Blog

  • වාතයේ රැඳෙන කුඩා අංශු මගින් ‘කොරෝනා’ පැතිරෙන බවට සාක්ෂි හමුවෙයි !

    වාතයේ රැඳෙන කුඩා අංශු මගින් ‘කොරෝනා’ පැතිරෙන බවට සාක්ෂි හමුවෙයි !

    වාතයේ රැඳෙන කුඩා අංශු මගින් කොරෝනාවයිරසය පැතිරීමේ සාක්ෂි මතුවෙමින් ඇති බව ලෝක සෞඛ්‍ය සංවිධානය පිළිගෙන තිබේ.

    තදබදය ඇති තැන, වැසුණු හෝ යහපත් වාතාශ්‍රයක් නොමැති තැන්වල වාතය මගින් සම්ප්‍රේෂණය වීමට ඇති ඉඩ බැහැර කළ නොහැකි බව නිලධාරියෙක් පැවසීය.

    මේ පිළිබඳ සාක්ෂි තහවුරු වුවහොත්, ගෘහස්ථ ඉඩකඩ තබාගැනීම සම්බන්ධ මාර්ගෝපදේශවලට එයින් බලපෑමක් එල්ල වීමට ඉඩ තිබේ.

    වයිරසය වාතය මගින් සම්ප්‍රේෂණය වීමට ඇති හැකියාව ලෝක සෞඛ්‍ය සංවිධානය විසින් අවතක්සේරු කරනු ලැබ ඇති බවට, විද්‍යාඥයින් 200ට වැඩි පිරිසක් යොමු කළ විවෘත ලිපියකින් චෝදනා නගා තිබේ.

    මෙතෙක් ලෝක සෞඛ්‍ය සංවිධානය පවසා ඇත්තේ පුද්ගලයින්ගේ කැස්සෙන් හෝ කිවිසුම් මගින් නිකුත් වන බිඳිති ඔස්සේ වයිරසය සම්ප්‍රේෂණය වන බවකි.

    “අපට අවශ්‍ය ඔවුන් මේ සාක්ෂි පිළිගැනීම,” යැයි ලිපියට අත්සන් තැබූ, කොලරාඩෝ විශ්ව විද්‍යාලයේ රසායනඥයකු වන හොසේ ජිමෙනෙස් රොයිටර් පුවත් සේවයට පැවසීය.

    “මේක ඇත්තෙන්ම ලෝක සෞඛ්‍ය සංවිධානයට එල්ල කරන ප්‍රහාරයක් නොවෙයි. මේක විද්‍යාත්මක විවාදයක්. නමුත් ඔවුන් සමග මේ සම්බන්ධයෙන් කළ සාකච්ඡා ගණනාවකින් අනතුරුව මේ සාක්ෂි ප්‍රතික්ෂේප කිරීම නිසා මහජනයා අතරට යා යුතු යැයි අපට හිතුණා,” ඔහු කියා සිටියේය.

    තවත් අත්සන්කරුවකු වන හොංකොං විශ්ව විද්‍යාලයේ මහාචාර්ය බෙන්ජමින් කොව්ලුං බීබීසී සමග පැවසුවේ මෙම සොයාගැනීමේ “වැදගත් සම්බන්ධයක්” ඇති බවය.

    “සෞඛ්‍ය සත්කාර ස්ථාන ගැන සැලකුවොත්, වාතයේ ඉතා කුඩා අංශු විසිරීම ඔස්සේ සම්ප්‍රේෂණය වීම මගින් අවදානමක් ඇතිකරනවා නම් සෞඛ්‍ය සත්කාර සේවකයින් හැකි හොඳම ආරක්ෂක උපකරණ පැළඳිය යුතු බව අපට පැහැදිලියි. ඇත්තෙන්ම කෝවිඩ්-19 ට අදාළ එවැනි සම්ප්‍රේෂණයක් ගැන කතා කිරීමට තමන් උනන්දු නැති බවට එක් හේතුවක් ලෙස ලෝක සෞඛ්‍ය සංවිධානය පැවසුවේ, මෙවැනි විශේෂඥතාවකින් යුතු මුහුණු ආවරණ අවශ්‍ය තරම් ප්‍රමාණයක් ලෝකයේ බොහෝ තැන්වලට නොමැති බවයි,” යැයි ඔහු පැවසීය.

    “ප්‍රජාව අතරේ, මෙවැනි සම්ප්‍රේෂණයකින් ඇති විශේෂ අවදානමක් ගැන අප කල්පනා කරන්නේ නම්, අති විශාල පැතිරීමක් වළක්වාගන්නේ කෙසේදැයි අප කල්පනා කරන්නට අවශ්‍යයි. හොඳ වාතාශ්‍රය නැති ගෘහස්ථ පරිසරවල, ජනයාගේ තදබදය ඇති හා දිගුකාලීන සමීප සබඳතා ඇති විට එවැනි දෙයක් සිදුවෙන්න පුළුවන්,” ඔහු වැඩිදුරටත් කියා සිටියේය.

    පවතින සාක්ෂි මූලික අවදියේ පවතින බව ලෝක සෞඛ්‍ය සංවිධාන නිලධාරීන්ගේ අවධානයට ලක්කර ඇති අතර ඒ පිළිබඳ තවදුරටත් තක්සේරු කිරීම අවශ්‍ය වී තිබේ.

    වාතය මගින් කොරෝනාවයිරසය සම්ප්‍රේෂණයවීම සම්බන්ධයෙන් මතුවන සාක්ෂිවලින් කියවෙන “තදබදයෙන් යුතු, වැසුණු, හොඳ වාතාශ්‍රයක් නැති තැන් පිළිබඳ පෙන්වාදී ඇති ආකාරය බැහැර කරන්නට බැහැ.” යැයි ලෝක සෞඛ්‍ය සංවිධානයේ ආසාදන වැළක්වීම හා පාලනය සඳා වූ තාක්ෂණික ප්‍රධානී බෙනඩෙටා අලෙග්‍රන්සි සඳහන් කළාය.

  • පර්ලිමේන්තුවට තෝරාපත් කළ යුත්තේ උගතුන් නොව ‘ජනතාවගේ දුක හඳුනන’ නායකයින් – සංඝරක්ඛිත නායක හිමි

    පර්ලිමේන්තුවට තෝරාපත් කළ යුත්තේ උගතුන් නොව ‘ජනතාවගේ දුක හඳුනන’ නායකයින් – සංඝරක්ඛිත නායක හිමි

    පාර්ලිමේන්තුවට කෙනෙකු තෝරා ගැනීමේදී උගත්කමත් දක්ෂකමත් ප්‍රමාණවත් නොවන බවත් මහජන සම්බන්ධතාවයක් ඇති ජනතාවගේ දුක හදුනන අයෙකු ඒ සඳහා තෝරා ගත යුතු බවත් කැළණිය රජමහා විහාරාධිපති අති පූජ්‍ය කොල්ලුපිටියේ සංඝරක්ඛිත නායක හිමියෝ අවධාරණය කරති.

    ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ දිස්ත්‍රික් නායක ප්‍රසන්න රණතුංග මහතා ඇතුලු අපේක්ෂකයන්ට ආශිර්වාද කිරීම සඳහා අද ( 08 ) පැවැති විශේෂ ආගමික වැඩසටහනකදී උන්වහන්සේ මේ බව අවධාරණය කලහ. කැළණිය රජමහා විහාරස්ථානයේදී මෙම ආශිවාර්ද පූජාව පැවැත්විණ.

    මෙහිදී වැඩිදුරටත් සිය අනුශාසනාව කල සංඝරක්ඛිත නායක හිමිපාණන් වහන්සේ මෙසේද කීහ.

    ” ප්‍රසන්න රණතුංග ඇමතිතුමා වගේම මෙවර පොදුජන පෙරමුණෙන් ඉදිරිපත් වන අපේක්ෂකයන් බොහෝදෙනෙක් කැළණිය පුදබිමට නිරන්තරයෙන් පැමිණ ආශිර්වාද ලබාගන්න අයයි. දේශපාලනික අරමුණු වලින් තොරව අධ්‍යාත්මික ජීවිතයේ දියුණුව උදෙසා පුද පූජා පවත්වන අය බෞද්ධයෝ හැටියට කැළණිය පුදබිමෙන් ලැබෙන ආශිර්වාදය පිළිබඳව අපට දැඩි විශ්වාසයක් තිබෙනවා. අද මේ පිංකම කරන්නෙත් ඒ අරමුණු පෙරදැරිවයි.

    ගම්පහ දිස්ත්‍රික්කය මේ ලංකාවේ දිස්ත්‍රික්ක අතර තිරණාත්මක දිස්ත්‍රික්කයක්. මේ දිස්ත්‍රික්කය නියෝජනය කරන පිරිස එක්සිත්ව සමගියෙන් සාමදානයෙන් රටට වැඩදායි මෙහෙවරක් කරන බව අපිට විශ්වාසයි. ගම්පහ ඔබට ලංකාවේ අනෙකුත් දිස්ත්‍රික්ක වලට ඕන කරන මගපෙන්වීම කලහැකි බව අප දන්නවා. කවදාවත් මේ දිස්ත්‍රික්කයේ දියුණුව සඳහා ප්‍රසන්න රණතුංග ඇමතිතුමා කල මෙහෙවර මා කෘතවේදීව සිහිපත් කරනවා. දිස්ත්‍රික්කයේ අද දියුණුවක් සිදුවුනානම් ඒ සිදුවුනේ ඔබතුමාන්ලාගේ කැපවීම නිසයි.

    උගත්කමත් දක්ෂකමත් විතරක් කෙනෙකු තෝරාගැනීමේදී ප්‍රමාණවත් වන්නේ නෑ. උගතුන් ඉන්නවා. දක්ෂ අය ඉන්නවා. නමුත් මහජන සම්බන්ධතාවය නැතිනම් ඒ අය ජනතාව නියෝජනය කරන්න සුදුසු අය ලෙස මා දකින්නේ නෑ. ජනතාවගේ දුක තේරෙන කෙනෙක් තමයි මන්ත්‍රණ සභාවට යන්න ඕනෑ. දුක තේරෙන කෙනෙකුට පමණයි ඒ දුකින් ඒ අය ගලවා ගත හැක්කේ. ඒ වගේ කෙනෙකුට පමණයි ඒ ඕනෑකම තියෙන්නේ.

    අපි බොහොම භාග්‍යවතන්තයි ප්‍රසන්න රණතුංග වැනි අය අපේ දිස්ත්‍රික්කයේ ඉදිරිපත් විම නිසා. ඔබට ප්‍රදේශයට ජනතාවට යමක් කරන්න ඕනෑකම තියෙන අපේකම රැකගන්න හැකියාව තිබෙනවා. අලුත් රටක් නිර්මාණය කරන්න අලුත් ගමනක් යන්නට ඒ වගේම ලෝකයේ අනිකුත් ජාතීන් අතර ගරුත්වය ආරක්ෂා කරන ජාතියක් ගොඩනැගීමේ උසස් මෙහෙවරක නියලී සිටින ජනාධිපතිතුමා ඇතුලු ඔබ සැමදෙනාගේ කැපවීම නවදේශයක ආරම්භයක් බව අපගේ විශ්වාසයයි. ජනාධිපතිතුමාගේ නායකත්වය යටතේ මේ රට නව මාර්ගයකට ගෙන යාමට සියලුදෙනාට හැකිවේවා යැයි ප්‍රාර්ථනා කරනවා. “

  • කොවිඩ් වසංගතය ගැන ‘ලෝක සෞඛ්‍ය සංවිධානයෙන්’ විශේෂ හෙළිදරව්වක්

    කොවිඩ් වසංගතය ගැන ‘ලෝක සෞඛ්‍ය සංවිධානයෙන්’ විශේෂ හෙළිදරව්වක්

    ගෝලීය වශයෙන් කොවිඞ්-19 ආසාදිතයින් වැඩි වශයෙන් හඳුනා ගැනීමට හැකියාව ලැබෙන්නේ පී.සී.ආර් පරීක්ෂණ වැඩිකළ නිසා පමණක් නොව වසංගතය තීව‍්‍රර වීම නිසා බව ලෝක සෞඛ්‍ය සංවිධාන හදිසි අවස්ථා වැඩසටහන් ප‍්‍රධානී මයිකල් රයන් මහතා ඊයේ (7) ජිනීවා නුවර පැවැති සාකච්ඡුාවකදී අවධාරණය කළා.

