Blog

  • ලක්‍ෂපති කෝච්චි ඩ‍්‍රයිවර්ලාගේ හිඟන වැඩ වර්ජනය

    ලක්‍ෂපති කෝච්චි ඩ‍්‍රයිවර්ලාගේ හිඟන වැඩ වර්ජනය

    පෙරේදා සවස 3.00 ට කිසිදු පූර්ව දැනුම්දීමකින් තොරව අරඹන ලද හිඟන දුම්රිය වැඩවර්ජනය නිසා මහ මඟ අනාථ වූ අසරණ මිනිසුන්ගේ සාපය දුම්රිය එන්ජින් ඩ‍්‍රයිවර්ලා ලෙස හඳුන්වන නීච කාලකණ්ණින් පිටුපස ආත්මයක් ආත්මයක් ගාණේ ඇදී එනු ඇත්තේ එන්ජිම පිටුපස ඇදී එන කෝච්චි පෙට්ටි මෙනි.
     
     පොදු මගී ප‍්‍රවාහන මාධ්‍යයක් වන දුම්රියේ යන මිලියන කිහිපයක් වූ මගී ජනයාගෙන් සියයට හැත්තෑ පහකටත් වඩා සීසන්කාරයෝ ය. මිනිසුන් දුම්රිය සීසන් ගන්නේ ඒවා ලංගම බස් සීසන් ටිකට්වලට වඩා මිලෙන් ්අඩු නිසාය. මේ සීසන් ටිකට්පත මිනිසුන්ගේ දුප්පත්කමේ සලකුණකි. දුම්රිය එන්ජින් ඩ‍්‍රයිවර්ලා විසින් මේ දුප්පත් සලකුණට පයින් ගසන ලද්දේ රේල් පාරටම වැටෙන්නටය. ලංකා ඉතිහාසය විසින් පහල කරන ලද තඹ සල්ලි භාගයක් තරම්වත් නොවටිනා, මස් බරට පමණක් වටිනා ප‍්‍රවාහන ඇමැතිතුමකු මේ මොහොතේදී අපට සිටී. ඔහු නිමල් සිරිපාල ද සිල්වාය. ඔහු ප‍්‍රවාහන ඇමැති බවට පත්වීමෙන් පසු දුම්රිය ස්ට‍්‍රයික් කිහිපයක් සිදු වූ නමුදු ඒවා සමථයට පත් කරනු තබා එසේ කිරීමට කල්පනා කරනු පිණිසවත් මොළයක් ඔහුට නොවීය. පෙරේදා පටන්ගත් වර්ජනයේ අරමුණ එන්ජින් ඩ‍්‍රයිවර්ලාගේ වැටුප් විෂමතා නැති කර ගැනීමය. ඒ නිමිත්තෙන් මේ වර්ජනය සූදානම් කර තිබුණේ මෙයට සතියකට පමණ පෙරය. ඒ වෙලාවේදී රේල් පාර දිගේ පයින් ගොස් (රේල් පාරේ පයින් යෑම තහනම්ය* දුම්රිය වෘත්තීය සමිති නායකයන් හමු වූ රාජිත සේනාරත්න සහ සරත් අමුණුගම පොරොන්දු ගෝනියක් බිමට හලා එන්ජින් ඩ‍්‍රයිවර්ලාගේ වැටුප් විෂමතා නැති කරන බවට සහතික කළහ. එකල්හි දුම්රිය වෘත්තීය සමිති තාවකාලිකව වර්ජනය රිවස් කරගත්හ. පසුව පැවති කැබිනට් මණ්ඩල රැුස්වීමේදී එන්ජින් ඩ‍්‍රයිවර්ලාගේ වැටුප් වැඩි කළ යුතු බව රාජිතලා යෝජනා කළහ. එහිදී බලවත් සේ කෝපයට පත් මුදල් ඇමැති මංගල සමරවීර ‘‘තොපිට දේශපාලනය කරන්න මම මොකටද ආණ්ඩුවේ සල්ලි දෙන්නෙ’’ යනාදී වශයෙන් කල්පනා කළ නිසා, දෝ වැටුප් වර්ධක යෝජනාව ගෙනා සියලූ දෙනාගේ ඇඟට ගොඩ වී එය ප‍්‍රතික්ෂේප කළේය.
     
     රාජිත එම ඇඟට ගොඩවීම තඹ සල්ලියකට ගණන් ගත් බවක් පෙනුනේ නැත. වැටුප් වර්ධක නොලැබුණොත් එන්ජින් ඩ‍්‍රයිවර්ලා ස්ට‍්‍රයික් කරන බව ඔහු ස්ථිර වශයෙන්ම පහදා දුන්නේය. ඉන්පසු ඔහු නිහඬ වූයේ මංගලගේ හිතුවක්කාරකමට පාඩමක් උගැන්වීම සඳහා විය යුතුය. එය එසේම සිදුවිය.
     
