Blog

  • ආණ්ඩුව සහල් මිල පාලන ගැසට් හකුලා ගනී: සහල් හා වී මිල පාලනය මෝල් හිමියන් අතට

    ආණ්ඩුව සහල් මිල පාලන ගැසට් හකුලා ගනී: සහල් හා වී මිල පාලනය මෝල් හිමියන් අතට

    ඊයේ (27) මධයම රාත්‍රියේ සිට සහල් මිල පාලනය කිරීමේ ගැසට් නිවේදන අහෝසි කිරීමට කැබිනට් මණ්ඩලය තීරණය කර තිබෙනවා. සූම් තාක්ෂණය ඔස්සේ පැවති කැබිනට් මණ්ඩල හමුවේදී මෙම තීරණය ගෙන ඇති අතර, ඒ අනුව සැප්තැම්බර් 02 දා උපරිම සහල් මිල නියම කරමින් නිකුත් කරන ලද ගැසට් නිවේදනය දින 25කට පසුව අහෝසි කිරීම විශේෂත්වයකි.

    සහල් සඳහා පාලන මිලක් පනවමින් ජනාධිපතිවරයා නිකුත් කර තිබූ ගැසට් නිවේදනය ඉවත් කිරීමෙන් පසු සහල් සහ වී සඳහා මිල ගණන් මහා පරිමාණ සහල් මෝල් හිමියන් විසින් අද (28) දින පැවැත්වූ මාධ්‍ය හමුවකදී අරලිය සහල් ව්‍යාපාරයේ හිමිකරු ඩඩ්ලි සිරිසේන මහතා විසින් ප්‍රකාශය පත් කළා.

    ඒ අනුව සිල්ලර වෙළඳපොළේ නාඩු කිලෝවක් රුපියල් 115කටත් සම්බා කිලෝවක් රුපියල් 140කටත් කීරි සම්බා කිලෝවක් රුපියල් 165කටත් මිල නියම කර තිබෙන අතර ඉදිරියේදී නාඩු වී කිලෝවක් රුපියල් 62.50කටත් සම්බා වී කිලෝවක් රුපියල් 70කටත් කීරි සම්බා කිලෝවක් රුපියල් 80කටත් මිලදී ගැනීමට තීරණය කළ බව ද ඩඩ්ලි සිරිසේන මහතා වැඩිදුටත් පැවසුවා.

    මේ අතර ලංකා සහල් නිෂ්පාදකයන්ගේ සංගමය පොළොන්නරුව සේවාගම ප්‍රදේශයේදී මාධ්‍ය සාකච්චාවක් පවත්වමින් රජයෙන් ඉල්ලා සිටියේ නාඩු, සම්බා සහ කීරි සම්බා සදහා සිල්ලර මිලක් පනවා වහාම ගැසට් නිවේදනයක් නිකුත් කරන ලෙසයි.

    සහල් ආනයනය නොකර කැකුළු සහල් සඳහා රුපියල් 105ක්ද නාඩු සහල් කිලෝවක් සඳහා 130ක් ද කීරි සම්බා සහල් කිලෝවක් සඳහා රුපියල් 160ක උපරිම සිල්ලර මිලක් පනවා වහාම ගැසට් නිවේදනයක් නිකුත් කරන ලෙස එම සංගමයේ ලේකම් ඩබ්ලිව්.ඩී.කේ. මුදිත් පෙරේරා මහතා රජයෙන් ඉල්ලා සිටියා.

    රජය රටින් සහල් මෙට්‍රික් ටෝන් ලක්ෂයක් ගෙන්වීමට සූදානම් ඊට ඩොලර් මිලයන හතිලියක් වැය වන බවත් එම සහල් තොගය ලංකාවේ සහල් පාරභෝගියකයන්ට ප්‍රමාණවත් වන්නේ සති දෙකකට පමණක් බව ද ඔහු වැඩි දුරටත් සදහන් කළා.

  • දෙස් විදෙස් ගුවන් මගීන්ට ලබන 01 දා සිට නව මාර්ගෝපදේශ

    දෙස් විදෙස් ගුවන් මගීන්ට ලබන 01 දා සිට නව මාර්ගෝපදේශ

    එළඹෙන ඔක්තෝම්බර් පළමුවෙනිදා සිට මෙරටට පැමිණෙන පූර්ණ එන්නත්කරණයට ලක් වූ දේශීය හා විදේශීය ගුවන් මගීන්, ගුවන්ගත වන විට කරන ලද පී.සී.ආර්. පරීක්ෂණ ප්‍රතිඵල වලින් ආසාදිතයෙකු නොවන්නේ නම් මෙරටදී යළි පී.සී.ආර්. පරීක්ෂණයකට භාජනය නොකර ඔවුන් ගුවන්තොටුපළේදී සමාජගත කිරීමට තීරණය කර ඇත.

    මේ සම්බන්ධයෙන් වන තාක්ෂණික කමිටුව විසින්  අදාළ තීරණය ගනු ලැබීය. සෞඛ්‍ය අමාත්‍ය  ආචාර්ය කෙහෙලිය රඹුක්වැල්ල මහතාගේ ප්‍රධානත්වයෙන් එම අමාත්‍යාංශයේදී අද (28) සවස පැවති සාකච්ඡාවකදී මෙම කරුණු අනාවරණය විය.

    සංචාරක අමාත්‍ය ප්‍රසන්න රණතුංග මහතාගේ ඉල්ලීමක් මත මෙම සාකච්ඡාව පැවැත්වුණු අතර එ් සඳහා සෞඛ්‍ය හා සංචාරක අමාත්‍යාංශයන්හි ඉහළ නිලධාරීන් සහ සංචාරක ක්ෂේත්‍රයේ නියුතු විවිධ සංවිධාන වල නියෝජිතයන් පිරිසක්ද එක්ව සිටියහ.

    පූර්ණ එන්නත්කරණය නොවූ විදේශිකයින්ට , විදෙස් සංචාරකයින්ට ජෛව බුබුළක් ලෙස සිය හෝටලය වෙත යාමට අවස්ථාව ලබා දෙන බවත් එහිදීද පී.සී.ආර්. පරීක්ෂණයක් කරන බවත් සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජනරාල් වෛද්‍ය අසේල ගුණවර්ධන මහතා පැවසීය. එහෙත් ශ්‍රී ලාංකිකයන්ට ගුවන්තොටුපළේදී හෝ රැඳී සිටින හෝටලයේදී පී.සී.ආර්. පරීක්ෂණය කිරීමෙන් පසු එහි ප්‍රතිඵල මගින් ආසාදිතයෙකු නොවන්නේ නම් ඔවුන් නිවෙස් කරා යොමු කිරීමට හැකියාව පවතින බවත්, එහිදී  12 වන දිනයේදී නැවත වරක් කරන  පී.සී.ආර්. පරීක්ෂණයකින්ද ආසාදිතයෙකු නොවන්නේ නම් ඔවුනට සමාජගත වීමේ හැකියාවක් පවතින බවත් සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජනරාල්වරයා පෙන්වා දෙයි.

    නිවෙස් නිරෝධායනය සඳහා පහසුකම් නොමැති පිරිස් සඳහා රජයේ නිරෝධායන මධ්‍යස්ථාන හෝ ඔවුන් විසින් තෝරා ගන්නා හෝටලයකදී දින 14 ක් නිරෝධායනය වී ඔවුනට සමාජගත වීමේ හැකියාවක් ඇතැයිද හෙතෙම පෙන්වා දෙයි.

    මේ සම්බන්ධයෙන් වන චක්‍රලේඛණයක් නිකුත් කිරීමට නියමිත අතර එය ඔක්තෝම්බර් 01 දා සිට බලාත්මක කෙරේ.

    මේ වන විට මෙරටට පැමිණෙන ගුවන් මගීන් පැය 72 ට පෙර පී.සී.ආර්.  පරීක්ෂණයකට අනිවාර්යයෙන්ම යොමු වියයුතු අතර , එම පරීක්ෂණ ප්‍රතිඵල වලින් ආසාදිතයෙකු නොවන්නේ නම් පමණක් ඔවුනට ගුවන්ගත වීමට අවස්ථාව හිමි වේ. පූර්ණ එන්නත්කරණයට ලක් වූ ගුවන් මගීන් පමණක් ඉන් සති දෙකකට  පසු මෙරටට පැමිණෙන්නේ නම් ඔවුන් නැවත මෙරටදී පී.සී.ආර්. පරීක්ෂණයට යොමු කර එහි ප්‍රතිඵල වලින් ආසාදිතයෙකු නොවන්නේ නම් පමණක්  සමාජගත කරනු ලැබේ.

    ව්‍යසන තත්ත්වයන් තුළ ජනතාවගේ රැකවරණය අන් සියල්ලටම වඩා වැදගත් බවත් කුමන බාධාවකටත් වඩා පුරවැසියාගේ ආරක්ෂාව මෙන්ම සෞඛ්‍ය පද්ධතිය ඉන් එහා තත්ත්වයක් බවත් සෞඛ්‍ය අමාත්‍ය කෙහෙලිය රඹුක්වැල්ල මහතා මෙහිදී කීය.

    මෙනිසා යම් යම් නීති රීති හා කොන්දේසි ගණනාවක් මත සිට කටයුතු කෙරුණු බවද එහෙත් වත්මන් තත්ත්වයන් නැවත සමීක්ෂණයට ලක්කෙරෙමින් සෞඛ්‍ය ප්‍රධානීන් විසින් ගනු ලැබූ තීන්දු එක් කර තීරණ ගණනාවක් ගැණුනු බවද අමාත්‍යවරයා පෙන්වා දෙයි.රට යම් යම් සීමාවන් තුළ සිට ක්‍රමානුකූලව විවෘත කිරීම

    අත්‍යවශ්‍ය සාධකයක් වන බවද හෙතෙම පෙන්වා දුන්නේය. මෙරටට විදේශ විනිමය ලබා දෙන ප්‍රමුඛතම ක්ෂේත්‍රයක් ලෙස වාර්ෂිකව ඩොලර් මිලියන 4.5 ක් ලබා දෙන සංචාරක ක්ෂේත්‍රයට නීතියේ රාමුව හා සෞඛ්‍ය අංශ වල උපදෙස් මත පුරවැසි ආරක්ෂාව තහවුරු කරමින් ලබාදිය හැකි අවස්ථාවන් නිසි ලෙසින් ලබා දෙන බවද සෞඛ්‍ය අමාත්‍යවරයා මෙහිදී කීය.

    කොවිඩ් ව්‍යසනය මත ගනු ලබන තීන්දු තීරණ සංචාරක ක්ෂේත්‍රයට පමණක් නොව මෙරට ආර්ථිකයටද වැදගත් වන බව සංචාරක අමාත්‍යාංශයේ ලේකම් එස්.හෙට්ටිආරච්චි මහතා මෙහිදී කීය.

  • 2025දී ජල භීතිකාවෙන් තොර ශ්‍රී ලංකාවක්

    2025දී ජල භීතිකාවෙන් තොර ශ්‍රී ලංකාවක්

    අද සැප්තැම්බර් 28 ලෝක ජලභීතිකා දිනයයි. ‘දැනුම බෙදමු, බිය දුරලමු, ජලභීතිකාව වළකමු’ තේමා කරගනිමින් මෙවර ජලභීතිකා දිනය සමරන බව සෞඛ්‍ය අමාත්‍යාංශයේ සෞඛ්‍ය ප්‍රවර්ධන කාර්යාංශය පවසයි.

    ජලභීතිකාව මිනිසාට මෙන්ම සතුන්ට ද බෝවන වෛරස් රෝගයකි. වෛරසය ආසාදිත සතෙකුගේ ඛේටය මගින් පිටවන වෛරසය තවත් පුද්ගලයෙකුට ශරීරගත වීමෙන් රෝගය ආසාදනය වේ. සපාකෑම්, සීරීම්, කැඩුණු සම මත හෝ ශ්ලේෂ්මල පටල මත ඛේටය තැවරීමෙන් වෛරසය ආසාදනය විය හැකි බව සෞඛ්‍ය අමාත්‍යාංශයේ මහජන සෞඛ්‍ය පශු වෛද්‍ය සේවා අධ්‍යක්ෂ වෛද්‍ය එල්.ඩී. කිත්සිරි මහතා ප්‍රකාශ කරයි. ජලභීතිකාව මිනිසාට සම්ප්‍රේෂණය වන ප්‍රධාන වාහකය සුනඛයා ය. කඩිනම් සහ පලදායී එන්නත් මගින් රෝගය වළක්වාගත හැකි වුව ද රෝග ලක්ෂණ පහළ වූ පසු ජලභීතිකා රෝගය සතුන්ට මෙන්ම මිනිසුන්ට ද මාරාන්තික වීමට පිළිවන.

    1970 ගණන්වලදී ශ්‍රී ලං‍කාවෙන් වසරකට ජලභීතිකා මරණ 350 සිට 380 දක්වා වාර්තාවූ අතර දැන් එය 20- 30 දක්වා අඩුවි තිබේ. අඩුම ජලභීතිකා මරණ සංඛ්‍යාව වාර්තාවන්නේ 2014 වර්ෂයේදී ය. ඒ 19කි.  ලෝක සෞඛ්‍ය සංවිධානයේ ඇගයීමට අනුව  දී සුනඛ සපා කෑමෙන් සිදුවන මරණ 2025 ශ්‍රී ලංකාවෙන් තුරන් කළ හැකි බව වෛද්‍ය කිත්සිරි මහතා පෙන්වාදෙයි.

    ශ්‍රී ලංකාවේ වසරකට පුද්ගලයන් 300,000 ත් 350,000 ත් අතර සංඛ්‍යාවක් සුනඛ සපා කෑමෙන් රෝහල් ප්‍රතිකාර සඳහා යොමු වන අතර ජලභීතීකා මර්දන කටයුතු සඳහා රජය වාර්ෂිකව වැයකරන මුදල රුපියල් මිලියන 600කට අධික බව වෛද්‍යවරයා ප්‍රකාශ කරයි.

    ශ්‍රී ලංකාවෙන් ජලභීතිකා රෝගය තුරන් කිරීමට නම් සුනඛයින්ගෙන් සියයට 70කට ජලභීතිකා රෝගයට එරෙහි එන්නත් දීම කළ යුතුය. ඒ සඳහා සියලු සුනඛයින්ට සති 4-6 අතරේත්, නැවත මාස 03 දීත් හා ඉන් පසු වසරක් පාසාත් එන්නත් දිය යුතු බව වෛද්‍ය කිත්සිරි මහතා පවසයි.

