Blog

  • රන්ජන් නිසා දිවුලපිටියට අවුරුදු නෑ..(Video)

    දිවුලපිටිය එක්සත් ජාතික පක්ෂ ආසන සංවිධායක නියෝජ්‍ය ඇමති රන්ජන් රාමනායක මහතාගේ ප‍්‍රධානත්වයෙන් පසුගිය 06 වෙනිදා දිවුලපිටිය ප‍්‍රාදේශීය ලේකම් කාර්යාලයේ පැවති රැස්වීමකදී පැමිණි සිටි ජනතාව දෙස්දෙවොල් තබමින් නියෝජ්‍ය ඇමතිවරයට බැණ වැදුනහ.
    මෙම රැස්වීම පැවතුනේ ප‍්‍රදේශයේ පස් හා මැටි කැපීම සදහා පැවති අහෝසි කරන ලද බලපත‍්‍ර නැවත ලබා දීම සම්බන්ධයෙන් සාකච්ඡා කිරීම සඳහාය. ජනතාව චෝදනා කලේ මෙම බලපත්‍ර අහිමි වීමට සෘජුවම වගකිව යුත්තේ නියෝජ්‍ය අමාත්‍යවරයා බවයි.
    මෙම ගැටළු සම්බන්ධව යහපාලන රජයේ වගකිවයුතු නියෝජ්‍ය අමාත්‍යවරයෙකු වශයෙන් නිසි පිළිතුරු ලබා දිය යුතුයි.
     

    [rns_reactions]

  • සමන් දෙවියන්ගේ සුදු උරකඩ ලෙඩුන්ට ආශිර්වාදයක් – වෙදැදුරු අමිතිරිගල පාලිතධම්ම හිමියෝ කියති


    “මගෙ අම්මත් වෙද හාමිනේ කෙනෙක්. තලගහකැල්ල වෙද හාමිනේ කීවාම දන්නවා. එතුමිය කළේ ඇස් වෙදකම. 1967 පමණ කාලේ එතුමිය තරම් දක්ෂ ඇස් වෙද හාමිනේ කෙනෙක් ඒ අමිතිරිගල ගම් තුලාන හතකටවත් හිටියෙ නෑ.”
    විස්මිත තෙල් බින්දුවකින් ඩෙංගු හොඳ කරන අමිතිරිගල පාලිත ධම්ම හිමියෝ එසේ කියති. උන්වහන්සේ වෛද්‍ය කර්මය, ජ්‍යොතිෂය මතු නොව වාස්තු විද්‍යා කටයුතුවලට ද එකසේම දක්ෂය. පනාවැවේ සිරිධම්ම හිමියන් ඒ හිමියන්ගේ වෙදකමට මහත් සාත්තු සප්පායම් කරන සෙත්වෙහෙර පන්සලේ වැඩ වෙසෙන තවත් හිමිනමකි. උන්වහන්සේ ජනප්‍රිය ‘පොඩි හාමුදුරුවෝ’ නමිනි.

    පාලිතධම්ම හිමියන් ලෙඩුන් සුවපත් කරන විට සුදුපාට රෙදිකඩක් එම රෝගියාගේ හිස මත තබා සෙත් පතනු මම දිටිමි. මේ සුදු රෙදිකඩ පාවිච්චි කිරීමේ කිසියම් විශේෂ හේතුවක් ඇද්දැයි මා තුළ පැවැති කුහුල විසඳන්නට හිමියෝ මෙසේ කීහ.
    මේ රටේ පළමු සිංහල බෞද්ධ උපාසකයා වෙනින් කවුරුවත් නොවෙයි සමන් දෙවි හාමුදුරුවෝ. උන්වහන්සේ එදා බුදුන්ගෙන් බණ අහන්න පවා ගියේ සුදු රෙදිකඩක් තම උර මත ලාගෙන. එතුමා නායකයෙක් නිසා එය දුටු ඔහුගේ අනුගාමිකයන් හා වෙනත් පිරිස් ද සුදු රෙදිකඩක් උර මත තබාගෙන බණ අහන්න ගියා. මේ විදියටයි ‘සිල් රෙද්ද’ බෞද්ධ උපාසකයා අතරට එන්නේ. සුදු කියන්නෙ පිරිසුදුකම. පවිත්‍රත්වය, නොකිළිටි බව.

    ඊටත් පස්සෙ කාලෙකත් මිනිස්සු කොහේ හරි යන එන විට ආයුධයක් අතේ ඇතිව ගමන් කරන පුරුද්දක් තිබුණා. පන්සලට ගියත් හෙලි, තෝමර, කඩු, කිනිසි, කිරිස්ස ආදියයි ඔවුන් අත තිබුණෙ. සමන් දෙවියො මේක වෙනස් කරලා නෙළුම් මලක් අතේ තියාගෙන පන්සල් යන්න, යහපත් තැනකට යන්න මිනිසුන් පෙලැඹෙව්වා. මේ ආශිර්වාදය තමයි මේ රෙදිකඩින් ලැබෙන්නෙ. ඒක මගේ විශ්වාසය.

    හිමියෝ තවත් බොහෝ දේ කියති. ඒවා ඉන්ද්‍රිය ගෝචර ප්‍රත්‍යක්ෂයෙන් එහා දේ වුවද එය මහා විද්‍යාත්මක පරීක්ෂණයකින් නිශේධ කැර නැති නිසා එකවර බැහැර කළ නොහැකිය. මේ තෙල් බින්දුවේ සත්කාරය ද එවැන්නකි.

    මේ හිමියන් ‘ඩෙංගු’ රෝගයට මතු නොව සර්වාංග වෙදකමේ ද නිපුණ බව මම කලින් ද කීවෙමි. මේ රෝගීන් කරන කතාබහ විමසන්න.

    අයි. ඩබ්ලිව්. සුනිල් (60) මහතා පන්සල් වෙහෙර බිම සිට මට මෙසේ කියයි. ඔහු ගාල්ල ලබුදූවේ පදිංචිකරුවෙකි.

    “කාලෙකට ඉස්සර උදේ පාන්දර මං වත්තෙ වැඩ කරනකොට එකපාරටම මගේ සුළැඟිල්ලේ සතෙක් එල්ලිලා හපා කෑවා. බලනකොට පොළොන් තඩියෙක්. මං ඒ විස බස්වාගන්න ඉස්පිරිතාලෙට ගියා. ප්‍රතිකාර ලැබිලා හොඳ වුණාට මට ස්නායු ආබාධයක් දිගටම තියෙනවා. හයියෙන් හුස්ම ගන්න බෑ. හතියක් එනවා. මේ හාමුදුරුවන්ගෙන් ප්‍රතිකාර ගන්න වුණාම දැන් මට බොහොම සුවයි. හාමුදුරුවන්ගේ ප්‍රතිකාරය විශිෂ්ට නිසයි මං අදත් ලබුදූවෙ ඉඳන් මෙහෙ ආවෙ.”
    ආර්. ඒ. ඩී. උපාලි – බෙම්මුල්ල පදිංචිකරුවෙකි. මේ ඔහුගේ කතාවය.
    මීට අවුරුදු 3 – 7 කට ඉස්සෙල්ලා මට කොන්ද අමාරුවක් ආවා. කොතැනින් බෙහෙත් ගත්තත් එතරම් සුවයක් ලැබුණේ නෑ. හාමුදුරුවන්ගේ ප්‍රතිකාරවලින් මටත් බොහොම සුවයි.

    80 වියැති වැඩිහිටියකු වන පූගොඩ මෛත්‍රී අලහකෝන් මහතා ද දණහිස් අමාරුවකට ප්‍රතිකාර ගන්නට පැමිණ සිටියේය.

    අවුරුදු 4 – 5ක් තිස්සේ මට දණහිසේ කැක්කුම. ඉවසගන්න බෑ. කළ හැකි හැම දෙයක්ම කළා. දැන් නම් ලෙඩේ අඩුයි. හාමුදුරුවන්ට පින්සිදු වෙන්න.
    “මේ ලෙඩ රෝග ඇතිවන්නේ වා පිත් සෙම් කුපිත වීම නිසා බවයි ආයුර්වේද මතය. අප කරන අත් බේත්කර්මවලින් ඒ ශරීර සමබරතාව තුලනය වෙනවා. බලන්න සතුන්ටත් ලෙඩ රෝග ඇති වෙනවා. ඒ සතුන් විශේෂයෙන් බළලුන් වැනි අය තමන්ට අවශ්‍ය බෙහෙත් වර්ගය සොයා දැන ඒවා පාවිච්චි කරලා සුව වෙනවා. පෙර තුන් කල් දක්නා ඉසිවරු ශතවර්ෂ ගණනාවකට පෙර ඉඳන් ශාක වර්ග, දියර වර්ග, ඛනිජ වර්ග හා විශ්ව ශක්තිය පාවිච්චි කරලා ලෙඩුන් සුවපත් කළා. දැන් බලන්න කොහොඹ ගසේ කිසියම් ශක්තියක් තිබෙන වග අප දන්නවා. විද්‍යාවට ඒක හසුවුණේ නෑ. හැබැයි! එක්තරා රෝග වර්ගයක් තියෙනවා. කර්ම රෝග කියලා. ඒවානම් සුව කරන්න බෑ.” හිමියෝ තවදුරටත් කියති.

    නන්දා සිරියාවතී දංඕවිට පුහුලේගම පදිංචිකාරියකි. ඇය ද අපූරු යමක් කීවාය.
    අපේ පුංචි අම්මගෙ දූලා දෙන්නාම අසනීප වුණා. රජයේ රෝහල්වලින් ප්‍රතිකාර ගත්තට වැඩක් වුණේ නෑ. දෙන්නාටම ‘ඩෙංගු’. හාමුදුරුවන්ගේ තෙල් බින්දුවෙන් ඔවුන් සුවපත් වුණා කීවොත් වැරැදි නෑ.

    ඇය ඡායාරූපයකට පෙනී සිටීමට අකමැති වූවාය.
    අපි සෙත්වෙහෙර පන්සලේ ඔබ-මොබ සැරිසරා ලත් අත්දැකීමට වඩා යමක් ඒ ගමන් මඟේ තිබෙන කඩ සාප්පුවල සිටි බොහෝ ඇත්තන්ගෙන් ලැබුවෙමු.
    බටලීයේ කජූ ලියන්ගෙන් හාමුදුරුවන් සොයා යන ගමනේදී අප ගමන් විස්තරය අසන විට ඔවුහු මහත් උනන්දුවෙන් කරුණු කීහ.

    මහත්තයො, ඔය ඩෙංගු හොඳ කරනවාය කියන හාමුදුරුවන් කලින් ඉස්කෝලෙක ඉගැන්වූවෙ. පුදුමාකාර ජන සන්නිපාතයක් මෙහි එන්නෙ. මේ අවට ගම්වල විහාරවලත් හාමුදුරුවරුන් ඔය තෙල් ගෙන ගිහින් ඒ අයගෙ දායකයන්ට ‘ඩෙංගු’ හැදුණොත් බෙදා දෙනවා. කවුරු මොනවා කිව්වත් හාමුදුරුවන්ගෙ තෙලේ බලේ අල්ලන්න කෙනෙක් නෑ. අප දන්නා කියනා බොහෝ අයත් ඔය ලෙඩෙන් බේරුණෙ හාමුදුරුවන්ගෙ තෙල් නිසයි. කටකලියාවට කතා කරලා වැඩක් නෑ. ඔය පණ්ඩිතයනට කියන්න මේ තරම් සෙනඟක් මෙහි එන්නෙ මොකද? කියලා හොයන්න කියලා. අනෙක හාමුදුරුවො ලොකුවට අය කරන්නෙත් නෑ. පිං කැටයට කීයක් හරි දාලා යන්න කියලා කියනවා. මේ තෙල් හිඳින්න යන වියදමේ හැටියට රුපියල් 500ක්වත් දානවානම් හොඳයි නේද? ඒත් මේ සමහර මිනිස්සු රුපියල් 20 – 50ත් දාලා යනවා.

    කජුලීයේ කට සැර ගැහැනියක කීවාය. ඇය දිගින් දිගටම කතා කරද්දී මා වාහනය නවතාගෙන අසා සිටියේ එහි වැදගත් පදරුත් තිබෙන නිසාය. සෙත්වෙහෙර මෙහෙය ද ඒ අවට වන වදුලේ රමණීය බව තරම් මැ උතුම්ය. එය වළකන්නට නොව උස්ව තබන්නට ක්‍රියා කිරීම ආයුර්වේද න්‍යායාචාර්යවරුනට බාරය.

    [rns_reactions]

  • ලක්ෂයක මඟුල් මුද්ද අහුලා අයිතිකරු සොයා බාර දුන් අපේ කාලයේ ගුණවත් මිනිසෙක්..

    කන්කසන්තුරයේ සිට ගල්කිස්ස බලා ධාවනය වන නගරාන්තර සුඛෝපභෝගී දුම්රිය අනුරාධපුර පසු කර ගමන් කරමින් තිබුණි. දුම්රියේ සිටි බහුතරයක් මඟීන් අඩ නින්දේ පසු විය. මේ අතර දුම්රියේ ගමන් කරමින් සිටි ප්‍රවේශ පත්‍ර පරීක්ෂක එච්. ජී ප්‍රනාන්දු මහතාට එහි ‘ඊ’ මැදිරියේ තිබී රුපියල් ලක්ෂයකට අධික වටිනාකමින් යුත් රන් මුදුවක් හමු විය. කිසිවකු නොදුටු මේ රන් මුද්ද අහුලාගත් ඔහු එහි හිමිකරු සොයා ගිය මුත් හමු නොවීය

    හිමිකරුවෙක් වෙත්නම් තමා ආපන ශාලාවේ සිටින බැවින් හමු වන ලෙස ප්‍රසිද්ධියේ මඟීන්ට දැන්වූ ඔහු ආපන ශාලාවේ සිටින විට පැමිණි ආරක්ෂක අංශයක සේවයේ නියුතු ජ්‍යෙෂ්ඨ නිලධාරියකු එම මුද්ද ඔහුගේ බව අනන්‍යතාව තහවුරු කරමින් පැවසීය. මුද්ද ඔහුට ලබා දුන් මේ ප්‍රවේශ පත්‍ර පරීක්ෂකවරයාට ස්තුතිය පළ කර ආරක්ෂක අංශයේ නිලධාරි‍යා පවසා සිටියේ තමා කිලිනොච්චියේ සිට කොළඹට පැමිණීමේදී තම මඟුල් මුද්ද එසේ අස්ථානගත වූ බවත් එම සේවකයාගේ උදාර කාර්යය සම්බන්ධව දුම්රිය සාමාන්‍යාධිකාරිවරයාටද ලිපියක් මඟින් දන්වන බවත්ය.

    දුම්රියට නිරතුරුවම ගල් මුල් එල්ල වුවත් තමන්ගේ වැටුප මෙන් තුන් හතර ගුණයක් වටිනාකමින් යුත් මේ මඟුල් මුද්ද ආපසු ලබා දීමෙන් මේ නිලධාරියා විසින් සිදු කර ඇත්තේ මහත් වූ අවංක සේවයකි.

    [rns_reactions]

  • රටක් වසග කල ප්‍රවීණ චිත්‍රපට අධ්‍යක්ෂ වසන්ත ඔබේසේකර සමුගනී…

    ප්‍රවීණ චිත්‍රපට අධ්‍යක්ෂ කලා කීර්ති වසන්ත ඔබේසේකර මහතා  කොළඹ පුද්ගලික රෝහලකදී ජීවිතයෙන් සමුගත් අතර  ඔහු මියයනවිට වයස අවුරුදු 80 ක් විය.  1962 සරසවියෙන් උපාධිය ලබාගැනීමෙන් පසු 1964-1970 කාලයේ ලේක්හවුස් මාධ්‍ය ආයතනයේ පුවත්පත් කර්තෘවරයෙකු ලෙස සේවය කළ ඔහු 1967 සත්සමුදුර චිත්‍රපටයෙන් සිනමාවට පිවිසියේය.ඔහු එහි සහාය අධ්‍යක්ෂකයා විය.

    චිත්‍රපට පිටපත් රචනය හා අධ්‍යක්ෂණය දෙකෙහිම දක්ෂතා දැක්වූ හෙතෙම පසුව වෙස්ගත්තෝ, වල්මත්වූවෝ, දියමන්ති,පළගැටියෝ, දඩයම, කැඩපතක ඡායා, මාරුතය, දොරකඩ මාරාව, තීර්ථ යාත්‍රා, සලෙලු වරම, අග්නි වර්ෂා, ආගන්තුකයා හා සෙව්වන්දි වැනි නිර්මාණ රැසක් බිහි කළ අතර ඒවා ගණනාවක් සම්මානයටද භාජනය විය.

    පහත පළවන්නේ මාරුතය චිත්‍රපටයේ ජවනිකාවකි.

    https://www.youtube.com/watch?v=tWzIzHV9rKM

    [rns_reactions]

     

  • ඒකාබද්ධය, ජනපති සමග රහස් සාකච්චා…

    ඒකාබද්ධ විපක්ෂයේ නායක පාර්ලිමේන්තු මන්ත්‍රි දිනේෂ් ගුණවර්ධන ඇතුළු තවත් මන්ත්‍රිවරුන් දෙදෙනකු සමඟ ජනාධිපති මෛත්‍රිපාල සිරිසේන ඉකුත් 7 වැනිදා සවස විශේෂ රහස් සාකච්ඡාවක් පවත්වා ඇත.

    එම සාකච්ඡාව පවත්වා තිබෙන්නේ පාර්ලිමේන්තු සංකීර්ණයේ ජනාධිපතිවරයාගේ නිල කාමරයේදීය. දිනේෂ් ගුණවර්ධන, බන්දුල ගුණවර්ධන සහ විමලවීර දිසානායක යන මන්ත්‍රිවරුන් ජනාධිපතිවරයා සමඟ පැවැති සාකච්ඡාවට සහභාගි වූ බව වාර්තා වේ.
    විමධ්‍යගත අරමුදලින් ඒ ඒ දිස්ත්‍රික්ක සඳහා ලබාදී ඇති මුදල් වැය කිරීම කලින් ලබාදී ඇති සැලසුම් හා නිර්දේශ වෙනස් කෙරෙමින් කටයුතු කිරීමේ අවස්ථා පැවැතීම නිසා අවුල්සහගත තත්ත්වයක් ඇති වී තිබෙන බවට එම සාකච්ඡාවේදී මන්ත්‍රිවරුන් ජනාධිපතිවරයාගේ අවධානයට යොමු කර ඇති බවද දැනගන්නට ඇත.
    මේ සම්බන්ධයෙන් වහාම සොයා බලා අවශ්‍ය පියවර ගන්නා බව ජනාධිපතිවරයා මෙහිදී දැනුම් දුන් බවද පැවැසේ. මෙහිදී තවත් කරුණු පිළිබඳවද සාකච්ඡා වූ බවද දැනගන්නට ඇත.

    ජනාධිපතිවරයා හමුවීම සඳහා ඉදිරි දිනක අවස්ථාව ලබා දෙන ලෙස පාර්ලිමේන්තු මන්ත්‍රි දිනේෂ් ගුණවර්ධන කළ ඉල්ලීමද ජනාධිපතිවරයා ඒ අවස්ථාවේ පිළිගත් බවද දැනගන්නට ඇත.
    මේ සාකච්ඡාව විනාඩි විස්සක් පමණ පැවැති බවද වාර්තා වේ.
    ජනාධිපතිවරයා හමුවීමට පැමිණි ශ්‍රී ලනිප පක්ෂයේ සහ එ.ජා. පක්ෂයේ මැති ඇමැතිවරුන් පිරිසකට එම සාකච්ඡාව අවසන් වන තෙක් ජනාධිපති නිල කාමරයේ අසල රැඳී සිටින්නට සිදු වූ බවද දැනගන්නට ඇත.

    [rns_reactions]

     
  • පරාජිතයාගේ ඉල්ලීමට ජනපති මෛත්‍රීගේ කතාව විකෘති කල දෙරණට වැඩ වරදින ලකුණු…

    අල්ලස් කොමිසමේ අධ්‍යක්ෂ ජනරාල්වරියට තනතුරින් ඉල්ලා අස්වන්නටද බලපෑ ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා පසුගියදා පැවැත්වූ කතාවක් මගින් ආරක්ෂක ලේකම්වරයා ප්‍රශ්න කිරීම වැරදි බවටද කරුණු ගෙනහැර දැක්වූ අතර ඒ දිනවල එය ආන්දෝලනයක් ඇති කර විශාල කථාබහක් රටතුළ ඇති කළේය.


    නමුත් පසුව වාර්තාවූයේ එම කතාව

    ජනපතිවරයා පැවැත්වූ කථාව සංස්කරණය කර අවශ්‍ය කොටස් කපා කොටා ඇමිණීමෙන් මහින්ද  පිලට වාසිවන ආකාරයට නිර්මාණය කළ කතාවක් බවයි.මෙය මහින්දගේ ඉල්ලීමකට අනුව සිදුකර ඇති බවටද සදහන්.


    ජනපතිවරයාගේ කතාව විකෘති කරමින්, වරින් වර වාර්තා කළ බව කියන සිද්ධියකට අදාළව දෙරණ මාධ්‍ය ජාලයට එරෙහිව සිදුකළ ස්වාධීන පරීක්ෂණයකින් එම මාධ්‍ය ජාලය චෝදනා 05කට වරදකරු බව තහවුරු වී ඇතැයි ජනමාධ්‍ය අමාත්‍යංශයෙන් නිවේදනය කර තිබේ.


    මේ සම්බන්ධයෙන් ක්‍රියාමාර්ගයක් නොගැනීම සඳහා දින 14ක් ඇතුළත කරුණු දක්වන්නැයි ජනමාධ්‍ය අමාත්‍යංශ ලේකම් නිමල් බෝපගේ මහතා දෙරණ මාධ්‍ය ජාලයේ විධායක අධ්‍යක්ෂවරයාට ලිඛිතව දන්වා තිබේ.

