Blog

  • 2011 ලෝක කුසලානය පවා දීම – ප්‍රකාශයක් දෙන්න සංගක්කාරත් කැඳවයි

    2011 ලෝක කුසලානය පවා දීම – ප්‍රකාශයක් දෙන්න සංගක්කාරත් කැඳවයි

    2011 වසරේ පැවති ලෝක කුසලාන ක්‍රිකට් තරගාවලියේ අවසාන මහා තරඟයේදී ශූරතාව මුදලට පවා දුන් බවට හිටපු ක්‍රීඩා අමාත්‍ය මහින්දානන්ද අලුත්ගමගේ මහතා කළ චෝදනාව සම්බන්ධයෙන් සාක්‍ෂි ලබාගැනීම පිණිස 2011 ලෝක කුසලාන ක්‍රිකට් තරගාවලියට සහභාගි වූ ශ්‍රී ලංකා කණ්ඩායමේ නායක කුමාර් සංගක්කාර මහතා ක්‍රීඩා වැරදි පිළිබඳව පොලිස් විශේෂ විමර්ශන ඒකකයට හෙට (02) පෙරවරු 9.00ට කැඳවා තිබෙන බව එම ඒකකයේ ප්‍රධානී, ජ්‍යෙෂ්ඨ පොලිස් ආධිකාරී ජගත් ෆොන්සේකා මහතා පවසනවා.

    මාධ්‍ය වෙත ප්‍රකාශයක් කරමින් මේ බව සදහන් කළ ෆොන්සේකා මහතා වැඩි දුරටත් කියා සිටියේ එම තරගාවලියේදී ශ්‍රී ලංකා පිලේ ආරම්භක පිතිකරුවකු වූ උපුල් තරංගගෙන් ක්‍රීඩා වැරදි පිළිබඳ පොලිස් විශේෂ විමර්ශන ඒකකය අද (01) පෙරවරුවේ පැය තුනක් ප්‍රකාශ ලබා ගත් බවයි.

  • රූපලාවණ්‍ය හැකියාවන් ගැන ‘පුරසාරම් දොඩන මල්’

    රූපලාවණ්‍ය හැකියාවන් ගැන ‘පුරසාරම් දොඩන මල්’

    Stop and smell the roses’ exists? යන වාක්‍ය ඛණ්ඩය පවතින්නේ මන්දැයි ඔබ කවදා හෝ කල්පනා කර තිබේද?

    අගුළු දැමීම නිසා අපට ලැබී ඇති අවිවේකයෙන් තොර කාලය බොහෝ දේවල් ගැන කල්පනා කිරීමටත් විමසා බැලීමටත් අවස්ථාව උදා කර දී තිබෙනවා. නැවත මල් ගැන කතා කරන්නේ නම් මල් කියන්නේ වචනවලට පෙරළිය නොහැකි අපූරු කතාවක්.

    ඒ වගේම මල් යනු ස්වභාව ධර්මයේ සුන්දරම පරිත්‍යාගය බවටත් කිසිම සැකයක් නැහැ. ඔබ තව දුරටත් ඒ ගැන කල්පනා කරන්නේ නම් මල් නැති නම් ලෝකයක් නැහැ. ඇත්තටම ජීවයේ පදනම වන්නේ මල් තමයි. හරි අපි ඒ ගැනත් අමතක කරමු.

    මල් ඔබට තවත් පැත්තකින් වැදගත් වෙනවා. ඒ ඔබේ රූපලානව්‍ය වර්ධනය කර ගැනීමට. මල් වලින් නිපදවන තෙල්, ආලේපන, බාම් ආදි නොයෙකුත් නිෂ්පාදන ඔබේ සුන්දරත්වය වර්ධනය කර ගැනීමට කොතරම් දේ ලබා දෙනවාද ? මේ නිසා අපි කල්පනා කළ ඔබ හොඳින් දන්න කියන මල් වර්ග කිහිපයක් ඔබට ලබා දෙන රූපලාවන්‍ය ප‍්‍රතිලාභ ගැන යළි මතකය අවධි කරන්න…

    මල් අලංකාරය

    රෝස් – රෝස මල ගැන නොදන්න… ඊට ආදරය නොකරන කිසිවෙක් ලෝකයේ නැහැ. ලොව පුරා ආදරයේ සංකේතයක් ලෙස සැලකෙන රෝස රූපලාවණ්‍ය ක්‍ෂේත්‍රයේ වැඩිපුරම භාවිතා වන මල් වලින් එකක්. ඔබ දැනටමත් ‘රෝස වතුර’ ගැන දැනුවත්ව ඇතිවාට සැකයක් නැහැ.

    රෝස වතුර කියන්නේ ඕනෑම අයෙකුගේ සමට අගනා ප‍්‍රතිකාරයක්. රෝස වතුර වගේම ඒ මගින් නිෂ්පාදනය කරන තෙල් සම සහ හිසකෙස් මෘදු ලෙස තෙතමනය කරන අතර ගිනි අවුලුවන සම සමනය කරනවා. ඒ වගේම රෝස ආශ‍්‍රිත නිෂ්පාදන ඇඟ ගැල්වීම මගින් සිත් ඇදගන්නා සුවඳක් ලබා ගත හැකියි.

    මේ අතර කුරුලෑ ඇති විය හැකි සම සඳහා PH අගය ඉහළ මට්ටමක පවත්වා ගැනීමට රෝස උපකාර වෙනවා. රෝස් වතුර තෙල් සහිත හිස්කබලේ තත්වය පාලනය කිරීමට සහ හිසේ කැක්කුම සමනය කිරීමට දායක වෙනවා.

    මල් අලංකාරය

    ජැස්මින් – වඩාත් සුවඳවත් මල් වලින් එකක් වන ජැස්මින් රූපලාවණ්‍ය ප්‍රතිලාභ රැුසක එකතුවක්. ජැස්මින් තුළ වයස්ගතවීම වළක්වන ගුණයක් ඇති අතර සම රැුළිවැටීම, දුර්වල වීම වළක්වන ගුණයක් ඇති බව කියනවා. ජැස්මින් මල් සහිත තෙල්, ක්‍රීම් හෝ සාරය වියළි සමට අගනා ඔසුවක් වන අතර සමේ තෙතමනය පවත්වා ගැනීමට එය ඉහළ දායකත්වයක් ලබා දෙනවා.

    ප්‍රතිඔක්සිකාරක වලින් පොහොසත් ජැස්මින් ඔබේ සම විවිධ ආසාදනවලින් ආරක්ෂා කිරීමට උපකාරී වන අතර කොණ්ඩා මෝස්තර සඳහා භාවිතා කරන විටල ජැස්මින් මගින් හිස කෙස් ශක්තිමත් කරනවා. එපමණක් නොවෙයි එමඟින් හිසකෙස් සඳහා දීප්තිය ලබා දීම සහ හිසකෙස් කැඩී බිඳී යාම පාලනය කරනවා. වඩාත් කෙටියෙන් දක්වන්නේ නම් ජැස්මින් යනු සම සහ හිසකෙස්වලට විස්මිත රැකවරණයක් හා ගුණයක් ලබා දෙන මල් වර්ගයක්.

    මල් අලංකාරය

    Marigold – සමෙහි හට ගන්නා දද (rashes) නැතහොත් කුෂ්ඨ වලට ප්‍රතිකාර කිරීමේදී අංක එකේ සම සුව කිරීමේ ඔසුවක් ලෙස සැලකෙන අතර කැළැල් සහ අඳුරු පැල්ලම් මැකී යාමේ ලාභදායී ක්‍රමයක් ලෙස ද කීර්තියක් දිනාගෙන ඇත.

    Marigold නිරෝගී නව සමේ ​​පටක වල වර්ධනය වේගවත් කිරීම සහ සමේ හානියට පත් ප්‍රදේශවලට රුධිර සංසරණයට උපකාරී වන අතර සම පැහැපත් පෙනුමක් ඇති කොලජන් නිෂ්පාදනය වැඩි කරයි. මැරිගෝල්ඩ් ආලේපිත ආමන්ඩ් තෙල් මෙම මලෙහි ප්‍රතිලාභ ලබා ගැනීමට හොඳ ක්‍රමයකි.

    මල් අලංකාරය

    ලැවෙන්ඩර් Lavender– ලැවෙන්ඩර් තෙල් අතිෂය ජනප්‍රිය රූපලාවන්‍ය නිෂ්පාදනයකි. සම සහ හිසකෙස් වල නිරෝගීභාවයට වැදගත් කාර්යභාරයක් ඉටුකරන අතර සමේ රැළි අඩු කිරීම, සම සැහැල්ලු කිරීම, කුරුළෑ වළක්වා ගැනීම, හිසකෙස් වියළීමෙන් වළක්වා ගැනීම, සම පිරිසිදු කිරීමට සහ ආහාර දිරවීමට ද උපකාර කරයි.

    ලැවෙන්ඩර් සුවඳ සංවේදීතාවන් සන්සුන් කරන බව කියනු ලැබේ, එබැවින් හොඳ රාත්‍රී නින්දක් සදහා හෝ මානසික ආතතියෙන් සහනයක් ලබා ගැනීම සදහා ලැවෙන්ඩර් භාවිතය අතිෂය සුදුසුය.

    මල් අලංකාරය

    වදමල් – වදමල් මල් මගින් සමේ මියගිය සෛල ඉවත් කර නව සෛල වර්ධනය වැඩි දියුණු කිරීමෙන් ඔබේ සම පිරිසිදු කර ගත හැකිය. වයස් ගත වීම සමග ඇතිවන ලප මැකී යාමටත්, තරුණ, සිනිඳු පැහැයක් ලබා දීමටත් එය ඵලදායී යැයි කියනු ලැබේ. 

    හිසකෙස් සඳහා වදමල් මගින් සැලසෙන වාසි ද අතිමහත් ය. හිසකෙස් සේදීම හ‍ෙ තෙල් ස්වරූපයෙන් හිසකෙස් රැකවරණය සඳහා භාවිතා කරන විට, එය හිසකෙස් වර්ධනයට අනුබල දෙයි, දීප්තිය එක් කරයි, මෘදු කරයි.

    Femina ඇසුරිණි – සකස් කළේ – තුෂාධවි

  • දිවයිනේ සියළු දිවාසුරැකුම් මධ්‍යස්ථාන ජුලි මස 02 සිට විවෘත කිරීමට අවසර

    දිවයිනේ සියළු දිවාසුරැකුම් මධ්‍යස්ථාන ජුලි මස 02 සිට විවෘත කිරීමට අවසර

    දිවයිනේ සියළු දිවාසුරැකුම් මධ්‍යස්ථාන ජුලි මස 02 සිට විවෘත කිරිමට අවසර ලබා දෙන බව සෞඛ්‍ය අමාත්‍ය පවිත්‍රා වන්නිආරච්චි මහත්මිය පැවසුවාය.

    මේ පිළිබදව අදහස් දැක්වමින් සෞඛ්‍ය හා දේශීය වෛද්‍ය අමාත්‍ය පවිත්‍රා වන්නිආරච්චි මහත්මිය කියා සිටියේ පෞද්ගලික හා රාජ්‍ය සේවා ස්ථානවල සේවයට යන දෙමාපියන් තම දරුවන් දිවා සුරැකුම් මධ්‍යස්ථානවල රඳවා තැබීම ප්‍රධාන අවශ්‍යතාවයක් වී ඇති බවත්, කොවිඩ් වෛරසය තත්ත්වය හේතුවෙන් පසුගිය කාලය තුල සෞඛ්‍ය අංශ විසින් දිවාසුරැකුම් මධ්‍යස්ථාන විවෘත කිරිමට අවස්ථාව ලබා නොදුන් බවයි.

    නමුත් දෙමාපියන්ගේ ඉල්ලීම් සහ අවශ්‍යතාවය සළකා බලමින් සහ මාස දෙකක් වැනි කාලයක් තුල සමාජය තුලින් කොවිඩ් වෛරසය ආසාදිත රෝගීන් වාර්තා වී නොමැති බැවින් ජුලි මස 02 දින සිට දිවා සුරැකුම් මධ්‍යස්ථාන විවෘත කිරීමට සෞඛ්‍ය අමාත්‍යාංශය විසින් තීරණය කර ඇති බවයි.

  • වලංගු හැදුනුම්පතක් ඉදිරිපත් නොකළොත් ‘තැපැල් ඡන්දය නෑ’

    වලංගු හැදුනුම්පතක් ඉදිරිපත් නොකළොත් ‘තැපැල් ඡන්දය නෑ’

    වලංගු හැදුනුම්පතක් ඉදිරිපත් නොකරන කිසිදු අයෙකුට තැපැල් ඡන්දය ප්‍රකාශ කිරීමට ඉඩ නොදෙන බව මැතිවරණ කොමිෂන් සභාව අද දින (29) නිකුත් කළ මාධ්‍ය නිවේදනයක් මගින් කරනවා.

    එම මාධ්‍ය නිවේදනයේ වැඩි දුරටත් සදහන් වන්නේ ජාතික හැදුනුම්පත, වලංගු රියැදුරු බලපත්‍රය, වලංගු විදේශ ගමන් බලපත්‍රය සහ මැතිවරණ කොමිෂන් සභාව විසින් නිකුත් කරනු ලබන තාවකාලික හැදුනුම්පත පිළිගැනීමට ලක්වන බවයි.

    මැතිවරණ කොමිෂන් සභාව විසින් නිකුත් කළ මාධ්‍ය නිවේදනය සම්පූර්ණයෙන් මෙසේයි,

  • විදේශ ඇමැති දිනේෂ් සහ ඇමෙරිකානු රාජ්‍ය ලේකම් දුරකථන සංවාදයක

    විදේශ ඇමැති දිනේෂ් සහ ඇමෙරිකානු රාජ්‍ය ලේකම් දුරකථන සංවාදයක

    අමාත්‍ය දිනේෂ් ගුණවර්ධන මහතා සහ එක්සත් ජනපද රාජ්‍ය ලේකම් මයික් පොම්පෙයෝ මහතා ද්විපාර්ශ්වික වශයෙන් වැදගත්  කරුණු පිළිබඳ සාකච්ඡාවක් පවත්වා තිබෙනවා.

    විදේශ සබදතා අමාත්‍යාංශය පවසන්නේ ඊයේ (29) සවස පැවති දුරකථන සංවාදයක දී ද්විපාර්ශ්විකව වැදගත් වූ කරුණු පිළිබඳව විදේශ සබඳතා අමාත්‍ය දිනේෂ් ගුණවර්ධන මහතා සහ එක්සත් ජනපද රාජ්‍ය ලේකම් මයික් පොම්පියෝ මහතා සාකච්ඡා කළ බවයි.

    කොවිඩ් වසංගත තත්ත්වය පිළිබඳව ප්‍රතිචාර දැක්වීමේ දී, එක්සත් ජනපද-ශ්‍රී ලංකා සහයෝගිතාව, එක්සත් ජනපදයට පුද්ගලික ආරක්ෂක උපකරණ සැපයීම, ශ්‍රී ලංකාවට වෙන්ටිලේටර් උපකරණ පිරිනැමීම සහ කොවිඩ් ආශ්‍රිත ද්විපාර්ශ්වික ආධාර ලෙස ලබාදුන් ඇමරිකානු ඩොලර් මිලියන 5.8 ක් වන ආර්ථික ප්‍රතිසාධන සහය, ආරක්ෂක කටයුතු, ත්‍රස්තවාදයට එරෙහි වීම සහ ජාත්‍යන්තර ආර්ථික සහයෝගීතාව යන කරුණු මෙහි දී සාකච්ඡාවට බඳුන් වූ බවයි විදේශ සබදතා අමාත්‍යාංශය සදහන් කළේ.