    සැක සහිත සතෙකු සපාකෑ ස්ථානය ගලායන ජලයෙන් විනාඩි 10ක් සෝදා රෝහල්ගත කළ යුතුය. මානුෂීය ක්‍රම මගින් සුනඛ ගහනය පාලනය කිරීමෙන් හා වගකීමෙන් සුරතල් සතුන් ඇති කිරීමෙන් ජලභීතිකා රෝගය ශ්‍රී ලංකාවෙන් තුරන් කළ හැකි බව සෞඛ්‍ය ප්‍රවර්ධන කාර්යාංශ‍ය සඳහන් කරයි. ජලභීතිකා ‍රෝගය තුරන් කිරීමෙන් මිනිස් ජීවිත බේරා ගැනීමටත්, පශ්චාත් නිරාවරණ ප්‍රතිකාර සඳහා යන පිරිවැය ඉතිරි කර ගැනීමටත් හැකිවන බව ද සෞඛ්‍ය පශු වෛද්‍ය සේවා අධ්‍යක්ෂවරයා පෙන්වාදෙයි

  • කොවිඩ් වැළඳුණු විට ‘ස්නානය කිරීමෙන්‘ වැළකී සිටිය යුතු ද ?

    කොවිඩ් වැළඳුණු විට ‘ස්නානය කිරීමෙන්‘ වැළකී සිටිය යුතු ද ?

    කොවිඩ් ආසාදනය වී සිටිනා තැනැත්තන් ස්නානය කිරීම නුසුදුසුබව මේ දිනවල ඉතා වේගයෙන් පැතිරෙන මතයකි. කොවිඩ් වැළඳී සිටිය දී ස්නානය කිරීමෙන් රෝග තත්ත්වය උත්සන්න වන බව බොහෝ දෙනාගේ වැටහීම වන අතර, එසේ ස්නානය කළ නිසාවෙන් තමාට ද ශ්වසන අපහසුතා ඇතිවූ බව කොවිඩ් වැළඳුණු ඇතැම් රෝගීන් ප්‍රකාශ කරයි.

    සෙම්ප්‍රතිශ්‍යාව, උණ රෝග ආදිය වැළඳුනු විට ස්නානය කිරීම නුසුදුසු ය යන්න ශ්‍රී ලංකාවේ ජනවහරෙන් පැවත එන සාම්ප්‍රදායික විශ්වාසයකි. අපි මෙහි විද්‍යාත්මක පසුබිම විමසා බැලීමු.

    “කොවිඩ් රෝගය වැළඳුණු පුද්ගලයින් ස්නානය නොකළ යුතුදැ” යි යන ගැටලුව අප ශ්‍රී ලංකා වෛද්‍ය සංගමයේ හිටපු සභාපති, කොළඹ විශ්වවිද්‍යාලයීය වෛද්‍ය පීඨයේ මහාචාර්ය වෛද්‍ය ඉන්දික කරුණාතිලක වෙත යොමු කළෙමු. මෙහිදී මහාචාර්යවරයා අප හා සඳහන් කළේ එහි කිසිදු විද්‍යාත්මක සත්‍යයක් නොමැතිබව යි.

    “කොවිඩ් රෝගය වැළඳුනාම පිරිසිදුව සිටීමත් ඉතාම වැදගත්. (ස්නානය නොකර සිටීමට) කිසිදු විද්‍යාත්මක පදනමක් නැහැ. සමහර වෙලාවට, සංස්කෘතියේ අදහසක් තියෙනවනේ මෙන්න මේ වගේ අමාරු තියෙනකොට නාන්න හොඳ නෑ කියලා. මම හිතන්නේ ඒක වෙන්න ඇති මේ අදහසට ගොඩක් බලපාලා තියෙන්නේ,” ඔහු අප හා ප්‍රකාශ කළේ ය.

    මෙය මේ දිනවල ජනතාව විසින් නිතර විමසෙන ප්‍රශ්නයක් බව ද වෛද්‍යවරයා සඳහන් කළේ ය.

    “මෙතන දී අපට කියන්න තියෙන්නේ, හිතේ සැකයක් තියෙනවා නම්, මුලින් දවල් වෙලාවට හරි කමක් නෑ ටිකක් රස්නේ වතුර ටිකක් හරි නාලා, ඊට පස්සේ ටික ටික නාන්න පුරුදු වෙන්න කියන එක. මොකද ඇත්තටම මේක නිසා හමේ ආබාධ පවා ඇතිවූ රෝගීන් අපට හමුවෙනවා අපට ලැබෙන දුරකථන ඇමතුම් මඟින්. රෝගය පාලනය කිරීමට මහජන සෞඛ්‍යය පැත්තෙන් ගත්තොත් අපට කියන්න තියෙන්නේ එක පණිවිඩයක් – පිරිසිදුව සිටීම මෙම රෝගය පාලනයකර ගැනීමටත් සුවකර ගැනීමටත් ඉතාම වැදගත් කියන එක.”

    Prof. Indika Karunathilaka
    කොළඹ වෛද්‍ය විද්‍යාලයයේ මහාචාර්ය ඉන්දික කරුණාතිලක

    “දැඩි සත්කාර ඒකකවල ඉන්න රෝගීන්වත් නාවනවා”

    කොවිඩ්වලින් රෝගීව සිට සුව අතට හැරුණු ඇතැමුන්ගේ අත්දැකීම් විමසද්දී රෝගය වැළඳී තිබූ කාලසීමාව තුළත්, ඇතැම්විට ඉන් පසුවත් ස්නානය කිරීමෙන් අනතුරුව ශ්වසන අපහසුතා ඇතිවූබව ප්‍රකාශ විය. කොවිඩ් සමයේ දී ස්නානය කිරීම මඟින් නියුමෝනියා තත්ත්වයක් පවා ඇතිවිය හැකියැ යි මතයක් ද සමාජයේ පැතිර ඇතිබවක් පෙනේ. ජාතික මහ රෝහලේ ශ්වසන විශේෂඥ වෛද්‍ය ආර්. ආශා සමරනායක මෙවැනි අපහසුතා ඇතිවිය හැකි අයුරු අප වෙත පැහැදිලි කළා ය.

    “ඒක විද්‍යාත්මක නැහැ. සිංහල වහරේ මතයක් තියෙනවනේ නියුමෝනියාවට නාන්න එපා කියලා, ඔය සිංහල බෙහෙත් බොනකොට නාන්න එපා කියලා. එහෙම ආපු මතයක් වගේ දෙයක් තමයි ඔය නෑම ගැන තියෙන අනියත බය.”

    “හැබැයි ඉතාම කලාතුරකින් කෙනෙක් ඉන්න පුළුවනි ගොඩක් තද පීනස පාලනය නොවෙච්ච, බෙහෙත් නොගෙන, එහෙම නැත්නම් තදට ඇදුම තියෙන අය. සාමාන්‍යයෙන් ඇඟේ උෂ්ණත්වය චුට්ටක් අඩු වුණාම, නුවරඑළිය පැත්තේ වගේ සීතල වතුර නෑවම කැස්ස එන්න පුළුවන් ගතියක් තියෙනවා. ඒකෙන් කියන්නේ නෑ නියුමෝනියාවට එනවා කියලාවත්, ඇදුම යි පීනස යි දරුණු වෙනවා කියලාවත්. පොඩි වෙලාවක් තමයි එහෙම වෙන්නෙත්, අපේ ශරීර උෂ්ණත්වය සාමාන්‍ය වෙනකල්… නෑවම අමාරු වෙනවා කියන එක වැරදි මතයක්,” විශේෂඥ වෛද්‍යවරිය විස්තර කළා ය.

    කොවිඩ් උත්සන්න වෙතැ යි බියෙන් ‘සීතල එළවළු’ ආහාරයට නොගැනීම ද පදනම් විරහිතබව වෛද්‍ය සමරනායක පැහැදිලිකර දුන්නේය.

    “මිනිස්සු ‘සෙම එනවා’ කියලා ගොඩක් වෙලාවට කියන්නේ අසාත්මික පීනස වගේ රෝගී තත්ත්වයන්ට. ඕවයේ දී, අසාත්මිකතාව ඇති කරන මූලයක් තියෙනවා. ඒ කියන්නේ, සමහරුන්ට කිරි බිව්වම ‘සෙම’ වැඩිවෙනවා. ඒක ඇත්ත. ඊළඟට ඔය වම්බොටු, බන්ඩක්කා කෑවම, සමහරුන්ට බිත්තර, යෝගට් කෑවත් එහෙම වෙනවා. හැබැයි හැමෝටම නෙවෙයි. අසාත්මික පීනස’ කියන එක නෙවෙයිනේ කොවිඩ් නියුමෝනියාව කියන්නේ. ඒක වෙනම දෙයක්. මේක ඔය ‘සෙම’ ගණයට වැටිච්ච දෙයක් නෙවෙයි, මේක විෂබීජයකින් එන නියුමෝනියාවක්. එයට කෑමේ හෝ නෑමේ කිසිම සම්බන්ධයක් නැහැ.”

    ස්ථීර නවාතැන් නොමැති 308 දෙනෙක් නීරෝධායනයට
    කොවිඩ් රෝගය වැළඳුනාම පිරිසිදුව සිටීමත් ඉතාම වැදගත්.

    ඕනෑම රෝගයක් සුවවීමටත්, මානසික සෞඛ්‍ය යහපත්ව පවත්වා ගැනීමටත් පිරිසිදුව සිටීම ඉතාම වැදගත්බව වෛද්‍ය සමරනායක අවධාරණය කළා ය.

    “දැන්, නෑවම අපට එනවනේ නැවුම් බවක්? ඒකත් උද්දීපනයක් අපට සනීප වෙන්න,” ඇය පවසයි.

    දැඩි සත්කාර ඒකකවල සිටිනා රෝගීන් පවා ස්නානය කරවන්නේ නම්, කොවිඩ් වැළඳුණු රෝගියෙකු පිරිසිදු වීමෙන් වැළකීමට හේතුවක් නැතැ යි ඇය පැහැදිලි කළා ය.

    “ඇඳෙන් බහින්න බැරි රෝගියෙක් ඉන්නවා නම්, මඳ රස්නේ වතුර ටිකකින් පිරිසිදු රෙදි කැබැල්ලක් හරි තුවායක් හරි පොඟවලා, මිරිකලා රෝගියා පිසදාගන්න පුළුවන් නේ… අපි ICUවල එහෙමනේ රෝගීන්ව නාවන්නේ, පිරිසිදුව තියන්න. අපි දැඩි සත්කාර ඒකකයේ රෝගීන්වත් ඒ විදියට නාවනවා… කිසිදු තත්ත්වයක දී නොනා තියන්නේ නැහැ. අපට එයාලා නාවන්න ගෙනියන්න බැරි නිසා තමයි අර විදියට පිරිසිදු කරන්නේ.”

    “හුඟක් ලෙඩ්ඩු කියන්නේ, “අනේ මැඩම් මාසෙකින්ම නෑවේ නෑ” කියලා. මානසිකව ලොකූ ප්‍රශ්නයක් එයාලට ඒක. ඒ කියන්නේ, එයා ලෙඩෙක් කියන හැඟීම තහවුරු කරලා දෙනවා නෑවේ නැති වුණාම.”

    බී.බී.සී සන්දේශය ඇසුරින් සම්පූර්ණයෙන් උපුටා ගන්නා ලදි.

  • කොවිඩ් එන්නත මගින් ‘මද සරුභාවය හෝ වඳභාවය‘ සිදු නොවන බව අවධාරණය කෙරේ

    කොවිඩ් එන්නත මගින් ‘මද සරුභාවය හෝ වඳභාවය‘ සිදු නොවන බව අවධාරණය කෙරේ

    ප්‍රජනක සෞඛ්‍ය සම්බන්ධයෙන් මතුවන ගැටලු සහ එන්නත්කරණය අතර කිසිම සම්බන්ධයක් නැතැයි සෞඛ්‍ය අමාත්‍යංශයේ පවුල් සෞඛ්‍ය කාර්යංශයේ අධ්‍යක්ෂ ප්‍රජා සෞඛ්‍ය විශේෂඥ වෛද්‍ය චිත්‍රමාලී ද සිල්වා මහත්මිය අවධාරණය කළාය.

    ඇය මේ බව සදහන් කළේ ‘ එන්නත්කරණයට එරෙහි මතවාද පරාජය කරමු‘‘ යන මැයින් අද (27) රජයේ ප්‍රවෘත්ති දෙපාර්තමේන්තුවේදී පැවති මාධ්‍ය සාකච්ඡාවේදීය.

    ප්‍රජනක සෞඛ්‍ය සම්බන්ධයෙන් මතුවන ගැටලු සහ එන්නත්කරණය අතර කිසිදු සම්බන්ධයක් නොමැති බවත් එන්නත් නිසා මදසරුභාවය වද භාවයට පත්වෙතැයි සමාජයේ පවතින ඇතැම් මත වලට කිසිදු විද්‍යාත්මක පදනමක් නොමැති බවද චිත්‍රමාලීද සිල්වා මහත්මිය කියා සිටියාය.

    කොවිඩ් එන්නත ලබා ගැනීම සම්බන්ධයෙන් ඇතැම් තරුණයින් බියක් දැක්වීම ගැන විශේෂයෙන් කරුණු සදහන් කළ සිල්වා මහත්මිය අවධාරණය කර සිටියේ මිත්‍යා විශ්වාසවලට රැවටී තම ජීවිතය සහ අන්‍යයන්ගේ ජීවිත අවදානමේ හෙළිමට තරුණයින් යොමු නොවිය යුතු බවයි.

  • ‘මිත්‍යා මතවලට නොරැවටී නොපමාව කොවිඩ් එන්නත ගන්න’ – විශේෂඥ වෛද්‍යවරු අවවාද කරති

    ‘මිත්‍යා මතවලට නොරැවටී නොපමාව කොවිඩ් එන්නත ගන්න’ – විශේෂඥ වෛද්‍යවරු අවවාද කරති

    එන්නත්කරණයට විරුද්ධව ඇතැම් පිරිස් වානිජ අරමුණු ඇතිව ප්‍රචලිත කරන  මිත්‍යා දුර්මතවලට මතවලට හසු නොවී ඉඩ ලද පළමුවරම කොවිඩ් මර්දන එන්නත ගන්නා ලෙස කොළඹ විශ්වවිද්‍යාලයේ වෛද්‍ය පීඨයේ ප්‍රජා වෛද්‍ය විද්‍යාව පිළිබඳ මහාචාර්ය මංජු වීරසිංහ මහතා තවමත් එන්නත නොගත් තරුණ ප්‍රජාවගෙන් ඉල්ලා සිටී.

    එන්නත්කරණය නිසා ලිංගික බෙලහීනතාව සහ මඳ සරුභාවය ඇති වන බවට ඇතැමෙක් කරන ප්‍රකාශවලට කිසිදු විද්‍යාත්මක පදනමක් නැතැයි පෙන්වාදෙන මහාචාර්යවරයා විද්‍යාත්මකව තහවුරු නොකළ එවැනි ප්‍රබන්ධ කතාවලට හසු නොවී බුද්ධිමත්ව කටයුතු කිරීම මගින් පුද්ගලයා මෙන්ම රට ද ආරක්ෂා වන බව පවසයි.

