Blog

  • බොරු පැමිණිලි කළ ‘මහින්දානන්ද’ අත්අඩංගුවට ගැනීමට පුළුවන්: නීතිය මෙන්න !

    බොරු පැමිණිලි කළ ‘මහින්දානන්ද’ අත්අඩංගුවට ගැනීමට පුළුවන්: නීතිය මෙන්න !

    එහෙමනම් ඔය විමර්ෂණ කණ්ඩායම දැන් පනතේ 13 වන වගන්තිය යටතේ හිටපු ඇමතිතුමාට එරෙහිව නඩු පැවරිය යුතුයි. එහෙම නැතිනම් මේ විමර්ෂණය දේශපාලන උවමනාවකට කරපු දඩයමක් බවට හොඳටම පැහැදිලි වෙනවා. මීට අවුරුද්දකට කලින් එතුමාත් පාර්ලිමේන්තු මංත්‍රීවරයෙක් වෙලා හිටපු කාලේ හදපු නීතියක් නිසා එතුමා මේක ගැන නොදන්නවා කියන්නත් බෑනේ!

    වසර 2011 දී ඉන්දියාවේ පැවැති ලෝක කුසලාන ක්‍රිකට් තරගාවලියේ ශූරතාව මුදලට පවා දුන් බවට හිටපු ක්‍රීඩා අමාත්‍ය මහින්දානන්ද අලුත්ගමගේ  කළ චෝදනාව පදනම් විරහිත බව  ක්‍රීඩා වැරදි පිළිබඳව පොලිස් විශේෂ විමර්ශන ඒකකයේ ප්‍රධානී ජ්‍යෙෂ්ඨ පොලිස් ආධිකාරී ජගත් ෆොන්සේකා මහතා අද (03) මාධ්‍ය හමුවේ ප්‍රකාශ කළා.

    මහින්දානන්ද ඉදිරිපත් කළ කරුණු 14 සනාථ කරන්න හැකියාවක් නෑ

    “මෙම සිද්ධිය පිළිබඳව තව දුරටත් විමර්ශනය නොකර මේ පැමිණිල්ල අපිට යොමු කළ ක්‍රීඩා ආමාත්‍යංශයේ ලෙක්ම්තුමාට වාර්තාවක් යවනවා. අපේ ඒකකයේ නිලධාරීන්ගේ සාකච්ඡාවක් අද පෙරවරුවේ පැවැත්වුණා. එයට අපේ ස්ථානාධිපතිවරයා, නියෝජ්‍ය අධ්‍යක්‍ෂවරයා ඇතුළු සියලු දෙනාම සහභාගි වුණා. එහිදී අපි තීරණය කළා විමර්ශනය අවසන් කරන්න. සියලුම ක්‍රීඩකයන් ගෙන්වලා කටඋත්තර ගැනීම ආදෝලනාත්මක තත්ත්වයක් නිර්මාණය කිරීමක් බවට මේ වන විට පත්වෙලා තියෙනවා. ඒ නිසා මේක ලොකු ප්‍රශ්නයක් වෙන්න පුළුවන්.

    අපේ ඒකකය මේ දක්වා ලබාගත් කටඋත්තර තුනෙන් අපිට තේරුම් ගියා මහින්දානන්ද අලුත්ගමගේ මහතා ඉදිරිපත් කළ කරුණු 14 සනාථ කරන්න හැකියාවක් නෑ කියලා. ඒ වගේම අයි.සී.සී. එකට ලිපියොමු කළා කිව්වත් අයි.සී.සී. ප්‍රතිචාර දක්වලත් නෑ. අයි.සී.සී. පරීක්‍ෂණයක් කරලත් නෑ. අපි කටඋත්තර ගත්ත තිදෙනාම සාධාරණ හේතු කියලා තියෙනවා. විශේෂයෙන්ම කණ්ඩායම් මාරු කළේ ඇයි කියලා. අනික මේක 2011 වසරේ සිද්ධියක්” යැයි ජ්‍යෙෂ්ඨ පොලිස් ආධිකාරී ජගත් ෆොන්සේකා මහතා වැඩි දුරටත් පැවසුවා.

    මේ සම්බන්ධයෙන් ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරී ජාලිය සේනාරත්න මහතා කළ ප්‍රකාශයක සදහන් වුණේ අදාළ චෝදනා සනාථ කළ හැකි සාක්ෂි හෝ කිසිදු ලේඛනයක් එම මූලික විමර්ශනවලින් අනාවරණය නොවූ බවයි.

    “ඒ නිසා තවදුරටත් විමර්ශන ගෙනියන්න තරම් ප්‍රමාණවත් තොරතුරු නැහැ,” ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරී ජාලිය සේනාරත්න මහතා කියා සිටියා.

    2011 වසරේ සිදුවීමක් සම්බන්ධයෙන් විමර්ශන පැවැත්වීම සඳහා 2019 දී සම්මත කරගත් නීතියක් යොදාගත නොහැකි බවට නීති තර්කයක් මතු වූ අතර, විමර්ශනය අත්හැර දැමීමට එය තවත් හේතුවක් වූ බවද ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරී ජාලිය සේනාරත්න පැවසුවා.

    විමර්ශනයක් පැවැත්වීමට තරම් ප්‍රමාණවත් සාක්ෂි නෑ – ජාත්‍යන්තර ක්‍රිකට් කවුන්සිලය

    ශ්‍රී ලංකා ක්‍රිකට් කණ්ඩායම විසින් 2011 ක්‍රිකට් ලෝක කුසලානයේ අවසාන මහා තරගය පාවා දුන් බවට එල්ලවන චෝදනා සම්බන්ධයෙන් විමර්ශනයක් පැවැත්වීමට තරම් ප්‍රමාණවත් සාක්ෂි තමන් වෙත ඉදිරිපත් වී නොමැති බව ජාත්‍යන්තර ක්‍රිකට් කවුන්සිලය (ICC) පවසයි.

    අදාළ චෝදනාව සම්බන්ධයෙන් අයිසීසී යේ දූෂණ විමර්ශන ඒකකය මූලික සලකා බැලීමක් කළ බව එම ඒකකයේ කළමනාකරු ඇලෙක්ස් මාෂල් නිවේදනයක් නිකුත්කරමින් කියා සිටී.

    ශ්‍රී ලංකා ක්‍රීඩා අමාත්‍යවරයා විසින් අදාළ චෝදනාව සම්බන්ධයෙන් ඒ අවස්ථාවේ අයිසීසී වෙත කිසිදු ලිපියක් යැවූ බවට කිසිදු වාර්තාවක් නොමැති බව පවසන ඇලෙක්ස් මාර්ෂල්, අමාත්‍යවරයාගෙන් එවැනි ලිපියක් ලද බවට මතකයක් නැතැයි අයිසීසී ජ්‍යෙෂ්ඨ නිලධාරීන් ද තහවුරු කරන බව සඳහන් කරයි.

    එබැවින් 2011 ලෝක කුසලානයේ සම්බන්ධයෙන් සැක පහළ කිරීමට තමන්ට කිසිදු හේතුවක් නොමැති බව ජාත්‍යන්තර ක්‍රිකට් කවුන්සිලයේ ස්ථාවරය වී තිබේ.

    ගොරකා දඩමස් කරන මාධ්‍ය හා දේශපාලන භාවිතය

    මහින්දා නන්ද අලුත්ගමගේ හිටපු අමාත්‍යවරයා පදනම් විරහිත කතා කිරීමට ප්‍රසිද්ධියක් උසුළුන බව දේශපාලනය ගැන උනන්දුවක් දක්වන බොහෝ දෙනෙක් කරන පොදු චෝදනාවක්. ඔවුන් කියන්නේ ‘වාචාල දේශපාලනඥයින්ගේ පදනම් විරහිත කතා නිසා සමාජය කැළඹීමට පත්වීම වත්මන් දේශපාලන සංස්කෘතිය තුළ සුලභ තත්ත්වයක් බවයි.

    ‘ඔහු මීට සති කිහිපයකට පෙර විදෙස්ගත ශ්‍රමිකයින් සම්බන්ධයෙන් ද සාවද්‍ය කතාවක් කළා. ඔහු එදා විදෙස් ශ්‍රමිකයින් හැදින්වූයේ ‘මිනිස් බෝම්බ‘ කියලයි. ඒ වගේම කරුණා අම්මාන්, රන්ජන් රාමනායක වගේ දේශපාලනඥයින් ප්‍රකට වීමට හෝ කුප්‍රකට වීමට මෙවැනි පදනම් විරහිත කතා කියමින් සමාජය තුළ ක්ෂණික කම්පනයක් ඇති කරනවා‘ ප්‍රවීන දේශපාලන විචාරක භාතිය බරුකන්ද මහතා අප කළ විමසීමකදී කියා සිටියා.

    ‘මේකට මාධ්‍ය ප්‍රචාරය ඍජුව සම්බන්ධ වෙනවා. එහිදී මාධ්‍ය ක්‍රියාත්මක වෙන්නේ තම දේශපාලන න්‍යාය පත්‍ර අනුවයි. උදාහරණයක් ලෙස හරීන් ප්‍රනාන්දු කාදිනල්තුමා ගැන කළ කතාවට රාජ්‍ය මාධ්‍ය සහ රජයට ගැති මාධ්‍ය දැවැන්ත ප්‍රචාරයක් දෙනවා. මංගල සමරවීරට වචනයක් පිටකරන්න බැහැ. භික්ෂූන් එළියට බහිනවා. ඒත් කරුණා අම්මාන් කළ අති බිහිසුණු කතාවට මේ කිසිම පාර්ශ්වයක් එක කෙළ බිදක් හෙළුවේ නැහැ. මේක තමයි ලංකාවේ දේශපාලන භාවිතයේ ස්වභාවය. ප්‍රශ්නේ තියෙන්නේ මෙවැනි හිස් දේශපාලන චරිත පක්ෂ නායකයින් විසින් දැඩිව ආරක්ෂා කිරීමයි‘භාතිය බරුකන්ද මහතා වැඩි දුරටත් ප්‍රකාශ කළා.

    මෙහිදී ඔහු සදහන් කළේ ‘ගොරකා දඩමස් කරන මාධ්‍ය හා දේශපාලන සංස්කෘතිය තුළ මහින්දා නන්ද වැනි අවස්ථාවාදී දේශපාලන චරිත උඩ පිනුම් ගසන බවයි.

    දැඩි ආන්දෝලනයක්

    ක්‍රීඩා වැරදි පිළිබඳව පොලිස් විශේෂ විමර්ශන ඒකකයේ ප්‍රධානී ජ්‍යෙෂ්ඨ පොලිස් ආධිකාරී ජගත් ෆොන්සේකා මහතා ප්‍රකාශ කළ ආකාරයට 2011 ලෝක කුසලානය පවාදීම ගැන මහින්දා නන්ද කළ සාවද්‍ය ප්‍රකාශය දේශීය හා ජාත්‍යන්තර වශයෙන් දැඩි ආන්දෝලනක් ඇතිකර තිබෙනවා. ඒ අතර පොදුජනතාව, ක්‍රිකට් ක්‍රීඩකයින් සේම දේශපාලනඥයින් ද සිටිනවා.

    ට්විටර් පණිවුඩයක් නිකුත් කරමින් හිටපු අමාත්‍ය මනෝ ගනේෂන් ක්‍රීඩකයින්ගෙන් ප්‍රශ්න කරනු ලැබීම හඳුන්වා දෙන්නේ හෝමාගම “ලංකාවේ විශාලතම ක්‍රිකට් ක්‍රීඩාංගණය” ඉදි කිරීමේ සැලසුමට ක්‍රීඩකයින් විරුද්ධ වූ බැවින් ඔවුන් “විනාශ කිරීමේ” උත්සහයක් ලෙසයි.

    ශ්‍රී ලංකාවේ ක්‍රීඩකයින් බේරා ගැනීම පිණිස එක්වන මෙන් හිටපු ක්‍රීඩා අමාත්‍ය හරීන් ප්‍රනාන්දු හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී නාමල් රාජපක්ෂගෙන් ඉල්ලීමක් කළා.

    නාමල් රාජපක්ෂ හිටපු මන්ත්‍රීවරයා ට්විටර් පණිවිඩයක් නිකුත් කරමින් පවසා සිටියේ තමන් එදා මෙන්ම අදත් පොලිසිය ක්‍රීඩකයින්ගෙන් ප්‍රශ්න කිරිමට විරුද්ධ බවත් ‘යහපාලන’ රජය සමයේ ඇන්ජලෝ මැතිව්ස් ගෙන් පොලිසිය ප්‍රශ්න කළ අවස්ථාවෙදීත් තමන් එයට විරෝධය පළ කළ බවයි.

    අදාළ සිදුවීම සම්බන්ධයෙන් සිට ට්වීටර් ගිනුමේ සටහනක් තබමින් විපක්ෂනායක සජිත් ප්‍රේමදාස පවසන්නේ, ‘ජනතා බලය’ හමුවේ දණ ගැසීමට ආණ්ඩුවට සිදු වී ඇති බවයි.

    මහේල සහ අරවින්ද ගේ ප්‍රතිචාරය

    ට්විටර් ජාලය ඔස්සේ හිටපු ඇමතිවරයාගේ චෝදනාව ගැන ප්‍රතිචාර දක්වමින් එවකට කණ්ඩායමේ උප නායකයා වූ මහේල ජයවර්ධන, මැතිවරණය ළඟ දැයි උපහාසයෙන් ප්‍රශ්න කළා..

    ‘සංදර්ශනය’ ඇරඹී ඇති හැඩක් පෙනෙන බවත් පවසන ඔහු, තරග පාවා දුන් පුද්ගලයන්ගේ නම් සහ සාක්ෂි කවරේ දැයි ප්‍රශ්න කළා.

