2020 වසරේදී වත්මන් රජය පරාජයට පත් කිරිම සිහිනයක් පමණක් බව ජාතික ඒකාබද්ධතා සහ රාජ්‍ය භාෂා අමාත්‍ය මනෝ ගනේෂන් මහතා පවසයි.කොළඹ ප්‍රදේශයේ පැවැති උත්සවයකින් අනතුරුව මාධ්‍ය වෙත අදහස් දක්වමින් අමාත්‍යවරයා මේ බව සදහන් කළේය.
Blog
-

සැමියාට පොල්ලකින් ගසා මරා අනියම් සැමියා සමඟ මිනිය ඔයට දැමූ බිරියට වැඩ වරදී
හංවැල්ල ප්‍රදේශයේ නිවසක් තුළදී සිය සැමියාට පොල්ලෙන් ගසා මරා අනියම් සැමියා සමග එකතුව හංවැල්ල, පුස්‌සැල්ඔයට දැමීමේ සිද්ධියට අදාළව එම ඝාතනයට ලක්‌වූ අයගේ බිරිඳ ඊයේ (19) මිරිහාන විශේෂ අපරාධ මෙහෙයුම් ඒකකය මගින් අත්අඩංගුවට ගෙන ඇත.
බිම නිදා සිටි සිය පියාට අම්මා පොල්ලකින් පහරදී පසුව මාමා කෙනකු සමග එකතුව පියාව ත්‍රිරෝද රථයකින් ගෙන ගිය බව සැකකාරියගේ 11 හැවිරිදි දියණිය විසින් පොලිසියට පවසා තිබිණි.
ඒ අනුව 36 හැවිරිදි සැකකාරිය අත්අඩංගුවට ගෙන තිබේ. ඝාතනය සම්බන්ධයෙන් සැකකාරියගේ අනියම් සැමියා ද අත්අඩංගුවට ගැනීම ටපොලිසිය පුළුල් පරීක්‍ෂණයක් ආරම්භ කර ඇත. පසුගිය 27 වැනිදා හංවැල්ල පුස්‌සැල්ඔයේ පිරිමි මළ සිරුරක් පාවෙමින් තිබෙන බවට පොලිසියට ලද තොරතුරකට අනුව එම සිරුර සොයාගෙන තිබිණි. සිය පුත්‍රයාගේ මරණය සැකසහිත බවට ඝාතනයට ලක්‌වූ අයගේ මව බස්‌නාහිර දකුණ භාර නියෝජ්‍ය පොලිස්‌පතිවරයාට කළ පැමිණිල්ලකට අනුව නියෝජ්‍ය පොලිස්‌පතිවරයා විසින් එම පරීක්‍ෂණය මිරිහාන විශේෂ අපරාධ මෙහෙයුම් ඒකකයට පවරා ඇත. ඒ අනුව එම ඒකකය සිදුකළ දීර්ඝ විමර්ශනයකින් පසුව සැකකාරිය අත්අඩංගුවට ගෙන තිබේ. මෙලෙස ඝාතනයට ලක්‌ව ඇත්තේ හංවැල්ල, ජයවීරගොඩ වෙස්‌ටන්වත්ත පදිංචි අනුර ගාමිණී රුවන් කුමාර (37) නමැත්තෙකි.
තම සැමියා සහ තමා අතර නිතර ආරවුල් ඇතිවන බවත්, මේ නිසා තමා අනියම් සැමියා සමග එක්‌ව සැමියා ඝාතනය කිරීමට සැලසුම් කළ බවත්, සිද්ධියවූ දින අලුයම 2 ට පමණ තමා බිම නිදා සිටි සැමියාට පොල්ලකින් පහර දුන් බවත්, අනතුරුව සිහිසුන්ව සිටි සැමියා අනියම් සැමියා සමග එක්‌ව ත්‍රිරෝද රථයකින් රැගෙන ගොස් පුස්‌සැල්ඔයට දැමූ බවත් සැකකාරිය පොලිසියට පවසා ඇත.
-

අවුරුදු 62කේ අත්තම්මාට අතවර කෙරූ 31 හැවිරිදි එක්දරු පියාට වැඩ වරදී
වයස අවු. 62ක කාන්තාවකට ලිංගික අතවර කළේ යැයි කියන සිද්ධියක් සම්බන්ධයෙන් චෝදනා ලැබූ අයකු 24 දක්වා රක්ෂිත බන්ධනාගාර ගත කිරීමට මීගමු අතිරේක මහේස්ත්‍රාත් ආර්. ජී. එන්. කේ. රන්කොත්ගේ මහත්මිය නියෝග කළාය.
රක්ෂිත බන්ධනාගාර ගත වූයේ උ.පිටිපන මීගමුව පදිංචි තිස් හැවිරිදි එක් දරු පියෙකි.
පැමිණිලිකාරියගේ පුතුට බෝට්ටු පහක් ඇත. එම බෝට්ටුවල සේවය කරන ධීවර වෘත්තිකයෝ එම නිවසට යාම ඒම කරති. නිවසේ කිසිවකු නැති මොහොතක සැකකරු පැමිණ හදිසි ඇමතුමක් ගැනීමට ජංගම දුරකථනයක් පැමිණිලිකාරියගෙන් ඉල්ලා ඇත.
පැමිණිලිකාරිය මුළුතැන් ගෙයි සිට නිවසේ කාමරයට ගිය මොහොතේ සැකකරු පිටුපසින් පැමිණ ඇගේ සිරුර ස්පර්ශ කරමින් විවිධ අතවර කර තිබේ. ඇය කෑගසන විට සැකකරු ඇයගේ කටට අත දමා ශබ්දය පිටතට යාම නැවැත්වීමට උත්සහ කර ඇත. ඇය සැකකරුගේ අත මේ අවස්ථාවේ සපා ඔහුට තුවාලද සිදුව තිබේ. අසල්වැසියන් කාන්තාවගේ කෑගැසීමට පැමිණ සැකකරු අල්ලාගෙන ඇත.
පැමිණිලිකාරියට සුළු සීරීම් සහිත තුවාල සිදුව තිබුණ බව පොලීසිය අධිකරණයට වාර්තා කළේය.
-

