Blog

  • මැදපෙරදිග රටවල පූර්ණ සහය හා සහයෝගිතාව ශ්‍රී ලංකාවට

    මැදපෙරදිග රටවල පූර්ණ සහය හා සහයෝගිතාව ශ්‍රී ලංකාවට

    මැදපෙරදිග රටවල තානාපතිවරු විදේශ සබඳතා අමාත්‍ය දිනේෂ් ගුණවර්ධන මහතා හමුවී ශ්‍රී ලංකාවට පූර්ණ සහය හා සහයෝගිතාව ලබා දෙන බවට සහතික වූ බව විදේශ සබදතා අමාත්‍යාංශය විසින් අද (9) දින නිකුත් කළ මාධ්‍ය නිවේදනය සදහන් වෙනවා.

    එම මාධ්‍ය නිවේදනයේ මෙසේද සදහන් වෙනවා.

    ජුනි මස 8 වැනි දින විදේශ සබඳතා අමාත්‍යාංශයේ දී මැදපෙරදිග රටවල කොළඹ සිටින තානාපතිවරුන් හමු වූ විදේශ සබඳතා, නිපුණතා සංවර්ධන, රැකියා හා කම්කරු සබඳතා අමාත්‍ය දිනේෂ් ගුණවර්ධන මැතිතුමා, පෙර නොවූ විරූ මෙම කොවිඩ්-19 ව්‍යාප්තිය පිළිබඳ ජාත්‍යන්තර තත්ත්වය තුළ දී ශ්‍රී ලාංකික ජනතාව සහ ශ්‍රී ලංකා රජය වෙත ලබා දුන් සහය සහ සහයෝගීතාවය පිළිබඳව එම තානාපතිවරුන් මඟින් එම මැදපෙරදිග රටවල රජයන් වෙත සිය අවංක කෘතඥතාව පළ කළේය.

    මෙම අවස්ථාවට, සෞදි අරාබියේ තානාපති අබ්දුල්නාසර් එච්. අල් හර්ති මැතිතුමා, කුවේටයේ තානාපති කලාෆ් එම්. බු ධෙයාර් මැතිතුමා, ඊජිප්තුවේ තානාපති හුසේන් එල් සහාර්ටි මැතිතුමා, පලස්තීන රාජ්‍යයේ තානාපති සුහයර් හම්දල්ලා සෙයිද් මැතිතුමා යන තානාපතිවරුන් සහ දූත මණ්ඩල ප්‍රධානීන් සහභාගී වූ අතර, එක්සත් අරාබි එමීර් රාජ්‍යයේ හුමයිඩ් අල් තමීමි, කටාර්හි හමාඩ් අල් බුවෙයිනන් හා ඉරාකයේ කුටෙයිබා අහමඩ් අල්කෙරෝ යන වැඩබලන තානාපතිවරු ද ලිබියාවේ අමාත්‍ය අමර් ඒ. එම්. මුෆ්තා මැතිතුමා ද ඒ සමඟ එක්වූහ.

    මැදපෙරදිග ජීවත් වන හා සේවය කරන විශාලතම විදේශගත ප්‍රජාව ලෙස, එම ශ්‍රී ලාංකිකයන්ගේ සෞඛ්‍යය හා ආරක්ෂාව සම්බන්ධයෙන් ගන්නා පියවර පිළිබඳව අගය කිරීමට අමාත්‍ය ගුණවර්ධන මැතිතුමා මෙහි දී අවස්ථාව සලසා ගත්තේය. එම කලාපයෙන් ආපසු පැමිණෙන අය ක්‍රමානුකූල ආකාරයකට ගෙන ඒම සඳහා රජය සැලසුම් කොට ඇති බව ද ඔහු පැවසීය.

    එක් රජයකින් තවත් රජයක් වෙත ක්‍රියාත්මක වන යාන්ත්‍රණයක් තුළින්, මෙම කලාපය සමඟ ආර්ථික හා වෙළඳ සබඳතා වැඩි දියුණු කිරීම හා ශක්තිමත් කිරීම සඳහා ශ්‍රී ලංකාව දක්වන උනන්දුව පිළිබඳව අමාත්‍ය ගුණවර්ධන මැතිතුමා තවදුරටත් සඳහන් කළේය. ශ්‍රී ලංකා තේ සහ පළතුරු හා එළවළු වැනි සඳහා වෙළඳපොළ ප්‍රවේශය පුළුල් කිරීමේ අවශ්‍යතාවය අමාත්‍යවරයා විසින් අවධාරණය කරන ලදී. ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මැතිතුමාගේ රජය යටතේ මෙම සමාජ-ආර්ථික හා දේශපාලන සබඳතා තවදුරටත් ශක්තිමත් කෙරෙනු ඇතැයි ඔහු සුබවාදීව අදහස් පළ කළේය.

    නොබැඳි මිත්‍රශීලී විදේශ ප්‍රතිපත්තියක් අනුගමනය කිරීම සඳහා ශ්‍රී ලංකා රජය දිගටම කටයුතු කරන බව අමාත්‍ය ගුණවර්ධන මැතිතුමා අවධාරණය කළේය. අදාළ එක්සත් ජාතීන්ගේ ආරක්ෂක මණ්ඩල යෝජනා මත පදනම්ව, පලස්තීන ජනතාවගේ අහිමි කළ නොහැකි අයිතිවාසිකම්වලට සහ ස්වාධීන ස්වෛරී රාජ්‍යයක් සඳහා ඇති අයිතියට ශ්‍රී ලංකාව අඛණ්ඩව සහයෝගය ලබා දී ඇති බව ඔහු සිහිපත් කළේය. පලස්තීන ජනතාවගේ ආරක්ෂාව හා යහපැවැත්ම කෙරෙහි ශ්‍රී ලංකාව දක්වන කැපවීම අඩු නොවී පවතින බව ඔහු තවදුරටත් පැවසීය.

    මැදපෙරදිග කලාපය විසින් ලබා දී ඇති සෞදි සංවර්ධන අරමුදල, කුවේට් අරමුදල හා අරමුදල් සපයන වෙනත් නියෝජිතායතන වෙතින් පිරිනැමෙන සංවර්ධන ආධාර පිළිබඳව ස්තූතිවන්ත වන අතර, අමාත්‍ය ගුණවර්ධන මැතිතුමා අනාගතයේ දීද එවැනි සංවර්ධන ආධාර පිළිගන්නා බව පැවසීය. විදේශ සබඳතා අමාත්‍යාංශයේ ලේකම් රවිනාථ ආර්යසිංහ මහතා ද, ශ්‍රී ලාංකිකයන් සුමට ලෙස ආපසු ගෙන්වා ගැනීම සම්බන්ධයෙන් රජය ගෙන ඇති ක්‍රියාමාර්ග විස්තර කළේය.

    පලස්තීන ජනතාවගේ අයිතිවාසිකම් වෙනුවෙන් අඛණ්ඩව සහයෝගය දැක්වීම පිළිබඳව ශ්‍රී ලංකා රජයට ස්තූතිය පුද කළ පලස්තීනයේ ශ්‍රී ලංකා තානාපති සුහයර් හම්දල්ලා සයිද් මැතිතුමා, මැදපෙරදිග හා ශ්‍රී ලංකාව අතර පවත්නා විශිෂ්ට සබඳතා පිළිබඳව ද සිහිපත් කළේය.

    මෙම සාකච්ඡාවට විදේශ ලේකම් රවිනාථ ආර්යසිංහ මහතා සමඟ විදේශ සබඳතා අමාත්‍යාංශයේ ජ්‍යෙෂ්ඨ නිලධාරීහු ද සහභාගී වූහ.

  • මේ ආණ්ඩුව බදුවලට තෙල් ගහලද? තෙල්වලට බදුගහලද? – සුනිල් හඳුන්නෙත්ති

    මේ ආණ්ඩුව බදුවලට තෙල් ගහලද? තෙල්වලට බදුගහලද? – සුනිල් හඳුන්නෙත්ති

    මැයි 20වැනිදා වෙනකොට ලංකාවට තෙල් ගොඩබානකොට සාමාන්‍ය මිල පෙට්‍රල් ලීටරයක් රු.41.79යි. ඩීසල් ලීටරයක් ගොඩබාන මිල රු.44.37යි. ඔක්ටේන් 95 රු.45යි. වරායට රු.41.79කට එන පෙට්‍රල් ලීටරයකට රු.105.58ක් බදු ගහනවා. මේ ආණ්ඩුව කරල තියෙන්නේ තෙල්වලට බදු ගහන එක නෙවෙයි, බදුවලට තෙල් ගහන එකයි. සුපිරි වාහන ගෙන්වනකොට 300%ක බදු ගහනවා වගේ රු.41.79 තෙල් ලීටරයට රු.105ක් බදු ගහලා.

    ජනතා විමුක්ති පෙරමුණ විසින් සංවිධානය කළ විශේෂ මාධ්‍ය සාකච්ඡාවක් අද (9) ජනතා විමුක්ති පෙරමුණේ ප්‍රධාන කාර්යාලයේදී පැවැත් වුණා. ඒ සදහා ජවිපෙ දේශපාලන මණ්ඩල සභික සුනිල් හඳුන්නෙත්ති මහතා සහභාගී වුණා.

    ඉන්ධන ඇතුළු අත්‍යවශ්‍ය භාණ්ඩවලට බදු ගැසීම, ජනපතිවරයා විසින් ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව නොතකා හැර කටයුතු කිරීම, මැතිවරණ කොමිෂමේ සාමාජික රත්නජීවන් හූල් මහතා සම්බන්ධ සිදුවීම මෙන්ම මැතිවරණ කටයුතු සදහා රාජ්‍ය නිලධාරීන් සහභාගී නොකිරීමේ ජනපති තීරණය ඇතුළු වත්මන් ආර්ථික – දේශපාලන ප්‍රවණතා ගැන මෙහිදී සුනිල් හදුන්නෙත්ති මහතා ජනතා විමුක්ති පෙරමුණේ ස්ථාවර පැහැදිලි කළා.

    අතිෂය දීර්ඝ වූ මෙම ජනමාධ්‍ය හමුවේ ඇති කාලීනභාවය නිසා සම්පූර්ණයෙන් පළ කිරීමට අපි තීරණය කළා.

    කොවිඞ් 19 වසංගතයත් එක්ක රටේ ජන ජීවිතය සම්පූර්ණයෙන්ම අඩාල වී ආර්ථික කටයුතු නතර වී රාජ්‍ය යාන්ත්‍රණයත් නතර වුණා. යම් ප්‍රමාණයකට දැන් පරිපාලනය සහ ජනජීවිතය යථා තත්වයට පත් වුණත් ජනතාවගේ ආදායම් මට්ටම යථා තත්වයට පත්වෙලා නැහැ. මෙය යථා තත්වයට පත්වෙන්න නම් ආර්ථික කළමනාකරණය, ව්‍යාපාර, පරිපාලනය, යන සියල්ල යථා තත්වයට පත්වෙන්න ඕනෑ.

    නමුත් ඉදිකිරීම් ක්‍ෂේත්‍රයේ, මේසන් බාස්වරු, වඩු බාස්වරු, ටයිල් වැඩ කළ අය වගේ විවිධ ක්‍ෂේත්‍රවල රැකියා අහිමි වෙලා. ස්වර්ණාභරණ කර්මාන්තය යථා තත්වයට පත්වෙලා නැහැ. පෙරපාසැල් ගුරුවරියන්ගේ ආදායම් අහිමි වෙලා. නගරයේ කාමර කුලියට දීලා ආදායම් හොයාගත්ත අයගේ ආදායම් අහිමි වෙලා.

    පාසල් අධ්‍යාපනය යම් සීමිත පිරිසකට පහසුකමක් වුණත් බහුතර පිරිසකට ඒ අවස්ථාව ගිලිහිලා. අන්තර්ජාල පහසුකම් ලබාගන්න මුදල් ගෙවන්න බැරි මාපියන්ගේ දරුවන්ගේ අධ්‍යාපනය අඩාල වෙලා. මේ ආදී වශයෙන් ජන ජීවිතය එදිනෙදා ආදායම් අතට ඇවිල්ලා වියදම් කිරීමේ සාමාන්‍ය තත්වයට පත්වෙලා නැහැ. 

    මේ වගේ තිබියදී ආණ්ඩුව අත්තනෝමතික විදිහට ජනතාවට බඬේ පහර ගහන්න අත්‍යාවශ්‍ය ආහාර ඇතුළු භාණ්ඩවල බදුමිල වැඩි කරලා. ලෝක වෙළඳපොළේ තෙල්මිල අඩුවීමේ සහනාධාරය සැමන් – පරිප්පුවලින් දෙනවා කී ආණ්ඩුව ඒ ද්‍රව්‍යවලටත් එක්කම විශේෂ වෙළඳභාණ්ඩ බද්ද පැනෙව්වා.

    ලංකාවේ කෘෂිකර්මාන්තය සහ දේශීය කර්මාන්තවලට ආනයනික භාණ්ඩවලින් යම් තර්ජනයක් ඇතිවීම වැළැක්වීමේ අරමුණින් විශේෂ වෙළඳභාණ්ඩ බද්ද ක්‍රියාත්මක කරනවා. දේශීය අල අස්වැන්න නෙළන කාලයට ආනයනික අල අධෛර්යමත් කරන්න, ඒ වගේම ළුෑණු ගලවන කාලයකට විශේෂිත භාණ්ඩ බද්ද පැනවීම උදාහරණක්. හැබැයි ආණ්ඩුව දැන් කරලා තියෙන්නේ අල ළුෑණූ පරිප්පු, සුදුළුණු, හාල් මැස්සන්, කරවල, පොල් තෙල් සීනි වගේ හැම අත්‍යාවශ්‍ය ආහාර ද්‍රවය්‍යකටම බද්ද ගහන එක.

    ආණ්ඩුව මේ වෙනුවෙන් යොදා ගත්තේ වෙන උපක්‍රමයක්. රජයේ සේවකයින්ගේ පඩි කපන්න කියලා පී.බී. ජයසුන්දර මහත්තයා ගහපු චක්‍රලේඛවලට විරුද්ධ වෙනකොට රටේ සමස්ත ජනතාවටම බලපාන විශේෂ භාණ්ඩ බද්ද ගහලා හැමෝම මත බදු බර පැටෙව්වා, මේක පී.බී. සූත්‍රය. මිනිස්සු වැඩියෙන්ම පරිහරණය කරන භාණ්ඩවලට බදු ගහන එක තමයි පී.බී. සූත්‍රය.

    ළුෑණු කිලෝ එකකට රු. 50 ගානේ බද්දක් ගැහුවාම රටේ ඉන්න පවුල් ලක්‍ෂ 60ම එක ලූණු කිලෝ එක ගානේ ගෙනිච්චත් ලක්‍ෂ 3,000ක ආදායමක් ලැබෙනවා. අනෙක් සියලුම භාණ්ඩවල තත්වය මේකමයි. ආණ්ඩුව එදා වේල දුවාගන්න ජනතාවගේ එදා වේලෙන් උදුර ගන්නවා. මේ නිසා කඬේ ප්ලේන්ටිය පවා රු. 25ට නගින්න පටන්ගෙන තිබෙනවා. විශේෂ වෙළඳභාණ්ඩ බද්ද දුප්පත් ගමේ මිනිහාට වදින්නේ මෙහෙම.

    ඉස්සරහට යන්න ආණ්ඩුවට සැලැස්මක් නැති නිසා දෛනිකව කන බොන දේට බදු ගහලා ආදායම් උපයනවා. ආණ්ඩුවෙන් දී තිබෙන මේ දඬුවමට පොහොට්ටුවට ඡන්දය දුන් මනුස්සයාටත් මේ දඩය කන්න වෙලා තියෙනවා. 

    මේ වෙලාවේ, කොරෝනා වසංගතය මර්දනය කරන්න ආණ්ඩුව කටයුතු කරන වෙලාවේ වෙන උත්තර නැහැ. ඒ නිසා අපි මේකට මුහුණ දෙන්න ඕනෑ කියලා කල්පනා කරන අයත් ඉන්නවා. නමුත් ඇත්ත තත්වය ඒක නෙවෙයි. කොරෝනා නිසාම මාස 3ක් පුරා ආණ්ඩුවේ පරිපාලන වියදම් අඩුවෙලා තියෙනවා. වාහන වියදම්, විදුලි වියදම්, නඩත්තු වියදම්, පරිපාලන වියදම් අඩුවෙලා. විශේෂ ව්‍යාපෘති මේ කාලය තුළ සිද්ධ වුණේ නැහැ. මේ නිසා වෙනදා ගිය වියදම්වලින් විශාල මුදල් ප්‍රමාණයක් ඉතිරි වෙනවා. ඒක ලෝකෙත් එහෙමයි. අපේ රටෙත් එහෙමයි.

