Blog

  • ලංකාවේ Covid-19 ආසාදිතයින්ගේ වේගවත් වර්ධනයක් – අදත් නව ආසාදිතයින් 61ක්

    ලංකාවේ Covid-19 ආසාදිතයින්ගේ වේගවත් වර්ධනයක් – අදත් නව ආසාදිතයින් 61ක්

    අද (27) ප.ව  21:04ට සෞඛ්‍ය ප්‍රවර්ධන කාර්යංශයයේ නව යාවත්කාලීන කිරීම් අනුව අද දින (27) මෙරටින් කොවිඩ්-19 ආසාදිතයින් 61 දෙනකු හමුවී ඇති අතර සමස්ත ආසාදිතයින් ගණන 584 දක්වා වර්ධනය වී තිබෙනවා.

    එහි වැඩි දුරටත් සදහන් වන්නේ දැනට රෝහල්වල විමර්ශන යටතේ සිටින පුද්ගලයින් 295 දෙනකු සිටින බවයි. එමෙන්ම පුද්ගලයින් 451 දෙනකු රෝහල්වල ප්‍රතිකාර ලබමින් සිටින අතර සුවය ලැබූ රෝගීන් සංඛ්‍යාව 126ක්.

  • පාර්ලිමේන්තුවේ විපක්ෂය නියෝජනය කළ පක්ෂ නායකයින්ගෙන් ඒකාබද්ධ ප්‍රකාශයක්

    පාර්ලිමේන්තුවේ විපක්ෂය නියෝජනය කළ පක්ෂ නායකයින්ගෙන් ඒකාබද්ධ ප්‍රකාශයක්

    පසුගිය පාර්ලිමේන්තුවේ විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස සහ එජාප නායක, හිටපු අගමැති රනිල් වික්‍රමසිංහ, දෙමළ ජාතික සන්ධානයේ නායක ආර්. සම්බන්ධන් ඇතුළු දේශපාලන නායකයින් 07 දෙනකු විසින් අත්සන් කරන ලද කරුණු 10කින් යුත් ඒකාබද්ධ ප්‍රකාශයක් අද ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා වෙත යොමු කළා.

    පාර්ලිමේන්තුව විසුරුවා හැරීමේ නියෝගය ආපසු නොකැදවන්නේ නම් ආණ්ඩුක‍්‍රම ව්‍යවස්ථාවේ බලතල අනුව, විසුරුවා ඇති පාර්ලිමේන්තුව යළි කැදවීමට හෝ කටයුතු කරන්නැයි ජනාධිපතිවරයාගෙන් ඉල්ලා සිටින බවත් එසේ පාර්ලිමේන්තුව යළි කැදවීමෙන් පසු රටේ දැනට පවතින තත්ත්වය සමනයවීමෙන් පසු සුදුසු අවස්ථාවකදී යළි පාර්ලිමේන්තුව විසුරුවා හැරීමට ජනාධිපතිවරයාට හැකි වනු ඇතැයි ද ඔවුන් සිය ප‍්‍රකාශයෙහි දක්වා තිබෙනවා.

    එම නිවේදනය සම්පූර්ණයෙන් පහත පළ වෙනවා.

  • හමුදා කඳවුරුවල සෞඛ්‍ය තහවුරු කිරීමට විශේෂ ජනාධිපති කාර්ය සාධක බලකායක්

    හමුදා කඳවුරුවල සෞඛ්‍ය තහවුරු කිරීමට විශේෂ ජනාධිපති කාර්ය සාධක බලකායක්

    ත්‍රිවිධ හමුදා කඳවුරු ඇතුළත සෞඛ්‍ය සුරක්ෂිතතාව සහතික කිරීමට ගත යුතු ක්‍රියාමාර්ග හඳුනාගැනීම සඳහා ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මැතිතුමාගේ ප්‍රධානත්වයෙන් අද (27) පෙරවරුවේ ජනාධිපති කාර්යාලයේ දී විශ්‍රාමික ආරක්ෂක ප්‍රධානීන්ගේ  සහ විශේෂඥ වෛද්‍යවරුන් පිරිසකගේ සහභාගීත්වයෙන් සාකච්ඡාවක් පැවැත්විණ.

    ආරක්ෂක ලේකම්වරයාගේ සහ ත්‍රිවිධ හමුදාපතිවරුන්ගේ මගපෙන්වීම ඇතිව හමුදා කඳවුරු ඇතුළත පූර්ණ සෞඛ්‍ය සුරක්ෂිතතාව සහතික කිරීමට විධිමත් වැඩපිළිවෙළක් සකස් කොට, එය ක්‍රියාත්මක කිරීමේ සහ අධීක්ෂණ කාර්යය නව ජනාධිපති විශේෂ කාර්ය සාධක බලකායට පවරා ඇත.

     “ජනතාව මෙන්ම ත්‍රිවිධ හමුදා නිලධාරීන් ද වෛරසයෙන් බේරා ගැනීම එක සේ වැදගත්. ආසාධිතයන් සමග සමීපව වැඩකිරීමට සිදුවන කණ්ඩායම් ගැන විශේෂ අවධානය තිබිය යුතුයි. රෝගීන් රෝහලටත් ඔවුන් සමග සබඳතා ඇති අය නිරෝධායනයටත් යොමු කළ යුතුයි. ප්‍රධාන ප්‍රමුඛතාව වෛරසය සමාජගත වීම වළක්වා ගැනීම”, ජනාධිපති රාජපක්ෂ මැතිතුමා සඳහන් කළේය.

    ත්‍රිවිධ හමුදාවට අයත් සියලු කඳවුරු නිරීක්ෂණය කොට කඩිනමින් වාර්තාවක් සකසන්නැයි එතුමා විශේෂඥ කණ්ඩායමට පැවසීය. නිරෝධායන කාර්යයන්හි නිරත හමුදා නිලධාරීන්ගේ සෞඛ්‍යාරක්ෂාව සැලසීමට ප්‍රමුඛත්වය දිය යුතුය. කඳවුරු ඇතුළත සෞඛ්‍ය පහසුකම් ප්‍රවර්ධනය සඳහා අවශ්‍යතාව මත විශේෂඥ වෛද්‍ය කණ්ඩායම් සහාය කර ගන්නා ලෙස ද එතුමා උපදෙස් දුන්නේය.

    රෝගය පාලනය කිරීමේ දී මෙතෙක් අත්කරගත් සාර්ථකත්වය සේම කිසියම් තැනක වරදක් සිදුවී ඇත්නම් එය ද හඳුනාගැනීමේ අවශ්‍යතාව ජනාධිපතිතුමා විසින් අවධාරණය කෙරිණ.

    ජනාධිපති ලේකම් පී.බී. ජයසුන්දර, ජනාධිපති ප්‍රධාන උපදේශක ලලිත් වීරතුංග, හිටපු ගුවන් හමුදාපති, බස්නාහිර පළාත් ආණ්ඩුකාර මාර්ෂල් ඔෆ් ද එයා ෆෝස්, රොෂාන් ගුණතිලක, හිටපු නාවික හමුදාපති අද්මිරාල් (විශ්‍රාමික) ජයන්ත පෙරේරා,  සිවිල් ආරක්‍ෂක දෙපාර්තමේන්තුවේ අධ්‍යක්‍ෂ ජෙනරාල් රියර් අද්මිරාල් (විශ්‍රාමික) ආනන්ද පීරිස්, මේජර් ජෙනරාල් සුමේධ පෙරේරා, විශේෂඥ වෛද්‍ය බන්දුල විජේසිරිවර්ධන, විශේෂඥ වෛද්‍ය වජිර සේනාරත්න යන මහත්වරු සාකච්ඡාවට එක්ව සිටියහ.

    ජනාධිපති මාධ්‍ය අංශය විසින් අද (27) දින නිකුත් කළ නිවේදනයකි.

  • ජනතාවට ශත පහක වැඩක් නැති පරණ පාර්ලිමේන්තුවෙන් කොරෝනා මර්ධනය කරන්න බෑ

    ජනතාවට ශත පහක වැඩක් නැති පරණ පාර්ලිමේන්තුවෙන් කොරෝනා මර්ධනය කරන්න බෑ

    ජනතාවට ශත 05ක වැඩක් නොමැති පැරණි පාර්ලිමේන්තුව රැස් කිරීමෙන් කොරෝනා මර්ධනයට කිසිදු සෙතක් නොවන බව කාර්මික අපනයන, ආයෝජන ප්‍රවර්ධන සංචාරක හා ගුවන්සේවා ඇමති ප්‍රසන්න රණතුංග මහතා අවධාරණය කරයි. පැරණි පාර්ලිමේන්තුව නැවත රැස්වීමෙන් සිදුවෙන්නේ කොරෝනා මර්ධනයට යොදවා ගත හැකි මුදල් අපතේ යාමක් පමණක් බවද ඔහු පෙන්වා දෙයි.

    අද (27) උඩුගම්පල පැවති ජනතා සහන ලබා දීමේ ප්‍රගතිය පිළිබද සාකච්ඡාවකින් අනතුරව මාධ්‍යයට අදහස් පළ කරමින් ඇමති ප්‍රසන්න රණතුංග මහතා මේ බව සදහන් කලේය.

    මෙහිදී වැඩිදුරටත් අදහස් දැක්වූ ඇමතිවරයා මෙසේද කීවේය.

    “ අද එක්සත් ජාතික පක්ෂයයි, ජනතා විමුක්ති පෙරමුණයි , ටී.එන්.ඒ එකයි රට තුළ නැති අර්බුධ හදනවා. මහ මැතිවරණයට මැතිවරණ කොමසාරිස්වරයා දින නියම කරපු එක වැරදි, පාර්ලිමේන්තුව කැදවන්න කියලා තමයි සුමන්දිරන් මහත්තයලා කියන්නේ.

    තිබුණු පාර්ලිමේන්තුවෙන් මේ රටට ශත පහක වැඩක් වුනේ නැ. මහ බැංකු හොරකම, පාස්කු ප්‍රහාරය, රණවිරුවෝ හිරේ දැමීම, ස්වාමීන් වහන්සේලා හිරේ දාපු එක මේවා තමයි තිබුණ පාර්ලිමේන්තුවේ ප්‍රතිඵල. ඔය ප්‍රතිඵල රටට දීලා රටේ ජාතික ආරක්ෂාව බිද වට්ටපු, සෞඛ්‍ය , ආරක්ෂක අංශවල කොදු නාරටිය බිදපු ඒ පාර්ලිමේන්තුව නැවත රැස් කරලා මේ කොරෝනා මර්ධන වැඩ පිළිවෙලට ඇති වෙන වාසිය මොකක්ද? ශත 05ක වැඩක් වෙන්නේ නෑ. මේ අය කියන්නේ අපි මුදල් වෙන් කරලා දෙන්නම් කියලනේ. කලින් පරිපූරණේ දාපු වෙලාවේ මෙ අය  එතනට සපෝට් කලාද, නෑනේ.ඉතිං කොහොමද මේ ගොල්ලන්ව විශ්වාස කරන්නේ.

