Blog

  • පන්දහසේ දීමනාව මැයි මාසයේත් නිවෙසටම

    පන්දහසේ දීමනාව මැයි මාසයේත් නිවෙසටම

    කොරෝනා ව්‍යාප්තිය නිසා පීඩාවට පත් කණ්ඩායම්වලට ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතාගේ නියමය අනුව ලබාදෙන රුපියල් පන්දහසේ දීමනාව දෙවන වටයේ ගෙවීම් මැයි 11 වැනිදා ආරම්භ කර 2020 මැයි 15 වැනි දින අවසන් කිරීමට නියමිත බව ජනාධිපති මාධ්‍ය අංශය විසින් අද (4) නිකුත් මාධ්‍ය නිවේදනයක සදහන් වේ.

    ආර්ථික පුනර්ජීවනය හා දරිද්‍රතාව තුරන් කිරීම සඳහා වන ජනාධිපති කාර්යසාධක බලකායේ සභාපති බැසිල් රාජපක්ෂ මහතාගේ ප්‍රධානත්වයෙන් අද (04) පැවති සාකච්ඡාවේදී මෙම දීමනාව ගෙවීමට තීරණය කළ බවයි එම මාධ්‍ය නිවේදනයේ වැඩි දුරටත් සදහන් වන්නේ. එම මාධ්‍ය නිවේදනය මෙසේයි.

  • ගැබිණි හා  ළමුන්ගේ  ප්‍රතිශක්තිකරණ සායනවලට පැමිණීමේදී අනුගමනය කළ යුතු සෞඛ්‍ය උපදෙස්

    ගැබිණි හා ළමුන්ගේ ප්‍රතිශක්තිකරණ සායනවලට පැමිණීමේදී අනුගමනය කළ යුතු සෞඛ්‍ය උපදෙස්

    ගැබිණි මවුවරුන්ගේ සායන හා වයස අවුරුදු  (05) පහට අඩු දරුවන්ගේ ප්‍රතිශක්තිකරණ සායන ඇරඹීමෙන් පසුව ඒවාට සහභාගී වීමේදී අනුගමනය කළ යුතු සෞඛ්‍ය උපදෙස් මාලාවක් ශ්‍රී ලංකා සෞඛ්‍ය අධ්‍යාපන නිලධාරීන්ගේ සංගමය විසින් නිකුත් කර ඇත.

    සෞඛ්‍ය අංශ මගින් ලබාදෙන උපදෙස් නිවැරදිව පිළිපදිමින් කොවිඩ්  -19 (කොරෝනා) මර්දන සටනට ප්‍රශංසනීය දායකත්වයක් සමාජයේ බහුතරයක් දෙනා ලබාදුන් බව ශ්‍රී ලංකා සෞඛ්‍ය අධ්‍යාපන නිලධාරීන්ගේ සංගමයේ සභාපති නයනි විජේවික්‍රම මෙනෙවිය පවසයි.

    රෝගය ව්‍යාප්ත වීම සාර්ථකව පාලනය කර ගැනීමට හැකිවී ඇතත් යළි දිවයිනේ කුමන හෝ ප්‍රදේශයකින් ආසාදිතයෙකු වාර්තාවීමේ අවදානම පහව ගොස් නැත. එබැවින් සෞඛ්‍ය උපදෙස් නිසි පරිදි පිළිපදිමින් කටයුතු කිරීමේ අවශ්‍යතාව අවධාරණය කෙරේ.

    මේ අතර මාතෘ සායන සහ  වයස අවුරුදු පහට අඩු දරුවන් වෙනුවෙන් පවත්වන සායන දිවයිනේ බොහෝ ප්‍රදේශවල කෙමෙන් සිය සේවා ලබාදීම සිදුකරමින් පවතී. තවමත් ආරම්භ නොවු සායන ඉදිරි දෙසතිය තුළ සිය සේවා ලබාදීම අරඹනු ඇතැයි අපේක්ෂා කෙරේ. වයස අවුරුදු පහට අඩු දරුවන් සහ ගැබිණි කාන්තාවන් කොරෝනා රෝගයෙන් ආරක්ෂාවීම සදහා විශේෂයෙන්ම ඉතා සැලකිලිමත් විය යුතුය.

    එබැවින් මාතෘ හා ළමා  ප්‍රතිශක්තිකරණ සායන ආරම්භ වීමත් සමගම ඒවායේ සේවා ලබාගැනීමට පැමිණීමේදී අනුගමනය කල යුතු සෞඛ්‍යාරක්ෂිත පියවර කිහිපයක් පිළිබදවද ශ්‍රී ලංකා සෞඛ්‍ය අධ්‍යාපන නිලධාරීන්ගේ සංගමය පෙන්වා දෙයි. හැකි සෑම විටකම ගැබිණි කාන්තාව පමණක් එම අදාළ  සායනය  සදහා පැමිණිය යුතුය.

    ඇයගේ සහායට අන් අය කැඳවා ගැනීම නොකළ යුතුය. වයස අවුරුදු පහට අඩු දරුවන් සදහා ප්‍රතිශක්තිකරණ  සායන සඳහා  දරුවා සමග පැමිණිය  යුත්තේ මව හෝ බාරකරු පමණි. කිසිම විටෙක සායනයට  භාරකරු ලෙස වයස්ගත පුද්ගලයින් හෝ රෝගී පුද්ගලයින්  සහභාගීවීම නොකළ යුතුය. ඔවුන් කොවිඩ් -19 රෝගය සදහා අධි අවදානම් කාණ්ඩයක් ලෙස සැලකේ.

    උණ, කැස්ස, උගුරේ වේදනාව, සෙම්ප්‍රතිශ්‍යාව වැනි රෝග ලක්ෂණ තිබේ නම් කිසිම අවස්ථාවක සායන සදහා පැමිණීම නොකළ යුතුය. ඔවුන් 1390 හෝ 1999 දුරකතන අංක අමතා උපදෙස් ලබා ගැනීම සහ අවශ්‍ය අවස්ථාවල 1990 අංකය අමතා ඔවුන්ගේ සහායෙන් රෝහල් ගතවීම කල යුතුය.

    කලට වේලාවට සායනයට පැමිණීම, තදබදයක් ඇති නොකර එකිනෙකා අතර මීටරයක පරතරය සහිතව සාවධානව තම වාරය එලඹෙන තුරු සිටීමද වැදගත්ය.

    සායන ගොඩනෑගිලි තුල නිකරුණේ කාලය ගත කිරීම නොකල යුතුය.කුඩා දරුවන්ද ඇතුළුව සායන සදහා සහභාගීවන සියලුම දෙනා මුඛ ආවරණ  පැලඳීම අත්‍යවශ්‍ය වෙයි.සායන ගොඩනැගිල්ලට ඇතුලුවන විට එහි  පිහිටුවා තිබෙන අත සෝදන ස්ථානයේදී සබන්  යොදා නිසි පදි තත්පර විස්සක්වත් කාලය ගෙන දෑත් සේදීම කල යුතුය. එම නිසි ක්‍රමවේදය පිලිබද අවබෝධයක් නොමැති අය දැනුවත් කිරීමද සායන කාර්‍ය මණ්ඩලය විසින් සිදු කරනු ඇත. සමහර සායන වල දෑත් පිරිසිදු කර ගැනීමට විෂබීජ නාශක දියරද සපයනු ඇත.

    සායන ක්‍රියාත්මක වන සෑම දිනකම එදිනෙදා මතුවන විශේෂිත තත්වයන්ට  අනුව ලබාදෙන උපදෙස් සහ පොදු සෞඛ්‍ය උපදෙස් පිලිපදිමින් කොවිඩ් -19 ව්‍යාප්තිය අවම කරගැනීම කල  යුතුය. එසේ සිය ජාතික යුතුකම ඉටු කරමින් සෞඛ්‍ය සේවා ලබා දීමේ වැඩපිලිවෙලට සහාය වෙමින් කොවිඩ් -19 ව්‍යාප්තිය පාලනයට  දායක වන මෙන් ශ්‍රී ලංකා සෞඛ්‍ය අධ්‍යාපන නිලධාරීන්ගේ සංගමයේ සභාපති නයනි විජේවික්‍රම මෙනෙවිය සමස්ත සේවාලාභීන්ගෙන් ඉල්ලා සිටී.

  • Covid Center Press: කොවිඩ් සම්ප්‍රේෂණය වීම ඉතාම අවම මට්ටමක – සෞඛ්‍ය සේවා අධ්‍යක්‍ෂ ජෙනරාල්

    Covid Center Press: කොවිඩ් සම්ප්‍රේෂණය වීම ඉතාම අවම මට්ටමක – සෞඛ්‍ය සේවා අධ්‍යක්‍ෂ ජෙනරාල්

    කොවිඩ්-19 පැතිරීම වැළැක්වීමේ ජාතික ක්‍රියාන්විත මධ්‍යස්ථානයේ දී අද (4) දින පැවැත්වූ මාධ්‍ය හමුවේදී සෞඛ්‍ය, පෝෂණ හා දේශීය වෛද්‍ය සේවා ඇමතිනි පවිත්‍රා වන්නිආරච්චි මහත්මිය, ආරක්‍ෂක මාණ්ඩලික ප්‍රධානී, යුද්ධ හමුදාධිපති සහ කොවිඩ්-19 පැතිරීම වැළැක්විමේ ජාතික ක්‍රියාන්විත මධ්‍යස්ථානයේ ප්‍රධානී ලුතිනන් ජෙනරාල් ශවේන්ද්‍ර සිල්වා, සෞඛ්‍ය සේවා අධ්‍යක්‍ෂ ජෙනරාල් විශේෂඥ වෛද්‍ය අනිල් ජාසිංහ මහතා සහ නියෝජ්‍ය පොලිස්පති නීතිඥ අජිත් රෝහණ මහතා දැක්වූ අදහස්වල සම්පූර්ණ කතාව

    කොවිඩ් රෝගීන් වාර්තාවීම අවම තත්ත්වයට පත්ව තිබෙනවා –  සෞඛ්‍යඇමතිනි පවිත්‍රා වන්නිආරච්චි

    අද (04) දිනය වන විට රෝහල්ගත කර ඇති රෝගීන් සංඛ්‍යාව 528 ක් ලෙස සඳහන් වේ. එසේම වෛරස් රෝගය සුව වූ රෝගීන් ප්‍රමාණය 187 දෙනෙකු වේ. ඒ වගේම මෙම රෝහල්ගත කර සිටින 528 දෙනාගෙන් 326 දෙනෙක්ම ගෞරවනීය නාවික හමුදා සාමාජිකයන් හෝ ඔවුන් සමීපව ඇසුරු කළ පුද්ගලයන් වේ.

    එසේම, ඊයේ (03) දිනයේ වාර්ථා වූ රෝගීන් 13 දෙනා සලකා බැලිමේදී එයින් 11 දෙනෙකු නාවික හමුදාවේ සාමාජිකයන් වන අතර, අනෙක් දෙදෙනා ඔවුන් සමීපව ඇසුරු කළ පුද්ගලයන් වේ. පසුගිය දින කිහිපය තුළ රෝගින් වාර්ථා වීම වැඩි අගයක් වූවත් අද දිනය වන විට එය අවම මට්ටමකට පැමිණ ඇත. විශේෂයෙන් මේවන විට ගෞරවනීය නාවික හමුදාවේ සාමාජිකයන් හැරුණු කොට වෙනත් අයවළුන් හට වෛරසය ආසාදනය වී නොමැති බැව් වාර්ථා වනු ඇත.     

    අනිකුත් රටවල මෙන් වෛරසය පැතිරයාමට නොදී පාලනය කරගැනීමට හැකිවී ඇත්තේ ගරු ජනාධිපතිතුමන්ගේ සහ අග්‍රාමාත්‍යතුමන්ගේ උපදෙස් පරිදි ත්‍රිවිධ හමුදාවේ සහ සෞඛ්‍ය අංශවල දැඩි සුපරික්‍ෂාකාරි කැපකිරිම මගින් නිරෝධායනයට ලක් කිරිමෙනි. ඒනිසා ලංකාවේ අප සියළුදෙනාම වගකීමකින් සහ දැඩි පරිශ්‍රමයකින් ක්‍රියාකිරිමෙන් මෙම වෛරසය පාලනය කරගැනීමට හැකිවනු ඇත. ඉදිරියේදීත් ඇදිරි නීතිය ඉවත් කරන කාලසීමාව තුළ ජනතාව සෞඛ්‍ය උපදෙස් පිලිපදිමින් වගකීමෙන් කටයුතු කර වෛරසය සමාජගතවීම වලක්වා ගන්නා මෙන් ඉල්ලා සිටිමි.

    වැලිසර නාවික සෙබළු ඇසුරු කළ 1031ක් නිරෝධානයට –  ලුතිනන් ජෙනරාල් ශවේන්ද්‍ර සිල්වා

    අද (04) දින අළුයම ලන්ඩන් (London) සිට ශ්‍රී ලංකන් මගී ගුවන් යානයක් මගින් 208 දෙනෙකුගෙන් යුත් සිසුන් කණ්ඩායමක් දිවයිනට පැමිණෙන ලදී.

    එසේ පැමිණි ඔවුන් සියළු දෙනා ත්‍රිවිධ හමුදාව විසින් පාලනය කරනු ලබන නිරෝධායන මධ්‍යස්ථාන වෙත නිරෝධායන ක්‍රියාවලිය සඳහා යොමු කරන ලදී.

    එසේම, ලන්ඩන් (London) සිට ශ්‍රී ලංකන් මගී ගුවන් යානයක් මගින් සිසුන් සහ රාජ්‍ය සේවකයන් ඇතුළුව පුද්ගලයින් කණ්ඩායමක් හෙට (05) දින අළුයම දිවයිනට පැමිණීමට නියමිතව ඇත.

