Blog

  • Covid-19 Today World Update: චීනයේ මරණ නෑ – ලොවපුරා මරණ 74,780ක්

    Covid-19 Today World Update: චීනයේ මරණ නෑ – ලොවපුරා මරණ 74,780ක්

    සෞඛ්‍ය ප‍්‍රවර්ධන කාර්යංශයේ වාර්තාවන්ට අනුව ගෝලීය වශයෙන් කොවිඩ්-19 ආසාදිතයින් සංඛ්‍යාව අද දිනයේදී 1,347,566ක් ලෙස වාර්තා වූ අතර අද දිනය තුළ වාර්තා වූ නව ආසාදිතයින් සංඛ්‍යාව 71,418කි. ලෝකය පුරා කොවිඩ්-19 ආසාදිතයින්ගේ මරණ 74,780ක් වාර්තා වී ඇති අතර සුවය ලැබූ පුද්ගලයින් සංඛ්‍යාව 285,101කි.

    ගෝලීය නව ප‍්‍රවණතා

    සෞඛ්‍ය සේවකයනි ඔබගේ සේවය මම සදා අගයමි – මහ රැජින

    මාරාන්තික නව කොරෝනා වසංගතයට එරෙහිව සිය දිවි දෙවැනි කොට සටන්වදින ලොවපුරා සිටින සෞඛ්‍ය සේවකයන්ට ඔවුන්ගේ පරාර්ථකාමී කැපවීම සහ උද්‍යෝගය හා කඩිසරකම වෙනුවෙන් විශේෂ ඇගයීමක් හිමිවිය යුතු බව බ්‍රිතාන්‍යයේ දෙවැනි එළිසබෙත් මහ රැජින අද (7* ප්‍රකාශ කළාය.

    මහ රැජිණ මෙසේද සදහන් කළාය.

    ‘‘සෞඛ්‍ය ක්ෂේත්‍රයේ ලොවපුරා සිටින සියලු දෙනාට විශේෂ ඇගයීමක් හිමිවිය යුතුයි. මා ඔවුන්ට කෘතඥතාව පළ කරනවා. මේ අවස්ථාවේදී ජනතාවගේ සුවසෙත සහ සෞඛ්‍ය තත්ත්වය වර්ධනය වෙනුවෙන් ඔබ පරාර්ථකාමීවත්ල ඉතා කඩිසරව හා ඉතා උද්‍යෝගයෙනුත් කටයුතු කරනවා. ඒ වෙනුවෙන් මා ඔබට කෘතඥ විය යුතුයි. ඔබ මේ මොහොතේ විශේෂ කාර්යභාරයක් ඉටු කරනවා. මමත් මගේ පවුලත් ඔබට විශේෂ ඇගයීමක් හා සුභාශිංසන පිරිනමනවා.

    බි‍්‍රතාන්‍ය අගමැතිගේ තත්ත්වය යහපත් අතට

    කොවිඩ් -19 ආසාදනය වීම හේතුවෙන් දැඩි සත්කාර ඒකකයට ඇතුළත් කරනු ලැබ සිටි මහා බි‍්‍රතාන්‍යයේ අග‍්‍රාමාත්‍ය බොරිස් ජොන්සන්ගේ තත්ත්වය යහපත් අතට හැරී ඇතැයි විදෙස් මාධ්‍ය වාර්තා කරයි.

    55 හැවිරිදි වියේ පසුවන අගමැතිවරයා ශ්වසන අපහසුතාවකින් පෙළීම හේතුවෙන් ඔහුට ඔක්සිජන් ලබා දී ඇති නමුත් ඊට ශ්වසන ආධාරක යන්ත්‍රයක් භාවිත කර නොමැති බවත් ඔහු මේ වන විට ස්ථාවර මට්ටමක සහ යහපත් මානසික මට්ටමකින් පසුවන බව ප්‍රකාශකයෙකු සඳහන් කළේය.

    අගමැතිවරයා නියුමෝනියා තත්ත්වයෙන් නොපෙළෙන බවද වාර්තා වේ.

    වූහාන් නගරයේ දුම්රිය ස්ථානයක්

    චීනයේ කොරෝනා මරණ නැති පළමු දිනය

    චීනයෙන් අද (අප්‍රේල් 07) එකම කොරෝනාවෛරස් රෝගී මරණයක් හෝ වාර්තා නොවූ බව චීන මාධ්‍ය වාර්තා කරයි.

    පසුගිය ජනවාරියේ පටන් චීනය දෛනික සංඛ්‍යා ලේඛන ඉදිරිපත් කළ අතර එකම මරණයක් හෝ වාර්තා නොවුණු පළමු දිනය ලෙස මෙය වාර්තා වේ.

    චීනයේ ජාතික සෞඛ්‍ය කොමිසම නිවේදනය කළේ අඟහරුවාදා දිනය තුළ කොරෝනාවෛරසය වැළඳී ඇති බවට තහවුරු වූ පුද්ගලයන් 32 දෙනෙකු හමු වී ඇති බවයග සඳුදා දිනය තුළ එම සංඛ්‍යාව 39ක් විය.

    අද හමු වී ඇති රෝගීන් සියලු දෙනා විදෙස් රටවල සිට පැමිණි පුද්ගලයන් බව චීනය පැවසීය.

    මෙම සංඛ්‍යා ලේඛන ඉදිරිපත් වන්නේ චීනය විසින් කොරෝනාවෛරස් රෝගීන් හා මරණ සංඛ්‍යා අඩුවෙන් වාර්තා කරනු ලබන්නේ දැයි සැක පළ කෙරෙමින් පවතින අතරතුර ය.

    එරට නිල වාර්තා අනුව මෙතෙක් කොරෝනාවෛරස් රෝගීන් 81,740ක් හමු වී ඇති අතර මිය ගිය සංඛ්‍යාව 3,331කි.

    Covid-19 : යුරෝපයේ පමණක් 151,680ක් මිය යා හැකි බවට ඉගි

    නව කොරෝනා වෛරසය හේතුවෙන් බ්‍රිතාන්‍යයේ 66,000කට ජීවිත අහිමි වනු ඇතැයි ද යුරෝපයේ මාරාන්තිකම තත්ත්වයට මුහුණ දීමට සිදුවනු ඇත්තේ බ්‍රිතාන්‍යයට බව ද නව අධ්‍යයනයකින් හෙළි වී ඇතැයි ප‍්‍රංශ පුවත් සේවය කියයි.

    ඇමෙරිකා එක්සත් ජනපදයේ වොෂින්ටන් විශ්වවිද්‍යාලයේ ‘වෙද්‍ය පාසලේ’ සෞඛ්‍ය ප්‍රමිතික සහ ඇගයීම් ආයතතනය මෙම පර්යේෂණය කර ඇත.

    කොරෝනා වසංගතයේ පළමු රැල්ලෙන් පමණක් එලෙස 66,000කට පමණ දිවි අහිමි වනු ඇතැයි ද එම අධ්‍යයනයෙන් අනතුරු අඟවා ඇත.

    එහි දත්තවලට අනුව කොරෝනා වෛරසයෙන් යුරෝපයේ පමණක් 151,680 දෙනකු මිය යා හැකි බව අනාවරණය වී තිබේ.

    ලෝකයේ අද දින වාර්තා වූ වැඩිම කොවිඩ්-19 ආසාදිතයින් සිටි රාජ්‍ය සහ මරණ සංඛ්‍යාව – අල් ජසීරා ඇසුරිණි

    එක්සත් ජනපදය – රෝගීන් 378,289 ක්, මරණ 11,830 ක් 
    ස්පාඤ්ඤය රෝගීන් 140,511 ක් , මරණ 13,897  ක්
    ඉතාලිය – රෝගීන් 132,547 ක්, මරණ 16,523 ක්
    ජර්මනිය – රෝගීන් 105,519 ක්, මරණ 1,854 ක්
    ප්‍රංශය – රෝගීන් 98,984 ක්, මරණ 8,926 ක් 
    චීනය –   රෝගීන් 82,718 ක් ,   මරණ 3,335 ක් 
    මැකාවු හි රෝගීන් 41 ක් සහ හොංකොං හි මරණ 765 ක් – මරණ හතරක් ඇතුළත් වේ.
    ඉරානය – රෝගීන් 62,589 ක්, මරණ 3,872 ක් 
    එක්සත් රාජධානිය –  ආසාදිතයින් 52 , 302 ,  මරණ 5 , 385
    තුර්කිය – රෝගීන් 34,109 ක්, මරණ 725 ක්
    ස්විට්සර්ලන්තය –  රෝගීන් 22,242 ක් , මරණ 787 ක්
    බෙල්ජියම – රෝගීන් 22,194 ක්, මරණ 2,035 ක්
    නෙදර්ලන්තය – රෝගීන් 19,703 ක්, මරණ 2,108 ක්
    කැනඩාව – රෝගීන් 16,667 ක්, මරණ 323 ක්
    ඔස්ට්‍රියාව – රෝගීන් 12,519 ක්, මරණ 243 ක්
    පෘතුගාලය – රෝගීන් 12,442 ක්, මරණ 345 ක්
    බ්රසීලය – රෝගීන් 12,240 ක්, මරණ 566 ක්
    දකුණු කොරියාව – රෝගීන් 10,331 ක්, මරණ 192 ක්
    ඊස්රායලය – රෝගීන් 9,006 ක්, මරණ 60 ක්
    ස්වීඩනය – රෝගීන් 7,693 ක්, මරණ 591 ක්
    රුසියාව – රෝගීන් 7,497 ක්, මරණ 58 ක්
    ඕස්ට්‍රේලියාව – රෝගීන් 5,895 ක්, මරණ 45 ක්
    නෝර්වේ – රෝගීන් 5,866 ක්, මරණ 83 ක්
    අයර්ලන්තය – රෝගීන් 5,364 ක්, මරණ 174 ක්
    ඩෙන්මාර්කය – රෝගීන් 5,173 ක්, මරණ 203 ක්
    ඉන්දියාව – රෝගීන් 4,911 ක්, මරණ 137 ක්
    චෙක් ජනරජය – රෝගීන් 4,828 ක්, මරණ 80 ක්
    මැලේසියාව – රෝගීන් 3,963 ක්, මරණ 63 ක්
    ජපානය – රෝගීන් 3,906 ක්, මරණ 92 ක්
    පිලිපීනය – රෝගීන් 3,764 ක්, මරණ 177 ක්
    සෞදි අරාබිය – රෝගීන් 2,795 ක්, මරණ 41 ක්
    ඉන්දුනීසියාව – රෝගීන් 2,738 ක්, මරණ 221 ක්
    එක්සත් අරාබි එමීර් රාජ්යය – රෝගීන් 2,076 ක්, මරණ 11 ක්
    කටාර් – රෝගීන් 1,832 ක්, මරණ 4 ක්
    බහරේනය – රෝගීන් 756 ක්, මරණ 4 ක්
    කුවේට් – ආසාදිතයින් 743, 1 මරණය
    පැරීසිය තුළ ව්‍යායාම සම්බන්ධයෙන් පනවා ඇති සීමා තවත් දැඩි කර තිබේ
    මේ දක්වා ප්‍රංශයෙන් වාර්තාවූ වැඩිම කොරෝනාවෛරස් රෝගී මරණ සංඛ්‍යාව අද, අඟහරුවාදා (අප්‍රේල් 07) වාර්තා විය. එම සංඛ්‍යාව 833කි.මේ අනුව ප්‍රංශයේ මිය ගිය මුළු සංඛ්‍යාව 8,911ක් දක්වා ඉහළ ගියේය. එරට සිටින කොවිඩ් – 19 රෝගීන් ගේ මුළු ගණන 98,010කි.

    කොරෝනා ආසාදනයෙන් අදත් ප්‍රංශයේ 833ක් මරුට

    ප්‍රංශය තුළ පැතිරෙන කොරෝනා වෛරසයේ බලපෑම පිළිබඳව නවතම තොරතුරු ඉදිරිපත් කළ ප්‍රංශ සෞඛ්‍ය අමාත්‍ය ඔලිවියේ වෙරොන් ( Olivier Véran ) ඊයේ ( අප්‍රේල් 06 ) සවස ප්‍රකාශ කළේ, ගෙවී ගිය පැය 24 තුළ පුද්ගලයන් 833 ක් කොරෝනා ආසාධනයෙන් මිය ගොස් ඇති බවය. 
    කොරෝනා වසංගතයේ ආරම්භයේ සිට අප්‍රේල් 06 වැනිදා දක්වා කාලය තුළ ප්‍රංශය තුළ මිය ගොස් ඇති සමස්ත රෝගීන් ප්‍රමාණය 8,911 ක් බව පැවසූ සෞඛ්‍ය අමාත්‍යවරයා, එම මුළු මරණ සංඛ්‍යාවට රෝහල් මරණ 6,494 ක් සහ යැපෙන වැඩිහිටියන් සඳහා නවාතැන් සපයන නිවාස වල ( Ehpad ) මරණ 2, 417 ක් ඇතුලත් වී ඇති බව ද අනාවරණය කළේය. 
    එසේම අප්‍රේල් 06 වැනිදායින් ගෙවී ගිය පැය 24 තුළ සිදු වී ඇති මරණ සංඛ්‍යාව වූ 833 න් මරණ 605 ක් රෝහල වලින්ද 228 ක් Ehpad වලින්ද වාර්තා වී ඇති බව ඔහු වැඩි දුරටත් කියා සිටියේය. මේ වන විට දැඩි සත්කාර ඒකක වල සිටින රෝගීන් ප්‍රමාණය 7,072 කි. ගෙවුණු පැය 24 තුළ දැඩි සත්කාර ඒකක වලට ඇතුළත් කර ඇත්තේ රෝගීන් 94 දෙනෙක් පමණක් බව පැවසූ සෞඛ්‍ය අමාත්‍ය ඔලිවියේ, මීට පෙර තත්ත්වයට සාපේක්ෂව මෙය යම් සැනසිලිදායක තත්ත්වයක් බව පැවසීය. 
    කොරෝනා වෛරසය ආසාධයන වී මේ වන විට සුව වී ඇති රෝගීන් ගේ ප්‍රමාණය 17,250 කි. මේ වන විට රෝගල්ගත ව සිටින රෝගීන් ප්‍රමාණය 29,722 ක් වන අතර, ගෙවි ගොස් තිබූ පැය 24 තුළ පමණක් රෝගීන් 831 ක් රෝහලගත කොට තිබේ. 
    වඩාත් අවදානමට ලක්විය හැකි වැඩිහිටියන්ට සහ ආබාධිත පුද්ගලයන්ට ප්‍රමුඛ තාවය ලබා දී පරීක්ෂණ මෙහෙයුමක් ආරම්භ කරන බව සෞඛ්‍ය අමාත්‍යවරයා වැඩි දුරටත් පැවසීය. 
    මේ අතර කොරෝනා වෛරසය නිසා හට ගෙන ඇති ආර්ථික අර්බුදය ගැන සෙනට් සභාවේ ආර්ථික කමිටුව දැඩි කනස්සල්ලෙන් පසුවන බව ආර්ථික අමාත්‍ය Bruno Le Maire ප්‍රකාශ කොට ඇත. 
    1945 න් පසු ප්‍රංශය මුහුණ දුන් 2008 -2009 යේ ආර්ථික අර්බුදයට වඩා ඉතා දරුණු අවපාතයකට මෙම කොරෝනා වසංගතය නිසා ප්‍රංශයට මුහුණ දීමට සිදුවනු ඇතැයි ආර්ථික අමාත්‍යවරයා අනතුරු අඟවා ඇත. 

    සුනිල් ගාමිණී – ප්‍රංශ ජනමාධ්‍ය ඇසුරෙන්

  • අදත් කොවිඩ්-19 ආසාදිතයින් 07ක් හමුවෙයි – අයෙක් මිය යයි

    අදත් කොවිඩ්-19 ආසාදිතයින් 07ක් හමුවෙයි – අයෙක් මිය යයි

    අද (7) දින පස්වරු 19.00 වන විට ශ‍්‍රී ලංකාවෙන් වාර්තා වූ කොවිඩ් -19 ආසාදිතයින් සංඛ්‍යාව 185ක් දක්වා ඉහළ ගිය බවත් අද දින නව ආසාදිතයින් 07 දෙනකු වාර්තා වූ බවත් සෞඛ්‍ය ප‍්‍රවර්ධන කාර්යංශය සදහන් කරයි.

    එහි වැඩි දුරටත් සදහන් වන්නේ දැනට රෝහල්වල විමර්ශන යටතේ සිටින පුද්ගලයින් සංඛ්‍යාව 255ක් බවයි. ප්‍රතිකාර ලබන රෝගීන් සංඛ්‍යාව 137 දෙනෙක් වන අතර කෙරෝනා වෛරසය ආසාදනය වීමෙන් මිය ගිය පුද්ගලයින් සංඛ්‍යාව 06ක් බවත් එහි සදහන් වේ. අද දිනය තුළ එක් කොරෝනා ආසාදිතයෙකුගේ මරණයක් වාර්තා විය.

  • ශ්‍රී ලංකා යුද්ධ හමුදාවේ කොරෝනා ආසාදිතයින්ට හුදකලා රෝහලක්

    ශ්‍රී ලංකා යුද්ධ හමුදාවේ කොරෝනා ආසාදිතයින්ට හුදකලා රෝහලක්

    ආරක්‍ෂක මාණ්ඩලික ප්‍රධානී මෙන්ම යුද්ධ හමුදාධිපති ලුතිනන් ජෙනරාල් ශවේන්ද්‍ර සිල්වා උපදෙස් පරිදි 1 වන ශ්‍රි ලංකා ඉංජිනේරු සේවා බලකායේ යුද්ධ හමුදා සාමාජිකයින් විසින් ඉතා කෙටි කාලයක් තුළ මීගමුව ඉරනවිල ප්‍රදේශයේ පිහිටි ‘වොයිස් ඔෆ් ඇමරිකා’ ගොඩනැගිලි සංකීර්ණය කොවිඩ් – 19 රෝගය සඳහා ප්‍රතිකාර කරනු ලබන රෝහලක් ලෙසට නවීකරණය කර අද (7) දින සනධ්‍යාවේ රාජ්‍ය බලධාරීන් වෙත භාරදෙනු ලැබීය.

    මෙහි සමාරම්භක උත්සව අවස්ථාව සඳහා සෞඛ්‍ය, දේශීය වෛද්‍ය හා පෝෂණ ඇමතිනී පවිත්‍රා වන්නිආරච්චි මහත්මිය, කොව්ඩ්-19 පැතිරීම වැළැක්වීමේ ජාතික ක්‍රියාන්විත මධ්‍යස්ථානයේ ප්‍රධානි, ආරක්‍ෂක මාණ්ඩලික ප්‍රධානී මෙන්ම යුද්ධ හමුදාධිපති ලුතිනන් ජෙනරාල් ශවේන්ද්‍ර සිල්වා ඇතුළු සෞඛ්‍ය සේවා අධ්‍යක්‍ෂ ජෙනරාල් විශේෂඥ වෛද්‍ය අනිල් ජාසිංහ මහතා, හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන්, ප්‍රාදේශීය දේශපාලඥයින් සහ රාජ්‍ය නිලධාරීන් පිරිසක් ද සහභාගී වූහ.

    ඇඳන් 40 කින් සමන්විත කොවිඩ් – 19 වෛරසය ආසාදිත රෝගීන්ට ප්‍රතිකාර කිරීම සඳහා වැඩිදියුණු කරන ලද මෙම හුදකලා රෝහලේ සේවය කරන වෛද්‍ය කාර්ය මණ්ඩලයේ ආරක්ෂාව සඳහා රොබෝ තාක්ෂණය හා ස්යංක්‍රිය නියමුවන් රහිත වාහන සමඟින් වෛද්‍යවරුන් 14 දෙනෙකු සහ වෛද්‍ය කාර්ය මණ්ඩලයේ සාමාජිකයින් 20 දෙනෙකුගෙන් සමන්විත වන අතර නිරෝධායන ක්‍රියාවලියේදී රෝගීන් වෙන් වෙන් වශයෙන් කාමර තුළ සීමා කළ අංගයන්ගෙන් යුක්ත වූවකි.

    හේමාස් පුද්ගලික සමාගම සහ ඇට්ලස් සමාගම විසින් අනුග්‍රහය ඇතිව රොබෝවරු සහ විශේෂ සන්නිවේදන පද්ධතියක් හරහා නවීන තාක්ෂණික උපකරණ මගින් රෝගීන්ට ඖෂධ සහ ආහාර පාන ලබා දීමට සහ රොබෝ කැමරා මගින් රෝගීන් සමඟ වෛද්‍යවරුන්ට සන්නිවේදනය කිරීමට හැකියාව ද ඇත. තවද රෝගීන් සඳහා වායු සමීකරණ පද්ධතිය නියාමනය කිරීම සහ වෛද්‍ය කාර්ය මණ්ඩලය සහ රෝගීන් අතර පුද්ගලික සම්බන්ධතා සහ ආසාදන වළක්වා ගැනීමට මෙම රොබෝ තක්‍ෂණය උපකාරී වේ.

    කොවිඩ් – 19 වෛරසයට එරෙහි සටනේදී අනෙකුත් නායකයින්ගේ සහාය ඇතිව සෞඛ්‍ය අමාත්‍ය පවිත්‍රා වන්නිආරච්චි මහත්මිය පීත්ත පටියක් කපා නව හුදකලා රෝහල විවෘත කරනු ලැබු අතර අනතුරුව එතුමිය සම්භානීය අමුත්තන් සමගින් එම රෝහල් පරීශ්‍රය තුළ නිරීක්‍ෂණ සංචාරයක නියලුනහ.

