Blog

  • ලංකාවේ කාන්තාවන් 10ක් දිනපතා පියයුරු පිළිකාවට බිලිවෙයි

    ලංකාවේ කාන්තාවන් 10ක් දිනපතා පියයුරු පිළිකාවට බිලිවෙයි

    ‘ජාත්‍යන්තර පියයුරු පිළිකා පිළිබද දැනුවත් කිරීමේ මාසය‘ ලෙස ඔක්තෝබර් මාසය නම්කර ඇත. මෙවර එහි තේමාව වන්නේ ‘කලින් හදුනා ගනිමු – ජීවිත සුරකිමු !‘ යන්නයි.

    ලෝකයේ කාන්තාවන් අතර බහුලම පිළිකාව පියයුරු පිළිකාව වන අතර ශ්‍රී ලංකාවේ ද බහුලම පිළිකා විශේෂය වනුයේ පියයුරු පිළිකාවයි.

    පියයුරු පිළිකා වැළදෙන කාන්තාවන්ගෙන් බහුතර වසය අවුරුදු 50 හෝ ඊට ආසන්න වයසේ පසුවන කාන්තාවෝ වෙති.

    ශ්‍රී ලංකාවෙන් වාර්ෂිකව පියයුරු පිළිකා රෝගීන් 3000-3500ක් පමණ අලුතින් හදුනා ගන්නා අතර දිනකට කාන්තාවන් 9-10 පමණ අලුතින් පියයුරු රෝගීන් බවට පත් වෙති.

    පියයුරු පිළිකා සම්බන්ධයෙන් ඔබ දැනුවත් කිරීම සදහා විශේෂ ලිපි පෙළක් මෙම මාසය පුරාම ඔබ වෙනුවෙන් ඉදිරිපත් කිරීමට අපි පියවර ගන්නා බව ද ඔබට දැනුම් දෙමු.

  • සෑම කාන්තාවන් 5/1 අයෙක් පෙළෙන ‘බියකරු කාන්තා රෝගය’ PCOS ඔබ දැනුවත් ද ?

    සෑම කාන්තාවන් 5/1 අයෙක් පෙළෙන ‘බියකරු කාන්තා රෝගය’ PCOS ඔබ දැනුවත් ද ?

    මගේ කොණ්ඩය අසාමාන්‍ය විදිහට වැටෙන්න ගත්තා. ඒ වගේම ඇඟේ බර හොඳටම වැඩි වුණා. උසට හරියන බරට වඩා කිලෝ දහයක් වැඩි වුණා. මම මහා ගොඩක් කෑම කන කෙනෙක් නෙමෙයි. පීරියඩ්ස් හැදෙන එකත් මාස හතරකට නතර වුණා,” වෙනූ ලෙස හඳුන්වන මෙන් ඉල්ලීමක් කළ කාන්තාවක බීබීසී සිංහල සේවය සමග සිය අදහස් බෙදා ගත්තාය.

    “අදාළ ටෙස්ට් කළ පසු මට පොලිසිස්ටික් ඕවරි සින්ඩ්‍රම් කියන රෝග තත්වය තියෙනවා කියලා දොස්තරලා හඳුනාගත්තා. මම ඊට කලින් එහෙම දෙයක් ගැන කවදාවත් අහල තිබුණේ නැහැ. නමුත් මේක කාන්තාවන් අතර අතිශය බහුල, ඒ වගේම උපදෙස්, ප්‍රතිකාර අවශ්‍ය රෝගයක් කියලා පසුව දැනගත්තා.”

    පොලිසිස්ටික් ඩිම්බ සින්ඩ්‍රෝමය(Polycystic ovary syndrome /PCOS) යනු කුමක්ද?

    පොලිසිස්ටික් ඩිම්බ සින්ඩ්‍රෝමය (PCOS) යනු කාන්තාවන් තුළ ඇතිවන හෝමෝන අසමතුලිතතා තත්ත්වයකි.

    කාන්තාවන් කොපමණ සංඛ්‍යාවකට PCOS ඇතිදැයි නියත වශයෙන් දැන ගැනීම අපහසුය. නමුත් සෞඛ්‍ය සේවා දත්තවලට අනුව එය ඉතා සුලභ යැයි සිතන අතර ලෝකයේ සෑම කාන්තාවන් 100 දෙනෙකුගෙන් හත් දෙනෙකු තුළම මෙම තත්වය දැකිය හැකිය.

    ශ්‍රී ලංකාව තුළ මේ සම්බන්ධයෙන් නිසි ගණනයක් සිදු කර නොමැති නමුත්, සෑම කාන්තාවන් පස් දෙනෙකුගෙන් එක් අයෙකු තුළවත් මෙම තත්වය දැකිය හැකි යැයි ප්‍රසව හා නාරිවේද විශේෂඥ වෛද්‍ය එස් සිවසුමිත්‍රන් පැවසීය.

    මෙම තත්වය දැරියක මල්වර වීමේ සිට ආර්ථව හරණය දක්වා ඕනෑම අවස්ථාවක ඇති විය හැකිය.

    කෙසේනමුත්, මෙම කාන්තාවන්ගෙන් අඩකට වඩා පිරිසකට කිසිදු රෝග ලක්ෂණයක් නොමැත.

    මෙහිදී සිදුවන්නේ ඩිම්බකෝෂ වල මිලිමීටර් 8 (දළ වශයෙන් අඟල් 0.3ක්) දක්වා වූ හානිකර නොවන කුඩා බිබිළි (follicles) විශාල ප්‍රමාණයක් අඩංගු වී තිබීමය.

    මේ හේතුවෙන් ඩිම්බ මේරීම නිසි ලෙස සිදු නොවන අතර, නිසියාකාරව ඩිම්බ මෝචනය නොවේ.

    ‘ඩිම්බකෝෂවල ගෙඩි ඇතිවීම නැත්නම් ඉදිමීම’ යනුවෙන් ද මෙම තත්වය සාමාන්‍යය ව්‍යවහාරයේ හඳුන්වයි.

    Polycystic ovary syndrome
    ඡායාරූප ශීර්ෂ වැකිය,සීමාවාසික ආයුර්වේද වෛද්‍ය කේශානි රන්දිමා

    “බටහිර වෛද්‍ය විද්‍යාවේ Polycystic Ovary Syndrome/ Disease (PCOS/PCOD) යනුවෙන් සඳහන් රෝගී තත්ත්වය ඩිම්බ නොමේරීමේ රෝගී තත්වයක් වන අතර, ආයුර්වේද වෛද්‍ය ග්‍රන්ථ වල එක් නිශ්චිත නමක් සඳහන් කර නැහැ,” යැයි සීමාවාසික ආයුර්වේද වෛද්‍ය කේශානි රන්දිමා පැවසීය.

    “මෙය ස්ත්‍රියකගේ ආර්තව චක්‍රය හා බැඳුනු රෝගී තත්වයක් නිසා ආයුර්වේද වෛද්‍ය විද්‍යාවේ සඳහන් “ආර්තව ව්‍යාපත්” අතර “ආර්තව ක්ෂය” යටතේ මෙම රෝගයට අදාල රෝග ලක්ෂණ පිළිබඳව විස්තර කෙරෙනවා.”

    “ආයුර්වේදයේ ආර්තව යන වචනයෙන් ස්ත්‍රී බීජ (ඩිම්බ), ස්ත්‍රී අම්බු (හෝර්මෝන) සහ ඔසප් වීමේදී පිටවන රුධිරය නිරූපනය කරනවා. මෙම රෝගී තත්වයේදී ස්ත්‍රී බීජ, ස්ත්‍රී අම්බු සහ ඔසප් රුධිරය යන ත්‍රිත්වයේම වෙනස් කම් සිදුවන නිසා ආර්තව ව්‍යාපත් යටතේ සඳහන් කර තිබෙනවා,” ආයුර්වේද වෛද්‍යවරිය තවදුරටත් පැහැදිලි කළාය.

    PCOS හි ප්‍රධාන ලක්ෂණ තුන නම්:

    • අක්‍රමවත් ඔසප් වීම් හෝ ඔසප් වීම සිදු නොවීම – මෙයින් අදහස් වන්නේ ඩිම්බ මේරීම නිසි ලෙස සිදු නොවීම සහ නිසියාකාරව ඩිම්බ මෝචනය නොවීමය.
    • ඇන්ඩ්‍රොජන් වැඩිවීම – ඔබේ ශරීරයේ “පිරිමි” හෝමෝන ඉහළ මට්ටමක පවතින අතර එමඟින් මුහුණ හෝ ශරීරයේ අධික ලෙස රෝම වර්ධනය වීම වැනි ශාරීරික සංඥා ලබා දෙනු ඇත.
    • පොලිසිස්ටික් ඩිම්බකෝෂ – ඔබේ ඩිම්බකෝෂ විශාල වී ඒවා මත දියර පිරුණු බිබිළි විශාල ප්‍රමාණයක් තිබීම (නමුත් මෙය ඩිම්බකෝෂවල ගෙඩි ඇතිවීමක් ලෙස හැඳින්විය නොහැකිය)

    අවම වශයෙන් මෙම ප්‍රධාන රෝග ලක්ෂණවලින් දෙකක් හෝ තිබේ නම්, ඔබට PCOS යන රෝග තත්වය තිබෙන බවට වෛද්‍යවරුන් විනිශ්චය කරනු ඇත.

    මුහුණේ හෝ සිරුරේ අධික ලෙස රෝම වර්ධනය වීම

    PCOS තවත් රෝග ලක්ෂණ තිබේ ද?

    පොලිසිස්ටික් ඩිම්බ ප්‍රදාහය හේතුවෙන් කාන්තාවකට පහත සඳහන් රෝග ලක්ෂණ ද ඇතිවිය හැකිය:

    • හිසකෙස් තුනී වීම හා ගැලවී යාම
    • සිරුරේ බර වැඩිවීම
    • මුහුණේ හෝ සිරුරේ අධික ලෙස රෝම වර්ධනය වීම
    • කුරුලෑ ඇති වීම
    • ගෙල මහත් වී කළු පැහැ ගැන්වීම
    • භාවමය ගැටලු, සාංකාව හා විෂාදය වැනි තත්ත්වයන්
    • ගැබ් ගැනීමට අපහසු වීම
    • ගබ්සා වීම
    • දෙවෙනි කාණ්ඩයේ දියවැඩියාව ඇති වීමේ ඉහළ අවදානම

    කෙසේනමුත්, මෙම රෝග ලක්ෂණ පුද්ගලයාගෙන් පුද්ගලයාට වෙනස් විය හැකි අතර, කාලයත් සමග ද රෝග ලක්ෂණවල වෙනස්කම් සිදු විය හැකිය.

    එමෙන්ම, මේ කිසිදු ලක්ෂණයක් මතු නොවුණු PCOS රෝගීන් ද සිටින බව වෛද්‍ය එස් සිවසුමිත්‍රන් පැවසීය.

    “දරුවෙක් හදාගන්න සෑහෙන වෙහෙසක් දරන්න වුණා. මට පොලිසිස්ටික් ඕවරි සින්ඩ්‍රම් තත්වය තියෙනවා කියලා වෛද්‍යවරු කිව්වා. මේක අපි සාමාන්‍යයෙන් කියනවා වගේ වඳ තත්වයක්ම නෙමෙයි, නමුත් දරුවෙක් පිළිසිඳ ගැනීම ටිකක් අපහසු වෙන තත්වයක් කියලා මට ඔවුන් පැහැදිලි කළා,” මීගමුව ප්‍රදේශයේ පදිංචි 37 හැවිදිරි කාන්තාවක පැවසුවාය.

    “දැන් මට දරුවෝ දෙන්නෙක් ඉන්නවා. මට තියෙන රෝග ලක්ෂණය තමයි ඇඟ සහ මූණ පුරා මයිල් සෑහෙන්න වැවෙන එක. පීරියඩ්ස් වල දී ලේ පිට වුණේ බින්දුවක් වගේ. හැබැයි දරුවෝ හදන්න ලෑස්ති වෙනකම්ම මම දොස්තර කෙනෙකුට පෙන්නුවේ නැති නිසා තත්වය ටිකක් නරක අතට හැරුණා,” ඇය තවදුරටත් පැවසුවාය.

    PCOS ඇතිවීමට හේතුව කුමක්ද?

    PCOS ඇතිවීම සම්බන්ධයෙන් නිශ්චිත හේතුවක් නොදන්නා නමුත් එය බොහෝ විට පාරම්පරික ජානවලින් ඇති විය හැකියි.

    මෙම තත්ත්වය ඇති කාන්තාවන්ගෙන් විශාල පිරිසට PCOS රෝගී තත්වය ඇති මවක්, ඥාතීවරියක් හෝ සහෝදරියන් සිටීමට ඉඩ ඇත.

    එමෙන්ම, එය ශරීරයේ අසාමාන්‍යය හෝමෝන මට්ටම් සහ ඉන්සියුලින් ඉහළ යාම ද මෙම තත්වය ඇතිවීම හා සම්බන්ධ වේ. ඉන්සියුලින් යනු ශරීරයේ සීනි මට්ටම පාලනය කරන හෝමෝනයකි.

    PCOS ඇති බොහෝ කාන්තාවන්ගේ ශරීරය ඉන්සියුලින් ක්‍රියාකාරිත්වයට ප්‍රතිරෝධී වන අතර මෙය මඟහරවා ගැනීම සඳහා ඉහළ ඉන්සියුලින් ප්‍රමාණයක් නිපදවීමක් සිදුවේ.

    මෙය ටෙස්ටොස්ටෙරෝන් වැනි හෝමෝන නිෂ්පාදනය හා ක්‍රියාකාරිත්වය වැඩි කිරීමට දායක වේ.

    එමෙන්ම, අධික බර හෝ තරබාරු වීමෙන් ද ඔබේ ශරීරය නිපදවන ඉන්සියුලින් ප්‍රමාණය වැඩිවේ.

    Polycystic ovary syndrome

    “තරබාරු කෙනෙක්ගේ ශරීරයේ කොටස්වල, විශේෂයෙන්ම උදරයේ මේදය තැන්පත් වෙනවා. එවිට වැඩි ඉන්සියුලින් ප්‍රමාණයක් ශරීරයට අවශ්‍ය වෙනවා. එහෙම ඉන්සියුලින් අවශ්‍යතාව වැඩි වෙනකොට එහි ක්‍රියාකාරිත්වයට ප්‍රතිරෝධයක් ඇතිවෙනවා. එතකොට ශරීරය තව ඉන්සියුලින් නිපදවන්න ගන්නවා. එයින් තවත් ශරීරය මහත් වෙනවා,” වෛද්‍ය එස් සිවසුමිත්‍රන් පැහැදිලි කළේය.

    PCOS ඇත්දැයි දැනගන්නේ කෙසේද?

    වෛද්‍යවරයා ඔබේ සිරුර සහ රෝග ඉතිහාසය ගැන අවධානය යොමු කරන අතර, රුධිරය පරීක්ෂාව සහ ‘අල්ට්‍රාසවුන්ඩ් ස්කෑන් (ultrasound scan)’ පරීක්ෂණයක් ද සිදු කරනු ඇත.

    “අල්ට්‍රාසවුන්ඩ් ස්කෑන් එකක් කියන්නේ කිසිම සංකූලතා නැති පරීක්ෂණයක්. ඩිම්බකෝෂවල මෝරලා නැති, පිට වී නැති බිත්තර බිබිළි විදිහට තිබෙන ආකාරය මේ පරීක්ෂණයෙන් බලා ගන්න පුළුවන්. සමහර විට ඩිම්බකෝෂ මහත් වෙලා තියෙනවා නැත්නම් වතුර පිරිණු ගැටිති වගෙත් තියෙන්න පුළුවන්.”

    “අල්ට්‍රාසවුන්ඩ් ස්කෑන් එකෙන් අපිට ගොඩක් දුරට මේ රෝගී තත්වය විනිශ්චය කරන්න පුළුවන්, හැබැයි ඒක මතම තීරණයකට එන්න අපහසුයි. අපිට අනික් ලක්ෂණත් අනිවාර්යයෙන් සොයා බලන්න වෙනවා. හෝමෝන් පරීක්ෂණයක් ද සිදු කරන්න පුළුවන්. ඒ වගේම ශරීරයේ ඉන්සියුලින් තත්වයේ බලපෑම නිසා ඉන්සියුලින් පරීක්ෂණයක් ද සිදු කර මේ රෝගය සොයා ගන්න පුළුවන්,” වෛද්‍ය එස් සිවසුමිත්‍රන් පැවසුවේය.

    බුබුලු ලෙස පෙනෙන ගැටිති යම් ප්‍රමාණයක් තිබීම ගැටලුවක් නොවන අතර, ඔබේ වයසට සාපේක්ෂව වැඩිපුර ප්‍රමාණයක් තිබීම මෙම රෝගී තත්වය යැයි සැක කිරීමට ඉඩ ඇත.

    Polycystic ovary syndrome

    PCOS සුව කළ හැකිද?

    මෙය සුව කළ නොහැකිය. නමුත් එය පාලනය කර ගත හැකිය.

    ඉහත සඳහන් කළ රෝග ලක්ෂණ ඇත්නම් ඔබ වෛද්‍යවරයෙකු හමු වී උපදෙස් ගැනීම ඉතා වැදගත්ය. එම උපදෙස් අනුව රෝගය පාලනය සඳහා යම් පියවර අනුගමනය කළ හැකිය:

    • ඔබ උසට සාපේක්ෂව ශරීරයේ බර වැඩි නම්, එය අඩුකර ගැනීමෙන් රෝග ලක්ෂණ අවම කර ගත හැකිය. ඒ සඳහා නිසි ව්‍යායාම සහ ආහාර පාලනය අත්‍යවශ්‍ය වේ.
    • අක්‍රමවත් ඔසප් වීම, හෝමෝන උපත් පාලන පෙති හා වෙනත් ඖෂධ මගින් කළමනාකරණය කළ හැකිය. නමුත්, මෙය ලබා ගත යුත්තේ වෛද්‍යවරයෙකුගේ නිර්දේශ මත පමණි.
    • ශරීරයේ අධික රෝම ඉවත් කිරීමේ ක්‍රම භාවිත කළ හැකිය. උදාහරණ: වැක්ස් කිරීම, ලේසර් කිරීම හෝ වෙනත් රෝම ඉවත් කිරීමේ ක්‍රම. එමෙන්ම, මෙය ඖෂධ මගින්ද පාලනය කළ හැකිය.
    • අධික ලෙස හටගන්නා කුරුලෑ බිබිලි ද ඖෂධ මගින් පාලනය කළ හැකිය.
    • නිරෝගීමත් ජීවන රටාවක් අනුගමනය කිරීම, සමබර ආහාර වේලක් නිසි වෙලාවට ගැනීම.
    Polycystic ovary syndrome

    “මට පොලිසිස්ටික් ඕවරි සින්ඩ්‍රම් කියලා දැනගත්තේ අවුරුදු දහ අටේදී. ඒ කාලේ දීපු කිසි බෙහෙතක් මම ගත්තේ නැහැ. ඒ වගේම කිසිම සෞඛ්‍ය උපදෙසක් පිළිපැද්දේ නැහැ. අද මට වයස 35ක්. ලෙඩේ සෑහෙන වැඩි වෙලා දැන් මට බොහොමයක් සෞඛ්‍ය ගැටළුවලට මුහුණ දෙන්න වෙලා. මම ඉල්ලන්නේ හැමෝගෙන්ම මේ ගැන දැනුවත් වෙන්න, සෞඛ්‍ය තත්වය හොඳින් පවත්වාගෙන යන්න කියලා,” මේ වන විට විදෙස් රටක දිවිගෙවන ශ්‍රී ලාංකික කාන්තාවක බීබීසී සිංහල සේවයට පැවසුවාය.

    මෙය ‘වඳ’ තත්වයක් ද?

    PCOS රෝගී තත්වය සහිත කාන්තාවෝද එවන් තත්ත්වයක් නොමැති කාන්තාවන් ලබන දරුවන් ගණනම ලබති.

    එහෙත් ගර්භණී වීමේ දී ඔවුනට අතිරේක වෛද්‍ය උපදෙස්, ප්‍රතිකාර අවශ්‍යය වන බව වෛද්‍යවරු පවසති. එහෙයින්, රෝගය කළින් හඳුනාගෙන නිසි ප්‍රතිකාර ලබා ගැනීම ඉතා වැදගත්ය.

    මේ පිළිබඳ තවදුරටත් පැහැදිලි කළ සීමාවාසික ආයුර්වේද වෛද්‍ය කේශානි රන්දිමා පැවසුවේ, “මේ රෝගය නොසලකා හැරියොත් හෝ නිසි ප්‍රතිකාර නොකලහොත් ඒ නිසා කෙනෙකුට මදසරුභාවය හෝ වන්ද්‍යභාවය (subfertility or infertility), ගර්භනී කාලයේ ඇතිවන දියවැඩියාව (Gestational diabetes), ගබ්සා වීම් හෝ නොමේරු දරු උපත් සිදුවීම (abortions or premature childbirths) මෙන්ම අධිරුධිර පීඩනය (Hypertension ), හෘද රෝග (Heart diseases) වැනි රෝග රාශියකට මුහුණ දීමට ද ඉඩ තිබෙනවා,” යනුවෙනි.

    Polycystic ovary syndrome

    ආයුර්වේද උපදෙස් මොනවාද?

    ආයුර්වේද වෛද්‍ය කේශානි රන්දිමා මේ පිළිබඳ වැඩිදුරටත් පැහැදිලි කළාය:

    ඩිම්බ නොමේරීමේ රෝගයෙන් වැලකීමට පිළියම් වශයෙන්,

    • දිනපතා සමබර ආහාර වේලක් ගැනීම
    • ආහාර වේල සදහා වැඩිපුර එළවළු, පළා වර්ග සහ පලතුරු වර්ග එකතු කරගැනීම
    • දිනපතා ව්‍යායාම කිරීමෙන් ශරීරයේ උසට සරිලන බරක් පවත්වා ගැනීම
    • සතියකට වරක් වත් කොල කැද පානය කිරීම
    • හැකිතරම් උෂ්ණ, අම්ල හා විදාහී ආහාරවලින් වැලකීම (ඉස්සෝ ,දැල්ලෝ ,බල මාලු, අන්නාසි, අච්චාරු වැනි)
    • ශරීරය සිසිල් කරන ආහාර පාන ගැනීම
    • හැකිතරම් මානසික නිදහස්බව සහ සුවතාවය පවත්වා ගැනීම
    • ක්ෂණික ආහාර සහ පෙර පිසින ලද මස් වර්ග ආහාරයට ගැනීම හැකිතරම් සීමා කිරීම

    “එක් එක් පුද්ගලයා සඳහා විශේෂිතවූ චිකිත්සා පද්ධතියකින් සමන්විත ආයුර්වේද වෛද්‍ය විද්‍යාවේදී මෙම රෝගය සඳහා සාර්ථක ප්‍රතිකාර පවතිනවා. ඒ අතර එක් එක් පුද්ගලයගේ ප්‍රකෘතිය, දෝෂ තත්ත්වය සහ රෝග ලක්ෂණ අනුව සිදුකරන මෘදු ශෝධන ප්‍රතිකාර, නස්‍ය ප්‍රතිකාර, වස්ති ප්‍රතිකාර, ශරීරයේ අග්නි දීපනය සදහා වන ප්‍රතිකාර, හෝමෝන අසමතුලිතතාවය නිවැරැදි කිරීම සඳහා ඖෂධ ලබාදීම, ඩිම්බ මේරීම සදහා ශරීරය තුළට ඖෂධ ලබා දීම හා බාහිරින් සිදුකරන ප්‍රතිකාර විශේෂ වෙනව,” වෛද්‍යවරිය පැවසුවාය.

