Blog

  • පොදු ප්‍රවාහන සේවා සාමාන්‍ය පරිදි ක්‍රියාත්මක කිරීම: ආණ්ඩුවේ තීරණය ගැන මගීන්ට සැක

    පොදු ප්‍රවාහන සේවා සාමාන්‍ය පරිදි ක්‍රියාත්මක කිරීම: ආණ්ඩුවේ තීරණය ගැන මගීන්ට සැක

    මේ අතර දුම්රිය හා බස් රථ මගීන්ද දැඩිව අවධාරණය කරන්නේ ආණ්ඩුව පොදු ජනතාවගේ ප්‍රවාහන සේවා ගැන මළ පොතේ අකුරක් නොදන්නා සේ කටයුතු කිරීම හාස්‍යජනක බවයි.

    හෙට (8) සිට සමාන්‍ය කාර්යාල හා පොදු කටයුතු ආරම්භ කරන බවට රජය විසින් නිවේදනය කර තිබුණත් පොදු ප්‍රවාහන සේවා සාමාන්‍ය පරිදි පවත්වාගෙන යාම සම්බන්ධයෙන් අවසාන තීරණය ගනු ලබන්නේ ජනාධිපති ගෝඨාභය රාජපක්‍ෂ මහතා සමඟ හෙට (8) පැවැත්වෙන සාකච්ඡාවෙන් පසුව බව මගී ප්‍රවාහන කළමනාකරණ සහ විදුලිබල හා බලශක්ති අමාත්‍ය මහින්ද අමරවීර මහතා අද (7) පැවැති ප්‍රවෘත්ති සාකච්ඡාවකදී පැවසුවා.

    එහිදී අමාත්‍යවරයා සදහන් කළේ විශේෂයෙන් අන්තර් පළාත් බස් සේවාවන් අද දිනයේත් ක්‍රියාත්මක වන්නේ කොළඹ සහ ගම්පහ දිස්ත්‍රික්ක හැර සෙසු දිස්ත්‍රික්ක අතර පමණක් බවයි.

    මේ සම්බන්ධයෙන් වැඩි දුරටත් කරුණු පැහැදිලි කළ අමාත්‍යවරයා,

    ‘ පොදු ප්‍රවාහන සේවාවන් හෙට (8) සිට සාමාන්‍ය පරිදි පවත්වාගෙන යාමට රජය තීරණය කර තිබුණත් ජනාධිපති මාධ්‍ය අංශය ඉකුත් 5 වැනිදා නිකුත් කරන ලද නිවේදනයෙහි තොළඹ, ගම්පහ දිස්ත්‍රික්ක හැර සෙසු දිස්ත්‍රික්කවල පමණක් පොදු ප්‍රවාහන සේවා ක්‍රියාත්මක කළ යුතු බව සඳහන් කර තිබීම හේතුවෙන් කිසියම් ගැටලුවක් උද්ගත වී තිබෙනවා. මේ තත්ත්වය තුළ පොදු ප්‍රවාහන සේවාවන් ක්‍රියාත්මක කිරීම සම්බන්ධයෙන් වන සාකච්ඡාවක් ජනාධිපති ගෝඨාභය රාජපක්‍ෂ මහතා සහ ප්‍රවාහන සේවාවන්ට අදාළ පාර්ශව අතර හෙට (8) දිනයේදී පැවැත්වීමට නියමිතයි. එහිදී ජනාධිපතිවරයා ලබාදෙන උපදෙස් අනුව ඉදිරි පොදු ප්‍රවාහන සේවා ක්‍රියාත්මක කිරීමට අමාත්‍යාංශය පියවර ගන්නවා‘

    මෙහිදී ප්‍රධාන නගර වෙත, විශේෂයෙන් කොළඹ නගරයට නිරෝධායන නීති අනුව සියලු රාජ්‍ය හා පුද්ගලික අංශයේ සේවකයින් ප්‍රවාහනය කිරීමට ප්‍රවාහන සේවා ප්‍රමාණවත් දැයි විමසූ විට අමාත්‍යවරයා කියා සිටියේ,

    ‘සෞඛ්‍ය අංශ ලබාදී ඇති උපදෙස් අනුව ආසන සංඛ්‍යාව අනුව පමණක් මගීන් ප්‍රවාහනය කිරීමේදී දැනට පවතින ලංගම හා පෞද්ගලික බස් රථ ප්‍රමාණවත් නැහැ. ඊට විකල්පයක් ලෙස සංචාරක සේවා බස්රථ මෙන්ම දැනට ලියාපදිංචිය සඳහා පොරොත්තු ලේඛනයේ ඇති බස් රථ ද මගී ප්‍රවාහනය සඳහා තාවකාලිකව ලියාපදිංචි කිරීමට පියවර ගෙන තිබෙනවා. තාවකාලිකව ලියාපදිංචි කරන එම බස් රථ අවශ්‍යතාව අනුව පමණක් ධාවනයට යොදවන ලෙස මම ගමනාගමන කොමිසමට උපදෙස් දී තිබෙනවා‘

    හෙට සිට ක්‍රියාත්මක වන දුම්රිය සේවා ගැන අදහස් දක්වමින් අද (7) දුම්රිය වෘත්තීය සමිති නායකයින් අවධාරණය කළේ නිරෝධායන නීති අනුව දුම්රියේ ගමන් කිරීමට ජනතාවට කිසිසේත්ම ප්‍රමාණවත් පහසුකම් නැති බවයි.

    ‘ඉතාම පැහැදිලිව අපි කියනවා දුම්රිය දෙපාර්තමේන්තුව සතු දුම්රියවල මගීන්ට ඉදගෙන ගමන් කිරීමට සිදු වන තත්ත්වයක් තුළ ප්‍රමාණවත් ආසන පහසුකම් නැහැ. ඒ නිසා හෙට සිට දුම්රිය ප්‍රවාහනය තුළ අර්බුදයක් නිර්මාණය වීම අනිවාර්යයි‘

    මේ අතර දුම්රිය හා බස් රථ මගීන්ද දැඩිව අවධාරණය කරන්නේ ආණ්ඩුව පොදු ජනතාවගේ ප්‍රවාහන සේවා ගැන මළ පොතේ අකුරක් නොදන්නා සේ කටයුතු කිරීම හාස්‍යජනක බවයි.

    ‘මේ ඇමැතිවරු කියන්නේ මොන විහිළු කතාද කියලා අපිට හිතෙනවා. එක කොච්චියක ගත්තොත් ඉදගෙන යන ගාණට වඩා පස් හය ගුණයක් හිටගෙන, එල්ලිලා යනවා. ෆුඩ්බෝඩ් එකේ යනවා. අපිට ඇගිල්ලක් ගහන්නවත් ඉඩක් කාර්යාල දුම්රිය තුළ නැහැ. ඒ වගේ තත්ත්වයක් තියෙද්දී මේ ඉදගෙන යන්න කියන කතා කියන්නේ මොන හිතකින්ද කියලා අපිට හිතෙනවා. අපි කියන්නේ මේ දේශපාලනඥයින් සහ ඉහළ නිලධාරීන් කිසිම දාක කාර්යාල දුම්රියක් දැකලා නැතිව ඇති. එහෙම දැකලා තියෙනවා නම් මේ වගේ බයිලා කියන්නෑ‘ අප සමග අදහස් දැක්වූ කොළඹ රාජ්‍ය ආයතනය කළමනාකාර සහකාරවරයෙක් පැවසුවා.

    ඔහු සදහන් කළේ තමන් දෛනිකව දුම්රියට ගොඩවන පානදුර දුම්රිය පොළෙන් පිටත්වන කිසිම කාර්යාල දුම්රියක ඇගිල්ලක් ගැසීමටවත් ඉඩක් නොමැති බවයි.

    ‘මේවා ජනතාවට විහිළු සපයන කතා. පොදු ප්‍රවාහන සේවාවල ඇත්ත තත්ත්වය දන්න කිසිවෙක් මේ බයිලා විශ්වාස කරන්නෑ‘ ඔහු වැඩි දුරටත් පැවසුවා.

    කොළඹට යාමට බස් රථ භාවිත කරන මගීන්ගේද ප්‍රධාන මැසිවිල්ල වන්නේ එල්ලී යාමටවත් බස්රථ ප්‍රමාණවත් නොවන රටක සීට් ගානට මගීන් ගෙන යාම ගැන කතා කිරීම විහිළුවක් බවයි.

    ‘මේ පාලකයෝ සහ නිලධාරීන් හදෙන් පාත් වුණ ගානට තමයි සැලසුම් සකස් කරන්නේ. අපිට බස් එකක ඇගිල්ලක් ගහන්න ඉඩක් නැහැ. එහෙම නම් අපි හෙට ඉදනි කොහොමද නිරෝධාන නීති අනුව ගමන් කරන්නේ ‘

    කැස්බෑව නගරයේ සිට කොළඹ කොටුවට දෛනිකව රාජකාරී සදහා ගමන් කරන දිස්නා කුමාරි මහත්මිය ප්‍රශ්න කළාය.

  • කොරෝනා පාලනය කරලා ජනපති ජනතාවට අභය දානය දුන්නා – ප්‍රසන්න

    කොරෝනා පාලනය කරලා ජනපති ජනතාවට අභය දානය දුන්නා – ප්‍රසන්න

    පොහොට්ටුව සන්ධාන ගත වුණේ ශ්‍රී ලංකා නිදහස් පක්ෂයත් සමග මිස මෛත්‍රීපාල සිරිසේන හිටපු ජනාධිපතිවරයා සමග නොවන බවත් ඔහු රටට කළ විනාශයට කිසිසේත් සමාව නොදෙන බවත් කාර්මික අපනයන, ආයෝජන ප්‍රවර්ධන, සංචාරක හා ගුවන් සේවා ඇමති ප්‍රසන්න රණතුංග මහතා අවධාරණය කරයි.

    රට ඉදිරියට ගෙන යා හැක්කේ ඉදිරි මහ මැතිවරණයේ දී ගෝඨාභය රාජපක්ෂ ජනාධිපතිවරයාට වැඩ කළ හැකි ස්ථාවර ආණ්ඩුවක් පිහිටුවා ගැනීමෙන් පමණක් බවත් එය අද රට හමුවේ ඇති වගකීම බවත් ඇමතිවරයා පෙන්වා දෙයි.

    ඇමති ප්‍රසන්න රණතුංග මහතා මේ බව සදහන් කළේ ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ  මගින් රටපුරා පවත්වන “ගම දැනුවත් කරමු, අපි යලිත් නැගිටිමු “ රැස්වීම් මාලාවේ නැගෙනහිර කොළඹ ආසනයේ දැනුවත් කිරීමේ රැස්වීමට සහභාගී විමෙනි. රැස්වීමේ ඊයේ (6) නාරාහේන්පිට දාබරේ මාවත ප්‍රජාශාලාවේදී පැවැත්විණ.

    මෙහිදී වැඩිදුරටත් අදහස් දැක්වූ ප්‍රසන්න රණතුංග ඇමතිවරයා මෙසේද කීවේය.

    “ පසුගිය ජනාධිපතිවරණයේදී රටේ ජනතාව තුළ විශ්වාසයක් තිබුනා රට ගොඩනැගිය හැකි නායකයා ගෝඨාභය රාජපක්ෂ මහතා කියලා. ඒ නිසයි ජනතාව අපට ඡන්දය දුන්නේ. නමුත් එතුමා ජනාධිපති වුනේ වර්තමාන විපක්ෂයට බලය තියෙන පාර්ලිමේන්තුවක.

    ජනාධිපතිවරයා නව අගමැතිවරයෙක්, ආණ්ඩුවක් පත් කලාට පාර්ලිමේන්තුවේ බහුතර බලය අපිට තිබුණේ නෑ. ඒ අය කලේ කකුලෙන් අදින එකයි. පණතක් සම්මත කරගන්න දුන්නේ නෑ. ගේන්න හදන පරිපූරකයට මොකද කලේ කියලා මේ රටේ ජනතාව දන්නවා. මේ සියල්ල නිසා ගෝඨාභය රාජපක්ෂ ජනාධිපතිතුමාට වැඩ කරන්න පුළුවන් ආණ්ඩුවක් හදන්න මහ මැතිවරණය කැඳවුවත් කෝරෝනා වසංගතය නිසා එය කල් ගියා.

    අද ඇමරිකාව, යුරෝපය, එංගලන්තය වැනි රටවල් මේ කොරෝනා වසංගතයට මුහුණදෙන්න බැරිව අසරණ වි තිබෙනවා. මිනිස්සු දහස් ගාණක් මැරෙනවා. පාලනයක් නොකිරීම හා අවධානයක් නොතිබීම තමයි ඒකට හේතුව. ඒත් අපේ ජනාධිපතිතුමා පලවෙනි සතියේම ගුවන්තොටුපල වහලා ඇඳිරි නීතිය පනවලා රටම ලොක්ඩවුන් කරලා රටත්, ජනතාවත් සුරක්ෂිත කරන්න පියවර ගත්තා. එහෙම නොවුනා නම් අපේ රටේ ජනගහණයෙන් භාගයක් කොරෝනා නිසා මිය යනවා. එදා යුද්ධය දිනලා මහින්ද මහත්තයා මේ ර‍ටේ ජනතාවට අභයදානය දුන්නා වගේ ම මෙදා කොරෝනා වසංගතය පාලනය කරලා රටේ ජනතාවට ගෝඨාභය මහත්තයා අභයදානය දුන්නා. ගෝඨාභය මහත්තයා ජනාධිපතිවරණයේ දී යෝජනා මාලාවක් ඉදිරිපත් කළා.

    සෞභාග්‍යයේ දැක්ම කියලා. ඒ ප්‍රතිපත්තිමය වැඩ පිළිවෙල ක්‍රියාත්මක කරන්න පුළුවන් පාර්ලිමේන්තුවක් පත් කර ගත යුතුයි. සදුදා වෙනකොට මැතිවරණ කොමිසම දින නියම කරනවා. සෞඛ්‍ය අංශ වල මාර්ගෝපදේශ අනුව මැතිවරණය කඩිනමින් පවත්වා රට ස්ථාවර කළයුතුයි. මහා බැංකු හොරකම රටේ දූෂණ කරලා රටේ ආර්ථිකය යහපාලන ආණ්ඩුව කාබසිනියා කරලා දාලා තියෙන්නේ. දේශපාලන ස්ථාවරත්වයත් රට තුළ ඇති නොකර අපිට මේ අර්බුදයෙන් ගොඩ එන්න බෑ.

    දේශපාලනය ස්ථාවරභාවය ඇති කරන්න පුළුවන් පොහොට්ටුවට තුනෙන් දෙකේ බහුතර බලය සහිත පාර්ලිමේන්තුවක් පත් කිරීමෙන් පමණයි. උතුරු නැගෙනහිර එල්.ටී.ටී.ඊ හිතවාදින් සහාය දෙන්නේ සජිත්ට. ඒ මන්ත්‍රීවරුන් 10ක් 15 ක් පාර්ලිමේන්තු එනවා. ඒ නිසා දකුණෙන් අපි ඒකට උත්තර හදන්න ඕනේ. ගම්පහින් අපි මන්ත්‍රීවරුන් 12 ක්, 13 ක් පාර්ලිමේන්තුවට එවනවා. අපේ ම අය කොළඹත් ඒ වගේ පිරිසක් අපිට දිනවගන්න පුළුවන් වුණොත් උතුරු නැගෙනහිර කොටි හිතවාදීන් පාර්ලිමේන්තුවට ඇවිත් සජිත්ට සහාය දුන්නාට වැඩත් වෙන්නේ නෑ.

    මහින්ද මහත්තයා අගමැති වෙන්න තිබුණේ 2015 දී. නමුත් මෛත්‍රී ඒක වැළැක්වුවා. මහින්ද මහත්තයා දින්නත් අගමැතිකම දෙන්නේ නෑ කිව්වා. ඊළගට අනුර යාපා ඇමතිතුමාවයි, බැසිල් ඇමතිතුමාවයි ලේකම් තනතුරු වලින් එළෙව්වා. ඒ නිසා ද අපිට ඒ වෙලාවේ දිනන්න බැරි වුණා. ඒක තේරුම් ගත්ත නිසයි අපි පො‍හොට්ටු පක්ෂය හැදුවේ.

    අපි පක්ෂයක් හදන්න යනවා කියලා ආරංචි වෙලා මෛත්‍රී කිව්වා අපි ව පාරක් පාරක් ගාණේ ඇවිද්දවනවායි කියලා. ඒත් අපි සටන අතහැරියේ නෑ. එදා අපි මේ පක්ෂය පිහිටෙව්වේ රනිල් – මෛත්‍රී ආණ්ඩුවේ තර්ජන මැද. එදා අපි පොහොට්ටු පක්ෂය හැදුවේ නැත්නම් අද ගෝඨාභය මහත්තයා ජනාධිපති වෙන්නෙත් නෑ. දැන් මගෙන් අහයි මොකටද මෛත්‍රීව සන්ධානයේ සභාපති කළේ කියලා.  ඔහුව නම් කළේ ශ්‍රී ලංකා නිදහස් පක්ෂය

    . අපි සන්ධාන ගත වුණේ ශ්‍රී ලංකා නිදහස් පක්ෂය සමග මිසක් මෛත්‍රී එක්ක නෙමෙයි. අපි සන්ධානය ගැහුවේ එකතුවෙලා රටට වින කරපු හතුරෝ එළවන්න මෛත්‍රී මේ රටට කරපු විනාශයට මටනම් ඔහුට කවදාවත් සමාව දෙන්න බෑ. ඒ නිසා මා ඔහුට එදත්, අදත්, හෙටත් විරුද්ධයි. ජනතා විමුක්ති පෙරමුණ දන්නේ ටොයිලට් වල සල්ලි ගන්න විතරයි.

