Tag: featured

  • අලුත් වු කටුනායක ධාවන පථය අද සිට යලිත් සේවයට..

    අබලන් වීම නිසා  නවීකරණය කරන ලද කටුනායක බණ්ඩාරනායක ජාත්‍යන්තර ගුවන්තොටුපොළේ ධාවන පථය විවෘත කර තිබෙන අතර ධාවන පථය විවෘත කරමින් ඉන්දියාවේ  ත්‍රිවේන්ද්‍රන් සිට පැමිණි ශ්‍රී ලංකන් ගුවන් සේවයට අයත් යූ.එල්.1162 යානය ගොඩබැස්සු බව  සදහන්.
    ධාවන පථයේ නවීකරණ කටයුතු සඳහා වැය කර ඇති මුදල රුපියල් කෝටි 750ක් වන අතර  චීන සමාගමක් විසින් එහි නවීකරණ කටයුතු සිදුකර ඇති බව වාර්තා වෙයි.
     ධාවන පථය විවෘත කිරීමේ අවස්ථාවට ප්‍රවාහන අමාත්‍ය නිමල් සිරිපාල ද සිල්වා මහතා, නියෝජ්‍ය අමාත්‍ය අශෝක අබේසිංහ, ශ්‍රී ලංකාවේ චීන තානාපතිවරයා හා කුවේට් තානාපතිවරයා ඇතුළු පිරිසක් සහභාගී වී තිබේ. 
    [rns_reactions]
  • ජනපති නියමයෙන් නියඟයෙන් විපතට පත් ගොවීන්ට සිංහල අවුරුද්දට පෙර රු.10,000ක්

    ජනාධිපතිතුමාගේ නියෝගයකට අනුව මෙවර මහ කන්නයේ නියගය නිසා විපතට පත් ගොවිපවුල් සඳහා, එක් පවුලකට රු.10,000ක් බැගින් ‍විශේෂ මුල්‍ය සහනාධාරයක් 2017 අප්‍රේල් මාසය සඳහා ගෙවීමටත් සිංහල හා හින්දු අලුත් අවුරුද්දට පෙර එම මුදල ලබා දීමටත් රජය තීරණය කොට තිබේ.

    මේ අනුව 2016/2017 මහ කන්නයේ වී වගා කොට නියගය නිසා වගා හානි වූ ගොවීන්ට ද නියගය නිසා වගා හානි වූ අනිකුත් බෝග වගා කළ ගොවීන්ට ද නියඟය නිසා වී වගා නොකල ගොවීන්ට ද මෙම මුදල ලැබෙනු ඇත.

    මෙම මුල්‍ය සහනාධාරය සිංහල හා හින්දු අලුත් අවුරුද්දට පෙර එම ගොවි පවුල් වලට ලබා දීම සඳහා කඩිනමින් පිය‍වර ගන්නැයි ‍ජනපතිතුමන්ගේ උපදෙස් පරිදි කෘෂිකර්ම අමාත්‍ය දුමින්ද දිසානායක මහතා අදාළ අංශවලට උපදෙස් දී තිබේ.

    [rns_reactions]

  • අසේල/මාලිංග මව්බිම වෙනුවෙන් සටනට එද්දී මහේල ඉන්දියාවට යයි..

    ඉන්දීය IPL ලීග් තරගාවලියේ මුම්බායි ඉන්දියන්ස් කණ්ඩායම ක්‍රිඩා කරන පළමු තරගය අද (06දා) රසියින් සුපර් ගෙයින්ට්ස් කණ්ඩායමට එරෙහිව පැවැත්වීමට නියමිතය. බංග්ලාදේශ කණ්ඩායම හා ශ්‍රි ලංකා කණ්ඩායම අතර දෙවැනි විස්සයි20 තරගය අද ආර්. ප්‍රෙමදාස පිටියේ පැවැත්වීමට නියමිත හෙයින් ලසිත් මාලිංග හා අසේල ගුණරත්න ශ්‍රි ලංකා කණ්ඩායම නියෝජනය කරමින් තරග වැදීමට නියමිතය.

    ඒ අනුව ඉන්දීය ප්රිමියර් ලීග තරගාවලියේදි මෙවර මුම්බායි කණ්ඩායම නියෝජනය කරන ලසිත් මාලිංගට හා අසේල ගුණරත්නට අද තරගය අහිමි වෙනු ඇත. ඉන්දීය ලීග් තරගාවලියේ ආරම්භයේ පටන් මුම්බායි ඉන්දියන්ස් කණ්ඩායම නියෝජනය කරන මාලිංග අයි.පී.එල්. තරගාවලියේ වැඩිම කඩුලු ලාභියාද වෙයි.

    අසේල ගුණරත්න මෙවර වෙන්දේසියේදි මුම්බායි ඉන්දියන්ස් කණ්ඩායම මිලදි ගත්තේය. මේ අතර මුම්බායි ඉන්දියන්ස් කණ්ඩායමේ පුහුණුකරු ලෙස මහේල ජයවර්ධන කටයුතු කරන අතර ඔහුගේ පළමු තරගයද මෙය වෙයි.

    [rns_reactions]

  • වරද පිළිගත් දුමින්දට තවත් දඩුවමක්..

    වසර තුනකට අදාළ වත්කම් බැරකම් ඉදිරිපත් නොකිරිමේ චෝදනාවට අදාළ නඩුව අද කැදවු අවස්ථාවේ භාරත ලක්ෂ්මණ් ප්‍රේමචන්ද්‍ර ඝාතන නඩුවෙන් මරණ දඩුවම නියමවි සිටින දුමින්ද සිල්වා හට තවත් දඩුවමක් නියම කර ඇති බව අපට වාර්තා වේ.

    ඒ අනුව එම චෝදනාවට වරද පිළිගත් ඔහුට ලංකා මුදලින් තුන් දහසක දඩ මුදලක් නියම කර ඇති බව සදහන්.

     

    [rns_reactions]

  • ජාත්‍යන්තර වෙසක් උළෙලට සමගාමීව විහාරස්ථාන සඳහා පූජා ඔප්පු ලබාදීමේ වැඩසටහනක්..

    මෙම මැයි මාසයේ ශී‍්‍ර ලංකාවේදී අති උත්කර්ෂවත් අන්දමින් පැවැත්වීමට නියමිත 2017 ජාත්‍යන්තර වෙසක් උළෙලට සමගාමීව දිස්ති‍්‍රක්ක 16 ක විහාරස්ථාන 60 ක් සඳහා පූජා ඔප්පු ලබාදීමේ වැඩසටහනක් ජනාධිපති ගරු මෛතී‍්‍රපාල සිරිසේන මැතිතුමාගේ ප‍්‍රධානත්වයෙන්  ජනාධිපති කාර්යාලයේ දී සිදු විය.

    රජයේ ඉඩම්වල පිිහිටා ඇති විහාරස්ථානවල අයිතිය සුරක්ෂිත කිරීම උදෙසා එම විහාරස්ථානවල විහාරාධිපති ස්වාමින් වහන්සේලා සහ ශිෂ්‍ය භික්ෂුන් වහන්සේලා වෙත විහාරස්ථානවල නිරවුල් අයිතිය ලබාදෙමින් රජයේ ඉඩම් ආඥාපනත යටතේ සකස් කරන ලද පූජා ඔප්පු මේ අනුව සඟ සතු කොට පූජා කිරීම සිදු විය.

    ගරු ජනාධිපතිතුමාගේ උපදෙස් පරිදි බුද්ධශාසන අමාත්‍යාංශයේ සහ බෞද්ධ කටයුතු දෙපාර්තමේන්තුවේ සහයෝගයෙන් ඉඩම් අමාත්‍යාංශය හා ඉඩම් කොමසාරිස් ජනරාල් දෙපාර්තමේන්තුවේ මෙහෙයවීමෙන් වැඩසටහන සංවිධානය කර තිබුණි.

    කෝට්ටේ ශී‍්‍ර කල්‍යාණි සාමගි‍්‍ර සංඝ සභාවේ මහානායක ආචාර්ය පූජ්‍ය ඉත්තෑපානේ ධම්මාලංකාර නායක ස්වාමින් වහන්සේ ප‍්‍රමුඛ මහා සංඝරත්නය ද, ඉඩම් අමාත්‍යාංශයේ ලේකම් අයි.එච්.කේ. මහානාම, ඉඩම් කොමසාරිස් ජනරාල් ආර්.එම්. චන්ද්‍රා හේරත් යන මහත්වරුන් ඇතුළු පිරිසක් මෙම අවස්ථාවට එක්ව සිටියහ.