    Polycystic ovary syndrome

    මෙම ලිපිය සම්පූර්ණයෙන්ම බී.බී.සී. සන්දේශයෙන් උපුටා ගන්නා ලද ලිපියකි. නිවැරදි, විද්‍යාත්මක සෞඛ්‍ය කරුණු සිංහල පාඨකයින් වෙත ගෙන යාම සදහා මෙය උපුටා ගන්නා ලදි – ප්‍රධාන සංස්කාරක

  • ගව ඝාතනය තහනම් කිරීමෙන් විමුක්තිය ලැබෙන්නේ කාටද ?

    ගව ඝාතනය තහනම් කිරීමෙන් විමුක්තිය ලැබෙන්නේ කාටද ?

    නව රෙගුලාසි යටතේ ගව මස් පරිභෝජනය කරන ජනතාවට අවශ්‍ය මස් ආනයනය කිරීමට තීරණය කර ඇති අතර කෘෂිකාර්මික කටයුතු සඳහා ඵලදායී ලෙස භාවිතා කළ නොහැකි වයස්ගත ගවයින් සඳහා වෙනමම වැඩපිළිවෙළක් ක්‍රියාත්මක කරන බව ද කැබිනට් පත්‍රිකාවේ දැක්වේ.

    සාම්ප්‍රදායික ගොවිතැන ආරක්ෂා කිරීම, දේශීය කිරි කර්මාන්තය නංවාලීම, ග්‍රාමීය ජනතාවගේ ජීවනෝපාය සහ ආනයනික කිරිපිටි වලින් විදේශ විනිමය අඩුවීම අවම කිරීම සඳහා ගව ඝාතනය තහනම් කිරීමට අමාත්‍ය මණ්ඩලය තීරණය කර තිබේ.

    කෙසේ වුවත් මෙය ග්‍රාමීය ආර්ථිකය මෙන්ම කිරි කර්මාන්තය සම්බන්ධයෙන් ඉතා අයහපත් තීරණයක් වන අතර එය ආර්ථිකමයට වඩා දේශපාලනික තීරණයක් බව ඇතැම් විශ්ලේෂකයන්ගේ මතය වී තිබේ.

    වසර 127 ක් පැරණි රෙගුලාසි වෙනස් කර ගව ඝාතනය වහාම තහනම් කිරීමට අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මහතා කළ යෝජනාවට අමාත්‍ය මණ්ඩලය සඳුදා අනුමැතිය ලබා දුන් බව අමාත්‍ය මණ්ඩල ප්‍රකාශක අමාත්‍ය රඹුක්වැල්ල පැවසීය.

    “කෘෂිකර්මාන්තය මත පදනම් වූ ආර්ථිකයක් පවතින රටක් ලෙස ශ්‍රී ලංකාව තුල ග්‍රාමීය ජනතාවගේ ජීවනෝපාය සංවර්ධනය කිරීම සඳහා ගව සම්පතෙන් ලැබෙන දායකත්වය අති විශාල වේ,” යනුවෙන් කැබිනට් පත්‍රිකාව සඳහන් කරයි.

    “ගව ඝාතනය ඉහළ යාම හේතුවෙන් සාම්ප්‍රදායික ගොවිතැන් කටයුතු සිදු කිරීමේදී අවශ්‍ය වන ගව සම්පත ප්‍රමාණවත් නොවන බවත්, ආනයනික කිරිපිටි සඳහා විදේශයනට ඇදී යන අති විශාල විදේශ විනිමය ප්‍රමාණය අවම කර ග්‍රාමීය ජනතාවගේ ජිවනෝපාය වැඩි දියුණු කිරීමට කිරීමට හැකිවන පරිදි දේශීය කිරි කර්මාන්තය නගාසිටුවීම සදහා ප්‍රමාණවත් ගව සම්පතක් නොමැති වීම එම කර්මාන්තයේ දියුණුවට බාධාවක් වී ඇති බවත් විවිධ පාර්ශවයන් පෙන්වා දී ඇත,” යනුවෙන් ද අමාත්‍ය රඹුක්වැල්ල පැවසීය.

    1958 අංක 29 දරණ සත්ව පනත, 1893 අංක 9 දරණ ගව ඝාතන ආඥා පනත සහ දැනට රට තුළ බලාත්මකව පවතින ගව ඝාතනය සම්බන්ධයෙන් පළාත් පාලන ආයතන විසින් සම්මත කරන ලද වෙනත් නීති හා රෙගුලාසි සංශෝධනය කිරීමට කැබිනට් පත්‍රිකාව මගින් යෝජනා කර තිබේ.

    නව රෙගුලාසි යටතේ ගව මස් පරිභෝජනය කරන ජනතාවට අවශ්‍ය මස් ආනයනය කිරීමට තීරණය කර ඇති අතර කෘෂිකාර්මික කටයුතු සඳහා ඵලදායී ලෙස භාවිතා කළ නොහැකි වයස්ගත ගවයින් සඳහා වෙනමම වැඩපිළිවෙළක් ක්‍රියාත්මක කරන බව ද කැබිනට් පත්‍රිකාවේ දැක්වේ.

    ශ්‍රී ලංකාවේ මිලියන 22 ක ජනතාවගෙන් 70% බෞද්ධයින් වන අතර 12.6% ක් හින්දු ද 9.7% මුස්ලිම් ද 7.6% කිතුනුවන් සහ අනෙකුත් ආගමිකයින් 0.03% ක් ද වෙති.

    2018 දී ශ්‍රී ලංකාව මුළු ඉල්ලුමෙන් සියයට 45 ක් පමණක් කිරි නිෂ්පාදනය කළ අතර රුපියල් බිලියන 50 ක් වටිනාකමකින් යුත් කිරිපිටි මෙට්‍රික් ටොන් 99028 ක් ආනයනය කර ඇත.

    සත්ව නිෂ්පාදන හා සෞඛ්‍ය දෙපාර්තමේන්තුවේ දත්ත වලට අනුව 2019 දී ශ්‍රී ලංකාවේ ගව ගහනය මිලියන 1.5 ඉක්මවා ඇත. එහි මී හරකුන් 472,000 ක් ද සිටී. 2019 දී ශ්‍රී ලංකාව තුළ ගව මස් ටොන් 29,000 කට වඩා පරිභෝජනය කර තිබේ.

    දේශපාලන විචාරක කුසල් පෙරේරා බීබීසී සිංහල සේවය සමග ප්‍රකාශ කළේ මෙය හුදෙක්ම දේශපාලනමය තීරණයක් මිස ආර්ථිකමය හෝ ආගමික මූලධර්ම මත පදනම්ව ගත් තීරණයක් නොවන බවයි.

    “මෙය හුදෙක්ම කැබිනට් තීරණයකට සීමා වෙයි කියල මම විශ්වාස කරනවා ඒකට හේතුව තමයි මේක ජනප්‍රිය දේශපාලන ගුණ්ඩුවක් හැටියට තමයි මම දකින්නේ,” ඔහු පැවසීය.

    “20 වන සංශෝධනය, චක්‍රලේඛ නිකුත් කිරීම, පරිසර හානිය, පොල් මිල හා ඉහල ගිය බඩුමිල වැනි විවිධ මාතෘකා කතාවන පසුබිමක මේක හොඳ දේශපාලන ගුණ්ඩුවක්. මේ මාතෘකාව සිංහල බෞද්ධ බහුතරය පිනවීමට හැකි හොඳ මාතෘකාවක්. නමුත් ඇත්ත වෙන එකක්. ඉන්දියාව වගේ රටවල් ගවයින් දේවත්වයෙන් සැලකුවත් ඔවුන් ගව ඝාතනය යම්කිසි කොන්දේසි වලට යටත්ව සිදුකරන්නේ එය ආර්ථිකයට සෘජුවම බලපාන නිසයි.”

    ශ්‍රී ලංකාව තුළ ගව ඝාතනය තහනම් කරන ලෙස ඉල්ලා බෝවත්තේ ඉන්ද්‍රරතන නම් භික්ෂුවක් 2013 මැයි 24 වැනිදා ශ්‍රී දළදා මාළිගාව ඉදිරිපිට ගිනි තබා ගත් තේය.

    මුස්ලිම් කවුන්සිලයේ ප්‍රතිචාරය

    මෙය වක්‍රාකාරයෙන් මුස්ලිම් ප්‍රජාව ඉලක්ක කර ගත් තීරණයක් ලෙසින් හුවා දක්වා සිංහල බෞද්ධ බහුතරය සතුටු කරන තීරණයක් වුවත් යතාර්ථය නම් යම්තාක් දුරකට මුස්ලිම් හිමිකාරිත්වයක් ඇති මස් වෙළෙඳාම් කරන හා ගවයින් මිලදී ගනු ලබන වෙළෙඳුන්ට තාවකාලිකව බලපෑමක් එල්ලවෙන නමුත් ඔවුන් දිගුකාලීනව වෙනත් ව්‍යාපාරයන් වෙත තල්ලුකිරිම තුළින් මෙමගින් විය හැකි බලපෑම ඉතා අඩු බව කුසල් පෙරේරා ගේ අදහසය.

    “මෙම තීරණය ජනතාවගේ නිදහස සීමාවීමක් තමයි ඒත් මෙය බෞද්ධ ජනතාවගේ අවශ්‍යතාවය නම් අපි ඒකට විරුද්ධ වෙන්නේවත් ප්‍රශ්නයක් කරගන්නේ වත් නැහැ,” ශ්‍රී ලංකා මුස්ලිම් කවුන්සිලයේ සභාපති එන් එම් අමීන් බීබීසී සිංහල සේවය සමග පැවසීය.

    ආර්ථික විශේෂඥයන් පවසන්නේ මෙමගින් ගැමි ආර්ථිකයට මෙන්ම කිරි හා ඒ ආශ්‍රිත කර්මාන්තයන්ට ප්‍රධාන වශයෙන් බලපෑමක් ඇති කරවන බවයි.

    “ලංකාව වගේ කුඩා කිරි ගොවින් සිටින රවල එම කිරි ගොවියන් වයස්ගත එළදෙනුන් මෙන්ම ඉපදෙන පිරිමි ගවයන් විකිණීම තුළින් තම වියදම් කලමනාකරනය කරගන්නවා. ඒත් මෙවැනි තීරණයක් තුළින් ඔවුන්ගේ නිෂ්පාදන වියදම ඉහල යනවා,” ෆස්ට් කැපිටල් හි පර්යේෂණ අංශ ප්‍රධානී ඩිමන්ත මැතිව් බීබීසී සිංහල සේවය සමග පැවසීය.

    ඩිමන්ත මැතිව් පවසන්නේ සීමා පැනවීම් ගෙන එන සියලුම අවස්තාවන් හිදී කළු ආර්ථිකයකට මග විවර වන අතර, එම සීමාවන් තුලින් වෙනම ආර්ථික වාසි ලබාගැනීමට බලාපොරොත්තු වන පිරිසක් සිටින බැවින් ජාවාරම් සහ නීති විරෝධී ක්‍රියාකාරකම් වැඩි වීමට මෙය මග පාදන බවය.

    text by bbc sandesaya

  • ගර්භණී මවුවරුන්ට Sex අකැපයි ද ?

    ගර්භණී මවුවරුන්ට Sex අකැපයි ද ?

    ගැබිනි මව්වරුන් සහ දරුවන්ගේ සුවසෙත වෙනුවෙන් ලියැවුණු පොත් පිංචක්, දේශීය සහ වෛකල්පිත වෛද්‍ය ක්‍රම ප්‍රවර්ධනය සඳහා ඉන්දීය රජය පිහිටුවා ඇති ‘ආයුෂ් අමාත්‍යංශය’ විසින් පසුගිය සතියේ දී නිකුත් කරන ලදී.

    ගැබිණි කාන්තාවන් බිත්තර සහ මාංශ අනුභවයෙන් වැළකී, ශාරීරික ව්‍යායාමවල යෙදෙමින් ආශාවන්ගෙන් සහ රාගයෙන් තොරව කල්ගත කළ යුතු බවත් තම නිදන කාමරය තුළ අලංකාර පින්තූර එල්ලා තැබිය යුතු බවත් සඳහන්වන උපදෙස් මාලාවක් එම පොතෙහි අඩංගුවේ.

    පොත

    පිටු දාසයකින් යුත් මෙම කුඩා ග්‍රන්ථය ඉන්දියාවේ මාධ්‍යවේදීන්ට ද ලබා දී තිබේ.

    මෙම ග්‍රන්ථය මීට තෙවසරකට ඉහත දී මුද්‍රණය කර තිබෙන නමුත් පසුගිය බදාදාට (ජුනි 14) යෙදුණු ජාත්‍යන්තර යෝගා දිනය නිමිත්තෙන් එය යළිත් වරක් බෙදා හරිනු ලැබීමෙන් අනතුරුව ඉන්දීය මාධ්‍යවේදීහු ඒ පිළිබඳව ලියන්නට පටන් ගත්හ.

    ගැබිනි මව්වරුන්ට සුදුසු – නුසුදුසු ආහාර සහ යෝගා ව්‍යායාම පිළිබඳවත් කළයුතු සහ නොකළ යුතු ක්‍රියාකාරකම් පිළිබඳවත් කියවිය යුතු පොත්පත්, පැවැත්විය යුතු සමාගමයන් සහ නිතර දෙවේලේ බැලියයුතු පින්තූර පිළිබඳවත් උපදෙස් මාලාවක් මෙම පොත් පිංචේ අඩංගු වෙයි.

    එහි අඩංගු ඇතැම් උපදෙස් ඉන්දීය වෛද්‍යවරු විසින් ප්‍රශංසාවට ලක් කරනු ලැබ ඇති නමුත් සියලුම උපදෙස් පිළිපැදීම බුද්ධි ගෝචර නොවන බව වෛද්‍යවරු පවසති.

    ගැබිනි මාතාවන්ගේ ආහාරයට පලතුරු, එළවලු සහ ධාන්‍ය වර්ග එක්කර ගන්නා ලෙස ලබා දී ඇති උපදෙස වෛද්‍යවරු අනුමත කරති.

    බිත්තර

    මන්දපෝෂණය

    නමුත් බිත්තර සහ මස් මාංශ ආහාරයට නොගන්නා ලෙස ගැබිනි මව්වරුන්ට ලබා දී ඇති උපදෙස විවාදයට බඳුන් වී තිබේ.

    ඉන්දියාවේ හින්දු ජාතිකවාදී, භාරතීය ජනතා පක්‍ෂයේ ආණ්ඩුව සතු නිර්මාංශ ප්‍රතිපත්තිය ව්‍යාප්ත කිරීම සඳහා මෙම උපදෙස් ලබා දී ඇති බව විචාරකයෝ පවසති.

    එමෙන්ම මන්දපෝෂණය සහ රක්තහීනතාවය බහුල වීම හේතුවෙන් ඉන්දියාවේ මාතෘ මරණ ප්‍රතිශතය ලොව ඉහළම අගය බවට පත්වී තිබියදී මෙවැනි උපදෙසක් ලබාදීම ඉතා භයානක බවටද විවේචන එල්ලවී තිබේ.

    ඉන්දියාවේ ‘ආයුෂ් අමාත්‍යංශය’ ප්‍රතිචාර දක්වමින් කියා සිටියේ යෝගා විෂය තුළ මාංශ ආහාර අනුභවය පිළිනොගන්නා බවය.

    ඉන්දීය මාධ්‍ය එම කාරණය පමණක් උලුප්පා දක්වමින් කටයුතු කරන බවටත් එම ග්‍රන්ථයේ අඩංගු අහිතකර ආහාර පිළිබඳව කතා නොකරන බවටත් ඔවුහු චෝදනා කරති.

    නමුත් මාධ්‍යයට අමතරව ඉන්දීය වෛද්‍යවරුන් ද මෙම උපදෙස් මාලාව විවේචනය කර තිබේ.

    යෝගා
    යෝගා ව්‍යායාමයේ යෙදෙන ඉන්දීය කතුන්

    වෛද්‍ය මතය

    දිල්ලි නුවර නාරිවේද විශේෂඥ වෛද්‍ය සෝනියා නායික් කියා සිටියේ “බිත්තර සහ මස් ආහාරයට ගන්න එපා කියල ගැබිණි මාතාවන්ට දෙන උපදේශයේ කිසිම හොඳක් වෛද්‍යවරයෙක් හැටියට මට දකින්න බැහැ. ඉතාම පහසුවෙන් ලබා ගත හැකි ප්‍රෝටීන ජනක ආහාරය තමයි බිත්තර. මගේ උපදේශය නම්, කවුරු උනත් ලැබෙන දෙයක් කාල පෝෂණය ලබා ගත යුතුයි.” යනුවෙනි.

    ‘ආයුෂ් අමාත්‍යංශය’ ලබාදෙන උපදේශය ඉන්දියාවේ සෞඛ්‍ය අමාත්‍යංශයේ වෙබ් අඩවියේ සඳහන් උපදෙස් මාලාවට ද පටහැනිය.

    ගැබිනි මාතාවන් යකඩ ඌනතාවයෙන් මිදීම සඳහා බිත්තර සහ මාංශ ආහාරයට ගතයුතු බව ඉන්දීය සෞඛ්‍ය අමාත්‍යංශයේ වෙබ් අඩවිය සඳහන් කරයි.

    රාගයෙන් තොර

    BBC

    ගැබිණි මාතාවන් රාගයෙන් තොරව කල්ගත කළ යුතු බවට ලබා දී ඇති උපදෙස ද විවාදයට ලක් වී තිබේ.

    ඉන්දීය සෞඛ්‍ය අමාත්‍යංශය මේ පිළිබඳව නිහඬ පිළිවෙතක් අනුගමනය කරන නමුත් වෛද්‍යවරුන් පවසන්නේ ගැබිණි සාමය තුළ ලිංගිකව එක්වීමෙන් හානියක් සිදු නොවන බවය.

    “හෝමෝන ක්‍රියාකාරිත්වය වෙනස්වීම නිසා ඇතැම් ගැබිනි කාන්තාවන් සාමාන්‍ය ප්‍රමාණයට වඩා ලිංගිකව ක්‍රියාශීලී වෙන්න පුළුවන්. ඉහළ අවදානම් තත්වයක් සහිත ගැබ් ගැනීමක් නොවෙයි නම් අපි ඔවුනට උපදෙස් දෙන්නේ නැහැ ලිංගික කාර්යයෙහි යෙදෙන්න එපා කියල.” යනුවෙන් වෛද්‍ය සෝනියා නායික් පැවසුවාය.

    bbc

  • කන්ගනා රනාවුත්ගෙන් ‘බොලිවුඩගේ අවකෙළි ගැන’ සුපිරි හෙළිදරව්වක්

    කන්ගනා රනාවුත්ගෙන් ‘බොලිවුඩගේ අවකෙළි ගැන’ සුපිරි හෙළිදරව්වක්

    ඉන්දියාවේ බොලිවුඩ් සිනමාව මේ මොහොතේ කුණාටුවකට මුහුණ දී සිටී. හින්දි සිනමාව මුහුණ පා ඇති මේ ගැටලුකාරී තත්ත්වය මැද සිටින්නේ කන්ගනා රනාවුත්ය. තිස්තුන් හැවිරිදි සිනමා තාරකාව ඇයගේ සහෝදර නළු නිළියන් සමග යුද වැදී ඇති බව පෙනෙන්නට තිබේ.

    පසුගිය සති කිහිපය තුළ, කර්මාන්තයේ ඉහළින් වැජඹෙන පතාක යෝධයින් හට, ඥාති සංග්‍රහය (Nepotism) සහ ලිංගික අපයෝජනය සම්බන්ධයෙන් ඇය චෝදනා එල්ල කළාය. එහිදී නළු නිළියන් කිහිප දෙනෙකුම නිර්දය ලෙස විවේචනය කළ ඇය සෙසු සිනමා තරු මත්ද්‍රව්‍ය ගනුදෙනුවලට සම්බන්ධ බවට ද චෝදනා කළාය. කන්ගනා විසින් බොලිවුඩය හඳුන්වනු ලැබුවේ කසල ගලා යන “කාණුවක්” ලෙසිනි.

    ඉන්දීය සිනමා කර්මාන්තය තුළ තමන් “හිංසාවට සහ ලිංගික අඩන්තේට්ටම්වලට” ලක් වූ බව ඇය පවසන්නීය. එමෙන්ම තමාට “මත්ද්‍රව්‍ය ජාවාරමට මුහුණ දීමට සිදු වූ” බව ද කියා සිටී. තමා ඉදිරියේ ඇති එකී “බාධා ඉවත් කිරීමෙන් තවත් බොහෝ දෙනෙකුට මග හෙළි පෙහෙළි වනු ඇති” බව ඇය සඳහන් කළාය.

    නමුත් කන්ගනාගේ විවේචකයන් පවසන්නේ ඇයගේ මේ චෝදනා පසුපස දේශපාලන අභිලාශයක් පවතින බවකි. ඇය ඉන්දියාවේ පාලක භාරතීය ජනතා පක්ෂයට (BJP) සම්බන්ධ වීමට ආසන්නයේ සිටින බවට කටකතා පවතී. එමෙන්ම ඇය විවේචනයට ලක් කරන සෙසු නළු නිළියන්, ඇයගේ දේශපාලන මතයෙන් බැහැර වෙනස් මත දරන්නන් බවට ද චෝදනාවක් පවතී.

    ප්‍රබල රංගන හැකියාවන් සහිත නිළියක් ලෙස ප්‍රසිද්ධියට පත් කන්ගනා ඉහළ පෙළ සම්මාන ගණනාවක් දිනා ඇති අතර ඇය සිනමාවට දක්වා ඇති දායකත්වය අගයමින් පද්ම ශ්‍රී සම්මානයෙන් ද (ඉන්දියාවේ ආණ්ඩුව විසින් එරට පුරවැසියෙකුට පුද කරනු ලබන ඉහළම සම්මානය) පිදුම් ලබා තිබේ.