    එම්.සී.සී. ගිවිසුම පිළිබඳ සමාලෝචන වාර්තාව සහ එළඹෙන පාර්ලිමේන්තු මැතිවරණය පිළිබඳව අමාත්‍ය ගුණවර්ධන මැතිතුමා විසින් එක්සත් ජනපද රාජ්‍ය ලේකම්වරයා දැනුවත් කළ අතර, ශ්‍රී ලංකාවේ ප්‍රතිසන්ධාන හා නැවත පදිංචි කිරීමේ ක්‍රියාවලි සඳහා ලබා දුන් සහයෝගය වෙනුවෙන් එක්සත් ජනපදයට ස්තූතිය පුද කළේය.

  • ඉඩම් වංචා වැළැක්වීමට නව ක්‍රමයක් එයි

    ඉඩම් වංචා වැළැක්වීමට නව ක්‍රමයක් එයි

    ඉඩම් ලියාපදිංචියේ දි සිදුවන වංචා නතර කිරීමට සහ ලියාපදිංචි ක්‍රමවේදය වේගවත් කිරීමට ඉ-ඉඩම්  (විද්‍යුත් ක්‍රමය) ලියාපදිංචිය කඩිනම් කරන්නැයි ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා නිලධාරීන්ට උපදෙස් දෙයි.

    වංචනික ඉඩම් ලියාපදිංචිය සහ ප්‍රමාදය හේතුවෙන් ජනතාව ගැටළු රැසකට මුහුණ පා සිටිති. ඉඩම් කොමසාරිස් දෙපාර්තමේන්තුව, ඉඩම් නිරවුල් කිරීමේ ආයතනය, මිනින්දෝරු දෙපාර්තමේන්තුව සහ රෙජිස්ට්‍රාර් ජෙනරාල් දෙපාර්තමේන්තුව ඒකාබද්ධව ඉ-ඉඩම් (විද්‍යුත් ක්‍රමය) ලියාපදිංචි වැඩසටහන  වේගවත් කිරීමේ අවශ්‍යතාව ජනාධිපතිවරයා පෙන්වා දෙයි.

    ඉ-ඉඩම් (විද්‍යුත් ක්‍රමයට) ලියාපදිංචි කිරීමේ වැඩසටහන පිළිබඳව අද (30) පස්වරුවේ ජනාධිපති කාර්යාලයේ පැවති හමුවේ දී මේ බව සඳහන් කෙරිණ.

    ඉඩම් ලියාපදිංචිය ආශ්‍රිතව ආයතන අතර ඒකාබද්ධතාවක අවශ්‍යතාව ජනාධිපතිතුමා අවධාරණය කළේය. ඒකාබද්ධව කමිටුවක් ස්ථාපනය කර වැඩසටහන කඩිනම් කරන්නැයි වනජීවි, වන සංරක්ෂණ සහ පරිසර අමාත්‍යාංශවලට ජනාධිපතිවරයා උපදෙස් දුන්නේය.

    ඉ-ඉඩම් (විද්‍යුත් ක්‍රමය) ලියාපදිංචිය යටතේ ඔප්පුව, පත්ඉරුව, පරිගණකගත කෙරේ. පත්ඉරු ලබාගැනීමේදී පරිගණක මුද්‍රණයක් නිකුත් කිරීමටත්, නීතිඥවරුන්ට,  නොතාරිස්වරුන්ට සහ ඕනෑම පුද්ගලයෙකුට හෝ රාජ්‍ය ආයතනයකට හෝ  online ක්‍රමයට ඉඩම් තොරතුරු ලබා ගැනීමටත් අවස්ථාව සැලසේ. එමගින් ඉඩම් වංචාවන්ට තිත තැබීමට හැකිවන බව නිලධාරීහු පෙන්වා දුන්හ.

    ශ්‍රී ලංකා තොරතුරු හා සන්නිවේදන තාක්ෂණ නියෝජිතායතනය (ICTA) සමග එක්ව අගෝස්තු මාසය වන විට වැඩසටහන ජනගත කිරීමට  අපේක්ෂා කෙරේ. මෙලෙස ඉ-ඉඩම් (විද්‍යුත් ක්‍රමය) යටතේ ලියාපදිංචි කෙරෙන ඉඩම් වෙනුවෙන් ඉලෙක්ට්‍රොනික පාස් පොතක් නිකුත් කිරීමට ද සැලසුම් කර තිබේ.

    රාජ්‍ය පරිපාලන අමාත්‍යාංශයේ ලේකම් ජේ.ජේ.රත්නසිරි, ඉඩම් අමාත්‍යාංශයේ ලේකම් ආර්.ඒ.ඒ.කේ. රණවක, රෙජිස්ට්‍රාර් ජනරාල් එන්.සී. විතාන, ඉඩම් කොමසාරිස් ජනරාල් ආර්.එම්. සී.එම්. හේරත්, ඉඩම් හිමිකම් නිරවුල් කිරීමේ කොමසාරිස් ජෙනරාල් පී.එම්.එච්. ප්‍රියදර්ශනී, මැණුම්පති ඒ.එල්.එස්.සී. පෙරේරා, ශ්‍රී ලංකා තොරතුරු හා සන්නිවේදන තාක්ෂණ නියෝජිතායතනය (ICTA) සභාපති ජයන්ත ද සිල්වා යන මහත්ම මහත්මීහු ඇතුළු නිලධාරීහු සාකච්ඡාවට එක්ව සිටියහ.

  • කොරෝනා දෙවන රැල්ලක අවධානම ගැන තොරතුරු GMOA හෙළි කරයි

    කොරෝනා දෙවන රැල්ලක අවධානම ගැන තොරතුරු GMOA හෙළි කරයි

    Covid-19 වෛරසයේ දෙවැනි රැල්ලක් ගැන අනතුරු අගවමින් රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමය විසින් අද (30) විශේෂ මාධ්‍ය නිවේදනයක් නිකුත් කර තිබෙනවා. එහි ලේකම් වෛද්‍ය සෙනාල් ප්‍රනාන්දු මහතාගේ අත්සනින් යුතුව නිකුත් කර ඇති එම මාධ්‍ය නිවේදනයේ සදහන් වන්නේ අද වන කොවිඩ් ආසාදිතයින් සමාජය තුළ නොමැති බව සෞඛ්‍ය අමාත්‍යාංශය පැවසුව ද එය තහවුරු කරමින් ජනතාව තුළ විශ්වාසය ගොඩනැගිය යුතු බවයි.

    රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමය විසින් නිකුත් කළ මාධ්‍ය නිවේදනය සම්පූර්ණයෙන් පහත දැක්වේ.

  • රනිල් – සජිත් හවුල එකතු වෙලා තමයි ‘මහ බැංකුව’ කොල්ල කෑවේ – ප‍්‍රසන්න

    රනිල් – සජිත් හවුල එකතු වෙලා තමයි ‘මහ බැංකුව’ කොල්ල කෑවේ – ප‍්‍රසන්න

    මහ මැතිවරණයෙන් පසුව නව ආණ්ඩුව පිහිට වූ වහා ම මැතිවරණය නිසා  අත්හිට වූ උපාධිධාරීන්ට රැකියා ලබා දීමේ හා අ.පො.ස සා/පෙ දක්වා ඉගෙනුම ලැබු අයට රැකියා ලබා දීමේ වැඩසටහන ක්‍රියාත්මක කරන බව කාර්මික අපනයන, ආයෝජන ප්‍රවර්ධන, සංචාරක හා ගුවන් සේවා ඇමති ප්‍රසන්න රණතුංග මහතා පවසයි. ඔහු අවධාරණය කරන්නේ නව ආණ්ඩුව පිහිටුවා සති දෙකක් තුළ මෙම රැකියා ලබා දීමේ වැඩසටහන ක්‍රියාත්මක කර අවසන් කිරීමට අපේක්ෂා කරන බවයි.

    මහර ශ්‍රී ලංකා පොදුජන පෙරමුණු ආසන බල මණ්ඩලයට සහභාගීවෙමින් ඇමති ප්‍රසන්න රණතුංග මහතා මේ බව සදහන් කළේය. රැස්වීම මහර සුමිත්‍රා උත්සව ශාලාවේ දී පසුගිය දා (28) පැවැත්විණ. 

    මෙහිදී වැඩිදුරටත් අදහස් දැක් වූ ඇමති ප්‍රසන්න රණතුංග මහතා මෙසේ ද කීවේය.

    අපි උපාධිධාරි 50,000 කට රජයේ රැකියා  ලබාදෙන වැඩසටහනක් ක්‍රියාත්මක කළා. ඒ එක්කම අ.පො.ස සා/පෙ දක්වා ඉගෙනුම ලැබු ලක්ෂයකට අධික තරුණ තරුණියන්ට රැකියා ලබා දීමේ වැඩසටහනක් ක්‍රියාත්මක කළා. මහ මැතිවරණයත් එක්ක මැතිවරණ කොමසාරිස්වරයාගේ නියෝගය නිසා මේ වැඩ සටහන් දෙක ම නතර කරන්න සිද්ධ වුණා.  මහ මැතිවරණයෙන් පස්සේ අපේ ආණ්ඩුව දිවුරුම් දුන්නාට පස්සේ ක්‍රියාත්මක කරන පළමු වැඩේ වෙන්නේ මේ ව්‍යාපෘති දෙක නතර වෙලා තියෙන තැනින් නැවත පටන් ගන්න එකයි. ආණ්ඩුව පිහිටුවලා පළමු මාසය තුළ මේ අයට රැකියා ලබාදීමට කටයුතු කරනවා. දැනටමත් ජනාධිපතිතුමාත්, අගමැතිතුමාත් මේ ගැන තීන්දුවකට එළඹිලා තියෙන්නේ.

    ගෝඨාභය මහත්තයා රටේ ජනාධිපති වුණාට පාර්ලිමේන්තුවේ බහුතර බලය තිබුණේ විපක්ෂයට. ඔවුන් ඒ නිසා ජනතාවට සහන සලස්වන ජනාධිපතිවරයා ගත් සියලු ක්‍රියාමාර්ග වලට බාධා කළා.  ඒ නිසයි රැකියා ලබාදීමේ ජාතික වැඩසටහන නතර කරන්න අපිට සිදු වුණේ. උපාධිධාරින්ට – තරුණ තරුණියන්ට රැකියා ලබා දීම ගෝඨාභය – මහින්ද සුසංයෝගයෙන් යුතු ආණ්ඩුවක ප්‍රමුඛතම කාර්යයක්. ඒ සදහා අපි ඇප කැප වී සිටිනවා. මේවා ඡන්ද ගුණ්ඩු නෙමෙයි. අපි කියන දේ කරන, කරන දේ කියන ආණ්ඩුවක්. පහුගිය යහපාලනය වගේ අපි ජොබ් දෙනවා කියලා තරුණ තරුණියන් රවටන්නේ නෑ.

    අපි මේ පොහොට්ටු පක්ෂය හැදුවේ රට හදන්න. එහෙම නැතුව එජාපය වගේ රට විනාශ කරන්න නෙමෙයි. අපිට මේ පක්ෂය හදනකොට අභියෝග රැසක් තිබුණා. මොකද අපි ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ නිසා. මේ පක්ෂය හැදුවොත් අපිව පාරක් පාරක් ගාණේ ඇවිද්දවන බවට මෛත්‍රීපාල තර්ජනය කළා. එහෙම තර්ජනය කරපු මෛත්‍රී අද පොහොට්ටුවට ඡන්දය ඉල්ලන්න පාරක් පාරක් ගානේ ගානේ යනවා. ඉස්සෙල්ලාම ගිහින් පොහොට්ටුවෙන් නාම යෝජනා අත්සන් කරනවා. මොකාට ද එහෙම කරන්න පුළුවන්. එහෙම කරන්න පුළුවන් ලැජ්ජා නහර නැති කෙනෙකුට විතරයි. සජිතුත් එහෙමයි.

    සජිත් ප්‍රේමදාස වේදකාවල කියපුවා අපිට මතකයිනේ.  අදත් එහෙමයි. සජිත්ගේ විනෝද සමය දැන් පටන් අරන්. සජිත් කියනවා රනිල්ගේ පැත්තට ඇගිල්ල දික් කරලා මූං තමයි හොරු. මහදවල් මහබැංකුව මංකොල්ල කෑවේ කියලා. රනිලුත්  සජිත්ගේ පැත්තට ඇගිල්ල දික්කරලා කියනවා මුං තමයි මහබැංකුව කොල්ල කෑවේ කියලා. එතකොට ජනතාව තේරුම් ගන්න ඕනේ මේ දෙගොල්ලොම හොරු කියලයි. මේ දෙගොල්ලොම එකතු වෙලා තමයි මහ බැංකුව මහ දවල් හොරා කෑවේ. පොත් ලිව්වා. ෆුට් නෝට් දැම්මා මහා බැංකුව හොරකම් කළේ නෑ කියලා. දැන් ජනතාවට ඇත්ත හොරුන් කවුදැයි හොදින් වටහා ගත හැකියි.

    අපි අගෝස්තු 06 වෙනිදා වනවිට රටේ ස්ථාවර ආණ්ඩුවක් හදනවා. ගෝඨාභය – මහින්ද සුසංයෝගයෙන් යුතු ස්ථාවර ආණ්ඩුවක්. ගෝඨාභය – මහින්ද සුසංයෝගයෙන් යුතු ස්ථාවර ආණ්ඩුවකට විතරයි මේ රට නැවත ගොඩගන්න පුළුවන්. රනිල්ටවත්, සජිත්ටවත් මේ රට හදන්න බෑ. ඒක ඔවුන් ඔප්පු කරලා ඉවරයි. ඒ නිසා තවත් වසර 20 කටවත් මේ රටේ බලය ගන්න එක්සත් ජාතික පක්ෂයට හෝ සමගි ජන බලවේගයට ඉඩක් නෑ.  ඔවුන් මෙවර මහ මැතිවරණයෙන් හොද ම පරාජිතයන් ලෙස ඉතිහාසගත වෙනවා.

  • මුතුරාජවෙළ තවත් තෙත් බිමේ අක්කර 50ක් ඈවරයි !

    මුතුරාජවෙළ තවත් තෙත් බිමේ අක්කර 50ක් ඈවරයි !

    අජිත් පණ්ඩිතරත්න මහතා හා ඔහු ව මෙහෙයවන මහ පරිමාණ ව්‍යාපාරිකයන් ගේ මෙන් ම දේශපාලකයන් ගේ වුවමනාවන් මත ගොවිජන සේවා දෙපාර්තමේන්තුවේ නිලධාරීන්ගේ මුදලට ඇති කෑදර කමට පුරන් කුඹුරු යැයි සදහන් කරමින් මෙම තෙත් බිම් විනාශ කිරීමට ඉඩදිය නොහැක.