    මෙම නව රෝහල 1 වන ශ්‍රි ලංකා ඉංජිනේරු සේවා බලකා අණදෙන නිලධාරී ලුතිනන් කර්නල් ආසිරි මුහන්දිරම්ගේ සමීප අධීක්ෂණය යටතේ එම ඒකකයේ යුද්ධ හමුදා සාමාජිකයන් විසින් සති දෙකකට නොවැඩි කාලසීමාවක් තුළ එම හදිසි අවශ්‍යතාවයට සරිලන පරිදි සමස්ත ගොඩනැගිලි සංකීර්ණය වැඩිදියුණු කර සකස් කිරීමේ කාර්යය සම්පූර්ණ කළහ. මෙම රෝහල් සංකීර්ණය සනීපාරක්ෂක හා ඉවුම් පිහුම් පහසුකම්, විවේකාගාර, මුළුතැන්ගෙයි පහසුකම් සහ ආරක්ෂක පද්ධතියකින් ද සමන්විත වේ.

    මීට දින කිහිපයකට පෙර මාර්තු මස 26 වන දින ගරු සෞඛ්‍ය අමාත්‍ය පවිත්‍රා වන්නිආරච්චි මහත්මිය, ආරක්ෂක මාණ්ඩලික ප්‍රධානී මෙන්ම යුද්ධ හමුදාධිපති ලුතිනන් ජෙනරාල් ශවේන්ද්‍ර සිල්වා, සෞඛ්‍ය සේවා අධ්‍යක්‍ෂ ජෙනරාල් විශේෂඥ වෛද්‍ය අනිල් ජාසිංහ මහතා ඇතුළු නිලධාරීන් කිහිප දෙනෙකු එම ස්ථානයට පැමිණ මෙම ස්ථානයේ නව හුදකලා රෝහලක් ස්ථාපිත කිරීමට සුදුසු බව තීරණය කොට ඊට සැලසුම් සකස් කලෝය.

    එදිනට නියමිත වැඩටසටහන අවසානයේ ගරු සෞඛ්‍ය අමාත්‍යවරිය සහ ලුතිනන් ජෙනරාල් සිල්වා මෙම කාර්යයට උරදුන් සියළු භට පිරිස් හී උත්සහය පැසසුමට ලක් කළ අතර මෙතරම් කෙටි කාලයක් තුළ මෙම ව්‍යාපෘතිය සාර්ථක කර ගැනීම සඳහා දිවා රෑ වෙහෙස මහන්සි වී වැඩ කළ සැමට කෘතඥ තාවය ද පළ කළහ.

    මෙම අවස්ථාවට ජ්‍යෙෂ්ඨ යුද්ධ හමුදා සහ පොලිස් නිලධාරීන්, පළාත් සභා සහ නගර සභා බලධාරීන් ඇතුළු පිරිසක් සහභාගී වූහ.

  • මේ මොහොතේ අපට ඉන්නා එකම සතුරා කොරෝනා පමණයි – අගමැති මහින්ද

    මේ මොහොතේ අපට ඉන්නා එකම සතුරා කොරෝනා පමණයි – අගමැති මහින්ද

    අගමැති මහින්ද රාජපක්ෂ මහතා විසින් අද (7) දින රාත්‍රියේ ජාතිය අමතා විශේෂ ප්‍රකාශයක් කළේය. එම ප්‍රකාශය සම්පූර්ණයෙන්ම පහත සදහන් වේ.

    මේ මොහොතේ රටේ සිටිය හැක්කේ එකම එක හතුරකු පමණක් බවත්ල ඒ කොරෝනා නමැති සතුරා පමණක් බවත් අගමැති මහින්ද රාජපක්ෂ මහතා අද (07) වැනිදා විශේෂ ප්‍රකාශයක් කරමින් පැවසීය.

    මේ ආගමික වශයෙන්, ජාති වශයෙන් බෙදී වෙන්වී සිතන මොහොතක් නොවන බව කී අගමැතිවරයා සියලුම දේශපාලන පක්ෂ නායකයන් ඉතාම උනන්දුවෙන් රජයට සහාය දෙන්නට මේ මොහොතේ ඉදිරිපත්ව සිටින බවද සඳහන් කළේය. අගමැතිවරයා මේ බව සඳහන් කළේ රටේ වර්තමාන තත්ත්වය සහ රජය ගෙන ඇති ක්‍රියාමාර්ග පිළිබඳව අද රාත්‍රියේ විශේෂ ප්‍රකාශයක් කරමිනි.

    අගමැතිවරයා මෙසේ ද කීවේය.

    මම ඔබ අමතන්නේ කොරෝනා වසංගතයට එරෙහිව අපේ රජයත්, ජනතාවත් දැවැන්ත යුද්ධයක යෙදිලා ඉන්න මොහොතක. මුළු ලෝකයේම රටවල් 200කට අධික ප්‍රමාණයක් මේ වසංගතයට එරෙහිව සටන් කරන ආකාරයත්, ඒ රටවල දහස් ගණන් ජනතාවගේ දේහයන් සුසාන භූමියට ගෙනියන ආකාරයත් ඔබ ප්‍රවෘත්තිවලින් දකිනවා.

    අපි ජීවත් වෙනවාද නැද්ද කියන දේ තීරණය වෙන්නේ මේ වසංගතය මර්දනය කරන්න කටයුතු කරන ආකාරය අනුවයි. අපේ අවධානය, අපේ කැපවීම, විනය කියන දේවල් අනුව තමයි මේවගේ වසංගතයකදී අපි ජීවත් වෙනවාද, මැරෙනවාද කියන දේ තීරණය වෙන්නේ.

    ඒ නිසා මේ වසංගතය ලෝකයෙන් වාර්තා වුණ මොහොතේ ඉඳන්ම ජනාධිපතිතුමත්, රජයත් ජනතාවගේ ජීවිත ගැන දැඩි අවධානයකින් කටයුතු කළා.

    මේ තත්ත්වය තේරුම් ගත්ත නිසා තමයි චීනයේ වූහාන් නගරයේ හිර වුණු ලාංකික පිරිස ලෝකයේ බොහෝ දෙනකුට කලින් ගුවන් යානාවක් යවලා මේ රටට ගෙන්න ගන්න කටයුතු කළේ. ඒ පිරිස අරගෙන එන කොටත් අපි අපේ රටේ නිරෝධායන මධ්‍යස්ථානයක් පිහිටුවලා ඉවරයි.

    එතැන් සිට ලංකාවට එන සිය ගණන් පිරිස් නිරෝධායනය කරන්න පුළුවන් මධ්‍යස්ථාන රාශියක් ඉතාම කෙටි කාලකදී අපි මේ රටේ පිහිටෙව්වා. දැන් වරකට දහස් ගණනක් නිරෝධායනය කරන්න වුවමනා නිරෝධායන මධ්‍යස්ථාන 40 කට ආසන්න ප්‍රමාණයක් අපි පිහිටුවා තියෙනවා. මේ නිරෝධායන මධ්‍යස්ථාන නිකම්ම නවාතැන් පොළවල් නෙවෙයි. හොඳ මට්ටමේ ගොඩනැගිලි, ඇඳන්, වෛද්‍යවරුන් උපස්ථායකයන්, බෙහෙත්-හේත්, උපකරණල වැසිකිළි කැසිකිළි, සෞඛ්‍ය සම්පන්න කෑම බීම විතරක් නොවෙයි කොත්තමල්ලි කෝප්පය පවා මේ දහස් ගණනකට දින 14 ක් පුරා අඩුවක් නැතිව ලබා දෙනවා.

    මූණ ඇඹුල් කරගෙන නිරෝධායනයට යන අය අද හිනාවෙවී එළියට එන්නේ ඒවා අඩුවක් නැතිව සපයන්න පුළුවන් වෙලා තියෙන නිසයි. ඒ වාගේම කොරෝනා රෝගීන්ට ප්‍රතිකාර කරන්න විශේෂ රෝහලක් අපි දින හයකින්, වැලිකන්දේ ඉක්මනින් ඉදිකළා.

    ඒ විතරක් නෙවෙයි, ලංකාවට එන අය පරීක්ෂා කරලා රෝගය ගැන සැක අය ඉන්නවා නම්, ඒ අය ඇසුරු කළ දහස් ගණනක් හඳුනා ගෙන ඒ අයත් ගෙවල්වලම තියලා නිරෝධායනය කරවන්න අපි කටයුතු කළා. නිරෝධායනය මගහරින දහස්ගණන් හඳුනාගෙන ඔවුන්ගෙන් සමාජය මුදවා ගන්න රාජ්‍ය බුද්ධි අංශ පවා යොදවා ගන්න ජනාධිපතිවරයාට සිදුවෙලා තියෙනවා.

    අපි පළමුවැනි කොරෝනා රෝගියා වාර්තා වුණ වහාම සියලු‍ පාසල්ල විශ්වවිද්‍යාල නිවාඩු දීලා දරුවන් රෝගයෙන් මුදවා ගන්න කටයුතු කළා. මේ සම්බන්ධයෙන් ජනාධිපති කාර්ය සාධක බළකායක් ආසියාතික රටවල් අතරින් මුලින්ම ස්ථාපිත කළේ අපි. ගුවන්තොටුපොළෙන් ලංකාවට පැමිණීම නතර කළා. නිරන්තරයෙන් අපේ ප්‍රතිපත්තිය වුණේ ජනතාව අපහසුතාවට පත් නොකර ජනතාවගේ වුවමනාකම් සම්පූර්ණ කරන්න. ඒ නිසා අපි යුද්ධ කාලෙවත් ඇඳිරි නීතිය පැනෙව්වේ නෑ. මේ තත්ත්වයේදී සෞඛ්‍ය විශේෂඥයන්ගේ අදහස්වලට අවධානය යොමුකරලයි අපි ඇඳිරි නීතිය පැනෙව්වේ.

    ඇඳිරි නීතිය පැනවීමත් එක්කම අපේ දහස් ගණන් කර්මාන්තශාලාල ව්‍යාපාර වගේම රජයේ කාර්යාල වහන්න වුණ බව තමුන්නාන්සේලා දන්නවා. එහෙම වුණත් එදිනෙදා ජන ජීවිතය අඩුවක් නැතිව පවත්වාගෙන යාමේ ඉතාම භාරධූර වගකීමත් රජය ඉටුකරමින් ඉන්නවා. විදුලිය, ජලය, ගෑස් අඩුපාඩුවක් නැතිව සැපයීමේ වගකීම රජය දැන් බාරගෙන තියනවා. කෑම බීම, ඖෂධ ඇතුළු අත්‍යාවශ්‍ය දේ රටටම බෙදා හැරීමේ වගකීම ජනාධිපතිවරයාගේත් මගේත් මගපෙන්වීම යටතේ අරලියගහ මන්දිරයේ සිට මෙහෙයුම් කටයුතු සිදුකරන අත්‍යාවශ්‍ය සේවා පිළිබඳ ජනාධිපති කාර්ය සාධක බළකාය ඉටු කරනවා. ඒවගේම එම කටයුතු නිසි ආකාරව සිදුවනවාද යන්න සොයා බලන්නත් අපි වැඩ පිළිවෙළක් සකස් කරලා තියෙනවා.

    ආහාර ද්‍රව්‍යවල මිල පාලනය කරන්න කළ හැකි හැම දෙයක්ම කළා. වැඩිහිටි ආධාර ලබන පිරිස 416,000 ක්ග ඒත් අපි වැඩිහිටියෝ හාරලක්ෂ හතළිස් දෙදාහකට රුපියල් පන්දාහ ගණනේ ඉක්මනින් ලබා දුන්නා.

    ඊළඟට අපට ආබාධිත ජනතාවගේ යැපීම ගැන බලන්න වුණා. ආබාධිත දීමනාව ලබන 22,000 යි හිටියේ. තවත් 38,000කටත් එක්කම රුපියල් 5000 දුන්නා. ගොවියන් 160,000 අපට මේ දීමනාව දෙන්න වුණා. ධීවරයන් 4600 කට ඒ දීමනාව දුන්නා. වකුගඩු රෝගීන් හිටියේ 25,000යි. පොරොත්තු ලේඛනයේ ඉන්න 13,850 කටත් ඒ දීමනාව ගෙව්වා. ගර්භණී මව්වරුන්ට, මන්දපෝෂණයෙන් පෙළෙන දරුවන්ට රාජ්‍ය සේවකයන් මගින් ත්‍රිපෝෂ ඇතුළු දේ ගෙවල්වලට යවලා ඉවරයි. පසුගිය දවස්වල විශ්‍රාමිකයෝ 645ල000 විශ්‍රාම වැටුප වෙලාවට ගෙව්වා.

    දැන් රජයේ ආයතන වසා දමා තිබෙන නිසා රාජ්‍ය සේවකයන් පහළොස් ලක්ෂයක් ඉන්නේ ගෙදර.

    ඒත් මේ පහළොස් ලක්ෂයකටම අප්‍රේල් මාසයේත් වැටුප දැනටමත් ගෙවන්න කටයුතු කරලා ඉවරයි. ඒ විතරක් නෙවෙයි රැකියා විරහිත උපාධිධාරීන් 40ල000 ක් රාජ්‍ය සේවයට බඳවා ගන්න අපි සූදානම් වෙලා හිටියේ. ඒ අය මෙම නිරෝධායන කටයුතුවලට යොදා ගෙන ආර්ථික ශක්තියක් දෙන්න අපි කටයුතු කරනවා. ඒ විතරක් නෙවෙයි සමෘද්ධිලාභීන් මේ රටේ ලක්ෂ 17 ක් ඉන්නවා. පොරොත්තු ලේඛනයේ තවත් හයලක්ෂයක්. ඒ විසිතුන් ලක්ෂයටම අපි රුපියල් පන්දාහෙ දීමනාවත් දීලයි මේ තත්ත්වයට මුහුණ දෙමින් අපි කටයුතු කරන්නෙ.

    අපි මෙහෙම කරගෙන යනකොට මේ රටේ නතර වුණ ව්‍යාපාර ගැනත් හිතන්න වුණා. මේ රටේ ත්‍රිරෝද රථ, පාසල් බස්ල, වෑන් වාගේ දේවල්වලින් රස්සාව කරන ලක්ෂ පහළොවක් හිටියා. මේ සියලු‍ දෙනාට අපි කල්බදු වාරික සහනය දුන්නා. ඇඳිරි නීතිය නිසා ව්‍යාපාර කටයුතු කරගන්න බැරි අයට සහනයක් දෙන්නත් රජයට සිදු වුණා. ශ්‍රී ලංකා මහ බැංකුව දැනටමත් කුඩා හා මධ්‍ය පරිමාණ ව්‍යාපාරවලට සහන දෙන්න පටන් අරන්.

    අපි මෙපමණ මුදලක් වෙන් කරලා ජනතාවට සහන දුන්නේ පාර්ලිමේන්තුවෙන් අයවැයක් සම්මත කරගෙන නෙවෙයි. මේ දේවල් එකක්වත් කරන්න ජනාධිපතිතුමාට පාර්ලිමේන්තුවේ සහාය ගන්න ඉඩ ලැබුණේ නෑ. පාර්ලිමේන්තුව විසුරුවා හරින්න කලින් රජයේ කටයුතු පවත්වාගෙන යන්න අතුරු අයවැයක් සම්මත කරගන්න ගිය අවස්ථාවේ අපට පාර්ලිමේන්තුවේ සහාය දුන්නේ නෑ. එබඳු තත්ත්වයක් යටතේ නැවතත් පාර්ලිමේන්තුව රැස් කිරීමේ කවර ප්‍රයෝජනයක්ද කියලා පරමාධිපත්‍ය බලය තියෙන ජනතාව දැන් අපි කාගෙනුත් අහනවා.

    ලෝක සෞඛ්‍ය සංවිධානයේ සභාපතිවරයා ජනාධිපතිතුමාට කතා කරලා මේ අපේ වැඩපිළිවෙළට ප්‍රශංසා කර අගය කළ බව මුළු ලෝකයම දන්නවා. මේ මොහොතේ ලක්ෂ පනහකට වඩා ජනතාවට රජය ඍජු සහනාධාර ලබා දීලා ඉවරයි. මේ ප්‍රශ්නවලට මුහුණ දෙන අතරේ අපට වාද විවාදවල යෙදිලා ඉන්න වුවමනා නෑ. රටේ ජනතාවගේ හතරෙන් එකකට අපි ආධාර දුන්නේ රටේ ආදායම යහපත් තත්ත්වයක පැවතිලා නෙවෙයි. මේ මොහොත වෙනකොට රජයට ආදායම් ලැබෙන සියලු‍ මාර්ග අකර්මණ්‍යයි.

    මේ වයිරසය පැතිරෙන නිසා අපේ ඇඟලුම් යුරෝපා රටවලට යැවීම නතර වෙලා. ඒ නතර වුණේ රටේ ප්‍රධාන ආදායම් මාර්ගයක්. ඉතාලිය, මැදපෙරදිග රටවල ශ්‍රමිකයෝ එවන මුදල අපේ රටේ ආර්ථිකයේ වැදගත් කොටසක්. ඒ ආදායමත් කොරෝනා වසංගතය පැතිරෙන නිසා ලංකාවට ලැබෙන්නේ නෑ.

    මුළු ලෝකයේම සංචාරක ව්‍යාපාරය කඩා වැටිලා. ජාත්‍යන්තර ගුවන් සේවා සමාගම්වල ඉඳන් අපේ මුහුදු වෙරළේ සිප්පි කටුවටත් මේක බලපානවා. දැනටමත් ලෝකයේ වාගේම අපේ රටේ සංචාරක හෝටල්වල කෑමබීම, ප්‍රවාහන ක්ෂේත්‍ර ඇනහිටලා. මේ වාගේ තත්ත්වයක් යටතේ තමයි අපට මේ වසංගතයට මුහුණ දෙන්න සිද්ධ වෙලා තියෙන්නේ. එහෙත් අපි නැහැයි කියන්නේ නෑ. ජනතාවට බැහැයි කියන්නෙත් නෑ. මේ සටන අතහරින්නෙත් නෑ.

    කිසිම මොහොතක අපි දේශපාලන, ජාතික, ආගමික වශයෙන් හිතලා තීන්දු ගත්තේ නෑ. ගන්නෙත් නෑ. සියලු‍ම දේශපාලන පක්ෂ නායකයන් ඉතාම උනන්දුවෙන් රජයට සහාය දෙන්න ඉදිරිපත් වුණ මොහොතක් මේ. මේ ආගමික ජාතික වශයෙන් බෙදී වෙන් වී හිතන වෙලාවක් නොවේ.

    අපට මේ මොහොතෙ ඉන්න පුළුවන් එක හතුරෙක් විතරයි. ඒ කොරෝනා කියන සතුරා විතරයි. අපි මොන ආගමේ වුණත් මොන ජාතියේ වුණත් මෙන්න මේ සත්‍ය අපි සියලු‍ දෙනාම තේරුම් ගන්න ඕ‌නෑ.

    දැන් බලන්න මහානායක හාමුදුරුවරු ඉල්ලීමක් කළා, මේ බක් පොහොයට පන්සල් එන්න එපා කියල. මොනතරම් මිනිස්සු ගැන තියෙන ආදරයක් ද හැගීමක් ද මේ ප්‍රකාශ වෙන්නෙ. ඒ නිසා අපි හිතන්න ඕනෑ ජීවත්වෙන අය ගැනයි. මේක ආගමකට, ජාතියකට විශේෂ වුවමනා, චාරිත්‍ර වාරිත්‍ර ඉටුකරන වෙලාවක් නෙවෙයි. මේක රට ගැන හිතන වෙලාවක්ග පොදුවේ මනුෂ්‍යයන් හැටියට හිතුවොත් විතරයි අපට මේ මිනී වළෙන් එහාට පනින්න පුළුවන් වෙන්නේ කියන එක මතක තියා ගන්න ඕනෑ.

    මතක තියා ගන්න දරුවෝ, බිරිඳ, ගෙදර ඉඳිද්දී තමන්ට රෝගයට මූණ දෙන්න වෙන බව දැන දැන ඇවිත් රෝගීන්ට ප්‍රතිකාර කරන වෛද්‍යවරු සහ සෞඛ්‍ය කාර්යය මණ්ඩලයක් අපට ඉන්නේ.

    ඇතැම් වෛද්‍යවරුන් තමන්ගේ ඇඟේ කොරෝනා පොසිටිව් වෙනතුරු තමන් රෝහලෙන් යන්නේ නෑ කියලා වැඩ කරනවා. වෙනත් රටවල මුහුණු වැස්මක් දුන්නේ නෑ කියලා සේවය අතහැර ගිය හෙදියොත් ඉන්නවා. ඒත් අපි ආඩම්බරව කියන්නේල, අපේ රටේ ඉන්නේ තමන්ගේ මුහුණ වැස්ම තමන්ම මහගෙන ඇවිත් තම වගකීම ඉටු කරන හෙද පරපුරක්. රෝහල් උපස්ථායකයෝ, ගිලන් රථ රියැදුරෝ කිසිම රෝගියෙක් අතහැරලා නෑ. ඒ වගේම මරණ තර්ජන නිසා ඇතිව තිබෙන ජීවිත අවදානම පවා නොතකා ගෙයින් ගෙට ගිහින් සේවය කරන සෞඛ්‍ය පරීක්ෂකවරුන් අපට ඉන්නවා. ඔබත් මාත් ජීවත් වෙන්නේ එබඳු සෞඛ්‍ය සේවාවක් තියෙන රටක. ඒ වගේම අනෙකුත් අවශ්‍ය සේවාවල වගකීම් ඉටුකරන රාජ්‍ය සේවකයනුත් සිහි කරන්න ඕනෑ. ඒවගේම අපේ පළාත් පාලන ආයතනවල කැපවීම අපි කවුරුත් අගය කළ යුතුයි.

