Blog

  • චොකා මල්ලීට පාර්ලිමේන්තුවේ දිවුරුම් දිය නොහැකිය

    චොකා මල්ලීට පාර්ලිමේන්තුවේ දිවුරුම් දිය නොහැකිය

    මරණ දඬුවම නියම වූ ප්‍රේමලාල් ජයසේකර හෙවත් චොකා මල්ලීට පාර්ලිමේන්තුවේ දිවුරුම් දිය නොහැකි බව හිටපු ආණ්ඩුකාර රජිත් කීර්ති තෙන්නකෝන් මහතා කියයි. අප කළ විමසීමකට පිළිතරු දෙමින් රජිත කීර්ති තෙන්නකෝන් මහතා කියා සිටියේ නීතිපති උපදෙස අනුව, මරණ දණ්ඩනය ලැබූ අයෙකුට මන්ත්‍රී ධූරයක් දැරීම නුසුදුසුකමක් බවත් මන්ත්‍රීකමක් දැරීමට නුසුදුසු අයෙකුට, මන්ත්‍රීවරයෙකු ලෙස පත්වීමට හෝ පාර්ලිමේන්තුවේ අසුන් ගැනීමට හෝ පාර්ලිමේන්තුවේ ඡන්දය ප්‍රකාශ කිරීමට හෝ නොහැකි බවත්ය.

    මේ සම්බන්ධයෙන් ඔහු මෙසේද සදහන් කළේය.

    2015 ජනාධිපති පූර්ව සමයේ මිනිසෙකුට වෙඩි තබා ඝාතනය කළ චොකා මල්ලීට මන්ත්‍රී ධූරයක් දැරිය නොහැකි බව මා දිගින් දිගටම පෙන්වා දුනිමි.  රත්නපුර මන්ත්‍රී ප්‍රේමලාල් ජයසේකර (චොකා)  සම්බන්ධයෙන් නීතිපති දෙපාර්තමේන්තුව විසින් අධිකරණ අමාත්‍යාංශයට නීති උපදෙස් ලබාදී ඇති බව දැනගන්නට ඇත.

    දැනගන්නට ඇති අයුරින්, නීතිපති උපදෙස අනුව, මරණ දණ්ඩනය ලැබූ අයෙකුට මන්ත්‍රී ධූරයක් දැරීම නුසුදුසුකමකි. මන්ත්‍රීකමක් දැරීමට නුසුදුසු අයෙකුට, මන්ත්‍රීවරයෙකු ලෙස පත්වීමට හෝ පාර්ලිමේන්තුවේ අසුන් ගැනීමට හෝ පාර්ලිමේන්තුවේ ඡන්දය ප්‍රකාශ කිරීමට හෝ නොහැකිය.

    ඒ අනුව, පුද්ගලිකවම මම ත්, සමගි ජන බලවේගය ප්‍රේමලාල් ජයසේකර (චොකා මල්ලි) සම්බන්ධයෙන් මේ දක්වා දැරූ ස්ථාව තහවුරුවී ඇත.

    මැතිවරණ කොමිසම ඇතුළු විෂය දැනුමක් සහිත පුද්ගලයින් ගේ අදහස වූයේ ද, පාර්ලිමේන්තුවේ විෂය භාර නිලධාරීන්ගේ අදහස ද මෙයම වේ.  හිටපු පළාත් සභා මන්ත්‍රී හසිත මුහන්දිරම් මරණ දඩුවම නියම වූ පසුව සබරගමුව පලාත් සභාවේ සභා ලේකම් ගේ ඉල්ලීම පරිදි ඉල්ලා අස්වීය.  එය ද නීතිපති උපදෙස් මත සිදු  වූවේය.  මේ පිළිබඳව හසිත මුහන්දිරම් පැවරූ නඩුවෙන් ද ඔහු පරාජයට පත් වූ අතර පළාත් සභා මන්ත්‍රී ධූරයට හිමිකමක් නොමැති බව තීරණය විය.

    සරත් ෆොන්සේකා මහතා ට සිර දඬුවම් නියම කිරීමෙන් පසුව, ඔහුට පාර්ලිමේන්තු රැස්වීම් සඳහා සහභාගිවීම එවකට සිටි කථානායක චමල් රාජපක්ෂ මහතා විසින් වලක්වනු ලැබීය. රත්නපුර ලැයිස්තුවේ ඊලඟ පොහොට්ටුවෙන් සිටින්නේ මනාප 53281 බැගින් සමාන ඡන්ද ලැබූ සනී රෝහණ කොඩිතුවක්කු සහ රංජිත් බණ්ඩාර මහත්වරුන් ය.   ප්‍රේමලාල් ජයසේකර ඉවත් කළ පසුව, පත්වන මන්ත්‍රීවරයා කවුරුන්ද යන්න තීරණය වන්නේ කාසියක් උඩ දැමීමෙනි.

  • ‘ලෝකයේ වේගවත්ම මිනිස් කැල්කියුලේටරය’ අපේ අසල්වැසියෙක්

    ‘ලෝකයේ වේගවත්ම මිනිස් කැල්කියුලේටරය’ අපේ අසල්වැසියෙක්

    නීලකාන්ත භානු ප්‍රකාශ් ගණිතයට දක්වන හපන්කම, උසේන් බෝල්ට් කෙටි දුර දුවන්නාක් වැනි යැයි යමෙකුට කිව හැකිය. මනසින් ගණිත ගැටළු විසඳීමේ ලෝක ශුරතාවය ඔහු දිනා ගත්තේ විසි වැනි වියේ පසු වෙද්දීය. ඉන්දියාවට එම රන්පදක්කම හිමි වූ පළමු වතාව එයයි.

    ඔහු පවසන පරිදි ගණිතය යනු “මනෝමය ක්‍රීඩාවකි.”

    “ගණිතයට ඇති භීතිකාව මුලිනුපුටා දැමීම” තමන්ගේ පරමාර්ථය බව නීලකාන්ත භානු පවසයි. කා අතරත් ඔහු ජනප්‍රිය වී ඇත්තේ භානු නමිනි.

    ඔහු “හැම විටම ඉලක්කම් ගැන සිතමින්” සිටී. මේ වන විට ලෝකයේ වේගවත්ම ‘මිනිස් කැල්කියුලේටරය’ ඔහුය.

    ‘මනෝමය ගණිත සෙල්ලම’ ඔහු සමාන කරන්නේ කෙටිදුර ධාවන තරඟයකට ය. නමුත් වැඩිම වේගයකින් දුවන පුද්ගලයන් පිළිබඳව කිසිවෙකු ප්‍රශ්න නොකළත් වැඩිම වේගයකින් ගණිත ගැටළු මනසින් විසඳීම ගැන බොහෝ දෙනා ප්‍රශ්න කරන බව ඔහු පවසයි.

    “උසේන් බෝල්ට් වගේ කෙනෙක් මීටර් 100 තත්පර 9.8කින් දුවනකොට අපි ඒක ප්‍රීතියෙන් සමරනවා. කවුරුවත් අහන්නේ නැහැ, මෝටර් රථ සහ ගුවන් යානා තිබිය දී මොකටද අපි හයියෙන් දුවන්නේ කියල. මෙයින් කරන්නේ කෙනෙකුට හිතා ගන්නවත් බැරි දෙයක් තමන්ගේ ශරීර ශක්තියෙන් කරලා පුදුමයට පත් කරවීම. ගණිතය සහ ගණිත ගැටළු විසඳීම කියන්නෙත් ඒ වගේම දෙයක් තමයි.” භානු, ‘බීබීසී රේඩියෝ 1’ ගුවන් විදුලි නාලිකාවේ නිව්ස්බීට් වැඩසටහනට පැවසීය.

    NEELAKANTHA BHANU PRAKASH

    ඔහු ගණිතයට උපන් හපනෙක් යැයි ඔබට සිටිය හැක. නමුත් භානුගේ කතාව ඊට වෙනස් ය.

    මේ සියල්ල ආරම්භ වුයේ හදිසි අනතුරක් ලෙසිනි. වයස අවුරුදු පහේ දී හිසට සිදු වූ හදිසි අනතුරකින් භානු වසරක් පමණ ඔත්පළ වී සිටියේය. තම ජීවිතයේ ‘ගණිත චාරිකාව’ එක වරම ආරම්භ වූයේ එතැන් පටන්ය.

    “මගේ දෙමව්පියෝ හිතුවේ මම සදහටම සිහි කල්පනාවක් නැති කෙනෙක් වේවි කියල. ඒ නිසා මගේ මොළයේ ක්‍රියාකාරිත්වය පවත්වා ගැනීම සඳහා මම මනසින් ගණිත ගැටළු විසඳීමට පටන් ගත්තා.”

    ඉන්දියාවේ මධ්‍යම පාන්තික පවුලකින් පැවත එන බොහෝ දෙනෙකුගේ අභිප්‍රාය වන්නේ ලෙහෙසියෙන් හොඳ රැකියාවක් ලබා ගැනීමට හෝ ව්‍යාපාරයක් පටන් ගැනීමට අවැසි දැනුමක් ලබා ගැනීම මිස ගණිතය වැනි විෂය ක්‍ෂේත්‍රයකට යොමු වීම නොවන බව ඔහු පවසයි.

    අනෙකුත් විශිෂ්ඨයන් මෙන් ම භානු ද තම සාර්ථකත්වයට හේතුව ලෙස දකින්නේ පෙර සූදානම ය.

    ඔහු මෙය දකින්නේ පුටුවක හිඳ මේසයක් මත කරන ඉගෙනීමක් ලෙස නොව. ඔහුට මෙය, “මනසින් කරන මහා ක්‍රීඩාවකි”.

    “මම පුහුණු වෙන්නේ වේගවත් ගණිතඥයෙකු පමණක් වන්නට නොවෙයි. වේගයෙන් සිතීමේ හැකියාවත් ප්‍රගුණ කරනවා.”

    භානු කුඩා කල, පාසල් නිම වීමෙන් අනතුරුව ද දිනකට පැය හය හතක් පුහුණුවේ යෙදුණි.

    නමුත් වාර්තා තබමින් සහතික සහ ශුරතා දිනා ගැනීමෙන් අනතුරුව ඔහු දෛනිකව කරගෙන ආ සම්මත පුහුණුවට එතරම් කාලයක් වය කළේ නැත. ඒ වෙනුවට ඔහු කළේ “කිසිදු ආකෘතියකින් තොරව හැම විටම ඉලක්කම් ගැන සිතීම” ය.

    “මම සංගීතයට සවන් දෙමින් හෝ මිනිස්සුත් එක්ක කතා කරන ගමන් පුහුණු වුණා. ඇතැම් විට ක්‍රිකට් සෙල්ලම් කරන ගමන් පුහුණු වුණා. මේ විදියට තමයි කාරනා කීපයකට එකවර මොළය ක්‍රියා කරවීම සඳහා පුහුණුව ලබා ගත්තේ.”

    ඔහු සමඟ මෙම සාකච්ඡාව පැවැත්වෙමින් තිබෙන අතරතුර ම ’48වරක් චක්‍රය’ හඬ නගා කියා පෙන්වීමට ඔහු සමත් විය.

    “මාව පහු කරගෙන යන හැම ටැක්සියකම නොම්බරේ අංක එකට එකතු කරනවා. මම කා සමඟ හෝ කතා කරන ගමන් ඒ පුද්ගලයා ඇහි පිල්ලන් ගහන වාර ගණන මම ගණන් කරනවා. ඒක අමුතුයි වගේ පෙනුනට එමගින් ඔබේ මොළයේ ක්‍රියාකාරිත්වය හොඳින් පවත්වාගෙන යා හැකි වෙනවා.” භානු පැවසීය.

    48වරක් චක්‍රය’

    භානු මෙම පුහුණුවේ යෙදෙන්නේ වාර්තා බිඳ හෙළීම සඳහා පමණක් නොවේ. ඔහුට එය විනෝදය ගෙන දෙන්නකි.

    “වාර්තා හෝ ගණනය කිරීම් තුළින් කියවෙන්නේ ලෝකයට ගණිතඥයන් අවශ්‍ය බව පමණයි. නමුත් මෙය අප ආදරේ කරන විෂයය බවට පත්විය යුතුයි. ඉන් අපට විනෝදයක් ගෙන දිය යුතුයි.” භානු විස්තර කළේය.

    බොහෝ දෙනා ඉලක්කම්වලට බිය වන බවත් එම “භීතිය” තුරන් කිරීම තම අරමුණ බවත් ඔහු පවසයි.

    ගණිතය යනු විනෝදශීලී විෂයයක් ලෙස ප්‍රවර්ධනය කිරීම තමන්ගේ වගකීමක් ලෙස, ජාත්‍යන්තර වේදිකාවට ගොඩවී සිටියදී තමන්ට දැනෙන බව භානු ප්‍රකාශ කළේය.

    ලෝක වාර්තා හතරක් සහ තවත් ශුරතා කීපයක් ලද භානු පිළිබඳව “ආඩම්බර” වන බව සිය පවුලේ සාමාජිකයෝ පවසති.

    ඒ සියලු ජයග්‍රහණයන් ලබා ගැනීම සඳහා පවුලේ සියලුදෙනා තමන් ධෛර්යමත් කළ බව භානු සිහිපත් කළේය.

    “මම පළමු ලෝක ශුරතාවය දිනා ගත්තට පස්සේ මගේ මාමා ඇවිත් මට කිව්වා ලෝකයේ මෙතෙක් කිසිවෙකු ළඟා වී නැති වේගයක් වාර්තා කිරීමට මා උත්සාහ කළ යුතු බව.”

    “එදා මම හීනෙකින්වත් හිතුවේ නැහැ ලෝකයේ වේගවත්ම මිනිස් කැල්කියුලේටරය බවට මම පත්වේවි කියල.”

    Text by- bbc

  • තරංග පරණවිතාන ජාත්‍යන්තර ක්‍රිකට් පිටියෙන් සමුගනී

    තරංග පරණවිතාන ජාත්‍යන්තර ක්‍රිකට් පිටියෙන් සමුගනී

    ශ්‍රී ලංකා ක්‍රිකට් කණ්ඩායම නියෝජනය කරන ලද ඉදිරි පෙළ පිතිකරුවකු වන තරංග පරණවිතාන සිය අන්තර්ජාතික ක්‍රිකට් පිටියෙන් සමුගැනීම ප්‍රකාශයට පත් කර තිබේ. ඒ පිළිබඳව තරංග විසින් ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය වෙත නිල වශයෙන් දැනුම් දී ඇත.

    ශ්‍රී ලංකා කණ්ඩායමේ ආරම්භක පිතිකරුවකු ලෙස කටයුතු කළ පරණවිතාන තම ජාත්‍යන්තර ක්‍රිකට් පිටියෙන් විශ්‍රාම යන විට 38 හැවිරිදි වියේ පසුවන්නේය. ටෙස්ට් තරග සඳහා විශේෂඥ පිතිකරුවකු ලෙසින් කටයුතු කළ පරණවිතාන ශ්‍රී ලංකාව වෙනුවෙන් ටෙස්ට් තරග 32 කට සහභාගිවී තිබේ.

  • මැද කන්නය ගැන දෙඩිගියාවෙන්ද ? එසේ නම් මේ ලිපිය ඔබ වෙනුවෙන්මයි !

    මැද කන්නය ගැන දෙඩිගියාවෙන්ද ? එසේ නම් මේ ලිපිය ඔබ වෙනුවෙන්මයි !