     ශ‍්‍රී ලංකාවේ ජනයාගෙන් වැඩි දෙනා දවසකට උපයන උපරිම ආදායම් සාමාන්‍යය රුපියල් 800 කි. මාසයකට රුපියල් 24,000 ක ආදායමක් ලබා පවුල් නඩත්තු කරන ජනයා ද මේ රටේ සිටින බව එමඟින් ඒත්තු ගැන්වෙයි. සමහර විට මේ පවුලක දරුවන් තුන්දෙනෙක් ඉන්නටත් පුළුවන. දරුවන් පස් දෙනෙක් ඉන්නටත් පුළුවන. පවුලේ දෛනික වියදම් කර අවසන් වන විට ගෙදර මහ මිනිහාට වැඩට යෑමට සල්ලි නැත. එතැනදී හැමදාමත් පිහිටට ආවේ අඩු මිල දුම්රිය සීසන් පතය. මාතරටත් එහා සිට, නුවරටත් එහා සිට කොළඹ කන්තෝරුවල වැඩට එන ජනයා ඕනෑ තරම් සිටිති. මහ පාන්දර බිරිඳ විසින් උයන ලද බත් පාර්සලය බැඳගෙන එය ලෙලි ගිය හම් බෑග් එකේ පතුලේ තැන්පත් කර පාන්දර හතරට ගෙදරින් නික්මී පැයක් පමණ පයින් ගොස් ස්ටේෂමට පැමිණ කොළඹ එන රජයේ සේවකයෝ ඕනෑ තරම් සිටිති. ඒ මිනිසුන්ගේ සන්තකයේ ඇති වටිනා දේවල් දෙකක් තිබේ. එකක් අර බත් පාර්සලයයි, අනෙක දුම්රිය සීසන් ටිකට් එකයි. ඔවුන්ගේ හම් බෑග් එක සුදුසු වන්නේ මදුරුවන් වැඩිපුර සිටින දවස්වල දුම් ගැසීම පිණිස ගිනි තැබීමට පමණි. මේ මිනිසුන්ගේ අතේ තුට්ටුවක් නැත. කලිසම් සාක්කු දෙකෙන් එකක ලේන්සුවක් තිබේ. අනෙක් සාක්කුවේ ලොකු හිලක් තිබේ. ෂර්ට් සාක්කුවේ ඇත්තේ ජාතික හැඳුනුම්පත සහ දුම්රිය සීසන් ටිකට් එක පමණි. මේ මිනිස්සු පික් පොකට්කාරයන්ගේ නිරන්තර ද්වේෂයට ලක් වෙති. ඔවුන්ගේ කලිසම් සාක්කුවලට බැස්සොත් පික්පොකට්කරුට ලබාගත හැක්කේ දැලක් බඳු පරණ ලේන්සු කබල පමණි.
     
     පෙරේදා සවස නීච දුම්රිය එන්ජින් ඩ‍්‍රයිවර්ලා සිය හදිසි ත‍්‍රස්ත ප‍්‍රහාරය මඟින් විනාශයට පත් කළේ මේ අසරණ මිනිසුන්ය. මේ පුවත්පත වැඩවර්ජනවලට කවදත් විරුද්ධය. කම්කරු අරගලවලට හැමදාමත් පක්‍ෂය. එහෙත් ත‍්‍රස්ත ප‍්‍රහාර ලෙස එන කම්කරු අරගලවලට හැමදාමත් විරුද්ධය. පෙරේදා සවස 3.00 ට පටන් ගත් දුම්රිය වර්ජනයේදී ආණ්ඩුව කළ යුතුව තිබුණේ එන්ජින් ඩ‍්‍රයිවර්ලාගේ බෙල්ලෙන් අල්ලා එළියට දමා යුද හමුදාව ලවා දුම්රිය දිවවීමය. මෙය ප‍්‍රභාකරන් කොළඹට ගැහුවාක් වැනි වැඩකි.
     
     කෝච්චියක එන්ජින් ඩ‍්‍රයිවර් කෙනකු ගන්නා පඩියත්, ගුවන් යානයක නියමුවකු ගන්නා පඩියත් අතර වැඩි වෙනසක් අපට නොපෙනේ. ගිය අවුරුද්දේ දෙසැම්බර් 12 වැනිදා එවකට නියෝජ්‍ය ප‍්‍රවාහන ඇමැතිව සිටි අශෝක අබේසිංහ පාර්ලිමේන්තුවට දැනුම් දුන් පරිදි එන්ජින් ඩ‍්‍රයිවර් කෙනකු රුපියල් දෙලක්‍ෂ විසි හය දහස දකවා වූ වැටුපක් උපයති. ඔවුන්ගේ මූලික වැටුප රුපියල් 54,000 කට කිට්ටු බවත් ඔවුන් ඕ. ටී. වලින් මාසයකට උපයන මුදල රුපියල් 180,000 ක් වන බවත් ඔවුන් පැය 8 ක් එක දිගට වැඩ කළ විට පැය 9 ක විවේකයක් ලබන බවත් අශෝක අබේසිංහ තවදුරටත් කීවේය. දුම්රිය දෙපාර්තමේන්තුව තුළ සදාකාලිකව ධගඔග ඇත. ඒවායේ වැඩියක් මිස අඩුවක් නැත. එබැවින් රුපියල් 800 ක දෛනික පඩියක් ගන්නා දුප්පත් මිනිසුන්ට පයින් ගැසූ එන්ජින් ඩ‍්‍රයිවර්ලාට පොල්පිතිවලින් ගැසිය යුතුය. ඊට අමතරව ගිගිරුම් සහිත වැසි දිනවල පාරේ ගමන් කරන්නේ නම් අකුණු සන්නායකයක් අතින් ගෙන ගමන් කිරීමය එන්ජින් ඩ‍්‍රයිවර්ලාට වඩාත් සුදුසු.