    [rns_reactions]

  • ගර්භණි මවුවරුනට දෙන පෝෂණ මල්ල දෙන්න – කඩවත ලංකා සතොසට බාලගිරි දෝෂයක්..

    මෙම පුවත අපට ලැබුණු පැමිණිලි රාශියක් පිළිබදව කරන ලද සමික්ෂණයක ප්‍රතිඵලයක් ලෙස පළකරන්නෙමු..මාර්තු මාසයට අදාල පෝෂණ මල්ල සදහා ප්‍රාදේශිය ලේකම් කාර්යාලයෙන් වවුචර පත් ලබාදි ඇත්තේ මාර්තු මස 27 වන දින වන අතර මාර්තු 28 එයට අදාල භාණ්ඩ ලබාගැනිමට සතොසට ගිය පාරිභෝගිකයන් හට කළමණාකාරිත්වය විසින් දන්වා ඇත්තේ මාර්තු 26 දිනට පෙර එම භාණ්ඩ ලබාදුන් බවයි. ප්‍රාදේශිය ලේකම් කාර්යාලයෙන් වවුචර පත් නිකුත් ක‍රන ලද්දේ මාර්තු 27 නම් මාර්තු 26 භාණ්ඩ ලබාගන්නේ කෙලෙසදැයි විමසු පාරිභෝගිකයෙක්ට පහරදිමට තරමට ඉහත කළමණාකාරිත්වය සැහැසි වු බවද සදහන්. මේ අතර ගර්භණි කාන්තාවන්ගේ පෝෂණ මල්ලට අදාළ භාණ්ඩ සවස 5න් පසුව ලබානොදිමට තරමට තරම් ඔවුන් සිත්පිත් නොමැති නොමිනුසුන් වි ඇති අතර  ඔවුනගේ අරමුණ ජනාධිපතිතුමාගේ සංකල්පය කඩකප්පල් කිරිම බව සක්සුදක් සේ පැහැදිලිය.

    මේ අතර ඔවුන් තවත් හාස්‍ය ජනක ප්‍රකාශ නිකුත් කිරිම ආරම්භ කර ඇත. සෑම මසකම 15 වැනිදාට පෙර භාණ්ඩ ලබාගැනිමට පැමිනෙන ලෙස දන්වමින් අවසන ප්‍රාදේශිය ලේකම් කාර්යාලයෙන්  එම මස 27 වනදා නිකුත් කරන වවුචරය රැගෙන යන  ගර්භනි කාන්තාවන් රස්තියාදු කරමින් පිඩාවට පත්කරමින් මොවුන් මේ කරන පහත් නින්දිත ක්‍රියාවට දැඩි දඩුවම් ලබාදිම සිදුකල යුතුමය. මේ අතර අප්‍රේල් මස 02 වන දින ඉහත සතොසට ගිය පාරිභෝලිකයෙක්ට ඉහත කළමණාකාරිත්වය විසින් දැනුම් දි ඇත්තේ අප්‍රේල් මස 15 වන දින භාණ්ඩ ලබාදෙන බවයි. එයටද නිශ්චිත දින නියමයක් නොමැති බවද පවසා ඇති අතර  එදින නිවාඩු දිනයක් නොවේදැයි පාරිභොගිකයා විමසුවිට ඔහු පවසා ඇත්තේ නිවාඩු නම් වෙන දවසක එන්න. හදිස්සියක් නෑනේ යනුවෙනි..

    සිත් පිත් නැති මෙවැනි නොමිනුසුන්ගේ මෙවැනි වසල ක්‍රියාවන් නිසා ජනාධිපතිතුමාගේ අභිලාෂයන් ඉටුකරගැනිම ඉතා අපහසු වන බව නම් සදහන් කල යුතුමය. මෙවැනි නොමිනුසුන්ගේ වසල ක්‍රියාවන්ට කඩිනමින් නිතිය ක්‍රියාත්මක කිරිම සියළු බලධාරින්ගේ යුතුකමක් මෙන්ම වගකිමක්ද වන බව සදහන් කරනු කැමැත්තෙමු.

    [rns_reactions]

  • ජයටම කෙරෙන උමා ඔයේ ගණිකා ජාවාරම.

    උමා ඔයේ කදුළු කතාව අස්සේ ජයටම කෙරෙන  ඉරාන ජාතිකයන් හට ඉහල මිල ගණන් වලට ගණිකාවන් සැපයීමේ සංවිධානාත්මක ජාවාරමක් පවතින බව වාර්තා වේ.

    උමා ඔය ව්‍යාපාරයේ වඩ බිම් පවතින කරදගොල්ල , ඩයරබා, මිරහවත්ත ආදී ප්‍රදේශවල ඉරාන ජාකිතයන් සේවය කරන අතර ඔවුන් හට අවට ප්‍රදේශවල කාන්තාවන් ගණිකා ලෙස ඉහල මිල ගණන් වලට සැපයීමේ මෙම ජාවාරම සිදුවන බැව් ප්‍රදේශවාසීන් කියයි.

    වැඩබිම් අවට කාන්තාවන් මෙන්ම වැලිමඩ, බණ්ඩාරවෙල , ඇල්ල ආදී ප්‍රදේශවල කාන්තාවන්ද මේ වන විට ඉරාන ජාතිකයන් ඉලක්ක කර ගෙන ගණිකා වෘත්තියේ නිරත වන බැව් වාර්තා වන අතර මේ සදහා උමා ඔය ව්‍යාපාරයේ සේවය කරන දේශීය සේවකයින්ගේද සහය ලැබෙන බැව් කියවේ.

    මේ හේතුව නිසා ප්‍රදේශයේ සමාජ රොග ව්‍යාප්ත විමේ තත්වයක්ද ඇති වී තිබෙන අතර කාන්තාවන් රැගෙන යෑමට රථ වාහන රැසක්ද යොදාගෙන ඇති බව ප්‍රදේශ වාසින් කියති.

    මුළු ප්‍රදේශයම දන්නා ප්‍රසිද්ධ රහසක් වී ඇති මෙම ගණිකා ජාවාරම මැඩ පැවැත්වීමට නිතිය රකින බලධාරින් කටයුතු නොකිරීම කණගාටුවට කරුණක් බව ප්‍රදේශයේ ජනතාව කියති.

    [rns_reactions]
  • සිසුවියට අතවර කල ගුරුතුමාට වසර 20ක හිර දඩුවමක්.

    මෙයට වසර 09 කට ඉහතදී අකුරැස්‌ස ඇල්ලවෙලදී 16 හැවිරිදි පාසල් සිසුවියකට උපකාරක පන්තියේදී ලිංගික අපයෝජන කළ බවට ඔප්පු වූ උපකාරක පන්ති ගුරුවරයාට මාතර මහාධිකරණ විනිසුරු දමිත් තොටවත්ත මහතා විසින් වසර 20 ක (විස්‌සක) බරපතළ වැඩ ඇතිව සිරදඬුවම් නියම කළේය.

    මෙයට අමතරව රුපියල් දස දහසක දඩයක්‌ද, දඩය නොගෙවන්නේ නම් තවත් සය මසක සිරදඬුවම් නියම කෙරිණි.

    අකුරැස්‌ස පදිංචි රාමනායක ගමගේ කරුණාදාස (65) නම් අයට මෙසේ දඬුවම් නියම විය. 2008 මාර්තු 18 වැනිදා හෝ ඊට ආසන්න දිනයකදී අකුරැස්‌ස ඇල්ලවෙලදී 16 හැවිරිදි සිසුවියක්‌ ලිංගික අපයෝජනයට ලක්‌ කිරීම සම්බන්ධයෙන් මෙසේ දඬුවම් නියම විය. පැමිණිල්ල වෙනුවෙන් රජයේ අධිනීතිඥ සමාදනී පියසේන මහත්මිය පෙනී සිටියාය.

