Blog

  • බෞද්ධ විශ්වවිද්‍යාල අධ්‍යාපන අමාත්‍යාංශය යටතට ගන්නවා – ජනපති

    බෞද්ධ විශ්වවිද්‍යාල අධ්‍යාපන අමාත්‍යාංශය යටතට ගන්නවා – ජනපති

    මහා සංඝරත්නයේ ඉල්ලීම මත ශ්‍රී ලංකා බෞද්ධ හා පාලි විශ්වවිද්‍යාලය සහ බුද්ධ ශ්‍රාවක භික්ෂු විශ්වවිද්‍යාලය අධ්‍යාපන අමාත්‍යාංශය යටතට ගැනීමට ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මැතිතුමා තීරණය කරයි.

    විශ්වවිද්‍යාල දෙක විශ්ව විද්‍යාල ප්‍රතිපාදන කොමිෂන් සභාව යටතට පත් කිරීමේ හැකියාව සොයා බැලීමට ද ජනාධිපතිතුමාගේ අවධානය යොමු විය. ඒවායේ අනන්‍යතාව සුරැකෙන පරිදි   අධීක්ෂණ කටයුතු රාජ්‍ය අමාත්‍යවරයා යටතේ විධිමත්ව සිදුකරන්නැයි ජනාධිපතිතුමා නිලධාරීන්ට උපදෙස් දෙයි.

    අද (21) පස්වරුවේ ජනාධිපති කාර්යාලයේ පැවති ජනාධිපති බෞද්ධ උපදේශක සභාවේ 05 වැනි සභා වාරයේ දී ජනාධිපතිතුමා විසින් මේ තීරණය ගනු ලැබීය.

    ජනාධිපති උපදේශක සභා වාර 04කදී මහා සංඝරත්නය  කළ යෝජනා සහ අනුශාසනා සම්බන්ධයෙන් රජය ගත් ක්‍රියාමාර්ග සහ ඒවායේ ප්‍රගතිය ඉදිරි සභාවේදි ඉදිරිපත් කරන බව ජනාධිපතිතුමා පැවසීය.

    රාජ්‍ය අමාත්‍යාංශ ව්‍යුහය සකස්  කිරීමේදී බෞද්ධ උපදේශන සභාවේ අනුශාසනා පාදක කරගත් බව පෙන්වා දුන් ජනාධිපතිතුමා රාජ්‍ය ප්‍රතිපත්ති සම්පාදනයේදී ඉදිරියටත් මහා සංඝරත්නයේ මගපෙන්වීම තමා අපේක්ෂා කරන්නේයැයි  කීය. දහම්පාසල්, භික්ෂු අධ්‍යාපනය, පිරිවෙන් හා බෞද්ධ විශ්වවිද්‍යාල ඒවායේ උන්නතිය උදෙසා එක් රාජ්‍ය අමාත්‍යාංශයක ඝෘජු අධීක්ෂණයට පත් කළ බව රාජපක්ෂ මැතිතුමා පෙන්වා දුන්නේය.

    ශ්‍රී ලංකාවේ වර්තමාන පිරිවෙන් අධ්‍යාපනයේ ගැටළු නිරාකරණයට හා දහම් පාසල් අධ්‍යාපනය ක්‍රමවත් වැඩපිළිවෙළක්  සහ  නියාමනය තුළින් ගුණාත්මක තත්ත්වයට පත් කිරීමට ජනාධිපතිතුමා ගන්නා උත්සාහයට මහා සංඝරත්නය  ප්‍රසාදය පළ කළහ.

    මෙවර පාර්ලිමේන්තුවට විපක්ෂ නායක ඇතුළු තනතුරුවලට තෝරාගැනීමේදී අනුගමනය කළ පිළිවෙත රටටම ආදර්ශයක් බව මල්වතු පාර්ශ්වයේ අනුනායක අතිපූජ්‍ය නියංගොඩ විජිතසිරි නා හිමියෝ සඳහන් කළහ. පසුගිය රජය සමයේ එම තනතුරුවලට පත්කළ ආකාරය ජනතාව පිළිකුල් සහගතව බලා සිටී බව  උන්වහන්සේ පෙන්වා දුන්හ.

    අමාත්‍යාංශ සිමා කිරීමට ගත් තීරණය මහජන මුදල් ඉතිරිකිරීමට ඉවහල් වන බව  අස්ගිරි පාර්ශ්වයේ අනුනායක අතිපූජ්‍ය ආණමඩුවේ ධම්මදස්සි හිමියෝ කීහ.  

    “යහපත් සිහිය” ජීවිතයට ඉතා වැදගත්වන බව පෙන්වා දුන් මිතිරිගල ආරණ්‍ය සේනාසනාධිපති පූජ්‍ය උඩුඊරියගම ධම්මජීව හිමියෝ එය පාසල් පංතිකාමරයට හඳුන්වාදීමේ වැදගත්කම පෙන්වා දුන්හ.

    ගුරු භික්ෂුන් වහන්සේට, දෙමව්පියන්ට සහ සහෝදර සහෝදරියන්ට රෝහල්ගතව ප්‍රතිකාර  ගැනීමට අග්‍රහාර රක්ෂණ ක්‍රමයට සමාන රක්ෂණයක් හඳුන්වාදීමේ අවශ්‍යතාව මහාචාර්ය පූජ්‍ය ඉදුරාගාරේ ධම්මරතන ස්වාමින් වහන්සේ යෝජනා කළහ.

    රජයේ රැකියාදීමේදී දහම්පාසල් අවසාන සහ ධර්මාචාර්ය සහතික පත්‍රයට ලකුණු දීමේ ක්‍රමයක වැදගත්කම පූජ්‍ය දිවියගහ යසස්සි හිමියෝ පෙන්වා දුන්හ.

    භික්ෂු අධ්‍යාපනය හා බෞද්ධ අධ්‍යාපනය පිළිබඳ කතිකාවතක් හෝ ථෙරවාද බුදු දහම පිළිබඳ සංඝායනාවක් අවශ්‍ය බව මාහාචාර්ය පූජ්‍ය කොටපිටියේ රාහුල හිමියෝ යෝජනා කළහ.

    බෞද්ධ උපදේශක සභාව නියෝජනය කරන මහා සංඝරත්නය සහ ජනාධිපති ප්‍රධාන උපදේශක ලලිත් වීරතුංග, අධ්‍යාපන අමාත්‍යාංශ ලේකම් මහාචාර්ය කපිල පෙරේරා, බුද්ධ ශාසන, ආගමික හා සංස්කෘතික කටයුතු අමාත්‍යාංශයේ ලේකම් මහාචාර්ය කපිල ගුණවර්ධන, බෞද්ධ කටයුතු කොමසාරිස් සුනන්ද කාරියප්පෙරුම යන මහත්වරු ඇතුළු පිරිසක් සාකච්ඡාවට එක්ව සිටියහ.

  • පකිස්තාන මහ කොමසාරිස් කාර්යාලයේ ආරක්‍ෂක උපදේශක සමුගනී

    පකිස්තාන මහ කොමසාරිස් කාර්යාලයේ ආරක්‍ෂක උපදේශක සමුගනී

    නික්ම යන පකිස්තාන මහ කොමසාරිස් කාර්යාලයේ ආරක්‍ෂක උපදේශක කර්නල් සජාඩ් අලී (Sajjad Ali) අද (21) දින උදෑසන යුද්ධ හමුදා මූලස්ථානයේදී ආරක්‍ෂක මාණ්ඩලික ප්‍රධානි සහ යුද්ධ හමුදාධිපති ලුතිනන් ජෙනරාල් ශවේන්ද්‍ර සිල්වා හමුවූ අතර එහිදී, කර්නල් සජාඩ් අලී ශ්‍රී ලංකාව තුළ සේවය කළ කාලය තුළ සිය මතකයන් මෙන්ම වසර ගණනාවක් තිස්සේ ත්‍රිවිධ හමුදාව සමඟ පැවති මිත්‍රශීලි සබඳතාවයන් ද යළි ආවර්ජනය කළේය.

    වර්ෂ 2009 මැයි මාසයට පෙර වන්නි ප්‍රදේශයේ පැවති මානුෂීය මෙහෙයුම්වල තීරණාත්මක අවස්ථාවන් වලදී පාකිස්තාන හමුදාව ලබාදුන් සහයෝගය පිළිබඳව මෙම සුහද හමුව අතරතුරදී යුද්ධ හමුදාධිපතිතුමන් ලුතිනන් ජෙනරාල් ශවේන්ද්‍ර සිල්වා සිහිපත් කළේය.  යුද්ධ හමුදාධිපතිතුමන් අසල්වාසි රටක් ලෙස ශ්‍රී ලංකාවේ ත්‍රිවිධ හමුදා සාමාජිකයන්ට අඛණ්ඩ පුහුණු අවස්ථා සහ අනෙකුත් අවශ්‍යතා වෙනුවෙන් පහසුකම් සැලසීම පිළිබඳව සිය කෘතඥතාවය පළ කළේය. තවද,  නික්ම යන පකිස්තාන ආරක්‍ෂක උපදේශකතුමන්ගේ අනාගත අපේක්‍ෂාවන් වෙනුවෙන් යුද්ධ හමුදාධිපතිතුමන් සිය සුභාශිංෂනයක් ද පළ කළේය.

    ශ්‍රී ලංකා සන්නද්ධ හමුදාවන්ට පාකිස්තාන හමුදාවේ උපරිම සහයෝගය ලබාදෙන බවට සහතික වූ කර්නල් සජ්ජාඩ් අලි ශ්‍රී ලංකාවේ කොවිඩ් 19 වෛරසය පාලනය කිරීම සඳහා යුද්ධ හමුදාධිපතිතුමන් දැක්වූ කැපවීම සහ ශ්‍රී ලංකා සන්නද්ධ හමුදාවන් අතර ඵලදායී සේවා සබඳතා පවත්වාගෙන යාම වෙනුවෙන් යුද්ධ හමුදාධිපති ලුතිනන් ජෙනරාල් ශවේන්ද්‍ර සිල්වා සිදුකළ අනුපමේය මෙහෙවර පිළිබඳව සිය කෘතඥතාවය පළ කළේය. පාකිස්තානයේ සන්නද්ධ හමුදාවේ සාමාජිකයින්ට ශ්‍රී ලංකාවේ විවිධ පුහුණු පාඨමාලා සඳහා නවාතැන් ඇතුළු සියළු පහසුකම් සැපයීම පිළිබඳව නික්ම යන ආරක්‍ෂක උපදේශකතුමන් යුද්ධ හමුදාවට සිය ස්තූතිය පුද කළ අතර පාකිස්තානු මහ කොමසාරිස් කාර්යාලයේ ආරක්‍ෂක උපදේශක ලෙස රාජකාරි කර සිය ධූරයෙන් නික්ම යාමට දින කිහිපයකට ප්‍රථම මෙම නිල හමුව පැවැත්විණි.

    මෙම සුහද හමුව අවසානයේ නික්ම යන පාකිස්තානු මහ කොමසාරිස් කාර්යාලයේ ආරක්‍ෂක උපදේශකතුමන් සහ යුද්ධ හමුදාධිපතිතුමන් අතර අන්‍යෝන්‍ය සුහදත්වය හා අවබෝධය තවදුරටත් ශක්තිමත් කරමින් දෙපාර්ශවය අතර සමරු තිළිණ හුවමාරුවක් සිදුකෙරිණි.

  • ‘ලිංගික සංසර්ගයෙන් පසු’ ගර්භනී වීම වළක්වා ගැනීමේ ක්‍රම

    ‘ලිංගික සංසර්ගයෙන් පසු’ ගර්භනී වීම වළක්වා ගැනීමේ ක්‍රම

    ශ‍්‍රී ලංකාව තුළ සිදුවන ගැබ් ගැනීම්වලින් 3/1ක් අනවශ්‍ය හෝ සැලසුම් නොකළ ගැබ් ගැනීම් වන බව සොයා ගෙන ඇත. මේ අතර ඇතැම් කාන්තාවන් අනපේක්ෂිත ලෙස ලිංගික ක‍්‍රියාවක යෙදිය හැකි අතර (දූෂණයට ලක්වීම වැනි) එවැනි තත්ත්වයකදී ද ගැබ් ගැනීමක් සිදුවිය හැකිය.

    මෙහිදී ලිංගික සංගර්ගයෙන් පසුව ගැබ් ගැනීමක් වළක්වා ගැනීම අපේක්ෂා කරන්නේ නම් ඒ සඳහා වඩාත් විශ්වාසදායී පවුල් සැලසුම් ක‍්‍රම ඇති අතර මෙම ලිපියෙන් අවධානය යොමු කරන්නේ ඒ ගැනය. මෙම ලිපිය ‘ශ‍්‍රී ලංකා පවුල් සැලසුම් සංගමයේ’ නිල වෙබ් අඩවියෙන් සම්පාදිත එකකි.

    හදිසි උපත් පාලනය යනු – මෙය අනාරක්ෂිත ලිංගික හැසිරීමකින් පසු ඔබට අනවශ්‍ය ගර්භනී වීමක් වලක්වා ගැනීම සදහා කාන්තාව විසින් භාවිත කල යුතු ක්‍රමයක්වේ.

    හදිසි උපත් පාලනය සදහා භාවිත කරන ක්‍රම මොනවා ද?

