Blog

  • වගා කරන ආහාර භෝගවලින් 40%ක්‌ සතුන් විනාශ කරනවා

    වගා කරන ආහාර භෝගවලින් 40%ක්‌ සතුන් විනාශ කරනවා

    ග්‍රාමශක්‌ති වැඩසටහන යටතේ සිදු කෙරන වගාවන් සතුන්ගෙන් ආරක්‌ෂා කර ගැනීම විශාල ගැටලුවක්‌ වී තිබෙන බව ප්‍රකාශ වීමෙන් පසුව අදහස්‌ දක්‌වමින් ජනාධිපති මෛත්‍රිපාල සිරිසේන මහතා ආහාර වගාවන්ට සතුන්ගෙන් හානි සිදුවන බව ලංකාවේ සෑම ප්‍රදේශයකින්ම ප්‍රකාශ වන බව පැවසීය.

    ලංකාවේ තරම් ලොව කිසිම රටක මෙවැනි විශාල ප්‍රමාණයක්‌ ආහාර සතුන්ගෙන් විනාශ නොවන බව ජනාධිපති මෛත්‍රිපාල සිරිසේන මහතා පැවසීය.

    අලින්, රිළවුන් සහ වඳුරන් වගාවන් විනාශ කරන බවත්, පොල්ගෙඩි දස ලක්‍ෂයක්‌ පමණ රිලවුන්, වඳුරන්ගෙන් විනාශ වන බවත් ජනාධිපතිවරයා පැවසීය.

    මේ ආකාරයට මිනිසුන් වගාකරන ආහාර සතුන්ගෙන් විනාශ වුවහොත් මිනිසුන්ට කුසගින්නේ ඉන්නට සිදුවනු ඇතැයි පැවසූ ජනාධිපති මෛත්‍රිපාල සිරිසේන මහතා මෙම ව්‍යසන සම්බන්ධයෙන් පැහැදිලි විසඳුමක්‌ අවශ්‍ය යෑයිද පැවසීය.

    වගාවන් විනාශ කරන සතුන් සම්බන්ධයෙන් ගන්නා පියවරකට ඇතැම් විට රාජ්‍ය නොවන සංවිධාන වැනි අංශ විරෝධය පළ කිරීමට ඉදිරිපත් වනු ඇතැයිද එහෙත් මෙම විනාශය වැළැක්‌වීමට කිසියම් ප්‍රායෝගික වැඩපිළිවෙළක්‌ අවශ්‍ය යෑයිද ජනාධිපති මෛත්‍රිපාල සිරිසේන මහතා අවධාරණය කළේය.

    ග්‍රාමශක්‌ති වැඩසටහන මගින් ග්‍රාමීය මට්‌ටමේ ජනතාවට සුවිශාල සේවයක්‌ හා ආර්ථික වර්ධනයට අත්වැලක්‌ ලබාදිය හැකි බැවින් රාජ්‍ය ආයතන, පෞද්ගලික අංශය, විශ්වවිද්‍යාලය හා වෙනත් සමාජ සංවර්ධන ආයතනවල සහායද ලබා ගැනීමට දිස්‌ත්‍රික්‌ ලේකම්වරුන් හා ප්‍රාදේශීය ලේකම්වරුන් උනන්දු විය යුතු යෑයිද ජනාධිපතිවරයා පැවසීය.

     

     

  • කරාපිටිය ශික්‍ෂණ රෝහලේ හෘද ශල්‍ය දැඩිසත්කාර ඒකකයේ වායුසමනය වැඩ නැති නිසා වෛද්‍ය වරු වැඩ නවත්වයි

    කරාපිටිය ශික්‍ෂණ රෝහලේ හෘද ශල්‍ය දැඩිසත්කාර ඒකකයේ වායුසමනය වැඩ නැති නිසා වෛද්‍ය වරු වැඩ නවත්වයි

    කරාපිටිය ශික්‍ෂණ රෝහලේ හෘද ශල්‍ය දැඩිසත්කාර ඒකකයේ අක්‍රියව ඇති මධ්‍යම වායුසමීකරණ පද්ධතිය මෙතෙක්‌ අලුත්වැඩියා නොකිරීම නිසා හෘද සැත්කම් සිදුකිරීමට නොහැකිව එම ඒකකයේ ප්‍රධාන හෘද හා උරස්‌කුහර පිළිබඳ විශේෂඥ ශල්‍ය වෛද්‍ය නාමල් ගමගේ මහතා ලබන සඳුදා (16) සිට හෘද සැත්කම්වලින් ඉවත්වීමට තීරණය කර ඇත.

    කරාපිටිය රෝහලින් හෘද සැත්කම් සිදුකර ගැනීම සඳහා රෝගීන් තුන්දහසකට ආසන්න පිරිසක්‌ පොරොත්තු ලේඛනයේ සිටින බවද වාර්තා වේ.

    හෘද රෝගීන් සැත්කම්වලට ලක්‌ කිරීමෙන් පසු ඇතුළත් කරනු ලබන්නේ හෘද ශල්‍ය දැඩිසත්කාර ඒකකයටයි. මධ්‍යම වායුසමීකරණ පද්ධතිය අක්‍රිය වීම නිසා එම රෝගීන්ට නිරන්තරයෙන් විෂ බීජ ආසාදනය වන බැව් එම ඒකකයේ ආරංචි මාර්ග පවසයි. දැනට මෙම දැඩිසත්කාර ඒකකයේ සාමාන්‍ය වායුසමීකරණ පද්ධතියක්‌ ක්‍රියාත්මක වන අතර ඒවා ප්‍රමාණවත් නොවන බවද පැවසේ. මෙහි ශල්‍යාගාරයේ ප්‍රමිතියට වායුසමීකරණ පද්ධතියක්‌ නොමැති අතර මේ නිසා සැත්කම්වලට ලක්‌ කළ හෘද රෝගීන් දරුණු විෂ බීජවලට ලක්‌වීමට ඉඩ ඇත.

