Blog

  • උද්ධමනය අගෝස්තු මාසයේ දී පහළට

    උද්ධමනය අගෝස්තු මාසයේ දී පහළට

    කොළඹ පාරිභෝගික මිල දර්ශකයෙහි (කො.පා.මි.ද., 2013=100) ලක්ෂ්‍යමය වෙනස මගින් මනිනු ලබන මතුපිට උද්ධමනය, 2020 ජූලි මාසයේ පැවති සියයට 4.2හි සිට 2020 අගෝස්තු මාසයේ දී සියයට 4.1 දක්වා පහළ ගියේය.

    2019 අගෝස්තු මාසයේ පැවති ඉහළ පදනම් අගය හේතුවෙන් ඇති වූ සංඛ්‍යානමය බලපෑම මේ සඳහා ප්‍රධාන වශයෙන් හේතු විය. ආහාර කාණ්ඩයෙහි ලක්ෂ්‍යමය උද්ධමනය 2020 ජූලි මාසයේ පැවති සියයට 10.9හි සිට 2020 අගෝස්තු මාසයේ දී සියයට 12.3 දක්වා ඉහළ ගියේය. එසේ වුවද, ආහාර නොවන කාණ්ඩයෙහි ලක්ෂ්‍යමය උද්ධමනය 2020 ජූලි මාසයේ පැවති සියයට 1.5හි සිට 2020 අගෝස්තු මාසයේ දී සියයට 0.8 දක්වා පහළ ගියේය.

    වාර්ෂික සාමාන්‍ය පදනම මත මනිනු ලබන කො.පා.මි දර්ශකයෙහි වෙනස, 2020 අගෝස්තු මාසයේ දී සියයට 4.8ක් ලෙස නොවෙනස්ව පැවතුණි.

    2020 අගෝස්තු මාසයේ දී කො.පා.මි. දර්ශකයෙහි මාසික වෙනස සියයට 0.0ක් ලෙස වාර්තා විය. ආහාර කාණ්ඩයේ මිල ගණන් සියයට 0.1කින් ඉහළ යෑම, ආහාර නොවන කාණ්ඩයේ ඒ හා සමාන ප්‍රතිශතයකින් සිදු වූ මිල පහළ යෑම මගින් තුලනය වීම මේ සඳහා හේතු විය. ඒ අනුව, 2020 අගෝස්තු මාසයේ දී ආහාර කාණ්ඩයෙහි පොල්, එළවළු සහ කහ මිල ගණන්වල ඉහළ යෑමක් වාර්තා විය. කෙසේ වුවද, නැවුම් මත්ස්‍ය සහ දෙහි මිල ගණන්වල සැලකිය යුතු පහළ යෑමක් මෙම මාසයේ දී වාර්තා විය. ආහාර නොවන කාණ්ඩයෙහි, සෞඛ්‍ය (වෛද්‍ය රසායනාගාර සඳහා ගෙවීම්) උපකාණ්ඩයෙහි අයිතමවල මිල ගණන්, 2020 අගෝස්තු මාසයේ දී පහළ ගියේය.

    ආර්ථිකයෙහි යටිදැරි උද්ධමනය නිරූපණය කරන මූලික උද්ධමනය, 2020 අගෝස්තු මාසයේ දී සියයට 3.2ක් ලෙස නොවෙනස්ව පැවතුණි. කෙසේ වුවද, වාර්ෂික සාමාන්‍ය මූලික උද්ධමනය 2020 ජූලි මාසයේ දී පැවති සියයට 4.0හි සිට 2020 අගෝස්තු මාසයේ දී සියයට 3.8 දක්වා තවදුරටත් පහළ ගියේය.

  • පෞද්ගලික උත්සව සඳහා ජනපතිට ඇරයුම් නොකරන්නැයි  ඉල්ලීමක්

    පෞද්ගලික උත්සව සඳහා ජනපතිට ඇරයුම් නොකරන්නැයි ඉල්ලීමක්

    පෞද්ගලික උත්සව සදහා ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතාට ඇරයුම් නොකරන ලෙස ජනාධිති මාධ්‍ය අංශය විශේෂ නිවේදනයක් මගින් අද (01) ඉල්ලීමක් කළා.

    එම නිවේදනය සම්පූර්ණයෙන් මෙසේයි,

    ජනතා යහපත උදෙසා රජයේ සංවර්ධන ව්‍යාපෘති කඩිනම් කිරීමට සහ බිම් මට්ටමේ ජනතා ගැටළු විසඳීමට ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මැතිතුමාගේ දෛනික නිල කාර්යයන්හි ප්‍රමුඛත්වය දී තිබේ.

    ජාතික වගකීම් සපුරාලීම සඳහා කාලය වැය කිරීමට අමතරව උත්සව, ත්‍යාග ප්‍රදාන, විවාහ මංගල්‍යය හා සාද වැනි අවස්ථාවනට සහභාගිවීමට  අපේක්ෂා නොකරන බැවින් එවැනි අවස්ථා සඳහා එතුමාට ආරාධනා නොකරන්නැයි සියලු දෙනාගෙන් කාරුණික ඉල්ලීමක් කෙරේ.

    ජනාධිපති රාජපක්ෂ මැතිතුමා කෙරෙහි ඇති ගෞරවාදරය සහ ප්‍රසාදය නිසා බොහෝ දෙනා තම ජීවිතයේ වැදගත් අවස්ථාවනට  එක්වන ලෙස එතුමාට ඇරයුම් කරති. ජනතාව තමා කෙරෙහි ඇති මේ බැඳීම එතුමා මහත් සේ අගය කරයි.

    එසේ වුවද නිල කටයුතුවලින් බැහැර තමාට ලැබෙන හැම පැයම ජනතාවගේම අභිවෘද්ධිය පිණිස කැප කිරිමට ජනාධිපතිතුමා අදිටන් කරගෙන සිටී.

  • ලංකාවෙ වැඩි පිරිසක් ඔබතුමාව බලාපොරොත්තුවෙන් ඉන්නවා – කරු ජයසුරියට මහා සංඝරත්නය පවසති

    ලංකාවෙ වැඩි පිරිසක් ඔබතුමාව බලාපොරොත්තුවෙන් ඉන්නවා – කරු ජයසුරියට මහා සංඝරත්නය පවසති

    එක්සත් ජතික පක්ෂය බේරාගත හැකි එකම නායකයා කරු ජයසූරිය පමණයි” අස්ගිරි පාර්ශවයේ ජ්ජ්‍‍යෙයෂ්ඨ කාරක සංඝ සභික සුදුහුම්පල රජ මහා විහාරාධිපති මකුරුප්පේ රතනපාල රතනජෝති නා හිමියෝ පවසති. උන් වහන්සේ මෙම අදහස් පළ කලේ හිටපු කථානායක කරු ජයසූරිය මහතා ඊයේ (31) දින මල්වතු – අස්ගිරි හා රාමඥ්ඥ නිකායන්හි මහානායක හිමිපාණන් වහන්සේලා බැහැ දැකීම සඳහා මහනුවර බලා ගිය අවස්ථාවේ දීය.

    කරු ජයසුරිය මහතාට ආශිර්වාද කරමින් ශ්‍රී රතනපාල රතනජෝති නා හිමියෝ මෙසේද පැවසූහ.
    පසුගිය කාළයේ ඔබතුමන් සිංහයෙක් වගේ ඉදිරිපත් වෙලානෙ ආණ්ඩුව බේරා ගත්තෙ, නැත්තම් එදා ඕක යනවනෙ ගැස්සිලා ඔබතුමාට මතක ඇති මුලින්ම මම කිව්වෙ රනිල් වික්‍රමසිංහ මැතිතුමාට ඔබතුමා අනුශාසක වශයෙන් ඉන්න කරු ජයසූරිය මැතිතුමාට නායකකම දෙන්න කියලා. 
    මොකද අපි කැමති නෑ පක්ෂයක් වැළලිලා යනවට දැන් මොකද ඒකෙන් උනේ බලන්නකො පක්ෂයක් නෑ.. අලියෙක් නෑ..
    ඇත්තටම ඔබතුමාට දුන්නොත් ඇත්තටම ඔබතුමාට ගොඩගන්නත් පුළුවන් ලංකාවෙ වැඩි පිරිසක් ඔබතුමාව බලාපොරොත්තුවෙන් ඉන්නවා. මගෙත් එක්කනම් මේ නුවර පළාතේකතා කරන කව්රුත් කියන්නෙ ඇයි හාමුදුරුවනේ කරු ජයසූරිය මහත්තයට දෙන්නෑ කියන්නෙ, දෙන්න කියන්නකො ඇරං භාරගෙන කරන්න කියන්නකො, යන හැම තැනකම ඕකනේ කියන්නෙ. ඒ නිසා මේක අනිවාර්යයෙන් විය යුතුම දෙයක්. ඔබතුමා පස්සට යන්න එපා. එච්චරයි කියන්නෙ. පහුගිය දවස්වල භික්ෂුන් වහන්සේලාගේ රැස්වීමක් අපි තිබ්බනේ ඔක්කොම එක හඬින් කිව්වෙ ඔබතුමාට දෙන්න කියලනෙ පක්ෂයේ හොඳ ජේෂ්ඨයො අල්ලාගෙන සාකච්ඡා කරලා කොහොම හරි මේ පක්ෂෙ බේරාගන්න අපි සටන් කළ යුතු වෙනවා.

  • 19 ව්‍යවස්ථා සංශෝධනය රකින්න හේතු 29ක්

    19 ව්‍යවස්ථා සංශෝධනය රකින්න හේතු 29ක්

    19 වන ව්‍යවස්ථා සංශෝධනය කියන්නේ ජනාධිපති අතේ තිබ්බ අත්තනෝමතික ලෙස භාවිත කළ හැකි බලය පාර්ලිමේන්තුවට, අධිකරණයට ලබා දුන්න ප්‍රගතිශිලි වෙනසක්.  19 අහෝසි කිරීමෙන් මේ රටේ පුරවැසියෝ දීර්ඝ කාලයක් ඉල්ලා සිටි, වෙනස්කම් 29 ක් රටට අහිමි කරලා, මේ රට ශිෂ්ඨත්වයෙන්, මිලේච්ඡත්වය දක්වා ආපසු ගමන් කරවනවා. 

    17 සංශෝධනයෙන් දිනා දුන් දේ, 18 න් අහෝසි කළා.  ඒ ජයග්‍රහණ 19 න් නැවත රටට ලැබුණේ, මාදුළුවාවේ සෝභිත හිමියන් ඇතුළු මේ රටේ සිවිල් ක්‍රියාකාරීන් ගෙන ගිය අරගලය නිසයි. 

    මම 19 සංශෝධනය සම්පූර්ණයෙන්ම අහෝසි කිරීමට විරුද්ධ වෙන කරුණු 29 ක් තියෙනවා. ඒවා එකින් එක පැහැදිලි කරන්නම්,   

    1.      30 (2) වගන්තිය යටතේ වසර 5 ක් දක්වා අඩු කරපු ජනාධිපතිවරයාගේ ධූර කාලය නැවත වසර 6 ක් දක්වා දීර්ඝ වෙනවා.  ඒ කියන්නේ නැවත ඡනාධිපතිවරණයක් පැවැත්වෙන්නේ  2025 සැප්තෑම්බර් – ඔක්තෝබර්. අවුරුදු 6 ක ධූර කාලයක් රටකට බරක්. ලෝකය රාජ්‍ය නායකයාගේ ධූර කාලය අවුරුදු 4 දක්වා අඩුකරන යුගයක, අපි ආපසු වසර 6 ක් දක්වා වැඩි කළ යුතු  නෑ.

    2.      31 (2) වගන්තිය හා 92 වගන්තිය අනුව ජනාධිපතිවරයෙකුට අවස්ථා 3 ක් හෝ එයට වැඩි අවස්ථා ගණනක් ජනාධිපතිවරණයට ඉදිරිපත්වීමේ අවස්ථාව ලැබෙන්නේ නෑ.  ලෝකයේ ශිෂ්ඨ රටවල් වාර දෙකකට වැඩිය රාජ්‍ය නායකයෙක් තියාගන්නේ නෑ. අවුරුදු 10 කින් කරන්න බැරි දේ, අවුරුදු සීයක් හිටියත් කරන්න බෑ.  කිසිම ශිෂ්ඨ රටකට ‘යාවජීව නායකයෝ‘ අවශ්‍ය නෑ.  

    3.      ජනාධිපතිවරයාට විරුද්ධව දික්කසාද නඩුවක් හෝ පවරන්න බෑ කියලා කලකට ඉහත විහිළු කථාවක් තිබුණා ඔබට මතක ඇති.  19 ව්‍යවස්ථා සංශෝධනයේ 35 වගන්තිය අනුව, ජනාධිපතිවරයාගේ අසීමිත මුක්තිය නැති වුණා.  දැන් ජනාධිපතිවරයාට විරුද්ධව මුලික අයිතිවාසිකම් නඩු පවරන්න පුළුවන්. හිටපු ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතාට මේ රටේ පුරවැසියෝ මුලික අයිතිවාසිකම් නඩු ගණනාවක් පවරලා තියෙනවා. ජනාධිපතිවරයෙකු හිතුවක්කාරී තීරණයක් ගත්තොත් අධිකරණයට යන්නට අවස්ථාවක් තිබිය යුතුයි. 19 අහෝසි වුනොත්, ඒ අයිතිය නැති වෙනවා.

    4.      42 වගන්තිය යටතේ පාර්ලිමේන්තුවේ අගමැතිවරයා පත් කිරීමේ බලය ‘පාර්ලිමේන්තුවේ උපරිම විශ්වාසය දිනාගත් මන්ත්‍රීවරයාට පමණක්‘ ලබාදීම සිදු වුණා.  පාර්ලිමේන්තුවේ උපරිම විශ්වාසය නැති බව පෙන්වන්නට පුළුවන් නම්, ජනාධිපතිවරයාගේ කැමැත්ත කුමක් වුනත් ඒ පුද්ගලයාට අගමැති ධූරයේ කටයුතු කරන්න බැරි පරිසරය හැදුවේ 19 වන ව්‍යවස්ථා සංශෝධනයෙනි. පාර්ලිමේන්තුවේ 113 ක් නැති අයෙකුට අගමැතිකම දෙන්න පාර කපනවාට ඔබ කැමතිද? මම විරුද්ධයි.  ඒ නිසා, 19 සංශෝධනය රැකෙන්නට ඕනි.

    5.      43 (1) වගන්තිය යටතේ ජනාධිපතිවරයාට තමන් කැමති අමාත්‍යාංශ ගණනාවක් තමන් වෙතම රඳවා ගැනීමේ බලය අහිමි කරනු ලැබුවා.  19 ට කලින් ජනාධිපතිවරයාට රටේ තියෙන ඔක්කොම අමාත්‍යාංශ තමන්ගේ නමින් ගැසට් කර ගැනීමේ හැකියාව තිබුණා. අද එවැනි තත්වයක් නෑ.  ආයෙත් සැරයක් රටේ තියෙන හොඳම අමාත්‍යාංශ ජනාධිපති අතට පත්වෙලා අන්ත අකාර්යක්ෂම පාලනයක් ඇතිවෙනවාට මම විරුද්ධයි. 

    6.      43 (2) වගන්තියට අනුව, දැන් අමාත්‍යවරුන් හා කැබිනට් මණ්ඩලය පත් කිරීම විතරක් නෙවෙයි ඉවත් කිරීමත් අගමැතිවරයා විසින් සිදු කළ යුතුයි.  එය ජනාධිපතිවරයාගේ හිතූ මනාපයට සිද්ධ කරන්න බෑ.  (2004 දී චන්ද්‍රිකා ජනාධිපතිතුමිය ජනමාධ්‍ය, ආරක්ෂක ඇතුළු අමාත්‍යාංශ 3 ක් පවරා ගැනීම වැනි ව්‍යවහාරයක් වැලැක්වූනේ 19 සංශෝධනයෙන්) ජනාධිපති, හිතුවක්කාරී ලෙස අමාත්‍යාංශ පවරා ගන්නවාට මම විරුද්ධ නිසයි 19 රැකෙන්න ඕනි.

    7.      43 (3) වගන්තියෙන් ජනාධිපතිවරයාට අමාත්‍යවරයෙකු ගේ විෂය හා කාර්යය වෙනස් කරන්න පුළුවන්.  නමුත්, ඔහුට අගමැතිවරයා කැමැත්ත නැතිනම් කැබිනට් මණ්ඩලයෙන් නෙරපන්න බැරි පරිසරය හැදුණේ 19 සංශෝධනයෙනි.

