Blog

  • බන්ධනාගාරය පාතාල තිප්පොළවත් නොවීමට ජනපතිගෙන් දැඩි නියෝග

    බන්ධනාගාරය පාතාල තිප්පොළවත් නොවීමට ජනපතිගෙන් දැඩි නියෝග

    පාතාල නායකයන්, මත්ද්‍රව්‍ය ජාවාරම්කරුවන් බන්ධනාගාරයේ සිට කරන අපරාධ මෙහෙයුම් වහාම නතර විය යුතු බව ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා අවධාරණය කරයි.

    රට තුළ සිදුවන බොහෝ අපරාධ සහ මහා පරිමාණ මත්ද්‍රව්‍ය ජාවාරම් බන්ධනාගාරයේ සිට මෙහෙයවන බවට නිශ්චිත තොරතුරු අනාවරණය වී තිබේ. ඒ පිළිබඳව ජනතාව අතර ද දීර්ඝ කාලයක සිට පවතින මතය ඉතා කණගාටුදායක බව ජනාධිපතිවරයා පවසයි.

    “මෙය නිවැරදි කළයුතුයි. බන්ධනාගාර ඇතුළත ජංගම දුරකථන භාවිතය සම්පූර්ණයෙන් තුරන් කරන්න”  ජනාධිපතිවරයා කියා සිටී.

    බන්ධනාගාරවල අභ්‍යන්තර තත්වය විමර්ශනය කරනු පිණිස අද (01) පස්වරුවේ ජනාධිපති කාර්යාලයේ පැවති සාකච්ඡාවේ දී ජනාධිපතිවරයා එසේ පැවසීය.

     බන්ධනාගාරය හෝ පොලීසිය බිඳ වැටී ඇත්නම් රටේ නීතිය ක්‍රියාත්මක කිරීමේදී එය බලපාන බවද ජනාධිපතිතුමා පෙන්වා දුන්නේය. කුමන දේශපාලන මතයක් දැරුවද නිලධාරියෙකු හරි දේ කරන්නේ නම් එය අනුමත කරන බව ද රාජපක්ෂ මහතා කීය.

    බන්ධනාගාර දෙපාර්තමේන්තුවේ පවතින අඩු පාඩු ඉවත්කොට සම්පූර්ණයෙන් විධිමත් කරන බව ජනාධිපතිතුමා අවධාරණය කළේය.‍ ආරක්ෂක ලේකම්, යුද හමුදාපති, පොලිස්පති ඇතුළු කමිටුවක  ප්‍රධානත්වයෙන් එය සිදු කෙරේ. නිලධාරීන් පුහුණු කිරීම්, දිරිගැන්වීම් ඇතුළු  සියලු ක්‍රියාකාරකම් අධීක්ෂණ කණ්ඩායමකට යොමු කිරීමට ද  උපදෙස් දෙනු ලැබිණ.

    දූෂිත සහ අකාර්යක්ෂම නිලධාරීන් හඳුනාගෙන ඔවුන් සම්බන්ධයෙන් නිවැරදි තීරණ ගත යුතුව ඇතැයි ජනාධිපතිවරයා පැවසීය.

    අමාත්‍ය නිමල් සිරිපාල ද සිල්වා, ජනාධිපති ලේකම් පී.බී. ජයසුන්දර, ආරක්ෂක ලේකම් විශ්‍රාමික මේජර් ජනරාල් කමල් ගුණරත්න,  අධිකරණ අමාත්‍යාංශයේ ලේකම් එස්.එම්. මොහොමඩ් යන මහත්ම මහත්මීහූ සහ ත්‍රිවිධ හමුදාපතිවරු, පොලිස්පති, බන්ධනාගාර කොමසාරිස් ජනරාල් ප්‍රමුඛ පොලීසියේ සහ බන්ධනාගාරයේ ඉහළ නිලධාරීහූ සාකච්ඡාවට එක්ව සිටියහ.

  • ඩෙංගු මර්ධනයේදී පරිසර පවිත්‍රතාවට ප්‍රමුඛත්වය – නීති කඩකරන්නන්ට දැඩි පියවර

    ඩෙංගු මර්ධනයේදී පරිසර පවිත්‍රතාවට ප්‍රමුඛත්වය – නීති කඩකරන්නන්ට දැඩි පියවර

    පවතින වර්ෂාව සහිත කාලගුණය පහව යාමෙන් අනතුරුව සිදුවිය හැකි ඩෙංගු ව්‍යාප්තිය මර්දනයට වහාම සූදානම් වන්නැයි ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා සහ අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මහතා ආණ්ඩුකාරවරුන්ට සහ පළාත් පාලන ප්‍රධානීන් ඇතුළු සෞඛ්‍ය බලධාරීන්ට උපදෙස් දෙති.

    සෑම වසරකම ඩෙංගු රෝගීන් වැඩිම සංඛ්‍යාව බස්නාහිර පළාතෙන් වාර්තා වෙයි. වෙනත් ප්‍රදේශවලවල සිට මේ පළාතට දෛනිකව විශාල පිරිසක් පැමිණෙති.  මොවුන් වාහකයන් ලෙස පිටව යාම වැළැක්විය හැක්කේ බස්නාහිර පළාතට ප්‍රමුඛත්වය දී ඩෙංගු මර්දනය කිරීමෙන් බව ජනාධිපතිතුමා පෙන්වා දෙයි. ඒ සඳහා පළාතේ සියලු පලාත් පාලන ආයතන සෞඛ්‍ය අංශ සහ පරිසර පොලීසිය සක්‍රීයව ක්‍රියාත්මක විය යුතු බව ජනාධිපතිතුමා අවධාරණය කරයි.

    ඉදිරි සැලසුම් සැකසීම පිණිස ඩෙංගු මර්දන ජනාධිපති කාර්ය සාධක බලකාය සමග අද (01) දහවල් ජනාධිපති කාර්යාලයේ පැවති විශේෂ සාකච්ඡාවේදී ජනාධිපතිතුමා මේ අදහස් පළ කළේය. 

    පසුගිය වසරවලට සාපේක්ෂව මේ වසරේ පළමු කාර්තුව තුළ ඩෙංගු රෝගීන් සංඛ්‍යාව අඩුවී ඇති බව සෞඛ්‍ය අංශ පෙන්වා දුන්නේය. නොවැම්බර් සිට ක්‍රමවත්ව කසළ බැහැර කිරීම සහ කොවිඩ් මර්දනයට සමගාමීව පැවති ඇඳිරි නීති කාලසීමාවේ ජනතාව තම ගෙවතු පවිත්‍රව තබා ගැනීම ඊට හේතුවී තිබේ.  පළාත් අතර සංචරනය සීමා වීම ද තවත් සාධකයකි.

    පාසල්, රෝහල්, රාජ්‍ය ආයතන, ආගමික ස්ථාන සහ ඉදිකිරීමේ වැඩබිම් කෙරෙහි වැඩි අවධානයක් යොමුකර පවිත්‍රතා කටයුතු කිරීමේ වැදගත්කම අවධාරණය කෙරිණ. සෞඛ්‍ය අංශ හා පළාත් පාලන ආයතන එක්ව ස්ථාන අධීක්ෂණය පරිසර පොලිස් ඒකකවලට පැවරේ. ඩෙංගු ව්‍යාප්තිය වැඩිවන ආකාරයෙන් ක්‍රියාකරන පිරිස්වලට එරෙහිව දැඩිව නීතිය ක්‍රියාත්මක කිරීමට ද උපදෙස් දෙනු ලැබිණ.

    ඩෙංගු රෝගියෙකු රජයේ හෝ පෞද්ගලික රෝහලකට වාර්තාවූ වහාම ඒ පිළිබඳව ප්‍රාදේශීය  වෛද්‍ය නිලධාරීන් සහ මහජන සෞඛ්‍ය පරීක්ෂකවරුන් දැනුවත් විය යුතුය. අනතුරුව අදාළ ස්ථාන නොපමාව දූමායනය කොට  පවිත්‍ර කළයුතුය. ඩෙංගු මර්දනය පිළිබඳව මාධ්‍ය ඔස්සේ ජනතාව දැනුවත් කිරීම කෙරෙහි ද අවධානය යොමු කෙරිණ.

    සතියකට වරක් ආණ්ඩුකාරවරුන් සහ පළාත් පාලන ආයතන ප්‍රධානීන් රැස්වී සෞඛ්‍ය කමිටු සැලසුම් පසුවිපරමට ලක් කරන ලෙසත්, සාර්ථකව ඩෙංගු මර්දනය කළ රටවල අත්දැකීම් ආදර්ශයට ගන්නා ලෙසත් ජනාධිපතිතුමා සහ අගමැතිතුමා නිලධාරීන්ට උපදෙස් දුන්හ.

    ආණ්ඩුකාරවරු, පළාත් පාලන ආයතන  ප්‍රධානීහූ, ජනාධිපති ලේකම් පී.බී. ජයසුන්දර මහතා, අමාත්‍යාංශ ලේකම්වරු සහ ආරක්ෂක මාණ්ඩලික ප්‍රධානී ඇතුළු ත්‍රිවිධ හමුදාපතිවරු, වැඩබලන පොලිස්පති, සිවිල් ආරක්ෂක අධ්‍යක්ෂ ජනරාල් සහ සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජනරාල් ඇතුළු නිලධාරීහූ සාකච්ඡාවට එක්ව සිටියහ

  • කොරෝනා – ඩෙංගු අස්සේ ‘මී උණත්’ හිස ඔසවයි !

    කොරෝනා – ඩෙංගු අස්සේ ‘මී උණත්’ හිස ඔසවයි !

    මී උණ රෝගය ව්‍යාප්තවීමේ වැඩි අවධානමක් පවතින බැවින් වසංගත රෝග විද්‍යා අංශයේ ප්‍රධාන වසංගත රෝග විද්‍යාඥ වෛද්‍ය සුදත් සමරවීර මහතා විසින් මහජනතාව මී උණ රෝගය පිළිබදව දැනුවත් කිරීමේ අරමුණින් “අවධානමට පෙර අවධානය” යනුවෙන් මාධ්‍ය නිවේදනයක් අද (01) නිකුත් කළා. එම මාධ්‍ය නිවේදනය සම්පූර්ණයෙන් මෙසේයි.

    අවධානමට පෙර අවධානය!

    යල කන්නයේ වී වගා කටයුතු ආරම්භ වී තිබීමත් රට පුරා පුරන් කුඹුරු අස්වැද්දීමට ඇති නැඹුරුවත් නිසා මී උණ රෝගය ව්‍යාප්තවීමේ ඉහළ අවධානමක් පවතී. එමෙන්ම මේ දිනවල පවතින වැසි සහිත කාලගුණික තත්ත්වය රෝගය තවදුරටත් ව්‍යාප්තවිමට හේතු වන බැවින් ජනතාව මී උණ රෝගය කෙරෙහි අවධානයෙන් සිටිම ඉතා වැදගත් වේ.

    මී උණ රෝගය බැක්ටීරියාවක් මගින් සෑදෙන රෝගයකි. මීයන්, ඌරු මීයන්, මීගවයන්, ගවයන් වැනි සතුන්ට මෙම බැක්ටීරියා ආසාදනය ඇති විය හැකි අතර, එම සතුන්ගේ වකුගඩු ආශ්‍රිතව ජීවත් වන එම බැක්ටීරියාව මූත්‍රා සමග පරිසරයට නිදහස් වෙයි. කුඹුරු, දියකඩිති, දිය අගල් සහ ඔිවිටි වැනි ජලය රැදෙන ස්ථානවල මෙම බැක්ටීරියාව සජීවීව බහුල වශයෙන් රැදී තිබේ. ජලයේ රැදී සිටින බැක්ටීරියාව ශරීරයේ කැපුම්, සිරීම් තුවාල සහ ඇස්, කට වැනි සියුම් ශ්ලේෂ්මල පටල ඇති ස්ථානවල ගැටීමෙන් පුද්ගලයින්ගේ ශරීර තුලට ඇතුළු වෙයි.

    මෙහි ප්‍රධාන රෝග ලක්ෂණ වනුයේ හදිසියේ ඇතිවන තද උණ හා මස්පිඩුවල විශේෂයෙන්ම බත්කෙණ්ඩ හා කොන්දේ තදබල වේදනාවයි. මෙයට අමතරව ඇස් රතුපැහැ වීම, වමනය, හිසරදය, මූත්‍රා තද පැහැයක් ගැනීම හා මුත්‍රා පිටවිම අඩුවීම වැනි රෝග ලක්ෂණ ද විය හැක.

    කුඹුරු වගාවන් හා ඒ ආශ්‍රිත වෙනත් වගාවන් සිදු කරන ගොවීන් මෙම රෝගය ගැන දැනුවත් වන ලෙසත්, මීයන් බෝවීම පාලනය කිරිමට යොදාගන්නා පාරම්පරික හා නවීන ක්‍රම මගින් කුඹුරු ආශ්‍රිත මී ගහනය පාලනය කර ගැනිමට කටයුතු කරන ලෙසත්, රෝගකාරක බැක්ටීරියාවරැදී තිබීමට ඉඩ ඇති ජලය එක් රැස්වන ස්ථාන අවම කිරිමටත්, බැක්ටීරියාව ශරීර ගත විය හැකි සීරීම්, කැපුම් තුවාල, වතුරට ඔරොත්තු දෙන සැරහුවමකින් ආවරණය කිරීමටත් වගබලා ගැනීම මගින් රෝගය ඇතිවීම වළක්වා ගත හැක.

    එමෙන්ම මී උණ බහුලව පවතින ප්‍රදේශවල කුඹුරු ගොවිතැන්වල නිරත අවධානම් කාණ්ඩ සදහා ලබාදෙන ඖෂධය ලගම පිහිටි සෞඛ්‍ය වෛද්‍ය නිලධාරී කාර්යාලයෙන් ලබාගැනීමෙන් මෙම රෝගය ඇතිවීම වළක්වා ගත හැක. මෙම ඖෂධය ලබාගත යුත්තේ සතියකට එක්වරක් පමණි.

    මෙම රෝගය වැළදුන විට රෝගයේ මුල් අවධියේ දී ප්‍රතිජීවක ඖෂධ මගින් ඉතා සාර්ථකව සුව කළ හැක. එබැවින් ඉහත ලක්ෂණ ඇත්නම් වහාම වෛද්‍ය ප්‍රතිකාර සදහා රජයේ රෝහලකට හෝ සුදුසුකම් ලත් වෛද්‍යවරයෙකු වෙත යොමුවීමටත්, ඔබ ඉහත ස්ථාන ආශ්‍රිතව ක්‍රියාකාරකම්වල යෙදුන බව වෛද්‍යවරයාට දැන්වීමටත් වගබලා ගත යුතුය. නිසි වෛද්‍ය ප්‍රතිකාර ලබාගැනීම ප්‍රමාදවීමෙන් ශරීරයේ අභ්‍යන්තර ඉන්ද්‍රියයන්ට බලපෑම් ඇති වී අසාධ්‍ය තත්ත්වයට හෝ මරණයට පත්විය හැක.

    ඔබ පුරන් කුඹුරක ක්‍රියාකාරකම්වල යෙදෙන්නේ නම් මෙම රෝගය වැළදීමට වැඩි අවදානමක් ඇති බව සිහි තබා ගන්න. මේ සදහා ඔබට අවශ්‍ය සෞඛ්‍ය උපදෙස් ලබාගැනීමට ප්‍රදේශයේ සෞඛ්‍ය වෛද්‍ය නිලධාරී හෝ මහජන සෞඛ්‍ය පරික්ෂක මහතා හමුවන්න.

  • ගල්කිස්ස වෙරළ ගොඩකළ සල්ලිවලින් කොමිස් ගියේ කාගේ සාක්කුවටද ?

    ගල්කිස්ස වෙරළ ගොඩකළ සල්ලිවලින් කොමිස් ගියේ කාගේ සාක්කුවටද ?

    මේ ව්‍යාපෘතිය සිදුකළේ රට පුරා ඇදිරි නීති දාලා ජනතාව ගෙවල්වලට කොටු වෙලා ඉන්න වෙලාවක. ඒ නිසා ප්‍රදේශයේ ජනතාවටත් මේ ගැන අවබෝධයක් නැහැ. මේ සඳහා යන්ත්‍ර සූත්‍ර ගෙනවිත් තියෙන්නේ රාත්‍රී කාලයේ.

    ඛාදනය වෙමින් යන ගල්කිස්ස වෙරළ තීරය ආරක්ෂා කිරීම වෙනුවෙන් ආණ්ඩුව විසින් දියත් කළ ව්‍යාපෘතිය අසාර්ථකභාවයට පත්ව තිබේ. විශාල මුදලක් වියදම් කරමින් දියත් කළ එම ව්‍යාපෘතිය ඵලරහිත, ජනතා මුදල් නාස්තිකළ ව්‍යාපෘතියක් බවට පත්වී තිබේ.

