Blog

  • පළාත් සභා මැතිවරණය ගැන හැකි ඉක්මණින් පක්ෂ නායක රැස්වීමක් කැඳවා තීන්දුවක් ගන්න

    පළාත් සභා මැතිවරණය ගැන හැකි ඉක්මණින් පක්ෂ නායක රැස්වීමක් කැඳවා තීන්දුවක් ගන්න

    පළාත් සභා මැතිවරණය පැවැත්වීම සම්බන්ධයෙන්, හැකි ඉක්මණින් පක්ෂ නායක රැස්වීමක් කැඳවා තීන්දුවකට පැමිණෙන ලෙස ඉල්ලමින් පැෆරල් සංවිධානය කථානායක කරු ජයසූරිය මහතා වෙත ලිපියක් යොමු කර තිබේ.

    ඡන්ද බලය භාවිත කර නියෝජිතයන් පත්තර ගැනීමට ජනතාවට ඇති අයිතිය උල්ලංඝනය වීම හේතුවෙන් ජනතා විශ්වාසය බිඳ වැටිම රටක යහපැවැත්මට මෙන්ම ප්‍රජාතන්ත්‍රවාදී වටිනාකම්වලටද මරු පහරක් එල්ල කරන බව පැෆරල් සංවිධානය සිය ලිපියෙන් පෙන්වා දී ඇත.

    විවිධ අවස්ථාවලදී මැතිවරණ කල්දැමීම හරහා රටක් ලෙස ඕනෑවටත් වඩා අනිසි ඵලවිපාකවලට මුහුණ දී ඇති බැවින් එවැනි අවාසනාවන්ත තත්ත්වයක් ඇති නොවන පරිදි ජනතා අභිලාෂයන් ප්‍රකාශ කිරීමට ඉඩ ප්‍රස්ථා සැලසීම රජයට අයත් ප්‍රමුඛ වගකීමක් බවත් එම සංවිධානය පෙන්වා දී තිබේ.

    එබැවින් හැකි ඉක්මණින් පක්ෂ නායක රැස්වීමක් කැඳවා දැනට හඳුනාගෙන ඇති අඩුපාඩුකම්වලට පිළියම් යොදමින් ඒ ගැන තීන්දුවක් ගත යුතුව ඇති බවත්, මැතිවරණ පවත්වන්නේ පැරණි ක්‍රමයටද යන්න ගැන නිශ්චිත තීන්දුවක් ගත යුතුව ඇති බවත් පැෆරල් සංවිධානය පවසා ඇත.

    ඒ තුළින් ජනතා පරමාධිපත්‍ය බලය සුරක්ෂිත කරදීමට කටයුතු කරන ලෙසත් පැෆරල් සංවිධානය එමගින් කථානාකවරයාගෙන් ඉල්ලා තිබේ.

  • අයහපත් කාලගුණය හේතුවෙන් පුද්ගල මරණ 4ක් හා තුවාල සිදුවීම් කිහිපයක්

    අයහපත් කාලගුණය හේතුවෙන් පුද්ගල මරණ 4ක් හා තුවාල සිදුවීම් කිහිපයක්

    බොහෝ ප්‍රදේශවලට බලපෑ අධික වැසි නිසා හටගත් ජලගැලීම්, පස් කඳු කඩාවැටීම් හේතුවෙන්, ඊයේ (7) සවස වන විට පුද්ගලයන් 4 දෙනෙක් මියගොස් තවත් හතර දෙනෙක් තුවාල ලබා සිටියහ.

    සැඩපහරට හසුවීමෙන් මතුගම ප්‍රදේශයේ එක් පුද්ගලයකු මියගොස් ඇති අතර වැසි ජලයේ ගිලීමෙන් කළුතර ප්‍රදේශයේ තවත් පුද්ගලයන් දෙදෙනෙක් මියගොස් ඇත. ගාල්ල ප්‍රදේශයේද එක් පුද්ගලයකු මියගොස් ඇත. ඊට අමතරව කළුතර, නෑබඩ නිවාස 2ක් මතට ඊයේ (7) අලුයම පස් කන්දක් කඩා වැටීම නිසා සිවුදෙනෙකු තුවාල ලබා හොරණ රෝහලට ඇතුළත් කර තිබේ.

    මේ අතර වැසි ආපදා තත්ත්වයන් නිසා ඊයේ (7) සවස වන විට පුද්ගලයන් දසදහසකට ආසන්න පිරිසක් පීඩාවට පත්වී ඇත. ඉන් වැඩිම බලපෑමක් එල්ල වී තිබුණේ ගාල්ල දිස්ත්‍රික්කයටය. එහි පවුල් 131ට අයත් පුද්ගලයන් 8469 දෙනෙක් මෙලෙස පීඩාවට පත්වී ඇත.

    ඊට අමතරව බොහෝ ප්‍රදේශවල මාර්ග රැසක් ජලයෙන් යට වුණු අතර මතුගම අලුත්ගම මාර්ගයේ වැලිපැන්න ප්‍රදේශයේ ජලයෙන් යටවීම නිසා දක්ෂිණ අධිවේගී මාර්ගයේ වැලිපැන්න පිවිසුම් මාර්ගය තාවකාලිකව වසා දමා තිබිණි.

    මේ අතර කළුතර අගලවත්ත වළල්ලාවිට ආදි ප්‍රදේශවල වර්ෂාවත් සමග දැඩි නාය යාමේ අවදානමක් මතුව ඇතැයි ජාතික ගොඩනැගිලි පර්යේෂණ සංවිධානය පවසයි. එම නිසා එම ප්‍රදේශවල ජනතාව ඒ පිළිබඳ දැඩි විමසිල්ලකින් පසුවිය යුතු බවද එම සංවිධානය පෙන්වා දෙයි.

  • මංගලගේ නොහැකියාව සහ තෙල් මිල සූත්‍ර ප්‍රෝඩාව

    මංගලගේ නොහැකියාව සහ තෙල් මිල සූත්‍ර ප්‍රෝඩාව

    තම නොහැකියාව වසා ගැනීම සඳහා බොරු ආටෝප අටවා ජනතාව සහ මාධ්‍ය ඉදිරියට දැමූවද ආර්ථික සහ මූල්‍ය ක්ෂේත්‍රයට පිළිබඳව නිසි දැනුමක් නැති මුදල් අමාත්‍යවරයෙකු වන මංගල සමරවීර විසින් තම විලිවසා ගැනීම සඳහා දමා ඇති “තෙල් මිල සූත්‍රය” අමු ප්‍රෝඩාවක් බව මේ වන විට අනාවරණය වී අවසානය.

    තෙල් මිල සූත්‍රය ලෙසින් සූත්‍රයක් හැඳින්වුවද එවැනි සූත්‍රයක් නැති බවත් එය අමූලික බොරුවක් බව ලංකා ඛනිජතෙල් සේවක සංගමයේ සභාපති ආචාර්ය අශෝක රන්වල මහතාද පවසයි.

    ඒ මහතා පවසන්නේ එවැනි මිල සූත්‍රයක් සැකසීමේදී මෙරට ඊට අදාළ ක්ෂේත්‍ර බුද්ධිමතුන් සිටින බවත් අඩුම තරමේ ඔවුන් සමග දල අදහස් හුවමාරු කරගැනීමක්වත් මේ සම්බන්ධයෙන් සිදු කර නැති බවත්ය.

    මේ අතර අමාත්‍ය මංගල සමරවීර හඳුන්වා දුන් තෙල් මිල සූත්‍රය වෙළෙඳපොළ සංවේදී දෙයක් වන හෙයින් එය ලබාදීම සුදුසු දෙයක් නොවන්නේ යැයි මහ බැංකුවේ ජ්‍යේෂ්ඨ නියෝජ්‍ය අධිපති ආචාර්ය නන්දසේන වීරසිංහ පවසා ඇත.

    මෙහිදී පැන නගින ගැටලුව වන්නේ ජනතාවගේ දෛනික ජීවිතයට මෙන්ම රටේ සමස්ත ආර්ථිකයටම බලපෑමක් ඇතිකරවන තෙල් මිල සම්බන්ධයෙන් රටේ ජනතාවට අයිතිය බලධාරීන් විසින් අහුරවා ලන්නේ කෙසේද යන්නයි.

    පසුගියදා පැවති රජයේ කැබිනට් මාධ්‍ය හමුවේදී රජයේ ප්‍රබල අමාත්‍යවරයෙකු මෙන්ම කැබිනට් ප්‍රකාශයෙකු වන අමාත්‍ය රාජිත සේනාරත්නගෙන්ද “තෙල් මිල සූත්‍රය” සම්බන්ධයෙන් මාධ්‍යවේදීන් විමසීම් සිදුකරන ලද අතර එහිදී අමාත්‍ය රාජිතද පවසා සිටියේ එය තමාද හරි හැටි නොදන්නා බවයි.

  • හිටපු ජනපති වසර 15කට හිරේ

    හිටපු ජනපති වසර 15කට හිරේ

    දූෂණ චෝදනා ලැබූ දකුණු කොරියාවේ හිටපු ජනාධිපති ලී මුන් බැක්‌ වසර පහළොවකට සිරගත කර තිබේ.
     
     එසේම ඔහුට බොන් බිලියන දහතුනක දඩයක්‌ද අධිකරණය නියම කර තිබේ. 
     
