍යයන් සමග පවත්වා ගන්නා සබඳතා සාධක කිහිපයක් අනුව තීරණය වන බව එතුමා කීය. ඓතිහාසික හා සංස්කෘතික සබඳතා සහ සංවර්ධන සහයෝගීතාව ඒ අතර ප්‍රමුඛස්ථානය ගනී. අන්තර්ජාතික සබඳතාවලදී රටේ ස්වාධීනත්වය, ස්වෛරීභාවය හා භෞමික අඛණ්ඩතාව කැපකිරීමට තමන් කිසිවිටෙකත් සූදානම් නැතැයි ජනාධිපතිතුමා කියා සිටියේය. බෙදුම්වාදී යුද්ධය අවසන් කිරීමෙන් පසු රටේ යටිතල පහසුකම් සංවර්ධනයට චීනය උදව් කළ බව සඳහන් කළ ජනාධිපතිවරයා එහි ප්‍රතිඵලයක් ලෙස ශ්‍රී ලංකාව ණය උගුලක සිර වූයේ නැතැයි අවධාරණය කළේය.

    ශ්‍රී ලංකාව සහ අමෙරිකාව අතර දිගු කලක සිට පවත්නා ආරක්ෂක සහයෝගීතාව තවදුරටත් ශක්තිමත් කර ගැනීමට දෙපාර්ශ්වයේ එකඟත්වය පළ විය. මෙරට ආරක්ෂක හමුදා සාමාජිකයනට අමරිකාවෙන් ලැබෙන පුහුණු අවස්ථා සහ ද්‍රව්‍යමය ආධාර ඊට අයත්ය.

    මත්ද්‍රව්‍ය ජාවාරම් මර්දනය සඳහා වෙරළාරක්ෂක සේවා ශක්තිමත් කිරීමේ අවශ්‍යතාව ජනාධිපතිතුමා අවධාරණය කළ අතර ඊට සහයවීමට අමෙරිකාවට හැකි බව රාජ්‍ය ලේකම් පොම්පෙයෝ මහතා සඳහන් කළේය.

    ඉන්දීය සාගරය සාම කලාපයක් ලෙස පවතිනු දැකීම අමරිකාවේ අපේක්ෂාව බව රාජ්‍ය ලේකම්වරයා කීය. ශ්‍රී ලංකාව සහ ඉන්දියාව අතර ගොඩනැගී ඇති මිත්‍රශීලි සබඳතා ගැන ඔහුගේ සතුට පළ කෙරිණ. ඉන්දීය සාගරයේ සාමය පවතිනු දැකීම ශ්‍රී ලංකාවේ ද අභිලාෂය බව ජනාධිපති රාජපක්ෂ මහතා කීය.

    අන්තර්ජාතික වේදිකාවලදී මානව හිමිකම් සම්බන්ධයෙන් සහයෝගයෙන් ක්‍රියා කිරීමට ද දෙපාර්ශ්වය එකඟ වූහ.

    ශ්‍රී ලංකාවේ අමෙරිකානු තානාපතිනි ඇලයිනා ටෙප්ලිට්ස්, සහය රාජ්‍ය ලේකම්  බ්‍රයන් බුලතාවෝ, දකුණු සහ මධ්‍යම ආසියානු කටයුතු පිළිබඳ කාර්යාංශයේ ප්‍රධාන නියෝජ්‍ය සහකාර ලේකම් ඩීන් තොම්ප්සන් සහ රාජ්‍ය ලේකම්වරයාගේ ජ්‍යෙෂ්ඨ උපදේශක මේරි කිසල් යන මහත්ම මහත්මීහූ එක්සත් ජනපද දූත පිරිසේ සෙසු සාමාජිකයෝ වූහ.

    විදේශ ඇමති දිනේෂ් ගුණවර්ධන, ජනාධිපති ලේකම් පී.බී. ජයසුන්දර, විදේශ ලේකම් අද්මිරාල් ජයනාත් කොළඹගේ, ජනාධිපති ප්‍රධාන උපදේශක ලලිත් වීරතුංග, අමෙරිකාවේ ශ්‍රී ලංකා තානාපති ධූරයට නම් කරනු ලැබ සිටින රවිනාථ අර්යසිංහ යන මහත්වරු ද සාකච්ඡාවට එක්ව සිටියහ. 

  • ජයසුමනගේ ‘සුදර්ශන පැණිය’ නාථ දෙවියන්ගේ තවත් විජ්ජාවක් ද ?

    ජයසුමනගේ ‘සුදර්ශන පැණිය’ නාථ දෙවියන්ගේ තවත් විජ්ජාවක් ද ?

    කෝවිඩ් 19 රෝගයට ප්‍රතිකාර ක්‍රමයක් ලෙස නවීකරණය කරන ලද “සුදර්ශන පැනිය“ නැමැති ආයුර්වේද ඖෂධය යොදා ගැනීමට කටයුතු සකස් කරන බවට ප්‍රවෘත්තියක් පළවී තිබුණි. එසේම මෙම ඖෂධය බටහිර වෛද්‍ය පුහුණුව ලැබූ වෛද්‍යවරුන් බටහිර වෛද්‍ය ක්‍රමය අනුගමනය කරන රජයේ රෝහල් වල භාවිතයට ගැනීමට යෝජනා වි ඇත.

    මෙම කරුණ විවිධ නෛතික හා ආචාර ධර්ම පිළිබඳ ගැටළු රැසක් මතුකරනු ඇත. බටහිර වෛද්‍ය ක්‍රමය හා ආයූර්වේද වෛද්‍ය ක්‍රමය යනු ප්‍රධාන වෛද්‍ය ක්‍රම ප්‍රවාහයන් දෙකකි. මෙම වෛද්‍ය ක්‍රම දෙක අතර මූලික සංකල්පමය වෙනසක් පවති. බටහිර වෛද්‍ය ක්‍රමයෙහි රෝගීන් සඳහා යම් ඖෂධයක් භාවිතා කිරීමට ප්‍රථම එම ඖෂධය පර්යේෂණ රාශියකට භාජනයට ලක්කළ යුතුව තිබේ. මේවා හඳුන්වන්නේ Clinical Trail (ශායනික පර්යේෂණ) ලෙසනි.

    මෙම සායනික පර්යේෂණ වල පර්යේෂණ මට්ටම් ඇති අතර, ස්ථර කිහිපයකින් ඒවා සමන්විත වේ. මෙම ස්ථර කිහිපයක පර්යේෂණ මට්මමෙහි අත්හදා බැලීමෙන් පසුව යම් ඖෂධයක් රෝගීන් සඳහා භාවිතා කළ හැකිද? එම ඖෂධයේ අතුරු ආබාධ කුමක්ද ? එම ඖෂධයෙහි ඖෂධ විද්‍යාත්මක ගුණයක් තිබේද යන්න පරික්ෂාවකි. මෙම පරික්ෂාවලින් අනතුරුව එම ඖෂධය මිනිස් භාවිතයට සුදුසු බවත්, මෙම ඔෂධය භාවිතා කිරීමෙන් අතුරු ආබාධ ඇති නොවන බවත්, එම ඖෂධය යොදා ගන්නා රෝගය සඳහා අවශ්‍ය සුව කිරීමේ හැකියාව ඇති බවත් සනාත කළ යුතුය.

    ඉන් අනතුරු මෙම ඖෂධය යම් කිසි රටක ඔෂෟධ නියාමන අධිකාරියෙහි ලියාපදිංචි කළ යුතුය. මෙසේ ලියාපදිංචි කිරීමකින් තොරව භාවිතා කරන ඖෂධයක් නීති විරෝධී ඖෂධ්‍යක් ඝණයට යටත් වන අතර, එවැනි ඖෂධ්‍යක් භාවිතා කරන වෛද්‍යවරයකුට ඖෂධ නියාමන නීතිරීති කඩන්නකු බවට පත්වේ.

    එසේ නම් මෙම “සුදර්ශන පැණිය“ බටහිර රෝහල් වල භාවිතා කිරිමට ප්‍රථම එය පිළිබඳ නිසි පර්යේෂණ ක්‍රමවේදයන් අනුගමනය කොට ඉන් අනතුරුව ලංකාවේ ඖෂධ නියාමන අධිකාරියේ ඖෂධයක් ලෙස එය ලියාපදිංචි කළ යුතුය. මෙම ලියාපදිංචි කිරීමේ ක්‍රමවේදය පිළිබඳව ඖෂධවේදය පිළිබඳ විශේෂඥවරුන්ට වැඩි දැනීමක් තිබිය යුතුය.

    අනෙක් කරුණ වන්නේ බටහිර වෛද්‍ය ක්‍රමය තුළ හොඳින් පුහුණුව ලැබූ වෛද්‍යවරයකුට තමන් පුහුණුව නොලැබූ වෛද්‍ය ක්‍රමයක ඖෂධයක් භාවිතා කිරිමට ශ්‍රී ලංකා වෛද්‍ය සභාව විසින් පනවා ඇති තහනමයි. මෙම කරුණ ලොවෙහි අනෙකුත් වෛද්‍ය සභා පවා දැඩිව අනුගමනය කරනු ලබන ප්‍රතිපත්තියකි. ශ්‍රී ලංකා වෛද්‍ය සභාව විසින් 2000 වසරේ සැප්තැම්බර් මස නිකුත් කර තිබෙන උපදෙස් පොතකට අනුව බටහිර වෛදවරයෙක් තමන් උගත් නුගත් හෝ පුහණුවක් නොලැබූ හෝ අත්දැකීම්ක් නොලැබූ වෛද්‍ය ක්‍රමයක යෙදීම හෝ භාවිතා කිරීම බරපතල වෘත්තීමය අපචාරයක් ගණයට වැටෙන වරදකි.

    මෙසේ බරපතල වෘත්තිමය අපචාරයන් ලෙස සඳහන් වන්නේ එවැනි ක්‍රියාවක නියුතු වූ බටහිර වෛද්‍යවරයකුගේ ලියාපදිංචිය තහනම් කිරිම පවා වෛද්‍ය සභාවට හැකිවේ. එම නිසා තමන් උගත්කමක් නොලැබූ, තමන‍ෙ අත්දැකීමක් නොලැබූ ඖෂධයක් භාවිතා කිරීම බරපතල වරදකි.

    ඇතුම් විට මෙම කරුණ නොසලකා එක් වෛද්‍යවරයකු හෝ වෛද්‍යවරුන් සමූහයක් හෝ වෛද්‍ය සේවයක් කටයුතු කළහොත් එයින් සිදුවන්නේ ලංකාවේ බටහිර වෛද්‍යවරන්ට හා බටහිර වෛද්‍ය සේවයට ලොවෙහි අනෙක් බටහිර වෛද්‍ය සේවයන් අතර ඇති පිළිගැනීම නැතිව ගොස් එය හෑල්ලූ වීමයි.

    එම නිසා මෙසේ ආයුර්වේද ඖෂධ බටහිර වෛද්‍ය ක්‍රමයේ රෝහල් වල භාවිතා කිරීමට ප්‍රථම ඒ හා සම්බන්ධව සියලු දෙනා මෙම සියලු කරුණු සම්බන්ධව ගැඹුරින් කල්පනා කළ යුතුව ඇත.

    ළමා රෝග හා අසාත්මිකතා පිළිබඳ විශේෂඥ වෛද්‍ය අජිත් අමරසිංහ මහතා සමග සාකච්ඡා කොට සකස් කලේ සුජීව සෙනරත්

  • පොම්පියෝගේ ශ්‍රී ලංකා සංචාරය ගැන ‘චීනයෙන් නිල නිවේදනයක්’

    පොම්පියෝගේ ශ්‍රී ලංකා සංචාරය ගැන ‘චීනයෙන් නිල නිවේදනයක්’

    ශ්‍රී ලංකාවේ දෙදින නිල සංචාරයක් සදහා ඊයේ (27) දින මෙරටට පැමිණි ඇමෙරිකානු රාජ්‍ය ලේකම්වරයාගේ ශ්‍රී ලංකා නිල සංචාරය සම්බන්ධයෙන් ශ්‍රී ලංකාවේ මහජන චීන සමූහාණ්ඩුවේ තානාපති කාර්යාලය විසින් මාධ්‍ය නිවේදනයක් නිකුත් කර තිබෙනවා. සිංහල, දමිළ භාෂාවලින් නිකුත් කර ඇති එම මාධ්‍ය නිවේදනය (සිංහල) සම්පූර්ණයෙන්ම පහත පළ වෙනවා.

    ඔක්තෝබර් 22 වන දින එක්සත් ජනපද ප්‍රධාන නියෝජ්‍ය සහකාර රාජ්‍ය ලේකම් ඩීන් තොම්සන්, රාජ්‍යය ලේකම් පොම්පියෝගේ ඉදිරි සංචාරය පිළිබඳ මාධ්‍ය හමුවකදී චීන-ශ්‍රී ලංකා සබඳතාවලට විවෘතව පොළඹවා මැදිහත් වූ අතර,විදේශ සබඳතා සම්බන්ධයෙන් “දුෂ්කර නමුත් අවශ්‍ය තීරණ ගන්නා ලෙස” ශ්‍රී ලංකාවෙන් ඉල්ලා සිටියේය. එය රාජ්‍යතාන්ත්‍රික මූලලේඛයන් (ප්‍රොටෝකෝල) අමු අමුවේ උල්ලංඝනය කිරීමකි.