    එදා තමන්ට මරණය තියෙන බව පෙනි පෙනී වැල නොකැඩී ඇවිත් ත්‍රිවිධ හමුදාවටල පොලිසියට බැඳුණු තරුණයෝ අද වයිරසය තිබෙන්නේ කොතැනද, එතැන හොයාගෙන යනවා. තමන් ඉන්න බැරැක්කය රෝගියාට දීලා ඒ අය සිමෙන්ති පොළොවේ නිදා ගන්නවා. ඒ විතරක් නෙවෙයි ලක්ෂ ගණනක් අපේ දූ දරුවෝ මේ කොරෝනා වසංගතයට එරෙහිව කරන මෙහෙයුමට ආධාර කරන්න, අපි ආරාධනා කරන තෙක් ගෙවල්වල සූදානමින් ඉන්නවා. එබඳු රටක ඔබ තනි වෙන්නේ නෑ.

    අපි දිගු කාලයක් ගත කරන්නේ නැතිව ඉක්මනින් මේ වසංගතය ජය ගන්න ඕනෑ. ඒ වගේම ඔබ ආරක්ෂා කිරීමට රජය ගනු ලබන සෑම ක්‍රියාමාර්ගයකටම සහය ලබා දෙන ලෙස මා ඔබගෙන් කාරුණිකව ඉල්ලනවා.

    මේ ව්‍යසනය පරාජය කළාට පසුව ජීවත් වෙන හැටි ගැන අපට දැන්ම තියා හිතන්න වෙනවා. රටේ නිෂ්පාදනයටල බෙදා හැරීමට, වෙළෙඳාමට රජයේ මැදිහත්වීම අහෝසි කිරීමේ අදහසින් පසුගිය කාලේ ආණ්ඩුව ක්‍රියාත්මක වුණා. අද අපට සමුපකාරය සිහි වෙනවා. කෑම බීම වාගේම සරුංගලයත් විදේශයකින් ගෙන්වීම ලාබයි කියන මතය අනුව තමයි ඒ ආණ්ඩුව වැඩ කළේ.

    ස්වයංපෝෂිත ගෙදරක් සඳහා අපි ඇති කළ ගෙවතු වගාව වාගේම කුඹුරු වගාවත් පසුගිය යුගයේ කඩා වැටුණා. දැන් නැවත මේ රටේ ජනතාව හිතන්න පටන් අරන්. කොළඹ නගරයේ ඉඳන් ඈත ගම් බිම් දක්වා සෑම ගෙවත්තක්ම වගා කරන්න සුදානම් වෙන හඬ අපට ඇහෙනවා. අපේ ආහාර අපිම හදාගන්න ජනතාව සූදානම් වෙන බව අපට දැනෙනවාග අපි ඒ සෑම දෙයකටම දිරි දෙනවා.

    අපේ දැඩි සත්කාර ඒකකවලට වුවමනා ඇඳන් අපේම තරුණයෝ හදනවා. සමහර තරුණයෝ රෝගීන් වෙනුවෙන් රොබෝ යන්ත්‍ර පවා දැනටමත් හදනවා. මේ කියන්නේ අපට පුළුවන්ග රට ගැන හිතන මේ සියලු‍ දෙනා ගැන මම ආඩම්බර වෙනවා. ඒ නිසා අපි කොරෝනා වසංගතය පරාද කරලා අපේම ආහාර, අපිම වගා කරන, අපේම කර්මාන්ත දියුණු කරනල අපේ ශක්තිය ලෝකෙට පෙන්වන ශක්තිමත් රටක් වශයෙන් නැගිටින්න වෙනවා.

    ඉතිහාසයේ අපි මීට වඩා දුෂ්කරතාවලට මුහුණදීලා තියෙනවා. ත්‍රස්තවාදය තිබුණ කාලේ අවුරුදු විස්ස තිහ අනාථ කඳවුරුවල ජීවත් වෙලා තියෙනවා. දරු පැටව් එක්ක මහ රෑ හබරල ගාල්වල නිදාගෙන තියෙනවා. එබඳු පරිත්‍යාගයක් කරපු ඔබට රට වෙනුවෙන් මේ ටික කාලය ගෙදරට වෙලා ඉන්න එක කරන්න බැරි දෙයක් නෙමෙයි කියලා මම හිතනවා. රට වෙනුවෙන් ඒ පරිත්‍යාගය කරන්න කියලා මම මගේ ආදරණීය ජනතාවගෙන් ඉල්ලා සිටිනවා. වෙනත් රටවල් මුහුණ දීපු ඛේදවාචකයට මුහුණ දෙන්නේ නැතිව නැගිටින්න අපට පුළුවන් බව මට විශ්වාසයි. අපි දියුණු ජාතියක් විදියට විතරක් නෙවෙයි නිරෝගී ජාතියක් විදියටත් නැගිටින්න ඕනෑ.

  • කොරෝනා වෛරසය: ‘ලොක්කන්ට පාඩමක්’ – පුංචි දූපත් කොවිඩ්-19 ට වැට බඳින හැටි

    කොරෝනා වෛරසය: ‘ලොක්කන්ට පාඩමක්’ – පුංචි දූපත් කොවිඩ්-19 ට වැට බඳින හැටි

    අදින් මාස තුනකට ආසන්න කාලයකට පෙර දවසක එනම්, පසුගිය ජනවාරි මස 12 වන දා වන විට කොරෝනාවෛරසය (Covid-19 ) චීනයට පමණක් සීමා විය. වෛරසය මුලින් ම ආරම්භ වූ එරටින් පිටත එක ම ආසාදිතයෙකු හෝ එතෙක් වාර්තා නොවිණි.

    එහෙත් පසු දින, එනම් ජනවාරි 13 වන දා කොරෝනාවෛරසය ගෝලීය ප්‍රශ්නයක් බවට පත්විය.

    තායිලන්තයෙන් එක් රෝගියෙකු වාර්තා වූ අතර අනතුරුව ජපානයෙන් සහ දකුණු කොරියාවෙන් ද කොරෝනාවෛරස් ආසාදිත පුද්ගලයන් හමු වන්නට විය. ඉතා ඉක්මනින් ඇමෙරිකා එක්සත් ජනපදයත් වෛරසයට ගොදුරු විය.

    පළමුව කුරගාමින් පැමිණි වෛරසය අද පාලනය කර ගැනීමට අපහසු දුෂ්කර ප්‍රවාහයක් බවට හැරී ඇත.

    අද මේ මොහොත වන විට ලෝකය පුරා කොරෝනාවෛරසය (Covid-19 ) ආසාදිත ජන සංඛ්‍යාව දශ ලක්ෂය ඉක්මවා අවසන්ය.

    වෛරසය නේපාලයේ පටන් නිකරාගුවා තෙක් ලෝකය ආක්‍රමණය කරනු ලැබ අවසන්ය. මරණ සංඛ්‍යාව දිනෙන් දින වැඩිවෙමින් පවතී. රෝහල් වාට්ටු කොවිඩ්-19 රෝගීන්ගෙන් පිරී ඉතිරී යමින් දරා ගත නොහැකි මට්ටමකට ළඟා වී ඇත.

    ලෝක සිතියමෙන් වැඩි කොටසක එවැනි චිත්‍රයක් දක්නට ලැබෙද්දී, වෛරසය පහර නොදුන් යම්කිසි තැනක් අපට මේ මිහිතලයෙන් සොයාගත හැකි ද?

    පිළිතුර ඔබ පුදුමයට පත් කරනු ලැබීමට හේතුවිය හැකිය. එය කුමක් ද?

    “ඔව් !”

    A man watches breaking news of North Korea's latest projectile launch, on a TV screen at Seoul Station in Seoul
    උතුරු කොරියාවෙන් කොරෝනාවෛරස් රෝගීන් වාර්තා වී නොමැති අතර වැඩි වශයෙන් වාර්තා වුනේ මිසයිල අත්හදා බැලීම්ය

    එක්සත් ජාතීන්ගේ සංවිධානයේ සාමාජික රාජ්‍යයන්ගේ සංඛ්‍යාව 193 කි.

    ‘ජෝන්ස් හොප්කින්’ සරසවියේ දත්ත භාවිතා කරමින් සකස් කරන ලද බීබීසී ප්‍රකාශනයකට අනුව, මෙයින් දින කීපයකට පෙර, එනම් අප්‍රේල් 02 වෙනිදා වනවිට ලොව රටවල් 18 කින් එකදු කොරෝනාවෛරස් ආසාදිතයකුවත් වාර්තා වී නැත.

    ලෙසෝතෝ ( Lesotho) දකුණු අප්‍රිකාවට මැදිව පිහිටි ඒකාධිපති රාජ්‍යයක්. ලෝකයේ වැඩිම එඩ්ස් ආසාදිතයින් සිටින රටකි. දුප්පත් රටකි.
    Presentational grey line

    එම රටවල් 18:

    කොමොරෝස් (Comoros), කිරිබති (Kiribati), ලෙසෝතෝ ( Lesotho), මාර්ෂල් දූපත් (Marshall Islands), මයික්‍රොනොසියා (Micronesia), නාවුරු (Nauru), උතුරු කොරියාව (North Korea), පලාවු (Palau), සමෝආ( Samoa), සාඕ ටොම් සහ ප්‍රින්සිපේ ( Sao Tome and Principe), සොලමන් දූපත් (Solomon Islands), දකුණු සූඩානය (South Sudan), තජිකිස්ථානය(Tajikistan), ටොන්ගා (Tonga), ටුවාලු (Tuvalu), වනුටු (Vanuatu), යේමනය (Yemen), තුර්ක්මේනිස්ථානය(Turkmenistan),

    Presentational grey line
    තජිකිස්ථානය(Tajikistan) සෝවියට් දේශයට අයත්ව තිබී එහි බිදි යාම සමග ස්වාධීනත්වය දිනාගත් මධ්‍යම ආසියානු රටකි. ඒකාධිපති පාලනයක් පවතී.

    මෙහිදී සැලකිල්ලට ගත යුතුව ඇති එක්‌ වැදගත් කරුණකි. එනම්, ඇතැම්විට වාර්තා නොකෙරුණ ආසාදනයවීම් තිබිය හැකි බවට විශේෂඥයන් එකඟවීමය.

    උදාහරණයක් වශයෙන්, නිල ප්‍රකාශන අනුව උතුරු කොරියාවේ කොරෝනා ආසදිතයන්ගේ සංඛ්‍යාව බින්දුවකි. යුද්ධයෙන් බෙදීගිය දේශයක් වන යේමනයේ තොරතුරු ද එවැනිය.

    කෙසේවුවද, වෛරසය තවමත් සේන්දු නොවූ රටවල් පවතී. එයින් වැඩි කොටසක් ‘ආගන්තුකයන්’ වැඩි වශයෙන් පය නොගසන කුඩා දූපත් රාජ්‍යයෝ වෙති.

    යේමනය (Yemen) දීර්ඝ කාලයක් තිස්සේ සිවිල් යුද්ධයෙන් පීඩා විදින මැදපෙරදිග කලාපයේ දුප්පත්ම රටකි.
    Presentational grey line

    එක්සත් ජාතීන්ගේ තොරතුරුවලට අනුව, ඉතාම ස්වල්පයක් ආගන්තුකයන් පිය තබන ලෝකයේ ස්ථාන දහයෙන් හතක කිසිවෙකුත් මේ දක්වා කොරෝනාවෛරස් උවදුරට ගොදුරු වී නැත.

    ඊට එක හේතුවක් වන්නේ ඔවුන්ගේ වෙන් වූ හුදෙකලා පැවැත්මයි. අද යුගයේ බල පැවැත්වෙන සමාජ දුරස්ථභාවයට අදාළ රෙගුලාසිවලට අනුව දූපත් ජාතීහු සැබෑ ස්වයං හුදෙකලාභාවයක් සහිත සමාජ වෙති.

    එහෙත් එවැනි කුඩා රාජ්‍යයක ජනාධිපතිවරයෙක් පවතින තත්ත්වය සම්බන්ධයෙන් සතුටු නොවෙයි. බීබීසියට ප්‍රකාශයක් කළ එම ජනාධිපතිවරයා සඳහන් කළේ Covid-19 දැනටමත් ජාතික හදිසි තත්ත්වයක් ඉස්මතුකර ඇති බවය.

    Parishioners wash hands as a preventive measure against the spred of the COVID-19 coronavirus
    කොරෝනාවෛරසය පැතිර යාම වැලැක්වීම සඳහා මලාවි හි බන්ධනාගාර රැඳවියන් දෑත් සෝදන අයුරු

    ශාන්තිකර සාගරයේ දූපතක් වන නාවුරු (Nauru) පිහිටා තිබෙන්නේ වෙනත් ඕනෑම ජනාවාසයකින් කිලෝමීටර් 320 ක් ඈතිනි. කිරිබති රාජ්‍යයට අයත් බනබා (Banaba) දූපත ඔවුන්ගේ ළඟම අසල්වැසියා වෙයි. එහෙත් ඔවුන් අතර දුර කිලෝමීටර් දෙසීයකි. නාවුරු (Nauru) දූපත ආසන්නයේ පිහිටි ප්‍රධාන නගරය ඔස්ට්‍රේලියාවේ බ්‍රිස්බේන්(Brisbane) නගරයයි. නාවුරු සහ බ්‍රිස්බේන් අතර දුර කිලෝමීටර් 2,500 කි.

    එක්සත් ජාතීන්ගේ සඳහන් කිරීම් අනුව මොනාකෝ’ (Monaco) දූපතෙන් අනතුරුව ඊළඟ කුඩාම ජනාවාස භූමිය නාවුරු දූපතය. එහි ජනගහනය දස දහසකට මඳක් වැඩිය. ටුවාලු (Tuvalu) දූපතෙන් අනතුරුව ඊළඟ කුඩාම ජනගහනය සහිත රට නාවුරු වෙයි.

    එපමණක් නොව නාවුරු මිහිමත රාජ්‍යයන් අතරින් අඩුම පිරිසක් සංචාරය කළ භූමියයි. ඉතා මෑතක නිකුත් කරන ලද එක්සත් ජාතීන්ගේ සංඛ්‍යාලේඛනවල සඳහන් නොවුනත්, එක් සංචාරක ආයතනයක් පවසන පරිදි වසරකට නාවුරු කරා පැමිණෙන සංචාරකයන්ගේ සංඛ්‍යාව 160 ක් පමණි.

    එහෙත් මෙවැනි දුරස්ථ සමාජයක් තවත් ඈත්විය යුතු නැතැයි කෙනෙකු සිතීමට ඉඩකඩ ඇත. එම දුරස්ථ සමාජය සතුවන්නේ එකම එක රෝහලක් පමණි. ශ්වසන අධාරක (ventilators) එකක්වත් එහි නැත. හෙද හෙදියන්ගේ හිඟයක් පවතී. කිසිදු මට්ටමක අන්තරායක් භාර ගැනීමට ඔරොත්තු දෙන පරිසරයක් ඔවුන්ට නොමැත.

    කොරෝනා වෛරසය ලෝකය ආක්‍රමණය කරද්දී නාවුරු පාලනය පහත දැක්වෙන ක්‍රියාමාර්ග ගත්තේය.

    1. මාර්තු 02 – චීනය, දකුණු කොරියාව සහ ඉතාලිය සම්බන්ධයෙන් සංචාරක තහනමක් පැනවීය. ඉන් දින පහකට පසුව එම ලැයිස්තුවට ඉරානයත් එක් කරනු ලැබුණි.
    2. නාවුරු ගුවන් සේවය මාර්තු මාසයේ මැද භාගයේ පටන් ෆිජි, කිරිබති සහ මාර්ෂල් දූපත් කරා වූ ගුවන් ගමන් අත්ටහිටවනු ලැබුණි. බ්‍රිස්බේන් සමඟ සතියකට පැවති ගුවන්ගමන් වාර තුන, සති දෙකකට එක ගමනක් දක්වා අවම කරන ලදී.
    3. ඔස්ට්‍රේලියාවේ සිට යළි පැමිණෙන සිය රටවැසියන් සහ වෙනත් පුද්ගලයන් හෝටල්වලට යවා දින 14ක නිරෝධායන ක්‍රියාවලියකට ලක්විය යුතු බවට නියෝග කෙරිණ.
    4. මෑතදී කිසිදු දේශපාලන රැකවරණ පතන්නෙකු ඔස්ට්‍රේලියාව විසින් නාවුරු කරා ඒවා නැතත්, එසේ එවනු ලබන්නන් දෙසතියක නිරෝධායනයට ලක් කෙරෙනු ඇත.( ඔස්ට්‍රේලියාව නාවුරු දූපතේ සරණාගත කඳවුරක් පවත්වා ගෙන යයි)

    තමන් විසින් අනුගමනය කරනු ලබන ක්‍රියාමාර්ග නාවුරු ජනාධිපති ලියොනෙල් එයින්ගිමේ (Lionel Aingime) විසින් විග්‍රහ කරනු ලබන්නේ “වැට බැඳීමේ සහ වැලැක්වීමේ” උපක්‍රමයක් හැටියටය.

    “අපි මේ දේවල් දේශසීමාවට සීමා කරනවා” ජනාධිපතිවරයා පවසයි.

    “අපි, අපේ දේශසීමා හැටියට සලකන්නේ අපේ ගුවන් තොටුපොළ. වෙනත් රටවලට යන ගුවන්මගීන්ට මාරුවීමට පහසුකම් සැලසීම (transit facilities) අපේ එම දේශසීමාවේ එක අංගයක්”

    නිරෝධායනයේ තබා සිටින පුද්ගලයන්ගේ රෝග ලක්ෂණ තිබේදැයි දිනපතා පරීක්ෂා කරනු ලැබේ. ඔවුන් අතරින් යම් කිසිවෙකුගේ සිරුරෙහි උණ ගතියක් වේනම් ඔහු/ඇය වහාම වෙනත් ස්ථානයක වෙන්කර තබනු ඇත. ඒ අතර ඔහු/ඇය කොරෝනා (Covid-19) පරීක්ෂණයට භාජනය කෙරෙයි. එවැනි අවස්ථාවන්හි යොදාගන්නා ලද පරීක්ෂණ කට්ටල ඔස්ට්‍රේලියාවට යවන අතර, මේ දක්වා ප්‍රතිඵල ලෙස ලැබී ඇත්තේ ඔවුන් කිසිවෙකුට වෛරසය ආසාදනය වී නොමැති බවය.

    අර්බුදයක් මැද ජීවත්වෙන නමුත් නාවුරුවාසී සාමාන්‍ය ජනතාව “සංසුන් සහ සාමූහික” දිවියක් ගෙවන බව ජනාධිපතිවරයා සඳහන් කළේය.

    විශේෂයෙන්ම තම රට පූර්ණ සම්බන්ධතා පවත්වන ඔස්ට්‍රේලියාව සහ තායිවානය ඇතුළු රටවල් තමන්ට දෙන සහයෝගය සම්බන්ධයෙන් නාවුරු ජනාධිපතිවරයා සිය කෘතඥතාව පළ කරයි.

    එපමණක් නොව, තමා අදහන ආගමත් ඔහුගේ කෘතඥතාවයට ලක්වෙයි.

    Two men riding their motorbike on the quiet streets of Aiwo on the Pacific island of Nauru on 1 September 2018
    අර්බුදයක් මැද ජීවත්වෙන නමුත් නාවුරුවාසී සාමාන්‍ය ජනතාව “සංසුන් සහ සාමූහික” දිවියක් ගෙවන බව ජනාධිපතිවරයා සඳහන් කළේය

    රතු පාට ලෝක සිතියමක්

    ජනාධිපතිවරයා තම දූපත කොරෝනාවෛරසය කොහෙත්ම නොමැති භූමියක් ලෙස පවත්වා ගැනීමේ ප්‍රයතන්යක නිරතවෙමින් සිටින අතරවාරයේ සෙසු ලෝකය අද එවැනි වාසනාවන්ත තත්ත්වයක නොමැති බව ඔහු වටහාගෙන ඇත.

    “අපි හැම මොහොතකම Covid-19 සිතියම බලනවා. ලෝක සිතියම හරියට සරම්ප වසංගත කාලෙක වගේ රතුපාට වෙලා. හැමතැනම රතුපාට තිත් ගොඩක්” යනුවෙන් ඔහු පවසයි.

    “ඉතින් ජාතියක් හැටියට, අපි විශ්වාස කරනවා අපේ යාඥාවන් සෙසු ජාතීන්ට මේ දුෂ්කර තත්ත්වයෙන් ගොඩ එන්නට උදව්වක් වේවි කියල”

    කොරෝනා වෛරස් උවදුර හමුවේ ජාතික මට්ටමින් හදිසි තත්ත්වයක් ප්‍රකාශයට පත් කරන ලද එකම කුඩා ශාන්තිකර සාගර රාජ්‍යය නාවුරු පමණක් නොවේ.

    කිරිබති, ටොන්ගා, වනුටු, සහ තවත් දිවයින් එවැනි පියවර ගනු ලැබ ඇත.

    දෑත් සේදීම

    ශාන්තිකර කලාපයේ ‘Niue’ හි වෛද්‍ය කොලින් ටුකුයිටොන්ගා (Dr Colin Tukuitonga) පවසන්නේ එවැනි පියවරක් ගැනීම නිසැකවම නිවැරදි බවය.

    “මේ කෲර වයිරස් සතුරා ඈත්කර තැබිය යුතුයි” වෛද්‍යවරයා පෙන්වා දෙයි.

    වෛද්‍ය කොලින් ටුකුයිටොන්ගා මහජන සෞඛ්‍යය පිළිබඳ විශේෂඥවරයකු වන අතර, ලෝක සෞඛ්‍ය සංවිධානයේ කොමසාරිස්වරයකු ලෙසත් කටයුතු කර ඇත. ඔහු දැන් නවසීලන්තයේ ‘ඕක්ලන්ඩ්’ සරසවියේ වෛද්‍ය පීඨයේ සහකාර පීඨාධිපතිවරයෙකි.