     හිටපු ජනාධිපතිවරයා පවසන්නේ ඔහුට එරෙහි චෝදනා දේශපාලන වශයෙන් නිර්මාණය කළ ඒවා බවයි.
     
     සිරදඬුවම් ලැබූ හතරවැනි දකුණු කොරියානු නායකයා ඔහුය. 
     
     ඔහුට පසු එරට ජනාධිපතිනිය වූ පාක්‌ හෙන්හේ පසුගිය අප්‍රේල් මාසයේ දී 33 වසරකට සිර දඬුවම් ලැබුවාය.

  • සැහැල්ලු දුම්රිය මාර්ග තුනකට කැබිනට් අනුමැතිය

    සැහැල්ලු දුම්රිය මාර්ග තුනකට කැබිනට් අනුමැතිය

    බස්නාහිර පළාතේ නාගරික කලාප ආවරණය වන පරිදි සැහැල්ලු දුම්රිය ගමන් මාර්ග 3ක් ඉදිකිරීම සඳහා කැබිනට් අනුමැතිය හිමි වී තිබේ. 

    මහනගර හා බස්නාහිර සංවර්ධන අමාත්‍ය පාඨලී චම්පික රණවක මහතා විසින් මීට අදාළ යෝජනාව කැබිනට් මණ්ඩලය වෙත ඉදිරිපත් කර ඇත.

    රාගම – කඩවත – කොළඹ කොටුව හරහා කිරුළපන දක්වා කිලෝමීටර් 33 ක් දිගින් යුත් සැහැල්ලු දුම්රිය මාර්ගයක්, කැලණිය – බොරැල්ල – නුගේගොඩ – පිළියන්දල හරහා මොරටුව දක්වා කිලෝමීටර් 28.3 ක දිගින් යුතු මාර්ගයක් සහ හුණුපිටිය – අංගොඩ – කොස්වත්ත හරහා කොට්ටාව දක්වා කිලෝමීටර් 22.3 දිගින් යුතු සැහැල්ලු දුම්රිය මාර්ගයක් මෙහිදී ඉදිකිරීමට යෝජිතය.

    එම මාර්ග ඉදිකිරීම සඳහා සුදුසු ආයතන වෙතින් යෝජනා කැඳවීමට කැබිනට් මණ්ඩලය මෙහිදී අවසර දී තිබේ.

  • ඥානසාර හිමිගේ ඇපෑල ප්‍රතික්ෂේපයි

    ඥානසාර හිමිගේ ඇපෑල ප්‍රතික්ෂේපයි

    පූජ්‍ය ගලගොඩඅත්තේ ඥානසාර හිමියන් උසාවියට අපහාස කිරීම ඇතුළු චෝදනා 04 කට වැරදිකරු කොට බරපතළ වැඩ සහිත වසර 06ක සිරදඬුවමක් නියම කරමින් අභියාචනාධිකරණය දුන් නඩු තීන්දුවට එරෙහිව ඇපෑලක් ගොනු කිරීමට විශේෂ අවසර ඉල්ලා උන්වහන්සේ ගොනු කළ අයැදුම්පත ශ්‍රේෂ්ඨාධිකරණය විසින් ඊයේ (05 ) ප‍්‍රතික්ෂේප කරන ලදී.

    මේ අනුව උන්වහන්සේට එරෙහිව අභියාචනාධිකරණය දුන් නඩු තීන්දුව ශ්‍රේෂ්ඨාධිකරණය විසින් තහවුරු කරනු ලැබ ඇත.

    දැනට සිරගතව සිටින ගලගොඩඅත්තේ හිමි ඇප පිට මුදාහරින්නැයි ශ්‍රේෂ්ඨාධිකරණයට ගොනු කර තිබූ අයෑදුම්පතකින් කර තිබූ ඉල්ලීම ද මේ සමඟ ප්‍රතික්‌ෂේප විය.

    ඊවා වනසුන්දර (සභාපති), නලීන් පෙරේරා සහ ප්‍රසන්න ජයවර්ධන යන ත්‍රිපුද්ගල විනිසුරු මඬුල්ල හමුවේ අයෑදුම්පත පිළිබඳ විභාගය පැවැත්විණි.

    විනිසුරු මඬුල්ල බහුතර කැමැත්ත අනුව විත්තිකාර හිමියන්ගේ ඉල්ලීම ප්‍රතික්‌ෂේප කිරීමට තීරණය වූ බව සභාපති විනිසුරු ඊවා වනසුන්දර මහත්මිය විනිසුරු මඬුල්ල ගත් තීරණය ප්‍රකාශයට පත් කරමින් සඳහන් කළාය.

    රටේ ඉහළම අධිකරණය වන ශ්‍රේෂ්ඨාධිකරණය ප්‍රකාශයට පත් කළ එකී තීන්දුවට අනුව විත්තිකාර හිමියන්ට වසර 6 ක්‌ සිරගතව සිටීමට සිදුවනු ඇත.

    ජනාධිපති නීතිඥ රියන්සි අර්සකුලරත්න මහතා දීර්ඝ වශයෙන් උන්වහන්සේ වෙනුවෙන් ත්‍රිපුද්ගල විනිසුරු මඬුල්ල හමුවේ කරුණු ඉදිරිපත් කළේය.

    ඔහු කියා සිටියේ එතරම් බරපතළ දඬුවමක්‌ දීමට තරම් බරපතළ වරදක්‌ උන්වහන්සේ සිදුකර නැති බවයි. උසාවියට අපහාස කිරීමේ සිද්ධිය වූයේ ගංගොඩවිල මහෙස්‌ත්‍රාත් උසාවියේදී බවත් විත්තිකාර හිමියන් විසින් උසාවියට අපහාස වන ආකාරයේ හැසිරීමක්‌ හෝ ප්‍රකාශ කිසිවක්‌ කර ඇත්නම් ඒ වරදට දඬුවම් කිරීමේ බලය මහෙස්‌ත්‍රාත්වරයකුට නීතියෙන්ම පැවරී තිබියදී ඒ පිළිබඳ පැමිණිල්ල සීමාවකින් තොරව විත්තිකරුවකුට දඬුවම් නියම කළ හැකි අභියාචනාධිකරණයට යොමු කිරීම වරදක්‌ බවත් අර්ස කුලරත්න මහතා කීවේය.

    ශ්‍රේෂ්ඨාධිකරණය දෙන “බලු නඩු තීන්දු” පිළිගන්නේ නැතැයි මුළු ලෝකයම දැන ගැනීමට හැකිවන පරිදි උස්‌ හඬින් පැවසූ හිටපු ඇමැති එස්‌. බී. දිසානායක මහතාටත් ශ්‍රේෂ්ඨාධිකරණය නියම කළේ වසර 02 ක සිරදඬුවමක්‌ බවත් හෝමාගම උසාවිය තුළ ඇති වූ සිද්ධියකට එතරම් බරපතළ සිරදඬුවමක්‌ නියම නොකළ යුතුව තිබුණු බවත් ඔහු පැවසීය.

    විත්තිකාර හිමියන් එදා හෝමාගම උසාවියට ගොස්‌ තිබුණේ උසාවියේ විභාග වන කිසිදු නඩු කටයුත්තකට හිතාමතාම බාධා කිරීමට ගොස්‌ කිසියම් කලබලකාරී තත්ත්වයක්‌ ඇති කිරීමේ ෙච්තනාවෙන් නොවන බව උන්වහන්සේට එරෙහිව නැවත නඩු විභාගයේදී පැමිණිල්ල වෙනුවෙන් ඉදිරිපත් වූ සාක්‍ෂිවලින්ම සනාථ වූ බවත් ඔහු පැවසීය.

    “ගරු ස්‌වාමිනී කොටි සමඟ යුද වැදී රට බේරගත් අය මුදා හැර අපිව සිරගත කරන්නැයි” හෝමාගම උසාවියේ විභාග වූ මාධ්‍යවේදී zප්‍රගීත් එක්‌නැලිගොඩ අතුරුදන් වීමේ නඩුවේ විත්තිකරුවන්ට සහයෝගය දක්‌වමින් කර තිබෙන ප්‍රකාශයට අනුව පෙනී යන්නේ උන්වහන්සේ හෝමාගම උසාවියට ගොස්‌ ඇත්තේ තමාගේ පුද්ගල අවශ්‍යතාවක්‌ සඳහා නොව ජාතිමාමක හැඟීමෙන් යුතුව බව ඕනෑම කෙනකුට පැහැදිලිව වැටහෙන බවත් එම කරුණු ගැන සලකා බලා උන්වහන්සේගෙන් යම් වරදක්‌ සිදුව තිබුණා නම් ලිහිල් දඬුවමක්‌ නියම කළ යුතුව තිබුණ බවත් ජනාධිපති නීතිඥ රියන්සි අර්ස කුලරත්න මහතා වැඩිදුරටත් පැවසීය.

    නීතිපති වෙනුවෙන් පෙනී සිටි ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය සොලිසිටර් ජනරාල් රොහාන් අබේසූරිය මහතා විත්තිකාර හිමියන්ගේ ගොනු කර තිබූ ඇපෑලට ඉඩ දෙනවාට දැඩිව විරුද්ධත්වය පළ කළේය.