    සිනමා පවුලකට අයත් නොවුණු කන්ගනා බොලිවුඩ් සමාජයට ගැලපෙන පරිදී හැඩ ගැසීමේදී මුහුණ දුන් දුෂ්කරතා පිළිබඳ නිතර කතා කර තිබේ. ඇය පසුව දෙස් විදෙස් රසිකයන් මිලියන ගණනක් සහිත විලාසිතා තාරකාවක් සහ බොලිවුඩයේ වඩාත් ලාභ ලැබිය හැකි චිත්‍රපට නිළියක් බවට පත් වූවාය.

    “ඇය විශිෂ්ඨ රංගන ශිල්පිනියක්,” යනුවෙන් ‘ද ප්‍රින්ට්’ පුවත් වෙබ් අඩවියේ මාධ්‍ය සංස්කාරකවරිය ෂයිලාජා බජ්පායි පවසයි. “චිත්‍රපට ගණනාවක ශක්තිමත්, අසාමාන්‍ය කාන්තා චරිත රඟපා ඇති, තමාටම අවේනික හැකියාවන් ඔප නංවා ගත් ඇය ස්වභාවයෙන් ලද දක්ෂතා සහිත නිළියක්.”

    ගතව ගිය කාලය තුළ කන්ගනා “සෘජුව කතා කරන සහ නිර්භය” කලාකරුවෙකු ලෙස නමක් දිනා ගත්තාය.

    “ඥාති සංග්‍රහය සම්බන්ධයෙන් ඇය විසින් චෝදනා එල්ල කරන ලද, අධ්‍යක්ෂ කරන් ජොහාර් වැනි කර්මාන්තයේ බලගතු පුද්ගලයන් සමග ඇය ගැටුණා. ඒ වගේම ඇය ප්‍රසිද්ධියේම රිතික් රෝෂන් සමග ආරෝවක් ඇති කර ගත්තා, ඇය සමග ‘කයිට්ස්’ චිත්‍රපටයේ එක්ව රඟ පෑ රිතික්ට ඈ කිව්වේ තමාගේ ‘කලින් සිටි මෝඩ පෙම්වතෙක්’ කියලයි,”

    ඔවුන් දෙදෙනා අතර කිසිදාක සම්බන්ධයක් පැවතීමක් රිතික් රෝෂන් සෑම විට ප්‍රතික්ෂේප කරයි.

    Kangana Ranaut with director Karan Johar
    ,අධ්‍යක්ෂ කරන් ජොහාර් ඥාති සංග්‍රහයේ යෙදෙන බවට කන්ගනා චෝදනා කරයි

    ක්ෂේත්‍රයට පිවිසෙන නවකයන්ට චරිත ලබා දීමේදී ඊට හිලව් වශයෙන් ලිංගික අල්ලස් ලබා ගැනීමේ සංස්කෘතියක් පවතින බව කියවෙයි. එය ද කන්ගනාගේ විවේචනයට ලක් වී තිබේ.

    බොලිවුඩයේ වංශවත්, පුරුෂ මූලික ප්‍රබලයින් සමග ඇය සෘජුව කටයුතු කිරීම ඇගයීමට ලක් විය. නමුත් මාස කිහිපයක සිට සති පතාම, නැති නම් දින පතාම පාහේ අලුතින් ආරෝවන් ඇති කර ගනිමින් ඇය පුවත් මවයි.

    එය ආරම්භ වූයේ ජුනි මස මැද සිදු වූ සිනමා නළු සුෂාන්ත් සිං රාජ්පුත්ගේ ඛේදජනක මරණය සම්බන්ධයෙන් මතු වුණු සංවාදයට කන්ගනා එක් වීමත් සමගය. ඔහු සිය දිවි හානි කරගෙන ඇතැයි මුම්බායි පොලිසිය පැවසීය.

    සුෂාන්ත් මරණය දෙසට තල්ලු කිරීමට ඥාති සංග්‍රහය සහ බොලිවුඩ් අභ්‍යන්තර කවයේ ඇතැමුන්ගේ ක්‍රියා කලාපය හේතු වී ඇති බව පවසමින් කන්ගනා ට්විටර් පණිවුඩයක් නිකුත් කළාය. තමා මෙන්ම සුෂාන්ත් ද කර්මාතය තුළ “ගොඩ් ෆාදර්වරුන්” නොමැති “පිටස්තරයන්” බව ඇය පවසා තිබිණි. බොලිවුඩයේ බලගතු පවුල් සහ අධ්‍යක්ෂවරු ඔහුගේ වෘත්තීය ජීවිතය “සැලසුම්සහගතව කඩාකප්පල්” කර ඇතැයි කන්ගනා චෝදනා කළාය.

    සති කිහිපයකට පසු , සිය පුතුගේ මරණයට අනුබල දුන් බවට සහ ඔහුගේ මුදල් සොරා කෑ බවට සුෂාන්ත්ගේ පෙම්වතිය වූ නිළි රියා චක්‍රබොර්තිට සුෂාන්ත්ගේ පියා චෝදනා කළේය. කන්ගනා එහිදී රියාට එරෙහිව මඩ ව්‍යාපාරයක් ගෙන ගිය අතර ඇය විසින් රියා හඳුන්වනු ලැබුවේ අනතුරට පත් වීමේ අවදානමක සිටි, තමා විසින්ම තම සාර්ථකත්වය ගොඩ නගා ගත් සුපිරි තරුවකගේ පිහිටෙන් ජීවත් වූ කෙටි කලක් මතට ඇබ්බැහිවූවෙකු ලෙසය.

    තමාට එරෙහි චෝදනා සියල්ල රියා ප්‍රතික්ෂේප කරයි. සුෂාන්ත් වෙනුවෙන් මත්ද්‍රව්‍ය මිලට ගත් බවට වන චෝදනා මත රියා සැප්තැම්බර් මස මුලදී අත්අඩංගුවට ගනු ලැබිණි. විමර්ශන ආයතන තුනක් ඇය සම්බන්ධයෙන් පරීක්ෂණ පවත්වති.

    Rhea Chakraborty and Sushant Singh Rajput
    සුෂාන්ත්ගේ පෙම්වතිය වූ නිළි රියා චක්‍රබොර්ති සැප්තැම්බර් මුල අත්අඩංගුවට ගනු ලැබිණි

    මෙවැනි තත්ත්වයක් තුළ කන්ගනා තමාගේ පැරණි ආරෝවන් යළි පණ ගන්වා ඇති අතර අලුතින් කිහිපයක් ද ආරම්භ කර තිබේ. ඇය වින්දිතයා මෙන්ම ආක්‍රමණිකයා යන දෙදෙනාගේම හැසිරීම එකවර පෙන්නුම් කරයි. අධ්‍යක්ෂ කරන් ජොහාර් සහ රිතික් රෝෂන් සමග පවතින පැරණි එදිරිවාදිකම් ඇය රූපවාහිනී සාකච්ඡා සහ ට්විටර් ඔස්සේ යළි සිහිපත් කළාය. සෝනම් කපූර්, උර්මිලා මටෝන්ද්කර්, ස්වරා භාස්කර් සහ රිචා චාධා වැන්නන් ඇය විසින් දැඩිව විවේචනයට ලක් කරන ලද සෙසු රංගන ශිල්පිනියන්ය.

    බොලිවුඩයේ “මත්ද්‍රව්‍ය මාෆියාවක්” පවතින බව පවසන කන්ගනා එම කර්මාන්තය “බුලිවුඩ්” (බුලි- මානසික හිංසා සහ අඩන්තේට්ටම්) ලෙස නම් කරනු ලැබ තිබේ. එය නවකයින් සහ පිටස්තරයින් පිළිනොගන්නා ස්ථානයක් බවත් ඇය සඳහන් කරයි. ඇයගේ මේ නීරස සහ ප්‍රකෝපකාරී චෝදනා නිසා බොහෝ දෙනා ඇයගේ අභිප්‍රායන් ප්‍රශ්න කළහ.

    “දක්ෂතා සහ ධෛර්යය සම්බන්ධයෙන් කන්ගනා කලක් නමක් දිනා සිටි හොඳ නිළියක්, නමුත් දැන් ඒ ධෛර්යය තමාවම ප්‍රවර්ධනය කර ගැනීමක් සහ ඇය සමග එකඟ නොවන කාන්තාවන්ට ලිංගිකත්වය මත පදනම්ව පහර දීමට සහ මුළු හිතින්ම දක්ෂිණාංශික න්‍යායපත්‍රය ලුහුබැද යාම දක්වා පරිහානියට පත් වෙලා,” යනුවෙන් මාධ්‍යවේදිනියක් සහ චිත්‍රපට විවේචකයෙකු වන ඇනා එම්එම් වෙටිකාඩ් සම්මුඛ පරීක්ෂණයකදී පැවසීය.

    2017 වසරේදී කන්ගනා පළමු වරට ඥාති සංග්‍රහය පිළිබඳ ගැටලුව මතු කළ අවස්ථාවේදී සහ බලගතු පුද්ගලයන්ට අභියෝග කර, බොහෝ දේ අහිමි කරගත් විට, එය “විශිෂ්ඨ” ක්‍රියාවක් වුණු බව වෙටිකාඩ් සඳහන් කළාය.

    “එහෙත් අද වන විට ඇගේ ප්‍රකාශවල තර්කානුකූලබව, අවංකභාවය සහ ස්ථිරබව නොවීම මත ඒ වැදගත් සංවාදය යටපත් වී ගොස් තිබෙනවා,”

    “බොලිවුඩයට ඇතුළු වන පිටස්තරයන් වෙනුවෙන් පෙනීසිටින බව පවසන අතරේ කන්ගනා ඇයගේ මතවාදයට එරෙහි තමා වැනිම පිටස්තරයන්ට අවමන් සහගත, මුළුමනින්ම කාන්තාවන් කෙරෙහි ද්වේශසහගත වූ අදහස් පළ කරනවා. ඒ වගේම ඇයගේ කැපවීම මේ අරමුණ වෙනුවෙන් නොව, ඒ වෙනුවෙන් පෙනී සිටින අංක එකේ පුද්ගලයා ලෙස ඇයගේ ප්‍රතිරූපය වෙනුවෙන් බව අමාරුවෙන් වුවත් පැහැදිලි වී තිබෙනවා,”

    Deepika Padukone
    ඉන්දියාවේ ඉහළම අය කිරීමක් කරන නිළියක් වන දීපිකා පදුකෝන්

    බොලිවුඩයට එරෙහි කන්ගනාගේ වාග් ප්‍රහාර ඉන්දීය පාර්ලිමේන්තුව තුළත් රැව් පිළිරැව් දී තිබේ. එකී තත්ත්වය තුළ පාර්ලිමේන්තු මන්ත්‍රීවරියක සහ ප්‍රවීණ නිළියක වන ජයා බච්චන්ට “දෛනිකව පන් ලක්ෂයකට සෘජු රැකියා සහ පනස් ලක්ෂයකට වක්‍ර රැකියා සපයන” සිනමා කර්මාන්තය වෙනුවෙන් පෙනී සිටීමට සිදු විය.

    විනෝදාස්වාද කර්මාන්තය (Entertainment industry) ඉන්දීය ජනයාගේ පරිකල්පනයට සැලකිය යුතු බලපෑමක් සිදු කරයි. ඉන්දියාවේ මාධ්‍ය, විශේෂයෙන් ආණ්ඩුවට ඇල්මක් දක්වන රූපවාහිනී නාලිකා බොලිවුඩයේ අවුල් ලිහීමේ කතාව යළි යළි වාදනය කරමින් සිටී.

    සෙනසුරාදා (සැප්. 26), ඉන්දියාවේ වඩාත් ආදරයට පත් තාරකාවක් වන දීපිකා පදුකෝන්, බොලිවුඩයේ විශාල වශයෙන් පැතිර ගොස් ඇතැයි පැවසෙන මත්ද්‍රව්‍ය භාවිතය සම්බන්ධයෙන් විමර්ශන කරන බලධාරීන් හමුවට කැඳවනු ලැබිණි. ඒ අවස්ථාවේ රූපවාහිනී නාලිකා හතිලමින් එය ආවරණය කළ අතර වාර්තාකරුවෝ ඇයගේ මෝටර් රථය ලුහු බැඳ ගියහ. ශ්‍රද්ධා කපූර්, සාරා අලී, සහ රකුල් ප්‍රීත් සිං යන නිළියන් ප්‍රශ්න කිරීමට කැඳවන ලද අවස්ථාවේදී ද ඒ හා සමාන දර්ශන දැක ගත හැකි විය. ඒ සියලුම දෙනා තමන් වරදක් කර නැතැයි පවසති.

    බොලිවුඩයේ නිවහන, මුම්බායි නගරය පිහිටි මහාරාෂ්ට්‍ර ප්‍රාන්තයේ ‘ශිව් සේනා’ පක්ෂය සමග ද කන්ගනා නීරස සටනක යෙදිණි. ප්‍රාන්ත ආණ්ඩුවේ බලය හිමි ‘ශිව් සේනා’ පක්ෂය මීට පෙර පාලක භාරතීය ජනතා පක්ෂයේ මිතුරු පාර්ශවයක් වූ නමුත් මේ වන විට දෙපාර්ශවය දැඩි ප්‍රතිවාදීන් බවට පත්ව තිබේ.

    “ඇය දේශපාලන සෙල්ලමකයි යෙදී ඉන්නේ, ‘ශිව් සේනා’ සමග භාරතීය ජනතා පක්ෂයට ඇති සටනට ඇය එක්වෙලා,” යනුවෙන් ශයිලාජා බජ්පායි පැවසීය.

    තර්ජනාත්මක ප්‍රතිචාරයක් දැක්වූ ‘ශිව් සේනා’ පක්ෂය කන්ගනාගේ නිවසේ පිහිටි කාර්යාලයේ කොටසක් නීති විරෝධීව ඉදි කර ඇතැයි චෝදනා කළ අතර පසුව එය කඩා බිඳ දමන ලදී. ඒ සම්බන්ධයෙන් බොම්බායේ මහේස්ත්‍රාත් අධිකරණය ඔවුන්ට දැඩිව තරවටු කළේය.

    විවේචකයන් පවසන්නේ කන්ගනා පිළිබඳ කතාව, අවධානය වෙනතක යැවීම සඳහා යොදා ගන්නා මාතෘකාවක් බවය. එය මතුව ඇත්තේ ඉන්දියාව වඩාත් බලගතු ගැටලුවලට මුහුණ දී තිබෙන මොහොතකය: කොරෝනාවෛරස් ආසාදිතයන් වැඩි වශයෙන්ම සිටින රටවල් අතර ඉන්දියාව දෙවන ස්ථානයේ පසුවේ, එරට ආර්ථිකය කඩා වැටී ඇත, චීනය අතර වූ දේශසීමාවේ උණුසුම ඉහළ යමින් පවතී.

    සිනමා තරු තෝරා බේරා ඉලක්ක කිරීම බොලිවුඩය විනාශ කිරීමේ මහා සැලසුමක කොටසක් බව තවත් සමහරෙකුගේ අදහස වී තිබේ.

    ගතව ගිය වසර කිහිපය තුළ විනෝදාස්වාද කර්මාන්තය, ඉන්දීය ආණ්ඩුවේ දක්ෂිණාංශික මතවාදයට සහාය දෙන සහ ඊට විරුද්ධ නිදහස් මතවාද දරන්නන් (ලිබරල්) වශයෙන් ධ්‍රැවීකරණය වී ඇත.

    “මත්ද්‍රව්‍ය ගැන සොයා බැලීම හරහා, තැති ගැන්වීම් සහ තර්ජන ඔස්සේ ආණ්ඩුව බොලිවුඩයේ පාලනය ලබා ගන්න උත්සාහ කරනවා,” යනුවෙන් ‘ටයිම්ස් ඔෆ් ඉන්ඩියා’ හි ලේඛිකාවක සහ තීරු ලිපි රචිකාවක වන ශෝභා දේ ලියා තිබේ.

    “ඉන්දියාවේ විචිත්‍රවත් විනෝදාස්වාද කර්මාන්තයේ ජීවිත සහ අන්තර්ගතය කපටි සගත ලෙස අත්පත් කරගැනීමේ දීර්ඝ කාලීන වාසි අමුතුවෙන් කිව යුතු නැහැ,” යනුවෙන් ඇය වැඩිදුරටත් සඳහන් කරයි.

    කන්ගනාගේ අභිලාෂයන් තවමත් පැහැදිලි වීමට ඉඩ තිබිය හැක. මේ මොහොතේ තමාම කොටස්කාරයෙකු වන සිනමා කර්මාන්තය උඩු යටිකුරු කිරීමට ඇය උත්සාහ ගන්නේ ඇයිදැයි යන්න සම්බන්ධයෙන් ඇත්තේ බෙදුණු මතයන්ය.

    “ආරම්භයේදී කෙතරම් නරක ආකාරයට ඇයට සැලකුවේ ද යන්න ගැන ඇය කතා කර තිබෙනවා. සාධාරණව බැලුවොත් ඇය තවමත් ප්‍රබලයන් ඉදිරියේ නැගී සිටිනවා, ඇය තවමත් බොලිවුඩයේ ඥාති සංග්‍රහය විවේචනය කරනවා,”

    “ඇයගේ අභිලාශය කුමක්ද? එදිරිය පිරිමහනවද? දේශපාලන භූමිකාවක් බලාපොරොත්තු වෙනවද? කවුද දන්නේ. නමුත් ඇය එය කරන ආකාරය ප්‍රශ්න සහගතයි. මම හිතන්නේ ඇය දුර ගියා වැඩියි,” යනුවෙන් ෂයිලාජා බජ්පායි වැඩිදුරටත් කියා සිටියාය.

    (බීබීසී මාධ්‍යවේදිනී ගීතා පාන්ඩේගේ වාර්තාවක් ඇසුරෙනි)

  • ඇමෙරිකානු ජනපති ට්‍රම්ප්ට හා ආර්යාවට කොරෝනාවෛරසය වැළඳෙයි

    ඇමෙරිකානු ජනපති ට්‍රම්ප්ට හා ආර්යාවට කොරෝනාවෛරසය වැළඳෙයි

    ඇමෙරිකානු ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් හා ඔහුගේ බිරිඳ මෙලනියා ට්‍රම්ප් හට කොරෝනාවෛරසය වැළඳී ඇති බව ඒ පිළිබඳ කළ පරීක්ෂණවලින් හෙළිවී තිබේ.

    මේ බව සඳහන් කරමින් ජනපති ට්‍රම්ප් නිකුත් කළ ට්විටර් පණිවිඩයෙන් කියැවුණේ ඔවුන් දෙපළ නිරෝධායනයට යොමු වී සිටින බවකි.

    ජනාධිපතිවරයා හා ඔහුගේ බිරිඳට කොරෝනාවෛරසය වැළඳී ඇති බව දැනගන්නට ලැබුණේ ජනාධිපතිවරයාගේ සමීප සහායකයකුට ද කොරෝනාවෛරසය වැළදී ඇති බව තහවුරුව්මෙන් අනතුරුවය.

    එසේ වෛරසයට ලක්වූ 31 හැවිරිදි හෝප් හික්ස් ජනාධිපතිවරයාගේ සමීප උපදේශකවරියකි. මෙතෙක් වෛරසය වැළඳුනු බවට තහවුරු වූ ජනාධිපතිවරයාගේ පළමු සමීප සහයකයා ඇය වේ.

    මෙම සතියේ ඔහායෝ ප්‍රාන්තයේ පැවති රූපවාහිනී විවාදයකට සහභාගීවීම සඳහා ජනාධිපතිවරයාගේ නිල ගුවන් යානයේ (එයාර් ෆෝස් වන් – Air Force One) ඇය ද ඔහු සමග ගමන් ගත්තාය.

    හික්ස් කොරෝනාවෛරසයට ලක්වී ඇති බව පරීක්ෂණවලදී හෙළිවීමෙන් අනතුරුව, බිරිඳ සහ තමන් නිරෝධායනයට යොමු වන බව ජනාධිපති ට්‍රම්ප් මීට පෙර පවසා තිබිණි.

    බ්‍රහස්පතින්දා රාත්‍රී ට්විටර් පණිවිඩයක් නිකුත් කළ ට්‍රම්ප්, “කෙටි විවේකයක් හෝ නොගෙන ඉතා කැපවීමෙන් වැඩකළ හෝප් හික්ස් කොවිඩ්-19 ට ලක්වී ඇති බව පරීක්ෂණවලදී හෙළිවෙලා.” යැයි පැවසීය.

    “ජනාධිපති ආර්යාවත්, මාත් පරීක්ෂණවල ප්‍රතිඵල බලාපොරොත්තුවෙන් ඉන්නවා. ඒ අතරේ අපේ නිරෝධායන ක්‍රියාමාර්ගයත් ආරම්භ කරනවා” යැයි ද ඔහු මීට පෙර පවසා තිබිණි.

    මෙම තත්ත්වය, ඔක්තෝබර් 15 වෙනිදා ෆ්ලොරිඩා ප්‍රාන්තයේ මයාමි හි පැවැත්වීමට නියමිත ජනාධිපතිවරණ දෙවෙනි විවාදයේ සැලසුම්වලට කෙසේ බලපානු ඇත්දැයි මෙතෙක් පැහැදිලි නැත.

  • ගම සමග පිළිසදර – 2: ජනපතිගෙන් විශේෂ නියෝග රැසක්

    ගම සමග පිළිසදර – 2: ජනපතිගෙන් විශේෂ නියෝග රැසක්

    මොරගහකන්ද ජලාශ ව්‍යාපෘතිය ක්‍රියාත්මක කිරීමේදී ඉඩම් අහිමිවූවන්ට සුදුසු ස්ථානවලින් ඉඩම් සපයා දී තමාට වහාම දන්වන්නැයි ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා නිලධාරීන්ට උපදෙස් දෙයි.

    සියලු නිලධාරීන් එක් ස්ථානයකට කැඳවා සෙසු ඉඩම් ගැටළුවලට ද කඩිනම් විසඳුම් දෙන්නැයි ජනාධිපතිතුමා දිස්ත්‍රික්කයේ දේශපාලන අධිකාරියට නියම කළේය.  

    මාතලේ දිස්ත්‍රික්කයේ, විල්ගමුව ප්‍රාදේශීය ලේකම් කොට්ඨාශයට අයත් හිඹිලියාකඩ ග්‍රාමනිලධාරී වසමේ නාගවනාරාම විහාරස්ථාන භූමියේ අද (02) පෙරවරුවේ පැවති “ගම සමඟ පිළිසඳර” වැඩසටහනට සහභාගී වෙමින් ජනාධිපතිතුමා මේ බව පැවසීය.