ඉදිරි ජනාධිපතිවරණයේදී රටේ තීරණාත්මක බලවේගය ලෙස කටයුතු කිරීමට නව පක්ෂයක් ගොඩනගනවා
ඉදිරි ජනාධිපතිවරණයේදී රටේ තීරණාත්මක බලවේගය ලෙස කටයුතු කිරීමට නව පක්ෂයක් ගොඩනගන බව එක්සත් ජාතික පක්ෂයේ හිටපු මහ ලේකම් තිස්ස අත්තනායක මහතා මහනුවරදී සඳහන් කළේය.
වසර තුනහමාරක පමණ කාලයක් රටේ දේශපාලන හැසිරීම පිළිබඳව තමා දැඩි අවධානයෙන් සිටි නමුත් රටේ ජනතාවට අවශ්‍ය පරිදි කිසිදු පක්ෂයක් වෙනස් නොවූ බව හෙතෙම පැවැසීය. තමා එක්සත් ජාතික පක්ෂය සමග දීර්ඝ කාලයක් කටයුතු කළ නමුත් අද වන විට එක්සත් ජාතික පාක්ෂිකයන් විශාල ලෙස කලකිරීමට ලක්ව ඒ අයගේ බලාපොරොත්තු බිඳ වැටී ඇතැයිද කීය. අද ගම්වල ජීවත් වන එක්සත් ජාතික පාක්ෂිකයන් දැඩි ලෙස කලකිරීමෙන් පසු වන නිසා ඔවුන්ටත් රටේ මධ්‍යස්ථ මතධාරීන්ටත් තමා පිහිටුවන නව පක්ෂය වේදිකාවක් වනු ඇතැයි මෙහිදී ඔහු අවධාරණය කළේය.
තමා ගොඩනගන අලුත් පක්ෂය රටේ මධ්‍යස්ථ මතධාරීන් සහ කලකිරුණු එක්සත් ජාතික පාක්ෂිකයන්ට දැවැන්ත වේදිකාවක් වන අතර තම පක්ෂය රටේ රජුන් තනන දැවැන්ත බලවේගය බවට පත්කරන බවද කීය. ඉදිරියේදී අප කවුරුත් නොසිතන අයෙක් ජනාධිපතිවරණයට ඉදිරිපත් විය හැකි නිසා තම පක්ෂය රජුන් තනන තීරණාත්මක සාධකය බවට පත්කරන බවද තිස්ස අත්තනායක මහතා සඳහන් කළේය. රට වෙනුවෙන් යමක් කළහැකි අලුතින් සිතන අලුත් තරුණයන්ට, පක්ෂය ගැන කලකිරී ඇති එක්සත් ජාතික පාක්ෂිකයන්ට සහ රටේ මධ්‍යස්ථ මතධාරීන්ට තම පක්ෂයේ දොරගුළු සෑමවිටම විවෘත වී ඇති බවද තිස්ස අත්තනායක මහතා පැවැසීය. මේ වන විට මෙරට බොහෝ උගතුන් බුද්ධිමතුන් සහ සාමාන්‍ය ජනතාව අතරට නව පක්ෂය ගැන තොරතුරු ගලාගොස් ඇති බවත් ඉදිරි දෙසැම්බර් මස වන විට තමාගේ අලුත් පක්ෂය කරළියට ගෙන එන බවත් තිස්ස අත්තනායක මහතා වැඩිදුරටත් සඳහන් කළේය.
-

දෙමාපියන් හූරාකන ටියුෂන් ගුරුවරු
නුගේගොඩ සහ ඒ අවට ටියුෂන් පන්ති පවත්වාගෙන යන පෞද්ගලික ආයතන බොහොමයක් 2020 අ. පො.ස. (උ.පෙළ) විද්‍යා, ගණිත. පන්ති වෙනුවෙන් මාසිකව අය කරන ගාස්‌තු වැඩි කිරීම හේතුවෙන් දෙමාපියෝ දැඩි අසීරු තත්ත්වයකට පත්ව සිටිති. දැනට න්‍යාය පන්ති වෙනුවෙන් මෙසේ රු. 300, 400 කින් පමණ වැඩි වීමක් දැකිය හැකි අතර ඉදිරියේදී පුනරීක්‌ෂණ පන්ති වෙනුවෙන් ද මේ වැඩිවීම සිදුවුවහොත් විෂයයන් තුනටම අදාළව ගත් කල විශාල මුදලක් ඔවුන්ට දැරීමට සිදුවන බව ප්‍රකාශ කළහ. ඇතැම් ටියුෂන් පන්ති පවත්වන ආයතන ලබා ගන්නා මුදල මිස දරුවන්ගේ පහසුකම් ගැන අවධානය යොමු නොකිරීම කනගාටුවට කරුණක් බවද ඔවුහු අවධාරණය කළහ.
සමහර මාසවලදී ඇතැම් දරුවන්ට දින දෙකක් හෝ තුනක් ඒමට නොහැකිවූ විට ඉතිරි මාසයේ දින දෙක හෝ එක වෙනුවෙන් මුළු මාසයේම ගාස්‌තු ගෙවීමට ද ඇතැම් ටියුෂන් ආයතන ක්‍රියා කරන බව ඔවුහු අවධාරණය කළහ. අඩක් ගෙවා පන්තිවලට යැමේ ඉඩ කඩ අසුරා ඇති අතර මුළු මාසයේම මුදල අය කිරීම අසාධාරණ බවද ඔවුහු පෙන්වා දුන්හ.-කුලවර්ධන ලේකම්ගේ
-

