Blog

  • අර්බුදය ඇති කළේ ආණ්ඩුව – මැයි 04 හමුවට අපි එන්න නෑ- අනුර කුමාර

    අර්බුදය ඇති කළේ ආණ්ඩුව – මැයි 04 හමුවට අපි එන්න නෑ- අනුර කුමාර

    මැයි මස 04 වැනිදා අරලියගහ මැදුරේ පැවැත්වීමට නියමිත හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී හමුවට සහභාගී නොවීමට තම පක්ෂය තීරණය කළ බව ජනතා විමුක්ති පෙරමුණේ නායක අනුර කුමාර දිසානායක මහතා අගමැති මහින්ද රාජපක්ෂ මහතාට ලිඛිතව දැනුම් දී තිබෙනවා.

    ව්‍යවස්ථාවට අනුව කටයුතු නොකිරීම මගින් ආණ්ඩුව විසින්ම නිර්මාණය කරමින් තිබෙන අර්බුදය පිළිබඳව හිටපු මන්ත්‍රීවරු දැනුවත් කිරීම ප්‍රතිඵලදායක නොවන බව ජවිපෙ විශ්වාස කරන හෙයින් එම හමුවට සහභාගී වීම අර්ථ විරහිත බවයි ජවිපෙ නායකයා සිය ලිපිය මගින් අවධාරණය කර තිබෙන්නේ.

    එම ලිපිය සම්පූර්ණයෙන් මෙසේයි.

    ගරු අග්‍රාමාත්‍යතුමනි,

    අග්‍රාමාත්‍යතුමා විසින් කැඳවා ඇති හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන්ගේ රැස්වීම පිළිබඳවයි

    රටේ වර්තමානයේ පවතින තත්වය පිළිබඳව සාකච්ඡා කිරීම සඳහා හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන්ගේ රැස්වීමක් අගමැතිතුමාගේ ප්‍රධානත්වයෙන් 2020 මැයි 04 දින පෙ.ව. 10.00ට අරලියගහ මැදුරේදී පැවැත්වෙන බැවින් ඊට සහභාගී වන ලෙස මටත් අප පක්ෂයේ හිටපු මන්ත්‍රීවරුන්ටත් දන්වා එවා තිබේ.

    එසේම, ජනමාධ්‍ය විසින් පළකරනු ලැබූ ප්‍රවෘත්තියකින් කියවුණේ මෙම රැස්වීම සඳහා පාර්ලිමේන්තුවේ හිටපු මන්ත්‍රීවරු 225ටම ආරාධනා කර ඇති බවය.

    කොරෝනා ව්‍යසනය පැරදවීම සඳහාත්, ඒ හා බැඳුණු ජන ජීවිතයේ පවතින දුෂ්කරතාවලට විසඳුම් සෙවීමටත් පක්ෂයක් ලෙස හැමවිටම අපි අපේ මැදිහත්වීමත් සහයෝගයත් ලබාදී ඇත්තෙමු. ඉදිරියේදීද අපගේ මැදිහත්වීම ලබාදෙමු. 

    කොරෝනා ව්‍යසනය පැරදවීමට හා පවතින තත්ත්වය පිළිබඳව අදහස් විමසීමට ඒ සඳහා ව්‍යවස්ථාමය බලය සහිත පාර්ලිමේන්තුව යළි කැඳවනවා වෙනුවට හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් 225ම අගමැති නිල නිවසට කැඳවා කරන සාකච්ඡාවක් ඵල සහිත දෙයක් ලෙස අපි නොදකිමු.

    විශේෂයෙන්ම මෙම ව්‍යසනයට මුහුණදීම සඳහා පොදු යාන්ත්‍රණයක් සකස් කරන ලෙස අප පක්ෂය ඇතුළු බොහෝ දෙනා ඉල්ලා තිබියදී එවැන්නක් නිර්මාණය කිරීමට පවා මේ වන තෙක් කටයුතු නොකළ තත්ත්වයක් තුළ මෙලෙස සියලු හිටපු මන්ත්‍රීවරුන්ගේ හමුවක් ඵලදායී නොවන බව අපේ අදහසයි.

    අනෙක් අතට කොරෝනා ව්‍යසනයට මුහුණ දීමට හා පීඩාවට පත් ජනතාවට සහන සැපයීම පිළිබඳ සාකච්ඡා කිරීමට නම් කළයුතු හොඳම දේ වන්නේ ජනාධිපතිතුමාගේ හා අගමැතිතුමාගේ ප්‍රධානත්වයෙන් පක්ෂ නායකයින් සියලු දෙනා කැඳවා අදාළ කාර්යය සඳහා ඔවුන්ගේ සහය ලබාගැනීම යැයි අපි සිතමු. මීට පෙර අගමැතිවරයා ලෙස ඔබතුමාගේ ප්‍රධානත්වයෙන් කැඳවූ පක්‍ෂ නායකයින්ගේ සාකච්ඡාවට අප පක්‍ෂය සහභාගී වූ බවද එහිදී අප පක්‍ෂයේ අදහස් හා යෝජනා ඉදිරිපත් කළ බවද මෙහිලා සඳහන් කරමු.

    අනෙක් අතට අප්‍රේල් 30වැනිදාට පසු රාජ්‍ය මුදල් වියදම් කිරීමට බලයක් නොමැති බවට අදහසක්ද පාර්ලිමේන්තුව විසුරුවා හැර මාස 3ක් තුළ අභිනව පාර්ලිමේන්තුව කැඳවීමට නොහැකි වීම මගින් මතුවන ව්‍යවස්ථාමය ගැටලුවක් පිළිබඳවද සමාජය තුළ මේ වනවිට සාකච්ඡාවක් මතුවී තිබේ. පාර්ලිමේන්තුවේ හිටපු මන්ත්‍රීවරු 225ම අරලියගහ මැදුරට කැඳවනු ලබන්නේ ඉහත ගැටලුව පිළිබඳව සාකච්ඡා කිරීමට නම් එවැනි සාකච්ඡාවකින් ව්‍යවස්ථාමය ගැටලුවකට විසඳුම් ලබාගත හැකි වන්නේ නැත. 

    එබැවින් මෙම රැස්වීම කැඳවන්නේ ඉහත ගැටලුව සඳහා නම් ඒ සඳහා ගත යුතු නිවැරදි පියවර වන්නේ,

    01. ජනාධිපතිවරයා විසින් ව්‍යවස්ථාවට අනුව හදිසි තත්ත්වයක් තුළ පාර්ලිමේන්තුව යළි කැඳවීම හෝ නොඑසේ නම්
    02. මෙවැනි තත්ත්වයක් තුළ ගත හැකි ව්‍යවස්ථානුකූල ක්‍රියාමාර්ග පිළිබඳව ශ්‍රේෂ්ඨාධිකරණයේ මතය විමසීම බව අපි දැඩිව විශ්වාස කරමු.

    එසේ නොමැතිව ව්‍යවස්ථාවට අනුව කටයුතු නොකිරීම මගින් ආණ්ඩුව විසින්ම නිර්මාණය කරමින් තිබෙන අර්බුදය පිළිබඳව හිටපු මන්ත්‍රීවරු දැනුවත් කිරීම ප්‍රතිඵලදායක නොවන බව අප විශ්වාස කරන හෙයින් මැයි 04 වන දිනට කැඳවා ඇති රැස්වීමට මා ඇතුළු අප පක්ෂයේ හිටපු මන්ත්‍රීවරු සහභාගී නොවන බව මෙයින් දන්වා සිටිමු.

    මෙයට විශ්වාසී,

    අනුර දිසානායක (හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී)
    පක්ෂ නායක – ජනතා විමුක්ති පෙරමුණ
    2020.05.01

    පිටපත් – සියලු ජනමාධ්‍ය 

  • Covid-19 Update: ශ‍්‍රී ලංකාව තුළ ආසාදිතයින් 663ක් – ගෝලීය වශයෙන් මරණ 61,288ක්

    Covid-19 Update: ශ‍්‍රී ලංකාව තුළ ආසාදිතයින් 663ක් – ගෝලීය වශයෙන් මරණ 61,288ක්

    ශ‍්‍රී ලංකාව තුළ කොවිඩ්-19 ආසාදතයින් සංඛ්‍යාව අද දින ප.ව 23.04 වන විට 663දක්වා වර්ධනය වූ බව සෞඛ්‍ය ප‍්‍රවර්ධන කාර්යාංශය සදහන් කරයි. ඒ අනුව අද දිනය තුළ නව ආසාදිතයින් 14දෙනකු වාර්තා වී ඇත.