    මයිකල් රයන් වැඩි දුරටත් සඳහන් කළේ අපේ‍්‍රල් – මැයි මාසවලදී දෛනිකව ආසාදිතයින් 100,000ක් සමග කටයුතු කිරීමට සිදු වුවත් වර්තමානය වන විට එය දෙගුණයක් වී දෛනිකව ආසාදිතයින් 200,000ක් සමග කටයුතු කිරීමට තමන්ට සිදුව ඇති බවයි.

    ‘මෙය කිසිසේත්ම පී.සී.ආර්. පරීක්ෂණ වැඩි කිරීමේ ප‍්‍රතිඵලයක් පමණක් නොවෙයි. වසංගතය වේගවත් වෙමින් තිබෙනවා. ගෝලීය වශයෙන් ආසාදිතයින් සංඛ්‍යාව වේගයෙන් ඉහළ යනවා‘ රයන් සඳහන් කළා.

    මෙහිදී මයිකල් රයන් තවත් වැදගත් කරුණක් ගැන ද හෙළි කළා. ඒ ගෝලීය වශයෙන් ආසාදිතයින් සංඛ්‍යාව වේගයෙන් ඉහළ ගියත් මරණ අනුපාතය ස්ථාවරව පැවතීමයි.

    ‘මෙය පැහැදිලිවම ඉදිරිපෙළ කටයුතු කරන වෛද්‍යවරුන් සහ හෙදියන් රෝගීන්ව කලින්ම හඳුනා ගෙන ඔවුන්ගේ ජීවිත ආරක්ෂා කිරීමට ගන්නා පියවරවල ප‍්‍රතිඵලයක්‘ ලෝක සෞඛ්‍ය සංවිධාන හදිසි අවස්ථා වැඩසටහන් ප‍්‍රධානීයා වැඩි දුරටත් සඳහන් කළා.

    දකුණු ආසියාවේ අවධානම වේගයෙන් ඉහළට

    කොවිඞ්-19 වසංගතය හමුවේ දකුණු ආසියානු කලාපයේ අවධානම වේගයෙන් තීව‍්‍රර වෙමින් පවතින බවට ලෝක සෞඛ්‍ය සංවිධානය අනතුරු අඟවනවා. එම වාර්තාවල දැක්වෙන්නේ ශ‍්‍රී ලංකාව, භූතානය සහ මාලදිවයින හැරුණු විට ඉන්දියාව, පාකිස්ථානය, බංග්ලාදේශය, ඇෆ්ගනිස්ථානය සහ නේපාලයේ තත්ත්වය වේගයෙන් අර්බුදය කරා ගමන් කරමින් තිබෙන බවයි.

    ජෝන්ස් හෝප්කින්ස් විශ්වවිද්‍යාලයේ නවතම වාර්තා අනුව ඉන්දියාවෙන් වාර්තා වන කොවිඞ් ආසාදිතයින් සංඛ්‍යාව මේ වන විට 719,664ක් දක්වා ඉහළ ගොස් ඇති අතර මරණ සංඛ්‍යාව 20,000 ඉක්මවා ගොස් තිබෙනවා.

    පාකිස්ථානයේ ආසාදිතයින් සංඛ්‍යාව 234,509ක් වන අතර මරණ සංඛ්‍යාව 4839ක් ලෙසයි වාර්තා වන්නේ. බංග්ලාදේශයෙන් ආසාදිතයින් 168,645ක් වාර්තා වන අතර මරණ සංඛ්‍යාව 2151ක් දක්වා ඉහළ ගොස් තිබෙනවා.

    ඇෆ්ගනිස්ථානයෙන් ආසාදිතයින් 33,384ක් සහ මරණ 920ක් ද, නේපාලයෙන් ආසාදිතයින් 16,168ක් සහ මරණ 35ක් ද වාර්තා වී තිබෙනවා.

  • Covid-19 World Update: බ්‍රසීල ජනාධිපති බොල්සොනාරෝටත් කොරෝනා

    Covid-19 World Update: බ්‍රසීල ජනාධිපති බොල්සොනාරෝටත් කොරෝනා

    උණ වැළඳීමෙන් පසු කෝවිඩ් 19 පරීක්ෂණය සිදු කළ බ්‍රසීල ජනාධිපති ජෙයාර් බොල්සොනාරෝට රෝගය වැළඳී ඇති බව තහවුරු වී තිබේ.

    ඔහු කොරෝනාවෛරස පරීක්ෂණයේ ප්‍රතිඵල අපේක්ෂාවෙන් සිටි අතරවාරයේ, සියලු නිල කටයුතු අවලංගු කර තිබුණි.

    බොල්සොනාරෝ මින් පෙර දිගින් දිගටම කොරෝනාවෛරසය සුළු කොට තකමින් එය “සාමන්‍යය උණක්” ලෙස ප්‍රකාශ නිකුත් කළේය.

    මේ වන විට, ලෝකයේ වැඩිම කොරෝනාවෛරස රෝගීන් හා මරණ සංඛ්‍යාවෙන් දෙවන ස්ථානයේ සිටින්නේ බ්‍රසීලයයි.

    මේ අතර මේ වන විට ලෝකය පුරා කොරෝනාවෛරස රෝගීන් එක්කෝටි දාහත් ලක්ෂයක් වාර්තා වන අතර, මරණ පන් ලක්ෂ හතළිස් එක් දහස පසු කර ඇත.

    ඇමරිකා එක්සත් ජනපදය

    දිනෙන් දින ඉහළ යන කෝවිඩ් -19 රෝගීන් ගණන හේතුවෙන් ඇමරිකාවේ ප්‍රාන්ත ගණනාවක් නැවත විවෘත කිරීමේ සැලසුම් අත්හිටුවා තිබේ.

    Coronavirus

    නැවත විවෘත කිරීම ප්‍රමාද කර සාමාන්‍ය ජනජීවිතයට සීමාවන් පැනවූ නවතම ප්‍රාන්තය ෆ්ලොරිඩාව වන අතර, එහි අවන්හල් ඇතුළත ආහාර ගැනීම සහ සියලු ව්‍යායාම් මධ්‍යස්ථාන ඇතුළු බොහෝ ආයතන වසා දැමීමට පියවර ගෙන ඇත.

    කැලිෆෝනියා, ටෙක්සාස් සහ ෆ්ලොරිඩා ප්‍රාන්තවලින් විශාල රෝගීන් සංඛ්‍යාවක් වාර්තා වෙමින් තිබෙන අතර, පසුගිය සති දෙක තුළ කොරෝනාවෛරසය හේතුවෙන් රෝහල්ගත කළ අයගේ සංඛ්‍යාව 50% කින් වැඩි විය. සමහර ප්‍රදේශවල රෝහල් ඇඳන් පිරී ගොස් ඇති බව ද නිලධාරීහු පවසති.

    “මෙය අප වහාම පියවර ගත යුතු බරපතල තත්වයක්,” යැයි ඇමරිකාවේ ප්‍රධාන බෝවන රෝග විශේෂඥ වෛද්‍ය ඇන්තනි ෆවුසි ඊයේ (ජුනි 6) පැවසීය.

    මේ අතර, පාසල් සහ විශ්වවිද්‍යාල නැවත විවෘත කිරීමේ සැලසුම් වෙනස් කර තිබේ. හාවඩ් විශ්වවිද්‍යාලය පැවසුවේ සරත් සමයේ සියලුම පාඨමාලා අන්තර්ජාලය හරහා සිදුකෙරෙනු ඇති අතර අනෙකුත් ආයතනද එය අනුගමනය කර ඇති බවය.

    එක්සත් ජනපදයේ අධ්‍යාපනය ලැබීමට අදහස් කරන විදේශීය සිසුන්ගේ විශ්වවිද්‍යාල පාඨමාලාව සම්පූර්ණයෙන්ම අන්තර්ජාල හරහා සිදු වන්නේ නම් විදේශීය සිසුන්ට රට තුළ රැඳී සිටීමට ඉඩ නොදෙන බව බලධාරීහු ප්‍රකාශ කළහ.

    Coronavirus

    වසංගතය හේතුවෙන් ලොව පුරා විශ්වවිද්‍යාල සිය පාඨමාලා අන්තර්ජාලය හරහා සිදු කරන අතර, මෙම වසර අගදී විදේශයන්හි අධ්‍යාපනය ලැබීමට බලාපොරොත්තුවෙන් සිටින සිසුන්ට මෙය දැඩි ලෙස බලපානු ඇත.

    මේ වන විට එක්සත් ජනපදයේ ලක්ෂ තිහකට ආසන්න පිරිසකට කොරෝනාවෛරසය වැළඳී ඇති අතර 132,000 කට වැඩි දෙනෙක් මිය ගොස් තිබේ.

    එක්සත් රාජධානිය

    කොරෝනාවෛරසය ආසාදනය වූ බවට පරීක්ෂණ මගින් තහවුරු වූ හතරෙන් තුනක පිරිසකට (78% කට) කිසිදු රෝග ලක්ෂණයක් වාර්තා වී නොමැති බව එක්සත් රාජධානියේ ජාතික සංඛ්‍යාලේඛන කාර්යාලය අද (ජුනි 7) නිකුත් කරන ලද දත්ත වාර්තාවේ සඳහන් වේ.

    අහඹු ලෙස තෝරා ගත් පිරිසක් පරීක්ෂාවට ලක් කිරීමෙන් පසු මෙම කරුණු හෙළි වී තිබේ.

    කෙසේනමුත්, රෝග ලක්ෂණ නොපෙනීම නිසා වෛරසය ආසාදනය වී ඇති බව අදාළ පුද්ගලයන් නොදන්නා අතර ඔවුන්ගෙන් අන් අයට රෝගය බෝ වීමේ අවදානමක් ඇත.

    සමහර කොරෝනාවෛරස රෝගීන්ට සති කීපයක් හෝ මාස ගණනක් ගත වුව ද අධික තෙහෙට්ටුව, ඔක්කාරය, පපුවේ තද ගතිය, දරුණු හිසරදය, අමතකවීම් සහ අත් පා වේදනාව වැනි රෝග ලක්ෂණ පෙන්නුම් කරන බව එක්සත් රාජධානියේ සෞඛ්‍ය සේවා පවසයි.

    Coronavirus

    එවැනි රෝගීන් “දිගු දුර ගමන් කරන්නන්” ලෙස හඳුන්වන අතර, ඔවුන්ගේ රෝග ලක්ෂණ දින 14කට පසුවත් දීර්ඝ කාලයක් ගතවන තුරු පවතී.

    ඉන්දියාව

    ඉන්දියාවේ දිල්ලි අගනුවර ආසාදිතයන් සංඛ්‍යාව දිනෙන් දින ඉහළ යමින් පවතී. එරට සෞඛ්‍ය අමාත්‍යාංශ දත්තවලට අනුව සඳුදා (ජුනි 6) නව රෝගීන් දහසකට වැඩි සංඛ්‍යාවක් වාර්තා වී ඇති අතර, නගරයේ මුළු රෝගීන් සංඛ්‍යාව ලක්ෂය ඉක්මවා ඇත.

    නමුත්, ආසාදිතයින්ගෙන් හතරෙන් තුනක් පමණ සුවය ලබා ඇති බව ද වාර්තා වේ.

    සඳුදා (ජුනි 6) දින ඉන්දියාවේ රෝගීන් ගණන රුසියාව අභිබවා ගිය අතර ආසාදිතයන් ලක්ෂ හතකට වඩා වැඩි සංඛ්‍යාවක් වාර්තා වූ තුන්වන රට බවට පත්විය. එරටින් මරණ විසිදහසකට වඩා වාර්තා වේ.

    ජර්මනිය

    මස් ඇසුරුම් ස්ථානයක සේවකයන් අතර කොරෝනාවෛරසය පැතිරී යාමත් සමග එය වසා දමමින් අදාළ ප්‍රදේශයට සීමා පැනවීමට ජර්මානු අධිකරණය ලබා දුන් නියෝගයේ කාල සීමාව අවසන් වී තිබේ.

    සීමාවන් නැවත වරක් එය දීර්ඝ කිරීමට විකල්පයක් තිබුණද, අධිකරණ නියෝගය අනුව එය බදාදා දිනෙන් අවසන් විය යුතුව ඇත.

    කෙසේනමුත්, සීමා පැනවීම් දීර්ඝ කිරීම සම්බන්ධයෙන් ඊයේ (ජුනි 6) දින නැවත ජර්මානු රජයේ ඉහළ පෙළේ අධිකරණයක් නැවත සිය තීන්දුව ප්‍රකාශයට පත් කරමින් කියා සිටියේ වෛරසය පැතිරීයාම ආරම්භයේ දී අදාළ ප්‍රදේශය වසා දැමීම “අසාධාරණ නොවන” නමුත් තත්වය පාලනය වී ඇත්තේ නම් නැවත එය මුළු ප්‍රදේශයටම බලපාන පරිදි දීර්ඝ කිරීම සිදු නොකළ යුතු බවය.

