Tag: featued

  • SMEs Guide SL: ඩිජිටල් අනාගතය හමුවේ කාන්තා ව්‍යවසායකයින් සවිබල ගැන්වීමේ වැදගත්කකමසහ අභියෝග

    SMEs Guide SL: ඩිජිටල් අනාගතය හමුවේ කාන්තා ව්‍යවසායකයින් සවිබල ගැන්වීමේ වැදගත්කකමසහ අභියෝග

    නිවෙස් පිරිසිදු කිරීම, පානීය ජලය ගෙන ඒම, පිඟන් සේදීම, රෙදි සේදීම, පවුලේ අයට ආහාර සැකසීම, දරුවන් රැකබලා ගැනීම සහ ඇඳුම් මැසීම ආදිය ඔස්සේ කාන්තාවකගේ ගෘහාශ්‍රිත සේවා කටයුතු පුළුල්ව විහිදී තිබේ.  ස්වාමි දියණියක් ලෙස මෙම ක්‍රියාකාරකම් කාන්තාවක් ලෙස ඉතා දක්ෂ ඉටුකරන ආකාරය සමාජ සංස්ථාව තුළ අපට දකින්නට හා අසන්නට ලැබේ. මෙලෙස කාන්තාවන් බොහෝ දුරට ගෘහමය කටයුතු වලට පමණක් යොමුවීම තුළ ව්‍යවසායකත්ව ගොඩනැඟීම හා පවත්වාගෙන යාමේ ආධිපත්‍යය පුරුෂ පක්ෂය විසින් අත්පත්කර කරගෙන තිබෙන බැව් පැහැදිලි වේ.

    කෙසේ වුවද සාමාන්‍යයෙන් අධ්‍යාපනය ලැබීමෙන් පසු පිරිමින්ට ලැබෙන ප්‍රතිලාභ කාන්තාවන්ට අත්‍යවශ්‍යයෙන්ම නොලැබුණත් වැඩි සුදුසුකම් හඹායාම කාන්තාවකගේ හොඳම බලාපොරොත්තුව බව දැන් දැන් ඉස්මතු වෙමින් පවතී. විශේෂයෙන්ම තාක්ෂණික යුග පෙරළිය හමුවේ කුසලතාවන්ගෙන් සහ ගැටලු විසඳීමේ හැකියාවෙන් බොහෝ කාන්තාවන් පිරිමින්ට වඩා ඉදිරියට පැමිණෙමින් පවතින බව පැහැදිලිවම විද්‍යාමානවේ. ඒ හේතුවෙන්ම මෙරට රාජ්‍ය හා පෞද්ගලික අංශයේ ප්‍රධාන විධායක තනතුරු සදහා මෙන්ම එයට පහළ කෙෂ්ත්‍ර තුළ වුව ද කාන්තා ප්‍රවේශයේ වැඩිවීමක් දකින්නට තිබේ. එසේ වුවද ව්‍යවසායකයින් ලෙස කාන්තාවන් සමාජයට අවතීර්ණවීම  අවම බවක් විද්‍යාමානවේ. මේ උදෙසා එක් හේතුකාරකයක් වන්නේ ‘පිරිමින්ට වඩා කාන්තාවන් අවදානමට අකැමැතිවීමේ පොදු සෘණාත්මක ආකල්පය’  බව පැහැදිලි වේ.

    පුළුල් හා සංකීර්ණ ගෘහමය වගකීම්

    එසේ ම සමාජීය අපේක්ෂාවන් ලෙස පවුලේ සාමාජිකයන් රැකබලා ගැනීම සඳහා වන බොහෝ වගකීම් පටවන්නේ ද කාන්තාවන් මත හෙයින් ඔවුන්ගේ සැඟවුණ වෘත්තීයමය කුසලතා ප්‍රදර්ශනයට ඒවා සැලකිය යුතු බාධා ඉස්මතු කරයි. එහෙයින් රැකියා සහ ව්‍යවසායකත්වය ඒකාබද්ධ කරන දෙමුහුන් ආකාරයේ ප්‍රවේශයකට කාන්තාවන්හට යොමුවීම උදෙසා පුරුෂ පක්ෂය විසින් ඔවුන් වෙනුවෙන් ආකර්ෂණීය  අනුග්‍රයන් ලබාදීම යුතුකමක් යැයි පැවසිය හැකි වේ. එමෙන්ම සම වයසේ මිතුරියන් හෝ රාජ්‍ය හා පෞද්ගලික අංශයේ උසස් නිලධාරීන් කාන්තාවන්ගේ උත්සාහයන් අවතක්සේරු කිරීමේ කලාව ද සමාජයෙන් තුරන් කළයුතු  සංසිද්ධියකි. එපමණක් නොව පුරුෂ ආධිපත්‍යය සහිත සමාජයේ කාන්තාවක් විසින් ව්‍යවසායකත්වයක් තෝරා ගන්නාවිට ඔවුන්ගේ අපේක්ෂාවන් මුදුන් පමුණුවා ගැනීම උදෙසා පහසුකම් සැපයීමට රජයේ අදාල ආයතන නම්‍යශීලී සුහද කාර්යභාරයක් කෙරෙහි අනුවර්තනයවීම කාලීන වැදගත් කමක් බව පැවසිය යුතු වේ.

    තාක්ෂණික දැනුම මුසුකර ගත් ව්‍යාපාර

    දැනටමත් අපගේ ජීවිත බොහෝ  ආකාරවලින් වෙනස් කිරීමට තාක්ෂණික නිපැයුම් හා එහ අංශ සමත්ව තිබේ. එමෙන්ම වර්තමානය වනවිට කාන්තාවන් බොහෝ දෙනෙකු තාක්ෂණික අංශයේ සේවාවන් වෙත යොමුවීමේ ප්‍රවනතාවය ද ඉහළ යමින් පවතී. මොවුන් අතුරෙන් කිහිප දෙනෙකු හෝ පසුව ඔවුන්ගේ ම තාක්ෂණික දැණුම මුසුකරගත් ව්‍යාපාරයක් ආරම්භ කිරීමට අවැසි අත්දැකීම් ඒ ඔස්සේ ගොඩනඟා ගනු ඇත. එසේ වුවත් අඩු ආදායම්ලාභී කාන්තාවන්ට ඩිජිටල් දැනුම අත්පත්කර ගැනීමේ ප්‍රවේශය සහ සම්බන්ධිත උපාංග සපයා ගැනීමට මූල්‍ය සම්පත් හිඟකම ආරක්ෂාව පිළිබඳ බිය බලපානු ලැබේ. තාක්‍ෂණ අංශ වෙත යොමුවන කාන්තාවන් වැඩි දෙනෙකු මුහුණ දෙන එවන් ගැටලු විසඳීම කෙරෙහි උපකාරක හා උපදේශන සේවාවන්හි වැදගත්කම ඉස්මතුවන්නේ මෙවැනි වාතාවරණයක් යටතේ ය. එමෙන්ම කාන්තා ව්‍යවසායකයින් ලෙස ප්‍රවිශ්ඨවීමට කැමැත්තක් හා හැකියාවක් ඇති  කාන්තාවන් සඳහා බැංකු, ව්‍යාපාර හා මූල්‍ය  සමාගම් ප්‍රාග්ධන අරමුදල් සම්පාදනය කිරීමේ නෛතික රෙගුලාසි වල මුහුණුවර පවතින ස්වරූපයෙන් ඔබ්බට විතැන්වීම උදෙසා කාලය පැමිණ තිබේ.

    ඩිජිටල් සාක්ෂරතාව අත්කර ගැනීම

    එසේම අනාගත ව්‍යාපාර කටයුතු බොහොමයක් ඩිජිටල් ක්‍රම සමඟින් බද්ධ වන ප්‍රවණතාව යටතේ කාන්තා ව්‍යවසායකයින් වේගයෙන් පරිගණක කුසලතා ද වර්ධනය කර ගත යුතුවේ. මක් නිසාදයත් තාක්ෂණික උපාංග ඇසුරු කරගෙන කාන්තාවන්ගේ නව නිර්මාණාත්මක නිෂ්පාදන වලින් බැහැරව අනාගතයේ ඩිජිටල් වෙළද ව්‍යාපාර කෙෂ්ත්‍රයක් ගැන කථාබහ කිරීමට නොහැකිවනු ඇත. එබැවින් නව ව්‍යවසායකත්ව බිහිවීම උදෙසා සැලකිය යුතු බලපෑමක් එමගින් ඇති කරන හෙයින් එයට ප්‍රවේශවීම සඳහා ඩිජිටල් තාක්ෂණයන් උපයෝගී කර ගන්නා E-Learning වේදිකාවන් ඔස්සේ පුළුළ් සේවා පහසුකම් උදාකරදිය හැකි වේ. මක්නිසාදයත් වර්ථමානය වනවිට මෙරට තොරතුරු හා සන්නිවේදන තාක්ෂණය ස්ත්‍රී පුරුෂ සමාජභාවය මධ්‍යස්ථ තැනකට රැගෙන ඒමට මනා පිටුබලයක්ව පැවතීම කාන්තාවන්ගේ ව්‍යවසායකත්ව ආකල්ප ඉස්මතුකර ගැනීමට දායකවන බැවිනි.

    එමෙන්ම දිනපතා ව්‍යාප්තවන ඩිජිටල් තාක්‍ෂණය සීමා මායිම් බිඳහෙළමින් පවතී. එමඟින්  රැකියාව සහ පවුලේ වගකීම් ඒකාබද්ධ කරන්නේ කෙසේද යන්න සම්බන්ධයෙන් කාන්තාවන්ට ඇති අභියෝග බැහැර කිරීමට අවස්ථාවන් නිර්මාණය කරයි. ඩිජිටල් තාක්‍ෂණයේ භාවිතය වැඩිවීමත් සමඟ කාන්තාවන්ගේ වැඩ හා සමාජීය අපේක්ෂාවන් සමතුලිතතාවයට ගෙනඒම කෙරෙහි ධනාත්මක බලපෑමක් ගොඩනඟනු ඇත. එමෙන්ම ඩිජිටල් තාක්‍ෂණය සමඟින් කාන්තා ව්‍යවසායකයින්හට ගෝලීය වටිනාකම් දාමයට ඇතුළුවීමට අවස්ථා පහසුවෙන් විවර කරගැනීමේ හැකියාවද පවතී. එසේම ඩිජිටල් අවකාශය ප්‍රයෝජනයට ගෙන වෙළඳපළ අවස්ථා ගවේෂණය කරමින් අලුත් දෙයක් නිර්මාණය කිරීම උදෙසා කාන්තා ව්‍යවසායකයින්හට තොරතුරු තාක්ෂණය භාවිතය වැදගත්බව පැවසිය හැකිය.