    • හදිසි උපත් පාලන පෙති
    • ලූපය (ගර්භාෂය තුලට ඇතුල් කරන කුඩා උපකරණයක්)

    හදිසි උපත් පාලන පෙති

    හදිසි උපත් පාලන පෙති යනු ඔබ සාමාන්‍යයෙන් උපත් පාලනයට භාවිත කරන ආකාරයේ ම හෝර්මෝන පෙති වර්ගයකී. නමුත් මෙම අවස්ථාවේ දී භාවිත කරනු ලබන්නේ සාමාන්‍යයෙන් භාවිත කරන මාත්‍රාවට වඩා වැඩි මාත්‍රාවකි. මෙම පෙති වර්ගය ඔබගේ ලිංගික සංසර්ගයෙන් පැය 72ක් (දින 3ක්)ඇතුළත භාවිත කල යුතුය. මෙම පෙති ප්‍රොජෙස්ටරෝන් හෝර්මෝනය පමණක් අඩංගු පෙති ‍හෝ ඊස්ට්‍රජන් හා ප්‍රොජෙස්ටරොන් යන හෝර්මෝන වර්ග දෙකම අඩංගු වන පෙති ලෙස දෙවර්ගයකි.

    ඔබ හදිසි උපත් පාලන පෙති භාවිත කල යුතු වන්නේ කුමන අවස්ථාවලදීද ?

    • වෙනත් උපත් පාලන ක්‍රමයක් භාවිත නොකරන්නේ නම්.
    • ඔබ භාවිතා කරන උපත් පාලන ක්‍රමයක් අසාර්ථක වී යැයි ඔබට සැකයක් පවතී නම්,
      උදාහරණයක් ලෙස
      • ඔබ භාවිත කරන කොන්ඩමය සිදුරු වී හෝ ගැලවී ගියේ නම්,
      • ඔබගේ උපත් පාලන එන්නත ලබාගැනීමට ඔබ නියමිත දිනට වඩා පමා වී සිටින්නේ නම්,
      • ඔබ භාවිත කරන සාමාන්‍ය (දිනපතා)උපත් පාලන පෙති දෙකක් හෝ වැඩිගණනක් මෙම මාසයේ දී ඔබට අතපසු වුයේ නම්,
    • ලිංගික අතවරයකට හෝ දුෂණයකට ලක් වු අයෙක් නම්,

    මෙම පෙති ක්‍රියා කරන්නේ කෙසේ ද ?

    පෙත්තේ ක්‍රියාකාරිත්වය ඔබගේ ආර්තව චක්‍රය තුළ පෙත්ත ලබාගන්නා දිනය මත වෙනස්වේ.

    • ඔබ පෙත්ත ලබාගන්නේ ඩිම්බය මෝචනය වීමට පෙර අවස්ථාවක නම්, එමගින් ඩිම්බය මෝචනය වීම දින 3-4ක කාලයකින් ප්‍රමාද කරනු ලබයි. මෙමගින් ඩිම්බය ශුක‍්‍රාණු හා එකතුවීම වලක්වා දමයි.
    • ඔබ පෙත්ත ලබාගන්නේ ඩිම්බය මෝචනය වීමෙන් පසු අවස්ථාවක නම්, එමගින් ඔබගේ ගර්භාෂයේ ඇතුළත ස්තර සිහින් කරනු ලබයි. මේ මගින් සංසේචනය වූ යුක්තානුව (පළමු දරු සෛලය) ගර්භාෂයේ තැන්පත් වීම වලක්වා දමයි.
    • පෙත්තේ අඩංගු හෝර්මෝන මගින් ශුක්‍රාණු සහ ඩිම්බ පරිවහණය අඩාල කරන බැවින් ශුක්‍රාණු සහ ඩිම්බ මුණගැසීමට ඇති හැකියාව අඩු කරයි.

    හදිසි උපත් පාලන පෙති භාවිත නොකළ යුත්තේ කුමන අවස්ථාවලදීද?

    ඔබ දැනටමත් ගර්භනී තත්වයට පත්ව ඇත්නම් මෙම පෙති භාවිත නොකල යුතුය.

    ප්‍රසිද්ධ අලෙවි නම්පළමු මාත්‍රාව
    (ලිංගිකව හැසිරීමෙන් පැය 72ක් ඇතුළත භාවිත කළ යුතු පෙති ගණන)
      දෙවන මාත්‍රාව
    (පළමු මාත්‍රාවෙන් පැය 12කට පසු භාවිත කළ යුතු පෙති ගණන)
    පොස්ටිනෝර් 2 (ප්‍රොජෙස්ටරෝන් හෝර්මෝනය පමණක් අඩංගු පෙති)0101
    සාමාන්‍ය උපත් පාලන පෙති (අඩු මාත්‍රාව)
    -මිතුරි ‍
    0404
    නොර්ඩේ‍ට්
    කහ පැහැති පෙති
     0404

    හදිසි උපත් පාලන පෙත්ත ඔබගේ ආර්තව චක්‍රයේ කුමන අවස්ථාවක වුවත් භාවිත කල හැක. නමුත් ඔබ කිරි දෙන මවක් නම් මෙය භාවිත කිරීමට පෙර ඔබගේ පවුලේ වෛද්‍යවරයා හමුවන්න.පෙත්ත ලබාගැනීමෙන් පැය 2ක් ඇතුළත ඔබට වමනය ගියේ නම්, ඔබ භාවිත කල මාත්‍රාව නැවතත් ලබාගත යුතුය.

    වමනය යෑම අවම කරගැනීම සදහා කිරි වීදුරවක්, බීමෙන් අනතුරුව පෙති පානය කරන්න.ඔබට අවශ්‍ය නම්, පොස්ටිනෝර් 2 උපත් පාලන පෙති 2ම එකවර ගැනීමට ද හැක.

    මෙම ක්‍රමය කෙතරම් සාර්ථක ක්‍රමයක් ද?

    මෙම පෙති නිවැරදි ආකාරයෙන් භාවිත කරන කාන්තාවන් සදහා 98% ක සාර්ථකත්වයක් පෙන්නුම් කරයි. ලිංගිකව හැසිරි‍මෙන් පසු ඉක්මණින්  පෙති භාවිත කරන තරමට එහි සාර්ථකත්වය ද වැඩිවේ.

    මෙම ක්‍රමය අසාර්ථක වී ඔබ ගර්භනී වුවත්, මෙම පෙත්තෙන් දරුවාට කිසිදු හානියක් වන බවට සාධක ලැබී නැත.

    හදිසි උපත් පාලන පෙත්තෙන් ඇතිවන අතුරු ආබාධ

    • ඔක්කාරය
    • වමනය
    • අක්‍රමවත් ආර්තව රුධිර වහනය
    • පියයුරු වේදනාව
    • හිසරදය

    එකවර – එක දිගට සිදුවන සංසර්ග කිහිපයකට පසුත් හදිසි උපත්පාලන පෙති සාර්ථකවේද?

    ඔව්.හදිසි උපත් පාලන පෙති එක් සංසර්ගයක දී මෙන් ම එකවර, එක දිගට සිදුවන සංසර්ග කිහිපයක දී ද සාර්ථකවේ. නමුත් එම සංසර්ග සියල්ල පෙති පානයට පැය 72ක් ඇතුළත සිදුවිය යුතුය.

    එක් වරක් හදිසි උපත් පාලන පෙති ලබාගැනීමෙන් පසු එය ඉදිරි පැය 72 ඇතුලත මා ගර්භනීවීමෙන් වලකයිද?

    නැත. එබැවින් ඔබ හදිසි උපත්පාලන පෙති ලබාගැනිමෙන් අනතුරුව, ක්‍රමවත් උපත්පාලන ක්‍රමයක් අනුගමනය කිරිම ආරම්භ වනතුරු කොන්ඩමයක් වැනි බාධක උපත්පාලන ක්‍රමයක් (Barrior method) භාවිත කල යුතුය.

    හදිසි උපත් පාලන පෙති මාගේ ඉදිරි ආර්තවය දක්වා සාර්ථක උපත් පාලන ක්‍රමයක් ලෙස ක්‍රියා කරයි ද ?

    නැත. ඔබගේ ලබන ආර්තවය දක්වා සිදුකරන සෑම ලිංගික සංසර්ගයකදීම බාධක උපත් පාලන ‍ක්‍රමයක් භාවිත කිරිමට අප තරයේ අවවාද කරනුයේ එබැවිනි.ඉන් පසු ඔබ ඔබට ගැලපෙන ක්‍රමවත් උපත්පාලන ක්‍රමයක් භාවිත කල යුතුය.

    හදිසි උපත්පාලන පෙති භාවිතයෙන් පසු මාගේ ආර්තවය ප්‍රමාද වන්නේ නම්?

    බොහෝ අවස්ථාවලදී ඔබගේ ආර්තවය සුපුරුදු දිනයේ දී සිදුවේ.නමුත් සමහර අවස්ථාවලදී එය කලින් සිදුවීමට හෝ දින කිහිපයක් ප්‍රමාදවිය හැක.ආර්තවය දින 10කට වඩා ප්‍රමාද වන්නේ නම් වහාම ඔබගේ වෛද්‍යවරයා හමු වී ගර්භනී පරික්ෂාවක් කරගන්න. මන්ද යත් හදිසි උපත් පාලන ක්‍රම 100% සාර්ථක නොවන බැවිනි.

    හදිසි උපත්පාලන පෙත්තෙන් ලිංගිකව සම්ප්‍රේෂණය වන රෝග (සමාජ රෝග)වලින් ආරක්ෂාවක් ලැබේ ද ?

    නැත.ඔබගේ වෛද්‍යවරයා හමු වී සමාජ රෝග සදහා පරික්ෂණයක් කරගැනීමට මැලි නොවන්න.

    හදිසි උපත් පාලන පෙත්ත දිනපතා ක්‍රමවත් උපත් පාලන ක්‍රමයක් ලෙස භාවිත කල හැකි ද ?

    හදිසි උපත් පාලන පෙති හදිසි අවස්ථා සදහා පමණි.එය ක්‍රමවත් උපත් පාලන පෙති මෙන් පලදායි නොවේ.එමගින් ක්‍රමවත් උපත් පාලන පෙතිවලට වඩා වැඩි අතුරු ආබාධ ප්‍රමාණයක් ගෙන දෙයි.

    හදිසි උපත් පාලනය සදහා වන අනෙකුත් ක්‍රම ද ?

    තඹ ලුපය (Copper Intra Uterine Contraceptive device)
    මෙය අනාරක්ෂිත සංසර්ගයකින් පසු දින 5ක් ඇතුළත ගර්භාෂය‍ට ඇතුල් කල යුතුය. මෙය 99% සාර්ථක ක්‍රමයකි. විශේෂයෙන් මෙය දීර්ඝ කාලීන උපත් පාලන ක්‍රමයක් අපේක්ෂා කරන කාන්තාවන් සදහා යෝග්‍ය වේ.

    සැකසුම – තුෂාධවි

  • අපනයන සංවර්ධනය කෙරෙහි නව රජයෙන් සුවිශේෂ අවධානයක්

    අපනයන සංවර්ධනය කෙරෙහි නව රජයෙන් සුවිශේෂ අවධානයක්

    ගෝලීය මට්ටමින් උද්ගත වන ආර්ථික අර්බුදයට මුහුණ දීමට සහ රටේ ආර්ථිකය ශක්තිමත් කිරීමට සුවිශේෂී දායකත්වයක් අපනයන ක්‍රියාවලිය මගින් සිදු කළ හැකිය. වත්මන් රජය විසින් රටේ අපනයන ප්‍ර‍වර්ධනය සඳහා දක්වන උනන්දුව ජනාධිපතිවරයාගේ ‘සෞභාග්‍යයේ දැක්ම’ ප්‍ර‍තිපත්ති ප්‍ර‍කාශනය මගින් ද, අමාත්‍යංශ විෂය පථයන් නම් කොට ඇති ආකාරයෙන් ද පැහැදිලි වෙයි.

    නිදහසින් පසු ශ්‍රී ලංකාවේ සෑම රජයක් ම අපනයන ක්‍රියාවලිය කෙරෙහි විශේෂ උනන්දුවක් දක්වා තිබුණ ද, දේශීය කර්මාන්ත නගා සිටුවීම, අපනයන ක්‍රියාවලිය ශක්තිමත් කිරීම සඳහා විෂය පථයන් ගණනාවක් නම් කිරීම, ඒ මගින් අපනයන විවිධාංගීකරණය ශක්තිමත් කිරීම කෙරෙහි වත්මන් රජය දක්වන අවධානය සුවිශේෂී වූවක් බව පෙනී යයි. ජනාධිපතිවරයාගේ ‘සෞභාග්‍යයේ දැක්ම’ ප්‍ර‍තිපත්ති ප්‍ර‍කාශනයේ සඳහන් ‘ජනතා කේන්ද්‍රීය ආර්ථිකය’ මගින් අපනයන සංවර්ධනය හා ප්‍ර‍වර්ධනය සම්බන්ධ පුළුල් වැඩපිළිවෙලක් ඉදිරිපත් කොට ඇත.

    එම ප්‍ර‍කාශනයේ සඳහන් පරිදි “ශ්‍රී ලංකාවේ නාමය ඓතිහාසිකව කාලයක් පුරා ජාත්‍යන්තර වෙළෙඳපොළේ ඉහළින් තබන ලද්දේ තේ, රබර්, පොල් කේන්ද්‍ර කරගත් අපනයන භෝගයන්ය. අනාගතයේ දීත් එම අවකාශය දිනා ගැනීම සඳහා වර්තමාන ගෝලීය වෙළෙඳපොළට ගැළපෙන ආකාරයට සහ වෙළෙඳපොළේ ස්ථාවරත්වය සහතික කර ගැනීම සඳහා නව තාක්ෂණය හා මුසු වටිනාකම් එකතු කිරීමේ නව සැලැස්මක් ක්‍රියාත්මක කිරීමට කටයුතු කෙරේ.”

