Blog

  • ක්ලිෆර්ඩ් කුසලාන බොක්සිං තරඟාවලිය අද සිට දින පහක් පුරා

    91 වැනි ක්ලිෆර්ඩ් කුසලාන බොක්සිං ශූරතා තරගාවලිය අද (5දා) සිට 9 වැනිදා දක්වා රාජකීය විදුහල් ගෘහස්ථ ක්‍රීඩාංගණයේදී පැවැත්වීමට නියමිතව ඇත.

    මෙම තරගාවලිය සඳහා ක්‍රීඩක ක්‍රීඩිකාවන් 164 දෙනෙක් සහභාගි විමට නියමිතය.

    කෙසේ වෙතත් පසුගිය වසරේදී ස්ලිම්ලයින් ක්‍රීඩා සමාජය නොකඩවා 5 වැනි වරටත් ක්ලිෆර්ඩ් කුසලානය දිනාගෙන තිබූ අතර පසුගිය වසරේ පැවැති තරගාවලියේ දක්ෂතම ක්‍රීඩකයාට හිමිවන එච්. කේ. කරුණාරත්න අනුස්මරණ කුසලානය ස්ලිම්ලයින් ක්‍රීඩා සමාජයේ ඩී. සපරමාදු විසින් දිනාගෙන තිබිණි.

    මේ අතර 2016 වසරේදී ලේතන් කුසලානය දිනාගත් කිලෝග්‍රෑම් 49 බර පන්තියෙන් තරග වදින හෙළ බොක්සිං ක්‍රීඩා සමාජයේ තිවංක රණසිංහ, මේ වසරේ ලෝක ශූරතා බොක්සිං තරගාවලිය සදහා සුදුසුකම් ලැබූ කිලෝග්‍රෑම් 64 බර පන්තියෙන් තරග වදින ස්ලිම්ලයින් ක්‍රීඩා සමාජයේ දිනිදු සපරමාදු හා යුනිචෙලා ක්‍රීඩා සමාජය නියෝජනය කරන අනූශා කොඩිතුවක්කු යන ක්‍රීඩක ක්‍රීඩිකාවන්ද මෙවර තරගාවලිය සඳහා ඉදිරිපත් වීම තුළින් මෙවර තරගාවලිය වඩාත් තියුණුු මුහුණුවරක් ගනු ඇතැයි පැවැසේ.

     

  • අද රෑ 12 ඉඳන් යකඩ යක්කු වර්ජනයක

    දුම්රිය රියදුරු සහායකයින් බඳවා ගැනීමට දුම්රිය බලධාරීන් ගෙන ඇති තීරණයට විරෝධය දක්වමින් ලොකෝමොටිව් ඔපරේටින් ඉන්ජිනියර්ස් රියදුරු සංගමය අද(5) මධ්‍යම රාත්‍රියේ සිට අඛණ්ඩ වැඩ වර්ජනයකට එළඹීමට තීරණය කර ඇතැයි එම සංගමයේ ලේකම් ඉන්දික දොඩම්ගොඩ මහතා පවසයි..

  • දිනේෂ් තනිවෙයි…

    එක්සත් ජනතා නිදහස් සන්ධානයේ විධායක සභාව සෑහෙන්න කාලෙකින් ඊයෙ(6) ජනාධිපති තුමාගේ ප‍්‍රධානත්වයෙන් ජනාධිපති මන්දිරයේදී රැස්වෙලා තියෙනවා.එහිදී සංධානයෙත් තරඟ වැදුන මහජන එක්සත් පෙරමුණ, ශ‍්‍රී ලංකා මහජන පක්‍ෂය, දේශ විමුක්ති ජනතා පක්‍ෂය ඔවුනට  එක්සත් ජනතා නිදහස් සන්ධානයෙන් ඉවත් වෙලා වෙනම තරග කරන්න ඕන කියල ඉල්ලීමක් කරල තියෙන අතර විධායක සභාව ඒක අනුමත කරල තියෙනවා.

    ඒකාබද්ද විපක්ෂයේ නායක දිනේෂ් ගුණවර්ධන මහතාද මහජන ඒකසත් පෙරමුණ වෙනුවෙන් මෙම සාකච්ඡාවට සහභාගී වූ අතර තමන් මේ විධායක සභාව සඳහා සහභාගී වූයේ ඒකාබද්ද විපක්ෂය දැනවත් කර බවත් ඉස්සරහටත් ඒකාබද්ද විපක්ෂය සමඟ ඉදිරි දේශපාලන කටයුතු කරගෙන යෑමට අදහස් කරගෙන ඉන්නා බවත් කියා සිටියේය.

     

  • Facebook ඇතුලු සමාජ ජාලා රැසක් කාටත් හොරා වෙනස්කරපු දේවල් මෙන්න.

    දිනෙන් දින දියුණුවන සමාජ ජාලා වෙබ් අඩවි තම පරිශීලකයන්ට ඉතා ඉහල සේවාවක් ලබා දෙන්නට ඉතා විශාල උත්සාහයක යෙදෙමින් සිටිනවා. විශේෂයෙන්ම පසුගිය දින කිහිපය පුරාවටම Facebook සඳහා නව යාවත්කාලීන කිරීම් කිහිපයක්ම සිදු කලා. මේ නිසා බොහෝ දෙනාට යම්කිසි අපහසුතාද ඇතිවුන අවස්ථා තිබුණා.

    සමාජ ජාල වෙබ් අඩවි සමඟ කටයුතු කරන විට වැඩි වශයෙන්ම හුවමාරුවන වීඩියෝ සහ ඡායාරූප වල අනුමත ප්‍රමාණයන් මෙම නව යාවත්කාලීන කිරීමත් සමඟ යම්කිසි වෙනසකට ලක්ව තිබීම නිසා මෙම තත්වයට බොහෝ දෙනා මුහුණ පා තිබූ බවද වාර්ථා වුනා. මේ හේතුව නිසාම ඉතා ජනප්‍රිය මෙම සමාජ ජාල වෙබ් අඩවිවල වීඩියෝ සහ ඡායාරූපවල නිර්දේශිත ප්‍රමාණයන් ඔබ දැනගෙන සිටීම ඉතාම වැදගත් වෙනවා.

    01.Facebook

    02. Youtube

    03. Linkedin

    04.Instagram

    05.Twitter

    [rns_reactions]

  • අඹගමුව ප්‍රාදේශීය සභා ප්‍රශ්නය මට අදාළ නෑ – විෂයභාර ඇමති ෆයිසර් මුස්තාෆා කියයි…

    අඹගමුව ප්‍රාදේශීය සභා බල ප්‍රදේශයේ පළාත් පාලන මැතිවරණය පැවැත්වීම වළක්වන්නැයි ඉල්ලමින් ශ්‍රේෂ්ඨාධිකරණයට (04) ඉදිරිපත් වූ පෙත්සම සම්බන්ධයෙන් පළාත් පාලන අමාත්‍ය ෆයිසර් මුස්තාෆා  (05) අදහස් පළ කළා.

    අදාළ පෙත්සම හේතුවෙන් මැතිවරණය කල්යනු ඇත්දැයි මාධ්‍යවේදීන් කළ විමසීමකදීයි.

    ඕනෑම  පුරවැසියෙකුට නඩුවක් පැවැරීමේ අයිතිය ඇති බවත් එම නඩුව සම්බන්ධයෙන් සාධාරණ කරුණු ඉරිදිපත් කිරිමේ හැකියාව තමන් සත් වන බවත් අමාත්‍යවරයා මෙහිදී කියා සිටියා.

    ශ්‍රීපාද ස්ථානය පූජනීය ස්ථානයක් කියා තමා මෙන්ම අමාත්‍යංශයේ ලේකම්වරයා ද දන්නා බවත් ඊට හානියක් සිදු වන්නට ඉඩ නොතබන බවත් අමාත්‍යවරයා මෙහිදී පැවසුවා.

    ශ්‍රීපාද ස්ථානය අයත් වන්නේ රත්නපුර දිස්ත්‍රික්කයට වන බවත් එය නුවරඑළිය දිස්ත්‍රික්කයට ලබාදී ඇති බවත් ඇතැම් පාර්ශ්ව ප්‍රකාශ කළ ද එවැන්නක් සිදුව නොමැති බවත් අමාත්‍යවරයා කියා සිටියා.

    පළාත් පාලන අමාත්‍ය ෆයිසර් මුස්තාෆා මෙම අදහස් පළ කළේ කොළඹ අද (05) පැවති මාධ්‍ය හමුවකදීයි.

    ඉදිරි පළාත් පාලන මැතිවරණය අදාළ සිය අමාත්‍යාංශයේ සියළු රාජකාරී සිදුකර අවසන් බව පළාත් සභා සහ පළාත් පාලන අමාත්‍යාංශය පවසනවා.

    අමාත්‍ය ෆයිසර් මුස්තාෆා පැවසුවේ මැතිවරණය සම්බන්ධයෙන් එල්ල කරන කිසිඳු චෝදනාවක් තමන්ට අයිති නොවන්නක් බවයි.

    [rns_reactions

  • පළාත් පාලනයේදී ශ්‍රීලනිපය සමගින් එක්ව තරග කරන්නට ප්‍රබල පක්ෂ 02ක් එකගතාවයට

    ආරුමුගම් තොණ්ඩමන් මහතාගේ ලංකා කම්කරු කොංග්‍රසය සහ ඒ.එල්.එම් අතාවුල්ලා මහතාගේ ජාතික කොංග්‍රසය පළාත් පාලන මැතිවරණයේදී ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ මෛත්‍රී පිළ සමග සමග එක්ව තරග කිරීමට තීරණය කර ඇති බව වාර්තා වේ.

    ජනාධිපති මෛත්‍රිපාල සිරිසේන මහතාගේ ප්‍රධානත්වයෙන් 05  පස්වරුවේ ජනාධිපති කාර්යාලයේදී පැවැති එක්සත් ජනතා නිදහස් සන්ධානයේ විධායක සභාවේදී එම තීන්දුව ගෙන තිබේ.

    [rns_reactions

  • රජය දැන්වීම් දැම්මට බුකියේ අපරාධ දැමීම වළක්වන්න නීතියක් නෑ – ආචාර්ය ප්‍රතිභා මහානාමහේවා

     

    ගලින් ගල ගටා ගින්දර සාදාගත් යුගයේදී මිනිසුන් එකිනෙකා හා අදහස් හුවමාරු කරගත්තේ විවිධ ශබ්ද නැඟීමෙනි. ඉන්පසුව භාෂාවක් ගොඩනැගී එය පසුව සංදේශ යැවීමේ සිට තැපෑල දක්වා සන්නිවේදනය දියුණු විය. කාර්මික යුගයේදී ටෙලිෆෝනය බිහිවීම සන්නිවේදනයේ තවත් විශාල පිම්මක් විය. එසේ සැතපුම් දහස් ගණනක් දුර සිටින දෙදෙනෙකු අතර පවා ක්ෂණයකින් සන්නිවේදන කටයුතු කරගැනීමේ හැකියාව උදා වූ අතර පසුකාලීනය අන්තර්ජාලයේ, චන්ද්‍රිකා තාක්ෂණයේ දියුණුවත් සමඟ එය අතිශය සරල සාමාන්‍ය දෙයක් බවට හැරිණි.

    අවුරුදු දස දහස් ගණනක සන්නිවේදනයේ කතාන්දරය තුළ අපි මේ පසුකරමින් සිටිනුයේ සමාජ ජාල සන්නිවේදන අවධිය යැයි කීමෙහි වරදක් නැත. දුරකථන ඇමතුමකින් එකිනෙකා හා සන්නිවේදනය කරගනු වෙනුවට ෆේස්බුක්, ට්විටර්, වට්ස්ඇප්, වයිබර් වැනි සමාජ මාධ්‍ය රැසක්ම අද ජනතාවට විවෘතව පවතී. මෙම සමාජ ජාලවල අරමුණ වන්නේම සන්නිවේදනයකි. එහිදී ඊට එක්කෙරෙන යම් පෝස්ටුවකින්, පින්තූරයකින් එසේත් නැතිනම් ඉමෝජීවලින් පවා සිදුවන්නේ සන්නිවේදන කාර්යයකි.