    කම්බි කණු සිටුවා මායිම් ගසා ඇති අයුරු

    මුතුරාජවෙළ තෙත් බිමේ අක්කර 50 ක් නීති විරෝධීව ගොඩ කිරීමට ව්‍යාපාරිකයෙක් සූදානම් වේ

    සජීව චාමිකර – ඉඩම් හා කෘෂිකර්ම ප‍්‍රතිසංස්කරණ ව්‍යාපාරය

    මුතුරාජවෙළ තෙත් බිම් පද්ධතියට අයත් ජා – ඇල ප‍්‍රාදේශීය ලේකම් කොට්ඨාශයේ, වෑවල ග‍්‍රාම නිලධාරී වසමේ පිහිටි අට්ටික්කගහවත්ත කුඹුරට හා වැටකෙයාගහ කුඹුරට යාව පිහිටි තෙත් බිම් අක්කර 50 ක් ගොඩ කිරීම සදහා මේ වන විට මායිම් සලකුණු කරමින් පවතී.

    2018 වසරේ දී මුතුරාජවෙළ අභය භූමියේ අක්කර 406 ක් අත්පත් කර ගෙන නීති විරෝධී ව නිවාස සංකීර්ණයක් ඉදි කිරීම සදහා සූදානම් වූ මැල්වත්ත ප්‍රොපටි ඩිවලොප්මන්ට් පුද්ගලික සමාගමේ අජිත් පණ්ඩිතරත්න මහතා විසින් ම මෙම ඉඩම් වෙන් කිරීමේ කාර්යය සිදු කරමින් පවතී. මුතුරාජවෙළ තෙත් බිම ගොඩ කරමින් කි‍්‍රයාත්මක කිරීමට නියමිත මහා සැලැසුමක කොටස් ලෙස මේ සියලූ ඉඩම් අත්පත් කර ගැනීම්, ගොඩ කිරීම් හා ඉදි කිරීම් සිදු කරන බව මේ වන විට තහවුරු වී තිබේ.

    ඕලන්ද ඇල, බලි ඇල හා වෑවල පල්ලි ඇලට මායිම් ව පිහිටන මෙම තෙත් බිමේ අක්කර 50 ක භූමිය අද වන විට මායිම් යොදා සලකුණු කර තිබේ. ඒ සදහා ජා – ඇල, ගොවිජනසේවා දෙපාර්තමේන්තු කාර්යාලයෙන් ද සහයෝගය ලැබී තිබේ. මෙම ඉඩම් වෙන් කිරීමෙන් අනතුරු ව ගොඩ කර ලොරි රථ එකලස් කිරීමේ කර්මාන්තශාලාවක් ඉදි කිරීමට සැලැසුම් කර ඇති බව වාර්තා වේ.

    මෙම ගොඩ කිරීම් හේතුවෙන් බලි ඇලට හා වෑවල පල්ලි ඇලට එක් වන රොන් මඩ ඕලන්ද ඇල ඔස්සේ ජා ඇලටත් ඒ ඔස්සේ දඩුගම් ඔයටත් අනතුරුව මීගමුව කලපුවටත් එක් වීමට නියමිත ය. එමගින් කලපු පද්ධතිය ගොඩ වීමෙන් කලපු ජීවීන්ගේ බෝවීමේ කි‍්‍රයාවලිය ඇතුළු ව එම සතුන්ගේ පැවැත්මට බලපෑම් එල්ල වන අතර එමගින් ධීවර කර්මාන්තයට ද තර්ජන එල්ල වේ. මීට අමතර ව ඉදිරියේ දී සිදු කිරීමට නියමිත ගොඩ කිරීම් හා ඉදි කිරීම් නිසා මහවත්ත, වෑවල, ඉදිවිටිය හා එගොඩවත්ත යන ගම්මාන වලට වර්ෂා කාලයේ දී උග‍්‍ර ගංවතුර තර්ජනයකට ද මුහුණ දීමට සිදු වනු ඇත.

    මුතුරාජවෙළ ලංකාවේ විශාලත ම වෙරළාශි‍්‍රත ලවණ වගුරු බිමයි. කැළණි ගගේ සිට මීගමුව කලපුව දක්වා විහිදී ඇති මෙහි බටහිර මායිම මුහුදු තීරය වන අතර නැගෙනහිර මායිම මීගමුව – කොළඹ ප‍්‍රධාන මාර්ගයයි. නාගරික හා කාර්මික ප‍්‍රදේශ ගණනාවක් පුරා ව්‍යාප්ත ව ඇති මෙම තෙත් බිම වගුරු පරිසර හා කඩොලාන පරිසර වලින් සමන්විත වේ. අතීතයේ සශී‍්‍රක කුඹුරු යායක් ලෙස ප‍්‍රචලිත වූ මෙය මුතු මෙන් වටිනා සහල් ලබා දුන් රජුට අයත් වෙල් යාය නිසා මුතුරාජවෙළ නම් වූ බව ජනශැති වල ස`දහන් වේ.

    ඕලන්ද යුගයේ දී කැළණි ගගේ සිට භාණ්ඩ ප‍්‍රවාහනය සදහා මීගමුව - කොළඹ මාර්ගයට සමාන්තර ව මීගමු කලපුව දක්වා මුතුරාජවෙළ වෙල් යාය හරහා ඇළ මාර්ගයක් සකස් කර ඇත. එය ඕලන්ද ඇළ ලෙස හැදින්වේ. පසුව ඉංගී‍්‍රසීන් විසින් භාණ්ඩ ප‍්‍රවාහනය විධිමත් කිරීම සදහා කැළණි ගගේ සිට මුහුදු වෙරළට සමාන්තරව මුතුරාජවෙළ වෙල් යාය හරහා මීගමුව කලපුව දක්වාත් එතැන් සිට පුත්තලම දක්වාත් හැමිල්ටන් ඇළ සකසන ලදී. මෙහි ප‍්‍රතිඵලයක් ලෙස ලවණ ජලය මුතුරාජවෙළට ගලා ඒම සිදු වීම නිසා වී වගාවට නුසුදුසු තත්ත්වයක් උද්ගතවී ගොවිතැන අභාවයට පත් වී ඇත. වඩදිය අවස්ථාවේ දී ලවණ ජලය ගලා ඒම පාලනය කිරීම ස`දහා හැමිල්ටන් ඇළ හා ඕලන්ද ඇළ යා කරමින් දොරටු සහිත කුඩා ඇළ මාර්ග 20 කට අදික ප‍්‍රමාණයක් සකස් කළ ද ඉන් ප‍්‍රතිඵලයක් ලැබී නැත. මේ නිසා මෙම තෙත් බිම් පද්ධතිය ලවණ වගුරු පද්ධතියක් බවට ක‍්‍රමයෙන් පරිවර්ථනය වී ඇත.

    මේ හේතුව නිසා බොහෝ දෙනෙකු හෙක්ටයාර 3068 ක භූමි ප‍්‍රදේශයක් පුරා ව්‍යාප්තව ඇති මුතුරාජවෙළ වගුරු බිම වැඩකට නොමැති හිස් භූමියක් ලෙස සලකයි. සමහරුන් මෙම ප‍්‍රදේශය ගොඩ කර නිවාස යෝජනාක‍්‍රම කි‍්‍රයාත්මක කිරීමට පිඹුරුපත් සැකසූහ. තවත් සමහරු කර්මාන්තපුරයක් බවට පරිවර්තනය කිරීමට ව්‍යාපෘති වාර්තා සකස් කළහ. 1965 වසරේ දී පැවති රජයේ සැලැසුම වූයේ මුතුරාජවෙළ තෙත් බිම ගොඩ කර කොළඹ පැල්පත්වාසීන් මේ ප‍්‍රදේශයේ පදිංචි කිරීමට ය.

    නමුත් පරිසරය පිළිබද ව අවබෝධයක් ඇති සුළු පිරිසකගේ මගපෙන්වීම යටතේ මෙම තෙත් බිමේ පාරිසරික හා ජෛව විද්‍යාත්මක වටිනාකම අවබෝධ කර ගෙන එය තිරසර ලෙස භාවිතයට ගත යුතු ආකාරය පිළිබද ව සැලැසුම් සකස් කෙරිනි. 1991 වසරේ දී මහ කොළඹ ආර්ථික කොමිසම මගින් සකස් කළ මෙම සැලැසුමට 1992 වසරේ දී රජයේ අනුමැතියට යටත් ව කි‍්‍රයාත්මක කිරීමේ අවකාශය හිමි විය. මෙය මුතුරාජවෙළ හා මීගමුව කලපු මහ සැලැසුම නම් වේ. 1994 වසරේ දී මධ්‍යම පරිසර අධිකාරියේ, තෙත් බිම් සංරක්ෂණ ව්‍යාපෘතිය මගින් මුතුරාජවෙළ හා මීගමුව කලපුව සදහා සංරක්ෂණ හා කළමනාකරණ සැලැසුමක් ද සකස් කෙරිනි.

    මෙම සැලැසුම් වලට අනුව මුතුරාජවෙළ කොටස් තුනකට වෙන් කරන ලදී. එනම් කොළඹ ආශි‍්‍රත දැඩි නාගරික සීමාවේ පිහිටි තෙත් බිම් ප‍්‍රදේශය උප කාර්මික කලාපය ලෙසත්, මීගමුව කලපුව ආශි‍්‍රත ව පිහිටි කොටස මුතුරාජවෙළ අභය භූමිය ලෙසත්, ඒ අතර කොටස ස්වාරක්ෂක කලාපය හෙවත් පේ‍්‍රරක කලාපය ලෙසත් වෙන් කෙරිනි. ස්වාරක්ෂක කලාපය වෙන් කිරීමේ අරමුණ වූයේ උප කාර්මික කලාපය හා අභය භූමිය අතර ඝට්ටනයන් අවම කිරීමට ය.

    මෙම සැලැසුමට අනුව යෝජනා කෙරුණු අභය භූමිය ප‍්‍රකාශයට පත් කිරීම සිදු කෙරුනේ වන සත්ත්ව හා වෘක්ෂලතා ආරක්ෂක ආඥා පනතට අනුව යි. මේ පනතේ 2 (2) උප වගන්තියට අනුව 1996 ඔක්තෝම්බර් මස 31 වන දින අංක 947/13 දරන අති විශෙෂ ගැසට් පත‍්‍රයට අනුව තෙත් බිමේ හෙක්ටයාර 1028.62 කක භූමි ප‍්‍රදේශයක් මුතුරාජවෙළ අභය භූමිය ලෙස ප‍්‍රකාශයට පත් කෙරිනි. මීට අමතර ව ජාතික පාරිසරික පනතේ 24ඇ හා 24ඈ උප වගන්ති වලට අනුව මුතුරාජවෙළ ස්වාරක්ෂක කලාපය ලෙස වෙන් කළ තෙත් බිම් ප‍්‍රදේශය ලංකාවේ ප‍්‍රථම පරිසර ආරක්ෂණ ප‍්‍රදේශය ලෙස ප‍්‍රකාශයට පත් කෙරිනි. ඒ 2006 ඔක්තෝම්බර් මස 13 වන දින අංක 1466/26 දරන ගැසට් නිවේදනය මගිනි. මෙම ගැසට් නිවේදනයෙන් ස්වාරක්ෂක කලාපයේ තෙත් බිම් හෙක්ටයාර 206.678 ක් මුතුරාජවෙළ පරිසර ආරක්ෂණ ප‍්‍රදේශය ලෙස ප‍්‍රකාශයට පත් කර තිබේ.

    මෙම තෙත් බිම් පද්ධතිය සංරක්ෂණය සදහා සැලැසුම් සකස් කිරීමට ප‍්‍රථම 1989 වසරේ දී සකස් කෙරුනු ආසියානු තෙත් බිම් නාමාවලියේ ජාත්‍යන්තරව වැදගත් වන ලංකාවේ තෙත් බිම් 41 අතුරෙන් එකක් ලෙස ද මෙම වගුරු බිම නම් කෙරිනි. එපමණක් නොව මෙය ලංකාවේ ප‍්‍රමුඛ තෙත් බිම් පද්ධති 12 න් එකක් ලෙස ද හදුනාගෙන තිබේ.

    හෙක්ටයාර 3164 ක් වන මීගමුව කලපුව හා සම්බන්ධ මුතුරාජවෙළ තෙත් බිම මේ ආකාරයට ආරක්ෂා කිරීමට හේතුව මෙහි පාරිසරික හා ජෛව විද්‍යාත්මක වටිනාකමයි. නාගරික ප‍්‍රදේශ ගණනාවක් ඇතුළු ව විශාල ප‍්‍රදේශයක් ගංවතුර උවදුරින් ආරක්ෂා කරමින් වැසි ජලයේ අතිරික්තය රදා සිටීම, අවට ප‍්‍රදේශයේ භූගත ජල මට්ටම ඉහළ අගයක පවත්වාගෙන යාම, වැසි ජලයේ රොන්මඩ ආදිය තැන්පත් කර ගෙන ජලය පිරිසිදු තත්ත්වයට පත් කිරීමට අමතර ව නාගරික ප‍්‍රදේශයේ අධික කාබන්ඩයොක්සයිඞ් මට්ටම යාමනය කිරීම, පරිසර උෂ්ණත්වය ප‍්‍රශස්ත මට්ටමක පවත්වාගෙන යාම ආදී ප‍්‍රයෝජන රාශියක් මෙම තෙත් බිමෙන් ඉටු වේ.

    සමස්ත මුතුරාජවෙළ ප‍්‍රදේශය තෙත් බිම් සංකීර්ණයක් ලෙස හැදින්විය හැකි ය. ඊට හේතුව මුතුරාජවෙළ වගුරු බිම, මීගමුව කලපුව, ඕලන්ද ඇළ, හැමිල්ටන් ඇළ හා මුතුරාජවෙළ වගුරු බිම තුළින් ගලා ගොස් මීගමුව කලපුව හා එක් වන දඩුගම් ඔය ඇතුළු තෙත් බිම් වර්ග ගණනාවකින් මෙය සමන්විත ය. මේ නිසා ම මෙම තෙත් බිම් පද්ධතිය නොගැඹුරු මුහුදු තීරයේ ජීවත් වන සාගර මත්ස්‍ය විශේෂ, ඉස්සන් හා කකුළුවන් විශේෂ වල ප‍්‍රධාන බෝවීමේ ප‍්‍රදේශයකි. මේ නිසා මීගමුව කලපුවේ මත්ස්‍ය විශේෂ වල පැවැත්ම මෙන්ම සුළු පන්න ධීවරයින්ගේ පැවැත්ම ද රදා ඇත්තේ මෙම තෙත් බිම් පද්ධතිය මත ය.