    COVID-19  තත්වය හමුවේ ආර්ථික පුනර්ජීවනය සඳහා අපනයන අංශය ඉදිරියට ගැනීම, දශක ගණනාවක් පුරා අපනයන ක්‍රියාවලියේ දී අඩු අවධානයක් යොමු වී තිබෙන කෘෂි අපනයන සඳහා වැඩි අවධානයක් යොමු කර තිබීම ද බලාපොරොත්තු සහගත ප්‍ර‍වණතාවයකි. අමාත්‍යාංශ ගණනාවක විෂය පථයට අපනයන විෂය ඇතුළත් කොට තිබීම ඒ කාර්යය ප්‍රායෝගිකව සිදු කළ හැකි බවට සාක්ෂ්‍යයකි.

    • අරුන්දික ප්‍රනාන්දු මහතා -පොල්, කිතුල්, තල් හා රබර් වගා ප්‍රවර්ධනය හා ආශ්‍රිත
      කාර්මික භාණ්ඩ නිෂ්පාදන හා අපනයන විවිධාංගීකරණ
    • කනක හේරත් මහතා -සමාගම් වතු ප්‍රතිසංස්කරණ, තේ වතු ආශ්‍රිත බෝග වගා
      තේ කර්මාන්ත ශාලා නවීකරණය හා තේ අපනයන ප්‍රවර්ධන
    • දයාසිරි ජයසේකර මහතා -බතික්, අත්යන්ත්‍ර, රෙදි හා දේශීය ඇගළුම් නිෂ්පාදන
    • ජානක වක්කුඹුර මහතා -උක්, බඩඉරිගු, කජු, ගම්මිරිස්, කුරුඳු, කරාබුනැටි, බුලත් ඇතුළු කුඩා
      වැවිලි බෝග වගා සංවර්ධනය, ආශ්‍රිත කර්මාන්ත හා අපනයන ප්‍රවර්ධන
    • ලොහාන් රත්වත්තේ මහතා – මැණික් හා ස්වර්ණාභරණ ආශ්‍රිත කර්මාන්ත
    • කංචන විජේසේකර මහතා – විසිතුරු මසුන්, මිරිදිය මත්ස්‍ය හා ඉස්සන් ඇති කිරීම, ධීවර වරාය සංවර්ධන, බහුදින ධීවර කටයුතු හා මත්ස්‍ය අපනයන
    • ඩී.බී. හේරත් මහතා – පශු සම්පත්, ගොවිපොළ ප්‍රවර්ධන හා කිරි හා බිත්තර ආශ්‍රිත
      කර්මාන්ත
    • ශෂීන්ද්‍ර රාජපක්ෂ මහතා – වී හා ධාන්‍ය, කාබනික ආහාර, එළවළු, පළතුරු, මිරිස්, ලූණු හා
      අර්තාපල් වගා ප්‍රවර්ධන, බීජ නිෂ්පාදන හා උසස් තාක්ෂණික
      කෘෂිකර්ම

    රජයේ වෙළඳ අමාත්‍ය බන්දුල ගුණවර්ධන මහතාගේ මගපෙන්වීම යටතේ, විෂයගත ප්‍ර‍මුඛතම රාජ්‍ය ආයතනය වන ශ්‍රී ලංකා අපනයන සංවර්ධන මණ්ඩලය මගින් අදාළ අමාත්‍යංශ සම්බන්ධීකරණය කර ගනිමින් අපනයන ප්‍ර‍වර්ධනය අරභයා පුළුල් වැඩපිළිවෙලක් දියත් කිරීමට නියමිතය. අපනයන සංවර්ධන මණ්ඩලයේ සභාපති ප්‍ර‍භාෂ් සුබසිංහ මහතාගේ මූලිකත්වයෙන් එම වැඩපිළිවෙල දියත් කෙරේ. ජනාධිපතිවරයා, අගමැතිවරයා ප්‍ර‍මුඛ විෂය භාර අමාත්‍යවරුනුත්, අපනයන සංවර්ධන මණ්ඩලය ඇතුළු විෂයානුබද්ධ රාජ්‍ය ආයතනත් එක්ව කටයුතු කිරීමෙන් මෙම වැඩපිළිවෙල යථාර්ථයක් බවට පත් කර ගත හැකි වනු ඇත.

  • පැරණි අඹ වගාවේ පුනර්ජනන කප්පාදුව -2 : ලපටි දළුවලට එන ‘අඹ කීඩෑවා’ මර්ධනය

    පැරණි අඹ වගාවේ පුනර්ජනන කප්පාදුව -2 : ලපටි දළුවලට එන ‘අඹ කීඩෑවා’ මර්ධනය

    පසුගිය14 වැනිදා අපි ‘ ඵලදාව අඩුවන පැරණි අඹ ගසට ‘නව ජීවයක් දෙන පුනර්ජනන කප්පාදුව’ ලිපිය පළ කළා. ඒ ලිපියට බොහොම හොද ප්‍රතිචාර ලැබුණා. ඒ අතර බොහෝ දෙනෙක් ඇසූ ප්‍රශ්නයක් වුණේ ‘පුනර්ජනන කප්පාදුවෙන් පසු අලුත් දළු එන විට අනිවාර්යයෙන්ම සිදුවන ‘දළු කීඩෑවන්‘ මර්ධනය කරන්නේ කෙසේද යන්නයි. ඒ සදහා භාවිතා කළ හැකි රසායනික ද්‍රව්‍ය ගැනත් ඔවුන් ප්‍රශ්න ඇසුවා. මේ ප්‍රශ්නවලට නිසි පිළිතුරු අද ලිපියේ පළ වෙනවා.

    පැළ තවානකින් මිලදී ගෙනැවිත් ඉතා සැළකිලිමත්ව ගෙවත්තේ සිටුවාගන්නා අඹ පැළයට නිදහසේ වැඩෙන්නට ඉඩ නොදී විද්‍යානුකූලව කප්පාදු කරමින්, හොඳින් ඵලදාව දෙන හුරුබුහුටි අඹ ගසක් නිර්මාණය කරගන්නා ආකාරය පසුගිය ලිපියකින් අප පෙන්වා දුන්නෙමු.

    කිරුළේ පත‍්‍ර සියල්ලම හිරුරැසින් නැහැවී උපරිම ආහාර නිෂ්පාදනයක් සිදුවෙන අයුරින් අතු පන්තිය සකසා ගැනීම මේ කප්පාදුවේ ප‍්‍රධාන අරමුණ විය. ඊට අමතරව පළිබෝධ හානි අවම කරගැනීම උදෙසා ළපටි ගෙඩි ආවරණය කිරීමටත්, අස්වැන්න නෙළීම පහසු කරගැනීමටත් හැකිවෙන පරිදි ගසේ උස අඩුකරගැනීම ද තවත් අවශ්‍යතාවයක් තිබුණි.

    ළපටි අඹ පැළයක් මේ ආකාරයට පුහුණු කරමින් තම අභිමතයට අනුව ගසක් නිර්මාණය කරගත හැකි වුවද, අද මෙරට තිබෙන බොහොමයක් අඹ ගස් සිටවූවා මිස මෙවන් පාලනයකට නතුවූ ඒවා නොවේ. ඒ නිසාම ඒවාහි වර්ධනය සිදුවී ඇත්තේ ගසට උවමනා පරිදිය. ඵලදාව දෙන්නේද සොබාදහමේ නියමයන්ට අනුව තම වර්ගයා නොනැසී පවත්වා ගැනීමට අවශ්‍ය ප‍්‍රමාණයක් බීජ නිපදවා පරිසරයට මුදාහැරීමට මිස, සිටවූ පුද්ගලයාගේ ආර්ථික ප‍්‍රතිලාභයන් පිරිමසන්නට නොවේ. අතු එකිනෙක අතිපිහිත වෙමින් පිහිටන නිසා මෙම ශාකවල සූර්යාලෝක ප‍්‍රතිග‍්‍රහණය ඉතා අකාර්යක්ෂමය.

    ඒ හේතුවෙන්ම ඵලදාවද අවම අගයක් ගනී. ගස් උසින් වැඩි බැවින් සෑදෙන සුළු ගෙඩි ප‍්‍රමාණය වුවත් අපගේ ග‍්‍රහණයට නතුකර ගැනීම අපහසුය. සැළකිය යුතු ගෙඩි ප‍්‍රමාණයක් පලතුරු මැස්සාගේ හානියටත්, පැසී ඉදෙද්දී වවුලන් ලේනුන් වැනි වෙනත් සතුන්ගේ ආහාරය පිණිසත් යෙදවෙන්නේය. එවන් හානියක් විඳ දරාගනිමින් දිගටම සිටිය යුතු නැති බවත්, විද්‍යාත්මක ක‍්‍රමවේදයකට අනුව පැරණි අඹ ගසක් වුවත් කප්පාදුකර වගාකරුට හසුරුවාලිය හැකි ගසක් නිර්මාණය කළහැකි බවත් අඟුණකොළපැලැස්ස පර්යේෂණායතනයේ පර්යේෂකයින් පෙන්වා දී තිබේ. කෙසේනමුත් කප්පාදුවෙන් පසු, අස්වැන්න නොලැබෙන වසර දෙක තුනක්ද උදාවෙන නිසා වගාකරු එයටද සිත එකඟ කරගත යුතුවේ.

    ”දශක කීපයක් පැරණි අඹ ගසක් පවා මෙම දැඩි කප්පාදුව නමැති ක‍්‍රමවේදය යටතේ ‘තිරිහන්’ කරගන්න පුළුවන්. හුඟක්ම පැරණි ගස් වලට නම් මෙය ආර්ථික වශයෙන් ලාභදායක ක‍්‍රමයක් නෙවෙයි. පසේ හොඳින් තෙතමනය තිබෙන කාලයක් තමයි මේ සඳහා තෝරාගත යුත්තේ. හොඳින් වැඩුණු එක අත්තක් ඉතිරි කරලා අනෙක් අතු සියල්ල කපා දමනවා. තිබෙන මුළු අතු වලින් 80% ක් පමණ ඉවත්කිරීම මේ යටතේ සිදුවෙනවා. කප්පාදුව ආරම්භ කරන්නේ කුමන උසකින්ද යන්න තීරණය කළයුත්තේ වගාකරුගේ අභිමතය සහ ගසේ අතු බෙදීම සිදුවී ඇති ආකාරය අනුවයි. අපේ පර්යේෂණායතනයේ තිබෙනවා පොළොවේ සිට මීටර් 2.5, 3.0, 3.5, 4.0, 4.5 යනාදී උසින් කප්පාදුවට භාජනය කළ ශාක”

    එසේ පවසන්නේ අඟුණකොළපැලැස්ස පර්යේෂණායතනයේ උද්‍යාන බෝග පිළිබඳ පර්යේෂණයන් මෙහෙයවන සහකාර කෘෂිකර්ම අධ්‍යක්ෂ ඩබ්ලිව්. ඒ. විජිතවර්ණ මහතායි. කරුණු එපරිදි නම් මේ වැසි සමය කප්පාදුවක් සඳහා උචිත කාලයක් වේ. අධික වැසි හා අධික වියළි කාල මගහරින්නේ නම් වඩාත් යෝග්‍යය. අතු බොහොමයක් කපා දැමුව විටදී පසෙහි තිබෙනා ජලය කාර්යක්ෂමව ශාකය තුළට ඇද ගැනීමට ඉවහල් වන, පත‍්‍ර වලින් ජලය වාෂ්පවීම නිසා ගොඩනැගෙන චූෂණ බලය නොහොත් උත්ස්වේදන චූෂණය ශාකයට අහිමි වී යයි. ඒ නිසා කප්පාදුව සිදුකරන අවස්ථාවේදී ජලය පහසුවෙන් උරාගැනීම සදහා පසේ ජලය හොදින් තිබිය යුතුය.

    තෙතමනය පසේ හොඳින් තිබුනද එක අත්තක් ඉතිරි කරන්නේද යම් තරමක චූෂණයක්ද තිබිය යුතු නිසාමය. ඉතිරි කරන මෙම අත්ත ප‍්‍රධාන අත්තක් නොවන අතර ගසේ සමතුලිතතාවයට බාධාවක් නොවන පරිදි පත‍්‍ර හොඳින් තිබෙන කුඩා අත්තක් විය යුතුවේ. ඒ හරහා මූල පද්ධතියට අවශ්‍ය ආහාර නිපදවීමත්, වර්ධනයට අවශ්‍ය ජලය උරාගැනීමත් සිදුවේ. පැරණි අඹ ගසක් දරන මුළු අතු ප‍්‍රමාණයෙන් 80% ක් පමණ ඉවත් කරනවා යනු, විශාල දැව ප‍්‍රමාණයක් නිදහස් වීමකි. දුර්වල දැව වර්ගයක් නිසා මේවා කලක් තබාගැනීමද කළ නොහැකිය. එබැවින් කප්පාදුවෙන් පසු නිදහස්වෙන දැව සඳහාද ආර්ථික වටිනාකමක් ලබාගැනීමේ ක‍්‍රමයක් සූදානම් කරගෙන කප්පාදුව ඇරඹීම වඩාත් ඵලදායී වේ.