    “කෝටි 223 ක මුංඇට පිටරටින් ගෙනල්ලා, මේක ඇත්තක්ද?” මාගේ ලිපියක තිබූ කරුණක් සම්බන්ධයෙන් එම හරස් ප්‍රශ්නය පසුගිය දිනෙකදී එල්ලවූයේ ගණන් ඉලක්කම් ගැන පාඨකයෙක් තුල හටගත් යම් සැකයක් නිසා විය හැකිය.

    එහෙත් ලිපියේ වරදක් නැත. 2018 වසරේදී මුංඇට මෙට්‍රික් ටොන් 16425 ක් අප ආනයනය කර ඇත්තේ එවන් මුදලක් වියදම් කරගෙනය. මෙරට නිපදවා තිබුනේ ටොන් 9856 ක් වන අතර ඒ සඳහා හෙක්ටයාර් 8615 ක් තුල මෙම බෝගය වගාකර තිබේ. එසේනම් අපට නිපදවන්නට හැකිවී තිබෙන්නේ රටේ අවශ්‍යතාවයෙන් 37% තරම් සුළු මුංඇට ප්‍රමාණයකි.

    අදාළ වර්ෂය තුල වැඩිපුරම මුං වවා ඇත්තේ පිලිවෙලින් මොනරාගල, හම්බන්තොට, කුරුණෑගල හා අනුරාධපුර යන දිස්ත්‍රික්ක වලයි. දින දෙක තුනක් ගතවෙන ඡන්දයක් තියන්නට කෝටි 1000ක් වියදම් කරන රටක, සමස්ත රට වැසියාටම අවුරුද්දක් කන්නට මුංඇට ගේන්නට කෝටි 223 ක් වියදම් කිරීම මහ ලොකු දෙයක්දැයි ප්‍රශ්න කරන අයද සිටිය හැකි වුවත්, මෙය දේශීය ආර්ථිකය පැත්තෙන් බලනකල නම් ලොකු මුදලකි.

    රටේ විශාල ප්‍රදේශයක වැවිය හැකි බෝගයක් නිසාද, දේශීය පරිසරයට උචිත ප්‍රභේදයන් අප විසින්ම නිපදවාගෙන ඇති නිසාද, මෙවන් මුදලක් අපේ අසල්වැසි ගොවියාගේ සාක්කුවට යන්නට ඉඩහැරීම අපරාධයකි. අනෙක් අතට ආනයනික මුංඇට වවන්නේ කුමන පොහොර දමාදැයි අප දන්නේ නැත. ගුල්ලන් බෝනොවී අස්වැන්න කල්තබා ගැනීම සඳහා මුංඇට මල්ලට එකතුකෙරුවේ මෙන්න මේවායයි, ගෝනියේ පිට පැත්තේ ලියා එවන්නේද නැත.

    මෙරට භාවිතයට වඩා බොහොම සරුවට කෘෂිරසායන භාවිතයක්, අප මුංඇට මිලදී ගන්නා රටවල සිදුකෙරෙන අතර අප විසින් භාවිතයෙන් ඉවත්කර ඇති නිෂ්පාදනයන්ද ඔවුහු යහමින් භාවිතා කරති. එසේනම් සාමාන්‍ය ජනතාවගේ ‘වසවිස’ පාරිභෝජනයට දේශීය ගොවියාගෙන් ලැබෙන සම්මාදමට වඩා කීප ගුණයකින් වැඩි දායකත්වයක් ආනයනික ආහාරයන්ගෙන් ලැබෙන්නේය. එහෙත් අපේ ගොවියාගේ කෘෂිරසායනික භාවිතයට කියනා තරම් ඇනුම්පද, නැව් පිටින් ගෙනෙනා කඩල, මුංඇට, රතු පරිප්පු වැනි ආනයනික රනිල බෝග උදෙසා නම් ඇසෙන්නේ නැතිවීමයි කනගාටුව. වසවිස නම් රටින් ගෙනත් කෑවත් වසය, ගමේදී හලාගෙන කෑවත් වසය.

    කෙසේ වෙතත් දේශීයව නිපදවා ගතහැකි මෙවැනි බෝග වර්ග 16 ක් ප්‍රවර්ධනය කිරීමේ කටයුතු නව රජය යටතේ ආරම්භකිරීම පැසසිය යුත්තකි. මුංඇට ඒ අතරද තිබේ. පසුගිය යල කන්නයේදී වාරි ජල පහසුකම් ලැබෙන කුඹුරු ඉඩම් කොටසක්ද අතිරේක බෝග නිෂ්පාදනය සඳහා යොදා ගැනුණු අතර, වී නිෂ්පාදනය අතින් මේ වනවිට අප ‘හොඳ තැනක’ සිටින නිසා යල කන්නයේ කුඹුරු කීපයක සිදුවන එවන් පරිවර්තනයක් ඉතාමත් කාලෝචිත වේ.

    වී වගාව කරද්දීම අතිරේක බෝග වගාකළ හැකි ක්‍රමයක්ද තිබේ. අප මේ කතාකරන්නට සූදානම් වන්නේ කලකට ඉහතදී පර්යේෂණාත්මකව සනාථ කරගෙන, ගොවීන් අතරත් ව්‍යාප්ත වී ඇති එහි සුලමුල පිළිබඳවයි.

    මුංඇට සිටුවන්න යයි කියා නොඉඳුල් වනපෙත් එළිපෙහෙළි කරන්නනේත් නැත. මේ ඉඩම් ගොවීන් විසින් දැනට වගාකරන ඒවාමය. කෙටියෙන්ම කියනවානම් යල මහ දෙකන්නයම රටට බත සපයන කුඹුරු ඉඩම්ය.

    අතිරේක ආහාර බෝග වර්ග රාශියක් මෙරටදීම නිපදවා ගැනීමේ හදිස්සියක් මතුවී ඇති අවස්ථාවක් නිසා, භූමියේ කාර්යක්ෂමතාවය ඉහල නංවන මෙවැනි ක්‍රමවේදයන්ගේ මතකය යලි අලුත් කරගැනීම කාට කාටත් ප්‍රයෝජනවත්ය. මෙහිදී දැනට වෙනත් බෝගයක් වගාකරන භූමියකට අත තබන්නේ නැත. මුංඇට සිටුවන්න යයි කියා නොඉඳුල් වනපෙත් එළිපෙහෙළි කරන්නනේත් නැත. මේ ඉඩම් ගොවීන් විසින් දැනට වගාකරන ඒවාමය. කෙටියෙන්ම කියනවානම් යල මහ දෙකන්නයම රටට බත සපයන කුඹුරු ඉඩම්ය.

    වර්තමානයේදී මෙරට බොහෝවිට වගාකරන ගොයම මාස තුනක් හෝ තුනහමාරක් ඇතුලත තම ජීවිතය හමාරකර ගොවියාගේ අටුකොටු පුරවන ප්‍රභේදයන් වන බැවින්, මෙම කුඹුරු ඉඩම් වසරෙන් හරි අඩක්ම පාහේ පවතින්නේ පුරන් තත්වය යටතේ බව බොහෝදෙනා අතින් මගහැරී යන කාරනාවකි.

    සාම්ප්‍රදායික වී ගොවියාද හුරුවී ඇත්තේ ඊටම ගැලපෙන විශ්‍රාමශීලී ගොවිතැනකටය. යල මහ දෙකන්නයට අතරමැදිව, ජූලි මස අග සිට ඔක්තෝබරය දක්වා මාස දෙකහමාරක පමණ කාලයක් තිස්සේ වල් බිහිව තිබෙන පුරන් කුඹුර, සක්‍රිය නිෂ්පාදනයට යොදාගැනීමේ පර්යේෂණ, මහඉලුප්පල්ලම පර්යේෂණායතනය මගින් ආරම්භ කරනු ලැබුවේ 80 දශකයේ මුල් භාගයේදීය.

    මැද කන්නයක් අස්වැද්දෙන විට, අපේ නිදහස පැහැර ගත්තා යයි කියමින් වෙල්එළියේ සරුංගල් යැවූ හෝ ක්‍රිකට් ගැසූ ගමේ කොල්ලන් කුරුට්ටන් නම් අප සමග අමනාපවෙනු ඇත. ඉපනැල්ලේ රසපහස විඳිමින් වියලි ලියැද්දේ තැන තැන ලැග සිටින  අම්බරුවන්ද කනස්සල්ලෙන් කන්පෙති ගසනු ඇත. එසේ නමුත් යල මහ දෙකන්නය අතරමැදින් නිරපරාදේ ගෙවීයන දින හැත්තෑපහක පමණ කාලපරාසයත්, වාෂ්ප ලෙස වා තලයට එකතුවෙමින් අපතේ යන පොළොවේ රැඳි තෙතමනයත්, ගොයමට උරා ගත නොහැකිව තවමත් පසෙහි ඉතිරිව තිබෙනා පෝෂ්‍ය පදාර්ථත්, එවන් අමනාපයකට හිලව්කර අමතක කර දැමිය හැකි සුලුපටු දේවල් නම්  නොවේ. මේවා වනාහී ගොවියාට බෝනස් දෙන්නට අවදිකරවා ගතහැකි සම්පත් සංචිතයන්ය.

    “70 දශකයට කලින් යල මහ දෙකන්නයට කුඹුරු කරන එක තමයි ප්‍රධාන වගා ක්‍රමය උනේ. නමුත් කුඹුරුවල බෝග විවිධාංගීකරණය කියන සංකල්පය හඳුන්වා දුන්නට පස්සේ යල කන්නයට වාරි පහසුකම් යටතේ වගාකිරීම ඇරඹුණු නිසා රටේ සමස්ත වශයෙන් රනිල බෝග නිෂ්පාදනය වැඩිඋනා. ඒත් 1997 න් පසු රටේ ඇතිවුණු ආර්ථික ප්‍රතිපත්ති හා ගොවිතැන දෙස සමාජය බලන කෝණයේ සිදුවූ අසමතුලිතතාවය හේතුවෙන්, අද දක්වාම නිෂ්පාදනය ක්‍රමයෙන් අඩුවෙමින් තිබෙනවා. මේ නිසා රනිල ආනයනය සඳහා දැරිය යුත්තේ එසේමෙසේ වියදමක් නෙවෙයි.”

    එසේ අදහස් දක්වන්නේ එස්. එන්. ජයවර්ධන මහතායි. දැනට වාරියපොළ උපයෝගිතා පර්යේෂණ ඒකකයේ සහකාර අධ්‍යක්‍ෂවරයෙකුව සේවය කරන ඔහු, තුන්වෙනි කන්නයක නොහොත් මැද කන්නයක යෝග්‍යතාවය ගැන පළමුවරට මහඉලුප්පල්ලමදී පර්යේෂණ මෙහෙයවූ නිලධාරියාද වෙයි. ඒ 1980 සමයේදීය. එකල ඔහු විසින් පර්යේෂණාත්මකව හඳුන්වාදුන් මැද කන්නයේදී රනිල බෝග වගාව, එකල පැවති විවෘත ආර්ථික රටාව හමුවේ එතරම් පිළිගැනීමට ලක්වූයේ නැත. ඊට ප්‍රධාන හේතුව වුයේ පිටරටින් එන ඇට වර්ග අපහසුවෙන් තොරව හා ලාභයට ගැනීමට කඩපිල්වල ගොඩගසා තිබීමයි.

    ඇට රාත්තල් අටක් හැමෝටම ලබාදෙන බව කීවිට 1977 දී ජනතාව ආණ්ඩු පෙරලුවේද මේ අයුරින් ලාභයට රට ඇට කන්නටය. යල කන්නය අවසානයේදී තුන්වෙනි කන්නයක් වෙනුවෙන් ඉපනැල්ලත් සමග හැප්පෙනවාට වඩා, කඩෙන් ලාභයට රැගෙන යන ඇට රාත්තල තම්බා කෑමට ගොවියා වැඩියෙන් ඇලුම් කරන්නටද ඇත. ඒ හරහා පසුගිය දශක තුනකදී රනිල බෝග නිෂ්පාදනය රට තුල පහල වැටී ඇත්තේද, සිතා ගන්නටත් බැරි තරමේ වේගයකිනි. මෙය වනාහී පිටරටින් ගෙන්වාගෙන මොන දහජරාවක් වුවද ගිලදැමීමේ සංස්කෘතිය ඔඩුදුවා යාමකි.

    පහසුවෙන් අපට වවාගත හැකි මුං බෝගය පමණක් සැලකීම වුවද තත්වය තේරුම් ගැනීමට ප්‍රමාණවත්ය. 1990 දී මෙට්‍රික් ටොන් 26,931 ක් වූ දේශීය නිෂ්පාදනය වසර 20 ක් තුල, එනම් 2010 දී ටොන් 11,703 ක් දක්වා පල්ලම් බැස ඇත්තේ 57% කිනි. තවත් වසර අටක් ගියතැන 2018 දී දේශීය මුංඇට නිෂ්පාදනය ටොන් 9856 ක් වූවා යනු 1990 ට සාපේක්ෂව 63% බැස්මකි.

    දශක කීපයකට උඩදී රතු පරිප්පු වලට ආදේශ කල හැකි යමක් වෙළඳපොලේ තිබුනේ නැත. ගෙවල් වල වඩේ බැද්දේත් එකල ‘මයිසූර් පරිප්පු’ යනුවෙන් හැඳින්වූ රතු පරිප්පු පොඟවා මිරිස් ගලේ තබා ඇඹරීමෙනි. බොම්බායෙන් ගෙන්වන නිසා ලොකු ළූණු වලට කිව්වේද ‘බොම්බයි ළූණු කියාය. පසු කලෙක විවිධ දේශපාලනික මතිමතාන්තර හමුවේ ඉන්දියානු විරෝධයක් ගොඩ නැගුනු අතර, අදාළ භාණ්ඩ පරිභෝජනය කෙරුවත් ඒවාට තිබුණු ඉන්දියානු අනන්‍යතාවය කියන්නට නම් මිනිස්සු මැලිවූහ. රතු පරිප්පු හා ලොකු ළූණු කරලියට ආවේ ඒ අයුරිනි.

    මෙහි වවන්නට බැරි නිසා රතු පරිප්පු හා කඩල වැනි දෑ ආනයනය කිරීම යම් පමණකට සිදුකල යුතු වුවත්, වියලි කලාපයේ සරුවට වැවෙන මුංඇට, කව්පි, උඳු, කොල්ලු වැනි රනිල බෝග පිටරටින් ගෙන්වාගෙන කෑම නම් සමස්ත ජනගහනයෙන් තුනෙන් පංගුවක ගොවි ජනතාවක් සිටින, රටේ මුළු භූමියෙන් 42% ක් පුරා ගොවිතැන් කරන තැනකට ගැලපෙන්නේ නැත. කෙසේ වෙතත් මෙම රනිල වර්ග හතරේම ආනයනය සීමාකිරීම දැන් සිදුවී තිබේ. තුන්වෙනි කන්නයකට බය නැතුව අතගසන්නට වියලි කලාපීය ගොවියා උත්තේජනයක් ලබන්නේද විදෙස් ආනයනයන් වලට පැනවූ මේ තහංචි වලින්මය.