    දැනට සිදු කර ඇති අධ්‍යයන වලට අනුව ජෛව විද්‍යාත්මක ව ඉතා වටිනා තෙත් බිම් පරිසරයක් වන මෙහි විවිධ පරිසර පද්ධති රාශියක් දැක ගත හැකි ය. එනම් කඩොලාන බිම්, ලවණ වගුරු බිම්, ලවණ ජලය හා මිරිදිය ජලය සහිත ඇළ මාර්ග, තෘණ භූමි, පදුරු වනාන්තර, ගංගාශී‍්‍රත වනාන්තර ඒ අතර වේ. මීට අමතර ව වසරේ විවිධ කාල වල දී ලවණ ජලයෙන් පිරී යාම නිසා විශේෂිත පරිසර පද්ධති නිර්මාණය වී ඇත. මෙම විවිධ වූ පරිසර පද්ධති වලට අනුවර්තනය වූ ජීවී විශේෂ ගණනාවක් මුතුරාජවෙළ තෙත් බිම් පද්ධතියේ ජීවත් වේ.

    මෙම විවිධ වූ පරිසර පද්ධති වල ශාක කුල 66 කට අයත් ශාක විශේෂ 194 ක් වාර්තා වේ. අති විශාල සත්ත්ව ප‍්‍රජාවකට වාසස්ථාන සපයන මේ තෙත් බිමේ සිදු කර ඇති අධ්‍යයන වලින් අනාවරණය වී ඇත්තේ සමනළුන්, බත්කූරන්, මත්ස්‍යයින්, උභයජීවීන්, පක්ෂීන් හා ක්ෂීරපායීන් යන සත්ත්ව කාණ්ඩ 7 ට අයත් විශේෂ 449 ක් පමණ වාර්තා වී ඇති බව ය. ඉන් විශේෂ 27 ක් මෙරටට ආවේණික සත්ත්ව විශේෂ වේ.

    පක්ෂීන්ගේ සුවිශේෂී ගොදුරු බිමක් හා ලැගුම් පොළක් වන මුතුරාජවෙළ තෙත් බිමේ නේවාසික පක්ෂි විශේෂ 86 ක් පමණ ජීවත් වන අතර සංක‍්‍රමණික පක්ෂි විශේෂ 43 ක් පමණ වාර්තා වී තිබේ. විශේෂයෙන් බටහිර සංක‍්‍රමණික මාර්ගයෙන් ලංකාවට පැමිණෙන පක්ෂි විශේෂ බහුල ව මෙම තෙත් බිමෙන් වාර්තා වේ. දුර්ලභ සංක‍්‍රමණික පක්ෂීන් වන දම් සිළුටු දෑතුඩුවා (Glossy Ibis) දම් පිළිහුඩුවා (Black – capped Purple Kingfisher) හා පළගැටි හම්බු කුරුල්ලා (Black – capped Purple Kingfisher වැනි පක්ෂීන් මෙහි වාර්තා වී තිබීම සුවිශේෂත්වයකි.

    මෙවන් වටිනා තෙත් බිම් පද්ධතියක් ආර්ථික හා දේශපාලන බලය හිමි පුද්ගලයකුට තම හිතුමනාපය පරිදි විනාශ කිරීමට කිසිදු අවස්ථාවක ඉඩදිය යුතු නැත. රුපියල් මිලියන දහස් ගණනක් වැය කර මුතුරාජවෙළ සංරක්ෂණ සැලැසුම් සකස් කර වසර ගණනාවක් ආරක්ෂා කළ භූමියක් ව්‍යාපාරිකයකුට අවශ්‍ය පරිදි විනාශ කිරීමට අවස්ථාව ලබා දී බලා සිටීමට රජයට හෝ කිසිදු සිවිල් පුරවැසියෙකුට අයිතියක් නැත.

    ශ‍්‍රී ලංකා ප‍්‍රජාතාන්ත‍්‍රික සමාජවාදී ජනරජයේ ආණ්ඩුක‍්‍රම ව්‍යවස්ථාවේ රාජ්‍ය ප‍්‍රතිපත්තිය මෙහෙයවීමේ මූලධර්ම සහ මූලික යුතුකම් කොටසෙහි 27 (14) උප ව්‍යවස්ථාවට අනුව ජනතාවගේ යහපත තකා රජය විසින් පරිසර ආරක්‍ෂා කර සුරක්‍ෂිත කර වැඩිදියුණු කළ යුතු බව සඳහන් වේ. ආණ්ඩුක‍්‍රම ව්‍යවස්ථාවේ 28 (ඊ) උප ව්‍යවස්ථාවට අනුව ස්වභාවධර්මය හා ස්වාභාවික සම්පත් රැකගැනීම ශ‍්‍රී ලංකාවාසී සෑම තැනැත්තෙකුගේ ම යුතුකම වන බව සඳහන් වේ. මේ නිසා සෑම රාජ්‍ය නිලධාරියෙක් ම, සිවිල් පුරවැසියෙක් ම මේ සම්පත් ආරක්ෂා කිරීමට ආණ්ඩුක‍්‍රම ව්‍යවස්ථාවෙන් ම බැදී සිටී.

    එපමණක් නොව 1971 වසරේ දී ඉරානයේ රැම්සාර් නුවර දී සම්මත කර ගත් එක්සත් ජාතීන්ගේ රැම්සාර් ප‍්‍රඥප්තියට 1990 ඔක්තෝබර් මස 15 වන දින ප‍්‍රවිශ්ඨ වූ රටක් වශයෙන් මෙන් ම හෙක්ටයාර 1,98,172 ක භූමි ප‍්‍රදේශයක් පුරා ව්‍යාප්ත වූ ජාත්‍යන්තරව පිළිගත් රැම්සාර් තෙත් බිම් 6 ක් හිමි රටක් වශයෙන් හා කොළඹ රැම්සාර් තෙත් බිම් නගරය ලෙස රටේ ප‍්‍රධාන වාණිජ නගරය ජාත්‍යන්තර ව පිළිගත් තෙත් බිමක් ලෙස ප‍්‍රකාශයට පත් කර ඇති රටක් වශයෙන් තෙත් බිම් ආරක්ෂා කිරීමට අප ජාත්‍යන්තරව ද බැදී සිටී.

    එසේ තිබිය දී අජිත් පණ්ඩිතරත්න මහතා හා ඔහු ව මෙහෙයවන මහ පරිමාණ ව්‍යාපාරිකයන් ගේ මෙන් ම දේශපාලකයන් ගේ වුවමනාවන් මත ගොවිජන සේවා දෙපාර්තමේන්තුවේ නිලධාරීන්ගේ මුදලට ඇති කෑදර කමට පුරන් කුඹුරු යැයි සදහන් කරමින් මෙම තෙත් බිම් විනාශ කිරීමට ඉඩදිය නොහැක.

    සංශෝධිත 1980 අංක 47 දරන ජාතික පාරිසරික පනතේ 23බ උප වගන්තියට අනුව ප‍්‍රකාශිත 1993 ජුනි 24 දින අංක 772/22 දරන ගැසට් නිවේදනයට අනුව හෙක්ටයාර 4 කට නැතහොත් අක්කර 10 කට වැඩි තෙත් බිම් ප‍්‍රදේශ ගොඩ කිරීමට ප‍්‍රථමයෙන් පරිසර බලපෑම් ඇගයීම් කි‍්‍රයාවලියට යටත් ව පූර්ව ලිඛිත පාරිසරික අනුමැතිය ලබා ගත යුතු ය. මේ කි‍්‍රයා පටිපාටියෙන් තොර ව කිසිදු රාජ්‍ය ආයතනයකට තෙත් බිම් සංවර්ධන කටයුතු සදහා භාවිතා කිරීමට අවසර ලබාදිය නොහැකි ය.

    මීට අමතර ව සංශෝධිත 1940 අංක 09 දරන පුරාවස්තු ආඥා පනතේ 43අ සහ 47 වන වගන්ති වලට අනුව ප‍්‍රකාශිත 2000 ඔක්තෝබර් මස 04 වන දින අංක 1152/14 දරන ගැසට් නිවේදනය මගින් ප‍්‍රකාශිත 2000 අංක 01 දරන ව්‍යාපෘති වල කාර්යය පටිපාටි නියෝග වලට අනුව ඉඩම් හා තෙත් බිම් ගොඩ කිරීමට ප‍්‍රථම පුරා විද්‍යා හානි ඇගයීමක් සිදු කර ඒ සදහා පුරා විද්‍යා අධ්‍යක්ෂ ජනරාල්ගේ අනුමැතිය ලබා ගත යුතු ය.

    මේ අනුව පෙනී යන්නේ ගොවිජන සේවා දෙපාර්තමේන්තුවේ නිලධාරීන් විසින් ජාතික පාරිසරික පනත හා පුරාවස්තු ආඥා පනත යන පනත් උල්ලංඝනය කරමින් මුතුරාජවෙළ තෙත් බිම් අක්කර 50 ක් වෙන් කිරීම හා ගොඩ කිරීම සදහා අනුමැතිය ලබා දී ඇති බව ය. මීට එරෙහිව වගකිවයුතු සියලූ පුද්ගලයින්ට එරෙහිව නීතිමය කි‍්‍රයාමාර්ග ගත යුතු ය.

    මෙවර ජනාධිපතිවරණයේ දී ‘‘ගෝඨාභය රට හදන සෞභාග්‍යයේ දැක්ම’’ නම් ප‍්‍රතිපත්ති ප‍්‍රකාශනයේ ‘‘තිරසර පරිසර ප‍්‍රතිපත්තියක්’’ කොටසෙහි සදහන් වන්නේ ‘‘මිනිසාට මෙන් ම අනෙක් සත්ත්වයින්ට භූමියට ඇති අයිතිය සුරක්ෂිත කරන භාරකරුවකු ලෙස රජය කි‍්‍රයා කළ යුතු බව ය.’’ මේ ආකාරයෙන් ජනතාව සමග සම්මුතිගත වූ වත්මන් ආණ්ඩුව අද වන විට තෙත් බිම් පරිසර පද්ධති විනාශ කර මිනිසා ඇතුළු සියලූ ම සත්ත්වයන්ට භූමියට ඇති අයිතිය අහිමි කිරීමට මහ පරිමාණ ව්‍යාපාරිකයන්ට රිසි සේ කි‍්‍රයාත්මක වීමට ඉඩ දී බලා සිටී. එපමණක් නොව ඔවුන් ට ආයෝජන නාමයෙන් සියලූ ස්වාභාවික සම්පත් කොල්ලකෑමට දේශපාලන රැුකවරණය ද ලබා දෙමින් තිබේ.

    මුතුරාජවෙළ තෙත් බිම් පද්ධතිය විනාශ කිරීමට දේශපාලකයන් හා නිලධාරීන් මින් පෙර ද අවස්ථා බොහොමයක කටයුතු කර ඇත. පසුගිය කාලයේ දී හිටපු පාර්ලිමේන්තු මන්ත‍්‍රී නීල් රූපසිංහ මහතා විසින් මුතුරාජවෙල තෙත්බිමේ විශාල භූමි ප‍්‍රදේශයක් ගොඩකර නිල්සිරිගම නමින් ගම්මානයක් බිහි කළේ ය. මෙහි අහිතකර ප‍්‍රතිඵල බුක්ති විඳින්නේ එහි වත්මන් පදිංචි ජනතාවයි. වර්ෂා කාලයේ දී ගොඩ කළ තෙත්බිම් මත ගොඩනැඟූ නිවාස දින ගණනාවක් ජලයෙන් යට වී පවතී. එම කාලයට වසංගත රෝග බෝවීම ප‍්‍රදේශයේ උග‍්‍ර මට්ටකට පත් වේ. දේශපාලනඥයින් ගේ අඥාන තීරණවල අහිතකර ප‍්‍රතිඵල අවසානයේ බුක්ති විඳින්නේ මෙහි පදිංචි වූ අහිංසක, අසරණ ජනතාව යි.

    2003 වසරේ දී මෙවැනි ම ඉඩම් බෙදා දීමක් ප‍්‍රදේශයේ දේශපාලඥයකු වූ හිටපු පාර්ලිමේන්තු මන්ත‍්‍රී ඕලිත පේ‍්‍රමතිරත්න මහතා විසින් සිදු කෙරින. ඔහු විසින් මුතුරාජවෙල තෙත්බිමේ කිදිගොඩ ප‍්‍රදේශයේ අක්කර 100 ක පමණ තෙත්බිම් ප‍්‍රමාණයක් ජනතාව අතර බෙදා දී විශාල මුදලක් උපයා ගත්තේ ය. එහෙත් සීමාසහිත පාරිසරික පදනම මගින් ලබා ගත් අධිකරණ තීන්දුව මත පදිංචි වූ ජනතාවට සිදු වූයේ ටික දිනකින් ම ඉන් ඉවත් වී යාමට ය. දේශපාලකයින්ගේ ව්‍යාජ සැලැසුම් වලට මුලා වූ ජනතාවට වියදම් කළ මුදල ද අවසානයේ අහිමි විය.

    2009 වසරේ දී හිටපු අමාත්‍ය ෆීලික්ස් පෙරේරා මහතා ගේ සොහොයුරු ටෙනිසන් පෙරේරා මහතා විසින් මුතුරාජවෙල අභය භූමිය තුළ පිහිටි දඩුගම් ඔය මීගමුව කලපුව හා සම්බන්ධ වන මෝය ආශි‍්‍රත ව පිහිටි අක්කර 10 ක් පමණ වන විශාල කඩොලාන දූපතේ අක්කර පහක මහ පරිමාණ හෝටලයක් ඉදිකිරීම සඳහා ක‍්‍රියාත්මක විය. ඒ සඳහා වෙරළ සංරක්ෂණ දෙපාර්තමේන්තුව මඟින් ක‍්‍රියාත්මක කළ ව්‍යාපෘතියකින් ද සහයෝගය ලබා ගැණිනි. එහෙත් අපගේ මැදිහත්වීමෙන් එම හානිකර ව්‍යාපෘතිය නතර කිරීමට හැකියාව ලැබුණි.

    2012 වසරේ දී මුතුරාජවෙල අභය භූමියේ වත්තල ප‍්‍රාදේශීය ලේකම් කොට්ඨාශයට අයත් බෝපේ, නිල්සිරිගම ආශ‍්‍රිත ව පිහිටි තෙත්බිම් අක්කර 50 ක් වත්තල ප‍්‍රාදේශීය සභා මන්ත‍්‍රී ඊ.ජේ.එම්.ඞී. රූබන් මහතා විසින් පර්චස් දහයේ ඉඩම් කුට්ටිවලට වෙන්කර විකිණීමේ ජාවාරමක් ක‍්‍රියාත්මක කෙරිනි. ඒ සඳහා අනුග‍්‍රහය ලබා දුන්නේ එවකට නියෝජ්‍ය අමාත්‍ය සරත් කුමාර ගුණරත්න මහතා විසිනි.

    අභය භූමියේ පර්චස් දහයක ඉඩම් කැබැල්ලක් වෙන්කර ගැනීම සඳහා රුපියල් 10,000 ක මුදලක් අය කර එම භූමිය මැනීම් කර ඔප්පු සැකසීමට හා ශාක ඉවත් කර භූමිය සැකසීම සඳහා රුපියල් 40,000 ක පමණ මුදල ක් ලබාගන්නා ලදී. මේ ඉඩම් බෙදා දීමෙන් අනතුරු ව බෙදාදුන් තෙත්බිම්, අභය භූමියෙන් ඉවත් කර ගැසට් නිවේදනයක් මඟින් ප‍්‍රකාශයට පත් කිරීමට පියවර ගැනීමට ද යෝජනා වී තිබුණි. මෙම හානිකර ව්‍යාපෘතිය ද අපගේ මැදිහත්වීම මත නතර කර ගත හැකි විය.

