Blog

  • කෙට්ටු අයට කොරෝනා අවධානම අඩුද ?

    කෙට්ටු අයට කොරෝනා අවධානම අඩුද ?

    ස්ථූලභාව හේතුවෙන් හෘද රෝග, පිළිකා සහ දෙවන අදියරේ දියවැඩියාව ඇතුළු රෝග ගණනාවක අවදානම වැඩි වේ. මුල් කාලීන පර්යේෂණයන්ට අනුව ස්ථූලභාවය නිසා කොවිඩ් -19 ආසාදනය වූ පුද්ගලයෙකුගේ රෝගී බව වැඩි වීමේ අවදානමක් ඇත. නමුත් එය එසේ වන්නේ ඇයි?

    ස්ථූලභාවය නිසා වෛරසය ආසාදනය වීමේ අවදානමක් ඇති බවට සාක්ෂි තිබේ ද?

    මෙම ගැටලුව බොහෝ අධ්‍යයනවල මාතෘකාවක් වී ඇති බැවින් නිසි පිළිතුරු සොයා ගැනීමට විශේෂඥයෝ උත්සහ කරති.

    • එක්සත් රාජධානියේ රෝහල්ගත කර සිටින කොවිඩ් -19 රෝගීන් 17,000 කට ආසන්න සංඛ්‍යාවකින් සිදු කරන ලද අධ්‍යයනයකදී හෙළි වූයේ ස්ථූල පුද්ගලයන් එසේ නොවන අයට වඩා 33% කින් මිය යාමේ වැඩි අවදානමක් ඇති බවය.
    • එක්සත් රාජධානි සෞඛ්‍ය සේවා ඉලෙක්ට්‍රොනික සෞඛ්‍ය වාර්තා අනුව සිදුකල වෙනත් අධ්‍යයනයකින් හෙළි වූයේ ස්ථූල පුද්ගලයන් කොවිඩ් -19 ආසාදනය වීමෙන් මිය යාමේ අවදානම දෙගුණ වන බවයි. ස්ථූලභාවය සම්බන්ධ වෙනත් සෞඛ්‍ය තත්ත්වයන් වන හෘද රෝග සහ දෙවන අදියරේ දියවැඩියාව ද සැලකිල්ලට ගතහොත් අවදානම ඊටත් වඩා වැඩි වනු ඇතැයි පර්යේෂකයෝ පැවසූහ.
    • එක්සත් රාජධානියේ දැඩි සත්කාර ඒකකවල බරපතළ ලෙස රෝගාතුර වූ පුද්ගලයන් පිළිබඳ අධ්‍යයනයකින් හෙළි වූයේ 34.5% කට ආසන්න ප්‍රමාණයක් අධික බරින් යුක්ත බවත්, 31.5% ක් ස්ථූලභාවයත්, 7% ක් අසාමාන්‍යය ස්ථූලභාවයෙන් පෙළෙන බවත්ය (මුළු ගණන 73%).

    ගෝලීය ස්ථූලභාවයේ ඉහළ අනුපාතයන් සැලකිල්ලට ගනිමින්, ස්ථූලත්වය සම්බන්ධයෙන් ලෝක සම්මේලනය පවසන්නේ කොරෝනාවෛරසය වැළඳෙන පුද්ගලයන්ගෙන් ඉහළ ප්‍රතිශතයක “ශරීර ස්කන්ධ දර්ශකය 25 ට වැඩි” බවය. එය වැදගත් සාධකයක් බව එක්සත් රාජධානිය, එක්සත් ජනපදය, ඉතාලිය සහ චීනය යන රටවල මුල් කාලීන අධ්‍යයනවලින් පෙනී යයි.

    ශරීර ස්කන්ධ දර්ශකය ගණනය කරනු ලබන්නේ යමෙකුගේ බර කිලෝග්‍රෑම්වලින් ගණනය කර එය උස වර්ග මීටරවලින් බෙදීමෙනි.

    වයසට යාම, මිනිසෙකු වීම මෙන් ම පවතින සෞඛ්‍ය ගැටලු සියල්ල ම කොවිඩ් -19 ආසාදනයෙන් වඩාත් බරපතළ ලෙස රෝගාතුර වීමේ අවදානම වැඩි කරයි.

    ස්ථූලභාවය අවදානමක් වන්නේ ඇයි?

    ස්ථූල පුද්ගලයන්ගේ සම යටි කොටසේ සහ ශරීර අවයව වටා මේද පටක වැඩි ප්‍රමාණයක් පිහිටා තිබේ
    ස්ථූල පුද්ගලයන්ගේ සම යටි කොටසේ සහ ශරීර අවයව වටා මේද පටක වැඩි ප්‍රමාණයක් පිහිටා තිබේ

    ඔබේ ශරීරය වැඩි බරකින් යුක්ත වන තරමට, වැඩි මේද ප්‍රමාණයක් රැදී තිබේ. මෙමගින් ඔබේ ශරීර ශක්තිය හීන වන අතර, පෙනහලු ධාරිතාව ද අවම කරයි. මෙයින් අදහස් වන්නේ රුධිරයට හා ශරීරයට ඔක්සිජන් ලබා ගැනීමේදී බලවත් පරිශ්‍රමයක් දැරිය යුතු බවය. මෙම තත්ත්වය හෘදයට හා රුධිර ප්‍රවාහයට ද බලපායි.

    “මිනිසුන් අධික බරකින් සිටින විට ඔවුන්ට වැඩි ඔක්සිජන් ප්‍රමාණයක් අවශ්‍ය වෙනවා. ඒ කියන්නේ ඔවුන්ගේ ශරීර පද්ධතිය දැඩි පීඩනයකට ලක් වෙනවා,” යැයි ග්ලාස්ගෝ විශ්වවිද්‍යාලයේ මහාචාර්ය නවීඩ් සත්තාර් පැවසීය.

    කොරෝනාවෛරසය වැනි ආසාදන තත්ත්වයකදී මෙය බරපතළ විය හැකිය.

    “අවසානයේදී ප්‍රධාන අවයවවලට ඔක්සිජන් නොලැබීම නිසා ස්ථූල ශරීරය අක්‍රිය විය හැකියි” රේඩින්ග් විශ්වවිද්‍යාලයේ වෛද්‍ය ඩයන් සෙල්ලයා පවසයි.

    දැඩි සත්කාර ඒකකයේ සිටින අධික බර සහ ස්ථූල පුද්ගලයින්ට හුස්ම ගැනීමට සහ වකුගඩු ක්‍රියාකාරිත්වයට වැඩි සහයක් අවශ්‍ය වීමට එය එක් හේතුවකි.

    මේද සෛල ඉටු කරන කාර්යභාරය කුමක් ද?

    වෛරසයට ශරීරයට ඇතුළු වීමට ප්‍රධාන ම ක්‍රමය සෛල තුළ ඇති ACE2 නම් එන්සයිමය බව විද්‍යාඥයන් සොයාගෙන තිබේ.

    මේද පටකවල මෙවැනි අණු ඉහළ ප්‍රමාණයක් ඇති බව විශ්වාස කෙරේ. ස්ථූල පුද්ගලයන්ගේ සම යටි කොටසේ සහ ශරීර අවයව වටා මේද පටක වැඩි ප්‍රමාණයක් පිහිටා තිබේ.

    ඔවුන්ට රෝගය වැළඳීමේ වැඩි අවදානමක් සහ බරපතළ ලෙස රෝගී වීමේ වැඩි අවදානමක් ඇති වීමට මෙය එක් හේතුවක් විය හැකිය.

    ප්‍රතිශක්තිකරණ පද්ධතියට බලපා තිබේ ද?

    අන් සියල්ලට ම වඩා, ප්‍රතිශක්තිකරණ ප්‍රතිචාරය ලෙස හැඳින්වෙන, වෛරසයට එරෙහිව සටන් කිරීමට ශරීරයට ඇති හැකියාව තරබාරු පුද්ගලයින් තුළ හොඳ මට්ටමක නොමැත.

    macrophages නම් ප්‍රතිශක්තිකරණ සෛල මගින් ඇති වන ප්‍රදාහය අපගේ මේද පටක ආක්‍රමණය කිරීම මෙයට හේතු වේ. ආසාදනවලට අපගේ සෛල ප්‍රතිචාර දක්වන ක්‍රියාදාමයට මෙමගින් බාධා එල්ල වේ.

    විද්‍යාඥයන් පවසන පරිදි, මෙය ‘cytokine කුණාටුවකට’ හේතු විය හැකිය. මෙමගින් ශරීරයේ ප්‍රතිශක්තිකරණ පද්ධතිය අධික ලෙස ප්‍රතික්‍රියා කර ප්‍රදාහය සහ වෙනත් බරපතළ හානි වීමට ඉඩ ඇත.

    විශේෂ වර්ගයේ මේද පටක මෙම macrophage නම් ප්‍රතිශක්තිකරණ සෛල ආක්‍රමණවලට ගොදුරු වේ. කළු, අප්‍රිකානු සහ ආසියානු පසුබිම්වල පුද්ගලයින් තුළ මෙම වර්ගයේ පටක වැඩි ප්‍රමාණයක් ඇති අතර, ඔවුන් තුළ “දියවැඩියාව ඉහළ ගොස් වෛරසයට ගොදුරු වීමේ අවදානම වැඩි වීමට හේතු වෙලා තිබෙනවා” යනුවෙන් වෛද්‍ය ඩයන් සෙල්ලයා පවසයි.

    වෙනත් සැඟවුණු ගැටලු තිබිය හැකි ද?

    ස්ථූලභාවයත් සමග දුර්වල හෘදයක් හෝ පෙනහලු, දුර්වල ලෙස ක්‍රියා කරන වකුගඩු හෝ දෙවන අදියරේ දියවැඩියාව වැනි වෙනත් සෞඛ්‍ය ගැටලු ඇති වේ.

    කොවිඩ් -19 වැනි දරුණු ආසාදනයක් වර්ධනය වන තුරු මෙවැනි රෝගී තත්ත්වයන් අනාවරණය නොවිය හැකි අතර ඒ සියල්ලෙන් ම ශරීරයට අමතර පීඩනයක් ඇති කරයි.

    රුධිර කැටි ගැසීම් වර්ධනය වීමට ද වැඩි ඉඩක් ඇති නමුත් එයට හේතුව පැහැදිලි නැත.

    රෝහලේ ප්‍රතිකාර ලැබිය හැකි ද?

    ස්ථූලභාවයෙන් පෙළෙන රෝගීන්ට දැඩි සත්කාර ප්‍රතිකාර ලබාදීමේ දී අභියෝගවලට මුහුණ පෑමට සිදුවනු ඇත
    ස්ථූලභාවයෙන් පෙළෙන රෝගීන්ට දැඩි සත්කාර ප්‍රතිකාර ලබාදීමේ දී අභියෝගවලට මුහුණ පෑමට සිදුවනු ඇත

    ස්ථූලභාවයෙන් පෙළෙන රෝගීන්ට දැඩි සත්කාර ප්‍රතිකාර ලබාදීමේදී අභියෝගවලට මුහුණ පෑමට සිදුවනු ඇත. හුස්ම ගැනීම පහසු කිරීමේ යන්ත්‍ර සවි කිරීමේ දී මෙන්ම ස්කෑන් පරීක්ෂණවල දී බර සම්බන්ධයෙන් පවතින සීමා මෙහි දී ගැටලුසහගත තත්වයක් බවට පත් විය හැකිය.

    අධික බර රෝගීන් හුස්ම ගැනීමේ පහසුව සඳහා හැරවීම හෝ නැඹුරු කරවීම අපහසු කාර්යයක් විය හැකිය.

    නිරෝගීව සිටීමට කුමක් කළ හැකි ද?

    සෞඛ්‍ය සම්පන්න, සමබර ආහාර වේලක් අනුභව කිරීම සහ නිතිපතා ව්‍යායාම කිරීම නිරෝගීව සිටීමට හැකි හොඳ ම ක්‍රමයයි.

    සමාජ දූරස්ථභාවය පවත්වාගත යුතු වුව ද වේගයෙන් ඇවිදීම, දිවීම සහ බයිසිකල් පැදීම හොඳ විකල්ප වේ.

    එසේ නොමැති නම්, සෙමින් ආහාර ගැනීමට උත්සහ කිරීම තුළින් අධික ලෙස ආහාර ගැනීමට පෙළඹවිය හැකි තත්ත්වයන් වළක්වා ගත හැකිය.

    මෙම ලිපිය බී.බී.සී. සන්දේශය වෙතින් සම්පූර්ණයෙන්ම උපුටා ගන්නා ලද්දකි – ඡායාරූප පමණක් වෙනස් කර ඇත. – ප්‍රධාන සංස්කාරක

  • කැබිනට් අමාත්‍යාංශ 07කට නව ලේකම්වරු: කෘෂිකර්ම – සෞඛ්‍ය හමුදාවෙන්

    කැබිනට් අමාත්‍යාංශ 07කට නව ලේකම්වරු: කෘෂිකර්ම – සෞඛ්‍ය හමුදාවෙන්

    කැබිනට් අමාත්‍යාංශ 07කට ලේකම්වරු අලුතින් පත් කරනු ලැබූ බව ජනාධිපති මාධ්‍ය අංශය විසින් අද (11) දින නිකුත් කළ මාධ්‍ය නිවේදනයක සදහන් වෙනවා. ඒ අනුව නව ලේකම්වරුන්ගේ නම් සහ අමාත්‍යාංශ මෙසේයි.

    1. එස්.එම්. මොහොමඩ් මහත්මිය  – අධිකරණ, මානව හිමිකම් සහ නීති ප්‍රතිසංස්කරණ අමාත්‍යාංශය
    • ජේ.ජේ. රත්නසිරි මහතා – රාජ්‍ය පරිපාලන, ස්වදේශ කටයුතු,  පළාත් සභා සහ පළාත් පාලන අමාත්‍යාංශය
    • එස්.හෙට්ටිආරච්චි මහතා – සංචාරක සහ ගුවන් සේවා අමාත්‍යාංශය
    • එච්.කේ.ඩී.ඩබ්.එම්.එන්.බී. හපුහින්න මහතා – කාන්තා සහ ළමා කටයුතු සහ සමාජ ආරක්ෂණ අමාත්‍යාංශය
    • ජේ.එම්.බී. ජයවර්ධන මහත්මිය – අභ්‍යන්තර වෙළෙඳ, ආහාර සුරක්ෂිතතාව සහ පාරිභෝගික සුභසාධන අමාත්‍යාංශය
    • මේජර් ජෙනරාල් (විශ්‍රාමික) ඒ.කේ.එස්. පෙරේරා මහතා  – මහවැලි, කෘෂිකර්ම, වාරිමාර්ග සහ ග්‍රාමීය සංවර්ධන අමාත්‍යාංශය
    • මේජර් ජෙනරාල් සංජීව මුණසිංහ මහතා  – සෞඛ්‍ය සහ දේශීය වෛද්‍ය සේවා අමත්‍යාංශය
  • සෞඛ්‍ය අමාත්‍යාංශ ලේකම් පදවියට මේජර් ජෙනරාල්වරයෙකු පත් වෙයි

    සෞඛ්‍ය අමාත්‍යාංශ ලේකම් පදවියට මේජර් ජෙනරාල්වරයෙකු පත් වෙයි

    යුද හමුදා වෛද්‍ය සේවා අධ්‍යක්ෂ ජෙනරාල් සහ ශ්‍රී ලංකා යුද හමුදා වෛද්‍ය බලකායේ බලකාධිපති මේජර් ජෙනරාල් සංජීව මුනසිංහ මහතා අද (11) සෞඛ්‍ය අමාත්‍යාංශයේ සෞඛ්‍ය හා දේශීය වෛද්‍ය සේවා අමාත්‍යාංශ ලේකම් ලෙස වැඩ භාර ගත්තේය. ජනාධිපතිවරයා විසින් පත් කරන ලද මේජර් ජෙනරාල් මුනසිංහ මහතා නව පත්වීමට අමතරව යුද හමුදා වෛද්‍ය සේවා අධ්‍යක්ෂ ජෙනරාල් ධුරය ද දරනු ඇත. 