    මූල්‍ය ක්ෂේත්‍රය තුළ කුඩම්මාගේ සැලකිලි

    එසේ වුව ද තවමත් කාන්තාවකට ව්‍යවසායකත්වයක් බිහිකර ගැනීම උදෙසා වන අපේක්ෂාවන් පහසුවෙන් මුදුන්පමුණුවා ගැනීමට හැකිවන සේ ලාංකික මූල්‍ය ක්ෂ්ත්‍රය හා වෘත්තීය පුහුණු අංශ අනුවර්තනය වී නොමැති බව ප්‍රකාශ කළ හැකිය. කෙසේ නමුදු දේශීය වශයෙන් දැනටමත් පවත්වාගෙන යනු ලබන කාන්තාවන් සතු ව්‍යාපාර බොහොමයක් ප්‍රමාණයෙන් කුඩාබව පැහැදිලිවේ. එමෙන්ම කාන්තා ව්‍යවසායකයින්, ඔවුන්ගේ සමවයසේ පිරිමි ව්‍යවසායකයින් වඩා බොහෝවිට ප්‍රාග්ධන අරමුදල් පුළුල් කර ගැනීම උදෙසා මානව සම්පත් කළමනාකරණය කරගැනීම අරඹයා අභියෝග අත්විඳින බව නොරහසකි.

    එමෙන්ම කාන්තාවන් තම වෘත්තීය ජීවිතය තුළ මෙයට අමතරව මුහුණ දෙන අභියෝගයන් ද නැතුවා නොවේ. එබැවින් කාන්තා ව්‍යවසායකයින් වැඩි වැඩියෙන් බිහිකිරීම සඳහා ආයෝජන සම්පත් සහ මගපෙන්වීම උදෙසා තාක්ෂණික පෙළඹවීම් පුළුළ්කල යුතුවේ. එය මැද පෙළ ව්‍යාපාරික ආර්ථිකය ප්‍රසාරණය කිරීමටද හේතුකාරක වනු ඇත. මෙරට ආර්ථිකයේ තවමත් නොදකින නමුත් සංවර්ධනයේ ප්‍රබල ගාමක බලවේගයක් වන කාන්තා ව්‍යවසායිකාවන්ගේ දායකත්වය පිළිබඳ අවධානය යොමු කිරීමෙන් එවන් ක්ෂුද්‍ර වසායකත්වයන්ගේ වැදගත්කම අවබෝධකරගත හැකිවේ. දේශීය ආර්ථිකය තුළ කාන්තා ව්‍යවසායකයින්ගේ සැබෑ දායකත්වයට සාර්ව මට්ටමින් ආමන්ත්‍රණය කිරීම මගින් ග්‍රාමීය හා අර්ධ නාගරික  කාන්තා රැකියා වියුක්තිය පිටුදැකීමට යම් තරමකට හෝ හැකියාව උදාවනු ඇත.

    නවොත්පාදන කුලසලතා හා අත්පත් කර ගැනීම

    තාක්ෂණය නවෝත්පාදනයේ වැදගත් ධාවකයකි. විවිධ වර්ගයේ පරිශීලකයින් විවිධ අවධීන්හිදී නවෝත්පාදනයන් අනුගමනය බිහි කරයි. එහෙයින් නව තාක්‍ෂණය තම ව්‍යවසායකත්ව ක්‍රියාකාරකම් සමඟ ඒකාබද්ධ කළ යුතුවේ.  එය ස්වකීය ආයතන සඳහා වැඩිදියුණු වීමට හේතුකාරක වනු ඇත. නවෝත්පාදනයන්හි භූමිකාව තාක්‍ෂණ ක්‍රමවේදයන් භාවිතා කිරීමට දරන උත්සාහයන් මත රදා පවතී. මෙම තත්ත්වය ගෘහාශ්‍රිත ප්‍රවේශයෙන් ඔබ්බට නිෂ්ක්‍රීය පරිශීලකයාට අභියෝග කරන නිර්මාණාත්මක සහ ක්‍රියාකාරී ව්‍යවසායකයෙකුගේ භූමිකාවක් වනු ඇත. ඒ අනුව නව නිෂ්පාදනයක් බිහිකරන්නේ කෙසේද?, අනුගමනය කරන අලෙවි  ක්‍රමවේදය කුමක්ද? සහ භාවිතා කරන්නේ කුමන මාධ්‍යක්ද යන්න කාලයත් සමඟ වෙනස් වන අවබෝධයක් කාන්තා ව්‍යවසායකයෙකු තුළ ගොඩනැගෙනු ඇත. මෙම ප්‍රවේශයන්ට අනුව තාක්‍ෂණය භාවිතා කිරීම ඔස්සේ සමාජ ක්‍රියාවලීන් අතික්‍රමණයකර  ව්‍යවසායකයෙකු ලෙස කාන්තාවන්ට ඉදිරියට පැමිණිය හැකිවේ. ඒ අනුව කුඩා ව්‍යාපාර හිමි කාන්තා ව්‍යවසායකයින්ට සාමාන්‍යයෙන් ඔවුන්ගේ නිපැයුම් පරිමාණාත්මකව වැඩිකර ගැනීමේදි  තාක්ෂණය උදෙසා අනුගත විය යුතුබව පෙන්වා දිය හැකිවේ. ගෘහාශ්‍රිත ක්‍රියාවලියට නිතර බාධා කරන බොහෝ වැදගත් ක්‍රියාකාරකම් ඇති බැවින් සෑමවිටම සෑම දෙයක්ම සම්පූර්ණයෙන් සාක්ෂාත් කරගත නොහැකි බැවින් කාන්තාවන්හට එම තත්ත්වයන් ඉවසා විසඳුම් සොයා ගැනීමට සිදුවේ.

    ඊළඟ පරම්පරාවේ කාන්තාවන් තාක්ෂණික ක්ෂේත්‍රයට පිවිසීමට සවිබල ගැන්වීම සඳහා තාක්ෂණික ආදර්ශ ප්‍රවර්ධනය කළ යුතුය. සංවර්ධන සංවිධාන, ව්‍යාපාරික සංස්ථා සහ මාධ්‍ය ආයතන විසින් සාර්ථක කාන්තා ව්‍යවසායකයින් සමාජ සංස්ථාව ඉදිරියේ ආදර්ශමත් චරිතාංග කළ යුතුවේ. මන්ද එවැනි ශක්තිමත් ක්‍රියාවලින් තොරව ඉදිරියට පැමිණෙන  ඩිජිටල් ආර්ථිකයට අවතීර්ණවීමට නව ව්‍යවසායකත්ව සඳහා අභියෝග නිර්මාණය කරන බැවිනි. ඩිජිටල්කරණය නව කාන්තා ව්‍යවසායකයින්ගේ යහපැවැත්ම කෙරෙහි සෘජුවම බලපානු ඇත. එමගින් තහවුරු වන්නේ ඩිජිටල් තාක්ෂණයන් භාවිතා කිරීමේදී ව්‍යවසායකයින්හට පැහැදිලි ප්‍රතිලාභ අත්පත් වන බවයි. වර්ථමානයේ කාන්තාවන් බොහෝ දෙනෙකුහට ඩිජිටල් තාක්‍ෂණයන් කෙරෙහි ධනාත්මක ආකල්ප ඇති හෙයින් ඔවුන්ගේ වෘත්තීය ජීවිතය තුළ ඉදිරියට යාමට විශාල අවස්ථාවන් ඒ ඔස්සේ නිර්මාණය කරගතහැකිවේ. ඔවුන්ගෙන් බොහෝ දෙනෙකුහට ඒසඳහා පසුබිම් විවෘතය. තාක්‍ෂණය මාධ්‍යයක් ලෙස ක්‍රියාවෙන් අත් දැකීමට කාන්තා ව්‍යවසායකයින්හට අපහසු නොවනු ඇත. මන්ද කාන්තාවන් රැකියාවේදී අඛණ්ඩව දියුණුවීම අපේක්ෂා කරන හෙයිනි.

    සුහුරු උපාංග භාවිතය

    මේ අනුව ව්‍යවසායකත්වය අරබයා සුහුරු උපාංග භාවිතය ව්‍යාපාරික ජීවිත තුළ කාන්තාවන්ට රැකියාව සහ පවුල අතර සම්බන්ධතා සන්නිවේදනය කළමනාකරණය කිරීමට අවස්ථා සලසා දෙයි. එහෙත් කාන්තාවන්ගේ යහපැවැත්ම සහ ඔවුන්ගේ වෘත්තීය ජීවිතය තුළ දියුණු වීමට සහ ඉදිරියට යාමට ඇති අවස්ථා යන දෙකම වැඩිදියුණු කිරීමට හැකි වන පරිදි එකී මෙවලම් නිසි ලෙස ස්වයං කළමනාකරණ කුසලතා සමඟ ඒකාබද්ධ කරගත යුතුවේ. කෙසේ වෙතත් ඩිජිටල්කරණය කාන්තාවන්ට ව්‍යාපාරික ලෝකයේ සමානාත්මතාවය සහ කීර්තිය කරා ඉදිරියට යාමට අවස්ථා නිර්මාණය කරන බව පැවසිය හැකිවේ. එනමුදු කාන්තා ව්‍යවසායිකාවන් මුහුණ දෙන සියලු බාධක ජයගැනීමට වත්මන් කාන්තා ආර්ථික සවිබල ගැන්වීමේ ආයතනයන්හි මැදිහත්වීම් ප්‍රමාණවත් නොවන බව පැවසිය යුතුවේ. ඉස්මතුවන සාක්ෂිවලින් පෙනී යන්නේ සාර්ථක මැදිහත්වීම් සාධනීය ආකාරයෙන් ක්‍රියාත්මකවීට නම් ඔවුන් මූල්‍ය හා මානව ප්‍රාග්ධනය සඳහා මූලික යෙදවුම් ප්‍රවේශයෙන් ඔබ්බට ගමන් කළ යුතු අතර කාන්තා ව්‍යවසායකයින් කෙරෙහි ඇති මනෝවිද්‍යාත්මක සහ සමාජීය බාධාවන් බැහැරලා කටයුතු කළ යුතුදවේ. ඒ අනුව ප්‍රාග්ධන සම්පාදනය මත පදනම් වූ විවිධ ව්‍යවසායකත්ව පුහුණු මත පදනම් වූ මැදිහත්වීම් ඔස්සේ කාන්තා ව්‍යවසායකයින්ට සහාය වීම සඳහා ක්‍රියාකළ හැකිවේ.