    දරුණු විෂ බීජ ආසාදනයට ලක්‌වීමෙන් සති දෙකකට වරක්‌ එක්‌ රෝගියකු පමණ මිය යන බවද එම ඒකකයේ ආරංචි මාර්ග සඳහන් කරයි. මෙම තත්ත්වය නිසා හෘද හා උරස්‌ කුහර පිළිබඳ විශේෂඥ ශල්‍ය වෛද්‍ය නාමල් ගමගේ මහතා විසින් හෘද සැත්කම්වලට භාජනය කරනු ලබන්නේ වෙනත් සංකුලතා නොමැති ශක්‌තිමත් හෘද රෝගීන්ය. එවැනි රෝගීන්ට තද උණ වැළඳුණු අවස්‌ථා තිබෙන අතර මේ වන විටත් සැත්කමට ලක්‌ කළ හෘද රෝගියකු විෂ බීජ ආසාදනය වීමෙන් තද උණ වැළඳී දැඩි සත්කාරක ඒකකයේ ප්‍රතිකාර ලබයි. මෙහි වායුසමීකරණ පද්ධතිය අලුත්වැඩියා කරදෙන ලෙස අවස්‌ථා ගණනාවකදී සෞඛ්‍ය බලධාරීන්ගෙන් ඉල්ලීම් කළද එය ඉටුවී නැත. තම ජීවිත ආරක්‍ෂාව ගැන සිතා හදිසි කටයුත්තක්‌ ලෙස සලකා මෙම වායුසමීකරණ පද්ධතිය සකස්‌ කරදෙන ලෙස හෘද රෝගීහුද සෞඛ්‍ය බලධාරීන්ගෙන් ඉල්ලා සිටිති.

    මේ පිළිබඳ කරාපිටිය ශික්‍ෂණ රෝහලේ අධ්‍යක්‍ෂ වෛද්‍ය ජයම්පති සේනානායක මහතාගෙන් අප කළ විමසුමකදී මෙසේ කීවේය.

    හෘද ශල්‍ය දැඩි සත්කාරක ඒකකයේ මධ්‍යම වායුසමීකරණ පද්ධතිය අක්‍රිය වෙලා තියෙනවා. මේ ගැන නාමල් ගමගේ වෛද්‍යතුමා මට ලිතවත් දන්වලා තියෙනවා. ඔහු මා හමුවී මේ ප්‍රශ්නය ගැන කීවා. වායුසමීකරණ පද්ධතියේ අලුත්වැඩියා කිරීම ප්‍රමාද වීම නිසා ලබන සඳුදා සිට හෘද සැත්කම්වලින් ඉවත්වන බව ඔහු කීවා. මෙය අලුත්වැඩියා කරන්න ටෙන්ඩර් කැඳවලා තියෙනවා. නමුත් මේ සඳහා මිලියන ගණනාවක්‌ වැයවෙනවා. එම සීමාව ඉක්‌මවා ගිහින් තියෙන නිසා අමාත්‍යාංශයට යොමු කරලා තියෙනවා. අනුමැතිය ලැබුණ ගමන් අලුත්වැඩියා කටයුතු පටන් ගන්නවා.

  • රටේ සියලුම ජනතාවට මෙඩිකල් ඊ කාඩ් පතක්

    රටේ සියලුම ජනතාවට මෙඩිකල් ඊ කාඩ් පතක්

    “මාස 4ක ඇතුළත විදේශ ආයෝජකයෙක් සමග එක්ව මිලියන 21ට ඊ කාඩ් එකක් දෙනවා. සියළුම රෝග තත්ත්වයන්, ඉතිහාසයන් ඒ කාඩ් එකේ තියෙනවා.” හදිසි අනතුරකදී රෝහල්ගතවන අයට නිසි ප්‍රතිකාර ලබාදීම මින් තහවුරුවන බවයි සෞඛ්‍ය, පෝෂණ හා දේශීය වෛද්‍ය අමාත්‍ය රාජිත සේනාරත්න පවසනවා. මේ සඳහා කැබිනට් අනුමැතිය හිමිවූ බවයි ඔහු පැවසුවේ. 
    මේ වසර අවසන් වනවිට රෝහල් 300ක් පරිගණක ජාල ගත කර අවසන් කරන බවද ඔහු පැවසුවා.
    ජාන වෛද්‍ය විද්‍යාව මෙරට රෝහල්වලට හඳුන්වා දෙන බවද අමාත්‍යවරයා පැවසුවා.
    “රෝගයට අදාල DNA එක හඳුනා ගන්නවා. ඒක වෙනස් කිරීමෙන් ඒ රෝගී තත්ත්වය පාලනය කළ හැකියි. මේක තමයි ලෝකයේ තියෙන නවීණතම ප්‍රතිකාර ක්‍රමය. පිළිකාවක් උදාහරණයට ලෙස ගත්තොත්  ඒක ඇති වීමට බලපාන ලද ජානමය වෙනස් වීම හඳුනාගෙන, අන්න ඒ වෙනස්වීම වළක්වල එය පෙර තිබූ තත්ත්වයට පත්කරනව. එතනදි සියලු දෙනාටම එකම ප්‍රතිකාර විදිය නෙවෙයි අනුගමනය කරන්නේ. මේක පුද්ගලයාගෙන් පුද්ගලයාට වෙනස් වෙනවා. පර්සනලයිස් මෙඩිසින් කියන්නේ මේකටයි. අනාගතයේ වෛද්‍ය විද්‍යාව පවතින්නේ එතනයි.”  
    ජානමය ප්‍රතිකාර සම්බන්ධයේ පශ්චාත් උපාධි ලැබූ වෛද්‍යවරුන් 11ක් මෙරටින් බිහිව ඇති බවත්, ඉන් 7 දෙනෙකු පමණක් මෙරට සිටිනා බවත් අමාත්‍යවරයා පැවසුවා.
    “ඒ වෛද්‍යවරු 7 දෙනා ඖෂධ ගබඩාවල ලේ බැංකුවල තමයි සේවයට යොදවලා තියෙන්නේ. ලොකේ දියුණුම වෛද්‍ය ක්‍රමය හදාරපු මිනිස්සුන් ඔවුන්ගේ දැනුමෙන් වැඩක් ගන්න බැරි තැන්වල රාජකාරි සඳහායි යොදවලා තිබුණේ. මම ඔවුන් සමග එකතු වෙලා මේ කටයුත්ත අරඹන්න බලාපොරොත්තු වෙනවා.” යැයිද ඔහු වැඩිදුරටත් පැවසුවා. 
  • වේරහැර මෝටර් රථ ප‍්‍රවාහන කාර්යාලය ඩිජිටල් වෙයි