බුද්ධදාස රජුගේ ඔසු උයනින් අක්‌කර 100 ක් විනාශයි
බුද්ධදාස රජුගේ ඔසු උයන නමින්ද හැඳින්වෙන බිබිල නිල්ගල වන රක්‌ෂිතයට අයත් පුවක්‌පැළේ ප්‍රදේශයේ පසුගිය 17දා හටගත් ගින්නකින් එම රක්‌ෂිතයේ අක්‌කර සියයක් පමණ දැවී විනාශ විය.
මෙම නිල්ගල රක්‌ෂිතය අරළු, බුළු, නෙල්ලි, බිම් කොහොඹ ඇතුළු ඖෂධ ශාක මෙන්ම වටිනා දැවමය ශාක වර්ග ද විවිධ සත්ත්ව වර්ග රැසකින් ද සමන්විත අක්‌කර හැටපන්දහසක පමණ ප්‍රදේශයක පැතිරුණු වනාන්තරයකි. බිබිල අඩවි වන නිලධාරීන් මෙම ගින්න පාලනය කළද පවතින ශුෂ්ක පරිසරය හා සුළං හේතුවෙන් මෙහි හටගන්නා ගිනි පැතිරී යැම පාලනය කිරීම ඉතා අසීරු බව වනජීවී නිලධාරීහු පවසති. -

ෆේස් බුක්හි ගැටුම්කාරි තත්ත්වයන්ට හේතුවන ප්‍රකාශ සහ ඡායාරූප ඉවත් කිරීමේ කටයුතු ආරම්භ කරයි
ෆේස්බුක් සමාජ මාධ්‍ය වෙබ් අඩවිය භාවිතා කරන්නන් පළ කරන ගැටුම්කාරි තත්ත්වයන්ට හේතුවන ව්‍යාජ ප්‍රවෘත්ති ඉවත් කිරීමට එම සමාගම තීරණය කර තිබේ.ශ්‍රී ලංකාව ඇතුළු රටවල් කිහිපයක ඇති වූ ගැටලුකාරි තත්ත්වයන් සැලකිල්ලට ගනිමින් ෆේස්බුක් සමාගම මෙම පියවර ගෙන ඇති බව වාර්තා වේ.ඒ අනුව, ගැටුම්කාරි තත්ත්වයන්ට හේතුවන ප්‍රකාශ සහ ඡායාරූප ඉවත් කිරීමේ කටයුතු ආරම්භ කරන බව ද ෆේස්බුක් සමාගමේ ප්‍රධාන විධායක නිලධාරි මාර්ක් සකර්බර්ග් නිවේදනයක් නිකුත් කරමින් ප්‍රකාශ කර තිබේ. -

රාජ්‍ය හා පෞද්ගලික හවුල්කාරීත්වයක් යටතේ මත්තල මෙහෙයුම් අවසන් කරනවා
රාජ්‍ය – පෞද්ගලික හවුල්කාරීත්වයක් යටතේ මත්තල ගුවන්තොටුපළේ මෙහෙයුම් මේ වසර අවසානය වනවිට ආරම්භ කිරීමට හැකිවනු ඇති බව අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ පවසයි.කොළඹ ඊයේ පැවති සම්මන්ත්‍රණයකදී අදහස් දක්වමින් අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතා පැවසුවේ ත්‍රිකුණාමලය සංවර්ධනය කිරීම සඳහා ද මේ වන විට රටවල් කිහිපයක් සමඟ සාකච්ජා ආරම්භ කර ඇති බවයි.එහිදී ඒ මහතා මෙසේ අදහස් දැක්විය.“අතිශය වැදගත් පළමු පියවරවන සියලු යටිතල පහසුකම් සංවර්ධනය අපි දැන් සිදු කරමින් සිටිනවා. අපි කොළඹ සහ කටුනායක ගුවන්තොටුපල සංවර්ධනය ආරම්භ කළා. ගැටලුව වුණේ හම්බන්තොට වරාය කොහොමද සාර්ථක කර ගන්නේ කියලා. නිමල් සිරිපාලද සිල්වා ඇමතිතුමා මගෙත් එක්ක චීනයට ගිය ඒ නියෝජිත කණ්ඩායමට ඇතුළත් වුණා. අපි දීර්ඝ ලෙස සාකච්ජා කළා. අවසාන වශයෙන් අපිට පුළුවන් වුණා රාජ්‍ය හවුල්කාරිත්වයකට එළඹෙන්න චයිනා මර්චන්ට් හා වරාය අධිකාරිය අතර. ඒ තුලින් අපි ගෙවන්න තිබුණු ණය බිලියන ගණනක් අඩු වුණා.”“ප්‍රවාහන අමාත්‍යවරයා දැන් ඉන්දියාව සමඟ සාකච්ජා ආරම්භ කළා මත්තල ගුවන්තොටුපල ගැන ඉන්දියානු සමාගමක් සමඟ ඒ හා සමාන රාජ්‍ය, පෞද්ගලික හවුල්කාරිත්වයක් ඇති කර ගන්න. දැනටමත් වරාය ක්‍රියාත්මකයි. මට දැන ගන්න ලැබුණා ඒ සමාගම ඩොලර් මිලියන 600ක් වරාය සඳහා ආයෝජනය කරලා තියෙනවා කියලා. ඒ වගේම දැනට ක්‍රියාත්මක සාකච්ජා අවසන් වුණාට පස්සේ මේ වසර අවසන් වන විට මත්තල ගුවන්තොටුපළේද මෙහෙයුම් ආරම්භ කරන්නට හැකි වේවි. අපි සිංගප්පුරු සමාගමකට භාර දුන්නා ත්‍රිකුණාමලය සඳහා පුළුල් සංවර්ධන සැලැස්මක් සකස් කරන්න. ඒ සැලැස්ම ගිය සතියේ අපට ලැබුණා. දැන් අපි මිතුරු රටවල්වල සාකච්ජා ආරම්භ කරලා තියෙනවා ත්‍රිකුණාමලය සංවර්ධනය කරන්න.”යැයිද ඒ මහතා වැඩිදුරටත් පැවසීය. -