    පොදුජන එක්සත් පෙරමුණේ මහ මැතිවරණ අපේක්ෂකයෙකු ද වන හිටපු ක්‍රීඩා අමාත්‍යවරයා කළ චෝදනාව සම්බන්ධ විවාදය තවත් ඉදිරියට යමින් එවකට ශ්‍රී ලංකා තේරීම් කමිටුවේ සභාපතිවරයා වූ අරවින්ද ද සිල්වා ද එයට ප්‍රතිචාර දක්වා තිබුණි.

    හිටපු ඇමතිවරයා නගන චෝදනාව ගැන ප්‍රතිචාර දක්වමින් එවකට තේරීම් කමිටු සභාපතිවරයා වූ අරවින්ද සිල්වා පැවසුවේ පාවාදීමක් සිදු වී ඇත්නම් වසර 09 ක් තිස්සේ ඔහු එය සඟවාගෙන සිටීමම ගැටලුවක් බවයි.

    ඇමතිවරයාගේ ප්‍රකාශය ඉතා බරපතල බැවින් ජාත්‍යන්තර ක්‍රිකට් කවුන්සිලය මෙන්ම ඉන්දියානු ක්‍රිකට් ආයතනයද ඒ පිළිබඳව වහාම පරීක්ෂණ පැවැත්විය යුතු බවත් අරවින්ද ද සිල්වා අවධාරණය කර තිබුණා.

    ලෝක කුසලාන අවසාන මහා තරඟය පාවාදීම සම්බන්ධ චෝදනාව පිළිබඳ පොලිසිය විසින් විමර්ශන පවත්වනු ලැබුවේ හරීන් ප්‍රනාන්දු ක්‍රීඩා අමාත්‍යධුරය දරන සමයේ සම්මත කරන ලද ක්‍රීඩාවේ දූෂණ වැළැක්වීමේ නීතිය පදනම් කරගෙනයි.

    මහින්දානන්දට එරෙහිව නීතිය ක්‍රියාත්මක කරන්න

    මේ අතර දකුණු පළාත් හිටපු ආණ්ඩුකාර රජිත් කීර්ති තෙන්නකෝන් මහතා සිය ෆේස්බුක් ගිනුමේ සටහනක් තබමින් මහින්දානන්ද ට එරෙහිව නීතිය ක්‍රියාත්මක වේද ? යන්න මතුකරනවා. ඊට අදාළ නෛතික පසුබිමත් ඔහු එම සටහනේ දක්වා ඇති අතර එය පහත දැක්වෙනවා.

    තරඟ පාවාදීම් පිළිබඳ ක්‍රීඩකයින්ට විරුද්ධව සාක්ෂි හමුවුනේ නැත්තම්, බොරු චෝදනා එල්ල කළ පුද්ගලයින්ට 2019 අංක 24 දරණ ක්‍රීිඩාවලට සම්බන්ධ වැරදි වැළැක්වීමේ පනතේ අංක 13 වගන්තිය, අංක 14 (ඊ) යටතේ නඩු පැවරිය යුතුයි. බොරු චෝදනාවට වරදකරු වන්නේ රු. ලක්ෂ දෙකක දඩයක්, වසර දෙකකට තුනක් නො ඉක්මවන සිරගත කිරීමක් දඩුවම් ලෙස ලැබිය හැකියි.

    මේ තියෙන්නේ 2019 අංක 24 දරන ක්‍රීඩාවලට සම්බන්ධ වැරදි වැලැක්වීමේ පනතේ 13 වන වගන්තිය. 

    “මේ පනතේ 16 වන වගන්තිය යටතේ හෙළිදරව් කරනු ලබන යම් තොරතුරක ඇතුලත් යම් චොදනාවක අන්තර්ගතය සාවද්‍ය බව දැන දැනම හෝ, ඒ චෝදනාව සත්‍ය නොවන බව විශ්වාස කිරීමට හේතු තිබිය දී ඒ තොරතුර මගින් යම් සාවද්‍ය චෝදනාවක් කරන යම් තැනැත්තකු මේ පනත යටතේ වරදක් සිදු කරන අතරල මහෙස්ත්‍රාත්වරයකු විසින් වරදකරු කරනු ලැබීමේ දී රුපියල් ලක්ෂ එකකට වැඩි නොවන දඩයකට හෝ අවුරුදු තුනක් නො ඉක්මවන කාලයක් සඳහා බන්ධනාගාරගත කිරීමකට හෝ ඒ දඩය සහ බනධනාගාරගත කිරීම යන දඬුවම් දෙකට ම හෝ යටත් විය යුතුය.” 

    16 වන වගන්තියේ දක්වා ඇත්තේ තරඟ පාවාදීම් අනීතික ඔට්ටු ඇල්ලීම් ආදිය පිළිඹඳව කරනු ලැබෙන පැමිණිලි ගැන. ඉතිං මහින්දානන්ද හිටපු ඇමතිතුමා කලේ එවැනි පැමිණිල්ලක්. දැන් විමර්ශණ කණ්ඩායම කියනවා ඒ පැමිණිල්ල ඔප්පුකරන්න සාධක නෑ කියලා.

    එහෙමනම් ඔය විමර්ෂණ කණ්ඩායම දැන් පනතේ 13 වන වගන්තිය යටතේ හිටපු ඇමතිතුමාට එරෙහිව නඩු පැවරිය යුතුයි. එහෙම නැතිනම් මේ විමර්ෂණය දේශපාලන උවමනාවකට කරපු දඩයමක් බවට හොඳටම පැහැදිලි වෙනවා. මීට අවුරුද්දකට කලින් එතුමාත් පාර්ලිමේන්තු මංත්‍රීවරයෙක් වෙලා හිටපු කාලේ හදපු නීතියක් නිසා එතුමා මේක ගැන නොදන්නවා කියන්නත් බෑනේ!

    ජාත්‍යන්තර ක්‍රිකට් කවුන්සිලයේ සභාපති පුටුව රටට අහිමි කිරීම

    2011 ලෝක කුසලානය පවාදීමක් ගැන මහින්දා නන්ද අලුත්ගමගේ මහතා සහ හිටපු ඇමති තිලංග සුමතිපාල මහතා කළ ප්‍රකාශ ගැන අවධානය යොමු කරන බොහෝ පාර්ශ්ව ඍජුව චෝදනා කරන්නේ මෙම සිදුවීම පිටුපස දැවැන්ත කුමන්ත්‍රණයක් තිබූ බවයි.

    කුමාර සංග්ක්කාර මහතා ජාත්‍යන්තර ක්‍රිකට් කවුන්සිලයේ සභාපති ධූරයට තරග කිරීමට සූදානමින් සිටියදී මහින්දා නන්ද – තිලංග මැදිත්වීම මත ඍජුව කුමන්ත්‍රණයක් සිදුව ඇති බවට ඔවුන් චෝදනා කරනවා.

    සැකසුම – තීක්ෂණ වෙළෙන්එගොඩ

  • රජයේ පාසල් සිසුන්ගෙන් මාස 21ක් කොල්ල කනවා – අලුත්ම හෙළිදරව්ව මෙන්න !

    රජයේ පාසල් සිසුන්ගෙන් මාස 21ක් කොල්ල කනවා – අලුත්ම හෙළිදරව්ව මෙන්න !

    බොහෝ දේශපාලනඥයින්, උසස්  රාජ්‍ය නිලධාරීන්, ධනවතුන් ඇතුළු වරප්‍රසාද ලත් පුද්ගලයින්  තම දරුවන් අන්තර් ජාතික පාසල් වලට International  Schools  යවන බව පෙනී යයි. නිදහස් අධ්‍යාපනය ලබන බහුතර ජනතාවගේ දරුවන් මුහුණ පාන මෙම ප්‍රශ්නයට තවමත් විසඳුම් ලබා නොදුන්නේ ඒ නිසා ද ?

    අපොස සාමාන්‍ය පෙළ O/L level  විභාගය පැවැත් වෙන්නේ දෙසැම්බර් මාසයේ දී ය. ප්‍රතිඵල නිකුත් වන්නේ  මාර්තු අවසානයේ දී ය. ගත වන කාලය මාස 3 කි.

    අපොස උසස්පෙළ A/L level  විභාගය පැවැත්වෙන්නේ අගෝස්තු මාසයේදීය. ප්‍රතිඵල නිකුත් වන්නේ දෙසැම්බර්  අන්තිමට ය. ගත වන කාලය මාස 4 කි. 

    විශ්ව විද්‍යාලයට ඇතුල් කරනු ලබන්නේ උසස් පෙළ විභාගය පවත්වා අවුරුද්දකුත් මාස දෙකක් ගත වූ පසු ඊළඟ වසරේ ඔක්තෝබර් මාසයේ දී ය. ගත වන කාලය මාස 14 කි. මේ අනුව නිදහස් අධ්‍යාපනය තුළින් රජයේ පාසල් වල ඉගෙන  ගන්නා දරුවන්ට  අහිමි වන කාලය මාස  21  කි. විශ්ව විද්‍යාලයට ඇතුළු වන විට එම දරුවන්ගේ වයස අවුරුදු   20  කි.

    International schools වල  ඉගෙන ගන්න ශිෂ්‍යයින්ගේ ඒ තත්ත්වය විමසා බලමු

    එහෙත් ජාත්‍යන්තර පාසල්( International schools) වල  ඉගෙන ගන්න ශිෂ්‍යයින්ගේ   ඒ තත්ත්වය විමසා බලමු. එම ශිෂ්‍යයන් උසස් පෙළ විභාගය ( London  A/L level ,Edexel )  වයස අවුරුදු 17 දී  අවසන් කර විදේශීය රටවල සහ මේ රට  පෞද්ගලික  විශ්ව විද්‍යාල වලට ඇතුළත් වී වයස අවුරුදු 22 වන විට උපාධිධාරීන් බවට පත්වේ.

    රජයේ  පාසල් පද්ධතිය තුළ නිදහස් අධ්‍යාපනය ලබන දරුවන් ට තම වටිනා ජීවිතයේ අහිමි වන මෙම දීර්ඝ කාලය නිවැරදි කිරීමට කටයුතු නොකරන්නේ  කවර  බලපෑම් නිසා ද ?

    තාක්ෂණය මෙතරම් දියුණු යුගයක අපොස උසස් පෙළ සහ සාමාන්‍ය ප්‍රතිඵල නිකුත් කිරීමට මෙතරම් දීර්ඝ කාලයක් ගන්නේ ඇයි ?

    විශ්ව විද්‍යාල ප්‍රවේශය සඳහා අවුරුද්දකටත් වැඩි කාලයක් ගත වන්නේ ඇයි ?

    බොහෝ දේශපාලනඥයින්, උසස්  රාජ්‍ය නිලධාරීන්, ධනවතුන් ඇතුළු වරප්‍රසාද ලත් පුද්ගලයින්  තම දරුවන් අන්තර් ජාතික පාසල් වලට International  Schools  යවන බව පෙනී යයි.
    නිදහස් අධ්‍යාපනය ලබන බහුතර ජනතාවගේ දරුවන් මුහුණ පාන මෙම ප්‍රශ්නයට තවමත් විසඳුම් ලබා නොදුන්නේ ඒ නිසා ද ?

    රැකියා ,උසස් වීම්,  පශ්චාත් උපාධි අධ්‍යාපන අවස්ථා  ඇතුළු වරප්‍රසාද තම දරුවන්ට පමණක් උරුම කර දීමට, මෙම ප්‍රශ්නය  නො විසඳා කල් මරන ප්‍රතිපත්තියක්, මීට  වගකිව යුතු පාර්ශව අනුගමනය කරන්නේ දැයි ජනතාව තුළ සාධාරණ සැකයක් මතු වී  ඇත.

    වසන්ත අල්විස් – මාධ්‍ය ප්‍රකාශක රජයේ වෛද්‍ය පීඨ ශිෂ්‍ය දෙමාපිය සංගමය

  • ජයබහලු සහ නැගෙනහිර පර්යන්ත සංවර්ධන ව්‍යාපෘති අධ්‍යයනයට ජනපතිගෙන් කමිටුවක්

    ජයබහලු සහ නැගෙනහිර පර්යන්ත සංවර්ධන ව්‍යාපෘති අධ්‍යයනයට ජනපතිගෙන් කමිටුවක්

    කොළඹ වරායේ ජයබහලු පර්යන්තයේ සහ නැගෙනහිර පර්යන්තයේ සංවර්ධන ව්‍යාපෘති සම්බන්ධයෙන් උද්ගතව ඇති  තත්ත්වය විමර්ශනය කොට වාර්තා කිරීම පිණිස ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා පංච පුද්ගල කමිටුවක් පත්කර තිබේ.

    වරාය හා නාවික කටයුතු අමාත්‍යාංශයේ ලේකම් එම්.එම්.පී.කේ මායාදුන්නේ මහතා කමිටුවේ සභාපතිවරයා ලෙස නම් කර ඇත.

    කාර්මික අපනයන හා ආයෝජන ප්‍රවර්ධන අමාත්‍යාංශයේ ලේකම් එම්.පී.ඩී.යූ.කේ මාපා පතිරණ, මාර්ග හා මහාමාර්ග අමාත්‍යාංශ ලේකම් ආර්.ඩබ්ලිව්.ආර් පේමසිරි, විදුලිබල හා බලශක්ති අමාත්‍යාංශ ලේකම් වසන්තා පෙරේරා සහ ශ්‍රී ලංකා වරාය අධිකාරියේ සභාපති විශ්‍රාමික ජනරාල් ආර්.එම් දයා රත්නායක යන මහත්ම මහත්මීහු සෙසු සාමාජිකයෝ වෙති.