    විත්තිකාර හිමියන් හෝමාගම උසාවියේ නඩු විභාග කටයුතු පැවැත්වෙන අතර උසාවිය අමතමින් කළ ප්‍රකාශ හා හැසිරුණු ආකාරය ගැන සලකා බලන විට උන්වහන්සේට නියම වූ දඬුවම වෙනස්‌ කළ යුතු නැතැයි ද උන්වහන්සේ හැසිරී ඇත්තේ මහෙස්‌ත්‍රාත්වරයා විසින් දෙන ලද අවවාද කිසිවක්‌ සලකන්නේ නැතිව ඉතාමත් දඩබ්බර ආකාරයෙන් බව ද පැවසූ නියෝජ්‍ය සොලිසිටර් ජනරාල්වරයා එනිසා නඩු තීන්දුවට එරෙහිව ඇපෑලක්‌ ගොනු කිරීමට ඉල්ලා ඉදිරිපත් කළ අයෑදුම්පත විභාගයක්‌ පැවැත්වීමෙන් තොරව ප්‍රතික්‌ෂේප කළ යුතු යෑයි ද කීය.

    නේජිත අතුකෝරළගේ, චමුද්‍රි, අර්සකුලරත්න, ගනේෂන් ප්‍රේමකුමාර, නාමල් කරුණාරත්න, තිලිණ පුංචිහේවා යන නීතිඥවරු විත්තිකාර හිමියන් වෙනුවෙන් පෙනී සිටියහ.

  • විදුලි අර්බුද මවන මණ්ඩලේ ලොක්කො එක්ක ආයෝජන මණ්ඩලේ හිටපු සභා නටපු නැටුම්

    විදුලි අර්බුද මවන මණ්ඩලේ ලොක්කො එක්ක ආයෝජන මණ්ඩලේ හිටපු සභා නටපු නැටුම්

    මේ කියන්න යන්නෙ 2017 දෙසැම්බර් මාසෙ මාධ්‍ය වල අනාවරණය වුන ශ්‍රී ලංකා ආයෝජන මණඩලයෙ හිටපු සභාපති නීතීඥ උපුල් ජයසූරිය සම්බන්ධ වෙච්ච තවත් එක අමන වැඩක් ගැනයි….

    සුපිරි ගොසිප් අපි අලුතින් කියනවට වඩා කතාව ඒ විදිහටම උපුටා දැක්වුවොත් හොඳයි කියල හිතෙන නිසාත්… ඒ මගින් ඔබට ඒ දින වකවානු වල මේ ප්‍රශ්නය ගැන කතාකල අයුරු මනාව වැටෙහෙන නිසාත් විදුලිබල මණ්ඩලය ලෙස නම තිබූවත් ලංකා ඉංජිනේරු බල මණ්ඩලය ලෙස හරි නම යෙදිය යුතුව ඇති විදුලිබල මණ්ඩලේ ලොක්කන් සමග උපුල් ජයසූරිය කල නොහෙඹිනා වැඩ ගැන ඔබට හරි අවබෝධය ලබා ගැනීම උදෙසා එකල පලවූ මාධ්‍ය වාර්ථාවක් පහකින් ඉදිරිපත් කරමු.

    ^^^^^^^^^^^^^^^^^^^^^^^^^^^^^^^^^^^^^^^^^^^^^^^^^^^^^^^^^^^^^^^^^^^^^^

      ” විදුලි නිෂ්පාදනය සඳහා අවශ්‍ය විදුලි බලාගාර ඉදිකිරීම ප්‍රමාද කිරීම නිසා ලංකා විදුලි බල මණ්ඩලයට රුපියල් බිලියන 50ක පමණ පාඩුවක් සිදුව ඇති බව ශ්‍රී ලංකා මහජන උපයෝගීතා කොමිසම පසුගියදා වාර්තා කළේය. අඩු මිලට විදුලිය නිෂ්පාදනය කිරීම සඳහා බලාගාර ඉදිකිරීම පසෙක තබා පෞද්ගලික අංශයෙන් වැඩි මිලට විදුලිය මිලදීගෙන අඩු මිලට පාරිභෝගිකයාට දීම නිසා මණ්ඩලය අඛණ්ඩව පාඩු ලබන අතර මෙය තවදුරටත් පැවතියහොත් විදුලි බල මණ්ඩලය විශාල දුෂ්කරතාවකට පත්වන අතර විදුලි බිල වැඩිවීමෙන් ජනතාව ද අසීරුවට පත්වෙන බවට කොමිසම අනතුරු අඟවා ඇත. විදුලි බල මණ්ඩලය ඉදිරියට වැඩිවන ඉල්ලුමට අවශ්‍ය තරම් සැපයීමේ ජනන සැලැස්මක් ක්‍රියාත්මක කරනු වෙනුවට දැඩි නියඟය හා විවිධ හේතු නිසා විදුලිය විදුලිය නිෂ්පාදනය පහළ ගිය විට නිතරම පුරුදු වී තිබෙන්නේ අමාත්‍ය මණ්ඩලයට බැරෑරුම්කම වාර්තා කර වැඩි මිලට පෞද්ගලික අංශයෙන් ඉන්ධන මගින් නිෂ්පාදිත විදුලිය ලබාගැනීමටය. මේ නිසා විදුලි බල මණ්ඩලය විශාල අලාභයක් ලබන අතර මණ්ඩලය ලබාගන්නා ඉන්ධනවලට හිමි මුදල් නොගෙවීම නිසා විදුලි බල මණ්ඩලය ද මේ වන විට අර්බුදයකට ලක්ව තිබේ. මේ ගැටලුව පිළිබඳව අදාළ සංවිධාන කිහිපයක් සමඟ අපි සාකච්ඡාවක නිරත වීමු.

    උපාය මාර්ගික ව්‍යවසාය කළමනාකරණ ආයතනයේ සභාපති අශෝක අබේගුණවර්ධන

    මුලදී අනාගත විදුලි ජනන සැලසුමක් මණ්ඩලය සකස් කළ අතර එහි සඳහන් වන්නේ ඉදිරියේ ඉල්ලුමට සරිලන ලෙසට අවශ්‍ය බලාගාර ඉදිකිරීමයි. සාම්පූර්වල මෙගා වොට්ස් 500ක ධාරිතාවෙන් යුතු ගල් අඟුරු බලාගාරයක් ඉදිකිරීම ගැන මේ අනුව සංවාදයක් ඇති විය. 2010 දී ආරම්භ කළ මෙය 2016 දී අවසන් කර ක්‍රියාත්මක කළ යුතුව තිබුණි. එහෙත් ඇතැමුන් විවිධ හේතු ඉදිරිපත් කරමින් මෙය ක්‍රියාත්මක කිරීම ප්‍රමාද කළ බව දක්නට ලැබුණි.

    2016 වසරේ දී තීරණය කළේ එම වසරේ ආරම්භ කර 2023 දී ව්‍යාපෘතිය නිම කිරීමටයි. එහෙත් ඊළඟට ප්‍රශ්නයක් මතුවූයේ 2023 වන විට ගල් අඟුරු බලාගාර කල්පනින නිසා වෙනත් විකල්පයකට යා යුතුය යන්න පිළිබඳවයි. එහෙත් තවම ඒ පිළිබඳ විසඳුමක් නැත. 2016 දී සැලසුම් කළ ලෙසට ගල් අඟුරු බලාගාරය තැනුවා නම් 2025 වන විට අපට තෙල් බලාගාර අවශ්‍ය නොවන්නට ඉඩ තිබුණි. එහෙත් මෙම තත්ත්වය මත අද දක්වාම සහ ඉදිරියටත් ඉන්ධන බලාගාරවලින් විදුලිය ලබාගැනීමට අපට සිදුව ඇත. 2023 වන විට ගල් අඟුරු බලාගාරයක වැඩ අවසන් කළහොත් ඉදිරියට වසර 20 පමණ හෝ ඒවා ප්‍රයෝජනයට ගත යුතුයි. එහෙත් ඒ වන විට ලොව ගල් අඟුරු බලාගාර ඉවත් වෙමින් පවතිනු ඇත.

    ගල් අඟුරු බලාගාර නිසා ලොව උෂ්ණත්වය අනාගතයේ දී සෙන්ටිග්‍රේට් අංශක 5-6 කින් ඉහළ නගිනු ඇති බවට පරිසරවේදීන් පෙන්වා දී තිබේ.

    ජනාධිපතිවරයා ඉන්දියාවට ගොස් සාකච්ඡා කිරීමෙන් අනතුරුව ස්වභාවික ගෑස් බලාගාරයක් තැනීම ඊළඟ සැලසුම විය. එහෙත් මේ පිළිබඳ පැවැති තාක්ෂණික කමිටු රැස්වීම්වලට මණ්ඩලයේ ඉංජිනේරුවන් සහභාගි වීම ප්‍රතික්ෂේප කර ඇත. එයට හේතුව තමන් විසින් ඉදිරිපත් කරනු ලැබූ ජාතික විදුලි බල සැලසුමක් මහජන උපයෝගිතා කොමිසම ප්‍රතික්ෂේප කළාය යන හේතුවයි. මෙය ඇතිකරගත් බොරු ආරවුලක් වන අතර ප්‍රස්තුත කාරණය හා කිසිදු සම්බන්ධයක් නොමැත. මෙම තත්ත්වය මත විදුලි අර්බුදයට යෝජිත ඉදිරි සැලසුම් ක්‍රියාත්මක කිරීම ගැටලුවක්ව තිබේ.