    – පුවත්පත් උපුටනයකි

  • දුමිරිය පඩි වැඩි නොකරන්න තීන්දු කලේ කැබිනට් මණ්ඩලයමයි

    දුමිරිය පඩි වැඩි නොකරන්න තීන්දු කලේ කැබිනට් මණ්ඩලයමයි

    දුම්රිය සේවකයින්ගේ පඩි වැඩි නොකිරීමට ගත් තීන්දුව කැබිනට් මණ්ඩලය විසින්ම අනුමත කරන ලද්දක් බව අගමැති රනිල් වික්‍රමසිංහ මහතා ඊයේ (09) පාර්ලිමේන්තුවේදී පැවසීය.

    කැබිනට් මණ්ඩලයට ඕනෑම යෝජනාවක් ගෙන ඒමට හැකියාව තිබුණද එහි සියලු දෙනාගේ එකඟතාවය මත ගන්නා තීණ්දුව අවසන් තීන්දුව බව අගමැතිවරයා වැඩිදුරටත් කියා සිටී.

  • ජනබලසේනා කඩාකප්පල් කලේ බැසිල්

    ජනබලසේනා කඩාකප්පල් කලේ බැසිල්

    ඒකාබද්ද විපක්‍ෂය විසින් මෑතකදී කොළඹ සංවිධානය කර තිබූ විරෝධතාවය ඉතාම අසාර්ථක බව එක්සත් ජාතික පක්‍ෂ මහ ලේකම් ඇමති අකිල විරාජ් කාරියවසම් මහතා පවසයි.

    එම විරෝධතාවය ආසාර්ථක කරවීම සදහා බැසිල් රාජපක්‍ෂ මහතා විසින් පණිවුඩ යවා තිබූ බවද ඔහු සදහන් කරයි.

    විමල් වීරවංශ මහතා සහ තවත් දේශපාලඥයෙකු විසින් කැදවන ලද පිරිසක් පමණක් එම විරෝධතාවයට පැමිණ සිටි බවත් එය සුළු පිරිසක් බවත් ඇමතිවරයා කීවේය.

    කළුතර දිස්ත‍්‍රික් එක්සත් ජාතික පක්‍ෂ බල මණ්ඩල රැස්වමෙන් පසු මාධ්‍ය අමතමින් ඔහු මේ අදහස් පල කලේය.

  • ආවා කල්ලි නායකයෙක් අල්ලයි

    ආවා කල්ලි නායකයෙක් අල්ලයි

    යාපනයේදී පුද්ගලයින්ව කඩුවලින් කපා කොටා තුවාල සිදුකරමින් ව්‍යාපාරිකයින්ගෙන් කප්පම් ගන්නා කල්ලි දෙකකට අයත් සාමාජිකයින් දස දෙනෙකු යාපනයේ විවිධ ස්ථානවලදී පොලීසිය විසින් අත්අඩංගුවට ගෙන ඇත.
    අත්අඩංගුවට ගත් අය ළග තිබී අපරාධ සඳහා භාවිත කළ යතුරු පැදියක්, කඩු, පිහි, යකඩ පොලු ආදිය සහ විවිධ මොට ආයුධ තිබී සොයා ගෙන ඇති අතර මෙම සාමාජිකයින් දස දෙනාගෙන් හය දෙනෙකු ”ආවා” කල්ලියේ සාමාජිකයින් බවටත් අනෙක් හතර දෙනා ”ධනු රොක්” කල්ලියේ සාමාජිකයින් බවටත් පොලීසියට තොරතුරු ලැබී ඇති අතර අත්අඩංගුවට පත් පිරිස අතර ”ආවා” කල්ලිය මෙහෙයවන ලද පුද්ගලයෙකුද සිටින බවයි වාර්තා වේ.
    ”ආවා” කල්ලිය මෙහෙයවන ලද බව කියන තැනැත්තා පොලිස් අත්අඩංගුවට ගෙන ඔහුව පොලිස් වාහනයක් කරා රැගෙන යන අවස්ථාවේදී යාපනයේ වැසියන් පිරිසක් ඔහුට පහරදීමට සූදානම් වී ඇති අතර පොලීසිය ඔහුව ආරක්ෂා කරගෙන ඇත්තේ මහත් පරිශ්‍රමයක් දරමිනි.
    අත්අඩංගුවට පත් පිරිස වයස අවුරුදු 19 හා 23 අතර වයස් කාණඩවල පසුවන්නන් බවත් සඳහන් වේ.
  • පොලීසියේ ලොකු පුටු හතර අතට මාරු කෙරේ

    පොලීසියේ ලොකු පුටු හතර අතට මාරු කෙරේ

    නියෝජ්‍ය පොලිස්පතිවරුන්, පොලිස් අධිකාරී සහ සහකාරා පොලිස් අධිකාරීවරුන්, පොලිස් ස්ථානාධිපතිවරුන් පිරිසක් සඳහා ස්ථාන මාරුවීම් ලබා දී ඇත.
  • පොලීසිය නිදි… ගාල්ල උසාවියේ නඩුභාණ්ඩ ගබඩාවටත් හොරු පනී….

