Blog

  • ‘මරණයේ නිම්නයට’ අපායත් ළං වෙලා – කැලිෆෝනියාව ගිනි ගෙන දැවෙයි

    ‘මරණයේ නිම්නයට’ අපායත් ළං වෙලා – කැලිෆෝනියාව ගිනි ගෙන දැවෙයි

    පෘථිවියේ මෙතෙක් වාර්තා වූ ඉහළම උෂ්ණත්වය පසුගිය ඉරිදා (අගෝ. 16) ඇමෙරිකාවේ කැලිෆෝනියාවේ පිහිටි ‘ඩෙත් වැලි’ (Death Valley – මරණයේ නිම්නය) ජාතික උද්‍යානය ප්‍රදේශයෙන් වාර්තා විය.

    එය සෙල්සියස් අංශක 54.4Cක් ලෙස සටහන් වී තිබිණි.

    එක්සත් ජනපද ජාතික කාලගුණ සේවය විසින් මෙම වාර්තා තහවුරු කරනු ලැබ ඇත.

    මෙම ඉහළ උෂ්ණත්වය වාර්තා වුයේ එක්සත් ජනපදයේ බටහිර වෙරළ තීරයට තාප තරංගයක බලපෑම එල්ලවී තිබියදීය. එම වෙරළ තීරයේ උෂ්ණත්වය මෙම සතිය තුළ තවදුරටත් ඉහළ යනු ඇති බවට කාලගුණ අනාවැකි පළවී තිබිණි.

    මෙම තත්ත්වය මත සෙනසුරාදා දින (අගෝස්තු 15) විදුලි බලාගාරයක් අක්‍රීය වීම හේතුවෙන් කැලිෆෝනියාවේ දින දෙකක් පුරා විදුලි බලය ඇනහිට තිබිණි.

    ‘ඩෙත් වැලි’ ජාතික වනෝද්‍යානයේ සේවය කරන බ්‍රැන්ඩි ස්ටුවර්ට් බීබීසී වෙත පැවසුවේ, “එය පීඩාකාරී උණුසුමක්. එය කෙලින්ම ඔබේ මුහුණට දැනෙනවා,” යනුවෙනි.

    බ්‍රැන්ඩි ස්ටුවර්ට් කඩින් කඩ වසර පහක් පුරා ජාතික වනෝද්‍යාන තුළ පදිංචි වී සේවය කරන තැනැත්තියකි. පිටත පවතින දරා ගැනීමට අපහසු උෂ්ණත්වය නිසා අගෝස්තු මාසයේ වැඩි කාලයක් ඇය නිවසට වී ගතකරයි .

    “රත් වූ කොණ්ඩය වේලන උපකරණ පොකුරකින් මුහුණට පහරක් ගහනවා වගෙයි පිටතට ඇවිද යන විට දැනෙන්නේ. ඔබට උණුසුම දැනෙන්න ගන්නවා. එය උඳුනක් ඇතුළට ඇවිදීම හා සමානයි. උණුසුම ඔබ වට කරගන්නවා,” ඇය පැවසුවාය.

    පෙර වාර්තා මොනවාද?

    මෙම ඉහළම උෂ්ණත්වය ඉරිදා (අගෝස්තු 16) දින වාර්තා වූයේ ඩෙත් වැලි හි ෆර්නස් ක්‍රීක් ප්‍රදේශයෙනි.

    මීට පෙර, පෘථිවියේ වාර්තා වූ ඉහළම උෂ්ණත්වය වන සෙල්සියස් අංශක 54 වාර්තා වූයේ ද ඩෙත් වැලි ප්‍රදේශයෙනි. ඒ, 2013 වසරේදීය.

    ශතවර්ෂයකට පෙර මෙම ප්‍රදේශයෙන් ම සෙල්සියස් අංශක 56.6 වාර්තා වීම විවාදයට තුඩු දී ඇත. ඇතැම් නූතන නව කාලගුණ විශේෂඥයන් විශ්වාස කරන්නේ මෙය වැරදි ආකාරයෙන් සටහන් වූවක් බවය. එකල ගිම්හානයේදී තවත් එවැනිම දැඩි උෂ්ණත්ව කිහිපයක් වාර්තා වී තිබිණි.

    කාලගුණ ඉතිහාසඥ ක්‍රිස්ටෝපර් බර්ට් 2016 දී කළ විශ්ලේෂණයකට අනුව, 1913 දී කලාපය තුළ වාර්තා වූ අනෙකුත් උෂ්ණත්ව ඩෙත් වැලි හි සටහන් සනාථ නොකරයි.

    සෙල්සියක් අංශක 55ක් වූ පෘථිවියේ තවත් වාර්තාගත උෂ්ණත්වයක් 1931 දී ටියුනීසියාවේ සටහන් වූ නමුත් ක්‍රිස්ටෝපර් බර්ට් පැවසුවේ එය මෙන්ම යටත් විජිත සමයේ අප්‍රිකාවෙන් නිකුත් කළ අනෙක් කාලගුණ වාර්තා ද “විශ්වසනීයත්වය පිළිබඳ බරපතල ගැටලු” ඇති කරන බවය.

    තාප තරංගය ගැන කුමක් කිව හැකිද?

    වර්තමානයේ පවතින තාප තරංගය ඇමෙරිකාවේ නිරිතදිග පිහිටි ඇරිසෝනා ප්‍රාන්තයේ සිට වයඹ දිග පිහිටි වොෂිංටන් ප්‍රාන්තය දක්වා විහිදී තිබේ.

    සතියේ අග භාගයේ උෂ්ණත්වය පහත වැටීමට පෙර එය සඳුදා (අගෝ. 17) සහ අඟහරුවාදා (අගෝ. 18) උපරිමයට පැමිණෙනු ඇතැයි අපේක්ෂා කෙරිණි. කෙසේවෙතත්, දැරිය නොහැකි උෂ්ණත්වය අවම වශයෙන් තවත් දින දහයක්වත් පවතිනු ඇත.

    කැලිෆෝනියාවේ උෂ්ණත්වය ඉහළ යත්ම, සෙනසුරාදා (අගෝ. 15) ලාසන් ප්‍රදේශයෙන් විශාල ‘ගිනි සුළියක්’ (firenado) නිරීක්ෂණය විය.

    සෙනසුරාදා 'ගිනි සුළියක්' දිස්විණි
    සෙනසුරාදා ‘ගිනි සුළියක්’ දිස්විණි

    කැලිෆෝනියා ප්‍රාන්ත විදුලි බලය කළමනාකරණයේ නියුතු CISO (Independent System Operator) ආයතනය මේ වන විට තෙවෙනි අදියරේ හදිසි තත්ත්වයක් ප්‍රකාශයට පත් කර තිබේ. එහි අර්ථය නම් “සැපයුමට වඩා වැඩි වේගයකින් ඉල්ලුම ඉහළ යාමට පටන්ගන්නා” තත්ත්වයකි.

    කලාපයේ බලශක්තිය සැපයීම සූර්ය සහ සුළං බලශක්තිය මත රඳා පවතින නිසාත්, මිනිසුන් තම විදුලිය වායුසමනය සඳහා භාවිත කරන නිසාත්, තාප තරංගයක් පවතින විට දී විදුලිබල ජාලය අඩපණ වන අතර ක්‍රියාකාරීත්වය සම්පූර්ණයෙන්ම අක්‍රමවත් වීමේ අවදානමක් ඇත.

    විදුලිය සඳහා වන ඉල්ලුම කළමනාකරණය කිරීම සහ සම්පූර්ණ බිඳ වැටීමක් වැළැක්වීම සඳහා, බලශක්තිය පාලනය කිරීම සහ සංරක්ෂණය කිරීමට නිලධාරීහු නියමිත කාලසටහනකට අනුව විදුලි කප්පාදුවක් ක්‍රියාත්මක කරති.

    අධික තාපයේ බලපෑම් මොනවාද?

    සෙල්සියස් අංශක 32ට වැඩි උෂ්ණත්වයක් සමග අධික තාපය හා ආර්ද්‍රතාව දින දෙක තුනක කාලයක් පැවතීම දැඩි උණුසුම් පරිච්ඡේදයක් ලෙස නිලධාරීහු හඳුන්වති.

    එක්සත් ජනපදයේ මහජන සෞඛ්‍ය ආයතනය වන රෝග පාලනය හා වැළැක්වීමේ මධ්‍යස්ථාන පවසන්නේ රටේ වෙනත් දරුණු කාලගුණික විපර්යාසයන්වලදී වූවාට වඩා තාප තරංග හේතුවෙන් වැඩි පිරිසක් මියගොස් ඇති බවය.

    උෂ්ණත්වය නිසා ශරීරයේ හටගන්නා කැක්කුම, විජලනය සහ මාරාන්තික විය හැකි ආඝාතය වැනි රෝග ද තාප තරංගවල ක්ෂණික බලපෑම් නිසා ඇති විය හැකිය.

    කෙසේ වෙතත්, අධික උෂ්ණත්වය මගින් ශ්වසන රෝග, හෘද රෝග සහ වකුගඩු ආබාධ වැනි පූර්ව සෞඛ්‍ය තත්ත්ව උග්‍ර කළ හැකි බව ද ලෝක සෞඛ්‍ය සංවිධානය පවසයි.

    මෙම තත්ත්වය යටිතල පහසුකම් කෙරෙහි ද බලපායි. විදුලිබල ජාල බිඳ වැටීම, ඇන හිටීම මෙන්ම අධික තාපය නිසා ගුවන් යානා පියාසර කිරීමෙන් වැළකීම, පාරවල් දියවීම හා මෝටර් රථවල ඇතුළත භයානක මට්ටමක් දක්වා අධික ලෙස රත්වීමට ද ඉඩ ඇත.

    තාප තරංග හේතුවෙන් කෘෂිකර්මාන්තයට ද දැඩි බලපෑම් එල්ල විය හැකිය. එළවළු මැලවී මියයෑම හෝ ශාක රෝග පැතිරීම මෙමගින් සිදුවේ.

    By – bbc

  • Covid-19: එන්නත ලැබුණත් ජයගත යුතු අභියෝග දහස් ගණනක්

    Covid-19: එන්නත ලැබුණත් ජයගත යුතු අභියෝග දහස් ගණනක්

    කෝවිඩ්-19 ට එරෙහිව වඩාත් හොඳින් ක්‍රියාත්මක විය හැකි එන්නතක් වැඩිදියුණු කිරීම සඳහා ලොව වටා පර්යේෂණ කණ්ඩායම් වෙහෙසෙමින් සිටිති.

    බ්‍රිතාන්‍ය අගමැති බොරිස් ජොන්සන් විසින් එය හඳුන්වනු ලැබුවේ “අප ජීවිත කාලයේ හදිසිම සාමූහික ප්‍රයත්නය” ලෙසය.

    ජයග්‍රාහී රසායනික වට්ටෝරුව සොයා ගැනීමේ විද්‍යාත්මක අධි තාක්ෂණය හැරුණු කොට ලොව බිලියන හතක ජනගහනයක් වෙත එවැනි එන්නතක් බෙදා හැරීම සඳහා ඇති සැලසුම කුමක්ද?

    එක්සත් රාජධානිය තුළ ඒ සම්බන්ධයෙන් සැලසුම් සකස් කරන ප්‍රධාන මධ්‍යස්ථානය හාවෙල් සයන්ස් කැම්පස් ආයතනයයි. එය පිහිටා ඇත්තේ ඔක්ස්ෆර්ඩ්ෂයර් හි පිහිටි රාජකීය ගුවන් හමුදාවට අයත්ව තිබූ කඳවුරකය. එය එක්සත් රාජධානියේ එන්නත් නිෂ්පාදන සහ නොවෝත්පාදන මධ්‍යස්ථානය බවට පත් වනු ඇත.

    “සැලසුම් ගත කාලය අඩකට ආසන්න ප්‍රමාණයකින් අඩු කර තිබෙනවා. කෙසේ වෙතත් එය 2022 අග වන විට සූදානම් වේවි යයි බලාපොරොත්තු වෙනවා. 2021 වන විට අන්තර්ජාලයට එක් කර ගත හැකි වෙතයි අපි අපේක්ෂා කරනවා,” යනුවෙන් එන්නත් නිෂ්පාදන සහ නවෝත්පාදන මධ්‍යස්ථානයේ ප්‍රධාන විධායක නිලධාරී මැතිව් ඩුචර්ස් පැවසීය.

    ‘කේක් පුළුස්සනවා හා සමානයි’

    ඔක්ස්ෆර්ඩ් විද්‍යාලය විසින් වැඩිදියුණු කරනු ලබන එන්නත සිය මධ්‍යස්ථානයේදී නිෂ්පාදනය විය හැකි බව ඔහුගේ විශ්වාසයයි. ඔක්ස්ෆර්ඩ් හි ජෙනර් ආයතනය සමග ඔහු ඒ සම්බන්ධයෙන් නිරතුරුව අදහස් හුවමාරු කර ගනියි.

    එය දැවැන්ත වගකීමක් බව මැතිව් ඩුචර්ස් පවසයි.

    “රටක් වශයෙන් පමණක් නොවෙයි ජාත්‍යන්තර වශයෙනුත් මේ ආකාරයේ එන්නත් ඉතාමත් ඉක්මනින් සහ කාර්යක්ෂමව නිෂ්පාදනය කිරීමට හැකි වීම සම්බන්ධයෙන් එය අතිශය වැදගත්.” යනුවෙන් ඔහු සඳහන් කළේය.

    “මේක හරියට නිවසේදීම කේක් ගෙඩියක් පුළුස්ස ගන්නවා හා සමාන වැඩක්. පරිපූර්ණ කේක් ගෙඩියකක් පුළුස්ස ගන්න පැය ගණනක් වැය විය හැකියි. ඊට පසු බැහැර ගිහින් ඒ වගේ කේක් මිලියන හැත්තෑවක් පිලිස්සිය යුතුයි. ඒ සියල්ල අංගසම්පූර්ණ විය යුතුයි. ඒ නිසා මේක තරමක අභියෝගයක්.”