    2017 වසර වන විට පෞද්ගලික විදුලි බලාගාරවලින් ඒකකය රුපියල් 40 බැගින් අධිමිලට විදුලිය ගැනීමට කටයුතු කරයි. මෙය විශාල වංචාකාරී කුමන්ත්‍රණයක් බවට මේ වන විට තොරතුරු හෙළි වී තිබේ. මෙය දිගටම කළ හැක්කක් නොවේ. සෑම වසරකම අපේ රටේ විදුලි ඉල්ලුම සියයට 5කින් ඉහළ යයි. මේ තත්ත්වය හමුවේ ඉදිරියේ දී වැඩිවන ඉල්ලුම සපුරාලන සැලසුමකට යා යුතුය. එහෙම නැතුව පැලැස්තර විසඳුම්වලින් ප්‍රතිඵලයක් ගත නොහැකියි. ඒ නිසා 2023 වන විටවත් ක්‍රියාත්මක කළ හැකි සැලසුමක් සෑදීම අවශ්‍ය වේ.

    කනගාටුවට කරුණක් වන්නේ මේ වන විට කිසිදු ස්ථාවර බලාගාරයක් තැනීමේ සැලසුමක් ආණ්ඩුවට නොමැති වීමයි. නිවර්තන කලාපීය රටක් නිසා පුනර්ජනනීය බලශක්තියෙන් ඉදිරියට යාම අපට පහසු වේ. අපේ රටේ මන්නාරම් ද්‍රෝණියේ ස්වභාවික වායු පවතින නිසා මේ පිළිබඳ සලකා බැලිය යුතුය.

    සූර්ය බලශක්ති විදුලි බලාගාර ඉක්මනින් තැනීමට හැකි නමුත් ඒ පිළිබඳ අවධානය යොමු කිරීම අවමය. එහිදී සිදුවන්නේ පිටතින් ගෙනෙන කොටස් එකතු කර බලාගාර තැනීමය. දැන්වත් ක්ෂණික අවශ්‍යතාවක් ලෙස සලකා මෙයට යොමුවීම වැදගත් වේ. 2020 වසර වන විට සූර්ය බලශක්තියට ඔබින වහලවල් මිලියනයක් තැනීමේ සැලසුමක් පෞද්ගලික ආයෝජන මත දියත් කිරීමට පියවර ගෙන ඇති බව දැනගන්නට ඇත. පුද්ගලයන් තම වහලවලින් සූර්ය බලශක්තිය නිපදවා විකුණනවා නම් ඒකකයකට රුපියල් 22 ක් මුල් වසර 7 තුළ ගෙවීමට මණ්ඩලය සූදානම් අතර 8 වසරේ සිට ඒකකයකට ගෙවන්නේ රුපියල් 15/50 බැගිනි. මෙලෙස මෙගා වොට් 1 සිට 10 දක්වා තැනීමට කටයුතු යොදා ඇත. තවද සූර්ය වහළ තැනීමට යන වියදමෙන් සියයට 85 ක් අඩු පොලී ණයක් ලෙස බැංකුවලින් සැපයේ. එසේම එම පොලියෙන් සියයට 50 ක් ආණ්ඩුව ගෙවන බවද ප්‍රකාශිතය. පසුගියදා මෙම ක්‍රමයට මෙගා වොට්ස් 100 ක් සම්පූර්ණ කිරීමේ උත්සවයක් ද ජනාධිපතිවරයාගේ ප්‍රධානත්වයෙන් පැවැත්විණ.

    අඩුම නිෂ්පාදන වියදම සුළං විදුලි බලාගාරවලින් නිපදෙන විදුලියටයි. එයින් ඒකකයකට වන වියදම රුපියල් 11 කි. නොරොච්චෝලේ වැය රුපියල් 18 ක් වන අතර මෙයින් රුපියල් 7 ක් ලාභදායී වෙයි. ඒත් ආණ්ඩුව මේ පිළිබඳ දක්වන්නේ උදාසීනකමකි. පසුගිය සමයේ මන්නාරමේ සුළං විදුලි බලාගාරවලින් මෙගා වොට්ස් 100 ක් ලබාගැනීමට සැලසුම් කළත් එය ක්‍රියාත්මක වූයේ නැත.

    දැන් සිදුවෙමින් පවතින්නේ 2025 දී ගල්අඟුරු බලාගාර තනන්නට යැයි කියමින් ඒ සඳහා සැලසුම් ක්‍රියාත්මක නොකර දිගටම ඉන්ධන විදුලිය ලබාගැනීමට කටයුතු කිරීමකි. මෙය මුළුමනින්ම ප්‍රෝඩාකාරී වැඩපිළිවෙළකි. එක් කණ්ඩායමක් පොහොසත් වන අතර මුළු රටම අගාධයට යාම මෙයින් සිදුවේ. විදුලිබල මණ්ඩලයේ සිදුවන බව කියන තාක්ෂණික වංචා සෙවීම අපහසුය. ඇතැම් අය සම්බන්ධ වී ඉතාම සැලසුම් සහගත ලෙස මෙම වංචා සිදුකරමින් පවතින බවක් පෙනෙන්නට තිබේ.

    විදුලිබල සේවක සංගමයේ ලේකම් රංජන් ජයලාල් පවසන්නේ ශ්‍රී ලංකා මහජන උපයෝගිතා කොමිසම තම විෂය ක්ෂේත්‍රයට අදාළව කටයුතු කරනවාද යන්න පිළිබඳ ගැටලුවක් පවතින බවයි.

    “2009 මාර්තු 6දා මෙම කොමිසම පිහිටුවන අවස්ථාවේ රජය පැවසුවේ මෙය විදුලිබල නියාමනය හදන කොමිසමක් බවයි. අපි ඒ අවස්ථාවේදී පෙන්වා දුන්නේ මෙම කොමිසමට විදුලි බල මණ්ඩලයේ පැමිණිලි නියාමනය කිරීමට හැකියාවක් හා සුදුසුකම් නොමැති බවයි. අද එය සනාථ වී තිබෙනවා. එහි සභාපති ඇතුළු සාමාජිකයන්ගේ වැටුප් ආදියට මිලියන ගණනක් විදුලිබල මණ්ඩලයේ මුදල් ගෙවනවා. එහෙත් සිදුවූ දෙයක් නැහැ.

    විදුලි බලාගාර ඉදි නොකිරීම නිසා හා එය ප්‍රමාදවීමෙන් රුපියල් බිලියන 50ක පමණ පාඩුවක් සිදුව ඇති බව කොමිසම පවසනවා. එහෙත් මණ්ඩලයේ පවතින තත්ත්වය නියාමනය කිරීමට හෙවත් අඩුපාඩු සකස් කර එය කාර්යක්ෂම කිරීමට ඔවුන් අසමත් වෙලා. මෙවැනි ප්‍රකාශ ඔවුන් නිකුත් කළ මුල් අවස්ථාව මෙය නොවෙයි. නින්දෙන් ඇහැරිලා වගේ හදිසියේ මෙවැනි දේ පැවසීමෙන් සිදුවන යහපතක් නැහැ. කොමිසම තම වගකීම පැහැර හැරලා මෙවැනි ප්‍රකාශ නිකුත් කර ඇඟ බේරාගන්න හදනවා.

    ආණ්ඩුව මෙය පිහිටවූයේ මෙලෙස කිය කියා ඉන්න නොවෙයි. විදුලිබල මණ්ඩලයේ තීරණ ගැන සොයාබැලිය යුතුයි. අඩුපාඩු සකස්කර දිරි ගැන්විය යුතුයි. මිනිසුන්ගේ පැමිණිලිවලට ක්‍රියා කරන්නේ නැහැ. මණ්ඩලය ජනතා සැලසුම් ක්‍රියාත්මක නොකිරීමෙන් අර්බුදයක් ඇතිවන බව කියන්න නම් කොමිසමක් අවශ්‍ය නැහැ. එය අද කාටත් පෙනෙන දෙයක්. මෙම කොමිෂන් පත් කිරීමේ මුඛ්‍ය පරමාර්ථය ඉටුව නැති බව පැහැදිලියි.”

    ඔහු පවසන්නේ විදුලිබල මණ්ඩලය තම ඉතිහාසය තුළ මුහුණ දුන් මුල්ම අර්බුදය මෙය නොවන අතර අවුරුදු 5කට වඩාක් වගේ නියඟයට මුහුණදීමට සිදුවීමෙන් අර්බුදයක් පැන නගින බවයි. එයට විසඳුම ලෙස හදිසි අවශ්‍යතා ලෙස සලකමින් ඉන්ධන විදුලි බලාගාරවලින් වැඩි මිලට විදුලිය ගනී. ජනන සැලසුම් ක්‍රියාත්මක කළහොත් ඇතැම් නිලධාරීන්ට හා දේශපාලනඥයන්ට අතයට ගනුදෙනු සිදුකළ නොහැකි නිසා ඒ ගැන උනන්දුවක් නැත.