    සමස්තයක් හැටියට ආර්ථිකය හැකිළෙනවා. ඒ නිසාම රජයේ වියදම් අඩුවීමේ ඉතිරියක් තිබෙනවා. මේ ඉතිරිවුණු සල්ලි මොනවාටද යෙදෙව්වේ කියන ප්‍රශ්නය තියෙනවා. කොවිඞ් 19 අරමුදලක් පිහිටුවලා ඒකට ආධාර ලබාගන්නවා. ඒ ආධාර මුදල්වලින් මොනවාද කරන්නේ? ලෝක වෙළඳපොළේ තෙල් මිල අඩුවීමේ වාසිය ජනතාවට නොදී රු කෝටි 20,000ක අරමුදලක් ආණ්ඩුව පිහිටෙව්වා. 

    මැයි 20වැනිදා වෙනකොට ලංකාවට තෙල් ගොඩබානකොට සාමාන්‍ය මිල පෙට්‍රල් ලීටරයක් රු.41.79යි. ඩීසල් ලීටරයක් ගොඩබාන මිල රු.44.37යි. ඔක්ටේන් 95 රු.45යි. වරායට රු.41.79කට එන පෙට්‍රල් ලීටරයකට රු.105.58ක් බදු ගහනවා. මේ ආණ්ඩුව කරල තියෙන්නේ තෙල්වලට බදු ගහන එක නෙවෙයි, බදුවලට තෙල් ගහන එකයි. සුපිරි වාහන ගෙන්වනකොට 300%ක බදු ගහනවා වගේ රු.41.79 තෙල් ලීටරයට රු.105ක් බදු ගහලා.

    මේ බද්ද එකතුවෙලා තියෙන්නේ රේගු ගාස්තු රු.50යි, එක්සයිස් ඩියුටි රු.27යි. වරාය හා ගුවන්තොටුපොළ ගාස්තුව 7.5%යි. සී.අයි.එෆ්. තක්සේරු ගාස්තුව 2.58%යි. ඊට අමතරව රු.26ක අධිබාරයක් ගහල තියෙනවා. ලෝක වෙළඳපොළේ තෙල් අඩුවෙද්දී රු.26ක අධිබාර බද්ද ගැහුවේ මාර්තු මාසේ 14වැනිදා ඉඳලා බල පැවැත්වෙන පරිදි මහින්ද රාජපක්‍ෂ මහත්තයා.

    මේ බදු ඔක්කොම එකතු කළාම රු.162ක් පෙට්‍රල් ලීටරයකට නියම වෙනවා. ඒ මිල රු.137 දක්වා අඩු කළා කියලා පෙන්වනවා. හැබැයි 137ට දෙන්නේ රු.41ට වරායෙන් ගොඩබාන තෙල් ලීටරයක් බව ජතතාවට හංගනවා. මේක යුක්තිසහගතද? සාධාරණද? තෙල් ලීටරයකට 100%ක බද්දක් ගැහුවත් සාධාරණ නැහැ. එහෙම තියෙද්දී 300%ක බද්දදක් ගහලා.

    කවුරුවත් තෙල් ලංකාවට ගොඩබාන්නේ රු.41ට කියලා ප්‍රවෘත්තිවලින් පෙන්වන්නේ නැහැ. අපි ආණ්ඩුවෙන් අහන්නේ මෙහෙම ගන්න සල්ලිවලට මොකද වෙන්නේ කියලා? ජන ජීවිතය හොඳට ගතකරන සාමාන්‍ය තත්වයක් යටතේ දරාගන්න පුළුවන් ආර්ථිකයක් ඇතුළේ නම් සාධාරණ තර්කයක් කාට හරි ගොඩනගන්න පුළුවන්. නමුත් දැන් එහෙම නෙවෙයි. ජනතාවගේ ආර්ථිකය සම්පූර්ණයෙන්ම වැටිලා තියෙන වෙලාවක්. 

    ඒ වගේම තෙල් සංස්ථාවට අයත් පිරිපහදුවේ පාඩුව රු. මිලියන 5100ක් බව හෙළිවෙලා තියෙනවා. මේ වෙලාවේ ජනතාව මත තෙල් මිල වැඩිවීමට අමතරව පිරිපහදුවේ පාඩුවේ බරත් පටවලා තියෙනවා. ජනතාවට මේ සියලු බර පැටවී තියෙන්නේ ආණ්ඩුවේ නාස්තිකාර වියදම් පාලනය නොකරන නිසා. ආණ්ඩුව කියන්නේ තෙල් පරිහරණය අඩුවීම නිසා ආදායම් අඩුවී තිබෙන බවයි.

    නමුත් ඒක ඇත්ත නෙවෙයි. තෙල් පරිභෝජනය අඩුවීමෙන් ආණ්ඩුවේ ආදායම් අඩුවීමටත් වඩා වැඩි බදු ප්‍රමාණයකින් ආදායම් ඉහළ දාගෙන තිබෙනවා. පෙට්‍රල්, ඩීසල් සෘජුවම බලපාන්නේ ඉන්ධන පාරිභෝගිකයන්ට වුණත් වක්‍රව මුළු රටේම ප්‍රවාහන පද්ධතියට අදාළව ජීවන වියදම ඉහළ යන්න බලපානවා.

    පහුගිය දවස්වල රු. 90ක සහතික මිලක් හාල්වලට නියම කළා. හැබැයි ඒ ආණ්ඩුවම රු.98 දක්වා වැඩිකළා. හාල් මෝල්වල අයිතිකාරයෝ ඉස්සරහ ආණ්ඩුව දණ ගහලා මිල වැඩිකිරීම කළා. හාල් මාෆියාම ආණ්ඩුවේ බෙල්ල මිරිකන කොට, ආණ්ඩුව එදා වේල ගත කරන්න ජනතාවගේ බෙල්ල මිරිකනවා. තෙල් මාෆියාවෙන් කරන්නෙත් ඒක.

    මේ තත්වයෙන් ගැලවෙන්න ඕනෑ. හැම දේම කොරෝනා පිට තියලා නිහඬව දරා ගන්න කියලා ආණ්ඩුව එල්ල කරමින් තිබෙන පීඩනය කවුරු දරාගන්න ලැහැස්ති වුණත් අපි ඒකට ලැැහස්ති නැහැ. හේතුව ඇත්තටම ජනතාවට සහනයක් දෙන්න පුළුවන් වෙලාවක් මේක. ජනතාවට සහනයක් අවශ්‍ය වෙලාවක් මේක. ජනතාවට අත්‍යවශ්‍ය ආහාර පාන පවා ලබාගන්න අසීරුවෙන් ඉන්න වෙලාවක ප්ලේන්ටියක් රු. 25කට බොන්න සිද්ධ වෙලා නම් අපි ආණ්ඩුවට බල කරනවා තෙල්වල බද්දෙන් ආණ්ඩුව උපයන ආදායම් ජනතාවට දිය යුතුයි කියලා. විශේෂ වෙළඳ  භාණ්ඩ බද්ද වගේ පීඩාකාරි බදු ඉවත් කරලා ජනතාවට සහන ලබාදිය යුතුයි. අපි ජනතාවත් එක්ක ඒ සඳහා හඬ නැගීම් කරනවා. 

    තවත් වැදගත් කාරණයක් මතක් කරන්න තියෙනවා. පුරවැසියෝ හැටියට අපි කවුරුත් මොන විවේචන තිබුණත් පවතින ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවට යටත්. මේ ව්‍යවස්ථාවේ විවිධ වගන්ති යොදාගෙන ආණ්ඩුව ගේම් ගහන්න පටන්ගෙන තිබෙනවා. ආණ්ඩුවකට එහෙම ගේම් ගහන්න බැහැ. පහුගිය මැයි මාසේ 31වැනිදා මුදල් අමාත්‍යාංශයේ ලේකම්වරයා විසින් අයවැය චක්‍රලේඛ III/2020 ඉදිරිපත් කර තිබෙනවා. 2020ට අයවැය ඉදිරිපත් කරලා පාර්ලිමේන්තුවේ සම්මත කරලා නැහැ. හැබැයි අයවැය චක්‍රලේඛයක් කියලා බිලියන 1023ක් ඒකාබද්ධ අරමුදලින් ජූනි 01 ඉඳලා අගෝස්තු 31 දක්වා අමාත්‍යාංශවලට මුදල් වෙන් කිරීමේ ක්‍රමවේදයක් හදාගෙන තිබෙනවා.

    පාර්ලිමේන්තුව රැස් නොකර මාස 3කට ආණ්ඩුව අයවැයක් ඉදිරිපත් කර තිබෙනවා. ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ 150(3) වගන්තිය ආයෙත් සැරයක් යොදාගෙන තිබෙනවා. මේ සඳහා අතිගරු ජනාධිපතිතුමා විසින් බලය ලබාදී තිබෙන බව චක්‍රලේඛයේ සඳහන් වෙනවා. ජනාධිපතිතුමාට මෙහෙය බලයක් ලබාදෙන්න බැහැ.

    150(3) වගන්තියේ ඉතා පැහැදිලිව තිබෙන්නේ අයවැය ඉදිරිපත් කරලා නැති වෙලාවක ජනාධිපතිවරයා පාර්ලිමේන්තුව විසුරුවා හැර තිබෙන අවස්ථාවක රජයේ සේවාවන් සඳහා පාර්ලිමේන්තුවෙන් මුදල් වෙන්කර නැති තත්වයක් තුළ “අභිනව පාර්ලිමේන්තුව රැස්වන දින සිට” මාස 3ක් සඳහා මුදල් වෙන්කර ගැනීමේ හැකියාව ජනාධිපතිවරයාට ලබාදී තිබෙන බවයි. හැබැයි මේ  වෙලාවේදී අභිනව පාර්ලිමේන්තුව රැස්වීමේ තත්වයක් නැහැ.

    මේ ගොල්ලෝ ජූනි 01වැනිදා ඉඳලා අගෝස්තු 31 දක්වා රු. බිලියන 1023ක් වෙන්කරගන්න අයවැය චක්‍රලේඛයක් විදිහට වෙන්කර ගැනීම කරලා තියෙන්නේ අභිනව පාර්ලිමේන්තුව රැස්වීමේ තත්වයක් තුළද කියන ප්‍රශ්නය අපිට අහන්න වෙනවා. මෙහෙම දේකට කවුද බලය දීලා තිබෙන්නේ? 

    මේ චක්‍රලේඛයේ එක වගන්තියකිනුත් එහෙම බලයක් නැති බව ඔප්පු වෙනවා. පස්වැනි වගන්තියෙන් කියවෙන්නේ “මෙම කාලය තුළ ගෙවීම් වවුචර්වල සහ ලියකියවිලිවල අදාල අධිකාරිය ලෙස සඳහන් කල යුතු වන්නේ ආන්ඩුක්‍රම ව්‍යවස්ථාවේ 150(3) අනු ව්‍යවස්ථාව යටතේ වන අධිකාරිය  යන්නයි”.

    මේ අනුමත කළ මුදල්වලින් ගෙවනකොට ඒ වවුචර්වල සහ අනෙකුත් ලියකියවිලිවල මේ විදිහයට සඳහන් කිරීමෙන් කියවෙන්නේ ජනාධිපතිවරයාගේ නියමය අනුව ගෙවීම් කළ බවයි. මුදල් අමාත්‍යාංශයේ ලේකම් ආටිගල මහත්තයා චක්‍රලේඛය නිකුත් කරලා තියෙන්නේ අමාත්‍යාංශවල සහ දෙපාර්තමේන්තුවල ගෙවීම් ප්‍රධානියා ජනාධිපතිවරයා නෙවෙයි, මුදල් අමාත්‍යාංශයේ ලේකම් බව එතුමා දන්නවා.

    අමාත්‍යාංශ ලේකම් වෙනුවට අර ඡේදය සඳහන් කරලා මුදල් අමාත්‍යාංශයේ ලේකම්තුමා නිදහස් වීමේ උත්සාහයක යෙදී ඉන්නවා. ජනාධිපතිතුමා පිට තියලා බේරෙන්න උත්සාහයක් මේ කර තියෙන්නේ. 19වැනි ව්‍යවස්ථා සංශෝධනය අනුව අමාත්‍යාංශවල ගෙවීම් සම්බන්ධ බලය ජනාධිපතිවරයාට නැහැ. මේ නිසා මුදල් අමාත්‍යාංශ ලේකම්වරයා මේ ගෙවීම් සම්බන්ධ වගකීම ජනාධිපතිවරයා පිට තියලා මේක බරපතල වරදක්. ජනාධිපතිවරයාත් අමාරුවේ දාන වැඩක්. ජනාධිපතිතුමාට මේ උපදෙස් දෙන්නේ කවුද කියලා අපිට හිතාගන්න බැහැ.

    ව්‍යවස්ථාව උල්ලංඝනය කර වැඩ කිරීම ඉතා බරපතළ දෙයක්. 150(3) වගන්තිය පාවිච්චි කරලා මෙවැනි අයවැයක් ඉදිරිපත් කරන අත්තනෝමතික බලය ව්‍යවස්ථා විරෝධී වරදක් බව දැන දැන දිගින් දිගටම සිද්ධ කරනවා. මීට ඉස්සර මාර්තු මස 06වැනිදාත් මේ වැඬේ කර තිබෙනවා. දැක් කෙලින්ම අයවැය චක්‍රලේඛ ඉදිරිපත් කරන තත්වයට ගමන්කර තිබෙනවා. 

    මේවා දිහා ඇස් කණ් පියාගෙන බලා ගෙන ඉන්න සුදුහුණු දාග අයට පුළුවන් වුණාට අපට බැහැ. මේ ව්‍යවස්ථාවට අපේ විවේචන තිබෙනවා. තව කෙනෙක් ව්‍යවස්ථාව පිළිගන්නේ නැතිව ඉන්න පුළුවන්. නමුත් ව්‍යවස්ථාවට කවුරුත් යටත්. ඒ ව්‍යවස්ථාව තමයි දැන් ආණ්ඩුව උල්ලංඝනය කරලා තියෙන්නේ. ආණ්ඩුව ජනතාවට දෙන්න තියෙන සහන කප්පාදු කරලා, ජනතාව පිට බදු බර පටවලා දිගින් දිගටම ව්‍යවස්ථා විරෝධීව කටයුතු කරමින් ඉන්නවා.

    මේ සම්බන්ධයෙන් සමාජ මතයක් හැදෙන්න ඕනෑ. මේ වැරැද්ද නිවැරදි කරන තුරු අපි ආණ්ඩුවට විරුද්ධව කටයුතු කරනවා. ඒ වගේම ජනතාවට සහන ලබාදෙන්න කියලා බලපෑම් කරනවා. රටේ ප්‍රජාතන්ත්‍රවාදය පැත්තෙන් ආණ්ඩුව එල්ල කරන බරපතළ උල්ලංඝනය කිරීම් හෙළා දකිනවා. මේ සම්බන්ධයෙන් සියලු දෙනාගේ ඇස් අරින්න කියලා අපි ඉල්ලීමක් කරනවා. පවතින තත්වය පිළිබඳව ජනතාවටත් අවදියෙන් ඉන්න කියලා ඉල්ලීමක් කරනවා. 

    මාධ්‍යවේදීන් නැගූ ප්‍රශ්නවලට පිළිතුරු දෙමින්…

    තෙල් සංස්ථාවේ පාඩුව පියවා ගන්න ජනතාව මත බර පටවන්න ඔය පාඩු කළේ ජනතාව නෙවෙයි. තෙල් ටැංකි ටික අයි.ඕ.සී. එකට දුන්නෙ ජනතාවට කියලා නෙවෙයි. ලාභ ලබන ෂෙඞ් ටික තෝරලා අයි.ඕ.සී. එකට දුන්නේ ජනතාවට කියලා නෙවෙයි. තෙල් සංස්ථාවට ලැබුණු ඒකාධිකාරිය දුන්නේ ජනතාවට කියලා නෙවෙයි.

    තෙල් සංස්ථා පිරිපහදුවෙන් තිබුණු ලාභයෙන් විතරක් මහවැලි, තම්මැන්නා, ජන ශක්ති කියලා නැව් 3ක් ලංකාවට මිලදී ගෙන තිබුණා. එහෙම ලාභ ලබන තෙල් පිරිපහදුව මිලියන 5,000ක් පාඩු සිදුකළේ ජනතාව නෙවෙයි. අකාර්යක්‍ෂමතාවය, හොරකම්, දූෂණවලට මුල් වෙලා ඉන්නේ ආණ්ඩුවෙන්ම පත්කරගත්ත ලොක්කො ටික. ඒ නිසා මේ පාඩුව ජනතාව පිට පටවන්න දෙන්න ඕනෑ නැහැ. 