    ඊට ප්‍රතිචාර දක්වමින් චීන විදේශ අමාත්‍යාංශයේ ප්‍රකාශක දැඩි ලෙස ප්‍රතිචාර දක්වා ඇති අතර එක්සත් ජනපද නිලධාරියාගේ ප්‍රකාශ සීතල යුද්ධ මානසිකත්වයෙන් පිරී ඇති බවත් ආධිපත්‍යවාදී මානසිකත්වය අසාර්ථක වනු ඇති බවත්, එමඟින් වෙනත් රටවලට අත්තනෝමතික ලෙස මැදිහත් වීමේ එක්සත් ජනපද පුරුද්ද මුළුමනින්ම හෙළි වන බවත් අවධාරණය කර තිබේ. දේශීය හා විදේශීය ප්‍රතිපත්ති සහ කුඩා හා මධ්‍යම ප්‍රමාණයේ රටවලට පැති තෝරා ගැනීමට බල කිරීම ගැන දේශීය හා ජාත්‍යන්තර මාධ්‍ය විසින් කරන ලද විමසීම් වලදී තානාපති කාර්යාලය තවදුරටත් මෙසේ සඳහන් කරයි.

    I. චීනයේ සහ ශ්‍රී ලංකාවේ ජනතාවට වසර දෙදහසකට ආසන්න කාලයක් මිත්‍රශීලී හුවමාරු ඉතිහාසයක් ඇත. එකිනෙකා සමග සබඳතා හැසිරවීමට අපට ප්‍රමාණවත් ප්‍රඥාවක් ඇති අතර ඒ සඳහා නියෝග කිරීමට තෙවන පාර්ශ්වයක් අවශ්‍ය නොවේ. 1950 ගණන්වල දෙරට එකිනෙකා සමඟ රාජ්‍ය තාන්ත්‍රික සබඳතා ඇති කර ගැනීමටත් පෙර අපි එක්සත් ජනපද අවහිර කිරීම් සහ සම්බාධක බිඳ දමා රබර් සහල් ගිවිසුමට අත්සන් තැබුවෙමු. අප ජීවත් වන වත්මන් 21 වන සියවසේදී දෙරටට කිසිදු බාහිර බලවේගයක බලහත්කාරයට ගොදුරු විය නොහැකිය. ශ්‍රී ලාංකික ජනතාවගේ අවංක මිතුරෙකු ලෙස චීනය, ශ්‍රී ලංකාව අනෙකුත් රටවල් සමඟ සෞඛ්‍ය සම්පන්න සබඳතා වර්ධනය කර ගැනීම ගැන සතුටු වේ.

    කෙසේ වෙතත්, එක්සත් ජනපද රාජ්‍ය ලේකම්වරයාගේ සංචාරය චීන-ශ්‍රී ලංකා සබඳතා වලට මැදිහත් වීමට සහ ශ්‍රී ලංකාවේ කටයුතු වලට බලහත්කාරයෙන් හිරිහැර කිරීමට අවස්ථාව ලබා ගැනීමට භාවිත කිරීම ගැන අපි තරයේ විරුද්ධ වෙමු. එක්සත් ජනපදය ජාත්‍යන්තර ප්‍රජාවේ සාධාරණ ඇමතුම් වලට මුහුණ දෙනු ඇතැයි අපේක්ෂා කෙරේ. එසේම  චීනය-ශ්‍රී ලංකා සබඳතාවල ඇති ජනප්‍රියත්වය පිළිගැනීමෙන්, ශ්‍රී ලංකා ජනතාවගේ සැබෑ අවශ්‍යතාවන්ට සහය දීමෙන්, සහ “දුෂ්කර නමුත් අවශ්‍ය තීරණ ගනිමින්,” වෙනත් රටවල දේශීය හා විදේශීය කටයුතුවලට අත්තනෝමතික ලෙස මැදිහත් වීමේ කැත පිළිවෙත් නිවැරදි කරනු ඇතැයි අපි අපේක්ෂා කරමු.

    II. ඒ අතරම, සැබෑ මිතුරන් අනෙක් පැත්තේ සපත්තු තුළට දැමිය යුතු යැයි අපි එක්සත් ජනපදයට අවංකවම උපදෙස් දෙමු. COVID-19 පැතිර යෑමෙන් පසු මේ වන විට ශ්‍රී ලංකාව දැඩි අභියෝගයකට මුහුණ දී සිටින අතර දේශීය සෞඛ්‍ය පද්ධතියට තවදුරටත් ආනයනය කරනු ලබන අවදානම් දරාගත නොහැකිය. මේ වන විට එක්සත් ජනපදයේ මිලියන 8.8 ක් පමණ කොවිඩ් ආසාදිතයින් හමු වී ඇති අතර සහ සිදුවී ඇති  මරණ සංඛ්‍යාව දෙලක්ෂ තිස්දහස ඉක්මවා ගොස් ඇති වටපිටාවක  විශාල නියෝජිත කණ්ඩායමක් සහ  පූර්ව සූදානම් කණ්ඩායම් ශ්‍රී ලංකාවට යවා ඇති අතර, සංචාරය සඳහා සහ හදිසි මාර්ග ඉදිකිරීම්  සඳහා විවිධ ඉල්ලීම් කර තිබේ. සාමාන්‍ය ජනතාව නිරන්තරයෙන් අසන ප්‍රශ්න තිබේ: මෙම ප්‍රවේශය මගින් සත්කාරක රට කෙරෙහි ඔබේ ගෞරවය සැබවින්ම ඔප්පු වන්නේද? දේශීය වසංගත වැළැක්වීම සහ පාලනය කිරීම සඳහා එය ප්‍රයෝජනවත් වේද? සැබවින්ම මේවා ශ්‍රී ලාංකික ජනතාවගේ අවශ්‍යතා සඳහාද?

    III. මෑතකදී, ඉහළ පෙළේ චීන දූත පිරිසක් ද ශ්‍රී ලංකාවට පැමිණ, ශ්‍රී ලංකාව වසංගතයට එරෙහිව කරන සටන සහ ආර්ථික පුනර්ජීවනය සඳහා අවශ්‍ය සහයෝගය ලබා දෙන බව සපත කළේය. තවද, වසංගතය දැනටමත් චීනය තුළ ඵලදායි ලෙස පාලනය කර ඇතත්, අවදානම් අවම කිරීම සහ සත්කාරක රටට ගරු කිරීම සඳහා සහ කිසිඳු කරදරයක් නොවන පරිදි, චීන දූත පිරිස තම ක්‍රියාකාරකම් සහ පිරිස් හැකිතාක් අවම කර, ශ්‍රී ලංකාවේ වසංගත වැළැක්වීමේ මාර්ගෝපදේශ උපදෙස් දැඩි ලෙස පිළිපැදීමට කටයුතු කළේය. රාජ්‍ය ලේකම් පොම්පියෝ මහතාගේ සංචාරය සහ කුඩා හා මධ්‍යම ප්‍රමාණයේ රටවල් සමඟ එය හැසිරවිය යුතු ආකාරය ගැන යම් සටහනක් ලබා දීමට අපේක්ෂා කරමින් අපි මෙම භාවිතයන් එක්සත් ජනපදය සමඟ බෙදා ගැනීමට කැමැත්තෙමු.

  • හෙට සිට බස්නාහිර පළාතටම නිරෝධායන ඇඳිරිනීතිය

    හෙට සිට බස්නාහිර පළාතටම නිරෝධායන ඇඳිරිනීතිය

    හෙට (29) මධ්‍යම රාත්‍රියේ සිට නොවැම්බර් 02 වැනි සදුදා දින පෙ.ව 05 දක්වා බස්නාහිර පළාතටම නිරෝධායන ඇඳිරිනීතිය පනවන බව කොවිඩ් 19 පැතිරීම ජාතික ක්‍රියාන්විත මධ්‍යස්ථානය දැනුම් දුන් බව රජයේ ප්‍රවෘත්ති දෙපාර්තමේන්තුව විසින් අද (28) දින ප.ව 13.30ට නිකුත් කළ ප්‍රවෘත්ති නිවේදනයක සදහන් වේ.

    එම නිවේදනය සම්පූර්ණයෙන් මෙසේය.

  • ශ්‍රී ලංකාව තුළ කොවිඩ් ශීඝ්‍රයෙන් පැතිරීම වළක්වා ගත හැකිද?

    ශ්‍රී ලංකාව තුළ කොවිඩ් ශීඝ්‍රයෙන් පැතිරීම වළක්වා ගත හැකිද?

    කොරෝනා වෛරසය ඉතාමත් ශීඝ්‍රයෙන් රට පුරා පැතිර යාමත් සමගම රජය විසින් නව පියවර කිහිපයක් ක්‍රියාත්මක කළ බව පොලිස් මාධ්‍ය ප්‍රකාශක නියෝජ්‍ය පොලිස්පති අජිත් රෝහණ පවසයි.

    තමන් ගමන් ගන්නා පොදු ප්‍රවාහන සේවා බස්රථ වල අංක සටහන් කර තබාගන්නැයි මේ අතර රජය හා සෞඛ්‍ය බලධාරීහු ජනතාවගෙන් ඉල්ලා සිටිති.

    පෑලියගොඩ මාළු වෙළෙඳපොලේ කොරෝනාවෛරස් ආසාදිතයින් පොදු ප්‍රවාහන සේවා රැසක ගමන් කර ඇති බවට තොරතුරු ලැබී ඇති බැවින් ඔවුන් ගමන් ගත් පොදු ප්‍රවාහන සේවා බස් රථ හඳුනාගෙන ඒවායේ අංක ප්‍රසිද්ධ කළ විට එම බස් රථවල ගමන් ගත් අනෙකුත් පුද්ගලයන් වහාම නිරෝධායනය වෙත යොමුවන ලෙස ඉල්ලා සිටින බව පොලිස් මාධ්‍ය ප්‍රකාශකවරයා පැවසීය.

    මගීන් ගේ පහසුව සඳහා එම අංකය ස්ථාන කිහිපයක පැහැදිලිව දක්වන ලෙස බස් හිමිකරුවන්ට ද දන්වා සිටි බවත් හෙතෙම පැවසීය.

    නිවසේ දී නිරෝධායනය

    මේ අතර නිවාස වල නිරෝධායනය වන පුද්ගලයන් වෙනමම කාමරයක සිටිය යුතු බවත් එම නිවසේ අනෙකුත් පුද්ගලයන් සමග දුරස්ථභාවය රැකගත යුතු අතර එම නිරෝධායනය වන ස්ථානවල තවත් විශේෂ පත්‍රිකාවක් ඇලවීමට ද පියවර ගැනෙනු ඇති බවත් ඔහු පැවසීය. එම ස්ථානයට කිසිවෙකු පැමිණීම හා පිටවීම තහනම් කර ඇති අතර නිරෝධායන නීති දැඩිව ක්‍රියාත්මක කිරීමට තීරණය කර ඇති බවත් එම නිරෝධායන නීති කඩකරන්නන්ගේ නිශ්චල හා චංචල දේපල නිරෝධායන නීතිය යටතේ මුද්‍රා තැබීමට හෝ පොලිසිය භාරයට ගැනීමට සිදුවන බවත් ඔහු පැවසීය.

    කෙසේ වුවත්, බ්‍රිතාන්‍යයේ දී කෝවිඩ්-19 රෝගීන්ට ප්‍රතිකාර කළ වෛද්‍යවරියක වන වෛද්‍ය තුෂ් වික්‍රමනායක සමාජ මාධ්‍ය ජාල ඔස්සේ ප්‍රකාශයක් කරමින්, නිරෝධායනය වන පුද්ගලයන්ගේ නිවෙස්වල පත්‍රිකා ඇලවීමෙන් වලකින මෙන් බලධාරීන්ගෙන් ඉල්ලීමක් කර තිබුණි.

    මිලිටරිකරණයෙන් නොව සෞඛ්‍ය ප්‍රවර්ධනයෙන් සමාජය පුරා පැතිර යමින් පවතින රෝගය පාලනය කළ යුතු බවට ද වෛද්‍ය තුෂ් වික්‍රමනායක යෝජනා කරයි.

    අඟහරුවාදා දිනය තුළ කොරෝනාවෛරසය වැළඳීමෙන් තිදෙනෙකු මිය ගිය අතර මෙතෙක් වාර්තා වූ ලාබාලම පුද්ගලයා වන 19 හැවිරිදි කොළඹ පදිංචි තරුණයෙකු ද ඒ අතර සිටියේය. එය එක් දිනක් තුළ වාර්තා වූ වැඩිම මරණ සංඛ්‍යාව ද විය.

    මිනුවන්ගොඩ බ්‍රැන්ඩික්ස් ආයතනයේ පළමු ආසාදිතයා ඔක්තෝබර් 03 වෙනි දින හඳුනා ගැනීමෙන් පසුව මෙරට වාර්තාවන කොරෝනා ආසාදිත පුද්ගලයන්ගේ ශීඝ්‍ර වර්ධනයක් පෙන්නුම් කිරීමත් සමග සෞඛ්‍ය අංශ මහජනතාවට කොරෝනා මර්ධන සෞඛ්‍ය නිර්දේශයන් නිසි අයුරින් පිළිපදින ලෙස ඉල්ලා සිටී.

    කොළඹ ජාතික රෝහලේ ප්‍රධාන හෙද නිලධාරිනී පුෂ්පා රම්‍යානි ද සොයිසා පවසන්නේ පහත ක්‍රියාදාමයන් අනුගමනය කිරීමෙන් කොරෝනා රෝගය ආසාදනය වීමෙන් වැලකී සිටිය හැකි බවය.