    [rns_reactions]

  • අවුරුදු සමයේ සීතල නුවර එළියේ අලුත්ම වැඩක් – AFC Motorbike Show 2017

    අවුරුදු සමයේ සීතල නුවර එළියේ අලුත්ම වැඩක් AFC Motorbike Show 2017. බයික් පදින බයික් වලින් හැඩ දාන වැඩ දාන අපේ කොල්ලො කෙල්ලො වෙනුවෙන් මෙවර අවුරුදු සමයේ සීතල නුවර එළියේ තවත් අලුත් අත්දැකීමක් මෙන්න.

    ලොව ප්‍රමුඛ පෙලේ ස්ටන්ට් ධාවකයකු වන ප්‍රංශ ජාතික Romain jeandrotගේ සුපිරි ස්ටන්ට් සංදර්ශනද ඇතුලුව DJ සංගීතය සමඟින් බයික් ස්ටන්ට් තරඟ, ස්ටන්ට් සංදර්ශන, පොලිස් සුනඛ සංදර්ශන, පොලිස් බයික් සංදර්ශන සහ විවිධ තරඟ රැසක අත්දැකීම් විඳගන්නට අවස්ථාවක්….

    [rns_reactions]

  • IPL ප්‍රේක්ෂකයින් මවිත කල වෝනර්ගේ අමතක නොවන උඩපන්දු රැකිම මෙන්න..

    ඉන්දිම ප්‍රිමියර් ලිග් තරගාවලියේ රෝයල් චැලෙන්ජස් බැංගලෝර් පිලට එරෙහිව පැවැති තරගය අතරතුර ඩේවිඩ් වෝනර් විසින් රැකගත් ටයිමාල් මිලස්ගේ සුවිශේෂි උඩපන්දුව කාගෙත් කතාබහට ලක්ව ඇත. කෙසේ වෙතත් මෙම තරගය ජයගැනිමටද වෝනර්ගේ සන්රයිසස් හයිඩ්‍රාබාද් පිල සමත්විමද කැපිපෙණෙන සිදුවිමකි.

    [rns_reactions]

  • මැතිසභයේ කිරිඇල්ලගේ කාර්යාල නඩත්තුවට ලක්ෂ 363ක් – දෙයියෝ සාක්කි..

    එජාප රජයේ  මැතිසභයේ ලක්ෂ්මන් කිරිඇල්ලලේ සභානායක කාර්යාලයේ නඩත්තුව සදහා පමණක් ලක්ෂ 363ක් වැයවන බව අපට වාර්තා වේ. පුද්ගලික පඩිනඩි සදහා 25 900 000ක් වැයකර ඇති අතර ඔහුගේ කාර්ය මණ්ඩලයේ ප්‍රමාණය 28ක් බව වාර්තා වේ.. මෙම වාර්තාවන් මාධ්‍යයට පැමිණිමත් සමග ඇමති කිරිඇල්ල මහත් කලබලයට පත්ව ඇති අතර ජනතා මුදල් මෙලෙස නාස්ති කරමින් එජාප ඇමතින් විසින් සිදුකරනු ලබන ක්‍රියාවන් ජනතාවගේ  අප්‍රසාදයට ලක්ව ඇත.

    [rns_reactions]

  • අතිපුජ්‍ය දවුල්ලෙන ඤාණිස්සර මහ නාහිමියෝ අද දැයෙන් සමුගනියි..

    අපවත් වී වදාල ශ්‍රී ලංකා අමරපුර මහා නිකායේ මහා නායක අති පූජ්‍ය දවුල්ලෙන ඤාණිස්සර නාහිමියන්ගේ දේහය පිළිබඳ ආදාහන පූජෝත්සවය අද (06) පස්වරුවේ කොළඹ නිදහස් චතුරස්‍රයේදී පැවැත් වෙන අතර ස්වදේශ කටයුතු අමාත්‍යාංශයේ මෙහෙයවීමෙන් පූර්ණ රාජ්‍ය අනුග්‍රහයෙන් පූර්ණ රාජ්‍ය ගෞරව සහිතව ආදාහන පුජෝත්ස්වය පැවැත්වීමට සැළසුම් කර තිබේ.
    අපවත් වී වදාල අති පූජ්‍ය දවුල්ලෙන ඤාණිස්සර නාහිමියන්ගේ දේහය නුගේගොඩ, ‍පාගොඩ ශ්‍රී විද්‍යා විජයාරාමයේ තැන්පත් කර ඇති අතර දේහය රැගත් රිය පෙරහැර පස්වරු 1.00ට එම ස්ථානයෙන් පිටත්වීමට නියමිත අතර ආදාහන පූජොත්ස්වයේ වැඩ කටයුතු පස්වරු 3.00ට කොළඹ නිදහස් චතුරස්‍රයේදී ආරම්භ කිරීමට සැළසුම්  කර ඇත.
    1915 වසරේ උපත ලද උන්වහන්සේ වයස අවුරුදු 13 දී පැවිදි දිවියට එළඹ වසර 90කට ආසන්න කාලයක් සම්බුද්ධ ශාසනය වෙනුවෙන් සිය සේවය ඉටු කරනු ලැබීය. ශඩ් භාෂා පරමේෂ්වර පඬිරුවනක් වූ අතිපූජ්‍ය දවුල්ලෙන ඤාණිස්සර මහ නාහිමියන්, අග්ග මහාපණ්ඩිත, සාහිත්‍ය ශූරී ත්‍රිපිටකාචාර්ය, භාෂාන්තර විශාරද, ජිනශාසන, කීර්ති ශ්‍රී ග්‍රන්ථ විශාරද, සංස්කෘතික චක්‍රවර්තී, රාජකීය පණ්ඩිත ආදී ගෞරව නම් රාශියකින් ද පිදුම් ලබා ඇත. 
    සම්බුද්ධ ශාසනයේ චිරස්ථිතිය සහ භාෂා ශාස්ත්‍රයන් හි උණ්නතිය සඳහා අති විශාල මෙහෙවරක් ඉටු කල අතිපූජ්‍ය දවුල්ලෙන ඤාණිස්සර මහ නාහිමිට ජාතික හා ශාසනික වශයෙන් මතුවන ප්‍රශ්නවලදී වඩාත් ශාස්ත්‍රීය හා ධර්ම විනයානුකුල හේතු සාධක සහිතව ඒවාට විසදුම් ඉදිරිපත් කරන ශික්ෂූන් වහන්සේ අතර ප්‍රමුඛත්වයක් හිමි වී තිබුණි.
    මෙරට තුළ සුවිශේෂී ධර්ම දූත සේවාවක නිරත වූ ඤාණිස්සර නා හිමයෝ විද්‍යෝදය මහා පිරිවෙනේදී සහ මහරගම සිරි වජිරඤාන ධර්මායතනයේදී ශිෂ්යෝ භික්ෂූන් වහන්සේලාට ත්‍රිපිටක ධර්මයත්, සිංහල, ඉංග්‍රීසි, පාලි, සංස්කෘතික භාෂා පිළිබඳ දැනුමත් ලබාදීම සිදු කළේය.
    [rns_reactions]
  • බීඩියෙන් රැකෙන ජීවිතවල සැඟව ගිය කදුලු කතාව…

    මෑත කාලයේ සිගරට් මිල බොහෝ ඉහළ ගියේය. ඒ අනුව අද සිගරට්ටුවක් මිලදී ගැනීමට රු.55ක මුදලක් වැය කිරීමට සිදුව තිබේ. මීට අමතරව සිල්ලරට විකිණිය නොහැකි බවට නීතිමය රෙගුලාසි අඩංගු ගැසට් නිවේදනයක් සඳහා සෞඛ්‍ය හා පෝෂණ අමාත්‍ය රාජිත සේනාරත්න මහතා විසින් අත්සන‍් තැබීමට නියමිතව තිබේ. මේ අයුරින් සිගරට්ටුව බිත්තියටම තබා තද කරන අවස්ථාවකදී දුම් පාලනයට ඇබ්බැහිවී සිටින පහල පාන්තිකයා පියවරක් පසුපසට ගෙන බීඩි පානය කිරීමට පෙළඹීමක් දක්නට ලැබේ. මේ පිළිබඳව සුරාබදු දෙපාර්තමේන්තුවේ නි. සුරාබදු කොමසාරිස් කපිල කුමාරසිංහ මහතා පළකරනු ලැබුවේ මෙවන් අදහසක්.