    වේරහැර මෝටර් රථ ප‍්‍රවාහන කාර්යාලය ඩිජිටල් වෙයි

    රියදුරු බලපත‍්‍රය ලබාගැනීමේදී පැවැත්වෙන විභාගයේ ලිඛිත පරීක්‍ෂණය අද (12) සිට නව ක‍්‍රමවේදයකට සිදුවන බව සඳහන් වේ.
    ඒ අනුව ලිඛිත පරීක්‍ෂණය පරිගණක ස්පර්ශ තිර ආධාරයෙන් ඩිජිටල් ක‍්‍රමයට පැවැත්වීම සැලසුම් කර ඇති අතර එහි ආරම්භය වේරහැර මෝටර් රථ ප‍්‍රවාහන කොමසාරිස් කාර්යාලයේදි අද සිදුවන බව කොමසාරිස් ජනරාල් ජගත් චන්ද්‍රසිරි පැවසා සිටින ලදී.
    මුල් අදියරේදී එම කාර්යාලයේ පමණක් මෙම ක‍්‍රමය කි‍්‍රයාත්මක කිරීමට සැලසුම් කර තිබෙනවා. එකවර 150 කට විභාගයට පෙනී සිටීම සඳහා අවශ්‍ය පහසුකම් සලසන බවයි මෝටර් රථ ප‍්‍රවාහන කොමසාරිස්වරයා පැවසුවේ. විභාග අක‍්‍රමිකතා වැළැක්වීම, කඩිනමින් විභාග ප‍්‍රතිඵල නිකුත් කිරීම මෙම නව ක‍්‍රමවේදය යටතේ සිදු කිරීමට අපේක්‍ෂිත වේ.
  • ලොවක් කම්පා කරමින් මරා දැමු මහ මුහුදේ දැවැන්තයා (PHOTOS)

    ලොවක් කම්පා කරමින් මරා දැමු මහ මුහුදේ දැවැන්තයා (PHOTOS)

    තල්මසුන් දඩයමේ යෙදී සිටි අයිස්ලන්ත ධිවරයින් පිරිසක් විසින් වසර 50 කට පසුව මුල්වරට “නිල තල්මසෙක්” දඩයම් කර ඇති බව ඩේලි මේල් වෙබ් අඩවිය වාර්තා කර සිටිනවා. 
    ඉතා හොදින් වැඩුණු නිල් තල්මසෙක් වන මෙම සත්වයා දිගින් අඩි 102 ක් පමණ වුවා. සාගර විශ්ලේෂකයින් පවසන්නේ හොදින් වැඩුණු නිල් තල්මසෙක් දිගින් අඩි 108 ක් පමණ වන බවයි. 
    Hvalur 8 නම් අයිස්ලන්ත ධිවර නෞකාවක් විසින් මෙම නිල් තල්මසා දඩයම් කර තිබු අතර එය කොටස් කිරීමෙන් අනතුරුව ජපානයේ මත්ස්‍ය වෙළදපලට යවන බවයි ඔවුන් සදහන් කරන්නේ. 
    වඳ වේගන යන සත්ව කොට්ඨාෂයක් ලෙස නම්කර තිබෙන නිල් තල්මසුන් ගෙන් දැනට සාගරයේ ඉතිරිව සිටින්නේ 10000-25000 කට ආසන්න පිරිසක් බවයි සාගර විශ්ලේෂකයින් සදහන් කරන්නේ.
    තල්මසුන් දඩයම නීතිවිරෝධී ක්‍රියාවක් වුවත් ජපානය, අයිස්ලන්ත ධිවරයින් මේ දක්වාම වාර්ෂිකව තල්මසුන් දඩයමේ නිරතවනවා.
  • අලූගෝසු තනතුරට දෙදෙනෙකු බඳවා ගැනීමට නියමිතයි

    අලූගෝසු තනතුරට දෙදෙනෙකු බඳවා ගැනීමට නියමිතයි

    මරණ දඬුවම කි‍්‍රයාත්මක කරන්නේ නම් ඒ සඳහා අනුමත අලූගෝසු තනතුරට දෙදෙනෙකු බඳවා ගත යුතු බව බන්ධනාගාර දෙපාර්තමේන්තුව පවසන අතර බන්ධනාගාර ආරංචි වල එම බඳවා ගැනීමට අවසර ඉල්ලා අධිකරණ හා බන්ධනාගාර ප‍්‍රතිසංස්කරණ අමාත්‍යංශයට ලිඛිතව දැන් වූ බව සඳහන් වේ.
    මරණ දඬුවම වැලිකඩ බන්ධනාගාරයේ කි‍්‍රයාත්මක කිරීමටයි සැලසුම් කර ඇති අතර මීට පෙර මරණ දඬුවම කි‍්‍රයාත්මක වූයේ බෝගම්බර බන්ධනාගාරයේ සහ වැලිකඩ බන්ධනාගාරයේ පමණි.
    එහෙත් බෝගම්බර බන්ධනාගාරය පල්ලේකැලේ ස්ථාපිත කිරීම හේතුවෙන් එහි මෙම දඬුවම කි‍්‍රයාත්මක කිරීමේ පහසුකම් නොමැති බවයි මෙහිදී ප‍්‍රකාශ කෙරුණේ. 
    වැලිකඩ බන්ධනාගාරය සඳහා මීට පෙර අවස්ථා කිහිපයකදී අලුගෝසුවන් බඳවා ගැනීමට සම්මුඛ පරීක්ෂණ පැවැත්වු බවත් මෙවැනි  සම්මුඛ පරීක්ෂණවලින් තෝරා ගන්නා අලූගෝසුවන් කෙටි කලකින් එම ධුරය හැරයන බවත් බන්ධනාගාරයේ ජ්‍යෙෂ්ඨ ප‍්‍රකාශකයෙකු සඳහන් කරන ලදී.
    අලූගෝසු තනතුරු සඳහා මින් පෙර අවස්ථාවකදී දෙදෙනෙකු බඳවා ගැනීම සිදු වූ අතර ඔවුන් පුහුණුව ලබමින් සිටි අතරතුර නිවාඩු ලබා සේවයට ප‍්‍රමාද වී වාර්තා කළැයි ඔවුන් සේවයෙන් නෙරපා ඇති බ‍ෙ වාර්තා වේ.
  • වනජීවී නිලධාරීන් වැඩේ කඩාකප්පල් කළා ඇමැති හැටියට මට ලැඡ්ජයි

    වනජීවී නිලධාරීන් වැඩේ කඩාකප්පල් කළා ඇමැති හැටියට මට ලැඡ්ජයි

    සූරියවැව ප්‍රාදේශීය ලේකම් බලප්‍රදේශයේ ගම් වදින වන අලි එළවීමේ මෙහෙයුමක්‌ පෙරේදා (09) රාත්‍රි සූරියවැව මදුනාගල ප්‍රදේශයෙන් ආරම්භ කෙරුණු අතර වන අලි මෙහෙයුම අතරතුර ඇති වූ උණුසුම් තත්ත්වයක්‌ හේතුවෙන් රාත්‍රි 11.00 ට පමණ වන අලි මෙහෙයුම නතර කිරීමට සිදු විය.
     