    හූල් මහත්තයා කිව්ව කියන්නේ දූෂිතයින්ට, රැවටිලිකාරයින්ට ඡන්දය දෙන්න එපා කිවු බව නේ. ජී.එල්. පීරිස් මහත්තයා කියන්නෙ ඒ කතාව පොහොට්ටුවේ ඡන්දවලට බලපෑමක් වුණා කියලා. ඕක නිවැරදි කරන්න වෙන්නේ හූල් මහත්තයටම තමයි. මොන භාෂාවෙන් කිව්වත් හූල් මහත්තයට උත්තර දෙන්න තියෙන්නේ රැවටිලිකාරයන්ට, වංචනිකයන්ට ඡන්දය දෙන්න කියලාද? ඒ ප්‍රකාශයත් ජී.එල්. පීරිස් මහතත්යා බාර ගන්නවාද? ඒක එතුමගේ පුද්ගලික අදහස මිසක් මැතිවරණකොමිෂන් සභාවේ අදහසක් නෙවෙයි. අනෙක් අතට මැතිවරණ කොමිෂන් සභාව එහෙම කිව්වත් ඒක වරදක්ද? අනෙක් පැත්තෙන් රැවටිලිකාරයින්ට, දූෂිතයින්ට ඡන්දය දෙන්න එපා කියන එක එල්.ටී.ටී.ඊ. මතයක් කියලා මටනම් පේන්නේ නැහැ. මේක සියලු ජනතාව විසින් කරන්න ඕනෑ ඉල්ලීමක් කියලයි මම කියන්නේ. 

    මූල්‍ය බලය පිළිබඳව 150(3) වගන්තිය යොදා ගැනීම වළක්වන සහනයක් ශ්‍රේෂ්ඨාධිකරණයෙන් ඉල්ලලා තිබුණේ නැහැ. පෙත්සම්වලින් ඉල්ලලා තිබුණේ මැතිවරණයට අදාළ ගැසට් නිවේදනය අවලංගු කරන්න කියලයි. ශ්‍රේෂ්ඨාධිකරණයේද මේ ගැන විතරක් සාකච්ඡා වුණු නිසා මූල්‍ය බලය පිළිබඳව ප්‍රශ්නය යට ගියා. ඒ යට යාම විසින් මේ වරද නිවැරදි වෙන්නේ නැහැ. අතුරු සම්මත ගිණුමක් පාර්ලිමේන්තුවේ යෝජනා ස්ථිරත්වයකින් සම්මත විය යුතුයි. ඩී.බී, ජයතිලක මහත්තයාගේ කාලයේ ඉඳාලාම අතුරු සම්මත ගිණුම් සම්බන්ධයෙන් මේ තත්වය අනුගමනය කරලා තිබෙනවා. ආණ්ඩුවට මුදල් සම්මත කර ගැනීම පිළිබඳ ගැටලුවක් තිබෙනවා නම් ශ්‍රේෂ්ඨාධිකරණයෙන් ඒ ගැන මතය විමසන්න ඕනෑ. 

    ජනාධිපතිතුමා කියලා තිබුණා මැතිවරණ කටයුතුවලට ආයතන ප්‍රධානීන් පත්කර ගන්න එපා කියල. එහෙම කරන තැන්වලදී දැඩි නීතිමය පියවර ගන්නා බවත් දඬුවම් කරන බවත් කියලා තිබුණා. එහෙම නම් එතුමාම පත්කරපු කට්ටිය අයින් කර ගන්න පළවැනි පියවර ගන්න වෙන්නේත් එතුමාටම තමයි. ඒ දේශපාලන පත්වීම් දීලා තියෙන්නේත් එතුමාම තමයි. කාර්ය සාධක බළකායන්ට පත් කරලා තියෙන හුඟක් අය මහ මැතිවරණයෙන් ජාතික ලැයිස්තුවේ ඉන්න අපේක්‍ෂකයින්.

    එහෙම නම් මුලින්ම කාර්ය සාධක බලකායෙන් අයින් කරන්න වෙන්නේ බැසිල්  රාජපක්‍ෂ මහත්තයා. පොහොට්ටු පක්‍ෂයේ ප්‍රධාන නිලයක් බැසිල් රාජපක්‍ෂ මහත්තයා දරමින් කොරෝනා මර්දන කාර්ය සාධක බලකායේ ඉන්නවා. ඒ වගේම චරිත හේරත් මහත්තයත් ඉන්නවා. නිලධාරීන් මැතිවරණ කටයුතුවලට දේශපාලනිකව මැදිහත් වෙන්න එපා කියලා තියෙනවා නම් ඒ ප්‍රකාශයට අපි ගරු කරනවා. හැබැයි ඒ ප්‍රකාශය වැඩියෙන්ම අදාළ වෙන්නේ ජනාධිපතිතුමාම පත්කළ අයටයි. නඩුත් හාමුදරුවන්ගේ, බඩුත් හාමුදුරුවන්ගේ. 

    ඇවන්ගාඞ් චෝදනා සම්බන්ධයෙන් ඇප පිට ඉන්න කෙනෙක් ඉදිරිපත් කරන තර්ක අපි ගණන් ගන්නේ නැහැ. රක්නා ලංකා ආයතනය සම්බන්ධයෙන් කෝප් කමිටුව පරීක්‍ෂණ කරලා වාර්තාවක් ඉදිරිපත් කර තිබෙනවා. අන්න ඒ සම්බන්ධයෙන් කටයුතු කිරීමේ වගකීමත් ජනාධිපතිතුමාට තිබෙනවා.

    ඒ හැර හොරෙක් ඇවිල්ලා අභියෝග කළාට අපි බාර ගන්නවාද? ඔය විදිහට ඇලෝෂියස් ඇවිල්ලා ගේම ඉල්ලුවොත් එහෙම අපි බාර ගන්නවාද මේ කියන අනුග්‍රහ අනුව හෙට අනිද්දා එහෙම වෙන්නත් බැරි නැහැ. මොන තරම් පිරිහීමක්ද මේ තියෙන්නේ? මේවා වැඩිපුරම වාර්තා කරන මාධ්‍යය බලන්න ඕනෑ මේ කතා කියන්නේ කවුද කියලා. ඔය චරිත පුම්බන්නේ මොකටද? හිරේ ඉන්න ඕනෑ හාදයෝ රජ පුටුවේ තියන ජාතියේ වැඩනේ දැන් සිද්ධ වෙන්නේ.

  • රනිල්ගේ බෑනා රුවනුයි – අර්ජුනයි ගම්පහ මන්ත්‍රීකමට මරා ගන්නවා !

    රනිල්ගේ බෑනා රුවනුයි – අර්ජුනයි ගම්පහ මන්ත්‍රීකමට මරා ගන්නවා !


    අපිට ආරංචි විදිහට ගම්පහට කඩා පාත් වුණ එක්සත් ජාතික පාක්ෂිකයෙක් පවා නොවන හිටපු ක‍්‍රිකට් ලොක්කා, අර්ජුන රණතුංග මහතා සහ එජාප නායකයාගේ බෑනා වන රුවන් විජේවර්ධන අතර දැවැන්ත සීතල යුද්ධයක් තිබෙනවා. ඔවුන් ප‍්‍රාදේශීය සභා මන්ත‍්‍රීවරුන්ට සහ ශාඛා සමිතිවල නායකයින්ට දිගින් දිගටම බලපෑම් කරමින් ඉන්නවා.

    සුදුස්සාට සුදුසු තැන නොදී හිතමිතුරන්ට පක්ෂයේ සහ ආණ්ඩුවේ ඉහළ තනතුරු ලබා දීමට කළ යුතු කළ එක්සත් ජාතික පක්ෂ නායකත්වය මෙවර මහ මැතිවරණයේදී මතක සිටින පාඩමක් ඉගෙන ගනු ඇතැයි සමගි ජනබලවේගයේ ගම්පහ දිස්ත‍්‍රික් අපේක්ෂක හිටපු පළාත් සභා මන්ත‍්‍රී යූ. ජෝර්ජ් පෙරේරා මහතා පැවසීය.

    ඊයේ (7) කිරිල්ලවල රංජිත් ප්‍රේ‍්‍රමතිලක මහතාගේ නිවසේ පැවැති ජනහමුවකදී මේ බව සදහන් කළ යූ. ජෝර්ජ් පෙරේරා මහතා වැඩි දුරටත් කියා සිටියේ සාම්ප‍්‍රදායික ශ‍්‍රී ලංකා නිදහස් පක්ෂ බලකොටුවක් වන මහර ආසනයෙන් මෙවර සමගි ජනබලවේගය ඓතිහාසික ඡන්ද ප‍්‍රමාණයක් ලබා ගන්නා බවයි.

    එහිදී වැඩි දුරටත් අදහස් දක්වමින් යූ.ජෝර්ජ් පෙරේරා මහතා මෙසේද පැවසුවේය.

    එක්සත් ජාතික පක්ෂය කියන්නේ අපේ පරම්පරා තුනක් නියෝජනය කළ පක්ෂයක්. මගේ සීයා වගේම පියත් එක්සත් ජාතික පක්ෂය වෙනුවෙන් දැඩි කැපකිරිමක් කළා. මාත් පසුගිය දශක තුනකට ආසන්න කාලය පුරාම එක්සත් ජාතික පක්ෂය වෙනුවෙන් දැවැන්ත කැප කිරීමක් කළා. අපේ ශක්තියෙන්, කැපවීමෙන් තමයි පක්ෂය මෙපමණ කාලයක් ජනබලය රැක ගත්තේ.

    ඒත් එජාපයේ වත්මන් නායක රනිල් වික‍්‍රමසිංහ මහතා පක්ෂ නායකත්වය ලබා ගත් දා සිට පක්ෂයට සෙනසුරු අපලය ලැබුවා. පාක්ෂිකයින් සහ මන්ත‍්‍රීවරුන්, ආසන සංවිධායකවරුන් දැවැන්ත කැප කිරීම් කරලා ආණ්ඩු බලය ලබා දුන් 2001 දී වගේම 2015දීත් ආණ්ඩු බලය රැක ගන්න එතුමාට නොහැකි වුණා. ඒ වගේම පාක්ෂිකයින් වෙනුවෙන් කිසිම සේවයක් ඉටු කළේ නැහැ. පාක්ෂිකයින් දිහා ඇහැක් ඇරලා බැලුවේ නැහැ. පක්ෂය ශක්තිමත් කිරීමක් ගැන හිතුවේ නැහැ.

    ඒ වෙනුවට එතුමගේ රාජකීය විදුහලේ මිතුරෝ ළං කරගෙන සියලු තනතුරු සහ වරප‍්‍රසාද දෙමින් පක්ෂය විනාශ කළා. පාක්ෂිකයින් පක්ෂයෙන් ඈත් කළා. එහි ප‍්‍රතිඵල තමයි අපි අදත් මේ විදවන්නේ.

    2015දී එක්සත් ජාතික පාක්ෂිකයෝ දැවැන්ත කැප කිරීමක් කරලයි ජනාධිපතිවරණය ජයග‍්‍රහණය කරලා දුන්නේ. ඒත් ඒ බලය රැක ගන්න එතුමාට නොහැකි වුණා. එතුමගේ රාජකීය මිත‍්‍රයෝ සහ පන්ති සගයෝ ඒ ආණ්ඩුව විනාශ කළා. ඒ නිසා අපිට නියමිත කාලයට පෙර, ආණ්ඩු බලය, ජනාධිපති බලය නැතිව මහ මැතිවරණයට යාමට සිදු වුණා. මේ සියලු දේවලින් පීඩාවට පත් වන්නේ එක්සත් ජාතික පාක්ෂිකයෝ.

    පක්ෂයට, පාක්ෂිකයින්ට අඛණ්ඩව, දිගින් දිගටම සිදුවෙන මේ අගතිය, පීඩනය තව දුරටත් දරා ගන්න නොහැකි නිසයි සජිත් පේ‍්‍රමදාස මැතිතුමා සහ අපේ නායකයෝ සියලු දෙනා එකතු වෙලා සමගි ජනබලවේගය නිර්මාණය කළේ.

    එදා ඩී.එස්. සේනානායක, ඩඩ්ලි සේනානායක, ජේ.ආර්. ජයවර්ධන සහ ආර්. පේ‍්‍රමදාස මහතා දිනා දුන් එක්සත් ජාතික පක්ෂයේ නියම උරුමය, සැබෑ උරුමය තියෙන්නේ සමගි ජනබලවේගය තුළයි. අද එක්සත් ජාතික පක්ෂයේ සියයට 99ක්ම ඉන්නේ සමගි ජනබලවේගය සමගයි. ඒ නිසා අපි නොබියව කියනවා මෙවර ගම්පහ දිස්ත‍්‍රික්කයෙන් සමගි ජනබලවේගය සැබෑ ජනවරමක් ලබා ගන්නවා. විශේෂයෙන් ශ‍්‍රී ලංකා නිදහස් පක්ෂයේ බලකොටුවක් වන මහර ආසනයෙන් ඓතිහාසික ඡන්ද ප‍්‍රමාණයක් ලබා ගන්නවා.

    මෙහිදී ඉතාම වැදගත් දෙයක් සදහන් කළ යුතුයි. ඒ තමයි පසුගිය නොවැම්බර් 17 වැනිදා පැවැති ජනාධිපතිවරණයේදී වත්මන් ආණ්ඩුවට තිබුණ ජනතා ආකර්ෂණය අද නැහැ. ජනතාවට දැන් ඇත්ත තත්ත්වය මනාව පැහැදිලි වෙලා තිබෙනවා. ජනතාව දැන් දන්නවා නොවැම්බර් 17 වැනිදා තමන්ව රැවටුණ බව. ජීවන වියදම වේගයෙන් ඉහළ යමින් තිබෙනවා.

    ආණ්ඩුවට කිසිම ආර්ථික ප‍්‍රතිපත්තියක් නැති නිසා ආර්ථිකය වේගයෙන් දුර්වල වෙනවා. මේක කොරෝනා නිසාම ඇති වුණ තත්ත්වයක් නොවෙයි. කොරෝනා නාවත් මේ ආර්ථික අහේනියට මුහුණ දෙන්න ජනතාවට සිද්ධ වෙනවා. ඒ නිසා මේ රටේ තීරණාත්මක ජන කොටස වන මධ්‍යස්ථ ඡන්දදායකයා අද ආණ්ඩුව වෙතින් ඉවත් වෙමින් සිටිනවා. මහ මැතිවරණය ළං වන විට ඒ තත්ත්වය තව දුරටත් වර්ධනය වන බව පැහැදිලියි. ඒ නිසා අපිට ආණ්ඩුවට තීරණාත්මක අභියෝගයක් කරන්න හැකියාව තිබෙනවා.

    මෙහිදී මා යළිත් එක්සත් ජාතික පක්ෂය ගැන සදහන් කළ යුතුයි. මෙවර මහ මැතිවරණයේදී එක්සත් ජාතික පක්ෂයට ගම්පහින් එක ආසනයක්වත් දිනා ගැනීමට හැකියාව ලැබෙයිද කියන එක සැකයි. ඒ නිසා අද එක්සත් ජාතික පක්ෂයේ අභ්‍යන්තරයේ විශාල බෙලිකැපීමක් සිද්ධ වෙනවා. ඒ වාසනාවටවත් ගම්පහින් ආසනයක් ලැබුණොත් ඒකට පත් වෙන්නේ කවුද කියලා.

    අපිට ආරංචි විදිහට ගම්පහට කඩා පාත් වුණ එක්සත් ජාතික පාක්ෂිකයෙක් පවා නොවන හිටපු ක‍්‍රිකට් ලොක්කා, අර්ජුන රණතුංග මහතා සහ එජාප නායකයාගේ බෑනා වන රුවන් විජේවර්ධන අතර දැවැන්ත සීතල යුද්ධයක් තිබෙනවා. ඔවුන් ප‍්‍රාදේශීය සභා මන්ත‍්‍රීවරුන්ට සහ ශාඛා සමිතිවල නායකයින්ට දිගින් දිගටම බලපෑම් කරමින් ඉන්නවා.

    ඔවුන් අද ආණ්ඩුවට වඩා ඉලක්ක කරන්නේ සමගි ජනබලවේගයයි. සජිත් පේ‍්‍රමදාස මහතායි. ඒ නිසා අපි එක්සත් ජාතික පාක්ෂිකයින්ට ගෞරවයෙන් මතක් කරනවා අද එජාපය කියන්නේ අලියා ගිල්ල දිවුලක් වාගේ රොඩ්ඩක්. එජාපයේ නියම සාරය, ජීවය තියෙන්නේ සමගි ජනබලවේගය තුළයි. ඒ නිසා මේ රටේ දැවැන්ත ස්ථාවර ඡුන්ද පදනමට හිමිකම් කියපු එජාපයේ ඡුන්දවලින් සියයට 99ක්ම සමගි ජනබලවේගය වටා එක් වෙමින් තිබෙනවා.

    මෙහිදී එක්සත් ජාතික පක්ෂයෙන් තමා ද ඇතුළු 99 දෙනකු නෙරපීම ගැන අදහස් දක්වමින් ජෝර්ජ් පෙරේරා මහතා කියා සිටියේ එය ප‍්‍රාදේශීය සභා මන්ත‍්‍රීවරුන් බිය ගැන්වීම සඳහා ගෙන යන බිය ගැන්වීමේ වැඩපිළිවෙළක් බවයි.