    කප්පාදුවට භාජනය කරන ශාකයේ මුල් අතු බෙදීම ඉතා පහළින් සිදුවී තිබේනම්, බෙදුණු ස්ථාන පසුකර, පොළොවේ සිට අඩු උසකින් අතු කපා දැමිය හැකිවේ. එවන් ශාකයකින් ලැබෙන වාසිය වන්නේ කුඩයක් ආකාරයට මනාව විසිරුණු කිරුළක්, පොළොව මට්ටමේ සිට අඩු උසකින් නිර්මාණය කරගත හැකිවීමයි. මුල් ශාකයේ අතු බෙදී ඇත්තේ තරමක් ඉහළින් නම්, කප්පාදුව කළයුත්තේ ඊටත් ඉහළින් නිසා, ඉදිරියේදී නිර්මාණය වන ශාකය තරමක් උස එකක් වීම වැළක්විය නොහැකිය.

    ”අතු කැපීම සඳහා යාන්ත‍්‍රික කියතක් භාවිතා කළයුතුයි. කැපුම් තලය මත ජලය නොරැුඳෙන පරිද්දෙන් යම් ආනතියකින් කපන්නත් ඕනෑ. ඒ වගේම අත්තක් කපනකොට එය ප‍්‍රධාන කඳට සම්බන්ධ වෙන ස්ථානයෙන්ම නොකපා අඟල් කීපයක් දුරින් කපන්න ඕනෑ. දිලීරනාශකයක් කැපූ පෘෂ්ඨයේ ආලේප කිරීමත්, එය වියලූන පසු ඊට උඩින් සුදු එනමල් තීන්ත මගින් තුවාලය වැසීමත් කළ යුතුයි. මෙම තීන්ත ආලේපනය වසරකට වරක් පමණ කීප වතාවක් කළයුතු වෙනවා”

    ශාකයේ මතු ආරක්ෂාව උදෙසා අනුගමනය කළයුතු පිළිවෙත් ගැන විජිතවර්ණ මහතා පවසන්නේ එවන් අදහසකි. කැපූ අතුවල මෙතෙක් කලක් අක‍්‍රියව තිබූ පාර්ශ්වික අංකුර දැන් ක‍්‍රියාත්මක වනු ඇත. තමාට අවශ්‍ය ආකාරයේ කිරුළක් සාදාගැනීම උදෙසා ප‍්‍රමාණවත් අතු සංඛ්‍යාවක් ඉතිරි කරගෙන අලූතින් සෑදෙන වැඩිපුර අතු වුවත් ඉවත් කිරීමට වගාකරු පසුබට නොවිය යුතුවේ. විශාල ප‍්‍රමාණයක් නව රිකිලි අලූතින් ලියලා එන බැවින් කිහිප වතාවක්ම රිකිලි .තුනී කිරීමට. සිදුවීම ස්වභාවිකය.

    ළපටි දළු පහසුවෙන් ඇන්ත‍්‍රැක්නෝස් වැනි දිලීර රෝග වලටද, අඹ කීඩෑවා වැනි කෘමීන්ගේ හානියටද පාත‍්‍ර විය හැකි නිසා සංස්ථානික කෘමිනාශක සහ දිලීරනාශක යෙදීමද ආරක්ෂක පියවරකි. බොහොමයක් කප්පාදු කළ අඹ ගස් අසාර්ථක වන්නේ අලූතින් හටගන්නා රිකිලි වලට සිදුවන මෙවැනි ආසාදනයන් නිසා බැවින් කප්පාදුවෙන් පසු මෙය විශේෂයෙන් සැළකියයුතු කරුණක් වන්නේය. ශාකයේ ජීවී ක‍්‍රියාකාරිත්වය සඳහා සෑදී ඇති නව කිරුළ ප‍්‍රමාණවත් යයි සිතෙන්නේ නම්, පෙරදී ඉතිරි කරගත් පැරණි අත්තද දැන් කපා දැමිය හැකිවේ. බොහෝවිට මේ සඳහා වසරක් හෝ දෙකක් ගතවෙනු ඇත.

    පුනර්ජනන කප්පාදුව සම්පූර්ණව වගාකරුගේ අභිමත ප‍්‍රකාර අඹ ගසක් ලැබීමට වසර දෙක හමාරක් පමණ ගතවෙනු ඇත. නිසි නඩත්තුවක් සහිතව තම පාලනයට යටත් කිරුළක් මෙතැන් සිට පවත්වාගෙන යාම වගාකරුගේ වගකීමයි. ප‍්‍රමාණවත් කිරුළක් වර්ධනයෙන් පසු කෘතිම උත්තේජනය මගින් මල් හට ගැන්වීමද කළ හැකිය.

    ලපටි දළුවලට එන අඹ කීඩෑවා මර්ධනයට බෙහෙත මෙන්න

    තාක්‍ෂණික කරුණු – ඩබ්ලිව්. ඒ. විජිතවර්ණ – සහකාර කෘෂිකර්ම අධ්‍යක්‍ෂ
    මාෂ හා තෙල් බෝග පර්යේෂණ හා සංවර්ධන මධ්‍යස්ථානය, අගුණකොළපැලැස්ස

    සනත් එම්. බණ්ඩාර – සහකාර කෘෂිකර්ම අධ්‍යක්‍ෂ, ජාතික කෘෂිකර්ම තොරතුරු හා සන්නිවේදන මධ්‍යස්ථානය, ගන්නොරුව

  • උතුරු කොරියානු ඒකාධිපතියා බලතල බෙදාගෙන – ඊළඟ පිම්ම ගැන ලෝකයේම අවධානය

    උතුරු කොරියානු ඒකාධිපතියා බලතල බෙදාගෙන – ඊළඟ පිම්ම ගැන ලෝකයේම අවධානය

    දකුණු කොරියාවේ ඔත්තු ඒජන්සිය (South Korea’s spy agency)  කියා සිටින්නේ උතුරු කොරියාවේ නායක කිම් ජොන් උන් ඔහුගේ සහෝදරිය වන කිම් යෝ-ජොං ඇතුළු ඔහුගේ සහායකයින්ට වැඩි වගකීම් පවරා ඇති බවයි.

    කිම් තවමත් “නිරපේක්ෂ අධිකාරියක්” පවත්වා ගෙන යන නමුත් ඔහුගේ ආතති මට්ටම අඩු කිරීම සඳහා විවිධ ප්‍රතිපත්ති ක්ෂේත්‍රයන් අන් අයට භාර දුන් බව ඔත්තු ඒජන්සිය පවසයි. කිම් යෝ-ජොං මේ වන විට සමස්ත රාජ්‍ය කටයුතු මෙහෙයවන බව ජාතික බුද්ධි සේවය වැඩිදුරටත් පැවසීය.

    කෙසේ වෙතත්, සෝල් හි ඔත්තු ඒජන්සිය අතීතයේ දී උතුරු කොරියාව සම්බන්ධයෙන් තොරතුරු රැසක් වාර්තා කිරීම නිසා අපකීර්තියට ලක්ව ඇත.

    දකුණු කොරියාවේ ජාතික සභාව වෙත බ්‍රහස්පතින්දා පැවති සංවෘත සාකච්ඡාවකදී මෙම ප්‍රකාශයන් වාර්තා වූ බව වාර්තා වේ. පසුව නීති සම්පාදකයින් මෙම තක්සේරුව ගැන මාධ්‍යවේදීන් සමඟ සාකච්ඡා කළහ.

    “කිම් ජොන් උන් තවමත් ඔහුගේ පරම අධිකාරිය පවත්වාගෙන යයි. නමුත් සමහර ඒවා ටිකෙන් ටික භාර දී ඇත,” ඒජන්සිය උපුටා දක්වමින් කියා සිටියේය.

    එක්සත් ජනපදය හා දකුණු කොරියාව සම්බන්ධයෙන් ප්යොංයැං ප්‍රතිපත්තියේ වගකීම කිම් මහත්මියට දැන් ඇති අතර අනෙකුත් ප්‍රතිපත්තිමය කාරණා අතර කිම් “අනුප්‍රාප්තිකයෙකු තෝරාගෙන නොමැති” බව අවධාරණය කළද කිම් යෝ-ජොං “ අංක දෙකේ නායකයා ” වේ.

    උතුරු කොරියානු නායකයා සහ සොහොයුරිය නියෝජිතයෙකු ලෙස පත් කිරීමට ගත් තීරණය සැලකෙන්නේ ‘ඔහුගේ පාලන සමයේ ආතතිය දුරු කිරීම සහ ප්‍රතිපත්ති අසාර්ථක වුවහොත් වැරදිකරු වීම වළක්වා ගැනීම සඳහා ගත්’ ප‍්‍රතිපත්තිමය තීන්දුවක් වශයෙනි.

    කෙසේ වෙතත් සමහර විශ්ලේෂකයින් බුද්ධි අංශ වාර්තා පිළිබඳව සැක පහළ කර ඇති අතර, ‘එන්කේ නිවුස් වෙබ් අඩවිය‘ සඳහන් කළේ ඇයට මේ මාසයේ වැදගත් රැස්වීම් දෙකක් මග හැරී ඇති බවක් පෙනෙන්නට තිබීම නිසා ‘ඇයව පහත් කර ඇති බව‘ට සැක පහළ කළ හැකි බවයි.

    කිම් යෝ-ජොං යනු කවුද?

    ඇය කිම් ජොන් උන්ගේ බාල සොහොයුරිය වන අතර ඔහුගේ එකම සහෝදරයාට සමීප සහ බලවත් සගයෙකු ලෙස සැලකේ.

    1987 දී උපත ලැබූ ඇය කිම්ට වඩා අවුරුදු හතරක් බාලය. ඔවුන් දෙදෙනා එකවර ස්විට්සර්ලන්තයේ බර්න් හි ජීවත් වූ අතර අධ්‍යාපනය ලැබූහ.

    කිම් මහත්මිය ප්‍රථම වරට ජාත්‍යන්තර අවධානය දිනාගත්තේ 2018 දී දකුණු කොරියාවට ගිය කිම් රාජවංශයේ පළමු සාමාජිකාව ලෙසිනි. ශීත ඍතු ඔලිම්පික් උළෙලට සහභාගී වූ ඇය උතුරු හා දකුණ ඒකාබද්ධ කණ්ඩායමක් ලෙස තරඟ කළාය.

    දකුණු කොරියානු ජනාධිපති මූන් ජේ-ඉන්, චීනයේ ෂී ජින් පිං සහ එක්සත් ජනපද ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් සමඟ ඔහු කළ රැස්වීම් ද ඇතුළුව ජාත්‍යන්තර සමුළුවලදී ඇය සිය සහෝදරයා සමඟ වැඩ කළාය.

    ඉදිරිපත් කිරීමේ අළු රේඛාව
    විශ්ලේෂණ පෙට්ටිය සෝල් වාර්තාකරු ලෝරා බිකර් විසිනි

    කිම් යෝ-ජොං ඉහළ යන බවට සැකයක් නැත. සමහර විශ්ලේෂකයින් විශ්වාස කරන්නේ මෙම වසර මුලදී උතුරු හා දකුණු කොරියාව අතර ඇති වූ අර්බුදය, අන්තර් කොරියානු සම්බන්ධතා කාර්යාලය බිටු වලට පුපුරවා හැරීම දුටු බවයි.

    ඇය සිය පළමු ප්‍රසිද්ධ ප්‍රකාශය මාර්තු මාසයේදී නිකුත් කළාය. එය දකුණ හෙළා දකින දරුණු වාචික ප්‍රහාරයකි. “උත්තරීතර නායකයා, අපේ පක්ෂය සහ රාජ්‍යය විසින් බලය පවරන ලද බලය” ඇයට ලබා දී ඇති බව ඇය පසුව සඳහන් කළාය.

    මේ වසර අගදී කිම් ජොන් උන් සහ ජනාධිපති ට්‍රම්ප් අතර සමුළුවක් පැවැත්වීමේ විභවය ගැන ඇය ලියා ඇති අතර, අවධාරනය කළේ උතුරු කොරියාවට “එක්සත් ජනපදයට තර්ජනයක් එල්ල කිරීමේ සුළු අදහසක්” නොමැති බවයි.

    මේ සියල්ලෙන් ඇඟවෙන්නේ එක්සත් ජනපදය හා දකුණු කොරියාව සම්බන්ධයෙන් ප්‍රතිපත්තිවලට බලපෑම් කිරීමේ වගකීම ඇයට ලබා දී ඇති බවයි.

    මෙයින් අදහස් කරන්නේ ඇය තම සහෝදරයාගෙන් පසු උතුරු කොරියාවේ නායකයා ලෙස පත්වනු ඇති බවයි. අමතර වගකීම් ලබා දී ඇත්තේ ඇයට පමණක් නොවේ. අනෙක් සහායකයින්ට ද යම් බලයක් ලබා දී ඇත.

    විශේෂයෙන් කිම් ජොන් උන් සමස්ත පාලනයෙහි වගකීම දරන බව සඳහන් කිරීම වටී. කිම් යෝ-ජොං හුදෙක් නියෝජිතයෙකි.  කිම් ජොන් උන් සතුව තවමත් අවසාන ප්‍රකාශය ඇත.

    එහෙත් කිම් යෝ-ජොං  තම සහෝදරයා සඳහා අළු බඳුන් රැගෙන උතුරු කොරියාවේ විදේශ ප්‍රතිපත්තියේ ඉදිරියෙන්ම සිටින බව තවත් ඇඟවීමකි .

    දකුණු කොරියාවේ ඔත්තු ඒජන්සිය South Korea’s spy agency කෙතරම් විශ්වාසදායකද?

    උතුරු කොරියාව ලෝකයේ වඩාත්ම රහසිගත සමාජයකි.