    දැන් ඒ පක්ෂය මෙලෝරහක් නැති පක්ෂයක්. මුලින් කියනවා රට වැහුවේ නැති නිසා තමයි කොරෝනා ආවේ කියලා. ඊට පස්සේ කියනවා රට විවෘත කරන්න පිටරට ඉන්න අයට එන්න කියලා. කිසිම ප්‍රතිපත්තියක් නෑ. සමගි ජන බලවේගයටත් එච්චරයි. සමගි ජන බලවේගය, එජාපය, ජවිපෙ කිසිම ප්‍රතිපත්තියක්, වැඩපිළිවෙලක් තියෙන දේශපාලන පක්ෂ නෙමෙයි. මේ අයට මේ පාර ඇපත් නැති වෙනවා.  

    අපේ ආණ්ඩුවක් ඇවිල්ලත් පහුගිය යහපාලන කාලයේ වෙච්ච දේවල් වලට විරුද්ධව පියවර ගන්න බැරිවෙලා තියෙන්නේ වෙන මුකුත් නිසා නෙමෙයි අපිට පාර්ලිමේන්තුවේ බලයක් නැති නිසා. රටට ගැලපෙන ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවක් හදලා, රටේ ප්‍රජාතත්ත්‍රවාදය තහවුරු කරන්න බලය සහිත ආණ්ඩුවක් ඕනේ.

    යහපාලන කාලයේ වෙච්ච මහා බැංකු කොල්ලය ඇතුළු හැටහුටහමාරක් වංචා, දූෂණ වලට සම්බන්ධ අයට එරෙහිව පියවර ගන්න අපි ස්ථාවර ආණ්ඩුවක් හදන්න ඕනේ. අපේ ජනාධිපතිතුමාට ඕනේ විනයගරුක රටක් හදන්න. ඒක කරන්න පුළුවන් ගෝඨාභය මහත්තයට වැඩ කරන්න පුළුවන් ආණ්ඩුවක් හැදුවොත් විතරයි.

  • සුපිරි බොලිවුඩ් නිළි කරිෂ්මා කපූර් තම ‘ජීවිතයේ සැගවුණු රහස්’ හෙළි කරයි

    සුපිරි බොලිවුඩ් නිළි කරිෂ්මා කපූර් තම ‘ජීවිතයේ සැගවුණු රහස්’ හෙළි කරයි

    කරිෂ්මා කපූර් කියන්නේ සුපිරි නළු – නිළි පරපුරක අභිමානය තව දුරටත් ඉදිරියට ගෙන ගිය බොලිවුඩයේ සුපිරි නිළියක්. ඒත් බොහෝ බොලිවුඩ් නිළියන් සේම කරිෂ්මාත් තමන්ගේ සුපිරි ජනප්‍රියත්වය රැක ගෙනම ක්‍රමයෙන් සිනමාවෙන් ඈත් වුණා. ඒ වෙනුවට තවත් බොහෝ දේ කරමින්, සිනමාවෙන් උපයා ගත් ජනප්‍රියත්වය හා බලය ආයෝජනය කරමින් දිගින් දිගටම ජන මනසේ රැදී සිටිනවා.

    දැන් කරිෂ්මා අලුත් වැඩකට අතගහලා කියලා තමයි බොලිවුඩයෙන් වාර්තා වන්නේ. කාලයට හා තාක්ෂණයට ගැළපෙන මේ අලුත් ව්‍යාපෘතිය තමයි වෙබ් ලිපි මාලාවක් සම්පාදනය කිරීම. මානසිකත්වය ගැන කතා කරන මෙම වෙබ්ලිපි කතා මාලාවේ (web series Mentalhood) නිෂ්පාදකයා වෙන්නේ එක්ටා කපූර්.

    දෙදරු මවක් වන කරිෂ්මා (දියණිය සමියෙරා සහ පුත් කියන් රාජ් කපූර්) තම අත්දැකීම් පදනම් කර ගනිමින් සම්පාදිත මේ වෙබ්ලිපිවලට බොහෝම ඉහළ පාඨක ප්‍රතිචාර ලැබෙන බවයි කරිෂ්මා කියන්නේ.

    පහත පළ වන්නේ කරිෂ්මාගේ මේ අලුත් ව්‍යාපෘතිය සහ තවත් බොහෝ දේ ගැන ෆිල්ම් ෆෙයාර් හි පසුගිය ජූනි 02 වැනිදා පළ වූ අලුත්ම ලිපියක්.

    ඔබ මේ දිනවල අලුත් ව්‍යාපෘතියක නිරත වෙමින් සිටිනවා. ඒ ගැන කතා කරමින්ම අපි සාකච්ඡාව ආරම්භ කරමුද ?

    ඒක හොදයි. මොකද මේක අලුත් ව්‍යාපෘතියක්. පාඨකයින්ගෙන් උණුසුම් ප්‍රතිචාර ලැබෙමින් පවතින දෙයක්. එක්ටා කපූර් මට මේ ගැන යෝජනා කළ විට ඒ ගැන මම එතරම් උනන්දුවක් යොමු කළේ නැහැ. මට හිතුණේ එවැනි දෙයක් මා විසින් කළ යුතුද කියලයි. නමුත් ඔහු කතාපිටපත මට ලබා දුන් පසු මම එය දැඩි අවධානයෙන් අධ්‍යයනය කළා. එවිට මට හිතුණා මා මෙය කළ යුතුයි කියලා. මොකද මටත් අවශ්‍ය වන්නේ මා දිනපතා කරන දේ ජනතාව දැන ගැනීමයි. මට කියන්න ඕන ප්‍රේක්ෂකයන්ට ඔවුන් තනිවම නොවේ, දෙමව්පියන් වශයෙන් අපි එකට මේ ගමන යන බව. සෑම කාන්තාවකටම, සෑම මවකටම, තරුණ ගැහැණු ළමයින්ට, මහලු අයට මේ කතාව කිව යුතුයි. එක්කෝ ඔවුන් මේ හරහා ගොස් ඇති අතර දැනට එය අත්විඳිමින් සිටී හෝ නුදුරු අනාගතයේ දී එය අත්විඳිමින් සිටිනවා විය හැකියි. අපි සෑම කථාංගයකම, හිරිහැර කිරීම, රෝගී බව, දරුකමට හදා ගැනීම, තනි දරු මවක් වීම, මාපිය පුහුණුව වැනි සංවේදී හා අදාළ මාතෘකා සාකච්ඡාවට ලක්කරනවා. මේ මාතෘකා බැරෑරුම් නමුත් ආඛ්‍යානය හාස්‍යජනක යි.

    කරිෂ්මා සිය දරුවන් සමග

    ඔබේ දරුවන් වන සමීර සහ කියන් වෙබ් මාලාවක් කිරීමට ඔබට ප්‍රතිචාර දැක්වූයේ කෙසේද?

    ඔවුන් සතුටට පත් වුණා මිස කිසිම කලබලයක් කළේ නැහැ. ඒත් මම නැවත වැඩ කිරීම ගැන නම් ඔවුන් තුළ යම් කම්පනයක් තිබෙන බව පේනවා. ඒත් මම කලබල වුණේ නැහැ. ඒක මට ලොකු ගමනක්. මම විශිෂ්ට චිත්‍රපට කිහිපයක් කළා. ප්‍රේක්ෂකයෝ මට ආදරය කිරීම ගැන මම ඔවුන්ට ස්තුති කරනවා. මම අලුත් දේවල් කරන්න කැමතියි. මම මීට පෙර ගුවන් විදුලි වැඩසටහනක් කළා. මම රූපවාහිනී වැඩසටහන් කළා. දැන් එය වෙබ් අඩවි දක්වා ගමන් කර තිබෙනවා. ඩිජිටල් මාධ්‍යය වෙනස් වේදිකාවක්.  එය වඩාත් නිර්මාණශීලී යි. එය ඔබට හඩක් ලබා දෙනවා. වෙබ් අවකාශය චිත්‍රපට හා රූපවාහිනියේ පරිපූර්ණ එකතුවක් වශයෙන් මම දකිනවා.

    ඔබ ඔබේ දරුවන් සමඟ සිටීමට ඔබේ වෘත්තිය පසෙකට දැමුවා නේද ?

    ඔව්. ඒක තමයි මම ගත් තේරීම. මට මගේ දරුවන් සමඟ සිටීමට අවශ්‍ය වුණා. මාතෘත්වය කාන්තාවක් ලෙස ඔබව සම්පූර්ණයෙන්ම වෙනස් කරනවා. ඔබේ දරුවන් ඔබේ ප්‍රමුඛතාවය බවට පත් වෙනවා. වැඩ මට ද්විතියිකයි. ඒ සියල්ල ආපසු ගෙදරට ගොස් දරුවන් සමඟ සිටීමයි. ඊට වඩා වැදගත් කිසිවක් නැහැ. ළමයි දැන් වයසින් වැඩි ඇති නිසා මම නැවතත් රංගනය භාර ගත්තා. නමුත් මම ඒ ගැන තෝරා බේරාගෙන සිටිනවා.

    ඔබේ වෘත්තිය අත්හැරීම ගැන ඔබ කවදා හෝ කනගාටු වෙනවාද?

    නැහැ, කිසිසේත්ම නැහැ. මම තරුණ වියේ සිටම වැඩ කිරීමට පටන් ගත්තා. ඒ කාලය තුළ මම ගොඩක් වැඩ කළා. ඒ දවස්වල අපි දවසකට චිත්‍රපට තුන හතරක් කළා. මම දිවා රෑ වැඩ කළා. විවේකයක් නොගෙන වැඩ කළා. ඒ බොලිවුඩයේ ඉහළටම ගමන් කිරීමට තිබූ ආසාව නිසා. මම ඒ ගමන ගියා. එය කරා ළගාවීම ගැන මම සතුටට පත් වෙනවා. මට අවශ්‍ය දේ සපුරා ගැනීමෙන් පසු මම පිටත්ව ගියා. ඉතින්, පසුතැවීමක් ඇත්තේ නැහ.

    දිගු කාලයක් රංගනයෙන් ඈත්ව සිටීමෙන් පසු නැවත කැමරාවට මුහුණ දුන්නේ කෙසේද?

    දැන්වීම් රූගත කිරීම් සඳහා මම නිතරම කැමරාවට මුහුණ දුන්නා. ඒ නිසා නැවත සිනමා පටයක් වෙනුවෙන් කැමරාව ඉදිරියට යාම මට අසීරු දෙයක් නොවෙයි. 

    කරිෂ්මා සහ කරීනා සිය මව සමග

    ඔබ ඔබේම මව වන බබිතා ගැන දක්වන ආකල්පය කුමක්ද ?

    මම මගේ අම්මා වගේ. මම වයසින් වැඩෙත්ම මම ඇයව තවත් අගය කරනවා. ඇය අපට ශක්තිමත් වටිනාකම් පද්ධතියක් ලබා දුන් අතර එය අප තුළ මුල් බැස තිබෙනවා. වැඩිහිටියන්ට ගරු කිරීම, පවුලේ අය සමඟ කාලය ගත කිරීම, කරන දේ අවංකව හා නිවැරදිව කිරීම, බලාපොරොත්තු සහගතව සිටීම වැනි දේ මට කියා දුන්නේ මගේ අම්මා විසින්. මම මේවා මගේ දරුවන්ට උරුම කර දුන්නා. බොහෝ විට මම මගේ දරුවන්ට යමක් පවසන විට, මම හැරී මගේ මවට කියනවා, ‘බලන්න මම ඔබ වගේමයි’ කියලා.

    ඔබ ඔබේ මවගෙන් ඉගෙන ගත් විශේෂිත යමක් තිබෙනවාද ?

    මම මගේ අම්මාගෙන් සරල දේවල් ඉගෙන ගත්තා. අවංක පුද්ගලයෙක් වන්න, ආත්ම ගරුත්වය රැක ගන්න, අවධානයෙන් සිටින්න, වෙහෙස මහන්සි වී වැඩ කරන්න සහ මුදල් අගය කරන්න. ඔබට ඕනෑම තැනක සිට පැමිණිය හැකියි. ඔබට ඕන දෙයක් කරන්න පුළුවන්. නමුත් ඔබේ මූලික වටිනාකම් පද්ධතිය ශක්තිමත් විය යුතුයි. ඒ බව තමයි මම මගේ අම්මගෙන් ඉගෙන ගත් විශේෂිතම දෙය වෙන්නේ.

    තනිකඩ මවක් වීම දුෂ්කර ද?

    මම සෑම දෙයක්ම ධනාත්මකව දකිනවා. මම සෑම දෙයක්ම උත්සාහ කර කළමනාකරණය කරනවා. (සිනහවෙන්) මේ සම්මුඛ සාකච්ඡාව කරන අතරතුරේදීත් මම නිතරම මගේ දරුවන් සමඟ දුරකථනයෙන් සම්බන්ධ වී සිටින බව ඔබට දැකගත හැකියි. මම බහු කාර්ය මවක්. එවැනි අවස්ථාවක, ඔබට මාව සුපිරි මවක් ලෙස හැඳින්විය හැකියි.

    රැකියාව සහ නිවස හසුරුවන්නේ කෙසේද?

    ඔබේ ප්‍රමුඛතා ඔබ දන්නේ නම්, ඔබට සියල්ල කළ හැකියි. ඉරිදා දිනවල වැඩ නොකිරීම මගේ ප්‍රතිපත්තියයි. එය පවුල් දිනයක්. අද දවසේ නිෂ්පාදන ආයතන තේරුම් ගන්නේ මගේ සහෝදරිය (කරීනා කපූර් ඛාන්) මෙන් වැඩ කරන අම්මලා බොහෝ දෙනෙක් සිටින බවයි. 

    කරිෂ්මා සහ කරීනා

    ඔබ කරීනා සමඟ විශේෂ බැඳීමක් බෙදා ගන්නවා …

    ඔව්, අපි සෑම විටම අතිශයින් සමීපව සිටිනවා.  අපි සෑම දෙයක් ගැනම කතා කරනවා. එළවළු මිල, මුළුතැන්ගෙයෙහි සිදුවන්නේ කුමක්ද, රියදුරන් සමඟ වන මතභේද, දෙමාපිය ඉඟි … සහෝදරියන් සාමාන්‍යයෙන් බෙදාගන්නා දේවල්. රූගත කිරීම්වලදී සිදුවන්නේ කුමක්ද යන්නත් අපි බොහෝ විට කතා කරන අතර විලාසිතා ඉගි බෙදා ගන්නවා. කරීනා අනාගත පරපුර සඳහා ආදර්ශයක් තබා තිබෙනවා. කරුණාකර පෞද්ගලික ජීවිතයක් ගත කරන්න, විවාහ වන්න, දරුවන් බිහිකරන්න. ඔබට තවමත් ඔබේ ක්‍රීඩාවේ ඉහළින්ම සිටිය හැකියි. ඔබට තවමත් වැඩ කළ හැකි අතර ඔබට තවමත් ඔබේ හොඳම පෙනුම ලබා ගත හැකියි. ඇය ඒ බව තහවුරු කර තිබෙනවා.

    කරිෂ්මා සිය දරුවන් සමග

    ඔබ මොන වගේ මවක්ද?

    මම ආරක්ෂිත මවක්. ඒත් මම කොටි අම්මා කෙනෙක් කියලා මම කියන්නේ නැහැ. මම විනයගරුකයි. මම හිතන්නේ මගේ අම්මා විනයගරුකභාවය මහත් ඉහළින් අගය කළා වගේම රැක ගත්තා. එය මගේ වෘත්තිය තුළ, පුද්ගලයෙකු ලෙස මා හැඩගස්වා ගැනීමට උපකාරී වුණා. පාසැල් කාලයෙන් පසු දරුවන් සමඟ සංවාදයක යෙදීමට මම කැමතියි. සෑම දිනකම ඔවුන් සමඟ ගුණාත්මක කාලයක් ගත කිරීමට මම පුරුදුව සිටිනවා. මම ඔවුන් සමඟ සිටින විට මම ඔවුන් කෙරෙහි පූර්ණ අවධානය යොමු කරනවා. මම ඔවුන්ගේ සමාගම භුක්ති විඳින්නවා.

    ඔබ ඔවුන් වෙනුවෙන් උයනවාද?

    ඔව් මම කරනවා. මම මගේ උපරිමයෙන් උත්සාහ කරනවා. ඔවුන් තරුණ වන විට, ඔබ ආහාරවල රසවත් පෙනුමක් ඇති කළ යුතුයි. නමුත් දැන් ඔවුන් සෞඛ්‍යය ගැන සැලකිලිමත් වී ඇති අතර වඩා හොඳ ආහාර පුරුදු පිළිබඳව බොහෝ සේ උනන්දු වෙමින් සිටිනවා. මම ඔවුන්ගෙන් බොහෝ දේ ඉගෙන ගන්නවා. මෙම පරම්පරාව එතරම් බුද්ධිමත්. බොහෝ විට ඔවුන් මට යමක් සෞඛ්‍ය සම්පන්න නොවන බව පවසන අතර වඩා හොඳ විකල්ප ද යෝජනා කරනවා.

    පසුගිය වසර කිහිපය තුළ සිනමාවට නිළියන් සඳහා වැඩි ඉඩක් නිර්මාණය වී තිබෙනවා. ඔබ ඒ ගැන එකඟ වෙනවා ද?