කරාපිටිය හෘද සැත්කම් යළි ඇරඹෙයි
කරාපිටිය ශික්ෂණ රෝහලේ හෘද සැත්කම් යළි ආරම්භ කළ බව එම රෝහලේ හෘද හා උරස් කුහර පිළිබද විශේෂඥ ශල්‍ය වෛද්‍ය නාමල් ගමගේ ප්‍රකාශ කරයි.ඔහු කියා සිටියේ දැඩි සත්කාර ඒකකයේ මධ්‍යම වායු සමීකරණ පද්ධතිය අලුත්වැඩියා කිරීමේ කටයුතු ආරම්භ කිරීමත් සමග හෘද සැත්කම් සිදුකිරීමට තමන් තීරණය කළ බවයි.වායු සමීකරණ පද්ධතිය අලූත්වැඩියා නොකිරීමට විරෝධය පළ කරමින් කරාපිටිය ශික්ෂණ රෝහලේ හෘද සැත්කම් නතර කෙරුණේ පසුගිය මස 14 වැනි දා ය.හෘද රෝගීන් සැත්කම්වලට භාජනය කිරීමෙන් අනතුරුව, රෝගීන් ඇතුළත් කෙරෙන්නේ මෙම දැඩි සත්කාර ඒකකයටවන අතර, එලෙස ඇතුළත් කෙරුණු රෝගින් කිහිපදෙනෙකු පසුගිය මාසයේ දී විෂබීජ ශරීර ගතවීම නිසා මියගොස් ඇත.මෙම මරණවලට හේතුව රෝහලේ මධ්‍යම වායු සමීකරණ පද්ධතිය අක්‍රිය වීම බව පසුව අනාවරණ විය. මේ අතර කොළඹ ජාතික රෝහලේ හෘද සැත්කම් ඒකකයේ ද අලුත්වැඩියා කටයුතු නිරන්තරයෙන් සිදුවන බවට වාර්තා වේ. -