    කොවිඩ් මර්දන එන්නත්කරණ වැඩසටහන කඩාකප්පල් කරනු පිණිස විවිධ වේදිකා ඔස්සේ ප්‍රචලිත කෙරෙන දුර්මත විද්‍යාත්මකව විභාග කිරීම සඳහා රජයේ ප්‍රවෘත්ති දෙපාර්තමේන්තුව සංවිධාන කළ මාධ්‍ය සාකච්ඡාවේදී මහාචාර්යවරයා මේ බව සඳහන් කළේය. සාකච්ඡාව අද (27) රජයේ ප්‍රවෘත්ති දෙපාර්තමේන්තු ශ්‍රවණාගාරයේදී පැවැත්විණි.

    එන්නත් ගැනීම නිසා වයස අවුරුදු 60 වැඩි ජනයා අතර කොවිඩ් 19මරණ අනුපාතය අඩු කර ගැනීමට හැකි වී තිබේ. එබැවින් තරුණ ප්‍රජාවගේ ද ජීවිත රැක ගැනීමට ක්‍රියාත්මක එන්නත්කරණ වැඩපිළිවෙල අක්‍රීය නොකරන්නැයි වෛද්‍ය ක්‍රම ප්‍රචලිත කිරීමේ මුවාවෙන් දුර්මත පතුරුවන්නන්ගෙන් වීරසිංහ මහතා ඉල්ලීමක් කළේය.

    ඊයේ (26) වන විට මිලියන 12කට ආසන්න සංඛ්‍යාවකට කොවිඩ් 19 මර්දන මාත්‍රා දෙකමදී තිබේ. දෙවන මාත්‍රාවදීමට ඇත්තේ පළමු මාත්‍රාව දුන් පිරිසෙන් මිලියන 2.2කට ය. ශ්‍රී ලංකාවේ පමණක් නොව මුළු ලෝකයේ ම කොවිඩ් 19 පාලනයට ඇති හොඳම විසඳුම එන්නත්කරණයයි.

    මහාචාර්යවරයා පෙන්වාදෙන පරිදි බෝවන රෝගවලට එරෙහිව එන්නත්කරණය පිළිබඳ පනතක් මුලින්ම ගෙන ආවේ 1853 බ්‍රිතාත්‍යයේ පාර්ලිමේන්තුව විසිනි. ඒ වසූරිය රෝගය මර්දනය සඳහාය. වසර 170ක කාලයක සිට එන්නත්කරණයට එරෙහි පාර්ශව ඉදිරිපත් කරන්නේ එකම තර්ක කිහිපයකි. ඒ එන්නතින් පලක් නැති බව, සෞඛ්‍යයට අහිතකර දේවල් තිබිය හැකි බව හා බටහිර වෛද්‍ය විද්‍යාවේ අධිපතිවාදය රට භාරගත නොයුතුය වැනි අදහස් ඉන් කියැවෙයි. 1885 දී ජලභීතිකා රෝගයටත්, 1920 දී ගලපටලයටත් එන්නත් හඳුන්වාදුන් අතර 1949-1955 කාලය තුළ ද එන්නත් කිහිපයක් හඳුන්වාදී තිබේ. එන්නත්කරණය නිසා රෝග රැසක් අවම මට්ටමකට ගෙන ඒමට හැකි වීමෛන් බෝවන රෝග සඳහා ප්‍රබලම ප්‍රතිකර්මය සහ තීරණාත්මක සාධකය එන්නත්කරණය බව ඔප්පු වී තිබේ.

    කොරෝනා රෝගීන්ගේ මරණ අනුපාතය සහ රෝගීන් සංඛ්‍යාව අඩුවීමට එන්නත්කරණය ඉවහල් වූ බව සාකච්ඡාවට එක්වූ හෝමාගම කොවිඩ් 19 ප්‍රතිකාර තෘතීයික රෝහලේ විශේෂඥ වෛද්‍ය එරංග නාරංගොඩ මහතා ප්‍රකාශ කළේය. ප්‍රතිශක්තිය සම්පූර්ණයෙන් ඇතිවීමට එන්නත් මාත්‍රා දෙකම ගෙන මාසයක් ගතවිය යුතුය. නියමිත කාලය සම්පූර්ණ නොකළහොත් එන්නත් ගත්ත ද අසාධ්‍ය තත්ත්වයට හෝ මරණයට පත්වීමට ඉඩ තිබේ. එන්නත් වර්ග අනුව වැඩි ප්‍රතිශක්තිය ලැබෙන බවට ජනතාව අතර පවතින මතය අසත්‍යයක් බවත් ලෝක සෞඛ්‍ය සංවිධානය අනුමත කර ඇති එන්නත් වර්ග 08 ම එක හා සමාන ප්‍රතිශක්තියක් දෙන බවත් වෛද්‍යවරයා පැහැදිලි කළේය. ෆයිසර් එන්නත අනුමත කර ඇත්තේ වයස අවුරුදු 12ත් 18ත් අතර ළමුන්ට පමණි. වයස අවුරුදු 18 ට වැඩි සියල්ලන්ට ඕනෑම එන්නතකින් එක හා සමාන ප්‍රතිශක්තියක් ලැබේ.

    දකුණු ආසියාතික රටවල් අතරින් ළදරු මරණ සංඛ්‍යාව අඩුම රට බවට ශ්‍රී ලංකාවේ පත්ව ඇත්තේ නියමිත කාලවලදී දරුවන්ට එන්නත්දීම නිසා යැයි පවුල් සෞඛ්‍ය කාර්යාංශයේ අධ්‍යක්ෂිකා ප්‍රජා වෛද්‍ය විශේෂඥ චිත්‍රමාලි ද සිල්වා මහත්මිය පැවසුවාය. 1961 වර්ෂයේදී දරුවන්ට එන්නත් දීම ආරම්භ කළ ද දීපව්‍යාප්තව සිදුකළේ 1978 වර්ෂයේදී ය. දරුවන්ට කලින් කලට රෝග වැළඳීමට ඇති ඉඩකඩ පරීක්ෂා කර එයට නියමිත කාලයේදී එනනත්දීම නිසා ළදරු පමණ සංඛ්‍යාව අඩු කර ගැනීමට හැකියාව ලැබෙන බවත් කොව්ඩ් 19 එන්නත වයස අවුරුදු 12 ට අඩු ළමුන්ට දීමට ලෝක සෞඛ්‍ය සංවිධානය නිර්දේශ කර නැති බවත් විශේෂඥ වෛද්‍යවරිය පෙන්වා දුන්නාය.

  • ආණ්ඩුවේ මිල පාලනයෙන් ‘හොද්ද බොර වුණේ කාගෙද ?‘ සුපිරි හෙළිදරව්වක්

    ආණ්ඩුවේ මිල පාලනයෙන් ‘හොද්ද බොර වුණේ කාගෙද ?‘ සුපිරි හෙළිදරව්වක්

    මෙතෙක් ක්‍රියාත්මක් වූ අඩු දඩමුදල් පවා වැරදි කරනු ලබන වෙළෙදුන්ගෙන් අය කර ගැනීමට නැතිනම් ඔවුන් නීතිය හමුවට පැමිණවීමට පාරිභෝගික කටයුතු අධිකාරියේ විමර්ශණ නිලධාරීන් කටයුතු කළේ නැත. එසේ තිබියදී දඩ මුදල් වැඩි කිරීමෙන් සිදුවනුයේ පාරිභෝගික අධිකාරියේ නිලධාරීන්ගේ මඩිය තරවීම පමණක් වන බව අප සංවිධානයේ අදහසයි.

    පාරිභෝගික කටයුතු අධිකාරී පනත සංශෝධනය කරන එම නීති කඩකරන ව්‍යාපාරිකයින්ට පනවන දඩමුදල් වැඩි කිරීමෙන් සිදුවනුයේ පාරිභෝගික අධිකාරියේ නිලධාරීන්ගේ මඩිය තරවීම පමණක් වන බව පාරිභෝගික අයිතීන් සුරැකීමේ ජාතික ව්‍යාපාරය නිවේදනයක් නිකුත් කරමින් කියයි. පාරිභෝගිකයාට  මාධ්‍ය සංදර්ශන නොදමා භාණ්ඩ මිල අඩු කර සහනයක් ලබාදෙන තම සංවිධානය රජයට අවධාරණය කරන බව ද එම නිවේදනයේ වැඩි දුරටත් සදහන් වේ.

    එම මාධ්‍ය නිවේදනය සම්පූර්ණයෙන්ම පහත දැක්වේ.

    2021/09/22 දින සිට 2003 අංක 9 දරණ  පාරිභෝගික කටයුතු අධිකාරී පනතට  නව සංශෝධනයක් එකතු කර ඇත. එමගින් නීති කඩකරන වෙළදුන් සදහා වන දඩ මුදල් වැඩි කර ඇත.

    2003 අංක 9 දරණ පාරිභෝගික කටයතු අධිකාරී පනත අනුව පළමුවරට වරදක් කරනු ලබන වෙළෙන්දෙකු සදහා පනවන  අවම දඩ මුදල රුපියල් පන්දාහක්  ක් වන අතර උපරිම දඩ මුදල රුපියල් පනස් දහසකි. එම වරද කරනුයේ සංස්ථාවක් වන විටදී එම සංස්ථාව පළමුවරට වරදක් කරනු ලබයි නම් අවම දඩ මුදල රුපියල් පනස්දහසක්  වන අතර උපරිම දඩමුදල වන්නේ රුපියල් දස ලක්ෂයකි.

    වෙළෙන්දෙකු විසින් ඉන් පසුව  කරනු ලබන වරදක් සදහා පනවන  අවම දඩ මුදල රුපියල් දසදහසක් වන අතර උපරිම දඩමුදල රුපියල් ලක්ෂයකි. සංස්ථාවක් ඉන්පසුව කරනු ලබන වරදක් සදහා පනවනු  ලබන අවම දඩ මුදල රුපියල් ලක්ෂයක් වන අතර උපරිම දඩ මුදල රුපියල් දසලක්ෂකි.

    2021 අංක 20 දරණ පාරිභෝගික කටයුතු අධිකාරී (සංශෝධන ) පනත අනුව පළමු වරට වරදක් කරන ලබන කඩහිමියෙකු සදහා අයකරන ලබන අවම දඩමුදල රුපියල් ලක්ෂයක් වන අතර  උපරිම දඩමුදල ලක්ෂ පහකි. සංස්ථාවක් පළමුවරට සිදු කරනු ලබන වරදක් සදහා  පනවන  දඩමුදල රුපියල් ලක්ෂ  පහක් වන අතර උපරිම දඩමුදල රුපියල් ලක්ෂ පනහකි. වෙළෙන්දකු විසින් ඉන්පසුව කරන ලබන වරදක් සදහා පනවන අවම දඩ මුදල රුපියල්  ලක්ෂ දෙකක් වන අතර උපරිම දඩමුදල ලක්ෂ දහයකි. එම තැනැත්තා සංස්ථාවක් වන විටදී පනවන දඩමුදල රුපියල් ලක්ෂ දහයක් වන අතර උපරිම දඩමුදල රුපියල් ලක්ෂ සියයකි.

    මෙසේ දඩ මුදල් වැඩි කිරීම මගින් පාරිභෝගිකයාට සහනයක් ලැබෙනවා නම්  නම් අප ඉතාමක් කැමැති අතර මෙතෙක් ක්‍රියාත්මක් වූ අඩු දඩමුදල් පවා වැරදි කරනු ලබන වෙළෙදුන්ගෙන් අය කර ගැනීමට නැතිනම් ඔවුන් නීතිය හමුවට පැමිණවීමට පාරිභෝගික කටයුතු අධිකාරියේ විමර්ශණ නිලධාරීන් කටයුතු කළේ නැත. එසේ තිබියදී දඩ මුදල් වැඩි කිරීමෙන් සිදුවනුයේ පාරිභෝගික අධිකාරියේ නිලධාරීන්ගේ මඩිය තරවීම පමණක් වන බව අප සංවිධානයේ අදහසයි.

    කෙසේ වෙතත් මේ වන විටත් අත්‍යාවශ්‍ය භාණ්ඩ සදහා වන පාලන මිල ක්‍රියාත්මක වන්නේ නැති අතර එය ක්‍රියාත්මක කරන බවක්ද පෙනෙන්නට නැත. ජනතාව පෙන්වා දෙන අකාරයට මේ රජයේ මිල සූත්‍රය අමුතුම ආකාරයේ එකකි එනම් එය ‘’ භාණ්ඩ සැගවීම+ භාණ්ඩ සෙවීම = භාණ්ඩ මිල වැඩි කිරීම.’’ එය අමුතුම ආකාරයේ මිල සූත්‍රයකි. කහ, සීනි  ගෑස් තිරිගු  පිටි පරිප්පු සහල් සහ වෙනත් ආහාර ද්‍රව්‍ය  සදහා එම මිල සූත්‍රය හොදින් ක්‍රියාත්මක වන අකාරය අපට දැක ගතහැකි විය. පාරිභෝගික අධිකාරිය වැටලීම් කර ගබඩාවලට සීල් තබා පසුව හොර රහසේ එම සීල්තැබූ ගබඩාවේ යතුර අදාල ව්‍යාපාරිකයාට දෙනු ලබයි. ඔහු කඩිමුඩියේ ගබඩාවේ ඇති භාණ්ඩ ඉවත් කරනු ලබයි.

    පාරිභෝගිකයාට  මාධ්‍ය සංදර්ශන නොදමා භාණ්ඩ මිල අඩු කර සහනයක් ලබාදෙන අපි රජයෙන් ඉල්ලා සිටිමු.

  • ‘චීන දුරකතන වීසිකර දමනු‘ බටහිර රැල්ලට ලිතුවේනියාවත් එක් වුණේ ඇයි ?

    ‘චීන දුරකතන වීසිකර දමනු‘ බටහිර රැල්ලට ලිතුවේනියාවත් එක් වුණේ ඇයි ?

    පාරිභෝගිකයින් සිය චීන දුරකථන වීසිකර දමා, නව චීන දුරකථන මිල දී ගැනීමෙන් ද වැළකිය යුතුයැ යි ලිතුවේනියානු ආරක්ෂක අමාත්යංශය අනතුරු අඟවා ඇත.

    චීන සමාගම්වලින් නිෂ්පාදිත 5G තාක්ෂණය සහිත දුරකථන පරීක්ෂා කළ එරට ජාතික සයිබර් ආරක්ෂණ මධ්‍යස්ථානය විසින් නිකුත්වූ වාර්තාවක් මෙයට හේතු වී තිබේ.