    ජනාධිපතිතුමා සහභාගී වූ “ගම සමග පිළිසඳර” දෙවන වැඩසටහන මෙයයි. පළමුවැන්න පසුගිය සතියේ සිකුරාදා බදුල්ල දිස්ත්‍රික්කයේ හල්දුම්මුල්ල ප්‍රාදේශීය ලේකම් කොට්ඨාසයේ වෙලන්විට ගම්මානයේ දී පැවැත්විණ. දීර්ඝ කාලයක සිට නොවිසඳී ඇති ග්‍රාමීය ජනතාවගේ ගැටළු පිළිබඳව ඔවුන් සමග කථා බහකර, ඒවා නිලධාරීන්ට ඉදිරිපත් කර කඩිනම් විසඳුම් දීම ජනාධිපතිතුමාගේ අපේක්ෂාව වේ. දිවයිනේ අතිදුෂ්කර ගම්මානවල වෙසෙන ජනතාව මුණගැසීම රාජපක්ෂ මැතිතුමාගේ තවත් අරමුණකි. විල්ගමුව ප්‍රාදේශීය ලේකම් කොට්ඨාසයේ ගැඹුරු ඔය, ලේඩියන්ගල, අලියාවල, වෙහෙරගල, හිඹිලියාකඩ සහ අවට ප්‍රදේශ ගණනාවක ගම්මූන් ජනාධිපතිතුමා හමුවී දුක්ගැනවිලි ඉදිරිපත් කිරීමට නාගවනාරාම විහාරස්ථානයට පැමිණ සිටියහ.

    රැස්ව සිටී බොහෝ දෙනාගෙන් ඉඩම් පිළිබඳ ගැටළු රැසක් ජනාධිපතිතුමා වෙත ඉදිරිපත් කෙරිණ. දීර්ඝ කාලයක සිට නොවිසඳී ඇති හෙට්ටිපොල නගරයේ විශාල පිරිසකට බලපා ඇති ඔප්පු පිළිබඳ ප්‍රශ්නයට ද කඩිනමි විසදුම් දිමේ අවශ්‍යතාව ජනාධිපතිතුමා අවධාරණය කළේය.

    ස්වයං රැකියාවක් ලෙස කිරි ගොවි කර්මාන්තයේ නිරත පිරිස මුහුණ දී සිටින ගැටළු කෙරෙහි ජනාධිපතිතුමාගේ විශේෂ අවධානය යොමු විය. ඔවුන් ව්‍යවසායකයන් බවට පත්කිරිමට සහාය දිය යුතු බව පෙන්වා දුන් ජනාධිපතිතුමා ජාතික පශුසම්පත් සංවර්ධන මණ්ඩලය සමග සාකච්ඡා කර ඔවුන්ගේ නිෂ්පාදන මිලදී ගැනීමට හා පහසුකම් සැලසීමට පියවරගත යුතු යැයි සඳහන් කළේය. අඩු මුදලට කිරි ගවයන් දීමට අදාළ ආයතන දැනුවත් කිරීමට ද තීරණ කෙරිණි.

    කිරි ගොවීන් ණය ඉල්ලුම් කිරීමේදී සැපයිය යුතු ඇප කොන්දේසි ලිහිල් කිරීමට බැංකු සමග සාකච්ඡා කර පියවර ගන්නැයි ජනාධිපතිතුමා නිලධාරීන්ට උපදෙස් දුන්නේය.

    දිස්ත්‍රික්කයේ ගම්මාන රැසක ජනතාව වකුගඩු රෝගයෙන් පීඩා විඳිති. ඔවුන් මුහුණ පා සිටින ගැටළු සඳහා කඩිනම් විසඳුමක් ලෙස අර්ධ වශයෙන් නිම කර ඇති හෙට්ටිපොල වකුගඩු ‘රුධිර කාන්දුකරණ’ ඒකකයේ වැඩ කඩිනමින් අවසන් කර ඒකකයට අවශ්‍ය උපකරණ සැපයීමට රාජපක්ෂ මැතිතුමා විසින් උපදෙස් දෙනු ලැබිණ. දඹුල්ල, මහනුවර, කුරුණෑගල සහ මහියංගනය රෝහල් වෙත ගොස් ‘රුධිර කාන්දුකරණ’ ප්‍රතිකාර ගන්නා රෝගීන්ට මෙමගින් විශාල සහනයක් හිමිවන බව ප්‍රදේශවාසීහු පෙන්වා දුන්හ.

    දිස්ත්‍රික්කයේ රෝහල්වල පවතින හෙද හිගය පියවීමට වහාම පියවර ගැනීමට ද තීරණය කෙරිණ.

    වෙහෙරගල සිට හෙට්ටිපොල නගරයට ඇති කි.මි 2.8ක සහ හිඹිලියාකඩ වැව් තාවුල්ලේ සිට හිඹිලියාකඩ ග්‍රාමයට ඇති මාර්ග කඩිනමින් සංවර්ධනය කරන ලෙස ජනාධිපතිතුමා උපදෙස් දුන්නේය.

    හිඹිලියාකඩ ප්‍රාථමික විද්‍යාලයට පංතිකාමර තුනකින් යුත් ගොඩනැගිල්ලක්, ගුරු නිවසක් ඉදිකිරීමට ද තීරණය කෙරිණ. ලග්ගල ප්‍රාදේශීය ලේකම් කොට්ඨාසයේ පල්ලේගම සහ විල්ගමුව නාමිණිඔය මහා විද්‍යාල සියලු පහසුකම් සහිත ජාතික පාසල් බවට පත්කරන ලෙස ද උපදෙස් දෙනු ලැබිණ. දිස්ත්‍රික්කයේ පාසල් රැසක පවතින ගුරු හිගයට කඩිනම් විසඳුම් දීමේ අවශ්‍යතාවය ද ජනාධිපතිතුමා අවධාරණය කළේය.

    පාසල් අධ්‍යාපනය අවසන් කළ ප්‍රදේශයේ තරුණ තරුණියන් වෙනුවෙන් වෘත්තීය පුහුණු අවස්ථා ඇතිකර වැඩි වශයෙන් ඔවුන් ඊට යොමු කර පුහුණු ශ්‍රමිකයින් බිහි කිරීම කාලීන අවශ්‍යතාව බව ජනාධිපතිතුමා පැවසීය. ඊට එක්වන ලෙස ද ජනාධිපතිතුමා තරුණයින් දිරිමත් කළේය.

    වාරි පහසුකම් නොතිබීම  විල්ගමුව සහ අවට ප්‍රදේශ රැසක කෘෂිකර්මාන්තයට අහිතකර බලපෑමක් ඇති කර තිබේ. ඊට විසඳුම් ලෙස වත්තේගෙදර, වෙහෙරගල, දොඩම්ගොල්ල සහ වැරැව්ගහ වැව් ප්‍රතිසංස්කරණය පිළිබඳව දීර්ඝ ලෙස සාකච්ඡා කෙරිණ. කෙටි, මධ්‍ය සහ දිගුකාලීනව විසඳුම් ලැබෙන පරිදි දෙවසරක් තුළ වැව් සංවර්ධනයටත් එතෙක් කෘෂිකර්මාන්තයට අවශ්‍ය වගා ලිං ජලය සැපයීමටත් නිසි පියවර ගන්නැයි ජනාධිපතිතුමා උපදෙස් දුන්නේය.

    හිඹිලියාකඩ වැවේ කඩිනම් ප්‍රතිසංස්කරණ යුද හමුදාවට පවරනු ලැබීය.

    “ගම සමග පිළිසඳර” වැඩසටහනින් පසු ගමේ නිවාස සහ ගොවිබිම් කිහිපයක්ද ජනාධිපතිතුමාගේ නිරීක්ෂණයට ලක් විය.

    අමාත්‍ය ජනක බණ්ඩාර තෙන්නකෝන්, පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් වන රෝහණ දිසානායක, නාලක කෝට්ටේගොඩ, ප්‍රමිත බණ්ඩාර තෙන්නකෝන්, ආණ්ඩුකාර ලලිත් යු. ගමගේ, ජනාධිපති ප්‍රධාන උපදේශක ලලිත් වීරතුංග යන මහත්වරු සහ ප්‍රදේශයේ මහජන නියෝජිතයෝ, රාජ්‍ය නිලධාරීහු ඇතුළු පිරිසක් මේ අවස්ථාවට එක්ව සිටියහ.

  • ලෝක ජනවාස දිනය ඔක්තෝබර් 05  – ඔබ මේ කරුණු දැන සිටියාද ?

    ලෝක ජනවාස දිනය ඔක්තෝබර් 05 – ඔබ මේ කරුණු දැන සිටියාද ?

    2020 ලෝක ජනාවාස දින සැමරුම් උත්සවය අතිගරු ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතාගේ ආශීර්වාදයෙන්, අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මහතාගේ ප්‍රධානත්වයෙන් සහ ග්‍රාමීය නිවාස සහ ඉදිකිරීම් හා ගොඩනැගිලි ද්‍රව්‍ය කර්මාන්ත ප්‍රවර්ධන රාජ්‍ය  අමාත්‍යා ඉන්දික අනුරුද්ද මහතාගේ ආරාධනයෙන් ඔක්තෝම්බර් 05 දින ප.ව. 02.00 ට අරලියගහ මන්දිරයේදී පැවැත්වේ.

    එක්සත් ජාතීන්ගේ සංවිධානය විසින්, 1985 වසරේ වාර්ෂික සැසිවාරයේදී ඉදිරිපත් කෙරුණු යෝජනාවකට අනුව 1986 වසරේ සිට සෑම වසරකම ඔක්තෝබර් මස ප්‍රථම සඳු දින ලෝක ජනාවාස දිනය (World Habitat Day) වශයෙන් ප්‍රකාශයට පත්කොට තිබේ. ඒ අනුව මෙවර ලෝක ජනාවාස දිනය ඔක්තෝබර් මස 05 වන සඳු දිනට යෙදී ඇත. පසුගිය වසර 33 ක කාලය තුළ නිවාස හා ජනාවාස ක්ෂේත්‍රයට අදාළ විවිධ වූ තේමාවන් යටතේ ලෝක ජනාවාස දින සැමරුම සිදුකරනු ලැබීය.

    සෑම වර්ෂයකම විශේෂිත වූ තේමාවක් යටතේ ලෝක ජනාවාස දිනය සමරනු ලබන අතර මෙවර  තේමාව වනුයේ “Housing for All : A Better Urban Future” (සැමට සුවපහසු නිවසක් – සතුට සපිරි නගරයක්) යන්නයි.

    ලෝක ජනාවාස දිනය ලොව පුරා ක්‍රියාවට නංවන එක්සත් ජාතීන්ගේ මානව ජනාවාස වැඩසටහනේ (UN-Habitat) ශ්‍රී ලංකාවේ නියෝජිත ආයතනය වන්නේ නිවාස විෂයභාර අමාත්‍යාංශය යි. ඒ අනුව මෙම අමාත්‍යාංශයට අනුබද්ධිත ආයතන හා නිවාස හා ජනාවාස සංවර්ධනයට අනුගතව කටයුතු කරන සෙසු අමාත්‍යාංශ, රාජ්‍ය ආයතන හා වෙනත් සංවිධාන සහාය කර ගනිමින් ලෝක ජනාවාස දිනය නිමිතිකොට පසුගිය වර්ෂයන්හි සිදුකල ප්‍රධාන වැඩසටහන් පහත පරිදි වේ.

    • සංවර්ධන වැඩසටහන්
    • ප්‍රජාව දැනුවත් කිරීමේ වැඩසටහන්
    • ළමා වැඩසටහන් – චිත්‍ර/නාට්‍ය/රචනා තරඟ/චිත්‍ර ප්‍රදර්ශන
    • තිරසර ජනාවාස සංවර්ධනය ප්‍රචලිත කිරීම
    • හිමිකම් ඔප්පු ලබාදීම
    • නාගරික නිවාස ක්‍රම ප්‍රතිසංස්කරණ වැඩසටහන්
    • ජනාවාස දින තේමාවට අදාළ දේශන, ප්‍රදර්ශන හා වැඩමුළු පැවැත්වීම සහ මුල්දින කවර, සමරු මුද්දර හා කොඩි සකස් කිරීම, වැඩමුළු පැවැත්වීම
    • අඩු පහසුකම් ජනාවාස ප්‍රතිසංස්කරණය හා ඒවායෙහි පදිංචිකරුවන් සඳහා වැඩමුළු පැවැත්වීම
    • ව්‍යවසායකත්ව ප්‍රවර්ධන වැඩසටහන් සංවිධානය
    • යෞවන ප්‍රජාව සඳහා වැඩසටහන් සංවිධානය
    • වෘත්තීය පුහුණු වැඩසටහන් පැවැත්වීම

    ලෝක ජනාවාස දිනය සැමරීමේ අරමුණු :

    ලෝක ජනාවාස දිනයක් ප්‍රකාශයට පත් කර ලොව පුරා සැමරීමේ ප්‍රධාන අරමුණු පහත පරිදි වේ.

    • නිවාස හා ජනාවාසකරණය හා ඒ හා සම්බන්ධ ගැටළු පිළිබඳ සියලු පාර්ශවකරුවන්ගේ අවධානය යොමු කිරිම. (ප්‍රජාව, නිලධාරීන්, විද්වතුන්, දේශපාලන අධිකාරිය, පාසල් ළමුන්, විශ්ව විද්‍යාල ශිෂ්‍යයින් ඇතුළු සමාජයේ සෑම කණ්ඩායමකම)
    • එමෙන්ම සමාජයේ සෑම කණ්ඩායමකටම හා සෑම පුද්ගලයකුටම මේ සඳහා තිබෙන වගකීම් පිළිබඳව සිහිපත් කිරීම හා ලබා දිය හැකි දායකත්වය පිළිබඳව නැවත සිතීමට සැලැස්වීම.

    2020 ලෝක ජනාවාස දිනය නිමිත්තෙන් ක්‍රියාකිරීමට නියමිත වැඩසටහන් :

    ඒ අනුව ලෝක ජනාවාස දින ජාතික උත්සවය ඔක්තෝබර් මස 05 වන දින පැවැත්වීමට නියමිත අතර ලෝක ජනාවාස දිනය නිමිත්තෙන් ඔක්තෝබර් මාසය තුළදී හා ඉන් අනතුරුව ද විවිධ වැඩසටහන් සිදු කිරීමට අපේක්ෂිතය. ඉන් සමහරක් පහත පරිදි වේ.

    • ඔබට ගෙයක් රටට හෙටක් වැඩසටහන යටතේ වැඩ අවසන් නිවාස ඇතුළු අනෙකුත් ඉදිකරන ලද නිවාස ජනතා අයිතියට පත් කිරීම (දිවයින පුරා)
    • එම වැඩසටහන යටතේ හඳුනාගත් නව නිවාස ආරම්භ කිරීම (දිවයින පුරා)
    • හිමිකම් ඔප්පු ප්‍රදානය සිදුකිරීම
    • ලෝක ජනාවාස දින තේමාව අනුව ළමා වැඩසටහන් ( දිවයිනම ආවරණය වන පරිදි චිත්‍ර තරඟයක්) පැවැත්වීම
    • යක්කල වැරැල්ලවත්ත මධ්‍යම පාන්තික මහල් නිවාස ක්‍රමය ආරම්භ කිරීම
    • අවතැන් වූ ප්‍රජාව සඳහා ඉදිකර නිමකර ඇති නිවාස ජනතා අයිතියට පත් කිරීම
    • දැනුවත් කිරීමේ වැඩසටහන්, දේශන හා  වැඩමුළු, උපදේශන වැඩසටහන්, ප්‍රජා සහභාගිත්ව වැඩසටහන්
    • ඉදිකිරීම් ශිල්පී පුහුණු වැඩසටහන්

    1986 වසරේදී ලෝක ජනාවාස දින ප්‍රථම සැමරුම “Shelter is My Right” (නිවස මගේ අයිතියකි) යන තේමාව යටතේ සමරනු ලැබීය.

    ඉන් අනතුරුව ලෝක ජනාවාස දිනයේ තේමාව ග්‍රාමීය නිවාස සංවර්ධනය කේන්ද්‍ර කරගනිමින් සකස් වුවද මෑත කාලීනව නගර,  නාගරික ජනාවාස හා සම්බන්ධ ගැටළු කෙරෙහි වැඩි අවධානයක් යොමු කර ඇත.

    පසුගිය වර්ෂයන්හි පහත තේමාවන් මුල් කරගනිමින් ලෝක ජනාවාස දිනය සැමරීම සිදු කරන ලදි.

    ලෝක ජනාවාස දිනය එක් දිනකට, සතියකට හෝ මසකට පමණක් සීමා නොකර, “සැමට සුවපහසු නිවසක් – සතුට සපිරි නගරයක්” යන තේමාව යථාර්තයක් කිරීම හා අතිගරු ජනිධිපතිතුමාගේ මගපෙන්වීම මත සෞභාග්‍යයේ දැක්ම රාජ්‍ය ප්‍රතිපත්තිය ක්‍රියාත්මක කර එහි ප්‍රතිඵල ජනතාව වෙත ලබා දීම සඳහා මෙම අමාත්‍යාංශය හා ඊට අනුබද්ධ ආයතන නිරන්තරයෙන් විශාල කාර්යභාරයක් සිදු කරනු ඇත.

    එමෙන්ම නිවාස ඉදිකිරීම් සම්බන්ධ සියලුම අමාත්‍යාංශ එක් අමාත්‍යාංශයක් යටතට ගැනීමෙන් සිදුකර ඇති ව්‍යූහාත්මක වෙනස තුලින් එම ආයතන අතර වඩාත් හොඳ සම්බන්ධීකරණයක් සිදු කරමින් පොදු නිර්නායක යටතේ කඩිනමින් වැඩසටහන් සිදු කිරීමට අපේක්ෂිතය. මෙහිදී නාගරික සංවර්ධන හා නිවාස යන කැබිනට් අමාත්‍යාංශය යටතේ

    • ග්‍රාමීය නිවාස සහ ඉදිකිරීම් හා ගොඩනැගිලි ද්‍රව්‍ය කර්මාන්ත ප්‍රවර්ධන රාජ්‍ය  අමාත්‍යාංශය
    • නාගරික සංවර්ධන, වෙරළ සංරක්ෂණ, අපද්‍රව්‍ය බැහැර කරලීම හා ප්‍රජා පවිත්‍රතා රාජ්‍ය  අමාත්‍යාංශය
    • වතු නිවාස හා ප්‍රජා යටිතල පහසුකම් රාජ්‍ය අමාත්‍යාංශය

    යන රාජ්‍ය අමාත්‍යාංශ ක්‍රියාත්මක වන බැවින් එම අමාත්‍යාංශ යටතේ ඇති සියලු ආයතන (NHDA, CMA,  SEC, UDA, USDA ආදී ) ඒකාබද්ධව සැලසුම් කරන වැඩසටහන් ක්‍රියාත්මක කිරීමට අපේක්ෂිත අතර මෙම වැඩසටහන් ක්‍රියාත්මක කිරීමට අවශ්‍ය නෛතික හා ආයතනික ව්‍යුහාත්මක රාමුව මේ වන විට සකස් කර ඇත.

    ඒ අනුව මෙම අමාත්‍යාංශය හා ආයතන මඟින් ඒකාබද්ධ වූ සංවර්ධන වැඩසටහන් සිදු කිරීම මෙන්ම අනපනත්, ප්‍රතිපත්ති, රෙගුලාසි නියාමන කාර්යයන් සිදු කිරීමෙන් නියමිත ප්‍රමිතීන් වලට නිවාස සකස් කිරීම, පරිසර හානි අවම වන ලෙස වඩාත් හොඳ සැලැස්මකින් යුතු ග්‍රාමීය, නාගරික, වතු, අවතැන් වූ ප්‍රජාව, මධ්‍යම ප්‍රාන්තික ප්‍රජාව ඇතුළු සියලු ජන කොටස් වල නිවාස ගැටළු සඳහා අවශ්‍ය මැදිහත් වීම ආදී කාර්යයන් සිදු කරනු ලබයි. අනෙකුත් සියලු ආයතන හා ප්‍රජා දායකත්වය ද ලබා ගනිමින් “සැමට සුවපහසු නිවසක් – සතුට සපිරි නගරයක්” යන තේමාව යථාර්තයක් බවට පත් කිරීමට නිරන්තරයෙන් කටයුතු  කෙරෙනු ඇත.

  • අගමැති මහින්දගෙන් පාසල් ළමුන් 2005ට පෙර යුගය ගැන ඉතිහාස පාඩමක්

    අගමැති මහින්දගෙන් පාසල් ළමුන් 2005ට පෙර යුගය ගැන ඉතිහාස පාඩමක්

    දරුවන්ට නිදහසේ සතුටින් ඉගෙන ගත හැකි අධ්‍යාපන ප්‍රතිසංස්කරණයක් වහාම මේ රටට අවශ්‍ය බව ගරු අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මහතා අද (02) දින අපේ ගම පරිශ්‍රයේ පැවති ලෝක ළමා දින ජාතික සැමරුම් උත්සවයට එක්වෙමින් පැවසීය.

    අධ්‍යාපන ප්‍රතිසංස්කරණය ආණ්ඩුක්‍රම ප්‍රතිසංස්කරණයට වඩා මේ රටේ අනාගතයට බලපාන බව පැවසූ අග්‍රාමාත්‍යවරයා “අපි අධ්‍යාපනයට ජාතික ආදායමෙන් කොයිතරම් කොටසක් වෙන් කරත් වැඩක් නෑ දරුවන් ඉගෙන ගන්නේ නිදහසේ නෙමෙයි නම්” යැයි ද ප්‍රකාශ කළේය.

    සියලු දේවල් යළි ගොඩනගන යුගයක්, නැවත එළඹී ඇති බවත්, ගේ පිටිපස්සේ වැවෙන කහ පැළයේ සිට ඔබ පාසල් යනවිට අදින නිල ඇඳුම් රෙද්ද දක්වා අපේ අතින්ම නිෂ්පාදනය කරන රටක් හදන්න පුළුවන් යුගයක් එළඹ ඇති බවත්, අග්‍රාමාත්‍යවරයා පෙන්වා දුන්නේය.

    2020 – ලෝක ළමා දිනයට සමඟාමීව සමරු මුද්දරයක් හා මුල් දින කවරය එළි දැක්වීම ද මෙහිදී සිදු විය.

    රාජ්‍ය අමාත්‍ය පියල් නිශාන්ත මහතා විසින් ලෝක ළමා දිනයට සමඟාමීව එළිදැක් වූ සමරු කලාපය  අග්‍රාමාත්‍යවරයාට පිළිගැන්වූයේය.

    මහජන බැංකුව පරිසර හිතකාමීව මැටියෙන් නිර්මාණය කළ ඉතිරි කිරීම් කැට බෙදා දීම සංකේතවත් කරමින් අග්‍රාමාත්‍යවරයා අතින් දරුවන් තිදෙනෙකුට ලබාදීම ද මෙහිදී සිදු විය.