    මේ පිළිබඳව නිරීක්ෂණය කිරීම සඳහා ජනතා විමුක්ති පෙරමුණේ දෙහිවල ගල්කිස්ස නාගරික මන්ත්‍රීවරුන් වන සමන්මලී ගුණසිංහ සහෝදරිය තුවාන් අයුබ් මොහොමඞ් සහෝදරයා සහ ජාතික ජන බලවේගයේ මොරටුව ආසන සංවිධායක නීතිඥ හර්ෂණ නානායක්කාර යන අය වෙරළ තීරයේ සංචාරයක නිරත විය.

    “මෙම ව්‍යාපෘතිය සඳහා කිසිදු පරිසර අධ්‍යයන වාර්තාවක් ලබාගෙන නැහැ කියලා වාර්තා වෙනවා. ඒ වගේම මේක දෙහිවල ගල්කිස්ස නගර සභා බල සීමාව තුල කෙරුණු ව්‍යාපෘතියක්. නමුත් නගර සභාව මේ පිළිබඳව කිසිදු දෙයක් දන්නේ නැහැ. නගරාධිපතිවරයාත් කියනවා ඔහු මේ පිළිබඳව දන්නේ නැහැ කියලා. ඒ නිසා අපි ඉල්ලීමක් කළා මේ පිළිබඳව වෙරළ සංරක්ෂණ අධිකාරියට නගර සභාව ලෙස දැනුම්දීමක් කරන්න කියලා. ඒ වගේම මේ ව්‍යාපෘතිය සිදුකළේ රට පුරා ඇදිරි නීති දාලා ජනතාව ගෙවල්වලට කොටු වෙලා ඉන්න වෙලාවක. ඒ නිසා ප්‍රදේශයේ ජනතාවටත් මේ ගැන අවබෝධයක් නැහැ. මේ සඳහා යන්ත්‍ර සූත්‍ර ගෙනවිත් තියෙන්නේ රාත්‍රී කාලයේ.

    ඒ විතරක් නෙවෙයි පරිසරයට විශාල හානියක් සිදුවෙමින් තිබෙනවා. මුහුදු පැලෑටි, මුහුදු ජීවින්ට විශාල බලපෑමක් සිදුවෙලා තිබෙනවා. ඒවා මිල කරන්න බැහැ. විශාල මුදලක් අපතේ යවමින් කරපු මේ ව්‍යාපෘතිය ගැන විධිමත් පරීක්ෂණයක් කළ යුතුයි.“

    නාගරික මන්ත්‍රීනි සමන්මලී ගුණසිංහ– “අපි දන්නා තරමින් මේකට අවශ්‍ය ආයතනවලින් කිසිදු අනුමැතියක් ලැබී නැහැ. ආණ්ඩුව කියනවානම් ඒ සියල්ල ලබාගෙන කියලා අපි තාවකාලිකව හිතමු එහෙම අනුමැතියක් තියෙනවා කියලා. නමුත් එයින් වෙනත් ගැටලුවක් පැන නගිනවා. මොකක්ද එසේ නම් මේ ව්‍යාපෘතිය නිසා දූෂණයක් වෙලා තිබෙනවා. එක්කෝ පරිසර අධිකාරිය විසින් දේශපාලකයින් විසින් හෝ කොන්ත්‍රාත් කරුවා විසින් හෝ සියලු දෙනා අතින් මේ මුදල් ගසා කෑමක් සිදුවෙලා තිබෙනවා කියලා අපිට සැකයක් තිබෙනවා. ඒ නිසා මේ ගැන විධිමත් පරීක්ෂණයක් කළ යුතුයි.“

  • කිරි ගවයන් ආනයනයේ ‘රහස ගැන’ ජවිපෙන් විශේෂ හෙළිදරව්වක් !

    කිරි ගවයන් ආනයනයේ ‘රහස ගැන’ ජවිපෙන් විශේෂ හෙළිදරව්වක් !

    මෙරටට කිරි ගවයන් ආනයනය කිරීමට ආණ්ඩුව ගෙන ඇති තීරණය ගැන සමාජයේ දැඩි අවධානයක් යොමුව තිබෙනවා. මේ අතර ජනතා විමුක්ති පෙරමුණ විසින් අද (01) දින පැලවත්ත ප්‍රධාන කාර්යාලයේ සංවිධානය කර තිබූ මාධ්‍ය හමුවේද මේ සම්බන්ධයෙන් සාකච්ඡාවට ලක් වුණා. පහත පළ වන්නේ එම සාකච්ඡාවේදී දැක් වූ අදහස්වල කිිසිදු වාරණයකට ලක් නොවූ සම්පූර්ණ වාර්තාවයි.

    කිරි ගවයන් ගෙන්වූයේ තාක්ෂණික අනුදැනුම මත නොව දේශපාලන අධිකාරියේ වුවමනාව මතයි

    වෛද්‍ය කේ.ඩී. නිමල් චන්ද්‍රසිරි මහතා, හිටපු අධ්‍යක්ෂ ජනරාල් – සත්ව නිෂ්පාදන හා සෞඛ්‍ය දෙපාර්තමේන්තුව

    1935 පමණ කාලයේ සිට මේ රටට කිරි හරකුන් ආනයනය කිරීම සිදුව තිබෙනවා. රටේ කිරි අවශ්‍යතාවයෙන් මෙරට තුළ නිෂ්පාදනය කෙරෙන්නේ 35%ක් පමණක් වන නිසා දේශීය කිරි නිෂ්පාදනය ඉහළ නැංවීම ඉලක්ක කරගත් සතුන් ආනයනය කිරීම ගැටලුවක් වන්නේ නැහැ. නමුත් ගැටලුව වන්නේ ඒවා විද්‍යාත්මක පදනමකින් සිදු නොවී දේශාපාලන හා දූෂිත වුවමනාකම් වෙනුවෙන් සිදුවීමයි. 

    කිරි හරකුන් ආනයනය කිරීමේ ආසන්නතම ව්‍යාපෘතිය ඇරඹෙන්නේ 2012 වසරේදීයි. එම වසරේදී සතුන් 508ක් ආනයනය කළා. 2013 වසරේදී 1502ක්ද 2015දී 2495ක්ද 2017දී 5024ක්ද වශයෙන් සතුන් ආනයනය කරනු ලැබුවා. මේ ආනයනයේ අරමුණ විදිහට ප්‍රකාශයට පත් කළේ දේශීය කිරි නිෂ්පාදනය වැඩි කිරීම හා ගොවි ජනතාවට උසස් තත්වයේ පැටවුන් ලබාගැනීමයි. 

    නමුත් 2012 මේ සතුන් ආනයනය කෙරෙන්නේ විධිමත් තාක්ෂණික හා විද්‍යාත්මක ඇගයීමකින් තොරව ගන්නා ලද දේශපාලන තීන්දුවක් අනුවයි. මේ කිරි දෙනුන් ලංකාවට පැමිණීමෙන් පසු දරුණු ඉරණමකට මුහුණ දුන්නා. මේ සතුන් ආනයනය කරන විට ගැබ්ගෙන සිටියා. පැටවුන් ලැබීමට ආසන්නව සිටියා. ඇත්තටම පැටවුල් ලැබීමට මෙතරම් ආසන්න සතුන් ප්‍රවාහනය කිරීම පවා නොකළ යුතුව තිබුණා.

    2015 ජූලි ගෙන්වන ලද සතුන් මාස දෙකක සිට පැටව් දාන්න පටන් ගත්තා. දෙසැම්බර් 31 වන විට පැටවුන් 107ක් මිය ගියා. මාස 1 1/2ට වැඩි කාලයක් ජීවත් වූ පැටවුන් සිටියේ එකයි. 2018 වසරේ ඉපදුණු පැටවුන් 1654කින් 43.7%ක් මිය ගියා. මෙසේ ආනයනය කරන ලද කිරි දෙනුන්ට ලෙඩරෝග රැසක්ද තිබුණා. 187දෙනෙකුට බුරුලු ප්‍රදාහය වැළඳී තිබුණා. කුර ලෙඩ ආදී රෝගී තත්වයන් තිබුණා. කිරි හා පැටව් ලබාගැනීම අරමුණු කළත් ඒ අරමුණු ඉටු වුණේ නැහැ. 

    2017 ගෙන්වන ලද සතුන් ලබා දුන්නේ ඊට අදාළ පහසුකම් ඇති ගොවිපළවලට නෙමෙයි. මේ සතුන්ට තණකොළ විශාල ප්‍රමාණයක් අවශ්‍යයි. සතුන් 50ක් සිටින ගොවිපළකට අක්කර 09ක පමණ තෘණ භූමියක් අවශ්‍යයි. වසර පුරා තෘණ ලබාගත නොහැකිනම් තෘණ සංරක්ෂණය කිරීමේ සයිලේජ් හැදීමේ පහසුකම් අවශ්‍යයි.

    සතුන් 50ක් සිටින ගොවිපළකට නම් ජලය ලීටර් මිලියන 1.1ක් නොකඩවා සැපයිය යුතුව තිබෙනවා. මොකද කිරිවල වැඩිපුර අන්තර්ගත වන්නේ ජලයයි. සාන්ද්‍ර ආහාර සැපයිය යුතුයි. ගොම හා මූත්‍රා කිලෝ 2500ක් දිනකට බැහැර කිරීමේ පහසුකම් තිබිය යුතුයි. මෙම අවශ්‍යතා සම්පූර්ණ කිරීමට කිරි ගවයින් ලබාගත් බොහො දෙනෙකුට හැකියාව තිබුණේ නැහැ.

    මෙම තත්වයත් සතුන් විශාල පිරිසක් මියයාමට හේතු වුණා. කිරි දෙනුන් ලබා ගත් අයගේ අපේක්ෂාව වුණේ දිනකට කිරි ලීටර් 25ක් ලබාගැනීමයි. නමුත් මේ යටතේ දෙනුන් ලබා ගත් සෑම ගොවිපළක්ම පාහේ අසාර්ථක වී තිබෙනවා. වත්මන් ආණ්ඩුවත් පසුගිය ආණ්ඩුව ගෙන්වූ සමාගමෙන්ම එම වර්ගයේ දෙනුන්ම නැවත වරක් ආනයනය කිරීමට යාම විමතිය දනවනවා.

    වෛද්‍ය රුවන් වික්‍රමාරච්චි මහතා – හිටපු සභාපති රජයේ පශු වෛද්‍ය නිලධාරීන්ගේ සංගමය

    කිරිගවයන් ආනයනය කළ යුත්තේ පිළිගත් විද්‍යාත්මක ක්‍රමවේදයකට අනුවයි

    බීවීඩී වෛරස් රෝගය සලකන්නේ ‘කිරි කර්මාන්තයේ නිහඬ මාරයා’ ලෙසයි. මෙම රෝගය කිරි දෙනුන් ආනයනය සමග ලංකාවට පැමිණි බවට වාර්තා වනවා. මීට කලින් ලංකාවෙන් එම රෝගය වාර්තා වෙලා තිබුණේ නැහැ. පැඩියෝලා හෙපටිකා වැනි මිනිසුන්ටද වැළඳෙන රෝගී තත්වයන්ද පැමිණ තිබෙනවා. නිසි විද්‍යානුකූල පදනමකින් තොරව සතුන් ආනයනය කිරීම නිසා මෙම තත්වය ඇති වුණා. 

    එසේම කිරි දෙනුන් ආනයනය කර ගොවීන්ට ලබාදුන්නත් මේ සතුන් හැදීම සම්බන්ධ ප්‍රමාණවත් දැනුවත්භාවයක් ගොවීන්ට ලබාදීමට ආණ්ඩුව කටයුතු කළේ නැහැ. එසේම ප්‍රාදේශීය පශු වෛද්‍ය නිලධාරීන් පවා මේ පිළිබඳව හොඳම අවබෝධයක නොසිටි නිසා ගොවීන්ට ඔවුන් මගින්ද උපදෙස් ලබා ගත හැකි වූයේ නැහැ. සතුන් විශාල වශයෙන් මියයාමට මේ තත්වයද හේතු වුණා. 

    ඕස්ටේ්‍රලියාවේ මෙම කිරි දෙනුන් ඩොලර් 500 සිට 3000 දක්වා මිල ගණන්වලට ඉන්නවා. අපි ආනයනය කළේ හොඳම ගුණාත්මක සතුන්දැයි සැක හිතෙනවා. මේ තරම් ප්‍රමාණයක් සතුන් මියයාමට හා නිරෝගී පැටවුන් බිහිකර ගැනීමට නොහැකි වූයේ ඒ නිසාද කියන එක ප්‍රශ්නයක්. එසේ තිබියදී නැවතත් එම සමාගමෙන් මෙවැනි බාල වර්ගයේ සතුන් ගෙන්වීමට සියලු දෙනා විරුද්ධයි. සත්තු ආනයනයට අපි විරුද්ධ නැහැ. ආනයනය කරන්න ඕනෑ. එය සිදු කළ යුත්තේ පිළිගත් විද්‍යාත්මක ක්‍රමවේදයකට අනුවයි. 

    අප සතුන් ආනයනය කළ යුත්තේ රටේ අභිජනන ප්‍රතිපත්තියට අනුකූලවයි. විද්‍යානුකූල පදනමකින් යුතුවයි. රටේ විවිධ දේශගුණ කලාපවලට ගැලපෙන පරිදි සතුන් අභිජනනය කළ යුතුව තිබෙනවා. වියට්නාමය වැනි තැනක මෙය සාර්ථකව සිදු කරනවා. සෞම්‍ය කලාපයේ සතුන් සමග ඝර්ම කලාපයේ සතුන් දෙමුහුන් කර සතුන් නිෂ්පාදනය කළ යුතුයි.

    ආනයනය කරන සතුන් රජයේ මැදිහත්වීම ඇති මධ්‍යස්ථානයක තුළ තබාගනිමින් ඔවුන්ගෙන් බෝකරන පිරිසක් ගොවීන් වෙත බෙදාදීමට පියවර ගත යුතුව තිබෙනවා. නමුත් අඩුපාඩු තිබියෙදීම බෙලාඞ් රූරල් ඩිවලොප්මන්ට් සමාගම පසුගිය රාජපක්ෂ ආණ්ඩුව, එජාප ආණ්ඩුව හා වත්මන් ආණ්ඩුව සමග ගනුදෙනු කරමින් සිටිනවා. මේ සමාගම විසින් ලබාදුන් සතුන් ගුණාත්මක බවින් අඩු බැවින් මේ ආනයන ගනුදෙනු අතිශය සැකසහිතයි.

    නාමල් කරුණාරත්න – ජාතික සංවිධායක, සමස්ත ලංකා ගොවි ජන සම්මේලනය

    පසුගිය ආණ්ඩුව සහ වත්මන් ආණ්ඩුව කිරි ගවයන් ගෙන්වන්න එකම සමාගම තොරාගැනීමේ රහස මොකක්ද?

    අපි දන්නවා, පසුගිය බැසිල් රාජපක්ෂ අමාත්‍යවරයාගේ කාලයේ ආරම්භ කළ පසුගිය ආණ්ඩුවත් සිදුකළ තවමත් පවත්වාගෙන එන කිරි දෙනුන් ආනයනය කිරීමේ ව්‍යාපෘතිය මුළුමනින්ම අසාර්ථකයි. එසේ තිබියෙදීත් වත්මන් ආණ්ඩුව එය ඉදිරියට ගෙනයාමට උත්සාහ කරමින් සිටිනවා.

    මෙම කිරි දෙනුන් ආනයනය කිරීමේදී නිරෝධායනයකට ලක් කළේ නැහැ. මේ සතුන් ආනයනයට අදාළ විගණන වාර්තා මගින්ද ආනයනයට අදාළ ප්‍රශ්න සහගත කරුණු පෙන්වාදී තිබුණා. මේ දෙනුන්ට අදාළ එන්නත් වාර්තා කැඳවීමටද නිර්දේශ කර තිබුණා. මේ සතුන්ට අදාළව ලබා ගත් සම්පල් එංගලන්තයේ පර්යේෂණාගාරවලදීද රෝග සහිත බව වාර්තා කර තිබුණා. ආණ්ඩුව ඒ කිසිවක් සැලකිල්ලට ලක් කළේ නැහැ.