    • නිතරම නිසි ප්‍රමිතියෙන් යුතු පිරිසිදු මුඛ ආවරණ පළඳින්න.
    • අසනීප පුද්ගලයන් වෛද්‍ය මුඛ ආවරණයකුත් හොඳ සෞඛ්‍ය සම්පන්න පුද්ගලයින් තුන් පොට යෙදූ රෙදි මුඛ ආවරණයක් භාවිත කළ යුතුය.
    • තුන්පොට යෙදූ මුඛ ආවරණයක් ගෙදරදී වුව ද සාදාගත හැකි අතර එයට කපු රෙද්දක් කට පෙදෙසටත් කෘතිමව වියන ලද රෙදි කැබැල්ලක් මැද්දටත් පිටතට සිටින පැත්තට පොලියෙස්ටර් මිශ්‍රිත කපු රෙදි කැබැල්ලක් යොදා ගන්න.

    පුෂ්පා රම්‍යානි ද සොයිසා පැවසුවේ ලා වර්ණයෙන් යුත් මුඛ ආවරණයක් පාවිච්චි කිරීම තුළින් එය කිළුටු වීම ඉතා පහසුවෙන් හඳුනාගත හැකි බවය. මුඛ ආවරණය දිනපතා හොඳින් සබන් යොදා සෝදා ගැනීමෙන් අනතුරුව විනාඩියක් පමණ හොඳින් රස්නේ ඇති වතුර වලින් හෝ 0.1% ක්ලෝරීන් අඩංගු වතුරෙන් සෝදා ගැනීමෙන් විෂබිජහරණය කර ගත යුතු බවත් ඇය සඳහන් කළාය.

    ප්‍රධාන හෙද නිලධාරිනිය තවදුරටත් පවසන්නේ:

    • සමාජ දුරස්ථභාවය හැමවිටම පවත්වා ගැනීම
    • නිවසේ නිරෝධායනය වන පුද්ගලයින් සිටී නම් ඔවුන්ට උපස්ථාන කිරීමට එක් නිරෝගී පුද්ගලයකු පමණක් යොමු කරන්න. අනෙක් අය දුරස්ථභාවය රැකගෙන නිසි සෞඛ්‍ය ආරක්ෂණ ක්‍රම පිළිපැදීම
    • සෑම විටම අත හොඳින් සබන් යොදා හෝ සනීපාරක්ෂක ද්‍රාවන යොදා පිරිසිදු කිරීම
    • නිතරම මුහුණ, කට හා නාසය ඇල්ලීමෙන් වැලකි සිටීම
    • සංචරණය අවම කිරීම
    • අත්‍යවශ්‍ය කටයුත්තකට හැර නිවසින් බැහැර නොයාම
    • අධික සෙනග ගැවසෙන තැන්වලට නොයාම
    • ප්‍රතිශක්තිය වැඩිකරගැනීම
    • සෞඛ්‍ය සම්පන්න සමබර ආහාර භාවිතය
    • වතුර පානය කිරීම – වැඩිහිටි පුද්ගලයෙකු නම් දිනකට වීදුරු 8ත් 10ත් අතර ප්‍රමාණයක්.
    • හොඳින් නිදා ගැනීම හා අධිකව තෙහෙට්ටු නොවී විවේකීව සිටීම.
    • හොඳින් ව්‍යායාම වල නිරත වීම.
    • මත්පැන්/දුම්වැටි භාවිත නොකිරීම.
    • අදහන ආගමානුකුලව සතුටින් සිටීම.

    වැනි ක්‍රියා අනුගමනය කිරීම තුළින් කොරෝන වෛරසය ශරීරගත වීම අවම කර ගත හැකි බවය.

    කාලීන අවශ්‍යතාව සලකා මෙම සම්පූර්ණ ලිපියම බී.බී.සී සන්දේශය වෙබ් අඩවියෙන් උපුටා ගෙන කිසිම සංස්කරණයකින් තොරව පළ කරන ලදි – ප්‍රධාන සංස්කාරක

  • Voice of People: කොවිඩ් නිසා අතරමංවූ ‘මැදපෙරදිග ශ්‍රමික විලාපය’

    Voice of People: කොවිඩ් නිසා අතරමංවූ ‘මැදපෙරදිග ශ්‍රමික විලාපය’

    අපේ එම්බසි එකෙන් අපිට උදවු කළේ නැහැ. එම්බසි එකේ අයටත් කොරෝනා කියලා ඊට පස්සේ ඔෆිස් එක වහගෙන ඉන්නවා. ගොඩාක් අය තාම මෙහේ අඬ අඬ ඉන්නවා. ගෑනු අයව හිරකරගෙන ඉන්නවා. ඒවා මාධ්‍යවල යන්නේ නැහැ

    මම ඒජන්සියටත් ගියා. එතැන දීත් මාව විකුණන්න කතා වෙනවා මට ඇහුණා. මම අසරණයි, එහෙම කරන්න එපා කියලා මම ඇඬුවා. කිසිම කෙනෙක් උදව්වට ආවේ නැහැ

    පිහියෙන් ඇනලා මාව මරණවා කියලා කියනවා. මම එම්බසි එකට යන්න දන්නේත් නැහැ, මාව ගෙනිහින් දාන්නේත් නැහැ. මේ වීඩියෝව දකින කෙනෙක් හරි මට එම්බසියට යන්න උදව් කරන්න. මාව කොයි වෙලාවේ මරලා දාවි ද කියලා මට බයයි.

    ශ්‍රී ලංකාවේ ඇඟලුම් කම්හලක් ආශ්‍රිතව කොවිඞ් ආසාදිතයන් විශාල සංඛ්‍යාවක් වාර්තා වීමත් සමග කබලෙන් ළිපට වැටුණු තත්ත්වයකට මුහුණදීමට සිදුවූ පාර්ශ්වයක් වන්නේ විදෙස්ගත ශ්‍රී ලාංකික ශ්‍රමිකයන්ය. කොවිඞ් 19 ගෝලීය වසංගතයේ පැතිර යාමත් සමග විදෙස්ගත ශ්‍රමිකයෝ ගැටලු රාශියකට මැදිව සිටියහ.

    නැවත මව් රටට ඒමේ බලාපොරොත්තු සහිතව ඉතා දුක්ඛිත තත්ත්වයකට පත්ව සිටින වැඩි පිරිසක් සිටින්නේ මැදපෙරදිග රටවලය. ඔවුන් නැවත මෙරටට රැගෙන ඒමේ කටයුතු වරින් වර පමා වෙමින් තිබී පසුගිය කාලයේ නැවතත් කණ්ඩායම් වශයෙන් රැගෙන ඒමේ කටයුතු ආරම්භ කර තිබුණි. එහෙත් මේ වන විට රට තුළින් හමුවන කොවිඞ් ආසාදිතයන්ගේ සංඛ්‍යාව ඉහළ යාම සමග විගමණික ශ්‍රමිකයන් ගෙන ඒම නැවතත් තාවකාලිකව නතර වූයේය.

    වසංගතය මධ්‍යයේ හිංසන

    “අපේ රටේ බලධාරීන් අපිව ගෙන්න ගන්නේ නැති බව දැන් මෙහේ අය දන්නවා. ඒ නිසා දැන් ඒ අය අපෙන් වෙනදාටත් වඩා වද වේදනා දිදී වැඩ ගන්නවා. අපේ වැටුප් පවා දුන්නත් එකයි නැතත් එකයි කියලා දැන් ඒ අය හිතනවා. ලාංකාවේ අයට කොවිඞ් හැදුණත් වැඩකරන ගෙවල් වලින් පැනඩෝල් පෙත්තක්වත් ලැබෙන්නේ නැහැ. එම්බසි එකෙන් බලන්නේත් නැහැ. අපිට මේ රට වලට එන්න රජයේ අනුග්‍රහය ලැබුණා වගේම මේ වෙලාවේ අපි වෙනුවෙන් පෙනී ඉන්න අපේ රටේ රජයට බැරි ඇයි. ප්‍රමාද වෙන්න ප්‍රමාද වෙන්න මෙහේ ලංකාවේ මිනිස්සු දුක් විඳලා මැරිලා යනවා.” කුවේට් හි ගෘහ සේවයේ යෙදෙන ශ්‍රී ලාංකික කාන්තාවක් රාවයට පැවසුවාය.

    කොවිඞ් වසංගතයේ පැතිරීමත් ඒ හේතුවෙන් මව් රටට පැමිණීමට නොහැකි තත්ත්වයත් හමුවේ මැදපෙරදිග ගෘහ සේවයේ නියුතු බොහෝ සංඛ්‍යාවක් විගමණික ශ්‍රමිකයන් පත්ව තිබෙන්නේ ඉතා ඛේදනීය තත්ත්වයකටය. ඔවුන් බොහෝ දෙනා පවසන්නේ තානාපති කාර්යාල වලට දැන්වීමට ද නොහැකි තත්ත්වයක් මේ වන විට උද්ගතව ඇති බවය, ඒ ඇතැම් කාර්යාල වසා දමා ඇති බවය, ඇතැම් දුරකථනවලට කිසිවකු පිළිතුරු නොදෙන බවය. ඒ බොහෝ ශ්‍රමිකයන් දැන් සිටින්නේ කිසිදු පාර්ශ්වයක පිළිසරණක් නොමැති තත්ත්වයකය. කෙසේ හෝ තමන් මෙරටට රැගෙන එන ලෙස සියලුදෙනාට ඔවුහු ආයාචනා කරමින් සිටින්නේ එබැවිනි.

    ඕමානයේ ගෘහ සේවයේ සිටින එක් ශ්‍රී ලාංකික කාන්තාවක් මීට දින කීපයකට පෙර හඬා වැළපෙමින් තම දුක්ගැනවිල්ල සමාජමාධ්‍ය ජාලවලට එක් කර තිබුණේ මෙලෙසය.

    මම ඕමානයට ඇවිත් අවුරුදු දෙකයි මාසයක් වෙනවා. මම වැඩ කරන ගෙදර මැඩම් මට එම්බසියට යන්න කියලා ගහනවා. කන්න දෙන්නේත් නෑ. කෑම ඉතිරි වෙන ඒවා මම කාවි කියලා, ඩස්ට්බින් එකට විසි කරනවා. බඩගින්නේ ඉන්න බැරුව මම තේ එකක් හදාගනිද්දී ඒකත් විසි කළා. පිහියෙන් ඇනලා මාව මරණවා කියලා කියනවා. මම එම්බසි එකට යන්න දන්නේත් නැහැ, මාව ගෙනිහින් දාන්නේත් නැහැ. මේ වීඩියෝව දකින කෙනෙක් හරි මට එම්බසියට යන්න උදව් කරන්න. මාව කොයි වෙලාවේ මරලා දාවි ද කියලා මට බයයි.”

    ඔවුන්ට යාන්තම් හෝ රැකවරණයක් තිබුණා නම් වසංගතය හමුවේ එම රැකවරණයන් ද දැන් අහිමිව ගොස්ය. මේ වන විට ඔවුන්ට කිසිදු පිළිසරණක් නොමැති බව දන්නා ඇතැම් හාම්පුතුන්ගෙන් දැන් ඔවුන්ට එල්ලවන හිරිහැර ද අසීමිතය.

    කබලෙන් ලිපට වැටීම්

    කුවේට්හි ගෘහ සේවයේ නියුතු ශ්‍රී ලාංකික කාන්තාවක් දුරකථනය ඔස්සේ අපට පැවසුවේ ඇය සේවය කළ නිවසෙන් සිදුවූ හිරිහැර හේතුවෙන් ඇය එම නිවසෙන් පැන ගොස් කුවේට් හි මෙරට තානාපති කාර්යාලය වෙත ගිය බවය. එහි නිලධාරීන් තමන්ට වෙනත් නිවසක් සොයා දුන් බවත් එම නිවසේ හාම්පුතා වෙතින් ඇයට ලිංගික බලපෑම් එල්ල වූ බවත් ඇය පවසන්නීය. ඊට විරෝධය දැක්වූ විට ඇයට හාම්පුතා විසින් සඳහන් කර තිබුණේ ඇය ඒ වෙනුවෙන්ම තානාපති කාර්යාලයට ද දන්වා රැගෙන ආ බවය. ඇය එම නිවසෙන් ද පැන ගොස් අවසානයේ කිසිදු පිළිසරණක් නොමැතිව තවත් ශ්‍රී ලාංකිකයෙකුගේ රැකවරණය යටතේ මේ වන විට සිටින බව ඉකි බිඳිමින් කියන්නීය.

    “මම ඒජන්සියටත් ගියා. එතැන දීත් මාව විකුණන්න කතා වෙනවා මට ඇහුණා. මම අසරණයි, එහෙම කරන්න එපා කියලා මම ඇඬුවා. කිසිම කෙනෙක් උදව්වට ආවේ නැහැ.”

    ඇය ඇතුළු තවත් විශාල පිරිසකට නවාතැන් පමණක් නොව ආහාර වේලක් හෝ සොයා ගැනීමට නොහැකිව සිටින බව ඇය අප හා කීවාය. ඇතැම්විට නොමිලේ ආහාර සපයන ඉතා දිගු පෝළිම්වල බලා සිටියත් අවසානයේ කිසිදු අහරක් නොලබා සිටීමට සිදුවන බව ඇය පැවසුවාය. ඒ බොහෝ දෙනා මැදපෙරදිග රැකියා සොයා පැමිණ තිබුණේ තම පවුලේ ආර්ථිකය තම දෙවුර මත තබා ගනිමිනි. බොහෝ අයට පාසල් වියේ දරුවෝ වූහ. වයස්ගත, රෝගී දෙමාපියෝ වූහ. ඔවුහු ජීවත් කරවීමට මුදල් උපයා මෙරටට එවූ මේ විගමණික ශ්‍රමිකයන්ට අද ඒ කිසිවක් සිදුකරගත නොහැකි ව තිබෙන්නේය. මෙරට සිටින ඔවුන්ගේ පවුල්වල සාමාජිකයන්ට ද මේ හේතුවෙන් මුහුණ දීමට සිදුව තිබෙන පීඩාවන් සුළු පටු නොවන්නේය.