    එක් Xiaomi දුරකථනයක් නිපදවද්දීම එහි වාරණ මෙවලම් අන්තර්ගත කර තිබූ බවත්, තවත් Huawei දුරකථන මාදිලියක ආරක්ෂක දෝෂ සහිත බවත් එම වාර්තාවේ සඳහන් විය.

    නමුත් තමා පරිශීලක තොරතුරු පිටතට ලබා නොදෙන්නේයැ යි Huawei ආයතනය පවසන අතර, Xiaomi පවසන්නේ තමා සන්නිවේදන කටයුතු වාරණය නොකරන බව යි.

    “අපෙ නිර්දේශය තමයි අලුතෙන් චීන දුරකථන ගන්න එපා කියන එක. ඒ වගේම දැනටම තමා ළඟ තියෙන චීන ෆෝන් හැකිතාක් ඉක්මනින් ඉවත් කරන්න කියන එක,” නියෝජ්‍ය ආරක්ෂක ඇමති මාර්ජරිස් අබුකෙවිකස් ප්‍රකාශ කළේ ය.

    වාරණය

    Xiaomiහි ප්‍රමුඛ දුරකථනයක් වන Mi 10T 5G ස්මාට් දුරකථනවල “Free Tibet” (ටිබෙටය නිදහස් කරනු), “Long live Taiwan independence” (තායිවානයේ ස්වෛරීභාවය දිගුකල් දිනේවා), හෝ “democracy movement” (ප්‍රජාතන්ත්‍රවාදී ව්‍යාපාරය) ආදී යෙදුම් හඳුනාගෙන, ඒවා වාරණය කිරීමට හැකියාව ඇති මෘදුකාංග අන්තර්ගත බව අනාවරනය වුණැ යි වාර්තාව සඳහන් කරයි.

    එම වාර්තාව, Xiaomi ජංගම දුරකථනයේ පෙරනිමි අන්තර්ජාල බ්‍රවුසරය ද ඇතුළු පද්ධති මෘදුකාංග මඟින් වාරණය කරනු හැකි යෙදුම් 449කට වැඩි ගණනක් ඉස්මතුකර දක්වයි.

    යුරෝපයේ දී එම දුරකථන මාදිලිවල මෙම හැකියාව අක්‍රීයකර ඇති නමුදු, එය ඕනෑම වේලාවක දුරස්ථව සක්‍රීය කළ හැකිබව මෙම වාර්තාවෙන් තර්ක කරයි.

    Xiaomiහි මාධ්‍ය ප්‍රකාශිකාවක් BBC වෙත පැවසුවේ, “Xiaomi උපාංගයන් සිය පරිශීලකයින් විසින් හෝ ඔවුන් වෙත සිදුකෙරෙන කිසිදු සන්නිවේදනයක් වාරණය නොකරනබව” යි. “Xiaomi සිය ස්මාට්ෆෝන් භාවිත කරන්නන්ගේ සෙවුම්, ඇමතුම්, අන්තර්ජාල ගවේශන, හෝ තෙවන පාර්ශවීය සන්නිවේදන මෘදුකාංග භාවිතය වැනි කිසිදු පුද්ගලික හැසිරීමක් කිසි විටෙකත් සීමාකර හෝ අවහිරකර හෝ නැති අතර, ඉදිරියේ දීත් එසේ නොකරනු ඇති.”

    සිය සමාගම යුරෝපීය සංගමයේ ‘මහජන තොරතුරු ආරක්ෂා කිරීමේ රෙගුලාසීන්ට’ අනුකූලව කටයුතු කරන්නේයැ යි ද ඇය ප්‍රකාශ කළා ය.

    Xiaomi දුරකථනය එහි භාවිතයට අදාළ දත්තයන් සංකේතනය කර සිංගප්පූරුවේ සර්වරයක් වෙත යවන බව ද මෙම පර්යේෂණය මඟින් අනාවරනය කරගෙන ඇත.

    “මේක ලිතුවේනියාවට විතරක් නෙවෙයි, Xiaomi උපකරණ භාවිත කරන සෑම රටකටම වැදගත් වෙනවා,” යැයි සයිබර් ආරක්ෂණ මධ්‍යස්ථානය ප්‍රකාශ කළේ ය.

    මිලෙන් අඩු ජංගම දුරකථන මාදිලි නිපදවීම හේතුවෙන් ජනප්‍රියත්වයේ ඉහළම හිණිපෙත්තට පැමිණ ඇති Xiaomi සමාගම, ගිය වසරට සාපේක්ෂව මෙවසරේ දෙවැනි කාර්තුවේ දී 64%ක ආදායම් වර්ධනයක් පෙන්නුම්කර තිබේ.

    Huawei P40

    පරිශීලකයින් සයිබර් ආරක්‍ෂණ බිඳවැටුම්වලට ලක්වීමේ අවදානමේ හෙළිය හැකි අඩුපාඩුවක් Huawei P40 5G දුරකථනයේ ද ඇතැ යි මෙම වාර්තාව මඟින් පෙන්වා දෙනු ලැබුණි.

    “Huaweiහි නිල යෙදුම් ස්ටෝරුව වන AppGallery සිය පරිශීලකයින්ව තෙවන පාර්ශවීය ඊ-ස්ටෝරු වෙත යොමු කරයි. මේ ඊ-ස්ටෝරුවල අඩංගු ඇතැම් මෘදුකාංගවල වෛරස් අඩංගු බවත්, ඇතැම් මෘදුකාංග පරිශීලක දත්ත සොරාගත හැකි හෝ උපාංගයට හානි සිදුකළ හැකි අන්දමේ ඒවා බවත්, ප්‍රතිවෛරස උපාංග මඟින් තුලනය කර තිබේ,” යි ලිතුවේනියානු ආරක්ෂක අමාත්‍යංශය සහ ජාතික සයිබර් ආරක්ෂණ මධ්‍යස්ථානය විසින් නිකුත්කෙරුණු ඒකාබද්ධ ප්‍රකාශයක දැක්විණි.

    Huaweiහි ප්‍රකාශකයෙකු BBC වෙත කියා සිටියේ, සිය ආයතනය එය ක්‍රියාත්මක වන රටවල නීති හා රෙගුලාසිවලට අනුකූලව කටයුතු කරන අතරම, සයිබර් ආරක්‍ෂාව සහ පෞද්ගලිකත්වයට ප්‍රමුඛත්වය ලබාදෙන බව යි.

    “Huawei උපාංගයන්ගෙන් පිටත දී එහි දත්ත සැකසෙන්නේ නැහැ,” ඔහු වැඩි දුරටත් සඳහන් කළේ ය.

    “අනෙකුත් යෙදවුම් ස්ටෝරු මෙන්ම AppGallery ද එකතු කරන්නේත්, සකසන්නේත් සිය ගනුදෙනුකරුවන්ට තෙවන පාර්ශවීය යෙදුම් සෙවීමට, ස්ථාපනය කිරීමට, සහ කළමනාකරණය කිරීමට ඉඩ සැලසීම සඳහා අවශ්‍ය දත්ත පමණ යි.”

    පරිශීලකයන් බාගත කරන්නේ “ආරක්‍ෂිත යෙදුම්” පමණක් බව සහතික කිරීමට Huawei සමාගම ආරක්ෂක පරීක්ෂාවන් ද සිදු කරනබව ඔහු පැවසීය.

    OnePlus සමාගම විසින් නිපදවුණු 5G දුරකථන මාදිළියක් ද මෙම කණ්ඩායම පරීක්‍ෂා කළ නමුත්, එහි කිසිදු ගැටලුවක් නොමැතිබව ඔවුන් සොයාගත්තේ ය.

    මෙම වාර්තාව නිකුත්වූයේ ලිතුවේනියාව සහ චීනය අතර සබඳතාවේ පලුදුවීම් ඉහළ යමින් පවතින සමයක යි.

    පසුගිය මාසයේ දී චීනය, ලිතුවේනියාව සිය තානාපතිවරයා බීජිං නගරයෙන් ඉවත්කර ගත යුතුයැ යි නියෝග කළ අතර, සිය නියෝජිතයින් ලිතුවේනියානු අගනුවර වන විල්නියස් නගරයෙන් ඉවත්කර ගන්නා බව ද පැවසුවේ ය.

    මෙම කලහය ඇරඹුණේ, තායිවානය ලිතුවේනියාවේ පිහිටි සිය තානාපති ආයතන “තායිවාන නියෝජිත කාර්යාලයය” යනුවෙන් හැඳින්වෙනු ඇතැ යි නිවේදනය කිරීමත් සමග ය.

    චීනය තායිවාන දූපත සිය බලප්‍රදේශයක් ලෙස හඳුන්වා ගන්නා බැවින් එහි නම භාවිතයෙන් වැලකීම සඳහා, යුරෝපයේ සහ ඇමරිකා එක්සත් ජනපදයේ පිහිටි අනෙකුත් තායිවාන තානාපති කාර්යාලයයන් ඒවායේ නමට එහි අගනුවර වන “තායිපේ” යන්න යොදාගනියි.

    Text by bbc sandesaya

  • සමලිංගික කාන්තාවන්ගේ මේ තරම් වැඩිවෙන්නේ ඇයි ? සුපිරි හෙළිදරව්ව

    සමලිංගික කාන්තාවන්ගේ මේ තරම් වැඩිවෙන්නේ ඇයි ? සුපිරි හෙළිදරව්ව

    ලිංගිකත්වය ගැන අප සිතන ආකාරය වෙනස් වෙමින් පවතී. එකල සමලිංගිකත්වය පිළිඹිබු කරන අභිමානවත් ප්‍රසිද්ධ දේදුනු ධජයක් තිබූ තැන අද විවිධත්වය විදහා දැක්වීම සඳහා විචිත්‍ර ධජ මාලාවක් දැකිය හැකිය.

    මිනිසුන් තම ලිංගිකත්වය ගැන සාකච්ඡා කිරීමට වැඩි වැඩියෙන් විවෘත වන බවක් පෙනෙන්නට ඇත. කලින් “නොපෙනී” සිටි අය පවා අනන්‍යතාව හෙළි කරමින් ප්‍රධාන ධාරාවේ කතිකාවක කොටසක් බවට පත් වීමත් සමග මෙය තවත් සාම්ප්‍රදායික මට්ටමෙන් එහාට ගොස් තිබේ.

    විවෘත සංවාදයත් සමඟ ලිංගික අනන්‍යතාවන් දැඩි බවෙන් මිදී ‘සරල මාතෘකාවක්’ බවට පත්වෙමින් තිබේ.

    නමුත් නව දත්ත වලින් පෙනී යන්නේ මේ වෙනස එක් කණ්ඩායමක් තුළ බහුලව පවතින බවය:

    බොහෝ රටවල කාන්තාවන් අතීතයේ පැවති තත්වයට වඩා වැඩි වේගයකින් ලිංගිකත්වය සරල මාතෘකාවක් ලෙස වැළඳගෙන සිටින අතර, එය සමස්තයක් වශයෙන් පුරුෂයන්ට වඩා සැලකිය යුතු ලෙස වැඩි ය.

    ඉතින්, මෙම වෙනසට හේතු මොනවාද? ප්‍රවීණයන් විශ්වාස කරන්නේ මෙම ප්‍රගතිය කෙරෙහි බලපාන සාධක රාශියක් ඇති බවය. විශේෂයෙන් සාම්ප්‍රදායික ස්ත්‍රී පුරුෂ සමාජභාවයේ භූමිකාවන් සහ අනන්‍යතාවන්ගෙන් මිදීමට කාන්තාවන්ට ඉඩ සලසන සමාජ වාතාවරණය මෙයට හේතු වී තිබේ.

    කෙසේ වෙතත්, මෙම නව අවබෝධයත් සමඟ පවතින ගැටලුව වන්නේ අනාගතයේදී ස්ත්‍රී පුරුෂ සියලුදෙනාට මෙම ලිංගික සරල බවින් කුමක් අදහස් වේද යන්නයි.

    සැලකිය යුතු මාරුවක්

    නිව් යෝර්ක්හි ‘බිංග්හැම්ටන්’ මානව ලිංගික පර්යේෂණාගාරයේ ෂෝන් මැසේ සහ ඔහුගේ සගයන් දශකයක පමණ කාලයක සිට ලිංගික හැසිරීම් අධ්‍යයනය කරමින් සිටිති.

    ඔවුන්ගේ සෑම අධ්‍යයනයකටම සහභාගී වූවන්ට තම ලිංගික කැමැත්ත සහ ලිංගිකත්වය වාර්තා කරන ලෙස ඉල්ලා තිබිණි.

    කාලයත් සමඟ එම දත්ත වෙනස් වූයේ කෙසේදැයි මින් පෙර ඔවුන් කිසි විටෙකත් අවධානය යොමු කර තිබුණේ නැත. නමුත් ලිංගික ආකර්ෂණය පිළිබඳ තොරතුරු නිධානයක් මත තමන් හිඳගෙන සිටින බව ෂෝන් මැසේ සහ සගයන්ට මෑතකදී අවබෝධ වී ඇත.

    “අපි හිතුවා, දෙයියනේ, අපි අවුරුදු 10 ක් තිස්සේ මේ දත්ත එකතු කළා නේද, ඇයි අපි ආපසු මේ දත්තවලට ගිහින් යම් නැඹුරුවක් (trend) තිබේදැයි බලන්නේ නැත්තේ කියලා?” බිංග්හැම්ටන් විශ්ව විද්‍යාලයේ කාන්තා, ස්ත්‍රී පුරුෂ භාවය සහ ලිංගික අධ්‍යයනය පිළිබඳ මහාචාර්ය ෂෝන් මැසේ පැවසීය.

    2011 සහ 2019 අතර කාලය තුළ විශ්ව විද්‍යාල වයසේ පසුවන කාන්තාවන් වැඩි වැඩියෙන් විරුද්ධ ලිංගිකයන් පමණක් ඇසුරෙන් ඈත් වී ඇති බව ඔවුහු සොයා ගත්හ.

    2019 වන විට පුරුෂයන් වෙත පමණක් ආකර්ෂණය වන කාන්තාවන් සිටින්නේ 65%ක් පමණක් බව වාර්තා වී ඇති අතර, මෙය සැලකිය යුතු අඩුවීමක් ලෙස දක්වා ඇත. 2011 දී එය 77%ක අගයක තිබිණි.

    එම වසර තුළ පුරුෂයන් සමඟ පමණක් ලිංගිකව හැසිරෙන කාන්තාවන්ගේ සංඛ්‍යාව ද අවම වී තිබේ.

    මේ අතර, පුරුෂයින්ගේ ආකර්ෂණය හා ලිංගික හැසිරීම් බොහෝ දුරට එකම කාල රාමුවක ස්ථාවරව පවතින බව වාර්තා වේ.

