Tag: featured

  • අවුරුදුට ගමේ ගිය අයට ආයේ කොළඹ එන්න බස් සහ කෝච්චි 4361ක්

    අවුරුදුට ගමේ ගිය අයට ආයේ කොළඹ එන්න බස් සහ කෝච්චි 4361ක්

    අලුත් අවුරුද්දෙන් පසුව ඈත ගම්වල සිට කොළඹට පැමිණෙන මගී ජනතාව සඳහා ඒකාබද්ධ මෙහෙයුමක් ප්‍රවාහන සහ සිවිල් ගුවන්සේවා අමාත්‍යාංශය හඳුන්වා දෙයි.

    එම මෙහෙයුම පිළිබඳව මාධ්‍ය දැනුවත් කරමින් විෂය භාර අමාත්‍ය අර්ජුන රණතුංග මහතා පැවසුවේ අවුරුද්දට ගම්බිම්බලා පිටත්ව ගිය ජනතාවට උපරිම සේවාවක් ලබා දීමට ශ්‍රී ලංකා ගමනා ගමන මණ්ඩලය, ශ්‍රී ලංකා දුම්රිය දෙපාර්තමේන්තුව සහ ජාතික ගමනාගමන කොමිසම් සභාව සමත්ව ඇති බවයි.

    පසුගිය අටවැනිදා සිට 13 වැනිදා දක්වා කාලය තුළ ශ්‍රී ලංකා ගමනාගමන මණ්ඩලය ලැබූ රුපියල් මිලියන 400ක ආදායමත් එම කාලය තුළදී කිසිදු දුම්රියක් අවලංගු නොකිරීමත්, පෞද්ගලික බස්රථවල සේවාව ගැන ලැබුණු පැමිණිලි ඉතාම අඩු වීමත් එම සාර්ථකත්වය පෙන්නුම් කරන සාධක බවද අමාත්‍ය අර්ජුන රණතුංග මහතා පැවසීය.

    එම සාර්ථකත්වය මත ලබා ගත් අත්දැකීම්ද උපයෝගි කර ගනිමින් ඉදිරි දින කිහිපයේදී ගම්වල සිට කොළඹ දක්වා පැමිණෙන මගීන්ටද උපරිම සේවාවක් ලබා දීමට කටයුතු යොදා ඇතැයිද අමාත්‍ය අර්ජුන රණතුංග මහතා කියා සිටියේය. ප්‍රවාහන අමාත්‍යාංශයේ අලුත් අවරුදු ඒකාබද්ධ මෙහෙයුම ලබන 22 වැනිදා දක්වා ක්‍රියාත්මක වේ.

    ඒ යටතේ ශ්‍රී ලංකා ගමනාගමන මණ්ඩලයට අයත් බස්රථ 1350ක් ඈත ගම්වල සිට කොළඹ දක්වා ධාවනයට යොදවා ඇත. යොදවා ඇති පෞද්ගලික බස්රථ ගණන 3000ක් වේ.

    ඊට සමගාමීව විශේෂ දුම්රිය 11ක් අප්‍රේල් 20, 21, 22 යන තෙදින තුළදී ධාවනයට දුම්රිය දෙපාර්තමේන්තුව අපේක්ෂා කරයි.

    තවදුරටත් අදහස් දක්වමින් අමාත්‍ය අර්ජුන රණතුංග මහතා පැවසුවේ,

    “ලංගම, දුම්රිය සහ ජාතික ගමනාගමන කොමිසම් සභාව එක්ව අවුරුදු ප්‍රවාහන සේවාවක් දියත් කළ පළමු අවස්ථාව මෙය වනවා. එහි සාර්ථකත්වය මතම ජනතාවට ලැබුණේ අඩු පීඩනයක්. එයින් ඇති වුණු සහනය ගම්වල සිට කොළඹට එන මගීන්ටත් ලබා දීමට අ‍පි අපේක්ෂා කරනවා.

    විශේෂයෙන්ම අධිවේගී මාර්ගයේ කොළඹට එන විට කොට්ටාව පිවිසුමේ දැඩි තද බදයක් ඇති විය හැකි යි. ඒ ගැන සැලකිල්ට ගෙන අතුරුගිරිය, කහතුඩුව වැනි ස්ථාවලින් බස්රථ එළියට ගෙනවීත් කොළඹ දක්වා ධාවනයට කිරීමට අපි අපේක්ෂ කරනවා. ඒ වගේම බස්රථ මගීන් සඳහා අතරමග ක්‍රියාත්මක ආපන ශාලාවලින් අලෙවි කරන ආහාරවල ප්‍රමිතිය ගැනද අපේ අවධානය යොමු කර තිබෙනවා. මෙහිදී තවත් දෙයක් කිවයුතුයි.

    පසුගිය අප්‍රේල් අටවැනිදා අපි බෙලි අත්ත දුම්රිය ස්ථානය විවෘත කළේ. ඒ දවසේ එම දුම්රිය ස්ථානයේ ආදායම රුපියල් 1945යි. නමුත් 17 වැනි දින පමණක් රුපියල් පන් ලක්ෂ හතලිස් දෙදාහක ආදායමක් බෙලිඅත්ත දුම්රිය ස්ථානයෙන් ලැබී තිබෙනවා. ඉදිරි දින කිහියේදී ශ්‍රී ලංගම වෙතින්ද තවත් මිලියන 400ක ආදායමක් ලැබෙනු ඇතැයි අපි අපේක්ෂා කරනවා. දුම්රියේ ආදායමත් එලෙස වර්ධනය වෙනු ඇතැයි මම අපේක්ෂා කරනවා”

  • පිස්සු බල්ලන්ට එජාපය කඩන්න දෙන්නේ නෑ..- රවී දුන් පොලු පහර

    පිස්සු බල්ලන්ට එජාපය කඩන්න දෙන්නේ නෑ..- රවී දුන් පොලු පහර

    මේ දිනවල ඇතැම් අය විවිධ කතා කියාගෙන ගිය ද ඊට පිළිතුරු දීම අවශ්‍ය නොවන බවත් පිස්සු බල්ලෙක් හපා කෑවාට තමන් පෙරළා පිස්සු බල්ලා හපන්නේ නැති බවත් එජාප උපනායක විදුලිබල බලශක්ති හා ව්‍යාපාර සංවර්ධන ඇමැති රවී කරුණානායක මහතා සඳහන් කරයි.