    කමිටුවට පැවරී ඇති කාර්යයන් මෙසේය,

    • ජයබහලු පර්යන්තයට අදාල ප්‍රසම්පාදන ක්‍රියා පටිපාටිය හා ඒ ආශ්‍රිත ගැටලු අධ්‍යයනය,
    • ශ්‍රී ලංකා වරාය අධිකාරියට අයත් ජයබහලු පර්යන්තයේ ගැඹුරු නැංගුරම් ධාරිතාව වැඩිකිරීම සහ නවීකරණය පිළිබඳ කැබිනට් තීරණ සහ 2017 ජූලි 26  දින ගනු ලැබූ කැබිනට් තීරණ පිළිබඳව මුදල් අමාත්‍යවරයා කළ නිරීක්ෂණයන්ට අනුව සිදුවනවාදැයි පරීක්ෂා කිරීම,
    • යන්ත්‍රෝපකරණ ගෙන්වීමට ප්‍රථම ජයබහලු පර්යන්තය වැඩිදියුණු නොකළේ මන්දැයි සොයා බැලීම,
    • ඉල්ලීමක් නැතිව ආරම්භ කළ  ප්‍රසම්පාදන පටිපාටිය සහ ඉන් ඇති වූ පිරිවැය ප්‍රතිවිපාක සහ පර්යන්තය ගොඩනැගීමට පෙර යන්ත්‍රෝපකරණ නැව්ගත කිරීම පිළිබඳ සොයා බැලීම,
    • ශ්‍රී ලංකා රජය සෙසු රාජ්‍යයන් සමඟ කොළඹ වරාය විශේෂයෙන් නැගෙනහිර පර්යන්තය සම්බන්ධයෙන් එළඹ ඇති ගිවිසුම් පිළිබඳ අධ්‍යයනය.
    • ඉහත සඳහන් 1,2 සහ 3 වන අවස්ථාවන් හි දි ශ්‍රී ලංකා වරාය අධිකාරිය, රේඛීය අමාත්‍යාංශ සහ රජය විසින් ගන්නා ලද  තීරණ පිළිබඳ මූල්‍යමය ප්‍රතිවිපාක සහ පිරිවැය ප්‍රතිවිපාක  විශ්ලේෂණය.
    • ඉහත සඳහන් කළ ක්‍රියා පිළිබඳ වගවිය යුත්තන් කවුරුන්ද යන්න හඳුනාගැනීම
    • වෙළඳ, නාවික සහ දේශීය විදේශීය ආයෝජනයන් තුළින් උපරිම ප්‍රයෝජනයක් ගත හැකිවන ආකාරයෙන් ඉහත සඳහන් පර්යන්ත 02ක සංවර්ධනයට යෝජනා ඉදිරිපත් කිරීම

    අද (03) සිට දින 45 ක් ඇතුලත අදාල රේඛීය අමාත්‍යාංශ සහ පාර්ශවකරුවන් සම්බන්ධ කොට කමිටුව විසින් වාර්තාව ඉදිරිපත් කළ යුතුය.

  • රාජපක්ෂවාදය තුළ ‘විපාක්ෂික බලවේගයකට’ සාර්ථක විය හැක්කේ කෙසේද ?

    රාජපක්ෂවාදය තුළ ‘විපාක්ෂික බලවේගයකට’ සාර්ථක විය හැක්කේ කෙසේද ?

    මේ විශ්ලේෂණයට එකතු කළ යුතු තවත් වැදගත් කරුණක් ඇත. එනම්, ඉදිරි කාලයේදී සිංහල සමාජයේ සැලකිය යුතු සහයෝගයක් දිනා ගන්නා ප්‍රජාතාන්ත්‍රික විපාක්ෂික බලවේගයකට සාර්ථක විය හැක්කේ එය සුළුතර ජනවාර්ගික සහ ආගමික ප්‍රජාවන්ගේ සහායද දිනා ගන්නට සමත් වන්නේ නම් පමණක් බවයි.

    ශ්‍රී ලංකාවේ ප්‍රජාතාන්ත්‍රික දේශපාලනය බරපතල අනතුරකට ලක් වෙමින් පවතීය යන බිය දැන් ලිබරල් නිදහස අගයන කණ්ඩායම් අතර පැතිර යමින් පවතී. එය ඉතාම සහේතුක බියකි. එම සහේතුකත්වය වඩාත් හොඳින් පැහැදිලි කර ගන්නට නම් අප ප්‍රජාතාන්ත්‍රික දේශපාලනයට අදාළ නීතිමය සහ ආයතනික රාමුවට සීමා නොවී “සැබෑ දේශපාලනය” ක්‍රියාත්මක වන්නේ කෙසේදැයි විමසා බැලිය යුතුය.

    මේ ලිපියෙන් ප්‍රයත්න දැරෙන්නේ ලාංකීය සැබෑ දේශපාලනයේ ගතිකයන් ඇසුරින් මෙරට ප්‍රජාතන්ත්‍රවාදය හමුවේ ඇති අභියෝග, අනතුරු හා අවස්ථා හඳුනා ගැනීමේ කිසියම් කටු සටහනක් සැකසීමය.    

    සාමාන්‍යයෙන් ලිබරල් ව්‍යවස්ථාවාදීන් වැඩි වශයෙන් උනන්දු වන්නේ දේශපාලනයේ නෛතික සහ ආයතනික පැතිමානය පිළිබඳවය. ඔවුන්ගේ දැක්මට අනුව පාලකයින් ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ විධි විධාන උල්ලංඝණය කරමින් ක්‍රියා කිරීම ඉතාම අනතුරුදායක තත්ත්වයකි. මන්ද යත්, මූලික නීතිය නොතකා කටයුතු කරන්නට පටන් ගන්නා පාලනයක් ඉතාම ඉක්මනින් අත්තනෝමතිකත්වය කරා ගමන් කිරීම අපේක්ෂා කළ යුතුය. (ඉතිහාසය සාක්ෂි දරන පරිදි මෙය සත්‍යයකි). එහෙයින් ලිබරල් ව්‍යවස්ථාවාදීන්ගේ මූලික අවධානය යොමු වන්නේ රාජ්‍යයේ නෛතික සහ ආයතනික පර්යාය හරියාකාරව පවත්වාගෙන යාම කෙරෙහිය. 

    ලිබරල් ව්‍යවස්ථාවාදීන්ගේ දෘෂ්ටියෙන් පසුගිය කාලයේදී මෙරට නෛතික සහ ආයතනික පර්යාය බිඳ වැටීම ගැන ආන්දෝලනාත්මක අදහස් කීපයක් මතු විය. පාර්ලිමේන්තුව නැවත කැඳවීමේ දිනයක් නියම කිරීමෙන් තොරව පාර්ලිමේන්තුව විසුරුවා හැර මහා මැතිවරණයක් පැවැත්වීම ගැන ඇති වූ නීතිමය තර්කය ඉන් එකකි. ජනාධිපතිවරයා හට විධිමත් පාර්ලිමේන්තු අනුමැතියකින් තොරව පොදු මුදල් භාවිත කිරීමට හැක්කේ කොතරම් දුරකටද යන ප්‍රශ්නය මුල් කොටගෙන තවත් විවාදයක් මතු විය.

    කොරෝනා වෛරස් වසංගතය හමුවේ පණවන ලද ඇඳිරි නීතියේ නීත්‍යානුකූලභාවය ගැනද එවැනිම ප්‍රශ්න මතු කෙරිණ. නවතම විරෝධය එල්ල වී ඇත්තේ හමුදා සහ පොලිස් නිලධාරීන්ගෙන් සමන්විත ජනාධිපති කාර්ය සාධක බලකායක් වෙත වගවීමට රාජ්‍ය නිලධාරීන්ට නියම කරනු ලැබීම මුල් කොටගෙනය. නමුත්, ඉහත කී කිසිදු නෛතික තර්කයක් හෝ විරෝධයක් පොදු ජන සමාජයේ දේශපාලන හැසිරීම් කෙරෙහි එතරම් බලපෑමක් කිරීමට සමත්ව ඇති බවක් නොපෙනේ. ඉහත කී ගැටළුකාරී තීරණ  සියල්ලම පාලනාධිකාරයේ සිතැඟි පරිදි මනාව ක්‍රියාත්මක වෙමින් පවතින්නේ කිසිදු බරපතල සමාජ විරෝධයකින්ද තොරවය. 

    සැබෑ දේශපාලනයේ හැසිරීම්

    ඉහත තත්ත්වය අප වටහා ගන්නේ කෙසේද? ඒ සඳහා අප හැරී බැලිය යුත්තේ සැබෑ දේශපාලනයේ චලනයන් දෙසය. 19 වන සියවසේ විසූ ජර්මානු චින්තකයෙකු වූ ලුද්විග් වොන් රොෂුවා “Realpolitik” යන යෙදුමෙන් හැඳින්වූයේ දේශපාලන පරමාදර්ශ සහ සදාචාර-නෛතික රාමුවලට පිටතින් සැබවින්ම දේශපාලනය ක්‍රියාත්මක වන්නේ කෙසේද යන්නයි.

    “භෞතික ලෝකය පාලනය වන්නේ ගුරුත්වාකර්ෂණය මගින් වන්නේ යම් සේද, එලෙසින්ම රාජ්‍යය පාලනය වන්නේ බලය මගින්” යැයි ඔහු පැවසීය. දේශපාලනයේ මෙම දේශපාලනික මානය විශ්ලේෂණය කර ගැනීම සඳහා අපට ව්‍යවස්ථා විශාරදයින්ගෙන් එතරම් සහායක් නොලැබේ. මන්ද යත්, එය දේශපාලන විද්‍යාවට අයත් විෂය ක්ෂේත්‍රයක් බැවිනි. 

    Chantal Mouffe

    ශන්තාල් මූෆ් (Chantal Mouffe) විසින් ලියන ලද කෘතීන් කිහිපයකදීම ඇය අවධාරණය කොට ඇත්තේ දේශපාලන න්‍යාය දේශපාලනයෙන් තොර වූවක් නොවිය යුතුය යන්නයි. ඇයගේ අදහස වන්නේ සැබෑ දේශපාලනයේ අංග ලක්ෂණ වන බලය, පසමිතුරුතාව, අරගලය සහ උපාය උපක්‍රම යනාදිය නොසලකා හරින දේශපාලන න්‍යායක් යනු හුදෙක් සදාචාර න්‍යායක් මිස “දේශපාලනික දේශපාලන න්‍යායක්” විය නොහැකිය යන්නයි.

    තවදුරටත් ග්‍රාම්ස්චිව අනුයමින් ඇය පවසන්නේ දක්ෂිණාංශික පාලකයින් තම ව්‍යවහාරය තුළින් දන්නා මේ දේශපාලනික පැතිමාන ගැන වාමාංශිකයින්ද අවධානය යොමු කළ යුතු බවයි. නැතහොත්, සිදු වනු ඇත්තේ 2008 මූල්‍ය අර්බුදයෙන් පසුව බොහෝ යුරෝපීය රටවල සිදු වූවාක් සේ දේශපාලනික ක්ෂේත්‍රය තම අණසකට යටත් කර ගන්නට දක්ෂිණාංශික ජනප්‍රියවාදී බලවේග සමත් වීමයි. 

    ප්‍රජාතන්ත්‍රවාදයේ වියහැකියාව    

    ඉහත කී සැබෑ දේශපාලනයේ අරුතින් අප ශ්‍රී ලංකාවේ ප්‍රජාතන්ත්‍රවාදයේ ගැටළුව දෙස බලන්නෙමු නම්, අපට ඒ පිළිබඳ ඉතාම අඳුරු වුවත් යථාර්ථවාදී චිත්‍රයක් ලැබෙනු ඇත. මෙරට ප්‍රජාතන්ත්‍රවාදයේ පැවැත්ම විය හැකියාවක් වනුයේ කවර නම් කොන්දේසි යටතේද?

    මේ ප්‍රශ්නයට අදාළව මෑතකදී දයාන් ජයතිලක වැදගත් නිරීක්ෂණයක් සිදු කොට තිබිණ. එනම්, මෙරට සමාජ නිදහස ආරක්ෂා විය හැකි තත්ත්වයන් සැකසෙන්නේ බොහෝ විට සිංහල බෞද්ධ ප්‍රජාව දේශපාලනිකව බෙදී සිටින විටදීය යන්නයි. විශේෂයෙන්ම ජනවාර්ගික පදනමකින් සිංහල බෞද්ධ ප්‍රජාව එක් දේශපාලන නායකත්වයක් වටා සංවිධානය වී සිටින තත්ත්වයක් තුළදී සමාජයේ ප්‍රජාතාන්ත්‍රික නිදහස අනතුරට ලක් වීමේ විශාල ඉඩකඩක් තිබේ. 2009 යුද්ධය අවසාන වීමත් සමග නිර්මාණය වූයේ එවන් තත්ත්වයකි. පසුගිය ජනාධිපතිවරණ ප්‍රතිපල මගින් හැඟවෙන තත්ත්වයද එබඳුය. 

    නමුත්, මේ සමගම අප අමතක නොකළ යුතු තවත් වැදගත් කාරණයක් තිබේ. එනම්, සිංහල බෞද්ධ ප්‍රජාවේ බහුතරයක් එක්සත් ජාතික පක්ෂයේ පාලනයට එරෙහිව පෙළ ගැසෙන්නට බලපෑ එකම කාරණය ජනවාර්ගික (සහ ආගමික) ජාතිකවාදය පමණක් නොවන බවයි. එතරම්ම වැදගත් දේශපාලන-ආර්ථික සාධකයක්ද එයට හේතු භූත විය. එනම්, විශේෂයෙන්ම රනිල් වික්‍රමසිංහගේ නායකත්වය යටතේ එක්සත් ජාතික පක්ෂය ගෝලීය නව-ලිබරල් සංස්ථාපිතයේ නියෝජිතයෙකු බවට පත්ව තිබීමයි.