    පරණ පාර්ලිමේන්තුව රැස්වුනාම මේ අයට පුලුවන් ආයෙත් නිල නිවාස වල දිගටම ඉන්න. මන්ත්‍රී විශ්‍රාම වැටුප හදාගන්න. මන්ත්‍රී වරප්‍රසාද පාවිච්චි කරන්න. ඒකට තමයි මේ හොරගල් අහුලන්නේ. ඒවාට මුදල් වෙන් කරනවාට වඩා හොදයිනේ කොරෝනා මර්ධනයට අපි ඒ සල්ලි වෙන් කරන එක.

    කොරෝනා වසංගතය පාලනය කරලා මැතිවරණයකට යාම ගැන මේ රටේ ජනතාව විරුද්ධ නෑ. හැබැයි මතිවරණ කල් දමාපු මැතිවරණ මතක් කරපුවාම තමන් ඇදන් ඉන්න ඇදුම පවා කැත කරගන්න තරමට එ.ජා.පයයි, ජ.වි.පෙයි, ‍ටී.එන්.ඒ එකයි මැතිවරණවලට බයයි. මොකුත් නෙමේ පරාද වෙන බව දන්න නිසා. රටේ නැති ව්‍යවස්ථා අර්බුධයක් පෙන්නලා මැතිවරණ කල් දාගන්න මේ නඩය දගලන්නේ වෙන මොකුත් නිසා  නෙමෙයි ජනතාව ඉදිරියට යන්න තියෙන බය නිසා.

    දැන් අපි කොරෝනා වසංගතය පාලනය කරන්න හැකි උපරිමයෙන්ම කටයුතු කරනවා. කොරෝනා වසංගතය පාලනය කරලා මැතිවරණයට මුහුණ දෙන්න අපි ලෑස්තියි. එතනදී අපි උපදෙස් ගන්නේ මේ මැතිවරණ වලට බයේ හැංගෙන UNP, JVP, TNA නඩයෙන් නෙමෙයි. සෞඛ්‍ය අංශ, ආරක්ෂක අංශ වල විශේෂඥයින්ගෙන්. ඒ අයගේ එකගතාවය තියෙනවනම් අපි මැතිවරණය තියනවා. ජනතාවට අවශ්‍ය ආණ්ඩුවක් බලයට පත් කරගන්න ඉඩ දෙනවා. ජනතාව එවිට නිවැරදි තීන්දුව ගනිවි. ඒක ස්ථීරයි.   ”

  • Covid-19: තවත් අසාදිතයින් 34ක් – ලංකාවේ මුළු ආසාදිතයින් සංඛ්‍යාව 557 දක්වා ඉහළට

    Covid-19: තවත් අසාදිතයින් 34ක් – ලංකාවේ මුළු ආසාදිතයින් සංඛ්‍යාව 557 දක්වා ඉහළට

    ශ්‍රී ලංකාවේ කොවිඩ්-19 ආසාදිතයින් සංඛ්‍යාව අද (27) දින ප.ව 15.04 වන විට 557 දක්වා වර්ධනය වූ බව සෞඛ්‍ය ප්‍රවර්ධන කාර්යංශයේ නිල වෙබ් අඩවියේ සදහන් වෙනවා. ඒ අද දිනය තුළ නව ආසාදිතයින් 34 දෙනකු වාර්තා වීම සමගයි.

  • චක්‍රෙල්ඛ නිකුත්කළ නමුත්, බැංකු ජනතාවට තවමත් ඒ සහන ලබාදී නැහැ –  රවි කරුණානායක

    චක්‍රෙල්ඛ නිකුත්කළ නමුත්, බැංකු ජනතාවට තවමත් ඒ සහන ලබාදී නැහැ – රවි කරුණානායක

    හිටපු මුදල් අමාත්‍ය, එක්සත් ජාතික පක්ෂ උප නායක රවී කරුණානායක මහතා අද (27) කොවිඩ්-19 වසංගතය සහ දේශපාලන හා ආර්ථික කරුණු පිළිබදව මාධ්‍ය හමුවේ කරුණු පැහැදිළි කරමින් මාධ්‍ය හමුවක් පැවැත් වූවා. එහිදී රවි කරුණානායක මහතා දැක්වූ සම්පූර්ණ අදහස් පහත පළ වෙනවා.

    “රටේ නොයෙක් චක්‍රෙල්ඛ නිකුත් කර ඇති නමුත්, තවමත් බැංකු ක්ෂේත්‍රය තුළින් ජනතාවට ඒ සහන ලබාදී නැහැ. මේ වකවානුවේදී ජනතාවගේ අඩුපාඩුවක් නිසා නොවෙයි, මූල්‍යමය දුෂ්කරතා ඇතිවී තිබෙන්නේ. ඒ නිසා අහිංසක ජනතාවට බැංකු පද්ධතිය මෙන්ම ලීසිං සමාගම් වැනි ආයතන  තුළින් එල්ලවන පීඩාවන්ගෙන් ඔවුන් මුදා ගැනීමයි රජයක් වශයෙන් කළ යුත්තේ. 

    කොරෝනා යුද්ධයෙන් දිනලා, ආර්ථික යුද්ධයෙන් පරාජය වුණොත් අපට මොකද වෙන්නේ. ඒකත් හරියට කොරෝනා හැදුනා වාගෙ වෙනවා නේද. අන්න ඒ නිසා, මොන යුද්ධය දිණූවත්, ආර්ථික යුද්ධය දිනන්නත් අපි  කටයුතු කළ යුතුමයි.

    වෛරසය නැති කරන ගමන්ම අපි අපේ රටේ ආර්ථිකය ජය ගතයුතුයි. මේ වනවිට වැටී තිබෙන මේ රටේ ආර්ථිකය, නැවතත් රටක් වශයෙන් ‍නගා සිටුවීමට අපි සියලු දෙනාම එකාමෙන් එක් වියයුතුයි. මේ වනවිට යම් පිරිස් වලට රු. 5000ක දීමනාවක් ලැබිලා තිබෙනවා.  ඒ ආකාරයේ ජනතාවට සුබසාධනය සැලසිය යුතුයි. නමුත් ඒ රු. 5000 ක දීමනාව ලබාදීමෙන්ම පමණක් සියල්ල  අවසන් කළයුතු නැහැ.

    තවත් කළයුතු වැඩපිළිවෙල රාශියක් තිබෙනවා. ආර්ථිකය ජයගත හැකි වැඩපිළිවෙලක් ඇතිකළ යුතුමයි. රටක් වශයෙන් අපට නැතිවූ සල්ලි නැවතත් ආර්ථිකයට ගෙන ආ හැක්කේ කොහෙමද, දෛනික ජන ජීවිතයට මුදල් සොයාගත හැක්කේ කෙසේද යන්න අපි විමසා බැලිය යුතුයි.”  යැයි හිටපු මුදල් අමාත්‍ය,එක්සත් ජාතික පක්ෂ උප නායක  රවී කරුණානායක මහතා අවධාරණය කරයි.

    ඒ මහතා මෙම අදහස් පළකළේ, ඊයේ (26) දා පැවති මාධ්‍ය හමුවකට සහභාගි වෙමිනි. මෙහිදී වැඩිදුරටත් මාධ්‍ය හමුවේ කරුණු පැහැදිළි කළ රවී කරුණානායක මහතා….

    “දැන් එළඹිලා තියෙන්නේ කතා කරන අවස්ථාවක් නොවෙයි, මේ බයංකාර තත්ත්වයෙන් ගොඩ ඒම සදහා සැවොම එකාමෙන් එක්වී වැඩකළ යුතු අවස්ථාවක්. පසුගිය සමයේ  ආරක්ෂාවෙලා තිබුණ කොළඹ වැනි ප්‍රදේශ වලත් මේ වනවිට මේ වෛරසය ව්‍යාප්ත වෙලා තිබෙනවා. ජනතාවගේ අදූරදර්ශී ක්‍රියා හේතුවෙන් තමයි මේ ආකාරයට මේ වෛරසය ව්‍යාප්ත වෙන්න පටන් ගත්තේ.

    අද අපිට සටන් කරන්න වෙලා තිබෙන්නේ, පෙනෙන සතුරෙක් සමග නොවෙයි. නොපෙනෙන සතුරෙක් සමගයි. ඒක වඩාත් භයානකයි. වයසක්, පාටක් නොමැතිව මේ සතුරා සටන් වදින නිසා අපි වඩාත් කලපනාකාරීව කටයුතු කළ යුතුයි. කොරෝනා වෛරසය පරීක්ෂා කිරීමට ජංගම ස්ථාන ඇති කළ යුතුයි. ඒආකාරයෙන් මෙම වෛරසය මැඩපැවැත්වීඹට කටයුතු කළ යුතුයි.  ප්‍රථමයෙන්ම අපේ සෞඛ්‍ය සේවය, පොලිසිය සහ ත්‍රිවිධ හමුදාව ආරක්ෂා කළ යුතුයි. ඉන් අනතුරුව සියලු ජනතාව ආර්කෂා කළ යුතුයි. අපට අවශ්‍ය වන්නේ මේ වෛරසය අඩු කිරීම නොවෙයි, නැති කිරීමයි.

    පාර්ලිමේන්තුව කැදවීම හෝ ඡන්ද තැබීම නොවෙයි මේ අවස්ථාවේ අවශ්‍ය වන්නේ. රට වෙනුවෙන් සාර්ථක ක්‍රියාමාර්ග ගැනීමයි අත්‍යාවශ්‍ය වෙන්නේ. පාර්ලිමේන්තුවක් අවශ්‍ය නැහැ කියන්නේ බාරකාර ආණ්ඩුවකුත් අවශ්‍ය නැහැ කියන එකයි. පාර්ලිමේන්තුව නීත්‍යානුකූල නැතිනම්, බාරකාර ආණ්ඩුවත් නෛතික භාවයෙන් තොරයි කියන නීතිමය තත්ත්වයක් නේද උදා වෙන්නේ.

    දුරකතන සේවා ආයතන වලට අපි ස්තූතිවන්ත වෙනවා සම්බන්ධතා විසන්ධි නොකර තිබිම සම්බන්ධව. ජනතාවට මේඅවස්ථාවේ බිල්පත් ගෙවීමේ දුෂ්කරතා තිබෙනවා මේ පවතින වාතාවරණය හමුවේ. ඒ  නිසා අහිංසක ජනතාවට මෙම පීඩාකාරී කාලසීම තුළ දුරකතන සබදතා විසන්ධි නොකරන ලෙස අපි කළඉල්ලීමට යහපත් ප්‍රතිචාර දක්වනු ඇතැයි අපි බලාපොරොත්තු වෙනවා. ජනතාව ආරක්ෂා කිරීම තමයි අපේ පරම යුතුකම . ඒ තුළින් අපි රට ආරක්ෂා කළ යුතුයි.

    කොකාගේ සුද පෙනෙන්නේ ඉගිලෙන කොටලු. ඒ වගේම මේ අවස්ථාවේ අපට පැහැදිළිව දැකගත හැකියි නියම එක්සත් ජාතික පාක්ෂිකයින් කවුද , ඩීල්කාරින් කවුද කියන එක. එදා අපේ නායකයින් විසින් ඉතාමත් අසිරුවෙන් ගොඩනගාගෙන මෙතෙක් කලක් රැකගෙන ආව එක්සත් ජාතික පක්ෂය, ඉදිරියටත් ඒ ආකාරයෙන්ම ආරක්ෂා කිරීම අපේ යුතුකමයි” යැයි පැවසීය.