    මෙම අර්බුදයේ ගොඩඒමට යයි මෙගාවොට් 50 ලබා ගැනීමට විදුලි ජනන යන්ත්‍ර ගෙන්වීමට කටයුතු කෙරිණි. මේ සඳහා පුවත්පත් දැන්වීමක් ප්‍රකාරව ටෙන්ඩර් කැඳවූ විට ටෙන්ඩර් 14ක් ලැබී තිබුණු අතර ඒ අතරින් අමෙරිකානු යන්ත්‍ර ගෙන්වන ශ්‍රී ලංකා සමාගමක ටෙන්ඩරය කාර්මික අගැයීමේ කොමිටුව අනුමත කර තිබුණි. ඇම්පියර් 1.5 මෙගා වොට්ස් 1 යන්ත්‍ර 50ක් සහ ඇම්පියර් 1.25 මෙගා වොට්ස් 1 යන්ත්‍ර 25ක් ඔවුන්ගෙන් ඇනවුම් කිරීමට ආසන්නව සිටියදී හදිසියේ එය අවලංගුකර වෙනත් සමාගමකින් ඉන්දියානු යන්ත්‍ර ගෙන්වීමට කටයුතු කර ඇත. මෙහිදී මුල් ආයතනය අධිකරණයේ නඩුවක්ද පවරා තිබේ.

    බලශක්තිය යනු විශාල බලපෑමක් කළ හැකි දෙයකි. අර්බුද නැති වුවද ඒවා ඇතිකළ හැකිය. අර්බුද ඇතිවන තරමට ඇතැම් අයට වාසි ලැබේ. සූර්යතාප විදුලිබලාගාර ඇති කිරීම පෞද්ගලික අංශයට දී තිබේ. පසුගිය අයවැයට පෙර අයවැයේදී මෙමගින් මෙගා වොට්ස් 4000ක් නිෂ්පාදනය කිරීම සඳහා විදුලිබල මණ්ඩලයට අවශ්‍ය පහසුකම් දිය හැකි බව ප්‍රකාශ වුවද මණ්ඩලය ඒ සඳහා උනන්දුවක් නොදක්වා පෞද්ගලික කොන්ත්‍රාත්කරුවන් වෙත නැඹුරුව සිටී. විදුලිබල මණ්ඩලයේ ආචාර්ය උපාධිය ලැබූ ඉංජිනේරු විශේෂඥයෝ සේවය කරනවා. ඒ අය වෘත්තීය දීමනා ලෙස උපාධිය සඳහා වැටුපට අතිරේකව ලක්ෂ 2 බැගින් ලබා ගත්තත් ඔවුන්ගෙන් වැඩ ගැනීමක් සිදු නොවී සම්ප්‍රදායික ලෙස පරණ විදියට සියල්ල සිදුවෙයි.

    දූෂණ විරෝධී පෙරමුණේ උපදේශක රජිත් කීර්ති තෙන්නකෝන්:

    විදුලිබලය වැඩි මිලට පෞද්ගලික විදුලි බලාගාරවලින් මිලයට ගෙන අඩු මිලට පාරිභෝගිකයාට විකිණීම අවුරුදු 15කටත් වැඩි කාලයක සිට පවතින අර්බුදකාරී තත්ත්වයකි. මෙම අලාභය ගෙවන්නට සිදුව ඇත්තේ මහා භාණ්ඩාගාරයටයි. මෙලෙස ගෙවන්නේ මහජනතාවගේ මුදල්. මෙම තත්ත්වයෙන් ව්‍යාපාරිකයන්ට සහ මණ්ඩලයේ ඇතැම් නිලධාරීන්ට වාසි සැලසේ. මෙම ඩීසල් විදුලිබලාගාර පිහිටුවීම ආරම්භ වූයේ 1998-99 වසරවල සිටයි. එදා සිට අද දක්වා මෙම කුප්‍රකට ජාවාරම දිගටම යනවා මිස මර්දනය වී  නෑ.

    නොරොච්චෝලේ විදුලි බලාගාරය නිතරම කැඩෙනවා. පසුගියදා මාස 3ක් පමණ එක දිගට අක්‍රිය වී තිබුණා. මෙයට ගල් අඟුරු ගෙන්වීමේ දී විශාල ලෙස වංචා දූෂණ සිදුවෙවි. පසුගිය සමයේ හදිසි අවශ්‍යතා මත යැයි කියමින් හදිසියේ කැබිනට් පත්‍රිකා ඉදිරිපත් කර ප්‍රසම්පාදන ක්‍රියාවලිය හරිහැටි අනුගමනය නොකර සමාගම් තෝරාගෙන ගල් අඟුරු මිලදී ගැනීමේ සිද්ධි වාර්තා වුණා ඔහු පැවසීය.

    පසුගිය වසරේ ගල් අඟුරු සමාගමේ සභාපති ඉවත් කිරීමෙන් පසු ගෙන්වූ පළමු ගල් අඟුරු නැවේ ටොන් එකකට ගෙවා ඇති මුදල අමෙරිකානු ඩොලර් 90කි. එහෙත් ඒ වනවිට වෙළෙඳ පොළේ ගල් අඟුරු ටොන් එකක මිල ඩොල් 78කි. මෙලෙස වැඩිමිලට ගෙන්වීම නිසා සිදුවූ අලාභය පළමු ගල් අඟුරු නැව වෙනුවෙන් රුපියල් 11 කෝටි 56 ලක්ෂයකට අධික වේ.

    ජාත්‍යන්තර මිල ගණන් කැඳවීමට පෙර එක්තරා සමාගමකින් ඇනවුම් කළ ජෙනරේටරයක් සාගරය මැද නැවකින් ලංකාවට ගෙන්වමින් තිබුණු පුවතක්ද පසුගිය දා වාර්තා විය. ඩීසල් විදුලි මාෆියාව නිසා වසරකට රටට අහිමිවන ජාතික ධනය රුපියල් මිලියන 40,000කට වැඩි බව සැලකේ.

    විදුලිබල මණ්ඩලය විදුලි බලාගාර අලුතින් ඇරඹීම ප්‍රමාද කරමින් ඉන්ධන විදුලිබලාගාරවලටම යොමුවන්නේ මණ්ඩලයට කෙසේ වෙතත් ඇතැම් කොටස්වලට මෙය අතිශය ලාභදායී ව්‍යාපාරයක් වන නිසාය. රටේ අධික විදුලිබල ඉල්ලුමට පිළිතුරක් ලෙස සැලසුම් කළ කෙරවළපිටිය විදුලිබලාගාරයට ආයෝජන මණ්ඩලය පසුගියදා සමාගම් 6ක් සමග ගිවිසුම් අත්සන් කිරීමට කටයුතු කළේය. ඒ උපුල් ජයසූරිය ආයෝජන මණ්ඩලයේ සභාපති වී සිටි සමයේය. මෙම බලාගාරය වැඩිපුරම සුදුසුකම් තිබූ කොරියානු සමාගමකට නොදී වෙනත් ආයතනයකට දීමට කටයුතු කරන බවට චෝදනා කර එහි කටයුතු අතරමග කඩාකප්පල් කර ඇත. අවසානයේදී සිදුවූයේ හිටපු සභාපති උපුල් ජයසූරියටද තනතුර අතහැර යාමටයි. පසුගිය මාර්තු මස සිට මෙහි කිසිදු වැඩක් සිදුකර නැත.

    මණ්ඩලයේ බොහෝ දෙනකු උනන්දුව දක්වන්නේ ජෙනරේටර් මිලට ගෙන විදුලිබලය සැපයීමටයි. මේවා සම්පූර්ණයෙන්ම දූෂිත ගනුදෙනුය. පහළ සිට ඉහළටම වාසි ලබාගනී. මෙමගින් ලබාගන්නා ඒකකයකින් ආණ්ඩුවට රුපියල් 8කට වැඩියෙන් පාඩු ලබයි. මේ වනවිට විදුලිබල මණ්ඩලය ඉංජිනේරුවරුන් ඇතුළු ඇතැම් නිලධාරීන්  සහ ව්‍යාපාරිකයන් කිහිප දෙනකුගේ මාෆියාවක් බවට පත්ව ඇත.

    – 2017 දෙසැම්බර් 02 වන සෙනසුරාදා

    …………………………………………………………………………………………………………………………………………..

      මෙන්න මෙහෙමයි ඒ දවස් වල මේ ගැන කතාවුනේ… 

     

    මේ කාල සීමාව වනවිට විදුලිබල මණ්ඩලයේ ඉංජිනේරුවරුන් ඇතුළු ඇතැම් නිලධාරීන් ව්‍යාපාරිකයින්ගේ මනදොල සපුරන්නට කටයුතු කරන්නට මූලික අඩිතාලම දැමූයේ එවකට ආයෝජන මණ්ඩලයේ සභාපතිව සිටි උපුල් ජයසූරිය බව ලංකා විදුලි සේවක සංගමයේ ලේකම් රංජන් ජයලාල් මණ්ඩලීය සේවා වෘත්තීය සමිති රැස්වීම් වලදීද පවසා ඇති බව මණ්ඩලීය සේවකයෝ පවසයි. ඒත් අපි අද ගැන බලද්දි මේ උපුල් ජයසූරිය කියන පුද්ගලය විසින් කරල තියෙන රට නැති භංගථාන කරන වැඩ වලට ඔහුට එදිරිව තිබෙන නඩු විශාල ගානත් එක්ක මේ විදුලි අර්බුදයේ සහ විදුලි බල මණ්ඩලීය අභ්‍යන්තර ගැටළු සහ ඒ ගැටළු ඇති කල මහා මොල කරු උපුල් ජයසුරිය නෙමෙයි කියල අහක දාන්න බෑ නේද ?