    ඉන්දියාවේ රාහුල් ගාන්ධිගේ නායකත්වය යටතේ කොංග්‍රස් පක්ෂය ගමන් කළේද එම මාර්ගයේමය. රනිල් සේම රාහුල්ද ආර්ථිකමය ලෙස නව-ලිබරල් ප්‍රතිපත්ති අනුගමනය කරන අතර දේශපාලනිකව සුළුතර ජන කණ්ඩායම්වල සහයෝගය මත රඳා පවතින්නට ප්‍රයත්න දැරීය. නමුත්, දෙරටේම දක්ෂිණාංශික මහා ජාතික ජාතිකවාදය අති මහත් බහුතර ජන්දයකින් තම බලය තහවුරු කර ගත්තේය.

    නරේන්ද්‍ර මෝඩි හට “හින්දූ රාෂ්ට්‍රයක්” සඳහා ජන වරමක් හිමි වන විට ගෝඨාභය රාජපක්ෂ හට “විනයගරුක රටක් හැදීමට” සිංහල බෞද්ධ ජන වරමක් හිමි විය. මේ සංසිද්ධිය දේශපාලන දෘෂ්ටිවාදයන්ගේ හැඩ ගැසීම අනුව පමණක් තේරුම් කරන්නට පෙළඹෙන ලිබරල්වාදීන් හට මග හැරෙන්නේ මේ පිටුපස තිබෙන දේශපාලන-ආර්ථික සාධකයන්ගේ වැදගත්කමයි. 

    නව-ලිබරල්වාදය සහ දක්ෂිණාංශික ජාතිකවාදය

    පසුගිය දශකය තුළදී දක්ෂිණාංශික ජාතිකවාදයේ රැල්ලක් හමා ගියේ ශ්‍රී ලංකාව සහ ඉන්දියාව තුළ පමණක් නොවේ. එක්සත් රාජධානිය, ප්‍රංශය, ජර්මනිය, හංගේරියාව ඇතුළු බොහෝ යුරෝපීය රටවලද, ඇමෙරිකා එක්සත් ජනපදය තුළද, තුර්කිය, බ්‍රසීලය සහ තවත් බොහෝ රටවලද එය හමා ගියේය.

    මේ එක් එක් රටවල ජාතිකමය සුවිශේෂතා අනුව එම දේශපාලන ප්‍රවාහයන්හි වෙනස්කම් නිර්මාණය වන බව අමුතුවෙන් කිව යුතු නොවේ. නමුත්, ඒවායෙහි කිසියම් පොදු ලක්ෂණද ඒ සමගම අපට හඳුනාගත හැකිය. එනම්, බොහෝ විට ආර්ථිකමය පීඩනයන් සහ බැහැර කිරීම් ඔස්සේ මහජනයා අතර වර්ධනය වූ විරෝධයන් සහ අසංතෘප්තීන් දේශපාලනිකව සංවිධානය කිරීමට දක්ෂිණාංශික ජාතිකවාදී නායකත්වයන් සමත් වීමයි.

    මෙයින් පෙනී යන්නේ දක්ෂිණාංශික ජාතිකවාදයන්ගේ මෑතකාලීන නැගීමට බලපෑ කිසියම් ආර්ථිකමය සාධකයක් පවතින බවයි. ඒ අන් කිසිවක් නොව සියලු සමාජ ගැටළුවලට විසඳුම නිදහස් වෙළඳපල යැයි ආධානග්‍රාහීව අදහන නව-ලිබරල්වාදයයි. විශේෂයෙන්ම මෙම නව-ලිබරල් ප්‍රතිපත්තීන්වල ව්‍යසනකාරී ප්‍රතිපල 2008 මූල්‍ය අර්බුදයත් සමග පුපුරා යන ස්වභාවයකින් බොහෝ සමාජයන්වලට දැනෙන්නට පටන් ගත්තේය. මෙහි ප්‍රතිපලයක් ලෙසින් වැඩෙන්නට වූ සමාජ විරෝධය සහ අසංතෘප්තිය සංවිධානය කරන්නට සමත් වූයේ දක්ෂිණාංශික ජාතිකවාදී ව්‍යාපෘතීන්ය. 

    ඒ මන්ද? සරලව කිව හොත්, සාම්ප්‍රදායික සමාජ ප්‍රජාතන්ත්‍රවාදී පක්ෂ සහ වාමාංශික පක්ෂ මෙම සමාජ විරෝධය සංවිධානය කිරීමට අසමත් වීම නිසාය. ඔවුන් එසේ අසමත් වූයේ අන් කිසිදු හේතුවක් නිසා නොව ඔවුන්ද එම නව-ලිබරල් දැක්ම හා අනුගත වී සිටීම නිසාය. ශන්තාල් මූෆ් යුරෝපයට අදාළව මේ අනතුර පෙර දකින්නට සමත් වූවාය.

    ඇය 2005 දී ප්‍රකාශයට පත් කළ “On the Political” කෘතියේදී පෙන්වා දුන්නේ යුරෝපයේ වාමාංශික පක්ෂ ඊනියා මධ්‍ය-වාමාංශික නොහොත් “තුන්වන මාවත” ප්‍රතිපත්ති කරා හැරීමෙන් නව-ලිබරල්වාදය සමග අනුගත වූ බවයි. (ගෝලීය ධනවාදයේ පරිවාරයේ පිහිටි ශ්‍රී ලංකාවේ චන්ද්‍රිකා කුමාරතුංගගේ නායකත්වයෙන් 1994 සිට මේ සම්මුතික දේශපාලන හැරීම සිදු විය).

    “වම-දකුණ අතර බෙදීම මැකී යාම”, “පසමිතුරු දේශපාලනයේ අවසානය”, “පශ්චාත්-දෘෂ්ටිවාදී යුගයකට පිවිසීම” යනාදී මිත්‍යාමතික අදහස් ව්‍යාප්ත වන්නට පටන් ගත්තේ එම වාතාවරණය තුළය. (පසුකාලීනව විශ්‍රාමික මාගරට් තැචර්ගෙන් ඇය ලැබූ විශාලතම දේශපාලන ජයග්‍රහණය කුමක්දැයි විමසූ විට ඇය මෙසේ පැවසුවාය: “ටෝනි බ්ලෙයාර් සහ නව-කම්කරු පක්ෂය!”). 

    මූෆ් කළ අනාවැකිය වූයේ “නව-ලිබරල්වාදයට විකල්පයක් නොමැතිය” යන අදහස මත පදනම් වූ මෙම සම්මුතික දේශපාලනයේ ප්‍රතිපලයක් ලෙස හිස් වන විපාක්ෂික දේශපාලන අවකාශය අන්ත-දක්ෂිණාංශික බලවේග විසින් අත්පත් කර ගනු ඇති බවයි. ඒ නව-ලිබරල් විරෝධී උදෘතයන් සමග සුළු ජනවර්ග විරෝධී සහ සංක්‍රමණ විරෝධී නව-ගතානුගතික දෘෂ්ටිවාදයන් සුසම්බන්ධ කිරීම මගිනි. පසුව මූෆ් හට ග්‍රීක මිථ්‍යා කතාවක එන චරිතයක් සේ ඇය පැවසූ දෙය සැබෑ වන අයුරු දුක්මුසු හැඟුමින් බලා සිටින්නට සිදු විය.

    සැබෑ දේශපාලනයෙන් ප්‍රජාතන්ත්‍රවාදයට 

    දිගු කතාවක් කෙටි කර කිව හොත්, දක්ෂිණාංශික ජාතිකවාදයේ නැගීමට අවශ්‍ය තත්ත්වයන් සකසන ලද්දේ නව-ලිබරල් සංස්ථාපිතය විසින්මය. ඒ අරුතින් මේ එකම කාසියේ දෙපැත්තය. ප්‍රංශයේ අන්ත-දක්ෂිණාංශික මරීන් ලපෙන්ට එරෙහිව එමානුවෙල් මැක්රෝන් හට සහාය දැක්වීමට එරට වාම-ලිබරල් කොටස්වලට සිදු විය. ඒ සම්බන්ධයෙන් පසුකාලීනව යානීස් වරූෆකීස් ප්‍රකාශ කළේ ඔවුන් සහාය දැක්වූයේ ලපෙන් නමැති පලය බිහි කරන්නා වූ හේතුවට බවයි. 

    මේ අරුතින්, ශ්‍රී ලංකාවේ වත්මන් දක්ෂිණාංශික ජාතිකවාදී පාලනාධිකාරය නිර්මාණය වීමට හිතකර තත්ත්වයන් සකසන ලද්දේ 2015 නව-ලිබරල් යහපාලන ව්‍යාපෘතිය විසින්මය. එම ව්‍යාපෘතිය ජනතාවගේ ආර්ථිකමය විරෝධයන් සහ දුක්ඛ දෝමනස්සයන් දේශපාලනීකරණය කිරීම වෙනුවට ඒවා හුදෙක් කළමණාකරණය කිරීමට ප්‍රයත්න දැරීය.

    “For a Left Populism” (2019) කෘතියේ ශන්තාල් මූෆ් පවසන පරිදි මෙම නව-ලිබරල් සංස්ථාපිතය විසින් පෙරට ගෙන යනු ලබන්නේ ප්‍රජාතන්ත්‍රවාදයෙන් තොර ලිබරල්වාදයකි. ප්‍රජාතන්ත්‍රවාදයේ මූලිකාංග වන ජනතා නියෝජනය සහ සමානාත්මතාව එම ව්‍යාපෘතිය තුළ යටපත් වී යයි. දක්ෂිණාංශික ජාතිකවාදය විසින් දෘෂ්ටිවාදී නියෝජනයක් ලබා දෙනු ලබන්නේ එම යටපත් කරනු ලැබූ ප්‍රජාතාන්ත්‍රික අභිලාෂයන්ටය. 

    2015 නව-ලිබරල් යහපාලන ව්‍යාපෘතිය සමග අනුගත වූ ජනතා විමුක්ති පෙරමුණ පවා තවමත් පෙරට ගෙන යමින් සිටින්නේ ඉතාම දුර්වල යහපාලන සටන් පාඨ පෙළකි. “හොඳ මිනිසුන් පාර්ලිමේන්තුවට යැවීම” නොහොත් “තිත්ත දේශපාලනයේ ඇත්ත මිනිස්සු” යන දුර්වල සටන් පාඨයෙන් පවා ගම්‍ය වන්නේ එයයි.

    නමුත්, වාමාංශය මේ අභියෝගය න්‍යායිකව වටහාගෙන තිබේද? දේශපාලනිකව එයට මුහුණදීමට අවශ්‍ය උපායික දැක්මක් ගොඩ නගාගෙන තිබේද? අවාසනාවන්ත ලෙස මේ ප්‍රශ්නවලට පිළිතුර “නැත” යන්නයි. 2015 නව-ලිබරල් යහපාලන ව්‍යාපෘතිය සමග අනුගත වූ ජනතා විමුක්ති පෙරමුණ පවා තවමත් පෙරට ගෙන යමින් සිටින්නේ ඉතාම දුර්වල යහපාලන සටන් පාඨ පෙළකි. “හොඳ මිනිසුන් පාර්ලිමේන්තුවට යැවීම” නොහොත් “තිත්ත දේශපාලනයේ ඇත්ත මිනිස්සු” යන දුර්වල සටන් පාඨයෙන් පවා ගම්‍ය වන්නේ එයයි. (එයට එක් හේතුවක් විය හැක්කේ තමන් “ජනවාරි විප්ලවයට” සහාය දීමෙන් රැවටීමට ලක් වූවා යැයි කළකිරීමට පත් වූ බුද්ධිමය ශ්‍රේණියක් සමග ජවිපෙට ඇති සම්බන්ධය විය හැකිය).

    නමුත්, මේ වෙනුවට ජනතාව පෙළන ආර්ථික පීඩනයන් සහ දැන් වේගයෙන් අනතුරට ලක් වෙමින් පවතින ප්‍රජාතාන්ත්‍රික අයිතීන් පිළිබඳ ගැටළුවලට ආමන්ත්‍රණය කරන ප්‍රජාතාන්ත්‍රික ප්‍රගතිශීලී විපාක්ෂික බලවේගයක් ගොඩ නැගීමේ අවශ්‍යතාවක් (සහ හැකියාවක්) දැන් නිර්මාණය වී තිබේ. ඒ සඳහා “හොඳ මිනිසුන්” තේරීමේ යහපාලන දෘෂ්ටියේ සීමාව ඉක්මවා බොහෝ දුර යා යුතුව ඇත. 

    මධ්‍ය-දක්ෂිණාංශයේ පැත්තෙන් බැලූ විටද තත්ත්වය එබඳුය. සජිත් ප්‍රේමදාස නිතර කීමට පුරුදුව සිටින “ගෝඨාභය ජනාධිපතිවරයා සමග එකට වැඩ කළ හැකි අගමැතිවරයා වන්නේ තමා”ය වැනි දුර්වල උදෘතයන්ගෙන් ජනයා ආකර්ෂණය කරගත හැකි යැයි සිතීම විශාල මිථ්‍යාවකි.