  • පුද්ගලයින් අහඹු ලෙස පරීක්ෂණයට ලක් කිරීමේ වැදගත්කම ජනාධිපති අවධාරණය කරයි

    පුද්ගලයින් අහඹු ලෙස පරීක්ෂණයට ලක් කිරීමේ වැදගත්කම ජනාධිපති අවධාරණය කරයි

    ජන ජීවිතය සහ ආර්ථිකය සක්‍රීයව තබා ගනිමින් COVID-19 මර්දනය සඳහා නොපසු බස්නා ධෛර්යයෙන් වැඩ කළ යුතුව ඇතැයි ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා අවධාරණය කරයි.

    සමස්ත දිවයිනේම ආර්ථික ක්‍රියාකාරිත්වය යළි අරඹා තිබේ. වසංගතයක් පැමිණිය ද ඒ සමග සාගතයක් පැමිණීමට ඉඩ නොතැබිය යුතුය.  සැලසුම් ඉදිරියට ගෙන යාමේදි පෙර සිදු වූ අතපසුවීම් දෙක පාඩමක් ලෙස ගෙන එවැන්නක් යළි සිදු නොවන බවට වග බලා ගත යුතුව ඇතැයි ජනාධිපතිවරයා සදහන් කරයි.

    නාවික හමුදාවෙන්  සහ කෙසෙල්වත්ත ප්‍රදේශයෙන් කොරෝනා ආසාධිතයින් වැඩි සංඛ්‍යාවක් බිහි වූයේ කෙසේදැයි හඳුනාගෙන පරීක්ෂණ අඛණ්ඩව සිදු කිරීමේ අවශ්‍යතාව COVID-19 මර්දනය සඳහා වන ජනාධිපති කාර්ය සාධක බලකාය සමග අද (11) දහවල් පැවති සාකච්ඡාවේදී ජනාධිපතිවරයා විසින් පෙන්වා දෙනු ලැබීය.

    බස් රථ, ත්‍රීරෝද රථ සහ ඉදිකිරීමේ වැඩබිම්වලත්, මැණිං වෙළෙඳපොළ වැනි ජනතාව බහුලව එක් රැස්වන ස්ථානවලත් පිරිස් විටින් විට අහඹු ලෙස පරීක්ෂණයට ලක් කිරීමේ වැදගත්කම ජනාධිපතිවරයා අවධාරණය කළේය.

    වෛරසය පැතිරයාම වැළැක්වීමට මෙවැනි ස්ථානවල ගැවසෙන පිරිස් දැනුවත් කිරීමේ අවශ්‍යතාව ද සාකච්ඡාවට ලක් විය. පාසල් දරුවන් හැසිරවිය යුතු ආකාරය පිළිබඳ මාර්ගෝපදේශ සෞඛ්‍ය අමාත්‍යාංශය විසින් අධ්‍යාපන අමාත්‍යාංශය වෙත යොමු කර තිබේ. එකී නිර්දේශ මත පාසල් විවෘත කිරීමේ හැකියාව අවධානයට ලක් කෙරිණ. පාසල් ඇරඹීමට පෙර මාධ්‍ය මගින් දරුවන් පුළුල්ව දැනුවත් කළ යුතු බව ද ජනාධිපතිවරයා පෙන්වා දුන්නේය.

    විදේශයන්හි අධ්‍යාපනය ලද සිසුන් සහ තාවකාලික වීසාලාභී  3297ක පිරිසක් මේ වන විට රැගෙනවිත්, නිරෝධායනයට යොමු කර ඇත. විදේශගත පිරිස් ගෙන්වා ගැනීම රටට අවදානමක් නොවන අයුරින් පාලනයක් සහිතව කළයුතු බව ද  ජනාධිපති කීය.

    නීති විරෝධි මත්පැන් භාවිතය නිසා සෞඛ්‍ය ගැටලු මෙන්ම ග්‍රාමීය ජන ජීවිතයට ද ගැටළු රැසක්  පැන නැගී ඇත. විශාල මුදලකට නීතිවිරෝධි මත්පැන් අළෙවි කෙරෙන බව වාර්තා වී ඇතැයි   ආරක්ෂක අංශ පෙන්වා දුන්නේය. ඉන් උද්ගතවිය හැකි අවදානම දීර්ඝ වශයෙන් සෞඛ්‍ය බලධාරීන්ගේ සාකච්ඡාවට ලක් කෙරිණ.

    නිවාසවල රැඳී සිටීමට සිදුවීමෙන් නගරබද ජන ජීවිතයට මහත් පීඩනයක් එල්ල වී තිබේ. එවැනි තත්ත්වයන් වළක්වා ගැනීමට සෞඛ්‍ය නිර්දේශ මත වැඩසටහන් ක්‍රියාත්මක කිරීමේ වැදගත්කම ද සාකච්ඡා විය. ශරීර සුවතාව උදෙසා ව්‍යායාම මංතීරු මෙන්ම සෙසු මානසික සුවතා  ක්‍රියාකාරකම් ද යළි ආරම්භ කළ යුතුය.

    ජීව දත්ත එක් පද්ධතියකට ගොනු කොට, ගුවන් ගමන් බලපත් සහ හැඳුනුම්පත් දිස්ත්‍රික් මට්ටමින් නිකුත් කිරීම කඩිනම් කළ යුතුයැයි ද ජනාධිපතිවරයා පැවසීය.

    කෘෂි අස්වනු කල්තබා ගැනීමේ තාක්ෂණික සහ කළමනාකරණ ක්‍රමවේද යළි අධ්‍යයනය කොට අවශ්‍යතාව පරිදි භාවිත කරන්නැයි ජනාධිපතිවරයා කාර්ය සාධක බලකායට කීය.

    අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මහතා, සෞඛ්‍ය ඇමතිණි පවිත්‍රා වන්නිආරච්චි මහත්මිය, බස්නාහිර පළාත් ආණ්ඩුකාර මාර්ෂල් ඔෆ් ද එයාර් ෆෝස් රොෂාන් ගුණතිලක,  ජනාධිපති ලේකම් පී.බී. ජයසුන්දර, ජනාධිපති ප්‍රධාන උපදේශක ලලිත් වීරතුංග,  සෞඛ්‍ය ලේකම් මේජර් ජනරාල් විශේෂඥ වෛද්‍ය සංජීව මුණසිංහ යන මහත්වරු ද සාකච්ඡාවට එක්ව සිටියහ.

  • මහ මැතිවරණය ජූනි 20 පැවැත්වීමට එරෙහි පෙත්සම් විභාගය මැයි 18-19 දිනවල

    මහ මැතිවරණය ජූනි 20 පැවැත්වීමට එරෙහි පෙත්සම් විභාගය මැයි 18-19 දිනවල

    පාර්ලිමේන්තු මහ මැතිවරණය  ජූනි මස 20 වැනිදා  පැවැත්වීමට එරෙහිව පාර්ශ්ව 7ක් විසින් ගොනු  කර ඇති මූලික අයිතිවාසිකම් පෙත්සම් හතක් ලබන 18 සහ 19 දෙදින සලකා බැලීමට ශ්‍රේෂ්ඨාධිකරණය අද (11) තීන්දු කළේය.

    ශ්‍රේෂ්ඨාධිකරණ විනිසුරුවරුන් වන ජයන්ත  ජයසූරිය, එස්. තුරෙයිරාජා මහතා  සහ මුර්දු ප්‍රනාන්දු  යන මහත්ම මහත්මීන් ගෙන් යුතු  ත්‍රිපුද්ගල ශ්‍රේෂ්ඨාධිකරණ විනිසුරු මඩුල්ලක්  හමුවේ  මෙම මූලික අයතිවාසිකම් පෙත්සම් සලකා බැලීම සිදුවිය.

    අද දින පැවැති මූලික අයතිවාසිකම් පෙත්සම් විභාගයෛ්දී නීතිපතිවරයා වෙනු⁣වෙන් පෙනී සිටි අතිරේක සොලිසිටර් ජනරාල් ජනාධිපති නීතීඥ ඉන්දිකා දේමුණි ද සිල්වා මහත්මිය කියා සිටියේ තමන් මැතිවරණ කොමිසම වෙනුවෙන් පෙනී නොසිටින බවයි.

    මෙහිදී පෙත්කම්කරුවෙකු වන නීතීඥ චරිත ගුණරත්න මහතා වෙනුවෙන් පෙනී සිටි ජනාධිපති නීතීඥ එම්.ඒ.සුමන්තිරන් මහතා ශ්‍රේෂ්ඨාධිකරණය හමුවේ කරුණු දක්වමින් කියා සිටියේ මෙම පෙත්සම් ජාතික වැදගත්කමකින් යුතු පෙත්සම් බැවින් පූර්ණ විනිසුරු මඩුල්ලක් හමුවේ සලකා බැලිය යුතු බවයි. සෙසු පෙත්සම්කාර නීතීඥවරුන් එම කරුණු දැක්වීම අනුමත කළේය.

    එහිදී අතිරේක සොලිසිටර් ජනරාල් ඉන්දිකා දේමුණි ද සිල්වා මහත්මිය කියා සිටියේ ඒ පිළිබද අගවිනිසුරුතුමන් විසින් තීරණය කළ යුත්තක් බවත් මහ මැතිවරණ පැවැත්වීම සම්බන්ධයෙන් අද දින මැතිවරණ කොමිසමේ සාකච්ඡාවක් ද පැවැත්වෙන බවයි.

    එම කරුණු දැක්වීම් වලින් අනතුරුව විවෘත අධිකරණය හමුවේ අදහස් දැක්වූ අගවිනිසුරු ජයන්ත ජයසූරිය මහතා කියා සිටියේ රටේ දැනට පවතින වාතාවරණය අනුව මේ සම්බන්ධයෙන් සාකච්ඡා පවතින බවත්, මේ පෙත්සම් සම්බන්ධයෙන් කල්⁣වේලා ගත කරමින් මේ මොහොත තුළ අධිකරණ ශාලාව තුළ විභාග නොකළ යුත්තක් බවත්එ බැවින් ලබන 18 සහ 19 දෙදින මෙම සියලු පෙත්සම් සලකා බැලීමට තීන්දු කරන බවත්එ හිදී සියලු පාර්ශවයන් වෙත ඇහුම්කන් දීම කළ යුතු බවයි.

  • පළමු ගනුදෙනුවෙන්ම කොළඹ කොටස් වෙළෙදපොළ කඩා වැටෙයි

    පළමු ගනුදෙනුවෙන්ම කොළඹ කොටස් වෙළෙදපොළ කඩා වැටෙයි

    කොවිඩ්-19 වසංගත අවදානම හේතුවෙන් පසුගිය අප්‍රේල් මස 01 වැනිදා වසා දමන ලද කොළඹ කොටස් වෙළෙඳපොළ අද (11) උදෑසන 11.00ට සිය දෛනික ගනුදෙනු සඳහා ආරම්භ කළ ද ගනුදෙනු ආරම්භ කර මිනිත්තුවක් යෑමටත් මත්තෙන් වසා දැමීමට සිදු වූ බව කොටස් වෙළෙදපොළ ආරංචි මාර්ග සදහන් කරයි.

    කොටස් වෙළෙද පොළ වාර්තා සදහන් කරන ආකාරයට ගනුදෙනු පද්ධතියේ අවසාන ගනුදෙනුව සිදුව ඇති වේලාව ලෙස සටහන් වී ඇත්තේ පෙරවරු 11.00.38යි. මේ සමග කොටස් වෙළෙදපොළ 10.11% කින් පහළ ගිය අතර ඒ සමග කොටස් වෙළෙපොළ වසා දැමීමට බලධාරීන් පියවර ගෙන ඇත.

    කොළඹ කොටස් වෙළෙඳපොළේ අවසන් වරට දෛනික ගනුදෙනු සිදුවූයේ මාර්තු 20 වැනිදා වන අතර ‘කොවිඩ්-19’ වසංගතය ව්‍යාප්ත වීම පාලනය කිරීමට රටපුරා ඇඳිරි නීතිය පැනවීමත් සමඟ අප්‍රේල් මස 1 වැනිදා සිට කොළඹ කොටස් වෙළෙඳපොළ වසා දැමීමට පියවර ගෙන තිබුණි.

    කොළඹ කොටස් වෙළෙපොළ වාර්තා අනුව ජනවාරි පළමු  වැනිදා සිට මේ දක්වා කාලයේදී සියලු කොටස් මිල දර්ශකය 28.34% කින් ද එස් ඇන්ඩ් පී. ශ්‍රී ලංකා 20 දර්ශකය 40.06% කින් ද පහත වැටී ඇත.

  • පාසල් ආරම්භ කරන දිනය ලබන සතියේ ප්‍රකාශයට පත් කරනවා – ඩලස්

    පාසල් ආරම්භ කරන දිනය ලබන සතියේ ප්‍රකාශයට පත් කරනවා – ඩලස්

    කොවිඩ්-19 වසංගත අවධානම නිසා වසා දැමූ පාසල් සෞඛ්‍ය අංශ විසින් නිර්දේශ කරන දිනයක නැවත ආරම්භ කළ ද අදියර හතරක් යටතේ සම්පූර්ණයෙන් පාසල් පටන් ගැනීමට තවත් මාසයක පමණ කාලයක් අඩුම තරමින් ගත වනු ඇතැයි අධ්‍යාපන ඇමැති ඩලස් අලහප්පෙරුම මහතා අද (11) මාතර දිස්ත්‍රික් ලේකම් කාර්යාලයේ පැවති කොරෝනා මර්ධන පාලන රැස්වීමේ දී ප්‍රකාශ කළේය.