    8.      44 වගන්තියේ දැක්වෙන රාජ්‍ය අමාත්‍යවරුන් පත් කිරීමේ දී ද, ජනාධිපතිවරයාගේ තනි කැමැත්ත නොව, අග්‍රාමාත්‍යවරයාට එහි වැඩි බලයක් ලබාදීම බල තුලනයට වැදගත්. එය වඩා ප්‍රජාතන්ත්‍රවාදී ක්‍රමයක් නිසයි මම 19 රැකගත යුතු යැයි  කියන්නේ.  

    9.      45 වගන්තියෙන් නියෝජ්‍ය ඇමතිවරු පත් කිරීමේ දී ද, අග්‍රාමාත්‍යවරයාට වැඩි බලයක් හිමි වුණේ, 19 නිසයි. කේලම් කියන, ගෙදර බල්ලා නාවපු නිසා නියෝජ්‍ය ඇමතිවරු වුණු යුගය අවසන් කරන්නට 19 සංශෝධනයෙන් පටන්ගත්තා.  ඒක ආපසු හැරවිය යුතු නෑ.

    10.  52 වගන්තියෙන් අමාත්‍යාංශ ලේකම්වරු පත් කිරීමේ බලය ජනාධිපතිවරයාට හිමිවෙනවා.  අගමැති කැබිනට් මණ්ඩලය තෝරාගත්තාට, ලේකම්වරුන් පත් කිරීම ජනාධිපතිවරයාට ලැබීම තුල විධායකය හා ව්‍යවස්ථාදායකය අතර බල තුලනයක් ඇති වුණා.  ඇමතියි, ලේකම් දෙන්නාම එක්ක අයෙකු පත් කරන විට විධායකයේ අවශ්‍යතාවට නැටවෙන අමාත්‍යාංශ බිහිවෙනවා.  එයින් සිදු වුණු විනාශය අඩු කරන්න, 19 සංශෝධනය හේතු වුණා.

    ශිෂ්ඨ රටකට විධායකය, ව්‍යවස්ථාදායක හා අධිකරණය අතර බල තුලනයක් අවශ්‍යයි. තුලන හා සංවරණය ඇති කිරීම යහපත් ආණ්ඩුකරණයක ලක්ෂණයක්. 19 සංශෝධනය ජේ.ආර්. ගේ ව්‍යවස්ථාවෙන් ‘අතුරුදන් කරපු‘ තුලන හා සංවරණය නැවත ඇති කළා.  ලංකාව ආයෙත්, ජේ.ආර්.ගේ ගෑණියෙක් පිරිමියෙක් කරන්න විතරක් බැරි ඒකාධිපති – අශිෂ්ඨ ව්‍යවස්ථාව කරා ආපසු ගමන් නොකළ යුතුයි.     

    11.  ජනාධිපතිවරයා සතුව තිබූ බලය ක්‍රියාත්මක කිරීම සඳහා 41 වගන්තිය යටතේ ‘ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සභාවක්‘ 19 සංශෝධනයෙන් ඇති වුණා.  එය ජනාධිපතිවරයා සතු බලයෙන් කොටසක් පාර්ලිමේන්තුවටත්, රටේ සිවිල් සංවිධානවලටත් බෙදීයාමකි. 

    12.  ව්‍යවස්ථාවේ  41 ( ඇ) වගන්තිය අනුව, කොමිෂන් සභා 9 කට (මැතිවරණ, රාජ්‍ය සේවා, ජාතික පොලිස්, විගණන සේවා, මානව හිමිකම්, අල්ලස් හා දුෂණ චෝදනා විමර්ශන), මුදල්, සීමා නිර්ණය, ජාතික ප්‍රසම්පාදන) කොමිසන් සභා සඳහා පුද්ගලයින් පත් කිරීමට ජනාධිපතිවරයාට හැකිවන්නේ, ව්‍යවස්ථා සභාවේ නිර්දේශයෙන් පමණයි.

    13.  උප ලේඛණයේ දෙවන කොටස යටතේ දැක්වෙන තනතුරු සඳහා  (අගවිනිසුරු, ශ්‍රේෂ්ඨාධිකරණයේ විනිසුරු, අභියාචනාධිකරණයේ සභාපති හා විනිසුරුවන්, අධිකරණ සේවා කොමිසම සභාපති හා සාමාජිකයින්, නීතිපති, පොලිස්පති, පරිපාලන කටයුතු පිළිබඳ පාර්ලිමේන්තු කොමසාරිස්වරයා, පාර්ලිමේන්තුවේ මහ ලේකම්) පුද්ගලයින් පත් කිරීම ජනාධිපතිවරයාගෙන් නම් යෝජනා කිරීමෙන් පසුව, ව්‍යවස්ථා සභාවේ අනුමැතිය ලබා ගැනීමට 19 සංශෝධනය නිසා සිදු වෙනවා.  

    14.  රාජ්‍ය සේවයේ තනතුරුවලට අදාල බලය 54 වගන්තියේ සිට 61 දක්වා වගන්තිවලින් පාලනය වුණා. 19 අහෝසි වුනාම නැවත සිදුවන්නේ, දේශපාලනඥයින් පිටුපස යන්න වෙන එකයි.

    15.  පොලිස්පති, නීතිපති, විගණකාධිපති, ඔම්බඩ්ස්මන්, පාර්ලිමේන්තුවේ මහ ලේකම්, විනිසුරුවන් පත් කිරීමේ දී ජනාධිපතිවරයා නම් යෝජනා කිරීමත්, ව්‍යවස්ථා සභාවේ වෙතින් එම නම් සඳහා අනුමැතිය ලබාගැනීමත් 19 නිසා ඇතිවූ ව්‍යහාරයකි.   අඩුම ගානේ පාර්ලිමේන්තුවට, රටේ කණ්ඩායමකට හෝ ඉහතින් දැක්වූ තනතුරු වලට පත්වෙන පුද්ගලයින් ගැන අදහසක්/ විවේචනයක් තියෙනවා නම් එය ඉදිරිපත් කරන්න හෝ අවස්ථාව හෝ ලැබුණේ 19 සංශෝධනය නිසයි. 

    16.  අවුරුද්දක් ගිය පසු ඕනෑම අවස්ථාවක ජනාධිපතිවරයාට පාර්ලිමේන්තුව විසිරුවා හැරීමට තිබූ බලය  70 වගන්තියෙන් වසර 4  ½ ක් දක්වා වැඩි කරනු ලැබුවේ 19 සංශෝධනයෙනි.  චන්ද්‍රිකා පාර්ලිමේන්තු විසිරුවා හැරි ආකාරයට, තමන් කැමති වෙලාවට, කැමති විදිහට ජනාධිපතිවරයා පාර්ලිමේන්තුව විසිරුවන යුගයක් රටට අවශ්‍ය වන්නේ නෑ.  19 අහෝසිවීම වැලැක්විය යුත්තේ ඒ නිසයි.

    17.  104 වගන්තිය මගින් මැතිවරණ කොමිසන් සභාවට මැතිවරණ සම්බන්ධයෙන් විශාල බලයක් ලබාදී තිබෙනවා.  එය මෙරට මැතිවරණ ක්‍රමය ප්‍රචණ්ඩත්වයෙන් අවම කරන්න, මැතිවරණ දුෂණ අඩු කරන්නට, රාජ්‍ය සම්පත් මැතිවරණ කටයුතු සඳහා යොදා ගැනීම සීමා කිරීමට හේතුවක් වුණා.  මැතිවරණ කොමිසම ජනාධිපතිවරයටත් වඩා බලවත් බව පසුගිය පාර්ලිමේන්තු මැතිවරණයේ දී පැහැදිලිවම පෙනුණා. 19 අහෝසි වෙනවා කියන්නේ මැතිවරණ කොමිසම ඉවත් වී නැවත, අර ‘ආතතිය හැදෙන්නට පුළුවන්‘ තනි පුද්ගලයෙකු යටතේ මැතිවරණ පැවැත්වීමයි.

    18.  ජනාධිපතිවරයා ගෙදර යන ගමන් හිටපු හැටියේ ‘විනිසුරුවන්ට පත්වීම් දුන් අතීතයක් තිබුණා.  107 වගන්තිය යටතේ අගවිනිසුරු ඇතුලු ශ්‍රේෂ්ඨාධිකරණයේ විනිසුරුවන්, අභියාචනාධිකරණයේ සභාපති හා විනිසුරුවන් පත් කිරීමට ව්‍යවස්ථා සභාවේ අනුමැතිය ලබා ගැනීමට ජනාධිපතිවරයාට සිදු වුණේ 19 නිසයි.  විනිසුරුවන් පත් කිරීමේ දී නම් කිහිපයක් විවෘතව සලකා බැලීමේ තත්වය මතු වුණේ, 19 සංශෝධනය නිසයි.

    19.  111 වගන්තිය යටතේ අධිකරණ සේවා කොමිසන් සභාව හා එහි සංයුතිය තීරණය කිරීමේ ප්‍රතිපාදන ලැබුණේ 19 නිසයි. දැන් අධිකරණ සේවා කොමිෂන් සභාවේ බලයට ව්‍යවස්ථා සංශෝධනයක් මගින් පස්සා දොරෙන් බලපෑම් කරන්නට නම්, 19 අහෝසි විය යුතුයි.  අධිකරණ සේවා කොමිසමට ජනාධිපතිවරයා නම් යෝජනා කරන පුද්ගලයා, ව්‍යවස්ථා සභාව විසින් අනුමත නොකරන්නේ නම්, ඔහුට තනතුර ලැබෙන්නේ නැත්තේ ද, 19 නිසයි.

    20.  153 හා 153 (අ) වගන්තිය අනුව විගණකාධිපති පත් කිරීම, විගණන කොමිසම පිහිටුවීම හා එහි සංයුතියට අයත් කරුණු ඇතුළත් වෙනවා.  19 අහෝසි කරනවා කියන කොට නිතැතින්ම මතුවන ප්‍රශ්නය තමයි, විගණන කොමිසම අහෝසිවෙනවාද? කියන එක. අපි දැක්කා, විවිධ ආණ්ඩු විගණකාධිපතිවරයාට බලපෑම් කරන්න දරපු උත්සාහයන්.  19 සංශෝධනය එවැනි බලපෑම් නැති කළා විතරක් නෙවෙයි, විගණන කොමිසමක් ඇති කලා. දුෂිත නිලධාරීන් විගණන කොමිසමට කිසි ලෙසකින් වත් කැමති නැති බව පැහැදිලි සත්‍යයක්.

    21.  155 අ වගන්තිය යටතේ පිහිටවූ ජාතික පොලිස් කොමිසමේ කටයුතු පිළිබඳ සෘණාත්මක අදහසක් තියෙනවා. දේශපාලනඥයින් පොලීසියේ කටයුතුවලට අත පෙවීම පොලිස් කොමිසම ස්ථාපනය කිරීමෙන් අවසන් වුණා.  19 සංශෝධනය අහෝසි කිරීම, පොලිස් කොමිසම නැතිකරලා අයෙත් ප්‍රාදේශීය දේශපාලනඥයින් පොලීසියට නියෝග දෙන යුගය කරා ගෙනයන්න හේතුවකි

    22.  156 අ වගන්තියෙන් පත් කළ අල්ලස් කොමිසම අහෝසි කිරිම සිදුවනවා නම්, එය සෘජුව ‘අල්ලස හා දුෂණය‘ ප්‍රවර්ධනය කිරිමට හේතුවක් වනු ඇත්තේය.  අල්ලස් කොමිසම අහෝසි කර ගැනීමට අවශ්‍ය වන්නේ දැනට පාර්ලිමේන්තුවේත්, ඉන් පිටතත් දේශපාලන බලය හිමිකරගෙන සිටින පිරිසට යි.   19 සංශෝධනයෙන් ‘ජාත්‍යන්තර ප්‍රමිතියෙන් යුතු අල්ලස් පනතක්‘ ස්ථාපනය කිරීමට මඟ පැදුණා.  පැමිණිල්ලක් නැතිව අල්ලස් කොමිසමට විමර්ශන ආරම්භ කිරීමේ බලය ලැබුණේ, 19 නිසයි.  මේ තත්වය සම්පූර්ණයෙන්ම ආපසු හැරවීම සිදු නොවිය යුත්තක්.

    23.  156 ආ වගන්තියෙන් පත්  කළ ජාතික ප්‍රසම්පාදන කොමිසන් සභාවේ ඉරණම ගැන අපි වෙනම සංවාදයක් කළ යුතු වෙනවා.  ගෙඩිය පිටින් 19 අහෝසි කරනවා කියන්නේ, නැවත වරක් අන්ත දුෂිත දේශපාලනඥයින්ට හා රාජ්‍ය නිලධාරීන් පිරිසකට, සමස්ත ප්‍රසම්පාදන ක්‍රියාවලිය තම අභිමතය අනුව ආපසු හැසිරවීමට හැකිවීමයි.   

    24.  19 සංශෝධනය 14 අ වගන්තිය මගින් තොරතුරු වෙත ප්‍රවේශය අයිතිවාසිකමක් ලෙස පිළිගනු ලැබූවේ මේ රටේ සිවිල් සමාජය සිදු කළ දැඩි බලපෑම් නිසයි.  අද රටේ බලවත් පුද්ගලයින් පමණක් නොවෙයි, අව වරප්‍රසාදිතයින් පවා, විටෙක පාසල් දරුවන් පවා රජයේ තොරතුරු ලබා ගන්නවා.   තොරතුරු පනත මගින් රජයේ කාර්යාලවලින් තොරතුරු ලබා ගැනීම නිසා රාජ්‍ය ක්‍රියාකාරීත්වයේ විනිවිද භාවයක් ඇතිවී තිබෙනවා.  අකාර්යක්ෂමතාව අඩුවී තිබෙනවා.  මේ තොරතුරු ලබාදීම දුෂණ වැලැක්වීම සඳහා පුළුල් පිටුවහලක්වී තිබෙනවා.  තොරතුරු පනත 19 සංශෝධනය ඇතිකළ වෙනසකි.  එය අහෝසිවනවාට ශිෂ්ඨ මිනිසෙකුට කැමතිවන්නට බෑ.

    25.  43 (2) ඇමතිවරු සංඛ්‍යාව 30 ක් සහ රාජ්‍ය /නියෝජ්‍ය ඇමතිරවරු 40 ක් ඉක්මවිය නොහැකි සීමා දැම්මේ 19 සංශෝධනය යි. 

    26.     46 (4) ජාතික ආණ්ඩුවක් බිහි කරන්නේ නැතිව ඇමති මණ්ඩලය වැඩි කරන්නට බැරි සීමා පැනවීම සිදුවූයේ 19 සංශෝධනය නිසයි.

    27.  92 වගන්තියෙන් අවුරුදු 35 ට අඩු ලාබාලයෙක් ජනාධිපතිවීම වැලැක්වීම,

    28.  91 (1) XIII ද්විත්ව පුරවැසියෙකුට පාර්ලිමේන්තු මන්ත්‍රීවරයෙකු විය නොහැකි බව,

    29.  පුරවැසියන්ට නීතියක්, පනතක් පාර්ලිමේන්තුවේ සම්මතවීම වලක්වා ගැනීමට, ශ්‍රේෂ්ඨාධිකරණයට යාමට අවස්ථාව තිබෙනවා. නමුත්, පාර්ලිමේන්තුවට හදිසි පනත් ගෙන ඒම තුලින් ඒ අයිතිය අහිමි වූ අවස්ථා අපි අතීතයේ දැක්කා.  හදිසි පනත් ගෙනඒම වැලැක්වීම 19 සංශෝධනය මෙරට පුරවැසියන්ට දුන්නු විශිෂ්ඨ අවස්ථාවකි.  19 අහෝසිවීමේ වැඩිම බලපෑම, මර්ධනකාරී නීති පස්සා දොරෙන් පාර්ලිමේන්තුවේ සම්මත කර ගැනීමට නැවත අවස්ථාවක් ලැබීමයි.  