    මේ අතර අද දිනය වන විට ගෝලීය වශයෙන් වාර්තා වන කොවිඩ්-19 ආසාදිතයින් හා මරණ සංඛ්‍යාව ගැන ජෝන්ස් හොප්කින්ස් විශ්වවිද්‍යාලයේ කොරෝනාවෛරස් සම්පත් මධ්‍යස්ථානයේ නවතම වාර්තා දක්වන්නේ ගෝලීය වශයෙන් කොවිඩ්-19 ආසාදිතයින් 3,231,701ක් වාර්තා වී ඇති අතර මරණ සංඛ්‍යාව 229,447ක් වන බවයි.

    තව දුරටත් ලෝකයේ වැඩිම ආසාදිතයින් හා මරණ සංඛ්‍යාව ඇමෙරිකා එක්සත් ජනපදයෙන් වාර්තා වන අතර එහි ආසාදිතයින් සංඛ්‍යාව 1,046,022ක් වන අතර මරණ සංඛ්‍යාව 61,288කි.

  • කෘෂි සහ වෙනත් භාණ්ඩ වෙළෙඳ හුවමාරුව සඳහා ඩිජිටල් තාක්ෂණය යොදා ගැනීමේ හැකියාව ජනපති විමසුමට

    කෘෂි සහ වෙනත් භාණ්ඩ වෙළෙඳ හුවමාරුව සඳහා ඩිජිටල් තාක්ෂණය යොදා ගැනීමේ හැකියාව ජනපති විමසුමට

    ගොවියා, පාරිභෝගිකයා සහ නිෂ්පාදන සැපයුම්කරු අතර යාන්ත්‍රණයට ඩිජිටල් තාක්ෂණය යොදා ගැනීමේ හැකියාව පිළිබඳව ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතාගේ අවධානය යොමු වෙයි.

    කෘෂිකර්ම, අභ්‍යන්තර වෙළෙඳ, පාරිභෝගික සුබසාධන, වැවිලි හා  අපනයන අමාත්‍යාංශ ලේකම්වරු සහ හෙක්ටර් කොබ්බෑකඩුව ගොවි කටයුතු පර්යේෂණායතනය ඇතුළු තවත් ආයතන කිහිපයක නිලධාරීන් සමග විමර්ශන සාකච්ඡාවක් අද (30) දහවල් ජනාධිපති කාර්යාලයේ දී පැවැත්විණි.

    වෙළෙඳ, අපනයන, පොහොර ඇතුළු සේවා සැපයුම්, තොග සැපයුම්කරුවන්,තොග ගැනුම්කරුවන්, භාණ්ඩ එකතුකරන්නන්, හෝටල් වැනි මහා පරිමාණ ගැණුම්කරුවාගේ සිට දෛනික පාරිභෝගිකයා දක්වා වූ කෘෂි බෝග අලෙවිකරණයට ඩිජිටල් තාක්ෂණය යොදා ගැනීමේ හැකියාව  දීර්ඝ ලෙස සාකච්ඡාවට ලක් කෙරිණ. 

    කෘෂි අස්වැන්න සඳහා ඉහළ මිලක් වෙනුවෙන් ගොවියාට තරග කිරීමේ හැකියාව ලබා දීමටද මින් අපේක්ෂා කෙරේ. පහසු සහ සරල තාක්ෂණය භාවිත කරමින් ඕනෑම අයෙකුට ඩිජිටල් හුවමාරුවට සම්බන්ධවීමේ හැකියාව තිබිය යුතු බව ජනාධිපතිවරයා අවධාරණය කළේය. මෙහි අවසන් ප්‍රතිඵලය භව බෝගයෙන් ස්වයංපෝෂිත ශ්‍රී ලංකාවක් බිහි කිරීම බව ජනපතිවරයා පැවසීය. 

    ප්‍රාදේශීය ලේකම් කොට්ඨාස, තාක්ෂණය මගින් යා කරමින් ගොවියා සහ ගැනුම්කරුවා පහසුවෙන් සම්බන්ධ කිරීමට ද ඩිජිටල් තාක්ෂණය උපයෝගි කර ගත හැකිය. එමගින් අතරමැදියාගෙන් ලැබෙන මුදලට වඩා වැඩි මිලක් ගොවියාට ලබා ගැනීමට ද හැකිවනු ඇතැයි අපේක්ෂා කෙරේ.

    රටේ පාරිභෝගික අවශ්‍යතා සමීක්ෂණයට ද මේ ක්‍රමය දායක කරගත හැකිය. මධ්‍යම ගමනා ගමන මණ්ඩලය, දුම්රිය සහ තැපැල් දෙපාර්තමේන්තුවද ඩිජිටල් තාක්ෂණ මෙහෙයුම් ප්‍රවාහන ක්‍රියාවලියට එක් කරගත යුතු බව ජනාධිපතිතුමා සඳහන් කළේය.

    අමාත්‍ය චමල් රාජපක්ෂ, ජනාධිපති ලේකම් පී.බී. ජයසුන්දර යන මහත්වරු ද සාකච්ඡාවට එක් වූහ.

  • විසුරුවා හැර ඇති පාර්ලිමේන්තුව යළි කැඳවිය නොහැකියි – ජනපති විපක්ෂයට කියයි

    විසුරුවා හැර ඇති පාර්ලිමේන්තුව යළි කැඳවිය නොහැකියි – ජනපති විපක්ෂයට කියයි

    විපක්ෂයේ ප්‍රධාන දේශපාලන පක්ෂවල නායකයන්ගේ අත්සනින් පසුගිය 26 වැනිදා තමා වෙත යොමු කෙරුණු ඒකාබද්ධ ප්‍රකාශනයට ඊයේ (29) පිළිතුරු දුන් ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා විසුරුවා හැර ඇති පාර්ලිමේන්තුව නැවත කැඳවිය නොහැකි බව දැනුම් දුන්නේය.

    විපක්ෂයේ ප්‍රකාශනයට අත්සන් තබා ඇති පාර්ශ්ව මැතිවරණ පැවැත්වීම අවශ්‍ය නැතැයි කල්පනා කරන බව නිරීක්ෂණය වන්නේයැයි හිටපු විපක්ෂනායක සජිත් ප්‍රේමදාස මහතා වෙත යොමුකර ඇති ලිපියේ සඳහන් වෙයි.

    කොවිඩ් -19 වෛරසය පාලනය කොට ජන ජිවිතය සුරක්ෂිත කිරීමට රාජ්‍ය තන්ත්‍රයම කැපවී ඇති අවස්ථාවක විපක්ෂය පටු දේශපාලන ක්‍රියාවලියක නිරතවන බවත් ජනාධිපති ලේකම් පී.බී. ජයසුන්දර මහතාගේ අත්සනින් යවන ලද ලිපිය කියා සිටී.

    ජනාධිපතිවරයාගේ උපදෙස් මත ලේකම්වරයා විසින් හිටපු විපක්ෂනායක වෙත යවන ලද සම්පූර්ණ ලිපිය මෙසේය.

                2020 අප්‍රේල් මස 29 වන දින

    ගරු සජිත් ප්‍රේමදාස මහතා
    හිටපු විපක්ෂ නායක

    ගරු ප්‍රේමදාස මැතිතුමනි,

    විපක්ෂයේ ඒකාබද්ධ ප්‍රකාශය.

    ඔබ විසින් 2020-04-26 දින ඉහත මැයෙන් ඉදිරිපත් කළ විපක්ෂයේ ප්‍රධාන දේශපාලන පක්ෂවල නායකයින්ගේ අදහස් හා අදාළ ප්‍රකාශය හා සබැඳේ.

    එම ප්‍රකාශය අනුව නිරීක්ෂණය වන්නේ ප්‍රකාශයට අත්සන් තබා ඇති පාර්ශ්වයන් මැතිවරණය පැවැත්වීම අවශ්‍ය නොවන බවත්, කොවිඩ්-19 වෛරසය තුළ ජනතාවගේ සෞඛ්‍ය, සමාජ සුරක්ෂිතතාවය හා සුභසාධනයට උපරිම ලෙස සමස්ත රාජය තන්ත්‍රයම යොමු වී ඇති මේ අවස්ථාවේ පටු දේශපාලන ක්‍රියාවලියක නිරත වන බවත්, කොවිඩ්-19 රෝග නිවාරණය හා අදාළ කටයුතු වල නිරත වන සෞඛ්‍ය හා අනෙකුත් රාජ්‍ය සේවා, ත්‍රිවිධ හමුදාව, පොලීසිය හා පෞද්ගලික අංශයේ දැඩි පරිත්‍යාගශීලි කාර්යභාරය අගය නොකිරිමත් බව අතිගරු ජනාධිපතිතුමාගේ උපදෙස් මත දන්වනු කැමැත්තෙමි.

