වැලිකඩ බන්ධනාගාරයේ කාන්තා රැදවියන් පිරිසක් අද (13) උදෑසන සිට වහලය මත නැගී විරෝධතාවක නිරතව සිටිති.
මෙම පිරිස 15ක් පමණවෙතැයි පැවසෙන අතර ඔවුන් පවසන්නේ තමන්ට එරෙහිව පවතින නඩු කඩිනමින් විභාගයට ගන්නා ලෙසයි.

ඒකාබද්ධ විපක්ෂය නියෝජනය කරන එක්සත් ජනතා නිදහස් සන්ධාන මන්ත්‍රීවරුන් පාර්ලිමේන්තුවේ ස්වාධීන වුවද ඔවුනට විපක්ෂ නායක ධූරය ලබාදිය නොහැකි බව ශ්‍රී ලංකා නිදහස් පක්ෂ ජාතික සංවිධායක ඇමැති දුමින්ද දිසානායක මහතා පවසයි.
ඔහු පෙන්වා දෙන්නේ එක්සත් ජනතා නිදහස් සන්ධානයෙන් ඉවත් වී ඒකාබද්ද විපක්‍ෂයට පාර්ලිමේන්තුවේ ස්වාධීන වීමේ හැකියාවක් නැති බවයි.
ඔවුන් විසින් කළයුතුව ඇත්තේ ඊළඟ පාර්ලිමේන්තු මැතිවරණයේදී වෙනම දේශපාලන පක්ෂයකින් තරඟ කර පාර්ලිමේන්තුව විසින් එහිදී විපක්ෂනායක ධුරය හෝ වෙනත් තනතුරු ඉල්ලා සිටීම බවද ජාතික සංවිධායක වරයා පෙන්වා දෙයි.
2015 වසරේ දී නිමල් සිරිපාල ද සිල්වා මහතාට විපක්ෂ නායක ධුරය ලබා දීම වැරදි බවත් ඉතිහාසයේ සිදු කළ වරදවල් පූර්වාදර්ශ ලෙස ඉදිරියට ද කළ යුතු නැති බවත් ඇමතිවරයා සඳහන් කරයි.
ඔහු මෙම අදහස් පල කලේ මල්වතු අස්ගිරි මහනාහිමිවරු හමුවීම සඳහා එහි පැමිණ සිටි අවස්ථාවේ මාධ්‍යවේදීන් අමතමිනි.
සන්ධාන මහ ලේකම් ඇමති මහින්ද අමරවීර මහතාද ජනහමුවක් අමතමින් කියා සිටියේ මේ ආකාරයේම අදහසකි.

ජනාධිපති මෛත්‍රිපාල සිරිසේන මහතා සමඟ ඊයේ (12) පෙරවරුවේ පැවැති සාකච්ඡාවකින් පසු දුම්රිය වර්ජනය අවසන් කිරීමට තීරණය කළ බව දුම්රිය මෙහෙයුම් අධීක්‍ෂණ කළමනාකරණ වෘත්තීය සමිති සන්ධානය පවසයි.
දැනට අත්හිටුවා තිබෙන අමාත්‍ය මණ්‌ඩල තීරණය වහාම ක්‍රියාත්මක කරන ලෙසට ජනාධිපතිවරයා අදාළ අංශවලට නියෝග කිරීමෙන් පසුව මේ තීරණයට එළැඹි බව එන්ජින් රියෑදුරු සංගමයේ ලේකම් ඉන්දික දොඩංගොඩ මහතා පැවැසීය.
දුම්රිය වැඩවර්ජනය අවසන් කිරීමට ජනාධිපතිවරයා විසින් ඊයේ සාකච්ඡාවක් ලබාදීමට එකඟවීම නිසා දුම්රිය වෘත්තීය සමිති නියෝජිතයන් ඊයේ අලුයම වෑන් රථ දෙකකින් පොළොන්නරුවේ ජනපති නිවසට ගොස් පැය එකහමාරක පමණ කාලයක් ජනාධිපතිවරයා සමඟ සාකච්ඡා කර ඇත.
එහිදී ජනාධිපතිවරයා දුම්රිය බලධාරීන් සමඟ සාකච්ඡා පැවැත්වීමට වෘත්තීය සමිතිවලට වේලාවක් වෙන්කර දීමට උත්සාහ කළද ජනාධිපතිවරයාගෙන්ම විසඳුමක් ලැබීම නිසා දුම්රිය බලධාරීන් සමඟ සාකච්ඡාවක් නොපැවැත්වූ බවද ඒ මහතා කීය. ජනාධිපතිවරයා සහ දුම්රිය වෘත්තීය සමිති අතර සාකච්ඡාව සම්බන්ධීකරණය කර ඇත්තේ මාධ්‍යවේදියකු විසිනි.
මේ සාකච්ඡාව සඳහා දුම්රිය අධීක්‍ෂණ කළමනාකරණ නිලධාරීන්ගේ වෘත්තීය සමිති සන්ධානයේ කැඳවුම්කරු ලාල් ආරියරත්න, දුම්රිය එන්ජින් රියෑදුරු සංගමයේ ලේකම් ඉන්දික දොඩංගොඩ, දුම්රිය නියාමකවරුන්ගේ සංගමයේ ලේකම් ජී. එම්. ජී. පීරිස් යන මහත්වරුන් ඇතුළු වෘත්තීය සමිති නියෝජිතයෝ පිරිසක් සහභාගි වූහ.
වැඩවර්ජනය අවසන් වීමත් සමඟ තැපැල් දුම්රිය ධාවනය ඊයේ රාත්‍රි සිට ආරම්භ කිරීමට පියවර ගත් බවත් සෙසු දුම්රිය ධාවනය අද (13) පෙරවරුවේ සිට සාමාන්‍ය පරිදි සිදුකරන බවත් දුම්රිය වෘත්තීය සමිති නියෝජිතයෝ සඳහන් කළහ.
මේ අතර දුම්රිය සේවකයන් දින පහක කාලයක් සිදුකළ වැඩ වර්ජනය හේතුවෙන් දුම්රිය දෙපාර්තමේන්තුවට රුපියල් මිලියන 100 කට (කෝටි 10 කට) අධික පාඩුවක් සිදුවී ඇතැයි එහි ජ්‍යෙෂ්ඨ නිලධාරියෙක් ඊයේ (12) පැවැසීය.
මීට අමතරව කුපිත වූ දුම්රිය මගීන් කොටුව දුම්රිය ස්‌ථානයට පහරදීමෙන් රුපියල් ලක්‍ෂ ගණනක හානියක් සිදුවී ඇතැයි ද හෙතෙම කීය.
දුම්රිය රියෑදුරන්, ස්‌ථානාධිපතිවරුන්, හා පාලකවරුන් ඇතුළු දුම්රිය ක්‍ෂේත්‍ර කීපයක වෘත්තිය සමිති පූර්ව දැනුම් දීමකින් තොරව ඉකුත් 8 දා සිට මෙම අඛණ්‌ඩ වැඩ වර්ජනය ආරම්භ කර තිබිණි.