    රෝගී තත්ත්වයට පත්ව කුවේට් හි සිටින ශ්‍රී ලාංකික කාන්තාවන් පිරිසක් ද ජාත්‍යන්තර මානව හිමිකම් සංවිධානයකට තම දුක්ගැනවිලි ඉදිරිපත් කරන ආකාරය පසුගිය දිනෙක සමාජ මාධ්‍යවලට එක් කර තිබුණි.

    මම මාස හතරක ඉඳලා රෝද පුටුවේ ඉන්නේ. අසනීප අය ඉක්මනට ලංකාවට ගන්නවා කිවුවත් අසනීප අය ඉද්දී සනීපෙන් ඉන්න අයත් ගෙන ගියා. අපිට ඉන්න තැනක් නැහැ. කන්න, අඳින්නවත් හරියට නැහැ. අපිට අවශ්‍ය බෙහෙත්වත් ගන්න විධියක් නැහැ. සනීපාරක්ෂක තුවා නැහැ. අපි අපේ ඇඳුම් ඉරලා සනීපාරක්ෂක තුවා විධියට පාවිච්චි කරවනවා. අපිට කිසිම කෙනකුගේ පිළිසරණක් නැහැ.”

    එම කණ්ඩායමේ එක් කාන්තාවක් කීවාය. ඒ බොහෝ දෙනාට තිබුණේ ඉතා දුක්ඛිත කතාන්දරය. ඔවුන්ට තිබූ එකම බලාපොරොත්තුව වූයේ කෙසේ හෝ මෙරටට නැවත ඒමට අවස්ථාවක් සලසා ගැනීමය.

    විදෙස්ගතව රැකියාවන්හි නියැලෙන ශ්‍රී ලාංකික ශ්‍රමිකයන් 48000ක් පමණ නැවත මෙරටට පැමිණීමේ බලාපොරොත්තුවෙන් සිටින බව ශ්‍රී ලංකා විදේශ සේවා නියුක්ති කාර්යාංශය පවසයි. කොවිඞ් වසංගතයේ පැතිරයාම සමග රැකියා අහිමිවීම්, වැටුප් කප්පාදු, ආහාර ඖෂධ නවාතැන් ආදී මූලික අවශ්‍යතා අහිමිවීමෙන් ද තවත් බොහෝ ගැටලු රාශියකට මේ බොහෝ ශ්‍රමිකයෝ මැදිව සිටිති. ඇතැම් පිරිස් මෙම වසර ආරම්භයේ දී තෙමසක් සඳහා වීසා ලබා රැකියා සොයා මැදපෙරදිගට ගිය පිරිස්ය. ඇතැම් අය මේ වන විට රැඳී සිටින්නේ පොදු උද්‍යාන, පාළු ගොඩනැගිලි ආදී ස්ථානවලය. ඩුබායි හි එලෙස උද්‍යානයක රැඳී සිටින ශ්‍රී ලාංකිකයන් පිළිබඳ ඡායාරූප ද සහිතව එහි මාධ්‍යවේදිනියක් තම ට්විටර් ගිණුමේ මෙන්ම ‘ද ටෙලිග්‍රාෆ්’ වෙත මීට දින කීපයකට පෙර වාර්තා කර තිබුණි.

    පිහිටක් නැති තානාපති කාර්යාල

    ඒ අතර නීත්‍යානුකූල ලියවිලි රහිතව රැඳී සිටින ශ්‍රමිකයන් මුහුණ දී තිබෙන්නේ වඩා අවදානම් තත්ත්වයකටය. මෙම වසරේ අප්‍රේල් මාසය වන විට වීසා නොමැති සහ නීතිමය ගැටලු සහිතව කුවේට් හි සිටින විගමණික ශ්‍රමිකයන්ට මාසයක් තුළ කුවේට්වලින් පිටවන ලෙසත් එම කාල සීමාව තුළදී ඔවුන්ගේ ලියවිලි සම්බන්ධයෙන් නීතිය ක්‍රියාත්මක නොවන බවත් එරටින් දන්වා තිබුණි.

    පිලිපීනය, බංග්ලාදේශය, ඉන්දියාව වැනි රටවල ගොඩක් අය ඒ වෙලාවේ මේ රටෙන් පිටත් වුණා. අපිටත් භාර වෙන්න කියලා තිබුණා, ඒත් ඒ වෙලාවේ එම්බසි එකෙන් ඒකට ඕනෑ ලියකියවිලි හදලා දෙනවා වෙනුවට පොලීසියෙන් ගෙන්නලා අපිට පහර දුන්නා. වීසා නැති, නීතිමය ප්‍රශ්න තියන අය ගොඩක් අය මෙහේ අසරණ වෙලා ඉන්නවා. අපිට රටෙන් පිටවෙන්න අවස්ථාව ලැබුණ වෙලාවේත් අපේ එම්බසි එකෙන් අපිට උදවු කළේ නැහැ. එම්බසි එකේ අයටත් කොරෝනා කියලා ඊට පස්සේ ඔෆිස් එක වහගෙන ඉන්නවා. ගොඩාක් අය තාම මෙහේ අඬ අඬ ඉන්නවා. ගෑනු අයව හිරකරගෙන ඉන්නවා. ඒවා මාධ්‍යවල යන්නේ නැහැ.”

    ඒ, නීතිමය ගැටලුවකට මැදිව එරටින් පිටවීමට නොහැකිව සිටි ශ්‍රී ලාංකික තරුණයෙකි. ඔවුන් සියලුදෙනාට තම මවු රටට යෑමට ලබා දුන් අවස්ථාවේ දී මෙරට තානාපති කාර්යාලය ඒ සම්බන්ධව නිසි මැදිහත්වීමක් නොකළ බවට ඔවුහු චෝදනා කරති. එමෙන්ම සෑම අතින්ම පීඩනයට පත්ව සිටින අවස්ථාවක තානාපති කාර්යාලවල අය තමන්ට උපකාර කරනවා වෙනුවට තව තවත් පීඩාවට පත්වන ආකාරයේ කටයුතු සිදුකරන ආකාරය පිළිබඳ ඔහු විස්තර කළේය.

    මේ අතර කොවිඞ් වෛරසය ආසාධිතව කිසිදු ප්‍රතිකාරයක් ලබාගත නොහැකිව අසරණ තත්ත්වයේ සිටින ශ්‍රී ලාංකික විගමණික ශ්‍රමිකයන් සම්බන්ධයෙන් මැදපෙරදිග සිටින පිරිස් අපට පැවසූහ. ඒ බොහෝ දෙනා මේ වන විට සිටින්නේ ද කිසිවෙකුට උපකාරයක් කිරීමට හැකි තත්ත්වයක ද නොවේ. ඔවුන් වෙනුවෙන් පෙනී සිටින කිසිදු පාර්ශ්වයක් ද මේ වන විට නැත. කෙසේ වෙතත් කොවිඞ් ආසාධිත යැයි පීසීආර් පරීක්ෂණ වලින් තහවුරු වන අය මෙරටට රැගෙන එන්නේ ද නැත. රැගෙන එන අවස්ථාවල ගෙන එන්නේ ද කොවිඞ් ආසාධිත නොමැති බවට තහවුරු වන්නන් පමණි. මෙම වසර තුළ දී මැදපෙරදිග රටවල කොවිඞ් ආසාධිතව ශ්‍රී ලාංකික විගමණික ශ්‍රමිකයන් 68ක් මියගොස් ඇති බව ශ්‍රී ලංකා විදේශ සේවා නියුක්ති කාර්යාංශයේ දත්ත සඳහන් කරයි. ඒ, සවුදි අරාබි 30ක්, කුවේට් 17ක්, අබුඩාබි 8ක්, කටාර් 6ක්, බහරේන් 2ක්, ජෝර්දාන් 1ක් සහ ඕමාන් 4ක් ලෙසය. ඉන් 56ක් පුරුෂයන් වන අතර 12ක් ස්ත්‍රීන් බව එම කාර්යාංශය සඳහන් කරයි.

    ඉදිරි සැලසුම මොකක් ද

    මිනුවන්ගොඩ පිහිටි ඇඟලුම් කර්මාන්තශාලාවක් ආශ්‍රිත මෙරටින් විශාල කොවිඞ් ආසාධිතයන් සංඛ්‍යාවක් වාර්තා වීම සමග ශ්‍රී ලාංකික විගමණික ශ්‍රමිකයන් මෙරටට රැගෙන ඒමට සැලසුම් කර තිබූ ගුවන් ගමන් ද තාවකාලිකව අවලංගු වූයේය. ඒ සමග එම ශ්‍රමිකයන්ගේ මව් රටට ඒමේ බලාපොරොත්තුව තවත් ඈතට ගොස් තිබේ.

    එවන් පසුබිමක මෙම ශ්‍රමිකයන් මැදිව සිටින ගැටලු සම්බන්ධයෙන් සහ ඔවුන් ගෙන්වා ගැනීම සම්බන්ධයෙන් වන සැලසුම කුමක් දැයි අප ශ්‍රී ලංකා විදේශ සේවා නියුක්ති කාර්යාංශයේ නියෝජ්‍ය සාමාන්‍යාධිකාරීවරයා වන මංගල රන්දෙණියගෙන් විමසුවෙමු.

    ‘විශේෂ ගුවන් යානා කීපයක් යවා කඩිනමින් ගෙන්වාගත යුතු අය පිළිබඳ අපි ලැයිස්තුවක් හැදුවා. ඒක ජනාධිපතිතුමාටත් ඉදිරිපත් කළා. කොවිඞ් කමිටුවෙනුත් අනුමැතිය ඊට ලැබී තිබුණා. ඒ සියල්ල සූදානම් කර තිබිය දී අවාසනාවන්ත ලෙස ලංකාව ඇතුළේ මේ කොවිඞ් දෙවන රැල්ලක් මතු වුණා. දේශීය වශයෙන් දැනට තිබෙන මානව හා භෞතික සම්පත් ලංකාවේ ඇතුලේ ඉන්න අය වෙනුවෙන් යොදවන්න සිදුවුණා. ඉදිරි දින කීපය තුළ ආසාදිතයන්ගේ ප්‍රමාණය වැඩි වෙයි ද පීසීආර් හා රෝහල්වල ඇඳන් ප්‍රමාණය මදි වෙයි ද නිරෝධායන ස්ථානවල ප්‍රමාණය මදි වෙයි ද වැනි දේ පිළිබඳ සති දෙකක් පමණ ඉදිරියට බැලීමට සිදුවන නිසා ගෙන්වා ගැනීම සම්බන්ධයෙන් යොදවා තිබූ සියලු විශේෂ ගුවන් යානා ජාතික කොවිඞ් කමිටුව විසින් තාවකාලිකව නවතා දැමුවා. කෙසේ වෙතත් ඉදිරි සති දෙක තුන නිරීක්ෂණයටන්ට අනුව ගන්නා ඊළඟ පියවරක් තිබෙනවා. ඒ අනුව ගෙන්වා ගැනීම වෙනත් ක්‍රමයකට සැලසුම් කිරීම සම්බන්ධයෙන් දැනට සාකච්ඡා සිදුවෙනවා.”

    රජයේ ප්‍රකාශකයෙකු අපට පැවසුවේ ගෙන්වනවා ගැනීම් සම්බන්ධයෙන් දැනට ලංකාවේ ක්‍රියාත්මක වන ඉහත කී ක්‍රමවේදය වෙනස් කර නිරෝධායන කටයුතු ආදියෙහි වගකීම එම පුද්ගලයන්ට ගැනීමටත්, සියලු ආසාධිතයන් රෝහල්ගත කිරීම වෙනුවට ඇතැම් රටවල සිදුවන ආකාරයට රෝග ලක්ෂණ සහිත පිරිස් පමණක් රෝහල්ගත කිරීම වැනි ක්‍රියාවලියකට මාරු වීමට ඉදිරි දිනවල තත්ත්වය සලකා බලා තීරණ ගනු ඇති බවය.

    රටේ වගකීම ඉටු කරන්න

    සුරංගනා කතා කියලා මේ රටවලට එවන ඒජන්සිවල අය අපි මෙහාට ඇවිත් භාරදුන්නාට පස්සේ හොයන්නේවත් නෑ. හැමදාම අපේ රටේ කාන්තාවෝ මෙහේ ආවාට පස්සේ දුක් විඳිනවා. කිසිම පිහිටක් නෑ. දැන් මරුවා පෙනි පෙනී අපිට මෙහේ බලාගෙන ඉන්න වෙලා තියනවා. අපෙන් කොරෝනා එනවා කියලා කිවුවාට දැන් රට ඇතුලේ කොරෝනා ඇති වෙනකම් ඒ අය දන්නේ නෑ. චීනේ අයට කිසිම නීතියක් නැතිව රටට එන්න දුන්නා. අපිත් චීනයට ගිහින් චීනය හරහා ලංකාවට එන්න ඕනෑ ද. චීනයේ අයට එක විධියකටත් අපිට තව විධියකටත් සලකන්නේ ඇයි. කවදා වෙනකම් මේ අය මේ විධියට රඟපාවි ද. පහුගිය කාලයේ පළමු තැන දීලා තිබුණේ ඡන්දයට. මෙහේ ලාංකිකයෝ කාන්තාරයේ වැළලෙද්දී අපි ගෙන්වා ගන්න ඔනෑ කමක් තිබුණේ නැහැ.”මව් රටට ඒමට කුවේට්හි බලා සිටින ශ්‍රී ලාංකික කාන්තාවක් කියන්නීය.