    මේ පසුබිම තුළ සන්නිවේදනය අද ලෝකය තුළ අතිශය සරල කාරණයකි. පරිගණකයත් ජංගම දුරකථනයත් මේ සන්නිවේදන කාරියේ අත්‍යවශ්‍යම මෙවලම් දෙක වී හමාරය. එහෙත් මේ සන්නිවේදන දියුණුවෙන් වාසි අත්කරගනු වෙනුවට එය අනිසි අයුරින් භාවිත කිරීම් ගැනද නිරන්තරයෙන්ම තොරතුරු වාර්තා වේ.

    විශේෂයෙන්ම ෆේස්බුක් වැනි සමාජ ජාල ඔස්සේ අන් පුද්ගලයන්ව අපහසුතාවට පත්කරවන අන්දමේ භාවිතාවන් වාර්තා වන්නේ මේ හේතුවෙනි. පසුගියදා තම මිතුරාගේ නිරුවත් ඡායාරෑප ෆේස්බුක් වෙත එක්කළ ඔහුගේම මිතුරන් යැයි කියාගන්නා නරුමයන් අයත් වන්නේද එසේ සමාජ ජාල සාවද්‍ය අයුරින් පරිහරණය කරන්නවුන්ගේ ගොඩටය.

    පසුගියදා පෙට්‍රල් හිඟයක් රට තුළ සැබෑවටම මතුවූ මොහොතට දින කිහිපයකට පසු නැවතත් පෙට්‍රල් හිඟයක් ඇතිවන බවට කටකතාවක් පැතිර ගියේද මෙවැනි සන්නිවේදන අවභාවිතයක් නිසාවෙනි. ඉකුත් සතියේ පැවැති අයහපත් කාලගුණික තත්ත්වය සම්බන්ධයෙන්ද සමාජ ජාල ඔස්සේ විවිධ පුවත් ප්‍රචාරය වන්නට විය. ඉන් එකක දැක්වුණේ එක දිගට සුළි කුණාටු තුනක් ලංකාව ආක්‍රමණය කිරීමට නියමිත බවය. තවද දෙසැම්බර් මස දෙවැනි සතියේ ලංකාව, ඉන්දියාව, නේපාලය, ඇෆ්ගනිස්ථානය ඇතුළු රටවල් රැසක් යටකළ හැකි දැවැන්ත සුනාමියක් ඇතිවන බවට ඉන්දියානු නක්ෂත්‍රකරුවකු කළ ප්‍රකාශයක් ද පැතිර ගියේ සමාජ ජාලවල බලපෑමෙනි.

    සමාජ ජාල හෙවත් සමාජ මාධ්‍ය යනු අද වනවිට ඕනෑම කෙනකුට ඕනෑම දෙයක් පළ කළ හැකි වේදිකාවක් වී හමාරය. එමෙන්ම ඒ තුළ ව්‍යාජ අනන්‍යතාවයන් ගොඩනඟා ගෙන ඒ හරහා ඕනෑම දෙයක් කළ හැකි ප්‍රායෝගික තත්ත්වයක්ද පවතී. එනිසා සමාජ ජාල පරිශීලනය කිරීම අද වනවිට වඩාත් ප්‍රවේසම්කාරී විය යුතු තැනකට පිවිස තිබේ.

    පුවත්පත් හෝ රූපවාහිනිය ඔස්සේ ජනතාව හමුවේ තබන පුවත්වල වටිනාකම වන්නේද එයම ය. සමාජ මාධ්‍ය හෝ වෙබ් අඩවි හරහා කිසිදු වගකීමකින් තොරව විවිධ පුද්ගලයන් පිළිබඳ විවිධ තොරතුරු පළවුවද වගකිවයුතු මාධ්‍යයකදී එවැන්නක් සිදුවන්නේ කලාතුරකිනි.

    අනෙක් අතට ලිංගික ක්‍රියාකාරකම් අරභයා ද සමාජ මාධ්‍ය පහත් අයුරින් භාවිතා කරන ආකාරය හොඳින් දක්නට ලැබෙන්නකි. ව්‍යාජ අනන්‍යතා ඔස්සේ පෙනී සිටිමින් ලිංගික යෝජනා පිරිනමන, ලිංගිකත්වය ඉස්මතු වන ඡායාරූප වැනි දෑ පළ කරන අය බොහෝමයකට ෆේස්බුක් වැනි සමාජ මාධ්‍ය ක්ෂේමභූමියක් වී තිබේ. එවැන්නවුන්ට එරෙහිව නීතිය ක්‍රියාත්මක කිරීම සම්බන්ධයෙන් පවතින අබල දුබල බවද එවැනි ක්‍රියාකාරකම් වර්ධනය වීමට හේතුවකි. 

    කෙසේ වෙතත් විදුලි සංදේශ නියාමන කොමිෂන් සභාව විසින් පසුගිය දා පුවත්පත් දැන්වීම් පළකරමින් ජනතාව වෙත දැනුවත් කර තිබුණේ සමාජ මාධ්‍ය මෙන්ම දුරකථන සංවාද හරහා වුව අනෙක් පුද්ගලයන්ට අගතියක් සිදුවන ආකාරයෙන් ක්‍රියාකරන අය වෙනුවෙන් 1991 අංක 25 දරන විදුලි සංදේශ පනතේ 58 හා 59 වගන්ති ප්‍රකාරව දඬුවම් පමුණුවීමට ක්‍රියාකරන බවය. ඒ සම්බන්ධයෙන් තොරතුරු විමසීමට එම කොමිෂන් සභාවේ අධ්‍යක්ෂ ජෙනරාල්වරයා සම්බන්ධ කරගැනීමට දැරූ උත්සාහය ව්‍යර්ථ විය.

    අදාළ පනතේ අංක 58 හා 59 වගන්ති වලින් කියැවෙන්නේ, විදුලි සංදේශ සන්නිවේදන කාර්යයකදී නොමනා ක්‍රියාවක් සිදුකරන තැනැත්තෙකුට රුපියල් පන්දහසකට නොවැඩි දඩයක් හෝ මාස හයකට නොවැඩි සිර දඬුවමක් හෝ ඒ දෙකම හෝ පැනවීමේ හැකියාව ඇති බවය.

    මෙහිදී සලකා බැලිය යුතු වැදගත්ම කරුණ වන්නේ එහි කිසිදු තැනක සමාජ මාධ්‍ය යන වචනය සඳහන් නොවීමය. ඇත්තෙන්ම 1991දී මේ පනත සම්පාදනය වන අවස්ථාවේදී සමාජ මාධ්‍ය යන වචනය භාවිතයේ පවා නොතිබූ බවට සැකයක් නැත. එනිසා විදුලි සංදේශ නියාමන කොමිසම සමාජ මාධ්‍ය අපරාධවලට මැඬලන්න උත්සාහ ගන්නේ අලින්ටත් රිංගිය හැකි තරමේ දැලකින් බව පෙනෙන්නට තිබේ.

    සමාජ මාධ්‍ය දිනෙන් දින ගමන් කරමින් සිටිනුයේ දියුණු සන්නිවේදන භාවිතාවක් වෙනුවට මුළු මහත් සමාජයම පරිහානිය කරා ඇද දමන ගමනකය. කිසිදු වගකීමක් නොමැතිව සිදුවන සමාජ මාධ්‍ය කටයුතු යම් ආකාරයකට නියාමනය කිරීමට මෙන්ම එහිදී වැරදි කරන අයවලුන් එරෙහිව නිසි දඬුවම් පමුණුවාලීම යහපත් ශිෂ්ට සම්පන්න සමාජයක් බිහිකිරීමේලා අත්‍යවශ්‍යතාවක් බව නිසැකය.

     රජිත ජාගොඩ ආරච්චි

    කොළඹ විශ්ව විද්‍යාලයේ නීති පීඨයේ ජ්‍යෙෂ්ඨ කථිකාචාර්ය ආචාර්ය ප්‍රතිභා මහානාමහේවා

    විදුලි සංදේශ නියාමන කොමිෂන් සභාව මේ ඉදිරිපත් කරන පනත අපරාධ පනතක් නෙමෙයි. විදුලි සංදේශ නියාමන කොමිසමෙන් මේ සම්බන්ධව එක නඩුවක් වත් ඉදිරිපත් කරලාත් නැහැ. මේ මොහොතේ රටට අලුත් නීතියක් අලුත් පනතක් අවශ්‍යයි. සමාජ ජාල හරහා සිදුවන වැරැදි පිළිබඳ දක්වමින් හා ඒවාට දඬුවම් නම් කරමින් අලුත් පනතක් අපට අවශ්‍යයි. උදාහරණයකට ඉන්දියාව එයාලගෙ තොරතුරු තාක්ෂණ පනත 2008දී සංශෝධනයකට ලක්කරමින් එහි 60 සිට 65 බී වගන්ති දක්වා සමාජ මාධ්‍ය හරහා අසත්‍ය තොරතුරු පළකිරීම, ලිංගික හැඟීම් දනවන දෑ පළකිරීම, ජනතාවට හිරිහැර පීඩා සිදුවන දෑ පළකිරීම ආදිය ගැන සඳහන් කරමින් හා ඒවාට දැඩි දඬුවම් පමුණුවමින් තමන්ගේ නීතිය යාවත්කාලීන කර තිබෙනවා. විදුලි සංදේශ නියාමන කොමිසමේ 1991 නීතිය සමාජ මාධ්‍ය අපරාධ මඬින්න ප්‍රබල මදි. අනෙක් අතට ඒ වැරදි සම්බන්ධව විමර්ශනය කළ හැකි විමර්ශන නිලධාරීන් විදුලි සංදේශ කොමිසමේ ඉන්නවද කියන එකත් ප්‍රශ්න කළ යුතුයි. මේ නීතියේ ලිහිල් බව නිසා තවතවත් සමාජ මාධ්‍ය හරහා අපරාධ සිද්ධ වෙනවා. දණ්ඩ නීති සංග්‍රහය යටතට සමාජ මාධ්‍ය වැරදි ගෙන ආ යුතුයි.

    [rns_reactions]

  • මරණයෙන් මිස නිදහසක් නැති බන්ධනාගාරගත වැඩිහි‍ටියෝ

    2017 නොවැම්බර් 06 වන දින දිනමිණ පුවත්පතෙහි ජ්‍යෙෂ්ඨ පුරවැසියන් වෙනුවෙන් “වැඩිහිටි සමිති” සැඳෑ සමයට යෝධ ශක්තියක් ශිර්ෂය යටතේ පළවී තිබූ ලිපිය වයස්ගත සිරුකරුවකු වන මගේ විශේෂ අවධානයට ලක්විය.

    වයස්ගත වූ අයකුට, තිබෙන පහසුකම් ඇතුලු වටිනා කරුණු ගණනාවක් එමගින් මගේ අවධානයට ලක් වූ අතර එම ලිපිය පළකිරීම පිළිබඳ වැඩිහිටි සිරකරුවකු ලෙස සියලු වැඩිහිටි සිරකරුවන්ගේ ස්තුතිය පුද කරමි.

    වසර 2000 අංක 09 දරණ වැඩිහිටියන්ගේ අයිතිවාසිකම් ආරක්ෂා කිරීමේ පාර්ලිමේන්තු පනත අනුව මෙම ජාතික සභාවේ ප්‍රධාන කාර්යය වනුයේ ශ්‍රී ලංකාවේ සිටින වයස අවු.60ට වැඩි වැඩිහිටියන්ගේ අයිතිවාසිකම් ආරක්ෂා කිරීම සහ ප්‍රවර්ධනය කිරීමත්, වැඩිහිටි තැනැත්තන්ට ආත්මගෞරවයෙන් ස්වාධීනත්වයක් හා ගෞරවයක් ඇතිව ජීවත්වීමට අවස්ථාව සලසාදීමත්ය.

    ශ්‍රී ලංකාව තුළ ජීවත්වන, ජ්‍යෙෂ්ඨ පුරවැසියන්ට ඒ ඒ සමිති සමාගම් රජයෙන් සහ කොතෙකුත් පෞද්ගලික ආයතනවලින් උපකාර ආධාර ලැබුණත් සිරගතව සිටින වයස්ගත ඉතා සුළු පිරිසට සහනයක් ගෞරවයක් ඇතිව ජීවත්වීමට අවස්ථාවක් තිබේද යන්න සිරගතව සිටින පවුල්වල අය මිස කිසිවකු නොදන්නා කරුණකි.