මගී සහ භාණ්‌ඩ ප්‍රවාහනව මෙන්ම ගමන් සේවා කීපයකින් ලැබෙන මුදල් පවා මෙම වර්ජනය හේතුවෙන් අහිමි වූ බව හෙතෙම කීය.
සාමාන්‍යයෙන් දිනකට දුම්රිය ගමන් වාර 300 කට ආසන්න ප්‍රමාණයක් සිදුවන බවත්, එමගින් ලක්‍ෂ 5 කට අධික මගීන් පිරිසක් දිනපතා දුම්රියේ ගමන් පහසුව සලසාගන්නා බවත් හෙතෙම කියා සිටියේය.

පූජ්‍ය ගලබොඩ අත්තේ ඥානසාර හිමියන්ට ලබා දුන් වසර අටක සිර දඬුවම පිළිබදව කතාබහට ලක්ව තිබේ. සිර දඬුවම පිළිබද ඥානසාර හිමියන් සතිඅන්ත පුවත්පතක් සමග සංවාදයකට එක්වෙමින් තොරතුරු හෙළිකර තිබුනි,
එම සංවාදය පහතින්,
ප‍්‍රශ්නය – අවසරයි අපේ හාමුදුරුවනේ. මෙම නඩු තීන්දුව ගැන ඔබ වහන්සේගේ අදහස කෙබඳුද?
පිළිතුර – උසාවියේ නඩු තීන්දුව පිළිගන්නවා සහ ඊට අපි ගරු කරනවා.
ප‍්‍රශ්නය – මෙම නඩුව පිළිබඳව ගැටලූවක් ඇත්තෙම නැද්ද?
පිළිතුර – මෙම නඩුව පිළිබඳව ගැටලූවක් ඇතැයි මම සිතනවා. එම නිසා මගේ නීතිඥ මහත්වරුන් ඉහළ අධිකරණයෙන් සාධාරණයක් බලාපොරොත්තුවෙන් අභියාචනයක් ඉදිරිපත් කරාවි.
ප‍්‍රශ්නය – ඇත්තෙන්ම ඔබ වහන්සේ උසාවියට අපහාසයක් කළේ නැතිද?
පිළිතුර – පැහැදිලිව නැහැ. එහෙම අරමුණක් මගේ තුන් හිතකවත් තිබුණේ නැහැ. මම අධිකරණයට අපහාස කළේ නැහැ. මම කතා කළේ කුමක්ද යන්න එතන හිටපු ඕනෑම කෙනෙක්ගෙන් හරියට දැන ගන්න පුළුවන්. ඒ වගේම එතන පැවැති නඩු කටයුත්තට මම බාධා කළේ නැහැ. එම නඩුව අවසන් වෙලා පිරිස එළියට ගිය පසු මම නඩුකාරතුමාගෙන් විමසා සිටියේ ස්වාමිනී මට කතා කරන්න පුළුවන්ද යන්න කියලයි. එතුමා මට එපා කිව්වේවත් නවත්වන්න කිව්වෙවත් නැහැ. ඉන්පසුව මම කතා කළා. මම විමසා සිටියේ ස්වාමිනී මේ අයට ඇප දෙන්න බැරිද කියලා පමණයි.
ප‍්‍රශ්නය – නමුත් හාමුදුරුවනේ මෙම නඩුවට අදාළ චෝදනා පත‍්‍රයේ සඳහන්ව තිබෙන්නේ ඔබ වහන්සේ ඇප දෙන්න බල කළා කියලා නොවේද?
පිළිතුර – මම එහෙම බල කිරීමක් කළේ නැහැ. මම විමසා සිටියේ ස්වාමීනි මේ අයට ඇප දෙන්න ක‍්‍රමයක් නැද්ද කියලයි. මම නඩුකාරවරයා සමග විනාඩි දෙක තුනක් කතා කළා. එතනදී මා වැරදියැයි කොහෙවත් කිව්වේ නැහැ. එතුමා අවසානයේ කිව්වේ ඔබ වහන්සේ හාමුදුරු කෙනෙක් නිසා අවස්ථාව ලබාදුන් බවත් වෙනත් අයෙක් වූයේ නම් මීට වඩා තත්ත්වය වෙනස් බවයි. ඒ වගේම තමන් කටයුතු කරන්නේ නීතියේ ප‍්‍රතිපාදනයන්ට යටත්ව බවත් ඔහු සඳහන් කළා. එතුමාගේ දෑත් බැඳ ඇති බවද එතුමා සඳහන් කළා.
ප‍්‍රශ්නය – ඔබ වහන්සේ පවතින නීතිය වෙනස් කළ යුතු බව එහිදී දැඩි ලෙස ප‍්‍රකාශ කර ඇති බව මාධ්‍ය වාර්තා කර තියෙනවා.
පිළිතුර – ඔව් අපි මෙම රෝම ලන්දේසි නීතිය වෙනස් කළ යුතු බව කියන්නේ මීට බොහෝ කාලයකට පෙර සිටයි. නමුත් මෙහිදී මෙයට වැරදි අර්ථකථනයක් ලැබී තිබීමයි ප‍්‍රශ්නයට මුල. අපි තීන්දුව හෝ නීතිය පිළිගන්නේ නැහැ කියලා කිව්වෙ නැහැ. මේ රටේ මිනිස්සුන්ට නීතිය වෙනස් විය යුතු යැයි කීමට බැරි කමක් නැහැ. අපි කිව්වේ ඒ අර්ථයෙන්. නමුත් උසාවිය මෙය වැරදි ලෙස අර්ථකථනය කරගෙන තියෙනවා.
ප‍්‍රශ්නය – දිලීප පිරිස් මහත්මාට ඔබ වහන්සේ නපුංසකයා යැයි සඳහන් කළ බව චෝදනා පත‍්‍රයේ තිබෙනවා.
පිළිතුර – එහෙම දෙයක් චෝදනා පත‍්‍රයට දාපු එක ගැනම අපිට තියෙන්නේ මහ කනගාටුවක්. මොකද එතුමා එහෙමද නැද්ද යන්න නොදැන අපි කොහොමද එතුමාට නපුංශකයා යැයි කියන්නේ. ඇත්තටම එතුමාට අපහාසයක් වෙලා තියෙන්නේ අපි නොකී දෙයක් චෝදනා පත‍්‍රයට දැමීම තුළින් කියලයි මාගේ වැටහීම. අපි එදා කිව්වේ මෙම ඇතිව ඇති තත්ත්වයන්ට නපුංසක ආණ්ඩුවේ නිලධාරීන් වගකියන්න ඕනෑ කියන එක විතරයි. දැන් ඉතිං හැමදෙයක්ම අනිත් පැත්තට යන එකේ මේකත් වෙලා තියෙන්නේ ගොරක දඩ මස් වෙලා තියෙනවා වගේ දෙයක් තමයි.
ප‍්‍රශ්නය – ඔබ වහන්සේ අධිකරණය තුළ හැසිරුණේ අධිකරණ ක‍්‍රියාවලිය පිළිබඳ නොදැන නෙවෙයි නේද?
