Blog

  • චීන ණය උගුලට හසු වූ රටවල ‘ඉරණම’ කුමක් විය හැකිද ?

    චීන ණය උගුලට හසු වූ රටවල ‘ඉරණම’ කුමක් විය හැකිද ?

    එක්සත් ජාතික පක්ෂය යනු උපන් ගෙයිම ධනපති පංතිය නියෝජනය කළ පක්ෂයකි. එක්සත් ජාතික පක්ෂය හැදූ ආණ්ඩු , හැමදාමත් ඔවුන්ගේ ආර්ථික මූලෝපාය ලෙස තෝරා ගත්තේ , ධනපති පංතියට වැඩි වාසි අත්වෙන ධනවාදී ආර්ථික ක්‍රමයයි.
    ලෝකය තුළ ධනවාදයට විරුද්ධව කොමියුනිස්ට්වාදය පැතිරෙන විට , ඒ ආස්වාදයෙන් පිබිදුණු ලංකාවේ මධ්‍යම පංතියේ පිරිස් වල දරුවන්, විදෙස්ගත ඉගෙනුම නිමා කොට පැමිණියේ කොමියුනිස්ට්වාදය ලංකාව තුළ ක්‍රියාත්මක කිරිරීමේ අදිටන ඇතුවය.
    එක්සත් ජාතික පක්ෂයටත් පෙර ලංකාව තුළ සමසමජ පක්ෂය බිහිවන්නේ ඒ අනුවය.
    සමසමාජ පක්ෂය බිහිවීමෙන් අනතුරුව ශ්‍රී ලංකාවේ කොමියුනිස්ට් පකෂය ද දේශපාලන භූමියට ප්‍රවිෂ්ට වූවද, ඔවුන් සියල්ල පරයා එක්සත් ජාතික පක්ෂයට විකල්පයක් ලෙස මතුවන්නට හැකි වූයේ ශ්‍රී ලංකා නිදහස් පක්ෂයට පමණි.
    ශ්‍රී ලංකා නිදහස් පක්ෂය නිර්මාණය කරමින් ඊට නායකත්වය ලබා දුන්නේ , එක්සත් ජාතික පක්ෂයේම නායකයෙකුව සිටි එස්. ඩබ්ලිව්. ආර්. ඩී. බණ්ඩාරණායකය.
    බැලූ බැල්මට ධනවාදයට එරෙහිව වාමාංශික මුහුණුවරකින් යුක්ත වූ ශ්‍රී ල. නි. ප. ය, මැද මාවතක ගමනකට ප්‍රවිෂ්ට විය.
    සිරිමාවෝ බණ්ඩාරණායක පාලන සමයේ මුල් අවදිය ඊට මනා නිදසුන් සපයමින්, පුද්ගලික අංශය සතුව තිබූ බොහෝ ව්‍යාපාර ජනසතු කිරීමේ වැඩපිලිවෙළක් දියත් කළ අතර, කොමියුනිස්ට්වාදය බලයට ගෙන ඒමට කැප වූ සමසමාජ පක්ෂය සහ කොමියුනිස්ට් පක්ෂය සිරිමාවෝගේ ආණ්ඩුවේ කොටස්කරුවෝ විය.
    ඒ අනුව ධනපති පංතියේ පක්ෂය වූ එක්සත් ජාතික පක්ෂයේ ගර්භාෂයෙන් බිහි වූ ශ්‍රී ල. නි. ප. ය , වාමවාදී පකෂයක් බවට ලක් පොළොව තුළ බෞතීස්ම විය.
    1977 දී බලයට පත් එ. ජා. ප. යේ නායක ජේ. ආර්. ජයවර්ධන, ධනවාදී ආර්ථික ප්‍රතිපත්තිය ඉතා සෘජු හා දැඩි ලෙස ලංකාව තුළ ක්‍රියාවට නැංවූ අතර, ඔහු ඊට ජාත්‍යන්තර සහාය ලබා ගත්තේ ඇමරිකාව ප්‍රමුඛ බටහිරෙන් ය. එනිසාම ඔහුව හැඳින් වූයේ යැංකි ඩිකී කියා ය.
    1994 චන්ද්‍රිකා බණ්ඩාරණායක කුමාරණතුංග බලයට පැමිණෙන තුරු රට පාලනය කළ යූ. ඇන්. පී. යේ ධනවාදී ආර්ථික ප්‍රතිපත්තියට විකල්පයක් චන්ද්‍රිකාට නො තිබිණ. ඒ අනුව ඇයගේ ආර්ථික පාඨය වූයේ ” විවෘත ආර්ථිකයට මානුෂික මුහුණුවරක් ” යන්නය.
    ලෝක බැංකුව හා ජාත්‍යන්තර මූල්‍ය අරමුදල මඟින් , ඔවුන්ගේ කොන්දේසි වලට යටත්ව ණය ලබා ගැනීමේ එ. ජා. ප. ප්‍රතිපත්තියට වෙනස්  විකල්පයක් චන්ද්‍රිකා මැතිණියට නොතිබිණ. 
    එක්සත් ජාතික පක්ෂයේ ප්‍රේමදාස යුගයේ සිදු වූ,  රාජ්‍ය දේපල කුණු කොල්ලයට විකුණා දැමීම, රාජ්‍ය ඉඩම් දේශපාලකයන් විසින් කුණු කොල්ලයට ලබා ගැනීම ඇතුළුව සියලු දූෂණ , චන්ද්‍රිකා පාලන සමයේදී ද නතර නොවීය.
    ජේ. ආර්. ගෙන් පටන් ගෙන ප්‍රේමදාස පසු කර ගෙන චන්ද්‍රිකා දක්වා විහිදුණු පාලන කාල පරාසය තුළ , සම්ප්‍රදායික ධනපති පංතිය යටපත් කරමින්, කොල්ලකාරී  සහ ජාවාරම්කාරී  නව ධනපති පංතියක් රට තුළ බිහි විය.
    එවකට පැවති සිවිල් යුද්ධය මේ කොල්ලකාරී ධනපති පංතියට මෙන්ම, ඇතැම් දේශපාලකයන්ට හා ඇතැම් රාජ්‍ය නිළධාරීන්ට ඉසුරින් පිරි නිධානයක් විය.
    මේ සියල්ල අතරේ ජාත්‍යන්තර සබඳකම් හා ණය ගණු දෙනු සිදු කෙරුනේ ඇමරිකාව ප්‍රමුඛ බරටහිර රාජ්‍යයන් සමඟය.
    චන්ද්‍රිකාගේ බලය මහින්ද රාජපක්ෂට මාරු විය. තිස් අවුරුදු යුද්ධයේ අවසාන කොටසේ , අවසානය සනිටුහන් කරන්නට ඒ පාලනයට හැකි විය.  එයින් පිබිදුණු  දකුණේ ජනතාව උද්දාමයට පත් වූවද, එම ජයග්‍රහනය රටේ සැබෑ ආර්ථික  හා සමාජ සංවර්ධනයකට යොදා ගැනීමට නායකයන්ට වැඩ පිළිවෙලක් නොවීය.
    යුද්ධයේ දී සිදු වූ මානව හිමිකම් උල්ලංඝණය කිරීම් පිළිබඳවත්, යුද්ධයෙන් පසුව සිදු වූ අති විශාල මානව හිමිකම් උල්ලංඝණය කිරීම් පිළිබඳවත් ජාත්‍යන්තර ප්‍රජාව තුළින් දැඩි විරෝධයක් මතු විය. විවිධ සම්බාධක පැනවීම් හමුවේ රාජපක්ෂ පාලනය යම් ආර්ථික අසීරුතාවයන්ට පත්විය.
    රටේ සංවර්ධනය සඳහා වූ ජාත්‍යන්තර මූල්‍ය මූලාශ්‍ර ලෙස සැලකූ ,ලෝක බැංකුව ,ජාත්‍යන්තර මූල්‍ය අරමුදල වැනි ආයතන ණය ලබා දීමේ දී සලකා බලන නිර්ණායකයන් වන, මානව හිමිකම්, කම්කරු නීති, ප්‍රජාතන්ත්‍රවාදී අයිතිවාසිකම් වැනි කරුණු හමුවේ රාජපක්ෂ ආණ්ඩුවට බොහෝ බාධා පැමිණියේය.
    අතීත එ. ජා. ප. ආණ්ඩු වලටත් වඩා දරුණු අන්දමින් ප්‍රජාතන්ත්‍ර විරෝධී කටයුතු මෙන්ම, මානව හිමිකම් කඩ කිරීම් සිදු කරන රාජ්‍ය පාලනයක් බවට රාජපක්ෂ පාලනය පත්විය.
    ඒ අනුව බණ්ඩාරණායකලාගේ මැද මාවතේ පක්ෂය, ධනවාදී ආර්ථික ප්‍රතිපත්ති ක්‍රියාවට නංවන පක්ෂයක් බවට පත්වීමේන් නො නැනවතී සීමිත ධනපති ප්‍රජාතන්ත්‍රවාදයවත් ලබා නොදෙන ජුන්ටාවක් බවට පත්වීමේ ලක්ෂණ මහින්ද රාජපක්ෂගේ නායකත්වය යටතේ සිදු විය.
    ලෝක බැංකුව ,ජාත්‍යන්තර මූල්‍ය අරමුදල වැනි බටහිර මූල්‍ය මූලාශ්‍ර වෙනුවට, චීනයෙන් ණය ලබා ගැනීමට රාජපක්ෂ පාලනය ක්‍රියා කරන්නට විය. 
    අධිවේගී මාර්ග සංවර්ධනය, හම්බන්තොට වරාය, සූරිය වැව ජාත්‍යන්තර ක්‍රීඩාංගනය, නෙලුම් පොකුණ ආදී කී නොකී බොහෝ ව්‍යාපෘති හතු පිපෙන්නා සේ එක විටම මතු වූයේ මේ චීන ණය ව්‍යාපෘතියට අනුවය.
    බටහිර රටවල් සහ මූල්‍ය මූලාශ්‍ර , ණය ලබා දීමේ දී සොයා බලන නිර්ණායක කිසිවක්, එනම් මානව හිමිකම්, ප්‍රජාතන්ත්‍රවාදය, කම්කරු නීති ආදී කිසිවක් චීන ණය ලබා ගැනීමේ දී අදාල වන්නේ නැත.
    අනෙක් අතට, බැලූ බැල්මට චීනය , ධනපති ඇමරිකාව මෙන් නොව කොමියුනිස්ට් ය. ඇමරිකාවට අභියෝග කරන තරමේ ලෝක බලවතෙක් ය. 
    ඒ නිසා ලෝක බැංකුවෙන් හෝ ජාත්‍යන්තර මූල්‍ය අරමුදලෙන් ණය හිඟා කනවාට වඩා චීනයෙන් ණය ලබා ගෙන රට සංවර්ධනය කරන එක කොච්චර හොඳ දැයි රාජපක්ෂවාදීන් විතරක් නොව පොදු ජනතාව ද සිතනවාට සැකයක් නැත.
    බටහිර අධිරාජ්‍යවාදයට එරෙහිව, ප්‍රසිද්ධ වේදිකා වල බැණ අඬ ගසන දේශප්‍රේමී දේශපාලකයන්ගේ සැබෑ අධිරාජ‍ය ගැති භාවය සොයා ගැනීමට පොදු ජනතාවට අපහසුය. 
    ඇමරිකානු ජනාධිපති ට්‍රම්ප් ද්‍රෝහියෙක් සහ යකෙක් බවත්, චීන ජනාධිපති ෂී ජින්පිං වීරයෙක් සහ ශාන්තුවරයෙක් බවත්, ජනතාව ඉදිරියේ පෙන්වා දීමට දේශපාලකයන්ට හැකිය.
    නව කොරෝනා වෛරසයේ තිඹිරි ගෙය වූ චීනය, එය තම රටට පමණක් සීමා කිරීමට කටයුතු නො කොට , මුළු ලොව පුරා විහිදුණු වසංගතයක් බවට පත් කිරීමට ඉඩ හැරීම සම්බන්ධයෙන් ලොවටම වන්දි ගෙවිය යුතු බව ඉතා පැහැදිලිය.
    මිලියන ගණනක් මිනිසුන් මරා දමමින්, ලෝක ආර්ථිකය අනපේක්ෂිත ලෙස බිඳ දමමින් සිදු කළ මෙම ක්‍රියාවට එරෙහිව , ඇමරිකාව ප්‍රමුඛ බටහිර රටවල් මෙන්ම, වෙනත් කලාපයන්ට අයත් රටවල් ද චීනයට එරෙහිව දැඩි ප්‍රතිචාර දක්වමින් සිටීම සාධාරණය.
    වෛරස් වසංගත සිද්ධියෙන් පසු , චීනයේ සැබෑ මුහුණුවර පිළිබඳව සොයා බලන්නටත්, චීන ඉතිහාසයේ සහ වර්තමානයේ ආර්ථික හා දේශපාලන හැඩතල සොයා බලන්නටත්, බොහෝ පිරිස් නැවතත් උනන්දුවක් දක්වමින් සිටිති.
    සැබැවින්ම චීනය කොමියුනිස්ට්වාදී රටක් ද? ධනවාදී රටක් ද? චීනය අත් විඳ ඇති ඇදහිය නොහැකි ආර්ථික වර්ධනයට හේතුව කුමක් ද? චීන ණය වැඩසටහනින් ණය ලාභී රටවලට සිදුවෙමින් ඇත්තේ කුමක් ද? 
    මේ කාරණා පිළිබඳව යම් හෝ දැනුවත් භාවයක් ශ්‍රී ලාංකික පුරවැසියා තුළ ද තිබිය යුතුය. ඊට හේතුව 2005 සිට 2014 අග දක්වා ශ්‍රී ලංකාව චීන ණය විශාල ප්‍රමාණයක් ලබා ගෙන තිබීමය.
    අනෙක් අතට චීන ණය ලබා ගැනීමට පාලකයන් දැක්වූ උනන්දුව පිටුපස තිබූ , බටහිර අධිරාජ්‍යවාදයට එරෙහි දේශප්‍රෙමීන්ගේ යථා ස්වභාවය අවබෝධ කර ගැනීමට ද  එමඟින් හැකිවනු ඇත.
    චීනයේ මාඕ සේතූං ගේ සිට වත්මන් පාලකයා දක්වා පැමිණි ගමනේ සුවිශේෂී වූ සංධිස්ථාන හඳුනා ගැනීමෙන් තොරව චීනයේ සිදු වී ඇති සමාජ , දේශපාලන හා ආර්ථික විපර්‍යාසය තේරුම් ගැනීමට නොහැක.
    චීනයේ වත්මන් ආර්ථික සංවර්ධනයේ මූලාරම්භකයා ලෙස සැලකෙන , ප්‍රංශයේ අධ්‍යාපනය ලැබූ ඩෙං ෂියාඕපින් පිළිබඳවත්, චීනයේ ගෝලීය යටිතල පහසුකම් හා සම්බන්ධතා වැඩසටහන මගින් ලබා දෙන චීන ණය ක්‍රමය පිළිබඳවත්, එම ණය ක්‍රමයට ගොදුරු වූ රටවල් 68 තුළ මතුව ඇති ගැටළු පිළිබඳවත් විමසා බැලීම වැදගත්ය. 
    එහෙත් එ්වා මෙහි සඳහන් කළ හොත් මේ සටහන දීර්ඝ වනු අැත. එහෙයින් එ්වාද රැගෙන  වෙනත් සටහන් කිහිපයකින් නැවත හමුවීමට බලාපොරොත්තු වෙමි.