    ගෝලීය මට්ටමින් සිදු කරන අත්හදා බැලීම්වල ප්‍රතිඵල දැන ගැනීමටත් පෙරම, එන්නත් නිෂ්පාදනය ආරම්භ කිරීම සඳහා අවශ්‍ය ප්‍රමාණවත් තාවකාලික විද්‍යාගාර පහසුකම් සොයා ගැනීමට ඔක්ස්ෆර්ඩ් විශ්වවිද්‍යාලයට සිදු විය.

    අවසානයේදී වර්ග කිහිපයක කෝවිඩ්-19 එන්නත් මාත්‍රා බිලියන ගණනක් මනුෂ්‍ය වර්ගයාට අවශ්‍ය වනු ඇත. ඒ සියල්ල මහා පරිමාණයෙන් නිෂ්පාදනය කිරීම, බෙදා හැරීම සහ පරිහරණය කිරීම ගෝලීය මට්ටමින් සිදු කළ යුතුය.

    එන්නත බෙදා හරින ආකාරය පිළිබඳ දැන් පටන් සිතා බලන ලෙස දුගී රටවල ප්‍රතිශක්තීකරණය සම්බන්ධයෙන් කටයුතු කරන ගැවී (Gavi) ආයතනය රටවලින් ඉල්ලා සිටී.

    නමුත් ඒ සඳහා ජාත්‍යන්තර මට්ටමින් සහය ලබා ගැනීම පහසු නොවිය හැක. මක්නිසාද යත් කොරෝනා වෛරසය සඳහා නිශ්චිත එන්නතක් සොයා ගනු ලැබුවහොත් ප්‍රමාණවත් මට්ටමින් සැපයුම් ලබා ගැනීම සඳහා ලොව ධනවත් රටවල් මේ වන විටත් ඖෂධ නිෂ්පාදන සමාගම් සමග ගිවිසුම්වලට එළඹෙමින් සිටින බැවිනි.

    “එන්නත් ජාතිකවාදය”

    A trial of the Oxford vaccine in South Africa
    ,ඔක්ස්ෆර්ඩ් විශ්වවිද්‍යාලයේ වැඩිදියුණු කළ එන්නත දකුණු අප්‍රිකාවේ රෝගීන්ට ලබා දෙයි

    ඊනියා “එන්නත් ජාතිකවාදය” තමා මුහුණ දෙන විශාලතම අභියෝගවලින් එකක් බව ගැවී ආයතනයේ ප්‍රධාන විධායක නිලධාරී සෙත් බර්ක්ලි පවසයි.

    “මම හිතනවා ලොව සියලුම රටවල් මෙය ගෝලීය මට්ටමින් සිතා බැලිය යුතු බව. විශේෂයෙන් කළ යුතු නිවැරදි දේ එයයි. ඒ වගේම එය ආත්මාර්ථකමීත්වය පිළිබඳ කාරණයක්,” යනුවෙන් ඔහු සඳහන් කළේය.

    “අවට රටවල විශාල වශයෙන් වෛරසය පැතිර යනවා නම් සාමාන්‍ය ලෙස ව්‍යාපාර, ප්‍රවාහනය සහ මිනිසුන් එහෙ මෙහෙ යාම කරගෙන යාමට නොහැකියි. ‘සියලු දෙනාම ආරක්‍ෂිත නොවන්නේ නම්, අප කිසිවෙකුත් ආරක්‍ෂිත නැහැ’ කියන මානසිකත්වයෙන් ඒ දෙස බැලීම වැදගත්.”

    සංවර්ධිත රටවලට ද නිසි එන්නත් ලබා ගැනීමේ අවස්ථාව හිමි කර දීමට කටයුතු කරන අතරේ ලොව පුරා එන්නත් ගබඩා කිරීමට අවශ්‍ය කුඩා කුප්පි ප්‍රමාණවත් මට්ටමින් පවතීදැයි යන්න ඇතුළු ඒවා බෙදාහැරීම සම්බන්ධයෙන් ද සෙත් බර්ක්ලි සිතා බැලිය යුතුය.

    “අපි ඒ පිළිබඳ කනස්සල්ලෙන් හිටියේ,” ඔහු පවසයි. ” අපි ඉදිරියට අඩියක් තබා මාත්‍රා බිලියන දොළහකට ප්‍රමාණවත් කුඩා කුප්පි මිලට ගත්තා. 2021 අග වන විට එපමණ මාත්‍රා සංඛ්‍යාවක් සූදානම් කළ හැකි වෙතැයි අපි අපේක්ෂා කරනවා.”

    වීදුරු කුප්පි ගැටළුවක් බවට පත්වුවහොත් ශීතකරණ සම්බන්ධයෙන් ද ගැටළු මතු විය හැක. මක්නිසාද යත් බොහෝ එන්නත් අඩු උෂ්ණත්වයක් යටතේ ගබඩා කර තබා ගත යුතුය.

    සිසිල්ව තබා ගැනීම

    Vaccine in glass vial
    වීදුරු කුප්පි මෙන්ම ශීතකරණ ද විශාල වශයෙන් අවශ්‍ය වනු ඇත

    නිෂ්පාදන නිශ්චිත ශීතලක් යටතේ ගබඩා කර තබා ගැනීම සහ බෙදාහැරීම පිළිබඳ විශේෂඥයෙකු වන බර්මින්හැම් විශ්වවිද්‍යාලයේ මහාචාර්ය ටෝබී පීටර්ස් ගැවී වැනි ආයතනවලට සිය සහාය ලබා දෙයි. සංවර්ධනය වෙමින් පවතින රටවල දැනට පවතින ශීතකරණ උපරිම මට්ටමකින් ප්‍රයෝජනයට ගන්නේ කෙසේදැයි යන්න පිළිබඳ ඔහුගේ අවධානය යොමුව ඇත.

    “එය එන්නත් ගබඩා කරන ශීතකරණ පිළිබඳ කාරණයක් පමණක් නොවෙයි. අනෙක් පියවරත් ඊට අදාලයි. ගුවන් යානා වෙත ඒවා ගෙන යන පැලට්, ප්‍රාදේශීය ඖෂධසල් වෙත ඒවා රැගෙන යන රථ, ඉන් පසු ඒවා ජනතාව වෙත ගෙන යන යතුරුපැදි සහ පුද්ගලයන් ඊට ඇතුළත්. මේ සියල්ල හරිහැටි සිදුවිය යුතුයි.”

    මේ යෝධ ව්‍යාපෘතිය සඳහා අවශ්‍ය ශීත ගබඩා තාවකාලිකව ලබා ගැනීමට ඇති හැකියාව සම්බන්ධයෙන් මහාචාර්ය පීටර්ස් ජාත්‍යන්තර මට්ටමේ ආහාර සහ බීම සමාගම් සමග සාකච්ඡා කර තිබේ.

    එන්නත වඩාත් පහසුවෙන් බෙදා හැරීම සඳහා සිය ප්‍රජාවන් අතරින් ප්‍රමුඛත්වය ලබා දිය යුත්තේ කාටදැයි යන්න රටවල් විසින් හඳුනා ලැබ ගත යුතුව ඇත.

    නිෂ්පාදන නිශ්චිත ශීතලක් යටතේ ගබඩා කර තබා ගැනීම සහ බෙදාහැරීම පිළිබඳ විශේෂඥයෙකු වන බර්මින්හැම් විශ්වවිද්‍යාලයේ මහාචාර්ය ටෝබී පීටර්ස් ගැවී වැනි ආයතනවලට සිය සහාය ලබා දෙයි. සංවර්ධනය වෙමින් පවතින රටවල දැනට පවතින ශීතකරණ උපරිම මට්ටමකින් ප්‍රයෝජනයට ගන්නේ කෙසේදැයි යන්න පිළිබඳ ඔහුගේ අවධානය යොමුව ඇත.

    “එය එන්නත් ගබඩා කරන ශීතකරණ පිළිබඳ කාරණයක් පමණක් නොවෙයි. අනෙක් පියවරත් ඊට අදාලයි. ගුවන් යානා වෙත ඒවා ගෙන යන පැලට්, ප්‍රාදේශීය ඖෂධසල් වෙත ඒවා රැගෙන යන රථ, ඉන් පසු ඒවා ජනතාව වෙත ගෙන යන යතුරුපැදි සහ පුද්ගලයන් ඊට ඇතුළත්. මේ සියල්ල හරිහැටි සිදුවිය යුතුයි.”

    මේ යෝධ ව්‍යාපෘතිය සඳහා අවශ්‍ය ශීත ගබඩා තාවකාලිකව ලබා ගැනීමට ඇති හැකියාව සම්බන්ධයෙන් මහාචාර්ය පීටර්ස් ජාත්‍යන්තර මට්ටමේ ආහාර සහ බීම සමාගම් සමග සාකච්ඡා කර තිබේ.

    එන්නත වඩාත් පහසුවෙන් බෙදා හැරීම සඳහා සිය ප්‍රජාවන් අතරින් ප්‍රමුඛත්වය ලබා දිය යුත්තේ කාටදැයි යන්න රටවල් විසින් හඳුනා ලැබ ගත යුතුව ඇත.

    ඉදිරියෙන්ම සිටින්නේ කවුරුන්ද?

    Glass vials

    ලොව රටවල් ඒ සම්බන්ධයෙන් සෘජු ප්‍රශ්න අසනු ඇති බව එක්සත් රාජධානියේ පර්යේෂණ සම්බන්ධ සුබ සාධන ආයතනයක් වන ‘වෙල්කම් ට්‍රස්ට්’ හි එන්නත් පිළිබඳ ප්‍රධානී ආචාර්ය චාලි වෙලර් පවසයි.

    “මේ එන්නත අවශ්‍ය කාටද? වැඩිම අනතුරක් සහිත කණ්ඩායම් මොනවාද? ප්‍රමුඛත්වය ලබා දිය යුත්තේ කාටද?, මොකද ඕනෑම මුල්ම එන්නතක් අවසන් වීමට ඉඩ ඇති බව අපට පැහැදිලියි. ඒ නිසා අප තෝරා ගැනීම් සිදු කළ යුතු වෙනවා.”

    එමෙන්ම එන්නත් ලබා දීම ද අභියෝගයක් වනු ඇත.

    උදාහරණයක් වශයෙන් එක්සත් රාජධානිය සිය ජනයා එම ක්‍රියාවලියට යොදා ගැනීම සඳහා තම ඡන්ද මධ්‍යස්ථාන ජාලය භාවිත කිරීමට ඇති හැකියාව දෙස අවධානය යොමු කර තිබේ. නමුත් සංවර්ධනය වෙමින් පවතින ඇතැම් රටවලට එය අභියෝගයක් විය හැක.

    ඉලක්කගත කණ්ඩායම් ප්‍රතිශක්තීකරණය කිරීම සඳහා නිසි පුහුණුවක් සහිත සෞඛ්‍ය සේවකයන් ඇතුළුව ශක්තිමත් සෞඛ්‍ය සේවාවක් තිබීමේ වැදගත්කම ආචාර්ය වෙලර් පෙන්වා දෙයි.

    යම් ආකාරයක එන්නතක් සොයා ගැනීමට හැකි වනු ඇතැයි යන්න සියලුම විද්‍යාඥයන්ගේ බලාපොරොත්තුවයි. නමුත් බිලියන ගණනකට අවශ්‍ය තරම් එන්නත් ලබා දීම සඳහා කළ යුතු වැඩකොටස පිළිබඳ සිතන විට නොනිදා රැය පහන් වන බව ඉන් බොහෝ දෙනෙක් පවසති.

    ගෝලීය සබඳතා පිළිබඳ වාර්තාකාරිනිය නඕමි ග්‍රිම්ලි විසින් සකසන ලද වාර්තාවක් ඇසුරෙනි

    Text by – bbc

  • කංසා කියන ඖෂධය ලංකාවේ වගා කිරීමට සුදුසුයි – බෙංගමුවේ නාලක හිමි

    කංසා කියන ඖෂධය ලංකාවේ වගා කිරීමට සුදුසුයි – බෙංගමුවේ නාලක හිමි

    කංසා යනු ඖෂධයක් බවත් ඒවා වගා කිරීමට ශ්‍රී ලංකාව බොහෝ සුදුසු බවත් පූජ්‍ය බෙංගමුවේ නාලක හිමියෝ රාජ්‍ය අමාත්‍ය සිසිර ජයකොඩි මහතාගේ වැඩ භාරගැනීමේ අවස්ථාවට සහභාගී වෙමින් අනුශාසනා කරමින් සදහන් කළා. කංසා වගාව ලියාපදිංචි කර බලපත්‍ර ඇතිව සිදු කළ හැකි වැඩපිළිවෙළක් යොදන්නේ නම් එය ඉතා වටිනා බව ද බෙංගමුවේ නාලක හිමියෝ සදහන් කළා. මේ වන විට ලෝකයේ රටවල රැසක් ගංජා නීතිගත කර තිබෙනවා. එහෙත් බ්‍රිතාන්‍ය යටත් විජිතවාදී නීතිය අනුව ලංකාවේ ගංජා වගාව සහ පානය කිරීම බරපතළ වරදක්.

  • ඉදිරි දිනවල විදුලිය කපන කාල සටහන මෙන්න !

    ඉදිරි දිනවල විදුලිය කපන කාල සටහන මෙන්න !

    අද (අගෝස්තු 18) සිට ක්‍රියාත්මක වන පරිදි දිවයිනේ විදුලි සැපයුම දෛනිකව නිශ්චිත කාලයක් සඳහා අත්හිටුවීමට ලංකා විදුලි බල මණ්ඩලය පියවර ගෙන තිබේ.

    ඒ අනුව දිවයිනම කලාප 4 කට වෙන්කර සතියේ දිනවල අවස්ථා දෙකකදී පැය දෙකකුත් විනාඩි හතලිස් පහක් සහ සෙනසුරාදා දිනවල එක් අවස්ථාවකදී පැයක් බැගින් විදුලි සැපයුම අත්හිටුවනු ඇත.