    අදාළ චෝදනා සහිත ලිපිය පහතින් දැක්වේ.

    [rns_reactions]

  • සයිටම් අරගලය – අපේ අහස යට අපි නොදත් අපේ කතාව මෙන්න….

    එක දවසක් අහවර වෙලා තවත් දවසක් පටන් අරගෙන පැය දෙකක් වත් ගෙවෙන්න කලියෙන්, ඒ කියන්නේ පාන්දර දෙක විතර වෙද්දි ඉස්පිරිතාලෙ ගේට්ටුව පහු කරල පොඩිකන්ද නැඟල වාට්ටු පේළියට මෙහායින් තියෙන ලෑලි බංකු පේළිය මිනිස්සුන්ගෙන් පිරෙන්න ගන්නව. පාන්දර තුන හමාරෙ කොළඹ බස් එක ග්‍රාමීය රෝහල කියන බෝඩ් එක ළඟ වෙනදට වැඩි වෙලාවක් සිකුරාද දවසට එතන නතර කරල තියන්නේ ගම් හතර පහකම කට්ටිය බහින්න ඉන්න හින්ද. කොළඹ යන අය පාපුවරුව දිහා නොක්කාඩුවෙන් වගේ බලන්නෙ එයාලගෙ ගමනට පරක්කු වෙන හින්ද වෙන්න ඇති. ඇයි ඉතින් සමහරුන්ට හැරමිටියත් අරගෙන උස පාපුවරුවෙන් බහින්න සෑහෙන වෙලාවක් ගත වෙනවනේ.

    බිමට එළිය වැටෙද්දි ලෑලි බංකු පේළියත් පිරිල, ඉස්සරහ තියෙන බුදුමැඳුර වටෙත් පේළියට වාඩි වෙලා. තුණ්ඩු දෙන්න පටන් ගනිද්දි වලස් ඇඳිරිය වැට ළඟ ඇනතියාගෙන ඉන්න කට්ටියත් පෝලිම් ගැහෙනව. ඔක්කොම තුන් සීයක් විතර.
    සායනයට එන ගම් දහ-පහළොවක මිනිස්සු වගේම ඉස්පිරිතාලෙත් හරිම දුප්පත්. ඉස්පිරිතාලෙටම ඉන්නෙ දොස්තර නෝනල දෙන්නයි, මහත්තයෙකුයි විතරයි. එක්කෙනෙක් රෑ වැඩ මුරය ඉවර කරල පිට වෙලා ගියාම තව දෙන්නයි. සායනයට එන දෙතුන් සීයයි, බාහිර රෝගී අංශෙට එන පිරිසයි, ඒ අතරෙ මහපාරෙදි හරි කොහෙදි හරි හදිසි අනතුරුවලිනුයි ආපුවම ඉස්පිරිතාලෙ පිරිල යනව. මහ රෑ දෙගොඩහරියෙදි සායනයට ආවත් දොස්තරවරු ඉන්න පෝලිමෙයි, බේත් ගන්න පෝලිමෙයි ඉඳල ගෙදර යන්න හැරෙන කොට දවල් එක-දෙකවත් වෙනව.
    සිංහල අවුරුද්දට තව දවස් පහ-හයයි තියෙන්නෙ. අවුරුද්දට ඉස්සර තියෙන අන්තිම සායනය අද. වෙනද වගේම ඈත ගම්වල මිනිස්සු වෙනදටත් කලියෙන් ස්පිරිතාලෙට ආවෙ ගෙදර-දොරේ වැඩ කන්දරාවක් තියෙද්දි.

    දෙතුන් සීයක් සායනය ඉස්සරහ පෝලිම හැදෙද්දි තමයි, තුණ්ඩු ලියන කෙනා ඇවිත් අද සායනය නැහැ, දොස්තර මහත්තරුන්ගේ වැඩ වර්ජනයක් කියල කිව්වෙ. එක පාරටම ඇහුණෙ උස් හඬින් හුස්ම ගන්න සද්දෙ විතරයි. සමහරු තමන්ගෙ අත්වල තිබුණ හැරමිටිවලට තවත් බර දුන්නා.

    අලුත් අවුරුදු ළංවෙද්දි අලුත් ඇම් පැලඳුම්, රස මසවුළු, මත්වතුර වගේ දේවල් හොයාගෙන යන මිනිස්සු අතරෙ තමයි වෙනදට බොන ප්‍රෙෂර් පෙත්ත, දියවැඩියාවට බොන පෙති ටික, නැත්නම් විදින ඉන්සියුලින් කුප්පිය නැතිව අවුරුද්ද ගෙවන්න වෙන මිනිසුන් පිරිසකුත් ඉන්නෙ.

    පොලීමේ ඉස්සරහම නැත් නම් පාන්දර දෙකටත් කලියෙන් ආපු කෙනෙක් හෙමින් කොඳුරල තුණ්ඩු ලියන කෙනාගෙන් ඇහුවෙ ඇයි ඒ කියල.

    දන්නෙ නැද්ද? සයිටම්, සයිටම් කියල පිට වෙලා ගියත්, ජීවිතේ අන්තිම කාලේ ඉස්පිරිතාලෙ සායනයෙන් ලැබෙන බෙහෙතෙන් ජීවිතේ ගැටගහගන්න අහිංසකයන්ට සයිටම්-එක ගැන තියෙන අවබෝධය මොකක්ද ඇත්තටම?


    තමන්ගෙ දරුවව ස්කෝලෙ දාගන්න නැත්නම් වාහන පර්මිට්එක ගන්න දොස්තරවරු වැඩවර්ජනය කරපු දවසෙත් මේ වගේම සායනයට ආපු මිනිස්සු ආපහු හැරිල යන්න ඇති. ‘ඇයි අද සායනය නැත්තෙ?’ කියල අහපුවම හේතුව තුණ්ඩු ලියපු කෙනා කියන්නත් ඇති.

    අද රෝගීන් බවට පත්ව ඇති මේ මිනිසුන් ජීවිත කාලය පුරාවටම හම්බ කළ මුදලින් මේ රටේ වෛද්‍ය විද්‍යාල නඩත්තු වෙන්න ඇති. පහුගිය කාලෙ දොස්තර මහත්තයෙක් නෝන කෙනෙක් දැක්කහම ගෞරව කරපු මිනිස්සුම හෙට-අනිද්ද වෛද්‍ය නිලධාරීන්ගේ සංගමයේ සාමාජිකයකු බව සඳහන් පුවරුව වාහනයේ වීදුරුවේ අලවාගෙන යන කොට සාප කරන දිනයත් වැඩි ඈතක නොවෙයිලු…

    [rns_reactions]

  • ඔබ හිනැහෙන රට නවතන 'වැකේෂන්' ගැන ඔබ නොදත් කතාව..

    තවත් අවුරුද්දක් උදා වෙමින් තිබේ. ඒ බව දැනෙන්නේ කැලැන්ඩරයේ එකින් එක ගතව ගිය බව පෙන්වන දින ගණනින් පමණක්ම නොවේ. අප්‍රේල් ‘සීසන්-එක’ නැත හොත් සිංහල අවුරුද්ද උදා වන බව පෙන්වන තවත් ලක්ෂණ රාශියක් අප්‍රේල් මස මුල සිටම දැක්නට ලැබෙන්නේය. ඉස්සර නම් අප ඒවා හැඳින්වූයේ කොහාගේ නාදය, එරබදු මල් පිපීම ආදි වූ සොබාදහමේ වෙනස්කම් කිහිපයක් මුල් කරගනිමිනි. එහෙත් දැන් අප්‍රේල් හෙවත් වසන්තය උදා වත්ම අපේ කට්ටිය ‘ශොපින්’ යන්නට ගන්නේය. තැන තැන එරබදු මල් නොව ‘ෆෙයා’ හෙවත් පොළවල් දැමෙන්නේය. ඇඳුම් කඩ පිරී-ඉතිරී යන්නේය. මේ හේතුවෙන්ම වෙනදාට වඩා දෙගුණ තෙගුණ වූ ‘ට්රැෆික්-එකක’ කාලය ගෙවා දැමීමටද සිදු වන්නේය. වෙනදාට පිටකොටුව, කිරිබත්ගොඩ, මහරගම ආදි නගර පසු කර යෑමට පැය කාලක් ගත වන්නේ නම් දැන් පැයකටත් වඩා ගත වන්නේය. හේතුව ‘අවුරුදු’ ඒමය.

    වැටුප හෝ බෝනස් හෝ මොකක් හෝ මුදලක් අතට ගන්නා අපේ කට්ටිය අවුරුද්දට ඇඳුම් ගන්න යන්නේය. එකවර කඩවලට කඩාවැටෙන මහා ජන සන්නිපාතය හේතුවෙන් පල් වෙමින් තිබුණු ‘අවුට් ඔෆ් ෆැෂන්’ තොග පවා ක්ෂණිකව හමාර වන්නේය.

    ඒ යන ගමන් කැවුම්-කොකිස්ද ගන්නේය; මොකටත් කියා අලුත් මුට්ටියකුත් ගන්නේය. මේ සියල්ල කරන්නේ අවුරුදු කෑමටයැයි සිතෙන්නේය. එහෙත් එසේ නොවන්නේය. අවුරුදු කෑම තිබුණේ ඉස්සරය. දැන් ඇත්තේ ‘අවුරුදු වැකේෂන්’ ය. ඕන්න ඔය විදිහට උදා වන අවුරුද්ද කෑවායින් නොකෑවායින් අපේ කට්ටිය වැකේශන් ‘ස්ටාට්’ කරන්නේය. එතැන් සිට ඉතින් සතියකටත් වඩා වැකේෂන්ය. කොටින්ම කිව්වොත් රටටම වැකේශන්ය.

    සිංහල-දෙමළ අවුරුදු චාරිත්‍ර අපේ සංස්කෘතියේ මුදුන් මල්කඩක් වැන්නේය. මේ චාරිත්‍ර සියල්ල කෘෂිකාර්මික සමාජය, ජලාශ්‍රිත ශිෂ්ටාචාරය, බුදුදහම සහ සංස්කෘතික-ආගමික සබැඳියාව ගැන ප්‍රායෝගික භාවිතයට ගෙන එන්නේය. ඒ පවුල් ඒකකය මුල් කරගනිමිනි. අවුරුද්ද සුන්දරය. පෙර සිටම කලඑළි වන්නේ ගෙදරය; මිදුලය. ඇඳුම් ගන්නේ නැකතට අඳින්නටය. රටටම එකම පාටක්ද නියම වන්නේය. කැවුම් පිසෙන්නේය. නැකතට මුළු රටම එකට ළිප ගිනි දල්වන්නේය. එකම වේලාවක රටේ හැම පවුලකම හැම මුවකටම බත් පිඬක් වැටෙන්නේය. මේ අද බටහිර මහා ඉහළින් කථා කරන එකමුතුකම, සහජීවනයේ ප්‍රායෝගික භාවිතය වන්නේය. මේ අවුරුදු චාරිත්‍රවල අන්තර්ගත යටි පෙළ නිසි ලෙස වටහා ගත්තේ නම් දෙමළ-සිංහල කලකෝලාහල, යුද්ධ ඇති නොවන්නේය.

    අපේ කට්ටිය එදත් මේ සංස්කෘතිකාංගවල අරුත් තේරුම් ගත්තේ නැත. දැන් යුද්ද අවසන්ය. ඒත් පේන හැටියට දැන්වත් මේ සංස්කෘතිකාංගවල අරුත තේරුම් ගන්නේ නැත. ඒ වෙනුවට දැන් සංස්කෘතිකාංග නෙ‍ාසලකමින් ඔවුන් වැකේෂන් යන්නෝය.

    කඩවල පොරකා ඇඳුම් රැගෙන ඔවුන් යන්නේ ගමට ගොස් අවුරුදු සැමරීමට නොවේය. වැකේෂන් සැමරීමටය. මේ වැකේෂන් ඇත්තේ ගෙදර නොවේය. අනුරාධපුරයේය. කතරගමය. විශේෂයෙන් නුවරඑළියේය. ධනපතියන්ට නම් ලන්ඩන්ය; නිව්යෝර්ක්ය; බැරිම නම් බැංකොක්ය. අර සංස්කෘතික සහජීවනය වෙනුවෙන් බිහි වුණු චාරිත්‍ර කෙසේ වෙතත් ගෙවල් පාළුවට ගිහින්ය. බොහෝ දෙනා වැකේෂන් යන්නේ අවුරුද්දට කලින්ය. යන එකේ සති දෙකක් වත් ‘රිලැක්ස්-එකේ’ ඉන්නට ඕනෑය. නැත් නම් වැඩක් නැතිය.

    දැනටමත් අපේ රට සිටින්නේ නිවාඩුවලින් ‘කප්’ ගසාය. මාසයකට නිවාඩු දෙකක් හෝ තුනක් අනිවාර්යයෙන් තියෙන්නේය. ඒ මදිවාට මැද්දට වැටෙන වැකේෂන්ය. අප්‍රේල්ය, දෙසැම්බර්ය, අවුරුදුය, නත්තල්ය. ලෝකේ තව වැකේෂන් වර්ග තියෙනවා නම් ඒ සියල්ලත් අපි අපේ කරගන්නේ අඩම්බරයෙන්ය. මොන ලෝකෙන් හෝ අපට ඕනෑ නිවාඩුය. නිෂ්පාදන ආර්ථිකයක් නැත කියා නහයෙන් අඬන්නේ එවන් වූ අපිය.

    අවුරුදු දින කිහිපයේ නුවරඑළිය, අනුරාධපුරය, කතරගම ගොස් බලන්නට වටින්නේය. ඒ දිනවලට නුවරඑළිය නුවරඑළිය නොව කොළඹම වන්නේය‍. ජනාකීර්ණ පරිසරය සමග රථවාහනවලින් පිරී ගිය මංමාවත්ය. තැන තැන ‘බාබර්කිව් ස්ටෝල්’ ය. තැනක ‘රිමෝට් කාර් රේස්’ ය. අහසේ සරන ‘ඩ්‍රෝන කැමරා’ ය. වසන්ත උදානයය. කොවුල් නාදයය. ටීවී චැනල්වල තරගය. අවුරුදු කුමරිය ‘ස්ටේජ්’ උඩය. කොළඹ මුහුණුටික පාරවල එමෙම්මය. එපමණක්ද නොව කොළඹ යාචකයෝද ගැට කපන්නෝද නුවරඑළියට වැකේෂන් ගොස්ය.

    වරින් වර මාර්ගය වසා දිවෙන යතුරු පැදි තරගය. ඒ හේතුවෙන් පැය ගණන් ට්රැෆික්-එකේ සිටිද්දී අපරාදේ හෝටලේට සල්ලි ගෙවන්නේ කියා හිතෙන්නේය. ඒ මන්දයත් කොළඹම සිටිමින් මේ ට්රැෆික් සුන්දරත්වය නොඅඩුව විඳිය හැකි වන නිසාය. එහෙත් පුදුමයකට මෙන් අවුරුදු දිනවල නුවරඑළිය ක‍ොළඹ මෙන් වන විට කොළඹ නුවරඑළිය මෙන් වන්නේය. පාරවල් මතින් සිත් සේ ගමන් යා හැක්කේ පාළුවද නොඅඩුව අත්විඳිමිනි. එවන් වූ මොහ‍ොතක සිතෙන්නේ ඇත්තටම කොළඹත් ලස්සනයි කියාය. අනුරාධපුරයද‍, කතරගමද මෙසේමය. එපමණක්ද නොව ඒ යන අතරමගදී හමු වන හැම ලොකු කුඩා නගරයක්මද මෙසේමය. හැමතැනම වැකේෂන්ය.

    මේ වැකේෂන් එක අවසන් වන්නේ අඩුම තරමේ දවස් දහයක්වත් ගත වූ පසුය. ඒ වන විට අප්‍රේල් මාසයෙන් ඉතිරි වී ඇත්තේ දවසක් දෙකක් පමණි. එතැන් සිට යළි රථ පෙරහර කොළඹ එන්නේය. මේ එන ගමනද හරිම සුන්දරය. නුවරඑළියේ සිට එන්නේ නම් හැටන් පාරේ එකම රථ පෙරහරකි. අවිස්සාවේල්ල හරියේ දී පටුවන පාර මධ්‍යම රාත්‍රිය පසුවන තුරු අවසන් නොවන ට්රැෆික් එකක් හදන්නේය. අනුරාධපුරයේ සිට එන්නේ නම් වරකාපොළ ගැන කතා කිරීමද අමාරුය. අධිවේගී මාර්ගයේ පිවිසුම් පිටවීම් සියල්ල පැයක දෙකක ට්රැෆික් එකක් හදන්නේය. මේ තරම්ම නොවූවද කටුනායක පැමිණීම් පැටවීම් පර්යන්තයන්ද සිහිපත් කළ යුතුය.
    මේ සියල්ල සිදුව අවසන් වන තෙක් රටම නවතින්නේය. හේතුව වැකේෂන්ය. වැකේෂන් අස්සේ කටවත් ලෙඩ වීමට හැකියාවක් නැත. දොස්තරලා වැකේෂන්ය. කාර්යාලයකින් කිසියම් අත්‍යාවශ්‍ය රාජකාරියක් කර ගැනීමට හැකියාවක් නැත්තේය. සේවක මහත්ම මහත්මීන් වැකේෂන්ය. හදිස්සියකට කොළඹ කෑම කඩයක් නැත්තේය. අවුරුද්දෙන් පසු ගම්වල ගිය කොත්තු බාස්ලා යළි නොපැමිණෙන බැවින් කොත්තු බාස්ලා ඉල්ලා පත්තරවල දැන්වීම් දැමීමට පැමිණෙන කඩහිමියන්ය. මේ ආදී වශයෙන් අනුලෝමව සිදු වන සිදුවීම් මාලාවක් අවුරුද්ද අවසන්ව නොව අප්‍රේල් මාසයම අවසන් වන තෙක් සිදුවන්නේය.
    වැකේෂන් තිබිය යුතුය. ධනවාදයේ මැෂින් එකේ ධාවනයට අනුව නොනැවතී දුවන අපට ඉසිඹුවක් ලැබෙන්නේ එවන් අවස්ථාවකදීය. එය හරියට ඉතාලි ගොස් වසරක් පුරා අති විශාල ශීතකරණවල අයිස් කඩා දහදුක් විඳ ලැබෙන සල්ලි රැගෙන ලංකාවට පැමිණ කා බී වියදම් කර මාසයක් දෙකක් ගෙවා දමනවා වැනිය.
    එහෙත් මේ අවුරුදු වැකේෂන් ගැන අවධානය යොමු කළ යුතු වන්නේ එය සමාජ ප්‍රශ්නයක් බවට පත් වෙමින් යන බව පෙනෙන නිසාය. එය රටේ නිෂ්පාදනයට පමණක් නොව සාමාන්‍ය ජන ජීවිතයටද ප්‍රශ්නයක් වන බව පෙනෙන නිසාය.
    අදින් වසර කිහිපයකට පෙර අපේ කට්ටිය වැකේෂන් සැමරුවේ ගෙදර සිටිමිනි. එවකට පැවති අස්ථාවර සමාජ ස්වභාවයද එයට හේතු වන්නට ඇත. එහෙත් දැන් රට සාමකාමීය. මහමග පෙරදී මෙන් බියපත් නැත. දේශය සංචාරයට සුදුසුය. මහ දවල් කොළඹ අව්ව කාගෙන යන විදේශිකයන් ඊට හොඳම නිදසුනය. එහෙව් රටේ අපි අපිම සාංචාරය කිරීම නරකක් නොවන්නේය. එහෙත් ගැටලුව නම් මේ සා විශාල කාලයක් ඒ සඳහා වැය කිරීමය.

    සිංහල මිනිසා අලස බවට උදාහරණ අතීතයේ සිට පැවතෙන්නේය. යමක් වවා කපා ගෙට ගත් කල, උයා-පිහාගෙන කා-බී නිවීහැනහිල්ලේ ඉන්න සිංහලයා කැමැත්තේය. ඉන්දියාවේ සිට වතුවල සේවයට දෙමළ ජනතාවට එන්නට සිදු වන්නේද මේ කැමැත්තේ අතුරුපලයක් වශයෙනි. දැනට අප සතු ශ්‍රමය පමණක්මය. කෘෂිකාර්මික ආර්ථීකයෙන් ඉවත් විය යුතු කාලය දැනටමත් ප්‍රමාදය. නිෂ්පාදන ආර්ථීකයක් බිහි නොවන්නේ නම් ආර්ථික ස්ථාවරත්වයක් ගැන කථා කිරීම බොරුය. සංවර්ධිත රටක් සිහිනයක්ම වන්නේය.

    ලැබී තිබෙන සාමය‍, සමාජ ස්ථාවරත්වය යෙදවිය යුත්තේ රටේම උන්නතියටය. එහෙම නැතිව කා-බී ‘ෆන්’ ගන්නට පමණක් නොවේය. එදා කිව්වේ යුද්ධය නිසා රට සිංගප්පූරුවක් බවට පත් නොවී බේරුණා කියාය. දැන් කියන්නට තියෙන්නේ දිගටම දිගටම ෆන් ගන්නා නිසා රට සිංගප්පූරුවක් නොවන බවය.
    මෙහෙම ගියොත් ෆන් වැඩි වීමෙන් ආයෙත් රට යුද්ධයකට වුව යන්නට බැරිය. ණය කන්ද නම් කොහෙත්ම ගෙවාගන්නට බැරිය. නිෂ්පාදනයක් සිදු නොවන්නේ නම් ශක්තිමත් ආර්ථිකයක් බිහි නොවන්නේය. මේ සියල්ලෙන් කඩා වැටෙන්නේ රටය. ඒ නිසා ‘වැකේෂන්’ ගත යුතුය. එහෙත් රට ගැනද සිතිය යුතුය.

    [rns_reactions]

  • මහා සූප­වේ­දි­යා­ගෙන් ජාති­යට පිදෙන සූප වංශය….