    එජාප නියෝජ්‍ය නායක ඇමති සජිත් ප්‍රේමදාස මහතා විසින් කරන ලද ප්‍රකාශයක් සම්බන්දයෙන් මාධ්‍ය විසින් විමසද්දී ඔහු මේ බව කියා සිටියේය.

    කුමන තරාතිරමේ අයෙකුට වුවද දෙ‍්‍රා්හී වීමට ඉඩ නොතබන බවත් කුමන්ත්‍රණයක් සිදු කිරීමට ඉඩ දෙන්නේ නැති බවත් කී ඇමැතිවරයා එක්සත් ජාතික පක්ෂයට ප්‍රශ්නයක් ඇති කරන්නට කිසිවෙකුට ඉඩ නොදෙන බවද පැවසීය.

    ඔහු මෙම අදහස් පළ කළේ මඩකලපුව වාලච්චේන ප්‍රදේශයේ දී මාධ්‍ය වෙත අදහස් පල කරමිනි.

  • ශ්‍රී ලංකා නාමය අභ්‍යාවකාශ ගත වුණු මොහොත (වීඩියෝ)

    ශ්‍රී ලංකා නාමය අභ්‍යාවකාශ ගත වුණු මොහොත (වීඩියෝ)

    අභ්‍යාවකාශ ක්ෂේත්‍රයේ විශිෂ්ට පියවරක් සනිටුහන් කරමින් ශ්‍රී ලාංකිකයින් දෙදෙනකු නිර්මාණය කළ රාවණා වන් චන්ද්‍රිකාව රැගත් රොකට්ටුව ඊයේ (18) අභ්‍යාවකාශගත කෙරුණේය.

    ශ්‍රී ලංකා වේලාවෙන් ඊයේ අලුයම 2.16 රාවනා වන් චන්ද්‍රිකාව කක්ෂ ගතකෙරුණේ, අමෙරිකාවේ වර්ජිනියා ප්‍රාන්තයේ සිටයි.

    රාවනා වන් චන්ද්‍රිකාවේ නිර්මාණකරුවන් වන්නේ, විදුලි සහ විද්‍යුත් ඉංජිනේරුවරුන් වන තරිඳු දයාරත්න සහ දුලානි චාමිකා විතානගේය. එම චන්ද්‍රිකාව රැගත් සිග්නස් රොකට්ටුව ජාත්‍යන්තර අභ්‍යාවකාෂ මධ්‍යස්ථානය කරා සාර්ථකව ගමන් ආරම්භ කළේ, ශ්‍රී ලංකා වේලාවෙන් ඊයේ අළුයම 2.16ය.

    එම අවස්ථාව තරිදු හා දුලානි සජීවීව නරඹනු ලැබුවේ, චන්ද්‍රිකාව නිර්මාණය කළ ජපානයේ ක්‍යුෂු තාක්ෂණික අධ්‍යයන ආයතනයේ සිටයි. රාවනා වන් චන්ද්‍රිකාවේ සම නිෂ්පාදකයෙකු වන තරිදු දයාරත්න තමන් ඉගෙන ගත් පින්නවල මධ්‍ය මහා විද්‍යාලය සහ පේරාදෙණිය විශ්ව විද්‍යාලයේ නම් චන්ද්‍රිකාවේ පරිපථයක සටහන් කිරීමද විශේෂත්වයකි.

    ඒ අනුව පින්නවල මධ්‍ය මහා විද්‍යාලය PCC ලෙසත් පේරාදෙණිය විශ්වවිද්‍යාලයය UOP සටහන් කර තිබුණි.

    හෙට පස්වරු 6.30 පමණ චන්ද්‍රිකාව රැගත් සිග්නස් රොකට්ටුව ජාත්‍යන්තර අභ්‍යවකාශ මධ්‍යස්ථානයට ළඟාවීමට නියමිත අතර එහි කක්ෂගත කිරීම ඇරඹන්නේ ජුනි මස සිටයි.

    ඒ පෘථිවියේ සිට කිලෝමීටර් 400ක් පමණ දුරක සිටයි. මෙම චන්ද්‍රිකාව කක්ෂගත කිරීමෙන් පසුව දිනකට වට 15 ක් පෘථිවිය වටා භ්‍රමණය වන අතර එහි වේගය තත්ත්පරයට කිලෝමිටර් 7.6ක්. ප්‍රමාණයෙන් ඝන සෙන්ටි මීටර් 1000ක් පමණ වූ මෙම චන්ද්‍රිකාව බරින් කිලෝග්‍රෑම් 1.1 ක්. රාවණා වන් යනු ප්‍රමාණයෙන් කුඩා චන්ද්‍රිකාවක් වන අතර එය හදුන්වනු ලබන්නේ ඝනක චන්ද්‍රිකාවක් ලෙසයි.

    රාවනා වන් චන්ද්‍රිකාව මගින් අපේක්ෂිත ක්‍රියාදාමයන් ගණන පහක්. ශ්‍රී ලංකාවේ සහ ආසන්න කලාපයේ ඡායාරූප ගැනීම. ඉදිරි චන්ද්‍රිකාවලදී භාවිතයට ගැනීමට නියමිත ‘ලෝරා මොඩියුල්’ නම් දත්ත බාගත කිරීම සහ චන්ද්‍රිකාව පාලනය කිරීම සඳහා යොදා ගැනීමට නියමිත මෘදුකාංගයක් අත්හදා බැලීම.

    චන්ද්‍රිකා සැලසුම් කිරීමේදී දැනට භාවිත වන දෘඩාංග ක්‍රමය වෙනුවට මෘදුකාංග ක්‍රමයක් අත්හදා බැලීම. එමෙන්ම කක්ෂගත කිරීමෙන් පසු චන්ද්‍රිකාව තමන් වටා කැරකෙන වේගය අඩු කිරීම පිළිබඳව අත්හදා බැලීම හා පෘථිවියේ චුම්භක ශක්තිය පිළිබඳව අධ්‍යයනය කිරීම. තරිඳු සහ දුලානි නිර්මාණය කරන ලද රාවන් වන් චන්ද්‍රිකාවේ ආයු කාලය අවුරුදු එක හමාරක් වුවත් අවුරුදු 5ක් දක්වා එය ක්‍රියාකළ හැකි බවට විශ්වාස කෙරෙති.