     මෙම වන අලි මෙහෙයුම සඳහා වනජීවී නියෝජ්‍ය ඇමැති පාලිත තෙවරප්පෙරුම, දකුණු පළාත් සභා මන්ත්‍රී සුජිත් මුතුකුමාරණ, වලව වම් ඉවුර ඒකාබද්ධ ගොවි සංවිධානයේ ගොවි නියෝජිතයන් හා හම්බන්තොට වනජීවී කාර්යාලයේ අඩවි වන ආරක්‍ෂක ඡේ. ඒ. වී. විජයකුමාර මහතා ඇතුළු නිලධාරීහු කණ්‌ඩායමක්‌ ද එක්‌ව සිටියහ.
     
     සවස 6.00 ට පමණ වන අලින් හත්දෙනකු සූරියවැව මදුනාගල පාරේ කුණු වළ අසල සිටින බවට දැනුම් දීමත් සමග වනජීවී නියෝජ්‍ය ඇමැතිවරයා ප්‍රමුඛ වනජීවී නිලධාරීන් ද එම ස්‌ථානයට ගියේ ගම්මුන්ද සමගිනි. කෙසේ වෙතත් එම ස්‌ථානයට ගිය වනජීවී නිලධාරීන් අලි වෙඩි දමා වන අලි පන්නා දැමීම සිදු කළ නමුත් රාත්‍රි 11 වන විටත් වන අලි හත්දෙනා ගමින් කැලයට පන්නා දැමීමට නොහැකි විය. අලි හත්දෙනා සීසීකඩ විසිර යමින් ඒ මේ අත පැන සිතු සිතූ පරිද්දෙන් කෙසෙල් මණ්‌ඩි පිටින් වනසා දැමූහ. කෙසේ වෙතත් රාත්‍රි 11 වන විටත් වනජීවී නිලධාරීන් හා ගම්වාසීන් මෙන්ම වනජීවී නියෝජ්‍ය අමාත්‍යවරයා ද බලා සිටියදීම වන අලි ටික නැවත කුණු වළ දෙසටම පැමිණ අසල තිබූ කැලයකට වැදීමත් සමග එහි ඇති වූයේ දැඩි උණුසුම් තත්ත්වයකි. එහිදී ගම්මුන් වනජීවී නිලධාරීන්ට චෝදනා කළේ වනජීවී නිලධාරීන් හිතා මතාම මෙම වන අලි එළවීමේ මෙහෙයුම කඩාකප්පල් කළ බවයි. මෙහිදී වනජීවී නියෝජ්‍ය ඇමැති පාලිත තෙවරප්පෙරුම මහතා ද වනජීවී නිලධාරීන්ට දොස්‌ කියන්නට වූයේ පෙර දැනුම් දීමක්‌ කර තිබියදීත් මෙම අලි මෙහෙයුම වනජීවී නිලධාරීන් කඩාකප්පල් කිරීමට පියවර ගත් බව පවසමිනි.
     
     එහිදී වනජීවී නියෝජ්‍ය ඇමැතිවරයා මෙසේ ද පැවසීය.
     
     මේ මිනිස්‌සු වන අලි කරදරයට විසඳුමක්‌ දෙන්න කියලා මාරාන්තික උපවාසයක්‌ කළා. මම ඇවිත් මේ මිනිස්‌සු හමු වුණා. ඇත්තටම මේ මිනිස්‌සු කියන දේ අපිට කරන්න පුළුවන් දෙයක්‌. ඒ අනුව තමයි මං වනජීවී අධ්‍යක්‍ෂවරයාටත් කියලා මේ වැඩේ පටන් ගන්න අවශ්‍ය කටයුතු කළේ. මං මේ සියලු සංවිධාන කටයුතු කරන්න කියලා මේ හම්බන්තොට වනජීවී එකේ අයට කිව්වා. මං 9 දා හම්බන්තොට වනජීවී කාර්යාලයට යන විටත් මේ අයගේ කිසිදු සැලැස්‌මක්‌ මේ සඳහා තිබුණේ නෑ. පස්‌සේ මං වනජීවී එකේ අයත් එක්‌ක ගමේ මිනිස්‌සුත් එකතු කරගෙන වන අලි මෙහෙයුම ආරම්භ කළා. ගමේ මිනිස්‌සු දන්නවා අලි ටික කෙහේද ඉන්නේ, කොහොමද එළවන්න ඕනේ කියන එකත්. එහෙම තියෙද්දී වනජීවී එකේ අය එක සැරේටම ඇවිත් එහෙන් මෙහෙන් අලි වෙඩි දමලා අලි ටික කුලප්පු කළා. රෑ 11 වෙනකම් මාත් ගමේ අයත් එක්‌ක එකතු වෙලා උත්සාහ කළේ මේ අලි ටික කැලේට එළවන්නයි. නමුත් මේ වැඩේට වනජීවී එකේ අයගෙන් කිසිදු සහයක්‌ ලැබුණේ නෑ. අපි පොඩි බබ්බු නෙමෙයි. වනජීවී එකේ අය මේක කඩාකප්පල් කළා. ඒක මොන්ටිසෝරි ළමයකුට වුණත් තේරෙනවා. වනජීවී එකේ අය මහා පරිමාණ කෙසෙල් මුදලාලිලාට සහාය වෙන විදියටයි වැඩ කරලා තියෙන්නේ. මං මේ පටන් ගත්ත වැඩ නම් නවත්වන්නේ නෑ. වනජීවී නියෝජ්‍ය ඇමැති ලෙස මං ලැඡ්ජා වෙනවා මගේ අමාත්‍යාංශයේ නිලධාරීන් කළ මේ වැඩේ ගැන යෑයි පැවසීය.
     
     කෙසේ වෙතත් වන අලි මෙහෙයුමට එක්‌ව සිටි හම්බන්තොට වනජීවී කාර්යාලයේ අඩවි වන ආරක්‍ෂක ඡේ. ඒ. පී. විජයකුමාර මහතා ඇමැතිවරයාගේ චෝදනා හමුවේ මෙසේ පැවසීය.
     