    ඉහත පිරිස බොහෝ දුක් කරදර ලෙඩ රෝග මැද දූ දරුවන් බිරිඳ, පවුලේ අය නොමැතිව අන්ත අසරණව සිරගෙදර තුළ ජීවත් වෙති. ඔවුනට විශේෂ සහනයක් සිර ගෙදර තුළ නොමැත. අසනීපයෙන් පෙළෙන සිරකරුවන්ට වැඩක් පළක් නොකර තම නවාතැන් ස්ථානයේ සිටීමට බන්ධනාගාර පරිපාලනය ඉඩ සලසා ඇත. වයස්ගත අයවලුන් වෙනුවෙන් බන්ධනාගාර නිලධාරින්ට, වෙනත් කළ හැකි දෙයක්ද නොමැති බව අප ප්‍රකාශ කළ යුතුය. මනුෂ්‍යත්වය අඳුරන තරුණ සිරකරුවන්ද සමහර අවස්ථාවලදී වයස්ගත සිරකරුවන්ට උපකාර කරති.

    සාමාන්‍ය සිර දඬුවම් විඳින වයස 60 ඉක්ම වූ සිරකරුවන් මෙන්ම අවුරුදු ගණනාවක් (අවු. 12, 15, 18, 20) වැනි කාලයක් සිර දඬුවම් විඳින වයස 60 ඉක්ම වූ ජීවිතාන්ත සිරකරුවෝද සිටිති. වසර ගණනාවක් සිර දඬුවම් විඳින ජීවිතාන්ත දඬුවම් නියම වූ වයස අඩු පිරිසක්ද සිටිති. මෙම පිරිසට නිවෙස්වලට යාමට නියමිත නිශ්චිත දිනයක් නොමැත.

    2015 වසරේ ජනවාරි 8 වන දින යහපාලන රජය බලයට පත්වූ පසු අතිගරු ජනාධිපතිතුමන් අවස්ථා 9 කදී ජනාධිපති පොදු සමාව ප්‍රදානය කර තිබේ. 2017 මේ දක්වා මෙම සමා තුළින් ජ්‍යෙෂ්ඨ පුරවැසි ගණයට අයත් කිසිම සිරකරුවකුට නිකුත් කරන ලද චක්‍රලේඛයේ කොන්දේසි මත නිදහස ලබාගැනීමට අවස්ථාවක් උදානොවූ බව සිරකරුවකු ලෙස මා වගකීමෙන් ප්‍රකාශ කරමි.

    මෙහිදි මුල් සමා දෙකෙන් වයස 75 ඉක්ම වූ සිරකරුවන් වෙනුවෙන් සමාව ලබා දුන් එම අවස්ථාව කිසිවකුට හිමිවූයේ නැත.

    ඉන්පසු අවස්ථා 7ක් වයස 70 ක් වූ සිරකරුවන් වෙනුවෙන් සමාව ප්‍රදානය කරන ලද මුත්, එම සිරකරුවන් වසර 10 ක් සිර දඬුවම් සම්පූර්ණ කිරීම අනිවාර්ය කරන ලදී. ඒ අතරම එක් දඬුවමකට පමණක් එම සමාව හිමිවූ අතර නඩු කිහිපයක් ඇති කෙනෙකුට එම සමාව අයත් වූයේ නැත.

    2002 සහ 2008 වසර තුළදී ජීවිතාන්ත සිරකරුවන්ට ජීවිත සමාව (20 අවුරුදු කාලය) ලබාදී පිරිසක් නිදහස් කරනු ලැබිණි. 2008 වසරේ සිට මේ දක්වා ජීවිත සමාව ලබානොදුන් හෙයින් වසර ගණනාවක් සිර දඬුවම් විඳින ජීවිතාන්ත සිරකරුවනට සහනයක් නොලැබුණි. වයස්ගත ජීවිතාන්ත සිරකරුවන් පිරිසක් හිරගෙදර තුළදී මිය ගියහ. මේ ආකාරයටම වයස්ගත වූ සාමාන්‍ය සිරකරුවන් ගණනාවක්ද මිය ගිය බව දන්වා සිටිමි.

    වයස්ගත කාලයේදී බෙහෙත්හේත්වලට වඩා දරු පවුල්වල සෙනෙහස මධ්‍යයේ මේ පිරිස් ජීවත්වන්නේ නම් මොවුන්ට වැඩි කාලයක් ජීවත්වීමට අවස්ථාව සැලසෙනු ඇත. ඒ නිසා මොවුන් ජීවත්ව සිටියදී යම් කොන්දේසි මාලාවකට යටත් කර හෝ විශේෂ ජනාධිපති සමාවක් මත නිදහස් කර දරු පවුල් වෙත යැවීමට කටයුතු කරන්නේ නම් එය ඉතා අගනා වැඩිහිටි සැලකිල්ලක් වනු ඇත. මේ පිරිස අතර ඈත දුර පළාත්වල සිරකරුවන්ද සිටිති. ඔවුන් මියයාමෙන් පසු පවුල්වල අයට ආර්ථික හේතු නිසා මළමිනිය හෝ න‍ිවෙස්වලට ගෙන යාමට නොහැකි වූ අවස්ථා තිබේ. මෙම නඩයට පිහිටක් පතා අතිගරු ජනාධිපතිතුමාණන් ගරු අග්‍රාමාත්‍යතුමාත් ජ්‍යෙෂ්ඨ පුරවැසි සිරකරුවන්ට විශේෂ වැඩපිළිවෙළක් සකස් කිරීමට කටයුතු කර දෙන ලෙස සියලු සිරකරුවන් වෙනුවෙන් ගෞරවයෙන් ඉල්ලා සිටිමි. මෙහිදී මතක් කළ යුතු විශේෂ කරුණක් ඇත. අධිකරණයකින් දඬුවම් කරන ලද කෙනෙකුට රඳවා තබා ගැනීම, බන්ධනාගාර දෙපාර්තමේන්තුවට අයත් කාර්යයක් වන අතරම යම් කාල පරාසයක් තුළ ඔවුන් පුනරුත්ථාපනය කර සමාජගත කිරීම ඔවුන්ගේ වගකීම වේ.

    සිරකරුවකු ලෙස මා විශේෂ කරුණක් මෙහිදී මතක් කළ යුතුය. සිරකරුවකුගේ පුනරුත්ථාපන කාල පරාසය කුමක්දැයි කිසිම සිරකරුවකු නොදනිති. වයස 60 වැඩි සිරකරුවන් වසර 10, 15, 20 කාලසීමාවක් තුළ පුනරුත්ථාපනය කරන්නේ නම් ඔවුන්ගේ මළසිරුරු ඔවුන්ගේ භාරකරුවන්ට දීමට හැකියාව ලැබෙනු ඇත.

    වසර 27 ක් සිරදඬුවම් විඳි ‘නෙල්සන් මැන්ඩෙලා’ මැතිතුමන් සිර දඬුවමින් නිදහස් වූ පසු පොදු රාජ්‍ය මණ්ඩල රටවලින් කරන ලද ඉල්ලීමක් සම්මත කර ඇති අතර සිර දඬුවම් විඳින සිරකරුවන්ට ඒ මත සහන සැලසේ. මෙය “මැන්ඩෙලා නීතිය” (MANDELA RULES) නමින් පිළිගනු ලැබේ. (UNITED NATIONS MINIMUM INTERNATIONAL STANDARDS FOR TREINMENI OF PRISONER’S) මත සිරකරුවන්ට කටයුතු කළ යුතුය.

    කැබිනෙට්ටුව මගින් පත්කරන ලද විශේෂ කොමිටිය මගින් වසරේ ඉදිරිපත් කරන ලද වාර්තාවට අනුව ප්‍රකාශ කර සිටියේ මැන්ඩෙලා නීතිය (MANDELA RULES) ක්‍රියාත්මක විය යුතු බවයි. මෙම වාර්තාව අමාත්‍ය ගයන්ත කරුණාතිලක මැතිතුමන්ට, 2016 වසරේ කොමිටිය විසින් ඉදිරිපත් කරන ලද නමුත්, එම වාර්තාවට සිදුවූයේ කුමක්ද යන්න මේ දක්වා කිසිදු සිරකරුවකු නොදනිති. බන්ධනාගාර තදබදය වෙනුවෙන් පත් කළ මෙම කොමිටියේ සිරකරුවන්ට සහන සැලසීමට යෝජනා ගණනාවක් ඉදිරිපත් කර තිබුණි. නමුත් මේ දක්වා එම යෝජනා ක්‍රියාත්මක නොවීය.

    කිසිදු රටක සිරකරුවන් මරණය දක්වා පුනරුත්ථාපනය නොකරන ලද අතර, සාධාරණ සිර දඬුවමක් ගත කළ පසු ඔවුන්ට නිදහස්වීමට අවස්ථාව උදාවෙනු ඇත. පොදු රාජ්‍ය මණ්ඩල රටවල් මෙම නීතියට එකඟවන අතර පොදු රාජ්‍ය මණ්ඩලයට අයිති ශ්‍රී ලංකාව තුළද මෙම නීති ක්‍රියාත්මක විය යුතුය. මෙහිදී පොදු නීති තලයට වයස්ගත පිරිස පත්නොකර ඔවුන්ට වෙනස් වූ ලිහිල් සහනදායි නිදහස් ක්‍රමයක් සකස් කිරීමට නිසි බලධාරින්ගේ අවධානය යොමුවේවායි ප්‍රාර්ථනා කරමි.

    වයස්ගත සිරකරුවන්ට අනෙක් සාමාන්‍ය සිරකරුවන්ගේ ක්‍රමවේදය අනුගමනය නොකර සහනදායි ක්‍රමයක් මත නිවාස නිවාඩු යාම හෝ බලපත්‍ර මණ්ඩලයකින් නිදහස් කිරීම හෝ කරන්නේ නම් එය වැඩිහිටි ජ්‍යෙෂ්ඨ පුරවැසියනට සිරකරුවන්ට කරන උපරිම වූ උපකාරයක් වනු ඇත.

    ජාත්‍යන්තර වැඩිහිටි දිනය සමරන ඔක්තෝබර් 01 වෙනිදා හෝ ශ්‍රී ලංකාවේ නොයෙකුත් වැඩසටහන් ක්‍රියාත්මක වන නමුත්, සිර ගෙදරද මෙවැනි සුළු පිරිසක් සිටින බව ශ්‍රී ලංකාවාසී කිසිවෙකුටත් මතක් නොවේ. සමාජ සවිබල ගැන්වීමේ අමාත්‍යාංශයට හෝ මේ පිරිස ගැන කිසිදු අවබෝධයක් නැති බව මගේ විශ්වාසයයි. බුදුදහමින් සහ බෞද්ධ සාරධර්ම තුළින් සමාජයේ ප්‍රමුඛස්ථානයක් වැඩිහිටියාට ලැබී ඇත. වැඩිහිටියන්ට ගරු කිරීම, වැඩිහිටියන්ට සැලකීම මෙන්ම වැඩිහිටි අණ පිළිපැදීම යනාදී වශයෙන් වැඩිහිටියන් පිළිබඳ යහපත් සමාජ සංකල්පයන්වලින් හෙබි සාරධර්ම පද්ධතියක් බිහිව ඇත්තේද එහි අනිවාර්ය ප්‍රතිඵලයක් ලෙසිනි.

    උපරිම මානසික වේදනා දුක් මත ජීවත්වන සිරගෙදර සිටින සුළු ජ්‍යෙෂ්ඨ පුරවැසියන්ට සියලුදෙනාගේ අනුකම්පාව මත උපරිම සහනයක් ලබාදේවි යයි සිතමි.මේ පිරිසට සහයෝගය සහ නිදහස ලබාදිය හැක්කේ අතිගරු ජනාධිපතිතුමන්ට පමණක් බවද මා දන්නා කරුණකි.