  • ‘කිම් උන්ට අසාධ්‍ය බවට’ පළ වූ මාධ්‍ය වාර්තා දකුණු කොරියාව ප්‍රතිෂේප කරයි

    ‘කිම් උන්ට අසාධ්‍ය බවට’ පළ වූ මාධ්‍ය වාර්තා දකුණු කොරියාව ප්‍රතිෂේප කරයි

    උතුරු කොරියාවේ නායක කිම් ජොන් උන් අසනීප විය හැකි බවට වාර්තා පළවීමත් සමඟ දකුණු කොරියාවේ නිලධාරීන් පරිස්සම් සහගතව ඉල්ලා සිටින්නේ උතුරේ දේශ සීමාව හරහා අසාමාන්‍ය සිදුවීම් සිදු වී නොමැති බව අවධාරණය කරමිනි.

    ඊයේ (ඉරිදා) පැවති සංවෘත සංසදයකදී, උතුර සමඟ කටයුතු අධීක්ෂණය කරන දකුණු කොරියාවේ එක්සත් ඇමති කිම් යෙොන්-චුල්  South Korea’s Unification Minister Kim Yeon-chul කියා සිටියේ ‘අසාමාන්‍ය දෙයක් සිදු නොවන බවට විශ්වාසයෙන් යුතුව පැවසීමට‘ සිය රජයට බුද්ධි අංශ ඇති බවයි.

    දකුණු කොරියාවේ මාධ්‍ය පසුගිය සතියේ වාර්තා කළේ කිම් හෘද සැත්කම්වලට භාජනය වී හෝ කොවිඩ්-19 වෛරසයට නිරාවරණය වීම වළක්වා ගැනීම සඳහා හුදෙකලා වී ඇති බවයි.

    උතුරු කොරියානු නායක කිම් ජොන් උන් වොන්සන්-කල්මා වෙරළබඩ සංචාරක ප්‍රදේශයේ ඉදිකිරීම් භූමියේදී – අප්‍රේල් 5 වන දින රාජ්‍ය ප්‍රවෘත්ති ඒජන්සිය විසින් නිකුත් කරන ලද ඡායාරූපයකි

    කෙසේ වෙතත්, කිම් නැවතී සිටින බව දකුණු කොරියාවේ ඇතැම් මාධ්‍ය වාර්තා පවසන ප්‍රදේශයක් වන වොන්සාන් Wonsan හි සංචාරක නිකේතනයක් ඉදිකරන කම්කරුවන්ට ඔහු කෘතඥතාවයේ පණිවිඩයක් යවා ඇති බවට ඔවුන් වාර්තා පළ කළහ.

    “අපගේ රජයේ ස්ථාවරය ස්ථීරයි,” දකුණු කොරියාවේ ජනාධිපති විදේශ ප්‍රතිපත්ති උපදේශක මූන් ජේ-ඉන්, එක්සත් ජනපදයේ ප්‍රවෘත්ති ආයතන වෙත අදහස් දක්වමින් පැවසීය.

    “කිම් ජොන් උන් ජීවතුන් අතර හොඳින් සිටී. ඔහු අප්‍රේල් 13 සිට වොන්සන් ප්‍රදේශයේ නැවතී සිටී. සැක සහිත කිසිවක් මෙතෙක් අනාවරණය වී නොමැත.”

    පුද්ගලික දුම්රිය

    Satellite images show what may be the train belonging to the leader of North Korea, Kim Jong Un.

    වොෂිංටන්හි උතුරු කොරියාවේ අධීක්ෂණ ව්‍යාපෘතියක් වන ‘නෝර්ත් 38‘ (38 North, a Washington-based North Korea monitoring project)ට අනුව, පසුගිය සතියේ චන්ද්‍රිකා ඡායාරූප මගින් වොන්සාන් හි විශේෂ දුම්රියක් පෙන්විය හැකි විය. එය බොහෝ විට උතුරු කොරියානු නායකයාගේ  පුද්ගලික දුම්රිය බව කණ්ඩායම පැවසුවද, රොයිටර් පුවත් ඒජන්සියට එය ස්වාධීනව හෝ ඔහු වොන්සන් හි සිටියේද යන්න තහවුරු කිරීමට නොහැකි වී තිබේ.

    කිම් වොන්සාන් හි සිටින බවට පළ වූ වාර්තා ගැන විමසූ විට එක්සත් අමාත්‍යංශයේ ප්‍රකාශිකාවක් පැවසුවේ තහවුරු කිරීමට කිසිවක් නොමැති බවයි‘

    මෙම තත්වය පිළිබඳව අත්දැකීම් බහුල විශේෂඥයින් තිදෙනකුට අනුව පසුගිය සතියේ චීනය වෛද්‍ය විශේෂඥයින් ඇතුළු කණ්ඩායමක් උතුරු කොරියාවට පිටත් කර හැරියේය.

    කිම්ගේ සෞඛ්‍යය සම්බන්ධයෙන් චීන කණ්ඩායම කළ සංඥාව කුමක්දැයි වහාම නිශ්චය කිරීමට රොයිටර්ස්ට නොහැකි විය. මීට පෙර කිම් රාජ්‍ය මාධ්‍ය ආවරණයෙන් අතුරුදහන් වී ඇති බවත්, උතුරු කොරියාවේ නිවැරදි තොරතුරු රැස් කිරීම දුෂ්කර බවත් විශේෂඥයින් අනතුරු අඟවා තිබේ.

    උතුරු කොරියාවේ රාජ්‍ය මාධ්‍ය අවසන් වරට සිය නායකයා ගැන වාර්තා කළේ පසුගිය අප්‍රේල් 11 වන දින රැස්වීමක ඔහු මුලසුන හොබවමින් සිටින අවස්ථාවයි.

    2020 අප්‍රේල් 27 දින අල් ජසීරා වාර්තාවක් ඇසුරින් සකස් කළේ තුෂාධවි

  • නාගරික කෘෂිකර්මය ගැන යළි සිතා බලන්න ‘සුදුසුම කාලය’ උදා වෙලා

    නාගරික කෘෂිකර්මය ගැන යළි සිතා බලන්න ‘සුදුසුම කාලය’ උදා වෙලා

    ශ්‍රී ලංකාව කෘෂිකාර්මික රටක් බවත්, කෘෂි ආර්ථික රටාවක් ඔස්සේ රට සංවර්ධනය සිදුකලයුතු බවත්, සෑහෙන කාලයක සිට අප අතර ගැවසෙන කතාබහක් බවට විවාදයක් නැත. පෙර රජ දරුවන්ගේ ක්‍රියා කලාපයන්ද මෙම මතවාදය සාධාරණය කිරීම උදෙසා ඉදිරිපත් කෙරෙනු දකින්නට තිබේ.

    කෙසේ වෙතත් ගොවිතැනට ඇති උනන්දුව සමාජය තුලින් ප්‍රකටව පිළිබිඹු වන්නේ, ආහාරය නොපමාව හා නොඅඩුව ලබාගැනීමේ අපහසුතාවයක් අප හමුවේ ගොඩනැගෙන්නේ නම් පමණක් වීමද අවාසනාවකි. වර්තමාන වසංගත තත්වය හමුවේද උදාවී ඇත්තේ මෙවැනි පරිසරයක්ය.

    ලාභයට පහසුවට ලෝකයේ කුමන හෝ තැනකින් හෝ මිලදී ගන්නා ආහාරයක්, දින දෙක තුනක් ඇතුලත තමාගේ මුළුතැන්ගෙය වෙත ගෙන්වා ගැනීමේ කාර්යක්‍ෂම සන්නිවේදනයකින් හා ප්‍රවාහන යාන්ත්‍රණයකින් සන්නද්ධව ආඩම්බරයෙන් සිටි මිනිසා, වසංගත කුනාටුව පැමිණ මාස දෙකක් ගතවෙත්දී, රට රටවල් සමග නොව, අල්ලපු ගම සමග පවා තිබුණු සබඳතා බිඳීගොස් තැන තැන හුදකලා වී සිටී.

    ගම්බදව වෙසෙනා අයට තම ආහාර වේල කළමනාකරණය කරගැන්මට කිසියම් විකල්ප සම්පතක් සොයාගැනීමට තිබුනත්, නාගරිකයින් බහුතරය නම් සිටින්නේ අසරණ තත්වයකයි. සැලකිය යුතු නාගරික ජනතාවක් තවමත් රැකියාවට නොයා ගෙදර සිටින නිසා, ඔවුනට ගොවිතැනේ මංපෙත් කියාදීමට මේ හොඳම අවස්ථාවකි.

    අපට නාගරික කෘෂිකර්මාන්තයක් අවශ්‍ය වන්නේ ඇයි?

    අපට නාගරික කෘෂිකර්මාන්තයක් අවශ්‍ය වන්නේ ඇයි? අධ්‍යාපන අවශ්‍යතා, රැකියා, සෞඛ්‍යය ගැටළු ආදී හේතු මුල්කරගනිමින් සැලකිය යුතු ජනතාවක් නිරන්තරයෙන් ස්ථිර පදිංචිය සඳහා තම ගම්බිම් අතහැර නගරයට සංක්‍රමණය වෙමින් සිටී.

    2025 වනවිට නාගරික ජනගහනය මිලියන 10 කට ආසන්න වනු ඇතැයි ගණන් බලා ඇත. එනම් රටේ ජනගහනයෙන් භාගයකට ආසන්න ගණනක් නගරවලය. මේ හරහා ආහාර ඉල්ලුමද ඉහල යන අතර, නගරයේ නිෂ්පාදනයක් නොකර පිටතින් සැපයුම කෙරෙන නිසා ඒවාහි මිලද අධිකය.

    නාගරිකයා වැඩි මිලකුත් ගෙවා මිලදී ගන්නා මෙම එළවලු පලතුරු ආදිය දින ගණනාවකට එපිටදී ගසෙන් කඩාගත් දෑ බැවින් ඒවා නැවුම් ඒවාද නොවේ. ප්‍රවාහනයේදී තැලී පොඩිවී ඇත. බෝගය නිපදවීමේදී හා කල් තබාගැනීම උදෙසා කුමන රසායනිකයන් යොදා ඇතිදැයි දන්නේත් නැත. මේ පෞද්ගලිකව පාරිභෝගිකයා මුහුණ දෙන තත්වයයි. සමස්ත පරිසරයට සිදුවෙන පාඩුවක්ද තිබේ.