    මූල්‍ය ප්‍රාග්ධනය උදෙසා පුළුල් සහයෝගය

    මෙහිදී කාන්තාවන්හට මුල්‍ය ප්‍රාග්ධනය උදෙසා සහනාධාර සහිත ක්ෂුද්‍ර ණය හා ව්‍යාපාර ආරම්භ කිරීම සහ වැඩිදියුණු කිරීමේ පුහුණුව ලබාදීම ඵලදායී වනු ඇත. ඒ සමගම කාන්තාවන් සතු ව්‍යවසාය ලාභ  කෙරෙහි ඉතුරුම් වැඩසටහන් ප්‍රවර්ධනය කෙරෙහි ද අවධානය යොමු කළ යුතුවේ. එවැන්නක් කාන්තාවන් සඳහා ඉහළ බලපෑමක් ඇති කරනු ලබයි. එබැවින් කාන්තාවන්ගේ ව්‍යාපාරික කුසලතා සමඟ ව්‍යාපාර කළමනාකරණය ඒකාබද්ධ වූ විට වාර්තා තබා ගැනීම උදෙසාවන පුහුණුව සමඟින් කාන්තා සවිබල ගැන්වීමේ මැදිහත්වීම සාර්ථක වනු ඇත. අනෙක් අතට ව්‍යාපාරික පුහුණුව ස්වයං රැකියාවල නියුතු කාන්තාවන්ගේ සැබෑ ආදායම සැලකිය යුතු ලෙස ඉහළ නැංගවිය හැකි මාර්ග පැහැදිලි කරනු ලැබේ. මෙම බලපෑම පුහුණු වැඩසටහනේ ස්වභාවය මත  රඳාපවතින අතර එකී වැඩසටහන් ඔස්සේ නිෂ්පාදන ශිල්පීය ක්‍රම, ව්‍යාපාර සංවිධානය සහ පරිපාලන කුසලතා ලබා දීම පමණක් නොව ව්‍යාපාර සැලසුම් නිර්මාණය, ජාලකරණය, ගබඩා පිහිටුවීම සහ නව වෙළඳපල සංරචක වෙත ප්‍රවේශය පිළිබඳව ද කාන්තාවන් දැනුවත් කළහැකිවේ.

    ක්ෂුද්‍ර ව්‍යවසායිකාවන් මුහුණ දෙන අභියෝග

    සාපේක්ෂ වශයෙන් ක්ෂුද්‍ර ව්‍යවසායකයින් ලෙස කාන්තාවන් බොහෝ අවාසි සහගත බාධක වලින්  පීඩා විඳිති. එමෙන්ම කාන්තා ව්‍යවසායකයින් මනෝවිද්‍යාත්මක හා සංස්කෘතික සාධක ඇතුළුව සහජයෙන්ම විවිධ බාධකවලට මුහුණ දෙයි. කාන්තා ව්‍යවසායකයින්ට බොහෝ විට මූල්‍ය සහ මානව ප්‍රාග්ධනය සඳහා ප්‍රවේශයක් නොමැති අතර එය ව්‍යාපාර ආරම්භයට ඉමහත් බාධාවකි. ඊට අමතරව කාන්තාවන්ට ඔවුන්ගේ ස්වාධීනත්වය, අභිලාෂය සහ ප්‍රමුඛතාවයන්ට මානසිකව හා ශාරීරිකව බාධා කරන සංස්කෘතිකමය වශයෙන් පනවන ලද සීමාවන් පවා තිබේ. නිදසුනක් වශයෙන් කාන්තාවන් තවමත් පිරිමින්ට වඩා අඩු තරඟකාරී අවස්ථා වල නිරත වීම පෙන්වා දිය හැක. මෙම මානසිකත්වය ලාභය හා ව්‍යාපාර කාර්ය සාධනය සමස්ත වැඩිදියුණු කිරීම වළක්වයි. දිගුකාලීන දැක්ම සහ ව්‍යාපාරයේ දිශානතිය, ආත්ම විශ්වාසය සහ සේවක කළමනාකරණය කිරීම වැනි ව්‍යවසායක චරිත වටා එම මැදිහත්වීම ඉදිරිපත් කළහැකිය. සැබවින්ම කාන්තාවන් සවිබල ගැන්වීම සඳහා ප්‍රතිපත්ති සම්පාදකයින් මෙම සීමාවන් අතික්‍රමණයකර ඒවාට ආමන්ත්‍රණය කළ යුතුය. මේ උදෙසා කාන්තාවන් යටහත් පහත් තත්ත්වයන් තුළ තබා ගන්නා සීමාවන් සහ අභිලාෂක බාධක ඉවත්කර දැමීමට ක්‍රියා කළ යුතුවේ. ස්ත්‍රීන් අරඹයාවන සංස්කෘතික විශ්වාසයන් හා බලයට අභියෝග කිරීමට හැකිවිය යුතුවේ. මේ අනුව කාන්තා ව්‍යවසායකයින්ගේ සාර්ථකත්වය රඳා පවතින්නේ ඔවුන්ගේ පෞද්ගලික ලක්ෂණ සහ ව්‍යවසායක කුසලතා මත සහ ඔවුනට සහය දක්වන ආයතන සහ පාර්ශවකරුවන් මෙම බාධාවන් කෙරෙහි ආමන්ත්‍රණය කරන ආකාරය හෝ ක්‍රියා කරන ආකාරය මත බව පැවසිය හැකිවේ.

    විශේෂයෙන් මනෝභාවයන් වෙනස් කිරීම සඳහා සකස් කරගතහැකි ව්‍යාපාරික පුහුණු වැඩසටහන්, කාන්තා ව්‍යවසායකයින් කෙරෙහි ධනාත්මක බලපෑමක් ඇතිකරවිය හැකිවේ. නිදසුනක් වශයෙන් නව කාන්තා ව්‍යවසායකයින් සඳහා මනෝවිද්‍යාව පදනම් කරගත් ආරම්භක පුහුණු වැඩසටහනක් යටතේ නව නිෂ්පාදන අවස්ථා හඳුනා ගැනීම සහ ඉලක්ක සැකසීම, සැලසුම් කිරීම සහ බාධක ජය ගැනීම ඇතුළත් කලහැකිය. මෙම පුහුණු වැඩසටහන මගින් කාන්තා ව්‍යවසායන් සඳහා ව්‍යාපාර කාර්ය සාධනය වැඩිදියුණු කිරීම් ඔස්සේ කාන්තාවන්ගේ කුසලතා කෙරෙහි බලපෑම් කළ හැකිවේ. මෙවැනි මානසික මැදිහත්වීම් ඔස්සේ ශ්‍රම වෙළඳපල අවස්ථා හා අභිලාෂයන් ඇති කිරීම හෝ වෙනස් කිරීම මගින් ග්‍රාමීය ගොවීකාන්තා ව්‍යවසායකයින්ගේ හැසිරීම් වෙනස් කිරීම සඳහා ඵලදායී සේවාවක් ඉටුකළ හැකිවේ.

    ව්‍යාපාරික තීරණ ගැනීමට ඇති බිය

    විශේෂයෙන් අඩු සේවකයින් පිරිසක් සිටින ව්‍යවසායයන් සඳහා බාහිර බලපෑම් හෝ ස්වයං පාලනයක් නොමැතිකම හේතුවෙන් වැදගත් ව්‍යාපාරික තීරණ සම්බන්ධයෙන් කාන්තාවන් අඩු ප්‍රතිචාරයක් දක්වන බව පැහැදිලිවේ. එමෙන්ම ව්‍යාපාරික සම්පත් ගෘහ වියදම් වෙත යොමු කරන බවක් පෙන්නුම් කරයි. වෙළඳපල වෙළෙන්දන් ලෙස කටයුතු කරන ස්වයං රැකියාවන්හි නියුක්ත කාන්තාවන් සඳහා ප්‍රාග්ධන ප්‍රදානය ඔවුන්ගේ කලත්‍රයාගේ බාහිර මූල්‍ය ආධාර අඩු කිරීමට හේතු වන හෙයින් කාන්තාවන් තම ව්‍යාපාර පුළුල් කිරීම නතර කර දැමීමට ද ඉඩකඩ තිබේ. විශේෂයෙන්ම ආර්ථික වශයෙන් සවිබල ගැන්වීමේ පුහුණු වැඩසටහන් යටතේ කාන්තා ව්‍යවසායකයින්ගේ ඉපැයීම් වැඩි කර ගැනීම උදෙසා ආත්ම විශ්වාසය සහ ස්වයංතක්සේරුකරණය උදෙසා මාර්ගෝපදේශ සැපයීමෙන් ඔවුන්තුල ධනාත්මක වෙනසක් අපේක්ෂා කල හැකිවේ.

    සාපේක්ෂ වශයෙන් විවාහක කාන්තාවන්ගෙන් වැඩි ප්‍රතිශතයක් තමන්ගේ පුද්ගලික වියදම් පිළිබඳ තනි තීරණ ගන්නෝ වෙති. සාමාන්‍යයෙන් මූලික ව්‍යාපාරික කුසලතා හා ප්‍රතිපාදන සපයා ගැනීම නායකත්වය වැනි මෘදු කුසලතා සමඟ සම්බන්ධ වේ. එබැවින් කාන්තාවන්ට හිමි ව්‍යවසාය ලාභයට හෝ විකුණුම් වලට බලපෑමක් නොකළද කාන්තාවන් සඳහා අනපේක්ෂිත සවිබල ගැන්වීමේ ප්‍රතිඵල මෙමගින් උදාකරනු ඇත. මේ උදෙසා අවශ්‍ය ව්‍යවසායකත්ව ජීවන කුසලතා උගන්වන පුහුණු වැඩසටහන් ක්ෂුද්‍ර ව්‍යවසායන් කෙරෙහි යහපත් බලපෑමක් උදාකර දෙනු ඇත. නිදසුනක් වශයෙන් ක්ෂුද්‍ර මූල්‍ය ආයතන, ව්‍යාපාර සහ ගෘහස්ථ මූල්‍ය කටයුතු වලට අමතරව නිෂ්පාදන පිරිවැය සහ නිෂ්පාදන මිල ගණන් ගණනය කරන ආකාරය වැනි සාමාන්‍ය ව්‍යාපාරික කුසලතා ද ඉගැන්විය යුතුවේ. එමගින් කාන්තාවන්ට ව්‍යාපාරික නිපුණතා පුහුණුවක් ලබාදී ඔවුන් ශක්තිමත් කළ හැකිවේ.