    සුනිල් ගාමිණී

  • මොන යුද්ධය ජය ගත්තත් පලක් නැහැ ආර්ථික යුද්ධය ජයගන්න බැරිනම් – රවී කරුණානායක

    මොන යුද්ධය ජය ගත්තත් පලක් නැහැ ආර්ථික යුද්ධය ජයගන්න බැරිනම් – රවී කරුණානායක

    මේ වනවිට රටේ බොහෝමයක් සත්‍ය විකෘති කරලා තමයි වැඩකටයුතු සිදුකරන්නේ. මේ වනවිට ජනතාවට පොහොර ප්‍රශ්නයක් ඇති වෙලා තිබෙනවා. අපි 2015 බලයට පත්වූ අප ඒ වස්ථාවේ ජනතාවට හොහොර සහන ලබා දුන්නා. අද වනවිට මේ ආණ්ඩුව තුළින් ජනතාවට මුදල් වියදම් කරලාවත් පොහොර ලබාගන්න බැරි තත්ත්වයක් උදා වෙලා. ජනතාවට ලබා දෙන්න තිබුණ පොහොර කෝ කියලා මම ආණ්ඩුවෙන් අහන්න කැමතියි.

    ඒ වගේම ගෑස් මිල. 2015 දී අපි ගෑස් මිල අඩු කලා. අද වෙනවිට ගෑස් මිල විශාල වශයෙන් අඩු කරන්න පුලුවන්. ඇයි එය  නොකරන්නේ. මිල අඩු වෙනවා කියන්නේ රජයේ ආදයම වැඩි වෙනවා කියන එකද. ඒ වගෙම තමයි තෙල් මිල.  ලෝක තෙල් මිල අඩුවෙද්දි අපේ රටේ මිල වැඩි කරනවා.

    අඩු ගානේ මේ වැඩිවන මිලේ ආදායම රජයට ලැබෙනවානම් කමක්නැහැ. නමුත් අයිඕසී එක මගින් වැඩි කරන තෙල් මිලේ වාසිය යන්නේ කොහෙටද.කොරෝනා තුළ හැම දේම යටපත් කරන්න හදන්නෙපා යැයි හිටපු අමාත්‍ය, පාර්ලිමේන්තු මන්ත්‍රී, එක්සත් ජාතික පක්ෂයේ කොළඹ දිස්ත්‍රික් නායක රවී කරුණානායක මහතා රජයට අවධාරණය කරයි.

    ඒ මහතා මෙම අදහස් පළකළේ, ඊයේ (20) රාජගිරියේ දී මාධ්‍ය දැනුවත් කිරීම වෙනුවෙන් පැවති විශේෂ මාධ්‍ය හමුවකට සහභාගි වෙමිනි.

    මෙහිදී වැඩිදුරටත් අදහස් දැක්වූ කරුණානායක මහතා,

    අපි වවමු රට නගමු කියලා කිව්වට වැඩක් නැහැ. ගොවීන්ගේ ඵලදාව මිලදී ගෙන, ඔවුන්ට සහන සලසන්න ක්‍රියාකළ යුතුයි. අද වෙනවිට ගොවීන් විශාල ලෙස අසරණ වෙලා සිටිනවා.

    අද ඔවුන්ගේ ඵලදාව කුණුකොල්ලයට ගිහින්. මිලක් නියම කරගන්න නොහැකිව ඔවුන් හඩා වැටෙනවා. මෙහෙම තත්ත්වයක් යටතේ අපි වවමු රට නගමු කියලා තේරුමක් නැහැ.

    කොරෝනාව පරාජය කිරීම අත්‍යාවශ්‍යයි. අපි ඒ වෙනුවෙන් සෞඛය අංශ වලට, පොලීසියට, ත්‍රිවිධ හමුදාවට මෙන්ම විශේෂයේන ජනතාවට හිස නමා ආචාර කළ යුතුයි, දින 62 ක් ඉතාමත් අපහසුවෙන් ඇදිරි නීතිය තුළින් ගම්න කරලා මේ තත්ත්වය පරාජය කිරීමට සහයෝගය ලබාදීම පිළිබදව.ඒ එක්කම මොන යුද්ධය ජය ගත්තත් පලක් නැහැ, ආර්ථික යුද්ධය ජයගන්න බැරිනම් කියන එක අමතක කරන්නෙපා.  ඒ නිසා ජාතික ආර්ථිකය ශක්තිමත් කළ යුතුයි. නැතිනම් අපේ රටට නැගිටින්න බැරි තත්ත්වයක් උදාවේවි.

    රටේ මෙවැනි අර්බුධකාරි තත්ත්වයක් පවතින අවස්ථාවක, ඒ වෙනුවෙන්  රෝහල් ඉදිකරන්න හැකියාව තියෙද්දි, කෝටි ගණනක් වියම් කරලා ක්‍රිකට් ක්‍රීඩාංගන හදන්න හදන එක නිවැරදි ක්‍රියාවක්ද. බන්ධුල ගුණවර්ධන මහතා නිරන්රයෙන්ම රටේ ආන්දෝලාත්මක ප්‍රකාශ කරන කෙනෙක්. එතුමා තමයි මෙම ක්‍රීඩාංගනය පිළිබදවත් ප්‍රකාශ ඉදිරිපත් කරන්නේ. නමුත් ක්‍රිකට් ක්‍රීඩාව ගැන මනා දැනුමක් ඇති අර්ජුන රණතුංග මහතා ප්‍රකාශ කරනවා, ලංකාව තුල ක්‍රිකට්ක්‍රීඩාව වෙනුවෙන් දැනට අවශ්‍ය ප්‍රමණයටත් වඩා පහසුකම් තිබෙන බව. එහෙමනම් මේ වගේඅර්බුධකාරී වාතාවරණයක් රටේ පවතින අවස්ථාවක, රෝහල් 35 ක් වැනි ප්‍රමාණයක් ඉදිකරන්න හැකියාව ඇති මුදල් ප්‍රමාණයක් යොදවලා, ක්‍රිකට් ක්‍රීඩාංගනයක් ඉදිකරන එක විහිළුවක් නෙමෙයිද. අඩුගානේ පෙරපාසල් ඉදිකළා නම් හොද නැද්ද. මේක ප්‍රාග්ධන වියදමක්. ඒක ජනතාවට දෙන්න කියලා අපි කියන්නේ නැහැ. මේ අවස්ථාවේ වඩාත්ම උපයෝගීතාවක් සහිත දෙයකට නේද මේක වියදම් කරන්න ඕන.

    පැවැත්විමට නියමිත මැතිවරණය සම්බන්ධයෙන් කරුණු දැක්වූ රවී කරුණානායක මහතා,

    ඡන්ද කොමසාරිස් සහ ඡන්ද කොමිසම අද වෙනවිට අපි කියූ දෙය පිළිගෙන තිබීම සම්බනධයෙන් මම ඉතාමත් සතුටට පත් වෙනවා. අපි බොරුවට නිශ්ප්‍රභා කරන්න අවශ්‍ය වුනේ නහැ. රටේ පවතින තත්ත්වය හමුවේ රටට අවශ්‍ය වුනේ ඡන්දයක් නොවෙයි. සෞඛ්‍ය අංශ, ආරක්ෂක අංශ නිර්දේශ කිරීමෙන් පසුව ජනතාව සාමාන්‍ය ජන ජීවිතයකට පත්වීමෙන් අනතුරුව ඡන්දයක් තියන එක සුදුසුයි කියලයි අපි කිව්වේ. ඒ තතත්ත්වය තමයි ප්‍රායෝගික වන්නේ යැයි පැවසීය.

    එක්සත් ජාතික පක්ෂයේ ස්ථාවරය සම්බන්ධයෙන් මාධ්‍ය විසින් ඇසූ ප්‍රශ්න වලට පිලිතුරු දුන් කරුණානායක මහතා,

    එක්සත් ජාතික පක්ෂය තුලින් යම්යම් හේතුන් මත පක්ෂයෙන් එළියට ගිහින්, පක්ෂය කඩාවට්ටන්න දගලන පිරිස් වැඩකරන්නේ ළදරු පාසැල්වත් නොගිය ආකාරයට. පක්ෂයේ කෘත්‍යාධිකාරි මණ්ඩලයේ තීරණය තමයි නිවැරදි තීරණය. ඒ තීරණ විකෘති කරලා, වැරදි අවබෝධයක් ඇති කරලා ඇතැම් පිරිස් ජනතාව නොමග අරින්න උත්සහ කරනවා. ආගමක් වගේ පක්ෂය අදහස, සුරකින ආදරය කරන ජනතාවට මේ පක්ෂය ආරක්ෂා කරදීමට අපි බැදී සිටිනවා. එක්සත් ජාතික පක්ෂය කියන්නේ ජනතාව තුළින් ගමන් කරන පක්ෂයක්. කොකාගේ සුද පෙනෙන්නේ ඉගිලෙන කොටයි.