    ප්‍රවාහනය බහුල බැවින් රථවාහන වැඩිවීමත්, අනෙක් රථවාහන වලට ඇති නිදහස සීමාවී තදබදය නිර්මාණය වීමත් නිසා, වායු දූෂණය ඉහල යයි. මීට අමතරව ගොවියා නිපදවන බෝග අස්වැන්න නගරයට එන විට සැලකිය යුතු ප්‍රමාණයක් භාවිතයට නුසුදුසු තත්වයට පත්වී අපතේ යයි. මේ අතර වගාබිම් බවට පත්කරගත හැකි, නාගරික හිස් ඉඩම් බොහෝවිට භාවිතා වෙන්නේ කර්මාන්තශාලා වලින් බැහැරකරන අපද්‍රව්‍ය මුදාහැරීමටය. ඒ හරහාද නාගරික පරිසරයට සිදුවන්නේ අවැඩක්මය.

    අප නාගරික ගොවිතැනකට යොමු කරන්නේ කවුරුන්වද ?

    අප නාගරික ගොවිතැනකට යොමු කරන්නේ කවුරුන්වද ? පළමුවෙන්ම කිව යුත්තේ මෙය රැකියාවකුත් තිබෙන විශාල නාගරික පිරිසක් වෙනුවෙන් සලසා දිය යුතු අර්ධකාලීන ආහාර නිෂ්පාදන වැඩසටහනක් බවයි. කාන්තාව රැකියාවට නොයන්නේ නම් ඇයට වැඩිපුර දායකත්වයක් සැපයිය හැකිය.

    ගෙවත්ත යනු හැමවිටම තම වාසස්ථානයෙන් පීටත එළිමහනේ තිරස්ව විහිදී ඇති දෙයක් නොව, මහල් නිවාසයක තට්ටු කීපයක් පසුකර ගියවිට හමුවෙන ඉහල මහලකදී වුවද තිබිය හැකි පවුලේ ආහාර නිෂ්පාදන ඒකකයක් බව නාගරිකයා තේරුම්ගත යුතුය. එසේනම් එතැන ගෙවත්ත බොහෝවිට අවකාශය පුරා පැතිරෙන්නේ තිරස්ව නොව වැඩිපුරම සිරස්වය. වගාව කෙරෙන්නේ බඳුන් තුලය. ඒ සඳහාද අතිරේක පිරිවැයක් නාගරිකයාට වැයකළ යුතු නොවේ.

    පැල සිටුවන බඳුන් ලෙස භාවිතාකල හැකි බඳුන් ඕනෑතරම් නාගරික පරිසරයන් වෙතින් සොයාගත හැකිවේ. ලීටර් දෙකේ හෝ ඒ ආසන්න විශාලත්වයකින් යුත් බීම බෝතල්, ප්ලාස්ටික් කෑන්, පැරණි ටයරයක් දෙකට කපා සාදාගන්නා බෝට්ටු හැඩ අර්ධයන් යනාදී ඕනෑම දෙයක් පැල සිටුවීමට භාවිතා කල හැකි බඳුනකි. අවශ්‍ය වන්නේ නිර්මාණශීලිත්වය හා උනන්දුවයි. මේවා තැබීමට සුදුසු ස්ථානද නාගරික මහල් නිවාසයක වුවද විරල නැත.

    හිරුඑලිය වැටෙන පිටත බිත්තියක් ඔස්සේ ලී දඬු වැනි දෙයකින් සාදාගන්නා ලද ආධාරකයක් මත, තබන බඳුන් වලින් බිත්තියට ලබා දෙන්නේද අතිරේක අලංකාරයකි. ස්ථාන තෝරාගැනීම සහ පැල සහිත බඳුන් සුදුසු තැන්වල ස්ථානගත කිරීම සඳහා ළමයින්ගේ දායකත්වයද ඉතා වැදගත්ය. කොන්ක්‍රීට් වහල ඇති ස්ථානයන්හි ඒ මත වුවද බඳුන් තබා ගෙවත්තක් නිර්මාණය කල හැකිවේ. දරුවන් සතු නිර්මාණශීලිත්වයට මේ අනුව  පිළිගැනීමක් ලැබෙන අතර, යම් පැල සංඛ්‍යාවක් ඔවුන්ටම පවරාදීමෙන්, ගොවිතැන නුපුරුදු ඔවුනට ඒ හරහා කෘෂිකාර්මික ප්‍රවේශයක්ද ලැබෙනු ඇත.

     ‘උඩුමහලේ ගෙවත්ත’

     ‘උඩුමහලේ ගෙවත්ත’ මේ ආකාරයට අතේ දුරින් පැවතීමේ ප්‍රධාන වාසිය වන්නේ, නිවැසියා කෙතරම් කාර්ය බහුල වුවත් ගොවිතැන් කටයුතු සඳහාද යම් කාලයක් මිඩංගු කිරීමට ඔහුට ඇති හැකියාවයි. පාසල් ඇරඹුණු පසු, ටියුෂන් පන්තියද හමාරකර ඇඳිරි වැටෙද්දී ගෙට ගොඩවෙන දරුවන්ද, ඇතැම්විට ඊටත් ප්‍රමාදවී පැමිණෙන වැඩිහිටියන්ද, නිවසෙන් බැහැර ඇති ගෙවත්තට ගොස් එයට අවශ්‍ය දෛනික සාත්තුවක් කරතැයි අපට බලාපොරොත්තු විය නොහැකිය. කාර්ය බහුලත්වය හමුවේ බොහෝවිට ගෙවත්ත අමතක වන්නේ මෙලෙසය. එසේ නමුත් තමාගේ නිවාස තුලම තිබෙන පවුලේ ආහාර නිෂ්පාදනය ඒකකය නොහොත් ‘සිරස් ගෙවත්ත’ එලෙස අතපසු නොවේ.

    නාගරික කෘෂිකර්මාන්තය වෙනුවෙන් කෙරෙන මෙම පවුලේ මැදිහත්වීම හැරුනුකොට රාජ්‍ය අංශය විසින් කලයුතු දිරිදීම්ද තිබේ. පළමු ලෝක යුද සමයේදී ඇතිවූ ආහාර අහේනිය මගහරවන්නට රජය විසින් ඇමරිකානුවන්ට උපදෙස් දුන්නේ තමාගේ ගෙවත්ත පමණක් නොව, අතට හසුවෙන හැම බිම් අඟලක්ම වගා කරන්නටයි. රජය සතු පොදු හිස් ඉඩම් ඇත්නම් ඒවා වුවද වවන්නට තහනමක් වූයේ නැත. අපටද මෙය හොඳ ආදර්ශයකි.

    මෙරට නාගරික ප්‍රදේශයන්හි ඇති පාසැල්, රෝහල්, කාර්යාල පරිශ්‍ර යනාදී තැන්වල හිස් ඉඩම් කොපමණ තිබෙනවාද? පිටස්තරයින් එම ස්ථානයන්ට කැන්දා පාත්ති කීපය බැගින් බෙදා දීම අදාළ ආයතනයට අනාරක්ෂිත යයි සිතෙන්නේ නම්, ආයතනයේ සේවකයින්ටම කොටස් වශයෙන් බෙදා දිය හැකිය. ඒවා වගා කර ලබනා අස්වැන්නද ඔවුන්ටමය. ඇඟට නොදැනෙන්න ඉතා සුළු බදු මුදලක් අයකෙරුවාත් කමක් නැත. ඒ ගැන ආයතන පාලකයින් තන්හාවක් සිතට ගතයුතු නොවේ. දිරිගැන්වීම ලබාදිය යුත්තේ එලෙසිනි.

    අමකර රැකියාත් ලබා දිය හැකියි

    යම් පුද්ගලයෙක් තමාගේ පාත්තිය නිසි නිෂ්පාදනයක් උදෙසා මෙහෙයවන්නේ නැතිනම් ඊළඟ වගා කන්නයේදී එය වෙනත් සේවකයෙකුට පැවරිය හැකිවේ. ඇතැම් දියුණු රටවල පවා නාගරික කෘෂිකර්මාන්තය අදටත් ක්‍රියාත්මක වන්නේ ඒ ආකාරයෙනි. කාර්යාල සේවකයින් එවිට රාජකාරි වේලාවෙන් පසු ගොවිතැනට යොමුවී තවත් පැයක් පමණ කාලයක් තමාට අයත් පාත්තිවල වැඩ කර ගෙදර යනු ඇත.

    අස්වැන්න වැඩිපුර ලැබෙන්නේ නම් අලෙවි කිරීමෙන් අතිරේක ආදායමක් උපයනු ඇත. කෙසේ හෝ අවසන් ප්‍රතිපලය වන්නේ නාගරික ආහාර නිෂ්පාදනය ඉහල යාමයි. ඒවා කිසි විටෙකත් අපතේ යන්නේ නැත. කාගේ හෝ කුස පිරවීමට යෙදෙන නිසා ගමෙන් නගරයට එන එළවලු ලොරි ගණන නම් අඩුවේ. මහාමාර්ග දෙපස වුවද ඉඩ ඇති තැන්වල වගාකරන්නට ඒ අසල පදිංචිකරුවන්ට අවසර දෙන්නේ නම්, මාර්ගය දෙපස තණකොළ කපමින් සතියකට වරක් වැඩකරන පලාත්පාලන ආයතනයන්හි කම්කරුවන් අවශ්‍ය නොවන බව පෙනේවි.

    ඇමරිකාවේ බොස්ටන් හි පිහිටි Fenway උයන දෙවන ලෝක යුද සමයේදී මෙලෙස බිහිවී අදටත් ක්‍රියාත්මකවෙන වගා බිමක් වුවත්, මේ වනවිට එහි වැඩිපුර වවන්නේ මල් ප්‍රභේදයන්ය. නමුත් මිනසෝටා හි පිහිටන Dowling මහජන උයන අදටත් එළවලු බෝග වගාකරමින් මහජනතාව වෙනුවෙන් පැය 24 පුරාම විවෘතව තැබේ. විවිධ ජන වර්ගයන්ට අයත් 250 කට වැඩි ප්‍රදේශවාසී වගාකරුවන් පිරිසක්, මෙහි බිම්කට්ටි 190 ක් පුරා ප්‍රදර්ශක ගෙවතු වවන්නේ නරඹන්නන් හට ගෙවතු වගාවේ සුන්දරත්වය රිසි සේ විඳ ගන්නටය.

    නාගරික ගෙවත්තේ නිපදවෙන එළවළු සැමවිටම නැවුම්

    නාගරික ගෙවත්තේ නිපදවෙන එළවලු නෙලා ගන්නේ එදිනෙදා පාරිභෝජනයට අවැසි ප්‍රමාණය පමණක් නිසා ඒවා සෑමවිටම නැවුම්ය. එම නිෂ්පාදනය 100% ක්ම කාබනික ආහාර වශයෙන් නිපදවා ගත හැකිවේ. කුමන සහතිකය සහිතව වෙළඳපොලෙන් කාබනික එළවලු යනුවෙන් යමක් මිලදී ගත්තත්, තමා නිපදවූ ආහාරයට දෙන විශ්වාසවන්තභාවයේ සහතිකය ඒවාට කිසිදා දිය නොහැක. තට්ටු නිවාසයක පිහිටුවන ලද බඳුන් ගෙවත්තකින් සම්පත් අරපිරිමැස්මද උපරිම ලෙස සිදුවේ. ළඟපාතක වගාව තිබෙන නිසා නිවසේ කටයුතු වලදී ඉවත්කෙරෙන ජලය පවා මෙම වගාවේ ජල අවශ්‍යතාවයට යෙදිය හැකි බව පෙනේවි. එසේම ගස් වලින් වැටෙන වියලි කොළ යොදා තැනෙන කොම්පෝස්ට් මගින් වගාවේ පෝෂණ අවශ්‍යතාවයත් සපුරාදේවි.