    පොලීසිය නිදි… ගාල්ල උසාවියේ නඩුභාණ්ඩ ගබඩාවටත් හොරු පනී….

    අද (4) අලුයම දොළහයි තිහට පමණ උණවටුන පැරණි සලුසල භූමියේ පිහිටි ගාල්ල අධිකරණයේ නඩු භාණ්ඩ ගබඩාවට ඇතුලු වූ සොරුන් පොලීසිය පැමිණෙන විට පලා ගොස් ඇතැයි හබරාදුව පොලීසිය පවසයි.

    මෙම නඩු භාණ්ඩ ගබඩාවට සොරුන් ඇතුලුවී ඇති බවට ලැබුණු තොරතුරක් මත අද අලුයම 12. 30 ට පමණ හබරාදුව පොලිසිය එම ස්ථානයට යන විට කඩමින් සිටි   සේප්පුවක් අතහැර දමා සොරුන් පලා ගොස් ඇති බවද වාර්තා වේ.
    මෙම නඩු භාණ්ඩ ගබඩාවට  පැමිණි සොරුන්ගේ ජංගම දුරකතන දෙකක් කමිසයක් කුඩා ගෑස් සිලින්ඩරයක් ඔක්සිජන් පහනක් අඩු මිටි කිපයක් ඇතුලු උපකරන කීපයක්ද  පොලිසිය විසින් සොයා ගෙන ඇත.
    මෙම නඩු භාණ්ඩ භූමියේ ඉතා වටිනා වාහන විශාල ප්‍රමාණයක් ඇති අතර එම සමහර වාහනවල වටිනා ඇතැම් කොටස්ද අතුරුදහන්ව ඇති බවට තොරතුරු ලැබෙමින් පවතින වාර්තා වේ.

    මෙහි ඇති සමහර වාහන රුපියල් ලක්ෂ අසූව තරම් වටිනා ඒවාය. ලොරි වෑන් කාර් යතුරුපැදි  ඇතුලු තවත් වාහන විශාල ප්‍රමාණයක් මෙහි ගබඩාකර ඇත.මෙම වාහනවල සමහර කොටස් කාලයක් තිස්සේ සොරුන් විසින් ගලවා
    ගෙන  යන්නට ඇති බවට පොලිසිය විශ්වාස කරයි. සොරුන් විසින් මෙම සේප්පුව කැඩීමට උත්සාහ කර ඇත්තේ ඇයිද යන්න පොලිසියට ගැටලුවක් වි ඇත.

    මේ අතර නඩු භාණ්ඩයක් ලෙස එහි තිබූ යතුරුපැදියක් මුරකරු විසින් පාවිච්චිකර ඇති බවටද තොරතුරු පොලිසියට ලැබී ඇති අතර එය සම්පූර්ණ නීති විරෝධි ක්‍රියාවක් බවද පැවසේ.

    මේ වන විට මෙම නඩු භාණ්ඩ ගබඩාවේ මුරකරු ප්‍රශ්න කිරිම සඳහා අත්අඩංගුවට ගෙන ඇති බවද වාර්තාවේ. හබරාදුව පොලිසිය මේ පිළිබද පරික්ෂණ පවත්වයි.

  • රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමයට නඩු

    රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමයට නඩු

    රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමය වෙත නඩු දැමීමට තමන් සූදානම් බව පාරිභෝගික අයිතීන් සුරැකීමේ ජාතික ව්‍යාපාරය ලිපියක් යොමු කරමින් දන්වා තිබේ.
    රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමයේ සභාපති වෛද්‍ය අනුරුද්ධ පාදෙණිය වෙත යොමු කර ඇති එම ලිපියෙන් කියැවෙන්නේ කරුණු කිහිපයක් මුල් කරගෙන රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමය 2018/08/03 දින සංවිධානය කළ දීප ව්‍යාප්ත වැඩ වර්ජනය ඔස්සේ කළ ඉල්ලීම් පිළිබදව විරුද්ධත්වයක් නොමැති නමුත් උක්ත වර්ජනය මගින් වඩාත් පීඩාවට පත්වන්නේ මෙරට අහිංසක රෝගීන් වන බැවින් ද පහවසර ශිෂ්‍යත්ව විභාගය පැවැත්වෙන අගෝස්තු 5 දිනට ආසන්නව මෙසේ රෝගීන් ප‍්‍රාණ ඇපයට ගැනීම පිළිබඳව නැවත සිතා බැලිය යුතු බවද එහි සඳහන් කර තිබුණි.