    “අපි කතාකරන ශාන්තිකර දූපත්වල දියුණු සෞඛ්‍යය වැඩපිළිවෙලක් නැහැ. ඒවා පුංචි රටවල්. දුර්වලයි. බොහෝ දූපත්වල ‘වෙන්ටිලේටර්ස්’ නැහැ. වැරදිලාවත් වෛරසය ඇතුල් වුනොත් ජනතාව විශාල ගණනින් විනාශ වේවි”

    “මේ දූපත්වල දියවැඩියාව, හෘද රෝග සහ වෙනත් පපුවේ රෝගාබාධ අතින් තියෙන්නේ නරක තත්ත්වයක්. වැඩි දෙනෙක් එවැනි ආබාධවලින් පීඩා විඳිනවා. කොරෝනාවෛරසය අසාදනය වුනොත් එවැනි රෝගීන්ගේ තත්ත්වය තවත් බරපතල වෙනවා”

    එවැනි දූපතක වැසියෙක් බරපතල ආබාධයකට ගොදුරු වුනොත්, විදේශයකට යැවීමට සිදුවෙයි. එහෙත් වඩා පහසුවන්නේ එවැනි තත්ත්වයක් මතුවීමට ඉඩ නොදී දේශසීමා වසාදමීමය.

    එබැවින් හැකිතාක් කල් කොරෝනාවෛරසය එක වැසියෙකුට හෝ බෝවීමට ඉඩ නොදී පාලනය කර ගැනීම වැදගත් බව වෛද්‍ය කොලින් ටුකුයිටොන්ගා පෙන්වා දෙයි.

    “මහා සයුරකින් කොටු වී සිටීම, කුඩා සංඛ්‍යාවක් වූ එම දූපත්වසීන්ට සදාකාලික ප්‍රශ්නයක් වී තිබුනත්, අද එය ඔවුන්ට රැකවරණයක් වී ඇතැ”යි වෛද්‍යවරයා කියා සිටියි.

    මහ සයුරින් නොව, ගොඩබිම් දේශසීමාවලින් වටවී ඇති කුඩා රාජ්‍යයන් කීපයක් ද තවමත් කොරෝනා වෛරසයෙන් ඈත තත්ත්වයක පවතී.

    මලාවියත් සූදානමින්

    නැගෙනහිර අප්‍රිකාවේ මිලියන දහ අටක් ජනතාව වාසය කරන ගොඩබිමින් වට වූ රටක් වන මලාවි (Malawi) රාජ්‍යයේ පළමු ආසදිතයා වාර්තා වුනේ, පසුගිය අප්‍රියෙල් 03 – බ්‍රහස්පතින්දාය. දැන් ඔවුහු අභියෝගයට මුහුණදීමට සූදානමින් සිටිති.

    පාසල් වසා දමමින්, පසුගිය මාර්තු 20 දිනට පෙර නිකුත් කර තිබුණ සියලු වීසා අවලංගු කළ මලාවි පාලනය, රටතුළ ‘ආපදා තත්ත්වයක්’ ප්‍රකාශයට පත් කිරීමට පියවර ගත්තේය.

    එරට සිදු කෙරෙන කොවිඩ්-19 පරීක්ෂණ වේගවත් කරනු ලැබ ඇතැයි ලිවර්පූල් සරසවියේ ඝර්ම කලාපීය වෛද්‍ය සායන අංශයේ මහජන සෞඛ්‍යය පිළිබඳ විශේෂඥ වෛද්‍ය පීටර් මැක්ෆර්සන් (Dr Peter MacPherson) පවසයි.

    ඔහු මලාවි රාජ්‍යයේ සිට සිය සේවය ඉටු කරයි.

    මලාවි රාජ්‍යය මෙම කොරෝනා වෛරසයට එරෙහිව සටන් වදින බවට වෛද්‍යවරයා තුළ දැඩි විශ්වාසයක් පවතී.

    “කොරෝනාවෛරසය හැම රටක්ම ආක්‍රමණය කරාවි කියල ලැබෙන සාක්ෂිවලින් ප්‍රකාශ වෙනවා. ලෝකයේ Covid-19 වෛරසයට ගොදුරුවෙන අන්තිම රට මලාවි වෙන්න බැරිද?” එය වෛද්‍ය පීටර් මැක්ෆර්සන් පළ කරන අදහසයි.

    “අන්තිමටම කොරෝනාවෛරසයට ගොදුරුවිය හැකි කලාපය දකුණු ශාන්තිකර කලාපය වනු ඇතැයි පෙනීයන බවට” සවුතැම්ප්ටන් (Southampton) සරසවියේ ජනගහන අවකාශය සහ වසංගත රෝග පාලනය පිළිබඳ විද්‍යාංශයේ මහාචාර්ය ඇන්ඩි ටෙටම් (Andy Tatem) අනාවැකි පළ කරයි.

    “ඒත් අද පවතින ආර්ථික ගෝලීයකරණය තුළ මේවගේ පැතිරයමින් පවතින වසංගත රෝගයකින් බේරීමට කිසිම රටකට හැකිවනු ඇතැයි මට සහතිකයක් නැහැ”

    නාවුරු දූපත මෙන් රට වසා තැබීම මගින් සාර්ථක ප්‍රතිඵල ලබාගත හැකි වුනත් , ඔවුන්ටත් සදාකාලික ගැළවීමක් නැති බවත් මහාචාර්යවරයා සඳහන් කරයි.

    “එම දූපත් රාජ්‍යයන් වැඩිවශයෙන් රඳා පවතින්නේ පිටරටින් ආනයනය කරනු ලබන දේ මත. ආහාර හෝ වෙනත් බඩු භාණ්ඩ. එහෙමත් නැත්නම් සංචාරක කර්මාන්තය. අනිත් අංශය තමයි, ඔවුන්ගේ නිෂ්පාදන අපනයනය කිරීම. ඔවුන්ට රට සහමුලින්ම වසා තබන්න පුළුවන්. ඒකෙන් පාඩු සිද්ධවෙනවා. අන්තිමේ දී සිද්ධ වන්නේ රට විවෘත කිරීමට සිදුවීම”

    “වසා තබනු ලැබීම සෞඛ්‍යය අතින් ඉතා හොඳයි. නමුත් අද ලෝකයේ විශාල ජනකායක් ඉක්මණින් වෙනස්වෙන සුළුයි. අපට මේ වෛරසයත් එක්ක එක්තරා කාල පරිච්ඡේදයක් සටන් කරන්න සිදුවේවි” යනුවෙන් මහාචාර්ය ඇන්ඩි ටෙටම් වැඩිදුරටත් සඳහන් කළේය.

    full text copied by bbc sandesaya

  • කොරෝනා සමග පැමිණිය හැකි සාගතයට ගෙවත්තෙන් විසදුමක්

    කොරෝනා සමග පැමිණිය හැකි සාගතයට ගෙවත්තෙන් විසදුමක්

    L.P රූපසේන – ජ්‍යේෂ්ඨ කථිකාචාර්ය, කෘෂිකර්ම පීඨය, රජරට විශ්වවිද්‍යාලය

    කොරෝනා වසංගතයත් සමග ලෝක ආර්ථිකය බලවත් අර්බුදයකට ගමන්කරමින් තිබේ. මේ තත්ත්වය දියුණුවෙමින් පවතින රටවලට ප්‍රබල බලපෑමක් එල්ලකරන බවට ආර්ථික විශේෂඥයන් දැනටමත් මත පළකර ඇත. විශේෂයෙන් ආහාර හිඟයක් හා සාගතයක් පිළිබඳව අනතුරු අඟවා තිබුණේ වසර ගණනාවක සිටය.

    නිෂ්පාදන ආර්ථිකයක් නොමැති ශ්‍රී ලංකාවට මේ තත්ත්වය වඩාත් අහිතකර ලෙස බලපානු ඇත. කෘෂිකාර්මික අතින් දියුණු තැනකට ගෙන ඒමට හැකියාව තිබූ මෙරට ආර්ථිකය 1977 න් පසු කාර්මීකරණයට වැඩි ඉඩක් සපයමින් කෘෂිකාර්මික කේෂ්ත්‍රය අමතකකර දැමීම නිසාම අපට අත්විදින්නට සිදුවන ප්‍රතිවිපාක දරුණුය.

    ලෝකයේ බලවත් රටවල්පවා කෘෂි ආර්ථිකයට මුල්තැනක් ලබාදෙද්දී ශ්‍රී ලංකාව ඊට දෙවැනි තැන ලබාදීම නිසාම වසර ගණනාවක සිට කෘෂි කේෂ්ත්‍රයේ පිරිහීමක් දකින්නට ඇත. ලොව දියුණු රටවල සංවර්ධන ඉතිහාසය ගෙන බැලූවිට ඔවුන් මූලිකත්වය දී ඇත්තේ කෘෂිකර්මාන්තය සදහාය.අසල්වැසි ඉන්දියාව ඊට කදිම නිදසුනය. ඉන්දියාව ලෝකයට විවෘත කළද ඔවුන් දේශීය කෘෂිකර්මාන්තය නඟාසිටුවීමට මූලිකත්වය දී තිබේ.

    දේශීය ආර්ථිකය ශක්තිමත් නොකළ ශ්‍රී ලංකාව විවෘත ආර්ථිකය සමග විශ්ව ගම්මාන සංකල්පය ගෙන එමින් ලොව ශක්තිමත් රටවල් සමග මෙරට ආර්ථිකය සංසන්දනය කළේය. ලොව බොහෝ රටවල් කෘෂිකාර්මික පර්යේෂණ සදහා දළ දේශිය නිෂ්පාදනයෙන් 1% කටත් වඩා වෙන් කළද ශ්‍රී ලංකාව ඒ සදහා වෙන් ක⁣ළේ් 0.5% කි. එයද ක්‍රමානුකූලව අඩුවෙමින් මේ වනවිට කෘෂි පර්යේෂණ සදහා වෙන් කෙරෙන මුදල 0.2% දක්වා පහළ වැටී ඇත.මෙරට බොහෝ කෘෂි පර්යේෂණ වී වලට ප්‍රමුඛතාව දී තිබීම නිසාම අනෙකුත් බෝග වගාවන් බරපතළ කඩාවැටීමකට ලක්ව ඇත.

    වර්තමානය වනවිට ශ්‍රී ලංකාව බොහොමයක් කෘෂි නිෂ්පාදන ආනයනය කරන මට්ටමට පැමිණ ඇත්තේද ,මුංඇට, කවුපි, බඩඉරිගු, කුරක්කන්, තල, මෙනේරි, වැනි අතිරේක බෝග සදහා ගොවියා දිරිමත් කිරීමට වැඩ පිළිවෙළක් නැත්තේද මෙරට දකින්නට ලැබෙන කෘෂි පර්යේෂණවල අඩුව නිසාය.විශේෂයෙන් අතිරේක බෝග සදහා මිනිස් ශ්‍රමය වැඩි වශයෙන් අවශ්‍යය.එවැනි තත්ත්වයකදී මිනිස් ශ්‍රමය අඩුවෙන් ලබාගනිමින් බෝගවගාව සදහා නව ක්‍රම අත්හදා බැලීමට ප්‍රමාණවත් පර්යේෂණ අප සිදුකර නැත.වී වගාව වෙනුවෙන් එවැනි පර්යේෂණ සිදුකරමින් ඒ සදහා පහසුකම් සැපයීමේ ප්‍රතිඑල මේවන විට අප අත්විදිමින් සිටී. මේ නිසාම සහල් ආනයනය නතරකළ හැකි මට්ටමට වී වගාව පත්ව ඇත. අතිරේක බෝග අතහැර පහසුකම් ඇති වී වගාවට බොහෝ ගොවීන් යොමුවීම නිසාම අතිරේක බෝග වගාවෙන් ගනු ලබන නිෂ්පාදන සියල්ලම ආනයනය කරන මට්ටමට පැමිණ ඇත.

    ලෝක ආර්ථික අර්බුදය තවතවත් වර්ධනය කරමින් කොරෝනා වසංගතය ලොවපුරා ව්‍යාප්ත වීම නිසාම, මෙතෙක් විවිධ රටවලින් භාණ්ඩ ආනයනයට තිබුණු අවස්ථා මගහැරී යනු ඇත. ඒ අතරින් මෙරටට බලපාන විශේෂිත කරුණ වන්නේ ආහාර ආනයනය පිළිබදව ඇතිවන අර්බුදකාරී තත්ත්වය සමනය කර ගැනීමය. මෙරට වගාකිරීම හැර ඊට වෙනත් විසදුම් නැත.

    කොරෝනා වසංගත තත්ත්වය හේතුවෙන් ලොව අනෙක් රටවල කෘෂි නිෂ්පාදන සහ අනෙකුත් කර්මාන්තද බිද වැටීමකට ලක්වෙමින් තිබේ. එවැනි වටපිටාවක ඔවුන් නිෂ්පාදනය කරන ආහාර තවත් රටකට ලබාදීමට ප්‍රමාණවත් වන්නේ නැත.මෙම තත්ත්වය අවබෝධකර ගනිමින් මෙරට ආර්ථිකයේ කඩාවැටීම අවම කරගැනීම සදහා කෘෂි ආර්ථිකය නැවත ගොඩනැගිය යුතුය. ඒ සදහා කෙටිකාලීන, මධ්‍යකාලීන සහ දිගුකාලීන සැලසුම් සකස්කළ යුතුය. විදෙස් රටවලින් ආහාර ආනයනය කළ නොහැකි වටපිටාවක අප කඩිනමින් විමසා බැලිය යුත්තේ කෙටිකාලීන විසදුම් සකස් කිරීමේදී ගතයුතු පියවර පිළිබදවය.

    ඉදිරි වගාකන්නය වන්නේ මෙරට වර්ෂා ජලය අඩුවෙන් ලැබෙන යල කන්නය වීම නිසා ඒ පිළිබදව වැඩි සැළකිල්ලක් දක්වමින් සැලසුම් සකස් කළ යුතුව ඇත. මැයි මාසයෙන් ආරම්භවන යල කන්නය මෙරට වගාකටයුතු අඩුවෙන් සිදුවන කන්නයකි.වාරි ජලයෙන් වගාකටයුතු සිදුකිරීම හේතුවෙන් මෙම කන්නය ප්‍රධාන කන්නයක් සේ නොසැලකීම නිසා ගොවීන් සිය සුපුරුදු වගා රටාවට යොමුවන්නේ නැත. මේ හේතුව නිසාම වසර විස්සක පමණ සිට ජුනි මාසයෙන් පසු මෙරට එළවළු මිල උපරිම මට්ටමකට යාම සාමාන්‍ය තත්ත්වයකි. වෙ⁣ළෙද පොළේ මිල ස්ථායී කිරීම සදහා විදේශයන්ගෙන් අල, ලූණු, මිරිස්,පරිප්පු ආදිය ගෙන්වීම මේ කාලයේ දක්නට ලැබෙන සුලබ සිදුවීමකි. එහෙත් මෙවර ලෝක තත්ත්වය හමුවේ එවැන්නකට ඉඩකඩ නොමැති බව පැහැදිලිය. අප භාණ්ඩ ආනයනය කරන බොහොමයක් රටවල් මේවනවිට කොරෝනා වසංගතයේ ගොදුරු බවට පත්වෙමින් තිබීම නිසාම ඔවුන්ගේ නිෂ්පාදනද අඩුවිය හැකිය.

    ශ්‍රී ලංකාවේ කොරෝනා තත්ත්වය පාලනයට ඇදිරිනීතිය දැමුවද කෘෂිකාර්මික කටයුතු සදහා නිදහස ලබාදෙමින් වරින් වර ආණ්ඩුව නිවේදන නිකුත්කළේද මෙකී බැරෑරුම් තත්ත්වය අවබෝධකොට ගෙනයැයි සිතිය හැකිය.

    කෘෂි කේෂ්ත්‍රෙය් පලදායීතාව වැඩිකිරීම කඩිනම් කළයුතු අතර ඒ සදහා ගොවීන්ට මගපෙන්වීම අත්‍යවශ්‍යය. අක්කරයකින් ලබාගත හැකි උපරිම අස්වැන්න ලබාගැනීම සදහා ගොවීන් දිරිමත් කළයුතුය. වී සම්බන්ධයෙන් ගත්කල පවතින තාක්ෂණය යටතේ වාරි ජලයෙන් වගාකිරීමේදී හෙක්ටයාරයකින් අස්වැන්න වී කිලෝ දස දහසක් ලබාගත හැකිය. එහෙත් මේවනවිට ගනු ලබන්නේ වී කිලෝ පන්දහසක් පමණි.මෙයට ප්‍රධාන හේතුව ගොවියා නිවැරැදි තාක්ෂණය අනුගමනය නොකිරීමය.

    අස්වනු අඩුවීමට තෙල් පොහොර අධික භාවිතය මෙන්ම ගුණාත්මක බීජ භාවිතයේ අඩුවද බලපාන බව ප්‍රධාන වශයෙන් දැකිය හැකිය. මෙම වැරදි නිවැරැදි කිරීමට මෙරට කෘෂි ව්‍යාප්ති සේවය ශක්තිමත් කළයුතුය. 1989 වසරේදී කෘෂි ව්‍යාප්ති නිලධාරීන් ග්‍රාමනිලධාරීන් බවට පත්කිරීම හේතුවෙන් කෘෂි ව්‍යාප්ති සේවයේ විශාල හිඩසක් ඇතිවිය. මෙම හිඩස මේවන තෙක් පිරවීමට කිසිවකුත් සමත්වී නැත. දැනට සිටින කෘෂි ව්‍යාප්ති නිලධාරියකුට අයත් කෘෂි පවුල් සංඛ්‍යාව 3500කට වැඩිය. එනිසාම විවිධ ආණ්ඩු ගෙනා වැවිලි ව්‍යාපෘති බොහොමයක් ප්‍රතිඑල රහිත තත්ත්වයට පත්ව ඇත. මෙවැනි තත්ත්වයක් තුළ කෘෂි කේෂ්ත්‍රය නගාසිටුවීම පහසු නොවනු ඇත.

    ගොවියාගේ එලදායීතාව වැඩිකිරීම සදහා ගොවියාට දැනුම ලබාදිය යුතුය. ඒ සදහා දැනුවත් නිලධාරීන් අවශ්‍යය.මෙරට වගාකෙරෙන කෘෂි නිෂ්පාදනවල මිල ඉහළ යාමට ප්‍රධාන හේතුව වන්නේද වගාබිමෙන් නිසි පලදායීතාව ළඟාකර නොගැනීමය. අක්කරයකින් ලබාගත යුතු අස්වැන්න නිසි ආකාරව නොලැබෙන විට වියදමට සරිලන අස්වැන්නක් නොලැබේ. එවිට තම නිෂ්පාදනවල මිල ඉහළ දැමීම හැර ගොවියාට කළ හැකි වෙනත් දෙයක් නැත. මේ තත්ත්වය කෘෂි කේෂ්ත්‍රෙය් සිටින සියලු දෙනා තේරුම් ගතයුතුව ඇත. එබැවින් කෘෂි නිෂ්පාදනයේදී ඇතිවන ඉහළ නිෂ්පාදන වියදම අඩුකිරීමට ප්‍රතිපත්ති සම්පාදනය වියයුතුය.

    මේ සදහා විශේෂ කමිටු හදා කමිටුවලට මුදල් වෙන්කොට එම මුදල් ද අපතේ යන තත්ත්වයක් ඇතිකළ යුතු නොවේ. කෘෂි කේෂ්ත්‍රෙය් දැනට තිබෙන රාජ්‍ය ව්‍යුහය ඊට හෙදටම ප්‍රමාණවත්ය.

    මුදල් අමාත්‍යංශය යටතේ පවතින ජාතික ක්‍රමසම්පාදන දෙපාර්තමේන්තුවේ විශේෂඥ දැනුම සහිත නිලධාරීන්ගේ සේවය ඒ සඳහා ලබාගත යුතුය. එමෙන්ම කෘෂිකර්ම දෙපාර්තමේන්තුව සහ අමාත්‍යංශය යටතේ පවතින ආයතන මෙරට කෘෂිකර්මාන්තය නඟාසිටුවන්නට හොදටම ප්‍රමාණවත්ය. කෘෂි කර්මාන්තය නංවාලීමේදී කෘෂි විද්‍යාපීඨවලින් පිටවන දැනුවත් සිසුන්ගේ සේවය ලබාගැනීමට කටයුතු කළයුතුය.නිලධාරීන්ගේ සිට ගොවියා දක්වා ආකල්පමය වෙනසක් ඇති කිරීම වෙනුවෙන් කඩිනම් වැඩපිළිවෙළකට යාම වැදගත්ය. මෙහිදී ඉලක්ක කණ්ඩායම වියයුත්තේ තරුණ පරපුරය.

    ගොවියාගේ අතමිට සරුවේනම් තරුණ පරපුර ගොවිතැනට යොමුවනු ඇත. අලුත් තාක්ෂණය කෘෂි කේෂ්ත්‍රයට හදුන්වාදීම හරහා කෘෂි වගාවන් ජනප්‍රිය කරවීමටත් තරුණ පරපුර වගාවන් කෙරෙහි යොමුකරවීමටත් හැකිවනු ඇත. ගොවි නිෂ්පාදන අලෙවියේ දී අතරමැදි ග්‍රහණයෙන් ගොවියා මුදවාගෙන ගොවියා ව්‍යාපාරිකයකු බවට පත්කිරීම හරහා ඔහුට සමාජ වටිනාකමක්ද ලබාදිය හැකිය. මෙවැනි තත්ත්වයන් හරහා කෘෂි නිෂ්පාදන සහනදායී මිලකට ලබා ගැනීමේ හැකියාව උදාවනු ඇත.