    පුරුෂයන්ගෙන් 85%ක් පමණ කාන්තාවන්ට පමණක් ලිංගිකව ආකර්ෂණය වන අතර, 90%කට ආසන්න සංඛ්‍යාවක් කාන්තාවන් සමඟ පමණක් ලිංගික සම්බන්ධකම් පැවැත්වූ බව වාර්තා විය.

    Two women dance
    ඡායාරූප ශීර්ෂ වැකිය,”ඇත්ත වශයෙන්ම ප්‍රගතියක් ලබා ඇත්තේ ස්ත්‍රීභාවය වටා වන අතර පුරුෂභාවය අතර මෙය සිද්ධ වෙලා තියෙන්නේ අඩු වශයෙන්.”

    එක්සත් රාජධානිය සහ නෙදර්ලන්තය ඇතුළුව ලොව පුරා සිදු වූ අනෙකුත් සමීක්ෂණ ද එවැනිම සොයා ගැනීම් ඉදිරිපත් කරති. කෙසේනමුත්, සමස්තයක් ලෙස වසරින් වසර කාන්තාවන් අතර පුරුෂයන්ට වඩා වැඩි වශයෙන් සමලිංගික ආකර්ෂණය වාර්තාවීම වැඩි වී ඇත.

    බලය සහ නිදහස

    එක්සත් ජනපදයේ මැසචුසෙට්ස්හි ස්ප්‍රිංෆීල්ඩ් විද්‍යාලයේ මනෝවිද්‍යාව පිළිබඳ මහාචාර්ය එලිසබෙත් මෝර්ගන් පවසන්නේ “මේ සියල්ල එක දෙයකට ලඝු කර ගැනීමට නොහැකි තරම් සංකීර්ණයි,” යනුවෙනි. නමුත් ස්ත්‍රී පුරුෂ භාවය, සහ ඔවුන් කොටස් දෙකම වෙනස් වී ඇති ආකාරය සහ වෙනස් වී නැති ආකාරය සැලකිය යුතු කරුණක් විය හැකිය.

    පසුගිය දශක කීපය තුළ සංස්කෘතියේ සැලකිය යුතු වෙනසක් කළ ස්ත්‍රීවාදයේ ප්‍රගතිය සහ කාන්තා ව්‍යාපාර වැනි දේවලින් සමාජ දේශපාලන දර්ශනයේ සිදු වූ කැපී පෙනෙන වෙනස මෙම තත්ත්වයට හේතු වී ඇතැයි ෂෝන් මැසී සහ ඔහුගේ සගයන් බොහෝ දුරට හුවා දැක්වීය. කෙසේ වෙතත්, මෙම වෙනස්කම් පුරුෂයින් හා කාන්තාවන්ට බලපා ඇත්තේ වෙනස් ආකාරයෙනි.

    “ඇත්ත වශයෙන්ම ප්‍රගතියක් ලබා ඇත්තේ ස්ත්‍රීභාවය වටා වන අතර පුරුෂභාවය අතර මෙය සිද්ධ වෙලා තියෙන්නේ අඩු වශයෙන්,” යනුවෙන් ෂෝන් මැසේ පවසයි.

    වර්තමානයේ ලිංගික වශයෙන් සරල දෙයක් ලෙස හඳුනා ගන්නා LGBTQ+ (සමලිංගික සහ සංක්‍රාන්ති ලිංගික) ව්‍යාපාරයේ බලපෑම ඔහු බැහැර නොකළද, ෂෝන් මැසි විශ්වාස කරන්නේ ස්ත්‍රීවාදය සහ කාන්තා ව්‍යාපාර කාන්තාවන්ට ඔවුන් ගැන මේ ආකාරයෙන් හඳුනා ගැනීමට උපකාර වන භූමිකාවක් ඉටු කරන බවය.

    විශේෂයෙන් පුරුෂයන් හා සම්බන්ධ ඓතිහාසික, සමාජභාවය මත පදනම් වූ සීමා කිරීම් ඒ ආකාරයෙන්ම පවතින අතර, ඒවායින් මිදීමට කාන්තා ව්‍යාපාර හා සමාන කිසිදු ව්‍යාපාරයක් පුරුෂයන් වෙනුවෙන් නොමැත.

    2019 දී කාන්තාවන්ගෙන් 65% ක් වාර්තා වූයේ පිරිමින් වෙත පමණක් ආකර්ෂණය වන බව වන අතර එය 2011 දී 77% ට වඩා සැලකිය යුතු අඩුවීමකි.

    “අවුරුදු පනහකට පෙර, ඔබ පුරුෂයෙකු සමඟ විවාහ වී එකට ජීවත් නොවන්නේ නම් ඔබට ජීවත් විය නොහැකි තත්වයක් තිබුණේ, මොකද ඔබට අවශ්‍ය දේ සපයන්න සිදු වෙලා තිබුණේ ඔහුට” යනුවෙන් එලිසබෙත් මෝර්ගන් පැවසීය.

    එම අර්ථයෙන් ගත් කල, සාම්ප්‍රදායික ස්ත්‍රී සමාජ භූමිකාවන්ගෙන් කාන්තාවන් ඉවත් වීමේ කොටසක් ලෙස සුවිශේෂී විරුද්ධ ලිංගික සේවනය අත්හැර දැමීම දැකිය හැකිය.

    මේ අතර, කාන්තාවන්ට වැඩි නිදහසක් ලබා ගැනීමට හැකි වී තිබෙන අතර, සමාජය තුළ බලතල අඛණ්ඩව පවත්වා ගෙන යන හෙයින් පුරුෂ සමාජභාවය සාපේක්ෂව ස්ථාවරව පවතී.

    “(පුරුෂයන්) සමාජයේ බලය පවත්වාගෙන යන්න ඉතා බලවත් පුරුෂභාවයක් පවත්වාගෙන යාමට සිදුවන අතර, එම පුරුෂභාවයේ එක් කොටසක් විදිහට ගැනෙනවා විරුද්ධ ලිංගික ආකර්ෂණය,” එමෙන්ම සමලිංගික කැමැත්ත ප්‍රකාශ කිරීමෙන් එම බලය අඩු විය හැකි යැයි ඔවුන් විශ්වාස කරන බව එලිසබෙත් මෝර්ගන් පැවසීය.

    ෂෝන් මැසේ පවසන පරිදි පුරුෂභාවය යනු “බිඳෙන සුළු සංකල්පයකි”. සමලිංගික ආකර්ෂණයෙන් එය “උල්ලංඝනය” කළ හැකිය.

    කාන්තාවන් දෙදෙනෙකු ලිංගික සංසර්ගයේ යෙදීම සම්බන්ධයෙන්, විශේෂයෙන් පුරුෂයන්ගේ කෝණයෙන් ඇති කරවන “අර්චණකාමය” ගැන ද ලිංගික පුහුණුකරු සහ උපදේශක වයලට් ටර්නිං (24) පෙන්වා දේ.

    වැරදි හේතු කාරණා නිසා වුවද කාන්තාවන් අතර සමලිංගික ආකර්ෂණය වඩාත් සමාජීය පිළිගැනීමට ලක්ව ඇත. මේ අතර, පුරුෂයන් දෙදෙනෙකු ලිංගිකව හැසිරීම සමාජයේ රසවත් මතයක් නොවන බව පෙනේ.

    රටවල් 23 ක සමලිංගික පුරුෂයින් හා ස්ත්‍රීන් කෙරෙහි දක්වන ආකල්ප දෙස සොයා බැලීමට 2019 දී සිදුකළ අධ්‍යයනයකින් හෙළි වූයේ, “සමලිංගික කාන්තාවන්ට වඩා සමලිංගික පුරුෂයන්ට මිනිසුන් අකමැත්තක් දක්වන බවය.”

    විවෘත සංවාදයක්

    කාන්තාවන්ට තම ලිංගිකත්වය ගැන විවෘතව කථා කිරීමට ඇති ස්ථාන ද කාලයත් සමඟ වැඩි වෙමින් පවතී.

    එක්සත් ජනපදයේ යූටා විශ්ව විද්‍යාලයේ මනෝ විද්‍යාව හා ස්ත්‍රී පුරුෂ භාවය පිළිබඳ අධ්‍යයන මහාචාර්යවරියක වන ලීසා ඩයමන්ඩ් 1990 දශකයේ මුල් භාගයේදී ලිංගික විවෘත බව අධ්‍යයනය කිරීමට පටන් ගත් විට ඇයගේ පර්යේෂණවලින් අවධානය යොමු කිරීමට සිදු වූයේ පුරුෂයන් කෙරෙහිය.

    අධ්‍යයනයට සහභාගිවන්නන් බොහෝ දෙනෙක් පැමිණියේ සමලිංගික සහයෝගී කණ්ඩායම්වලින් වන අතර, එහි වැඩි කොටසක් සිටියේ පුරුෂ සාමාජිකයින්ය. මේ හේතුවෙන් “පර්යේෂකයන්ට පුරුෂයන් පහසුවෙන් සොයා ගැනීමට” හැකි වූ බව ඇය පැවසීය.

    Two women walk away from the camera smiling
    ඡායාරූප ශීර්ෂ වැකිය,කාන්තාවන්ට තම ලිංගිකත්වය ගැන විවෘතව කථා කිරීමට ඇති ස්ථාන ද කාලයත් සමඟ වැඩි වෙමින් පවතී.

    නමුත් ලීසා ඩයමන්ඩ්ට අවශ්‍ය වූයේ කාන්තාවන්ගේ ලිංගිකත්වය දෙස බැලීමටය. දශකයකට වැඩි කාලයක් සෑම වසර දෙකකට වරක්ම සිය ලිංගික කැමැත්ත හා හැසිරීම් ගැන කාන්තාවන් 100 දෙනෙකු පරීක්ෂා කරමින් ඇය අධ්‍යයනයක් ආරම්භ කළාය.

    Sexual Fluidity: Understanding Women’s Love and Desire (විචල්‍ය ලිංගිකත්වය: කාන්තාවන්ගේ ආදරය හා ආශාව තේරුම් ගැනීම) නම් ඇයගේ පොත 2008 දී ප්‍රකාශයට පත් කරන ලදී.

    සමහර කාන්තාවන් අතර ආදරය හා ආකර්ෂණය සරල දෙයක් වන අතර කාලයත් සමඟ එය වෙනස් විය හැකි ආකාරය ගැන මෙම පොතේ සඳහන් වේ.

    ලිංගික කැමැත්ත දැඩි සීමාවන් තුළ නිරූපනය කළ පෙර පැවති සිතුවිලි මාලාවට මෙය පටහැනි විය. ලීසා ඩයමන්ඩ් සිදු කරන ලද පිරිමින් පමණක් සරණ පාවාගත් අය අධ්‍යයනයන් මඟින් මේ මතය තහවුරු වී තිබේ.

    ඇගේ පොත ප්‍රකාශයට පත් වූ සමයේදී, කළින් පුරුෂයන් ඇසුරු කළ සින්තියා නික්සන් සහ මරියා බෙලෝ වැනි එක්සත් ජනපදයේ ප්‍රකට කාන්තාවෝ සමලිංගික ආකර්ෂණය අත්විඳීම ගැන ප්‍රසිද්ධියේ සිය මත ඉදිරිපත් කළහ.

    ස්ත්‍රී ලිංගිකත්වය සරල වීම ගැන කතා කිරීම සඳහා සිය වැඩසටහනට එක්වන්නැයි ඔප්රා වින්ෆ්‍රේ විසින් ලීසා ඩයමන්ඩ් හට ආරාධනා කරනු ලැබුවාය. එයින් පසු එම සංකල්පය නිල වශයෙන් ප්‍රධාන ධාරාවේ සංවාදයට ඇතුළු විණි.

    ඊට අමතරව ස්ත්‍රීන්, ස්ත්‍රී-පුරුෂ ලෙස ද්විත්ව නොවන බව හඳුනා ගැනීමට භාෂාව ද පරිණාමය වී ඇති බව වයලට් ටර්නිං සඳහන් කරයි.

    නිදසුනක් වශයෙන්, වයලට් ටර්නිං පවසන්නේ 2007 දී පමණ ඇයගේ සමලිංගික සහකාරියට ඇයගේ පාසලේදී “සමලිංගික – විෂම ලිංගික සන්ධානයක්” තිබුණ බවය.

    එම වාක්‍ය ඛණ්ඩ සමලිංගික හෝ විරුද්ධ ලිංගික පුද්ගලයන්ට දිරි දුන් නමුත්, ඒ අතරමැද ලිංගික කැමැත්තක් ගැන හඳුනාගෙන සිටින්නන් සඳහා සැබෑ විකල්පයක් නොවීය. එමෙන්ම, කාන්තා ලිංගිකත්වය විශේෂයෙන් හැඳින්වීමට වචනයක් නොතිබිණි.

    “නමුත් දැන් මේ දේවල් පිළිගන්නා නිසා, සෑම කෙනෙකුම ‘වෙනස් ලිංගික’ අය ලෙස හඳුනා ගැනීමට විකල්පයක් තිබෙනවා,” යැයි වයලට් ටර්නිං පවසන්නේ කාන්තාවන් ද ඇතුළුව සියලු ලිංගිකත්වයන් ඇතුළත් වන පරිදි කථනය සහ පාරිභාෂික විද්‍යාව පරිණාමය වී ඇති බවය.

    Two women embrace
    ඡායාරූප ශීර්ෂ වැකිය,”අපේ සංස්කෘතිය ලිංගිකත්වය හා සම්බන්ධ දේවල් ගැන දැඩි ලැජ්ජාවක් ඇති කරලා තියෙනවා.”

    ලිංගිකත්වය සරල දෙයක් බවට පත් වීමේ අනාගතය කුමක්ද?

    සරල ලිංගිකත්වය වැඩි වශයෙන් පුරුෂ අවකාශයකට ඇතුළු වීමේ මාවතකට පිවිස තිබිය හැකිය. ටික්ටොක්හි, තරුණ, විෂම ලිංගික පුරුෂයන් තම වීඩියෝවල සමලිංගිකයින් ලෙස හැසිරීම ජනප්‍රිය වී ඇත.

    මෙම ප්‍රවනතාව ගැන නිව් යෝර්ක් ටයිම්ස් හි පළ වූ ලිපියකට අනුව මෙවැනි වීඩියෝ වැඩි වශයෙන් නරඹන්නේ කාන්තා අනුගාමිකයින් (followers) ය.

    මේ නිර්මාණකරුවන් වෙනත් ලිංගික පුද්ගලයන් ලෙස පෙනී සිටීම සිදුකරන්නේ තම කැමැත්තෙන් හෝ අකමැත්තෙන් හෝ නැත්නම් වැඩිපුර ‘ක්ලික්’ ලබා ගැනීමට හෝ විය හැකියි. කෙසේ වුවත් මෙම ප්‍රවනතාව පුරුෂභාවය කෙරෙහි ආකල්ප වෙනස් කිරීමටත් එමඟින් අනාගතයේදී වැඩි පුරුෂයන් පිරිසක් ලිංගික සරල බව වැළඳ ගැනීමටත් මාවත සකසනු ඇත.