    මීට අමතර ව 2018 වසරේ දී අජිත් පණ්ඩිතරත්න මහතා විසින් මුතුරාජවෙළ අභය භූමියේ අක්කර 406 ක් ගොඩ කර සිදු කිරීමට ගිය නිවාස සංකීර්ණය ඉදි කිරීම ද නතර කිරීමට අපට හැකි විය.

    මුතුරාජවෙළ තෙත් බිම් පද්ධතියට සිදු කළ සමහර හානිකර කි‍්‍රයා අපගේ මැදිහත්වීම මත නතර කර ගත හැකි වුව ද සමහර නීති විරෝධී කි‍්‍රයා තව ම ඒ ආකාරයෙන් ම සිදු වෙමින් පවතී. ජා-ඇළ ප‍්‍රාදේශීය ලේකම් කොට්ඨාශයට අයත් දඩුගම ග‍්‍රාම නිලධාරි වසමේ බණ්ඩත්තරවෙළ ප‍්‍රදේශයේ මුතුරාජවෙළ අභය භූමිය තුළ තෙත් බිම් ගොඩ කරමින් මාර්ගයක් ඉදි කර තිබේ.

    දඩුගම් ඔයේ වම් ඉවුරේ සිට මීටර් දෙකක් තුනක් පමණ දුරින් තනා ඇති මෙම මාර්ගයේ පළල මීටර් 5ක් හා දිග කිලෝමීටර් 1.2 ක් වේ. මෙම මාර්ගය ඉදිකර ඇත්තේ අභය භූමිය තුළ පිහිටි පෞද්ගලික ඉඩම් දෙකක් වන දැනට අතහැර දමා ඇති පොල් වත්තකට හා සත්ත්ව ගොවිපළකට ළඟාවීම සඳහා ය. මෙම ගොඩ කිරීම සිදු කළ පුද්ගලයන් ජා-ඇළ ප‍්‍රාදේශීය සභාවේ ද මුදල් ප‍්‍රතිපාදන වෙන් කර ගෙන මෙම මාර්ගය ඉදි කරන ලද්දේ නීති විරෝධී ලෙස ය. මෙම මාර්ගය ආසන්නයේ අභය භූමිය තුළ ගුරුගේ වත්ත ලෙස හැඳින්වෙන අක්කර 30ක තෙත් බිමක් ඇතුළු ව අක්කර 99ක භූමියක් වෙන් කර ගෙන සිටින ප‍්‍රදේශයේ ප‍්‍රබල පුද්ගලයෙකු විසින් එම ඉඩම එළිපෙහෙලි කිරීම් වල වරින් වර නිරත වේ.

    එපමණක් නොව ජා-ඇළ හා හැමිල්ටන් ඇළ අතර දැලතුර, තාරකුලිය ප‍්‍රදේශයේ අභය භූමියේ විශාල තෙත් බිම් ප‍්‍රදේශයක් ගොඩකර කන්ටේනර් බහාලූම් අංගනයක් ඉදි කර තිබේ. වල්ඞ් එක්ප‍්‍රස් සමාගම මගින් සිදු කළ මෙම ව්‍යාපෘතිය සඳහා මේ වන විට අක්කර ගණනාවක තෙත් බිම් ගොඩ කර ඇති අතර ජා-ඇළ හා සම්බන්ධ කිරීමට නව ඇළ මාර්ගයක් ද අභය භූමිය තුළ සකස් කර තිබේ. මේ නීති විරෝධී කි‍්‍රයා තව ම පාලනය කිරීමට කිසිදු කි‍්‍රයාමාර්ගයක් ගෙන නොතිබීමෙන් පෙනී යන්නේ ජනතාවගේ බදු මුදල් වලින් යැපෙන රාජ්‍ය නිලධාරීන් තම වගකීම නිසි ලෙස කි‍්‍රයාත්මක නොකරන බව ය. එවන් රාජ්‍ය ආයතන අපගේ මුදල් වලින් නඩත්තු කිරීමෙන් ඵලක් තිබේ ද යන්න ජනතාව තේරුම් ගත යුතු ය.

    මේ අතරතුර මුතුරාජවෙළ තෙත් බිමේ ස්ථාන ගණනාවක විවිධ ව්‍යාපෘති කි‍්‍රයාත්මක කිරීමට මේ වන විට රාජ්‍ය ආයතන විසින් ම කි‍්‍රයාමාර්ග ගනිමින් සිටී. මෙම තෙත් බිමේ අක්කර 5 ක භූමියක් ගොඩ කර දිනකට කසළ මෙටි‍්‍රක්ටොන් 400 ක් බැහැරලන සනීපාරක්ෂණ කසළ රැදවුමක් ස්ථාපිත කිරීමට 2017 අපේ‍්‍රල් මස 25 වන දින කැබිනට් මණ්ඩල අනුමැතිය ලබා දී ඇත. මීට අමතර ව මෙම තෙත් බිමේ අක්කර 10 ක භූමියක ඝන අපද්‍රව්‍ය වලින් විදුලිය නිපදවීම සදහා ව්‍යාපෘතියක් කි‍්‍රයාත්මක කිරීමට 2016 අගෝස්තු මස 30 වන දින කැබිනට් අනුමැතිය ලබා දී තිබේ.

    පසුගිය දින වල මීතොටමුල්ල කසළ රැදවුම කඩා වැටීමත් සමග ම කොළඹ නාගරික බල ප‍්‍රදේශයෙන් එක් රැුස් කරන කසළ රැුදවීම සදහා භාවිතා කළේ ද මුතුරාජවෙළ තෙත් බිම ය. මේ සියල්ලෙන් ම පැහැදිලි වන්නේ මුතුරාජවෙළ තෙත් බිම සංරක්ෂණය හා කළමනාකරණය ස`දහා විශාල මුදලක් වැය කර සැලසුම් සකස් කළ ද ඒ සියල්ල අතහැර දමා කටයුතු කරන බව ය.

    මෙවන් තත්ත්වයන් වර්ධනය කිරීමට 2018 අය වැය ප‍්‍රකාශනයේ දී 1958 අංක 01 දරන කුඹුරු පනත හා 1973 අංක 42 දරන කෘෂිකාර්මික ඉඩම් පනත සංශෝධනය කර මෙවන් කි‍්‍රයා වලට ඉඩකඩ සැලසෙන පරිදි නීතිමය රාමුව සකස් කිරීමට පසුගිය ආණ්ඩුව විසින් යෝජනා කෙරින. එපමණක් නොව ඌන උපයෝජිත කුඹුරු ඉඩම් නිවාස ව්‍යාපෘති සදහා යොදා ගැනීමට ඇති හැකියාව සොයා බැලීමට 2017 නොවැම්බර් මස 07 වන දින කැබිනට් මණ්ඩලය විසින් තීරණය කර තිබේ. ඒ සියල්ල ඒ ආකාරයෙන් ම අකණ්ඩ ව කි‍්‍රයාත්මක කිරීම වත්මන් ආණ්ඩුව විසින් ද සිදු කරනු ලැබේ.

    මින් සිදුවන්නේ රටේ වත්මන් හා අනාගත පරපුරේ යහපැවැත්ම මෙන්ම ආහාර සුරක්ෂිතතාවයට වැදගත් වන බිම් ප‍්‍රදේශ අවභාවිතයට පසුබිම සැකැසීමයි. මේ නිසා අප අවධාරණය කර සිටින්නේ තෙත් බිම් ලෙස පවතින භූමි ප‍්‍රදේශ කිසිදු ආකාරයකින් සංවර්ධන කාර්යයන් සදහා යොදා ගැනීමට අනුමැතිය ලබා නොදිය යුතු බව ය. එපමණක් නොව ඒ සදහා ඉඩ ප‍්‍රස්ථාව හිමි වන අයුරින් අණ පනත් සංශෝධනය කිරීම ද වහා ම නතර කළ යුතු ය.

    අවසන් වශයෙන් අවධාරණය කරන්නේ මුතුරාජවෙළ තෙත් බිමේ අක්කර 50 ක් ගොඩකර සිදු කිරීමට යෝජිත ව්‍යාපෘතිය වහා ම නතර කිරීමට පියවර ගෙන මුතුරාජවෙළ තෙත් බිම් පද්ධතියේ රැුකවරණය කඩිනමින් තහවුරු කරණ ලෙස ය. ඒ සදහා 2006 වසරේ දී සකස් කරන ලද ජාතික තෙත් බිම් ප‍්‍රතිපත්තිය හා උපායමාර්ගික සැලැසුමට අනුව කි‍්‍රයාමාර්ග ගෙන තෙත් බිම් සංරක්ෂණයට අවශ්‍ය සෘජු නීති රීති හා පරිපාලන ව්‍යුහයක් සකස් කර කි‍්‍රයාවට නැංවිය යුතු ය. ඒමගින් සමාජ ආරක්ෂණය තහවුරු කළ යුතු ය. එසේ නොමැති ව නව ලිබරල් ආර්ථික සැලැසුම් කි‍්‍රයාත්මක කිරීම සදහා ආයෝජකයින්ට අවශ්‍ය පරිදි සියලූ සමාජ ආරක්ෂණ අණ පනත් ජනතා විරෝධී ලෙස සංශෝධනය කර රටේ ජනතාවගේ ඉඩම් ඇතුළු ස්වාභාවික සම්පත් විවෘත ආර්ථික කි‍්‍රයාවලිය සදහා යෙදවීම වහා ම නතර කළ යුතු ව ඇත.

    සජීව චාමිකර – ඉඩම් හා කෘෂිකර්ම ප‍්‍රතිසංස්කරණ ව්‍යාපාරය

  • සංචාරක කර්මාන්තය නගා සිටුවීමට ජාත්‍යන්තර සහය

    සංචාරක කර්මාන්තය නගා සිටුවීමට ජාත්‍යන්තර සහය

    කොවිඩ් 19 වසංගතය හේතුවෙන් බිද වැටී ඇති මෙරට සංචාරක කර්මාන්තය නංවාලීමට සහාය ලබා දෙන බවට ජාත්‍යන්තර මූල්‍ය ආයතන හා විදෙස් තානාපතිවරු සහතික වෙති. ඉදිරියේ දී ඒ සදහා අවශ්‍ය මූල්‍ය සහ වෙනත් සහයෝගයන් ලබාදීමට ඒ අනුව ඔවුහු එකගතාවය පළ කළහ.

    මෙම එකගතාවය පළ වුණේ කොවිඩ් 19 හේතුවෙන් බිද වැටී ඇති මෙරට සංචාරක කර්මාන්තය නංවාලීමේ ක්‍රියාමාර්ග පිළිබද රජයේ නියෝජිතයන්, තානාපතිවරුන් හා ඔවුන්ගේ නියෝජිතයන් අතර ඊයේ (29) පැවති වටමේස සාකච්ඡාවකදී ය. එය කොළඹ ෂැංග්‍රිලා හෝටලයේ දී පැවැත්විණ. මෙම වටමේස සාකච්ඡාවන් සදහා ලෝක බැංකුව වැනි මූල්‍ය ආයතන නියෝජිතයෝත් කැනඩාව, ඕස්ට්‍රේලියාව, ප්‍රංශය වැනි රටවල් රැසක නියෝජිතයෝ සහභාගී වූහ.

    කාර්මික අපනයන, ආයෝජන ප්‍රවර්ධන, සංචාරක හා ගුවන් සේවා ඇමති ප්‍රසන්න රණතුංග මහතා මෙම වට මේස සාකච්ඡාව සදහා සුබ පැතුම් පණිවිඩයක් එවමින් සදහන් කළේ කොවිඩ් 19 වසංගතයෙන් පසු ව ශ්‍රී ලංකාවේ සංචාරක ව්‍යාපාරය ආරක්ෂිත හා නම්‍යශීලි ලෙස ඉදිරියට ගෙන යාමට රජය කටයුතු කරමින් සිටින බවයි. ඒ සදහා අමාත්‍යාංශය හා සංචාරක සංවර්ධන අධිකාරිය, එක්සත් ජාතීන්ගේ වැඩසටහනේ ද සහභාගීත්වයෙන් මාර්ග සිතියමක් සකස් කරමින් තිබේ. සංචාරක ක්ෂේත්‍රයේ වත්මන් තත්ත්වය මෙන් ම ගත යුතු පියවරයන් ද ඒ සදහා එල්ල විය හැකි බලපෑම් පීළිබද තක්සේරුවක් ද සහිතව මෙම මාර්ග සිතියම සකස් කෙරෙමින් පවතින බව ඇමතිවරයා කියයි.

    ඇමති ප්‍රසන්න රණතුංග මහතා වැඩසටහනට එවා  තිබු  සුබපැතුම් පණිවිඩයේ මෙසේ ද සදහන් විය.

    “ සංචාරක ක්ෂේත්‍රය ශ්‍රී ලංකා ආර්ථිකයේ වැදගත් අංශයක්. එය මෙරට දළ දේශීය නිෂ්පාදිතයේ 5% ක ආදායමක් ලබා දෙනවා. සෘජු රැකියා අවස්ථා 250,000 ක් වගේ වක්‍ර රැකියා අවස්ථා මිලියන 02 ක් මෙමගින් සපයා තිබෙනවා. කොවිඩ් 19 වසංගතය පැතිරීමත් සමග සංචාරක ක්ෂේත්‍රය දැඩි පීඩාවකට ලක් වුණා. ලැබී ඇති දත්ත අනුව 2020 වර්ෂයේ මුල් කාර්තුව තුළ සංචාරකයන්ගේ පැමිණීම ඉතා සීඝ්‍ර ලෙස පහළ වැටී තිබෙනවා. 2019 හා සැසදීමේ දී එය 60% ක 80% ක පමණ අවපාතයක් බවයි ලෝක සංචාරක සංවිධානය පවසන්නේ.

    සංචාරක ව්‍යාපාරයට කොවිඩ් 19 නිසා සිදු වූ බලපෑම සුළුපටු නෑ. මේ නිසා බිද වැටී ඇති සංචාරක ව්‍යාපාරය නංවාලීමට අප මහත් වෙහෙසක් දරනවා. ඒ සදහා සැලසුම් හා ඉලක්ක දැනටමත් සකස් කර ඇත.  එහි එක් පියවරක් තමයි සංවර්ධන ක්ෂේත්‍රය දියුණු කිරීමට අදාළ මාර්ග සිතියමක් සැකසීම. ඒ අනුව සංචාරක කර්මාන්තය නව මානයකට ගමන්  කරනු ඇත. ශ්‍රී ලංකාව ආකර්ෂණීය සංචාරක ගමනාන්තයක් බවට පත් කිරීම හරහා පමණයි අපට ඒ අර්බුදයෙන් මිදෙන්න පුළුවන්. ඒ සදහා ඔබ සියලු දෙනාගේ පූර්ණ සහාය ශ්‍රි ලංකා රජය අපේක්ෂා කරනවා.”

    සංචාරක හා ගුවන් සේවා අමාත්‍යාංශයේ ලේකම් එස්. හෙට්ටිආරච්චි, සංචාරක සංවර්ධන අධිකාරියේ සභාපති කිමාලි ප්‍රනාන්දු මහත්මිය ද මෙහි දී කථා කළහ.