     මං අරක්‌කු සිගරැට්‌ බොන්නේ නෑ. මං මේ කාගෙන්වත් මොකවත් අරගෙන නෑ. මට එහෙම ඕනකමක්‌ නෑ. අපිව මානසිකව වට්‌ටලා මේ වැඩේ කරන්න බෑ. අපි හොඳ මානසිකත්වයක නෑ. අපි මේ වැඩේ කඩාකප්පල් කළේ නෑ. අපිටත් ඕනේ මේ අලි ටික එළවගන්න.
     
     කෙසේ වෙතත් වන අලි මෙහෙයුම අසාර්ථක වීම කෙරෙහි ගම්මුන්ගෙන් හා වනජීවී නියෝජ්‍ය ඇමැතිවරයාගෙන් ද චෝදනා එල්ල වූයේ හම්බන්තොට වනජීවී කාර්යාලයේ නිලධාරීන්ටය. මෙහිදී එක්‌රැස්‌ව සිටි ගම්මු මෙසේ පැවසූහ. වනජීවී එකේ අය ඇවිත් ගමේ අලි එළවීම කෙසේ වෙතත් අලි වෙඩි ගහලා මහා සංදර්ශනයක්‌ නම් දැම්මා මෙහෙම අලි එළවන්න බෑ. 
     
     කෙසේ වෙතත් වනජීවී නියෝජ්‍ය ඇමැතිවරයා එම අවස්‌ථාවේදීම වනජීවී අධ්‍යක්‍ෂවරයා ද දුරකථනය ඔස්‌සේ සම්බන්ධ කරගත් අතර මෙහි ඇති වී ඇති තත්ත්වය පිළිබඳව ද ඇමැති කරුණු පැහැදිලි කළේය. නැවත වන අලි මෙහෙයුම 10 දා රාත්‍රියේ ආරම්භ කරන බවත් ඒ සඳහා නිසි පුහුණුවලත් නිලධාරීන් සම්බන්ධ කරන ලෙසත් දැන්වීය.

  • කුඩු ජාවාරම් කරුවන් එල්ලන්න කැබිනට්‌ අනුමැතිය…ජනපති ලැයිස්‌තුව ඉල්ලයි

    කුඩු ජාවාරම් කරුවන් එල්ලන්න කැබිනට්‌ අනුමැතිය…ජනපති ලැයිස්‌තුව ඉල්ලයි

    දැනට මරණ දඬුවම නියමව සිටින මත්ද්‍රව්‍ය ජාවාරම්කරුවන්ට එරෙහිව එම දඬුවම ක්‍රියාත්මක කිරීමට ජනාධිපති මෛත්‍රිපාල සිරිසේන මහතා ඊයේ (10) කැබිනට්‌ මණ්‌ඩලයට ඉදිරිපත් කළ යෝජනාවට අනුමැතිය ලැබී ඇත.
     
     මත්ද්‍රව්‍ය ජාවාරම් සම්බන්ධව මරණ දඬුවම ලබා සිටින සිරකරුවන් පිළිබඳ විස්‌තර ලබාදෙන ලෙස එහිදී ජනපතිවරයා අධිකරණ හා බන්ධනාගාර ප්‍රතිසංස්‌කරණ ඇමැතිනී තලතා අතුකෝරාළ මහත්මියට උපදෙස්‌ දුන් බව ජ්‍යෙෂ්ඨ ඇමැතිවරයෙක්‌ පැවසූ අතර
    මත්ද්‍රව්‍ය ජාවාරම්වලට සම්බන්ධ පිරිස්‌ පිටුපස මත්ද්‍රව්‍ය වැරදිවලට මරණ දඬුවම හිමිවූ ජාවාරම්කරුවන්ද සිටින බවත් ඔවුන්ට එරෙහිව මරණ දඬුවම ක්‍රියාත්මක කිරීමට සිදුව ඇති බවත් ජනාධිපතිවරයා ප්‍රකාශ කළ අවස්‌ථාවේදී ඇමැතිවරුන් අත් ඔසවමින් ඊට සහාය පළ කර ඇත.
     
     මත්ද්‍රව්‍ය ජාවාරමෙන් සමාජය බේරා ගැනීම සඳහා තමාට අකමැත්තෙන් වුවද මෙම තීරණය ගැනීමට සිදුවන බව ජනපතිවරයා කැබිනට්‌ මණ්‌ඩලයේදී ප්‍රකාශ කර ඇත.
     

  • රථ වාහන වැරදි 33 ක්‌ සඳහා දඩ මුදල් ඉහළට

    රථ වාහන වැරදි 33 ක්‌ සඳහා දඩ මුදල් ඉහළට

    රථවාහන වැරදි 33 ක්‌ සඳහා වන දඩ මුදල් මෙම මස 15 වැනිදා සිට වැඩි කෙරේ. 306

    ප්‍රවාහන හා සිවිල් ගුවන් සේවා ඇමැති නිමල් සිරිපාලද සිsල්වා මහතා විසින් නිකුත් කරන ලද අති විශේෂ ගැසට්‌ පත්‍රය අනුව මෙම දඩ මුදල් වැඩි කෙරෙන අතර වැරදි කිහිපයක්‌ සඳහා දඩ නියම නොකර නඩු පැවරේ.

    ඒ අනුව වේග සීමා විධිවිධාන උල්ලංඝනය කිරීමේ වරදට මෙතෙක්‌ නියම කරන ලද රුපියල් දහසේ ස්‌ථානීය දඩය රුපියල් තුන්දහස දක්‌වා වැඩිකර ඇති අතර මාර්ග නීති වලට අවනත නොවීමේ වරදට මෙතෙක්‌ නියම කරන ලද රුපියල් පන්සියයේ ස්‌ථානීය දඩය රුපියල් දෙදහස දක්‌වා වැඩි කර තිබේ.

    අංක තහඩු සම්බන්ධ වැරදි, ආදායම් බලපත්‍රයේ විධිවිධාන උල්ලංඝනය කිරීම සම්බන්ධ වැරදි, මෝටර් රථය පාලනය කර ගැනීමට බාධාවක්‌ නොවෙනසේ ධාවනය කිරීම, ආරésත හිස්‌ වැසුම් පැළඳීම පැහැර හැරීමේ වැරදි, ආදිය සම්බන්ධයෙන් මෙතෙක්‌ නියම කරන ලද ස්‌ථානීය දඩ මුදල වූ රුපියල් පන්සියය රුපියල් දහස දක්‌වා වැඩි කර තිබේ.