    ලිංගිකත්වය විවෘතව කතා කරන කාන්තාවන් ද මේ මාවත සැකසීමට උපකාරී වනු ඇත. වැඩි වශයෙන් කාන්තාවන් තම ලිංගිකත්වය ගැන විවෘතව සාකච්ඡා කිරීම යන්නෙන් අදහස් කරන්නේ, පොදුවේ පවතින ලිංගිකත්වය ගැන දැඩි මතයට තිබෙන විකල්ප ගැන වැඩි දෙනෙක් සාකච්ඡා කිරීමය.

    “අපේ සංස්කෘතිය, ලිංගිකත්වය හා සම්බන්ධ දේවල් ගැන දැඩි ලැජ්ජාවක් ඇති කරලා තියෙනවා” යනුවෙන් ලීසා ඩයමන්ඩ් පැවසීය.

    “මිනිසුන්ට තම ආශාවන් විනිශ්චය කිරීමකින් තොරව, ලැජ්ජාවකින් තොරව කීමට පහසු සහ සමාජීය වශයෙන් පිළිගත හැකි ඕනෑම දෙයක්,” ඔවුන්ගේ ලිංගික කැමැත්ත විවෘත කිරීමේ, නැතහොත් අවම වශයෙන් සලකා බැලීමට ඉඩ සලසා දෙන බව ඇය තවදුරටත් පැවසුවාය.

    “අපි අනිවාර්ය විෂම ලිංගිකත්වයෙන් [සහ] සාම්ප්‍රදායික පුරුෂ භාවයෙන් මිනිසුන් නිදහස් කිරීම ආරම්භ කළ යුතුයි” යනුවෙන් ෂෝන් මැසේ පවසයි. “එය ලිංගිකත්වයේ විවිධත්වයට ඉඩ සලසන්න පුළුවන්, නැත්නම් වෙනස් ප්‍රතිඵලයක් හෝ සමහර විට ඒ හා සමාන ප්‍රතිඵලයක් (කාන්තාවන්ට) ලබා ගත හැකියි.”

    බී.බී.සී. සන්දේශය ඇසුරිනි – ශීර්ෂපාඨය සංශෝධනය කර ඇත.

  • කොවිඩ් මර්දන විශේෂ කමිටුව ගත් තීන්දු: රට විවෘත කිරීමට අලුත් සැලැස්මක්

    කොවිඩ් මර්දන විශේෂ කමිටුව ගත් තීන්දු: රට විවෘත කිරීමට අලුත් සැලැස්මක්

    • නව සාමාන්‍යකරණය යටතේ ආර්ථිකය මෙහෙයවමු
    • පාසල් විවෘත කිරීම පිළිබඳ සෞඛ්‍ය නිර්දේශ නිකුත් කෙරේ
    • ආයුර්වේද කොවිඩ් ප්‍රතිකාර මධ්‍යස්ථාන සංචාරක කලාප ආශ්‍රිතව
    • දේශීය ඖෂධ  මංජුසාව නොමිලේ නිවෙස් වෙත බෙදාදීමට
      රුපියල් මිලියන 6,000 ක්
    • ගුවන් තොටුපොළ PCR පරීක්ෂණ කිසිදු ප්‍රමාදයක් නැහැ

    නිරෝධායන ඇඳිරි නීතිය ඉවත් කිරීමත් සමග රට යළි විවෘත කිරීමේ දී පැනවිය යුතු සෞඛ්‍ය නිර්දේශ හා සීමාවන් පිළිබඳ පූර්ණ සැලැස්මක් සකස් කිරීමට කොවිඩ් මර්දන විශේෂ කමිටුව තීරණය කරයි.

    ක්ෂේත්‍ර 03 ක් යටතේ මම සැලැස්ම සකස් කෙරෙන අතර රාජ්‍ය අංශයේ යාන්ත්‍රණය ක්‍රියාත්මක කිරීම සඳහා රාජ්‍ය පරිපාලන අමාත්‍යාංශය, පොදු ප්‍රවාහන සේවා සඳහා ප්‍රවාහන අමාත්‍යාංශය සහ පෞද්ගලික අංශයේ සේවාවන් පවත්වාගෙන යා යුතු ආකාරය පිළිබඳව කම්කරු අමාත්‍යාංශය විසින් සෞඛ්‍ය විශේෂඥ කමිටු හා සෞඛ්‍ය අමාත්‍යාංශයේ මගපෙන්වීම යටතේ නිර්දේශ නිකුත් කරනු ඇත.

    අද (24) පෙරවරුවේ මුදල් අමාත්‍ය බැසිල් රාජපක්ෂ මහතාගේ ප්‍රධානත්වයෙන් කොවිඩ් මර්දන විශේෂ කමිටු රැස්වීම වීඩියෝ තාක්ෂණය ඔස්සේ පැවැත්වුණු අතර එහිදී මෙම තීරණයන්ට එළැඹිණි.

    අදාළ සැලැස්ම ක්‍රියාත්මක කිරීමේදී මහජන සෞඛ්‍ය පරීක්ෂකවරුන්, ප්‍රාදේශීය දේශපාලන අධිකාරිය,  ග්‍රාමීය සංවර්ධන කමිටු සහ ජනමාධ්‍ය ක්ෂේත්‍රයේ පූර්ණ සහාය ලබාගත යුතු බව බැසිල් රාජපක්ෂ මහතා පැවසීය.

    කොවිඩ් අභියෝගය හමුවේ නව සාමාන්‍යකරණය යටතේ රටේ ආර්ථික ක්‍රියාවලිය අඛණ්ඩව ඉදිරියට ගෙන යාමට සියලු අංශ එක්ව කටයුතු කළයුතු බව පෙන්වා දුන් බැසිල් රාජපක්ෂ මහතා 2021 දෙවන කාර්තුවේ 12.3%ක ආර්ථික වර්ධන වේගයක් පවත්වා ගැනීමට හැකි වූ බවත්, රට වසා තැබීම හේතුවෙන් 3 වන කාර්තුවේ දී එය 1% දක්වා පහත වැටුණ ද 4වන කාර්තුවේ දී රටේ ආර්ථික වර්ධන වේගය 3% මට්ටමක පවත්වාගෙන යාමට ඉලක්ක සහගතව කටයුතු කිරීමේ අවශ්‍යතාවය පැහැදිළි කළේය. ඒ තුළින් මේ වසරේදී රටේ සමස්ත වාර්ෂික ආර්ථික වර්ධනය ප්‍රතිශතයක් ලෙස 5%ක මට්ටමක පවත්වා ගැනීමට හැකි වනු ඇති බවට ද ඒ මහතා විශ්වාසය පළ කළේය.

    පාසල් විවෘත කිරීම පිළිබඳව ද මෙහිදී දීර්ඝ වශයෙන් සාකච්ඡා කෙරුණු අතර ඊට අදාළ නිර්දේශ සෞඛ්‍ය විශේෂඥ කමිටුව විසින් මේ වන විට අධ්‍යාපන අමාත්‍යාංශය වෙත යොමු කර තිබේ.  ආණ්ඩුකාරවරුන්ට සහ පළාත් සෞඛ්‍ය අධ්‍යක්ෂවරුන්ට එම නිර්දේශ ඝෘජුවම යොමු කරන ලෙස ද බැසිල් රාජපක්ෂ මහතා අදාළ නිලධාරීන්ට උපදෙස් දුන්නේය.

    යුනිසෙෆ් ඇතුළු ළමුන් පිළිබඳ ජාත්‍යන්තර සංවිධාන මෙන්ම මෙරට ළමා රෝග විශේෂඥයන් ද පෙන්වා දී ඇත්තේ පාසල් විවෘත කිරීමට එන්නත්කරණය අවසන් වන තුරු සිටීම අවශ්‍ය නොවන බවයි. දරුවන්ගේ අධ්‍යාපනය බාධාවකින් තොරව පවත්වා ගෙන යාම සඳහා කඩිනමින් පාසල් සහ පෙර පාසල් යළි විවෘත කළ යුතු අතර ඒ සඳහා නිසි සෞඛ්‍ය නිර්දේශ යටතේ කටයුතු කළ යුතු බවත් දෙමාපියන්ගේ කැපවීම සහ සැලකිළිමත් බව එහිදී ඉතා වැදගත් බවත් විශේෂඥ වෛද්‍යවරු පෙන්වා දුන්හ.

    පාසල් පවිත්‍රකරණය සහ විෂබීජහරණයේ දී පළාත් පාලන ආයතනවල සහ ප්‍රාදේශීය සංවර්ධන කමිටුවල සෘජු දායකත්වය ලබා ගැනීමට ද තීරණය කෙරිණි.

    ආයුර්වේද පශ්චාත් කොවිඩ් ප්‍රතිකාර මධ්‍යස්ථාන ක්‍රමයේ වැදගත්කම ද අවධාරණය කෙරුණු අතර සංචාරක කර්මාන්තයේ ප්‍රවර්ධනය ඉලක්ක කර ගනිමින් සංචාරක කලාප ආශ්‍රිතව නව ආයුර්වේද පශ්චාත් කොවිඩ් ප්‍රතිකාර මධ්‍යස්ථාන ස්ථාපනය කිරීම පිළිබඳව සාකච්ඡා විය.

    කොවිඩ් වසංගතය හමුවේ දේශීය ඖෂධ සඳහා ජාත්‍යන්තරයේ විශාල ඉල්ලුමක් පවතී. ඖෂධ අපනයනයේදී මේ වන විට තිබෙන බාධා ඉවත් කිරීම සඳහා සෘජු සැලැස්මක් සකස් කිරීම කෙරෙහි ද අවධානය යොමු විය.

    දේශීය වෛද්‍ය අමාත්‍යාංශය විසින් දීප ව්‍යාප්තව නිවෙස් වෙත නොමිලේ බෙදාදීමට සැලසුම් කර ඇති දේශීය ප්‍රතිශක්ති වර්ධක ඇතුළත් ඖෂධ මංජුසාව ලබා දීමට සියලු සැලසුම් සකස් කර ඇති බව පෙන්වා දුන් රාජ්‍ය අමාත්‍ය සිසිර ජයකොඩි මහතා ඒ සඳහා රුපියල් මිලියන 6,000ක් වෙන් කර ඇති බව  සඳහන් කළේය.

    ගුවන්තොටුපොළෙන් මෙරටට පිවිසෙන දෙස් විදෙස් සංචාරකයන් සඳහා සිදු කරනු ලබන  PCR පරීක්ෂණවල ප්‍රමාදයක් ඇති බවට කෙරෙන ප්‍රචාරවල කිසිදු සත්‍යයක් නොමැති බව පෙන්වා දුන් අමාත්‍ය ප්‍රසන්න රණතුංග මහතා ආරම්භ කර ඇති නව පරීක්ෂණ මධ්‍යස්ථානයේ මෙහෙයුම්  හෙට ආරම්භවීමත් සමග එම කටයුතු තවත් කාර්යක්ෂම වනු ඇති බව සඳහන් කළේය.

    විදෙස් සංචාරකයන් PCR පරීක්ෂණයට යොමු කිරීමෙන් පසුව කිසිදු රඳවා ගැනීමකින් තොරව ඔවුන් විසින් තෝරාගත් හෝටලය වෙත යොමු කිරීම සිදු කෙරේ. ශ්‍රි ලාංකිකයින් ඔවුන්ගේ නිවෙස්වලට යොමු කෙරෙන අතර පැය 02-03කට ආසන්න කාලයකදී නිකුත් කෙරෙන PCR පරීක්ෂණයේ ප්‍රතිඵල අනුව යම් අයෙක් කොවිඩ් ආසාධිතයෙකු බව තහවුරු වුවහොත් අදාළ මහජන සෞඛ්‍ය පරීක්ෂකවරයා මගින් දැනුවත් කිරීම් සහ නිරෝධායන ක්‍රියාවලිය සදහා උපදෙස් නිකුත් කෙරෙන බව ද සඳහන් කෙරිණි.

    මේ වන විට සිදු කෙරෙන එන්නත්කරණයේ සාර්ථකත්වය පිළිබඳව ද මෙහිදී දීර්ඝ වශයෙන් සමාලෝචනය කෙරුණු අතර වයස අවුරුදු 12 -19 අතර සංජනනීය දරුවන් සඳහා එන්නත්කරණය කොළඹ රිජ්වේ ආර්යා ළමා රෝහල, අනුරාධපුර සහ  කුරුණෑගල මහ රෝහල්වලදී අද ආරම්භ කෙරුණු බව විශේෂඥ වෛද්‍ය ප්‍රසන්න ගුණසේන මහතා පැවසීය.  එන්නත්කරණය සඳහා සමස්ථයක් ලෙස ජනතාව තුළ දැඩි උනන්දුවක් නැවතත් දක්නට ලැබෙන අතර වයස අවුරුදු 20-29 අතර වයස් කණ්ඩායේ තරුණ පිරිස් ද ස්ව කැමැත්තෙන්ම ඒ සඳහා යොමුව තිබීම සාධනීය තත්ත්වයක් බව  ඒ මහතා පෙන්වා දුන්නේය.

  • වරායේ අත්‍යවශ්‍ය ආහාර ද්‍රව්‍ය තොග වහාම නිදහස් කරන්න – අගමැති නියෝග කරයි

    වරායේ අත්‍යවශ්‍ය ආහාර ද්‍රව්‍ය තොග වහාම නිදහස් කරන්න – අගමැති නියෝග කරයි

    වරාය තුළ සිරවී ඇති අත්‍යවශ්‍ය ආහාර ද්‍රව්‍ය තොග වහාම නිදහස් කරන්නැයි අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මහතා අද (24) දින “සූම්” ඔස්සේ රැස්වූ ජීවන වියදම් පිළිබඳ අමාත්‍ය මණ්ඩල අනුකාරක සභා රැස්වීමේ දී නියෝග කළේය.

    රටේ මහජනතාවගේ ජීවන වියදම් පිළිබඳව අවධානය යොමු කරමින් අග්‍රාමාත්‍යතුමා ආනයන අපනයන පාලක ජනරාල්වරියට සහ රේගු අධ්‍යක්ෂ ජනරාල්වරයාට අරලියගහ මන්දිරයේ සිට මෙම නියෝගය ලබා දුන්නේය.

    මෙහි දී අදහස් පළ කළ මුදල් අමාත්‍ය බැසිල් රාජපක්ෂ මහතා, එසේ නිදහස්වන අත්‍යවශ්‍ය ආහාර ද්‍රව්‍ය කඩිනමින් සතොස සහ අත්‍යවශ්‍ය ආහාර ආනයනකරුවන් හරහා ජනතාවට බෙදාහැරීමට කටයුතු කරන්නැයි වෙළඳ අමාත්‍ය ආචාර්ය බන්දුල ගුණවර්ධන මහතාට දැනුම් දුන්නේය.