    එපමණක් නොව රටෙහි පුරවැසියන් වන මෙම විගමණික ශ්‍රමිකයන් රැකගැනීමේ වගකීම මෙරටට තිබෙන්නේය. ශ්‍රී ලාංකික විගමණික ශ්‍රමිකයන්ගෙන් මෙරටට වාර්ෂිකව ලැබෙන ඇමරිකානු ඩොලර් බිලියන 7කට වැඩි විදේශ විනිමය වටිනාකමින් ඇමරිකානු ඩොලර් බිලියන 4කට ආසන්න ප්‍රමාණයක් ලැබෙන්නේ මැදපෙරදිග සේවා නියුක්තිකයන්ගෙනි. එසේ වුව ද මෙවැනි ගැටලුකාරී තත්ත්වයන් හමුවේ ඔවුන්ගේ ජීවිත ආරක්ෂා කිරීම සම්බන්ධයෙන් මෙන්ම ඔවුන්ගේ සුභසාධනය සම්බන්ධයෙන් වගකිව යුතු පාර්ශවයන්ගේ නිසි මැදිහත්වීමක් සිදුවන බව නම් පෙනෙන්නට නැත. වරින්වර විගමණික ශ්‍රමිකයන් වෙනුවෙන් විවිධ ප්‍රතිපත්ති යෝජනා ආදිය මතු වුව ද තවමත් ඔවුන්ගේ මූලික අයිතිවාසිකම් ආරක්ෂා කිරීම වෙනුවෙන් මෙරට රජය කෙතරම් දුරට මැදිහත් වෙනවාද යන ගැටලුව තිබෙන්නේය. ■

    මෙම සම්පූර්ණ ලිපිය 2020 ඔක්තෝබර් 25 වැනි දින ‘රාවය‘ ඊ පුවත්පතට ඉඳුනිල් උස්ගොඩ ආරච්චි විසින් සම්පාදිත එකකි. කොවිඩ් සමයේ ජනතා ප්‍රශ්න බලධාරීන්ගේ සහ සමාජයේ දැඩි අවධානයට යොමු කළ යුතු නිසා මෙම ලිපිය සම්පූර්ණයෙන්ම උපුටා ගෙන කිසිදු සංස්කරණයකින් තොර පළ කරන ලදි. ප්‍රධාන සංස්කාරක

  • මොරටුව – පානදුර – හෝමාගමට ඇඳිරිනීතිය: නව ආසාදිතයින් 457ක්

    මොරටුව – පානදුර – හෝමාගමට ඇඳිරිනීතිය: නව ආසාදිතයින් 457ක්

    මිනුවන්ගොඩ හා පෑලියගොඩ කොවිඩ්-19 පොකුරෙන් අද (27) පස්වරු 21.45 වන විට තවත් ආසාදිතයන් 164 දෙනකු වාර්තා වූ බවත් ඒ සමග අද දින වාර්තා වූ සමස්ත ආසාදිතයින් සංඛ්‍යාව (ප.ව 21.45 වන විට) 457ක් බවත් රජයේ ප්‍රවෘත්ති දෙපාර්තමේන්තුව විසින් පස්වරු 21.45ට නිකුත් කළ නිවේදනයක සදහන් වේ.

    නිරෝධාන මද්‍යස්ථානවල සිටින 8 දෙනෙක් සහ ආශ්‍රිතයින් 156 ක් එම ආසාදිතයන් අතර වන බවයි එම නිවේදනයේ වැඩි දුරටත් සදහන් වන්නේ.

    මෙම නව ආසාදිතයින් සමග මේ දක්වා වාර්තා වන සමස්ත ආසාදිතයන් සංඛ්‍යාව 5396 ක් දක්වා ඉහළ ගොස් තිබෙනවා.

    මොරටුව – පානදුර – හෝමාගම ‍පොලිස් බල ප්‍රදේශවලට නැවත දැනුම් දෙනතුරු ඇඳිරිනීතිය

    මේ අතර වහාම ක්‍රියාත්මක වන පරිදි මොරටුව, පානදුර සහ හෝමාගම පොලිස් බල ප්‍රදේශවලට නැවත දැනුම්දෙන තුරු නිරෝධායන ඇඳිරි නීතිය පනවා ඇතැයි කොවිඩ්-19 පැතිරීම වැළැක්වී‍මේ ජාතික ක්‍රියාන්විත මධ්‍යස්ථානය නිවේදනය කරනවා.

  • ඇමෙරිකානු රාජ්‍ය ලේකම් මයිකල් ආර්. පොම්පියෝ දිවයිනට පැමිණෙයි

    ඇමෙරිකානු රාජ්‍ය ලේකම් මයිකල් ආර්. පොම්පියෝ දිවයිනට පැමිණෙයි

    ශ්‍රී ලංකාවේ දෙදින නිල සංචාරයක් සඳහා ඇමෙරිකා එක්සත් ජනපදයේ රාජ්‍ය ලේකම් මයිකල් ආර්. පොම්පියෝ මහතා නවදිල්ලි නුවර සිට විශේෂ ගුවන් යානයකින් අද රාත්‍රී 7.35 ට කටුනායක ගුවන් තොටුපළ වෙත ළගා වූ බව විදේශ සබදතා අමාත්‍යාංශය කියයි.

    ඇමෙරිකා රාජ්‍ය ලේකම්වරයා මෙරටට පැමිණිමට පෙර ඉන්දියාවේ නිල සංචාරයක නිරත වූ අතර එම සංචාරය අවසන් කරමිනුයි ඔහු කටුනායක ගුවන් තොටුපළ වෙත ළගා වුයේ.

    විදේශ අමාත්‍ය දිනේෂ් ගුණවර්ධන මහතා කළ  ආරාධනයකට අනුව දිවයිනට පැමිණෙන ඇමෙරිකා රාජ්‍ය ලේකම්වරයා 28 වැනිදා දක්වා  රැඳී සිටීනු ඇති බව සදහන්වේ.

    මෙම සංචාරය අතරතුරදී, පොම්පියෝ මහතා හෙට ( 28) දින ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා  සමඟ නිලවශයෙන් සාකච්ඡා පවත්වනු ලබන බවත් දෙරට අතර නියැලී ඇති බහු ආංශික කටයුතුවලට අදාළ ක්ෂේත්‍ර කිහිපයක් පිළිබඳව මෙම සාකච්ඡාවලදී අවධානය යොමු කෙරෙනු ඇති බවත් විදේශ අමාත්‍යාංශය වැඩිදුරටත් කියා සිටී.

    ජනාධිපතිවරයා හමුවීමෙන් පසු ඇමෙරිකා රාජ්‍ය ලේකම්වරයා හෙට (28) පෙරවරුවේ විදේශ අමාත්‍ය දිනේෂ් ගුණවර්ධන මහතා හමුවී නිල සාකච්ඡා පවත්වන අතර ඉන්පසුව අමාත්‍යවරයා සහ ඇමෙරිකා රාජ්‍ය ලේකම්වරයා ඒකාබද්ධ මාධ්‍ය හමුවක් පවත්වන බව ද විදේෂ සබදතා අමාත්‍යාංශය කියා සිටී.

    එක්සත් ජනපද ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් මහතාගේ ධූර කාලය තුළදී ශ්‍රී ලංකාවට පැමිණෙන එක්සත් ජනපදයේ ඉහළම මට්ටමේ සම්භාවනීය අමුත්තා රාජ්‍ය ලේකම් පොම්පියෝ මහතා වේ.

  • ඉන්දියාව ඇමෙරිකාව සමග ‘තීරණාත්මක ආරක්ෂක ගිවිසුමක්’ අත්සන් කරයි

    ඉන්දියාව ඇමෙරිකාව සමග ‘තීරණාත්මක ආරක්ෂක ගිවිසුමක්’ අත්සන් කරයි

    එක්සත් ජනපද ආරක්ෂක ලේකම් මාක් එස්පර් සහ රාජ්‍ය ලේකම් මයික් පොම්පියෝ ඉන්දියාවේ ආරක්ෂක අමාත්‍ය රාජ්නාත් සිං සහ විදේශ අමාත්‍ය එස් ජයිශංකර් හමුවිය

    දිල්ලිය බීජිනය සමඟ ඇති කර ගෙන ඇති නොසන්සුන්කාරී දේශසීමා අර්බුදය මධ්‍යයේ ඉන්දියාව සහ එක්සත් ජනපදය සංවේදී චන්ද්‍රිකා දත්ත හුවමාරු කර ගැනීම සඳහා මිලිටරි ගිවිසුමක් අත්සන් කර තිබේ.

    මිසයිල, ඩ්‍රෝන හා වෙනත් ඉලක්ක වලට නිවැරදිව පහර දීම සඳහා එවැනි දත්ත වලට ප්‍රවේශ වීම අත්‍යවශ්‍ය යැයි සැලකේ.

    අද (27) දිල්ලියේ පැවති “2 + 2” ඉහළ මට්ටමේ සාකච්ඡා වලින් පසුව මෙම ගනුදෙනුව නිවේදනය කරන ලදී.

    විශේෂඥයන් පවසන්නේ ඉන්දියාව සහ එක්සත් ජනපද සබඳතා ශක්තිමත් කිරීම කලාපයේ චීනයේ බලපෑමට එරෙහිව කටයුතු කිරීමක් බවයි.

    එක්සත් ජනපද ආරක්ෂක ලේකම් මාක් එස්පර් සිය ඉන්දීය සගයා වන රාජ්නාත් සිං සමඟ සාකච්ඡා පැවැත්වීය. එක්සත් ජනපද රාජ්‍ය ලේකම් මයික් පොම්පියෝ ද ඉන්දීය විදේශ අමාත්‍ය එස් ජයිශංකර් හමුවිය.

    “පසුගිය දශක දෙක තුළ අපගේ ද්විපාර්ශ්වික සම්බන්ධතා සහ එහි වැදගත්කම තුළ ක්‍රමයෙන් වර්ධනය වී තිබේ” යැයි ජයශංකර් මහතා පැවසීය. මෙම සාකච්ඡා මගින් දෙරටට “ජාතික ආරක්ෂාව පිළිබඳ කාරණා සම්බන්ධයෙන් වඩාත් තීව්‍ර ලෙස කටයුතු කිරීමට” හැකි වනු ඇතැයි ද ඔහු පැවසීය.

    එක්සත් ජනපදය සමීප හවුල්කරුවන් සමඟ අත්සන් කරන ගිවිසුම් කිහිපය අතර The Basic Exchange and Cooperation Agreement on Geospatial Cooperation, or BECA වේ. මිලිටරි ක්‍රියාමාර්ග සඳහා තීරණාත්මක වන සංවේදී භූගෝලීය හා ගගනගාමී දත්ත පරාසයකට ඉන්දියාවට ප්‍රවේශ වීමට එය ඉඩ දෙයි.

    න්‍යෂ්ටික බලශක්තිය, පෘථිවි විද්‍යාව සහ විකල්ප වෛද්‍ය විද්‍යාව යන ක්ෂේත්‍රවල වෙනත් කටයුතු සඳහා ද දෙපාර්ශ්වයම අත්සන් තැබූහ. එහෙත් ඔවුන් අතර වඩාත්ම වැදගත් ගිවිසුම වන්නේ BECA ය.

    එක්සත් ජනපදයට සපයන ලද ගුවන් යානා සඳහා ඉන්දියාවට උසස් නාවික ආධාරක සහ ගුවන් යානා සැපයීමට එය එක්සත් ජනපදයට ඉඩ සලසනු ඇතැයි ඉන්දීය ආරක්ෂක ආරංචි මාර්ග රොයිටර් පුවත් සේවයට පැවසීය.

    ශක්තිමත් කිරීම් සහ සැපයුම් රැගෙන යන ඉන්දීය හමුදා කණ්ඩායම චීනයට මායිම් වූ අධිවේගී මාර්ගයක ලෙ දෙසට ගමන් කරයි.
    ඉන්දියාව චීන දේශසීමා බලය තරකරමින් සිටී

    එහි අත්සන් කිරීම සිදුවන්නේ ඉන්දියාව හිමාලයානු කලාපයේ ඔවුන්ගේ මතභේදාත්මක දේශසීමාව ඔස්සේ චීනය සමග ඇති සතුරු ගැටුමක සිරවී සිටින අවස්ථාවකය.

    ආතතීන් සමනය කිරීම සඳහා මාස ගණනාවක් පුරා රාජ්‍ය තාන්ත්‍රික සාකච්ඡා ආරම්භ කරමින් ජූනි මාසයේ දෙපස හමුදා අතර ඇති වූ ගැටුමකින් ඉන්දීය සොල්දාදුවන් 20 දෙනකු මිය ගයහ. එහෙත් එය මෙතෙක් සතුරුකම් උත්සන්න කිරීමට උපකාරී වී නැත.

    එක්සත් ජනපදය හා චීනය අතර සබඳතා ද මෑත මාසවල දී  දුර්වල වී තිබේ. මහා පරිමාණ විරෝධතාවලින් පසුව හොංකොං හි නව ආරක්ෂක නීතියක් පැනවීම සම්බන්ධයෙන් එක්සත් ජනපදය චීනයට තරවටු කර තිබේ.

    මෙම ගිවිසුම ඉන්දියාව සහ එක්සත් ජනපද මිලිටරි සබඳතා ගැඹුරු කිරීමේ තවත් ඉදිරි පියවරකි. ඉන්දියාව ලෝකයේ විශාලතම ආරක්ෂක උපකරණ ගැනුම්කරුවන්ගෙන් එකක් වන නමුත් එහි ඉන්වෙන්ටරි වලින් 60-70% පමණ සපයනු ලබන්නේ රුසියාව විසිනි.