    අන්නඒ වගේ අද වනවිට ජනතාව අපේ ප්කෂයේ ක්‍රියාකලාපය දැකලා, පක්ෂය වටා එක්රැස් වෙමින් සිටිනවා. මේකයි සැබෑ තත්ත්වය. ජනතාවට ඔබින පරිදි හැඩගැහිලා, විශාල ජනතා මනාපයක් ලබාගන්නා පක්ෂයක් බවට අපි එක්සත් ජාතික පක්ෂය පත් කරනවා. පක්ෂයේ මහ ගෙදරින් පිටමං වෙලා සිහින දකින අයට වඩා යමක් අපට පක්ෂය වෙනුවෙන් කරන්න හැකිවෙලා තිබෙනවා. අපි කවදාවත් ත්‍රිවිධ හමුදවට පොලීසියට අකටයුත්තක් කරලා නැහැ . අන්න  ඒ නිසා තමයි අපි පළමුව ත්‍රවිධ හමුදාවට 35% ක වැටුප් වර්ධනයක් ඇති කළේ. ඒ වගේම පොලීසියට වසර ගනනාවක් නොලැබුණ වැටුප් සහ විශ්‍රාම වැටුප් ලබාදීමට කටයුතු කළේ. මම පක්ෂයේ නායකතුමා, පක්ෂයේ ප්‍රතිපත්ති ආරක්ෂා කරගෙන කණ්ඩායම් ස්වරූපයෙන් ක්‍රීඩාකරන කෙනෙක්. එහෙම නැතිව බෝල යවන්නා, පන්දුවට පහර දෙන්නා, කඩුලු රකින්නා කියන හැම අවස්ථාවකම ක්‍රීඩා කරන්නෙක් නෙමෙයි. කණ්ඩායම් ස්වරූපයෙන් ක්‍රීඩා කරලා ජයග්‍රහණය ගැන එක තමයි අපේ තිබෙන සුවිශේෂීභාවය. අපට ශෝට් කට් නැහැ. බෞද්ධාගමට විරුද්ධ ප්‍රකාශ කරන අය, අන්තවාදි ආගම් පිලිබද කතා කරන අය, පාස්තු බෝම්බ ගැන මත පලකරන අය, සිරිකොතට  ගල් ගැහුව අය අද අපි ලග නැහැ. ඒ අය අද වනවිට ඒ අයට අදාල ස්ථාන වල සිටින්නේ. ඒ ආකාරයේ අද පක්ෂය තුල නොමැති පිරිස් පිළිබදව එක්සත් ජාතික පක්ෂයට අදාළ කරලා පලක් නැහැ යැයි පැවසීය.

  • EPF සහ සමෘද්ධි අරමුදලට ස්ථිර ආදායම් මාර්ග සොයයි

    EPF සහ සමෘද්ධි අරමුදලට ස්ථිර ආදායම් මාර්ග සොයයි

    ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා අද (21) ජනාධිපති කාර්යාලයේ දී රාජ්‍ය ඖෂධ සංස්ථා දෙකෙහි සභාපතිවරු සමග ඖෂධ නිෂ්පාදනය, ආනයනය හා බෙදාහැරීම පිළිබඳව විමර්ශනයක නිරත විය.

    රට තුළ ඖෂධ සැපයුම සකස්වී ඇත්තේ කෙසේදැයි ජනාධිපතිවරයා කළ විමසුමකට පිළිතුරු දුන් රාජ්‍ය ඖෂධ සංස්ථාවේ සභාපති විශේෂඥ වෛද්‍ය ප්‍රසන්න ගුණසේන මහතා ඖෂධ සැපයුම ක්‍රම 03කට සිදුවන බව කීය. ඒ රාජ්‍ය අංශයේ නිෂ්පාදන, පෞද්ගලික අංශයේ නිෂ්පාදන සහ දෙඅංශයම කරන ආනයන වශයෙනි.

    රට තුළ ඖෂධ වර්ග 750ක් පමණ භාවිත වන බවත්, ආනයනයේදී ප්‍රසම්පාදන ක්‍රියාවලියට මාස කිහිපයක් ගත වන බැවින් ඇතැම්විට හිඟයක් ඇති වන බවත් සභාපතිවරයා කීය.

    ඖෂධ සැපයුමේ කිසිදු හිඟයකට ඉඩ නොතබන්නැයි උපදෙස් දුන් ජනාධිපතිවරයා කලින් වසරේ ඉල්ලුම් රටාව අධ්‍යයනය කොට ඊළග වසරේ ඖෂධ අවශ්‍යතාව තීරණය කළයුතු බව පැවසීය.

    අතරමැදියන් කිහිප දෙනෙකුගේ ලාභය නොව ජනතාවගේ පාර්ශ්වයෙන් බලා ඖෂධ නිෂ්පාදනය සහ සැපයුම විධිමත් කළ යුතුය. ඖෂධ ආනයනය සහ සැපයුම සඳහා සරල ක්‍රමයක් සකස් කිරීම ප්‍රමුඛ අවශ්‍යතාවකි. සියලු ඖෂධ ඉහළම ප්‍රමිතියෙන් තිබිය යුතු බව අවධාරණය කළ ජනාධිපතිවරයා ගුණාත්මක අගයෙන් බාල ඖෂධ නිෂ්පාදනයට හෝ ආනයනයට හෝ ඉඩ නොතබන ලෙස උපදෙස් දුන්නේය.

    හිඟයක් ඇතිවීම වළක්වනු පිණිස ආරක්ෂිත තොග පවත්වා ගැනීමේ අවශ්‍යතාව අවධාරණය කළ ජනාධිපතිවරයා ඖෂධ කල් ඉකුත්වීමේ දින ගණනය කොට ඇණවුම් කළයුතු බව පෙන්වා දුන්නේය.

    රෝහල්වලට අවශ්‍ය ඖෂධ වර්ග 80ක් තම ආයතනය නිෂ්පාදනය කරන බව සඳහන් කළ රාජ්‍ය ඖෂධ නිෂ්පාදන සංස්ථාවේ සභාපති වෛද්‍ය උත්පල ඉන්ද්‍රවංශ මහතා සේලයින් ඇතුළු තවත් බොහෝ වෛද්‍ය සැපයුම් දේශියව නිෂ්පාදනය කිරීමට සැලසුම් කර ඇති බව පැවසීය. එමගින් වසරකට රුපියල් කෝටි 130ක් පමණ ඉතිරි කර ගැනීමට හැකි වෙතැයි සභාපතිවරයා කීය.

    සේවක අර්ථ සාධක අරමුදල සහ සමෘද්ධි ව්‍යාපාරය සතු මුදල් ඖෂධ නිෂ්පාදන කර්මාන්තයෙහි ආයෝජනය කිරීමේ ඉඩ කඩ ද සාකච්ඡාවේ දි විමර්ශනය කෙරිණ. එවැනි ක්‍රමයක් සකස් කළහොත් මේ අරමුදල් දෙකට ස්ථීර ආදායමක් විවෘත වනු ඇතැයි ජනාධිපතිවරයා පෙන්වා දුන්නේය.

    ජනාධිපති ලේකම් පී.බී. ජයසුන්දර, සෞඛ්‍ය සහ දේශීය වෛද්‍ය සේවා අමාත්‍යාංශයේ ලේකම් මේජර් ජනරාල් සංජීව මුණසිංහ යන මහත්වරු  සහ භාණ්ඩාගාර නියෝජිතයෝ සාකච්ඡාවට එක්ව සිටියහ.

  • ලංකාව ඇතුළු දුප්පත් රටවල මිලියන 60ක ජනතාවක් අමු හිගන්නෝ බවට !

    ලංකාව ඇතුළු දුප්පත් රටවල මිලියන 60ක ජනතාවක් අමු හිගන්නෝ බවට !

    ගෝලීය වශයෙන් වර්ධනය වෙමින් පවතින මෙම වාතාවරණය තුළ ශ්‍රී ලංකාව විසින් තවත් මාස කිහිපයකින් ගෙවීමට ඇති ඩොලර් බිලියන 4.5ක ණය වාරික සම්බන්ධයෙන් සංකීර්ණ තත්ත්වයක් උද්ගත විය හැකි බව ආර්ථික විශේෂඥයින්ගේ අදහසයි

    කොරෝනා ගෝලීය වසංගතය හමුවේ දැඩි සේ පීඩා විදින දිළිදු රටවලට ලබා දී ඇති ණය වෙනුවෙන් සහන ලබා දීම සඳහා වාණිජ බැංකු තවමත් කල් මරමින් සිටීම පිළිබඳව තමන් කනස්සල්ලට පත්වී සිටීම ගැන තමා දැඩිව කණස්සල්ලට පත්ව සිටින බව ලෝක බැංකු සභාපති ඩේවිඩ් මැල්පාස් David Malpass කියයි.

    කොරෝනා ගෝලීය වසංගතය හමුවේ වර්ධනය වෙමින් පවතින ගෝලීය ආර්ථික අර්බුදය සහ ඒ හරහා නිර්මාණය වෙමින් පවතින සංකීර්ණතා ගැන මාධ්‍ය හමුවේ කරුණු පැහැදිලි කරමින් ලෝක බැංකු සභාපතිවරයා පසුගිය දා මේ බව ප්‍රකාශ කළේය.

    මෙහිදී ඔහු සදහන් කළේ කොවිඩ්-19 ගෝලීය වසංගතය හේතුවෙන් ලොව පුරා මිලියන 60ක ජනතාවක් ‘අන්ත දිළිදුභාවයට පත්වනු ඇති බවයි. දිළිදුකම ජය ගැනීම සදහා පසුගිය කාලය තුළ අනුගමනය කළ සියලු ක්‍රියාමාර්ග මේ අනුව බිද වැටෙනු ඇති බව ද ඔහු සදහන් කළේය.

    “ජීවනෝපායන් මිලියන ගණනක් විනාශ වෙලා. ලොව පුරා සෞඛ්‍ය සේවා අධික පීඩනයකට ලක් වෙලා. අපේ ඇස්තමේන්තුව මිනිසුන් මිලියන 60ක් දක්වා ප්‍රමාණයක් අන්ත දිළිඳුභාවයට තල්ලු විය හැකි බවයි. එමගින් පසුගිය තුන් වසර තුළ දිළිඳු බව තුරන් කිරීම වෙනුවෙන් ලැබූ ප්‍රගතිය සම්පූර්ණයෙන් ම මැකී යනවා ‘ඔහු සිය කණස්සල්ල පළ කරමින් කියා සිටියේය.

    ලෝක බැංකුව විසින් අන්ත දිළිඳුභාවය ලෙස අර්ථදක්වන්නේ පුද්ගලයෙකුට දිනකට ඩොලර් 1.90ට වඩා අඩු ආදායමකින් ජීවත් වීමට සිදු වීමය.

    මේ අතර ගෝලීය ආර්ථික අවපාතයක් ගැන සිය අදහස පළ කරමින් ලෝක බැංකුවේ සභාපතිවරයා කියා සිටියේ ගෝලීය අර්ථීක වර්ධනය මෙම වසර තුළදී 5%කින් හැකිලෙනු ඇති බවට ලෝක බැංකුව අපේක්ෂා කරන බවයි.

    මෙහිදී කොවිඩු-19 වසංගතයෙන් බැටකන දිළිදු රටවලට තමන් විසින් ලබාදීමට සැලසුම්කර ඇති සහන ගැන ද ඔහු කරුණු අනාවරණය කළේය.

    දිළිදු රටවල් මුහුණ පා සිටින තත්ත්වය සහ එයට ලෝක බැංකුව විසින් ඉදිරිපත් කර ඇති විසදුම් ගැන පැහැදිලි කරමින් ලෝක බැංකු සභාපතිවරයා කියා සිටියේ, දිළිඳු රටවලට ලබා දී ඇති ණය වෙනුවෙන් සහන ලබා දීම සඳහා වාණිජ බැංකු තවමත් කල් මරමින් සිටීම පිළිබඳව තමන් කනස්සල්ලට පත්වී සිටින බවයි.

    ‘කොරෝනාවෛරසය හේතුවෙන් මතු වී ඇති ආර්ථික අර්බුදයෙන් ගොඩ ඒම සඳහා දිළිඳු රටවලට සහය වීමට ඩොලර් බිලියන 160ක මුදලක් ලෝක බැංකුව වෙන් කර තිබෛනවා.මෙය ආධාර දීමනා වශයෙන් සහ අඩු පොලී ණය වශයෙන් එම රටවලට ලබා දීමට නියමිතයි. ලෝක ජනගහනයෙන් 70%කට නිවහන වී ඇති රටවල් 100ක් සඳහා හදිසි මූල්‍ය ආධාර දැනටමත් ලබා දී තිබෙනවා. ඒත් ලෝක බැංකුව සැලකිය යුතු සම්පත් ලබා දෙමින් සිටියත් එය ප්‍රමාණවත් වන්නේ නැහැ.” ලෝක බැංකු සභාපති ඩේවිඩ් මැල්පාස් අවධාරණය කළේය.

    මෙහිදී දිළිදු රටවල් මුහුණ පා සිටින තත්ත්වය සහ එයට ලෝක බැංකුව විසින් ඉදිරිපත් කර ඇති විසදුම් ගැන පැහැදිලි කරමින් ලෝක බැංකු සභාපතිවරයා කියා සිටියේ, දිළිඳු රටවලට ලබා දී ඇති ණය වෙනුවෙන් සහන ලබා දීම සඳහා වාණිජ බැංකු තවමත් කල් මරමින් සිටීම පිළිබඳව තමන් කනස්සල්ලට පත්වී සිටින බවයි.

    “ඒ සඳහා පවතින මන්දගාමී ස්වභාවය ගැන මට යම්කිසි කනස්සල්ලක් තියෙනවා. වාණිජ මට්ටමින් ණය ලබා දෙන්නන් ඉතාමත්ම දුප්පත් රටවලින් පවා තවමත් මුදල් අය කර ගන්නවා. ඒ සඳහා ඉක්මන් පියවර ගත යුතුව තිබෙනවා.”