    නොරොච්චෝලේ බලාගාරය නැවත පණගන්වා විදුලි පද්ධතියේ ජනන සැපයුම යථා තත්ත්වයට පත් කෙරෙන තෙක්, දින හතරක් පමණ මෙම විදුලිය කප්පාදුව ක්‍රියාත්මක කිරීමට සිදුවනු ඇති බව විදුලි බල මණ්ඩලය පැවසීය.

    ඒ අනුව එම කාල සටහන පහත වගුවල දැක්වෙන පරිදි වේ.

    මූලාශ්‍රය: ලංකා විදුලි බල මණ්ඩලය
    මූලාශ්‍රය: ලංකා විදුලි බල මණ්ඩලය
    මූලාශ්‍රය: ලංකා විදුලි බල මණ්ඩලය
    ඡායාරූප ශීර්ෂ වැකිය,මූලාශ්‍රය: ලංකා විදුලි බල මණ්ඩලය

    විදුලි බල මණ්ඩලය පවසන පරිදි ඉහත වගුවල දැක්වෙන කාණ්ඩවලට අයත් ප්‍රදේශ මොනවාදැයි මෙතැනින් යොමු වී දැනගත හැකිය.

    සඳුදා (අගෝස්තු 17) පැය 6 ට අධික කාලයක් දිවයින පුරා විදුලි සැපයුම බිඳ වැටීමේ ප්‍රතිඵලයක් ලෙස මෙසේ විදුලි කප්පාදුවක් ක්‍රියාත්මක කෙරේ.

    එම විදුලි බිඳ වැටීම හේතුවෙන් ආර්ථිකයට වූ පාඩුව අවම වශයෙන් රුපියල් බිලියන 1 ක් පමණ වෙතැයි අනුමාන කෙරෙන බව විදුලි බල මණ්ඩලයේ උසස් නිලධාරියෙකු බීබීසී සිංහල සේවයට පැවසීය.

    අදාළ විදුලි බිඳවැටීම හේතුවෙන් ප්‍රධාන සැපයුම් පද්ධතියෙන් විසන්ධි වූ නොරොච්චෝල පිහිටි ලක්විජය බලාගාරය අක්‍රීය වීම මත මෙගාවොට් 800 ට අධික විදුලි ධාරිතාවක් ජාතික විදුලි බල පද්ධතියෙන් ගිලිහීම නිසා පවතින විදුලි ඉල්ලුම සපුරාලීම සඳහා සැපයුම කළමනාකරණය කිරීමට මෙම පියවර ගෙන ඇති බව විදුලි බල මණ්ඩලය පවසයි.

    දිවයින පුරා සඳුදා සිදුවු විදුලි බිඳ වැටීම සම්බන්ධයෙන් විමර්ශනයට පත් කළ 9 දෙනෙකුගෙන් සමන්විත කමිටුව අද කෙරවලපිටිය ග්‍රිඩ් උපපොළ වෙත ගොස් විදුලිය විසන්ධි වීමට හේතු වූ බව කියන ස්ථානය නිරීක්ෂණ කළ බව විදුලි බල අමාත්‍යාංශයේ මාධ්‍ය ප්‍රකාශක සුලක්ෂණ ජයවර්ධන බීබීසී සිංහල සේවයට පැවසීය.

    මහාචාර්ය රාහුල අතලගේ ප්‍රධානත්වය දරන එම කමිටුව ලබන සඳුදා වනවිට සිය වාර්තාව ලබාදෙතැයි අපේක්ෂා කෙරේ.

    මේ අතර රට අඳුරේ ගිල්වීමට හේතුවූ විදුලි බිඳ වැටීම සම්බන්ධයෙන් විමර්ශනයක් පවත්වා දින තුනක් ඇතුළත තමන් වෙත වාර්තාවක් ඉදිරිපත් කරන ලෙස ශ්‍රී ලංකා මහජන උපයෝගිතා කොමිසම විසින් සඳුදා (අගෝස්තු 17) ලංකා විදුලි බල මණ්ඩලය වෙත දැනුම් දෙනු ලැබීය.

  • රනිල් තව මොහොතක් හෝ නායකත්වය නොදරා එය ‘කරුට භාර දී ගෙදර යා යුතුයි’

    රනිල් තව මොහොතක් හෝ නායකත්වය නොදරා එය ‘කරුට භාර දී ගෙදර යා යුතුයි’

    එක්සත් ජාතික පක්ෂය යළි ගොඩනැගීම සදහා රනිල් වික්‍රමසිංහ මහතා වහාම පක්ෂ නායකත්වයෙන් ඉල්ලා අස්වී පක්ෂ නායකත්වය කරු ජයසූරිය මහතාට පැවරිය යුතු බව එක්සත් ජාතික පක්ෂයේ කරුණ කණ්ඩායම සහ වෘත්තීය සංවිධාන අවධාරණය කරති. ඔවුන් පෙන්වා දෙන්නේ පසුගිය මහ මැතිවරණයේදී ජාතික වශයෙන් සියයට 3ක් හෝ ලබාගත නොහැකි වූ එජාප නායකයා ඉදිරි පළාත් සභා මැතිවරණය ජයග්‍රහණය කරන්නේ කෙසේද යන්න වහාම පැහැදිලි කළ යුතු බවයි.

    ‘රනිල් වික්‍රමසිංහ 1994 සිට පක්ෂ නායකත්වයේ එල්ලී සිටිනවා. ඇත්තටම ඔහුට එදා පක්ෂ නායකත්වය ලැබුණේ ඔහුගේ දක්ෂතාව නිසා නොවෙයි ප්‍රේමදාස, ලලිත් ඇතුළත් මුදලි සහ ගාමිණි දිසානායක ආදී ප්‍රබලයින් සහ අති දක්ෂයින් ඝාතනය වුණ නිසයි. ඊට පස්සේ දිගින් දිගටම සිදු වුණේ පක්ෂයේ සිටි ජ්‍යෙෂ්ඨයින් සහ දක්ෂයින් පක්ෂය හැර යාම. මුලින්ම පක්ෂයේ ප්‍රබයෝ චන්ද්‍රිකා යුගයේදී පක්ෂය හැරදාලා ශ්‍රී ලංකා නිදහස් පක්ෂයට එක් වුණා. ඊට පස්සේ මහින්ද රාජපක්ෂ යුගයේදී එක් වුණා. අද මහින්ද ළග ඉන්න කෙහෙළිය, ජොන්ස්ටන්, ලක්ෂ්මන් යාපා වාගේ ප්‍රබලයින් වගේම දයාසිරිත් එජාපයේ දක්ෂයින්. ඔවුන් සියලු දෙනාම එජාපයට අහිමි වුණේ රනිල් වික්‍රමසිංහගේ අදක්ෂකමත්, දක්ෂයින්ට තැනක් නොදී රෝයල් කල්ලියට සහ ඔහුගේ සමීපතමයින්ට පක්ෂයේ ප්‍රබල තැන් දීම නිසයි‘

    අද සමග අදහස් දක්වමින් එක්සත් ජාතික පක්ෂය සමග දීර්ඝ කාලයක් කටයුතු කළ දේශපාලන විද්‍යා මහාචාර්ය වරයෙක් පැවසුවා.

    ඔහු වැඩි දුරටත් පැවසුවේ රනිල් වික්‍රමසිංහගේ බල ලෝභය නිසා කරු ජයසූරිය මහතා වැනි කීර්තිමත් දේශපාලනඥයෙකු පවා කෙටි කාලයක් පක්ෂයට අහිමි වූ බවයි.

    ‘අපි හොදටම දන්නවා කරු ජයසූරිය මහතාට පක්ෂය තුළ සිදු වූ කෙනහිළි. රනිල් වික්‍රමසිංහ සහ සජිත් ප්‍රේමදාස අතර පැවැති බල අරගලයේදී රනිල් කරුව පාවිච්චි කළා මිස කරු ජයසූරිය මහතාට පක්ෂය නායකත්වය ලබාදීමට පියවර ගත්තේ නැහැ. ඔහුට අවංක වුවමනාවක් තිබුණා නම් එය ඉතාම පහසුවෙන් කරන්න තිබුණා. එසේ වුණා නම් සජිත් ප්‍රේමදාස වෙනත් පක්ෂයක් බිහිකරගෙන එජාපයේ ඡන්ද පදනමම අරගෙන ගිහින් එජාපය අනාථ කරන්නේ නැහැ‘ ඔහු වැඩි දුරටත් සදහන් කළා.

    මෙහිදී මහාචාර්යවරයා අවධාරණාත්මකව කියා සිටියේ රනිල් වික්‍රමසිංහ මහතාට එක් දිනක් හෝ කල් නොදිය යුතු බවයි.

    ‘ඔහු මේ මොනවාද කියන කතා. වජිර අබේවර්ධන, අකිල කියන්නේ රනිල්ගේ රූකඩ මිස නායකයෝ නොමෙයි. මොන ප්‍රශ්න තිබුණත් ජාතික වශයෙන් පිළිගත හැකි නායකයෙක් වශයෙන් සැලකිය හැකිවන්නේ රවී පමණයි. ඒත් රනිල්ගේ යටිකූට්ටු වැඩ නිසා රවීට ඉහළට එන්න බැහැ. රනිල් බලන්නේ පක්ෂ නායකත්වයට තමන්ගේ බෑණා වන රුවන් විජේවර්ධන ගේන්න බැරි නම් වජිර, අකිල වාගේ රූකඩයක් ගේන්න. ඒකට කිසිසෙත් අවස්ථාව නොදිය යුතුයි. රනිල්ට ගෑවිලා තියෙන අයෙකුටවත් පක්ෂ නායකත්වය නොයා යුතුයි‘

    මෙහිදී මහාචාර්යවරයා දැඩිව අවධාරණය කළේ පසුගිය මහ මැතිවරණයේදී ඡන්ද පොළට නොගිය 40 ලක්ෂයේ අති බහුතරය එජාප පාක්ෂිකයින් බවයි. ඔවුන් යළි ඡන්ද පොළට කැදවා ගැනීමට හැකි වඩාත් ආකර්ෂණීයම තුරුම්පුව කරු ජයසූරිය මහතා බව ඔහු අවධාරණය කළේය.

    ‘කරු ජයසූරිය මහතාට පොදුවේ සියලු දෙනාටම එකග විය හැකියි. සිංහල බෞද්ධ වේවා, සුළුජන වේවා, වෘත්තීය වේවා ඔහු සමග භේදයකින් තොරව ඕනෑම ප්‍රජා කණ්ඩායමකට එක්විය හැකියි. අකිලට, වජිරට, රුවන්ට එවැනි දේශපාලන පෞරුෂත්වයක් නැහැ. එය තිබෙන්නේ කරු ජයසූරියට පමණයි‘ ඔහු වැඩි දුරටත් සදහන් කළා.

    මෙහිදී මහාචාර්යවරයා කියා සිටියේ මලයාසියාවේ මහතීර් මොහොමඩ් වැනි වයෝවෘධ නායකයෙකුට යළි අගමැති පදවියට පත්වීමට හැකියාව ලැබුණ බව අප අමතක නොකළ යුතු බවයි.

    ‘කරුගේ වයස ප්‍රශ්නයක් නොවෙයි. වත්මන් දේශපාලනය තුළ වුවත් මහින්ද රාජපක්ෂ, ගෝඨාභය රාජපක්ෂ නියෝජනය කරන්නේ මැදිවයස හෝ නොවෙයි. ඒත් ඔවුන් වටා වයස් භේදයකින් තොරව ජනතාව ඒකරාශී වෙනවා. කරුටත් ඒ දේශපාලන පෞරුෂත්වය නොඅඩුව තිබෙනවා. ඒ නිසා එජාපය වළ දැමීමට රනිල්ට ඇති වුවමනාව අපි මනාව වටහා ගත යුතුයි. ඔහු මේ උත්සාහා කරන්නේ එජාපය වළ දමා තමාගේ පුද්ගලික වෛරයක් පිරිමසා ගැනීමටයි. එයට කිසිසේත් ඉඩ නොදිය යුතුයි‘ ඔහු දැඩිව අවධාරණය කළා.

    මේ අතර ප්‍රවීන දේශපාලන විශ්ලේෂක භාතිය බරුකන්ද මහතා සදහන් කළේ තවත් මාස කිහිපයකින් පැවැත්වීමට නියමිත පළාත් සභා මැතිවරණයේදී එජාපයට තරග කිරීමට අපේක්ෂකයෙක් පවා සොයා ගත නොහැකි වන බවයි.

    ‘එජාපයේ සියලුම දේශපාලන ව්‍යුහයන් බිද වැටිලා. ගම් මට්ටමින් සංවිධානය ජාලය සම්පූර්ණයෙන්ම බිද වැටිලා තියෙන්නේ. ඒ නිසා ඉතාම පැහැදිලිව ඉදිරි පළාත් සභා ඡන්දයේදී එජාපයට අපේක්ෂකයෙක් පවා සොයා ගැනීමට නොහැකි වෙනවා. මොකද එජාප වෙනුවෙන් එක රුපියලක් පවා වැය කිරීම නිෂ්ඵල දෙයක් බව ඕනෑම කෙනෙකු දන්නවා. ඒ නිසා රනිල් තවත් කල් ගැනීම ඇත්තටම එජාපයේ මළ ගම නිල වශයෙන් ප්‍රකාශ කිරීමක්. ඒ නිසා හොදම පියවර වන්නේ කරු ජයසූරියට පක්ෂ නායකත්වය දී රනිල් සහ රනිල්ගේ සහචරයින් දේශපාලනයෙන් විශ්‍රාම ගැනීමයි. නැතිනම් මුල්ලකට වී බලා සිටීමයි‘ භාතිය බරුකන්ද වැඩි දුරටත් පැහැදිලි කළා.

    මේ සම්බන්ධයෙන් අප එක්සත් ජාතික පක්ෂයට සහාය පළ කළ නීතිඥයින්, මාධ්‍ය වේදීන් සහ වෘත්තිකයින්ගෙන් කළ විමසීම්වලදී ඔවුන් දැඩිව අවධාරණය කළේ රනිල් වික්‍රමසිංහට ලැජ්ජාවක් කියා දෙයක් ගෑවී හෝ තිබේ නම් ඔහු පළාත් සභා මැතිවරණය නොව මහ මැතිවරණයේ පළමු ප්‍රතිඵලය නිකුත් වූ මොහොතේදී පක්ෂ නායකත්වයෙන් පමණක් නොව දේශපාලනයෙන් පවා සමුගත යුතුව තිබූ බවයි.