    දකුණු අප්‍රිකාව

    දකුණු අප්‍රිකාවේ කොරෝනාවෛරස ආසාදිතයන් ගණන 200,000 පසු කර තිබේ.

    සෞඛ්‍ය අමාත්‍ය ස්වේලි මඛයිස් කියා සිටින්නේ එරට පළාත් හතරක රෝගීන් සංඛ්‍යාව තවදුරටත් ඉහළ යාමේ අවදානමක් පවතින බවය.

    Coronavirus

    එරටින් දිනකට නව රෝගීන් දහස් ගණනක් වාර්තා වෙමින් පවතී.

    සෞඛ්‍ය අමාත්‍යාංශය පවසන්නේ රට වසා දමා නොතිබුණේ නම් මීට වඩා විශාල ලෙස වෛරසය පැතිරී යාමක් සිදුවිය හැකි බවය.

    කෙසේවෙතත්, දකුණු අප්‍රිකාව පැනවූ සීමාවන් අදියරෙන් අදියර ලිහිල් කරමින් සිටින අතර, මෙම සතියේ සමහර ශ්‍රේණිවල සිසුන් සඳහා පාසල් නැවත විවෘත කිරීමට ද නියමිතය.

    බෙල්ජියම

    තවමත් දැඩි සීමා පැනවීම් ක්‍රියාත්මක වන රටවල සිට ආපසු පැමිණෙන සංචාරකයන්ට දින 14 ක් නිරෝධායනය වන ලෙස බෙල්ජියම දන්වා තිබේ.

    යුරෝපා සංගමය නිවේදනය කළ “ආරක්ෂිත ලැයිස්තුවට” ඇතුළු වන යුරෝපීය නොවන රටවල් 15 සඳහා බෙල්ජියම තවමත් දේශසීමා විවෘත කිරීමට සූදානම් නොවන බව එරට රජය සඳුදා (ජුනි 6) තීරණය කළේය.

    ඔස්ට්‍රේලියාව

    කොරෝනාවෛරස රෝගීන් සීඝ්‍රයෙන් වැඩිවීමත් සමග ඔස්ට්‍රේලියාවේ මෙල්බර්න්හි පදිංචිකරුවන් මිලියන පහකට සති හයක් නිවසේ රැඳී සිටින ලෙස එරට රජය දැනුම් දී තිබේ.

    වික්ටෝරියා ප්‍රාන්තයෙන් නව ආසාදිතයන් 191ක් වාර්තා වීමත් සමග මෙම තීරණයට එළැඹ ඇත.

    අසල්වැසි නිව් සවුත් වේල්ස් සහ දකුණු ඔස්ට්‍රේලියා දේශසීමා ද එරට වේලාවෙන් මධ්‍යම රාත්‍රියේදී වසා දැමුණි.

    ඔස්ට්‍රේලියාවෙන් මේ වන විට කොරෝනාවෛරස රෝගීන් 9,000 කට ආසන්න සංඛ්‍යාවක් වාර්තා වී ඇති අතර මරණ 106 ක් වාර්තා වී තිබේ.

    බී.බී.සී සන්දේශය වාර්තාවක් ඇසුරිණි

  • ශ්‍රී ලංකාවේ වාර්තාගත ‘පළමු සජීවී නිවුන් අලි පැටවුන්’ මෙන්න !

    ශ්‍රී ලංකාවේ වාර්තාගත ‘පළමු සජීවී නිවුන් අලි පැටවුන්’ මෙන්න !

    ශ්‍රී ලංකාවේ වාර්තාගත පළමු සජීවී නිවුන් අලි පැටවුන් දෙදෙනා මින්නේරිය ජාතික වනෝද්‍යානයේදී මේ දිනවල දක්නට ලැබෙන බව වනජීවී සංරක්ෂණ දෙපාර්තමේන්තුව පවසයි. එම පැටවුන්ගේ වයස සති 3-4ත් අතර වන බවට අනුමාන කෙරේ.

    වනජීවී නිලධාරීන් සහ පර්යේෂකයෙකු වන ආචාර්ය සුමිත් පිලපිටිය මෙම නිවුන් අලි පැටවුන් ගැන වාර්තා කර ඇත.

    එකම කෙනරකගෙන් කිරි උරා බොන, එම කෙනර ඇසුරේම සිටින මෙම පැටවුන් දෙදෙනාගේ නිවුන් බව මූලික පරීක්ෂණවලදී නිරීක්ෂණය කර ඇති අතර ඒ සම්බන්ධයෙන් ඉදිරියේදී ජාන පරීක්ෂණයක්ද සිදු කිරීමට නියමිතය.

    2018 වසරේදී මාදුරුඔය අශ්‍රිතව නිවුන් අලි පැටවුන් දෙදෙනෙකු හමු වුවද එම සතුන් උපතේදී මියගොස් තිබිණි.

  • සියවසක් ඉදිරියෙන් සිටින නූතන යුගයේ මිනිසා..

    සියවසක් ඉදිරියෙන් සිටින නූතන යුගයේ මිනිසා..

    කොවිඩ්-19 වසංගය විසින් ලෝකය වෙනස් කර ඇතිවා පමණක් නොව අලුතින් සිතීමට ද පොළඹවා තිබේ. තව දුරටත් පරණ මාර්ගයේ ගමන් කළ නොහැකි බව ‘පශ්චාත් කොරෝනා සමය“ අපට කියා දෙන පාඩමයි.

    පශ්චාත් කොරෝනා සමය හුදු සාම්ප්‍රදායික දැනුමින් යල්පැනගිය චින්තයෙන් ජය ගත නොහැකිය. ඒ සදහා ‘අනාගතය දකින‘ තුන්කල් දැක්මක් තිබිය යුතුය. කළමනාකරණය, පරිපාලනය මෙන්ම අනාගතය දැක්මක් සහිත තීන්දු ගැනීමට හැකියාව තිබිය යුතුය.

    සරල අර්ථයෙන් දැක්වුවහොත් පශ්චාත් කොරෝනා යුගය යන ‘නූතන මිනිසුන් විසින් පමණක් නායකත්වය දිය යුතු යුගයකි.

    දේශපාලනයේ පමණක් නොව කළමනාකරණ ක්ෂේත්‍රයේ ද තිලංග සුමතිපාල යනු ‘සන්නම් නායමකි‘ – ‘සියවසක් ඉදිරියෙන් සිටින නූතන දැක්මක් සහිත කළමනාකරුවෙකි. පරිපාලකයෙකි.

    ඒ තිලංග තරම් නවෝත්පදනය, අනාගතය දැකීම සහ මනා කළමනාකරණය යන විෂයන්හි දක්ෂතා දැක්වූ දේශපාලනඥයෙකු මෑත කාලීන දේශපාලන හා ව්‍යාපාරික ලෝකයේ නොමැත.

    ලංකාවේ යල්පැන ගිය, පාඨකයින් ඉවත් වෙමින් සිටි, රූපවාහිනිය විසින් අභියෝග කරමින් සිටි පුවත්පත් කලාවට තිලංග නව මානයක් හදුන්වා දුන්නේය. ඒ සුමති පුවත්පත් සමාගම යටතේ ‘ඉරිදා ලක්බිම‘ පුවත්පත බිහිකිරීම සමගිනි.

    පවුලේ පවුත්පතක් ලෙස ලක්බිම ඉරිදා සංග්‍රහය විසින් ප්‍රථම වරට හදුන්වා දුන් ‘රිද්ම‘ අතිරේකය තවත් මොහොතකින් සියලු පුවත්පත් විසින් කොපි කළ අතර කඩා වැටෙමින් පැවැති පුවත්පත් කර්මාන්තයට ජීවිය දුන්නේ එදා තිලංග විසින් නව ආරක් සහිතව නිර්මාණය කළ ඉරිදා ලක්බිම පුවත්පත් ආකෘතියයි.

    ශ්‍රී ලංකාවේ සන්නිවේදනයේ ප්‍රමුඛ ආයතනය වූ ටෙලිකොම් ආයතනය තිලංගගේ නායකත්වය යටතේ ලංකාවේ ප්‍රමුඛම සන්නිවේදන ආයතනය බවට පත් වුණා පමණක් නොව ජපානයට අලෙවි කිරීමට ගිය මොබිටෙල් ආයතනය‘ ටෙලිකොම් සමාගම යටතේම කළමනාකරණයට ලක් කිරීමට එදා ටෙලිකොම් සභාපතිවරයා ලෙස තිලංග ගත් ඒ ඓතිහාසික තීන්දුව අද ටෙලිකොම් – මොබිටෙල් ජාතික සම්පත් බවට පත්ව තිබීමෙන් පැහැදිලි වේ.

    එදා තිලංග ටෙලිකොමි – මොබිටෙල් ආයතන තුළ නූතන කළමනාකරණ ක්‍රමවේදයන් අනුගමනය කරමින් දැවැන්ත කළමනාකරණ හා තාක්ෂණ විප්ලවයක් නොකළා නම් අද ලංකාවේ සන්න්වේදන පද්ධතියටම විදේශිකයින් අතට පත්ව අවසන්ය.

    ක්‍රිකට් ක්‍රීඩාව හා ක්‍රීඩා පරිපාලනය තිලංගගේ ජානගත දෙයකි. නාලන්දයෙන් බිහි වූ ක්‍රිකට් තරුවක් වන තිලංග ක්‍රීඩකයෙක් වශයෙන් මෙන්ම ක්‍රිකට් පරිපාලකයෙක් වශයෙන් ද අසාමාන්‍ය හා අනාගතවාදී කුසලතා දැක්වීමට සමත් විය. විශේෂයෙන් දඹුල්ල ක්‍රිකට් ක්‍රීඩාංගණය තිලංගගේ කාර්යක්ෂම කළමනාකරණය, වේගය සහ තුන්කල් දැක්ම මනාව ප්‍රකට කරන තැනකි.

    ශ්‍රී ලාංකීය ටෙලි කලාවට ශක්තියක්, අභිමානයක් එක් කළ ‘සුමති ටෙලි සම්මාන උළෙල‘ තිලංගගේ තුන් කල් දැක්ම පමණක් නොව කළමනාකරණ හැකියාව, සංවිධාන ශක්තිය මනාව පැහැදිලි කරන කැඩපතකි.

    පශ්චාත් කොරෝනා අභියෝග

    කොරෝනා වසංගතය විසින් නිර්මාණය කර ඇති ආර්ථික, දේශපාලන, සමාජයීය හා ජාත්‍යන්තර අභියෝග ජයග්‍රහණය කළ හැකි වන්නේ අනාගතවාදී දැක්මක් සහිත, ප්‍රායෝගික නූතනවාදී මිනිසෙකුට පමණකි.

    පශ්චාත් කොරෝනා යුගයේ ජනමාධ්‍ය, අලෙවිකරණය, මහජන සම්බන්ධතාව පමණක් නොව, අධ්‍යාපනය, සෞඛ්‍ය, කෘෂිකර්මය ආදි සියලු ක්ෂේත්‍ර ‘ඩිජිටල්කරණය‘ වී ඇති අතර දේශපාලනය පවා ඩිජිටල්කරණය වී ඇත.

    ඩිජිටල්කරණය විසින් මෙහෙයවනු ලබන, ප්‍රමුඛත්වය ගනු ලබන ලෝකයකට නායකත්වය ලබාදීමට තිලංග තරම් ප්‍රාමාණිකයෙක් ලංකාවේ දේශපාලන කරළිය තුළ ඇතැයි සිතිය නොහැකිය. ලක්බිම, ටෙලිකොම්- මොබිටෙල්, ක්‍රිකට් පාලක මණ්ඩල සභාපති ධුරය දරමින් ඉටුකළ අතිවිශිෂ්ඨ අනාගතවාදී දැක්ම හා කළමනාකරණ හැකියාව, නූතනකරණය විසින් තිලංග තම දැක්ම හා හැකියාව මනාව පැහැදිලි කර ඇත.

    එනිසා මෙම මහ මැතිවරණයට ඉදිරිපත්ව සිටින තිලංග සම්බන්ධයෙන් ‘තීන්දුවක්‘ ගැනීම පුරවැසියන්ට ඉතාම පහසුය. ඒ තිලංග නම් නූතනවාදී මිනිසා විසින් මීට බොහෝ කලකට පෙර වත්මන් අභියෝගවලට සාර්ථකව මුහුණ දිය හැකි ආකාරය මනාව ප්‍රකට කර ඇති නිසාය.