    අග්‍රාමාත්‍යවරයා මෙසේ ද පැවසීය,

    ලෝක ළමා දිනයට සමගාමීව දරුවන් වෙනුවෙන් මේ වගේ උත්සවයක් පැවැත්වීම ගැන මම ඉතාමත් සතුටු වෙනවා. විශේෂයෙන් දරුවන් වෙනුවෙන් බිත්තිවලින් වටවුණු ශාලාවක දේශනයක් පවත්වනවාට වඩා අපේකම මතක් වෙන විදිහට අපේ ගමේ මේ උත්සවය පවත්වන එක ගැන මම ඉතාමත් සතුටුයි.

    ඒ වගේම මේ දිනය අපේ දරුවන්ගේ සෞන්දර්ය හැකියාවන් එළිදක්වමින් පවත්වන්න ඇමතිතුමන් උත්සහ ගැනීම ඉතාම කාලෝචිතයි කියලා මම හිතනවා.

    මේ දරුවන් අතරින් සියලුම ජාතීන්ට, සියලුම ආගම්වලට අයත් දරුවන් ඉන්න බව මට පේනවා. ඒක තමයි මම මේ රටේ වැඩියෙන්ම දකින්න කැමති දර්ශනය. ඒ වගේම සියලු ජාතීන් ආගම්වලට අයිති දරුවන් ඒකරාශී කර ගැනීම ගැනත් මම ස්තූතිවන්ත වෙනවා.

    ආදරණීය දුවේ, පුතේ,

    2005 දී මීට අවුරුදු 15 කට කලින් මම ජනතාව අමතලා කිව්වා අපි එදා මුහුණ දෙන ප්‍රශ්න අනාගත පරපුරට භාර දෙන්නේ නැති රටක් හදනවා කියලා. 2005 දී ඉපදිලත් නැති දරුවෝ අද මේ සභාවේ ඉන්න පුළුවන්. ඒ දරුවන්ට එදා තිබූ ඉතිහාසය ගැන මේ මොහොතේ මම මතක් කරන්න ඕනි.

    ආදරණීය දුවේ, පුතේ,

    එදා මේ රටේ යුද්ධයක් තිබුණා. අද වගේ නිදහසේ ගමන් බිමන් යන්න බෑ. කොයි මොහොතේ බෝම්බයක් පුපුරලා මැරිලා වැටෙයිද කියන්න බැරි රටක් තිබුණා. කිලෝමීටර් හතරෙන් පහට හැම තැනම චෙක් පොයින්ට් තිබුණා. බස් එකෙන් බැහැලා කිහිප පොලක පරීක්ෂාවට ලක් වෙලා තමයි ගමනක් යන්න උනේ. හැම ගමකම යුද්ධයේ මළ ගෙයක් තිබුණා. උතුරු නැගෙනහිර පළාත්වල ලක්ෂ ගණන් බිම් බෝම්බ වළලලා තිබුණා. ඒ වෙලාවේ බොහොමයක් දෙනෙකුට කකුල් අතපය අහිමි වුණා. ගාලු පාරේ නිතරම තුවාල ලබපු අය රොහල්වලට ගේන ඇම්බියුලන්ස් එහා මෙහා ගියා.

    ඒ විතරක් නෙමෙයි එදා දහස් ගණන් දරුවෝ උපන්නේ අනාථ නිවාසවල. ඉස්කෝලේ ගියේ යුද්ධයෙන් අනාථ වුණ අය ඉන්න කූඩාරම්වල ඉදලා. ඒ වගේ රටක 2005 දී අපි ජාතිය අමතලා මුලින්ම කිව්වා අපි මුහුණ දෙන ප්‍රශ්න අනාගතයට භාර දෙන්නේ නෑ කියලා.

    අද ඒ අනාගතය උදා වෙලා තියෙනවා. එදා පරපුර මුහුණ දුන් ප්‍රශ්න අද මා ඉදිරියේ ඉන්න දරුවන්ට මුහුණ දෙන්න වෙලා නෑ. එදා විදුලිය තිබුණේ රටෙන් කොටසකට. කාපට් කරපු පාරවල් මේ රටේ තිබ්බේ අතලොස්සයි. පරිගණක සාක්ෂරතාව තිබුණේ ජනගහනයෙන් සීයට පහකට විතරයි. ඒවා නිසා ඇති වූ ප්‍රශ්න අද මේ පරපුරට මුහුණ දෙන්නේ නැති රටක් අපි හැදුවා.

    කොවිඩ් – 19 වසංගතය ආපු වෙලාවේ මේ රටේ ලක්ෂ ගණන් දරුවන්ට පරිගණක සාක්ෂරතාවය භාවිතා කරලා ඉස්කෝල වැඩ කරන්න පුළුවන් උනේ අපි එදා නවීන තාක්ෂණය රටේ දියුණු කළ නිසයි. නැණසල මධ්‍යස්ථාන පිහිටුවා රටේම දරුවන්ට පරිගණක තාක්ෂණය පුරුදු කරන්න අපි එදා වැඩ කළා. ඈත පළාත්වල දූ දරුවෝ විශ්ව විද්‍යාලයට අයදුම් කරන්නේ මේ නැණසල හරහා බව අපි දන්නවා.

    ඒ නිසා දුවේ, පුතේ, මම කියනවා අද අපි යම් ප්‍රශ්නයකට මුහුණ දෙනවානම් ඒ ප්‍රශ්නවලටත් අනාගතයේ මුහුණ දෙන්න වෙන්නේ නැති රටක් අපි හදනවා කියලා.

    මිත්‍රවරුණි,

    අපි කුඩා කාලයේ ඉදලම දරුවන්ව බෙදනවා. දරුවන්ට බෙදෙන්න, බෙදිලා ජීවත් වෙන්න මඟ පාදා දෙනවා. අද සිංහල දරුවෝ සිංහල ඉස්කෝලවල, මුස්ලිම් දරුවෝ මුස්ලිම් ඉස්කෝලවල, හින්දු දරුවන්ට වෙනම ඉස්කෝල. කුඩා කාලයේ ඉදන්ම දරුවන්ව වෙන් වෙන්ව තියලා උගන්වලා අපි ඒ ගොල්ලො ලොකු මහත් උනාම කියනවා එකතු වෙයල්ලා කියලා.

    අධ්‍යාපනයේදී බෙදිලා වෙන්වෙලා ඉගෙනගත් අය වැඩිහිටියෝ උනාට පස්සේ එකතු වෙන්නේ කොහොමද කියන ප්‍රශ්නය අද අපේ ජාතිය හමුවේ කියනවා. ජාතිය, ආගම හැටියට විතරක් නෙමෙයි මේ දරුවන් ඉස්කෝල හැටියටත් පොඩි කාලෙම බෙදනවා. ජාතික පාසල්වල දරුවෝ, සුපිරි පාසල්වල දරුවෝ, පළාත් සභා පාසල්වල දරුවෝ, ජාත්‍යන්තර පාසල්වල දරුවෝ කියලා දරුවෝ බෙදනවා. පොඩි කාලෙම බෙදිලා වෙන්වෙලා පන්ති හැටියට ජීවත් වෙන්නයි අපේ දරුවන්ට උගන්වන්නේ.

    එක නීතියක් එක රටක් ඕනිනම් බාලම කාලයේ සිට මේ බෙදීම අවසාන කරන්න ඕනි කියලා මම විශ්වාස කරනවා.

    අද මේ දරුවන්ගෙන් ඇහුවොත් දරුවන්ට තියෙන ලොකුම ප්‍රශ්නය මොකක්ද කියලා දරුවෝ කියයි ඉගෙන ගැනීම කියලා. දරුවන්ගෙන් ඇහුවොත් ඔබට තියෙන ලොකුම බර මොකක්ද කියලා දරුවෝ කියයි විභාගවල බර කියලා. අපි අධ්‍යාපනය වැඩි දියුණු කිරීමේ අරමුණින් ගොඩ නැගිලි දහස් ගණන් හැදුවත්, ඒවා වායු සමීකරණය කළත්, පොත්පත්, ඇදුම්, සපත්තු, ටැබ් දුන්නත් වැඩක් නෑ දරුවන් ඉගෙන ගන්නේ සතුටින් නෙමෙයි නම්.

    අපි අධ්‍යාපනයට ජාතික ආදායමෙන් කොයිතරම් කොටසක් වෙන් කරත් වැඩක් නෑ දරුවන් ඉගෙන ගන්නේ නිදහසේ නෙමෙයි නම්. ඒ නිසා අධ්‍යාපනයට මුදල් වෙන් කරනවාට වඩා දරුවන්ට නිදහසේ සතුටින් බරක් නැතුව ඉගෙන ගන්න පුළුවන් අධ්‍යාපන ප්‍රතිසංස්කරණයක් වහාම මේ රටට ඕනි. ඒ ප්‍රතිසංස්කරණය ආණ්ඩුක්‍රම ප්‍රතිසංස්කරණයට වඩා මේ රටේ අනාගතයට බලපාන බව මම කියන්න ඕනි.

    අපි දරුවන්ට නිදහසේ ඉගෙන ගන්න පුළුවන් රටක් නැවත තමන්ගෙ ඉලක්ක ජය ගන්න පුළුවන් රටක් හදලා භාර දෙන්න ඕනි.

    ආදරණීය දුවේ, පුතේ,

    අපිට අපි උපන් රට ගැන ලොකු වගකීමක් තියෙනවා. මේ දුවලා පුතාලා මතක තියා ගන්න ඕනි අපි මේ පය ගහලා ඉන්න රට ආරක්ෂා කර ගන්න වසර දහස් ගණනක් තිස්සේ ලක්ෂ කෝටි ගණන් ජනතාව, ජීවිත පූජා කරලා තියෙන බව. යටත් නැති රටක් හදන්න අපේ මුතුන් මිත්තෝ අපිරිමිත කැප කිරීම් කළ බව අපි මතක තියා ගන්න ඕනි.

    දහස් ගණන් වැව් බැදලා ඒවායේ දියවර අරන් මුතුන් මිත්තෝ අපි වෙනුවෙන් ඒ මහා නිර්මාණ ඉතුරු කළ බව මතක තියා ගන්න ඕනි. ඒ විතරක් නෙමෙයි. අපේ භික්ෂූන් වහන්සේලා ලෝකයේ ශ්‍රේෂ්ඨ ධර්මය ථේරවාදී බුදු දහම වණ පොත් කරලා ආරක්ෂා කරගෙන ගෙනල්ලා ලෝකෙට දෙන්න, රැක ගත්ත බව අපි මතක තියා ගන්න ඕනි. මගේ ඉදිරියේ ඉන්න දුවලා පුතාලා වගකීමක් තියෙනවා මේ දේවල්වලට යමක් එකතු කරන්න.

    අද අපි කවුරුත් හිතනවා රුවන්වැලිසෑය බැදපු යුගයේ අපි ජීවත් උනානම් අපිටත් ඒවාට දායක වෙන්න පුළුවන් කියලා.

    කැප්පෙටිපොළ නිලමේතුමා අධිරාජ්‍යවාදීන්ට විරුද්ධව සටන් කළ යුගයේ අපිත් හිටියානම් අපිත් ඒ සටනට යනවා නේද කියලා අපි අද හිතනවා.

    ආදරණීය දුවේ, පුතේ

    අපි එහෙම යුගයක් මේ රටේ ගොඩනගන්න ඕනි. අනාගත පරපුර ආපස්සට හැරිලා හිතන කොට අද කාලේ ජීවත් උනානම් කොයිතරම් හොඳ ද කියලා හිතෙන රටක් හදන්න අපි කැප වෙන්න ඕනි.

    අද අපේ සියලු දේවල් යළි ගොඩනගන යුගයක්, ඔබගේ ගේ පිටිපස්සේ වැවෙන කහ පැළයේ ඉදන් ඔබ පාසල් යනකොට අදින නිල ඇදුම් රෙද්ද දක්වා අපේ අතින්ම නිෂ්පාදනය කරන රටක් හදන්න පුළුවන් යුගයක් එළඹිලා තියෙනවා.

    ඒ මහා යෝධ කාර්යයට දායක වෙන්න හිතට ගත්තොත් තව අවුරුදු සිය ගාණකට පස්සේ උපදින පරපුර කියයි මේ යුගයේ උපන්නා නම් හොදයි කියලා. ඒ නිසා අපේ මහා ජාතික කවියෙකු වූ එස්. මහින්ද හාමුදුරුවෝ කිව්ව කවියකින් මා මගේ කතාව අවසන් කරනවා.

    තමන් ලැබූ දිවි පිවෙතේ – කොටසක් රට සමය වෙතේ

    පුද නොකළොත් එයින් පුතේ – මෙලොවට කිසි පළක් නැතේ

    ඔබට සුභ අනාගතයක්! යැයි අග්‍රාමාත්‍යතුමා පැවසීය.

    මෙම අවස්ථාවට නාරාහේන්පිට අභයාරාමාධිපති බස්නාහිර පළාත් ප්‍රධාන සංඝනායක පූජ්‍ය මුරුත්තෙට්ටුවේ ආනන්ද නාහිමි, පැපිලියාන සුනේත්‍රා මහා දේවී පිරිවෙනේ විහාරාධිපති මහාචාර්ය මැදගොඩ අභයතිස්ස නායක ස්වාමීන් වහන්සේ ඇතුළු මහා සංඝරත්නය හා අමාත්‍ය ජී. එල්. පීරිස්, රාජ්‍ය අමාත්‍යවරුන් වන පියල් නිශාන්ත, සුසිල් ප්‍රේමජයන්ත, අධ්‍යාපන අමාත්‍යාංශ ලේකම් මහාචාර්ය කපිල පෙරේරා, ළමා හා කාන්තා කටයුතු අමාත්‍යංශ ලේකම් කේ.එම්.එස්.ඩී. ජයසේකර, මහත්ම මහත්මීන් ඇතුළු උසස් නිලධාරීන්, දෙමාපියන්, දූ දරුවන් රැසක් එක්ව සිටියහ.

  • ජනපති කාර්යාල පරිසර ඒකකයෙන් අලුත් වැඩක්

    ජනපති කාර්යාල පරිසර ඒකකයෙන් අලුත් වැඩක්

    කොළඹ නගරයේ විටින් විට විශේෂයෙන් වැසි සමයේ දී සිදුවන ගස් කඩා වැටීමට හේතු සොයා පිළියම් හඳුනා ගැනීමේ අධ්‍යයන සමීක්ෂණයක්  ජනාධිපති කාර්යාල පරිසර ඒකකයේ මෙහෙයවීමෙන් පසුගියදා සිදු කෙරිණ. ඒ සඳහා ආනන්ද කුමාරස්වාමි මාවත, ග්‍රෙගරි පාර සහ තුන්මුල්ල වැනි ගස් කඩා වැටීම් බහුලව සිදු වන ප්‍රදේශ පාදක කර ගන්නා ලදී.

    ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරි රොෂාන් රාජපක්ෂ මහතා ජනාධිපති කාර්යාලයීය විශේෂ පැවරුම් හා පරිසර අධ්‍යක්ෂ ධූරයට පත්වීමෙන් අනතුරුව මේ වැඩසටහන ආරම්භ කරනු ලැබීය. පේරාදෙණිය උද්භිද උද්‍යානයේ නියෝජ්‍ය අධ්‍යක්ෂ ආචාර්ය අචලා අත්තනායක, වනෝද්‍යාන අංශ භාර නිලධාරී සුනිල් ගමගේ, වනෝද්‍යාන අංශ භාර කොළඹ මහ නගර සභාවේ සහකාර නිලධාරී පසන් තරිදු වික්‍රමසිංහ සහ නගර අලංකරණ නියෝජ්‍ය අධ්‍යක්ෂ තරංගා මුණිවීර යන මහත්ම මහත්මීහු  අධ්‍යයන සමීක්ෂණයට සහභාගී වූහ. ජනාධිපති කාර්යාලයීය විශේෂ පැවරුම් හා පරිසර ඒකක නිලධාරීන්ගේ සහය ඔවුනට ලැබිණ.

    පසුගිය දින කිහිපය තුළ කොළඹ නගරයේ විශාල ගස් 27ක් ඉදිරි ඇඳ වැටිණ. ගසේ මුල් දිරාපත් වීම, ආයු කාලය ක්ෂය වීම, පරපෝෂණය හා ශාක කඳන් මත පාසි බැඳීමෙන් ඒවායේ බර වැඩිවීම වැනි සාධක ඊට හේතුවන බව  අධ්‍යයනයෙන් අනාවරණය විය.

    අධ්‍යයනයෙන් හෙළි වූ තොරතුරු තවදුරටත් විමර්ශණය කොට අවශ්‍ය පිළියම් කරමින් ගස් ආරක්ෂා කර ගන්නා අතර, මහජනතාවගේ හා දේපළවල සුරක්ෂිතතාව සහතික වන අයුරින් ඉදිරි ක්‍රියාමාර්ග ගැනීමට සැලසුම් කෙරේ.

    කොළඹ විහාර මහා දේවි උද්‍යානයේ රැස් කර තිබූ කඩා වැටුණු ගස් සහ අතු ආරක්ෂිතව ඉවත් කිරීම ද අධ්‍යයන සමීක්ෂණයට සමගාමීව සිදු විය.

  • 20 ලිව්ව කෙනාට වැඩිය ‘සංස්කාරක‘ අවුල්

    20 ලිව්ව කෙනාට වැඩිය ‘සංස්කාරක‘ අවුල්

    20 වන සංශෝධනය කියලා වගන්ති 57 ක් ආණ්ඩුව ගැසට් කළා.  දැන් එකෙන් 32 ක් සංශෝධනය කරලා.  20 ලිව්ව කෙනාට වැඩිය, මේක සංස්කරණය කරන ‘සබ් එඩිටර්ට‘ අවුල් යැයි මාතලේ පාර්ලිමේන්තු මන්ත්‍රීණි රෝහිණී කවිරත්න මහත්මිය පැවසුවාය.

    සමගි ජන බලවේගයේ ‘දිනමු‘ වැඩසටහන පිළිබඳ දැනුවත් කිරීම සඳහා රත්තොට, කයිකාවල පැවතැ රැස්වීමක් අමතමින් කවිරත්න මහත්මිය මෙසේ පැවසුවාය.

    ලියපු කෙනෙක් නැති 20 සංශෝධනය, ලංකා ඉතිහාසයේ ලොකුම ව්‍යවස්ථා විහිළුව බවට පත් වෙලා තියෙනවා.  මුල් සංශෝධනයේ තිබුණේ වගන්ති 57 යි. දැන් එකෙන් 32 ක් වෙනස් කරලා තියෙනවා.  පේළි 51 ක් වෙනස් කරලා තියෙනවා. ඔන්න ඔහොමයි ‘වියත්මගේ ව්‍යවස්ථා හැදිල්ල‘ යැයි ද කවිරත්න මහත්මිය පැවසුවාය.

    විශ්වවිද්‍යාලයේ නීති පීඨයේ ළමයෙකුට දුන්නා නම් වීට වැඩිය හොඳට 20 සංශෝධනය ලියලා දෙනවා.  ලියපු කෙනා නෙවෙයි දැන්, මේක සංස්කරණය කරන කෙනා හොයාගන්න ඕනි. 

    විධායක ජනාධිපතිවරයෙකුගේ කටින් පිටවෙන වචන  ‘සර්කියුලර්‘ කරන්න හදන්නේ, ලියලා ගහපු ගැසට් එකේ වගන්ති 57 න් 32 ක් සංශෝධනය කරන ආණ්ඩුවක් යැයි ද කවිරත්න මහත්මිය පැවසුවාය. 

  • සැබෑ සතුට ගැන ‘සුපිරි සොයා ගැනීම්’ 07ක්

    සැබෑ සතුට ගැන ‘සුපිරි සොයා ගැනීම්’ 07ක්

    ‘බෞද්ධ අපි ලොකුම ධනය ලෙස සලකන්නේ ‘සතුට‘යි. ඒත් ප්‍රශ්නයක් තියෙනවා. ඒ තමයි අපි අතරින් කීයෙන් කී දෙනා ද සතුටින් ඉන්නේ. අප සැමට සතුටින් සිටීමට අවශ්‍ය නමුත් එම ඉලක්කය සපුරා ගන්නේ කෙසේදැයි අපි බොහෝ දෙනෙක් දක්නේ ම නැහැ. ඒ නිසා අපි විවිධාකාරයෙන් සතුට සොයා යාමට වෙහෙසෙනවා.

    ඒත් සතුට ගැන අධ්‍යයනය කළ විශේෂඥයින් පවසන්නේ ‘සතුට යනු තේරීමක්‘ බවයි. ඒ අදහස අපට තරමක් ව්‍යාකූල වුවත් අපිට පහත සදහන් ‘සතුටේ රහස් 07 කියවීමෙන් පසු යම් කිසි අවබෝධයක් ලබාගත හැකි වේවි.

    පරිපූර්ණ සතුටක් ලබා ගන්නේ කෙසේද යන්න පිළිබඳ උපදෙස් කිහිපයක් මෙන්න.

    1. සතුට එක් ප්‍රමාණයකට නොගැලපේ

    අප බොහෝ දෙනෙක් සන්තෝෂය සොයා වෙහෙසෙන්නේ අප වැරදි දෙයකට ඉලක්ක කර ඇති බැවිනි. සතුටින් සිටීමට නම් අපට යම් මුදලක් හා මූල්‍ය ස්ථාවරත්වයක් තිබිය යුතු බවත් ඒ මුදල් වියදම් කිරීම මගින් සතුට ලගාකර ගත හැකි බවයි ධනේශ්වර ඉගැන්වීමයි. ඔබට ජනමාධ්‍ය මගින්, සමාජ මාධ්‍ය මගින් පමණක් නොව ඇසට පෙනෙන, ඇසසෙන සෑම දෙයකින්ම අවධාරණය කරන්නේ ‘සල්ලි නැති තැන සතුට නැත – මුදල් වියදම් කිරීම මගින් සතුටු විය හැකිය‘ යන වැරදි ආදර්ශයයි. 

    එහෙත් ඒවා ධනේශ්වර සමාජය මත පදනම් වූ සාර්ථකත්වයේ සලකුණු පමණි. සතුටින් සිටීමට ඔබට ඒ කිසිවක් අවශ්‍ය නොවේ. සතුන් සමඟ වැඩි කාලයක් ගත කිරීම, සංචාරය කිරීම, හොඳ සහකරුවෙකු හෝ සහකාරියක සමක සිටීම හෝ සිතුවම් ඇදීම, සංගීතයට සවන්දීම වැනි දේ පෞද්ගලිකව ඔබව සතුටට පත් කළ හැකිය. මා මෙහිදී අවධාරණය කරන්නේ සතුට යනු පෞද්ගලික දෙයක් වන අතර ඒ පිළිබඳව ඔබේම අර්ථ දැක්වීමක් සොයා ගැනීම වැදගත්ය බවය.