    මෙවැනි චන්ද්‍රිකා ව්‍යාපෘතියක් ආරම්භ කිරීම සහ මෙම චන්ද්‍රිකාවට රාවණා යන නම තැබීම සිදුකර ඇත්තේ කටුබැද්ද ආතර් සී. ක්ලාක් මධ්‍යස්ථානයේ හිටපු අධ්‍යක්ෂ ජනරාල් සනත් පනාවැන්නගේ මහතායි. පේරාදෙණිය විශ්වවිද්‍යාලයෙන් විදුලි සහ විද්‍යුත් ඉන්ජිනේරු උපාධිය හදාරා ආතර් සී. ක්ලාක් මධ්‍යස්ථානයේ පර්යේෂණ ඉංජිනේරුවරයෙකු ලෙස තරිඳු දයාරත්න මහතා කටයුතු කර ඇත.

    ඒ සම්බන්ධයෙන් අදහස් දැක්වු තරිඳු දයාරත්න මහතා,

    “මෙම චන්ද්‍රිකාවේ සබදතා පද්ධතිය ගොඩනැගිම මගේ කොටසයි. එය ඉතා වැදගත් උප පද්ධතියක් වනවා. මන්ද සන්නිවේදන පද්ධතිය බිඳවැටුනොත් චන්ද්‍රිකාව බිඳ වැටෙනවා .ඇත්තටම මෙය ඉතා වැදගත් කාර්යක්.”

    තායිලන්තයේදී විද්‍යුත් යාන්ත්‍රික ඉන්ජිනේරු තාක්ෂණය හදාරා පසුව ආතර් සී. ක්ලාක් මධ්‍යස්ථානයේ සේවයේ නියුතුව සිටි දුලානි චාමිකා විතානගේ එවක තමන්ට පැවරුණු වගකීම පැහැදිලි කළේ මෙලෙසින්.

    “මේ චන්ද්‍රිකාව තමා අක්ෂ වටා කැරකැවෙන කෝණික ප්‍රවේගය අවම කිරිම සදහා අවශ්‍ය පද්ධතිය මම නිර්මාණය කරනවා. මෙම ව්‍යාපෘතිය හරහා මට අවස්ථාව ලැබුණා අභ්‍යාවකාශ ඉංජිනේරු තාක්ෂණය පිළිබදව හැදැරීමට, ඉලෙක්ට්‍රොනික හා වැඩසටහන් පිළිබදව.”

  • තවත් අය බලා සිටියදී දිවියෙක් මිනිහෙක්ව පැහැරගෙන යයි!

    තවත් අය බලා සිටියදී දිවියෙක් මිනිහෙක්ව පැහැරගෙන යයි!

    ඔකඳ ජාතික වනෝද්‍යානයේ මාර්ග සංවර්ධන කටයුතු වල නිරතව සිටි කම්කරුවෙකු අද (18) දිවියෙකු විසින් ඩැහැගෙන ගොස් ඇති අතර බරපතල තුවාල ලැබූ තවත් කම්කරුවෙකු රෝහල් ගත කර ඇති බව පානම පොලිසිය පවසයි.

    පස්දෙනෙකුගෙන් සමන්විත කම්කරුවන් පිරිසක් ට‍්‍රැක්ටරයකින් බොරළු පස් ප‍්‍රවාහනය කර ඇති අතර දිවා ආහාරය ගැනීමෙන් පසුව ඔවුන් තුරු සෙවන සහිත ස්ථානයක ගිමන් හරිමින් සිටියදී දිවියෙකු කඩාපැන එක් අයෙක් ඩැහැගෙන ගොස් ඇති බව කියති.

    එවිට දිවියාගේ ප‍්‍රහාරයට ලක්වූ අනෙක් කම්කරුවා දිවා ගලවාගෙන ඇත. ඔකඳ ජාතික වනෝද්‍යානය භාර නිලධාරියෙකු පැවසුවේ මේ දින වල එහි අභ්‍යන්තර මාර්ග සංවර්ධනය කිරීම සඳහා කොන්ත‍්‍රාත්කරුවන් කටයුතු කරමින් සිටින අතරතුර මෙම අනතුර සිදුවී ඇති බවයි.

    දිවි ගලවාගත් පුද්ගලයා පොතුවිල මූලික රෝහලට ඇතුල් කිරීමෙන් පසුව වැඩිදුර ප‍්‍රතිකාර සඳහා අක්කරපත්තුව රෝහලට මාරුකර යවා ඇත.

  • 2019 ලෝක කුසලානය දිනන ශ්‍රී ලංකා කණ්ඩායම නම් කරයි

    2019 ලෝක කුසලානය දිනන ශ්‍රී ලංකා කණ්ඩායම නම් කරයි

    එළඹෙන මැයි මාසයේදී 2019 ලෝක කුසලාන එක්දින තරගාවලියට සහභාගී ශ්‍රී ලංකා සංචිතය මේ වන විට නම් කර තිබේ.

    ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනයේ පැවැත් වෙන විශේෂ මාධ්‍ය හමුවකට එක්වෙමින් ක්‍රිකට් තේරීම් කමිටු සභාපති අසන්ත ද මෙල් මහතා මෙම ක්‍රිකට් සංචිතය ප්‍රකාශයට පත් කළේය.

    ඒ අනුව ලෝක කුසලාන එක්දින ක්‍රිකට් තරගාවලියට සහභාගී වන ශ්‍රී ලංකා කණ්ඩායමේ නායකත්වයට දිමුත් කරුණාරත්න පත්කර ඇත.

    එහෙත් කණ්ඩායමේ හිටපු නායකයෙක් වන දිනේෂ් චන්දිමාල් ලෝක කුසලාන එක්දින ක්‍රිකට් තරගාවලිය සඳහා යන සංචිතයෙන් ඉවත් කර තිබේ.

    ඒ අනුව සම්පුර්ණ සංචිත පහතින් දැක්වෙයි.