    1950 අංක 42 දරණ කාර්මික ආරවුල් පනතේ 32 /2* වගන්තිය අනුව අත්‍යවශ්‍ය කර්මාන්තයක හෝ සේවාවක වර්ජනයක් සිදුකරයි නම් ඊට දින 21කට පෙර සේවායෝජකයාට එ් පිළිබඳව ලිඛිතව දැනුම් දිය යුතුය.

    එවැනි පසුබිමක හදිසි වැඩ වැරුමක් සිදු කිරීම සේවක විෂමාචාරයක් ලෙස සැලකිය හැකි බැවින් එම වෛද්‍ය සංගමය 2018. 08. 03 දින සංවිධානය කළ වර්ජනයට එරෙහිව මෙරට සමස්ත රෝගීන්ගේ අයිතිවාසිකම් වෙනුවෙන් අධිකරණ ක‍්‍රියාමාර්ග ගැනීමට පාරිභෝගික අයිතීන් සුරැුකීමේ ජාතික ව්‍යාපාරය කටයුතු කරන බව වැඩිදුරටත් එමගින් දන්වා තිබුණි.

  • උ/පෙළ හා ශිෂ්‍යත්වය සඳහා පෙනී සිටින සිසුන් වෙනුවෙන් විශේෂ ලංගම බස් සේවාවක්

    උ/පෙළ හා ශිෂ්‍යත්වය සඳහා පෙනී සිටින සිසුන් වෙනුවෙන් විශේෂ ලංගම බස් සේවාවක්

    මෙවර අධ්‍යයන පොදු සහතික පත්‍ර උසස් පෙළ හා 05 ශ්‍රේණිය ශිෂ්‍යත්ව සඳහා පෙනී සිටින සිසුන් වෙනුවෙන් අදාළ විභාග කාලසීමාව තුළ දී විශේෂ බස් රථ සේවා යොදවන බව ශ්‍රී ලංකා ගමනා ගමන මණ්ඩලය සදහන් කරයි.
    ඒ වෙනුවෙන් බස් රථ 770ක් යෙදවීමට නියමිත අතර අදාළ බස් සේවා සම්බන්ධයෙන් යම් ගැටළුවක් ඇත්නම් 011 – 7 555 555 දුරකථන අංකයට දැනුම් දෙන්නැයි ද ඉල්ලීමක් කෙරේ.
    මෙවර උසස් පෙළ විභාගය ලබන සදුදා (06) ආරම්භ වන අතර සැප්තැම්බර් 01 වනදා දක්වා පැවැත්වේ. එසේම මෙවර ශිෂ්‍යත්ව විභාගය ලබන ඉරිදා (05) පැවැත්වෙනු ඇත.
  • සිංගප්පූරු වෙළෙඳ ගිවිසුම ගැන විද්වත් වාර්තාවක් ජනපතිගෙන් එස්බී ඉල්ලයි

    සිංගප්පූරු වෙළෙඳ ගිවිසුම ගැන විද්වත් වාර්තාවක් ජනපතිගෙන් එස්බී ඉල්ලයි

    කැබිනට් මණ්ඩලයේ අනුමැතියකින් තොරව අත්සන් කළ බව කියන ශ්‍රී ලංකා – සිංගප්පූරු වෙළෙඳ ගිවිසුම සම්බන්ධයෙන් විශේෂඥ කමිටුවක් පත්කර වාර්තාවක් ලබා ගන්නා ලෙස ජනාධිපති මෛත්‍රීපාල සිරිසේනගෙන් ඉල්ලීමක් කරන බව පාර්ලිමේන්තු මන්ත්‍රී එස්.බි. දිසානායක ප්‍රකාශ කළේය.

    ශ්‍රී ලංකා – සිංගප්පූරු වෙළෙඳ ගිවිසුමක් ඇතිකර ගැනීම රටට වාසිදායක බව සඳහන් කළ දිසානායක මන්ත්‍රීවරයා එය කළ යුත්තේ විනිවිද භාවයකින් යුතුව බව පුංචි බොරැල්‍ලේ පිහිටි නිදහසේ මාධ්‍ය කේන්ද්‍රයේදී සිකුරාදා (03) පැවැති මාධ්‍ය හමුවකදී සඳහන් කළේය.

    මෙම ගිවිසුමට අනුව ආනයනය හා අපනයනය සම්බන්ධයෙන් ගැටලුවක් මතුවී තිබෙන බැවින් ඒ පිළිබඳ විද්වත් වෘත්තිකයන් ඇතුළත් කමිටුවක් මගින් අදහස් ලබාගත යුතු බවද මන්ත්‍රීවරයා සඳහන් කළේය.

  • වැටුප් වැඩි වනවාට පක්‍ෂවල නායකයෝ ඒකමතිකව එකඟ වුනා

    වැටුප් වැඩි වනවාට පක්‍ෂවල නායකයෝ ඒකමතිකව එකඟ වුනා

    මැති ඇමැතිවරුන්ගේ වැටුප් වැඩි කිරීම පසුගිය මස (ජුලි) 17 දා පැවති පක්‍ෂ නායක රැස්‌වීමේදී ඒකමතිකව අනුමත වූ බව සභානායක, රාජ්‍ය ව්‍යවසාය සංවර්ධන ඇමැති ලක්‍ෂමන් කිරිඇල්ල මහතා පැවසයි.
     