    නිළියන් සඳහා සෑම විටම හොඳ චරිත තිබෙනවා. Mother India and Mughal-E-Azam ඒ සදහා වන අතීත උදාහරණ. ඔවුන් එදා බොලිවුඩයේ කාන්තා නායකත්වයක් වෙනුවෙන් නායකත්වය දුන්නා.  

    මමත් දිල් ටෝ පගල් හායි සිට රාජා හින්දුස්ථානි, ෆීසා, සුබෙයිඩා (Dil Toh Pagal Hai to Raja Hindustani, Fiza, Zubeidaa) දක්වා විවිධ චරිත නිරූපණය කළා. සෑම වයස් කාණ්ඩයකම නිළියන් අද ඉතා හොද චරිත නිරූපණය කරනවා. එසේම, ඔබට රූපවාහිනිය, වෙබ්, යූ ටියුබ් තුළ බොහෝ දේ කළ හැකියි. අද විකල්ප බොහෝ ගණනක් තිබෙනවා.

    ඔබේ ඊළඟ සැලසුම කුමක්ද?

    මම කිසිවක් සැලසුම් කරලා නැහැ. නමුත් මම විහිලු කිරීමෙන් සතුටක් ලබනවා. මට දැන් ඒ ගැන කතා කරන්න බැහැ. ඒ ගැන නිවේදනය කිරීමට නිෂ්පාදකයන්ට ඉඩ ලබා දිය යුතුයි.

    ෆිල්ම් ෆෙයාර්හි 2020 ජූනි 02 වැනි දින පළ වූ සම්මුඛ සාකච්ඡාවක් ඇසුරිණි – සකස් කළේ – තුෂාධවි

  • ‘කොටින්ගේ සැගවුණු මහ මොළය’ කියන්නේ රත්නජීවන් හූල්ටයි – ඇමති ප්‍රසන්න

    ‘කොටින්ගේ සැගවුණු මහ මොළය’ කියන්නේ රත්නජීවන් හූල්ටයි – ඇමති ප්‍රසන්න

    එක්සත් ජාතික පක්ෂයට කඩේ යන මැතිවරණ කොමිසමේ සාමාජික රත්නජීවන් හූල් කොටි පිල්ළියක් බව කාර්මික අපනයන, ආයෝජන ප්‍රවර්ධන, සංචාරක හා ගුවන් සේවා ඇමති ප්‍රසන්න රණතුංග මහතා අවධාරණය කරයි. ඔහු පෙන්වා දෙන්නේ ශ්‍රී ලංකා පොදු ජන පෙරමුණට ඡන්දය ලබා නොදෙන ලෙස ඔහු ප්‍රසිද්ධියේ කළ ප්‍රකාශයෙන් මැතිවරණ කොමිසම පිළිබද විශ්වාසය තවදුරටත් කඩ වන බවයි.

    නාරාහේන්පිට දාබරේ මාවතේ ප්‍රජාශාලාවේ ඊයේ (06) පැවති “ ගම දැනුවත් කරමු – අපි යළිත් නැගිටිමු” රැස්වීම් මාලාවේ පළමුවැන්නාට සහාභාගීවීමෙන් පසු මාධ්‍යවේදීන් මතුකළ ප්‍රශ්න වලට පිළිතුරු දෙමින් ඇමතිවරයා මේ බව සදහන් කළේය.

    මෙහි දී වැඩිදුරටත් අචහස් දැක්වූ ඇමතිවරයා මෙසේ ද කීවේය.

    “ මැතිවරණ කොමිසමේ සාමාජිකයෙකු ලෙස රත්නජීවන් හූල් පොදුජන පෙරමුණට ඡන්දය දෙන්න එපා යැයි  ප්‍රසිද්ධියේ කියන්න කිසිදු අයිතියක් නෑ. හූල් කොහොමත් කොටි හිතවාදියෙක්. බෙදුම්වාදියෙක්. ඔහුගේ පැටිකිරිය බලපුවාම ඒක පැහැදිලියි. ඔහු 1980 නයිජීරියාවේ දී කොටින්ට අරමුදල් එකතු කළා කියලා චෝදනා තියෙන අයෙක්.  කොටින්ගේ සැගවුණු මහ මොළය ලෙස සමහරු හදුන්වන රත්නජීවන් හූල් මැතිවරණ කොමිසමට පත් කරන්නේ රනිල් වික්‍රමසිංහ හිටපු අගමැතිවරයායි.

    මෙවැනි පුද්ගලයෙකු ස්වාධින මැතිවරණ කොමිසමට පත් කළේ මොකට ද? කාගේ වුවමනාවටදැ‘යි දැන් පැහැදිලියි. රත්නජීවන් හූල් කොමිසම තුළ මේ ක්‍රියාත්මක කරන්නේ කාගේ වුවමනාව ද? කොටින්ගේ, එක්සත් ජාතික පක්ෂයේ වුවමනාව මිස  වෙන කිසිවක් නෙමෙයි. යහපාලන ආණ්ඩුව පත් කරපු ස්වාධීන කොමිසම නමට විතරක් ස්වාධින බව හූල්ගේ මේ ප්‍රකාශයෙන් ම තහවුරු වෙනවා. ඒකයි අපි කියන්නේ මේ වගේ කොටි පිල්ලි ඉන්න මැතිවරණ කොමිසමෙන් අපි ස්වාධීනත්වය බලාපොරොත්තුවෙන එක හරියට ඉබ්බන්ගෙන් පිහාටු හොයනවා වගේ වැඩක්.

    හූල් වැනි කොටි පිල්ලිවල ග්‍රහණයට ලක්වෙලා තියෙන මැතිවරණ කොමිසම වැනි ස්වාධීන කොමිෂන්  සභා කොහොමද අපි ඇත්තටම ස්වාධීන කරන්නේ කියලා යළි සලකා බලන්න වෙනවා. ඉදිරි මහ මැතිවරණයෙන් තුනෙන් දෙකක බහුතර බලයක් ලබා ගෙන මේ සම්බන්ධයෙන් අවශ්‍ය පියවර ගත යුතුයි. හූල් වහා ම තමන් දරණ කොමිසමේ සාමාජික තනතුරෙන් ඉල්ලා අස්විය යුතුයි. ඉල්ලා අස්වෙලා ඔහුට පුළුවන් තමන් කැමති එජාපයට කඩේ යන්න. කොමිසමේ සාමාජිකත්වයේ ඉදගෙන තවදුරටත් කොටින්ට, එක්සත් ජාතික පක්ෂයට කඩේ යන්න ඉඩ දෙන්න බෑ.

    කටුනායක ගුවන් තොටුපළේ පි.සි.ආර් පරීක්ෂණ වලට පෙනී සිටිම ඇමෙරිකානු තානාපති කාර්යාල නිළධාරියෙකු ප්‍රතික්ෂේප කිරීම සම්බන්ධයෙන් අදහස් දැක් වූ ඇමති ප්‍රසන්න රණතුංග මහතා පෙන්වා දුන්නේ ඔහු රාජත්‍රාන්ත්‍රික වරප්‍රසාද වලට මුවා වී මෙය සිදු කර ඇති බවයි. ඒ පිළිබදව ඇමෙරිකානු තානාපති කාර්යාලය සම්පූර්ණයෙන් ම වගකීම භාරගත යුතු බව ද ඇමතිවරයා කීවේය. කෙසේ වෙතත් රාජත්‍රාන්ත්‍රික නිළධාරීයා එම ඇමෙරිකානු තානාපති කාර්යාලයේ මගින් නිරෝධායනයට ලක්කරණ බව පවසා ඇති බවත් ඒ පිළිබදව සෞඛ්‍ය අංශ දැඩි ලෙස අවධානය යොමු කර ඇති බවත් ප්‍රසන්න රණතුංග මහතා මේ සම්බන්ධයෙන් රජය ඉදිරි පියවර ගනිමින් සිටින බව ද අවධාරණය කළේය.

  • බොලිවුඩ් සුරූපිනිය ‘ලුලියා වැන්ටූර්’ රුව රැක ගන්නා රහස් ක්‍රම මෙන්න !

    බොලිවුඩ් සුරූපිනිය ‘ලුලියා වැන්ටූර්’ රුව රැක ගන්නා රහස් ක්‍රම මෙන්න !

    ලුලියා වන්ටූර් (Lulia Vantur) රුමේනියානු ජාතික සුරූපිනියක්. ඇය ලංකාවේ අපිට නම් ලුලියා ගැන ඒ හැටි හුරුපුරුදු බවක් නැහැ. ඒත් ඇය ජාත්‍යන්තරව කීර්තියට පත්, අතිෂය ජනප්‍රිය චරිතයක්. රූපවාහිනි වැඩසටහන් ඉදිරිපත් කරන්නියක්. එපමණක් නොවෙයි රංගන ශිල්පිනියක් සහ නිරූපිකාවක් වන ලුලියා වන්ටූර්, ෂෝබිස් හි ප්‍රසිද්ධ නමක් බවට පත්ව සිටිනවා. 

    දැන් ඇය බොලිවුඩය ආක්‍රමණය කිරීමට සූදානම්. ඒ සදහා අවශ්‍ය කරන සියලු දේවලින් ඇය සන්නද්ධයි. ලුලියා Radha Kyun Gori Main Kyun Kaala හි ප්‍රධාන චරිතයක් සමග බොලිවුඩයට පිවිසෙන බවයි බොලිවුඩ් ආරංචි මාර්ග කියන්නේ. 

    ඉතිං, අපි ලුලියාගේ රුමේනියානු සුන්දරත්වය විදිමින් ඇයගේ විලාසිතා සහ ඇඳුම් පැළඳුම් ගැන විමසමු. මෙන්න ඇයට කියන කතාව

    ඔබේ මූලික රූපලාවණ්‍ය චාරිත්‍රය කුමක්ද?

    මම සෑම උදෑසනකම සහ සවස සහ නිදා ගැනීමට පෙර මගේ මුහුණ හොඳින් පිරිසිදු කරනවා. මගේ සම මොයිස්චරයිසින් කිරීම අවම වශයෙන් දිනකට දෙවරක්වත් කළ යුතුයි. ඒ වගේම මම දිනපතා අවශ්‍ය තරම් පිරිසිදු පානීය ජලය සහ විශේෂයෙන් පොල්වතුර පානය කරනවා. මගේ සන්ස්ක්‍රීන් (50-90 SPF) නොමැතිව මම නිවසින් පිටතට යන්නේම නැහැ. මම ස්වාභාවික අමුද්‍රව්‍ය යොදා නිපදවා ගත් විශේෂ ආලේපයක් මුහණේ තවරා ගන්නවා. ඒ වගේම මම බොහොම සතුටින් සහ සැහැල්ලුවෙන් ජීවිතය ගත කරනවා.


    සැලසුම් නොකළ හදිසි අවස්ථාවකට හෝ රූගත කිරීමකට පෙර ඔබ රූපලාවන්‍ය කිරීමට නොහැකි වූ හදිසි අවස්ථාවකට මුහුණ දී තිබෙනවාද ? ඔබ එය සමඟ කටයුතු කළේ කෙසේද?

    ඔව්! වැදගත් රූගත කිරීමකට හෝ සිදුවීමකට පෙර කුරුලෑවක් ( pimple) ආවොත් ඇති වන තත්ත්වය මට මහත් පීඩාවක්. මට මගේ මුහුණේ කුරුලෑ තිබීම දරා ගත නොහැකයි. යම් කිසි විදිහකින් එවැනි කරුලෑවක් නිසා මුහුණ ඉදිමී ඇත්නම් මම එම ප්‍රදේශයට අයිස් ආලේප කරනවා. නැතහොත් එය ඉවත් කිරීමේ ක්‍රියාවලිය වේගවත් කිරීම සඳහා මම ක්‍රීම් එකක් ආලේප කරනවා.


     ඔබේ පෞද්ගලික ශෛලිය ඔබ විස්තර කරන්නේ කෙසේද?

    සම්භාව්‍ය හා අලංකාර. නමුත් මට සෑම විටම සුවපහසුවක් දැනිය යුතුයි. එය ප්‍රමුඛතාවයක්.

    අවස්ථාවක් ලැබුණොත් ඇඳුම් ආයිත්තම් කට්ටලයක් පරීක්ෂා කර බැලීමට කැමති එක් පුද්ගලයෙක් ගැන කියන්න…

    එය  ලේඩි ගගාගේ ඇඳුම් ආයිත්තම් කට්ටලයයි. විනෝදාස්වාදයෙන් පිරී ඇති එය පරීක්ෂා කිරීම එතරම් විනෝදජනක වනු ඇත!

    ඉලියියා වන්ටූර්


    ගැහැනු ළමයින් / පිරිමි ළමයින් වෙනුවෙන් ඔබ දෙන්න කැමති එක් විලාසිතා අවවාදයක්…

    මම ඔවුන්ට පවසන්නේ ඇඳුමක විවිධ මුද්‍රණ, ලෝහ හෝ වර්ණ තුනකට වඩා මිශ්‍ර නොකරන්න කියලයි. නමුත් අද මිනිසුන් තම ඇඳුම් පැළඳුම් තුළින් බොහෝ දේ ප්‍රකාශ කරනවා. සමහරු නිර්මාණශීලී හා ධෛර්ය සම්පන්න යි.


     ඔබට ශරීර සෞඛ්‍ය හා සම්බන්ධ විශේෂ ආහාර පුරුදු තිබෙනවාද ?

    මගේ ශරීරය නැවත සකස් කිරීමට, පිරිසිදු කිරීමට සහ නැවත සැකසීමට මම පැය 24 ක් නිරාහාරව සිටිනවා. එසේම, මේ දිනවල මම වරින් වර නිරාහාරව සිටිනවා. (පැය 16 ක සම්පූර්ණ නිරාහාරය) මම මීට පෙර සති දෙකක් තිස්සේ එය උත්සාහ කළා. එය ක්‍රියාත්මක කළ හැකි වුණා. සමබර ආහාර වේලක්, දිනකට ආහාර වේල් තුනක් සහ ව්‍යායාම කළ යුතු යැයි මම විශ්වාස කරනවා. මම කන්න කැමතියි, අතුරුපස වලට කැමතියි. අපගේ මානසික, චිත්තවේගීය හා ශාරීරික සෞඛ්‍යය සඳහා, අපට ගැලපෙන ඕනෑම දෙයක් සහ අප ආදරය කරන ඕනෑම දෙයක් මධ්‍යස්ථව අනුභව කළ යුතුයි.


    විලාසිතා සහ අලංකාරය ඔබේ වෘත්තියේ වැදගත් අංගයක්. ඔබ සමහර වෙලාවට වෙහෙසට පත් වෙනවාද?

    මම අමතර වෑයමක් දරන්නේ නැහැ. මම ඇඳීමට පහසු යැයි හැඟෙන ඕනෑම දෙයක්, මම කැමති දේ සහ මට ගැලපෙන දේ අනුගමනය කරනවා.  

    ඔබේ නිර්මාණකරු…

    මගේ විලාසිතා නිර්මාණකරු වන්නේ ඈෂ්ලි රෙබෙලෝයි. සාමාන්‍ය විලාසිතා සඳහා සීමා ඛාන් වෙත යනවා. මම මනීෂ් මල්හෝත්‍රාගේ නිර්මාණවලට කැමතියි. වේදිකා සංදර්ශන සඳහා මම සූරිය සහ ඈෂ්ලි රෙබෙලෝ සමඟ වැඩ කරනවා.


    රතු කාපට් සඳහා විලාසිතා තේරීමකදී ..

    අතීතයේ දී උනන්දුවක් නොදක්වන තේරීම් කිහිපයක් තිබුණා. ඒත් අවසාන මොහොතේ ඒවා භාවිතා කිරීමට සිදු වුණා. නමුත් අපි හැමෝම වැරදි වලින් ඉගෙන ගන්නවා.


    බොලිවුඩයේ වඩාත්ම ආකර්ෂණීය නිළිය…

    මලිකා අරෝරා සහ සෝනම් කපූර් අහුජා.


     හොඳම සාරිය අදින්නේ කවුද?

    මධුරි ඩික්සිත්-නෙනේ.

    ඉලියියා වන්ටූර්

    ඔබගේ සර්වකාලීන විලාසිතා නිරූපකය…

    ඕඩ්රි හෙප්බර්න්.

    ඔබට වඩාත්ම ගැලපෙන වර්ණයක්…

    මම කොළ පාටට කැමතියි. ( ලා කොළ හෝ සිල්ක් මරකත) මම රතු ඇඳීමට කැමතියි. නමුත් තැඹිලි පාට මගේ ශක්තිය වැඩි කරන බව මම දන්නවා.

    රාත්‍රි සාදයක් සඳහා කදිම ඇඳුම…

    කළු ඇඳුම.

    පළමු දිනයේදී ඔබේ පෙම්වතා හෝ සැමියා ඇඳගෙන සිටිනු දැකීමට ඔබ කැමති කුමක්ද?

    විනීත හා ආකර්ශනීය පෙනුමක් ලබා දෙන ඇඳුම්.

    ඔබ වැඩිපුරම ක්‍රීඩා කරන ප්‍රවණතාවක්…

    ධනාත්මක බව.

    ඔබේ ජීවිතය වෙනස් කළ එක් මෝස්තරයක් …

    ඉලියියා වන්ටූර්

    ස්නැකර් (sneakers) පාවහන් පැළද සිටියද ඔබට විලාසිතාවෙන් හා සම්භාව්‍ය පෙනුමක් ලබා දිය හැකි බව මම තේරුම් ගත්තා.

    ඔබගේ ප්‍රියතම රාජකාරි නොවන ඇඳුම …

    සිනිඳු, දීප්තිමත් ඇඳුම්…

    ඔබේ පෞද්ගලික ශෛලිය විස්තර කරන වචන තුනක් …

    ගැහැණු. ක්ලැසි. සුවපහසු.