    “70 ගණන්වල සිගරට් කොම්පැණිය වහනවා කීවම මිනිස්සු පාරවල් වල එකතු වුණා. දැන් ඒක නෑ.  සෑහෙන දුරට ඵල දරලා තියෙනවා. සිගරට් කර්මාන්තයේ ලොකු බිඳ වැටීමක් තියෙනවා.

    සිගරට් මිනිසුන්ගේ ආදයමට හරිම සංවේදියි. ලංකාවේ 95%ටත් වඩා විකිණෙන්නේ සිල්ලර විදිහටයි. පැකට් පිටින් නෙවෙයි. බදු හඳුන්වා දෙන්න යනකොට එකින් එකට බෑ. පැකට් විදිහටයි කරන්න වෙන්නේ. ඒත් පැකට් එකෙන් සක්‍රීය බලපෑමක් කරන එක අඩුයි. සංඛ්‍යා ලේඛණාත්මක බැලූ විට පෙනෙන්නේ තිබෙන දේ ප්‍රතික්ෂේප කිරීමක් හෝ යොමුවීම අඩුවීමක් දකින්නට පුළුවන්. ඒත් මේ නිසා යම් පමණකට බීඩි හෝ වෙනත් ආදේශක කරා යම් පිරිසක් යොමුවෙලා තියෙනවා. අඩු ආදායම් ලබන කම්කරු ක්ෂේත්‍ර යේ අය සිගරට් වෙනුවට පහසුවෙන් බීඩියට එන්න පුළුවන්. අද ඒක අපට දකින්නට පුළුවන්.“

    මේ ආකාරයට දුම්වැටි වෙළඳපළ තුළ බීඩියට යම් ඉඩකඩක් නිර්මාණය වෙද්දී බීඩි එතීම ජීවනෝපාය ලෙස බාරගත් ලක්ෂ සංඛ්‍යාත පිරිසක් දිවයිනේ විවිධ ප්‍රදේශවල තම ජීවිකාව කරගෙන යන අයුරු අප විසින් අමතක කළ යුතු නොවේ. බීඩියට තැනක් ලැබුණත් ඔවුන්ගේ ජීවිතවලට නිසි තැනක් ලැබී ඇත්දැයි අප මෙහිදී සොයා බැලුවෙමු. මේ නෙළුන්දෙණිය ප්‍රදේශයේ හැත්තෑ තුන් හැවිරිදි හය දරු මවකි. ඇයගේ නම ඩබ්ලිව්. එන්සාය. මේ ඇයගේ වියපත් හඬයි.

    “ මට දැන් අවුරුදු හැත්තෑ තුනයි. මං යම්තම් දෙයක් දන්නා කියන කාලෙ ඉඳන් කෙරුවේ බීඩි එතිල්ල විතරයි. මං මගේ දරුවෝ හය දෙනෙක් හැදුවේ මේක උරුට්ටලා ගත්ත තුට්ටු දෙකෙන්. හැබැයි දරුවෝ මේ වැඩේ කරන්නේ නෑ. ඒ අය ඉහළටම නොවුණත් පුළු පුළුවන් තරමට ඉගෙන ගෙන වෙන වෙන වැඩවලට ගියා මං තාමත් මේ රස්සාව කරනවා“ ඇය කියා සිටියි.

    “කොහොමද ගෙවීම්? ප්‍රශ්නය අපෙන්.

    “බීඩි 1000ට රු.550 ක් හම්බ වෙනවා. වැඩි බීඩි 100ට රු.180ක් හම්බ වෙනවා. ඉස්සරට වඩා දැන් හොඳයි. මට දැන් වයසයි අසනීපයි හින්දා එක දිගටම මහන්සිවෙලා බීඩි ඔතන්න බෑ. ඒත් වැඩක් විදිහට ගෙදර දොරේ වැඩ ටිකත් කරන අතරේම බීඩි ඔතලා 10,000-12,000ක් වගේ ගාණක් මාසෙකට ගන්න පුළුවන්. ඒ ගාණ ගන්න අය ඉන්නවා.“

    ඇය කියන්නේ සත්‍යයකි. ඇය මෙන්ම නෙළුම්දෙණිය, මාහේන, උඩුකුඹුර, අඹේපුස්ස, දංඕවිට, නැව්ගල, ඇත්නාවල, දුම්මලදෙණිය, ඉහළගම, පහළගම, බෙලිගල, යට්ටෝගොඩ, වරකාපොළ ආදී අවට ප්‍රදේශ ගණනාවක බොහෝ දෙනා අද දවසේද ස්වයං රැකියාවක් ලෙස බීඩි එතීම සිදුකරයි. මසකට උපයාගත හැකි රු.10,000-12,000ක් වැනි මුදලකින් පවුලක් නඩත්තු කළ හැකිදැයි සැකයක් උපදිනා නමුදු තාමත් මුළුමනින්ම නාගරීකරණය නොවූ මෙම ප්‍රදේශවලට එය සත්‍යයකි. මෙහෙි බොහෝ දෙනා දර ළිපෙන් ආහාර පිසිති. කුඹුරෙන් වී ගෙන කොටා හාල් කර ගනිති. තම ගෙවත්තෙන් පිටියෙන් එළවළු, මිරිස්, පලා ආදි අඩුවැඩිය බොහෝ දේ එකතු කරගත ගනිති. එබැවින් එතෙන බීඩිය ඔවුන්ගේ ජීවිත නඟා සිටුවන බැව් සැබෑවකි. බොහෝවිට ඔවුන්ගේම අතින් එතෙන බීඩියට ඔවුන්ගේම ගම් පළාත්වලම කුඩා සිල්ලර කඩවල වැඩි ඉල්ලුමක් පවතී. නෙළුන්දෙණිය, ඉහළගම පී. නිමල් මහතා එවන් කුඩා වෙළඳසැලක හිමිකරුවෙකි.

    “දැන් බීඩියක් රුපියල් පහක් වෙනවා. සිගරට් ගණන් ගියාම පස්සේ බීඩි මිටි විස්සක් තිහක් විතර වැඩිපුර විකිණෙනවා. (බීඩි මිටියකට බීඩි 10 හා 20 බැගින් අයත්ය.) මුදලාලිලාට දෙන්න බැරි තේරිච්චි බීඩි (පළුදුවූ)එකක් රුපියල ගාණේ ගන්නවා. ඒවා එකක් දෙකයි පනහට විතර දෙන්න පුළුවන්. සමහර අය ඉතිං රුපියල් පහක් දීලා ලේබල් කරපු හොඳ බීඩියක් ගන්නවා වෙනුවට ඒ ගාණටම තේරිච්චි බීඩි දෙකක් ගන්නවා. දෙකෙන්ම එක වගේ දුම් එනවනෙ ඉතිං“ නිමල් හිනාවෙමින් කියයි. ඒ ගමේ මුදලාලිලාගේ හැටිය.

    බීඩි එතීම සඳහා සුළු පරිමාණ බීඩි ව්‍යාපාරිකයින් විසින් තම සේවකයින්ට බීඩි දහසකට බීඩි කොළ ග්‍රෑම් 450ක්ද, දුම්කොළ කුඩු ග්‍රෑම් 500 ක් ද ලබාදෙනු ලබයි. බිඩි කොළ ග්‍රෑම් 450න් බීඩි දහසක් එතීම සඳහා බීඩියේ ප්‍රමාණයට කුඩා කොළ දහසක් කපා ගැනීම කළ යුතුය. එය වෘත්තීය පළ පුරුද්දෙන් හා දක්ෂතාව මත පමණක් රැඳ ඇති කටයුත්තකි. එසේ වුවද ඇතැම් බීඩි කොළ ඉරි තැළුණු, අව පැහැගැන්වුණු, සිදුරුවුණු අවස්ථාවන් වලදී කෙතරම් දක්ෂ හා පලපුරුදු අයෙකුට වුවද බීඩි දහසක් එතීමේ ඉලක්කය සපුරා ගැනීමට කුඩා කොළ දහසකට කපා ගැනීම කළ නොහැකිය. එවන් අවස්ථාවන්වලදී බීඩි ව්‍යාපාරිකයින් එම පාඩුව දරා ගන්නට සූදානම් නැත. එහිදී ඔවුන් සිදුකරනු ලබන්නේ හිඟ බීඩි ප්‍රමාණයේ පාඩුව ගෙවිය යුතු මුදලින් අඩුකර ගැනීමය. මේ නෙළුම්දෙණියේ රෝහිණී ස්වර්ණලතාය.