    ආණ්ඩුව ඍජුව රුපියල් ලක්ෂ 79,000ක් මේ ආනයන මගින් රටට අහිමි කළා. 2018 මැයි මාසයේදී එජාප ආණ්ඩුව ඩො.මි. 1.03ක්, ඒ කියන්නේ රු. කෝටි 131කට වැඩි මුදලක් ඔස්ටේ්‍රලියාවේ බෙලාඞ් සමාගමට ගෙව්වා. විදේශ සම්පත් දෙපාර්තමේන්තුව මෙම මුදල් ගෙවන ලද්දේ අයවැයෙන් මුදල් වෙන්නොකර තිබියෙදීයි. මේ මුදල්වලට අනුව කිසිදු සතෙක් ලංකාවට ආනයනය කෙරුණේ නැහැ. එවකට හැරිසන් අමාත්‍යවරයා යටතේ විශාල වංචාවක් සිදුවී තිබෙනවා. අපි මේ පිළිබඳව ජාතික විගණන පනත යටතේ පරීක්ෂණයක් ඉල්ලා තිබෙනවා. නමුත් තවමත් ප්‍රතිචාරයක් නැහැ. 

    දැන් වත්මන් ආණ්ඩුවත් මේ ව්‍යාපෘතිය කරගසා ගෙන යන බව පේනවා. මේ ඕස්ටේ්‍රලියානු බෙලාඞ් සමාගම අපට බාල බඩු දී තිබෙනවා. ආනයනය කිරීමෙන් රටටත් මිලදී ගැනීමෙන් ගොවීන්ටත් විශාල පාඩු සිදුවී තිබෙනවා. දැනගන්නට ඇති අන්දමට මේ කිරි දෙනක් ඕස්ටේ්‍රලියානු ඩොලර් 1000ක පමණයි. ඒ කියන්නේ රුපියල්වලින් 1,21,000ක් පමණ මුදලක්.

    නමුත් ආණ්ඩුව මේ කිරි දෙනුන් ලක්ෂ 5,20,000ක පමණ අගයක් ලබාදී සමාගමට ගෙවා තිබෙනවා. ගොවියන්ට එක් කිරි ගවයෙක් රුපියල් ලක්ෂ දෙකට දීලා රුපියල් ලක්ෂ 03ක සහනාධාරයක් ආණ්ඩුවෙන් ගෙවන බව කිව්වා. මෙමගින්ද විශාල වංචාවක් සිදුවී ඇති බව පේනවා. මේ අමතර මුදල් මැති ඇමතිවරුන්ට කීය ගානේ ලැබුණද කියලා හොයන්න ඕනෑ. මේ රස මේ විදියට වංචා සිදුවෙලා තිබෙන බව දැන දැනත් ගෝටාභය රාජපක්ෂ මහත්තයගේ ආණ්ඩුවත් නැවත වරක් එම සමාගමෙන්ම, එම නිලධාරීන්ම සම්බන්ධ කරගෙන කිරි ගවයින් 2500ක් ගෙන්වන්න කටයුතු කරමින් ඉන්නවා. මේක බරපතල කාරණයක්.

    මේ කිරි ගවයින් මිලදී ගත්ත ගොවියන්ට විශාල පාඩුවක් සිදුවෙලා තිබෙනවා. ඔවුන්ට කිසිදු වන්දි මුදලක් නැහැ. මේ ගවයින් රක්ෂණය කරලා නැහැ. ඒ නිසා ගොවියන්ට කිසිදු වන්දි මුදලක් ලැබී නැහැ. ඔවුන් විශාල අර්බුදයකට මුහුණ දීලා. 

    අපේ රටට ගැලපෙන නිෂ්පාදන ප්‍රතිපත්තියකට යා යුතුයි. කිරි නිෂ්පාදනය අදාළ තීන්දු ගැනීමේදී සහය ලබාගැනීමට අපේ රටේ විද්‍යාඥයින්, පශු වෛද්‍යවරුන් සිටිනවා. නමුත් ඕස්ටේ්‍රලියාව අපේ රටේ කිරි වෙළඳපොළ නැති කර ගැනීමට කැමති නැහැ. ඒ නිසා ඔවුන් අපේ රටේ කිරි කර්මාන්තය විනාශ කිරීමට සූදානම් වනවාදැයි සැක උපදිනවා. අපේ රට කිරිවලින් ස්වයංපෝෂණය කිරීම ඔවුන්ගේ අපේක්ෂාව නෙමෙයි. දැන දැනම ආණ්ඩු තුනක් මගින් මෙම අසාර්ථක ව්‍යාපෘතිය ඉදිරියට ගෙනයාම තුළ විශාල වංචාවක් සිදුවන බව පේනවා. මෙම තත්වය අපි දැඩිව හෙළා දකිනවා.

  • කුවේට් සිට පැමිණි 45 වියැති පුද්ගලයෙක් කොරෝනාවලින් මරුට

    කුවේට් සිට පැමිණි 45 වියැති පුද්ගලයෙක් කොරෝනාවලින් මරුට

    කොවිඩ්-19 වෛරසය ආසාදනය වූ පුද්ගලයෙකු අද (01) පෙරවරුවේ දී මිය ගිය බව ෙසෟඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජනරල්වරයා විසින් තහවුරු කළ බව රජයේ ප‍්‍රවෘත්ති දෙපාර්තමේන්තුව විසින් අද පෙ.ව 08.20ට නිකුත් කළ මාධ්‍ය නිවේදනයක සදහන්වේ.

    මෙසේ මිය ගොස් ඇත්තේ කුවේට් රාජ්‍යයේ සිට පැමිණ හෝමාගම රෝහලේ දැඩි සත්කාර ඒකකයේ ප‍්‍රතිකාර ලබමින් සිටි 45 වියැති පුද්ගලයෙකු බවත් එහි වැඩි දුරටත් සදහන් වේ.

    මෙම මරණයත් සමග ලංකාවේ කොවිඩ්-19 ආසාදනය වීමෙන් මියගිය පුද්ගලයින් ගණන 11 දක්වා ඉහළ ගියේය.

  • ආණ්ඩුවේ පාලන මිලට බඩ ඉරිගු නෑ – ත්‍රිපෝෂ සමාගමත් වසා දමයි

    ආණ්ඩුවේ පාලන මිලට බඩ ඉරිගු නෑ – ත්‍රිපෝෂ සමාගමත් වසා දමයි

    පසුගිය සතියේ රජය විසින් ප්‍රකාශයට පත් කළ රුපියල් 55ක පාලන මිල හමුවේ බඩඉරිඟු ලබාගත නොහැකි වීම නිසා ජාඇල පිහිටි සෞඛ්‍ය අමාත්‍යංශයට අනුබද්ධ අර්ධ රාජ්‍ය ආයතනයක් වන ති‍්‍රපෝෂ සමාගම වසා දමා ඇත.

    එම සමාගමේ ප්‍රකාශකයෙකු සදහන් කළේ කම්හල වසා දමා සති දෙකක පමණ කාලයක් ගතව ඇති බවත් 300ක් පමණ වන සේවකයින් මේ නිසා රැකියාව අහිමිවීමේ අවදානමක සිටින බවත්ය.

    ත්‍රිපෝෂ සමාගම වසා දැමීමට හේතු පැහැදිලි කළ සමාගමේ උසස් නිලධාරියෙකු මෙසේ සදහන් කළේය.

    ‘ත‍්‍රිපෝෂ සමාගම සෞඛ්‍ය අමාත්‍යංශයට අනුබද්ධ අර්ධ රාජ්‍ය ආයතනයක් වන සමාගමක්. ත‍්‍රිපෝෂ ගැබිණි මවුවරුන්ට හා ළදරුවන්ට නොමිලේ දෙන ආහාරයක් වන අතර සුපෝෂ අතිරේක ආහාරයක් ලෙස වෙළද පොළේ ඉහළ අලෙවියක් තිබූ භාණ්ඩයක්. අපි මාසයකට සාමාන්‍යෙයන් රුපියල් මිලියන 75ක පමණ සුපෝෂ අලෙවි කළා.

    ප්‍රශ්නය පැන නැගුණේ මැයි මස මුල් සතියේ බඩඉරිඟු සදහා රුපියල් 55ක පාලන මිලක් නියම කරන්නට රජය පියවර ගැනීම සමගයි. එහෙත් ඒ වනවිට ත‍්‍රිපෝෂ ආයතනය ටෙන්ඩර් කැදවා බඩඉරිගු මිලදී ගනිමින් සිටියේ කිලෝවක් රුපියල් 58ක් වැනි මිලකටයි. පාලන මිල නියම කිරීමත් සමග එම මිලට ගැළපෙන පරිදි යළි ටෙන්ඩර් කැදවීමට අප සිදු වුණා.

    ඒත් මේ වනවිට දෙවතාවක් ටෙන්ඩර් කැදවූ නමුත් තවමත් කිසිවෙකු රුපියල් 55 ට ආසන්න මිලකට ටෙන්ඩර් පත‍්‍රිකා ඉදිරිපත් කළේ නැහැ. අර්බුදය නිර්මාණය වුණේ මේ අනුවයි. පසුගිය සති දෙකක පමණ කාලයක සිට අපට නිෂ්පාදන සදහා බඩ ඉරිගු නැහැ.

    ඒ නිසා නිෂ්පාදන ක්‍රියාවලිය සම්පූර්ණයෙන් නතර වෙලා තිබෙනවා. මේ තත්ත්වය දිගටම පැවතුණහොත් ඉදිරියේ දී ගැබිණි මවුවරුන්ට හා ළදරුවන්ට නොමිලේ ත‍්‍රීපෝෂ ලබාදීම නතර කිරීමට සිදු වෙිව්. ඒ වගේම සුපෝෂ හිගයක් නිර්මාණය වීමත් සිදුවිය හැකියි. මේ ගැන කඩිනම් අවධානය යොමු කරන්න කියලා අපි බලධාරීන්ගෙන් ඉල්ලා සිටිනවා.

  • T20 ලෝක කුසලාන ක්‍රිකට් තරගාවලිය ගැන මතභේද

    T20 ලෝක කුසලාන ක්‍රිකට් තරගාවලිය ගැන මතභේද

    මෙම වසරේ ඔක්තෝබර් සහ නොවැම්බර් මාසවලදී පැවැත්වීමට නියමිත විස්සයි-20 ලෝක කුසලාන තරගාවලියේ කාලසටහන කොවිඩ්-19 වසංගතය හේතුවෙන් ඉතා ඉහළ අවදානමකට ලක්ව ඇතැයි ඕස්ට්‍රේලියානු ක්‍රිකට් ආයතන ප්‍රධානී කෙවින් රොබට්ස් Kevin Roberts මහතා පසුගිය සිකුරාදා වීඩියෝ දුරකථන සංවාදයකදී පැවසුවා.

    අන්තර්ජාතික ක්‍රිකට් සභාව පසුගිය බ්‍රහස්පතින්දා කළ ප්‍රකාශයකට පිළිතුරු වශයෙනුයි ඕස්ට්‍රේලියානු ක්‍රිකට් ආයතන ප්‍රධානියා මේ බව පවසා සිටියේ.

    විස්සයි-20 ලෝක කුසලාන තරගාවලිය ඔක්තෝබර් 18 සිට නොවැම්බර් 15 දක්වා පැවැත්වීමට සියලු කටයුතු සූදානම් කරන බව ජාත්‍යන්තර ක්‍රිකට් සමුළුව පසුගිය සිකුරාදා ප්‍රකාශ කළ අතර ඒ සම්බන්ධයෙන් අවසන් තීරණයක් ගැනීම සදහා ලබන ජුනි 10 වනදා අන්තර්ජාතික ක්‍රිකට් සමුළුව යළි රැස්වීමට නියමිතව තිබෙනවා.

    ඕස්ට්‍රේලියානු ක්‍රිකට් ආයතන ප්‍රධානී කෙවින් රොබට්ස් මහතා මෙසේ ප්‍රකාශ කළා.

    “එය ඔක්තෝබර් සහ නොවැම්බර් මාසවලදී පැවැත්විය හැකි යැයි අපි බලාපොරොත්තුවෙන් සිටියා. නමුත් එය සිදුවීමේ අපේක්ෂාව පිළිබඳව ඉතා ඉහළ අවදානමක් ඇති බව ඔබට පැවසිය යුතුයි. මෙම වසරේදී එය පැවැත්වෙන්නේ නැතිනම්, ඊළඟ වසරේ (2021) පෙබරවාරි-මාර්තු හෝ ඔක්තෝබර්-නොවැම්බර් යන කාලය තුළ පැවැත්වීමේ අවස්ථාව තිබෙනවා. වසර කිහිපයක් පුරා අන්තර්ජාතික තරගාවලි ඕස්ටේ්‍රලියාවේදී පැවැත්වීම සම්බන්ධයෙන් අනුමැතිය හිමිවී තියෙනවා. එබැවින් අන්තර්ජාතික ක්‍රිකට් සභාව සමඟ ගනුදෙනු කිරීම සම්බන්ධයෙන් සංකීර්ණතා රාශියක් තියෙනවා” යයිද කෙවින් රොබට්සන් මහතා වැඩි දුරටත් පැවසුවා.

  • ශ්‍රී ලාංකිකයින් 522ක් විදේශයන් හි සිටම වෛරසය ආසාදිතව මෙරටට

    ශ්‍රී ලාංකිකයින් 522ක් විදේශයන් හි සිටම වෛරසය ආසාදිතව මෙරටට

    ශ්‍රී ලාංකිකයින් 522 ක් විදේශයන් හී සිට වෛරසය ආසාදිතව මෙරටට පැමිණ තිබෙන බව සෞඛ්‍ය හා දේශීය වෛද්‍ය අමාත්‍ය පවිත්‍රා වන්නිආරච්චි මහත්මිය සෞඛ්‍ය අමාත්‍යාංශයේ දී අද දින (31) පස්වරුවේ පැවැති සාකච්ඡාවකදී හෙළි කළාය.

    වැඩිදුරටත් අදහස් දැක් වූ සෞඛ්‍ය අමාත්‍යවරිය මෙසේ ද පැවසුවාය.

    “අද මැයි මස 31 වනිදා. COVID-19 ආසාදිත රෝගීන් ප්‍රජාව තුලින් වාර්තා නොවීම පිළිබද රටක් විදිහට ඔබ අපට සතුටු විය හැකි කරුණක්. මේ අයුරින් මෙම වසංගතයෙන් රට බේරා ගැනීමට අතිගරු ජනාධිපතිතුමා අගමැතිතුමා ලබාදුන් දායකත්වය, සෞඛ්‍ය අංශ, ත්‍රිවිධ හමුදාව, පොලීසිය සිදු කළ අප්‍රතිහත කැපකිරීම මේ අවස්ථාවේ සදහන් කළ යුතුයි.  ජ්‍රජාව වශයෙන් ඔබ විසින් සෞඛ්‍ය අංශ ලබාදෙන උපදෙස් පිළිපැදීම ද මේ තත්ත්වය උදාවීමට හේතු සාධක වුනා. රට තුල කිසිදු ගමකින් නගරයකින් කිසිදු වෛරසය ආසාදිතයෙකු වාර්තා නොවන තත්ත්වයට අපට මේ රට ගෙන ඒමට හැකිව තිබෙනවා. මාධ්‍ය අංශ විසින් සිදු කළ සුවිසල් මෙහෙය ද මේ අවස්ථාවේ අපි විශේෂ ඇගයීමකට ලක් කරනවා.”

    “අපට අද තිබෙන ප්‍රශ්ණය තමයි රෝගීන් විදිහට ශ්‍රී ලාංකිකයින් ලංකාවට පැමිණෙනවා. පැමිණෙන්නේ රෝගය හදාගෙන. මේ වන විට 522 ක් විදේශ රටවල දී රොගීන් වී ලංකාවට පැමිණ තිබෙනවා. කුවේට් රාජ්‍යයේ සිට පැමිණි 466 දෙනාගෙන් 330 ක්ම රෝගීන් ලෙසයි ලංකාවට පැමිණ තිබෙන්නේ. කටාර් රාජ්‍යයේ සිට පැමිණි 270 දෙනාගෙන් 150 ක් රෝගීන් විදිහට පැමිණි බවට මේ වන විට වාර්තා වී තිබෙනවා. කුවේට් රාජ්‍යයේ සිට පැමිණි 466 දෙනාම මේ වනවිට පළමු වටයේ PCR පරික්ෂණ වලට ලක් කර තිබෙනවා. ඔවුන් නැවත දින 10 කට පසු PCR පරික්ෂණ වලට ලක් කරනවා. ඒ අයගේ ශරීරය තුල රෝගය වර්ධනය වී නොමැති නම් ඒ පිරිසෙන් යම් පිරිසක් පසුව රෝගීන් විදිහට වාර්තා වීමට ඉඩ තිබෙනවා. ඒ වගේම කටාර් රාජ්‍යයේ සිටි පැමිණි 270 දෙනාගෙම PCR පරික්ෂණ සිදු කොට තිබෙනවා. 150 ක් මේ වන විට වාර්තා වුවත් අද දිනය ඇතුලත සියළු දෙනාගේම PCR පරික්ෂණ වාර්තා ලැබීමට නියමිතයි.”