    සතුට එක් ප්‍රමාණයකට නොගැලපේ |  පරිපූර්ණ සතුට සඳහා උපදෙස් 7 |  සෙස්ට්‍රඩාර්

    2. චිකිත්සාව සැමවිටම හොඳ අදහසකි

    බොහෝ අයට තමන් ගැනම සිතීම දුෂ්කර ය. තවද, අප දිනපතා අසන – දකින තොරතුරු (මේවා අප වෙත ගෙන එන්නේ ජනමාධ්‍ය හෝ සමාජ මාධ්‍ය මගිනි) සතුට සොරා ගන්නා බව අපට නොවැටහීම පුදුමයට කරුණකි. 

    සමහරුන්ට කුඩා කල සිටම ඔවුන්ගේ දෙමව්පියන් විසින් උගන්වනුයේ ‘සතුටින් සිටිය හැකි එකම ක්‍රමය විවාහ වී හොඳ සහකරුවෙකු හෝ සහකාරියක වීම‘ බවයි.

    තවත් සමහරු තමන්ට කිසි දිනෙක අවශ්‍ය නොවූ වෘත්තියකට තල්ලු කරනු ලැබේ. අපේ දෙමව්පියන් බොහෝ වේලාවක් ඔවුන්ගේ සිහින හා අරමුණු අප වෙත ගෙන ඒමට උත්සාහ කරන බැවින් එය ඔවුන් සතුටට පත් කරනු ඇත. නමුත් එයින් අදහස් කරන්නේ එය ඔබව සතුටට පත් නොකරනු ඇති බවයි. මනෝ විද්‍යා උපදේශනය හැදෑරීම නිසැකවම එම කරුණු අවබෝධ කර ගැනීමටත්, ඒවා හරහා වැඩ කිරීමටත්, ප්‍රීතිමත් ජීවිතයක් ගත කිරීම සඳහා නිවැරදි මාවතකට යොමු කිරීමටත් උපකාරී වේ.

    චිකිත්සාව සැමවිටම හොඳ අදහසකි |  පරිපූර්ණ සතුට සඳහා උපදෙස් 7 |  සෙස්ට්‍රඩාර්

    3. සතුටින් සිටීමට ඔබේ මොළය පුහුණු කරන්න

    සතුට යනු තේරීමක් යැයි පවසන විට මිනිසුන් සැබවින්ම අදහස් කරන්නේ කුමක්ද? ඔබ හදිසියේම අවදි වී සතුටින් සිටීමට තීරණය කළ යුතුද? එය එතරම් සරල නැත. 

    අපගෙන් බොහෝ දෙනෙක් හොඳ දේ නොදැන ඒවා කෙරෙහි අවධානය යොමු කිරීමට වෙහෙසෙති. ඍණාත්මක අන්තර්ක්‍රියාකාරිත්වයක් මතක තබා ගැනීමට හෝ පැය හෝ දින ගණනක් එය මතක් කරමින් වෙහෙස වීම බොහෝ දෙනකුගේ සිරිත වේ.

    නමුත් ඔබේ සතුට හා යහපැවැත්ම වැඩි දියුණු කිරීම සඳහා ඍණාත්මක ඒවා බැහැර කර ධනාත්මක දේ කෙරෙහි අවධානය යොමු කිරීමට ඔබේ මොළය පුහුණු කළ යුතුය. ෙ

    සතුටින් සිටීමට ඔබේ මොළය පුහුණු කරන්න |  පරිපූර්ණ සතුට සඳහා උපදෙස් 7 |  සෙස්ට්‍රඩාර්

    4. ඔබේ වටපිටාව රිසිකරණය කරන්න

    මෙහිදී ඔබට වඩාත් සුදුසු දේශගුණයක් සහිත වෙනත් නගරයකට හෝ රටකට යාම හෝ ඔබට වඩාත් සුවපහසු හැඟීමක් ඇති කිරීම සඳහා ඔබේ නිවස අලංකාර කිරීම හෝ ඔබ වටා සිටින පුද්ගලයින් දෙස බැලීම වැනි ඕනෑම දෙයක් අදහස් කළ හැකිය. 

    අපේ වටපිටාව අපේ ජීවිතයට ප්‍රධාන වශයෙන් බලපායි. එබැවින් ඔබ ශීතලට වෛර කරන්නේ නම්, උණුසුම් රටකට යන්න. ඔබේ නිවසේ බිත්තිවල වර්ණයට ඔබ අකමැති නම් – එහි ඔබ වඩාත්ම කැමති තීන්ත ආලේප කරන්න. ඔබේ ජීවිතයේ ඍණාත්මක හා ඔබට නපුරු පුද්ගලයන් සිටී නම් ඔවුන්ගෙන් ඉවත් වන්න. ඔබ කැමති දේ සහ ධනාත්මක බලපෑමක් ඇති පුද්ගලයින් සමඟ පමණක් එක්වන්න.

    ඔබේ වටපිටාව රිසිකරණය කරන්න |  පරිපූර්ණ සතුට සඳහා උපදෙස් 7 |  සෙස්ට්‍රඩාර්

    5. තවත් සිනාසෙන්න

    එය මෝඩකමක් ලෙස පෙනුනද මෙය අනිවාර්යයෙන්ම ක්‍රියාත්මක වේ. සතුට හා ප්‍රීතිය දැනෙන විට අපට සිනහවක් ඇති වන අතර, එය අනෙක් පැත්තෙන්ද ක්‍රියා කරයි. එනම් දුකක් හෝ කම්පනයක් ඇති විට ඔබ හඩා වැටෙයි.

    ඔබ මිනිත්තු කිහිපයක් සිනාසීමට තෝරා ගන්නේ නම්, ඔබට එය විශේෂයෙන් දැනෙන්නේ නැතත්, ඔබට පසුව හොඳක් දැනෙනු ඇත. සිනහව හා සිනාසීම මගින් ඇත්ත වශයෙන්ම ඔබේ කාංසාව අඩු කර ගත හැකි අතර ආතති සහගත තත්වයක් සමඟ වඩා හොඳින් කටයුතු කිරීමට ඔබට උපකාරී වේ. එබැවින් එය තවත් විහිලු නැරඹීමට නිදහසට කරුණක් ලෙස භාවිතා කරන්න.

    තවත් සිනාසෙන්න |  පරිපූර්ණ සතුට සඳහා උපදෙස් 7 |  සෙස්ට්‍රඩාර්

    6. බොරු කීම නවත්වන්න

    එයින් අපි අදහස් කරන්නේ අන් අයට පමණක් නොව ඔබටත් ය. අපි අන් අය සතුටු කිරීමට උත්සාහ කරමින් වැඩි කාලයක් ගත කරන අතර අප එසේ කරන්නේ බොරු කීම අපගේ යහපතට හේතු වන බව අපටම ඒත්තු ගැන්වීමට. 

    අවම වශයෙන් බොරු දෙකක්වත් නොකියා විනාඩි 10 ක සංවාදයක් පැවැත්වීම බොහෝ අයට අපහසු බව ඔබ දැන සිටියාද? බොරු කීම සඳහා විශාල උත්සාහයක් හා මොළ ශක්තියක් අවශ්‍ය වේ. ඔබ බොරුවක් කී විට එය මතක තබා ගැනීම ආදිය සදහා ද අමතර වෙහෙසක් දැරිය යුතුය. එය වෙහෙසකාරී වැඩකි.

    සත්‍යය පැවසීමට ඉගෙන ගැනීම මුලදී එය දුෂ්කර යැයි පෙනුනත්, ඇත්ත වශයෙන්ම එමගින් ඔබේ මානසික සෞඛ්‍යයට ධනාත්මක ප්‍රතිලාභ ලබා ගත හැකිය.

    බොරු කීම නවත්වන්න |  පරිපූර්ණ සතුට සඳහා උපදෙස් 7 |  සෙස්ට්‍රඩාර්

    7. අසමත් වීම සාමාන්‍යයි

    අසමත් වීම ජීවිතයේ සාමාන්‍ය කොටසකි. අපි හැමෝම අසමත් වෙනවා. අපි ඉගෙන ගන්නේ එලෙසයි. අළුත් දේවල් කිරීමට දිගටම උත්සාහ කිරීම, ඒවා අසමත් වීම සහ අවසානයේ හොඳ වීම වැදගත් ය. ඒ ගැන සිතා බලන්න.

    ඔබ ළදරුවෙකු වූ විට, ඔබ ඇවිදීමට දැන සිටියේ නැත, ඔබ දිගටම ඇද වැටුණි. නමුත් අවසානයේදී, ඔබ ඇවිදීමට පමණක් නොව දිවීමට ද ඉගෙන ගත්තා. ඔබ ඉවත්ව ගියේ නැහැ නේද? ජීවිතයේ සෑම දෙයකටම ඔබ තිබිය යුතු ආකල්පය එයයි. ‘අසමත් වීම සාමාන්‍ය දෙයකි‘

    අසමත් වීම සාමාන්‍යයි |  පරිපූර්ණ සතුට සඳහා උපදෙස් 7 |  සෙස්ට්‍රඩාර්

    Zestradar.com ඇසුරිණි- සැකසුම – තීක්ෂණ වෙළෙන්එගොඩ

  • “බුදු පුත් සුරක්ෂා” සෞඛ්‍ය ආරක්ෂණ හිමිකම් ප්‍රදානය ඇරඹෙයි

    “බුදු පුත් සුරක්ෂා” සෞඛ්‍ය ආරක්ෂණ හිමිකම් ප්‍රදානය ඇරඹෙයි

    බුද්ධශාසන ආගමික හා සංස්කෘතික කටයුතු ආමාත්‍යංශය මඟින් ක්‍රියාත්මක බෞද්ධ ස්වාමීන් වහන්සේලා 15000 ක් ආවරණය වන “බුදුපුත් සුරක්ෂා” සෞඛ්‍ය ආරක්ෂණ හිමිකම් ප්‍රදානය කිරීමේ සමාරම්භක උත්සවය අද (01) දින අග්‍රාමාත්‍යවරයාගේ ප්‍රධානත්වයෙන් අරලියගහ මන්දිරයේදී පැවැත්විණි.

    ශ්‍රී ලංකා ප්‍රජාතාන්ත්‍රික සමාජවාදී ජනරජයේ ඒකාබද්ධ අරමුදලෙන්, බුද්ධශාසන අරමුදලෙන් සහ පරිත්‍යාග ශීලීන්ගේ පරිත්‍යාග මත මෙම හිමිකම් ප්‍රදානය අඛණ්ඩව ඉදිරියට පවත්වාගෙන යාමට අපේක්ෂිතය.

    මෙම වැඩසටහනෙහි සමාරම්භය සංකේතවත් කරමින් භික්ෂූන් වහන්සේලා කිහිප නමක් උදෙසා අගමැතිවරයා අතින් හිමිකම් ප්‍රදානය කෙරිණි.

    මෙහිදී පහත සඳහන් භික්ෂූන් වහන්සේලා අග්‍රමාත්‍යතුමා අතින් “බුදු පුත් සුරක්ෂා” සෞඛ්‍ය ආරක්ෂණ හිමිකම ලැබූහ.

    1. පූජ්‍ය නිකපොත චන්දජෝති හිමි
    2. ජූජ්‍ය දඹගහහේනේ ජිනානන්ද හිමි
    3. පූජ්‍ය කටුවන සෝමරතන හිමි
    4. පූජ්‍ය වැලිකඩ මුල්ලේ ජිනරතන හිමි
    5. පූජ්‍ය ඌරලියේ විමලවංශ හිමි

    මෙම භික්ෂූන් වහන්සේලාගේ හිමිකම් ප්‍රදානය සඳහා අතිපූජ්‍ය ආචාර්ය බෝදාගම චන්දිම නාහිමි සහ විශේෂඥ වෛද්‍ය සර්ධා හේමප්‍රිය, විශේෂඥ වෛද්‍ය ප්‍රභා සමරකෝන්, ශ්‍රියානන්ද විජේකෝන්, විශේෂඥ වෛද්‍ය විමලසිරි අබේකෝන්, මහාචාර්ය වසන්ති පිංටෝ, විශේෂඥ වෛද්‍ය නිර්මලා ගුණවර්ධන මහත්ම මහත්මීන් ඇතුළු පරිත්‍යාශීලීන්ගේ දායකත්වය ලැබී තිබිණි.

    බුදුපුත් සුරක්ෂා සෞඛ්‍ය ආරක්ෂණ වැඩසටහනට බුද්ධශාසන අරමුදලෙන් රුපියල් මිලියන 40 ක මුදලක් ආරම්භයේදී ප්‍රදානය කිරීමට අග්‍රාමාත්‍යවරයා උපදෙස් දී තිබිණි.  ඒ සඳහා රජයෙන් තවත් රුපියල් මිලියන 50ක දායකත්වයක් ලැබෙන අතර මේ දක්වා පරිත්‍යාගශීලීන්ගෙන් රුපියල් හැත්තෑ තුන් ලක්ෂයක මුදලක් පරිත්‍යාග වශයෙන් ලැබී තිබේ.

    මෙම අවස්ථාව සඳහා පූජ්‍ය ගෝණදූවේ ගුණානන්ද හිමි ඇතුළු මහා සංඝරත්නය, රාජ්‍ය අමාත්‍ය පියල් නිශාන්ත, බුද්ධශාසන ආගමික හා සංස්කෘතික කටයුතු අමාත්‍යංශ ලේකම් මහාචාර්ය කපිල ගුණවර්ධන, බුද්ධශාසන අරමුදලේ ලේකම් ඩබ්.ටී.එච්.රුචිර විතාන මහත්වරු ඇතුළු උසස් නිලධාරීන් රැසක් එක්ව සිටියහ.

  • 20 සංශෝධනය දැන් ‘පොඩි එකාගේ ලියුම වගේ’

    20 සංශෝධනය දැන් ‘පොඩි එකාගේ ලියුම වගේ’

    20 වන සංශෝධනය පිළිබඳ නීතිපතිවරයා විසින් ශ්‍රේෂ්ඨාධිකරණයට සංශෝධන 83 ක් ඉදිරිපත් කර ඇත.  පිටු 67 ක සංශෝධනයට, තවත් සංශෝධන 83 ක් ඇතුළත් කිරීම ම මේ ලියවිල්ලේ දුර්වලතාව පෙන්වන්නකි.   දැන් 20 වන සංශෝධනය වැරදි 83 ක් තියෙන, ‘පොඩි එකාගේ ලියුම‘ වගේ යැයි හිටපු ආණ්ඩුකාර කීර්ති තෙන්නකෝන් නිවේදනයක් නිකුත් කරමින් පවසයි.

    ගැසට් මගින් ප්‍රකාශයට පත් කරපු ව්‍යවස්ථා සංශෝධනයට නීතිපවරයා විසින් යෝජනා කරන සංශෝධන කිසිම නෛතික බලපෑමක් නැත.  එය සිදුවන්නටත් පුළුවන්. නොවෙන්නටත් පුළුවන්.  කමිටු අවස්ථාවේ සංශෝධන කියන්නේ ඇස්බැන්දුමක් බවත්, එය තවත් අවුල් ජාලාවකට හේතු වන බවත් අපගේ අතීත අත්දැකීමයි.   

    20 උත්කෘෂ්ඨයට නංවමින් කථා කල ආණ්ඩුවම දැන්, එහි වරද 83 ක් ලැයිස්තු ගත කර තිබේ.  එය අතිශයින් දුර්වල ලියවිල්ලක් බව එයින්ම තහවුරු වේ.

    රටේ මුලික නීතියේ පදනමට බලපෑම් කරන, ජනාධිපතිවරයාගේ බලය වැඩි කිරීම, තුලන හා සංවරණ ක්‍රියාවලිය, කොමිෂන් සභා කප්පාදු කිරිම වැනි කේෂ්ත්‍ර  වලට අදාළව 20 ට විරුද්ධව ප්‍රධාන යෝජනා 28 ක් තිබෙනවා.  එයින් කිසිම යෝජනාවක් ආණ්ඩුව නීතිපතිවරයා මගින් ශ්‍රේෂ්ඨාධිකරණයට ඉදිරිපත් කළ සංශෝධන මගින් ඉටු වෙන්නේ නෑ. එහි කුමන හෝ යහපතක් සිදුවන්නේ පාර්ලිමේන්තුව අවුරුද්දකින් විසිරුවා හැරීම වෙනුවට වසර 2  ½ කින් විසිරුවා හැරීමට යෝජනා කිරීම සහ ජනාධිපති, අගමැති කාර්යාල විගණනය කිරීමේ අවස්ථාව සැලසීම පමණයි.

    20 සංශෝධනය රටේ ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවට අනනුකූල යෝජනාවකි.  එහි ඇතැම් වගන්ති ජනමත විචාරණයකින් වත් සම්මත කර ගත නොහැකි   බව, ආණ්ඩුවේම කණ්ඩායම් අවබෝධ කර ගෙන තිබේ.  එබැවින්, මේ ආණ්ඩුවේ පාර්ශවකරුවන් 20 ට විරුද්ධව සිටිති. .

    20 වන ව්‍යවස්ථා සංශෝධනය අත්තනෝමතික යෝජනාවක් බවත්, එය සම්පූර්ණයෙන්ම අකුළා ගත යුතු බවක් කීර්ති තෙන්නකෝන් මහතා නිකුත් කළ නිවේදනයේ දැක්වේ.

  • ප්‍රභූ පන්තිය – පොලිසිය සහ අධිකරණය ගැන විශ්වාසය ප්‍රශ්න කළ ‘සිංගප්පූරුවේ ඓතිහාසික නඩු තීන්දුව’

    ප්‍රභූ පන්තිය – පොලිසිය සහ අධිකරණය ගැන විශ්වාසය ප්‍රශ්න කළ ‘සිංගප්පූරුවේ ඓතිහාසික නඩු තීන්දුව’

    ඇය සිංගප්පූරුවේ මහා ධන කුවේරයකුගේ නිවසෙහි මෙහෙකාර වෘත්තියේ යෙදී සිටි ඉන්දුනීසියානු ජාතික ගෘහ සේවිකාවකි. මාසික වැටුප සිංගප්පූරු ඩොලර් 600කි.

    ඇයගේ හාම්පුතා වන ව්‍යාපාරිකයා සිංගප්පූරු ව්‍යාපාරික සමාජයේ මහා කුළුණක් තරම් ප්‍රබල ව්‍යාපාරිකයකු මෙන්ම,රටේ සමාගම් කීපයක අධිපතිවරයා ද වෙයි.

    එක්තරා දිනයක, පාර්ති ලියනි (Parti Liyani) නම් ඉහත කී ගෘහසේවිකාවට සිය ජීවිතයේ කනගාටුදායක දෙයකට සවන්දීමට සිදුවිය. එනම්, නිවසේ වූ භාණ්ඩ කීපයක් සොරකම් කර ඇති බවට ගෙහිමියන් විසින් ඇයට චෝදනා කරනු ලැබීමය. එතැනින් නොනැවතුනු ගෙහිමියෝ ඇයට එරෙහිව පොලිසියේ පැමිණිල්ලක් ගොනුකළහ.

    මිල අධික සුඛෝපභෝගී කාන්තා අත් බෑග්, DVD යන්ත්‍රයක් පමණක් නොව ඇඳුම් පවා සොරකම් කරන ලද බවට ඉදිරිපත් වූ චෝදනා ඇතුළත් එම නඩුව සිංගප්පූරු සමාජයේ බෙහෙවින් කතාබහට ලක්වූ නඩු විභාගයක් බවට පත්විය.

    එහෙත් දීර්ඝ නඩු විභාගයක් අවසානයේ පාර්ති ලියනි, ගෘහසේවිකාව ඇයට එරෙහි සියලු චෝදනාවලින් නිදහස් කරනු ලැබුණි.

    ”මට හරිම සතුටුයි. අන්තිමේ දී මම නිදහස්!” පරිවර්තකයකුගේ සහයෝගය ඇතිව මාධ්‍යවේදීන් අමතමින් ඇය සඳහන් කළාය.

    ”මේ අවස්ථාව ලබාගන්න මම අවුරුදු හතරක් පුරා සටන් කළා” ඇය කියා සිටියාය.

    ‘පාර්ති’ ඇය මුහුණදුන් චෝදනාවලින් නිදහස ලද නමුත්, එම නඩු විභාගයත් සමඟ සිංගප්පූරු අධිකරණයේ පිහිට ලබාගැනීම අතින් පවතින අසමනතාවට අදාළ ප්‍රශ්න රැසක් එම නඩුකරයත් සමඟ සමාජය ඉදිරියට පැමිණ ඇත.

    ‘පාර්ති’ සිය හාම්පුතා වූ ‘ලීව් මුන් ලියොන්ග්’ (Liew Mun Leong) සහ ඔහුගේ පවුලේ සාමාජිකයන් වෙනුවෙන් එම නිවසේ රැකියාව ආරම්භකර තිබෙන්නේ 2007 වසරේදී ය. ගෙහිමියාගේ පුත්‍රයා වන ‘කාර්ල්’ ද ඇතුළුව පවුලේ සාමාජිකයන් කීපදෙනෙක් එම නිවසේ වාසය කරති.

    2016 මාර්තු මාසයේ දී කාර්ල් ලීව් සහ ඔහුගේ පවුලේ සාමාජිකයෝ සිය ”මහගෙදරින්” ඉවත්ව වෙනත් නිවසක පදිංචියට ගියහ.

    පාර්තිට එරෙහි නඩු විභාගයේ දී එකින් එක කරුණු දිගහැරෙමින් තිබියදී අනාවරණය වූ කරුණක් වූයේ අවස්ථා කීපයක්ම එම ගෘහසේවිකාව කාර්ල්ගේ නිවසත් පිරිසිදු කිරීමට යොදවා ඇති බවය. එය සිංගප්පූරුවේ නීතිය අනුව වරදකි. ඒ සම්බන්ධයෙන් පාර්ති කලින් පැමිණිලි කරනු ලැබ ඇත.

    එයින් මාස කීපයකට පසු ලීව් පවුල ඇය සේවයෙන් ඉවත් කරන ලද බව පාර්තිට දැනුම් දුන්හ .ඔවුන් එවැනි පියවරක් ගෙන තිබුණේ පාර්ති ඔවුන්ගේ නිවසේ භාණ්ඩ සොරකම් කරන ලදැයි සැකයෙනි.

    කාර්ල් ලීව් ඔවුන්ගේ තීරණය දැනුම්දුන් මොහොතේ ඇය මෙසේ ප්‍රකාශ කරන ලද බව ‘Straits Times’ පුවත්පත වාර්තාකර තිබුණි.