    බෝවෙන රෝගයක් මගහැර ගැනීමට සමාජය අනුගමනය කල ක්‍රියාදාමයන් හරහා නාගරිකයා පවා ගොවිතැනට හුරුවෙමින් සිටී. ගමේ වැසියන්ට සාපේක්ෂව, අපත්‍ය ආහාරයන්ට බහුලව නිරාවරණය වන්නේත් මේ නාගරිකයාමය. ගමේ සිට පැමිණියත් එළවලු පලතුරු නගරයට එන්නේ ඒවාහි නියම ස්වභාවයෙන් නොවේ. ආපනශාලා මගින් අලෙවි කරන පිළියෙළ කල ආහාරවලත් රසකාරක ඇතුළු අහිතකර රසායනයන් අධිකය. බෝ නොවෙන රෝග ගණනාවකට මේ ආහාර හේතුවන බව අප මෙතෙක් කලක් සමාජය දැනුවත් කළෙමු. දැන් කියන්නට ඇත්තේ බෝවෙන රෝගයක් නිසා දැන හඳුනාගත් නාගරික ගොවිතැනෙහි දිගටම නියැලෙමින්, යහපත් ආහාර අනුභව කරමින්, බෝ නොවෙන රෝග වලින්ද නිවාරණය ලබාගන්නා ලෙසයි.

    සනත් එම්. බණ්ඩාර   

    Assistant Director of Agriculture National Agriculture Information and Communication Centre Gannoruwa, Peradeniya

  • Body Bags 1000ක් ඉල්ලුම් කළේ ඇයි ? – සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජනරාල් කරුණු පැහැදිලි කරයි

    Body Bags 1000ක් ඉල්ලුම් කළේ ඇයි ? – සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජනරාල් කරුණු පැහැදිලි කරයි

    මෘත ශරීර බහාලන බෑග් (Body Bags) 1000  ජාත්‍යන්තර රතු කුරුස කමිටුවෙන්  (ICRC) ලබාගැනීම සඳහා සෞඛ්‍ය අමාත්‍යාංශය  සිදු කල ඉල්ලීම පිළිබඳව සෞඛ්‍ය සේවා  අධ්‍යක්ෂ ජනරාල්වරයා කරුණු පැහැදිලි කරයි.

    මෘත ශරීර බහාලන බෑග් 1000 ක ප්‍රමාණයක් ජාත්‍යන්තර රතු කුරුස කමිටුවෙන් ඉල්ලා සිටියේ කොවිඩ් -19 ආසාදනයෙන් එතරම් මරණ සංඛ්‍යාවක් සිදුවෙතැයි බලාපොරොත්තුවෙන් නොවන බව සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජනරාල් විශේෂඥ වෛද්‍ය අනිල් ජාසිංහ මහතා අවධාරණය කරයි.

    දැනට ශ්‍රී ලංකාවේ ක්‍රියාත්මක සාර්ථක කොවිඩ් -19 ව්‍යාප්තිය පාලනය කිරීමේ වැඩපිලිවෙල අනුව එබඳු අවාසනාවන්ත තත්වයක් කිසිසේත්ම  ඇතිවිය නොහැකිය. ශ්‍රී  ලංකාවේ, කොවිඩ් -19 නිසා සිදුවන මරණ අනුපාතය ඉතාම අඩුය. රෝගීන් ප්‍රමාණයද අඩුය. මේ දක්වා දිවයිනේ විවිධ ප්‍රදේශවල මතුවූ කොවිඩ් -19 පොකුරු වලින් තවදුරටත් රෝගය ව්‍යාප්ත නොවීමට අවශ්‍ය සාර්ථක ක්‍රියාමාර්ග ගෙන තිබේ.

    එහෙත් මෘත ශරීර බහාලන බෑග් පමණක් නොව සෞඛ්‍ය අමාත්‍යාංශයේ වෛද්‍ය සැපයුම් අංශය  විසින් ඖෂධ වර්ග සහ වෛද්‍ය උපකරණ තොග යම් නිශ්චිත ප්‍රමාණයකින් පවත්වාගෙන යයි. එය තාක්ෂණික  අවශ්‍යතාවකි.

    මේ අතර එම තොග තත්වය අඩු නොවී පවත්වා ගැනීමට අනගි අවස්ථාවක් ජාත්‍යන්තර රතු කුරුස කමිටුවේ  සම්බන්ධීකරණයෙන් අපවෙත ලැබී තිබේ. එම අවස්ථාව ප්‍රයෝජනයට ගැනීම පමණක් මෙහිදී සිදුව තිබේ.

    එසේම කොවිඩ් -19 නිසා සිදුවන මරණවලදී  පමණක් නොව විවිධ විශේෂිත තත්ව  හා ආපදා අවස්ථා වලදී මෘත ශරීර සම්බන්ධ අවසන් කටයුතු කිරීම දක්වාම විශේෂිත  බෑග් වල  බහා තැබීම අලුත් කරුණක් නොවේ. උදාහරණ ලෙස පාස්කු දින ප්‍රහාරයෙන් මියගිය අයගේ දේහද මෙසේ තැන්පත් කර තිබිණි. මෙය ජාත්‍යන්තර වශයෙන් අනුගමනය කරන විශේෂිත ක්‍රමවේදයකි.

    කරුණු මෙසේ වනහෙයින් මෙම සිදුවීමට අදාලව අනවශ්‍ය බියක් ඇතිකරගත යුතු නැතැයි සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජනරාල් විශේෂඥ වෛද්‍ය අනිල් ජාසිංහ මහතා පෙන්වා දෙයි

  • ‘වසංගතය! කොවිඩ් 19 ලොව සසල කරයි’ විශිෂ්ඨ කෘතිය සරල සිංහලෙන්

    ‘වසංගතය! කොවිඩ් 19 ලොව සසල කරයි’ විශිෂ්ඨ කෘතිය සරල සිංහලෙන්

    හේගල් මෙසේ පැවසීය; “අපට ඉතිහාසයෙන් ඉගෙන ගත හැකි එකම දේ වන්නේ අප ඉතිහාසයෙන් කිසිවක්ම ඉගෙන ගන්නේ නැති බවයි.” එහෙයින්, මේ වසංගතය අපව කිසියම් ආකාරයකින් ප්‍රඥාවන්ත කරනු ඇත්දැයි තමන්ට සැක සහිත බව ශිෂෙක් පවසයි.

    ස්ලේවෝයී ශිෂෙක් ලියූ “වසංගතය! කොවිඩ් 19 ලොව සසල කරයි” කෘතියේ අන්තර්ගතය සරල සිංහලෙන් – 01 කොටස

    හැඳින්වීම

    ලෙනින්

    කිසිවක්ම සිදු නොවන දශක තිබේ, දශක සිදු වන සති තිබේ” යැයි ව්ලැඩිමීර් ලෙනින් ප්‍රකාශ කළේ 1905 වසරේ රුසියාව තුළ පැන නැගුණු විප්ලවීය රළ පහර නිරීක්ෂණය කරමිනි; එම ක්‍රියාවලියට සහභාගී වෙමිනි. අර්බුද සමයන්හිදී සිදුවීම් කොතරම් වේගවත් වන්නේද යත් සිදුවීම් විශ්ලේෂණ අබිබවා යයි. මොහොතකට පෙර ඉතාම අලුත් යැයි හැඟුණු විශ්ලේෂණයක් ඉතාම ඉක්මනින් ඉපැරණි සහ අදාළ නොවන එකක් බවට පරිවර්තනය වේ. 

    රුසියාවේ විප්ලවීය වසරවලදී ලෙනින් ලියූ දේ කියවන විට පෙනී යන්නේ සිදුවීම්වල වේගවත් බව පසුපස හඹා ගිය වේගවත් මනසක ක්‍රියාකාරීත්වය කෙබඳුද යන්නයි. 

    ලෙනින් සමග සැසඳිය හැකි තරමේ වේගවත් සහ ක්‍රියාකාරී චින්තකයෙකු අපගේ යුගයේ සිටීද? මේ පැනය සමඟ සිතට එන එකම චින්තකයා ඇතැම්විට සමකාලීන රැඩිකල් දාර්ශනිකයෙකු වන ස්ලේවෝයී ශිෂෙක්ය. ඔහු අපගේ යුගයේ එකදු වැදගත් ඓතිහාසික සිද්ධියකට හෝ සංකල්පගත නොකර යන්නට හරින්නේ නැත. 

    කොරෝනා වසංගතයෙන් අප මෙතෙක් කල් දැන සිටි සාමාන්‍ය තත්ත්වය ප්‍රචණ්ඩ වෙනසකට ලක් වීමත් සමග ශිෂෙක්ගේ වෙහෙස නොහඳුනන වේගවත් මනස සිදුවීම් හඹා යාම ඇරඹීය. යුරෝපයට කොරෝනා වසංගතය ඇතුළු වී දින සියයක් තුළදී ඒ පිළිබඳව ලියැවුණු ඔහුගේ කෘතිය, Pandemic: Covid 19 Shakes the World (2020), ප්‍රකාශයට පත් විය. මෙම කෘතියෙන් ඔහුට හිමි වන කතෘ භාගය “දේශ සීමා නොතකන වෛද්‍යවරු” නමැති සංවිධානයට ප්‍රදානය කෙරෙනු ඇත. 

    පහත පළ වන්නේ දැනට සති තුනකට පමණ පෙර නිකුත් වූ කොරෝනා වසංගතය අළලා ලියැවුණු එම ප්‍රථම න්‍යායික ග්‍රන්ථයේ හැඳින්වීමේ දළ පරිවර්තනයකි. මේ ශිෂෙක්ගේ Pandemic කෘතියේ එක් එක් පරිච්ජේදය බැගින් සරල සිංහලෙන් පැහැදිළි කෙරෙන ලිපි මාලාවක පළමුවැන්නයි.

    ******************************************

    “මාව අල්ලන්න එපා!” 

    මළවුන්ගෙන් නැගී සිටි ජේසුස් ඔහුව හඳුනාගත් මරියා මග්දලේනා හට පැවසූ පළමු වැකිය වූයේ එයයි.

    ශිෂෙක් තම කෘතිය අරඹන්නේ එම වැකිය පුනරුච්ජාරණය කරමිනි. ඉන්පසුව ඔහු විමසන්නේ “ක්‍රිස්තියානි අදේවවාදියෙකු” වන තමන් එම වැකිය වටහා ගන්නේ කෙසේද යන්නයි. එම ප්‍රශ්නයට ඔහුගේ පිළිතුර මෙපරිදිය;

    ‘ජේසුස් සැබවින්ම මරණයෙන් අවදි වූවා යැයි තමන් දැන ගන්නේ කෙසේදැයි ඔහුගේ අනුගාමිකයන් ඔහුගෙන් විමසීය. එයට ජේසුස්ගේ පිළිතුර වූයේ ඔහුව විශ්වාස කරන්නන් අතර ආදරය පවතින්නේ කවර මොහොතකදීද එවිට ඔහු එතැන සිටින බවයි’. ඔහු සිටින්නේ අතින් ඇල්ලිය හැකි පුද්ගලයෙකු ලෙස නොවේ. නමුත්, මිනිසුන් අතර ආදරයේ සහ සහයෝගීතාවයේ බැඳීම ලෙසය.