    “මේ වන වට අප රටේ රෝගීන් 801 ක් සම්පූර්ණ සුවය ලබා රෝහල් වලින් පිටව ගොස් තිබෙනවා. කුමන ආකාරයකින් හෝ ප්‍රජාව තුලට මෙම රෝගය පැතිරීම වැළැක්වීමට ගත හැකි සියළු ක්‍රියාමාර්ග ගන්නවා. ලංකා ඉතිහාසයේ වැඩිම මුදලක් අඩුම කාල සීමාවක් තුල ලබාදුන් කාලය ලෙස පසුගිය කාලපරිච්ඡේදය හැදින්විය හැකියි.”  

    “COVID-19 නිසා පීඩාවට පත් වැඩිහිටි, ආබාධිත හා වකුගඩු දීමනා 794,421 කටත්, සමෘද්ධි සංවර්ධන දෙපාර්තමේන්තුව හරහා පවුල් 5,071,892 (පනස් ලක්ෂ හැත්තෑඑක්දහස් අටසිය අනූදෙකකටත්) වශයෙන් මේ සියල්ලේම එකතුව අප්‍රේල් මස රජය විසින් ලබාදුන් මුදල රුපියල් මිලියන 29,000 පමණ වෙනවා. මේ වනවිටත් මේ මුදල් බෙදා දෙමින් පවතිනවා.”

    “ඇගලුම් කර්මාන්තවල සේවකයින්ට වැටුප් ලැබුනා ද නැද්ද යන්න නොසලකා ඇගලුම් ක්ෂේත්‍රෙයේ නියලී සියලු දෙනාටම රුපියල් 5000 දීමනාව ලබාදුන්නා. මෙතෙක් ඉතිහාසයේ එක පවුලකට එක ආධාරයක් පමණයි ලබාදුන්නේ. නමුත් රුපියල් 5000 සහනාධාරය ලබාදීමේ දී එක පවුලක අනු පවුල් ගණනාවක් සීටි නම් ඒ අයටත් රුපියල් 5000 ලබාදීමට රජය කටයුතු කළා.”

  • පාර්ලිමේන්තුව ප්‍රතිපත්ති හදන තැනක් මිස බලය පෙන්වන තැනක් නොවේ

    පාර්ලිමේන්තුව ප්‍රතිපත්ති හදන තැනක් මිස බලය පෙන්වන තැනක් නොවේ

    වත්මන් ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතාට සිදු ව ඇත්තේ රට ඉදිරියට මෙහෙයවීමට වඩා රට ඉදිරියට තල්ලු කරගෙන යාමට බව කැළණිය විශ්ව විද්‍යාලයේ සංස්කෘතික අධ්‍යනය අංශයේ මහාචාර්ය අතිපූජ්‍ය ඉදුරාගාරේ ධම්මරතන හිමියෝ පෙන්වා දෙති. උන්වහන්සේ අවධාරණය කරන්නේ පාර්ලිමේන්තුව යනු නීතිරීති සම්පාදනය කරන තැනක් මිස දේශපාලන බලය ‍පෙන්වන තැනක් නොවන බවයි.

    හිටපු ඇමතිවරයෙකු, ආණ්ඩුකාරවරයෙකු වූ දිවංගත රෙජී රණතුංග මහතාගේ 12 වන ගුණ සමරුව නිමිත්තෙන් උඩුගම්පළ ඇමති ප්‍රසන්න රණතුංග මහතාගේ නිවසේ අද (31) පැවති දානමය පුණ්‍ය කර්මයේ දී අනුශාසනාව කරමින් ධම්මරතන හිමියෝ මේ බව සදහන් කළහ.

    සෞඛ්‍ය මාර්ගෝපදේශ වලට අනුව අද (31) උදෑසන දිවංගත රෙජී රණතුංග මහතාගේ ස්මාරකයට පුෂ්පෝපහාර කිරීම ද සිදු විය. ඒ සදහා ඇමති ප්‍රසන්න රණතුංග මහතා හා පවුලේ සැවොම එක් වූහ. ගම්පහ දිස්ත්‍රික්කයේ රෝහල්වල දැඩි සත්කාර ඒකකවල  භාවිතාව සදහා සෞඛ්‍ය උපකරණ, විශ්ව විද්‍යාල සිසු සිසුවියන් 05 කු සදහා ශිෂ්‍යාධාර පිරිනැමීම ද මීට සමගාමීව සිදු විය.

    මෙහි දී තවදුරටත් සිය අනුශාසනාව කළ ඉදුරාගාරේ ධම්මරතන හිමියෝ මෙසේ ද කීහ..

    ‘සමහරු හිතාගෙන ඉන්නේ දේශපාලකයන් කියන්නේ රටකට ප්‍රශ්නයක් වුණ වෙලාවට ජනතාවට කොස් කඩලා, පොල් කඩලා කන්න බොන්න දෙන කෙනෙක් කියලා. දේශපාලකයා කියන්නේ කොරෝනා වෙලාවට කිරි පැකට්, බත් පැකට් හා හාල් පාර්සල් බෙදන කෙනෙක් කියලා සමහරු හිතාගෙන ඉන්නවා. දේශපාලකයා කියන්නේ එහෙම කෙනෙක් නෙමෙයි. දේශපාලඥයාට කාර්යයභාර දෙකයි තියෙන්නේ. එකක් සුභ සාධන වැඩසටහන් කරන එක. ඒ කියන්නේ දුප්පත් මිනිස්සුන්ට හරි නැති බැරි මිනිස්සුන්ට හරි වැඩ කරන එක නෙමෙයි. සුබසාධනවාදී මතයක් සහිත මිනිසුන් සිටින රටකයි දේශපාලඥයා සුබ සාධන වැඩ පිළිවෙලක් ක්‍රියාත්මක කළ යුත්තේ. දේශපාලඥයන් සිටින්නේ  ප්‍රතිපත්ති සැදීමටයි. පාර්ලිමේන්තුව කියන්නේ වෙන එකක් කරන එකක් නෙමෙයි. නීති රීති ප්‍රතිපත්ති සම්පාදනය කරන තැනක්. රටක ජනාධිපතිවරයෙක් පත් වන්නේ රට ඉදිරියට මෙහෙයවන්නයි. ඒත් අද අපේ රටේ ජනාධිපතිවරයාට වෙලා තියෙන්නේ රට මෙහෙයවන්න නෙමෙයි තල්ලු කරගෙන යන්නයි.

    අපේ අවාසනාවට අපේ රටේ බහුතරයක් හිතාගෙන ඉන්නේ මේ රට පහළ වුණේ හෝ මේ රට තියෙන්නේ ඩී.එස්. සේනානායක මහත්තයාගෙන් පස්සේ කියලා. එහෙම නෑ. මේ රට වෙනස් කරන්න බැරි විදිහට වෙනස් කළේ සුද්දෝ. සුද්දෝ ඉන්නකොට එන සතපනහක බේත් පෙත්තක් රටට ගෙන්නුවේ නෑ. එක හාල් ඇටයක්වත් ඉන්දියාවෙන්වත්, පාකිස්ථානයෙන්වත් ගෙනාවේ නෑ. හැම මාසයකට චීනයට කන්න හාල් යවාපු රටක් මේක. මේක දැන් පරපෝෂිත රටක්. මේ යන්නේ පල්ලමකට. මේක රිවස් එකට ගන්න බෑ. හරවලා වෙනත් පාරකට දාගත්තොත් කන්ද නැගිය හැකියි.

    හෙට දවසේ දේශපාලනය ගැන හිතලා අද දවසේ දේශපාලනය කළ යුතුයි. තාත්තාලාට සාධාරණය ඉටු නොකළ දේශපාලකයන් අද දේශපාලනයෙන් අතු ගෑවිලා ගිහින්. ගම්පහින් ඕනේනම් ඒවාට උදාහරණ සපයා ගත හැකියි. රෙජී රණතුංග දිවංගත ඇමතිතුමා ඒ අතින් වාසනාවන්තයි. මොකද එතුමා මිය ගිය දවසේ ඉදන් අද දක්වා අපේ ප්‍රසන්න රණතුංග ඇමතිතුමා වාර්ෂිකව රෙජී රණතුංග ඇමතිතුමාගේ උපන්දිනය සමරනවා. මිය ගිය දවසේ දානමය පුණ්‍යකර්මයක් කරනවා. මාසික දානමය වැඩසටහනක් කරනවා. රෙජී රණතුංග මැතිතුමාගේ අඩීපාරේ යමින් ජනතාවට සේවය කරනවා.  රෙජී මහත්තයා දෙවියෙක් ලෙස සලකන මිනිස්සුන් මේ ගම්පහ ඉන්නේ. ගම්පහට විතරක් නෙමෙයි මුළු රටටම රෙජී රණතුංග වැනි දේශපාලනඥවන් අවශ්‍යයි. 

    හිටපු ඇමතිවරයෙකු, ආණ්ඩුකාරවරයෙකු වු දිවංගත රෙජී රණතුංග මහතාගේ 12 වන ගුණ සමරුව අද (31) ට යෙදි තිබිණි. ඒ වෙනුවෙන් උඩුගම්පළ ඇවිදින මංතීරුව අසල පිහිටි රෙජී රණතුංග සමරු ස්මාරකයට පුෂ්පෝපහාරය දැක්වීම අද පෙරවරුවේ සිදුවිය. කාර්මික අපනයන ආයෝජන ප්‍රවර්ධන සංචාරක හා ගුවන්සේවා ඇමති ප්‍රසන්න රණතුංග මහතා සහ එම මහත්මිය රෙජී රණතුංග සමරු ස්මාරකයට පුෂ්පෝපහාරය දැක්වූ අයුරු රෙජී රණතුංග මහතාගේ සොහොයුරු ඩැනී රණතුංග මහතාද ඡායාරුපයේ වේ.

  • විදෙස්ගත ශ්‍රී ලාංකිකයන් අතර නොසන්සුන්කාරී තත්ත්වයක් ඇති කිරීමේ සැලසුමක්

    විදෙස්ගත ශ්‍රී ලාංකිකයන් අතර නොසන්සුන්කාරී තත්ත්වයක් ඇති කිරීමේ සැලසුමක්

    විදෙස්ගත ශ්‍රී ලාංකිකයන් අතර නොසන්සුන්කාරී තත්ත්වයක් ඇති කිරීමේ සංවිධානාත්මක වැඩපිළිවෙළක් දියත් වෙමින් තිබෙන බවත් පවතින තත්ත්වය තුළ ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා හා ආණ්ඩුව අපහසුතාවයට පත් කර පටු දේශපාලන වාසියක් ලබා ගැනීම මේ උසි ගැන්වීම් වල යටි අරමුණ බවත්  කාර්මික අපනයන, ආයෝජන ප්‍රවර්ධන, සංචාරක හා ගුවන් සේවා ඇමති ප්‍රසන්න රණතුංග මහතා විශේෂ ප්‍රවෘත්ති නිවේදනයක් නිකුත් කරමින් අවධාරණය කරයි.

    අමාත්‍යවරයා විසින් නිකුත් කළ ප්‍රවෘත්ති නිවේදනය සම්පූර්ණයෙන් පහත පළ වේ.

    කොවිඩ් 19 හෙවත් කොරෝනා වසංගතය හේතුවෙන් තවමත් මෙරටට පැමිණීමට නොහැකි වු විදෙස්ගත ශ්‍රී ලාංකිකයන් අතර නොසන්සුන්කාරී තත්ත්වයක් ඇති කිරීමේ සංවිධානාත්මක වැඩපිළිවෙලක් ක්‍රියාත්මක වන බව පෙනේ. විපක්ෂයට සම්බන්ධ ඇතැමුන් මේ පිළිබද ව විවිධ බොරු මත පතුරවන බව පැහැදිලි ය. ඔවුන් උත්සාහ දරන්නේ බොරදියේ මාළු බෑමටය.

    පවතින තත්ත්වය තුළ ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා හා ආණ්ඩුව අපහසුතාවයට පත් කර පටු දේශපාලන වාසියක් ලබා ගැනීම මේ උසි ගැන්වීම් වල යටි අරමුණ බව අවධාරණය කරමි.

    විදේශගත ශ්‍රී ලාන්කික ශ්‍රමිකයන් හෙවත් රට විරුවන් ගෝඨාභය රාජපක්ෂ ජනාධිපතිතුමා පත් කර ගැනීම සදහා කළ කැපවීම අප කිසිසේත් අවතක්සේරු කර නොමැත. ඔවුන් මෙරටට විදේශ විනිමය රැගෙන එන ප්‍රධාන පාර්ශවයක් වන අතරම මාතෘ භූමියේ අනාගතය පිළිබද විශේෂ දැක්මක් ඇති පිරිසකි.

    පසුගිය දිනෙක කුවේට් රාජ්‍යයෙන් මෙරටට පැමිණි රටවිරුවන් සම්බන්ධයෙන් හිටපු ඇමති මහින්දානන්ද අලුත්ගමගේ මහතා කළ ප්‍රකාශය ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතාගේ හෝ අපේ ආණ්ඩුවේ මතය නොවේ. එය මහින්දානන්ද අලුත්ගමගේ මහතාගේ පෞද්ගලික මතයකි. ඊට ජනාධිපතිවරයා, අගමැතිවරයා හෝ අපේ ආණ්ඩුව එකග නැත. අපට මේ විදේශගත ශ්‍රමිකයන් එදත් අදත් හෙටත් රට විරුවන් ය. එහි වෙනසක් නැත.  

    කොවිඩ් 19 හෙවත් කොරෝනා වසංගතය හේතුවෙන් රටවල් 143 ක විදේශගත ශ්‍රී ලාංකිකයන් 38,983 කට වැඩි පිරිසක් පැමිණීමට අපේක්ෂාවෙන් සිටියහ. විදේශ කටයුතු අමාත්‍යාංශ වාර්තා අනුව සිසු සිසුවියන් 3078 ක් කෙටි කාලීන වීසා බලපත්‍රලාභීන් 4040 ක් සංක්‍රමණික ශ්‍රමිකයන් 27,854 , යැපෙන්නන් 3527 ක්, ද්විත්ව පුරවැසියන් 484 දෙනෙක් හා වෙනත් අය මීට ඇතුළත් ය.

    පහුගිය මාර්තු 19 වන දින ගුවන් තොටුපළ වසා දැමීමෙන් පසු මේ දක්වා රටවල් 21 ක සිර වී සිටි ශ්‍රී ලාංකිකයන් 10,000 කට ආසන්න පිරිසක් දිවයිනට ගෙන්වා ඇති අතර ඔවුන් නිරෝධායන මධ්‍යස්ථාන වෙත යොමු කර ඇත. විදේශ විශ්ව විද්‍යාල වල අධ්‍යාපනය හැදෑරු සිසු සිසුවියන් පුහුණුව සදහා ගිය රජයේ නිළධාරීන් රට විරුවන් හා ඔවුන්ගේ යැපෙන්නන් මේ අතර වෙයි.

    මේ වන විටත් දිවයිනට පැමිණීමට අපේක්ෂාවෙන් මැද පෙරදිග ඇතුළු සියලු රටවල සිටින විදේශගත ශ්‍රමිකයන් දිවයිනට ගෙන්වා ගැනීමේ වැඩසටහන කිසිසේත් අතහැර දැමීමට ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මැතිතුමාගේ හෝ රජයේ සුදානමක් නැත.

    විදේශ කටයුතු අමාත්‍යාංශය මේ පිළිබද ව නිරන්තරයෙන් ම ඇමති මණ්ඩලය දැනුවත් කරන අතර ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ, අගමැති මහින්ද රාජපක්ෂ ඇතුළු ආණ්ඩුවේ ස්ථාවරය වී ඇත්තේ කොවිඩ් 19 වසංගතය හේතුවෙන් මෙරටට පැමීණීමට අපේක්ෂාවෙන් සිටින අවසන් ශ්‍රී ලාංකිකයා දක්වා කුමන තත්ත්වයක් යටතේ වුවද දිවයිනට ගෙන්වා ගැනීමට කටයුතු කළ යුතු බවයි.