    පසුගිය ජනාධිපතිවරණය සමයේ මා ලියූ පරිදි “තරඟකාරී ජාතිකවාදයකින්” රාජපක්ෂ හෙජමොනිය පරාජය කිරීමට සිතීමම හිතළුවකි. ඒ වෙනුවට ඉදිරියේදී විවෘත වන්නේ ප්‍රජාතාන්ත්‍රික නිදහස සහ ආර්ථික පීඩනයන්ට විසඳුම් ඉල්ලන විපාක්ෂික දේශපාලන අවකාශයකි.

    දැනට එතරම් ජන බලයක් නැතත් මේ අනාගත දේශපාලන වියහැකියාවන් ගැන තියුණු දැනුවත්භාවයකින් යුතුව දේශපාලන කලාවේ නිරත වෙමින් සිටින්නේ පෙරටුගාමී සමාජවාදී පක්ෂය බව මගේ හැඟීමයි. 

    මේ විශ්ලේෂණයට එකතු කළ යුතු තවත් වැදගත් කරුණක් ඇත. එනම්, ඉදිරි කාලයේදී සිංහල සමාජයේ සැලකිය යුතු සහයෝගයක් දිනා ගන්නා ප්‍රජාතාන්ත්‍රික විපාක්ෂික බලවේගයකට සාර්ථක විය හැක්කේ එය සුළුතර ජනවාර්ගික සහ ආගමික ප්‍රජාවන්ගේ සහායද දිනා ගන්නට සමත් වන්නේ නම් පමණක් බවයි.

    මෙය පැහැදිලි කිරීමේදී ලාංකීය ප්‍රජාතන්ත්‍රවාදයේ පැවැත්මේ බාහිර කොන්දේසියක් වන ඉන්දු-ශ්‍රී ලංකා සබඳතාව දෙස අවධානය යොමු කළ යුතුය. එය ඉදිරි ලිපියකදී පැහැදිලි කරන්නට බලාපොරොත්තු වෙමි. 

    සුමිත් චාමින්ද       

  • 2020 දී ඒක පුද්ගල ආදායම අඩුවෙලා – ලංකාවේ තත්ත්වය පහළට

    2020 දී ඒක පුද්ගල ආදායම අඩුවෙලා – ලංකාවේ තත්ත්වය පහළට

    ලෝක බැංකුව විසින් පසුගිය 01 වැනිදා නිකුත් කළ සිය නවතම වර්ගීකරණයන්ට අනුව ශ්‍රී ලංකාව ඉහළ මධ්‍යම ආදායම් ලබන රටක සිට පහළ මධ්‍යම ආදායම් ලබන රටක් දක්වා පහත හෙළීමට පියවර ගෙන තිබෙනවා.

    This image has an empty alt attribute; its file name is WB.JPG

    2020-2021 වර්ෂයන් සඳහා වන රටවල් වල ආදායම් මට්ටම අනුව ලෝක බැංකුව විසින් මෙම වර්ගීකරණය සිදුකොට තිබෙනවා.

    පසුගිය වසරේදී අමෙරිකානු ඩොලර් 4060 ක් වූ දළ ජාතික ආදායමකට හිමිකම් කි ශ්‍රී ලංකාව මේ වර්ෂයේදී ඇ.ඩො. 4020 ක් දක්වා එය පහත වැටීම නිසයි මේ ආකාරයෙන් පහළ මධ්‍යම ආදායම් ලබන රටක් බවට යළි පහළ වැටී ඇත්තේ.

    2019 වසරට සාපේක්ෂව අවම කාණ්ඩයකට ගමන් කරන රටවල් තුන අතරට ශ්‍රී ලංකාව පත්ව ඇති අතර එම කාණ්ඩයට ඇතුළත් වන අනෙක් රටවල් දෙක වන්නේ ඇල්ජීරියාව සහ සුඩානයයි.

    නවතම වර්ගීකරණයන් පිළිබඳව අදහස් දක්වමින් ලෝක බැංකුව අවධාරණය කළේ ආදායම් වර්ගීකරණයන් කිරිමේදී පෙර වර්ෂයේ දළ ජාතික ආදායම පිළිබඳව සලකා බැලීමක් සිදුකරනු ලැබූ බවයි.

    කොවිඩ් 19 වසංගතය හේතුවෙන් මෙම වසරේ වර්ගීකරණය සඳහා භාවිතා කරන දළ ජාතික ආදායම කොපමණද යන්න තවමත් ප්‍රකාශයට පත් කර නොමැති බවයි ලෝක බැංකු වාර්තාව වැඩි දුරටත් සදහන් කළේ.

  • සංගා පැය 09ක් තිස්සේ සාක්ෂි දෙයි – හෙට සාක්ෂි දෙන්නේ මහේල ජයවර්ධන

    සංගා පැය 09ක් තිස්සේ සාක්ෂි දෙයි – හෙට සාක්ෂි දෙන්නේ මහේල ජයවර්ධන

    2011 වසරේදී ඉන්දියාවේ පැවැති කුසලාන ක්‍රිකට් තරගාවලියේ ශූරතාව මුදලට පවා දුන් බවට හිටපු ක්‍රීඩා අමාත්‍ය මහින්දානන්ද අලුත්ගමගේ මහතා කළ චෝදනාව සම්බන්ධයෙන් ප්‍රකාශයක් ලබාදීමට හිටපු නායක කුමාර සංගක්කාර මහතා අද (02) ක්‍රීඩා වැරදි පිළිබදව සොයා බලන විශේෂ පොලිස් විමර්ශන ඒකකයට පැමිණියා.

    අද පෙරවරු 09.00ට පමණ සුගතදාස ක්‍රීඩා සංකීර්ණයේ පිහිටි ක්‍රීඩා වැරදි පිළිබඳව පොලිස් විශේෂ විමර්ශන ඒකකයට පැමිණි කුමර සංගක්කාර මහතා පැය 09කට ආසන්න කාලයක් එහි ගත කළ අතර පස්වරු 06.20 වන විට ඉන් පිටව ගියා.

    2011 ලෝක කුසලාන ක්‍රිකට් තරගාවලියේදී ශ්‍රී ලංකා කණ්ඩායමේ නායකයා ලෙස කටයුතු කළේ කුමාර් සංගක්කාර මහතායි.

    සංගක්කාර මහතා මේ වන විටත් එංගලන්තයේ මාර්ලිබෝන් ක්‍රිකට් සමාජයේ සභාපති තනතුර හොබවන අතර ජාත්‍යන්තර ක්‍රිකට් කවුන්සිලයේ සභාපති ධුරය සදහා තරග වැදීමට බලාපොරොත්තුවෙන් පසුවන බව ද සදහන්.

    මේ අතර 2011 ලෝක කුසලාන තරගාවලියට සහභාගී වූ ශ්‍රී ලංකා කණ්ඩායමේ ජ්‍යෙෂ්ඨ ක්‍රීඩක මහේල ජයවර්ධන මහතාට ද හෙට (03 වැනිදා) ක්‍රීඩා වැරදි පිළිබඳව පොලිස් විශේෂ විමර්ශන ඒකකය හමුවට පැමිණෙන ලෙස දැනුම් දී තිබෙන බව එම ඒකකයේ ප්‍රධානී, ජ්‍යෙෂ්ඨ පොලිස් ආධිකාරී ජගත් ෆොන්සේකා මහතා මාධ්‍ය වෙත පැවසුවා.

    මහේල හෙට පෙරවරු 09.00ට පැමිණීමට නියමිත බවයි ඔහු වැඩි දුරටත් සදහන් කළේ.

  • Covid-19ට වසංගතයට මුහුණ දෙන්න විදෙස් රටවලින් කෝටි 7000ක්

    Covid-19ට වසංගතයට මුහුණ දෙන්න විදෙස් රටවලින් කෝටි 7000ක්

    කොවිඞ් 19 වසංගතයට මුහුණදීම සඳහා විදේශ රටවලින් හා සංවිධානවලින් ඇමෙරිකානු ඩොලර් මිලියන 252ක් හෙවත් රුපියල් කෝටි 7,000ක වටිනාකමින් යුත් ණය හා ආධාර ශ්‍රී ලංකාවට ලබා දුන් බව අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්‍ෂ මහතා ඊයේ (01) පැවැති කැබිනට් මණ්ඩල රැස්වීමේදී හෙළිකළ බව කැබිනට් ප්‍රකාශක, අමාත්‍ය බන්දුල ගුණවර්ධන මහතා පැවසීය.

    ඇමති බන්දුල ගුණවර්ධන මහතා මේ බව පැවසුවේ රජයේ ප්‍රවෘත්ති දෙපාර්තමේන්තුවේදී අද (2) පැවති කැබිනට් තීරණ දැනුම්දීමේ මාධ්‍ය හමුවේදීය.

    මෙම සමහර මුදල් ලබාගැනීම සඳහා අවශ්‍ය සේවා හා භාණ්ඩ ලබාගැනීමෙන් පසු බිල්පත් ඉදිරිපත් කළ යුතු බව කී ඇමතිවරයා මේවා තවමත් ගිවිසුම් පමණක් යැයි ද කීවේය.

    කොවිඞ් 19 වසංගතයට මුහුණදීම සඳහා ලැබුණු විදේශ ණය ආධාර පිළිබඳ සවිස්තරාත්මක වාර්තාවක් මුදල් අමාත්‍යවරයා ලෙස අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්‍ෂ මහතා විසින් කැබිනට් මණ්ඩලයට ඉදිරිපත් කළ බවත් ඒවා විනිවිදභාවයෙන් යුතුව භාවිතා කරන ආකාරය මෙන්ම වැය කිරීමට බලාපොරොත්තු වන ව්‍යාපෘති සම්බන්ධයෙන් ද කරුණු දැක්වූ බව කියා සිටියේය. 

    මෙහිදී අමාත්‍ය බන්දුල ගුණවර්ධන මහතා මෙසේද පැවසීය,

    ‘කොඩිව් වසංගතයට මුහුණ දීම සදහා ශ්‍රී ලංකාවට ද්‍රව්‍යමය හා මූල්‍යමය ආධාර ලෙස පසුගිය මැයි මස 22 වැනිදා වන විට ලැබී ඇති මුළු විදේශ ණය ප්‍රමාණය ඇමෙරිකානු ඩොලර් මිලියන 173.6ක් වන අතර ප්‍රදාන ලෙස ඇමෙරිකානු ඩොලර් මිලියන 75 හා ඇමෙරිකානු ඩොලර් මිලියන 4.2ක් වටිනා භාණ්ඩ මෙරටට ලැබී ඇතැයි අග්‍රාමාත්‍යත්‍රමා කැබිනට් මණ්ඩලයට දැනුම් දුන්නා.

    මේ ආධාර ලෝකයේ විවිධ රටවලින් ලැබී තිබෙනවා. ඒ වගේම ජාත්‍යන්තර මූල්‍ය අරමුදල, ලෝක බැංකුව, ආසියානු සංවර්ධන බැංකුව, ලෝක සෞඛ්‍ය සංවිධානය වැනි ආයතන ද ණය සහ ආධාර ලබාදීමට එකග වී තිබෙන බවයි අගමැතුමා කැබිනට් මණ්ඩලයට ප්‍රකාශ කළේ‘

    මෙහිදී අමාත්‍යවරයා වැඩි දුරටත් සදහන් කළේ මේ ආධාර තවමත් රජයට ලැබී නැති බවයි.

    ‘මේ සියල්ල එකගවීම් පමණයි. කිසිම ආධාරයක් තවමත් රජයට ලැබී නැහැ‘ යැයි ද බන්දුල ගුණවර්ධන මහතා පැවසීය.

  • රාජ්‍ය බැංකුවල ණය සම්ප්‍රදාය වහාම වෙනස් කළ යුතුයි – ජනපති අවධාරණය කරයි

    රාජ්‍ය බැංකුවල ණය සම්ප්‍රදාය වහාම වෙනස් කළ යුතුයි – ජනපති අවධාරණය කරයි

    ගම ගොඩනැගීමට නම් ග්‍රාමීය ආර්ථිකය සහ ජනතා අවශ්‍යතා හඳුනාගනිමින් බැංකු සේවා ක්‍රියාත්මක විය යුතු බව ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා අවධාරණය කරයි.

    පිට රටවලින් පැමිණ කර්මාන්තශාලා අරඹන තෙක් නොසිට අපනයන කෘෂිකර්මාන්තය සංවර්ධනය කිරීම කාලීන අවශ්‍යතාවක් බව ජනාධිපතිවරයා කියා සිටී. කර්මාන්ත බිහි වීම පමණක් සංවර්ධනය නොවන බව පෙන්වා දෙන ජනාධිපතිතුමා කෘෂිකර්මාන්තය කේන්ද්‍ර කරගනිමින් ග්‍රාමීය ව්‍යවසායකත්වය වර්ධනය කළ යුතු බව පවසයි.

    ප්‍රාදේශීය සංවර්ධන බැංකුවේ වත්මන් ක්‍රියාකාරීත්වය සහ ඉදිරි සැලසුම් පිළිබඳව අද (02) දහවල් ජනාධිපති කාර්යාලයේ පැවති සාකච්ඡාවේදී මේ අදහස් පළ කෙරිණ.

    අවශ්‍යතා නිවැරදිව හඳුනාගෙන කෘෂිකර්මාන්තය දියුණු කිරීමෙන් ආර්ථික සංවර්ධනය අත් කරගැනීම රජයේ අරමුණකි. ඒ සඳහා ආර්ථිකය ගොඩනගන ආකාරය පහළ සිට බැලීමේ වැදගත්කම ද රාජපක්ෂ මහතා පෙන්වා දුන්නේය.