    [rns_reactions]

  • දුම්රියේ හොරෙන් ගිය අයගෙන් මාස 10කදී කෝටි 11/2ක දඩ

    ශ්‍රී ලංකා දුම්රිය දෙපාර්තමේන්තුවේ සංචාරක ප්‍රවේශපත් පරීක්ෂක නිලධාරීන් සහ සංචාරක ප්‍රවේශපත් විභාග නිලධාරීන් මෙම වසරේ ජනවාරි සිට ඔක්තෝබර් අවසානය දක්වා කාලය තුළ දිවයින පුරා ධාවනය කරන ලද දුම්රිය වල සිදුකරන ලද ජංගම ප්‍රවේශපත් පරීක්ෂාකිරීම් හා හදිසි වැටලීම් වලින් රුපියල් එක් කෝටි හැට අට ලක්ෂ අසු දෙදාස් නවසිය විසි දෙකක (16882922.00) වාර්තාගත දඩ ආදායමක් උපයාගැනීමට සමත්වී තිබෙන බව ශ්‍රී ලංකා දුම්රිය දෙපාර්තමේන්තුටව් වාණිජ අධිකාරී කාර්යාලය පවසයි.

    කොළඹ, නාවලපිටිය හා අනුරාධපුර දුම්රිය කලාපවල මෙම හදිසි වැටලීම් හා ජංගම මෙහෙයුම් සිදුකරන කරනලද අතර, එහිදී වංචනිකව දුම්රියේ ගමන් කිරීමේ චෝදනා වලට වරදකරුවන්වු මඟීන් ගෙන් මෙම දඩ මුදල අයකරගෙන තිබේ.

    ප්‍රවේශ පත්‍ර රහිතව දුම්රියේ ගමන් කිරීම, 3 වන පංතියේ ප්‍රවේශ පත් රැගෙන 1 හා 2 පංතිවල ගමන් කිරීම හා ප්‍රවේශ පත්‍රයේ සඳහන් දුරට වඩා වැඩිදුර ගමන් කිරීම එම අය සිදුකරන ලද වංචනික ක්‍රියා වේ. අදාළ කාලය තුළ සොයාගනු ලැබු වංචනික මඟීන් 10668 ගෙන් මෙම දඩ මුදල් අයකර ගෙන තිබෙන බව එම නිලධාරීහු පැවසුහ.

    මේ වන විට දුම්රියේ වංචනිකව ගමන් කිරීමේ චෝදනාවන්ට වරදකරුවන් වන එක මඟියකුගෙන් අය කරන දඩ මුදල රුපියල් 3000.00 දක්වා වැඩිකර ඇති බව ශ්‍රී ලංකා දුම්රිය දෙපාර්තමේන්තුවේ වාණිජ අධිකාරි ජී.ඩබ්ලිව්.එස්. සිසිරකුමාර මහතා පවසයි.

    වංචනික ක්‍රියා නිසා ශ්‍රී ලංකා දුම්රිය දෙපාර්තමේන්තුවට ලැබිය යුතු විශාල ආදායමක් අහිමිවන බැවින් එම තත්වය වළක්වා ගැනීම පිණිස දැනට හදිසි වැටලීම් හා ජංගම පරීක්ෂණ වැඩිකර තිබෙන බව හෙතෙම වැඩිදුරටත් පැවසීය.

    [rns_reactions]

  • රට යන ඇත්තන් අනතුරේ- මිනිසුන් රවටා හොර වීසා හා ගුවන් ටිකට් දෙන මහා පරිමාන ජාවාරාමක් හෙළි වේ

    විදේශයන් හී නිවාඩු ගත කිරීමට හා වෙනත් සංචාර සදහා ඒජන්සිකරුවන් විසින් ලබාදෙන වීසා හා ගුවන් ගමන් බලපත්‍ර සම්බන්දයෙන් දැඩි අවධානය යොමු කරණ ලෙස යාපනය පොලීසිය මහ ජනතාවගෙන් ඉල්ලීමක් කොට තිබේ.

    යාපනය පුරා සිටින විශාල පිරිසකට නිවාඩු ගත කිරීමට හා කොවිල් වන්දනා කිරීමට ලබාදී ඇති වීසා හා ගුවන් ගමන් බලපත්‍ර ව්‍යාජ ඒවා බව යාපනය පොලීසිය කළ පරීක්ෂණයකදී හෙළි වී තිබේ.

    ඒජන්සි කරුවන්ගේ මෙම වංචාවලට හසුවුණු කීප දෙනෙකුම යාපනයේ විවිධ ප්‍රදේශවල පිහිටි පොලිස් ස්ථාන වලට පැමිණිලි කර ඇත.

    යාපනය පොලීසියට ඊයේ (3) දා ලැබුණු එක් පැමිණිල්ලක සදහන්ව ඇත්තේ ඉන්දියාවේ සංචාරයක් සදහා පවුලේ තුන්දෙනෙකු වෙණුවෙන් රුපියල් එක්ලක්ෂ විසි අට දහසක් අය කළ ඒජන්සිකරුවෙකු එම පවුල සදහා ලබා දී ඇති වීසා,හෝටල් වෙන්කිරීම් හා ගුවන් ගමන් බලපත්‍ර යන සියල්ලම ව්‍යාජ ඒවා බවයි.

    එම මුදල් වෙණුවෙන් ලබාදී ඇති රිසිට් පත් සියල්ලද ව්‍යාජ ඒවා වන අතර එහි සදහන් ලිපිනයට අනුව එවැනි ඒජන්සියක් නොමැති බවද පොලිසිය සඳහාන් කරයි.

    යාපනය පොලීසිය සිද්ධිය පිළිබද පරීක්ෂණ පවත්වන අතර පොලීසිය ඉල්ලා සිටින්නේ නිවාඩු සමයේ අඩු මුදලට ලබාදෙන මෙවැනි විදෙස් සංචාර ගැන දැඩි අවධානයෙන් සිටින ලෙසයි.

    [rns_reactions]

  • ඉදිරි පැය 24 අවදානම්-අවධානයෙන් සිටින්නැයි ධීවරයින්ට උපදෙස්

    ගිණිකොන දිග බෙංගාල බොක්ක මුහුදු ප්‍රදේශයේ වර්ධනය වී ඇති අඩු පීඩන කලාපය ඉදිරි පැය 24 ඇතුලත පීඩන අවපාතයක් දක්වා වර්ධනය වුවහොත් සුළගේ වේගය වැඩි වීමේ හැකියාවක් ඇති බැවින් නාවික හා ධීවර ප්‍රජාවන්ට අවධානයෙන් සිටින්නැයි කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව පවසයි.

    ඒ හේතුවෙන් (05) සිට 8 වන දින තෙක් දිවයින හරහා සහ දිවයින අවට මුහුදු ප්‍රදේශවල විශේෂයෙන් උතුරු, නැගෙනහිර සහ දකුණු මුහුදු ප්‍රදේශයන්හි සුළගේ වේගය වැඩි වීමේ හැකියාවක් පවතින බවද ඔවුන් සඳහන් කරයි.

    මේ හේතුවෙන් උතුරු, උතුරු-මැද, නැගෙනහිර සහ ඌව පළාත්වල විටින් විට වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇති විය හැකි බව ද දෙපාර්තමේන්තුව නිවේදනය කරයි.

    නැගෙනහිර, උතුරු, උතුරු-මැද, ඌව සහ මධ්‍යම පළාත්වල සහ හම්බන්තොට දිස්ත්‍රීක්කයේ ඇතැම් ස්ථානවලට සාමාන්‍යයෙන් තද වැසි (මි.මි. 75 වැඩි) ඇතිවනු ඇතැයි අපේක්ෂා කෙරේ.

    දිවයින වටා වන මුහුදු ප්‍රදේශවල සුළං ඊසාන සිට උතුරු දෙසින් හමන අතර සුළගේ වේගය පැ.කි.මී. 30-40 ක්පමණවේ.

    බස්නාහිර,සබරගමුව සහ ඌව පළාත්වලත් අම්පාර සහ මඩකළපුව දිස්ත්‍රීක්කවලත් විටින් විට හමන (පැ.කි.මී. 50 ක්පමණ)තරමක් තද සුළං බලාපොරොත්තුවිය හැක.

    බෙංගාල බොක්ක මුහුදු ප්‍රදේශයේ සුළඟේ වේගය පැ.කි.මී.90-100 වන අතර පොතුවිල් සිට ත්‍රිකුණාමලය හරහා කන්කසන්තුරය දක්වා වන ගැඹුරු මුහුදු ප්‍රදේශවල සුළගේ වේගය විටක පැ.කි.මී. 60-70 දක්වා වැඩි විය හැකි අතර එම මුහුදු ප්‍රදේශ විටින් විට ඉතා රළු විය හැකි බව ද දෙපාර්තමේන්තුව පවසයි.

    ගිගුරුම් සහිත වැසි ඇති වන විට එම මුහුදු ප්‍රදේශවල විටින් විට හමන තාවකාලික ඉතා තද සුළං (පැ.කි.මී.70-80 දක්වා) සහ රළු මුහුදු ප්‍රදේශ බලාපොරොත්තු විය හැකියි.

    [rns_reactions]

  • “චාමර කියන්නේ හොඳ ටේලර් කෙනෙක්, එයා ස්ටෙජ් එකේ සිංදු කියනවා දකින්න තාත්තාට බැරි වුණා.”

    කොයි තරම් හැකියාවන් තිබුණත් පිළිගැනීමක් තිබුණත් ඒ හැමදේටම වටිනාකමක් එකතු වෙන්නේ කෙනෙකුගේ තියෙන නිහතමානීකමෙන්.

    රසික හදවත් ආදරයෙන් වැළඳගත් ඒ වගේ කෙනෙක් තමයි චාමර වීරසිංහ කියන්නේ.

    රටක් දන්න සොඳුරු කලාකාරයෙක් මේ ලෝකෙට බිහිකරලා ඔහුව සාර්ථක පාරක යවන්න අම්මා කෙනෙක් මොන තරම්නම් කැපකිරීමක් කරනවද..?

    මේ ඒ සොඳුරු ගායකයා ගැනත් ඔහුගේ මව ගැනත් සතිඅන්ත පුවත්පතක පලවී තිබූ අපූරු සටහනක්.

    ඈත දියඹේ සැඩ කුණාටු, සුළි සුලං, චණ්ඩ මාරුතවලින් කොච්චර නං නෞකා අතරමං වෙනවා ඇත්ද?
    ඒ මහා නෞකාවලට යන්න හරි පාර කියලා දෙන්නේ ගොඩබිමේ ඉන්න ප්‍රදීපාගාරය.
    නෞකා විතරක් නෙමෙයි. සාගර ජීවින් පවා මේ ප්‍රදීපාගාරයට අවනත වෙන්නේ නන්නාඳුන මහා සාගරේ පාර කියන එකම කෙනා එයා නිසා.

    සමහරු කියනවා සතර දිසාවට විශාල ආලෝක කදම්භ විහිදුවට ප්‍රදීපාගාරය යට කළුවරයි කියලා.
    ඔව්. ප්‍රදීපාගාරය යට කළුවරයි. ඒත් ඒ ප්‍රදීපාගාරය රාත්‍රියට කොච්චර නම් අයට පාර කියනවා ඇත්ද?
    අම්මලත් හරියට මේ ප්‍රදීපාගාරය වාගේ. තමන්ගේ ජීවිතේ මොන තරම් දුක්ඛ ‍දෝමනස්සයන්ගෙන් කළුවර වුණත් ඒවා ඉවසා දරාගෙන දරුවන්ගේ ජීවිත ආලෝකමත් කරන්න අම්මලා කොයිතරම් නම් වෙර දරනවා ද?
    ගොඩක් අය ජීවිතේ ගැන කතා කරද්දි “ජීවිතේ කියන්නේ තක්සලාවකට” කියලා කියනවා.
    මම කියනවා ජීවිතේ තක්සලාවක් නම් අම්මා කියන්නේ ඒ තක්සලාවේ දිසාපාමොක් ඇඳුරුතුමාට කියලා.
    මොකද දරුවෙක් නව මාසයක් තිස්සේ උදර කුහරේ දරාගෙන විඳපු දුක වගේම ඒ දරුවා ලෝකේ එළිය දැකපු දවසේ ඉඳන් දියුණුවේ හිනිපෙත්තටම නඟින්න ජීවිත කාලෙම කැප කරන, පාර කියන තාරුකාව වෙන්නේ අම්මා මිසක් වෙන කවුද?