    එහෙත් ඒ සදහා කටයුතු කිරීමේ දී රට තුළ සිටින ජනතාව අනතුරේ දමා ඉතාලිය, ඇමෙරිකාව වැනි තත්ත්වයන් රටතුළ නිර්මාණය වීමට ද කිසිසේත් ඉඩ තැබීමට ද ආණ්ඩුවට නොහැකි ය. එවැනි තත්වයක් මතුවුවහෝත් අනතුරට පත්වන්නේ මෙරට සිටින ඔබේ මව පියා ස්වාමිපුරුෂයා හෝ බිරිද නැතහොත් දරු දැරියන්ය. ඒ නිසා මේ සම්බන්ධයෙන් ආණ්ඩුවට කටයුතු කිරීමට සිදු ව ඇත්තේ ඉතා පරිස්සමෙන් බව අප සියලු දෙනා වටහාගත යුතුව තිබේ. රටතුළ සිටින්නේ ද විදේශගත ශ්‍රමිකයන්ගේ ම සමීපතමයන්ය.

    විදේශගත ව පීඩාවට පත්ව සිටින්නේ ද – අනතුරුදායක තත්ත්වයේ සිටින්නේ ද අපේ ම පුරවැසියෝ ය. මේ නිසා පවතින තත්වය පිලිබදව ඉවසීමෙන් සිතා බලන ලෙස අපි මේ මොහෝතේ සියළු රට විරුවන්ගෙන් ඉල්ලා සිටිමු ඔබ මෙන්ම මෙරට සියළු දෙනා ආරක්ෂා කර ගැනීම රජයක් ලෙස අපගේ යුතුකම හා වගකීමයි. ඒ යුතුකම හා වගකීම ජනාධිපතිවරයා හා අගමැතිවරයා ප්‍රමුඛ ආණ්ඩුව කිසිසේත් පැහැර හරින්නේ නැත.

    ඒ නිසා කොවිඩ් 19 වසංගතය හේතුවෙන් පීඩාවට පත් ව සිටින විදේශගත ශ්‍රී ලාංකික රටවිරුවන්ගෙනුත් ඔවුන්ගේ ඥාතීන්ගෙනුත් අප ඉල්ලා සිටින්නේ පටු දේශපාලන ඕනෑ එපාකම් වලට හසු නොවී ඉවසීමෙන් කටයුතු කරන ලෙසයි. ඔබ අපේ මතෘභූමියට කළ සේවය හෝ ඔබේ වටිනාකම අප කිසිසේත් අමතක කර නොමැති බව අවධාරණය කරමි.

  • මහජන උපයෝගිතා කොමිෂන් සභාවේ සේවා ‘ඔන්ලයින්’ ක්‍රමයට

    මහජන උපයෝගිතා කොමිෂන් සභාවේ සේවා ‘ඔන්ලයින්’ ක්‍රමයට

    ශ්‍රී ලංකා මහජන උපයෝගිතා කොමිෂන් සභාවවෙතින් සේවා ලබාගැනීමේ දී හැකි සෑම අවස්ථාවකදීම ඔන්ලයින් ක්‍රමයට සම්බන්ධවන ලෙස පාරිභෝගික ජනතාවට හා අනෙකුත් සේවාලාභින්ගේ කොමිෂන් සභාව ඉල්ලා සිටී. විශේෂයෙන්ම විදුලි පාරිභෝගිකයින්ට කොමිෂන් සභාවේ කාර්යාලයට පැමිණිමකින් තොරව සිය පැමිණිලි විසදාගැනීම සදහා ඔන්ලයින් පහසුකම් සපයා ඇත. විදුලි පාරිභෝගිකයින්ගේ නොවිසදුනු පැමිණිලි පහත සදහන් ක්‍රම ඔස්සේ කොමිෂන් සභාව වෙත ඉදිරිපත්කල හැකි වේ.

    • පැමිණිලි සතියේ දිනවල පෙව 8.30 සිට සවස සවස 4.30 දක්වා 0112 392 607 හෝ 0112392608 යන දුරකතන අංකවලට අමතා ඉදිරිපත්කල හැකි වේ.
    • ·         0770126253 යන අංකයට වොට්ස්ඇප්, වයිබර් සහ ඉමෝ ඔස්සේ
    • www.pucsl.gov.lk ඔස්සේ
    • consumers@pucsl.gov.lk
    • www.facebook.com/pucsl ෆේස් බුක් ඔස්සේ

    විදුලිබල කර්මාන්තය හා ලිහිසි තෙල් වෙළදපොල නියාමනයට අදාල සේවා සදහා අදාල පාර්ශ්වකරුවන්ට දුරකතන අංක 0770126250 අමතා සේවා ඉල්ලීම ඉදිරිපත් කල හැකි වේ.

    • සියළුම තොරතුරු ඉල්ලීම් info@pucsl.gov.lk ඊමේල් ලිපිනයට හෝ www.facebook.com/pucsl ෆේස් බුක් ඔස්සේ ඉදිරිපත් කලහැකි වේ. තොරතුරු ඉල්ලීම් හා අනෙකුත් සියළුම සේවා සම්බන්ධයෙන් වැඩිදුර විස්තර සදහා 0764271030 අමතන්න

    ශ්‍රී ලංකා මහජන උපයෝගිතා කොමිෂන් සභාවේ සේවාව ලබාගැනීම සදහා අදාල නිලධාරීන් හමුවීම අත්‍යවශ්‍ය අවස්ථාවලදී ඒ සදහා කලින් දිනය හා වේලාව වෙන්කරවා ගැනීමටද පහසුකම් සලසා ඇත. ඒ සඳහා දුරකතන අංක 0112392607 හෝ 0112392608  මගින් අප ඇමතීමෙන් වේලාවක් වෙන්කරගත හැකිය. නැතහොත් info@pucsl.gov.lk  හෝ  www.facebook.com/pucsl ෆේස් බුක් ඔස්සේ නිලධාරීන් හමුවීම සදහා දින හා වේලාවන් වෙන් කර ගත හැකි වේ.  ඔබගේ ඉල්ලීමට අදාලව කටයුතු කරණ අංශය කඩිනමින් නැවත ඔබ අමතා හමුවීමක් සඳහා වේලාවක් ලබා දෙනු ඇත. නැතහොත් ඔන්ලයින් මගින් විමසා ඔබේ ගැටළුව නිරාකරණය කිරීමට සහාය වනු ඇත. 

    වැඩිදුර තොරතුරු  සඳහා ආයතනික සන්නිවේදන අංශයේ අධ්‍යක්ෂ ජයනාත් හේරත් 0772943193 මහතා අමතන්න.

  • ට්‍රම්ප් කොරහත් බිද ගෙන යන්න හදයි – සුදු – කලු ජනතාව එකාවන්ව වීදි බවයි

    ට්‍රම්ප් කොරහත් බිද ගෙන යන්න හදයි – සුදු – කලු ජනතාව එකාවන්ව වීදි බවයි

    ජෝර්ජ් ෆ්ලොයිඩ් ඝාතනය එක්සත් ජනපද පොලිසිය සිදු  කල අපරාධ රැල්ලක නවතම අවස්ථාවයි. Killbypolice.net වෙබ් අඩවියට අනුව මේ වසරේ මේ දක්වා පොලිස් ඝාතන 400ක් සිදුව තිබේ. සෑම වසරකම ඝතනයට ලක්වන සංඛ්‍යාව 1,000 කට වඩා වැඩිය.

    අප්‍රිකානු ඇමරිකානුවෙකු වූ ජෝර්ජ් ෆ්ලොයිඩ් සඳුදා පොලිස් නිලධාරීන් සිව්දෙනෙකු විසින් බිම හෙළා පොළවට තදකරගෙන ගෙල සිරකිරීමෙන් අනතුරුව මිය ගියේය

    මිනසෝටා ප්‍රාන්තයේ මිනියාපොලිස් හි දී ජෝර්ජ් ෆ්ලොයිඩ් ඝාතනය කිරීම ඇමෙරිකාව තුළ දෛනිකව සිදුවන බිහිසුණු අපරාධ අතර අති බිහිසුණු අපරාධයක් ලෙස මුළු ලෝකයම හෙළා දුටු අතර මේ මොහොත වන විට අදාළ සිදුවීම හේතු කොට ගෙන මුළු ඇමෙරිකානම අවුල් ජාලයක් බවට පත්ව ඇත.

    අප්‍රිකානු ඇමරිකානුවෙකු වූ ජෝර්ජ් ෆ්ලොයිඩ් සඳුදා පොලිස් නිලධාරීන් සිව්දෙනෙකු විසින් බිම හෙළා පොළවට තදකරගෙන ගෙල සිරකිරීමෙන් අනතුරුව මිය ගියේය. ඔහුට යන්ට හරින ලෙස ඉල්ලා කෑගැසූ සෙනඟ ඉදිරියේ මෙය සිදුවිය. අපරාධයේ වැඩි හරියක් අසල සිටි අයෙකුගේ වීඩියෝ කැමරාවට සහ නිරීක්ෂණ කැමරාවල සටහන් විය.

    ඩෙරෙක් ෂෝවින් නමැති සුදු පොලිස් නිලධාරියා, ඔහුගේ දණහිසෙන් මිනිත්තු ගනනාවක් ෆ්ලොයිඩ්ගේ ගෙල තදකරගෙන සිටිනු එක් වීඩියෝ දසුනක දැක්වෙයි. 46 හැවිරිදි ෆ්ලොයිඩ් මෙසේ කියනු ඇසිණ. “මට හුස්ම ගන්ට බෑ, ඔබ මාව මරන්න යනවා!

    ඩොලර් දහයක හොර නෝට්ටුවක් භාවිතා කිරීමට උත්සාහ කල බවට වෙළෙඳසැලකින් ලැබුණු දුරකථන ඇමතුමකින් පසුව ෆ්ලොයිඩ් අල්ලා ගනු ලැබීය. වෙළෙඳසැලේ හිමිකරු පසුව මාධ්‍යයට කියා සිටියේ එය හොර නෝට්ටුවක් බව ෆ්ලොයිඩ් දැන සිටියේ දැයි තමා නොදන්නා බවයි. පොලිසිය වහාම එම ස්ථානයට පැමණෙ ෆ්ලොයිඩ් ඔහුගේ වාහනයෙන් එළියට ගෙන මාංචු දමා ඔහුගේ සිරුර අඩපණ වන තුරුම හුස්ම හිරකරගෙන සිටියේය.

    ෆ්ලොයිඩ් අත්අඬංඟුවට ගැනීමට උදව් කළ අනෙක් නිලධාරීන් තිදෙනා තෝමස් ලේන්, ටූ තාඕ සහ ජේ. ඇලෙක්සැන්ඩර් කුවෙන්ග් ය.

    නිල පොලිස් වාර්තාවේ ෆ්ලොයිඩ් අත්අඩංගුවට ගැනීමේදී ඔහු ප්‍රතිරෝධය දැක්වූ බව සඳහන් වුවද, ප්‍රාදේශීය අවන්හල් හිමිකරුවෙකු විසින් බදාදා නිකුත් කරන ලද නිරීක්ෂණ වීඩියෝවෙන් පැහැදිලි වන්නේ, පොලිසිය ෆ්ලොයිඩ් මෝටර් රථයෙන් එළියට ගෙන මාංචු දමන අවස්ථාවේ ඔහු කිසිම ප්‍රතිරෝධයක් නොදැක්වූ බවය. 

    දහස් ගණන් සුදු හා කලු කම්කරුවන් හා තරුණයෝ පසුගිය අඟහරුවාදා ෆ්ලොයිඩ් ඝාතනය  කල මංසන්ධියේ සහ අසල පිහිටි පොලිස් ස්ථානය ඉදිරිපිට විරෝධතා දැක්වූහ

    මහ දවල් සිදුකළ ඔහුගේ ඝාතනය කිසිදු ලෙසකින් හෝ සාධාරනීකරණය කළ නොහැකි වුව ද බදාදා සවස වන විටත් චාවින්, ලේන්, තාඕ සහ කුවෙන්ග් නිදහසේ පසුවූහ. පොලිස් දෙපාර්තමේන්තුව විසින් වැටුප් රහිතව ඔවුන්ගේ සේවය අත්හිටුවනු ලැබුවේත් පසුව ඩිමොක්‍රටික් නගරාධිපති ජේකබ් ෆ්‍රේ විසින් සේවයෙන් පහ කරන ලද්දේත් අඟහරුවාදා වන විට ඇවිල ගිය මහජන කෝපය හමුවේ පමණි.

    ෆ්ලොයිඩ්ගේ ඝාතකයින් අත්අඩංගුවට ගැනීම ප්‍රතික්ෂේප කිරීම දින දෙකක් තිස්සේ පෙලපාලිවලට සහභාගී වූ සියලු ජනවර්ගවලට අයත් කම්කරුවන් අතර කෝපය ඇවිලවීය.

    දහස් ගණන් සුදු හා කලු කම්කරුවන් හා තරුණයෝ පසුගිය අඟහරුවාදා ෆ්ලොයිඩ් ඝාතනය  කල මංසන්ධියේ සහ අසල පිහිටි පොලිස් ස්ථානය ඉදිරිපිට විරෝධතා දැක්වූහ. පෙලපාලිය විසුරුවා හැරීම සඳහා පොලිසිය දිගින් දිගටම කඳුළු ගෑස් සහ මාරාන්තික නොවන  උණ්ඩ වලින් වෙඩි තබනු ලැබීය. ඊයේ රාත්‍රියේ මිනියාපොලිස් සහ එක්සත් ජනපදය පුරා වෙනත් නගරවල තවත් උද්ඝෝෂණ සංවිධානය කරන ලදී.

    ජෝර්ජ් ෆ්ලොයිඩ් ඝාතනය එක්සත් ජනපද පොලිසිය සිදු  කල අපරාධ රැල්ලක නවතම අවස්ථාවයි. Killbypolice.net වෙබ් අඩවියට අනුව මේ වසරේ මේ දක්වා පොලිස් ඝාතන 400ක් සිදුව තිබේ. සෑම වසරකම ඝතනයට ලක්වන සංඛ්‍යාව 1,000 කට වඩා වැඩිය.

    මිසූරි ප්‍රදේශයේ ෆර්ගියුසන්හිදී මයිකල් බ්‍රවුන්ට වෙඩි තබා ඝාතනය කර වසර හයකට ආසන්න කාලයක් ගත වී ඇත. ඒ 2014 අගෝස්තු 9 දිනය. 2014 ජූලි 17 දින එරික් ගාර්නර් නිව්යෝක් නගරයේදී ගෙල සිරකර මරා දැමීමෙන් පසු පොලිස් ප්‍රචන්ඩත්වයට එරෙහිව මහජන විරෝධතා ඇති විය. විවිධ පුද්ගලයින් 6,000 ක් පමන මේ කාලය තුල පොලීසිය විසින් ඝාතනය කර තිබේ.

    පොලිස් ප්‍රචණ්ඩත්වය ජාතිවාදය දායක වන බවට සැකයක් නැත. පොලිසිය විසින් ඝාතනය කර ඇති වැඩිම පිරිස සුදු ජාතිකයින්ය.  අප්‍රිකානු ඇමරිකානුවන් සහ හිස්පැනික්වරු හිරිහැර, අපයෝජන, අත්අඩංගුවට ගැනීම් සහ සිරගත කිරීම් සඳහා අසමාන ලෙස ඉලක්ක කරගෙන ඇත. ට්‍රම්ප් පරිපාලනය හිතා මතාම, පොලිස් නිලධාරීන් ද ඇතුළු වඩාත් පසුගාමී හා ප්‍රතිගාමී බලවේග ගොඩනගා ඇත. “ මැරයා” ට එරෙහිව “රළු” ප්‍රතිචාර දැක්වෙන වීඩියෝ පට නැරඹීමට තමා කැමති බව ට්‍රම්ප් ප්‍රකාශ කර ඇත. “එතරම් කරුණාවන්ත වෙන්න එපා ” යයි ඔහු පොලිස් නිලධාරීන්ගෙන් ඉල්ලා ඇත. 

    කෙසේ වෙතත්, පොලිස් ප්‍රචණ්ඩත්වයට වාර්ගික සතුරුකම පමණක් නොව පන්ති පරපීඩනය ද බලපා ඇත. ඇමරිකානු පොලිස් ප්‍රචණ්ඩත්වය ගොදුරු වූ කලු, සුදු, හිස්පැනික් හෝ ස්වදේශික ඇමරිකානුන් අතර පවතින පොදු ලක්ෂණය නම් ඔවුන් දුප්පත් සහ ජනගහනයේ වඩාත්ම අවදානමට ලක්විය හැකි කොටස් වීමයි

    බ්ලැක් ලයිව්ස් මැටර් (කලු ජාතිකයින්ගේ ජීවිත වටනේය) සහ වාර්ගික දේශපාලනයේ අනෙකුත් යෝජකයින්ගේ කාර්යභාරය වන්නේ, පොලිස් ප්‍රචණ්ඩත්යට හේතුව ජාතිවාදය යැයි පවසා  කලු පොලිස් නිලධාරීන් වැඩියෙන් බඳවා ගැනීම හෝ කලු ජාතික දේශපාලඥයන් පත් කර ගැනීමෙන් පමණක් ගැටලුව විසඳනු ඇතැයි යන අදහස ප්‍රවර්ධනය කිරීමයි. නිසැකයෙන්ම මෙයින් අදහස් කරන්නේ, පොලිස් ප්‍රචණ්ඩත්වයට එරෙහිව නැගෙන මහජන විරෝධය, වෝල් වීදියට සහ මිලිටරිවාදයට ගැති  පක්ෂවලින් එකක් වන ඩිමොක්‍රටික් පක්ෂය පිටුපස ගැටගැසීමයි. නමුත් පවතින ධනපති ක්‍රමය යටතේ පොලිස් ප්‍රචන්ඩත්වය නැමති ගෝලීය වසංගතය අඛණ්ඩව නොනැසී පවතී.