    අතිගරු ජනාධිපතිතුමා තවදුරටත් අවධාරණය කරනුයේ පාර්ලිමේන්තුව විසිරීම එහි වසර 5ක කාලය අවසන්වීම තුළ හෝ ජනාධිපතිවරයා විසින් විසුරුවන අවස්ථාවක සිදුවන බවත්, ඒ අනුව 2020 මාර්තු මස 02 වන දින අතිගරු ජනාධිපතිතුමා පාර්ලිමේන්තුව විසුරුවා හැර අති බවත්ය.

    එම විසුරුවා හැරීම ඔබ විසින් ඉදිරිපත් කර ඇති ප්‍රකාශනයට අත්සන් කර ඇති සියලු පාර්ශ්වයන් පිළිගැනීමෙන් ද ඉහත සඳහන් විසුරුවා හැරීමේ නිවේදනයේ වලංගුභාවය තහවුරු වන බව දන්වන ලෙස මා වෙත නියෝග කර ඇත.

    විසුරුවා හැර ඇති පාර්ලිමේන්තුව නැවත කැඳවිය නොහැකි බවත්, 2020-03-02 වන දින අති විශේෂ ගැසට් පත්‍රය මගින් ප්‍රකාශයට පත්කළ විසුරුවා හැරීමේ නිවේදනය අනුව 2020-04-25 දින මැතිවරණය පැවැත්විය යුතු බවත්, ඉන්පසු මැතිවරණ කොමිෂන් සභාව විසින් 2020-06-20 දින මැතිවරණය පැවැත්විය යුතු බවත් නිවේදනය කර ඇති බව දන්වන ලෙස ද මා වෙත උපදෙස් ලැබී ඇත.

    තවද, ආණ්ඩුකම ව්‍යවස්ථාවේ 70(7) අනුකූලව කටයුතු කිරීමේ අවශ්‍යතාවයක් මතුවී නොමැති බවද අතිගරු ජනාධිපතිතුමා ඔබ වෙත දන්වන ලෙස මා වෙත නියෝග කර ඇත.

    මෙයට –   විශ්වාසී     පී.බී. ජයසුන්දරජනාධිපති ලේකම්

  • විදේශගත ශ්‍රී ලාංකිකයන් නැවත ගෙන්වා ගැනීමේදී රාජ්‍ය තාන්ත්‍රික මැදිහත් වීමක් ඕනෑ – ඇමැති ප්‍රසන්න

    විදේශගත ශ්‍රී ලාංකිකයන් නැවත ගෙන්වා ගැනීමේදී රාජ්‍ය තාන්ත්‍රික මැදිහත් වීමක් ඕනෑ – ඇමැති ප්‍රසන්න

    ශ්‍රී ලංකාවට පැමිණීමට අපේක්ෂාවෙන් සිටින විදෙස් ගත ශ්‍රමිකයන් ද කඩිනමින් දිවයිනට ගෙන්වා ගැනීමට රජය කටයුතු කරමින් සිටන බව කාර්මික අපනයන, අයෝජන ප්‍රවර්ධන, සංචාරක හා ගුවන්සේවා ඇමති ප්‍රසන්න රණතුංග මහතා පවසයි. ඔහු පෙන්වා දෙන්නේ දැනටමත් ඔවුන් පිළිබද තොරතුරු රැස් කිරීම විදේශ කටයුතු අමාත්‍යංශය මගින් සිදු කරනු ලබන බවයි.

    පසුගිය සතියේ සාක් රටවල සිටින  ශ්‍රී ලාංකික සිසු සිසුවියන් ගෙන්වා ගැනිමට ප්‍රමුඛතාවය ලබා දුන් බවත් සෙසු රට වල සිටින විශ්ව විද්‍යාල සිසු සිසුවියන් ගෙන්වා ගැනීම ඉදිරි දිනවලදී සිදු කෙරෙන බවත් ඇමතිවරයා සදහන් කරයි. එම සිසු සිසුවියන් ගෙන්වන අතරතුරම එම රටවල් වල ශ්‍රී ලංකාවට පැමිනීමට අපේක්ෂාවෙන් සිටින ශ්‍රමිකයන් ගෙන්වා ගැනීම කෙරෙහි රජයේ අවධානය යොමුව තිබේ. ඒ අනුව විදේශ කටයුතු අමාත්‍යංශය ඊට අදාල ඉදිරි පියවර ගනිමින් සිටින බව ඇමතිවරයා සදහන් කරයි.

    මේ වන විට විදේශගත ශ්‍රී ලාංකිකය සිසු සිසුවියන් දහසකට අධික පිරිසක් මෙරටට පැමිණ තිබේ. ඔවුන් සියළු දෙනා නිරෝධායන කටයුතු සදහා ආරක්ෂක අංශ විසින් පවත්වාගෙන යනු ලබන නිරෝධායන මධ්‍යස්ථාන වෙත යොමුකර ඇත. මෙලෙස දිවයිනට පැමිණියේ ඉන්දියාව, පාකිස්ථානය, බංගලාදේශය, මාලදිවයින, වැනි රට වල උසස් අධ්‍යාපනය හැදැරීම සදහා ගොස් කෝවිඩ් 19 වසංගතය හේතුවෙන් එම රටවල විශ්ව විද්‍යාල වල සිරව සිටි  සිසු සිසුවියෝයි.

    කොවිඩ් 19 වසංගතය හේතුවෙන් ලොව පුරා ගුවන් ගමන් අඩාල වී ඇති අතර ගුවන් තොටුපොල රැසක් වසා දමා තිබේ. මේ නිසා විදේශගත ශ්‍රී ලාංකිකයන් නැවත දිවයිනට ගෙන්වා ගැනීමේදී රාජ්‍ය තාන්ත්‍රික මැදිහත් වීම පවා සිදු කිරීමටද සිදුව තිබෙන බව ඇමති ප්‍රසන්න රණතුංග මහතා පවසයි.

    ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතාගේ හා අගමැති මහින්ද රාජපක්ෂ මහතාගේ අදහස වී ඇත්තේ විදේශයන් හි පීඩාවට පත්ව සිටින ශ්‍රී ලාංකිකයන් මෙරටට ගෙන්වා  ගැනීමට හැකි සියලු පියවර ගැනීමයි. මෙලෙස ගෙන්වා ගනු ලබන සියලුම විදේශගත ශ්‍රී ලාංකිකයන් නිරෝධායන මධ්‍යස්ථාන වෙත යොමු කිරීමට ද රජය තීරණය කර තිබේ.

    එක් අතෙකින් රට තුළ කෝවිඩ් 19 වසංගතය පැතිර යාම වලක්වන අතරතුරම රටට කෝවිඩ් 19 වසංගතය නැවත ඇතුළු වීම වැලැක්වීමද රජය පියවර ගනිමින් සිටියි. ඒ නිසා මෙම විදේශගත ශ්‍රමිකයන් ගෙන්වා ගැනීම සිදු කල යුතුව ඇත්තේද ක්‍රමානු කූලව බවද ඇමතිවරයා පෙන්වා දෙයි.

  • මංගලගේ ලිපියට ජනපතිගෙන් පිළිතුරු ලිපියක් !

    මංගලගේ ලිපියට ජනපතිගෙන් පිළිතුරු ලිපියක් !

    ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මැතිතුමා, හිටපු පාර්ලිමේන්තු මන්‍ත්‍රී මංගල සමරවීර මහතා පසුගිය 28 වැනිදා තමා වෙත එවූ ලිපියට සිය ලේකම්වරයා මගින් අද (30) පිළිතුරු ලිපියක් යැවීය.

    මංගල සමරවීර මහතාගේ ලිපිය වැරදි තොරතුරු රාශියක් ගොනුකර සකස් වී ඇතැයි ජනාධිපති ලේකම් පී.බී. ජයසුන්දර මහතාගේ අත්සනින් යවා ඇති පිළිතුරු ලිපිය කියා සිටී. එවැනි ලිපියක් යොමුකිරීම කණගාටුවට කරුණක් බව ද ජනාධිපතිතුමා සඳහන් කර ඇත.