    “යල කන්නයේ සිදුකල වී වගාවෙන් පස්සේ කුඹුරු ලියැදිවල අවශේෂ පෝෂක විතරක් නෙවෙයි සුළු තෙතමනයකුත් තිබෙනවා. මීට අමතරව හදිසියේ ඇවිත් යන වැස්සකින් වැටෙන ජලයත් ප්‍රයෝජනයට ගතහැකි. හොඳින් ජලය බැසයන දියසීරාව සහිත කුඹුරුවල ගොයම් කපනවත් එක්කම පැය 4-5 ක් ජලයේ පෙඟවූ මුං වැපිරීම කල හැකියි. දැනට කෘෂිකර්ම දෙපාර්තමේන්තුව නිර්දේශ කරලා තිබෙන එම්.අයි. 5 , 6, 7 කියන ප්‍රභේද තුනම දින 65 න් අස්වැන්න ගතහැකි කෙටිකාලීන වර්ග. ඒ නිසා ඊළඟ මාස් කන්නයට කලින් අස්වැන්න ගන්න පුළුවන්.”

    අඟුණකොළපැලැස්සේ පර්යේෂණ ස්ථානයේදී තුන්වෙනි කන්නයක වගතුග හා බැඳුනු පර්යේෂණ මෙහෙයවන ශෂ්‍ය විද්‍යා අංශයේ සහකාර කෘෂිකර්ම අධ්‍යක්‍ෂ (පර්යේෂණ) නිලූකා ගුණතිලක මහත්මිය පවසන්නේ එවන් අදහසකි.

    ඉපනැල්ලේ ඇවිදිනවිට පා සලකුණු ඒ මත සටහන් වෙන තරමට පස තෙත්ව පවතින්නේ නම් වැඩේට භූමිය සූදානම් බව කියවෙන ඉඟියකි එය. එසේ නැතිනම් පස් අහුරක් අතට ගෙන වරක් මිරිකා නොකැඩෙන ගුලියක් සෑදිය හැකිනම් එයද ප්‍රමාණවත් තෙතමනයක් ඇති බවට සාක්ෂියකි. වපුරන මුංඇට පසට යටකිරීම සඳහා ගැඹුරු නැතිව වරක් සීසෑම වුවද වරදක් නැත. උඳු හෝ මුං වපුරන්නේ නම් අක්කරයකට බීජ කිලෝග්‍රෑම් 20 ක් හොඳටම ප්‍රමානවත්වේ.

    කව්පි හෝ කොල්ලු වැනි බෝගයන්හි බීජ විශාලත්වයෙන් වැඩි බැවින් වැපිරීම සඳහා ඒවා සුදුසු නොවේ. ලියැද්දේ කුඩා ඇලි සලකුණු කරගෙන ඒ තුලට පේලියට බීජ දැමීම වඩාත් උචිත ක්‍රමයයි. පසුගිය දිනවලදී අසන්නට ලැබුන තවත් අඳෝනාවක් නගනු ලැබුවේ උඳු ඇසුරෙන් පපඩම් වැනි දෑ සාදන කර්මාන්තකරුවන්ය. රජය මගින් ගැසට් පත්‍රයක් මගින් උඳු හා කහ ආනයනය හදිසියේ නතරකිරීම එයට හේතුවයි. රටපුරා තවමත් කහ හිඟයක් තිබේ.

    මේ යලට සිටවූ කහ ගැලවී එන තෙක් හිස කහන්නේ නැතිව තව මාස හත අටක් ඉවසීමෙන් බලා සිටිය යුතුවේ. අපේම දෙයක් නිසා ඒ ටික බලා සිටියත් පාඩු නැත. රටින් එන කහ, වහ වෙන ආකාරයද මීට පෙරදී මවිසින් විස්තරාත්මකව ලියා පලකරන ලදී. උඳු වලින් ස්වයංපෝෂිත වන්නට නම් එතරම් කල් යන්නේ නැත. අතරමැදි බෝනස් කන්නයේදී උඳු වවන්නේ නම්, මදුරාසියේ උළුඳු යොදාගෙන මෙරටදී ගුලිකරන උළුඳු වඩය, ගෙඩිය පිටින්ම එතැන් සිට ලෝකල්ය.

    “උඳු කියන්නේ විශාල පරාසයක පරිසර තත්ත්ව වලට ඔරොත්තු දෙන එකවර අස්වැන්න නෙලිය හැකි බෝගයක්. කෘෂිකර්ම දෙපාර්තමේන්තුව නිර්දේශ කරලා තියෙන ‘අනුරාධ’ උඳු ප්‍රභේදය මාස දෙක හමාරකට කලින් පැහෙනවා. ඒ නිසා මැද කන්නයට හොඳටම ගැලපෙනවා.”

    නිලූකා උඳු ගැන දරන්නේ එවන් අදහසකි. එසේ නමුත් කොල්ලු ගැන නම් ඇය එතරම් ලොකුවට නිර්දේශයක් දෙන්නේ නැත. එය මෝරන්නට මාස තුනක් පමණ ගතවීම ඊට හේතුවයි. මහ කන්නය වගා නොකරන්නේ නම් හෝ මහ පටන්ගන්නට ප්‍රමාද වෙන්නේ නම් හෝ, කොල්ලු සිටුවීමට වුවත්  තුන්වෙනි කන්නය උචිත වනු ඇත. පොහොර ඉල්ලා නිතරම හඬන ගොවියාට තුන්වෙනි කන්නයක් වැව්වා කියා පොහොර සොයා යායුතු වන්නේද නැත. පෙර වගා කන්නයේදී ගොයමට හැලූ පොහොර ඉතිරියක් තවමත් පසේ තිබේ. ඒ ටික බොහෝවිට ප්‍රමාණවත්ය. මුං බෝගයේ කොළ පැහැය මදියයි සිතෙන්නේනම්, පත්‍ර තරමක් කහ පාට වෙමින් නයිට්‍රිජන් ඉල්ලා සිටින්නේ නම්, අක්කරයකට යූරියා කිලෝග්‍රෑම් පහක් පමණ ඉස දැමීම සුදුසු බව එස්. එන්. ජයවර්ධන මහතා එකල ලියා ඇති වාර්තාවක සඳහන්වේ.

    අප මෙතෙක් වැඩි අවධානයකින් කතා කෙරුවේ යල කන්නයට පසුව ඊළඟ මහ කන්නයට පෙරදී කෙරෙනා තුන්වෙනි කන්නයක් ගැනය. එසේනම් ඡන්ද ප්‍රතිපල ලැබෙන අස්සේ මේ දිනවලදීම බෝනස් රනිල අස්වැන්නක් උදෙසා කුඹුරට බැසිය යුතුය. එස්. එන්. ලාගේ 80 දශකයේ පර්යේෂණ තුන්වෙනි කන්නයක් මතින් නතර වී නැති බවද පෙනේ. මාස් කන්නයේ වී අස්වනු නෙලීමෙන් පසු, යල කන්නය තෙක් ඇති පෙබරවාරි – අප්‍රේල් කාල පරාසය සඳහාද ඔවුන් ගොවිතැනක් යෝජනා කර ඇත. එසේනම් එය අවුරුද්දක් ඇතුලත උදාවෙන හතරවෙනි කන්නයයි.

    මහ කන්නය වනාහී වියලි කලාපයට බහුලව වැසි ජලය ලැබෙන තෙතබරිත කාලයකි. ‘හත්දා දුරුත්ත’ යනුවෙන් ගැමියන් හඳුන්වන දින හතක් පුරාවට නොකඩවා වහින්නේද මෙය තුලයි. ඒ නිසා නවම් මහේ ගොයම් කපා නිමවෙනවිට සති දෙකකට පමණ සෑහෙන තෙතමනය ප්‍රමාණයක් පසෙහි ඉතිරිව තිබේ. එසේම දින 8-10 ක සාමාන්‍ය වැස්සක්ද එතැන් සිට විටින්විට පතිත වන්නේය. මේ සියල්ලෙහි වාසියද හතරවෙනි කන්නයේදී වගාකරනා රනිල බෝගයටයි. එසේම මේ වනවිට බොහෝ කුඩා වැව්වල වතුර මුරයක් හෝ දෙකක් දෙන්නට ප්‍රමාණවත් ජල සංචිතයක්ද ඉතිරිව තිබේ. වාෂ්පවී වියලී යන බැවින් එය ඉදිරි යල කන්නය තෙක් තබාගන්නටද බැරිය. හතරවෙනි කන්නය වෙනුවෙන් අතරමැද්දේදී මේ වතුර ටික නිදහස් කරගන්නට හැකිනම් ඉතා හොඳ රනිල අස්වැන්නක් ලැබෙන බවට මෙම පර්යේෂණ වාර්තා සාක්ෂි දරයි.

    මෙවැනි අතරමැදි කන්න දෙකක් වගාකිරීම හරහා ප්‍රධාන කන්නයන්හි කෙරෙන වී ගොවිතැනට ඇති හිතකර බලපෑමද පර්යේෂකයින් පෙන්වා දී තිබේ.

    “රනිල බෝග විසින් පසට නයිට්‍රජන් එකතු කරනවා. වෙනත් රටවලදී කර ඇති පර්යේෂණ තොරතුරු වලට අනුව මුං හෝ කවුපි වගාවක් මගින් ඊට පසුව එන ගොයමට, අක්කරයකට නයිට්‍රජන් කිලෝග්‍රෑම් 20 ක් පමණ ලබාදෙන බව පෙන්වාදී තිබෙනවා. මෙය යූරියා කිලෝග්‍රෑම් 40 ක පමණ වාසියක්. මහඉලුප්පල්ලමේදී පවා සනාථ කරගෙන ඇත්තේ කවුපි වගාවකට පසුව අස්වැද්දූ කුඹුරකින් අක්කරයකට බුසල් 10 ක පමණ අතිරේක අස්වැන්නක් ලැබෙන බව. රසායනික පොහොරත් සමග පාංශු සත්කාරකයක් ලෙස යම් කාබනික පොහොර ප්‍රමාණයක් යෙදීම බොහොම පැරණි නිර්දේශයක් වුවත් බොහොමයක් කුඹුරුවල මෙවැන්නක් ප්‍රායෝගිකව ක්‍රියාත්මක වෙන්නේ නැහැ. කරල් ටික කඩාගත්තට පස්සේ මුං වගාවෙන් කුඹුරේම ඉතුරුවෙන  අවශේෂ කියන්නෙත් කාබනික පොහොරම තමයි. එය මැද කන්නය විසින් ගොවියාට ලබාදෙන තවත් වාසියක්.”

    කෘෂි විද්‍යාඥ එස්. එන්. ජයවර්ධනගේ විස්තරය ඉතාමත් පැහැදිලිය. අපට අපැහැදිලි කරුණ නම්, පර්යේෂණාත්මකව සනාථ වී නැති, රෑ දකිනා සිහිනයන් බඳුවූ සංකල්පයන් ජනගත කරන්නට ඇතැම් ‘කෘෂි උගතුන්’ දඟලන තරමත්, ඒවාට අකුරු අමුණන්නට අගමුල නොතේරෙන මාධ්‍යය සගයින් දරනා වෙහෙසත්, කුඹුරේ තිබෙන මෙම හතර මහ නිධානය ගොඩගන්නට මෙතෙක් භාවිතා නොවූයේ ඇයිද යන්නයි.

    අතරමැදි කන්නයක් කුඹුර පුරන්ව නොතබා රනිල වගා කිරීමෙන් භූමියේ වල්පැල වැඩෙන්නේ අඩුවෙන්ය. මේ නිසා ඒවායින් පොළොවට වල්බීජ හැලෙන්නේ අඩුවෙන්ය. එසේනම් ඊළඟ කන්නයේ ගොයම අතරතුර වල් උපදින්නේද අඩුවෙන්මය. කුඹුරේ වල් මර්දනය අතින් මෙය ගොවියාට සහනයක් නොවන්නේද?

    වඩුවාගේ ගෙදර ඉඳගන්නට පුටුවක් නැතැයි කියන්නාක් මෙන් රටටම බත් කවන අපේ ගොවිමහතාද හැමදාමත් දුප්පත්ය. කුඹුරු ගොවිතැන කෙතරම් අමාරුදැයි දන්නේ එය කරන මනුස්සයාම පමණි. උදේ පාන්දරින් ලියැද්දට බැසි වේලේ පටන්, හැන්දෑවේ ඉන් ගොඩවෙනා තුරු හෙතෙම, හම ඉරිතලන ගිනි අව්වේය. දැඩි රශ්මියෙන් පිට හම දැවෙද්දී, අනේක විධ ප්‍රශ්න රැසකින් ඔහුගේ සිතද පිලිස්සෙන්නේය. පොහොර, වතුර වෙලාවට ලැබෙයිද, සද්දන්තයා රෑ යාමේ කුඹුරට බසියිද, බැත ගෙට ගන්නා තෙක් වැහිකෝඩය පමා වෙයිද, වී මල්ලට සාධාරණ මිලක් ලැබේවිද ආදී මෙකී නොකී ප්‍රශ්න වැලකින් හෙතෙම දිවා රෑ පෙලෙන්නේය. ඒ මදිවාට වකුගඩු රෝගය වැනි මාරයින් සිරුර වටා යමින් හොල්මන් කරන්නේය. මෙම කර්කශ තත්වයට පළමුව දිය යුත්තේ කඩිනම් විසඳුමකි.

    ගොවියාට කලිසම් ඇන්දවීම හෝ ගොවිතැන් ක්‍රමය මොඩ්කිරීම කලකට පසුව වුවත් ඔහුට ලබාදියහැකි දීර්ඝකාලීන විසඳුමකි. තිරසාර සෞභාග්‍යයක ආස්වාදයකි. රජය විසින් විශාල මුදලක්ද යටකරමින් මෙරට වැවිය හැකි බෝගයන් ප්‍රවර්ධනය කිරීමේ වැඩසටහනකට  අතගසා තිබියදී, කෘෂි බලධාරීන්ද මේ මොහොතේ උනන්දු විය යුත්තේ ප්‍රධාන කන්නයන්ට අතරමැදිවී නිකරුනේ නාස්තිවී යන මාස පහක පමණ කාලයට අර්ථයක් ලබා දෙමින් තුන්වෙනි හා හතරවෙනි කන්න, ප්‍රාණවත් කරවන්නටයි. එවිට අතිරේක බෝග වලින් රට ස්වයංපෝෂිත වනවාට අමතරව ගොවියාගේ මුවටද සතුටු සිනා නැගෙනු ඇත.

    සටහන – සනත් එම් බණ්ඩාර

  • Covid-19: ළමුන්ට සිදුවන බලපෑම ගැන ‘සුපිරි’ හෙළිදරව්වක් !

    Covid-19: ළමුන්ට සිදුවන බලපෑම ගැන ‘සුපිරි’ හෙළිදරව්වක් !

    කොවිඩ් -19 සෞඛ්‍ය සම්පන්න පාසල් දරුවන්ගේ මරණවලට හේතු වී නොමැති බව එංගලන්තයේ පර්යේෂකයින් පිරිසක් විසින් සිදුකළ නවතම අධ්‍යයනයකින් හෙළිවී තිබෙනවා. පර්යේෂකයින් පවසන්නේ කොවිඩ් ආසාදිත ළමුන්ට රෝහල්ගත ප්‍රතිකාර අවශ්‍ය ‘අවම අගයකින්‘ බවත් දැඩි සත්තාකර ගත ප්‍රතිකාර අවශ්‍ය වන්නේ ‘ඊටත් වඩා අඩු වෙන් බවයි.