    මෙම භීෂණකාරී ප්‍රචණ්ඩත්වය, ඩිමොක්‍රටික් ජනාධිපති බැරැක් ඔබාමාගේ රැකවල යටතේද පැවති අතර ෆැසිස්ට්වාදී රිපබ්ලිකන් පක්ෂයේ ඩොනල්ඩ් ට්‍රම්ප් යටතේ ද පවතී. පවතින ආණ්ඩුව ඩිමොක්‍රටික් හෝ රිපබ්ලිකන් වේවා, නගරාධිපති හෝ පොලිස් ප්‍රධානියා කලු ද සුදු ද ගැහැනු ද පිරිමි ද හෝ වේවා, සමලිංගික හෝ එසේ නොවන අයෙකු වේවා, පවතින ධනපති ක්‍රමය යටතේ පොලිස් ඝාතන අඛණ්ඩව සිදු වේ.

    වසර තුනකට පෙර සෝමාලියානු-ඇමරිකානු මිනියාපොලිස් පොලිස් නිලධාරියෙක්, ජස්ටින් ඩමොන්ඩ් නම් සුදු ජාතික කාන්තාවක ඇගේ පිටුපස පෙදෙසට වෙඩි තබා ඝාතනය කළේය. ඒ අසලම පිහිටි කුඩා නගරයක පැවති රථවාහන තදබදයකදී හිස්පැනික් පොලිස් නිලධාරියෙකු විසින් අප්‍රිකානු සම්භවයක් ඇති ඇමරිකානු ජාතික ෆිලැන්ඩෝ කැස්ටිල් ඝාතනය කිරීම සමාජ ජාල වෙබ්අඩවි වල සජීවීව විකාශනය වී වසර හතරක් ගත වී ඇත.

    විශේෂයෙන් පොලීසියේ ම්ලේච්ඡ ක්‍රියාවන් හා හිංසනයන් ප්‍රසිද්ධියේ හෙළිදරව් වීමෙන් පසු, ඒවා අනිවාර්යයෙන්ම චිත්‍රපට මාතෘකා වීමට ඉඩ ඇති හෙයින්, ඩිමොක්‍රටික් සහ රිපබ්ලිකන් දේශපාලඥයෝ එම අපරාධ පිළිබද විමර්ශනය කරන බවට ව්‍යාජ පොරොන්දු දෙති. සෑම විටම පාහේ මෙම විමර්ශන, නඩු පැවරීම් සහ දඬුවම් නියම කිරීම් දක්වා හෝ ඉදිරියට යාමට අසමත් වෙයි.

    ලෙනින් සිය රජය හා විප්ලවය පොතෙහි සඳහන් කර ඇත්තේ, රාජ්‍ය  බලය“තමන්ගේ අණට යටත් බන්ධනාගාර ආදිය සහිත ආයුධ සන්නද්ධ මිනිසුන්ගේ විශේෂ ආයතන” වශයෙනි. ෆ්‍රෙඩ්රික් එංගල්ස් උපුටා දක්වමින් ලෙනින් සඳහන් කළේ, රාජ්‍යය මූලික වශයෙන් “ප්‍රතිවිරුද්ධ පන්ති අතර පවතින සතුරුකම්වල නිෂ්පාදනයක් හා ප්‍රකාශනයක්” බවත්, රාජ්‍යයේ බලය හා ප්‍රචන්ඩත්වය ශක්තිමත් වීම, “රාජ්‍ය තුෙළ පන්ති සතුරුකම් වඩාත් උග්‍ර වීමට සමානුපාතිකව සිදු වන බවත් ය. ”

    ගෝලීය කොරෝනා වෛරස්  වසංගතය සමඟ මෙම පන්ති ප්‍රතිවිරෝධතා නව අවධියකට පිවිසෙමින් තිබේ. ව්‍යාපාරික හා මූල්‍ය කතිපයාධිකාරය, කම්කරුවන් ආරක්ෂා කිරීම සඳහා කිසිවක් නොකර, ඩොලර් ට්‍රිලියන ගනන් තමාගේ පෙට්ටගම් වෙත මාරු කිරීමට වසංගතය භාවිතා කර ඇති අතර, ධනපති ඩිමොක්‍රටික් හා රිපබ්ලිකන් දේශපාලඥයින් ඒකමතිකව එම පියවරයන් අනුමත කර ඇත.

    මෙම පියවරයන්, “ආර්ථිකය යළි විවෘත කිරීම” සහ වෝල් වීදියට බැල මෙහෙවර කිරීම සඳහා තම ජීවිත අනතුරේ හෙළීමට කම්කරුවන්ට බල කිරීම තුලින් බලාත්මක කර ඇත. ඒ අතරම පාලක ප්‍රභූව, කම්කරුවන්ගේ ශ්‍රම සූරාකෑම වැඩි කිරීමටත්, සමාජ සේවා වැඩසටහන් කප්පාදු කිරීමට සහ ජනතාව දුගීභාවයට පත් කිරීම සදහාත්, මහජන විරැකියාව සහ රාජ්‍යය බංකොලොත් කිරීම ගසා කෑමට සැලසුම් කරයි.

    රාජ්‍යය ම්ලේච්ඡත්වයේ සහ ප්‍රචණ්ඩත්වයේ මූලික ප්‍රභවය මූල්‍ය කතිපයාධිකාරය සහ කම්කරු පන්තිය අතර ගැටුම යි. මෙම ම්ලේච්ඡත්වය අවසන් කල හැකි දේශපාලන ව්‍යාපාරයක්, එනම් දේශපාලන බලය තමන් අතට ගෙන ධනේශ්වර ලාභ ක්‍රමය අවසන් කිරීමට සමස්ත කම්කරු පන්තියේම ස්වාධීන හා එක්සත් ව්‍යාපාරයක් සඳහා වෛෂයික කොන්දේසි ද එම ගැටුම විසින්ම නිර්මාණයය කෙරෙයි.

    ලෝක සමාජවාදී වෙබ් අඩවිය ඇසුරිණි

  • Hot Plate: ජනපති සමග ප්‍රසන්න තීරණාත්මක සාකච්ඡාවක

    Hot Plate: ජනපති සමග ප්‍රසන්න තීරණාත්මක සාකච්ඡාවක

    සටහන – ගජබා නාගහවත්ත

    ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා පහුගිය අගහරුවාදා සංචාරක ඇමති ප්‍රසන්න රණතුංග ඇතුළු අමාත්‍යාංශ නිළධාරීන් කැදවා තිබුණේ සංචාරක කර්මාන්තය යළි නගා සිටුවීම ගැන සාකච්ඡා කිරීමටය.

    ඇමති ප්‍රසන්න මේ රැස්වීමට ගියේ පෙර සුදානමක් ඇතිවය. ඔහු ඊට කළින් සතියේ සංචාරක කර්මාන්තයට සම්බන්ධ සියලු පාර්ශව මුණ ගැසී තිබුණි. ඔවුන් විසින් ප්‍රසන්නට ලබා දුන් ඉල්ලීම් ඇතුළත් ලිපි ගොනුවක් ද ප්‍රසන්න මේ සාකච්ඡාවට රැගෙන ගියේ ය.

    ‘ මේ කොරෝනා වසංගතය නිසා ලොකුම හානි වෙච්ච ක්ෂේත්‍රයක් තමයි සංචාරක කර්මාන්තය. සංචාරක කර්මාන්තය නගා සිටුවන්න මම මගේ ප්‍රතිපත්ති ප්‍රකාශයෙනුත් වැඩි අවධානයක් යොමු කළා. අපි මේ වෙලාවේ අලුතින් පටන් ගන්න ඕනේ. ඒ සදහා සංචාරක ක්ෂේත්‍රයේ අයව දිරිමත් කරන්න ආණ්ඩුව ලෑස්තියි‘ ගෝඨාභය කීවේය.

    ‘පාස්කු ප්‍රහාරයත් එක්ක බිද වැටුණ සංචාරක ව්‍යාපාරය ඔබතුමා ජනාධිපතිවරයා විදිහට පත්වීමත් එක්ක යන්තම් ඔළුව උස්සගෙන එනකොට තමයි මේ කොවිඩ් ප්‍රශ්නය ආවේ‘. ප්‍රසන්න කීවේය.

    ‘අපි දැන් රට විවෘත කරගෙන යන්නේ. කොරෝනා වසංගතය පාලනය කරගන්න පුළුවන් වුණත් හරි පරෙස්සමින් තමයි මේක කරන්න වෙන්නේ.‘ ගෝඨාභය කීවේය.

    ‘ඒක ඇත්ත සර්…. දැන් සමාජයෙන් පොසිටිව් අය හම්බ වෙන්නේ නෑ. අපිට දැන් රෝගීන් හම්බවෙන්නේ අපි වෙන්ව හදුනාගත් කණ්ඩායමකින්. මේ විදිහට සති දෙක තුනක් පරිස්සම් වුණොත් අගෝස්තු 01 වෙනිදා විතර වෙනකොට අපිට එයාර්පෝට් එක අරින්නත් පුළුවන්‘. වෛද්‍ය අනිල් ජාසිංහ කීවේය.

    ‘සර්.. අපි ඔබතුමාලා කියලා පැය 24 ක් ඇතුළත එයාර්පෝට් එක අරින්න ලෑස්තියි. සෞඛ්‍ය අංශ කියන විදිහේ මාර්ගෝපදේශ සියල්ල අනුගමනය කරමින් ම ‘ .ප්‍රසන්න දැඩි විශ්වාසයකින් කිවේය.

    ‘ඒක හොදයි ප්‍රසන්න. අපි හරිම වෙලාවට හරිම දේ කරමු‘. ජනපති ගෝඨාභය කීවේය.

    ‘සංචාරක ව්‍යාපාරයේ නිරත වෙලා ඉන්න හැමෝම එක්ක ම අපි පහුගිය සතියේ කථා කළා සර්. ඒ අය හැමෝම ඉල්ලන්නේ සහනයක් තමයි‘. ප්‍රසන්න කීවේය.

    ‘අපි හැමෝගැනම බලන්න ඕනේ. මිනිස්සු අමාරුවේ වැටුණාම ඒ ගැන නොබලන ආණ්ඩුවක් මොකටද? ඒක අපේ වගකීම‘. ගෝඨාභය කීවේය.

    ඒ අනුව සංචාරක ක්ෂේත්‍රයේ නිරත සියලුම දෙනාට සහන සැලසීම සදහා වන කැබිනට් පත්‍රිකාවක් කඩිනමින් ඇමති මණ්ඩලයට ඉදිරිපත් කිරීමට ජනාධිපතිවරයා ඇමති ප්‍රසන්නට උපදෙස් දුන්නේය.

    අගමැති මහින්ද දේශපාලනයට පිවිස වසර 50ක් සම්පූර්ණ වුයේ පහුගිය බදාදාය. අගහරුවාදා උදෑසන ප්‍රසන්න මහින්දගේ විජේරාම නිවසට ගොස් ඒ වෙනුවෙන් සුභ පැතුවේය.

    ‘සර්, මගේ තාත්තා තමයි මගේ දේශපාලන ගුරුවරයා. හැබැයි මගේ දේශපාලනයේ පරමාදර්ශී නායකයා ඔබතුමා…. ඔබතුමා නොඉන්න අපේ රට අද බෙදිලා වෙන්වෙලා ඉවරයි‘. ප්‍රසන්න මහින්දට සුභ පතමින් කීවේය.

    ‘ප්‍රසන්න මගේ ලගින් හිටියේ මම පැරදුණු වෙලාවේ. මට ඒක අමතක වෙන්නේ නෑ‘.. මහින්ද ඊට ප්‍රතිචාර දක්වමින් කීවේය.

  • Hot Plate: අපි ඉක්මනටම ජනතාව වෙනුවෙන් නැගි සිටින්න ඕනේ – රවි

    Hot Plate: අපි ඉක්මනටම ජනතාව වෙනුවෙන් නැගි සිටින්න ඕනේ – රවි

    සටහන – ගජබා නාගහවත්ත

    කොරෝනා වසංගතය ලෝක ආර්ථිකය ගිලගනිද්දි එහි අනිටු ඵල විපාක විදීමට දියුණු වෙමින් පවතින අප වැනි රටවලට ද සිදුව ඇත. ජිවත්වීම, ආර්ථිකය හා සෞඛ්‍ය යන ප්‍රශ්නවල ජනතාව සිරව සිටියදි මැතිවරණයක අවශ්‍යතාවය ද දේශපාලනයේ කරණම් ගසමින් සිටිනා මාතෘකාවකි.

    දින 66 කට පසුව කොළඹ ඇතුළු රටම විවෘත වුවද තවමත් ජනජීවිතය යතාවත් වී නොමැත. ඒ අතර දෙකට වෙන්ව ගිය එක්සත් ජාතික පක්ෂයේ කොටස් යළිත් එක්වීමේ කොළ එළි දැල්වෙද්දි පක්ෂයේ මන්ත්‍රීවරු ඇතුළු ක්‍රියාකාරීන් නායකයාගේ කොල්ලුපිටියේ නිවසට එක් වූවේ පවතින ආර්ථික හා දේශපාලන කරුණු ගැන සාකච්ඡා කිරිමටය.

    “නායකතුමා රටේ පවතින ආර්ථික තත්ත්වය ගැනත් ඉන් ගැලවීමේ මාර්ගය ගැනත් හොද විග්‍රහයක් කළා. රටේ ජනතාව ඉතාම අසීරු ආර්ථික වටපිටාවක ඉන්නේ.” රවි කරුණානායක කතාවට මුල පිරීය.

    “ලෝක ආර්ථික දත්ත අනුව අපි ලොකු මුල්‍ය අර්බුදයක ඉන්නේ. මෙහෙම ඉස්සරහට යන්න අමාරුයි. අපි ලොකු ණය කන්දක හිරි වෙලා. ඒකයි මම කිව්වේ ඇත්ත තත්ත්වය රටට හෙළි කරන්න කියලා. රටක් හැටියට සැලසුමක් නැතුව ඉස්සරහට යන්න බැහැ. සංචාරක ක්ෂේත්‍රය, ඇගළුම් ක්ෂේත්‍රය ගැන දැන්ම විශ්වාසයක් තියා ගන්න බැහැ. ඒ නිසා අපි අලුත් අවස්ථා හොයන්න ඕනේ විදේශ විනිමය ගෙන්න ගන්න. ඒ වෙනුවෙන් හොද විදේශ ප්‍රතිපත්තියකුත් අවශ්‍යයි.” නායකයා පැහැදිලි කළේය.

    “ඩඩිලි සිරිසේනගේ හාල් මෝලට පැනලා ලොකු මාධ්‍ය සංදර්ශනයක් පසුගිය දවසක දැම්මා. මොකක්ද මේ ගැටුම.” චම්පිකා ප්‍රේමදාස තවත් කතාවක් මතු කළේය.

    කටකතාවලින් – සමාජ මාධ්‍යවලින් රටක් ...

    “ඕක එහෙම පිටින්ම බොරුවක්නේ. ඕක ශ්‍රීලනීපයේ හා පොහොට්ටුවේ ගැටුමක්. වැඩි මිලට බඩු වික්කා කියලා ඔය පාරිභෝගික අධිකාරියේ විශ්‍රමික මේජර් ජනරාල්වරයා මැනින් මාකට් එකට ගිහිල්ලා අහිංසක වෙළෙන්දෙක්ට කන පැලෙන්න ගහනවා කියා තර්ජනය කරනවා අපි දැක්කොනේ. හැබැයි ඩඩ්ලි සිරිසේන ගාවට ගිහිල්ලා අත් දෙක එකතු කරලා වැදලා කියනවා වැඩි මිලට හාල් විකුණන්න එපා කියලා. මේවා දකිනකොට මතක් වෙන්නේ ටිබෙට් ජාතික එස්. මහින්ද හිමියන්ගේ කවියක්. උස් තැන් දැක හැකිලෙන්නේ මිටි තැන් දැක පුප්පන්නේ කියලා උන්වහන්සේ ලස්සනට කවියෙන් කියලා තියෙනවා.” නවීන් දිසානායක කී දේ සැවොම හිස සලා අනුමත කළහ.