    “උද්ගතව ඇති අර්බුදය ව්‍යවස්ථානුකූලව විසඳීම සඳහා සහ රාජ්‍ය වියදම් අනුමත කිරීම සඳහා පාර්ලිමේන්තුව යළි රැස්කරන මෙන් ඉල්ලීම, යන්න සමරවීර මහතා ජනාධිපතිතුමා වෙත එවූ ලිපියේ මාතෘකාව විය. පාර්ලිමේන්තුව විසුරුවන අවස්ථාවක විසර්ජන පනතක් සම්මත වී නැත්නම් ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ 150(3) වගන්තිය යටතේ අතුරු සම්මත ගිණුමක් මගින් අලුත් පාර්ලිමේන්තුවක් රැස්වී මාස 03ක කාලයක් සඳහා වියදම් කිරීමේ බලය ජනාධිපතිවරයාට පැවරී ඇති බව ජයසුන්දර මහතා පෙන්වා දෙයි.

    නව ලිබරල්වාදී සමාජ ආර්ථික දර්ශනය සිය ප්‍රතිපත්තිය කොටගත් හිටපු මුදල් අමාත්‍යවරයා මැතිවරණය පවත්වා ජනතාවගේ ප්‍රජාතන්ත්‍රවාදී අයිතීන් තහවුරු කිරීමට ප්‍රමුඛත්වය නොදෙන්නේ මන්දැයි ජනාධිපතිතුමා කනස්සල්ල පළ කරන බව ද ලේකම්වරයා කියා සිටී.

    ජනාධිපතිතුමාගේ නියමයෙන් හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී මංගල සමරවීර මහතා වෙත යවන ලද සම්පූර්ණ ලිපිය මෙසේය.

    2020 අප්‍රේල් මස 30 වන දින

    ගරු මංගල සමරවීර මැතිතුමා,
                හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී

    ගරු මංගල සමරවීර මැතිතුමනි,

    උද්ගතව ඇති අර්බුදය ව්‍යවස්ථානුකූලව විසඳීම සඳහා සහ රාජ්‍ය වියදම් අනුමත කිරීම සඳහා පාර්ලිමේන්තුව යළි රැස්කරන මෙන් ඉල්ලීම.

    ඔබ විසින් 2020-04-28 දින ඉහත මැයෙන් අතිගරු ජනාධිපතිතුමා වෙත අමතන ලද ලිපිය හා සම්බන්ධවයි.

    එම ලිපියේ අන්තර්ගත කරුණු වැරදි තොරතුරු රාශියක් ගොනුකර සකස් වී ඇති බව නීරක්ෂණය වන බවත් හා හිටපු මුදල් අමාත්‍යවරයා වශයෙන් එවැනි ලිපියක් ඉදිරිපත් කිරීම කනගාටුදායක කරුණක් බවත් ඔබ වෙත දන්වන ලෙස අතිගරු ජනාධිපතිතුමා මා වෙත උපදෙස් දී ඇත. එම ලිපියේ අන්තර්ගත කරුණු රැසක් අධ්‍යයනය කිරීමේදී පහත සඳහන් නිරීක්ෂණයන්ට එළඹීමට ද සිදු විය.

    1. ඔබ දන්නා පරිදි 2015 බලයට පත් වූ රජයට දින 21කින් අයවැයක් ඉදිරිපත් කිරීමට හැකිවූයේ 2015 වර්ෂය සඳහා 2014 ඔක්තෝබර් මස විසර්ජන පනත හා අදාළ අයවැය ඇස්තමේන්තු සම්මත වී තිබූ පරිසරයක් තුළ බව සදහන් නොවීම.
    2. 2015 සිට 2019 දක්වා ඔබ හා ඔබට පෙර සිටි මුදල් ඇමතිවරයා විසින් පරිපූරක ඇස්තමේන්තු රාශියක් සෑම වර්ෂයකම ඉදිරිපත් කළ අතර අයවැය යෝජනා සඳහා අදාළ නීති කෙටුම්පත්ද පාර්ලිමේන්තුව විසින් නීතිමය තත්ත්වයන්ට පත්කර නොතිබුන බව.
  • දරුවන් අන්තර්ජාලයට යොමු වීමත් සමග පරිගණක අපරාධවල වර්ධනයක්

    දරුවන් අන්තර්ජාලයට යොමු වීමත් සමග පරිගණක අපරාධවල වර්ධනයක්

    මේ දිනවල දෙමව්පියන් විසින් අන්තර්ජාලය හරහා දරුවන් ඉගෙනුම් ඉගැන්වීම් ක්‍රියාවලියට යොමු කිරීමට උනන්දු වීම හේතුවෙන් බොහෝමයක් දරුවන් මෙය අවස්ථාවක් කරගනිමින් අන්තර්ජාලය සහ සමාජ මාධ්‍ය තුළ අනිසි ලෙස හැසිරීමට කටයුතු කරන බවක් ශ්‍රී ලංකා තොරතුරු තාක්ෂණ සංගමයට පෙනීගොස් ඇත.

    විශේෂයෙන්ම දෙමව්පියන් තුළ තාක්ෂණය සහ අන්තර්ජාලය පිලිබදව ඇති අනවබෝධය නිසා කුඩා ළමුන් අන්තර්ජාලය තුළ සිදුකරන්නේ මොනවාදැයි කියා නිසි සොයාබැලීමක් සිදු නොකරන නිසා කුඩා ළමුන් ඉතා පහසුවෙන් සයිබර් අපරාධ කරුවන්ගේ ගොදුරක් බවට පත්විය හැකිය.

    තවද කුඩා ළමුන් ඔවුන්ගේ නොදැනුවත් භාවය මත අන්තර්ජාලයට සහ සමාජ මාධ්‍ය වෙත එක්කරනු ලබන විවිධ වීඩියෝ පට සහ විවිධ අන්තර්ගතයන් වෙනත් ළමුන් විසින් අනුකරණය කිරීමේ ඉහළ හැකියාවක් තිබෙනා අතර මේ දිනවල එවැනි ආකාරයේ වීඩියෝපට කිහිපයක් සමාජ මාධ්‍ය වෙබ් අඩවි හරහා ඉතා වේගයෙන් සමාජ මාධ්‍ය පරිශීලකයන් අතර සංසරණය වේ.

    මෙම තත්ත්වය පිලිබදව අවධානය යොමු කිරීමට කටයුතු කරනා ලෙස අප කාන්තා හා ළමා කාර්යංශයෙන් ඉල්ලා සිටින අතර කුඩා දරුවන් අන්තර්ජාලය භාවිතා කරමින් සිදුකරන්නේ මොනවාදැයි කියා නිරන්තරයෙන් සොයාබැලීමට කටයුතු කරන ලෙස අප ශ්‍රී ලංකා තොරතුරු තාක්ෂණ සංගමය ලෙස දෙමව්පියන්ට දැනුම් දෙමු.

  • අඩු පාඩු සහ මග හැරීම් සැලකිල්ලට ගෙන කොරෝනා මර්නධය සාර්ථක කරගත යුතුයි – ජනපති

    අඩු පාඩු සහ මග හැරීම් සැලකිල්ලට ගෙන කොරෝනා මර්නධය සාර්ථක කරගත යුතුයි – ජනපති

    අඩු පාඩු සහ මගහැරීම් සැලකිල්ලට ගනිමින් කොරෝනා වෛරසය රට තුළ මර්දනයට ගෙන ගිය වැඩපිළිවෙළ සාර්ථක කරගත යුතුව ඇතැයි ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා අවධාරණය කරයි.

    රජය වෛරසය මර්දනයට ගත් ක්‍රියාමාර්ග ලොව සියලු රටවල් අභිබවා ඉදිරියෙන් ඇති බව වසංගත රෝග පිළිබඳ ලොව ප්‍රධාන පෙළේ ප්‍රවීණයෙකු වන හොංකොංහි වෙසෙන විශේෂඥ වෛද්‍ය මහාචාර්ය මලික් පීරිස් මහතා පෙන්වා දී ඇතැයි වෛද්‍යවරු පැවසූහ.

    ඊට දායක වූ සෞඛ්‍ය හා ආරක්ෂක අංශ ඇතුළු සෙසු සියලු කණ්ඩායම් ඇගයීමට ලක් කළ ජනාධිපතිවරයා එම තත්ත්වය තවදුරටත් ආරක්ෂා කරගනිමින් පවත්වා ගත යුතු බව සඳහන් කළේය. වෛරසය මර්දනයේදී ජනතාව කණ්ඩායම් වශයෙන් ජීවත්වන ප්‍රදේශ සහ විශේෂිත වූ පිරිස් පිළිබඳව පොදු ක්‍රමයෙන් බැහැරව සැලසුම් සකස් කිරීමේ අවශ්‍යතාවද ජනාධිපතිවරයා අවධාරණය කළේය.