මාධ්‍යයෙන් කිව්වට ත්‍රස්තවාදී කණ්ඩායමක් කියල “ආවා” කල්ලිය කියන්නේ පොලිසියට මෙල්ල කළ හැකි එකක්
ඒකාබද්ධ විපක්ෂයේ කණ්ඩායම් නායක පාර්ලිමේන්තු මන්ත්‍රී දිනේෂ් ගුණවර්ධනමහතා හමුදා කඳවුරු ඉවත් කිරීම සහ හමුදා භට පිරිස් අඩු කිරීම සම්බන්ධයෙන් ස්ථාවර නියෝග 27 (2) යටතේ මතු කළ ප්‍රශ්නයකට පිළිතුරු දෙමින් හමුදා කඳවුරු පවත්වා ගෙන යාම සහ බලඇණිවල භට පිරිස් තීරණය කිරීම ඇතුළු හමුදාවල සියලු පරිපාලන කටයුතු සිදුකරනුයේ ඒ ඒ හමුදාපතිවරුන් විසින්යැයිද ඒ පිළිබඳව රජය කිසිදු අතපෙවීමක් සිදු නොකරන්නේයැයිද අගමැති රනිල් වික්‍රමසිංහ මහතා පාර්ලිමේන්තුවේදී ඊයේ (18) පැවසීය.
අග්‍රාමාත්‍යවරයා මෙසේද කීය.
“අද මේ රටේ හමුදාව පාලනය කරන්නේ හමුදාපතිවරු. ඒ අය ගන්නා තීරණ අනුවයි පාලනය සිදුවන්නේ. යුද්ධ හමුදාවේ ජනරාල් තනතුරු කිහිපයක් තිබෙනවා. කර්නල්, මේජර් ආදී වශයෙන් ද තනතුරු තිබෙනවා. ඒ එකක්වත් අඩුකර නැහැ. ඒ නිසා උසස්වීම්වලට ප්‍රශ්නයක් නැහැ. හමුදා කඳවුරු පවත්වා ගෙන යාමේදී අවශ්‍ය කඳවුරු ගණන හමුදාව අපට කියන්න ඕනෑ. ඒ අනුව අප ක්‍රියාකරනවා. බලඇණි ප්‍රතිසංවිධානය ඕනෑම හමුදාවක සිදුකරන දෙයක්. ලෝක යුද්ධ කාලේ අවුරුදු දෙකින් දෙකට එය කළා. සමහර වෙලාවට සම්පූර්ණයෙන්ම අඩුවුණා. එහෙම අඩුවෙන කොට වැඩි කිරීම සාමාන්‍ය දෙයක්. බි්‍රතාන්‍ය ක්‍රමයට අනුව අපේ බලඇණියක සිටිය යුත්තේ 600යි. ඒ නිසා හයසියයට වැඩියෙන් හිටියොත් අඩු කරන්න ඕනෑ. නැත්නම් ඒ ගණනට ගේන්න ඕනෑ. ඒක හමුදාවෙන් කරන්න ඕනෑ දෙයක්. එය නොකෙරුණා නම් ඒකේ වරද ඊට පෙර නොකරපු එකයි.
අපේ ත්‍රිවිධ හමුදාවටම අද එක්සත් ජාතීන්ගේ සාම සාධක කටයුතුවල යෙදෙන්න පුළුවන්. මීට පෙර ඒ අවස්ථාව තිබුණේ නැහැ. යුද හමුදාව මාලි රාජ්‍යයට යැව්වේ මේ අවස්ථාවේ පමණයි. අපේ හෙලිකොප්ටර් සේරම එහාට අරගෙන යනවා.ඉන්දියන් සාගරයේ කේන්ද්‍රස්ථානය හැටියට අද අපේ නාවික හමුදාවට අවධානය යොමුවී තිබෙනවා. යුද හමුදාවේ ප්‍රාග්ධන වියදම්වලින් වැඩි කොටසක් යන්නේ කවුදෝ කෙනෙක් ආරම්භ කළ ගොඩනැගිල්ලකට. මුදල් තියෙන්න ඕනෑ අවි ආයුධ මිලදී ගන්න. මේ අලුත් ආරක්ෂක අමාත්‍යාංශය වුවමනා වුණ එකක් ද? මොකද වුණේ ගාලු මුවදොර තිබුණු හමුදා පිටියට? මේ අලුත් එකට කොච්චර වියදම් වුණා ද? තවම හදනවා. හැම එක්කෙනාම බණිනවා මේ අලුත් ආරක්ෂක ගොඩනැගිල්ල සඳහා වියදම් නොකර ඉන්න තිබුණා කියලා. අද බි්‍රගේඩියර් කෙනෙක් විශ්‍රාම යැවීමට පෙර මේජර් ජනරාල් කෙනෙක් බවට පත් කරනවා. මීට පෙර එහෙම නොවෙයි.
මේ වැඩවලට ජනාධිපතිවත් මමවත් අත ගහන්නේ නැහැ. අපට ඕනෑ හමුදාව ආරක්ෂා කර ඉදිරියට යෑමටයි.
‘ආවා’ කල්ලිය කියන්නේ පොලිසියට මෙල්ල කළ හැකි එකක්. මාධ්‍යයෙන් කිව්වට ඒක ත්‍රස්තවාදී කණ්ඩායමක්
නොවෙයි. ඒක එක තැන වෙඩි තියාගන්න කල්ලියක් නොවෙයි. ඒක නීතිය සාමය පිළිබඳ ප්‍රශ්නයක්. පසුගිය දිනවල ඒ අමාත්‍යාංශය බාර ඇමැතිත් නියෝජ්‍ය ඇමැතිත් යාපනයේ ගිහින් හිටියා. හමුදාපතිතුමා මට කිව්වා විපක්ෂයේ මන්ත්‍රීවරු මුණගැසී මේ තත්ත්වය පැහැදිලි කරන්න එයා ලෑස්තියි කියලා. අද උදේත් මම ඇහුවා මොකක්ද මේ වෙන්නේ මොකක්ද මේ කරගෙන යන්නේ කියලා. බලඇණි ප්‍රතිසංවිධානය කරන එක සාමාන්‍ය දෙයක්. බි්‍රතාන්‍ය යුද හමුදාව වගේ එක්ලක්ෂයක හමුදා පිරිස අසූදෙදහට අපි අඩු කළේ නැහැ. එහෙම තීරණ අරගෙන නෑ. මේ කට්ටිය බැඳෙනවා. විශ්‍රාම යනවා. යුද්ධය කාලේ බැඳුනු අය දැන් විශ්‍රාම යනවා. ඒ අයගෙන් පිරිසකට වෘත්තීය පුහුණුව තිබෙනවා. රැකියාවක් කරන්න පුළුවන්. වෘත්තීය පුහුණුවක් නැති පාබල හමුදාවේ සිටි අයට රැකියා සොයා දිය යුතුව තිබෙනවා. යුද හමුදාවේ සුබසාධනය දෙස බලා අපට කිරීමට තිබෙන කටයුතු ඒවායි.”යුද හමුදාපති ලුතිනන් ජෙනරාල් මහේෂ් සේනානායක හමුවුණාම මේ කාරණා සියල්ලම පැහැදිලි කර දෙනු ඇතැයි ද අගමැතිවරයා කීය.
-