    එහිදී වැඩි දුරටත් අදහස් දක්වමින් අමාත්‍යවරයා මෙසේද ප්‍රකාශ කළේය.

    ‘ රට සාමාන්‍යකරණය කිරිමේ අවසන් පියවර ලෙස දරු දැරියන්ගේ ආරක්ෂාව වඩාත් සුරක්ෂිත වු දිනයේ දී පාසල් විවෘත කිරීමටයි රජය සැලසුම් කර තිබෙන්නේ. එම දිනය ලබන සතියේ දී ප්‍රකාශ කිරීමට බලාපොරොත්තු වෙනවා. එම දිනය ප්‍රකාශ කළ පසු දිවයිනේ සෑම පාසලක්ම විෂබීජහරණය කර නැවත දින හතරක් වසා තබන අතර පළමුව විදුහල්පති හා ගුරුවරු ඇතුළු අනධ්‍යයන කාර්ය මණ්ඩලය කැදවීමට පියවර ගන්නවා. ඊට පසුව උසස් පෙළ, සාමාන්‍ය පෙළ හා ඉන් පහළ ශ්‍රේණි වල දරුවන් ක්‍රමයෙන් පාසලට කැදවීමට පියවර ගන්නවා. එහිදී පාසල් දරුවන්ගේ දෑත් සෝදා ශරීරයේ උෂ්ණත්වය බැලීම සදහා අවශ්‍ය උපකරණ ද අධ්‍යාපන අමාත්‍යාංශය සෑම පාසලකටම ලබා දීමට බලාපොරොත්තු වෙනවා. මේ සියලු පියවර විධිමත් ලෙස ගැනීමෙන් පසුවයි පාසල් අධ්‍යාපනය සාමාන්‍ය පරිදි පවත්වා ගෙන යන්නේ‘

  • නිවාඩු කාලයට දරුවන්ගේ තක්සලාව ‘ගෙවත්තයි’

    නිවාඩු කාලයට දරුවන්ගේ තක්සලාව ‘ගෙවත්තයි’

    කාර්යාලයේ, කඩපිලේ, බස්රියේ, දුම්රියේ හැසිරෙන ජන සමූහයා තුලට කාලයෙන් කාලයට විවිධාකාර වූ සංවාද මාතෘකා රිංගති.

    මැතිවරණයක් ළඟ පාතක තිබේනම් කතාව ඇදී යන්නේ වැඩි වාසි ඇත්තේ කුමන පාටටදැයි විමසන්නටය. පන්දුව හොඳින් පිත්තේ දැවටී නිතරම ලනුව උඩින් යන කාලයක් පැමිණියේ නම්, ජනතාව කතාකරන්නේ, අඳින පළඳින්නේ පමණක් නොව කන්නෙ බොන්නේත් ක්‍රිකට්ය. තවත් විටෙකදී තොරතෝංචියක් නැතිව ඇදහැලෙනා චුරු චුරු වැස්සට සාප කරනා බහුතර සමාජය, වැස්ස පායා සතියක් දෙකක් යනවිට හිරුට දොස් කියන්නේ උපන්දා සිට කාන්තාරයේ පදිංචිවී සිටියවුන් මෙනි.

    කෙසේ වුවත් මෙරට සමාජය පමණක්ම නොව මුළු ලෝකයම එකාවන්ව සියලු පාට පක්ෂ ජාති ආගම් අමතක කරදමා පසුගියදා කතාකරන්නට පටන්ගත්තේ කෝවිඩයා (Covid-19) ගැනයි. සාමාන්‍ය අන්වීක්‍ෂයකින්වත් දැකගන්නට නොහැකි මෙම ක්‍ෂුද්‍රප්‍රාණියාට මිනිසා විසින් අන්දවා තිබූ ඇඳුම් පැළඳුම් පවා ඉතා දැකුම්කලුය, වර්ණවත්ය. කෝවිඩයාගේ සරණ මංගල්ලය දිනයේදීවත්, මෙවන් විචිත්‍ර වස්ත්‍රාභරණයෙන් හෙතෙම සැරසී සිටියාදැයි සැක හිතෙන තරම්ය.

    පසුගිය දිනෙකදී බෙහෙතක් හේතක් ගන්නට රජය විසින් දී තිබූ සුළු සහනය ප්‍රයෝජනයට ගනිමින් මුඛ ආවරණයත් පැළඳ මහමගට පිවිසිකල හමුවූයේ නිතර දෙවේලේ එම ඉසව්වේදී මා හමුවන කාන්තාවකි. වෙනදාට ඇඟේ එල්ලී සිටිනා දරු දෙදෙනානම් එදින ඈ හා සිටියේ නැත. මා හා පෙර දිනෙකදී පවසා තිබූ තොරතුරු වලට අනුව වැඩිමහල් පිරිමි දරුවා මෙවර පහේ ශිෂ්‍යත්වයට පෙනී සිටියි. දෙවැන්නා තවත් වසර දෙකකින් එම කඩඉම පනින්නට නියමිතය.

    සති අන්තය එළඹී හිරු උදාවෙත්ම දරු දෙදෙනාත් ඇදගෙන සිරිතට අනුව ඇය දුවන්නේ අතිරේක පන්තියේ ඉස්සරහ බංකු පේළියක තැනක් අල්ලා ගන්නටය. තුන හා පහ වසර වල ඉගෙන ගන්නා ඒ අහිංසකයින්ටත් පන්ති යනවාට වඩා දෙයක් නැත.

    උදේ සිට රෑ බෝ වෙනතෙක්ම කෝවිඩයා ගැන තොරතුරු අසමින් හා බලමින් මහත් මානසික වෙහෙසකට මාද පත්වී සිටි නිසා, වෙනත් යමක් කතාකලයුතු යයි සිතුනෙන් දරු දෙපල සුවෙන්දැයි ඇයගෙන් විමසුවෙමි. ඇඳිරි නීති වෙලාවේ ෆාමසි යන්නට දුන් සහන කාලයද අවභාවිතා නොකර මහමග කයිවාරුවද හැකි තරමට සීමාකලයුතුය.

    “අන්න දෙන්නම වැඩ. ගෙවත්තක් හදනවා”

    ඇය පැවසුවේ සිදුවෙන්නට බැරි දෙයක් සිදුවුණා වැනි ස්වරයකිනි. මුකවාඩමට මුහුණේ වැඩි හරියක් ආවරණය වී තිබුන නිසා විශ්මයාර්ථයේ තරම එතරම් දුරට නොපෙනුනත්, ඇයගේ දෙබැම නම් බොහොම සරුවට ඉහලට එසවින. නැවත නැවතත් මේ සනාථවන්නේ කෝවිඩයා මිනිස් ජනසමාජය තුල මහත් පෙරලියක් සිදුකරමින් සිටිනා බවයි. ඒ සමගම තහවුරු වන්නේ ජනප්‍රිය කියමනක් වන ඉතිහාසය වරින් වර ප්‍රතිනිර්මාණය වේ යන්නෙහි සත්‍යයයි. මන්දයත් අද මෙයට ගෙවත්තක් කියූවද, ආහාර වේලේ හැකි පමණ කොටසක් අහල පහළින්ම සොයාගැනීමේ වැදගත්කම ජන සමාජය දැන හඳුනාගත්තේ මීට සියවසකටත් වඩා ඈත අතීතයේදී බැවිනි. ‘යුද උයන්’ සහ ‘ජය උයන්’ වශයෙන් බටහිර ලෝකයෙන් බිහිවූ ගෙවතු පද්ධති ගැන අප පසුගිය ලිපියකදී විස්තරාත්මකව කතා කළෙමු.

    ඇඳිරිනීති නිවේදනය ඇසෙත්ම ලහි ලහියේ ගේ ඇතුලට දමාගත් ආහාර කළමනා මල්ල, ටිකෙන් ටික ඉවර වෙනවාට අමතරව, පිටරටින් එන නැව් නතරවීම හමුවේ ඉදිරි ආහාර හිඟයක් ගැන දෙමාපියන් අතර කෙරෙනා කතාබහ කුඩා දරුවන්ට කෙසේ දැනුනාදැයි අපට පැහැදිලි නැතිවුවත්, අහල පහලින් යම් දෙයක් වගා කරගැනීමේ අවශ්‍යතාවයක් ඇතිබව නම් දරුවන් වෙතට සන්නිවේදනය වී තිබේ

    ගෙවත්ත යනු

     ‘ගෙවත්ත’ යන වචනයත් බොහොම පැරණි එකකි. එය විටින් විට ඉස්මතු වන්නේය. අපගේ කරුමයට ස්ථාවරව කලක් පවතින්නේ නැතිව නැවත අතුරුදහන් වන්නේය. 1954 වැනි ඈත අතීතයකදී ගෙවත්ත යනු කුමක්දැයි හැඳින්වීමට එක්තරා ලේඛකයෙකු ලියා තිබූ අර්ථ දැක්වීමක් මගේ මතකයට එයි. “පෞද්ගලික අයිතියක් තිබෙන, බහු වාර්ෂික හා වාර්ෂික වගාවන්ගෙන් සමන්විත, වාසස්ථානය අවට ඇති කුඩා බිම් කොටසක්” වශයෙන් එදා ගෙවත්ත හඳුන්වා දී තිබුණි.

    අද වනවිට නම් මෙය සංස්කරණය කලයුතු අර්ථ දැක්වීමකි. මහල් නිවාසවාසීන් වෙනුවෙන්ද ගෙවත්තක් හඳුන්වාදීමට අද අප උත්සාහ දරමින් සිටින්නෙමු. එය දර්ශීය වගා බිමක් සේ තිරස්ව පැතිරුණ එකක් නොව බොහෝවිට සිරස් අවකාශය අත්කරගන්නා, ආධාරක මත සැලසුම් සහගතව අසුරන ලද බඳුන් පැල වලින් සමන්විත ගෙවත්තකි. කෙසේ වෙතත් කුඩා දරුවන් ගෙවත්තට යොමුවෙනවා යනු මහත් වාසනාවක්මය.

    වැඩිහිටියන් යමක් ඉගෙනීමට යම්කිසි සංවේදක පද්ධතියක සීමිත උපකාරයක් ලබා ගත්තත්, දරුවන් ඉගෙනීම කරන්නේ සියලු සංවේදක අවයවයන්ට දැනෙන හැඟීම් සංකලනයෙන් යයි විද්වතුන් පෙන්වා දී තිබේ. මුළු පවුලම දින නියමයක් නොමැතිව නිවාස අඩස්සියට පත්වූ කල වැඩිහිටියන්ගේ කතාබහ වෙනදාට වඩා දරුවන්ට අසන්නට ලැබීමත්, තමාට තේරෙන තරමින් ඒවාහි දිග පළල මැනීමට දරුවන් පෙළඹීමත් ස්වභාවිකය.

    ඇඳිරිනීති නිවේදනය ඇසෙත්ම ලහි ලහියේ ගේ ඇතුලට දමාගත් ආහාර කළමනා මල්ල, ටිකෙන් ටික ඉවර වෙනවාට අමතරව, පිටරටින් එන නැව් නතරවීම හමුවේ ඉදිරි ආහාර හිඟයක් ගැන දෙමාපියන් අතර කෙරෙනා කතාබහ කුඩා දරුවන්ට කෙසේ දැනුනාදැයි අපට පැහැදිලි නැතිවුවත්, අහල පහලින් යම් දෙයක් වගා කරගැනීමේ අවශ්‍යතාවයක් ඇතිබව නම් දරුවන් වෙතට සන්නිවේදනය වී තිබේ. ඉහත කී කුඩා දරුවන් දෙදෙනා ගෙවත්තක් තනන්නට නිරායාසයෙන්ම ඉදිරිපත් වී ඇත්තේ එබැවිනි. එහි ආස්වාදය ඔවුන් විසින් ආරම්භක මොහොතේ සිටම අත්දකිනවා ඇත.

    පස අවුස්සන විට ඉන් පිටවෙන සුවඳ ඔවුනට අමුතුය. බීජ හා පැලවල විවිධ වර්ණයන්, හැඩයන් හා විශාලත්වයන් මෙතෙක් කාලයක් විවේකයේදී ‘ගේම්’ ගැසූ දෙමාපියන්ගේ ස්මාර්ට් ෆෝනය තුල තිබුණු රූප හා පාට වලට ගැලපෙන්නේත් නැත. තම සුරතල් පූස් පැටවා බලාගන්නා තරමටම ගෙවතු වගාවත් භාරධූර කටයුත්තකි. බීජයක් හෝ පැලයක් පොළොවේ සිටවූ වේලේ පටන්, එය අපගේ ආහාරයක් බවට පත්කරගන්නා තෙක්, පැලෑටියටත් මෘදු ලෙස උපස්ථාන කලයුතු බව ළපැටියාට අත්දැකීමෙන් තේරුම් යන්නට එතරම් කලක් ගත නොවේ.

    ඒ අනුව පෙනෙන්නේ වෙනත් ජීවියෙකු කෙරෙහි සහකම්පනයක් කුඩා සිතක් තුල ජනිත කරවීමට ගෙවතුවගාව හොඳ වේදිකාවක් බවයි. අපේ පැරණි ගොවියා තුල පවා සත්ව කරුණාව ගොඩනැගී තිබුනේ ගොවිතැනෙන් ලද මේ ආභාෂයෙනි. තම වගාව රැකගැනීම උදෙසා බැරිම තැන සතුන් මැරුවා මිස, ඔහු වැඩිපුර කෙරුවේ සතුන් පලවා හැරීමෙන් තම වගාව රැකගැනීමයි. දිය හොල්මන, ටකය, පඹයා, ගොක් රැහැන් ආදී දෑ කිසිදු ජීවියකුට හානි කෙරුවේ නැත. එසේනම් දරුවාව ගෙවත්තට අතහැරීම, හදිස්සියට කන්න යමක් වවාගන්නට ඉගැන්වීමක් පමණක්ම නොවේ. පරිසරයට ආදරය කරන සමාජයක් උදෙසා කරන කළල රෝපනයක්ද වේ.

    පස් අතේ තවරාගැනීම හා බැඳුනු අපූරු කතා පුවතක්ද මා හට කියවන්නට ලැබී තිබේ. නූතන පර්යේෂණ දත්තයන් උපුටා දක්වමින්, විද්‍යා සඟරාවකට ලිපියක් සපයන ඕස්ට්‍රේලියානු ජාතික ලේඛිකාවක් වූ රෝබින් ෆ්‍රැන්සිස් මහත්මිය පවසා සිටින්නේ සෙරොටොනින් සහ ඩෝපැමින් නම්වූ රසායන ද්‍රව්‍යයන් දෙකක්, මිනිස් සිරුර තුලම නිපදවමින් විශාදය නමැති රෝග තත්වය පාලනය කිරීමට පෙරමුණ ගෙන ඇති බවයි. කුමක්ද මේ විශාදය? නූතන සමාජය තුල මෙය පුළුල්ව කතා බහ කෙරෙනා මානසික සෞඛ්‍ය ප්‍රශ්නයකි.