    කෙසේ වෙතත්, කළු ජාතික දරුවන්, තරබාරු හා ඉතා කුඩා ළදරුවන්ට තරමක් වැඩි අවදානමක් ඇති බව ද අධ්‍යයනය මගින් සොයා ගෙන තිබෙනවා.

    පර්යේෂකයින් එංගලන්තයේ, වේල්සයේ සහ ස්කොට්ලන්තයේ රෝහල්වල ප්‍රතිකාර ලබමින් සිටින කොවිඩ් -19 ආසාදිත ළමුන් 651 දෙනකු සිය පර්යේෂණය සදහා යොදාගෙන ඇත.

    මෙම ළමුන් 651 දෙනාගෙන් 1% ක් සහ තරුණයින් (සමස්තයක් වශයෙන් හය දෙනෙක්) කොවිඩ් -19 ආසාදනය හේතුවෙන් රෝහලේදී මියගොස් ඇති අතර, අනෙක් සියලුම වයස් කාණ්ඩවල මෙම අගය 27% ක් බව හදුනා ගෙන ඇත.

    ළමුන්ගෙන් 18%කට දැඩි සත්කාර ඒකකයේ ප්‍රතිකාර අවශ්‍ය වී ඇත.

    කොවිඩ් ආසාදනයෙන් මියගිය හය දෙනාටම “ගැඹුරු” වෙනත් සෞඛ්‍ය ගැටලු ඇති ළමුන් බව ද මෙහිදී හදුනා ගෙන ඇති අතර එවැනි තත්වයන් ඇති දරුවන් කොවිඩ් වෛරසයට ගොදුරු විය හැකි අතර ඒ සඳහා පූර්වෝපායයන් ගත යුතු බව පර්යේෂකයෝ පැවසූහ.

    නමුත් අනෙක් අයට අවදානම අතිශයින්ම අඩු විය.

    ලිවර්පූල් විශ්ව විද්‍යාලයේ අධ්‍යයන කතුවරයා වන මහාචාර්ය කැලම් සෙම්පල් පැවසුවේ “සෞඛ්‍ය සම්පන්න පාසල් වයසේ දරුවන් තුළ කිසිදු මරණයක් සිදුවී නොමැති” බවයි.

    “ළමයින් නැවත පාසැල් යාමෙන් කිසිදු හානියක් සිදු නොවේ.” ඔහු වැඩි දුරටත් පැවසීය.

    එඩින්බරෝ හි රාජකීය රෝහලේ වෛද්‍ය ඔලිවියා ස්වන් පැවසුවේ ‘මෙම සොයාගැනීම් එක්සත් රාජධානිය පුරා සිටින දෙමව්පියන්ට අතිශයින්ම සැනසිලිදායක වනු ඇති බව‘ යි.

    රෝහලට ඇතුළත් කළ ළමුන් තුළ බහුලව දක්නට ලැබෙන රෝග ලක්ෂණ වූයේ උණ, කැස්ස, ඔක්කාරය හෝ වමනය සහ හුස්ම හිරවීමයි.

    වැඩිහිටි දරුවන්ට බඩේ වේදනාව, හිසරදය සහ උගුරේ අමාරුව ඇතිවීමේ ඉඩකඩ වැඩිය.

    අධ්‍යයනයට ලක් වූ ළමුන් 651 දෙනාගෙන් 42% කට බරපතළ තත්ත්වයේ රෝගාබාධ (වඩාත් සුලභ රෝග වන්නේ මොළයට හා ස්නායු පද්ධතියට සම්බන්ධ ආබාධ (11%), පිළිකා (8%) සහ ඇදුම (7%) ආදියයි) තිබී ඇත.

    රෝහල් ඇඳේ දරුවා
    කොරෝන ආසාදිත ළමුන් 10 දෙනෙකුගෙන් එක් අයෙකුට දුර්ලභ සින්ඩ්‍රෝමය ඇති බව හඳුනා ගන්නා ලදී

    නමුත් ඇදුම රෝගය (තරබාරු වීම මෙන් නොව) ඇති දරුවන්ට දැඩි සත්කාර අවශ්‍ය නොවීය.

    අධ්‍යයනය කරන ලද ළමුන්ගෙන් 52 දෙනෙකුට කොවිඩ් වෛරසයට සම්බන්ධ බහු පද්ධතිය සින්ඩ්‍රෝමය ඇති බව හදුනාගෙන ඇත.

    මෙම දරුවන් ( ඔවුන්ගෙන් කිසිවෙකු මිය ගියේ නැත) අනෙක් අයට වඩා වයසින් වැඩි අතර 10% ක් පමණ වාර්ගික සුළුතරයන්ට (සුදු ජාතික නොවන) අයත් දරුවන් විය. ඔවුන් දැඩි සත්කාර සඳහා ඇතුළත් කර ගැනීම පස් ගුණයකින් වැඩි වූ අතර එහිදී ඔවුන් ප්‍රතිකාර සඳහා හොඳින් ප්‍රතිචාර දැක්වීය.

    ‘ඉහළ සිදුවීම්’

    තම අධ්‍යයනය මත පදනම්ව, කොවිඩ් ආසාදිතයින් තුළ දැකිය හැකි රෝග ලක්ෂණ අතරට තෙහෙට්ටුව, හිසරදය, උගුරේ අමාරුව සහ මාංශ පේශි වේදනාව යන රෝග ලක්ෂණ ද ඇතුළත් කළ හැකි බව පර්යේෂකයන් පැවසීය.

    ලන්ඩනයේ ඉම්පීරියල් කොලේජ් හි ආචාර්ය ලිස් විටේකර් පැවසුවේ ‘මෙම සොයාගැනීම් මගින් මීට පෙර සිදුකළ අධ්‍යයන සනාථ කරන බවයි.

    “ඉතා අඩු ළමුන් සංඛ්‍යාවක් දැඩි සත්කාර ඒකකයේ ප්‍රතිකාර සඳහා ඇතුළත් කර ඇති අතර පර්යේෂකයන් ඔවුන් අතර ඉතා අඩු මරණ අනුපාතයක් වාර්තා කර ඇත. විශේෂයෙන් වැඩිහිටියන්ට සාපේක්ෂව පමණක් නොව අනෙකුත් ආසාදන වන, ඉන්ෆ්ලුවෙන්සා, චිකන් පොක්ස්, මෙනින්ජයිටිස්, කාණ්ඩ-ඒ -ස්ට්රෙප් [ටොකොකස්] සෙප්සිස් යනාදිය සහ ළමා වියේ මරණයට වෙනත් හේතු වශයෙන් සැලකෙන මාර්ග අනතුරු අනතුරු පවා කොවිඩ් මරණවලට වඩා ඉහළ අනුපාතයක් වාර්තා කර ඇත“ ඇය පැවසුවාය.

    කළු ජාතික ළමයින් වඩාත් දුර්ලභ සින්ඩ්‍රෝමය මගින් පීඩාවට පත්වීම “මෙම ප්‍රජාවන් තුළ කොරෝනා ආසාදනය වීමේ වැඩි ප්‍රවණතාවක් පිළිබිඹු කරයි” යනුවෙන් වෛද්‍ය විටේකර් මහතා පැවසීය.

    බී.බී.සී. වාර්තාවක් ඇසුරිණි – සකස් කළේ – තීක්ෂණ වෙළෙන්එගොඩSharing is caring!

  • ඇත්තටම සිංහරාජයේ වුණේ කුමක්ද ? ජනපති ඇත්ත සොයා බලන්න යයි

    ඇත්තටම සිංහරාජයේ වුණේ කුමක්ද ? ජනපති ඇත්ත සොයා බලන්න යයි

    පරිසරයට හානි නොවන පරිදි ජනතා අවශ්‍යතා ඉටුකිරීම සිය අභිලාෂය බව ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා අවධාරණය කරයි.

    නෙළුව –  ලංකාගම මාර්ග ප්‍රතිසංස්කරණයේ දී  සිංහරාජ වන රක්ෂිතයට හානිවන බව විද්‍යුත්, මුද්‍රිත සහ සමාජ මාධ්‍ය මගින් පසුගිය දින කිහිපය තුළ ප්‍රචාරය කෙරිණ. එහි සත්‍ය අසත්‍යතාව සියැසින් දැක විද්වතුන්ගේ සහ ප්‍රදේශවාසීන්ගේ අදහස් විමසුමට ජනාධිපතිවරයා අද (29) නෙළුව ලංකාගම ප්‍රදේශයේ චාරිකා කළේය.

    සිංහරාජ වන රක්ෂිතය හා මාර්ගය ප්‍රතිසංස්කරණයට ලක්වන ග්‍රාමීය ප්‍රදේශවල පරිසර පද්ධතිය රැක ගනිමින් දිගු කලක සිට ඇති ජනතාවගේ දැඩි අවශ්‍යතාවක් වන මාර්ගයේ ඉදිකිරීම් කළයුතු බව ජනාධිපති පෙන්වා දුන්නේය.

    ලංකාගම ගම්මානය වළගම්බා රජ දවස දක්වා දිව යන ඉතිහාසයකට උරුමකම් කියයි. තේ වගාව ප්‍රදේශයේ ප්‍රධාන ජීවනෝපාය වේ. සියවසකට අධික කාලයක සිට ගැමීහු සිංහරාජ වන රක්ෂිතය ආසන්නයේ වැටී ඇති මාර්ගයේ දෙනියායට සහ නෙළුවට තේ දළු රැගෙන යති.  

    නෙළුව, උඩුගම, කරාපිටිය රෝහල් වෙත රෝගීන් රැගෙන යාමට, දරුවන්ගේ අධ්‍යාපනයට සහ දෛනික ජීවන ක්‍රියාවලියේදී මාර්ගයේ පවතින තත්ත්වය දැඩි බාධාවක් විය. ඊට පිළියම් ලෙස “නෙළුව – ලංකාගම – පිටදෙනිය” මාර්ගයේ ප්‍රතිසංස්කරණය ආරම්භ කෙරිණ.

    සිංහරාජ වන රක්ෂිතයට හානිවන බවට පරිසරවේදීන් පිරිසක් කළ චෝදනා හේතුවෙන් ප්‍රතිසංස්කරණ නවතන ලෙස ජනාධිපතිවරයා නියෝග කළේය.

    මාර්ග සංවර්ධන, වනජීවි සහ වනරක්ෂන, පරිසර සහ අදාළ සියලු අමාත්‍යාංශ නිලධාරීන් සමග ප්‍රතිසංස්කරණය කෙරෙන මාර්ගය ජනපතිගේ නිරීක්ෂණයට ලක් කෙරිණ.

    මාර්ග සංවර්ධන අධිකාරියේ අධීක්ෂණය යටතේ යුද හමුදාව මාර්ග ප්‍රතිසංස්කරණය භාරව සිටී. කි.මි 18ක දුර ප්‍රමාණය තෙමසක් තුළ නිම කිරීමට උපදෙස් දෙනු ලැබිණ. මාර්ගයේ ප්‍රතිසංස්කරණ නිමවීමෙන් පසු ලංකාගම සිට දෙනියායට යාමට ගතවූ පැය 04කට ආසන්න කාලය විනාඩි 45කට කෙටි වේ.

    ප්‍රතිසංස්කරණයේදී රක්ෂිතයට හෝ පරිසර පද්ධතියට හෝ හානි නොවිය යුතු බව ජනාධිපති තරයේ අවධාරණය කළේය.

    ප්‍රතිසංස්කරණයෙන් පසු නෙළුව සිට දෙනියායට බස් රථයක් දෛනිකව ධාවනයට එක් කිරීමටද තීරණය කෙරිණ.

    ලංකාගම ග්‍රාමයේ වැල් පාලම වෙනුවට දිගින් අඩි 120කින් සහ පළලින් අඩි 06කින් යුත් පාලමක් ඉදිකිරීම ද සමගාමීව සිදු කෙරේ. වතුගල, ලංකාගම, නිල්වැල්ල, කොළොන්තොටුව සහ පිටදෙනිය ගම්මානවල දරුවන්ට පාසලට පැමිණීමට මෙතෙක් පැවති බාධකය ඉන් ඉවත් කෙරේ.

    පවුල් 700ක් වෙසෙන ලංකාගම ප්‍රදේශයේ සෑම පවුලකටම පැල 03 බැගින් නොමිළේ දී පැළ 2100ක් වගා කර ඔවුන් විසින්ම රැකගෙන වන රක්ෂිතයට දායාද කිරීමට ජනාධිපති උපදෙස් දුන්නේය.

    සිංහරාජ වන රක්ෂිතය සහ පරිසර පද්ධතිය පාරම්පරිකව රැකගත් තමන්ට සිය මූලික අවශ්‍යතා ඉටුකර ගැනීමට එරෙහිව පරිසරවේදීන් කණ්ඩායමක් කරුණු හරිහැටි නොදැන බලපෑම් කරන බව පවසමින් ප්‍රදේශවාසීහු දැඩි විරෝධය පළ කළහ.  තම කුඩා පුතණුවන් කරේ හොවාගත් පියෙකු “අප විඳි දුෂ්කරතා දරුවන්ට විඳීමට ඉඩ නොතබන” ලෙස ජනාධිපතිගෙන් ඉල්ලා සිටියේය.

    මූලික ජීවන අවශ්‍යතා සපුරාගත නොහැකිව පීඩාවට පත්ව සිටින ප්‍රදේශවාසීන් වෙනුවෙන් මාර්ගයේ ප්‍රතිසංස්කරණයට ජනාධිපති ගත් තීරණයට මහා සංඝරත්නය ආශිර්වාද කළහ.

    මහාමාර්ග අමාත්‍ය ජොන්ස්ටන් ප්‍රනාන්දු, පරිසර අමාත්‍ය මහින්ද අමරවීර, වැවිලි කර්මාන්ත අමාත්‍ය රමේෂ් පතිරණ, රාජ්‍ය අමාත්‍ය මොහාන් පී. ද සිල්වා , සම්පත් අතුකෝරළ, නිපුණ රණවක, චන්දිම වීරක්කොඩි, වීරසුමන වීරසිංහ යන පාර්ලිමේන්තු මන්ත්‍රීවරු,  පළාත් ආණ්ඩුකාර විලී ගමගේ මහතා සහ අමාත්‍යාංශ රැසක නිලධාරීහු මේ අවස්ථාවට එක්ව සිටියහ.

    ඡායාරූප : සාගර ලක්මාල් ද මෙල් – ජනාධිපති මාධ්‍ය අංශය

  • Supiri Political Gossip: තිස්ස හදිසියේ රනිල් හමුවී කළ ඉල්ලීම

    Supiri Political Gossip: තිස්ස හදිසියේ රනිල් හමුවී කළ ඉල්ලීම

    සටහන – ගජබා නාගහවත්ත

    නව පාර්ලිමේන්තුව මුල් වරට රැස්වූ දින එහි ගිය සජිත් කෙලින්ම සබාගර්භය දෙසට යන විට නිලධාරින් විමසුවේ “ඔබතුමා විපක්ෂ නායක කාර්යාලයට යන්නේ නැද්ද?” කියාය.

    “මම මන්ත්‍රී පමණයි. තාම විපක්ෂ නායක වුනේ නෑ. නිල වශයෙන් ඒක ලැබුණොත් තමයි කාර්යාලයට යන්න අයිතිය තියෙන්නේ.” සජිත් කීවේ සිනාසෙමිනි.