    මහා සූප­වේ­දි­යා­ගෙන් ජාති­යට පිදෙන සූප වංශය  එළි දැක්වීම ලබන 24 වැනිදා බණ්ඩාරනායක සම්මන්ත්‍රණ ශාලාවේදී..
    තුන් සිංහලයටම ඇත්තේ එක් වංශ කතාවකි. ඒ මහා වංශයයි. ඒ වංශ කතාවට පමණක් දෙවැනි වන වංශ කතාවක් අපේ වංශ කතා නාමාවලියට බක් මහේ විසි හතර වැනි දින අපරභාග තුනට එක්වීමට නියමිත ය. බණ්ඩාරනායක සම්මන්ත්‍රණ ශාලා‍වේදී දොරට වඩින අපේ දෙවැනි වංශ කතාව වන්නේ සූප වංශයයි. මෙහි රචකයා ශ්‍රී ලාංකේය සූපවේදීන් ගැන කතා කරන විට අපේ මතකයට මුලින් ම නැ‍ෙඟන පබ්ලිස් සිල්වා නම් මහා සූපවේදියා ය.

    වංශ කතා‍වක් දිනකින්, දෙකකින් ඇරැඹෙන්නක් නොවේ. එයට දිගු ඉතිහාසයක් ඇත. හතළිස් වසරක ඒ අතීත කථාවට අපේ මහා සූපවේදියා මුල පිරුවේ මෙලෙසිනි.

    “අපේ ඓතිහාසික පුස්තක අතරට සූප වංශය එක් කිරීමේ අදහස ඇතිවෙලා වසර හතළිහකට වැඩියි. ලංකාවේ ඖෂධීය ආහාර එකතු කරලා සූපවංශයක් කිරීමේ අදහස ඇති වුණේ කොලු කමට කළ දඟකාර වැඩකින්. මායි සගයන් ටිකයි අනුන්ගේ වතුවලට ගිහින් කුරුම්බා කඩාගෙන කෑම සිරිතක් වෙලා තිබුණා. දවසක් කලටි පොල් කඩාගෙන මූදට ගෙනිහින් මූදු වතුරෙන් හෝදලා කෑවා. හරි අපූරු රසක්. ඉන්පස්සෙ දිගටම එහෙම කළා. අලුත් අලුත් දේ අත්හදා බැලීමට එය මූලාරම්භයක් වුණා.

    ලෝකයේ බොහෝ දේ නිර්මාණය වීමට මුල පිරෙන්නේ ඒ වගේ අහඹු සිදුවීම්වලින්. මුලින් ම ආහාර අමුවෙන් අනුභව කළ මිනිසාට අහම්බෙන් ගින්දර සොයා ගන්නට ලැබුණා. ලැව් ගිනි නිසා තමන් ජීවත් වුණු වනාන්තර විනාශ වෙද්දී අපේ මුතුන් මිත්තන් පණ ගැට ගසා ගත්තේ ඇළකින්, දොළකින් එගොඩ වෙලා. ආපසු තමන් පදිංචි තැන්වලට යන විට ගස්වැල්, සතුන් ගින්නෙන් අළුවෙලා. කුසගින්නට පිළිස්සුණු සතුන්ගේත් පලා වර්ගවලත් රස බැලූ විට ඒවායේ මුලින් තිබුණට වඩා වැඩි රසයක් දැනෙන්නට ගත්තා. ගල්, වියළි දරකෝටු එකට අතුල්ලා ගින්දර ලබාගෙන උයන්න පෙළඹුණා. සියල්ල අහඹු සිදුවීම්.

    සූප වංශයක් ලිවීමට තරම් අපේ ආහාරයෙහි ඇති විශේෂත්වය කුමක්ද?
    ලෝකයේ ආහාර සංස්කෘති ගැන ඕනෑ තරම් පොත් ලියැවී තිබෙනවා. විශිෂ්ටතම ආහාර සංස්කෘතියකට අප හිමිකම් කියනවා. ඒත් කොතැනකවත් ලංකාවේ ආහාර ගැන ලියැවී නැහැ. එහි ඖෂධීය වටිනාකම ලියැවීත් නැහැ.
    ඉන්දියාවෙන් පිටුවහල් කළ විජයකුමාරයන් හත් සියයක පිරිසක් ලංකාවට එද්දී කුවේණි සපු කටිමින් හිටියේ. ඒ වෙනවිට ලංකාවේ ඉතා දියුණු සංස්කෘතියක් තිබුණා‍. හත් සිය එක් දෙනකුට කන්න දෙන්න තරම් වී වගාවෙන් අපේ රට සශ්‍රීක බවට ඊට වැඩි සාක්ෂියක් අවශ්‍ය නැහැ.

    ලංකාවේ වැසියන් පිට දේශයේ කෑම බීම වැළඳ ගත්තා. අ‍ෙප් වටිනා ආහාර සංස්කෘතිය වැනසුණා. දස මහා යෝධයන් බිහිවුණේ හෙළ කෑම බීමවල ශක්තියෙන්.

    අනුරාධපුරයේ රහතුන් වහන්සේලා පන්දහසකට දන් පිළිගන්වා තිබෙන්නේ කැඳ බත් ඔරුවල. රජකාලයේදී පවා වර්තමාන කොම්බි අවන් ක්‍රමයට සමාන දියුණු ආහාර පිසීමේ ක්‍රමයක් ක්‍රියාත්මක වෙලා තිබෙනවා.

    ඉන් අදහස් කරන්නේ අපේ ආහාරවල ආහාරමය ගුණය වගේ ම ඖෂධීය ගුණයකුත් තිබෙන බවද?

    ඔව්. වරකා සිවිඩ්ඩ දියවැඩියා රෝගීන්ට ගුණදායකයි. මස් බැද්දා කොළයක් කෑවම සීනිවල රසය දැනෙන්නේ වැලි කැට වගේ‍. උදේ අවදි වූ වහාම උණුවතුර බීලා කුරුඳු පොතු කෑල්ලක් කෑවොත් ලේවල සීනි අඩුවෙනවා.

    පිටරට ආහාරවලට ආවැඩීම වගේ ම අපේ වැරැදි පුරුදුත් ලාංකේය ආහාර රටාවේ විනාශයට වගකිව යුතුයි නේද?

    ලංකාව ඉන්දියානු සයු‍ෙර් මුතු ඇටය..‍. ඒත් දැන් බොරළු කැටයක් කරන්න කටයුතු සම්පාදනය වෙලා. රසායනික පොහොරවලින්, පලිබෝධනාශකවලින් සාරවත් පස බෝග විනාශ වෙලා. අපට ආවේණික මත්ස්‍යයන් බොහොමයක් අද දකින්න නැහැ.

    ගෘහණියන් ආහාර පිසීමට ගන්නේ ලේසි පහසුවට කඩවල්, සුපිරි අලෙවි හල්වල ඇති කුළුබඩු පැකට්, මේවායේ මී බෙටි, කැරපොතු අඬු, පුන්නක්කු තියෙන්න පුළුවන් බව අමතක කරන්න එපා.

    අතීතයේ අපේ ගෘහණියන් තුනපහ ගෙදරදීම සාදාගත්තා. සූදුරු, මාදුරු, කොත්තමල්ලි අඩංගු එක් ගුලියකට හා කහ, මිරිස්, ගම්මිරිස් වෙන්ව ඇඹරූ ගුලි තුන තුනපහ ලෙසින් හඳුන්වනවා. ඔවුන් ඒ හැම ගුලියක් මතම ලුණු කැටයක් තිබ්බා. ලුණු ටිකෙන් ටික පහතට ගලා විත් විස බීජවලින් ආරක්ෂාවක් ලැබෙනවා. ඒත් අද ගෘහණියන් අලසකම, වැඩ වැඩිකම නිසා තුනපහ නිවෙසේදී පිළියෙල කරගන්නේ නෑ.

    ආහාර පිසීමේදී කෑමේ සුවඳ, රස වර්ණය ආරක්ෂාකර නොගැනීම තවත් වරදක්. බෝංචි පිසුවොත් එහි වර්ණය, රස, සුවඳ පිසූ පසුවත් රැකී තිබිය යුතුයි.
    සූප වංශයෙන් සුවිශේෂීභාවය ගැන පැවසුවොත්…

    අපේ රටේ ආහාරමය පැළෑටි සියයට අනූවක් ම ඡායාරූපත් සමඟ පලකර තිබෙනවා. මෙහි ලංකාවට ආවේණික අල වර්ග 56 ක්, ආවේණික පලතුරු 76 ක් ඇතුළු අපටම ආවේණික පැලෑටි 1450 ක් ඇතුළත්.

    අවුරුදු දෙකෙන් දෙකට වෙනස් කළ හැකි විදියට කෘතිය නිර්මාණය වෙනවා. පිටු දහසකින් කෘතිය සමන්විතයි. මෙය මගේ ම වියදමින් කරන්නේ කෘතියට ලක්ෂ 35 – 40 ක් වැය වී තිබෙනවා. කෘතිය ඉංග්‍රීසියට පරිවර්තනය කිරීමටත් බලාපොරොත්තු වෙනවා. මට ඕන මේ වටිනා පොත පොත් රාක්කයක සුරැකෙනවා දකින්නයි.

    බෝවෙන රෝගවලට වඩා දියවැඩියාව, හෘද රෝග, ආඝාතය, පිළිකා වැනි බෝ නොවන රෝග අහස උසට ඉහළ යන කාලයක ඉතිහාසයේ සිට අපට උරුම ආහාර ගැන අවබෝධයක් ලබාගැනීම වැදගත්.

    කෘත්‍රිම රස, කෘත්‍රිම වර්ණක, සත්ත්ව තෙල්, සත්ත්ව කිරි නොයොදා සාදන ආහාර වට්ටෝරු රැසක් ඇති එකම රට ශ්‍රී ලංකාවයි. එම ආහාර රටාව ආරක්ෂාකර ගත්තොත් බෝ නොවන රෝගවලින් අප රැකෙනවා.

    අඟුරු අදින කම්කරුවකු ලෙස ගල්කිස්ස හෝටලයට පැමිණි පබිලිස් සිල්වා ගල්කිස්ස හෝටලයේ මහා සූපවේදියාගේ සිට අධ්‍යක්ෂ මණ්ඩලයේ සාමාජිකයකු දක්වා වෘත්තීය ජීවිතයේ හිනි පෙත්තටම නැඟ අවසන් ය. සූපවංශය ඔහුගේ පරමාදර්ශී වෘත්තීය ජීවිතයේ වටිනා අත්දැකීම් සම්භාරයෙන් ජාතියට තිළිණ වන මහඟු දායාදයයි.

    [rns_reactions]

  • අලුත් අවු­රු­ද්දට මුළු රට­ටම ආස්මී – ගමෙන් ඇහෙන කතාවක්..

    කොතරම් අගහිඟකම් තිබුණත් සිංහල අවුරුද්දට කොකිසයක් නොබදින කැවුමක් පුච්චන්නේ නැති ගෙයක් නම් හොයා ගන්න බැරි තරම්. කැවුම් කෙසෙල් කොකිස් කිරිබත් අළුවා ආදී වූ කැවිලි පෙවිලිවලින් පිරුණු අවුරුදු මේසය වඩාත් හැඩවෙන්නේ ආස්මී ගෙඩියකුත් තිබුණොත් තමයි. නමුත් කොකිස් බදින තරම් නම් ආස්මී උයන්න නම් පහසු නැහැ. කොතරම් අපහසු වුණත් හැඩට රසට ආස්මී උයන ආස්මී බදින්න අපේ අම්මලා දන්නවා. ‍හැබැයි මේ දක්ෂකමත් හැමෝටම නැහැ.

    කවුරු කොහොම හොයා ගත්තද කියන්න දන්නේ නැති වුණත් හාල්පිටිවලට දවුල් කුරුඳු නානු මුසුකරමින් හරි අපූරුවට ආස්මී උයන්න දන්න අය නගර බදව නැතත් ගම්බදව නම් තවමත් ඉන්නවා. අවුරුද්දට විතරක් නෙමෙයි තම ජීවන වෘත්තිය ආස්මී බැදීම කරගත් ගමක් සොයාගෙන පසුගිය දාක අපි අලව්ව ප්‍රදේශයට ගියා.

    අලව්වෙන් හැර නෙළුම්දෙණිය පාරේ යද්දී හමුවන ඕපාත මේ ආස්මී ගම්මානයයි. එගම ආස්මී උයන රත්නවතී මැණිකේගේ නිවෙස නොදන්නා කෙනෙක් නැති තරම් ය.

    හරි හමන් පාරක් නැති ඇගේ ගෙදරට අප ගියේ රබර්වත්තක් මැද්දෙනි.

    “මමයි මගෙ මහත්තයයි ආස්මී උයන්න පටන් අරගෙන මාස එක හමාරක් විතර ඇති. මං මේක ඉගෙන ගත්තේ අක්කගෙන්. අපි සතියකට ආස්මී සීයක් විතර කඩේකට ගිහින් දෙනවා. වෙන රස්සාවක් කරන්නෙත් නැහැ. දැන් අපේ දරුවෝ බැඳලා. මේ තමයි අපි ආස්මී විකුණන පළමුවෙනි අවුරුද්ද. ඒත් කොන්දෙ අමාරුවක් හැදිලා අද මුකුත් ම කළේ නැහැ. මේ ගමේ තව කෙනෙක් ඉන්නවා ආස්මී උයන. ඊටත් පස්සේ ඕපාත ගමේ නම් පවුල් කිහිපයක් ම ‘ආස්මී’ හදලා ජීවත් වෙනවා.”

    රත්නවතී මැණිකේ නැන්දා බැරි අමාරුවෙන් මිදුලට බසිමින් පැවැසුවා ය. ඉන් පසු අපි ඈ කියූ තොරතුරු අනුව ගම්මැද්දේ ඇවිදින්නට වීමු.

    පස්පොළකන්දේ පින්තාලිය හන්දියේ ආර්. එම්. මුතුමැණිකේ අපට හමුවූයේ අතරමඟදී ය. පාදයේ ආබාධයකින් පෙළෙන ඇය ඇවිදින්නේ අත්වාරුවට බරදෙමිනි.

    “ආස්මී උයන්න පටන් අරගෙන අවුරුදු පහක් විතර වෙනවා. මා ගාව දෙන්නෙක් වැඩ කරනවා. කලින් මම ඕපාත තැනක වැඩ කළා. එතැනදී තමයි මම ආස්මී උයන්න ඉගෙන ගත්තේ. ටික කාලයක් යනකොට මට හිතුණා මම වෙන මම පටන් ගන්න ඕන කියලා. ම‍ගෙ දුව බැඳලා ඉන්නේ අනුරාධපුරේ. ඒ දුව මට සතියකට සැරයක් විතර දවුල් කුරුඳු ගෙනැත් දෙනවා. මං උයන ආස්මී කඩවල් කිහිපයකටත් දානවා. ඒ වගේ ම ගෙදරත් විකුණනවා. සිංහල අවුරුදු කාලයට මම ආස්මී හයදාහක් විතර හදලා විකුණගන්නවා.”

    පාදයේ ආබාධය තිබුණ ද හිතේ හයියෙන් ජීවිතය ගැටගහගන්නා මුතුමැණිකේ අම්මා පවසන්නේ ආඩම්බරයෙනි. ඇය ඇතුළුව එම ප්‍රදේශයේ තවත් කිහිප දෙනෙක්ම මෙම වෘත්තීයේ නියැළෙන්නෝ ය. නමුදු ඔවුන්ගෙන් ඇතැමෙක් තොරතුරු කියන්නට අකැමැති ය. ළඟ ළඟ එන සිංහල අවුරුද්ද නිමිත්තෙන් පාරවල් අයිනේ දැන්වීම් පුවරු ප්‍රදර්ශනය කර ඔවුහු ව්‍යාපාරය අරඹා ඇත්තාහ.

    අලව්ව පස්පොළකන්ද – ඕපාත ආදී ගම්මානවලට මුලින් ම ‘ආස්මී’ ව්‍යාපාරය හඳුන්වා දුන්නේ කවුදැයි අපි කිහිප දෙනෙකුගෙන් ඇසුවෙමු.

    “ඔන්න ඔය වඩූ ඉස්කෝලේ ගාවින් හැරිලා යන්න තියන වසන්තලාගේ ගෙදරට යන්න. එයාලා තමයි මේ පැත්තේ මුලින් ම ආස්මී ඉව්වේ.”

    තොරතුරු කීවේ මඟ සිටි කාන්තාවකි. ඒ හිමිදිරියෙත් නිවෙස ඉදිරිපිට දුර බැහැරින් ආ කිහිප දෙනෙකි.
    “තැන වැරදුණාවත් ද?”

    අපි අපෙන් ම ඇසුවෙමු.
    “ආ මෙහෙ තමයි තැන. එන්න අපි උදේම වැඩ…”
    ඒප්‍රනයකින් සැරසී ආස්මීවලට පිටි ඒදමින් සිට ඉදිරියට පැමිණි වසන්තා අප එහි කැඳවූවා ය.
    සැබවින් ම එය අපූරු දසුනකි. මැදිවිය ඉක්මවූ කාන්තාවෝ කිහිප දෙනෙක්ම ඒ කුඩා කොටසේ භූමිතෙල් ළිප් කිහිපයක් තබා ආස්මී උයති. උයන ලද එනම් එක්වරක් බදින ලද කටුආස්මී වට්ටිවල පුරවා තැන තැන ඇත්තේ ය. තවත් තැනෙක ගොජ දමන පැණි තාච්චියකි. එය නම් බලන්නට අපූරු ය. වසන්තාගේ මව වන පී.ඇම්. අධිකාරි සුධර්මා අතින් නැවත වරක් බැදදෙන ආස්මියට පැණිවලින් රටා දමන්නීය. අධිකාරි අම්මා හැත්තෑදෙහැවිරිදි වියේ පසුවන්නීය.

    “ඉස්සර මේ ගම්වල ආස්මී උයන්න දන්න අය හිටියේ නැහැ. මම ආස්මී උයන්න ඉගෙන ගත්තේ මගේ අම්මගෙන්. ඒ බොහෝම තරුණ අවධියේ. ඉන් පස්සේ මම මඟුල් ගෙවල්වලට දානේ ගෙවල්වලට ආස්මී උයන්න ගියා. නමුත් කවදාවත් මුදලට ඒ දේවල් කළේ නැහැ. මං ගෙදර ආස්මී ඉව්වත් මගෙ දුව වසන්තා මේ දේ ඉගෙන ගත්තේ මගෙන් නෙමෙයි. දැන් මම දුවට උදව්වක් හැටියට ආස්මීවලට ‍රටාවට පැණිදාන වැඩේ කරලා දෙනවා. ඒ වුණත් දුව මට පින්දහම් කැරගන්න කියලා මුදලක් දෙනවා. එයා තමයි මගෙ හැමදේම කරන්නේ. මට මහන්සියක් දැනෙන්නේ නැහැ. මං බොහෝම සතුටින් මේ කාරිය කරනවා.”

    අධිකාරි අම්මා පවසන්නේ තම දියණිය ගැන සතුටිනි.
    අප එහි යන මොහොතේ වසන්තා සිටියේ ආස්මී ඉවීමට පිටි ඒදමින්. ඒ අතර අනෙක් කාන්තාවෝ බිම තැබූ භූමිතෙල් ළිප් උඩ උණු තෙල් තාච්චිවල ආස්මී උයමින් සිටියහ. දවුල් කුරුඳු නානු යොදා හොඳින් ඒදන ලද පිටි බොකුටු හිල් පොල්කටු හැන්දෙන් තාච්චිය මත අතුරන්නේ එක්තරා රටාවකට ය. ආස්මී එකෙන් දෙකෙන් ඉවීම ආරම්භ කර අවසානයේ ඇය එයම තම ජීවන වෘත්තිය කරගත්තා ය. එපමණක් නොව අද වනවිට වසන්තා ආදර්ශයට ගත් ඕපාත ගමේ මෙන් ම ඒ අවට ගම්මානවල නිවෙස් කිහිපයකම අවුරුදු කාලයට ද, අනෙක් දවස්වල ද ආස්මී උයන්නේ ය. වසර දහයකට වැඩි කාලයක් තිස්සේ බැරි අමාරුවෙන් ගොඩනැඟුණ තම ආදායම් මාර්ගය පිළිබඳව අද වනවිට වසන්තා කතා කරන්නේ ආඩම්බරයෙනි.

    “අම්මා ආස්මී ඉව්වට මං කවදාවත් එයාගෙන් ඉගෙන ගත්තේ නැහැ. මහත්තයාගේ ලොකු අම්මගෙන් තමයි මේක ඉගෙන ගත්තේ. ඉස්සර මහත්තයා වැඩ කළේ තුල්හිරිය පෙහෙකම්හලේ. ඒ දවස්වල මං ආස්මී උයනවට මහත්තයාගේ කිසිම කැමැත්තක් තිබුණේ නැහැ. ඒත් තුල්හිරිය කම්හල වහලා දැමීමට පස්සේ එයාට රස්සාව නැති වුණා. අපට ආදායම් මාර්ගයක් තිබුණේ නැහැ. ඒ ගමන තමයි මං ආස්මී උයලා කඩවල් කිහිපයකටම දාන්න පටන් ගත්තේ. ආස්මී උයන්න පටන් ගත්ත මුල් කාලේ ආස්මී ගෙඩියක් රුපියල් හතකට විකුණුවේ. කාලයත් එක්ක මිල ඉහළ ගියා. අද වෙනකොට ආස්මී ගෙඩියක් රුපියල් විසිපහක් වෙනවා” වසන්තා ඒ කියන්නේ අතීතයෙන් බිඳකි.