    + + + + +

    කෝවිඩ් යුගයේ රාජ්‍ය තාන්ත්‍රිකභාවය

    රාජිනී වෛද්‍යනාදන්, බීබීසී ප්‍රවෘත්ති, දිල්ලි

    ඇමරිකාවේ ජ්‍යෙෂ්ඨම අමාත්‍යවරුන් දෙදෙනෙකු කෝවිඩ් සමයේදී තම සගයන් හමුවීමට පෞද්ගලිකව සංචාරය කිරීමට තෝරා ගැනීම සහ එක්සත් ජනපද ජනාධිපතිවරණයට සතියකට පෙර මෙම සාකච්ඡා කෙතරම් වැදගත්ද යන්න පෙන්නුම් කරයි.

    කලාපයේ චීනයේ බලපෑමට එරෙහිව කටයුතු කිරීම මෙම සංචාරයේ ප්‍රධාන තේමවයි. එක්සත් ජනපද නිලධාරීන් ඉදිරි දිනවලදී ශ්‍රී ලංකාව, මාලදිවයින සහ ඉන්දුනීසියාව යන රටවලට ද සංචාරය කරනු ඇති අතර මෙම රටවල් බීජිනය සමඟ ශක්තිමත් සබඳතා භුක්ති විඳින ජාතීන් වශයෙන් සැලකේ.

    මෙය වෙනස් කිරීමට එක්සත් ජනපදයට අවශ්‍ය වන අතර මෑත වසරවලදී ඉන්දියාව සඳහා වේගයෙන් වර්ධනය වන ආරක්ෂක සැපයුම්කරුවෙකු බවට එක්සත් ජනපදය පත්ව ඇත. එවැනි සැලසුම්වල දෝංකාරය දෙරටේ නායකයින්ගේ ප්‍රකාශවලින් ඇසෙනු ඇත.

    මෙම සංචාරය මගින් එක්සත් ජනපදයේ සහ ඉන්දියාවේ “මිලිටරි-මිලිටරි සහයෝගීතාව ගැඹුරු කිරීම සඳහා වූ කැපවීම” ශක්තිමත් කරනු ඇතැයි එස්පර් මහතා සඳුදා සිං මහතා හමුවීමෙන් පසුව නිල ප්‍රකාශයක් නිකුත් කරමින් සදහන් කළේය.

    “අද අපගේ සාකච්ඡා ඵලදායී වූ අතර පුළුල් පරාසයක ආරක්ෂක සහයෝගීතාව තවදුරටත් ගැඹුරු කිරීම අරමුණු කර ගෙන” සිං මහතා පසුව ට්වීට් කළේය.

    රාජ්‍ය ලේකම් මයික් පොම්පියෝ සහ ඔහුගේ බිරිඳ සුසාන් පොම්පියෝ 2020 ඔක්තෝබර් 26 වන දින ඉන්දියාවේ නවදිල්ලියේ ගුවන්තොටුපළට පැමිණි පසු ගුවන් යානයකින් බැස ගියහ.
    රාජ්‍ය ලේකම් මයික් පොම්පියෝ සහ ඔහුගේ බිරිඳ සුසාන් සඳුදා දිල්ලියට ගොඩ බසින අයුරු

    මෙය ඉන්දියාව සහ එක්සත් ජනපදය අතර ” two-plus-two”” වාර්ෂික සංවාදයේ තුන්වන වටයයි.

    පළමු සාකච්ඡාව දිල්ලියේදී 2018 දී පැවැත්විණි. නවතම සාකච්ඡා මුලින් ආරම්භ කිරීමට නියමිතව තිබුණේ වසංගතය හේතුවෙන් ප්‍රමාද වූ අතර එක්සත් ජනපද මැතිවරණ ප්‍රතිඵලවලින් ලැජ්ජාවට පත්වේ. විශ්ලේෂකයින් පවසන්නේ කාලය වැදගත් වන අතර එක්සත් ජනපදය සඳහා ඉන්දියාව ප්‍රමුඛතාවයක් ලෙස ඉස්මතු කරන බවයි.

    ඉදිරිපත් කිරීමේ අළු රේඛාව

    දැඩි රාජ්‍ය තාන්ත්‍රික බැදීමක්

    විකාස් පාණ්ඩේ, බීබීසී ප්‍රවෘත්ති, දිල්ලි

    වර්තමාන භූදේශපාලනික තත්ත්වය අනුව ගනුදෙනුව ප්‍රධාන ය. එක්සත් ජනපදයට ඉන්දිය-චීන දේශසීමා ගැටුමට මැදිහත්වීමේ අවස්ථාවක් උදාවී ඇති අතර කලාපය තුළ සිය බලපෑම තවදුරටත් ඉහළ නැංවීමට අවශ්‍ය බව එක්සත් ජනපදයට අවශ්‍ය වී තිබේ.

    වොෂින්ටනය දිල්ලිය සමීප හමුදා සගයෙකු ලෙස සලකන බවට එය චීනයට සංඥාවක් ලෙස සැලකේ. මෙය ට්‍රම්ප් පරිපාලනයේ චීන විරෝධී වාචාල කතා ශක්තිමත් කිරීමට බොහෝ දුරට ඉඩ තිබේ. එහෙත් ඉන්දීය නිලධාරීන්ට දැඩි රාජ්‍ය තාන්ත්‍රික කඹයකින් ගමන් කිරීමට සිදුවනු ඇත.

    දේශ සීමාවේ තත්වය තීව්‍ර කිරීම සඳහා දිල්ලිය දිගින් දිගටම බීජිනය සමඟ මිලිටරි මට්ටමේ සාකච්ඡා පවත්වමින් සිටින අතර සාමකාමී යෝජනාවක් එහි යහපතට හේතු වේ. වසංගතයට එරෙහිව දීර්-කාලීන සටනක යෙදී සිටින මොහොතක එයට ගැටුමක්, සීමිත එකක් පවා අවශ්‍ය නොවනු ඇත.

    අද (27) පැවති ඒකාබද්ධ මාධ්‍ය හමුවකදී දෙරටේ නායකයින් කළ ප්‍රකාශවලින් මෙය පැහැදිලි විය.

    සිං මහතා සහ ජයිශංකර් මහතා සිය ප්‍රකාශයන්හි චීනය ගැන කෙලින්ම සඳහන් නොකළ අතර එස්පර් සහ පොම්පියෝ යන දෙදෙනාම චීනය ගැන කතා කිරීමට කැමැත්තක් දැක්වූහ.

    ඉන්දියාව රුසියාව සමඟ ඇති සබඳතා ගැන ද එක්සත් ජනපදය සැලකිලිමත් වනු ඇත. එබැවින් එය වොෂිංටන් හා මොස්කව් යන රටවල් සමඟ සිය මිලිටරි හා උපායමාර්ගික සබඳතා සමබර කරන්නේ කෙසේද යන්න බැලීම සිත්ගන්නාසුළු වනු ඇත.

    බී.බී.සී වාර්තාවක් ඇසුරිණි – සකස් කළේ – තීක්ෂණ වෙළෙන්එගොඩ

  • බ්‍රැන්ඩික්ස් Covid-19 පොකුර ගැන නීතිපති නියෝගයෙන් විමර්ශනයක්

    බ්‍රැන්ඩික්ස් Covid-19 පොකුර ගැන නීතිපති නියෝගයෙන් විමර්ශනයක්

    අපරාධ නඩු විධාන සංග්‍රහයේ 393 2වගන්තිය ප්‍රකාරව ගරු නීතිපතිතුමා වෙත පැවරී ඇති බලතල අනුව වහාම අපරාධ විමර්ශනයක් ආරම්භ ලෙසට උපදෙස් ලබාදුන්නා – රජයේ අධි නීතිඥ නිශාරා ජයරත්න

    ‘බ්‍රැන්ඩික්ස් කොවිඩ් -19 වසංගත පොකුර නිසා මිනිස් ජීවිතයට සිදුවී ඇති අන්තරාදායක තත්ත්වය සම්බන්ධයෙන් ගරු නීතිපතිතුමාගේ අවදානය යොමු වුණා. ඒ අනුව අද දින (27) නියෝජ්‍ය පොලිස්පති නීති කොට්ඨාසය අජිත් රෝහණ සමග ගරු නීතිපතිතුමා සම්මුඛ සාකච්ඡාවක් පවත්වා අදාළ උපදෙස් ද ලබාදීමක් සිදුකළා

    නීතිපතිවරයාගේ සම්බන්ධීකරණ නිලධාරිනී, රජයේ අධි නීතිඥ නිශාරා ජයරත්න මෙනවිය මාධ්‍ය හමුවේ විශේෂ ප්‍රකාශයක් කරමින් සදහන් කළා.

    මෙහිදී වැඩි දුරටත් කරුණු දැක්වූ නිශාරා ජයරත්න මෙනෙවිය කියා සිටියේ බ්‍රැන්ඩික්ස් කොවිඩ් -19 වසංගත තත්ත්වය පැතිරයාමට එම ආයතනය පාලකයින්ගේ නියෝජිතයින්ගේ සෘජු නොසැලකිල්ල හෝ අපරික්ෂාකාරීත්වය හෝ රජයේ නිලධාරියෙකුගේ හෝ නිලධාරීන්ගේ නොසැලකිල්ල හෝ අපරික්ෂාකාරීත්වය කවර ආකාරයකින් දායක වී ඇත්තේ දැයි යන්න සම්බන්ධයෙන් අවධානයනය යොමුකළ යුතු බවට නීතිපතිවරයා විසින් නියෝජ්‍ය පොලිස්පතිවරයාට උපදෙස් ලබාදීමක් සිදුකළ බවයි.

    නිශාරා ජයරත්න මෙනෙවිය මෙසේද පැවසුවාය.

     ‘අපරාධ නඩු විධාන සංග්‍රහයේ 393 2වගන්තිය ප්‍රකාරව ගරු නීතිපතිතුමා වෙත පැවරී ඇති බලතල අනුව වහාම අපරාධ විමර්ශනයක් ආරම්භ ලෙසට උපදෙස් ලබාදුන්නා. දණ්ඩනීති සංග්‍රහයේ වරදවල් හෝ නිරෝධායන සහ රෝග වැළැක්වීමේ ආඥාපනත යටතේ වරදවල්  අනාවරණය වන්නේද යන්න සොයා බලා වාර්තාකරන ලෙසටත් දැන්නුවා. එසේම ඉහත කාරණා විමර්ශනය කිරීම සඳහා ජ්‍යෙෂ්ඨ නිලධාරීන්ගෙන් සමන්විත පළපුරුදු විමර්ශන කාණ්ඩායමක් තෝරා පත්කරගන්නා ලෙසටත් ගරු නීතිපතිතුමා උපදෙස් ලබාදුන්නා. ඒ සම්බන්ධයෙන් මූලික ප්‍රගති වාර්තාවක් නොවැම්බර් මස 13 වන දිනට පෙර ගරු නීතිපතිතුමාට ලබා දෙන ලෙසට වැඩබලන පොලිස්පතිවරයාට ගරු නීතිපතිතුමා විසින් අද දින ලිඛිත උපදෙස් දීමක් සිදුකළා.“

  • Covid-19 Hot: තවත් මරණ 02ක් – මුළු මරණ සංඛ්‍යාව 19 දක්වා ඉහළට

    Covid-19 Hot: තවත් මරණ 02ක් – මුළු මරණ සංඛ්‍යාව 19 දක්වා ඉහළට

    අද දිනය (27) තුළ සිදු වූ දෙවැනි සහ තෙවැනි කොවිඩ් ආසාදිත මරණත් කොළඹ ජාතික රෝහලෙන් වාර්තා වෙනවා. මියගොස් ඇත්තේ, කොළඹ ජාතික රෝහලට ඇතුළත් කර සිටි වයස අවුරුදු 87 ක කාන්තාවක් සහ වයස අවුරුදු 19 ක තරුණයෙක් බව කොළඹ ජාතික රෝහල් ආරංචි මාර්ග සදහන් කළේ.

    මියගිය කාන්තාව පාදයේ ආබාධ තත්ත්වයෙන් පසුවී ඇති අතර සතියක පමණ කාලයක් රෝගී වී සිට ඇති බවත් මියගිය 19 හැවිරිදි තරුණයා උපතින්ම ආබාධිත අයෙකු බවත් කොළඹ ජාතික රෝහල් ආරංචි මාර්ග සදහන් කළා.

    මේ මරණ දෙකත් සමග ලංකාවේ කොවිඩ් ආසාදිත මරණ සංඛ්‍යාව 19 දක්වා ඉහළ යනවා. කෙසේ නමුත් මෙම මරණ දෙක වසංගත රෝග විද්‍යා අංශය විසින් නිල වශයෙන් තහවුරු කර නැහැ.

  • පියයුරු පිළිකාවෙන් වැළකීමට ‘නිවැරදිම මාර්ගෝපදේශ’

    පියයුරු පිළිකාවෙන් වැළකීමට ‘නිවැරදිම මාර්ගෝපදේශ’

    පියයුරු පිළිකා’ යනු පියයුරු වල පටක වල පිළිකා සෛල ඇති වන රෝගයකි. පියයුරු සෛල වලින් ආරම්භ වී පියයුරු පිළිකාව මගින් අවට පටක විනාශ කර ශරීරයේ අනෙකුත් කොටස් වලටද ව්‍යාප්ත විය හැකිය.