    අතීතයට සහ වර්තමානයට ජයග්‍රහණ රාශියක් උරුමකරදුන් තිලංග ලෝකයක් දණ ගැස්සව වූ වසංගතයක් ඉදිරියේ පශ්චාත් කොරෝනා අභියෝගයෙන් ශ්‍රී ලංකාව යළි ඔසවා තබන්නට අනාගතය වෙනුවෙන් ඔහු දකින, ඔහු ඉදිරිපත් කරන “මාස්ක් වාදය” හැකි වෙත්දැයි අපි බලා සිටිමු.


  • A/L වෘත්තීය විෂය ධාරාව හැදෑරීමට නියමිත සිසු සිසුවියන්ට විශේෂ දැනුම්දීමක්

    A/L වෘත්තීය විෂය ධාරාව හැදෑරීමට නියමිත සිසු සිසුවියන්ට විශේෂ දැනුම්දීමක්

    උසස් පෙළ වෘත්තීය විෂය ධාරාව හැදෑරීමට 12 ශ්‍රේණියට සිසුන් ඇතුළත් කරගැනීම සඳහා අයදුම්පත් භාරගැනීමේ අවසන් දිනය 2020 ජූලි මස 20 තෙක් දීර්ඝ කර ඇති බව අධ්‍යාපන අමාත්‍යාංශය පවසයි. 

    මේ සඳහා අදාළ අයදුම්පත් සහ වෘත්තීය විෂයධාරාව ක්‍රියාත්මක වන පාසල් ලේඛනය  www.moe.gov.lk වෙත පිවිසීමෙන් ලබාගත හැකිය. 

    වැඩිදුර තොරතුරු සඳහා අධ්‍යාපන අමාත්‍යාංශයේ “සැමට අධ්‍යාපන ශාඛාවේ“ දුරකථන අංක 0112 787136 මඟින් විමසීම් කළ හැකිය. 

    අධ්‍යයන පොදු සහතික පත්‍ර සාමාන්‍ය පෙළ විභාගයට පෙනී සිටි ඕනෑම සිසු දරුවෙකුට මේ සඳහා අයදුම් කිරීමට අවස්ථාව සලසා දී ඇති අතර, වෘත්තීය විෂය ධාරාව යටතේ හඳුන්වා දී ඇති වෘත්තීය විෂයයන් 26ක් අතුරින්, තමා වඩාත් ප්‍රියකරන වෘත්තීය විෂය ක්ෂේත්‍රයක් තෝරාගැනීමට ද සිසු දරුවන්ට මේ යටතේ හැකියාව ලැබේ. 

    දිවයින පුරා සෑම අධ්‍යාපන කළාපයක් ම නියෝජනය වන අයුරින් පාසල් 311ක මේ වනවිටත් උසස් පෙළ වෘත්තීය විෂය ධාරාව ක්‍රියාත්මක වන අතර මේ වසරේ සිට සෑම අධ්‍යාපන කොට්ඨාසයක් ම නියෝජනය වන අයුරින් තවත් පාසල් 112ක වෘත්තීය විෂය ධාරාව ආරම්භ කිරීමට කටයුතු යොදා ඇත.  

    මෙම වෘත්තීය විෂයධාරාව හදාරන සිසුන් වෙත තමන් තෝරාගන්නා වෘත්තීය විෂය ක්ෂේත්‍රය සම්බන්ධව පාසල තුළ න්‍යායික පුහුණුවක් ද වෘත්තීය ආයතනයක් හා සම්බන්ධ වෙමින් රැකියාගත පුහුණුවක් ද අධ්‍යයන කාලසීමාව තුළ ලබා දෙනු ලැබේ.  

    ජාතික වෘත්තීය පුහුණු නිපුනතා 4 වැනි මට්ටම (NVQ Level 4) සහතිකය ද, උසස් පෙළ සමත් බවට ශ්‍රී ලංකා විභාග දෙපාර්තමේන්තුවෙන් ලබාදෙන ප්‍රවීණතා සහතිකය ද වෘත්තීය විෂය ධාරාවෙන් උසස් පෙළ හදාරන සෑම සිසුවෙකුට ම හිමිවේ.  

    එමෙන් ම වෘත්තීය පුහුණුවට යොමුවන කාලසීමාව තුළ සිසුන්ගේ දෛනික පැමිණිම අනුව දිනකට රුපියල් 500ක් බැගින් වන දීමනාවක් ද හිමිවේ.

  • රාජ්‍ය ආයතන තුළ ‘මැතිවරණ ප්‍රචාරණයේ’ යෙදුණොත් වැඩ වරදී

    රාජ්‍ය ආයතන තුළ ‘මැතිවරණ ප්‍රචාරණයේ’ යෙදුණොත් වැඩ වරදී

    රජයේ ආයතන හෝ කාර්යාල තුළ ඡන්ද ආයාචනා කිරීම හෝ අත් පත්‍රිකා බෙදීම ඇතුළු කටයුතු සම්පූර්ණයෙන් තහනම් කරමින් මැතිවරණ කොමිෂන් සභාව විසින් විශේෂ නිවේදනයක් නිකුත් කර තිබෙනවා. එය සම්පූර්ණයෙන්ම පහත පළ වෙනවා.

  • ජවිපෙන් තැපැල් ඡන්දදායකයින්ට විශේෂ පණිවුඩයක් !

    ජවිපෙන් තැපැල් ඡන්දදායකයින්ට විශේෂ පණිවුඩයක් !

    ජාතික ජන බලවේගය විසින් කැදවූ විශේෂ මාධ්‍ය හමුවක් අද (7) ජනතා විමුක්ති පෙරමුණේ ප්‍රධාන කාර්යාලයේදී පැවැත් වුණා. එහිදී රාජ්‍ය සේවක වැටුප් ගැන සහ ජීවන වියදම ඉහළ යාම ගැන සාකච්ඡාවට ලක් වුණා. මෙම මාධ්‍ය හමුවේ සම්පූර්ණම කතාව පහත පළ වෙනවා.

    ජාතික ජන බලවේගයේ අපේක්‍ෂකයින් වැඩි පිරිසක් පාර්ලිමේන්තුවට යවන්න

    ලාල් කාන්ත – ජාතික වෘත්තීය සමිති මධ්‍යස්ථානයේ සභාපති

    අගෝස්තු 05වැනිදා ඡන්දය තිබ්බට ඊට කලින් ඡන්දය දෙන ජනතාවක් මේ රටේ ඉන්නවා. ඒ තමයි රාජ්‍ය සේවකයෝ. ඒ තැපැල් ඡන්දය දෙන රාජ්‍ය අංශයේ සේවකයන්ට පණිවුඩයක් දෙන්න එක්ක තමයි ජාතික ජන බලවේගය හැටියට අද අපි මේ මාධ්‍ය සාකච්ඡාව තියන්නේ. 

    අවසාන වරට රාජ්‍ය සේවකයන්ට වැටුප් වැඩිවීමක් සිද්ධ වුණේ 2016 ජනවාරිවල. අපි ඊට කලින් සිට රු. 10,000ක වැටුප් වැඩිවීමක් ඉල්ලලා අරගලයක් කළා. එතැනදී අපේ සටන් පාඨ වුණේ, ජීවන වියදමට සරිලන වැටුප් වැඩිවීමක්, දීමනා සියල්ල මූලික වැටුපට එකතු කිරීමත් යන්නයි. එදා අපි කළ අරගලයේ බලපෑම නිසා රාජපක්‍ෂ ආණ්ඩුවට සිද්ධ වුණා 2015 ජනාධිපතිවරණයට කලින් රු. 3,000ක් රාජ්‍ය සේවකයන්ට ලබා දෙන්න.  ඊළඟට බලයට ආ එජාප ආණ්ඩුවට අර 10,000 ඉතිරිය කොටස් වශයෙන් දෙන්න සිද්ධ වුණා. මේවා අපේ අරගලයේ බලපෑම මත සිදුවූ දේවල්. එදා සිට මේ දක්වා කිසිදු වැටුප් වැඩිවීමක් වෙලා නැහැ. මේක බරපතළ ප්‍රශ්නයක්.

    ගෝඨාභයලාගේ භාරකාර ආණ්ඩුව අත්‍යවශ්‍ය බඩු 26කට දැන් බදු ගහලා. මේ බදු නිසා ජීවන වියදම වැඩිවෙනවා. ඒක තදින්ම බලපාන්නේ මේ රටේ ස්ථාවර වැටුපක් ගන්න වැඩ කරන ජනතාවට. ජීවන වියදම වැඩිවීමට සරිලන ලෙස කිසි දිනක ඔවුන්ට වැටුප් වැඩිවීමක් සිදුවී නැහැ. 

    2018දී වැඩ කරන ජනතාව දියත් කළ වැටුප් සටන්වල ප්‍රතිඵලයක් ලෙස රනුක්ගේ කමිටුව පත්කළා. ඒ කමිටුව 2020 ජනවාරියේ සිට රාජ්‍ය සේවක වැටුප් වැඩිකිරීම සඳහා නිර්දේශ ඉදිරිපත් කළා. කැබිනට් එක එය  අනුමත කළා. භාණ්ඩාගාරයත් එය අනුමත කළා. ගෝඨාභයලා බලයට ආපු ගමන් එය අත්හිටෙව්වා. මේක රාජ්‍ය සේවකයාට බරපතළ ලෙස බලපාන දෙයක්. ඒනිසා අපි දැන් වැඩ කරන පංතියට කියනවා, මේ කප්පාදුවට එරෙහිව අරගල භූමියට ඒම අත්‍යවශ්‍යයි කියලා.  ඒ වගේම මේ ආණ්ඩුව කොරෝනා පිට දාලා හෙද විදුහල් ශිෂ්‍යයන්ට එතෙක් ලබාදුන් දීමනාව අත්හිටෙව්වා. දැන් මාස තුනක් තිස්සේ එය ලැබෙන්නේ නැහැ. 

    විදුලි බිල කලින් කිව්වා පෙබරවාරි බිල මාර්තුවලට ගෙවන්න කියලා. ඡන්දය වරින් වර කල් ගිය නිසා මෙය අවුල් වෙලා දැන් පාරිභෝගිකයාට දරාගන්න බැරි තරමේ විදුලි බිලක් එන්න පටන් අරන්. විදුලි බිල් ගෙවන කාර්යාලවල හැමදාම ජනතාව පෝලිම්වල  පොරකකා රණ්ඩු කරනවා, ඒව නිවැරදි කර ගන්න. මේ විදිහට මේ ආණ්ඩුව හැම තැනම නිර්මාණය කරලා තියෙන්නේ අවුල්ම තමයි. කිව්වේ නම් ගෝඨාභයගේ වැඩ නීට්, වැඬේ හරියට කරයි, රට ටොප් එකට නග්ගල ගනියි කියලා. දැන් පේනව නේ ගෝඨාභයලාගේ ‘ටොප්’ වැඩවල තරම.

    2020 සිට විශ්‍රාමිකයන්ට ලැබිය යුතු විශ්‍රාම වැටුප් වැඩිවීමත් මේ ආණ්ඩුව අත්හිටුවලා. මේ සියලු කප්පාදු අස්සේ 2/3ක බලයකුත් ඉල්ලනවා. වැඩ කරන ජනතාවට වීදි බැහැලා අරගල කරන්න තරම් සෞඛ්‍යාරක්‍ෂිත තත්වයක් තවම රටේ නැහැ. ඒ නිසා වැඩ කරන ජනතාව තම ඡන්දය හරහා මෙවර සටනක් දිය යුතුයි. ඡන්දය ඒ සඳහා යොදාගත යුතුයි. ඊට අවශ්‍ය මැදිහත්වීම හැකි උපරිමයෙන් කරන්න කියන ඉල්ලීම අපි කරන ගමන් ජාතික ජන බලවේගයේ අපේක්‍ෂකයෝ හැකි තරම් පාර්ලිමේන්තුවට යවා වැඩ කරන ජනතා සටන තව තවත් ශක්තිමත් කරන ලෙස මෙම ඡන්දයේදී අපි ඔවුන්ගෙන් ඉල්ලා සිටිනවා.