     

  • මාරක රිය අනතුර කල දොස්තර නෝනා මත්පැන් බිව් බවට සමාජ ශාලාවෙනුත් සාක්ෂි දෙද්දී ඉස්පිරිතාලෙන් බීල නෑ කියයි

    මාරක රිය අනතුර කල දොස්තර නෝනා මත්පැන් බිව් බවට සමාජ ශාලාවෙනුත් සාක්ෂි දෙද්දී ඉස්පිරිතාලෙන් බීල නෑ කියයි

    පසුගියදා බොරලැස්ගමුව, වික්‍රමරත්න මාවතේදී සිදුවූ මාරක රිය අනතුරකින් පොලිස් පරීක්ෂකවරයෙක් ජිවිතක්ෂයට පත්වුනා.  විශේෂඥ වෛද්‍යවරියක් බීමතින් අපරික්‍ෂාකාරීව රිය පැදවීම නිසා මෙම අනතුර සිදුවූ බවයි අනාවරණය කරගෙන තිබුනේ. ඒ අනුව අනතුරට සම්බන්ධ සුඛෝපභෝගී රථය පැදවූ විශේෂඥ වෛද්‍ය  ටිරානි කාවින්ද්‍යා මෙම මස 09 වැනිදා දක්‌වා රක්‍ෂිත බන්ධනාගාරගත කරන ලෙසට නියෝග කර තිබුණද ඇය තවමත්  කළුබෝවිල මහ රෝහලේ 11 වැනි වාට්‌ටුවේ බන්ධනාගාර නිලධාරිනියන්ගේ රැකවල් මැද ප්‍රතිකාර ලබන බව සඳහන්. කෙසේ වෙතත් අනතුරින් ඇයට කිසිදු තුවාලයක්‌ සිදුවී නොමැති බවත්, බන්ධනාගාරගත නොවී කෙලින්ම උසාවියට ඉදිරිපත් වීමේ අරමුණින් ඇය රෝහලේ සිටින බවත් රෝහල් ආරංචි මාර්ග සඳහන් කරනවා.
    මේ අතර අනතුර සිදුවන අවස්ථාවේ අදාළ වෛද්‍යවරිය බීමතින් නොසිටි බවට කළුබෝවිල රෝහල් වෛද්‍යවරුන් නිකුත් කර ඇති වාර්තාව අසත්‍ය බවත් මේ හේතුවෙන් රෝහලේ ක්‍රියාකාරීත්මය සම්බන්ධයෙන් දැඩි අප්‍රසාදයත් ඇතිවී ඇති බවත් සඳහන්. කෙසේ වෙතත් පොලිසිය විසින් අදාළ වෛද්‍යවරියට ඇල්කෝ ලයිසරයක්‌ (බැලුමක්‌) පිම්බීමට දී ඇති අතර, එහිදී ඇය බීමත්ව සිටි බව තහවුරු වී ඇති අතර වෛද්‍යවරිය ගිය බව කියන ගල්කිස්‌ස රාත්‍රි සමාජ ශාලාවේ වේටර්වරයකුගෙන් ලබා ගත් කටඋත්තරයකදී ඇය මත්පැන් පානය කළ බව ප්‍රකාශ කර තිබෙනවා.
    මෙම වෛද්‍යවරිය කොහුවල දෙස සිට බොරලැස්‌ගමුව දෙසට ප්‍රතිවිරුද්ධ දිශාවෙන් සිය සුඛෝපභෝගී මෝටර් රථය ධාවනය කරන අවස්ථාවේදී ඉදිරියෙන් පැමිණෙන පොලිස්‌ පරීක්‍ෂකවරයාගේ රථයේ ගැටෙන ආකාරය අසල වෙළෙඳසලක තිබූ ආරක්ෂිත කැමරාවල ඉතා පැහැදිලිව සටහන් වී තිබුණා.
    අනතුරින් බරපතළ තුවාල ලැබූ පොලිස් පරීක්ෂකවරයාගේ බිරිඳ සහ දරු දෙදෙනා තවමත් ප්‍රතිකාර ලබන අතර බොරලැස්‌ගමුව පොලිස්‌ ස්‌ථානාධිපති පොලිස්‌ පරීක්‍ෂක ප්‍රියන්ත සිල්වා මහතාගේ උපදෙස්‌ මත නිලධාරීන් කණ්‌ඩායමක්‌ සහ කළුබෝවිල රෝහල් පොලිසියේ පොලිස්‌ කොස්‌තාපල්වරුන් දෙදෙනෙකු මේ සම්බන්ධයෙන් වැඩිදුර පරීක්ෂණ සිදුකරනු ලබනවා.
  • ඥනසාර හිමිට නිදහස ඉල්ලා ජාතික සංවිධාන රැසක් අද කැළණිය සිට කොටුවට පා ගමනින්

    ඥනසාර හිමිට නිදහස ඉල්ලා ජාතික සංවිධාන රැසක් අද කැළණිය සිට කොටුවට පා ගමනින්

    සිරගත කර සිටින බොදු බල සේනා සංවිධානයේ මහලේකම් පූජ්‍ය ගලගොඩඅත්තේ ඥනසාර හිමියන් නිදහස්‌ කර ගැනීම වෙනුවෙන් රජයට බල කිරීම සඳහා මහා සංඝරත්නය ඇතුළු ගිහියන් විසින් අද (04 ) පෙරවරු 11.00 ට කැලණිය රජමහා විහාරස්‌ථානයේ සිට කොළඹ කොටුව දක්‌වා දැවැන්ත පා ගමනක්‌ සංවිධානය කර ඇත.

    ඒ අනුව කැලණිය රජමහා විහාරස්‌ථානයේ සිට කොළඹ කොටුව බෝධිය තෙක්‌ මෙම පා ගමන පැවැත්වෙන අතර කොටුව බෝධිය අසලදී සත්‍යග්‍රහයක්‌ සිදුකිරීමටද නියමිතය.

    බොදු බල සේනා සංවිධානය ඇතුළු ජාතික සංවිධාන රැසක්‌ මෙම පා ගමන හා සත්‍යග්‍රහය සංවිධානය කර ඇති අතර ඒ සඳහා භික්‍ෂූන් වහන්සේලා විශාල පිරිසක්‌ද එක්‌වීමට නියමිතය.

  • ආණ්ඩුවෙන් ඉවත් වෙන්න යයි මහින්ද ශ්‍රීලනිපයෙන් ඉල්ලයි

    ආණ්ඩුවෙන් ඉවත් වෙන්න යයි මහින්ද ශ්‍රීලනිපයෙන් ඉල්ලයි

    වත්මන් ආණ්ඩුවෙන් ශ්‍රී ලංකා නිදහස් පක්ෂය ඉවත්වීමට සුදුසු කාලය එළඹ ඇති බව හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතා පවසයි.
    ඔහු පෙන්වාදෙන්නේ ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා විසින් ඒ සම්බන්ධයෙන් කඩිනම් පියවර ගනු ඇති බවයි.
    ගණේමුල්ල ප්‍රදේශයේ විහාරස්ථානයක පැවති ආගමික උත්සවයකට එක්වෙමින් හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතා මෙම අදහස් පළ කළේය.
  • පහේ ශිෂ්‍යාධාරය රු.250 කින් වැඩිකරන්න කැබිනට්‌ අනුමැතිය

    පහේ ශිෂ්‍යාධාරය රු.250 කින් වැඩිකරන්න කැබිනට්‌ අනුමැතිය

    පහ ශ්‍රේණියේ ශිෂ්‍යත්ව විභාගයෙන් සුදුසුකම් ලබන අඩු ආදායම්ලාභී සිසුන් වෙනුවෙන් ලබාදෙන ශිෂ්‍යාධාරය රුපියල් 500 සිට රුපියල් 750 දක්‌වා වැඩිකිරීමට කැබිනට්‌ මණ්‌ඩල අනුමැතිය ලැබුණු බව අධ්‍යාපන ඇමැති අකිල විරාඡ් කාරියවසම් මහතා ඊයේ (03 ) පැවැසීය.

    මීට අමතරව විශේෂ අවශ්‍යතා සහිත දරුවන් සඳහා ලබාදෙන ශිෂ්‍යාධාරය මෙන්ම ශිෂ්‍යාධාර සංඛ්‍යාවද වැඩි කිරීමට අනුමැතිය ලැබුණු බවද ඇමැතිවරයා කීවේය.

    කැබිනට්‌ මණ්‌ඩල අනුමැතියට අනුව අඩුආදායම්ලාභී දරුවන් පහළොස්‌දහසකට මාසිකව රුපියල් 750 බැගින් උසස්‌ පෙළ දක්‌වා ශිෂ්‍යාධාරය හිමිවෙයි. මෙම ශිෂ්‍ය සංඛ්‍යාව තිස්‌දහස දක්‌වා වැඩි කිරීමට අමාත්‍යාංශය ඉදිරිපත් කළ යෝජනාවට අනුමැතිය ලැබී නැත.