    එසේ පැමිණෙන ඔවුන් සියළු දෙනා ත්‍රිවිධ හමුදාව විසින් පාලනය කරනු ලබන නිරෝධායන මධ්‍යස්ථාන වෙත නිරෝධායන ක්‍රියාවලිය සඳහා යොමුකිරීමට මේවන විට සියළු කටයුතු සූදානම් කර ඇත.

    ත්‍රිවිධ හමුදාව විසින් පවත්වාගෙන යනු ලබන නිරෝධායන මධ්‍යස්ථාන වන මාදුරුඔය වෙතින් බේරුවල ප්‍රදේශයෙන් නිරෝධායනය සඳහා පැමිණි පුද්ගලයින් 119 දෙනෙකු හා නිපුන බූස්ස වෙතින් 10 දෙනෙකු ඇතුළුව පුද්ගලයන් 129 දෙනෙකු නිරෝධායන ක්‍රියාවලියෙන් අනතුරුව, PCR පරික්‍ෂණය සිදුකර අද (04) දින තම නිවෙස් වෙත පිටත් කරන ලදී.

    අද (4) දිනය වන විට ත්‍රිවිධ හමුදාව විසින් පවත්වාගෙන යනු ලබන නිරෝධායන මධ්‍යස්ථාන තුළින් පුද්ගලයින් 5052 දෙදෙනෙකු නිරෝධායන ක්‍රියාවලිය අවසන්වී තම නිවෙස් වෙත පිටව ගොස්  ඇත.

    මේවන විට නාවික හමුදාවේ වෛරසය ආසාදිත වූ වීරෝධාර රණවිරුවන්ගේ පවුල්වල සාමාජිකයන් සහ ඔවුන් සමීපව ඇසුරු කරනු ලැබු පුද්ගලයින් 1031 දෙනෙකු නිරෝධායන ක්‍රියාවලිය සඳහා නිරෝධායන මධ්‍යස්ථාන වෙත යොමුකර ඇත.

    ඒ අනුව ත්‍රිවිධ හමුදාව මගින් පාලනය කරනු ලබන නිරෝධායන මධ්‍යස්ථාන 35 ක් තුළ පුද්ගලයින් 4522 දෙනෙකු මේ වන විට නිරෝධායනය වෙමින් සිටියි.

    අද (04) දිනය වන විට නාවික හමුදාව තුළ කොවිඩ්-19 වෛරසය මුළු ආසාදිත රණවිරුවන් සංඛ්‍යාව 296 ලෙස වාර්ථාවනු ඇත. එයින් වැලිසර නාවික හමුදා කදවුර තුළ බහුතරයක් ද කදවුරෙන් පිටත නිවාඩු මත සිට ආසාදිත වූ රණවිරුවන් අවම  සංඛ්‍යාවක් වේ.

    මේවන විට ත්‍රිවිධ හමුදා සාමාජිකයන්ට සහ සෞඛ්‍ය අංශ සාමාජිකයන් 223 දෙනෙකුන් සඳහා නිරෝධායන ක්‍රියාවලිය සඳහා සමාජසත්කාරයක් වශයෙන් සියළු සහසුකම් සහිතව වයික්කාල ඩොල්ෆින් හෝටලය නොමිලේ ලබාදී ඇත. එබැවින් ඩොල්ෆින් හෝටලය වෙත විශේෂ ස්තූතියක් පුදකරනු ලබයි.

    කොවිඩ් වෛරසය සම්ප්‍රේෂණය වීමේ සම්භාවිතාව ඉතාම අවම මට්ටමක –  සෞඛ්‍ය සේවා අධ්‍යක්‍ෂ ජෙනරාල්

    අද (04) දින මේ දක්වා දිවයින තුළ කොවිඩ්-19 ආසාදිතයින් වාර්ථාවී නොමැත. ඒ වගේම ඊයේ (03) දිනය තුළ PCR පරික්‍ෂණ 1636 ක් සිදු කර අති අතර, එයින් 13 දෙනෙකු ආසාදියන් වශයෙන් හදුනාගෙන ඇත. එය ඉතා අඩු ප්‍රතිශතයක් ලෙස සැලකිය හැක.

    වැලිසර නාවික හමුදා කදවුරේ තවදුරටත් PCR පරීක‍්‍ෂණ සිදු කරනු ලබයි. එම නාවික සෙබළුන් බහුතරයක් කදවුරු තුළින් ආසාදිත අයවළුන් බැවින් වෙනත් බාහිර අයවළුන් හට වෛරසය සම්ප්‍රේශණය වීමේ සම්භාවිතාව ඉතාම අවම මට්ටමක පවතී. එසේම එම නාවික භටයින් නිවාඩු ලබා ගිය ප්‍රදේශයන්හී PCR පරීක්‍ෂණ සිදු කරනු ලබයි. එ‍සේම කොළඹ නගරයේ සහ රෝහල් තුළ ද ඉලක්ක ගත කණ්ඩායම්හී PCR පරීක්‍ෂණ සිදු කරනු ලබයි.

    හැදුනුම්පත් අංක ක්‍රමය රැකියා සදහා දෛනිකව පැමිණෙන අයට අදාළ නෑ-  නියෝජ්‍ය පොලිස්පති නීතිඥ අජිත් රෝහණ

    නිරෝධායන ඇදිරි නීතියතවදුරටත් ක්‍රියාත්මක වේ. ඒවගේම ඇදිරි නීතිය ලිහිල් කරන ලද ප්‍රදේශවල අද (04) සහ හෙට (05) යන දෙදින තුළ රාත්‍රි 08.00 සිට අළුයම 05.00 දක්වා ඇදිරි නීතිය ක්‍රියාත්මක වේ. ඒ වගේම පුත්තලම සහ බස්නාහිර පාළාතේ ඇදිරි නීතිය (11) වෙනිදා දක්වා ක්‍රියාත්මක වේ. තවදුරටත්, (06) වන දින රාත්‍රියේ සිට (11) වනදා අළුයම 05.00 දක්වා මුළු දිවයිනටම ඇදිරි නීතිය ක්‍රියාත්මක වනු ඇත. එම කාලසීමා තුළ නීරෝධායන ප්‍රතිපත්ති හා රීතීන් අනුව සහ සෞඛ්‍ය උපදෙස් අනුගමනය කරමින් සියළුම පුද්ගලයන් ක්‍රියාකළ යුතුවේ.       

    ඇදිරි නීතිය ආරම්භකළ දින සිට මේ දක්වා පුද්ගලයින් 46,400 ක් පමණ හා වාහන 12,000 කට ආසන්න ප්‍රමාණයක් අත් අඩංගුවට ගෙන ඇත. ගෙවි ගිය පැය 24 ක කාලය තුළ පුද්ගලයින් 1200 ක් පමණ සහ වාහන 314 ක් පොලිස් අත් අඩංගුවට ගෙන ඇත.

    මීට පෙර හදුන්වාදෙන ලද හැදුනුම්පත් අංක ක්‍රමය මෙම මස (11) වෙනිදායින් පසුව ඇදිරි නීතිය පවතින ප්‍රදේශයන්හී ක්‍රියාත්මක වන අතර, එය රැකියා සඳහා දෛනිකව පැමිණෙන පුද්ගලයින්ට වලංගු නොවනු ඇත. මෙය හුදෙක්ම රැකියාවක් නොකර විශේෂ අවශ්‍යතාවයක් නොවන පුද්ගලයින් සඳහා වන බැවින් සමාජ දුරස්ථභාවය ලබාගැනිමේ අරමුණින් සිදු කරන අතර, ආහාර හෝ ඖෂධ ලගම වෙළඳ සැලෙන් මිළදීගැනීමට ක්‍රියාකළ යුතු සේම ඉතාම අත්‍යවශ්‍ය කාරනයක් හැරුණු කොට නිවසින් බැහැරව ගමන් නොකරන මෙන් ඉල්ලා සිටිමී. එසේ උපදෙස් පිළිනොපදින අයවළුන් හට නිරෝධායන රීතීන් යටතේ පොලිසිය විසින් ක්‍රියාකරනු ලබයි.

    අන්තර්ජාල දත්තවලට අනුව කොරෝනා ව්‍යාප්ත වූ රටවල් ශ්‍රේණිගත කිරිම් වලදී විශේෂයෙන් ඇමරිකාව අංක 1 ලෙසටත් ශ්‍රි ලංකාව අංක 160 වන ස්ථානය ලෙස සඳහන් ව ඇත. මෙයින් පැහැදිලි වනුයේ ත්‍රිවිධ හමුදාව පොලිසිය, සෞඛ්‍ය අංශ සහ රජයේ බලධාරීන්ගේ කැපකිරිම මත මෙම ක්‍රියාවලියේ ප්‍රතිපලයක් ලෙස හැදින්වීමට හැක. එසේම ලෝකයේ ප්‍රබල රාජයන් තුල මරණ අනුපාතය 3% වූවත් එය ලංකාවේ 1% වශයෙන් වූ අවම මට්ටමක පවත්වාගැනීම, සෞඛ්‍ය අංශ ලැබු සුවිශේෂි ජයග්‍රහණයක් වේ. එම තත්ත්වය අප ලබාදුන් උපදෙස් ජනතාව විසින් පිළිපදිමින් සෞඛ්‍ය පුරුදු කෙරෙහි අනුගතවීමක් ලෙස හදුන්වාදිය හැක

  • ඇඳිරි නීතිය තිබියදී ‘ජන ජීවිතය යථා තත්වයට පත් කිරීම’ සිදු වන්නේ මෙහෙමයි !

    ඇඳිරි නීතිය තිබියදී ‘ජන ජීවිතය යථා තත්වයට පත් කිරීම’ සිදු වන්නේ මෙහෙමයි !

    ඇඳිරි නීතිය තිබියදී ජන ජීවිතය යථා තත්වයට පත් කිරීම සිදු වන්නේ කෙසේ ද ? මැයෙන් ජනාධිපති මාධ්‍ය අංශය විසින් අද (4) දින මාධ්‍ය නිවේදනයක් මගින් වැඩි දුර කරුණු පැහැදිලි කිරීමක් කළා. කරුණු 05ක් යටතේ පෙළ ගස්වා ඇති එහි සදහන් වන්නේ ඇඳිරි නීතිය ලිහිල් කළද මෙම උපදෙස් පිළිපදිමින් ජනයා අනවශ්‍ය ලෙස ඒකරාශී වීමෙන් වැළකී සිටිනු ඇතැයි රජය අපේක්ෂා කරන බවයි.

    ඇඳිරි නීතිය තිබියදී, ආර්ථික සහ ජන ජීවිතය යථා තත්වයට පත් කිරීම සිදුවන අතර වෛරස ව්‍යාප්තිය වළක්වා ගනු පිණිස  ජනයා ඒකරාශීවීම පාලනය කිරීම මේ විධිවිධාන වල ප්‍රධාන අරමුණ බවයි ජනාධිපති මාධ්‍ය අංශය සදහන් කරන්නේ.

    උක්ත වැඩපිළිවෙළ සම්බන්ධයෙන් කලින් නිවේදනවල ඇතුළත් කොන්දේසි නෙවෙනස්ව පවතින බව ද එහි සදහන්.

    එම නිවේදනය සම්පූර්ණයෙන්ම මෙසේයි,

  • The Economist පුවත ‘ස්වාමියාගේ හඩට අනුව ලිවීම – දිනමිණ හා අනිද්දා

    The Economist පුවත ‘ස්වාමියාගේ හඩට අනුව ලිවීම – දිනමිණ හා අනිද්දා

    COVID-19 හි බලපෑමට ලක්ව නැගී එන ආර්ථිකයන් අතර ශ්‍රී ලංකාවත් – දිනමිණ

    COVID-19 වසංගතය හේතුවෙන් බලපෑමට  පත්ව ඇති නැගී එන ආර්ථිකයන්ගෙන් එකක් ලෙස ජාත්‍යන්තර සඟරාව වන ‘ද ඉකොනොමිස්ට්‘ ශ්‍රී ලංකාව නම් කර තිබේ. ඉහළ රාජ්‍ය ණය සහ විදේශ ණය සහ අඩු විදේශ සංචිත හේතුවෙන් ආර්ථික විශේෂඥයන් විසින් සන්සන්දනය කර ලද නැගී එන ආර්ථිකයන් 66 අතුරින් ශ්‍රී ලංකාව 61 වන ස්ථානයට පත්ව ඇත. 

    දකුණු ආසියාවේ දරුණුතම බලපෑමට ලක්වූ ආර්ථිකය ලෙස ශ්‍රී ලංකාව ශ්‍රේණිගත වී තිබේ. අඩු විදේශ ණය සහ ඉහළ විදේශ සංචිත ඇති අසල්වැසි ඉන්දියාව 18 වන ස්ථානයත්, බංග්ලාදේශය 8 වන ස්ථානයත්, ඉහළ ණය ඇති පාකිස්තානය 43 වන ස්ථානයත් ලබා ඇත. 

    ඉකොනොමිස්ට් ශ්‍රේණිගත කිරීම මඟින් අනතුරුදායක විය හැකි ප්‍රභවයන් හතරක් හරහා ආර්ථිකයන් 66 ක් පරීක්ෂා කර ඇතැයි සදහන් වේ.  