    19 අහෝසි කිරීම හුදෙක් නීතියක් වෙනස් කිරීමට ඉක්මවා ගිය දේශපාලනික මැදිහත්වීමක්.  පරිවාස ආණ්ඩුව සමයේ, ගෙන ආ 17 වන ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සංශෝධනය  නිසා මේ රටේ ජනතාව දිනාගත් ජයග්‍රහණ 18 ව්‍යවස්ථාවෙන් ආපසු හැරවුණා.  ඒවා නැවත ලබා දෙන්නට, වඩාත් ශක්තිමත් ප්‍රජාතන්ත්‍රවාදී  රාජ්‍යකරණයක් සඳහා 19 ව්‍යවස්ථා සංශෝධනය ගෙන ආවේ සිවිල් ක්‍රියාකාරීන්ගේ බලපෑම නිසයි.  අද නැවත වරක්, 19 රැකගැනීමේ වගකීම දේශපාලනඥයින්ටත් වඩා, සිවිල් ක්‍රියාකාරීන්ගේ වගකීමක් බවට පත්වෙමින් තිබෙනවා.

    රජිත් කීර්ති තෙන්නකෝන් – හිටපු දකුණ හා මධ්‍යම පළාත් ආණ්ඩුකාර

  • ස්වාධීන කොමිෂන් සභා ‘NGO ද ?

    ස්වාධීන කොමිෂන් සභා ‘NGO ද ?

    කොමිෂන් සභාවල වර්ථමාන සංයුතිය පිලිබදව සලකා බැලීමේදී රාජ්‍ය නොවන සංවිධාන ක‍්‍රියාකාරීන්ගේ මැදිහත්වීම 47කට 1ක් බව පැහැදිලිය.

    සටහන – නීතිඥ ජගත් ලියන ආරච්චි

    19 වන සංශෝධනය මේ වන විට වඩාත් කථාබහට ලක්වී ඇති මාතෘකාවකි. 19 වන සංශෝධනය ඉවත් කල යුතු බවද එය සංශෝධනය කල යුතු බවද මේ වන විට බොහෝ දෙනෙක් කථා කරති.

    19 වන සංශෝධනය සම්බන්ධයෙන් චෝදනා කරන ඇතැමෙක් පවසන්නේ මෙම සංශෝධනය මගින් ඇතිකරන ලද කොමිෂන් සභාවල කොමසාරිස්වරුන් ලෙස පත්ව ඇත්තේ රාජ්‍ය නොවන සංවිධාන (NGO ක්‍රියාකාරීන්) බැවින් ජනාධිපතිට සහ අගමැති ප‍්‍රමුඛ කැබිනට් මණ්ඩලයට සිය කටයුතු ඉටුකිරීමට බාධාවක් වන බවයි.

    19 වන ආණ්ඩුක‍්‍රම ව්‍යවස්ථා සංශෝධනයේ අඩු පාඩු පවතින නමුත් ස්වාධීන කොමිෂන් සභාවල ඉන්නා රාජ්‍ය නොවන සංවිධාන ක‍්‍රියාකාරීන් රජයේ ක‍්‍රියාකාරකම්වලට බාධා කරන බව ඉතාමත් අසත්‍ය කරුණකි. මේ බව ශිර්ෂ කිහිපයක් ඔස්සේ සනාථ කල හැකිය. එනම්,

    1. ස්වාධින කොමිෂන් සභාවලට පත්වී ඇති සාමාජිකයන්ගේ නාමලේඛනය පරීක්‍ෂා කිරීම.
    2. ස්වාධින කොමිෂන් සභාවලට සාමාජිකයින් නිර්දේශ කරන ආණ්ඩුක‍්‍රම ව්‍යවස්ථා සභාවේ ව්‍යුහය
    3. ස්වාධින කොමිෂන් සභාවල සාමාජිකයින්ගේ සුදුසුකම් පිලිබදව ආණ්ඩුක‍්‍රම ව්‍යවස්ථාවේ සහ
      අදාල පාර්ලිමේන්තු පනත්වල පවතින ප‍්‍රතිපාදන මගින්
    4. ස්වාධින කොමිෂන් සභාවලට පත්වී ඇති සාමාජිකයන්ගේ නාමලේඛනය පරීක්‍ෂා කිරීම.

    1. ස්වාධින කොමිෂන් සභාවලට පත්වී ඇති සාමාජිකයන්ගේ නාමලේඛනය පරීක්‍ෂා කිරීම.

    ස්වාධින කොමිෂන් සභා යනුවෙන් නිශ්චිතව දක්වන කොමිෂන් සභා අප නීති පද්ධතිය තුල දක්නට නොලැබෙන නමුත් ජනමාධ්‍ය සහ සිවිල් සමාජය මෙන්ම ව්‍යවස්ථාදායකයද ස්වාධින කොමිෂන් සභා ලෙස හදුන්වන්නේ ආණ්ඩුක‍්‍රම ව්‍යවස්ථාවේ සදහන් වන කොමිෂන් සභා 10වේ. ඒවානම්

    1. මැතිවරණ කොමිෂන් සභාව;
    2. රාජ්‍ය සේවා කොමිෂන් සභාව;
    3 ජාතික පොලිස් කොමිෂන් සභාව;
    4. විගණන සේවා කොමිෂන් සභාව;
    5. ශ‍්‍රී ලංකා මානව හිමිකම් කොමිෂන් සභාව;
    6. අල්ලස් හෝ දූෂණ චෝදනා විමර්ශනය කිරීමේ කොමිෂන් සභාව;
    7. මුදල් කොමිෂන් සභාව;
    8. සීමා නිර්ණය කොමිෂන් සභාව;
    9. ජාතික ප‍්‍රසම්පාදන කොමිෂන් සභාව.
    10. අධිකරණ සේවා කොමිෂන් සභාව

    මෙම කොමිෂන් සභාවල වර්ථමාන සංයුතිය පිලිබදව සලකා බලන විට පැහැදිලි වන්නේ සාමජිකයින් 47 දෙනෙකු මෙම කොමිෂන් සභාවන්හි සාමජිකත්වය දරන බවයි. (මෑතකදි ඉල්ලා අස්වූ ශ‍්‍රි ලංකා මානව හිමිකම් කොමිෂන් සභාවේ සභාපතිනිය සහ සාමාජිකාවත් සමග) මෙම සාමාජික නාමලේඛණය පරීක්‍ෂා කරන විට පෙනී යන්නේ එකී 47 දෙනා අතරින් රාජ්‍ය නොවන සංවිධනා ක‍්‍රියාකාරීණියක් වන්නේ ජාතික පොලිස් කොමිෂන් සභාවේ සිටින එක් සාමාජිකාවක් පමණක් බවයි. අනෙක් සියලූ දෙනා විශ‍්‍රාමික විනිසුරුවරුන්. විශ‍්‍රාමික රාජ්‍ය පරිපාලන සේවයෙන් නිලධාරීන්. විශ‍්‍රාමික පොලිස් නිළධාරීන්. වෘත්තිකයන්. විශ්ව විද්‍යාල විද්‍යාර්ථයින් ආදීන්ගෙන් සමන්විත බවය. මේ අතරින් අති බහුතරය විශ‍්‍රාමික රාජ්‍ය නිලධාරීන්ය. එබැවින් කොමිෂන් සභාවල වර්ථමාන සංයුතිය පිලිබදව සලකා බැලීමේදී රාජ්‍ය නොවන සංවිධාන ක‍්‍රියාකාරීන්ගේ මැදිහත්වීම 47කට 1ක් බව පැහැදිලිය.

    2. ස්වාධින කොමිෂන් සභාවලට සාමාජිකයින් නිර්දේශ කරන ආණ්ඩුක‍්‍රම ව්‍යවස්ථා සභාවේ ව්‍යුහය

    ස්වාධින කොමිෂන් සභාවලට සාමාජිකයින් නිර්දේශ කරනු ලබන්නේ ආණ්ඩුක‍්‍රම ව්‍යවස්ථා සභාව නැමති ආණ්ඩුක‍්‍රම ව්‍යවස්ථාවෙන් ව්‍යවස්ථාපිත ආයතනය මගිනි. මෙහි සාමජිකයින් ගනන 10කි. එම 10 අතරින් නිළ වශයෙන් පත්වන සාමාජිකයින් ගනන 3කි.

    එනම් කථානායකවරයා, අගමැතිවරයා, විපක්‍ෂනායකවරයයි, ජනාධිපතිවරයාගේ නියෝජිතයා ලෙස පත්කරන පාර්ලිමේන්තු මන්ත‍්‍රිවරයකු, අගමැති සහ විපක්‍ෂනායක විසින් යොජ්නා කරනු ලබන ජනාධිපතිවිසින් පන්කරන පාර්ලිමේන්තු මන්ත‍්‍රිවරුන් දෙදෙනෙකු, අගමැතිවරයා සහ විපක්‍ෂනායක නියෝජනය නොකරන පක්‍ෂයක පාර්ලිමේන්තු මන්ත‍්‍රීවරයකු සහ අගමැති සහ ජනාධිපති විසින් යෝජනාකරනු ලබන සහ ජනාධිපතිවිසින් පත්කරනු ලබන දේශපාලන පක්‍ෂවල සමාජිකත්යය නොදරන විශිෂ්ඨත්වයට පත් පුද්ගලයන් තිදෙනෙක් වශයෙනි.

    මේ අනුව ව්‍යවස්ථා සභාවේ සාමාජිකයින් 10 දෙනා අතරින් 7 දෙනෙකුම පාර්ලිමේන්තු මන්ත‍්‍රීවරුන් වේ. එසේම පාර්ලිමේන්තු මන්ත‍්‍රීවරුන් නොවන තිදෙනාවද තෝරාගනු ලබන්නේ පාර්ලිමේන්තු මන්ත‍්‍රීවරුන් වන අගමැති සහ විපක්‍ෂ නායකය. එසේම ඔවුන් තිදෙනා පත්කරනු ලබන්නේ ජනාධිපතිවරණයේදී සමස්ථ ඡුන්ද ප‍්‍රමාණයෙන් සියයට පනහකට වඩා වැඩියෙන් ලබාගත් ජනාධිපති විසිනි. එබැවින් පාර්ලිමේන්තු මන්ත‍්‍රිවරුන් නොවන තිදෙනා නම්කිරීම සහ පත්කිරීම සිදුකරන්නේ මහජන නියෝජිතයින් තිදෙනෙකු විසිනි.

    ඒ අනුව උපරිම වශයෙන් ආණ්ඩුක‍්‍රම ව්‍යවස්ථා සභාවට පත්විය හැකි රාජ්‍ය නොවන සංවිධාන ක‍්‍රියාකාරිකයන් ගනන තිදෙනෙකු වන අතර ඔවුන්ද මහජන නියෝජිතයින්ගේ කැමැත්ත මත පත්වන පුද්ගලයන්ය. මේ වන විට ආණ්ඩුක‍්‍රම ව්‍යවස්ථා සභාව තුල සිටින පාර්ලිමේන්තු මන්ත‍්‍රීවරුන් නොවන තිදෙනාගෙන් එක් අයකු පමණක් රාජ්‍ය නොවන සංවිධානවල නිළතල දරණ අතර අනෙක් දෙදෙනාගෙන් එක් අයෙකු එක්සත් ජාතීන්ගේ සංවිධානයෙන් විශ‍්‍රාම ලැබූවකු වන අතර අනෙක් තැනැත්තා විශ‍්‍රාමික විශ්ව විද්‍යාල ජ්‍යොෂ්ඨ කථිකාචාර්ය වරයෙකි.

    මේ අනුව කොමිෂන් සභාව සදහා සාමාජිකයින් නිර්දේශ කරනු ලබන ආණ්ඩුක‍්‍රම ව්‍යවස්ථා සභාවේ සාමාජික සංයුතිය අනුවද රාජ්‍ය නොවන සංවිධාන ක‍්‍රියාකාරීන්ගේ සංයුතිය 10ට එකකි.

    2. ස්වාධින කොමිෂන් සභාවල සාමාජිකයින්ගේ සුදුසුකම් පිලිබදව ආණ්ඩුක‍්‍රම ව්‍යවස්ථාවේ සහ අදාල පාර්ලිමේන්තු පනත්වල පවතින ප‍්‍රතිපාදන

    1. ආණ්ඩුක‍්‍රම ව්‍යවස්ථාවට අනුව අධිකරණ සේවා කොමිෂන් සභාවේ සාමාජිකයින් ශ්‍රේෂ්ඨාධිකරණ විනිසුරුවරුන්ය (සභාපතිවරයා නිලබලයෙන් අගවිනිසුරුය)
    2. මැතිවරණ කොමිෂන් සභාවේ සාමාජිකයින් අතරින් එක් අයෙකු නියෝජ්‍ය මැතිවරණ කොමසාරිස් ධූරයට ඉහල ධුරයක් දැරූ විශ‍්‍රාමික නිළධාරියකු විය යුතු අතර අනෙක් දෙදෙනා වෘත්තීන් හි හෝ පරිපාලන හෝ අධ්‍යාපන ක්ෂේත‍්‍රවල හෝ, විශිෂ්ටතා හිමිකරගෙන සිටින තැනැත්තන් විය යුතුය.
    3. ආණ්ඩුක‍්‍රම ව්‍යවස්ථාවට අනුව රාජ්‍ය සේවා කොමිෂන් සභාවේ සාමාජිකයින් ගනන 9ක් වන අතඑ එම සාමාජිකයන් අතුරෙන් සාමාජිකයන් තිදෙනකුට නොඅඩු සංඛ්‍යාවක් රජයේ නිලධරයන් වශයෙන් අවුරුදු පහළොවකට වැඩි පළපුරුද්දක් ඇති තැනැත්තන් විය යුතුය.
    4. ආණ්ඩුක‍්‍රම ව්‍යවස්ථාවට අනුව විගනන සේවා කොමිෂන් සභාවේ සභාපති නිළ බලයෙන් විගනකාධිපති වන අතර අනෙකුත් සාමාජිකයින් විය යුත්තේ විශ‍්‍රාමික නියෝජ්‍ය විගනකාධිපතිවරුන්, විශ‍්‍රාමික ශ්‍රේෂ්ඨාධිකරණ හෝ අභියාචනාධිකරණ විනිසුරුවරුන් සහ විශ‍්‍රාමික පරිපාලන සේවයේ 1 වන පංතියේ නිළධරයකුය.
    5. ආණ්ඩුක‍්‍රම ව්‍යවස්ථාවට අනුව මහබැංකුවේ අධිපති සහ භාණ්ඩාගාර ලේකම් මුදල් කොමිෂන් සභාවේ නිළබලයෙන් සාමාජිකයින් වන අතර එයට අමතරව මූල්‍ය. නීතිය,පරිපාලන,ව්‍යාපාර හෝ ශ‍්‍රාස්ත‍්‍රීය ක්‍ෂෙත‍්‍රවල කැපීපෙනෙන පුද්ගලයන්ය. මෙම තිදෙනා ජනවර්ග තුනම නියෝජනය වන පරිදී තෝරාගත යුතුය.
    6. ආණ්ඩුක‍්‍රම ව්‍යවස්ථාවට අනුව ජාතික පොලිස් කොමිෂන් සභාවේ සාමාජිකයින් ගනන 7කි. ඉන් එක් සාමාජිකයකු විශ‍්‍රාමික නියෝජ්‍ය පොලිස්පතිවරයකු හෝ ඊට ඉහල ධූරයක් දැරූ අයෙකු විය යුතුය. අනෙක් සාමාජිකයින් හය දෙනා පිළිබදව නිශ්චිත සදහනක් නැත. නමුත් ආණ්ඩුක‍්‍රම ව්‍යවස්ථාව විසින් නිර්දේශ කිරීමේදී රාජ්‍ය සේවා කොමිසන් සභාව විමසා කල හැකි බව දැක්වේ.
    7. ආණ්ඩුක‍්‍රම ව්‍යවස්ථාවට අනුව ජාතික ප‍්‍රසම්පාදන කොමිෂන් සභාවේ සාමාජිකයින් ගනන 5කි යටත් පිරිසෙයින් එයින් සාමාජිකයන් තිදෙනෙකු ප‍්‍රසම්පාදනය, ගණකාධිකරණය, නීතිය හෝ රාජ්‍ය පරිපාලනය පිළිබඳ පිළිගත් අත්දැකීම් සහිත තැනැත්තන් විය යුතු ය.
    8. ආණ්ඩුක‍්‍රම ව්‍යවස්ථාවට අනුව දේශපාලන කටයුතුවල නිරතව නොසිටින්නා වූ තැනැත්තන් තුන් දෙනකු ගෙන් සීමා නිර්ණය කොමිෂන් සභාව සමන්විත විය යුත්තේ ය.
    9. ශ‍්‍රි ලංකා මානව හිමිකම් කොමිෂන් සභා පනතට අනුව මානව හිමිකම්වලට අදාල කාරණා සම්බන්ධයෙන් දැනුමක් හෝ ප‍්‍රායෝගික පළපුරුද්දක් ඇත්තා වූ තැනැත්තන් වීම කොමිෂන් සභාවේ සාමාජිකයකු වීමේ සුදුසුකමක් ලෙස දක්වා තිබෙනවා.
    10. අල්ලස් හෝ දූෂණ චෝදනා විමර්ශන කොමිෂන් සභා පතනට අනුව අල්ලස් කොමිෂන් සභාවේ සාමාජිකයන් ගනන තුනකි. එයින් දෙදෙනෙකු විශ‍්‍රාමික ශ්‍රේෂ්ඨාධිකරණ හෝ අභියාචනාධිකරණ විනිසුරුවරුන් විය යුතු අතර අනෙක් තැනැත්තා නීතිය ක‍්‍රියාත්මක කිරීමට අදාලව පුලූල් පළපුරුද්දක් ඇති තැනැත්තෙකු විය යුතුය.