පිළිතුර – ඒක මෙහෙමයි. අධිකරණ ක‍්‍රියාවලිය පිළිබඳ අපේ වැටහීමක් තියෙනවා. නමුත් අපි වටහාගෙන සිටියේ එම අධිකරණයේ නඩුකාරතුමා සංවේදි පුද්ගලයකු ලෙසයි. අපට හිතුණා එතුමා සමග කතා කරන්න පුළුවන් කියලා. අපි කතා කළ විට එතුමා අපිව නොවළක්වා සිටියා. ඉන් අනතුරුව තමයි දිලීප පීරිස් මහත්මා අධිකරණය තුළට ඇවිත් ගිරිය පුප්පා කෑ ගහලා ගැටුමක් ඇති කර ගත්තේ. එහිදී තමයි මම සඳහන් කළේ නපුංසක ආණ්ඩුවේ නිලධාරීන් මේ තත්ත්වයන්ට වගකියන්න ඕනෑ වග. එහෙම නැතිව එකම පුද්ගලයකු ඉලක්ක කරගෙන මම අදහස් ප‍්‍රකාශ කළේ නැහැ. කොටින්ම කියනවනම් මම ඒ වෙලාවේ හිතුවේ දෑත්වලට මාංචු දාගෙන කඳුළු පිරි දෑසින් කූඩුවෙන් බිමට බහින අපගේ වීරෝධාර බුද්ධි අංශ සාමාජිකයන් ගැන පමණයි.
ප‍්‍රශ්නය – සන්ධ්‍යා එක්නැලිගොඩ මහත්මියට තර්ජනය කිරීම සම්බන්ධයෙන් වන නඩුවේ වැරදිකරු වූ ඔබ වහන්සේ මේ මොහොත වන විට ඉන්නේ ඇප මතයි. එම නඩුවේ තත්ත්වය කෙබඳු වේද?
පිළිතුර – එම නඩුවත් අභියාචනාධිකරණයට යොමු කර තිබෙන්නේ. නඩුව ඉදිරියේදී විමසාවි. ඒ ගැන අපි බලාගෙන ඉන්නවා.
ප‍්‍රශ්නය – ඔබ වහන්සේට මේ වන විට සිරද`ඩුවම් නියම වී හමාරයි. ජනාධිපති සමාවක් අපේක්‍ෂාවෙන් පසුවන්නේද?
පිළිතුර – මේ ටිකට කතා කළ බොහෝ දෙනෙක් සඳහන් කළේ ජනාධිපතිතුමාගෙන් ජනාධිපති සමාව ඉල්ලූවොත් හොඳයි කියලා තමා. බොදුබල සේනා සංවිධානයේ අය ඒ ගැන සාකච්ඡා කරලා හරි තීන්දුවක් ගනීවි.
ප‍්‍රශ්නය – ඔබ වහන්සේව සිරගත කිරීමෙන් අනතුරුව ඔබවහන්සේ කරගෙන ආ ජාතික කාර්යභාරයට අත්වන ඉරණම මොකක්ද?
පිළිතුර – මට කියන්න තියෙන්නේ මෙච්චරයි. මට හිතෙනවා එළියේ හිටපු ඥානසාර හිමිට වඩා සිරගතව සිටින ඥානසාර හිමි ජාතික ව්‍යාපාරය ඉදිරියට ගෙන යන්න ප‍්‍රබල සාධකයක් වේවි. අපේ ස්වාමීන් වහන්සේලාගෙන් හා දේශපේ‍්‍රමි බලවේගයන්ගෙන් මම ඉල්ලා සිටින්නේ මේ ආණ්ඩුව දවසින් දවස එක එක සිදුවීම් නිර්මාණය කරනවා. ඒවා පාදක කරගෙන මොවුන් රටේ දැවෙන ප‍්‍රශ්න යටපත් කරනවා. එම උගුලට අසු නොවී ඇත්ත මතු කිරීමට කටයුතු කරන්නයි.
ප‍්‍රශ්නය – ඔබ වහන්සේ සංඝනුභාවේන නමින් සංවිධානය කර තිබූ කටයුත්තට මොකද වෙන්නේ?
පිළිතුර – මම අපේ ස්වාමීන් වහන්සේලාගෙන් ඉල්ලා සිටින්නේ ඒ මහා පිංකම යථාර්ථයක් කරගන්න ඔබ වහන්සේලාගේ සියලූ සහය දෙන ලෙසයි. රටේ පිරිහුන අධ්‍යාත්මිකත්වය සුවපත් කිරීමේ අරමුණින් තමයි සංඝානුභාවේන නමින් ජාතික චීවර පූජාව සංවිධානය කළේ. අධර්මය පරදවා ධර්මය දිනවන ඒ මහා කර්තව්‍යයට සහය දෙන්නැයි නැවතත් ඉල්ලා සිටිනවා.
ප‍්‍රශ්නය – ඔබ වහන්සේගේ අසනීප තත්ත්වය ගැන නොයෙකුත් කටකතා ප‍්‍රචාරය වෙනවා. අධිකරණ තීන්දුව පිළිබඳව දැනගෙනද රෝහල් ගත වුණේ.
පිළිතුර – කොහොමත්ම නැහැ. මීට කාලයකට පෙර සිට කොඳු ඇට පෙළේ වේදනාවක් තිබුණා. ඒ පිළිබඳව පරීක්‍ෂා කරගන්න තමයි රෝහලට ආවේ. එහිදී ඔවුන් මාව රෝහල් ගත කළා. ඊට පෙරත් 2016 අවුරුද්දෙ මැද භාගයේ කළුබෝවිල රෝහලේ ශල්‍යකර්මයක් කළා. ඒ මුත‍්‍රාශයේ ගල් සම්බන්ධව. එහිදී සඳහන් කළේ වකුගඩුවේ ගල් තවදුරටත් තිබෙන බවයි. ඒ පිළිබඳව ශල්‍යකර්මයක් සඳහායි රෝහල් ගතවීම සිදුවූයේ.
ප‍්‍රශ්නය – ඔබ වහන්සේ සිරගත කිරීමත් සමග රට තුළ මේ පිළිබඳව මහත් කතාබහක් නිර්මාණය වෙලා තියෙනවා. ඔබ වහන්සේ රටට දෙන පණිවුඩය කුමක්ද?
පිළිතුර – මෙම තීන්දුව උපේක්‍ෂා සහගතව සහ ඉවසීමෙන් බාර ගන්නා ලෙස මම සියලූ ස්වාමීන් වහන්සේලා ඇතුළුව රටේ සියලූ දෙනාගෙන් ඉල්ලා සිටිනවා. ඒ සදහා ශික්ෂණය අප සතුව තිබිය යුතුයි.


අද දක්වා පැවති දුම්රිය වැඩවර්ජනයේ ක්‍රියාකාරී නායකයකු වන දුම්රිය ලොකොමෝටිව් රියැදුරන්ගේ සංගමයේ සභාපති ඉන්දික දොඩන්ගොඩ මහතා බැසිල් රාජපක්ෂ මහතාගේ පොහොට්ටු පක්ෂයේ ප්‍රබල ක්‍රියාකාරිකයකු බව ආණ්ඩුවේ අභ්‍යන්තර ආරංචිමාර්ග වල සඳහන් වේ.