    “මම මේක බොහෝම සුළුවෙන් කරගෙන ගියේ. ඒ හැමදේම වෙනස් වුණේ එච්. ආර්. දසනායක මහත්තයා අපිව හොයාගෙන ආවට පස්සේ. ඔහු අපේ නිවෙසට ආවේ මම උයපු ආස්මී ගෙඩියකුත් කඩේකින් අරගෙන. ඔහු එනවිට මම කුස්සියේ භූමිතෙල් ළිප තියාගෙන ආස්මී උයනවා. ඒ හරියට සුනාමිය ආපු දවස. ඔහු එදා මගෙන් ආස්මී ගෙඩි විස්සකුත් අරගෙන ගියා. ඉස්සර මං ආස්මී ගෙඩියේ පැණි දැමීමේ ඉවෙන විදිහකට. දැන් මේ තියන රටාව මට කියලා දුන්නේ දහනායක මහතා. ඇත්තටම ඔහු අපේ පවුලට දෙවියෙක්. මං එහෙම කියන්නේ ඔහු තමයි අද අපට ඉන්න ලොකුම ගැනුම්කරුවා. ඔහු අපෙන් ආස්මී ගෙනිහිල්ලා කඩවලට බෙදා හරිනවා. ඒ දවස්වල මේ කවුරුවත් ආස්මී ඉව්වේ නැහැ. නමුත් මගෙන් පස්සේ බොහෝ අය මේ දේ කරන්න පටන් ගත්තා. අද පිට පළාත්වල ඉඳලා බොහෝ අය එනවා ආස්මී ගෙනියන්න. ඒ වගේ ම අහල පහල අයත් එනවා.”

    වසන්තා පවසන්නේ එදා මෙදා තුර දියුණුව පිළිබඳව ය. ඇය අප සමඟ කතා කරන අතරේ ඇගේ දියණිය ආස්මී ගෙනයන්නට ආ කිහිප දෙනෙකුටම පිළිවෙළකට අසුරා ආස්මී දෙන්නට වූවා ය.
    අනෙකුත් දිනවලට කෙසේ වෙතත් සිංහල අවුරුදු කාලයට නම් වසන්තාගේ නිවෙස ඉදිරිපිට ආස්මී ගෙන යන්නට පැමිණි අය සිටියේ පෙළ සෑදී ගෙනය.
    “අපේ ගෙදර ඕන වෙලාවක ආස්මී තියෙනවා. නොනගතේ වෙලාවට විතරයි වෙළෙඳාම නැත්තේ. දැන් මා ගාව අම්මලා හය දෙනෙක් ඉන්නවා. අද කෙනෙක් ඇවිත් නැහැ. එහෙම දවස්වලට මහත්තයත් ආස්මී උයනවා. බදිනවා. පැණි දානවා. හැමදේම කරනවා. ඔහුගෙන් මට හොඳ සහයෝගයක් තියෙනවා. අපිට බොහෝම උදව් කරන කෙනෙක් තමයි පොල්තෙල් ගේන ඉසංක සමරවීර මල්ලී. ඔහු මීරිගමින් තමයි අපට පිරිසුදු පොල්තෙල් ගෙනත් දෙන්නේ. ඒ වගේ ම උපුල් අයියා ඕනෑම වෙලාවක බඩු ගේනවා. සාමාන්‍යයෙන් උදේ 8 සිට සවස 5.30 වනතුරු අපේ ගෙදර ආස්මී උයනවා. ඒත් අවුරුදු කාලෙට නම් රෑටත් උයනවා. මං හිතන්නේ අද වෙනකොට ලංකාව පුරාම වගේ මගේ ආස්මී වෙළෙඳාම් වෙනවා කියලා. ලාභයක් ලබන්න නම් ආස්මී ලක්ෂයක්වත් උයන්න ඕනෑ” වසන්තා පවසන්නීය.

    ඇගේ ව්‍යාපාරය එදාට වඩා දැන් දියුණු ය. වට්ටි පිරෙන්නට ඇත්තේ දවස ගානේ උයන ලද කටුආස්මී ය. අවුරුදුවලට ඇය දැන් සිටම සූදානම් ය. බැරල් පුරවා ඇත්තේ ද උයන කටු ආස්මීය. හැඩට තිබෙන්නට නම් රසට හැපෙන්නට නම් ඒ කටු ආස්මී නැවත තෙලේ බැඳ පැණි දැමිය යුතු ය.
    නුවර, දඹුල්ල, හිරිවඩුන්න, ජා ඇළ, ගිරිඋල්ල ආදී ප්‍රදේශ ප්‍රධාන කොටගෙන දිවයිනේ අනෙකුත් ප්‍රදේශවල ද වසන්තාගේ ආස්මී බෙදා හැරෙන්නේ ය. ඒ අතරමැදියන් මාර්ගයෙනි. වසර දොළහකට වැඩි කාලයක් වසන්තා ගේ ‘ආස්මී’ වැඩපොළේ සේවය කරන ගුණරත්න මැණිකේ සමඟ අපි කතා කළෙමු. ඇය හැටතුන් හැවිරිදි ය.

    “මම මෙහෙ වැඩට ඇවිත් අවුරුදු දොළහකට වැඩියි. ‍මම මෙහෙ එද්දී ආස්මී උයන්න දන්නේ නැහැ. මෙහෙ ඇවිත් තමයි ඉගෙන ගත්තේ. සාමාන්‍යයෙන් දවසට ආස්මී 350ක් 360ක් මම උයනවා. ළිප හොඳට පත්තු වුණොත් තමයි ඒක පුළුවන්. සමහර දවස් තියෙනවා තුන්සීයක්වත් උයාගන්න බැරි. අපි උදේ වැඩට එනකොට හැමදේම පිළිවෙළට තියෙනවා. අපිට තියෙන්නේ ආස්මී උයන්න විතරයි. හැමදාම අවුරුදු කාලෙට දොළොස් වැනිදා වනතුරු අපි වැඩ.” ගුණරත්න මැණිකේ පවසන්නේ පොල්කටු හැන්දට පිටි මිශ්‍රණය පුරවන අතරේ ය.

    ආස්මීවල ලොකුම රහස නම් දවුල් කුරුඳු ය. ඔවුන් දවුල් කුරුඳු සොයා ගන්නේ ඒ අවට ඇති කැලෑවලිනි. වසන්තාගේ නිවසේ ද දවුල් කුරුඳු සිටුවා ඇත්තේ ය.
    “සාමාන්‍යයෙන් දවස් හතරක් විතර දවුල් කුරුඳු කොළ තියා ගන්න පුළුවන්. මේ කොළ අතින් පොඩි කරලා තමයි නානු හදා ගන්නේ. හාල් පිටි කොටන්න මැෂිමක් තියෙනවා. ඒ මැෂිමේ වැඩ කරන්න කෙනෙක් උදේම එනවා. ඔහු ම තමයි පොල් ගාලා මිරිකන්නේ. මගෙ මහත්තයා අමරසිංහ තමයි මේ හැමදේම දැන් බලා ගන්නේ. අද වනවිට මට ලොකු සතුටක් තියෙනවා. මං පුංචියට පටන් ගත්ත දේ මේ තරම් දියුණු වුණ ඒක ගැන. මං වැඩිදුර ඉගෙන ගන්න කෙනෙක් නෙමෙයි. ඒත් මට මගේ ම කියලා ආදායම් මාර්ගයක් හදාගන්න පුළුවන් වුණා” වසන්තා පවසන්නේ නිහතමානිවය.

    වසන්තා ඇතුළු පවුල් හය හතකම ප්‍රධාන ආදායම් මාර්ගය වී ඇත්තේ ආස්මී ඉවීම ය. ඔවුන් ආදර්ශයට ගෙන ඇත්තේ වසන්තාවය. රජයේ රැකියා ලැබෙන තුරු හෝ වෙනත් රැකියා ලැබෙන තුරු කාලය කා දමනවාට වඩා තමන් දන්නා දෙයින් ප්‍රයෝජනය ගැනීම කෙතරම් අපූරුදැයි සිතෙන්නේ වසන්තාගේ නිවෙසේ බැදෙන ආස්මී දුටුවිට ය. සිංහල අවුරුදු කාලයට, නව වසර උදාවට පමණක් නොව ඔවුන් අනෙකුත් කාලවලට ද කාර්යය බහුල ය.

    [rns_reactions]

  • අලුත් අවුරුදු දා නිවෙසින් පලා යන්න එපා ! – ඔබ නොදත් කතාව මෙන්න..

    අලුත් අවුරුද්ද එනවා යැයි කී විට බොහෝ දෙනෙකුට මතක් වන්නේ පාට පාට ඇදුම් විලාසිතාවන් ය. අතේ ඇති මුදලට අමතරව ණයට පවා මුදල් සොයා ගෙන බොහෝ දෙනෙක් රෙදිපිළි සාප්පු ගානේ සවාරි යති. එසේ දුවන්නේ අලුත් අවුරුද්ද යනු අලුත් ඇදුම් ඇඳීමේ අවස්ථාවක් ලෙස වරදවා වටහා ගැනීමෙනි. ඇතැමුන් අලුත් අවුරුද්ද වෙනුවෙන් දරණ වියදමෙන් සියයට හැටකට වඩා වෙන් වන්නේ ද ඇදුම් මිලට ගැනීම සඳහා ය.ඇත්තම කතාව කීවොත් අලුත් අවුරුද්දට අලුත් ම ඇදුම් නම් උවමනා ම නැත. මේ අලුත් ඇදුම් උමතුව නිසා අලුත් අවුරුද්දේ සැබෑ හරය යටපත් වී හාස්‍යජනක විලාසිතා තරගයක් පමණක් කරළියට එයි.

    අපේ ජීවිතය සහ අපේ පරිසරය යනු මේ සෞරග්‍රහ මණ්ඩලයේ ම කොටසකි. හිරු සඳු ඇතුළු අනෙක් ග්‍රහ තාරකා මෙන්ම අපේ ජීවිත ද අපේ පැවැත්ම ද රඳා පවතින්නේ එකම විශ්ව ශක්තියකිනි. අප්‍රේල් 14 දා සිදුවන්නේ ඒ විශ්ව ශක්ති චක්‍රය අලුත් වීමකි. රේවතී නැකතේ සිට අස්විද නැකතට මාරුවන සූර්‍යා විසින් අපේ සමස්ත සෞරග්‍රහ මණ්ඩලයේ ම ශක්ති චක්‍රය අලුත් කරනු ලැබේ. අලුත් අවුරුදු උදාව ලෙස අප සමරන්නේ එම සිද්ධිය යි. ඒ සඳහා පුරාණයේ සිට අනුගමනය කරන නැකත් චාරිත්‍ර සම්ප්‍රදායක් තිබේ. ඇත්තෙන් ම සැබෑ අලුත් අවුරුදු සමරුව බවට පත්වන්නේ ඒ නැකත් සිරිත් අකුරට ම අනුගමනය කිරීමයි. අතීතයේ සිට මේ දක්වා එන සම්ප්‍රදාය වන්නේ අලුත් අවුරුද්ද සැමරීම සඳහා සකස් කළ නැකත් සීට්ටුව රටේ රාජ්‍ය නායකයාට පිළිගැන්වීමයි. ඒ නැකත් සීට්ටුවේ කොතැනකවත් අලුත් ඇදුම් ගැන කිසිම කතාවක් සඳහන් වන්නේ නැත.

    අලුත් අවුරුද්දේ සැබෑ තේරුම කුමක්දැයි වටහා ගැනීමට ඒ නැකත් සීට්ටුවම අපට පිහිට වෙයි. එහි එන සෑම නැකත් චාරිත්‍රයකින් ම අපේක්ෂා කරන්නේ අලුත් විශ්ව ශක්තිය ඉතා හොඳින්ම ග්‍රහණය කර ගැනීමයි. නව සඳ බැලීමේ සිට හිසතෙල් ගෑමේ නැකත දක්වා වූ සියලු අවස්ථා සකස් කොට තිබෙන්නේ සූර්‍යාගේ අලුත් ශක්තිය මැනවින් උරා ගැනීමට රුකුලක් වන ලෙසට ය. අලුත් ඇඳුමක් දවටා ගත් පළියට ඒ විශ්ව ශක්තිය කැඳවා ගත නොහැක. ඒ සඳහා කළ යුතු එහෙත් බොහෝ දෙනකු විසින් නොසළකා හරිනු ලබන කරුණු කිහිපයක් මෙසේ ය.

    නැකත් සීට්ටුව

    අලුත් අවුරුද්දට පෙර ඔබේ නිවෙසේ සියලු ගෘහ භාණ්ඩ නිවෙසින් පිටතට ගෙන ඒවා ඉතා හොඳින් සෝදා පවිත්‍ර කොට ඔප දමන්න. එවිට වසරක් පුරා ඒවායේ රැදුණු දූවිලි මකුළු දැල් සහ වෙනත් අපද්‍රව්‍ය ඉතා පහසුවෙන් ඉවත් කිරීමට සහ ඒවායේ ඇති කැඩුණු බිඳුණු තැන් ඉතා මැනවින් පිළිසකර කිරීමට අවස්ථාව යෙදෙයි.

    නිවෙසේ වහලයේ සිට ගෙබිම දක්වා වූ සියල්ල මැනවින් පිරිසිදු කරන්න. එවිට වසරක් පුරා එහි රැදුණු දූවිලි මකුළු දැල් සහ වෙනත් අපද්‍රව්‍ය ඉවත් කිරීමට අවස්ථාව යෙදේ. මෙහිදී ඔබේ නිවෙසේ ගෘහභාණ්ඩ නිවෙසින් පිටතට ගැනීම අත්‍යවශ්‍ය වන අතර ඉන් අනතුරුව නිවෙස ඇතුළත කොටසින් කොටස හෝ පිරිසිදු කළ හැකිය.

    මේ අවස්ථා දෙකෙන් අපේක්ෂා කරන්නේ හුදෙක් නිවස සහ ගෘහභාණ්ඩ පිරිසිදු කිරීම පමණක් නොවෙයි. වසරක් පුරා ඔබේ නිවෙස අභ්‍යන්තරයේ සංසරණය වූ සූර්‍යාගේ ජීව ශක්තිය ගෘහභාණ්ඩ සහ නිවෙසේ අහුමුළුවල රැඳෙන අතර ඒවා එක තැන පල්වීමකට ලක්වෙයි. දූෂිත වූ ජීවශක්තිය ලෙඩ ගොඩකට සහ අවාසනාවට හේතුවකි. සාමාන්‍යයෙන් සිදුකරන දෛනික පිරිසිදු කිරීම් මගින් ඒ අපිරිසිදු දේ සම්පූර්ණයෙන් ඉවත්වන්නේ නැත. මෙහිදී මුළු නිවෙසේම ගෘහභාණ්ඩ පිටතට ගෙන කරන පිරිසිදු කිරීම් මගින් මුළු නිවෙසම අලුත් ජීව ශක්තියෙන් ප්‍රබෝධමත් වෙයි.

    විශ්ව ශක්තිය

    මේ සමඟ ම එන තවත් වැදගත් අංගයක් වන්නේ අලුත් අවුරුද්ද සඳහා කැවිලි නිවෙසේදීම පිළියෙළ කිරීමයි. අතීතයේ නම් ඒ සඳහා උපයෝගී කොට ගත්තේ අලුත් සහල් – ඖෂධීය කුළුබඩු සහ නිවෙසේම සාදාගත් පිරිසිදු පොල් තෙල් ය. මේ නැවුම් ද්‍රව්‍ය යොදා ගෙන සදන කැවිළි මගින් රසය ගුණය පමණක් නොව මුළු ගෘහ අභ්‍යන්තරයම මිහිරි සුගන්දයෙන් පිරී ඉතිරී යයි. ඒ සුවඳ ඔබේ මනස පමණක් නොව හාත්පස පරිසරය ම ප්‍රබෝධමත් කරයි. කඩේට දුවගොස් ගෙනෙන ලටපට කැවිලි වලින් ඒ කිසිවක් ම ඔබට හිමිවන්නේ නැත. අඩුම තරමින් සීනී හා පිටි මිශ්‍ර ලෙඩ කේක් ගෙඩියක් කඩෙන් ගෙනෙනවාට වඩා තම නිවසේම කොකිස් ටිකක්වත් සාදා ගැනීම ප්‍රයෝජනවත් ය.

    අලුත් අවුරුදු උදාව සිදුවන විට ඔබ ඔබේ ම නිවෙසේ සිටිය යුතුය. සොබාදහම විසින් නොමිලේ ප්‍රදානය කරනු ලබන සූර්ය ජීව ශක්තියට නිදහසේ ඔබේ නිවස පුරා සැරිසරන්නට ඉඩ දෙන්න. ඒ අවස්ථාවේ ඔබ ඔබේ නිවෙස වසා දමා සුර ලොව සංචාරයකට ගොස් සිටියත් අලුත් අවුරුද්දේ අලුත් සූර්ය ශක්තියේ ජීවය ඔබට අහිමි වී යයි. ඇතැමුන් අවුරුදු සමරන්නේ සුපිරි හෝටලයක ය. ඇතැමුන් විනෝද සවාරී යයි. තවත් සමහරුන් අලුත් අවුරුද්ද සැමරීමට කතරගම යයි. මේවා මෑත කාලයේ බෝ කරගත් මරි මෝඩ නාඩගම් ය. අලුත් අවුරුද්ද දවසේ අසල්වාසීන් සමඟ හා මුසු වීමට ඇති මෝඩ අකමැත්ත නිසා හීනමානයෙන් යුතුව ඔබ ඔබේම නිවෙසින් පළා යන්නේ ඇයි? එවිට සිදුවන්නේ සමස්ථ ලෝකයම අලුත් ජීව ශක්තියෙන් ප්‍රබෝධමත් වෙමින් සිටියදී ඔබේ නිවෙස පමණක් දොර අගුලු වසා දමා අදුරු පාලු මූසල ස්වභාවයකට තල්ලු කිරීම පමණි. අලුත් අවුරුද්දේ ඇති තවත් විශේෂිත අංගයක් වන්නේ හිස තෙල් ගෑමයි. බොහෝ දෙනකු මෙහි ඇති වටිනාකම හරිහැටි වටහා නොගනී. එහෙත් එය ද අත නොහැර සිදුකළ යුතු නැකත් චාරිත්‍රයකි.

    [rns_reactions]

  • පාස­ලෙන්ම ඒ-9 දෙන්නයි – හපන්නු දෙන්නාම නිවුන්නු

    සාමාන්‍ය පෙළ විභාගයේ ප්‍රතිඵල පසුගියදා නිකුත් වීමත් සමඟ මාධ්‍යය ඔස්සේ විවිධ දක්ෂතා, සුවිශේෂතා ඇති දරු දැරියන් පිළිබඳ අසන්නට දකින්නට ලැබිණ. අද අප කියන්නේ එම ප්‍රතිඵල මගින් පෙනුණු විශේෂ අවස්ථාවක් පිළිබඳවයි. එකම පවුලේ උපන්නත් එකම ආකාරයේ දක්ෂතා දක්වන අය හමුවීම දුර්ලභයි. එසේම නිවුන් දරුවන් වුවත් ඔවුන්ගේ හැකියා සමානවන අවස්ථා විරලයි. එහෙත් අපට හමුවූ මේ නිවුන් දැරියන් දෙදෙනා සාමාන්‍ය පෙළ විභාගයෙන් ඒ සාමර්ථ්‍ය නවයක් ලබාගෙන තිබීම සුවිශේෂයි. එපමණක් නොවෙයි ඔවුන් තමන් ඉගෙන ගන්නා පාසලට කීර්තියක් ගෙන දුන්නේ මුළු පාසලෙන්ම ඒ සාමර්ථ්‍ය නවයක් ලබාගෙන විභාගය සමත් වූ එකම දරුවන් දෙදෙනා ඔවුන් වන බැවිනි.

    මේ අපූරු නිවුන් සොහොයුරියන් දෙදෙනා අපට හමු වන්නේ යක්කල ශ්‍රී චන්ද්‍රජෝති මහා විද්‍යාලයේ දීය. යක්කල අලුත්ගම වත්තේ ‍පදිංචි මෙම සොහොයුරියෝ කුඩා කල සිටම අකුරු කරන්නට උපන් හපන්නියෝ වූවෝය. උපතින් මිනිත්තු පහක වෙනසකින් අක්කා නගෝ වූ මෙම දෙ සොහොරියෝ නමින් මිලින්දි පූර්ණිකා රාජපක්ෂ (අක්කා) සහ මිලිනි පූර්ණිකා රාජපක්ෂ (නංගී) නම් වෙති. පෙනුමෙන් එක සමාන වුවත් මේ අක්කා සහ නංගී ශරීර ප්‍රමාණයෙන් වෙනස්ය. වෙනත් නිවුන් දරුවන් අතරින් ඔවුන් වෙනස් වන්නේ මේ දෙදෙනා උසෙන් වෙනස්වීම නිසාය. එනමුදු මෙම දෙපළගේ දස්කම්වල නම් වෙනසක් ඇත්තේම නැත.

    ලක්නාත් රාජපක්ෂ වන ඔවුන්ගේ පියා ව්‍යාපාරිකයෙකි. චාමලී ප්‍රියංකා හේවගේ වන මව ගෘහණියකි. අක්කා සහ නංගීගේ අනාගතයේ සාර්ථකත්වය උදෙසා අත්වැල් සපයන්නී ඇයයි. පහ වසර ශිෂ්‍යත්ව විභාගයෙන් ලකුණු 160ක් ගත් අක්කා මිලින්දි ශිෂ්‍යත්ව විභාගය උසස් මට්ටමින් සමත් වෙද්දී මිලිනි ලකුණු 145ක් ලබා ගත්තාය. මුල සිට ම යක්කල ශ්‍රී චන්ද්‍රජෝති මහා විද්‍යාලයේ අධ්‍යාපනය ලැබූ මෙම දියණියෝ පහ වසර ශිෂ්‍යත්ව විභාගය සමත් වුව ද වෙනත් පාසලකට නොගොස් දිගටම එම පාසලේම අධ්‍යාපනය ලබන්නට තීරණය කළහ.
    පාසල් අධ්‍යාපනයට අමතරව කුඩාකල සිටම දහම් අධ්‍යාපනය හැදෑරූ මෙම දෙසොහොරියන් ආගමට දහමට ළැදිව තම මවුපියන්ගේ මඟ පෙන්වීම ඔස්සේ තම ජීවිත ආලෝකය කරා මෙහෙයවීම ඔවුන්ගේ ජයග්‍රහණයේ රහසයි. චන්ද්‍රජෝති විද්‍යාලයේ මෙවර පන්ති තුනකින් ළමයින් 135ක් විභාගයට ඉදිරිපත් වූ අතර ඒ සාමර්ථ්‍ය නවයක් ලබාගෙන විශිෂ්ටතම ප්‍රතිඵල ලබාගත්තේ මෙම අක්කා සහ නංගීය. ඔවුහු පාසලේ අනෙකුත් විභාගවලදී ද පන්තියේ පළමු සහ දෙවැනි ස්ථාන හිමි කර ගනිති.