    ශිෂෙක් පවසන්නේ ජේසුස් මග්දලේනා හට පැවසූ වැකිය ජේසුස් තම අනුගාමිකයන්ට දුන් ඉහත පිළිතුර සමග සම්බන්ධ කොට කියැවිය යුතු බවයි. “මාව අල්ලන්න එපා; ආදරයේ ජීවයෙන් සෙසු මිනිසුන්ව ස්පර්ෂ කරන්න; ඔවුන්ව ඇසුරු කරන්න.”

    අද දිනයේ කොරෝනා වසංගතය මැද සෑම දෙසකින්ම අපට ඇසෙන්නේ අනෙකුන්ව ස්පර්ෂ නොකරන ලෙසටත් හුදෙකලාව සිටින ලෙසටත් කරන ඉල්ලීම්ය; ශාරීරික දුරස්ථභාවය පවත්වා ගන්නට කෙරෙන ඉල්ලීම්ය.

    මෙසේ “මාව ස්පර්ෂ නොකරන්නැයි” පැවසීමේ අර්ථය කුමක්ද? ශිෂෙක් විමසයි. අනෙක් පුද්ගලයාව ස්පර්ෂ කරන්නට දෑත අසමත්ය. අපට එකිනෙකාට සමීප විය හැක්කේ ඇතුළතින්ය. ඇතුළාන්තයට පිවිසෙන කව්ළුව වන්නේ දෙනෙත්ය. මේ දිනවල ඔබට ඔබගේ සමීපතමයෙකු හෝ අමුත්තෙකු වුවත් මුණ ගැසී එකිනෙකා අතර යම් දුරක් පවත්වාගෙන සිටින විට ඔබ අනෙකාගේ දෑස පත්ලට එබී බැලුවහොත් සමීප ළෙන්ගතුකමකටත් වඩා යමක් ඔබට හෙළිදරව් වනු ඇත. 

    දාර්ශනික හේගල්

    මේ කාව්‍යමය සංකල්පීය ඇරඹුමෙන් පසුව ශිෂෙක් ඔහුට සුපුරුදු ලෙස ඔහුගේ ප්‍රියතම දාර්ශනික හේගල්ව උපුටා දක්වයි. ඔහු උපුටා දක්වන්නේ හේගල් තරුණ වියේදී ලියූ සටහනකි. “ආදරණීයයා අපට එරෙහිව නොපවතී; ඔහු සිටින්නේ අපගේ සත්තාව සමගය; අප අපව දකින්නේ ඔහු තුළ පමණකි. නමුත්, යළිදු ඔහු තවදුරටත් අපම වන්නේද නැත. ඔහු අපට වටහාගත නොහැකි ප්‍රහේළිකාවකි; ආශ්චර්යයකි.”

    ඉන්පසුව ශිෂෙක් අවධාරණය කරන්නේ හේගල්ගේ ඉහත කියා පෑම් දෙක (එනම් ආදරණීයයා අප සමගම සිටීය යන්න සහ ඔහු අපට ප්‍රහේළිකාවක් වන්නේය යන්න) එකිනෙකට ප්‍රතිපාක්ෂික වූ දේ ලෙස නොකියවිය යුතු බවයි. එයින් අදහස් වන්නේ ආදරණීයයා පාර්ශ්වීය වශයෙන් අපගේම, මගේම කොටසක් වන අතර පාර්ශවීය වශයෙන් ප්‍රහේළිකාවක් වන්නේය යන්න නොවේ. ආදරයේ ආශ්චර්යය වනුයේම ඔබ මගේ අනන්‍යතාවයේ කොටසක් වන අතරම ඔබ මට වටහාගත නොහැකි ප්‍රහේළිකාවක් ලෙස පැවතීමම නොවන්නේද? එය ඔබ මට පමණක් නොව ඔබටම ප්‍රහේළිකාවක් වීමකි. 

    ඉනික්බිතිව ශිෂෙක් යළිත් තරුණ හේගල්ව උපුටයි:

    “මානව වර්ගයා වනාහී මේ රාත්‍රියයි; මේ හිස්, කිසිවක් නොවීමයි; එතුළ එහි සරලත්වය තුළ සියල්ලම අන්තර්ගත වේ (එනම් ඔහුට අයිති නැති අනවරත නියෝජනයන්, ප්‍රතිරූප සමුදායක්); නොඑසේනම්, මානව වර්ගයා යනු නොපවතින දෙයයි. යමෙකු මානවයන්ගේ දෑස් දෙස බලන විට යමෙකුට මේ රාත්‍රියේ දසුන නෙත ගැටෙනු ඇත.”

    කිසිදු කොරෝනා වෛරසයකට මෙය අපෙන් උදුරා ගත නොහැකිය. ඉදින්, ශාරීරික දුරස්තභාවය අපට අන් අය සමග ඇති ළබැඳියාව ශක්තිමත් කරනු ඇතැයි පවා අපේක්ෂාව කළ හැකිය. මට සමීප වූවන්ගේ පෙනී සිටීම, ඔවුනගේ වැදගත්කම මට පූර්ණ වශයෙන්ම දැනෙන්නේ මට ඔවුන්ව මුණ නොගැසී සිටින්නට සිදුව ඇති මේ මොහොතේය. 

    ඔහු මෙසේ පවසන විට නරුමවාදීන් ඔහුව සිනාවට ලක් කරන අයුරු ඔහුට ඇසේ යැයි ඒ සමගම ශිෂෙක් පවසයි.

    ඔවුන් මෙසේ විමසනු ඇත: “හොඳයි, සමහරවිට අපට ඒ වගේ අධ්‍යාත්මික සමීප භාවයේ මොහොතවල් උදා වෙන්න පුළුවන්; ඒත්, මේ ව්‍යසනය එක්ක හැප්පෙන්න ඒවායින් ඇති වැඩේ මොකද්ද? අපට ඒවායින් ඉගෙන ගන්න දෙයක් තියෙනවද?”                

    හේගල් මෙසේ පැවසීය; “අපට ඉතිහාසයෙන් ඉගෙන ගත හැකි එකම දේ වන්නේ අප ඉතිහාසයෙන් කිසිවක්ම ඉගෙන ගන්නේ නැති බවයි.” එහෙයින්, මේ වසංගතය අපව කිසියම් ආකාරයකින් ප්‍රඥාවන්ත කරනු ඇත්දැයි තමන්ට සැක සහිත බව ශිෂෙක් පවසයි.

    නමුත්, එක් කාරණයක් පැහැදිළිය (ඔහු පවසයි). එනම්, කොරෝනා වෛරසය අපගේ ජීවිතවල පදනම් සලිත කරනු ඇති බවයි; ඒ අති මහත් ප්‍රමාණයක් දුක් වේදනා ජනිත කිරීමෙන් පමණක් නොවේ; 1929 මහා ආර්ථික අවපාතයටද වඩා දරුණු වූ ආර්ථික සංහාරයක් නිර්මාණය කිරීම මගිනි.           

    ශිෂෙක් තම හැඳින්වීම නිමා කරන්නේ පහත සඳහන් වචනවලිනි. ”යළිත් සාමාන්‍ය තත්ත්වය කරා ආපසු යාමක් නොමැත; නව “සාමාන්‍ය තත්ත්වය” තනන්නට සිදු වනු ඇත්තේ අපගේ පැරණි ජීවිතවල නටඹුන් මතිනි. නොඑසේනම්, අප නව ම්ලේච්ජත්වයක් තුළ සිටිනු ඇත. දැනටමත්, එහි සලකුණු පැහැදිළිව පෙනේ

    ස්ලේවෝයී ශිෂෙක්

    ශිෂෙක් තම හැඳින්වීම නිමා කරන්නේ පහත සඳහන් වචනවලිනි. ”යළිත් සාමාන්‍ය තත්ත්වය කරා ආපසු යාමක් නොමැත; නව “සාමාන්‍ය තත්ත්වය” තනන්නට සිදු වනු ඇත්තේ අපගේ පැරණි ජීවිතවල නටඹුන් මතිනි. නොඑසේනම්, අප නව ම්ලේච්ජත්වයක් තුළ සිටිනු ඇත. දැනටමත්, එහි සලකුණු පැහැදිළිව පෙනේ. මේ වසංගතය අවාසනාවන්ත අහඹුවක් ලෙස සැලකීම ප්‍රමාණවත් නොවේ; එහි ප්‍රතිවිපාකවලින් මිදී ඇතැම්විට අපගේ සෞඛ්‍ය සේවයේ යම් යම් වෙනස්කම් සිදු කොට පැරණි ආකාරයෙන්ම දේවල් කිරීමේ සුඛනම්‍ය ක්‍රියාකාරීත්වයට ආපසු යාමට එලෙසින් නොහැක. 

    අප මූලික ප්‍රශ්නය විමසිය යුතුය: “අපට මෙවැන්නක් පිළිබඳව විද්‍යාඥයින් වසර ගණනාවක් මුළුල්ලේ අනතුරු හඟවා තිබියදීත් අප මේ ව්‍යසනයට සූදානමකින් තොරව හසු වූයේ අපගේ ක්‍රමයේ කුමන වරදක් නිසාද?”

    (මෙම කෘතියේ ඉදිරි පරිච්ජේද කොටස් වශයෙන් පළ කෙරෙනු ඇත) 

    සුමිත් චාමින්ද    

  • Covid-19: අදත් නව ආසාදිතයින් 63ක් – මුළු ගණන 523යි

    Covid-19: අදත් නව ආසාදිතයින් 63ක් – මුළු ගණන 523යි

    අද රාත්‍රියේ තවත් කොවිඩ්-19 ආසාදිතයින් 19 දෙනතු වාර්තාවීම සමග ශ්‍රී ලංකාවේ සමස්ත කොවිච්-19 ආසාදිතයින් සංඛ්‍යාව 523 දක්වා ඉහළ ගොස් තිබේ. ඒ අනුව අද (26) දිනය තුළ වාර්තා වූ සමස්ත කොවිච්-19 ආසාදිතයින් සංඛ්‍යාව 63 දෙනෙකි.

    ශ්‍රී ලංකාවේ කොවිඩ්-19 ආසාදනය වූ රෝගීන් 45 දෙනකු අද (26) දිනය තුළ වාර්තා වීම සමග සමස්ත රෝගීන් සංඛ්‍යාව 505 දක්වා වර්ධනය වූ බව සෞඛ්‍ය ප්‍රවර්ධන කාර්යාංශයේ නිල වෙබ් අඩවියේ අද දින ප.ව 22.04ට සිදුකළ යාවත්කාලීන කිරීම්වල සදහන් වේ.