    වසංගතයක් ලෙස මෙම තත්වය ලොව පුරා වේගයෙන් පැතිරී ගියත් කෝවිඩයාගේ ආක්‍රමණය මෙන් මෙය බෝවෙන රෝගයක් නම් නොවේ. කෙළවරක් නොදකින අභියෝගයන් හඹා යාම සඳහා මිනිසා උනන්දුවීම පසුපස එන සංකීර්ණ හා ව්‍යාකූල දිවි පැවැත්ම විශාදය ඇතිවීමට ප්‍රධාන හේතුවකි. බාහිරින් ප්‍රතිකාර කරනවාට වඩා ශරීරය තුලින්ම රෝගයට බෙහෙත් මතුකර ගැන්මට ලොව පුරා පර්යේෂකයින් උනන්දුවීමට පටන්ගෙන තිබෙන අතර, මෙය කල හැකි වන්නේ සතුට ඇතිකරන රසායන ද්‍රව්‍යයන් දේහය තුල නිපදවීම උත්තේජනය කරවීමෙන් බවද පෙනීගොස් ඇත.

    මෑතකදී ප්‍රකාශයට පත්වූ මෙම අපූරු සොයාගැනීමට අනුව මේ සඳහා කල යුත්තේ ඔබ විසින් ගෙවත්තේ වැවූ බෝගයන්හි අස්වැන්න, පස් තවරාගත් අපිරිසිදු දෑතින් යුතුව නෙලා ගැනීමයි.

    පස් අතේ තවරාගැනීම හා බැඳුනු අපූරු කතා පුවතක්ද මා හට කියවන්නට ලැබී තිබේ. නූතන පර්යේෂණ දත්තයන් උපුටා දක්වමින්, විද්‍යා සඟරාවකට ලිපියක් සපයන ඕස්ට්‍රේලියානු ජාතික ලේඛිකාවක් වූ රෝබින් ෆ්‍රැන්සිස් මහත්මිය පවසා සිටින්නේ සෙරොටොනින් සහ ඩෝපැමින් නම්වූ රසායන ද්‍රව්‍යයන් දෙකක්, මිනිස් සිරුර තුලම නිපදවමින් විශාදය නමැති රෝග තත්වය පාලනය කිරීමට පෙරමුණ ගෙන ඇති බවයි. කුමක්ද මේ විශාදය? නූතන සමාජය තුල මෙය පුළුල්ව කතා බහ කෙරෙනා මානසික සෞඛ්‍ය ප්‍රශ්නයකි.

    “ගෙවතු වගාව තුලදී ඔබගේ ඇඟිලිතුඩු පස හා ගැටී අපිරිසිදු වෙන විට මයිකොබැක්ටීරියම් වැක්සේ (Mycobacterium vaccae) නම් පාංශු බැක්ටීරියාව අත්වල තැවරිලා මිනිස් මොලයේ සෙරොටොනින් නම් ද්‍රව්‍ය නිපදවීම උත්තේජනය කරනවා. එය ‘සතුටු රසායනයක්’. ඒ මගින් ප්‍රතිශක්ති පද්ධතිය ශක්තිමත් කර විශාදය අඩු කරනවා. රුධිරගත සෙරොටොනින් අඩු තත්වය යටතේ තමයි විශාදය ඉහල යන්නේ”

    ෆ්‍රැන්සිස් මහත්මිය පවසන්නේ එලෙසය. තවත් පර්යේෂණ තොරතුරක් පෙන්වා දෙන්නේ තම වගාවෙන් අස්වැන්න නෙලනා විට මොලයෙන් ශ්‍රාවය කෙරෙනා ඩෝපැමින් නම් සංයෝගය ගැනයි.

    විද්වතුන් විශ්වාසකරනා අන්දමට මෙහි ඉතිහාසය වසර දස දහස් ගණනකට පෙර විසූ ‘දඩයම්කරන හා පලවැල එකතුකරන’ (Hunting and Gathering) මානවයා සමගද බැඳී පවතී. තමා සොයන ආහාරය දුටු පමණින්ම, එහි සුවඳ දැනුනු විගසින්ම, එසේ නැතහොත් පලවැල නෙලනා අතරතුරදීම, මොලයේ සුවිශේෂ ස්ථාන වෙතින් හදිසි ඩෝපැමින් නිදහස් කිරීමක් සිදුවන්නේය. සිතෙහි අහුමුලුවලට අරක්ගෙන තිබූ සියලු කහට දුරලා, මිනිසා තෘප්තිමත් කිරීමට මෙම ක්ෂණික ඩෝපැමින් ප්‍රහාරය සමත්වේ.

    එක්සත් රාජධානියේ විද්‍යාඥයින් පිරිසක්ද, මීට සමාන ප්‍රතිපල අනාවරණය කරගනිමින් “නියුරොසයන්ස්” නම් සඟරාවේද ලිපියක් පලකොට තිබේ. ඔවුන්ද පවසා සිටින්නේ පසෙහි වෙසෙන හිතකර බැක්ටීරියා වර්ග, ප්‍රතිවිශාද තත්වයන් උදෙසා මොලයට උපකාරී වන බවයි. එසේනම් ගෙවත්තේ වැඩ කරන විට මෙතෙක් පැළඳි අත්වැසුම් යුගලය විවේක ගැන්වීමට දැන් කාලය පැමිණ තිබේ. කලයුත්තේ නග්න ඇඟිලි තුඩු වලින් පස අවුස්සා ගොවිතැන් කිරීමයි. වසවිසෙන් තොර නැවුම් ප්‍රනීත ආහාරයක් සමග මිලකළ නොහැකි මානසික සතුටක්ද, නිධානයක් සේ වත්ත පහළින්ම මතුවී ඇත.

    එසේනම් “මඩ සෝදාගත් කල ගොවියා රජකමට වුවත් සුදුසුය” යන යෙදුමද කාලානුරූපව යන්තමට එහා මෙහා කලයුතු බවක් පෙනේ. මන්දයත්, යහපත් මානසිකත්වයකින් සාර්ථකව රජකම් කලහැක්කේ, මුළුමනින්ම මඩ සෝදාගත් ගොවියෙකුට නොව, රජකම් කරන අතරතුර පස අතපතගාමින් ගොවිතැන්ද කරන මිනිසෙකුට බැවිනි!! මෙවන් වටාපිටාවක් යටතේ කෝවිඩයා ලබාදුන් විශ්‍රාමය හරහා හෝ ඒකාකාරී කෘතිම දිවිපෙවෙතකට හුරුවෙමින් සිටිනා මෙරට බාල පරම්පරාව ගෙවත්තක් හදන මානසිකත්වයකට පුරුදු වෙන්නේ නම් කෙතරම් වාසනාවක්ද? දරුවා ලබන පන්නරය මෙපමණකින් නවතින්නේද නැත.

    ගෙවත්ත විසින් දරුවාට ‘වගකීම’ පුරුදු කරනු ලබයි. සැලසුම් ගතවීමට හුරුකරයි. සුරතල් සතෙකු සාදනවා මෙන් ගෙවත්තේ පැළෑටි වලටත් කලට වෙලාවට පොහොර, ජලය ආදිය ලබාදීමත්, අහිතකර කාලගුණ තත්වයන් පැමිණෙන්නේ නම් තම ගෙවත්තේ බෝග එයින් රැකගත යුතුවීමත් කලයුතු නිසා පුංචි මොලය කුඩා සන්ධියේ සිටම පුරුදු පුහුණු වන්නේ වගකීම් දැරීමටත්, තමා හමුවට එන ගැටළු වලට විසඳුම් දීමටත්ය.

    ගෙවත්ත විසින් දරුවාට ‘වගකීම’ පුරුදු කරයි

    ගෙවත්ත විසින් දරුවාට ‘වගකීම’ පුරුදු කරනු ලබයි. සැලසුම් ගතවීමට හුරුකරයි. සුරතල් සතෙකු සාදනවා මෙන් ගෙවත්තේ පැළෑටි වලටත් කලට වෙලාවට පොහොර, ජලය ආදිය ලබාදීමත්, අහිතකර කාලගුණ තත්වයන් පැමිණෙන්නේ නම් තම ගෙවත්තේ බෝග එයින් රැකගත යුතුවීමත් කලයුතු නිසා පුංචි මොලය කුඩා සන්ධියේ සිටම පුරුදු පුහුණු වන්නේ වගකීම් දැරීමටත්, තමා හමුවට එන ගැටළු වලට විසඳුම් දීමටත්ය.

    මේ සඳහා ඉවසීම සංවර්ධනය කරගැනීමත්, පුරුදු කරගත යුතු අත්‍යවශ්‍යම ගුණාංගයකි. පැලයක් සිටවූ පමණින් හෝ මලක් පරවී ගොස් ගෙඩියක් හටගත් පමණින්, එය අස්වැන්න ලෙස නෙලා ගැනීමට නොහැකිය. ඒ වෙතට දිනපතා පැමිණෙන දරුවා, එහි වර්ධන පියවරයන් ගැන සැලකිලිමත් වෙනවා සේම නිසි කල එළඹෙන තුරු ආසාවෙන් හා ඉවසීමෙන් ඒ දෙස බලා සිටී. මෙවන් ප්‍රායෝගික අභ්‍යාසයක් කිසිදිනෙක පාසැල් කාලපරිච්ඡේද හරහා ඔහු වෙත ලැබෙන්නේ නැත. නිවාඩුකාලයේ තක්සලාව යනුවෙන් අප ගෙවත්ත හැඳින්වීමට එය තවත් හේතුවකි.

    මෙවන් මානසික පරිණතභාවයක් දරන ළමයින්ව පවුලේ කටයතු සඳහා සම්බන්ධ කරගැනීමටද පහසුය. දරුවන් සමග ගෙවත්තට ගිය විටදී, වවන බෝග වර්ගය පිළිබඳවත්, කොතැනක කොපමණ වවනවාද වැනි කරුණු ගැනත් ඔවුන් සමග අදහස් හුවමාරු කරගැනීමටත්, සාධාරණ නම් එම අදහස් වලට එකඟවීමටත් වැඩිහිටියන්ට සිදුවෙනු ඇත. තම අදහස් පවුල තුල ක්‍රියාත්මක වෙනවා දැකීම දරුවාට සුළුපටු ආඩම්බරයක් නොවේ. ඔහු ලබනා මානසික ප්‍රබෝධයද අති මහත්ය. ගෙවත්තක් යනු පවුලේ සහයෝගිත්වය ඔපදමන ස්ථානයක් වන්නේ එබැවිනි. එය ළමා ළපටීන්ගේ අදහස් වලට පණ එන තැනකි.  

    එපමණක්ද නොව, දරුවාගේ නිර්මාණශීලිත්වයේ ප්‍රවර්ධනයටද ගෙවත්ත හොඳ උපකාරකයෙකි. පාත්ති සැකසීම, සුර්යාලෝකය හා සෙවන මිශ්‍රව ලැබෙනසේ බෝග පැල ස්ථානගත කිරීම වැනි ක්‍රියාකාරකම් හරහා ඔවුන්ගේ නිර්මාණශීලිත්වයට ලැබෙන්නේ සුළුපටු සත්කාරයක් නොවේ. මේ ඔස්සේ සංවර්ධනය වන මනස තුලින්, තම ගෙවත්ත මල් හා පල දරනා විට, වැඩිහිටියන් මවිත කරවන සුන්දර සිතුවම් මෙන්ම කලාත්මක ඡායාරූප පවා පොඩිහිටියන් වෙතින් බිහිවීම අරුමයක් නොවේ.

    දරුවන්ට ගැලපෙන ආහාරයක් සකසා තම සිතට සෑහෙන තරමට ඔවුනට එය ගිල්ලවීම උදෙසා අම්මලා අල්ලන අඩවු කස්තිරම් කොපමණදැයි නාගරික හා අර්ධ නාගරික නිවෙස්වාසී නොදන්නා කෙනෙක් නැත. පහසුවට ලාභයට පමණක් නොව, දරුවාගේ පාසැල් සගයින්ගේ කෑම පෙට්ටියේ අන්තර්ගතයන්ටද නොදෙවෙනි වන්නට සිතා, ‘ක්‍ෂණික කෑම’ නමැති දහජරාවක් සමග දරුවා පාසල් යවන බහුතරයක් අම්මලා, ළපැටියන්ගේ දිව හුරුකර ඇත්තේ රසකාරක ඇත්නම් පමණක් කෙල උනන්නටය.

    ඉතින් ගෙදර කෑමපංගුව හමුවේ යුද්ධයක් දියත්වීමේ අරුමයක් නැත. බොහෝවිට ප්‍රතිකර්මය වන්නේ ගෙදර කෑමටත් රසකාරක චුට්ටක් දැමීමේ භයානක සිරිත වෙත ඇදී යාමයි. දරුවා ගෙවත්තට හුරුවීම සිදුවන්නේ නම්, ආහාර රුචිය ඔහුට ඇතිවන්නේ තමාගේ වගාවෙන් අස්වැන්න නෙලද්දීමය. නැවුම් සුවඳ හමන එළවලුවල පවිත්‍රතා සහතිකය ගැන සැකයක් නොමැති බැවින්, ඒවා අනවශ්‍ය තරමට තැම්බීම හෝ පිසීම අවශ්‍ය නොවේ.

    හැකි ඒවා බය නැතිව අමුවෙන්ම අනුභව කල හැකිය. තාපය හමුවේ විනාශවෙන පෝෂ්‍ය පදාර්ථයන්ද මේ නිසා සුරැකිව ශරීර ගතවේ. රසකාරක හමුවේ නැවෙන දිව, නැවුම් එළවලු පලතුරු රසය ප්‍රිය කරන්නට පටන් ගන්නවා ඇත. කෝවිඩයාගේ ආගමනය නිසා යලි පන ගැනුණු ගෙවතු පුරුද්ද දරුවාගේ පෝෂණ අභිවෘද්ධිය සඳහාත්, කෑම කාමරයේ යුද්ධයට විරාමයක් ලබාගැනීම උදෙසාත් භාවිතා කලයුත්තේ එබැවිනි.

    ආහාර සුරක්‍ෂිතතාවයේ යම් ප්‍රමාණයක් ගෙදරදොරේ අහල පහලින් සපුරාගැනීම දිරිගැන්වීමේ ගෞරවය කෝවිඩයා වෙත ලබාදීමට නම් මා සුදානම් නැත. ඇතැමුන් මේ දිනවල එවන් රිදී රේඛාද දකිති. දන්නා කියන ධර්මතාවයන් යලි මතක් කරදෙන්නට ලක්‍ෂ ගණනින් මිනිසුන් බිලිගන්නා බිහිසුණු වසංගත පැමිණිය යුතු නොවේ.