    “කොළ දෙන්නෙත් , කුඩු දෙන්නෙත් මුදලාලිලා. ඒත් ඒ අය සවුත්තු වෙච්චි කොළ දුන්නට, ඒ කොළවලින් බීඩි දාහ ඔතා ගන්න බැරිවුණොත් දාහට ගෙවන ගාණෙන් අඩුකරගන්නවා. එහෙමත් කෙනෙක් තමයි හරියටම ගාණ ඔතලා ගාණ ගන්නේ. සුදු බීඩි ඔතද්දි නම් ඔය ප්‍රශ්නය නෑ.සුදු බීඩිය ඔතන්නේ කඩදාසියකනේ. ඒ කඩදාසිය බීඩියේ ගාණට මැෂිමෙන් කපලයි දෙන්නෙ. කොළ අපතෙ යාමක් නෑ. කුඩු ටිකක් හොඳටම සෑහෙනවා. අනික සම්පූර්ණයෙන්ම අතින්ම නෙවෙයි ඔතන්නේ. පුංචි අත් මැෂිමකුත් (අත් යන්ත්‍රයක්) දෙනවා. අතින් මේ බීඩි ඔතනවාට වඩා වැඩි ප්‍රමාණයක් සුදු බීඩි දවසකට ඔතන්න පුළුවන්. මේ බීඩිත් එක්ක බලද්දී දවසකට ඒ කාලේ රු. පනහක්ද කොහෙද වැඩිපුරත් ගෙවනවා. කොහොමත් මේ බීඩියට වඩා සුදු බීඩිය අපට වාසියි“ ඇය තවත් විස්තර ගොන්නක් අප හමුවේ තැබුවාය.

    “ඒවා තහනම් කරානෙ. දැන් මේ පැත්තෙ කවුරුත් සුදු බීඩි ඔතන්නෙ නෑ. ඔතපු අයත් හැමෝම ආයෙ සාමාන්‍ය බීඩිය ඔතන්න ගත්තා“ ඇය කියා සිටියාය. එහෙත් සුදු බීඩි තහනම් වූ වගක් හෝ එය සිදුවූයේ කෙසේද යන්න වගක් අප දැන සිටියේ නැත. නියෝජ්‍ය සුරාබදු කොමසාරිස් කපිල කුමාරසිංහ කියන්නේ මෙවැන්නකි.

    “ බීඩියක් වේවා සිගරට්ටුවක් වේවා ඕනෑම දුම්කොළ ආශ්‍රිත නිෂ්පාදනයක් නියමිත නීත්‍යනුකූල නිෂ්පාදකයෙකු විසින් නීත්‍යනුකූලව නියමිත බද්ද ගෙවීමෙන් පසු නීත්‍යනුකූලව වෙළඳ ප්‍රවාහයට එකතු කළ දුම්වැටි නිෂ්පාදනයක් නම් ගැටළුවක් වෙන්නේ නෑ.

    (නි.සුරාබදු කොමසාරිස් කපිල කුමාරසිංහ)

    සමහරවිට ඒකම පාරක තිබුණත් , එකමතැනක හැදුවත් නීත්‍යනුකූලව බදු ගෙවලා නැත්නම් ඒකත් නීති විරෝධීයි. දුම්කොළ බද්ද දේශීය නිෂ්පාදන වලට අදාළයි. තීරු බද්ද විදේශයන්ගෙන් ගෙන්වන ඒවාට අදාළයි. “

    නියෝජ්‍ය සුරාබදු කොමසාරිස්වරයා කියන කතාව සෑම දුම්කොළ ආශ්‍රිත නිෂ්පාදනයකටම අදාළය. එහෙත් සුදු බීඩිය සම්බන්ධයෙන් කියන්නට පවත්නා කතාව ඊට තරමක් වෙනස්ය. සුදුබීඩි එතීම ස්වයං රැකියාවක් ලෙස කළ මේ ප්‍රදේශයේ හැමෝම පාහේ කියන්නෙ එකම කතාවකි. එනම් සුදු බීඩිය තහනම් කළ බැවින් බොහෝ දුක් ගැහැට විඳින්නට සිදුවූ බව හා මේවන විට එය කර්මාන්තයක් ලෙස සම්පූර්ණයෙන්ම බිඳ වැටීමකට ලක්ව ඇති බවයි. එවක “සුදු බීඩි නිපදවන්නන්ගේ සමූපකාර සමිතිය“ නියෝජනය කළ අද වනවිට එක ව්‍යාපාරයෙන් මුළුමනින්ම ඈත්වී සිටින පියල් කීර්ති රණසිංහ මහතා මෙසේ කියා සිටියේය.

    “ මං ළඟ සුදු බීඩි ඔතන, බණ්ඩල් කරන,වේළන, ප්‍රවාහනය කරන ආදී වශයෙන් මේ කර්මාන්තයත් එක්ක වැඩකරපු 6000ක් විතර හිටියා. අපට සුරාබදු දෙපාර්තමේන්තුවෙන්, පොලීසියෙන් දිගින් දිගට හිරිහැර කරද්දී මේකට සංවිධානාත්මකව මුහුණදෙන්න තමයි “සමස්ත ලංකා සුදු බීඩි නිපදවන්නන්ගේ සමූපකාර සමිතිය“පිහිටුවා ගත්තේ. අපේ සමිතිය නියෝජනය කරපු ඔක්කොම අය එක්ක වැඩ කරපු අය ගත්තොත් ලක්ෂ ගාණක්. අන්තිමට අපට වෙච්චි අසාධාරණය වෙනුවෙන් නඩු කීවා. 2006 අවුරුද්දෙ අපි නඩුවෙන් දිනුවා. ඒත් වැඩක් වුණේ නෑ. අන්තිමට ලක්ෂ ගාණක බීඩි බඩු පුච්චලා දැම්මා. සුදු බීඩි ඔතපු දහස් ගණනක අයගෙන් කොටසක් ආයෙම සාමාන්‍ය බීඩි ඔතන්න ගත්තා. තව ගොඩක් අය නන්නත්තාර වෙලා ගියා. දැන් සුදු බීඩි නෑ“

    [rns_reactions]

  • රාජ්‍ය සේවකයින්ගේ නිවාස සිහිනය සැබෑවේ..

    ගාල්ල – වැකුණගොඩ පිහිටි මෙම නිවාස ව්‍යාපෘතියෙන් නිවාස ඒකක 100 ක් ශ්‍රී ලංකා පොලීසියට ලබා ගැනීම සම්බන්ධයෙන් ඉදිරිපත් කරන ලද 2016.11.19 දිනැති අමාත්‍ය මණ්ඩල සංදේශය සඳහා ලැබී ඇති අමප 16/2451/748/037 දරණ 2016.12.21 දිනැති අමාත්‍ය මණ්ඩල තීරණය අනුව මෙම නිවාස ව්‍යාපෘතිය පිළිබඳ තොරතුරු සහ නිවාස මිලදී ගත හැකි ආකාරය පිළිබඳ සියළුම අමාත්‍යංශ ලේකම්වරුන් දැනුවත් කරන ලෙස දැනුම් දී ඇතැයි බව රාජ්‍ය පරිපාලන හා කළමණාකරණ අමාත්‍යාංශය පවසයි.

    මෙහි නියමු ව්‍යාපෘතිය වශයෙන් 2003 වර්ෂයේ දී ගාල්ල දිස්ත්‍රික්කයේ කඩවත් සතර සහ හබරාදුව ප්‍රාදේශීය ලේකම් කොට්ඨාශ දෙකෙහි ආරම්භ කර ඇති වැකුණගොඩ හා හබරාදුව නිවාස යෝජනා ක්‍රම දෙක අතුරින් වැකුණගොඩ නිවාස සංකීර්ණයේ මේ වන විට අලෙවිකරණ කටයුතු අරඹා ඇත.