    මෙම කරුණු සැලකිල්ලට ගැනීමේදී සහ ශ‍්‍රි ලංකාවේ රාජ්‍ය නොවන සංවිධානවල විෂය පථය සහ ප‍්‍රායෝගික ක‍්‍රියාකාරීත්වය සැලකිල්ලට ගැනීමේදී ඉහත කී කොමිෂන් සභා අතරින් රාජ්‍ය නොවන සංවිධාන ක‍්‍රියාකාරීන්ට සාමාජිකත්වය දැරීමට අවස්ථාව ඇත්තේ ශ‍්‍රි ලංකා මානව හිමිකම් කොමිෂන් සභාවේ සහ ජාතික පොලිස් කොමිෂන් සභාවේ පමණක් බව පෙනී යයි.

    රාජ්‍ය සේවා කොමිෂන් සභාවේ සහ ජාතික ප‍්‍රසම්පාදන කොමිෂන් සභාවේ ඇතැම් සාමාජිකත්වයන් පිළිබදව පවතින විවෘතභාවය නිසා ඒකී කොමිෂන් සභාවල යම් ඉඩක් පැවතියද ප‍්‍රායොගිකව එම කොමිෂන් සභාවල රාජ්‍ය නොවන සංවිධාන ක‍්‍රියාකාරින් සාමාජිකත්වයන් දරා නොමැත. ඒ අනුව මෙම චෝදනාව පදනම් විරහිතය.

    ස්වාධින කොමිෂන් සභා සර්ව සම්පූර්ණයැයි මා අදහස් නොකරමි. නීතිමය ප‍්‍රතිපාදන තුලද පටිපාටිමය කාරනා තුලද ප‍්‍රායෝගික ක‍්‍රියාකාරීත්වය තුලද ගැටලූ පවතී. ඒ ගැටලූ විසදාගත යුතුය. කෙසේ නමුත් රාජ්‍ය සේවය අධිකරණය පොලිසිය විගනනය මැතිවරණ ක‍්‍රියාවලිය ස්වාධින කිරීම සදහා ස්වාධින කොමිෂන් සභා මගින් සිදුවන මෙහෙය අවතක්සේරු නොකල යුතුය.

    නීතිඥ ජගත් ලියන ආරච්චි

  • මීලඟට.. ජල කප්පාදුවක් අත ලඟ..

    මීලඟට.. ජල කප්පාදුවක් අත ලඟ..

    පවතින වියළි කාලගුණික තත්ත්වය හේතුවෙන් ජල සැපයුම සීමා කිරීමට සිදුවන බව ජාතික ජලසම්පාදන හා ජලාපවාහන මණ්ඩලය පවසනවා.

    එහි සභාපති නිශාන්ත රණතුංග ජනතාවගෙන් ඉල්ලා සිටියේ ජලය අරපිරිමැස්මෙන් භාවිත කරන ලෙසයි. අත්‍යවශ්‍ය කටයුතු සදහා පමණක් ජලය භාවිත කරන ලෙසටත් එහිදීද හැකිතාක් ජලය ආරක්‍ෂා කර ගැනීම අතිශය වැදගත් බවත් ජලසම්පාදන මණ්ඩලයේ සභාපතිවරයා මෙහිදී අවධාරණය කළා.

    ප‍්‍රදේශ රැසකට මේ වනවිටත් වියළි කාලගුණික තත්ත්වයක් පවතිනවා. ඇතැම් ප‍්‍රදේශවලට පානීය ජල අවශ්‍යතා සපුරා ගැනීමේදී පවා මේ වනවිට ගැටළුකාරී තත්ත්වයකට මුහුණුපාමින් සිටිනවා.

    මේ අතර තාවකාලික වැසි තත්ත්වයක් අපේක්‍ෂා කළ හැකි බවයි කාර්යයේ නියුතු කාලගුණ විද්‍යාඥ මලින්ද මිල්ලන්ගොඩ සදහන් කළේ.

  • අයිතිකරු නොදැන බැංකු ගිණුමෙන් සල්ලි ගන්න අලුත්ම ජාවාරම මෙන්න(වීඩියෝ)

    අයිතිකරු නොදැන බැංකු ගිණුමෙන් සල්ලි ගන්න අලුත්ම ජාවාරම මෙන්න(වීඩියෝ)

    විවිධ පුද්ගලයන්ගේ බැංකු ගිණුම්වලින් සිදුකරන මුදල් වංචාවක් පිළිබඳව පොලිසිය විසින් ඊයේ (31) මහජනතාව දැනුවත් කළා.

    එහිදී වංචාකරුවන් විසින් උපායමාර්ගිකව පුද්ගලයන්ගේ පෞද්ගලික තොරතුරු ලබාගැනීමෙන් අනතුරුව මෙලෙස ඔවුන්ගේ ගිණුම්වල තැන්පත් කර ඇති මුදල් වංචාවක් සිදුකරන බවයි තොරතුරු හා මාධ්‍ය දිසාවේ නියෝජ්‍ය පොලිස්පති ලාල් සෙනෙවිරත්න මහතා පවසන්නේ.

    යුරෝපීය රටවල රැකියා ලබාදෙන බව පවසා මෙසේ තොරතුරු ලබා ගන්නා බවයි ඔහු පෙන්වා දෙන්නේ.

    නියෝජ්‍ය පොලිස්පතිවරයා පවසන්නේ මේ වනවිට අදාළ සිදුවීම සම්බන්ධයෙන් තවත් තොරතුරු රැසක් අනාවරණ වී ඇති බවයි.

  • ඉන්දියාව කොවිඩ් ආසාදිතයින්ගෙන් ලෝක වාර්තාවක් පිහිටුවයි

    ඉන්දියාව කොවිඩ් ආසාදිතයින්ගෙන් ලෝක වාර්තාවක් පිහිටුවයි

    ඉන්දියාවේ මිලියනයකට පරීක්ෂණ කෙරෙන්නේ තිස් දහසක්. එය වෛරස් ආසාදිතයන් වැඩි වශයෙන්ම සිටින රටවල් දහය අතරින් පහළ සිට දෙවෙනි තැන

    ලොව දිනක් තුළ වාර්තා වූ වැඩිම කොරෝනාවෛරස් රෝගීන් සංඛ්‍යාව ඉන්දියාවෙන් වාර්තා වී තිබේ. ඇමරිකා එක්සත් ජනපදයෙන් ජුලි 17 වෙනිදා වාර්තා වූ රෝගීන් සංඛ්‍යාව අභිබවා පැය 24 ක් තුළ ඉන්දියාවෙන් අලුතින් රෝගීන් 78,761 දෙනෙකු හඳුනා ගෙන ඇතැයි ඉරිදා (අගෝස්තු 30) වාර්තා විය.

    මේ වන විට ලොව කොරෝනාවෛරස් රෝගීන් වැඩි වශයෙන්ම වාර්තා වන රටවල් අතර ඉන්දියාව තෙවෙනි ස්ථානයේ පසු වෙයි.

    පසුගිය මාර්තු මස වසංගතයේ බලපෑමට ලක් වීමත් සමග ඉන්දියාවේ දස ලක්ෂ ගණනකට රැකියා අහිමි විය.

    නමුත් ආර්ථිකය නංවා ගැනීමේ උත්සාහයක් වශයෙන් ඉන්දීය ආණ්ඩුව තවදුරටත් සංචරණ සීමා ඉවත් කරමින් සිටී.

    එරට වෛරස් රෝගීන්ගේ වාර්තා ගත වැඩිවීමක් පෙන්නුම් කරන්නේ එවැනි පසුබිමකදීය.

    බොහෝ ග්‍රාමීය ප්‍රදේශයන්හි කෝවිඩ්-19 රෝගීන්ගේ හදිසි වර්ධනයක් පෙන්නුම් කිරීම සම්බන්ධයෙන් තවදුරටත් විශාල වශයෙන් බිය පළ වේ.

    මේ වන විට ලොව පුරා කොරෝනාවෛරස් රෝගීන් සංඛ්‍යාව මිලියන 25 ඉක්මවා ගොස් ඇති අතර ඒ හේතුවෙන් මරණයට පත් සංඛ්‍යාව 846,000 කට අධිකය.

    වසංගතය හමුවේ වැඩිම බලපෑමකට ලක්ව ඇති රට ඇමරිකා එක්සත් ජනපදයයි. මේ වන විට එරට රෝගීන් සංඛ්‍යාව මිලියන 6 ට ළඟා වී ඇති අතර එය ලොව මුළු රෝගීන් සංඛ්‍යාවෙන් 1/4 කට ආසන්න අගයකි.

    Coffin of a Covid victim in Mumbai, June 2020
    කොරෝනාවෛරසය හේතුවෙන් ඉන්දියාවේ මරණයට පත් සංඛ්‍යාව හැට දහස ඉක්මවා ඇත

    ආසාදිතයන් ඉහළ යාමට හේතුව?

    ජුලි 17 වෙනිදා එක්සත් ජනපදයෙන් දිනක් තුළ ආසාදිතයන් 77,299 ක් හමු වූ අතර ඉන්දියාව ඉරිදා එම සංඛ්‍යාව අභිබවා ගියේය.

    “දිනක් තුළ ලොව පුරා වාර්තා වුණු වැඩිම රෝගීන් සංඛ්‍යාව මෙයයි. ග්‍රාමීය ප්‍රදේශ තුළ වසංගතය පැතිර යාම ඊට හේතු වී තිබෙනවා,” යනුවෙන් හෘද රෝග පිළිබඳ වෛද්‍යවරයෙකු වන මනෝජ් කුමාර් රොයිටර් පුවත් සේවයට පැවසීය.

    කෝවිඩ්-19 වසංගතයේ මුල් අවදියේදී ඉන්දියාව දැඩි ලොක්ඩවුන් සීමා ක්‍රියාත්මක කරමින් තරමක් හොඳින් ඊට මුහුණ දෙන බවක් දක්නට ලැබිණි. නමුත් ඉන් අනතුරුව කුඩා නගර සහ ග්‍රාමීය ප්‍රදේශ තුළ පැතිර යාමට පෙරාතුව වෛරසය මුම්බායි, සහ දිල්ලි වැනි මහා නගර වෙත ළඟා විය.

    රෝගීන් සංඛ්‍යාව ඉහළ ගිය ද ලොක්ඩවුන් සීමා ලිහිල් කිරීමට ආණ්ඩුව පියවර ගනිමින් සිටී.

    සංස්කෘතික,ප්‍රාසංගික සහ ක්‍රීඩා උත්සව වෙනුවෙන් සිය දෙනෙකුට නොවැඩි සංඛ්‍යාවකට රැස් වීමට සැප්තැම්බර් සිට අවසර හිමි වේ. එම රැස්වීම්වලට සහභාගි වෙන පුද්ගලයන් මුඛ ආවරණ පැළඳිය යුතු අතර සමාජ දුරස්ථභාවය පවත්වා ගත යුතුය.

    විශාල නගර තුළ උමං දුම්රිය සේවා ද යළි ආරම්භ කිරීමට නියමිතය.

    Woman and son wait for testing in Delhi
    පසුගිය මාර්තු මස වසංගතයේ බලපෑමට ලක් වීමත් සමග ඉන්දියාවේ දස ලක්ෂ ගණනකට රැකියා අහිමි විය

    ඉන්දියාවේ ‘Medanta’ රෝහලේ රුධිර වාහිණී විද්‍යාව පිළිබඳ අංශයේ සභාපති වෛද්‍ය රජීව් පරේක් රොයිටර් පුවත් සේවයට පැවසුවේ, “රෝගීන් සංඛ්‍යාව පහළ යාමට පටන් ගත් විට, දැන් හරි, අපි යුද්ධය දින්නා කියලා මිනිස්සු හිතුවා…මාස්ක් දාන්නේ නැතුව, සමාජ දුරස්ථභාවය පවත්වා ගන්නේ නැතුව හැමෝම හිටියා.” යනුවෙනි.

    “එය සිදු නොවීමට අප වගබලා ගත යුතුව තිබූ දෙයක්.”

    රෝගීන් නිසි ලෙස වාර්තා නොවීම සහ පර්යේෂණ පහසුකම් අඩුකම තවදුරටත් ගැටලුවක්ව පවතින බව වෛද්‍යවරු පවසති.

    A health worker collects a swab sample from a woman for Covid-19 rapid antigen test in New Delhi, India
    දිනකට කරනු ලබන පරීක්ෂණ සංඛ්‍යාව වැඩි කිරීමට දිල්ලි බලධාරීන් මෑතකදී ක්‍රියා කර තිබේ

    ඉන්දියාවේ 63,000 ක් වන මරණ සංඛ්‍යාව දළ වශයෙන් මෙක්සිකෝවේ මරණ සංඛ්‍යාව හා සමාන වේ. නමුත් ඉන්දියාවේ මිලියන 3.5 ක් වන ආසාදිතයන් හා සැසඳීමේ දී මෙක්සිකෝවේ එම සංඛ්‍යාව 591,000 තරම් අගයකට සීමා වෙයි.

    ඉන්දියාව විසින් සිය මරණ සංඛ්‍යාවට දත්ත එක්රැස් කරනු ලබන්නේ කොරෝනා වෛරසය ආසාදනය වී ඇතැයි තහවුරු වුණු පුද්ගලයන්ගෙන් පමණි. වෛරසය ආසාදනය වී ඇතැයි සැක සහිත රෝගීන්ගේ දත්ත ඒ සඳහා යොදා නොගනියි.

    “ඉන්දියාවේ මිලියනයකට පරීක්ෂණ කෙරෙන්නේ තිස් දහසක්. එය වෛරස් ආසාදිතයන් වැඩි වශයෙන්ම සිටින රටවල් දහය අතරින් පහළ සිට දෙවෙනි තැන,” යනුවෙන් වෛරස් අධ්‍යයන විද්‍යාව පිළිබඳ විශේෂඥ ෂහිඩ් ජමීල් AFP පුවත් සේවයට පැවසීය.

    ආණ්ඩුව පවසන්නේ කුමක්ද?

    ඉහත කී වාර්තාගත වැඩිවීම පිළිබඳ කිසිදු සඳහනකින් තොරව අගමැති නරේන්ද්‍ර මෝදි ගුවන් විදුලිය ඔස්සේ කෙරෙන සිය මාසික දේශනය පැවැත්වීය.

    කොරෝනාවෛරසය පරාජය කිරීම සඳහා තවදුරටත් එක්සත්ව සිටින ලෙස හා නීති පිළිපදින ලෙස ඔහු ඉන්දීය පුරවැසියන්ගෙන් ඉල්ලා සිටියේය.

    “සෑම පුරවැසියෙකුම සෞඛ්‍ය සම්පන්න වීම වැදගත්. අපි එක් වෙලා සම්පූර්ණයෙන්ම කොරෝනාවෛරසය පරාජය කරනවා,” යනුවෙන් අගමැති මෝදි පැවසීය.

    “කොරෝනා පරාජය කළ හැක්කේ ඔබ ආරක්ෂිතව සිටීමෙන් පමණයි, මීටර් දෙකක සමාජ දුරස්ථභාවය පවත්වා ගැනීම සහ මුඛ ආවරණ පැළඳීම ඉෂ්ඨ කළ යුතුයි.”

    හිටපු ජනාධිපති අභාවප්‍රාප්ත වෙයි

    Pranab Mukherjee as president
    ජනාධිපති සමාව ලබා දෙන ලෙස මරණ දණ්ඩනය ලබා සිටි පුද්ගලයන් විසින් ඉදිරිපත් කරන ලද පෙත්සම් 30 ක් ප්‍රනාබ් මුඛර්ජි විසින් ප්‍රතික්ෂේප කරනු ලැබ තිබිණි

    මේ අතර කොරෝනාවෛරසය ආසාදනය වී ඇතැයි තහවුරු වී දින 21 කට පසු ඉන්දියාවේ හිටපු ජනාධිපතිවරයෙකු වූ ප්‍රනාබ් මුඛර්ජි අභාවප්‍රාප්ත වී තිබේ.

