Blog

  • අපනයනකරුවන්ට ජනපතිගෙන් අභියෝගයක්

    අපනයනකරුවන්ට ජනපතිගෙන් අභියෝගයක්

    අපනයන ක්ෂේත්‍රයේ ගැටළු සහ බාධක නිවැරදිව හඳුනාගෙන ඒවා නිරාකරණයට පූර්ණ සහාය දීමට රජය සූදානම් බව ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා කියා සිටී.

    ඉතා කුඩා පරාසයක ඇති අපනයන ක්ෂේත්‍රය අන්තර්ජාතික වෙළෙඳපොළ ඉලක්ක කෙට පුළුල් පරාසයකට රැගෙන ගොස් ප්‍රතිඵල පෙන්වීම අපනයකරුවන් ඉදිරියේ ඇති අභියෝගය බව ජනපතිවරයා පවසයි.

    රට යථා තත්වයට පත්වෙමින් තිබියදී ආර්ථික පුනර්ජීවනය සඳහා රජය ගෙනයන වැඩපිළිවෙළ පැහැදිළි කිරීමත්, අපනයන ව්‍යාපාර මුහුණදෙන ප්‍රශ්න හා ගැටළු හඳුනාගැනීමත් සඳහා ක්ෂේත්‍රයේ ප්‍රධාන පෙළේ ව්‍යාපාරිකයන් සමග අද (11) පෙරවරුවේ ජනාධිපති කාර්යාලයේ පැවති විශේෂ හමුවේදී ජනාධිපතිවරයා එසේ සඳහන් කළේය.

    කොවිඩ් 19 වසංගත ව්‍යාප්තිය නිසා ආර්ථිකයේ සෑම ක්ෂේත්‍රයකම පසුබැසීමක් ඇතිවිය. රෝගය මර්දනය කොට රට යථා තත්වයට ගෙන ඒමට පියවර ගැනීමත් සමග අපේක්ෂා ඉක්මවා ආර්ථිකය ගොඩනැගෙමින් පවතින බව ජනාධිපති පෙන්වා දුන්නේය.

    ඩොලර් බිලියනයකට වැඩි විනිමය ආදායමක් උපයන්නේ අපනයන ව්‍යාපාර කිහිපයක් පමණි. එහෙත් එය වැඩි පරාසයකට ව්‍යාප්ත කිරීමේ හැකියාව පවතින බව ජනාධිපති කීය.

    කුරුඳු, කරාබු නැටි, සාදික්කා වැනි කෘෂි අපනයනවලට අගය එකතු කිරීමෙන් ඉහළ ආදායමක් උපයා ගැනීමට පිළිවන. කොවිඩ් 19 පැතිරයාමත් සමග ලෝක ආර්ථිකය තුළ නව වෙළෙඳපොළක් බිහි වී තිබේ. මැද පෙරදිග, චීනය සහ ඉන්දියාව ඇතුළු ආසියා කලාපයේ විශාල වෙළෙඳ පොළක් නිර්මාණය වෙමින් පවතී. කළමනාකරණයේ සහ අළෙවිකරණයේ පුළුල් දැනුමක් ඇති අපේ අපනයනකරුවන්ට නව වෙළෙඳපොළ අත්කර ගැනීමේ හැකියාව ඉතා හොඳින් ඇතැයි තමා තරයේ විශ්වාස කරන බව ජනාධිපතිවරයා සඳහන් කළේය.

    නව ජවයකින් යුතුව මේ විභවතාව උපයෝගීකර ගනිමින් ආර්ථිකය කඩිනමින් ශක්තිමත් කිරීමේ වගකීම ද අපනයනකරුවන් සතු බව ජනාධිපති අවධාරණය කළේය.

    කුඩා රටක් වුවත් රජය අධ්‍යාපන සහ සෞඛ්‍ය ක්ෂේත්‍රවලට වැඩි ආයෝජනයක් කරයි. කොවිඩ් 19ට සාර්ථකව මුහුණදීමට හැකිවූයේ එබැවිනි. මෙරට නිෂ්පාදනය කළ හැකි කෘෂි බෝග සහ අත්‍යාවශ්‍ය නොවන භාණ්ඩ ආනයනය නතර කිරීමෙන් විනිමය අනුපාතය පාලනය කර ගැනීමටත්, ගොවියා ආරක්ෂා කර ගැනීමටත් රජයට හැකි වූ බව ජනාධිපතිවරයා පැවසීය.

    ආර්ථික පුනරුදය සඳහා රාජ්‍ය, පෞද්ගලික දෙඅංශයේම බැංකුවල දායකත්වය පිළිබඳ විවේචනයක් සමාජය තුළ පවතී. ව්‍යාපාර සඳහා මෙන්ම ජනතාවගේ සුබසාධනය පිණිස රජය දෙන සහන බැංකු මගින් සමාජයට ගලා නොයන බව පෙනී යයි. එය වහාම විසඳිය යුතු ගැටළුවක් බවත්, මහ බැංකුවේ හෝ රජයේ බැංකුවල නිලධාරීන් රජය දෙන උපදෙස් ක්‍රියාත්මක නොකරන්නේ නම් ඔවුන් ඉවත්කර වැඩකරන පිරිසත් සමග රටේ අවශ්‍යතාව ඉටුකිරීමට පසුබට නොවන බවද ජනාධිපතිවරයා අවධාරණය කළේය.

    අවපාතය ජය ගැනීමට සාම්ප්‍රාදයික චින්තනයෙන් හා වැඩ රටාවෙන් බැහැරව නොබියව තීරණ ගන්නා බව ද රාජපක්ෂ මහතා කීය.

    ඇතැම් අපනයන බෝග සඳහා පොහොර නොලැබීම සහ සත්ව නිෂ්පාදනයේදී සත්ව ආහාර හිඟය පිළිබඳව ව්‍යාපාරිකයෝ පෙන්වා දුන්හ. ගැටළු විසඳීමට දැනටමත් පියවර ගෙන ඇති බව ජනාධිපතිතුමා සඳහන් කළේය. වරාය, ගුවන්තොටුපොළ, ආයෝජන මණ්ඩලය, රේගුව ඇතුළු අපනයන ක්‍රියාවලියට ඝෘජුව දායකවන ආයතන සහ ප්‍රධානීන් දෙන සහාය ඉතිහාසයේ පෙර නොවූ විරූ තරම් බව අපනයන ව්‍යාපාරිකයෝ කීහ. ඒ සඳහා ජනාධිපති කාර්ය සාධක බලකායේ ප්‍රධානී බැසිල් රාජපක්ෂ මහතාගෙන් ලැබෙන සහායද ඔවුන්ගේ ප්‍රශංසාවට ලක් විය.

    පොල්, පොල්තෙල් හා පොල් ආශ්‍රිත නිෂ්පාදන, තේ, ඇඟළුම්, එළවළු, පළතුරු, රබර් හා ආශ්‍රිත නිෂ්පාදන, තොරතුරු තාක්ෂණය, මුහුදු ආහාර, ගම්මිරිස් ඇතුළු සුළු භෝග අපනයනය හා බැඳුණු ගැටළු දීර්ග සාකච්ඡාවට ලක් කෙරිණ. අපනයන විවිධාංගීකරණය අවශ්‍යයෙන්ම කළ යුතු කාර්යයක් ලෙස හඳුනාගන්නා ලදී.

    ප්‍රති අපනයනයට අවශ්‍ය ඇතැම් අමුද්‍රව්‍ය ආනයනය කළයුතුව තිබේ. එය කළ යුත්තේ දේශීය ගොවීන් ආරක්ෂා කරමින් හා ශක්තිමත් කරමින් බව බැසිල් රාජපක්ෂ මහතා අවධාරණය කළේය.

    පාරිභෝජනය සඳහා අවශ්‍ය පොල් ගෙවත්තෙන්ම සපයා ගැනීම රජයේ ඉලක්කයයි. ලෝක වෙළෙඳ පොළේ පොල් කර්මාන්තය ආශ්‍රිත අපනයන සඳහා ඉහළ ඉල්ලුමක් පවතී. එබැවින් පොල්වතු ආරක්ෂා කර ගනිමින් උතුරු පළාතේ මෙන්ම සෙසු පළාත්වලද පොල් කර්මාන්තය නගා සිටුවීමට රජය පියවර ගෙන තිබේ. ගොවි අස්වනු පිළිබඳව තාක්ෂණික ක්‍රමවේද මගින් තොරතුරු රැස් කිරීමෙන් අපනයනකරුවන්ට ඒවා මිලදී ගැනීම පහසුවන බව  අපනයනකරුවෝ පෙන්වා දුන්හ.

    තාක්ෂණික උපාංග ගෙන්වා එකලස් කිරීමෙන් අඩු වියදමකින් පරිගණක, ලැප්ටොප්, ජංගම දුරකථන ඇතුළු නිෂ්පාදන රැසක් මෙරටදීම කළහැකි බව ද ආයෝජකයන් පෙන්වා දුන් අතර, ඊට සහාය වීමට ජනාධිපතිවරයා එකඟ විය.

    රමේෂ් පතිරණ, ප්‍රසන්න රණතුංග අමාත්‍යවරු ද, ජනාධිපති කාර්ය සාධක බලකායේ සභාපති බැසිල් රාජපක්ෂ, ජනාධිපති ලේකම් පී.බී. ජයසුන්දර යන මහත්වරු සහ තේ, රබර්, පොල්, ඇගළුම්, එළවළු, පළතුරු, කුළු බඩු ආදී ක්ෂේත්‍ර ගණනාවක ප්‍රධානපෙළේ අපනයන ව්‍යාපාරිකයෝ, රාජ්‍ය බැංකු ඇතුළු ආනයන, අපනයන වෙළෙඳාමට සම්බන්ධ ආයතන ප්‍රධානීහූ හමුවට එක්ව සිටියහ.

  • තාප විදුලි බලාගාරවලින් සිදුවන පරිසර හා සමාජමය බලපෑමේ සොයයි

    තාප විදුලි බලාගාරවලින් සිදුවන පරිසර හා සමාජමය බලපෑමේ සොයයි

    මෙරට තාප (ඉන්ධන හා ගල් අගුරු) විදුලිබලාගාර වලින් විදුලිය ජනනයේදී සිදුවන සමාජමය හා පාරිසරික බලපෑම් හේතුවෙන් සමස්ත ආර්ථිකයට දැරීමට සිදුවන අමතර පිරිවැය හෙවත් බාහිර පිරිවැය සකස් කිරීම සදහා ශ්‍රී ලංකාවේ තාප බලාගාරව බාහිර පිරිවැය පිළිබද අධ්‍යයනයක් ශ්‍රී ලංකා මහජන උපයෝගිතා කොමිෂන් සභාව සිදුකර ඇත. එම අධ්‍යනය මගින් මෙරට ගල් අගුරු හා ඩීසල් බලාගාරවලින් ප්‍රජාවට, සමාජයට හා පරිසරයට සිදුවන අහිතකර බලපෑමේ ආර්ථිකමය හානිය ඇස්තමේන්තු කර ඇත.

    මෙම අධ්‍යයනය සදහා ශ්‍රී ලංකාවේ දැනට ක්‍රියාත්මක තාප බලාගාර වර්ග 4ක් පාදක කර ගෙන ඇත. නොරොච්චෝලේ බලාගාරය, යුගදනවි බලාගාරය, කැළණිතිස්ස බලාගාරය හා සපුගස්කන්ද බලාගාරය එම බලාගාර වේ.   