    දකුණු කොරියාවේ ජාතික බුද්ධි සේවයට අනෙක් බොහෝ සංවිධානවලට වඩා උතුර පිළිබඳ බුද්ධි තොරතුරු තිබිය හැකි නමුත් එයට තවමත් මිශ්‍ර වාර්තාවක් ඇත.

    නිදසුනක් වශයෙන්, 2016 දී දකුණු කොරියානු මාධ්‍ය ඔත්තු ඒජන්සිය විසින් එවැනිම විස්තරයක් උපුටා දක්වමින් උතුරු කොරියානු හමුදාවේ මාණ්ඩලික ප්‍රධානී රි යොං-ගිල් ඝාතනය කර ඇති බව කියැවිණි.

    නමුත් ඉන් මාස තුනකට පසු දකුණු කොරියානු රජය යළි කියා සිටියේ පක්ෂ නිලධාරීන්ගේ ලැයිස්තුවක ඔහුගේ නම සඳහන් වී ඇති බැවින් ඔහු ජීවතුන් අතර සිටින බවයි.

    බී.බී.සී. වාර්තාවක් ඇසුරිණි – සකස් කළේ – තුෂාල් විතානගේ

  • Covid -19: සබන් ගා දෑත් නොසෝදා Sanitizer භාවිතයෙන් ගැටලු රැසක්

    Covid -19: සබන් ගා දෑත් නොසෝදා Sanitizer භාවිතයෙන් ගැටලු රැසක්

    සමහර අය සාමාන්‍ය සබන් වලට වඩා ඵලදායී යැයි විශ්වාස කරමින් ප්‍රති-වයිරස අත් සේදුම් වෙත යොමු වී ඇත. ‘එය එසේ නොවේ’ මයිකල්ස් පවසයි.

    අගුලු දැමීම, වෙස්මුහුණු පැළඳීම සහ සමාජයෙන් ඈත් වීම මධ්‍යයේ, කොවිඩ් -19 ට එරෙහි සටනේදී අත් සේදීමේ කොටස පහසුවෙන් අමතක වේ. එය අපගෙන් බොහෝ දෙනෙක් සහජයෙන්ම, දිනකට කිහිප වතාවක් කරන දෙයකි. නමුත් එය පසුගිය මාස හය තුළ තරම් වැදගත් වී තිබේ.

    Covid-19 වෛරසයට එරෙහි අවි ගබඩාව මධ්‍යයේ අත් සේදීම (මුහුණු ආවරණ, ස්වයං හුදකලාව සහ සමාජ දුරස්ථභාවය) යමෙකුට නොසලකා හැරීම පහසුය.

    පෙබරවාරි මාසයේ දී Covid-19 වසංගතය ගෝලීය වශයෙන් ව්‍යාප්ත වීම ආරම්භ වෙද්දී සෞඛ්‍ය හදිසි අවස්ථාවක් ලෙස නව වෛරසයෙන් ආරක්ෂා වන්නේ කෙසේදැයි ජනතාවට උපදෙස් දීමට සෞඛ්‍ය ආයතන පොර බැදුවේය. එක් යෝජනාවක් වූයේ, උණුසුම් ජලයෙන් හෝ පිරිසිදු ජලයෙන් සබන් ගා තත්ත්පර 20ක්වත් අත් හොඳින් සේදීමයි.

    ලෝක සෞඛ්‍ය සංවිධානය විසින් අත් සේදීම සඳහා නිවැරදි ක්‍රමය පෙන්වන ග්‍රැෆික් ග්‍රන්ථයක් ප්‍රකාශයට පත් කරන ලදී:

    මාස හයකට පසු ඕස්ට්‍රේලියාවේ මෙල්බර්න් නුවරට මෑතකදී පැනවූ ඇඳිරි නීතිය වැනි පුපුරා යම් සහ දේශීයකරණය කළ අගුලු දැමීම් පිළිබඳ ව්‍යාකූල ගෝලීය චිත්‍රය අත් සේදීමේ උපදෙස් ආන්තිකයට තල්ලු කර තිබේ. මුහුණු ආවරණ පැළඳීමට එරෙහිව ඇතැම් ප්‍රදේශවල වර්ධනය වන පසුබෑම මධ්‍යයේ කොරෝනා වයිරස් ආසාදනයට එරෙහි මෙම රිදී උණ්ඩය අවධානයෙන් ඉවතට විසිවී ඇත. එක් ඉතියෝපියානු නිරීක්ෂණ අධ්‍යයනයකින් හෙළි වූයේ රෝහල්වලට පැමිණෙන දහසකට වැඩි පිරිසකගෙන් නිවැරදි ආකාරයට අත සෝදා ගන්නේ 01% කටත් වඩා අඩු ප්‍රමාණයක් බවයි.

    තත්ත්වය මෙසේ් නම් අත් සෝදා ගැනීම පිණිස ලබා දුන් උපදෙස් වෙනස් වී තිබේද ?

    කොහෙත්ම නැත. විශේෂඥයන්ට අනුව එහි කාර්යක්ෂමතාව දෙගුණ වී ඇත.

    මැසචුසෙට්ස් හි බොස්ටන් හි ඊසානදිග විශ්ව විද්‍යාලයේ රසායන විද්‍යාව හා රසායනික ජීව විද්‍යාව පිළිබඳ මහාචාර්යවරයෙකු වන තෝමස් ගිල්බට් පවසන්නේ ‘ලාභ සබන් හා උණුසුම් ජලයට කොරෝනා වයිරසයේ රසායනික සැකැස්ම කඩාකප්පල් කළ හැකි බව’යි.

    එක්සත් රාජධානියේ, වසංගතයේ මුල් දිනවල අත් සේදීමට හෝ සනීපාරක්ෂක යන්ත්‍රයෙන් පිරිසිදු කිරීමට නිවැරදි මාර්ගය පෙන්වන ප්‍රස්ථාර බෙදාගෙන ඇත (ණය: එන්එච්එස්)

    “මෙම වෛරස් වලට ‘ලිපිඩ පටල’ ලෙස හැඳින්වෙන ජානමය අංශු වටා ඇති පටල ඇත. (ඒවා තෙල් සහිත, ආලේප සහිත ව්‍යුහයකි. සබන් හා ජලය මගින් උදාසීන කරනු ලබන්ෙන් මේ ආකාරයේ ව්‍යුහයකි) මෙම පිටත “ලියුම් කවරය” විසුරුවා හැරීමෙන් වෛරස් සෛලය බිඳී යන අතර ජානමය ද්‍රව්‍ය (වෛරසයේ පිටපත් සෑදීම සඳහා මිනිස් සෛල පැහැර ගන්නා ආර්එන්ඒ) අතුගා දමා විනාශ වේ’ ඔහු පවසයි.

    අත් සේදීමට හෝ සනීපාරක්ෂක යන්ත්‍රයෙන් පිරිසිදු කිරීමට නිවැරදි මාර්ගය පෙන්වන ඡායාරූපයක්

    ගිල්බට් මෙසේ පවසයි, ‘අත් සේදීමේ කාලය කෙටි කිරීමට හේතු වන කිසිවක් මා අසා නැහැ. ඔබට කිරීමට අවශ්‍ය වන්නේ ඔබේ දෑත් තෙත් කිරීම, සබන් ගා ගැනීම නිසි පරිදි තත්පර 20ක් ඔබේ දෑත් අතුල්ලමින් නිවැරදිව පිරිසිදු කර ගැනීමයි. ලිපිඩ පටලය සහ සබන් අතර රසායනික ප්‍රතික්‍රියාව සිදුවීමට මෙය ප්‍රමාණවත් කාලයක් ලබා දෙන බව ගිල්බට් පවසයි.

    මෙහි වෙනත් වාසි ද ඇත. එමඟින් සබන් සහ උණුසුම් ජලය මගින් අප ද්‍රව්‍ය ඉවත් කිරීම සඳහා හොඳ අවස්ථාවක් ලබා දේ.

    ගිල්බට් තවදුරටත් පවසන්නේ ‘වෛරසයට එරෙහි සටන මෙමගින් වේගවත් වන බවයි. කෙන්ට් විශ්ව විද්‍යාලයේ අණුක විද්‍යාව පිළිබඳ මහාචාර්යවරයකු වනමාටින් මයිකල්ස් පවසන්නේ කොරෝක වෛරසය අක්‍රීය කිරීමට ජලය පමණක් ප්‍රමාණවත් නොවන බවයි. ඔබ ආහාර පිසින විට ඔබේ ඇඟිලිවල තැවරෙන ඔලිව් තෙල් ජලයෙන් පමණක් ඉවත් කිරීම අසීරුයි. එහිදී හොඳින් සබන් ගා පිරිසිදු කළ යුතුයි. මෙහිදී ද සිදුවන්නේ එයයි‘ ඔහු පවසයි.

    කොරෝන වෛරසයට එරෙහි දෑත් පිරිසිදු කිරීමේ සටනේදී සබන් වැදගත්ම අවියක් වන්නේ වෙවරසය වටා ඇති ලිපිඩ කවරය ඉවත් කර එය අක‍්‍රිය කිරීමට සබන් හේතු වන නිසයි‘

    අත් සේදීම සඳහා සනීපාරක්ෂක ද්‍රව්‍ය පුළුල් ලෙස භාවිතා කිරීම නිසා එහි කාර්යක්ෂමතාව තරමක් පසෙකට වී ඇත. මෙය බරපතළ ප‍්‍රශ්නයකි.

    වැදගත් වන්නේ පිරිසිදු ජලයෙන් දෑත් තෙමා ගෙන සබන් යොදා තත්ත්පර 20ක් හොඳින් දෑත් සෝදා ගැනීමයි. එහෙත් එය සිදු නොවන විට ඇතිවන තත්ත්වය වඩාත් බරපතළය. කළ යුතු වැදගත්ම දේ සිදු නොකර අනෙක් දේ කිරීමෙන් කිසිවක් අපේක්ෂා කළ නොහැකිය.

    ඔබ දවස පුරා නිවසේ සිටින අතර ඔබේ නිවස තුළ නාඳුනන පුද්ගලයින් 20 දෙනෙකු නොසිටින්නේ නම්, ඒ වෙනුවෙන් අත් සේදීම අවශ්‍ය නොවේ – තෝමස් ගිල්බට්

    ඔබේ මෝටර් රථයේ හෝ ඉදිරිපස දොරටුවේ එවැනි දෙයක් තිබීම නරක අදහසක් නොවේ,” ගිල්බට් පවසයි. 

    “ඔබට බේසමකට සහ සබන් හා වතුරට ප්‍රවේශයක් නොමැති විට මේ දේවල් හොඳයි’

    ඉතින් අපි තවමත් කොපමණ වාරයක් අත් සේදිය යුතුද?

    වසංගතයේ මුල් අවදියේදී, රජයේ විද්‍යාත්මක උපදෙස් වූයේ සෑම පැය කිහිපයකට වරක් මිනිසුන් අත් සේදිය යුතු බවයි‍.

    ගිල්බට් පවසන්නේ දිවා කාලයේ වැඩිපුරම නිවසේ රැඳී සිටින අයට එය සැබවින්ම අවශ්‍ය නොවන බවයි. එහෙත්, ඇත්ත වශයෙන්ම, වැසිකිළිය භාවිතා කිරීමෙන් පසු, ආහාර පිළියෙළ කිරීමට පෙර සහ ආහාර අනුභව කිරීමට පෙර සාමාන්‍යයෙන් අත් සේදිය යුතුය.

    සබන් මගින් කොරොන වයිරසයේ ආලේපිත ලිපිඩ පිටත තට්ටුව විනාශ වන අතර වෛරස් සෛලය තුළ ඇති ජානමය ද්‍රව්‍ය අක්‍රිය වීමට හේතු වේ (ණය: විද්‍යා ඡායාරූප පුස්තකාලය)

    කොවිඩ් -19 වලින් පීඩා විඳින අයෙකු රැකබලා ගන්නා අයට බොහෝ විට අත් සේදීමට අවශ්‍ය වනු ඇත. විශේෂයෙන් ආසාදිත රෝගියා ස්පර්ශ කර ඇති හෝ ස්පර්ශ කර ඇති වස්තූන් හෝ පෘෂ්ඨයන් ස්පර්ශ වන විට ඒය කළ යුතුමය.

    සබන් මගින් කොරොන වයිරසයේ ආලේපිත ලිපිඩ පිටත තට්ටුව විනාශ වන අතර වෛරස් සෛලය තුළ ඇති ජානමය ද්‍රව්‍ය අක්‍රිය වීමට හේතු වේ

    “ඔබ දවස පුරා නිවසේ සිටින අතර ඔබේ නිවස තුළ නාඳුනන පුද්ගලයින් 20 දෙනෙකු නොසිටින්නේ නම්, ඒ වෙනුවෙන් අත් සේදීම අවශ්‍ය නොවේ,” ඔහු පවසයි. 

    සමහර අය සාමාන්‍ය සබන් වලට වඩා ඵලදායී යැයි විශ්වාස කරමින් ප්‍රති-වයිරස අත් සේදුම් වෙත යොමු වී ඇත. ‘එය එසේ නොවේ’ මයිකල්ස් පවසයි.

    “ඔබට මේ වගේ දේවල් කිසිසේත් අවශ්‍ය නැහැ” කියා ඔහු පවසයි. 

    “වෙළඳපොලේ ඇති බොහෝ ක්ෂුද්‍ර ජීවී නාශක ඇත්ත වශයෙන්ම බැක්ටීරියා නාශක වේ.” 