    ව්‍යාපාරික කුසලතා ලබාදීම

    ව්‍යාපාරික කුසලතා පුහුණුව ලබා දීම කාන්තා ව්‍යවසායකයින් සවිබල ගැන්වීමේ මූලික පියවරකි. නමුත් සැබවින්ම ඔවුන්ගේ පරිවර්තනීය වෙනසක් සාක්ෂාත් කර ගැනීම සඳහා පුහුණු වැඩසටහන් මගින් කාන්තාවන් මුහුණ දෙන ගැඹුරු මානසික සහ සමාජීය බාධාවන් උදෙසා ආමන්ත්‍රණය කළ යුතුය. නමුත් ප්‍රායෝගිකව, නිපුණතා කේන්ද්‍ර කරගත් නිවැරැදි මැදිහත්වීම් අවම වනු ඇත. විශේෂයෙන් ප්‍රාග්ධන කේන්ද්‍ර කරගත් වැඩසටහන් යටතේ කෙරෙන ප්‍රදාන , ක්ෂුද්‍ර ණය හා සසඳන විට අඩු පිරිවැයක් යටතේ සාර්ථක නිපුණතා මැදිහත්වීම් කළ හැකිවේ. එමෙන්ම ව්‍යවසායයන්ගේ ක්‍රියාකාරීත්වයට ඇති කුසලතා ලබා දීම වෙළඳපල කේන්ද්‍රීය පුහුණුව ලබා දීම ඔවුන්ගේ ශක්තිය උත්තේජනය කිරීමට ආමන්ත්‍රණය කිරීමක් වනු ඇත.

    ඒ හා සමානව මූල්‍ය ප්‍රවේශය කාන්තා ආර්ථික සවිබල ගැන්වීමේ මූලික පියවරක් වන අතර බහුවිධ බාධක වලට මුහුණ දෙන කාන්තාවන් සතු යැපුම් ව්‍යවසායන් වර්ධනය කිරීම පමණක් ප්‍රමාණවත් නොවනු ඇත. ජීවන කුසලතා පුහුණු වැඩසටහන් කාන්තා ව්‍යවසායකයින්ට ඔවුන්ගේ වෘත්තීය හැකියාවන් ආයෝජනය කිරීමට සහාය වේ. ඒ උදෙසාවන ක්ෂුද්‍ර ණය අරමුදල් සැපයුම්වල සාර්ථකත්වයයේ ඵලදායීතාවය සහ ආකර්ශනීය බව වඩා හොඳ සංවාදයකට යොමු විය යුතුය. මූලික තාක්ෂණික පුහුණු වැඩසටහන් වඩාත් පුළුල් ලෙස භාවිතයකින් තොරව ව්‍යාපාර කාර්ය සාධනයේ සැලකිය යුතු ප්‍රගතියක් ඔස්සේ කාන්තාවන් සතු ව්‍යවසායන්හි ව්‍යාපාරික වපසරිය වැඩිදියුණු කිරීමට ඉඩකඩ විවරවන නොවනබව පැවසිය හැක. සමහර මැදිහත්වීම් කාන්තා ව්‍යවසායකයින්ගේ ආර්ථික සහ ආත්මීය යහපැවැත්ම වැඩිදියුණු කර ඇතත් සාමාන්‍යයෙන් කුඩා හා මධ්‍ය පරිමාණ ව්‍යවසායකයන්ගේ රැකියා වර්ධනය කිරීම දුෂ්කරය. දුප්පතුන් සඳහා ණය සහ ව්‍යාපාරික පුහුණුව සඳහා ප්‍රවේශය ලබා දෙන සාම්ප්‍රදායික ක්ෂුද්‍ර මැදිහත්වීම් කාන්තා ආර්ථික සවිබල ගැන්වීමේ ප්‍රධාන වෙනස්කම් ගෙන ඒමේදී අකාර්යක්ෂම බව ඔප්පු වී තිබේ. කාන්තා සවිබල ගැන්වීම තිරසාර කිරීමේ වැඩසටහන් වල මැදිහත්වීමේ දීර්ඝායුෂ සහ සඵලතාවය අඛණ්ඩ ප්‍රතිපත්තිමය කැපවීම මත රඳා පවතින්නකි.

    කෘෂි ව්‍යවසායකත්වයේ වැදගත්කම

    මෙරට ග්‍රාමීය හා අර්ධ නාගරික පෙදෙස්හි නව ව්‍යාපාරය ගොඩනැගීම සඳහා කෘෂිකර්මාන්තය මනා පිටුබලයකි. කෙසේ වුවද කෘෂි ව්‍යවසායකත්වය යන යෙදුම අපට මතක් කර දෙන්නේ කුඩාම පරිමාණයේ ගොවීන් පවා ව්‍යාපාරිකයන් බවයි. කෘෂිකාර්මික ව්‍යවසායකත්වය නිර්වචනය කරන්නේ කෘෂිකර්මාන්තයේ අවදානම් සහ අවිනිශ්චිත තත්ත්වයන් යටතේ වර්ධනය හෝ ලාභය අරමුණු කරගනිමින් නව්‍ය ආර්ථික සංවිධානයක් නිර්මාණය කරන්නෙකු බවයි. එහෙයින් කෘෂි ව්‍යවසායිකාවක හා ප්‍රවර්ධකවරියක් ලෙස කාන්තාවන්ගේ ශක්තිය සොයා ගැනීමට අපහසු නොවේ. කෘෂිකාර්මික සංරචකවල ව්‍යාපාරයක් ආරම්භ කිරීමට සහ ඇගේ සමාජ-ආර්ථික තත්ත්වය නැවත සකස් කිරීමට ඇයව පොළඹවන සාධකය සහිත තමන්ගේම ව්‍යවසායයක් කාන්තාවන් වඩාත් දිරිමත් කළ හැකිවේ.

    එමෙන්ම කෘෂිකර්මාන්තයේ , ධීවර කර්මාන්තයේ හා වැවිළි කර්මාන්තයේ නිෂ්පාදන ආශ්‍රිත නව ව්‍යාපාර අවස්ථා නිර්මාණය කරන බැවින් දිවයින පුරා සිටින කාන්තා ව්‍යවසායකයින් වෙතින් දේශීය ආර්ථික සංවර්ධනයට සැලකිය යුතු බලපෑමක් ඒ ඔස්සේ උදාකල හැකිවේ. මේ නිසා ආර්ථික සංවර්ධනයට දායක වන කාන්තා ව්‍යවසායකයින් සංඛ්‍යාව වැඩිවීම මානව සම්පත්වල උපයෝගීතාවයේ වර්ධනයට ධනාත්මක දායකත්වයක් ලබාදීමට උපකාරීවන බව පැවසිය හැකිවේ. ශ්‍රමබලය නිසි ලෙස භාවිතාවීම එමගින් සහතික කළ හැකිවේ. දැනුදු කාන්තා ශ්‍රම බලකායෙන් සුළු ප්‍රතිශතයක්  ඔවුන්ගේම ස්වාධීන ව්‍යාපාර පිහිටුවාගෙන මෙම බාධකය ජය ගැනීමට සහායවන ආකාරය දැකගත හැකිය.

    ලෝකය අල්ලන කාන්තා ව්‍යවසායිකාවන්

    ලෝකයේ වේගයෙන්ම වර්ධනය වන ව්‍යවසායකයින් ලෙස කාන්තාවන් සැලකිය හැකිය. කාන්තා ව්‍යවසායකත්වය ලෝක සංවර්ධනය සඳහා වැදගත් දර්ශකයක් බව දැන් පිළිගෙන ඇත. විශේෂයෙන්ම සංවර්ධනය වෙමින් පවතින රටවල රැකියා, ධනය, දරිද්‍රතාවය අඩු කිරීම, මානව සංවර්ධනය, අධ්‍යාපනය, සෞඛ්‍යය සහ ජාතික සංවර්ධනය සඳහා කාන්තා ව්‍යවසායකයින් සැලකිය යුතු කාර්යභාරයක් එම අංශය ඉටු කරයි. කාන්තා ව්‍යවසායකයින්ගේ බොහෝ සාර්ථක කථා ජනමාධ්‍ය  තුළ ඉදහිට සාකච්ඡා කර ඇති අතර ඔවුන්ගේ මාර්ගයට ඇති ප්‍රධාන බාධාවන් පවා නිදර්ශනය කර ඇත. කාන්තා ව්‍යවසායකයින් නොමැතිව ආර්ථිකයට පූර්ණ සහ තිරසාර සාර්ථකත්වයක් අත්කර ගත නොහැකි බව ඒවා ඔස්සේද යම් තරමකට හුවා දක්වා තිබේ. කෙටියෙන් කිවහොත් කාන්තා ව්‍යවසායකයින්ගේ අභිමතාර්ථයන් එකිනෙකට වෙනස් වුවද ඔවුන්ගේ දායකත්වය ආර්ථික හා සමාජ සංවර්ධනය ඔස්සේ මෙරට අනාගතයේ තිරසාර දියුණුව සඳහා වැදගත් මෙවලමක් ලෙස ගැනිය හැකිය. මෙම දායකත්වය අධ්‍යාපනය, කෘෂිකර්මය, හමුදා හා පොලිස් වැනි  අනෙකුත් සියලුම ක්ෂේත්‍රවල දැකිය හැක. ඇත්ත වශයෙන්ම, සාර්ථක කාන්තා ව්‍යවසායකයින් මෙරට අනාගත කාන්තා ව්‍යවසායකයින් සඳහා ආදර්ශවත් භූමිකාවක් පෙන්නුම් කරයි.