එබැවින් දුම්රිය වැඩවර්ජනයේ අදිසි හස්තය බැසිල් රාජපක්ෂක මහතා බව අමුතුවෙන් කිවයුතු නැත.
කවදත් ඩීල් පප්පකු සේ ප්‍රස්ද්ධිය උසුලන බැසිල් රාජපක්ෂ යනු වචනයේ පරිසමාප්ත අර්ථයෙන්ම රාජපක්ෂ නමටත් නිගාවක් බව අමුතුවෙන් කියන්නට දෙයක් නෑ කියල ඔබට මට අලුත් දෙයක් නොවන නිසා බැසිල් ගැන අලුත් දෙයක් ලියන්න දෙයක් නැත.
එහෙත් අසරණ දුම්රිය සේවයින් ගැන කියන්නට ඇත්තේ අප්‍රමාණ දුකකි අභිමානයෙන් රස්සාවට ගෙදර එන ඔවුනට අද ගෙර යන්න වෙන්නේ රටේ සුවහසක් මිනිසුන්ගේ කටින් ඔවුන්ගේ දරු මුණුපුරන්ට මාය්යන්ට ඉල්ලූ හෙන ගෙඩිත් කරපින්නාගෙනය.දේශපාලන වාසි තකා රටේ වැඩකරන ජනතාවත් ඔවුන්ගේ දරුමුණුපුරුණුත්ටත් හෙන ඉල්ලවන මෙවන් දෙශපාලුවන් හා මෙවන් දොඩංතැන්න වැන් වේසාහුත්තීයසමිතිනායකයිනුත් අපේමේ ලක්දෙරණින් භංගවේවා යයි ඒකායන පැතුමින් මේ ලිපිය ලියමි…
– රටට ආදරේ සුපිරි ගොසිප් පාඨකයෙක්

ජනාධිපති මෛත්‍රිපාල සිරිසේන මහතා සමඟ පැවති සාකච්ඡාවකින් අනතුරුව සිය වර්ජනය අත්හිටුවීමට තීරණය කළ බව දුම්රිය වෘත්තිය සමිති පවසයි.
දුම්රිය එන්ජින් රියදුරන්ගේ සංගමයේ ලේකම් ඉන්දික දොඩන්ගොඩ කියා සිටියේ තම ගැටළුවලට විසඳුම් ලබාදෙන බවට ජනාධිපතිවරයා ලබාදුන් පොරොන්දුව හේතුවෙන් වර්ජනය අත්හිටවූ බවයි.

එක්සත් ජාතික පක්ෂයේ හිටපු මහලේකම් තිස්ස අත්තායක සූදානම් වන බවට ආරංචි ලැබී ඇත.
වර්තමාන දේශපාලනයේ විශාල හිඩැසක් පවතින බවත් එය පිරවීමට නව දේශපාලන ව්‍යාපාරය හරහා කටයුතු කරන බවයි ඔහු කියා සිටී.
සැප්තැම්බර් මස අවසානයේදී නව දේශපාලන ව්‍යාපාරයේ කටයුතු ආරම්භ කරන බවයි ඔහු මෙහිදී සඳහන් කරන අතර
නව දේශපාලන ව්‍යාපාරයේ ඉලක්කය වන පාර්ශ්ව පිළිබදව ඔහු අදහස් පළ කරයි,
එක්සත් ජාතික පක්ෂයෙන් බිඳ වැටුණු සහ වෙන් වුණු විශාල පිරිසක් ගම් මට්ටමින් ඉන්නවා. ඒ ප්‍රමාණය 50% ක් කියලා හිතන්න පුළුවන්. ඔවුන් එකපාර වෙනත් දේශපාලන දර්ශන පිළිගන්න පෙළඹෙන්නේ නෑ. නමුත් ඔවුන්ටත් අවශයි දේශපාලන පක්ෂයක්. ඒ හිඩස අපි දැක්කා. ඒ වගේම මෙතන තව කොටසක් ඉන්නවා..UNPත් නොවන ශ්‍රීලංකාත් නොවන. මේ මැදින් ඉන්නේ ගොඩාක් වෙලාවට තරුණ කොටස්. මේ සියලු දෙනා ඉලක්ක කෙරෙන වැඩපිළිවෙලක් වෙත අපි යනවා

පසුගිය වර්ෂා සමයේ ගොඩබිම් රැසක් ජලයෙන් යට කරමින් අක්කර අඩි 15.400 ක ජලය රඳවාගෙන සිට පෝෂණය වූ තබ්බෝව ජලාශයේ මේ වන විට දැඩි ගැටලුකාරී තත්ත්වයක් හටගෙන ඇත.
පුත්තලම වාරිමාර්ග ඉංජිනේරු කාර්යාලය පෙන්වා දෙන්නේ සියල්ල උඩුයටිකුරු කරමින් මාස තුනක් ගතවීමටත් මත්තෙන් ජලාශයේ ජලමට්ටම අක්කර අඩි 7.000 දක්වා පහත වැටී ඇති බවයි.
මෙසේ ජලාශයේ ජල මට්ටම සීඝ්‍ර ලෙස පහත බැසීමට බලපා ඇති ප්‍රධාන හේතුව ප්‍රදේශයේ පවතින අධික උණුසුම් තත්ත්වය සහ සුළං තත්ත්වය නිසා ජලය වේගයෙන් වාෂ්පීකරණයට ලක්වීම බවයි පුත්තලම වාරිමාර්ග ඉංජිනේරු කාර්යාලයේ වාර්මාර්ග ඉංජිනේරු දිලීප හෙට්ටිආරච්චි මහතා පවසයි.
කුඹුරුවලට ජලය මුදා හැරීම නිසා දැනට පවතින ජල මට්ටමද ආරක්ෂා කර ගත නොහැකි බවද සඳහන් කල අතර තබ්බෝව පැරකුම් ගොවි සංවිධානයේ සභාපති සම්පත් චන්දන සඳහන් කළේ කුඹුරු කටයුතු වලට අමතරව කරුවලගස්වැව ප්‍රාදේශීය සභාව යටතේ පවතින ජල ව්‍යාපෘතියට දිනකට ජලය ලීටර ලක්ෂ තුනක් පමණ මින් ලබා ගන්නා බවයි. තවද බවුසර් පැමිණ දිනකට ජලය ලීටර් ලක්ෂ දෙකක් පමණ ලබා ගන්නා බවත් සඳහන් කරන ලදී.


ආණ්ඩුවේ සුළු පක්ෂ නියෝජිතයන් පිරිසක් සමග ඒකාබද්ධ විපක්ෂයේ පාර්ලිමේන්තු මන්ත්‍රී හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ පාර්ලිමේන්තු සංකීර්ණයේදී රහස් සාකච්ඡා කිහිපයක් පවත්වා ඇත.