    මේවා ඕනෑවට වඩා භාවිතා කිරීම අනාගතයට ද ගැටලු ඇති කළ හැකි බව ඔහු අනතුරු අඟවයි. 

    “අපතේ ඇති ජලයේ බැක්ටීරියා නාශක [වෛරස් මත ක්‍රියා නොකරන] ඕනෑවට වඩා තිබේ නම් ඔබට බැක්ටීරියා ප්‍රතිරෝධයට වැඩි ඉඩක් ඇත,” ඔහු පවසයි. 

    “ඔබට [සබන් හැර] භාවිතා කළ හැකි අනෙකුත් සියලුම විෂබීජ නාශක… වැඩි පාරිසරික ගැටළු ඇති කළ හැකි අතර ප්‍රතිරෝධී බැක්ටීරියා සමඟ ගැටලු ඇති කරයි.”

    ඔබට විශ්වාසදායක ජල සැපයුමක් ඇති විට අත් සේදීම බොහෝ පහසුය. ලෝකයේ අඩු සංවර්ධිත ප්‍රදේශවල ජලය වඩාත් අස්ථිර සම්පතක් වන අතර එම ස්ථාන බොහොමයක මහජන සෞඛ්‍ය ප්‍රමිතීන් සහ ජීවන තත්වයන් බොහෝ විට පරමාදර්ශයට වඩා අඩුය. ඇත්ත වශයෙන්ම, මේ මාසයේ දී ලෝක සෞඛ්‍ය සංවිධානය වාර්තා කළේ කොරෝන වසංගතයට පෙර ලොව පුරා පාසල් පහෙන් දෙකකට පමණක් අත් සේදීමේ පහසුකම් ඇති බවයි.

    Covid-19 වෛරසයට එරෙහි ආයුධයක් වීමට ජලය පානය කළ යුතු නමුත් එහි ගුණාත්මක බවක් තිබිය යුතු නැති බව ගිල්බට් සහ මයිකල් යන දෙදෙනාම එකඟ වෙති. 

    ලෝකයේ බොහෝ රටවල නිතිපතා අත් සේදීම සඳහා ජලය සොයා ගැනීම දුෂ්කර විය හැකිය (ණය: ඊපීඒ)

    “ඔබට සබන් හෝ ඒ හා සමාන දෙයක් ඇති තාක් කල් එය හොඳයි. ඔබේ සමේ ඇති බාධක නිසා ඔබට පානය කළ නොහැකි ජලයේ පීනන්න පුළුවන් ”යැයි මයිකල්ස් පවසයි.

    ලෝකයේ බොහෝ රටවල නිතිපතා අත් සේදීම සඳහා ජලය සොයා ගැනීම දුෂ්කර විය හැකිය

    Covid-19 වෛරසය වසංගතය 2020 මුල් භාගයේදී උණ සමයට බලපා ඇති බව පෙනේ. වසරේ මුල් මාස කිහිපය තුළ සාමාන්‍ය මිනිස් සමාජ සම්බන්ධතා නොමැතිව ඉන්ෆ්ලුවෙන්සා අනුපාතය පහත වැටී ඇතැයි විශ්වාස කෙරේ.

    නිදසුනක් වශයෙන්, දකුණු අප්‍රිකාවේ බෝවන රෝග පිළිබඳ ජාතික ආයතනය (එන්අයිසීඩී) සාමාන්‍යයෙන් මාර්තු අග සිට අගෝස්තු දක්වා කාලය තුළ දරුණු උණ රෝගීන් 700ක් පමණ සමඟ කටයුතු කරන නමුත් මේ වසරේ වාර්තා වී ඇත්තේ එක් රෝගියෙකු පමණකි.

    සායන වැසීම බොහෝ සංඛ්‍යාවක් වාර්තා නොවීමට හේතු විය හැකි නමුත් අඩු උණ රෝගීන් වසංගතයට වෙනත් අංශයක් කෙරෙහි ආලෝකයක් විහිදුවයි: අත් සේදීම නිතර නිතර වෙනත් රෝගවලින් අපව ආරක්ෂා කිරීමට උපකාරී වේ.

    මයිකල්ස් මෙසේ පවසයි. “මෙය හොඳ වෙනසක් විය හැකියි’

    2020 /08/21 දිව බී.බී.සී. වාර්තාවක් අසුරිණි – සකස් කළේ – තුෂාල් විතානගේ

  • ‘ට්වීටර් ඡායාරූප කිහිපයක්’ සිදුකළ සුපිරි වෙනසක කතාවක්

    ‘ට්වීටර් ඡායාරූප කිහිපයක්’ සිදුකළ සුපිරි වෙනසක කතාවක්

    නයිජීරියාවේ අතහැර දමා ඇති ගල් වළක් මේ මස මුලදී සමාජ මාධ්‍යවල පින්තූර පළ කිරීමෙන් පසු සංචාරක ස්ථානයක් බවට පත්ව තිබේ.

    නිල් අහසකට නගින පාෂාණ, පාසි සහිත අඩිපාරක්, කුඩා කොළ පැහැති කඳු සහ සූර්යයා දිදුලන විලක් සහිතව අගෝස්තු මස මුලදී ට්විටර් හි බෙදාගත් පින්තූර සමූහයකට විශාල ජනතා ආකර්ෂණයක් හිමිවී තිබේ.

    දින කිහිපයකින්, අබුජා අගනුවරට නුදුරින් පිහිටි දුප්පත් අසල්වැසි ප්‍රදේශයක් වන එම්පේ හි ක්‍රෂ්ඩ් රොක් ලෙස හැඳින්වෙන අඩවිය පිරී ඉතිරී ගියේය.

    ඩීජේ සංගීත කණ්ඩායම්, ආහාර වෙළෙන්දන්, හිරු එළිය ස්නානය කරන සෙල්ෆි ගන්නන් සිය ගණනක් සහ සම්භාව්‍ය සංගීත කණ්ඩායම් ද මේ ස්ථානයේ කඳවුරු බැඳ තිබේ.

    නයිජීරියාවේ අබුජා අසල එම්පේ ක්‍රෂ්ඩ් රොක්හි සංගීත ians යන්

    උතුරේ කාලගුණය ඉතා උණුසුම් වන අතර දකුණේ තරමක් තෙතමනය ඇත. කෙසේ වෙතත්, දේශපාලන අගනගරයේ වෙසෙන බොහෝ විදේශිකයින්ගේ ආනුභාවයෙන් අබුජා අවට කඳු නගින්නන් වැඩිවෙමින් පවතී.

    නයිජීරියාවේ අබුජා අසල එම්පේ කුඩු කළ පර්වතයේ මිනිසුන්

    රටේ මධ්‍යම කලාපයේ කඳුකරය ගවේෂණය කිරීම සඳහා මෙම තරුණ මධ්‍යම පංතික නයිජීරියානුවන් දිරිමත් කිරීම සඳහා කොරෝනා වයිරස් වසංගතයටද දායක වී තිබේ. මිනිසුන් වෙනත් තැනකට යාම වළක්වා ඇති අගුලු දැමීම නිසා නිවසට සමීප ස්ථාන ගවේෂණය කෙරෙමින් පවතී.

    නයිජීරියාවේ අබුජා අසල එම්පේ ක්‍රෂ්ඩ් රොක්හි සංචාරකයින්

    දේශීය ග්වාරි භාෂාවෙන් “පාෂාණය” යන අර්ථය ඇති මාපේ අවට ප්‍රදේශය 1980 දශකයේ අබුජා කුඩා ගම්මානය රටේ අගනගරය බවට පරිවර්තනය කිරීම සඳහා භාවිතා කළ ගල් වලින් වැඩි ප්‍රමාණයක් සැපයීය.

    “ගල් වළ වසර 10 කට වඩා වැඩි කාලයක් පැවතුනි,” නගර වාසීන් හදිසියේ ගලා ඒම නිසා තරමක් කලබලයට පත්ව සිටින එම්පේ පදිංචිකරුවෙකු වන එබෙන්ස් පැවසීය.

    නයිජීරියාවේ අබුජා අසල එම්පේ ක්‍රෂ්ඩ් රොක්හි විල

    නයිජීරියාවේ ස්වාභාවික සුන්දරත්වයේ අඩවි රාශියක් ඇත, නමුත් මෙම “මිනිසා විසින් සාදන ලද” ස්ථානයට තමන්ගේම ආයාචනයක් ඇත. ප්‍රධාන ස්ථර තුනක් සහිතව, පහතින් ඇති ජලය විශ්මය ජනක දසුනක් ලබා දෙයි. තණකොළ කදිම විනෝද චාරිකා ස්ථානයක් වන ඉහළ ටෙරස් වෙත කුඩා එඩිතර අඩි පාරක් තෝරා ගත හැකිය.

    නයිජීරියාවේ අබුජා අසල Mpape තලා දැමූ පර්වතය

    වඩාත් වික්‍රමාන්විතයන්ට ජල අද්දරට යන මාර්ගය දිගේ ඉදිරියට යා හැකිය. එහෙත්, ජලයට බැස පීනීමට කැමති නිර්භීත අයට අනතුරු ඇඟවීමකි. ‘ප්‍රදේශවාසීන් පවසන්නේ එය අතහැර දමා ඇති යන්ත්‍රෝපකරණවලින් පිරී ඇති බවයි’

    දරුවන් දෙදෙනෙක් නයිජීරියාවේ අබුජා අසල එම්පේ කුඩු කළ පර්වතය දෙස බලා සිටිති

    ඔබාෆෙමී ඇවොලෝවෝ විශ්ව විද්‍යාලයේ භූ භෞතික විද්‍යාඥයෙකු වන ඒබ්‍රහම් ඇඩෙපෙලුමි පවසන පරිදි මෙම විල සෑදී ඇත්තේ ජලධරයක අස්ථි බිඳීම හේතුවෙනි.

    “පර්වතය කැඩී ගිය පසු, පර්වතය තුළ ජලය පීඩනයට ලක්වුණා,” ඔහු බීබීසීයට පැවසීය.

    “එය ස්වාභාවික සංසිද්ධියක්. එම්පේ යනු අබුජා හි අස්ථි බිඳීමක් ඇති ප්‍රදේශයක් වන අතර 2018 තරම් මෑතදී භූ කම්පන ඇති විය.”

    Mpape Crushed Rock හි කඳු නැගීමට එරෙහිව ප්‍රාදේශීය හදිසි ඒජන්සිය ආධුනිකයන්ට අනතුරු අඟවා ඇත, නමුත් විනෝදය සොයන අය එය වළක්වන බවක් නොපෙනේ.

    ” නයිජීරියාවේ එවැනි ස්ථානයක් ඇති බව මා දැන සිටියේ නැත. එය සැබෑවක් දැයි බැලීමට මට අවශ්‍ය වුණා” ෆේස්බුක් හි පින්තූර දැකීමෙන් පසු ඇගේ මිතුරන් සමඟ පැමිණි එලිසබෙත් ඔකුට් බීබීසීයට පැවසීය.

    “අබුජා හි එවැනි ස්ථානයක් තිබීම ගැන මම පුදුම වුණා. මා දකින දේට මම ප්‍රිය කරමි” යැයි චුක්වුකා පැවසීය.

    නයිජීරියාවේ අබුජා අසල එම්පේ කුඩු කළ පර්වතයේ ෆෑන් චුක්වුකා
    චුක්වුකා

    එමෙකා යුකෝ තවදුරටත් මෙසේ පැවසීය: “එය ආරක්ෂා කිරීමට අපි පියවර ගනු ඇතැයි මම බලාපොරොත්තු වෙමි.”

    පසුගිය සති කිහිපය තුළ ගල් වළ වටා ප්ලාස්ටික් අපද්‍රව්‍ය ඉවත් කිරීමට ස්වේච්ඡා සේවකයන් පසුගිය සෙනසුරාදා තීරණය කළේය.

    නයිජීරියාවේ අබුජා අසල එම්පේ ක්‍රෂ්ඩ් රොක්හි ස්වේච්ඡා පිරිසිදු කරන්නන්

    “ස්ථානය පිරිසිදු කිරීම ඔවුන්ගේ වගකීම බව බොහෝ දෙනෙකුට හැඟී ගියා” බ්‍රැන්ඩන් අකුමේ බීබීසීයට පැවසීය.

    මෙය බොහෝ නයිජීරියානුවන්ට පිටස්තර සංකල්පයක් බව ඔහු පැවසීය.

    නයිජීරියාවේ අබුජා අසල එම්පේ ක්‍රෂ්ඩ් රොක්හි ස්වේච්ඡා පිරිසිදු කරන්නන්

    ඔහු එක් විනෝද චාරිකා කණ්ඩායමක සිට අනෙක් කණ්ඩායම වෙත ගොස් කුණු බෑග් භාර දෙමින් ඔවුන්ගේ කුණු නිසි පරිදි බැහැර කරන ලෙස ජනතාවට උපදෙස් දුන්නේය.

    ෆාතිමා මුහම්මද්ගේ ඡායාරූප සහ වචන බීබීසීයේ එන්ඩුකා ඔර්ජින්මෝ විසිනි

    බී.බී.සී. වාර්තාවක් ඇසුරිණි – සකස් කළේ – තීක්ෂණ වෙළෙන්එගොඩ

  • ක්‍රෙඩිට් කාඩ් සහ උකස් ‘පොළිය අඩු කිරීමට’ මහ බැංකුවෙන් නියෝග

    ක්‍රෙඩිට් කාඩ් සහ උකස් ‘පොළිය අඩු කිරීමට’ මහ බැංකුවෙන් නියෝග

    ක්‍රෙඩිට් කාඩ්පත් සඳහා අය කරනු ලබන උපරිම පොළී අනුපාතය පහළ දැමීම සඳහා ශ්‍රී ලංකා මහ බැංකුව පියවර ගෙන තිබේ. මේ අනුව ක්‍රෙඩිට් කාඩ් පත් සඳහා අය කළ හැකි උපරිමා පොළී අනුපාතිකය 28% සිට 18% ක් දක්වා පහත දමා ඇත.