    අස්වනු අපතේ යාම මෙරට දකින්නට ලැබෙන අවාසනාවන්ත තත්ත්වයකි. පසු අස්වනු රැක ගැනීම පිළිබදව ගොවියා දැනුම්වත් කිරීම හරහා අස්වනු රැක ගැනීම කළ හැකිය.මෙරට කෘෂි කේෂ්ත්‍රෙය් පෞද්ගලික සමාගම් රැසක් අස්වනු අපතේ යාම වළක්වා ගැනීම සදහා දියුණු ක්‍රම භාවිතා කරණු දැකිය හැකිය. මෙවන් අවස්ථාවක ඔවුන්ගේ සහායද ලබාගත යුතුය. බෝංචි, අර්ථාපල්, මාළුමිරිස්, අමුමිරිස් ලොකුලූණු වැනි වෙළෙඳ පොළෙහි එළවළු මිල තීරණයකරන බෝග වගාකිරීම සදහා ගොවියා දිරිමත් කිරීමෙන් එළවළු මිල යම්තාක් දුරකට පාලනය කරගත හැකිවනු ඇත.

    ශ්‍රී ලංකාවේ භූමි ප්‍රමාණය කළමනාකරණය වැදගත්ය. එහිදී ගෙවතු වගාවට හිමිවන්නේ සුවිශේෂි තැනකි. කොරෝනා මර්දනය සදහා සෞඛ්‍ය අංශ, ත්‍රිවිධ හමුදාව, මාධ්‍ය එක්ව සිදුකරනු ලබන මෙහෙවර මෙන්ම කෘෂි කර්මාන්තය ගොඩ නැගීම සදහා මෙරට කෘෂි විද්‍යාඥයන්, ප්‍රතිපත්ති සම්පාදකයන්, ගොවීන් සහ කෘෂි විද්‍යාපීඨ ඇතුළු කෘෂි කේෂ්ත්‍රෙය් සියලු පාර්ශ්ව එක්ව සටනක් දියත් කළ යුතුය.එසේ නොවුණහොත් අනාගතයේදි ලෝකයටම හිසරදයක්වන ආහාර සපයා ගැනීමේ ගැටලුවේදී ශ්‍රී ලංකාවට බරපතළ තත්ත්වයන්ට මුහුණදීමට සිදුවනු ඇත.මෙම තත්ත්වයන් වළක්වා ගැනීම වෙනුවෙන් ජනතාව දැනුම්වත් කිරීමේදී මාධ්‍ය සතු කාර්යය භාරයද සුළුපටු නොවේ.

    දුමින්ද සම්පත්
    දිනමිණ ඇසුරිණි

  • කොරෝනා ගැන රජයේ ප්‍රතිපත්තිය ප්‍රසන්න පැහැදිලිකරයි

    කොරෝනා ගැන රජයේ ප්‍රතිපත්තිය ප්‍රසන්න පැහැදිලිකරයි

    කොරෝනා වසංගතය ව්‍යාප්ත වූවාට පසු මැඩ පැවැත්වීමට වඩා එය ව්‍යාප්ත වීම වැලක්වීම රජයේ අරමුණ බව කාර්මික අපනයන, ආයෝජන ප්‍රවර්ධන, සංචාරක හා ගුවන්සේවා ඇමති ප්‍රසන්න රණතුංග මහතා පවසයි. ආණ්ඩුව ඇදිරි නීතිය පනවා රටම ස්වයං නිරෝධායනයට යොමු කර ඇත්තේ එම අරමුණින් බවද ඇමතිවරයා පෙන්වා දෙයි.

    ගම්පහ දිස්ත්‍රික්කයේ අත්‍යවශ්‍ය භාණ්ඩ බෙදා හැරීමේ වැඩ පිළිවෙලෙහි ප්‍රගතිය හා ඉදිරි කටයුතු සම්බන්ධයෙන් ගම්පහ දිස්ත්‍රික් ලේකම් කාර්යාලයේ අද (07) දින පැවති සාකච්ඡාවකදී ඇමතිවරයා මේ බව කියා සිටියේය.

    මෙහිදී වැඩි දුරටත් අදහස් දැක්වූ ඇමති ප්‍රසන්න රණතුංග මහතා මෙසේද කීවේය.

    “ කෝවිඩ් 19 හෙවත් කොරෝනා වසංගතය පාලනය කිරීමට රජය කටයුතු කරන්නේ විශේෂඥ උපදෙස් අනුව මිස දේශපාලන න්‍යාය පත්‍රයකට අනුව නොවේ. මේ මොහොතේ ආණ්ඩුවට වැදගත් වන්නේ වසංගතය පැතිරයාම පාලනයයි.

    ඒ සදහා ගතයුතු ගතහැකි සියලුම පියවර ගනිද්දී ජනතාව රැක බලා ගැනීමද රජයේ ප්‍රමුඛ කාර්යයක් වෙනවා. ඒ නිසයි මේ වන විට පවතින තත්වය හමුවේ ආර්ථික අපහුතාවයට පත්ව ඇති ජනතාවට රුපියල් 5000ක දීමනාවක් දෙන්න රජය කටයුතු කරන්නේ. ලක්ෂ 60 වැඩි පිරිසකට මෙම මුදල ලබා දීමට රජය කටයුතු යොදා තිබේ.

    වැඩිහිටි, ආබාධ සහිත වූවන්ට ලබා දුන් රජයේ දීමනාව මෙවර අප වැඩි කර තිබෙනවා. ඉදිරි දින කිහිපය තුල මෙවර රුපියල් 5000 දීමනාවක් ගෙවීමට ආණ්ඩුව සැලසුම් කර තිබෙනවා.

    ඒ එක්කම රජයේ අරමුණ ඇදිරි නීතය හේතුවෙන් නිවෙස් වලට වී සිටින ජනතාවට හොද සැපයුම් ජාලයක් ක්‍රියාත්මක කිරීම. මේ වැඩ සටහන් ක්‍රියාත්මක කිරීමේදී විවිධ ගැටළු මතුවෙනවා. ඒක සාමාන්‍යයි. නමුත් අපි ඒ ගැටළු වලටද විසදුම් ලබා දෙමින් හැකි උපරිමයෙන් මේ වසංගතය පරාජය කරන්නටත් ජනතාව රැක බලා ගන්නටත් කටයුතු කරමින් සිටිනවා.

    මේක රජයේ වගකීම. අපට කොපමණ අවලාද නැගුවත් අප ඒ වගකිම නිසි ලෙස ඉටු කරනවා. මේක අපේ රට පමණක් මුහුණ දෙන තත්තවයක් නොවේ. මෙය ලෝක අර්බුධයක්. මේ මොහොතේ අප කල යුත්තේ රජයේ සෞඛ්‍ය හා ආරක්ෂක අංශ උපදෙස් වලට අනුව කටයුතු කිරීමයි. එම උපදෙස් නිසි ලෙස පිළිපැද්දොත් අපට මේ වසංගතය පරාජය කල හැකියි.

    ඉදිරි සති 02 ක කාලය ඉතා තීරණාත්මක බවයි සෞඛ්‍ය අංශ මතය. මේ සති 02 තුළ අපට මේ වසංගතය මේ ආකාරයෙන් පාලනය කර ගත හැකි වුවොත් ඉදිරිය යහපත් වනු ඇති බවයි ඔවුන් කියන්නේ. මෙය රජයට පමණක් තනිව කල නොහැකියි. ජනතාවගේ සහයෝගය සියයට සීයයක්ම රජයට අවශ්‍යයි. ඒ නිසා ඉදිරි සති 02ක කාලයත් ඉවසීමෙන් කටයුතු කරන්න කියා ජනතාවගෙන් ඉල්ලනවා.”

    ගම්පහ දිස්ත්‍රික් ලේකම් සුනිල් ජයලත් මහතාද මෙහිදී කථා කලේය.

  • ඇඳිරි නීති බලපත් නිකුත් කිරීමට නව ක්‍රමවේදයක් සැකසේ

    ඇඳිරි නීති බලපත් නිකුත් කිරීමට නව ක්‍රමවේදයක් සැකසේ

    කොරෝනා වෛරසය හෙවත් COVID  19 ව්‍යාප්තිය නතර කිරීමේ අරමුණ ඇතිව, ජනතාව අනවශ්‍ය ලෙස ඒකරාශීවීම වළක්වනු පිණිස රජය විසින් වරින් වර ඇඳිරි නීතිය පනවනු ලැබේ. එවැනි අවස්ථාවල ඇඳිරි නීති බලපත් ලබා ගැනීම සඳහා පුද්ගලයන් විශාල වශයෙන් පොලිස් ස්ථාන වෙත පැමිණෙන බව නිරීක්ෂණය කර ඇත. මෙසේ ජනයා ඒකරාශීවීම කොරෝනා මර්දන වැඩසටහන්වලට බලවත් බාධාවකි.

    එබැවින් ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මැතිතුමාගේ උපදෙස් පරිදි වැඩබලන පොලිස්පති සී.ඩී. වික්‍රමරත්න මහතා විසින් ඇඳිරි නීති බලපත් නිකුත් කිරීමට නව ක්‍රමවේදයක් සකස් කොට තිබේ. ඒ අනුව ඇඳිරිනීති බලපත් නිකුත් කිරීම ක්‍රම 04කට සිදු කෙරේ.

    ඒ පොලිස් මූලස්ථානය, පළාත් භාර ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති කාර්යාල, කොට්ඨාස භාර පොලිස් අධිකාරි කාර්යාල  සහ පොලිස් ස්ථාන මගිනි.

    බස්නාහිර පළාතේ කොළඹ දිස්ත්‍රික්කයට අයත් සේවකයන් 50ක් හෝ ඊට වැඩි පිරිසක් සහිත ආයතන සඳහා ඇඳිරි නීති බලපත් නිකුත් කරන්නේ පොලිස් මූලස්ථානය විසිනි. බස්නාහිර පළාතේ ගම්පහ සහ කළුතර දිස්ත්‍රික්කවලට අයත් සේවකයන් 50ක් හෝ ඊට වැඩි පිරිසක් සහිත ආයතන සඳහා ඇඳිරී නීති බලපත් නිකුත් කිරිම බස්නාහිර පළාත භාර ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති කාර්යාලයට පැවරේ.

    බස්නාහිර හැර සෙසු පළාත්වලට අයත් සේවකයන් 50ක් හෝ ඊට වැඩි පිරිසක් සහිත ආයතනවලට බලපත් නිකුත් කිරීම පළාත භාර ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති කාර්යාලය විසින් සිදු කෙරේ.

    ඒ ඒ පොලිස් කොට්ඨාස බල ප්‍රදේශයට අයත් සේවකයන් 10ක් හෝ ඊට වැඩි සහ සේවක සංඛ්‍යාව 50ට අඩු ආයතනවලට ඇඳිරී නීති බලපත් නිකුත් කරනුයේ කොට්ඨාස භාර පොලිස් අධිකාරි කාර්යාලය විසිනි.

    පොලිස් බල ප්‍රදේශයක ඇති, සේවක සංඛ්‍යාව 10ට අඩු, ආයතන සඳහා බලපත් නිකුත් කිරීම ඒ ඒ පොලිස් ස්ථානයට පවරා තිබේ. එසේම අතිශය මානුෂීය හේතුන් මත පුද්ගලයන්ට බලපත් නිකුත් කිරීමට ද පොලිස් ස්ථානවලට අවසර ඇත.

    ඇඳිරී නීති බලපත්‍ අයැදුම්පත කුමන කාර්යාලයකට යොමු කළ යුතු ද යන්න කල්තබා නිශ්චය කර ගන්නැයි වැඩබලන පොලිස්පතිවරයා ආයතනවලට දැනුම් දෙයි. බලපත් අයැඳුම් කළ යුත්තේ අතිශය සාධාරණ හේතු ඇතිව පමණි.

    ජනාධිපති කාර්යාලය, අග්‍රමාත්‍ය කාර්යාලය ප්‍රමුඛ අමාත්‍යාංශ, දෙපාර්තමේන්තු, සංස්ථා, මණ්ඩල හා අධිකාරි ඇතුළු ආයතනවල සේවකයනට සිය සේවා හැඳුනුම්පත ඇඳිරි නීති බලපත්‍රය ලෙස භාවිත කිරීමට පිළිවන. එසේ වුවද සේවා අවශ්‍යතාවක් නැතිව සිය සේවා හැඳුනුම්පත අවභාවිත කරන අයට එරෙහිව නීතිමය පියවර ගනු ලැබේ.

    ඇඳිරි නීති බලපත් නිකුත් කිරීමේ නව ක්‍රමවේදය ඇතුළත් චක්‍රලේඛය www.police.lk වෙබ් අඩවියෙන් සහ රජයේ ප්‍රවෘත්ති වෙබ් අඩවිවල ඇතුළත් කර ඇත.

  • කොරෝනා ආර්ථික හා සමාජයීය අභියෝග ජය ගන්න හිටපු ඇමැති රවී නිසි මග කියා දෙයි

    කොරෝනා ආර්ථික හා සමාජයීය අභියෝග ජය ගන්න හිටපු ඇමැති රවී නිසි මග කියා දෙයි

    කොරෝනා වසංගතය හේතුවෙන් ගෝලීය සහ දේශීය වශයෙන් සිදුවන ආර්ථික අර්බුදය සහ සමාජයීය අර්බුද කළමනාකරණය කර ගැනීමට ගත යුතු උපායමාර්ග සම්බන්ධයෙන් හිටපු මුදල් අමාත්‍ය, එක්සත් ජාතික පක්ෂයේ උප නායක, හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී රවී කරුණානායක මහතා විසින් යෝජනාවලියක් සම්පාදනය කර ඇත.

    රවී කරුණානායක මහතා මෙම යෝජනාවලිය ‘රවීගේ පොදු ජාතික ආර්ථික යෝජනාව’ නමින් අද (6) මාධ්‍ය වෙත නිකුත් කළ අතර එය සම්පූර්ණයෙන්ම පහත පළ වේ.

    රවීගේ පොදු ජාතික ආර්ථික යෝජනාව ! 

    පවතින අර්බුදකාරී තත්ත්වය සමනය කරමින් සුබවාදී තත්ත්වයක් කරා අපේ මාතෘ භුමිය යොමු කරවීමට අවශ්‍ය ක්‍රියා මාර්ග ගැනීම කෙරෙහි අවධාදානය යොමු කිරීම කාලීන වූ අවශ්‍යතාවයකි.

    රට පුරා ව්‍යාප්ත වෙමින් පවතින COVID-19 හෙවත් මාරාන්තික නව කොරෝනා වෛරසය හේතුවෙන් රට වැසියන්ගේ දෛනික ජීවිතයට බාධා ඇති වී තිබෙන අතර ජීවත්වීමේ ගැටලුකාරී තත්ත්වයන්ට ද මුහුණ දීමට සිදු වී තිබේ.

    මෙවැනි අර්බුද මැඩ පැවැත්වීම සඳහා අවශ්‍ය විධිවිධාන පිළිබඳව සාකච්ඡා කිරීම අද දවසේ මූලිකම කාරණය බව මම සිතමි. එමෙන්ම මෙම අයහපත් පසුබිම මත මතුව ඇති අධ්‍යාපන සහ  ආර්ථිකමය ගැටලු සාකච්ඡා කිරීම කෙරෙහි දෙවනුව අවධානය යොමු කළ යුතු වේ. 

    සෞඛ්‍ය ක්ෂේත්‍රය ! 

    මෙම වෛරසයේ ව්‍යාප්තිය වැළැක්වීම සහ මෙම වෛරස ආසාදිත තත්ත්වය ශ්‍රී ලාංකික ජන සමාජයෙන් තුරන් කිරීම සඳහා අවශ්‍ය විධිවිධාන සකස් කිරීම ප්‍රමුඛතම කාරණය විය යුතුය. මේ වන විට වෛරස ව්‍යාප්තිය මර්දනය කිරීම සඳහා රජය, සෞඛ්‍ය අංශය සහ ආරක්ෂක අංශ විසින් ගෙන ඇති ක්‍රියා මාර්ග යම් තරමක් යහපත් වුව ද දේශීය සේම ජාත්‍යන්තර වශයෙන් COVID -19  වෛරසය ආසාදිතයන්ගේ දත්ත විමසීමේදී සතුටුදායක මට්ටමක් අත්පත් කර ගැනීමට අපට හැකියාවක් ලැබී නොමැති නමුත් රජය විසින් සෞඛ්‍යය අංශය වෙත දැඩි අවධානයක් මේ අවස්ථාවේදී යොමු කර ඇති බව පෙනේ. 

    එහෙත් තව දුරටත් සෞඛ්‍යය අංශය සඳහා කළ යුතු රාජ්‍ය වියදම් වැඩි කිරිමට අප පසුබට නොවිය යුතුය. මෙලෙස වැඩි කරන වියදම රෝහල් පහසුකම් වැඩිදියුණු කිරීම වගේම පර්යේෂණ යන්ත්‍ර, තාක්ෂණික උපකරණ සහ ශ්වසන යන්න්‍ර මිලදී ගැනීමට පමණක් නොව මුව ආවරණ සැපයීම, සෞඛ්‍යය කටයුතු, සනීපාරක්‍ෂක කටයුතු සහ ප්‍රවාහන වියදම් ආදිය ආවරණය කිරීම සදහා ද යොදා ගත යුතුය. එමෙන්ම විශාල පිරිසකට එකවර සෞඛ්‍ය පහසුකම් ලබාදීමට හැකි වන අයුරින් අපගේ සෞඛ්‍යය අංශය සූදානම් කළ යුතුය.

    එපමණක් නොව මෙම වසංගතය හඳුනා ගැනීම සඳහා දැනට සිදු කෙරෙන රෝග විනිශ්චය කර ගැනීමේ පරීක්ෂාවන් කිසිසේත් ප්‍රමාණවත් නොවන නිසා වෛද්‍ය සහ සෞඛ්‍ය සේවයේ වෘත්තීයවේදීන් ඉදිරිපත් කරන සංඛ්‍යා දත්ත ද සැලකිල්ලට ගනිමින් එම ක්‍රියාවලිය වේගවත් කළ යුතු වේ. ජීවිතය සාමාන්‍ය ආකාරයෙන් පවත්වා ගැනීම සඳහා අවශ්‍ය වන්නා වූ අත්‍යාවශ්‍ය සේවාවන්, ආහාර ද්‍රව්‍ය සහ ඖෂධ බෙදාහැරීමේ වැඩ පිළිවෙළ සඳහා  කාර්යක්ෂම, සාධාරණ සේම සියලු දෙනාට පිළි ගත හැකි විනිවිධභාවයෙන් යුතු යාන්ත්‍රණයක් සකස් කළ යුතු අතර එම වැඩපිළිවෙළ නිර්දේශපාලනික විය යුතුම වේ. 

    සෞඛ්‍යය අංශයේ විශේෂඥ දැනුමක් ඇති ප්‍රාමාණිකයන්ගේ උපදෙස් අනුවම සමාජ දුරස්ථකරණය වෙනුවෙන් අවශ්‍ය නියමයන් සහ නියෝග ප්‍රායෝගිකව ක්‍රියාවට නැංවිමට රජය ක්‍රියා කළ යුතු වේ. ජන සමාජයේ ඉදිරියේදී මතු විය හැකි විවිධාකාර සමාජ ගැටලු සහ මානසික කම්පනයන්ට ද මුහුණ දිමට හැකි අයුරින්  රජය සූදානම් කිරීමේ වගකීම ද අප සතුය.  

    අධ්‍යාපන ක්ෂේත්‍රය ! 

    වෛරසයේ ව්‍යාප්තිය වැළැක්වීම සඳහා අනුගමනය කරන සමාජ දුරස්ථකරණය,ඇඳිරි නීතිය සහ අධ්‍යාපන ආයතන වසා තැබීම ආදී අත්‍යාවශ්‍ය ක්‍රියා මාර්ග මත අධ්‍යාපන කටයුතු ද කඩා වැටී ඇත. මේ හේතුවෙන් විශ්ව විද්‍යාල,උසස් පෙළ,සාමාන්‍ය පෙළ සහ 5 වසර ඇතුළු සමස්ථ සිසු දරු දැරියන්ගේ මානසික සෞඛ්‍ය පිළිබඳව විශේෂයෙන් අවධානය යොමු කළ යුත්තේ ඔවුන් මානසික ආතතියට, පීඩනයට සේම මානසික අවපාතයකට පත් වීමේ අවදානමක් තිබෙන නිසාය. 

    රූපවහිනිය සහ නවීන තාක්ෂණික මෙවලම් යොදා ගනිමින් දුරස්ථ අධ්‍යාපන ක්‍රමය ඔස්සේ අදාළ අධ්‍යාපන කටයුතු අඛණ්ඩව ඉදිරියට ගෙන යන්න රජය ප්‍රධාන අධ්‍යාපන බලධාරීන් උත්සහ කරමින් සිටින අතර එම උත්සාහයන් අගය කළ යුතුය.කෙසේ නමුත් රූපවාහිනියක් තබා විදුලි ආලෝකයවත් නොමැතිව කුප්පි ලාම්පුවෙන් අකුරු කරන අන්ත අසරණ සහ දිළිඳු දරු දැරියන් විශාල ප්‍රමාණයක් අපේ රටේ තවමත් සිටිති.

    මෙම වසංගතය හේතුවෙන් එම දරු දැරියන්ට රුපවාහිනියක් තිබෙන අසල්වැසි නිවසකට හෝ ගොස් එම අධ්‍යාපන වැඩසටහන්වලට සහභාගී විය නොහැකිය. එමනිසා සිසු දරු දැරියන්ගේ මානසිකත්වය සේම රටේ උද්ගත වී තිබෙන තත්ත්වය හමුවේ වඩාත්ම ප්‍රායෝගික වන්නේ උසස් පෙළ සහ 5 වසර ශිෂ්‍යත්වය ඇතුළු විභාග කල් දැමීමය.