    ඉදිරියේදී ජල විදුලි බලාගාර, සුළං හා සුර්ය බලාගාර මෙන්ම ස්වභාවික වායු බාලාගාරවලින් පරිසරයට හා සමාජයට වන අහිතකර බලපෑමේ ආර්ථික වියදමද ගණනය කිරීමට පියවර ගෙන ඇත. පහත දක්වා ඇත්තේ ඉහත අධ්‍යයනය මගින් හෙලි වු තාප බාලාගාරවලින් විදුලිය ජනනයේදී පරිසරයට හා සමාජයට ඇතිවන අහිතකර බලපෑම හේතුවෙන් ඇතිවන බාහිර ආර්ථික පිරිවැයයි. මෙම බාහිර පිරිවැය විදුලිය ජනනය සදහා වැයවන වන ඝෟජු පිරිවැයට අමතරව ඇතිවන වියදමකි.

        තාප බලාගාරයේ නම   කිලෝ වොට් 1ක උත්පාදනයේදී වැයවන බාහිර ආර්ථිකමය පිරිවැය
    1   ලක්විජය (නොරොච්චෝලේ) බලාගාරය (ගල් අගුරු) 10.23
    2   යුගදනවි බලාගාරය (දැවි තෙල්) 4.53
    3 කැළණිතිස්ස බලාගාරය (ඩීසල්) 7.55
    4   සපුගස්කන්ද බලාගාරය (දැවි තෙල්) 4.65

    තාප විදුලි බලාගාර වල බාහිර ආර්ථික පිරිවැය පිළිබද අධ්‍යයනය ශ්‍රී ලංකා බලශක්ති කළමණාකරුවන්ගේ සංගමයේ බලශක්ති විශේෂඥයන් කණ්ඩායමක සහාය ඇතිව සිදු කරන ලදී.

    විදුලි බලාගාරවලින් විදුලිය ජනනයේදී වායු දූෂණය, ජල දූෂණය, විෂ ද්‍රව්‍ය නිදහස් නිකුත්වීම හා හරිතාගාර වායු විමෝචනය හේතුවෙන් විශාල පරාසයක පරිසර ගැටළු ඇති කරයි. මෙම පාරිසරික ගැටළු හේතුවෙන් අහිතකර ප්‍රජාමය, සමාජමය සහ පාරිසරික වියදම් හෙවත් බාහිර පිරිවැයක් දැරීමට සිදුවන අතර තාප විදුලිබලාගාරවලින් විදුලිය ජනනයේදී සිදුවන සැබෑ ආර්ථික පිරිවැය නිවැරැදිව ගණනය කල යුතු වේ.

    තාප විදුලි බලාගාර වලින් විදුලිය ජනනයේදී සිදුවන බාහිර පිරිවැය නිවැරැදිව ගණනය කිරීම සදහා ප්‍රථම පියවර වශයෙන් ශ්‍රී ලංකාවේ තාප විදුලි ජනනයේ බාහිර පිරිවැය ඇස්තමේන්තුකිරීම පිළිබද අධ්‍යනයක් ශ්‍රී ලංකා මහජන උපයෝගිතා කොමිෂන් සභාව විසින් සිදුකරන ලදී.  මෙම අධ්‍යනයේදී හෙලී වු  ඉහත දක්වා ඇති බාහිර පිරිවැය දත්ත හා ක්‍රමවේදයෙහි වලංගුතාවය තවදුරටත් තහවුරු කරගැනීම සදහා සියළු පාර්ශ්වයන්ගේ අදහස් හා යෝජනා ලබාගැනීමට ශ්‍රී ලංකා මහජන උපයෝගිතා කොමිෂන් සභාව අදහස් කර සීටී. 

    2002 අංක 35 දරන ශ්‍රී ලංකා මහජන උපයෝගිතා කොමිෂන් සභාව පනතේ 17 (ඇ) වගන්තිය හා 2009 අංක 20 දරන ශ්‍රී ලංකා විදුලිබල පනතේ (සංශෝධිත) 3(ඔ) වගන්ති යටතේ මෙම මහජන උපදේශනය පැවත්වේ. ඒ අනුව ශ්‍රී ලංකාවේ තාප බලාගාරවලින් විදුලිය ජනනයේදී සිදුවන බාහිර පිරිවැය ඇස්තමේන්තු සම්බන්ධයෙන් සිය අදහස් හා යෝජනා ශ්‍රී ලංකා මහජන උපයෝගිතා කොමිෂන් සභාව වෙත ඉදිරිපත් කරන ලෙස සියලු පාර්ශ්වයන්ට ඇරයුම් කර සිටී. අදහස් හා යෝජනා consultation@pucsl.gov.lk යන ඊමේල් ලිපිනය ඔස්සේ ඉදිරිපත්කල හැකිය.

    ලිඛිත අදහස් හා යෝජනා ලබාගැනීමේන් අනතුරුව වාචිකව අදහස් දැක්වීමේ අවස්ථාවක් ද පැවත්වෙනු ඇත. ඒ පිළිබද විස්තර ඉදිරියේදී දැනුම් දෙනු ලැබේ. ශ්‍රී ලංකාවේ තාප බලාගාරවිලින් විදුලිය ජනනයේදී සිදුවන බාහිර පිරිවය ඇස්තමේන්තු පිළිබද අධ්‍යයන වාර්තාව ශ්‍රී ලංකා මහජන උපයෝගිතා කොමිෂන් සභා වෙබ් අඩවියෙන් ලබාගත හැකිය.

     අධ්‍යයන වාර්තාව හා උපදේශන පත්‍රිකාව www.pucsl.gov.lk වෙබ් අඩවියට පිවිස ලබාගත හැකි ය.

    වැඩිදුර තොරතුරු සදහා සහකාර අධ්‍යක්ෂ අනුෂිකා කඹුරුගමුව මහත්මිය අමතන්න   0718622800

  • සංචාරක ක්ෂේත්‍රයේ නියුතු වූවන්ට සහන සැලසීම කඩිනම් කරනවා –  ඇමති ප්‍රසන්න

    සංචාරක ක්ෂේත්‍රයේ නියුතු වූවන්ට සහන සැලසීම කඩිනම් කරනවා – ඇමති ප්‍රසන්න

    සංචාරක ක්ෂේත්‍රයේ නියුතු වූවන්ට සහන සැලසීමේ වැඩපිළිවෙල කඩිනමින් ක්‍රියාත්මක කරන්නැ‘යි කාර්මික අපනයන, ආයෝජන ප්‍රවර්ධන, සංචාරක හා ගුවන් සේවා ඇමති ප්‍රසන්න රණතුංග මහතා නිලධාරීන්ට උපදෙස් දෙයි. කැබිනට් මණ්ඩල නිර්දේශ අනුව එම කටයුතු වහාම ආරම්භ කරන ලෙසද ඇමතිවරයා උපදෙස් දුන්නේය.

    රාජ්‍ය බැංකු ප්‍රධානීන්, සංචාරක සංවර්ධන අධිකාරියේ නිලධාරීන් හා අමාත්‍යාංශ ලේකම්වරයා සමග ඊයේ (10) සවස පැවති විශේෂ සාකච්ඡාවක දී  ඇමතිවරයා මේ උපදෙස් ලබා දුන්නේය. සාකච්ඡාව කාර්මික අපනයන, ආයෝජන ප්‍රවර්ධන ආමත්‍යංශයේදි පැවැතිවිණ.

    රාජ්‍ය බැංකු ප්‍රධානීන් මෙහිදී කියා සිටියේ කැබිනට් මණ්ඩල අනුමැතිය මුදල් අමාත්‍යංශය හරහා තමන්ට ලැබුණු වහාම මේ සම්බන්ධයෙන් අවශ්‍ය පියවර ගන්නා බවයි. ඊට අමතරව සංචාරක සංවර්ධන අධිකාරිය හරහා මාර්ගෝපදේශකයන් සහ සංචාරක රථ රියදුරන්ට ලබා දෙන දීමනාව ගෙවීමට අදාල ඉදිරි කටයුතු සිදු කිරීමටද මෙම සාකච්ඡාවේ දී තීරණය කෙරිණ.

    කොවිඩ් 19 හේතුවෙන් පීඩාවට පත්ව සිටින සංචාරක ක්ෂේත්‍රයේ 144,117 දෙනෙකුට සහන සැලසීම සදහා වන කැබිනට් පත්‍රිකාව ඊයේ (10) අනුමත විය. අදාල කැබිනට් පත්‍රිකාව අනුව සංචාරක සංවර්ධන අධිකාරියේ ලියාපදිංචි සංචාරක හෝටල් , වාසස්ථාන , ගමනාන්ත කළමණාකරණ සමාගම් , මාර්ගෝපදේශකයන් රියදුරන්ට මෙම සහන හිමිවේ.

  • සෝනම් කපූර්ගේ ‘අලුත්ම කොණ්ඩා මෝස්තර 20ක්’

    සෝනම් කපූර්ගේ ‘අලුත්ම කොණ්ඩා මෝස්තර 20ක්’

    සෝනම් කපූර් කියන්නේ ප‍්‍රකට ‘කපූර් පවුලෙන් ‘බොලිවුඩයට තිළිණ කළ සුරූපිනියක්. ඒ නිසාම සෝනම්ට බොලිවුඩයේ තිබෙන්නේ ඇයටම අනන්‍ය වූ ජනප‍්‍රියත්වයක්. ඒක පොදුවේ කපූර් පවුලට තිබෙන ජනප‍්‍රියත්වය ඉක්මවා ගිය එකක් බවයි බොලිවුඩ් විචාරකයින් කියන්නේ.

    ඒ වගේම තමයි සෝනම් කියන්නේ බොලිවුඩයේ හොදම විලාසිතාකාරියක්. විශේෂයෙන් කොණ්ඩා මෝස්තර සම්බන්ධයෙන් කතා කරන විට සෝනම් ඉදිරියෙන්ම සිටිනවා. අති සරල ප්ලාස්ටික් පටියේ සිට රන් කූර දක්වාත්, රිබන් පටිය දක්වාත් සෝනම් තම කොණ්ඩා මෝස්තර සදහා භාවිතා කරනවා.

    සෝනම්ගේ කොණ්ඩා මෝස්තර ගැන බොලිවුඩ් විචාරකයෙක් මෙසේ සදහන් කළා.

    ‘අවස්ථාව සමඟ ගැළපෙන පරිදි ඇය තම කොණ්ඩා මෝස්තරය නිර්මාණය කර ගන්නවා. ඒ වගේම ඇය බොහෝ ජනප‍්‍රිය කොණ්ඩා මෝස්තර තමාට අවශ්‍ය පරිදි යළි ප‍්‍රතිනිර්මාණය කර ගන්නවා. එමගින් වඩාත් ආකර්ෂණයක් සහ වටිනාකමක් ලබා ගන්නවා. ඇතැම් විට ඇයගේ කොණ්ඩා මෝස්තරය අවුල් ජාලයක් විය හැකියි. ඒත් එය කිසිසේත් ඇයගේ සුන්දරත්වයට හානියක් කරන්නේ නැහැ. ඇය කොණ්ඩා මෝස්තර සම්බන්ධයෙන් විශේෂඥවරියක්’

    දකින දකින සියලු දෙනා අගය කරන තම කොණ්ඩා මෝස්තර ගැන පසුගිය දා ෆ්ලිම් ෆෙයාර් සමග අදහස් දක්වමින් සෝනම් කියා සිටියේ එහි ගරුත්වය කොණ්ඩා මෝස්තර නිර්මාණ ශිල්පීන්ට සහ තම සහෝදරයි රියා කපූර්ට හිමි වන බවයි.