    අධ්‍යාපන කටයුතුවලට මෙන්ම විෂය සමගාමී ක්‍රියාකාරකම්වලදී ද කලාප, දිස්ත්‍රික් හා පළාත් තරගවලින් ඔවුන් ජයග්‍රහණ ලබා තිබීම ද විශේෂත්වයකි. පාන්දර හතරට අවදි වීමත් කාලසටහනකට අනුව සියලු කටයුතු සිදු කිරීමත් ඔවුන්ගේ ජයග්‍රහණයේ නොසැඟවුණු හේතු සාධකයයි. පාන්දර අවදිවූ අවස්ථාවේ පටන් අධ්‍යාපනික කටයුතු මෙන්ම ආගමික කටයුතුවලත් නිරතවන මිලින්දි සහ මිලිනි මවගේ ගෙදර කටයුතු සඳහාද නොපැකිළව සහාය ලබා දෙති. උයන පිහන කටයුතු මෙන්ම ගේ දොර පිරිසුදු කිරීමේ කටයුතුවලදී ද ගෙවත්තෙහි අලංකරණ කටයුතුවලටද තම දියණියන් නොමදව සහාය ලබා දෙන බව මව අප සමඟ පැවසුවාය. උගන්වන පාඩම්වලට හොඳින් සවන් දෙමින් ගෙදර දී කිරීමට දෙන වැඩ හොඳින් ඉටුකිරීම මේ අක්කා නගෝ දෙන්නා නොකඩවා සිදු කරන්නාහ. විෂයට සම්බන්ධ අමතර පොත් පත් කියව­ීම මෙන්ම අක්කාට ඇතිවන ගැටලුවලදී නංගී නංගීට ඇතිවන ගැටලුවලදී අක්කාත් සහාය දෙමින් තම තමන්ගේ දැනුම සාකච්ඡා කරමින් පාඩම් කිරීම ද ඔවුන්ගේ ජයග්‍රහණයේ තවත් සාධකයකි.
    තම දියණියන් දෙදෙනා ඉතාම නිහඬ පිළවෙතක් අනුගමනය කරමින් තමන්ගේ කටයුතු තමන්ම කරගන්නා බව ඔවුන් ගේ මව පවසන්නීය. උසස් පෙළ ගණිත අංශයෙන් හැදෑරීමට සූදානමින් සිටින මිලිනි සහ මිලින්දි ප්‍රතිඵල නිකුත් වීමට පෙර සිටම තම ප්‍රතිළුලය පිළිබඳ විශ්වාසයෙන් සිටියහ. තම ජයග්‍රහණය ගැන මිලින්දි සහ මිලිනි පාසලේ වර්තමාන විදුහල්පතිතුමා සහ සමස්ත ආචාර්ය මණ්ඩලට දීර්ඝ කාලයක් ශ්‍රී චන්ද්‍රජෝති මහා විද්‍යාලයේ විදුහල්පතිව කටයුතු කළ තෝරපිටියේ ආනන්ද නායක හිමියන්ටත් දෙමවුපියන්ටත් ස්තුතිවන්ත වෙති.

    [rns_reactions]
  • තැල­සී­මි­යා­වෙන් ගොඩ එන්න – දරු දෙදෙ­නෙක් පිහිට පතති..

    දරුවන්ගේ වියොව දරාගත නොහැකි වූ කිසාගෝතමිය බුදු හිමියන් අබියස වැඳ වැටි අයැද සිටියේ වියෝවූවනට ජීවිතය දෙන ලෙස ය. බුදු හිමියන් ඇය සනසාලීමට වදාළේ නොමළ ගෙයකින් අබ ඇට අහුරක් රැගෙන එන ලෙස ය.
    බුදු බණේ මෙන් ම මෙවන් වදන් ශුද්ධ ව‍ූ බයිබලයේ හා ශුද්ධ කුරානයේ ද සඳහන්ව තිබේ. ජීවිතයේ අනිත්‍ය සෑම ආගම දහමකම මැනැවින් පිළිබිඹුකොට ඇත.

    එවන් කිසාගෝතමියන්, පටාචාරාවන් සේම වෙ‍රෝනිකාවෝද මේ දියත දැනුදු සිටිති. එහෙත් එවන් අයගේ දුක දෙවියන්ට‍ පමණක් බාරදී නිහඬව සිටිය යුතු ද? නැත. අප සමාජය සානුකම්පිත සමාජයකි.‍ එවන් සමාජයක ජීවත්වන මිනිසුන්ගේ හදවතට දැනෙන දුක්බර කථාවක් කඩවත ඉහළ කරගහමුණ ප්‍රදේශයෙන් ඇසේ.


    මේ කථාවේ කිසාගෝතමිය දයාවතී වික්‍රමසිංහය. දයාවතීගේ ස්වාමි පුරුෂයා වික්‍රම මේ වනවිට දිවි රඟ මඬලින් සමුගෙන ය. ඔහු හෘදයාබාධයකින් මියගොස් දැනට වසර එක හමාරකි. එතැන් සිට දයාවතීත් පුත් ඔෂාන් පවිදු (16) හා ඔෂානී විමාෂා (9) යන දූ දරුවෝ ත් අසරණ අඩියකට වැටුණහ.

    කොරේ පිටට මරේ යන සමාජ කියමන සනාථ කරමින් දයාවතී මේ වනවිට රෝගාතුර දෙදරුවන් සමඟ කල් ගෙවනුයේ අසරණවය. පුත් ඔෂාන් කඩවත මහා විද්‍යාලයේ ද, දියණිය ඔෂානි කඩවත ධර්ම දර්ශී විද්‍යාලයේ ද සිප් සතර හදාරනුයේ ‍‍රෝගාතුරභාවය නොතකාය. ඒ දරුවො දෙදෙනාම තැලසීමියා රෝගයෙන් පීඩා විඳිති.

    මේ වනවිට දයාවතී තම පින්කැමැති සෑම දෙනාගෙන් ම අයදින්නේ දරුවන්ගේ රෝගයට ශල්‍යකර්මයක් කිරීම සඳහා අවශ්‍ය මුදල් ය.

    කඩවත මහර ප්‍රදේශයේ පිහිටා ඇති තැලසීමියා රෝහලින් ප්‍රතිකාර ගන්නා ඔෂාන් සහ ඔෂානී සෑම මසකට වරක් ම තම ලේ මාරුකර ගත යුතු ය. ඒ, මෙම රෝගයට අදාළ එක් ප්‍රතිකර්මයකි.

    එහෙත් මුළු ජීවිතය පුරාවටම ලේ මාරු කරමින් මෙම තැලසීමියා රෝගය සුව කළ නොහැකි ය. මේ රෝගය පිළිබඳ විශේෂඥ වෛද්‍යවරුන් ද පවසන්නේත් එයම ය. කොළඹ රිජ්වේ ආර්යා ළමා රෝහලේ වෛද්‍යවරු ද දරු දෙදෙනාට සරණක් වෙමින් ප්‍රතිකාර කරති.

    මේ දරුවන් දෙදෙනාට ජාන බද්ධ සැත්කමක් කළ යුතු බව කොළඹ ළමා රෝහලේ විශේෂඥ වෛද්‍ය කේ. සෝමසුන්දරම් මහතා නිර්දේශ කොට ඇත.
    එහෙත් ඒ සඳහා රුපියල් ලක්ෂ හැටක පමණ මුදලක් වැයවෙතැයි පැවසේ. දයාවතී කිසාගෝතමියකගේ තත්ත්වයට පත්ව සිටිනුයේ අබ ඇට ස්වල්පයක් සෙවීමට නොවේ. ලක්ෂ හැටක මුදලක් සොයා ගැනීමට ය.

    මේ දරුවෝ සැබෑවටම දක්ෂ දරුවෝ ය. අයියාට දුක නංගී ගැන ය. නංගීට දුක අයියා ගැන ය. දෙදෙනාටම දුක සිය මෑණියන් ගැන ය. මෑණියන්ට දුක දරුවන් ගැන ය. අයියා ‍ඔෂාන් පවසන්නේ තමා පිළිබඳ නොසිතා නංගීගේ මුදල පමණක් සොයාගෙන ඇය සුව කරගන්නා ලෙස ය.‍

    දයාවතී හැඳි දෙකකින් දරුවන්ට නොබෙදනා මවකි. ඒ බව ඇගේ දෙනෙතේ සටහන්ව ඇති කඳුළු බිඳු සාක්ෂි දරයි. අසල් වැසියෝ, හිතවත්තු හා ඥාතීහු ද මේ වනවිට මේ පවුල දෙස නෙත් යොමා සිටිති.

    එහෙත් ඔවුනට කිසිදු ආදායම් මාර්ගයක් නැත. තිබූ එකම පිළිසරණ ද මේ වනවිට සිව් රියනක් පොළොව යට ය.

    ඔෂාන් අධ්‍යාපනය දැනට සාමාන්‍ය පෙළ හදාරමින් සිටී. ඔෂානි 5 වසරේ ය. අධ්‍යාපනයට දක්ෂ වුවද තැලසීමියා ‍රෝගය මොවුන්ගේ දක්ෂතා ගිලගෙන ඇත්තේ ය. ඔවුන් වෙනුවෙන් කඩවත ලංකා බැංකු ශාඛාවේ අංක 7044 1900 දරන ගිණුමක් ද පිහිටුවා ඇත. මේ පවුලේ ලිපිනය 8/156, මංගල මාවත, ඉහළ කරගහමුණ, කඩවතය. මේ සටහන පිනට කැමැති ඔබ වෙත ය.

    [rns_reactions]
  • ජනාධිපතිනියක දඟගෙට යැවූ බලු පැටවාගේ කතාව මෙන්න..

    ‘දේශපාලනය යනු ක්‍රීඩාවක් නොව බැරෑරුම් ව්‍යාපාරයකි’
    – වින්ස්ටන් චර්චිල්

    රාජ්‍ය පාලකයෝ ප්‍රජාතන්ත්‍රවාදයේ ආනුභාවයෙන් ජනතාවගේ කැමැත්ත දිනා බලයට පත්වෙති. එහෙත් කල්ගත වෙත්ම පාලකයෝ තම පැවැත්ම දේශපාලන අන්තේවාසිකයන්ට හා හෙන්චයියන්ට පවරති. හෙංචයියන්ගේ පොදු චර්යාව නම් නායකයා සෙසු ලෝකයෙන් ඈත් කරමින් ජනතාව හා නායකයා අතර යෝධ පවුරක් හෝ ගේට්ටුවක් ලෙස ක්‍රියා කිරීමයි – බොහෝ විට සිදුවන්නේ දැන හෝ නොදැන අන්තේවාසිකයන් විසින් නායකයා දේශපාලනික සුසාන භූම්ය වෙත දක්කාගෙන යෑමයි. නායකයා හොඳ වුවත් වටේ සිටින උන් නිසා තවදුරටත් ඔහුට සහාය දැක්විය නොහැකි යැයි ජනතාව තීන්දු කරන්නේ එවිටය. ඊට ප්‍රධාන හේතුව නම් ජනතා නායකයන් තමාට ලැබුණු ජනතා වරම තමන් විසින් හා තම ආධාරකරුවන් අතළොස්සක් විසින් අමු අමුවේ අවභාවිතයට ලක් කිරිමයි” ජනතා සේවය අමතක කර වංචාව හා දුෂණය වෙත යොමු වීමත් ජනතාවට සහන සැලසීම පසෙක ලා ඥාති සංග්‍රහයටත් හෙංචයියන් සුඛිත මුදිත කිරීමටත් නායකයා යොමුවන්නේ නම් ප්‍රජාතන්ත්‍රවාදි පාලන රටාවක් පවතින් රාජ්‍යයක ඔහුට ඇත්තේ ඉතා අල්ප දේශපාලනික බලාත්මක කාල රාමුවකි”
    පසුගිය සිකුරාදා එනම් මාර්තු 31 වෙනිදාට පහන් වුයේ ලෝකය කැලඹිමට පත්කරන පුවතක්ද සමඟිනි. ඒ දුකුණු කොරියාවේ හිටපු ජනාධිපතිනි පාක් ගෙයුන් හේ අත් අඩංගුවට ගෙන රක්ෂිත බන්ධනාගාරගත කිරීමේ පුවතයි. තම බලය අවභාවිතයේ යොදවමින් රාජ්‍ය කටයුතුවලට අයථා ලෙස මැදිහත් වීමට චෝයි සුන් සිල් නැමති අන්තේවාසිකාවට ඉඩ සලසා දීමත් තම බලතලවලින් කොටසක් ක්‍රියාත්මක කිරීම රහසේ ඇයට පවරා තිබීමත් යන චෝදනා යටතේ ජනාධිපතිනිය දෝෂාභියෝගයකින් ඉවත් කෙරුණේ පසුගිය වසරේ දෙසැම්බර් 19 වෙනිදායි. එම තින්දුව එරට ව්‍යවස්ථාදායක අධිකරණය මගින් අනුමත කෙරුණේ මේ මස 10 වෙනිදායි.

    ඒ අනුව ජනාධිපතිනිය නිල වශයෙන් පදවියෙන් ඉවත්කරනු ලැබුවාය. ඇයට එරෙහි නිතීමය ක්‍රියාමාර්ග ඉන් පසු කඩිනම් කෙරුණු අතර 30 වැනි බ්‍රහස්පතින්දා හිටපු ජනාධිපතිනිය අධිකරණය හමුවේ පෙනී සිටියේ ඇයට එරෙහි අත්අඩංගුවට ගැනීමේ නියෝගය පිළිබඳව දැනුවත් වීමටයි. නඩු විභාගය පැය 9ක් පුරා පැවැත්විණ. අවසානයේ විනිසුරු මඩුල්ල දැනුම් දුන්නේ පාක් ගෙයුන් හේ අත් අඩංගුවට ගැනීම යුක්ති සහගත හා අවශ්‍ය කරුණක් බවයි. ඇය තමාට එරෙහිව ඇති සාක්ෂි විනාශ කිරීමේ සම්භාවිතාවක් ඇති බැවින් අත් අඩංගුවට ගැනීමේ නියෝගය නිකුත් කළ යුත්තක් බව විනිසුරු මඩුල්ලේ තීරණය විය.

    අවසානයේ හිටපු ජනාධිපතිනිය සෝල් අගනුවරට දකුණෙන් පිහිටි රැඳවුම් මධ්‍යස්ථානයක් වෙත ගෙනයනු ලැබු‍වේ අධිකරණ කටයුතු ඉදිරියට ගෙනයාම සදහා ඇය රක්ෂිත බන්ධනාගාරගත කිරීමටයි. ඇය දුෂණ අපවාදයක් වෙත යොමුකළ අන්තේවාසිකා චෝයි සුන් සිල් හා අයථා ගනුදෙනු සඳහා ආධාර කළ සැම්සුන් සමාගමේ වැඩ බලන ප්‍රධානි ලී ජේ යංග් ද රඳවා ඇත්තේද එම රැඳවුම් මධ්‍යස්ථානයේ වීම විශේෂත්වයකි.

    දකුණු කොරියාව යනු ආසියානු කලාපයේ ආර්ථික හා කාර්මික බලවතෙකි. පසුගිය වසර 30ක කාලය සැලකීමේදී එරට ආර්ථිකය සියයට 10ක් තරම් ඉහළ වර්ධන වේගයක් පවත්වාගෙන යාමට සමත් විය. ලොව හතරවැනි ප්‍රධාන ආර්ථිකයට දැන් හිමිකම් කියන්නේ දකුණු කොරියාවයි.

    ආසියාවේ විද්යුත් හා තාක්ෂණික ක්ෂේත්‍රය තුළ ජපානය හිමිකරගෙන සිටි ස්ථානයට අභියෝග කරන තැනට දැන් දකුණු කොරියාව පත්ව සිටී. ලොව පස්වැනි ප්‍රධාන අපනයනකරුවා වෙමින් ප්‍රබල ආර්ථියකයන් 20 ට හිමිකම් කියන ජී 20 කණ්ඩායමේ රටවල් අතර චීනය අමෙරිකාව හා යුරෝපා සංගමය සමඟ නිදහස් වෙළෙඳ ගිවිසුම් පවත්වාගෙන යන එකම රාජ්‍යය බවට පත්වෙමින් හා වැඩිම නිදහස් වෙළෙඳ ගිවිසුම් පවත්වාගෙන යන ආසියානු රාජ්‍යය බවට පත්වෙමින්ද දකූණු කොරියාව ආසියානු ආර්ථික ව්‍යාඝ්‍රයෙකු බවට පත්ව ඇත්තේ වෙන්ව ගිය උතුරු කොරියාවේ නිරන්තර තර්ජන ගර්ජන කෙනෙහිළිකම් හා යුද අවදානමද මධ්‍යයේය.
    මෙවැනි විස්මිත ආර්ථික ශක්තියක් දකුණු කොරියාව විසින් අත්කරගනු ලැබුවේ දේශපාලනික වශයෙන් දිගුකාලින ස්ථාවරභාවයකින් ද තොරවයි. කුමන්ත්‍රණ හමුදා පාලන දුෂණ අපවාද නිසා ආණ්ඩු බිඳ වැටිම් හා අකාලයේ ජනාධිපතිවරුන් බලයෙන් පහවිම් ආදී විවිධ දේශපාලනික වියවුල් දකූණු කොරියාවට විරල නො‍වේ. උදාහරණයක් ලෙස පාක් ගෙයුන් හේ ද ඇතුළු ජනාධිපතිවරුන් තිදෙනෙකු දෝෂාභියෝගවලට ලක්ව ඇත්තේ ලොව වැඩිම දෝෂාභියෝග ඉතිහාසයකටද හිමිකම් කියමිනි.
    පාක් ගෙයුන් හේ දකුණු කොරියාවේ ජනාධිපති පදවියට පත් ප්‍රථම කාන්තාවයි. ඇය පැවත එන්නේ එරට මුල් පෙළේ දේශපාලනික පවුලකිනි.
    හිටපු ජනාධිපති පාක් චුන් හී ඇගේ පියායි. 1952 වසරේ උපත ලැබු පාක් ගෙයුන් හේ ජීවිතයේ ප්‍රථම ඛේදවාචකයට මුහුණ දෙන්නේ 1974 වසරේ උතුරු කොරියානු ඔත්තුකරුවෙකු ඇගේ පියා ඝාතනය කිරීමට තැබු වෙඩි පහරකට ලක්ව මව මියයාමත් සමඟයි. අනතුරුව ඇගේ පියා 1979 වසරේදි ඔහුගේ ඔත්තු සේවා ප්‍රධානියා අතින් ඝාතනයට ලක්වන්නේය. 1998 වසරේ දේශපාලනයට පිවිස පාර්ලිමේන්තුවට තේරී පත්වීමට පාක් ගෙයුන් හේ සමත් වන්නේ ජනතා අපේක්ෂාවක් ඉටුකරමිනි. ආසියාවේ බොහෝ රාජ්‍ය නායිකාවන්ට මෙන් ඇයටද දේශපාලනයට අවතීර්ණ වෙද්දි පුළුල් ජනතා අපේකෂා හා සහයෝගය ඇය සමඟ විය.

    2006 වසරේ ප්‍රහාරකයෙකු මැතිවරණ වේදිකාවකදී පාක්ගේ කම්මුල පිහියකින් කපා දමන්නේ ඇය දේශපාලනික දිවියෙන් ඉවත් කිරීමේ අපේක්ෂාවෙනි” පාක් ගෙයුන් හේ දකුණු කොරියාවේ ජනතා බලාපොරොත්තුවක් විය. 2012 වසරේ දෙසැම්බර් මස පැවති ජනාධිපතිවරණයෙන් පාක් බලයට පත්වන්නේ එම ජනතා අපේක්ෂාවන් මුදුන් පමුණුවාලීමක් ලෙසිනි” අස්ථාවර දේශපාලනික රටාව තුළ දකුණු කොරියාවේ ඉදිරි ගමනට අවශ්‍ය සුපිරිසිදු තිරසාර නායකත්වයක් ජනතාව පාක්ගෙන් බලාපොරොත්තු වුහ. එහෙත් ආසියාවේ ඇතැම් නායිකාවන් මෙන් බලයට පත්වීමෙන් පසු අපවාද හා බලය අවභාවිත ක්‍රියාකාරකම් මත සිය ප්‍රතිරූපය දියාරුවි ජනතාව අතර අවලංගු ප්‍රතික්ෂේපිත චරිතයක් බවට පත්වීමට ඇයටද එතරම් කලක් ගත නොවිය. එහි අවසන් ප්‍රතිඵලය වුයේ පාක් ගෙයුන් හේ ගේ අපේක්ෂිත දිගුකාලින දේශපාලිනක ගමන බලයට පත්වී වසර 5ක් වැනි කෙටි කාලයකින් අවසන් වීමයි.
    තමිල්නාඩුවේ හිටපු මහ ඇමතිනි ජයලලිතා ජයරාම්ට ප්‍රබල අන්තේවාසිකාවක් ලෙස සසිකලා සිටියාක් මෙන් පාක් ගෙයුන් හේටද ප්‍රබල ව්‍යාපාරික හිතවන්තියක් තම අන්තේවාසිකාව බවට පත්ව සිටියාය. ඇය නමින් චෝයි සුන් සිල් නම් වුවාය.
    සසිකලා මෙන්ම චෝයිද තම නායිකාවගේ මෙහෙයුම්කාරිය බවට පත්ව සිටියේ ඇයගේ පුර්ණ විශ්වාසයද දිනාගනිමිනි. ජනාධිපතිනිය විසින් සිදුකළ යුතු ඇතැම් කටයුතු රහසිගතව චෝයි විසින් ඉටුකෙරුණු අතර රජයේ ක්‍රියාකාරකම් සම්බන්ධයෙන් ඇතැම් තීන්දු තීරණ ගැනීමද ඇය විසින් සිදුකර තිබේ. මෙය කැබිනටි මණ්ඩලයද ඉක්මවා ගිය බලයක් ජනාධිපතිනිය විසින් චෝයිට පවරා දීමක් ලෙස දේශපාලන හා මාධ්‍ය ලෝකය විසින් පෙන්වා දෙනු ලැබීය.