    G20 කණ්ඩායමට අයත් රටවලින් ලබා ගෙන ඇති ණය වෙනුවෙන් දුප්පත් රටවල් ආපසු ගෙවමින් පවතින වාරික මෙම වසර අවසානය වනතුරු නොගෙවා සිටීම සඳහා ඉල්ලුම් කළ හැකි යෝජනා ක්‍රමයක් දියත් කිරීමට ලෝක බැංකුව සහ ජාත්‍යන්තර මුල්‍ය අරමුදල එක්ව කටයුතු කළ බව ද මැල්පාස් කියා සිිටියේය.

    ‘ජීවනෝපායන් මිලියන ගණනක් විනාශ වෙලා. ලොව පුරා සෞඛ්‍ය සේවා අධික පීඩනයකට ලක් වෙලා. මෙයට කඩිනම් විසදුමක් අවශ්‍යයි” ලෝක බැංකු සභාපතිවරයා ප්‍රකාශ කළේය.

    මේ අතර JP Morgan බැංකුවේ ප්‍රධාන විධායක ජෙමී ඩීමන් කියා සිටියේ මීට වඩා සාධාරණ වූ සමාජයක් ගොඩනැගීමේ අවශ්‍යතාව සිහිපත් කරවීම සඳහා ලැබුණු “ඇස් අරවන ඇමතුමක්” ලෙස මෙම කොරෝනාවෛරස් වසංගතය භාරගත යුතු බවයි.

    “මිනිසුන් වැඩි ප්‍රමාණයකට අවස්ථා සැපයෙන ආර්ථිකයක් ගොඩ නැගීම සඳහා මෙම අර්බුදය අප යොදා ගනු ඇතැයි මම දැඩි ලෙස බලාපොරොත්තු තබාගෙන සිටිනවා; විශේෂයෙන් ම අතිශය දීර්ඝ කාලයක් තිස්සේ අතහැර දමා සිටි මිනිසුන් වෙනුවෙන්.” ජෙමී ඩීමන් මෙම සටහන ලියා තිබුණේ ලෝක බැංකුවේ කොටස්කරුවන්ගේ වාර්ෂික හමුව අඟහරුවාදා (මැයි 19)පැවැත්වීමට නියමිතව තිබියදී වීම විශේෂත්වයකි.

    ගෝලීය වශයෙන් වර්ධනය වෙමින් පවතින මෙම වාතාවරණය තුළ ශ්‍රී ලංකාව විසින් තවත් මාස කිහිපයකින් ගෙවීමට ඇති ඩොලර් බිලියන 4.5ක ණය වාරික සම්බන්ධයෙන් සංකීර්ණ තත්ත්වයක් උද්ගත විය හැකි බව ආර්ථික විශේෂඥයින්ගේ අදහසයි.

    අපනයන සංවර්ධනය ගැන හදපු සැලසුම් (සුළු අපනයන බෝග) දේශපාලනඥයින්ව ඔසවා තබන සිහින සාප්පු වුණා මිස ඒවා මේ භූමිය තුළ ක්‍රියාත්මක වුණේ නැහැ. දැන් වුණත් අපිට පැහැදිලිව පෙනී යන්නේ කතා සාප්පු කරන බව පමණයි‘

    නිලධාරීන්ගේ කතා සාප්පු වහලා භූමිය මත වැඩ කළ යුතුයි

    ‘අපි ණය අරගෙන කළේ කිසිදු ආර්ථික ඵලදායීතාවක් නැති ව්‍යාපෘති හා සැලසුම් ක්‍රියාත්මක කිරීම. දේශපාලනඥයින් තමන්ගේ ප්‍රතිරූපය වර්ධනය කර ගැනීම ජාතික ධනය සහ විදේශ ණය යොදා ගෙන තිබෙනවා. විශේෂයෙන් පසුගිය දශකය තුළ මෙරට ක්‍රියාත්මක කළ කිසිදු දැවැන්ත සංවර්ධන ව්‍යාපෘතියකින් අපේක්ෂිත ප්‍රතිලාභ ලැබිලා නැහැ. විශේෂයෙන් කෘෂිකර්මාන්තයේ අත්‍යවශ්‍ය ප්‍රමුඛතා ගැන නොසලකා දියත් කළ මොරගහකන්ද – කලුගග වැනි ව්‍යාපෘතිවලිනුත් නිවාස වැඩපිළිවෙළ තුළිනුත් කිසිදු ආර්ථික වටිනාකමක් ලැබී නැහැ. අපනයන සංවර්ධනය ගැන හදපු සැලසුම් (සුළු අපනයන බෝග) දේශපාලනඥයින්ව ඔසවා තබන සිහින සාප්පු වුණා මිස ඒවා මේ භූමිය තුළ ක්‍රියාත්මක වුණේ නැහැ. දැන් වුණත් අපිට පැහැදිලිව පෙනී යන්නේ කතා සාප්පු කරන බව පමණයි‘ මේ සම්බන්ධයෙන් අදහස් දක්වමින් දේශපාලන හා ආර්ථික විශ්ලේෂක ආචාර්ය ඉන්ද්‍රජිත් හේවාවිතාරණ මහතා සදහන් කළේය.

    බී.බී.සී වාර්තාවක් සහ පසුබිම් වාර්තා මත සැකසුම – තීක්ෂණ වෙළෙන්එගොඩ

  • ඉන්දියාවේ බටහිර බෙංගාලය විනාශයි !

    ඉන්දියාවේ බටහිර බෙංගාලය විනාශයි !

    ඇම්ෆාන් සුළි කුණාටුවෙන් නැගෙනහිර ඉන්දියාවේ කොල්කටා නගරය බලවත් විනාශයක් සිදු වුණා. ඉන්දීය මාධ්‍ය වාර්තා කරන ආකාරයට ඊයේ (20) දිනයේ දී සුළි කුණාටුව නැගෙනහිර ඉන්දියාවට සහ බංග්ලාදේශයට කඩා වැටුණු අතර සුළි කුණාටුවෙන් සහ අධික වර්ෂාවෙන් සහ වෙරළබඩ ප්‍රදේශවල අවම වශයෙන් පුද්ගලයින් 15 දෙනෙකු ජීවිතක්ෂයට පත්ව තිබෙනවා.

    කොල්කටා හි මිලියන 14 ක ජනතාවගෙන් බොහෝ දෙනෙක් විදුලිය නොමැති අතර සන්නිවේදනය කඩාකප්පල් වී ඇති බවයි මාධ්‍ය වාර්තා කියන්නේ.

    බටහිර බෙංගාල මහ ඇමති මමාටා බැනර්ජි කියා සිටියේ මෙම විනාශය කොවිඩ් -19 ට වඩා විශාල ව්‍යසනයක් බවයි.

    කොල්කටා යනු බටහිර බෙංගාල ප්‍රාන්තයේ අගනුවර වන අතර එහි කොවිඩ්-19 ආසාදිතයින් 3,103 ක් තහවුරු වී තිබෙනවා.

    “නගරයේ ප්‍රදේශ බොහොමයක් විනාශ වී ගිහින්. මම අද යුද්ධයට සමාන තත්වයක් දැක්කා” යැයි බැනර්ජි මහත්මිය සඳහන් කළාය.

    කුණාටුව හේතුවෙන් බටහිර බෙංගාලයේ පුද්ගලයින් 10-12 ක් මිය ගොස් ඇති බව ඇය පැවසුවාය. දකුණු හා උතුරු දිස්ත්‍රික්ක තුන වන පර්ගනා සහ නැගෙනහිර මිඩ්නාපූර් යන දිස්ත්‍රික්ක තුනට වඩාත්ම පීඩාවට පත්ව ඇත.

    සිතියම

    කොල්කටා හි වෙසෙන බීබීසී බෙංගාලි සේවයේ වාර්තාකාරිනී අමිතාබා භට්ටසාලි පැවසුවේ නගරයේ සහ එහි අසල්වැසි දිස්ත්‍රික්ක බොහොමයකට පැය 17ක් පුරා විදුලිය නොමැති බවත් සුළි කුණාටුවේ දැඩි ප්‍රහාරයට ලක් වූ සමහර ප්‍රදේශවල ජංගම දුරකථන ජාල ද අක්‍රිය වී ඇති බව ඇය වැඩි දුරටත් සදහන් කරයි.

    “දෙවියන්ට ස්තූතියි, අපි ආරක්ෂිතයි,” තවත් නිවැසියෙක් ටයිල් කළ වහලවල් පුපුරවා හරින ආකාරය පිළිබඳ දර්ශන බෙදාහදා ගනිමින් පැවසුවේය.

    බස්රථ ගාලක් මත ගස් කඩා වැටීමෙන් සිදුව ඇති විනාශය

    ප්‍රාදේශීය පුවත් ජාලයන් විසින් උදුරා වැටුණු ගස්, විනාශ වූ වාහන සහ නිසා වල දර්ශන පෙන්වන ලදී.

    කුණාටුව ආරම්භ වීමෙන් පසු ෆේස්බුක් හි කාජල් බාසු මෙසේ ලිවීය.

    නගරයේ උස් ගොඩනැගිල්ලක 12 වන මහලේ ජීවත් වන කාජල් බාසු මහතා මුහුණු පොත හරහා කියා සිටියේ තම ගොඩනැගිල්ල භූමිකම්පාවක් අනුකරණය කරමින් දෙපැත්තට තල්ලු වී ඇති බවයි.

    කුණාටුව ඇති වන විට බොහෝ දෙනා නිවාසවල සිටියහ. කොවිඩ්-19 වසංගතය හේතුවෙන් නගරය අගුලු දමා ඇති අතර නිලධාරීන් ද දින ගණනාවක් සුළි සුළඟට සූදානම් වෙමින් සිටියහ.

    “මහා විනාශයක් සිදුවන ආකාරය අපි ඇස්වලින්ම දැක්වා. හිතා ගන්න බැහැ ඒවැනි විනාශයක් සිදුවිය හැකියි කියලා. මේ විනාශය සැබැහින් දැක්ක අපේ ළමයින් කෑගැසුවා” යැයි පදිංචිකරුවෙකු වන ෂමික් බෑග් බීබීසීයට පැවසුවාය.

    “සියලු දොරවල් සහ ජනෙල් තදින් වසා තිබියදීත්, පිටතින් හමා එන සුළඟේ පීඩනය යටතේ මගේ නිවස කෙඳිරිගාන්න පටන් ගත්තා. මිනිත්තු 45 ක් ඇතුළත පිටත වීදි ජලයෙන් යටවුණා.

    ටෙලිග්‍රාෆ් පුවත්පත පැවසුවේ කල්කටාවේ ජලයෙන් යට වූ මාර්ග “බදාදා රාත්‍රියේ අඳුරු හා ලිස්සන උරගයක් මෙන් දිස් වූ නිසා හමායන සුළං දිගින් දිගටම නගරයේ පාළු වූ ඇම්ෆාන් විනාශ වූ කොරිඩෝවෙහි හොල්මන් කරයි”.

    මේ අතර බලධාරීන් සදහන් කරන්නේ කොරෝනා වෛරස් සීමා කිරීම් හදිසි සහ සහන කටයුතුවලට බාධා පමුණුවන බවයි.

    කොවිඩ් -19 සහ සමාජ-දුරස්ථ ක්‍රියාමාර්ග නිසා බලධාරීන්ට විශාල වශයෙන් ජනතාව ඉවත් කිරීම වඩාත් දුෂ්කර වී ඇති අතර, සම්පූර්ණ ධාරිතාවයට නවාතැන් භාවිතා කළ නොහැකිය.

    මෙම කුණාටුව 1999 සිට බෙංගාල බොක්කෙහි ඇති වූ පළමු සුපිරි සුළි කුණාටුවයි. එහි ශක්තිය මේ වන විට දුර්වල වී ඇතත් එය තවමත් දරුණු සුළි සුළඟක් ලෙස වර්ගීකරණය කර ඇත.

    බී.බී.සී වාර්තාවක් ඇසුරිණි – සකස් කළේ – තීක්ෂණ වෙළෙන්එගොඩ

  • අයිශ්වර්යා රායිගේ සාරාගී බව ලොවට කියා පෑ සුපිරිම සුපිරි විලාසිතා 32ක් මෙන්න

    අයිශ්වර්යා රායිගේ සාරාගී බව ලොවට කියා පෑ සුපිරිම සුපිරි විලාසිතා 32ක් මෙන්න

    අයිශ්චර්යා‘ ඇය නම අනුව ම ලොව ලස්සනම කාන්තාව ලෙස සැලකෙන අතර 1994 දී ලෝක රූ රැජින ලෙස කිරුළු පළඳින දා සිට අයිශ්වර්යා රායි බච්චන් කිසිදු පසුබෑමකට මුහුණ දී නැහැ. ඇය එදා අත්කර ගත් කීර්තිය අදත් නොනැසී පවත්වා ගෙන යන අතර බොලිවුඩයේ බලවත්ම පුද්ගලයාගේ ලේලිය (අමිතාබ් බචන්ගේ) ලෙසත්, බොලිවුඩයේ කඩවයම්ම නළුවකුගේ (අභිෂේක් බච්චන්) බිරිද ලෙසත් තවත් බලවත් හා කීර්තිමත් වී සිටිනවා.