    අර්බුදයෙන් ගොඩ ඒමට නම් කම්කරුවන් නව මාවතක් තෝරා ගත යුතුමයි

    මහින්ද  රත්නායක – ලංකා කම්කරු සම්මේලනය

    කොරෝනා වසංගතය අස්සේ කම්කරු අමාත්‍යාංශය වෘත්තීය සමිති සාකච්ඡාවක් කැඳෙව්වා. ඒකේදී අවධාරණය කළේ කම්කරුවන්ට වැටුප් ගෙවන්න තියෙන අසීරුතාවය. ඊට පස්සේ ඒකට උත්තර හොයන්න කාර්ය සාධක බලකායක් හැදුවා. සමිති හතරක් පමණයි ඒකට තෝරා ගත්තේ. එතැනදී කම්කරුවන්ට විශේෂයෙන් පෞද්ගලික අංශයේ කම්කරුවන්ට මූලික වැටුපෙන් 50%ක් ගෙවන්න තීන්දු කළා. ඒකට අපේ සංගමයත් අන්තර් සමාගම් සේවක සංගමයත් ලංකා බැංකු සේවක සංගමයත් විරුද්ධ වුණා. අනෙක් සමිති කැමති වුණා. දැන් මාස හතරක් තිස්සේ ඒ කම්කරුවන්ට ගෙවන්නේ පඩි බාගයයි. කාර්යසාධක බලකායත් දැන් අක්‍රීයයි. ඒ කම්කරුවෝ දැන් ඉන්නේ දැඩි අසීරුතාවයේ.

    කම්කරුවන්ගේ වැටුප් කපන්න නීතියක් නැහැ. එහෙම කරන්න බැහැ. ඇත්තටම ගත්තාම කොරෝනා වසංගතය වෙනුවෙන් කම්කරුවන්ගේ පැත්තෙන් කැපකිරීම කරලා හමාරයි.
    පෞද්ගලික අංශය තමයි විශාල සේවක සංඛ්‍යාවක් ඉන්නේ. රටක වැඩ කරන ජනතාවගේ ආර්ථික තත්වය  උසස් නොකර ඒ සඳහා ක්‍රියාමාර්ග නොගෙන වැටිච්ච ආර්ථිකයක් ගොඩගන්න බැහැ. 

    අර කාර්යසාධක බලකාය හැදුවේ 98%ක් පමණ පෞද්ගලික අංශයේ සේවකයෝ නියෝජනය කරන සමිති රාශියක් අත්හැරලා ආණ්ඩුවට කරදරයක් නොකරන සමිති හතරක් එකතු කරගෙන. ඒක අපිට ප්‍රශ්නයක්. 

    දැන් සේවකයෝ අයින් කරන්න ක්‍රියාමාර්ග අරගෙන. දැන් ඔවුන්ට පඩියත් නැහැ, රැකියාවත් නැහැ. වෙන රටවල නම් මේ කාලයේ ඒ රටවල ආණ්ඩු මැදිහත් වෙලා සේවක වැටුප් ගෙවනවා. ආයතනය යථා තත්වයට පත්වූ පසු නැවත ගෙවීමේ කොන්දේසිය යටතේ. ඒ මුදල් ගෙවිය යුත්තේ ආයතනය විසිනුයි.

    බැංකුවලට ගිහිල්ලා තග දැම්ම පලියට ආර්ථිකය ශක්තිමත් වෙන්නේ නැහැ. ජාවාරම්කාරයෝ වටකරගෙන ජාතික ආර්ථිකය ගොඩගන්න බැහැ. මේ වන විට මැද පෙරදිග සේවය කළ අපේ රටේ සේවකයන් ලක්‍ෂ 5කය රැකියා අහිමි වෙලා. වෙළඳ කලාපයේ ලක්‍ෂ 3කට රැකියා අහිමි වෙලා. සියල්ල පවතින්නේ ගරා වැටෙන තත්වයක. මෙයින් ගොඩ ඒමට නම් කම්කරුවන් නව මාවතක් තෝරා ගත යුතුමයි. ඒ සඳහා තියෙන එකම මාවත මාලිමාව යටතේ තරඟ වදින ජාතික ජන බලවේගය බව අපි දැඩිව ප්‍රකාශ කර සිටිනවා. 

    වෙළඳ කලාප සේවිකාවන් ඡන්දය දීමේදී නිවැරදි තීන්දුවක් ගත යුතුයි

    චමිලා තුෂාරි – ඩා බිඳු සාමූහිකය සංවිධානය, ජාතික ජන බලවේගයේ ජාතික ලැයිස්තු අපේක්ෂිකා

    තේ කර්මාන්තයේ, නිදහස් වෙළඳ කලාපයේ, මැද පෙරදිග මේ හැම තැනම ආර්ථිකයේ වැඩි කොටසකට දායකත්වය දෙන්නේ කාන්තාවෝ. මාර්තු 20වැනිදා වනකම් මේ රටේ පෞද්ගලික අංශය සේවකයන්ගෙත් බලෙන් වැඩ ගත්තා. කොරෝනා වසංගතය අස්සෙම. ඒ නිසා ඔවුන්ට ගමට යන්න බැරි වුණා. අපි මැදිහත් වෙලා තමයි ඔවුන්ට යන්න සැලැසුවේ.

    නිදහස් වෙළඳ කලාපවල කම්කරු කාන්තාවන් ඇතුළු සේවකයින් දැන් බුරුතු පිටින් දොට්ට දානවා. නිදහස් වෙළඳ කලාපවල සේවකයින් ඡන්දය දාන්න නම් ගමට යන්න ඕනෑ. ඒ සඳහා පාලකයෝ විවිධ කොන්දේසි දානවා. නැවත වැඩට එන්න ප්‍රමාද වුණොත් වැටුප් කපනවා. ඒ වගේම මෑන් පවර් සේවකයන්ට දැන් මාස හතරක් තිස්සේ වැටුප් නැහැ. අඩුම තරමේ ඔවුන්ට රජයෙන් ලබාදුන් රු. 5,000වත් දෙන්න කියලා අපි ආණ්ඩුවට බල කරනවා. 

    කලාප සේවක සේවිකාවන්ට බරපතළ සෞඛ්‍ය ගැටලුවලට මුහුණ දෙන්න සිද්ධ වෙලා. ඔය කියන සමාජ දුරස්ථභාවයෙන් ඔවුන්ට වැඩ කරන්න වාතාවරණයක් නැහැ. එකම පයිප්පයේ එකම ළිඳෙන් වෙළඳ කලාප සේවක සේවිකාවන් බුරුතු පිටින් නානවා. කලාප සේවිකාවන් අතර ගෘහස්ථ ප්‍රචණ්ඩත්වයද වැඩි වෙලා. මේවා කළමනාකරණය කරන්න මේ ආණ්ඩුවටත් කිසිම වැඩපිළිවෙළක් නැහැ. ඒනිසා මේ මැතිවරණයේදී ඔවුන් ඡන්දය දිය යුත්තේ කාටද කියලා නිවැරදි තීන්දුවක් ගත යුතුයි.

    වැඩ කරන ජනතාව මේ ආණ්ඩුවට තවත් ඡන්දය දිය යුතුද?

    මහින්ද ජයසිංහ – ලංකා ගුරු සේවා සංගමයේ ප්‍රධාන ලේකම්, ජාතික ජන බලවේගයේ ගම්පහ දිස්ත්‍රික් අපේක්‍ෂක

    මේ ආණ්ඩුව කොරෝනා එන්නත් කලින් විශ්‍රාමික සේවකයන්ගේ විශ්‍රාම වැටුප් වැඩිවීම නතර කළා. බලය ගන්න ඉස්සෙල්ලා කිව්වේ සෞභාග්‍යයේ දැක්ම හරහා විශ්‍රමිකයන්ට සම්භාවනීය පැවැත්මක් තහවුරු කරනවා කියලා. ඒ වෙනුවට දැන් ජ්‍යෙෂ්ඨ පුරවැසි ස්ථාවර තැන්පතුවල පොලිය 15% සිට 8% දක්වා පහළ දමලා. බන්දුල ඇමතිවරයා මාධ්‍ය සාකච්ඡාවකදී ඒක පිළිගත්තා. මේකෙන් විශ්‍රාමිකයෝ විශාල ප්‍රශ්නයකට මුහුණ දෙනවා කියලා සහ එය නිවැරදි කරනවා කියලත් ඔහු කිවුවා. නමුත් එදාම මහින්ද රාජපක්‍ෂ අගමැති කියනවා එහෙම පොලී පහල දැමීමක් කරලා නැහැ, ඒක මාධ්‍ය විසින් පතුරුවන බොරුවක් කියලා. ඇත්ත තත්වය අපි හොයලා බැලුවා. ඇත්තටම පොලිය කපලා.

    මාර්තු 01වැනිදා සිට වතු කම්කරුවන්ට රු. 1,000ක දෛනික වැටුපක් දෙවා කියලා මේ ආණ්ඩුව කිව්වා. ඡන්දෙට කලින් ගෝඨාභය මහත්තයා දුන්න පොරොන්දුවක් ඒක. දැන් ඒක දෙනවද? 
    රාජ්‍ය, අර්ධ රාජ්‍ය, පෞද්ගලික, වතු මේ සියලු ක්‍ෂෙත්‍රවල වැඩ කරන ජනයා දැන් ඉන්නේ විශාල අර්බුදයක. දැන් පාසැල් විවෘත කරගෙන යනවා. ඒකට කිසිම විධිමත් සැලැස්මක් නැහැ. සෞඛ්‍ය නිර්දේශ පැත්තකට දාලා. මේ ආණ්ඩුවත් අධ්‍යාපන බලධාරීනුත් මොනවද මේ කරන්නේ කියලා ගුරුවරුන්ටත් දෙමව්පියන්ටත් විශාල ප්‍රශ්නයක්.

    මේ ආණ්ඩුව රාජ්‍ය සේවක වැටුප් කොරෝනා පිට දාලා බලෙන් කැපුවා. නැගෙනහිර, සබරගමු ගුරුවරුන්ගේ වැටුප් බලෙන් කැපුවා. අපේ මැදිහත්වීම නිසා ඉතිරි ප්‍රදේශවල ඒක නවත්ත ගත්තා. අපි මේ රටේ රාජ්‍ය සේවකයන් ඇතුළු වැඩ කරන ජනතාවගෙන් අහනවා, මේ ආණ්ඩුවට තවත් ඡන්දය දියු යුතුද කියලා.

    ජාතික ජන බලවේගයේ අපේක්‍ෂකත්වය හරහා ප්‍රබල වෘත්තීය සමිති නායකයින්, කම්කරු සංගම් නායකයින් විශාල පිරිසක් මෙවර තරඟ වදිනවා. අපි මේ රටේ ජනතාවට එකක් පැහැදිලි කරනවා. එනම් ඔබේ සටන පාර්ලිමේන්තුවේ කිසිදු පාවා නොදීමකින් කිරීමට නම් ජාතික ජන  බලවේගයේ නියෝජිතයෝ හැකි තාක් පාර්ලිමේන්තුවට යවන්න කියලා.

    මාධ්‍යවේදීන් නැගූ ප්‍රශ්නවලට පිළිතුරු දෙමින්

    ප්‍රශ්නය:- දැනට තිබෙන ජීවන වියදමට සාපේක්‍ෂව කොපමණ ප්‍රමාණයකින් වැටුප් වැඩිවිය යුතුද?

    රු. 3,000- 24,000 දක්වා වැටුප් වැඩිවිය යුතු බව රනුක්ගේ කමිටුවේ නිර්දේශයයි.

    ප්‍රශ්නය:- ආර්ථිකය මෙච්චර වැටිලා තියෙද්දී ඔය විදිහට වැටුප් වැඩිකළ හැකිද?
    ආණ්ඩුව පාර්ලිමේන්තුවේ මැති ඇමතියන්ගේ වැටුප්, දීමනා සහ අනෙකුත් වරප්‍රසාද දිගින් දිගටම වැඩි කර ගන්නවා නම් රාජ්‍ය සේවක වැටුප් වැඩි කළ නොහැක්කේ ඇයි? අනෙකුත් සේවක වැටුප් වැඩිකළ නොහැක්කේ ඇයි? 

    මද්‍රසා පාසල් ගැන රතන හිමිගේ මැදිහත්වීම ගැන ?

    මේ මැතිවරණයේදීත් ආණ්ඩුවට ජාතිවාදය නැතිව බැරිවෙලා තිබෙනවා. රාජපක්‍ෂලාට ඒක නැති පවතින්න බැහැ. කරුණා හරහා තමයි මෙවර ඒක මතු කරන්නේ. දකුණේ පොහොට්ටුවේ කට්ටිය කියනවා කොටි මරපු නිසා ඒ ගොල්ලන්ට ඡන්දය දෙන්න කියලා. කරුණා කියනවා, හමුදාව මරපු නිසා දෙමළ ජනතාවගේ ඡන්දය දෙන්න කියලා. එහෙම කියපු කරුණාම ආපහු කියනවා, අපි නැවත සැරයක් මහින්දලා සමග එකතු වෙනවා කියලා. 