පාර්ලිමේන්තු සංකීර්ණයේදී ඉකුත් සතියේ බ්‍රහස්පතින්දා (09) මෙම සාකච්ඡා පවත්වා ඇති අතර ආණ්ඩුව නියෝජනය කරන ප්‍රධාන සුළු පක්ෂ නායකයන් වෙන වෙනම හමුවී සාකච්ඡා කිරීමට මහින්ද රාජපක්ෂ මන්ත්‍රීවරයා කටයුතු යොදා තිබේ.
ආණ්ඩුවේ සංයුතිය වෙනස් කොට ඉදිරියේදී අයවැය පරාජය කිරීම ඇතුළු කරුණු ගණනාවක් සම්බන්ධයෙන් මෙහිදී සාකච්ඡා කොට තිබෙන බව ඒකාබද්ධ විපක්ෂයේ මන්ත්‍රීවරයකු සඳහන් කළේය.
සුළු ජාතික පක්ෂ ඒකාබද්ධ විපක්ෂය සමග සම්බන්ධ කර ගැනීම තුළ අයවැය පරාජය කොට ආණ්ඩුව අස්ථාවර කිරීමටත් ඉන් පසු ආණ්ඩුව විසුරුවා හැරීමේ යෝජනාවක් සම්මත කර ගැනීමත් අරමුණු කර ගනිමින් මෙම සාකච්ඡා පැවැත්වෙන බවද ඒ මන්ත්‍රීවරයා කීවේය
මුලින් සුළු ජාතික පක්ෂ සමග සාකච්ඡා කොට ඉන් පසුව අනෙකුත් පක්ස හා වෙන වෙනම මන්ත්‍රීවරුන් සමග සාකච්ඡා කිරීමටත් මහින්ද රාජපක්ෂ හිටපු ජනාධිපතිවරයා බලාපොරොත්තු වන බවද එම මන්ත්‍රීවරයා වැඩිදුරටත් සඳහන් කළ අතර ඒ කෙසේ වෙතත් එම සාකච්ඡා මුළු මනින්ම අසාර්ථක වූ බව ඔහු විසින් වැඩිදුරටත් කිසා සිටින ලදී.

ජාතික හැඳුනුම්පත් ලබා ගැනීමේ ගාස්තු සැප්තැම්බර් මස 01 වැනිදා සිට ඉහළ දැමීමට අභ්‍යන්තර කටයුතු හා වයඹ සංවර්ධන අමාත්‍යාංශය කටයුතු යොදා ඇත.
ඊට අදාළව පසුගිය 7 වැනිදා විශේෂ ගැසට් නිවේදනයක්ද නිකුත් කර ඇති අතර ඒ අනුව පළමු වරට ජාතික හැඳුනුම්පතක් ලබා ගැනීමේදී ඊට අදාළ අයැදුම්පත සමඟ රුපියල් 100ක් ගෙවිය යුතු වෙයි.
එමෙන්ම ජාතික හැඳුනුම්පතක අනු පිටපතක් ලබා ගැනීමේදී රුපියල් 500ක්ද වලංගු කාලය ඉකුත් වූ ජාතික හැඳුනුම්පත් වෙනුවට නව ජාතික හැඳුනුම්පතක් ලබා ගැනීමේදී රුපියල් 100ක්ද එවැනි නව ජාතික හැඳුනුම්පතක අනුපිටපතක් වෙනුවෙන් රුපියල් 250ක්ද අය කෙරේ.

දුම්රිය සේවකයන්ගේ වැටුප් වැඩි කළහොත් ඊට සමාන්තර සේවාවන් තල 35 ක සේවකයන්ගේ වැටුප් වැඩි කිරීමට සිදුවන බව කෘෂිකර්ම ඇමැති මහින්ද අමරවීර මහතා පැවැසීය.
වර්ජනය කළ පමණින් වැටුප් වැඩි කිරීමට රජය බැඳී නොමැති බවත්, එසේ වැඩි කළහොත් ඒ සඳහා වැය කරන මුදල් ලබා ගැනීමට සිදුවන්නේ ජනතා බදු මුදල් වැඩි කිරීමෙන් බවත් ඇමැතිවරයා සඳහන් කළේය.
මන්ත්‍රීවරුන්ගේ මෙන්ම රාජ්‍ය සේවකයන්ගේ වැටුප් වැඩි කිරීම නොව මේ මොහොතේ කළ යුත්තේ රට සංවර්ධනය කිරීම බවත්, වර්ජනවලට බයේ රජය වැඩ කළහොත් සිදුවන්නේ රට තවත් විනාශයට ඇදී යැම බවත් ඇමැතිවරයා කීවේය.
එම නිසා කොළඹට පැමිණ අහිංසක ජනතාව සහ වැඩ නිම කර නිවසට යැමට පැමිණි ජනතාව කොළඹ අතරමං කරමින් දුම්රිය වෘත්තීය සමිති ක්‍ෂණිකව ගත් මෙම වෘත්තීය ක්‍රියාමාර්ගය රටේ සියලු ජනතාව පිළිකුළෙන් හෙළා දකින බවත් ඇමැතිවරයා වැඩිදුරටත් සඳහන් කළේය.

ශ්‍රී ලංකා සිංගප්පූරු වෙළෙඳ ගිවිසුම සම්බන්ධයෙන් අධ්‍යයනය කර වාර්තාවක් සකස් කිරීම සඳහා විද්වත් කමිටුවක් පත් කිරීමට ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන තීරණය කර ඇත. ජාත්‍යන්තර වෙළෙඳ නීතිය හා විදේශ ප්‍රතිපත්ති යන විෂයයන් සම්බන්ධයෙන් ප්‍රවීණයන් පස් දෙනකු මෙම කමිටුවට ඇතුළත් වනු ඇත.
මේ අතර පාර්ලිමේන්තුව නියෝජනය කරන දේශපාලන පක්ෂවලින්ද මෙම ගිවිසුමට සම්බන්ධ වූ නිරීක්ෂණ ලිඛිතව ලබා ගැනීමට ජනාධිපතිවරයා අපේක්ෂා කරන බවද සඳහන් වේ. විද්වත් කමිටුවේ අධ්‍යයන වාර්තාව හා දේශපාලන පක්ෂවල නිරීක්ෂණ සියල්ල අධ්‍යයනය කර මෙම ගිවිසුම සම්බන්ධයෙන් ජනාධිපතිවරයා සිය ස්ථාවරය ප්‍රකාශයට පත් කරනු ඇති බවද සඳහන්ය. මේ අතර මෙම ගිවිසුම අත්සන් කිරීමට පෙරමුණ ගෙන ක්‍රියා කළ ජාත්‍යන්තර වෙළෙඳ කටයුතු ඇමැති මලික් සමරවික්‍රම ගිවිසුම ප්‍රමාද වීම ගැන සිය විරෝධය දක්වා ඇති බව සඳහන්ය.
මෙම ගිවිසුම අධ්‍යයනය සඳහා පත් කරනු ලබන විද්වත් කමිටුවට සාමාජිකයින් නම් කිරීම ඉදිරි සතියේදී සිදු කෙරෙනු ඇති බවද කමිටුව පත් කර දෙසතියකින් ඔවුන්ගේ අධ්‍යයන වාර්තාව ලබා ගැනීමට අපේක්ෂා කරන බවද සඳහන් වේ.