    ‘පසුගිය මහ මැතිවරණයේදී රනිල් වික්‍රමසිංහගේ මනාප ඡන්ද පවා ගණන් කළේ නැහැ. ඒකෙන්ම පේනවා ඔහු දේශපාලනිකව කොතරම් අවලංගු කාසියක් බවට පත්ව තිබේද කියලා. 1960 මාර්තු මැතිවරණයෙන් ආචාර්ය විජයානන්ද දහනායක පරාජයට පත් වුණාට පස්සේ හිටපු ආණ්ඩුවේ අගමැතිවරයෙක් ලැබූ නින්දා සහගතම පරාජයට තමයි පසුගිය මහ මැතිවරණයේදී රනිල් මුහුණ දුන්නේ. ඔහු දැනවත් තමාට ඇති ඇත්ත වටිනාකම වටහා ගත යුතුයි. දැන් රනිල් අයිති ඉතිහාසයේ කුණු බක්කියට මිස වෙන තැනකට නොවෙයි. ඔහු පක්ෂ නායකත්වයෙන් පමණක් නොවෙයි දේශපාලනයෙන් පවා විශ්‍රාම යා යුතුයි. පක්ෂ නායකත්වය පක්ෂයේ ජ්‍යෙෂ්ඨයා වන කරුට පවරා ඔහු ගෞරවනීය ලෙස විශ්‍රාම යා යුතුයි. එසේ නැතිව අකිල, වජිර හෝ රුවන් වාගේ රූඩක දාලා පක්ෂ පාලනය කිරීම ගැන සිහින නොදැකිය යුතුයි‘ එජාපය සමග සමීපව කටයුතු කළ ජ්‍යෙෂ්ඨ නීතිඥයෙකු සදහන් කළා.

    සටහන – රුවන් ලොකු විතානගේ

  • අගමැති අභිනව ක්‍රීඩා අමාත්‍ය නාමල්ට සුභ පැතුම් එක් කරයි

    අගමැති අභිනව ක්‍රීඩා අමාත්‍ය නාමල්ට සුභ පැතුම් එක් කරයි

    ක්‍රීඩා හා තරුණ කටයුතු අමාත්‍යංශයේ නව කැබිනට් අමාත්‍යවරයා ලෙස අද (18) දින සිය රාජකාරී ආරම්භ කළ නාමල් රාජපක්ෂ මහතාට අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මහතා විසින්  සුභ පැතුම් එක් කරන ලදී.

    ක්‍රීඩා හා තරුණ කටයුතු අමාත්‍යංශයේ නව කැබිනට් අමාත්‍යවරයා ලෙස නාමල් රාජපක්ෂ මහතා අද (18) පෙරවරුවේ ක්‍රීඩා අමාත්‍යංශයේදී සිය ධූරයේ රාජකාරී භාර ගනු ලැබීය.

    රාජකාරී භාර ගැනීමට පෙර ගරුතර මහා සංඝරත්නය  ප්‍රමුඛ සර්ව ආගමික ආශිර්වාද ලබා ගත්  අමාත්‍ය නාමල් රාජපක්ෂ මහ.ා, සුබ මොහොතින් සෙත් පිරිත් සජ්ජායනා මධ්‍යයේ සිය රාජකාරී ආරම්භ කරන ලදී.

    මේ අවස්ථාව සඳහා අභයාරාම විහාරාධිපති මුරුත්තෙට්ටුවේ ආනන්ද ස්වාමීන් වහන්සේ,  සිතුල් පව්ව රජමහා විහාරාධිපති මැටරඹ සෝම රතන ස්වාමීන් වහන්සේ, හුණුපිටිය ගංගාරාම විහාරාධිකාරී කිරින්දේ අස්සජී ස්වාමීන් වහන්සේ ඇතුළු මහා සංඝරත්නය වැඩම කළ වදාළහ.

    අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මහතා, ශිරන්ති රාජපක්ෂ මහත්මිය, අමාත්‍ය චමල් රාජපක්ෂ මහතා, යෝෂිත රාජපක්ෂ මහතා, රෝහිත රාජපක්ෂ මහතා හා ලිමිණි රාජපක්ෂ මහත්මිය යන පවුලේ සාමාජිකයින් ද  මෙම අවස්ථාවට සහභාගි වූහ.

    අමාත්‍ය ජොන්ස්ටන් ප්‍රනාන්දු මහතා, අමාත්‍ය ඩග්ලස් දේවානන්ද මහතා, රාජ්‍ය අමාත්‍ය ශෂේන්ද්‍ර රාජපක්ෂ මහතා හා අග්‍රාමාත්‍ය ලේකම් ගාමිණී සෙනරත් මහතා, ක්‍රීඩා හා තරුණ කටයුතු අමාත්‍යංශයේ ලේකම් අනුරාධ විජේකෝන්  මහතා ඇතුළු රාජ්‍ය නිලධාරීන් ද මේ අවස්ථාවට  සහභාගී වූහ.

  • නව රජයේ ප්‍රමුඛතා පිළිබඳ සාකච්ඡා කිරීම සඳහා ‘එක්සත් ජනපද තානාපතිනිය අගමැති ’ හමු වෙයි

    නව රජයේ ප්‍රමුඛතා පිළිබඳ සාකච්ඡා කිරීම සඳහා ‘එක්සත් ජනපද තානාපතිනිය අගමැති ’ හමු වෙයි

    ආර්ථික, වාණිජ, පාලන, ආරක්ෂාව හා සංවර්ධනය ඇතුළු ක්ෂේත්‍ර ගණනාවක් සම්බන්ධයෙන් ශ්‍රී ලංකාව සමඟ සහයෝගීතාවය වැඩි දියුණු කර ගැනීම උදෙසා එක්සත් ජනපදය උනන්දුවක් දක්වයි. ශ්‍රී ලංකාවේ එක්සත් ජනපද තානාපති ඇලයිනා ටෙප්ලිට්ස් මහත්මිය විසින් ඊයේ (17) සවස අරලියගහ මන්දිරයේදී අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මහතා සමඟ පැවතී සාකච්ඡාවේදී මේ බව ප්‍රකාශ කරන ලදී.

    අද්විතීය ප්‍රතිඵලයක් ලද අති සාර්ථක ව්‍යාපාරයක් ලෙසට ටෙප්ලිට්ස් මහත්මිය විසින් හඳුන්වන්නට යෙදුන මැතිවරණ ජයග්‍රහණය වෙනුවෙන් ආරම්භයේ දී ඇය අග්‍රාමාත්‍ය තුමන් හට සුභ පතන ලදී. නිදහස්, සාධාරණ හා සාමකාමී වාතාවරණයක් තුළ මැතිවරණය පවත්වන ලද බවට සඳහන් කරමින් ඇය පවසා සිටියේ “පසුගිය පරිපාලනයේ ප්‍රතික්ෂේප වීමක්” මෙවර ප්‍රතිඵලයෙන් දැකගත හැකි බවයි.

    ” අපි නව රජය සමඟ වැඩ කිරීමට අපේක්ෂාවෙන් පසු වෙනවා” තානාපති තුමිය පැවසීය.

    නව රජයේ ප්‍රමුඛතාවයන් පිළිබඳ කළ විමසීමට පිළිතුරු වශයෙන්, කොවිඩ් 19 වසංගතයේ බලපෑම හේතුවෙන් ආර්ථික ප්‍රකෘතිකරණය වත්මන් ප්‍රමුඛතාවය වී ඇති බව අග්‍රාමාත්‍යතුමා විසින් ප්‍රකාශ කරන ලදී.

    තානාපති ටෙප්ලිට්ස් මහත්මිය පැවසුවේ කොවිඩ් 19 පැතිරීම පාලනය කිරීම සම්බන්ධයෙන් “ලද ජයග්‍රහණය වෙනුවෙන් රජය නිසැකයෙන්ම ප්‍රශංසාවට ලක් විය යුතුය” යනුවෙනි. එය “අති සාර්ථක කතාවක්” වශයෙන් ද හැඳින්වීය. ශ්‍රී ලාංකිකයන් සඳහා පුද්ගලික අංශයේ රැකියා අවස්ථා නිර්මාණය කිරීම සඳහා උදව් කිරීමද ඇතුළුව එක්සත් ජනපදය හා ශ්‍රී ලංකාව අතර ආර්ථික සබඳතා තහවුරු කිරීම ද එක්සත් ජනපදයේ ප්‍රමුඛතාවයක් බව ඇය සඳහන් කළේය.

    අග්‍රාමාත්‍ය රාජපක්ෂ මහතා ද යෝජනා කරන ලද්දේ රැකියා අවස්ථාවන් සඳහා තරුණ ප්‍රජාව මනා ලෙස සුදානම් කිරීම සඳහා දිවයින පුරා වෘත්තීය පුහුණු මධ්‍යස්ථාන ස්ථාපිත කිරීමට එක්සත් ජනපද සහාය ලබා දීම මනා කරුණක්  වන බවය. “අවස්ථාවන් බොහෝ තිබෙනවා” තානාපති ටෙප්ලිට්ස් මහත්මිය පැවසීය. විශේෂයෙන්, හොඳින් උගත් ශ්‍රම බලකායක් පැවතීම ශ්‍රී ලංකාවට ඇති ප්‍රබල වාසියක් බව ද එතුමිය පැවසීය.

    සංවර්ධන ක්ෂේත්‍රය පිළිබඳ සාකච්ඡා කරමින්, අග්‍රාමාත්‍ය රාජපක්ෂ මහතා විසින් තානාපති තුමිය හට දන්වන ලද්දේ ජනගහනයේ ඇතැම් කොටස්වලට හා  රටේ ඇතැම් ප්‍රදේශවලට මුලික පහසුකම් නොමැති බවයි. රටේ ඇතැම් ප්‍රදේශවලට සුරක්ෂිත පානිය ජල අවශ්‍යතාවය පවතින බවත්, නිදන්ගත වකුගඩු රෝගය සඳහා අනාරක්ෂිත පානීය ජලය ප්‍රධාන හේතුවක් වී ඇති බවත් අග්‍රාමාත්‍යතුමා පැවසීය.

    සාකච්ඡා කළ අනෙකුත් කරුණු අතර ශ්‍රී ලංකාවට නව ආයෝජන රැගෙන ඒම, ප්‍රජාතන්ත්‍රවාදී ආයතන හා පාලනය සම්බන්ධ ව්‍යාපෘති සඳහා උපකාර ලබා දීම, ප්‍රති-ත්‍රස්තවාදය, මිනිස් හා මත්ද්‍රව්‍ය ජාවාරම් මෙන්ම අන්තර්ජාතික අපරාද සඳහා පිළියම් යෙදීම සම්බන්ධයෙන් සුවිශේෂී අවධානයක් යොමු කරවන ආරක්ෂක ක්ෂේත්‍රයේ සහයෝගීතාවය යන කරුණු ද ඇතුළත් විය.

  • මොකක්ද මේ ‘අධි රුධිර පීඩනය’ කියල කියන්නේ?

    මොකක්ද මේ ‘අධි රුධිර පීඩනය’ කියල කියන්නේ?

    වර්තමානයේ බොහෝ කතාබහට ලක්වෙන මාතෘකාවක් තමයි මේ ප්‍රෙශර් කියන වචනය. ප්‍රෙශර් කියන්නෙ සරලවම ගත්තොත් පීඩනය. ඒත් මේ ප්‍රෙශර් කියන වචනය බොහෝ ක්ශේත්‍ර වල භාවිතා වුවත් යම් කෙනෙකුගෙන් ප්‍රෙශර් වැඩි දැයි ඔබ විමසුවහොත් එම පුද්ගලයා දන්නවා ඔබ මේ විමසන්නේ කුමන ප්‍රෙශර් එකක් ගැනද යන බව. ඒතමයි අධි රුධිර පීඩනය (High blood pressure). සාමාන්‍ය භාවිතයේ ප්‍රෙශර් එක කියා කියන්නේ මේ අධි රුධිර පීඩනයටම තමයි.

    මොකක්ද මේ අධි රුධිර පීඩනය (high blood pressure) කියල කියන්නේ?

    වර්තමානයේ සෑම නිවසකම පාහේ වතුර මෝටරයක් තිබෙනවා. මෙමගින් කරන්නේ බලයක් යොදා ජලය උස් තැනකට එනම් වතුර ටැංකියට පොම්ප කිරීමයි. මෙවැනි කාර්‍යක් අප ශරීරය තුලත් සිදු වෙනවා. එය සිදු කරන්නේ අපේ හෘදය(heart) මගිනි. එනම් අප ශරීරයේ සෑම මාංශ පේශියකටම, අවයවයකටම රුධිරය සපයනු ලබන්න්නේ හෘදය මගිනි.

    එය සිදුකරන්නේ හෘදය මගින් බලයක් යොදා රුධිරය පොම්ප කිරීම මගිනි. එම බලය නිසා රුධිරය රුධිර නාල ඔස්සේ ගමන් කරන විට, එම නාල බිත්ති මගින් රුධිරය වෙත ඇතිකරනු ලබන පීඩනයට අප රුධිර පීඩනය කියා කියනවා. මෙහි සාමාන්‍ය අගය ලෙස වර්තමානයේ පිලිගනු ලබන්නේ රසදිය මිලිමීටර් 130/80 වේ.

    මෙම අගයට වඩා ඉහල ගියවිට එයට අධි රුධිර පීඩනය කියා කියනවා.මෙහිදී බොහෝ දෙනෙකුට ඇතිවන ගැටලුවක් තමයි මෙහි අගයන් දෙකකින් දක්වා ඇත්තේ පීඩන පරාසයක්ද යන්නයි. ඇත්තෙන්ම එය පරාසයක් නොවේ.එය අගයන් දෙකකි.මෙහි මුල් අගය එනම් වැඩි අගයට systolic blood pressure හෙවත් හෘදය වැඩි බලයක් යොදා රුධිරය පොම්ප කරන පීඩනය වනවා. එතකොට අනික් අගය වන්නේ හෘදය සැහැල්ලු වනවිට රුධිර නාල මත ඇතිකරන පීඩනය හෙවත් Diastolic blood pressure වේ.