    “මම මෙතනට ආවේ ලොකු කට්ටක් කාලා. මේ එන ගමන ඇතුළේ ගොඩක් කලකිරීම්, හිත් රිදීම් වුණා.
    මම රුපියල් 300ටත් සින්දු කියපු කාලයක් තිබුණා. ඒ දේවල්වලින් පහුබහින මාව දිරිමත් කළේ මගේ අම්මා.
    මට ජීවිතේ ඉවසීම පුරුදු කළේ මගේ අම්මා.” තමන්ගේ අම්මා ගැන කියන්න මොනාහරිම දෙයක් හැම ළමයෙක්ටම කියනවා.

    ඒ පුතාටත් අම්මා ගැන කියන්න දෙයක් තිබුණා. ඒ වචනවලට විතරක් සීමා වුණ නිර්වචනයක් නෙමෙයි.
    හදවතේ හැඟීම් වචනවලට කාවද්දලා වර නඟපු වචන පෙළක එකතුවක්. කලකට පෙර ලංකාවේ ප්‍රසංග වේදිකාව බටහිර පන්නයට නතුව තිබුණි.
    එකල රසවින්දනයට නතු වූයේ බටහිර ආභාසය සහිත රොක් හිපොප් ශෛලියට අනුගත රිද්ම රටා මෙන්ම ඉන්දියානු හින්දුස්ථානී ආභාසය ඇසුරු කොටගත් හින්දි ගීතය.

    ප්‍රසංග වේදිකාවේ රසිකයන් ඔල්වරසන් දුන්නේද උරුවම් බෑවේ ද ඒ හරසුන් රිද්ම රටාවන්ටය.
    එය වෙනත් මඟකට යොමු කළ පුරෝගාමීන් අතර චාමර වීරසිංහ යනු රසික ජනාදරය දිනූ ප්‍රමුඛ පෙළේ හඬ පෞරුෂයකි.

    වෙන කවුරුත් නෙමෙයි ඒ වචන පෙළේ අයිතිකරුවත් ඔහුම තමයි.

    තමන්ගේ අම්මා ගැන පුතාගේ මේ කියවීම් ඇතුළේ අපි ඒ අම්මාව හොයන්න පටන්ගත්තා.
    චාමරට ජීවිතේ ආපිට හැරෙන්න තීරණය කරපු තැන්වලදී ජීවිතේ කියන්නේ දියුණුවට විතරක් නෙමෙයි නින්දා අපහාස, පසුබැසීම් කියන්නෙත් ජීවිතයට කියලා කියලා දීපු ඒ අම්මව මුණගැහිලාම මේ පෙකණිවැලේ කතාවේ සුලමුල හොයන්න අපි තීරණය කළා.

    අම්මා වගේම එදා විවේකයෙන් ගෙදරට වෙලා හිටපු චාමරත් අපිව ආදරෙන් පිළිගත්තා.

    අම්මා දැකපු ගමන්ම හිතුණේ චාමර වගේ කියලා.
    හරියටම කිව්වොත් චාමර අම්මා වගේ. අම්මාගේ හැඩහුරුකම්වලින් බොහෝමයක් චාමරටත් ඇවිත් තියෙනවා කියලා මේ අම්මයි පුතායි දිහා බලන ඕනෙ කෙනෙක්ට පේනවා.

    “අපි එළියට ගිහින් කතා කරමු පුතේ. අපිට නිදහසේ කතා කරන්න පුළුවන් එතකොට.”
    වැහි කළුව නිසා අන්ධකාර වුණ ගෙදර ඇතුළේ රූපවාහිනියේ සද්ද බද්ධ නිසා නිදහසේ කතා කරන්න බැරි බව වැටහුණු අම්මා අපිව නිවස ඉදිරිපිට ආලින්දයට එක්කරගෙන ගියා.
    නිදහසේ කියන්න තරම් මේ අම්මට තමන්ගේ පුතා ගැන ලොකු කතාවක් ඇති කියලා නිකමට හිතුණේ ඇගේ කතා විලාසයෙන්.

    ආලින්දයේ කොනකට වෙන්න තිබුණ පුටුවක හරි බරි ගැහිලා හිමින් සීරුවේ වැටෙන හිරිපොද දිහා බලාගෙන අම්මා ඇගේ යටගියාව සිහිපත් කරන්න පටන්ගත්තා.
    ඉදිකැටියේ හේවා ගමගේ ශික්ෂිතා මානෙල්. ඒ තමයි අම්මාගේ සම්පූර්ණ නම. මාතර වල්ගම ප්‍රදේශයේ සොහොයුරන් තිදෙනෙක්ට හා සොහොයුරියකට වැඩිමල් සොයුරිය විදිහට උපත ලබපු අම්මා තමන්ගේ පුංචි කාලේ විස්තර කිව්වේ හරි ආසාවෙන්. පවුලක වැඩිමලා විදිහට ගෑනු දරුවෙක් ලැබුණම අම්මාට ටිකක් සහනයක් ලැබෙනවා.
    මොකද ඉන් පස්සේ උපත ලබන බාල සොයුරු සොයුරියන් බලාකියාගන්න වගකීම “ලොකු දුවට” භාරදෙන්න පුළුවන් නිසා.

    ඉතින් හදිස්සියේම අම්මාට හොයාගන්න බැරි ලෙඩක් හැදිලා රෝගාතුර වුණාම පවුලේ ලොකු දුව වුණු චාමර වීරසිංහගේ අම්මා තමයි නංගිවයි මල්ලිලා තුන්දෙනාවයි බලාගෙන තියෙන්නේ. “මගේ තාත්තා එළවළු ව්‍යාපාරිකයෙක්. මොන අඩුපාඩු තිබුණත් අපි පුංචි කාලේ හරි කෙළිලොල් විදිහට ගත කළා. දැන් ළමයින්ට පහසුකම් වැඩී. ඒත් එයාලට අපිට වගේ පුංචි කාලයක් නැහැ.” අෑ තමන් විදපු කුඩා කළ මතක සිහිපත් කරන්නීය. රස විඳින්නීය.

    තමන් විඳි කුඩා කාලය අහිමි වත්මන් දරුවන් දෙස බලා පසුතැවෙන්නීය. අනේක විද දුක් ගැහැට මැද වුව ළමා කාලය හිමි තමන්ගේ පරම්පරාව සමඟින් තාක්ෂණයෙන්, පහසුකම්වලින් සපිරි දරුවන්ගේ කොටුවුණ ජීවිත සසදන්නීය.

    තම යටගියාව ටිකෙන් ටික හාරවුස්සන අම්මාගේ කල්පනා ලෝකේ මඳකට අවහිර කරන්න හිතුණේ හිටිහැටියේ හිතට ආපු ප්‍රශ්නයක් නිසා. “එතකොට අම්මා බැන්දේ කොයි කාලෙද?”

    “මම බැන්දේ අවුරුදු 24න්. ගමේම කෙනෙක්ව තමයි මම බැන්දේ. එයා ‘ටේලර්’ කෙනෙක්. අපි දෙන්නා යාළු වෙලා බැන්දේ.” ඒ වචන ටික කියනකොට අම්මාගේ මූණෙ ඇඳුණ ආදරබර හිනාවෙන්ම ඒ බැඳීම කොච්චර ආදරණීය ද කියලා කියන්න පුළුවන්. වෘත්තියෙන් ඇඳුම් මසන්නෙක් වුණ තම සැමියාගේ ව්‍යාපාරයටත් උදව් උපකාර කරගෙන, දුක සැප බෙදාගෙන තමන්ගේ යුගදිවිය ගතකළ ආකාරය අම්මා රස කර කර අපිත් එක්ක කිව්වා.

    “ඒ කියන්නේ අම්මාට හොඳට ඇඳුම් මහන්න පුළුවන් ඇති?” මගේ තොරතෝංචියක් නැති ප්‍රශ්නවලින් ඊළඟ ප්‍රශ්නේ තමයි ඒ.

    “ඔව්. මට ඕනම ඇඳුමක් හොඳට මහන්න පුළුවන්. පුංචි කාලේ චාමරලාගේ ඇඳුම් මහලා දෙන්නේ මම තමයි. ඒ ඇඳුම් මහලා තමන්ගේ දරුවන්ට අන්දවලා හැඩ බලලා අම්මා මොන තරම් නම් සතුටු වෙන්න ඇත්ද ඒ කාලේ?

    දරුවන්ට තමන්ගේ අතින් මහපු ඇඳුම් අන්දන්න අම්මලා කොහොමත් හරි ආසයි.

    වැහි අඳුරත් එක්ක එන හිරිගඬු පිපෙන හීනි සුළං රැල්ල හෙමීට ඇවිල්ලා අපිව වෙලාගෙන ආයිමත් තමන්ගේ ගමන යනවා. අම්මා හෙමින් හෙමින් වැටෙන හිරිපොද දිහා බලාගෙන ඒ නොකියපු කතාව අපිත් එක්ක කියනවා. කතාව ගලාගෙන යන අතරේ මම කතාව අපේ කතා නායකයා දිහාවට හැරෙව්වා.

    “අම්මේ… චාමර වීරසිංහ කියන්නේ පවුලේ කීවෙනියටද?”

    “චාමර කියන්නේ පවුලේ පස්වෙනියට.
    මට ඉන්නේ දුවලා තුන්දෙනයි පුතාලා තුන්දෙනයි. චාමරට පස්සේ මල්ලි කෙනෙකුත් ඉන්නවා.”

    සහෝදරියෝ තුන්දෙනෙක්ට සහ සහෝදරයෝ තිදෙනෙක්ගෙන් පස්වෙනියා හැටියට මාතර මහරෝහලේ උපත ලබපු චාමර වීරසිංහ නම් ඒ ප්‍රසංග වේදිකාවේ වේදනාබර සංවේදී හඬ පෞරුෂයේ යටගිය මතක අම්මා අපිත් එක්ක බෙදාගන්නවා. මේ අතරතුර කවුරුත් ආදරේ කරන චාමරගේ කුඩා කල මතකවලට එබිකම් කරලා බලන්න අපි අමතක කළේ නැහැ. “චාමර තමයි මේ හයදෙනාගෙන්ම අහිංසකම ළමයා. විසේ නෑ. හරිම අහිංසක තැම්පත් ළමයෙක් එයා.

    එයා අහිංසක නිසාම ද කොහෙද හැමෝම එයාට ආදරෙයි.”
    ප්‍රසංග වේදිකාවේ අහිංසක පෙම්වතා පොඩි කාලෙත් හරි අහිංසකයි කියලා අම්මාම කියපු නිසා පිළිගන්නම වෙනවා.
    අදටත් බැලූ බැල්මට පේන ඔහු සතු හික්මීම, තැම්පත් ගති පැවතුම් කුඩා කාලේ පටන්ම ගෙන එන ඇවතුම් පැවතුම් කියලා අම්මාගේ වචනවලින්ම ඕනෙ කෙනෙක්ට තේරෙනවා.
    ගොඩක් අය සංගීත ක්ෂේත්‍රයට පිවිසෙන්නේ හුඟක් පුංචි කාලේ ඉඳලා දක්ෂතා පෙන්නලා ඒත් චාමර එහෙම නෙමෙයි. “එයා පුංචි කාලේ වැඩියෙන්ම සංගීතයටත් වඩා කැමති චිත්‍රවලට. ලස්සනට චිත්‍ර අඳින්න පුළුවන්. එයා ඇඳපු චිත්‍රකතාවලින් තාත්තා තොරන් තුනක් ගැහුවා ඉස්සර.
    හැමෝම ආදරේ කරන ඒ නිහතමානී කලාකරුවාගේ සැඟවුණු රහසක් තමයි අම්මා අපිත් එක්ක කිව්වේ. සංගීතයට විතරක් නෙමෙයි චිත්‍ර කලාවටත් දක්ෂතා දක්වන ඔහු විවිධ වූ හැකියා ඇත්තෙක් බව පසක් කරන තවත් කතාවක් අම්මා කිව්වා. “එයාලගේ තාත්තා ටේලර්නේ. ඉතින් චාමරටත් හොඳට ඇඳුම් මහන්න පුළුවන්. එයාට විතරක් නෙමෙයි පවුලේ හැම ළමයෙක්ටම ඒ වැඩ හොඳට පුළුවන්.”
    අපි ආදරය කරන මිනිස්සුන්ගේ නොදන්න දේවල් නම් කොයිතරම් තියනවාද? චාමර වීරසිංහ කියන්නේ හැමෝම දන්න විදියට අතිදක්ෂ ගායකයෙක්.