    එනම් රාජ්‍ය ණය, විදේශ ණය (රාජ්‍ය හා පෞද්ගලික යන දෙඅංශයෙන්ම) සහ ණය ගැනීමේ පිරිවැය (රජයේ ඩොලර් බැඳුම්කරවල ඵලදාව අනුව හැකි සෑම තැනකම) ඇතුළත් වේ. එය මේ වසරේ ඔවුන්ගේ විදේශ ගෙවීම් (ඔවුන්ගේ ජංගම ගිණුම් හිඟය සහ ඔවුන්ගේ විදේශ ණය ගෙවීම්) ගණනය කරන අතර මෙය ඔවුන්ගේ විදේශ විනිමය සංචිත සමඟ සසඳයි. මෙම එක් එක් දර්ශකයේ රටක ශ්‍රේණිගත කිරීම එහි සමස්ත තත්වය තීරණය කිරීම සඳහා සාමාන්‍යය වේ. – දිනමිණ වෙබ් පුවත්පතේ 2020 මැයි 04 දා

    ඉහත සදහන් වාර්තාව අනුව පාඨකයින්ට පෙනී යන්නේ කොවිඩ්-19 බලපෑමට ලක්ව ඇති ‘නැගී එන ආර්ථිකයන් අතර ශ්‍රී ලංකාවත් සිටින බවයි. රාජ්‍ය මාධ්‍ය පුවත්පතක් වන දිනමිණ මෙම පුවත තෝරාගෙන පළ කරන්නේ මේ වාර්තාවට අදාළ ප්‍රස්තාර සටහන පවා උපුටා දැක්වීමකින් තොරවයි.

    මේ පුවත උඩින් පල්ලෙන් (ලංකාවේ අති බහුතර කියවන්නේ ශීර්ෂපාඨය පමණයි) කියවන විට ලංකාවේ ආර්ථිකය ගැන පාඨකයින්ට ඇති වන්නේ ‘ධනාත්මක හැගීමක්. එය ‘COVID-19 හි බලපෑමට ලක්ව නැගී එන ආර්ථිකයන් අතර ශ්‍රී ලංකාවත්‘ යන ශීර්ෂපාඨය මගින් වඩාත් තහවුරු වෙනවා.

    ඒත් ඇත්තම කතාව මොකක්ද ? අපි මේ පුවත මුලින්ම වාර්තා කළ රාජ්‍ය විරෝධී ස්ථාවරයක සිටින ‘අනිද්දා පුවත්පත උපුටා දැක්වීම සූදානම්.

    ශ‍්‍රී ලංකාව දුර්වලම ආර්ථිකයක් ඇති රටක් ‘දි ඉකොනොමිස්ට්’ සඟරාව – අනිද්දා

    කොවිඞ්-19 වසංගත තත්වයට මුහුණදුන් නැගී එන ආර්ථිකයක් ඇති රටවල් 66ක ආර්ථිකය පිළිබඳව ‘දි ඉකොනොමිස්ට්’ සඟරාව පළ කර ඇති වාර්තාවක එම රටවල් අතරින් දුර්වලම ආර්ථිකයක් ඇති රටක් ලෙස ශ‍්‍රී ලංකාව හඳුන්වා ඇත.

    මෙම ශ්‍රේණිගත කිරීම් සඳහා ජාත්‍යන්තර මූල්‍ය අරමුදල, ජේපී මෝර්ගන් ආයතනය, එම රටවල මහබැංකු වාර්තා, ලෝක බැංකු වාර්තා, ජාත්‍යන්තර ශ්‍රේණිගත කිරීම් ආයතන ඇතුළු මූලාශ‍්‍ර සලකා බලා ඇත.

    දළ දේශීය නිෂ්පාදිතය, ණය ඇතුළු සාධක ගණනාවක් සැලකිල්ලට ගනිමින් එම වාර්තාව සකස් කර ඇත.

    ක්ෂේත‍්‍ර හතරක් අනුව එම රටවල ආර්ථිකය ශ්‍රේණිගත කිරීමට ලක් කර ඇති අතර, ශ‍්‍රී ලංකාව එම ක්ෂේත‍්‍ර හතරෙන්ම දුර්වල රටක් ලෙස හඳුන්වා දී ඇත. එනම්, Public debt, Foreign debt, Cost of borrowing සහ Reserve cover යනුවෙනි. ඒ අනුව රටවල් 66 අතරින් 61 වැනි ස්ථානය ශ‍්‍රී ලංකාවට ලබාදී තිබේ. එම රටවල් ලැයිස්තුවෙහි ශ‍්‍රී ලංකාවට පසුපසින් සිටින්නේ රටවල් පහක් පමණි. ඇන්ගෝලාව, බහරේන්, සැම්බියා, ලෙබනන් සහ වෙනිසුවේලා යන රටවල් ශ‍්‍රී ලංකාවට පසුපසින් සිටී.

    2020 මැයි 02 වැනිදා අනිද්දා පුවත්පතට ‘අනුරංග ජයසිංහ‘ විසින් සම්පාදිත මේ වාර්තාවට අදාළ ප්‍රස්තාර සටහනත් ඇතුළත් කරලා තිබෙනවා.

    අනිද්දා වාර්තාව කියවන විට පාඨකයින්ට ඇතිවන්නේ ඍණාත්මක හැගීමක් බව පැහැදිලියි. ඒ කොවිඩ් වසංගතයේ බලපෑමට ලක්ව ඇති නැගී එන ආර්ථිකයින් 66ක් අතරින් ශ්‍රී ලංකාව සිටින්නේ 61වැනි ස්ථානයේ. ඉහත ප්‍රස්තාර සටහන අනුව ලංකාවට පහළින් සිටින්නේ ඇන්ගෝලාව, බහරේන්, සැම්බියා, ලෙබනන් සහ වෙනිසියුලාව පමණයි.

    ශ්‍රී ලංකාවට පහළින් සිටින රටවල් ගැන අලුතින් ලියන්න තරම් දෙයක් නෑ. ඇන්ගෝලාව කියන්නේ දීර්ඝ කාලීන සිවිල් යුද්ධයකින් විනාශයට පත් වූ උතුරු අප්‍රිකානු රටක්. සැම්බියාවත් ඊට නොදෙවෙනි අප්‍රිකානු රටක්. බහරෙන් සහ යෙමනය කියන්නේ මැදපෙර දිග කලාපයේ රටවල් දෙකක්. යෙමනය දීර්ඝ කාලීන සිවිල් යුද්ධයකින් තවමත් බැට කනවා. වෙනිසියුලාව කියන්නේ හියුගෝ චාවේස් සහ ඔහුගේ අනුප්‍රාප්තිකයා මදුරෝ විසින් විනාශ කළ ලොව සශ්‍රීකම රටක්. අද ඒක අසමත් රාජ්‍යයක්.

    ඉතිං ලංකාවට වඩා පහළින් සිටින්නේ මේ අසමත් රාජ්‍ය පහ පමණයි.

    මේ ආකාරයේ ප්‍රවෘත්ති තමන්ට අවශ්‍ය ආකාරයට ව්‍යාජ ලෙස අර්ථකථනය කිරීම ලංකාවේ සුලභ තත්ත්වයක්. එමගින් පාලකයාට තාවකාලික වාසියක්, ප්‍රීතියක් ඇති වුණත් ඇත්ත තත්ත්වය ඊට වඩා වෙනස්.

    අපි මේ ව්‍යාජ අර්ථ කථන කොවිඩ් සම්බන්ධයෙන් පමණක් නොවෙයි තවත් බොහෝ දේ ගැන දකිනවා. උදාහරණයක් ලෙස ජනාධිපතිවරයා ලෝක වෙළෙදපොළේ දැවැන්ත ලෙස පහළ ගිය ඉන්ධන සහනය ජනතාවට දෙන්න රුපියල් 65ට අඩු කළ පරිප්පු සහ රුපියල් 100ට අඩු කළ සැමන් කතාව දැක්විය හැකියි. මිල අඩු කළ දාට පසු උදේවත් ඒ මිලට පරිප්පු – සැමන් ගත්ත කෙනෙක් ලංකාවේ හිටියේ නැහැ.

    සහල් මිල පාලනයත් ඊට දෙවැනි නැහැ. මේ වගේ තවත් කතා තියෙනවා. ලංකාවේ ආනයනික බෝග 16ක් වවන්න යන කොට ලොකු ලූනු වගාකරුවා ඇත්තටම මුහුණ දෙන තත්ත්වය අපි ඊයේ වාර්තා කළා.

    මේ තත්ත්වය සමග අපට මතක් වෙන්නේ අධිපතිවාදය දැඩිව ප්‍රතික්ෂේප කළ මහා දාර්ශනික බ්‍රර්ටන්ඩ් රසල්ගේ කියමනක්.

    ‘නිවැරදි තොරතුරු නොලබන ජාතිය අද හෝ පමා වී හෝ කාගේ හෝ වහළුන් බවට පත්වනු ඇත‘

    විමසුම් සටහන – ආචාර්ය ඉන්ද්‍රිත් හේවාවිතාරණ

  • රිෂී කපූර්ගේ අවමගංල්‍ය උත්සවයට පැමිණි බොලිවුඩ් සුපිරි තරු මෙන්න…

    රිෂී කපූර්ගේ අවමගංල්‍ය උත්සවයට පැමිණි බොලිවුඩ් සුපිරි තරු මෙන්න…

    ප්‍රවීණ රංගන ශිල්පී රිෂි කපූර්ගේ අභාවයෙන් සමස්ත භාරතයම කම්පනයට පත් වුණත් රට අගුළුලා තිබෙන නිසා අවමංගල්‍ය උත්සවය සහභාගී වුණේ පවුලේ සමීපතමයින් සහ බොලිවුඩයේ ප්‍රකට චරිත කිහිපයක් පමණයි. ඔවුන් ද මුහුණු ආවරණ සහ අත් අවරණ පැළද සිටි අතර කතාබහ ද බොහෝ දුරට සීමා වී තිබුණා.


    රිෂීගේ අවසන් කටයුතු සිදුකරන ස්ථානයේදී දැක ඇති කිහිප දෙනා අතර කරීනා කපූර් ඛාන්, සයිෆ් අලි ඛාන්, ආලියා භට්, අර්මාන් ජයින්, ආදර් ජේන්, අභිෂේක් බච්චන් ද සිටියා. මේ ඒ ඡායාරූප අතරින් සුවිශේෂ කිහිපයක්.

    සයිෆ් අලි ඛාන්, කරීනා කපූර් ඛාන්
    සයිෆ් අලි ඛාන්, කරීනා කපූර් ඛාන්
    සයිෆ් අලි ඛාන්, කරීනා කපූර් ඛාන්
    සයිෆ් අලි ඛාන්, කරීනා කපූර් ඛාන්
    ආලියා භට්
    ආලියා භට්
    ආලියා භට්
    ආලියා භට්
    අභිෂේක් බච්චන්
    අර්මාන් ජයින්
    අනිස්සා මල්හෝත්‍රා – අර්මාන් ජයින්
    අනිස්සා මල්හෝත්‍රා, අර්මාන් ජේන්
    අර්මාන් ජයින්
    ආලියා භට්

    Text and pic by Filmfare – by Thushadhavi

  • කොරෝනා උණුසුම මැද බලගැන්වුණු ‘බෝග 16 විප්ලවයට’ ඔබත් එක් විය යුතු මෙනිසයි!

    කොරෝනා උණුසුම මැද බලගැන්වුණු ‘බෝග 16 විප්ලවයට’ ඔබත් එක් විය යුතු මෙනිසයි!

    රටේ ජනතාවට ප්‍රමාණවත් තරම පමණක් නොව, අපනයනය කරන්නට වුවත් සෑහෙන්න ඇතැම් බෝග ප්‍රභේද වවන්නට සුදුසු පසක් හා දේශගුණයක් අප සතුව පවතී. ඒ ගැන නොසලකා හරිමින්, ලාභයට ගන්නට තිබේනම්, පිටරටින් ගෙන්වාගෙන කෑම වඩා සුදුසු වන්නේය යන මතවාදය, ඉඳහිට හෝ කිසියම් තාවකාලික කාලපරාසයකට සමාජයේ ගැවසුණු නිසා, බෝග නිෂ්පාදනයට අප සතුව තිබූ උනන්දුව විටින් විට පත්වූයේ ඇල්මැරුණු ස්වභාවයකටය.

    රටට බත සපයන ගොවියා හැඳින්වුයේ ‘අසරණ ගොවියා’ නමින්ය. සියලු කරදර ඔහුටය. කුඹුරක් අස්වද්දන්නට ඔහු දරන වෙහෙසට අගයක් දෙන්නට ගෝලීයකරණය කරපින්නා ගත් සමාජයට උනන්දුවක් නොතිබුණි. බිම් සැකසීම සඳහා වතුර මුරය ගන්නා තැන සිට බිත්තර වී, පොහොර ආදී සියලු අවශ්‍යතා වෙනුවෙන් ඔහු හමුවේ ඇත්තේ අවිනිශ්චිතතාවයයි. අවසානයට නොවිඳිනා දුක් කරදර වලට මැදිවී අස්වැන්න ලද පසුවද, සාධාරණ මිලකට එය විකුනාගැනීමට හැකිවේද යන්න පවා  ඔහුට ගැටලුවකි.

    අවුරුද්ද කන්නට වී තිබෙනවානම් පැරණි සමාජයේදී එය ගෞරවනීය පිළිගැනීමකට හේතු වූ කාරනාවක් විය. විවාහයක් තීන්දු කරගැනීමේදී පවා ගොඩින් සහ මඩින් ලැබෙනා බිම් කට්ටියේ වපසරිය ඒ අනුව ලොකු කර්තවයක් ඉටු කලබව අතීත තතු දන්නෝ පවසති.