    දිමුත් කරුණාරත්න (නායක)
    ඇන්ජලෝ මැතිව්ස්
    ලසිත් මාලිංග
    කුසල් ජනිත් පෙරේරා
    ළහිරු තිරිමාන්න
    අවිෂ්ක ප්‍රනාන්දු
    කුසල් මෙන්ඩිස්
    ධනංජය ද සිල්වා
    ජෙෆ්රි වැන්ඩ්‍රසේ
    තිසර පෙරේරා
    ඉසුරු උදාන
    සුරංග ලක්මාල්
    නුවන් ප්‍රදීප්
    ජීවන් මෙන්ඩිස්
    මිලින්ද සිරිවර්ධන

    මීට අමතරව අතිරේක ක්‍රීඩයින් ලෙස ඔෂද ප්‍රනාන්දු, ඇන්ජලෝ පෙරේරා, කසුන් රාජිත, වනිඳු හසරංග යන ක්‍රීඩකයින් නම් කර තිබේ.

  • එකම පවුලේ 10 ක් එක තැන මරු තුරුලට ගිය මහියංගනය මාරක රිය අනතුර (Video)

    එකම පවුලේ 10 ක් එක තැන මරු තුරුලට ගිය මහියංගනය මාරක රිය අනතුර (Video)

    මහියංගනය-බදුල්ල මාර්ගයේ මහියංගනය ජාතික පාසැල ඉදිරියේදි අද(17) අළුයම 1.30 ට පමණ වෑන්රථයක් හා පුද්ගලික බස්රථයක් ගැටී සිදුවූ අනතුරින් වෑන්රථයේ ගමන් කළ එකම පවුලේ 10 දෙනෙක් මියගොස් ඇතැයි මහියංගනය පොලීසිය පවසයි.

    මරණයට පත්ව ඇත්තේ මඩකලපුව පනිච්චි අඩි ප්‍රදේශයේ පදිංචිව සිටි ජෝශප් රෙලින්ටන් ජෝජස් (56) සහ ඔහු‍ගේ බිරිඳ වන සිල්වියා ජෝප්ස් (50) ඔවුන්ගේ බෑනාවරු දෙදෙනෙක්, දියණියන් දෙදෙනෙක් , මිනිබිරියන් තිදෙනෙක් හා මුනුබුරෙකි.

    මඩකලපුව ඩව්බාර් පදිංචිව සිටි ලිස්ටර් ඇලෙක්සැන්ඩර් (32) ඔහුගේ බිරිඳ වන නිසාලින් ඇලෙක්සැන්ඩර් (27) සහ නිවුන් දියණියන් වන හනාලි (4) සහ පයිගා (4) ,රත්නම් පාර මඩලපුව පදිංචි යුටි ප්‍රින්ස් හෙන්ඩ්‍රික් (48) ඔහුගේ බිරිඳ වන මරියා පැන්සියා (42) , පුතා වන වෑන් රථය පැදවූ හෙයිඩ් හෙන්ඩ්‍රික් (19) හා සෙරබි හෙන්ඩ්‍රික් (10) යන අයයි.

    යුනි ප්‍රින්ස් මහතාගේ පවුලේ අයගෙන් ජීවිතය බේරි ඇත්තේ වයස අවුරුදු 13 ක් වන ‍සෙගානිගේ පමණක් වන අතර ඇය බදුල්ල මහ රෝහලේ ප්‍රතිකාර ලබයි.

    බදුල්ල මහ රෝහලේ ප්‍රතිකාර ලබන රෙසානි බර්ගසාල් නැමති 16 හැවිරිදි අනෙක් දැරිය ජාඇල පදිංචිකාරියකි. ඇය මෙම මේ අය සමඟ මඩකලපුවෙ යාමට පැමිණි ඥාති දියණියකගේ දියණියකි.

    ඉකුත් සඳුදා මඩකලපුවෙන් පිටත්ව ජාඇල, පින්නවල ඇතුලු ස්ථාන කිපයක සංචාරය කර නැවත මඩකලපුවට යමින් සිටියදී මෙම අනතුර සිදුව තිබේ.

    ත්‍රීකුණාමලය සිට දියතලාව දක්වා ධාවන වෙමින් තිබූ පුද්ගලික බස්රථයෙ මුහුණට මුහුණ ගැටුණ වෑන්රථය බස්රථයේ මීටර් 1 යි සෙ.මි. 80 ක් පමණ ඇතුළට කාවැදී තිබූ බවද පොලීසිය පවසයි.

    වෑන්රථයේ 12 දෙනෙක් ගමන්කර ඇති අතර ඔවුන්ගෙන් ජීවතුන් අතර ඇත්තේ වයස අවුරුදු 13 ක් සහ 16 ක වන ගැහැණු දරුවන් දෙදෙනෙක් පමණි.

    බස්රථය ත්‍රීකුණාමලසේ සිට එන අතර තුර අළුයම 1.30 ට පමන අනතුර සිදුවු ස්ථානයට නුදුරු හෝටලයක් ළඟ නතර කර මගීන් තේ පානය කිරිමෙන් පසු යළි ගමන් අරඹනවාත් සමඟම වැරැදි මංතිරුව ඔස්සේ වේගයෙන් පැමිණ වෑන් රථය බසයේ ගැටී ඇති බව විමර්ශනවලදි අනාවරණය වී තිබේ.

    වෑන්රථයේ රියදුරා නින්ද ගොස් මාර්ගයේ වැරැදි මංතිරුවට ධාවනය වීම නිසා මෙම අනතුර සිදුවන්නට ඇතැයි පොලීසිය අනුමාන කරයි. අනතුරක් වළක්වා නොගැනිමේ චෝදනාව යටතේ බස් රථයේ රියදුරා පොලීසිය විසින් අත්අඩංගුවට ගෙන ඇත.

    https://www.youtube.com/watch?v=Gj-yONL6I_4
  • ගතවූ දින 4 තුළ රිය අනතුරුවලින්  42ක් මරුට

    ගතවූ දින 4 තුළ රිය අනතුරුවලින් 42ක් මරුට

    පසුගිය 13 වනදා සිට අද (17) උදෑසන 06.00 න් අවසන් වූ දින 4ක කාලය තුළ වාර්තා වූ රිය අනතුරු 31 කින් පුද්ගලයින් 42 දෙනෙකු ජීවිතක්ෂයට පත්ව ඇති බව පොලිස් මාධ්‍ය ප්‍රකාශක පොලිස් අධිකාරී රුවන් ගුණසේකර මහතා අද(17) පැවති මාධ්‍ය හමුවකට එක්වෙමින් ප්‍රකාශ කළේය.