    “මහ මැතිවරණය අගෝස්තු 15 දා පවත්වන්න යනවා කියලාත් ආරංචි පැතිරෙනවා. ආණ්ඩුව ඉක්මනට ඡන්දය තියන්න කියලා මැතිවරණ කොමිසමට දිගින් දිගටම ප්‍රහාර එල්ල කරනවා. මේක ලොකු ප්‍රශ්නයක්.” වජිර අබේවර්ධන කීවේය.

    “ඔව් අගෝස්තු 15 ත් සැප්තැම්බර් 15 ත් අතර ඡන්දය තියන්න වෙන තත්ත්වයක් තමයි තියෙන්නේ. මොකද අධිකරණ තීන්දුව අනුව තමයි මැතිවරණ කොමිසමට කටයුතු කරන්න වෙන්නේ. එහෙම ගත්තත් දින 70 ක් එයාලා ඕන කියලා අධිකරණයට කියලා තියනවා. මමත් කියන්නේ කොමිසම පැත්තේ අපි හැමෝම හිට ගන්න ඕනේ කියලායි. මේක පක්ෂ විපක්ෂ හැමෝටම බලපාන දෙයක්. කොමිසම රැක්කොත් තමයි ප්‍රජාතන්ත්‍රවාදය රැකෙන්නේ. අද කොමිසමට විරුද්ධව කෑ ගහන අයට වුනත් එයාලා විපක්ෂයට ගිය දවසට මෙවැනි කොමිසමක අගය තේරෙයි. මැතිවරණ කොමිසම ඉන්න ඕනේ ජනතාවගේ පැත්තේ. එහෙම නොවුනොත් අද කෑ ගහන අයත් අමාරුවේ වැටෙනවා. අපි ජනතාවගේ අයිතිය වෙනුවෙන් දිගින් දිගටම පෙනී සිටිනවා. මමත් මේ ගැන කතා කරනවා. පක්ෂයක් ලෙස අපි ස්වාධීන මැතිවරණ කොමිසම රැක ගන්න ඕනේ. මේ හදන්නේ ස්වාධීන මැතිවරණ කොමිසම නැති කරලා දාන්නයි. මොකද 17 වෙනි සංශෝධනයෙන් පවා මැතිවරණ කොමිසම ස්ථාපිත කළාට, ඒක බලසහිත කළේ නැහැ. නමුත් 19 යෙන් තමයි ඒක බලාත්මක කළේ.” නායකයා දීර්ඝ පැහැදිලි කිරිමක් කළේය.

    “ඡන්දය කල් දාන්න ඉල්ලපු පෙත්සම් දැන් විභාග කරනවා. ඒවායේ තීන්දුව ඉදිරියේදි දේවි. ඉන් පස්සේ මොකද වෙන්නේ.” කේ.කේ පියදාස විමසා සිටියේය.

    “නිතිපතියි මැතිවරණ කොමිසමයි දෙපැත්තට බෝලේ පාස් කර ගන්නවා. කොහොමවුනත් මෙතනදි බලය තියෙන්නේ මැතිවරණ කොමිසමට. ඒක නිසා තමයි මැතිවරණ කොමිසමේ ස්වාධීනත්වය නැති කරන්න හදන්නේ. දයා ගමගේ කීය.

    “අපිත් නඩුවක් දාලා තියෙනවා මැතිවරණය කැදවිමේ ජනාධිපතිවරයාගේ ගැසට් නිවේදනය ජුනි 02 දායින් පසුව බලරහිත වෙනවා කියලා. අධිකරණය එය පිළිගත්තොත් මොකද වෙන්නේ.” කේ.කේ පියදාස යළිත් හඩ අවදි කළේය.

    “නීතිපති කියන්නේ ගැසට් නිවේදනය අවලංගු වෙන්නේ නැහැ කියලායි. හැබැයි ව්‍යවස්ථානුකූලව ජනාධිපතිවරයාගේ මැතිවරණය කැදවිමේ ප්‍රකාශය ලබන 02 දායින් අවසන් වෙනවා. මොකද ජනාධිපතිවරයාගේ ගැසට් නිවේදනයට බලය තියෙන්නේ මාස 03 කට පමණයි. එතනදි කථානායකට බලය එනවා පාර්ලිමේන්තුව කැදවන්න. නමුත් මෙතන ගැටුමක් තිබෙන නිසා ඒ සම්බන්ධයෙන් අධිකරණ තීන්දුව වැදගත් වෙනවා. අපි අධිකරණයෙන් ගන්න බලන්නේ පාර්ලිමේන්තුව යළි කැදවීමේ බලය කතානායකට තිබෙන බවට නියෝගයක්.” මහලේකම් අකිල සදහන් කළේ පක්ෂය වෙනුවෙන් නඩුව ගොනු කළ පෙත්සම්කරුගේ භූමිකාව ඉටු කරමිනි.

    “ඉන් පසුව ජනාධිපතිවරයාට පුළුවන් පාර්ලිමේන්තුව යළි විසුරුවනවාද කියලා තීන්දුවක් ගන්න. එහෙම නැතිනම් අගෝස්තු මාසයෙන් පස්සේ පාර්ලිමේන්තුවේ නිල කාලය අවසන් වෙන නිසා මැතිවරණ කොමිසමට බලය එනවා මැතිවරණය තියන්න. පාර්ලිමේන්තුව කැදවිමේ දිනය ඒ අනුව ජනාධිපතිවරයාට ප්‍රකාශ කරන්න පුළුවන්.” නායකයාද කතාවට අලගු තැබීය.

    “සජිත්ගේ කණ්ඩායමට ගිය පිරිසක් නායකතුමා එක්ක කතා කර කර හිටියා. දැන් ඒ අය එන්න ලැහැස්තිද? පත්තරවල ගිහින් තිබුණා 12 ක් ආයේ පක්ෂයට එනවා කියලා. චම්පිකා ප්‍රේමදාස යළිත් කතාවට හවුල් වුවේ මාතෘකාව වෙනතකට හරවමිනි.

    “ඔව් අපිත් එක්ක පිරිසක් කතා කරමින් ඉන්නේ. පක්ෂය දැනට ගිය අයගේ පක්ෂ සාමාජිකත්වය තාවකාලිකව අත්හිටුවලා තියෙනවා. මේ ගැන අපි ලබන සිකුරාදා කෘත්‍යාධිකාරි මණ්ඩලය රැස් කරලා කතා කරමු. මම නම් හිතන්නේ මේ අයගෙන් එන්න කැමති කණ්ඩායම ගත්තාට කමක් නැහැ කියලායි. නමුත් අපි බහුතර මතයට අනුව කටයුතු කරන පක්ෂයක් නිසා කෘත්‍යාධිකාරි මණ්ඩලයේ තීන්දුව අනුව කටයුතු කරමු.” නායකයා කීවේය.

    “කෘත්‍යාධිකාරි මණ්ඩලය රැස් කලාම තවත් පරිපාලන තීන්දු රැසක් ගන්න තියෙනවා. මැතිවරණයට මුහුණ දෙන්නත් අවශ්‍ය කටයුතු මෙතනදි කතා කරලා අවසන් කරන්න පුළුවන්.” මහලේකම්වරයා තවත් කොටසක් එකතු කළේය.

    “රාජ්‍ය සේවකයන්ගේ වැටුප් කපනවා. ව්‍යපාරිකයන්ට සහන නෑ. සුව විරුවෝ කියපු හෙදියන්ගේ අතිකාල කපනවා. ඔවුන්ට රැකියාවට එන්න විදියක් නැහැ. මේ අය අද පාරට බැහැලා. වරායේ නැගෙනහිර ජැටිය ඉන්දියාවට දෙන්න හදනවා. රටේ එක බිම් අගලක් දෙන්නේ නැහැ කියලා ආපු අය දැන් සද්ද නැතුව වරායත් ඉන්දියාවට දෙනවා. හාල් පොල් තුනපහ ඔක්කොම ගණන් ගිහිල්ලා ආණ්ඩුව බදු වැඩි කරපු නිසා. වෙළෙද පොලේ හාල් නැහැ. විදේශ රටවලට, සංවිධානවලට, යටත් වෙන්නේ නැහැ කියපු ආණ්ඩුව දැන් ආයෙත් අයි.එම්.එෆ් එකෙන් ණය ඉල්ලලා. යු.එන්.පී ය අයි.එම්.එෆ් එකේ කොන්දේසිවලට යටවෙලා කියපු අය දැන් යස අගේට සියළු කොන්දේසි පිළිගන්නම් ණය දෙන්න කියලා එතන වැද වැටෙනවා. අපි ඉක්මනටම ජනතාව වෙනුවෙන් නැගි සිටින්න ඕනේ.” රවි කරුණානායක ආණ්ඩුවට දැඩි ප්‍රහරයක් එල්ල කළේය.

    “ජනතාවට දැන් තියෙන්නේ ජිවත්වීමේ ගැටළුවයි. ව්‍යාපාරිකයන්ට ආදායම් නැහැ. ජිවිතයයි. ආර්ථිකයයි. සෞඛ්‍යයි කියන ත්‍රිකෝණය ඇතුලේ රට හිරවෙලා. අපි මේ මැතිවරණයේදි ජනවරම ඉල්ලන්න ඕනේ මේ ගැටළුවෙන් රට හා ජනතාව මුදා ගන්නා බව පෙන්වා දීලයි. ඒ නිසා මේ සම්බන්ධයෙන් අපි සාකච්ඡා කොට විදිමත් වැඩපිළිවෙලක් හදමු.” නායකයා සිය සැලසුම් පසුවට කල් තැබීය.

    Daily Mirror - Anomaly in allocating duty free vehicle permits to PCs

    “විදේශ ශ්‍රමිකයෝ විශාල පිරිසක් ඒ රටවලින් මෙරටට එනවා. තවත් පිරිසක් එන්න බැරිව හිර වෙලා. මේ සියළු ප්‍රශ්න ඇති වෙලා තියෙන්නේ නිසි සැලසුමක් නැති නිසයි. සීෂෙල්ස් ඉදලා ලංකාවට රෝගීන් ගේනවා. අනිත් පැත්තෙන් විදේශ ශ්‍රමිකයෝ ගේන එක නවත්වනවා. නායකතුමා කිව්වා වගේ රට අරාජික වෙමින් යන්නේ.” වජිර අබේවර්ධන තවත් ආර්ථික කරුණු කිහිපයක් ඉදිරිපත් කළේය.

    “මැතිවරණය වෙනුවෙන් අපි දැන්ම වැඩපිළිවෙලක් ඉදිරිපත් කරන්න ඕනේ. කොහොමවුනත් අපි එකට හිටියා නම් ආණ්ඩුව පෙරලන්නත් තිබුණා. අපේ අයනේ කකුලෙන් ඇද්දේ. පක්ෂ ක්‍රියාකාරිකයෙක් මේ අතර සිය මතය ඉදිරිපත් කළේය.

    “අපිට බලය තිබුණත්, පාර්ලිමේන්තුව රැස් වෙලා තිබුණත් මේ වෙලාව බලය ගැන හිතන්න ඕන වෙලාවක් නොවෙයි. අපි හිතන්න ඕනේ රට ගැනයි. අනෙක අපි ජනාධිපතිවරයාට ආණ්ඩුව කරගෙන යන්න අවස්ථාව දුන්නා නම් එයාලට ඒක කරගෙන යන්න ඉඩ දෙන්න ඕනේ. මොකද බහුතරය හිටියා කියලා කකුලෙන් අදින්න හොද නැහැ. ආණ්ඩුව හරියට වැඩ නොකරනවා නම් ඒ ගැන තීන්දුවක් ගන්න අපි ජනතාවට බාර දෙන්න ඕනේ. අනෙක ඡන්දයටත් දැන්ම දුවලා වැඩක් නැහැ. ජනතාවට ඊට වඩා ප්‍රශ්න තියෙනවා. වේගයෙන් දුවන කෙනාට ඉක්මනට හති වැටෙනවා. තාක්ෂණයට අනුව දුවන කෙනාට දිනුම ගන්න පුළුවන්. ඒ නිසා අවශ්‍ය අවස්ථාවේදි අපි වේගය වැඩි කරමු. මැතිවරණ කොමිසම දිනය කිව්වාට පස්සේ අපි ඡන්ද වැඩ පටන් ගනිමු.” නායකයා කී දේ සැවොම අනුමත කළහ.

    ඉන් අනතුරුව සියළු දෙනාගේ අවධානය යොමුවූවේ ලංකා කම්කරු කොංග්‍රසයේ නායක ආරුමුගන් තොන්ඩමන්ගේ හදිසි අභාවය ගැනය. නායකයා ප්‍රමුඛ සියළු දෙනා ඔහු ගැන කණගාටුවෙන් කතා කළේ එකට සිටි පාර්ලිමේන්තු සගයෙකුගේ නික්මයාම ගැන සොව පළ කරමිනි.

    මේ අතර සමගි ජනබලවේගයේ පිරිස් ද ආණ්ඩුවට එරෙහි ව්‍යාපාරයේ සැලසුම් සාකච්ඡා කළ අතර එහිදි පිරිසකට බලතල බෙදා දුන්නේ අමාත්‍යාංශ සම්බන්ධයෙන් කතා කළයුතු දෑ ගැන තීරණය කිරිමට කමිටු පත් කරමිනි.

    එහිදි කළුතර දිස්ත්‍රික් අපේක්ෂක ජගත් විතාන විමසා සිටියේ ඡන්ද දිනය පිළිබදව අධිකරණය ඉදිරියේ ගොනු කර ඇති පෙත්සම්වල ප්‍රගතිය ගැනය.

    ඊට පිළිතුරු දුන් මහනුවර දිස්ත්‍රික් අපේක්ෂක අධිනිතිඥ ලක්ෂ්මන් කිරිඇල්ල මේ වන විට අධිකරණයේ පවතින නඩුවල වත්මන් තත්ත්වය විස්තර කළ අතර මහ මැතිවරණය ජුනි 20 දා නොපවත්වන බවට මැතිවරණ කොමිසම අධිකරණයට කළ කරුණු දැක්වීමම ජයග්‍රහණයක් බව පෙන්වා දුන්නේය. ජුනි 02 දා වන විට ජනාධිපතිවරයාගේ මැතිවරණය කැදවීමේ ගැසට් නිවේදනයද අවලංගු වන බව ඔහු වැඩි දුරටත් කීවේ ඊට සුදානම් විය යුතු බව කියමිනි. ඔහුගේ අදහස පැමිණ සිටි සැවොම පිළිගත්හ.

    සටහන – ගජබා නාගහවත්ත

  • ආණ්ඩුව පොදු ජනතාවගේ පමණක් නොව ‘සුව විරුවන්ගේ බඩටත් ගහලා’

    ආණ්ඩුව පොදු ජනතාවගේ පමණක් නොව ‘සුව විරුවන්ගේ බඩටත් ගහලා’

    දරුවෝ ගැන නොතකා , මහන්සිය සහ අන්තරාය නොතකා අපි දිවා රෑ නොබලා කැපවීමෙන් වැඩ කරනවා. ‘සුවවිරුවෝ‘ කියල අපිට ව්‍යාජ නම්ම්බු නාමෙකුත්   දුන්න. හැබයි අපේ මහන්සියට, කැපවීමට ලැබිය යුතු දීමනා නොගෙවීම හරිම අසාධාරණයි.

    දීමනා සහ පහසුකම් අහෝසි කිරීම නිසා  රජයේ රෝහල් සේවකයන් අතර බරපතල විරෝධයක් වර්ධනය වෙමින් ඇත.  අතිකාල, විශේෂ, අමතර සේවා, ප්‍රසිද්ධ නිවාඩු දින  සහ කාර්ය වියුක්ත දින නිවාඩු (පැය 24 ක  සේවයෙන් පසු ලැබෙන නිවාඩු ) වෙනුවෙන් ගෙවිය යුතු  දීමනා නොගෙවීම, සෞඛ්‍ය ආරක්ෂණ උපකරන නිසිලෙස සම්පාදනය නොකිරීම හා ප්‍රවාහන පහසුකම් අහෝසි කිරීම මෙම විරෝධයට හේතුවයි.