    ගෝලීයකරණයේ සහාය ලැබෙයි

    ගෝලීයකරණය කාන්තා ව්‍යවසායකයින් සඳහා ආර්ථික සංවර්ධනය සමඟ වැදගත් සම්බන්ධතාවයක් පවතින බව නොරහසකි. එබැවින් තාක්ෂණික හා මූල්‍ය සැපයුම් යෝජනා  ක්‍රමවලට අමතරව කාන්තාවන්හට සාර්ථකවීමට සංස්කෘතික හා සදාචාරාත්මක බාධක ද ජය ගත යුතුය. ස්ත්‍රී පුරුෂ අසමානතාවය ආර්ථික සංවර්ධනය සමඟ සැලකිය යුතු නමුත් ප්‍රතිලෝම සම්බන්ධයක් එහි ඇති බව පිළිබිඹු කෙරේ. එහෙයින් ගැහැණු පිරිමි භේදය වැඩි වන තරමට ආර්ථිකයේ දියුණුව අඩුවන බව පැවසිය හැකිවේ. ස්ත්‍රී පුරුෂ සමාජභාවය පිළිබඳ භූමිකාවන් පිළිබඳ සමාජයේ සාමූහික අවබෝධය සහ සමානාත්මතාවය පිළිබඳ පැහැදිලි නෛතික ප්‍රතිපත්ති වැඩිදියුණුකර බලාත්මක කිරීමෙන් එකී අසමතුලිතතාවයේ විෂමතාව අඩු කළ හැකිවේ.

    විවිධ මට්ටමේ සංවර්ධන හා යටිතල පහසුකම් මත ප්‍රාදේශීය ආර්ථික සංවර්ධනයට කාන්තා ව්‍යවසායකත්වයේ බලපෑම හා දායකත්වය රටේ සමස්ථ සංවර්ධන මට්ටම කෙරෙහි ප්‍රමාණාත්මක කාර්ය භාරයක් උදාකරනු ඇත. දිවයිනේ සෑම පෙදෙසකම සංවර්ධන මට්ටම, ආර්ථික යටිතල පහසුකම් සහ සමාජ හා සංස්කෘතික සම්මතයන් මත එකිනෙකට වෙනස් වේ. එහෙයින් කාන්තා ව්‍යවසායිකාවන්ගේ භූමිකාව හඳුනාගෙන ආර්ථික සංවර්ධනයේදී කාන්තාවන් අත්‍යවශ්‍ය කොටස පමණක් නොව සමාජ යහපැවැත්ම කෙරෙහි වැඩි බලපෑමක් ඇති කරන බලවේගයක් ලෙස අප හදුනාගත යුතුවේ.

  • ශ්‍රී ලංකාව ජයග්‍රහණයකින් 2025 වසර අරඹයි

    ශ්‍රී ලංකාව ජයග්‍රහණයකින් 2025 වසර අරඹයි

    වසර 20 කට ආසන්න විස්සයි-20 තරග ඉතිහාසයේ ශ්‍රී ලාංකික පිතිකරුවකු රැස් කරන ලද තෙවැනි ශතකයට හිමිකම් කියමින් කුසල් ජනිත් පෙරේරා රැස් කරන ලද ලකුණු 101 ක ඉනිම ප්‍රධාන කොට නවසීලන්ත පිලට එරෙහිව නෙල්සන් නුවර පැවැති තෙවැනි විස්සයි-20 තරගයෙන් ලකුණු 07 ක ජයක් ලබා ගැනීමට ශ්‍රී ලංකා කණ්ඩායමට අද (02 දා) පෙරවරුවේදී හැකියාව ලැබිණ. මෙම තරගය ශ්‍රී ලංකාව ජය ගත්තද පළමු තරග 2 ම ජය ගැනීමට නවසීලන්ත කණ්ඩායම සමත්ව සිටීම නිසා තරගාවලියේ ජය 2-1 ක් ලෙස සත්කාරක පිලටම හිමිවිය.

    ශ්‍රී ලංකා කණ්ඩායමක් විසින් නවසීලන්තයට එරෙහිව ඔමුන්ගේ රටේදී විස්සයි-20 තරගයකදී  පරාජයට පත් කරන ලද්දේ වසර 20 කට ආසන්න කාලයකට පසුව වීම කැපී පෙනෙයි. අවසන් වතාවට ශ්‍රී ලංකා කණ්ඩායමක් විසින් නවසීලන්තය ඔවුන්ගේ නිජ බිමේදී පරාජයට පත් කර ඇත්තේ 2006 වසරේ පැවැති තරගයකදී වේ. එමෙන්ම මෙය නවසීලන්ත දේශයේදී ඔවුන්ව පරාජයට පත් කරන ලද දෙවැනි තරගය ලෙසින්ද සනිටුහන් වේ.

    කුසල්ගේ මෙම සුවිශේෂී ඉනිම ප්‍රධාන කොට නවසීලන්ත කණ්ඩායමට ලකුණු 219 ක ඉලක්කයක් හිමි වු අතර එය හඹා ගිය නවසීලන්ත පිතිකරුවෝ පන්දු 30 කින් ලකුණු 51 ක් දක්වා අවම මට්ටමකට රැගෙන ආහ. එසේ රැගෙන ආවේ පන්දු 36 කින් ලකුණු 76 ක් අවශ්‍යව තිබූ මොහොතකය. 14 වැනි පන්දුවාරය අවසන් වන විට කඩුලු 4 කට ලකුණු 143 ක් ලබා සිටි නවසීලන්ත පිතිකරුවන් අතරින් ක්‍රියාත්මක වුණු ඩැරල් මිචෙල් චරිත් අසලංක විසින් යවන ලද 15 වැනි පන්දුවාරයේදී පිට පිට  පන්දු 4 කදී හයේ පහර 5 ක්ද සමඟින් එම පන්දුවාරයේදී ලකුණු 23 ක් උදුරා ගැනීමට සමත්වීම නිසා තරගය යළිත් නවසීලන්ත පිලේ වාසියට නතු වූවේය.

    කෙසේ වෙතත් ඊළඟ පන්දු වාරය යැවූ වනිඳු හසරංග ලකුණු 02 ක් ඇතුළත කඩුලු 2 ක් දවා ගැනීමට සමත් වීමත් 17 වැනි පන්දුවාරය යැවූ නුවන් තුෂාර ඩැරල් මිචෙල්ව දවා ගැනීමත් නිසා නවසීලන්ත හඹා යෑම අඩපණ වීය. නවසීලන්ත ඉනිමේ පවර් ප්ලේ අවස්ථාවට හිමි පන්දුවාර 6 දී ආරම්භක පිතිකරුවන් දෙදෙනා ඉතා හොඳින් පන්දුවට පහර දෙමින් ලකුණු 63 ක් එක් කළහ. ඉන් ලැබුණු ජවයත් සමඟ ඉදිරියට ඇදුණු නවසීලන්ත කණ්ඩායමට අවසන් පන්දුවාරය සදහා ජයග්‍රහණය සඳහා ලකුණු 22 ක් අවශ්‍ය වූ නමුත් බිනුර ප්‍රනාන්දු විසින් එය ලකුණු 14 කට සීමා කිරීමට සමත්වීම නිසා ශ්‍රී ලංකාවට ජය විවර විය.

    කුසල් පෙරේරාට ප්‍රථම ශ්‍රී ලංකාව වෙනුවෙන් විස්සයි-20 තරගයකදී ශතකයක් වාර්තා කර ඇති පිතිකරුවන් දෙදෙනා වන්නේ මහේල ජයවර්ධන(100) සහ ටී.එම්. ඩිල්ෂාන් (104)පමණි. 2011 වසරේදී ඔස්ට්‍රේලියාවට එරෙහිව ඩිල්ෂාන් රැස් කරන ලද ශතකය ශ්‍රී ලංකා පිතිකරුවකු රැස් කරන ලද අවසන් ශතකය ලෙසින් සනිටුහන් වේ.

    කුසල් සිය ශතකය සඳහා පන්දු 46 කට පමණක් මුහුණ දුන් අතර එයද සටහන් වූයේ ශ්‍රී ලංකාව වෙනුවෙන් පිතිකරුවකු වාර්තා කරන ලද වේගවත්ම ශතකය ලෙසිනි. මීට පෙර ඩිල්ෂාන් පන්දු 55 කදී සහ මහේල පන්දු 63 කදී සිය ශතකය සම්පූර්ණ කර තිබුණහ. සමස්ථ ඉනිම පන්දු 46 කින් සමන්විත වුණු කුසල්ගේ ඉනිම සඳහා ඔහු හයේ පහර 4 ක් සහ හතරේ පහර 13 ක් එල්ල කර තිබුණි. කුසල්ගේ මෙම පහර ප්‍රධාන කොට ශ්‍රී ලංකා ඉනිමෙන් හයේ පහරවල් 12 ක් සහ හතරේ පහර 20 ක් එල්ල කර තිබුණි. මෙම ඉනිමත් සමගම කුසල් අද දිනයේදී ශ්‍රී ලංකාව වෙනුවෙන් විස්සයි-20 තරග වලදී ලකුණු 2000 සීමාව පසු කරන ලද පළමු  පිතිකරුවා බවට පත්වූවේය. කුසල් මෙම කඩඉම පසුකරන ලද්දේ සිය 77 වැනි තරගයට සහභාගිවෙමින් සිටියදීය. කුසල් පසුව ශ්‍රී ලංකාව වෙනුවෙන් වැඩිම ලකුණු සංඛ්‍යාවක් රැස් කර ඇති පිතිකරුවා වන්නේ කුසල් මෙන්ඩිස් වන අතර ඔහු තරග 78 කදී ලකුණු 1920 ක් රැස් කර තිබේ.

    කුසල් හැරුනු කොට ඉනිමේ සාර්ථකම පිතිකරුවා බවට නායක චරිත් අසලංක පත්විය. ඔහු පන්දු 24 කදී හයේ පහර 5 ක් සහ හතරේ පහරක් සමගින් ලකුණු 46 ක් රැස් කළේය. ශ්‍රී ලංකා ඉනිමේ තෙවැනි කඩුල්ල ලෙසින් අවිශ්ක ප්‍රනාන්දු පිටියෙන් ඉවත්වන විට පන්දුවට පහර දීමට පැමිණි අසලංක සහ කුසල් පෙරේරා අතර සිව්වැනි කඩුල්ලේ සම්බන්ධතාවය පන්ු 45 කදී ලකුණු 100 ක් විය.