    නාවික හමුදාවේ 997 දෙනෙකු PCR පරීක්ෂණයට යොමු කර ඇත. ඉන් වෛරසය ආසාධිත බවට තහවුරු වී ඇත්තේ 159 දෙනෙකු පමණි. ඔවුන්ගෙන් 80%ක් කිසිදු රෝග ලක්ෂණයක් පෙන්වා නැත. ඊට හේතුව ප්‍රතිශක්තීකරණ හැකියාව බව වෛද්‍යවරු පෙන්වා දෙති. ජනතාවගේ ද ප්‍රතිශක්තීකරණ වර්ධනයට දේශීය ඖෂධ මඟින් ලබාගත හැකි දායකත්වය පුළුල් වශයෙන් අධ්‍යනය කළ යුතුව ඇතැයි ජනාධිපතිවරයා පැවසීය.

    දේශීය වෛද්‍යවරුන්ගේ සහ බටහිර වෛද්‍යවරුන්ගේ මැදිහත් වීමෙන් ඒ  සඳහා මේ වන විටත් පරීක්ෂණ සිදු කෙරෙමින් පවතී. වෛරසය මර්දනයට එන්නතක් සොයාගන්නා තෙක් ඉන් මිදීමට මෙහි ඇති වැදගත්කම ජනාධිපති සහ අගමැති පෙන්වා දුන්හ.

    දැනටමත් වෛද්‍යවරු මෙන්ම වෛරසය මර්දනයට දායක වී සිටින ආරක්ෂක අංශ ඖෂධ දූමායනය මෙන්ම කැඳ පානය කෙරෙහි විශේෂ අවධානයක් යොමුකර ඇති බවද සාකච්ඡාවේදී සඳහන් කෙරිණ.

    ආයතන පවත්වාගනෙ යාමේදී රජය ලබා දී ඇති නිර්දේශ ක්‍රියාත්මක වන්නේද යන්න පිළිබඳව දැඩි ලෙස අවධානය කළ යුතු බව ජනාධිපතිවරයා අවධාරණය කළේය. නොකළ යුතු දෑ අවබෝධ කරගෙන සාමාන්‍ය ජීවිතය පවත්වාගෙන යා යුතුය. සියලු පාර්ශ්ව ඒ සඳහා වගකීමෙන් ක්‍රියාකිරීමට බැඳී සිටින බවද ජනාධිපතිවරයා පැවසීය.

    ඇඳිරි නීති කාලසීමාවේදී ළමයින්ගේ මානසික සුවතාවය ආරක්ෂා වන අයුරින් වැඩිහිටියන් ක්‍රියාකිරීමේ වැදගත්කම අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මහතා දීර්ඝ ලෙස පෙන්වා දුන්නේය.

    මේ වන විට විසි එක්දහසකගේ (21,000) PCR  පරීක්ෂණ සිදු කර ඇත. ඉන් වෛරසය ආසාධිත බවට තහවුරු කරගෙන ඇත්තේ 3%ක පිරිසකගේය. මෙය රජය ගෙන ගිය නිරෝධායන වැඩපිළිවෙළේ සාර්ථක පැතිකඩක් බව වෛද්‍යවරු පැවසූහ. තවදුරටත් පර්යේෂණ කිරීමට අවශ්‍ය පරීක්ෂණ කට්ටල රට තුල නිෂ්පාදනය කිරීම අරඹා ඇත. එය මෙරට සෞඛ්‍ය කේෂ්ත්‍රය අත්කර ගත් සුවිශේෂි ජයග්‍රහණයකි. එම නිෂ්පාදන ප්‍රවර්ධනයට බලපාන අඩුපාඩු දැනුම් දෙන ලෙස ජනාධිපතිවරයා පැවසීය.

    වෙළෙද පොළෙහි අලෙවි කිරීමට ඇති විෂබීජහරණයට යොදාගන්නා රසායනික ද්‍රව්‍යවල ප්‍රමිතිය කෙරෙහි  අවධානය යොමු කරන ලෙස ද වෛද්‍යවරු ඉල්ලා සිටියහ. නිරෝධායන ක්‍රියාවලියට දායක වී සිටින සෞඛ්‍ය සහ ආරක්ෂක අංශවල භාවිතයට ගැනෙන විශේෂිත වූ ඇගළුම් කට්ටලවල ප්‍රමිතිය ද විමර්ශනය කරන්නැයි ජනාධිපතිවරයා දැනුම් දුන්නේය.

    සෞඛ්‍ය ඇමතිණි පවිත්‍රා වන්නිආරච්චි, ජනාධිපති ලේකම් පී.බී. ජයසුන්දර, අග්‍රාමාත්‍ය ලේකම් ගාමිණී සෙනරත්, ආරක්ෂක ලේකම් කමල් ගුණරත්න, සෞඛ්‍ය ලේකම් භද්‍රාණී ජයවර්ධන, ආරක්ෂක මාණ්ඩලික ප්‍රධානී සහ ත්‍රිවිධ හමුදාපතිවරු, වැඩබලන පොලිස්පතිතුමා සහ විශේෂඥ වෛද්‍යවරු ඇතුළු කොරෝනා මර්දන කාර්ය සාධන බලකායේ සාමාජිකයෝ සාකච්ඡාවට එක්ව සිටියහ.

  • GMOA – දෙරණ මාධ්‍ය ජාලය අතර ගැටුම උග්‍ර අතට – ‘අරුණ’ ප්‍රවෘත්ති විකෘති කළ බවට චෝදනා

    GMOA – දෙරණ මාධ්‍ය ජාලය අතර ගැටුම උග්‍ර අතට – ‘අරුණ’ ප්‍රවෘත්ති විකෘති කළ බවට චෝදනා

    රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමය විසින් සිදුකළ ප්‍රකාශ දෙරණ මාධ්‍ය ජාලය යටතේ ඇති ‘අරුණ පුවත්පත‘ විසින් විකෘති  කර පළ කර ඇති බවට රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමය චෝදනා කරනවා. ඒ සම්බන්ධව රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමය විසින්  අරුණ පුවත්පතේ ප්‍රධාන කර්තෘ වන කුල ශ්‍රී  කාරියවසම් වෙත ඊයේ (29) ලිඛිතව දැනුම් දී තිබෙනවා.

    මීට දින කිහිපයකට පෙරද රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමය දෙරණ මාධ්‍ය ජාලයේ දෙරණ රූපවාහිනී නාලිකාවේ මාධ්‍යකරුවෙකු වන චතුර අල්විස් නැමැත්තාට ද මේ ආකාරයෙන්ම චෝදනා කරමින් එහි ප්‍රධාන විධායක නිලධාරියාට ලිඛිත පැමිණිල්ලක් කළා.

    ඊයේ රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමය අරුණ ප්‍රධාන කතුවරයාට යොමු කළ ලිපිය සම්පූර්ණයෙන්ම පහත පළ වෙනවා.

  • අන්තර්ජාල ව්‍යාපාරකරණයට පිවිසෙන ව්‍යවසායකයින්ට ITSSL අතහිත

    අන්තර්ජාල ව්‍යාපාරකරණයට පිවිසෙන ව්‍යවසායකයින්ට ITSSL අතහිත

    Covid-19 වසංගත තත්වය හමුවේ අඩපණව තිබෙන ශ්‍රී ලාංකිකයන්ගේ ව්‍යාපාර ව්‍යාපාර අන්තර්ජාලය ඔස්සේ යලි පණගැන්වීම සදහා ශ්‍රී ලංකා තොරතුරු තාක්ෂණ සංගමය ලෙස අප විශේෂ වැඩසටහනක් සංවිධානය කොට ඇත.

    මේ වැඩසටහන මගින් ව්‍යවසායකයින් හට සිය ව්‍යාපාර කටයුතු අන්තර්ජාලය ඔස්සේ ගෙනයාමට අවශ්‍ය නිසි මගපෙන්වීම සහ උපදෙස් ඇතුළු ඊට අදාළ වෙනත් සේවාවන් සපයනු ඇත. මේ වනවිට කඩාවැටී ඇති ආර්ථිකයත් ව්‍යාපාරත් යලි ගොඩනැංවීම සදහා වගකිවයුතු සංවිධානයක් ලෙස සිය ජාතික කර්තව්‍ය ඉටු කිරීමට ශ්‍රී ලංකා තොරතුරු තාක්ෂණ සංගමය කැපවී සිටිමු. මේ පිලිබදව වැඩිදුර තොරතුරු 0778962228 සහ 0711951779 දුරකථන අංකය හරහා විමසීමට හැකිය.