    එවන් ඉතිහාසයකට හිමිකම් කී ලාංකික සමාජය මෑත ඉතිහාසය තුලදී ගොවිකම හැරදා වෙනතකට ඇදී ගියේ, රටට සමාජයට දරාගත හැකි වේගයෙන් නම් නොවේ. මෙම වේගයට තිරිංගලමින් ආපසු හැරෙන් යන විධානය කර ඇත්තේ ඇසටවත් නොපෙනෙනා ක්‍ෂුද්‍ර ප්‍රාණියෙකු විසිනි. එය අපට පමණක් නොව මුළු ලෝකයටම ඇසෙන්නට කෑගසා, වියරුවෙන් කල විධානයකි. සියල්ලෝම එයට අවනත වනවා සේ පෙනේ.

    සෑම සමාජ ස්ථරයකින්ම අද පෙනෙන්නට තිබෙනා වගා කිරීමේ උද්‍යෝගය හමුවේ අනාවරණය වන්නේ අප සැවොම හඹාගොස් ඇත්තේ ගෝලීයකරණය නමැති මිරිඟුවක් පසුපස බවය. මාලිගා තනා ඇත්තේ රළ පහර වදින මුහුදු වැල්ලේ බවය. වසංගත ව්‍යසනයක් හමුවේ ආහාර හිඟයකට මුහුණදෙනු ඇතැයි බියවී තක්කු මුක්කු වී සිටින ජනතාවක් ආහාර සුරක්‍ෂිතතාවය නමැති පදයක අර්ථය සොයමින්, අහුමුලු හැමතැනම වගා කරන්නට ඇට හා පැල සොයමින් සිටී.

    කෘෂිකර්ම දෙපාර්තමේන්තුව මගින් දේශීය ආහාර නිෂ්පාදනය දිරිගන්වනු වස් ‘සෞභාග්‍යා‘ ගෙවතු වගාකිරීමේ ක්‍රියාන්විතය දියත්කරනු ලැබුවේ කෝවිඩ් වසංගතය මෙහි පැමිණෙන්නටත් පෙර සිටය. ගෙවතු දශලක්ෂයක ඉලක්කයක් අරගෙන එය සැලසුම් කරන්නට ඇත්තේ අවසානයේ වැයකළ ශ්‍රමය හා වියදමට සාධාරණ ප්‍රතිලාභයක් ලබා කටයුතු අවසන් කිරීමේ බලාපොරොත්තුවෙනි.

    ඕනෑම ව්‍යාපෘතියක් සැලසුම් කරන්නේත්, අවසන් කරන්නේත් ඒ ආකාරයෙනි. එහෙත් දශ ලක්ෂයේ සැලසුමට නිපදවා බෙදාහැරි රෝපණ ද්‍රව්‍ය උණු උණුවේම අවසන් වූ අතර ඔවුහු මේ වනවිට තවත් දශ ලක්ෂයක ඉලක්කයක් ගෙන, ඒ තුලද අඩක් පමණ දුර ගෙවා දමමින් සිටී.

    ජනතාව වෙතින් පිරිනැමෙන මේ හදිසි උනන්දුව තවත් දිරිමත්කිරීම උදෙසා රාජ්‍ය අංශය වෙතින් ගොවිතැනට ලබාදෙන ආකර්ශනීය සුරක්ෂිතතාවයක්ද මේ වනවිට ඉදිරිපත් කර අවසානය. ඒ ගෙවතු වගාව සඳහා නාමික සුළු මුදලකට ලබාදෙන බීජ පැකට්ටුව මෙන් සරල ඒකකයක් නොව, මහත් පිරිවැයක් යොදා බලගන්වනු ලබන වගා පැකේජයකි.

    බෝග 16 කට දිරිගැන්වීම් !

    මෙයට අනුව දැනට ආරම්භවී ඇති යල වගා කන්නය වෙනුවෙන්, මෙරට වගා කළහැකි අතිරේක බෝග 16 ක සංඛ්‍යාවක් වැවීම දිරිමත් කරනු ලැබේ. වියලිමිරිස්, ලොකුලූණු, රතුලූණු, සුදුලූණු, අර්තාපල්, බඩඉරිඟු, සෝයාබෝංචි, කුරක්කන්, කොල්ලු, මුංඇට,කවුපි, උඳු, තල, රටකජු, ඉඟුරු හා කහ යනු මෙම බෝග ලැයිස්තුවයි.

    මේ සියල්ල දේශීයව වැවිය හැකි බෝග වන අතර මෙම සෑම බෝගයකින්ම සැලකිය යුතු ප්‍රතිශතයක් අප මේ වනවිට ආනයනය කරමින් සිටින්නෙමු. වියලි මිරිස් වැනි නිෂ්පාදනයක් ගතහොත්, ශ්‍රී ලංකාව කලෙකදී ඉන් ස්වයංපෝෂිත තත්වය පවා අත්කරගෙන තිබුණේය. එහෙත් අද දවසේ 90% කටත් එහා ප්‍රමාණයකින් මෙය ආනයනය කරනු ලබයි.

    උග්‍ර විෂ සහිත කෘෂිරසායන ද්‍රව්‍යයන් පවා ඉන්දියාවේදී කිසිදු තහනමකින් තොරව භාවිතා කරන අතර, දේශීය ගොවියාගේ නිපැයුම්වල වසවිස අන්තර්ගතයට ඉව අල්ලන ඇතැමුන්, දුප්පතාගේ පොල් සම්බෝලයට පවා එකතුවෙන ඉන්දියානු මිරිස් කරලේ ඇති දෑ ගැන සැලකිලිමත් නොවීම අවාසනාවකි.

    කෘෂිකර්ම නිලධාරීන් විසින් වගා උපදෙස් ලබාදීමේදී නිතරම කතාකරන ‘නිර්දේශිත ප්‍රභේද’ යන පද දෙක වර්තමාන වගා ප්‍රවර්ධන වැඩසටහන තුලදී, අවස්ථාවේ හැටියට මොහොතකට පසෙකින් තබා තිබේ. මේ නිසා උදාවී ඇති තත්වය හමුවේ කෘෂිකර්ම දෙපාර්තමේන්තුව ප්‍රමුඛත්වය දී කටයුතු කරන්නේ බෝගයක් වශයෙන් යමක් ප්‍රවර්ධනය කර, දේශීය නිෂ්පාදන ධාරිතාවය ඉහළ නැංවීමටයි.

    මේ හරහා වර්තමානයේ පවතින අතිරේක බෝගයන්හි වගා වපසරිය 100% කින් ඉහළ නැංවීමට දෙපාර්තමේන්තුවේ බලාපොරොත්තුවයි. යම්කිසි බෝගයක ප්‍රභේදයකට සීමා නොවී සිටීමට තවත් හේතුවක් වන්නේ නිෂ්පාදනය කඩිනමින් ඉහල නංවාගැනීම සඳහා ගොවීන් සතුව ඇති සියලු බීජ මේ මොහොතේ පසට යට කරවීමටත්, පෙර සිට පැවත එන ගොවීන්ගේ පිළිගැනීමක් ලැබෙන යම් ප්‍රභේදයක් වේ නම් එය වැඩිපුර බෝකර ගැනීමටත්ය.

    තැන තැන සැඟවුනු දේශීය බෝග ප්‍රභේද රැසක අස්වැන්න මේ හරහා වෙළඳපොළට එනු ඇත. නිරායාසයෙන්ම පාරිභෝගිකයින් විසින් ඒවාහි ගුණාගුණ විමසනු ඇත. වඩාත් ආකර්ශනීය ප්‍රභේදයන්හි අනාගත පැවැත්ම ඒ හරහා සුරක්ෂිත වනු ඇත. 

    කුඩා වගාවකට බීජ නොමිලේ !

    අක්කර කාලක් හෝ ඉන් ඔබ්බට අක්කර භාගයක් දක්වා ඉහත සඳහන් බෝග තනි වගාවක් වශයෙන් වගා කරන්නේ නම් රජය මගින් සම්පුර්ණ බීජ වියදම දරාගැනීමට මේ වනවිට තීරණය කර තිබේ.

    අක්කර කාලකට අඩුවෙන් වවන්නේ නම් එවන් සහනයක් ගොවියාට ලැබෙන්නේ නැත. බීජ අවශ්‍යතාවය වගාකරු විසින්ම සපුරා ගත යුතු අතර, ඒවා කුමන තැනකින් කුමන මිලකට ගත්තාද, කුමන ප්‍රභේදයක බීජද, හයිබ්‍රිඩ් ද නැතිද වැනි ප්‍රශ්නත් අදාළ වන්නේ නැත. බීජ සඳහා ගෙවූ මුදල සඳහා බිල්පතක්වත් අවශ්‍ය නොවේ. එකම අවශ්‍යතාවය වන්නේ අදාළ වපසරිය තුල වගාව පිහිටුවා පෙන්වීම පමණි.

    බීජ සඳහා ගෙවන මුදල කෘෂිකර්ම දෙපාර්තමේන්තුව විසින් යථා කාලයේදී තීරණය කරනු ලබන අතර, එය ප්‍රභේදය මත පදනම් නොවන බෝගය මත පදනම් වූ මුදලකි. යම් වගාවක වපසරිය අක්කර භාගය ඉක්මවා යමින් අක්කර පහක් දක්වා යන්නේ නම්, පළමු අක්කර භාගය සඳහා වන සම්පුර්ණ බීජ වියදමත්, අක්කර හතර හමාරක් සඳහා වන බීජ වියදමෙන් 50% කුත් රජය විසින් දරනු ලැබේ.

    කුමන වපසරියක් වෙනුවෙන් වුවද බීජ වියදම ලැබෙන්නේ අදාළ බෝගයේ තනි වගාවන් පිහිටන්නේ නම් පමණක් බවද මතක තබාගතයුතු කරුණකි. බීජ වෙනුවෙන් ගොවීනට ලබා දෙන්නට බලාපොරොත්තුවෙන මෙම සහනාධාරය වෙනුවෙන් රුපියල් මිලියන 2700 ක පමණ මුදලක් දරන්නට රජයට සිදුවෙනවා ඇත.

    අක්කර පහක් තුළ බෝග කීපයක් වවන්න බැරිද?

    බීජ සහනාධාරය ලබමින්ම එවන් වගාවක් කරන්නටද ප්‍රතිපාදන සලසා දී තිබේ. උදාහරණයක් වශයෙන් අක්කර තුනක භූමියක අක්කර කාල බැගින් නිර්දේශිත බෝග අතුරින් බෝග 12 ක් වැවිය හැකිය.

    ඒ සෑම අක්කර කාලකම තනි වගා වශයෙන් බෝග පිහිටුවා ඇත්නම් බෝග වර්ග 12 සඳහාම වූ බීජ වියදම සම්පුර්ණයෙන්ම රජය මගින් දරනු ඇත. යම් වගාකරුවෙක් විසින් බඩඉරිඟු අක්කර 4 ක් ද, කවුපි අක්කර කාලක්ද, රටකජු අක්කර 6 ක්ද වවා ඇතියයි සිතමු. ඔහුගේ බීජ සහනාධාරය වන්නේ බඩඉරිඟු සඳහා නම් අක්කර භාගයකට 100% ක් සහ අක්කර තුන හමාරකට 50% ක් වශයෙන්ය.

    මීට අමතරව කවුපි අක්කර කාල සඳහා වැයවූ සම්පුර්ණ බීජ වියදම ඔහුට ලැබේ. රටකජු අක්කර භාගයක් සඳහා සම්පුර්ණ බීජ වියදමත්, අක්කර හතර හමාරක් දක්වා බීජ වියදමෙන් 50% ක කොටසකුත් ඔහුට ලැබෙන අතර ඉතිරි රටකජු අක්කරය සඳහා වැයකළ බීජ වියදම ලැබෙන්නේ නැත.

    වගාව කවදා ඇරඹිය යුතුද?

    මෙම වැඩසටහන සැලසුම් කර ඇත්තේ 2020 යල වගා කන්නය වෙනුවෙනි. දැනටමත් යල කන්නය ඇරඹි තිබේ. කෙසේ වෙතත් ඇතැම් ප්‍රදේශ වල ප්‍රමාදවී මහ කන්නය අවසන් වූ අවස්ථා තිබෙන නිසා ප්‍රමාදවී ඇරඹෙන යල කන්නයන් සඳහාද බීජ සඳහා වන මුදල් ප්‍රතිපූර්නය කරගැනීමේ අවස්ථාව තිබේ.

    වගාව ඇරඹුණු වහාම පළාතේ කෘෂිකර්ම උපදේශකවරයා හමුවී ඔහු භාරයේ ඇති ලේඛනයෙහි තම වගාවේ විස්තර ඇතුලත් කල යුතුවේ. මහවැලි බල ප්‍රදේශවල නම් මෙම තොරතුරු භාරගන්නේ ඒකක කලමානාකරු විසිනි. ඔවුන් විසින් වගාව පරීක්ෂාකර බලා භාවිතා කර ඇති බීජ පිලිබඳ තක්සේරු කරනු ලැබේ. මුදල් ලබාදෙන්නේ එම තක්සේරුවට අනුවය.

    මෙම බෝග වලට රක්ෂනාවරණයකුත් ලැබෙනවා

    බඩඉරිඟු, අර්තාපල්, ලොකුලූණු, සෝයාබෝංචි, හා මිරිස් වැනි බෝග සඳහා ගොවි රක්ෂණ මණ්ඩලය මගින් වසර ගණනාවකට පෙර සිටම රක්ෂනාවරණයක් ලබාදීමේ වැඩ සටහනක් ක්‍රියාත්මක කරනු ලබන අතර,. ඉතිරි බෝග 11 ද, මේ යටතට ගනිමින් යම් කොන්දේසි මත රක්ෂණය ලබාදීමට ඔවුහු මේ වනවිටත් සැලසුම් සම්පාදනය කරමින් සිටී.