ව්‍යවස්‌ථානුකූලව හා සම්ප්‍රදායානුකූලව විපක්‍ෂ නායක ධුරයේ වෙනසක් කළ නොහැකි නිසා ද්‍රවිඩ ජාතික සන්ධානයේ නායක ආර්. සම්බන්ධන් මහතා තවදුරටත් විපක්‍ෂ නායකයා ලෙස තීරණය කරන බව කථානායක කරු ජයසූරිය මහතා ඊයේ (10 ) පාර්ලිමේන්තුවේදී ප්‍රකාශ කළේය.
පාර්ලිමේන්තුවේ සම්ප්‍ර්‍රදායට අනුව අතීතයේ සිට විපක්‍ෂ නායකයා ලෙස පිළිගත්තේ ආණ්‌ඩුවට සම්බන්ධ නැති පාර්ලිමේන්තුවේ වැඩිම මන්ත්‍රී සංඛ්‍යාවක් සිටින පක්ෂයේ නායකයා බවද කථානායකවරයා සිය තීරණය ප්‍රකාශ කරමින් පැවසුවේය.
මන්ත්‍රීවරුන් 70 දෙනකු සිටින තම කණ්‌ඩායමට පාර්ලිමේන්තුවේ විපක්‍ෂ නායක ධුරය හිමිවිය යුතු බවද ඒ අනුව දිනේෂ් ගුණවර්ධන මහතාට විපක්ෂ නායක ධුරය ලබාදෙන ලෙසද ඒකාබද්ධ විපක්‍ෂයේ මන්ත්‍රීවරුන් අටදෙනකු කථානායකවරයාගෙන් ලිඛිතව කරන ලද ඉල්ලීමට ප්‍රතිචාර දක්‌වමින් කරු ජයසූරිය මහතා ඊයේ (10) සිය තීරණය සභාවට දැනුම් දුන්නේය.
පාර්ලිමේන්තුවේ කටයුතු ඊයේ (10) ආරම්භ වූ මොහොතේ දී විපක්‍ෂ නායක ධුරය සම්බන්ධ සිය තීරණය ප්‍රකාශ කරමින් කථානායකවරයා මෙසේද කීවේය.
2015 අගෝස්‌තු මස 15 වැනි දින පවත්වනු ලැබූ මහ මැතිවරණයේ දී එක්‌සත් ජනතා නිදහස් සන්ධානය යටතේ තේරීපත්වූ මන්ත්‍රීවරයන් අටදෙනකුගේ අත්සනින් යුක්‌තව, විරුද්ධ පාර්ශ්වයේ සිටින මුළු මන්ත්‍රී සංඛ්‍යාව 93 ක් බවත්, එයින් මන්ත්‍රීවරුන් 70 දෙනකු වෙනුවෙන් පාර්ලිමේන්තුවේ විරුද්ධ පාර්ශ්වයේ නායක ධුරය පාර්ලිමේන්තු මන්ත්‍රී දිනේෂ් ගුණවර්ධන මහතා වෙත ලබාදෙන ලෙස 2018 අගෝස්‌තු මස 01 වැනි දින මා වෙත ඉදිරිපත් කරන ලද ඉල්ලීමට අනුව වර්තමාන අටවැනි පාර්ලිමේන්තුවේ විරුද්ධ පාර්ශ්වයේ නායක ධුරය පිළිබඳව මතුවී තිබෙන තත්ත්වය සම්බන්ධයෙන් ගැඹුරු අධ්‍යයනයකින් අනතුරුව මාගේ තීරණය අවසාන වශයෙන් ප්‍රකාශ කිරීමට අදහස් කරමි.
තවද එම ඉල්ලීමේ සඳහන් පාර්ලිsමේන්තු විවාද සඳහා කාලය ලබාදීම සහ කාරක සභා නියෝජනය පිළිබඳවද සලකා බැලූ අතර ඒ සම්බන්ධයෙන් ද මාගේ තීරණය දැනුම්දීමට අදහස් කරමි.
2018 අගෝස්‌තු මස 07 වැනි අඟහරුවාදා පුරා පැය ගණනාවක් විරුද්ධ පාර්ශ්වයේ නායක ධුරය පිළිබඳව පක්‍ෂ විපක්‍ෂ බොහෝ මන්ත්‍රීවරයන් විසින් මතු කරන ලද සියලු අදහස්‌ද, පාර්ලිමේන්තු ප්‍රජාතන්ත්‍රවාදය පිළිබඳව පුළුල් දැනුමක් ඇති අනෙකුත් විද්aවතුන්ගේ අදහස්‌ද, ලෝකයේ අනෙකුත් පාර්ලිමේන්තු සම්ප්‍රදායන්ද, පොදු රාජ්‍ය මණ්‌ඩලීය පාර්ලිමේන්තු රටවල සහ අන්තර් පාර්ලිමේන්තු සංගම් නියෝජනය කරන රටවල පිළිගත් සම්ප්‍රදායන්ද ඉතාමත් ගැඹුරින් අධ්‍යයනය කර මාගේ අදහස් මෙලෙස ප්‍රකාශ කරමි.
විරුද්ධ පාර්ශ්වයේ නායක ධුරය පාර්ලිමේන්තු ඉතිහාසය මුළුල්ලේම පවත්වාගෙන එනු ලබන සම්ප්‍රදායන් හා පරිචයන්ට අනුකූලව අපගේ ආණ්‌ඩුක්‍රම ව්‍යවස්‌ථාවෙන් සහ ස්‌ථාවර නියෝගවලින් පිළිගෙන ඇති අභිමානවත් ධුරයකි. තවද අප රටට ආවේණික වෙස්‌ට්‌මිනිස්‌ටර් ආණ්‌ඩුක්‍රම සම්ප්‍රදායට සමගාමීව විරුද්ධ පාර්ශ්වයේ නායක ධුරය ව්‍යවස්‌ථාදායකයටම අනන්‍ය වූ සහ පාර්ලිමේන්තු ක්‍රමයේ අත්‍යවශ්‍ය ධුරයක් ලෙස සඳහන් කළ හැකියි.
අපගේ පාර්ලිමේන්තු ඉතිහාසය ගැන සලකා බැලීමේදී විරුද්ධ පාර්ශ්වයේ නායක ධුරය සඳහා ආණ්‌ඩුවට සම්බන්ධ නොවන වැඩිම මන්ත්‍රී සංඛ්‍යාවක් සිටින මහ මැතිවරණයට තරග කළ පිළිගත් දේශපාලන පක්‍ෂයක හෝ සන්ධානයක පාර්ලිමේන්තු නායකත්වය දරන පාර්ලිමේන්තු මන්ත්‍රීවරයා කථානායකවරයා විසින් පිළිගෙන සභාවට ප්‍රකාශයට පත් කිරීමේ සම්ප්‍රදාය ඉතා පැහැදිලි සහ නිශ්චිත වූවක් බව මීට පෙර අවස්‌ථාවන් අධ්‍යයනයේදී මොනවට පැහැදිලි වේ.