    ‘‘මම වගකීමෙන් කියන්නේ. ඔය ලියන 99 දෙනා අතර මගේ නම 11 වැනියට තිබෙන්නේ. ඒත් අද වෙනතුරු අපිට එරෙහිව විනය පරීක්ෂණයක් තියන්න දිනයක් හෝ චෝදනා ගොනු කිරීමක් කරලා නැහැ. අපි කියන්නේ අපි පක්ෂයේ විනය කැඩුවා නම් අපිට චෝදනා ගොනු කරලා විනය පරීක්ෂණයක් තියන්න. අපිට ඒවා ලිඛිතව දැනුම් දෙන්න. එහෙම නොකර අපිට සහයෝගය දෙන ප‍්‍රාදේශීය සභා මන්ත‍්‍රීවරු, නගර සභා මන්ත‍්‍රීවරුන් බිය ගැන්වීමට ඊනියා විනය පරීක්ෂණ ගැන කතා කියන්න එපා. මොකද අද වෙනතුරු අපි කිසිම කෙනෙකුට චෝදනා ගොනු කරලා ලිපියක් භාරදීලා නැහැ. මේ වැඩ නිසා තව තවත් පාක්ෂිකයෝ සහ ප‍්‍රාදේශීය දේශපාලනඥයින් කළකිරෙන එක විතරයි සිද්ධ වෙන්නේ. අපි කිසිම අවස්ථාවක මේ කතාවලින් පසුබට වෙලා අපේ ගමන නතර කරන්නේ නෑ’

    මෙහිදී මා ගැනත් යමක් පැවසිය යුතුයි. ඔබ සියලු දෙනාම දන්නවා මම දශක තුනකට ආසන්න කාලයක් ජනතා නියෝජිතයෙක් ලෙස ඔබ සමග, ඔබ වෙනුවෙන් කටයුතු කළා. ඔබගේ දුක – සැප දෙකේදී නොසැලී සිටියා. පක්ෂ- පාට භේදයකින් තොරව ඔබ වෙනුවෙන් සේවය කළා. කොතරම් බලපෑම් එල්ල වුණත්, වරප‍්‍රසාද, වරදාන ලබා දෙනවා කීවත් මම ඔබගේ ඡුන්දය පාවා දුන්නේ නැහැ. එදා සිට අඛණ්ඩව ඔබ වෙනුවෙන් කටයුතු කළා.

    ඔබලා පසුගිය සෑම මැතිවරණයකදීම මට පූර්ණ සහාය ලබා දුන්නා. ඒ නිසා මම අදත් අපරාජිත මන්ත‍්‍රීවරයෙක් ලෙස ඔබ වෙනුවෙන් සේවය කරනවා. මම ඔබගෙන් ඉල්ලා සිටින්නේ මහ මැතිවරණයේදී නත්තල් සීයා වාගේ වෙන්න මට ධන බලයක් නැහැ.

    අල්ලස් – දූෂණය මගින් උපයා ගත් කලු සල්ලි නැහැ. කලු සල්ලිකාරයෝ මා පිටුපස නැහැ. ඒ නිසා ඉතාම සරල, අවම වියදමක් ඇති මැතිවරණ ප‍්‍රචාරක ව්‍යාපාරයක් මට කරන්න වෙලා තිබෙන්නේ. ඒ නිසා හුදු ප‍්‍රචාරණයට, ප‍්‍රදර්ශනයට වසී වෙලා ඔබගේ වටිනා මනාපය අපයෝජනය කර ගන්න එපා කියලා මම ඔබගෙන් වැඩි දුරටත් ඉල්ලා සිටිනවා.

    මහර ප‍්‍රාදේශීය වාර්තාකරු – සදුන් සමරවීර

  • සජිත් කියන්නේ එජාපෙ අපිට නම් ‘කබ්බෙක්’ – පාලිත රංගේ බණ්ඩාර

    සජිත් කියන්නේ එජාපෙ අපිට නම් ‘කබ්බෙක්’ – පාලිත රංගේ බණ්ඩාර

    පසුගිය ජනාධිපතිවරණයේදී එක්සත් ජාතික පක්ෂය විසින් ක්‍රියාත්මක කිරීමට සැලසුම් කර තිබූ වැඩපිළිවෙළ ක‍්‍රියාත්මක කළේ නම් සජිත් ප්‍රේමදාස මහතා ජයග්‍රහණය කරන බව හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී පාලිත රංගේ බණ්ඩාර මහතා සඳහන් කරයි.

    සිරිකොත එක්සත් ජාතික පක්ෂ මූලස්ථානයේදී ඊයේ (8) පැවැති උණුසුම්කාරී තත්වයෙන් පසු මාධ්‍ය වෙත අදහස් පළ කරමින් ඔහු මේ බව පැවසීය.

    පක්‍ෂයේ සැලසුමෙන් පිට ගොස් ‘ශ්‍රී මුඛය’ වැනි අනවශ්‍ය කුණුහරප කතා කියූ නිසා ප්‍රේමදාස මහතා පරාජය වූ බවයි රංගේ බණ්ඩාර මහතා මෙහිදී සදහන් කළේ

    ‘කට හින්දා කේලෝගෙන අපිට කියලා වැඩක් නෑ. මාළුවත් කෙලෝගන්නෙ කට නිසා. එයත් කෙලෝ ගත්තේ කට නිසා’ යයි කී පාලිත රංගේ බණ්ඩාර මහතා සජිත් ප්‍රේමදාස මහතා එක්සත් ජාතික පක්ෂයට නම් දැන් කබ්බෙක්යි යයිද කීවේය.

  • මහ මැතිවරණයේ දී දේශපාලන වැඩ එපා – ජනපති රාජ්‍ය ආයතන ප්‍රධානීන්ට දැනුම් දෙයි

    මහ මැතිවරණයේ දී දේශපාලන වැඩ එපා – ජනපති රාජ්‍ය ආයතන ප්‍රධානීන්ට දැනුම් දෙයි

    රාජ්‍ය සංස්ථා සහ ව්‍යවස්ථාපිත මණ්ඩල ඇතුළු රාජ්‍ය ආයතනවලට තම රජය පත්කළ ප්‍රධානීන් සහ අධ්‍යක්ෂ මණ්ඩල සාමාජිකයන් කිසිවකු එළැඹෙන මහමැතිවරණයේදී කවර පක්ෂයක් වෙනුවෙන් හෝ දේශපාලන කාර්යයන්හි නිරත නොවිය යුතු බව ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මැතිතුමා අවධාරණය කරයි.

    යම් රාජ්‍ය ආයතනයක ප්‍රධානියකුට, අධ්‍යක්ෂ මණ්ඩල සාමාජිකයකුට හෝ වෙනත් නිලධාරියකුට හෝ යම් පක්ෂයක් වෙනුවෙන් දේශපාලනයෙහි නිරතවීමට අවශ්‍ය නම් නීත්‍යානුකූලව සිය තනතුරෙන් ඉවත්ව එසේ කළ හැකි බව එතුමා තවදුරටත් කියා සිටී.

    රාජ්‍ය ආයතන ප්‍රධානීන් සහ  නිලධාරීන් රජය වෙනුවෙන් දේශපාලනය කළයුතු යැයි ජනාධිපතිතුමා කිසිවිටෙකත් අපේක්ෂා කරන්නේ නැත. ඔවුන් කළයුත්තේ තමන් භාරගත් ආයතනය කාර්යක්ෂම, දූෂණයෙන් තොර, ඵලදායී, විනයගරුක සහ ලාබ උපයන ආයතන බවට දියුණු කිරීමය. රාජ්‍ය ආයතන නඩත්තු වන්නේ මහජන මුදලිනි. එබැවින් ඒවා කිසිදු ලෙසකින් මහජනතාවට බරක් නොවිය යුතුය.

    අමාත්‍යාංශ, දෙපාර්තමේන්තු, සංස්ථා සහ ව්‍යවස්ථාපිත මණ්ඩල ආදී රාජ්‍ය ආයතන සතු වාහන, උපකරණ වැනි භෞතික සම්පත් හෝ මූල්‍ය සම්පත් හෝ එළැඹෙන මහ මැතිවරණයේ දී කවර පක්ෂයක හෝ දේශපාලන වැඩට භාවිතා නොකළ යුතු බව ජනාධිපතිතුමා අවධාරණය කරයි.

    මේ නියමයන් කඩ කරන රාජ්‍ය ආයතන ප්‍රධානීන්ට, අධ්‍යක්ෂ මණ්ඩල සාමාජිකයන්ට හා නිලධාරීන්ට එරෙහිව නීතිය තදින් ක්‍රියාත්මක කරනු ලැබේ.  

    පටු දේශපාලන අරමුණුවලින් බැහැරව ශක්තිමත් රාජ්‍යයක්, දියුණු ආර්ථිකයක්, සාධාරණ සමාජයක් සහ ජනහිතකාමී දේශපාලන සංස්කෘතියක් ස්ථාපනය කිරීමට ජනාධිපතිතුමා ප්‍රමුඛ රජය අධිෂ්ඨාන සහගතව කැපවි සිටි. මේ අරමුණු සපුරා ගැනීම පිණිස රාජ්‍ය ආයතනවල, ඒවායේ ප්‍රධානීන් සහ නිලධාරීන් ප්‍රමුඛ සේවකයන්ගේ පූර්ණ සහයෝගය එතුමා අපේක්ෂා කරයි.

  • ලෝකය පුරා කොරෝනා ආසාදිතයින් 70,49,649ක් සහ මරණ 409,886ක්

    ලෝකය පුරා කොරෝනා ආසාදිතයින් 70,49,649ක් සහ මරණ 409,886ක්

    අද (8) ප.ව 09.04 වන විට ගෝලීය වශයෙන් කොවිඩ්-19 ආසාදිතයින් සංඛ්‍යාව 70,49,649 දක්වා ඉහළ ගොස් ඇති බවත් මරණ සංඛ්‍යාව 409,886ක් බවත් ජොන්ස් හොප්කින්ස් විශ්වවිද්‍යාලයේ කොරෝනා වෛරස් සම්පත් මධ්‍යස්ථානයේ නිල වෙබ් අඩවියේ සදහන් වෙනවා.

    ඉන්දියාවේ අවදානම වේගයෙන් ඉහළට

    ඇමෙරිකාව, බ්‍රසීලය සහ රුසියාවේ කොවිඩ්-19 ආසාදිතයින් සංඛ්‍යාව සුපුරුදු පරිදි වර්ධනය වෙද්දී ඉන්දියාවේ ආසාදිතයින්ගේ සීග්‍ර වර්ධනයක් පෙන්නුම් කරන බව ඉන්දිය මාධ්‍ය වාර්තාවල සදහන් වෙනවා.

    ජෝන්ස් හොප්කින්ස් විශ්වවිද්‍යාලයේ නවතම වාර්තාවලට අනුව ඉන්දියාවේ සමස්ත ආසාදිතයින් සංඛ්‍යාව 260,093ක් වන අතර මරණ සංඛ්‍යාව 7263ක්. සමස්ත කොවිඩ් ආසාදිත රාජ්‍ය අතර ඉන්දියාව 05 වන ස්ථානයේ (එක්සත් ජනපදය, බ්‍රසීලය, රුසියාව සහ මහා බ්‍රිතාන්‍යය) පසු වුවත් මරණ සංඛ්‍යාව අනුව ඉන්දියාව පසුවන්නේ 12 වැනි ස්ථානයේ වීම විශේෂත්වයක්.

    ‘ද හින්දු‘ වාර්තාවල දැක්වෙන ආකාරයට අද දිනය වන විට ඉන්දියාවේ ප්‍රධාන ප්‍රාන්තයක් වන මහාරාෂ්ට්‍ර ප්‍රාන්තයේ කොවිඩ්-19 ආසාදිතයින් සංඛ්‍යාව චීනයෙන් වාර්තා වූ ආසාදිතයින් සංඛ්‍යාව ද ඉක්මවා ගොස් තිබෙනවා.

    ඉන්දියාවේ වාණිජ කේන්ද්‍රස්ථානය වන මුම්බායි නුවරද පිහිටා ඇති මහාරාෂ්ට්‍ර ප්‍රාන්තයෙන් අද (8) පස්වරු 1.20 වනවිට වාර්තා වූ සමස්ත ආසාදිතයන්ගේ ගණන 85,975ක් වූ අතර ‘කොවිඩ්-19’ ගෝලීය වසංගතය ව්‍යාප්ත වීම ආරම්භ වූ චීනයෙන් අද දහවල් වනවිට වාර්තා වූ සමස්ත ආසාදිතයන්ගේ ගණන 84,191ක්.

    ද හින්දු වාර්තාවේ සදහන් වන්නේ මහාරාෂ්ට්‍ර ප්‍රාන්තයෙන් අද පස්වරුවෙන් අවසන් වූ පැය 24ක කාලයේදී ආසාදිතයන් 3,007 දෙනකු වාර්තා වූ බවත් අද දින වාර්තා වූ කොරෝනා ආසාදිත මරණ ගණන 91ක් බවයි. එම ප්‍රාන්තයෙන් වාර්තා වන සමස්ත කොරෝනා ආසාදිත මරණ ගණන 3,060ක් වීම ද විශේෂත්වයක්.

  • අද නව ආසාදිතයින් 22ක්

    අද නව ආසාදිතයින් 22ක්

    අද (8) දින ප.ව 20.06 වන විට ශ්‍රී ලංකාවෙන් කොවිඩ්-19 ආසාදිතයින් 22 දෙදෙනකු වාර්තා වූ බවත් ඒ අනුව ලංකාවේ සමස්ත කොවිඩ්-19 ආසාදිතයින් සංඛ්‍යාව 1857 දක්වා ඉහළ ගිය බවත් සෞඛ්‍ය ප්‍රවර්ධන කාර්යාංශයේ නිල වෙබ් අඩවියේ සදහන් වේ. එහි දැක්වෙන්නේ මේ වන විට රෝගීන් 856 දෙනකු රෝහල් තුළ ප්‍රතිකාර ලබන බවත් විමර්ශනය යටතේ 41 දෙනකු සිටින බවත්ය. සුවය ලැබූ පුද්ගලයින් සංඛ්‍යාව 990ක් බව ද එහි සදහන් වේ.

    එම වාර්තාවල වැඩි දුරටත් සදහන් වන්නේ පසුගිය අප්‍රේල් මස 30 වැනිදායි පසු පොදු සමාජය තුළින් කිසිදු කොවිඩ්- ආසාදිතයෙකු වාර්තා නොවූ බවයි.

  • මනාප අංක ඇතුළත් ගැසට් නිවේදනය හෙට නිකුත් කරනවා – මහින්ද දේශප්‍රිය

    මනාප අංක ඇතුළත් ගැසට් නිවේදනය හෙට නිකුත් කරනවා – මහින්ද දේශප්‍රිය

    මහ මැතිවරණය පැවත්වෙන දිනය මෙම සතිය ඇතුළත නිවේදනය කිරීමට මැතිවරණ කොමිසමේ සාමාජිකයන් එකඟතාවකට පැමිණි බවත් ඒ අනුව  මහ මැතිවරණයේ මනාප අංක ඇතුළත් ගැසට් නිවේදනය ද හෙට (09) දිනයේ නිකුත් කිරීමට බලාපොරොත්තු වන බවත් මැතිවරණ කොමිසමේ සභාපති මහින්ද දේශප්‍රිය මහතා අද (8) මැතිවරණ කොමිෂන් සභා කාර්යාලයේ පැවති විශේෂ මාධ්‍ය හමුවක දී ප්‍රකාශ කළේය.

  • සෞඛ්‍ය ඇමති පවිත‍්‍රා හිටපු ජනපති සිරිසේනගේ රෙදි ගලවයි

    සෞඛ්‍ය ඇමති පවිත‍්‍රා හිටපු ජනපති සිරිසේනගේ රෙදි ගලවයි

    රටක සෞඛ්‍ය අංශය සැලසුම් සහගත විය යුතු බවත්  රටේ සියලුම රොහල් පහසුකම් වලින් සපිරි අංග සම්පූර්ණ රෝහල් විය යුතු බව සෞඛ්‍ය හා දේශීය වෛද්‍ය අමාත්‍ය පවිත්‍රා වන්නිආරච්චි මහත්මිය අවධාරණය කරයි. අමාත්‍යවරිය මේ බව ප්‍රකාශ කරන ලද්දේ අනුරාධපුර බටහිර ආසනයේ පලාත් පාලන නියොජිතයින් ඩෙංගු හා මී උණ රෝගවල ව්‍යාප්තිය හා පාලනය  පිළිබදව දැනුවත් කිරීමේ විශේෂ සාකච්ඡාවකට ඊයේ (07) සහභාගි වෙමිනි.