    ආයිශ්චර්යා සතු මේ ජනප්‍රියභාවය හා බලය නිසාම ඇය නිරන්තරයෙන් ජාත්‍යන්තර තලයේ කතාබහට ලක් වෙනවා. ඡායාරූපවලට හසුවෙනවා. එයින් ඇයගේ කීර්තිය හා සුන්දරත්වය තව තවත් ඔපවත් වෙනවා.

    මේ අතර ආයිශ්චර්යා ලොව ජනප්‍රියම හා වැදගත් සිනමා උළෙලක් වශයෙන් සැලකෙ ‘කෑන්ස් ‘ සිනමා උළෙලට ද අඛණ්ඩව සහභාගී වුණා. වාර්තාවලට අනුව සහභාගී වූ අයිශ්වර්යා 2002 දී කෑන්ස් රතු කාපට්‌ මතින් සිය ගමන ආරම්භ කළේ දේවදස්‌ ගෝලීය වේදිකාවක තිරගත වූ අවස්ථාවේදීයි. 

    ඇය එදා සුන්දර දීප්තිමත් කහ සාරියකින් සැරසී සිටි අතර මුළු ලෝකයම මේ සුරූපිනිය දෙස බලාසිටියා. ඉන්පසු ඇය සෑම වසරකම කෑන්ස් සිනමා උළෙලට සහභාගී වුණා.

    කෑන්ස් සිනමා උළෙලට සහභාගී වූ සෑම වසරකම ඇය අලුත් විලාසිතාවක් අත්හදා බැලූ අතර ලොව පුරා සිටින විලාසිතා ශිල්පීන් විස්මයටත් කුතුහලයටත් පත් කළා.

    වසර කිහිපයක් තනියවම කෑන්ස් රතු පළස මතින් ගමන් කළ ඇය ඊට පසුව ඉන්දියාවේ බලවත්ම පුද්ගලයාගේ පුතා සමග කෑන්ස් රතු පලස මතින් ගමන් කළා. ඒ සෑම අවස්ථාවකදීම ඇය සුන්දර – අසමසම විලාසිතාවකින් සැරසී සිටියා.

    කොවිඩ් වසංගතය හේතුවෙන් මේ වසරේ කෑන්ස් සිනමා උළෙල අවලංගු වූ බැවින්, 2002 සිට 2019 දක්වා අයිශ්වර්යා රායි කෑන්ස් සිනමා උළෙලට සහභාගීවීමේදී හැඩ වූ විලාසිතා 34ක් අපි ඔබට ඉදිරිපත් කරනවා.

    බලන්න, ඔබගේ සිත්ගත් සුරූපිනියගේ විලාසිතා ඔබටත් අනුගමනය කළ හැකිද කියා…

    අයිශ්වර්යා රායි බච්චන්

    ෂාරුක් ඛාන්, අයිශ්වර්යා රායි බච්චන්, සංජේ ලීලා බන්සාලි

    අයිශ්වර්යා රායි බච්චන්
    අයිශ්වර්යා රායි බච්චන්
    අයිශ්වර්යා රායි බච්චන්
    අයිශ්වර්යා රායි බච්චන්
    අයිශ්වර්යා රායි බච්චන්
    අයිශ්වර්යා රායි බච්චන්
    අයිශ්වර්යා රායි බච්චන්

    අභිෂේක් බච්චන්, අයිශ්වර්යා රායි බච්චන්

    අයිශ්වර්යා රායි බච්චන්
    අයිශ්වර්යා රායි බච්චන්
    අයිශ්වර්යා රායි බච්චන්
    අයිශ්වර්යා රායි බච්චන්
    අයිශ්වර්යා රායි බච්චන්

    අභිෂේක් බච්චන්, අයිශ්වර්යා රායි බච්චන්

    අයිශ්වර්යා රායි බච්චන්
    අයිශ්වර්යා රායි බච්චන්
    අයිශ්වර්යා රායි බච්චන්
    අයිශ්වර්යා රායි බච්චන්
    අයිශ්වර්යා රායි බච්චන්
    අයිශ්වර්යා රායි බච්චන්
    අයිශ්වර්යා රායි බච්චන්
    අයිශ්වර්යා රායි බච්චන්
    අයිශ්වර්යා රායි බච්චන්
    අයිශ්වර්යා රායි බච්චන්
    අයිශ්වර්යා රායි බච්චන්
    අයිශ්වර්යා රායි බච්චන්
    අයිශ්වර්යා රායි බච්චන්
    අයිශ්වර්යා රායි බච්චන්
    අයිශ්වර්යා රායි බච්චන්
    අයිශ්වර්යා රායි බච්චන්
    අයිශ්වර්යා රායි බච්චන්
    අයිශ්වර්යා රායි බච්චන්
    අයිශ්වර්යා රායි බච්චන්

    ඡායාරූප සහ වාර්තාව ෆිල්ම් ෆෙයාර් (මැයි 19 -2020) ඇසුරිණි – සැකසුම – තුෂාධවි

  • Covid-19 World Review: රුසියාව සහ බ්‍රසීලය පාලනයෙන් තොරවෙයි !

    Covid-19 World Review: රුසියාව සහ බ්‍රසීලය පාලනයෙන් තොරවෙයි !

    අද (20) දින පස්වරු 09.22ට සිදුකළ නවතම යාවත්කාලීන කිරීම් අනුව ගෝලීය වශයෙන් කොවිඩ්-19 ආසාදිතයින් සංඛ්‍යාව 4,931,057ක් සහ මරණ සංඛ්‍යාව 324,240ක් වූ බව ජෝන්ස් හොප්කින්ස් විශ්වවිද්‍යාලයේ නිල වෙබ් අඩියේ සදහන් වෙනවා. ඒ අනුව අද දිනය තුළ ගෝලීය වශයෙන් කොවිඩ්-19 ආසාදිතයින් 94,728ක් සහ මරණ 5027ක් වාර්තා වී තිබෙනවා.

    ගෝලීය වශයෙන් වැඩිම ආසාදිතයින් සංඛ්‍යාව වූ 8764ක් රුසියාවෙන් වාර්තා වී ඇති අතර ඇමෙරිකා එක්සත් ජනපදයෙන් 5424ක් සහ බ්‍රසීලයෙන් 3202ක් වාර්තා වී තිබෙනවා.

    අද දින වැඩිම මරණ සංඛ්‍යාව වූ 314ක් ඇමෙරිකා එක්සත් ජනපදයෙන් වාර්තා වී ඇති අතර රුසියාවෙන් මරණ 138ක් සහ බ්‍රසීලයෙන් මරණ 135ක් වාර්තා වී තිබෙනවා.

    ආසාදිතයින් 100,000ට වඩා වාර්තා වන රටවල්

    මේ වන විට 100,000කට වඩා කොවිඩ්-19 ආසාදිතයින් වාර්තා වන රටවල් ලෙස 1,532,212 US, 308,705 Russia, 271,885 Brazil, 250,141 United Kingdom, 232,555 Spain, 226,699 Italy, 180,934 France, 178,150 Germany, 151,615 Turkey, 126,949 Iran, 107,819 India වාර්තා වෙනවා.

    මරණ 1000ට වඩා වැඩියෙන් වාර්තාවන රටවල්

    වැඩිම මරණ සංඛ්‍යාවක් වාර්තා වන රටවල් අතර, 92,128  US, 35,422 United Kingdom, 32,169 Italy, 28,025  France, 27,888  Spain, 17,983  Brazil, 9,150  Belgium, 8,136 Germany, 7,183  Iran, 6,029  Canada, 5,767  Netherlands, 5,666 Mexico, 4,638 China, 4,199  Turkey, 3,831 Sweden, 3,317 India, 2,972 , Russia, 2,914  Peru, 2,839 Ecuador, 1,892  Switzerland, 1,561  Ireland, 1,263 Portugal, 1,242 Indonesia, 1,144 Romania

  • කොරෝනාවලින් ආරක්ෂා වෙන්න ‘දිනකට හය වරක්වත්’ හොදින් දෑත් සෝදන්න !

    කොරෝනාවලින් ආරක්ෂා වෙන්න ‘දිනකට හය වරක්වත්’ හොදින් දෑත් සෝදන්න !

    දිනකට අවම වශයෙන් හය වතාවක් හෝ උරිම වශයෙන් 10 වතාවක් අත් සේදීමෙන් කොරෝනා වැනි ආසාදන ඇතිවීමේ අවදානම අඩු කරගත හැකි බව එක්සත් රාජධානියේ පර්යේෂකයන්ගේ අධ්‍යයනයකින් හෙළි වී තිබේ.

    පර්යේෂකයින් වත්මන් කොවිඩ්-19 වෛරසය සහ 2006-09 සිට වාර්තා වූ වෛරස් පිළිබඳ දත්ත ව්‍යුහාත්මක සසදා බැලීමකින් පසුව මෙම නිගමනයට පැමිණ ඇත.

    Coronaviruses යනු සෙම්ප්‍රතිශ්‍යාව වැනි මෘදු රෝගාබාධ ඇති කරන වෛරස් කාණ්ඩයක් / පවුලක් වශයෙන් සැලකෙන අතර පර්යේෂකයින් හදුනා ගෙන ඇති පරිදි කොවිඩ්-19 ඇතුළු වෛරස්සියල්ලන්ම සබන් හා වතුරෙන් මරා දැමිය හැකිය.

    මෙම අධ්‍යයනයෙන් හෙළි වූයේ සහභාගී වූවන් 1,663 දෙනා දිනකට අවම වශයෙන් හය වතාවක්වත් අත් සෝදා ගන්නේ නම් ආසාදනය වීමේ අවදානම අඩු බවයි. කෙසේවෙතත්, දිනකට 10 වතාවකට වඩා අත් සේදීම ආසාදන අවදානම තවදුරටත් අඩු කරන බවක් නොපෙනුණි.

    ලන්ඩනයේ යුනිවර්සිටි කොලේජ් හි අධ්‍යයන කතුවරයා වන ආචාර්ය සාරා බීල්  Dr Sarah Beale මෙසේ පැවසුවාය:

    “ඔබ රෝග ලක්ෂණ පෙන්නුම් කළත් නැතත් සෑම විටම සනීපාරක්ෂාව පිළිබදව දැඩි අවධානයක් යොමු කළ යුතුයි. මෙය ඔබව ආරක්ෂා කර ගැනීමට සහ ඔබ නොදැනුවත්වම ඔබ වටා සිටින අයට වෛරසය පැතිරීම වැළැක්වීමට උපකාරී වේ.”

    එංගලන්තයේ මහජන සෞඛ්‍ය නිලධාරියෙක් පැවසුවේ “අවම වශයෙන් තත්පර 20 ක්වත් නිතිපතා අත් සේදීම කොරෝනා වෛරසය පැතිරීම නැවැත්විය හැකි හොඳම ක්‍රමයයි. විශේෂයෙන් ඔබ නාසය, කිවිසුම් යාම හෝ කැස්ස, මෙන්ම ආහාර ගැනීමට හෝ පිසීමට පෙර තත්ත්පර 20ක් පමණ හොදින් අත් සෝදා ගත යුතයි. එසේම, ඔබ පොදු ස්ථානවල ගැවසීමෙන් පසුව හෝ පොදු ප්‍රවාහන සේවා භාවිතයෙන් පසු හොදින් දෑත් සේදීමට පුරුදු වීම හොද සෞඛ්‍ය පුරුද්දක්”

    බී.බී.සී. වාර්තාවක් ඇසුරිණි

  • COVID -19 සෞඛ්‍ය හා සමාජ ආරක්ෂණ අරමුදල ‘ඉටුකම’ සන්නාමයෙන් ඉදිරියට

    COVID -19 සෞඛ්‍ය හා සමාජ ආරක්ෂණ අරමුදල ‘ඉටුකම’ සන්නාමයෙන් ඉදිරියට

    “COVID -19 සෞඛ්‍ය හා සමාජ ආරක්ෂණ අරමුදල දැන් ක්‍රියාත්මක වනුයේ “ඉටුකම සන්නාමය ඇතිවය. දැන් එය “ඉටුකම – COVID 19 සෞඛ්‍ය හා සමාජ ආරක්ෂණ අරමුදල යනුවෙන් නම්කර ඇත.

    දෙස් විදෙස් පරිත්‍යාගශීලීන් තවත් ආකර්ශනය කරගනු පිණිස සන්නාමය හඳුන්වාදෙනු ලැබීය.