    සෑම ගැහැණු ළමයෙකුටම / පිරිමි ළමයෙකු සඳහාම ඇඳුම් ආයිත්තම් කට්ටලයක් නිර්දේශ කළ හැකිද ?

    ගැහැණු ළමයින් සඳහා – කුඩා කළු ඇඳුම (LBD), කළු ස්ටයිලෙටෝස් සහ ස්නැකර් යුගලයක්, කළු කලිසම් සහ කළු සායක්, වර්ණවත් ඇඳුමක්. පිරිමි ළමයින් සඳහා – හොඳින් ගැලපෙන ඇඳුමක්,  කළු කමිසයක්, හොඳ සපත්තු සහ  ස්නැකර්, සුදු කමිසය සහ නිල් ජීන්ස්, ටී ෂර්ට් වඩාත් සුදුසුයි.

    Filmfare ඇසුරින් සකස් කළේ – තුෂාධවි

  • මාවතගමට ආවේ ‘කාන්තාර පළඟැටියා’ ද? අපි දන්න කියන අපේ පළඟැටියෙක්ද ?

    මාවතගමට ආවේ ‘කාන්තාර පළඟැටියා’ ද? අපි දන්න කියන අපේ පළඟැටියෙක්ද ?

    අන්න අර කියපු සතා ඇවිල්ලාලු, මාවතගම පැත්තේ ඔක්කොම ගහකොළ කනවා කියලයි ආරංචි, මොකක්ද දෙපාර්තමේන්තුව පැත්තෙන් කරන්න යන්නේ – පසුගියදා මහත් හදිස්සියකින් මා හට එම දුරකථන පණිවිඩය ලබාදුන්නේ පෞද්ගලික රුපවාහිනී නාලිකාවක වැඩසටහන් නිෂ්පාදකවරයෙකි.

    ඇසූ මොහොතේදීම පණිවිඩයේ දිග පළල හරියට තේරුම් නොගියත්, සිදුවී ඇති අලකලංචිය ඔහුගෙන්ම අසා දැනගන්නා තෙක් මම ඉවසිලිවන්ත වුනෙමි. කියපු සතා යනුවෙන් ඔහු හැඳින්වුයේ කාන්තාර පළඟැටියාය.

    සියලු සේවාවන්ගෙන් විශ්‍රාම ලබා සිටියත්, ලොවපුරා කෘමි සතුන්ගේ පර්යටනයන් ගැන විමසිලිමත් වෙමින් ‘අංජනම් බලන’ කීර්තිමත් කීට විද්‍යාඥ මහාචාර්ය ලයනල් නුගලියද්ද මහතා සැපයූ තොරතුරු ඇසුරෙන් “රටක් කාන්තාරයක් කල හැකි පළඟැටි සේනාවක්” නමින් lankaepress.com වෙත මා විසින් ලිපියක් ලියුවේ පසුගිය පෙබරවාරි 15 වෙනිදාය. http://lankaepress.com/2020/02/15/සේනා දළඹුවා මෙහි එන්නටත් පෙර, ඒගැන පළමු බුද්ධි තොරතුර මට ලබාදුන්නේද මේ මහාචාර්යවරයාමය. ටීවී සහෘදයාට කාන්තාර පළඟැටි පුවත අමතක වී නැති බවක් පෙනේ.

    සතා පැතිරිලා හිටියේ අක්කර තුනක පමණ වපසරියක පමණයි. පොල් ගස් දිගේ පවා පළඟැටියන් ඉහල නගින බව පෙනෙන්නට තිබුණා. ඊට අමතරව මේරූ පොල්කොළ පවා ඔවුන් ආහාරයට ගත්ත. එතන සිටි සතුන්ගෙන් වැඩි හරියක් ලාබාල සතුන්. හරියට පිහාටුවත් හැදිලා නෑ. ඒ නිසා පියාසර කරමින් ව්‍යාප්තියක් සිදුවෙන්නෙත් නෑ

    මේ වෙලාව තමයි මර්දනය කරන්න හොඳම අවධිය

    පෙබරවාරි මාසය වනවිට අප්‍රිකාවේ සිට සංක්‍රමණය වෙන කාන්තාර පළඟැටි හමුදාව සිටියේ උතුරු ඉන්දියාවේ රාජස්ථාන් ප්‍රාන්තය අවටය. අනතුරක් ඇති බව එදා ලියා තැබුවත්, ලාංකිකයින්ගේ පමණක් නොව ලෝකයේම අවධානය පසුගිය දිනවල යොමුව තිබුනේ වයිරසයක් වෙතටය. ගෙවල් අස්සට හිරවී, සාමාන්‍ය හෙම්බිරිස්සාවට පවා බයේ ගැහෙමින් පසුගිය කාලය ගෙවා දැමූ මිනිසුන්ට, කාන්තාරයේ සිට නොව පිට සක්වලෙන් ඇවිත් ගහකොළ කෑවත් ඇඟට දැනෙන බවක් නම් ඒ කාලයේ නොපෙනුණි.

    “කෘෂිකර්ම බලධාරීන්ගේ ආරාධනයෙන් මමත් ගියා පසුගිය සතියේ මාවතගම පළඟැටි උවදුර බලන්න. ඒ වෙනවිට සතා පැතිරිලා හිටියේ අක්කර තුනක පමණ වපසරියක පමණයි. පොල් ගස් දිගේ පවා පළඟැටියන් ඉහල නගින බව පෙනෙන්නට තිබුණා. ඊට අමතරව මේරූ පොල්කොළ පවා ඔවුන් ආහාරයට ගත්ත. එතන සිටි සතුන්ගෙන් වැඩි හරියක් ලාබාල සතුන්. හරියට පිහාටුවත් හැදිලා නෑ. ඒ නිසා පියාසර කරමින් ව්‍යාප්තියක් සිදුවෙන්නෙත් නෑ. මේ වෙලාව තමයි මර්දනය කරන්න හොඳම අවධිය – ආරංචියේ සත්‍ය අසත්‍ය බව විමසනු අටියෙන් සම්බන්ධකරගත් පේරාදෙණිය සරසවියේ කෘෂිකර්ම පීඨයේ මහාචාර්ය බුද්ධි මාරඹේ මහතා එසේ පවසන්නට යෙදුනි.

    පළඟැටියන් බිත්තර දමන්නේ පස තුළයි. ඉන් පිටතට බිහිවෙන්නේ ‘ශිශුවා’ නමින් හඳුන්වන, මවු සතාට බොහෝදුරට රූපාකාරයෙන් සමාන කුඩා සතෙකි. හතර පස් වතාවක් හැව අරින ශිශුවා ඒ සෑම අවස්ථාවකදීම දේහය විශාල කර ගනිමින් මවු සතාගේ රූපාකාරයට තව තවත් ළංවේ. මේ අනුව ගිය සතියේ මාවතගම සිටි ගහනයේ වැඩි දෙනා මෙවැනි ශිශුවන් බව මාරඹේ මහතා සඳහන් කර සිටී.

    සතුරෙකුට හසුවූ කල පළඟැටියන්ට ආවේනික ආකාරයට මොවුහුද රළු හඬක් නගති. එපමණක් නොව උරස ප්‍රදේශයෙන් අල්ලා ගතහොත්, අප්‍රසන්න ගඳකින් හා තිත්ත රසයකින් යුත් පෙන සහිත තරලයක් පිටකරන්නේ ආරක්ෂක උපක්‍රමයක් වශයෙනි.

    ගින්නට හේතුව කහ තිත් පළඟැටියා

    සත්ව විද්‍යාත්මකව මේ පළඟැටියා අවුලාචෙස් මිලියාරිස් (Aularches miliaris) යන නමින් හඳුන්වත්දී අප පුරුදුවී සිටින්නේ ‘කහ තිත් පළඟැටියා‘ යන නමින් අමතන්නටය. ඇතැම් විට ‘කෝපි පළඟැටියා‘ (Coffee Locust) වශයෙන් නම්කරන අවස්ථාද තිබේ. තවත් ඇතැම් ජාත්‍යන්තර විස්තරවල ‘හොල්මන් තණකොළපෙත්තා’ ලෙස නම්කර ඇත්තේ ඇයිදැයි යන්නනම් අපැහැදිලිය.

    කෙසේ වෙතත් සතුරෙකුට හසුවූ කල පළඟැටියන්ට ආවේනික ආකාරයට මොවුහුද රළු හඬක් නගති. එපමණක් නොව උරස ප්‍රදේශයෙන් අල්ලා ගතහොත්, අප්‍රසන්න ගඳකින් හා තිත්ත රසයකින් යුත් පෙන සහිත තරලයක් පිටකරන්නේ ආරක්ෂක උපක්‍රමයක් වශයෙනි.

    තවත් විස්තර ටිකක් දැනගන්නට මහාචාර්ය ලයනල් නුගලියද්ද මහතාව සම්බන්ධ කර ගතිමි.

    “කෘමිනාශක යොදමින් සතුන් සමූලඝාතනය කරන එක නෙවෙයි අපේ ක්‍රමවේදය හා නිර්දේශය. කහ තිත් පළඟැටියා මෙහෙ සතෙක්. පිටින් පැමිණි කෙනෙක් නෙවෙයි. ප්‍රදේශවාසීන් පැවසුවා පසුගිය වසරේදීත් මේ කාලේදී යම් තරමකට සත්තු හිටිය කියල. මේ සතුන් සාමාන්‍යයෙන් කැලේ ජීවත් වෙන අය. පරිසරයේ කිසියම් දේශගුණික වෙනසක් ඔවුන්ගේ ප්‍රජනනයට හිතකරව බලපෑම නිසා ගහනය වැඩිවෙන්න ඇති. ඒ නිසා ඔවුන් මිනිස් වාසස්ථාන අවට ප්‍රදේශ වලට ඇවිත් දකින දකින දේ කන්න පටන් ගත්ත. මම දුටුවා තේක්ක ගහක වහල පොත්ත පවා කනවා.”

    සත්තුන්ටත් සාධාරණ කොටසක් කන්න දීල, ඉතුරුවෙන දෙයක් සතුටින් බාරගන්න පුළුවන් තත්වයක නෙවෙයි ජනතාව ඉන්නේ. අනාගත ආහාර අවශ්‍යතාවය ඒ තරමටම වැදගත්. ඒ නිසා තමයි අපි අකමැත්තෙන් වුවත් රසායනික මර්දනයකට ගියේ

    මර්ධනය ස්වභාව ධර්මයට දෙන්න බැහැ

    මෙවැනි වසංගතයක් පැමිණිවිට ස්වභාව ධර්මයාගේ මර්දනයකින් තත්වය තුලිත වෙනතුරු කල්මරන්නට නොහැකි බවද හෙතෙම පවසා සිටී.

    “අද රටේ ලොකු වගා සංග්‍රාමයක් දියත්වෙනවා. හැමෝම උනන්දුවකින් අස්සක් මුල්ලක් නෑර බෝග වවනවා. මේ නිසා සුළු කෘමි හානියක් වුණත් ජනතාවට දැනෙන ප්‍රමාණය වැඩියි. සත්තුන්ටත් සාධාරණ කොටසක් කන්න දීල, ඉතුරුවෙන දෙයක් සතුටින් බාරගන්න පුළුවන් තත්වයක නෙවෙයි ජනතාව ඉන්නේ. අනාගත ආහාර අවශ්‍යතාවය ඒ තරමටම වැදගත්. ඒ නිසා තමයි අපි අකමැත්තෙන් වුවත් රසායනික මර්දනයකට ගියේ.”

    මහාචාර්ය නුගලියද්ද ඇතුළු කෘෂිකර්ම දෙපාර්තමේන්තුවේ කීට විද්‍යාඥ බලඇණිය එදා සිටම උපදෙස් දෙන්නේ පලිබෝධකයින්ගේ ස්වභාවික සතුරන්, සාම්ප්‍රදායික මර්දන ක්‍රමවේදයන්, දේශීය ශාකසාරයෙන් නිපදවන පරිසර හිතකාමී පළිබෝධනාශක වැනි මෙකී නොකී සියල්ල හවුල් කරගනිමින් සටන දියත් කරන්නටය. ‘ඒකාබද්ධ පළිබෝධ කළමනාකරණය‘ යනුවෙන් ඔවුන් ගොවීනට හඳුන්වාදෙන්නේ එයයි. කෙසේ වුවත් පවතින තත්වය හමුවේ වෙනත් විකල්පයක් ඔවුන් සතුව නැති බවද පැහැදිලිය. අවම බලය පාවිච්චි කරන්නා සේ පළඟැටි මර්දනය සඳහා කෘමිනාශක ලෙස ඔවුන් යොදාගෙන ඇත්තේද ක්ෂීරපායී සතුන්ට විෂ නොවන පයිරත්‍රොයිඩ් කාණ්ඩයට අයත්, ඉතා සැහැල්ලු පළිබෝධනාශකයන්ය.

    පොල් පර්යේෂණායතනයේ කතාව

    පොල් පර්යේෂණායතනයේ අදහසට අනුවනම් මොහු ඔවුනට හොඳට හුරුපුරුදු සත්වයෙකි. ඒ නිසා පොල්ගස්වල වෙසෙන මෙම සතුන් මර්දනය කිරීමට විශේෂ ක්‍රියාමාර්ගයක් අවශ්‍ය නොවන බව ඔවුන් පවසන්නේ ඒ හරහා ආර්ථික හානියක් සිදුවන්නේ නැති නිසාය.

    කෙසේ වෙතත් ශාක ආරක්‍ෂණ පනත ක්‍රියාත්මක කරනුයේ කෘෂිකර්ම දෙපාර්තමේන්තුව නිසා හානිකර පලිබෝධ ආක්‍රමණයක් දුටු තැන ශාකය කුමක්දැයි යන්න ඔවුනට අදාළ නොවේ. මේ තත්වය වඩාත් බරපතල වන්නේ පොල්ගස්වල නිදහසේ රැකවරණය ලබමින් සිට ඊට යාබද ගෙවතු වැනසීමට පළඟැටියා අකාරුණිකවන විටදීය.

    මේ වන විට පොල් පර්යේෂනායතනයත්, කෘෂිකර්ම දෙපාර්තමේන්තුවත් යන දෙපාර්ශවයම වගා ආරක්ෂණය යන පොදු අරමුණ වෙනුවෙන් එකඟතාවයෙන් හා සහයෝගීත්වයෙන් කටයුතු කිරීමට තීරණය කර තිබීම නිසා පළඟැටියාට පොල්ගස් මත සිටිනාතෙක් නිදහසේ ජීවත්වෙන්නටත්, ගෙවතු වගාවන් වෙත පැමිණ දඟකළහොත් දඬුවම් විඳින්නටත් සිදුවෙන බවනම් පැහැදිලිය. මාවතගම ප්‍රදේශයේ තිබුණු පළඟැටි ආක්‍රමණය දැන් මුළුමනින්ම පාලනය කර තිබේ.    

    පරිසරයට නුහුරු නුපුරුදු පළඟැටි හමුදාවක් පැමිණ සිටිනා බව දුටු වහාම කෘෂිකර්ම දෙපාර්තමේන්තුවේ පැලෑටි සංරක්‍ෂණ සේවය (0812388316) හෝ ගොවි සරණ සේවාව (1920) අමතා දන්වන ලෙස කෘෂි නිලධාරීන් ජනතාවගෙන් ඉල්ලා සිටී.

    කාන්තාර පළගැටියාගේ අවධානම තව දුරටත් !   

    කාන්තාර පළඟැටියාගේ ආගමය ගැන වූ අවදානම පහවී නැති බවද සිහි තබාගත යුතුවේ. දැනටත් ඔවුන් ඉන්දියාවේ වගා බිම් වනසමින් සිටී. කෘෂිකර්ම දෙපාර්තමේන්තුවේ පරිපාලනය විසින් කාන්තාර පළඟැටි ආක්‍රමණයක් පැමිණියහොත් ක්‍රියාත්මක වීම සඳහා කාර්යසාධක බලකායක් පවා පත්කර තිබෙන බවටත් දැනගන්නට තිබේ.

    අභියෝග ජයගැනීමට ඇති සහජ හැකියාව කොවිඩ් යුද්ධය හරහා මේ වනවිටත් අප විසින් ලොවටම පෙන්වාදෙමින් සිටිනා තත්වයක් යටතේ, ඉදිරි අවශ්‍යතාවය වන්නේ විමසිල්ලෙන් සිටීම පමණි. පරිසරයට නුහුරු නුපුරුදු පළඟැටි හමුදාවක් පැමිණ සිටිනා බව දුටු වහාම කෘෂිකර්ම දෙපාර්තමේන්තුවේ පැලෑටි සංරක්‍ෂණ සේවය (081- 2388316) හෝ ගොවි සරණ සේවාව (1920) අමතා දන්වන ලෙස කෘෂි නිලධාරීන් ජනතාවගෙන් ඉල්ලා සිටී.

    කාන්තාරයේ සිට ආවාදැයි සැකයෙන් ගමේ කෙනා ගැනත් ‘පොලීසියට’ දන්වා පෙරහුරුවක්ද ලබා ඇති හෙයින් වැඩ කටයුතු දැන් ඉතින් තවත් පහසුවෙනු ඇත. අප විශ්වාස කරන්නේ ඉන්දීය මහාද්වීපය හරහා සතුන් පැමිණිය යුතු නිසා වඩාත් අවකාශ ඇත්තේ ඊසාන දිග මෝසම් සුළං ධාරා සමග මෙහි එන්නටය. එම සුළං සක්‍රිය වන්නේද ඔක්තෝබරයෙන් පසුවය.