    පාක් ගෙයුන් හේ ගේ කථා හා දේශන සැකසීම හා ඒවා පරික්ෂා කිරීමද පසුකාලීනව චෝයි සුන් සිල්ට පැවරුණේ එය දකුණු කොරියානු නීතිය අනුව වැරැද්දක් බවද නොසලකමිනි. ඒ සඳහා චෝයිට රජය විසින් පිළිගත හැකි කිසිදු සුදුසුකමක්ද නොවීය. එහෙත් එය රජයේ සෙසු සාමාජිකයන්ට රහසිගතව සිදුවිය.

    ජනාධිපතිනියගේ බලය යොදාගනිමින් රටේ මුල් පෙළේ ව්‍යාපාරික තීන්දු තීරණ ගැනීමද චෝයි සුන් සිල්ට රහසිගතව පැවරී තිබිණ. ඒ හරහා ඇය සිදුකළ ප්‍රධානතම අයථා ක්‍රියාව වන්නේ මුල් පෙළේ සමාගම් 9ක් යොදාගනිමින් ජනාධිපතිනිය වෙනුවෙන් රහසිගත අරමුදලක් පිහිටුවා තීබිමයි. එය ක්‍රියාත්මක කිරීම සඳහා සුප්‍රකට සැම්සුන් සමාගම් ජාලයේ වැඩබලන ප්‍රධානි ලී ජේ යංග් ද යොදාගත් බවට සාක්ෂි ති‍බේ.

    ජනාධිපතිනි පාක් ගේ රජය මුල් වරට ජනතා අප්‍රසාදයට ලක්වන්නේ 2014 අප්‍රේල් මාසයේ සෙවෝල් නැමති මුහුදු යාත්‍රාවක් ජීවිත 304ක් විනාශ කරමින් මුහුදේ ගිලී යෑමේ සිද්ධියේදී ආණ්ඩුව ක්‍රියාකළ මන්දගාමි ස්වභාවය හේතුවෙනි. ජනාධිපතිනිය හෝ රජය මෙම සිද්ධියේදි නිසි අයුරින් ක්‍රියා නොකළ බවට දිගින් දිගටම චෝදනා එල්ල වුයේ ජනාධිපතිනියගේ මෙන්ම රජයේද ප්‍රතිරූපයට දැඩි බලපෑමක් සිදුකරමිනි. එය අවසානයක ආරම්භය ලෙසද සැලකීමට ඇතැම් දේශපාලන විචාරකයෝ උත්සුක වෙති.

    චෝයි සුන් සිල් කොතරම් දක්ෂ මෙහෙයුම්කාරියක වුවද ඇයට වැරදුණු මුලික තැනක් තිබිණ. රාජ්‍ය පාලකයන් හා ඊට සම්බන්ධ පිරිස් බොහෝ විට දුෂ්කරතාවලට පත්වන්නේ රාජ්‍ය පාලන හා පරිපාලන කටයුතු සහ ආදර සබඳතා වැනි පෞද්ගලික හැඟීම් උද්දිපනය වන සංකල්ප එකිනෙක පටලවා ගැනීම තුළිනි. අතිශය ජනප්‍රිය අමෙරිකානු ජනාධිපති බිල් ක්ලින්ටන් තම ප්‍රතිරූපය දැඩි ලෙස හානියට පත්කරගත්තේ මොනිකා ලෙවින්ස්කි නම් වු සහායිකාව සමඟ ඇතිකරගත් අයථා සම්බන්ධය හේතුවෙනි.

    40 හැවිරිදි කෝ යං තේ දකුණු කොරියාවේ පදක්කම් ලාභි ජාතික කඩු සටන් ශූරයෙකි. පසුව ඔහු විලෝම්ලෝ යන නාමයෙන් කාන්තා අත්බෑග් හා ඇඟලුම් ව්‍යාපාරයක් අරඹා සාර්ථකත්වයක් හිමිකරගත්තේය. 2013 වසරේ ජනාධිපතිනි පාක් බලයට පත්වි ඉතා කෙටි කලකින් කෝ යං ගේ සමාගමට ඉතා වටිනා අත්බෑග් තොගයක් රහසිගත ගැනුම්කාරියකට සැපයීමේ කොන්ත්‍රාත්තුවක් හිමිවිය. පැස්බර සමින් හා කිඹුල් සමින් නිමැවු ඉහළ වටිනාකමකින් යුත් එම තොගය භාර දීමට පමණක් නොව පෞද්ගලිකව එම අවස්ථාවට එක්ව තම සමාඟම ගැන කරුණු පහදා දීමටත් කෝ යං ට අවශ්‍ය වු අතර ඒ සඳහා ගැනුම්කාරියගේ අවසරය ලැබිණ.
    එම රහසිගත ගැනුම්කාරිය අන් කිසිවෙකු නොව චෝයි සුන් සිල්ය. අත්බෑග් ජනාධිතිනි පාක්ගේ පරිහරණය සඳහායි. එහිදි චෝයි සුන් සිල් හා කඩවසම් කෝ යං අතර ඇතිවු ව්‍යාපාරික සබඳතාව පෞද්ගලික මට්ටම දක්වා ඉහළට ගියේ කෝ යං ගේ සමාගමට ඉමහත් ව්‍යාපාරික වාසි අත්කර දෙමිනි. තමා චෝයි සුන් සිල්ගේ පෙම්වතා ව සිටි බව කෝ යං පිළි නොගත්තද ඔවුන් අතර සමීප සබඳතාවක් පැවති බව ඔහු පිළිගනී . ඔවුන් එකම නිවහනේ ජීවත් වු බව දෙපාර්ශවයම පිළිගනිති”

    මේ පැණි වරකා ගසට හෙණ ගසන්නේ 2014 වසරේ එක් අඳුරු දිනයකදීය. චෝයි සුන් සිල් කුඩා බලු පැටියෙකුද රැගෙන කෝ යං ගේ සුඛෝපභෝගි නිවසට පැමිණෙන්නේ තම දියණියගේ බලු සුරතලා ටික වේලාවකට බලාගන්නා ලෙස ඉල්ලිමක්ද කරමිනි. එය පිළිගන්නා කෝ යං තම වියපත් ආදරවන්තිය නික්ම ගිය පසු මඳ වේලාවකින් බලු සුරතලා නිවසේ තනිකර දමා ගොල්ෆ් ක්‍රීඩාව සඳහා පිටත්ව ගියේය. මේ අතර කෝ යංට පෙර නිවසට පැමිණි චෝයි බලු පැටවා හුදෙකලාව නිවසේ සිටින බව දැක දැඩි ලෙස කෝප වී කෝ යං පැමිණෙන තෙක් සිට ඔහු පැමිණි පසු බරපතළ ලෙස දෝෂාරෝපණයකට හා වාග් ප්‍රහාරවලට ලක් කරන්නේ දෙදෙනා අතර ප්‍රචණ්ඩ ගැටුමක් නිර්මාණය කර සබඳතාව අවසන් කරමිනි. මේ නිසා තමා රාජ උදහසට ලක්වන බව ඉවෙන් මෙන් තේරුම් ගත් කෝ යං තම පැරණි කඩුසටන් ශිල්පයේ උපක්‍රම සිහියට නංවමින් ප්‍රතිවාදියා ක්‍රියාත්මක වීමට පෙර ඇය බිම හෙළීමේ මෙහෙයුම ඇරඹිය.

    චෝයි සුන් සිල් ජනාධිපතිනි පාක්ගේ රාජ්‍ය පාලන කටයුතුවලට මැදිහත් වෙන ආකාරයත් ඇයගේ කතා සකසන ආකාරයත් රහසිගත අරමුදල් පවත්වාගෙන යන ආකාරයත් පිළිබඳ වැදගත් බිඳ හෙළිය නොහැකි සාක්ෂි රැසක් ඒකරාශිකරගෙන දකුණු කොරියාවේ මුල් පෙළේ මාධ්‍ය ආයතනයක් වෙත ඒවා ලබා දුන්නේ ජනාධිපතිනිය හා චෝයි සුන් සිල් බෙල්ල මුලටම හිරවන ආකාරයෙනි. රටේ අනෙකුත් මාධ්‍ය ද මේ ගැන කථා කිරීම ඇරඹු අතර රාජ්‍ය මට්ටමින් ජනාධිපතිනියට එරෙහිව පරීක්ෂණයක් ආරම්භ විය. ජනාධිපතිනිය චෝයි සුන් සිල්ට රාජ්‍ය කටයුතු සඳහා මැදිහත් වීමට අවසර දුන් බව පිළිගත් අතර ඒ සඳහා ප්‍රසිද්ධියේ ජාතියෙන් සමාව අයැදිමින් තෙවරක් රූපවාහිනියෙන් ජාතිය ඇමතුවාය. තොරතුරු මාධ්‍යට දීමෙන් නොනැවතුණු කෝ යං එම තොරතුරු සියල්ල සෙනෙට් පරික්ෂණ මණ්ඩලයට ද ලබා දුන්නේ ජනාධිපතිනි පාක්ගේ දේශපාලන මිනී පෙට්ටියේ අවසන් ඇණ කිහිපයද තද කරමිනි.
    ජනතා අපේක්ෂා මැද බලයට පැමිණි ජනතා දියණිය අද සියල්ලන්ගේම දෝෂාරෝපණ හා අපවාද මැද අඳුරු සිර මැදිරියක කල්ගත කරන්නීය. ඇයට එරෙහි චෝදනා ඔප්පු වුවහොත් වසර 10කට වැඩි සිර දඬුවමක් ඇයට නියම වනු ඇත. පාක් ගෙයුන් හේ කළ එකම වරද තම අන්තේවාසිකාව අධික ලෙස විශ්වාස කර ඇයට අසීමිත බලයක් පැවරීමයි. එහි අවසන් ප්‍රතිඵලය කුඩා බලු පැටවෙකු විසින් ජනප්‍රිය ජනතා නායිකාවක බලයෙන් පහකර සිපිරිගෙට යැවීමයි.

    ‘නිදහස මෙන්ම බලයද අයුතු ලෙස යොදවන්නේ නම් ඉන් අනතුරට පත්වන්නේ නිදහසම යැයි ඇ‍ෙමරිකා එක්සත් ජනපදය නිර්මාණය කළ පීතෘවරයෙකු ලෙස සැලකෙන ජේම්ස් මැඩිසන් වරක් පවසා තිබේ.

    [rns_reactions]
  • මේ සිංහල අවුරුද්දේ සුබාසුබ කොහොමද ? අවුරුදු පලාපල මෙන්න …

    වසර 2017 අප්‍රේල් මාසෙ 14 වෙනිදා පාන්දර 2.04 ට අලුත් අවුරුද්ද උදාවෙනවා. ඒ කියන්නේ සූර්යයා මෙතෙක්‌ ගමන් කළ මීන රාශියෙ ඉඳලා මේෂ රාශියට ගමන් කරනවා. මේ වෙලාව උදාවෙන්නේ මකර ලග්නය. හතරෙ රවි බුධත්, ලග්නාධිපති ශනි දොළහෙත් සඳු දහයෙත් ගමන් කරනවා. සිකුරු තුනේ, කුජ පහේ, ගුරු නමයේ, රාහු අටෙත්, කේතු දෙකේත් ගමන් කරමින් තමයි තියෙන්නේ.

    ඉතින් උදාවෙන වසර ගොඩාක්‌ සුබපලදායකයි කියලා කියන්න බෑ. අට අධිපති රවි හතරේ නිසා. ගොවිතැන් කෘෂිකාර්මික කටයුතුවලට බාධා වගේම මේ වසර ඇතුළත තද නියඟයක්‌ ඇති වෙන බවක්‌ පේනවා. මේ නියඟය නිසා ගොවිතැනට ලොකු පාඩුවක්‌ ඇති වෙන බවයි පේන්නේ. ඒ වගේම රාජ්‍ය අංශයේ උසස්‌ කාන්තාවකට වගේම ප්‍රසිද්ධ නළුවෙකුට හරි නිළියකට හරි මාරක අපලයක්‌ සිද්ධ වෙනවා. රාජ්‍ය ආදායම් තත්ත්වයත් සුබ නෑ. සංක්‍රාන්ති කේන්ද්‍රයේ වගේම ශ්‍රී ලංකාවට හිමි කුම්භ ලග්නයටත් ධනය අතින් පෙන්නන්නෙ බාධා. රාජ්‍ය වියදම් ඉහළ යනවා වගේම ආදායම් බලාපොරොත්තු වෙන තරම් ලැබෙන පාටක්‌ නැහැ.
    කුජ පහේ ඉන්න එක දරුවන්ට ශිෂ්‍යයන්ට අපලදායකයි. පාසල්වල වගේම උසස්‌ අධ්‍යාපන ආයතනවලත් ගැටුම් ඇති වෙයි. ඒ වුණත් විදේශ රටවලින් තරමක්‌ දුරට ආධාර උපකාර ලැබෙන බවයි පේන්නේ. රවි සංක්‍රාන්තිය සිද්ධ වෙන වේලාව චර රාශියක්‌ උදාවුණ නිසා මේ සුබා සුබ විශේෂයෙන් මාස තුනක කාලයක්‌ පවතින බවක්‌ කියන්න ඕනෑ. ඔබ උපන් ලග්නය අනුව අවුරුද්ද කොහොමද කියලා දැන ගැනීම ප්‍රායෝජනවත් වෙයි. ලග්න පලාපල මෙහෙමයි.

    මේෂ

    මේෂ ලග්නයෙන් උපන් අයගේ ලග්නාධිපති කුජ දෙවැන්නේත්, රවි බුධ ලග්නෙත්, සඳු අටේත්, සිකුරු දොළහේත් ගමන් කරද්දි තමයි අවුරුද්ද උදා වෙන්නේ. ඉතිං මේ අයට උදාවෙන වසර මිශ්‍රපලදායක තත්ත්වයක්‌ තියන බවයි පේන්නේ.

    ගෘහ ජීවිතය

    අවුරුද්දෙ මුල් මාස තුන පවුල් ජීවිතයට තරමක්‌ බාධා කරන බව පෙන්නනවා. අම්මාට තාත්තාට අපලදායකයි. ගෙදර දියුණුවට කරන වැඩවලට බලාපොරොත්තු නොවුණු කරදර, බාධා ඇතිවෙන්න පුළුවනි. අලුතින් ගෙවල් හදන එක ඉඩම් මිලට ගැනීම වගේ දේවල් නම් හොඳම නැකතකින් දුර දිග බලලා කරන්න ඕන. තුන් මාසෙකට පස්‌සේ මේ තත්ත්වය වෙනස්‌ වුණත් ඔක්‌තෝබර් වෙනකල්ම සෙනසුරු ඒරාෂ්ටක අපලය තියන නිසා ග්‍රහ ශාන්ති කර්ම කරගන්න ඕන.

    ධනය

    පවුලෙ වියදම් ඉහළ යන බවක්‌ පේනවා. සමහර විට ඉතිරි කරගන්න මුදලකුත් වියදම් වෙන්න ඉඩ තියනවා. මේ නිසා වියදම් ගැන හොඳට හිතලා බලන්න. ජුනි 29 වැනිදාට පස්‌සේ ආදායම්වල සතුටුදායක තත්ත්වයක්‌ ඇති වේවි.

    රැකියා

    මුල් මාස දෙක තුනේ රැකියා ව්‍යාපාරවල උසස්‌ අයගේ උදව් උපකාර ලැබෙන්නත්, තත්ත්වයේ උසස්‌ වීමක්‌ ලැබෙන්නත් ඉඩ තියනවා. ජුනි – ඔක්‌තෝබර් අතර කාලෙ නම් සේවක පක්‍ෂයේ ගැටලු ඇති වෙන්නේ තමන්ට වඩා පහළින් ඉන්න අයගෙන් කරදර ඇති වෙන්නත් ඉඩ තියනවා. ඔක්‌තෝබර් වලින් පස්‌සේ මේ තත්ත්වය සුබ අතට හැරෙයි.

    අධ්‍යාපනය

    පාසල් අධ්‍යාපනය ලබන ශිෂ්‍ය ශිෂ්‍යාවන්ට සුබ දායකයි. ඒ වුණත් විශ්ව විද්‍යාලවල ඉගෙනීම ලබන අයට දැඩි අවිවේකය වගේම සිත් තැවුල් ඇති වෙන්න ඉඩ තියනවා. සෞඛ්‍ය ගැටළු නිසා අධ්‍යාපනයට බාධා වෙන්න පුළුවන්. අමතර අධ්‍යාපනයක්‌ ලබන්න නම් ඔක්‌තෝබර්වලින් පස්‌සේ සුබදායකයි.


    සෞඛ්‍යය
    සෙම් රෝග, මානසික ආතතිය වගේම හදිසි අනතුරුවලින් ප්‍රවේශම් වෙන්න. ශනි අපලයට අදාළ ග්‍රහ ශාන්ති කර්ම කරගන්න. වතුරෙන් පරිස්‌සම් වෙන්න. රාත්‍රී ගමන් අඩු කරන්න.
    සුබ දවස – ඉරිදා, අ`ගහරුවාදා, සුබ අංක – 1, 3,
    සුබ පාට – රෝස, කහ, තැඹිලි

    වෘෂභ

    ඔබේ කේන්දරේ ලග්නාධිපති සිකුරු එකොළහේත්, රවි බුධ දොළහේත්, කුජ ලග්නයේත්, සඳු හයවැන්නේත් ගමන් කරමින් තමයි අවුරුද්ද උදා වෙන්නේ. සමහර අංශවලින් සුබපලත් සමහර පැතිවලින් අසුබපලත් පෙන්නනවා.


    ගෘහ ජීවිතය

    අවුරුද්ද මුල් මාස කීපය නම් ගෙදර වැඩවලට තරමක අවුල් සහගත බවක්‌ තමයි පේන්නේ. පදිංචිය වෙනස්‌ කරන්න වුණත් හිතෙන්න පුළුවන්. ඉඩකඩම් වලත් දියුණුවට බාධා ඇතිවෙයි. නීතිමය ප්‍රශ්න වලදී තරමක්‌ අවාසි බවක්‌ පේනවා. අවිවාහක අයගේ මංගල යෝජනාවලට ජුනි – ඔක්‌තෝබර් අතර කාලෙ හොඳයි.


    ධනය
    මුල් මාස තුනක්‌ විතර නම් වියදම් ඉහළ යන බවක්‌ තමයි පේන්නේ. තැන්පත් මුදලක්‌ පවා වැය වෙන්න හේතුයි. සමහරවිට විදේශ ගමනක්‌ වෙනුවෙන් මුදලක්‌ වියදම් වෙයි. ඒ වුණත් ආදායම් තත්ත්වය සතුටුදායක නිසා මුදල් පාලනය සමබරව කරගෙන යන්න අමාරු නෑ.


    රැකියා
    ව්‍යාපාරවලින් බලාපොරොත්තු වෙන ආදායම් ලබාගන්න හැකිවෙයි. ව්‍යාපාර ඉලක්‌ක ළඟා කරගන්න පුළුවන් වෙයි. රැකියා අංශවල යාළුවෙක්‌ එක්‌ක සතුටින් කාලය ගතවෙයි. හැබැයි සෙනසුරු ඒරාෂ්ටක අපලයක්‌ තියන නිසා සේවක පක්‍ෂයෙන් ගැටලු කරදර බාධක ඇති වෙන්න පුළුවන්.


    අධ්‍යාපනය
    සෞන්දර්ය, කලා, වාණිජ අංශවල ඉගෙනීම් ලබන ශිෂ්‍ය ශිෂ්‍යාවන්ට අධ්‍යාපන කටයුතු සාර්ථක කරගෙන යන්න පුළුවන් වේවි. ඒ වුණත් සෙනසුරු අපල නිසා අලසකම, වැඩ කල්දැමීම, නිදිමත වගේ බාධා ජයගන්න ඕන බව පේනවා.


    සෞඛ්‍යය
    වාතාබාධ, සෙම් රෝග, හිතේ සහනය අඩුවීම, මානසික ආතතිය වගේ සෞඛ්‍ය ගැටලු ගැන සැලකිලිමත් වන්න. රාත්‍රියට සහ සවසට ඇල්වතුර නෑම, පිණිබෑම, සුබ නැති බව සලකන්න.


    සුබ දවස – සිකුරාදා, ගුරු දා, සුබ අංක – 5, 6,
    සුබ පාට – කහ මිශ්‍ර ලා පාට.

    මිථුන

    මිථුන ලග්න හිමියන්ගේ ලග්නාධිපති බුධ, රවිත් එක්‌ක එකොළහේත් සඳු පහේත්, ගුරු හතරේත්, සිකුරු දහයේත් ගමන් කරමින් තමයි අවුරුද්ද උදා වෙන්නේ. මේ අවුරුද්ද සුබපලදායක බවක්‌ තමයි ග්‍රහචාරය පෙන්වන්නේ.


    ගෘහ ජීවිතය
    සාමාකාමී විදිහට ගේදොර කටයුතු කරගෙන යන්න පුළුවන් වෙයි. මවුපියන්, දරුවො එක්‌ක සතුටින් කාලය ගතවෙයි. ගෙදර දියුණුවට කරන දේවල් සාර්ථක වෙයි. අවිවාහක අයට මංගල යෝග උදාවෙයි. මංගල යෝජනා ගැන ගමන් බිමන් යන්නත් සුබයි. විවාහ සහකරුටත් සුබපලදායකයි. වාහනයක්‌ මිලට ගන්න තිබුණු බලාපොරොත්තු ඉටුකරගන්න ලැබෙයි.