    ඒත් ඔහු චිත්‍ර ශිල්පියෙක්. ඒ වගේම හොඳ ඇඳුම් මසන්නෙක්. අම්මා තමන්ගේ පුතාගේ මේ හැකියා දක්ෂතා අපිත් එක්ක කිව්වේ හරි ආඩම්බරෙන්. ඒ වගේම හිතේ කොනක ගුලිකරගත්ත ආදරෙන්. “චාමරගේ තාත්තත් හරි කැමතියි සංගීතයට. පුංචි කාලේ සංගීත සංදර්ශනවලට එක්කන් ගිහින් ස්ටේජ් එකේ තියලා ඒකේ සිංදු කියවලත් තියෙනවා මෙයාට කියලා. ඒත් ඇත්තටම එයා ස්ටෙජ් එකේ සිංදු කියනවා දකින්න තාත්තාට බැරි වුණා.”

    ඈ මොහොතකට නිහඬ විය. ඒ පමාවෙන් ඇගේ නෙත් කොනේ දිලිහෙන කඳුළු කැටේ දැක ගන්න ලැබුණා.
    චාමර වීරසිංහට තමන්ගේ තාත්තා අහිමිවෙන්නේ අවුරුදු 12න්. ඒත් තාත්තා පුංචි කාලේ ඉඳන් හීන දැකලා තියෙන්නේ ඔහු දක්ෂ ගායකයෙක් වෙනවා දකින්න. මේ දේවල් අම්මා කොහේදෝ බලාගෙන කියාගෙන යන්නේ සතුටයි, දුකයි අතරමැද මොකක්දෝ කියාගන්න බැරි හැඟීමකින්.
    මට ඕන වුණේ ඒ හැඟීම අම්මත් එක්කම විඳින්න.
    ඒත් ඒ සිතුවිලි දිගුව මඳකට නතර කරන්න වුණේ හිටිහැටියේ. මගේ කලබල හිතට ආපු තවත් එක ප්‍රශ්නයක් නිසා.

    “චාමරට අම්මා කතා කරන්නේ මොකක් කියලද?”

    “මම එයාට කතා කරන්නේ ‘චම්මි’ කියලා” ඒක චාමරට ආදරේ කරන රසිකයන්ට ලොකු හෝඩුවාවක්. කොහොම වුණත් චාමරගේ නිවුණ ගති පැවතුම් නිසා අම්මා චාමරට ටිකක් වැඩියෙන් ආදරේ කළා කියලා අම්මගේ කතාවෙන් අපිට තේරුණා.

    චාමර වීරසිංහ ආපු මේ තරු ගමන ගැන අම්මාගේ මතකය අවදි කරන්නත් අපි අමතක කළේ නැහැ. “එයා ඉස්කෝලේ යන කාලේ ගොඩක් සංගීතයට දක්ෂයි. ඉස්කෝලේ යන කාලේ එයාගේ ඒක පුද්ගල ප්‍රසංගයක් තිබුණා. ඒකෙන් පස්සේ තමයි එයාව ගොඩක් අය දැනගත්තේ. ඒ වගේම එයාට ඒකට හොඳ ප්‍රතිචාරත් ලැබුණා.

    පුතාගේ තරු ගමනේ මතක එකින් එක අම්මා හරි සතුටෙන් හෙළි කරනවා.

    තමන් පුංචි කාලේ ඉඳන් හරි ආදරෙන් හදපු දරුවෝ ලොකු තැන්වල වැජඹෙද්දී අම්මලාගේ සතුට වචනවලට පෙරළන්න හරි අමාරුයි. වචන වෙනුවට එළියට එන්නේ කඳුළු කැට. ඒත් ඒවා සතුටු කඳුළු. පුංචි තැනකින් පටන් අරගෙන දවසින් දවස මුළු රටක්ම ආදරය කරන තැනට එනකම් චාමර වීරසිංහ ආපු ගමන ගොඩක් දුෂ්කරයි. ඉතින් මේ හැමදේකටම ඔහු ළඟින් හිටියේ චාමරගේ ‘අම්මා’.

    ඉතින් දරුවා මේ ඉන්න තැන ගැන දැනෙන හැඟීම අහන්න හොඳම කෙනත්, ඒ සතුටේ අයිතිකාරියත් ඒ අම්මා විතරයි. “මට ගොඩක් සතුටුයි පුතා ඉන්න තැන දැකලා. ඒ වගේම මම ගොඩක් වාසනාවන්තයි. ඒ වගේ පුතෙක් ලබන්න. එයා දවසින් දවස ඉහළට යනවා.

    මට එතකොට එයාලගේ තාත්තව මතක් වෙනවා. තාත්තත් හිටි නම් කියලා හිතෙනවා.” ඒ අන්තිම වචන ටික ඉවර වුණේ ඉකියකින්. තමන්ගේ පුතා ඉන්න තැන ගැන සතුටුවෙන අම්මා ඒ දිහා බලන්න තාත්තා නැති වුණ ඒක ගැන දුක් වෙනවා. ජීවිතේ කියන්නේ හරි පුදුමාකාර එකක්.
    කෙනෙක්ට දෙයක් ලැබෙනකොට තවත් දෙයක් අහිමි වෙනවා. ළමයි පුංචි කාලෙම තමන්ගේ සැමියා අහිමි වුණාම අම්මා කෙනෙක් මොනතරම් අසරණ වෙනවා ඇත්ද? කොයි තරම් දුක්විඳලා ඒ දරුවෝ හදන්න ඇත්ද?

    ඒ හැමදේටම හිත හයිය කරගෙන තමන්ගේ ස්වාමියාගේ ව්‍යාපාරය වැඩිමහල් පුතාත් එක්ක දිගින් දිගටම කරගෙන පවුලම නඩත්තු කළා කියලා අම්මා අපිත් එක්ක කිව්වා. එහෙම දුක්විඳලා හදපු ළමයි දැන් ඉහළ තලයක බැබළෙද්දි අම්මාගේ සතුට කොහොමට ඇත්ද?

    මේ තොරතෝංචියක් නැති ප්‍රශ්නවලට මගේ හිතට ඉඩදීලා මම අහන්න හිතාගෙනම හිටපු ප්‍රශ්නයක් අම්මාගෙන් ඇහුවා. “චාමර මේ දැන් ඉන්න විදිහට අම්මා කැමතිද?” “එයා මුළු ඇගේම පච්ච කොටාගෙන ඉන්නේ. කනයි, මූණයි තුන් හතරපලකින් විඳලා ඉන්නේ. මම නම් ඒවාට කැමති නැහැ. ඒවා කරගෙන ආවම මම බයිනවා. ඒත් ඒක එයාගේ කැමැත්තනේ. ඒ නිසා ඒක මට නතර කරන්නත් බැහැ. ඒ වචන හරි අව්‍යාජයි.

    තමන්ගේ දරුවෝ තමන් අකමැති දේවල් කළාම ඒ දේට විරුද්ධ වෙන්න අම්මලා දෙපාරක් හිතන්නෙ නැහැ.
    ඒත් අම්මලා දරුවන්ගේ කැමැත්තට ඉඩ දීලා තමන්ගේ විරෝධය යටපත් කරගන්නේ ආදරේට. තාරුණ්‍යයේ අතිමහත් බහුතරයක ආදරය දිනාගත් ප්‍රසංග වේදිකාවේ ජනප්‍රියම, නිහතමානීම කලාකරුවෙක් විදිහට කවුරුත් දන්න කියන තමන්ගේ පුතාගේ ඉදිරිගමනට අම්මා ආශිර්වාද කරන්නේ සුපසන් සිතින්. නොකිව්වත් ඒ ආශිර්වාදය, ආදරය, ඇගේ හැම වචනයකින්ම දෝරේ ගලනවා.
    අම්මා කෙනෙක් ජීවිතේ ලබන්න කියන උපරිම සතුට, ගෞරවය චාමර වීරසිංහගේ අම්මා විඳලා හමාරයි. ඇගේ අවසන් බලාපොරොත්තුවත් හරි උපේක්ෂා සහගතයි. “මගේ අන්තිම බලාපොරොත්තුව මෙහෙම ඉඳලා කිසිම කරදරයක් නැතුව, එකතැන් වෙන්නෙ නැතුව මගේ හුස්ම ටික යන්න එක තමයි.”

    ඇය ජීවිතේ නොයෙක් විඳ දුක්ඛ ‍ෙදාම්නස්නයන්ගෙන් පීඩා විඳ දරා ගන්නීය.

    සැමියාගේ අභාවයත් සමඟ අනිත්‍ය අනාත්ම ලක්ෂණ පසක් කරමින් කල්ගෙවන්නීය. දරුවන් මෙන්ම මුණුබුරු මිනිබිරියන්ගේ ආදරය ලබමින් ජීවිතේ සැදෑ සමය ගත කරන්නීය.

    තම පුතු විඳින පැසසුම්, මෙන්ම නින්දා දෙස උපේක්ෂා සහගත සිතින් බලන්නීය.
    ජීවිතේ මේ යැයි අවබෝධ කරගනිමින් ප්‍රීතිමත් මරණයක් බලාපොරොත්තුවෙන් පසුවන්නීය. කෙසේ වුව ද අෑ ඒ රටක් ආදරය කරමින් ඔල්වරසන් දෙන චාමර වීරසිංහ නම් ඒ දැවැන්ත හඬ පෞරුෂයේ ‘ආදරණීය අම්මා’ විය.

    [rns_reactions]