    මෙහිදී අදහස් දැක්වූ සෞඛ්‍ය හා දේශීය වෛද්‍ය අමාත්‍ය පවිත්‍රා වන්නිආරච්චි මහත්මිය – “දැන් අනුරාධපුරය දිස්ත්‍රික්කය ගත්තම අපේ චන්ද්‍රසේන ඇමතිතුමා කිව්වා අනුරාධපුර මහ රෝහල සංවර්ධනය කරන ගමන් අනෙක් රෝහල් ටිකත් සංවර්ධනය කරලා දෙන්න කියලා. කුමාරසිංහ මන්ත්‍රීතුමා කිව්වා නොච්චියාගම ප්‍රාදේශීය රෝහල දියුණු කරලා දෙන්න කියලා. මෙහෙම යන්න බෑ. මොකද එහෙම වෙලා තියෙන්නේ, රටක සෞඛ්‍ය අංශය සැලසුම් සහගත වෙන්න ඕනි. ඔබට පරීක්ෂණාගාර සහිත රෝහලක් මෙහෙ තියෙන්න ඕන. අනුරාධපුර රෝහල තියෙන එක ඇත්ත. අනුරාධපුර රෝහලට ඔක්කොම පිරෙන්න ගියාම හරියන්නෙ නෑ. එසේ නොවෙයි විය යුත්තේ. මෙතන රෝහලේ දැඩි සත්කාර ඒකක එක්ක සියලු පහසුකම් සහිතව විශේෂඥයින් එක්ක මේ රෝහල හැදෙන්න ඕන. ඒක තමයි විය යුතු දේ. එතකොට තමයි අනුරාධපුර රෝහලේ පොලොවේ රෝගීන් නිදා ගන්න තත්ත්වයට වැටෙන්නෙ නැත්තේ. ඉතිං මේවා සැලසුම් සහගතව කල යුතුව තිබුනත් සමහර දේවල් වෙලා නෑ.”

    අපේ හිටපු ජනාධිපතිතුමා මේ පලාතේ සෞඛ්‍ය ඇමතිවරයා විදිහටත් හිටියා. හිටපු ජනාධිපතිතුමා සෞඛ්‍ය අමාත්‍ය මෛත්‍රීපාල සිරිසේන මැතිතුමා තමන්ගේ පලාතේ රෝහල් ගැන බැලුවා ද කියන එක නම් අපිට පොඩි ප්‍රශ්නයක් තියෙනවා. පොලොන්නරුව හොද වෙන්න පුලුවන්. හැබැයි අනුරාධපුරේ සෞඛ්‍ය තත්ත්වය ගැන මට තියෙන්නෙ බොහොම කණගාටු දායක තත්ත්තවයක්. ජනාධිපතිතුමා  නිතරම කියන්නේ මේවා සැළසුමකට හදන්න කියලා. රටේ සෞඛ්‍ය පිළිවෙලකට හදන්න කළ යුතු වැඩ ටික හරියට පළමුව කරන්න.

    “පසුගිය ආණ්ඩුව සමයේ අමාත්‍යංශය රුපියල් බිලියන 40 ක් ඖෂධ ගෙන්වීමට සහ අනෙකුත් කටයුතුවලට ගෙවලා නැහැ. ඒ සල්ලි ගෙවන්න වුනේ අපිට. ඖෂධ වර්ග 400 ක්. මේ අවුරුද්දේ මුල තියෙන්න ඔනි  ඒවා ගිය අවුරුද්දේ මුල තමයි ටෙන්ඩර් කැදවලා දෙන්න ඕනි ඒ ටෙන්ඩර් කැදවලා තිබුනෙ නැහැ. මම අමාත්‍යාංශයේ වැඩ භාර ගන්නකොට බෙහෙත් ජාති 400 ක් හිගයි. ටෙන්ඩර් කැදවලා කරන්න අවුරුද්දක් යනවා. මේ අවුරුද්දේ මුල බෙහෙත් ටික ගිය අවුරුද්දේ ටෙන්ඩර් කැදවලා ගෙනත් තියා ගන්න ඔනි. ඒක වෙලා තිබුනෙ නෑ. දැන් තමයි ඒවා ටෙන්ඩර් කැදවලා ගෙනල්ලා තියෙන්නෙ. එහෙම තත්ත්වයකටයි රටේ සෞඛ්‍ය තත්ත්වය පත්වෙලා තිබුනේ. මේක මෙහෙම නොවෙන්න වග බලා ගන්නා රජයක් අපි අපේ රටේ ඇති කරන්න ඔනි. ඒක ඔබතුමන්ලට අපිට නෙවේ මේ රටේ දරුවන්ට මිනිසුන්ට.”

  • MCC ගිවිසුම: පැතිරෙන කටකතා ගැන JVP ජනපතිගෙන් කරුණු විමසයි

    MCC ගිවිසුම: පැතිරෙන කටකතා ගැන JVP ජනපතිගෙන් කරුණු විමසයි

    මිලේනියම් චැලේන්ජ් කෝපරේෂන් ආයතනය සමග අත්සන් කිරීමට නියමිත ගිවිසුම පිළිබඳව ජනතා විමුක්ති පෙරමුණේ හිටපු පාර්ලිමේන්තු මන්ත‍්‍රී සුනිල් හඳුන්නෙත්ති මහතා ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා වෙත අද (8) දින කරුණු 08කින් යුත් ලිපියක් යොමු කර තිබෙනවා.

    එහිදී සුනිල් හඳුන්නෙත්ති මහතා ජනාධිපතිවරයාගෙන් ඉල්ලා සිටින්නේ ආණ්ඩුව මිලේනියම් චැලේන්ජ් කෝපරේෂන් ආයතනය සමග නව ගිවිසුමකට එළඹීමට සූදානමි වන බවට පැතිර යමින් ඇති තොරතුරුවල සත්‍ය අසත්‍යභාවය කුමක්ද යන්නත් මිලේනියම් චැලේන්ජ් කෝපරේෂන් ගිවිසුම සම්බන්ධ විශේෂඥ කමිටුවේ අවසන් නිර්දේශ කවරේද යන්නත් පුරවැසියන් වෙනුවෙන් තමා වෙත දැනුම් දෙන ලෙසයි. එම ලිපිය සම්පූර්ණයෙන්ම මෙසේයි,

    ජනාධිපති ලේකම්,
    ජනාධිපති ලේකම් කාර්යාලය,
    කොළඹ 01.

    මහත්මයාණෙනි

    මිලේනියම් චැලේන්ජ් කෝපරේෂන් ආයතනය සමග
    අත්සන් කිරීමට නියමිත ගිවිසුම පිළිබඳවයි

    වර්තමාන ආණ්ඩුව එක්සත් ජනපද රජයේ මිලේනියම් චැලේන්ජ් කෝපරේෂන් ආයතනය සමග ගිවිසුම් ගත වීමට සූදානම් වන බවට වන පුවත් පිළිබඳ කරුණු පැහැදිලි කර ගැනීම වෙනුවෙන් මෙම ලිපිය ඔබ වෙත යොමු කරනු කැමැත්තෙමි. 

    02. ශ්‍රී ලංකා රජය, එක්සත් ජනපද රජයේ මිලේනියම් චැලේන්ජ් කෝපරේෂන් ආයතනය සමග ගිවිසුම් ගත වීමට යාම පිළිබඳ මතභේදාත්මක තත්වයක් පසුගිය වසර මැද භාගයේ සිට රට තුළ දක්නට ලැබුණු නමුත් එය බරපතළ ලෙස කරළියට පැමිණියේ 2019 ඔක්තෝබර් මස අගදී පැවති ආණ්ඩුව විසින් එම ගිවිසුම් ගත වීම සඳහා කැබිනට් අනුමැතියක් ලබා ගත් බව වාර්තා වීමත් සමගය. 

    03. කෙසේ වුවද නොවැම්බර් 01වැනි දිනට පෙර එය අත්සන් තබනු ඇති බවට වාර්තා පළ වුණද ඒ සමග පැනනැගුණු විරෝධතා හේතුවෙන් එය අත්සන් තැබීම කල් තැබුණි. එළඹෙමින් තිබූ ජනාධිපතිවරණයේ ප්‍රධානම මාතෘකාවලින් එකක් බවට මෙම ගිවිසුම පත්වූ අතර ශ්‍රී ලංකාවේ එක්සත් ජනපද තානාපති කාර්යාලය නොවැම්බර් 06වැනි දින නිවේදනය කළේ එය නොවැම්බර් 16 දිනට පසුව, එනම් ජනාධිපතිවරණයෙන් පසුව අත්සන් තබනු ඇති බවය.

    04. ජනාධිපතිවරණයෙන් පසුව වත්මන් ආණ්ඩුව විසින් මිලේනියම් චැලේන්ජ් කෝපරේෂන් ආයතනය සමග අත්සන් කිරීමට නියමිත ගිවිසුම නැවත සලකා බැලීම සඳහා කැබිනට් අනුමැතියක් අනුව කමිටුවක් පත් කළේය. එම කමිටුවේ සංයුතිය, කාලසීමාව හා වාර්තාව ඉදිරිපත් කරන දිනය පිළිබඳව ජනවාරි 21වැනි දින අප පක්ෂයේ පාර්ලිමේන්තු කණ්ඩායම් නායක අනුර දිසානායක සහෝදරයා විසින් පාර්ලිමේන්තුවේ ස්ථාවර නියෝග යටතේ විමසන ලදී.

    05. එම ප්‍රශ්නයට පිළිතුරු දුන් එවකට පාර්ලිමේන්තුවේ සභානායක දිනේෂ් ගුණවර්ධන අමාත්‍යවරයා අදාළ ගිවිසුම අධ්‍යයනය කිරීමට 2019 දෙසැම්බර් 18වැනි දින අමාත්‍ය මණ්ඩල
    රැස්වීමේදී කමිටුවක් පත් කළ බවත් එම කමිටුවට ලලිතසිරි ගුණරුවන්, ඩී.එස් ජයවීර, නිහල් ජයවර්ධන, නාලක ජයවීර යන මහත්වරුන් පත්කරනු ලැබ ඇති බවත් එම කමිටුවට අවසන් වාර්තාව ඉදිරිපත් කිරීම සඳහා මාස 04ක කාලයක් ලබාදී ඇති බවත් පාර්ලිමේන්තුව හමුවේ ප්‍රකාශ කළේය.

    06. පසුගිය පෙබරවාරි 28වැනි දින කැබිනට් ප්‍රකාශක බන්දුල ගුණවර්ධන අමාත්‍යවරයා ප්‍රකාශ කළේ ගිවිසුම අධ්‍යයනය කළ කමිටුව අග්‍රාමාත්‍යවරයා වෙත අතුරු වාර්තාවක් ඉදිරිපත් කර ඇති බවත් එහි නිර්දේශ අනුව එම කෙටුම්පත් කර ඇති ගිවිසුම පවතින ස්වරූපයෙන් තිබියෙදී අත්සන් තැබීමට ආණ්ඩුව සූදානම් නොමැති බවය. එම කෙටුම්පතේ ඇතැම් වගන්ති රfටි ස්වෛරීත්වයට සහ ව්‍යවස්ථාවට හානිදායක බවද ශ්‍රී ලංකාවට හිතකර ලෙස එම ගිවිසුම සංශෝධනය කර ගැනීම සඳහා එක්සත් ජනපද බලධාරීන් සමග සාකච්ඡා කිරීමට ආණ්ඩුව සූදානම් බවද ඔහු ප්‍රකාශ කර තිබිණි. මිලේනියම් චැලේන්ජ් කෝපරේෂන් යෝජනා ප්‍රාග්ධන හිඟයකට මුහුණපා සිටින හා ණය මත ක්‍රියාත්මක වන රටකට ආයෝජනය සඳහා අවශ්‍ය මූල්‍ය සම්පත් ලබාගැනීමට වැදගත් වන බවද ඔහු එහිදී පෙන්වා දී ඇත. මෙම ප්‍රකාශය මගින් ආණ්ඩුව මිලේනියම් චැලේන්ජ් කෝපරේෂන් ආයතනය සමග ගිවිසුමකින් බැඳීමේ අදහස අත්හැර නොමැති බව පැහැදිලිය.

    07. මිලේනියම් චැලේන්ජ් කෝපරේෂන් ගිවිසුම සම්බන්ධ විශේෂඥ කමිටුව පත්කොට මේ වන විට මාස 06කට ආසන්න වී ඇති නමුත් මෙතෙක් එම කමිටුවේ අවසන් වාර්තාවක් ප්‍රසිද්ධියට පත්වී ඇති බවක් දැනගන්නට නැත. එහි අවසන් නිර්දේශ කවරේදැයි රටට අනාවරණය වී නොමැත. 

    08. මේ තත්වය තුළ ආණ්ඩුව මිලේනියම් චැලේන්ජ් කෝපරේෂන් ආයතනය සමග නව ගිවිසුමකට එළඹීමට සූදානමි වන බවට පැතිර යමින් ඇති තොරතුරුවල සත්‍ය අසත්‍යභාවය කමක්ද යන්නත් මිලේනියම් චැලේන්ජ් කෝපරේෂන් ගිවිසුම සම්බන්ධ විශේෂඥ කමිටුවේ අවසන් නිර්දේශ කවරේද යන්නත් පුරවැසියන් වෙනුවෙන් මා වෙත දැනුම් දෙන මෙන් ඉල්ලා සිටිමි. 

    ස්තූතියි
    සුනිල් හඳුන්නෙත්ති
    හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී
    2020.06.08

  • බැංකු හා බැංකු නො වන මූල්‍ය අංශය ගැන බොරු කිව්වොත් වැඩ වරදී – මහ බැංකු අධිපති

    බැංකු හා බැංකු නො වන මූල්‍ය අංශය ගැන බොරු කිව්වොත් වැඩ වරදී – මහ බැංකු අධිපති

    කොවිඩ්-19 වසංගතය හේතුවෙන් ඇති විය හැකි ආර්ථික හා මූල්‍යමය කඩාවැටීම්වලින් හෝ අනාගතයේ ඇති විය හැකි වෙනත් ඕනෑ ම අනපේක්ෂිත සිදුවීමකින් මහජනයාගේ තැන්පතු සුරක්ෂිත ව තබා ගැනීම සඳහා මහ බැංකුව කැප වී සිටී. 

    ශ්‍රී ලංකාවේ මූල්‍ය පද්ධතිය සහ මූල්‍ය ආයතන දුර්වල මට්ටමක පවතින බවත් එවැනි ආයතනවල සිදු කරනු ලබන තැන්පතු අහිමි වී යාමේ අවදානමකට පොදු මහජනතාව මුහුණ දී ඇති බවත් ඇතැම් කණ්ඩායම් සහ පුද්ගලයෝ පදනම් විරහිත අනුමාන ප්‍රකාශ කරමින් සිටින බවත් බැංකු හා බැංකු නො වන මූල්‍ය අංශය තුළ අයුක්ති සහගත ලෙස කඩා කප්පල් කිරීම් කිරීමේ අරමුණ ඇති ව ව්‍යාජ හෝ නො මග යවන සුළු තොරතුරු පතුරුවා හරින පුද්ගලයින් හෝ කණ්ඩායම්වලට එරෙහි ව නීතිමය ක්‍රියාමාර්ග ගැනීමට මහ බැංකුව පසුබට නො වන බවත් ශ්‍රී ලංකා මහ බැංකු අධිපති දේශමාන්‍ය මහාචාර්ය ඩබ්ලිව්. ඩී. ලක්ෂ්මන් මහතා විශේෂ නිවේදනයක් නිකුත් කරමින් අවධාරණය කරයි.

    මහ බැංකු අධිපතිවරයා විසින් අද (8) දින නිකුත් කළ සම්පූර්ණ නිවේදනය පහත පළ වේ.

    ශ්‍රී ලංකාවේ මූල්‍ය පද්ධතිය සහ මූල්‍ය ආයතන දුර්වල මට්ටමක පවතින බවත් එවැනි ආයතනවල සිදු කරනු ලබන තැන්පතු අහිමි වී යාමේ අවදානමකට පොදු මහජනතාව මුහුණ දී ඇති බවත් ඇතැම් කණ්ඩායම් සහ පුද්ගලයෝ පදනම් විරහිත අනුමාන ප්‍රකාශ කරමින් සිටිති.

    රටේ මහජනතාවගේ තැන්පතු භාර ගන්නා බැංකු සහ බැංකු නො වන මූල්‍ය ආයතන දෙවර්ගයෙහි ම නියාමකයා වශයෙන් ශ්‍රී ලංකා මහ බැංකුව මහජනතාවගේ තැන්පතුවල සුරක්ෂිතතාව තහවුරු කිරීම සඳහා ගත හැකි සියලු ම පියවර අඛණ්ඩ ව ගන්නා බවට ප්‍රතිඥා දෙයි. මෙම තත්ත්වයන් යටතේ මූල්‍ය ආයතන සහ ඒවායේ ස්ථාවරභාවයට අදාළ සත්‍ය තත්ත්වයන් පිළිබඳ ව මහජනතාව දැනුම්වත් කිරීම මෙම ප්‍රකාශනයේ අපේක්ෂාවයි.

    කොවිඩ්-19 වසංගතය සහ එහි ප්‍රතිඵල ලෙස දේශීය හා ගෝලීය ආර්ථිකයන්හි ඇති වූ මන්දගාමීත්වය නිසා මූල්‍ය අංශයේ පමණක් නො ව, ආර්ථිකයේ හැම අංශයක ම ආර්ථික ක්‍රියාකාරකම් සම්බන්ධයෙන් අභියෝගාත්මක වාතාවරණයක් නිර්මාණය වී ඇත.  ආර්ථිකයේ මූර්ත සහ මූල්‍ය අංශවල කාර්යසාධනයේ සමීප සම්බන්ධතාවක් පවතී.