    84 වෙනි වියේ පසු වූ හිටපු ජනාධිපතිවරයා මොළයේ කැටියක් ඉවත් කිරීම සඳහා රෝහල් ගත කර තිබිණි. ඔහුට කෝවිඩ්-19 ආසාදනය වී ඇති බව එහිදී සොයා ගනු ලැබිණි.

    2012 සහ 2017 ජනාධිපති ධුරයේ කටයුතු කිරීමට පෙර සිය 51 ක් වසරක දේශපාලන ජීවිතය තුළ ඔහු වැදගත් ධුර ගණනාවක් හොබවා තිබේ.

    මුදල්, විදේශ කටයුතු සහ ආරක්ෂක යන අමාත්‍ය ධුර ද ඒ අතර වේ.

    ප්‍රනාබ් මුඛර්ජිගේ පුතා අභිජිත් ට්විටර් පණිවුඩයක් නිකුත් කරමින් සිය පියාගේ මරණය තහවුරු කර තිබිණ.

    ජාත්‍යන්තර මූල්‍ය අරමුදල සහ ලෝක බැංකුවේ මණ්ඩලයන්හි ද ඔහු සේවය කර තිබිණි.

    by – bbc

  • ප්‍රේමලාල් ජයසේකර පාර්ලිමේන්තුවේ අසුන් ගැනීම: ‘නීතිපති හා ආණ්ඩුවේ ප්‍රබලයින් අතර මත ගැටුම්’

    ප්‍රේමලාල් ජයසේකර පාර්ලිමේන්තුවේ අසුන් ගැනීම: ‘නීතිපති හා ආණ්ඩුවේ ප්‍රබලයින් අතර මත ගැටුම්’

    මේ අතර, මාධ්‍ය හමුවක් අමතමින් ජල සම්පාදන අමාත්‍යය වාසුදේව නානායක්කාර පැවසුවේ ප්‍රේමලාල් ජයසේකර පාර්ලිමේන්තු එන්නේ ද, නැද්ද යන්න නීතිපතිවරයාට තීරණය කළ නොහැකි බවයි.

    මරණ දඬුවම නියමව සිටින ප්‍රේමලාල් ජයසේකර මන්ත්‍රීවරයාට පාර්ලිමේන්තුවේ අසුන් ගැනීමට හෝ ඡන්දය භාවිත කිරීමට නොහැකි යයි නීතිපතිවරයා පාර්ලිමේන්තු මහ ලේකම්වරයාට, අධිකරණ අමාත්‍යාංශයට සහ බන්ධනාගාර කොමසාරිස් ජනරාල් වරයාට සිය මතය දැන්වූ බව නීතිපති දප්පුල ද ලිවේරා මාධ්‍ය සම්බන්ධීකාරකවරිය, රජයේ අධිනීතිඥ නිෂාරා ජයරත්න සඳහන් කළාය.

    “ප්‍රේමලාල් ජයසේකර යන අය මරණ දණ්ඩනයකට යටත්ව ඇති බැවින් ඔහු පාර්ලිමේන්තුවේ අසුන්ගැනීමට හෝ ජන්දය ලබාදීමට සුදුස්සෙකු නොවන බවට ගරු නීතිපති තුමාගේ මතය 2020/8/19 වන දින පාර්ලිමේන්තුවේ මහලේකම් වරයා වෙතත් බන්ධනාගාර කොමසාරිස් ජනරාල් වරයා වෙතත් සහ අධිකරණ අමාත්‍යංශයේ ලේකම් වරයා වෙතත් දන්වා යව තිබෙනවා,” යනුවෙන් ද රජයේ අධිනීතිඥ නිෂාරා ජයරත්න සඳහන් කළාය.

    “මරණ දඬුවමට යටත් වූ චුදිතයෙකු හට අභියාචනයකට යටත්ව ඇප ලබාදීමට කිසිදු නීතිමය තත්වයක් නෑ. අපරාධ නඩු විධාන සංග්‍රහයේ 333, 4 වගන්තියට යටත්ව මරණ දඬුවමට ලක් ව අභියාචනයකට යටත්ව සිටින චුදිතයෙකුට මරණ දඬුවම ක්‍රියාත්මක වීම පමණක් නැවැත්වෙන අතර දැනට පවතින නීතිමය රාමුව තුළ ඔහුගේ වරදකරු වීම නොවෙනස්ව පවතිනවා.”

    කතානායක නියෝගය

    ඇය වැඩිදුරටත් පැවසුවේ ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ 91/1 (අ) අනුව්‍යවස්ථාව ප්‍රකාරව යම්කිසි තැනැත්තෙකු 89 වන අනු ව්‍යවස්ථාවේ දක්වා ඇති කවර වූ හෝ නුසුදුසු කමකට යටත් වේනම් නැතහොත් එවන් නුසුදුසු කමකට භාජනය වුවහොත් ඒ තැනැත්තා පාර්ලිමේන්තු මන්ත්‍රී වරයෙකු වශයෙන් පත්කර ගැනීමට හෝ පාර්ලිමේන්තුවේ අසුන් ගැනීමට සහ පාර්ලිමේන්තුවේ ජන්දය දීමට සුදුස්සෙකු නොවන බවය.

    කතානායක මහින්ද යාපා අබේවර්ධන

    ඒ අනුව ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ 89 (ඈ) අනු ව්‍යවස්ථාවෙන් සඳහන් වන්නේ යම් තැනැත්තෙකු මරණ දණ්ඩනයට යටත්ව සිටීනම් එය ඔහුගේ ජන්ද බලය පවා අහිමි වීමට හේතුවන කාරණයක් බවය.

    මේ අතර, මාධ්‍ය හමුවක් අමතමින් ජල සම්පාදන අමාත්‍යය වාසුදේව නානායක්කාර පැවසුවේ ප්‍රේමලාල් ජයසේකර පාර්ලිමේන්තු එන්නේ ද, නැද්ද යන්න නීතිපතිවරයාට තීරණය කළ නොහැකි බවයි.

    පසුගියදා පැවති මහ මැතිවරණයේ දී රත්නපුර දිස්ත්‍රික්කයෙන් තේරී පත් වූ ප්‍රේමලාල් ජයසේකර මන්ත්‍රීවරයාට පාර්ලිමේන්තුවට පැමිණීම සඳහා පහසුකම් සපයන ලෙස බන්ධනාගාර දෙපාර්තමේන්තුවට නියෝග කළ බව කථානායක මහින්ද යාපා අබේවර්ධන පසුගිය සතියේ පාර්ලිමේන්තුවට දැනුම් දුන්නේය.

    දැනට මරණ දඬුවම නියමව සිටින ප්‍රේමලාල් ජයසේකර මහ මැතිවරණයේ දී ශ්‍රී ලංකා පොදුජන පෙරමුණෙන් තරග කර මනාප ඡන්ද 142,037 ක් ලබාගෙන රත්නපුර දිස්ත්‍රික්කයේ දෙවන ස්ථානයට පත්විය. එහෙත් ඔහුට පාර්ලිමේන්තු මන්ත්‍රීවරයෙකු වශයෙන් දිවුරුම් දිය හැකිද, නැද්ද යන්න අවධානයට ලක්විය.

    2015 ජනාධිපතිවරණයේ දී මනුෂ්‍ය ඝාතනයක් සම්බන්ධයෙන් මැතිවරණයට පෙර ඔහුට මරණ දඬුවම නියම කෙරිණ.

    තේරී පත්වූ මන්ත්‍රී වරුන්ගේ නම් ඇතුළත් ගැසට් නිවේදනයේ ඔහුගේ නම ද ඇතුළත් වීමත් සමගම ප්‍රේමලාල් ජයසේකරට පාර්ලිමේන්තුවට පැමිණීම සඳහා අවසර දෙන මෙන් බන්ධනාගාර දෙපාර්තමේන්තුවට මෙයට පෙර දැනුම් දී ඇතැයි වාර්තා පළවිය. කෙසේ වුවත් පාර්ලිමේන්තුවට පැමිණ දිවුරුම් දීමට ඔහුට මෙතෙක් අවස්ථාව ලැබී නැත.

    කොළඹ දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී ප්‍රේමනාත් සී දොලවත්ත කථානායකවරයාගේ අවධානයට යොමු කරමින් පැවසුවේ ප්‍රේමලාල් ජයසේකරට පාර්ලිමේන්තු සැසිවලට සහභාගි නොහැකි වීම, ඔහුගේ ඡන්ද කොට්ඨාසයේ ජනතාවගේ පාර්ලිමේන්තුවේ නියෝජනය අහිමි කිරීමකට සමාන බවය. තීන්දුවට එරෙහිව ප්‍රේමලාල් ජයසේකර අභියාචනාධිකරණයට අභියාචනයක් ඉදිරිපත් කර ඇති අතර, ඔහු පාර්ලිමේන්තුවට පැමිණීම වැළැක්වීමේ අධිකරණ නියෝගයක් නොමැති බවත් ප්‍රේමනාත් දොලවත්ත මන්ත්‍රීවරයා තවදුරටත් පැවසීය.

    “ඔහු අභියාචනාධිකරණයේ නඩුව ජය ගනු ඇතැයි සිතමු. නමුත් එතෙක් ඔහුට ඡන්දය දුන් ජනතාව මෙහි නියෝජනය නොවේ. එය විශාල අනතුරකි. පාර්ලිමේන්තු ක්‍රියාවලිය අධිකරණ නියෝගයකට බැඳී නොමැති බවට 2001 ජුනි 20 වන දින හිටපු කථානායක අනුර බණ්ඩාරනායක මහතා විසින් එවැනිම කාරණයක් සම්බන්ධයෙන් දුන් තීන්දුවක් මම සභාපතිවරයාගේ අවධානයට යොමු කරමි,” යනුවෙන් ද ප්‍රේමනාත් සී දොලවත්ත මන්ත්‍රීවරයා පැවසීය.

    BY BBC

  • වෙබ් මාධ්‍යවේදී ඩෙස්මෑන් චතුරංග ද අල්විස් අත්අඩංගුවට

    වෙබ් මාධ්‍යවේදී ඩෙස්මෑන් චතුරංග ද අල්විස් අත්අඩංගුවට

    වෙබ් මාධ්‍යවෙදියෙකු වන ඩෙස්මෑන් චතුරංග ද අල්විස් මහතා අද(31) පස්වරුවේ අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව අත්අඩංගුවට ගෙන තිබේ.

    අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ නිලධාරීන් අද පස්වරුවේ ඩෙස්මෑන් චතුරංග ද අල්විස් මහතා අත්අඩංගුවට ගෙන ඇත්තේ බොරලැස්ගමුවේ ඔහු පදිංචිව සිටි නිවසේදීයි.

    අල්විස් මහතාට අයත් පරිගණක යන්ත්‍ර හා ජංගම දුරකතනද අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ නිලධාරීන් සිය භාරයට ගෙන ඇත

    අධිකරණයට හා අධිකරණ ධූරාවලියට අපහාස හා බාධාවන අයුරින් පුවත් පලකළ බවට චෝදනා කරමින් ඔහු අත්අඩංගුවට ගත් බව ඔහුගේ බිරිද සදහන් කලාය.

  • දිළිඳුකම පිටුදකිමින් අඩු අදායම්ලාභීන්ට රැකියා ප්‍රදානය  සැප්තැම්බර් 02 ඇරඹේ

    දිළිඳුකම පිටුදකිමින් අඩු අදායම්ලාභීන්ට රැකියා ප්‍රදානය සැප්තැම්බර් 02 ඇරඹේ

    දිළිඳු පවුල් ලක්ෂයකට රැකියා ප්‍රදානය කිරීමේ වැඩපිළිවෙළ සැප්තැම්බර් 02දා  ඇරඹේ.

    රජය විසින් පිහිටුවා ඇති බහුකාර්ය සංවර්ධන කාර්ය සාධක බලකාය මගින් අඩු අදායම්ලාභී සහ නිපුණතාවක් රහිත ජන කොටස් ආර්ථිකමය වශයෙන් ශක්තිමත් කිරීම  වැඩසටහනෙහි අරමුණයි.

    • රැකියාලාභීන් තෝරාගෙන ඇත්තේ පහත සඳහන් සුදුසුකම්වලට අනුවය.
    • කිසිදු අධ්‍යාපනයක් නොලද හෝ අ.පො.ස සාමාන්‍ය පෙළට අඩු අධ්‍යාපනික මට්ටමක සිටින නුපුහුණු ශ්‍රමිකයින් වීම.
    • අයැදුම්පත් කැඳවනු ලබන අවසන් දිනට වයස අවු.18ට නොඅඩු හා 40ට නොවැඩි වීම.
    • සමෘද්ධි සහනාධාර ලැබීමට සුදුසු එහෙත් නොලබන පවුලක රැකියා විරහිත සාමාජිකයෙකු වීම හෝ සමෘද්ධි සහනාධාර ලබන පවුලක එහෙත් රැකියා විරහිත සාමාජිකයෙකු වීම.
    • වයස්ගත, රෝගතුර දෙමාපියන් හෝ ආබාධිත සාමාජිකයන් සිටින පවුලක රැකියා විරහිත සාමාජිකයෙකු වීම.
    • අයැදුම් කරන ප්‍රදේශයේ ස්ථීර පදිංචිකරුවෙකු වීම.
    • පුහුණුව සඳහා තෝරා ගැනීම.
    • එක් පවුලකින් ඉහත සුදුසුකම් සපුරා ඇති ඉල්ලුම්කරුවෙකු ගැන පමණක් සලකා බලනු ලැබේ.
    • අයැදුම්කරුවන් පදිංචි ගම් ආශ්‍රිත ප්‍රදේශවල පවතින රැකියා අවස්ථා සහ අයැදුම්කරුවන් ඉල්ලා ඇති පුහුණු ක්ෂේත්‍ර සියල්ලම සැලකිල්ලට ගෙන අදාළ වෘත්තීය පුහුණුව තීරණය කෙරේ.
    • තමා පදිංචි ප්‍රදේශය තුළ හෝ ආසන්න ප්‍රදේශවල හෝ ඇති පුහුණු මධ්‍යස්ථානවලදී  පුහුණුව  ලැබේ.
    • සාර්ථක පුහුණුවකින් පසු පදිංචි ප්‍රදේශයේ හෝ ආසන්න ප්‍රදේශවල හෝ රැකියා නියුක්ත කෙරේ.
    • වැටුප් හා දීමනා
    • මාස හය (6) ක අඛණ්ඩ පුහුණු කාලය තුළ මසකට රු 22,500.00ක දීමනාවක් හිමි වෙයි.  පුහුණුව සාර්ථකව නිම කිරීමෙන් පසු තමා පුහුණුව ලැබූ ක්ෂේත්‍රයට අදාළව, සිය ස්ථීර පදිංචි ප්‍රදේශය තුළ රජයේ අනුමත ප්‍රාථමික ශිල්පීය නොවන වැටුප් (රු.35,000) හා දීමනා හිමි රජයේ ස්ථීර තනතුරකට පත්වීමට පුහුණුලාභීන්ට අවස්ථාව ඇත. වසර 10ක සතුටුදායක අඛණ්ඩ සේවා කාලයක් සපුරාලීමෙන් පසු රජයේ විශ්‍රාම වැටුප් හිමිකම ලැබේ.

    අදාළ ක්ෂේත්‍ර සඳහා රැකියා ප්‍රදානය ඉහත නිර්නායක මත පමණක් සිදු කෙරෙන අතර, රැකියාලාභීන් යම් තැනැත්තෙකුට මුදලක් හෝ කිසියම් ආකාරයක අල්ලසක් දීම රැකියා අවස්ථාව ප්‍රතික්ෂේපවීමට හේතුවකි.

  • ගොවීන්ගේ ආදායම වෙනුවෙන් ‘පටිතදකර ගන්නා ලෙස’ ජනපති ජනතාවට කියයි

    ගොවීන්ගේ ආදායම වෙනුවෙන් ‘පටිතදකර ගන්නා ලෙස’ ජනපති ජනතාවට කියයි

    ඉදිරියට තැබූ පියවර පස්සට නොගෙන, ගත් තීරණ ස්ථිර ප්‍රතිපත්තියක සිට ක්‍රියාත්මක කර ජීවන වියදම පහත හෙළන බව ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා අවධාරණය කරයි.