  • Covid-19 Global Review: ආසාදිතයින් කෝටියක් – මරණ ලක්ෂ 5ක්: ‘භයානක මොහොත තාම නෑ’ – WHO

    Covid-19 Global Review: ආසාදිතයින් කෝටියක් – මරණ ලක්ෂ 5ක්: ‘භයානක මොහොත තාම නෑ’ – WHO

    ගෝලීය වශයෙන් කොවිඩ්-19 ආසාදිතයින් සංඛ්‍යාව කෝටිය ඉක්මවා ගිය බවත් මරණ සංඛ්‍යාව 500,000 ඉක්මවා ගිය බවත් ජෝන්ස් හොප්කින්ස් විශ්වවිද්‍යාලයේ කොරෝනා වෛරස් සම්පත් මධ්‍යස්ථානයේ නිල වෙබ් අඩවියේ නවතම යාවත්කාලීන කිරීම්වල සදහන් වෙනවා.

    එහි ජූනි මස 29 වැනි දින ප.ව 09.06ට සිදුකළ යාවත්කාලීන කිරීම්වල සදහන් වන්නේ ගෝලීය වශයෙන් කොවිඩ්-19 ආසාදිතයින් 10,189,350ක් සහ මරණ 502,802ක් වාර්තා වී ඇති බවයි.

    සුපුරුදු ලෙස වැඩිම ආසාදිතයින් සහ මරණ සංඛ්‍යාව ඇමෙරිකා එක්සත් ජනපදයෙන් (2,557,980 – 125,864) වාර්තා වන අතර බ්‍රසීලයෙන් වාර්තා වන ආසාදිතයින් හා මරණ සංඛ්‍යාව 1,344,143 – 57,622ක්.

    රුසියාවෙන් ආසාදිතයින් 640,246ක් සහ මරණ 9152ක් වාර්තා වන අතර ඉන්දියාවෙන් ආසාදිතයින් 548,318 ක් සහ මරණ 16,475ක් වාර්තා වෙනවා.

    පාකිස්ථානයෙන් ආසාදිතයින් 206,512ක් මරණ 4167ක්, සෞදි අරාබියෙන් ආසාදිතයින් 186,436 ක් මරණ 1599ක්, බංග්ලාදේශයෙන් ආසාදිතයින් 141,801ක් මරණ 1783ක් වාර්තා වෙනවා.

    කොවිඩ් -19 හි වින්දිතයින්ට ගෞරව දැක්වීම සඳහා බ්‍රසීලයේ විරෝධතාකරුවෙකු කුරුසියක් තබයි

    සාරාංශය

    1. කොරෝනා වසංගතය සඳහා “නරකම දේ තවම පැමිණ නැත – “worst is yet to come”” යනුවෙන් ලෝක සෞඛ්‍ය සංවිධානය අනතුරු අඟවයි
    2. ලොව පුරා කොවිඩ් -19 මරණ සංඛ්‍යාව 500,000 පසුකරයි
    3. පුපුරා යාම ආරම්භ වූ දා සිට මේ දක්වා රෝගීන් මිලියන 10 කට වඩා වාර්තා වී තිබේ
    4. එක්සත් ජනපද ප්‍රාන්ත 30 ක ආසාදිතයින්ඉ හළ යාමත් සමඟ ටෙක්සාස් ආණ්ඩුකාරවරයා “වේගවත් හා ඉතා භයානක හැරීමක්” ගැන කතා කරයි
    5. යුරෝපා සංගමය පවසන්නේ ජූලි 1 වනදා සිට “ආරක්ෂිත” යුරෝපා සංගම් නොවන රටවල ආරම්භක ලැයිස්තුවකින් සංචාරකයින්ට ඇතුළුවීමට ඉඩ සලසන බවයි
    6. ඉරානය පුපුරා යාමෙන් පසු (පෙබරවාරි මාසයේ ආරම්භ වූ දින සිට) වැඩිම මරණ සංඛ්‍යාව 162ක් ඊයේ වාර්තා වූ බව ඉරානය වාර්තා කරයි
    7. එක්සත් රාජධානියේ අගමැති බොරිස් ජොන්සන් පවසන්නේ ලයිසෙස්ටර් හි කොරෝන වෛරස් රෝගීන් වැඩිවීම පිළිබඳව තමා සැලකිලිමත් වන බවයි

    ‘නරකම දේ තවම පැමිණීමට නැත’ – ලෝක සෞඛ්‍ය සංවිධානය අනතුරු අඟවයි

    ලෝක සෞඛ්‍ය සංවිධානයේ ප්‍රධානියා අනතුරු අඟවන්නේ කොරෝනා වසංගතය අවසන් වීමට ආසන්න තත්ත්වයක නොපවතින බවයි.

    “මාස හයකට පෙර, මෙම නව වෛරසයෙන් අපේ ලෝකය සහ අපගේ ජීවිත තුළ කැලඹීමක් ඇති කරන්නේ කෙසේදැයි අප කිසිවෙකුට සිතාගත නොහැකි වුණා” ආචාර්ය ටෙඩ්‍රොස් ලෝක සෞඛ්‍ය සංවිධානයේ මාධ්‍ය හමුව අමතමින් පැවසීය.

    අද්භූත නියුමෝනියාව වැනි රෝගයක පළමු සිදුවීම් චීනයේ වුහාන් හි වාර්තා වී දැන් මාස හයක් ගත වී ඇත. පුද්ගලයන් 774 දෙනෙකු මියගිය 2002 සිට 2004 දක්වා සාර්ස් පුපුරා යාමේ පුනරාවර්තනයක් අපට දැකගත හැකි වනු ඇතැයි එකල බිය විය. මේ වන විට කොවිඩ්-19 ආසාදිතයින් 500,000කට අධික පිරිසක් ලොව පුරා මියගොස් ඇති අතර ආසාදිතයින් මිලියන 10 කට වඩා වැඩි සංඛ්‍යාවක් තහවුරු වී ඇත.

    ලෝක සෞඛ්‍ය සංවිධානයේ අධ්‍යක්ෂ ජනරාල්වරයා වැඩි දුරටත් කියා සිටියේ මෙය අප සැමට වටහා ගැනීමට අසීරු, එහෙත් බලපෑම් සහගත මොහොතක් බවයි.

    එහෙත්, ඔහු අනතුරු ඇඟවූයේ, “නරකම දේ තවම පැමිණ නැත. මේ ආකාරයේ පරිසරය හා තත්වයන් සමඟ, අපි නරකම දේට බිය වෙමු” යනුවෙනි.

    සමහර රටවල ප්‍රගතියක් තිබියදීත්, වසංගතය වේගවත් වෙමින් පවතින බවත්, ඉදිරි මාසවලදී ලෝකයට ඊටත් වඩා විශාල ඔරොත්තු දීමේ හැකියාව, ඉවසීම සහ ත්‍යාගශීලීභාවය අවශ්‍ය වනු ඇති බවත් ඔහු පැවසීය.

    යුරෝපා සංගමය සංචාර සඳහා ආරක්ෂිත රටවල් ලැයිස්තුවක් සකස් කරයි

    යුරෝපා සංගමය පවසන්නේ ජූලි 1 වනදා සිට “ආරක්ෂිත” යුරෝපා සංගම් නොවන රටවල ආරම්භක ලැයිස්තුවකින් සංචාරකයින්ට යුරෝපා සංගමයේ රටවලට ඇතුළුවීමට ඉඩ සලසන බවයි.

    ලැයිස්තුවේ ආරම්භක රටවල් වන්නේ, : ඇල්ජීරියාවඕස්ට්‍රේලියාව , කැනඩාව , ජෝර්ජියාව , ජපානයමොන්ටිනිග්‍රෝ, මොරොක්කෝ, නවසීලන්තය , රුවන්ඩාවසර්බියාවදකුණු කොරියාව , තායිලන්තය , ටියුනීසියාව සහ උරුගුවේ යන රටවල් 14යි.

    විවිධ රටවල තත්වය වෙනස් වන විට ලැයිස්තුව යාවත්කාලීන කරන බව බීබීසී යුරෝපයේ වාර්තාකරු කැටියා ඇඩ්ලර් වාර්තා කරයි. චීනය යුරෝපා සංගම් රටවලට අන්‍යෝන්‍ය ගිවිසුමක් ඉදිරිපත් කරන්නේ නම් එය ද එකතු කරන බව ඇය පවසයි. මෙම ලැයිස්තුව හෙට දහවල් වන විට අවසන් කිරීමට අපේක්ෂා කෙරේ.

    ජාත්‍යන්තර මාධ්‍ය ඇසුරින් සකස් කළේ – තීක්ෂණ වෙළෙන්එගොඩ

  • උපකාරක පන්ති ගුරුවරුන්ගේ ඉල්ලීම් රැසකට ජනපතිගෙන්  එසැණ විසඳුම්

    උපකාරක පන්ති ගුරුවරුන්ගේ ඉල්ලීම් රැසකට ජනපතිගෙන් එසැණ විසඳුම්

    උපකාරක පන්ති යළි ආරම්භ කිරීමේදී පැණ නැගී ඇති ගැටළු විෂයය කොට සමස්ත ලංකා වෘත්තීය දේශකවරුන්ගේ සංගමය ඉදිරිපත් කළ යෝජනා රැසකට ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා වහා එකඟත්වය පළ කරයි.

    දහසකට අධික සිසුන් සංඛ්‍යාවකට අධ්‍යාපනය ලබාදුන් උපකාරක පන්ති සිසුන් 250කට සීමා කිරීම අසීරු බව දේශකවරු පෙන්වා දුන්හ. ඒ පිළිබඳ අවධානය යොමු කළ ජනාධිපතිවරයා කාල පාරස දෙකකදී සිසුන් 500කට ඉගැන්වීමේ අවස්ථාව සැලසීමට සෞඛ්‍ය විශේෂඥයින්ගේ ද උපදෙස් ඇතිව අනුමැතිය දුන්නේය.

    කොවිඩ් 19 නිසා වසා දැමුණු උපකාරක පන්ති යළි ඇරඹිමේ දී ගුරුවරුන් සහ සිසුන් මුහුණ දෙන ගැටලු සම්බන්ධව අද (29) පස්වරුවේ ජනාධිපති කාර්යාලයේ පැවති සාකච්ඡාවේදී මේ තීරණවලට එළැඹිණ.

    2019 වසරේ පාස්කු ප්‍රහාරය සහ කොවිඩ් 19 වසංගතය නිසා අ.පො.ස උසස් පෙළ සහ සාමාන්‍ය පෙළ විභාගයට පෙනී සිටින සිසුන්ට මාස පහ මාරකට අධික කාලයක් අධ්‍යාපනය ලැබීමට නොහැකි විය. 5 වසර ශිෂ්‍යත්වයට පෙනී සිටින දරුවෝද එවැනිම තත්ත්වයකට මුහුණ දී සිටිති. මේ කරුණු සැලකිල්ලට ගෙන අදාළ විභාග පැවැත්වීමේ දින වෙනස් කිරීමට අවධානය යොමුකරන ලෙස උපකාරක පංති ගුරුවරු ජනාධිපතිවරයාගෙන් ඉල්ලා සිටියහ.

    ගුරුවරුන්, දෙමාපියන් සහ සිසුන් සමග පූර්ණ අධ්‍යයනයකින් පසු විභාග දින තීරණය කිරීම යළිත් සලකා බැලීමට අධ්‍යාපන අමාත්‍යවරයාට ජනාධිපතිවරයා උපදෙස් දුන්නේය.

    පාසල් වසා තැබීම හේතුවෙන් විෂය නිර්දේශ ආවරණය කිරීමට නොහැකිවීම පිළිබඳව ගරුවරුන්, දෙමාපියන් සහ සිසුන් ජනාධිපතිතුමාට අවස්ථා ගණනාවකදී කරුණු ඉදිරිපත් කර තිබේ. ඒ ගැන අවධානය යොමු කළ ජනාධිපතිවරයා විභාග ප්‍රශ්න පත්‍ර සැකසීමේදී වැඩි ප්‍රශ්න සංඛ්‍යාවක් ඇතුළත් කර සිසුන්ට තෝරා ගැනීමේ වැඩි අවස්ථාවක් දීමේ හැකියාව  සොයා බලන්නැයි  විභාග කොමසාරිස්වරයාට දැනුම් දුන්නේය.

    අධ්‍යාපන සේවා බදු ප්‍රතිශතය 24% කි. එය සං‍ශෝධනයට උපකාරක පන්ති ගුරුවරුන් කළ ඉල්ලීම සලකා බැලීමට ද ජනාධිපතිවරයා එකඟ විය. උපකාරක පංති ප්‍රචාරණය සඳහා අත්පත්‍රිකා බෙදාහැරීම් සෞඛ්‍ය නිර්දේශයන්ට යටත්ව කිරීමට ද ජනාධිපතිවරයාගේ අනුමැතිය හිමි විය.

    ඉරිදා උදේ වරුවේ සහ පොහෝ දින උපකාරක පන්ති නොපවත්වන ලෙස බෞද්ධ උපදේශක සභාව කළ යෝජනාව ජනාධිපතිවරයා රැස්වීමේ අවධානයට යොමු කළේය.

    පොහෝ දිනවල උපකාරක පන්ති සම්පූර්ණයෙන් නතර කිරීමට ගුරුවරුන්ගේ කැමැත්ත පළ විය.

    අ.පො.ස උසස් පෙළට පමණක් සීමා වී ඇති ඉරිදා උදේ වරුවේ පන්ති නැවැත්වීමේ ඉඩකඩ විමර්ශනය කිරීමට ද තීරණය කෙරිණ.

    ජනාධිපතිවරයා කොවිඩ් මර්දනයට සහ රටේ සියලු ක්ෂේත්‍රවල ප්‍රවර්ධනයට ගෙන ඇති තීරණ සමස්ත ලංකා වෘත්තීය දේශකවරුන්ගේ සංගමයේ ප්‍රසාදයට ලක්වන බව ද උපකාරක පංති ගුරුවරු සඳහන් කළහ.

    අමාත්‍ය ඩලස් අලහප්පෙරුම, ජනාධිපති ලේකම් පී.බී. ජයසුන්දර, අධ්‍යාපන ලේකම් එන්.එච්.එම් චිත්‍රානන්ද, සෞඛ්‍ය ලේකම් විශ්‍රාමික මේජර් ජනරාල් විශේෂඥ වෛද්‍ය සංජීව මුණසිංහ, විභාග කොමසාරිස් ජනරාල් බී. සනත් පූජිත,  සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජනරාල් අනිල් ජාසිංහ යන මහත්වරු සහ උපකාරක පංති සංගම් කිහිපයක නියෝජිතයෝ සාකච්ඡාවට එක්ව සිටියහ.

  • 20 වැනි සියවසේ වටිනාම ටෙස්ට් ක්‍රිකට් ක්‍රීඩකයා’ මුත්තයියා මුරලිදරන් !

    20 වැනි සියවසේ වටිනාම ටෙස්ට් ක්‍රිකට් ක්‍රීඩකයා’ මුත්තයියා මුරලිදරන් !