    පණ යන ජීවිත වල හුස්මේ බලයෙන් ලෝකය කෙතරම් වට ගණනක් ආපසු කැරකී ගියද, මානවයාට ඉන් සැලසෙනා ශුද්ධ ප්‍රතිලාභයක්ද නැත. පැරණි සාරධර්ම අමතකකිරීමේ වරද මානවයාටය. වයෝවෘද්ධ දුර්වල මිනිසුන් තෝරාගෙන ඔවුන්ගේ පෙනහළුවල සෙම පිරවීමේ වරද කෝවිඩයාටමය. හරය ලවය දෙකට වැරදි දෙක දමා කැන්සල් කර, උත්තරය බිංදුවයි කියමින් ගෝලීයකරණය හඹායාම යලි අරඹන්නේ නැතිව, මේ මොහොතේ අප කලයුතු හොඳම දෙය වන්නේ, ග්‍රොසරියට දුවන ගමන ටිකකට අඩුකර, දරුවන්ද කැටිව ගෙවත්තට යාමයි.

  • කොවිඩ්-19 පරීක්ෂණ වැඩි නොකර ‘සමාජ දුරස්ථභාවය අඩු කළොත්’ දැඩි අර්බුදයක් !

    කොවිඩ්-19 පරීක්ෂණ වැඩි නොකර ‘සමාජ දුරස්ථභාවය අඩු කළොත්’ දැඩි අර්බුදයක් !

    දිනකට සිදුකරන කොවිඩ් 19 වෛරස් ආසාදිතයින් සොයා බැලීමේ පරීක්ෂණ ප්‍රමාණය වැඩි නොකර සමාජ දුරස්ථභාවය අඩු කිරීමට පියවර ගතහොත් සිතනවාට වඩා වැඩි අර්බුදකාරී තත්ත්වයක් ඇති විය හැකි බව හිටපු අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතා සමාජ මාධ්‍ය හමුවේ විශේෂ ප්‍රකාශයක් කරමින් පවසනවා. 

    මෙමගින් හිටපු අගමැතිවරයා රජයෙන් ඉල්ලා සිටින්නේ ලෝක සෞඛ්‍ය සංවිධානය විසින් නිකත් කර ඇති උපදෙස් මාලාව උපදෙස් මාලාව සම්බන්ධව ජනතාවට නිසි අවබෝධයක් දෙන ලෙසයි.

    ලෝකයම කොවිඩ් වසංගතය පාලනය කරන්නේ  සමාජ දුරස්ථභාවය වැඩි කරමින් හා පරීක්ෂණ වැඩි කරමින් බව පෙන්වා දෙන හිටපු අගමැතිවරයා සාමාන්‍යයෙන් දිනකට පරීක්ෂණ 3000ක් වත් සිදුකළ යුතු බවත් සඳහන් කරයි. 

    හිටපු අගමැති රනිල් වික්‍රමසිංහ මහතා විසින් සිදුකළ විශේෂ ප්‍රකාශය පහත දැක්වෙයි.

  • මැතිවරණයට කෝටි 800ක් වියදම් කරමින් රාජ්‍ය සේවක වැටුප ඉල්ලීම සදාචාර සම්පන්න නෑ – ස.සේ.නි. සංගමය

    මැතිවරණයට කෝටි 800ක් වියදම් කරමින් රාජ්‍ය සේවක වැටුප ඉල්ලීම සදාචාර සම්පන්න නෑ – ස.සේ.නි. සංගමය

    ජනාධිපති ලේකම් ආචාර්ය පී. බී. ජයසුන්දර මහතාගේ අත්සනින් ජනාධිපති ලේකම් කාර්යාල ලිපි ශීර්ෂය යොදාගනිමින් රාජ්‍ය ප‍්‍රධානීන් අමතමින් රාජ්‍ය සේවකයින්ගේ මැයි මාසයේ වැටුප හෝ අඩක් පරිත්‍යාග කරන ලෙස කර ඇති පෞද්ගලික ඉල්ලීම පිළිබඳව  දැඩි අප‍්‍රසාදය පළ කරන බව සංවර්ධන නිලධාරී සේවා සංගමය ජනපති ගෝඨාභය රාජපක්ෂ මහතා වෙත ලිපියක් යොමු කරමින් සදහන් කරනවා.

    මුළුමහත් රටේම සාමාන්‍ය ජනතාව දැඩි දුෂ්කරතාවකට පත්ව ඇති මොහොතක රාජ්‍ය සේවක මැයි වැටුප ආණ්ඩුවට ලබා ගැනීමේ උත්සහයට එකඟ නොවෙමු!” යන ශීර්ෂයෙන් යුතුව ජනාධිපතිවරයා වෙත යොමු කළ මෙම ලිපිය මගින් ජනාධිපති ලේකම්ගේ මෙම ඉල්ලීම සදාචාර සම්පන්න නොවන බවත්  එය බරපතළ ගැටලු ඇති කරන්නක් බවත් සඳහන් කර තිබෙනවා.

    එම ලිපිය සම්පූර්ණයෙන්ම පහත දැක්වෙනවා.

    ගෝඨාභය රාජපක්ෂ මැතිතුමා,
    ජනාධිපති ලේකම් කාර්යාලය,
    කොළඹ 01.

    ගරු ජනාධිපති තුමනි,

    මුළුමහත් රටේම සාමාන්‍ය ජනතාව දැඩි දුෂ්කරතාවකට පත්ව ඇති මොහොතක රාජ්‍ය සේවක මැයි වැටුප ආණ්ඩුවට ලබා ගැනීමේ උත්සහයට එකඟ නොවෙමු!

    ගරු ජනාධිපති ලේකම් ආචාර්ය පී. බී. ජයසුන්දර මහතාගේ අත්සනින් ජනාධිපති ලේකම් කාර්යාල ලිපි ශීර්ෂය යොදාගනිමින් රාජ්‍ය ප‍්‍රධානීන් අමතමින් රාජ්‍ය සේවකයින්ගේ මැයි මාසයේ වැටුප හෝ අඩක් පරිත්‍යාග කරන ලෙස කර ඇති පෞද්ගලික ඉල්ලීම පිළිබඳව අපගේ දැඩි අප‍්‍රසාදය පල කරමු.

    අග‍්‍රාමාත්‍ය ලේකම්, මහ බැංකු අධිපති, අමාත්‍ය මණ්ඩල ප‍්‍රධානීන් සහ දෙපාර්තමේන්තු ප‍්‍රධානීන් දක්වා යොමු කරමින්, නීතිපති හා විගණකාධිපති වෙත පිටපත් යොමු කරමින් ජනාධිපති ලේකම්වරයා සිදු කර ඇති පෞද්ගලික ඉල්ලීම බරපතල ගැටළුවකට මුහුණ දෙන බවද ප‍්‍රකාශ කළ යුතුව ඇත.

    #Covid- 19 වසංගත තත්වය අපේ රටට ඇතුල්වූ දා සිට අපේ රටේ ජනතාව වෛරසය වැළදේයයි දැඩි ජීවිත අවධානමකින් සිටින අතර දැඩි ආර්ථික දුෂ්කරතාවයකින් ද පෙළෙති.

    මෙම තත්වය හමුවේ රාජ්‍ය සේවකයින්ද විශාල අර්බුදයකට මුහුණ දී සිටී. මාර්තු හා අපේ‍්‍රල් මාසවල රාජ්‍ය සේවකයින්ට මූලික වැටුපට අමතර අතිකාල හෝ වෙනත් දීමනා ලබා ගැනීම සඳහා ඉඩකඩක් නොවුණි.

    මැයි මාසය රාජ්‍ය සේවකයින්ට මුහුණ දීමට සිදුවන දරුණුම මාසයක් වනු ඇත. අත්හිටුවා ඇති බැංකු ණය පොළී හා වාරික අයකර ගැනීම, ගෙවල් වලට එන අධික මිලක් සහිත විදුලි, ජල හා දුරකතන බිල්පත් ගෙවීමට සිදුවීම, මේ වන විටත් දැරීමට නොහැකි බඩුමිල ඉහළ යෑම ආදී ගැටළු ගණනාවකට ඔවුහූ මුහුණ දෙති.

    #Covid- 19 වසංගත තත්වය හමුවේ රාජකාරී කිරීමට සිදු වූ අවස්ථාවේ දී ආශ‍්‍රිත සේවයට අයත් නිලධාරීන් හා සංවර්ධන නිලධාරීන් බොහෝ පිරිසකට මුව ආවරණ ඇතුළු උපකරණ පවා සිය පෞද්ගලික වියදමින් මිල දී ගෙන රාජකාරී කිරීමට සිදුවිය. එවැනි අවම පහසුකම් පවා නොලැබුණි.

    මෙම වසංගත තත්වයට මුහුණදුන් ලෝකයේ බොහෝ රටවල් පීඩාවට පත් රාජ්‍ය සේවකයින්ට විශේෂ සහන ලබා දී ඇත. ඇතැම් රටවල් ජනතාවට විශේෂ පීඩනයක් එල්ල නොකර මැති ඇමතිවරුන්ගේ වරප‍්‍රසාද ඉවත් කර ගනිමින් රටේ ආර්ථිකයට සහනයක් වී ඇත.

    මාර්තු – අපේ‍්‍රල් දැඩි අවධානම් කාලසීමාවල් තුළ දී රාජ්‍ය හා පළාත් රාජ්‍ය සේවය නියෝජනය කරන MN-04 වැටුප් තලයට අයත් උපාධිධාරීන් සිය රාජකාරී ඉටු කරනු ලැබුවේ කිසිඳු දීමනාවක් ද ලබා නොගනිමින් බව ද දන්වා සිටිමු.

    වාහන මිලදී ගැනීම්, හිටපු රාජ්‍ය ඇමතිවරු සඳහා විශේෂ වරප‍්‍රසාද, අධිවේගී මාර්ග අලූතින් ආරම්භ කිරීම, මැතිවරණයට කෝටි 800 වැනි මුදලක් වියදම් කිරීමට නියමිත වේ. සියලූ වියදම් මේ තත්වය යටතේ කළයුතු දැයි යලි සිතා බැලිය යුතුව ඇත.

    කෙසේ වෙතත් ජනාධිපති ලේකම්වරයා සිදුකර ඇති පෞද්ගලික ඉල්ලීම මේ මොහොතේ සදාචාර සම්පන්න එකක් නොවන බව අපි පෙන්වා දෙන්නෙමු. රාජ්‍ය හා පළාත් රාජ්‍ය සේවයේ MN-04 වැටුප් තලයට අයත් සමස්ත උපාධිධාරී නිලධාරීන් නියෝජනය කරන අප මේ ඉල්ලීම මේ මොහොතේ නුසුදුසු යෝජනාවක් බව පෙන්වා දෙමු. පෞද්ගලික ඉල්ලීමක් වේශයෙන් පැමිණ කිසිඳු ආකාරයකට රාජ්‍ය සේවකයින්ගේ වැටුප් කපා ගැනීමේ සූදානමක් පවතී නම් අප වෘත්තීය සමිති ව්‍යාපාරය ඊට එකඟ නොවන බවද දන්වා සිටිමු.

    ස්තූතියි.

    මෙයට,
    චන්දන සූරියආරච්චි
    ප‍්‍රධාන ලේකම්

  • හිටපු ජනපති ඔබාමා ‘ජනපති ට්‍රම්ප්ව පතුරු ගසයි’

    හිටපු ජනපති ඔබාමා ‘ජනපති ට්‍රම්ප්ව පතුරු ගසයි’

    Covid-19 වසංගතයට එරෙහිව ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් දැක්වූ ප්‍රතිචාරය ‘අවුල් සහගත ව්‍යසනයක්‘ යැයි හිටපු ජනාධිපති බැරක් ඔබාමා චෝදනා කරන බව අල් ජසීරා වාර්තාවක දැක්වෙයි.

    ආදි ශිෂ්‍ය සංගමයේ සාමාජිකයින් 3,000ක් සහ තම පාලන සමයේ පරිපාලන සේවයේ කටයුතු කළ පුද්ගලයින් සමඟ පසුගිය සිකුරාදා ඔබාමා පැවැත් වූ සාකච්ඡාවකදී සිය ආධාරකරුවන්ගෙන් ඔහු ඉල්ලා සිටියේ නොවැම්බර් මැතිවරණයෙන් ට්‍රම්ප් නෙරපා හැරීමට උත්සාහ කරන ඩිමොක්‍රටික් ජනාධිපති අපේක්ෂක ජෝ බිඩෙන්ට සහයෝගය ලබා දෙන ලෙසයි.

    “සෑම මට්ටමකින්ම එළඹෙන මැතිවරණය ඉතා වැදගත් වන්නේ අප සටන් කිරීමට යන්නේ විශේෂිත පුද්ගලයකු හෝ දේශපාලන පක්ෂයක් පමණක් නොවන නිසායි. අප සටන් කරන්නේ මෙම දිගු කාලීන ප්‍රවණතාවන්ට ආත්මාර්ථකාමී වීම, බෙදී යාම සහ අන් අය සතුරෙකු ලෙස දැකීම (එය ඇමරිකානු ජීවිතයේ ප්‍රබල ආවේගයක් බවට පත්ව ඇත) නිරන්තයෙන් සිදුකරන පුද්ගලයෙක් සමගයි. එසේම, ජාත්‍යන්තර වශයෙන් ද අපි එය දකිමු‘

    “ජෝ බිඩෙන් වෙනුවෙන් මට හැකි තරම් කාලයක් ගත කර, හැකි තරම් වෙහෙස මහන්සි වී වැඩ කරන්නෙමි” යනුවෙන් ඔබාමා පැවසීය.

    මිලියන 1.3 කට ආසන්න සංඛ්‍යාවක් වන කොවිඩ්-19 ආසාදනට ලක්ව ඇති අතර මරණ 78,000 කට වඩා එක්සත් ජනපදය තුළ සිදුව ඇත. එය තව දුරටත් අඛණ්ඩව ඉහළ යමින් පවතී.

    ශතවර්ෂයක් තුළ එක්සත් ජනපදය තුළ ඇති වූ දරුණුතම අර්බුදයන්ගෙන් එකක් වන කොවිඩ්-19 වසංගතය හමුවේ‍ෙ වත්මන් ජනපති ඩොනල්ඩ් ට්‍රම්ප් කටයුතු කරන ආකාරය දැඩි විවේචනයට ලක්ව ඇත.

    විචාරකයින් පවසන්නේ ට්‍රම්ප්, වෛරසය නිසා ඇති වූ තර්ජනය මුලින් අවතක්සේරු කිරීමෙන් පසු, පෙබරවාරි මාසයේ දී ඇමරිකාවේ රෝග කාරකය ව්‍යාප්ත වීම සමග ඔහුගේ පරිපාලනය විවිධ අර්බුදය හා නොසලකා හැරීම් සිදුකරමින් කාලය නාස්ති කළ බවයි.