    ඉතිං… අපේ සෝනම්ගේ කොණ්ඩා මෝස්තර ගැන මේ තරම් වර්ණනා කළේ ඇයි ? ඒ තමයි සෝනම්ගේ සුවිශේෂ කොණ්ඩා මෝස්තර 20ක්ම ඔබට හදුන්වා දීමට. බලන්න දවසට එක ගානේ… කොණ්ඩා මෝස්තරම 20ක්…

    සෝනම් කපූර්
    1 /20
    සෝනම් කපූර්
    2 /20
    සෝනම් කපූර්
    3 /20
    සෝනම් කපූර්
    4 /20
    සෝනම් කපූර්
    5 /20
    සෝනම් කපූර්
    6 /20
    සෝනම් කපූර්
    7 /20
    සෝනම් කපූර්
    8 /20
    සෝනම් කපූර්
    9 /20
    සෝනම් කපූර්
    10 /20
    සෝනම් කපූර්
    11 /20
    සෝනම් කපූර්
    12 /20
    සෝනම් කපූර්
    13 /20
    සෝනම් කපූර්
    14 /20
    සෝනම් කපූර්
    15 /20
    සෝනම් කපූර්
    16 /20
    සෝනම් කපූර්
    17 /20
    සෝනම් කපූර්
    18 /20
    සෝනම් කපූර්
    19 /20
    සෝනම් කපූර්
    20 /20

    Femina.india – Text by Thushadhavi

  • උසස් පෙළ සිසුන්ට පොලී රහිත ණය සහනයෙන් වැඩිදුර ඉගෙනුමට ඉඩප්‍රස්ථා

    උසස් පෙළ සිසුන්ට පොලී රහිත ණය සහනයෙන් වැඩිදුර ඉගෙනුමට ඉඩප්‍රස්ථා

    උසස් අධ්‍යාපන අමාත්‍යාංශයේ ශිෂ්‍ය ණය අංශය යටතේ ක්‍රියාත්මක වන පොලී රහිත ශිෂ්‍ය ණය යෝජනා ක්‍රමය යටතේ උසස් පෙළ සිසුන්ට වැඩිදුර ඉගෙනීමට රාජ්‍ය නොවන උසස් අධ්‍යාපන ආයතන වෙත ඇතුළත්වීමට ඉඩ ප්‍රස්ථා සලසා ඇති අතර, ඒ සඳහා පාසල් අපේක්ෂකයන් ලෙස 2016,2017 සහ 2018 වසරවල උසස් පෙළ විභාගයට පෙනී සිට විභාගය සමත් වූ සිසුන්ට විදුහල්පතිවරුන් වෙතින් අයදුම්පත් සහතික කරවාගැනීමට දින 06 ක කාලයක් ලබා දීමට අධ්‍යාපන අමාත්‍යාංශය පියවර ගෙන ඇත.

    ඒ අනුව, 2018/2019 අධ්‍යයන වර්ෂය සඳහා රාජ්‍ය නොවන උසස් අධ්‍යාපන ආයතනවලට ලියාපදිංචි වීමට අපේක්ෂා කරන ඉහත වර්ෂයන්හි උසස් පෙළ සමත් සිසුන් වෙත  2020 ජුනි මස 9,10,11,12,15,16 යන දිනයන්හි පාසල් වේලාව තුළ අයදුම්පත් සහතික කරදීමට අවස්ථාව සලසා දෙන ලෙස අධ්‍යාපන ලේකම් එන් එච් එම් චිත්‍රානන්ද මහතා විසින් විදුහල් ප්‍රධානීන් වෙත උපදෙස් ලබා දී තිබේ.

    රට තුළ පවත්නා වත්මන් තත්ත්වය හමුවේ විදුහල්පතිවරුන් මගින් අයදුම්පත් සහතික කරවාගැනීමට බොහෝ සිසුන් අපොහොසත් වී ඇති බැවින් උසස් අධ්‍යාපන, තාක්ෂණ හා නවෝත්පාදන අමාත්‍යාංශයේ ලේකම්වරයා විසින් අධ්‍යාපන ලේකම්වරයාගෙන් සිදුකර ඇති ඉල්ලීමකට අනුව අධ්‍යාපන අමාත්‍යාංශය මෙම පියවර ගෙන ඇත.

    මතුවී ඇති අවදානම් තත්ත්වය කෙරෙහි අවධානය යොමු කරමින් සෞඛ්‍ය බලධාරීන් විසින් නිර්දේශ කර ඇති සියලු ම සෞඛ්‍යාරක්ෂිත ක්‍රමවේද අනුගමනය කරමින් අයදුම්පත් සහතික කළ යුතු බව ද අධ්‍යාපන ‍අමාත්‍යාංශය වැඩිදුරටත් දන්වා සිටියි.

  • Covid-19 පීඩාවට පත් සංචාරක ක්ෂේත්‍රයේ 144,117 දෙනෙකුට සහන

    Covid-19 පීඩාවට පත් සංචාරක ක්ෂේත්‍රයේ 144,117 දෙනෙකුට සහන

    කොවිඩ් 19 වසංගතය හේතුවෙන් පීඩාවට පත්ව සිටින සංචාරක ක්ෂේත්‍රයේ 144,117 දෙනෙකුට සහන සැලසීම සදහා වන සහන පැකේජයට කැබිනට් මණ්ඩල අනුමැතිය හිමිවේ. ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතාගේ උපදෙස් පරිදි කාර්මික අපනයන, ආයෝජන ප්‍රවර්ධන, සංචාරක හා ගුවන් සේවා ඇමති ප්‍රසන්න රණතුංග මහතා අද (10) පැවති කැබිනට් මණ්ඩලයට මෙම යෝජනාව ඉදිරිපත් කලේය.

    ඒ අනුව 2019 මාර්තු මාසය වන විට ශ්‍රී ලංකා සංචාරක සංවර්ධන අධිකාරියේ ලියාපදිංචි වී ඇති සංචාරක හෝටල් (වාසස්ථාන) අංශයේ හා ගමනාන්ත කළමනාකරන සමාගම්/ සංචාරක නියෝජිතයන්ගේ කාර්ය මණ්ඩල වලට එක් අයෙකුට රුපියල් 20,000 බැගින් මාස 06 ක් වැටුප ගෙවීමට 4% පොළියකට ණය මුදලක් ලබා දීමට පියවර ගැනෙනු ඇත. ETF /EPF වාර්තා මත පදනම්ව රජයේ බැංකු මගින් ලබා දෙන මෙම ණය මුදල ගෙවීමට වසර දෙකක සහන කාලයක් හිමිවේ. එය වසර 05 කින් ගෙවිය යුතුය.

    ශ්‍රී ලංකා සංචාරක සංවර්ධන  යටතේ ලියාපදිංචි අවන්හල්, සංචාරක හිතකාමි ආහාර ගැනීමේ ස්ථාන සම්භාහන සහ සුවතා මධ්‍යස්ථාන වැනි ආයතන වල සේවය කරන එක් පුද්ගලයෙකුට රුපියල් 15,000 බැගින් මාස 06 ක් වැටුප් ගෙවීම සදහා ණය මුදලක් ලබා දීමට ද කැබිනට් අනුමැතිය හිමිව තිබේ.

    මීට අමතරව සංචාරක සංවර්ධන අධිකාරීයේ ලියාපදිංචි සංචාරක මග පෙන්වන්නන් සදහා එක් පුද්ගලයෙකුට රුපියල් 20,000 ක මුදලක් ලබාදීමටත් ලියාපදිංචි සංචාරක රියදුරන් සදහා එක් පුද්ගලයෙකුට රුපියල් 15,000 ක මුදලක් ලබාදීමටත් කැබිනට් මණ්ඩල අනුමැතිය හිමිව තිබේ. එම දීමනා  ලබා දෙන්නේ එක්වරක් පමණි. එමෙන්ම සංචාරක සංවර්ධන අධිකාරියේ ලියාපදිංචි සංචාරක වාසස්ථාන සදහා 2020 මාර්තු 01 සිට අගෝස්තු 31 දක්වා වූ සමුච්චිත විදුලි හා ජල බිල්පත් 2020 සැප්තැම්බර් මස 01 දින සිට බල පැවැත්වෙන පරිදි සමාන වාරික 12 කින් ගෙවීමටද අවස්ථාව ලබා දීමටද කැබිනට් අනුමැතිය හිමිව තිබේ. එතෙක් ජල හා විදුලි සැපයුම විසන්ධි නොකරන ලෙස ලංකා විදුලි බල මණ්ඩලයට හා ජල සම්පත් මණ්ඩලයට දැනුම් දීමටද මෙහිදී තීරණය වී තිබේ.

    සංචාරක කර්මාන්තය ආශ්‍රිත සියළුම කුලී බදු සදහා ලබා දී ඇති මාස 06 සහන කාලය මාස 12 ක් දක්වා වැඩි කිරීමටද කැබිනට් මණ්ඩල අනුමැතිය හිමිව තිබේ.

    කාර්මික අපනයන, ආයෝජන ප්‍රවර්ධන, සංචාරක හා සිවිල් ගුවන් සේවා ඇමති ප්‍රසන්න රණතුංග මහතා සදහන් කලේ මේ යටතේ හෝටල් අවන්හල් සේවකයන් 131497 කට මාස 06 ක වැටුප් ගෙවීමට ණය මුදලක් ලබා දීමට රුපියල් මිලියන 15883 ක මුදලක් අවශ්‍ය බවයි. මාර්ගෝපදේශකයන් හා සංචාරක රියදුරන් 9216 ක් වෙනුවෙන් එක් වරක් පමණක් ගෙවනු ලබන රුපියල් 20,000 ක හා 15,000 ක දීමනාව ලබාදීම සදහා අවශ්‍ය මුදල රුපියල් මිලියන 156 ක් බවද ඇමතිවරයා කීවේය. පසුගිය සතියේ සංචාරක ක්ෂේත්‍රයේ නිරත වන විවිධ ක්ෂේත්‍ර වල අය සමග පැවති සාකච්ඡාවකදි ඉදිරිපත් වූ ඉල්ලීම් සලකා බලා මෙම සහන පැකේජය සකස් කල බවද ඇමති ප්‍රසන්න රණතුංග මහතා වැඩි දුරටත් කීවේය.

  • යාපනය ගුවන් තොටුපළ සංවර්ධනයට ඉන්දියාව සමග අවබෝධතා ගිවසුමක්

    යාපනය ගුවන් තොටුපළ සංවර්ධනයට ඉන්දියාව සමග අවබෝධතා ගිවසුමක්

    යාපනය පළාලි ගුවන් තොටුපළේ පහසුකම් වැඩි දියුණු කිරීම කඩිනම් කෙරේ. ඒ සදහා ඉන්දියානු රජය සමග අත්සන් කිරීමට නියමිත අවබෝධතා ගිවිසුම කඩිනමින් අත්සන් කිරීමට අපේක්ෂා කරන බව කාර්මික අපනයන, ආයෝජන ප්‍රවර්ධන, සංචාරක හා ගුවන් සේවා ඇමති ප්‍රසන්න රණතුංග මහතා පවසයි.

    කොව්ඩ් 19 හෙවත් කොරෝනා වසංගතයට පෙර මෙම ගිවිසුම අත්සන් කර අදාළ පහසුකම් වැඩිදියුණු කිරීමේ කටයුතු ආරම්භ කිරීමට සැලසුම් කර තිබුණ ද වසංගතය පැතිර යාම සදහා රට තුළ පැවති තත්ත්වය මත එය ප්‍රමාද විය. දැන් රට යථා තත්ත්වයට පත්වෙමින් පවතින බැවින් යාපනය පළාලි ගුවන් තොටුපළේ සංවර්ධන කටයුතු ද කඩිනමින් ආරම්භ කිරීමට අපේක්ෂා කරන බව ඇමතිවරයා කීවේය.

    යාපනය පලාලි ගුවන් තොටුපල සංවර්ධනය සදහා ඉන්දියානු රජය රුපියල් මිලියන 300 ප්‍රදානයක් ලබා දීමට එකගතාවය පල කර තිබේ. මෙමගින් පැමිණීමේ හා පිටත් වීමේ ගුවන් මගීන්ගෙන් ගුවන් මළු මෙහෙයුම් කටයුතු සදහා සරල මෙහෙයුම් පද්ධතියක් ස්ථාන ගත කිරීම, පිටත් වීමේ අංශයේ ගුවන් මගී පරීක්ෂාව හා ගුවන් මගීන් බෙදා වෙන් කීරීම ස්ථාන ගත කිරීම, ජල සැපයුම අපහරණ ජල පද්ධතිය අපද්‍රව්‍ය බැහැරුම් පද්ධතිය වැනි පහසුකම් වැඩි දියුණු කිරීමට අපේක්ෂිතය.