    රී ලංකා ක්‍රිකට් කණ්ඩායමේ හිටපු සුපිරි පන්දු යවන්නෙකු වන මුත්තයියා මුරලදරන් ‘විස්ඩන්‘ ක්‍රිකට් මාසික සගරාව  (Wisden Cricket Monthly) විසින් 20 වැනි සියවසේ වටිනාම ටෙස්ට් ක්‍රිකට් ක්‍රීඩකයා (Most valuable Test player of 21st century) ලෙස පසුගිය දා නම් කළා.

    ලොව ප්‍රමුඛතම ක්‍රිකට් විශ්ලේෂණ සමාගමක් වන CricViz සමඟ සිදු කළ සමීක්ෂණයකට අනුවයි විස්ඩන් විසින් මෙම නම් කිරීම සිදුකර තිබෙන්නේ.

    ටෙස්ට් ක්‍රිකට් පිටියේ ක්‍රීඩකයන්ගේ දායකත්වය පිළිබඳ නූතන තාක්ෂණය උපයෝගි කරගෙන CricViz සමඟ සිදු කළ සමීක්ෂණයකට අනුව විස්ඩන් සඟරාව විසින් 21 වන සියවසේ හොඳම ටෙස්ට් ක්‍රීඩකයින් 30 දෙනකු නම් කර ඇති අතර මෙම 30 දෙනා අතරනි මුරලිදරන් ඉදිරියෙන්ම සිටිනවා.

    විස්ඩන් ක්‍රිකට් මාසික සඟරාවේ කර්තෘ ජෝ හර්මන් නව නම් කිරීම ගැන මාධ්‍ය හමුවේ අදහස් දක්වමින් මෙසේ පැවසුවා.

    ‘මුරලි සහ ග්ලෙන් මැක්ග්‍රාත් මෙම විශ්ලේෂණයේ දී වඩාත් ඵලදායී පන්දු යවන්නන් දෙදෙනා ලෙස කැපී පෙනේනවා. මෙම විමර්ශනයේදී අපි විශ්ලේෂණය කරන්නේ ක්‍රීඩකයින්ගේ බලපෑමයි. එහිදී අපි හොඳම පන්දු යවන්නා කවුද කියා විශ්ලේෂණය කර නැහැ. අපේ නිරීක්ෂණය වන්නේ ශ්‍රී ලංකා ක්‍රිකට් කණ්ඩායම සහභාගී වූ තරගවල ඉරණම වෙනස් කළ දඟ පන්දු යවන්නෙකු ලෙස ඔහු සුවිශේෂ බලපෑමක් කළ බවයි. ශ්‍රී ලංකාවට ටෙස්ට් තරගවල ආධිපත්‍යය දැරීමට වැඩි අවස්ථාවක් ඔහුගේ පන්දු යැවීම හරහා ලැබී තිබෙනවා.

    මේ සම්බන්ධයෙන් මාධ්‍ය හමුවේ අදහස් දැක්වූ විස්ඩන් ක්‍රිකට් මාසික සගාරාවේ අලෙවිකරණ අධ්‍යක්ෂ සෑම් ස්ටෝ (Sam Stow) පැවසුවේ “අපි 2000 වසරේ සිට දත්ත එක්රැස් කර තිබෙනවා. 2000 සිට 2020 දක්වා දශක දෙකක් මේ සදහා සලකා බලා තිබෙනවා‘ යනුවෙනුයි.

    “මුරලිගේ ටෙස්ට් කඩුලු 800න් කඩුලු 573ක්ම ඔහු බිඳ දැමුවේ 2000 ජනවාරි 1 වැනිදා සිට 2010 දක්වා කාල සීමාවේ ක්‍රීඩා කළ තරග 85කදියි. එම කාල සීමාව ඇතුළත මුරලිට වඩා වැඩි කඩුළු සංඛ්‍යාවක් අත්කර ගැනීමට සමත් වූයේ කඩුළු 584ක් බිඳ දැමූ එංගලන්ත වේග පන්දු යවන්නකු වන ජේම්ස් ඇන්ඩර්සන් පමණයි. නමුත් ඒ සඳහා ඔහුට ටෙස්ට් තරග 151කට ක්‍රීඩා කිරීමට සිදුවී තිබුණා.” සෑම් ස්ටෝ වැඩි දුරටත් සදහන් කළා.

  • ලෝක මුස්ලිම් ලීගය: ඩොලර් මිලියන 5 ගැන මෛත‍්‍රීගෙන් කරුණු පැහැදිලි කිරීමක්

    ලෝක මුස්ලිම් ලීගය: ඩොලර් මිලියන 5 ගැන මෛත‍්‍රීගෙන් කරුණු පැහැදිලි කිරීමක්

    ‘ලෝක මුස්ලිම් ලීගය’ නම් සංවිධානය ශී‍්‍ර ලංකාවට ලබා දුන් බව පවසන ඇමරිකානු ඩොලර් මිලියන 05 පිළිබඳව මාධ්‍ය තුළ ප‍්‍රචාරය වන අසත්‍ය ප‍්‍රවෘත්තිය පිළිබඳ පැහැදිලි කරමින් හිටපු ජනාධිපති මෛත‍්‍රීපාල සිරිසේන මහතාගේ මාධ්‍ය ඒකකය විසින් අද (29) මාධ්‍ය නිවේදනයක් නිකුත් කර තිබෙනවා. එම මාධ්‍ය නිවේදනය සම්පූර්ණයෙන්

    ලෝක මුස්ලිම් ලීගය නම් සංවිධානය ශී‍්‍ර ලංකාවට ලබා දුන් බව පවසන ඇමරිකානු ඩොලර් මිලියන 05 පිළිබඳව මාධ්‍ය තුල ප‍්‍රචාරය වන අසත්‍ය ප‍්‍රවෘත්තිය පිළිබඳ පැහැදිලි කරන මාධ්‍ය නිවේදනයයි.

    ලෝක මුස්ලිම් ලීගය නම් වු සංවිධානය විසින් 2019 ජුනී 30 දින ශී‍්‍ර ලංකාව තුල සමුළුවක් පවත්වා එහිදී පාස්කු ඉරිදා බෝම්බ ප‍්‍රහාරයෙන් විපතට පත්වූවන් සඳහා ලබා දීමට ඇමරිකානු ඩොලර් මිලියන 05 ක මුදලක් ආධාර වශයෙන් එවකට ජනාධිපති මෛතී‍්‍රපාල සිරිසේන මහතාට පිරිනමා ඇති බවත් එම මුදල් විපතට පත් ජනතාවට ලබා නොදුන් බවටත් අවස්ථා ගණනාවකදී පූජ්‍ය පක්ෂය හා විවිධ පුද්ගලන් මාධ්‍යයට ප‍්‍රකාශ නිකුත් කරන ලදී.

    අදාල දින එම උත්සවයට මෛතී‍්‍රපාල සිරිසේන මහතා සහභාගී වුයේ එවකට ජනාධිපතිවරයා ලෙස ප‍්‍රධාන ආරාධිත අමුත්තා වශයෙන්ය. කෙසේ වෙතත් මෙම මුදල් සම්බන්ධව මතභේදාත්මකව කරුණු ඉදිරිපත් කිරීමත් සමග මෙම සමුළුව සංවිධානය කළ සංවිධායක කමිටුවෙන් අප කළ විමසීමකට අනුව ලෝක මුස්ලිම් ලීගයෙන් ලිඛිතව එවකට බස්නාහිර පළාත් ආණ්ඩුකාරවරයාව සිටි ඒ.ජේ.එම් මුසම්මීල් මහතා කළ විමසීමකට අනුව ලෝක මුස්ලිම් සංවිධානයේ මහ ලේකම් ආචාර්ය ෂෙයික් මොහාම්ද් බින් අබ්දුල් කරීම් අල් ඊසා විසින් ඊට පිළිතුරු වශයෙන් ලිපියකින් දැනුම් දී තිබෙන්නේ පහත සඳහන් ප‍්‍රධාන කරුණු 07 ක් සඳහා නිසි පරිදි තොරතුරු තවමත් ලබා නොදීම නිසා මෙම මුදල් ශී‍්‍ර ලංකාවට ලබා දී නොමැති බවයි.

    1 ප්‍රහාරය හේතුවෙන් මිය ගිය සංඛ්‍යාව

    2  මිය ගිය අයගේ ආගම

    3 මිය ගිය සහ තුවාළ ලැබූවන්ගේ නාම ලේඛනය

    4 ප්‍රහාරය හේතුවෙන් සහ ඊට අදාළව හානියට පත් දේපොළෙහි වටිනාකම

    5 වැන්දඹවන් සහ අනත් දරු සංඛ්‍යාව

    6 වෙනත් අදාළ තොරතුරු

    7 ජනාධිපති හෝ අගමැතිගේ පුණාධාර ගිණුම් අංකය

    එම සංවිධානය ප‍්‍රදානය කිරීමට බලාපොරොත්තු වු මුදල් පරිත්‍යාගය තවමත් ශි‍්‍ර ලංකා රජයට, පුණ්‍ය ආයතනයකට හෝ වෙනත් පාර්ශවයකට තවමත් ප‍්‍රදානය කර නොමැති බව වැඩි දුරටත් දන්වා ඇති අතර වර්තමාන අග‍්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මහතා සමග සාකච්ජා කොට සහ ආගමික කටයුතු ඇමතිතුමා සමග සෘජුවම සම්බන්ධ කොට ගෙන අවශ්‍ය කටයුතු වේගවත් කිරීමට බලාපොරොත්තු වන බවද ඉහත ලිපියේ සඳහන් කර ඇත.

    මේ අනුව පසුගිය දින කිහිපයේ විද්‍යුත් හා මුද්‍රිත මාධ්‍ය ඔස්සේ දිගින් දිගටම මෙම මුදල් හිටපු ජනාධිපතිවරයා වන මෛතී‍්‍රපාල සිරිසේන මහතාට ප‍්‍රධාන කළ බව හුවා දක්වමින් ගෙන ගිය අසත්‍ය මාධ්‍ය වාර්තා කණගාටුවෙන් යුතුව ප‍්‍රතික්ෂේප කරන අතර මෙම මුදල් ලැබී ඇති බවට මාධ්‍ය හරහා ලබා දුන් ප‍්‍රචාරයට සමාන ඉඩ ප‍්‍රස්ථාවක් ලබා දෙමින් මෙම ප‍්‍රවෘත්තිය නිවරුදි කරනු ඇතැයි අප අපේක්ෂා කරමු. 

  • අලංකාර කෙස් කළඹක් සඳහා ‘හිස ගල්වන’ ස්වභාවික තෙල්වල වාසි

    අලංකාර කෙස් කළඹක් සඳහා ‘හිස ගල්වන’ ස්වභාවික තෙල්වල වාසි

    නිරෝගී දීප්තිමත් කෙස් කළඹක් සදහා එහි ස්වභාවික තෙල් ගැල්වීම දීර්ඝ කාලයක් පුරා කාන්තාවන් විසින් සිදුකරනවා. එනිසාම ඔවුන් එයින් විස්මිත ප්‍රතිලාභ ලබා තිබෙනවා. ඒත් කෘත්‍රීම තෙල් නිසා හෝ වෙනත් භාවිතයන් නිසා ස්වභාවික තෙල් ගැල්වීම නැතහොත් සාත්තුව අපේ කාන්තාවන් අතරන් ක්‍රමයෙන් ගිළිහෙමින් තිබෙනවා.

    ඒත් විශේෂඥයින් කියන්නේ නිරෝගී කෙස් කළඹක් සදහා ස්වභාවික තෙල් ගැල්වීම හා එය නිසි පරිදි කිරීම වැදගත් බවයි.

    මේ තත්ත්වය තුළ අප ඔබ වෙනුවෙන් ස්වභාවික තෙල් ගැල්වීමේ වාසි සහ එය නිවැරදිව කරන ආකාරය විශේෂඥ ලෙස පැහැදිලි කිරීමට තීරණය කළා. බලන්න මෙය ඔබටත් කළ හැකි ද කියා.

    1. හිසකෙස් සඳහා ස්වාභාවික ඔසුවක් ලෙස ක්‍රියා කිරීම Natural goodness for hair

    හිසකෙස් සඳහා ස්වාභාවික යහපත්කම

    පළමු වාසිය නම් හිස ගල්වන ස්වාභාවික තෙල්  හිසකෙස්වල නිසි වර්ධනය හා ආරක්ෂව සදහා විටමින් සහ ක්ෂුද්‍ර පෝෂක කිහිපයකින් පරිපූර්ණ වීමයි. එබැවින් හිස ගල්වන ස්වභාවික තෙල් මූලික වශයෙන් හිසකෙස් සදහා ආහාරයක් ලෙස ක්‍රියාත්මක වේ.

    2. හිසකෙස් පටක පුනර්ජීවනය කරයි Revitalises hair tissues

    හිසකෙස් පටක පුනර්ජීවනය කරයි

    හිස ගල්වන ස්වභාවික තෙල්වල දෙවන වාසිය එය සම විනිවිද යන ආකාරයයි. ෂැම්පූ – කන්ඩිෂනර් ආදිය කොතරම් හොඳ වුවත්, හිස ගල්වන ස්වභාවික තෙල් තරම් ඒවා යහපත් නැත. හිස ගල්වන ස්වභාවික තෙල් සම ගැඹුරට ගොස් සමේ පටක පුනර්ජීවනය කරන ආකාරය සමඟ කන්ඩිෂනර් හෝ ෂැම්පු කිසිසේත් සැසඳිය නොහැක.

    3. නිරෝගී හිස්කබල සඳහා සම්බාහනය ලිහිල් කිරීම Relaxing massage for healthy scalp

    නිරෝගී හිස්කබල සඳහා තෙල් සම්බාහනය ලිහිල් කිරීම

    හොඳින් සිදුකරන හිස කෙස් තෙල් සම්භාහනයක තෙවන වාසිය නම් එය හිස්කබලේ රුධිර සංසරණය වැඩි කිරීමයි. තෙල් හිස්කබල වටා ඒකාකාරව පැතිරී ඇති අතර පෝෂ්‍ය පදාර්ථ කෙලින්ම සියලුම හිසකෙස් මුල්වලට යවයි.

    4. හිසකෙස් වැටීමට එරෙහිව සටන් කරයි Fights hair fall

    හිසකෙස් වැටීමට එරෙහිව සටන් කරයි

    හිස ගල්වන ස්වභාවික තෙල් කෙස් වැටීමට එරෙහිව සටන් කිරීම සහ හිස කෙස් නැවත වර්ධනයට උපකාර කරයි.  එමනිසා, ඔබට හිසකෙස් නැතිවීමේ ගැටලුවක් තිබුණත් නැතත්, ඔබට හිසකෙස් ඝණ කිරිම සදහා ස්වභාවික තෙල් භාවිත කළ හැකි අතර හොද ප්‍රතිඵල ලබාගත හැකිය.