     එම රැස්‌වීමට පැමිණ සිටි ඒකාබද්ධ විපක්‍ෂයේ කණ්‌ඩායම් නායක දිනේෂ් ගුණවර්ධන මෙන්ම ජනතා විමුක්‌ති පෙරමුණේ නායක අනුර කුමාර දිසානායක යන මහත්වරු ද ඊට අනුමැතිය ලබාදුන් බව හෙතෙම සඳහන් කළේය.
     
     මැති ඇමැතිවරුන්ගේ වැටුප් වැඩි කිරීමට ගෙන ඇති තීරණය සම්බන්ධව මාධ්‍ය කළ විමසීමකදී මේ බව ලක්‍ෂ්මන් කිරිඇල්ල මහතා කියා සිටියේය.

  • “ආවා” එපා… යාපනය ග්‍රාමසේවක වරු වර්ජනයක

    “ආවා” එපා… යාපනය ග්‍රාමසේවක වරු වර්ජනයක

    ආවා ක්‍රියාකාරකම් හේතුවෙන් යාපනය කෝපායි බලප්‍රදේශයේ සියලුම ග්‍රාමසේවක වරුන් ක්ෂේත්‍ර රාජකාරි කටයුතු වලින් ඉවත්ව (01) උදෑසන සිට ප්‍රාදේශීය ලේකම් කාර්යාලයේ රාජකාරි කටයුතු වල නිරතව සිටිති.

    පසුගිය 29 වනදා යාපනයේ නිවාස 4කට පහරදීමක් සිදු වූ අතර එම පහරදීම සිදු වූ නිවාසවලින් එක් නිවසක ග්‍රාමසේවක කාර්යාලයක්ද පවත්වාගෙන ගොස් තිබූ අතර අදාල පහරදීමේදී ග්‍රාමසේවක කාර්යාලයේ බඩු බාහිරාදිය සියල්ලක්ම විනාශ කොට තිබුණි.

    අදාල ප්‍රහාරයට විරෝධය පෑමක් වශයෙන් හා ආවා ක්‍රියාකාරකම් මැඩලීමට පොලීසිය ඉක්මන් පියවර ගත යුතු බව පවසමින්ද 01 උදෑසන සිට කෝපායි බල ප්‍රදේශයේ ක්ෂේස්ත්‍ර රාජකාරි කටයුතු සිදුකරන සියලුම ග්‍රාමසේවක නිලධාරීවරුන් නල්ලූර් ප්‍රාදේශීය ලේකම් කාර්යාලයේ සිට රාජකාරි කටයුතු සිදු කරනු ලැබීය.

    මේ අනුව ග්‍රාමසේවක නිලධාරීන් ගම්මාන වෙතට අද දිනයේදී නොපැමිණීම හේතුවෙන් ගම්වාසීන් රැසකට දුෂ්කරතා සඳහා මුහුණ පෑමට සිදුවූහ.

  • ගාමිණි සෙනරත් ඇතුළු 4කට විශේෂ මහාධිකරණය හමුවේ පෙනී සිටින්න සිතාසි

    ගාමිණි සෙනරත් ඇතුළු 4කට විශේෂ මහාධිකරණය හමුවේ පෙනී සිටින්න සිතාසි

    රජයට අයත් රුපියල් මිලියන 500 ක මුදලක්‌ සාපරාධි සාවද්‍ය පරිහරණය කිරීම ඇතුළු අධිචෝදනා 24 ක්‌ යටතේ පවරා ඇති නඩුවේ විත්තිකරුවන් වන හිටපු ජනාධිපති කාර්ය මණ්‌ඩල ප්‍රධානි ගාමිණි සෙනරත් මහතා ඇතුළු විත්තිකරුවන් සිවුදෙනකුට ලබන 24 වැනිදා විශේෂ මහාධිකරණය හමුවේ පෙනී සිටින ලෙස දන්වා සිතාසි යෑවීමට කොළඹ විශේෂ ත්‍රිපුද්ගල මහාධිකරණ විනිසුරු මඩුල්ල ඊයේ (01) නියෝග කළහ. 

    බරපතළ වංචා හා දූෂණ සම්බන්ධයෙන් පවරනු ලබන නඩු විභාග කිරීම සඳහා ස්‌ථාපිත කළ විශේෂ මහාධිකරණ ත්‍රිපුද්ගල විනිසුරු මඩුල්ලේ සභාපති විනිසුරුවරයා ලෙස කටයුතු කරන මහාධිකරණ විනිසුරු සම්පත් අබේකෝaන් මහාධිකරණ විනිසුරු සම්පත් විජයරත්න හා මහාධිකරණ විනිසුරු චම්පා ජානකි රාජරත්න මහත්මිය එම නියෝගය කළාය.