    ලොව කළඹන සුළං ධාරා ගැන සිතන විටදී අපගේ දිවයින කුඩා ගොඩබිමක් පමණක් වන බැවින්, ඊට පෙර කාලය වුවද අවදානම් නොවන්නේයැයි සිතිය යුතු නැත. කෙසේ වෙතත් කාන්තාර සේනාව පැමිණෙන්නේ ලක්‍ෂ කෝටි ගණනින් නිසා, ගෙවත්තේ මල් පඳුරු අතර ඔබමොබ සැරිසරමින් මුකුළු කරන තණකොළ පෙත්තන් ජෝඩුවක් දෙකක් දුටුවිට, උන්ගේ නිදහසට නම් බාධාවක් නොකරන්නේ නම් මැනවි.

  • දියවන්නා කතා – මහින්ද උදෑසනම ප්‍රසන්න අමතා කිව්ව කතාව කුමක්ද ?

    දියවන්නා කතා – මහින්ද උදෑසනම ප්‍රසන්න අමතා කිව්ව කතාව කුමක්ද ?

    පහුගිය ඉරිදා 31 වැනි දා  ඇමති  ප්‍රසන්න රණතුංග උඩුගම්පළ සිය නිවසේ විශේෂ කටයුත්තක යෙදී සිටියේ ය. ඒ එදිනට යෙදී තිබුණු සිය පියාගේ 12 වන ගුණ සමරුව වෙනුවෙන් පැවැත්වෙන පිංකම සංවිධානය කරමිනි. මොන ප්‍රශ්න තිබුණත් ප්‍රසන්න සිය පියා වූ රෙජී රණතුංගගේ උපන්දින සැමරුම හා ගුණ සැමරුම නොවරදවාම සිදු කරනු ලබයි.

    පිංකමෙන් එකක් අගමැති මහින්ද ගෙන්වා සිදු කිරීම ප්‍රසන්න පුරුද්දක් ලෙස කරගෙන ගියේ ය. එහෙත් මෙවර කොවිඩ් ප්‍රශ්නය නිසා අප්‍රේල් 22 වන දිනට යෙදී තිබුණ රෙජීගේ උපන්දින සැමරුම හෝ 31 වන දිනට යෙදී තිබුණ ගුණ සැමරුම ඔහු කිසිවෙකුට මතක් කළේ නැත.

    සිය පවුලේ අය සමග පිංකමේ කටයුතු සංවිධානය කරමින් සිටි ප්‍රසන්නට උදෑසන දුරකථන ඇමතුමක් ලැබුණේ අගමැති මහින්දගෙනි.

    “ ප්‍රසන්න අද තාත්තාගේ පිංකම නේද? “මහින්ද ඇසුවේය.

    “ ඔව් සර්. අද කර්ෆිව් නිසා අපි පවුලේ අය විතරක් එකතු වෙලා කරනවා. සර්ට මතක් කළේ නැත්තේ ඒකයි.”

    “ ඒකට කමක් නෑ ප්‍රසන්න. මට මතක් වෙලයි කථා කළේ. රෙජීව කොහොම අමතක කරන්නද? ඒකයි මම කථා කළේ… “ මහින්ද කිවේය.

    ප්‍රසන්න එදින පවුලේ උදවිය සමග සිය පියා සිහිපත් කරමින් ඔහුගේ ස්මාරකයට පුෂ්පෝපහාර දැක්වූයේ ය. මහා සංඝරත්නය විෂයෙහි සංඝගත දක්ෂිණාවක් ද පැවැත්විණ. ඊට සහභාගී වු ඉදුරාගාරේ ධම්මරතන හිමියෝ අනුශාසනාවක් කළහ.

    අද ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහත්තයාට වෙලා තියෙන්නේ මේ රට මෙහෙයවන්න නෙමෙයි. තල්ලු කරගෙන යන්න – ඉදුරාගාරේ හිමියෝ

    “ අද ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහත්තයාට වෙලා තියෙන්නේ මේ රට මෙහෙයවන්න නෙමෙයි. තල්ලු කරගෙන යන්න. පාර්ලමේන්තුව කියන්නේ ප්‍රතිපත්ති හදන තැනක් මිසක් බලය පෙන්වන තැනක් නෙමෙයි. ඒක මේ ඉන්න සමහරුන්ට නොතේරෙන එකතමයි ප්‍රශ්නේ.” ඉදුරාගාරේ හිමියෝ අනුශාසනා කරමින් කීහ.

    මහ මැතිවරණය කල් දමන ලෙස ඉල්ලමින් සමගිජන බලවේගය ඇතුළු කණ්ඩායම් කීපයක් ශ්‍රේෂ්ඨාධිකරණය ඉදිරිපත් කර තිබු පෙත්සම් විභාගයට ගන්නේ ද නැද්ද යන්න පිළිබද ව තීන්දුවක් ප්‍රකාශයට පත් කෙරුණේ පහුගිය අගහරුවාදාය. අගහරුවාදා සවස 03.00 ට පමණ ඇමති ප්‍රසන්න එහි ගියේ තීන්දුව දැනගැනීමටය. ඔහු සමග නිමල් ලාන්සා හිටපු රාජ්‍ය ඇමතිවරයා ද වුයේය. ඇමති සුසිල් ද එහි විය. ශ්‍රේෂ්ඨාධිකරණ නඩු තීන්දුව ප්‍රකාශයට පත් කරමින් මහ මැතිවරණය කල් දමන ලෙස ඉල්ලා තිබු පෙත්සම් 07 ම විභාගයට නොගෙන ප්‍රතික්ෂේප කිරීමට තීරණය කළේ ය.

    තීන්දුව ප්‍රකාශයට පත් කීරීමෙන් පසු ව ශ්‍රේෂ්ඨාධිකරණයේ විදුලි සෝපානය අසළ දී ප්‍රසන්නලාට සමගි ජනබල වේගයේ ලේකම් රංජිත් මද්දුමබණ්ඩාර හමුවිය.

    “ ලේකම්තුමා…. දැන් මොකද කරන්නේ ඡන්දයට ලෑස්ති ද? “ . ඇසුවේ නිමල් ලාන්සා ය.

    “ ඔව් ඉතිං වෙන මොනවා කරන්න ද? දැන් ඡන්දය ලෑස්ති වෙන්න එපෑයැ…අපි නම් ලෑස්තියි”. මද්දුමබණ්ඩාර කීවේය.

    “ මොකද තීන්දුව ගැන හිතන්නේ..?”’. ප්‍රසන්න කථාවට මැදිහත් වුයේ ය.

    “ මේක අපිට ඕන වුණේ ජුනි 20 ඡන්ද තියන එක කල් දාගන්න. මොකද කොරෝනා අස්සේ ඡන්දය කරන්න බැරි නිසා. එහෙම ගත්තාම මේත අපේ ජයග්‍රහණයක්…” කියු මද්දුමබණ්ඩාර කඩිනමින් එතනින් ඉවත් වූයේය.

    අධිකරණයෙන් එළියට පැමිණ මද්දුමබණ්ඩාර මාධ්‍ය වෙත කීවේ ද මේ ශ්‍රේෂ්ඨාධිකරණ තීන්දුව ඔවුන්ගේ ජයග්‍රහණයක් බවයි.

    “ මේක මාර කථාවක්නේ… ඡන්දේ කල් දාන්න කියලා පෙත්සම් ඉදිරිපත් කරලා ඒක ශ්‍රේෂ්ඨාධිකරණය ප්‍රතික්ෂේප කරපුවාම කියනවා ඒක ඒ ගොල්ලන්ගේ ජයග්‍රහණයක්ලු… මොන හතර බීරී කථාවක් ද ඒක..” ලාන්සා කීවේ ළග සිටි ප්‍රසන්නටය.

    මෙයාලට ඕන වුණේ ඡන්දය කල්දාන්න. අනෙක් වුවමනාව දෙගොල්ලෝ එකතු වෙන එක. ඒකට තමයි මේ ගේම ගැහුවේ. නැතුව ජනතාවට ආදරයට නෙමෙයි – ප්‍රසන්න

    මේ ගේම ගැහුවේ ජනතාවට ආදරයට නෙමෙයි

    “ මේක මේ රටේ මිනිස්සු ගැන හිතලා සද්භාවයෙන් කරපු වැඩක් නෙමෙයි.” ප්‍රසන්න පැහැදිලි කළේය.

    “ මෙයාලට ඕන වුණේ ඡන්දය කල්දාන්න. අනෙක් වුවමනාව දෙගොල්ලෝ එකතු වෙන එක. ඒකට තමයි මේ ගේම ගැහුවේ. නැතුව ජනතාවට ආදරයට නෙමෙයි.” ප්‍රසන්න කීවේය.

    ශ්‍රේෂ්ඨාධිකරණයේ තීන්දුව ප්‍රකාශයට පත් කළ දින සවස ප්‍රසන්න ගම්පහ පළාත් පාලන ආයතන ප්‍රධානීන් කැදවූයේ ඉදිරි කටයුතු පිළිබද සාකච්ඡා කිරීමටය. දිස්ත්‍රික්කයේ ආයතන 19 යේ ම පොහොට්ටු ප්‍රධානී හු ඊට එක් ව සිටියහ. ප්‍රසන්න එහි දී ඔවුන්ට ඉලක්කයක් දුන්නේය.

    මේ මැතිවරණයේ දී මට වැඩ 02ක් වෙන්න ඕනේ. එකක් පොහොට්ටුවට ඡන්ද ලක්ෂ 10 ක් වැටෙන්න ඔනේ. අනික මහින්ද අතෑරලා යන්නේ නැති මන්ත්‍රීවරු 13 ක් පාර්ලිමේන්තු යවන්න ඕනේ. අද ඉදලා හැමෝම ඔය ඉලක්කයට වැඩ කරන්න”. ප්‍රසන්න කීවේය.

    මහින්ද අතහැර නොයන 13ක් ගම්පහින් දියවන්නා යවන්න ප්‍රසන්න සැලසුම් කරයි

    “ පහුගිය ජනාධිපතිවරණයේ දී අපි ගම්පහ ඉහළින් ම දිනෙව්වා. ගම්පහ ජයග්‍රහණය සමස්ථ ප්‍රතිඵලයට ලොකු බලපෑමක් වුණා. මේ මැතිවරණයේ දී මට වැඩ 02ක් වෙන්න ඕනේ. එකක් පොහොට්ටුවට ඡන්ද ලක්ෂ 10 ක් වැටෙන්න ඔනේ. අනික මහින්ද අතෑරලා යන්නේ නැති මන්ත්‍රීවරු 13 ක් පාර්ලිමේන්තු යවන්න ඕනේ. අද ඉදලා හැමෝම ඔය ඉලක්කයට වැඩ කරන්න”. ප්‍රසන්න කීවේය.

    පහුගිය සතියේ ප්‍රසන්න රණතුංග ඇමතිවරයා හමු වූ ගම්පහ විදුහල්පතිවරු, ගුරුවරු හා උපකාරක පංති ගුරුවරුන් විශේෂ ඉල්ලීමක් කළහ. පාසල් හා උපකාරක පංති ඉක්මණින් ආරම්භ කිරීම එම ඉල්ලීමයි.

    ඇමති ප්‍රසන්න ඒ මොහොතේම දුරකථනයෙන් අධ්‍යාපන ඇමති ඩලස්ට මේ ඉල්ලීම ගැන කීවේය.

    “ අපි මේ ගැන කටයුතු කරගෙන යනවා මල්ලී. ඉක්මණින් පාසල් පටන් ගන්න අපිත් කැමතියි. ඒත් අපි ඉස්කෝල පටන් ගන්නේ එන හැම ළමයෙකුගේ ම ආරක්ෂාව ගැන සහතිකයක් ලැබුණට  පස්සේයි. ඉස්කෝල පටන් ගත්තාට පස්සේ වියුෂන් පංති පටන් ගන්න පුළුවන්.” ඩලස් කීවේය.

    “මම ඉන්නෙත් ඔය මතේම තමයි. සෞඛ්‍ය ඇමතිතුමිය එක්කත් මම කථා කළා. හැබැයි හැමෝම කියන්නේ ඉස්කෝල පුද්ගලික පංති ඉක්මණට පටන් ගත්තොක් හොදයි කියලායි.” ප්‍රසන්න කීවේය.

    මේ අතර පහුගිය බදාදා ප්‍රසන්න අගමැති මහින්දට ද පාසල් හා පුද්ගලික පංති ආරම්භ කරන ලෙස ඇති ඉල්ලීම ගැන කීවේය. මේ පිළිබද ව ඉක්මණින් පියවරක් ගන්නා බවට මහින්ද ද ප්‍රසන්නට  සහතික වුයේය.

    සටහන – ගජබා නාගහවත්ත

  • අමිතාබ් – ජය 46 වැනි විවාහ සංවත්සරය සමග දුර්ලභ ඡායාරූප එකතුවක් එළියට !

    අමිතාබ් – ජය 46 වැනි විවාහ සංවත්සරය සමග දුර්ලභ ඡායාරූප එකතුවක් එළියට !

    ව ප්‍රකට අඹු-සැමි යුවළකගේ විවාහ සංවත්සරය පසුගිය 03 වැනිදාට යෙදී තිබුණා. ඒ බොලිවුඩ්හි අධිරාජ්‍යයා වන අම්තාබ් බච්චන්ගේ සහ ජයා බච්චන්ගේ වීමයි වඩාත් විශේෂත්වය වන්නේ්‍.

    මේ අසිරිමත් යුවළ විවාහ වුණේ 1973 ජුනි 3 වනිදායි. ඒ අනුව අමිතාබ් – ජයා විවාහයට වසර 46ක් ගත වෙනවා. ලොව පුරාම සිනමා තරු (විශේෂයෙන් හොලිවුඩ් හි සහ ලංකාවේත්) ගත කරන කෙටි කාලීන විවාහ ජීවිත හා සසදා බලන විට අමිතාබ්-ජයා විවාහය කියන්නේ බොලිවුඩ් සිනමාපටයක් වාගේම සුන්දර ආශ්චර්යයක්.

    අමිතාබ් – ජායා අති සාර්ථක විවාහ ජීවිතයක් ගත කරන බව, කළ බව කියන ජීවමාන සාක්ෂි වන්නේ ඔවුන්ගේ දරුවන්. අපි කවුරුත් දන්නා පරිදි අමිතාබ්-ජායා යුවළට අභිෂේක් බච්චන් සහ ෂ්වේටා බච්චන් නන්ද යන දරුවන් දෙදෙනකු සිටිනවා. ඒ වගේම අද අමිතාබ් – මුනුබුරු – මිනිබිරියන් දකින්න වාසනාවන්ත වී සිටිනවා. ඒ මුණුබුරන් තිදෙනා වන නව්‍ය නවේලි නන්දා, අගස්ති නන්දා සහ ආරධ්‍යා බච්චන් නිසයි. 

    ජය සහ අමිතාබ් යන දෙදෙනාම සැමවිටම කියා සිටියේ පවුල ඔවුන් වෙනුවෙන් පළමු තැනට පත්වන බවයි. විවාහ වීමට තීරණය කරන විට අමිතාබ්ගේ බොලිවුඩයේ සුපිරි තරුවක් බවට පත්ව සිටි අතර ජය ද හදවත් කිහිපයක් පාලනය කළාය.

    නමුත් අමිතාබ් සමග විවාහයෙන් පසු ජයා සිනමාවෙන් ඈත් වූ අතර අමිතාබ් බොලිවුඩයේ කිරුළ දිනා ගත්තේය. 

    ඉතිං මේ සියලු සිදුවීම් මැද අපි ඔබ වෙනුවෙන් අමිතාබ්-ජයා ආදාර කතාවේ දශක 5ක පමණ ගමන් මගක ජීවමාන සාක්ෂි ඉදිරිපත් කරන අතර එමගින් ඔබට මේ අසිරිමත් ප්‍රේමනීය යුවළ ගැන බොහෝ දේ වටහා ගැනීමට හැකිවනු ඇති බව ද සහතික කරමු.

    අමිතාබ් සහ ජය බච්චන්ගේ ඡායාරූප ඔවුන්ගේ ආදර ගමන පිළිබිඹු කරයි
    අමිතාබ් සහ ජය බච්චන්ගේ ඡායාරූප ඔවුන්ගේ ආදර ගමන පිළිබිඹු කරයි
    අමිතාබ් සහ ජය බච්චන්ගේ ඡායාරූප ඔවුන්ගේ ආදර ගමන පිළිබිඹු කරයි
    අමිතාබ් සහ ජය බච්චන්ගේ ඡායාරූප ඔවුන්ගේ ආදර ගමන පිළිබිඹු කරයි
    අමිතාබ් සහ ජය බච්චන්ගේ ඡායාරූප ඔවුන්ගේ ආදර ගමන පිළිබිඹු කරයි
    අමිතාබ් සහ ජය බච්චන්ගේ ඡායාරූප ඔවුන්ගේ ආදර ගමන පිළිබිඹු කරයි
    අමිතාබ් සහ ජය බච්චන්ගේ ඡායාරූප ඔවුන්ගේ ආදර ගමන පිළිබිඹු කරයි
    අමිතාබ් සහ ජය බච්චන්ගේ ඡායාරූප ඔවුන්ගේ ආදර ගමන පිළිබිඹු කරයි
    අමිතාබ් සහ ජය බච්චන්ගේ ඡායාරූප ඔවුන්ගේ ආදර ගමන පිළිබිඹු කරයි
    අමිතාබ් සහ ජය බච්චන්ගේ ඡායාරූප ඔවුන්ගේ ආදර ගමන පිළිබිඹු කරයි

    සියලුම ඡායාරූප ෆිල්ම් ෆෙයාර් ඇසුරිණි – සැකසුම තුෂාධවි

  • වීදි විලාසිතා ලෝකයේ සුපිරි තරුව Kendall Jennerගේ මෙතෙක් ඔබ නුදුටු උණුසුම්ම විලාසිතා එකතුව මෙන්න !