මූල්‍ය අපරාධවලට සම්බන්ධ නැතිනම් විශේෂ අධිකරණ ගැන බිය විය යුතු නෑ
මූල්‍ය අපරාධවලට සම්බන්ධ නොමැති නම් මූල්‍ය අපරාධ සම්බන්ධයෙන් වන නඩු විභාග කිරීම සදහා ඇති කළ විශේෂ මහාධිකරණවලට කිසිවෙක් බිය විය යුතු නැති බවත් එහි නඩු විභාග කරන්නේ රටේ නීතිය අනුව බවත් විදුලි සංදේශ, ඩිජිටල් යටිතල පහසුකම් හා විදේශ රැකියා නියෝජ්‍ය අමාත්‍ය මනුෂ නානායක්කාර මහතා පැවසීය.මෙම අධිකරණ සදහා කිසිදු දේශපාලන මැදිහත්වීමක් නොමැති බවත් රටේ නීතිය අනුව මිස කැලෑ නීතිය අනුව මෙහි නඩු විභාග නොවන බවත් මේ සම්බන්ධයෙන් අදහස් දැක්වූ නියෝජ්‍ය ඇමැතිවරයා සදහන් කළ අතර මේ සම්බන්ධයෙන් අදහස් දැක්වූ නියෝජ්‍ය ඇමැතිවරයා මෙසේද පැවසුවේය.“මූල්‍ය අපරාධ පිළිබද සොයා බැලීම සදහා විශේෂ මහාධිකරණ තුනක් පිහිටුවීම සදහා පාර්ලිමේන්තුවේ අනුමැතිය ලැබුණා. මේක පාර්ලිමේන්තුවේ සම්මත වූ දෙයක්. එහෙම නැතිව මේක දේශපාලන උවමනාව මත පිහිටවූ අධිකරණයක් නෙමෙයි. රටේ අනෙකුත් අධිකරණ පද්ධතියටම සම්බන්ධ අධිකරණයක් තමයි මේ. මේ අධිකරණයේ විභාග කරන නඩු මොනවාද කියලා තීරණය කිරීමේ හැකියාව කිසිම දේශපාලඥයෙක්ට නෑ. අගවිනිසුරුවරයා සහ අධිකරණ සේවා කොමිෂන් සභාව තමයි මෙම අධිකරණයේ විභාග කරන නඩු මොනවාද කියලා තීරණය කරන්නේ. කිසිම ඇමැතිවරයෙක්ට ඒ ගැන තීන්දුවක් ගන්න බෑ. දේශපාලන උවමනාවන් අනුව මේ අධිකරණයේ එක් එක් පුද්ගලයාගේ නඩු අසන බවට කියන කතා හුදෙක් දේශපාලන වාසි ලබාගැනීමට කරන ප්‍රකාශයන්. රටේ ආන්දෝලනාත්මක සිද්ධියක් සම්බන්ධයෙන් විශේෂ මහාධිකරණ නඩු විභාගයක් පවත්වනවා. විශේෂ මහාධිකරණයක නඩු විමසනවාද යන්න ගැන තීරණය ගන්නේ අගවිනිසුරුවයා ඇතුළු අධිකරණ පද්ධතියයි. දැන් පිහිටුවා තිබෙන විශේෂ මහාධිකරණවල දීත් සිදුවන්නේ ඒ වගේ දෙයක් තමයි.”“තමන් මූල්‍ය අපරාධවලට සම්බන්ධ නැති නම් මේ වගේ අධිකරණයක් පිටවීම ගැන කවුරුවත් බියට පත්වෙන්න ඕන නැහැ. එහෙම චෝදනා තිබෙන අයට මේ අධිකරණය හමුවේ නඩු විභාගයකට මුහුණදීලා තමන්ගේ නිර්දෝශීභාවය ලෝකයට පෙන්නුම් කරන්න පුලුවන්. මේ අධිකරණවල නඩු විභාග කරන්නේ රටේ තිබෙන නීතිය අනුවයි. අලුත් නීති ගෙනවිත් තෝරාගත් පුද්ගලයින්ට දඩුවම් ලබාදෙන්න බැහැ. කැළෑ නීතිය අනුව නෙමෙයි මේ අධිකරණවල නඩු විභාග වෙන්නේ. විමර්ශණ කටයුතු අවසන් කර තිබෙන නඩු ගොනු මෙහිදී එක දිගට විභාග කර දඩුවම් ලබාදීම තමයි සිදුවන්නේ. මේ අධිකරණවල විභාග කරන්නනේ පසුගිය ආණ්ඩු සමයේදී සිදුවූ බව කියන මූල්‍ය අපරාධ පමණක් නොවෙයි. මේ ආණ්ඩුව යටතේත් මූල්‍ය අපරාධ සිදු වෙනවා නම් ඒවා සම්බන්ධයෙන්ද මෙහිදී නඩු විභාග කළ හැකියි. පසුගිය ආණ්ඩු කාලයේදී සිදුවු දේවල් සම්බන්ධයෙන් පමණක් නඩු විභාග කරනවා කියලා කිසිම තැනක සදහන් වෙන්නේ නෑ. අපි කිසිම වෙලාවක රටේ සම්පත් කොල්ල කන අය ආරක්ෂා කරන්නේ නෑ. ඒ අයට දඩුවම් ලබාදෙන්න ඕන. අධිකරණයෙන් තීරණයක් ලැබුණ විට එම තීරණය ගැන සෑහීමකට පත් නොවන්නේ නම් ඉහළ අධිකරණවලට ගොස් අභියාචනා ඉදිරිපත් කරන්න පුළුවන්. මේ රටේ නීති පද්ධතියක් තියෙනවා. ඒ ගැන මහජනතාවගේ තියෙන විශ්වාසය දේශපාලන අරමුණු ඉදිරියට දමමින් එය විනාශ කරන්න එපා.”යැයිද ඒ මහතා පැවසීය. -

ගෝඨාභය ජනාධිපති අපේක්‍ෂකයා කියන්නෙ බොරු…. – මහින්ද නිවේදනය කරයි
ගෝඨාභයව ජනාධිපති අපේක්ෂකයා ලෙස නම්කර නොමැති බව හිටපු ජනපති මහින්ද රාජපක්ෂ මහතා විසින් නිවේදනයක් නිකුත් කරමින් ප්‍රකාශ කරයි… හිටපු ජනාධිපති මහින්ද රාජපක්‍ෂ මහතාගේ මාධ්‍ය ඒකකය විසින් නිකුත් කරන ලද නිවේදනයක් පහතින් දැක්වෙයි.
ව්‍යාජ මාධ්‍ය නිවේදනයක් සමාජ ජාලා වල සංසරණය වීම
හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතා නිකුත් කරන ලද මාධ්‍ය නිවේදනයක් ලෙස සකස් කරන ලද කූඨ ලේඛනයක් ඊයේ, එනම් 2018 ජුලි 17 වෙනිදා කිසියම් පිරිසක් විසින් සමාජ ජාලා වලට මුදා හැර ඇති බව අපි නීරීක්‍ෂණය කළෙමු. මේ කූඨ ලේඛනයෙන් කර ඇත්තේ, හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතා ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ ජනාධිපති අපේක්‍ෂයා හැටියට ගෝඨාභය රාජපක්‍ෂ මහතාව නිල වශයෙන් නම් කර ඇති බව කීමය.
ඊළඟ ජනාධිපතිවරණයට අපේක්‍ෂකයෙකු ජනාධිපති මහින්ද රාජපක්‍ෂ මැතිතුමා විසින් තවම නම් කර නැති බව මෙයින් අපි දැණුම් දී සිටිමු. හිටපු ජනාධිපතිතුමා සිංගප්පූරු සංචාරයක් සඳහා රටින් පිටවෙන තුරු බලාසිට මේ කූඨ ලේඛනය මුදා හැර තිබෙන බව පැහැදිළිය. ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ හා ඒකාබද්ධ විපක්‍ෂයේ ජනාධිපති අපේක්‍ෂකයා නම් කරන විට එය මාධ්‍ය නිවේදනයක් මඟින් නොකරන බවත්, එය ප්‍රසිද්ධ ස්ථානයක තමන් පුද්ගලිකවම සිදුකරන බවත් මහින්ද රාජපක්‍ෂ මැතිතුමා දැණුම් දී සිටී.
අදාල කූඨ ලේඛනයේ සිරස්තලය වූයේ “2020 ජනාධිපතිවරණය” යනුවෙනි. නමුත්, 2020 දී මේ රටේ ජනාධිපතිවරණයක් නැත.ඊළඟ ජනාධිපතිවරණය පැවැත්විය යුතු වන්නේ 2019 දීය. අපේ ව්‍යවස්ථාවට අනුව 2019 දෙසැම්බර් 09 වෙනිදාට පෙර ඊළඟ ජනාධිපතිවරණය පවත්වා හමාර විය යුතු වේ. මේ බව මුලින්ම ජනතාවට දැණුම් දී සිටියේද ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතා මීට කලකට පෙර නිකුත් කරන ලද මාධ්‍ය නිවේදනයකින් බවද මෙහිදී පෙන්වා දිය යුතුය.
රොහාන් වැලිවිට
හිටපු ජනාධිපති මහින්ද රාජපක්‍ෂ මැතිතුමාගේ
මාධ්‍ය ලේකම් -