    මද්‍රසා පාසැල් ගැන රතන හාමුදුරුවෝ කාලෙක ඉඳලා කතා කරනවා. නමුත් හාමුදුරුවන්ට හරි රාජපක්‍ෂලට හරි වෙන කාට හරි ඕන ඕන විදිහට මේ රටේ ජාතික අධ්‍යාපන ප්‍රතිපත්තිය හදන්න බැහැ. මේ සියල්ල කරන්නේ ජනතාව ගොනාට අන්දලා ඡන්දය ගැනීම සඳහායි. 

    ආණ්ඩුව මේ ඡන්දෙදී මන්ත්‍රීවරු 125ක් දිනා ගන්නවා කියලා කියනවා එහෙම පුළුවන්ද?

    යුද්ධය ඉවර වුණේ 2009. 2010 මැතිවරණය තිබ්බා. ඒ වනවිට රාජපක්‍ෂලා උපරිමයෙන් ජනප්‍රිය වෙලයි හිටියේ. ඒත් 2/3ක ප්‍රතිශයක් ඔවුන්ට ලැබුණේ නැහැ. මේ ගෙවුණු මාස අටෙන් රාජපක්‍ෂවරුන්ගේ ආණ්ඩුවේ අසමත්කම ගත්තම ඔය සූත්තර කොච්චර දැම්මත් 2/3ක ගන්න බැහැ. ඕවා ජනතාවගේ මොරාල් එක හදන්න කියන චූන් කතා. ජනතාවට මොනම හරි දෙයක් ලැබුණා නම් ලැබුණේ පාලකයන්ගේ පාර්ලිමේන්තු බලය දුර්වල වූ මොහොතවල්වල. මෙම මැතිවරණයේදී ජනතාවට වාසි වන බල තුලනයක් හැදීම සඳහා ඡන්දය දීම තමයි ඔවුන්ගේ වගකීම වන්නේ.

  • මහ මැතිවරණය අභියස විදුලිය ඇණහිටවීමේ කුමන්ත්‍රණයක්

    මහ මැතිවරණය අභියස විදුලිය ඇණහිටවීමේ කුමන්ත්‍රණයක්

    පසුගිය රජයට පක්ෂපාතී ලංවිම ඉහළ නිළධාරින් පිරිසක් ඉතා සුක්ෂම ව මේ සදහා උපක්‍රමශීලිව කටයුතු කරමින් සිටි.

    කොවිඩ් 19 වසංගතයට පෙර, ඉදිරියේ දී ඇතිවිය හැකි හදිසි විදුලි අර්බුදයකට විසදුමක් ලෙස කැබිනට් මණ්ඩලයේ අනුමැතිය ඇතිව මෙගා වොට් 200 ක් සදහා ටෙන්ඩර් පත් කැදවා තිබුණි.

    අවුරුදු 17 ක් වැඩිමිලට විදුලිය ලබා දුන් සමාගමක් අභිබවා ඩුබායි සහ චීන සමාගම් දෙකක් විසින්  එම ටෙන්ඩරය දිනා ගන්නා ලදී. මින් වැඩි ප්‍රමාණයක් ඉතා අඩු මිල ගණන් ඉදිරිපත් කළ චීන සමාගම සතු විය.

    පසුගිය වසර ගණනාවක් තිස්සේ හදිසි විදුලිය සැපයීමේ යෙදී සිටි ඇග්‍රිකෝ (AGGREEKO)  සමාගමට වඩා ඉහත චීන සමාගමෙන් විදුලිය ලබා ගැනිමෙන් ලංවිමට අවුරුද්දක් තුළ රුපියල් බිලියන 5.1 කට අධික ලාභයක් ලැබිය හැකිව තිබුණි.

    කැබිනට් මණ්ඩලය අනුමත ජාත්‍යන්තර ටෙන්ඩර් පටිපාටිය අනුව ටෙන්ඩර් කරන ලද එම ටෙන්ඩරය ලබා නොදී කල් මරමින් සිටින්නේ ඇයි ද යන්න ඉතා සැකයට භාජනය වන කරුණකි.

    අප වෙත වාර්තා වන පරිදි පැවති පසුගිය රජයට සම්බන්ධ ලංවිම ඉහළ නිළධාරීන් මැතිවරණයට පෙර රට පුරා විදුලි කප්පාදුවකට හොර රහසේ සුදානම් වන බව ප්‍රත්‍යක්ෂ වී ඇත. ඔවුන් අරමුණ වී ඇත්තේ ඇග්‍රිකෝ (AGGREEKO)  සමාගමට නැවත අවස්ථාවක් ලබා දීම සදහා නැවතත් ටෙන්ඩර් පත් කැඳවීමක් සිදු කිරීමටය.

  • සංචාරක ක්ෂේත්‍රය ආශ්‍රිත සියළුම වාහන සදහා ලබා දී ඇති මාස 06 ක කල්බදු සහනය වසරක් දක්වා දීර්ඝ කෙරේ

    සංචාරක ක්ෂේත්‍රය ආශ්‍රිත සියළුම වාහන සදහා ලබා දී ඇති මාස 06 ක කල්බදු සහනය වසරක් දක්වා දීර්ඝ කෙරේ

    සංචාරක ක්ෂේත්‍රය ආශ්‍රිත සියළුම වාහන සදහා ලබා දී ඇති මාස 06 ක කල්බදු සහනය වසරක් දක්වා දීර්ඝ කෙරේ. ඒ සදහා මහ බැංකුවට අදාළ උපදෙස් ලබා දී ඇතැයි කාර්මික අපනයන, ආයෝජන ප්‍රවර්ධන, සංචාරක හා ගුවන් සේවා ඇමති ප්‍රසන්න රණතුංග මහතා පවසයි.

    පවත්නා කල්බදු ගිවිසුම සලකා බැලීමෙන් තොරව හා සහන කාලය තුළ නොගෙවෙන ලද මුදල් සදහා ගාස්තු රහිත ව මෙම සහනය සැලසීමට රජය තීරණය කර තිබේ. කැබිනට් මණ්ඩල අනුමැතිය ද මේ සදහා හිමි ව ඇත. ඊට අමතරව සංචාරක සංවර්ධන අධිකාරියේ ලියාපදිංචි සංචාරක ව්‍යාපාරික ස්ථානවල ජල හා විදුලි බිල්පත් ගෙවීම සදහා ද සහන සලසා ඇතැයි ඇමති ප්‍රසන්න රණතුංග මහතා පවසයි. මේ අනුව 2020 මාර්තු 01 වෙනිදා සිට අගෝස්තු 31 දක්වා වු විදුලි හා ජල බිල්පත් සැප්තැම්බර් මාසයේ සිට සමාන වාරික 12කින් ගෙවීමට ඉඩකඩ සලසා තිබේ. ඒ පිළිබද ව රජය දැනටමත් විදුලිබල මණ්ඩලය හා ජල සම්පාදන මණ්ඩලය දැනුවත් කර තිබේ.

    මේ අතර සංචාරක මගපෙන්වන්නට හා රියදුරන්ට සහන සැලසීමේ වැඩ සටහන සදහා මේ වන විට අයදුම්පත 2500 පමණ ලැබි ඇත. කොවිඩ් 19 හේතුවෙන් පීඩාවට පත් වූ සංචාරක මාර්ගෝපදේශකයන්ට රු 20,000ක මුදලකුත් රියදුරන්ට රු.15,000 ක මුදලකුත් ලබා දීමට නියමිතය. ඉදිරි සතිය වන විට ඒම ගෙවීම් කටයුතු ආරම්භ කිරීමට අපේක්ෂිතය.

    මේ අතර යුරෝපා සංගමය  කොවිඩ් 19 හේතුවෙන් බිද වැටුණු සංචාරක කර්මාන්තය නංවාලීම සදහා ඇමෙරිකානු ඩොලර් මිලියන 3.5 ක ප්‍රදානයක් ලබා දීමට නියමිතය. ඒ සදහා අදාළ යෝජනා මේ වන විටත් යුරෝපා සංගමය වෙත ඉදිරිපත් කර තිබෙන බව ද ඇමති ප්‍රසන්න රණතුංග මහතා පවසයි.

  • ජ්‍යෙෂ්ඨ පුරවැසි තැන්පතු පොළී අනුපාතයේ කිසිදු වෙනසක් සිදුකර නෑ

    ජ්‍යෙෂ්ඨ පුරවැසි තැන්පතු පොළී අනුපාතයේ කිසිදු වෙනසක් සිදුකර නෑ

    ජ්‍යෙෂ්ඨ පුරවැසි තැන්පතු වෙනුවෙන් ගෙවනු ලබන පොලි අනුපාතයේ කිසිදු වෙනසක් සිදුකර නොමැති බවත් මෙතෙක් පැවැති පොලි අනුපාතය එලෙසම අඛණ්ඩව ක්‍රියාත්මක වන බවත් මුදල් අමාත්‍යාංශය අද (07) දින නිකුත් කළ මාධ්‍ය නිවේදනයක සදහන් වේ.

    එහි වැඩි දුරටත් සදහන් වන්නේ ජ්‍යෙෂ්ඨ පුරවැසියන්ගේ තැන්පතු වෙනුවෙන් ලබාදුන් විශේෂ පොලි අනුපාතය සංශෝධනය කර ඇති බවටත්, ජ්‍යෙෂ්ඨ පුරවැසියන්ගේ පොලී ආදායම මත ඔවුන්ට ලබාදී තිබූ ආදායම් බදු සහනය ඉවත් කර ඇති බවටත් ඇතැම් මාධ්‍ය මගින් කර ඇති ප්‍රකාශ අසත්‍ය හා පදනම් විරහිත බවයි.

    එම නිවේදනය සම්පූර්ණයෙන් මෙසේය.

    තම ජීවිතයේ තරුණ ජවය රටේ සංවර්ධනය වෙනුවෙන් කැපකළ ජ්‍යෙෂ්ඨ පුරවැසියන්ගේ අනාගතය සුරක්ෂිත කිරීමේ අරමුණින් 2014 වසරේ සිට ක්‍රියාත්මක කරනු ලබන “ජ්‍යෙෂ්ඨ පුරවැසියන්ගේ තැන්පතු සඳහා වූ විශේෂ පොලී අනුපාත” වැඩසටහන යටතේ ජ්‍යෙෂ්ඨ පුරවැසියන්ගේ තැන්පතු වෙනුවෙන් ලබාදුන් විශේෂ පොලි අනුපාත ප්‍රතිලාභයේ කිසිඳු සංශෝධනයක් සිදුකර නොමැති බවත්, එම වැඩසටහන මෙතෙක් ක්‍රියාත්මක කළ ආකාරයටම අඛණ්ඩව ක්‍රියාත්මක කෙරෙන බවත් මුදල්, ආර්ථික සහ ප්‍රතිපත්ති සංවර්ධන අමාත්‍යාංශය අවධාරණය කරනු ලබයි.

    ජ්‍යෙෂ්ඨ පුරවැසියන්ගේ තැන්පතු වෙනුවෙන් ලබාදුන් විශේෂ පොලි අනුපාතය සංශෝධනය කර ඇති බවටත්, ජ්‍යෙෂ්ඨ පුරවැසියන්ගේ පොලී ආදායම මත ඔවුන්ට ලබාදී තිබූ ආදායම් බදු සහනය ඉවත් කර ඇති බවටත් ඇතැම් මාධ්‍ය මගින් කර ඇති ප්‍රකාශ අසත්‍ය හා පදනම් විරහිත වේ. රජය විසින් එවැනි කිසිදු තීරණයක් ගෙන නොමැත. නව රජය පත්වීමත් සමඟ 2020.01.01 දින සිට බැංකු පොලිය මත අයකළ රඳවා ගැනීමේ බද්ද (Withholding Tax) අහෝසි කරන ලද අතර, මාසික පොලී ආදායම රු. 250,000.00 ක් එනම් වසරකට රු. 3,000,000 ක් දක්වා බද්දෙන් නිදහස් කර ඇත.

    මෙවැනි අසත්‍ය හා පදනම් විරහිත ප්‍රකාශ මගින් නොසන්සුන්තාවයට පත්නොවන ලෙස ස්ථාවර තැන්පතු පවත්වාගෙන යන ජ්‍යෙෂ්ඨ පුරවැසියන් වෙත මුදල්, ආර්ථික සහ ප්‍රතිපත්ති සංවර්ධන අමාත්‍යාංශය දැනුම්දෙනු ලැබේ.