    දෙවන ලෝක යුද්ධ සමයේදී රාජකීය ගුවන් හමුදාව විසින් ආරම්භ කළ යාපනය පලාලි ගුවන් තොටුපල නිදහසින් පසු මෙරට දෙවන ජාත්‍යන්තර ගුවන් තොටුපල ලෙස දකුණු ඉන්දීය ගමනාන්තයන් සදහා ගුවන් ගමන් ක්‍රීයාත්මක විය. කොටි ත්‍රස්ත්‍රවාදය හේතුවෙන් 1980 න් පසු මෙවැනි ගුවන් මෙහෙයුම් නතර වු අතර 2002 වන විට ශ්‍රී ලංකා ගුවන් හමුදා පාලනයට නැතුව සිදුවූයේ අභ්‍යන්තර ගුවන් මෙහෙයුම් පමණි. මෙය නැවත ගුවන් ගමන් සදහා විවෘත කෙරුනේ 2019 ඔක්තෝම්බර් 17 වන දිනයි. පසුගිය යහපාලන ආණ්ඩුව විසින් කඩිමුඩියේ මෙම ගුවන් තොටුපළ විවෘත කළ ද එම ගුවන් තොටුපළ ජාත්‍යන්තර ගුවන් තොටුපළකට අවශ්‍ය ප්‍රමාණවත් පහසුකම් වලින් සමන්විත නොවීම පිළිබදව වවිධ පාර්ශව වලින් චෝදනා එල්ල වීය.

    ඇමති ප්‍රසන්න රණුතංග මහතා සචහන් කළේ කොවිඩ් 19 වසංගතයෙන් පසු රට විවෘත වීමත් සමග කටුනායක ගුවන් තොටුපළට අමතරව  මත්තල හා යාපනය, රත්මලාන ගුවන් තොටුපළවල ජාත්‍යන්තර ගුවන් මෙහෙයුම් වැඩි කිරීම කෙරෙහි අවධානය යොමු ව ඇති බවයි. මෙම ගුවන් තොටුපළ වල ජාත්‍යන්තර ගුවන් මෙහෙයුම් සිදු කිරීමට ගුවන් සමාගම් දිරි ගැන්වීම සදහා විවිධ සහන ලබා දීමට ද රජය කටයුතු කරමින් සිටින බව ඇමතිවරයා සදහන් කළේය.

  • මධ්‍ය සහ අඩු ආදායම්ලාභීන් වෙනුවෙන් නිවාස ඉදිකිරීමට ජනපතිගෙන් උපදෙස්

    මධ්‍ය සහ අඩු ආදායම්ලාභීන් වෙනුවෙන් නිවාස ඉදිකිරීමට ජනපතිගෙන් උපදෙස්

    මධ්‍ය සහ අඩු ආදායම්ලාභීන් වෙනුවෙන් නිවාස ඉදිකිරීමට අවධානය යොමු කරන්නැයි රාජ්‍ය සංවර්ධන සහ නිර්මාණ නීතිගත සංස්ථාවට ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා උපදෙස් දෙයි.

    රාජ්‍ය සංවර්ධන සහ නිර්මාණ නීතිගත සංස්ථාවේ ප්‍රගතිය සමාලෝචනය කරණු පිණිස අද (10) පස්වරුවේ ජනාධිපති කාර්යාලයේ පැවති සාකච්ඡාවේදී මේ උපදෙස් දෙනු ලැබීය.

    සාම්ප්‍රදායික රටාවෙන් බැහැරව රාජ්‍ය ආයතන ලාභ ලබන තත්වයට පත් කිරීමට අවශ්‍ය සැලසුම් කඩිනමින් සකස් කළයුතුව ඇතැයි ජනාධිපතිවරයා අවධාරණය කළේය.

    පසුගිය වසර 05 අවසානයේ ආයතනය භාර ගන්නා විට පැවති සහ වත්මන් තත්ත්වය පිළිබඳ වාර්තාවක් දෙන ලෙස දැනුම් දුන් ජනපතිවරයා ඉදිරි වසරේදී ළඟා කරගත යුතු ඉලක්ක මේ වසරේ දී සැලසුම් කළ යුතු බව පැවසීය.

    රාජ්‍ය ආයතන පෞද්ගලික අංශයේ නව ඉදිකිරීම් අවස්ථා අත් කර ගැනීමේ වැදගත්කම අවධාරණය කළ ජනාධිපතිවරයා පෞද්ගලික අංශය සමග තරගකළ හැකි අන්දමින් ගුණාත්මකභාවය සහ ප්‍රමිතිය වර්ධනය කිරීමේ අවශ්‍යතාව පෙන්වා දුන්නේය.

    රාජ්‍ය ආයතනවලින් සංස්ථාවට අය විය යුතු මුදල් නිසි පරිදි නොලැබීම නිසා මතුව ඇති ගැටළුව ජනාධිපතිවරයාගේ අවධානයට යොමු කෙරිණ.

    ඒ පිළිබඳව සොයා බලා මුදල් අය කර ගැනීමට අවශ්‍ය වැඩපිළිවෙළ සැකසීමට ජනාධිපති නිලධාරීන්ට උපදෙස් දුන්නේය.

    ජනාධිපති ලේකම් පී.බී. ජයසුන්දර මහතා සහ රාජ්‍ය සංවර්ධන සහ නිර්මාණ නීතිගත සංස්ථාවේ සභාපති ඩී.පී.එම්. චන්දන මහතා ඇතුළු අධ්‍යක්ෂ මණ්ඩල සාමාජිකයෝ සාකච්ඡාවට එක්ව සිටියහ.

  • ආගමික මෙහෙයන් සහ උපකාරක පන්ති ඇරඹීමට ‘සීමාවන්ට සහිත’ අවසර

    ආගමික මෙහෙයන් සහ උපකාරක පන්ති ඇරඹීමට ‘සීමාවන්ට සහිත’ අවසර

    ආගමික ස්ථානයන්හි පුද්ගල එක්රැස්වීම ජූනි මස 12 වෙනිදා සිටත් උපකාරක පන්ති නැවත ආරම්භ කිරිම ජුනි මස 15 වෙනිදා සිට සිදුකිරිමට අවසරය හිමිවන බව සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂක ජනරාල් විශේෂඥ වෛද්‍ය අනිල් ජාසිංහ මහතා කියයි. 

    නව ක්‍රමවේදය අනුව අදාළ උපකාරක පන්ති පවත්වන ස්ථානයේ ඉඩ ප්‍රමාණය අනුව සමාජ දුරස්ථභාවය ආරක්ෂා කර ගනිමින් එක් උපකාරක පන්තියක් සඳහා සහභාගී කරවා ගත හැකි උපරිම සිසුන් සංඛ්‍යාව 100 කට සීමා වේ. නමුත් සිසුන් සිය දෙදෙනෙකුට හෝ අදාළ පන්ති කාමරයේ හෝ ශාලාව තුළ ඉගැන්වීමට පහසුකම් නොමැති ස්ථානයන්හි සාමාන්‍යයෙන් එම ස්ථානයේ උපකාරක පන්තියට සහභාගී වන සිසුන් සංඛ්‍යාවෙන් අඩකඩ පමණක් සහභාගී කරවා ගැනීමට අවසර දෙන බව අනිල් ජාසිංහ මහතා සදහන් කළේය.

    ආගමික සිද්ධස්ථානයන්හි ආගමික කටයුතු කටයුතු වෙනුවෙන් සීමාවන්ට යටත්ව පුද්ගල එක්රැස්වීම සඳහා ජූනි මස 12 වන සිකුරාදා සිට අවසර ලබා දී තිබේ. ඒ අනුව සෞඛ්‍ය ආරක්ෂිතව පුද්ගල දුරස්ථභාවය ආරක්ෂා කර ගනිමින් ඕනෑම ආගමික පූජ්‍යස්ථානයකට (එම පුජ්‍ය ස්ථානයට අයත් ගොඩනැඟිලි හා එළිමහන් ස්ථාන ඇතුළුව ) රැස්විය හැකි උපරිම සංඛ්‍යාව 50 කට සීමා කළ යුතු බව අනිල් ජාසිංහ මහතා සදහන් කළේය.

    නමුත් සමාජ දුරස්ථභාවය ආරක්ෂා කර ගනිමින් පුද්ගලයින් 50 දෙනෙකුට හෝ රැඳී සිටිමට ඉඩ පහසුකම් නොමැති ආගමික ස්ථානයන්හි සාමාන්‍යයෙන් එම භූමියේ රැඳී සිටිය හැකි සංඛ්‍යාවෙන් අඩකඩ පමණක් එක් අවස්ථාවක රැඳී සිටිය හැකි බවත් මෙම සියලූම අවසරයක් ලබා දෙනු ලබන්නේ කොවිඩ් 19 වෛරසය ව්‍යාප්තිය වැළැක්වීම සඳහා නිකුත් කර ඇති සෞඛ්‍ය මාර්ගෝපදේශයන් අදාළ සියලු පාර්ශවයන් විසින් පූර්ණ වශයෙන් පිළිපැදීමට යටත් බවත් සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජනරාල්වරයා වැඩි දුරටත් සදහන් කළේය.

  • මහ මැතිවරණය අගෝස්තු 5 වන දා –  අති විශේෂ ගැසට් පත්‍රයත් නිකුත් වෙයි

    මහ මැතිවරණය අගෝස්තු 5 වන දා – අති විශේෂ ගැසට් පත්‍රයත් නිකුත් වෙයි

    2020 පාර්ලිමේන්තු මහ මැතිවරණය අගෝස්තු 05 වැනි බදාදා දින පැවැත්වීමට තීරණය කළ බව ජාතික මැතිවරණ කොමිසමේ සභාපති මහින්ද දේශප්‍රිය මහතා අද (10) පස්වරුවේදී මැතිවරණ කොමිෂමේදී පැවැති මාධ්‍ය හමුවේදී පැවසීය.

    මේ පිළිබද ගැසට් නිවේදනය මුද්‍රණය කිරීමට යැවූ බව ද ඔහු සදහන් කළ අතර අද දින සවස එය මුද්‍රණයෙන් පිට කිරීමට රජයේ මුද්‍රණාලය විිසින් පියවර ගෙන තිබුණි.

    මීට පෙර ප්‍රතිපත්තියක් ලෙස මැතිවරණය සෙනසුරාදා දිනයන්වල පැවැත්වීමට මැතිවරණ කොමිෂම පියවර ගෙන තිබුණ අතර මෙවර එය බදාදා දිනයක පැවැත්වීම විශේෂත්වයකි.

    මෙම මාධ්‍ය හමුවේදී ජනමාධ්‍යවලට චෝදනා කළ මැතිවරණ කොමිසමේ සභාපති මහින්ද දේශප්‍රිය මහතා තමන් මීට පෙර පැවති මාධ්‍ය හමුවේදී කළ ප්‍රකාශයක් වැරදි ලෙස අර්ථ දක්වමින් ඇතැම් මාධ්‍යවල පළ කර තිබූ බවට චෝදනා කළේය.

    “මම කිව්වෙ එක ම කොරෝනා රෝගියෙක්වත් නැහැයි කියල සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජනරාල් අනිල් ජාසිංහ මහත්තයා කියනව නම් අපිට මාස දෙකක් යන්න කලින් මැතිවරණය තියන්න පුළුවන් කියලා. ඒත් සමහර මාධ්‍යවල පළ වුණේ, මහ මැතිවරණය පවත්වන්න එක රෝගියෙකුවත් නැති වෙනකම් මැතිවරණ කොමිසම බලාගෙන ඉන්නව කියලා.”