    උත්සව සමයේ සැලකිලිමත්ව රිය ධාවනය කරන ලෙස නිරන්තරයෙන් දැනුවත් කිරීම් සිදුකර තිබියදී මෙවැනි අනතුරු වාර්තා වීම කණගාටුදායක තත්ත්වයක් බව සඳහන් කළ මාධ්‍ය ප්‍රකාශකවරයා මෙම රිය අනතුරු සියල්ල වලක්වාගත හැකිව තිබු අනතුරු බවට නිරීක්ෂණය කිරීමේදී පැහැදිලි වන බව ප්‍රකාශ කළේය.

    එළඹෙන සති අන්ත දීර්ඝ නිවාඩුව හේතුවෙන් මාර්ගවල රථවාහන වැඩි වශයෙන් ධාවනය විය හැකි බැවින් රිය ධාවනයේදී සැලකිලිමත් විය යුතු බව පොලිස් මාධ්‍ය ප්‍රකාශකවරයා පවසයි.

    මේ අතර පසුගිය 11 වනදා සිට අද උදෑසන 06.00 න් අවසන් වූ කාලය තුළ බීමත් රියදුරන් 1536 දෙනෙකු අත්අඩංගුවට ගෙන ඇති අතර මාර්ග නීති උල්ලංඝනය කිරීම් සම්බන්ධයෙන් නඩු 42,114 ක් පැවරීමට පියවර ගෙන ඇති බව පොලිස් මාධ්‍ය ප්‍රකාශකවරයා වැඩිදුරටත් පැවසුවේය.

  • ජනපති මෛත්‍රී India වල Shopping ගිහින්

    ජනපති මෛත්‍රී India වල Shopping ගිහින්

    ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා පෞද්ගලික සංචාරයක් සඳහා ඉන්දියාව බලා ඊයේ(16) දිවයිනෙන් පිටත්ව ගියේය.

    එහිදී ජනාධිපතිවරයා සාමාන්‍ය පුරවැසියෙක් ලෙස ඉන්දියාවේ තිරුපති කෝවිල ආසන්නයේ ඇති සාප්පු සංකීර්ණ වෙත ගොස් සාප්පු සවාරියේ යෙදී ඇතැයි ඉන්දීය මාධ්‍ය වාර්තා කර තිබේ.

    ඊයේ පෙරවරු 07.40 ට කටුනායක ජාත්‍යන්තර ගුවන් තොටුපලෙන් ඉන්දියාව බලා පිටත්ව ගිය ජනාධිපතිවරයා දින දෙකක් පුරා එරට රැඳී සිටිනු ඇත. ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා තිරුපති කෝවිල වැඳ පුදා ගැනීමට මෙහිදී සම්බන්ධ වන බවත්, ඔහු ඒ සඳහා එක්වන සිව්වන අවස්ථාව මෙය වන බවත් වාර්තා වෙයි.

    කෙසේ වෙතත් සාමාන්‍ය ජනතාව අතර ගැවෙසෙමින් සාප්පු සවාරියේ යෙදෙන ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා ඉන්දීය මාධ්‍යවල වැඩි අවධානයක් දිනා ගැනීමට සමත්ව තිබේ.

    මීට පෙර 2017 වසරේ ඔක්තෝබර් මාසයේදී ජනාධිපතිවරයා තිරුපති වන්දනාව සඳහා ගොස් තිබුණි.

  • ප්‍රසන්න රණතුංගගේ මස් කිලෝවක් 750 යි ලු

    ප්‍රසන්න රණතුංගගේ මස් කිලෝවක් 750 යි ලු

    අපේ ගම්වල දුප්පත් මිනිස්සු කුකුල් මස් ටිකක් උයලා කටට රහට කෑම වේලක් කන්නේ සිංහල අවුරුද්ද වගේ උත්සව දවසකට විතරයි. හැබැයි අද බලන්න කුකුල් මස් කිලෝ එකක් රුපියල් 750ත් පැනලා. අල කිලෝ එකක් රුපියල් 150යි. ඇඳුම් පැළඳුම් ගත්තත් එහෙමයි. මිනිස්සුන්ට මේ උදා වෙලා තියෙන් කන්න නෙමෙයි ලෙවකන්න වෙන අවුරුද්දක් කියලා අපි කියන්නේ ඒකයි.

    මෙලෙස ප්‍රකාශ කර ඇත්තේ ශ‍්‍රී ලංකා පොදුජන පෙරමුණේ ගම්පහ දිස්ත‍්‍රික් නායක, පාර්ලිමේන්තු මන්ත‍්‍රී ප‍්‍රසන්න රණතුංගය.

    කෙසේ වෙතත් ප්‍රසන්න රණතුංගගේ මස් කිලෝවක් රුපියල් 750 වුත් සාමාන්‍ය වෙළෙඳපොලේ කුකුල් මස් කිලෝව පැවතියේ රුපියල් 400 ත් රුපියල් 500 ත් අතරය. රජය විසින් පනවන ලද කුකුල් මස් කිලෝවක උපරිම සිල්ලර රුපියල් 420 කි. එවැනි තත්වයක් තුළ දේශපාලඥයෙකු වන ප්‍රසන්න රණතුංග වැන්නෙකු රුපියල් 750ක් දී කෑවේ කාගේ මස් දැයි සැකයක් උපදී.

    තම දේශපාලන වාසි උදෙසා මෙවැනි බොරු ගණන් හිලව් පවසමින් ජනතාව නොමඟ යැවීම පිළිකුල් සහගත ක්‍රියාවකි.

  • අපිට පේන්න ඇර ගත්තට, දියවන්නාවේ මන්ත්‍රීවරු එකට අවුරුදු සමරා FUN ගත්තේ මෙහෙමයි

    අපිට පේන්න ඇර ගත්තට, දියවන්නාවේ මන්ත්‍රීවරු එකට අවුරුදු සමරා FUN ගත්තේ මෙහෙමයි

    ජනතාව ඉදිරියේ වාද විවාද, ගුටි බැට, අසභ්‍ය වචන කියමින් කරමින් රංඩු සරුවල් වුවත් ජනතා ඡන්දයෙන් දියවන්නාව තරණය කළ පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් එක්ව අවුරුදු සමරා සතුටු වූයේ මේ අන්දමිනි.