    වාණිජ බැංකු ණය සම්පාදනයේදී නිෂ්පාදන ක්ෂේත්‍රයට වඩා වෙ‍ළෙඳ අංශ කෙරෙහි වැඩි අවධානයක් යොමු කරයි. සම්ප්‍රදායට සීමා නොවී ගොවීන් නිෂ්පාදනයට දිරිගන්වමින් ක්‍රියාකිරීම ප්‍රාදේශීය සංවර්ධන බැංකුවේ වගකීමකැයි ජනාධිපතිවරයා සඳහන් කළේය.

    කෘෂි භෝග ආනයනයට ඉඩ නොතබා උඳු, කුරක්කන්, මුං ඇතුළු ධාන්‍ය වගා දිරිගැන්වීමේ අවශ්‍යතාවද අවධාරණය කෙරිණ. ඒ ඒ ප්‍රදේශයට ඉලක්ක නියම කරමින් ගොවියා දිරිගැන්වීමට අවශ්‍ය සහාය, බැංකුව ගමට ගෙනයාමෙන් තමා අපේක්ෂා කරන ඉලක්කය බව ද ජනාධිපතිවරයා පැවසීය.

    දීර්ඝ කාලීනව ගෙවීමේ පදනම මත මහා පරිමාණ වශයෙන් ණය ගෙන ගෙවීම පැහැර හරින අයට එරෙහිව තදින් ක්‍රියාකළ යුතු බව සඳහන් කළ ජනාධිපතිවරයා රාජ්‍ය බැංකුවලට අයවිය යුතු ණය අයකරගැනීමේ ක්‍රමවේදයක් සැකසීමේ අවශ්‍යතාව ද අවධාරණය කළේය.

    ජනාධිපති ලේකම් පී.බී. ජයසුන්දර, මුදල් ලේකම් එස්.ආර්. ආටිගල, මහ බැංකුවේ අධිපති මහාචාර්ය ඩබ්.ඩී. ලක්ෂ්මන්, ප්‍රාදේශීය සංවර්ධන බැංකුවේ සභාපති මහින්ද සාලිය, සමාන්‍යාධිකාරී ටී. කූහන් යන මහත්වරු සහ අධ්‍යක්ෂ මණ්ඩල සාමාජිකයෝ සාකච්ඡාවට එක්ව සිටියහ.

  • එකම රටක ‘අධ්‍යාපන ක්‍රම දෙකක්’ ක්‍රියාත්මක වන්නේ ඇයි ?

    එකම රටක ‘අධ්‍යාපන ක්‍රම දෙකක්’ ක්‍රියාත්මක වන්නේ ඇයි ?

    එක්සත් ජාතීන් ගේ මානව හිමිකම් විශ්ව ප්‍රකාශනයේ 26.1වගන්තියට අනුව උසස් අධ්‍යාපන සඳහා සදහා වන ප්‍රවේශ ක්‍රම පදනම් විය යුත්තේ කුසල තාවය  සහ සාධාරණත්වය  (MERIT and EQUITY)  මතයි. එහෙත් අපේ රටේ සිදුවන්නේ ඊට ඉඳුරා ම පටහැනි ක්‍රියා මාර්ගයක් නොවේ ද ?

    වසන්ත අල්විස් – මාධ්‍ය සම්බන්ධීකාරක, වෛද්‍ය පීඨ ශිෂ්‍ය දෙමාපිය සංගමය

    රජයේ පාසැල් වල ගෙන ගන්නා සිසුන් අපොස  සමාන්‍ය පෙළ O/L  පෙනී සිටින්නේ වයස අවුරුදු 16 දී ය. අන්තර් ජාතික පාසැල් (International Schools) වලින් ඉගෙන  ගන්නා සිසුන්  සාමාන්‍ය පෙළ (London  O/L) විභාගයට පෙනී සිටින්නේ  වයස අවුරුදු 14 දී ය. 

    රජයේ පාසැල්වල ඉගෙන ගන්නා සිසුන් අපොස උසස් පෙළ A/L විභාගයට පෙනී සිටින විට වයස අවුරුදු  19  කි. එහෙත් අන්තර් ජාතික පාසල් වල ඉගෙන ගන්නා සිසුන් උසස් පෙළ   London A/L විභාගයට පෙනී සිටින විට වයස අවුරුදු 16 කි.

    ජාතික පාසැල් පද්ධතිය තුළ ඉගෙන ගන්නා සිසුන් විශ්ව විද්‍යාලයට ඇතුළු වන්නේ වයස අවුරුදු 20  දී ය. එහෙත් අන්තර් ජාතික පාසල්  වල  ඉගෙන ගන්නා සිසුන් London A/L  විභාගයට පෙනී සිටවයස අවුරුදු 17 දී මෙරට හෝ විදේශීය විශ්ව විද්‍යාල අධ්‍යාපනය ආරම්භ කරයි.

    අන්තර් ජාතික පාසල් වල සිසුන් ලක්ෂ  10 ක් පමණ ඉගෙනුම ලබන බව වාර්තා වේ. එහෙත් මුදල් හෝ වෙනත් වරප්‍රසාද අහිමි පවුල් වල දරුවන් නිදහස් අධ්‍යාපනයේ පිහිටින් සරසවි වරම් ලබා  උපාධිධාරීන් ලෙස පිටවනවිට ඔවුනට සම වයසේ වරප්‍රසාද ඇති පවුල්වල ශිෂ්‍යයින් අවුරුදු 3- 4  කට  කලින් උපාධිධාරීන් බවට පත්වී රැකියා අවස්ථා,උසස් වීම් සහ පශ්චාත් උපාධි අධ්‍යාපන වරම් හිමිකර ගෙන ඇත.

    එක්සත් ජාතීන් ගේ මානව හිමිකම් විශ්ව ප්‍රකාශනයේ 26.1වගන්තියට අනුව උසස් අධ්‍යාපන සඳහා සදහා වන ප්‍රවේශ ක්‍රම පදනම් විය යුත්තේ කුසල තාවය  සහ සාධාරණත්වය  ( MERIT and EQUITY)  මතයි. එහෙත් අපේ රටේ සිදුවන්නේ ඊට ඉඳුරා ම පටහැනි ක්‍රියා මාර්ගයක් නොවේ ද ?

    මුදල් සහ අනිකුත්  වරප්‍රසාද ඇති පවුල්වල දරුවන්ට  එක් අයුරකින් ද, විවිධ දුෂ්කරතා සහ අගහිඟකම් ඇති නිදහස් අධ්‍යාපනය මත තම ජීවිතය ගොඩනඟා ගන්නා  දරුවන් ට වෙනත් අයුරකින් ද සලකන මේ ක්‍රමය වෙනස් විය යුතු නො වේ ද ?

    එසේම  මොහාන් ලාල් ග්‍රේරු විසින් ගෙනා සංශෝධනයක් මගින් අන්තර්ජාතික පාසල්  ළමුන්ට දේශීය විෂය මාලාව ඕනෑම කාලයක දී ලිවිය හැකි අතර ජාතික පාසල් පද්ධතියේ ළමුන්ට වයස අවුරුදු දහසයේ දී එනම් ඔවුන් 11 එකොළහ වසරේ ගත කරන විටදී පමණක් අපොස සාමාන්‍ය පෙළ විභාගයට පෙනී සිටිය හැකිය.

    එකම රටක අධ්‍යාපන ක්‍රමවේද දෙකක් ක්‍රියාත්මක වන්නේ ඇයි ? මෙය සංවාද කර වහාම නිවැරදි කළ යුතු ගැටලුවකි.

    අපි සංවාදයට සූදානම්ය.

    වසන්ත අල්විස් – මාධ්‍ය සම්බන්ධීකාරක, වෛද්‍ය පීඨ ශිෂ්‍ය දෙමාපිය සංගමය

  • ටියුෂන් ව්‍යාපාරිකයින් සමග එක්වී ‘ජාතික විභාගවලට’ දින නියම කරලා

    ටියුෂන් ව්‍යාපාරිකයින් සමග එක්වී ‘ජාතික විභාගවලට’ දින නියම කරලා

    විභාග කොමසාරිස් තනතුර ස්වාධීන එකකි. එවැනි නිලධාරියෙකු උපකාරක පන්ති ව්‍යාපාරිකයින්ගේ සාකච්ඡාවකට කැඳවීම සහ ඔහු එම සාකච්ඡාවට සහභාගිවීම මෙන්ම ඔවුන් සමග තීන්දු තීරණ ගැනීම විභාග කොමසාරිස් ධූරය බරපතල ලෙස හෑල්ලුවට ලක් කිරීමකි.

    පසුගිය ජූනි 29 වැනිදා ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා සහ උපකාර පන්ති පවත්වන ව්‍යාපාරිකයින් පිරිසක් අතර පැවැති සාකච්ඡාවට විභාග කොමසාරිස්වරයා ද සහභාගී වීම හෙළා දකිමින් ගුරු-විදුහල්පති වෘත්තීය සමිති එකතුව විසින් විශේෂ මාධ්‍ය නිවේදනයක් නිකුත් කර ඇත.

    එහි සභාපති ජෝෂප් ස්ටාලින් මහතාගේ අත්සනින් යුතුව නිකුත් කළ මාධ්‍ය නිවේදනයේ දැක්වෙන්නේ තනතුර හෑල්ලු කරමින් විභාග කොමසාරිස්වරයා උපකාරක පන්ති ව්‍යාපාරිකයන් සමඟ ජාතික විභාගවල දින තීරණය කිරීම විභාගවල ස්වාධීනත්වයට තර්ජනයක් බවයි.

    කෝවිඞ් 19 වසංගත තත්ත්වය මත කල් දැමුණු උසස් පෙළ හා ශිෂ්‍යත්ව විභාග සම්බන්ධයෙන් සාකච්ඡා කළ යුත්තේ අධ්‍යාපනඥයින්, පාසල් පද්ධතියේ විදුහල්පතිවරු සහ ගුරුවරු සමග වුවත් මේ දක්වා එවැනි කිසිදු සාකච්ඡාවක් සිදු කර නැති බවත් එම මාධ්‍ය නිවේදනයේ දැක්වේ.

    විටින් විට විභාග දින වෙනස් කරමින් ආණ්ඩුව ලක්ෂ තුනකට අධික විභාග අපේක්ෂකයින් අපේක්ෂා භංගත්වයට හා මානසික පීඩනයකට ලක්කර ඇති බවත් මාස තුනකට වැඩි කාලයක් පාසල් වසා තිබියදී ඒ සම්බන්ධයෙන් සියලු පාර්ශ්වයන් සමග සාකච්ඡා කර තීරණයක් ගැනීමට ආණ්ඩුවට කිසිදු අවශ්‍යතාවයක් නොතිබූ බවත් එම මාධ්‍ය නිවේදනය මගින් වැඩි දුරටත් චෝදනා කරයි.

    අදාළ මාධ්‍ය නිවේදනය සම්පූර්ණයෙන් පහත දැක්වේ.

    උපකාරක පන්ති ව්‍යාපාරිකයන් හා ජනාධිපතිවරයා අතර 2020.06.29 දින පැවති සාකච්ඡාවකට විභාග කොමසාරිස්වරයා ඇතුළු අධ්‍යාපන අමාත්‍යාංශ නිලධාරීන් සහභාගී වී තිබුණි. මෙම සාකච්ඡාවකට විභාග කොමසාරිස්වරයා සහ අධ්‍යාපන අමාත්‍යාංශ නිලධාරීන් සහභාගි වීම තුළින් ඔවුන් තම තනතුරුවල ස්වාධීනත්වය බරපතල ලෙස හෑල්ලුවට ලක් කර ඇත.

    මෙම උපකාරක පන්ති ව්‍යාපාරිකයන්ගේ අදහස් මත ඔවුන් සමග සාකච්ඡා කර ජාතික විභාගවල දින තීරණය කිරීමට එම සාකච්ඡාවේදී එකඟතාවයකට පැමිණීම ජාතික විභාගවල ස්වාධීනත්වය සම්බන්ධයෙන් බරපතල ගැටලුවක් මතු කරයි. මුදල් ඉපයීම එකම පරමාර්ථය කර ගත් උපකාරක පන්ති මාෆියාව සමස්ත පාසල් අධ්‍යාපනයටම බරපතල හානියක් අත්කර දී ඇති අතර, පසුගිය කාලයේ අවස්ථා කිහිපයකදීම ජාතික විභාගවල බරපතල විභාග වංචා සිදුවූයේ උපකාර පන්ති ව්‍යාපාරිකයන්ගේ තරගකාරීත්වය හා ව්‍යාපාරික අරමුණු නිසාය.

    විභාග කොමසාරිස් තනතුර ස්වාධීන එකකි. එවැනි නිලධාරියෙකු උපකාරක පන්ති ව්‍යාපාරිකයින්ගේ සාකච්ඡාවකට කැඳවීම සහ ඔහු එම සාකච්ඡාවට සහභාගිවීම මෙන්ම ඔවුන් සමග තීන්දු තීරණ ගැනීම විභාග කොමසාරිස් ධූරය බරපතල ලෙස හෑල්ලුවට ලක් කිරීමකි. ජනාධිපතිවරයා සිය බලය භාවිතා කරමින් සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජනරාල්, වැඩබලන පොලිස්පති, අධ්‍යාපන ඇමති, අධ්‍යාපන ලේකම් ඇතුළු අධ්‍යාපන අමාත්‍යාංශ ඉහළ නිලධාරීන් මෙම සාකච්ඡාවට සහභාගි කරවීම තුළ පැහැදිලි වන්නේ ආණ්ඩුවේ දේශපාලන අරමුණු වෙනුවෙන් මෙම නිලධාරීන් දැඩමීමා කරගෙන ඇති බවයි. එසේම මෙය නිදහස් අධ්‍යාපනයේ ස්වාධීනත්වයට ද බරපතල අත පෙවීමක් බව පෙන්වා දෙමු.  