    ශ්‍රී ලංකාව  පන්දුවාර 20 කදී කඩුලු 5 ක් දැවී ලකුණු 218 යි – (පැතුම් නිස්සංක 14, කුසල් මෙන්ඩිස් 22, කුසල් පෙරේරා 101, අවිශ්ක ප්‍රනාන්දු 17, චරිත් අසලංක 46)

    නවසීලන්තය පන්දුවාර 20 කදී කඩුලු 7 ක් දැවී ලකුණු 211 යි – (සැකරි ෆෝල්ක්ස් 21*, මිචෙල් සැන්ට්නර් 14, ඩැරල් මිචෙල් 35, රචින් රවීන්ද්‍ර 69, ටිම් රොබින්සන් 37, චරිත් අසලංක 50/3, වනිදු හසරංග 38/2)

    මූලාශ්‍රය – ශ්‍රී ලංකා ක්‍රිකට්

  • සිත පිනවන ‘සුළු කෑම සහ බීම’ ඔබේ සෞඛ්‍යයට කරන ‘බිහිසුණු බලපෑ’

    සිත පිනවන ‘සුළු කෑම සහ බීම’ ඔබේ සෞඛ්‍යයට කරන ‘බිහිසුණු බලපෑ’

    මේ උත්සව සමයේ ඔබ අධික ලෙස කෙටි ආහාර අනුභව කිරීම සහ මත්පැන් පානය කිරීම කරන්නේ නම් එය ඔබගේ සෞඛ්‍යයට දරුණු ප්‍රතිවිපාක ඇති කළ හැකිය. මේ උත්සව සමයේ දී අපගේ ආහාර පාන තෝරාගැනීම් පිළිබඳව අප සැලකිලිමත් වන්නේ නම් වසර පුරාම නොව ජීවිත කාලය ම සෞඛ්‍ය සම්පන්නව ගත කළ හැකිය. අඛණ්ඩව අධික කැලරි හෝ සීනි පරිභෝජනය පහත සඳහන් ගැටළු සමඟ සම්බන්ධ විය හැකිය: බඩවැල් ඩිස්බියෝසිස්  / Gut dysbiosis සීනි අධික ආහාරය මගින් බඩවැල් ක්ෂුද්‍රජීවයේ අසමතුලිතතාවයක් ඇති කළ හැකි බවත්, එය බඩවැලේ දැවිල්ල හා දුර්වල ආමාශ ආන්ත්‍රයික ක්‍රියාකාරිත්වයට හේතු විය හැකි බවත් විශේෂඥ වෛද්‍ය මතයයි. මෙය ආසාදනයට සහ වෙනත් පරිවෘත්තීය ආබාධ කිහිපයකට නැඹුරුතාවයක් වැඩි කළ හැකිය. නිදන්ගත දැවිල්ල / Chronic inflammation අඩු තන්තු සහිත පලතුරු සහ එළවළු සමඟ අධික මේද සහ සීනි යන දෙකම ඇතුළත් ආහාර වේලක් නිදන්ගත දැවිල්ලට හේතු වේ. පරිවෘත්තීය සින්ඩ්‍රෝමය / Metabolic syndrome හෘද වාහිනී රෝග සඳහා අවදානමක් ඇති අධි රුධිර පීඩනය, අධික රුධිර සීනි, අතිරික්ත ශරීරයේ මේදය සහ අසාමාන්‍ය කොලෙස්ටරෝල් මට්ටම් මගින් රෝග රැසක් ඇතිවිය හැකිය. අක්මා රෝගය / Liver disease පැණිරස බීම වර්ග, විශේෂයෙන්ම ෆෲක්ටෝස් අධික බීම වර්ග අධික ලෙස පරිභෝජනය කිරීම අක්මා මේද රෝග සහ ඉන්සියුලින් ප්‍රතිරෝධය ඇති කරයි. රක්තවාතය / Gout පැණිරස බීම වර්ග, විශේෂයෙන් ඉහළ ෆෲක්ටෝස් බඩ ඉරිඟු සිරප් අඩංගු බීම, රක්තවාතය, ආතරයිටිස් රෝගය සඳහා දායක විය හැකිය. තරබාරුකම / Obesity සීනි අධික ලෙස පරිභෝජනය කිරීමෙන් මොළයේ විපාක මාර්ගය උත්තේජනය කළ හැකි අතර එය ඩොපමයින් මුදා හැරීම සහ ආශාවන් සමඟ සම්බන්ධ වේ. මෙය තරබාරුකම වර්ධනයට දායක විය හැක. මාතෘ සෞඛ්‍ය අවදානම් / ගර්භණී සමයේදී සහ මවි කිරි කාලය තුළ අධික සීනි සහිත ආහාරයක් දරුවන් තුළ පරිවෘත්තීය හෝ ස්නායු රෝග ඇති විය හැකිය.
    • මධ්‍යසාර නිසා ඇති විය හැකි කෙටි කාලීන බලපෑම්: මධ්‍යසාර විෂ වීම, බඩේ කැක්කුම / කෝපයට පත් බඩවැල් සින්ඩ්‍රෝමය, බඩ පිපීම, හිසරදය, කරකැවිල්ල, මතක ශක්තිය නැතිවීම, වමනය සහ තෙහෙට්ටුව.
    • හෘද රෝග, ආඝාතය, අධි රුධිර පීඩනය, අක්මා රෝග, පිළිකා, දියවැඩියාව, ඩිමෙන්ශියාව, හෘදයාබාධ සහ අක්මා සිරෝසිස් වැනි දිගු කාලීන බලපෑම්වලට මධ්‍යසාර ඇතුළත් විය හැකිය.
    • ආහාර දිරවීමේ ගැටළු, අක්ෂි ගැටළු, උපත් ආබාධ, අස්ථි හානි, ප්‍රතිශක්තිකරණ පද්ධතිය දුර්වල වීම, ලිංගික ක්‍රියාකාරිත්වය සහ ඔසප් වීමේ ගැටළු, රක්තහීනතාවය සහ සශ්‍රීකත්වය පිළිබඳ ගැටළු වැනි තවත් බොහෝ නිදන්ගත ගැටළු වලට මත්පැන් ද හේතු වේ.
    • වෛද්‍ය ගැටළු වලට අමතරව, සබඳතා බිඳ වැටීම, විරැකියාව, මූල්‍ය අර්බුද, නිවාස නොමැතිකම, ආක්‍රමණශීලී හැසිරීම්, විනිශ්චය නැතිවීම සහ තීරණ ගැනීමේ හැකියාව වැනි සමාජීය අහිතකර බලපෑම් රැසකට එය දායක වේ.
    පහත සඳහන් ප්‍රායෝගික උපදෙස් අනුගමනය කරමින් උත්සව සමය වගකීමෙන් යුතුව භුක්ති විඳින්න:
    • සෞඛ්‍යයට අහිතකර කෙටි ආහාරවලට අධික ලෙස ඇබ්බැහි වීම වැළැක්වීම සඳහා සාදවලට යාමට පෙර ආහාර ගන්න.
    • පලතුරු, ඇට වර්ග සහ එළවළු, පලතුරු වැනි සෞඛ්‍ය සම්පන්න විකල්ප තෝරා ගන්න.
    • සජලනය වීමට දවස පුරා ඕනෑ තරම් ජලය පානය කරන්න.
    • ඔබේ පුරුදු පිළිබඳ ඉන්වෙන්ටරි ගන්න, නිර්දේශවලට ඇලී සිටින්න, ඔබේ බීම ඥානවන්තව තෝරාගන්න සහ අඩු කිරීමට උත්සාහ කරන්න.
    • ජලය හෝ වෙනත් අඩු කැලරි පාන සමඟ බීම අතර විකල්ප.
    • අලුත් අවුරුදු සැමරුම් අතරතුර එම අධික තෘප්තිය සමතුලිත කිරීමට ප්‍රමාණවත් නින්දක් සහ නිතිපතා ව්‍යායාම කරන්න.
    ඔබට නිදුක් නිරෝගී වාසනාවන්ත අලුත් අවුරුද්දක් වේවා!!
  • නව යුද හමුදාපති  සහ නව නාවික හමුදාපති පත් කෙරේ

    නව යුද හමුදාපති සහ නව නාවික හමුදාපති පත් කෙරේ

    ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා විසින්, නව යුද හමුදාපතිවරයා ලෙස මේජර් ජනරාල් ලසන්ත රොද්‍රිගෝ සහ නව නාවික හමුදාපතිවරයා ලෙස රියර් අද්මිරාල් කාංචන බානගොඩ යන මහත්වරු පත් කරනු ලැබ ඇත.

    මීට අදාළ පත්වීම් ලිපි ජනාධිපති ජනාධිපති ලේකම් ආචාර්ය නන්දික සනත් කුමානායක මහතා ජනාධිපති කාර්යාලයේදී අද (30) ඔවුන් වෙත භාර දුන්නේය. යුද හමුදාපති ලුතිනන් ජනරාල් විකුම් ලියනගේ සහ නාවික හමුදාපති වයිස් අද්මිරාල් ප්‍රියන්ත පෙරේරා යන මහත්වරුන් හෙට (31) සිය ධුරවලින් විශ්‍රාම යාමට නියමිතය.

  • සංවර්ධනයේ පසුගාමී බලවේග යටපත් කිරීමට අවිධිමත් කළමණාකරණයෙන් බැහැරවෙමු

    සංවර්ධනයේ පසුගාමී බලවේග යටපත් කිරීමට අවිධිමත් කළමණාකරණයෙන් බැහැරවෙමු

    එම්. එම්. පාලිත මහින්ද මුණසිංහ

    මෙරට දිළිඳුකම පිටුදැකීමේ කාර්යයේ සාර්ථකත්‍වය තහවුරු කර ගත හැක්කේ එම ජනතාව දුප්පත්කමින් මුදවා ගැනීමට යොදන අරමුදල් නැවත නැවත ප්‍රදානය කිරීම හෝ එම ජනතාව නැවත ඒ තත්ත්වයටම යොමුකරවන පාරිසරික වටපිටාවක් නිර්මාණය සදහා උත්තේජක සැපයීමෙන් නොවේ. එමෙන්ම රටේ පොදු සමෘද්ධිය සාක්‍ෂාත් කර ගත යුත්තේ “දුප්පතුන්ට උපකාර කිරීම සඳහා පොහොසතුන් කොල්ලකෑමෙන්” නොව සමස්ත සමාජයේම ඒකාබද්ධ උත්සාහය තුලින් සේවා සැපයුම් හා ආදායම් ඉපැයීම් සාධාරණ කිරීම තුළින් බව අප අවබෝධකර ගත යුතුවේ.