    සහල් ඇතුළු අත්‍යවශ්‍ය ආහාර ද්‍රව්‍ය හිඟයකින් තොරව වෙළඳපොළට නිකුත්කිරීමේ වගකීම වෙළඳ අමාත්‍යාංශයේ සහ කෘෂිකර්ම නිලධාරින් විසින් දැරිය යුතු බවට ද මෙහි දී අවධාරණය කෙරිණි.

    පාරිභෝගික කටයුතු පිළිබඳ අධිකාරියේ විධායක අධ්‍යක්ෂවරයා ඉල්ලා අස්වෙමින් කළ චෝදනා සම්බන්ධයෙන් පරීක්ෂණයක් පවත්වන ලෙස තමන් කර ඇති පැමිණිල්ල කඩිනමින් විභාග කරන්නැයි වෙළඳ අමාත්‍ය බන්දුල ගුණවර්ධන මහතා මෙහි දී අග්‍රාමාත්‍යතුමාගෙන් ඉල්ලීමක් කළේය.

    ඒ අනුව අදාළ පරීක්ෂණය කඩිනම් කරන්නැයි අග්‍රාමාත්‍යතුමා ඒ මොහොතේදීම පොලිස්පතිවරයාට දුරකථන ඔස්සේ දැනුම් දුන්නේය.

    දේශීය බඩ ඉරිඟු ඵලදාව ලැබෙනතුරු දැනට පවතින ක්‍රමවේදයට විදේශීය වෙළඳ පොළෙන් තවදුරටත් බඩ ඉරිඟු ඇතුළු සත්ත්ව ආහාර අමුද්‍රව්‍ය ලබා ගැනීමට රාජ්‍ය අමාත්‍ය ඩී.බී හේරත් මහතා කළ ඉල්ලීමට ද මෙහි දී අනුමැතිය හිමිවිය.

    මෙම හමුවට අමාත්‍යවරුන්වන බැසිල් රාජපක්ෂ, ඩග්ලස් දේවානන්දා, ආචාර්ය බන්දුල ගුණවර්ධන, මහින්දානන්ද අලුත්ගමගේ, රමේෂ් පතිරණ, රාජ්‍ය අමාත්‍යවරුන්වන ලසන්ත අලගියවන්න,ජානක වක්කුඹුර, ඩී.බී හේරත්, මුදල් අමාත්‍යාංශ ලේකම් එස්.ආර් ආටිගල, වෙළඳ අමාත්‍යාංශයේ ලේකම් භද්‍රානි ජයවර්ධන, අග්‍රාමාත්‍ය අතිරේක ලේකම් නීතිඥ චමින්ද කුලරත්න, අත්‍යවශ්‍ය සේවා කොමසාරිස් ජනරාල් මේජර් ජෙනරාල් සෙනරත් නිවුන්හැල්ල, රේගු අධ්‍යක්ෂ ජනරාල් මේජර් ජෙනරාල් විජිත රවිප්‍රිය, ආහාර කොමසාරිස් ජනරාල් ජේ. ක්‍රිෂ්ණ මූර්ති, ලංකා සතොස සභාපති මේජර් ජෙනරාල් ආනන්ද පීරිස් මහත්ම මහත්මීන් ඇතුළු අමාත්‍යංශ කිහිපයක ලේකම්වරුන්, අතිරේක ලේකම්වරුන්,දෙපාර්තමේන්තු සහ සමාගම් ප්‍රධානීන් හා අත්‍යවශ්‍ය ආහාර ආනයනකරුවන්ගේ සංගමයේ නියෝජිතයෝ කිහිප දෙනෙක් එක්ව සිටියහ.

  • ගෙදර සිටම NVQ සහතිකයක් ලබා ගැනීමට අවස්ථාව

    ගෙදර සිටම NVQ සහතිකයක් ලබා ගැනීමට අවස්ථාව

    දරුවෙකුගේම අධ්‍යාපනය විශ්ව විද්‍යාලයකින් අවසන් විය යුතු නැති බවත් ඒ දරුවන්ට තමන්ට හැකියාව ඇති වෙනත් ක්ෂෙත්‍රයකින් ඉදිරියට යාමට අවස්ථාව සළසා දිය යුතු බවත් ඔවුන්ගේ ශ්‍රමය රටක ආර්ථිකයට ලබා දීමට හැකිවන පරිදි මග පෙන්වීම කළ යුතු බවත් නිපුණතා සංවර්ධන වෘත්තීය අධ්‍යාපන පර්යේෂණ හා නව නිපැයුම් රාජ්‍ය අමාත්‍ය විශේෂඥ වෛද්‍ය සීතා අරඹේපොළ මහත්මිය පැවසුවාය.

    රාජ්‍ය අමාත්‍යවරිය මේ බව ප්‍රකාශ කළේ, “පාසැල් ළමුන් ගෙදර සිටම NVQ සහතිකයක් ගන්නේ කෙසේද?” යන මැයෙන්,(23) රජයේ ප්‍රවෘත්ති දෙපාර්තමේන්තුවේදී zoom ඔස්සේ පැවති මාධ්‍ය හමුවේදී ය.

    දරුවන්ට අධ්‍යාපන අවස්ථා පිළිබඳ දැනුවත් කමක් නොමැති බවත් මේදින වල පාසැල් දරුවන් නිවෙස්වලට වී කාලය ගත කරන බැවින් තම ගුරුවරුන් සමග කතා බහ කර ගුරුහරුකම් ලබා ගැනීම අවස්ථාවක් නොමැති බවත් තමන්ගේ ජීවිතයේ වැදගත්ම කාලය නිවසට වී මග හරවාගෙන සිටින බව අමාත්‍යවරිය සදහන් කළාය.

    මෙම වැඩසටහන් මාලාවේ මූලික අරමුණ වන්නේ ඉතිහාසයේ ප්‍රථම වතාවට දුරස්ථ අධ්‍යාපනය මගින් වෘත්තීය දැනුම බෙදාහැරීම බව පැවසු රාජ්‍ය අමාත්‍ය විශේෂඥ වෛද්‍ය සීතා අරඹේපොළ මහත්මිය,මෙම වැඩසටහන් මාලාව මගින් විශේෂයෙන් 7,8.9 ශ්‍රේණිවල පාසැල් ළමුන්ට වෘත්තීය පුහුණු ක්ෂෙත්‍රය පිළිබඳව දැනුවත් කිරීමක් කර, තමන් කැමති වෘත්තීය ක්ෂෙත්‍රයකට සම්බන්ධවී ඊට ආදාළ පාඨමාලාවක් පාසැල් කාලයේදීම හැදෑරීමට සහ NVQ සහතිකයේ මූලාරම්භයට යෑමට අවස්ථාව සලසාදීමට හැකි බව පැහැදිළි කළාය.

    එසේම නිපුණතා සංවර්ධන, වෘත්තීය අධ්‍යාපන, පර්යේෂණ හා නව නිපැයුම් රාජ්‍ය අමාත්‍යාංශය යටතේ ඇති වෘත්තීය තාක්ෂණ ආයතන මගින් සිදුකෙරෙන විෂයමාලාවන් යටතේ මෙම පාඨමාලා පැවැත්වෙන අතර පාඨමාලා අවසන් කිරීමෙන් පසු එම සිසුන්හට ඉගැන්වීම් කළ
    ඒ ඒ ක්ෂේත්‍රයන්ට අදාළ විෂයන් සාර්ථකව අධ්‍යනය කර, මාර්ගගත ක්‍රමය යටතේ පවත්වන විභාගයෙන් (Online Exam) අනතුරුව එයින් සමත් වූ සිසුන්ට පිළිගත් වෘත්තීය පුහුණු ආයතනය මගින් ප්‍රායෝගික පුහුණුව ලබා දීමටත් යම් සිසුවෙකුට පාසැල් කාලය අවසන් කර එම ප්‍රායෝගික පුහුණුව ලබා ගැනීම අවශ්‍ය නම් ඒ සදහා අවස්ථාවද ඇති බව පෙන්වා දුන්නාය.

    මෙම වැඩසටහන් මාලාව වෘත්තීය තාක්ෂණික ක්ෂේත්‍ර ගණනාවක් ආවරණය වන පරිදි සැලසුම් කර තිබෙන බවත් මේ වන විට ICT,විදුලි කාර්මික,හෝටල් ක්ෂෙත්‍රය,ශීතකරණ අළුත්වැඩියාව යන ක්ෂෙත්‍රයන් සම්බන්ධයෙන් පාඨමාලා ඉගැන්වීම්
    කටයුතු ආරම්භ කර ඇති බවත් අමාත්‍යවරිය පැවසුවාය.

    එසේම අද දෙරණ 24 (Education) නාලිකාව ඔස්සේ සෙනසුරාදා සහ ඉරිදා දිනවල පෙ.ව 7.30-පෙ.ව 8.00 දක්වා මෝටර් මැකෑනික් සහ හෝටල් කළමනාකරණ පාඨමාලාව මේ වන විට විකාශය වන අතර TV 1 නාලිකාවේන් සදුදා ,බදාදා ,සිකුරාදා දිනයන්වල ICT සහ ඉලෙක්ට්‍රොනික් පාඨමාලා විකාශය වීමට නියමිත ය.

    නුදුරේදීම අනෙකුත් රූපවාහිනි නාලිකා තුළින් ද විවිධ විෂය පාඨමාලා සිසුන් වෙත ගෙන ඒමට මේ වන විටත් සැලසුම් කර ඇති බවද අමාත්‍යවරිය පැවසුවාය.

  • ළමුන් සඳහා වන එන්නත්කරණය ඇරඹෙයි

    ළමුන් සඳහා වන එන්නත්කරණය ඇරඹෙයි

    ළමුන් සඳහා වන එන්නත්කරණ වැඩපිළවෙල ඔක්තෝම්බර් අවසානය වන විට සිදු කර අවසන් කිරීමට හැකිවනු ඇතැයි සෞඛ්‍ය අමාත්‍ය ආචාර්ය කෙහෙලිය රඹුක්වැල්ල මහතා පවසයි.

    ඒ අනුව වයස අවුරුදු 12 – 19 අතර සංකුලතා සහිත දරුවන් මෙම වැඩපිළිවෙල යටතේ මුලිකව එන්නත්කරණයට ලක් කෙරේ.

    මෙරට ළමුන් සඳහා වන එන්නත්කරණ වැඩපිළිවෙල අද (24) නිල වශයෙන් රිජ්වේ ආර්යා ළමා රෝහලේදී ආරම්භ කිරීමේ අවස්ථාවට එක්වෙමින් සෞඛ්‍ය අමාත්‍යවරයා මේ බව කීය. ශිරන්ති රාජපක්ෂ මහත්මියද මේ අවස්ථාවට එක්ව සිටියාය.

    ඒ අනුව කායික හා මානසික සංකූලතා සහිත දරුවන්ට මෙම එන්නත මුලිකව ලබාදෙන අතර තැලසීමියා රෝගයට ලක්ව ඇට මිදුළු බද්ධ සැත්කමක් සිදු කර ඇති 14 හැවිරිදි හුණුපොළ, පහලගම ප්‍රදේශයේ පදිංචි දැරියකට පළමුව එන්නත ලබා දීම සිදු විය. මෙයට සමගාමීව අනුරාධපුර හා කුරුණෑගල රෝහල් වලදීද මෙලෙස දරුවන් සඳහා වන එන්නත්කරණ වැඩපිළිවෙල ආරම්භ කෙරිණි.

    විශේෂඥ වෛද්‍යවරයකුගේ අධීක්ෂණය යටතේ මුලික රෝහලකින් ඉහළ රෝහලක් තුළදී මෙම එන්නත්කරණය සිදු කෙරේ. සෞඛ්‍ය අංශ මේ වන විට හඳුනා ගෙන ඇති ආකාරයට මෙරට වයස අවුරුදු 12 – 19 ත් අතර  විවිධ සංකූලතා සහිත දරුවන් 35000 ක් පමණ සිටී. ඒ අනුව ඔවුනට ෆයිසර් එන්නත ලබා දීම සිදුවේ.

    සෞඛ්‍ය ක්ෂේත්‍රයේ වෛද්‍ය අංශය ඇතුළු එහි සියලු ක්ෂේත්‍ර හා අධ්‍යාපන ක්ෂේත්‍රය සමඟ මෙම වැඩපිළිවෙල පිළිබද දීර්ඝව සාකච්චා කල බවත් එහිදී ගනු ලැබු තීන්දු තීරණ ඔස්සේ ළමුන්  සඳහා එන්නත්කරණ වැඩපිළිවෙල ආරම්භ කල බවත් සෞඛ්‍ය අමාත්‍යවරයා පැවසීය.

    ජනාධිපතිතුමන්ගේ උපදෙස් මත මේ පිළිබදව දැඩි අවධානය යොමු කල බවත් ගත යුතු ක්‍රියාමාර්ග හා නිර්ණායක පිළිබදව දැඩිව සාකච්චාවට ලක් කෙරුණු බවත් රඹුක්වැල්ල මහතා මෙහිදී කීය.

    වෛද්‍ය අංශයේ නිර්දේශ මත විවිධ සංකූලතා සහිත දරුවන් සුපරික්ෂාවට ලක් කරමින් ඔවුන්ගේ ජීවිත ආරක්ෂා කිරීමේ අරමුණින් එම දරුවන් සඳහා මුලිකව එන්නත්කරණය සිදු කරන බවත් ඒ මහතා මෙහිදී පැවසීය.

    මෙම වැඩපිළිවෙල අනුව මුලිකව සුදුසුකම්ලත් දරුවන්ට වෛද්‍ය උපදෙස් අනුව ගන්නා වු තීරණ ඔස්සේ එන්නත්කරණය සිදු කරන බවත් එහි විද්‍යාත්මක පදනම තුළ සිට වෛද්‍ය හා සෞඛ්‍ය අංශය විශ්ලේෂණාත්මක කටයුතු තරන බවත් අමාව්‍යවරයා මෙහිදී කීය.

    එළඹෙන සඳුදා (27)  සිට කොළඹ දිස්ත්‍රික්කයේ අනෙකුත් රෝහල් වලදී ද මෙම වැඩපිළිවෙල ක්‍රියාවට  නැංවීමට සැලසුම් කරගෙන ඇත.