    මෙහිදී මැතිවරණය දිනය තීරණය කළ ආකාරය ගැන කරුණු පැහැදිලි කරමින් මහින්ද දේශප්‍රිය මහතා පැවසුවේ ඡන්ද විමසීම නිසා කොරෝනාවෛරසය ව්‍යාප්තවීමට ඇති අවදානම වළක්වා ගැනීමේ අරමුණින් සෞඛ්‍ය ආරක්ෂණ ක්‍රමවේද අනුගමනය කළ යුතු බැවින් මාස දෙකක පමණ කාලයක් ඒ සදහා ගත විය හැකි බවය.

    ‘අපි මෙවර මහ මැතිවරණය සදහා වැය වන වියදම රු. කෝටි 650ක් ලෙසට ඇස්තමේන්තු කර තිබුණා. ඒත් වත්මන් තත්ත්වය යටතේ එම වියදම රුපියල් කෝටි 900 ද ඉක්මවිය හැකි බවට අපි ගණන් බලා තිබෙනවා‘

  • ඇමෙරිකානු දේශපාලනය උඩුයටිකුරු කරමින් ‘ජෝර්ජ් ෆ්ලොයිඩ්’ සමුගනී

    ඇමෙරිකානු දේශපාලනය උඩුයටිකුරු කරමින් ‘ජෝර්ජ් ෆ්ලොයිඩ්’ සමුගනී

    පොලිස් නිලධාරියෙකු විසින් ඝාතනය කළ අප්‍රිකානු ඇමරිකානු ජාතික ජෝර්ජ් ෆ්ලොයිඩ්ගේ අවමංගල්‍ය කටයුතු සිදු වෙමින් පවතින බව බී.බී.සී ලෝක සේවය අද (9) වාර්තා කළා. එම වාර්තාවල සදහන් වන්නේ ඔහුගේ මෘත දේහය සඳුදා (අද දින) ඔහුගේ මව මිහිදන් කළ ස්ථානය අසල තැන්පත් කරන බවයි.

    ෆ්ලොයිඩ් පසුගිය මාසයේදී මිනියාපොලිස්හිදී මිය ගියේය. සුදු පොලිස් නිලධාරියෙක් සිය දණහිස ජෝර්ජ්ගේ බෙල්ලේ මිනිත්තු නවයකට ආසන්න කාලයක් රඳවාගෙන සිටි අතර, ඔහුගේ අවසන් මොහොත දුරකථනයෙන් රූගත කරන ලදී.

    ඔහුගේ මරණය සම්බන්ධයෙන් සැකපිට පොලිස් නිලධාරීන් සිවු දෙනකු සේවයෙන් පහ කර තිබේ.

    ඩිමොක්‍රටික් ජනාධිපති අපේක්ෂක ජෝ බිඩෙන් ෆ්ාලායිඩ්ගේ බිරිය සහ ඥාතීන් හමු වී සිය කනගාටුව ප්‍රකාශ කර තිබෙනවා.

    ෆ්ලොයිඩ්ගේ මරණය “ඇමරිකානු ඉතිහාසයේ විශිෂ්ඨතම ඇඟවුම් ලක්ෂ්‍යයක්” යැයි බිඩෙන් පසුව සීබීඑස් ප්‍රවෘත්ති සේවයට පැවසුවා.

    ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් පසුගිය සති අන්තයේදී ප්‍රකාශයක් කරමින් ‘ෆ්ලොයිඩ්ගේ මරණය ගැන නින්දිත ප්‍රකාශයක් කරමින් මැතිවරණ වාසි ලබා ගැනීමට ක්‍රියා කළ බවට‘ බිඩේන්ව තියුණු ලෙස විවේචනය කළා.

    අවමංගල්‍ය සැලසුම් මොනවාද?

    සීබීඑස් ප්‍රවෘත්ති සේවය වාර්තා කරන්නේ, ෆ්ලොයිඩ්ගේ අවමංගල්‍ය උත්සවය සදහා ෆවුන්ටන් ඔෆ් ප්‍රයිස් පල්ලියේ දේවගැතිවරුන් 500ක් පමණ සහභාගී වන බවයි.  

    මිනසෝටා ආණ්ඩුකාර ටිම් වෝල්ස් මිනිත්තු අටක් තත්පර 46 ක් නිහඩව සිටීමෙන් ෆ්ලොයිඩ්ගේ අවසන් කටයුතුවලට ගෞරව කරන ලෙස ජනතාවගෙන් ඉල්ලා සිටියේය. එය පොලිස් නිලධාරියා විසින් ෆ්ලොයිඩ්ගේ ගෙළ සිරකර ගෙන සිටි කාලයයි.

    ජූනි 9, හූස්ටන් හි ජෝර්ජ් ෆ්ලොයිඩ්ගේ මිනී පෙට්ටියේ වැලපෙන්නන්
    ශෝකවන්නෝ අවසන් කටයුතුවලට පෙර ජෝර්ජ් ෆ්ලොයිඩ්ගේ මිනී පෙට්ටිය නැරඹූහ

    පසුව මිනී පෙට්ටිය හූස්ටන් නගරයට දකුණින් පිහිටි පර්ලන්ඩ් හි සුසාන භූමියකට ගෙන යනු ලැබේ. පෙරහැරේ අවසාන සැතපුම සඳහා එය අශ්ව කරත්තයකින් ගෙන යනු ලැබේ.

    ජෝර්ජ් ෆ්ලොයිඩ්ගේ මිනී පෙට්ටිය, ජූනි 9
    ෆ්ලොයිඩ්ගේ මෘත දේහයට අවසන් ගෞරව දක්වන පිරිස්

    පෙරහැර පසු වන විට මහජනතාවට ආරක්ෂිතව ගෞරව දැක්වීමට ඉඩ සැලසෙන පරිදි මාර්ග බාධක ඉදිකර ඇත.

    පර්ලන්ඩ් සුසාන භූමියේ සොහොන් ගෙය, ජුනි 8
    ෆ්ලොයිඩ් පර්ලන්ඩ් හි සොහොන් ගෙයක තැන්පත් කරනු ඇත

    ඔහුගේ දේහය සඳුදා පැය හයක් පල්ලියේ ප්‍රදර්ශනය කර තිබුණි.

    ජෝර්ජ් ෆ්ලොයිඩ්ගේ හිටපු බිරිද සහ දියණිය

    ෆ්ලොයිඩ් උපත ලැබූ මිනියාපොලිස් සහ උතුරු කැරොලිනාවේ ද අනුස්මරණ සේවා පැවැත්විණි.

    ෆ්ලොයිඩ්ගේ පවුල ගැන බිඩෙන් පැවසුවේ කුමක්ද?

    “ඔවුන් ඇදහිය නොහැකි පවුලක්. ඔහුගේ කුඩා දියණිය එහි සිටියා, ‘තාත්තා ලෝකය වෙනස් කිරීමට යනවා’ යැයි ඇය පැවසුවා. මම හිතන්නේ ඇගේ තාත්තා ලෝකය වෙනස් කරයි කියා,” බිඩෙන් සීබීඑස් හි නෝරා ඔ’ඩොනෙල්ට පැවසීය.

    ජෝ බිඩෙන්ට ජෝර්ජ් ෆ්ලොයිඩ්ගේ පවුල හමුවෙයි
    ජෝ බිඩෙන් ජෝර්ජ් ෆ්ලොයිඩ්ගේ පවුල හමුවෙයි

    “මම හිතන්නේ මෙහි සිදුවී ඇත්තේ ඇමරිකානු ඉතිහාසයේ විශිෂ්ටතම ඇඟවුම් ලක්ෂ්‍යයකි. ඇත්ත වශයෙන්ම, සිවිල් නිදහස, සිවිල් අයිතිවාසිකම් සහ මිනිසුන්ට ගෞරවයෙන් සැලකීම.”

    ජෝ බිඩෙන්: ජෝර්ජ් ෆ්ලොයිඩ්ගේ මරණය “ඇමරිකානු ඉතිහාසයේ විශිෂ්ඨ ප්‍රේරක ලක්ෂ්‍යයක්”

    අවමංගල්‍ය උත්සවයේ ඡායාරූපයක් ටීටීට් කළ ෆ්ලොයිඩ් පවුලේ ප්‍රකාශක බෙන්ජමින් ක්‍රම්ප් කියා සිටියේ ෆ්ලොයිඩ්ගේ ඥාතීන් බිඩෙන් මහතාගේ අදහස් පිළිගන්නා බවයි.

    හිටපු උප ජනාධිපතිගේ සහායකයින් පැවසුවේ අඟහරුවාදා උත්සවය සඳහා වීඩියෝ පණිවිඩයක් ද පටිගත කරන බවයි.

    විශ්ලේෂණ පෙට්ටිය උතුරු ඇමරිකානු වාර්තාකරු ඇන්තනි සර්චර් විසිනි

    සෑම ජනාධිපතිවරණ අපේක්ෂකයෙක්ම ඔවුන්ගේ ඉදිරි මැතිවරණය ඉතිහාසයේ තීරණාත්මක අවස්ථාවක් ලෙස මෙම ඝාතනය දක්වයි.  ජෝ බිඩෙන් මුල සිටම කියා සිටියේ ඇමරිකානුවන්ට ඔවුන් කුමන ආකාරයේ ජාතියක් විය යුතුද යන්න නිර්වචනය කිරීමට නොවැම්බර් මාසය අවස්ථාවක් වනු ඇති බවයි.

    ප්‍රවීණ දේශපාලනඥයෙකුගේ සම්මත වාචාල කතා ලෙස බොහෝ දෙනා එය ප්‍රතික්ෂේප කර තිබේ. කෙසේවෙතත්, දැන් බිඩන්ගේ ප්‍රතිරූපය ගොඩනැඟෙමින් තිබේ.

    පූර්ව ජනමත සමීක්ෂණවලින් පෙනී යන්නේ ජාතිය සහ නීතිය ක්‍රියාත්මක කිරීම පිළිබඳ ඇමරිකානු අදහස් සති කිහිපයකින් නාටකාකාර ලෙස වෙනස් වී ඇති බවත් සාමාන්‍යයෙන් අඩු ප්‍රමුඛතාවයක් ඇති මෙම ප්‍රශ්නය දැන් ඡන්දදායකයින්ගේ මනසෙහි ඉහළින්ම ඇති බවත්ය.

    මීට වසර හයකට පෙර ඇමරිකානුවන්ගෙන් 33% ක් පමණක් කියා සිටියේ පොලිසිය කළු ජාතිකයින්ට එරෙහිව අධික ලෙස බලය යෙදවීමට වැඩි ඉඩක් ඇති බවයි. දැන් එම සංඛ්‍යාව 57% කි. (සුදු ප්‍රතිචාර දැක්වූවන්ගෙන් 49% ක් ද ඇතුළුව)

    කළු ජාතික ඡන්දදායකයින් තම ඩිමොක්‍රටික් ප්‍රාථමික සහයෝගයේ කොඳු නාරටිය බව සලකන බිඩෙන්, මැතිවරණ ආයෝජනය සඳහා හොඳින් ස්ථානගත විය හැකිය.

    මැතිවරණයට අනපේක්ෂිත සිදුවීම් හා චලනයන් මත රැඳී සිටිය හැකි අතර, සාර්ථක අපේක්ෂකයින් රැල්ල හඳුනාගෙන එය ජයග්‍රහණය කරා ගෙන යයි. මාස පහක් ඇමරිකානු දේශපාලනයේ සදාකාලික වන අතර, බිඩෙන් ඔහුගේ මොහොත සොයාගෙන ඇත.