    සියලු සමාජ ආර්ථික ගැටළු විසඳා ගැනීම වසර පහකට වරක් පවත්වන මැතිවරණ ජයග්‍රහණ අරබයා ජනගතකරන ප්‍රතිපත්ති ප්‍රකාශන මගින් සපුරාලිය නොහැක. එසේ වුවත් දිවයින පුරාම ගුණාත්මක හා ප්‍රමාණාත්මක සංවර්ධනයක් යම් පරිමාණයකින් සපුරා ගැනීම උදෙසා වඩාත් හොඳ අඩිතාලමක් එමඟින් දමාගත හැකිනම් ඒවා ඵලදායීවේ. එබැවින් ජාතික ආර්ථික හා සමාජ සංවර්ධනය සඳහා වන සැලැස්මක අභිමතාර්ථය විය යුත්තේ ප්‍රමාණාත්මකව සංවර්ධනය ලුහුබැඳීමයි. තිරසාර ආර්ථික සංවර්ධනයක් අඛණ්ඩව ඉදිරියට ගෙනයාමටත්, එහි විස්තීර්ණ ශක්තිය තවදුරටත් ඉහළ නංවා ගැනීමටත්, ජනතාවට සතුෂ්ඨිය සහ ආරක්‍ෂාව (පොහොසත් රටක් ලස්සන ජීවිතයක්) පිළිබඳ හොඳ පරිසරයක් නිර්මාණය කිරීමට හැකි වන්නේ ඒ ඔස්සේ කටයුතු කිරීමෙන් පමණි.

    මිලියන 21.92 ක පමණ ජනතාවක් සිටින අපේ රටේ අඩු ආදායම් ලබන කණ්ඩායම ඔසවා තැබීමට ක්‍රියාකළ යුතු වන්නේ එවැනි වටපිටාවක සිටිමිනි. වර්තමානය වනවිට මෙරට මධ්‍යම ආදායම් ලබන කණ්ඩායමේ ප්‍රමාණය මුළු ජනගහනයෙන් සුළු කොටසක් වන අතර එය සමස්ථයක් ලෙස ගතහොත් පිරමීඩ ව්‍යුහයක් ගෙන ඇත. මෙම තත්ත්වය වෙනස්කර ගෙන අවම වශයෙන් වසර 2028 වන විටදී මධ්‍ය ආදායම්ලාභී පුද්ගලයින් සංඛ්‍යාව මුළු ජනගහනයෙන් 60 % දක්වා වැඩි කිරීමේ අරමුණ ඔස්සේ දේශීය මූල්‍ය සංසරණය ධාරාවේ ප්‍රධාන ඒකකයන්හි නිලධාරීන් තුල මෙන්ම පරිපාලන ක්ෂේත්‍රයේ නිරත නිලධාරීන් තුල ද නව ආකල්පමය සංවර්ධන ආකෘතියක් ඇති කර ගැනීමට අප උත්සුක විය යුතුවේ. එසේ කළහොත් ස්ථාවර දිගුකාලීන සංවර්ධනයක් සහ සමෘද්ධිමත් දේශයක් උදෙසාවන අරමුණ සාක්‍ෂාත් කර ගැනීමට අපට හැකි වනු ඇත. ඒ උදෙසා සංවර්ධන ව්‍යාපෘති ඔස්සේ දිළිඳුකම පිටුදැකීමේ ව්‍යායාමය සාර්ථක කරගැනීම තුලින් මධ්‍යම ආදායම් ලබන පුරවැසියන් සංඛ්‍යාව ප්‍රමාණාත්මකව වැඩිකර ගැනීමට ක්‍රියා කලයුතුවේ. මේ උදෙසාවන උපාය මාර්ගික විධිවිධාන සකස් කල යුත්තේ රටේ ධාරිතාවයට අනුකූලවන පරිදි බව අප පළමුව අවබෝධකරගත යුතුය.

    විශේෂයෙන්ම නාගරික හා ග්‍රාමීය ප්‍රදේශවල සංවර්ධනයේ අසමතුලිතතාවය සමනය කිරීම උදෙසා මෙරට පළාත් අතර ඇති යටිතල පහසුකම් හිඩැස අවම කළ යුතුවේ. ඒ උදෙසා මූලෝපායික වැදගත්කමකින් යුත් ප්‍රදේශයන්හි විශාල හා කුඩා නගර සංවර්ධනය සහසම්බන්ධ කරමින් සමබර සංවර්ධන යෝජනාක්‍රම ප්‍රවර්ධනය කළ යුතුය. උදාහරණය ලෙස ඒකාබද්ධ වෙළඳපල සංවර්ධනය සඳහා යාන්ත්‍රණයන් වැඩිදියුණු කිරීම, නිෂ්පාදන සාධක බාධාවකින් තොරව ගලායාමට ඉඩකඩ ප්‍රවර්ධනය කිරීම සහ අනාගතයට ගැලපෙන අධිවේගී මාර්ග ව්‍යාපෘති ප්‍රවර්ධනය කිරීම තුළින් නාගරික-ග්‍රාමීය වශයෙන් වූ බෙදිම් රේඛාවේ භෞතික ව්‍යුහය බිඳ දැමීමට අප උත්සාහ කළ යුතුය. කාර්මීකරණය, නාගරීකරණය සහ ග්‍රාමීය නවීකරණය යන වචන යථාර්තයක් කරගත හැක්කේ ඒ ඔස්සේ කටයුතු කිරීමෙන් පමණි.

    එසේම පුරවැසියන් අතර වත්කම් පරතරය තවදුරටත් අඩු කිරීම සඳහා ආදායම් බෙදීයාමේ ක්‍රමවේදය ප්‍රසාරණයට භාජනය කළ යුතුවේ. එක් අතකින් සංවර්ධනයේ වැඩි ප්‍රතිඵල ජනතාවට ලබා දීම සඳහා රටේ ආදායමෙන් වැඩි ප්‍රතිශතයක් පුළුල් ලෙස ආයෝජනය කර වැඩිපුර රැකියා උත්පාදනය කිරීමට සහ මිනිසුන්ගේ ආදායම ඉහළ නැංවීමට ද උත්සාහ කළ යුතු අතර අනෙක් අතට අඩු ආදායම්ලාභී ජනතාවගේ‍ ශ්‍රම ආයෝජන අංශයන්හි වැටුප් අනුපාතය ඉහළ නංවමින් සමාජ සාධාරණත්වය සහ යුක්තියේ සමරූපී බව ස්ථාපිත කළ යුතුවේ. ඒ අනුව රජය විසින් ආදායම උපයා ගැනීම උදෙසා ඉලක්කගත අංශ වෙත පමණක් බදු පැනවීම සහ වඩාත් කාර්යක්‍ෂම ලෙසින් ඒවා රැස්කරගැනීමට නැඹුරුවිය යුතුවේ. ඉන් බැහැරව නීත්‍යානුකූලව ආදායම් ආරක්ෂාකර ගැනීමට සහ අධික ලෙස ලාභ ඉපැයීම් කෙරෙහි ව්‍යවසායකයින් යොමුවීම වළකාලීමට ක්‍රියා කළ යුතුවන්නේය. එයට සමගාමියව දැඩි සමාජ ආරක්‍ෂක සැපයුම් ජාලගත ක්‍රමවේදයක් රටතුල ස්ථාපිත  කිරීමට කටයුතු කළ යුතුය. ඒ ඔස්සේ ජනතාවගේ අපේක්ෂාවන් බිදවැටීම මෙන්ම අසාධාරණ ලෙස ආදායම රැස්කිරීමේ ඒකාධිකාරයෙන් ඔවුන් මුදවා ගැනීම තහවුරු කළ හැකිවේ. ඒ සමඟම සමාජ සාධාරණත්වය සහ යුක්තිය පසඳලීමේ සාධාරණත්වය ප්‍රවර්ධනය කිරීම සඳහා ගාමක බලයක් රටපුරා ක්‍රියාවට නැංගවීමද ඉතා වැදගත්බව අවධාරණය කළ හැක.

    එසේම අපේ රටේ දිගු කාලීන සංවර්ධනය සඳහා තාක්‍ෂණික නවෝත්පාදනයන් සඳහා පුළුල් වේදිකාවක් තැනීමට සහ නවෝත්පාදනය සඳහා යහපත් සමාජ වාතාවරණයක් බිහිකර ගැනීම අවශ්‍ය බව කොවිඩ් වසංගතය හමුවේ බිහිවූ නව නිර්මාණකරුවන් විසින් අපට කිසියම් දිශානතියක් පෙන්නුම්කර තිබේ. එහෙයින් ඒ සදහා යොමුවන පුරවැසියන්ගේ අවශ්‍යතා හදුනාගැනිම සහ  ඔවුන්ගේ සක්‍රීය දායකත්ව ධාරිතාව ඉහළ නැංවීම සඳහා වඩාත් සාධාරණ කොන්දේසි නිර්මාණය කළ යුතු අතර  දේශීය වශයෙන් තාක්‍ෂණික නවෝත්පාදනයන් තුළින් වඩවඩාත් ධනය උත්පාදනය කරගැනීමට අප යොමුවිය යුතුය. ජාතික සමෘද්ධියේ හා පුනර්ජීවනයේ ගාමක බලවේගය බවට තාක්‍ෂණික නවෝත්පාදනයන් පත්කරගත යුතුවන්නේ එබැවිනි. පොදු සමෘද්ධිය සාක්ෂාත් කර ගැනීම සඳහා එය වැදගත් සාධකයක් ද වනු ඇත. ඒ උදෙසා සෑම ක්ෂේත්‍රයකම නවීණ තාක්‍ෂණය ඇසුරුකරගෙන නවෝත්පාදනයන්හි නිර්මාණාත්මක භාවිතය උදෙසා ජනතාව පෙළඹවීමට රජයේ මූල්‍ය හා ව්‍යුහාත්මක ප්‍රතිපත්ති කාලානුරූපව සකස් කිරීමට යොමුවිය යුතුය. ඒ අනුව වෙහෙස මහන්සිවී වැඩ කිරීමෙන් හා නවෝත්පාදනයන් තුළින් සමෘද්ධිය ළඟා කර ගැනීම සඳහා සමස්ත සමාජයම දිරිමත් කළ යුතුය. කෙසේ වුවද පොදු සමෘද්ධිය සාක්‍ෂාත් කර ගැනීම දිගු කාලීන ක්‍රියාවලියක් වන අතර ඒ සඳහා කාර්යක්‍ෂම නිෂ්පාදන අංශයක්, දේශීය වශයෙන් පුළුල් වෙළෙඳපොළක සහ ආරක්ෂණ ආනයන ව්‍යුහයක අවශ්‍යතාවය ද ඉස්මතු කෙරේ.