    මේ නිසා ස්වාභාවික ආපදාවකදී හෝ වන සතුන්ගෙන් සිදුවන හානියකදී හෝ ගොවියා ආරක්ෂා කිරීමටද රජය කටයතු කරමින් සිටින බව පැහැදිලිය. ඒ ගැන විස්තර ඉදිරියේදී දැනගැනීමට හැකිවේවි. මේ මොහොතේ ගොවියා කල යුත්තේ කන්නය පමා නොකොට, තමාගේ යල ගොවිතැන ආරම්භ කිරීමයි.

    නිෂ්පාදනය වැඩිවෙනකොට අස්වැන්නට ලැබෙන මිල පහළ යයිද?

    මිල උච්ඡාවචනය යනු ලාංකික ගොවියා හැමදාමත් මුහුණදෙන ගැටලුවකි. කෘෂිකර්ම දෙපාර්තමේන්තුව මගින් බෝග පුරෝකථන වාර්තා සාදමින් අද වගා කරන බෝගයේ අස්වැන්නට අනාගතයේදී ලැබෙන මිල පිළිබඳව අනාවැකි ගොවි ජනතාවගේ ජංගම දුරකතනයටම යැවූවද, ගතානුගතික ගති සිරිතට අනුගත වෙමින්, මිල වැඩි බෝගයම වගාකිරීමට ඇති පුරුද්ද අතහැරීමට තවමත් බොහෝ දෙනෙක් අසමත් වී සිටී.

    මේ නිසා සිදුවන්නේ රටට අනවශ්‍ය අස්වැන්නක් එකවිට ලැබීමෙන් මිල පහළ යාමයි. මෙම වැඩසටහන යටතේ සලකාබැලෙන බෝග සියල්ලම යම් ප්‍රමාණයකින් ආනයනය කෙරෙන බෝගයන්ය. එසේම ඒවා ඇතැම් ආනයනය කෙරෙන ආහාර බෝගවලට ආදේශක බෝගයන් ලෙස භාවිතාකල හැකි ඒවාය.

    උදාහරණයක් වශයෙන් මෙරට සෑදිය නොහැකි රතු පරිප්පු වෙනුවට භාවිතා කල හැකි ආදේශක බෝග වශයෙන් කවුපි හා මුංඇට මෙන්ම කොල්ලු ද මෙහි අන්තර්ගත වේ. ඉදිරියේදී විදේශ වෙළඳපොළෙහි ආහාර හිඟවීම හෝ ආනයනය සඳහා අප සතුව ඇති පමණට විදේශ විනිමය නොමැතිවීම හෝ වැනි තත්වයක් හමුවේ, දේශීය ආදේශක ආහාර සුලභව ඇත්නම් ජනතාවට සිදුවන්නේ ඒ වෙත යොමුවීමටයි. වෙනත් විකල්පයක් ඔවුනට නැත. ඒ නිසා පෙරදී සිදුවූවාක් මෙන් ආනයනික ආහාර හා තරඟයට යා නොහැකිව මිල පහළ යනවා වැනි සිද්ධියක් අනාගතයේදී සිදු නොවේවියයි සිතීම සාධාරණය.

    යම් ලෙසකින් නිෂ්පාදනයන්ට ගැලපෙන මිලක් නොලැබෙන්නේ නම් රජය මගින් සහතික මිලක් යටතේ අස්වැන්න මිලදී ගැනීමේ වැඩසටහනක්ද දැන් සිටම ඉදිරිපත් කර තිබීම තව දුරටත් ගොවියා දිරිමත් කිරීමකි. මේ අනුව බෝග සඳහා යෝජිත රජයේ සහතික මිල රුපියල් වලින්   කිලෝග්‍රෑමයක් සඳහා මෙසේය.

    වියලි මිරිස් 650, ලොකුලූණු 100, රතුලූණු 110, අර්තාපල් 100, බඩඉරිඟු 50, සෝයාබෝංචි 125, කුරක්කන් 175, කොල්ලු 300, මුංඇට 200, කවුපි 220, උඳු 220, තල 200, රටකජු 220, ඉඟුරු 125, අමුකහ 80, සුදුලූණු 350

    සහතික මිලක් ගෙවා ගොවීන් සතු සියලු අස්වැන්න මිලදී ගැනීම හරහා, ආනයනය සීමා කරමින් හා තමා සතු ආදේශක බෝග තොග වෙළඳපොළට නිදහස් කරමින්, සාධාරණ මිලකට ආහාර සැපයීමේ මෙහෙයුමට සක්‍රියව දායක වීම රාජ්‍ය අංශයේ බලාපොරොත්තුවයි. මේ නිසා වසවිස අන්තර්ගතය ගැන දෙගිඩියාවකින් තොරව අනුභව කල හැකි ආහාරයක් ජනතාවට ලැබෙනු ඇත. දේශීය ආහාර භෝග වලට වැඩි ඉල්ලුමක් නිර්මාණය වෙමින් නිෂ්පාදකයාගේ අතමිටද සරුවෙනු ඇත.

    මෙරට වී නිෂ්පාදනය අද වනවිට ඉතා යහපත් මට්ටමකට පැමිණ තිබේ. දේශීය කෘෂි විද්‍යාඥයින් දශක කීපයක් තිස්සේ කල අභිජනන පර්යේෂණයන් හේතුවෙන්, කෝටි දෙක හමාරකට ආසන්නව සිටින රටේ ජනතාවට තුන්වේලම වුවත් බත් කන්නට ප්‍රමාණවත් අස්වැන්නක් වර්තමාන වගා වපසරිය තුළින් ලබාදීමට සමත් වී ප්‍රභේද මේ වනවිට නිපදවා තිබේ.

    40 දශකයේදී මෙරට සිටියේ ලක්ෂ 65ක පමණ ජනගහනයකි. එදා නිපදවූ සහල් ප්‍රමාණය ප්‍රමාණවත් වූයේ මින් තුනෙන් එකකගේ පමණ කුස පිරවීමටයි. ඉතිරි තුනෙන් දෙකම කෑවේ රට හාල්ය. එයද සීමා සහිතව ජනතාවට ලැබුනේ උප්පැන්න සහතිකයටත් වඩා ඕනෑකමින් ආරක්‍ෂා සහිතව ළඟ තබාගෙන සිටි ‘හාල්පොත’ නමැති කූපන් කාඩ්පතක් හරහාය.

    අතිරේක බෝගයන්හි දේශීය නිෂ්පාදනයද ඉහළ දමන්නේ නැතිව පවත්වා ගතහොත් එදා සහල්වලට තිබූ තත්වය මුංඇට, කවුපි, මිරිස්, කහ, උඳු වැනි බෝග වලටද ඉදිරියේ උදාවීම වැළක්විය නොහැකිවේ. මන්දයත් පවත්නා අර්බුදකාරී තත්වය හමුවේ, ලෝක නිෂ්පාදනයද ඉදිරියේදී පහත වැටෙනා බැවිනි. මුදල් තිබුණත් ගෙන්වා ගන්නට දෙයක් ඒ රටවලත් ඉතිරි නොවනු ඇත. තිබෙන සොච්චම් ප්‍රමාණයත් ඔවුන්ගේම පාරිභෝජනයටම යෙදවෙනවා ඇත.

    එදා පැවති සහල් අර්බුදයට වඩා මෙය භයානක තත්වයක් වන්නේ, කෝවිඩ් සාධකය ගෝලීය එකක් නිසාය. අන් රටවල ජනතාව නැගිටිනවා සේම අපද නැගිටිය යුත්තේ අපගේ ස්වශක්තින්මය. අත්වාරුව සපයන්න ලඟපාත කවුරුවත් නැත. එදා සහල් ගැන අද ලියූ ආකාරයේ ඊට අනුරූප සටහනක්, තව දශක කීපයකින් අතිරේක බෝග වෙනුවෙන්ද ලියන්නට, අනාගත ලියුම්කරුවෙකුට මග විවර කරදීමේ වගකීම ඇත්තේද වර්තමාන ගොවි ජනතාව වන ඔබටය. ඒ නිසා රජයේ දිරිගැන්වීම උපරිම වශයෙන් මේ මොහොතේ ප්‍රයෝජනයට ගනිමු.

  • පාස්කු ප්‍රහාරය සහ දේශපාලන කුමන්ත්‍රණ මැද ගෙවුණ ‘2019 ආර්ථිකය’ ගැන සමාලෝචනයක්

    පාස්කු ප්‍රහාරය සහ දේශපාලන කුමන්ත්‍රණ මැද ගෙවුණ ‘2019 ආර්ථිකය’ ගැන සමාලෝචනයක්

    2019 වර්ෂයට අදාළ ශ්‍රී ලංකා මහ බැංකුවේ වාර්ෂික වාර්තාව පසුගිය මස 28 වැනිදා මහ බැංකු අධිපතිවරයා විසින් මුදල් අමාත්‍ය මහින්ද රාජපක්ෂ මහතාට බාර දුන්නා.

    කොවිඩ්-19 වසංගත තත්ත්වය නිසා මෙවර මහ බැංකු වාර්ෂික වාර්තාව ගැන ලැබුණේ අල්ප ප්‍රතිචාරයක් පමණයි. ඒ වගේම මේ වාර්තාව මගින් කියවෙන්නේ පසුගිය යහපාලන ආණ්ඩුවේ ආර්ථික කටයුතු නිසා රාජ්‍ය මාධ්‍ය හා රජයට හිතවත් මාධ්‍යත් මේ ගැන වැඩි අවධානයක් යොමු නොකළා විය හැකියි.

    ජන හා සංඛ්‍යාලේඛන දෙපාර්තමේන්තුව නිකුත් කරනු ලැබූ දළ දේශීය නිෂ්පාදනයේ තාවකාලික ඇස්තමේන්තුවලට අනුව, ශ්‍රී ලංකා ආර්ථිකය 2018 වසරේදී වාර්තා කළ 3.3% ක වර්ධනයට සාපේක්ෂව 2019 දී 2.3%ක අඩු වර්ධනයක් වාර්තා කර තිබෙන බවයි මහ බැංකු වාර්ෂික වාර්තාව 2019 සදහන් කරන්නේ. මෙහිදී මහ බැංකුව ප්‍රකාශ කරන්නේ ආර්ථිකයේ සියලුම අංශ වර්ධනය වූ නමුත් එහි අඩු වර්ධනයක් පෙන්නුම් කළ බවයි.

    නිෂ්පාදනය

    2019 වර්ෂයේ දළ ජාතික නිෂ්පාදිතයේ ව්‍යුහාත්මක වර්ධනයන් දෙස අවධානය යොමු කරන විට සේවා අංශය ආර්ථිකයේ ගාමක බලවේගය බවට තව දුරටත් සිය ස්ථාවරත්වය රැක ගෙන තිබෙන බව පැහැදිලිව පෙනී යනවා. එය දළ ජාතික නිෂ්පාදිතයට 57.4%ක දායකත්වයක් ලබා දෙන විට කර්මාන්ත අංශයේ දායකත්වය 26.4%ක් ලෙස තිබෙනවා. මෙවර අලුත් ආයිතමයක් ලෙස එක්කර ඇති බදු සහනාධාර 9.2%ක් වන විට රටේ වැඩිම අවධානයක් යොමු වන හා වැඩිම රාජ්‍ය ප්‍රාග්ධනයක් යොදවන කෘෂිකාර්මික අංශය දළ ජාතික නිෂ්පාදිතයට දක්වන දායකත්වය 07% දක්වා තව දුරටත් පහත වැටී තිබෙනවා. (කෘෂිකාර්මික අංශය මේ ආකාරයෙන් කැපී පෙනෙන ලෙස අවම දායකත්වයක් ලබා දුන්නත් ඇතැම් පිරිස් දිගින් දිගටම කියා සිටින්නේ ලංකාව කෘෂිකාර්මික රටක් බවයි. එහෙත් මේ තුළ අඩංගු ධීවර, වැවිලි කර්මාන්ත හා සුළු අපනයන බෝග ඉවත් කළ විට වැඩිම රාජ්‍ය අවධානයක් යොමු වන වී වගාව හා එළවළු වගාවෙන් ලබා දෙන්නේ ඉතාම අවම දායකත්වයක්)

    ආර්ථිකයේ 2.3%ක් පමණ වන ‘අවම‘ වර්ධනයට දායකත්වය ලබා දුන් අංශවල වර්ධනයන් විමසන විට එහි වැඩිම කොටසක් නියෝජනය කරන්නේ කර්මාන්ත අංශයයි. 2.7%ක වර්ධනයක් සදහා ප්‍රධාන වශයෙන් නිෂ්පාදන හා ඉදිකිරීම් අංශවල වර්ධනය හේතු වී තිබෙනවා.

    ජාතික නිෂ්පාදිතයේ වර්ධනයට බදු සහනාධාරය මගින් වීම විශේෂත්වයක්. එය 2.6ක වර්ධන දායකත්වයක් ලබාදී තිබීම විශේෂත්වයක්.

    2.3%ක වර්ධන දායකත්වය ලබා දුන් සේවා අංශයේ වර්ධනයට තොග හා සිල්ලර වෙළෙදාම ප්‍රධාන වශයෙන් දායක වී තිබෙනවා.

    කෘෂිකාර්මික අංශය ආර්ථික වර්ධනයට දායක වී තිබෙන්නේ 0.6%ක් වැනි ඉතාම අවම අගයකින්. ඒ අවම වර්ධනය සදහා ද වැඩි දායකත්වයක් ලබා දී ඇත්තේ තෙල් සහිත පලතුරු බෝග වගාව බවයි ශ්‍රී ලංකා මහ බැංකුව සදහන් කරන්නේ.