    රුධිර නාල මත ඇතිකරන අධික පීඩනය මැඩ පවත්වා ගනිමින් රුධිරය පොම්ප කිරීමට හෘදයට සෑහෙන වෙහෙසක් දැරිය යුතුවන හෙයින් හෘදයට හානි පැමිණීමට මෙහිදී බොහෝ ඉඩකඩ තිබෙනවා. සමහර රෝගීන්ට වකුගඩු ආබාධ වැනි වෙනත් රෝග නිසාද අධි රුධිර පීඩනය ඇතිවියහැකිය.

    මුල්ම අවධි වල නිවැරදි ආහාර රටාවක් සහ ජීවන රටාවක් පවත්වා ගැනීම තුලින් රෝගය පාලනය කලහැකි අතර පසු අවධි වලදී වෛද්‍ය නිර්දේශ මත ඖෂධ ලබාගැනීම අනිවාර්‍ය වෙනවා.

    මෙම රෝගය වැලදීමේ වැඩි අවදානමක් ඇත්තේ කාටද?

    • වයස අවුරුදු 55 ඉක්මවූ පිරිමි පුද්ගලයන් සහ වයස අවුරුදු 65 ඉක්මවු ස්ත්‍රීන්.
    • මානසික ආතතිය,අධි රුධිරය පීඩනය හෝ හෘදයාබාධ පිළිබඳව පවුල් ඉතිහාසයක් ඇති අය.
    • ස්ථුලතාවය,ව්‍යායාම අඩුකම,අධික සෝඩියම් ප්‍රමාණයක් අඩංගු අහාර නිතර ගැනීම.
    • දුම්වැටි,මධ්‍යසාර හෝ තහනම් ඖෂධ  හෝ රසායන ද්‍රව්‍ය භාවිතය.
    • දියවැඩියාව,වකුගඩු රෝග,තයිරොය්ඩ් ග්‍රන්ථිය ආශ්‍රිත රෝග,අධි වෘක්ක ග්‍රන්ථිය ආශ්‍රිත රෝග ඇති අය.
    • සමහර ඖෂධ එනම් ස්ටෙරොය්ඩ කාන්ඩයට අයත් ඖෂධ,උපත්පාලන ගිලින පෙති කාලයක් තිස්සේ භාවිතා  කරන අය.

    අධි රුධිර පීඩන රෝග ලක්ශණ මොනවාද?

    බොහෝ අයට රෝග ලක්ශණ පෙන්වන්නේ නැහැ.එනිසා ඉහත අවදානම් කාන්ඩ වලට ඔබ අයත් නම් ඔබගේ රුධිර පීඩනය පරීක්ශා කරවා ගතයුතු වෙනවා.සමහර අයට රෝග ලක්ශණ පෙන්විය හැකිය.එනම්,

    • නිතර පවතින හිස කැක්කුම.
    • බොදවී පෙනීම.
    • පපුවේ කැක්කුම
    • ඇගට පන නැති ගතිය.
    • හුස්ම ගැනීමේ අපහසුතාවය.
    • නාසයෙන් රුධිරය ගැලීම.

    ඉහත රෝගලක්ෂණ ඔබටත් තිබේනම් ඉක්මනින්ම වෛද්‍ය උපදෙස් ලබාගතයුතු වේ.

    රුධිර පීඩනය හදුනාගන්නේ කෙසේද?

    මෙය සුදුසුකම් ලත් වෛද්‍යවරයකු විසින් ඔබව පරීක්ශා කිරීමෙන් පසුව ඔබගේ පවුල් ඉතිහාසය, ජීවන රටාව, අහාර රටාව සහ රුධිර පීඩනය මැන බැලීම, රුධිර පරීක්ශා ආදිය සිදුකර ඔබට රුධිර පීඩනය වැලදී ඇත්තේ කුමන හේතුවක් නිසාදැයි සොයා බලනවා.

    එහිදී හදුනාගත් කාරණා අනුව ඔබට මෙම තත්වය අහාර රටාව ජීවන රටාව වෙනස් කිරීම මගින් පාලනය කල හැකිද, එසේත් නැතිනම් ඖෂධ ප්‍රතිකාර ලබාගත යුතුද යන්න තීරනය කරනු ලබනවා. එනම් වෛද්‍ය නිර්දේශය මත පමණය් ඔබ ඖෂධ ප්‍රතිකාර ලබාගතයුතු වන්නේ.

    එසේනම් මේ සදහා ලබාදෙන ඖෂධ මොනවාද?

    මෙහිදී ප්‍රධාන වශයෙන්ම රුධිර පීඩනය අඩුකරන ඖෂධ භාවිතා කරනවා.මීට අමතරව ඔබට රුධිර පීඩනය වැඩිවීමට වෙනත් රෝග තත්වයන්ද බලපාන්නේ නම් හෝ ඒවා නිසා අවදානමක් පවතින්නේ නම් ඒ සදහා ද ඖෂධ නිර්දේශ කරනු ලබනවා.එනම් කොලෙස්ටරෝල් අඩු කිරීමට ලබාදෙන ඖෂධ මෙන්ම රුධිරගත සීනි මට්ටම අඩු කරන ඖෂධ ඉන් ප්‍රධාන වේ.

    රුධිර පීඩනය අඩුකරන ඖෂධ

    මෙම ඖෂධ ක්‍රමානුකූලව ලබාගන්නා විට ඔබගේ අධික රුධිර පීඩනය සාමාන්‍ය තත්වයට පත්වන අතරම බොහෝ අවදානම් තත්වයන්ගෙන්ද ඔබව ආරක්ෂා කරනු ලබනවා.මේවා කාන්ඩ කීපයකට අයත් වෙනවා.එසේම එක් රෝගියා අනුව ලබාදෙන ඖෂධ වෙනස්වන අතර යම් රෝගියෙකුට මෙම ඖෂධ කාන්ඩ අතුරින් එක කාන්ඩයක හෝ කාන්ඩ කීපයක ඖෂධ නිර්දේශ කල හැකිය.

    1.මුත්‍රා කාරක ඖෂධ (diuretics)

    මේ යටතට ප්‍රධාන වශයෙන්ම Hydrochlorothiazide (හය්ඩ්‍රොක්ලෝරොතයසය්ඩ්) H.C.T.,Frusemide (ෆෘසමය්ඩ්) හෙවත් ලැසික්ස් (lasix) පෙත්ත සහ Spiranolactone( ස්පිරනොලැක්ටෝන්) වේ.මෙම ඖෂධ මගින් වකුගඩු වලින් සෝඩියම් සහ ක්ලෝරයිඩ් අයන අවශෝෂණය අඩු කරනවා. එවිට ජලය ප්‍රති අවශෝෂණය අඩුවීමෙන් මුත්‍රා ලෙස වැඩි ජල ප්‍රමාණයක් පිටවෙනවා. ශරීරය තුල ජල පරිමාව අඩුවීම නිසා රුධිර පීඩනය අඩුවන අතර හෘද අකරණිය(heart failure) රෝගීන්ගේ කකුල් ඉදිමීම් තත්වයද මෙමගින් අඩු කරනවා.මෙම ඖෂධ වලින් වැඩිපුර ජලය ඉවත් කරන නිසා වැඩිපුර වාරගනනක් මුත්‍රා පිටවීම සිදුවේ.එය බියවීමට කාරණාවක් නොවේ.spiranolactone පොටෑසියම් රදවා තබාගන්නා අතර අනික් ඖෂධ දෙක මගින් පොටෑසියම් මට්ටම අඩුවියහැක.

    2.බීටා බ්ලොකර්ස්(beta blockers) හෙවත් ලෝල් කාණ්ඩ කාණ්ඩයේ ඖෂධ

    මේවා ඖෂධ විද්‍යාත්මකව beta blocker නම් කාන්ඩයට අයත් වන අතර ලෝල් කාන්ඩය ලෙස අපගේ පහසුවට ඒවා හදුන්වන්නේ ඒ සෑම ඖෂධයක්ම lol(ලෝල්) නම් කොටසින් අවසන් වන නිසාය.එනම් atenolol(ඇටෙනොලෝල්), Bisoprolol (බිසොප්‍රොලෝල්),Metoprolol (මෙටප්‍රොලෝල්) Carvedilol (කාවෙඩිලෝල්) ආදිය වේ. මෙහිදී මෙම නම් සදහන් කර තිබෙන්නේ ඖෂධීය නාමයෙනි.

    (generic name)රජයේ රෝහල් වල මෙම නාමයන් භාවිතා වූවත් පුද්ගලික අංශයේ මේවයේ වෙලද නාම (brand names)විශාල ප්‍රමාණයක් ඇත. වෙලද නාම යටතේ මේවා ලබගත්තද එවායේ ඖෂධීය නාමයද සදහන් කර තිබෙනවා. මෙම ඖෂධ ප්‍රධාන වශයෙන්ම රුධිර පීඩනය අඩුකිරීමට භාවිතා කලත්.බය්පාස් සැත්කම් කල හෝ ස්ටෙන්ට් (stent – කිරීටක ධමනි අවහිරතාව ඉවත් කිරීමට යොදන තුනි කම්බි දැලක් වැනි ව්‍යුහයකි)යොදන ලද රෝගීන්ට හෘදයේ ක්‍රියාකාරිත්වය යථා තත්වයට පත්කිරීම ඉක්මන් කිරීමටත්, අසාමාන්‍ය හෘද ස්පන්දන (cardiac arythmia) සහිත රෝගීන්ටත්, මෙම ඖෂධ ලබා දෙනවා. නිර්දේශ කර ඇති පරිදි නිවැරදිව භාවිතා කිරීම තුලින් ඉහල ප්‍රතිඵල ලබා ගත හැක. මෙම ඖෂධ ලබාගන්නා අතතුර ඔබ වෙනත් ඖෂධ ලබාගන්නේනම් විශේෂයෙන්ම හතිය (ඇදුම) ඒබව ඔබගේ වෛද්‍යවරයාට දැන්විය යුතු වේ.

    3.ප්‍රිල් (pril) කාන්ඩයේ ඖෂධ

    ප්‍රිල් කාන්ඩය ලෙස ඇත්තටම වර්ගීකරණයක් නැහැ. එය මතක තබාගැනීමේ පහසුවට සකසන ලද්දක්. මෙම ඖෂධ අයත්වන්නේ angiotenisin converting enzyme inhibitor හෙවත් ACE inhibitor නම් කාන්ඩයටය. Captoril( කැප්ටොප්‍රිල් ), Enalapril (එනලප්‍රිල්), Ramipril (රැමිප්‍රිල්) මේ යටතට ගැනෙන ඖෂධ වෙනවා. මේවා මගින් angiotenisin 2 නම් එන්සයිමය ක්‍රියා විරහිත කරනවා. එමගින් රුධිර වාහීනි පටුවීම අඩුකර රුධිර පීඩනය අඩුකරනවා.

    මෙම ඖෂධ රුධිර පීඩනය අඩු කිරීමට අමතරව හෘදයාබාධයකට පසුව හෘදය නැවත යථා තත්වයට පත්වීම වේගවත් කිරීමටත්, වකුගඩු ආශ්‍රිතව ඇතිවන ඩයබෙටික් නෙෆ්‍රොපති (Diabetic nephropathy) නම් තත්වය ඇති රෝගීන්ටත් ලබා දෙනවා.මෙහි කැප්ටොප්‍රිල් කෑමට පැය එකකට පමණ පෙර ගතයුතු අතර අනිකුත් ඖෂධ සදහා එය එතරම් බල නොපවත්වය්.මෙම ඖෂධ භාවිතයේදි සමහර රෝගීන්ට වියලි කැස්ස ඇතිවන අතර පොටෑසියම් මට්ටමද වැඩි විය හැක. එබැවින් පොටෑසියම් වැඩිපුර අඩංගු ආහාර ගැනීම අවම කල යුතුය. එසේම වේදනා නාශක ඖෂධ ගැනීමට පෙර වෛද්‍ය උපදෙස් ලබාගත යුතුය.

    4. කැල්සියම් චැනල් බ්ලොකර්ස් (calcium chanel blockers)

    රුධිර වාහිනී පලල් කිරීමෙන් රුධිර පීඩනය අඩු කිරීම මෙම ඖෂධ මගින් සිදුවේ.රුධිර පීඩනය අඩු කිරීමට අමතරව,හෘද ස්පන්දනය ක්‍රමානුකූල කිරීමත්,පපුවේ කැක්කුම ඒම වැලැක්වීමත් මෙම ඖෂධ මගින් සිදුකරන අනිකුත් කාර්‍යන් වේ.මේ යටතට නිෆිඩිපින්(Nifedipine ),ඇම්ලොඩිපින්(Amlodipine),ඩිල්ටියසම්(Diltiazem) සහ වෙරපමිල්(verapamil) අයත් වේ.බඩ වියලීම(constipation),තෙහෙට්ටු ගතියක් දැනීම,හිස කැක්කුම,කකුල් වල පහල කොටසේ ඉදිමුම මෙම ඖෂධ වල සුලභ අතුරු ආබාධ වන අතර පුද්ගලයා අනුව ඒවා වෙනස් වේ.

    5.ඇන්ජියෝටෙනිසින් රිසෙප්ටර් බ්ලොකර්ස් (angiotenisin receptor blockers)

    මෙම කාන්ඩයේ සෑම ඖෂධයකම පාහේ නාමය අවසන් වන්නේ ‘සාටන්’ යන කොටසෙනි.එනම් ලොසාටන්(losartan ), කැන්ඩසාටන්(candersartan), ටෙල්මිසාටන්(telmisartan) ආදිය වේ. මෙම ඖෂධ වල ක්‍රියාකාරිත්වය බොහෝදුරට ප්‍රිල්(pril) කාන්ඩයේ ඖෂධ වලට සමාන වේ.