    සෞඛ්‍ය අමාත්‍යංශයේ ලේකම් විශේෂඥ වෛද්‍ය මේජර් ජනරාල් සංජීව මුණසිංහ, සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජනරාල් වෛද්‍ය අසේල ගුණවර්ධන, රිජ්වේ ආර්යා ළමා රෝහලේ අධ්‍යක්ෂ විශේෂඥ වෛද්‍ය ජී.විජේසුරිය, විශේෂඥ වෛද්‍ය අනුරුද්ධ පාදෙණිය මහතා ඇතුළු රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමයේ නිලධාරීන් හා සෞඛ්‍ය අංශ නිලධාරීන් පිරිසක් මෙම අවස්ථාව සඳහා එක්ව සිටියහ.

  • පාසල් යළි විවෘත කිරීම අදියර 4කින් – ප්‍රථමයෙන් 1-5 ශ්‍රේණි

    පාසල් යළි විවෘත කිරීම අදියර 4කින් – ප්‍රථමයෙන් 1-5 ශ්‍රේණි

    පාසල් යළි විවෘත කළ යුතු ක්‍රමවේදය නිර්දේශ කරනු පිණිස කොවිඩ් 19 නිවාරණ ජනාධිපති කාර්ය සාධන බලකාය, සෞඛ්‍ය අමාත්‍යාංශය සහ අධ්‍යාපන අමාත්‍යාංශය එක්ව තාක්ෂණික කමිටුවක් ස්ථාපනය කර ඇති බවත් කමිටුව ගන්නා තීරණ අනුව ඉදිරියේදී අදියර 04ක් යටතේ පාසල් යළි විවෘත කරන බවත් අධ්‍යාපන අමාත්‍යාංශයේ ලේකම් මහාචාර්ය කපිල පෙරේරා මහතා පැවසීය.

    කොවිඩ් උවදුර සමනය වීමත් සමග පාසල් යළි විවෘත කිරීම සම්බන්ධව ජනතාව දැනුවත් කිරීම සඳහා රජයේ ප්‍රවෘත්ති දෙපාර්තමේන්තුව අද (24) සංවිධාන කර තිබූ මාධ්‍ය සාකච්ඡාවේදී ලේකම්වරයා මේ බව ප්‍රකාශ කළේය.

    වයස අවුරුදු 12ට අඩු ළමුන්ට එන්නත්දීම අවශ්‍ය නැති නිසා කොවිඩ් උවදුර සමනය වීමත් සමග පාසල් යළි විවෘත කිරීමේදී 1 සිට 5 ශ්‍රේණිවල පාසල් 3884 ක් මුල් අදියර යටතේ පටන් ගැනේ. තාක්ෂණික කමිටුවේ තීරණ ලැබුණු විගස අවුරුදු 12-15 ත් සහ 16-19 අතර වයස් කාණ්ඩවල ළමුන් ළමාරෝග විශේෂඥ වෛද්‍යවරුන්ගේ පූර්ණ අනුමැතිය ඇතිව එන්නත් කරන බව මහාචාර්ය පෙරේරා මහතා කීවේය.

    ඉදිරි සතිය ඇතුළත අධ්‍යාපන හා සෞඛ්‍ය ක්ෂේත්‍රයට සම්බන්ධ පළාත්, දිස්ත්‍රික් සහ ප්‍රාදේශීය මට්ටමේ නිලධාරීන්ගෙන් ඒ ඒ පළාත්වල සහ දිස්ත්‍රික්කවල නැවත පාසල් ආරම්භ කිරීමේ සූදානම ගැන විමසනු ලැබේ. එම අදහස් සැලකිල්ලට ගනිමින් සෞඛ්‍ය අමාත්‍යාංශයේ උපදෙස් හා අධ්‍යාපන අමාත්‍යාංශයේ නිර්දේශ අනුව සංචරණ සීමා අවසන් වීමෙන් පසු පාසල් නැවත විවෘත කරන බව අධ්‍යාපන අමාත්‍යාංශයේ ලේකම්වරයා ප්‍රකාශ කළේය.

    අධ්‍යයන පොදු සහතික පත්‍ර සාමාන්‍ය පෙළ විභාගයේ ප්‍රතිඵල නිකුත් කිරීම සම්බන්ධයෙන් ද මාධ්‍ය සාකච්ඡාවේදී ලේකම්වරයා අදහස් දැක්වීය. සෞන්දර්ය විෂයය හැර අනෙකුත් විෂයයන්ගේ ප්‍රතිඵල ඊයේ (23) නිකුත් කෙරිණි. කොවිඩ් උවදුර සමනය වී පාසල් නැවත විවෘත කළ පසු ප්‍රායෝගික පරීක්ෂණ පවත්වන බව ඔහු පැවසීය.

    සෞන්දර්ය විෂයය යටතේ නැටුම්, සංගීතය සහ නාට්‍ය හා රංගකලාව හදාළ සිසු සිසුවියන්ට අධ්‍යයන පොදු සහතික පත්‍ර උසස් පෙළ හැදෑරීමට අවශ්‍ය අවම සුදුසුකම් ඇතුළත් චක්‍රලේඛයක් අධ්‍යාපන අමාත්‍යංශය විසින් නිකුත් කරන බව ද  පෙරේරා මහතා කීය. 2020 වර්ෂයේදී සෞන්දර්ය විෂයයට සිසු සිසුවියෝ 170,000ක් පෙනී සිටියහ. ඔවුන්ගෙන් විෂයයන් 05ක් සමග සම්මාන 02 සහිත සාමාර්ථය සහ පාසල් පාදක තක්සේරුව යටතේ නිපුණතා මට්ටම 1,2 සහ 3 (විශිෂ, සමාන්‍ය, ආසන්න) ලබාගෙන ඇති ශිෂ්‍ය ශිෂ්‍යාවන්ට ප්‍රායෝගික පරීක්ෂණ පැවැත්වෙන තුරු උසස්පෙළ ඉගෙනීමට අවසර ලැබේ.

    2020 වර්ෂයේ අධ්‍යයන පොදු සහතික පත්‍ර සමාන්‍ය පෙළ විභාගයට පෙනී සිටි සිසුන්ගෙන් සෞන්දර්ය විෂයයේ ප්‍රතිඵල හැර සෙසු විෂයයන්හි ප්‍රතිඵල අනුව සියයට 75.12ක් අධ්‍යයන පොදු සහතික පත්‍ර උසස් පෙළ හැදෑරීමට සුදුසුකම් ලබා ඇතැයි විභාග කොමසාරිස් ජනරාල් බී. සනත් පූජිත මහතා පැවසීය.

    විභාගයට පෙනී සිටි අයදුම්කරුවන්ට විභාග අංකය අමතක නම් ජාතික හැඳුනුම්පත් අංකය  උපයෝගී කොටගෙන හෝ 1911 ඇමතීමෙන් ප්‍රතිඵල ලබාගත හැකි බව ද සනත් පූජිත මහතා කීවේය. විදුහල්පතිවරුන්ට, පළාත් හා කලාප අධ්‍යාපන අධ්‍යක්ෂවරුන්ට මාර්ගගත ක්‍රමය ඔස්සේ ප්‍රතිඵල දැන ගැනීමේ ක්‍රමයක් සකස්කර ඇති බවත්  විභාග සහතික අවශ්‍ය අයට සඳුදා සිට මාර්ගගත ක්‍රමය ඔස්සේ ඒවා ලබාගැනීමට හැකි බවත් විභාග කොමසාරිස් ජනරාල්වරයා කීවේය.

    අධ්‍යාපන අමාත්‍යාංශයේ අතිරේක ලේකම් (පාසල් කටයුතු) එල්. එල්. එම්. ඩී. ධර්මසේන මහතා ද ප්‍රවෘත්ති සාකච්ඡාවට සහභාගී විය.

  • අගමැතිගේ ප්‍රධානත්වයෙන් පොහොට්ටුවේ නායකයෝ හමුවෙති

    අගමැතිගේ ප්‍රධානත්වයෙන් පොහොට්ටුවේ නායකයෝ හමුවෙති

    ශ්‍රී ලංකා පොදුජන සන්ධානයේ පක්ෂ නායක රැස්වීම අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මහතාගේ ප්‍රධානත්වයෙන් අද (23) පස්වරුවේ අරලියගහ මන්දිරයේ දී පැවැත්විණි.

    කොවිඩ්-19 වසංගතය හමුවේ රජයේ කටයුතු අඛණ්ඩව පවත්වාගෙන යාම, 2021 අය-වැය යෝජනාවලිය ඉදිරිපත් කිරීම සහ පාර්ලිමේන්තුවට ඉදිරිපත් කරනු ලබන පනත් කෙටුම්පත් එලෙස ඉදිරිපත් කිරීමට පෙර ආණ්ඩු පක්ෂ මන්ත්‍රීවරුන් දැනුවත් කිරීමේ ක්‍රමවේදයක් සැකසීම  පිළිබඳව මෙහි දී මූලික අවධානයට ලක් විය.

    යුගදනවි බලාගාරය ක්‍රියාත්මක වීමෙන් විදුලි පාරිභෝගිකයන්ට ලැබෙන ප්‍රතිලාභ සම්බන්ධයෙන් ද මෙහි දී අවධානය යොමු විය.

    පක්ෂ නායකයන්ගේ අදහස් හා යෝජනා සහිතව පැය දෙකකට ආසන්න කාලයක් මෙම හමුව පැවතිණි.

    ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ සභාපති හිටපු ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන, ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ ජාතික සංවිධායක අමාත්‍ය බැසිල් රාජපක්ෂ, ආණ්ඩු පක්ෂයේ ප්‍රධාන සංවිධායක අමාත්‍ය ජොන්ස්ටන් ප්‍රනාන්දු, ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ මහලේකම් පාර්ලිමේන්තු මන්ත්‍රී සාගර කාරියවසම්, මහජන එක්සත් පෙරමුණේ නායක අමාත්‍ය දිනේෂ් ගුණවර්ධන, ප්‍රජාතන්ත්‍රවාදී වාමාංශික පෙරමුණේ ප්‍රධාන ලේකම් අමාත්‍ය වාසුදේව නානායක්කාර, ජාතික නිදහස් පෙරමුණේ නායක අමාත්‍ය විමල් වීරවංශ, ලංකා සම සමාජ පක්ෂයේ ප්‍රධාන ලේකම් පාර්ලිමේන්තු මන්ත්‍රී මහාචාර්ය තිස්ස විතාරණ, ඊළාම් ජනතා ප්‍රජාතන්ත්‍රවාදී පක්ෂයේ ප්‍රධාන ලේකම් අමාත්‍ය ඩග්ලස් දේවානන්දා, ලංකා කම්කරු පක්ෂයේ උප සභාපති පාර්ලිමේන්තු මන්ත්‍රී එම්.රාමේෂ්වරන්, එක්සත් මහජන පක්ෂයේ ලේකම් පාර්ලිමේන්තු මන්ත්‍රී ටිරාන් අලස් සහ ශ්‍රී ලංකා කොමියුනිස්ට් පක්ෂයේ නියෝජ්‍ය සභාපති පාර්ලිමේන්තු මන්ත්‍රී  වීරසුමන වීරසිංහ මහත්වරු මෙම හමුවට එක්ව සිටියහ.

  • ‘යුගදනවි ගිවිසුම අත්සන් කළා දැන් ඉතිං හංගන්න දෙයක් නෑ‘ – විදුලිබල අමාත්‍ය ගාමිණි ලොකුගේ

    ‘යුගදනවි ගිවිසුම අත්සන් කළා දැන් ඉතිං හංගන්න දෙයක් නෑ‘ – විදුලිබල අමාත්‍ය ගාමිණි ලොකුගේ

    කෙරවලපිටිය යුගදනවි විදුලි බලාගාරය හිමි වෙස්ට් කෝස්ට් පවර් සමාගමේ 40%ක කොටස් හිමිකරගැනීම සඳහා අදාළ නීතිමය ගිවිසුම අත්සන් කළ බව, අමෙරිකාවේ නිව් ෆෝට්‍රෙස් එනර්ජි (New Fortress Energy) සමාගම නිවේදනයක් නිකුත් කරමින් තහවුරු කර තිබේ.

    ඒ සමගම නව LNG පර්යන්තයක් ඉදිකිරීමේ අයිතියද එම සමාගමට හිමිවන බව අදාළ නිවේදනයේ දැක්වෙයි. එම පර්යන්තය 2023 වනවිට ඉදිකර අවසන්වීමටද නියමිතය.

    එසේම කෙරවලපිටිය යුගදනවි විදුලි බලාගාරය සඳහා ආයෝජනය කිරීමට සහ ශ්‍රී ලංකාවේ විදුලි බලාගාර සඳහා ගෑස් සැපයීමටද එම ගිවිසුම අනුව තමන්ට හැකියාව ලැබෙන බව නිව් ෆෝට්‍රෙස් එනර්ජි සමාගම පවසයි.

    කෙරවලපිටිය යුගදනවි විදුලි බලාගාරයේ විදුලි බල නිපැයුම් හැකියාව මෙගාවොට් 310කි.

    මෙම ගිවිසුම අත්සන් කළ බවට පළමු වරට අනාවරණය කර සිටියේ ජනතා විමුක්ති පෙරමුණේ නායක අනුර දිසානායක විසිනි. ඔහු හෙළිදරව් කර සිටියේ මෙම ගිවිසුම ඇමරිකාවේ නිව් ෆෝට්‍රෙස් එනර්ජි සමගමේ නියෝජිතයා සමග අත්සන් කරනු ලැබූවේ 17 වනදා රාත්‍රී 15.6ට බවය. ඇමරිකාවේ එම නියෝජිතයා එදිනම අළුයම දෙකට පමණ නැවති ලංකාවෙන් පිටව ගිය බවද අනුර දිසානායක අනාවරණය කළේය.

    මූලාශ්‍ර – New Fortress Energy Finalizes Contract with Government of Sri Lanka for LNG Terminal, Investment into 310 MW Yugadanavi Power Plant, and Gas Supply to Country’s Power Plants

    මේ අතර අද දෙරණ සමග පැවැති විශේෂ සම්මුඛ සාකච්ඡාවකදී කෙරවලපිටිය යුගදනවි විදුලි බලාගාරයේ කොටස් 40% අමෙරිකානු සමාගමකට පවරමින් ගිවිසුමක් අත්සන් කළ බව විදුලිබල අමාත්‍ය ගාමිණි ලොකුගේ මහතා පැවසුවේය.

    “අමෙරිකන් සමාගමක් ඉදිරිපත් වෙලා ඉල්ලුවා. ඒගොල්ලන්ට 40%ක් දුන්නා. ඒකේ සම්පූර්ණ ලාභය එන්නේ ආණ්ඩුවට. අවුරුදු 15කට පස්සේ රජයට මේක අයිතිවෙනවා. අත්සන් කරලා තියෙන්නේ. ඒක හංගන්න දෙයක් නෑ,” යනුවෙන් අමාත්‍යවරයා පැවසීය.

    Lanka truth සහ අද දෙරණ ඇසුරිණි