    දේශීය කෘෂිකර්මාන්තය සහ ගොවි ජනතාව නඟා සිටුවීමට ගත් තීරණ හේතුවෙන් කහ ඇතුළු පරිභෝජන භාණ්ඩ කිහිපයක මිල ඉහළ ගොස් තිබේ. මිල පාලනයට හෝ පහත හෙළීමට කහ සහ සෙසු භාණ්ඩ ආනයනය කළහොත් කිසිදු දවසක අපේක්ෂිත අරමුණට ළඟා විය නොහැකි බව ජනාධිපතිවරයා පෙන්වා දෙයි.

    කෙටි කාලීන අපහසුතාවට පත් වුවද ග්‍රාමීය ආර්ථිකය ශක්තිමත් කරමින් ගොවි ජනතාව නඟා සිටුවීමට ගත් පියවර ආපස්සට නොගන්නා බව ජනාධිපතිවරයා කියා සිටී.

    අද (31) දහවල් ජනාධිපති කාර්යාලයේ පැවති ජීවන වියදම් පිළිබඳ අමාත්‍ය මණ්ඩල අනුකාරක සභාවේ මංගල රැස්වීමේදී ජනාධිපතිවරයා මේ බව සඳහන් කළේය.

    අත්‍යාවශ්‍ය භාණ්ඩ කිහිපයක මිල ඉහළ යාමෙන් නාගරික මධ්‍යම පාන්තිකයන්ගේ ආර්ථිකයට එල්ල වී ඇති බලපෑම පිළිබඳව දීර්ඝව සාකච්ඡා කෙරිණ.

    40%ක් පමණ වන ග්‍රාමීය ගොවි ජනතාවට ස්ථීර සහ ප්‍රමාණවත් ආදායමක් උපයා ගැනීමට නම් තම අස්වැන්නට ඉහළ මිලක් සහ ස්ථාවර වෙළඳපොළක් රට තුළ පවතින බවට විශ්වාසය තහවුරු කළ යුතුය. එසේ නොකර ග්‍රාමීය ජනතාව කෘෂිකර්මාන්තය සඳහා දිරිගැන්විය නොහැකි බව සඳහන් කළ ජනාධිපතිවරයා පනවා ඇති ආනයන සීමාවන් ඉවත් කිරීමේ අසීරුතාව පෙන්වා දුන්නේය.

    විදේශ විනිමය අනුපාතය පාලනයට සහ ඉහළ ණය බරින් මිදීමටත්, ආනයනය  සීමා කළ යුතු බව ජනාධිපතිතුමා පැවසීය. ඉන්දියාව සහ ඇමරිකාව වැනි රටවල් ද කොවිඩ් වසංගතයත් සමග ආනයනය සීමා පනවා ඇති බව ජනාධිපති විසින් පෙන්වා දෙනු ලැබිණ.

    දුප්පත්කම පිටුදැකීමට ක්‍රියාත්මක රැකියා ලක්ෂයෙන් අඩු ආදායම්ලාභීන්ගේ ආර්ථිකය ශක්තිමත් කිරීම අපේක්ෂා කෙරේ. සමෘද්ධිලාභීන්ගේ පෝෂණයට ඒ අය දායක කරගත යුතුය. ගෙවතු වගාව සහ බිත්තර සඳහා කුකුලන් දීම මගින් ඔවුන්ගේ පෝෂණ සහ ජීවන මට්ටම ඉහළ නැංවිය හැකිය.

    භාණ්ඩ මිල ඉහළ යාමේදී නාගරික මධ්‍යම පාන්තිකයන් මුහුණ පාන ගැටළු සඳහා විසදුම් දීමට විධිමත් වැඩපිළිවෙළක අවශ්‍යතාව ජනාධිපතිවරයා අවධාරණය කළේය. කොවිඩ් වසංගතයත් සමග ගොවි අස්වැන්න සහන මිලකට සෘජුව පාරිභෝගිකයා වෙතම ලබාදීමට රජය පියවර ගත්තේය. එම ක්‍රමවේදය අනුගමනය කිරීමෙන් අතරමැදියන්ගෙන් සූරා කෑම වළක්වා ගොවියාත් පාරිභෝගිකයාත් ආරක්ෂා කරගත හැකි බව ජනාධිපතිවරයා සඳහන් කළේය.

    ග්‍රාමීය ජනතාවගේ ආර්ථිකය ශක්තිමත් කිරීමත්, නාගරික ජනතාව ඉහළ  ජීවන බරින් නිදහස් කිරීමත් සමගාමීව සිදුවිය යුතු බව  ජනාධිපති පෙන්වා දුන්නේය.

    ඒ සඳහා සතොස, සමූපකාර, ගොවිජන සේවා මධ්‍යස්ථාන සහ ආරක්ෂක අංශවලද  සහාය ඇතිව ගොවි අස්වැන්න සෘජුව පාරිභෝගිකයා වෙතම බෙදාහැරීමට පියවර ගැනීම කෙරෙහි අවධානය යොමුවිය.

    රට පුරා ව්‍යාප්ත ආර්ථික මධ්‍යස්ථාන නිවැරදි ක්‍රමවේදයකට අනුගත කර ගොවි අස්වැන්න මිලදී ගැනීමේ ක්‍රමවේදයක් සැකසීම කෙරෙහිද ජීවන වියදම් අනුකාරක සභාව සාකච්ඡා කළේය.

    සතියකට වතාවක් වෙළෙඳපොළ තත්ත්වය පිළිබඳව තමාව දැනුවත් කරන ලෙස ජනාධිපති විසින් නිලධාරීන්ට උපදෙස් දෙනු ලැබිණ.

    ජාතික හා දිස්ත්‍රික් වශයෙන් පුද්ගලයෙකුට අවශ්‍ය ආහාර ප්‍රමාණය හඳුනාගැනීම, ප්‍රාදේශීය ලේකම් කොට්ඨාශ මගින් ගෙවතු වගා කළමනාකරණය සහ කුකුල් පාලනය ප්‍රචලිත කිරීම කෙරෙහි ඉදිරි පියවර ගත යුතු යැයි ආර්ථික පුනර්ජීවනය පිළිබඳ ජනාධිපති කාර්ය සාධක බලකායේ ප්‍රධානී බැසිල් රාජපක්ෂ මහතා පැවසීය.

    කව්පී, උඳු, රට කජු, තල, කුරක්කන් සහ ළූණු වගාවන් සාර්ථක වී ඇති නිසා ඉදිරියේදී ඒවා ආනයනය අවශ්‍ය නොවන බවද නිලධාරීහූ පෙන්වා දුන්හ.

    අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මැතිතුමා, බන්දුල ගුණවර්ධන, රමේෂ් පතිරණ, මහින්දානන්ද අළුත්ගමගේ යන අමාත්‍යවරුන් සහ රාජ්‍ය අමාත්‍යවරුන් වන අරුන්දික ප්‍රනාන්දු, ශෂින්ද්‍ර රාජපක්ෂ, ලසන්ත අලගියවන්න මහත්වරු සහ ජනාධිපති ලේකම් පී.බී. ජයසුන්දර මහතා ඇතුළු අමාත්‍යාංශ ලේකම්වරු සහ නිලධාරීහූ සාකච්ඡාවට එක්ව සිටියහ.

     ( ඡායාරූප : ඩී. සමරකෝන් – ජනාධිපති මාධ්‍ය අංශය )

  • ඌව සහ වයඹ පළාත් ආණ්ඩුකාරවරු පළාත් මාරු කර ගනී

    ඌව සහ වයඹ පළාත් ආණ්ඩුකාරවරු පළාත් මාරු කර ගනී

    වයඹ පළාත් ආණ්ඩුකාර ධූරය දැරූ ඒ.ජේ.එම්. මුසම්මිල් මහතා ඌව පළාත් ආණ්ඩුකාරවරයා ලෙසත්, වයඹ පළාත් ආණ්ඩුකාර ධුරය දැරූ රාජා කොල්ලුරේ මහතා වයඹ පළාත් ආණ්ඩුකාවරයා ලෙසත් අද (31) පෙරවරුවේ ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා ඉදිරියේ සිය ධූරයේ දිවුරුම් දුන්හ.

  • Covid-19 මර්දනයට ශ්‍රී ලංකා රජය අනුගමනය කළ ක්‍රියාපිළිවෙතට චීන රජයෙන් පැසසුම්

    Covid-19 මර්දනයට ශ්‍රී ලංකා රජය අනුගමනය කළ ක්‍රියාපිළිවෙතට චීන රජයෙන් පැසසුම්

    සෞඛ්‍ය අමාත්‍ය පවිත්‍රා වන්නිආරච්ච් මහත්මිය සහ ශ්‍රී ලංකාවේ වැඩ බලන චීන  තානාපති Hu Wei මහතා අතර විශේෂ හමුවක්  පසුගියදා සෞඛ්‍ය අමාත්‍යාංශයේ දී පැවැත්විනි. මෙහිදී කොරෝනා වෛරසය රට තුල පැතිරීම පාලනය සහ වැළැක්විම සදහා රජය ගෙන වැඩ වැඩපිළිවෙල සහ ක්‍රියාත්මක සෞඛ්‍ය සේවා ශක්තිමත් කිරීම, දෙරට අතර සබඳතා ඉහළ නැංවීම පිළිබදව සාකච්ඡා කෙරිනි.

    මෙම හමුවේ දී ශ්‍රී ලංකාවේ වැඩබලන චීන  තානාපති Hu Wei මහතා පවසා සිටියේ චීනය ඉතා දරුණූ ව්‍යසනයකට ලක්ව සිටි පසුගිය කාලය තුල ශ්‍රී ලංකා රජය ලබාදුන් සහයෝගය චීන ජනපතිගේ සහ චීන ජනතාවගේ පැසසුමට ලක්ව ඇති බවයි. 

    ශ්‍රී ලංකා රජය සහ සෞඛ්‍ය අංශ කොරෝනා වෛරසය මර්දනය කිරීම සදහා අනුගමනය කළ ක්‍රියාපිළිවෙත පිළිබදව චීන රජයේ අවධානය යොමුව ඇති බවත්, චීන රජය ඒ පිළිබද ඉතා පැහැදීමට ලක්ව  ඇති බවද ප්‍රකාශ කරන ලදි. පසුගිය සමය තුල චීන රජය නිරන්තරයෙන් මෙරටට ආධාර උපකාර සිදු කළ බවත්, මෙරට සෞඛ්‍ය සේවාවේ ඉදිරි ප්‍රගමනයටත්, කොවිඩ් වෛරසය හේතුවෙන් ඉදිරියේ දී ගැටළුකාරි තත්ත්වයන් ඇතිවුවහොත් සහ නව රජයේ ඉදිරි වැඩපිළිවෙල සදහා සියළු සහයෝගය ලබාදීමට කටයුතු කරන බව ද ප්‍රකාශ කරන ලදි. 

    පැවැති ව්‍යසනයේ දී ශ්‍රී ලංකාවේ සෞඛ්‍ය  අමාත්‍යවරිය වශයෙන් සිය කාර්ය උපරිමයෙන් සිදු  කොට බවත්, එම වැඩපිළිවෙල ඉදිරියට ගෙනයාමින් ශ්‍රී ලංකාවේ සෞඛ්‍ය සේවාව තවත් ඉහළ නැංවීමට සෞඛ්‍ය අමාත්‍යතුමියට නැවැත අවස්ථාව ලැබී ඇති බව ද ශ්‍රී ලංකාවේ වැඩබලන චීන  තානාපති Hu Wei මහතා පවසා වැඩිදුරටත් පැවැසීය. 

    සෞඛ්‍ය අමාත්‍යවරිය විසින් මෙහිදී ප්‍රකාශ කරන ලද්දේ ජනාධිපතිතුමාගේ සහ අගමැතිතුමාගේ  උපදෙස් පරිදි ශ්‍රී ලංකා රජය සහ සෞඛ්‍ය අංශ වෛරසය මැඩපැවැත්වීමට තීන්දු තීරණ ගෙන ක්‍රියාත්මක කළ බවයි. විනයගරුක ජාතිකයින් ලෙස චීන ජාතිකයින් ශ්‍රී ලංකාව තුල ක්‍රියාත්මක කළ සෞඛ්‍ය ආරක්ෂිත ක්‍රමවේදයන් සහ නිරෝධායන නීතිරීති නිසි පරිදි  පිළිපැදීම සෞඛ්‍ය අමාත්‍යවරිය ලෙස තමා ඉතා අගය කොට සළකන කරුණක් බවත්,  චීන ජාතිකයින්ගේ එම ආදර්ශමත් හැසිරීම වෛරසය පැතරයාම පාලනයට මනා පිටුවහළක් වූ බවත්, කිසිදු අයුරකින් වෛරසය පැතිරයාමට ඔවුන් ඉඩක්  ලබානොදුන් බව ද අවධාරණය කරන ලදි. ඒ පිළිබද චීන රජයටත්, චීන ජාතිකයින්ටත් සිය ස්තූතිය පුද කිරීමට මෙය අවස්ථාවක් කර ගන්නා බව ද, චීන රජය පැවැති ව්‍යසනකාරි තත්ත්වය තුල ද මෙරටට විශාල වශයෙන් ආධාර උපකාර සිදු කිරීම පිළිබදව ද සිහිපත් කරන ලදි. චීනය සමග ශ්‍රී ලංකාව සැමදාම අත්වැල් බැදගෙන සිටින බව සෞඛ්‍ය අමාත්‍යතුමිය මෙහිදී වැඩිදුරටත් ප්‍රකාශ කරන ලදි.

    මෙම අවස්ථාවට සෞඛ්‍ය ලේකම් මේජර් ජනරාල් වෛද්‍ය සංජීව මුණසිංහ මහතා ද එක්ව සිටියහ.

  • තරබාරු නම් ප්‍රවේශම් වන්න – කොවිඩ් මාරයා ඔබට වඩාත් සමීපයි

    තරබාරු නම් ප්‍රවේශම් වන්න – කොවිඩ් මාරයා ඔබට වඩාත් සමීපයි

    තරබාරු පුද්ගලයින්ට කොවිඩ්-19 ආසාදනය වීම සහ ඒ නිසා රෝහල් ගතවීමට සිදුවීමේ අවදානම දෙගුණයක් වන අතර මිය යාමේ අවදානම 50% කින් පමණ වැඩි බව උතුරු කැරොලිනා විශ්වවිද්‍යාලයේ පෝෂණ දෙපාර්තමේන්තුවේ පර්යේෂකයින් විසින් සිදුකළ නවතම අධ්‍යයනයකින් හෙළි වී තිබේ.

    පර්යේෂණ කණ්ඩායම, රෝගීන් 400,000 කට ආසන්න සංඛ්‍යාවක් ඇතුළුව, ලෝකය පුරා සිදුකරන ලද පර්යේෂණ 75ක දත්ත සොයා බැලීය.

    තරබාරුකම දියවැඩියාව සහ අධි රුධිර පීඩනය වැනි වෙනත් රෝග සඳහා වැඩි ඉඩක් නිර්මාණය කරන බව එක්සත් ජනපද පර්යේෂකයෝ පවසති.

    ඉහත රෝග තත්ත්ව නිසා නිර්මාණය වන දුර්වල ප්‍රතිශක්තිකරණය කොවිඩ් අවදානම ඉහළ දැමීමට ඍජුව බලපාන බවත් කොවිඩ් වෛරසයට එරෙහි එන්නතක් සොයා ගැනීමට අවස්ථාව ලැබුණහොත් එය තරබාරු පුද්ගලයින්ට එතරම් ඵලදායී නොවනු ඇති බවත් ඔවුහු පෙන්වා දෙති.

    පර්යේෂණ වාර්තාවේ මෙසේ ද සදහන් වේ.

    ‘කොවිඩ්-19 ආසාදිත සාමාන්‍ය පුද්ගලයින් (තරබාරු නැති) රෝහල්ගත වීමට වඩා තරබාරු පුද්ගලයින් කොවිඩ් ආසාදනය නිසා රෝහල්ගත වීම 200%කින් වැඩි බව අප සොයා ගත්තා. තරබාරු පුද්ගලයින් දැඩි සත්කාර ඒකකයට ඇතුළත් කිරීමේ ප්‍රතිශතය 74%ක් වන අතර කොවිඩ් ආසාදනය නිසා තරබාරු පුද්ගලයින් මියයාමේ අවධානමත් ඉතාම ඉහළ බව අප මේ පර්යේෂණයේදී සොයා ගත්තා‘

    එක්සත් රාජධානියේ කරන ලද අධ්‍යයනයන් මගින් ද අධික තරබාරු පුද්ගලයින් අතර මෙවැනිම අවධානමක් හදුනාගෙන ඇති අතර තරබාරුකම මැඩපැවැත්වීම සදහා නව ක්‍රියාමාර්ග හඳුන්වා දීමට රජයට බලපෑම් එල්ල වෙමින් ඇත.