    එසේ නොමැතිව උසස් පෙළ සහ 5 වසර ශිෂ්‍යත්ව විභාග, නියමිත පරිදි 2020 අගෝස්තු මාසයේදීම පැවැත් විය යුතු යැයි රජය සහ අධ්‍යාපන බලධාරීන් සිතන්නේ නම් අදාළ විෂය නිර්දේශ මාලාවේ මේ මොහොත වන විට ආවරණය කර ඇති කොටස්වලින් පමණක් එම විභාග ප්‍රශ්න පත්‍ර සකස් කරන ලෙසට ප්‍රශ්න පත්‍ර සකසන  මණ්ඩලවලට අදාළ බලධාරීන් උපදෙස් දිය යුතුය. 

    ආර්ථික ක්ෂේත්‍රය ! 

    පවතින ආර්ථික තත්ත්වයන් මැනවින් අවබෝධ කර ගනිමින් ආර්ථික අභියෝග ජය ගැනිම සදහා නිර්මාණාත්මක විසදුම් සොයා ගත යුතු වේ. එවැනි ආර්ථික අභියෝග කිහිපයක් පමණක් සිහිපත් කිරිමට ද මේ මොහොත අවස්ථාවක් කර ගනිමි.  

    අප හමුවේ ඇති ආර්ථික අභියෝග ! 

    ජනතාව දුරස්ථ කිරීමේ සහ හුදෙකලා කිරීමේ තත්ත්වය මත ඉල්ලුම අඩුවීම හෙවත් ඉල්ලුම් කම්පන ද, ලොව වටා ඇති සැපයුම් ජාලයන් බිඳ වැටීම හරහා සැපයුම අඩුවීම හෙවත් සැපයුම් කම්පන ද ඇති වී තිබෙන අතර ඊට සමගාමීව ලෝකය හමුවේ මේ වන විට උග්‍ර මූල්‍ය අර්බුදයක් ද ඇති වෙමින් පවති.

    මේ පසුබිම යටතේ උග්‍ර ගෝලීය ආර්ථික අවපාතයක් ඇතිවීම වැළැක්විය නොහැකි අතර දැනට කර ඇති පුරෝකථනයන්ට අනුව ගෝලීය ආර්ථික වර්ධනය 01%ත් 02%ත් අතර ප්‍රමාණයකින් පහළ වැටීමට නියමිතය. ශ්‍රී ලංකාවේ ප්‍රධාන විදේශ වෙළඳ පොළවල් වන ඇමරිකා එක්සත් ජනපදය, ඉන්දියාව, යුරෝපීය රටවල් සහ චීනය ආදී රටවල ජාතික ආර්ථිකයන් කොරෝනා වසංගතය හමුවේ මේ වන විට විශාල ආර්ථික ගැටලුවලට මුහුණ දෙමින් සිටියි.

    2020 වර්ෂයේ මුල් කාර්තුවේ දී චීන ආර්ථිකයේ, ආර්ථික වර්ධනය 05%කින් පමණ පහළ ගොස් ඇති අතර එම තත්ත්වයන් මත අප රටට ද බලපෑම් සිදු විය හැකිය.මේ වන විටත් රටේ සමස්ත නිෂ්පාදනය, බෙදාහැරීමේ ක්‍රියාවලිය සහ වෙළෙඳ ජාලයන් මුළුමනින්ම බිඳ වැටී ඇති අතර බැංකු සහ මුල්‍ය සේවා, රක්ෂණ, හෝටල් ආදී සේවාවන් ද අඩපණ වී ඇති නිසා මෙම වර්ෂයේ මුල් කාර්තුවල ඍණ ආර්ථික වෘද්ධියක් ඇතිවීමේ අවදානමකට ද අප මුහුණ දී සිටියි.   

    ශ්‍රී ලංකාවේ අපනයන අංශය සැලකිමේදී පවතින තත්ත්වය මත අපනයන නිෂ්පාදනයට ඍජු  බලපෑමක් එල්ල විය හැකිය. විශේෂයෙන්ම ශ්‍රී ලාංකික ඇඟළුම්  ක්ෂේත්‍රයට දැඩි බලපෑමක් එල්ල වනු ඇති අතර එම අංශය ආශ්‍රිතව විරැකියා තත්ත්වයක්ද නිර්මාණය විය හැකිය. එමෙන්ම ඍජු  විදේශ ආයෝජන ගලා ඒම පැහැදිළි ලෙස අඩු වනු ඇත.

    රටේ කොටස් වෙළෙඳ පොළ මේ වන විටත් වසා තැබීම නිසා ඉදිරියටත් ගැටලුකාරී තත්ත්වයන් ඇති වීමේ ඉඩකඩක් පැවතිය හැකි අතර ඒ හේතුවෙන් කලඹ  ආයොජන ද සීමා වනු ඇත. එමෙන්ම විදේශ ප්‍රාග්ධන ගලනයක් (ආපසු යාමක්) ද බලාපොරොත්තු විය යුතුය. නව කෙරෝනා වෛරසය හේතුවෙන් මැදි ආදායම් ලබන රටවල් අතරින් දැඩි අවදානම් සහිත මැදි ආදායම් රටක් ලෙස ශ්‍රි ලංකාව මේ වන විටත් හඳුනා ගෙන තිබේ.

    අපගේ සංචාරක කර්මාන්තය සහ සංචාරක කර්මාන්තය ආශ්‍රිත ආදායම් මාර්ග උපයන අංශය වන හෝටල් ක්ෂේත්‍රය, එම ක්ෂේත්‍රය ආශ්‍රිත ප්‍රවාහන සේවා අංශය, සංචාරක කර්මාන්තය සමග බැඳුණු විනෝදාස්වාදය සපයන සේවා අංශය ආදි අංශ රැසක් මේ වන විටත් අභියෝගයට ලක් වී තිබේ. කෘෂිකාර්මික අංශයේ ඇතැම් ආර්ථික කටයුතු තවමත් සිදු වන නමුත් පවතින තත්ත්වය මත එම ආර්ථික කටයුතු ද අඛණ්ඩව ඉදිරියට ගෙන යාමේ හැකියාවක් තිබේ ද යන්න ගැටලුවකි.

    නිමැයුම් කර්මාන්තයේ සහ සිල්ලර වෙළෙදාම් කටයුතු ද දැනට ක්‍රියාත්මක වන්නා වූ සමාජ දුරස්ථකරණ ක්‍රියාදාමය සේම ඇදිරි නීතී තත්ත්වය මත ප්‍රයෝගිකව සිදු කර ගෙන යාම අසීරු වී ඇත. දේශීය සහ විදේශීය වශයෙන් මෙම කර්මාන්ත සදහා අවශ්‍ය වන සැපයුම් ජාල බිද වැටීම හේතුවෙන් කෘෂිකාර්මික අංශයේ කාර්යසාධනය ඉදිරියේදී තවදුරටත් පහළ යනු ඇත. 

    දුප්පතුන්, දෛනික වැටුප් උපයන්නන්, විරැකියාවෙන් පෙළෙන්නන් සහ අවිධිමත් ආර්ථික ක්‍රියාවන්හි නිරතවන්නන්ගේ ජීවනෝපායන් ඇණහිටීමත් සමඟම පවතින තත්ත්වය තව දුරටත් අසතුටුදායක වනු ඇති අතර සුළු සහ මධ්‍ය පරිමාණ කර්මාන්ත ද මෙම තත්ත්වය මත බරපතළ  අභියෝගයන්ට ලක් විම වැළක්වීය හැකි නොවේ. 

    ගත යුතු පියවර, උත්තේජනයන් සහ අනුගමනය කළ යුතු ප්‍රතිපත්ති ! 

    පවතින තත්ත්වයන් සමනය කිරීම සඳහා රජය යම් යම් පියවර ගණනාවක් ගෙන ඇත. ශ්‍රී ලංකා මහබැංකුව ද ප්‍රතිපත්තිමය පොලී අනුපාතිකය අඩු කිරීමට යොමු වී ඇති අතර මූල්‍ය අංශයේ ආයතන සහ මහජනයා මුහුණ දෙන අර්බුද සමනය කිරීමට උත්සාහ දරමින් සිටියි.

    රජය විසින් කුඩා සහ මධ්‍ය පරිමාණ කර්මාන්ත, සංචාරක කර්මාන්තය වගේම ඒ ආශ්‍රිත අංශ නගා සිටුවීම සඳහා ණය සහනයන් ලබා දීමට ක්‍රියා කර ඇත. එමෙන්ම ස්වයං රැකියාවල නිරතවන්නන් සේම ක්ෂද්‍ර මූල්‍ය ණය අංශයට ද බලපාන ලෙස ණය සහන ප්‍රකාශයටපත් කර ඇත. 

    කෙසේ නමුත් රජය ක්‍රියාවට නංවා තිබෙන මෙම සහන සහ උත්තේජන “පැකේජ” රටක් ජාතියක් ලෙස අප මුහුණ දී ඇති අර්බුදයේ බැරෑරුම් තත්ත්වයට අනුව  ප්‍රමාණවත් නොවන බව මාගේ හැඟීමයි. 

    ■ ශ්‍රී ලාංකික සමාජය මුහුණ දෙමින් සිටින කොරෝනා වෛරස වසංගත තත්ත්වය මත පීඩාවට පත් දුප්පතුන්, රජයේ සහ පෞද්ගලික අංශයේ සේවක සේවිකාවන්, අවිධිමත් රැකියාවන්හී නිරත පිරිස, දෛනික වැටුප් උපයන පිරිස වගේම කෘෂිකර්මයේ සහ ධීවර කර්මාන්තයේ යෙදී සිටින අය ඇතුළු සමස්ත   ප්‍රජාව ආවරණය වන පරිදි සහන ලබා දීම කළ යුතු වේ. 

    සමෘද්ධි ලාභීන් සඳහා (මිලියන 1.8ක් පමණ) රජය රුපියල් 10,000ක් ලබා දෙන බව පැවසුව ද, එම මුදලින් යම් ප්‍රමාණයක් සමෘද්ධි බැංකු මගින් රඳවා ගනු ලබන අතර මේ අවස්ථාවේදී එසේ නොකළ යුතුය. මේ අතර රජය, දුප්පත් එහෙත් සමෘද්ධි නොමැති පුද්ගලයින් සඳහා ( 600 339) රුපියල් 5000ක ණයක් ලබාදීමට තීරණය කර තිබුණ ද එම ණය මුදල ද කිසිසේත්ම ප්‍රමාණවත් නොවේ.  

    ශ්‍රී ලංකාවේ මුළු සේවා නියුක්තියේ ප්‍රතිශතයක් ලෙස අවිධිමත් අංශයේ රැකියාවන්හි නිරත  60%ක් (මිලියන 4.7ක්) පමණ වන සිටිති. විශේෂයෙන් මෙහිදී දැඩි ආර්ථික සුනාමියකට,පීඩාවකට සහ මානසික කඩා වැටීමකට බරපතළ ලෙස ලක් වී ඇති කුලීකරුවන්, අනියම් සේවකයින්, කොන්ත්‍රාත් සේවකයින්, ත්‍රී රෝද රථ රියදුරන්, මගී ප්‍රවාහන බස් රථවල රියදුරන්, කොන්දොස්තරවරුන්, ලොතරැයි අලෙවිකරුවන්, “වඩේ-කඩල-රට කජු” ආදිය අලෙවි කරන්නන්, කෑම පාර්සල් ඇතුළු ආහාරපාන ගෘහස්ථව සකස් කර අලෙවි කරන්නන්, “බුලත් විට-තැඹිලි-පළතුරු” වෙළෙඳුන්, පාසල් මගී ප්‍රවාහන සේවාවල යෙදී සිටින්නන්, බාබර් සාප්පු කරුවන්, ඇඳුම් මසන්නන්, පාවහන් අලුත් වැඩියා කරන්නන්, බස් රථවලට නැගී “පොත්පත්-හඳුන්කූරු-කපුරු බෝල-රස කැවිලි” ආදිය අලෙවි කරන්නන් සේම ගොවීන් සහ ධීවරයින් ආදීහූ වෙති.   

    මෙම සියල්ලන් සදහා පවත්නා ව්‍යසනකාරී තත්ත්වය හමුවේ අඩුම වශයෙන් මසකට රුපියල් 20,000ක් වත් ලබා දිය යුතු යැයි යෝජනා කරමි. ලෝක වෙළෙඳපොළේ ඉන්ධන මිල අඩු වී ඇති ප්‍රමාණයට සාපේක්ෂව රටේ ඉන්ධන මිල අඩු කිරීමක් මෙම වර්ෂයේදී  සිදු නොකරනු ඇති නිසා රට යථා තත්ත්වයට පත් වූ පසු මේ සහන සඳහා වැය වූ මුදලින් කොටසක් සොයා ගැනීමට රජයට  හැකියාව සහ අවස්ථාව තිබේ. 

    එමෙන්ම ග්‍රාමීයව ජීවත් වන දිළිඳු ජනයාගේ එදිනෙදා කෑම බීම ඇතුළු අත්‍යාවශ්‍ය බඩු මුට්ටු සපයා ගැනීම සඳහා සමාජ දුරස්ථකරණ ක්‍රියාවලියට බාධාවක් නොවන ලෙස ග්‍රාමීයව පවතින කුඩා කඩපිල් කිහිපයක්වත් විවෘත්ත කර තැබීමට යෝජනා කරමි. ඒ හරහා සිය හිතවත්කම් මත තාවකාලිකව ණයට හෝ අත්‍යාවශ්‍ය බඩු මුට්ටු ලබා ගැනීමට එම ජනයාට හැකියාවක් ලැබේ. එමගින් ඇඳිරි නීතිය තාවකාලිකව ඉවත් කරන අවස්ථාවලදී දැනට මතු වන අනවශ්‍ය ඒකරාශීවීම් සහ ජන තදබදය වළක්වා ගත හැකි අතර ග්‍රාමීය ආර්ථිකය කඩා නොවැටී පවත්වා ගෙන යාමට ද අවස්ථාව උදා වේ.   

    ■ රාජ්‍ය සේවක සේවිකාවන් සඳහා (1,500,000 පමණ) රජය අප්‍රේල් මස වැටුප ගෙවන අතර එම වැටුප මත ණය මුදල් අය කිරීම නැවත දැනුම් දෙන තුරු අත්හිටුවා තිබේ. එමෙන්ම ත්‍රී රෝද රථ, ට්‍රැක්ටර්, පාසල් බස්-වෑන් රථ, මගී ප්‍රවාහන බස් රථ ආදියෙන් ප්‍රවාහන සේවා සපයමින් ස්වයං රැකියාවල යෙදී සිටින (1,500000 පමණ) මෝටර් රථ හිමියන් සිය යාන වාහන වෙනුවෙන් ගෙවීමට ඇති කල් බදු වාරික සඳහා සහන ලබාදීමක් ද සිදු කරයි.

    රටේ ආර්ථිකය යහපත් වී මෙම මෝටර් රථ හිමි ස්වයං රැකියා ලාභීන්ගේ ක්‍රය ශක්තිය තහවුරු වන තෙක් නැවත දැනුම් දෙන තුරු කල් බදු වාරික සඳහා සහනශීලී  කාල පරිච්ඡේදයක් හඳුන්වා දිය යුතු යැයි යෝජනා කරමි. එමන්ම සිය බැංකු ණය පත්වලට අදාළ (Credit Card) ගෙවීම් සිදු කිරීම සඳහා මෙම පිරිස ඇතුළු සියලු ජනයාට, පොදුවේ නිශ්චිත සහන කාල සීමාවක් ලබා දිය යුතු අතර ණය යළි අය කර ගැනීමේදී පොළිය සම්පූර්ණයෙන් කපා හැර මුදල පමණක් අය කර ගත යුතුය.

    මේ සහනය සියලුම බැංකු ණය පත් හිමියන්ට පොදුවේ ලබා දිය යුතු අතර ඒ සඳහා කිසිසේත්ම එම බැංකු ණය පත්වලට අදාළව නිශ්චිත ණය සීමාවක් නියම නොකළ යුතුය. මුළු රටම අගාදයට ඇද වැටී ඇති මේ මොහොතේ සිය බැංකු ණය පත් හිමියන් සඳහා කොන්දේසි විරහිතව මේ සහනය ලබා දීම රජයේ සහ පෞද්ගලික බැංකු ඇතුළු මුල්‍ය ආයතනවල වගකීමක් වගේම යුතුකමක් වන අතර මේ සඳහා රජය වහාම මැදිහත් විය යුතුය.මෙහිදී බැංකු සහ මුල්‍ය ආයතනවලට යම් ද්‍රවශීලතා ගැටලුවක් මතු වන්නේ නම් එම ආයතන මුදවා ගැනීමේ සැලැස්මක් ද රජයට තිබිය යුතුය.   

    ■  එමෙන්ම පවතින තත්ත්වය මත සියලු ව්‍යාපාරික ආයතන ගෙවිය යුතු ණය සඳහා ද සහන කාලයක් ක්‍රියාත්මක කළ යුතු අතර එම සහනය ද යම් කිසි ණය සීමාවකට යටත් නොකර පොදුවේ සියලු ණය ප්‍රමාණයන් සඳහා ලබා දිය යුතුය. 

    ■ උපයෝගිතා සේවාවන් වන විදුලිය, ජලය සහ දුරකථන සේවාවන් කිසිදු කපා හැරිමකින් තොරව මහජනයාට ලබාදිය යුතු අතර මෙවැනි සේවා සපයන  ආයතනයන්ගේ ද්‍රවශිලතා ගැටලු විසදීමට රජය සක්‍රීය ලෙස මැදිහත් විය යුතු වේ. 

    ■ කෘෂිකාර්මික අංශය නගා සිටුවීම අරමුණු කර ගෙන කෘෂිකාර්මික ප්‍රජාව වගේම පොදු ජනතාව අතර ද, වගා කටයුතු සඳහා අභිප්‍රේරණයක් ඇති කරමින් මුළු රටම ආවරණය වන පරිදි මහ වගා සංග්‍රාමයකට අවශ්‍ය ක්‍රියා මාර්ග ගත යුතුය. රජය මේ සඳහා බීජ වර්ග සහ පැල ලබාදීමේ වැඩ සටහනක් යෝජනා කළ ද ප්‍රයෝගික තලයේ දී එවැන්නක් දැක ගත නොහැකිය.

    එමෙන්ම සෞඛ්‍ය ගැටලුවක් ඇති නොවන ලෙස තේ වගා කටයුතු ද, කිරි නිෂ්පාදන සහ සත්ව පාලන ක්ෂේත්‍රය ද අකර්මන්‍ය නොවීමට වග බලා ගත යුතුවේ. සියලුම කෘෂි නිෂ්පාදන කෘෂිකර්ම දෙපාර්තමේන්තුව හරහා  සහතික මිලකට මිල දී ගන්නා බවට රජය තහවුරු කළ යුතු අතර එවිට අස්වනු විකුණා ගැනීමේ ප්‍රශ්න සහ අතරමැදි ප්‍රශ්න ඇතුළු අර්බුද මතු නොවන නිසා කෘෂි නිෂ්පාදනය ඉහළ යනු ඇත. මේ වන විට ගොවියා මුහුණ දී ඇති බීජ සහ පොහොර ලබා ගැනීමේ ගැටලුව ඉක්මනින්ම විසඳීමට රජය මැදිහත් විය යුතු වේ. 

    මේ අනුව කෘෂිකාර්මික අංශය ආශ්‍රිතව ගොඩනගා ගන්නා ස්වයංපෝෂිත බව ආර්ථිකය නඟා සිටුවීම සඳහා ප්‍රබල හේතු සාධකයක් වනු ඇති අතර මේ අනුව අල, ලූණු සහ මිරිස් වැනි කෘෂි භෝග සඳහා රටක් ජාතියක් ලෙස වාර්ෂිකව අපට වැය වන රුපියල් බිලියන 75 ඉක්ම වූ අධික මුදල් සම්භාරය ඉතිරි කර ගත හැකි වේ. 

    මෙම සැලසුම් කාර්යක්ෂම සහ සඵලදායි ආකාරයෙන් ක්‍රියාත්මක වන්නේ නම් වසරක් වැනි කාලයකදී රටේ ආර්ථිකය ශක්තිමත් කිරීමට හැකි වනු ඇති අතර මේ ආශ්‍රිතව ගොඩනගා ගන්නා ස්වයංපෝෂිත තත්ත්වය මත තව දුරටත් ආනයන සීමා කිරීම මගින් දැනට මුහුණ දී ඇති ගෙවුම් ශේෂ ගැටලුව මග හරවා ගැනීමට හැකි අතර තවත් ආර්ථික වාසි රැසක් අත් පත් කර ගැනීමේ අවකාශය ඇත. 

    එමෙන්ම  කෘෂිකාර්මික අංශය සඳහා ලබා දෙන්නා වූ සියලු ණය මුදල් සඳහා පොළිය 03%ත් 04%ත් අතර මට්ටමකට සීමා කළ යුතු අතර ධීවර අංශය නඟා සිටුවීම සඳහා ද ඩීසල් සහනාධාරය ඇතුළු මෙකී සහන ක්‍රියාත්මක කළ යුතුය. 