    බී.බී.සී ලෝක සේවය 2020 ජූනි 09 වැනිදා පළ කළ වාර්තාවක් ඇසුරිණි

  • මංගල මන්ත්‍රී දේශපාලනයට සමුදෙයි : අලුත් ගමනකට හැරවුමක් ගනී

    මංගල මන්ත්‍රී දේශපාලනයට සමුදෙයි : අලුත් ගමනකට හැරවුමක් ගනී

    වත්මන් දේශපාලන තත්වය ගැඹුරින් සැලකිල්ලට ගෙන ‘මන්ත්‍රී දේශපාලනයට’ සමුදීමටත්, ඒ අනුව මෙවර මහ මැතිවරණය සටනින් ඉවත්වීමටත් තීන්දු කළ බව හිටපු මුදල් අමාත්‍ය මංගල සමරවීර පවසයි.

    මෙය කිසිඳු ලෙසකින් දේශපාලනයෙන් සමුගැනීමක් හෝ විශ්‍රාම ගැනීමක් නොවන බවත්, මෙරට තුළ ප්‍රජාතන්ත්‍රවාදය, සංහිඳියාව හා සංවර්ධනය වෙනුවෙන් පාර්ලිමේන්තු දේශපාලනයෙන් ඔබ්බට තබන්නාවූ අලුත් පියවරක් බවත් ඔහු කියා සිටියි.

    එඩිතර මාතර ජනතාවගේ ශක්තියෙන් තිස් දෙවසරක් අඛණ්ඩව පාර්ලිමේන්තුව නියෝජනය කළ තමා ඉදිරියටත් මාතර ජනතාවගේ ආශිවාදය අපේක්ෂා කරන බවද ඔහු පැවසිය. 

    ‘සමගි ජන බලවේගයෙන්’ මෙවර මහ මැතිවරණයට මාතර දිස්ත්‍රීක්කයෙන් තරඟ කිරීමට නියමිතව සිටි මංගල සමරවීර එබව සඳහන් කර සිටියේ, මාතර පිහිටි ඔහුගේ නිවසේ අද (ජුනි 09) පස්වරුවේ පැවති සාකච්ඡාකදීය. මාතර දිස්ත්‍රීක්කයේ පළාත් පාලන නියෝජිතයින් ප්‍රමුඛ ක්‍රියාකාරීන් පිරිසක් මෙම සාකච්ඡාවට කැඳවා තිබිණ.

    ඒ අනුව ඉදිරියේ පැවැත්වීමට නියමිත 2020 මහ මැතිවරණයේ ‘සමගි ජන බලවේගයේ’ අපේක්ෂකයකු ලෙස ඡන්ද නාමලේඛනයේ තම නම සටහන්ව තිබුණ ද ඡන්දය ඉල්ලීමෙන් වැලකී සිටින බව පැවසු මංගල සමරවීර, තම අංකය ඉදිරියේ මනාපය සටහන් නොකරන ලෙස මාතර දිස්ත්‍රීක් ජනතාව ගෙන් ඉල්ලා සිටියේය.

    මේ සම්බන්ධයෙන් එක්සත් ජාතික පක්ෂ නායක රනිල් වික්‍රමසිංහට හා සමගි ජන බලවේගයේ නායක සජිත් ප්‍රේමදාසට දන්වා ඇතැයි මංගල සමරවීර කියා සිටියේය.

    එහිදී විශේෂයෙන් ගෝඨාභය රාජපක්ෂ ජනාධිපතිවරයාගේ පාලන කාලය අකාර්යක්ෂම හා අදූරදර්ශී පාලනයක් බවත්, මාස 6ක් වැනි ඉතා කෙටි කාලයක් තුළ එය මැනවින් ඔප්පු කරමින් ඇති බවත්, ජාතිවාදය, ආගම්වාදය පතුරා හරිමින් මිලිටරිකරණයට රට නතු කරමින් සිටින බවත්, ඒ හමුවේ රට දැවැන්ත අර්බුදයක ගිල්වා ඇති මොහොතක විපක්ෂය තමන්ගේ කාර්යය කුමක්ද යන්න හෝ නිවැරදිව වටහාගෙන නොමැතිව කටයුතු කරන බවත් මංගල සමරවීර ප්‍රකාශ කළේය.

    මේ රට ගොඩනැගීමට නම් එක්සත් ජාතික පක්ෂයේ මූලික ප්‍රතිපත්ති ක්‍රියාත්මක විය යුතු බව අවධාරණය කර සිටි හිටපු අමාත්‍යවරයා, පක්ෂය බෙදී වෙන්වීම පිළිබඳව සිය කණගාටුව ප්‍රකාශ කර සිටියේය. 

    තිස්වසරකට අධික කාලයක් මේ රටේ පාර්ලිමේන්තු දේශපාලනය තුළ නොබිඳුණු ප්‍රතිපත්තියක් වෙනුවෙන් තමා කටයුතු කළ බවත්, මේ රටේ ජීවත්වන සියලු මිනිසුන්ගේ ජීවනාලිය, සහජීවනය සහ මිනිස්කම දශමයකින් හෝ ඉහළ නැංවීමේ අරමුණින් ක්‍රියා කළ බව ද  සඳහන් කළ හිටපු අමාත්‍යවරයා, ඒ කාලය තුළ මාතරට මෙන්ම රටට යම් වැඩකොටසක් හෝ සාර්ථකව ඉටුකිරීමට හැකියාව ලැබුණු නමුත් තවත් බොහෝමයක් දෑ රට වෙනුවෙන් කළයුතුව ඇති බව ද එහිදී සඳහන් කර සිටියේය.

    කෙසේ නමුත් මේ රටේ ප්‍රජාතන්ත්‍රවාදය ගරු කරන, සමාජ අනන්‍යතා සංස්කෘතීන් ඉවසන,  එකිනෙකා කෙරේ වෛරයෙන් නොබැඳුණු මිනිස් කැළක් හා එක්ව නිවැරදි සංවර්ධන දිශානතියක් ගොඩනැංවීම වෙනුවෙන් නව දේශපාලන ප්‍රවේශයක ඇරඹුමක් අවශ්‍ය බවත් ඒ සඳහා මේ රටේ මිනිසුන් උප්පත්තියෙන් හිමිකර ගත් ජාතිය, කුලය, ආගම, ජන වර්ගය හෝ ලිංගික අනන්‍යතා සාධක තම හිස මත පුරවා නොගත්, දේශපාලන, සංස්කෘතික හා සමාජ කුහකත්වයෙන් තොර සියලු මිනිසුන්ට ආරාධනා කරන බවත් වැඩිදුරටත් අවධාරණ කර සිටියේය.

    මන්ත්‍රී දේශපාලනයෙන් ඉවත් වුවද තමා දේශපාලනයෙන් සමුගැනීමට හෝ විශ්‍රාම ගැනීමට කිසිඳු ලෙසකින් තීන්දු කර නැතැයි යලි යලිත් අවධාරණය කර සිටි මංගල සමරවීර, අලුත් දේශපාලන ගමනක් ඇරඹීම සඳහා තමාට තිස් වසරකට වැඩි කාලයක් ශක්තිය දුන් එඩිතර මාතර ජනතාවගේ ආශීර්වාදය ඉදිරියටත් බලාපොරොත්තු වන බව ද කියා සිටියේය.

  • 05-11-13 ශ්‍රේණි ජූනි 6 වැනිදා ආරම්භ වෙයි – සම්පූර්ණ කතාව මෙන්න

    05-11-13 ශ්‍රේණි ජූනි 6 වැනිදා ආරම්භ වෙයි – සම්පූර්ණ කතාව මෙන්න

    ශ්‍රී ලංකාවේ පළමු කොවිඩ් ආසාදිතයා හමුවූ මොහොතේ ම දරුවන්ගේ සෞඛ්‍යාරක්ෂාව කෙරෙහි ප්‍රමුඛ අවධානය යොමු කරමින් පසුගිය මාර්තු 13 වැනි දා සිට සියලු පාසල් වැසීමට පියවර ගත් පරිද්දෙන් ම, වෛරසයේ ව්‍යාප්තිය ඉතා කෙටි කාලයක් තුළ යහපත් අන්දමින් පාලනය කළ  කලාපයේ පළමු රට බවට පත්වෙමින්,  අදියර 4ක් යටතේ නැවත පාසල් ආරම්භ කිරීමට අධ්‍යාපන අමාත්‍යාංශය මේ වනවිට පියවර ගෙන  තිබේ.

    රට තුළ පවත්නා සෞඛ්‍යාරක්ෂිත තත්ත්වය පිළිබඳ සෞඛ්‍ය බලධාරීන්ගේ නිර්දේශයන් ද පදනම් කරගනිමින්, අතිගරු ජනාධිපතිතුමන් සහ අගමැතිතුමන්ගේ ද උපදෙස් මත මෙම තීරණය ගත් බව අධ්‍යාපන ක්‍රීඩා හා තරුණ කටයුතු අමාත්‍ය ඩලස් අලහප්පෙරුම මහතා සදහන් කරයි.

    අමාත්‍යවරයා මේ අදහස් පළ කළේ,  මේ සම්බන්ධයෙන් මාධ්‍ය දැනුවත් කිරීම වෙනුවෙන් අද (09) අධ්‍යාපන අමාත්‍යාංශයේ පැවති විශේෂ ප්‍රවෘත්ති සාකච්ඡාවට එක්වෙමිනි.

    එමෙන් ම අගෝස්තු මාසයේ පැවැත්වීමට නියමිත ව තිබූ උසස් පෙළ විභාගය සැප්තැම්බර් මස 07 වැනි දා සිට ඔක්තෝබර් 2 වැනි දා තෙක් පවත්වන බවත්, 5 ශ්‍රේණි ශිෂ්‍යත්ව විභාගය සැප්තැම්බර් 13 වැනි ඉරිදා පවත්වන බවත් අමාත්‍යවරයා සඳහන් කළේය.

    අදියර කිහිපයක් යටතේ පාසල් විවෘත කිරීමේ ක්‍රියාවලිය තුළ පළමු අදියර ජුනි මස 29 වැනි දා සිට ක්‍රියාවට නැංවෙන අතර එහි දී සියලු පාසල්වල විදුහල්පතිවරුන්, ගුරුවරුන්, පාසල් කළමනාකරණ මණ්ඩල සහ  අනධ්‍යයන කාර්ය මණ්ඩල සේවයට පැමිණ පාසල් පරිශ්‍රය තුළ විෂබීජහරණය, පිරිසිදු කිරීම්, කාලසටහන් සකස් කිරීම ඇතුළු පාසල් ආරම්භයට පූර්ව සූදානම සඳහා අවශ්‍ය කටයුතු සම්පාදනය කළ යුතුය. මේ සඳහා ජුලි මස 03 වැනි දා දක්වා කාලය පළමු අදියර යටතේ වෙන් කර ඇත.

    සිසු දරුවන් වෙනුවෙන් පළමුවෙන් ම පාසල් ආරම්භ කිරීමේ කටයුතු සිදුවන්නේ දෙවැනි අදියරේ දී වන අතර, ඒ යටතේ ජුලි මස 06 වැනි  සඳුදා සිට 13, 11 සහ 05 ශ්‍රේණි දරුවන් සඳහා පාසල් ආරම්භ කෙරේ.  තුන්වැනි අදියරේ දී 12 සහ 10 ශ්‍රේණිවල සිසුන් සඳහා  ජුලි මස 20 වැනි දා සිට ආරම්භ කෙරේ. සිවුවැනි අදියර යටතේ පාසල් ආරම්භ කෙරෙනුයේ, ජුලි මස 27 වැනි දා වන අතර, 3,4,6,7,8,9 ශ්‍රේණි සිසුන් මෙම අදියරේ දී පාසල් වෙත කැඳවනු ලැබේ.