    5. හිස කෙස් රැළි වැටීම පාලනය කරයි Tames frizz

    කෙස් තෙල් හීලෑ කර ගනී

    අනවශ්‍ය ලෙස කැරළි ගැසීමකින් තොරව කෙස් කළඹ පාලනය කිරීම සඳහා කෙස් තෙල් භාවිතා කිරීම හොඳ ක්‍රමයකි . ඔබේ කොණ්ඩය පාලනය කරගත නොහැකි ලෙස පෙනෙන දිනවල, ඔබේ අත් මත ස්වභාවික තෙල් ස්වල්පයක් තවරා හිසකෙස් මත සැහැල්ලුවෙන් තවරන්න. මෙමඟින් කැරළි ගැසීම ක්ෂණිකව සමථයකට පත් වන අතර හිසකෙස් වලට පෝෂණයද ලබා දෙනු ඇත.

    6.ඇහි බැම සහ ඇහි පිල්ලම් සඳහා ප්‍රතිලාභ Oil benefits for brows and eyelashes

    ඇහි බැම සහ වමනය සඳහා තෙල්

    හිස ගල්වන ස්වභාවික තෙල් මගින් හිස කෙස් පෝෂණය කිරීම ඇතුළු ප්‍රතිලාභ ලබාදීමට අමතරව ඔබේ ඇහි බැම සහ ඇහි පිල්ලම් සදහා ද පෝෂණය ලබා දෙන බව අමතක නොකරන්න.

    හිස ගැල්වීම සදහා හොදම ස්වභාාවික තෙල් මොනවාද ?

    හිසකෙස් පෝෂණය සඳහා හොඳ කුමන තෙල්ද යන්න බොහෝ දෙනෙකුට ගැටලුවක් විය හැකියි. මෙහිදී අප නිර්දේශ කරන්නේ  ත්‍රිපාල triphala‘ (ඖෂධ පැළෑටි තුනක එකතුවකි) නැතහොත් පොල්තෙල්, වදමල් (Hibiscus) සහ jojoba (පලු වර්ගයක ඇටයකි) යන ස්වභාවික සාර සාර තෙල් වර්ග තුනය.

    Jojoba Organic Oil
    jojoba

    ස්වාභාවික තෙල් වලින් ප්‍රයෝජන ලබන්නේ ඔබේ හිසෙහි හිසකෙස් පමණක් නොවේ. extra-virgin olive oil  ඔබේ ඇහිබැමිවලට සැහැල්ලුවෙන් යෙදීමෙන් ඒවා ඝනකම් කිරීමට උපකාරී වේ.

    කෙස් තෙල් ආලේප කිරීමට නිවැරදි ක්‍රමය

    කෙස් තෙල් ආලේප කිරීමට නිවැරදි ක්‍රමය

    ඔබේ කොණ්ඩයට තෙල් දැමීම සඳහා උපදෙස් කිහිපයක් මෙන්න

    1. හි ගල්වන තෙල් හොඳින් ක්‍රියාත්මක වීමට නම්  ඔබේ හිස්කබල පිරිසිදු විය යුතුය . 
    2. ෂැම්පු වලින් (degreasing shampoo) හිසකෙස් සෝදා හිසකෙස් සම්පූර්ණයෙන්ම වියළීමට ඉඩ හරින්න. 
    3. ඉන්පසු එදිනම හෝ පසුදින හිස ගල්වන තෙල් ආලේප කරන්න (හිස්කබලේ අපිරිසිදුකම නැවත ඇතිවීමට පෙර). 
    4. මිනිත්තු 10 ත් 15 ත් අතර කාලයක් මෘදු ලෙස සම්බාහනය කරන්න, නමුත් හොඳින්, හිස්කබලේ සෑම අඟලක්ම ආවරණය කරන්න. ගැල්වීමට පෙර තෙල් තරමක් උණුසුම් කළ හැකි නම්, එය වඩා හොඳින් පැතිරෙනු ඇත. 
    5. හිස තෙල් ගල්වා අවම වශයෙන් පැය තුනක්වත් තැබීමට හරින්න. පැය 24 කට වඩා වැඩි කාලයක් තබා ගැනීමෙන් හිසකෙස් දුර්වල වනු ඇත. 
    6. ඔබේ හිසකෙස් අවම වශයෙන් සතියකට වරක් වත් තෙල් ගල්වා සම්භාහනය කරන්න. කෙසේ වෙතත් වියළි කෙස් සඳහා සතියකට දෙවරක් සුදුසුය.

    FEMINA ඇසුරිණි – සකස් කළේ – තුෂාධවි

  • අවවාදයයි ! මිනිස් පරිභෝජනයට නුසුදුසු ‘කිඹුල් මුකුණුවැන්න’ වෙළෙඳපොළේ

    අවවාදයයි ! මිනිස් පරිභෝජනයට නුසුදුසු ‘කිඹුල් මුකුණුවැන්න’ වෙළෙඳපොළේ

    වෙළඳපොලේ ඇති කිඹුල්වැන්න හඳුනාගැනීම ඉතා පහසුය. සාමාන්‍ය මුකුණුවැන්න වලට වඩා ලොකුවට වැඩී ඇති නිසා මෙය නිසැකවම පාරිභෝගික අවධානය වැඩියෙන් දිනාගනී. ලපටි අවස්ථාවේදීම මෙම ශාකයේ මල් හටගෙන තිබේ. මුකුණුවැන්න වල මල් පිපෙන්නේ තරමක් මේරූ විටයි. විශේෂ ලක්‍ෂණයක් වන්නේ මල් වලට කැපී පෙනෙන නටුවක් තිබීමයි. මුකුණුවැන්න මල් වල නටු හඳුනාගැනීමටත් අපහසු තරම්ය.

    කිඹුල්වැන්න කතාව අලුත් එකක් නොවේ. මා විසින් මුල්වරට මේ ගැන ලියුවේ 90 දශකයේ මැද භාගයේදීය. කෙටියෙන් නැවතත් හඳුන්වා දෙනවා නම් මෙය ආගන්තුක මෙන්ම ආක්‍රමණශීලී වල් පැලෑටියකි. හැඩරුව බැලුවහොත් හොඳින් සරුවට වැඩුණු මුකුණුවැන්න පැළෑටි ගොන්නක්  සේය. මේ නිසාම මේ දිනවල බොහෝ සුපිරි වෙළඳසැල් වල පවා ඉතා ආකර්ශණීය පලාකොල රාක්කවල ‘මුකුණුවැන්න’ නමින් මේවා අසුරා තිබේ. දුටු පමණින් පාරිභෝගික සිත් පැහර ගන්නා  නිසාම ඔවුන්ද දෙවරක් සිතන්නේ නැත.

    Alteranthera philoxeroides යන විද්‍යාත්මක නාමයෙන් හඳුන්වන කිඹුල්වැන්න පැලෑටිය (Alligator Weed) සම්භවය ලබා ඇත්තේ දකුණු ඇමරිකානු භූමියේය. නැව්වල පුරවාගෙන එන ජලය හරහා 1880 දී පමණ මෙය මුලින් පැමිණ ඇත්තේ නවසීලන්තයටයි. 1946 දී ඕස්ට්‍රේලියාවෙන් මෙම ශාකය සොයාගෙන ඇත. චීනයේ ඇති භයානකම ආක්‍රමණික ශාක 12 තුළට ඇතුල්වීමට තරම් පැතිරීමක් කිඹුල්වැන්න විසින් චීනයේදී අත්පත් කරගෙන තිබේ. අද මෙය නවසීලන්තයේ හා ඕස්ට්‍රේලියාවේ තහනම් ශාකයකි. තම තෘණභූමි හා ජලාශ මෙයින් ආරක්‍ෂා කරගැනීම උදෙසා වාර්ෂිකව ඔවුන් වැයකරන ධනස්කන්ධය අති මහත්ය.

    1990 දී පමණ ඇමරිකා එක්සත් ජනපදයටද මෙම ශාකය පිවිසී ඇති අතර, මේ වනවිට එය මිසිසිපි ගංගාවේ කොටසක්ද වසාගෙන පැතිරී තිබේ. ජලය මතුපිටත්, ජලාශ්‍රිත ගොඩබිම්වලත් මෙය වැවෙන නිසා වඩාත් නිවැරදිව හැඳින්විය හැක්කේ උභයජීවී ශාකයක් ලෙසයි. හොඳින් වැවෙනවිට එහි දඬු මීටර් 10 ක් පමණ දික්වේ.

    තවත් අපූර්ව සිද්ධියක් වන්නේ ඕස්ට්‍රේලියාවේ පදිංචිව සිටින ශ්‍රී ලාංකිකයින් 60 දශකයේ පමණ සිට මෙය තම ගෙවත්තේ වවාගෙන මුකුණුවැන්න සේ සිතා ආහාරයට ගෙන තිබීමයි. මෙල්බර්න් හි සේවය කල ආක්‍රමණශීලී ශාක විශේෂඥයෙකු වන ආචාර්ය ලලිත් ගුණසේකර මහතා මෙම වරද හඳුනාගෙන 1995 දී පෙන්වාදී ඇති අතර එම වකවානුවේදීම හම්බන්තොට ප්‍රදේශයෙන් මුල්වරට මෙරටදී කිඹුල්වැන්න සොයාගෙන තිබේ.

    ඕස්ට්‍රේලියාවේ සිට පැමිණි ලාංකිකයෙක් සරුවට වැවෙන මුකුණුවැන්න ප්‍රභේදයක් යයි සිතා මෙය රැගෙන එන්නට ඇතැයි විශ්වාස කෙරේ. නිරෝධායන අංශය මගහැර ශාක රැගෙනවිත් කරගත් තවත් අකරතැබ්බයකට මෙය හොඳ උදාහරණයකි.

    මෙම ශාකය අනුභවය පිළිබඳව තවමත් නිශ්චිත නිගමන වලට එළඹී නැත. එහෙත් ඕස්ට්‍රේලියානු පර්යේෂකයින් පවසන්නේ අන්ධභාවය ඇතිවීම දක්වා ආබාධයන් කිඹුල්වැන්න අනුභවයෙන් ගව ආදී සතුන්ට ඇතිවිය හැකි බවයි. ඕස්ට්‍රේලියානුවන් මෙය අනුභව නොකරන නිසා මිනිසාට වන අවදානම කෙබඳුදැයි සෙවීමට ඔවුන් පර්යේෂණ කරන්නේ නැත. එවැනි තොරතුරු වැදගත් වන්නේ අපටයි.

    කෙසේ වෙතත් කිඹුල්වැන්න මගින් පසේ ඇති තඹ, ඊයම්, රසදිය වැනි බැරලෝහ අවශෝසනය කර පස පිරිසිදු කරනා බවට වාර්තා තිබේ. එනම් අපිරිසිදු ද්‍රව්‍ය දැන් ඇත්තේ පැළෑටිය තුළය. එය අනුභව නොකළ යුතුය. බැරලෝහ ශරීර ගතවීම ඉතා අවදානම් තත්වයක් වේ. එහි රෝගී තත්වයන් පිටතට පෙනෙන්නට පටන් ගන්නේ කල්ගත වනවිටයි.

    කිඹුල්වැන්න හඳුනාගැනීම ඉතා පහසුය

    වෙළඳපොලේ ඇති කිඹුල්වැන්න හඳුනාගැනීම ඉතා පහසුය. සාමාන්‍ය මුකුණුවැන්න වලට වඩා ලොකුවට වැඩී ඇති නිසා මෙය නිසැකවම පාරිභෝගික අවධානය වැඩියෙන් දිනාගනී. ලපටි අවස්ථාවේදීම මෙම ශාකයේ මල් හටගෙන තිබේ. මුකුණුවැන්න වල මල් පිපෙන්නේ තරමක් මේරූ විටයි. විශේෂ ලක්‍ෂණයක් වන්නේ මල් වලට කැපී පෙනෙන නටුවක් තිබීමයි. මුකුණුවැන්න මල් වල නටු හඳුනාගැනීමටත් අපහසු තරම්ය.

    මුකුණුවැන්න මල්, කඳ වටා පොකුරු වශයෙන් තිබෙන අතර ඒවාට නටු නැත. අනෙක් කරුණ වන්නේ කිඹුල්වැන්න දණ්ඩ තුළ කුහරයක් තිබීමයි. මුකුණුවැන්න කඳෙහි කුහරයක් නැත. වෙළඳපොළෙහි ඔබ මිලට ගන්නා මුකුණුවැන්න මිටිය ඉතා සාරවත්ව වැඩුණු, දිගට ඇදුනු දඬු සහිත එකක් නම් එය බොහෝවිට කිඹුල්වැන්න විය හැකිය. පරීක්‍ෂාකිරීම පහසුය. පලා මිටියේ කැපුම් දාරය දෙස බලන්න. කංකුන් මිටියක තිබෙන්නා සේ දඬු මැද කුහර ඇත්නම් ඒ මුකුණුවැන්න නොවේ. නටු සහිත සුදු මල් තිබෙන්නේ නම් එයද කිඹුල්වැන්න වල ලක්ෂණයකි.

    ඇහැට කනට පෙනුනාට අප තණකොළ කෑ යුතු නොවේ. කල්ක්‍රියාවට අනුව තණකොළ කෑ යුතු අය සමාජයේ සිටියත්, ඔවුන් වුවද විෂ තණකොළ නම් නොකෑ යුතුය. වෙළඳපොලෙන් කිඹුල්වැන්න ඉවත්කිරීම සඳහා හොඳම ක්‍රමය වන්නේ පාරිභෝගික දැනුවත්වීම හරහා කිඹුල්වැන්න මිලදී නොගෙන සිටීමයි. පාරිභෝගිකයා වෙතින් එය ප්‍රතික්‍ෂේප වෙත්ම, වෙළෙන්දා හරහා ගොවියා වෙතට පණිවිඩය සම්ප්‍රේෂණය වන්නේය. විකිනෙන්නේ නැති යමක් ගොවියා වවන්නේ නැත. අනිවාර්යයෙන්ම ඔහු තම කීර කොටුව පරීක්ෂාකර බලනු ඇත.

    මිනිස් සිරුරට ඇතිවෙන බලපෑම පෙන්වාදෙන පර්යේෂණාත්මක දත්තයන් කිසිවක් නැති නිසා මෙවැන්නක් අනුභව නොකරන්නැයි බල කරන්නටද අපට හැකියාවක් නැත. දැන දැනම පවා අහිතකර දෑ පරිභෝජනය කරන අය ඕනෑතරම් අප අතර සිටී. එබැවින් මෙතැනදී අප අවධාරණය කරන්නේ මුකුණුවැන්න යයි සිතාගෙන කිඹුල්වැන්න අනුභව නොකරන ලෙස පමණි. වෙළඳුන් මෙය විකුණනවානම් කිඹුල්වැන්න ලෙසම විකුනනවා මිස මුකුණුවැන්න ලෙස අලෙවිකිරීම  සදාචාරාත්මක නැත. කිඹුල්වැන්න වනාහී මෙරට තහනම් ශාකයක් නොවන බැවින්, පාරිභෝගිකයාගේ හා වෙළෙන්දාගේ පුද්ගල නිදහසටද එකඟවීම උදෙසා අප එසේ ප්‍රකාශ කරමු.

    සනත් එම්. බණ්ඩාර

    සහකාර කෘෂිකර්ම අධ්‍යක්‍ෂ, ජාතික කෘෂිකර්ම තොරතුරු හා සන්නිවේදන මධ්‍යස්ථානය, ගන්නොරුව, පේරාදෙණිය