    ජනාධිපති ගෝඨාභය රජපක්ෂ මහතා විසින් පසුගිය මාර්තු 23 දා අරමුදල ස්ථාපනය කෙරිණ. එතුමාගේ නියමයෙන් ජනාධිපති අරමුදල ඒ සඳහා රුපියල් මිලියන 100ක් ප්‍රදානය කළේය.

    COVID -19 වසංගතය පාලනය සහ ඊට සමගාමී සමාජ සුබසාධන කාර්යයන් පහසු කිරීම ආරක්ෂණ අරමුදලේ පරමාර්ථයයි. අරමුදලට පරිත්‍යාග රැස් කිරීම සඳහා ලංකා බැංකුවේ ආයතන ශාඛාවේ විශේෂ ගිණුමක් විවෘත කර ඇත.

    එහි අංකය 85737373. බැංකු කේතය 7010; ශාඛා කේතය 660; ස්විෆ්ට් කේතය BCEYLKLX.

    දෙස් විදෙස් පරිත්‍යාගශීලීහූ ගිණුමට දායක වී සිටිති. නීත්‍යානුකූල ගිණුම් මගින් අරමුදලට කෙරෙන පරිත්‍යාග මුදල්, බදු සහ විදේශ විනිමය රෙගුලාසිවලින් නිදහස් කර ඇත. චෙක් පත් හෝ ටෙලි ග්‍රාෆ් සම්ප්‍රේෂණ මගින් මෙන්ම www. itukama.lk වෙබ් අඩවිය ඔස්සේ හෝ #207# අමතා අරමුදලට දායක වීමට පිළිවන.

    COVID -19 සෞඛ්‍ය හා සමාජ ආරක්ෂණ අරමුදල පාලනය කරනුයේ පරිපාලන, මූල්‍ය සහ බැංකු ක්ෂේත්‍රයේ ඉහළම නිපුණතාවක් සහිත වෘත්තිකයන් 18 දෙනෙකුගෙන් සමන්විත කමිටුවක් විසිනි.

    මහබැංකු අධිපති මහාචාර්ය ඩබ්.ඩී. ලක්ෂ්මන් මහතා කමිටු සභාපති ධූරයත්, ජනාධිපති කාර්යාලයේ ප්‍රධාන මූල්‍ය නිලධාරී රවින්ද්‍ර විමලවීර මහතා ප්‍රධාන ලේකම් ධූරයත් හොබවති.

    මුදල් ලේකම් එස්.ආර්. ආටිගල, ආරක්ෂක ලේකම් මේජර් ජෙනරාල් කමල් ගුණරත්න, රාජ්‍ය පරිපාලන ලේකම් ජේ.ජේ. රත්නසිරි, සෞඛ්‍ය ලේකම් මේජර් ජනරාල් විශේෂඥ වෛද්‍ය සංජීව මුණසිංහ, වැඩබලන පොලිස්පති සී.ඩී. වික්‍රමරත්න, සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජනරාල් වෛද්‍ය අනිල් ජාසිංහ, රේගු අධ්‍යක්ෂ ජනරාල්, මේජර් ජෙනරාල් ජී. විජිත් රවිප්‍රිය, ලංකා සතොස සභාපති නුෂාඩ් එම්. පෙරේරා, සේවක භාර අරමුදලේ සභාපති ශ්‍රියාන් ද සිල්වා විජයරත්න, ජනාධිපති කාර්යාලයේ අතිරේක ලේකම් පී.ඩී. ඉන්දිකා එල්. විජේගුණවර්ධන, ජනාධිපති කාර්යාලයේ අධ්‍යක්ෂ ජනරාල් (නීති) නීතිඥ හරිගුප්තා රෝහණධීර, ශ්‍රී ලංකා මහ බැංකුවේ සහකාර අධිපති එන්.ඩබ්.ජී.ආර්.ඩී. නානායක්කාර, ලංකා බැංකුවේ ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය සාමාන්‍යාධිකාරී ඩබ්ලිව්.පී. රසල් පොන්සේකා, හිටපු ඔඩිටර් ජනරාල් එස්. ස්වර්ණජෝති යන මහත්ම මහත්මීහු සෙසු සාමාජිකයෝ වෙති. කොළඹ මහාධිකරණ නීතිඥ සංගමයේ හිටපු සභාපති නීතිඥ ජේ.එම්.එස්. ජී. ජයසුන්දර මහතා කමිටු ප්‍රධානියා ලෙස කටයුතු කරයි.

    දුරකථන අංක 0760700700/ 0112320880/ 011,2354340/ 0112424012 ඇමතීමෙන් වැඩි විස්තර දැන ගැනීමට පිළිවන

  • මැතිවරණ දිනය අභියෝගයට ලක් කළ පෙත්සම් වැඩිදුර සලකා බැලීම හෙටටත්

    මැතිවරණ දිනය අභියෝගයට ලක් කළ පෙත්සම් වැඩිදුර සලකා බැලීම හෙටටත්

    මැතිවරණ දිනය අභියෝගයට ලක් කරමින් ගොනුකර තිබෙන පෙත්සම් පිළිබඳ වැඩිදුර සලකා බැලීම හෙට (21) දක්වා කල් තැබීමට ශ්‍රේෂ්ඨාධිකරණය අද (20) තීන්දු කළේය.

    ඒ එම පෙත්සම් සලකා බැලීම අද (20) තෙවැනි දිනයටත් සලකා බැලීම අවසන් කරමිනි.

    මෙම පෙත්සම් හි පෙත්සම්කාර හා වගඋත්තරකාර පාර්ශව වල දීර්ඝ කරුණු දැක්වීම් සඳහා තවදුරටත් අවස්ථාව ලබා දීම සඳහා මෙම පෙත්සම් හෙට දක්වා කල් තැබීමට අගවිනිසුරු ජයන්ත ජයසූරිය මහතා ඇතුළු පංච පුද්ගල විනිසුරු මඩුල්ල තීන්දු කළේය.

    ලබන ජුනි මස 20 වනදා මැතිවරණයක් පැවැත්විය නොහැකි බවට මැතිවරණ කොමිසමේ සභාපති වෙනුවෙන් ජනාධිපති නීතිඥ සාලිය පීරිස් මහතා දැනුම් දුන් අවස්ථාවේ නැගී සිටි පෙත්සම්කාර නීතිඥ චරිත ගුණරත්න මහතා වෙනුවෙන් පෙනී සිටි ජනාධිපති නීතිඥ එම්. ඒ. සුමන්තිරන් මහතා අධිකරණය හමුවේ කරුණු දක්වමින් තම සේවාදායකයා ඉල්ලා සිටින සහනය මැතිවරණ කොමිසමේ එම දැනුම් දීමට අනුව දැනටමත් හිමිවී තිබෙන බැවින් ඔහු සිය පෙත්සම තවදුරටත් පවත්වාගෙන යාමට අපේක්ෂා නොකරන බව දන්වා සිටියේය. 

    එම කරුණ පිළිගත් අගවිනිසුරුවරයා ප්‍රමුඛ පංච පුද්ගල ශ්‍රේෂ්ඨාධිකරණ විනිසුරු මඩුල්ල නීතිඥ චරිත ගුණරත්න මහතා විසින් ඉදිරිපත් කළ පෙත්සම ඉල්ලා අස්කර ගැනීමට අවසර දුන්හ.

    මැතිවරණ කොමිසමේ සාමාජිකයෙකු වන මහාචාර්ය රත්නජීවන් හූල් මහතා වෙනුවෙන් පෙනී සිටි නීතිඥ හස්තික දේවේන්ද්‍ර මහතා අධිකරණය හමුවේ කරුණු දක්වමින් මැතිවරණ කොමිසම විසින් මාර්තු මස 17 ,18 සහ 19 යන දින වල නාම යෝජනා පත්‍ර භාර ගැනීම නීති විරෝධී බව සඳහන් කළේය.

    පාර්ලිමේන්තු මැතිවරණ පනතට අනුව නාම යෝජනා පත්‍ර භාර ගත හැක්කේ සාමාන්‍ය රාජකාරි කාර්යාල වේලාවන් වල පමණක් බව පෙන්වා දුන් නීතිඥ දේවේන්ද්‍ර මහතා රජයේ නිවාඩු වශයෙන් ප්‍රකාශයට පත්කර තිබූ මාර්තු මස 17 ,18 සහ 19 යන දිනවල නාම යෝජනා පත්‍ර භාර ගැනීම නීතියට පටහැනි ක්‍රියාවක් බවයි සඳහන් කර සිටීයේය.

    මෙම අවස්ථාවේ දී නීතිඥ හස්ථික දේවේන්ද්‍ර ඇමතූ අගවිනිසුරු ජයන්ත ජයසූරිය මහතා ඔබ විසින් ඉදිරිපත් කරනු ලබන්නේ මැතිවරණ කොමිසමේ මතය ද? එසේත් නැතිනම් ඔබගේ සේවාදායකයාගේ මතය ද? යන්න විමසා සිටියේය.

    ඊට ප්‍රතිචාර දක්වමින් නීතිඥ හස්තික දේවේන්ද්‍ර මහතා අධිකරණයට දන්වා සිටියේ තමන් විසින් ඉදිරිපත් කරනු ලබන්නේ තම සේවාදායකයාගේ මතය බවයි.

    එම ප්‍රකාශයට විරෝධය පළ කළ නීතිපතිවරයා වෙනුවෙන් පෙනී සිටි අතිරේක සොලිස්ටර් ජනරාල් ඉන්දිකා දේමුණි ද සිල්වා මහත්මිය මැතිවරණ කොමිසම විසින් ගනු ලැබූ තීරණයක් එම කොමිසමේ සාමාජිකයෙකු විසින් මෙයාකාරයෙන් විවේචනය කරමින් කරුණු දැක්වීම අනුමත කළ නොහැකි බව සඳහන් කළාය.

    ඊට පිළිතුරු දෙමින් නීතිඥ හස්ථික දේවේන්ද්‍ර මහතා පැවසුවේ ශ්‍රේෂ්ඨාධිකරණය හමුවේ ගොනු කර තිබූ පෙත්සම් බල වගඋත්තරකරුවකු ලෙස තම සේවාදායකයා නම්කර තිබෙන බවත් එබැවින් ඔහුගේ මතය අධිකරණය හමුවේ ඉදිරිපත් කිරීමට අවස්ථාවක් තිබිය යුතු බවය.

    වත්මන් කොරෝනා වසංගත අවදානම් තත්ත්වය මත අධිකරණ පුවත් වාර්තා කිරීමට අප මාධ්‍යවේදීන්ට ඇති දුෂ්කරතාව හේතුවෙන් අප පාඨකයින්ගේ තොරතුරු දැන ගැනීමේ අයිතිය වෙනුවෙන් මෙම සම්පූර්ණ පුවතම අද (20) දින ලංකාදීප වෙබ් අඩවියෙන් ( තිළිණි ද සිල්වා සහ රංජන් කටුගම්පොළ) උපුටා ගෙන කිසිදු සංශෝධනයකින් තොරව පළ කළ බව සලකන්න – ප්‍රධාන සංස්කාරක

  • සංචාරක කර්මාන්තය නංවාලීමට යුරෝපා සංගමයෙන් ප්‍රදානයක්

    සංචාරක කර්මාන්තය නංවාලීමට යුරෝපා සංගමයෙන් ප්‍රදානයක්

    කොවිඩ් 19 හෙවත් කොරෝනා වසංගතය හේතුවෙන් බිදවැටුණු මෙරට සංචාරක කර්මාන්තය නගා සිටුවීම සදහා යුරෝ මිලියන 3.5 ක් ප්‍රදානයක් ලබා දිමට යුරෝපා සංගමය තීරණය කරයි.

    ඊට අදාළ යෝජනා කඩිනමින් තම සංගමය වෙත ලබා දෙන්නැ‘යි යුරෝපා සංගම් තානාපති ඩෙනිස් චායිබි (Denis Chaibi)  මහතා සංචාරක සංවර්ධන අධිකාරියෙන් ඉල්ලා සිටියේය.

    යුරෝපා සංගම් තානාපතිවරයා හා කාර්මික අපනයන, ආයෝජන ප්‍රවර්ධන, සංචාරක හා ගුවන් සේවා ඇමති ප්‍රසන්න රණතුංග මහතා අතර ඊයේ (19) පැවති සාකච්ඡාවක දී මෙම ඉල්ලීම කෙරිණ.

    යුරෝපා සංගම් තානාපතිවරයා මෙහිදී කියා සිටයේ ශ්‍රී ලංකාවේ කොවිඩ් 19 වසංගතය පාලනය කිරීමට රජය ගත් පියවර සම්බන්ධයෙන් සිය ප්‍රසාදය පළ කරන බවයි. කොරෝනා වසංගතය හේතුවෙන් බිද වැටී ඇති මෙරට සංචාරක කර්මාන්තය නංවාලීමට රජය ගෙනයන වැඩපිළිවෙලට සහාය පළ කිරීමක් ලෙස මෙම මුදල ලබා දිමට තීරනය කළ බව ද තානාපතිවරයා කියා සිටියේය.