    එදින පාර්ලිමේන්තුවේදී සජිත් විපක්ෂ නායකධූරය ලැබීමෙන් පසු කළ කතාව ඉංග්‍රිසියෙන් සිදුකිරීම ගැන විවිධ අදහස් පළවන්නට විය.

    “එදා පාර්ලිමේන්තුවේ විදෙස් තානාපතිවරු හා විදෙස් ජනමාධ්‍යයත් හිටියා. සිංහලෙන් කරන කතාවක් වෙනත් අයෙකුගේ පරිවර්ථන හරහා එළි දැක්වීමට වඩා තමාට ආවේනික ඉංග්‍රිසි බසින් තම පණිවුඩය ලෝකයට දීමයි විපක්ෂ නායකතුමාගේ අරමුණ වුනේ.” ඒ ගැන විමසු මාධ්‍යවේදීන්ට ලක්ෂ්මන් කිරිඇල්ල කීවේ එවැන්නකි.

    එදින පාර්ලිමේන්තු සභාව නිමවා එළියට පැමිණි ලක්ෂ්මන් කිරිඇල්ල වටකරගත් මාධ්‍යවේදීන් තවත් අපූරු පැනයක් විමසූහ.

    “රනිල්ට වගේම සජිත්ටත් පාර්ලිමේන්තු ගේම් එකට ඔබතුමා අවශ්‍ය වූනේ ඇයි?.” ඔවුහු විමසීය.

    “ඒක ඉතින් ඒ දෙන්නගෙන් අහන්න.” කිරිඇල්ල කීවේ උස් හඩින් සිනාසෙමිනි.

    “කිරිඇල්ල මැතිතුමා වසර 31 ක් පාර්ලිමේන්තුවේ සිටිනවා වගේම ස්ථාවර නියෝග ගැන හා පාර්ලිමේන්තු විවාද ගැන හසල දැනුමක් තියෙන කෙනෙක්. එසේම අධිනීතිඥවරයෙක්. ඒ වගේම ප්‍රතිපක්ෂයේ තර්කවලට ක්ෂණිකව ප්‍රතිතර්ක ගොඩනැගිය හැකි මේ පාර්ලිමේන්තුවේ මා දුටු සාර්ථකම චරිතයයි.” කිරිඇල්ල වෙනුවෙන් උත්තර බැන්දේ හේෂා විතානගේය.

    සජිත් හැකි සෑම දිනකම විහාරස්ථාන දෙකකට ගොස් වන්දනාමාන කිරීම හා අඩුපාඩු සොයා බැලීමේ ක්‍රමවේදයක් දිගටම කරගෙන යාමට දරන උත්සාහය ද කාගේත් පැසසුමට ලක්ව තිබේ. පසුගිය සති අන්තයේ සිටම ඔහු කෝට්ටේ සිය කාර්යාලයේදි මෙන්ම පිටස්තර ස්ථාන කිහිපයක දී පක්ෂයේ ඉදිරි ක්‍රියාමාර්ග හා පාර්ලිමේන්තු ක්‍රියාවලිය පිලිබදව විවිධ සාකච්ඡා රැසකට එක්වූහ. එසේම එම සති අන්තයේ අලුත් පාර්ලිමේන්තුවේ මන්ත්‍රීවරු සදහා කථානායකතුමා සංවිධානය කළ දෙදින වැඩමුළුවට ද විපක්ෂ නායක සජිත්ට ආරාධනා කොට තිබින. කලින් යොදාගත් කටයුතු හේතුවෙන් ඔහු එම අවස්ථාවට නොපැමිණි අතර විපක්ෂයේ වගකීම බාර දුන්නේ කිරිඇල්ලටය.

    “අධිරාජ්‍යවාදි රටවල් වල රජු කථානායක පත් කළේ ඔහුගේ ඕනෑකම් ඉටු කර ගන්නයි. ඒත් අදීන කථානායකවරු අන්තිමේ රජුගේ පැත්ත නොවෙයි. මන්ත්‍රීලාගේ හා ජනතාවගේ පැත්තයි ගත්තේ. දින 54 විකෘති ආණ්ඩුව තුළ ලංකාවේ කථානායකත් ක්‍රියාකළේ ඒ විදියටයි. නව කතානායකගෙනුත් මම ඉල්ලන්නේ රජුගේ පැත්තට වඩා රටේ ජනතාව හා මන්ත්‍රීවරුන්ගේ පැත්ත ගන්නා ලෙසයි.” ලක්ෂ්මන් කිරිඇල්ල එහිදි කළ කතාවට පක්ෂ විපක්ෂ බොහෝ මන්ත්‍රීවරුන් පෞද්ගලිකව ඔහුට ප්‍රසාදය පළ කළහ.

    සදුදා සවස කෝට්ටේ ස.ජ.බ කාර්යාලයේදි පක්ෂ ව්‍යවස්ථාව ගැන හා ආණ්ඩුව ඉදිරිපත් කරන 20 වැනි සංශෝධනය ගැන විශේෂ සාකච්ඡාවක් පැවැත්විනි. ඊට මද්දුමබණ්ඩාර, තිස්ස, ඉමිතියාස්, ශිරාල් ඇතුළු පිරිසක් එක්වූහ.

    තවද ස.ජ.බ පාර්ලිමේන්තු කණ්ඩායමේ මංගල රැස්වීම බදාදා පාර්ලිමේන්තුවේදි විපක්ෂ නායක සජිත්ගේ ප්‍රධානත්වයෙන් පැවැති අතර එහිදි අත්දැකිම් සහිත හා නවක මන්ත්‍රීවරු රැසක් සිය මතවාද එළිදැක්වූවේ ඉතා නිදහස් වාතාවරණයක් තුළය. එදිනම ඉන්දියානු මහකොමසාරිස්වරයා විපක්ෂ නායක සජිත් හමුවූවේ පාර්ලිමේන්තු කාර්යාලයේදීය.

    “ශ්‍රී ලංකාවේ පත්වන නව පාලකයන් වගේම විපක්ෂ නායක ඇතුළු සියළු කණ්ඩායම් සමග අවබෝධයෙන් ක්‍රියාකිරීමේ ඉන්දියානු ප්‍රතිපත්තිය මත මම ඔබතුමා හමුවෙන්න ආවා. ඔබේ අදහස් හා මතවාද මම ඉන්දියානු රජයට දන්වනවා.” යැයි කී මහකොමසාරිස් හා විපක්ෂ නායක සජිත් අතර ඉතා ගැඹුරු සහ සුහද සාකච්ඡාවක් පැවැත්විනි.

    එසේම පසුගිය මැතිවරණයේදි එ.ජා.ප ය සමග ක්‍රියාකළ බොහෝ පිරිස් සජිත් පිළ හා එක්වීමේ ප්‍රවණාතව මත කුරුණෑගල දිස්ත්‍රික් එ.ජා.ප සංවිධායක චමිල මුණසිංහ විපක්ෂ නායක හමුවී එම කදවුර හා එක්විය. ඔහු නැසීගිය ජනරාල් සරත් මුණසිංහ මහතාගේ පුත්‍රයාය.

    බ්‍රහස්පතින්දා සවස විපක්ෂ නායක සජිත් විශේෂ රැස්වීමක් කැදවා තිබින. ස.ජ.බ ඊළග දේශපාලන ක්‍රියාවලිය ගැන මෙන්ම ආණ්ඩුව මාස 4 ක් සදහා ඉදිරිපත් කරන රු. බිලියන 1400 ට ආසන්න අතුරු සම්මත ගිණුමේදි ක්‍රියාකළ යුතු ආකාරය පිළිබදවද එහිදි විවිධ තීන්දු රැසක් ගැනින. ඊට මද්දුමබණ්ඩාර, තිස්ස, ඉම්තියාස්, කබීර්, තලතා ඇතුළු පිරිසක් ද එක්වූහ.

    යහපාලනය ගෙනා 19 වෙනි ව්‍යවස්ථාව අකුලමින් මේ ආණ්ඩුව 20 ගෙන ඒම සදහා ක්‍රියාකරමින් සිටියි. “19 සුරකිමු” යනුවෙන් සජබ ය ජනතාව දැනුවත් කිරීමේ වැඩපිළිවෙලකට අතගැසුවේ මුලින්ම ප්‍රවෘත්ති සාකච්ඡාවක් හරහාය.

    “19 ආපස්සට හරවලා 2015 දී අපි ජනතාවට දුන් නිදහස ප්‍රජාතන්ත්‍රවාදය, ජනමාධ්‍ය නිදහස, හකුලා යළිත් ඒකාධිපත්තිවයට රට ගෙනියන්නයි මේ හදන්නේ. අපි ඒකට ඉඩදිය යුතු නැති නිසා ජනතාව අප හා පෙළ ගැස්වීමක් අත්‍යවශ්‍යයි.” දොස්තර රාජිත කීවේ එවැන්නකි.

    “20 ගේන්නේ ලක්ෂ 220 ක රටේ ජනතාවට රැකවරණය දීමටද නැතිනම් එක් ඇමරිකානු පුරවැසියෙකු වෙනුවෙන් ද?” හර්ෂ සිල්වා මතු කළේ දැවැන්ත තර්කයකි.

    “19 තුළ රටට වැදගත් කරුණු 36 ක් තියෙනවා. ඉන් 13 ක් ජනාධිපතිගේ ඒකාධිපති බලය පාර්ලිමේන්තුවට පැවරීමටයි. ඒත් ඒක ආපස්සට හරවලා රටේ සියළු බලය යළිත් තනි මිනිහෙකුගේ අතට පත් කරන්න මේ ආණ්ඩුවේ මන්ත්‍රීවරුන්ට සදාචාරාත්මක අයිතියක් තියෙනවාද? මේ මන්ත්‍රීවරු බොහෝ දෙනෙක් 18 වෙනි සංශෝධනයට වගේම 19 වෙනි සංශෝධනයට අත ඔසවපු අයයි. 20 වන සංශෝධනයටත් මේ අය අත ඔසවනවා නම් විහිළුකාරි හා අවබෝධයක් නැති මිනිසුන් ලෙස ඉතිහාස ගතවේවි.” නීතිඥ ශිරාල් ලක්තිලක කීවේ එවැන්නකි.

    පසුගිය ඉරිදා එ.ජා.ප මන්ත්‍රී තිස්ස අත්තනායක සිය පැරණි නායකයා වූ රනිල් හමුවීමට 5 වන පටුමග නිවසට ගියේය. එහිදි එ.ජා.ප නායකයාගේ දුක සැප විමසීම මෙන්ම ඔහුගේ ඉදිරි දේශපාලන ක්‍රියාකාරකම් පිළිබදවද තිස්ස හා නායකයා අතර අදහස් හුවමාරු විය. තවද එ.ජා.ප ය හා ස.ජ.බ එකතුවීමේ අවශ්‍යතාවය ද තිස්ස මතු කළේය.

    “එ.ජා.ප ය පසුබෑවේ දෙකඩ වූ නිසයි. එහි වගකීම කා අතදැයි තේරුම් ගන්න ඕනෑ.” එ.ජා.ප නායකයා කීවේ එවැන්නකි.

    එකතුවීම පිළිබදවද එ.ජා.ප නායකයා තුළ තිබුණේ පුළුල් මතවාදයකි. තිස්ස අත්තනායක අනතුරුව ගියේ කරු ජයසූරියගේ අමරසේකර මාවත නිවසටය.

    “පීලි දෙකක යන එ.ජා.ප ය එකතු කරන්න මැදිහත් වෙන්න.” තිස්ස කීවේ එවැන්කි.

    “ඒ වගකීම බාරගෙන අතරමැදි නායකත්වය බාර ගන්න මම කැමතියි.” කරු වෙතින් පළවූවේ එවැනි අදහසකි.

    “පාස්කු ප්‍රහාරයට අදාළ කොමිසමේදි බුද්ධි අධ්‍යක්ෂකවරයා කියන ඇතැම් කරුණු එකිනෙකට ගැලපෙනවද කියලා පොඩි ප්‍රශ්නයක් තියෙනවා. ඔහු සමහරු බේරන්න හදනවද කියලා අහන අයත් ඉන්නවා. ඔහු එක් විටක කියනවා ඔහුගේ ඇමතුම් 9 ක් ජනපති මෛත්‍රි සම්බන්ධ කර ගන්න බැරිවුනා කියලා. ඒ එක්කම ඔහු තව තැනක කියනවා මම දැනුවත් කළ බොහෝ පිරිස් ප්‍රහාරය සිද්ධ වෙන වෙලාවේ රට පැන්නා කියලා. කොමිසම ජනතාව මතු කරන මේ පරස්පරතා ගැන දැඩි අවධානය යොමු කිරිම අත්‍යවශ්‍යයි.” චමින්ද විජේසිරි සිය පාර්ලිමේන්තු හිතවතුන් සමග කී දේ සජබ නායකයන් ඇතුළු සියළු දෙනා අනුමත කළහ.

    සටහන – ගජබා නාගහවත්ත

  • Political Week Review: එජාප ප්‍රබලයෙක්ගෙන් මෛත්‍රී ගැන සුපිරි හෙළිදරව්වක්

    Political Week Review: එජාප ප්‍රබලයෙක්ගෙන් මෛත්‍රී ගැන සුපිරි හෙළිදරව්වක්

    සටහන – ගජබා නාගහවත්ත

    මැතිවරණයෙන් අනතුරුව උද්ගතවු අභ්‍යන්තර ගිනියම් බවට තවමත් අවසන් විසදුම් ලැබී නොතිබීම තුල එ.ජා.ප නායකයා ඇතුළු පිරිස් දිගින් දිගටම කෘත්‍යාධිකාරි රැස්වීම් සහ වෙනත් රැස්වීම් මාලාවක් හරහා අවසන් විසදුමකට පැමිණිමට ගන්නා උත්සාහය තවමත් අවසන්ව නැත.

    එ.ජා.ප නායකයා බ්‍රහස්පතින්දා පෙරවරුවේ සිරිකොත බලාගියේ තවත් එවැනිම සාකච්ඡා කිහිපයකට එක්වීමටය.

    “සැප්තැම්බර් 05 දා පක්ෂ නායකත්වයේ ඇත්තටම වෙනසක් වෙනවාද? නැත්නම් තවත් කල් යයිද?” බොහෝ දෙනෙකු නායකයාගෙන් විමසූයේ එවැන්නකි.

    “බලමු. මගේ තනි තීන්දුවකට එ.ජා.ප යාන්ත්‍රණය තුළ ඉඩක් නෑ. කෘත්‍යාධිකාරියයි සාමුහික තීන්දුව ගන්නේ. වෙනස්කම් කෙසේ කළ යුතුද? එම තීන්දුවේ හැඩරුව කුමක්ද යන්න පවා තීන්දු කළ යුත්තේ සාමූහිකවයි.” එ.ජා.ප නායකයා සුපුරුදු සූක්ෂම පිළිතුර ලබා දුන්නේය.

    “ජ්‍යෙෂ්ඨ නායකයෙක් ගැන ද, තරුණ නායකයෙක් ගැනද වැඩි අවධානය තියෙන්නේ.” ඔවුහු යළිත් ප්‍රශ්න කළහ.

    “ජ්‍යෙෂ්ඨ හා තරුණ නායකයෝ අපට ඉන්නවා. සමහරුන්ගේ නම් දැනටත් කියවෙනවා. අකිල, රුවන්, වජිර වගේ නම් අටක් මේ පොරයේ ඉන්නවනේ.” නායකයා කීවේ සැහැල්ලුවෙනි.