    නැවත තේරී පත්වීම කෙරෙහි අවධානය යොමු කරමින්, ජනාධිපතිවරයා තම දේශපාලන අවශ්‍යතා මිනිස් ජීවිතවලට ඉදිරියෙන් තබන බවට චෝදනා කර ඇති අතර, වසංගතය හේතුවෙන් දුර්වල වූ ආර්ථිකය ආරක්ෂිත කරන්නේ කෙසේද යන්න පිළිබඳ පැහැදිලි සැලැස්මක් නොමැතිව ආර්ථිකය නැවත විවෘත කිරීමට ට්‍රම්ප් දක්වන බලහත්කාරී උනන්දුව ද දැඩි විවේචනයට ලක්ව ඇත.

    ධවල මන්දිර ප්‍රකාශක කයිලි මැක්නනි පැවසුවේ කොවිඩ්-19 වෛරසයට ට්‍රම්ප් දැක්වූ ප්‍රතිචාරය “පෙර නොවූ විරූ එකක්” බවත් ඔහු සිය සැලසුම් මගින් ඇමෙරිකානු ජීවිත බේරාගෙන ඇති බවත්ය.

    නීතියේ ආධිපත්‍යය පිළිබඳ අනතුරු ඇඟවීම

    ධවල මන්දිරයේ හිටපු ජාතික ආරක්ෂක උපදේශකයෙකු වන මයිකල් ෆ්ලින්ට එරෙහි නඩුව ඉවත් කරන බව අධිකරණ දෙපාර්තමේන්තුව පැවසීමෙන් පසු එක්සත් ජනපදය තුළ “නීතියේ ආධිපත්‍යය අවදානමට ලක්ව ඇති” බවට ද ඔබාමා ද අනතුරු ඇඟවීය.

    රුසියාව 2016 වසරේ පැවැති එක්සත් ජනපද මැතිවරණයට මැදිහත් වූ බවට චෝදනා කෙරෙන විමර්ශනයේ ප්‍රධාන ඉලක්කයක් වන ෆ්ලින් 2017 දී වරද පිළිගත්තේය.

    ෆ්ලින් ලුහුබැඳීමට කිසි විටෙකත් පදනමක් නොමැති බවත්, එෆ්බීඅයි සිය බලතල අනිසි ලෙස භාවිතා කළ බවත් නීතිපති විලියම් බාර්ගේ ප්‍රකාශය නීති විශාරදයින්ගේ සහ සිවිල් සමාජ කණ්ඩායම්වල දැඩි විවේචනයට ලක් විය.

    උප ජනාධිපති මයික් පෙන්ස්ට බොරු කීම නිසා ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් ෆ්ලින්ට චෝදනා කළේය. ඒ අතර ට්‍රම්ප් හිටපු ජෙනරාල්ගේ නඩුව ගැන නිතර නිතර ට්වීට් කළ අතර එය එෆ්බීඅයි විමර්ශනයට එරෙහිව ඔහුගේ ආධාරකරුවන් වෙනුවෙන් හඩ නැගීය. ට්‍රම්ප් මෑතකදී ෆ්ලින්ව නිදොස් කොට ප්‍රකාශයට පත් කළේය.

    “පසුගිය පැය 24 පුරා මා සිතූ පුවත තරමක් පහත් කොට සලකනු ලැබුවා. අධිකරණ දෙපාර්තමේන්තුව මයිකල් ෆ්ලින්ට එරෙහි චෝදනා ඉවත් කිරීම ගැන මම පුදුම වෙනවා” ඔබාමා පැවසීය.

    “වැරදිසහගත චෝදනාවට ලක්ව ඇති අයෙකු සඳහා කිසිවෙකුට සොයාගත හැකි පූර්වාදර්ශයක් නොමැති වීම අපකීර්තියෙන් මිදීමයි. එය ඔබ කනස්සල්ලට පත්වීමට පටන් ගන්නා ආකාරයේ කාරණයක්. ආයතනික සම්මතයන් පමණක් නොව අපගේ මූලික නීතියේ ආධිපත්‍යය පිළිබඳ අවබෝධය අවදානමට ලක්ව ඇති අතර ඔබ එම දිශාවන් කරා ගමන් කිරීමට පටන් ගත් විට, අප වෙනත් ස්ථානවල දැක ඇති පරිදි එය ඉතා ඉක්මණින් වේගවත් කළ හැකිය, ” ඔබාමා ෆ්ලින්ට එරෙහි චෝදනා වැරදි ලෙස සඳහන් කරමින් පැවසීය.

    ගණනය කිරීම: ඔබාමාගේ සිට ට්‍රම්ප් දක්වා

    අල් ජසීරා වාර්තාවක් ඇසුරිණි

  • Covid-19 Review: ලංකාවේ ආසාදිතයින් 855 දක්වා ඉහළ යද්දී ඇමෙරිකාවේ මරණ 78,932ක්

    Covid-19 Review: ලංකාවේ ආසාදිතයින් 855 දක්වා ඉහළ යද්දී ඇමෙරිකාවේ මරණ 78,932ක්

    අද දින (10) ප.ව 18.05 වන විට වාර්තා වූ කොවිඩ්-19 ආසාදිතයින් 08 දෙනා සමග ශ්‍රී ලංකාවේ සමස්ත කොව්ඩ්-19 ආසාදිතයින් සංඛ්‍යාව 855 දක්වා ඉහළ ගිය බව සෞඛ්‍ය ප්‍රවර්ධන කාර්යංශයයේ නිල වෙබ් අඩවියේ සදහන් වෙනවා.

    එහි දැක්වෙන ආකාරයට රෝහල් තුළ ප්‍රතිකාර ලබන රෝගීන් සංඛ්‍යාව 525ක් වන අතර විමර්ශනය යටතේ සිටින පුද්ගලයින් සංඛ්‍යාව 116ක්. සුවය ලබා පිටව ගිය පුද්ගලියින් සංඛ්‍යාව 321ක් වන අතර මරණ සංඛ්‍යාව 09ක්.

    ගෝලීය ප්‍රවණතා

    ගෝලීය වශයෙන් කොවිඩ්-19 ආසාදිතයින් ගැන දත්ත ඉදිරිපත් කරන ජෝන්ස් හොප්කින් විශ්වවිද්‍යාලයේ කොරෝනා වෛරස් සම්පත් මධ්‍යස්ථානයේ නවතම වාර්තා අනුව අද (10) දින පෙ.ව 09.32 වන විට ගෝලීය වශයෙන් කොවිඩ්-19 ආසාදිතයින් සංඛ්‍යාව 4,067,112ක් වන අතර මරණ සංඛ්‍යාව 280,507ක් ලෙස සටහන්ව තිබුණා.

    වැඩිම මරණ සංඛ්‍යාවක් හා ආසාදිතයින් සංඛ්‍යාවක් තව දුරටත් ඇමෙරිකා එක්සත් ජනපදයෙන් වාර්තා වන අතර එය 1,314,799 සහ 78,932ක් ලෙස සටහන් වුණා.

    මරණ 1000ට වැඩියෙන් වාර්තා කළ රටවල්

    31,930 එක්සත් රාජධානිය, 30,560 ඉතාලිය, 26,478 ස්පාඤ්ඤය, 26,313 ප්‍රංශය, 10,697 බ්‍රසීලය, 8,656 බෙල්ජියම, 7,549 ජර්මනිය, 6,640  ඉරානය, 5,459 නෙදර්ලන්තය, 4,824 කැනඩාව, 4,637  චීනය, 3,786  තුර්කිය, 3,353 මෙක්ෂිකෝ, 3,225 ොස්වීඩන්, 2,153 ඉන්දියාව, 1,915 රුසියාව, 1,830  ස්විස්ටර්ලන්තය, 1,814  පීරු, 1,717 ඉක්දෝරය, 1,446  අයර්ලන්තය, 1,135 පෘතුගාලය.

    ආසාදිතයින් සංඛ්‍යාව 50,000ට වැඩි රටවල්

    1,314,799 US, 223,578 Spain, 220,449 United Kingdom, 219,070 Italy, 209,688 Russia, 176,782 France, 171,639 Germany, 156,604 Brazil, 138,657 Turkey, 107,603 Iran, 83,994 China, 68,952 Canada, 65,021 India, 65,015 Peru, 53,081 Belgium
  • ජන ජීවිතය යථා තත්ත්වයට පත් කිරීම: ‘පොලිස් මූලස්ථානයෙන් විශේෂ මාර්ගෝපදේශ’

    ජන ජීවිතය යථා තත්ත්වයට පත් කිරීම: ‘පොලිස් මූලස්ථානයෙන් විශේෂ මාර්ගෝපදේශ’

    හෙට (11) සිට ජන ජීවිතයට යථා තත්ත්වයට පත් කිරීම වෙනුවෙන් රජය විසින් ගනු ලබන පියවර ක්‍රියාත්මක කිරීමේදී අනුගමනය කළ යුතු වැඩපිළිවෙළ සම්බන්ධයෙන් උපදෙස් හා මාර්ගෝපදේශ ලබා දෙමින් පොලිස් මූලස්ථානය විසින් අද (10) විශේෂ මාධ්‍ය නිවේදනයක් නිකුත් කළා.

    අප පාඨකයින්ට නිවැරදි – සමබර – නිරවුල් හා විශ්වාසනීය තොරතුරු ලබා දීම වෙනුවෙන් අපි එම සම්පූර්ණ මාධ්‍ය නිවේදනයම පළ කිරීමට තීරණය කළා. එම මාධ්‍ය නිවේදනය සම්පූර්ණයෙන්ම පහත දැක්වෙනවා.

    P

  • කළුතර – පුත්තලම ඇඳිරි නීතිය සංශෝධනය කරයි

    කළුතර – පුත්තලම ඇඳිරි නීතිය සංශෝධනය කරයි

    ‘රතු දිස්ත්‍රික්ක ලෙස නම් කර තිබූ කළුතර සහ පුත්තලම දිස්ත්‍රික්ක දෙකෙහි ඇඳිරි නීතිය සංශෝධනය කළ බවත් කොළඹ සහ ගම්පහ දිස්ත්‍රික්ක දෙකෙහි ඇඳිරි නීතිය නැවත දැනුම්දෙනතුරු දිගටම ක්‍රියාත්මකව පවතින බවත් ජනාධිපති මාධ්‍ය අංශය විසින් අද (10) දින නිකුත් කළ මාධ්‍ය නිවේදනයක සදහන් වේ.

    ඒ අනුව කළුතර සහ පුත්තලම ඇතුළු සෙසු දිස්ත්‍රික්කවල ඇඳිරි නීතිය හෙට, මැයි 11 සඳුදා සිට නැවත දැනුම්දෙන තුරු ක්‍රියාත්මක වනුයේ රාත්‍රී 8.00 සිට අළුයම 5.00 දක්වා පමණි.

    කොළඹ, ගම්පහ දිස්ත්‍රික්කවල ඇඳිරි නීතිය තිබිය දී ජන ජීවිතය සහ ආයතනික ක්‍රියාකාරිත්වය යථා තත්වයට පත් කිරීම, කලින් සැලසුම් කළ පරිදි හෙට, මැයි 11 සඳුදා ඇරඹේ.

    කලින් නිකුත් කළ නිවේදනවල සඳහන් ඊට අදාළ කොන්දේසි නොවෙනස්ව පවතී.

  • Covid-19 Center Press – සම්පූර්ණ වාර්තාව- පසුගිය සතිය පුරාම ජනතාව අතරින් ආසාදිතයින් වාර්තා වී නෑ

    Covid-19 Center Press – සම්පූර්ණ වාර්තාව- පසුගිය සතිය පුරාම ජනතාව අතරින් ආසාදිතයින් වාර්තා වී නෑ

    කොවිඩ්-19 පැතිරීම වැළැක්වීමේ ජාතික ක්‍රියාන්විත මධ්‍යස්ථානයේ දී අද (10) දින පැවැත්වූ මාධ්‍ය හමුවේදී සෞඛ්‍ය ඇමතිනි පවිත්‍රා වන්නිආරච්චි මහත්මිය, ආරක්‍ෂක මාණ්ඩලික ප්‍රධානී, යුද්ධ හමුදාධිපති සහ කොවිඩ් -19 පැතිරීම වැළැක්විමේ ජාතික ක්‍රියාන්විත මධ්‍යස්ථානයේ ප්‍රධානී ලුතිනන් ජෙනරාල් ශවේන්ද්‍ර සිල්වා, සෞඛ්‍ය සේවා අධ්‍යක්‍ෂ ජෙනරාල් විශේෂඥ වෛද්‍ය අනිල් ජාසිංහ මහතා සහ නියෝජ්‍ය පොලිස්පති නීතිඥ අජිත් රෝහණ මහතා දැක්වූ අදහස් සම්පූර්ණයෙන්ම පහත පළවේ.

    පසුගිය සතිය පුරාම ජනතාව අතරින් කොවිඩ් ආසාදිතයින් වාර්තා වී නෑ – සෞඛ්‍යඇමතිනි පවිත්‍රා වන්නිආරච්චි

    හෙට (11) දින රට විවෘත කිරීමෙන්, රජයේ අරමුණ වනුයේ රටෙහි ආර්ථිකය ක්‍රමානුකූලව ගොඩනැංවීමට පුද්ගලික අංශය විවෘත කිරීමත්, ඒ සඳහා වූ රාජ්‍ය යාන්ත්‍රණය ක්‍රියාත්මක කිරීම වේ. එම නිසා සියළුම ජනතාව නගර වෙතට පැමිණීම රජය විසින් අපේක්‍ෂා නොකරයි.

    එසේම, පසුගිය දින කිහිපය තුලදී අවධානම් කලාප ලෙස නම්කර ඇති බණ්ඩාරනායකපුර ප්‍රදේශයත්, සුදුවැල්ල ප්‍රදේශයෙනුත් කිසිදු රෝගියෙකු වාර්ථා නොවේ. විශේෂයෙන් පසුගිය සතිය තුලදී ප්‍රජාව තුලින් ආසාධිත රෝගීන් වාර්ථා නොවන අතර වැලිසර නාවික කඳවුරේ නාවික හමුදා සොයුරන් හා ඔහුන් සමීපව ඇසුර කළ අයවළුන් පමණක් ආසාධිතයන් ලෙස වාර්ථා වේ.