    2014-2-01 හා 2015-01-20 කාලය අතරතුරදී ලිට්‌ට්‍රො ගෑස්‌ සමාගම විසින් කැන්විල් හෝල්ඩින්ස්‌ පුද්ගලික සමාගමට ලබාදුන් රුපියල් මිලියන 500 මුදලක්‌ සෙලන්කෝ හොටෙල් ඇන්ඩ් ස්‌පා පුද්ගලික සමාගමට යොදවා ගැනීමෙන් පොදු දේපළ පනත යටතේ හා ලංකා දණ්‌ඩ නීති සංග්‍රහය යටතේ දඬුවම් ලැබිය හැකි වැරදි සිදුකර ඇතැයි නීතිපතිවරයා අධිචෝදනා ගොනු කර තිබුණි. ගාමිණි සේදර සෙනරත්, පියදාස කුඩාවාලගේ, නීල් බණ්‌ඩාර හපුහින්න හා ලසන්ත බණ්‌ඩාර යන විත්තිකරුවන්ට එරෙහිව ගොනු කර ඇති එම අධිචෝදනා සනාථ කිරීමට පැමිණිල්ල වෙනුවෙන් සාක්‍ෂිකරුවන් 63 දෙනකු හා ලේඛන සාක්‍ෂි 92 ක්‌ ඉදිරිපත් කිරීමට අපේක්‌ෂා කරන බවද නීතිපතිවරයා විනිසුරු මඩුල්ලට දන්වා තිබුණි.

  • මහරගමට බයිසිකලයෙන් ආ අයට එරෙහි පෙත්සම අකුලා ගනී…

    මහරගමට බයිසිකලයෙන් ආ අයට එරෙහි පෙත්සම අකුලා ගනී…

    ඉකුත් පළාත් පාලන මැතිවරණයේදී මෝටර් සයිකලය ලකුණින් තරග කර මහරගම නගර සභාව සඳහා තේරීපත් වූ නාගරික මන්ත‍්‍රීවරුන් 23 දෙනාගේ ධුර අහෝසි කරන ලෙස නියෝගයක් නිකුත් කරන්නැයි ඉල්ලමින් අභියාචනාධිකරණයට ඉදිරිපත් කෙරුණු රීට් පෙත්සම ඉවත් කර ගෙන ඇත.
    මහරගම ප‍්‍රදේශයේ ඡන්ද දායකයෙකු වන චන්ද්‍රසේන පෙරේරා විසින් අදාළ පෙත්සම ගොනු කර තිබූ අතර මෙම පෙත්සමේ සඳහන් ඇතැම් වගඋත්තරකරුවන් මේ වනවිට ඉල්ලා අස්වී ඇති බැවින් පෙත්සම පවත්වාගෙන යාමේ දී ගැටළු මතුවන බැවින් එය ඉල්ලා අස්කර ගන්නා බව ඔහු විසින් අධිකරණයට දන්වා ඇත.
  • රටපුරා වෛද්‍ය සායන 12,000ක්

    රටපුරා වෛද්‍ය සායන 12,000ක්

    වත්මන් රජයට වසර තුනක් සම්පූර්ණ වන අගෝස්තු 15දා සිට වසරක කාලයක් තුළ රටපුරා සෑම දිස්ත්‍රික්කයක් ම ආවරණය වන පරිදි වෛද්‍ය සායන 12,000ක් ක්‍රියාත්මක කිරීමට සැලසුම් කොට ඇතැයි සමාජ සුභසාධන හා ප්‍රාථමික කර්මාන්ත අමාත්‍ය දයා ගමගේ මහතා පවසයි.
    ඒ අනුව සෑම දිස්ත්‍රික්කයකම සියලු ම ප්‍රාදේශීය ලේකම් කාර්යාල ආවරණය වන පරිදි මසකට වෛද්‍ය සායන 1000ක් බැගින් වසරකට වෛද්‍ය සායන 12,000ක් රටපුරා පැවැත්වීමට නියමිතය. මෙම වැඩපිළිවෙළ දයාවේ මෙහෙවර නමින් නම් කොට ඇත.
    මෙම වෛද්‍ය සායනවලදී ආයුර්වේද වෛද්‍ය ක්‍රමය හා බටහිර වෛද්‍ය ක්‍රමයට සියලු ම රෝග පරීක්ෂාව, අවශ්‍ය බෙහෙත් ද්‍රව්‍ය ලබාදීම, ඇස් පරික්ෂාව, ඇස් කණ්නාඩි ලබාදීම සහ අක්ෂි කාච ලබාදීම ආදී වැඩසටහන් ගණනාවක් ම ඇතුළත් වේ. 
    මෙම ජංගම වෛද්‍ය සායන ක්‍රියාත්මක වීම හරහා දිස්ත්‍රික් රෝහල්වලට දෛනිකව පැමිණෙන රෝගීන්ගේ ප්‍රමාණය බොහෝ ලෙස අඩුකරගැනීම ද මෙම ව්‍යාපෘතිය ක්‍රියාත්මක කිරීමේ තවත් එක් පරමාර්ථයකි.
    පසුගිය දා සමාජ සුභසාධන හා ප්‍රාථමික කර්මාන්ත අමාත්‍යංශයේ පැවැති ප්‍රගති සමාලෝචන රැසක්වීමකට එක්වෙමින් අමාත්‍යවරයා මේ බව ප්‍රකාශ කොට තිබේ.
  • වෛද්‍යවරයකුගෙන් පගාව ගන්න ගිය කම්කරු නිලධාරීහු 2 කට වැඩ වරදී…