  • අනේ කාලේ වනේ වාසේ !!! මෙහෙමත් නීතීඥ මහත්+හොරෙක්

    අනේ කාලේ වනේ වාසේ !!! මෙහෙමත් නීතීඥ මහත්+හොරෙක්

    ඔබට මතකද පසුගිය දවසක ETI තැන්පත්කරුවන් විසින් කොළඹ මහනගර සභාව වටලලා විරෝධතාවයක් පැවැත්වූවා.කොළඹ වෝඩ් පෙදෙසෙහි පිහිටි ඊ.ටී.අයි. මූල්‍ය ආයතනයේ ප්‍රධාන කාර්යාලය ළඟින් තමයි මුලින්ම මේ විරෝධතාවය පටන්ගත්තෙ.ඊට පස්සෙ විරෝධතාකරුවන් පා ගමනින් කොළඹ මහ නගර සභාව පැත්තට ඇවිත් මහනගර සභා භූමියට ඇතුල් වෙන්න හදද්දි එතන ලොකු කලබගෑනියක් වුනා කියලත් ඔබට මතක ඇති.ඒ වෙලාවේ ඒ ඇතිවූ කලබගෑනිය නවත්තන්න කුරුදුවත්ත පොලීසියට ලොකු ගේමක් දෙන්න වුනා කියල රූපවාහිනී මාධ්‍ය වල පුවුත්පත් වල අපි දැක්කා මතකයිනේ…

    මේ කියන්න හදන්නෙ ඒ විරෝධතාවය ගැන නම් නෙමෙයි… මේ කියන්නෙ ඒ විරෝධතාවය පිටිපස්සෙ අගතියට පත්වෙච්ච විරෝධතාකරුවන්ට ඔවුන් වෙනුවෙන් පෙනී සිටිනවා යයි කියා ඔවුන්ගෙන් මුදල් ගෙන එම විරෝධතාකරුවන්ව මෙලෙස කොළඹ මහනගර සභාව අසල විරෝධතාවයක් කරන්න යයි පොළඹවා ඔවුන් විරෝධය පලකරන වෙලාවේ අනෙක් පාර්ශවයෙන් මුදල් ලබාගෙන ඉතාමත් නිර්ධය ලෙස නීතියේ දෙව්දුවව දූෂණය කල තවත් එක් නීතීඥ වරයෙකු වන උපුල් ජයසූරිය ගැනයි…

    උපුල් ජයසූරිය ගැන ආයි අමුතුවෙන් කියන්න දෙයක් නෑ නෙ… ඔව් ඔව් ඒ ඩයල් එකම තමයි, අර BOI එකේ හිටපු ඒක කාපු චෙයාමන් කාරය,මේ මනුස්සය ගැන අම්මපා පොත් සීයක් ලිව්වත් මදිද කොහෙද බලන්න දවස ගානෙ මොකක්ම හරි මෙයාගෙ මගෝඩි වැඩක් එළියට එනවාමයිනෙ.

    මෙන්න මේකයි අද කතන්දරේ,

    ඔය උඩ කියපු විරෝධතාවය ETI කාර්යාලයේ පටං අරං ඊට පස්සෙ කොළඹ මහනගර සභාවට එන්න, එහෙම ඇවිත් ETI මූල්‍ය ආයතනයේ අධ්‍යක්ෂිකා ලෙසත් ඊට අමතරව කොළඹ මහ නගර සභාවේ නාගරික මන්ත්‍රීවරියක් ලෙසත් දිළිදුකම පිටුදැකීමේ කමිටුවේ සාමාජිකාවක් ලෙසත් කටයුතු කරන දීපා එදිරිසිංහට විරුද්ධව ඕගොල්ලන්ගෙ විරෝධය මහනගරසභා භූමියේ පළ කරන්න කියල නීති උපදෙස් දීල තියෙන්නෙ මේ උපුල් ජයසූරිය තමයි.

    ඒ අනුව මෙම දීපා එදිරිසිංහ නම් තැනැත්තිය ETI තැන්පත්කරුවන්ගේ බිලියන ගණනාවක මුදල් වංචා කර ඇති බව පවසමින් කොළඹ මහනගරසභා භූමිය අසල විරෝ්ධතාකරුවන් පොරකමින් සිටියදී… කුරුඳුවත්ත පොලීසියටද තත්වය පාලනය කරගනීමට අපොහොසත්ව තිබියදී මරනානන්සෙට බය වුන දීපා දඩි බිඩි ගාල උපුල් ජයසූරියට කෝල් එකක් දීල ඇයව නගරසභාවෙන් එළියට පන්නල දෙන්න කියල කියල තියෙනවා… ඒ වෙනුවෙන් ලොකු මුදලක්, ඒ කියන්නෙ අර බෙල්ල මුලට ගිලල ඉන්න අහිංසකයින්ට වඩා වැඩි ගානක් දෙන්නම් කියල තමයි කියල තියෙන්නේ….

    සල්ලි වෙනුවෙන් ඕනෑම කක්කි ගොඩක් රස කර කර කන්න පුළුවං උපුල් ජයසූරියට ඉතිං මේක ස්විප් එකක් ඇදුන වගේනේ මෙන්න කොල්ල සුටුස් ගාල ඇවිත් එයාගෙ වාහනේම නග්ගගෙන අර අහිංසක අගතියට පත් ETI තැම්පත්කරුවන්ට පස්ස පෙන්නලා දීපවත් දාගෙන නගර සභාවෙන් මාරුවෙලා.

    අගතියට පත් ETI තැම්පත්කරුවන් වෙනුවෙන් පෙනී සිටිනවා කියාත් විශාල මුදලක් අයකරගෙන ඇති මෙම උපුල් ජයසූරිය නම් කසඩ මිනිසා ඒ අහිංසකයිව අන්ත අසරණ කර ඔවුන්ව පාවා දී තමන්ගේ කල්ල මරට ගැනීට කල මෙම අසික්කිත වැඩේ ඇස් පනා පිට දුටු ඔවුන්ගේ කටින් නෙද්දකින් මේ තිරිසනාට හෙන හතම ගහපං දෙයියනේ කියල නොකිව්වනානම් අරුමයක් නෙ නේද?

    මීට පෙර ශ්‍රී ලංකා ආයෝජන මණ්ඩලය කාබාසිනියා කර දැමූ මෙම උපුල් ජයසූරිය එහිදී ලිංගික අල්ලස් ගෙන ආයෝජන සහන ලබා දීමේ සිද්ධි ගැන වෙබ් මාධ්‍ය වාර්ථා කිරීම් ඇති බැවින් මෙම දීපා එදිරිසිංහ නම් අයගෙන්ද මුදල් වලට අමතරව ලිංගික අල්ලස් ගැනීමක්ද කිරීමට ඉඩ ඇති බව එම අගතියටපත් තැන්පත් කරුවන්ගේ මුවින් එවේලේ පිටවී ඇති බවට ආරංචි ලැබේ….

    තොරතුරු සපයා ගත්තේ VOC.sinhala අඩවියෙනි

  • දුම්රිය දෝෂය නිවැරදි කළ ජනිත්ට ප්‍රවාහන අමාත්‍යාංශයෙන් කැඳවීමක්

    දුම්රිය දෝෂය නිවැරදි කළ ජනිත්ට ප්‍රවාහන අමාත්‍යාංශයෙන් කැඳවීමක්

    පසුගිය සැප්තැම්බර් 19 වැනි දා සවස යාපනය සිට කොළඹ කොටුව දක්වා ධාවනය වූ අංක 4021 දරණ නගරාන්තර සීඝ්‍රගාමී දුම්රිය ගල්ගමුව දුම්රිය ස්ථානයට ආසන්නව මහගල්කඩවල කැලෑබද ප්‍රදේශයකදී කාර්මික දෝෂයකට ලක්වී තිබියදී එය නිවැරදි කිරීමට දුම්රිය කාර්මික ශිල්පියාට නොහැකි වූ බව ද එම දෝෂය නිවැරදි කර යථා තත්වයට පත්කිරීමට හැකි වූයේ එම දුම්රියේ ගමන් කළ සිසුවෙකුට බව ද පසුගියදා මාධ්‍යවල පළවුණා.
    මෙලෙස එම දුම්රිය දෝෂය නිවැරදි කර ඇති බවට පැවසුනේ මොරටුව ජර්මානු කාර්මික ආයතනයේ අධ්‍යාපනය ලබා මේ වන විට පෞද්ගලික විශ්වවිද්‍යාලයකින් වැඩිදුර අධ්‍යාපනය හදාරන ජනිත් දිමන්ත විතානආරච්චි සිසුවායි.
    මේ පිළිබඳ දැනුවත් වූ ප්‍රවාහන හා සිවිල් ගුවන් සේවා අමාත්‍ය නිමල් සිරිපාල ද සිල්වා එම සිසුවා ප්‍රවාහන හා සිවිල් ගුවන් සේවා අමාත්‍යාංශය වෙත කැඳවා ප්‍රවාහන අමාත්‍යාංශයේත්, දුම්රිය දෙපාර්තමේන්තුවේත් ගෞරවය පුදකිරීමටත් අදාල සිදුවීම පිළිබද ප්‍රශංසාව පුදකරමින් ඇගයීමේ ලිපියක් ලබාදීමටත් අමාත්‍යවරයා කටයුතු කර තිබෙනවා.
    මෙම අවස්ථාවට විද්‍යා හා තාක්ෂණ, පරීක්ෂණ, නිපුණතා සංවර්ධන හා වෘත්තීය පුහුණු සහ කන්ද උඩරට උරුමය පිළිබඳ අමාත්‍ය සරත් අමුණුගම ද දුම්රිය දෙපාර්තමේන්තු නිළධාරීන් ද සහභාගි වුණා.
    එම අවස්ථාවට එක්වෙමින් අදාළ සිසුවා සඳහන් කර ඇත්තේ,
    ‘‘මම මගේ මව ඇතුළු ඥාතීන් කිහිපදෙනෙකු සමඟ අනුරාධපුරයේ සිට පැමිණෙන අතරමගදී මේ සිදුවීම වුණා. මම ඒ අවස්ථාවේ නිදාගෙනයි සිටියේ. මගේ මව මා අවදි කර පුතාට පුළුවන් නම් මොකද වී තිබෙන්නේ බලන්නැයි කිව්වා. ඒ වන විට වෙනත් දුම්රිය එංජිමක් මගින් ගල්ගමුව දුම්රිය ස්ථානය දක්වා ගෙන ගොස් එතැන සිට කොළඹ කොටුව දක්වා ගමන් කිරීම සඳහා මගීන්ට ගමන් පහසුකම් සලසන බව දුම්රිය නිලධාරීන් මගීන්ට දැනුම් දෙමින් සිටියා. මම ඒ අනුව ගොස් දුම්රිය කාර්මික ශිල්පීන්ගේ අවසරයෙන් දුම්රිය පරීක්‍ෂා කරන විට එහි තිබූ දෝෂය හඳුනාගෙන නිවැරදි කළා. ඒ සම්බන්ධයෙන් දැන් ඇමතිතුමාටත් සියලූ කරුණු පැහැදිලි කර දුන්නා.
    මට මේ තුළින් ප‍්‍රචාරයක් ලබාගැනීමට හෝ කිසිවෙකු අපහසුතාවට පත්කිරීමට අවශ්‍ය වුණේ  නැහැ. 
    මෙය මුහුණු පොතේ පළවූ බව මා දැනගත්තේත් පසුවයි. අද ඇමතිවරයා මා ගෙන්වා ඇගයීම ගැන සතුටුවෙනවා. එතුමාට ස්තුතිවන්ත වෙනවා. මගේ උපාධියේ කටයුතු අවසන් කර නව නිර්මාණ කරමින් රටට ලෝකයට සේවයක් කිරීමට බලාපොරොත්තු වෙනවා.’’ යනුවෙනි.
  • රංගන ශිල්පී සුනිල් ප්‍රේමකුමාර දිවි සැරිය නිම කරයි