    එහි වැඩි දුරටත් සදහන් වන්නේ දැනට රෝහල්වල විමර්ශනය යටතේ සිටින පුද්ගලයින් සංඛ්‍යාව 273ක් බවත් රෝහල්වල ප්‍රතිකාර ලබමින් සිටින රෝගීන් සංඛ්‍යාව 378ක් බවයි. සුවය ලබා පිටව ගිය පුද්ගලයින් සංඛ්‍යාව 120ක් බව ද එහි වැඩි දුරටත් සදහන් වේ.

  • Covid-19 Hot World: මරණ  203,670යි – ආසාදිතයින් මිලියන 3යි

    Covid-19 Hot World: මරණ 203,670යි – ආසාදිතයින් මිලියන 3යි

    ගෝලීය වශයෙන් Covid-19 ආසාදිත රෝගීන්ගේ සංඛ්‍යාව අද (26) දිනය අවසාන වන විට දක්වා 2,920,660 ඉහළ ගොස් මරණ සංඛ්‍යාව දක්වා 203,670වර්ධනය වූ බව ජෝන්ස් හොප්ස්කින් විශ්වවිද්‍යාලයේ කොරොනා වෛරස් සම්පත් මධ්‍යස්ථානයේ නිල වෙබ් අඩවියේ සදහන් වෙයි.

    එහි දැක්වෙන්නේ ඇමෙරිකා එක්සත් ජනපදයේ ආසාදිතයින් සංඛ්‍යාව 941,628 ක් වන විට මරණ සංඛ්‍යාව 54,024ක් දක්වා ඉහළ ගොස් ඇති බවයි. එම මරණ සංඛ්‍යාෙවන් 17,126ක් නිව්යෝර්ක් නුවරින් වාර්තා වේ.

    ආසාදිතයින් සංඛ්‍යාව 20,000ට වැඩි රටවල්

    223,759 Spain, 195,351 Italy, 161,665 France, 157,026 Germany, 149,569 United Kingdom, 107,773 Turkey, 90,481 Iran, 83,909 China, 80,949 Russia, 59,479 Brazil, 46,134 Belgium, 45,521 Canada, 38,039 Netherlands, 29,061 Switzerland, 26,917 India, 25,331 Peru, 23,864 Portugal, 22,719 Ecuador

    මරණ සංඛ්‍යාව ඉහළම රටවල්

    26,384  Italy, 22,902 Spain, 22,614  France, 20,319  United Kingdom, 7,094  Belgium, 5,880 Germany, 5,710 Iran, 4,512 Hubei China, 4,475 Netherlands, 4,062, Brazil 2,706 Turkey, 2,194 Sweden, 1,607 Switzerland

    ඉන්දියාවේ මරණ සංඛ්‍යාව 826ක් බව ජෝන්ස් හොප්ස්කින් නිල වෙබ් අඩවියේ දැක්වේ.

  • ආගමික වෛරය හෝ ජාතීන් අතර විසංවාදය ඇති කළොත් වැඩ වරදී – DIG අජිත් රෝහණ

    ආගමික වෛරය හෝ ජාතීන් අතර විසංවාදය ඇති කළොත් වැඩ වරදී – DIG අජිත් රෝහණ

    අධි අවධානම් දිස්ත්‍රික්ක සම්බන්ධයෙන් ජනතාවගේ ක්‍රියාකාරකම් කුමන ආකාරයකට සිදුවන්නේද යන, ක්‍රමවේදයක් මැයි මස 4 වෙනිදායින් පසුව හදුන්වා දීමට යෝජිතව ඇතැයි නියෝජ්‍ය පොලිස්පති නිතිඥ අජිත් රෝහණ මහතා මේ බව සදහන් කළේය.

    නියෝජ්‍ය පොලිස්පති නිතිඥ අජිත් රෝහණ මහතා මේ බව සදහන් කළේ කොවිඩ්-19 පැතිරීම වැළැක්වීමේ ජාතික ක්‍රියාන්විත මධ්‍යස්ථානයේ දී අද (26) දින පැවැත්වූ මාධ්‍ය හමුවේදීය. මෙම මාධ්‍ය හමුව සදහා  ආරක්‍ෂක මාණ්ඩලික ප්‍රධානී, යුද්ධ හමුදාධිපති සහ කොවිඩ්-19 පැතිරීම වැළැක්විමේ ජාතික ක්‍රියාන්විත මධ්‍යස්ථානයේ ප්‍රධානී ලුතිනන් ජෙනරාල් ශවේන්ද්‍ර සිල්වා මහතා ද සහභාගී විය.

    එහිදී වැඩි දුරටත් අදහස් දැක්වූ අජිත් රෝහණ මහතා වැඩි දුරටත් මෙසෙද පැවසුවේය,

    දැනට ක්‍රියාත්මක වන ඇදිරි නීතිය හෙට අළුයම 0500 ඉවත්වනු ඇත. එසේ වූවත් කොළඹ, ගම්පහ, කළුතර, සහ පුත්තලම යන දිස්ත්‍රික්ක වල ඇදිරි නීතිය ඒ අයුරින්ම ක්‍රියාත්මක වේ. එම දිස්ත්‍රික්ක තුළ අත්‍යවශ්‍ය සේවා සඳහා වලංගු ඇදිරි නීති බලපත්‍රයක් නොමැතිව ගමන් කළ නොහැක.

    එසේම ඇදිරි නීතිය ලිහිල් කරන ලද ප්‍රදේශවල එනම්, අළුයම 0500 සිට රාත්‍රි 0800 දක්වා කාළය තුළ සෞඛ්‍ය බලධාරීන් විසින් ලබාදී ඇති නිර්නායකයන්ට අනුව සේවක සංඛ්‍යාව, ප්‍රවාහන පහසුකම් සහ අනෙකුත් අවශ්‍යතා ඉටුකර ගැනීමට ආයතන ප්‍රධානින් ක්‍රියාකළ යුතුයි.

    විශේෂයෙන්ම ඇදිරි නීතිය ලිහිල් කළ කාලසීමාව තුළ ඔබගේ ජාතික හැදුනුම්පතෙහි අංක අනුව සතියේ දින පහ තුළ රාජකාරීන් සිදු කරනු ලබන ආකාරය සැබැදිව යම් ක්‍රමවේදයක් හදුන්වාදී ඇත. ඒ සඳහා බලපානුයේ හැදුනුම්පතෙහි අවසන් අංකය වන අතර , එහි 1 හෝ 2 වනුයේනම් සදුදා දිනයෙත්, 3 හෝ 4 වනුයේනම් අගහරුවාද දිනයෙත්. 5 හෝ 6, බදාදාත්, 7 හෝ 8,  බ්‍රහස්පතින්දාත් හා 9 හෝ  වෙන් අවසන් වේනම් සිකුරාදා වශයෙනුත් තම රාජකාරීන් සිදු කිරිම සඳහා මාර්ගයේ ගමන් කිරිමට අවසර ලැබෙනු ඇත.

    කෙසේවෙතත් එම ක්‍රමවේදය තුළ කෘෂිකර්මාන්තය, රජයේ සහ පුද්ගලික ආයතන පවත්වාගෙන යාම, කුලි රැකියා හා දෛනික සාමාන්‍ය රාජකාරීන් සිදු කරනු ලබන පුද්ගලයින් සඳහා මෙය කිසිසේත්ම බල නොපවත්වයි.

    එසේම, ඇදිරි නීතිය ලිහිල් කරන ලද කාලය තුළ සාද පැවැත්වීම, විනෝද චාරිකා, කණ්ඩායම් වශයෙන් එක්ව සිදුකරනු ලබන ක්‍රියාකාරකම්, විවිධ ආගමික උත්සව පැවැත්වීම, ක්‍රිඩා කටයුතු සිදුකිරිම හා සංගීත රාත්‍රින් යන ක්‍රියාකාරකම් සිදු කිරිම තහනම් වන අතර, එවැනි             ක්‍රියාකාරකම් සඳහා සම්බන්ධවන පුද්ගලයින් නීරික්‍ෂණයට ලක්වූවහොත් නීරෝධායන රීතීන්ට අනුව දැඩි නීතිමය පියවර ගැනීමට පොලිසීය ක්‍රියාකරනු ලබයි.   

    ඇදිරි නීතිය ලිහිල්වන ප්‍රදේශයන්හී යම් පුද්ගලයෙක් හෝ නිවසක් ස්වයං නිරෝධායනයට ලක්කර සිටීනම් ඔවුන්ට එම ස්වයං නිරෝධායන කටයුත්තෙන් පරිබාහිරව කටයුතු කිරිමට අවස්ථාවක් නොලැබෙන අතර, නිරෝධායන ක්‍රමවේදයට අනුව ඔවුන්ගේ අවශ්‍යතා සපුරා ගැනීමට ක්‍රියාකල යුතුයි.     

    එසේම, විවිධ පුද්ගලයින් සහ කණ්ඩායම් මගින් ආගමික වෛරය, ජාතීන් අතර විසංවාදය ඇති කරන ආකාරයේ විවිධ ප්‍රකාශණ සමාජ ජාලා මධ්‍ය හරහා ප්‍රචාරණය කරන බැව් නිරීක්‍ෂණය වී ඇත. එවැනි පුද්ගලයින් සඳහා සිවිල් හා දේශපාලන අයිතිවාසිකම් පිළිබද අන්තර්ජාතික සම්මුති පනත යටතේ අවුරුදු 07 ක සිර දඩුවමක් ලබා දිය හැකි වරදක් වේ. එවැනි සිද්ධින් 9 ක්       සම්බන්ධයෙන් අපරාධ පරික්‍ෂක දෙපාර්තුමේන්තුව මගින් විමර්ශණ ආරම්භ කර ඇත.

    තවද, අධි අවධානම් දිස්ත්‍රික්ක සම්බන්ධයෙන් ජනතාවගේ ක්‍රියාකාරකම් කුමන ආකාරයකට සිදුවන්නේද යන, ක්‍රමවේදයක් මැයි මස 4 වෙනිදායින් පසුව හදුන්වා දීමට යෝජිතව ඇත.

  • වැලිසර නාවික සෙබළුන්ගේ පවුල්වල අය ඇසුරු කළ සියලු දෙනා ස්වයං නිරෝධානයට – යුද්ධ හමුදාපති

    වැලිසර නාවික සෙබළුන්ගේ පවුල්වල අය ඇසුරු කළ සියලු දෙනා ස්වයං නිරෝධානයට – යුද්ධ හමුදාපති

    වැලිසර නාවික හමුදා කදවුරේ නිලධාරීන්ගේ සහ සෙබළුන්ගේ පවුල්  සමීපව ඇසුරු කළ අනෙකුත් සියළුම පුද්ගලයින් ද ස්වයං නිරෝධායනයට ලක් කිරිමටත් ඔවුන් ගැන සොයා බැලීමටත් සියළු කටයුතු සිදු කර තිබෙනු ඇති  බව ආරක්‍ෂක මාණ්ඩලික ප්‍රධානී, යුද්ධ හමුදාධිපති සහ කොවිඩ්-19 පැතිරීම වැළැක්විමේ ජාතික ක්‍රියාන්විත මධ්‍යස්ථානයේ ප්‍රධානී ලුතිනන් ජෙනරාල් ශවේන්ද්‍ර සිල්වා මහතා සදහන් කළේය.