     මෙම ප්‍රහාරය, රාජපක්ෂ ආණ්ඩුව මුහුණදී සිටි ආර්ථික අර්බුදය කොරෝනා වසංගතනේ උග්‍ර වී ඇති තතු යටතේ   සමස්ත කම්කරු පන්තියේ   රැකියා, වැටුප් සහ සමාජ සහන කප්පාදු කිරීම සඳහා ගෙනයන පලල් ප්‍රහාරයක  කොටසකි. ධනපති  සමාගම් ක්‍රියාවට දමන  වැටුප් සහ රැකියා කප්පාදුවට එරෙහිව මෑත  සති වල වතු සහ ඇඟලුම් කම්කරුවන්ගේ අරගල පැන නැගුන අතර රජයේ රෝහල් කිහිපයක  කාර්ය මන්ඩල විරෝධතා උද්ඝෝෂන වල යෙදුනි:

    මැයි 11 වතුපිටිවල රෝහලේ  සේවකයෝ දහවල් කෑම විවේකය තුල උද්ඝෝෂනයක නිරත වූහ. මෙම උද්ඝෝෂනය පැවැත් වුනේ අත්‍යවශ්‍ය සේවාවන් සඳහා ප්‍රවාහන පහසුකම් සැපයීමේ කොටසක් ලෙස එම  සේවකයන් සඳහා පවත්වාගෙන ගිය රජයේ ප්‍රවාහන සේවය මැයි 11 වෙනිදා සිට නතර කිරීමට හා අප්‍රේල් මාසයට නියමිත දීමනා ලබා නොදීමට විරෝධය  පෑමක් ලෙස ය.  හෙද සේවකයන් 200 ට වැඩි පිරිසක් එයට සහභාගී වී ඇත. 

    ප්‍රවාහන පහසුකම් සැපයීම නතර කිරීම නිසා  අත්‍යවශ්‍ය සේවයක කැපවීමෙන් සේවය කරන සෞඛ්‍ය සේවකයන් බරපතල අපහසුතාවයකට පත්වන බව උද්ඝෝෂනයට සම්බන්ධ වූ හෙද සේවකයෙකු සඳහන් කලේ ය.

    “අප්‍රේල් මාසයේ අතිකාල සඳහා ගෙවීම් ලැබුනේ නැහැ. මේ වර්ෂයට ලැබිය යුතු වාර්ෂික වැටුප් වැඩිවීම තවමත් දීලා නැහැ. කොරෝනා වසංගතය ව්‍යාප්ත වන තත්වයක් තුල සැපයිය යුතු සෞඛ්‍යාරක්ෂක පහසුකම් නිසි ලෙස සම්පාදනය කෙරෙන්නේ නැහැ. දිනකට මුහුනු ආවරන දෙකයි  දෙන්නේ. ඒවත් ප්‍රමිතියට සහ හෙද  කාර්ය මන්ඩලය අවශ්‍ය තරමට නැහැ. මගේ වාට්ටුවට අවම වශයෙන් හෙද නිලධාරීන් 8 ක් අවශ්‍යයි. ඉන්නේ 6 දෙනයි” ඔහු පැවසීය.

    රට විවෘත කිරීම නිසා වසංගතය පැතිරීම අනිවාර්යෙන් ම වැඩි වෙන බව ද ඔහු සඳහන් කලේ ය. “ආන්ඩුවට උවමනා  කෙසේ හෝ වැඩ පටන් ගන්න. මහජනයාගේ ජීවිත ගැන කිසිම තැකීමක් නැහැ”යි ඔහු පැවසී ය. පාර්ලිමේන්තු මැතිවරනයෙන් පසුව ආන්ඩුව  වැටුප් හා දීමනා තව දුරටත් කප්පාදු කරන බවත්, කම්කරු පන්තියේ අරගල මර්දනය කරන බවත් ඔහු කීවේය. ආන්ඩුවේ ආයතන වලට මිලිටරි නිලධාරීන් පත් කරන්නේ ඒ අරමුන ඇතිව බවත්  හමුදාපතිත් යුද්ධ කාලේ උතුරේ අහිංසක සිවිල් වැසියන් ඝාතනය කල  බවට චෝදනා එල්ල වුන කෙනෙක් බව ද  ඔහු  පැවසීය.

    මැයි 20 වෙනිදා මහනුවර ශික්ෂන රෝහලේ හෙද නිලධාරීන්ගේ උද්ඝෝනයට 300 ක් පමන සහභාගී වී ඇත. සෞඛ්‍ය  ආරක්ෂන ක්‍රමයක්  ලෙස කොටස් වශයෙන් සේවයට කැඳවීමේ දී හෙද සේවකයන් ට පැය  24 ක් එක දිගට වැඩ කිරීමට සිදු වෙයි. පසු දින නිවාඩුවක් ලැබෙයි. හෙද සේවකයෙකුගේ සම්මත සාමාන්‍ය සේවා කාලය පැය 6 කි. ආන්ඩුවෙන් සම්පාදනය කල ප්‍රවාහන  පහසුකම් මැයි 17 වෙනිදා සිට නතර කිරීම  නිසා මහමග රස්තියාදු වීමට සහ පෙර මෙන් තද බද වී බස්වල ගමන් කිරීමට සිදු වී ඇති බව ඔව්හු පැවසූහ.

    සාමාන්‍ය මුහුනු ආවරන  මිස ලෝක සෞඛ්‍ය  සංවිධානය නිර්දේශ කරන  N-95 වගේ ප්‍රමිතියට අනුකුල මුහුනු ආවරන කිසිම රෝහලක නැහැ

    “අනෙක් තැන්වල වගේම අපටත් අවශ්‍ය පහසුකම් ප්‍රමානවත් තරම් ලැබුනෙ නැහැ. සාමාන්‍ය මුහුනු ආවරන  මිස ලෝක සෞඛ්‍ය  සංවිධානය නිර්දේශ කරන  N-95 වගේ ප්‍රමිතියට අනුකුල මුහුනු ආවරන කිසිම රෝහලක නැහැ. අපේ නිල  ඇඳුම නිල්පාට යි. නමුත් හදිසියේම කොලපාටින් මහගන්න කියල නියෝගයක් ලැබුනා. අපේ මුදල් වලින් මහ ගත්තේ. එකකට රුපියල් 1,500 ක් වියදම් වුනා. මුහුනු ආවරන මසා ගත්තෙත් අපේ වියදමින්” හෙද පාලිකාවක් (මේට්‍රන්)  සඳහන් කලා  ය.

    “දරුවෝ ගැන නොතකා , මහන්සිය සහ අන්තරාය නොතකා අපි දිවා රෑ නොබලා කැපවීමෙන් වැඩ කරනවා. ‘සුවවිරුවෝ‘ කියල අපිට ව්‍යාජ නම්ම්බු නාමෙකුත්   දුන්න. හැබයි අපේ මහන්සියට, කැපවීමට ලැබිය යුතු දීමනා නොගෙවීම හරිම අසාධාරණයි.”

    “මගේ මුලික වැටුප රුපියල් 44,000 යි.  අතිකාල සහ අනෙකුත්  දීමනා සහිතව 54,000 ක් පමන ගන්නවා. වැටුපෙන් නයවලට කැපෙන්නේ නැති නිසා මාසේ වියදම යන්තම් පිරිමහ ගන්න පුලුවන්. . නමුත් සියයට 80 පමන  අයගේ පඩියෙන් විශාල මුදලක් නය වලට කැපෙනවා. අතිකාල සහ දීමනා නොලැබුනොත් ඉහල යන ජීවන වියදමත් එක්ක  වියදම පිරි මහ ගන්න බැහැ”  ඇය සඳහන් කලාය.   

    “ලෝකයේ හැම රටකම වසංගතයෙන් විශාල වශයෙන් මිනිස්සු මැරෙනවා. ලංකාවට විශේෂයක් නැහැ.  පාලනය කරලා කිව්වට ආර්ථිකය විවෘත කිරීමත් සමග ආසාදිතයන් සංඛ්‍යාව  ඉහල යන්න පටන් අරගෙන. ඒ නිසා වසංගතයෙන් මැරෙන සංඛ්‍යාව අපි නොහිතන මට්ටමින්  ඉහල යා හැකි” බව ද ඇය පැවසුවාය.

    මැයි 22  දකුනු පලාතේ බලපිටිය සහ වලස්මුල්ල රෝහල්වල කනිෂ්ට  කාර්ය මන්ඩල උද්ඝෝෂනවලට  උපස්ථායක, රියදුරු, දුරකථන ක්‍රියාකරු හා මැහුම් සේවකයන් ඇතුලු අංශ කිහිපයක සේවකයෝ  සම්බන්ධ වුහ. අතිකාල දීමනා, නිල ඇඳුම් දීමනා සහ හිඟ වැටුප් නොගෙවීමට විරුද්ධව පැවති  මෙම උද්ඝෝෂනයන ට  300 ක් පමන සහභාගී  වී ඇත.       

    මැයි 24 වෙනිදා ගම්පහ දිස්ත්‍රික් රෝහලේ පැවති උද්ඝෝෂනයට හෙද, පරිපුරක වෛද්‍ය සේවකයන්, උපස්ථායකයන් හා රියදුරන් ඇතුලු 400 ක් පමන සහභාගි  වී ඇත. බස්නාහිර පලාත් සභාව විසින් අදාල මුදල් නොගෙවීම නිසා ශ්‍රී ලංකා ගමනා ගමන මන්ඩලය විසින් සැපයු විශේෂ ප්‍රවාහන සේවය මැයි 17 වෙනිදායින් පසු නතර කර තිබේ. 

    “අප්‍රේල්  මාසයේ අතිකාල හා නිවාඩු  දීමනා මේ වනතුරු ගෙව්වේ නැහැ. පීආර්සී පරීක්ෂන කෙරෙන්නේ වෛරසය ආසාදනය වූ රෝගීන් ඇසුරු කල බවට සැක කරන සේවකයන් සම්බන්ධයෙන් පමනයි. අපට ලැබිය යුතු දීමනාවන් නොගෙවන ගමන් අපේ පඩියත් පරිත්‍යාග කරන්න කියලා ආන්ඩුව කියනවා. රෝහලේ කිසිම කෙනෙක් පඩිය කපන්න කැමැත්ත  දීලා නැති” බව හෙද සේවකයෙකු සඳහන් කලේ ය.

    මැයි 26 වෙනිදා දඹුල්ල රෝහල ඉදිරිපිට පැවති   පිකට් උද්ඝෝෂනයට හෙද සේවක සේවිකාවන් 100 ට වැඩි පිරිසක් සහභාගී වී ඇත. නියමිත දීමනා නොගෙවීමට විරුද්ධව නිහඬ උද්ඝෝෂනයක යෙදුන හෙද සේවකයෝ, “සුවවිරුව රූපවාහිනියට පමන ද ?”, “රාජකාරිය ගන්නා තෙක් සෞඛ්‍ය සේවය සුවවිරුවෝ” සහ  “ප්‍රවාහන පහසුකම් විධිමත් කරනු!” ආදී සටන් පුවරු අත දරා සිටියහ.

    ජනතා විමුක්ති පෙරමුන (ජවිපෙ)විසින් මෙහෙයවන සමස්ත ලංකා සුව සේවා සංගමය (සලසුසේස)  විසින් ඉහත  උද්ඝෝෂන සංවිධානය කර තිබූ නමුත් රාජ්‍ය   සේවා එක්සත් හෙද සංගමයේ (රාසේඑහෙස) සහ රජයේ හෙද නිලධාරීන්ගේ සංගමයේ සාමාජිකයන් ද  ඒවාට සහභාගී වී තිබිනි. වෘත්තීය සමිති සහ ශ්‍රේනි  භේදයකින් තොරව  උද්ඝෝෂන වලට රෝහල් සේවකයන්ගේ සහභාගිත්වය පෙන්නුම් කරන්නේ  තම අයිතීන් සඳහා එකාවන් ව සටන් කිරීමට ඔවුන්  තුල පවතින දැවෙන උවමනාවයි.  එහෙත්  රෝහල් සේවකයන්ගේ ඒකාබද්ධ අරගලයක් සංවිධානය කිරීමට වෘත්තීය සමිති සූදානම් නැත. මෙම හුදකලා උද්ඝෝෂන කැඳවීම තුලින්  සලසුසේස නායකයන් අපේක්ෂා කරන්නේ තම අයිතීන් කප්පාදු කිරීම කෙරෙහි රෝහල් සේවකයන් අතර කැකෑරෙන කෝපය වාෂ්ප කර දැමීමකි.

    දඹුල්ල රෝහලේ හෙද සේවකයන්ගේ උද්ඝෝෂනයෙන් පසුව ඔවුන් ව  ඇමතු එහි සලසුසේස  ශාඛාවේ ලේකම් සමන් විජේරත්න මෙසේ පැවසීය: “සෞඛ්‍ය   ඇමතිනිය හෙද නිලධාරීන්ගේ හෝ සෞඛ්‍ය සේවයේ දීමනා කප්පාදු නොකරන ලෙස  පවසා තිබිය දී ත් පහල නිලධාරීන් එම නියෝග නොතකා කටයුතු කරනවා.”  

    විජේරත්න සිය ප්‍රකාශයෙන් උත්සාහ කර ඇත්තේ සේවක අයිතීන් කප්පාදුව සෞඛ්‍ය  ඇමතිනිය ගේ සහ ආන්ඩුවේ පිලිවෙතක් බව සඟවා හෙද සේවකයන් නොමග යැවීමටය.

    දීමනා ගෙවීම පිලිබඳ ගැටලු පැය 72 ක් ඇතුලත වහාම විසඳීමට පියවර නොගත හොත් “අප්‍රසන්න  තත්වයක්” ඇතිවිය හැකි බව මැයි 23 වෙනිදා සෞඛ්‍ය අමාත්‍යංශයේ   ලේකම් එච්. එස්. මුනසිංහ වෙත යවන ලද ලිපියක රාසේඑහෙස සභාපති මුරුත්තෙට්ටුවේ  ආනන්ද භික්ෂුව සඳහන් කර ඇත. රාජපක්ෂ ආන්ඩුවේ ඍජු පන්දන්කාරයෙක් වන ආනන්ද භික්ෂුවගේ එම ප්‍රකාශයේ තේරුම ආන්ඩුවේ ප්‍රහාරවලට  විරුද්ධව හෙද සේවකයන්ගේ අරගලයක් සංවිධානය කරන බව  නොවේ; අදාල දීමනාවන් නොගෙවීම සම්බන්ධයෙන් හෙද සේවකයන්ගේ බරපතල අරගල පුපුරායාමට ඇති ශක්‍යතාවය පිලිබඳව ආන්ඩුවට  කරන  අනතුරු ඇඟවීමකි.

    රහෙනිස නායක සමන් රත්නප්‍රිය හෙද දිනය වෙනුවෙන් මැයි 12 වෙනිදා පැවති රැස්වීමක දී මෙසේ සඳහන් කර තිබුනි: “උපකරන නෑ, මාස්ක් නෑ, ගොගල්ස් නෑ, ඇඳුමක් නෑ කියල, එහෙම නැත්නම් බූට් එකක් නෑ කියල කිසිම රාජකාරියක් ප්‍රතික්ෂේප කරපු තැනක් අපිට වාර්තා වෙන්නෙ නෑ. අමාරුවෙන් වුනත් මේ සියලු රාජකාරි කරමින් ඉන්නවා”  රෝහල් සේවකයන් දිවි පරදුවට තබා ඉටු කරන සේවය සම්බන්ධයෙන් සාමාන්‍ය ජනතාව තුල ඉමහත් ගෞරවයක් ඇති නමුත් රත්නප්‍රිය  අවධාරනය කරන්නේ  තමන්ගේ අයිතීන් කවර ලෙසකින් කප්පාදු කල ද  රෝහල් සේවකයන් කිසිම සටනක්  නොකල යුතු බවය.

    සෞඛ්‍ය ඇමති පවිත්‍රා වන්නි ආරච්චි ජාත්‍යන්තර හෙද දින (මැයි 12 වෙනිදා) උත්සවයේදී

    සෞඛ්‍ය ඇමති පවිත්‍රා වන්නි ආරච්චි ජාත්‍යන්තර හෙද දිනය අරභයා මැයි 12 වෙනිදා නිකුත් කල ප්‍රකාශයක වෛරසය සමාජගත වීම වැලැක්වීමට හා පරීක්ෂන කටයුතු සඳහා හෙද හෙදියන් විසින් “සුවිශේෂී දායකත්වයක්” සැපයීම “අභිමානයෙන් පසක්”කරන බව සඳහන් කර තිබුනි. ඇගේ  එම ප්‍රකාශය කෙතරම් ප්‍රෝඩාකාරී ද යන්න රෝහල් සේවකයන්ගේ අයිතීන් කප්පාදුව තුලින් සනාත වී ඇත.

    ඩබ්ලිව්.ඒ. සුනිල් විසින් wsws.org වෙත මැයි 30 වැනි දින සම්පාදිත ලිපියක සම්පූර්ණ උපුටා ගැනීමකි – ප්‍රධාන සංස්කාරක