  • Curfew Update: හෙට රෑ 08.00සිට සඳුදා පෙ.ව 05.00 දක්වා මුළු රටටම ඇඳිරිනීතිය

    Curfew Update: හෙට රෑ 08.00සිට සඳුදා පෙ.ව 05.00 දක්වා මුළු රටටම ඇඳිරිනීතිය

    කොළඹ, ගම්පහ, කළුතර සහ පුත්තලම දිස්ත්‍රික්ක හැර සෙසු දිස්ත්‍රික්කවල     හෙට, අප්‍රේල් 30 බ්‍රහස්පතින්දා රාත්‍රී 8.00ට යළි පනවනු ලබන ඇඳිරිනීතිය       මැයි 04, සඳුදා උදේ 5.00 දක්වා දිගටම ක්‍රියාත්මකව පවතින බව ජනාධිපති මාධ්‍ය අංශය අද (29) පස්වරු 09.30ට නිකුත් කළ මාධ්‍ය නිවේදනයක සදහන් වේ.

  • Covid-19 Update : ලංකාවේ ආසාදිතයින් සංඛ්‍යාව 649 දක්වා ඉහළට

    Covid-19 Update : ලංකාවේ ආසාදිතයින් සංඛ්‍යාව 649 දක්වා ඉහළට

    අද (29) දින ප.ව 11.04ට වනවිට ශ්‍රී ලංකාවෙන් වාර්තාවන කොවිඩ්-19 ආසාදිතයින් සංඛ්‍යාව 649 දෙනකු බව සෞඛ්‍ය ප්‍රවර්ධන කාර්යාංශය සදහන් කරනවා. ඒ අනුව අද දිනය තුළ නව රෝගීන් 30 දෙනකු වාර්තා වී තිබෙනවා. කොවිඩ්-19 ආසාදනය වීම හේතුවෙන් මේ වන විට ප්‍රතිකාර ලබන රෝගීන් සංඛ්‍යාව 506 ක් බවයි සෞඛ්‍ය ප්‍රවර්ධන කාර්යංශයේ වාර්තාවල සදහන් වන්නේ.

    අද දින (29) පස්වරු 08.04ට සෞඛ්‍ය ප්‍රවර්ධන කාර්යංශය කළ යාවත්කාලීන කිරීම් අනුව ලංකාවේ කොවිඩ් 19 ආසාදිතයින් සංඛ්‍යාව 627ක් දක්වා වර්ධනය වී ඇති අතර අද දිනය තුළ නව රෝගීන් 08 දෙනකු වාර්තා වී තිබෙනවා.

    සෞඛ්‍ය ප්‍රවර්ධන කාර්යංශය සදහන් කරන ආකාරයට දැනට රෝහල්වල විමර්ශනය යටතේ සිටින පුද්ගලයින් සංඛ්‍යාව 250ක් වන අතර ප්‍රතිකාර ලබන රෝගීන් සංඛ්‍යාව 484ක්. සුවය ලබා පිටව ගිය පුද්ගලිය්න සංඛයාව 136ක් වන අතර මරණ සංඛ්‍යාව වාර්තා වන්නේ 07ක් ලෙසයි.

  • බ්‍රිතාන්‍ය අගමැති බොරිස් ජොන්සන්ට පුතෙක්

    බ්‍රිතාන්‍ය අගමැති බොරිස් ජොන්සන්ට පුතෙක්

    55 හැවිරිදි වියේ පසුවන අවිවාහකයෙකු වුවත් බ්‍රිතාන්‍ය අගමැති බොරෝස් ජොන්සන් අද පියෙකු බවට පත් වුණා. ඒ බ්‍රිතාන්‍ය අගමැතිවරයාගේ සහකාරිය වන කැරී සිමොන්ඩ්ස් අද දින බොරිස් ජෝන්ස්ටන්ට දාව දරුවෙකු බිහි කිරීම සමගයි.

    තම පුත්‍රයා උපත ලද බව බ්‍රිතාන්‍ය අගමැති බොරිස් ජොන්සන් සහ ඔහුගේ සහකාරිය වන කැරී සිමොන්ඩ්ස් නිවේදනය කළහ.

    මව සහ දරුවා “ඉතා යහපත්” සෞඛ්‍ය තත්වයෙන් පසුවන බව අගමැතිවරයා සහ ඔහුගේ සහකාරිය වෙනුවෙන් ඉදිරිපත් වූ ප්‍රකාශකයා පැවසීය.

    ලන්ඩනයේ ජාතික සෞඛ්‍ය සේවයට අයත් (NHS) රෝහලක දරුවා උපත ලබා ඇති අතර ඒ මොහොතේ අගමැතිවරයා ද එම ස්ථානයේ සිටි බව වාර්තා වේ.

    නව කොරෝනාවෛරසය ආසාදනය වූ අගමැති බොරිස් ජොන්සන් සම්පුර්ණ සුවය ලැබුවේ මීට දින කිහිපයකට පෙරය.

    “අගමැතිවරයා සහ සිමන්ඩ් මහත්මිය, ජාතික සෞඛ්‍ය සේවයේ අති දක්ෂ මාතෘ හෙද කණ්ඩායමට සිය කෘතඥතාවය පිරිනමනවා.” ප්‍රකාශකයා තවදුරටත් පැවසීය.

    55 හැවිරිදි අගමැති ජොන්සන් සහ 32 හැවිරිදි කැරී සිමොන්ඩ්ස් ගේ විවාහ වීමට නියමිත බව නිවේදනය කෙරුණේ පසුගිය වසර අවසානයේදී ය.

    වසන්ත සමයේ මුල් භාගයේ දී දරු උපතක් සිදු වීමට නියමිත බව පසුගිය මාර්තු මාසයේ දී නිවේදනය කෙරින.

    “අගනා ප්‍රවෘත්තියක්”

    බ්‍රිතාන්‍ය අගමැති නිල නිවාසයේ පදිංචිය සඳහා පැමිණි ප්‍රථම අවිවාහක යුවල ලෙස බොරිස් ජොන්සන් සහ කැරී සිමොන්ඩ්ස් ඉතිහාසගත වේ.

    අගමැති ජෝන්සන්ට කොරෝනාවෛරසය ආසාදනය වීමෙන් අනතුරුව දින තුනක් දැඩි සත්කාර ඒකකයේ ප්‍රතිකාර ලැබීය. සුවය ලැබීමෙන් අනතුරුව ඔහු නිල රාජකාරි කටයුතු ආරම්භ කළේ සඳුදාය. (අප්‍රේල් 27)

    අගමැතිවරයාගේ සහකාරිය ද කොරෝනාවෛරස රෝග ලක්ෂණවලින් පෙළුණු බව වාර්තා විය.

    තමන්ට මුනුබුරෙකු ලැබීම ගැන අතිශය සතුටට සහ උද්දාමයට පත් වී සිටින බව අගමැතිවරයාගේ පියා වන ස්ටැන්ලි ජොන්සන් PA පුවත් සේවයට පවසා ඇත.

    අගමැතිවරයාගේ කොන්සවේටිව් පක්ෂයේ මන්ත්‍රීවරු සහ විරුද්ධ පක්ෂය ඇතුළු බොහෝ දෙනෙකු සුබ පැතුම් එක්කර තිබේ.

    විරුද්ධ පක්ෂය වන කම්කරු පක්ෂයේ නායක ශ්‍රීමත් Keir Starmer “අගනා ප්‍රවෘතියක්” ලැබුණු බව පවසමින් ශුභාශිංසන එක් කළේය.

  • කොරෝනා නිසා අමතක කළ ‘ඩෙංගු ව්‍යසනයක් ළග ළගම එනවා’ – සෞඛ්‍ය අමාත්‍ය පවිත්‍රා

    කොරෝනා නිසා අමතක කළ ‘ඩෙංගු ව්‍යසනයක් ළග ළගම එනවා’ – සෞඛ්‍ය අමාත්‍ය පවිත්‍රා

    දැනට කොවිඩ් 19 වසංගත තත්ත්වය හේතුවෙන් ඩෙංගු ව්‍යාප්තිය මර්ධන කටයුතු පිළිබදව අවධානය ගිලිහී ගිය හොත් රටතුළ ඉතාමත් ව්‍යසනකාරී තත්වයක් උද්ගතවීමට ඉඩඇති බව මෙහිදී අනාවරණය විය.

    ඉදිරියේදී වර්ෂා සමය ආරම්භවීමත් සමග ඩෙංගු මදුරුවන් බෝවන ස්ථාන වැඩිවීමට හැකියාව ඇති බවත් ඒ අනූව ඉදිරිකාලය තුඑළ ඩෙංගු මදුරු ඝණත්වය වැඩිවීම හේතුවෙන් ඩෙංගු රෝගය ව්‍යාප්තවීම පිළිබද අවධානමක් ඇති බැවින් මේ පිළිබද පෙර සූදානම්විය යුතු බව  බව සෞඛ්‍ය හා දේශීය වෛද්‍ය අමාත්‍ය පවිත්‍රා වන්නිආරච්චි මහත්මිය අවධාරණය කළාය.