    උතුරු කැරොලිනා විශ්ව විද්‍යාලයේ පෝෂණ දෙපාර්තමේන්තුවේ අධ්‍යයනයට නායකත්වය දුන් මහාචාර්ය බැරී පොප්කින් පැවසුවේ තරබාරු වීම සහ කෝවිඩ් -19 ඇතිවීමේ අවදානම “බලාපොරොත්තු වූවාට වඩා වැඩි” බවයි.

    ‘ අධික තරබාරුකම සහ ආහාර අතර ඍජු සම්බන්ධයක් තිබෙනවා. සීනි අධික ආහාර, සැකසූ ආහාර මීට ඍජුව දායක වෙනවා. ඒ නිසා මේ ආහාරවලින් තොර සෞඛ්‍ය සම්පන්න ආහාර ගැන ජනතාව වඩාත් සැලකිලිමත් විය යුතුයි‘ මහාචාර්ය බැරී පොප්කින් පැවසුවා.

    තරබාරුකම රෝග රැසකට සම්බන්ධ වන අතර කොවිඩ්-19 ආසාදනය වීම සහ එය උග්‍ර තත්ත්වයට පත්වීමට හේතු වෙයි. එය ශරීරයේ වැඩි ප්‍රදාහයක් ඇති කිරීමටත්, ආසාදනවලට එරෙහිව සටන් කිරීමට ශරීරයට ඇති හැකියාව අඩු කිරීමටත්, අනෙකුත් අවයව වලට වැඩි පීඩනයක් ඇති කිරීමටත්, හුස්ම ගැනීමටත් හේතු වේ.

    “කොවිඩ්-19ට එරෙහි එන්නතක් සොයා බලමින් සිටින පර්යේෂකයන් එය තරබාරු පුද්ගලයින්ට බලපාන්නේ කෙසේද යන්නත් සොයා බැලිය යුතුයි”

    තරබාරුකමෙන් ඉහළ ප්‍රතිශතයක් සහිත ජනගහනයක එන්නතක් භාවිතා කිරීමට සුදානම් වන විට එය අඩු ඵලදායී වනු ඇතැයි ඔහු විශ්වාස කරයි.

    ලොව පුරා ස්ථුලතාවය ඉහළ යාමත්, සෑම රටකම පාහේ ජනගහනයෙන් 20% ක් පමණ අධික බර හෝ තරබාරු පුද්ගලයින් වීමත් ගෝලීය සෞඛ්‍ය අවධානමක් නිර්මාණය කර ඇත. ( අධික තරබාරු හෝ තරබාරු ජනගහනය එක්සත් රාජධානියේ 66%ක් පමණ වේ)

    ‘මෙම කණ්ඩායම සදහා ප්‍රතිකාර හා එන්නත් ක්‍රියා කරන ආකාරය අවබෝධ කර ගැනීම තීරණාත්මක සාධකයක්. පොදුවේ ජනගහනයට බලපාන එන්නතක් සාර්ථක වේ යැයි සිතිය නොහැකියි. මොකද අධික තරබාරු පුද්ගලයින් කියලා සුවිශේෂ කොටසකුත් මේ අතර ඉන්නවා. ඔවුන් තමයි කොවිඩ් -19 හමුවේ වඩාත් අවධානම් කාණ්ඩය බවට පත්ව සිටින්නේ ‘මහාචාර්ය බැරී පොප්කින් පවසනවා.

    2020 අගෝස්තු 29 වැනි දින බී.බී.සී වාර්තාවක් ඇසුරිණි – සැකසුම – තීක්ෂණ වෙළෙන්එගොඩ

  • ‘සුදු අලින්ගේ සහ සුදු ඇතාගේ කතාව’ – කුසල් පෙරේරා

    ‘සුදු අලින්ගේ සහ සුදු ඇතාගේ කතාව’ – කුසල් පෙරේරා

    මේ දිනවල සුදු අලියෙක් ගැන කතාව ලොකුවට කෙරෙන්නකි. මෙවර එය ආරම්භ කෙරුවේ පළාත් සභා සහ පළාත් පාලන රාජ්‍ය ඇමති විශ්‍රාමික රෙයා අද්මිරාල් සරත් වීරසේකර මැතිතුමාය. ඔහු සිය අමාත්‍ය නිලධාරීන්ට පළාත් සභා පිළිබඳව පසුවිපරම් වාර්තාවක් හැකි ඉක්මණින් සකසා දෙන්න යැයි දන්වා ඇත.

    මේ වනවිට පළාත් සභා පිහිටුවා අවුරුදු 32 ක් වන හෙයින් පළාත් සභා මගින් බලාපොරොත්තු වූ සේවා හා අරමුණු ඉටුව ඇතිදැයි විමසා බැලිය යුතු බැව් රාජ්‍ය ඇමති වීරසේකර පවසා ඇත. පළාත් සභා 08 කින් ආරම්භ කෙරුණු පළාත් සභා ක්‍රමයෙහි දැන් පළාත් සභා 09 කි.

    පසුවිපරම වැදගත්ය. එය වැදගත් වන්නේ මේ විපරම කෙරෙන්නේ කවර කාරණා හා ක්ෂේත්‍ර අනුවද යන්න මතය. එය හුදෙක් මන්ත්‍රී සංඛ්‍යා, මැතිවරණ වියදම්, පුනරාවර්තන හා ප්‍රාග්ධන වියදම් ඇතුලු වාර්ෂික අය වැය වැනි කාරණා වලට සීමා කෙරෙන්නක් වුවහොත් එහි ප්‍රජාතන්ත්‍රවාදී ජනතා නියෝජනය පිළිබඳ දේශපාලනයේ වැදගත්කම අත හැරෙන්නේය. වියදම පෙන්වා පළාත් සභා සුදු අලියෙක් යැයි සමාජයේ කතා බහ වන්නේ පාර්ලිමේන්තුව නඩත්තු කිරීමට වාර්ෂිකව වැය කෙරෙන අතිශය විශාල ජනතා මුදල ගැන කතා නොකරය. එබැවින් “සුදු අලියා” ගැන කතාව ඉන් ඔබ්බට ගෙන යෑම වෙනනුවෙන් මෙය ලියන්නකි.

    විමධ්‍යගත පරිපාලනයක් සමග පළාත් සඳහාවන මධ්‍යම ආණඩුව සතු` වගකීම තම පළාත් වෙත ලබා දෙන මෙන් දිගු කාලයක සිට දෙමළ ජන සමාජයේ ඉල්ලීමක් තිබිණ. පළාත් සභා එයට දෙනු ලැබූ විසඳුමය. මෙය ප්‍රජාතන්ත්‍රවාදී පාලනයක, වඩා සමීප ජනතා නියෝජනයක් හදන්නකි. එය දකුණේ ජනතාවගේද ප්‍රජාතන්ත්‍රවාදය ශක්තිමත් කරගත හැකි නියෝජන ආයතනයකි. එහෙත් එය ඒ අරුතෙන් සැළකෙන්නේ නැත.

    පාර්ලිමේන්තුව සතු වූ විධායක හා ව්‍යවස්ථාමය වගකීම් සමූහයෙන් පළාත් මට්ටමින් කෙරෙන ප්‍රාදේශීය සැළසුම්, සංවර්ධන කාර්ය හා ඊට අදාල ආදායම් උත්පාදනය සහ නීති සම්පාදනය පළාත් සභා සඳහා දෙනු ලැබූයේ උතුරු නැගෙනහිර දෙමළ ජනතතාව දීර්ග කාලයක සිට ඔවුන්ගේ ප්‍රාදේශීය අවශ්‍යතා ඉටු නොවන්නේ යැයි ඒ වගකීම් ඔවුන්ගේ ප්‍රදේශයට ඉල්ලා සිටීමේ දේශපාලනය හේතුවෙනි. කෙටියෙන් කියන්නේ නම්, විමධ්‍යගත පරිපාලනයක් සමග පළාත් සඳහාවන මධ්‍යම ආණඩුව සතු` වගකීම තම පළාත් වෙත ලබා දෙන මෙන් දිගු කාලයක සිට දෙමළ ජන සමාජයේ ඉල්ලීමක් තිබිණ. පළාත් සභා එයට දෙනු ලැබූ විසඳුමය. මෙය ප්‍රජාතන්ත්‍රවාදී පාලනයක, වඩා සමීප ජනතා නියෝජනයක් හදන්නකි. එය දකුණේ ජනතාවගේද ප්‍රජාතන්ත්‍රවාදය ශක්තිමත් කරගත හැකි නියෝජන ආයතනයකි. එහෙත් එය ඒ අරුතෙන් සැළකෙන්නේ නැත.

    බලය කොළඹට කේන්ද්‍රවූ ආණ්ඩුව හැදීමට අවස්ථාවක් ඇතැයි සිතු හැම දේශපාලන පක්ෂයක්ම සහ පක්ෂ හවුලක්ම ඒ ආණ්ඩු පාලනයේ බලය පළාත් සමගින් බෙදා ගැනීමට සූදානම් නොවුනි. ඒ බලය ඉල්ලා සිටි දෙමළ දේශපාලනය මට්ටු කරන්නට ජයවර්ධන ආණ්ඩුව 1981 මැයි 31 වන දින දිස්ත්‍රික් සංවර්ධන සභා මැතිවරණය සමග යාපනය නගරය විනාශකර කීර්තිමත් යාපනය පුස්තකාලයද ගිණිබත් කළේය. දෑවුරුද්දකට පසු ආණ්ඩුවේ ප්‍රබල ඇමතිවරයෙකු වූ සිරිල් මැතිව්ගේ මැදිහත්වීමෙන් සංවිධානයකර දියත් කළ 1983 ජූලි දෙමළ සංහාරයෙන් විශාල දෙමළ පිරිසක් තමිල් නාඩුවේ සරණාගතයින් ලෙස කඳවුරුගත වූහ. එබැවින් ලාංකීය දෙමළ ජනතාව වනුවෙන් පෙනී සිටි තමිල්නාඩු ප්‍රාන්ත ආණ්ඩුව හා තමිල්නාඩු දේශපාලන පක්ෂවල උද්ඝෝෂණ නිදහසට හේතු ලෙස යොදා ගනිමින් ලාංකීය දේශපාලනයට අත පොවන්නට අවස්ථාවක් නව දිල්ලි ආණ්ඩුවට ලැබිණි. එහි පලයක් ලෙස 1987 ජූලියේ කොළඹදී අත්සන් තැබුණු ද්වී-පාර්ශවීය රාජ්‍ය ගිවිසුමට අනුව පළාත් සභා පිහිටුවීම සඳහා 13 වන ව්‍යවස්ථා සංශෝධනය සම්මත කිරීමට ජයවර්ධන ආණ්ඩුවට සිදු විය. ඒ ඉතිහාස කතාව ඉතා සංක්ෂිප්තව සටහන් කරන්නේ නම්, එළෙසය.

    පාර්ලිමේන්තුව සතු වූ වගකීම් හා කාර්යන්ගෙන් ප්‍රාදේශීය වගකීම් හා කාර්යන් සමූහයක් 1988 ආරම්භයේදී පාර්ලිමේන්තුවෙන් ඉවත්කර පළාත් සභා වෙත ව්‍යවස්ථානුකූලව බාර දෙන විට, 1977 ජූලි මැතිවරණයෙන් පත් කෙරුණු පාර්ලිමේන්තු නියෝජනය වූයේ මන්ත්‍රීවරුන් 168 කි. තවත් පැහැදිලි කරන්නේ නම්, 1977 දී පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් 168 ට බාර දෙනු ලැබූ වගකීම් වලින් පළාත් හා ප්‍රාදේශීය සංවර්ධන කාර්යන් සමූහයක් 1988 ආරම්භයේදී ඔවුන්ගෙන් ඉවත්කර ගනු ලැබිණ. එනිසා ඉතිරි වූ ජාතික හා විදේශ ප්‍රතිපත්ති සැකසීම, මුදල් නෝට්ටු මුද්‍රණය හා මහ බැංකුව සමග ගනුදෙනුව වැනි ජාතික හා ජාත්‍යන්තර වගකීම් වෙනුවෙන් මන්ත්‍රීවරුන් 168 ක විශාල පාර්ලිමේන්තුවක් තව දුරටත් අවශ්‍ය නොවීය. ඉතිරි වූ වගකීම් සඳහා එවැනි විශාල පාර්ලිමේන්තුවක් නඩත්තු කිරීම මහජන මුදල් නාස්තියක් විය.

    පළාත් සභා පිහිටුවීමේදී එය එළෙසින් සමාජ සංවාදයට ගනු ලැබුවේ නැත. එබැවින් තවදුරටත් මන්ත්‍රීවරුන් 168 ක් අවශ්‍ය නොවුනු පාර්ලිමේන්තුවකින් තවදුරටත් බාර නොවුනු වගකීම් සඳහාද ජනතා මුදල් වැය කළා පමණක් නොව, 1989 පෙබරවාරි මැතිවරණය වනවිට ඒ පාර්ලිමේන්තුව තවත් විශාල කිරීමට අපි ඔවුන්ටම ඉඩ දුන්නෙමු. එබැවින් මන්ත්‍රීවරුන් 225 ක් සමගින් අප දැන් නඩත්තු කරන්නේ අනවශ්‍ය තරම් විශාල, යෝධ සුදු ඇතෙකි.

    එහි ඇති විකෘතිය දැකිය හැක්කේ ඉන්දියානු හර්යානා ප්‍රාන්ත ආණ්ඩුව හා සැසඳීමෙනි. අපගේ සමස්ථ ජනගහනය මිලියන 22 ක් වන විට, හර්යානා ප්‍රාන්තයේ වත්මන් ජනගහනය මිලියන 28.6 කි. මේ මිලියන 28.6 ක ජනතාවගේ එදිනෙදා අවශ්‍යතා සහ අනාගත සංවර්ධන කාර්යන් සතු වගකීම් පවරා ඇති හර්යානා ප්‍රාන්ත ආණ්ඩුවට, ඔවුහු මන්ත්‍රීවරුන් 90 ක් ඡන්දයෙන් පත් කරති. ජාතික මට්ටමේ ඉතිරි වගකීම් හා ප්‍රතිපත්ති සකස් කෙරෙන මධ්‍යම ආණ්ඩුවෙහි ව්‍යවස්ථාදායකය වන ලොක් සභාවට නොහොත් ඉන්දීය පාර්ලිමේන්තුවට ඔවුන් තෝරා පත් කරන්නේ මන්ත්‍රීවරුන් 10 ක් පමණි. වගකීම් පැවරීමේදී ඔවුන්ගේ ගණන් හැදීමට අනුව හර්යානා ප්‍රාන්තයේ මිලියන 28.6 ක ජනතාවකගේ ජාතික මට්ටමේ වගකීම් වෙනුවෙන් ඔවුන්ව ලොක් සභාවෙහි නියෝජනය කිරීමට මන්ත්‍රීවරුන් 10 කු සිටීම ප්‍රමාණවත් ය. 

    ඉන්දියාවේ මිලියන 28.6 ක් ඉන්න හර්යානා ප්‍රාන්ත ජනතාව පාර්ලිමේන්තුවෙහි නියෝජනය කරන්නේ මන්ත්‍රීවරුන් 10 කි. ඔවුන් මන්ත්‍රීවරුන් 10 ක් නඩත්තු කරන කාර්යන් වෙනුවෙන් අපි මන්ත්‍රීවරුන් 225 ක් නඩත්තු කරන්නෙමු. 

    මේ ගණන් නිකමට බැලුවත් අපගේ පාර්ලිමේන්තු නියෝජනය මහා විකෘතියති. මිලියන 22 ක් ඉන්න රටේ පාර්ලිමේන්තුවෙහි මන්ත්‍රීවරුන් 225 කි. ඉන්දියාවේ මිලියන 28.6 ක් ඉන්න හර්යානා ප්‍රාන්ත ජනතාව පාර්ලිමේන්තුවෙහි නියෝජනය කරන්නේ මන්ත්‍රීවරුන් 10 කි. ඔවුන් මන්ත්‍රීවරුන් 10 ක් නඩත්තු කරන කාර්යන් වෙනුවෙන් අපි මන්ත්‍රීවරුන් 225 ක් නඩත්තු කරන්නෙමු. අපේ පාර්ලිමේන්තු නියෝජනය මන්ත්‍රීවරුන් 168 ක සිට අප 225 දක්වා විශාල කෙරුවේ, එය 1988 න් පසු තව කුඩා කළ යුතුව තිබියදී ය. එබැවින් මේ පාර්ලිමේන්තුව දැන් “සුදු ඇත් රාජයෙකි”. එහෙත් ඒ ගැන අපි එළෙසින් කතා නොකරන්නෙමු.