  • මහින්දගේ සුරතලාගේ පොරටෝක් නිසා අනාථවුන ගාල්ලේ පොහොට්ටුවෝ

    මහින්දගේ සුරතලාගේ පොරටෝක් නිසා අනාථවුන ගාල්ලේ පොහොට්ටුවෝ

    මහ ඇමතිකම ගන්න මහින්දගේ පස්සෙන් ගිය ගාල්ලේ දුරකතන ඩයල් එක මෙවර මහ මැතිවරණයේ තැන තැන ලබාදෙන පොරටෝක් හේතුවෙන් ගාල්ලේ පොහොට්ටු අපේකෂකයින් ගණනාවක් කලකිරීමට පත්ව ඇති බව අනාවරණය වෙයි.

    මහින්ද මහත්තයා තමන්ට වැඩිය ගයන්තට ලෙංගතු බව පවසා ඇති මොවුන් ගෝඨාභය ජනාධිපතිතුමාගේ රට ගොඩනගන වැඩ පිලිවෙලට මෙවැනි දෙපිටකාට්ටුවන්ගෙන් වැඩක් නොමැති බව අවධාරණය කරයි.

    එක්සත් ජාතික පක්ෂයේ කැබිනට් ඇමතිකම් දැරැවත් ගාල්ලට කිසි වැඩක් කර නැති අවම තරමේ කක්කුස්සියක්වත් තනා නැති මොහු අද මැතිවරණයට ඉදිරිපත්ව ඇත්තේ කිලී මහරාජාගේ අල්ලේ නැටවෙන පුතාණෝගේ පක්ෂයෙනි. 2001 – 2004 කාලසීමාවේ එජාප රජයට කොරියාවෙන් ලැබුනු තරැණයින් සඳහා වන රැකියා අවස්ථාහී ගාල්ලට ලැබුණු සියලුම රැකියාවන් කොළඹ ජාවාරම්කාර සමාගමක් සමග එක්ව මුදලට විකුණා තම මඩිය තරකර ගත් අයෙකි. එක රැකියාවක් ලබාදීම සදහා රැපියල් ලක්ෂ දහයක පමණ මුදලක් ලබාගෙන ඇති බවට වාර්තාවේ. මුදල් ලබාදුන්නද රැකියාවට යාමට නොහැකිව අතරමංවුන තරැණ තරැණියන් ගණනාවක් අදටත් බෙන්තර ඇල්පිටිය අසරණව සිටින්නේ මොහුට ඇති ජඩ දේශපාලන හයියට බියවීම නිසාය.

    රැකියා ජාවාරමට අමතරව මොහු විසින් කරගෙන යන තවත් ජාවාරමක් වන්නේ ළමුන් පාසැල්වලට ඇතුලු කිරීමයි. කොළඹ රාජකීය විදුහල සදහා එක් ළමයෙකු නීති විරෝධී ලෙස ඇතුලත් කර ගැනීමට මොහු රැපියල් ලක්ෂ 20ක් දක්වා මුදල් ලබාගන්නා බවටද වාර්තාවේ. මොහුට එරෙහිව රාජකීය විදුහල් ආදිසිසු සංගමය කිහිප අවස්ථාවකම කීර්තිමත් රාජකීය ආදි සිසුවකුවු එජාප නායක රනිල් වික්ර්මසිංහ මහතාටද පැමිණිලි කර ඇත. නායකතුමා ඒ හැම අවස්ථාවකදීම මොහුව කැදවා ඉගෙන ගත්ත පාසැලට අවනම්බු නොකරන්නැයි අවවාද කර ඇත.

    මොහුගේ හදිසි පක්ෂ මාරැවට හේතුව වන්නේද පක්ෂ නායකත්වය මේ චෝදනා සම්බන්ධව පක්ෂය තුල විනය පරීක්ෂණයක් ආරම්භ කිරීමට ගත් තීරණය බවද දැනගන්නට ඇත. ගාලු දිසාවේ පොහොට්ටුවේ නායකයින් ජනපති ගොඨාභයට ශක්තියක් වන්නට කොතෙක් මහන්සි වුවත් මහින්ද සලකන්නේ මොහුට වීමද ඔවුනගේ කලකිරීමට හේතුවී ඇත. මෙයට ආසන්නම හේතුව ලෙස ඔවුන් අවධාරණය කරන්නේ විජේරාම පිහිටි මන්තරී නිල නිවාසය විශේෂ කැබිනට් ප්‍රතිකාවක් දමා මහින්ද විසින් මොහුට අත්පත්කරදීමට කටයුතු කිරීමයි.

    මෙවැනි තත්වයක් යටතේ මොහු දේශපාලනයෙන් ඉවත් කලයුතු බව ගාල්ල පොහොට්ටු අපේක්ෂකයින්ගේ අරමුණවී ඇති අතර මොහුගේ හා අගමැති මහින්දගේ සබඳතා ගැන ජනපති ගෝඨාව දැනුවත් කිරීමටද ගාල්ල තරැණ අපේකෂකයින් කටයුතු කරමින් සිටී. තම කාර්යාලයේ කාමරයට ඉදිරියෙන්ද ඇගිලි සලකුණ මැෂින් හයිකර ගනිමින් මොහුකල කාන්තා ඇසුරන් පිලිබදවද තොරතුරැ ඉදිරියේදී අප සාක්ෂි සහිතව අනාවරණය කරන්නට බලාපොරොත්තු වන්නෙමු. ගාල්ලට කිසිදු කරැණාවක් නොදැක්වු මේ තිලකයිගේ සුදු පිරැවට එදාට අනිවාර්යෙන් ලිහී යනු ඇත.

  • ඉන්දියාවේ කොවිඩ්-19 ආසාදිතයින් 700,000ක් – දකුණේ ප්‍රාන්තවල අවධානම ඉහළට

    ඉන්දියාවේ කොවිඩ්-19 ආසාදිතයින් 700,000ක් – දකුණේ ප්‍රාන්තවල අවධානම ඉහළට

    ජෝන්ස් හොප්කින්ස් විශ්වවිද්‍යාලය විසින් අද (06) දින නිකුත් කළ නවතම වාර්තාවලට අනුව ගෝලීය වශයෙන් කොවිඩ්-19 ආසාදිතයින් 11,495,412ක් සහ මරණ 535,185ක් වාර්තා වී ඇති අතර ආසාදිතයින් 200,000ක් ඉක්මවා ගිය රාජ්‍ය ගණන 15කි.

    ජෝන්ස් හොප්කින්ස් විශ්වවිද්‍යාලයේ නවතම වාර්තාවලට අනුව (06) පසුගිය පැය 24 තුළ ඉන්දියාව විසින් කොවිඩ් -19 රෝගීන් 24,000 කට වඩා වැඩි සංඛ්‍යාවක් වාර්තා කර ඇති අතර මේ වන විට ඉන්දියාවෙන් වාර්තා වන කොවිඩ්-19 ආසාදිතයින් සංඛ්‍යාව 697,413ක් දක්වාත් මරණ සංඛ්‍යාව 19,693 දක්වාත් වර්ධනය වී ඇත.

    මේ වන විට ලෝකයේ තුන්වන විශාලතම රෝගීන් සංඛ්‍යාව වාර්තා වන්නේ ඉන්දියාවෙන් වන අතර ඇමෙරිකා එක්සත් ජනපදය ආසාදිතයින් 2,897,613ක් සහ මරණ 130,007ක්, බ්‍රසීලය ආසාදිතයින් 1,603,055ක් සහ මරණ 64,867ක් වාර්තා කර ඇත.

    සිවුවන ස්ථානයට පත්ව ඇති රුසියාවේ ආසාදිතයින් සංඛ්‍යාව 686,777 ක් වන අතර මරණ සංඛ්‍යාව 10,271කි.

    තවත් දකුණු ඇමෙරිකානු රාජ්‍ය්‍යක් වන පේරු දේශය ආසාදිතයින් 302,718  ක් සහ මරණ 10,272 ක් වාර්තා කරමින් පස්වන ස්ථානයට පැමිණ ඇති අතර, පේරු රාජ්‍යයට ආසන්න රාජ්‍යවක් වන චිලී රාජ්‍යය ආසාදිතයින් 298,557ක් සහ මරණ 6,384ක් වාර්තා කර ඇත.

    පාකිස්ථානයෙන් ආසාදිතයින් 231,818 ක් සහ සෞදි අරාබියෙන් ආසාදිතයින් 213,716 ක් වාර්තා වී ඇති අතර බංග්ලාදේශයෙන් වාර්තා වන ආසාදිතයින් සංඛ්‍යාව 165,618කි.

    ඉන්දියාවේ වේගයෙන් ඉහළ යන අවදානම

    ඉන්දියාවේ නවතම සංඛ්‍යාව ඉහළ යෑමට හේතු වී ඇත්තේ තෙලන්ගානා, තමිල්නාඩු සහ කර්ණාටක ඇතුළු දකුණු ප්‍රාන්තවල ආසාදිතයින් සංඛ්‍යාව ඉහළ යාමයි.

    ඉන්දියාව මාසයකට පෙර සාප්පු මධ්‍යස්ථාන, පූජනීය ස්ථාන සහ කාර්යාල නැවත විවෘත කළේය.

    පසුගිය දින තුන තුළ, ඉන්දියාවේ ආසාදිතයින් සංඛ්‍යාව භයානක අනුපාතයකින් ඉහළ ගොස් ඇති අතර දිනකට ආසාදන 20,000 කට වැඩි ප්‍රමාණයක් එක් කරයි.

    දකුණු ඉන්දීය ප්‍රාන්ත මීට පෙර ආසාදන වළක්වා ගැනීමට සමත් විය.

    දකුණේ කර්ණාටක, තෙලන්ගානා, අන්ද්‍රා ප්‍රදේශ් සහ තමිල්නාඩු යන ප්‍රාන්තවල ආසාදිතයින් සංඛ්‍යාව ජාතික වර්ධනය වේගයට වඩා වැඩි වේගයකින් වර්ධනය වන බැවින් මෙය වෙනස් වන බව ඉන්දිය මාධ්‍ය වාර්තාවල සදහන් වෙයි.

    කොරෝනා වසංගතය පැතිරීම මැඩපැවැත්වීම සඳහා ඉන්දියාව මාර්තු මාසයේදී දැඩි අගුලු දැමීය. සිද්ධීන් දිගින් දිගටම ඉහළ යමින් තිබියදීත්, ආර්ථික ක්‍රියාකාරකම් ප්‍රවර්ධනය කිරීම සඳහා එය ජුනි මාසයේදී අදියරවලින් එය ලිහිල් කිරීමට පටන් ගත්තේය.

    නමුත් විශේෂඥයන් පෙන්වා දෙන්නේ ඉන්දියාවේ අඩු මාරාන්තික අනුපාතය (ගෝලීය සාමාන්‍ය 4.7% හා සසඳන විට 2.4%) විභව රිදී රේඛාවක් ලෙස ය.

    දිල්ලි, මුම්බායි සහ බැංගලෝර් වැනි නගරවල විවිධ රෝහල් රෝගීන්ට ප්‍රතිකාර කිරීම ප්‍රතික්ෂේප කළ බවට වාර්තා පළ වූ අතර එය පුරවැසියන් අතර කෝපය වර්ධනය කිරීමට හේතු වී තිබේ. මේ තත්ත්වය තුළ මරණ අනුපාතය ද වේගයෙන් ඉහළ ගොස් තිබේ.

    සංඛ්‍යාත්මක වැඩිවීම අර්ධ වශයෙන් වැඩි වූ පරීක්ෂණවල පිළිබිඹුවක් ද වේ – රට පුරා නගර සහ ප්‍රාන්ත මෑත සතිවල දී පරීක්ෂණ වේගවත් කර ඇත.

    දිනපතා සිදුකරන පරීක්ෂණ සංඛ්‍යාව 250,000 දක්වා ඉහළ ගොස් ඇති බව ප්‍රාදේශීය මාධ්‍ය වාර්තා කරයි.

    විවිධ ප්‍රාන්ත සහ නගරවල පරීක්ෂණ පහසුකම් වැඩි වී ඇති අතර දිල්ලිය මෑතකදී ප්‍රතිදේහජනක පරීක්ෂණ කෙරෙහි වැඩි අවධානයක් යොමු කර තිබේ.