    නිරීක්ෂණයන්

    2018 දී 6.5%ක වර්ධනයක් වාර්තා කළ කෘෂිකාර්මික අංශය 2019 දී 0.6%ක වර්ධනයක් වාර්තා කිරීමට2019 වසරේ පැවති දැඩි අහිතකර කාලගුණ තත්වයන් ප්‍රධාන වශයෙන් හේතු වී තිබෙනවා. එම අහිතකර කාලගුණ තත්ත්වය කෘෂිකර්මාන්තයට බලපෑ අතර තේ, රබර්, කරදිය ධීවර් කර්මාන්තය, කරදිය ජලජ ජීවි වගා උප අංශය, වන වගාව, වනාන්තර හා දැව ආශ්‍රිත නිෂ්පාදනවල සැළකිය යුතු අඩුවක් වාර්තා කිිරීමට හේතු වුණා.

    තෙල් නිපදවීම සඳහා යොදාගත හැකි පළතුරු භෝග වගාව, එළවලු වගාව, පළතුරු වගාව සහ කිරි, බිත්තර, මස් හා වෙනත් නිෂ්පාදන කෘෂිකාර්මික අංශයේ අගය එකතු කිරීම වැඩි කිරීම සඳහා හේතු වී තිබෙනවා.

    2019 වසරේදී වී නිෂ්පාදනය මෙ.ටොන් මිලියන 4.6ක් දක්වා එනම් සහල් මෙ.ටොන් මිලියන 2.9කට සමාන ප්‍රමාණයකට ඉහළ ගිය අතර එය දළ වශයෙන් මාස 14ක සහල් ඉල්ලුම සැපයීමට ප්‍රමාණවත් වන බවට ඇස්තමේන්තු කර තිබෙනවා.

    2019 දී තේ වගා කටයුතුවල 1.3%ක සහ රබර් වගා කටයුතුවල 9.3%ක සෘණ වර්ධනයක් පෙන්වනවා. රබර් නිෂ්පාදනය කිලෝග්‍රෑම් මිලියන 74.8දක්වා අඩු වී ඇති අතර එය වාර්තාගත අවම රබර් නිෂ්පාදනය වේ.

    2019 වසරේදී කර්මාන්ත අංශය පෙර වසරේදී වාර්තා කළ 1.2%ක වර්ධනයට සාපේක්ෂව 2.7%ක වර්ධනයක් අත්කර ගැනීමට සමත් විය. රෙදිපිළි, නිමි ඇඳුම්, සම් හා සම් ආශ්රිත නිෂ්පාදන, ඉදිකිරීම් සහ පතල් කර්මාන්තවල පිබිදීම මෙම වර්ධනයට හේතු වුණා.

    2018 වසරට සාපේක්ෂව 2019 දී ශ්‍රී ලංකාවට සංචාරකයන් පැමිණීම 18%කින් අඩු වී තිබෙනවා. කෙසේ වෙතත් ශ්‍රී ලංකාවේ සංචාරක අංශය ත්‍රස්ත ප්‍රහාරයෙන් මාස 7ක් ඉක්ම යන විට මුළුමනින්ම පාහේ නැවත යථා තත්වයට පත්වූ බව මහ බැංකු වාර්තාව සදහන් කරනවා.

    රජයේ මුළු ආදායම දළ දේශීය නිෂ්පාදනයේ ප්‍රතිශතයක් ලෙස 2018 වසරේ පැවති 13.4% සිට 2019 වසරේදී 12.6% දක්වා අඩුවී තිබෙනවා.

    ආර්ථිකයේ යටිතල පහසුකම්

    ආර්ථිකයේ යටිතල පහසුකම්වල 2019 වර්ෂයේ තත්ත්වය ඉහත ප්‍රස්ථාරය මගින් පැහැදිලි වෙනවා.

    එහිදී පැහැදිලි වන්නේ 2019 වර්ෂයේ අප්‍රේල් 21 වැනි දින සිදු වූ පාස්කු ප්‍රහාරය සමස්ත ප්‍රවාහන පද්ධතියට සැලකිය යුතු බලපෑමක් එල්ල කළ බවයි.

    එකට පැවති රජය විසින් සමෘද්ධි ප්‍රතිලාභීන් සංඛ්‍යාව වැඩි කිරීම නිසා 2018 දී රුපියල් බිලියන 39.2ක්ව පැවැති සමෘද්ධි සහනාධාර වියදම 2019 දී රුපියල් බිලියන 44්‍7 දක්වා වර්ධනය වී ඇති අතර 2018දී මිලියන 1.4ක් වූ සමෘද්ධි ප්‍රතිලාභීන් සංඛ්‍යාව 2019දී මිලියන 1.9 දක්වා ඉහළ ගොස් තිබෙනවා.

    සෞඛ්‍ය හා අධ්‍යාපනය සදහා වන රජයේ වියදම දළ දේශීය නිෂ්පාදිතයේ ප්‍රතිශතයක් ලෙස පිළිවෙළින් 1.6%ක් සහ 1.9%ක් වූ බවයි මහ බැංකු වාර්ෂික වාර්තාව 2019 සදහන් කරන්නේ.

    මේ අතර බොහෝ දෙනකුගේ අවධානය ලක් නොවුණ වැදගත් කරුණක් ද මහ බැංකු වාර්ෂික වාර්තාව තුළ සදහන් වෙනවා. ඒ 2018 වර්ෂයේදී 92.6%ක්ව පැවැති සාක්ෂරතාව 2019 දී 92.5% දක්වා පහත වැටීමයි. මේ තත්ත්වය තුළළ (2018දී) ලංකාවේ පුරුෂ සාක්ෂරතාව 93.4ක් වන විට කාන්තා සාක්ෂරතාව 91.6%ක්ව පවතිනවා.

    ඒක පුද්ගල ද.දෙ.නි පහළ යයි

    2019 වර්ෂයේ පාස්කු ප්‍රහාරයේ බලපෑම ඇතුළු කරුණු හේතුවෙන් නිර්මාණය වූ තත්ත්වය මත ශ්‍රී ලංකාවේ ඒක පුද්ගල දළ දේශීය නිෂ්පාදිතය 2019දී සැලකිය යුතු ලෙස පහළ ගොස් තිබෙනවා. 2018 වර්ෂයේදී ඇමරිකානු ඩොලර් 4079ක් වූ එ.පු.ද.දෙ.නි 2019දී 3852 දක්වා පහත ගොස් තිබෙනවා.

    අපනයන – ආනයන

    පැවැති එක්සත් ජාතික පක්ෂ ආණ්ඩුව අපනයන සංවර්ධනය වෙනුවෙන් බොහෝ පියවර ගනු ලැබූ අතර පාස්කු ඉරිදා ප්‍රහාරය නිසා අපනයන ආදායමට ඍජු බලපෑම් එල්ල වී නැති බව පැහැදිලිව පෙනී යනවා. 2018 දී ඩොලර් මිලියන 11,890ක් වූ අපනයන ආදායම ඩොලර් 11,940ක් දක්වා ‘සුළු ‘වර්ධනයක් වාර්තා කර තිබෙනවා.

    ආනයන සම්බන්ධයෙන් ගත් විට 2018දී එක්සත් ජනපද ඩොලර් මිලියන 22,233 ක් වූ ආනයන විදයම 2019 දී එක්සත් ජනපද ඩොලර් මිලියන 19,237ක් දක්වා අඩු වී තිබෙනවා. එම තත්ත්වය තුළ වෙළෙද පරතරය 2018 දී -11.7 සිට 2019දී -9.5 දක්වා සැලකිය යුතු ලෙස අඩුවී ඇති අතර විදේශ නිල සංචිත (ආනයනික මාස වශයෙන්) 2018දී මාස 3.7 සිට 2019දී මාස 4.6 දක්වා වර්ධනය වී තිබෙනවා.

    “කෝවිඩ්-19 සහ ශ්‍රී ලංකාව: අභියෝග, ප්‍රතිපත්ති, ක්‍රියාමාර්ග සහ ඉදිරි දැක්ම”

    ශ්‍රී ලංකා මහ බැංකුව 2019 වාර්ෂික වාර්තාව සකස් කිරීමේදී “කෝවිඩ්-19 සහ ශ්‍රී ලංකාව: අභියෝග, ප්‍රතිපත්ති, ක්‍රියාමාර්ග සහ ඉදිරි දැක්ම” යන සිරස්තලය යටතේ මෙවර විශේෂ සටහනක් ඇතුළත් කර තිබෙනවා.

    එමගින් පෙන්වා දී තිබෙන්නේ වෛරසය ව්‍යාප්තිය පාලනය කිරීම සඳහා ශ්‍රී ලංකාව මේවන විට අනුගමනය කළ මුල් ක්‍රියාමාර්ගවල ප්‍රතිඵලයක් ලෙස යම් සාර්ථකත්වයක් ලබා සිටින අතර, එම ක්‍රියාමාර්ගයන් තුළින් දේශීය ආර්ථික කටයුතුවලට වන පසුබෑම සහ ගෝලීය ආර්ථිකයේ මන්දගාමී වීම තුළින් ඇතිවිය හැකි බලපෑම නිසා ශ්‍රී ලංකා ආර්ථිකයට සැළකිය යුතු බලපෑමක් එල්ල වන බව යි.

    සේවා නියුක්තවන්නන්ගෙන් 60%ක් රැකියා කිරීම සහ ශ්‍රී ලංකාවේ දෛනික වැටුප් උපයන්නන් මිලියන 1.9ක් සිටින බවට ඇස්තමේන්තු කර ඇති බැවින් විශාල පුද්ගල සංඛ්‍යාවක් COVID-19 තත්වය හමුවේ ආර්ථික දුෂ්කරතාවන්ට මුහුණ දෙන බව ද එහි සදහන්.

    ජනගහනයේ අනෙකුත් අවධානමට ලක්විය හැකි කොටස් වන වැඩිහිටියන් සහ දරිද්‍රතා සීමාවට ඉහලින් හා ඊට ආසන්නයේ ජීවත්වන විශාල පිරිසක් මෙම තත්වයෙන් අධික ලෙස බලපෑමට ලක්විය හැකි බව ශ්‍රී ලංකා මහ බැංකුව ප්‍රකාශ කරනවා.

    චීනය සහ ඉන්දියාව ඇතුළු ශ්‍රී ලංකාවේ අනෙකුත් ප්‍රධාන හවුල්කරුවන් ද සැළකිය යුතු පසුබෑමකට ලක් වන බවත් එබැවින් ශ්‍රී ලංකාවේ අපනයන ආදායමට සෘජු බලපෑම් එල්ල වෙන බව ශ්‍රී ලංකා මහ බැංකුව පවසනවා.

    සැකසුම – තුෂාධවි

  • අප්‍රිකාවේ කොරෝනා කොණ්ඩ විලාසිතා රැල්ල

    අප්‍රිකාවේ කොරෝනා කොණ්ඩ විලාසිතා රැල්ල

    අපි බොහෝ විට ඡායාරූප කතා ගැන කියවන්නේ යුරෝපයේ හෝ ආසියානු රටවල්වල. අප්‍රිකාව ගැන අපි නොදන්නා තරම්. ඒත් අප්‍රිකාව කියන්නේ අසීමිත විවිධත්වයක් හා විචිත්‍රත්වයක් ඇති තැනක්. ඒ වගේම හරිම සුන්දර මිනිසුන් හා සංස්කෘතීන් ඇති තැනක්. ඒ නිසා අපි තීරණය කළා කොවිඩ් වසංගත තත්ත්වය තුළ අප්‍රිකානු ජන ජීවිතය ඡායාරූපවලින් ඔබට කියන්න. මේ ඒ ඡායාරූප කතාව.

    (ඉහළ ඡායාරූපය – හැවිරිදි කෙන්යානු ජාතික දැරියක වන ස්ටේසි අයුමා  Stacy Ayuma ඇගේ කොණ්ඩය නව විලාසිතාවකට අනුව සකස් කර ගන්නා ආකාරය. දිග කරල් වැනි මෙම විලාසිතාව අළුත් දෙයක් නොවුනත්, සමහරු දැන් එය “කොරොන වෛරස්” ලෙස හඳුන්වන්නේ එය කොරෝනා වෛරසයේ හැඩයට සමාන බව පවසමිනි)