    මේ වන විට බැංකු විසින් ක්‍රෙඩිට් කාඩ් පත් සඳහා 28% ක උපරිම පොළී අනුපාතිකයක් අයකරමින් සිටී.

    මේ අතර කලින් සකස් කර ගන්නා ලද තාවකාලික බැංකු අයිරා සඳහා අය කළ හැකි උපරිම පොළී අනුපාතිකය 16% ක් ලෙස ප්‍රකාශයට පත් කර ඇති අතර උකස් පහසුකම් වෙනුවෙන් අය කළ හැකි උපරිම පොළිය ද 10%ක් දක්වා අඩු කර ඇත.

  • පොරොන්දු නෝට්ටුවල ආයෝජනය කරන්නේ බලාගෙනයි – මහ බැංකුව

    පොරොන්දු නෝට්ටුවල ආයෝජනය කරන්නේ බලාගෙනයි – මහ බැංකුව

    මූල්‍ය ආයතනයන් හි පොරොන්දු නෝට්ටුවල (Promissory note) ආයෝජනය කිරීමේ දී ආයෝජකයින් ඒ පිළිබඳ දැනුවත් විය යුතු බව ශ්‍රී ලංකා මහ බැංකුවේ නියෝජ්‍ය අධිපති එච්.ඒ. කරුණාරත්න මහතා අවධාරණය කරයි.

    අද (20) පැවැති මාධ්‍ය හමුවකදී කරුණාරත්න මහතා මේ බව සදහන් කළේය.

    එහිදී වැඩි දුරටත් අදහස් දැක්වූ මහ බැංකු නියෝජ්‍ය අධිපතිවරයා කියා සිටියේ පොරොන්දු නෝට්ටු තැන්පතු, ශ්‍රී ලංකා තැන්පතු රක්ෂණ සහ ද්‍රවශීලතා ආධාරක අරමුදල මගින් රක්ෂණ වන්දි මුදල් ගෙවීම සඳහා සුදුසුකම් නොලබන බවයි.

    මේ සම්බන්ධයෙන් ශ්‍රී ලංකා මහ බැංකුවේ ස්ථාවරය පැහැදිලි කළ නියෝජ්‍ය අධිපතිවරයා – ‘මූල්‍ය ආයතනවල තැන්පතු, රක්ෂණ ආවරණයකට යටත් වෙලා තියෙන්නේ. නමුත්, තැන්පතු කියන නිවර්වචනය යටතේ සමහර වෙලාවට ‘පොරොන්දු නෝට්ටු‘ තිබෙන්න පුළුවන්. ඒ පොරොන්දු නෝට්ටු මේ යෝජනා ක්‍රමයට අයිති නැහැ. ඒ නිසා සමහර වෙලාවට වැරදි අවබෝධයක් ඇතිවෙන්න පුළුවන්සමහර අයට ඔය නිර්වචන විවිධාකාරයෙන්  තියෙන නිසා, පොරොන්දු නෝට්ටුත් මේ තැන්පතු ණය රක්ෂණ යෝජනා ක්‍රමයෙන් ආවරණය වෙනවා කියලා. එහෙම දෙයක් වෙන්නේ නැහැ. ඒ නිසා ආයෝජනය කරන අයත් මෙය දැන ගත යුතු කරුණක්. ඒ නිසා අපි මෙහිදී විශේෂයෙන් කියන්න ඕනේ, මේ තැන්පතු ආවරණය යටතේ ඉන්න අයට පමණයි මේ ආරක්ෂාව ලැබෙන්නේ. “

  • රාජ්‍ය සේවකයින්ට බතික් රෙදි අන්දවන්න දයාසිරි සූදානම් – නීතිත් ගේන බව කියයි

    රාජ්‍ය සේවකයින්ට බතික් රෙදි අන්දවන්න දයාසිරි සූදානම් – නීතිත් ගේන බව කියයි

    රජයේ සේවකයින්ට සතියට එක් දිනක්, බතික් හෝ දේශීය ඇඳුම් ඇඳගෙන කාර්යාලයට පැමිණිය යුතු නීතියක් ගෙනඒමට පියවර ගන්නා බව බතික්, අත්යන්ත්‍ර රෙදි  හා දේශීය ඇඟළුම් නිෂ්පාදන රාජ්‍ය අමාත්‍යවරයා වන්නේ දයාසිරි ජයසේකර මහතා අවධාරණය කරයි.

    රාජ්‍ය අමාත්‍යවරයා මේ බව පැවසුවේ තමාට ලැබුණු අමාත්‍යාංශය පිළිබඳව මාධ්‍යවේදීන් පිරිසක් අද (20) පාර්ලිමේන්තු පරිශ්‍රයේ දී පැවැති තේ පැන් සංග්‍රහය අතරතුර ඔහුගෙන් කරුණු විමසු අවස්ථාවේ දීය.

    දයාසිරි ජයසේකර මහතා බතික් ඇඳුමකින් සැරසී එම අවස්ථාවට පැමිණ සිටි අතර ඔහුව කාගෙත් අවධානයට ලක්විය.

  • ක්‍රීඩා ඇමැති නාමල්ගෙන් මහේලට ලොකු තනතුරක්

    ක්‍රීඩා ඇමැති නාමල්ගෙන් මහේලට ලොකු තනතුරක්

    අද දින (20) ක්‍රීඩා අමාත්‍ය නාමල් රාජපක්ෂ මහතාගේ ප්‍රධානත්වයෙන් ජාතික ක්‍රීඩා සභාවේ නව සාමාජිකයින්ට පත්වීම් ලිපි ප්‍රදානය කළ අතර එහිදී ජාතික ක්‍රීඩා සභාවේ සභාපතිවරයා ලෙස ශ්‍රී ලංකා ක්‍රිකට් කණ්ඩායමේ හිටපු නායක මහේල ජයවර්ධන මහතා පත් කළා.

    ජාතික ක්‍රීඩා සභාවේ සෙසු සාමාජිකයින් වන්නේ,

    01.හිටපු නායක මහේල ජයවර්ධන මහතා – සභාපති
    02.හිටපු ක්‍රිකට් නායක කුමාර් සංගක්කාර මහතා – කමිටු සාමාජික 
    03.යුද හමුදාපති ලුතිතන් ජෙනරාල් ශවේන්ද්‍ර සිල්වා මහතා – කමිටු සාමාජික 
    04.රෝවේනා සමරසිංහ මිය – කමිටු සාමාජික 
    05.සංජීව වික්‍රමනායක මහතා – කමිටු සාමාජික 
    06.ජුලියන් බෝලිං මහතා – කමිටු සාමාජික 
    07.යශ්වන්ත් මුතුතෙට්ටුවගම මහතා – කමිටු සාමාජික 
    08.සුපුන් වීරසිංහ මහතා – කමිටු සාමාජික 
    09.කස්තුරි විල්සන් මිය – කමිටු සාමාජික 
    10.රුවන් කෑරගල මහතා – කමිටු සාමාජික 
    11.රාජිත අම්පෙමොහොට්ටි මහතා – කමිටු සාමාජික 
    12.රොහාන් ප්‍රනාන්දු මහතා – කමිටු සාමාජික 
    13.මෝටර් රථ ධාවන ශුර ඩිලන්ත මාලගමුව මහතා – කමිටු සාමාජික 
    14.අමල් එදිරිසූරිය මහතා – කමිටු සාමාජික
     

    ක්‍රීඩාවේ දියුණුව එහි ප්‍රතිපත්ති සහ ජාතියේ ක්‍රීඩා ප්‍රමිතිය මෙන්ම ඒ ආශ්‍රිත යටිතල පහසුකම් නගාසිටුවිය හැකි ආකාරය පිළිබඳව අමාත්‍යවරයාට උපදෙස් දීම අභිනව ජාතික ක්‍රීඩා සභාවේ කාර්යභාරයන් අතර වේ.

    ක්‍රීඩා අමාත්‍යවරයාගේ නියමය අනුව නව ක්‍රීඩා පනතක් සහ ජාතික ක්‍රීඩා ප්‍රතිපත්තියක් සැකසීමට අවශ්‍ය මූලික කටයුතු සම්පාදනය කිරීම, ඉලක්කගත ජයග්‍රහණ සඳහා සැලසුම් සකස් කිරීම, ක්‍රීඩකයින් වෘත්තිමය තත්ත්වයකට නංවාලීම උදෙසා යටිතල පහසුකම් සංවර්ධනය කිරීම, ජාතික සංචිත තේරීමේදී අමාත්‍යවරයා වෙත අවශ්‍ය නිර්දේශ ඉදිරිපත් කිරීම, පාසල් ක්‍රීඩා සහ අධ්‍යාපන අමාත්‍යංශය හා එක්ව පාසල් ක්‍රීඩා නැංවීමේ සැලැස්මක් සකස් කිරීම, ක්‍රීඩාවේ පාරිශුද්ධභාවය සහ විනිවිදභාවය සුරැකෙන ආකාරයෙන් කටයුතු කිරීමට අවශ්‍ය වටපිටාවක් නිර්මාණය කිරීම, නව ප්‍රවණතාවන් හා ඊ-ස්පෝර්ට්ස් වැනි නව අංශ හරහා ක්‍රීඩා ආර්ථිකයක් ගොඩනැගීමට කටයුතු සම්පාදනය කිරීම යන කරුණු මූලික කරගත් විශේෂ වැඩසටහන් සඳහා මඟ පෙන්වීම ද ක්‍රීඩා සභාවේ වගකීම් අතර වේ.

    නාමිකව උපදෙස් පමණක් ලබාදෙන ක්‍රීඩා සභාවක් වෙනුවට වඩාත් ශක්තිමත් කාර්යශූර, ශ්‍රී ලංකාවට වඩාත් ඵලදායී ප්‍රතිඵල හා ජයග්‍රහණයන් අත්කරදීම උදෙසා ක්‍රියාකාරී බලතල සහිත ජාතික ක්‍රීඩා සභාවක් ලෙස නව ක්‍රීඩා සභාවට කටයුතු කළ හැකි බව අමාත්‍ය නාමල් රාජපක්ෂ එහිදී පෙන්වා දී තිබේ.
     

  • ‘මාධ්‍ය අතේ රෝලක් ගැන’ කරුගේ මාධ්‍ය ඒකකයෙන් පැහැදිලි කිරීමක්

    ‘මාධ්‍ය අතේ රෝලක් ගැන’ කරුගේ මාධ්‍ය ඒකකයෙන් පැහැදිලි කිරීමක්

    හිටපු කථානායක කරු ජයසූරිය මහතා පසුගිය මහ මැතිවරණ සමයෙහි සමගි ජන බලවේගයේ කොළඹ  දිස්ත‍්‍රික් අපේක්ෂකයෙක් ප‍්‍රවර්ධනය කිරීමට කටයුතු කිරීමක් පිළිබඳව කිසියම් පිරිසක් විසින් සඳහන් කළ බවට අද දින මාධ්‍යන් හි පළව ඇති ප‍්‍රවෘතියට අදාලව කරුණු පැහැදිළි කිරීමක් කරු ජයසූරිය මහතාගේ මාධ්‍ය ඒකකය විසින් අප වෙත යොමුකර ඇත. එම මාධ්‍ය නිවේදනය සම්පූර්ණයෙන් පහත පළ වේ.

    හිටපු කථානායක කරු ජයසූරිය මහතා පසුගිය මහ මැතිවරණ සමයෙහි සමගි ජන බලවේගයේ කොළඹ  දිස්ත‍්‍රික් අපේක්ෂකයෙක් ප‍්‍රවර්ධනය කිරීමට කටයුතු කිරීමක් පිළිබඳව කිසියම් පිරිසක් විසින් සඳහන් කළ බවට අද දින මාධ්‍යන් හි පළව ඇති ප‍්‍රවෘතියට අදාලව කරුණු පැහැදිළි කිරීමයි.

    කරු ජයසූරිය මහතා කථානායක ධුරයෙන් සමුගත් පසුව දෙදරා යමින් තිබූ එක්සත් ජාතික පක්ෂය      සමගිකරවීමට අප‍්‍රතිහත ධෛර්යයෙන් යුතුව විශාල උත්සාහයක් දැරූ බව කිසිවෙකුට රහසක් නොවේ.

    නමුත් ඉතා අවාසනාවන්ත ලෙස එම උත්සාහය නිෂ්ඵල වූ විට කිසිඳු පාර්ශවයකට සහාය නොදී මුළුමනින්ම   ස්වාධීනව සිටීමට එතුමා තීරණය කරන ලදි. ඒ අනුව සිය පාර්ශව⁣යන්ගෙන් මැතිවරණයට තරඟ කරන ලෙස හා එසේ නැතහොත් ජාතික ලැයිස්තු අපේක්ෂකයෙකු ලෙස නම ඇතුළත් කරන ලෙස එක්සත් ජාතික      පක්ෂයෙන් හා සමගි ජන බලවේගයෙන් ලැබුණු ඉල්ලීම්ද ස්තුති පූර්වකව ප‍්‍රතික්ෂේප කරන ලදි.