    ■ රජයේ පිස්කල් සහ මූල්‍ය ප්‍රතිපත්තීන් කෙරෙහි අවධානය යොමු කිරීමේදී පවතින ආර්ථික සහ සමාජ පසුබිම මත රුපියල ස්ථායි තත්ත්වයේ පවත්වා ගැනීම වැදගත් වේ. අපනයන ඉහළ නංවා ආනයන තව දුරටත් සීමා කර ගැනීම කෙරෙහි රජයේ අවධානය යොමු විය යුතුය. බාහිර ණය සහන ලබා ගැනීමට යොමු වීමේදී “SDR” සංචිතය ලබා ගැනීමේ ක්‍රමවේදයන් සකස් කළ යුතුය.   

    COVID-19 වෛරසය හේතුවෙන් ජාත්‍යන්තර මුල්‍ය අරමුදල (IMF) සිය හදිසි අරමුදල් ක්‍රමවේද හරහා මැදි ආදායම් සහ පහළ ආදායම් ලබන රටවල් සඳහා අරමුදල් වෙන් කර ඇත. එම අරමුදල් ලබා ගැනීම සඳහා රටක් ලෙස අප විධිමත් සහ අර්ථවත් ක්‍රමවේද සකස් කළ යුතුය. වත්මන් තත්ත්වය මත පවතින සංචිත ප්‍රමාණවත් නොවීම සහ විදේශ සංක්‍රාමයන් නොලැබීම හේතුවෙන් උක්ත ක්‍රියාමාර්ග දූරදර්ශී සහ නිර්මාණාත්මකව ක්‍රියාවට නැංවිය යුතු වන්නේ ය. 

    ■ කොරෝනා වෛරසය රට පුරා ශීඝ්‍රයෙන් ව්‍යාප්ත වන පසුබිම යටතේ අපගේ රාජ්‍ය වියදම් අඩු කිරීම ප්‍රයෝගිකව සිදු කිරීම අපහසු කරුණකි. එම නිසා දැනට ප්‍රකාශ කර ඇති COVID -19 අරමුදල තව දුරටත් ශක්තිමත් කිරිම කළ යුතු වේ.

    2020 වර්ෂයේ දී අපට රුපියල් බිලියන 9000ක පමණ ණය ප්‍රමාණයක් ගෙවිය යුතු අතර මෙහි විදේශ ණය සේවා කරණ ගෙවීම් පමණක් ඩොලර් බිලියන 4.5ක් වේ. එයින් ද ඩොලර් බිලියන 2.8ක් මෙම වර්ෂයේ පළමු කාර්තුවේ දී ගෙවීමට සිදුව තිබේ. එබැවින් බහු පාර්ශවීය සහ අනෙකුත් ආයතනයන්ගේ (IMF සහ China EXIM Bank වැනි ) ණය කොන්දේසි ලිහිල් කර ගැනිම සහ ණය ආපසු ගෙවීම සහනදායි ක්‍රමවේදයකට යළි සකස් කර ගැනිම සම්බන්ධයෙන් එම ආයතන සමග වහාම සාකච්ඡා ආරම්භ කළ යුතුය.

    එමෙන්ම ස්වායත්ත බැදුම්කර හරහා ගෙවීමට පවතින ණය සඳහා යම් සහනදායී වැඩ පිළිවෙළක් නිර්මාණය කිරීමට ද ක්‍රියා කළ යුතු වේ.මේ සඳහා මිත්‍රශීලී රටවල සහය ලබා ගැනීමට ද හැකියාවක් ඇත.  

    ■ මූල්‍ය ප්‍රතිපත්තිය පිළිබඳ අවධානය යොමු කිරීමේදී උද්ධමනය නොසලකා හරිමින් මූලික පොළී අනුපාතික අඩු කිරීමට මහ බැංකුවට සිදු වේ. මෙවැනි ක්‍රියා මාර්ගයන් හරහා ණය බර වැඩිවීම පාලනය කිරීමක් කළ හැකිය.

    සමස්ත ප්‍රජාව ආවරණය කරමින් සියලු සහන සහ උත්තේජන “පැකේජ” ක්‍රියාත්මක    කිරීම සඳහා නිශ්චිත අනුමැතීන් ලබා ගත යුතු අතර රාජ්‍ය වියදම් සම්බන්ධ දැනට පවත්නා අනුමැතිය  2020 අප්‍රේල් 30 වැනදා වන තෙක් වලංගු බවට ප්‍රකාශ වේ. එබැවින් පාර්ලිමේන්තුව කැඳවා අතුරු සම්මත ගිණුම උචිත පරිදි සංශෝධනය කර ගැනීම කෙරෙහි ද රජයේ අවධානය යොමු කරවමි. 

    ■ එමෙන්ම අපනයන නිෂ්පාදන ආයතන සුභවාදී මගකට යොමු කිරීම සඳහා බදු ව්‍යූහය ලිහිල් කළ යුතුය. බදු අඩු කිරිම සහ බදු වීරාම ලබා දීමටත් රජය උනන්දු විය යුතුය. මේ හරහා අපනයන නිෂ්පාදන ආයතන පුනරුදයකට ලක් වේ. විදුලිය, ජලය සහ දුරකථන සේවාවන් මෙම ආයතනවලට සහන මිලට ලබා දෙමින් ඔවුන්ගේ ද්‍රවශිලතා ගැටලු විසදීමට රජය සක්‍රීය ලෙස මැදිහත් විය යුතු වේ. 

    ■ සංචාරක කර්මාන්තය ආශ්‍රිත ප්‍රගමනයක් ද ඇති කළ යුතුය. ඒ සඳහා බදු අඩු කිරිම සහ බදු විරාම ලබා දිමටත් හෝටල් ක්ෂේත්‍රය, එම ක්ෂේත්‍රය ආශ්‍රිත ප්‍රවාහන සේවා අංශය, සංචාරක කර්මාන්තය සමග බැඳුණු විනෝදාස්වාදය සපයන සේවා අංශය ආදී අංශ ලබා ගෙන ඇති ණය පියවා ගැනිමටත් රජය සහන සැලසිය යුතු අතර එම ණය සඳහා සහන සැලසීමේදී ද, නිශ්චිත ණය ප්‍රමාණයකට සහ සීමාවකට යටත්ව ක්‍රියා නොකර පොදුවේ සියලු ණය ලාභීන්ට එම සහනය ලබා දිය යුතුය. 

    රටත්  ජනතාවත් මුහුණ දී සිටින මේ බරපතළ ආර්ථික අභියෝගය ජය ගැනිම සදහා දේශපාලන පක්ෂ, පාට,ජාති සහ ආගම් ඇතුළු සියලු භේද පසෙක තැබිය යුතු බව තරයේ අවධාරණය කරමි. මෙවැනි බරපතළ ජාතික ව්‍යසනයකදී පවා අප ඒ ගැන නොතකා එකට එක්ව රටක් ජාතියක් ලෙස වැඩ නොකළහොත් සහ මේ අභියෝගය ජය ගැනීම සඳහා සාමූහිකව ක්‍රියාත්මක නොවුණහොත් අනාගත පරම්පරාව අපට ශාප කරනු නියතය.

    එබැවීන් ඉහතින් අවධාරණය කරන ලද ප්‍රතිපත්ති සහ ක්‍රියාදාමයන් කෙරෙහි අවධානය යොමු කිරීම බොහෝ සෙයින් වැදගත් වන අතර පොදු ජාතික ආර්ථික සැලැස්මක් මගින් COVID-19 හෙවත් මාරාන්තික නව  කොරෝනා වසංගතය හමුවේ ශ්‍රී ලාංකික ජන සමාජය මුහුණ දී සිටින අභියෝග රැසක් ජය ගැනිමට අපට හැකි වනු ඇත.

  • ශ‍්‍රී ලංකාවේ Covid-19 ආසාදිතයින් 178ක් : ලෝකයේ මරණ 69,572ක්

    ශ‍්‍රී ලංකාවේ Covid-19 ආසාදිතයින් 178ක් : ලෝකයේ මරණ 69,572ක්

    අද (6) දින කොව්ඩ් -19 ආසාදිතයින් දෙදෙනකු (2) වාර්තා වීම සමග ශ‍්‍රී ලංකාවේ කොවිඩ් -19 ආසාදිතයින් සංඛ්‍යාව 178 දක්වා ඉහළ ගිය බව සෞඛ්‍ය ප‍්‍රවර්ධන කාර්යංශය සදහන් කරයි.

    එහි වාර්තාවලට අනුව ප්‍රතිකාර ලබන රෝගීන් සංඛ්‍යාව 135ක් වන අතර දැනට රෝහල්වල විමර්ශන යටතේ සිටින පුද්ගලයින් 257කි. මරණ සංඛ්‍යාව 05ක් වන අතර සුවය ලබා පිටව ගිය සංඛ්‍යාව 38 දෙනෙකි.

    ගෝලීය තත්ත්වය

    සෞඛ්‍ය ප‍්‍රවර්ධන කාර්යංශයේ වාර්තා සදහන් කරන්නේ අද (6* දින තුළ ගෝලීය වශයෙන් කොවිඩ් 19 ආසාදිතයින් සංඛ්‍යාව 1,277,260ක් දක්වා ද මරණ සංඛ්‍යාව 69,572ක් දක්වා ද ඉහළ ගිය බවයි. අද දිනයේ වාර්තා වූ නව ආසාදිතයින් සංඛ්‍යාව 71,418ක් වන අතර සුවය ලැබූ සංඛ්‍යාව 266,461කි.

    ගෝලීය වශයෙන් වැඩිම මරණ සංඛ්‍යාව තව දුරටත් ඉතාලියෙන් වාර්තා වන අතර එහි රෝගීන් 128,948ක් සහ මරණ 15,887ක් වාර්තා වී ඇත. ස්පාඤ්ඤයේ රෝගීන් 131,646,ක් සහ මරණ 13,055ක් වාර්තාවේ.

    වැඩිම ආසාදිතයින් සංඛ්‍යාවක් වාර්තා වන්නේ ඇමෙරිකා එක්සත් ජනපදයෙනි. අද දිනය අවසන් වන විට එහි ආසාදිතයින් සංඛ්‍යාව 337,638 ක් සහ මරණ 9,267ක් වශයෙන් වාර්තා විය. එංගලන්තයේ ආසාදිතයින් 51,608ක් සහ මරණ 5373ක් වාර්තා වී ඇත. ඉන්දියාව තුළ ආසාදිතයින් 4314ක් සහ මරණ 118ක් වාර්තා වී ඇත.

  • කොරෝනා පාලනයට ජාතික සංවිධාන විසින් කරන යෝජනා 05 මෙන්න

    කොරෝනා පාලනයට ජාතික සංවිධාන විසින් කරන යෝජනා 05 මෙන්න

    කොරෝනා වසංගතය පාලනය කිරීම සදහා ජාතික සංවිධාන විසින් පස් වැදෑරුම් උපායමාර්ගික වැඩපිළිවෙළක් ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා වෙත ඉදිරිපත් කර ඇත. එහි කැඳවුම්කරු සාහිත්‍යශූරී ගුණදාස අමරසේකර මහතාගේ අත්සනින් අද (6) නිකුත් කළ එම වැඩපිළිවෙළ සම්පූර්ණයෙන් පහත දැක්වේ.

    අතිගරු ජනාධිපතිතුමනි,

    වර්තමාන කොවිඩ් – 19 වසංගත තත්වය හා ඒ තුළින් පැන නගින ආර්ථික සහ සමාජීය අර්බුදය ලෝකයට නව අත්දැකීමක් බවට විවාදයක් නැත. වසංගත තත්වයක් පැන නැගීමට පෙර ලෝකයේ විවිධ විද්වතුන් විසින් ඉදිරිපත් කළ මතවාද අනුව 2020 වසර නව ලිබරල් ගෝලීය මූල්‍ය සහ ආර්ථික ව්‍යුහයේ බරපතල කඩා වැටීමක් සිදුවන වසරක් ලෙස ප්‍රබල පුරෝකතන ඉදිරිපත් විය. ඒ අනුව මෙම වසංගතයට අදාළ ගැඹුරු දේශපාලන සහ සමාජ ආර්ථික විග්‍රහයන් අනාගතයේදී ඉදිරිපත් වනු ඇත. එම ඉතිහාසය ලිවීමේදී ඔබතුමාගේ නායකත්වය යටතේ ශ්‍රී ලංකාව මෙම වසංගතයට මුහුණ දුන් ශක්තිමත් සහ ප්‍රශස්ථ ආකාරය පිළිබඳ විශේෂ සටහනක් ලියැවෙන බවට සැකයක් නැත.

    නමුත් පසුගිය සතියක කාලය තුළ වසංගත පාලන උපායමාර්ග පිළිබඳව පරස්පර විද්වත් මත ප්‍රකාශ වන බවක් දක්නට ඇත. ඔබතුමා ඉතා හොඳින් දන්නා පරිදි වසංගත තත්වයක් තේරුම් ගැනීමේදී සහ විග්‍රහ කිරීමේදී ඊට අදාළ ක්ෂුද්‍ර ජීව විද්‍යාත්මක සහ වසංගත රෝග විද්‍යාත්මක කරුණු මුල් වන බවට විවාදයක් නැත. එහෙත් වසංගත පාලන උපායමාර්ග තේරීමේදී දේශපාලන, සමාජ ආර්ථික, සංස්කෘතික, චර්යාමය සහ මනෝවිද්‍යාත්මක සාධක මුල්වන බව ප්‍රකට කරුණකි. චීනයේ වූහාන් නගරය ආශ්‍රිත ප්‍රදේශයේ මිලියන 60ක ජනතාව “ ලොක්ඩවුන් ” කිරීමේ තීන්දුව විද්‍යාත්මක සාධක මත පදනම් වුවද ලෝකය විශ්මයට පත්කළ එම තින්දුව ගනු ලැබුවේ චීන කොමියුනිස්ට් පක්ෂයේ මධ්‍යම කාරක සභාව විසිනි.

    මෙවැනි තත්වයක් තුළ මෙතැන් පටන් මේ වන විට ගනු ලැබූ ප්‍රශස්ථ පියවර තවදුරටත් ශක්තිමත්ව ඉදිරියට ගෙනයායුත්තේ කෙසේදැයි මා විසින් පත් කරන ලද දේශීය සහ විදේශීය විද්වතුන්ගෙන් සමන්විත කමිටුවක් මඟින් විමසන ලදී. එම කමිටුව විසින් මා වෙත ඉදිරිපත් කළ උපායමාර්ගික ප්‍රවේශය ඔබතුමාගේ අවධානය සඳහා මෙසේ ඉදිරිපත් කරමි. මහජනයාගේ දැනගැනීම පිණිස එය ජනමාධ්‍ය වෙත නිකුත් කරන බවද කරුණාවෙන් සැලකුව මැනවි. ඔබතුමාට තෙරුවන් සරණයි.

    මෙතැන් සිට කොරෝනා වසංගත පාලනය සඳහා ජාතික සංවිධාන විසින් ඉදිරිපත් කරන පස් වැදෑරුම් උපායමාර්ගික ප්‍රවේශය

    • සමාජ දුරස්ථභාවය පවත්වාගෙන යාම සඳහා ඇඳිරිනීතිය පැනවීම, දිස්ත්‍රික් අතර ගමනාගමනයට සීමා පැනවීම සහ තෝරාගත් ප්‍රදේශ අවශ්‍යතාවය අනුව ‘‘ලොක් ඩවුන් ‘‘ හෙවත් වසා දැමීම ආදී පියවර රෝග පාලනයේ තීරණාත්මක සන්ධිස්ථානය ලඟා කරගන්නා තෙක් ලිහිල් නොකිරීම.
    • උපායමාර්ගිකව තීරණාත්මක සාධකයක් ලෙස සැක කටයුතු සියලු ස්පර්ශකයින් සහ නිරෝධානයට ලක්ව සිටින පිරිස් ඇතුළු රෝග ලක්ෂණ පෙන්නුම් නොකරන එහෙත් සමාජය තුළ රෝගය පතුරුවන පිරිස් වහාම හදුනා ගැනීම සහ ප්‍රතිකාර ජාලයට ඇතුළු කර ගැනීම සඳහා ස්ක්‍රීනින් පරීක්ෂණ ප්‍රමාණය ශීග්‍රයෙන් වැඩි කිරීම. උදාහරණයක් ලෙස අවම වශයෙන් දිනකට සිදු කරන ස්ක්‍රීන් පරීක්ෂණ ප්‍රමාණය 5,000 – 10,000 අතර ප්‍රමාණයක් දක්වා වැඩි කිරීම.
    • ඉහත (02) උපායමාර්ගයට අනුව පරීක්ෂණ වැඩි කිරීම සඳහා සෞඛ්‍ය දෙපාර්තමේන්තුවට අයත් RT – PCR යන්ත්‍ර 21ක්, විශ්වවිද්‍යාල සහ පර්යේෂණ ආයතන සතු යන්ත්‍ර 36 ක් සහ පෞද්ගලික අංශය සතු යන්ත්‍ර 6ක් වශයෙන් 63ක් වන සමස්ථ ධාරිතාව මධ්‍යගත අධීක්ෂණ යාන්ත්‍රණයකට යටත්කොට අවශ්‍ය දිස්ත්‍රික්ක සඳහා වෙන් කිරීම. එම යන්ත්‍ර පද්ධතිය මගින් කිසිදු ගැටළුවක් නැතිව එක් දිනකට පරීක්ෂණ 10,000ක් සිදු කළ හැකි අතර අවශ්‍ය විශේෂඥ පිරිස් බලය වැඩිකර ගැනීම සඳහා එම යන්ත්‍ර භාවිතය පිළිබඳ විශේෂඥ දැනුම සහිත පශ්චාත් උපාධි සිසුන් සහ විශ්‍රාමික විද්වතුන් කැඳවිය හැක. (මෙම පද්ධතිය නිසි ලෙස ක්‍රියාත්මක කිරීම සඳහා අවශ්‍ය සැපයුම් පිළිබඳව විධිමත්ව සොයා බලා ඒවා ලබා ගැනීමේ යාන්ත්‍රණයක්ද පිහිටු විය යුතුය.)
    • යම් රෝග ලක්ෂණ පහළවීම නිසා හෝ තමා ස්පර්ශකයෙකු යැයි සැක කරන විට ඒ අය සහ අසල්වැසියෙකු හෝ ඥාතියෙකු ස්පර්ශකයෙකු යැයි සැක කරන විට ඒ බව දැනුම් දීම සඳහා සෑම දිස්ත්‍රික්කයකම 1ක් බැගින් ප්‍රධාන රෝහලක් ආශ්‍රිතව මධ්‍යස්ථානයක් පිහිටුවීම හා දුරකථන අංකයක් ප්‍රකාශයට පත් කිරීම මෙන්ම තව දුරටත් ස්පර්ශකයින් සොයා යාම අවශ්‍යවන අවස්ථාවල එම තොරතුරු මහජන සෞඛ්‍ය අංශ සහ රාජ්‍ය බුද්ධි අංශය වෙත ලබා දීම.

    ( එම මධ්‍යස්ථානය තුළ රෝගියෙකුට කළ යුතු දේ පිළිබඳව සහ රෝගය පිළිබඳ උපදෙස් දීම සහ අවශ්‍ය නම් කැඳවා පරීක්ෂණ සඳහා සාම්පලයක් ලබා ගැනීම, තොරතුරු විධිමත්ව ලේඛනගත කිරීම සහ රෝගියා වැඩිදුර ප්‍රතිකාර සඳහා යොමු කිරීම යන වගකීම් ඉටු කිරීම සඳහා වන පහසුකම් නිසි ආරක්ෂණ ක්‍රමවේද සහිතව ලබා දිය යුතුය. )

    • ඉහත 03 උපාය මාර්ගය අනුව R.T RCR යන්ත්‍ර උපරිම ධාරිතාවෙන් ක්‍රියාත්මක කිරීමේදී මතුවන ප්‍රායෝගික ගැටළුවලට විසඳුමක් ලෙස සහ අවශ්‍යතාව වැඩි වීමේ තත්වයන්ට මුහුණ දීම සඳහා දැනට වාණිජ මට්ටමින් යොදා ගනු ලබන “ Rapid test ” ලෙස හඳුන්වන විනාඩි 5 – 15 ත් අතර කාලයකදී ප්‍රතිඵල ලබාගත හැකි පරීක්ෂණ ක්‍රම  (02)ට අදාළ පරීක්ෂණ කට්ටල වහාම ආනයනය කිරීම සහ ඒ සඳහා රාජ්‍යයන් අතර ගනුදෙනුවක් ලෙස චීනය, රුසියාව සහ ඇමරිකාව යන රටවල්වලින් ඉල්ලීම් කිරීම. එම පරීක්ෂණ වර්ග දෙකෙන් එකක් PCR පරීක්ෂණයට විකල්පයක් වන  “ Antigen ” පරීක්ෂණයක් වන අතර අනෙක “ Antibody ” පරීක්ෂණයක් හෙවත් රුධිරයේ ප්‍රතිදේහ වර්ග දෙකක් පරික්ෂා කිරීම සඳහා යොදා ගන්නා ඇඟිල්ලක් විදීම මඟින් රුධිරය ලබා ගැනීම හරහා සිදුකරන මිල අඩු සරල රුධිර පරීක්ෂණයකි.

    ( එම දෙවන පරීක්ෂණය හෙවත් ප්‍රතිදේහ පරීක්ෂණයේ ප්‍රතිඵල ලබාගැනීම සඳහා විෂබීජ ශරීරගත වී දින 5-7 කාලයක් ගතවේ. එම නිසා එම පරීක්ෂණය අතුරු හෝ දෙවන පරීක්ෂණයක් ලෙස භාවිත කිරීමට හැක. )

  • Magnifica ලාංකික තරුණයාගේ ඉල්ලීම ජනපති ඉටුකරයි

    Magnifica ලාංකික තරුණයාගේ ඉල්ලීම ජනපති ඉටුකරයි

    ලෝකයේ කිසිදු වරායකින් භාර නොගත් එම්.එස්.සී මැග්නිෆිකා (MSC Magnifica) නෞකාවේ සේවය කළ එකම ශ්‍රී ලාංකික තරුණයා ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මැතිතුමාගේ උපදෙස් මත මව් රටේ ගොඩබිමට රැගෙන ඒමට නාවික හමුදාව ක්‍රියා කරයි.