    ධනය
    ව්‍යාපාරවලට මුදල් යොදවන අයට බලාපොරොත්තු වෙන ලාභ ලබාගන්න පුළුවන් වෙයි. හදිසි ධනයක්‌, ලොතරැයි ජයක්‌ වගේ දෙයක්‌ ලැබෙන්නත් ඉඩ තියනවා. දරුවෙක්‌ වෙනුවෙන් නැත්නම් ඉගෙනීම වෙනුවෙන් අමතර කාලයක්‌ වැය කරන්නත් සිද්ධ වෙන බවක්‌ පේනවා. මේ අවුරුද්දෙ රැකියාවෙන් ලැබෙන වැටුප වැඩි වෙන්නත් ඉඩ තියනවා.


    රැකියා

    රැකියා බලාපොරොත්තු සාර්ථක වෙයි. ඒ වගේම තනතුරේ නැත්නම් තත්ත්වයේ උසස්‌වීම් ලැබෙන්නත්, උසස්‌ අයගේ ප්‍රශංසා ලැබෙන්නත් හේතුයි.

    විදේශ
    රැකියා බලාපොරොත්තු සාර්ථක කර ගන්න පුළුවන් වෙයි.


    අධ්‍යාපනය

    පාසල් අධ්‍යාපනය කරන ශිෂ්‍ය ශිsෂ්‍යාවන්ට තිබුණ බාධා ඉවත් වෙයි. සෞන්දර්ය කලා අංශවල ඉගෙනීම් ලබන අයට විශේෂයෙන් සුබයි. අධ්‍යාපන කටයුතු සතුටින් කරගෙන යන්න පුළුවන් වෙයි.


    සෞඛ්‍යය
    අවුරුද්දෙ මුල් මාස තුනේ විෂබීජ නිසා හැදෙන රෝග වගේම හදිසි අනතුරුවලින් ප්‍රවේශම් වන්න. කුජ දශා ගතකරන අය විශේෂයි


    සුබ දවස – ඉරිදා, බදාදා, සුබ අංක – 1, 4,
    සුබ පාට – කොළ, මිශ්‍ර ලා.

    කටක

    ඔබේ ලග්නාධිපති සඳු හතරේත්, රවි බුධ දහයේත් සිකුරු උච්ඡම නමය වන භාග්‍ය ස්‌ථානයේත් ගමන් කරමින් තමයි මේ අලුත් අවුරුද්ද උදා වෙන්නේ. කටක ලග්න හිමියාට සුබපලදායක කාලයක්‌ උදාවෙන බවක්‌ මේ ග්‍රහ බලය පෙන්නනවා.


    ගෘහ ජීවිතය
    පවුලේ අයත් එක්‌ක සතුටින් සාමයෙන් ගත කරන්න හැකිවේවි. මව්පියන්ටත් සුබදායකයි. ගෙදර අලුත් වැඩියාවක්‌ වෙන්නත් වාහන ලාබ ලැබෙන්නත් හේතුයි. ඉඩමක්‌ මිලට ගන්න බලාපොරොත්තු වුණානම් ඒක සිද්ධ වෙයි. නීතියේ පිහිට ලැබෙයි. චිත්ත ධෛර්ය, උත්සාහය වැඩි වෙයි. සමාජයේ කැපී පෙනෙන තත්ත්වයක්‌ ඇති වෙයි. සහෝදරයන්ටත් සුබදායකයි. අලුත් බලවත් යහළු යෙහෙළියන් හඳුනා ගන්නත් අවස්‌ථා උදාවෙයි.


    ධනය
    ආදායම් මාර්ග සතුටුදායකයි. ව්‍යාපාරවලින් බලාපොරොත්තු වෙන ලාබ ලබා ගන්න බැරි වෙන එකක්‌ නෑ. ඒ වුණාට වියදම් ගැන නම් කල්පනාකාරී වෙන්න ඕන. තේරුමක්‌ නැති වියදම් වගේම ගමන් බිමන් යන්නත් හේතු වෙයි. දුරදිග බලා වියදම් කරන්න.


    රැකියාව
    රැකියා බලාපොරොත්තු සාර්ථක කරගන්න රාජ්‍ය අංශවල වගේම උසස්‌ අයගේ උදව් ලැබෙයි. රැකියාවල යෙදෙන අයගේ තනතුරු උසස්‌වීම් ලැබෙන්නත් ඉඩ තියන බව පේනවා. විදේශ රැකියා බලාපොරොත්තු ඉටුකර ගන්නත් ලැබේවි. වැටුප් වැඩිවීමක්‌ වුණත් ලැබෙන්න පුළුවන්.


    අධ්‍යාපනය
    උසස්‌ අධ්‍යාපනය ලබන ශිෂ්‍ය ශිෂ්‍යාවන්ට තිබුණු බාධා කරදර ඉවත්වෙලා අධ්‍යාපනය සාර්ථක කරගන්න පුළුවන් වෙයි. විභාගවලින් සමාර්ථ වෙයි. යහපත් ගුරුවරුන්ගේ ඇසුර ලැබේවි. විදේශ රටක අධ්‍යාපනය ලබන්න හිතාගෙන ඉන්න අයගෙ බලාපොරාත්තු සාර්ථක වෙයි.


    සෞඛ්‍යය
    විටමින් යකඩ ඌනතාවක්‌ නිසා ඇතිවෙන පෝෂණ ගැටලු වගේම ආත්ම ධෛර්ය හීනවීම, සැකය, අවිශ්වාසය වැනි බාධා ඇති වෙන්න ඉඩ තියෙනවා. පෝෂණය ගැන සැලකිලිමත් වෙන්න.


    සුබ දවස – සඳුදා, බ්‍රහස්‌පතින්දා, සුබ අංක – 2, 5, සුබ පාට – සුදු, කහ, තැඹිලි.

    සිංහ

    සිංහ ලග්න හිමියන්ගේ ලග්නාධිපති රවි උච්ච වෙලා බුධත් එක්‌ක නවවැන්නේත් කුජ දික්‌බලව දහවැන්නේත්, සඳු තුන්වැන්නේත් ගමන් කරමින් තමයි මේ අවුරුද්ද උදා වෙන්නේ. ඉතිං සුබපල වැඩි අසුබ පල අඩු අවුරුද්දක්‌ වෙන බවයි ග්‍රහ බලය පෙන්වන්නේ.


    ගෘහ ජීවිතය
    ගෘහ ජීවිතය සතුටුදායක බව පේනවා. දියුණුවට කරන කටයුතු වෙනුවෙන් නිතර නිතර ගෙදරින් පිට යන්නත් සිද්ධ වෙයි. පවුලේ මවුපියන් දූ දරුවන් එක්‌ක සතුටින් කාලය ගතකරන්න පුළුවන් වෙයි. හැබැයි අසල්වැසියෙක්‌ අමනාප වෙන්න ඉඩ තියනවා. සහෝදරයෙක්‌ වෙනුවෙන් අමතර වෙහෙසක්‌ දරන්න සිද්ධ වෙයි. පෙර පින, වාසනාව, භාග්‍යය නිසාම බොහොම කටයුතු සාර්ථක කර ගන්න පුළුවන්. විවාහ කටයුතු පෙම් සබඳතාවලට නම් අවුරුද්දෙ මුල් මාස තුන ඒ තරම් හොඳ නෑ. දරුවෙකුටත් ටිකක්‌ අපලදායක බව පේනවා.


    ධනය
    ආදායම් මාර්ග, ධනය ගැන සුබදායක තත්ත්වයක්‌ පේනවා. තැන්පත් මුදලක්‌ ඇතිකර ගන්නත් පුළුවන් වෙයි. ව්‍යාපාර රැකියාවලින් බලාපොරොත්තු වෙන ආදායම් ලැබේවි. බලාපොරොත්තු නොවෙන විදිහට හදිසි ධන ලාබ, ලොතරැයි ජය වගේ දේවල්වලටත් වාසනාව තියෙන බව පේනවා.


    රැකියා
    රැකියා අංශවල බාධා ජයගෙන සාර්ථක කරගන්න තරම් උසස්‌ චිත්ත ධෛර්යයක්‌ පවතින බව පේනවා. ප්‍රධානීන්ගේ, උසස්‌ අයගේ උදව් උපකාරත් ලැබේවි.
    රැකියා බලාපොරොත්තුවෙන් ඉන්න අයට මුල් මාස තුන සුබදායකයි.


    අධ්‍යාපනය
    නවවැන්නේ උච්චව ගමන් කරන රවි, බුධ යෝගය උසස්‌ අධ්‍යාපන කටයුතුවලට තියෙන බාධා ඉවත් කරන බවක්‌ අධ්‍යාපන කටයුතු සාර්ථක කරන බවත් විභාගවලින් සමර්ථ වෙන බවත් පෙන්වනවා. විනෝදය පාලනය කර ගැනීම වැදගත් වෙනවා.


    සෞඛ්‍යය
    වකුගඩු රෝග, ප්‍රජනන පද්ධතියේ රෝගාබාධ ඇති අය, ශරීර සෞඛ්‍යය ගැන සැලකිලිමත් වෙන්න. සිකුරු දශා ගතකරන අය විශේෂයි.


    සුබ දවස – ඉරිදා, අ`ගහරුවාදා, සුබ අංක – 1, 3,
    සුබ පාට – සුදු, රෝස.

    කන්‍යා

    ඔබේ ලග්නාධිපති බුධ, රවිත් එක්‌ක අටවැන්නේත්, ගුරු ලග්නයේත් සඳු දෙවැන්නේත් ගමන් කරමින් උදාවන මෙම වසර සුබාසුබ මිශ්‍රපල දායක බවක්‌ තමයි පෙන්නන්නේ.


    ගෘහ ජීවිතය
    ගෙදර දොර කටයුතු ගැන වැඩියෙන් හිත යොමු වුණත්, තරමක බාධා ඇති වෙන බව පේනවා. මවුපියන්ට නැත්නම් ගෙදර වැඩිහිටියෙකුට තරමක්‌ අපලදායකයි. පදිංචිය ගැන කළකිරීමක්‌ ඇති වෙන්නත් පුළුවන්. නිවාස ඉදිකිරීම්, ගොවිතැන් වගේ කටයුතුවලට බාධා ඇති වෙයි. හැබැයි අවිවාහක අයට මංගල යෝග උදාවෙයි. බිරිඳ නැත්නම් සැමියාට සුබ පලදායකයි. අඹුසැමි සමගිය ඇතිවෙයි.


    ධනය
    ආදායම් සතුටුදායක බවක්‌ පේනවා. හවුල් ව්‍යාපාර වලින් ලාබ ලැබෙනවා වගේම හවුල් ව්‍යාපාර ආරම්භ කරන්නත් හොඳ නැකත් යෙදෙනවා. ඒ වුණත් මුල් මාස දෙක තරමක්‌ බාධා ඇති කරන බවයි පේන්නේ. හොඳට ආදායම් ලබන්නත්, තැන්පත් මුදලක්‌ ඇති කරගන්නත් අවුරුද්ද අවසානෙ පුළුවන් වෙයි.


    රැකියා
    රැකියා අංශවල නම් මුල් මාස තුන බාධා කරදර ඇති වෙයි. කේළාම්, බොරු, ඕපාදූප නිසා රැකියා ප්‍රධානීන් අමනාප වෙන්න පුළුවන්. ඒ වගේම
    ලියකියවිලිවලට අත්සන් කරනකොට කල්පනාකාරී වෙන්න. ජුනිවලින් පස්‌සේ රැකියා අංශවල සතුටුදායක දියුණුවක්‌ ඇති වෙයි.


    අධ්‍යාපනය
    ලග්නගතව ගමන් කරන ගුරු නිසා අධ්‍යාපන කටයුතුවලට තියන බාධා ඉවත් කර ගන්න පුළුවන් වෙයි. උසස්‌ අධ්‍යාපනය කරන අයට අධ්‍යාපන කටයුතු සාර්ථක කරගන්න චිත්ත ධෛර්ය හොදින් පවතීවි.


    සෞඛ්‍යය
    උෂ්ණාධික රෝග, රුධිර ගමනාගමනය පිළිබඳ දෝෂ, හෘදයාබාධ, ස්‌නායුගත රෝගවලින් ප්‍රවේශම් වන්න.


    සුබ දවස – බ්‍රහස්‌පතින්දා, සිකුරාදා, සුබ අංක – 5, 6,
    සුබ පාට – කහ, මිශ්‍ර ලා.

    තුලා

    ඔබේ ලග්නාධිපති සිකුරු හයේත්, රවි, බුධ හතේත්, සඳු ලග්නයේත් ගමන් කරමින් සිටියදී තමයි අලුත් අවුරුද්ද උදා වෙන්නේ. සුබාසුබ මිශ්‍රපලදායක බවක්‌ තමයි මේ අවුරුද්ද ග්‍රහ බලය පෙන්නන්නේ.


    ගෘහ ජීවිතය
    බිරිඳ හෝ සැමියාට ටිකක්‌ අපලදායක තත්ත්වයක්‌ පේනවා. ඔබ තාමත් අවිවාහක නම් මංගල යෝජනා පිළිබඳ කටයුතුවලට මුල් මාස දෙක බාධා සහිතයි. කොහොම වුණත් පවුලේ කටයුතු සාර්ථක කරගන්න තරම් චිත්ත ධෛර්යයත් පවතින බවයි පෙනෙන්නේ. දරුවෙකුගේ අසනීපයක්‌ වෙනුවෙන් වැඩි වෙහෙසක්‌ දරන්න සිද්ධ වෙයි. යාළුවෙක්‌ හින්දා රැවටීමකට අසුවෙන්න පුළුවන්.


    ධනය
    බලාපොරොත්තු වූ ණය මුදලක්‌ ලබාගන්න පහසුකම් සැලසේවි. පවුලේ වියදම් ඉහළ යන බව පෙනෙනවා. ඉතිරි කරගෙන තිබුණ මුදලකුත් වියදම් කරන්න වෙයි. පවුලේ වියදම් ගැන සැලකිලිමත් වන්න.


    රැකියාව
    විදේශ රැකියා බලාපොරොත්තු වන අයට තිබුණ බාධක ඉවත් වේ. රැකියා ප්‍රධානීන්ගේ උසස්‌ අයගේ උදව් උපකාර ලැබේ. තනතුරේ නැත්නම් තත්ත්වයේ උසස්‌වීමක්‌ ලැබෙන්නත් ඉඩ තියෙන බව පේනවා.


    අධ්‍යාපනය
    අධ්‍යාපන කටයුතු සුබපලදායකයි. උසස්‌ අධ්‍යාපන කටයුතුවල යෙදෙන ශිෂ්‍ය ශිෂ්‍යාවන්ට හැම අතින්ම උදව් උපකාර ලැබෙයි. විභාගවලින් සමර්ථ වෙයි.


    සෞඛ්‍යය
    හදිසි අනතුරු, දියවැඩියාව, කොලෙස්‌ටරෝල් වැනි රෝග තියෙන අය ප්‍රවේශම් වන්න. කුජ ගුරු දශා විශේෂයි.


    සුබ දවස – ඉරිදා, බදාදා, සුබ අංක – 1, 4,
    සුබ පාට – සුදු, ලා කොළ.

    වෘශ්චික

    ඔබේ ලග්නාධිපති කුජ හතේත්, රවි බුධ හයේත් සඳු දොළහේත්, ගමන් කරද්දී තමයි අලුත් අවුරුද්ද උදා වෙන්නේ. සුබාසුබ මිශ්‍රපලදායක අවුරුද්දක්‌ වගෙයි ග්‍රහ බලය පෙන්නන්නේ.


    ගෘහ ජීවිතය
    දරුවන්ගේ දියුණුවට කරන කටයුතුවලින් සතුටුදායක ප්‍රතිඵල ලැබෙන්න පුළුවන්. ගෙදර දියුණුවට කරන කටයුතුවලට තරමක බාධා පෙනේ. සහෝදරයන්ට සුබපලදායකයි. යහපත් යහළු යෙහෙළියන් ඇසුර ලබන්නත් එවැනි අය හඳුනා ගන්නත් අවස්‌ථා උදා වේවි. අවිවාහක අයට මංගල යෝග උදාවේ.

    ධනය
    පවුලේ වියදම් තරමක්‌ ඉහළ ගියත් ආදායම සතුටුදායක බව පෙනෙනවා. ව්‍යාපාරවලට යොදවන මුදල්වලින් බලාපොරොත්තු වන විදියටම ලාභ ලැබේවි. හදිසි ධන ලාභයක්‌ නැතිනම් ලොතරැයි ජයක්‌ වැනි දෙයක්‌ ලැබෙන්නත් ඉඩ තියෙනවා.


    රැකියාව
    රැකියාව නිසා නිතර ගමන් බිමන් යෙදෙන්න පුළුවන්. විදේශ රැකියා බලාපොරොත්තු වන අයට ඒ අරමුණු ඉෂ්ඨ කරගන්න පුලූවන් වේවි. ව්‍යාපාරිකයන්ට බලාපොරොත්තු වන ඉලක්‌ක ළඟා කරගන්න පුළුවන් වෙයි. හැබැයි ජුනි ඔක්‌තෝබර් අතරේ සේවක ගැටලු ඇතිවෙන්න පුළුවන්.


    අධ්‍යාපනය
    විදේශ රටක අධ්‍යාපනය ලබන්න බලාපොරොත්තුවක්‌ තිබුණා නම් ඒක සාර්ථක වෙයි. සෞන්දර්ය, කලා, වෛද්‍ය සිසුන්ට විශේෂයෙන් සුබපලදායකයි.


    සෞඛ්‍යය
    සෙම් රෝග, ස්‌නායුගත රෝගවලින් පෙළෙන අය ප්‍රවේශම් වෙන්න. සෙනසුරු දශා ගතකරන අය අපලයට ශාන්ති කර්ම කරගැනීම හොඳයි.


    සුබ දවස – සඳුදා, බ්‍රහස්‌පතින්දා, සුබ අංක – 2, 5,
    සුබ පාට – සුදු, කහ.

    ධනු

    ධනු ලග්න හිමියන්ගේ ලග්නාධිපති ගුරු දහයේත්, සඳු එකොළහේත්, රවි, බුධ පහේත්, සෙනසුරු ලග්නයේත් ගමන් කරමින් තමයි අලුත් අවුරුද්ද උදා වෙන්නේ. සුබාසුබ මිශ්‍රපලදායක බවත් ග්‍රහචාරය පෙන්නුම් කරනවා.


    ගෘහ ජිවිතය
    මවුපියන්, දූ දරුවන් එක්‌ක සතුටින් කාලය ගත කරන්නත් ගෙදර දියුණුවට කරන කටයුතු සාර්ථක කරගන්නත් හැකිවේවි. වාහන ගනුදෙනුවලට සුබපලදායකයි. ගෙදර දියුණුවට කරන කටයුතු නිසා නිතරම ගෙදරින් බැහැරව යන්න සිදුවෙන බවක්‌ පේනවා. දරුවන්ගේ දියුණුව වෙනුවෙන් කරන දේවල් සාර්ථක කරගන්න පුළුවන්. විවාහ යෝජනා නැත්නම් පෙම් සබඳතා ස්‌ථිර කරගන්නත් පුළුවන් වෙන බවයි පෙනෙන්නේ.


    ධනය
    ස්‌වයං රැකියා ගොවිතැන් කටයුතුවලින් ලැබෙන ආදායම් සතුටුදායක වේ. ව්‍යාපාරවලින් ලාභ ලැබෙයි. හදිසි ධන ලාභවලටත් ඉඩ තියෙන බව පෙනෙනවා. ගෙදරට ලැබුණ ආදායම් ඉහළ යන බවයි පේන්නේ.


    රැකියාව
    රැකියා ව්‍යාපාර අංශවල කටයුතු සාමකාමීව කර ගෙන යන්න හැකිවේවි. ඒ වුණත් සේවක පක්‍ෂයේ ගැටලු වරින් වර ඇති වෙන්න පුළුවන්. සෙනසුරු දශා ගතකරන අය විශේෂයි. විදේශ රැකියාවලට තරමක බාධා පෙන්නුම් කරනවා.


    අධ්‍යාපනය
    අධ්‍යාපන කටයුතු සාර්ථක කරගන්නත්, යහපත් ගුරුවරුන්ගේ ඇසුර ලබන්නත් හැකිවේවි. විභාගවලින් සමර්ථ වේවි. අලසකම, වැඩ කල්දැමීම වැනි බාධා ජය ගැනීමට දිරිමත් වෙන්න.


    සෞඛ්‍යය
    සෙම් රෝග, ගැස්‌ට්‍රයිටීස්‌ වැනි රෝග ඇති අය සැලකිලිමත් වන්න. ශනි රාහු දශා විශේෂයි.


    සුබ දවස – ඉරිදා, බ්‍රහස්‌පතින්දා, සුබ අංක – 1, 5,
    සුබ පාට – කහ, තැඹිලි.

    මකර

    ඔබේ කේන්ද්‍රයේ ලග්නාධිපති සෙනසුරු දොළහේත් රවි, බුධ හතරේත්, ගුරු නමයේaත් ගමන් කරද්දී තමයි අලුත් අවුරුද්ද උදා වෙන්නේ. ඔබටත් සුබා සුබ මිශ්‍රපලදායක අවුරුද්දක්‌ වගේ තමයි ග්‍රහ බලය පෙන්නුම් කරන්නේ.


    ගෘහ ජීවිතය
    අවුරුද්දේ මුල් මාස තුනේ නම් පවුල් ජීවිතය ගැන හිත් තැවුලක්‌, කලකිරීමක්‌ වගේ තත්ත්වයක්‌ ඇති වෙන්න පුළුවනි. ඉඩම්වල නීතිමය ගැටලු ඇතිවෙන්නත් ඉඩ තියෙනවා. අවුරුද්දෙ මැද වෙනකොට මේ තත්ත්වය හොඳ අතට හැරෙයි. බිරිඳ නැත්නම් සැමියාගේ රැකියා දියුණුවකට කරුණු යෙදෙයි. අවිවාහක අයට මංගල යෝග යෙදෙන කාලයක්‌. දරුවන්ගේ දියුණුවට කරන කටයුතුත් සාර්ථක කර ගන්න හැකියාව ලැබෙයි.