    ”මම දන්නවා – ඔබ එවැනි පියවරක් ගන්නේ ඇයි කියල. ඔබ මාත් සමඟ තරහයි.මොකද මම ඔබගේ වැසිකිලිය පිරිසිදු කිරීම ප්‍රතික්ෂේප කිරීමයි-ඔබේ තීරණයට හේතුව”

    සිය බඩු භාණ්ඩ පෙට්ටි කීපයකට අසුරා ගැනීම සඳහා පාර්තිට පැය දෙකක් කල්දුන් ගෙහිමියෝ ඒවා ඉන්දුනීසියාවට එවන බව දැනුම් දුන් අතර, ඒ අනුව ඇය එදිනම සිය මව්රට බලා පිටත්ව ගියාය.

    එපරිද්දෙන් එම නිවසින් පිටත්ව යාමට පෙර සිය බඩු අසුරමින් සිටියදී ප්‍රකාශයක් කළ පාර්ති ”කාර්ල්ගේ නිවස පිරිසිදු කරන ලෙස නියෝග කිරීම සම්බන්ධයෙන් සිංගප්පූරු බලධාරීන්ට පැමිණිලි කරනවා” යැයි ‘ලීව්’ පවුලට අනතුරු අඟවා ඇත.

    පාර්ති පිටත්ව යාමෙන් පසු ලීව් පවුලේ සාමාජිකයෝ ඇය තබා ගිය පෙට්ටි පරීක්ෂා කිරීමට තීන්දු කළහ. ඒවා විවර කරමින් *පරීක්ෂාකළ ඔවුහු තමන්ට අයත් භාණ්ඩ කීපයක් පාර්තිගේ ඇසුරුම් අතර තිබී සොයාගන්නා ලද බවට පොලිසියට පැමිණිලි කළහ. එම පැමිණිල්ල ඉදිරිපත් කරන ලද්දේ ලීව් සහ ඔහුගේ පුත් කාර්ල් විසිනි.

    පාර්ති කියාසිටින්නේ එවැනි අනුන් සතු භාණ්ඩ කිසිවක් ගැන තමා නොදන්නා බවය. ඉහත සඳහන් කළ පරිදි ඉන්දුනීසියාවට ගිය පාර්ති ඉන් සති පහකට පසු වෙනත් නිවසක රැකියාවක් ලැබ එය භාරගැනීම සඳහා සිංගප්පූරු ගුවන්තොටුපොළට ළඟා වූවාය. එහෙත් ඇය ගුවන් තොටුපොලේදීම අත්අඩංගුවට ගනු ලැබුණි

    පාර්තිට එරෙහිව ඉදිරිපත් කරනු ලැබ තිබුනේ අපරාධ නීතිය යටතට ගැනෙන චෝදනා ය. එබැවින් ඇයට යළි සිංගප්පූරුවේ රැකියාවක් කළ නොහැකි වූ අතර සංක්‍රමණික කම්කරුවන් රඳවනු ලබන ස්ථානයකට යවනු ලැබුණි. නඩුව විභාගයට ගැනෙමින් පවතින අතරවාරයේ ඇයට මූල්‍යාධාර මත යැපීමට සිදුවිය.

    ඇඳුම් සහ කුඩා පොකට් පිහියක්

    ලීව් නිවසේ භාණ්ඩ රැසක් සොරකම් කරනු ලැබීම සම්බන්ධයෙන් පාර්තිට චෝදනා කෙරිණ. එම භාණ්ඩ අතරට ඇඳුම් කට්ටල 115ක්, මිලෙන් අධික සුඛෝපභෝගී කාන්තා අත්බෑග්, DVD යන්ත්‍රයක් සහ ‘Gerald Genta’ වර්ගයේ අත් ඔරලෝසුවක් ද ඇතුළත් විය.

    එකතුව ගත්විට එම සමස්ත භාණ්ඩවල වටිනාකම සිංගප්පූරු ඩොලර් 34,000කි.

    අධිකරණයේ දී පිළිතුරු දුන් පාර්ති කියා සිටියේ තමා විසින් සොරකම් කරන ලදැයි පවසන එම භාණ්ඩ එක්කෝ තමාට අයත් දේවල්, හෝ ඉවත දමන ලද භාණ්ඩ විය හැකි අතර ඊට අමතරව තමා විසින් එම පෙට්ටිවලට ඇතුළත් නොකළ දේවල් ද වියහැකි බවය.

    කෙසේවුවද, 2019 වසරේ දී පළමු අධිකරණයේ විනිසකරු පාර්ති වැරදිකාරිය යයි තීන්දු කරමින් වසර දෙකකුත් මාස දෙකක සිර දඬුවමක් නියම කළේය. එහෙත් තම නිවැරදිභාවය ඔප්පුකිරීම සඳහා එම තීන්දුවට එරෙහිව අභියාචනා කිරීමට පාර්ති තීන්දු කළාය. එම අභියාචනය විභාග කළ සිංගප්පූරු මහාධිකරණ විනිසුරුවරයා පසුගිය මාසයේ සිය තීන්දුව ප්‍රකාශයට පත්කරමින් පාර්ති නිවැරදි යයි ප්‍රකාශයට පත්කළේය.

    සිය තීන්දුව ප්‍රකාශයට පත්කරමින් අදහස් දැක්වූ මහාධිකරණ විනිශ්චයකාර චෑන් සෙන්ග් ඔන් (Justice Chan Seng Onn)පෙන්වා දුන්නේ පාර්තිට එරෙහිව චෝදනා ගොනු කිරීම සම්බන්ධයෙන් ලීව් පවුල ”සිතාමතාම අසද්භාවයෙන්” කටයුතු කර ඇති බවය. එපමණක් නොව, පාර්ති සම්බන්ධ පැමිණිල්ලේ දී පොලිසිය සහ නීති නිලධාරීන් කටයුතු කර තිබෙන ආකාරය සහ දිස්ත්‍රික් විනිශ්චයකාරවරයා එම නඩුව හසුරුවා ඇති ආකාරය පිළිබඳවද කරුණු කීපයක් මහාධිකරණ විනිසුරු විසින් ඉස්මතුකර දක්වන ලදී.

    තමා කාර්ල්ගේ නිවස පිරිසිදු කිරීම සඳහා සිංගප්පූරු කම්කරු නීතියට පටහැනිව යෙදවීම සම්බන්ධයෙන් පාර්ති විසින් පැමිණිලි කරනු ලැබීම වලක්වාලීම ලීව් පවුලේ උවමනාව වී ඇති බව මහාධිකරණය තීන්දු කර ඇත.

    පාර්ති විසින් සොරකම් කරන ලදැයි චෝදනා කෙරෙන බොහෝ භාණ්ඩ අබලන්ව ඇති ඒවා බව මහාධිකරණ විනිසුරුවරයා සටහන් කර ඇත. අදාළ අත් ඔරලෝසුවේ පතුලේ පියන නැත. ජංගම දුරකථන දෙකක් (iPhones) වූ අතර ඒවා ක්‍රියා නොකරයි. එවැනි අබලි ද්‍රව්‍ය සොරකම් කිරීම සාමන්‍යයෙන් සිදුවිය නොහැකි බව විනිශ්චයකාරවරයාගේ තීන්දුව විය. නිදසුනක් වශයෙන් එම භාණ්ඩ අතර වූ DVD යන්ත්‍රය ක්‍රියා නොකිරීම නිසා ලීව් පවුල විසින් ඉවත දමන ලද්දක් බව පාර්ති අධිකරණය ඉදිරියේ සඳහන් කළාය.

    Pioneer DVD player
    ඡායාරූප ශීර්ෂ වැකිය,පාර්ති කියාසිටියේ මෙම DVD යන්ත්‍රය අබලව ඉවතදමන ලද භාණ්ඩයක් යයි තමා විශ්වාස කළ බවය

    මහාධිකරණය ඉදිරියේ පැවැත්වුණු විභාගයේ දී අදාළ DVD යන්ත්‍රය අබලන් උපකරණයක් බව තමන් දැනසිටි බව පැමිණිල්ලේ නීති නිලධාරීහු පිළිගත්හ. එසේ දැන සිටියත් එය නඩුවට අදාළ භාණ්ඩයක් වූ හෙයින් ඒ බවක් අනාවරණය නොකළ බවද ඔවුහු සඳහන් කළහ. පැමිණිලි පාර්ශ්වය විසින් එම යන්ත්‍රය ක්‍රියාත්මක වන බවක් අධිකරණයට අඟවා තිබුණේ උපායශීලීවය. එම හැසිරීම මහාධිකරණ විනිශ්චයකාරවරයාගේ දෝෂ දර්ශනයට ලක්විය. විශේෂයෙන්ම එම හැසිරීම අගතියක්ය යන්න විනිසුරු ප්‍රකාශය විය.

    එපමණක් නොව, මෙම නඩුවේ සාක්ෂිකරුවකු වශයෙන් කාර්ල් ලීව් කෙරෙහි තැබිය හැකි විශ්වාසය පිළිබඳවත් විනිසකරු ප්‍රශ්න කළේය.

    කාර්ල් ලීව් නඩු විභාගයේ දී සාක්ෂිදෙමින් කියා සිටියේ තමා 2002 වසරේ දී එක්සත් රාජධානියේ දී මිලට ගෙන සිංගප්පූරුව කරා ගෙනැවිත් තිබූ කුඩා පොකට් පිහියක් ද පාර්ති විසින් සොරකම් කරනු ලැබ තිබුණු බවය.එහෙත් එය 2002 ට පසු නිෂ්පාදනය කරන ලද්දක් බවත්, 2002 වසර වනවිට එය බ්‍රිතාන්‍යයේ නිෂ්පාදනය කර නොතිබුණ බවත් පිළිගැනීමට කාර්ල්ට සිදුවිය.

    කාර්ල් ප්‍රකාශ කළ තවත් කරුණක් වූයේ, පාර්තිගේ ඇසුරුම් අතර තිබූ කාන්තා ඇඳුම් ද ඇතුළු විවිධ ඇඳුම් කට්ටල තමා සතු ඒවා වන බවය. එහෙත් ඉන් සමහර ඇඳුම් තමාගේදැයි සිහිපත්කර ගැනීමට ඔහු අපොහොසත් විය. එම ඇඳුම් අතර වූ කාන්තා ඇඳුම් ”තමා තබාගත්තේ කුමකටදැයි” විමසූ විට ”තමා පුරුෂ ඇඳුම් මෙන්ම කාන්තා ඇඳුම්ද ප්‍රියකරන” බව කාර්ල් සඳහන් කළේය. එහෙත් මහාධිකරණ විනිසුරු චෑන් එය ”කෙසේවත් ඇදහිය නොහැකි” බව තීන්දු කළේය.

    මෙම නඩුවේ දී පොලිසියේ ක්‍රියාකලාපයත් විනිශ්චයකාරවරයාගේ ප්‍රශ්න කිරීමට ලක්විය. පළමු පොලිස් වාර්තාව පිළියෙළ කරනු ලැබීමෙන් සති පහක කාලයක් ගතවෙන තෙක් පොලිසිය නඩු නිමිත්ත සිදුවූ ස්ථානය පරීක්ෂා කිරීම සඳහා ගොස් නොතිබුණි.

    එසේම ඉන්දුනීසියානු භාෂාව කතාකරන පාර්ති සඳහා භාෂා පරිවර්තයකුගේ සහාය ලබාදීමටත් පොලිසිය පියවර ගෙන නැත. ඒ වෙනුවට පොලිසිය යෝජනාකර තිබෙන්නේ පාර්ති නොදන්නා ‘මැලේ’ භාෂා පරිවර්තකයෙකි.

    ”එපරිද්දෙන්, මේ නඩුවේ දී පොලිසිය කටයුතු කරනු ලැබ තිබෙන්නේ ඉතාම කණගාටුදායක ආකාරයට” යැයි සිංගප්පූරු කළමනාකරණ සරසවියේ මහාචාර්ය එයුජින් ටෑන් (Eugene Tan) බීබීසී සමග ප්‍රකාශ කළේය.

    පොලිසියේ සහ පැමිණිල්ලේ නීති පාර්ශ්වයේ ඉහත සඳහන් කරන ලද ඌණතා සැලකිල්ලට ගැනීමට අසමත්වීම හේතුවෙන් පළමු නඩු විභාගයේ දී දිස්ත්‍රික් විනිශ්චයකරු පාර්තිගේ අවාසියට සිය තීන්දුව දී ඇති ආකාරයක් දක්නට ලැබේ.

    ඩේවිඩ් සහ ගොලායාත් සටන බඳු සටනක්

    (ඩේවිඩ් සහ ගොලායත් (Goliath) සටන යනු අතිශයින් ප්‍රබල තැනැත්තකුට එරෙහිව කුඩා දුබලයා ජයගැනීම පිළිබඳව උදාහරණයක් ලෙස ගනු ලබන බයිබලයේ එන කතාවකි)

    පාර්තිට එරෙහි නඩුකරය සිංගප්පූරු සමාජය තුළ දැඩි සංවේදීභාවයක් ඇති කිරීමට හේතු වූ අතර, බොහෝ දෙනාගේ කෝපය එල්ලවුණේ ලීව් සහ ඔහුගේ පවුල කෙරෙහිය.

    බහුතර ජනතාව විසින් එය තේරුම්ගන්නා ලද්දේ ”පොහොසත් ප්‍රභූ තන්ත්‍රය විසින් තමන්ගේම නෛතික රාමුව තුළ වාසය කරන කිසිදු සමාජ බලයක් නොමැති දුප්පතුන්ට එරෙහිව සිදුකරන හිරිහැර සඳහා නිදසුනක්” ලෙසිනි.

    අධිකරණය අවසානයේදී එහි උත්තරීතරභාවය රැකගත් නමුත්, එරට අධිකරණයේ සාධාරණත්වය සහ අපක්ෂපාතීභාවය සම්බන්ධයෙන් දිගුකලක් පැවති විශ්වාසය පිළිබඳ ඇතැම් සිංගප්පූරු වැසියන් සලිත කිරීමකට මෙම නඩුව හේතුවිය.

    ”මෑත ඉතිහාසයේ මෙවැනි මතකයේ රැඳෙන වෙනත් නඩුවක් නැහැ” යි මාහාචාර්ය ටෑන් ප්‍රකාශ කළේය.

    ”මෙම නඩුවේ එකිනෙකට සම්බන්ධ අකාර්යක්ෂමතාවන් මහජන නොසන්සුන්තාවයකට හේතුවුණා. බොහෝදෙනකුගේ මනසේ වූ ප්‍රශ්නය වූයේ ”මම පාර්ති වුනානම්,මට අත්වෙන ඉරණම කුමක්ද?” යන්නයි.”සාධාරණ පරීක්ෂණයක් සිදුවේද?”, ”අපක්ෂපාතී තීන්දුවක් ලැබේද?” වැනි ප්‍රශ්න මහජනයා අතර මතුවුණා”

    එල්ලවෙමින් පැවති මහජන විරෝධය හමුවේ තීන්දුවක් ගත් ලීව් මුන් ලියොන්ග් ඉතා කීර්තිමත් සමාගම් කීපයක තමා උසුලන සභාපති තනතුරුවලින් සිය ඉල්ලා අස්වීම ප්‍රකාශයට පත් කළේය.

    ලීව් මුන් ලියොන්ග් නිකුත්කළ ප්‍රකාශයක් මගින් ඔහු කියාසිටියේ, තමා මහාධිකරණ තීන්දුවට ගරුකරන අතරම සිංගප්පූරු නෛතික රටාව කෙරෙහි විශ්වාසය තබන බවය.එහෙත් පොලිසියට කළ සිය පැමිණිල්ල ඔහු සාධාරණීකරණය කරයි.

    ”යම්කිසි සැකකටයුතු වැරදි ක්‍රියාවක් සිදුවූ බව මම අවංක ලෙසම විශ්වාස කරනවා. එවැනි දෙයක් සිදුවුණාම පොලිසියට පැමිණිලි කිරීම අපේ පුරවැසි යුතුකමක්” බව ඔහු පවසයි.

    එහෙත් කාර්ල් ලීව් නඩු තීන්දුව සම්බන්ධයෙන් කිසිදු ප්‍රකාශයක් නිකුත් කිරීමෙන් වැළකී සිටි අතර නිහඬබව රකියි.

    මේ අතරම, සිංගප්පූරු පොලිස් සේවය සහ අධිකරණය ඉදිරියේ චෝදනා ගොනු කිරීමේ ක්‍රියාදාමය නැවත අධීක්ෂණය කළ යුතුව ඇත යන යන අදහසත් මෙම නඩුව මගින් ඉස්මතු කරනු ලැබ ඇත. ”එකිනෙකට බැඳුනු ක්‍රියාවලිය තුළ යම්කිසි වැරැද්දක් සිදුව ඇති ” බව සිංගප්පූරු නීතිය සහ ස්වදේශ කටයුතුභාර ඇමති කේ.ෂන්මුගම් (K.Shanmugam) පිළිගනියි.

    ‘ඊළඟට ආණ්ඩුව කරන්නේ කුමක්දැයි දැඩි අවධානයකින් විපරම් කෙරෙනු ඇත. ඉහළ මට්ටමේ වගවීමක් සහ ආයතනගත සාධාරණභාවයක් සඳහා රටවැසියන්ගෙන් කෙරෙන ඉල්ලීම ඉටුකිරීමට අසමත් වුණොත්,එමගින් සිංගප්පූරු සමාජයට ඉහලින් ප්‍රභූ තන්ත්‍රයේ අභිලාෂයන් ස්ථානගත වී ඇත යන වේදනාබර හැඟීම පෙරට පැමිණීමට ඉඩ ඇත” යනුවෙන් සිංගප්පූරුවේ ප්‍රකාශකයකු වන ඩොනල්ඩ් ලෝ ( Donald Low) සිය අලුත්ම ලිපියක සඳහන් කරයි.

    ”උණුසුම් විවාදයක් පවතින අතරවාරයේ ප්‍රභුත්වවාදය සෙමෙන් සමාජ ක්‍රමය අභ්‍යන්තරයට කාන්දුවීද? යන ප්‍රශ්නය පැනනැගුන අතර,ඒ සමඟ රටේ සදාචාර සම්ප්‍රදායේ පිරිහීමක් අනාවරණය වූ බව” තවත් ප්‍රකාශනයක් මගින් හිටපු මාධ්‍යවේදියකු වන පී.එන්.බල්ජි (PN Balji) පවසයි.

    එපමණක් නොව,පාර්ති ගේ නඩුකරය මගින් ඉස්මතු වූ තවත් කරුණක් වන්නේ සංක්‍රමණික කම්කරුවන්ට යුක්තිය ඉටුකර ගැනීමේ දී මුහුණදීමට සිදුවන තත්ත්වයයි.

    පාර්තිට සිංගප්පූරුවේ රැඳී සිටීමට සහ ඇයගේ පැමිණිල්ල වෙනුවෙන් සටන් කිරීමට හැකිවූයේ ‘Home’ නමැති රාජ්‍ය නොවන සංවිධානයේ සහ නීතිවේදී අනිල් බාල්චන්දනීගෙන් (Anil Balchandani) ලද සහයෝගය මතය. එම නීතිවේදියා මහජන යහපත වෙනුවෙන් මෙන්ම අඩු මුදලකට මෙම නඩුවේ දී පෙනී සිට ඇත. එසේ නොවීනම්, නීතිඥ ගාස්තුව සිංගප්පූරු මුදලින් ඩොලර් 150,000 ක පමණ වනු ඇත.

    Anil and Parti
    ඡායාරූප ශීර්ෂ වැකිය,නීතිවේදී අනිල් බාල්චන්දනී(Anil Balchandani) සහ පාර්ති යුක්තිය වෙනුවෙන් වසර කීපයක අරගලයක නිරත වූහ.

    සිංගප්පූරුවේ සංක්‍රමණික ශ්‍රමිකයන් සඳහා නෛතික පහසුකම් සලසන නමුත්, එම ශ්‍රමිකයන් ඔවුන්ගේ පවුල්වල එකම ආදායම් මාර්ගය වන නිසාත්, ආදායම් මාර්ගයකින් තොරව ඔවුන්ට මාසවලින් නොව අවුරුදු ගණන් ගතවෙන නඩුවල පැටලීමේ හැකියාවක් නොමැති නිසාත් නීතිමය ගැටලුවලට මුහුණදෙන අයගෙන් බහුතරය තම ප්‍රශ්න වෙනුවෙන් සටන් නොකරන බව ‘Home’ රාජ්‍ය නොවන සංවිධානය පෙන්වා දෙයි.

    තම වාසියට ප්‍රකාශයට පත් කෙරුණු නඩු තීන්දුවෙන් පසු ප්‍රකාශයක් කළ පාර්ති තමා ආපසු ඉන්දුනීසියාවට යාමට තීන්දු කළ බව පවසයි.

    ”දැන් මගේ ප්‍රශ්නය අවසානයි.මට ඉන්දුනීසියාවට යාමට අවශ්‍යයි” ඇය මාධ්‍යයට කියා සිටියාය.

    ”මම මගේ හාම්පුතාට සමාව දෙනවා. ඒවගේම, මට සිදුවූ දෙය වගේ අවස්ථාවකට වෙනත් කිසිම ශ්‍රමිකයකුට මුහුණදීමට සිදු නොවේවා කියල මම ප්‍රාර්ථනා කරනවා”

    (බීබීසී නිව්ස් හි ඉවෙට් ටෑන් සකස් කළ ලිපියක් ඇසුරිණි)

  • බමුණ… මම සම්බුද්ධ වෙමි ! එසේ ම ශ්‍රේෂ්ඨතම ශල්‍යවෛද්‍යවරයා ද වෙමි!

    බමුණ… මම සම්බුද්ධ වෙමි ! එසේ ම ශ්‍රේෂ්ඨතම ශල්‍යවෛද්‍යවරයා ද වෙමි!

    වෛද්‍යවරු කායික වෛද්‍යවරුය (ශරීරගත ලෙඉට වෙදකම් කරන්නෝය) මානසික වෛද්‍යවරුය (සිතේ හට ගත් ලෙඩට වෙදකම් කරන්නෝය) යි කොටස් දෙකකින් යුත්ත ය. එසේ ම රෝග ද කායික රෝගය, මානසික රෝගය යැයි කොටස් දෙකකින් යුත්ත ය.