අපගේ පාර්ලිමේන්තු ඉතිහාසය තුළ විරුද්ධ පාර්ශ්වයේ නායක ධුරය සඳහා කථානායකවරයා විසින් හඳුනාගනු ලැබුවේ මහ මැතිවරණයකදී තරග කරන ලද පිළිගත් දේශපාලන පක්‍ෂ අතුරින් ආණ්‌ඩු පාර්ශ්වයට අයත් නොවන බහුතර මන්ත්‍රී සංඛ්‍යාවක් සිටින පක්‌ෂයේ හෝ සන්ධානයේ පාර්ලිමේන්තු කණ්‌ඩායමේ නායකයා වන බවයි.
මෙම සම්ප්‍රදාය මහා බ්‍රිතාන්‍යය, ඔස්‌ටේ්‍රලියාව, කැනඩාව වැනි ප්‍රජාතන්ත්‍රවාදී පාර්ලිමේන්තු ක්‍රමය ක්‍රියාත්මකව පවතින රටවලද එලෙසම පවත්වාගෙන යනු ලබයි. අප අසල්වැසි ඉන්දියාවේ ද අවම ආසන සංඛ්‍යාවක් ලබා ගැනීමේ සීමාවට යටත්වන නමුත් විරුද්ධ පාර්ශ්වයේ නායකයා වශයෙන් තෝරා පත්කර ගනු ලබන්නේ ආණ්‌ඩු පාර්ශ්වයට අයත් නොවන අනෙකුත් පක්‍ෂ අතුරින් බහුතර මන්ත්‍රී සංඛ්‍යාවක් සිටින පක්ෂයේ නායකයා ය.
ඒ අනුව විරුද්ධ පාර්ශ්වයේ නායකයා පත්කර ගැනීමේ ක්‍රමවේදය අප රටේ පැවති සම්ප්‍රදායත්, බ්‍රිතාන්‍ය පාර්ලිමේන්තු ක්‍රමය අනුගමනය කරනු ලබන අනෙකුත් රටවල සම්ප්‍රදායත් සලකා බැලීමේදී ඒ පිළිබඳව කිසිදු මතභේදයක් නොමැති බව මා විසින් කරන ලද අධ්‍යයනයන් අනුව සඳහන් කිරීමට පුළුවන.
ඊළඟ කරුණ වන්නේ එම සම්ප්‍රදායට අනුගතව වර්තමාන පාර්ලිමේන්තුව තුළ පක්‍ෂ බෙදීම සහ සංයුතිය අනුව එම සිද්ධාන්තය අප අදාළ කරගන්නේ කෙසේද යන්න විමර්ශනශීලීව සලකා බැලීමය.
වර්තමාන තත්ත්වය පිළිබඳව නිසි අවබෝධයක් ලබා ගැනීමට මත්තෙන් 2015 ජනවාරි මස 08 වැනි දින පවත්වන ලද ජනාධිපතිවරණයෙන් අනතුරුව හත්වැනි පාර්ලිමේන්තුවේ ආණ්‌ඩු පාර්ශ්වය සහ විරුද්ධ පාර්ශ්වය නිර්මාණය වී තිබූ ආකාරය පිළිබඳව අප සලකා බැලිය යුතුමය.
රනිල් වික්‍රමසිංහ මහතා, එකී පාර්ලිමේන්තුවේ අග්‍රාමාත්‍යවරයා වශයෙන් දිවුරුම් දීමෙන් අනතුරුව එක්‌සත් ජාතික පක්‍ෂය ප්‍රමුඛ මන්ත්‍රීවරයන් කණ්‌ඩායමක් ආණ්‌ඩු පාර්ශ්වය වශයෙන් ආණ්‌ඩු පාර්ශ්වයේ අසුන් ගන්නා ලද අතර එතෙක් ආණ්‌ඩු පාර්ශ්වයේ අසුන්ගෙන සිටි එක්‌සත් ජනතා නිදහස් සන්ධානයේ බහුතර මන්ත්‍රී සංඛ්‍යාව විරුද්ධ පාර්ශ්වයේ අසුන් ගත්හ.
එම අලුත් වාතාවරණය අනුව විරුද්ධ පාර්ශ්වයේ නායකයා ලෙස හඳුනාගත යුත්තේ කවුරුන්ද යන්න තීරණය කිරීමේදී විරුද්ධ පාර්ශ්වයේ අසුන්ගත් බහුතර මන්ත්‍රී සංඛ්‍යාවක් සිටින එක්‌සත් ජනතා නිදහස් සන්ධානයේ පාර්ලිමේන්තු මන්ත්‍රී නිමල් සිරිපාල ද සිල්වා මහතා විරුද්ධ පාර්ශ්වයේ නායක ධුරය සඳහා පාර්ලිමේන්තුවේ පිළිගත් සම්ප්‍රදායන්ට අනුකූලව මාගේ පූර්වගාමී කථානායකවරයා විසින් පිළිගන්නා ලදී.
නිමල් සිරිපාල ද සිල්වා මහතා විරුද්ධ පාර්ශ්වයේ නායක ධුරය දරන ලද එම කාලසීමාව තුළදී එක්‌සත් ජනතා නිදහස් සන්ධානයේ මන්ත්‍රීවරයන් පිරිසක් අමාත්‍යවරයන් වශයෙන් ජනාධිපතිවරයා ඉදිරියේදී දිවුරුම් දෙන ලද අතර සම්ප්‍රදායානුකූලව ඔවුන්ටද ආණ්‌ඩු පාර්ශ්වයේ අසුන් වෙන්කරන ලදී.
එසේම, මීට ඉහතදී පැවති රජයන්වලදීද විරුද්ධ පාර්ශ්වයේ ඇතැම් මන්ත්‍රීවරයන් විවිධ අමාත්‍ය ධූරයන් භාරගෙන ආණ්‌ඩු පාර්ශ්වයේ අසුන් ගත් අවස්‌ථාද, ආණ්‌ඩු පාර්ශ්වයේ අමාත්‍යවරයන් අමාත්‍ය ධුරවලින් ඉවත් වී විරුද්ධ පාර්ශ්වයේ අසුන්ගත් අවස්‌ථාද තිබෙන බව කවුරුත් දන්නා සත්‍යයකි.
ආණ්‌ඩුක්‍රම ව්‍යවස්‌ථාවේ දහනව වැනි සංශෝධනයේ 46 ව්‍යවස්‌ථාවේ (4) සහ (5) අනු ව්‍යවස්‌ථා ප්‍රකාරව ජාතික ආණ්‌ඩුවක් පිහිටුවීම පිණිස 2015 සැප්තැම්බර් මස 03 වැනිදින පාර්ලිමේන්තුවේ ස්‌ථාවර නියෝග 47 (1) (ඇ) විධි විධානවලට අනුව නමින් සිය ඡන්දය භාවිතා කරමින් පක්‍ෂව මන්ත්‍රීවරයන් 143 ක් සහ විපක්‌ෂව 16 ක් වශයෙන් සම්මත කරන ලද යෝජනා සම්මතයට අනුකූලව දැනට බලාත්මකව පවතින ජාතික ආණ්‌ඩුවේ එක්‌සත් ජනතා නිදහස් සන්ධානය හවුල්කාර පක්‌ෂයක් වීම නිසා වර්තමාන පාර්ලිමේන්තුවේ මෙම තත්ත්වය වෙනස් වී තිබෙන ආකාරය පිළිබඳව සලකා බැලීම අත්‍යවශ්‍ය සාධකයක් බවට පත්වී තිබේ.