    ධනය
    වියදම නම් ඉහළ යන බවයි පේන්නේ. ඉතිරිවෙලා තිබුණු මුදලකුත් වියදම් වෙන්න ඉඩ තියෙනවා. පවුලේ වියදම් ඉහළ යනකොට ආදායම්වල සතුටුදායක තත්ත්වයක්‌ තියෙන නිසා ලොකු ගැටළුවක්‌ ඇති වෙන එකක්‌ නෑ.
    රැකියා
    ව්‍යාපාරවල යෙදෙන අයට බලාපොරොත්තු වෙන ලාබ ලැබේවි. හැබැයි කෘෂිකාර්මික කටයුතු කරන අයට තරමක බාධා පවතිනවා. රැකියා අංශවල සතුටුදායක තත්ත්වයක්‌ තිබුණත් සේවක ගැටලු ගැන සැලකිලිමත් වෙන්න. ශනි දශා ගතකරන අයට විශේෂයි.


    අධ්‍යාපනය
    අධ්‍යාපනික කටයුතු සාර්ථක කරගන්න පුළුවන්. ඒ වුණත් සෙනසුරු දශා ගතකරන අයට උදාසීන, අලස ගති නිසා ඉගෙනීම අතපසු වෙන්න ඉඩ තියෙනවා. උත්සාහයෙන් කටයුතු කළොත් ඉගෙනීමේ කටයුතු සාර්ථක වෙයි. විභාගවලින් සමර්ථ වෙයි.


    සෞඛ්‍යය
    සෙම් රෝග, අම්ලපිත්ත රෝගය, මානසික ආතතිය වැනි රෝග ඇති අය ප්‍රවේශම් වෙන්න. රාහු ශනි දශා විශේෂයි.


    සුබ දවස – සඳුදා, බදාදා, සුබ අංක – 2 , 4,
    සුබ පාට – සුදු, කොළ.

    කුම්භ

    ඔබේ ලග්නයේ අධිපති සෙනසුරු එකොළහේත් සඳු නමයේත්, රවි, බුධ තුනේත් ගමන් කරද්දී තමයි මේ අවුරුද්ද උදා වෙන්නේ. බොහෝ දුරට සුබපලදායක අවුරුද්දක්‌ බව පේනවා. සුළු කරදර ටිකක්‌ විතරයි ග්‍රහ බලය පෙන්නන්නේ.


    ගෘහ ජීවිතය
    පවුලේ කටයුතු බොහෝ දුරට සාර්ථකව කරගන්න නම් හැකිවේවි. ඒ වුණත් ඉක්‌මන් කේන්තිය, කලබලවීම නිසා පවුලේ අය අතර අසමගිය මතභේද ඇතිවෙන්න ඉඩ තියන නිසා ඉවසීමෙන් කටයුතු කරන්න. අසල්වැසියන් සහෝදරයන් එක්‌ක පවතින සබඳතා අලුත් වෙයි. දරුවන්ගේ කටයුතු දියුණු වෙයි. හැබැයි හිතවත්ම මිතුරෙකුට විපතක්‌ වෙන්න ඉඩ තියන බවක්‌ පේනවා. අවිවාහක අයගේ මංගල යෝජනා පෙම් සබඳතා ස්‌ථිර වෙන්න පුළුවන්.


    ධනය
    ආදායම් තත්ත්වය අතින් නම් සැප්තැම්බර් වෙනකල්ම තියෙන්නේ තරමක බාධා අවහිර තත්ත්වයක්‌. සමහර විට ලැබෙන්න තියෙන ආදායම් නොලැබෙන්නත්, අතේ තියන මුදලක්‌ වියදම් වෙන්නත් ඉඩ තියෙනවා. ඒ වුණත් සැප්තැම්බර්වලින් පස්‌සේ ආදායම් තත්ත්වය හොඳ අතට හැරේවි.


    රැකියා
    රැකියා ව්‍යාපාර අංශවල සේවක සහයෝගය හොඳින් ලබා ගන්න පුළුවන් වෙන බව පේනවා. උසස්‌ අයගේ අගය කිරීම්වලට, ප්‍රශංසාවලට ලක්‌වෙන්න පුළුවන්. ලිපි ලේඛන කටයුතු කරන අයට සුබපලදායකයි. විදේශ රැකියා බලාපොරොත්තු සාර්ථක කරගන්න නීතිමය අංශවල පිහිට ලැබෙයි.


    අධ්‍යාපන
    අධ්‍යාපන කටයුතු සාර්ථක කර ගන්න ශක්‌තිය, ධෛර්ය ලැබෙයි. ගුරුවරුන්ගේ උදව් උපකාර ලබා ගන්නත් පුළුවන් වෙයි. විභාගවලින් සමර්ථ වෙයි.


    සෞඛ්‍යය
    කොලෙස්‌ටරෝල්, දියවැඩියාව වගේ රෝග තියන අය ඒ ගැන සැලකිලිමත් වෙන්න. ආහාර පාලනය කර ගැනීම වැදගත් බව පේනවා.


    සුබ දවස – සෙනසුරාදා, සිකුරාදා, සුබ අංක – 6, 7,
    සුබ පාට – මිශ්‍රපාට, නිල්පාට.

    මීන

    ඔබේ ලග්නාධිපති ගුරු හත්වැන්නෙන් සිකුරු උච්චම උග්නයේත්, සඳු අටවැන්නේත් ගමන් කරමින් තමයි මේ අලුත් අවුරුද්ද උදා වෙන්නේ. සුබපල වැඩියෙනුත්, කරදර අඩුවෙනුත් පෙන්නන වසරක්‌ බවයි ග්‍රහ බලය පෙන්නන්නේ.


    ගෘහ ජීවිතය
    විවාහ සහකරුට සුබපලදායකයි. අවිවාහක අයගේ මංගල කටයුතු සිද්ධ වෙන්න කරුණු යෙදෙයි. පෙම්වතුන්ට සුබදායකයි. දරුවෙකුට තරමක අපල බවක්‌ නම් පේනවා. ගෙදර දියුණුවට කරන කටයුතු සාර්ථක කරගන්න පුළුවනි. හිතමිතුරන් එක්‌ක සතුටින් කාලය ගතවෙයි. එදිනෙදා කටයුතු සාර්ථක කරගන්න අනිත් අයගේ උදව් උපකාර ලැබෙයි. සහෝදරයන්ට සුබයි.


    ධනය
    ධනය අතින් සුබදායක බවක්‌ පේනවා. කල්ගත වෙන කටයුතු කළොත් තැන්පත් මුදලක්‌ ඉතිරි කරගන්නත් බැරිවෙන එකක්‌ නෑ. ව්‍යාපාරවලට ආයෝජනය කරනකොට නම් කල්පනාකාරී වෙන්න ඕන.


    රැකියා
    හවුල් ව්‍යාපාර කරන අයට සාර්ථක ප්‍රතිඵල ලබාගන්න පුළුවනි. රැකියා ව්‍යාපාර අංශවල ටිකක්‌ කල්පනාකාරී වෙන්න ඕන. සේවක පක්‍ෂය ගැනයි. සමහර විට සේවකයින්ගෙ ගැටලු ඇති වෙන්න ඉඩ තියනවා. ඒ වුණත් රැකියා ප්‍රධානීන්ගේ උසස්‌ අයගේ උදව් උපකාර ලැබේවි.


    අධ්‍යාපනය
    අවුරුද්දේ මුල් මාස කීපය අධ්‍යාපනයට තරමක බාධා පේනවා. ඊට පස්‌සේ සුව අතට හැරෙයි. සෞන්දර්ය, කලා, ඉංජිනේරු, නීති අංශවල ශිෂ්‍ය ශිෂ්‍යාවන්ට සුබපලදායකයි. විභාගවලින් සමත් වෙයි.


    සෞඛ්‍යය
    සෙම් රෝග වගේම වාතාබාධත්, ගැස්‌ට්‍රයිටිස්‌, මානසික නොසන්සුන් බව කැළඹීම් ඇති වෙන්න ඉඩ තියනවා. ශනි, රාහු දශා විශේෂයි. සෞඛ්‍ය
    රැකගැනීමට සැලකිලිමත් වෙන්න.


    සුබ දවස – බ්‍රහස්‌පතින්දා, අ`ගහරුවාදා,
    සුබ අංක 3, 5, සුබපාට – රෝස, කහ, තැඹිලි.

    [rns_reactions]

  • අවුරුදු කෑම මේසයේ රස කැවිලි ගැන ඔබ නොදත් කතාව මෙන්න..

    රසම රසකැවිල්ල කැවුම් බව කීවේ රොබට්‌ නොක්‌ස්‌ ය
    කොපමණ දිළිඳු නිවසක වුව අවුරුද්දට කැවිලි වරදින්නේ නැත.

    ඔවුන්ගේ රස කැවිලි විවිධය ඒ රස කැවිලි අතර ප්‍රධානත්වයක්‌ ගන්නා කැවුම් සහල් පිටියෙන් හා පැණියෙන් සාදාගනු ලැබේ. සහල්පිටි අනා ගුලි ගසා කොළපතක තබා ඇඟිල්ලෙන් පැතලිකොට පැහෙන තෙල් ඇතිලියේ බහා පදමට කරවූ පසු තෙලෙන් එළියට ගනිති.

    ඕලන්ද කාරයන් ලංකාවට පළමුකොට පැමිණි අවධියේ ඔවුන්ට රාජකීය සංග්‍රහයක්‌ කරනු කැමති වූ කන්දේ රජු ඔවුන්ට කැවුම් පිස යවන ලෙස රාජ පුරුෂයන් හට නියම කළේය. එම කැවුම් කා පුදුමයට පත්වූ ලන්දේසීහු එපමණ ප්‍රණීත ආහාරයක්‌ මිනිස්‌ අතකින් නම් සෑදිය නොහැකි යෑයි සිතා මේවා ගස්‌වලින් කඩාගන්නා දෙයක්‌ දැයි ඇසුවේලු.

    සිංහලයන්ගේ රස කැවිලි පිළිබඳ රොබට්‌ නොක්‌ස්‌ විසින් තම ලංකා ගමනය පිළිබඳ එදා හෙළදිව ග්‍රන්ථයේ එසේ සඳහන් කොට ඇත්තේය.

    නුවර යුගයේ කැවිලි වර්ග අන් සෑම වකවානුවකටත් වඩා වැඩි වුවද ඒවා එකවර රට පුරා පැතිර ගියේ නැත. ඉංග්‍රීසීන්ගේ පැමිණීමත් සමඟ අලුත් ආහාර වර්ග සිංහලයන් අතර ප්‍රචලිත වීම මෙයට හේතුවන්නට ඇත. කෙසේ වුවද සිංහලයන්ගේ කැවිලිවලින් ඉතාම මිහිරි ආහාරය කැවුම් යෑයි රොබට්‌ නොක්‌ස්‌ සඳහන් කරයි.

    අපේ සිංහල කැවිලි අතර තිබූ අග්ගලා ගැන ද රොබට්‌ නොක්‌ස්‌ සඳහන් කරයි. අග්ගලා නමින් තවත් අලුමුසුවක්‌ වෙයි. බැදි හාල්පිටි, පැණියෙන් අනා ගම්මිරිස්‌, කරදමුංගු හා කුරුඳු පොතු මඳ වශයෙන් මුසුකොට මෙම ගුලි සාදා ගනු ලැබේ. මේ ගුලි ගුලි කිරීමෙන් පසු තද වෙති. අග්ගලා දීර්ඝ කාලයක්‌ තිස්‌සේ වෙනස්‌ නොවී ප්‍රයෝජනයට ගත හැකි ආහාරයකි.

    මෙම කැවිලි වර්ගය දඹදිව බෙහෙවින් පැතිරී තිබෙන්නට ඇතැයි විශ්වාස කෙරේ. එදා ජනී ජනයා ගමන් බිමන් ගියේ පා ගමනිනි. දින ගණනාවක්‌ පා ගමනින් යා යුතු නිසා අතර මගදී ආහාර සොයා ගැනීමද අපහසුය. මේ නිසා අග්ගලා සාදාගෙන යෑමේ පුරුද්දක්‌ ඇතිවිය. අග්ගලා දුප්පත් පොහොසත් කොයි කවුරුත් ආහාරයට ගත් කැවිලි වර්ගයකි.

    මෙම අග්ගලා සාදන ආකාරයෙන්ම සාදාගනු ලබන අළුවා නම් අහරක්‌ ද ඇත. වෙනසකට ඇත්තේ හැඩය පමණි. අග්ගලාව වටකුරු වූ අතර අලුවා පැතලිය. අහාර අහේනියෙන් හාමත් වූ විට අලුවා කා ඉක්‌බිති වතුර බොනු ලැබේ. අතුරු පසට මන වඩන්නාවු මෙම අලුවා ටිකක්‌ අපි පලා එද්දී ගෙන ආවෙමු. රොබට්‌ නොක්‌ස්‌ අලුවා ගැන සඳහන් කොට තිබුණේ ඒ අයුරිනි.

    කැවුම් වූ කලී අවුරුදු කෑම මේසයට නැතිවම බැරි කෑම විශේෂයකි. කැවුම් පිසීම ගජරාමෙට කෙරෙන්නේද සිංහල අවුරුදු කාලයටය. සිංහල කැවිලි වර්ගවලට ඇත්තේද ඉතා දිගු ඉතිහාසයකි. කැවිලි වර්ග වැඩි වශයෙන්ම දක්‌නට ලැබී ඇත්තේ නුවර යුගයේදීය. ද්‍රවිඩ ආශ්‍රය මෙන්ම පෘතුගීසි, ලන්දේසි සම්බන්ධතා මෙයට හේතුවන්නට ඇත. මුල් යුගයේදී ඉන්දියාවෙන් මෙරටට පුරුදු වූ කැවිලි වර්ග පොළොන්නරු යුගයේද තිබෙන්නට ඇති බවට විශ්වාස කෙරේ.

    යක්‌පැට්‌ නම් තවත් අහරක්‌ වෙයි. හාල්පිටි පොල් හා හකුරුවලින් සාදනු ලබන මෙය රස අහරකි. හාල්පිටි පැණි මුසුකොට අනා ගුලිකොට කොළයක ලා වණ්‌ඩුවේ තම්බා ගනියි. ඉතා මොළොක්‌ වූ මෙය බුදිනවිට හකුරු සමග සුදු පාන් කන බවක්‌ හැඟෙන්නේය. යෑයි යක්‌පැට්‌ ගැන රොබට්‌ නොක්‌ස්‌ එසේ සඳහන් කොට තිබිණි.

    ගණ දෙවියන්ගෙන් නුවණ ඉල්ලා යදින කුඩා දරුවා පවා දෙවියන්ගේ සිත් ගන්නට සැරසෙන්නේ අතිරස අග්ගලා යක්‌පැට්‌ පුදමී යනුවෙන් සඳහන් කිරීමෙනි. ගණදෙවි හෑල්ලේද යක්‌පැට්‌ ගැන සඳහන් වේ. ගණ දෙවියන්ට පිදූ කැවිලි හා පලතුරු වට්‌ටෝරු කවියෙන් මෙසේ දක්‌වා ඇත.

    අග්ගලා කොමලී නා
    තල කැරලි විළ දී නා
    මල් කැවුම් රොට්‌ යෙ නා
    වෙල්ල වැසිමුත් ත නා

    පුලුබී බෝජන තනා
    ලාලු යක්‌ පැට්‌ යෙනා
    කිරි උණ්‌ඩ පු තනා
    අක්‌සුණු ද ඉසි මිනා

    එදා දෙවියන්ට පිදූ කැවිලි වර්ග සියල්ලම මෙහි දක්‌නට ඇත. අග්ගල, තල කැරලි, විළඳ, මල් කැවුම්, රොටී, වෙල්ල වැහුම් පුලුබි, බෝජන ලාලු යක්‌පැට්‌ කිරි උණ්‌ඩ ඒ කැවිලි වර්ගයන්ය.

    කැවිලි වර්ග අතුරින් අතිරසද ඉතා මිහිරි කෑමක්‌ බව සිංහලයන් අතර ඉතා ප්‍රසිද්ධය. අතිරස තිත්ත රසයි පැමිණි දුක්‌ පැණි රසයි යනුවෙන් කියා ඇත්තේ ද ඒ නිසාය. අලුත් අවුරුද්ද ලැබීමට පෙර සෑම ගෘහනියක්‌ම වාගේ කැවුම් අතිරස ආදී කැවිලි වර්ග කලින්ම සකස්‌ කොට තබති.

    නා නා මාදිලියේ කැවිලි වර්ග අපේ ගැමි කාන්තාවන් විසින් සාදයි. කැවුම් සෑදීමට යොදාගන්නා ද්‍රව්‍ය අනුව කැවුම්වලට විවිධ වූ නම් ලැබී තිබේ. නාරං කැවුම්, සීනි කැවුම්, පැණි කැවුම් මුං කැවුම් ආදී කැවුම් වර්ග රාශියකි. වලස්‌මුල්ල ප්‍රදේශයටම ආවේණික කැවුම් වර්ගයක්‌ ද ඇත්තේය. එවා හඳුන්වන්නේ මුකුදු යනුවෙනි.

    අවුරුද්දට ඉතා දුප්පත් ගෙදරක වුවද කැවුම් කිරිබත් පිළියෙල කරන අතර අලුත් ඇඳුම් පැළඳුම් ගෙන ඒමට අමතක නොකරති. එමෙන්ම ගෙවල්වලට කැවිලි පෙවිලි ගෙන යැම ද සිරිතකි. මේ නිසා එකිනෙකා අතර හොඳ හිත සමගිය ද ඇතිවේ. නොහොඳ නෝක්‌කාඩු දිගින් දිගටම ඇති වන්නේද නැත. එදා අපේ පැරැන්නෝ නෑගම් යනවිට කැවිලි පිඟානක්‌ රැගෙන ගියහ.

    සැබවින්ම රස කැවිලිවලට හොඳ ඉල්ලුමක්‌ ඇතිවන්නේ ද සිංහල අවුරුදු කාලයටය. ගම්බද කෙතරම් අගහිඟකම් ඇති ගැමි නිවසක වුවද ගැමි ලිය කැවුම් ඉවීමට අමතක නොකරති. නාගරික ප්‍රදේශවල නම් කැවුම් ගෙඩිය පවා කඩයෙන් ගෙන ඒමට අපේ ඇත්තෝ පුරුදුව සිටිති. එහෙත් අපේ ගැමි ලඳුන් විසින් සාදන කැවිලි පෙවිලි ඉතා රසවත්ය.

    එදා රොබට්‌ නොක්‌ස්‌ පවා අපේ රටේ ලඳුන් විසින් සාදනු ලැබූ රස කැවිලි අනුභව කොට රස කැවිලිවලට වශී වී තිබේ. ඉතා ප්‍රණීත ලෙස කැවුම් ඉවීමට දක්‍ෂ කාන්තාවන් අදත් ගම්බද ප්‍රදේශවලදී දැකිය හැකිය. ඇතැම් ප්‍රදේශවලදී මෙම කාන්තාවන් හඳුවන්නේ කැවුම් අම්මලා යනුවෙනි.

    සැබවින්ම.. කැවුම් පමණක්‌ නොව අලුවාද අවුරුදු කෑම මේසයට නැතුවම බැරි කෑම විශේෂයෙකි. කජු අලුවා, පොල් අලුවා, කිරි අලුවා, යන විවිධ නම්වලින් අලුවා වර්ග හැදින්වේ. දෝසි වර්ගද කිහිපයකි. ඉඟුරු දෝසි, පැපොල් දෝසි, පුහුල් දෝසි, කිරි දෝසි ඒ අතරින් කිහිපයකි. පැණි වළලු නම් කොයි පළාතේ දක්‌නට ඇතත් උඳු වළලු දක්‌නට ඇත්තේ උඩරට ප්‍රදේශවල පමණි. මෙය උඩරට වැසියන්ට පමණක්‌ ආවේණික වූ කැවිලි වර්ගයකි.

    එමෙන්ම වණ්‌ඩු ආප්ප ද අපට ආවේණික රස කැවිල්ලකි. නුවර කලාවියේ මේ හැඳින්වෙන්නේ පුස්‌නාම්බු යනුවෙනි. ඒ විතරක්‌ නොව ඇතැම් රස කැවිලි නිසා අපේ සිංහල බස්‌ වහරද පෝෂණය වී තිබේ. සිංහලයා කොතැන ද කැවුම් එතනය. තමා කුමකට අදක්‌ෂ වුවත් කැවුම් කෑමට නම් අදක්‌ෂ නොවන බව පිළිගන්නා සිංහලයා තමාම සරදමකට හසුකර ගන්නේ සිංහලයා මෝඩයා කැවුම් කන්න යෝධයා කියමිනි. ඒ විතරක්‌ නොව කුඩා දරුවන් පවා අත්පුඩි ගසමින් අප්පුඩි පුඩි පුවත්තා. කැවුම් දෙකක්‌ දියත්තා යනුවෙන් කැවුම් ඉල්ලති. සැබවින්ම රස කැවිලි නිසා සිංහල ජනවහරද රසවත් ලෙස පෝෂණය වී ඇත්තේය.

    කෙසේ වුවද අලුත් අවුරුදු කාලයට සිංහලයාට නැතුවම බැරි කැවුම් ගෙඩිය අද වෙළෙඳ භාණ්‌ඩයක්‌ බවට පත්ව ඇත්තේය. අලුත් අවුරුදු කාලයට පමණක්‌ නොව සිංහලයන්ගේ සෑම උත්සවයකදීම පවා කැවිලි පෙවිලිවලට හිමිවන්නේ වැදගත් ස්‌ථානයකි.

    [rns_reactions]