    1 සහ 2 ශ්‍රේණිවල සිසුදරුවන් සඳහා පාසල් පැමිණිය යුතු දිනය තවදුරටත් ප්‍රමාද කරන අතර, ඉදිරියේ දී ඒ පිළිබඳ දැනුම් දීමට නියමිත ය. 

    ගත වූ කාල පරිච්ඡේදය තුළ පාසල් දරුවන්ගේ අධ්‍යාපන කටයුතු මඟ නොහැර කරගෙන යාමට මාර්ගගත ක්‍රමය ඔස්සේ ගුරුවරුන් ඇතුළු වෙනත් පාර්ශව රැසක් විශාල සහයෝගයක් ලබාදුන් බව ද, විශේෂයෙන් ම ජනමාධ්‍ය  ඔස්සේ දරුවන්ට ලබාදුන් සහයෝගය ද මෙහි දී කෘතවේදී ව සිහිපත් කරන බව ද අමාත්‍යවරයා වැඩිදුරටත් සඳහන් කළේය. එමෙන් ම ගත වූ අභියෝගාත්මක කාලය තුළ ඇඳිරි නීති මධ්‍යයේ සාමාන්‍ය පෙළ විභාග ප්‍රතිඵල ලබාදීම වෙනුවෙන් ශ්‍රී ලංකා විභාග දෙපාර්තමේන්තුවේ කොමසාරිස් ජනරාල්වරයා ප්‍රමුඛ නිලධාරීන් ලබාදුන් විශිෂ්ට සහයෝගයට  ද ස්තුතිය පළ කළ අමාත්‍යවරයා, අධ්‍යාපන අමාත්‍යාංශය, ජාතික අධ්‍යාපන ආයතනය ප්‍රමුඛ ආයතනවල සියලු නිලධාරීන් ලබාදුන් සහයෝගයට ද සිය ස්තුතිය පළ කළේය.

    දියුණු, නොදියුණු, දුප්පත්, පොහොසත් සියලු සමාජ ස්තරයන් තුළ නවීන තාක්ෂණය අත්පත් කරගැනීම වෙනුවෙන් පැවති උනන්දුව  ගත වූ කාලසීමාව තුළ හඳුනාගත හැකි වූ සුවිශේෂ ලක්ෂණයක් බව ද, කොරෝනාව මාරයෙක් වුව ද එවැනි කරුණු සම්බන්ධයෙන් වෙස්වළාගත් ආශිර්වාදයක් බවට පත්ව ඇති බව ද, පෙන්වා දුන් අමාත්‍යවරයා, ලක්ෂ 50කට ආසන්න ශ්‍රී ලාංකීය දරුවන්  දින 100කට අධික කාල සීමාවක් තුළ නිවාස අඩස්සියෙහි තැබූ මෙම අභියෝගය හමුවේ දරුවන් තාක්ෂණය සමඟ එක්වීම දෙමව්පියන් විසින් සුබවාදී ව දැකීම ද යහපත් ප්‍රවණතාවක් ලෙස සඳහන් කළේය.  පාසල් ආරම්භ කිරීමෙන් පසුව ඊළඟට මුහුණ දීමට සිදුවන අභියෝගය ප්‍රවාහන මාධ්‍ය භාවිතය බව ද, ඉදිරි සතිය තුළ ශ්‍රී ලංකා ගමනා ගමන මණ්ඩලය, පෞද්ගලික බස්රථ සංගමය, පාසල් වෑන් රථ හිමිකරුවන්ගේ සංවිධාන ඇතුළු ප්‍රවාහන අංශයේ බලධාරීන් සමඟ සාකච්ඡා කොට ඒ පිළිබඳ විධිමත් වැඩපිළිවෙළක් සැකසීමට පියවර ගන්නා බව ද අමාත්‍යවරයා වැඩිදුරටත් පැවසීය.

  • Covid-19 රෝගීන්ට ප්‍රතිකාර කළ ‘සුව විරුවන්ට’ තරු පන්තියේ හෝටලයක නිවාඩුවක් !

    Covid-19 රෝගීන්ට ප්‍රතිකාර කළ ‘සුව විරුවන්ට’ තරු පන්තියේ හෝටලයක නිවාඩුවක් !

    කොවිඩ් 19 රෝගීන්ට ප්‍රතිකාර සේවාවන් සපයනු ලබන රෝහල්වල  අධ්‍යක්ෂවරුන් සමග විශේෂ සාකච්ඡාවක් සෞඛ්‍ය හා දේශිය වෛද්‍ය අමාත්‍ය පවිත්‍රා වන්නිආරච්චි මහත්මියගේ ප්‍රධානත්වයෙන් අද දින (09) සෞඛ්‍ය අමාත්‍යාංශයේ ශ්‍රවණාගාරයේ දී පැවැත්විනි

    මෙහිදී රෝහල් අධ්‍යක්ෂවරුන් හා වෛද්‍යවරුන් විසින් කොවිඩ්-19 රෝගීන්ට ප්‍රතිකාර සේවාවන් සිදු කිරීමේ දී රෝගීන්ට සහ සෞඛ්‍ය කාර්ය මණ්ඩලවලට මුහුණදීමට සිදු වන ගැටළු පිළිබදව සෞඛ්‍ය අමාත්‍යතුමිය දැනුවත් කරන ලදි. මෙම ගැටළු පිළිබදව අවධානය යොමු කරමින් ඒ සදහා ගත යුතු ක්‍රියාමාර්ග පිළිබද සෞඛ්‍ය අමාත්‍යාංශයේ ලේකම් මේජර් ජනරාල් සංජීව මුණසිංහ මහතා වෙත උපදෙස් ලබාදෙන ලදි.

    පැවැති සාකච්ඡාවෙන් පසු අදහස් දැක් වූ සෞඛ්‍ය අමාත්‍යතුමිය – මේ වන විට කොවිඩ් -19 රෝගීන්ට ප්‍රතිකාර කිරිම සදහා රෝහල් 10 ක් තෝරාගෙන තිබෙනවා. යම්කිසි පුද්ගලයෙක් කොවිඩ්-19 වෛරසය ආසාදිතයෙකු බවට නිශ්චිතව තහවුරු වූ පසු මෙම රෝහල් 10 තුලින් එකකට ප්‍රතිකාර සේවාවන් සදහා ඇතුළත් කරනවා. එම රෝගියෙකුට දින 14 හෝ දින 28 යනතුරු රෝහලේ රැදී සිටීමට සිදු වෙනවා. එම කාලය තුල වෙනත් රෝගීන්ට මෙන් තමන්ගේ නිවසින් හෝ පිටතින් ගෙනෙන ආහාර ඇතුලු කිසිම දෙයක් ඔවුන්ට ලබාදීම සුදුසු නැහැ. එම නිසා එම කටයුත්ත සිදු වෙන්නේ නැහැ. එබැවින් ඔවුන්ට ප්‍රණීත කෑම වේලක් සහ අනෙකුත් පහසුකම් ලබාදිම අපේ වගකීමක්. පසුගිය කාලය තුල මෙම ප්‍රතිකාර සේවාවන් සිදු කරන රෝහල් වලට නොයෙක් ප්‍රදානයන් ලැබුනා.

    කොවිඩ් 19 රෝගීන්ට ප්‍රතිකාර සේවාවන් සපයන් රෝහල්වල රෝහල් අධ්‍යක්ෂවරුන් ඇතුලු පිරිස් සමග රෝගීන්ට සහ සෞඛ්‍ය කාර්ය මණ්ඩලවලට තිබෙන තිබෙන ප්‍රශ්ණ මොනවාද කියලා අද දින (09) සාකච්ඡා කළා. ඒ අනුව සෞඛ්‍ය ලේකම්තුමාට මා උදෙස් ලබාදුන්නා කොව්ඩි 19 ආසාදිතව ප්‍රතිකාර ලබන රෝගීන්ට ප්‍රණීත ආහාර වේලක් ලබාදීමට අවශ්‍ය මූල්‍ය පහසුකම් ලබාදෙන ලෙස. තම ජිවිත අවධානම ද නොතකා රෝගීන් සමීපයට ගොස් ප්‍රතිකාර සිදුකළ වෛද්‍යහෙද ඇතුලු සෞඛ්‍ය කාර්ය මණ්ඩලවලට අවශ්‍ය සියළු පහසුකම් ලබාදෙන ලෙසත් සෞඛ්‍ය ලේකම් තුමාට උපදෙස් දුන්නා.

    එමෙන්ම අතිගරු ජනාධිපතිතුමා උපදෙස් ලබාදුන්නා කොව්ඩි -19 රෝගීන් සමග දිගු කාලයක් සේවය කළ සෞඛ්‍ය කාර්ය මණ්ඩලවලට ලංකාවේ ඉතාම සුඛෝපභෝගී හෝටල්වල තමන්ගේ පවුලේ අයත් සමග දින දෙක තුනක් විනෝද වෙලා එන්න අවස්ථාව ලබාදෙන්න කියලා. ඒ සදහා ද අවශ්‍ය  කටයුතු කරන ලෙස සෞඛ්‍ය ලේකම් තුමාට මා උපදෙස් ලබාදුන්නා.

    මෙම අවස්ථාවට සෞඛ්‍ය අමාත්‍යාංශයේ ලේකම් මේජර් ජනරාල් සංජීව මුණසිංහ මහතා, සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජනරාල් විශේෂඥ වෛද්‍ය අනිල් ජාසිංහ මහතා, සෞඛ්‍ය අමාත්‍යාංශයේ අතිරේක ලේකම්වරුන් , නියෝජ්‍ය අධ්‍යක්ෂ ජනරාල්වරුන්, ගරු අමාත්‍යතුමියගේ පෞද්ගලික ලේකම් කංචන ජයරත්න මහතා ඇතුලු සේඛ්‍ය අමාත්‍යාංශයේ නිලධාරීන් පිරිසක් ඒක්ව සිටියහ.

  • ජගත් මානව හිමිකම් කොමිසම සමග ශ්‍රී ලංකාව යළිත් පැටලෙයි

    ජගත් මානව හිමිකම් කොමිසම සමග ශ්‍රී ලංකාව යළිත් පැටලෙයි

    මානව හිමිකම් පිළිබඳ එක්සත් ජාතීන්ගේ මහ කොමසාරිස් කාර්යාලයේ පුවත්පත් නිවේදනයේ ශ්‍රී ලංකාව ගැන සඳහන් කිරීම පිළිබඳව ශ්‍රී ලංකාව අවධානය යොමු කළ බව ජිනීවාහි ශ්‍රී ලංකා නිත්‍ය දූත මණ්ඩලය මාධ්‍ය නිවේදනයක් නිකුත් කරමින් සදහන් කරයි.

    ඊයේ (8) දින නිකුත් කළ එම මාධ්‍ය නිවේදනයේ මෙසේ සදහන් වේ.

    ජිනීවාහි එක්සත් ජාතීන් සඳහා ශ්‍රී ලංකා වැඩබලන නිත්‍ය නියෝජිත දයානි මෙන්ඩිස් මහත්මිය, එක්සත් ජාතීන්ගේ මානව හිමිකම් පිළිබඳ මහ කොමසාරිස් මිෂෙල් බැචෙලෙට් වෙත ලිපියක් යවමින් මහ කොමසාරිස්වරිය විසින් 2020 ජූනි 03 දින COVID-19 කාලය තුළ අදහස් ප්‍රකාශ කිරීමේ නිදහස “සීමා කිරීම සඳහා පියවර ගැනීම” සම්බන්ධයෙන් නිකුත් කරන ලද ශ්‍රී ලංකාව පිළිබඳ සඳහනක් තිබූ මාධ්‍ය නිවේදනයක සඳහන් කර ඇති චෝදනා සම්බන්ධයෙන් අවධානය යොමු කර තිබේ.