    “එ.ජා.ප මහාලේකම් කමයි, වෘත්තීය සමිති වැඩෙයි ඔක්කොම පවරලත් ඇතමුන් ඒ වැඩ හරියට කළාදැයි  සමහරු ප්‍රශ්න කරනවා. එහෙම ප්‍රශ්න නොවන මට්ටමට කටයුතු කළා නම් වැඩිම අවස්ථාව තිබුණේ ඔවුන්ටයි.” එ.ජා.ප නිලධාරින් පිරිසක් සිය මතවාද එළි දැක්වීය.

    “ජනතා ආකර්ෂණය කාර්යක්ෂමතාවය අලුත් නායකයාට අත්‍යාවශ්‍යයි. එහෙම නොවුනොත් වැටුණු පක්ෂයක් ගොඩ ගන්න ලෙහෙසි නෑ”. නායකයාගේ හිතවතුන්ගේ මතය එයවේ.

    “තුනෙන් දෙකක් තියෙන මේ රජයට එක පාරටම මහ පාරේ දේශපාලනය කරලා දන්වන්න අමාරුයි. ඔලුවෙන් සහ පාර්ලිමේන්තුවේදී කළ යුතු දෙයක් තමයි තියෙන්නේ. එ.ජා.ප නව නායකයාගේ කාර්යක්ෂමතාවය මදි නම් සෙසු නව විකල්ප ක්‍රම සහ උපක්‍රමවලින් හෝ ඔහු සන්නද්ධ විය යුතුමයි. එවැනි කෙනෙක් අත්දැකිම් බහුල අය එක්ක සහයෝගීතා ගමනක් යාමත් අත්‍යවශ්‍යයයි.” එ.ජා.ප නායකයාගේ මතය එය විය.

    “දෙකට කැඩුණු පිරිස් එකතු වීමේ ක්‍රමවේදය ගැන මොකද හිතන්නේ.” නායකයාට යොමුවූ තවත් ප්‍රශ්නයක් එය විය.

    “එ.ජා.ප ය කියන්නේ අලියා ලකුණ පමණයි.” නායකයා කීවේ මද සිනහවක්ද සමගිනි.

    එ.ජා.ප යේ අට දෙනෙකු නායකත්වය සදහා පොර බදද්දී පසුගිය සතියේ එ.ජා.ප හිටපු නියෝජ්‍ය නායක හා කථානායක කරු ජයසූරිය මහතාද කරලියට පැමිණියේ එ.ජා.ප නායකත්වය පිළිබද යම් අපේක්ෂ සමගිනි. මහා සංඝරත්නය මෙන්ම විශ්ව විද්‍යාල ඇදුරන් රැසක්ද කරූට සහයෝගය දක්වමින් ප්‍රවෘත්ති සාකච්ඡා ඇතුළු විවිධ ක්‍රියාකාරකම් එළිදැක්වූවේ එවැනි පසුබිමකය.

    කරු ජයසූරිය එජාප නායකත්ව සටනට

    එ.ජා.ප යේ අට දෙනෙකු නායකත්වය සදහා පොර බදද්දී පසුගිය සතියේ එ.ජා.ප හිටපු නියෝජ්‍ය නායක හා කථානායක කරු ජයසූරිය මහතාද කරලියට පැමිණියේ එ.ජා.ප නායකත්වය පිළිබද යම් අපේක්ෂ සමගිනි. මහා සංඝරත්නය මෙන්ම විශ්ව විද්‍යාල ඇදුරන් රැසක්ද කරූට සහයෝගය දක්වමින් ප්‍රවෘත්ති සාකච්ඡා ඇතුළු විවිධ ක්‍රියාකාරකම් එළිදැක්වූවේ එවැනි පසුබිමකය.

    තමා එ.ජා.ප නායකත්වය බාරගැනීමට සුදානම් බවද කරු මුල්වරට එ.ජා.ප ය වෙත ලිඛිතව දන්වා සිටියේද එකී පසුබිමක් තුළ ය. එහෙත් එ.ජා.ප ය කියන්නේ එවැනි ලිපියක් නොලැබුණු බව හා කරු එ.ජා.ප නායකත්වය අපේක්ෂා කිරීමට පෙර පක්ෂ සාමාජිකත්වය යළි ලබාගත යුතු බවය. ඊට පිළිතුරු දැක්වූ කරූ කියා සිටියේ තමා එ.ජා.ප යාවජීව සාමාජිකයෙකු බවය.

    “එතුමා වසර 3 ක් රාජපක්ෂ ආණ්ඩුව ශක්තිමත් කරන්න ගියා. ඉන් පසුව ආවා. 2015 දී එතුමා එ.ජා.ප මන්ත්‍රීවරයා වූනේ ජාතික ලැයිස්තුවෙනුයි. එවැනි පත්වීමකට පක්ෂ සාමාජිකත්වය ඕනේ නෑ. ඒ වගේම එ.ජා.ප යාවජිව සාමාජිකත්වය ගත් බව දැන් කීවත් එතුමා මුල් නිවේදනයෙන් එවැන්නක් කියා තිබුණේත් නැහැ.” එ.ජා.ප නීති අංශ නිලධාරියෙක් කරුණු පැහැදිලි කළේ එසේය.

    “එ.ජා.පෙ ට ශක්තිමත් නායකත්වයක අඩු පාඩුව තියෙනවා වගේම පොහොට්ටුවටත් මහින්දගෙන් පස්සේ හරි කෙනෙක් නෑ. 2025 දී මේ රටට විශාල හිඩසක් ඇති වෙන එක ඒකාන්තයි. තරුණ පිරිසට වෙනස්ම විදියේ හා වේගවත් ගමනක් යා හැකි කෙනෙකුයි අවශ්‍ය වෙන්නේ. යමෙක් පක්ෂයක හෝ රටේ බලය ගත් දවසේ ඉදලා හැම තප්පරයේම සිදුවන්නේ ඔහු හෝ ඇයගේ පිරිහීම පමණයි.” එ.ජා.ප නායකයා කළ විග්‍රහය කාගේත් ආකර්ෂණයට බදුන්වූවක් විය.

    “පාස්කු ප්‍රහාරය හා දේශපාලන පලිගැනීම්වලට අදාළ කොමිෂන්වලට ඔබතුමා යායුතුයි.” එ.ජා.ප නීති අංශය නායකයාට දුන් උපදේශය එය විය.

    “පාස්කු කොමිසම මග හරින්න හෝ ඔවුන්ට ගෙදරට එන්න කියන්න තරම් මම රටට අසාධාරණයක් කරන්නේ නෑ. ඒකට මම යනවා. ඒත් ඔය අනිත් කොමිෂන් ගැන මිනිස්සුන්ගේ තියෙන්නේ හොද ස්ථාවරයක් නොවෙයි.” එ.ජා.ප නායකයා කීවේය.

    “බුද්ධි අංශයේ අධ්‍යක්ෂක පාස්කු ප්‍රහාර ගැන 9 පාරක් කෝල් දීලත් හිටපු ජනාධිපති ඒවා ඉස්සුවේ නෑ කියලා ඔහු කොමිසමට කියා තිබුණා. බුද්ධි අංශ ප්‍රධානියාගේ දුරකතන ඇමතුමක් උස්සන්නේ නැති ජනාධිපති කෙනෙක් ලෝකේ හිටියා නම් ඒ හිටපු ජනාධිපති වෙන්න ඇති.” එ.ජා.ප ප්‍රබලයෙක් කීවේ සිනා මැදය.

    “කොමිෂන්වල සාක්කි දෙනකොට සමහර නිලධාරින් සමහරු බේරන්න හදනවා කියලාත් ජනතාව අතර මතයක් යනවා. බුද්ධි අංශයෙන් ගිය බොහෝ ඇමතුම්වලට ජනාධිපති සම්බන්ධ වී තිබෙනවාය, පාස්කු ප්‍රහාරය ගැන හිටපු රාජ්‍ය නායකයා හොදින් දැනුවත්ව සිටි බවත් තමයි අපට නම් ආරංචියි. බුද්ධි අධ්‍යක්ෂක එක තැනක කියලවා ප්‍රහාරය ගැන දැනුවත් කර තියෙද්දි සමහරු රට ගියා කියලා. ඔහු ඒ කියන්නේ කව්රු ගැනදැයි පැහැදිලියි”. එ.ජා.ප නීති අංශ ප්‍රධානියෙකු කීවේ එවැන්නකි.

    සටහන – ගජබා නාගහවත්ත

  • බැසිල් පාර්ලිමේන්තුවට පැමිණීමට සූදානම් – තීන්දුව ජනතාව අතේලු

    බැසිල් පාර්ලිමේන්තුවට පැමිණීමට සූදානම් – තීන්දුව ජනතාව අතේලු

    පොහොට්ටුවෙන් පාර්ලිමේන්තුවට පත් වූ නවක මන්ත්‍රීවරුන්ට නායකත්වය දීම සදහා බැසිල් රාජපක්ෂ මහතාට පාර්ලිමේන්තුවට පැමිණෙන ලෙස තමන් ඇතුළු නවක මන්ත්‍රීවරු ආරාධනා කරන බව සහන් ප්‍රදීප් මන්ත්‍රීවරයා කියයි.

    අද (28) බත්තරමුල්ල නෙළුම් මාවතේ පිහිටි ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ මූලස්ථානයේ දී පැවති මාධ්‍ය හමුවකදී ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ පාර්ලිමේන්තු මන්ත්‍රී සහන් ප්‍රදීප් මහතා මේ බව පැවසුවේය.

    පොහොට්ටුවේ නවක මන්ත්‍රීවරුන් වෙනුවෙන් සහන් ප්‍රදීප් මහතා කළ මේ ආරාධනය සම්බන්ධයෙන් මාධ්‍යවේදීන් බැසිල් රාජපක්ෂ මහතාගෙන කළ විමසීමේදී එම ආරාධනය ප්‍රතික්ෂේප කරමින් බැසිල් රාජපක්ෂ මහතා පවසා ඇත්තේ තමන් වඩාත් කැමති එළියේ සිට දේශපාලනය කිරීමට බවත් ජනතාව ආරාධනා කළහොත් ඒ ගැන සලකා බලන බවත්ය.

  • කොලි – අනුෂ්කා කුළුදුල් දරුවා අපේක්ෂාවෙන් – බොලිවුඩයේ රජ මඟුල්

    කොලි – අනුෂ්කා කුළුදුල් දරුවා අපේක්ෂාවෙන් – බොලිවුඩයේ රජ මඟුල්

    බොලිවුඩ් නිළි අනුෂ්කා ෂර්මා සහ ඇයගේ සැමියා වන ඉන්දීය ක්‍රිකට් කණ්ඩායම් නායක විරාත් කෝලි තමන් දරුවෙකු අපේක්ෂාවෙන් සිටින බව නිවේදනය කළහ.

    ඔවුන්ගේ නම් දෙක එකට එක් කර ‘Viruskha’ යන නමින් පවත්වාගෙන යන ට්විටර් ගිණුම ඔස්සේ මෙම පුවත හෙළි කර තිබූ අතර, එය අන්තර්ජාලය තුළ විශාල වශයෙන් හුවමාරු වී තිබිණ.

    “එහෙනම් අපි තුන්දෙනෙක් වෙනවා! 2021 ජනවාරි පැමිණීමට නියමිතයි,” අනුෂ්කා ෂර්මා සහ විරාත් කෝලි යන දෙදෙනාම ඔවුන්ගේ ගිණුම්වල පළ කර ඇත.

    මේ ප්‍රසිද්ධ තරු යුවළ 2017 දෙසැම්බර් මාසයේදී ඉතාලියේදී විවාහ වූයේ සමීපතමයන් පමණක් සහභාගි වූ උත්සවයක් පවත්වමිනි.

    බොලිවුඩයේ ජනප්‍රිය පුද්ගලයින් වන ආලියා බාත්, වරුන් ධවාන් සහ ප්‍රියංකා චොප්රා සමාජ මාධ්‍ය ජාල ඔස්සේ ඔවුන්ට සිය සුබ පැතුම් එක් කර තිබිණි.

    නිවේදනය නිකුත් කර කෙටි වේලාවකට පසු විශාල රසිකයන් පිරිසක් මෙම පුවත සැමරීම පිණිස ට්විටර් ජාලයට පිවිස තිබෙන ආකාරය දක්නට ලැබිණි.

    මෙම යුවළ සමාජ මාධ්‍යවල අතිශයින් ජනප්‍රිය අතර ඔවුන්ට මිලියන ගණනක රසිකයන් පිරිසක් සිටිති. දරුවා අපේක්ෂාවෙන් සිටින බව අනුෂ්කා ෂර්මා ඉන්ස්ටග්‍රෑම්හි පළ කළ සටහනට පැය දෙකක් වැනි කෙටි කාලයක් තුළ ‘ලයික්’ මිලියන 2.6 ක් ලැබී තිබිණ.

    අනුෂ්කා ෂර්මා බොලිවුඩයේ ඉතා සාර්ථක රංගන ශිල්පිනියකි. පී.කේ, සුල්තාන්, දිල් ධදක්නේ දෝ සහ ඒ දිල් හයි මුෂ්කිල් යන සිනමා කෘති තුළින් ඇය වඩාත් ජනප්‍රිය වූවාය. මෑතකදී විවේචනයට තුඩු දුන් ‘පාටාල් ලොක්’ අපරාධ කතා මාලාව නිෂ්පාදනය කළාය.

    ඉන්දියානු ප්‍රිමියර් ලීග් තරගාවලියට ක්‍රීඩා කිරීම සඳහා විරාත් කෝලි සිය රාජකීය චැලෙන්ජර්ස් බැංගලෝර් කණ්ඩායමේ සාමාජිකයින් සමඟ ඩුබායි වෙත ගොස් සිටියි.

    ඉන්දියාවේ කෝවිඩ් -19 රෝගීන්ගේ සංඛ්‍යාව ඉහළ යාම හේතුවෙන් මෙවර ඉන්දියානු ප්‍රිමියර් ලීග් තරගාවලිය ඩුබායි හිදී පැවැත්වේ.

  • ජාත්‍යන්තර ක්‍රීඩාපිටිය ජය ගන්න ‘නාමල් හදන සැලසුමේ’ සුලමුල

    ජාත්‍යන්තර ක්‍රීඩාපිටිය ජය ගන්න ‘නාමල් හදන සැලසුමේ’ සුලමුල

    මෙරට පාසල් ක්‍රීඩාව ඉහළ නැංවිම සඳහා දැනට ක්‍රියාත්මක ව පවත්නා ක්‍රීඩා පාසල් සංවර්ධනය කළ යුතු ආකාරය සහ එහි ව්‍යූහය සකස් කළ යුතු ආකාරය සම්බන්ධයෙන් සාකච්ඡා කිරීමේ විශේෂ හමුවක් අද (27) අධ්‍යාපන අමාත්‍යාංශයේ දී පැවැත්විණි.

    අධ්‍යාපන අමාත්‍ය මහාචාර්ය ජී එල් පීරිස්, ක්‍රීඩා හා තරුණ කටයුතු අමාත්‍ය නාමල් රාජපක්ෂ මහතාගේ ප්‍රධානත්වයෙන් මෙම හමුව පැවැත්විණි.