    මූල්‍ය අංශයේ ඉදිරි කාර්යසාධනය දේශීය ව්‍යාපාරවල පැවැත්ම සහ වර්ධනය මත රඳා පවතී.  එම නිසා, විවිධ ආකාරයෙන් ආර්ථිකයට අඛණ්ඩ ව සහාය වන සේ රජය සහ ශ්‍රී ලංකා මහ බැංකුව මූල්‍ය අංශයෙන්, විශේෂයෙන් ම, ශක්තිමත් ශේෂ පත්‍ර මත පදනම් වන බැංකු අංශයෙන්, ඉල්ලීම් කර ඇත. මෙහි දී අදාළ අභියෝගවලට මුහුණ දීම සඳහා ශ්‍රී ලංකා මහ බැංකුව මූල්‍ය අංශයට අවශ්‍ය ද්‍රවශීලතාව සහ නියාමන සහාය ලබා දෙයි. 

    කොවිඩ්-19 වසංගතය ව්‍යාප්ත වීමට පෙර ද, 2018 සහ 2019 කාලය තුළ විශේෂයෙන් ම පෞද්ගලික අංශයට සපයන ලද ණයෙහි වර්ධනය ද, සමස්ත ආර්ථික ක්‍රියාකාරිත්වය ද මන්දගාමී වීම හේතුවෙන්, බැංකු සහ බැංකු නො වන මූල්‍ය අංශ දෙකෙහි ම අක්‍රීය ණය ඉහළ යෑමක් දක්නට ලැබුණි.  මෙම වසංගතය ඇරඹුණු කාලය වන විටත් මූර්ත ආර්ථිකයේ වර්ධනය දිරි ගන්වමින් හිතකර බදු ක්‍රමයක් ස්ථාපිත කිරීමත් සහ යෝග්‍ය මුදල් ප්‍රතිපත්ති ස්ථාවරයක් පවත්වාගැනීමත් ඇතුළු ව, ආර්ථිකය යළි පණ ගස්වා නඟා සිටුවීම සඳහා තීරණාත්මක ක්‍රියාමාර්ග රජය සහ මහ බැංකුව විසින් ගෙන තිබුණි.

    කොවිඩ්-19 වසංගතය හේතුවෙන් තාවකාලික ව පසුබෑමකට ලක් වුව ද, ශ්‍රී ලංකා ආර්ථිකය සහ මූල්‍ය අංශය අඛණ්ඩ ව ක්‍රියාශීලී ව ද කම්පනවලට ඔරොත්තු දීමේ හැකියාවෙන් යුතු ව ද පවතිනු ඇතැයි අපි විශ්වාස කරමු. ආර්ථිකය යථා තත්ත්වයට පත් වීමත් සමඟ ඉදිරි කාල පරිච්ඡේදය තුළ මෙම තත්ත්වයන් වඩාත් ශක්තිමත් වනු ඇත.

    සියයට 16ට වඩා ඉහළ මට්ටමක පවතින සමස්ත ප්‍රාග්ධන ප්‍රමාණාත්මකතා අනුපාතය සියයට 130ට වඩා ඉහළ මට්ටමක පවතින ශුද්ධ ස්ථාවර අරමුදල් අනුපාතය, සියයට 175ට වඩා ඉහළ මට්ටමක පවතින ද්‍රවශීලතා ආවරණ අනුපාතය සහ සියයට 32ට වඩා ඉහළ මට්ටමක පවතින ව්‍යවස්ථාපිත ද්‍රවශීල වත්කම් අනුපාතය සමඟ බැංකු පද්ධතිය ශක්තිමත් ව පවතී.

    2020 පළමු කාර්තුව තුළ අක්‍රීය ණය අනුපාතය යම් තරමක පහළ යෑමක් වාර්තා කර ඇති අතර වෙන් කිරීම් ආවරණ අනුපාතය ද ඉහළ ගොස් තිබේ. නව බදු ප්‍රතිපත්තියේ ප්‍රතිලාභ ලබමින් 2020 පළමු කාර්තුව සඳහා බැංකු අංශයේ බදු පසු ලාභය, පෙර වසරේ පළමු කාර්තුව හා සැසඳීමේ දී සැලකිය යුතු ලෙස ඉහළ ගොස් ඇත. මෙම කාර්යසාධන දර්ශක සලකා බැලීමේ දී ශ්‍රී ලංකාවේ මූල්‍ය අංශයෙන් සියයට 62ක් වන බැංකු පද්ධතියේ වත්මන් ස්ථායිතාව පිළිබඳ ව අමතර සහතිකයක් කිසිවෙකුටත් අවශ්‍ය වේ යැයි මම නො සිතමි.

    අපි දැන් බැංකු නො වන මූල්‍ය ආයතන වෙත, විශේෂයෙන් ම, බලපත්‍රලාභී මුදල් සමාගම් අංශය වෙත අවධානය යොමු කරමු. ආර්ථිකයේ සාපේක්ෂ වශයෙන් අඩු ආදායම් හිමි කාණ්ඩවල විවිධ ගුණත්වයෙන් යුතු ණය අවශ්‍යතා සපුරාලමින් මෙම ආයතන රටේ මූල්‍ය අංශය තුළ වැදගත් කාර්යභාරයක් ඉටු කරයි.

    මෝටර් රථ ආනයනය සීමා කිරීම වැනි සාර්ව ආර්ථිකය ස්ථාවර කිරීම සඳහා ගත් ක්‍රියාමාර්ග මගින් මූල්‍ය සමාගම් කෙරෙහි යම් අසමතුලිත බලපෑමක් ඇති කර ඇත. ශ්‍රී ලංකා මහ බැංකුව සිය මූල්‍ය පද්ධති ස්ථායිතාව පවත්වා ගැනීමේ අරමුණේ කොටසක් ලෙස බලපත්‍රලාභී මුදල් සමාගම් සඳහා අවශ්‍ය ද්‍රවශීලතා සහාය ලබා දී ඇති අතර ම හදිසි අවස්ථාවල දී මූල්‍ය පද්ධතිය සඳහා සහාය සැපයීමට ද සූදානම් ව සිටී.

    මෑතක දී ශ්‍රී ලංකා මහ බැංකුව විසින් ද ෆිනෑන්ස් කොම්පැනි පී.එල්.සී. හි බලපත්‍රය අවලංගු කිරීමත් සමඟ මෙම ප්‍රකාශය ආරම්භයේ දී මා දක්වන ලද පදනම් විරහිත අනුමාන ප්‍රකාශ කිරීම ඉහළ ගොස් තිබේ.  කෙසේ වෙතත්, ද ෆිනෑන්ස් කොම්පැනි පී.එල්.සී. හි බලපත්‍රය අවලංගු කිරීම සහ මෑතකාලීන ව තවත් මුදල් සමාගම් කිහිපයකට එරෙහි ව නියාමන ක්‍රියාමාර්ග ගනු ලැබුවේ තැන්පත්කරුවන් ආරක්ෂා කිරීමට සහ මූල්‍ය පද්ධතියේ ස්ථායිතාව තහවුරු කිරීම සඳහා බව මා විසින් අවධාරණය කළ යුතු වේ. 

    ද ෆිනෑන්ස් කොම්පැනි පී.එල්.සී. හි බලපත්‍රය අවලංගු කිරීමෙන් පසු එහි තැන්පත්කරුවන්ගෙන් සියයට 93ක් එනම් තැන්පත්කරුවන් 135,100ක් සඳහා ශ්‍රී ලංකා තැන්පතු රක්ෂණ සහ ද්‍රවශීලතා ආධාරක යෝජනා ක්‍රමය හරහා පූර්ණ වන්දි ලබා දීමට අපට දැන් හැකියාවක් ඇත. ඉතිරි තැන්පත්කරුවන් 10,072ට මූලික වශයෙන් එක් තැන්පතු හිමියෙකුට රු. 600,000ක් දක්වා වන්දි මුදලක් ලැබෙනු ඇත.

    මීට පෙර දී ද මේ හා සමාන ව ම සෙන්ට්‍රල් ඉන්වෙස්ට්මන්ට්ස් ඇන්ඩ් ෆිනෑන්ස් පී.එල්.සී. සහ ස්ටෑන්ඩර්ඩ් ක්‍රෙඩිට් ෆිනෑන්ස් ලිමිටඩ්හි බලපත්‍ර අවලංගු කිරීමට අදාළ ව එම සමාගම්වල තැන්පත්කරුවන්ගෙන් සියයට 95ක් සඳහා මේ වන විටත් පූර්ණ වන්දි ලබා දී ඇත.

    අධිකරණ කටයුතු හේතුවෙන් ටී.කේ.එස්. ෆිනෑන්ස් ලිමිටඩ්හි තැන්පත්කරුවන්ට වන්දි ගෙවීම ප්‍රමාද වී මේ වන තෙක් සියයට 26කට සීමා වී තිබුණු නමුත් මහ බැංකුව වන්දි ගෙවීමේ ක්‍රියාවලිය නැවත ආරම්භ කර ඇති අතර මෙම සමාගමේ සියලු ම තැන්පත්කරුවන් ආවරණය කිරීමට අපේක්ෂා කරයි.  ද ෆිනෑන්ස් කොම්පැනි පී.එල්.සී. මුදල් සමාගමේ දිගු කාලයක් පුරාවට පැවති එයටම ආවේණික ගැටලු හේතුවෙන් තැන්පත්කරුවන්ගේ ප්‍රතිලාභ ආරක්ෂා කිරීම සඳහා එම ආයතනය සම්බන්ධයෙන් නියාමන ක්‍රියාමාර්ග ගැනීමට සිදු වූ බව මහජනතාව තේරුම් ගනු ඇතැයි මම විශ්වාස කරමි.

    ආයතන කිහිපයක් සම්බන්ධයෙන් ගනු ලැබූ එවැනි නිවැරදි කිරීමේ නියාමන ක්‍රියාමාර්ග මගින් සමස්ත බැංකු නො වන මූල්‍ය ආයතන අංශය ම අසාර්ථක වී ඇති බවක් අදහස් නො වේ.  ඇතැම් බලපත්‍රලාභී මුදල් සමාගම් කුඩා හෝ මධ්‍ය පරිමාණයේ බැංකු ආයතන හා සම මට්ටමක පවතින බව අප විසින් සැබවින් ම නිරීක්ෂණය කර ඇත. එ බැවින්, අපගේ බැංකු නො වන මූල්‍ය ආයතන අංශයේ තත්ත්වය පිළිබඳ සැකයට හේතු වන පදනම් විරහිත අදහස් සහ ද්වේශ සහගත අනුමානයන් මගින් වැරදි අවබෝධයන් ඇති කර නො ගන්නා ලෙස මම මහජනතාවගෙන් දැඩි ව ඉල්ලා සිටිමි.

    ඉහත කරුණු දැක්වීමට අමතරව මහ බැංකුව අතීතයේ දී දැඩි ව අවධාරණය කරන ලද බැංකු සහ මූල්‍ය ව්‍යාපාරවල වැදගත් පොදු කරුණක් නැවත අවධාරණය කිරීමට මට ඉඩ ලබාදෙන්න.  විවිධ මූල්‍ය ආයතන මහ බැංකුව විසින් බලපත්‍ර ලබා දී නියාමනය හා අධීක්ෂණය කරනු ලැබුව ද, එම ආයතනවල සියලු මෙහෙයුම් කටයුතු මහ බැංකුව විසින් දෛනික ව කළමනාකරණය කරනු ලබන බව එයින් අදහස් නො වේ. 

    මෙම ආයතනවල ව්‍යාපාර ආකෘතීන් එකිනෙකට වෙනස් වන අතර ඉහළ ප්‍රතිලාභ උපයන ව්‍යාපාරවල ආයෝජනය කිරීමෙන් ලබා ගන්නා ප්‍රතිලාභ තුළින් තැන්පත්කරුවන්ට විවිධ මට්ටමේ පොලී දීමනා ලබා දීමට ඔවුන්ට හැකි වේ.  එ බැවින්, තැන්පතු සඳහා ලබා දෙන ඉහළ පොලී අනුපාතික මගින් සාමාන්‍යයෙන් අදහස් කරනුයේ අදාළ ආයතන වඩාත් අවදානම් සහගත ව්‍යාපාරවල නිරත වන බව පොදු මහජනතාව සැලකිල්ලට ගත යුතු ය.

    බැංකු නො වන මුල්‍ය අංශය සම්බන්ධයෙන් මහ බැංකුවේ පණිවුඩය වනුයේ මූල්‍ය ආයතන ඒකාබද්ධ වීම සඳහා ඇති අවශ්‍යතාවයි. කුඩා මුල්‍ය ආයතන ශක්තිමත් මුල්‍ය ආයතන සමඟ ඒකාබද්ධ වීම පිළිබඳ සලකා බැලිය යුතු ය.

    ආර්ථිකයේ විශාලත්වය හා සැසඳිමේ දී ශ්‍රී ලංකාව තුළ පමණට වඩා වැඩි මුල්‍ය ආයතන ප්‍රමාණයක් පවතින බවට අප විසින් නැවත නැවතත් අවධාරණය කර ඇත. ඒ අතර ම, ආනයන මූල්‍යකරණය සහ ඒ හා සම්බන්ධ වෙනත් සාම්ප්‍රදායික ව්‍යාපාරික ක්‍රියාකාරකම් තුළින් ලබන කෙටිකාලීන ලාභ මත පමණක් පදනම් වීම වෙනුවට, විශේෂයෙන් ම දේශීය නිෂ්පාදන කටයුතුවලට සහාය වීමට තම ව්‍යාපාර ආකෘතීන් විවිධාංගීකරණය කරන ලෙසත්  අපි මුල්‍ය ආයතනවලින් දැඩි ව ඉල්ලා සිටිමු. ඉහත යෝජනා කර ඇති පරිදි බැංකු නො වන මූල්‍ය ආයතන මෙන් ම බැංකු ආයතන හැසිරවීම සඳහා මහ බැංකුව අනාගතයේ දී සිය අධිකාරිය සහ බලතල භාවිත කරනු ඇත.

    අවසාන වශයෙන්, මූල්‍ය පද්ධතියේ ස්ථායිතාව පවත්වා ගැනීම සඳහා අවශ්‍ය සියලු මෙවලම් මහ බැංකුව විසින් භාවිත කරනු ඇති බවට මම දැඩි ව අවධාරණය කිරීමට කැමැත්තෙමි.  කොවිඩ්-19 වසංගතය හේතුවෙන් ඇති විය හැකි ආර්ථික හා මූල්‍යමය කඩාවැටීම්වලින් හෝ අනාගතයේ ඇති විය හැකි වෙනත් ඕනෑ ම අනපේක්ෂිත සිදුවීමකින් මහජනයාගේ තැන්පතු සුරක්ෂිත ව තබා ගැනීම සඳහා මහ බැංකුව කැප වී සිටී. 

    තව ද, බැංකු හා බැංකු නො වන මූල්‍ය අංශය තුළ අයුක්ති සහගත ලෙස කඩා කප්පල් කිරීම් කිරීමේ අරමුණ ඇති ව ව්‍යාජ හෝ නො මග යවන සුළු තොරතුරු පතුරුවා හරින පුද්ගලයින් හෝ කණ්ඩායම්වලට එරෙහි ව නීතිමය ක්‍රියාමාර්ග ගැනීමට මහ බැංකුව පසුබට නො වන බව ද සඳහන් කළ යුතු ය.

  • ව්‍යවස්ථා සංශෝධනයකට අපිට තුනෙන් දෙකක් අවශ්‍යයි – ඇමති ප්‍රසන්න

    ව්‍යවස්ථා සංශෝධනයකට අපිට තුනෙන් දෙකක් අවශ්‍යයි – ඇමති ප්‍රසන්න

    ජනතාවගේ ඉවසිමේ සීමාව පරීක්ෂා නොකරන්නැ‘යි කාර්මික අපනයන, ආයෝජන ප්‍රවර්ධන, සංචාරක හා ගුවන්සේවා ඇමති ප්‍රසන්න රණතුංග මහතා මැතිවරණ කොමිසමේ සාමාජික රත්නජීවන් හූල්ගෙන් ඉල්ලයි. ඔහු අවධාරණය කරන්නේ මේ සම්බන්ධයෙන් මැතිවරණ කොමිසම ගනු ලබන කඩිනම් ක්‍රියාමාර්ගය දෙස ජනතාව අවධාණයෙන් සිටින බවයි. හූල් වැනි කොටි රූකඩ වලට තවදුරටත් නටන්න ඉඩ දිය නොහැකි යැයි ද ඇමතිවරයා පෙන්වා දෙයි.

    “ගම දැනුවත් කරමු – අපි යළිත් නැගිටිමු” වැඩසටහනේ මිනුවන්ගොඩ ආසන බල මණ්ඩල රැස්වීම අමතමින් ඇමතිවරයා  මේ බව සදහන් කළේය. උඩුගම්පළ රෙජී රණතුංග ශ්‍රවණාගාරයේ දී රැස්වීම ඊයේ (07) පැවැත්විණි.

    මෙහි දි වැඩි දුරටත් අදහස් දැක් වු ප්‍රසන්න රණතුංග මහතා මෙසේ ද කීවේය.