    කෝවිඞ් 19 වසංගත තත්වය මත කල් දැමුණු උසස් පෙළ හා ශිෂ්‍යත්ව විභාග සම්බන්ධයෙන් සාකච්ඡා කළ යුත්තේ අධ්‍යාපනඥයින්, පාසල් පද්ධතියේ විදුහල්පතිවරු සහ ගුරුවරු සමගය. මේ දක්වා එවැනි කිසිදු සාකච්ඡාවක් සිදු කර නැත. විටින් විට විභාග දින වෙනස් කරමින් ආණ්ඩුව ලක්ෂ තුනකට අධික විභාග අපේක්ෂකයින් අපේක්ෂා භංගත්වයට හා මානසික පීඩනයකට ලක්කර ඇත. මාස තුනකට වැඩි කාලයක් පාසල් වසා තිබියදී ඒ සම්බන්ධයෙන් සියලු පාර්ශවයන් සමග සාකච්ඡා කර තීරණයක් ගැනීමට ආණ්ඩුවට කිසිදු අවශ්‍යතාවයක් නොතිබුණි.

    අධ්‍යාපනයේ අරමුණු පසෙකලා අධ්‍යාපන පද්ධතියට බරපතල විනාශයක් කර ඇති මෙම උපකාරක පන්ති මාෆියාව සම්බන්ධයෙන් අධ්‍යාපනඥයන් විටින් විට අදහස් පළ කර ඇති අතර, රජයේ පාසල් අධ්‍යාපනය ශක්තිමත් කිරීම වෙනුවට උපකාරක පන්ති ප‍්‍රවර්ධනයට ආණ්ඩුව කටයුතු කිරීම අධ්‍යාපනයේ අරමුණු විනාශ කිරීමකි.

    මේ තත්වය තුළ මෙවැනි සාකච්ඡාවකට විභාග කොමසාරිස්වරයා සහභාගිවීම ජාතික විභාගවල ස්වාධීනත්වයට එල්ල කළ බරපතල තර්ජනයකි. තම තනතුරේ ස්වාධීනත්වය හෑල්ලුවට ලක් කරමින් ජාතික විභාගවල ස්වාධීනත්වය  තර්ජනයට ලක් කරමින් කටයුතු කිරීම සම්බන්ධයෙන් විභාග කොමසාරිස්වරයාට මෙන්ම අධ්‍යාපන ක්ෂේත‍්‍රයේ ඉහළ නිලධාරීන් මෙම සාකච්ඡාවට කැඳවීම සම්බන්ධයෙන් ද ගුරු-විදුහල්පති වෘත්තීය සමිති එකතුව දැඩි විරෝධය පළ කර සිටී. මෙයට,

    ජෝසප් ස්ටාලින්
    කැඳවුම්කරු
    ගුරු-විදුහල්පති වෘත්තීය සමිති එකතුව

  • ශ්‍රී ලාංකික සංක්‍රමණික සේවකයින් ගැන ‘විදේශ ලේකම්ගෙන්හෙ ළිදරව්වක්’

    ශ්‍රී ලාංකික සංක්‍රමණික සේවකයින් ගැන ‘විදේශ ලේකම්ගෙන්හෙ ළිදරව්වක්’

    දැනට එහි පවතින අ‍ඳුරු ස්වභාවය මධ්‍යයේ වුව ද, වර්තමාන තත්ත්වය බොහෝ ආකාරවලින් ඇස් අරවන්නක් බවත්, එය ශ්‍රී ලංකාවේ ශ්‍රම සංක්‍රමණයේ ව්‍යුහාත්මක, ක්‍රියා පටිපාටික සහ මානව අතුරු මුහුණත් පිළිබඳ නොගැලපීම් නිවැරදි කිරීමට උපකාරී වන බවත් විදේශ ලේකම් රවිනාථ ආර්යසිංහ මහතා පැවසීය.

    ශ්‍රී ලංකාවේ සහ සංක්‍රමණික ශ්‍රමලාභී රටවල භූමි යථාර්ථයන් පිළිබඳව සංවේදී වන පශ්චාත් කොවිඩ්-19 ලෝකයක, විදේශ රැකියා නැවත දිශානත කිරීමට ශ්‍රී ලංකාවට මඟින් අවස්ථාවක් සපයන අතර, ශ්‍රී ලංකාව විසින් අනාගත ලෝකය වෙත සපයන විදේශ රැකියා පිළිබඳ පියසටහන – බොහෝ විට කුඩා වුවත්, වඩාත් දක්ෂ හා වඩාත් තිරසාර විය හැකිය.

    ශ්‍රී ලංකාවේ ආර්ථික පුනර්ජීවනයේ දී විදේශ රැකියා නියුක්තියේ කාර්යභාරයඅභියෝග සහ අවස්ථා යන තේමාව යටතේ වීඩියෝ සබැඳියක් ඔස්සේ වෘත්තිකයන්ගේ සංගම් සංවිධානයේ (OPA) 33 වැනි වාර්ෂික සැසිවාරය අමතමින් විදේශ ලේකම්වරයා මෙම ප්‍රකාශය කළේය.

    ප්‍රත්‍යාගමනය – ආපදා සහ අවස්ථා යන තේමාව මත 2020 ජුනි 27-28 දිනවල දී ඩිජිටල් සම්මන්ත්‍රණයක් ලෙස පවත්වන ලද මෙම වසරේ වෘත්තිකයන්ගේ සංගම් සංවිධානයේ වාර්ෂික සැසිය අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මැතිතුමා විසින් සමාරම්භ කරන ලදී.

    කොවිඩ්-19 අර්බුදය හේතුවෙන්, එතෙර සිටින ලේඛනගත නොවූ/අක්‍රමවත් එමෙන්ම, එහි ප්‍රතිඵලයක් ලෙස ඔවුන්ගේ සත්කාරක රටවල දී වෛද්‍ය සහ වෙනත් ප්‍රතිලාභ ලබා ගැනීම සඳහා නුසුදුසු, එසේම අනාවරණය වුවහොත් පිටුවහල් කරනු ලැබීමේ අවදානමට ද ලක්විය හැකි ශ්‍රී ලාංකික සංක්‍රමණික ශ්‍රමිකයින් සැලකිය යුතු සංඛ්‍යාවක් පිළිබඳව හෙළිදරව් වී ඇති බව ලේකම් ආර්යසිංහ මහතා පැවසීය. එමෙන්ම, ඔවුන්ගෙන් බොහෝ දෙනෙකු ශ්‍රී ලංකා විදේශ රැකියා නියුක්ති කාර්යාංශයේ ලියාපදිංචි නොවී තිබීම සැලකිල්ලට භාජනය විය යුතු කරුණකි. සමහරු, ආරම්භයේ දී රටින් පිටව යන මොහොතේ ලියාපදිංචි වූ නමුත්, පසුව ඔවුන්ගේ ලියාපදිංචිය අලුත් නොකරන්නට ඇතැයි විශ්වාස කෙරේ. ලියාපදිංචි සංක්‍රමණික සේවකයින්ගේ ප්‍රතිශතය 96.8% ක් වන පිලිපීනය වැනි රටවල සංක්‍රමණික කම්කරුවන් විසින් සාර්ථකව ක්‍රියාත්මක කරනු ලබන පරිදි, පුළුල් සමාජ ආරක්ෂණ ජාලයක ප්‍රතිලාභ භුක්ති විඳීම පිණිස ලියාපදිංචි වන ලෙස ඔහු ඔවුන්ගෙන් තරයේ ඉල්ලා සිටියේය.

    නීත්‍යානුකූල අය සම්බන්ධයෙන් වුවද, කොවිඩ්-19 හි ප්‍රතිඵලයක් ලෙස රැකියා වෙළඳපොල සංකෝචනය වෙමින් පවතින අතර, විශේෂයෙන්ම, ඉහළයමින් පවතින විරැකියාව, කොන්ත්‍රාත්තු අහිමිවීම, වැඩ බලපත්‍ර දීර්ඝ නොකිරීම සහ තාවකාලික නිදහස් රැකියා නතර කිරීම වැනි සිද්ධීන් හේතුවෙන් ඔවුන්ගෙන් බොහෝ දෙනෙක් බොහෝ දුරට අසරණ වී ඇත. මෙම වසරේ දී රැකියාව සඳහා පිටත්ව යන සංක්‍රමණික සේවක සංඛ්‍යාවේ බරපතල හිඟයකට මෙය හේතු විය හැකි බවත්, එමඟින් සේවක ප්‍රේෂණ පහත වැටෙනු ඇති බවත් සඳහන් කෙරිණ. 2019 වසරේ දී සංක්‍රමණික සේවකයන්ගේ විදේශ විනිමය ඉපැයීම් සඳහා වූ ප්‍රේෂණය 25.5% ක් වූ අතර, ශ්‍රී ලංකාවේ දළ දේශීය නිෂ්පාදිතයට එහි දායකත්වය දළ වශයෙන් 8% ක් විය.

    වර්තමාන තත්ත්වය ‘තිරසාර හා සාධාරණ ආර්ථිකයන්’ සහතික කළ හැකි වඩාත් ඉදිරි දැක්මකින් යුතු හා ඔරොත්තු දෙන ආකාරයේ ප්‍රතිපත්ති සහ උපාය මාර්ග ගොඩනැගීමට ඉවහල් වන බව ලේකම් ආර්යසිංහ මහතා පැවසීය. ආසියානු සංක්‍රමණික ශ්‍රමය සපයන රටවල් එකට එකතු කරන සහ ඒවා ගල්ෆ් සහයෝගිතා කවුන්සිලයට අයත් ශ්‍රම ලැබීමේ රටවල් සමඟ සම්බන්ධ කරන කොළඹ ක්‍රියාවලිය සහ අබුඩාබි සංවාදය තුළ ඇතැම් තීරණාත්මක කලාපීය ක්‍රමවේදයන් සැලසුම් කිරීමට සහ ඒවා සැපයීමට අවස්ථාව ලබා දී පැවති ශ්‍රී ලංකාවට, සංක්‍රමණික සේවකයන්ගේ මෙන්ම යැවීමේ හා ලැබීමේ රටවල ප්‍රයෝජනය සඳහා පශ්චාත් කොවිඩ් තත්ත්වය තුළ ජාත්‍යන්තර කම්කරු සංවිධානය සහ සංක්‍රමණිකයන් සඳහාවූ ජාත්‍යන්තර සංවිධානය සමඟ එක්ව විශාල කාර්යභාරයක් ඉටු කළ හැකි බව ඔහු සඳහන් කළේය.

    –        ශ්‍රී ලංකාවේ සාමාන්‍ය සංක්‍රමණික සේවකයා, විශේෂයෙන් නුපුහුණු ශ්‍රමිකයින් මුහුණ දී ඇති අවදානම්වලට මුහුණ දීමට ඇති ඉඩකඩ අඩු, එමෙන්ම, වැඩි ආදායමක් උපයා ගත හැකි, වඩා හොඳ පුහුණුව ලත් හා පුහුණු වූ සංක්‍රමණික සේවකයන්ගේ පිටතට යන ප්‍රවාහය සහතික කිරීම,

    –        කොවිඩ්-19 න් පසු රටවල අනාගත රැකියා වෙලඳපොලවල් සහ ආර්ථික ඉල්ලීම් සපුරාලන වෘත්තීය පුහුණු වැඩසටහන් ජනනය කිරීම සහ එම ඉල්ලුම සපුරාලන ශ්‍රම බලකායක් දිරිගැන්වීම සඳහා නැවත සකස් කිරීම පිණිස වෙළඳපොළ පර්යේෂණ වේදිකා ඒකාබද්ධ කිරීම,

    –        අපගේ අධ්‍යාපන ක්‍රම නැවත සකස් කිරීම සහ අනාගත ශ්‍රම වෙළඳපොළවල් සඳහා පොහොසත් මානව සම්පත් සංචිතයක් ලෙසට සිසු සිසුවියන් දිශානත කිරීම,

    –        ලාභදායී, ආරක්ෂිත සහ වේගවත් ප්‍රේෂණ ප්‍රවාහයන් වැඩි දියුණු කිරීමේ ක්‍රියාවලිය වේගවත් කිරීම,

    –        සංක්‍රමණික ජනගහනය කළමනාකරණය කිරීමේදී ‘සංක්‍රමණික සෞඛ්‍යය’ මුල්ගලක් බවට පත්වීම සහතික කිරීම

    යන කරුණු මෙයට ඇතුළත් වනු ඇත.

    මෑතදී ඇති වූ අර්බුදය හේතුවෙන්, කොළඹ මෙන්ම ගමනාන්ත රටවල ද සංක්‍රමණික කම්කරුවන් පිළිබඳ කාරණා සම්බන්ධයෙන් කටයුතු කිරීමේ දී විවිධ මතවාදයන් බිඳ දමමින්, වඩා හොඳ අන්තර් රාජ්‍ය සම්බන්ධීකරණයක් සහතික කිරීමට ඉවහල් වූ බව විදේශ ලේකම්වරයා අවධාරණය කළේය. “මෙය පෙර නොවූ විරූ තත්වයක් තුළ දියුණුවක් ලබා ගැනීමට ඉවහල් වූ අත්‍යවශ්‍ය අංගයක් ලෙස අනාගත සහයෝගීතා ප්‍රයත්නයන් සඳහා ඉවහල් වේ. විදේශ රැකියා සම්බන්ධ ගැටලු පිළිබඳ ‘සමස්ත රජයේ’ ප්‍රවේශය සඳහා තවදුරටත් ශක්තිමත් කිරීම හා ශක්තිමත් සංධානයක් ගොඩනැගීම අපගේ අපේක්ෂාව විය යුතුය”  යි ඔහු පැවසීය.