    වීදි විලාසිතා ලෝකයේ සුපිරි තරුව Kendall Jennerගේ මෙතෙක් ඔබ නුදුටු උණුසුම්ම විලාසිතා එකතුව මෙන්න !

    වීදි විලාසිතා (Street-Style) ලංකාවේ තාම එතරම් ජනප්‍රිය නොවුණත් ලෝකයේ, විශේෂයෙන් බටහිර රටවල නම් අතිෂය ජනප්‍රිය විලාසිතා සංකල්පයක්. නිදහස් බව, නිර්මාණශීලීත්වය, අධිෂ්ඨානය හා විප්ලවකාරී බව මෙන්ම කාලයට ඉදිරියෙන් සිටීමත් වීදි විලාසිතා තරුණ පරපුර අතර ප්‍රචලිත වීමට ප්‍රබල උත්තේජනයක් වී තිබෙනවා.

    අනෙක් අතට විදුලි බුබුළුවලින් අලංකාර කළ දැවැන්ත වේදිකාවල සිට ඉදිරිපත් කරන විලාසිතාවලට වඩා වීදියේ ඉදිරිපත් කිරීම් තුළ සරල හා පහසු බවක්, නිදහස්කාමී බවක් තිබෙන බවයි බොහෝ දෙනෙක් කියන්නේ.

    ‘මෙය ස්වභාවික ආලෝකය මැද සිදුවන දෙයක්. හරිම නිදහස්. වඩාත් පහසුවෙන් වටහා ගත හැකියි‘

    වීදි විලාසිතා කර්මාන්තයේ ඉහළින්ම සිටින සුපිරි නිරූපිනියන් (Supermodel) අතර කෙන්ඩල් ජෙනර් Kendall Jenner වඩාත්ම රැඩිකල් නිරූපිකාව වශයෙන් සැලකෙනවා. ඇයගේ නිර්මාණකරු වන මාක් ජේකබ්ස් Marc Jacobs ඇයට මහත් ශක්තියක් ලබා දෙනවා.

    ජාත්‍යන්තර විලාසිතා විචාරකයින් කියන ආකාරයට කෙන්ඩල් 2014දී තම ආගමනය සමග බොහෝ දේ වෙනස් කර තිබෙනවා. ඔවුන් කියන්නේ කෙන්ඩල් ජෙනර් 2014 දී නිර්මාණකරු මාක් ජේකබ්ස් වෙනුවෙන් ජාත්‍යන්තර ධාවන පථයේ ඇවිදිමින් අන්තර්ජාලය උණුසුම් කළ බවයි.

    ‘ ඇගේ මංගල දර්ශනය වෙනත් කිසිදු මාදිලියකට වඩා වෙනස් විය. ඇයගේ නිර්භීත ශෛලිය සඳහා ප්‍රකාශයක් වීමට එයට හැකියාව ලැබුණා. එය ධාවන පථයේ හෝ ඉන් පිටත වේවා, කෙන්ඩල් යනු ආදර්ශ නිර්මාණකරුවන් ඔවුන්ගේ සිහිනයක්‘ ප්‍රකට විලාසිතා විචාරක ජේමිස් මර්ක්ස් කියනවා.

    කෙන්ඩල්ගේ විලාසිතා ලෝකයට සීමාවක් නැහැ. තනපටය නොමැති විලාසිතාවල සිට ජීන්ස් දක්වාත්, රයිනෙස්ටෝන් බූට් සපත්තු දක්වා ඇගේ විලාසිතා ලෝකය පුළුල් වෙනවා.


    ‘ඇගේ විලාසිතාව අනපේක්ෂිත, ස්වභාවික සහ කාලයට වඩා ඉදිරියෙන් සිටී. ඇය නිසා ඇගේ සමකාලීනයන් කාර්යබහුල වී ඇති අතර ඇයට තරගයක් දීමට නොහැකිව පසු බා සිටී. එහෙත් ඇගේ විලාසිතා තරුණ – තරුණියන්ගේ උන්මාදයක් බවට පත්ව ඇති අතර වැඩිහිටියන්ගේ දෑස් ඉහළට එසවීමට සමත් වී තිබෙනවා‘මාර්ක්ස් වැඩි දුරටත් ඇය ගැන කියනවා.

    මේ සියලු ප්‍රශංසා මැද අපි කෙන්ඩල්ගේ උණුසුම් විලාසිතා එකතුවක් ඔබට වෙනුවෙන් තෝරා ගත්තා.

    විලාසිතා
    Strappy nude dress with blind detailed at the hem.
    විලාසිතා
    Bright yellow sporty-chic dress, styled with strappy heels and a sling bag.
    විලාසිතා
    Retro zebra printed, monochromatic blouse, paired with leather pants.
    විලාසිතා
    Oversized peach satin blazer teamed with matching pumps and statement earrings.
    විලාසිතා
    Oversized leather jacket styled with a belt and a pair of ankle-length boots.
    විලාසිතා
    White summer dress with frill and crisscross detail, styled with a tiny bag and ivory boots.
    විලාසිතා
    Butter yellow bodysuit, worn with loose-fitted, pocket detailed denim.
    විලාසිතා
    Olive green wrap skirt paired with a white cropped top.
    විලාසිතා
    Stripped short playsuit teamed with a pair of white sneakers and tiny sunglasses.
    විලාසිතා
    Gold velvet wrap dress, paired with thigh-high black boots and hoops.
    විලාසිතා
    Oversized t-shirt, fringed leather skirt, full-length parka and statement hoops.
    විලාසිතා
    Grey t-shirt layered with a golden parka and printed scarf, worn with leather leggings and boots.

    Text and pictures by Femina.in – සැකසුම – තුෂාධවි

  • Paypal පෙන්වා තරුණ ඡන්ද ගැරීමේ සැලසුමක් ගැන හෙළිදරව් වෙයි

    Paypal පෙන්වා තරුණ ඡන්ද ගැරීමේ සැලසුමක් ගැන හෙළිදරව් වෙයි

    මහමැතිවරණය අස්සේ පේපෑල් පෙන්වා තරුණ ඡන්ද ගැරීමේ ප්‍රයත්නයක් පිළිබදව හෙළිදරව් වී ඇතැයි අන්තර්ජාල පරිශිකලයන්ගේ සංගමය මාධ්‍ය නිවේදනයක් නිකුත් කරමින් ජනතාවට දැනුම් දෙයි.

    එහි කැදවුම්කරු – හේමාල් ශ්‍රී මහතා විසින් අද (6) දින මාධ්‍ය වෙත යොමු කළ එම නිවේදනය සම්පූර්ණයෙන් මෙසේය

    එළැබෙන මහමැතිවරණයට සමගාමීව තරුණ චන්ද ලබාගැනීම උදෙසා අන්තර්ජාල මුල්‍ය ගෙවීම් ක්‍රමයක් වන Paypal තාක්ෂණය ලබාදීමට කටයුතු කරනවා යන්න මැතිවරණ සටන් පාඨයක් ලෙස යොදාගැනීමට විවිධ අපේක්ෂකයින් කටයුතු කරන බවක් අප අන්තර්ජාල පරිශිකලයන්ගේ සංගමයට හෙළිදරව් වී ඇත. 

    විශේෂයෙන්ම මෙලෙස විවිධ පුද්ගලයින් විසින් සිදුකරනු ලබන ක්‍රියා හේතුවෙන් නොදුරු අනාගතයේදී  Paypal ශ්‍රී ලංකාවට ලබාගැනීමට තිබෙනා එකම අවස්ථාවත් ඇහිරි යනු ඇතැයි අප සංවිධානය විශ්වාස කරමු. බොහෝ ශ්‍රී ලාංකිකයන් විවිධ ක්‍රම ඔස්සේ දැනට Paypal ගිණුම් පවත්වාගෙනු යනු ලබන අතර මහමැතිවරණ අපේක්ෂකයින්ගේ නොමනා ක්‍රියා හේතුවෙන් එම ක්‍රම වලට Paypal ගිණුම් පවත්වාගෙන යාම දැඩි තර්ජනයකට මුහුණ දී තිබේ.

    විශේෂයෙන්ම තරුණ ජනතාව නොමග යැවීම සදහා Paypal සමාගමෙන් එවන ලද විද්‍යුත් තැපැල් පණිවිඩයක් ලෙස සකස් කරන ලද ව්‍යාජ පණිවිඩයක් මේ දිනවල සමාජ මාධ්‍ය අඩවි හරහා සංසරණය වෙමින් පවතින අතර මෙවැනි ව්‍යාජ ලේඛන වලට නොරැවටී තමන්ගේ වටිනා චන්දය භාවිතා කිරීමට කටයුතු කරන ලෙස අප තරුණ ජනතාවට අවධාරණය කරමු.

  • අද සිට රට පුරා ඇඳිරි නීතිය රාත්‍රී 11.00 සිට  අලුයම 4.00 දක්වා පමණයි

    අද සිට රට පුරා ඇඳිරි නීතිය රාත්‍රී 11.00 සිට අලුයම 4.00 දක්වා පමණයි

    අද දින, (ජූනි 06 සෙනසුරාදා) සිට දිවයිනේ සියලු දිස්ත්‍රික්කවල ඇඳිරි නීතිය නැවත දැනුම් දෙන තුරු ක්‍රියාත්මක වන්නේ රාත්‍රී 11.00 සිට අලුයම 4.00 දක්වා බව ජනාධිපති මාධ්‍ය අංශය විසින් නිකුත් කළ මාධ්‍ය නිවේදනයක සදහන් වේ.

    එහි වැඩි දුරටත් සදහන් වන්නේ, කොළඹ සහ ගම්පහ දිස්ත්‍රික්ක හැර සෙසු දිස්ත්‍රික්ක අතර ගමනා ගමනයට ඇති අවසරය නොවෙනස්ව පවතින බවයි.

    රාජ්‍ය, පෞද්ගලික දෙඅංශයේ ආයතන සහ කාර්යාල පවත්වාගෙන යාමේදීත්, එදිනෙදා ජන ජීවිතයේදීත් කොරෝනා නිවාරණ සෞඛ්‍ය නිර්දේශ පෙර පරිදි මුළුමනින්ම පිළිපදින ලෙස රජය සියලු පාර්ශ්වයන්ගෙන් ඉල්ලා සිටින බව  ද එම නිවේදනයේ සදහන්.

  • උතුරු මැද පළාතේ රෝහල් සංවර්ධනයට පියවර

    උතුරු මැද පළාතේ රෝහල් සංවර්ධනයට පියවර

    මෙරට විශාලතම පළාත වන උතුරු මැද පළාතේ රෝහල්වල පවතින සෞඛ්‍ය ගැටළු පිළිබද සොයා බැලීම සදහා විශේෂ සාකච්ඡාවක් අද දින (05) සෞඛ්‍ය හා දේශීය වෛද්‍ය අමාත්‍ය පවිත්‍රා වන්නිආරච්චි මහත්මියගේ ප්‍රධානත්වයෙන් සහ උතුරු මැද පළාත් ආණ්ඩුකාර මහීපාල හේරත් මහතාගේ සහභාගීත්වයෙන් උතුරු මැද පළාත් ආණ්ඩුකාර කාර්යාලයේ දී පැවැත්විනි.

    උතුරු මැද පළාතේ ප්‍රධාන පරිපාලන දිස්ත්‍රික්ක 02 වන අනුරාධපුර සහ පොළොන්නරුව යන දිස්ත්‍රික්ක තුල මූලික රෝහල් 08 කින් යුක්ත වේ. එම රෝහල් අතුරින් හිඟුරක්ගොඩ, පදවිය, තඹුත්තේගම, කැබිතිගොල්ලෑව, මැදිරිගිරිය යන රෝහල්වල වකුගඩු රෝගීන් සදහා වන රුධිර කාන්දුකරණ ඒකක වල ප්‍රතිආශ්‍රැතිකරණ ජල පද්ධති වල ගැටළු මෙම සාකච්ඡාවේ දී ඉදිරිපත් විය. එහිදී සමහරක් රෝහල්වල රුධිර කාන්දුකරණ ඒකක වල ප්‍රතිආශ්‍රැතිකරණ ජල පද්ධති නොමැති බවත්, සමහරක් රෝහල් වල ප්‍රතිආශ්‍රැතිකරණ ජල පද්ධති අකර්මණ්‍ය වී ඇති බවටත්, එම ජල පද්ධති කඩිනමින්  ස්ථාපිත කිරීමට පියවර ගන්නා ලෙසත් නිළධාරීන් හා වෛද්‍යවරු සෞඛ්‍ය අමාත්‍යතුමියගෙන් ඉල්ලා සිටි අතර, රුධිර කාන්දුකරණ ඒකක වල ප්‍රතිආශ්‍රැතිකරණ ජල පද්ධති නොමැති රෝහල් සදහා කඩිනමින් එම ජල පද්ධති ස්ථාපිත කිරිමට හා අකර්මණ්‍ය වී ඇති ජල පද්ධති කඩිනමින් යථාවත් කිරීම සදහා අදාල නිලධාරින්ට සෞඛ්‍ය අමාත්‍යතුමිය උපදෙස් ලබාදෙන ලදි.

    එමෙන්ම උතුරු මැද පළාතේ රුධිර කාන්දුකරණ ප්‍රතිකාර මධ්‍යස්ථාන 06 ක් වන අතර එම මධ්‍යස්ථාන 06 සදහා වෙනම වකුගඩු රෝග විශේෂඥ වෛද්‍යවරයෙකු  කඩිනමින් ලබාදීමට අවශ්‍ය පියවර ගන්නා බව සෞඛ්‍ය අමාත්‍යතුමිය විසින් සදහන් කරන ලදි.

    උතුරු මැද පළාත තුල පවතින විශේෂඥ වෛද්‍ය, වෛද්‍ය, හෙද සහ අතුරු වෛද්‍ය සේවා පුරප්පාඩු ඉදිරියේ දී බදවා ගන්නා සෞඛ්‍ය කර්ය මණ්ඩලවලින් පිරවීමට පියවර ගැනීම පිළිබදවත්, සෞඛ්‍ය කාර්ය මණ්ඩල සදහා නේවාසිකාගාර පහසුකම් ලබාදීමට විධිමත් වැඩපිළිවෙළත් දියත් කිරීම  පිළිබදව ද සෞඛ්‍ය අමාත්‍යතුමිය අවධානය යොමු කරන ලදි. 

    එමෙන්ම ප්‍රජා සෞඛ්‍ය විශේෂඥ වෛද්‍යවරයෙක් උතුරු මැද පළාත තුල නොමැති බැවින්  ප්‍රජා සෞඛ්‍ය විශේෂඥ වෛද්‍යවරයෙක් ලබාදීමට කටයුතු කරන බවත්, උතුරු මැද පළාතේ රෝහල්වල දැනට සිදු කරනු ලබන සංවර්ධන කටයතු කඩිනමින් නිම කිරීම සදහා උපදෙස් අදාල නිලධාරීන් වෙත ලබාදීමට ද මෙහිදී පියවර ගන්නා ලදි. 

    මෙම අවස්ථාවට  උතුරු මැද පළාත් ප්‍රධාන ලේකම් එච්.එම්.ඩී බණ්ඩාර, සෞඛ්‍ය අමාත්‍යාංශයේ අතිරේක ලේකම් සුනිල් ද අල්විස්, උතුරු මැද පළාත් සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ වෛද්‍ය ඩ.එම් පාලිත බණ්ඩාර, උතුරු මැද පළාත් ආණ්ඩුකාර ලේකම් ඒ.කේ.එම් වික්‍රමසිංහ, අනුරාධපුර ප්‍රාදේශීය සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ වෛද්‍ය ආරියරත්න, සබරගමු පළාත් සභාවේ සභාපති ගරු සෞඛ්‍ය අමාත්‍යතුමියගේ පෞද්ගලික ලේකම් කංචන ජයරත්න මහතා ඇතුලු නිළධාරීන් පිරිසක්  එක්ව සිටියහ.

  • 2178/18 ගැසට් පත‍්‍රයෙන් රාජ්‍ය සේවය හමුදා පාලනය යටතට

    2178/18 ගැසට් පත‍්‍රයෙන් රාජ්‍ය සේවය හමුදා පාලනය යටතට

    අංක 2178/18 දරණ ගැසට් පත‍්‍රය මගින් ස්වාධීන රාජ්‍ය සේවය හමුදා පාලනය යටතට පත්කොට ඇතැයි හිටපු පාර්ලිමේන්තු මන්ති‍්‍ර අධිනීතිඥ ලක්ෂ්මන් කිරිඇල්ල මහතා පැවසීය.

    කොළඹදි මාධ්‍ය හමුවක් කැඳවමින් ඒ මහතා වැඩිදුරටත් ප‍්‍රකාශ කරසිටියේ මැතිවරණය දිනය පිළිබද තීන්දුව ලබාදෙන දවසේ රාති‍්‍රයේ මෙම ගැසට් පත‍්‍රය නිකුත් කොට ඇතිබවයි.