    කාන්තාවකට (විරල වශයෙන් පිරිමියෙකුට පවා) පියයුරු පිළිකා වැළඳීමේ අවදානම වැඩි කළ හැකි හෝමෝන, ජීවන රටාව සහ පාරිසරික සාධක පර්යේෂකයන් විසින් හඳුනාගෙන ඇත. 

    පියයුරු පිළිකා ඇතිවීමේ පළමු රෝග ලක්ෂණය වන්නේ පියයුරු ප්‍රදේශය වටා ඇති තද ගැටිත්තකි. මෙය කාන්තාවකගේ ඔසප් චක්‍රයට සම්බන්ධ නොවිය හැකිය. 

    වෛද්‍යවරුන් ගණන් බලා ඇති පරිදි පියයුරු පිළිකා රෝගීන්ගෙන් 5-6% කට වැඩි ප්‍රමාණයක් පවුල් පරම්පරාවන් හරහා සම්ප්‍රේෂණය වන ජාන විකෘති වලට සම්බන්ධ වේ. 

    පියයුරු පිළිකා ඇතිවීමේ අවදානම වැඩි කළ හැකි තවත් පොදු සාධක නම් තරබාරුකම, වයස වැඩි වීම, පියයුරු පිළිකා ඉතිහාසය සහ පශ්චාත් කාලය තුළ හෝමෝන අසමතුලිතතාවයන් ය. 

    පියයුරු පිළිකා සාමාන්‍යයෙන් ආරම්භ වන්නේ තනපුඩුවලිනි (lobes). කාන්තාවන් හා සසඳන විට පිරිමින්ගෙන් 10%කට පමණ පියයුරු පිළිකා ඇති බව හඳුනාගෙන ඇති අතර එය තන පුඩු ප්‍රදේශයට යටින් තද ගැටිත්තක් ලෙස හඳුනාගෙන ඇත. 

    ජීවිතයට තර්ජනයක් වන මෙම රෝගයට විවිධ අවස්ථා තිබ‍ෙ. එය (අවමයේ සිට උපරිමය ලෙස) 0, I, II, III සහ IV වශයෙන් වර්ග කෙරේ. එහි තීව්‍රරතාව වැඩි වන තරමට රෝගියාගේ තත්වය වඩාත් බරපතල වේ. 

    පළමු වන (0) අදියරේදී රෝග විනිශ්චය කළ හොත් එය පාලනය කර ගැනීමට හැකියාව ලැබේ. (මෙයින් අදහස් කරන්නේ පිළිකාව පියයුරු නාලයට (කිරි නිපදවන ස්ථානයට) සීමා වී ඇති බවත්, මෙය මුල්ම අවධිය බවට පත්වන බවත්ය) 

    පියයුරු පිළිකා ස්වයංව හඳුනා ගැනීම සඳහා පොදු ක්‍රම කිහිපයක් තිබේ. ඒවා නම් ඔබේ පියයුරු ප්‍රදේශය වටා වේදනාකාරී ගැටිති තිබේද යන්න හෝ ඇතැම් හස්ත ව්‍යායාම වලදී දෑත් දිගු කරන විට ඔබට වේදනාවක් දැනෙනවාද යන්නයි.

    පියයුරු පිළිකා ඇතිවීමට හේතු

    වෛද්‍ය විද්‍යාවේ හා තාක්‍ෂණයේ දියුණුවක් තිබියදීත් පියයුරු පිළිකා ඇතිවීමට නිශ්චිත හේතුව පැහැදිලි නැත. පියයුර හා ප්‍රදේශයේ සෛල අසාමාන්‍ය අනුපාතයකින් ගුණ කිරීමට පටන් ගත් විට පියයුරු වල පිළිකා වර්ධනය වේ. 

    කාන්තාවකට පියයුරු පිළිකා වැළඳීමේ අවදානම වැඩි කරන සාධක පහත දැක්වේ:

    1. වයස: වයස වැඩි කිරීම පියයුරු පිළිකා ඇතිවීමේ විශාලතම අවදානම් සාධකයයි
    2. ඔබේ වෛද්‍ය ඉතිහාසය: ඔබට එක් පියයුරක පිළිකාවක් තිබේ නම්, ඔබට ඇති අවස්ථා තිබේ අනෙක් පියයුරු වලද පිළිකා ඇතිවිය හැක.
    3. පවුලේ ඉතිහාසය: පියයුරු පිළිකාවට හේතු විය හැකි තවත් අවදානම් සාධකයක් වන්නේ පවුල් ඉතිහාසයයි. ඔබේ මව, සහෝදරිය හෝ දියණිය පියයුරු පිළිකාවක් ඇති බව හඳුනාගෙන තිබේ නම්, විශේෂයෙන් තරුණ වයසේදී, පියයුරු පිළිකා වැළඳීමේ අවදානම ද වැඩි වේ. කෙසේ වෙතත්, බොහෝ පියයුරු පිළිකා රෝගීන් පවුලේ ඉතිහාසයක් නොමැතිව ඇති බව සොයාගෙන ඇති බව සැලකිල්ලට ගත යුතුය.
    4. ජාන: දෙමව්පියන්ගෙන් දරුවන්ට ලබා දෙන ඇතැම් ජාන විකෘති ද පියයුරු පිළිකා ඇතිවීමේ අවදානම වැඩි කරයි. BRCA1 සහ BRCA2 යනු පියයුරු පිළිකා ඇතිවීමේ අවදානම බෙහෙවින් වැඩි කළ හැකි ජාන විකෘති වේ.
    5. විකිරණවලට නිරාවරණය වීම: විකිරණ ප්‍රතිකාර වලට නිරාවරණය වීමෙන්, විශේෂයෙන් ඔබේ පපුවට පියයුරු පිළිකා ඇතිවීමේ අවදානම වැඩි කරයි.
    6. තරබාරුකම:තරබාරුකම බොහෝ සෞඛ්‍ය රෝගවලට හේතුව පමණක් නොව පියයුරු පිළිකා ඇතිවීමට ප්‍රධාන හේතුවකි.
    7. ඔබේ පළමු දරුවා වයසින් වැඩි වීම: වයස අවුරුදු 30 න් පසු පළමු දරුවා බිහි කිරීම පියයුරු පිළිකා ඇතිවීමේ අවදානම වැඩි කරයි. එසේම, කිසි විටෙකත් පිළිසිඳ නොගත් කාන්තාවන්ට පියයුරු පිළිකා ඇතිවීමේ වැඩි අවදානමක් ඇත.
    8. පශ්චාත් ආර්තවහරණය වන හෝමෝන චිකිත්සාව: ඔසප් වීමේ රෝග ලක්ෂණ වලට ප්‍රතිකාර කිරීම සඳහා එස්ටජන් හා ප්‍රොජෙස්ටරෝන් වැනි හෝමෝන චිකිත්සක ඖෂධ ලබා ගන්නා කාන්තාවන්ට පියයුරු පිළිකා වැළඳීමේ අවදානම වැඩිය . මෙම ඖෂධ අත්හිටුවීම රෝගයේ අවදානම අඩු කරයි.
    9. මත්පැන් පානය: නිතිපතා මත්පැන් පානය කිරීම පියයුරු පිළිකා ඇතිවීමේ අවදානම වැඩි කරයි.

    පියයුරු පිළිකා රෝග ලක්ෂණ

    දැනගත යුතු වැදගත්ම දෙය නම් ඔබේ පියයුරු සාමාන්‍යයෙන් දැනෙන ආකාරයයි. පියයුරු පිළිකා ඇතිවීමේ වඩාත් පොදු රෝග ලක්ෂණයක් වන්නේ පියයුරු වල ගැටිත්තක් සෑදීමයි. අක්‍රමවත් දාර සහිත පියයුරු වල වේදනා රහිත, ඝන ස්කන්ධයක් ද පියයුරු පිළිකා ඇතිවීමේ ලකුණකි. වේදනාවක් හෝ ඔබට සැකයක් ඇතිවිය හැකි රෝග ලක්ෂණ තිබේ නම්, ඔබම පරීක්ෂා කර බලන්න.

    පියයුරු පිළිකා ඇතිවීමේ තවත් මුල් රෝග ලක්ෂණ අතර:

    1. පියයුරු ඉදිමීම
    2 . පියයුරු වල හෝ තනපුඩු වල වේදනාව
    3. තන පුඩුව ඇතුළට හැරීම
    4. තන පුඩුවෙන් ශ්‍රාවයන් බැහැර කිරීම (එය කිරි නොවේ)
    5. පියයුරු සමේ හෝ තනපුඩු වල රතු පැහැය
    6. සම අඳුරු වීම
    7. තන පුඩු අසල හෝ පියයුරු මත වෙනත් තැනක ගැටිත්ත
    8. කකුලේ ගැටිත්ත
    9. පියයුරු වල හැඩය හෝ ප්‍රමාණයෙහි පැහැදිලි කළ නොහැකි වෙනසක්
    10. සමෙහි පෙනුම වෙනස් වීම
    11. තනපුඩු වල ඝණකම වෙනස් වීම
    12. රුධිර පැල්ලම් තනපුඩු වලින් විසර්ජනය
    13. අස්ථි වේදනාව

    සෞඛ්‍යය

    පිළිකා වැළැක්වීම

    දුම්පානය නතර කරන්න- දුම්පානය පියයුරු පිළිකා පමණක් නොව වෙනත් රෝග රාශියක්ද ඇති කරයි. අද ඉවත්වීම වඩා හොඳය. එසේම දුම්පානය නතර කිරීම සඳහා වෘත්තීය සහාය ලබා ගත හැකිය.

    මත්පැන් පානය සීමා කරන්න – මත්පැන් පානය කිරීමෙන් පියයුරු පිළිකා අවදානම වැඩිවේ.

    ව්‍යායාම – තරබාරුකම පියයුරු පිළිකා සඳහා එක් ප්‍රධාන අවදානම් සාධකයකි. ව්‍යායාම කිරීම, සෞඛ්‍ය සම්පන්න ආහාර පුරුදු පවත්වා ගැනීම සහ ශරීරයෙන් අමතර කිලෝ ප්‍රමාණයක් කපා හැරීම පියයුරු පිළිකා ඇතිවීමේ අවදානම අවම කිරීමට උපකාරී වේ.

    මව්කිරි දීම – මව්කිරි දීමෙන් පියයුරු පිළිකා අවදානම වළක්වා ගත හැකිය. ඔබ මව්කිරි දෙන තරමට පියයුරු පිළිකා අවදානම අවම කර ගැනීමේ අවස්ථාව වැඩි වේ.

    නිතිපතා සෞඛ්‍ය පරීක්ෂාවන් – මුල් අවධියේදී පියයුරු පිළිකා පාලනය කිරීම ඉතා පහසු වන අතර එබැවින් නිතිපතා පියයුරු පිළිකා පරීක්ෂාවන් සඳහා යාමට උපදෙස් දෙනු ලැබේ. පියයුරු පිළිකා පරීක්ෂාව යනු ‘පිළිකාවක් බවට පත්වීමට පෙර ගෙඩියක් අල්ලා ගැනීමට ඇති හොඳම‘ ක්‍රමයයි.

    ෆෙමිනා ඇසුරිණි – සකස් කළේ – තීක්ෂණ වෙළෙන්එගොඩ

  • කොරෝනා බලපෑමට ලක් වූ ‘පුද්ගලික අංශයේ වැටුප්’ගෙවන්නේ මෙහෙමයි !

    කොරෝනා බලපෑමට ලක් වූ ‘පුද්ගලික අංශයේ වැටුප්’ගෙවන්නේ මෙහෙමයි !

    පෞද්ගලික අංශයේ ආයතනවල වැඩ නොමැතිකම හේතුවෙන් සේවකයින් නිවෙස්වල නැවැත්වීමේ අවශ්‍යතාවයක් මතුවෙලා තියෙනවා නම්, අවසානවරට ගෙවපු මූලික වැටුපෙන් සියයට 50ක් හෝ රුපියල් 14,500 කියන මුදලෙන් දෙකෙන් වැඩි එක නිවසේ රඳවා සිටින සේවකයින්ට ගෙවීමට‘

    පුද්ගලික අංශයේ සේවකයින්ට වැටුප් ගෙවීම සම්බන්ධයෙන් කාර්ය සාධක බලකාය තීරණය කර තිබෙන බව අද (27) පැවති අමාත්‍ය මණ්ඩල තීරණ දැනුම්දීමේ මාධ්‍ය හමුවේ දී අමාත්‍ය උදය ගම්මන්පිල මහතා පැවසීය.

    මෙහිදී අමාත්‍යවරයා පැවසුවේ කොරෝනා වසංගත තත්ත්වය හේතුවෙන් ඇතිවී ඇති අර්බුදය හමුවේ පුද්ගලික අංශයේ සේවකයින්ට වැටුප් ගෙවීම සම්බන්ධයෙන් කාර්ය සාධක බලකායක් පත්කර තිබෙන බවත් සේවා යෝජකයින්, සේවක වෘත්තීය සමිති, ජාතික කම්කරු උපදේශක සභාව, කම්කරු අමාත්‍යාංශය සහ කම්කරු දෙපාර්තමේන්තුව නියෝජනය කරමින් එය පත්කර ඇති බවත්ය.

    මෙහිදී එහිදී ගත් තීරණය පිළිබදව වැඩි දුරටත් කරුණු පැහැදිලි කළ අමාත්‍යවරයා,

    ‘ කොරෝනා වසංගත තත්ත්වය හේතුවෙන්, පෞද්ගලික අංශයේ වැටුප් ගෙවීම් හමුවේ මතුවී ඇති අර්බුදය පිළිබඳ කාර්ය සාධක බලකායක් පත්කර තිබෙනවා. මේ කාර්ය සාධක බලකාය සදහා සේවා යෝජකයින්, සේවක වෘත්තීය සමිති, කම්කරු උපදේශක සභාව, කම්කරු අමාත්‍යාංශය සහ කම්කර් දෙපාර්තමේන්තුව සිය නියෝජනය ලබා දෙනවා.