    රංගන ශිල්පී සුනිල් ප්‍රේමකුමාර දිවි සැරිය නිම කරයි

    ප්‍රවීණ රංගන ශිල්පියෙකු වන සුනිල් ප්‍රේමකුමාර මහතා ද අභාවප්‍රාප්ත වී තිබේ.
    අද(02) උදෑසන කොළඹ ජාතික රෝහලේ ප්‍රතිකාර ලබමින් සිටියදී අභාවප්‍රාප්ත වී ඇති බව වාර්තා වෙයි.
    මියයන විට 62 වන වියේ පසු වූ සුනිල් ප්‍රේමකුමාර මහතා ටෙලිනාට්‍ය රැසකට රංගනයෙන් දායක වී තිබේ.
  • මන්නාරම් සතොස ගබඩා භූමියේ දැනට සොයාගත් ඇටසැකිලි 148 අතුරින් කුඩා ළමා ඇට සැකිලි 17ක්

    මන්නාරම් සතොස ගබඩා භූමියේ දැනට සොයාගත් ඇටසැකිලි 148 අතුරින් කුඩා ළමා ඇට සැකිලි 17ක්

    අද (02) උදෑසන වන විට මිනිස් ඇටසැකිළි 148 ක් හමු වී ඇතැයි මන්නාරමේ සතොස ගබඩාව අසලින් සොයාගත් සමූහ මිනී වළේ කැණීම් කටයුතු බාරව සිටින මහාචාර්ය රාජ් සෝමදේව පැවසයි.
    මෙම මිනිස් ඇටසැකිළි 148 හමු වී ඇත්තේ සතොස තොග ගබඩාව අසල වූ සමූහ මිනී වළේ මීටර් 12 ක් දිග මීටර් 8 ක් පළල වූ කොටසකින් බවත් දැනට හමු වී ඇති මෙම මිනිස් ඇට සැකිළි 148 අතර කුඩා ළමයින් 17 දෙනෙකුගේ ඇටසැකිළි අයත් බවද කැණීම් බාර නිලධාරීන් කියා සිටියි.
    කැණීම් බාර නිලධාරීන් තවදුරටත් කියා සිටින්නේ මෙම සමූහ මිනී වළේ කැණීම් කටයුතු අවසන් කිරීම සඳහා ගතවන කාලය පිළිබඳව ස්ථිර යමක් ප්‍රකාශ කිරීමට තවමත් නොහැකි බවයි.
  • දුම්රිය ගාස්තු වැඩිවීම 15%කින් කියල කොලේ වහල රු.100 ටිකට් එකට රු.135ක් අයකරයි

    දුම්රිය ගාස්තු වැඩිවීම 15%කින් කියල කොලේ වහල රු.100 ටිකට් එකට රු.135ක් අයකරයි

    දුම්රිය ගාස්තුව සියයට 15 කට වඩා වැඩි ප්‍රතිශතයකින් ඉහළ දමා ඇති බවට දුම්රිය මගීහු ඊයේ (1) චෝදනා කළහ.  

    සමස්ත දුම්රිය ගාස්තුව සියයට 15 කින් ඊයේ (1) සිට ඉහළ දැමීමට දුම්රිය දෙපාර්තමේන්තුව කටයුතු කර තිබුණු අතර ඒ අනුව නව දුම්රිය ගාස්තුව දුම්රිය ස්ථාන වෙතින් ඊයේ (1) අය කරන්නට  වූහ.

    මෙහිදී තමන්ගෙන් අයකරන ලද පැරණි දුම්රිය ගාස්තුවට සියයට 15 ක් ගණනය කර දුම්රිය මගීහු නව දුම්රිය ගාස්තුව අනුමාන කරගෙන සිටි නමුත් එම මුදලට වඩා වැඩි මුදලක් තම ටිකට් පත් සඳහා දුම්රිය ස්ථාන වෙතින් අයකර ඇති බව ඇතැම් දුම්රිය මගීහු පැවැසූහ. උදාහරණයක් ලෙස ගාල්ල සිට කොළඹ කොටුවට මීට පෙර තිබූ රුපියල් 100 ක දුම්රිය ගාස්තුව නව දුම්රිය ගාස්තු වැඩිවීමත් සමග රුපියල් 135 ක් වී තිබේ. නමුත් සියයට 15 න් දුම්රිය ගාස්තුව වැඩි කරන්නේ නම් එම දුම්රිය ගාස්තුව රුපියල් 115 ක් විය යුතු බව ඇතැම් දුම්රිය මගීහු පැවැසූහ. මගීහු මේ පිළිබඳව දුම්රිය ස්ථානාධිපතිවරුන් සමගද තර්ක කර තිබේ.

    කෙසේ වෙතත් මෙම දුම්රිය ගාස්තු වැඩිවීමේදී කිසිදු දෝෂයක් සිදුවී නොමැති බව දුම්රිය දෙපාර්තමේන්තුව පවසයි. ඔවුන් පෙන්වා දෙන පරිදි දුම්රිය ගාස්තුව අය කරන්නේ දුම්රිය කලාප වශයෙන් බවත් ඒ අනුව බලන විට ඇතැම් දුම්රිය ගාස්තු සියයට 15 කට වඩා වැඩිවෙන බවත් එම දෙපාර්තමේන්තු ප්‍රධානියකු පැවැසීය.

    එලෙසම දුම්රිය ගාස්තුවේ සියයට 15 ක වැඩිවීම ගණනය කරන්නේ දුම්රිය කලාපවල සමස්ත ගාස්තුවේ මධ්‍ය අගයට සියයට 15 ක් ලෙස බවත් ඔහු කීවේය. එමෙන්ම දුම්රිය ගාස්තුව ගණනය කිරීමේදී ආසන්න ඉහළ රුපියල් 5 ට වටයන නිසාද ඇතැම් ගාස්තුවල වැඩිවීමක් පෙන්නුම් කෙරේ. එමෙන්ම දුම්රිය ස්ථාන අතර පවතින දුරද ඇතැම් ගාස්තුවල බැලූ බැල්මට වෙනසක් පෙන්වීමට හේතුවන බවද ඔහු කීවේය.
    දුම්රිය ගාස්තුව සියයට 15 න් ඉහළ දමන බවට දුම්රිය දෙපාර්තමේන්තුව ජනතාව වෙත පැවැසීම නිසා මෙම ගැටලුව ඇතිවී ඇති බව පැවැසූ ඒ මහතා දුම්රිය ගාස්තුව කලාප වශයෙන් සහ ගාස්තුවේ සමස්ත මධ්‍ය අගයෙන් සියයට 15 ක් වැඩිකරන බව පැවැසුවා නම් මගී ජනතාවට මෙවැනි මැසිවිලි නැගීමට හේතුවක් ඇති නොවන බවද ඔහු කීවේය.
    වසර 10 කට පසුව ඉහළ ගිය මෙම දුම්රිය ගාස්තුව තවමත් පවතින්නේ සියලු බස් ගාස්තුවලට වඩා පහළ අගයක බව පැවැසූ ඒ මහතා ඒ නිසා නව ගාස්තු වැඩිවීමෙන් මගී ජනතාවට අසාධාරණයක් සිදුවී නොමැති බවද පැවැසීය.