    ‘‘මහණෙනි, රෝගයෝ දෙදෙනකි. කායික රෝගය, මානසික රෝගය කියා. මෙයින් කායික රෝගවලින් නොපෙළී අවුරුද්දක්, දෙකක්, තුනක්, හතරක්, පහක්, දහයක්, විස්සක්, තිහක්, හළිහක්, පනහක් ඇතැම් විට සියයක් නිරෝගීව වසන අය සිටිත්. එහෙත් මානසික රෝගවලින් (හිතේ ලෙඩින්) එක මොහොතක් නො පෙළී – පීඩා නො විඳ සිටින අය රහතන් වහන්සේ ලා හැර වෙන සොයා ගැනීම දුෂ්කර ය. (දිස්සන්ති භක්ඛවෙ සත්තා කයිකෙන රොගෙන එකංපි වස්සං ආරෝග්‍යං පටිජානමානා දේවපි වස්සසානි ආරෝග්‍ය‘ පටිජානමානා – – පෙ – වස්ස – තංපි ආරෝග්‍යං පටිජානමානා – තෙ භික්ඛවෙ සත්තා දුල්ලහා ලොකස්මිං යෙ චෙතසිකෙන රොගෙන මුහුත්තංපි ආරොග්‍යං පටිජානාති අඤ්ඤත‍්‍ර ඛීණාසවෙහි – අංගුත්තර නිකාය – වතුක්ක නිපාත – රෝග සූත‍්‍රය)

    ඉහත සඳහන් තෙවැදෑරුම් වෛද්‍යවරුන් අතර බුදුන් වහන්සේ මානසික වෛද්‍යවරයෙකි. සිතේ ලෙඩවලට බෙහෙත් කිරීමට බුුදුහාමුදුරුවන් තරම් දක්ෂ වෛද්‍යවරයෙක් ලොව ඉපදී නැත. ස්වකීය හිතේ ලෙඩ – මානසික රෝග සියල්ල ම මුලිනුපුටා දැමූ උන්වහන්සේ එ බඳු රෝග ඇති ලක්ෂ සංඛ්‍යාත ජනකායක් සුවපත් කළහ.

    බුදුරදුන්ට පෘථග්ජන සියල්ලන්ම පෙනී ඇත්තේ පිස්සන් මෙනි. (උම්මත්තකා වියහිසබ්බේ පුුථුජ්ඡුනා දිස්සන්ති) බොහෝ දෙනා සිරුරින් නිරෝගී වුවත් සිතින් රෝගීහු වෙති බුදුමු මිනිසා ගේ සිතේ ඇතිවන කෙලෙස් ලෙඩ මැනවින් හැඳින ගෙන රෝග නිදානය හොඳින් වටහා ගෙන එයට සුදුසු ඖෂධ දුන් හ. එබැවින් උන්වහන්සේ සේල නමැති බමුණා, ‘‘බමුණ, මම සම්බුද්ධ වෙමි. එසේ ම ශ්‍රේෂ්ඨතම ශල්‍යවෛද්‍යවරයා ද වෙමි’’ යි පැවසූහ. (සොහං බ‍්‍රහ්මණ සම්බුද්ධො සල්පකත්තො අනුත්තරෝ – සුත්ත නිපාත – සේල සූත‍්‍රය)

    බුදුරදුන් ගේ ශල්‍යකර්ම නම් මිනිසුන්ගේ සිත් තුළ ඇනී ඇති රාගාදී උල් ඇද දැමීම යි. තවත් තැනකදී උන්වහන්සේ භික්ෂූන් අමතා, ‘‘මහණෙනි, ධර්මඖෂධය තරම් හොඳ ඖෂධයක් වෙන නැත. එය පානය කරව්’’ (ධම්මොසධසමං නත්ථි එතං පිඛථ භික්ඛවො) යයි වදාළ හ.
    ‘‘මහණෙනි, වෛද්‍යවරයෝ පිතෙන් හට ගත් රෝග සුව කිරීම පිණිස, සෙමෙන් හටගත් රෝග සුව කිරීම පිණිස, වාතයෙන් හටගත් රෝග සුව කිරීම පිණිස විරේවන ලබා දෙති. මහණෙනි, මම ද ආර්ය විරේවන දෙන්නෙමි. ඒ විරේවන නිසා ඉපදීම ස්වභාව කොට ඇති සත්ත්වයෝ ඉපදීමෙන් මිදෙත්. ජරාව මරණය ස්වභාවය කොට ඇති සත්ත්වයෝ ජරාවෙන් හා මරණයෙන් මිදෙත්. සෝක, විලාප, දුක්, දොම්නස්, උපායාස ස්වභාවය කොට ඇති සත්ත්වයෝ ඒවායින් මිදෙත්. (තිකච්ඡුකා භික්ඛවෙ විරෙවනං දෙන්ති පිත්තසමුට්ඨානනංපි ආබාධනං පටිඝාතාය. සෙම්හසමුය්්‍යානනංපි අබාධනං පටිඝාතාය අහං ව ඛො භික්ඛවෙ ආරියං විරෙවනං දෙසිස්සාමි. යං විරෙවනං සම්පජ්ඡුාති, ඒව නො විප්පජ්ඡුති. යං විරෙචනං ආගම්ම ජාති ධම්මා සත්තා ජාතිය පරිමුච්චන්ති. ජරාධම්මා සත්තා ජරාය පරිමුච්චන්ති මරණධම්මා සත්තා මරණෙන පරිමුච්චන්ති සොකපරිදෙව දුක්ඛ දොමනස් සුපායාස ධම්මා සතතා සොක පරිදෙව දුක්ඛ දොමනස්සුපායාසෙහි පරිමුච්චන්ති – අංගුත්තර නිකාය – දසම නිපාත – සඤ්ඤාවග්ග – 108 පිටුව)

    මහණෙනි, වෛද්‍යවරු පිතෙන්, සෙමෙන්, වාතයෙන් හටගත් රෝගවලට වමනය කරවත්. මහණෙනි, මම ද ආර්ය වමන කරවන්නෙමි. ඒ වමනයෙන් ජාතිය, ජරාව, මරණ, ශෝක, පරිදේව, දුක්, ද්‍රෙම්නස්, උපයාස ස්වභාව කොට ඇති සත්ත්වයෝ ඒවායින් මිදෙති. (තිකිච්ජකා භික්ඛවෙ වමනංදෙන්ති පිත්තසෙම්හස මුට්ඨානනංපි ආබාධනං පටිඝාතාය, අහං වෙව ඛෙ භික්ඛවෙ අරියං වමනඊ දෙස්සාමි – අංගුත්තර නිකාය – දසම නිපාත – සඤ්ඤාවග්ග – 1028 පිටුව)

    ඉහත සඳහන් කළේ බුදුරදුන් මිනිසුන් ගේ සිත් තුළ පවත්නා කෙලෙස් උල් ගල්වා දමන ශල්‍ය වෛද්‍යවරයෙකු බවත් ජාති, ජරා, මරණ, ශෝක, පරිදේව, දුක්, ද්‍රෙම්නස් විරේවනයෙන් හා වමනයෙන් සුවපත් කරන වෛද්‍යවරයෙකු බවත් ය. තවත් තැනක දී බුදුහු බමුණකු අමතා,
    ‘‘බමුණ මම දහම් දෙසුව මැනව’යි කරණ ඉල්ලීම් පිළිගැනීමට සුදුසු හැම කල්හි ධර්ම දානය සඳහා සේව අත් ඇති, පශ්වමශරීරය දරන්නා වූ, උතුම් වෛද්‍යවරයෙක්මි. රාගාදි කෙලෙස්මුල් උදුරා දමන ශල්‍ය වෛද්‍යවරයෙක්මි’යි කී හ. (අහමස්මි භික්ඛවෙ බ‍්‍රහ්මණො යාවයොගො. සද්‍ර පයතපාණි අන්තිමදොහධරො හිසක්කෝ සල්ලකත්තා – ඉතිවුත්තක – චතුක්ක නිපාත)

    මහණෙනි, කැමැති කැමැති පරිදි ධර්ම දානය කරණ නිසා ඉල්ලීමට සුදුසු වූ, හැම කල්හි ධර්ම දානය සඳහා දිගු කළ අත් ඇති, අන්තිම සිරුරක් දරණ, සසර දුක් නමැති රෝගයනට පිළියම් කරණ නිසා උසස් වෛද්‍යවරයෙන් වූ රාග, දෝස, මෝහ ආදි උල් මුලිනුපුටා දමන හෙයින් ශල්‍යකර්තෘවෛද්‍යවරයෙක් වූ මම වනා හි බැහැර කළ පව් ඇති හෙයින් පරමාර්ථ වශයෙන් බ‍්‍රහ්මණයෙක්මි. මහණෙනි, තෙපි වනාහි ඒ මා ගේ මුඛයෙන් දේශිත ධර්මයෙන් උපන් හෙයින් මුඛයෙන් උපන්, ශාසනධර්මයෙහි උපන් හෙයින් ‘‘ධර්මජ වූ, ධර්මයෙන් ම නිර්මිත වූ ධර්ම ද්‍රයාද කොට ඇති, ආමිසය ද්‍රයාද කොට නැති, ඖරස පුත‍්‍රයෝ ය. (අහමස්මි භික්ඛවෙ බ‍්‍රහ්මණො යාචයොගො සදා පයතපාණි අන්තිම දෙහධරො අනුත්තරෝ භිසක්කො සල්ලකත්තො තස්ස මෙ තම්හෙ පුත්තා ඔරසා මුඛතො ජාතා, ධම්මජා, ධම්මනිමිත්තා ධම්ම දායාද්‍ර නො ආමිසදායාදා – ඉතිවුත්තක පාලි – වතුක්ක නිපාත – බ‍්‍රහ්මණ සූත‍්‍රය)

    බමුණන් මහ බඹුගේ මුඛයෙන් උපන්නේ යැයි කියන්නාක් මෙන්, භික්ෂූන් බුදුන් වහන්සේගේ ධර්මය නැමැති මුඛයෙන් උපන් බවත් තමන් වහන්සේ ක්ලේශ රෝග නිවාරණය කරණ බැවින් ශ්‍රේෂ්ඨත ම වෛද්‍යවරයකු බවත් භික්ෂූන්ට ඇති උසස් ම ද්‍රයාදය ‘‘ආමිසදායාදය නො ව ධර්මද්‍රයාදය ’’ බවත් ඉහත සඳහන් පාලි පාඨයෙන් දැක්වේ.

    බුදුරදුන් මිනිස් සිත්හි ඇති අප‍්‍රමාණ රෝග අතර රෝග 44ක් සල්ලෙඛසුත‍්‍රයෙහි දක්වා තිබේ. ඒ චෛතික රෝග 44 සහ ඒවාට බෙහෙත් මෙසේ ය.
    රෝගය බෙහෙත
    1 අනුන්ට හිංසා කිරීම – අනුන්ට හිංසා නොකිරීම හෙවත් අවිහිංසාව
    2 සතුන් මැරීම – සතුන් නොමැරීම
    3 අනුන් සතු දේ ගැනීම – අනුන් සතු දේ නො ගැනීම
    4 කාමයෙහි වරදවා හැසිරීම – කාමයෙහි වරදවා නොහැසිරීම
    5 බොරු කීම – ඇත්ත කීම
    6 කේලාම් කීම – කේලම් නොකීම
    7 පරුෂ වචන කීම – පරුෂ වචන නොකීම
    8 නිෂ්ප‍්‍රායෝජන වචන කීම – නිෂ්ප‍්‍රයෝජන වචන නො කීම
    9 අනුන් ගේ දේ ගැන ඇති අශාව – අනුන් ගේ දේ ගැන ආශා නොකිරීම
    10 නරක සිත් ඇති බව – නරක සිත් නැති බව
    11 වැරැදි සහිත දර්ශනය – නිවැරැදි දර්ශනය
    12 වැරැදි අකුසල සංකල්ප – නිවැරැදි කුසල් සිතුම් පැතුම්
    13 වැරැදි වචන කතා කිරීම – යහපත් වචන කතා කිරීම
    14 වැරදි කර්මාන්ත කිරීම – නිවැරදි කර්මාන්ත කිරීම
    15 වැරැදි ජීවිකාව – නිවැරැදි ජීවිකාව
    16 වැරැදි සිහිය – නිවැරැදි සිිහිය
    17 වැරැදි ව්‍යායාමය – නිවැරැදි ව්‍යායාමය
    18 වැරැදි සමාධිය – නිවැරැදි සමාධිය
    19 නරක ක‍්‍රියාකොට කළේ හොඳ යැයි සිතීම – යහපත් නුවණ ඇති බව
    20 වැරැුදි විමුකිතිය – නිවැරැදි විමුක්තිය
    21 ථිනම්ද්ධයෙන් මඩනා ලද බව – පහ වූ ථිනමිද්ධ බව
    22 උඩඟු බව – නිහතමානී බව
    23 සැක ඇති බව – නිසැක බව
    24 කිපෙන සුළු බව – නොකිපෙන සුළු බව
    25 බද්ධ වෛර ඇති බව – බද්ධ වෛර නැති බව
    26 ගුණමකු බව – ගුණමකු නො වූ බව
    27 යුගග‍්‍රාහ ඇති බව – යුගග‍්‍රාහ නැති බව
    28 ඊෂ–්‍යාවන්තකම – ඊෂ–්‍යාව නැති බව
    29 මසුරු බව – මසුරුකමක් නැති බව
    30 මායා ඇති බව – මායා නැති බව
    31 කෛරාටික බව – කෛරාටික කමක් නැති බව
    32 තද බව – තදකමක් නැති බව
    33 මානාධික බව – මාන්නය නැති බව
    34 අකීකරු බව – කීකරු බව
    35 පාපමිත‍්‍රයන් ඇති බව – කල්‍යාණ මිත‍්‍රයන් ඇති බව
    36 ප‍්‍රමාද බව – අප‍්‍රමාද බව
    37 සැදැහැ නැති බව – සැදැහැ ඇති බව
    38 ලජ්ඡුා නැති බව – ලජ්ඡ ඇති බව
    39 පවට බව නැති බව – පවට බිය ඇති බව
    40 ඇසූ පිරූ තැන් නැති බව – ඇසූ පිරූ තැන් ඇති බව
    41 කුසීත බව – ආරබධවීය ර්‍්‍ය ඇති බව
    42 සිහි මුලා බව – සිහි නුවණ ඇති බව
    43 මෝඩ බව – නුවණ ඇති බව
    44 තම අදහස ම දැඩි කොට ගත් බව – තම අදහස ම දැඩි කොට නො ගත් බව

    ඉහත සඳහන් රෝග වෙත් ක්ලේශ 44 සිත ප‍්‍රධාන කොට සිතෙහි ඇති වන ඒවා යි. සිතට වාල් වීම නිසා මනා ව පිහිටුවා නො ගැණීම නිසා මිනිස් සිතේ ඇති වන දුර්වලකම් ය. සිත පිළිබඳ හැම රෝගයකට ම හොඳ බෙහෙත බුදු දහම යි. ඒ බෙහෙත සොයා ගත් වෙන මහතා බුදු හාමුදුරුවෝ යි.

    ‘‘මහරජ, බුදුන් වහන්සේ විසින් සොයා ගන්නා ලද ඖෂධයෝ රාශියක් වෙති. බුදුහු ඒ බෙහෙත්වලින් දෙව්මිනිසුන්ට පිළියම් කරති. ඒ බෙහෙත් නම්, සතර සතිපට්ඨානයෝ ය. සතර සම්‍යක් ප‍්‍රධානයෝ ය, සතර සෘධිපාදයෝ ය, පඤ්ව ඉන්ද්‍රියෝ ය. පඤ්ව බලය, සප්ත බෙජ්ඣංගය, ආර්ට අෂ්ටාංගික මාර්ග ය, යන මොහු ය. මේ ඖෂධවලින් භගවත් කෙමේ මිත්‍යාදෘෂ්ටිය, මිත්‍යාසංකල්පය ආදිය විරේවනය කර හරියි. සියලූ කෙලෙස් වමනය කොට හරියි. ( ඔසධානි මහාරාජ භගවතා අක්ඛාතානි යෙහි ඔසධෙහි සො භගවා දෙවමනුස්පෙ නිතිචඡුති: සෙය්‍යථිදං – චත්තාරො සතිපට්ඨානා, චත්තාරො සම්මප්පධානා, චත්තාරෝ ඉද්ධිපාද්‍ර, පඤ්චින්ද්‍රියානි, පඤ්ව බලානිථ සත්ත බොජ්ඣංගා, ආරියො අග්ඨංගිකො මග්ලෝ, එතෙහි ඔසධෙහි භගවා මිච්ඡුාදිඨං විරෙවති, විච්ඡුා සංකප්පවිරෙවති සම්බකිලෙසවමනං කරොති – මිලින්ද පඤ්භ – අනුමාන වග්ග – 200 පිටුව)

    කිසාගෝතමිය තම එකම පුතා මැරුණු විට රටේ ම සිටින වෙදුන් ගෙන්වා ප උපද්දවා ගන්නට නොහැකි වූ තැන අන්තිමට ගියේ මහා වෙදමහතාණන් වූ බුදුරදුන් ළඟට ය. මළ පුතාට පණ උපද්දවා දෙන්ට ගෙණෙන්නට කියූ අබ මිට ඇයට සොයා ගන්නට බැරි විය. ඇයට බුදුරදුන් ගෙන එන්ට කීවේ නැති බෙහෙතකි. මළ පුතාට පණ උපද්දවා ගන්නට යත්න දැරූ මව රෝගියෙකි, ඇය රෝගියකු නිස යි එසේ බලාපොරොත්තු වූයේ. එ බැවින් ම බුදුහු මළ මිනියට නො ව ජීවත් ව සිටි ඇයට ඇගේ මානසික රෝගයට බෙහෙත් කොට නැවත එ වැනි රෝගයක් නොවැළඳෙන නිරෝගික බවට පත් කළ හ.

    බොහෝ ශාරීරික රෝගවලට පවා මනස හේතු වී ඇති බව වර්තමාන වෛද්‍යවරයෝ කියති. බුදුහාමුදුරුවෝ හැම කරුණකට ම ප‍්‍රධාන සිත බව මීට අවුරුදු 2500කට පෙරදී සොයා ගත් හ. සිත හා සිතිවිලි පිළිබඳ ව උන්වහන්සේ විග‍්‍රහ කොට ඇති දීඝ විස්තරය ගැන සලකා බලන විට බුදුරදුන් මානසික වෛද්‍යවරයෙකු පමණක් නො ව මනෝ විද්‍යාඥයෙකු ද බව මොනවට ඔප්පු වේ.

    බුද්ධත්වය යනු මනස දියුණු කර ගැනීම පිළිබඳ ව මිනිසෙකුට ලැබිය හැකි අන්තිම උසස් තැන යි. නිර්වාණය යනු එ සේ මනස දියුණු කරගත් තැනැත්තා ලබන අති උත්තම ලෝකෝත්තර තත්ත්වය යි. මෙ තෙක් ලොව උපන් මානසික වෛද්‍යවරු අතර හෙවත් සිත පිළිබඳ රෝගවලට වෙදකම් කරන වෙදමහතුන් අතර ලෙඩුන් ඉතා ම වැඩි සංඛ්‍යාවක් බෙහෙත් ගත් වෛද්‍යවරයා බුදුන් වහන්සේ යි. මානසික ලෙඩුන් ඉතා ම වැඩි සංඛ්‍යාවකට ප‍්‍රතිකාර කොට සුව කළ වෛද්‍යවරයා බුදුන් වහන්සේ යි.
    බුදුන් වහන්සේ භික්ෂූන්ගේ කායික රෝගවලට නියම කළ බෙහෙත් ගැන ‘‘මහවග්ග පාලියෙහි, හෙසජ්ජක් බන්ධකයෙහි’’ සඳහන් වෙයි. වනයෙහි වසන භික්ෂූන්ට විෂකුරු සර්පයන්ගෙන් නොයෙක් විට අනතුරු පැමුණුනේ ය. සර්ප විෂය මළ මුත‍්‍ර, උණු අළු හා මැටි යන ‘‘මහාවිකට හතර’’ අනුදැන වද්‍රළ හ. පාණ්ඩුවට ගව මුත‍්‍රයෙහි දැමූ අරළු ද, උදර වාතාබාධයට ලූණු කාඞී ද, ග‍්‍රහණියට බත්කාරම් ද, වසක් පෙවුණ විට අසූචි දියකර පෙවී ම ද, වණයක් හැදුන විට අබ කුඩු එළීම ද, ඇඟ දහඩිය ගැන්වීම සඳහා සෙවදකර්මය ද, ඇස් ලෙඩට අඳුන් ගෑම ද, ඇඟ කැසීමට ගොම මැටි හා තම්බා ගත් කහට කුඩු ද, නොයෙක් බෙහෙත් සඳහා වලඟසාල්, තිප්පිලි, ගම්මිරිස්, අරළු, බුලූ, නෙල්ලි, කකුුරුමුවන් වැනි පළා වර්ග ද, මූ¥ ලූණු, කලූ ලූණු, සිඳි ලූණු, බළල් ලූණු ආදි ලූණු වර්ග ද, කොහොඹ කොළ, කෙළිඳ කොළ, දුම්මෑල්ල කොළ, කපු කොළ, වැනි කොළ වර්ග ද, කහ, ඉඟුරු, වදකහ, හෙළ වදකහ, අතිවිඩයං, කටුකරෝසන, සැවැන්දරා, කලාඳුරු වැනි මුල් වර්ග ද, වලස් තෙල්, මත්ස්‍ය තෙල්, කිඹුල් තෙල්, ඌරු තෙල් වැනි තෙල් වර්ග ද, හන්දි රුද්‍රව සඳහා ලේ ඇරීම ද, කකුල් පැලීම නවත්වනු පිණිස පය තෙල් ගැල්වීම ද, තුවාල සඳහා කහට වතුර ද, ඉනා බෙහෙතක් කැවුණ විට නගුලෙහි හීවැලේ ඇළුනුමඩ ජලයෙන් දියකර පෙවීම ද, මස්දලූව ලූණු කැටයකින් කැපීම ද, වණයට දුම් ඇල්ලීම ද, නස්‍ය කිරීම ද, වැනි ප‍්‍රතිකාර හා ඖෂධ රාශියක් භික්ෂූන්ගේ රෝග සඳහා බුදුහු අනුදැන වද්‍රළ හ.

    උන්වහන්සේ සිය දහස් ගණන් ශ‍්‍රාවක පිරිස සමග ගම් නියම්ගම්, දනව් හා මහා වනාන්තරවල සැරිසරණ නිය බෙහෙත් ද්‍රව්‍ය රැුගෙන හෝ වෛද්‍යවරුන් සමග හෝ නොවැඞීය හ. භික්ෂුනමකට අසනීපයක් වූ විට අවස්ථාවේ හැටියට පිළියම් කළ හ. එබැවින් බුදුන් වහන්සේ මානසික වෛද්‍යවරයෙකු පමණක් නො ව කායික වෛද්‍යවරයෙකු හැටියට ද සැලකිය හැකි ය.

    පණ්ඩිත ගණේගම සරණංකර නාහියන් විසින් රචිත ‘‘බුදුහාමුදුරුවෝ’’ කෘතියෙන් උපුටා ගන්නා ලදි.