  • කුමන්ත්‍රණවලින් අගමැති වෙන්න බැහැ – ඇමති රවී කියයි

    කුමන්ත්‍රණවලින් අගමැති වෙන්න බැහැ – ඇමති රවී කියයි

    එක්සත් ජාතික පක්ෂයේ අග්‍රාමාත්‍ය ධුරය දැරිමට සුදුසුකම් සහිත එකම නායකයා රනිල් වික්‍රමසිංහ මහතා පමණක් බව විදුලිබල බලශක්ති හා ව්‍යාපාර සංවර්ධන අමාත්‍ය රවී කරුණානායක මහතා පවසයි.

    අසත්‍ය ප්‍රචාර පතුරවමින් එක්සත් ජාතික පක්ෂය තුළ අර්බුද ඇති කිරීමට ඇතැම් කණ්ඩායම් කටයුතු කරමින් සිටින බව මඩකලපුව ප්‍රදේශයේ පැවැති මාධ්‍ය හමුවකදී රවී කරුණානායක මහතා ප්‍රකාශ කළේය. 

    එක්සත් ජාතික පක්ෂයෙන්ම වෙනත් අගමැතිවරයෙක් පත් කිරීමට සූදානමක් ඇති බවට පැතිර යන තොරතුරු සම්බන්ධයෙන් මාධ්‍යවේදීන් විසින් කළ ප්‍රශ්න කිරීමේදී ඇමතිවරයා මේ බව කියා සිටියේය.

    රනිල් වික්‍රමසිංහ මහතා පක්ෂ නායකයා ලෙස කටයුතු කරද්දී වෙනත් කෙනෙකු පක්ෂ නායකයා ලෙස මතු කිරීම හුවා දක්වන්නේ නම් ඉදිරියේදී ඊට විරුද්දව කටයුතු කරන බවද ඇමැතිවරයා සඳහන් කළේය.

    ‘අම්මලා තාත්තලාගේ නම් විකුණල පක්ෂය ඉදිරියට ගෙන යන්න බෑ. අපට තියෙන්නේ ප්‍රතිපත්තියක් වෙනුවෙන් දේශපාලනය කරනවා මිසක් මූණ බලලා තමන්ගේ ආසනේවත් දිනන්න බැරි අය ලංකාවට පෙන්නන්න හදනවා දිනන්න පුළුවන් කියලා. එක්කෙනෙක්ගෙ දෙන්නෙක්ගේ පුම්බන ගමනක් නෙවෙයි තියෙන්නේ. සෘජුව කියන්න කැමතියි අපි නිහඬව සිටින්නේ දුර්වලතා නිසා නොවෙයි’ යයිද ඇමතිවරයා කියා සිටියේය.

  • ආණ්ඩු වෙනසක්! මහින්ද යළි අගමැති වෙන්න සූදානම්..?

    ආණ්ඩු වෙනසක්! මහින්ද යළි අගමැති වෙන්න සූදානම්..?

    මේ දිනවල නැවතත් ආණ්ඩු වෙනසක් සම්බන්ධයෙන් සිදුවන සාකච්ඡා ගැන මාධ්‍ය විසින් වාර්තා කර තිබූ බවත් යලිත් අගමැති ධූරය භාර ගන්නේදැයි එහි සිටි පුද්ගලයෙකු මහින්ද රාජපක්ෂ මහතාගෙන් විමසූ විට ඒ මහතා කියා සිටියේ ‘බුදු අම්මෝ මට නම් ඒක එපා’ යනුවෙනි.

    මහ මැතිවරණයකින් තොරව තමනට නැවත අගමැතිකම කිසිසේත් ම උවමනා නැති බව හිටපු ජනාධිපති වත්මන් විපක්ෂ නායක මහින්ද රාජපක්ෂ මහතා පැවසීය.

    තංගල්ල කාල්ටන් නිවසේ එහි පැමිණි අමුත්තන් හා සාකච්ඡා කරමින් සිටියදී රාජපක්‍ෂ මහතා මේ බව පැවසීය.

    කෙසේ වෙතත් ශක්තොම්බර් 26 වැනිදා අගමැති ධුරය බාර ගත් නිසා රටට ජයග‍්‍රහණ ගණනාවක්ම අත් වූ බවත් කී ඔහු නැවත අගමැති වන්නේ මහ මැතිවරණයකින් පසුව බවද පැවසීය.

  • මෛත්‍රී නිහඬවම දුන් ආදර්ශය

    මෛත්‍රී නිහඬවම දුන් ආදර්ශය

    සිංහල දෙමළ අලුත් අවුරුදු නැකැත් චාරිත්‍ර වෙනුවෙන් පැළයක් සිටුවිම ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතාගේ ප්‍රධානත්වයෙන් අද සිදු කෙරුණි.

    පෙරවරු 11.17ට යෙදුණු තුන් පොකුරු යෝගය නැකැත් වේලාවේදී ස්වේත වර්ණයෙන් සැරසී නැගෙනහිර දිශාව බලා ජනාධිපතිවරයා විසින් ජනාධිපති නිල නිවසේදී පැළයක් සිටුවා තිබේ.

    පැළයක් සිටුවා පරිසරය සුරකීම වෙනුවෙන් දායක වන ලෙස ජනාධිපතිවරයා සමස්ත ප්‍රජාවගෙන් ඉල්ලීමක් ද කර තිබුණි.

  • මැයි 01 වනදා සිට පෞද්ගලික අංශයේ වැටුප් ඉහළට

    මැයි 01 වනදා සිට පෞද්ගලික අංශයේ වැටුප් ඉහළට

    පෞද්ගලික අංශයේ අවම වැටුප මැයි 01 වැනිදා සිට රුපියල් 12,500 ක් දක්වා වැඩි කිරීමට කටයුතු යොදා තිබේ. මීට පෙර එය රුපියල් 10,000ක් විය.

    කම්කරු ඇමති රවීන්ද්‍ර සමරවීර මහතා ජාතික කම්කරු උපදේශන කවුන්සිලයේ (ජාතික කම්කරු උපදේශක සභාවේ) කමිටුවේ විශේෂ රැස්වීමක දී මෙම සහතිකය ලබා දී තිබේ.

    මේ අනුව, ගැසට් නිවේදනය නීතිමය වශයෙන් ක්‍රියාත්මක වන විට පුද්ගලික අංශයේ සේවකයන්ට අවම මාසික වැටුපකට හිමිකම් ලැබේ.