    මිනිසෙකු අප්‍රේල් 27 වන දින ලයිබීරියාවේ ජාතික ධජයේ වර්ණයෙන් හා රටාවෙන් සරසා ඇති වෙස්මුහුණක් පැළඳ සිටී.
    ලයිබීරියාවේ ජාතික ධජයේ වර්ණවලින් යුත් මුහුණු ආවරණයක් පැළද සිටින්නේ එහි අගනුවර වන මොන්රෝවියා හි සෞඛ්‍ය අමාත්‍යාංශයේ සේවකයෙකි.
    අප්‍රියෙල් 25 වන දින ඊජිප්තුවේ කයිරෝ නුවර වීදියේ මුහුණු ආවරණ පැළඳ සිටින වෙළඳසැලක කාන්තාවක් ම ne ් in ොක්කා ඉදිරිපිටට යයි.
    ඊජිප්තුවේ අගනුවර වන කයිරෝ හි විලාසිතා ප්‍රදර්ශනාගාරයක මුහුණු ආවරණ පළදවන ලද කාන්තා අනුරූ පසුකර යන යුවතියන් දෙදෙනෙක්.
    හෝප් ෆෝ වර්ඩෙඩෝප් බිම් මට්ටමේ සංවිධානය අප්‍රේල් 27 වන දින රැකවරණ නිවාසයක ආහාර පාර්සල් පදිංචිකරුවන්ට ලබා දෙයි.
    දකුණු අප්‍රිකානු නගරයක් වන ජොහැන්නස්බර්ග් හි, රැකවරණය ලබන නිවැසියෙකුට ස්වේච්ඡා සේවකයෙක් ආහාර ලබා දෙන අයුරු.
    අප්රේල් 28 වන දින ඇලෙක්සැන්ඩ්‍රා නගරයේ ආහාර බෙදා හැරීමට පෙර කාන්තාවන් පෝලිමේ.
    දකුණු අප්‍රිකානු නගරයක් වන ජොහැන්නස්බර්ග් හි නිවැසියන් නොමිලේ ආහාර ලබා ගැනීම සඳහා පෝලිමේ සිටින විට අතින් මුව වසාගෙන සිටින අයුරු
    අපේ‍්‍රල් 24 වන දින අයිවරි කෝස්ට් හි අබිජ්ජන් හි මුස්ලිම් පල්ලියක් ඉදිරිපිට පිරිමි ළමයෙකුගේ බෑග් තිබේ.
    අයිවරි කෝස්ට්හි මුස්ලිම් පල්ලියක් ඉදිරිපිට රටඉදි අලෙවියේ යෙදී සිටින පිරිමි ළමයෙක්. රාමසාන් උපවාස සමයේ රටඉදි සදහා විශාල ඉල්ලුමක් පවතී.
    කඩියාටූ ඩයල්ලෝ ආගමික ග්‍රන්ථ අසල පෙනී සිටින්නේ අප්‍රේල් 24 වන දින අයිවරි කෝස්ට් හි අබිජ්ජන් හි මල්සිම් ශුද්ධ වූ රාමසාන් මාසයේ පළමු දිනය තුළ ය.
    අබිජ්ජන්හි ගැහැණු ළමයෙක් ආගමික ග්‍රන්ථ අසල සිටගෙන සිටින අයුරු.
    බත් මල්ලක්, පිසින තෙල් බෝතල් සහ වෙනත් විධිවිධාන බිම ගොඩවල ගොඩගැසී ඇත.
    සෙනෙගල් අගනුවර තදාසන්න ප්‍රදේශවල අවශ්‍යතා ඇති අයට බෙදා හැරීමට පෙර ආහාර සැපයුම් සකස් කර අති අයුරු.
    ආරක්ෂිත මුහුණු ආවරණයක් පැළඳ සිටින කාන්තාවක් රතු සහ කහ පැහැයෙන් වර්ණාලේප කර ඇති "දිගු සජීවී ඊජිප්තුව" යන වචන සහිත බිත්තියක් පසුකර යයි.
    ඊජිප්තුවේ කයිරෝ නුවර බිත්ති සිතුවමක් පසුකරන යන කාන්තාවක්.
    සාලේ නගරයේ වසංගතයක් තුළ අත්‍යවශ්‍ය කම්කරුවන්ට ස්තූති කරමින් බිතුසිතුවමක් පසුකර මිනිසෙකු තම අශ්ව කරත්තය පදවාගෙන යයි.
    යවයඹදිග මොරොක්කෝවේ අත්‍යවශ්‍ය කම්කරුවන්ට ස්තූති කිරීමේ පණිවිඩ සහිත බිතුසිතුවමක් පසු කර යන අශ්ව කරත්තකරුවෙක්.
    බස් රථයක මුහුණු ආවරණ පැළඳ සිටින අය අප්‍රේල් 27 වන දින ජනේලයෙන් පිටත බලා සිටිති.
    කෙන්යාවේ අගනුවර වන නයිරෝබි හි බස් රථයක මගීන් මුහුණු ආවරණ පැළඳ සිටින අයුරු.
    වඩු කාර්මික මී මැස්සෙක් අප්‍රේල් 24 වන දින කේප් ටවුන් හි ෆින්බොස් මලකට පියාසර කරයි.
    දකුණු අප්‍රිකාවේ කේප් ටවුන් හි හුදකලා වඩු මීමැස්සෙකු මලකින් පරාග එකතු කරන අයුරු හොදින් නිරීක්ෂණය කළහොත් ඔබට මුහුුණු ආවරණයක් පැළදි කාන්තාවක් හදුනාගත හැකිය.
    ශීත tree තු ගස්වල දුඹුරු කොළ අප්රේල් 30 වන දින දකුණු අප්රිකාවේ ජොහැන්නස්බර්ග් හි එමරෙන්ටියා වේල්ල ජලාශයේ ජලයේ පිළිබිඹු වේ.
    ජොහැන්නස්බර්ග් – මේ වන විට දකුණු අප්‍රිකාවට සරත් ඍතුව උදාවී ඇත. එහි උද්‍යානයක ඇති ජලාශයක් මතට වැටී ඇති වර්ණවත් ගස්වල සෙවනැල්ල ඔබ විස්මයට පත් කරන බව සහතිකයි.

    ගෙටි ඉමේජස්, ඒඑෆ්පී, ඊපීඒ සහ රොයිටර් වෙතිනි

  • තැපැල් වර්ජනය හකුළා ගනී

    තැපැල් වර්ජනය හකුළා ගනී

    පසුගිය දා තැපැල්පතිවරයාට ලිඛිතව දැනුම් දුන් ආකාරයට හෙට (4) දින තැපැල් කාර්යාල විවෘත නොකිරීමේ තීරණය ඉවත්කර ගත් බව තැපැල් හා විදුලි සංදේශ නිලධාරින්ගේ වෘත්ති සමිති සංගමයේ ප්‍රධාන ලේකම් එච්.කේ කාරියවසම් මහතා සදහන් කළේය.

    අද පස්වරු විෂයභාර ඇමැති බන්දුල ගුණවර්ධන මහතා සමග පැවැති සාකච්ඡා සාර්කථ විමත් සමඟ තැපැල් කටයුතු සාමාන්‍ය පරිදි සිදු කරගෙන යාම සඳහා තම සහයෝගය ලබාදෙන බවයි කාරියවසම් මහතා වැඩි දුරටත් සදහන් කළේ.

    දිවයින පුරා පිහිටි සියලු තැපැල් කාර්යාලවල සේවා කටයුතු හෙට (04)  සිට ආරම්භ කිරීමට සැලසුම් කර තිබුණ ද පසුගිය ඊයේ තැපැල් වෘත්තිය සමිති තැපල්පතිවරයා වෙත ලිපියක් මගින් පෙන්වා දුන්නේ පවතින තත්ත්වය හමුවේ තැපැල් කාර්යාල ආරම්භ කිරීමට හැකියාවක් නොමැති බවයි.

    මේ අතර තැපැත් වෘත්තීය සමිති සමග පැවැති සාකච්ඡාව ගැන මාධ්‍ය වෙත අදහස් පළ කළ විෂයභාර අමාත්‍ය බන්දුල ගුණවර්ධන මහතා තැපැල් සේවය කාර්යක්ෂමව පවත්වාගෙන යාම සඳහා තැපැල් වෘත්තිය සමිති සමඟ තවදුරටත් සාකච්ඡා වට කිහිපයක් පැවැත්වීමට නියමිත සදහන් කළා.

  • මැයි මස විශ්‍රාම වැටුප සහ පන්දහසේ දීමනාව හෙට සිට

    මැයි මස විශ්‍රාම වැටුප සහ පන්දහසේ දීමනාව හෙට සිට

    කොරෝනා ව්‍යාප්තිය නිසා පීඩාවට පත් කණ්ඩායම් වලට ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතාගේ නියමය අනුව හිමිවන රුපියල් පන්දහසේ දීමනාව මැයි මාසය සඳහාත් ගෙවනු ලැබේ.

    මැයි මස දීමනාව ගෙවීම හෙට ඇරඹෙන අතර වෙසක් පුර පොහොයට පෙර ගෙවා නිම කෙරේ. වැඩිහිටියන්, ආබාධ සහිත පුද්ගලයන් සහ වකුගඩු රෝගීන් සඳහා මාර්තු මස සිට පුද්ගලයෙකුට රුපියල් පන්දහස බැඟින් ගෙවීමට ජනාධිපතිතුමා විසින් තීරණය කරනු ලැබීය.

    මේ කණ්ඩායම්වලට අයත් මුල් ලේඛනවල නම් සඳහන් අයට සේම පොරොත්තු ලේඛනවල නම් සඳහන් අයටද දීමනාව හිමි වෙයි.

    මැයි මාසය සඳහා විශ්‍රාම වැටුප් ගෙවීම හෙට ආරම්භ කොට පොහොය දිනයට පෙර අවසන් කරනු ලැබේ.

    මෙය ජනාධිපති මාධ්‍ය අංශය විසින් මැයි 03 වැනි දින ප.ව 9.10ට නිකුත් කළ මාධ්‍ය නිවේදනක සම්පූර්ණ උපුටා ගැනීමකි

  • හැඳුනුම්පතේ අවසාන අංකය අනුව නිවෙස් වලින් බැහැර යාම ‘ඇඳිරි නීතිය ක්‍රියාත්මක ප්‍රදේශවලට පමණයි’

    හැඳුනුම්පතේ අවසාන අංකය අනුව නිවෙස් වලින් බැහැර යාම ‘ඇඳිරි නීතිය ක්‍රියාත්මක ප්‍රදේශවලට පමණයි’

    ජනතාව අනවශ්‍ය ලෙස ඒකරාශී වීම පාලනය කරනු පිණිස හඳුන්වා දුන් ජාතික හැඳුනුම්පතේ අවසාන අංකය අනුව නිවෙස් වලින් බැහැර යාමට දෙන අවසරය අදාළ වන්නේ ඇඳිරි නීතිය ක්‍රියාත්මක ප්‍රදේශවලට පමණක් බව දැනුම් දෙනු ලැබේ.

    ඇඳිරි නීතිය ලිහිල් කර ඇති අවස්ථාවල නිවෙස් වලින් බැහැර යෑමට මෙය කිසි සේත් අදාළ වන්නේ නැත.

    කිසියම් ප්‍රදේශයක් හෝ ගම්මානයක් හෝ අවදානම් කලාපයක් ලෙස නම් කර ඇත්නම් එවැනි කලාපවලට ඇතුළු වීමට හෝ ඉන් පිටවීමට හෝ කිසිවෙකුට අවසර නොලැබේ.

  • ‘නාවික හමුදා පොකුර’ අවුල් නොවුණොත් කොවිඩ් ගැන සුබවාදී විය හැකියි – අනිල් ජාසිංහ

    ‘නාවික හමුදා පොකුර’ අවුල් නොවුණොත් කොවිඩ් ගැන සුබවාදී විය හැකියි – අනිල් ජාසිංහ

    රට විවෘත  වී එදිනෙදා කටයුතු ආරම්භ වුවද සමාජ දුරස්ථභාවය පවත්වාගැනීම ඇතුළුව සෞඛ්‍ය  උපදෙස් නිරන්තරව සියලු දෙනා පිලිපැදිය යුතු බව සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජනරාල් වරයා යලිත් අවධාරණය කරයි.

    මැයි මස 11 වනදා වන විට කොරෝනා (කොවිඩ් -19) තත්ත්වය සමනය වේ යැයි තමන් ප්‍රකාශ කල බවට අද (03 ) ඇතැම් මාධ්‍ය වාර්තා පලවී තිබුණත් තමා විසින් එබඳු ප්‍රකාශයක් සිදු නොකළ බව සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජනරාල් විශේෂඥ වෛද්‍ය අනිල් ජාසිංහ මහතා පවසයි.

    අද (3) දින සෞඛ්‍ය හා දේශීය වෛද්‍ය සේවා අමාත්‍යාංශය විසින් නිකුත් කළ මාධ්‍ය නිවේදනයක මේ බව සදහන් වේ.

    එම මාධ්‍ය නිවේදනයේ මෙසේ ද සදහන් වෙයි.

    කෙසේ වෙතත් ඉදිරියේදී “ නාවික හමුදා පොකුරේ”ආසාදිතයින් වාර්තා නොවුණහොත් සහ අනපේක්ෂිත සිදුවීමක් නොවුණහොත්,  ශ්‍රී ලංකාවේ  කොවිඩ් -19 නව ආසාදිතයින් වාර්තාවීම  අඩු වීමේ ප්‍රවණතාවක් ඇතිවිය හැකි බැවින් සුබවාදී බලාපොරොත්තු ඇතිකරගත හැකි බව  සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජනරාල්වරයා පෙන්වා දෙයි.

    වැලිසර නාවික හමුදා කඳවුර තුල සිටි සෙබළුන් සහ නිවාඩු ලබා ගොස් සිට නැවත ගෙන්වාගත් සෙබළුන් සියලුම දෙනා පී. සී. ආර්. පරීක්ෂණ වෙනුවෙන් සාම්පල ලබාගෙන  අවසන් බව විශේෂඥ වෛද්‍ය අනිල් ජාසිංහ මහතා කියයි.

    ඊයේ (2020.05.02) දිනයේ ශ්‍රී ලංකාව තුල පී. සී. ආර්. පරීක්ෂණ වාර්තාගත ප්‍රමාණයක් සිදුකර තිබේ. එනම් 1681 කි. මෙයින් 698 ක්ම සිදුකර තිබෙන්නේ කොළඹ වෛද්‍ය පර්යේෂණායතනයේ  වන අතර එම පරීක්ෂණ 689 න්ම ආසාදනය වී තිබෙන බව ප්‍රතිඵල අනුව  පර්යේෂණාත්මකව තහවුරු වී ඇත්තේ ( COVID -19 -Positive  ) එක් පුද්ගලයෙකු පමණක් වීම විශේෂත්වයකි.මේ වන විට කොවිඩ් -19  නව ආසාදිතයින් වාර්තාවීම   අඩු වීමේ ප්‍රවණතාවක් දක්නට ලැබේ.එසේම සමාජයෙන් වාර්තාවන (එනම් නාවික හමුදා සෙබලුන් හා ඔවුන්ගේ ස්පර්ශකයින්  හැර) රෝගීන් සංඛ්‍යාව ඉතා සුළු අගයක් ගනී.