ඒ අනුව, එක්‌සත් ජනතා නිදහස් සන්ධානයේ මන්ත්‍රීවරයන් පිරිසක් අමාත්‍ය ධුර දරමින් ආණ්‌ඩුවේ හවුල්කාර පක්‍ෂයක් ලෙස මේ වන විටත් කටයුතු කරමින් සිටින බැවින් එක්‌සත් ජනතා නිදහස් සන්ධානය නියෝජනය කරමින් විරුද්ධ පාර්ශ්වයේ අසුන්ගෙන සිටින මන්ත්‍රීවරයන් සංඛ්‍යාව විරුද්ධ පාර්ශ්වයේ වෙනම පක්‌ෂයක් ලෙස පිළිගැනීමට ආණ්‌ඩුක්‍රම ව්‍යවස්‌ථාවට අනුකූලව 2015 සැප්තැම්බර් මස 03 වැනිදා වැඩි ඡන්දයෙන් සම්මත කරන ලද එකී යෝජනා සම්මතය අනුව හැකියාවක් මා හට නොමැත.
එබැවින් අතීතයේ සිටම අඛණ්‌ඩව පැවැති පාර්ලිමේන්තු සම්ප්‍රදායට අනුකූලව ආණ්‌ඩුවට සම්බන්ධ නොවන පාර්ලිමේන්තුවේ වැඩිම මන්ත්‍රී සංඛ්‍යාවක් සිටින පක්ෂයේ නායකයා පාර්ලිමේන්තුවේ විරුද්ධ පාර්ශ්වයේ නායකයා ලෙස කථානායකවරයා විසින් පිළිගනු ලැබීම චිරාත් කාලයක සිට පැවති සම්ප්‍රදායයි.
ඊට අනුකූලව වර්තමාන අටවැනි පාර්ලිමේන්තුවේ ආණ්‌ඩුවට සම්බන්ධ නොවන විපක්‌ෂයේ අසුන්ගෙන සිටින වැඩිම මන්ත්‍රී සංඛ්‍යාවක් සිටින ඉලංකෙයි තමිල් අරසු කච්චි පක්‌ෂයේ නායකයා වන පාර්ලිමේන්තු මන්ත්‍රී රාජවරෝදියම් සම්බන්ධන් මහතා පාර්ලිමේන්තුවේ විරුද්ධ පාර්ශ්වයේ නායකයා ලෙස මා විසින් පිළිගන්නා ලද බව 2015 සැප්තැම්බර් මස 03 වැනි දින මෙම ගරු සභාවට ප්‍රකාශ කරන ලද බව දන්වනු කැමැත්තෙමි.
කරුණු මෙසේ හෙයින්, පාර්ලිමේන්තුවේ විරුද්ධ පාර්ශ්වයේ නායක ධුරය සම්බන්ධයෙන් මේ අවස්‌ථාවේදී වෙනසක් කිරීමට ව්‍යවස්‌ථානුකූලවත්, සම්ප්‍රදායානුකූලවත් මේ උත්තරීතර සභාවේ කථානායකවරයා ලෙස මට හැකියාවක් නොපවතින බව මාගේ අවසාන තීරණය ලෙස මෙයින් ප්‍රකාශයට පත්කරමි.
කෙසේ වෙතත්, ආණ්‌ඩුක්‍රම ව්‍යවස්‌ථාවට අනුකූලව පිහිටුවන ලද ජාතික ආණ්‌ඩුවේ හවුල්කාර පක්‌ෂය ලෙස දැනට කටයුතු කරන එක්සත් ජනතා නිදහස් සන්ධානය නියෝජනය කරමින් විරුද්ධ පාර්ශ්වයේ අසුන්ගෙන සිටින මන්ත්‍රීවරයන්ට පාර්ලිමේන්තුව තුළ වාද විවාදවලට සහභාගි වීමේදී සාධාරණ කාල වේලාවක් වෙන්කර දීමටත්, දැනට පාර්ලිමේන්තුවේ ස්‌ථාපිත කර තිබෙන සියලුම කාරක සභාවලට සාධාරණ ලෙස නියෝජනයක් ලබාදීමටත්, අවශ්‍ය සෑම පියවරක් ගනිමින් එම මන්ත්‍රීවරයන්ගේ අයිතීන් ආරක්‌ෂා කරන බව මම මෙහිලා විශේෂයෙන් අවධාරණය කරමි.

තමිල්නාඩු හිටපු මහ ඇමැති මුත්තුවේල් කරුණානිධි මහතා ජීවිතක්‍ෂයට පත්වීමෙන් අනතුරුව මුලතිව් ජනතාව රතිඤ්ඤා පත්තු කරමින් සතුටු වූ බව මුලතිව් ප්‍රදේශවාසීහූ පවසති.
ඔවුන් පවසා සිටියේ උතුරේ බහුතර පිරිසක් කරුණානිධි මහතා මියයැමේ පුවත ඇසීමෙන් සතුටට පත්වූ බවයි.
අවසන් යුද සමයේ මුලතිව් ප්‍රදේශයේ ජනතාව දුකට පත්වූ අවස්‌ථාවේ මුලතිව් ජනතාව හා උතුරේ ජනතාව වෙනුවෙන් කරුණානිධි මහතා කිසිදු සහයක් නොදැක්‌වීම හා දමිළ ජනතාව වෙනුවෙන් කිසිදු හිතවාදී ප්‍රකාශයක් නොකිරීම හේතුවෙන් මොහු සම්බන්ධයෙන් දෙමළ ජනතාව තුළ ප්‍රසාදයක් නොපවතින බව මුලතිව් ජනතාව පැවැසූහ.
මුලතිව් ජනතාව වැඩිදුරටත් පැවසුවේ එල්ටීටීඊ නායක වේළුපිල්ලේ ප්‍රභාකරන්ගේ මවට අසනීපයක් වූ අවස්‌ථාවේ තමිල්නාඩුවේ තබා ඇයට ප්‍රතිකාර ලබාදීමටද කරුණානිධි ප්‍රතික්‍ෂේප කොට තිබීමේ කාරණාව හේතුවෙන්ද දෙමළ ජනතාව තුළ මොහු සම්බන්ධයෙන් පැහැදීමක් නොතිබූ බවයි.
මුත්තුවේල් කරුණානිධි මහතා පස් වතාවක් තමිල්නාඩු ප්‍රධාන අමාත්‍ය තනතුරට පත්වූ අයෙක් වන අතර ඉන්දීය දේශපාලනය තුළ ප්‍රබල චරිතයක් විය.