    පසුගිය 2020 මැයි සිට සැප්තැම්බර් මාසය දක්වා පෞද්ගලික අංශයේ සේවකයන්ගේ වැටුප් ගෙවීම සම්බන්ධයෙන්, කාර්ය සාධක බලකාය එකගතා කිහිපයක් ඇතිකර ගෙන තිබෙනවා. එහි, පළමු දෙය තමයි, කොවිඩ් – 19 වසංගත තත්ත්වය හේතුවෙන් වැඩ නවත්වන ලද ආයතනවල ඒ වන විට සේවය කරමින් සිටි සේවකයින්ගේ රැකියා අහිමි නොකර ඔවුන්ව පවත්වා ගෙන යෑම.

    දෙවැනි කාරණය, සමාජ දුරස්ථභාවය පවත්වා ගැනීමේ අවශ්‍යතාවය මත සේවකයන්ගේ යම් ප්‍රතිශතයක් නම් සේවයට කැඳවන්නේ, ඒ සේවයට කැඳවන සේවකයින්ව සාමානුපාතිකව සේවයේ යෙදීමට සුදුසු ක්‍රමවේදයක් සකස් කරගැනීම.

    තෙවැනි කරුණ තමයි වැඩ නොමැතිකම සේවකයින් නිවෙස්වල නැවැත්වීමේ අවශ්‍යතාවයක් මතුවෙලා තියෙනවා නම්, අවසානවරට ගෙවපු මූලික වැටුපෙන් සියයට 50ක් හෝ රුපියල් 14,500 කියන මුදලෙන් දෙකෙන් වැඩි එක නිවසේ රඳවා සිටින සේවකයින්ට ගෙවීම. ඒ ගෙවන මුදලට අවශ්‍ය සේවක නියුක්ති භාරකාර අරමුදට හා සේවක අර්ථ සාධක අරමුදලට අවශ්‍ය ගෙවීම් සේවා යෝජකයන් විසින් සිදුකිරීම.

    කොවිඩ් වසංගතය මේ වන විටත් රටපුරා පැතිරෙමින් තිබෙන නිසා, 2020 දෙසැම්බර් දක්වාම මේ එකගතා ක්‍රියාත්මක කිරීමට කාර්ය සාධක බලකාව තීරණය කර තිබෙනවා‘ යැයි ද අමාත්‍යවරයා සදහන් කළේය.

  • 17 වැනි Covid-19 මරණය වාර්තාවෙයි

    17 වැනි Covid-19 මරණය වාර්තාවෙයි

    ශ්‍රී ලංකාවේ 17 වැනි කොවිඩ් ආසාදිත මරණය අද (27) ප.ව 1.30ට පමණ අයි.ඩී.එච්. රෝහලේදී සිදු වූ බව වසංගත රෝග විද්‍යා අංශය තහවුරු කළ බව රජයේ ප්‍රවෘත්ති දෙපාර්තමේන්තුව විසින් අද ප.ව 01.35ට නිකුත් කළ නිවේදනයක සදහන් වේ. මෙසේ මිය ගොස් ඇත්තේ ජාඇළ ප්‍ර දේශයේ පදිංචි 41 වියැති පුද්ගලයෙක් බව ද එම වාර්තාවේ වැඩි දුරටත් සදහන් වේ.

  • Covid-19 සහ කටුනායක BOI කම්කරුවන්ගේ වේදනාව: ‘මෙහෙම ගියොත් වහ කන්න තමයි වෙන්නේ’

    Covid-19 සහ කටුනායක BOI කම්කරුවන්ගේ වේදනාව: ‘මෙහෙම ගියොත් වහ කන්න තමයි වෙන්නේ’

    කටුනායක නිදහස් වෙළෙඳ කලාපයේ සේවකයින් සහ මෑන්පවර් සේවකයින් කෙරෙහි බලපාන හදිසි ඉල්ලීම්වලට ප්‍රතිචාර දක්වන ලෙස එම සේවකයින් වෙනුවෙන් පෙනී සිටින සංවිධාන සහ වෘත්තීය සමිති ශ්‍රී ලංකා ආයෝජන මණ්ඩලයෙන් ඉල්ලා සිටිති.

    අනිවාර්ය ස්වයං නිරෝධායනය වෙත යොමු කරනු ලැබ ඇති සේවකයන්ට හදිසි සහන සලාක, අත්‍යවශ්‍ය ද්‍රව්‍ය සහ ඖෂධ ලබා දීම, මෑන්පවර් කම්කරුවන් ද ඇතුළුව COVID-19 නිසා රැකියා අහිමිවූ හෝ රැකියා කිරීමට නොහැකිව සිටින නිදහස් වෙළෙඳ කලාපයේ කම්කරුවන් සඳහා රුපියල් 10,000 සෞඛ්‍ය දීමනාවක් ලබා දීම ඉහත කී සංවිධාන විසින් ඉදිරිපත් කරනු ලැබ ඇති ඉල්ලීම්වලට ඇතුළත් වේ.

    ඉහත කී සංවිධාන සහ වෘත්තීය සමිති විසින් ශ්‍රී ලංකා ආයෝජන මණ්ඩලය වෙත යොමු කරන ලද ලිපියේ දැක්වෙන සෙසු ඉල්ලීම්:

    පසුගිය මාර්තු මස අගුළු දැමීම සමග ගම්බිම් බලා පිටත්ව යාමට සැරසෙන නිදහස් වෙළෙද කලාප සේවකයින් පරීක්ෂාවට ලක් කරමින්.
    • කටුනායක නිදහස් වෙළඳ කලාපයේ සහ ඒ අවට සේවය කරන මෑන්පවර් කම්කරුවන් ද ඇතුළුව සියලුම කම්කරුවන් සඳහා PCR පරීක්ෂණ සිදු කිරීම;
    • COVID-19 රෝගීන්ට ප්‍රතිකාර කරන සියලුම රජයේ නිරෝධායන පහසුකම් සහ රෝහල් ජාත්‍යන්තර ආරක්ෂණ ප්‍රමිතීන්ට අනුකූලවන බව සහතික කිරීම.
    • නේවාසිකාගාරවල හෝ කර්මාන්ත ශාලාවල කිසිවෙකු COVID ආසාදිත බව හෝ රෝග ලක්ෂණ තිබෙන බව පෙන්නුම් කරන්නේ නම් සහ රජයේ ප්‍රතිචාර සහ හදිසි සම්බන්ධතා පිළිබඳ විස්තර ඇතුළුව අවදානම් සන්නිවේදනය සඳහා නිරන්තර ප්‍රවාහයක් පවත්වා ගැනීම. සියලුම සන්නිවේදනයන් සිංහල හා දෙමළ භාෂාවෙන් ලබා දී ඇති බවට සහතික වීම.
    • නිරෝධායන මධ්‍යස්ථාන වෙත ගෙන යන කම්කරුවන්ට, අනිවාර්ය ස්වයං නිරෝධායනයක දී සහ / හෝ අගුලු දැමීමේදී වැඩට යාමට නොහැකි වූ අයට වන්දි ලබා දීම.
    • ඒකාබද්ධ කාර්ය සාධක බලකා රැස්වීමේදී තීරණය කරන ලද අගුලු දැමීමේදී වන්දි ගෙවීම පිළිබඳ ත්‍රෛපාර්ශ්වික ගිවිසුම ප්‍රසිද්ධ කිරීම සහ බලාත්මක කිරීම.
    • කර්මාන්තශාලා විවෘත කර ඇති විට හා වැඩ කිරීමට වාර්තා කරන ලෙස කම්කරුවන්ගෙන් ඉල්ලා සිටින විට රජයේ සෞඛ්‍ය බලධාරීන් හරහා ආරක්ෂක රෙගුලාසි දැඩි ලෙස ක්‍රියාත්මක කිරීම.

    ලංකා බැංකු සේවක සංගමය (CBE), ලංකා වෘත්තීය සමිති සම්මේලනය (CFTU), ලංකා කාර්මික සේවක සංගමය (CIWU), ලංකා වෙළඳ කාර්මික සහ පොදු කම්කරු සංගමය (CMU), ලංකා ගුරු සංගමය (CTU), දාබිඳු සාමූහිකය, කටුනායක විමුක්ති ව්‍යාපාරය, ශ්‍රී ලංකාවේ නාවිකයන්ගේ ජාතික සංගමය (NUSS), ප්‍රගතිශීලී කාන්තා සාමූහිකය, මානව සංවර්ධනය සඳහා විප්ලවීය පැවැත්ම (RED), කටුනායක ශ්‍රමාභිමානී කේන්ද්‍රය, සීදූව ලංකා නැගී සිටිමු ව්‍යාපාරය සහ කටුනායක එක්සත් කම්කරු සංගමය (UFL) යන වෘත්තීය සමිති සහ සංවිධාන අදාළ ලිපියට අත්සන් තබා ඇත.

    කටුනායක නිදහස් වෙළඳ කලාපය

    ශ්‍රී ලංකාවේ COVID-19 දෙවෙනි අදියරේ ප්‍රතිඵලයක් ලෙස මේ වන විට දහස් ගණනක් කම්කරුවන් දැඩි අර්බුදයකට මුහුණ දී සිටින බව පවසන වෘත්තීය සමිති සහ සංවිධාන මිනුවන්ගොඩ බ්‍රැන්ඩික්ස් කම්හලෙන් ආරම්භ වූ විශාල පොකුර මේ වන විට කටුනායක ඇතුළු අනෙකුත් නිදහස් වෙළෙඳ කලාප (FTZ) වෙත වේගයෙන් ව්‍යාප්ත වී ඇති බව ඉහත කී ලිපියේ දක්වා ඇත.

    “හමුදාව විසින් පවත්වාගෙන යනු ලබන රජයේ නිරෝධායන මධ්‍යස්ථානවල දැනට නිරෝධායනය කරනු ලබන කම්කරුවන් 1000 කට වැඩි පිරිසකට අමතරව, බොහෝ කම්කරුවන්ට තම නේවාසිකාගාර සහ බෝඩිං ස්ථාන තුළ ස්වයං නිරෝධායනය වන ලෙස පවසා තිබේ,” යනුවෙන් ද එම ලිපියේ සඳහන් වේ.

    වැඩිදුරටත් කරුණු දක්වන එම සංවිධාන සහ වෘත්තීය සමිති, “කම්කරුවන් නවාතැන්වලින් ඉවතට පැමිණියහොත් ඔවුන්ට එරෙහිව නීතිමය පියවර ගන්නා බවට නේවාසිකාගාර හිමියන්ට පොලීසිය විසින් අනතුරු අඟවා තිබේ. කෙසේ වෙතත්, මෙම කම්කරුවන්ට නිසි පූර්ව අනතුරු ඇඟවීමක් ලබා දී නොමැති නිසා, ඔවුන්ට ආහාර සහ ඖෂධ ඇතුළු මූලික අත්‍යවශ්‍ය දෑ ගබඩා කර ගැනීමට නොහැකි වී ඇති අතර, එබැවින් ඔවුහු දිවි ගලවා ගැනීමේ අරගලයක නියැලී සිටිති,” යනුවෙන් ද පවසති.

    “මම මෑන්පවර් ඒජන්සියක් හරහා වැඩට ගිය කෙනෙක්. මට දැන් හිතෙනවා කොරෝනා හැදුන නම් මීට වඩා හොඳයි කියලා. එහෙම වුනා නම් ඉස්පිරිතාලෙක හරි ගිහින් වැටිලා දෙන දෙයක් කාලා ඉන්න තිබුණා. දැන් අපිට කර කියාගන්න දෙයක් නෑ. වැඩ තියෙයි කියලා හිතාගන්නවත් බෑ. බෝඩිමෙන් එළියට යන්නත් නෑ. හැමදාමත් කාමරයෙන් කාමරේ අනිත් අයගෙන් මොනව හරි ඉල්ගෙගෙන කන්න තමයි වෙලා තියෙන්නේ. දැන් දැන් අනිත් අය කාමරේ දොරවල් අරින්නෙත් නැහැ. ඇත්තටම ඒ ළමයින්ටත් නැතිකොට කොහොමද තවත් උන්ව බලාගන්නේ. ගෙදර යන්න විදිහකුත් නැහැ. කවුරුවත් අපි බාර ගන්න ලෑස්ති නැහැ .මෙහෙම ගියොත් වහ ටිකක් කන්න තමයි වෙන්නේ,” කටුනායක ඇවරිවත්තේ ස්වයං නිරෝධායනයේ සිරවී සිටින මෑන්පවර් සේවකයෙකු පැවසුවේ යයි ලිපියේ වැඩිදුරටත් දැක්වේ.

    Text copied by bbc sandesaya

  • Covid-19 Today Update: සම්පූර්ණ නිල වාර්තාව මෙන්න

    Covid-19 Today Update: සම්පූර්ණ නිල වාර්තාව මෙන්න

    අලුතින් හදුනාගෙන ඇතැයි කොවිඩ්-19 පැතිරීම වැළැක්වීමේ ජාතික මධ්‍යස්ථානය විසින් අද දින (27) පෙව. 05.30ට නිකුත් කළ මාධ්‍ය නිවේදනයක සදහන් වේ. එම නිල නිවේදනය සම්පූර්ණයෙන් මෙසේය.