    අවම වැටුපට අනිවාර්යයෙන් අයවැය සහන දීමනා වශයෙන් රුපියල් 3,500 ක් එකතු වන අතර ඒ අනුව පෞද්ගලික අංශයේ අයකුගේ වැටුප රුපියල් 16,000ක් දක්වා වර්ධනය වේ.

  • ජනපති, අගමැති, විපක්ෂනායක එකට අවුරුදු කෑ හැටි (වීඩියෝ)

    ජනපති, අගමැති, විපක්ෂනායක එකට අවුරුදු කෑ හැටි (වීඩියෝ)

    දේශපාලන පක්ෂ පාඨ භේදයකින් තොරව ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතාත්, අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතාත්, විපක්ෂනායක මහින්ද රාජපක්ෂ මහතාත් ඊයේ(14) එකම වේලාවක තමන්ට පක්ෂ විපක්ෂ ජනතාව සමඟ එක්ව එකට එකම වේලාවක රටේ පුරවැසියන් සමඟ අවුරුදු චාරිත්‍ර ඉටුකළහ. සියල්ලන්ම එකම වේලාවක රටේ ජනතාව සමඟ කිරි ඉතිරවූහ.

  • රංග රාජපක්ෂගේ සැබෑ ඝාතකයා කවුරුන්ද..? (වීඩියෝ)

    රංග රාජපක්ෂගේ සැබෑ ඝාතකයා කවුරුන්ද..? (වීඩියෝ)

    පසුගිය 2018 ඔක්තෝම්බර් මස 28 වනදා ඛනිජතෙල් සංස්ථා භූමියේදී සියල්ලන් ඉදිරියේ වෙඩි තබා ඝාතනයට ලක්කළ ඛනිජ තෙල් සංස්ථාවේ සේවකයෙකු වන රංග රාජපක්ෂ මහතාගේ සැබෑ ඝාතකයා කවුරුන්ද..? එම ඝාතනය යට ගසන්නට සිදුවන සැලසුම කවර ආකාරයේ එකක්ද යන්න මේ රටේ සාමාන්‍ය ජනතාවගේ යුක්තිය, සාධාරණත්වය වෙනුවෙන් විමසා බැලිය යුත්තකි.

    පසුගිය ඔක්තෝම්බර් 26 වනදා ආණ්ඩු පෙරලියත් සමඟ ඒ මොහොතේ එක්සත් ජාතික පක්ෂයේ සිටි සියලුම අමාත්‍යවරුන්ට තම අමාත්‍යධුර සහ අමාත්‍යංශ අහිමි විය. ඒ සමඟම එජාපයේ සිටි මැති ඇමතිවරුන් ඇතුළු මන්ත්‍රීවරුන් සියල්ලන් එක්ව උරදුන්නේ යළි තම ආණ්ඩුව ලබාගැනීමේ සටනටයි. කිසිවෙකුත් තම ආමාත්‍යංශවලට බලහත්කාරයෙන් නීතිවිරෝධීව රිංගන්න ගියේ නැත. මේ මොහොතේ එවක ඛනිජ තෙල් අමාත්‍යවරයා වූ අර්ජුන රණතුංග සිටියේ විදේශගතව වන අතර සිද්ධිය සැලවීමත් සමඟම අර්ජුන තිගැස්සුනේය. ඔහුට ගැටලුව වූයේ එක්සත් ජාතික පක්ෂයට ආණ්ඩුව අහිමිවීම නොව තමා ඉහගෙන කෑ ඛනිජ තෙල් අමාත්‍යංශය අහිමි වීමට බව සාක්ෂාත් කළ පෙන්වූයේ වෙන කිසිවෙකුත් නොව ඔහුමය.

    පක්ෂයට වඩා ලොකු වුණු හොරකම්

    ආණ්ඩු පෙරළිය සැලවීමත් සමඟම විදෙස් ගතව සිටි ඇමති අර්ජුන එසැනින් ලංකාවට පැමිණියේය. කටුනායකයින් ගොඩබට අර්ජුන විදුලි වේගයෙන් ගියේ තමා නියෝජනය කරන එක්සත් ජාතික පක්ෂයේ ආණ්ඩුව යළි බලයට ගෙන ඒමේ සටනට පණ පෙවීමට නොව තමා හිටපු අමාත්‍යංශයේ තමාගේ කුප්‍රකට ගැහිලි ඇතුලත් ලිපිගොනු ටික හොරෙන් පන්නා ගැනීමටය. මෙම සිදුවීම තුළ සුදු පිරුවට අඳින අර්ජුන දූෂිත හොරෙක් යන සැකය මතුකරන්නේ වෙන කිසිවෙකුත් නොව ඔහුගේ මෙම පහත් හැසිරීම තුලමය. ඊට හේතුව නම් ඒ මොහොතේ අර්ජුන හැර එක්සත් ජාතික පක්ෂයේ වෙන කිසිඳු ඇමතිවරයෙකු බලහත්කාරයෙන් තම අමාත්‍යංශවලට පැන ලිපිගොනු උස්සන්න ගියේ නැත. ඔවුන් සියල්ලන්ම ඒ මොහොතේ එකාවන්ව කැපවුණේ තම ආණ්ඩුව රැකගැනීම වෙනුවෙනි.

    එහෙත් ඒ මොහොතේ ඇමතිවරුන්ට තම අමාත්‍යංශවලට ඇතුල්වීම තහනම් කර තිබියදීත් නීතිවිරෝධීව බලහත්කාරයෙන් අමාත්‍යංශයට කඩාපැන ලිපිගොනු පැහැරගැනීමට ගිය ඇමති අර්ජුන රණතුංගට ඛනිජ තෙල් සේවකයින්ගෙන් එල්ලවූයේ දැඩි විරෝධයකි.