    රාජ්‍ය සේවයේ ජ්‍යෙෂ්ඨත්වය අනුව අමාත්‍යාංශ ලේකම්වරුන් ති‍්‍රවිධ හමුදාපතිවරුන්ට වඩා ඉහළ මට්ටමක සිටි බවත් මෙම ගැසට් පත‍්‍රය හරහා අමාත්‍යාංශ ලේකම්වරු ඇතු`එ රාජ්‍ය නිලධාරින් හමුදාපතිවරු යටතට පත්කොට ඇති බවත් පැහැදිලිවම මෙමගින් රාජ්‍ය සේවය මිලිටරිකරණයට පත්කොට ඇතැයි ඒ මහතා ප‍්‍රකාශ කළේය.

    මාධ්‍ය හමුව අමතමින් වැඩිදුරටත් අදහස් දැක්වූ ලක්ෂ්මන් කිරිඇල්ල මහතා මෙසේද පැවසීය.

    අංක 2178/18 ගැසට් පත‍්‍රයක් මගින් 12 දෙනෙකුගෙන් සමන්විත ජනාධිපති කාර්ය සාධක බලකායක් පත්කරලා තිබෙනවා. ඒ දොලොස් දෙනාම හමුදා නිලධාරින්. මේකේ භයානකකම තමයි අපේ කීර්තිමත් රාජ්‍ය සේවය මේ කාර්ය සාධක බලකාය යටතට පත්කරලා තිබෙනවා. ති‍්‍රවිධ හමුදාවේ උසස් නිලධාරින් දොලොස් දෙනෙක් සිටිනවා. මේ ගැසට් පත‍්‍රය අනුව අපේ රාජ්‍ය සේවයේ නිලධාරින් සිය`එ දෙනාම කාර්ය සාධක බලකායෙන් ලබාදෙන නියෝග කි‍්‍රයාත්මක කරන්න ඕන. මේක අපේ ව්‍යවස්ථාවට පටහැනියි. මොකද රාජ්‍ය සේවය ස්වාධීන ආයතනයක්. අපේ රටේ ව්‍යවස්ථාවට අනුව රාජ්‍ය සේවය පාලනය වෙන්නේ රාජ්‍ය සේවා කොමිසමෙන්. ඒ වගේම රාජ්‍ය සේවයේ ජේ්‍යෂ්ඨත්වය අනුව අමාත්‍යාංශ ලේකම්වරයා සිටින්නේ ති‍්‍රවිධ හමුදාපතිවරුන්ට වඩා ඉහළින්. නමුත් මේ මේක කණපිට පෙරළලා. සිය`එ රාජ්‍ය සේවකයන් මේ කාර්ය සාධක බලකාය යටතට ගෙනත් තිබෙනවා. ඔවුන් දෙන නියෝග කි‍්‍රයාත්මක කළේ නැත්නම් ජනාධිපතිට මේ බව ලිඛිතව දැනුම් දෙන්නත් මේ අයට බලය දීලා තිබෙනවා. ඉතින් මේක භයානක තත්වයක්. රට මිලිටරිකරණයට ක‍්‍රමක‍්‍රමයෙන් රැගෙන යන වැඩපිළිවෙලක් වශයෙන් හදුන්වන්න පු`එවන්.

    මේ කාර්ය සාධක බලකායේ සිටිනවා මේජර් ජෙනරල් කමල් ගුණරත්න, ලූතිනන් ජෙනරල් ශවේන්ද්‍ර සිල්වා, වයිස් අද්මිරල් පියල් ද සිල්වා, එයාර් මාර්ෂල් සුමංගල ඩයස්, වැඩබලන පොලිස්පති සී.ඞී. වික‍්‍රමරත්න, මේජර් ජෙනරල් විජිත රවිප‍්‍රිය, මේජර් ජෙනරල් ජගත් අල්විස්, මේජර් ජෙනරල් සුරේෂ් සාලිය, මේජර් ජෙනරල් ඒ.එස්. හේවාවිතාරණ, කපිතාන් එස්.ජේ කුමාර, එයාර් කොමදෝරු එම්.ඞී.කේ. වාසගේ, නියෝජ්‍ය පොලිස්පති ටී.සී. ඒ. ධනපාල, නියෝජ්‍ය පොලිස්පති වරුණ ජයසුන්දර වශයෙන් 13දෙනෙකු යටතට රාජ්‍ය සේවය යටත් කරලා තිබෙනවා. මේ අය දෙන නියෝග රාජ්‍ය සේවය කි‍්‍රයාත්මක කරන්න ඕන. එසේ කි‍්‍රයාත්මක නොකළහොත් අතිගරු ජනාධිපතිතුමාට ඒ බව දැනුම්දෙන්නත් බලය දීලා තිබෙනවා.

    මම රාජ්‍ය සේවයෙන් අහනවා මෙම නියෝග පිළිගන්න ඔබ සූදානම්ද ? ඒ වගේම කාර්ය සාධන බලකායට වගකීම් පවරලා තිබෙනවා. මත්ද්‍රව්‍ය ජාවාරම් වැටලීමට එය වරදක් නැහැ. ඒ වගේම සිරගෙවල් තුළ ඇතිවන යම් යම් සිද්ධීන් පිළිබදව සොයාබැලීමට, භයානකම දේ තමයි සමාජ කණ්ඩායම්වල සමාජ විරෝධී කටයුතු ගැන හොයන්න බලයක් දීලා තිිබෙනවා. මොකක්ද මේ සමාජ කණ්ඩායම්වල සමාජ විරෝධි වැඩ කියන්නේ ? ඒ ගැන පැහැදිලි අර්ථනිරූපණයක් දීලා නැහැ.

    මේකෙන් පළමුව ඉලක්ක කරන්නේ මාධ්‍ය. සිවිල් සමාජය. ඒ වගේම ආගමික නායකයන් සහ ප‍්‍රකාශන සමාගම්. ඉතින් මේක අතිභයානක තත්වයක්. මේ ගැසට් පත‍්‍රය නිකුත් කරමින් රාජ්‍ය සේවය හමුදා පාලනයට යටත් කළේ ශ්‍රේෂ්ඨාධිකරණය තීන්දුව දුන්න දවසේ රාති‍්‍රයේ. මේක අපේ රටේ ව්‍යවස්ථාව කණපිට පෙරළීමක්.

    තමුන්නාන්සේලාට මතක ඇති පසුගිය කාලයේ මේ අය සටන් පාඨයක් හැදුවා. විශේෂයෙන් වියත්මගේ අය සම්බන්ධ වෙලා එකම රටක් එකම නීතියක් කියලා. ඒක දැන් රටේ තියෙනවද ? දැන් තිබෙන්නේ එකම රටක් නීති දෙකක්. පසුගිය කාලයේ සිදුවු සිද්ධි දෙස බැලූවාම නිරෝධායන නීති අමුඅමුවේ උල්ලංඝණය වුණා. එදායින් පසුව කොරෝනා නැති කරන්න පත්කරපු කාර්ය සාධන බලකායේ කිසිවෙක් දැක්කේ නැහැ ඒ අය හැංගිලා. අපේ රටේ අහිංසක පුරවැසියන් පනස්දහසක් පමණ අත්තඩංගුවට ගත්තා නිරෝධායන නීති කැඩුවා කියා. නමුත් අපි දුටුවා පසුගිය දවස් වල දහස් ගණන් ජනතාව හා රජයේ ඇමතිවරුන් නිරෝධායන නීති උල්ලංඝණය කරනවා. ඉතිං එකම රටක් එකම නීතියක් තියෙනවාද කියන ප‍්‍රශ්ණය මතුවෙනවා. පාලකයාට එක නීතියක් සාමාන්‍ය ජනතාවට තව නීතියක් තමා අද දකින්න තියෙන්නේ.

    මෙහිදි පැමිණ සිටි මාධ්‍යවේදින් නැගූ ප‍්‍රශ්ණ හා පිළිතුරු මෙසේය.

    ප‍්‍රශ්ණය – මැතිවරණය සම්බන්ධයෙන් අධිකරණය ලබාදුන් තීන්දුව පිලිබද ඔබතුමාගේ අදහස ?

    පිළිතුර – අධිකරණ තීන්දුව අපි පිළිගන්නවා. විශේෂයෙන් අපි අධිකරණයට ගියේ ජුනි 20 මැතිවරණය පැවැත්වීම සම්බන්ධව. අනෙක් කාරණා අපි අධිකරණයට ගිය නිසා ඉල්ලූවා. නමුත් අදටත් මගේ පෞද්ගලික විස්වාසය රටකට මාස 06ක් පාර්ලිමේන්තුව නැතුව යන්න පු`එවන්ද ? ඒකයි මම අහන්නේ.

    ප‍්‍රශ්ණය – විපක්ෂය විසින් ති‍්‍රවිධ හමුදාව, සෞඛ්‍ය අංශ ඇතු`එ රාජ්‍ය යාන්ත‍්‍රණය දේශපාලන අවුලකට ඇදදමනවා යැයි චෝදනාවක් තිබෙනවා.

    පිළිතුර – අපිද ආණ්ඩුව කරන්නේ ? එහෙම අවුලක් තිබෙනවා නම් ආණ්ඩුව වගකියන්න ඕන. විපක්ෂයේ කාර්යභාරය ගැන තේරුම්ගන්න ඕන. විපක්ෂය කියන්නේ ආණ්ඩුව නෙමෙයි. අඩුපාඩුකම් පෙන්වීම තමයි අපේ වගකීම. ඔබතුමාලම කියන්නකෝ දැන් පසුගිය කාලයේ නිරෝධායන නීති අමඅමුවේ උල්ලංඝනය කළා. ඒක හරිද ? ඒ සිය`එදෙනාටම නීතිය කි‍්‍රයාත්මක කරන්න ඕන. මම දැක්කා යුරෝපීය රටක අගමැතිවරයෙකුට දඩ නියම කළා සිපවැළද ගැනීමක් සම්බන්ධයෙන්. රණවිරුවෙක් අසනීප වෙලා මියගියාම එක දවසින් අවසන් කටයුතු කළා. මේ වගේ දවස් 05ක් තියාගන්න පු`එවන්ද ? ඒකයි අපි කියන්නේ එකම රටක් එක නීතියක් තියෙනවද ? මාධ්‍යයේ වගකීම තමයි හරි දේට හරි කියන්නත් වැරදි දේට වැරදි කියන්නත්. ඒත් ඔය අය වැරදි දේට හරි කියා අහගන්න තමයි අපෙන් ප‍්‍රශ්ණ අහන්නෙත් උත්තර බලාපොරොත්තු වන්නෙත්.

    ප‍්‍රශ්ණය – හිරගෙවල්වල අක‍්‍රමිකතා සෙවීම ගැනද මෙහි සඳහන් වන්නේ ?

    පිළිතුර – වගකීම් ගණනාවක් දීලා තිබෙනවා. එකක් තමයි මත්ද්‍රව්‍ය ගැන හොයන්න. ඒකේ වරදක් නැහැ. හිරගෙවල් වල ඇතුලත හා පිටත දේවල් හොයන්න කාර්ය සාධන බලකායක් අවශ්‍ය නැහැ. එක කාලයක හිරගෙදර සියයක් විතර මැරුවනේ. ඒක නීතිපති ඉදිරියේ තියෙන්නේ. මේ විකාර. පළමුව ඒක හොයන්නයි ඕන.

    ප‍්‍රශ්ණය – ඔබතුමාලා මෙයට විරුද්ධව පියවරක් ගන්න බලාපොරොත්තු වෙනවාද ?

    පිළිතුර – අපි නීතිමය පියවර ගැන කල්පනා කරනවා. මාධ්‍යවේදීන් වශයෙන් ඔබතුමාලා මෙය අනුමත කරනවාද ? එහෙම වෙන්න බැහැ. රාජ්‍ය සේවය ස්වාධීනයි.

    – Media unit

  • කොවිඩ්වලිනුත් ගසා කෑමක්

    කොවිඩ්වලිනුත් ගසා කෑමක්

    වෛද්‍ය පර්යේෂණ ආයතනයේ වෛද්‍ය රසායනාගාර විද්‍යාඥ වෘත්තිකයන් විසින් කොවිඩ්19 RT-PCT පරීක්ෂාව සඳහා අවශ්‍ය වන වෛරස ප්‍රවාහන මාධ්‍යය සහිත නිදර්ශක එකතු කිරීමේ කට්ටල රුපියල් 350ක් වැනි මිලකට නිපදවමින් සිටියදී වෛද්‍ය සැපයුම් අංශය හරහා වෙනත් නිෂ්පාදන වැඩි මිලකට මිලදී ගැනීම තවදුරටත් සිදු වන බවත් මේ ගැන තම සංගමයට බලවත් සැකයක් පවතින බවත් වෛද්‍ය රසායානාගාර විද්‍යාඥ වෘත්තීයවේදීන්ගේ විද්වත් සංගමය අද (4) මාධ්‍ය නිවේදනයක් නිකුත් කරමින් සදහන් කරයි.

    එහි සභාපති රවී කුමුදේශ් මහතා විසින් නිකුත් කළ සම්පූර්ණ මාධ්‍ය නිවේදනය මෙසේය.

    වෛද්‍ය පර්යේෂණ ආයතනයේ වෛද්‍ය රසායනාගාර විද්‍යාඥ වෘත්තිකයන් විසින් කොවිඩ්19 RT-PCT පරීක්ෂාව සඳහා අවශ්‍ය වන වෛරස ප්‍රවාහන මාධ්‍යය සහිත නිදර්ශක එකතු කිරීමේ කට්ටල නිපදවීම මේ වන විට සිදු කරමින් පවතී. 

    සෞඛ්‍ය අමාත්‍යාංශය මින් පෙර මෙකී වෛරස ප්‍රවාහන මාධ්‍ය සහිත නිදර්ශක එකතු කිරීමේ කට්ටල මිලදී ගනු ලැබුවේ රු. 600ක පමණ මිලකට වන අතර, එය රු 350ක වැනි පිරිවැයකින් නිපදවීමට වෛද්‍ය පර්යේෂණ ආයතනයට හැකියාව ලැබී ඇත්තේ අදාල කට්ටලය නිපදවීමට අවශ්‍ය මාන්තුව (Swab) මිලදී ගැනීම සඳහා රු 250ක පමණ මුදලක් වැය කරමින් තිබියදීය.

    එසේම දැනට පවතින සාමාන්‍ය තත්ව යටතේ දෛනිකව එකී කට්ටල 2000ක පමණ නිෂ්පාදන ධාරිතාවක් පවතින අතර අවශ්‍ය අමුද්‍රව්‍ය සහ වෛද්‍ය රසායනාගාර විද්‍යාඥ වෘත්තිකයන් ප්‍රමාණය වැඩි කිරීම මඟින් එකී නිෂ්පාදනය අවශ්‍ය ඕනෑම ප්‍රමාණයක් දක්වා වැඩි කර ගැනීමේ හැකියාවද පවතී. 

    කෙසේ නමුත් සෞඛ්‍ය අමාත්‍යාංශය සතුව එම හැකියාව පැවතියදී එම නිෂ්පාදනය විධිමත් පරිදි කළමණාකරණය සිදු නොකර ගනිමින් වෛද්‍ය සැපයුම් අංශය හරහා වෙනත් නිෂ්පාදන වැඩි මිලකට මිලදී ගැනීම තවදුරටත් සිදු වන බව අප සංගමය වෙත වාර්තා වී ඇත.

    එසේම වසංගත රෝග විද්‍යා අංශය ඇතුළු සමහර රෝහල් එම කට්ටල වල අවශ්‍යතාවය පිළිබඳව වෛද්‍ය පර්යේෂණ ආයතනය දැනුවත් නොකරමින් මෙකී කට්ටල මිලදී ගැනීම සඳහා වැඩි නැඹුරුවක් දක්වන්නේද යන්න පිළිබඳව සැකයක් මතුවී ඇත.

    තවද වෛද්‍ය පර්යේෂණ ආයතනය විසින් මෙම නිෂ්පාදන හැකියාව නිශ්චිත වශයෙන් රටේ සේවා අවශ්‍යතාවය සැළකිල්ල ගනිමින් කළමනාකරනය කර ගැනීම හා ඒ පිළිබඳව නිවැරදි තොරතුරු සන්නිවේදනය කර ගැනීමේ දුර්වලතාවයක්ද පැවතිය හැකි බැවින් ඒ පිළිබඳව සෞඛ්‍ය අමාත්‍යාංශයේ මඟ පෙන්වීම අත්‍යාවශ්‍යව ඇත. 

    උක්ත තත්වයන් සැළකිල්ලට ගෙන අනවශ්‍ය මූල්‍ය නාස්තිය සහ අක්‍රමිකතාවයන් වලක්වමින් මූලික පිරිවැයක් දරමින් වෛද්‍ය පර්යේෂණ ආයතනය තුල ස්ථාපිත කරන ලද “වෛරස ප්‍රවාහන මාධ්‍යය සහිත RT-PCR නිදර්ශක එකතු කිරීමේ කට්ටල” නිපදවීමේ වැඩසටහනේ සැබෑ වාසිය රටට සහ මහජනතාවට ලබා දීම සඳහා ඔබගේ කඩිනම් මැදිහත්වීම අපේක්ෂා කරමි.