    විශේෂයෙන්ම නාගරීකරණය වූ හා ජනාකීර්ණ ප්‍රදේශයන් වල පසුගිය වසර පුරාවටම ඩෙංගු රෝගීන් ව්‍යාප්තවීමෙී ප්‍රවණතාවක් පෙන්නුම් කර ඇති බවත්, රෝගීන් වැඩි සංඛ්‍යාවක් වසර මැද (මැයි මස සිට ජූලි මස අතර ) හා නිරිත දිග මෝසම් වැසි ආශ්‍රිතව ද,  වසර  අගදී ද ( ඔක්තෝබර් සිට ජනවාරි දක්වා) ඊසාන දිග මෝසම් වැසි සහිත කාලගුණය ආශ්‍රිතවද වාර්තා වී ඇති බව පසුගිය සංඛ්‍යාලේඛන පිරික්සිමේදී අනාවරණය වන බව ද අමාත්‍යවරිය පැවසුවාය.

    අමාත්‍යවරිය මෙම කරුණු අවධාරණය කලේ අද දින (29) ඩෙංගු මර්ධනය සදහා ඉදිරියේදී ගතයුතු ක්‍රියාමාර්ග පිලිබදව ජාතික ඩෙංගු මර්ධන ඒකකයේ නිළධාරීන් හා සෞඛ්‍ය අමාත්‍යංශයේ නිළධාරීන් සමග පැවති සාකච්චජාවකදීය.

    දැනට කොවිඩ් 19 වසංගත තත්ත්වය හේතුවෙන් ඩෙංගු ව්‍යාප්තිය මර්ධන කටයුතු පිළිබදව අවධානය ගිලිහී ගිය හොත් රටතුළ ඉතාමත් ව්‍යසනකාරී තත්වයක් උද්ගතවීමට ඉඩඇති බව මෙහිදී අනාවරෙණය විය.

    පසුගිය සංඛ්‍යා ලේඛණ පරීක්ෂා කිරීමේදී 2019 වර්ෂයේදී ලක්ෂයකට ආසන්න ප්‍රමානයක් ඩෙංගු රෝගයට ගොදුරු වී ඇති බවත් ඒම නිසා මෙය මර්ධනය කිරීම සදහා ක්ෂණික ක්‍රියාකාරී සැලැස්මක් සකස් කරන ලෙසටද , කොරෝනා වසංගතය හේතුවෙන් මේවන විට තාවකාලිකව ඉදිකිරීම් නවතා දමා ඇති සියලු ඉදිකිරීම් ස්ථාන පිළිබදව විශේෂ අවධානයක් යොමුකර මදුරු ව්‍යාප්තිය මර්ධනය සදහා ගත යුතු ක්‍රියාමාර්ග ද කඩිනමින් ගන්නා ලෙසට මෙහිදී  අමාත්‍යතුමීය විසින් නිළධාරීන්ට  උපදෙස් දෙන ලදී.

    ඩෙංගු රෝගය ශ්‍රී ලංකාවේ  වාහක රෝගයන්  අතර ප්‍රධාන තැනක් ගනී. පළමු වරට ඩෙංගු රෝගියකු වාර්තා වන්නේ 1962 වසරේදීය. ඩෙංගු වසංගත තත්වයක් පළමුවරට වාර්තා වුයේ 1965-1966 වසරවලදීය. වෛද්‍ය පර්යේෂණ ආයතනය මගින් සිදු කරන ලද පර්යේෂණ වලට අනුව 1970 හා 1980 දශකවල ඩෙංගු වසංගත තත්වයන්ද යම් යම් කාල වකවානු තුල සිදුවී ඇත. මෙම තත්වයන් මත 1996 වසරේදී ඩෙංගු රෝගය අනිවාර්යයෙන්ම දැනුම් දිය යුතු රෝග ලැයිස්තුවට ඇතුලත් කර ඇත. 

    මෙම අවස්ථාවට සෞඛ්‍ය අමාත්‍යංශයේ ලේකම් භද්‍රානි ජයවර්ධන, අතිරෙක ලේකම් වෛද්‍ය ලක්ෂ්මි සෝමතුංග,නියෝජ්‍ය අධ්‍යක්ෂ ජනරාල් (මහජන සෞඛ්‍ය)  වෛද්‍ය පබා පලිහවඩන, ජාතික ඩෙංගු මර්ධන ඒ්කකයේ  අධ්‍යක්ෂ වෛද්‍ය අරුණ ජයසේකර, අමාත්‍යතුමියගේ පෞද්ගලික ලේකම් සබරගමු පලාත් සභාවේ සභාපති කංචන ජයරත්න යන මහත්ම මහත්මීන් ඇතුලු පිරිසක් සහභාගි වූහ.

  • Covid-19 පොකුරු වර්ධනය වීම හෝ නොවීම පිළිබඳව අනාවැකි කිව නොහැකියි – අනිල් ජාසිංහ

    Covid-19 පොකුරු වර්ධනය වීම හෝ නොවීම පිළිබඳව අනාවැකි කිව නොහැකියි – අනිල් ජාසිංහ

    කොවිඩ් -19  පොකුරු ( Clusters ) වර්ධනය වීම හෝ නොවීම පිලිබඳව මෙන්ම සමාජයේ අලුතින් පොකුරු ඇතිවීම හෝ නොවීම පිලිබඳව මේ මොහොතේ අනාවැකි පලකල නොහැකි බව සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජනරාල්වරයා පවසයි.

    අද (29) දින විශේෂ නිවේදනයක් නිකුත් කරමින් මේ බව සදහන් කළ සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජනරාල් අනිල් ජාසිංහ මහතා රෝග ව්‍යාප්තිය පාලනයට ගෙනයන වැඩපිලිවෙල සාර්ථක වීමට බලපාන ප්‍රධාන සාධකයක් වන්නේ සෞඛ්‍ය අංශ විසින් නිකුත් කර ඇති සෞඛ්‍ය උපදෙස් නිවැරදිව මහජනතාව විසින්  පිලිපැදීම බව ද සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජනරාල්වරයා අවධාරණය කළේය.

    අනිල් ජාසිංහ මහතා විසින් නිකුත් කළ මාධ්‍ය නිවේදනයේ මෙසේද සදහන් වේ.

    නාවික හමුදා සෙබලුන් අතර සිටිය හැකි බවට සැක කරන ආසාදිතයින් සොයා ගැනීමේ කටයුතු මේ වන විට  අවසන් භාගයට පැමිණ තිබේ.

    නාවික හමුදා සෙබලුන්ගේ ස්පර්ශකයින් ලෙස ආසාදිත වූවන් ප්‍රධාන වශයෙන්ම පවුලේම  සාමාජිකයින් සහ අවට ප්‍රදේශ වාසීන් මෙන්ම ඔවුන් ආගිය ස්ථාන වල සිටි  හිතවතුන් ආදී  පුද්ගලයින් ඉදිරියේදීත්  ආසාදිතයින් බවට පත් වේවිද යන සැකය මේ වන විට මතුවී තිබෙන බැවින් එම ස්පර්ශකයින් පිලිබඳව සෞඛ්‍ය කාර්ය මණ්ඩල මෙන්ම බුද්ධි අංශයද  දැඩි විමසිල්ලෙන් පසුවන බව සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජනරාල් විශේෂඥ වෛද්‍ය අනිල් ජාසිංහ මහතා පවසයි.

    මේ වන විට මතුවී තිබෙන කොවිඩ් -19  පොකුරු ( Clusters ) තව දුරටත් විශාල වශයෙන් වර්ධනය නොවනු ඇතැයි තමන් විශ්වාස කරන බව පවසන විශේෂඥ වෛද්‍ය අනිල් ජාසිංහ මහතා එහෙත් තව දුරටත් එම පොකුරු ආශ්‍රිතව සහ නාවික හමුදා සෙබලුන්ගේ ස්පර්ශකයින් ආශ්‍රිතව ආසාදිතයින් මතුවේදැයි නිති විමසිල්ලෙන් සිටීම මේ මොහොතේ අත්‍යවශ්‍ය කටයුත්තක් වන බවද පෙන්වා දෙයි.

    කෙසේ වෙතත් ආසාදිතයින් බවට පත් විය හැකි බවට අවදානමක් තිබෙන හේතු සහිතව හඳුනා ගන්නා සියලු දෙනා නිරෝධායනයට ලක් කර තිබේ.