පාතාලයා් 5ක් ඇමැති රැකවලේ ඉන්නවාදැයි බලන්න අගමැති පොලිසියට දන්වයි
කැබිනට් ඇමැතිවරයෙක්, පාතාල සාමාජිකයන් 5 දෙනකු, ඔහුගේ රැකවලුන් ලෙස තබා ගෙන තිබෙනවාද යන්න පිළිබඳව පරීක්‌ෂණයක් පවත්වන ලෙස පොලිසියට දැනුම් දුන් බව අගමැති රනිල් වික්‍රමසිංහ මහතා පාර්ලිමේන්තුවේදී ඊයේ (17 ප්‍රකාශ කළේය.
ඒ පිළිබඳව පළ වූ පුවත්පත් වාර්තාවට අදාළ තොරතුරු සොයා බලන ලෙසත් එම කරුණ පිළිබඳවද තමන් දැනුවත් කරන ලෙසත් අදාළ අංශවලට තමන් දැනුම් දුන් බව අගමැතිවරයා පැවසීය.
කාන්තාවන් දූෂණය කළ ප්‍රාදේශීය සභා සභාපතිවරයාව පක්‌ෂයෙන් ඉවත් කර ගන්න බැරි වුණ, පාතාලය සමඟ ගනුදෙනු පැවැත්වූ හොරු තියාගෙන හිටපු අයට මෙවැනි දේවල් ගැන ප්‍රශ්න කරන්න තිබෙන අයිතිය කුමක්‌දැයි අගමැතිවරයා එහිදී විමසා සිටියේය.
යහපාලන රජයේ ඇමැතිවරයකු ආරක්‌ෂකයන් ලෙස පාතාල සාමාජිකයන් 05 දෙනකු තබා ගෙන සිටිනවා නම් රටේ ආරක්‌ෂාව පිළිබඳව ආණ්‌ඩුවට දෙන්න පුළුවන් සහතිකය කුමක්‌දැයි එජනිස මන්ත්‍රී පද්ම උදයශාන්ත ගුණසේකර මහතා විසින් පාර්ලිමේන්තුවේදී අසන ලද ප්‍රශ්නයකට පිළිතුරු ලෙස අගමැතිවරයා එසේ කීය. -

සිංහ සමාජය මංගලගේ අස්වාභාවික ලිංගික ක්‍රියා සහ මුදල් වංඡා ගැන හෙළි කරයි
මෙරට ප‍්‍රධාන පෙලේ මත්ද‍්‍රව්‍ය ජාවාරම්කරුවන් රොටරි-සිංහ ආදී ප‍්‍රසිද්ද සමාජ සේවා සංවිධානවල සභාපතිත්වය දරන්නේ යයි මුදල් හා ජනමාධ්‍ය ඇමති මංගල සමරවීර මහතා විසින් එල්ල කරන ලද චෝදනාවට සිංහ සමාජ සාමජිකයන් පිරිසක් විසින් මාධ්‍ය හමුවක් කැදවා ප‍්‍රතිචාර දක්වන ලදී.
මුල්‍ය අපරාධ ගණනාවකට සම්බන්ධ වූ පුද්ගලයන්, අස්වාභාවික ලිංගික ක‍්‍රියා සම්බන්ධයෙන් සමාජයේ අපවාදයට ලක් වූ පුද්ගලයන්, කුරුදු පොලු හමුදාවල් යවා භීෂණයක් ඇති කර සමාජයේ පැවැත්මට තර්ජනයක් ඇති කල පුද්ගලයන් සිංහ සමාජයේ සාමාජිකයන් ලෙස බදවා නොගන්නා බව ජාත්‍යන්තර සිංහ සමාජයේ හිටපු කලාපීය සභාපති මහේෂ් කොටුවැල්ල මහතා සදහන් කරයි.
එවන් පුද්ගලයෙක් විසින් කරන ලද ප‍්‍රකාශය සිංහ සමාය ලෙස පිලිකුලෙන් යුතුව ඒකමතිකව හෙලා දකින බවද ඔහු වැඩිදුරටත් පැවසීය.
-