    බඩු සමඟ හොරා හෙලුවෙන්

    ඔවුන් තම අමාත්‍යංශයේ ලිපිගොනු අර්ජුනට බලහත්කාරයෙන් පැහැරගෙන යෑමේ අවස්ථාව ලබාදුන්නේ නැත. ඔවුන් එකාවන්ව එක්ව මෙම කුප්‍රකට දූෂිත ඇමතියාව වටකර පොලිසියට භාරදීමට සැරසුණහ. පැන්නවීමට ගිය හොර ෆෙයිල් සමඟ පොලිසියට කොටු වීම “බඩු සමඟ හොරා හෙලුවෙන්” වැනි සිදුවීමක් වන බැවින් අර්ජුන හොඳින් හෝ නරකින් එතැනින් පිටවීමට උත්සහා දැරූ බව එම සිදුවීමට අදාළ සීසීටීවී දර්ශන නිරීක්ෂණයෙන් පෙනෙන්ට තිබේ. ඒ වෙනුවෙන් තමා වටකර ගත් තමා හිටපු අමාත්‍යංශයේ සේවකයින්ට වෙඩි තබා මරා දැමීමට ඔහුගේ අණ යටතේ සිටින අංග ආරක්ෂකයින් හරහා ක්‍රියාත්මක විය. අවසානයේ අර්ජුන නීතිවිරෝධීව අමාත්‍යංශයට රිංගා තම හොර ලිපිගොනු පැහැරගෙන යෑම වෙනුවෙන් සියල්ලන් ඉදිරියේ සේවකයෙක් වෙඩි තබා මරා දැම්මේය. තවත් සේවකයින් පිරිස් බරපතළ තුවාල ලැබූහ. ඔවුන්ගෙන් සමහරු තවමත් අසාධ්‍ය තත්වයෙන් රෝහලේය.

    එසේ ඝාතනයට ලක්කල සේවයාගේ ලේ මතින් අර්ජුන අවසානයේ පැනගියේ පොලිස් විශේෂ කාර්යය බලකායේ පිහිටෙනි. රණතුංගලාට මෙවැනි අමානුෂික ඝාතන, පක්කිලි වැඩ අමුතු දෙයක් නොවන්නේ රෙජී රණතුංගලාගේ සිට ජානවලින් එන නිසා වන්නට පුළුවන.

    ජාලගත රණතුංග සහ සහෝදර සමාගම

    ඒ මොහොතේ සේවකයෙකු මරා තවත් සේවකයින් කිහිපදෙනෙකු බරපතල තුවාල ලබා සිටියදී සේවාස්ථානයෙන් පොලිස් රැකවල් මැද පලාගිය තමා ලෝකශූරයා යැයි කියාගන්නා අර්ජුන දින කිහිපයක් සැඟව සිටියේ හිරේ නොයා බේරීමටය. ඒ වෙනුවෙන් අර්ජුන එජාපයට ගැන තුට්ටුවකට මායිම් කළේ නැත. ඒ මොහොතේ අග්‍රාමාත්‍යවරයා වූයේ මහින්ද රාජපක්ෂ මහතාය. ඒ මොහොතේ ගාමිණී ලොකුගේ හරහා ඒ සහය තුළින් තම වැඩිමහල් සහෝදරයා වෙනුවෙන් ක්‍රියාත්මක වූයේ රණතුංග පවුලේ අර්ජුනගේ සොහොයුරු මහින්ද පාර්ශවය නියෝජනය කරන පාර්ලිමේන්තු මන්ත්‍රී ප්‍රසන්න රණතුංගය. බූවලු න්‍යාය මත දේශපාලනයේ සෑම දිශාවකටම ස්ථාන ගත වූ රණතුංග සහෝදර ජාලය තම වැඩිමහල් සහෝදරයා මුදවාගැනීම වෙනුවෙන් වහාම ක්‍රියාත්මක විය. ඒ අනුව තම අණමත තම ආරක්ෂාව වෙනුවෙන් ක්‍රියාකරන අංග ආරක්ෂකයා බිල්ලට දී අර්ජුන හිරේ නොපතා බේරීමට සමත් විය. මෙය මෙතෙක් දේශපාලනයේ බිහිව ඇති විශාලතම සහෝදර ජාලය වන රණතුංග සහ සහෝදරයින්ගේ කූට දේශපාලන උපායමාර්ගික සැලැස්ම ඇස්පනාපිට විද්‍යාමාන කර පෙන්වූ සුවිශේෂී අවස්ථාවකි.

    රණතුංග සහ සහෝදර සමාගමේ එක් සහෝදරයින් පිරිසක් දේශපාලන ක්ෂේත්‍රය ප්‍රධාන පක්ෂ තුන හරහා නියෝජනය කරන අතර තවත් සහෝදරයින් පිරිසක් මාධ්‍ය ඇතුළු ප්‍රධාන රාජ්‍ය සහ පෞද්ගලික ආයතනවලට අරක්ගනිමින් තම ඉහළ සහෝදරයින්ට අවශ්‍ය ඉන්ධන සපයයි.

    සැබෑ මිනීමරුවා බේරෙන්න දෙන බිල්ල

    කෙසේ වෙතත් 2018 ඔක්තෝම්බර් 28වනදා ඛනිජ තෙල් සංස්ථාවේ සේවකයෙකු වු රංග රාජපක්ෂ මහතා වෙඩි තබා මරාදැමීමේ සිද්ධියෙන් අර්ජුන බේරී ඒ වෙනුවට තම අංග ආරක්ෂක පොලිස් නිලධාරීයා බිලිදුන් අතර ඔහුවද පසුගියදා අර්ජුන කූට ලෙස බේරාගත්තේ නීතියටද කොළේ වසා බව මේ වන විට සාක්ෂි සහිතව ඔප්පු වෙමින් තිබේ. සියල්ලන් ඉදිරියේ මිනීමරා, තවත් අයවලුන්ට බරපතළ තුවාල සිදුකොට ඊට අණදුන් බවට සැක කෙරෙන ඇමති අර්ජුන සහ වෙඩි තැබූ ඔහුගේ අංග ආරක්ෂක පොලිස් නිලධාරීයා නිදහස් වන්නේ කෙසේද..? ඝාතනයට ලක්වූ සේවකයෙකු මෙන්ම මේ රටේ සාමාන්‍ය පුරවැසියෙකුට යුක්තිය ඉටුවන්නේ මෙසේ නම් එය ඉතා අනුවේදනීය ප්‍රශ්නාර්ථයකි. මේ සම්බන්ධයෙන් එම සිදුවීමේ ඇසින් දුටු සාක්ෂි සමඟ වන හෙළිදරව්වක් සිදුකරන්නේ ඒ මොහොතේ එම ස්ථානයේ සිටි ඛනිජ තෙල් සංස්ථාවේ වෘත්තීය සමිති සංගමයේ සභාපති බන්දුල සමන් කුමාර මහතාය.

    මේ ඒ සම්බන්ධයෙන් වන සුවිශේෂී අනාවරණයයි.