    “ කොරෝනා වසංගතයත් එක්ක හැමදෙයක් ම වෙනස් වෙමින් තියෙනවා. රට තුළ කොරෝනා සංස්කෘතියක් බිහිවෙමින් තියෙනවා. මැතිවරණයටත් ඒක පොදුයි. වෙනදාට අපි මැතිවරණයක් ප්‍රකාශ කරපුවාම ආසන බල මණ්ඩලයක් කැදවනවා. එතකොට අපේ පාක්ෂිකයෝ දාහක් විතරක් එනවා. දැන් අපි රැස්වීමක උපරිම ගාණ 100 යි. මාස්ක් දාලා මීටරයේ දුර ආරක්ෂා කරගෙන තමයි රැස්වීම කරන්න වෙලා තියෙන්නේ. ඒකයි මම කිව්වේ රට තුළ කොරෝනා සංස්කෘතියක් හැදෙනවා කියලා. මැතිවරණයේ දී මේකේ අවාසිය තියෙන්නේ අපිට. අපි රැස්වීමක් කළා නම් මහින්ද මහත්තයි, ගෝඨාභය මහත්තයයි ගෙනල්ලා අපිට ගෝල්ෆේස්  පිරෙන්න සෙනග ගේන්න තිබුණා. අපිට එහෙම කරන්න බෑ. කොරෝනා නිසා. වගකිවයුතු පක්ෂයක් හැටියට රට හා ජනතාව ආරක්ෂා කරගැනීම තමයි අපේ අරමුණ.

    මේ මහ මැතිවරණයේ ජයග්‍රහණය අපි අපේක්ෂා කරන්නේ කාරණා 02 ක් මතයි. එකක් තමයි මහින්ද රාජපක්ෂ අපේ නායකයා රටේ අගමැති බවට පත් කිරීම. මහින්ද මහත්තයා 2015 කුමන්ත්‍රණයකින් පරාද කළාට පස්සේ අපි මහින්ද නැවත නායකයා බවට පත් කිරිමේ අරගලයක නිරතවෙලා ඉන්නවා. දැන් මහින්ද මහත්තයා අගමැති වුණත් ඒ අගමැතිකම ජනතා ඡන්දයෙන් ලැබුණු අගමැතිධූරයක් නෙමෙයි. ජනාධිපතිවරයා විසින් පත් කළ එකක්. අපි ජනතාවගේ ඡන්දයෙන් මහින්ද අගමැති කිරීමේ සටනයි මේ කරන්නේ.

    පළාත් පාලන මැතිවරණයෙන් තමයි මේ සටනේ පළමු වෙඩිමුරය තිබ්බේ. එදා යුද්ධය දිනලා රටට අභයදානය දීලා රට එකම වැඩබිමක් කරපු අපේ නායකයා මේ රටේ ජනතා ඡන්දයෙන් අගමැති කරන්න අපිට ලැබෙන ස්වර්ණමය අවස්ථාව මෙයයි. ඒ වගේ ජනාධිපතිවරණයේ දී ගෝඨාභය රාජපක්ෂ මහතාව අපි ජනාධිපති කළා 69 ලක්ෂයක් ජනතාව මේ රටේ ඔහුට ඡන්දය දුන්නා.

    ‍ජනතාව ලොකු බලාපොරොත්තුවක් ඇතිවයි ගෝඨාභය මහතත්යාව ජනාධිපති කළේ. ඒ සදහා ගෝඨාභය මහත්තයා වැඩ පටන් ගත්තත් පාර්ලිමේන්තුවේ බහුතර බලය අපිට තිබුණේ නෑ. විපක්ෂයට තමයි බලය තිබුණේ. ඔහුව දිගින් දිගමට කකුලෙන් ඇද්දා. නමුත් මේ මහ මැතිවරණයෙන් ගෝඨාභය රාජපක්ෂ මහතාට වැඩ කළ හැකි ආණ්ඩුවක් හදාගන්න හැකියාව ලැබෙනවා. එවැනි ආණ්ඩුවක් හදාගත්තොත් විතරයි මේ රටට අනාගතයක් තිබෙන්නේ. මේ නිසා මේ මැතිවරණයේ අපේ ප්‍රධාන ඉලක්ක දෙකයි. එකක් මහින්ද අගමැති කිරීම, දෙවැන්න ගෝඨාභය මහත්තායට වැඩ කළ හැකි ආණ්ඩුවක් හැදීමයි.

    අපි මේ මහ මැතිවරණයේ දී තුනෙන් දෙකක බලය සහිත ආණ්ඩුවක් හදන්න ජනතා සහාය ඉල්ලනවා. අපි ව්‍යවස්ථා සංශෝධනයකට යනවා නම් අනිවාර්යෙන් ම අපිට තුනෙන් දෙකක් අවශ්‍යයි.

    සමගි ජන බලවේගය, එජාප, දෙමළ සන්ධානය, ජවිපෙ, මුස්ලිම් අන්තවාදීන්, ශ්‍රීලනිලයේ සමහරු එකතු වෙලා පාර්ලිමේන්තුවේ තුනෙන් දෙකක් තියාගෙන කරපු සෙල්ලම් අපි දැක්කා. හාමුදුරුවරු හිරේ දැම්මා. රණවිරුවෝ හිරේ දැම්මා. සමලිංගික පනත ගේන්න හැදුවා. ව්‍යවස්ථා සංශෝධනයක් හරහා බෞද්ධ ආගමට තියෙන තැන නැති කරන්න හැදුවා. පාස්කු ප්‍රහාරය සිදු වුණාම පාර්ලිමේන්තුවේ කමිටුවක් දාලා වැරදිකරුවන්ට දඩුවම් දීම වෙනුවට ඔවුන් ආරක්ෂා කරන්න කටයුතු කළා. මහ බැංකු හොරුන් ආරක්ෂා කළා. එය ලංකා ගණුදෙණුව හරහා හොරකම් කළා. එහෙම ජරා දේශපාලනයක් පහුගිය යහපාලන ආණ්ඩුව කළේ. නමට යහපාලන වුණාට රටට වින කරපු ආණ්ඩුවක් ඒක. යහපාලනයට මුවා වෙලා රටට ඔවුන් කරපු විනාශය නිවැරිදි කරන්න තුනෙන් දෙකක බලයක් සහිත ආණ්ඩුවක් අත්‍යවශ්‍යයි.  ව්‍යවස්ථාව වෙනස් කරලා රටට හිතකර ව්‍යවස්ථාවක් ගේන්න.

    එදා පාර්ලිමේන්තුවට 19 යන ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව ගෙනල්ලා ස්වාධීන කොමිෂම් සභා පත් කරලා කළේ නංගි පෙන්නලා අක්කා දුන්නා වගේ වැඩක් කළේ. මොකක්ද වුණේ. ස්වාධින කොමිෂම් සභා ස්වාධීන ද? මැතිවරණ කොමිසමේ එක සාමාජිකයෙක් පොහොට්ටුවට ඡන්දය දෙන්න එපා කියනවා.

    මේ හූල්ගේ ඉතිහාසය හොයන්න දෙමළ සන්ධානයට සම්බන්ධ වෙලා කොටි හිතවාදීන්ට උදව් කරමින් කටයුතු කරපු කෙනෙක්. එහෙම කෙනෙක්ට උවමනාව තියෙන්නේ රාජපක්ෂලාව පරාජය කරන්න. එතුමාට දේශපාලනය කරන්න ඕනේ නම් කරුණාකරලා තනතුරෙන් එළියට බැහැලා දේශපාලනය කරන්න.

    කොමිසමේ ආවරණය අරගෙන ඔය විදිහට කටයුතු කරන්න එපා. රටේ ජනතාව තරහ ගැන්වුවොත් කොතනින් කෙළවර වෙයි ද දන්නේ නෑ. ජනතාවගේ ඉවසීමේ සීමාවක් තියෙනවා. මිනිස්සුන්ගේ ඉවසීමේ සීමාව පරීක්ෂා කරන්න එපායැ‘යි මා හූල්ට කියනවා. මැතිවරණ කොමිසම මේ සම්බන්ධයෙන් ගන්නා ක්‍රියාමාර්ග දෙස අප බලා සිටිනවා. තවදුරටත් හූල් වැනි කොටි රූකඩ වලට නටන්න ඉඩදෙන්න මේ රටේ ජනතාව සුදානම් නෑ.

    හිටපු ඇමති සුසිල් ප්‍රේමජයන්ත මිනුවන්ගොඩ ප්‍රාදේශීය සභාවේ සභාපති කුමාර අරංගල්ල, නගරාධිපති නීල් ජයසේකර යන මහත්වරු ද මෙහි දී කථා කළහ.

  • Covid-19 Today Update: ලංකාවේ ආසාදිතයින් 1821යි – ගෝලීය මරණ සංඛ්‍යාව 400,624ක්

    Covid-19 Today Update: ලංකාවේ ආසාදිතයින් 1821යි – ගෝලීය මරණ සංඛ්‍යාව 400,624ක්

    අද (7) දින ප.ව 21.06 වන විට ශ්‍රී ලංකාවෙන් කොවිඩ්-19 ආසාදිතයින් 07 දෙනකු වාර්තා වී ඇති අතර ඒ සමග ලංකාවේ සමස්ත කොවිඩ් -19 ආසාදිතයින් සංඛ්‍යාව 1821 දක්වා ඉහළ ගොස් ඇති බව සෞඛ්‍ය ප්‍රවර්ධන කාර්යාංශයේ නිල වෙබ් අඩවියේ සදහන් වෙනවා. එහි සදහන් වන ආකාරයට දැනට රෝහල්වල විමර්ශන යටතේ සිටින පුද්ගලයින් සංඛ්‍යාව 70ක් වන අතර ප්‍රතිකාර ලබන රෝගීන් සංඛ්‍යාව 869ක්. සුවය ලබා පිටව ගිය සංඛ්‍යාව 941ක් බවයි එහි වැඩි දුරටත් සදහන් වන්නේ.

    ගෝලීය තත්ත්වය

    ජෝන්ස් හොප්කින්ස් විශ්වවිද්‍යාලයේ නිල වෙබ් අඩවියට අනුව අද දින ප.ව 09.22 වන විට ගෝලීය වශයෙන් කොවිඩ්-19 ආසාදිතයින් සංඛ්‍යාව 6,939,869ක් දක්වාත් මරණ සංඛ්‍යාව 400,624 දක්වාත් වර්ධනය වී තිබෙනවා.

    සුපුරුදු ලෙස වැඩිම ආසාදිතයින් සංඛ්‍යාව 1,922,054ක් සහ මරණ 109,846ක් එක්සත් ජනපදයෙන් වාර්තා වන අතර ආසාදිතයින් අතර දෙවැනි තැනට බ්‍රසීලය පත්ව තිබෙනවා. එහි ආසාදිතයින් සංඛ්‍යාව 672,846ක් වන අතර මරණ සංඛ්‍යාව 35,930ක්.

    රුසියාවේ ආසාදිතයින් සංඛ්‍යාව 467,073 ක් දක්වා වර්ධනය වී ඇති අතර මරණ සංඛ්‍යාව 5851ක්.

    මේ වන විට ඉන්දියාවේ ආසාදිතයින් සංඛ්‍යාව ස්පාඤ්ඤයෛ් ආසාදිතයින් සංඛ්‍යාව (245,550) ද ඉක්මවා 254,242 ක් දක්වා වර්ධනය වී ඇති අතර මරණ සංඛ්‍යාව ද 7117 දක්වා වර්ධනය වී තිබෙනවා.

    මැදපෙරදිග තත්ත්වය

    ශ්‍රී ලාංකිකයින් ලක්ෂ සංඛ්‍යාත පිරිසක් සේවය කරන මැදපෙරදිග රටවල් අතර ප්‍රධාන වන සෞදි ආරාබියේ ආසාදිතයින් සංඛ්‍යාව 101,914 ක් දක්වාත්, මරණ සංඛ්‍යාව 712 ක් දක්වාත්, කටාර්හි ආසාදිතයින් සංඛ්‍යාව 68,790ක් දක්වාත් මරණ සංඛ්‍යාව 54ක් දක්වාත් ඉහළ ගොස් ඇති අතර කුවේටයේ ආසාදිතයින් සංඛ්‍යාව 31,848 ක් දක්වාත් ඕමානයේ ආසාදිතයින් සංඛ්‍යාව 16,882ක් දක්වාත් බහරේන්හි ආසාදිතයින් සංඛ්‍යාව 14,763 දක්වාත් ඉහළ ගොස් තිබෙනවා.

  • පශ්චාත් කොරෝනා වසංගතයෙන් මතුවන ‘චීන අර්බුදය’

    පශ්චාත් කොරෝනා වසංගතයෙන් මතුවන ‘චීන අර්බුදය’

    පසුගිය දශකය තුළ ආර්ථිකයේ වර්ධන ප්‍රමාණය දෙගුණ කිරීම සටහන් කරමින් 2020 වර්ෂය ආර්ථික වර්ධනයේ සැමරුම් උත්සවයක් පැවත්වීමට හැකිවනු ඇතැයි චීනයේ නායකත්වය අපේක්ෂා කළේය. එහෙත් නව කිරීටක වෛරසය එම අපේක්ෂාව බොඳ කර දමා ඇත.

    අපේක්ෂා කළ කාලයට වඩා කඩිනමින් චීනය තුළ වෛරස් වසංගතය පාලනය කර ඇතත්, සත්‍ය වශයෙන්ම සිදු වී ඇත්තේ වෛරසය පැතිරීමේ ප්‍රමාණය හා වේගය චීන සමාජය අංශභාග තත්ත්වයට පත් කර තිබීමය.

    චීනයේ වසංගතය මන්දගාමී වූයේ පෙබරවාරි මැද භාගයේ දී රට පුරා සිදු කළ වසා දැමීම් නිසාය. මාර්තු 10 වන දින ජනාධිපති ෂී ජින්පින් , හුවෙයි පළාතේ අගනුවර වන වුහාන්  හී සංචාරය කළේය. මාර්තු 19 වන විට චීනය තුළ සොයා ගන්නා ලද කොරෝනා ආසාදිතයන්ගේ සංඛ්‍යාව සීග්‍ර ලෙස පහල ගියේය.

    වසංගතයේ නව කේන්ද්‍රස්ථානය හා වෛරසය පැතිරීමේ වේගවත්ම ස්ථානය ලෙස ඇමරිකා එක්සත් ජනපදය පත් වූ විට , ඇමරිකාවේ ජීවත්වීමට වඩා චීනයේ ජීවත්වීම  ආරක්ෂිත බවට මතයක් ඇති වන්නට විය.

    එය එසේ වුවද, මෙම වෛරසයෙන් ආර්ථික වශයෙන් දරුණුම හානියට පත් වී ඇත්තේ චීනය ය. මූල්‍ය ආධාරයකින් වුවද  චීනයට යථා තත්ත්වයට පත්වීමට හැකි වෙතැයි යන අපෙක්ෂාව තබා ගැනීමට පවා මේ වන විට අවිනිශ්චිතය.

    චීනයේ ඵලදායිතාවය තිරසාරව යථා තත්ත්වයට පත් කිරීමට නම්, ඇමරිකා එක්සත් ජනපද ඉල්ලුම, යළිත් යථා තත්ත්වයට පත් කිරීම අත්‍යාවශ්‍ය ය.

    චීනය විසින් මෑතක දී ප්‍රකාශයට පත් කරන ලද ආර්ථික දර්ශක, වෙළඳපොල නිරීක්ෂකයන් විසින් මීට පෙර පුරෝකථනය කරන ලද ප්‍රමාණයට වඩා බෙහෙවින් දුර්වලය. සිල්ලර විකුණුම් 20.5% න් ද, කාර්මික නිෂ්පාදන 13.5% න් ද පහත වැටී ඇත.

    ආර්ථික විශ්ලේෂකයින් විසින් චීන ආර්ථිකය පිළිබඳ ඔවුන්ගේ දෘෂ්ටිවාදය මේ වන විට දක්වා තිබේ. ඊට අනුව, ප්‍රධාන මූල්‍ය උත්තේජනයක් සහ පොලී අනුපාතය කප්පාදු කිරීමක් කර තිබියදීත්, 2020 වර්ධනය සඳහා ඇස්තමේන්තු මුල් ඉලක්කය වූ 6% ආර්ථික වර්ධනය 4% සිට 1% දක්වා පහත වැටීමක් සිදුවනු ඇතැයි ඔව්හූ පුරෝකථනය කර ඇත.

    සාර්ස් ( SARS ) වෛරසය හේතුවෙන් 2002- 2003 වසර වල චීන ආර්ථික ප්‍රකෘතිය, වී (V) හැඩයක් ගත් අතර, චීනය ඒ අවධියේ සිය කෙටි කාලීන අලාභයන් සියල්ලම පියවා ගත්තේ බටහිර රටවල ශක්තිමත් පාරිභෝගික ඉල්ලුමට කඩිනමින් ප්‍රවේශ වීමෙන්ය.

    2008 දී පැවැති ලෝක ආර්ථික අර්බුදයේදී ද , අනෙකුත් රට වලට සාපෙක්ෂව චීනය බලපෑමකට ලක් නොවූ අතර, ගෝලීය නිෂ්පාදන සහ සැපයුම් ජාල අඛණ්ඩව ක්‍රියාත්මක වූ නිසා වේගවත් ආර්ථික වර්ධනයක් පවත්වාගෙන යෑමට චීනයට හැකි විය.