    රාජ්‍ය සේවකයින්ගේ නිවාස ප්‍රශ්නය විසඳීමේ අරමුණින් අමප 2/1956/131/026/ඊපීසී/80 දරණ 2003.12.10 දිනැති අමාත්‍ය මණ්ඩල අනුමැතිය යටතේ 1978 අංක 04 දරණ ආයෝජන මණ්ඩල පනතේ 17 වන වගන්තිය ප්‍රකාරව රාජ්‍ය පරිපාලන අමාත්‍යංශය, ශ්‍රී ලංකා ආයෝජන මණ්ඩල සහ වින්කොන් ඩිවලොප්මන්ට් (පුද්ගලික) සමාගම (වර්තමානයේ walkers CML සමාගම) යන පාර්ශවයන්ගෙන් යුත් ත්‍රෛපාර්ශවීය ගිවිසුමක් යටතේ නිල සෙවණ නිවාස ව්‍යාපෘතිය ක්‍රියාත්මක විය.


    රාජ්‍ය සේවකයන්ගේම සුභසාධනය අරමුණු කර ගනිමින් අරඹා ඇති මෙම ව්‍යාපෘතියෙහි නිවාස රාජ්‍ය සේවකයන් වෙත අලෙවි කිරීමේ දී භූමියේ වටිනාකම ඇතුළත් කරනු නොලැබීම සුවිශේෂි කරුණක් වන අතර දැනට අලෙවිකරණ කටයුතු අරඹා ඇති නිවාස 512 කින් යුත් වැකුණගොඩ නිවාස, ඉහළ ආදායම් සහ මධ්‍යම ආදායම් වශයෙන් නිවාස වර්ග 02 කින් සමන්විත වේ. මෙම නිවාස රාජ්‍ය නිලධාරීන්හට පෞද්ගලිකව මෙන්ම නිල නිවාස පහසුකම් ලබා දීම සඳහා රාජ්‍ය ආයතන වලට මිලදී ගැනීමට අවකාශ පවතී.

    ඒ අනුව සියලුම අමාත්‍යංශයේ ඊට අනුබද්ධිත ආයතනයන්හි සේවයේ නිරත රාජ්‍ය නිලධාරීන් ස‍ඳහා ද ඉහත සඳහන් ගාල්ල-වැකුණගොඩ නිවාස ව්‍යාපෘතිය යටතේ නිවාස මිලදී ගැනීමේ හැකියාව පවතින  අමතන්න ප්‍රවීන් පීරිස් මහතා දු.ක – 077-6869899

    [rns_reactions]

  • කුරිරු ලෙසින් මරාදැමු ජෙයරාජ් ප්‍රනාන්දුපුල්ලේ හිටපු අමාත්‍යවරයාගේ 09 වැනි මතක සැමරුම අදයි..

    දිවංගත අමාත්‍ය ජෙයරාජ් ප්‍රනාන්දුපුල්ලේ මහතාගේ 09 වන ගුණානුස්මරණ උත්සවය 2017.04.06 දිනට යෙදී ඇත. වැලිවේරිය කාන්ති ක්‍රීඩාංගණය අසල ජෙයරාජ් ප්‍රනාන්දුපුල්ලේ  ස්මාරකය අභියසදී එදින පෙරවරු 8.00ට සැමරුම් උත්සවය පැවැත්වෙන අතර ආරාධිත දේශනය ජාතික ඒකාබද්ධතා හා ප්‍රතිසන්ධාන රාජ්‍ය අමාත්‍ය ඒ.එච්.එම් ෆවුසි  විසින් පවත්වනු ඇත.

    මෙයට අමතරව සර්ව ආගමික පිංකම් සිදු කෙරෙන අතර ප්‍රජා සත්කාර ගණනාවක්ද පැවැත්වීමට නියමිතව ඇත.

    ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ ඡන්ද පොල නියෝජිතයෙකු ලෙස දේශපාලනයට පිවිසි ජෙයරාජ් ප්‍රනාන්දුපුල්ලේ  2008 අප්‍රේල් 06 වන දින වැලිවේරිය කාන්ති ක්‍රීඩාංගණය අසල අවුරුදු උළෙලකට සහභාගී වෙමින් සිටියදී ත්‍රස්තවාදී මරාගෙන මැරෙන බෝම්බ ප්‍රහාරයකින් ජීවිතක්ෂයට පත් විය.මිය යන විට ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ භාණ්ඩාගාරිකධූරය, ශ්‍රී ලංකා පාර්ලිමේන්තුවේ ආණ්ඩුපක්ෂයේ ප්‍රධාන සංවිධායකධූරය සහ මහා මාර්ග හා මාර්ග සංවර්ධන අමාත්‍යධූරය හෙබවීය.


    කැලණිය නව ගුවන් පාලම දින 61ක් තුළදී තනා නිම කිරීමට කටයුතු කළ එතුමා නුවර එළිය මාර්ගයේ රම්බොඩ ප්‍රදේශයේ මාර්ග අවහිරතාවය ඉවත් කිරීම සඳහා මීටර් 225ක් දිග උමං මාර්ගය ඉදි කිරීම ඇතුළු මාර්ග සංවර්ධන කටයුතු ගණනාවක් සිදු කළ අතර වෙළෙද අමාත්‍යවරයාව සිටියදි ලක් සතොස හා බජට් ෂොප් ආරම්භ කර පාරිභෝගිකයාට සාධාරණ මිලකට භාණ්ඩ ලබා ගැනීම සඳහා කටයුතු කළේය.

    කටාන ආසනයේ ජනජයගම, කඳසුරිදුගම, සමුර්ධිගම, මුතුගම, සරණතිස්සගම, විජය සමරුගම, ජෙනිටස්පුරය සහ රාජපක්ෂපුරය වැනි ගම්මාන නිර්මාණය කරමින් පන්දහසකට අධික ජනතාවක් සඳහා පදිංචියට ඉඩම් ලබා දීම සිදු කරන ලද අතර ජනජයගම ජයසුදර්ශනාරාමය,සරණතිස්සගම විහාරස්ථානය,මංගල එළිය මරිච්චිකට්ටුව ශුද්ධ වූ අන්තෝනි මුණිදුන්ගේ දේවස්ථානය ඉදි කළ අතර  කඳ සුරිඳුගම උදාකළ ගම්මානයේ කතරගම දේවාලයක් සහ කතෝලික දේවස්ථානයක් ඉදි කිරීමට පියවර ගන්නා ලදී.

     එපමණක් නොව කුරූණෑගල රිදීගම ඉදි කෙරුණු රම්බඩගල්ල විහාරස්ථානයේ ඉදි කළ ලෝකයේ උසම ශෛලමය බුද්ධ ප්‍රතිමා වහන්සේ ඉදි කිරීමේ කටයුතු මෙන්ම ඉස්ලාම් භක්තිකයින් සඳහා කටුනායක ජාත්‍යන්තර ගුවන් තොටුපොලේ නැමදීමේ ස්ථානයක් වෙන්කර දීම ද එතුමා විසින් සිදු කරන ලදී.

    මියගිය මොහොත  VIDEO දර්ශන සමග

    [rns_reactions]

  • මාළු පාන් කද්දී පැණි බීම බොද්දි බලාගෙන – ඔබ නොදන්නා රහසක් කරලියට..