    නමුත් මෙම ඖෂධ වලින් වියලි කැස්ස ඇතිනොවේ. එබැවින් ප්‍රිල් කාන්ඩයේ ඖෂධ ලබාදුන් රෝගියෙකුට වියලි කැස්ස ඇති වුව හොත් ඊලගට ලබා දෙනුයේ මෙම කාන්ඩයේ ඖෂධ වේ. එසේ නොමැතිව කෙලින්ම මෙම කාන්ඩයේ ඖෂධ ලබාදෙන අවස්ථාද තිබේ. නමුත් කිසිම විටෙක ප්‍රිල් කාන්ඩයේ ඖෂධ සමග මෙම කාන්ඩයේ ඖෂධ එකවර ලබා නොදේ. මෙම කාන්ඩයේ ඖෂධවලත් යම් ආකාරයක මුත්‍රකාරක ගති ලක්ශණ ඇති බැවින් ඇතැම් රෝගීන්ට මුත්‍රා යන වාරගනන වැඩිවියහැක.

    6. ඇල්ෆා බ්ලොකර්ස්(alfa blockers )

    මේවාද අධි රුධිර පීඩනය සදහා ලබාදෙන ඖෂධ කාන්ඩයකි. නමුත් මේවා ඉහත සදහන් අනිකුත් ඖෂධ කාන්ඩ මෙන් හෘද අකරණිය (heart failure), පපුවේ කැක්කුම(Angina) අවස්ථා වල භාවිතා කල නොහැක. මෙම ඖෂධ වැඩි මාත්‍රා වලින් ලබාදෙන අවස්ථා වල මේවා මගින් ශරීරය තුල තරල එකතුවීම සිදුවේ. එය අඩු කිරීම සදහා එවන් අවස්ථා වල මේවා සමග මුත්‍රා කාරක ඖෂධ (diuretics) බොහෝවිට නිර්දේශ කරනු ලැබේ. ප්‍රථම වරට මෙම ඖෂධය ලබාගන්නා රෝගියකුට වාඩිවීසිට මෙය ගන්නා ලෙසට උපදෙස් දෙනුයේ කරකැවිල්ල ක්ලාන්තය අවම කිරීමටය.

    මෙහිදී ඉදිරිපත්කල ඖෂධ සියල්ලම ඖෂධීය නාමයෙන් දක්වා ඇති අතර රජයේ රෝහල් වලින් ඔබට එම ඖෂධ ලැබෙන්නේ ඖෂධීය නාමයෙනි.නමුත් ඔබ ඖෂධ මිලදී ගෙන භාවිතා කරන කෙනෙකු නම් ඒවා බොහෝවිට දක්නට ලැබෙන්නේ වෙලද නාමයෙනි (brand Name).එසේ වුවත් ඒ සෑම ඖෂධයකම ඖෂධීය නාමයද ඔබ දැන සිටියයුතු වෙනවා.

    එසේම මෙම ඖෂධ ටික කලක් භාවිතා කරනවිට ඔබගේ රුධිර පීඩනය සාමාන්‍ය තත්වයට පත්වෙනවා.මේ අවස්ථාවේ බොහෝ රෝගීන්ගේ ආකල්පය වන්නේ ‘දැන් ප්‍රෙශර් හොඳයි ‘  යන්නයි. එවිට බොහෝ අය ඖෂධ නොගෙන සිටීම හෝ හරියට නොගැනීම සිදුකරනවා. සත්‍ය වන්නේ මේවායින් රෝගය පාලනය කර තබාගැනීම පමණයි කරනු ලබන්නේ. එනම් සුවවීමක් සිදුවන්නේ නැහැ.

    එසේ වුවත් ඒවා මගින් ඔබට ඉතා සාමාන්‍ය ජීවිතයක් ගතකිරීමට අවස්ථාව සලසා දෙන අතරතුර අනිකුත් අවදානම් තත්වයන්ගෙන්ද ඔබව ආරක්ෂා කරනවා. එබැවින් ඒවායේ නියම ප්‍රතිඵල ලබාගැනීමට නියමිත මාත්‍රාව නිවැරදිව භාවිතා කලයුතු වෙනවා.

    කිසිම විටෙක ඔබගේ යහලු මිත්‍රාදීන්, අසල්වැසියන් හෝ නෑදෑයන් කියූ නිසා කිසිලෙසකින් ඒවා ලබාගන්නා ආකාරය වෙනස් නොකරන්න.  එසේම මෙම ඖෂධ ලබාගන්නා අතරතුර අයූර්වේද හෝ වෙනත් වෛද්‍ය ක්‍රම වලට අයත් ඖෂධ එකට භාවිතා කිරීමෙන් හානිකර තත්වයන් ඇතිවීමට බොහෝදුරට ඉඩඇත.එබැවින් එවන් අව්ස්ථා වලදී වෛද්‍යවරයාට ඒබව අනිවාර්යයෙන් දන්වන්න.

    මෙහිදී අප ඖෂධ  කාන්ඩ කිහිපයක් පිලිබදව විස්තර සැකෙවින් ඉදිරිපත් කල අතර මෙවන් ලිපියකින් වඩාත් සවිස්තරව කරුණු ඉදිරිපත් කිරීම අපහසු වේ. මේ පිළිබඳව ඔබට සවිස්තරව දැන ගැනීමට අවශ්‍යනම් ඔබගේ රෝහලේ ඖෂධවේදි (Pharmacist) හමුවන්න.

    එච්.එම්. අමිල කාන්චන හීන්කෙන්ද, ඖෂධවේදී, බාහිර රෝගී අංශය, ජාතික රෝහල, කොළඹ

  • ගෙවතු වගාවේ පළිබෝධ පාලනයට ‘වසවිස නැති පළිබෝධනාශක’

    ගෙවතු වගාවේ පළිබෝධ පාලනයට ‘වසවිස නැති පළිබෝධනාශක’

    එදිනෙදා පරිභෝජනය කරනා ආහාරයෙන් කිසියම් කොටසක් තම වාසස්ථානය අසල ගෙවත්තෙන්ම නෙලාගෙන, පිළියෙලකර අනුභව කිරීමේදී ගතට උරාගන්නා ආහාරයේ සාරවත් බවට අමතරව සිතට දැනෙන ආස්වාදය කෙබඳුදැයි දන්නේ එය අත්විඳි තැනැත්තෙකු පමණි.

    වසංගත තර්ජනය හමුවේදී පසුගියදා රට වසා තැබූ සමය තුලදී, පෙර නොවූ විරූ ගෙවතු වගා උනන්දුවක් ජනතාව අතර පැතිර යනු දක්නා ලදී. එදා සිටවූ ගෙවතු මේ වනවිට පල දරමින් ඇත්තේය. ඒ සමගම ගෙවතු වගාකරුවන් වෙත ගැටළු කීපයක්ද පැමිණ ඇත්තේය.

    බොහෝ අය මේ දිනවල විමසන්නේ ගෙවත්තේ වැවූ එළවලු බෝගයන්ට ඇති පළිබෝධ තර්ජනයන් මගහැරගත හැකි  ප්‍රතිකර්මයන් පිළිබඳවයි. ගෙවත්ත යනු කුඩා පරිසර පද්ධතියක් නිසාත්, එහි යහපැවැත්ම උදෙසා පද්ධතියේ සමතුලිතතාවය පැවතීම  වැදගත් නිසාත්, ගෙවත්තේ නිෂ්පාදනයන් නිතර ආහාරයට එකතුකරගන්නා නිසාත් කෘතිම රසායනික පළිබෝධනාශක භාවිතය අප අනුමත නොකරන්නෙමු.

    කෘමීන් විකර්ෂණය කරන හෝ පැමිණ සිටින්නන් විනාශකරන පළිබෝධනාශක ඔබට ගෙදරදීම සාදාගත හැකිය. මේවා මිනිසාට විෂ නොවන හා කෘමි සතුනට විෂ සහිත ඒවා වන නිසා අප වඩාත් ආරක්ෂාකාරී වේ. නාශක දියරය සාදා ගැන්මට අවශ්‍ය වන්නේ කොහොඹ හෝ අනෝදා ඇට ග්‍රෑම් 30 ක පමණ ප්‍රමාණයකි.

    කොහොඹ ශාකය වියලි කලාපයේ බහුලව තිබේ. එහෙත් එහි ඇට සෑදෙන්නේ එක්තරා කාලයකට පමණි. පළිබෝධනාශක ද්‍රාවනය සෑදීම සඳහා තෝරාගත යුත්තේ අලුත් වියලි කොහොඹ ඇටයි. අනෝදා වර්ග තෙත් කලාපයේ සුලභය. වසර පුරාම ගෙඩිද හටගනී.

    ශ්‍රී ලංකාවට හා ඕස්ට්‍රේලියාවට ආක්‍රමණශීලී ශාකයක් වන ‘වෙල් ආත්තා’ Annona glabra පෙර කලෙකදී මෙරටට රැගෙනවිත් ඇත්තේ අනෝදා බද්ධකිරීමෙදී ග්‍රාහකයන් ලෙස යොදා ගැනීමටයි. ඉවතලන බීජ හරහා පහත රට තෙත්බිම් ආක්‍රමණය කර ඇති මේ ශාකය හරහා මෙවන් ප්‍රයෝජනයක් ලැබෙන්නේ නම් එය මහත් වාසිදායක තත්වයක් නොවන්නේද?

    වාර්තාවල සඳහන් වන ආකාරයට ආදී ඇමරිකානුවන් කුඩු කරගත් වෙල් ආත්තා බීජ තෙලෙන් බැද, හිසෙහි උකුණන් වඳකිරීම සඳහා ගැලවූ බවට සඳහන් වීමෙන්ම මෙහි කෘමි නාශක හැකියාව ගැන අපට සැපයෙන්නේ හොඳ ඉඟියකි.

    මීට අමතරව කටු අනෝදා සහ චෙරිමෝයා වැනි වර්ග (Annona muricata හෝ Annona cherimola) වල ගෙඩිවලින් ඉවත්කරනා බීජ සැලකියයුතු  ප්‍රමාණයක් දෛනිකව ‘ජූස්බාර්’ වැනි ස්ථානයන් වෙතින් ඉවත දමයි. මේ සියල්ල පළිබෝධනාශක නිපදවීම අනුව ගත්කල වැදගත් අමුද්‍රව්‍යයන් වේ.

    මේ ඇසුරෙන් පර්යේෂණ පවත්වා සාර්ථක ප්‍රතිපල අත්කරගෙන ඇත්තේ ගන්නෝරුවේ උද්‍යාන බෝග පර්යේෂණ හා සංවර්ධන ආයතනයේ කීට විද්‍යාඥ ආචාර්ය නිමල් ප්‍රේමරත්න බණ්ඩාර මහතා ඇතුළු පර්යේෂකයින් කණ්ඩායමක් විසිනි.

    ක්‍රමවේදය ඉතා සරලය. පළමුව ඇට වර්ගය කුඩුකර ජලය ස්වල්පයක් දමා රැයක් පහන් වනතුරු පොඟවා, රෙදි කැබැල්ලක් ගෙන මිශ්‍රණය එයට දමා හොඳින් මිරිකා ද්‍රාවනය පමණක් වෙන්කර ගැනීම කලයුතු වේ. නැවතත් ජලය ටිකක් සමග රෙදිකඩ මතට දමා, මිරිකා පෙර පරිදිම යුෂය නිස්සාරණය කර, ද්‍රාවණයට ලීටරයක් දක්වා ජලය එකතු කරන්න.

    මෙහිදී භාවිතා කලයුත්තේ එක වර්ගයක ඇට පමණයි. අනෝදා හා කොහොඹ මිශ්‍රව භාවිතා නොකල යුතු අතර, අප නිපදවාගත් ලීටරයක් වූ පළිබෝධනාශක ද්‍රාවණයට දියර සබන් බිංදුවක් දෙකක් දැමූවිට ද්‍රාවණයේ ඒකාකාරී බව වැඩිවී, බෝග ශාකය මත නාශක දියරය හොඳින් පැතිරීමටද එය ඉවහල්වනු ඇත.

    අත් ඉසිනයක් භාවිතයෙන් මෙම ද්‍රාවනය බෝග ශාකය මතට ඉසිය යුතුවේ. සතුන් ගැවසෙන ස්ථාන සොයමින් ස්ථානීය ප්‍රතිකාරයක් දීම ගෙවත්තක් සඳහා ප්‍රමාණවත් වනවා සේම එය වඩාත් ප්‍රායෝගිකද වේ.

    කුඩා කෘමි සතුන් බෝග පත්‍රවල යටි පැත්තේ බොහෝවිට සැඟවී සිටිනා බැවින්, පත්‍ර යටි පැත්තද තෙමෙන සේ දියර ඉසීම වැදගත්ය. දියරයේ ක්‍රියාකාරිත්වය ඉක්මනින් නැතිව යයි. එහෙත් ඒ වනවිට එය අපගේ බලාපොරොත්තුද ඉටුකර අවසානය.

    පළිබෝධකයින් සිටිනා තැන් සොයමින් එවන් ස්ථාන වලට පමණක් දියර ඉසිනා බැවින්ද, විෂ භාවයෙන් ඉතා අඩු අස්ථායී ශාකසාර සංයෝග බැවින්ද, වගාව තුල සිටිනා පළිබෝධකයින් මියගියත් අවට සිටිනා සියලු කෘමි සතුන් මැරෙන්නේ නැති හෙයින්ද, පරිසර සමතුලිතතාවය ආරක්ෂා වේ. සතියකට වරක් මෙම ප්‍රතිකාරය ලබාදීමෙන් බොහෝ කෘමි උවදුරු වලින් මිදුණු නිරෝගී ගෙවතු වගාවක් ඔබට හිමිවේවි. මතක තබාගත යුත්තේ සෑම සතියකදීම අලුත් දියර බඳුනක් පිළියෙළ කරගැනීමටයි.