    එම කරුණු පදනම්ව රජය විසින් හෙට (11) දිනයේ රට විවෘත කරනුයේ ආර්ථිකය ගොඩනැංවීම සඳහා වූ යාන්ත්‍රණය ආරම්භ කිරීම වේ. එම නිසා සියළුම ජනතාව අනවශ්‍ය ලෙස ගමනාගමනයේ නොයෙදිය යුතු වේ. එසේම, නාවික හමුදාවේ සොයුරන් සහ ඔහුන්ගේ පවුල්වල අයවළුන් සහ සමීපව ඇසුර කළ අයවළුන් සියළුම දෙනා නිරෝධායනයට ලක්කර ඇත. ඔබ නිරෝධායනය වූ අයෙකුනම් ඔබගේ වගකීම වනුයේ අදාළ නිරෝධායන ප්‍රතිපත්තීන්ට අනුකූලව ක්‍රියාකිරීමයි.   

    ප්‍රවාහන පහසුකම් රැකී රක්‍ෂා සඳහා පැමිණෙන අයවළුන් සඳහා පමණයි – ලුතිනන් ජෙනරාල් ශවේන්ද්‍ර සිල්වා

    ඊයේ (09) දිනයේ වාර්ථා වූ ආසාධිතයින් ප්‍රමාණය 12 ක් වන අතර එයින් 10 දෙනෙකු නාවික හමුදාවේ වීරෝධාර රණවිරුවන් වේ. එසේම, අනෙක් දෙදෙනා එම රණවිරුවන් සමීපව ඇසුරු කරනු ලැබූ නිරෝධායනය වෙමින් සිටි අයවළුන් වේ. ඒ අනුව, මේ වන විට ශ්‍රී ලංකාව තුළ ආසාධිතයින් 578 දෙනෙකු රෝහල් තුළ ප්‍රතිකාර ලබමින් සිටිනු ඇත. විශේෂයෙන් 259 දෙනෙකු සම්පූර්ණ සුවය ලබා රෝහල් වලින් පිටත්ව ගොස් ඇත.

    මෙල්බර්න් (Melbourne) සිට ශ්‍රී ලංකන් මගී ගුවන් යානයක් මගින් පුද්ගලයින් 274 ක කණ්ඩායමක් අද (10) දින උදෑසන දිවයිනට පැමිණෙන ලදී. එසේ පැමිණි ඔවුන් සියළු දෙනා ත්‍රිවිධ හමුදාව විසින් පාලනය කරනු ලබන නිරෝධායන මධ්‍යස්ථාන වෙත නිරෝධායන ක්‍රියාවලිය සඳහා යොමුකරන ලදී. එසේම, අද (10) දින සන්ද්‍යාවේ ශ්‍රී ලංකන් ගුවන් යානයක් මගින් මැලේසියාවේ සිට ශ්‍රී ලාංකිකයින් පිරිසක් දිවයිනට පැමිණීමට නියමිතව ඇත.

    ශ්‍රී ලංකාවේ සෑම දිස්ත්‍රික්කයක් තුළම හෙට (11) දිනයේ රාජ්‍ය සහ පුද්ගලික ආයතනයන් යම් සීමාවන් යටතේ විවෘත කිරීමට නියමිතව ඇත. ජනාධිපති කාර්යාලය විසින් ඇඳිරි නීතිය තවදුරටත් පවත්නා ප්‍රදේශ පිළිබඳව අද (10) දින සන්ද්‍යාවේ දැනුම් දීමට නියමිතව ඇත.

    මීට ප්‍රථම සති වලදී රාජ්‍ය සහ පෞද්ගලික ආයතන ප්‍රධානීන් වෙත 3න් 1ක් වූ අවම පුද්ගලයින් සංඛ්‍යාවක් මඟින් ආයතන පවත්වාගෙන යන ක්‍රමවේදය සැලසුම් කරගැනීම සඳහා වූ උපදෙස් ලබාදී ඇත. ඒ අනුව, ආයතන ප්‍රධානීන් ලබාදී ඇති උපදෙස් වලට අනුකූලව හෙට (11) දිනයේ සිට ක්‍රියාකරනු ඇතැයි අපේක්‍ෂා කරනු ඇත. එසේම, සේවකයින් ක්‍රියාකරන ආකාරය, ශාරීරික දුරස්ථභාවය තබාගැනීම, ගමනාගමනය හා සියළුම සෞඛ්‍ය උපදෙස් සබැඳිව දැනුවත් කිරීම් සිදුකර ඇත.

    මීට ඉහතදී හඳුන්වා දුන් ඇඳිර නීතිය බලපවත්නා ප්‍රදේශයන් තුළ හැඳුනුම්පත උපයෝගී කරගනිමින් ගමන් කළහැකි ක්‍රමවේදයට අනුව අත්‍යවශ්‍ය කටයුතු සඳහා පමණක් ජනතාව නගර වෙත පැමිණෙතැයි අපේක්‍ෂා කරනු ලබයි. එසේම, මීට ඉහතදී ඇඳිරි නීතිය ඉවත් කරනු ලැබූ දිස්ත්‍රික්ක ඒ අයුරින්ම පවත්වාගෙන යනු ලබයි.

    මේ අනුව, හුදෙක්ම ප්‍රවාහන පහසුකම් සපයා ඇත්තේ රැකී රක්‍ෂා සඳහා පැමිණෙන අයවළුන් සඳහා පමණක් වන අතර පුද්ගලික අවශ්‍යතාවයන් සඳහා මෙම ප්‍රවාහන පහසුකම් ලබා නොගන්නා ලෙස ජනතාවට දන්වා සිටිනු ලැබේ.

    ශ්‍රී ලාංකීය ජනතාව පසුගිය සති කිහිපය තුළ කොවිඩ් – 19 තුරන් කිරීම සඳහා විශාල කැපකිරීම් ප්‍රමාණයක් සිදු කරන ලදී. එසේම, හෙටින් ආරම්භ කරනු ලබන සතියේ ජනතාවගේ අරමුණ හා වගකීම විය යුත්තේ කොඩිඩ් ආසාදිතයෙක් නොවී සිටීමත් ත්‍රිවිධ හමුදාවට, ශ්‍රී ලංකා පොලීසියට හා සිවිල් ආරක්‍ෂක දෙපාර්තමේන්තුවට ඔහුන්ගේ රාජකාරි කරගෙන යාම සඳහා සහයෝගය ලබාදෙන ලෙසයි.

    ලංකාවෙන් කොවිඩ්-19 තුරන් කරන්න විශාල කාලයක් ගතවේවි –  සෞඛ්‍ය සේවා අධ්‍යක්‍ෂ ජෙනරාල්

    කොවිඩ් – 19 සඳහා වූ සීමාවන් හෙට දිනයේ සිට රජය විසින් යම් ප්‍රමාණයකට නිදහස් කිරීමට නියමිතව ඇත. පූර්ව කොවිඩ් – 19 තුළ අප ජීවත් වූ ආකාරයත් මේ වන විට පූර්ව පශ්චාත් කොවිඩ් – 19 කාලය ගතකරමින් සිටින අතර, ඉදිරියේදී අප ජීවත් විය යුත්තේ කොවිඩ් – 19 පූර්ව කාලය තුළ හැසිරූ ආකාරයෙන් නොවේ.

    අප සමාජය තුළට ආගන්තුක වූ වචන මෙන්ම ක්‍රියාකාරකම් කිහිපයක් එකතු විය. එසේම, මෙම ලිහිල් කිරීම සිදුකරනවා සේම කොවිඩ් – 19 පැතිරීම පාලනය කිරීමේ ක්‍රියාදාමය සිදුකිරීම අත්‍යවශ්‍ය වේ. මක්නිසාදයත් මෙයින් කිසිසේත්ම කොවිඩ් – 19 ශ්‍රී ලංකාව තුලින් සම්පූර්ණයෙන් තුරන් වූවා යැයි අදහස් නොවේ. මේ සඳහා විශාල කාලයක් ගත වේ. එනිසා මේ කාලය තුළ අප විසින් උගත චර්යාවන් හා ක්‍රමවේද, නීතින්, ප්‍රතිපත්තීන් හා සෞඛ්‍ය උපදෙස් තවදුරටත් ක්‍රියාත්මක වේ. එම නිසා පුද්ගලික අංශ, රාජ්‍ය අංශ, ව්‍යාපාර, ගමනාගමනය සහ අනෙකුත් සියළුම ආයතන වගකීමෙන් යුතුව ක්‍රියාකළ යුතු වේ.

    ඉදිරියේදී ඔබ හට කැස්ස, ස්වසන අපහසුතා, උණ හෝ වෛරසය ආශ්‍රීත ඕනෑම මූලික රෝග ලක්‍ෂණයක් වේනම් නොපමාව හුදකලා රෝහල් ලෙස නම්කර ඇති රෝහල් 30 න් රෝහලක් වෙත වාර්ථා කරන ලෙසත්, සෞඛ්‍ය අංශ වෙතින් ලබා දී ඇති නීතීන්ට, ප්‍රතිපත්තීන් හා උපදෙස් වලට අනුකූලව ක්‍රියාකරන මෙන් ඉල්ලා සිටිනු ලැබේ. එසේම, අතිගරු ජනාධිපතිතුමාගේත්, අග්‍රාමාත්‍යතුමාගේත් සහ සෞඛ්‍ය අමාත්‍යතුමියගේත් උපදෙස් අනුව ත්‍රිවිධ හමුදාව, පොලීසිය හා සෞඛ්‍ය අංශ වලින් සිදුකරනු ලබන මෙම ක්‍රියාදාමය ඉදිරියටත් සිදුකරනු ලබයි.   

    සෞඛ්‍ය අමාත්‍යාංශය විසින් නිකුත් කර ඇති සෞඛ්‍ය නිර්ණායක අකුරටම පිළිපැදිය යුතුයි – නියෝජ්‍ය පොලිස්පති නීතිඥ අජිත් රෝහණ

    හෙට දිනයේ කොළඹ දිස්ත්‍රික්කය, බස්නාහිර පළාත සහ පුත්තලම දිස්ත්‍රික්කය ඇඳිරි නීතිය පවත්වාගෙන යන අතරතුර එදිනෙදා කටයුතු ආරම්භ කරනු ලබයි. නිරෝධායන ප්‍රතිපත්ති වලට අනුකූලව නිරෝධායන රීතීන් වලට ගරු කරමින් ජන ජීවිතය යථා තත්ත්වයට පත් කිරීම, ආර්ථිකය ගොඩනැංවීම හා ආනයන අපනයන ක්‍රියාවලිය ශක්තිමත් කිරීම යන කාරණා මත මෙම තත්ත්වය ගොඩනංවා ඇත.

    හෙට (11) දින රාජ්‍ය අංශයේ සේවකයින් තම සේවා ස්ථානයට පෙරවරු 08.30 ට පෙර වාර්ථා කළයුතු අතර පුද්ගලික අංශයේ සේවකයින් රාජකාරි ආරම්භ කිරීම පෙරවරු 08.30 ත් 10.00 ත් අතර කාලය තුළ වාර්ථා කිරීම උචිත වේ. එසේම, එම සේවකයින් නැවත රැගෙන යෑම වස් රාජ්‍ය සේවකයින් සඳහා පස්වරු 03.00 – 04.00 ත් අතර සහ පුද්ගලික අංශය සඳහා පස්වරු 04.00 – 05.00 ත් අතර කාලය තුළ පිටව යෑම නිර්දේශ කරනු ලබයි.

    මෙම කාලයන්ට අනුගතව ඔබ ගමන් කරන්නේනම් වාහන තදබදය සහ වාහන පරික්‍ෂා කිරීමට අවශ්‍යනම් එය පහසුවක් වන බැවිණි. නමුත් සේවා මුර ලෙස රාජකාරි ඉටු කරනු ලබන රාජ්‍ය සහ පුද්ගලික ආයතන සඳහා මෙම රීතිය වලංගු නොවේ. එසේම, පුද්ගලික වාහන මඟින් සේවා ස්ථානයට ගමන් කරන්නේනම් එය සනාථ කළයුතු අතර බස්නාහිර පළාත තුළ පුද්ගලික අවශ්‍යතාවයන් සඳහා ගමන් කිරීමට අවසර ලබා නොදෙනු ඇත. එසේ සිදු කරන්නේනම් එය ඇඳිරි නීති කැඩීමක් වේ.

    එසේම, 2019 – 04 – 17 දින කොවිඩ් වැළැක්වීම සඳහා වූ සෞඛ්‍ය අමාත්‍යංශය විසින් නිකුත් කරන ලද නිර්නායක කෙරෙහි සියළුදෙනා අවධානය යොමු කළයුතු වේ. ත්‍රී රෝද රථ, කුලී රථ හා පොදු ප්‍රවාහන සේවා ලබාගන්නේනම් (ත්‍රී රෝද රථයක දෙදෙනෙක් සහ මොටර් රථ සඳහා තිදෙනෙකු වශයෙන්) එය නිරෝධායන රීතීන්ට අනුකූලව සිදුකළයුතු වේ.

    ආයතන ප්‍රධානීන් වෙත දන්වා ඇති ආකාරයට තම සේවකයින් එම පරිපාලන දිස්ත්‍රික්කය තුලින් ගෙන්වාගැනීමට කටයුතු කළයුතු අතර අත්‍යවශ්‍යතාවයක් වුවහොත් පමණක් පිටස්තර පරිපාලන දිස්ත්‍රික්කයක් වෙතින් සේවකයන් ගෙන්වාගත හැක. සියළුම රාජ්‍ය හෝ පුද්ගලික සේවකයන් සඳහා අනන්‍යතාවය ඔප්පු කළහැකි හැඳුනුම්පතක් තිබීම හා එදිනට රාජකාරි සඳහා සේවා ස්ථානයට වාර්ථා කළයුතු බවට ආයතනය විසින් ලබාදී ඇති අවසරපතක් (ඉලෙක්ට්‍රොනික, කෙටි පණිවිඩ හෝ වෙනත් ක්‍රම) තිබීම අනිවාර්ය වේ.

    ඉදිකිරීම් සඳහා ලබාදී ඇති නිර්නායකයන්ට අනුව සිදුකළහැකි අතර සැලුන් සහ රූපලාවන්‍යාගාර අදාළ ප්‍රදේශයේ සෞඛ්‍ය වෛද්‍ය නිලධාරිගේ අවසරය මත පවත්වාගෙන යා හැක. එසේම, පිසූ ආහාර අලෙවි කරනු ලබන ස්ථාන (හෝටල් සහ තේ කඩ) විවෘත කිරීම සඳහා අවසර නොලැබෙන අතර ඩිලිවරි හෝ ඔන්ලයින් ක්‍රමයට ආහාර බෙදාහැරීම සඳහා අවසර ලැබෙනු ඇත. විශේෂයෙන් නවාතැන් පහසුකම් සහිත හෝටල් නීරෝධායන ප්‍රතිපත්තියට අනුව සිදුකළ හැකි අතර රෙස්ටූරන්ට් පවත්වාගෙන යාම සඳහා අවසර නොලැබෙනු ඇත.  