    MSC Magnifica නෞකාවේ මගීන් සහ කාර්යය මණ්ඩලය 2,700ක් වූහ. ජනවාරි 05 වන දින ගමන් ආරම්භ කළ නෞකාව ලොව පුරා පැතිර යන කොරෝනා වෛරසය නිසා ඕස්ට්‍රේලියාවේදී සංචාරය නතර කළේය. පවතින තත්ත්වය මත නෞකාව භාරගැනීම සියලුම වරාය ප්‍රතික්ෂේප කර ඇත. මේ හේතුවෙන් මව් ශාඛාව පිහිටි ඉතාලිය බලා ගමන් කරමින් සිටි නෞකාව ඉන්ධන සහ වෙනත් අත්‍යාවශ්‍ය සේවා ලබාගැනීමට කොළඹ වරායට පැමිණෙමින් තිබිණ. නෞකාවේ සේවය කළ එකම ශ්‍රී ලාංකිකයා වන අනුර බණ්ඩාර හේරත් මහතා ඉතාලියට යාමට පෙර තමා ශ්‍රී ලංකා මුහුදේ දී රටට භාරගන්නා ලෙස මුහුණු පොත මඟින් ඊයේ (05) ඉල්ලීමක් කළේය. එය දුටු ජනාධිපතිතුමා නාවික හමුදාපති වයිස් අද්මිරාල් පියල් ද සිල්වා මහතාට තරුණයා මෙරටට භාරගන්නා ලෙස උපදෙස් දුන්නේය.

    ඒ අනුව, ක්‍රියාත්මක වූ නාවික හමුදාවේ රසායනික, ජීව විද්‍යාත්මක, විකිරණ හා න්‍යෂ්ටික (Chemical, Biological, Radiological and Nuclear) හදිසි ප්‍රතිචාර දැක්වීම පිළිබඳ ඒකකය අද (06) අලුයම කොළඹ වරායට කිලෝමීටර් 09 ක් ඈතින් මුහුදු තීරයේදී අනුර බණ්ඩාර හේරත් මහතා තම භාරයට ගත්තේය. 75 වියැති ජර්මානු ජාතික කාන්තාවක ද ප්‍රතිකාර සඳහා රැගෙන ඒමට නාවික හමුදා හදිසි ප්‍රතිචාර ඒකකය සහය විය.

    ගොඩබිමට රැගෙන පැමිණි අනුර බණ්ඩාර මහතා බූස්ස නාවික හමුදා කඳවුරේ ස්ථාපිත නිරෝධායන මධ්‍යස්ථානය වෙතත් ජර්මානු ජාතික කාන්තාව කොළඹ ජාතික රෝහල වෙත යැවීමට පියවර ගත් බව නාවික හමුදාපති වයිස් අද්මිරාල් පියල් ද සිල්වා මහතා පවසයි.

  • Curfew Update: නවතම ඇඳිරි නීති නිවේදනය සම්පූර්ණයෙන්

    Curfew Update: නවතම ඇඳිරි නීති නිවේදනය සම්පූර්ණයෙන්

    කොරෝනා වෛරස ව්‍යාප්තිය සලකන විට ඉහළ අවදානමක් සහිත කලාප ලෙස හඳුනාගෙන ඇති කොළඹ, ගම්පහ, කළුතර, පුත්තලම, මහනුවර සහ යාපනය දිස්ත්‍රික්කවල දැන් ක්‍රියාත්මක ඇඳිරි නීතිය නැවත දන්වනතුරු දිගටම බලාත්මකව පවතී.

    සෙසු සියළු දිස්ත්‍රික්කවල අද, සඳුදා උදේ 6.00ට ලිහිල් කෙරුණු ඇඳිරි නීතිය දහවල් 2.00ට යළි පනවනු ලැබීය. මේ දිස්ත්‍රික්කවල එසේ යළි ක්‍රියාත්මක වූ ඇඳිරි නීතිය අප්‍රේල් 09 බ්‍රහස්පතින්දා උදේ 6.00ට ඉවත් කොට එදිනම සවස 4.00ට යළි පනවනු ලැබේ.

    අද, අප්‍රේල් 06 සඳුදා සිට 10, සිකුරාදා දක්වා සතියේ වැඩකරන දින රාජ්‍ය, පෞද්ගලික දෙඅංශයේම ආයතන සඳහා නිවසේ සිට වැඩකරන කාලයක් ලෙස ප්‍රකාශයට පත් කර ඇත.

    අත්‍යාවශ්‍ය සේවා හැර වෙනත් කාර්යයන් සඳහා දිස්ත්‍රික්ක අතර ගමනාගමනය සම්පූර්ණයෙන්ම තහනම් කර තිබේ.

    අත්‍යාවශ්‍ය සේවා කර්යක්ෂමව පවත්වාගෙන යනු පිණිස යොදා ඇති ක්‍රමවේද අවභාවිත කරන අයට එරෙහිව නීතිය තදින්ම ක්‍රියාත්මක කරනු ලැබේ.

    ඇඳිරි නීතිය බලපැවැත්වෙන කාලය තුළ ජනතාවට අත්‍යාවශ්‍ය ආහාර ද්‍රව්‍ය සහ වෙනත් භාණ්ඩ නිවසේ සිටම මිලදී ගත හැකි වන පරිදි නොකඩවා සැපයීමට රජය සියලු විධිවිධාන සලසා ඇත.

    කවර දිස්ත්‍රික්කයක වුවද ගොවිතැන් වැඩ කරන සහ කුඩා තේවතු හා අපනයන භෝග නිෂ්පාදන ක්‍රියාවලියේ නිරත ජනතාවට එකී වැඩ කිරීමට අවසර ඇත.

    කොරෝනා වෛරසය ව්‍යාප්තිය නතර කිරීමට ඉවහල් වන ක්‍රියාමාර්ග ගෙන ඇත්තේ හුදෙක් ජනතාවගේ සුභ සිද්ධිය උදෙසා බැවින් එකී නියමයන් පිළිගෙන ඇඳිරි නීති කාලය තුළ නිවසේම රැඳී සිටින්නැයි රජය ජනතාවගෙන් ඉල්ලා සිටී.

    කොළඹ, කළුතර සහ මහනුවර දිස්ත්‍රික්කවල  හුදකලා ප්‍රදේශ ලෙස නම් කර ඇති ගම්මාන හුදකලා ප්‍රදේශ ලෙස තවදුරටත් සලකනු ලැබේ.  කවරකුට හෝ මේ ගම්මානවලට ඇතුළුවීම හෝ ඉන් පිටවීම හෝ නැවත දැනුම් දෙන තුරු සම්පූර්ණයෙන් තහනම් වේ.

  • සජිත් ඇතුළු සජබ නායකයෝ ජනපති හමුවෙයි – සම්පූර්ණ කතාව මෙන්න

    සජිත් ඇතුළු සජබ නායකයෝ ජනපති හමුවෙයි – සම්පූර්ණ කතාව මෙන්න

    කොරෝනා වෛරසය පැතිරයාම සමග රටේ උද්ගතව ඇති තත්ත්වය පිළිබඳව  රජය සහ සමගි ජන බලවේගය අතර සාකච්ඡාවක් අද (06) දහවල් ජනාධිපති කාර්යාලයේ දී ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මැතිතුමාගේ සහ අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මැතිතුමාගේ ප්‍රධානත්වයෙන් පැවැත්විණ.

    කොරෝනා වෛරසය රට තුළ ව්‍යාප්තිය වැළැක්වීමට රජය ගෙන ඇති ක්‍රියාමාර්ග සහ ඉදිරියට සැලසුම් කර ඇති වැඩපිළිවෙළ ජනාධිපතිතුමා දීර්ඝ වශයෙන් පැහැදිළි කළේය.

    කොරෝනා වෛරසය පිළිබඳව ලෝක සෞඛ්‍ය සංවිධානය අනතුරු ඇඟවීමත් සමග රජයක් ලෙස වගකීමෙන් ක්‍රියා කළ ආකාරය ජනාධිපතිතුමා පෙන්වා දුන්නේය. සෙසු රටවල් අභිබවා ජනතාවගේ ආරක්ෂාව වෙනුවෙන් කඩිනම් ක්‍රියාමාර්ග රැසකට එළැඹි බව ද ගෝඨාභය රාජපක්ෂ මැතිතුමා පැවසීය.

    පාසැල් සහ විශ්ව විද්‍යාල වසා දැමීමේ සිට අත්‍යාවශ්‍ය සේවා බිඳ නොවැටී  දෛනික කටයුතු පවත්වා ගනිමින් ජනතාව ආරක්ෂා කර ගැනීමට  සෑම පියවරක්ම ගත් බව ජනාධිපතිතුමා සඳහන් කළේය. මේ නිසා කොරෝනා වෛරසය පැතිරයාම පාලනය කිරීමට රජයට හැකිවිය. සෞඛ්‍ය අංශ හා ආරක්ෂක අංශ ඇතුළුව රාජ්‍ය හා පෞද්ගලික යාන්ත්‍රණය මුසු කර ගනිමින් විශේෂඥ උපදෙස් පිළිගනිමින් සෑමවිටම ක්‍රියා කළ බව ද ජනාධිපතිතුමා පෙන්වා දුන්නේය. වෛරසය ආසාධිත රෝගීන් හා ඔවුන් ඇසුරු කළ පිරිස් හඳුනාගනිමින් විශේෂඥ වෛද්‍ය උපදෙස් මත  පූර්ව පරීක්ෂණ අඛණ්ඩව සිදු කෙරේ. ඒ මගින් ආසාධිතයන් කල් තියා හඳුනාගැනීමට හැකි වනු ඇතැයි ද ජනාධිපතිතුමා කියා සිටි.

    මධ්‍යස්ථාන 40ක නිරෝධායන කටයුතු සිදු කෙරේ. රෝගීන් හඳුනාගත් ප්‍රදේශවල මහජන සෞඛ්‍ය පරීක්ෂකවරුන්ගේ ද සහාය ඇතිව වෛරසය පැතිරයාම වැළැක්වීමට ක්‍රියා කර ඇත. රෝගී නිරීක්ෂණ සහ පරීක්ෂණයන්ට මෙන්ම මහජන පාලනයේදී මහජන සෞඛ්‍ය පරීක්ෂකවරුන් දක්වන සහයෝගය ද ජනාධිපතිතුමාගේ පැසසුමට ලක් විය. 

    රජය ගෙන යන ක්‍රියාමාර්ගයන්ට සමගි ජන බලවේගය සිය ප්‍රසාදය පළ කළ අතර දේශපාලන සහ වෙනත් බේදයකින් තොරව වැඩපිළිවෙල ඉදිරියටත් කරගෙන යා යුතු බව දෙපාර්ශ්වයේම මතය විය.

    රජය ගෙන යන වැඩපිළිවෙළේදී යම් අයෙකුට අසාධාරණයක් හෝ අඩුවක් වී ඇත්නම් ඒ පිළිබඳව වහාම ක්‍රියාත්මක වන බව ද අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මැතිතුමා පැවසීය.

    දෛනික වැටුප් මත ඉදිකිරීම් ක්ෂේත්‍රය ඇතුළු විවිධ සේවා  සැපයීමට පැමිණ ගමට යාමට නොහැකිව සිටින පිරිස් වෙත අදාළ සේවාලාභීන්ගේ අවධානය යොමු කරන ලෙස ජනාධිපතිතුමා මෙන්ම සමගි ජන බලවේගයේ නායක සජිත් ප්‍රේමදාස මහතා ද ඉල්ලා සිටියහ.

    බෝ නොවන රෝග ඇතුළු දෛනික සෞඛ්‍ය සේවා සඳහා අවශ්‍ය ඖෂධ රැසක් රජයේ ඉල්ලීම මත ඉන්දියාවේ සිට හෙට (07) දිවයිනට ගෙන එනු ලැබේ.

    සමස්ත ලෝකයම මුහුණදී ඇති ආර්ථික හා සාමාජයීය තත්ත්වය සැලකිල්ලට ගෙන අපේ රටට ගැලපෙන ආර්ථික ක්‍රමවේදයකට යොමු වීමට දැනටමත් සැලසුම්කර ඇතැයි ජනාධිපතිතුමා පැහැදිළි කළේය. පසුබෑමට ලක්ව ඇති ඇගළුම් සහ සංචාරක කර්මාන්තය නගා සිටුවීම සම්බන්ධයෙන් විශේෂඥ උපදෙස් ලබා ගනිමින් සිටින බවත්, අවස්ථාව ලද සැණින් ඔවුන්ගේ උපදෙස් මත රජය ක්‍රියාත්මක වන බවත් ගෝඨාභය රාජපක්ෂ මැතිතුමා පැවසීය.

    සමෘද්ධිලාභීන්ට අමතරව වැඩිහිටි, ආබාධිත සහ වකුගඩු රෝගීන් ඇතුළුව ලක්ෂ 07කට අධික සංඛ්‍යාවකට රුපියල් 5,000/- දීමනාව කිසිදු බේදයකින් තොරව ලබාදීමට ක්‍රියා කර තිබේ. යම් අයෙකුට එය නොලැබී ඇත්නම් ග්‍රාම නිලධාරී වෙත අභියාචනයක් ඉදිරිපත් කර ලබා ගැනීමට හැකි අවස්ථාව සලසා දි ඇති බව ජනාධිපති කාර්ය සාධක බලකායේ ප්‍රධානී බැසිල් රාජපක්ෂ මහතා සඳහන් කළේය.

    සෞඛ්‍ය සහ තවත් ක්ෂේත්‍ර රැසක ඉදිරි පියවරයන් පිළිබඳව ද රජයේ සහ සමගි ජන බලවේගයේ අවධානය යොමු කෙරිණ.

    රජය නියෝජනය කරමින් දිනේෂ් ගුණවර්ධන, නිමල් සිරිපාල ද සිල්වා, විමල් වීරවංශ, ඩලස් අලහප්පෙරුම, බන්දුල ගුණවර්ධන, ජොන්ස්ටන් ප්‍රනාන්දු යන අමාත්‍යවරු  ද, සමගි ජන බලවේගය නියෝජනය කරමින් එහි නායක සජිත් ප්‍රේමදාස සහ මහලේකම් රංජිත් මද්දුමබණ්ඩාර හා ජනාධිපති ලේකම් ආචාර්ය පී.බී. ජයසුන්දර යන මහත්වරු සාකච්ඡාවට එක්ව සිටියහ.

  • මැදපෙරදිග රටවලට කොරෝනා අවධානමක් නැද්ද ? අලුත්ම සංඛ්‍යා මෙන්න…

    මැදපෙරදිග රටවලට කොරෝනා අවධානමක් නැද්ද ? අලුත්ම සංඛ්‍යා මෙන්න…

    කොවිඩ් -19 ආසාදිතයින් සහ මරණ ගැන වාර්තා වන විට ලෝකයේ වැඩිම අවධානයක් යොමු වන්නේ ඇමෙරිකා එක්සත් ජනපදය, ඉතාලිය, ස්පාඤ්ඤය සහ ප්‍රංශය ඇතුළු බටහිර රටවල් වෙතයි. ඒ අතර ශ්‍රී ලාංකිකයින් විශාල පිරිසක් සේවය කරන නිසා දකුණු කොරියාවත්, ශ්‍රී ලාංකිකයින් විශාල පිරිසක් ජීවත් වන නිසා ඕස්ට්‍රේලියාවත් දැඩි අවධානයට ලක් වෙනවා.

    ඒත් දශක කිහිපයක් පුරා මිලියකට අධික ශ්‍රී ලාංකික ශ්‍රමිකයින් පිරිසක් ජීවත් වන මැදපෙරදිග කලාපයේ කොරෝනා ආසාදන හා මරණ ගැන අපට තිබෙන්නේ අඩු දැනුමක් හා අවධානයක්. ඒත් යම් කිසි ආකාරයකින් මැදපෙරදිග කලාපයේ කොරෝනා වසංගත තත්ත්වයක් උද්ගත වුවහොත් ශ්‍රී ලංකාවට ඍජුව බලපාන බව, විශෙෂයෙන් ගෘහ සේවිකාවන් වශයෙන් සේවය කරන ලක්ෂ සංඛ්‍යාත පිරිසක් සිටින නිසා මෙරට ග්‍රාමීය දුප්පත් මිනිස්සුන්ට දැවැන්ත බලපෑමක් වන බව අපි අමතක කරනවා.

    විශේෂයෙන් යම් ආකාරයකින් මැදපෙරදිග කොරෝනා අවධානම ඉහළ ගියහොත් එහි වැඩි බරක් දැරීමට සිදුවන්නේ අරාබියේ ගෘහ සේවිකාවන් හා සේවකයින් වශයෙන් සිටින අපේ කාන්තාවන්ට බව අප මතක තබා ගත යුතුයි.

    ඒත් දුප්පතුන් නිසාම හඩක් අහිමි ඔවුන් ගැන අපි දක්වන්නේ අඩු අවධානයක්. ඒ වගේම දෛවෝපගත ලෙස ඉරානයේ හැරුණු විට අනෙක් මැද පෙරදිග රටවල කොරෝන වසංගත තත්ත්වයක් මේ දක්වා දැකිය නොහැකියි.

    ශ්‍රී ලාංකික ගෘහ සේවිකාවන් ලක්ෂ සංඛ්‍යාත පිරිසක් සේවය කරන සෞදි අරාබියෙන් මේ දක්වා (06 වන දින මධ්‍යාහනය) වාර්තා වී තිබෙන්නේ කොරෝනා මරණ 34ක් පමණයි. එහි ආසාදිතයින් සංඛ්‍යාව 2402ක් බවයි අල් ජසීරා මාධ්‍ය ආයතනය කියන්නේ. ඒ සමග එක්සත් අරාබි එමීර් රාජ්‍යයයෙන් ආසාදිතයින් 1799ක් සහ මරණ 10ක්, කටාරයෙන් ආසාදිතයින් 1604ක් සහ මරණ 4ක්, ඉරාකයෙන් ආසාදිතයින් 961ක් සහ මරණ 61ක්, බහරේනයෙන් ආසාදිතයින් 700ක් සහ මරණ 04ක්, ක්වේටයෙන් ආසාදිතයින් 556ක් සහ මරණ 01ක් වාර්තා වී තිබෙනවා.

    ඉරානය – රෝගීන් 58,226 ක්, මරණ 3,603 ක් 

    තුර්කිය – රෝගීන් 27,069 ක්, මරණ 574 ක්

    ඊශ්‍රායලය- රෝගීන් 8,611 ක්, මරණ 51 ක්

    සෞදි අරාබිය – රෝගීන් 2,402 ක්, මරණ 34 ක්

    එක්සත් අරාබි එමීර් රාජ්‍යය- ආසාදිතයින් 1,799 ක්, මරණ 10 ක්

    කටාර් – රෝගීන් 1,604 ක්, මරණ 4 ක්
    ඇල්ජීරියාව – රෝගීන් 1,320 ක්, මරණ 152 ක්

    ඊජිප්තුව – රෝගීන් 1,173 ක්, මරණ 78 ක්

    ඉරාකය – ආසාදිතයින් 961 ක්, මරණ 61 ක්
    මොරොක්කෝව – රෝගීන් 1,021 ක්, මරණ 70 ක්

    බහරේනය – ආසාදිතයින් 700 ක්, මරණ 4 ක්

    කුවේට් – ආසාදිතයින් 556, 1 මරණය

    ලෙබනනය – රෝගීන් 527 ක්, මරණ 18 ක්

    සයිප්‍රසය – රෝගීන් 446 ක්, මරණ 9 ක්

    ජෝර්දානය – නඩු 345 ක්, මරණ 5 ක්

    සිරියාව – රෝගීන් 19 ක්, මරණ 2 ක්

    අල් ජසීරා (06) වාර්තාවක් ඇසුරිණි

  • ජනපතිට ‘කොරෝනා’ යැයි fb post පළ කළ නර්තන ශිල්පිනියට වැඩ වරදී

    ජනපතිට ‘කොරෝනා’ යැයි fb post පළ කළ නර්තන ශිල්පිනියට වැඩ වරදී

    ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතාට ස්ථීර වශයෙන්ම කොරෝනා වෛරසය වැළැදී ඇතැයි සදහන් කරමින් මුහුණු පොතේ පෝස්ටුවක් නිර්මාණය කර හුවමාරු කර ගත් බවට සැකපිට ඊයේ (5) අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව විසින් අත්අඩංගුවට ගත් පෞද්ගලික නර්තන ආයතනයක අධ්‍යක්ෂිකාවක වන වාද්දුව, මහවිහාර මාවත පදිංචි තිලිණී මීවනගේ (41) නැමැත්තිය ලබන 09 වැනිදා තෙක් රක්ෂිත බන්ධනාගාර ගත කරන ලෙස කොළඹ අතිරේක මහේස්ත‍්‍රාත්වරයා අද (06) නියෝග කළේය.

    ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතාට ස්ථිරවම කොරෝනා වෛරසය වැළැදී ඇතැයි සදහන් කරමින් සිය මුහුණු පොතේ පෝස්ටුවක් නිර්මාණය කර අසත්‍යයක් ප‍්‍රචාරය කර පරිගණක අපරාධ පනතේ හයවැනි වගන්තිය ප‍්‍රකාරව සහ ලංකා දණ්ඩ නිති සංග‍්‍රහය ප‍්‍රකාරව වරදක් කර ඇතැයි අපරාධ පරික්ෂණ දෙපාර්තමේන්තුව අධිකරණයට කරුණු දැක්වීය.