    මෙහි දී අදහස් දැක්වූ අධ්‍යාපන අමාත්‍යවරයා, කායිකව හා මානසික ව සංවර්ධනය වූ නිරෝගී දරු පරපුරක් ගොඩනැංවීමේ දී පාසල් තුළ ක්‍රීඩාව සංවර්ධනය කිරීම අත්‍යවශ්‍ය කරුණක් බවත්, ඒ සඳහා දැනට සෑම දිස්ත්‍රික්කයක් ම නියෝජනය වන පරිදි පවත්නා ක්‍රීඩා පාසල්වල භෞතික හා මානව සම්පත් සංවර්ධනය කිරීමට පියවර ගත යුතු බවත් සඳහන් කළේය. එමෙන් ම ක්‍රීඩාව කෙරෙහි දරුවන් නැඹුරු කරවිමට හා ක්‍රීඩා ක්ෂේත්‍රයේ සංවර්ධනය වෙනුවෙන් පෞද්ගලික හා ව්‍යාපාරික ප්‍රජාවගේ සහාය ලබාගැනීමට ද වැඩපිළිවෙළක් සකස් විය යුතු බව ද අමාත්‍යවරයා මෙහි දී පෙන්වා දුන්නේ ය.

    මෙහි දී අදහස් දැක් වූ ක්‍රීඩා හා තරුණ කටයුතු අමාත්‍ය නාමල් රාජපක්ෂ මහතා සඳහන් කළේ, අදක්ෂයින් අතර දක්ෂයින් මතුකර ගැනීම වෙනුවට දක්ෂයින් අතරින් අතිදක්ෂයින් බිහිකිරීමත්, ජාතික තලය ඉක්මවා යමින් ජාත්‍යන්තරය ජය ගන්නා ක්‍රීඩකයින් බිහිකිරීමත් වෙනුවෙන් පාසල් ක්‍රිඩාව සංවර්ධනය කළ යුතු බවයි. ඒ සඳහා දැනට ක්‍රියාත්මක ව පවත්නා ක්‍රීඩා පාසල්වල පහසුකම් තවදුරටත් සංවර්ධනය කිරීමට හා එක් එක් ක්‍රීඩා පාසල්වල ප්‍රමුඛ අවශ්‍යතා හඳුනාගනිමින් ඒවායේ ප්‍රමිතිය ඉහළ නැංවීමට පියවර ගන්නා බව ද සඳහන් කළේ ය. දැනට පවත්නා ක්‍රීඩා පනත වෙනුට නව පනතක් ඉදිරියේ දී ගෙන එන බවත්, ඉලක්ක සහ ක්‍රියාකාරකම් මූලික කරගත් සංවර්ධන සැලැස්මකට අනුව මෙරට පාසල් ක්‍රීඩාව ඉහළ නැංවීමට ක්‍රීඩා පාසල් හරහා පියවර ගන්නා බවත් අමාත්‍යවරයා වැඩිදුරටත් සඳහන් කළේය.

    ක්‍රීඩා උපදේශකවරුන් යාවත්කාලීන කිරීම හා පුහුණු කිරීම සඳහා ජාතික සංචිතය හරහා සහාය ලබාදීමට ද ක්‍රීඩා පාසල්වල දැනට පවත්නා නේවාසිකාගාර පහසුකම් වැඩිදියුණුකිරීම, පහසුකම් සහිත ක්‍රීඩා පිටි නොමැති වීම, ක්‍රීඩා පාසලට සිසුන් ඇතුළත් කිරීමේ දී පන්ති කාමර ඉඩ පහසුකම් ප්‍රමාණවත්ව නොපැවතීම වැනි ගැටළු කෙරෙහි ද මෙහි දී අමාත්‍යවරුන්ගේ අවධානය යොමු කෙරිණි. ඒ අනුව ක්‍රීඩා පාසල් සඳහා සිසුන් ඇතුළත් කිරීමේ ක්‍රියාවලිය සඳහා නිශ්චිත ක්‍රමවේදයක් සකස් කිරීමට්‍ත් දැනට පව්‍ත්නා ක්‍රමවේදය තුළ මතුව ඇති ගැටළු නිරාකරණය වන අයුරින් එම ක්‍රියාවලිය සිදුකිරීමටත් මෙහි දී යෝජනා කෙරිණි.  ඉදිරියේ දී සියලු ක්‍රීඩා පාසල් සම්බන්ධ කරගනිමින් ක්‍රීඩා කටයුතු සඳහා ජාතික සංචිතය සම්බන්ධ කරවිය හැකි පරිදි ඩිජිටල් කුටි සෑම ක්‍රීඩා පාසලකම ස්ථාපනය කිරීමට ද පියවර ගන්නා බවත් අධ්‍යාපන අමාත්‍යාංශය හා ක්‍රීඩා අමාත්‍යාංශය එක්වෙමින් ක්‍රීඩා පාසල් හරහා මෙරට පාසල් ක්‍රීඩාව ඉහළ නැංවීමට විධිමත් යාන්ත්‍රණයක් සකස් කිරීමට පියවර ගන්නා බව ද  මෙහි දී ක්‍රීඩා අමාත්‍යවරයා වැඩිදුරටත් සඳහන් කළේය. ආරක්ෂක අමාත්‍යාංශය විසින් ක්‍රීඩකයින් පුහුණු කිරීම සඳහා මේ වනවිටත් ලබාදෙන දායකත්වය ද කෘතවේදී ව අගය කළ අමාත්‍යවරයා ඉදිරියේ දී ක්‍රීඩා පාසල් අතර ජාතික තරගාවලියක් පැවැත්වීම සඳහා ද කටයුතු යොදන ලෙස ද ක්‍රීඩා අමාත්‍යවරයා අධ්‍යාපන අමාත්‍යාංශය වෙත යෝජනා කළේය.

    මෙම අවස්ථාවට ක්‍රීඩා රාජ්‍ය අමාත්‍ය තේනුක විදානගමගේ මහතා, පාර්ලිමේන්තු මන්ත්‍රී ප්‍රේම්නාත් දොළවත්ත මහතා,  අධ්‍යාපන ලේකම් කේ.කේ.සී.කේ පෙරේරා මහතා, තරුණ කටයුතු හා ක්‍රීඩා අමාත්‍යාංශ ලේකම් අනුරාධ විජේකෝන් මහතා, ග්‍රාමීය පාසල්, ක්‍රීඩා හා යටිතල පහසුකම් ප්‍රවර්ධන රාජ්‍ය ලේකම් රවීන්ද්‍ර සමරවික්‍රම මහතා ඇතුළු ජ්‍යේෂ්ඨ නිලධාරීන් රැසක් ද, ක්‍රීඩා පාසල්වල විදුහල්පතිවරුන් ද, ක්‍රීඩා අමාත්‍යාංශයේ සහ ආරක්ෂක අමාත්‍යාංශයේ නිලධාරීන් රැසක් ද  එක්ව සිටියහ.

  • 2020 සාමාන්‍ය පෙළ විභාගයත් කල් යයි – 2021 ජන. 01 – 17 අධ්‍යන නිවාඩු

    2020 සාමාන්‍ය පෙළ විභාගයත් කල් යයි – 2021 ජන. 01 – 17 අධ්‍යන නිවාඩු

    2020 වර්ෂය සඳහා නියමිත 5 ශ්‍රේණි ශිෂ්‍යත්ව විභාගය 2020-10-11 වැනි ඉරිදා දින පැවැත්වීමටත්, අධ්‍යයන පොදු සහතික පත්‍ර උසස් පෙළ විභාගය 2020 ඔක්තෝබර් 12 වැනි දින සිට 2020 නොවැම්බර් 06 වැනි දින දක්වා පැවැත්වීමටත් තීරණය කර ඇත. ඒ අනුව, 2020-ඔක්තෝබර් 10 දින සිට 2020 නොවැම්බර් 08 වනදා  දක්වා පාසල් නිවාඩු ලබා දෙනු ලැබේ.

    තෙවැනි පාසල් වාරය 2020 නොවැම්බර් 09 වැනි දායින් ආරම්භ වන අතර, 2020-දෙසැම්බර් 23 දායින් අවසන් වේ. 2020 වසරේ වාර අවසාන නිවාඩුව  දෙසැම්බර් 24 වැනි දා සිට 2021 ජනවාරි 01 දක්වා ක්‍රියාත්මක වේ. ඒ අනුව, 2021 වසරේ නව පාසල් වාරය  ජනවාරි 04 වැනිදායින් ආරම්භ කෙරේ.

    2020 වර්ෂය සඳහා නියමිත අ.පො.ස සාමාන්‍ය පෙළ විභාගය 2021-01-18 සිට 2021-01-27 දක්වා පැවැත්වේ. මෙම කාල පරිච්ඡේදය  සියලු පාසල් සඳහා විශේෂ නිවාඩුවක් ලෙස ක්‍රියාත්මක වේ. අ.පො.ස සාමාන්‍ය පෙළ විභාගයට මුහුණ දෙන සිසුන් සඳහා පමණක් 2021 ජනවාරි 01 දා සිට 2021 ජනවාරි 17 දක්වා අධ්‍යයන නිවාඩු කාලයක් හිමිවේ.

    අ.පො.ස සාමාන්‍ය පෙළ විභාගයෙන් පසුව නැවත පාසල් ආරම්භ වන්නේ 2021 පෙබරවාරි 01 දින සිටයි.

  • 2020දීත් කරු එජාප සාමාජිකයෙක් – සැබෑ සාක්ෂි මෙන්න !

    2020දීත් කරු එජාප සාමාජිකයෙක් – සැබෑ සාක්ෂි මෙන්න !

    හිටපු කථානායක කරු ජයසූරිය මහතා 2020 වසර සඳහා එක්සත් ජාතික පක්ෂයේ සාමාජිකත්වය ලබාගෙන නොමැති බවට එක්සත් ජාතික පක්ෂයේ ප්‍රබලයින් කිහිප දෙනකු කරන ප්‍රකාශවලට කරු ජයසූරිය මහතාගේ මාධ්‍ය සම්බන්ධීකරණ ඒකකය විසින් පිළිතුරු දෙමින් අද (28) මාධ්‍ය නිවේදනයක් නිකුත් කළා.

    එහි සදහන් වන්නේ කරු ජයසූරිය මහතා විසින් 2020 වසර සඳහා ලබාගෙන ඇති 0459 අංක දරණ රුපියල් 20 සාමාජික කාඩ් පතෙහි පිටපතක් සහ 749047 දරණ රුපියල් 1000 සාමාජික කාඩ්පත් ලබාගත් බවයි.

    එම මාධ්‍ය නිවේදනය සම්පූර්ණයෙන් මෙසේයි,

    මාධ්‍ය නිවේදයයි

    හිටපු කථානායක කරු ජයසූරිය මහතා 2020 වසර සඳහා එක්සත් ජාතික පක්ෂයේ සාමාජිකත්වය ලබාගෙන නොමැති බවට පක්ෂයේ වර්ථමාන විනාශයට වගකිවයුතු පුද්ගලයින් කිහිපදෙනෙකු විසින් මාධ්‍ය හමුවේ කර ඇති ප්‍රකාශ අපගේ අවධානයට ලක්ව තිබේ.

    එබැවින් කරු ජයසූරිය මහතා විසින් 2020 වසර සඳහා ලබාගෙන ඇති 0459 අංක දරණ රුපියල් 20 සාමාජික කාඩ් පතෙහි පිටපතක් සහ 749047 දරණ රුපියල් 1000 සාමාජික කාඩ්පතෙහි පිටපතක් මේ සමඟ මාධ්‍ය වෙත නිකුත් කරමු.

    v  (2020 වසර සඳහා නව සාමාජික කාඩ්පතක් පක්ෂය විසින් මුද්‍රණය නොකරන ලද අතර 2019 වසර සඳහා මුද්‍රණය කළ සාමාජික කාඩ්පත් පක්ෂයේ මහලේකම්වරයා විසින් ස්වකීය නිල මුද්‍රාව තබා අත්සන යෙදීමෙන් පසු 2020 වසර සඳහා වලංගු සාමාජික කාඩ්පත් ලෙස පිළිගන්නා ලදි.)

    මේ අතර පක්ෂ ඉතිහාසය තුළ ගනු ලැබූ වැදගත් තීරණ පිළිබඳව අවබෝධයක් නොමැති හිටපු තරුණ මන්ත්‍රීවරයෙකු විසින් එක්සත් ජාතික පක්ෂයේ 1000M සාමාජිකත්වය යාවජීව සාමාජිකත්වයක් නොවන බවට කර ඇති ප්‍රකාශය පිළිබඳව අප කණගාටු වන්නෙමු. එය 1000M  වැඩසටහන පිළිබදව විශ්වාසය තබා පක්ෂ සාමාජිකත්වය ලබා ගත් සියළු පාක්ෂිකයන්ට කරන ලද බලවත් අසාධාරණයකි.

    2000 වසරෙන් පසු ඇරඹි 1000M සාමාජිකත්වය පක්ෂ ව්‍යවස්ථාවේ සඳහන් නොකරන ලද නමුත්, යාවජීව සාමාජිකත්වයක් ලෙස පිළිගතයුතු බවට ඒ සඳහා පුරෝගාමී වූ සියළු පක්ෂ නිලධාරින් එකඟත්වයකට පැමිණියහ. පක්ෂයේ වාර්ෂික සාමාජික මුදල රුපියල් 20 ක් වන අතර එහි පනස් ගුණයක් වන රුපියල් 1000 ක සාමාජික මුදල් එකවර ගෙවීමෙන් ලැබෙන 1000M  සාමාජිකත්වය (20 X 50) ලෙස සළකා වසර 50 ක් වලංගු සාමාජිකත්වයක් ලෙස සැළකිය යුතු බව සියළු නිලධාරීන් එකග වූ පදනමයි. එලෙස 1000M සාමාජිකත්වය ලබන සාමාජිකයෙකු එම වසර තුළ තවත් රුපියල් 11000 ක මුදලක් පක්ෂ අරමුදල වෙත පරිත්‍යාග කර 1000M යාවජීව සාමාජිකත්වය තහවුරු කගනු ලබයි.

    හිටපු පක්ෂ සභාපතිවරයෙකු වූ ගාමිණි ජයවික්‍රම පෙරේරා මැතිතුමා 1000M සංකල්පය ක්‍රියාත්මක කරලීමෙහි ලා සක්‍රිය කාර්යයභාරයක් ඉටුකළ අතර,  වර්තමානයේදී ද පක්ෂයේ කෘත්‍යාධිකාරී මණ්ඩලය නියෝජනය කරන හිටපු අමාත්‍ය ආනන්ද කුලරත්න මැතිතුමා 1000M ව්‍යාපෘතියේ වගකීම් රැසක් උසුලන ලදි.

    යාවජීව සාමාජිකත්වය පිළිබඳව වැඩිදුරටත් තහවුරු කරගැනීම සඳහා එම ජ්‍යෙෂ්ඨ දේශපාලනඥයින් ඇමතීම වඩාත් යෝග්‍ය වන අතර පක්ෂයේ ගමන් මග පිළිබඳව අවබෝධයෙන් තොර දේශපාලන ළදරුවන්ගේ අදහස් අදාල නොවනු ඇත.

    කරු ජයසූරිය මහතාගේ මාධ්‍ය සම්බන්ධීකරණ අංශය.