    මෙම ප්‍රදානය සම්බන්ධයෙන් රජය වෙනුවෙන් සිය ස්තූතිය පළ කරන බව පැවසූ ඇමති ප්‍රසන්න රණතුංග මහතා මේ සදහා අදාළ යෝජනා කඩිනමින් යුරෝපා සංගමයට ලබා දෙන්නැ‘යි සංචාරක සංවර්ධන අධිකාරියේ සභාපතිනි කිමාලි ප්‍රනාන්දු මහත්මියට උපදෙස් දුන්නේය.

    සංචාරක සංවර්ධන අධිකාරියේ වාර්තා අනුව මේ වසරේ මාර්තු මාසයේ 19 වන දින ශ්‍රී ලංකාවට මගී ගුවන් යානා පැමිණිම අත්හිටුවන විට එම මාසය තුළ මෙරටට පැමිණ ඇති සංචාරකයන්ගේ සංඛ්‍යාව 71,370 කි. ඉන් 60% ක්ම පැමිණ ඇත්තේ යුරෝපා රට වලිනි. යුරෝපා රටවලින් මාර්තු මාසයේ දි මෙරටට පැමිණ ඇති සංචාරකයන් සංඛ්‍යාව 42,084 ක් වේ. මෙරට සංචාරකයන් පැමිණෙන ලොව ප්‍රධානතම කලාපය වන්නේ යුරෝපයයි.

    මෙම සාකච්ඡාවේ දී අදහස් දැක්වු ඇමති ප්‍රසන්න රණතුංග මහතා අවධාරණය කළේ මෙරට සංචාරක ව්‍යාපාරය නංවාලීම සදහා වත්මන් රජය විශේෂ අවධානයක් යොමුකර ඇති බවයි. සංචාරක කර්මාන්තය ඉහළ නැංවීම හා එමගින් සිදුකරන විදේශ විනිමය උත්පාදනය ඉහළ නැංවීමත් තුළින් මෙරට ආර්ථිකය නංවාලීම රජයේ අරමුණ බව පෙන්වා දුන් ඇමතිවරයා 2025 වන විට මෙරටට වාර්ෂිකව පැමිණෙන සංචාරකයන් ගණන මිලියන 07 දක්වා ඉහළ නැංවීමටත් ඒ තුළින් වසරකට ඇ.ඩො. බිලියන 10 ක විදේශ විනිමය උත්පාදනය කිරීමත් අපේක්ෂාව බව ද කීවේය. කොවිඩ් 19 වසංගතය හේතුවෙන් ලෝකයේ ම සංචාරක කර්මාන්තය බිද වැටී ඇතත් අපේක්ෂිත ඉලක්කය සපුරාලීමට හැකි සෑම පියවරක් ම ගන්නා බව ද ඇමතිවරයා වැඩිදුරටත් සදහන් කළේය.

    සංචාරක හා ගුවන් සේවා අමාත්‍යාංශ ලේකම් එස්. හෙට්ටිආරච්චි, කාර්මික අපනයන, ආයෝජන ප්‍රවර්ධන අමාත්‍යාංශ ලේකම් මාපා පතිරණ, සංචාරක සංවර්ධන අධිකාරියේ සභාපතිනි කිමාලි ප්‍රනාන්දු, එහි අධ්‍යක්ෂක ජෙනරාල් ධම්මිකා විජේරත්න යන මහත්ම මහත්මීහුද මෙම සාකච්ඡාවට සහභාගී වූහ.

  • හෝටල් – ආපන ශාලා යළි විවෘත කිරීමට සෞඛ්‍ය මාර්ගෝපදේශ ඉල්ලයි

    හෝටල් – ආපන ශාලා යළි විවෘත කිරීමට සෞඛ්‍ය මාර්ගෝපදේශ ඉල්ලයි

    කොවිඩි 19 හෙවත් කොරෝනා වසංගතය හේතුවෙන් වසා දැමුණු හෝටල්, ආපන ශාලා ලබන සතිය වන විට විවෘත කිරීමට අවශ්‍ය මාර්ගෝපදේශ කඩිනමින් ලබා දෙන්නැයි කාර්මික අපනයන ආයෝජන ප්‍රවර්ධන, සංචාරක හා ගුවන් සේවා ඇමති ප්‍රසන්න රණතුංග මහතා සෞඛ්‍ය බලධාරීන්ගෙන් ඉල්ලයි.

    රට තුල සාමාන්‍ය ජන ජීවිතය යථාතත්වයට පත් කීරීමේ රජයේ වැඩපිලිවෙලට සමගාමීව මෙම ආපනශාලා කඩිනමින් විවෘත කිරීමට අපේක්ෂා කරන බවද ඇමතිවරයා සෞඛ්‍ය බලධාරීන්ට දැනුම් දුන්නේය.

    සංචාරක හෝටල් හිමියන් ආපනශාලා හිමියන් හා සංචාරක ක්ශේත්‍රයේ සේවා සපයන විවිධ වෘත්තිකයන් සහ ඇමතිවරයා අතර ඊයේ (19) පැවති සාකච්ඡාවකදි හෝටල් සහ ආපනශාලා හිමියන් ඉල්ලා සිටියේ කඩිනමින් සිය ආයතන විවෘත කිරීමට අවශ්‍ය මාර්ගෝපදේශ ලබා දෙන ලෙසයි.

    සෞඛ්‍ය බලධාරීන් ලබා දෙන මාර්ගෝපදේශ වලට අනුව සිය ආපන ශාලා විවෘත කර පවත්වාගෙන යාමට සංචාරක හෝටල් හිමියන් හා මෙහිදි එකගත්වය පල කලහ. සංචාරක සංවර්ධන අධිකාරියේ සභාපතිනී කිමාලි ප්‍රනාන්දු මහත්මිය මෙහිදි කියා සිටියේ ලෝක සෞඛ්‍ය සංවිධානය විසින් හෝටල් හා ආපන ශාලා විවෘත කිරීමට නිකුත් කර ඇති මාර්ගෝපදේශ මේ වන විටත් හෝටල් හිමියන්ට ලබා දී ඇති බවයි.

    ඇමති ප්‍රසන්න රණතුංග මහතාගේ අදහස වුයේ එම මාර්ගගෝපදේශ ද අනුගමනය කරමින් මෙරට සෞඛ්‍ය බලධාරීන් සමගද සාකච්ඡා කර කොවිඩ් 19 පාලනය කිරීමේ කමිටුවේද එකගතාවය ඇතිව හෝටල් හා ආපන ශාලා විවෘත කිරීම සදහා වු වැඩපිලිවෙලක් සැකසිය යුතු බවයි. ඒ අනුව එම සාකච්ඡාව අතරතුර සෞඛ්‍ය බලධාරීන් ඇමතු ඇමතිවරයා හෝටල් හා ආපන ශාලා ලබන සතිය වන විට විවෘත කිරීමට හැකිවන පරිදි මාර්ගෝපදෙශ සංග්‍රහයක් ලබා දෙන ලෙස ඉල්ලා සිටියේය.

    හෝටල් හා ආපන ශාලා වසා දැමිම නිසා එහි සේවකයන්ට වැටුප් ගේවීමේ දුෂ්කරතා ඇතැයි හෝටල් හා ආපන ශාලා හිමියෝ මෙහිදි පෙන්වා දුන්හ. රජය දැනටමත් මේ සම්බන්ධයෙන් අවධානය යොමු කර ඇති බවත් ඉතා ඉක්මනීන් මේ සදහා වැඩ පිලිවෙලක් සකස් කරන බවටත් ඇමතිවරයා සහතික වුයේය.

    ලිසිං ගෙවිමට සහන ලබා ගැනීම සහ සහන ණය යෝජනා ක්‍රමයක් හදුන්වා දීම සම්බන්ධයෙන් සාකච්ඡාවලට එක්වූ සංචාරක ක්ශේත්‍රයේ නියුතු විවිධ සංවිධාන නියෝජිතයින් ඇමතිවරයාගේ ඉල්ලීම් කළ අතර ඇමතිවරයා සදහන් කලේ ඊට අදාල යෝජනා ඇතුලත් කැබිනට් පත්‍රිකාවක් මේ වන විටත් කෙටුම්පත් කර ඇති බවයි. මුදල් අමාත්‍යාංශය සමගද සාකච්ඡා කිරීමෙන් කඩිනමින් එය කැබිනට් මණ්ඩලයට ඉදිරිපත් කිරීමට අපෙක්ෂා කරන බවද ඔහු කිවේය.

    මෙම සාක්ච්ඡා සදහා කොළඹ නාගරික හෝටල්කරුවන්ගේ සංගමය කොළඹ නාගරික ආපන ශාලා හිමියන්ගේ සංගමය සංචාරක වෘත්තීයවේදීනගේ සංගමය සංචාරක සේවා සපයන්නන්ගේ සංගමය ඇතුළු සංගම් කිහිපයක නියෝජිතයින් සහභාගී වූහ. සංචාරක හා ගුවන්සේවා අමාත්‍යාංශයේ ලේකම් එස්. හෙට්ටිආරච්චි සංචාරක සංවර්ධන අධිකාරියේ සභාපතිනී කිමාලි ප්‍රනාන්දු අධ්‍යක්ෂ ජනරාල් ධම්මිකා විජේසිංහ යන මහත්ම මහත්මිහූද මෙම සාකච්ඡාවට සහභාගී වුහ.  

  • නායයාම් රතු නිවේදන තවදුරටත්

    නායයාම් රතු නිවේදන තවදුරටත්

    පසුගිය පැය 24 තුළ වර්ෂාපතනය මිලිටීමටර් 150 ඉක්මවා ඇති බැවින් රත්නපුරදිස්ත්‍රික්යේ අයගම, රත්නපුර, ඇලපාත, කලවාන සහ කිරිඇල්ල යන ප්‍රාදේශීය ලේකම් කොට්ඨාශවල නාය යාම් අධි අවදානම් කළාපයේ ජීවත් ජනතාවට ආරක්ෂාකාරීව එම ප්‍රදේශවලින් ඉවත් වන ලෙස ජාතික ගොඩනැගිලි පර්යේෂණ සංවිධානය විසින් නිකුත් කරන ලද නිවේදනය තවදුරටත් දීර්ග කරන බව අද දින (20) නිවේදනය කර ඇත.

    පසුගිය පැය විසි හතර තුළ වර්ෂාපතනය මිලිමීටර් 100 ඉක්මවා ඇති ගාල්ල දිස්ත්‍රික්කයේ බද්දේගම, නෙලුව සහ තවලම, රත්නපුර දිස්ත්‍රික්කයේ ඕපනායක, බලංගොඩ, කුරුවිට, ඇහැලියගොඩ, පැල්මඩුල්ල, සහ නිවිතිගල කුරුණෑගල දිස්ත්‍රික්කයේ පොල්ගහවල සහ මාවතගම, කෑගල්ල දිස්ත්‍රික්කයේ දැරණියගල, බුලත්කොහුපිටිය, වරකාපොළ, රඹුක්කන, ගලිගමුව, කැගල්ල සහ දෙහිඕවිට, මාතර දිස්ත්‍රික්කයේ පිටබැද්දර සහ කොටපොල, කලුතර දිස්ත්‍රික්කයේ අගලවත්ත, පාලින්දනුවර, බුලත්සිංහල සහ ඉංගිරිය නුවරඑලිය දිස්ත්‍රික්කයේ අඹංගගකෝරළය යන ප්‍රාදේශීය ලේකම් කොට්ඨාශවල නායයාම් අවධානම් කලාප වල ජීවත් වන ජනතාව තවදුරටත් වර්ෂාව ලැබේ නම් ආරක්ෂිත ස්ථාන කරා ඉවත් වීමට සුදානම් වෙන ලෙස නායයාම් අවදානම් නිවේදන නිකුත් කර ඇත.

    ගාල්ල, මාතලේ, රත්නපුර, කලුතර, මාතර, කොළඹ, කෑගල්ල, කුරුණෑගල,මහනුවර සහ නුවරඑලිය යන දිස්ත්‍රික්ක වල නායයාම් බැවුම් කඩාවැටීම්, ගල්පෙරලීම්, පස්කණ්ඩි කඩාවැටීම් සහ පොළව ගිලාබැසීම් අවදානම කළාප වශයෙන් ජාතික ගොඩනැගිලි පර්යේෂණ සංවිධානය විසින් නම්කර ඇති ප්‍රදේශ වල ජනතාව දැඩි විමසිල්ලෙන් කටයුතු කරන ලෙසත් ඉදිකිරීම් හෝ වෙනත් සංවර්ධන කටයුතු සදහා පස් කන්ඩි කපා ඇති පිරිස ඒපිළිබද අවධානය යොමු කරන ලෙසත් විශේෂයෙන්ම නායයාම් පුර්ව ලක්ෂණ නිරීක්ෂණය වේ නම් එම ස්ථානවලින් හැකි ඉක්මනින් ඉවත්වීමට කටයුතු කරන මෙන් ආපදා කළමනාකරණ මධ්‍යස්ථානය ජනතාවට දැනුම් දේ.