    ඉන්දියාවේ සමහර කොරෝනා වයිරස් රෝගීන් රෝහල්වලින් ඉවතට හරවනු ලැබේ

    එහෙත් නවතම සංඛ්‍යා ද ඉන්දියාවේ අගුලු දැමීමෙන් ඉවත් වීමට පටන් ගත් පසු යථා තත්ත්වයට පත්වීමේ ප්‍රතිඵලයකි. එය අර්ධ වශයෙන් එළිමහනේ ක්‍රියාකාරකම්වල පිළිබිඹුවක් වන අතර අවන්හල් විවෘත වන අතර සේවකයින් නැවත කාර්යාලයට පැමිණේ.

    වැඩිවන ආසාදිතයින් සංඛ්‍යාව ඉන්දියාව වේගයෙන් එහි උපරිමයට ළඟා විය හැකි බවට ඇඟවීමක් විය හැකිය. මීට පෙර බොහෝ විශේෂඥයන් පවසා සිටියේ ජූලි හා අගෝස්තු අතර මෝසම් වැසි ආරම්භ වන විට එය පහර දෙනු ඇති බවයි.

    බී.බී.සී වාර්තා ඇසුරිණි – සැකසුම – තීක්ෂණ වෙළෙන්එගොඩ

  • සහල් හිඟයක් ඇතිකරන්න ඉඩ දෙන්න එපා  – පොළොන්නරුව ගොවීහු ජනපතිගෙන් ඉල්ලති

    සහල් හිඟයක් ඇතිකරන්න ඉඩ දෙන්න එපා – පොළොන්නරුව ගොවීහු ජනපතිගෙන් ඉල්ලති

    සහල් හිඟයක් ඇති කිරීමට අතරමැදියන්ට ඉඩ නොදෙන ලෙස පොළොන්නරුව ගොවීහු ජනාධිපතිගෙන් ඉල්ලා සිටිති. පසුගිය කන්නවලදි ඉහළ අස්වැන්නක් ලැබිණ. එහෙත් සහල් හිඟයක් මවා පෑමට දරණ උත්සාහයට ඉඩ දිය යුතු නැතැයි ගොවීහු පවසති.

    පොදුජන පෙරමුණෙන් මෙවර මහ මැතිවරණයට තරග වඳින අපේක්ෂකයන්ගේ ජයග්‍රහණය තහවුරු කරනු පිණිස ඊයේ (05) පෙරවරුවේ පොළොන්නරුව සිරිපුර ප්‍රාදේශීය සභා ක්‍රීඩාංගණයේ පැවති ජන හමුවට එක් වූ ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතාගෙන් ගොවීහු මේ ඉල්ලීම කළහ.

    විනාශ වෙමින් පැවති සහල් ගබඩා රජය පත්වීමෙන් පසු ප්‍රතිසංස්කරණයට සහ වී මිලදී ගැනීමට විධිමත් ක්‍රමවේදයක් සකස් කළ බව ජනාධිපතිවරයා ගොවීන් සමග කියා සිටියේය. ඉදිරියේ දී වී ගොවියාද රැක ගනිමින් ගැටළුවක් ඇති නොවන ආකාරයෙන් ක්‍රියා කිරීමට රජය සැලසුම් කර ඇති බව රාජපක්ෂ මහතා පැවසීය.

    මහ බැංකු බැදුම්කර වංචාවට වගකිවයුත්තන් නීතිය හමුවට පමුණුවන ලෙස ද පොළොන්නරුව ප්‍රදේශවාසීහු ජනාධිපතිගෙන් ඉල්ලා සිටියහ. රැකියා ප්‍රශ්න මෙන්ම වන අලි තර්ජනය ද පොළොන්නරුව දිස්ත්‍රික්කයේ බොහෝ ප්‍රදේශවල ජනතාව මුහුණපා ඇති ගැටළුවකි. ඊට විසඳුම් දීමට පියවර ගන්නා ලෙස ද ප්‍රදේශවාසීහු ජනාධිපතිගෙන් ඉල්ලා සිටියහ.

    පොදුජන පෙරමුණෙන් මැතිවරණයට ඉදිරිපත්ව සිටින හිටපු රාජ්‍ය අමාත්‍ය රොෂාන් රණසිංහ, හිටපු නියෝජ්‍ය අමාත්‍ය සිරිපාල ගම්ලත් සහ අපේක්ෂක ජගත් සමරවික්‍රම මහත්වරු ද මේ අවස්ථාවට එක්ව සිටියහ.

    පොදුජන පෙරමුණේ අපේක්ෂක ජයසිංහ බණ්ඩා මහතා මහියංගනය, පොළොන්නරුව මාර්ගයේ කලුකැලේ ප්‍රදේශයේ  සංවිධාන කර තිබූ ජන හමුවට ද ජනාධිපතිවරයා සහභාගී විය.

    මනම්පිටිය ප්‍රතිභා ශාලාවේ පැවති ජන හමුවට එක් වූ ජනාධිපතිතුමාට ප්‍රදේශයේ මහා සංඝරත්නය යෝජනාවලියක් භාර දුන්හ. ජනාධිපතිවරයා වෙත ආශිර්වාද කරමින් සෙත් පිරිත් සජ්ජායනාවක් ද සිදු කෙරිණ. ප්‍රතිභා ශාලාව ඉදිරිපිටට රැස්ව සිටී ගුරුවරු පිරිසක්  ජනාධිපතිවරයා හමු වූ අතර ඔවුහු ද යෝජනාවලියක් භාර දුන්හ. හිටපු රාජ්‍ය අමාත්‍ය රොෂාන් රණසිංහ මහතා ද මේ අවස්ථාවට එක්ව සිටියේය.

    හිටපු ප්‍රධාන අමාත්‍ය පේෂල ජයරත්න මහතා කදුරුවෙල ප්‍රදේශයේ සංවිධාන කර තිබූ ජන හමුවට ජනාධිපතිවරයා සහභාගී විය. ප්‍රදේශයේ ඇති වැව් පිළිසකර කර දෙන ලෙස රැස්ව සිටී ජනතාව ජනාධිපතිවරයාගෙන් ඉල්ලා සිටියහ. බිත්තර වී සහ පොහොර ගැටළුව පිළිබඳව ද ඔව්හු ජනාධිපතිවරයාගේ අවධානය යොමු කළහ.

    ගල්වල හන්දිය, තඹාල ප්‍රදේශයේ සංවිධාන කර තිබූ ජන හමුවට එක්ව සිටී ජනතාව සමග ද ජනාධිපතිවරයා කතා බහක නිරත විය.

    හිටපු ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා සංවිධාන කළ ජනහමුවක් පොළොන්නරුව දීප උයන ඉදිරිපිට ඊයේ (5) දහවල් පැවැත්විණ. එම අවස්ථාවට ද එක් වූ ජනාධිපතිවරයා රැස්ව සීටී ජනතාව සමග සුහද පිළිසඳරක නිරත වෙමින් තොරතුරු විමසා සිටියේය.

  • ධාන්‍ය වැඩිපුර වගා කිරීමට උනන්දු වන්න – ජනාධිපති ගොවි ජනතාවගෙන් ඉල්ලයි

    ධාන්‍ය වැඩිපුර වගා කිරීමට උනන්දු වන්න – ජනාධිපති ගොවි ජනතාවගෙන් ඉල්ලයි

    රජය ධාන්‍ය ආනයනය නතර කර ඇති හෙයින්, ධාන්‍ය වර්ග ඉහළ මිලකට දේශීය සහ විදේශීය වෙළෙඳපොළට සැපයීමේ අවස්ථාව  ගොවී ජනතාවට දැන් උදා වී ඇතැයි ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා පවසයි.

    එබැවින් බඩඉරිගු, උඳු, මුං, කවුපී, කුරක්කන් වැඩිපුර වගා කිරීමට උනන්දු වන්නැයි ජනාධිපතිවරයා ගොවි ජනතාවගෙන් ඉල්ලා සිටී.

    මහමැතිවරණයට තරඟ වැදී සිටින  ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ අපේක්ෂකයන්ගේ ජයග්‍රහණය තහවුරු කරනු පිණිස ජනාධිපතිතුමා අනුරාධපුර දිස්ත්‍රික්කයේ  පසුගිය දා කළ චාරිකාවේ දී මේ බව සඳහන් කළේය.

    හිටපු රාජ්‍ය අමාත්‍ය වීරකුමාර දිසානායක මහතා කහටගස්දිගිලිය ප්‍රදේශයේ සංවිධාන කර තිබූ ජන හමුවට සහභාගීවෙමින් ජනාධිපතිවරයා ප්‍රදේශවාසීන් සමග කතා බහක නිරත විය.  නිසි කලට පොහොර සහ ජලය ලැබෙන්නේ නම් බාධාවකින් තොරව වගාවේ නිරත විය හැකි බව ගොවීහු ජනාධිපතිතුමා සමග කීහ. කාබනික පොහොර භාවිතයට වැඩි වශයෙන් යොමුවීමේ වැදගත්කම ද ජනාධිපතිවරයා පෙන්වා දුන්නේය.

    එස්.සී. මුතුකුමාරණ මහතා හොරොව්පොතාන පොළ භූමියේ සංවිධාන කළ ජන හමුවට සහභාගී වූ ජනාධිපතිතුමා  වැඩබලන විදුහල්පතිවරු මුහුණ පා ඇති ගැටළු විසඳීමට පියවර ගන්නැයි නිලධාරීන්ට දැනුම් දුන්නේය. ප්‍රදේශයේ දරුවන්ගේ අධ්‍යාපන කටයුතුවල ප්‍රගතිය පිළිබඳව ද ජනාධිපතිවරයා විදුහල්පතිවරුන්ගෙන් විමසීය.

    හිටපු අමාත්‍ය තිස්ස කරලියද්ද මහතා කැබිතිගොල්ලෑව, නාගරික උද්‍යානය අසළ සංවිධාන කර තිබූ ජන හමුවකට ද ජනාධිපතිතුමා එක් විය. කොන්ත්‍රාත් ක්‍රමයේ ඇති ගැටලු හේතුවෙන් සංවර්ධන ක්‍රියාදාමය ප්‍රමාදවී ඇතැයි ගම්වාසීහු පැවසූහ. කෝමාරිකා, වී සහ බඩ ඉරිඟු වගාව තම ප්‍රදේශය තුළ සාර්ථකව සිදුවන බව ද ඔවුහු සඳහන් කළහ.  වකුගඩු රෝග ව්‍යාප්තිය පාලනයට ගෙන ඇති පියවර සහ ගොවි ජනතාව මුහුණ පා සිටින ගබඩා පහසුකම් පිළිබඳ ගැටලුව කෙරෙහි ද ජනාධිපතිවරයාගේ අවධානය යොමු විය.

    අලි මිනිස් ගැටුම සහ ගොවි ණය සම්බන්ධයෙන් මැදවච්චිය ප්‍රදේශයේ ජනතාව මුහුණ පා සිටින ගැටලු ජනාධිපතිතුමා වෙත යොමු කළහ. එච්. නන්දසේන මහතා මැදවච්චිය සේනානායක ළමා උද්‍යානය අසළ සංවිධාන කළ ජන හමුවට සහභාගී වූ ජනාධිපතිතුමාට ජනතාව මේ බව පෙන්වා දුන්හ. අලි තර්ජනය හේතුවෙන් වගාවන්ට වන හානිය ද මෙහිදී සාකච්ඡාවට ලක් විය.

    සරත් කුමාරසිරි මහතා අනුරාධපුර බස්නාහිර, තොලුවිල, පුරාවිද්‍යා රක්ෂිතය අසළ සහ මහාචාර්ය චන්න ජයසුමන මහතා නැගෙනහිර අනුරාධපුර බැංකු හන්දිය අසළ සංවිධාන කර තිබූ ජන හමුවලට ද ජනාධිපතිවරයා සහභාගී විය.

    උද්දික ප්‍රේමරත්න මහතා අනුරාධපුර කඩ පනහ අසළ සහ හිටපු රාජ්‍ය අමාත්‍ය ෂෙහාන් සේමසිංහ මහතා කූඹිච්චන්කුලම වැව අසළ සංවිධාන කර තිබූ ජන හමුවලට සහභාගී වූ ජනාධිපතිවරයා රටේ කෘෂි ආර්ථිකය නගා සිටුවීමට අනුරාධපුර දිස්ත්‍රික්කයේ ගොවි ජනතාව දක්වන සහාය ඉතා ප්‍රශංසනීය බව පැවසීය.

    අමාත්‍ය එස්.එම්. චන්ද්‍රසේන සහ හිටපු ප්‍රධාන අමාත්‍ය එස්.එම්. රංජිත් මහත්වරු ද මේ අවස්ථාවන්ට එක්ව සිටියහ.