  • ‘සහනදායී මෝටර් රථ බලපත්‍ර හිමි නිලධාරීන්ට’ මුදල් අමාත්‍යාංශයෙන් දැනුම්දීමක්

    ‘සහනදායී මෝටර් රථ බලපත්‍ර හිමි නිලධාරීන්ට’ මුදල් අමාත්‍යාංශයෙන් දැනුම්දීමක්

    සහනදායී මෝටර් රථ බලපත්‍ර හිමි නිලධාරීන්ට තම අභිමතය පරිදි තමන් සතු බලපත්‍ර භාවිත කර ශ්‍රී ලංකාව තුල  ඇති ලියාපදිංචි නොකල මෝටර් රථ/කැබ් රථ සහනදායී මෝටර් රථ  බලපත්‍රයේ සඳහන් බදු සහනය හා සමාන මුදලක් අඩු කරනු ලැබූ වෙළඳපල මිලකට ලබා ගැනීමට හැකි වන පරිදි අංක 01/2020 දරන 2020.08.28 දිනැති වෙළඳ හා ආයෝජන ප්‍රතිපත්ති චක්‍රලේඛය මුදල් අමාත්‍යාංශ වෙබ් පිටුවේ පළකර ඇත.

    එහි සඳහන විධිවිධාන අනුව වෙළඳ හා ආයෝජන ප්‍රතිපත්ති චක්‍රලේඛ අංක 01/2018 (සංශෝධිත) සහ රාජ්‍ය පරිපාලන චක්‍රලේඛ අංක 22/99 (සංශෝධිත) යටතේ නිකුත් කර මෙතෙක් භාවිත කර නොමැති සහනදායී මෝටර් රථ බලපත්‍ර, බලය ලත් වාහන අලෙවි නියෝජිතයෙකු / ශ්‍රී ලංකාව තුල ලියාපදිංචි වී ඇති වාහන ආනයනකරුවෙකු වෙත ලබා දී එම බලපත්‍රයේ සඳහන් බදු සහනය හා සමාන වටිනාකමක් අඩු කල වෙළඳපල මිලකට මෙරට තුල ඇති ලියාපදිංචි නොකල මෝටර් රථයක් මිලදී ගැනීමට හැකියාව පවතී.

    ඉහත පරිදි සහනදායී මෝටර් රථ බලපත්‍ර තම භාරයට ගෙන බදු සහනයට සමාන මිලක් අඩු කල වෙළඳපල මිලකට මෝටර් රථ අලෙවි කරනු ලබන බලය ලත් වාහන අලෙවි නියෝජිතයන් / ශ්‍රී ලංකාව තුල ලියාපදිංචි වී ඇති වාහන ආනයනකරුවන් විසින් ඉදිරියේදී මෝටර් රථ ආනයනය කිරීමේදී  අදාල බලපත්‍රයේ සඳහන් බදු සහනය ලබා දීමට මුදල් අමාත්‍යාංශය විසින් කටයුතු කරනු ඇත.

  • යහපාලන යුගයේ ‘රාජ්‍ය බැංකුවල සිදු වූ අක්‍රමිකතා සොයා ගන්න’ මහජන සහාය ඕනෑ

    යහපාලන යුගයේ ‘රාජ්‍ය බැංකුවල සිදු වූ අක්‍රමිකතා සොයා ගන්න’ මහජන සහාය ඕනෑ

    2015 – 2019 කාලය තුළ රජයේ ප්‍රධාන බැංකු හතර සහ ඒවාට අනුබද්ධ ආයතනයන්හි සිදුව ඇති අක්‍රමිකතා පිළිබඳ තොරතුරු ලබාගැනීම සඳහා මහජන සහාය ලබාගැනීමට එම අක්‍රමිකතා විධිමත්ව අධ්‍යයනය කර වාර්තා කිරීම සඳහා පත්කළ සිව් පුද්ගල කමිටුව තීරණය කර තිබේ.

    ඒ් අනුව, ලංකා බැංකුව, මහජන බැංකුව, ජාතික ඉතිරිකිරීමේ බැංකුව, ප්‍රාදේශීය සංවර්ධන බැංකුව සහ ඒවාට අනුබද්ධ ආයතනයන්හි 2015 ජනවාරි මස 08 වැනිදායින් පසු සිදුව ඇති අක්‍රමිකතා, එකී ආයතනවල අරමුණුවලට පටහැනිව සහ බැංකු පනතේ විධිවිධාන සහ කාර්ය පරිපාටිවලට අනුකූල නොවන අයුරින් කටයුතු කළ අවස්ථාවන් සහ ඵලදායී නොවූ ක්‍රියාවන් හා ගණුදෙනු පිළිබඳව ජනතාව සතුව කිසියම් හෝ තොරතුරු වේ නම් එම තොරතුරු  2020 සැප්තැම්බර් මස 15 වැනි දිනට පෙර, අධ්‍යක්ෂ ජනරාල්, රාජ්‍ය ව්‍යාපාර දෙපාර්තමේන්තුව, මුදල් අමාත්‍යාංශය, මහලේකම් කාර්යාලය, කොළඹ 01 යන ලිපිනයට හෝ ananda_sl@yahoo.com යන විද්‍යුත් තැපැල් ලිපිනයට යොමුකිරීමට කටයුතු කරන ලෙස එම කමිටුව මහජනතාවගෙන් ඉල්ලා සිටිනු ලබයි.

    ජාතික ආර්ථිකය ශක්තිමත් කිරීම සඳහා රාජ්‍ය බැංකු පද්ධතිය විධිමත් කර කාර්යක්ෂම කිරීම හා රාජ්‍ය බැංකු තුළ සිදු වූ අක්‍රමිකතා සොයාබැලීම සඳහා ගරු අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මැතිතුමා මුදල් අමාත්‍යවරයා ලෙස ඉදිරිපත් කළ කැබිනට් පත්‍රිකාවට අනුව පත්කළ මෙම සිව් පුද්ගල කමිටුවේ ප්‍රථම හමුවේදී මෙම තීරණය ගත් අතර, එහි දී අදාළ බැංකුවල වෘත්තිය සමිති විසින් ද අක්‍රමිකතාවලට අදාළ ලිපිගොනු රැසක් කමිටුව හමුවට ඉදිරිපත් කෙරිණි.

  • සජිත් නිවාස ඇමැති කාලේ හදලා තියෙන්නේ නිවාස 450යි – සම්පූර්ණ වාර්තාව මෙන්න !

    සජිත් නිවාස ඇමැති කාලේ හදලා තියෙන්නේ නිවාස 450යි – සම්පූර්ණ වාර්තාව මෙන්න !

    නාගරික සංවර්ධන අධිකාරිය යටතේ පසුගිය අවුරුදු හතර හමාරක කාලය තුළ ඉදි වී තිබෙන මුළු නිවාස සංඛ්‍යාව 450ක් තරම් අඩු සංඛ්‍යාවක් බව මෙම ප්‍රගති සමාලෝචන රැස්වීමේදී හෙළිවිය.

    දිවයිනේ සියලුම නගර සඳහා ව්‍යාපාරික හා නේවාසික ස්ථාන වෙන් වූ විධිමත් නාගරික සංවර්ධන සැළැස්මක් සකස් කරන්නැයි අග්‍රමාත්‍ය හා විෂය භාර අමාත්‍ය මහින්ද රාජපක්ෂ මහතා අද (28)  දින පැවසීය.

    බත්තරමුල්ල සුහුරුපායේ පිහිටි නාගරික සංවර්ධන හා නිවාස අමාත්‍යංශයේ පැවති ප්‍රගති සමාලෝචන රැස්වීමට සහභාගීවෙමින් අග්‍රාමාත්‍යවරයා මේ බව සඳහන් කළේය.

    නාගරික ප්‍රදේශවල  ජනතාවට පදිංචිවීමට වෙන්කර තිබෙන නේවාසික ප්‍රදේශ කිසිවෙකුගේ බලපෑමකට ලක වී ව්‍යාපාරික ස්ථාන සඳහා වෙන් නොකිරීමට වගබලා ගන්නැයි අග්‍රාමාත්‍යවරයා මෙහිදී නිලධාරීන්ට උපදෙස් දුන්නේය.

    මුහුදට අපද්‍රව්‍ය එක්වීම වැළැක්වීමේ පියවරක් ලෙස, ගංගාවන්වලට කැළි කසළ එක්වීම වැළැක්වීමේ වැ‍ඩපිළිවෙළක් සකස් කිරීම පිළිබඳව ද අග්‍රාමාත්‍යවරයා නිලධාරීන්ගේ අවධානය යොමු කළේය.

    රජයේ සංවර්ධන ව්‍යාපෘතිවලට අමතරව තරගකාරී බවින් යුතුව පෞද්ගලික අංශයේ සංවර්ධන ව්‍යපෘති සඳහා යොමුවීමේ වැදගත්කම රාජ්‍ය ඉංජිනේරු සංස්ථාවට අග්‍රාමාත්‍යවරයා විසින් මෙහිදී පෙන්වා දුන්නේය.

    පසුගිය ආණ්ඩුව අවසන් නොකළ ව්‍යාපෘති පිළිබඳව සොයා බලා ඒවා ජනතාව වෙනුවෙන් අවසන් කරන්නැයි නියෝග කළ අග්‍රාමාත්‍යවරයා ඇතැම් නිවාස ව්‍යාපෘති කිසිඳු වගකීමකින් තොරව අලි වැට ඇතුළත පවා ඉදි කර තිබීම ගැන විමතිය පළ කළේය.

    නාගරික සංවර්ධන හා නිවාස අමාත්‍යංශය ඉදිරි මාස 04 තුළ රුපියල් බිලියන 28 ක සංවර්ධන ව්‍යාපෘති ක්‍රියාත්මක කිරීමට නියමිතය.

    පසුගිය ආණ්ඩු සමයේ අවිධිමත්ව කළ පත්වීම් සහ ක්‍රියාකාරීත්වය හේතුවෙන් පාඩු ලබන ආයතන බවට පත් වූ  සියලු ආයතන ලබන දෙසැම්බර් 31 වනදාට පෙර ලාභ ලබන ආයතන බවට පත් කරන බව නාගරික සංවර්ධන හා නිවාස අමාත්‍යංශය ලේකම් සිරිනිමල් පෙරේරා මහතා විශ්වාසය පළ කළේය.

    රාජ්‍ය ඉඩම් සංස්ථාවේ මාසික ආදායම රුපියල් මිලියන 90ක් වුව ද, පසුගිය ආණ්ඩු සමයේ සිදු වූ අවිධිමත් පත්වීම් නිසා එහි මාසික වියදම රුපියල් මිලියන 166ක් තරම් ඉහළ අගයක් ගෙන ඇතැයි අමාත්‍යංශ ලේකම්වරයා කියා සිටියේය.

    නාගරික සංවර්ධන අධිකාරිය යටතේ පසුගිය අවුරුදු හතර හමාරක කාලය තුළ ඉදි වී තිබෙන මුළු නිවාස සංඛ්‍යාව 450ක් තරම් අඩු සංඛ්‍යාවක් බව මෙම ප්‍රගති සමාලෝචන රැස්වීමේදී හෙළිවිය.

    ඉදිරියේදී ප්‍රධාන නගර ඉලක්ක කර ගනිමින් කොළඹ, මහනුවර, අනුරාධපුර, මාතර, කුරුණෑගල නගරවල රථ ගාල් ඉදි කිරීමට නියමිත බව නාගරික සංවර්ධන අධිකාරියේ අධ්‍යක්ෂ ජනරාල් ප්‍රසාද් රණවීර මහතා පැවසීය.

    පළාත් පාලන ආයතන විසින් මේ වන විට එකතු කරන කැළි කසළ බැහැර කිරීමේ වගකීම නාගරික සංවර්ධන අධිකාරියට පවරා ඇතැයි කී ප්‍රසාද් රණවීර මහතා එම වගකීම වෙනුවෙන් ජනාධිපතිවරයා විසින් කමිටුවක් ද පත්කර ඇති බව සිහිපත් කළේය.

    අඩු ආදායම්ලාභී, පහළ ආදායම්ලාභී, මධ්‍යම ප්‍රාන්තික, ඉහළ ආදායම්ලාභී හා රාජ්‍ය සේවකයින් ඉලක්ක කර ගනිමින් ඉදිරියේදී අමාත්‍යංශයේ මඟ පෙන්වීම යටතේ නිවාස ව්‍යාපෘති ක්‍රියාත්මක කිරීමට නියමිතය.

    පැල්පත් නිවාස ලාභීන්ට නොමිලේ ලබාදීමට තට්ටු නිවාස 1400ක් අලුතින් ඉදි කර ඇති අතර එම පැල්පත් නිවාස පැවති ස්ථානවලද නව නිවාස ව්‍යාපෘති ක්‍රියාත්මක කරන බව ප්‍රසාද් රණවීර මහතා කීවේය.

    මෙයට අමතරව මධ්‍යම ප්‍රාන්තික නිවාස 608ක් රජයේ සේවකයින් වෙනුවෙන් ඉදි කර ඇති අතර තවත් නිවාස 800ක් රජයේ සේවකයින් වෙනුවෙන් 2021 වර්ෂයේදී ඉදි කර අවසන් කිරීමට නියමිතය.

    මෙම නිවාස ව්‍යාපෘතිවලට අමතරව ඕනෑම පුද්ගලයෙකුට අයදුම් කොට මිලදී ලබා ගත හැකි නිවාස 3300ක් ව්‍යාපෘති 10ක් යටතේ ඉදිරියේදී ඉදි කෙරෙන බව ප්‍රසාද් රණවීර මහතා කියා සිටියේය.

    ජාතික නිවාස සංවර්ධන අධිකාරිය මේ වන විට නිවාස 8701ක් ඉදි කර තිබෙන  බවත්, ලබන වසර තුළ නිවාස සංවර්ධන අධිකාරියේ රුපියල් බිලියන 6ක ආදායමක් බලාපොරොත්තු වන බවත් ජාතික නිවාස සංවර්ධන අධිකාරියේ සභාපති රේණුක පෙරේරා මහතා පැවසීය.

    “සෙවණ“ නිවාස අරමුදල පසුගිය ආණ්ඩු සමයේ අවභාවිත කිරීම නිසා එම මුදල් නිවාස ඉදි කිරීමට පරිභාහිර කටයුතුවලට යොදා ගෙන ඇතැයි හෙළි වූ බව රේණුක පෙරේරා මහතා කියා සිටියේය.

    මෙම අවස්ථාවට නාගරික සංවර්ධන, වෙරළ සංරක්‍ෂණ අපද්‍රව්‍ය බැහැරලීම හා ප්‍රජා පවිත්‍ර කටයුතු රාජ්‍ය අමාත්‍ය ආචාර්ය නාලක ගොඩහේවා මහතා, ග්‍රාමීය නිවාස හා ඉදිකිරීම් හා ගොඩනැගිලි ද්‍රව්‍ය කර්මාන්ත ප්‍රවර්ධන රාජ්‍ය අමාත්‍ය ඉන්දික අනුරුද්ධ මහතා, වතු නිවාස හා ප්‍රජා යටිතල පහසුතකම්  රාජ්‍ය අමාත්‍ය ජීවන් තොණ්ඩමන් මහතා ඇතුළු මැති ඇමතිවරුන්, අමාත්‍යංශ හා රාජ්‍ය ආයතන නිලධාරීන් රැසක්  එක්ව සිටියහ.