    කොළඹ කොටුව කඩිගුලක් මෙනි. මිනිසුන් ඔවුනොවුන්ගේ අවශ්‍යතා සඳහා කඩිමුඩියේ පියමනිති. අද අපේ ගවේශණ ස්ථානය වූයේ කොළඹ පිටකොටුවේ මැනිං පොදු වෙළඳපළයි. පිරිසිදු බවභෝග ආහාරපාන ආදිය ගැන සිතන බොහෝ ජනතාව ඇදී එන්නේ මැනිං වෙළඳපොළටය. අතේ තිබෙන මුදලට හිතේ හැටියට අවශ්‍ය බඩු භාණ්ඩ ටික පාරිභෝගිකයාට ලබාගැනීමේ පහසුව තිබුණද පිරිසිදු ආහාරවර්ග කෙසේ වුවද වසවිස නොමැති  එම ද්‍රව්‍ය සෙවීම අද කළු නික සොයනවාටත් වඩා අමාරුය.
    අප බත බුලතින් සරුසාර රටක් වුවත් පිරිසිදු ආහාර වේලක් ගන්නේ කීයෙන් කීදෙනාද? ස්වභාවයෙන් හටගන්නා පලා මිටියටත්, උඩරට ගොවියාගේ කොරටුවෙන් නෙළාගන්නා අස්වැන්නත් අපට හමුවන්නේ විෂ පොවා බලෙන් නැවුම් කළ එළවළු සහ පලතුරු ලෙසය. එය නොරහසකි. හිතාමතාම වස විස කන අපි බොහෝ දේ දෑසින් දුටුවෙමු.
    අප සිටින්නේ කොළඹ පිටකොටුව මැනිං පොදු වෙළඳපොළ ඇතුළතය.
     කුණු එළවළු ගොඩකට යාබදව අලුත් එළවළු ගෝනි 2 කි. එළවළු ගෝනි මත වාඩිවීමට නීතියෙන් තහනම් වුවද ඔවුන්ට නීති අදාළම නැත. අසල තිබෙන කුණු එළවළු ගොඩ තරමක් විශාලය. තනිකරම ඇත්තේ පරිභෝජනයට නුසුදුසු එළවළුය. ඒ අසල පුද්ගලයෝ කිහිපදෙනෙකුමද කුණු එළවළු තෝරති. මෙය මෙහි සාමාන්‍ය දසුනකි. එහෙත් මෙම දසුනේ ඇතුළත කතාව නම් ඉතා ඛේදනීයය.
    කලිසම් කමිස ඇඳගත් දෙතුන්දෙනෙකු ගෝවා කොළ, කැරට් කෑලි, නෝකෝල් ගෙඩි, ලීක්ස් වැනි එළවළු තෝරමින් පෝර උරයකට දමන අතර එයට සහය දෙන තවත් අය වූහ. ඔවුන් සැරසෙන්නේ පරිභෝජනයට නුසුදුසු එළවළු අලුත්කර නැවත විකිණීමේ ව්‍යාපාරයටය. එය මේ මැනිං වෙළඳපළට නිතර යන එන ඕනෑම අයෙක් දන්නා ප්‍රසිද්ධ සිදුවීමකි. ඔවුන් ඇඳ සිටින ඇඳුම් ද ලිපේ දැම්මත් පලිස්සෙන්නේ නැති තරමට ජරා ජීර්ණය.
    ඔවුනට කිසිදු වගක් නැත. හිස පහළට හරවාගෙන දෙතුන්දෙනා සුපුරුදු රාජකාරියේ නියැළෙන දෙස අපි බොහෝ වෙලාවක් බලා සිටියෙමු. කුණුවී ඇති කැරට්, ලීක්ස් ගස් පිහියකින් කපා හොඳ ටික ලබාදෙන අනෙකා බෑගයට දමන්නේය. අල ගෙඩිද එසේමය. අපටද ඒ දසුනෙන් ඇස ඉවතට ගැනීමට අසීරු විය. ගත හැකි සෑම එළවළු කොටසක්ම ඔවුහු නැවත පිරිසිදු කර ගොඩවල් වෙන් වෙන් වශයෙන් තැබූහ.
    ගත වූයේ  ටික වේලාවකි. පෝර බෑගය එළවළු වලින් පිරී ගොස්ය. එතනින් එහාට සිදුවනුයේ කුමක්ද? මෙය විකුණන්නේ කාටද? යන්න විපරම් කර බැලීමට අපට සිත්විය. මැනිං වෙළඳපොළේ ඉදිරියට ඇදුන අපට තවත් බොහෝ දේ දැකගත හැකි විය. මැනිං වෙළඳපොළේ කුණු එළවළු කුණු පලතුරු ජාවාරම බොහෝදෙනෙකු දන්නා වුවද මෙය යන්නේ කොතනට දැයි බොහෝදෙනා නොදනිති. ඉදිරියට ඇදුන අපට කුණු එළවළු පලතුරු වල බඩ නලියන කුණු කතා කිහිපයක්ම දැනගන්නට ලැබිණි.
    ඒ අතර අපට පුද්ගලයකු මුණගැසුණි. ඔහුට අප ගැන කිසිදු විශ්වාසයක් නැත. අප කොහේද? තොරතුරු සොයන්නේ කුමකට දැයි ඔහුට කුතුහලයකි. එහෙත් ඔහු අප කරඇරියේ නැත.
    ● කොළඹට ඇවිත් කොච්චර කල්ද?
    මගේ ගම අම්පාරේ… පුංචි කාලේ එළවළු ලොරියක ඇවිල්ලා කොළඹ නතර වුණා. එදා ඉඳලා මම කරන්නේ නාට්ටාමි වැඩ. මම මැනිං වෙළඳපළේ වැඩ කරන්න පටන් අරන් අවුරුදු 30 කට වැඩියි.
    ● මොකද්ද අර කුණු ගොඬේ එළවළු එකතු කරලා කරන්නේ?
    ආ… මේවා එකතු කරල ගෙනියන්නේ අඩි සීයේ පාරට
    ● ඒ කොහෙද?
    අඩි සීයේ පාර තියෙන්නේ ගෑස් පහ හන්දිය පැත්තේ. උන් ඔක්කොම කුඩුකාරයෝ. ඔය නරක් වෙලා විසිකරන එළවළු පලතුරු ටික එකතු කරලා හෝදලා පෝර උර වලට දාලා අඩි සීයේ පාරට ගෙනිහින් විකුණනවා.
    ඕක අද ඊයේ ඉඳලා වෙන දෙයක් නෙමෙයි. දැන් කාලෙක ඉඳලම කෙරෙන වැඩක්. ඉස්සර හරියට ඔය බිස්නස් එක කළා. දැන් අඩුයි. පොලිසියෙන් දැක්කොත් ගහනවා. ගහලා එළවළු ටික විනාශ කරලා දානවා.
    ඉස්සර මිනිස්සු කාලා ඉතුරුවෙලා වීසි කරන බත් ටිකත් අහුලගෙන කන මිනිස්සු මේ කොටුවේ හිටියා. පිස්සෙක් ඇරෙන්න දැන් එහෙම කුණු කන අය මාර්කට් එකේ නැහැ. ඔහු මේ කතාවේ අතීතයද අපට විස්තර කළේ එලෙසින්.