    නව කොරෝනා වෛරසයේ බලපෑම හේතුවෙන් ප්‍රධාන යුරෝපීය ආර්ථිකයන් සියල්ලම පාහේ අවුල් ජාලයකට පත්වී ඇති අතර, චීනයේ ආර්ථිකය ද නැවත ආරම්භ වෙමින් පවතින්නේ මන්දගාමීවය.

    බටහිර රටවල් හරහා ප්‍රමාණවත් ගණු දෙනු කරුවන් සොයා ගැනීමට චීනයට අරගලයක් කිරීමට සිදුවී ඇත. වෙනත් රටවල නැගී එන වෙළඳ පොලවල් යුරෝපයේ මෙන් චීනයේ හානිය අවම කර ගැනීමට ප්‍රමාණවත් නැත.

    කොරෝනා වෛරස් වසංගතයත් සමඟ ප්‍රධාන බටහිර සමාගම් සිය නිෂ්පාදන වසා දැමූ බැවින් , සැපයුම් දාම කඩාකප්පල් වී තිබේ. වසංගතය නිසා දැඩි ලෙස බලපෑමට ලක් වූ අංශ යටතට , මෝටර් රථ නිෂ්පාදන සහ සංනිවේදන උපකරණ නිෂ්පාදන ද ඇතුළත් ය.

    කොරෝනා වසංගතය ව්‍යාපතවීම පාලනය නොකිරීම සම්බන්ධයෙන් , ඇමරිකා එක්සත් ජනපදය ප්‍රමුඛ බටහිර රටවල් විසින්  චීනයට කරන චෝදනා බරපතලය. එය උපයෝගී කර ගනිමින් වෙළඳ හා ආයෝජන ප්‍රථිසංස්කරණ සඳහා චීනයට බලපෑම් කිරීමට ඇමරිකා එක්සත් ජනපදය විසින් තීරු බදු පුළුල් ලෙස භාවිතා කිරීම පදනම් කරගත් තර්කණය නැවත විමර්ශනය කිරීමට බල කර ඇත.

    පසුගිය ජනවාරි මාසයේ දී ඇමරිකාව් චීනය සමඟ ඇති කර ගත් වෙළඳ ගිවිසුම මේ වන විට අක්‍රීය වී තිබේ. තීරු බදු වෙළඳ සීමාවන් සමඟ සම්බන්ධ කිරීමේ එක්සත් ජනපද උපාය මාර්ගය වැනි ප්‍රවේශ , චීන ඇමරිකා වෙළඳ ගිවිසුමේ ප්‍රමුඛතා සමඟ නොගැලපෙන තැනට පත් වී ඇත.

    වඩා හොඳ වුවත්, වඩා නරක වුවත් , ගෝලීය ආර්ථිකය පදනම් වී ඇත්තේ සම්බන්ධතා මතය. චීනයේ හා බටහිර රටවල  අාර්ථික වර්ධනය නැවත පණ ගැන්වීමට නම්, ලෝක වෙළඳාම සහ හොඳින් ක්‍රියාත්මක වන සැපයුම් ජාලයන් හී පුණර්ජීවනය අත්‍යාවශ්‍ය කරුණක් බවට පත් වී ඇත.

    කොමියුනිස්ට් පක්ෂ පාලනයේ රාමුවක් සහිත ” රාජ්‍ය ධනවාදය ” මඟින් , චීනය වෙළඳපොල ආර්ථිකයක් බවට පත් කළ ඩෙන්ග් ෂියාඕපින්ග් ගෙන් ආරම්භ වූ චීන ආර්ථික වර්ධනය, පදනම් වූයේ ලාභ ශ්‍රමය සහ අති විශාල වූ බටහිර වෙළඳපොල මතය.

    ”බළලුන් මීයන් අල්ලා ගන්නේ නම්, බළලාගේ වර්ණය සොයන්නේ කුමකට ද? ” යැයි ඩෙන්ග් ෂියාඕපින් ඇසුවේ , ඔහු ඇමරිකාව සමඟ ගිවිසුම් ගැසූ මුල් අවධියේ දීය.

    මානව හිමිකම් සහිත බටහිර පන්නයේ ප්‍රජාතන්ත්‍රවාදය කෙරෙහි එතරම් උනන්දුවක් නොදැක්වූ ඩෙන්ග් ෂියාඕපින් , එම ප්‍රජාතන්ත්‍රවාදය සැලකුවේ කොමියුනිස්ට් පක්ෂ පාලනයට එල්ලවිය හැකි තර්ජනයක් ලෙසය.

    වත්මන් චීන නායක ෂී ජින්පින් , ඩෙන්ග් ෂියාඕපින්ටත් වඩා එම ප්‍රතිපත්තියේ පිහිටා ඊටත්  වඩා ඒකාධිපති ස්වරූපයකින් පාලනය ගෙන යන්නෙකි. 

    චීනය තුළ ශ්‍රමය සූරාකෑමෙන් ගොඩ නඟා ගත් අතිරික්ත මූල්‍ය ප්‍රාග්ධනය, ලොව පුරා වපුරමින්, එසේම බටහිරයන්ට අභියෝග කරමින් , සංවර්ධනය වෙමින් පවතින රටවල් වල ,සමාජ ,ආර්ථික, දේශපාලන සහ භූමිය පවා හැසිරවීමට පටන් ගෙන ඇති චීනයට ,එම මාර්ගය ඔස්සේ බාධාවකින් තොරව ඉදිරියට ගමන් කළ නො හැකි වටපිටාවක් මේ වන විට මතුවෙමින් තිබේ.

    කොරෝනා වෛරස් වසංගත අර්බුදය තුළ ඇමරිකාව ප්‍රමුඛ බටහිර රටවල්, චීන භාණ්ඩ මිලදී ගැනීම අවම කිරීමටත්, චීනය තුළ පවත්වාගෙන යන මහා පරිමාන බටහිර ව්‍යවසායන් චීනයෙන් ඉවත් කර ගැනීමටත්, සැලසුම් කර තිබීම හේතුවෙන් චීනය බලවත් ආර්ථික අර්බුදයකට පත්වීම නො වැලැක්විය හැකිය.

    චීන කොමියුනිස්ට් පක්ෂයේ ඉහළ පෙළ නිලධාරීන් අතලොස්සකගේ අභිමතය පරිදි රාජ්‍ය පාලනයක් ගෙනයමින්, රටේ ධනයෙන් අති විශාල ප්‍රමාණයක් 1% ක් තරම් වූ පිරිසක් විසින් අත්පත් කරගනිමින් ,පොදු ජනතාව අතර නිසි පරිදි ආදායම් බෙදීමක් සිදු නොකොට ශ්‍රමය කුණු කොල්ලයට ලබා ගන්නා රටකට මෙම අර්බුදය අභ්‍යන්තර ගැටලු තිව්‍ර කිරීමට හේතු විය හැකිය.
    එසේම ලාභ ශ්‍රමය මත නිෂ්පාදනය කරන භාණ්ඩ,  අඩු මිලකට බටහිර වෙළඳ පොල තුළට පිවිසීම අවම වීමේන්, බටහිර පාරිභෝගිකයන්ට භාණ්ඩ සඳහා පෙර කලට සාපේක්ෂව  අධික මිලක් ගෙවන්නට සිදුවිය හැක.

    එහෙත් චීනය තුළ පවතින  බටහිර ව්‍යවසායන් ඉන්දියාව වැනි වෙනත් ආසියාතික රටවලට ගමන් කිරීමෙන් පසුව එකී රටවල ලාභ ශ්‍රමය මත පදනම්ව නිපදවන භාණ්ඩ නැවතත් බටහිර වෙළඳ පොල තුළට පිවිසීමෙන් එම ගැටලුව විසඳා ගැනීමට බටහිර රාජ්‍යයන් සමත්වනු ඇත.

    මාඕ සේතූං ගේ ” ප්‍රජාතන්ත්‍රවාදී ආඥාදායකත්ව” පාලන විධි ක්‍රමය ප්‍රතිසංස්කරණයකට ලක් කළ ඩෙන්ග් ෂියාඕපින් චීනයට හඳුන්වා දුන් ” එක් රටක් පද්ධති දෙකක්” යන මූලධර්මය, එනම් එකම දේශපාලන අධිකාරියක් යටතේ කොමියුනිස්ට්වාදය සහ ධනවාදය සහජීවනයෙන් පවත්වාගෙන යෑම යන මූලධර්මය ඉදිරියේ දී අර්බුදයට ගමන් කරනු ඇත.

    ෂී ජින්පින් ගේ නායකත්වය යටතේ වත්මන් චීනය වඩාත් ඒකාධිපති ස්වරූපයක පාලනයකට නතුවී ඇති අතර,  ලෝක බලවතුන්ට අභියෝග කරමින් , පරිධියේ රටවල් තම අණසකට නතු කර ගැනීමට යන ගමන කෙලවරවනු ඇත්තේ ” එක් රටක් පද්ධති දෙකක්” යන මූලධර්මය සුණුවිසුනු වීමෙන් විය හැක.

    සුනිල් ගාමිණී

  • ලෝකයේ ඉහළම වැටුප් ලබන පුද්ගලයින් අතරට බොලිවුඩ් සුපිරි තරුවක්

    ලෝකයේ ඉහළම වැටුප් ලබන පුද්ගලයින් අතරට බොලිවුඩ් සුපිරි තරුවක්


    Kylie Jenner

    සුප්‍රිසිද්ධ ෆෝබ්ස් සඟරාව (Forbes) විසින් 2020 වසරට අදාළව ඉහළම වැටුප් ලබන පුද්ගලයින්ගේ ලැයිස්තුව පසුගිය දා ප්‍රකාශයට පත් කළා. මෙම ලැයිස්තුවේ ඉහළින්ම පසුවන්නේ ඩොලර් මිලියන 590 ක ඉපැයීම් ලබන මාධ්‍යවේදිනියක සහ රියැලිටි ෂෝ තරුවක් වන අමෙරිකාවේ කයිලි ජෙනර් යි. 

    මේ අතර ෆෝබ්ස් 2020 ලෝකයේ වැඩිම වැටුප් ලබන කීර්තිමත් පුද්ගලයින්ගේ ලැයිස්තුවට ඉන්දියානුවෙක් ද ඇතුළත්ව සිටිනවා. ඔහු සුපිරි බොලිවුඩ් නළු අක්ෂේ කුමාර් වීම ද විශේෂත්වයක්.

    අක්ෂේගේ ආදායම ඩොලර් මිලියන 48ක් වන අතර එම තත්ත්වය මත ඔහු, වැඩිම වැටුප් ලබන කීර්තිමත් පුද්ගලයින් සියය දෙනාගේ ලැයිස්තුවේ 52වන ස්ථානයට හිමිකම් කියනවා.

    ෆෝබ්ස් ලැයිස්තුවේ අක්ෂේ කුමාර්ව හඳුන්වා දී ඇත්තේ ‘බොලිවුඩයේ ඉහළම ආදායම් ලබන තාරකාව’ සහ ‘ඉන්දියාවේ වඩාත්ම පරාර්ථකාමී කීර්තිමත් පුද්ගලයෙක්’ ලෙසයි.  කේසරි, මිෂන් මංගල්, හවුස්ෆුල් 4 සහ ගුඩ් නිව්ස් වැනි චිත්‍රපට සමඟ පසුගිය වසරේ සාර්ථක බොලිවුඩ් ජයග්‍රහණයන් කිහිපයකින් පසුව අක්ෂේ මේ තත්ත්වයට පත් වූ බවයි ෆොබස් සගරාව කියන්නේ.

  • ආදර්ශ ඡන්ද විමසීම සාර්ථකයි – මහින්ද දේශප්‍රිය

    ආදර්ශ ඡන්ද විමසීම සාර්ථකයි – මහින්ද දේශප්‍රිය

    මෙහිදී මැතිවරණ කොමිෂමේ සාමාජිකයෙකු වන මහාචාර්ය රත්නජීවන් හූල් මහතා කළ ප්‍රකාශයක් සම්බන්ධයෙන් ජනමාධ්‍යකරුවන් කළ විමසීමට පිළිතුරු දෙමින් මහින්ද දේශප්‍රිය මහතා කියා සිටියේ අදාළ ප්‍රකාශයේ නිල පරිවර්තනයක් තමාට ලබාදිය යුතු බවයි.

    අද දින පැවැත් වූ පෙරහුරු මැතිවරණයට අනුව නම් මහ මැතිවරණය පැවැත්වීමේ බරපතළ ගැටළුවක් නොමැති බව මැතිවරණ කොමිෂන් සභාවේ සභාපති  මහින්ද දේශප්‍රිය මහතා පැවසුවේය. 

    මැතිවරණ කොමිෂමේ සභාපතිවරයා මේ බව කියා සිටියේ අද (07) අම්බලන්ගොඩ, විලේගොඩ ධම්මයුක්තිකාරාම විහාරස්ථ ධර්ම ශාලාවේ දී පැවති පෙරහුරු මැතිවරණයෙන් අනතුරුව මාධ්‍ය වෙත අදහස් දක්වමිනි.  

    මෙහිදී වැඩි දුරටත් අදහස් දැක්වූ මැතිවරණ කොමිෂමේ සභාපති මහින්ද දේශප්‍රිය මහතා,

    ‘මෙම පෙරහුරු මැතිවරණයෙන් බලාපොරොත්තු වූයේ දරාගත හැකි සාමාන්‍ය තත්ත්වයක් යටතේ ජන්ද විමසීමක් සිදුකරන්නේ කෙසේද යන්න පිළිබඳ තීරණයකට පැමිණීමයි. එකේදී පැයකට කොපමණ ජන්ද ප්‍රමාණයක් පාවිච්චි කරන්න පුළුවන්ද යන්න ගැන වැටහීමක් ලබා ගැනීමයි.

    අපි අද උදේ 10.00ට ඡන්ද විමසීම පටන් අරගෙන 12.00ට අවසන් කරනකොට ජන්ද 239ක් පාවිච්චි කරලා තිබුණා. බැලුවම දැන් පෙනෙනවා පැය 09ක කාලයේදී අපට සාමාන්‍යයෙන් තනි පෝළිමක ජන්ද 900ක් 1000ක් වගේ ප්‍රමාණයක් ගන්න පුළුවන් කියල එක විදිහටම ජන්ද දායකයන්ගේ පැමිණීම තිබුණොත්.

    නමුත් ලොකුවට සෙනග රැස්වුණොත් මේක පවත්වන්නේ කොහොමද? අනික මේ ජන්ද මධ්‍යස්ථානය සාමාන්‍යයෙන් අපේ පොතේ තියෙන ජන්ද මධ්‍යස්ථානයක්. ඇතුල් වීමට දොරටුවක් තිබෙනවා. පිටවීමට දොරටුවක් තිබෙනවා. හොඳින් වාතාශ්‍රය තිබෙනවා. මීට වඩා කුඩා ස්ථානයක තියන්නේ කොහොමද? එවැනි තත්ත්ව යටතේ මැතිවරණය පැවැත්වීමට ක්‍රියාමාර්ග හදාගැනීම සඳහා තමයි මේ නව ක්‍රමවේද වලට යන්නේ.” 

    ඒ වගේම තමයි ප්‍රජා ශාලා වැනි කුඩා ස්ථානවල ජන්ද විමසීමක් සිදුකරන්නේ කෙසේද යන්න පිළිබඳ තීරණයක් ගැනීමට අපට සිදුවෙනවා. ප්‍රජාතන්ත්‍රවාදය මිලෙන් අධිකයි. ඒක ලාබෙට ගන්න පුළුවන් දෙයක් නෙවෙයි. ජන්දයට යන වියදම අපි හිතන් හිටියේ අපි දන්න විදිහට කිව්වොත් කෝටි 600ක් 650ක් අතර මේක කෝටි 800 වෙයිද 900 වෙයිද කියලා කාටවත් කියන්න බැහැ. අපි ඒ වියදමත් සති සති දෙකකින් ගණන බලා ප්‍රකාශයට පත් කරනවා‘

    මෙහිදී මැතිවරණ කොමිෂමේ සාමාජිකයෙකු වන මහාචාර්ය රත්නජීවන් හූල් මහතා කළ ප්‍රකාශයක් සම්බන්ධයෙන් ජනමාධ්‍යකරුවන් කළ විමසීමට පිළිතුරු දෙමින් මහින්ද දේශප්‍රිය මහතා කියා සිටියේ අදාළ ප්‍රකාශයේ නිල පරිවර්තනයක් තමාට ලබාදිය යුතු බවයි.

    ‘මම දෙමළ භාෂාව දන්නේ නැහැ. ඒ නිසා පිළිගත් භාෂා පරිවර්තකයෙක් මගින් කළ නිල පරිවර්තනයක් මට ලබා දිය යුතුයි. එවැන්නක් ලැබුණොත් මම සාධාරණ හා පිළිගත හැකි තීන්දුවක් ගන්නවා‘