    එහෙත් තව දුරටත් මෙම පොකුරු ( Clusters ) වර්ධනය වීම හෝ නොවීම පිලිබඳව මෙන්ම සමාජයේ අලුතින් පොකුරු ඇතිවීම හෝ නොවීම පිලිබඳව මේ මොහොතේ අනාවැකි පලකල නොහැකි බවද පවසන සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජනරාල් වරයා  රෝග ව්‍යාප්තිය පාලනයට සියලු පියවර ගෙන ඇතැයි ප්‍රකාශ කරයි.

    කෙසේ වෙතත්  රෝග ව්‍යාප්තිය පාලනයට ගෙනයන වැඩපිලිවෙල සාර්ථක වීමට බලපාන ප්‍රධාන සාධකයක් වන්නේ සෞඛ්‍ය අංශ විසින් නිකුත් කර ඇති සෞඛ්‍ය උපදෙස් නිවැරදිව මහජනතාව විසින්  පිලිපැදීම බව ද සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජනරාල්වරයා අවධාරණය කළේය.

  • Covid-19: ඉදිරිපෙළ වෘත්තිකයින්ගේ ආරක්ෂාව අනතුරේ ! – GMOA අනතුරු අගවයි

    Covid-19: ඉදිරිපෙළ වෘත්තිකයින්ගේ ආරක්ෂාව අනතුරේ ! – GMOA අනතුරු අගවයි

    Covid-19 වසංගත තත්ත්වය ප‍්‍රශස්ථ ලෙස පාලනය කර වෛද්‍යවරුන් ඇතුළු ඉදිරිපෙල වෘත්තිකයන්ගේ සුරක්ෂිතභාවය සහතික කිරීමේ කාර්ය නිසි ලෙස ඉටු කිරීමට ඉදිරියේදී හෝ සෞඛ්‍ය බලධාරින් කටයුතු නොකරන්නේ නම් ඊට එරෙහිව උපරිම ක‍්‍රියාමාර්ග ප‍්‍රකාශයට පත් කිරීමට රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමය පසුබට නොවුන බව එහි ලේකම්, වෛද්‍ය අලුත්ගේ මහතාගේ අත්සනින් අද (29) නිකුත් කළ මාධ්‍ය නිවේදනය සදහන් වෙනවා.

    එම මාධ්‍ය නිවේදනය සම්පූර්ණයෙන් මෙසේයි.

    Covid-19 ගෝලීය වසංගතයේ ආරම්භයේ සිට මේ දක්වා රට තුල රෝගය ව්‍යාප්ත වීම පාලනය සදහා වෛද්‍යවරුන් ඇතුලු සමස්ථ සෞඛ්‍ය වෘත්තිකයන් පිරිස මෙන්ම ආරක්ෂක හමුදා සාමාජිකයින් විසින් දැඩි කැපවීමකින් යුතුව ඉටු කල කාර්යභාරය සියලු දෙනාගේ ඇගයීමට ලක්ව ඇත.

    ඉදිරිපෙල ක‍්‍රියාකාරින් ලෙස ඔවුන්ගෙන් සිදුවූ මෙහෙය නිසා රට තුල කොරෝනා තත්ත්වය යම් මට්ටමකින් පාලනය කර ගැනීමට හැකි වූ බව නොරහසකි. ඒ අනුව මෙම ඉදිරි පෙල ක‍්‍රියාකාරින් වූ වෛද්‍යවරුන් ඇතුලු සෞඛ්‍ය වෘත්තිකයින් මෙන්ම ආරක්ෂක හමුදා සාමාජිකයින්ගේ සෞඛ්‍ය ආරක්ෂාව සහතික කිරීම මේ මොහොතේ ජාතික වගකීමකි.

    ඒ සඳහා සිදුවිය යුතු ප‍්‍රධාන කටයුතු 03 කි.

    1.ඉදිරිපෙල ක‍්‍රියාකාරින් සියලු දෙනාට ඔවුන්ට ඇති අවදානමට සරිලන පෞද්ගලික ආරක්ෂක උපකරණ වල අඛණ්ඩ සැපයුමක් සහතික කල යුතුය (උදා. මුඛ ආවරණ, අත් ආවරණ, ඇස් ආවරණ හා PPE කට්ටල)

    2. ඔවුන් රෝගින්ට නිරාවරණය වීම සැලකිල්ලට ගෙන, යම් ඉදිරිපෙල වෘත්තිකයෙකුට සැක සහිත තත්ත්වයක් මතු වූයේ නම් හෝ ඔහුට හෝ ඇයට තම රාජකාරිය සැකයකින් තොරව නිදහස් මනසකින් ඉටු කිරීම සඳහා PCR පරික්ෂණයට භාජනය වී තමන්ට රෝගය වැලදී ඇත්ද යන්න පිළිබඳ යම් තක්සේරුවක් ලබා ගැනීමට අවස්ථාව ලබා දිය යුතුය.

    3. රෝගීන්ට නිරාවරණය වීමේ අවදානම සැලකිල්ලට ගෙන ඒ අයව නිරෝධායනයට යොමු කිරීම.

    පසුගිය කාලය තුල අප සංගමයේ සාමාජිකත්වය විසින් මෙන්ම අනෙකුත් සෞඛ්‍ය වෘත්තිකයන් විසින් අප වෙත ඉදිරිපත් කර ඇති පැමිණිලි සැලකිල්ලට ගැනීමේදී ඉහත ප‍්‍රමුඛ අවශ්‍යතා දෙකෙහිම ගැටලු පවතින බව පෙනීයයි.

    මේ වන විටත් කොළඹ මහ නගර සභාවේ මැද කොළඹ කොට්ඨාශයට අයත් වෛද්‍යවරුන් මෙන්ම මහජන සෞඛ්‍ය පරික්ෂක මහතුන් විසින් තමන්ට දිගින් දිගටම සිදු කරන නොසැලකීම් හමුවේ තාවකාලිකව රාජකාරියෙන් ඉවත් වීමට තීරණය කර ඇත.

    දිවයින පුරා රෝහල් හා සෞඛ්‍ය වෛද්‍ය නිලධාරි කාර්යාල ගණනාවක මේ වන විට මෙම අසතුටුදායක තත්ත්වය මතුවෙමින් පවතී. මේ හරහා මෙම ඉදිරිපෙල වෘත්තිකයින් දැඩි අනාරක්ෂිත තත්ත්වයකට පත් කර ඇත. එමෙන්ම ඒ අයගේ මානසිකත්වය කඩා වැටීමේ අවදානමක් මේ වන විට මතුව ඇත.

    එමෙන්ම නිරෝධායන ක‍්‍රියාවලිය සාර්ථක කර ගැනීම සඳහා ප‍්‍රමුඛ කාර්යභාරයක් ඉටු කල හා ඉටු කරන ආරක්ෂක හමුදා සාමාජිකත්වයේ සෞඛ්‍ය ආරක්ෂාව පිළිබඳවද විශේෂ අවධානයක් යොමු විය යුතුය.

    වැලිසර නාවික හමුදා කඳවුර ආශ‍්‍රිත සිද්ධිය ගැඹුරින් අධ්‍යයනය කර ඒ හරහා උගත යුතු පාඩම් ඔස්සේ ඉදිරි සැලසුම් සකස් කල යුතුය.

    ආරක්ෂක හමුදා සාමාජිකයින්ගේ සෞඛ්‍ය ආරක්ෂාවට අදාල තාක්ෂණික උපදෙස් ලබා දීමේ ප‍්‍රමුඛ වගකීම වසංගත රෝග විද්‍යා අංශ වලට පැවරී ඇත. ඒ පිළිබඳව සමාලෝචනය කර අවශ්‍ය උපදෙස් ලබා දෙමින් ඒවා අධිීක්ෂණය කිරීමේ වගකීමෙන් සෞඛ්‍ය බලධාරින්ට කිසිසේත්ම බැහැර විය නොහැක.

    Covid-19 වසංගත තත්ත්වය ප‍්‍රශස්ථ ලෙස පාලනය කර වෛද්‍යවරුන් ඇතුලු ඉදිරිපෙල වෘත්තිකයන්ගේ සුරක්ෂිතභාවය සහතික කිරීමේ කාර්ය නිසි ලෙස ඉටු කිරීමට ඉදිරියේදී හෝ සෞඛ්‍ය බලධාරින් කටයුතු නොකරන්නේ නම් ඊට එරෙහිව උපරිම ක‍්‍රියාමාර්ග ප‍්‍රකාශයට පත් කිරීමට අප සංගමය පසුබට නොවුනු ඇත.