    මේ “සුදු ඇත් රජා” දෙස නොබලා අප කතා කරන්නේ පළාත් සභා “සුදු අලියා” ගැන පමණි. සැබෑය. එයද අනවශ්‍ය මන්ත්‍රී සභිකයින් සංඛ්‍යාවක් පත් කරන්නාවූ ආයතනයකි. මිලියන 22 ක ජනතාවක් වෙනුවෙන් රට පුරා පළාත් සභා 09 ට අපි පළාත් සභිකයින් 455 ක් පත්කර ගනිමු. හර්යානා ප්‍රාන්තයේ මිලියන 28.6 ක ජනතාවට ඇති ප්‍රාන්ත සභාවට පත් කෙරෙන්නේ ප්‍රාන්ත මන්ත්‍රීවරුන් 90 කි. මෙවායේ ඇති වෙනස බරපතල වෙනසකි.

    ඒ නියෝජන දෙස අප බැලිය යුත්තේ පසුගිය පළාත් පාලන මැතිවරණය සඳහා කිසිදු යතාර්ථවාදී තර්කනයකින් තොරව දෙගුණ කළ පළාත් පාලන ආයතන නියෝජිත සංඛ්‍යාවද පාර්ලිමේන්තුවේත් පළාත් සභාවේත් ඇති විකෘති නියෝජනය සමගින් එකට තබාය. පසුගිය 2018 පෙරවාරියේ සිට අපි ප්‍රාදේශීය, නගර හා මහ නගර සභාවල මන්ත්‍රී සභිකයින් 8,327 ක් නඩත්තු කරන්නෙමු. ඔවුන් එක් අයෙකු වෙනුවෙන් රුපියල් 15,000 ක දීමනාවක් සමගින් රුපියල් 20,000 ක් පමණ වන මාසික වියදමක් අපි දරන්නෙමු. එය වසරකට රුපියල් මිලියන 1,998.5 කි. ඒ පළාත් පාලන ආයතන කාර්යාල 340 ක නඩත්තුව නොමැතිව ය. ඊට පෙර 2011 සිට අප පළාත් පාලන ආයතනවල නඩත්තු කෙරුවේ 4,500 ක පමණ මන්ත්‍රී සභික සංඛ්‍යාවකි.         

    මෙවැනි බරවා රෝග නියෝජන මගින් ප්‍රජාතන්ත්‍රවාදයක් සහතික වන්නේ නැත. ප්‍රජාතන්ත්‍රවාදී පාලන තහවුරු වන්නේ ජනතා නියෝජනය සඳහා මන්ත්‍රී සංඛ්‍යාව වැඩි කිරීමෙන් නොවේ. එය තීන්දු වන්නේ පාර්ශවකරුවන්ගේ සහභාගිත්වය සඳහා ආයතනික ව්‍යුහයෙහි කෙතරම් ඉඩ තබන්නේද යන්න අනුවය. මැතිවරණ දෙකක් අතර, අවුරුදු 05 ක කාලයක් ඡන්දදායකයෙකු වශයෙන් රටවැසියා නිශ්ක්‍රීයව තැබෙන නියෝජිත ආයතන ව්‍යුහයන්ගේ මන්ත්‍රී සංඛ්‍යාව කෙතරම් වැඩි කළද ප්‍රජාතන්ත්‍රවාදයෙහි වැඩිවීමක් ඇති වන්නේ නැත. එවැනි ව්‍යුහයන්ගේ මන්ත්‍රී සංඛ්‍යාව වැඩි කිරිමෙන් සිදු වන්නේ නාස්තිය සමග දූෂණය වෙනුවෙන් ප්‍රජාතන්ත්‍රවාදය ක්‍රමානුකූලව හැකිලීම පමණි. දැන් සිදුවෙමින් ඇත්තේ එය ය.

    අප පිළිගත යුතු ඇත්ත කතාව නම්, වරද ඇත්තේ සංකල්පීය වශයෙන් නියෝජන ප්‍රජාතන්ත්‍රවාදී පාර්ලිමේන්තු, පළාත් සභා සහ පළාත් පාලන ආයතන සතුව නොවේ. වරද ඇත්තේ ඒවා ව්‍යුහගතකර ඇති ආකාරයෙහි ය. ඒවා පත් කළ පසු ඒවායේ කාර්ය නියාමනයට විවිධ කමිටු සඳහා පත් වන්නේද ඔවුන්මය. ඔවුන්ගේ තීන්දු තීරණ ගැනීම්වලට ව්‍යවස්ථානුකූලව මැදිහත්වීමේ ප්‍රජාතන්ත්‍රවාදී අවකාශයක් අවසරයක් ඔවුන්ව තම නියෝජිතයින් ලෙස තෝරා පත් කළ ජනතාවට ඇත්තේ නැත. ඒ සඳහා ඉතාම නිරුවත් උදාහරණය වන්නේ පාර්ලිමේන්තු හා පළාත් පාලන ආයතනවල නියෝජන සංඛ්‍යාව වැඩි කිරීම සඳහා ගනු ලැබූ තීන්දු ය.

    පළාත් සභා පිහිටුවීමෙන් පසු 1988 දී පාර්ලිමේන්තු මන්ත්‍රී සංඛ්‍යාව 168 සිට අවම තරමින් 1970 මැතිවරණයේදී තෝරා පත් කළ 151 ට හෝ ප්‍රතිපත්තිමය අඩු කිරීමක් කළ යුතුව තිබිණ. එහෙත් 168 දෙනාම එකතුවී එය 225 දක්වා වැඩි කළහ. ඒ සඳහා ජනතාවගේ කිසිදු සම්බන්ධයක් නොතිබුණි.

    පළාත් සභා පිහිටුවීමෙන් පසු 1988 දී පාර්ලිමේන්තු මන්ත්‍රී සංඛ්‍යාව 168 සිට අවම තරමින් 1970 මැතිවරණයේදී තෝරා පත් කළ 151 ට හෝ ප්‍රතිපත්තිමය අඩු කිරීමක් කළ යුතුව තිබිණ. එහෙත් 168 දෙනාම එකතුවී එය 225 දක්වා වැඩි කළහ. ඒ සඳහා ජනතාවගේ කිසිදු සම්බන්ධයක් නොතිබුණි. ජාතික ලැයිස්තුවක්ද පාර්ලිමේන්තු නියෝජනයට එකතු කරමින් ජනතා නියෝජනයට ලොකු වෙනසක් කිරීමේදී ජනතාවගේ කැමැත්ත අකමැත්ත විමසීමේ සදාචාරමය පැවැත්මක් පාර්ලිමේන්තුව සතුව තිබිය යුතු විය. පාර්ලිමේන්තු නියෝජනයේ වෙනසක් කිරීමේදී හෝ ජනතා කැමැත්ත විමසීමට ජනමත විචාරණයක් පැවැත්වීමේ අවශ්‍යතාව පිළිගැනීමක් ඒවායේ නැත. පසුගිය වර පළාත් පාලන ආයතන වල සභික සංඛ්‍යාව දෙගුණ කෙරුණේද එළෙසින්ම ය.

    එබැවින් විසඳුම ඇත්තේ මේවා සුදු අලි, සුදු ඇතුන් යැයි හංවඩු ගසා අහෝසි කිරීමට යෝජනා කිරීමෙහි නොවේ. විසඳුම ඇත්තේ (1) ජනතා නියෝජනය සඳහා අවශ්‍ය නියමිත හා නිවැරදි නියෝජිත සංඛ්‍යාව තබා ගෙන වැඩි ප්‍රමාණය ඉවත් කිරීමෙහි සහ (2) නියෝජන සභා ලෙස ඒවා ජන සහභාගි ප්‍රජාතන්ත්‍රවාදී ආයතන ලෙස අලුතින් ප්‍රතිව්‍යුහගත කිරීමෙහි ය.

    එය අනවශ්‍ය විශාල මන්ත්‍රී සංඛ්‍යා අඩු කිරීමකි. දැනට සමාජය දරන්නාවූ අනවශ්‍ය අධි වියදම් කප්පාදු කිරීමට උදව් වනවාට අමතරව, මැතිවරණ අතරතුර ජනතා නියාමනයට යටත් කෙරෙන සක්‍රීය ප්‍රජාතන්ත්‍රවාදයක්ද සහතික කිරීමකි. 

    ඒ ක්‍රියාවලිය ඉතාම සැකෙවින් පැහැදිලි කරන්නේ නම්, 

    පාර්ලිමේන්තුව සක්‍රීය ප්‍රජාතන්ත්‍රවාදී ආයතනයක් ලෙස අලුතින් ප්‍රතිව්‍යුහගත කිරීමේදී

    1. පාර්ලිමේන්තු ආසන සඳහා නාමයෝජනා ලබා දීමේදී අපේක්ෂකයින් තෝරා නම් කළ යුත්තේ පක්ෂ ව්‍යවස්ථාවලට අනුව ඇති අදාල පළාත් ක්‍රියාකාරී කමිටුවෙහි ලේකම්ගේ අත්සනින්ය. එය කාරණා දෙකකට වැදගත්ය. එකක් දේශපාලන පක්ෂ එමගින් යම් පමණකට ප්‍රජාතන්ත්‍රීය වන්නේය. දෙවැන්න පිටතින් අපේක්ෂකයින් පැමිණීම සීමා වන්නේය.

    2. පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් ඔවුන් තෝරා පත් කළ ජනතතාවගේ විශ්වාසය හා නියෝජනය පාවා දෙන්නේ යැයි අලුත් මන්ත්‍රීවරයෙකු පත්කර ගැනීමේ අවස්ථාව ඒ මැතිවරණ ආසනයේ ඡන්දදායකයින්ගෙන් සියයට 02 ක් ලිඛිතව මැතිවරණ කොමිසමෙන් ඉල්ලා සිටියහොත් ඒ සඳහා ව්‍යවස්ථාමය ප්‍රතිපාදන තිබිය යුතුය.

    3. නව පාර්ලිමේන්තුවක් තෝරා පත් කළ පසු, නව ආණ්ඩුව විසින් පාර්ලිමේන්තුවට ඉදිරිපත් කරන ඔවුන්ගේ අවුරුදු 05 ක ජාතික සංවර්ධන ප්‍රතිපත්තිය හා සැළැස්ම, පළමුව ජනමත විචාරණයකින් සම්මත විය යුතුය. යම් හෙයකින් එසේ සම්මත නොවුනහොත් ජනමත විචාරණයේදී එයට ඉදිරිපත් කෙරුණු විවේචන, විරෝධතා අනුව සාංශෝධනය කෙරුණු ජාතික සංවර්ධන ප්‍රතිපත්තිය හා සැළැස්ම ජනතා විමසුමට යටත් කෙරෙන ලෙස ගැසට් කිරීමෙන් දෙසතියකට පසු පාර්ලිමේන්තුවෙහි බහුතර ඡන්දයකින් සම්මත කරගත යුතුය.

    පළාත් සභා සහ පළාත් පාලන ආයතන සෘජු සහභාගි ප්‍රජාතන්ත්‍රවාදී නියෝජන සභා ලෙස අලුතික් ප්‍රතිව්‍යුහගත කළ යුතු ය. ඒ වෙනුවෙන්,

    01. පාර්ලිමේන්තුවට මෙන්ම පළාත් සභා සහ පළාත් පාලන ආයතන වලට නාම යෝජනා දිය යුත්තේ පක්ෂවල අදාල පළාත් ක්‍රියාකාරී කමිටුවෙහි ලේකම්ගේ අත්සනින්ය.

    02. පාර්ලිමේන්තුවෙහිදී මෙන් පළාත් සභාවෙහි හා පළාත් පාලන ආයතනහෙි පළමු සැසි වාරය ආරම්භයේදී බලය ලබා ගත් පක්ෂයේ මහ ඇමති සහ පළාත් පාලන ආයතනවල සභාපතිවරු ඔවුන්ගේ ධූර කාලය සඳහා වන සංවර්ධන සැළැස්ම පළමුව තම බල ප්‍රදේශයේ ජනතාව හමුවේ තැබිය යුතුය. එම සැළසුම් සඳහා සංශෝධන හා යෝජනා ඉදිරිපත් කිරීමට ඒ බල ප්‍රදේශයේ ඡන්දදායකයාට ව්‍යවස්ථාපිත අයිතියක් තිබිය යුතුය. පළාත් සභාවක නම් දිස්ත්‍රික්කයකට බලපාන්නාවූ කාරණාවකදී එම දිස්ත්‍රික්කයේ ඡන්දදායකයින්ගෙන් 5.000 ගේ හෝ පළාතටම බලපාන්නාවූ කාරණාවක් සඳහා නම් පළාතේ ඡන්දදායකයින් 10.000 ගේ අත්සනින් එවැනි සංශෝධන හෝ යෝජනා ඉදිරිපත් කළ විට. සංවර්ධන සැළසුම සම්මත කළ යුත්තේ ඒවාද ඇතුළත්වය.

    පළාත් පාලන ආයතන සඳහාද එම පිළිවෙතම. ඒවාට අත්සන් තැබිය යුතු ඡන්දදායක සාඛ්‍යාව දහසකට පමණ සීමා කරමින් ක්‍රියාත්මක කළ යුතු ය.

    03. පළාත් සභා සහ පළාත් පාලන ආයතනවල වාර්ෂික අයවැය. කලින් අවුරුද්දේ අයවැය පිළිබඳ සවිස්තරාත්මක ඇගයුමක් සමගින් අදාල බල ප්‍රදේශයේ ජනතාව හමුවේ ඔවුන්ගේ නිරීක්ෂණ හා යෝජනා වෙනුවෙන් තැබිය යුතුය. ඔවුන්ගේ සංවර්ධන සැළැස්මට සංශෝධන හෝ යෝජනා ඉදිරිපත් කරන්නාවූ පිළිවෙතම. වාර්ෂික අයවැය සම්මත කිරීමේදීද පැවතිය යුතුය. යම් හෙයකින් බලයේ ඉන්නා පක්ෂය එවැනි සංශෝධන හෝ යෝජනා බාර ගැනීමට සූදානම් නොවන්නේ නම්. ඔවුන්ගේ මුල් අයවැය අදාල ප්‍රදේශයේ ජනතාව හමුවේ ජනමත විචාරණයකට තැබිය යුතුය.  

    සුදු අලි සහ සුදු ඇතුන් අඩු වියදමකින් සක්‍රීය ප්‍රජාතන්ත්‍රවාදී ආයතන බවට පත් කළ හැක්කේද ඒවා ජනතා අවශ්‍යතා වෙනුවෙන් ක්‍රියාත්මක වන ප්‍රජාතන්ත්‍රවාදී නියෝජන ආයතන බවට පත්කර ගත හැක්කේත් එළෙසින්ය. පළාත් සභා හුදෙක් උතුරු නැගෙනහිර ජනතාවට දෙනු ලැබූවක් මිස රටට පලක් නොමැති සුදු අලියෙක් යැයි කීම අනුවණ කමෙකි. නිදහසින් පසු අවුරුදු 72 ක් පුරා දකුණේ සිංහල -බෞද්ධ දේශපාලනය වෙනුවෙන් කොළඹ ආණ්ඩු පත් කිරීමෙන් දුප්පත් කමෙන් ගැලවෙන්නට බැරිව ඉන්නා විශේෂයෙන් ග්‍රාමීය ජනතාවට තමන්ගේ ඉරණම තම අතට ගත හැකි අතිශය වැදගත් ප්‍රජාතන්ත්‍රවාදී නියෝජන සභාවක් බවට පළාත් සභා පත්කර ගත හැකිය.  

    එනිසා සංවාදයට ගත යුත්තේ ප්‍රජාතන්ත්‍රවාදය වඩාත් ශක්තිමත් කරන්නාවූ එවැනි ප්‍රතිසංස්කරණ මිස ආයතන අහෝසි කිරීම නොවේ.

    කුසල් පෙරේරා – http://kusalperera.blogspot.com/?m=1

    2020 අගෝස්තු 29 වන දින