    ස්තුතියමෙයට, විශ්වාසීරවී කුමුදේශ් – සභාපති වෛද්‍ය රසායානාගාර විද්‍යාඥ වෘත්තීයවේදීන්ගේ විද්වත් සංගමය

  • එතෙර සිට එන අයගේ PCR ප්‍රතිඵල ලබා ගැනීමෙන් පසු  නිරෝධායනයට

    එතෙර සිට එන අයගේ PCR ප්‍රතිඵල ලබා ගැනීමෙන් පසු නිරෝධායනයට

    සියරට පැමිණීමට කැමැති සියලු දෙනාට අවස්ථාව …ගුවන් තොටුපොළ පරිශ්‍රයට පරීක්ෂණාගාරයක් …අදාළ රටේදීම PCR පරීක්ෂණ හැකියාව විමසුමට …

    විදේශ රටවල සිට පැමිණෙන්නන්  PCR පරීක්ෂණයට භාජන කොට ප්‍රතිඵල ගුවන් තොටුපොළ පරිශ්‍රයේදීම ලබා ගැනීමෙන් පසු නිරෝධායනයට යොමු කරන්නැයි ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා නිලධාරීන්ට උපදෙස් දෙයි.

    ආගමන පටිපාටියට පෙර, පරීක්ෂණ ප්‍රතිඵල ලැබෙන තෙක් වෙනම ස්ථානයකට යොමු කර ඔවුනට අවශ්‍ය පහසුකම් සලසන ලෙස ද ජනාධිපතිවරයා පවසයි.

    කොවිඩ් – 19 මර්දන කාර්ය සාධක බලකාය සහ විශේෂඥ වෛද්‍යවරුන් සමග අද (04) දහවල් ජනාධිපති කාර්යාලයේ පැවති සාකච්ඡාවේදී ජනාධිපතිවරයා මේ උපදෙස් දුන්නේය.

    එතෙර සිට විශේෂයෙන් මැද පෙරදිග සිට සිය රට එන පිරිස් PCR පරීක්ෂණයට භාජන කිරීමේදී සහ නිරෝධායනයට යොමු කිරීමේදී මුහුණ පෑමට සිදුවන ගැටලු සහ ඒවා විසඳිය යුතු ආකාරය අද රැස්වීමේ දී දීර්ඝ වශයෙන් විමර්ශනය කෙරිණ.

    PCR ප්‍රතිඵල කඩිනම් කිරීමට ගුවන් තොටුපොළ පරිශ්‍රයේම පරීක්ෂණාගාරයක් ස්ථාපනය කිරීමට ද තීරණය කෙරිණ. වසංගතය දීර්ඝ කාලයක් පැවතිය හැකි බැවින් සහ ඉන් ඔබ්බට ද ගුවන් තොටුපොළ පරිශ්‍රයේ පරීක්ෂණාගාරයක් තිබීමේ වැදගත්කම ද ජනාධිපතිවරයා අවධාරණය කළේය.

    විදේශයන්හි සිට පැමිණෙන පිරිස් අදාළ රටේදීම PCR පරීක්ෂණයට යොමුකිරීමට හා  එය රජයේ ඝෘජු මැදිහත්වීමෙන් හෝ අදාළ රටේ දායකත්වයෙන් සිදුකිරීමේ හැකියාව සොයා බැලීමට ද තීරණය කෙරිණ.

    මෙලෙස කල්තියා ආසාදිතයින් හඳුනා ගැනීමෙන් රෝහල් වෙත යොමු කිරීමේදී සහ නිරෝධායනයේදී මතුවන ගැටලු රැසක් අවම කර ගැනීමට ද හැකිවෙතැයි රාජපක්ෂ මහතා කීය.

    මවුබිමට පැමිණීමේ අපේක්ෂාවෙන් සිටින සියලුදෙනාට හැකි ඉක්මණින් අවස්ථාව ලබාදිය යුතු බව ජනාධිපතිවරයා අවධාරණය කළේය.

    සෞඛ්‍ය ඇමතිනී පවිත්‍රා වන්නිආරච්චි, බස්නාහිර පළාත් ආණ්ඩුකාර මාර්ෂල් ඔෆ් ද එයාර් ෆෝස් රොෂාන් ගුණතිලක, ජනාධිපති ප්‍රධාන උපදේශක ලලිත් වීරතුංග, ආරක්ෂක ලේකම් මේජර් ජනරාල් (විශ්‍රාමික) කමල් ගුණරත්න, සෞඛ්‍ය ලේකම් මේජර් ජනරාල් (විශ්‍රාමික) විශේෂඥ වෛද්‍ය සංජීව මුණසිංහ යන මහත්ම මහත්මිහූ සහ ත්‍රිවිධ හමුදාපතිවරු, වැඩබලන පොලිස්පති, සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජනරාල් ඇතුළු කාර්ය සාධක බලකායේ සාමාජිකයෝ සහ විශේෂඥ වෛද්‍යවරු සාකච්ඡාවට එක්ව සිටියහ.

  • චීනයෙන් ණය ගත් රටවල් 23ක් නන්නත්තාරයි – ලංකාවත් ඒ අතර !

    චීනයේ ” අඳුරු ණයදීම” හේතුවෙන්, මෙම රටවල් 68 අතුරින් රටවල් 23 ක් ඉහළම පීඩනයකට  ලක් වී තිබේ. එම රටවල් 23 ඉහතින් දැක්වූ කලාප හතරම නියෝජනය කරයි.

    ගෝලීය යටිතල පහසුකම් සහ සම්බන්ධතා වැඩ සටහන (BRI ) යටතේ චීනය විසින් සිදු කරණු ලබන ”  අඳුරු ණයදීම ” හේතුවෙන් වැඩිම ණය අවදානමකට ගොදුරු වී ඇත්තේ උප සහරා අප්‍රිකාවයි.

    චීන ජාතිකයන්ගේම වාර්තා වලට අනුව BRI හී විෂය පථයට අයත් රටවල් 68 ක් හඳුනාගෙන තිබේ. මෙම රටවල් කලාප අනුව කාණ්ඩ 4 කට වෙන් කර ඇත.

    නැගෙනහිර සහ අග්නිදිග ආසියානු කලාපය යටතට රටවල් 14 ක් ද , මධ්‍යම හා දකුණු ආසියානු කලාපය යටතට ශ්‍රී ලංකාව ඇතුළුව රටවල් 13 ක් ද, මැද පෙරදිග සහ අප්‍රිකානු කලාපය යටතට රටවල් 17 ක් සහ යුරෝපා සහ යුරේසියානු කලාපය යටතට රටවල් 24 ක් ද ලෙස කාණ්ඩ කොට තිබේ.

    මෙම රටවල් හැට අටේ වාර්ෂික ආර්ථික නිෂ්පාදනය දළ වශයෙන් ඩොලර් ට්‍රිලියන 25 ක් ලෙස ගණන් බලා තිබේ.

    චීනයේ මෙම ” අඳුරු ණයදීම” හේතුවෙන්, මෙම රටවල් 68 අතුරින් රටවල් 23 ක් ඉහළම පීඩනයකට  ලක් වී තිබේ. එම රටවල් 23 ඉහතින් දැක්වූ කලාප හතරම නියෝජනය කරයි.
    නැගෙනහිර හා අග්නිදිග ආසියානු කලාපයේ රටවල් වන්නේ කාම්බෝජය, මොන්ගෝලියාව සහ ලාඕසය ය. මධ්‍යම සහ දකුණු ආසියානු කලාපයට අයත් වන රටවල් වන්නේ ශ්‍රී ලංකාව, පකිස්ථානය, මාලදිවයින, භූතානය, කිර්ගිස්තානය සහ ටජිකිස්තානය වේ.

    මැද පෙරදිග සහ අප්‍රිකානු කලාපය තුළ පිහිටි ඊජිප්තුව, ඉරාකය, ජෝර්දානය, ලෙබනනය, කෙන්යාව , ඉතියෝපියාව සහ ජිබ්‍රට් යන රටවල් ද මීට ඇතුලත්ය.

    යුරෝපා සහ යුරෙසියානු කලාපයේ රටවල් වන්නේ, ඇල්බේනියාව, ආර්මේනියාව, බෙලාරුස්, බොස්නියාව, හර්සගොවිනා, මොන්ටිනිග්‍රෝ සහ යුක්‍රේනය ය.

    චීනයේ මතය වන්නේ BRI යටතේ , යටිතල පහසුකම් සංවර්ධනය කිරීම සඳහා සංවර්ධනය වෙමින් පවතින රටවලට ලබා දෙන පිටුබලය හේතුවෙන් , වඩා හොඳ ගෝලීය පාලනයකට තමන් සහයෝගය දක්වනවා යන්නය. ඒ සඳහා විවිධ තර්ක ඉදිරිපත් කිරීමට ද චීනය උත්සාහයක යෙදී සිටියි

    එහෙත් බටහිර හා ආසියාවේ ඇතැමුන් දරන්නේ ඊට හාත්පසින්ම වෙනස් මතයකි. ඔවුන් පවසන්නේ , චීනය සිය ණය දීමේ ප්‍රතිපත්තියෙන්, සංවර්ධනය වෙමින් පවතින රටවලට වඩා ආර්ථික හා භූ දේශපාලන උත්තේජනයක් තමන්ට ලබා ගැනීමට චීනය උත්සාහ කර ඇති බවය.

    ලතින් ඇමරිකාව ,අප්‍රිකාව සහ ආසියාව තුළ චීනය සිදු කරමින් සිටින්නේ කොල්ලකාරී ණය දීමක් බව එක්සත් ජනපදයේ නිළධාරීන්ගේ මතය වී තිබේ. එසේම සංවර්ධනය වෙමින් පවතින බොහෝ රටවල ප්‍රජා ක්‍රියාකාරීන්, රජයේ නිළධාරීන් සහ පර්යේෂකයින්, චීන ණය දීම පිළිබඳව දරන්නේ යහපත් ප්‍රතිචාරයක් නොවේ. 

    චීනය විසින් මෙහෙයවනු ලබන බොහෝ වාණිජ ව්‍යාපෘතිවල මූල්‍ය, පාරිසරික, සමාජීය සහ දේශපාලන තිරසාර භාවය ගැන මොව්හු කනස්සල්ලට පත් වී සිටිති. ඇතැම් අවස්ථාවල දී චීනය, මෙවැනි විවේචනයන්ට සවන් දෙන නමුත්,  ඒ සඳහා සැබවින්ම කැපවීමක් හෝ ඒ වෙනුවෙන් ක්‍රියාත්මකවීමක් හෝ මෙතෙක් සිදු කොට නොමැත.

    ඒ වෙනුවට ඔවුන් සිදු කරමින් සිටින්නේ BRI ලේබලය යටතේ, යටිතල පහසුකම් සහ සම්බන්ධතා කෙරෙහි වැඩි අවධානය යොමු කරමින් ජාත්‍යන්තර සංවර්ධනයේ ප්‍රමුඛයෙකු ලෙස කැපී පෙනීමට ක්‍රියා කිරීම පමණය.

    ජාත්‍යන්තර සංවර්ධනය සඳහා බටහිර සහ චීන ප්‍රවේශයන් අතර ඇත්තේ විශාල වෙනසක් සහ පරතරයකි. කවරෙකුගේ ආකෘතිය වඩා හොඳින් ක්‍රියාත්මක වේද යන්න පිළිබඳව ගැටීමේ ප්‍රභවයක් මේ වන විට මතුවී තිබේ.

    බහු පාර්ශවීය ආයතනවල සංවර්ධන න්‍යාය පත්‍රයට බලපෑම් කිරීමට චීනය උත්සාහ දරන අතර, යම් අවස්ථාවලදී එක්සත් ජාතීන්ගේ තිරසර සංවර්ධන ඉලක්ක වැනි ඉහළ අරමුණුවල ස්වරය සහ අන්තර්ගතය හැඩගැස්වීමට පවා චීනය උත්සාහ දරයි.

    තාක්ෂණය හා නවෝත්පාදනයන් හී ගෝලීය නායකයෙකු වීමේ අභිලාෂය මෙන්ම, ජාත්‍යන්තර ආර්ථික හා ආරක්ෂක ආයතනවලට අභියෝග කිරීමට ද චීනය වැඩි කැමැත්තක් දක්වයි.
    චීනයේ සංවර්ධන ආකෘතිය සහ එහි බලපෑම පිළිබඳ විවාදයක් ඇතිවී ඇති අතර, එම විවාදය නැඹුරු වී ඇත්තේ, විදේශ ආර්ථික ප්‍රතිපත්තිය සඳහා චීන රජය විසින් මෙහෙයවනු ලබන, ධනවාදී ප්‍රවේශය පිළිබඳවය.

    චීන රජයේ සියළු තීරණ ගනු ලබන්නේ, පුද්ගලික ව්‍යවසායකයන් සහ බැංකු නොවන ව්‍යාපාර මගිනි. නිෂ්පාදනය පාලනය කරනු ලබන්නේ ද ඔවුන් විසිනි. මේ තත්ත්වය තුළ, ජාත්‍යන්තර සංවර්ධනය සඳහා චීනයේ ප්‍රවේශය පිළිබඳව මේ වන විට ගැටලු රාශියක් උත්සන්න වී තිබේ. ඒ නිසාම චීනය සහ හවුල්කාර රටවල් නැවත සාකච්ඡා කිරීමට සහ ඉගෙනීමට තීරණාත්මක ලෙස අවතීර්ණවීමේ කාලපරිච්ඡේදය උදාවී තිබේ. ඒ අනුව ණය කොන්දේසි සහ ඉඳිකිරීම් කාල නියමයන් පිළිබඳව නැවතත් සාකච්ඡා කිරීමට පටන් ගෙන තිබේ.

    චීනයේ ජාත්‍යන්තර සංවර්ධන අභිලාසයන් සමඟ සම්බධ වී සිටින අාණ්ඩු, ව්‍යාපාර, සිවිල් සමාජ සංවිධාන සහ ලෝකයේ විවිධ ප්‍රදේශවල පර්යේෂකයන් සියල්ලෝම එකිනෙකා සමඟ ,චීනයේ මෙම ප්‍රවේශය පිළිබඳව වැඩි දුරටත් සාකච්ඡා කිරිමට අවශ්‍ය පරිසරය මේ වන විට ගොඩ නඟමින් සිටිති.

    වර්ධනය වෙමින් පවතින චීන ගෝලීය භූමිකාව, දේශීය හා විදේශීය වශයෙන් දැඩි ප්‍රතිපත්ති කෙරෙහි අවධානය යොමු කරන විට , ඇමරිකා එක්සත් ජනපදය සහ අනෙකුත් බටහිර ආණ්ඩු , සංවර්ධනය වෙමින් පවතින රටවල් තුළ වයාප්ත වන චීනයේ බලපෑම කෙරෙහි අවධානය යොමු කිරීමට පටන් ගෙන තිබේ.

    චීන කොමියුනිස්ට් පක්ෂය, සිය ඒකාධිපති ආකෘතිය ප්‍රචලිත කිරීමට සහ ලොව පුරා සංවර්ධනය වෙමින් පවතින ප්‍රජාතන්ත්‍රවාදයට හිතාමතාම හෝ වක්‍රව හෝ හානි කිරීමට දරන උත්සාහයේ ස්වභාවය පිළිබඳව ද දැඩි විවාදයක් මතුවී තිබේ.

    ඉන්දු – පැසිෆික් උපාය මාර්ගය යටතේ වර්ධනය වන චීන බලපෑමට මුහුණ දෙන, සංවර්ධනය වෙමින් පවතින කලාපීය රටවල, නීතියේ ආධිපත්‍ය සහ මානව හිමිකම් ශක්තිමත් කිරීමට තමන් මැදිහත්වන බව ඇමරිකාව පසුගිය නොවැම්බරයේ දී ප්‍රකාශ කර තිබුණි.

    මෙවැනි රටවලට චීනය විසින් කරන බලපෑම විසඳිය හැකි හොඳම ආකාරය පිළිබඳව වොෂින්ටනය සලකා බලමින් සිටින බව ඇමරිකාව ප්‍රකාශ කොට තිබේ. චීනයේ විදේශ ප්‍රතිපත්තියේ ආක්‍රමණශීලී භාවය මුළුමනින්ම පැවරී ඇත්තේ ෂී ජින්පින් වෙතය. අන් කවරදාකවත් නොවූ ආකාරයේ ඒක පුද්ගල පාලනයකට චීනය සමීප කිරීම ඔහු විසින් සිදු කර තිබේ.

    සංවර්ධනය වෙමින් පවතින රටවල් තුළ චීනයේ බලපෑම වේගවත් කිරීම සඳහා ෂී ජින්පින් තම බලය,  විදේශ ප්‍රතිපත්ති සම්පාදනයේ ඉහළින්ම භාවිතා කර ඇත. අනෙක් අතට චීන කොමියුනිස්ට් පක්ෂය,  නිදහස් වෙළඳපොල ප්‍රතිසංස්කරණ වැඩ පිළිවෙල තම රට තුළ දිගටම පවත්වාගෙන යන අතර, රට ස්ථාවරව තබා ගන්නා තාක් කල් චීනයේ, නව ධනවාදී මධයම පංතිය, වත්මන් පාලන තන්ත්‍රය සමඟ දිගටම ඉදිරියට යෑමට සූදානම් යන්න පෙන්වා  තිබේ.

    ඇතැම් ප්‍රවීනයන් පෙන්වා දී ඇත්තේ , 2025 වන විට චීනය ලෝකයේ විශාලතම මධ්‍යම පංතිය සහිත රට බවට පත්වනු ඇති බවය. එහෙත් කොරෝනා වෛරසයත් සමඟ ඇති වුණු අනපේක්ෂිත ගෝලීය බලපෑම හමුවේ, සැබැවින්ම චීනයට එම ඉලක්ක සපුරා ගැනීමට හැකිවේ ද යන්න පිළිබඳව දැඩි අවිනිශ්චිතතාවයක් මේ වන විට පවතින බවට කරුණු දිගහැරෙමින් තිබේ. ඒවා මොනවා ද යන්න වෙනම විමසිය යුතු වේ.

    සුනිල් ගාමිණී