    වාහනය පැදවීමේදී සහ අනෙකුත් අවස්‌ථාවන්හිදී නුසුදුසු සංඥ භාවිත කිරීමේ වරදට මෙතෙක්‌ පැවැති රුපියල් සියයේ ස්‌ථානීය දඩය රුපියල් දහස දක්‌වා වැඩිකර ඇත.

    මෝටර් වාහන පාපුවරුවේ ගමන් කිරීම හෝ ගමන් කිරීමට ඉඩ ලබාදීමේ වරදට නියම කරන ලද රුපියල් එකසිය පනහේ දඩය රුපියල් පන්සීය දක්‌වා ද, මෝටර් වාහනවල ඉදිරිපස අසුන්වල සිටිය හැකි තැනැත්තන් සංඛ්‍යාව ඉක්‌මවා ගෙන යැමේ වරදට මෙතෙක්‌ පැවැති රුපියල් එකසිය පනහේ ස්‌ථානීය දඩය රුපියල් දහස දක්‌වා වැඩි කර ඇත.

    පොලිස්‌ නිලධාරීන්ගේ විධාන සහ සංඥවලට අවනතවීම පැහැර හැරීමේ වරදට මෙතෙක්‌ නියම කරන ලද රුපියල් දහසේ ස්‌ථානීය දඩය රුපියල් දෙදහස දක්‌වා වැඩිකර තිබේ.

    නව ගැසට්‌ පත්‍රය අනුව ධාවනය කරන විට රියෑදුරු බලපත්‍රය රැගෙන යැමට අසමත්වීම, උපදේශක බලපත්‍රයක්‌ නොමැතිව උපදේශක කටයුතුවල යෙදීම, අනතුරු ඇඟවීමේ උපකරණ අනිසි ලෙස භාවිත කිරීම, අධික දුම් පිට කිරීම, ආසන පටි පැළැඳ නොසිටීම, ධාවනය වෙමින් පවතින මෝටර් වාහනයකින් දැන්වීම් බෙදාහැරීම, වාහනයෙන් අධික ශබ්ද නිකුත් කිරීම, මාර්ග සංඥවලට අවනත නොවීම, ටැංකියට ඉන්ධන පිරවීමේදී ගතයුතු පූර්ව ආරක්‌ෂණ ක්‍රියා මාර්ග ගැනීමට අසමත්වීම, ආදිය ඇතුළු තවත් වැරදි කිහිපයක්‌ සම්බන්ධයෙන් ස්‌ථානීය දඩ නියම නොකෙරන අතර එම වැරදි සඳහා අධිකරණයේ නඩු පැවරිය යුතුවේ.

  • හිමිනමක් පොලිස් සැරයන්වරයෙකුගේ ගෙල මිරිකා මරයි

    හිමිනමක් පොලිස් සැරයන්වරයෙකුගේ ගෙල මිරිකා මරයි

    රත්නපුර ගල්ඇන්ද විහාරස්ථානයකදී පොලිස් සැරයන්වරයෙකුගේ ගෙල මිරිකා මාරාදැමීමක් සම්බන්ධයෙන් එම විහාරයේ හිමිනමක් පොලිස් අත්අඩංගුවට පත්ව ඇත. අධිකරණයේ විභාග වන නඩුවකට පෙනී නොසිටීම නිසා වරෙන්තු ලැබ සිටින හිමි නමක් සොයා රත්නපුර පොලීසියේ සැරයන්වරයෙකු අද (10) පෙරවරුවේ එම විහාරස්ථානයට ගොස් තිබේ.

    එම හිමි නම විහාරස්ථානය තුළදී සැරයන්වරයාගේ ගෙල සිර කර ඇත්තේ එම අවස්ථාවේය. මෙහිදී  පොලිස් නිලධාරියාගේ කෑගැසීම් හඬට අනුව අසල් වැසියන් පොලිස් හදිසි ඇමතුම් අංශයට ඇමතුමක් දී තිබේ. වහා ක්‍රියාත්මක වූ පොලිස් නිලධාරීන් එහි යන විට එම පොලිස් නිලධාරියාගේ මළ සිරුර හමුවී ඇති අතර හිමි නමද එහි සිට ඇත.

    එහිදී ඔහු පොලිස් නිලධාරීන්ට අත්බෝම්බයකින් දමා ගැසීමට උත්සහ කර ඇති අතර රත්නපුර මූලස්ථාන පොලිස් ස්ථානාධිපතිවරයා හිමිනමගේ අතට පොල්ලකින් පහරදී ඒ උත්සාහය ව්‍යවර්ථ කර ඇත. රත්නපුර පොලීසිය වැඩිදුර පරීක්ෂණ පවත්වයි

  • පෙට්‍රල් ඩීසල් යලි ඉහළ නගී

    පෙට්‍රල් ඩීසල් යලි ඉහළ නගී

    අද (10) මධ්‍යම රාත්‍රියේ සිට ඛනිජතෙල් සංස්ථා ඉන්ධන පිරවුම්හල් වල  අලෙවි කරන  පෙට්‍රල් හා ඩීසල් මිල ඉහළ නංවා ඇත.

    ඒ අනුව ඔක්ටේන් 92 පෙට්‍රල් ලීටරයක් රු 145 දක්වා රුපියල් 8කින්ද ඔක්ටේන් 95 පෙට්‍රල් ලීටරයක් රු 155 දක්වා රුපියල් 7කින්ද මිල වැඩිකර ඇති අතර සාමාන්‍ය ඩීසල් රු 118 දක්වා රුපියල් 9කින්ද සුපිරි ඩීසල් රු 129 දක්වා රුපියල් 10කින්ද ඉහළ නංවා තිබේ. භුමිතෙල් මිලෙහි වෙනසක් කර නැත.

    මේ අතර කැබිනට් ප්‍රකාශක අමාත්‍ය රාජිත සේනාරත්න මහතා ප්‍රකාශ කොට ඇත්තේ ඛණිජ තෙල් සඳහා කැබිනට් මණ්ඩලය විසින් අනුමත කොට අැති මිල සූත්‍රයට අනුව මින් පසු සෑම මසක 10 වන දින ජාත්‍යන්තර තෙල් මිලට සාපෙක්ෂව මෙරට ඛණිජ තෙල් මිල ඉහළ පහළ දැමෙන අතර එය අතිශය විනිවිද භාවයෙන් යුතු ක්‍රියාදාමයක් වනු ඇති බවය.