  • කනට දරුණු හානි සිදුකරන කොට්‌න් බඩ්

    නයිස්‌ ආයතනය මගින් සකස්‌ කර ඇති මාර්ගෝපදේශන මාලාව අනුව කන් කුහරය තුළ ඇති කලාඳුරු ඉවත් කිරීම ඉබේම සිදු විය යුතු ක්‍රියාවක්‌ වන අතර එකතු වන අමතර කලාඳුරු ප්‍රමාණය කන විසින්ම ඉබේම ඉවත් කර යවනු ඇත
    කන්වල බැඳී ඇති කලාඳුරු ඉවත් කිරීම සඳහා කොට්‌න් බඩ් එකක්‌ කන තුළට ඇතුළු කළ විට කලාඳුරු ඉවත් වීම වෙනුවට සිදු වනුයේ කලාඳුරු තවත් කන ඇතුළතට තල්ලු වීම බව පෙන්වා දෙන එම ආයතනය එම බඩ් හරහා කනට හානි වීම හැරෙන්නට එය භාවිත කරන්නට කිසිදු වාසියක්‌ අත් නොවන බව අවධාරණය කර සිටී
    කන්වල බැඳී ඇති කලාඳුරු (වැක්‌ස්‌) ඉවත් කිරීම සඳහා බොහෝ දෙනා භාවිත කරනු ලබන පුළුන් යෙදූ ඉරටු විශේෂය හෙවත් “කොට්‌න් බඩ්” කන් කුහරයට හා කන් බෙරය කොටසට (ඉයර් ඩ්‍රම්) හානි සිදු කරන බැවින් ඒවා කන් ශුද්ධ පවිත්‍ර කිරීමට කිසිසේත් නුසුදුසු බව බටහිර සෞඛ්‍ය ආයතනයක්‌ වන සෞඛ්‍ය හා රැකවරණය පිළිබඳ ජාතික මධ්‍යස්‌ථානය (නයිස්‌) උපදෙස්‌ නිකුත් කර තිබේ.
    කන්වල බැඳී ඇති කලාඳුරු ඉවත් කිරීම සඳහා කොට්‌න් බඩ් එකක්‌ කන තුළට ඇතුළු කළ විට කලාඳුරු ඉවත් වීම වෙනුවට සිදු වනුයේ කලාඳුරු තවත් කන ඇතුළතට තල්ලු වීම බව පෙන්වා දෙන එම ආයතනය එම බඩ් හරහා කනට හානි වීම හැරෙන්නට එය භාවිත කරන්නන්ට කිසිදු වාසියක්‌ අත් නොවන බව අවධාරණය කර සිටී.
    කොට්‌න් බඩ් හරහා කන්වල ඇති කලාඳුරු පහතට තල්ලු වී යැම මෙන්ම කනෙහි ආසාදනයන් ඇති වීම සිදු විය හැකි බව එම ආයතනය කියයි.
    සෞඛ්‍ය වෘත්තිකයින්ට මාර්ගෝපදේශන මාලාවන් සකස්‌ කරනු ලබන නයිස්‌ ආයතනයට අනුව කන් තුළ කලාඳුරු ඝන වී තිබෙන අවස්‌ථාවකදී එම කලාඳුරු ඉවත් කිරීම සඳහා දැනට වෛද්‍යවරුන් හා රෝහල් විසින් බහුලව භාවිත කරනු ලබන එම ඝන වූ කලාඳුරු දිය කර හැරීමට කන තුළට ජලය මුදා හරිනු ලබන විශාල ප්‍රමාණයේ ලෝහමය සිරින්ජරයද (මෙටල් සිරින්ඡ්) කනට හානි කර බැවින් එයද භාවිතයෙන් ඉවත් කළ යුතුව ඇත. නයිස්‌ ආයතනය මගින් සකස්‌ කර ඇති මාර්ගෝපදේශන මාලාවට අනුව කන් කුහරය තුළ ඇති කලාඳුරු ඉවත් කිරීම ඉබේම සිදු විය යුතු ක්‍රියාවක්‌ වන අතර එකතු වන අමතර කලාඳුරු ප්‍රමාණය කන විසින්ම ඉබේම ඉවත් කර යවනු ඇත.
    කෙසේ වුවද කන්වල ඇති කලාඳුරු ඉවත් කිරීමට අවශ්‍ය නම් ෆ්ලැනල් රෙදි කැබැල්ලක්‌ ඒ සඳහා භාවිත කළ හැකි බව එම ආයතනය කියයි.
    දැනට කලාඳුරු ඉවත් කිරීම සඳහා කනට ජලය මුදා හරිනු ලබන මෙටල් සිරින්ඡ් නමැති ලෝහමය සිරින්ජරය හරහා රෝගියාට දැඩි මානසික අසහනකාරී තත්ත්වයක්‌ උදා කරන නිසා ඒ වෙනුවට “ඉයර් ඉරිගේෂන්” නමැති කනෙහි කලාඳුරු දිය කරලීම සඳහා ජලය ආරක්‌ෂිත ලෙස කන තුළට යොමු කරනු ලබන ඉලෙක්‌ට්‍රොනික යන්ත්‍රයට අඩු පීඩනයක්‌ යටතේ ජලය ආරක්‌ෂිතව කනට මුදා හැරී මටත් එයින් කනෙහි කලාඳුරු ඉවත් කිරීමටත් හැකි බව විශේෂඥයින්ගේ මතයයි.
    කොට්‌න් බඩ්වල පවතින ප්ලාස්‌ටික්‌ ආධාරක කොටසද විද්වතුන්ගේ මතභේදයට ලක්‌ව ඇති අතර එම කොටස්‌ මේ වන විට බටහිර රටවල වෙරළබඩ ප්‍රදේශවල පවතින ප්‍රධාන පෙළේ ප්ලාස්‌ටික්‌ අපද්‍රව්‍ය බවට පත් වී තිබේ.
    කන තුළ පවතින කලාඳුරු සැහැල්ලු තත්ත්වයට පත් කිරීම සඳහා කන්වලට කන් බිංදු (ඉයර් ෙඩ්‍රාප්) යෙදිය හැකි බව වෛද්‍ය විශේෂඥයෝ පවසති.

    [rns_reactions]

  • දළ පූට්ටුවාගේ ඝාතනයට ප්‍රධානීන් දෙදෙනෙකුගේ වැඩ තහනම්

    දළ පූට්ටුවාගේ මරණය පිළිබඳව වගකිවයුතු යැයි හඳුනාගෙන ඇති රජයේ ඉහළපෙළේ නිලධාරීන් දෙදෙනකුගේ රාජකාරි වහාම ක්‍රියාත්මක වන පරිදි අත්හිටුවීමට රජය තීරණය කර ඇත.පරිසරයට සම්බන්ධ ඉහළ තනතුරු දෙකක නිලධාරීන් දෙදෙනකුගේ තනතුරු මේ අනුව අත්හිටුවනු ඇත.

    දළ පූට්ටුවාගේ මරණය පිළිබඳව රජය විසින් මේ වන විට පවත්වා ඇති පරීක්ෂණවලදී ඉහත නිලධාරීන් දෙදෙනා සිය රාජකාරි කටයුතු පැහැර හැර ඇති බවට අනාවරණය වී තිබේ.

    ඔවුන් සිය රාජකාරි කටයුතු නිසි ලෙස ඉටු කළේ නම් දළ පූට්ටුවාගේ ජීවිතය රැකගැනීමටද ඉඩ තිබුණු බවට මෙම පරීක්ෂණවලදී කරණු හෙළිදරව් වී තිබේ. කෙසේ වෙතත් මෙම මරණය පිළිබඳව පරීක්ෂණ කටයුතු තවමත්් නිමවී නොමැති අතර ඉදිරි දින කිහිපය ඇතුළත මෙම නිලධාරීන් දෙදෙනාගේ රාජකාරි අත්හිටුවනු ඇති බව රජයේ ආරංචි මාර්ග පැවැසීය.

    [rns_reactions]

  • ශ්‍රිලනිප ඒකාබද්ධ පක්ෂ විපක්ෂ වර්තමාන දේශපාලණය ගැන බිබිලෙන් කතිකාවක්..

    ජේ. ආර්.ගේත් ප්‍රේමදාසගේත් ආණ්ඩුව මෙරට ඉතිහාසයේ ශක්තිමත්ම ආණ්ඩුව බව රහසක් නොවේය.
    ‘ඇයි මහින්දගේ ආණ්ඩුව ශක්තිමත් නැද්ද?’

    කෙනෙක් එහෙම අහන්න බැරිකමක් නැත. එකසිය හැටක් ඉක්මවපු බහුතර බලයක් තිබ්බ මහින්දගේ ආණ්ඩුව ගැන එහෙම හිතෙනවාට පුදුම නැත. හැබැයි, මහින්ද ඒ හයිය හදාගත්තේ බුරුතු පිටින් වෙන පක්ෂවලින් මන්ත්‍රිවරුන් ගලවාගෙනය. එහෙම බැලුවම මහින්දගේ ආණ්ඩුව කෘත්‍රිමව ශක්තිමත් වූ එකක්ය. එහි ආනුභාව ශක්තිය තිබුණේ ‘මහින්ද’ සාධකය වටාය. එහෙම බැලුවම ජේ. ආර්. හෝ ප්‍රේමදාස ආණ්ඩු කළේ එජාපය ශක්තිමත්ව බිහිවූ නියෝජනයක් එක්කය.

    එහෙම බැලුවම ශ්‍රී ලනිපය කියන්නේ බෙදුණොත් ‘නැත්තටම’ නැති වෙන පක්ෂයක්ය.
    “ඔයිට වඩා මේ පක්ෂය බෙදිලා තියෙනවා, ඉතිහාසයේ අපේ නායකයාට වෙඩි තියලා මරලා තියෙනවා, නායිකාවගේ ප්‍රජා අයිතිය අහෝසි කරලා තියෙනවා, ඒත් අපි නැඟිටලා තියෙනවා.”

    සංවේදී ශ්‍රී ලංකාකාරයෝ එහෙම කියති. හැබැයි, ඔය කියන අලකලංචි කොයි පක්ෂයටත් වෙලා තිබේ.
    එජාපයේ එහෙම අකාලයේ අහිමි වූ නායකයන් ශ්‍රී ලනිපයට වඩා වැඩිය. ප්‍රේමදාස ඝාතනය කළේය. ලලිත් ඝාතනය කළේය. ගාමිණී ඝාතනය කළේය. ප්‍රේමචන්ද්‍ර ඝාතනය කළේය. ජානක පෙරේරා ඝාතනය කළේය. රන්ජන් විජේරත්න ඝාතනය කළේය. එහෙම බැලුවම එජාපයේ ලිස්ට් එක දිගය. ඒ නිසා පක්ෂයට පැමිණ තිබෙන තර්ජන බැලුවම ශ්‍රී ලනිපයට වඩා එජාපයට තර්ජන වැඩිය.

    කතාව ඒක නොවේ. දැන් තිබෙන දේශපාලන අලකලංචිය ය.
    ‘එකතු වෙයිද?’
    කෙනෙක් අසයි.
    ‘එකතු වුණොත් හොඳයි.’

    තව කෙනෙක් කියයි.
    ‘අපේ පක්ෂය දාලා ගිහින් ආණ්ඩුව පෙරළපු මිනිහා එක්ක එකතු වෙන්න හිතන්නවත් පුළුවන්ද?’
    තවත් කෙනෙක් අසයි.

    එහෙම අයට හරි අපූරු උත්තරයක් සමාජ ජාලයක පළවී තිබුණේය. එය ලියා තිබුණේ 2006ත් 2011ත් අතර මොනරාගල, බිබිල ප්‍රාදේශීය සභා ශ්‍රී ලනිපයට දිනා දුන් මන්ත්‍රිවරුන් තිදෙනෙක්ය. උපුටනයක්ව එය පළ කරන්නේ ‘වෙන්වීමේ රඟ’ ගැන රහට ලියා තිබූ නිසාය.
    “ශ්‍රී ලනිපය එක්ව තරග කළ යුත්තේ ඇයි?”

    බිබිලේ සහ මොනරාගල ශ්‍රී ලනිප මන්ත්‍රිවරු පක්ෂ මධ්‍යම කාරක සභාවට ලියති. මොනරාගල හා බිබිල ප්‍රාදේශීය සභාවට තරග වදින්නට බලන් ඉන්න කැපුවත් නිල් පාක්ෂිකයන්ගේ අ‍ෙ¼දා්නාව සරල ශුද්ධ සිංහලෙන් මෙසේ ලියා පක්ෂයට මෙසේ තේරුම් කර දෙමු.
    හයවන ජනාධිපතිතුමනි, පස්වන ජනාධිපතිතුමනි, අපි ඔබ දෙදෙනාට ජීවිත කාලය පුරා ඇති තරම් කඩේ ගොස් ඇත. හුරේ දමා ඇත. ඔබලා වෙනුවෙන් ගුටි කා, බැනුම් අසා ඇත. ඔබලා දෙන්නා මේ මැතිවරණයට ඉල්ලන්නේ නැත.

    2015දී විජිතමුණි සොයිසා අපේ මන්ත්‍රිතුමා මහින්ද ජනාධිපතිතුමාට උදවු කළේය. ෂශීින්ද්‍ර රාජපක්ෂ ගේන්නට කපා දැමූ සොයිසාට කළ හැකි වෙන දෙයක් තිබුණේ නැත. අපිද, පක්ෂය නිසා අප්පච්චිට උදවු කළෙමු.
    ජනවාරි 8 අප්පච්චි මළේය. ගමරාල ජනාධිපති විය. ඒ අපේ පක්ෂයේ ලේකම්ය. අපිත් එක්ක එකට පෙළපාළි ගිය, අපිට නාම යෝජනා අස්සන් කළ අපේ සිරිසේන මහත්තයාය. වෙනදා වගේ අපේ ගෙවල් ගිනිගත්තේ නැත. දවස් දෙකක් තුනක් ලැජ්ජාවෙන් සිටිය ද, අලුත් ජනාධිපතිතුමාද අපේ නම, ගම දන්නා, අපේ අම්මාගේ මළ ගෙදරත් ආ, දැක්ක තැන කොහොමද කියා කතාකරන අපේ සිරිසේන මහත්තයාය.