    එදා වේලවත් සොයාගන්න බැරි මිනිස්සු කුණු එළවළු ගොඩෙන් තෝරගෙන යනවා. ඔය ගෑස්පහ පැත්තේ ගියා නම් බලාගන්න තිබුණා. ලොකු ලොකු නෝනා මහත්තුරුත් ඔය තෝරපු එළවළු අරගෙන යනවා මම දැකලා තියෙනවා. ගොඩවල් 20 ට, 30 ට විකුණන කොට මෝඩ මිනිස්සු අරගෙන යනවා. මේවා හොඳ නැද්ද, නරක් වෙලාද කියලා තෝරන්නේ ගෙදර ගිහින්. හැබැයි කවදාවත් මැනිං වෙළඳපොළේ වෙළෙන්දා මේ කුණු වැඬේ නම් කරන්නේ නැහැ. මේ රස්සාව කරන්නේ කුඩුකාරයෝ. උන් දවසට කොහොම හරි රුපියල් 2000 ක් 3000 සොයා ගන්නවා.
    කුණු ගොඩවල් අවුස්සන එක අපට නතර කරන්න බැහැනේ. ඒත් මැනිං වෙළෙඳපොළ ඇතුළේ නම් ජරා එළවළු විකුණගන්න දෙන්නේ නැහැ. ඕවා සල්ලි දීලා ගන්න කෑම කඩකාරයා, පලතුරු ටික ගන්න ජූස් බාර් එකේ මනුස්සයා යන්නේ ගෑස් පහට. මෙයාලා එකතු කරලා පෝර බෑග් ගෙනියන්නේ එතනට.
    ● එතකොට ඔය කුණු පලතුරුත් ගෙනියන්න කට්ටිය එනවද? කතාව යන අතරතුර මම තව පුංචි ප්‍රශ්නයක් මැද්දට දැම්මා.
    නැතුව නැතුව. ඔය හෝටල්වල ෆ්‍රෙෂ් ජූස් කියලා බෝඞ් ගහගෙන ඉන්න ගොඩදෙනෙක් මිනිස්සුන්ට හදලා දෙන්නේ මාර්කට් එකෙන් විසි කරන පලතුරු වලින්. එළවළු වගේ නෙමෙයි පලතුරු නරක් වුණාම පණුවෝ ගහනවා. කුඞ්ඩොන්ට ඕවා ගාණක් නැහැනේ. උන් ඕවා ගොඩවල් ගහලා කඩකාරයන්ට විකුණනවා. උන් කුණුකොල්ලෙට අරන් ගිහින් ජූස් එකක් රු. 100 ට විකුණනවා. ගොඩටම යන්නේ රු. 100 යි. පණුවොත් එක්කම ඔය පලතුරු බ්ලෙන්ඩර් කරලා දුන්නම අපේ මෝඩ මිනිස්සුත් රසකර කර බොනවා. ඊට පස්සේ දොස්තරලටත් සොයාගන්න බැරි ලෙඩ හැදෙනවා.
    ඔය දිවුල් එහෙම විකුණගන්න බැරිවුණාම අට්ටි ගහලා එහෙමම තියනවා. පණුවො ගැහුව කියලා දිවුල් ගඳ ගහන්නේ නැහැ. මගෙන් නම් අහන්න එපා ඔය ලොකු ලොකු බීම කම්පැනි වලිනුත් එනවා අඩුවට තියෙන පලතුරු ගෙනියන්න. ඒ මහත්තුරු මෙහේ කට්ටියව සම්බන්ධ කරගෙන ඉන්නේ. ඒවා අල්ලන්න හරි අමාරුයි.
    ● එතකොට එළවළු එහෙම අරන් යන්නේ ෂෝට්ඊට්ස් හදන්න විතරද?
    නැහැ. ඔය අල එහෙම නම් අරන් යන්නේ ෂෝට්ඊට්ස් හදන්න තමයි. ගෝවා, කැරට්, අරන් යන්නේ එළවළු බත් වලට දාන්න. හොඳට සුවඳට හදලා උණු උණුවේ මස් කෑල්ලක් එක්ක දුන්නම කන මිනිහා දන්නේ නැහැනේ මේ එළවළු නරක ඒවද හොඳ ඒවද කියලා. හදන කෑම ගින්දරෙන් හදන නිසා විස ටිකක් මැරෙනවත් ඇති. ඔය කෑම කඩකාරයෝ දවස් දෙක තුනකට වතාවක් මැනිං මාර්කට් එනවා එළවළු ගෙනියන්න. හොඳ එළවළු ගන්න අතර කුඞ්ඩටත් සංඥාව දෙනවා අර කුණු එළවළු ටික එළියට ගිහින් තියන්න ඕනෑ තැන.
    අනේ මේවා කිව්වා කියලා අපට ඇති සෙතක් නැහැ. නගර සභා වලින් පී.එච්.අයි. මහත්තුරු එහෙම ඇවිල්ලා වැටලුවා කියනවා. ඒ අය හරියට වටලනව නම් කොළඹ හෝටල් ඔක්කොම ගිනි තියන්න ඕනෑ. ඔය පී.එච්.අයි. මහත්තුරුත් වටලන්න එනකොට මෙහේ එක කඩකාරයෙකුට සංඥාව දෙනවා. ඌ ඉතින් අනිත් එවුන්ටත් කියනවා. බඩු හංගනවා. නැත්නම් මුන් කරන ජරා වැඩ වලට මෙලහට කොළඹ කඩ සීල් තියන්න එපැයි. සේරම දුවන්නෙ එක පීල්ලේ. අන්තිමට රැවටෙන්නේ අහිංසක මිනිස්සු.
    පොරක් ඉන්නවා. ඌ කුඞ්ඩෙක්. හැබැයි කතා කරයිද දන්නේ නැහැ. අපට තොරතුරු ලබාදීපු නාට්ටාමි ඔහුට අත්පුඩියකින් කතා කළා.
    දිරා ගිය ශරීර කූඩුව ඇවිදින කොට හරියට පාවෙනවා වගේ.
    “කුඩු ගහලම උන් දිරලා”
    “ආ… උඹලා මොකද අද මෙහේ” නාට්ටාමි ඇසීය.
    බඩු අද අඩුයි. පැපොල් තොගයක් නම් ලැබුණා. පටවගන්න ඕනෑ එහා පැත්තට.
    ● මේ එකතු කරන ඒවා කොහාටද දෙන්නේ?
    අම්මෝ බඩු තියෙනවා. මිස්ලා කෑම කඩයක් කරනවද? පිටකොටුවේ ගොඩක් කඩවලට එළවළු දෙන්නේ මම. අපි ඉතින් ඔය මොනවා හරි කරලා කීයක් හරි හොයාගන්න රස්සාවනේ. පොඞ්ඩක් රත්වුණේ නැත්නම් හවස් වෙනකොට ඇඟ වෙව්ලනවා නෝනා. හැබැයි මේ එකතු කරන කුණු ජරාව අපි ගෙවල් වල නම් ගෙනියන්නේ නැහැ. අපිනේ දන්නේ මේවා ගන්නේ සිරි සිරි ගාලා පණුවෝ ඉන්න කුණු ගොඩවල් වලින් කියලා. මේවා කඩෙට විකුණලා ගෙදර යනකොට හොඳ බඩු ටිකක් අරගෙන යනවා.
    අද මට ලැබුණා හොඳ පැපොල් පෝර බෑග් එකක්ම. අඹයි, අලි පේරයි එහෙමත් බෑග් එකක් එකතු කරගත්තම දවසේ ගාන ෂේප්. ඉස්සර නම් හෝටල් මුදලාලිම ඇවිත් අරගෙනම යනවා. කවුරුත් නැති වෙලාවක් බලලා අපි කෝල් එකක් දුන්නම මෑන් එනවා. උදේ 11.00 නැත්නම් ආයේ එන්නේ හවස් වෙලාවට තමයි.
    ● ඇයි දැන දැන මිනිසුන්ට ජරාව විකුණන්නේ?
    ඔහු මොහොතක් නිසොල්මනේ අප දෙස බලා සිටියේය.
    මම විතරක් මේක නතර කළා කියලා මේ රස්සාවම නවතින්නේ නැහැ. මේක එදත් වුනා අදත් වෙනවා. ඉස්සරහටත් වේවි. පොලිසියට අහුවුණොත් නම් බඩු ඉවරයි. අම්මෝ ගහලා අපිව එළවනවා. ඒත් රස්සාව නතර කරන්න බැහැ. අපිට මිනිස්සු රස්සාවල් දෙන්නේ නැහැ. ගෙදර දරුවන්ට කන්න දෙන්න විදිහක් නැහැ. බොරු කියන්න ඕනෑ නැහැ. මම හවසට කුඩු ගහනවා. මොනවා කරලා හරි සල්ලි හොයන්න ඕනෑනේ.. මිනිස්සු ගන්න නිසා තමයි අපි එකතු කරන්නේ.
    මේ එළවළු විතරක් නෙමෙයි එහා පැත්තේ මස්කඩ වලින් විසිකරන කටු, හම, බොකු හෝටල්වලට දෙන අයත් ඉන්නවා. හවසට ඔය කඩවල් වල හදන සුප් එකට ඔය කටු, බොකු, ඔක්කොම කලවම් කරනවා. ඔය මුදලාලිලා හිතන්නේ ලාභ ගන්න මගඩි කරන්නේ නැහැ කියලද? ඒ අයගේ මගඩි කාටවත් පේන්නේ නැහැ.
    මට පරක්කු වෙනවා. මම යනවා. නාට්ටාමිගේ පිටට තට්ටුවක් දාගෙනම ඔහු අපෙන් සමුගත්තා.
    එදා වේල සොයා ගැනීමට නොහැකි මිනිසුන් ජීවත්වෙන්නට කුණු එළවළු විකිණීම නොව ඊට එහා ජරා වැඩක් වුවද කරනු නිසැකය. ඔවුන්ව මේ කුණු ගොඩට තල්ලු කරනුයේ රටේ ආර්ථික ක්‍රමයේ අහේනියයි. රට දියුණු බව සැබෑය. එදා වේල කන්න නැති මිනිසුන් සිටියදී රටේ සංවර්ධනය ගැන කෙසේ සිතන්නද.
    කුණු කතාව අදත් හෙටත් එලෙසමය. දුප්පතා හැමදාමත් කුණුගොඬේය.

    [rns_reactions]