  • යුරෝපා සංගමය ‘සංචාරක සීමා’ ඉවත් කළ රටවල් අතර ශ්‍රී ලංකාව නෑ

    යුරෝපා සංගමය ‘සංචාරක සීමා’ ඉවත් කළ රටවල් අතර ශ්‍රී ලංකාව නෑ

    ආරම්භයේ දී, ශ්‍රී ලංකාව ඇතුළත් නොවන රටවල් 15 ට අඩු ලැයිස්තුවක් සඳහා 2020 ජූලි 1 වැනි දින සිට සිය බාහිර දේශසීමා නැවත විවෘත කිරීමට යුරෝපා සංගමය තීරණය කළ බව විදේශ සබඳතා අමාත්‍යාංශය සඳහන් කරයි.

    මෙම ලැයිස්තුවට ශ්‍රී ලංකාව ද ඇතුළත් කිරීම සඳහා සක්‍රීයව ඉල්ලීම් කරමින් සිටින, බ්‍රසල්ස් හි යුරෝපා සංගමය සඳහා අක්ත ගන්වා ඇති ශ්‍රී ලංකා තානාපති කාර්යාලය වෙත යුරෝපා කොමිසම දන්වා සිටියේ, සිය ගුවන්තොටුපලවල් විවෘත නොකළ හෝ යුරෝපා සංගම් කලාපයෙන් පැමිණෙන අමුත්තන් භාරනොගත් රටවල් පිළිබඳව තවමත් සලකා බලා නොමැති බවයි. රටවල පවතින වසංගත රෝග තත්ත්වය, සංචාරය අතරතුර දී වසංගතය මැඩපැවැත්වීමේ ක්‍රියාමාර්ග ගැනීමට ඇති හැකියාව සහ එම රට යුරෝපා සංගම් රටවල් සඳහා සිය සංචාරක සීමාවන් ඉවත් කර තිබේද නැද්ද යන කරුණුවල ප්‍රගතිය මත පදනම්ව, මෙම ලැයිස්තුව ක්‍රම ක්‍රමයෙන් පුළුල් කරන බව තානාපති කාර්යාලය වෙත තවදුරටත් දැනුම් දෙන ලදී.

  • කොවිඩ් හඳුනාගැනීමට සම්පූර්ණ ස්වයංක්‍රීය PCR යන්ත්‍රයක්

    කොවිඩ් හඳුනාගැනීමට සම්පූර්ණ ස්වයංක්‍රීය PCR යන්ත්‍රයක්

    කොවිඩ් – 19 හඳුනාගැනීම වේගවත් කිරීමට සම්පූර්ණ ස්වයංක්‍රීය PCR යන්ත්‍රයක් අන්තර්ජාතික රොටරි සමාජය රජයේ වෛද්‍ය පර්යේෂණ ආයතනයට පරිත්‍යාග කරයි.

    PCR යන්ත්‍රය පිළිබඳව ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මැතිතුමා දැනුවත් කිරීම අද (01) පස්වරුවේ ජනාධිපති කාර්යාලයේදී සිදු කෙරිණ.

    සම්පූර්ණ ස්වයංක්‍රීය නව PCR යන්ත්‍රයේ වටිනාකම රුපියල් දෙකෝටි විසිලක්ෂය ඉක්මවයි. එමඟින් පර්යේෂණවලදී මුහුණපාන මානව සම්පත් හිඟය මඟහැරවීමට හැකිවීම විශේෂත්වයකි. වේගවත් බව, ඉහළ නිරවද්‍යතාව සහ කාර්යක්ෂමතාව වැඩිකිරීමට ද නව යන්ත්‍රයට හැකි බව වෛද්‍යවරු පවසති. ඉදිරියේදී මුහුණ පෑමට සිදුවිය හැකි වෙනස් ආකාරයක වෛරසයක් හඳුනාගැනීමට ද නව PCR යන්ත්‍රය යොදාගත හැකිය.

    කොවිඩ් මර්දනය උදෙසා වෛද්‍ය පර්යේෂණ උපකරණ සහ පහසුකම් සැපයීමට රොටරි සමාජය රුපියල් කෝටි 12 කට අධික පරිත්‍යාග කර තිබේ. ඒ පිළිබඳව ජනාධිපතිතුමා රොටරි සමාජයේ නියෝජිතයන්ට  සිය ස්තූතිය පළ කළේය. 

    පූජ්‍ය මුරුත්තෙට්ටුවේ ආනන්ද හිමි, සෞඛ්‍ය අමාත්‍යංශයේ ලේකම් විශ්‍රාමික මේජර් ජනරාල් විශේෂඥ වෛද්‍ය සංජීව මුණසිංහ, සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජනරාල් වෛද්‍ය අනිල් ජාසිංහ, වෙද්‍ය පර්යේෂණ ආයතනයේ අධ්‍යක්ෂ වෛද්‍ය ජයරුවන් බණ්ඩාර, රොටරි සමාජයේ ශ්‍රී ලංකාවේ සහ මාලදිවයිනේ අධිපති සෙබස්තියන් කරුණාකරන්, හිටපු සභාපති කේ.ආර්. රවින්ද්‍රන්, යෝජිත සභාපති පුබුදු ද සොයිසා යන මහත්ම මහත්මීහූ සහ රොටරි සමාජයේ නියෝජිතයෝ මේ අවස්ථාවට එක්ව සිටියහ.

  • කරුණා අම්මාන් ගැන ‘මහින්ද’ කට අරී – යහපාලනයේ පතුරු අරී

    කරුණා අම්මාන් ගැන ‘මහින්ද’ කට අරී – යහපාලනයේ පතුරු අරී

    හිටපු අමාත්‍ය සහ ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ උප සභාපතිවරයෙකු වූ විනයාගමූර්තී මුරලිදරන් හෙවත් කරුණා අම්මාන් පසුගියදා සිදු කළ ප්‍රකාශය වැරදි බව අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මහතා අද (01) පෙරවරුවේදී දමිළ මාධ්‍යවේදීන් සමග අරලියගහ මන්දිරයේ දී පැවති සාකච්ඡාවේදී සඳහන් කළා.

    පසුගිය ආණ්ඩුව පැවති වසර 5 ඇතුළත උතුරු – නැගෙනහිර පළාත්වල කිසිඳු සංවර්ධනයක් සිදු නොවුන බවත් සිහිපත් කළ අගමැතිවරයා 2005,  2010 තම රජය පැවති සමයේ දී උතුරු නැගෙනහිර පළාත්වල දැවැන්ත සංවර්ධන ව්‍යාපෘති රැසක් ක්‍රියාත්මක කළ බව ද මෙහිදී සිහිපත් කළ අතර එම පළාත්වල ජන ජීවිතය යහපත් කිරීමට සැලසුමකින් යුතුව වත්මන් රජය ද ක්‍රියා කරන බව අගමැතිවරයා පෙන්වා දුන්නා.

    එසේම උතුරේ ජනතාව මුහුණ දෙන ප්‍රධාන ගැටලුවක් වන පානීය ජල ගැටලුව විසඳීම සඳහා තම රජය ප්‍රමුඛතාව ලබාදෙන බව ද අගමැතිවරයා මෙහිදී සදහන් කළා.

    එහිදි ඉන්දියාවෙන් පැමිණෙන බෝට්ටු සම්බන්ධයෙන් මාධ්‍යවේදියෙකු විසින් කළ ප්‍රශ්න කිරිමකට පිළිතුරු දෙමින් ඔහු පැවසුවේ ඒ සම්බන්ධයෙන් ඉන්දීය රජය සමඟ සාකච්ඡා කළ බවයි.

  • සෞඛ්‍ය උපදෙස් කඩකළොත් Covid-19 දෙවන රැල්ලක අවධානමක් !

    සෞඛ්‍ය උපදෙස් කඩකළොත් Covid-19 දෙවන රැල්ලක අවධානමක් !

    සෞඛ්‍ය අංශ විසින් නිකුත් කර ඇති නිවැරදි සෞඛ්‍ය උපදෙස් පිළිනොපැද්දොත් මෙරට කොවිඩ්-19 දෙවැනි රැල්ලක අවදානමක් ඇති විය හැකි බවට වසංගත රෝග විද්‍යා අංශයේ ප්‍රධාන වසංගත රෝග විද්‍යාඥ වෛද්‍ය සුදත් සමරවීර මහතා අනතුරු ඇගයීමක් කළා.

    අද (01) පැවැති මාධ්‍ය හමුවකදීයි සමරවීර මහතා මේ බව ප්‍රකාශ කළේ.

    මෙහිදී වැඩි දුරටත් අදහස් දැක්වූ වසංගත රෝග විද්‍යා අංශයේ ප්‍රධාන වසංගත රෝග විද්‍යාඥ වෛද්‍ය සුදත් සමරවීර මහතා කියා සිටියේ බොහෝ විදේශීය රටවල රෝගී තත්ත්වය පාලනය වීමත් සමග පනවා තිබු පාලන නීති රීති ලිහිල් කළ පසු එම රටවල්වල කොවිඩ්-19 දෙවන රැල්ලක් ඇති වූ බවයි. .

    ‘ලෝකයේ බොහෝ රටවල් සිදුකළ ආකාරයට මේ වන විට ලංකාවෙත් කොවිඩ් වසංගතය පාලනය කිරීම සදහා ක්‍රියාත්මක කළ යම් යම් සීමාවන් ලිහිල් කරලා තිබෙනවා. ඒත් අපිට නිරීක්ෂණය වන්නේ ජනතාව ක්‍රමයෙන් ඒවා අනුගමනය කිරීමෙන් ඈත් වන බවයි. නැති නම් ඒ ගැන අවධානය අඩුකරන බවයි. මේ තත්ත්වය තුළ ශ්‍රී ලංකාවේද කොවිඩ්-19 දෙවැනි රැල්ලක් ඇති වීමේ අවධානමක්රු තිබෙනවා.

    එම නිසා මීටරයක දුර පවත්වා ගැනීම, මුඛ ආවරණ පැළඳීම සහ දෙඅත් සබන් යොදා සේදීම අනිවාර්යයයෙන් සිදුකළ යුතුයි. එම නීති තව දුරටත් වලංගුව පවතින බව අප අමතක කළ යුතු නැහැ. මම මෙහිදී අවධාරණය කරන්නේ සෞඛ්‍ය අංශ විසින් හදුන්වා දුන් නිවැරදි සෞඛ්‍ය පුරුදු පිළිපදින්නේ නම් කොවිඩ් දෙවන රැල්ලක් ගැන භීතියක් ඇති නොවන බවයි‘‘

  • ජනපති සේයාරුව මැතිවරණ ප්‍රචාරණයට භාවිත නොකරන්නැයි නියෝග

    ජනපති සේයාරුව මැතිවරණ ප්‍රචාරණයට භාවිත නොකරන්නැයි නියෝග

    එළඹෙන මහමැතිවරණයට තරග වැද සිටින අපේක්ෂකයන් ප්‍රචාරක කාර්යයන් සඳහා ස්වකීය ඡායාරූප භාවිත නොකළ යුතු බවට ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා නියෝග කරයි.

    එසේම ආරක්ෂක සේවා, රාජ්‍ය සේවා, සංස්ථා, මණ්ඩල සහ ව්‍යවස්ථාපිත ආයතනවල සේවයේ නිරත රාජ්‍ය සේවකයන් කිසිවකුත් දේශපාලන වැඩ නොකළ යුතු බවද ජනපතිවරයා කියා සිටී.

    මෙවර මහමැතිවරණයට තරග වදින අපේක්ෂකයන් සිය ප්‍රචාරක ව්‍යාපාරයේදී ජනාධිපතිවරයාගේ ඡායාරූපය භාවිත කරන බවටත් යුධ හමුදා සහ රාජ්‍ය නිලධාරීන් සම්බන්ධ කරගන්නා බවටත් විවිධ පත්වීම් ලබාදෙන බව  ප්‍රකාශ කරන බවටත් තොරතුරු වාර්තා වී ඇතැයි ජනාධිපති ලේකම් පී.බී ජයසුන්දර මහතා සියලු ආණ්ඩුකාරවරුන්, අමාත්‍යාංශ ලේකම්වරුන්, දිස්ත්‍රික් සහ ප්‍රාදේශීය ලේකම්වරුන්, සංස්ථා, මණ්ඩල, ව්‍යවස්ථාපිත ආයතන ප්‍රධානීන් සහ සෙසු අංශ ප්‍රධානීන් වෙත අද (01) යැවූ ලිපියක සඳහන් කරයි.

    මැතිවරණ ප්‍රචාරණයට ජනාධිපතිතුමාගේ ඡායාරූපය භාවිත නොකරන ලෙසත් රාජ්‍ය සේවකයන්ට දේශපාලනය නොකරන ලෙසත් තරයේ උපදෙස් දෙන්නැයි ජනාධිපතිවරයා ලේකම්වරයාට නියෝග කර තිබේ.

    සියලු රාජ්‍ය සේවකයන් මේ උපදෙස් පිළිපදින බවට වගබලා ගන්නැයි ජනාධිපති ලේකම්, මැතිවරණ කොමිෂන් සභාවේ සභාපතිටද පිටපතක් සහිතව, ආණ්ඩුකාරවරුන්, අමාත්‍යාංශ ලේකම්වරුන් ඇතුලු ආයතන ප්‍රධානීන් වෙත යැවු ලිපියෙන් කියාසිටී.