  • දරුණු කොටි 125 ක්‌ මුදාහැරීමේ ඉල්ලීම ජිනීවා කවුන්සිලයෙන් ඉවතට

    දරුණු කොටි 125 ක්‌ මුදාහැරීමේ ඉල්ලීම ජිනීවා කවුන්සිලයෙන් ඉවතට

    බිහිසුණු ත්‍රස්‌ත ක්‍රියා සිදු කිරීම සම්බන්ධයෙන් අත්අඩංගුවේ පසුවන හිටපු කොටි ක්‍රියාකාරීන් 125 ක්‌ නිදහස්‌ කරන ලෙසට ශ්‍රී ලංකා රජයට නියෝග කරන ලෙස එම කොටි ක්‍රියාකාරීන් ජිනීවා මානව හිමිකම් කවුන්සිලයෙන් කළ ඉල්ලීම ප්‍රතික්‍ෂේප කර ඇත.
     
     ශ්‍රී ලංකාවේ අධිකරණ පද්ධතියට නියෝග කිරීමට තමන්ට පිටුවට
     බලයක්‌ නැතැයි මානව හිමිකම් කවුන්සිලය දන්වා ඇති අතර ගුවන් යානාවලට මිසයිල ප්‍රහාර එල්ල කිරීම් සහ බස්‌රථවලට බෝම්බ ගැසීම් ඇතුළු ත්‍රස්‌ත ක්‍රියා ගැන මෙම හිටපු කොටි ක්‍රියාකාරීහු අත්අඩංගුවේ පසු වෙති.
     
     මොවුන් නිදහස්‌ කරන ලෙස ද්‍රවිඩ සන්ධානයද රජයෙන් ඉල්ලා තිබිණි

  • වල් අලි මඩින්න ෆොන්සේකාගෙන් චීන තුවක්කු

    වල් අලි මඩින්න ෆොන්සේකාගෙන් චීන තුවක්කු

    ඉදිරි වසර එක හමාරක කාලය ඇතුළත අලි මිනිස් ගැටුම 95% කින් අවසන් කිරීමට තමා බලාපොරොත්තු වනත් බවත්, ඒ සඳහා අවශ්‍ය කටයුතු සම්පාදනය කරන බව නාඋල ප්‍රාදේශීය ලේකම් කාර්යාලයේදී ඊයේ (08) පැවැති රැස්වීමකදී  වනජීවී අමාත්‍ය සරත් ෆොන්සේකා මහතා කියා සිටියේය.
    එම වැඩපිළිවෙල යටතේ  වනජීවී දෙපාර්තමේන්තුවට පිරිස් බලය පන්දහසක් බඳවා ගැනීමටත්,වනජීවී නිලධාරීන්ට සුදුසු   නිල ඇඳුමක් ලබාදීමටත්, එමෙන්ම දැනට පාවිච්චි කරන ගිනි අවිය වෙනුවට චීනයෙන් ගෙන් වූ ටී 56 ගිනි අවියට සමාන ගිනි අවියක් ලබාදීමටත් කටයුතු කරන බව ඔහු වැඩිදුරටත් සඳහන් කළේය.
    “වනජීවී දෙපාර්තමේන්තුවට වසර හැත්තෑවක් පමණ පැරණි වෙනවා. අලි මිනිස් ගැටුමට වසර 35ක් පමණ වෙනවා. යුද්ධය මට බාර දුන්නෙත් වසර තිස් දෙකක්  පමණ පරණ වූවායින් පසුවයි. වසර එකහමාරක පමණ කාලයකින් මාහට ගෙදර යන්නට සිදුවන නිසා වසරක් ඇතුළත අලි මිනිස් ගැටුම 95 %ක් අවසන් කිරීමට මා ක්‍රියා කරනවා.
    අලි මිනිස් ගැටුමට එකම විසඳුම බවට පත්ව ඇත්තේ ප්‍රමිතියෙන් යුතුව අලිවැට සවි කිරීමයි. මේව න විට රට වටේ කිලෝමීටර් 4500ක් විදුලිවැට පැවතියද ඒ සියලු විදුලි වැටවල් ප්‍රමිතියකින් තොර ඒවායි. තවත් කිලෝමීටර් දෙදහස් පන්සීයක් දුරකට විදුලිවැට අවශ්‍යයි. තවත් කිලෝමීටර් 2500 ඉදිකොට ඒවා නඩත්තු කිරීමට වනජීවී දෙපාර්තමේන්තුවට පිරිස් බලය පන්දහසක් බඳවා ගැනීමට අනුමැතිය ලැබී තිබෙනවා.
    වනජීවී දෙපාර්තමේන්තුව මුදල් බිලියන 50ක් පමණ ඇති කෝටිපති ආයතනයක් මා එම මුදල් ප්‍රයෝජනයට ගෙන මේ වසර එකහමාර තුළ අලි මිනිස් ගැටුම අවසන් කිරීමට බලාපොරොත්තු වනවා.
    වනජීවී නිලධාරීන්ට සුදුසු   නිල ඇඳුමක් ලබාදීමටත් එමෙන්ම දැනට පාවිච්චි කරන ගිනි අවිය වෙනුවට චීනයෙන් ගෙන් වූ ටී56 ගිනි අවියට සමාන ගිනි අවියක් ලබාදීමට මේ වන විට ජනාධිපතිවරයාගේ අවසරය ලැබී තිබෙන අතර එම ගිනි අවියෙන් අලින්ට වෙඩි තැබීම නොව තමන්ගේ ආත්ම ආරක්ෂාවට පාවිච්චි කළ යුතුයි.“යැයි ද කියා සිටියේය.
  • ජාතික රුධිර පාරවිලයන මධ්‍යස්ථානයේ වැඩබලන අධ්‍යක්‍ෂවරයාගේ ක‍්‍රියා කලාපයට විරෝධය