බිරිඳට අමානුෂික ලෙස පහරදී රහස් ප්‍රදේශයට මිරිස් කුඩු දමා වැසිකිළියට ඇදගෙන ගොස් මළ අපද්‍රව්‍ය මුහුණේ ඇතිල්ලූ සැමියාට රුපියල් 5000 ක දඩයක්
තම බිරිඳට අමානුෂික ලෙස පහරදී රහස් ප්‍රදේශයට මිරිස් කුඩු දමා වැසිකිළියට ඇදගෙන ගොස් මළ අපද්‍රව්‍ය මුහුණේ ඇතිල්ලූ බවට සැමියාට එරෙහිව පවරා තිබූ නඩුවක වරදකරුවූ සැමියාට රුපියල් 5000 ක දඩයක් හා බරපතළ වැඩ සහිත වසර දෙකක සිරදඬුවමක් නියම කළ කළුතර මහාධිකරණ විනිසුරු සුජාතා අලහප්පෙරුම මහත්මිය එම සිරදඬුවම වසර දහයකට අත්හිටුවුවාය.
මෙසේ දඬුවම් නියම වූයේ චන්න සුජීව වීරසිංහ නම්වූ අයටයි.
2012 ජුනි මස 20 වැනි දින සිදුවූ මෙම සිද්ධියට අදාළව නීතිපතිවරයා විසින් මොහුට එරෙහිව නඩු පවරා තිබුණි.
මෙහිදී රජයේ අධිනීතිඥ ෂර්ලි විඡේසූරිය මහතා පැමිණිල්ල මෙහෙයවූ අතර විත්තිකරු වෙනුවෙන් නීතිඥ කණිෂ්ක වන්නිආරච්චි මහතා ඇතුළු නීතිඥ කණ්‌ඩායමක් පෙනී සිටියහ.
-

මත්ද්‍රව්‍ය ව්‍යාපාරයට සම්බන්ධයක් තියෙන පුද්ගලයින් එල්ලුම්ගහ ගේන එකට විරුද්ධයි
මත් උවදුරින් රට මුදා ගැනීම සඳහා මරණ දඬුවම ගෙන ඒමට සැරසෙන විට ඊට එරෙහි වන යුරෝපා සංගමය ඇතුළු කිසිවෙකුත් රට ගොදුරු කරගෙන ඇති මත් උවදුරට එරෙහිව කිසිම ක‍්‍රියාමාර්ගයක් ගෙන නැති බව ශ්‍රී ලංකා නිදහස් පක්‍ෂ තරුණ පෙරමුණේ සභාපති, හිටපු නියෝජ්‍ය අමාත්‍ය ශාන්ත බණ්ඩාර මහතා පැවසීය.ඔවුන් කිසි දිනෙකත් මත් උවදුරින් විනාශ වන තරුණයන්ගේ මානව අයිතිවාසිකම් ගැන නොසිතීම කණගාටුවට කරුණක් බව කියා සිටි අතර වැඩි දුරටත් අදහස් දක්වමින්,‘‘ මේ වන විට මත්ද්‍රව්‍ය උවදුරට අපේ තරුණ පරපුර සීඝ‍්‍රයෙන් ගොදුරු වී තිබෙනවා. මේ වන විට පාසල් අවට පවා විවිධ මත්ද්‍රව්‍ය අලෙවි කෙරෙනවා. මෙරටට මත්ද්‍රව්‍ය ගෙනඒම වැළැක්වීමට ගුවන් තොටුපල, වරාය තුළ කොතෙක් වැට කඩුළු යොදා තිබුණත් මත්ද්‍රව්‍ය පැමිණෙනවා. ජනාධිපතිවරයා මේ තත්ත්වය තේරුම් ගෙන මහා පරිමාණ මත්ද්‍රව්‍ය ජාවාරම්කරුවන්ට මරණ දඬුවම ලබාදීමේ තීරණයක් ගෙන තිබෙනවා. එයට කැබිනට් මණ්ඩලයේ අනුමැතිය ද හිමිවුණා. ඒ ක‍්‍රියාදාමයට නොගියොත් මේ රට විනාශ වෙනවා.දැන් එයට විරුද්ධව යුරෝපා සංගමය, මානව හිමිකම් කොමිසම ආදී අය නිවේදන නිකුත් කළත් ඔවුන් අපේ රටේ මත් ද්‍රව්‍ය ව්‍යාප්තිය නැවැත්වීම සඳහා ඔවුන් මොනවද කළේ. මොන උපදේශය ද ලබාදී තිබෙන්නේ. අපේ රටේ අහිංසක තරුණයන්ගේ ජීවිත විනාශ වෙමින් සිදුවන මානව හිමිකම් කඩවීම් ගැන ඔය මානව හිමිකම් සංවිධාන මොනවද කරල තියෙන්නේ.මේ රට අපි මත් උවදුරින් බේරාගත යුතුයි. බෙදුම්වාදී ත‍්‍රස්තවාදය හේතුවෙන් සිදුවුණාට වඩා වැඩි විනාශයක් මේ මත්ද්‍රව්‍ය හේතුවෙන් රටට සිදුවෙනවා. ඒ නිසා මෙය මැඩපැවැත්විය යුතුමයි. ඒ සඳහා ජනතාව දැනුම්වත් කර ආකල්පමය වෙනසක් ඇතිකර ක‍්‍රියාත්මක වෙන්න බැරිනම් දැඩි තීන්දු තීරණ ගෙන හෝ එය නැවැත්වීම රාජ්‍ය නායකයන්ගේ වගකීමක්.ඒ නිසා ජනාධිපතිතුමා ඒ වෙනුවෙන් නොබියව කටයුතු කිරීම ගැන අප ස්තුතිවන්ත වෙනවා. ඒ වගේම මේ රටට ආදරය කරන සියලූ පාර්ශවවල ගෞරවය එතුමාට හිමිවී තිබෙනවා.ඍජුව හෝ වක‍්‍රව හෝ මත්ද්‍රව්‍ය ව්‍යාපාරයට සම්බන්ධයක් තියෙන පුද්ගලයින් මෙම තීන්දුව විවේචනය කරමින් සිටීම ගැන අප කණගාටුව පළ කරනවා. ’’ යැයි කියා සිටියේය.