    වෛද්‍යවරයකුගෙන් පගාව ගන්න ගිය කම්කරු නිලධාරීහු 2 කට වැඩ වරදී…

    වෛද්‍යවරයකුගෙන් රුපියල් නවදහසක අල්ලසක්‌ ලබා ගැනීමට උත්සාහ කළ කම්කරු කොමසාරිස්‌ කාර්යාල නිලධාරීන් දෙදෙනකු අල්ලස්‌ හෝ දූෂණ චෝදනා විමර්ශන කොමිසම මගින් ඊයේ (30) අත්අඩංගුවට ගෙන තිබේ.

    මෙසේ අත්අඩංගුවට ගෙන ඇත්තේ නුවරඑළිය කම්කරු කොමසාරිස්‌ කාර්යාලයට අනුයුක්‌තව රාජකාරි කළ ජ්‍යෙෂ්ඨ කම්කරු නිලධාරියෙකු සහ කල්මුණේ කම්කරු කොමසාරිස්‌ කාර්යාලයේ කම්කරු නිලධාරියෙකි.

    කම්කරු අධිකරණයේ පවරන ලද නඩුවකට වාසි වන අයුරින් සාක්‍ෂි ලබාදීම සඳහා මෙම වෛද්‍යවරයාගෙන් කම්කරු නිලධාරියා රුපියල් අටදහසක මුදලක්‌ ද, ජ්‍යෙෂ්ඨ කම්කරු නිලධාරියා රුපියල් දහසක මුදලක්‌ ඉල්ලා තිබේ.

    නානුඔය ප්‍රදේශයේ පදිංචිකරුවකු වන වෛද්‍යවරයා මේ සම්බන්ධයෙන් අල්ලස්‌ කොමිසමට පැමිණිලි කර ඇත. 

    ඒ අනුව ක්‍රියාත්මක වූ එහි විමර්ශන නිලධාරීන් සැකකරුවන් දෙදෙනා නුවරඑළිය කම්කරු අධිකරණය අසලදී අදා අල්ලස්‌ මුදල වෛද්‍යවරයාගෙන් ලබා ගනිද්දීම අත්අඩංගුවට ගත් බව අල්ලස්‌ කොමිසමේ විමර්ශන අධ්‍යක්‍ෂ ජ්‍යෙෂ්ඨ පොලිස්‌ අධිකාරි ප්‍රියන්ත චන්ද්‍රසිරි මහතා පැවසීය.

    අත්අඩංගුවට ගත් සැකකරුවන් අද (31) නුවරඑළිය මහෙස්‌ත්‍රාත් අධිකරණයට ඉදිරිපත් කිරීමට නියමිතය.

  • නීති විරෝධී ප්‍රදේශවල සරුංගල් යවන්න එපා… එය දඬුවම් ලැබිය හැකි වරදක්

    නීති විරෝධී ප්‍රදේශවල සරුංගල් යවන්න එපා… එය දඬුවම් ලැබිය හැකි වරදක්

    නීති විරෝධී ප්‍රදේශවල සරුංගල් යැවීම දඬුවම් ලැබිය හැකි වරදක් බව සිවිල් ගුවන්සේවා අධ්‍යක්ෂක විසින් ජනතාවට දැනුම් දී ඇත.
    ගුවන් තොටුපොළ ආශ්‍රිත ප්‍රදේශවල සරුංගල් යැවීම නීති විරෝධී හා දඩුවම් ලැබිය හැකි ක්‍රියාවක් බවයි මෙහිදී ගුවන් තොටුපොළ හා ගුවන් සේවා සමාගම පවසන්නේ. 
    ගුවන් යානාවල සරුංගල් ගැටීම තුළින් අනතුරු සිදුවිය හැකි බව සිවිල් ගුවන්සේවා අධ්‍යක්ෂ ජනරාල් එච්. එම්. සී. නිමල්සිරි පෙන්වා දෙනවා.
    සිවිල් ගුවන්සේවා අධ්‍යක්ෂ ජනරාල් එච්. එම්. සී. නිමල්සිරි වැඩි දුරටත් සඳහන් කළේ “මේ සරුංගල් යවන තංගුස්..නයිලෝන් වැනි නූල්වල ගුවන් යානයක් පැටළුනොත් තනි වස්තුවක් හැටියට පහළට වැටෙන්න පුළුවන් අවධානමක් තියෙනවා. සියලු ගුවන් තොටුපළවල් අවට කිලෝමීටර් 5ක් පමණ දුරක් ඇතුළත අඩි 300ක් ඉහළට කිසිම යානයක් වස්තුවක් අවසරයකින් තොරව යවන්න බෑ. ඒ අනුව අපි දරුවන්ට වගේම සරුංගල් යවන සියලු දෙනාට කියනවා ගුවන් තොටුපළවල් 14ම අවට සරුංගල් යැවීම නවත්වන්න කියලා.” යනුවෙනි.