    මේ වන විටත් කිසිසේත්ම කිසිදු රෝහලක රෝහල් ධාරිතාවය ඉක්මවා ගොස් නැත. I.D.H. රෝහලේ පසුගිය දිනක සිදුවූ තාවකාලික තත්වයට හේතුව වූයේ නාවික හමුදාවේ රෝග ලක්ෂණ නොමැති පුද්ගලයින්ද රෝහල් ගත කිරීම නිසා ඇති වූවකි. එහෙත් එහිදීද සිදු වූයේ සමස්ත රෝහලේම ඇඳන් සංඛ්‍යාවට වඩා කොවිඩ් -19 රෝගීන් හා ආසාදිත බවට සැකකරන අය ඇතුලත්වීම නොවේ.වෙනත් රෝග සදහාද ප්‍රතිකාර ගන්නා  අය වෙනුවෙන්ද රෝහලේ විශාල ඉඩක් වෙන්කර තිබේ.

    මැයි මස 11 වනදා සිට රටේ සාමාන්‍ය කටයුතු ආරම්භ වන්නේ නම් එහිදී පැවතිය යුතු ආකාරය පිළිබද මාර්ගෝපදේශ අදාළ ආයතන හා පුද්ගලයින් වෙත මේ වන විටත් සෞඛ්‍ය අමාත්‍යාංශය විසින් යොමු කර තිබේ.

    මීට අමතරව සෞඛ්‍ය අමාත්‍යාංශ වෙබ් අඩවියෙන්ද (www.health.gov.lk) මෙම මාර්ගෝපදේශ සංග්‍රහය බා ගත(download ) කරගත හැකිය. සුවිශේෂී අවස්ථාවල මේවාට අනුකූලව තම ආයතනවලට ක්‍රමවේද සකස් කර ගත හැකිය.

    මීට අමතරව තවත් අංශ වලට අදාලව එම අංශ ක්‍රියාත්මක විය යුතු ආකාරය පිලිබඳ මාර්ගෝපදේශ ඉදිරියේදී කඩිනමින් සකස් කෙරේ. එම අංශවලට අදාල වගකිවයුතු පිරිස් සමග සාකච්ජා කර ඒවා සකස් කෙරේ.

  • සෞඛ්‍ය අංශ උපදෙස් නොතකා කර්මාන්ත ශාලා යළි අරඹන්න එපා – ඇමැති ප්‍රසන්න

    සෞඛ්‍ය අංශ උපදෙස් නොතකා කර්මාන්ත ශාලා යළි අරඹන්න එපා – ඇමැති ප්‍රසන්න

    නිදහස් වෙළද කලාප ආශ්‍රිත හා ඉන් පිටස්තර කර්මාන්ත ශාලා නැවත සිය නිෂ්පාදන ආරම්භ කිරීමේදී සෞඛ්‍ය අංශ උපදෙස් අනුව කටයුතු කිරීම අනිවාර්යය බව කාර්මික අපනයන, ආයෝජන ප්‍රවර්ධන, සංචාරක හා ගුවන්සේවා ඇමති ප්‍රසන්න රණතුංග මහතා පවසයි.

    අමාත්‍යවරයා  පෙන්වා දෙන්නේ මේ සම්බන්ධයෙන් නිරන්තර පරීක්ෂණයක් සිදු කරන ලෙස ආයෝජන මණ්ඩලයටද උපදෙස් දී ඇති බවයි.

    දිවයින පුරා පිහිටි නිදහස් වෙළද කලාප වල මේ වන විට කර්මාන්ත ශාලා 244 ක් සිය නිෂ්පාදන කටයුතු ආරම්භ කර තිබේ. සේවක සේවිකාවෝ 46230ක් ඒවායේ සේවය කරති. කටුනායක නිදහස් වෙළද කලාපයේ පමණක් පසුගිය බ්‍රහස්පතින්දා වන විට කර්මාන්ත ශාලා 62ක නිෂ්පාදන කටයුතු ආරම්භ වී තිබුණි.

    සේවක සේවිකාවෝ 6695 දෙනෙකු එහි එම කර්මාන්ත ශාලා වල සේවයට යොදවා ගෙන තිබේ. බියගම නිදහස් වෙළද කලාපයේ කර්මාන්ත ශාලා 52ක සේවක සේවිකාවෝ 9031 සිය කටයුතු නැවත ආරම්භ කර තිබේ. උතුරු නැගෙනහිර ප්‍රදේශවලද කර්මාන්ත ශාලා 25ක සේවක සේවිකාවෝ 7292 සේවය කරති.

    මැයි මස 11 වන දින වන විට මෙම තත්ත්වය තවදුරටත් වර්ධනය වනු ඇතැයි පෙන්වා දෙන ඇමති ප්‍රසන්න රණතුංග මහතා මෙම  සෑම කර්මාන්ත ශාලාවක්ම සෞඛ්‍ය අංශ උපදෙස් නිසි ලෙස පිළිපදින්නේදැයි ආයෝජන මණ්ඩලය හා මහජන පරීක්ෂකවරුන් දැඩි අවධානයයෙන් පසුවන බවද කියා සිටී.

    මේ අතර කාර්මික අපනයන, ආයෝජන ප්‍රවර්ධන සංචාරක හා ගුවන්සේවා අමාත්‍යංශයට අයත් ආයතන යලි ආරම්භ කිරීමේදී සෞඛ්‍ය නිර්නායක නිසි ලෙස ක්‍රියාත්මක කිරීම අනිවාර්ය බවද ඇමතිවරයා ආයතන එම ආයතන ප්‍රධානීන්ට දැනුම් දී තිබේ.

  • හුදකලා කළ ගම්මාන කිහිපයක් සාමාන්‍ය තත්ත්වයට

    හුදකලා කළ ගම්මාන කිහිපයක් සාමාන්‍ය තත්ත්වයට

    කොවිඩ් – 19 හේතුවෙන් අවදානම් කලාප ලෙස හුදකලා කර තිබු කළුතර දිස්ත්‍රික්කයේ බේරුවල ප්‍රදේශයේ, පන්නිල හා චීනකොරටුව සහමහනුවර දිස්ත්‍රික්කයේ අකුරණ ප්‍රදේශයට පනවා තිබු හුදකලා බවින් ඉවත් කරන ලද අතර, එම ප්‍රදේශ අද (03) දින සිට අනෙකුත් ප්‍රදේශ මෙන් සාමාන්‍ය තත්ත්වයට පත්වන බව ආරක්‍ෂක මාණ්ඩලික ප්‍රධානී, යුද්ධ හමුදාධිපති සහ කොවිඩ්-19 පැතිරීම වැළැක්විමේ ජාතික ක්‍රියාන්විත මධ්‍යස්ථානයේ ප්‍රධානී ලුතිනන් ජෙනරාල් ශවේන්ද්‍ර සිල්වා මහතා මාධ්‍ය නිවේදනයක් නිකුත් කරමින් පවසනවා.

    එම මාධ්‍ය නිවේදනයේ වැඩි දුරටත් සදහන් වන්නේ ලන්ඩන් (London) සිට ශ්‍රී ලංකන් මගී ගුවන් යානයක් මගින් සිසුන් සහ රාජ්‍ය සේවකයින් ඇතුළුව පුද්ගලයින් 207 දෙනෙකු අද (03) දින මධ්‍යම රාත්‍රියේ දිවයිනට පැමිණීමට නියමිතව ඇති බවයි.

    එසේ පැමිණෙන ඔවුන් සියළු දෙනා ත්‍රිවිධ හමුදාව විසින් පාලනය කරනු ලබන නිරෝධායන මධ්‍යස්ථාන වෙත නිරෝධායන ක්‍රියාවලිය සඳහා යොමුකිරීමට මේවන විට සියළු කටයුතු සූදානම් කර ඇති බවයි යුද්ධ හමුදාපතිවරයා පවසන්නේ.

    ත්‍රිවිධ හමුදාව විසින් පවත්වාගෙන යනු ලබන නිරෝධායන මධ්‍යස්ථාන වන දම්මින්න වෙතින් පුද්ගලයින් 09 දෙනෙකු හා වැලිකන්ද රෝහල වෙතින් 02 දෙනෙකු ඇතුළුව පුද්ගලයන් 11 දෙනෙකු නිරෝධායන ක්‍රියාවලියෙන් අනතුරුව, PCR පරික්‍ෂණය සිදුකර අද (03) දින තම නිවෙස් වෙත පිටත් කරන ලද බව ද යුද්ධ හමුදාපතිවරයා විසින් නිකුත් කළ මාධ්‍ය නිවේදනයේ සදහන්.

    අද (3) දිනය වන විට ත්‍රිවිධ හමුදාව විසින් පවත්වාගෙන යනු ලබන නිරෝධායන මධ්‍යස්ථාන තුළින් පුද්ගලයින් 4917 දෙනෙකු නිරෝධායන ක්‍රියාවලිය අවසන්වී තම නිවෙස් වෙත පිටව ගොස් ඇති අතර මේවන විට නාවික හමුදාවේ වෛරසය ආසාදිත වූවන්ගේ පවුල්වල සාමාජිකයන් සහ ඔවුන් සමීපව ඇසුරු කරනු ලැබු පුද්ගලයින් 1023 දෙනෙකු නිරෝධායන ක්‍රියාවලිය සඳහා නිරෝධායන මධ්‍යස්ථාන වෙත යොමුකර තිබෙන බවයි එම මාධ්‍ය නිවේදනයේ වැඩි දුරටත් සදහන් වන්නේ.

    ඒ අනුව ත්‍රිවිධ හමුදාව මගින් පාලනය කරනු ලබන නිරෝධායන මධ්‍යස්ථාන 36 ක් තුළ පුද්ගලයින් 4635 දෙනෙකු මේ වන විට නිරෝධායනය වෙමින් සිටින බව ද සදහන්.

  • මහින්දගේ අරලිය මැදුරේ සාකච්ඡාව අල වෙයි! එජාපයත් එන්න බෑ කියයි

    මහින්දගේ අරලිය මැදුරේ සාකච්ඡාව අල වෙයි! එජාපයත් එන්න බෑ කියයි

    අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මහතා විසින් පැවති පාර්ලිමේන්තුවේ මන්ත්‍රීවරුන්ට සාකච්ඡාවක් සඳහා අරලිය ගහ මන්දිරයට පැමිණෙන ලෙසට පසුගිය සතියේ සිදු කළ ආරාධනාව ප්‍රතික්ෂේප කිරීමට රනිල් වික්‍රමසිංහ මහතා නායකත්වය දරන ප්‍රධාන විපක්ෂය නියෝජනය කරන එක්සත් ජාතික පක්ෂය අද(03) මීට සුලු වේලාවට පෙර තීරණය කර තිබේ.

    කරුණු කිහිපයක් මත එක්සත් ජාතික පක්ෂය අගමැති මහින්ද රාජපක්ෂ මහතාගේ මෙම ආරාධනාව ප්‍රතික්ෂේප කිරීමට තීරණය කර තිබේ. ඉන් එක් ප්‍රධාන කරුණක් නම් මෙම සාකච්ඡාව සඳහා ආරාධනා කරනු ලැබුයේ හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් 225 ට යැයි පමණක් රාජපක්ෂ ආණ්ඩු පාර්ශවයෙන් සඳහන් කලද මේ සඳහා 2010 වසරේ පාර්ලිමේන්තුව නියෝජනය කළ මන්ත්‍රීවරුන්ටත් ආරාධනා කර තිබීම එක් කරුණකි.

    එසේම විපක්ෂයේ පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් යළි පාර්ලිමේන්තුව කැඳවන ලෙසට ඒකමතිකව ඉල්ලා සිටින අවස්ථාවක රාජපක්ෂවරුන්ගේ ආණ්ඩුව ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව සහ එම ඉල්ලීම නොතකා හැරීම තවත් එක් කරුණකි.

    තවද අගමැති මහින්ද රාජපක්ෂ මහතාගේ මෙම සාකච්ඡාව කුමක් අරඹයා සිදුකරන්නක්ද යන්න පිළිබඳව ඇති අපැහැදිලි බව තවත් කරුණකි.

    එහෙත් රාජපක්ෂවරුන්ගේ ආණ්ඩුවට කෙරෝනා ප්‍රශ්නය සඳහා යම් සහයක් අවශ්ය නම් ඊට ඕනෑම මොහොතක ප්‍රධාන විපක්ෂය ලෙස එක්සත් ජාතික පක්ෂය සූදානම් බව එම පක්ෂය වැඩිදුරටත් සඳහන් කරයි.

    කෙසේ වෙතත් මහින්ද රාජපක්ෂ මහතාගේ මෙම සාකච්ඡාව සඳහා සහභාගී නොවන බව විපක්ෂයේ අනෙකුත් දේශපාලන පක්ෂ වන දෙමළ ජාතික සන්ධානය සහ ජනතා විමුක්ති පෙරමුණ පසුගියදා සඳහන් කර තිබුණි.

    ජනතා විමුක්ති පෙරමුණ සඳහන් කර තිබුණේ මහින්දගේ දන්සැල් මන්දිරයේ සාකච්ඡා අනවශ්‍ය බවත්, රටේ ප්‍රශ්න පිළිබඳව ආණ්ඩුවට සාකච්ඡා කිරීමට අවශ්‍ය නම් පිළිගත් සම්ප්‍රදාය සහ ආණ්ඩුක්‍රම ව්‍යාවස්ථාවට ගරු කරමින් විධායක බලය යොදාගනිමින් විසුරුවන ලද පාර්ලිමේන්තුව යළි කැඳවන ලෙසයි.