    සොයිසා මන්ත්‍රිතුමා සිරිසේන මහත්තයා හා එකතු විය. එතුමාට අපේ මද්දුම බණ්ඩාර මන්ත්‍රිතුමාට වැඩිය හොඳ ඇමැතිකමක් ලැබිණි. ආණ්ඩුව වෙනස් වන විට අපි හිතුවේ මැදගම අපේ රංජිත් මද්දුම බණ්ඩාර මන්ත්‍රිතුමාට අගමැතිකමට දෙවැනි නැති ඇමැතිකමක් ලැබේ යැයි කියාය. එහෙම වුණේ නැත. අපේ සොයිසා ඇමැතිතුමාත්, සුමේධා නෝනාත් පුළුවන් දෙයක් කරයි. එජාපයේ වුණත් මද්දුම බණ්ඩාර මහත්තයාත් පුළුවන් දෙයක් කරයි. ඒත් බිබිල, මොනරාගල, කතරගම තබා සියඹලාණ්ඩුවේ ජීවිත නම් තවම වෙනස් වී නැත. මේ මැතිවරණයට මහින්ද මහත්තයා ඉල්ලන්නේ නැත. සිරිසේන මහත්තයා ඉල්ලන්නේ ද නැත. සොයිසා ඇමැතිතුමා, සුමේධා ඇමැතිතුමී තබා දේශපාලනය පැත්තක තිබ්බත් හොඳ මිනිහෙක් වන මද්දුම බණ්ඩාර ඇමැතිතුමා ඉල්ලන්නේද නැත.

    අපි කැපුවත් නිල් පාක්ෂිකයෝ වෙමු. දැන් ඔය දෙගොල්ලෝ අපිට වෙන වෙනම තරග කරන්නට කියා කියයි. ඔය කවුරුත් තරග කරන්නේ නැති මැතිවරණයකට හැමදාම ශ්‍රී ලංකාකාරයෝ වුණු අපට බෙදෙන්නට කියයි. මේක මහ කුණුහරුපයකි. බිබිලේ කැපුවත් කොළ ශ්‍රී ලනිපයේ 10,000 සිටින අතර කැපුවත් කොළ එජාපයට 8,500ක් ඇත. පොහොට්ටුව 7,500ක්, බුලත් කොළේ 2,500ක් ගත්තොත් අත උඩින් අලියා දිනුම්ය. ඒ බව දැන දැන ඔය දෙගොල්ල අපිට මැතිවරණයට තරග කරන්න කියයි. මේක මහ කුණුහරුපයකි.

    ජීවිත කාලයම ශ්‍රී ලනිපයට කඩේ ගිය අපි බිබිලේ බෙදී තරග කර පැරැදී විපක්ෂයේ සිටිය යුතුද?
    ලංකාවේ දුප්පත්ම ප්‍රාදේශීය සභාව වන සියඹලාණ්ඩුවේ තත්ත්වය එයට වෙනස් නැත. කැපුවත් නිල් 10,000ක් ඇති නම් එජාපයේ ඉන්නේ 6,000කි. අපි මහින්ද – මෛත්‍රි ලෙස දෙකට බෙදාගත්තාම ඉතිහාසයේ නැතිව එජාපයට සියඹලාණ්ඩුව දිනාගත හැකිය. එජාපයට අද දිනන්නට බැරි කතරගම එජාපයට දෙන්නට නම් අපි දෙපැත්තකට බෙදිය යුතුමය. මොනරාගල ප්‍රා. සභාවේ නිල් 10,000කට කොළ 7,000ක් නැත. එකට ඉල්ලුවොත් දිනන්නේ උඩිනි. වෙන්ව ඉල්ලා පරදින්නට පුළුවනි.
    මේ කුණුහරුපයට අපේ පක්ෂය බිලි වෙන්නේ ඇයි?
    මහින්ද – සිරිසේන _ බැසිල් මහත්වරුන්ට ඕනෑකම තියෙන්නේ බිබිල, මොනරාගල, සියඹලාණ්ඩුව, කතරගම එජාපයට දෙන්නට නම් ඒකට අප බිල්ලට යා යුතු නැත. අනික ගමේ ශ්‍රී ලනිපයේ කට්ටිය ස්වාධීන කණ්ඩායමක් දැම්මත් දිනන්නේ එජාපය නොව අපිය. ඒ බව අපේ පක්ෂයේ ජනාධිපති පුටුව දක්වා ඉහළට නැග්ග නායකයන් දෙන්නාට. තේරෙන්නේ නැතිනම් ඒ අපේ විතරක් නොව රටේද කරුමය ය. පක්ෂයේ කරුමය ය. එජාපයේ කාර්, රබර්, කොම්පියුටර් ෆැක්ටරි සංවර්ධනය කවදාවත් මොනරාගලට එන්නේ ද නැත.

    අපේ ජනාධිපතිතුමා නැත්නම් එජාපයට ජනාධිපතිතුමෙක් නැත. අපේ ජනාධිපතිතුමා නැති නම් උෟව පළාත් සභාවේ එජාප මන්ත්‍රිවරු ඇමැතිවරු වන්නේද නැත. (තනිකරම ශ්‍රී ලනිප පළාත් සභාව අපේය) අපේ ජනාධිපතිතුමා නැති නම් පාර්ලිමේන්තුවේ එජාපයට බහුතරයක්ද නැත.

    මේ බව එජාපය හොඳින් දන්නා අතර ඒ නිසාම ඔවුන්ට අවශ්‍ය බිබිල, මොනරාගල, සියඹලාණ්ඩුවේදී ශ්‍රී ලනිප බෙදා මැතිවරණයට යෑමටය.

    මහින්ද – මෛත්‍රි මහත්වරු ඉල්ලන්නේ නැතිනම්, විජිතමුණි – සුමේධා – රංජිත් මද්දුම බණ්ඩාර ඉල්ලන්නෙත් නැත්නම් බිබිල, මොනරාගල, සියඹලාණ්ඩුවේ කැපුවත් නිල් ශ්‍රී ලංකාකාරයෝ වන අපි ඔබලාගේ බල තණ්හාවට, ඩීල්වලට, එක එකාට විරුද්ධව එක්සත් ජාතික පක්ෂයට ප්‍රාදේශීය සභාවේ බලය අරගෙන දෙන්නේ ඇයි කියා ඔය දෙගොල්ලන්ගේ පුරෝහිතයන් අපට කියා දිය යුතුව ඇත. එවිට අපිට හිත හදාගෙන ස්වාධීන කණ්ඩායමකින් දිනන්නට බැරි නම්, එජාපයට ජයග්‍රහණය දී නිදාගන්නට හැකිය.
    කොහොම වෙතත්, එකතුවීමක් ගැන ඒ හැටි බලාපොරොත්තුවක් තියාගන්නට පුළුවන් වටපිටාවක් නම් පෙනෙන්නට නැත. දෙගොල්ල විසින් එකිනෙකාට එල්ල කරගන්නා අවලාද ‘එක්වීම’ පිළිබඳ බලාපොරොත්තුව අෑතට විසි කරලාය. තීරණාත්මක මැතිවරණ ආශි්‍රතව වෙන්වී යෑමේ ආදීනව ශ්‍රී ලනිපය බොහෝ අවස්ථාවල නෙළාගෙන තිබේ. පළමු ජනාධිපතිවරණයේදී හෙක්ටර් කොබ්බෑකඩුව පරදින්නේත්, ඊට පසු මැතිනිය පරදින්නේත් ඒ බෙදී යෑමේ ආදීනව නිසාය. 17 වසරක එක්සත් ජාතික පක්ෂ ආණ්ඩුව පෙරළෙන්නේ ශ්‍රී ලනිපය හින්දාම නොවේ. ඒක වුණේ ආණ්ඩුවේම අභ්‍යන්තර පිපිරීමක් එක්කය. ලලිත්, ගාමිණී ඇතුළු පිරිසක් ආණ්ඩුවෙන් පිටමංව ‘ප්‍රජාතන්ත්‍රවාදී එක්සත් ජාතික පෙරමුණ’ හදාගෙන ගහපු ආණ්ඩු විරෝධී කැරැල්ල නොවන්නට තාමත් ආණ්ඩුව එජාපය ය. 2011 පොදු පෙරමුණ පෙරළන්නේ එජාපය නොව, පොදු පෙරමුණේ දෙදරා යෑමය. එස්. බී., ජී. ඇල්., බන්දුල ඇතුළු පිරිස ආණ්ඩුවෙන් නොයන්නට තාමත් ආණ්ඩුව පොදු පෙරමුණය. 2015 මහින්දගේ ආණ්ඩුව පෙරළන්නේ එජාපයම නොවේ. මහින්දගේ ආණ්ඩුවෙන් පිටමං වූ මෛත්‍රිය.

    එහෙම බැලුවම පිපුරුම වෙන්නේ ‘අභ්‍යන්තරයේම’ය. ප්‍රතිඵලය වෙන්නේ ආණ්ඩු පෙරළිය ය. හැබැයි ඒ පුපුරන මොහොත වනවිට අනෙක් පාර්ශ්වය ශක්තිමත්ව සිටිය යුතුය. දෙකට බෙදෙන ශ්‍රී ලංකා එක එකට එක්වන තුරු එජාපය කොහොම පිපුරුණත් වැඩක් නැත. ඒක තේරුම්ගන්න බිබිලේ සහ මොනරාගල ශ්‍රී ලනිප මන්ත්‍රිලා ලියන ලියවිල්ලම ඇතිය

  • මිය ගිය සිරුරු 15 ක් පරණ කනත්තෙන් අලුත් කනත්තට මාරුවෙයි

     

    මන්නාරම තලෙයි මන්නාරම මාර්ගයේ පැවති කනත්ත හාරා සිරුරු 15 ක් ඊයේ(04) සවස මන්නාරම මහේස්ත‍්‍රාත් ඒ.ජි.ඇලෙක්ස්රාජා මහතාගේ ඉදිරිපිටදී ගොඩගනු ලැබීය.

    මීට වසර 10 කට පමණ පෙර මන්නාරම පොදු සුසාන භූමියේ මිහිදන් කොට තිබු මන්නාරම කතෝලික සභාවේ කටයුතු කළ පියතුමන්ලා හා කන්‍ය සොහොයුරියන් 15 දෙනෙකුගේ සිරුරු එලෙස ගොඩගත් බව මන්නාරම පොලිසිය පැවසීය.

    පොලිසිය පැවසූවේ මන්නාරම කතෝලික සභාව අධිකරණයෙන් සිදුකළ ඉල්ලීමක් මත අදාළ සිරුරු ගොඩ ගැනීම සිදුකළ බවයි.

    අදාළ කනත්ත කලින් කතෝලික කනත්තක් වශයෙන් පවත්වාගෙන ගොස් තිබු අතර, අනතුරුව අදාළ කනත්ත තුළ සියළු දෙනාගේ සිරුරු මිහිදන් කොට ඇති බව ප‍්‍රදේශවාසීන් පවසති.

    අදාළ කනත්ත තුළ මිහිදන් කළ කතෝලික සභාවේ පියතුමන්ලා හා කන්‍ය සොහොයුරියන්ගේ සිරුරු වෙනම ස්ථාපිත කොට ඇති කතෝලික සභාවේ කනත්ත තුළ මිහිදන් කිරීමේ අවශ්‍යතාවය මත අදාළ සිරුරු ගොඩගෙන ඇති බවද මන්නාරම පොලිසිය පැවසීය.

    මන්නාරම කතෝලික සභාව අධිකරණයට කරුණු වාර්තා කිරීමෙන් අනතුරුව මන්නාරම මහේස්ත‍්‍රාත්වරයා ඉදිරිපිට අදාළ සිරුරු ගොඩගත් බවද පොලිසිය සදහන් කළේය.

    මන්නාරම පොලිසිය පැවසූවේ ගොඩගත් සිරුරු මහේස්ත‍්‍රාත්වරයා ඉදිරිපිටදීම නැවත නව කනත්තේ මිහිදන් කළ බවයි.

    Sudesh Karunathilake ගේ ඡායාරූපය
    Sudesh Karunathilake ගේ ඡායාරූපය
    Sudesh Karunathilake ගේ ඡායාරූපය
    Sudesh Karunathilake ගේ ඡායාරූපය
    Sudesh Karunathilake ගේ ඡායාරූපය
    [rns_reactions]