    ශවේන්ද්‍ර සිල්වා මහතා මේ බව සදහන් කළේ කොවිඩ්-19 පැතිරීම වැළැක්වීමේ ජාතික ක්‍රියාන්විත මධ්‍යස්ථානයේ දී අද (26) දින පැවැත්වූ මාධ්‍ය හමුවේදීය. මෙම මාධ්‍ය හමුව සදහා  නියෝජ්‍ය පොලිස්පති නිතිඥ අජිත් රෝහණ මහතා ද සහභාගී විය.

    එහිදී වැඩි දුරටත් අදහස් දැක්වූ ලුතිනන් ජෙනරාල් ශවේන්ද්‍ර සිල්වා මහතා,

    ඉන්දියාවේ කොයිම්බතූර් (COIMBATORA) සිට පැමිණි UL-1194 දරණ ශ්‍රී ලන්කන් මගී ගුවන් යානය මගින් පුද්ගලයින් 113 දෙනෙකු අද (26) දින දිවයිනට පැමිණෙන ලදී. ඔවුන් අතර, නාවික හමුදා සාමාජිකයන්, රාජ්‍ය සේවකයින් සහ සිසුන් පිරිසක් ද ඇතුලත්ව සිටියි.

    එසේ පැමිණි ඔවුන් සියළු දෙනා ත්‍රිවිධ හමුදාව විසින් පාලනය කරනු ලබන නිරෝධායන මධ්‍යස්ථාන වෙත නිරෝධායන ක්‍රියාවලිය සඳහා යොමුකිරීමට සියළු කටයුතු සූදානම් කරන ලදී.

    තවද, ඉදිරි දිනයන්වලදී ද විදේශ රටවල උසස් අධ්‍යාපනය හැදැරීමට ගිය කණ්ඩායම් රජය විසින් සැලසුම් කරන පරිදි මෙරටට ගෙන්වා ගැනීමට නියමිතව ඇත.

    අද (26) දිනය වන විට ත්‍රිවිධ හමුදාව විසින් පවත්වාගෙන යනු ලබන නිරෝධායන මධ්‍යස්ථාන තුළින් පුද්ගලයින් 4507 දෙනෙකු නිරෝධායන ක්‍රියාවලිය අවසන්වී තම නිවෙස් වෙත පිටව ගොස් ඇත.

    එසේම, ඊයේ (25) දින ඉන්දියාවේ මුම්බායි සිට පැමිණි හමුදා සාමාජිකයන් සහ සිසුන්, 166 දෙනා යුද්ධ හමුදා සහ නාවික හමුදාව විසින් පාලනය කරනු ලබන නිරෝධායන මධ්‍යස්ථාන තුළ නිරෝධායන ක්‍රියාවලියට යොමුකරන ලදී.

    ඒ අනුව ත්‍රිවිධ හමුදාව මගින් පාලනය කරනු ලබන නිරෝධායන මධ්‍යස්ථාන 33 ක් තුළ පුද්ගලයින් 3053 දෙනෙකු මේ වන විට නිරෝධායනය වෙමින් සිටියි.

    තවද, අද (26) දින මේ දක්වා පුද්ගලයින් 11 දෙනෙකු කොවිඩ් 19 වෛරසය ආසාදනය වී ඇති බැව් හදුනාගෙන ඇත. එයින් එක් පුද්ගලයෙකු කන්දකාඩු නිරෝධායන මධ්‍යස්ථානයේ නිරෝධායන ක්‍රියාවලියේ නිරතවූ පුද්ගලයෙක් හා අනෙකුත් පුද්ගලයින් 10 දෙනා වැලිසර නාවික හමුදා කදවුරේ නිවාඩු ගොස් මත සිටි අයවළුන් වේ. මේ අනුව වැලිසර නාවික හමුදා කදවුර තුළ ආසාදිතයට පත් රෝගීන් ගණන 68  දෙනෙකුත්,  ඒවගේම වැලිසර නාවික හමුදා කදවුරෙන් පිටත නිවාඩු මත සිටින විට ආසාදනයට ලක්වූ 27 දෙනෙකු ඇතුළුව නාවික හමුදාව තුළින් මේවන විට කොවිඩ්-19 ආසාදිත පුද්ගයින් සංඛන්‍යාව 95  දක්වා ඉහල ගොස් ඇත.

    තවද, නාවික හමුදා මූලස්ථානයට අනුයුක්තව රාජකාරී සිදුකරනු ලැබු නාවික හමුදා නිලධාරීයෙකු  මී උණරෝගී තත්ත්වයක් හේතුවෙන් කොළඹ නාවික හමුදා රෝහලේ ප්‍රතිකාර ලබමින් සිටියදී ඊයේ (25) දින මියගොස් ඇත. මෙම නාවික හමුදා නිලධාරිවරයා මියගොස් ඇත්තේ මී උණ රෝගයෙන් බවට මරණ පරික්‍ෂණයේදී තහවුරු වූ අතර, ඔහුගේ අවසන් කටයුතු අද (26) දින සිදු කරනු ලබයි.

    ත්‍රිවිධ හමුදා සියළුම නිලධාරීන්ගේ සහ සෙසුනිලයින්ගේ නිවාඩු අද (26) දින සිට නැවත දැනුම් දෙනතුරු අවලංගු කර ඇත. තවද, නිවාඩු මත සිටින සියළුම නිලධාරීන් සහ සෙසුනිලයින් තම රාජකාරීන් සිදු කරනු ලබන කදවුරු වෙත වාර්තා කරන ලෙස දැනුම් දී ඇත. මේ අනුව නිවාඩු මත සිටින සියළුම ත්‍රිවිධ හමුදා සාමාජිකයන් හට ඉදිරි දිනයන්වලදී ඔවුන්ට අයත් සේවා ස්ථානවලට පැමිණිමට ත්‍රිවිධ හමුදාව විසින් ප්‍රවාහන පහසුකම් සපයා දීමට කටයුතු කරනු ලබයි.

    ඒ වගේම, අද (26) දිනයේත් වැලිසර නාවික හමුදා කදවුර තුළ  PCR පරීක්‍ෂණ විශාල සංඛ්‍යාවක් කරනු ලැබු අතර, එහි වාර්ථා අද දින සන්ධ්‍යාවේ ලැබීමට නියමිතව ඇත.

    එසේම වැලිසර නාවික හමුදා කදවුරෙන් අද සහ ඊයේ දිනයේ නිවාඩු මත සිටි වීරෝධාර රණවිරුවන් කිහිපදෙනෙකු, විශේෂයෙන් කුරුණෑගල සහ අනුරාධපුර දිස්ත්‍රික්ක වලින් සොයාගැනීමත් සමගම, එම ප්‍රදේශවල ජනතාව යම් කුතුහලයකට ලක්වී ඇති බැව් ලැබුණු දුරකථන පණිවිඩ මගින් ද තහවුරු විය.   එසේම, මේ වන තෙක් සිදු කරන ලද ක්‍රමවේදය ලෙස යම් රෝගියෙකු හමුවූ විට ඔහු සමීපව ඇසුරු කරනු ලැබු සියළුම පුද්ගලයින් ස්වයං නිරෝධායනයට ලක්කිරිම හෝ නිරෝධායන මධ්‍යස්ථාන වෙත යොමු කර නිරෝධායනය කිරිම සිදු කරන ලදී.

    ඒ වගේම වීරෝධාර නාවික හමුදා සෙබළුන්ගේ පවුල්වල සියළුම අයවළුන් නිරෝධායනය කිරිම සඳහා නිරෝධායන කදවුරු වෙත ඇතුලත් කරන ලදී. එසේම ඔවුන් සමීපව ඇසුරු කළ අනෙකුත් සියළුම පුද්ගලයින් ද ස්වයං නිරෝධායනයට ලක් කිරිමටත් ඔවුන් ගැන සොයා බැලීමටත් සියළු කටයුතු සිදු කර තිබෙනු ඇත.

  • හෙට රට පුරා ඇඳිරි නීතිය

    හෙට රට පුරා ඇඳිරි නීතිය

    නිවාඩු ගොස් සිටින ත්‍රිවිධ හමුදා නිලධාරීන් කඳවුරු වෙත ගෙන්වා ගැනීම පහසුවන පරිදි
    හෙට 27, සඳුදා රට පුරා ඇඳිරි නීතිය පනවනු ලබන බව ජනාධිපති මාධ්‍ය අංශය අද (26) පස්වරු 7.50ට නිකුත් කළ නිවේදනයක සදහන් වේ.

    කොළඹ, ගම්පහ, කළුතර සහ පුත්තලම දිස්ත්‍රික්ක හැර සෙසු දිස්ත්‍රික්කවල ඇඳිරි නීතිය
    28, අඟහරුවාදා අලුයම 5.00ට ඉවත් කොට එදිනම රාත්‍රී 8.00 සිට යළි ක්‍රියාත්මක කෙරේ.

  • ත්‍රිවිධ හමුදාවේ සියලු නිවාඩු අවලංගුයි – ආරක්ෂක අමාත්‍යාංශය

    ත්‍රිවිධ හමුදාවේ සියලු නිවාඩු අවලංගුයි – ආරක්ෂක අමාත්‍යාංශය

    සියලුම ත්‍රිවිධ හමුදා නිලධාරින්/සෙසු නිලයින්ගේ නිවාඩු අවලංගු කිරීම සම්බන්ධයෙන් ආරක්ෂක අමාත්‍යාංශය විසින් නිකුත් කරන ලද නිවේදනය පහත පරිදි වේ.

    ආරක්ෂක අමාත්‍යාංශයේ උපදෙස් පරිදි නැවත දැනුම්දෙන තුරු ත්‍රිවිධ හමුදාවට අයත් නීලධාරි/සෙසුනිලයින්ගේ නිවාඩු/කෙටි නිවාඩු අවලංගු කර ඇති අතර,දැනට නිවාඩු මත සිටින නීලධාරි/සෙසුනිලයින් කඩිනමින් තමන් සේවය කරන කදවුරු වෙත වාර්තා කල යුතුයි.

    එලෙස නිවාඩු මත සිටින නිලධාරි/සෙසුනිලයින් වහාම තමන් සේවය කරන කදවුරේ ප්‍රධානියා හෝ වගකිවයුතු නිලධාරියෙකු දුරකථන මාර්ගයෙන් අමතා වැඩිදුර උපදෙස් ලබා ගැනීමට කටයුතු කල යුතුය. ආරක්ෂක ලේකම් මේජර් ජෙනරාල් (විශ්‍රාමික) කමල් ගුණරත්න විසින් ත්‍රිවිධ හමුදාධිපතිවරුන්ට නිකුත් කළ නියෝගයේ සදහන් කර තිබුනේ  නිලධාරීන් සහ සෙසුනිලයින් සඳහා ලබා දී ඇති සියලුම නිවාඩු අවලංගු කිරීමේ තීරණය අද (අප්‍රේල් 26) දින ගනු ලැබූ බවයි