    නිෂ්පාදනාගාර, සාමාන්‍ය වෙළෙඳසැල් හා අනෙකුත් අත්‍යවශ්‍ය ස්ථාන සමාජ දුරස්ථභාවය පවත්වාගනිමින් ආරම්භ කළහැකි අතර සම්භාහන මධ්‍යස්ථාන, සතිපොළ, කායවර්ධනාගාර හා සමාජශාලා විවෘත කිරීම සඳහා අවසර නොලැබෙනු ඇත. එසේම, පුද්ගලික සෞඛ්‍ය මධ්‍යස්ථාන විවෘත කිරීම සෞඛ්‍ය අධ්‍යක්‍ෂ ජෙනරාල්වරයා විසින් ලබාදී ඇති නිර්නායකයන්ට අනුව සිදුකළ යුතු වේ.

    මීට පෙර හඳුන්වා දී ඇති හැඳුනුම්පත් ක්‍රමවේදයට අනුව අත්‍යවශ්‍ය කරුණක් (ඖෂධ, ආහාර මිලදී ගැනීම) සඳහා ස්ථීර පදිංචි ස්ථානයේ සිට පයින් ගොස් ලඟම ඇති ස්ථානයෙන් අවශ්‍යතාවය ඉටුකරගත හැක. එසේ ක්‍රියා නොකරන පුද්ගලයින්ට නිරෝධායන රීතීන්ට අනුව නීතිමය පියවර ගනු ලබයි.

    පෝලිම් සැදී සිදුකරනු ලබන ක්‍රියාවන් (බිල් ගෙවීම්, භාණ්ඩ මිලදී ගැනීම) සිදුකරනු ලබන ආයතන හා වෙළෙඳසැල් නිරෝධායන ක්‍රමවේදයට අනුව සමාජ දුරස්ථභාවය රැකෙන පරිදි හා සෞඛ්‍ය උපදෙස් අනුව සිදුකිරීම සඳහා ආයතන ප්‍රධානින් වගකිව යුතු වේ. එසේම, පරික්‍ෂා කිරීම සඳහා ඔබ ආයතනය වෙතට පැමිණෙන සෞඛ්‍ය නිලධාරි හා ආරක්‍ෂක අංශ නිලධාරින් වෙත සහයෝගය ලබාදෙන ලෙස දන්වා සිටිනු ලැබේ. බස්නාහිර පළාත තුළ හෙට දිනයේ පොලිස් නිලධාරින් 10,000 කට ආසන්න ප්‍රමාණයක් රාජකාරින් සඳහා යොදවනු ලැබේ.

  • ජනපති ලේකම්ගේ පුද්ගලික ප්‍රකාශයක් අල්ලා ගෙන ‘විපක්ෂය බිල්ලෙන් මවනවා’ – ප්‍රසන්න

    ජනපති ලේකම්ගේ පුද්ගලික ප්‍රකාශයක් අල්ලා ගෙන ‘විපක්ෂය බිල්ලෙන් මවනවා’ – ප්‍රසන්න

    රාජ්‍ය සේවක වැටුප් හෝ රාජ්‍ය සේවය කප්පාදු කිරීමට වත්මන් රජය කිසිදු සූදානමක් නැතැයි කාර්මික අපනයන, ආයෝජන ප්‍රවර්ධන සංචාරක හා ගුවන්සේවා ඇමති ප්‍රසන්න රණතුංග මහතා අවධාරණය කරයි.

    අමාත්‍යවරයා පෙන්වා දෙන්නේ බලය සිටියේදී  රාජ්‍ය සේවය  කප්පාදු කිරීමට කටයුතු කළ එක්සත් ජාතික පක්ෂයත්, 88 89 භීෂණ සමයේදී  රැකියාවට ගිය රජයේ සේවකයන් ඝාතනය කළ ජනතා විමුක්ති පෙරමුණත් රාජ්‍ය සේවකයන්ගේ වැටුප් කප්පාදු කිරීමට ආණ්ඩුව සූදානම් වන බව පවසමින් කිඹුල් කදුලු හෙළන බවයි.

    රටේ පවතින වර්තමාන තත්ත්වය හා කොරෝනා වසංගතය පාලනය කිරීම සදහා රජයේ ක්‍රියා මාර්ග පැහැදිලි කිරීම සදහා මිනුවන්ගොඩ ප්‍රාදේශිය සභා මන්ත්‍රීවරුන් සමග අද (10) පැවති සාකච්ඡාවේදී  ඇමතිවරයා මේ බව සදහන් කලේය. සාකච්ඡාව උඩුගම්පොල ශ්‍රී ලංකා පොදුජන පෙරමුණු කාර්යාලයේදී පැවැත්විණ.

    මෙහිදී වැඩිදුරටත් අදහස් දැක්වූ ඇමති ප්‍රසන්න රණතුංග මහතා මෙසේද කීවේය.

    “ජනාධිපති ලේකම්වරයාගේ පෞද්ගලික ඉල්ලීමක් මුල් කරගනිමින් එ.ජා.පය, ස.ජ.බය හා ජ.වි.පේ අද නැති බිල්ලෙක් මවන්න හදනවා. මහින්ද ගෝඨා සුසංයෝගයෙන් හැදුනු වත්මන් ආණ්ඩුවට රාජ්‍ය සේවක වැටුප් කප්පාදු කිරීමේ කිසිදු උවමනාවක් නෑ. ලක්ෂ 6 7ක් වුනු රාජ්‍ය සේවය ලක්ෂ 15  දක්වා වැඩි කලේ මහින්ද මහත්තයාගේ ආණ්ඩුවයි.

    ගෝඨාභය රාජපක්ෂ ජනාධිපතිතුමා කියන්නෙත් හොද රාජ්‍ය සේවකයෙන්. මහින්ද මහත්තයාතරම් රජයේ සේවකයන්ට සලකපු වෙන දේශපාලන නායකයෙක් නෑ. ඒ නිසා ඔවුන් දෙදෙනාගේ නායකත්වයෙන් යුතු වත්මන් ආණ්ඩුව කවදාවත් රාජ්‍ය සේවයේ මොනම ආකාරයේ කප්පාදුවකට ඉඩ තබන්නේ නෑ. හැබැයි එක්සත් ජාතික පක්ෂය නැත්නම් සමගි ජන බලවේගයට ගිහිල්ලා ඉන්න උදවියනම් බලයේ ඉන්න කාලේ මේ රටේ රාජ්‍ය සේවය කප්පාදු කළා. අග්‍රහාර රක්ෂණය නැති කරා.

    රාජ්‍ය සේවක විෂ්‍රාම වැටුප් නැති කළා. රාජ්‍ය සේවය ස්වභාවික මරණයකට ලක්කරන්නයි පසුගිය යහපාලන ආණ්ඩුව සැලසුම් කරලා තිබුනේ. අද රාජ්‍ය සේවකයන් වෙනුවෙන් කිඹුල් කදුලු හෙලන ජනතා විමුක්ති පෙරමුණ 88 89 දී රැකියාවට ගිය රජයේ සේවකයන් කීදෙනෙකු මරා දැමුවාද? එහෙම කරපු අය  අද රජයේ සේවකයා වෙනුවෙන් පෙනී සිටින බව කීම තමා යුගයේ ලොකුම විහිළුව.

    ජනාධිපති ලේකම්වරයා කලේ පෞද්ගලික ඉල්ලීමක්. මේ රටේ රාජ්‍ය සේවකයන්ගේ වැටුප් බලෙන් කපන්නවත්, මේ රටේ රාජ්‍ය සේවය නැති කරන්නවත් වත්මන් ආණ්ඩුවට කිසිදු අවශ්‍ය තාවයක් නෑ. ගෝඨාභය මහත්තයාගේ රට හදන සෞභාග්‍යයේ දැක්ම ප්‍රතිපත්තිමය  වැඩසටහනේ තියෙන්නේ රාජ්‍ය සේවය ශක්තිමත් කරන වැඩසටහනක් මිසක් එය කප්පාදු කරන වැඩසටහනක් නෙමේ. ඒ නිසයි පහුගිය ජනාධිපතිවරණයේ දී මේ රටේ රාජ්‍ය සේවකයන් අප පිළිබදව විශ්වාසය තැබුවේ. මෙරට සමස්ත රාජ්‍ය සේවකයන් ජනාධිපතිවරයා, අගමැතිවරයා, වර්තමාන ආණ්ඩුව පිළිබදව තබා ඇති විශ්වාසය එජාප, සජබ හෝ ජවිපේ බොරුවලින් පළුදු කරන්න බෑ. පළුදු වෙන්න අපි ඉඩතියන්නෙත් නෑ.

    පසුගිය මැතිවරණය කාලේ එක්සත් ජාතික පක්ෂයයි, ජනතා විමුක්ති පෙරමුණයි, දෙමළ ජාතික සන්ධානයයි, ගෝඨාභය රාජපක්ෂ මහතාව හැදින්වූයේ ඒකාධිපතියෙක් ලෙසයි. ගෝඨාභය රාජපක්ෂ මහතා ජනාධිපති වුනොත් රට ඒකාධිපති පාලනයකට යන බවත් ප්‍රජාතන්ත්‍රවාදය වල පල්ලට යන බවත් ඔවුන් කිව්වා. ප්‍රජාතන්ත්‍රවාදයේ එක ලක්ෂණයක් තමයි මැතිවරණය. ජනතා බලයෙන් බලයට පත්වුන ගෝඨාභය රාජපක්ෂ මහතා ව්‍යවස්ථානුකූලව රටේ මහ මැතිවරණයක් පවත්වා අලුත් ආණ්ඩුවක් පිහිටුවීමේ අවස්තාව ජනතාවට දෙන්න කටයුතු කලා. පාර්ලිමේන්තුව විසුරුවන විටත්, නාම යෝජනා භාරගන්නා විටත් රටතුල කොරෝනා වසංගත අවධානමක් තිබුනේ නෑ. ඊට පස්සේයි මේ තත්ත්වය උද්ගත වුනේ.

    මැතිවරණ කොමසාරිස්වරයා ඔහුට ඇති බල තල අනුව මහ මැතිවරණයට දින නියම කර තිබෙනවා. තුන් නිවුන් සොහොයුරන් වන එ.ජා.පය, ජ.වි.පේ, ටී.එන්.ඒ එක දැන් මහ මැතිවරණය එපා කියලා උසාවි යනවා. මේ අය තමයි පහුගිය කාලේ ප්‍රජාතන්ත්‍රවාදයේ මුරදේවතාවුන් වගේ හිටියේ. හැබැයි දැන් වෙලා තියෙන්නේ මොකක්ද?. ප්‍රජාතන්ත්‍රවාදයේ මුරදේවතාවුන් වගේ හිටපු අය මැතිවරණය එපා කියලා උසාවි යනවා. මේ අය බලයේ ඉද්දිත් එ.ජා.පය, ජ.වි.පේ, ටී.එන්.ඒ එක එකතුවෙලා මැතිවරණ කල් දාන්න දන්න සෙල්ලම් ඔක්කොම කලා. දැන් විපක්ෂයේ ඉන්නකොටත් මැතිවරන වලට බයේ දගලනවා.

    මැතිවරණ දැක්කාම පණ බයේ ගැහෙනවා. මේ වගේ දේශපාලන පක්ෂ ලෝකේ කොහෙවත් නෑ. ප්‍රජාතන්ත්‍රවාදයේ මුරදේවතාවෝ ලෙස පෙනී සිටි අය මහ මැතිවරණයට එරෙහිව අධිකරණයට යාමෙන් ඔවුන්ගේ ප්‍රජාන්ත්‍රවාදයේ සැබෑ නිරුවත රටට හෙලිදරව් වෙනවා. මහ මැතිවරණය කල් දමා ගැනීමට මේ අය මෙතරම් වලිකන්නේ ප්‍රජාතන්ත්‍රවාදයට ඇති ආදරයට නෙමෙයි. මහ මැතිවරණයෙන් ලැබෙන පරාජයට මුහුණ පෑමට ඇති බව නිසායි.

    කොරෝනා වසංගතය අපි හැකි උපරිමයෙන් පාලනය කරමින් ඉන්නවා. කොරෝනා වසංගතය පතිරීම පාලනය කරන අතරම රටේ ජනතාවගේ කුසගින්න නිවන්නත් අප කටයුතු කරනවා. අඩුපාඩු ඇති නමුත් ගෝඨාභය මහින්ද සුසංයෝගයෙන් යුතු ආණුඩුව මේ රටේ ජනතාව කොරෝනා වසංගතයෙන් මුදා ගන්න කළ හැකි, කල යුතු සියලුම දේ කරනවා.

    කොරෝනා වසංගතය පාලනය කරන්නත්, ජනතාවට සහන සලසන්නත් ආණ්ඩුව කටයුතු කරනකොට විපක්ෂය හදන්නේ  කකුලෙන් අදින්නයි. ඒකයි ඔය අභූත චොදනා කරන්නේ. ආණුඩුවට එරෙහිව විපක්ෂය නගන බොරු චෝදනා මේ රටේ ජනතාව තඹයකටවත් මායිම් කරන්නේ නෑ. මොකද ජනතාව එ.ජා.පය, ජ.වි.පේ, ටී.එන්.ඒ කැරට්ටුව හොදට දන්නවා.

    රට හැමදාම වහගෙන ඉන්න බෑ. රටේ නිෂ්පාදන ක්‍රියාවලිය  අරඹන්න ඕනෑ. රටේ ජන ජීවිතය සාමාන්‍ය තත්ත්වයට ගෙන එන්න ඕනෑ. ඒ නිසයි රජය තීරණය කලේ 11 වෙනිදා ඉදලා රටේ සාමාන්‍ය ජන ජීවිතය ක්‍රමක් ක්‍රමයෙන් යථා තත්ත්වයට පත් කරන්න. නමුත් අපි මෙහිදී වඩාත් ප්‍රවේශම් විය යුතුයි. සෞඛ්‍ය උපදෙස් අපි නිසි ලෙස පිලිපැදිය යුතුයි.

     රජය මේ සියල්ල කරන්නේ ජනතාව වෙනුවෙන්. ආණ්ඩුවක්, දේශපාලන පක්ෂයක් හැටියට අපි කොයි වෙලේවත් කියන්නේ නෑ සෞඛ්‍ය අංශ එකගතාවය නැතිව මහ මැතිවරණය පැවැත්විය යුතුයි කියලා. අපි මහ මැතිවරණය පැවැත්විය යුත්තේ සෞඛ්‍ය අංශ හා ආරක්ෂක අංශ එකගතාවය මතයි. එවැනි එකගතාවය ඇතිව මහ මැතිවරණය පැවැත්වීම කිසිදු වරදක් නෙමෙයි. ”

    මිනුවන්ගොඩ ප්‍රාදේශිය සභාවේ සභාපති කුමාර අරංගල්ල, උප සභාපති සුජීව සම්පත්, මිනුවන්ගොඩ නගර සභාවේ සභාපති නීල් ජයසේකර යන මහත්වරුන්ද මෙහිදී කථා කලහ.