    කොහොඹ බීජ තුල අන්තර්ගත වන ඇසඩිරැක්ටින් නමැති සංයෝගය සූර්යාලෝකය හා ජලයට නිරාවරණය වූ විට පැය 100 ක කාලයක් තුල සම්පූර්ණයෙන් විනාශවී යයි. ඉතිරියක් තිබුනද එය විෂ ද්‍රව්‍යයක් නොවේ.

    අනෝදා බීජ තුල ඇසිටොජෙනින් නමැති සංයෝග පන්තිය ඇති අතර මෙයද බාහිර පරිසරයේදී පහසුවෙන් හා ඉක්මනින් වියෝජනය වී යන්නකි. ලංකාවේ මෙවැනි අනෝදා ප්‍රභේද කීපයක්ම පවතින බැවින්, බීජ තුල වැඩියෙන්ම ඇසිටොජෙනින් ඇත්තේ කුමන ඒවායේද යන්න සොයා බැලීමත් විද්වතුන්ට හොඳ ඉදිරි පර්යේෂණ නිමිත්තක් වනු ඇත.

    ගෙවතු වගාවේදී මෙවන් ශාකසාර පළිබෝධනාශකයක් භාවිතාකිරීම ඉතා ආරක්ෂාකාරී වන්නේ, කෘතිම සංයෝගවලට මෙන් දියර ඉසිනලද අස්වැන්න පරිභෝජනයට දිගු කාලයක් බලාසිටිය යුතු නැති නිසාය. සතුරු මර්දනය කරන අතරේදීම අස්වැන්න නෙලාගන්නත් පුළුවන් !. පළිබෝධනාශකය මුළුමනින්ම කාබනිකයි.

    සටහන – සනත් එම්. බණ්ඩාර

  • කුරුණෑගල නගරාධිපතිගේ නඩු වියදම් සඳහා මහජන මුදලින් ලක්ෂ 22ක් ගෙවීමට සම්මත කරගනී!

    කුරුණෑගල නගරාධිපතිගේ නඩු වියදම් සඳහා මහජන මුදලින් ලක්ෂ 22ක් ගෙවීමට සම්මත කරගනී!

    දෙවන බුවනෙකබාහු රජුගේ රාජසභා මණ්ඩපය යැයි ජනවහරේ පැවසෙන කුරුණෑගල නගරයේ පිහිටි ඓතිහාසික වටිනාකමින් යුත් ගොඩනැගිල්ලක් කඩා දැමීම සම්බන්ධයෙන් කුරුණෑගල නගරාධිපති තුෂාර සංජීව මහතාට එරෙහිව ගොනුකර ඇති නඩුවේ වියදම් සඳහා අවශ්‍ය මුදල් නගරසභාවෙන් ගෙවීමේ යෝජනාවක් ඊයේ (17) සම්මත කරගෙන තිබේ.

    කුරුණෑගල මහ නගරසභාව ඊයේ රැස්වූ අවස්ථාවේදී මෙසේ රුපියල් 2,180,000ක මුදලක් නඩු කටයුතු සඳහා ගෙවීමේ යෝජනාව මන්ත්‍රීවරුන් 13 දෙනෙකුගේ එකඟතාවෙන් සම්මත කරගෙන ඇති බව සඳහන්.

    ඊට සමගි ජන බලවේගයෙහි මන්ත්‍රීවරයෙක්, ජනතා විමුක්ති පෙරමුණේ මන්ත්‍රීවරයෙක් සහ කුරුණෑගල හිටපු නගරාධිපතිවරයා විරුද්ධ වී ඇති බවත් වාර්තා විය.

    කඩාදැමූ ගොඩනැගිල්ල යළි ඉදිකිරීමට ද මීටපෙර පත් කළ කමිටුවක් විසින් නිර්දේශ කර තිබුණු අතර ඊට රුපියල් ලක්ෂ 90ක් පමණ වැය වනු ඇතැයි ගණන් බලා තිබිණි.

    ඒ අනුව අවසානයේදී මේ සියලු බර පැටවෙන්නේ දුගී දුප්පත් ජනතාවගේ බත්පත මතය. මේවා පියවෙන්නේ ඒ අහිංසක මිනිසුන්ගෙන් අය කරගන්නා බදු මුදලිනි.

    -ලංකා නිව්ස් වෙබ්-

  • ජනපති, ජනතා ආර්ථිකය ගොඩනඟන වැඩ අරඹයි

    ජනපති, ජනතා ආර්ථිකය ගොඩනඟන වැඩ අරඹයි

    ආර්ථිකයේ අයිතිය ජනතාවට හිමිවන, ජනතා කේන්ද්‍රීය ජාතික ආර්ථිකයක් ගොඩනැගීම අරමුණු කොට ගෙන මෙවර රාජ්‍ය අමාත්‍යාංශ ව්‍යුහය සකස් කළ බව ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මැතිතුමා පවසයි.

    රාජ්‍ය අමාත්‍යාංශ විෂය පථය සමාලෝචනය ආරම්භ කරමින් අද (17) පස්වරුවේ ජනාධිපති කාර්යාලයේ පැවති සාකච්ඡාවේදී ජනාධිපතිතුමා මේ බව සඳහන් කළේය.

    බතික්, අත්යන්ත්‍ර රෙදි සහ දේශීය ඇඟළුම් නිෂ්පාදනය විෂය කොට රාජ්‍ය අමාත්‍යාංශයක් නිර්මාණය කිරීමට හේතු  ජනාධිපතිතුමා විසින් පැහැදිළි කරනු ලැබීය.

    කොවිඩ් 19ත් සමග දැඩි අර්බුදයකට  මුහුණ පා ඇති සෙසු රටවල් යථා තත්ත්වයට පත් වන තෙක් දේශීය ආර්ථිකය දියුණු නොකර ඉදිරියට යා නොහැකි බව ජනාධිපතිතුමා පැවසීය.

    ඇඟළුම් කර්මාන්තය රටේ සමස්ත අපනයනයෙන් 43%ක් නියෝජනය කරයි. අපනයන ආදායමට වාර්ෂිකව ඉන් එක්කරන මුදල ඇමරිකානු ඩොලර් බිලියන 05ක් පමණ වේ. රැකියා සැපයීමේ දී සහ ප්‍රාදේශීය සංවර්ධනයේ දී  ඇඟළුම් කර්මාන්තය පුරෝගාමී මෙහෙවරක් ඉටු කරයි. එය ශක්තිමත් කරමින් බතික් සහ අත්යන්ත්‍ර රෙදි හා දේශීය ඇඟළුම් නිෂ්පාදනය දියුණු කිරීම රජයේ ප්‍රධාන අරමුණක් බව ජනාධිපතිතුමා කීය.

    බතික් සහ අත්යන්ත්‍ර කර්මාන්තය නඟාසිටුවිමට සියලු අංශ ආවරණය කෙරෙන සැලැස්මක් සකස් කරන ලෙසද ජනාධිපතිතුමා උපදෙස් දුන්නේය. එය සාර්ථක කර ගැනීමෙන් ඉදිරි පස් වසර තුළ ඇගළුම් නිෂ්පාදකයන්ට ඉහළ ස්ථාවරත්වයක් අත්කරගත හැකි බව රාජපක්ෂ මැතිතුමා පැවසීය.

    “සළු සළ වැනි ආයතන මගින් බතික් සහ අත්යන්ත්‍ර රෙදි පිළි නිෂ්පාදකයාට වෙළෙඳ පොළක් සකසා දිය හැකි බවද එතුමා පෙන්වා දුන්නේය.

    කර්මාන්ත අමාත්‍ය විමල් වීරවංශ, රාජ්‍ය අමාත්‍ය දයාසිරි ජයසේකර, ජනාධිපති ලේකම් පී.බී. ජයසුන්දර, භණ්ඩාගාර ලේකම් එස්.ආර්. ආටිගල යන මහත්වරු හා බතික්, අත්යන්ත්‍ර රෙදි සහ දේශීය ඇඟළුම් කර්මාන්තය ආශ්‍රිත ආයතන ප්‍රධානීහු සහ ව්‍යවසායකයෝ සාකච්ඡාවට එක්ව සිටියහ.

  • රැකියා 150,000 වැඩසටහන ජනපති විමසුමට

    රැකියා 150,000 වැඩසටහන ජනපති විමසුමට

    සැප්තැම්බර් 02 වැනිදා සිට ක්‍රියාත්මක එක්ලක්ෂ පනස්දහසක් දෙනා රැකියා නියුක්ත කිරීමේ වැඩසටහන ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මැතිතුමාගේ විමසුමට ලක්වෙයි.

    සුදුසුකම් සපුරා ඇති උපාධිධාරීන් හදාරා ඇති විෂය මාලාව අනුව අදාළ ක්ෂේත්‍රයේ රැකියා සඳහා යෙදවීමට පියවර ගන්නා ලෙස ජනාධිපතිතුමා උපදෙස් දුන්නේය. අඩු ආදායම්ලාභී රැකියා ලක්ෂයට සුදුස්සන් තෝරා ගැනීමේදී සෑම ග්‍රාම සේවා වසමකම දරිද්‍රතාවයෙන් ඉහළම පිරිස තෝරා ගැනීමට පියවර ගත යුතුයැයි ද රාජපක්ෂ මැතිතුමා සඳහන් කළේය.

    රැකියා එක්ලක්ෂ පනස්දහසේ වැඩසටහනේ ඉදිරි වැඩ පිළිබඳව සාකච්ඡාවේදි ජනාධිපතිතුමා මේ බව පැවසීය.

    රාජ්‍ය සේවයේ ඇති දුර්වලතා සහ අඩු පාඩු මග හැරෙන ලෙස රැකියාගත පුහුණුවක් ලබාදීමේ (on the Job Training) අවශ්‍යතාව ජනාධිපතිතුමා අවධාරණය කළේය. පෞද්ගලික අංශයේ පුහුණුව සඳහා ද අනුයුක්ත කෙරේ. නායකත්වය, ඉලක්ක සපුරා ගැනීම, විශ්වාසී හැඟීම යන කරුණුවල ප්‍රමුඛතාව වසරක පුහුණු කාලයට එක්කර ගත යුතුයැයි ද ජනාධිපතිතුමා කීය.

    නව රාජ්‍ය අමාත්‍යාංශවල ඉලක්ක සුපරා ගැනීමටද උපාධිධාරී රැකියාලාභින් යොමු කිරීමේ වැදගත්කම ජනාධිපතිතුමා පෙන්වා දුන්නේය.

    මහ මැතිවරණය වෙනුවෙන් දිස්ත්‍රීක්ක රැසක කල චාරිකාවේදී බොහෝ පිරිස් පාසැල්වල ඇති ගුරු හිඟය පිළිබදව ජනාධිපතිතුමා දැනුවත් කළහ. නව පත්වීම්ලාභීන් ඒ සදහා පත්කිරීමට ද තීරණය කෙරිණ.

    රැකියා ලක්ෂය සදහා තෝරා ගැනෙන අඩු ආදායම්ලාභීන් වෘත්තීන් 24ක ඇති පුරප්පාඩු සඳහා යොමු කෙරේ. ඔවුනට පුහුණුව ලබාදීම ආධුනිකත්ව මණ්ඩලය සිදු කරයි.

    ජනාධිපති ලේකම් පී.බී. ජයසුන්දර, ආරක්ෂක ලේකම් විශ්‍රාමික මේජර් ජනරාල් කමල් ගුණරත්න, රාජ්‍ය සේවා, පලාත් සභා සහ පලාත් පාලන අමාත්‍යාංශයේ ලේකම් ජේ.ජේ. රත්නසිරි යන මහත්වරු ඇතුළු පිරිසක් සාකච්ඡාවට එක්ව සිටියහ

  • අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මුදල් අමාත්‍යවරයා ලෙස රාජකාරී අරඹයි

    අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මුදල් අමාත්‍යවරයා ලෙස රාජකාරී අරඹයි

    අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මැතිතුමා මුදල් අමාත්‍යවරයා ලෙස අද (17) පෙරවරුවේදී මුදල් අමාත්‍යාංශයේදී සිය ධූරයේ රාජකාරී භාර ගනු ලැබීය.

    මෙම රාජකාරී භාර ගැනීමට පෙර ගරුතර මහා සංඝරත්නය ප්‍රමුඛ සර්ව ආගමික ආශිර්වාද ලබා ගත් ගරු අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මැතිතුමා, සුබ මොහොතින් සෙත් පිරිත් සජ්ජායනා මධ්‍යයේ සිය රාජකාරී ආරම්භ කරන ලදී.

    මේ අවස්ථාවේදී රු. 5,000/- ක නව මුදල් නෝට්ටුවක් මුද්‍රණය කර එළිදැක්වීම ද සිදු විය. එම නව මුදල් නෝට්ටුව අග්‍රාමාත්‍ය හා මුදල් අමාත්‍ය ගරු මහින්ද රාජපක්ෂ මැතිතුමා වෙත ශ්‍රී ලංකා මහ බැංකු අධිපති විසින් පිරිණැමීම සිදුවිය.

    එම අවස්ථාවට මුදල් රාජ්‍ය අමාත්‍ය අජිත් නිවාඩ් කබ්රාල් මහතා, රාජ්‍ය අමාත්‍ය ෂෙහාන් සේමසිංහ මහතා ඇතුළු නව රජයේ කැබිනට් හා රාජ්‍ය ඇමතිවරුන්, මන්ත්‍රීවරුන් සහ අග්‍රාමාත්‍ය ලේකම් ගාමිණී සෙනරත් මහතා, මුදල් අමාත්‍යාංශ ලේකම් එස්. ආර්. ආටිගල මහතා  ඇතුළු රාජ්‍ය නිලධාරීන් කිහිප දෙනෙක් ද සහභාගී වූහ.

  • 9 වන නව පාර්ලිමේන්තුවේ තනතුරු බෙදුණු හැටි මෙන්න

    9 වන නව පාර්ලිමේන්තුවේ තනතුරු බෙදුණු හැටි මෙන්න

    9 වන පාර්ලිමේන්තුවේ සභානායක ලෙස අමාත්‍ය දිනේෂ් ගුණවර්ධන මහතා සහ ආණ්ඩු පක්ෂයේ ප්‍රධාන සංවිධායක ලෙස අමාත්‍ය ජොන්ස්ටන් ප්‍රනාන්දු මහතා පත්කර තිබේ.