    ජාතික රුධිර පාරවිලයන මධ්‍යස්ථානයේ වැඩබලන අධ්‍යක්‍ෂවරයාගේ ක‍්‍රියා කලාපයට විරෝධය

    ජාතික රුධිර පාරවිලයන මධ්‍යස්ථානය තුළ අද (09) දිනයේ වැඩ වර්ජනයක් සිදු කිරීමට රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමය තීරණය කර ඇත.
    රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමයේ මාධ්‍ය කමිටු සාමාජික, වෛද්‍ය ප‍්‍රසාද් කොළඹගේ සඳහන් කළේ ජාතික රුධිර පාරවිලයන මධ්‍යස්ථානයේ වැඩබලන අධ්‍යක්‍ෂවරයාගේ ක‍්‍රියා කලාපයට විරෝධය පළ කරමින් මෙය ක්‍රියාත්මක බවයි. 
    ජාතික රුධිර පාරවිලයන මධ්‍යස්ථානයේ කටයුතු සිදු කරන්නේ වෛද්‍යවරුන් බවත් ඔවුන් වර්ජනයේ නිරත වන්නේ නම් එහි සියලු කටයුතු අඩපන විය හැකි බවත් ජාතික රුධිර පාරවිලයන මධ්‍යස්ථානය සඳහා නව අධ්‍යක්‍ෂවරයෙකු පත් කරන ලෙසත්, එසේ නොකළහොත් වැඩ වර්ජනය ඉදිරියේදී තවදුරටත් දැඩි කරන බවත් රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමය වැඩිදුරටත් ප‍්‍රකාශ කරයි.
    ජාතික රුධිර පාරවිලයන මධ්‍යස්ථානයේ වැඩබල අධ්‍යක්‍ෂ වෛද්‍ය රුක්ෂාන් බෙල්ලන පැවසුවේ තමන්ට එල්ල වන චෝදනා ප‍්‍රතික්ෂේප කරන බවයි. 
  • කොළඹ ස්වාධීන නාගරික මන්ත‍්‍රී ක‍්‍රිෂ්නාට පිටකොටුවේදී වෙඩි

    කොළඹ ස්වාධීන නාගරික මන්ත‍්‍රී ක‍්‍රිෂ්නාට පිටකොටුවේදී වෙඩි

    කොළඹ නගර සභාවේ නාගරික මන්ත‍්‍රිවරයෙකු අද අලුයම් කාලයේදී වෙඩි තබා ඝාතනය කර ඇත.

    පිටකොටුම හෙට්ටි වීදියේදී  40 හැවිරිදි ක්‍රිෂ්ණ පිල්ලේ ගිරුබානන්දන් නොහොත් ක‍්‍රිෂ්නා නම් කොළඹ නගර සභාවේ ස්වාධීන මන්ත‍්‍රිවරයෙකු ලෙස කටයුතු කල අය මෙසේ ඝාතනය වී ඇත.  

    හෙට්ටි වීදියේ පිහිටි තම පලතුරු අලෙවිසැලට අද අලුයම පැමිණෙමින් සිටියදී මෝටර් බයිසිතලයකින් පැමිණි පුද්ගලයෙකු විසින් මෙම වෙඩි තැබීම සිදු කර ඇත.

    මන්ත‍්‍රීවරයා මිය ගොස් ඇත්තේ වෙඩි වැදීමෙන් තුවලා ලබා කොළඹ ජාතික රෝහලට ඇතුලත් කිරීමනේ පසුවයි.

     

  • රජයේ සංහිඳියා වැඩපිළිවෙළ විවේචනය කරමින් හා ත්‍රස්‌තවාදීන්ගේ ක්‍රියා අගය කරමින් ප්‍රකාශ සිදු කරන්ට එරෙහි වෙමු

    රජයේ සංහිඳියා වැඩපිළිවෙළ විවේචනය කරමින් හා ත්‍රස්‌තවාදීන්ගේ ක්‍රියා අගය කරමින් ප්‍රකාශ සිදු කරන්ට එරෙහි වෙමු

    රජයේ සංහිඳියා වැඩපිළිවෙළ විවේචනය කරමින් හා ත්‍රස්‌තවාදීන්ගේ ක්‍රියා අගය කරමින් ප්‍රකාශ සිදු කරන අවස්‌ථාවාදී දේශපාලනඥයන්ට ඇතැම් විශ්‍රාමික හමුදා නිලධාරීන්ට හා සිවිල් සංවිධාන ක්‍රියාකාරීත්ව යුද හමුදා කඳවුරුවලට ඇතුළු වීමට අවසර නොදෙන ලෙස දන්වා යුද හමුදාපති ලුතිනන් ජෙනරාල් මහේෂ් සේනානායක විසින් සියලුම හමුදා කඳවුරු වෙත ලිපියක්‌ යවා තිබේ.

    එවන් පුද්ගලයන් සහභාගි වන කිසිදු උත්සවයකට සහභාගි වීමෙන් හෝ ආධාර අනුබල දීමෙන් වැළකී සිටින ලෙසද යුද හමුදාපතිවරයා එමගින් සියලුම හමුදා නිලධාරීන්ට දැනුම් දී ඇත.

    තිස්‌වසරක යුද්ධය නිමා කරමින් රටට පූර්ණ නිදහස දිනා දීමට යුද හමුදාව මහත් පරිශ්‍රමයක්‌ දැරූ අතර එහිදී යුද හමුදාවේ විශාල ජීවිත සංඛ්‍යාවක්‌ අහිමි වී තවත් විශාල පිරිසක්‌ තුවාල ලබා පූර්ණ කාලීනව ආබාධිත තත්ත්වයට පත්වූ බව යුද හමුදාපතිවරයා යවා තිබෙන එම ලිපියේ සඳහන් වේ.

    යුද්ධය නිමා වීමෙන් පසු රජයේ සංහිඳියා යාන්ත්‍රණය පණගැන්වීමට යුද හමුදාව විශාල දායකත්වයක්‌ දෙමින් කැපවීමෙන් කටයුතු කළ බවද එමඟින් උතුරු නැගෙනහිර ජනතාවගේ හොඳහිත දිනා ගනිමින් ඔවුන්ගේ දැවෙන ප්‍රශ්න රැසකට විසඳුම් ලබාදීමට සමත් වූ බවද හමුදාපතිවරයාගේ ලිපියේ සඳහන් වේ.

    ඇතැම් අවස්‌ථාවාදීන්ගේ ප්‍රකාශ නිසා සාමයට ලැදි උතුරු නැගෙනහිර ජනතාව තුළ රජය හා යුදහමුදාව පිළිබඳව තිබෙන විශ්වාසය පළුදු වී ඔවුන්ගේ සිත් තුළ යළිත් ත්‍රස්‌තවාදයේ විෂබීජ වපුරමින් තිබෙන බවද ඔවුන් කවුරුන්දැයි මේ වනවිටත් හෙළිවී ඇතැයිද යුද හමුදාපති ලුතිනන් ජෙනරාල් මහේෂ් සේනානායක සිය ලිපිය මගින් යුද හමුදා සාමාජිකයන්ට පෙන්වා දී ඇත.