     එපමණක් නොව සිය බෑණනුවන් වූ නීතීඥ නවින් දිසානායක මහතාගේ මැතිවරණ ව්‍යාපාරයට හෝ           දේශපාලනිකව කිසිඳු ආකාරයකින් දායක නොවෙමින් සිය ස්වාධීනත්වය රැකගැනීමට එතුමන් කටයුතු කරන ලදි.

     එසේනම්, සමගි ජනබලවේගයේ අපේක්ෂකයෙකු වූ නීතීඥ එරන්ද වැලිඅංගේ මහතාගේ මැතිවරණ ව්‍යාපාරය ප‍්‍රවර්ධනය කිරීමට ඔහුගේ වීඩියෝ පටයකට කරු ජයසූරිය මහතා අදහස් දක්වා ඇති බවට වන සඳහනෙහි පදනම කුමක්ද?

    ජාතික තරුණ සේවා සභාවේ සභාපතිවරයා ලෙස කටයුතු කළ නීතීඥ එරන්ද වැලිඅංගේ මහතා එම කාලය තුළ ශ‍්‍රී ලංකා පාර්ලිමේන්තුව සමඟ එක්ව යොවුන් පාර්ලිමේන්තු සංකල්පය සාර්ථකව ක‍්‍රියාත්මක කිරීමට කටයුතු කළ ආකාරය පිළිබඳව ප‍්‍රසාදයක් එවකට කථානායකවරයා තුළ තිබිණි. 2019 සැප්තැම්බර් 03වන දින කථානායකවරයා හමු වූ එරන්ද වැලිඅංගේ මහතා ඉදිරියේදී තමා පාර්ලිමේන්තු මැතිවරණයකට තරඟ කිරීමට අපේක්ෂවෙන් සිටින බැවින් තමා පිළිබඳ ඇගයීමක් සිදුකරන ලෙස කථානායකවරයා ගෙන් ඉල්ලා සිටින ලදි. එවකට එක්සත් ජාතික පක්ෂය කිසිඳු ආකාරයකින් දෙකඩ වී නොතිබූ අතර නීතීඥ එරන්ද වැලිඅංගේ මහතා හිටපු අග‍්‍රාමාත්‍ය රනිල් වික‍්‍රමසිංහ මහතාගේ සමීපතමයෙකු වශයෙන් කටයුතු කරමින් සිටියේය. එමෙන්ම ඒ වනවිට සමගි ජන බලවේගය නමින් දේශපාලන පක්ෂයක් බිහි වීම පිළිබඳව අදහසක්වත් පළව නොතිබිණි. සමගි ජන බලවේගය බිහි වූයේ ඉන් මාස ගණනාවකට පසුය.

     කෙසේ වෙතත් එම අදහස් දැක්වීමේ දී පුද්ගලයෙකු ලෙස එරන්ද වැලිඅංගේ මහතා පිළිබඳව ස්වකීය අදහස ඒ මහතාගේ ඉල්ලීම පරිදි සුභපැතුමක් වශයෙන් ප‍්‍රකාශ කළ අතර දේශපාලන පක්ෂයක් පිළිබඳව කිසිඳු සඳහනක් සිදුකර නැත.

    කෙසේ වෙතත් දේශපාලනිකව විනාශ වී අවසන් පිදුරු ගසේ එල්ලීමට උත්සාහ දරණ අසාර්ථක පුද්ගලයන් අතලොස්සක් විසින් කරු ජයසූරිය මහතා උගත් තරුණයෙකු පිළිබඳව පළ කරන ලද අදහසක් දේශපාලන පක්ෂයක් වෙනුවෙන් කරන ලද ප‍්‍රකාශයක් ලෙස හුවා දැක්වීමට කරනු ලබන නිර්ලජ්ජිත උත්සාහය  කණගාටුවෙන් යුතුව හෙළා දකිමු.

       කරු ජයසූරිය මහතාගේ මාධ්‍ය සම්බන්ධීකරණ අංශය

  • පාර්ලිමේන්තුව දින 03ක් රැස්වේ – අතුරු සම්මත ගිණුම හෙට න්‍යාය පුස්තකයට

    පාර්ලිමේන්තුව දින 03ක් රැස්වේ – අතුරු සම්මත ගිණුම හෙට න්‍යාය පුස්තකයට

    පාර්ලිමේන්තුවේ රැස්වීම හෙට (21) දිනයේදී සහ ලබන සතියේ 27 වැනිදා සහ 28 වැනිදා යන දෙදින තුළදී පැවැත්වීමට පාර්ලිමේන්තුවේදී නව කථානායක ගරු මහින්ද යාපා අබේවර්ධන මහතාගේ ප්‍රධානත්වයෙන් අද (20) දින රැස්වූ පක්ෂ නායකයෝ තීරණය කළහ.

    ඒ අනුව අතිගරු ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා විසින් අද (20) පාර්ලිමේන්තුවට ඉදිරිපත් කළ ආණ්ඩුවේ ප්‍රතිපත්ති ප්‍රකාශය මන්ත්‍රීවරයෙකුගේ යෝජනාවක් ලෙස හෙට (21) දිනයේදී විවාදයට ගැනෙනු ඇත.

    මේ අතර ඉදිරි සැප්තැම්බර් 01 වනදා සිට 2020 වර්ෂයට අදාල අයවැය සම්මත වන තුරු කාලය සඳහා වියදම් දැරීමට රජය විසින් ඉදිරිපත් කරනු ලබන අතුරු සම්මත ගිණුම ස්ථාවර නියෝග 27 අනුව න්‍යාය පුස්තකය මගින් මන්ත්‍රීවරුන්ට දැනුම් දීමට පක්ෂ නායකයෝ තීරණය කළහ.

    අනතුරුව ලබන 27 සහ 28 යන දිනවලදී පෙරවරු 9.30 සිට පස්වරු 6.30 දක්වා පාර්ලිමේන්තුව රැස්වීමටත් එම දින දෙක තුළදී දිවා ආහාර විවේකයෙන් තොරව පාර්ලිමේන්තු රැස්වීම් පවත්වාගෙන යාමටත් පක්ෂ නායකයෝ තීරණය කළහ.

    මේ අතර ස්ථාවර නියෝග 27 (2) යටතේ විපක්ෂ නායක ගරු සජිත් ප්‍රේමදාස මහතා හෙට (21) පාර්ලිමේන්තුවේදී රැකියා විරහිත උපාධිධාරීන් පිළිබඳව විශේෂ ප්‍රකාශයක් සිදු කරනු ඇත.

    මෙම පක්ෂ නායක රැස්වීමට සභානායක ගරු දිනේෂ් ගුණවර්ධන, ආණ්ඩු පක්ෂයේ ප්‍රධාන සංවිධායක ගරු ජොන්ස්ටන් ප්‍රනාන්දු, විපක්ෂ නායක ගරු සජිත් ප්‍රේමදාස, පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් වන ගරු ලක්ෂ්මන් කිරිඇල්ල, ගරු නිමල් සිරිපාල ද සිල්වා, ගරු උදය ගම්මන්පිල, මහාචාර්ය ගරු තිස්ස විතාරණ, ගරු රවුෆ් හකීම්, ගරු ගයන්ත කරුණාතිලක, ගරු මනෝ ගනේෂන්,  ගරු ඩග්ලස් දේවානන්ද, ගරු රංජිත් මද්දුමබණ්ඩාර, ගරු එම්.ඒ. සුමන්තිරන් සහ ගරු ගජේන්ද්‍ර කුමාර් පොන්නම්බලම් යන මහත්වරු සහභාගී වූහ.  

  • අමාත්‍ය දිනේෂ් ගුණවර්ධන  පාර්ලිමේන්තුවේ සභානායක ධූරයේ වැඩ භාරගනියි

    අමාත්‍ය දිනේෂ් ගුණවර්ධන පාර්ලිමේන්තුවේ සභානායක ධූරයේ වැඩ භාරගනියි

    විදේශ අමාත්‍ය දිනේෂ් ගුණවර්ධන  මහතා නවවැනි පාර්ලිමේන්තුවේ මංගල සභා වාරයේ ප්‍රථම රැස්වීම ආරමිභ වීමට ප්‍රථමයෙන් පෙ.ව. 8.46 ට  යෙදුණු  සුබ මොහොතින් අද  නිල වශයෙන් සභානායක ධූරයෙහි  සිය රාජකාරි ඇරඹීය.

    මේ අවස්ථාවට රජයේ  මැති ඇමතිවරු වන මහාමාර්ග අමාත්‍ය  ජොන්ස්ටන් ප්‍රනාන්දු මහතා, පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් වන යදාමිණි ගුණවර්ධන, ජගත් කුමාර, සහ වීරසුමන වීරසිංහ යන මහත්වරුන් , රාජ්‍ය නිලධාරිහු, පවුලේ සාමාජිකයන් හා පාර්ලිමේන්‍තුවේ  මහ ලේකම් ධම්මික දසනායක මහතා ඇතුළු ඉහළ පෙළේ නිලධාරීහු ඇතුළු පිරිසක් එක්ව සිටියහ.

    මෙරට පාර්ලිමේන්තුවේ  දහහත්වැනි සභානායකවරයා  වන අමාත්‍ය දිනේෂ් ගුණවර්ධන මහතා පාර්ලිමේන්තු කාර්ය මණ්ඩලය විසින් උණුසුම් ලෙස පිළිගැනීමෙන් අනතුරුව, ආගමික වතාවත්හි නිරත වුණු අතර පසුව තම කාර්යාලයීය ලිපිවලට අත්සන් තබමින් ඔහු  සිය නිල කටයුතු ආරම්භ කළේය.

    අමාත්‍ය ගුණවර්ධන  මහතා පසුගිය වසරේ ජනවාරි මස 03 වැනි දින සිට මාර්තු 02 දක්වා  සභානායක ලෙස කටයුතු කළ අතර, ඊට පෙර සයවැනි හා හත්වැනි පාර්ලිමේන්තුවලද  ආණ්ඩු පක්ෂයේ ප්‍රධාන සංවිධායක ලෙස විශේෂ කාර්යභාරයක් ඉටු කර ඇත.

    මෙරට සමාජවාදයේ පියා ලෙස සැලකෙන කැබිනටි අමාත්‍යවරයකු වූ පිලිප් ගුණවර්ධන මහතාගේද,  අවිස්සාවෙිල්ල මන්ත්‍රිනී කුසුමා ගුණවර්ධන මහත්මියගේද පුතණුවකු වන දිනේෂ් චන්ද්‍ර රූපසිංහ ගුණවර්ධන  මහතා රාජකීය විද්‍යාලයේ කීර්තිමත් ආදි සිසුවෙකු වන අතර, මූලික උපාධිය සදහා අධ්‍යයනය  කර ඇත්‍තේ ව්‍යාපාර කළමනාකරණයයි. මහජන එක්සත් පෙරමුණෙහි වත්මන් නායක ධූරය දරන දිනේෂ් ගුණවර්ධන මහතා  1983 මැයි මස දී පාර්ලිමේන්තුවට පිවිස, කැබිනට් අමාත්‍ය ධූර ඇතුළු රජයේ විවිධ වගකීම් රැසක් දැරූ පරිණත මන්ත්‍රීවරයෙකි.

  • අමාත්‍ය ජොන්ස්ටන් ප්‍රනාන්දු ආණ්ඩු පක්ෂයේ ප්‍රධාන සංවිධායක ධූරයේ වැඩ භාරගනියි

    අමාත්‍ය ජොන්ස්ටන් ප්‍රනාන්දු ආණ්ඩු පක්ෂයේ ප්‍රධාන සංවිධායක ධූරයේ වැඩ භාරගනියි

    මහාමාර්ග අමාත්‍ය ජොන්ස්ටන් ප්‍රනාන්දු  මහතා නවවැනි පාර්ලිමේන්තුවේ මංගල සභා වාරයේ ප්‍රථම රැස්වීම ආරමිභ වීමට පෙර, පෙ.ව. 9.00 ට පමණ  අද ආණ්ඩු පක්ෂයේ ප්‍රධාන සංවිධායක ධූරයේ  නිල වශයෙන්  සිය රාජකාරි ආරම්භ කළේය. මෙම අවස්ථාවට රජයේ මන්ත්‍රීවරු, රාජ්‍ය නිලධාරිහු, හා පාර්ලිමේන්‍තු විධායක නිලධාරීහු ඇතුළු පිරිසක් සහභාගි වූහ.

    අමාත්‍ය ජොන්ස්ටන් ප්‍රනාන්දු මහතා පාර්ලිමේන්තු කාර්ය මණ්ඩලය විසින් උණුසුම් ලෙස පිළිගැනීමෙන් අනතුරුව, සිය කාර්යාලයීය ලිපිවලට අත්සන් තබමින් නිල කටයුතු ආරම්භ කළේය.

    අමාත්‍ය ජොන්ස්ටන් ප්‍රනාන්දු මහතා පසුගිය වසරේ ජනවාරි මස 03 වැනි දින සිට මාර්තු 02 දක්වා ආණ්ඩු පක්ෂයේ ප්‍රධාන සංවිධායකවරයා ලෙස කටයුතු කළේය. ප්‍රනාන්දු මහතා වසර 2000 දී පාර්ලිමේන්තුවට පිවිස, කැබිනට් අමාත්‍ය ධූර ඇතුළු රජයේ විවිධ වගකීම් රැසක් දැරූ පරිණත මන්ත්‍රීවරයෙක් වන හෙතෙම කුරුණෑගල, ශාන්ත ආනා විදුහලෙහි ආදි සිසුවෙකි . ඔහු වෘත්තියෙන් ව්‍යාපාරිකයෙක් වෙයි.