    මේ අතර ලබන 20 වැනිදා පැවැත්වෙන 9 වන පාර්ලිමේන්තුවේ මංගල සභා රැස්වීම සඳහා සහභාගී වන ලෙස පාර්ලිමේන්තු මහ ලේකම් ධම්මික දසනායක මහතා සියලු මන්ත්‍රීවරුන්ට ලිඛිතව දැනුම් දී තිබේ.

    ඒ අනුව දැනට මැතිවරණ කොමිසමේ සභාපතිවරයා විසින් ගැසට් කර ඇති පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් 223 දෙනාට අදාළ ලිපි යොමුකර ඇති බව පාර්ලිමේන්තුවේ සන්නිවේදන දෙපාර්තමේන්තුව සඳහන් කළේය.

    9 වන පාර්ලිමේන්තුවේ මංගල රැස්වීමේ කටයුතු මේ මස 20 වැනිදා පෙරවරු 9.30ට ආරම්භ වීමට නියමිතය.

    කතානායකවරයෙකු, නියෝජ්‍ය කතානායකවරයෙකු සහ නියෝජ්‍ය කාරක සභා සභාපතිවරයෙකු පත්කරගැනීම හා සියලුම අභිනව පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් විසින් සිය නිල ප්‍රතිඥාව හෝ දිවුරුම්දිම එදිනට සිදුකිරීමට නියමිත බව පාර්ලිමේන්තු මහ ලේකම්වරයා මන්ත්‍රීවරුන් වෙත යොමුකළ ලිපියේ සඳහන් වේ.

  • ගෙදර ඉන්න හිතුවට ජනතාව ඡන්දෙ දුන් නිසා අමාරුවෙන් හරි ඇමතිකම කරනවා..

    ගෙදර ඉන්න හිතුවට ජනතාව ඡන්දෙ දුන් නිසා අමාරුවෙන් හරි ඇමතිකම කරනවා..

    වගකීමෙන් ඉන් නිදහස් වී නිදහසේ විවේකීව සැඳෑ සමය ගත කරන්න තමන් කල්පනා කර සිටියද ජනතාව ඊට ඉඩ නොදුන් බව ඇමැති නිමල් සිරිපාල ද සිල්වා මහතා සඳහන් කළේය.

    බදුල්ලේ ජනතාව තමන්ට දැක් වූ ආදරය සෙනෙහස දෙස බැලූ විට දාලා යන්න පුළුවන් කමක් නැති බවත් අමාරුවෙන් හෝ තවත් වසර කිහිපයක් සේවය කරන්නට සූදානම් බවත් ඔහු පැවසීය.

    ඇමැතිවරයා මේ බව කියා සිටියේ බදුල්ල ප්‍රාදේශීය සභාවේ දී පැවති පිළිගැනීමේ උත්සවයක් අමතමිනි.

    ආර්ථික අසීරුතාවයකට රට පත්ව ඇතත් සංවර්ධන කටයුතු ඉදිරියට ගෙන යන බවත් සෑම කරුණක දී ම තමන්ට දුන් සහ තම පක්ෂය වෙනුවෙන් කැපවුනු යට ප්‍රමුඛතාවය ලබා දෙන බවද ඔහු සඳහන් කළේය.

  • Covid-19 Today World Hot:යෙල් සරසවියේ වෛරස් පරීක්ෂණය ‘එක්සත් ජනපදය’ අනුමත කරයි

    Covid-19 Today World Hot:යෙල් සරසවියේ වෛරස් පරීක්ෂණය ‘එක්සත් ජනපදය’ අනුමත කරයි

    සාරාංශය

    1. පැය 24 ක් තුළ රෝගීන් 294,237 ක් වාර්තා වී ඇති බව ලෝක සෞඛ්‍ය සංවිධානය පවසයි
    2. නවසීලන්තයේ නියෝජ්‍ය අගමැති කොවිඩ් -19 නැවත රට තුළ හිස ඔසවන බැවින් මැතිවරණ කල් දමන මෙන් ඉල්ලයි.
    3. මාස පහක් තුළ දකුණු කොරියාවේ විශාලතම නව රෝගීන් වාර්තා වී තිබේ
    4. එක්සත් රාජධානියේ විභාග නියාමකයා මහජන විභාග අවලංගු කිරීමෙන් පසු නිකුත් කරන ලද විභාග ශ්‍රේණිවලට එරෙහිව අභියාචනයක් ඉදිරිපත් කරන්නේ කෙසේද යන්න පිළිබඳ මග පෙන්වීම සමාලෝචනය කරයි
    5. දකුණු අප්‍රිකානු ජනාධිපතිවරයා පවසන්නේ රට තුළ ආසාදන ඉහළ ගොස් ඇති බවයි
    6. මිලියන 21.4 කට වැඩි ආසාදන සංඛ්‍යාවක් සහ මරණ 771,000 කට අධික සංඛ්‍යාවක් ගෝලීය වශයෙන් වාර්තා වී ඇත – නවතම ජෝන්ස් හොප්කින්ස් විශ්ව විද්‍යාලය

    එක්සත් ජනපදයේ ළමුන් කොවිඩ්වලට ගොදුරුවීමේ අනුපාතය ඉහළ යයි

    එක්සත් ජනපදයේ ළමුන් තුළ කොරෝනා වයිරස් ආසාදන අනුපාතය ඉහළ ගොස් ඇති බව රෝග පාලන හා වැළැක්වීමේ මධ්‍යස්ථාන පවසයි.

    “එක්සත් ජනපදයේ කොවිඩ් ආසාදනය වන ළමුන්ගේ සංඛ්‍යාව හා අනුපාතය 2020 මාර්තු සිට ජූලි දක්වා ක්‍රමයෙන් ඉහළ යමින් පවතී” යනුවෙන් සීඩීසී හි යාවත්කාලීන කරන ලද මාර්ගෝපදේශ තුළ සදහන් වේ.

    “පුළුල් පරීක්ෂණයක් නොමැතිකම, වැඩිහිටියන්ට සහ දරුණු රෝගාබාධවලින් පෙළෙන අයට පරීක්ෂණ සඳහා ප්‍රමුඛතාවය දීම” නිසා වෛරසය ආසාදනය වූ දරුවන්ගේ සංඛ්‍යාව නොදන්නා බව එම වාර්තාවේ දැක්වේ.

    සීඩීසීයට අනුව වෛරසය ළමයින්ට වඩා බෙහෙවින් අඩු වුවද, ඔවුන් තවමත් බරපතල රෝග ලක්ෂණ ඇතිවීමේ අවදානමට ලක්ව ඇත.

    එහි මෙසේ සඳහන් වේ: “වැඩිහිටියන් (ජනගහනය 100,000 කට 164.5) හා සසඳන විට ළමුන් අතර රෝහල්ගත වීමේ වේගය අඩුය (ජනගහනය 100,000 කට 8.0), නමුත් ළමුන් තුළ රෝහල්ගත වීමේ අනුපාතය ඉහළ යමින් පවතී.”

    හිටපු ඉන්දීය ක්‍රිකට් ක්‍රීඩක චෙතන් චෞහාන් කොවිඩ් -19 ආසාදනයෙන් මිය යයි

    ඉන්දියාවේ හිටපු ක්‍රිකට් ක්‍රීඩක චෙතන් චෞහාන් (73) කොවිඩ් -19 ආසාදනය වීමෙන් මියගොස් තිබේ.

    ධනාත්මක පරීක්‍ෂණයකින් පසු ජූලි 12 වන දින චෞහාන් රෝහල් ගත කරනු ලැබීය. වකුගඩු ආශ්‍රිත රෝග හේතුවෙන් ඔහුගේ සෞඛ්‍ය තත්වය පසුව පිරිහී ගිය අතර සිකුරාදා ඔහුගේ තත්ත්වය අසාධ්‍ය විය.

    වසර 12 ක ක්‍රිකට් දිවිය තුළ ඔහු ඉන්දියාව වෙනුවෙන් ටෙස්ට් තරග 40 කට ක්‍රීඩා කර තිබේ. චෞහාන් පසුව දේශපාලනයට අවතීර්ණ වූ අතර ඔහුගේ උපන් ප්‍රාන්තය වන උතත්ර ප්‍රදේශ්හි කැබිනට් අමාත්‍යවරයෙකි.

    ඉන්දියාවේ අග්‍රාමාත්‍ය නරේන්ද්‍ර මෝදි ඇතුළු බොහෝ අය සමාජ මාධ්‍ය ඔස්සේ චෞහාන් මහතාට සිය ගෞරව දැක්වීය.

    කොවිඩ් ආසාදනයෙන් මියගිය උත්තර් ප්‍රදේශ්හි දෙවන ඇමතිවරයා වන්නේ චෞහාන් ය. මේ මස මුලදී ප්‍රාන්තයේ කාර්මික අධ්‍යාපන ඇමති කමලා රාණි වරුන් (62) මිය ගියාය.

    යෙල් සරසවියේ වෛරස් පරීක්ෂණය එක්සත් ජනපදය අනුමත කරයි

    යේල් විශ්ව විද්‍යාලයේ සංවර්ධනය කරන ලද නව ලවණ රෝග විනිශ්චය පරීක්ෂණයකට එක්සත් ජනපද ආහාර හා ඖෂධ පරිපාලනය හදිසි භාවිත අවසරයක් ලබා දී ඇත.

    විශේෂ ප්‍රකාශයක් කරමින් FDA පවසා ඇත්තේ නව පරීක්ෂණයට SalivaDirect නමින් විශේෂ වර්ගයේ ස්වබ් හෝ එකතු කිරීමේ උපකරණයක් අවශ්‍ය නොවන අතර ඕනෑම විෂබීජහරණය කළ බහාලුමක් තුළ ලවණ සාම්පලයක් ලබා ගත හැකි බවයි.

    මිනිසුන්ගේ ප්‍රධාන ජානමය තොරතුරු අඩංගු න්‍යෂ්ටික අම්ලය නිස්සාරණය කිරීමට වෙනම පියවරක් අවශ්‍ය නොවන නිසා ලවණ ඩිරෙක්ට් ද අද්විතීය වේ. වෙනත් පරීක්ෂණ වලදී මෙම පියවර සඳහා භාවිතා කරන නිස්සාරණ කට්ටල අතීතයේ හිඟයන්ට ගොදුරු වී ඇති බව FDA පවසයි, එබැවින් මෙම කට්ටල නොමැතිව පරීක්ෂණයක් කිරීමට හැකිවීම වැඩි පරීක්ෂණ සඳහා ධාරිතාව වැඩි කරයි.

    එය FDA විසින් බලය පවරන ලද පස්වන පරීක්ෂණය වන අතර එය පරීක්ෂණ සඳහා නියැදියක් ලෙස ලවණ භාවිතා කරයි. මෙම ක්‍රමය මඟින් ආක්‍රමණශීලී, අපහසුතාවයට පත් නාසෝෆරින්ජියල් ස්පුබ් සඳහා ඇති අවශ්‍යතාවය ඉවත් කරන අතර, ලවණ සාම්පල ස්වයං-එකතු කර ගත හැකි නිසා එය සෞඛ්‍ය සේවකයින්ට ඇති අවදානම ද අඩු කරයි.

    එක්සත් අරාබි එමීර් රාජ්‍යය සහ ඊශ්‍රායලය කොරෝනා වයිරස් පර්යේෂණ සඳහා සහයෝගයෙන් කටයුතු කිරීමට යයි

    කොවිඩ්-19 වෛරස් පර්යේෂණ සඳහා සහයෝගය දැක්වීමට එක්සත් අරාබි එමීර් රාජ්‍යය සහ ඊශ්‍රායලය එකඟ වී ඇති බව එමිරාටි රාජ්‍ය පුවත් ඒජන්සිය පවසයි.

    පසුගිය සතියේ දෙරට අතර සබඳතා යථා තත්ත්වයට පත් කිරීම සදහා වූ එකඟතාවකින් පසුව මෙම නිවේදනය නිකුත් කර තිබේ.

    එමිරාටි සමාගම වන ඇපෙක්ස් නැෂනල් ඉන්වෙස්ට්මන්ට් සහ ඊස්රායලයේ ටෙරා ගෘෘප් වෙනත් අධ්‍යයන අතර ඉහළ නිරවද්‍යතාවයකින් පරීක්ෂණ ක්‍රියාවලිය වේගවත් කිරීම සඳහා පරීක්ෂණ උපකරණයක් සංවර්ධනය කිරීමට උත්සාහ කරයි.

    දැන් දෙරට අතර දුරකථන සන්නිවේදනය ද විවෘත කර ඇත. 

    කොවිඩ් -19 සමඟ කටයුතු කිරීමට අප්‍රිකානු නවෝත්පාදන දහයක්

    තහවුරු කරන ලද කොවිඩ් -19 රෝගීන් මිලියනයකට වඩා අප්‍රිකාව පසුකර යද්දී, මහාද්වීපයේ ජනතාව වසංගතය එහි මාවතෙහි නැවැත්වීම සඳහා නිර්මාණාත්මක නව නිපැයුම් ඉදිරිපත් කරමින් සිටී.

    කෙන්යාවේ, අවුරුදු නවයක් වයසැති පාසල් සිසුවෙකු විසින් ලී අත් සේදීමේ යන්ත්‍රයක් නිපදවා ඇති අතර එමඟින් පරිශීලකයන්ට මතුපිට ස්පර්ශ කිරීමෙන් වළක්වා ගත හැකිය.

    නයිජීරියාවේ 20 හැවිරිදි ඉංජිනේරු ශිෂ්‍යයෙක් රටේ හිඟයකට මුහුණ දීම සඳහා අතේ ගෙන යා හැකි ශ්වසන යන්ත‍්‍රයක් නිපදවා තිබේ.

    බී.බී.සී. වාර්තා අසුරිණි – සකස් කළේ – තුෂාල් විතානගේ