    විශේෂයෙන්, COVID-19 වසංගත කාලසීමාවේදී, මහජන සෞඛ්‍යය ආරක්ෂා කිරීමේ අවශ්‍යතාවය මත වැරදි තොරතුරු හා සාවද්‍ය තොරතුරුවලට එරෙහිව කටයුතු කිරීමට සියලු රටවල් සහ රජයන් පියවර ගැනීම අත්‍යවශ්‍ය වී ඇති බව මෙම ලිපියෙන් අවධාරණය කෙරේ.මෙම ක්‍රියාමාර්ග 2020 මැයි 18 වන දින ලෝක සෞඛ්‍ය සම්මේලනයේදී (WHA) සම්මත කරන ලද COVID-19 ප්‍රතිචාරය පිළිබඳ සම්මුති යෝජනාවලියට අනුකූල වන අතර, මෙමඟින්, අනෙකුත් දේ අතර, COVID-19 පිළිබඳව  ජනතාවට විශ්වාසදායක හා සවිස්තරාත්මක තොරතුරු ලබා දෙන ලෙසත් වැරදි තොරතුරු හා සාවද්‍ය තොරතුවලට එරෙහිව පියවර ගන්නා ලෙසත්  සාමාජික රටවලින් ඉල්ලා සිටී.


    2020 අපේ‍්‍රල් 01 වන දින ශ්‍රී ලංකාවේ වැඩබලන පොලිස්පතිවරයා විසින් නිකුත් කරන ලද අභ්‍යන්තර නියෝගයේ අන්තර්ගතය පැහැදිලි කරමින්, එම ලිපියෙන් අවධාරණය කෙරෙන්නේ මෙම නියෝගය මගින්  රජයේ සේවකයෙකුට ඔහුගේ / ඇයගේ රාජකාරිය ඉටු කිරීමේදී බාධා කිරීම, රජයේ සේවකයෙකුට වැරදි සහගත ලෙස අවහිර කිරීම, රජයේ සේවකයෙකු ඔහුගේ / ඇයගේ රාජකාරිය ඉටු කිරීමෙන් වළක්වා ගැනීම සඳහා සාපරාධී බලය යෙදවීම, නිරෝධායන නියෝගයකට අකීකරු වීම සහ පරිගණක තාක්ෂණය භාවිත‍යෙන් මහජන නීතිය හා සාමය හා නිරෝධායන ක්‍රියා පටිපාටිවලට බාධා ඇතිකරන ක්‍රියාවන් සිදුකිරීම්වලට අදාළවන නීති උල්ලංඝනය කිරීම් සම්බන්ධයෙන් හැර “හුදෙක් විවේචන හෝ ව්‍යාජ හෝ ද්වේෂ සහගත පණිවුඩ හුවමාරු කර ගැනීම හේතුකොටගෙන පුද්ගලයන් අත්අඩංගුවට ගැනීමට උපදෙස් දී නොමැති බවයි”.

    මෙවැනි පරිමාණයේ ගෝලීය වසංගතයකට මුහුණ දීමේදී ඇතිවන වෙනත් අභියෝග රාශියක් මධ්‍යයේ ශ්‍රී ලංකා රජය COVID-19 සම්බන්ධයෙන් තම ජනතාවගේ සෞඛ්‍යය හා සුරක්ෂිතතාව තහවුරු කිරීමේ කර්තව්‍යයේ මාස ගණනාවක් පුරා නියැලී සිටින බව ද එම ලිපියේ සඳහන් වේ. “ලෝක සෞඛ්‍ය සංවිධානය විසින් ද පැසසුමට ලක් කරන ලද රජයේ අඛණ්ඩ ප්‍රයත්නයන්හි සාර්ථකත්වය මගින් මෙම බෝවන රෝගයේ ව්‍යාප්තිය පාලනය කිරීමට හා මහජනතාව, විශේෂයෙන් සමාජයේ අවදානමට ලක්විය හැකි කොටස් ආරක්ෂා කිරීමට හැකිවූ බව එය නිරීක්ෂණය කළේය. මෙය කිරීමට හැකිවී තිබෙන්නේ බොහෝ දුරට ජාතික වශයෙන් දක්වන ප්‍රතිචාරය සම්බන්ධයෙන්  සියලු පාර්ශවකරුවන් දක්වන  සහයෝගිතාවය මෙන්ම නිවැරදි තොරතුරු මහජනයාට සන්නිවේදනය කිරීම හේතුවෙනි”. “රජය විසින් මෙම පියවර ගෙන ඇත්තේ නිසි නීති ක්‍රියාවලියට අනුකූලව සහ මහජන ආරක්ෂාව සහ සෞඛ්‍යය වෙනුවෙන් මෙම වසංගත කාලසීමාවේදී සමාජයේ සියලු කොටස්වලට හානියක් සිදුකොට ඇති හෝ බලපෑම් ඇතිවීමට ඉඩකඩ ඇති අසත්‍යයන් මැඩපැවැත්වීමේ අරමුණින්” බවද මෙම ලිපියේ දැක්වේ.

    ශ්‍රී ලංකා ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව ප්‍රකාරව මානව හිමිකම් ආරක්ෂා කිරීම හා ප්‍රවර්ධනය කිරීම සඳහා ශ්‍රී ලංකාව දක්වන කැපවීම යළිත් අවධාරණය කරන අතරම, රටවල් මුහුණ දී ඇති පෙර නොවූ විරූ ඉහත අභියෝගයන්ට සංවේදී වන ලෙසත් සහයෝගීතාවයේ නාමයෙන් කටයුතු කරන ලෙසත්  ශ්‍රී ලංකා රජය මානව හිමිකම් පිළිබඳ මහ කොමසාරිස් කාර්යාලයෙන් ඉල්ලා සිටියේය.

  • පොහොර හිගයට හේතු දක්වමින් නිලධාරීන් ජනපති හමුවේ ‘ජාමේ බේරා ගනී’

    පොහොර හිගයට හේතු දක්වමින් නිලධාරීන් ජනපති හමුවේ ‘ජාමේ බේරා ගනී’

    කාබනික පොහොර නිෂ්පාදනය මහා පරිමාණ ව්‍යාපාරයක් ලෙස දියුණු කිරීමෙන් රසායනික පොහොර සඳහා ඇති ඉල්ලුම පහත හෙළිය හැකි බවද ජනාධිපතිවරයා සඳහන් කළේය. ලෝක වෙළෙඳ පොළේ කාබනික පොහොර බෙදාහැරීම ගැන සොයා බැලීමේ අවශ්‍යතාව ද සාකච්ඡාවට ලක් විය.

    පොහොර සැපයුම, බෙදාහැරීම හා භාවිතය ආශ්‍රිතව ගොවි ජනතාවට ඇති ප්‍රශ්නවලට වහා විසඳුම් දෙන්නැයි ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා නිලධාරීන්ට උපදෙස් දෙයි. දීර්ඝ කාලයක සිට වගා කන්න ආරම්භයේ දී පළාත් බොහොමයක පොහොර  ප්‍රශ්නය පැන නගී. කෙටි, මධ්‍ය සහ දිගුකාලීන වශයෙන් ඊට පිළියම් සෙවිය යුතු බව ජනාධිපතිවරයා පවසයි.

    රසායනික පොහොර භාවිතය නිසා පසෙහි ස්වභාවය විශාල වෙනසකට ලක්ව තිබේ. වැඩි අස්වැන්නක් අපේක්ෂාවෙන් ගොවීහූ අධික  පොහොර භාවිතයට හුරු වි සිටිති. මේ තත්ත්වයෙන් ක්‍රමානුකූලව මිදී කාබනික පොහොර භාවිතයට යොමුවීමේ අවශ්‍යතාව ජනාධිපතිවරයා අවධාරණය කරයි.

    පොහොර සැපයුම හා බෙදාහැරීම පිළිබඳ වත්මන් තත්වය සොයා බැලීමට අද (09) දහවල් ජනාධිපති කාර්යාලයේ පැවති සාකච්ඡාවේදී මේ අදහස් පළ කෙරිණි.

    යල කන්නයේ වගාව ආරම්භයත් සමග පොහොර පිළිබඳ ගැටළුව නැවතත් පැන නැගී තිබේ. වී සඳහා ඉහළ මිලක් ලැබීම නිසා ගොවීහූ වැඩිපුර වී වගාවට යොමුව සිටිති. කෘෂි ආනයන සීමා කිරීමත්, වතු වගාව සහ එළවළු පළතුරු සහ ධාන්‍ය වගා කෙරෙන බිම් ප්‍රමාණය ඉහළ යාමද පොහොර ප්‍රශ්නයට මුල්වී ඇති බව  නිලධාරීහූ සහ ආණ්ඩුකාරවරු පෙන්වා දුන්හ.

    උතුරු පලාත් ආණ්ඩුකාර පී.එස්.එම්. චාල්ස් මහත්මිය

    පොහොර භාවිත කළ යුතු ආකාරය පිළිබඳව කෘෂි නිලධාරීන් සහ මාධ්‍ය මගින් ගොවීන් දැනුවත් කිරීමේ වැදගත්කම ජනාධිපතිවරයා අවධාරණය කළේය. උතුරේ ගොවීහූ කාබනික පොහොර භාවිතයට නැඹුරුව සිටිති. ඉන් ලැබෙන අස්වැන්න ගුණාත්මකව සහ ප්‍රමාණාත්මකව ද ඉහළ බව උතුරු පලාත් ආණ්ඩුකාර පී.එස්.එම්. චාල්ස් මහත්මිය කීවාය.

    අතීතයේ මෙන් රටේ සෙසු පළාත්වල ගොවීන්ද කාබනික පොහොර භාවිතයට යොමු කිරීමෙන් ඇතැම් සෞඛ්‍ය ගැටලුවලින් නිදහස් වීමට හැකි බව ජනාධිපතිවරයා පැවසීය.

    කාබනික පොහොර නිසි ප්‍රමිතියකින් නිෂ්පාදනයට විශේෂ අවධානය යොමු කරන ලෙසත්, කාබනික පොහොර ඉක්මණින් භාවිත කළ හැකි වගා මොනවාද යන්න සොයා බලන ලෙසත් ජනාධිපතිවරයා උපදෙස් දුන්නේය.

    කාබනික පොහොර යෙදා ගනිමින් අස්වද්දා ඇති වගාබිම් අත්කරගෙන ඇති ප්‍රගතිය සොයා බැලීමේ අවශ්‍යතාව ද ජනාධිපතිවරයා විසින් පෙන්වා දෙනු ලැබිණ.

    කාබනික පොහොර භාවිතය දිරි ගැන්වීම පිණිස අස්වනු මිලදී ගැනීමේ දී වැඩිමිලක් නියම කිරීමටත් ඒ සඳහා  සහන සැලසීමටත් අවධානය යොමු වී තිබේ.

    කාබනික පොහොර නිෂ්පාදනය මහා පරිමාණ ව්‍යාපාරයක් ලෙස දියුණු කිරීමෙන් රසායනික පොහොර සඳහා ඇති ඉල්ලුම පහත හෙළිය හැකි බවද ජනාධිපතිවරයා සඳහන් කළේය. ලෝක වෙළෙඳ පොළේ කාබනික පොහොර බෙදාහැරීම ගැන සොයා බැලීමේ අවශ්‍යතාව ද සාකච්ඡාවට ලක් විය.

    අමාත්‍ය චමල් රාජපක්ෂ මහතා සහ පළාත් ආණ්ඩුකාරවරු, ජනාධිපති ලේකම් පී.බී. ජයසුන්දර, කෘෂිකර්ම අමාත්‍යාංශයේ ලේකම් මේජර් ජනරාල් (විශ්‍රාමික) සුමේධ පෙරේරා මහත්වරු ඇතුළු නිලධාරීහූ සාකච්ඡාවට එක්ව සිටියහ.