    විශේෂයෙන්ම සෞඛ්‍ය අමාත්‍යාංශය විසින් ලබාදී ඇති උපදෙස් අනුගමනය කරමින් කටයුතු කිරීමට අවශ්‍ය නිසා ඇතිවිය හැති අවදානම් තත්වය පිලිබද නිරන්තරයෙන් ජනතාවගේ අවධානය යොමු කරන ලෙසත් ආපදා කළමනාකරණ මධ්‍යස්ථානය ජනතාවගෙන් ඉල්ලා සිටී.

  • බොලිවුඩ් නිළියන්ගේ ‘පුද්ගලික රූපාලාවන්‍ය රහස්’ එළියට!

    බොලිවුඩ් නිළියන්ගේ ‘පුද්ගලික රූපාලාවන්‍ය රහස්’ එළියට!

    Covid-19 නිසා රූපාලාවන්‍ය මධ්‍යස්ථාන බොහොමයක් වසා දමලා. එහෙම නැතිනම් එහි කටයුතු සීමා කරලා. ඒ නිසා බොහෝ කාන්තාවන්ට තමන්ගේ රූපාලාවන්‍ය කටයුතු කර ගැනීම දුෂ්කර වෙලා තිබෙනවා.

    මේකට හොද පිළියමක් පසුගිය දා ලෝ ප්‍රකට ‘ෆෙමිනා කාන්තා සගරාව යෝජනා කළා. ඒ නිවසේ සිට තමන් තනියම තමන්ගේ සුන්දරත්ව රැක ගැනීමට ගත හැකි පියවර අනුගමනය කිරීම. ඔවුන් කියන ආකාරයට මෙය ලාභයි වගේම කොවිඩ්වලින් ආරක්ෂා වීමටත් හොද පියවරක්.

    ඉතිං… ලියන් සුරලියන් කරන ‘රූපලාවන්‍ය’ ගැන ‘රහස්’ වැඩියෙන්ම දන්නේ කවුද ? තර්කයක් නැහැ. ඒ බොලිවුඩ් සුරූපිනියන්ම තමයි. ඉතිං බොලිවුඩයේ සුරූපිනියන් විසින් දිනපතා අත්හදා ලබන ඒ රූපලාවන්‍ය රහස් ඔබ දැන ගන්න කැමැති ද ? එසේ නම් ආරම්භ කරමු…

    භූමි පද්නෙකර් Bhumi Pednekar

    ඔබේ සම සජලීකරණය  hydrated කර හැකිතාක් ඔබේ ශරීරය ඩෙටොක්සයිෆ් detoxify කරන්න.

    ජැකලින් ෆර්නැන්ඩස් Jacqueline Fernandez

    හොඳ හිස් අවකාශයක සිටින්න. මානසික ආතතිය යනු ඔබේ සම, හිසකෙස්, නියපොතුවලට හානි සිදුවිය හැකි නරකම දෙයකි. එය සැබවින්ම ඔබට වළක්වා ගත හැකිය. ඔබේ ආතතියට එකතු නොවන ආහාර අනුභව කර හොඳ ව්‍යායාම කරන්න. ඔබ නින්දට යාමට පෙර ඔබේ සම පිරිසිදු බවට වග බලා ගන්න. එසේම එය පිරිසිදු කරන්න. සම සම්භාහනය කර ඒ මත මෘදු ක‍්‍රීම් වර්ගයක් ආලේප කරන්න.

    හුමා කුරේෂි Huma Qureshi

    නින්ද. එය හොඳම නැවත ආරෝපණය කිරීමකි

    ක්‍රිති සනොන් Kriti Sanon

    එළිමහනට යන සෑම විටම හිරු ආවරණයක් sunscreen පැළඳගෙන යන්න. සමේ ස්වාභාවික දීප්තිය ලබා ගැනීම සඳහා ඕනෑම නිෂ්පාදනයක් භාවිත කිරීමට පෙර ඔබේ මුහුණ අයිස් වතුරෙන් සෝදා ගන්න. සමේ ඇතිවන ඕනෑම ආසාදනයක් සමනය any skin irritation කිරීමට කෝමාරිකා ජෙල් aloevera gel භාවිතා කරන්න.

    ශිල්පා ෂෙට්ටි කුන්ද්‍රා Shilpa Shetty Kundra

    ප්‍රමාණවත් තරම් ජලය පානය කර ඇතුළත සිට පිරිසිදු කිරීම කෙරෙහි අවධානය යොමු කරන්න.

    Dia Mirza

    රසායනික ද්‍රව්‍ය පදනම් කරගත් හෝ හානිකර නොවන නිෂ්පාදන භාවිතා කරන්න. ඔබේ සම සජලීව තබා ගැනීමට මොයිස්චරයිසර් භාවිතා කරන්න, අව් කණ්ණාඩිය මඟ හරින්න එපා.

    පූජා හෙග්ඩේ Pooja Hegde

    නින්දට යාමට පෙර සියලු   makeup  ඉවත් කරන්න. වියළි සමට ප්‍රතිකාර කිරීම සඳහා පොල්තෙල් භාවිතා කරන්න. 

    මනුෂි චිලර් Manushi Chillar

    සෑම විටම පිරිසිදු සහ සැහැල්ලු ඇදුම් අදින්න. මනස නිරවුල් කර ගන්න. සැහැල්ලුවෙන් සිටින්න.

    නුෂ්රත් භාරුචා Nushrat Bharucha

    වතුර ගොඩක් බොන්න, හොඳ ස්පා ප්‍රතිකාරයක යෙදෙන්න, සතුටින් ඉන්න.

    Copied By Femina Magazine – India – Text by – Thushadhavi

  • කලුගංගා ද්‍රෝණියේ ප්‍රදේශ කීපයකට ගංවතුර අවදානම් නිවේදන

    කලුගංගා ද්‍රෝණියේ ප්‍රදේශ කීපයකට ගංවතුර අවදානම් නිවේදන

    පසුගිය පැය 24 තුළ කලු ගංගා ද්‍රෝණියට ඉහළ වර්ෂාපතනයක් ලැබී ඇති බැවින් කලු ගංගා වේ සහ අතු ගංගාවල ජල මට්ටම ඉහළ යමින් පවතින බව වාරිමාර්ග දෙපාර්තමේන්තුව විසින් නිවේදනය කර ඇත.

    ඒ අනුව රත්නපුර දිස්ත්‍රික්කයේ රත්නපුර, කුරුවිට, අයගම, කිරිඇල්ල සහ ඇලපාත යන ප්‍රාදේශීය ලේකම් කොට්ඨාශවලට අයත් කලු ගංගා පිටාර තැන්නට අයත් පහත් බිම්වල සුලු ගංවතුර තත්වයන් ඇති වේ යැයි වාරිමාර්ග දෙපාර්තමේන්තුව නිවේදනය කර ඇත.

    මෙම කලාපයේ ජීවත් වන ජනතාව ජීවිත සහ දේපළ සුරක්ෂිත කර ගැනීම සදහා ආපදා පෙරසුදානම් ක්‍රියාකාරකම් අනුගමන කරන ලෙසත්, විශේෂයෙන්ම පාසැල් පොත් සහ උපකරණ ආරක්ෂා කර ගැනීමට කටයුතු කරන ලෙසත් නිරංතරයෙන් ඔබ ප්‍රදේශයේ ගංවතුර මට්ටම පිළිබදව අවධානයෙන් සිටිමින් කළින් හදුනාගෙන ඇති සුරක්ෂිත මධ්‍යස්ථාන කරා යාමට සුදානම්ව සිටින ලෙසත් ආපදා කළමනාකරණ මධයස්ථානය ජනවතාවට දැනුම් දේ.

    එසේම මේ පිළිබදව යම් තොරතුරක් හෝ ඔබට අවශ්‍ය සහයෝගයක් සදහා 117 දුරකථන අංකයට දැනුම් දෙන මෙන් ආපදා කළමනාකරණ මධ්‍යස්ථානයේ ජනතාවගෙන් ඉල්ලා සිටී.

  • රත්නපුර දිස්ත්‍රික්කයේ ප්‍රාදේශීය ලේකම් කොට්ඨාශ 05කට නායයාම් රතු නිවේදන

    රත්නපුර දිස්ත්‍රික්කයේ ප්‍රාදේශීය ලේකම් කොට්ඨාශ 05කට නායයාම් රතු නිවේදන

    පසුගිය පැය 24 තුළ වර්ෂාපතනය මිලිටීමටර් 150 ඉක්මවා ඇති බැවින් රත්නපුරදිස්ත්‍රික්යේ අයගම, රත්නපුර, ඇලපාත, කලවාන සහ කිරිඇල්ල යන ප්‍රාදේශීය ලේකම් කොට්ඨාශවල නාය යාම් අධිඅවදානම් කළාපයේ ජීවත් ජනතාවට ආරක්ෂාකාරීව එම ප්‍රදේශවලින් ඉවත් වන ලෙස ජාතික ගොඩනැගිලි පර්යේෂණ සංවිධානය විසින් නිවේදනය කර ඇත.

    පසුගිය පැය විසි හතර තුළ වර්ෂාපතනය මිලිමීටර් 100 ඉක්මවා ඇති ගාල්ල දිස්ත්‍රික්කයේ බද්දේගම, නෙලුව සහ තවලම, රත්නපුර දිස්ත්‍රික්කයේ ඕපනායක, බලංගොඩ, කුරුවිට, ඇහැලියගොඩ, පැල්මඩුල්ල, සහ නිවිතිගල කුරුණෑගල දිස්ත්‍රික්කයේ පොල්ගහවල සහ මාවතගම, කෑගල්ල දිස්ත්‍රික්කයේ දැරණියගල, බුලත්කොහුපිටිය, වරකාපොළ, රඹුක්කන, ගලිගමුව, කැගල්ල සහ දෙහිඕවිට, මාතර දිස්ත්‍රික්කයේ පිටබැද්දර සහ කොටපොල, කලුතර දිස්ත්‍රික්කයේ අගලවත්ත, පාලින්දනුවර, බුලත්සිංහල සහ ඉංගිරිය නුවරඑලිය දිස්ත්‍රික්කයේ අඹංගගකෝරළය යන ප්‍රාදේශීය ලේකම් කොට්ඨාශවල නායයාම් අවධානම් කලාප වල ජීවත් වන ජනතාව තවදුරටත් වර්ෂාව ලැබේ නම් ආරක්ෂිත ස්ථාන කරා ඉවත් වීමට සුදානම් වෙන ලෙස නායයාම් අවදානම් නිවේදන නිකුත් කර ඇත.

    ගාල්ල, මාතලේ, රත්නපුර, කලුතර, මාතර, කොළඹ, කෑගල්ල, කුරුණෑගල,මහනුවර සහ නුවරඑලිය යන දිස්ත්‍රික්ක වල නායයාම් බැවුම් කඩාවැටීම්, ගල්පෙරලීම්, පස්කණ්ඩි කඩාවැටීම් සහ පොළව ගිලාබැසීම් අවදානම කළාප වශයෙන් ජාතික ගොඩනැගිලි පර්යේෂණ සංවිධානය විසින් නම්කර ඇති ප්‍රදේශ වල ජනතාව දැඩි විමසිල්ලෙන් කටයුතු කරන ලෙසත් ඉදිකිරීම් හෝ වෙනත් සංවර්ධන කටයුතු සදහා පස් කන්ඩි කපා ඇති පිරිස ඒපිළිබද අවධානය යොමු කරන ලෙසත් විශේෂයෙන්ම නායයාම් පුර්ව ලක්ෂණ නිරීක්ෂණය වේ නම් එම ස්ථානවලින් හැකි ඉක්මනින් ඉවත්වීමට කටයුතු කරන මෙන් ආපදා කළමනාකරණ මධ්‍යස්ථානය ජනතාවට දැනුම් දේ.

    විශේෂයෙන්ම සෞඛ්‍ය අමාත්‍යාංශය විසින් ලබාදී ඇති උපදෙස් අනුගමනය කරමින් කටයුතු කිරීමට අවශ්‍ය නිසා ඇතිවිය හැති අවදානම් තත්වය පිලිබද නිරන්තරයෙන් ජනතාවගේ අවධානය යොමු කරන ලෙසත් ආපදා කළමනාකරණ මධ්‍යස්ථානය ජනතාවගෙන් ඉල්ලා සිටී.