    වඩාත් සාධාරණ අයුරින් මූලික රාජ්‍ය සේවාවන් සැපයීම හා පවත්වාගෙනයාම පමණක් අරමුණු කරගෙන රජයක් ක්‍රියාකල යුතු අතර සුබසාධන න්‍යාය යටතේ තවදුරටත් කටයුතු කිරීමේ දේශපාලන උපායයන් ගෙන් බැහැරව ඒ පිළිබඳව ජන විඥාණය ගොඩනැගීමට පාලකයින් අවංකව පෙරමුණ ගත යුතුවේ. මෙරට සදාකාලිකව පවතින දරිද්‍රතාවය තුරන් කිරීම උදෙසා හැරවුම් ලක්ෂයක් සනිටුහන් කළහැක්කේ එවැනි මගක් ගැනීමෙන් පමණි. කෙසේ වෙතත් දුප්පත්කමින් සෙලවී සිටින ග්‍රාමීය ප්‍රදේශ තවමත් දුර්වල කාර්මික පදනමක් යටතේ පවතින හෙයින්  රජයේ  ප්‍රතිපත්ති වලින් දුප්පත් පවුල් සාමාජිකයින් කාර්මික නොවන සේවා ව්‍යාපාරවලට බැඳ තබන ගතානුගතික පද්ධති ව්‍යුහය හේතුවෙන් එම ප්‍රදේශයන්හි තාරුණ්‍ය සදාකාලිකවම පීඩා විඳින බව අප අවබෝධකරගත යුතුවේ. එකී ප්‍රදේශයන්හි මිනිසුන්ගේ ජීවනෝපාය මාර්ග වැඩිදියුණු කිරීමට හා අවශ්‍ය යටිතල පහසුකම් සංවර්ධනයට වැඩි අවස්ථාවන් සමග ප්‍රමුඛතාවය ලබා දිය යුතුවන්නේ එබැවිනි. මෙම ගැටළු විසඳීම සඳහා ප්‍රධාන ආධාරක ප්‍රතිපත්ති අඛණ්ඩව පවත්වා ගත යුතු අතර පළාත් බද සංවර්ධනය සහ යුගල සහයෝගීතාවයන් ශක්තිමත් ලෙස ප්‍රවර්ධනය කළ යුතුය. එසේ නොවුවහොත් දරිද්‍රතාවයෙන් මිදීමේ ප්‍රතිඵල තහවුරු කිරීමට සහ දුප්පත්කමින් මිදෙන ජනතාව මහා පරිමාණයෙන් යළිත් දුප්පත්කමට තල්ලුවීයාම වළකාගැනීමට අසීරුවනු ඇත.

    රටේ මූල්‍ය අවදානම් වැළැක්වීම සහ පාලනය කිරීම උදෙසා අපනයන වෙළඳපල ඉලක්ක කරගත් ආරක්ෂණවාදී වෙළද සම්මුතියක් පදනම් වූ මූලධර්ම පිළිපැදීම කාලීන අවශ්‍යතාවක් බව නොරහසකි. එහෙත් අවදානම් වැළැක්වීම සහ ස්ථාවර සංවර්ධනය අතර සමබරතාවය රැක ගැනිමට බහුවිධි ක්ෂේත්‍ර සමඟ යම් යම් ගැටළු පැවතුනද, වෙළෙඳපොළ නිර්මාපකයින්ගේ සාධාරණ ප්‍රාග්ධන අවශ්‍යතා සංවර්ධනයේ සමස්ත ප්‍රවනතාවය මත සිදුනොවේ නම් එයින් මහජනතාවට වන යහපතක් නොමැත. අනෙක් අතට ණය අර්බුදයේ අතිරික්ත බලපෑම් පාලනය කළ හැකි හෙයින් එම අවදානම පාලනය කිරීමට ද අප යොමුවිය යුතුවේ. කෙසේ වෙතත්, දැන් තිබෙන ප්‍රධාන අභියෝගය නම් මූල්‍ය ආයතනවල අවදානම් අඩු වීමයි. දේශීය වෙලඳ පොලේ අධිවේගී ක්‍රියාකාරිත්වය නියාමනය හේතුවෙන් වෙලඳපොල ප්‍රසාරණය බොහෝ පහත යමින් පවතින අතර ජනතාව වෙත අසීමිත මානසික පීඩාවක් ගොඩනැගෙමින් පවතී. උදාහරණයක් ලෙස නිශ්චල දේපල කර්මාන්තය සඳහා මූල්‍ය ආයතන නියාමන කරන අවශ්‍යතා අධීක්ෂණයෙන් බැහැර වුවහොත් එම ව්‍යාපාර ද්‍රවශීලතා අර්බුදයකට ඇද වැටීම මත එක් එක් මහා පරිමාණ නිශ්චල දේපල සමාගම් අවදානම් වලට නිරාවරණය විම ඔස්සේ සිදුවන පීඩාව සෘජුවම බලපාන්නේ නව නිවාස අත්පත්කර ගැනීමට හා ව්‍යාපාර ඇරඹීමට හෝ ව්‍යාපාර පුළුල් කිරීමට අපේක්ෂාකරන්නන් වෙත බව පෙන්වා දෙමු.

    කෙසේ වුවද මෙරට තුළ අඛණ්ඩව සංවර්ධනයක් පවත්වා ගැනීම සහ අවදානම් වැළැක්වීම සහ අනෙකුත් අංශ වල අවදානම් සමඟ කටයුතු කිරීමේදී ද්විතියික මූල්‍ය අවදානම් වළක්වා ගැනීම අතර බලධාරීන් සමබරතාවයක් ඇති කර ගත යුතුය. කැපී පෙනෙන ලෙස විදුලි බලශක්ති නිෂ්පාදනය හා බෙදාහැරීම, පොසිල ඉන්ධන පිරිපහදුව, ගෘහස්ථ හා කර්මාන්ත සදහාවන ද්‍රව වායු සැපයුම බෙදාහැරීම සහ විදුලි සංදේශන සේවා පහසුකම් ප්‍රවර්ධනය සඳහා රජයේ නියාමනය අතිශයින් පහත වැටීයාමට සැලැස්වීමෙන් රටේ සැපයුම් දාමයන්ගේ ආරක්ෂාවට තර්ජන එල්වූ ආකරය දෙස බලන්න. මේ සියල්ලටම හේතුව කෝවිඩ් 19 වසංගතය යැයි කියා පැවසිය නොහැක. පසුගිය දශක කිහිපය තුළ අපරට මෙවැනි අර්බුද මාලාවට මුහුණ දුන් ආකාරය තර්ක කිරිමට මොළයක් සහිත අවුරුදු 15 න් ඉහල ඕනැම පුරවැසියෙකුහට අවබෝධවනු ඇත. අවම වශයෙන් දේශීය අවශ්‍යතා යම් ප්‍රමාණයකට හෝ සපුරා ගැනීමට පුනර්ජනනීය බල ශක්ති මධ්‍යස්ථාන ස්ථාපිත කර කාර්යක්‍ෂම ලෙස පවත්වාගෙන යාමට රජය හෝ රාජ්‍ය අනුබද්ධිත ආයතන වෙත වැඩි ඉඩප්‍රස්ථා ලබාදිය යුතුවේ. කෙසේ වුවද ඒවායෙහි තිරසාර බව සහ ආරක්‍ෂාව සහතික කිරීම සඳහා රාජ්‍ය අංශයේ යාන්ත්‍රනය තුළ විවිධ මට්ටම් වල පරිපාලනමය ප්‍රතිසංස්කරණ ඇතිකිරීම සහ නව උපාය මාර්ගික සංවර්ධන සැලසුම් ස්ථාපිත කර පවත්වාගෙනයාම උදෙසා අවංක වෘත්තිකයින්ගේ කැපවීම අත්‍යවශ්‍ය බව පැහැදිලිවේ.

    සැබැවින්ම ආර්ථික සමෘද්ධිය අත්පත්කර ගැනීමේදී පළාත්බද ක්‍රියාකාරකම් විවිධ අභියෝගයන්ට මුහුණ දෙනු ඇත. විශේෂයෙන්ම පළාත් බදව පවතින කුඩා ආර්ථික ව්‍යවසායයන් ජාතික වෙළෙඳාම මත යැපීමත් දැනුම ළගාකරගැනීමේදී අවශ්‍ය පහසුකම් නොමැතිකමත් එයට හේතුකාරක වේ. සිංගප්පූරුව , තායිවානය හා කොරියාව කුඩා ආර්ථික ව්‍යවසායයන් සංවර්ධන මාවතට ප්‍රවේශ කරවූ ආකාරය විශ්ලේෂණය කර ඔවුන් මෙම සුවිශේෂී අභියෝග ජය ගන්නේ කෙසේදැයි බැලීමට අපට හැකියාව පවතී. ඒවායහි සංවර්ධන උපාය මාර්ග වල සමානකම් හා වෙනස්කම් පරීක්‍ෂාකර ක්ෂුද්‍ර ආර්ථික තරඟකාරිත්වයක් යටතේ මෙරට ජාතික ආර්ථිකයක ගෝලීයකරණ ආර්ථිකයක සන්දර්භය තුළ ජාතික මායිමෙන් පිටත යොමු කළ හැක්කේ කෙසේද යන්න දේශපාලඥයින් අවබෝධකරගත යුතුවේ. එසේ නොමැතිව පාර්ලිමේන්තු වරප්‍රසාද වලට මුවාවී  අශෝබන වාග් විලාශයන් ගෙනහැර පෑම ඔස්සේ මාධ්‍ය කැමරා ඉදිරිපිට ඝෝෂා කිරීමෙන් රටක් ඔසවාතැබිය හැකිද යන්න විමසීමට ජනතාව පසුබට නොවනු ඇත.  එබැවින් ව්‍යවසායකත්ව කුසලතා සහ දැනුම ඉස්මතුකර ගැනීමෙන් දේශීය භාණ්ඩ හා සේවා වෙලඳපොලවල් ගෝලීයකරණය යටතේ විදේශ අභිමුඛ ආර්ථිකයක් තුළ දීප්තිමත් අනාගතයක් අප රටට ගොඩනගාගත හැකිවේ.

    බොහෝ විට නියඟය හා ගංවතුර වැනි ස්වාභාවික විපත් හා අනෙකුත් බාහිර කම්පන අර්ධ නාගරික හා ග්‍රාමීය පෙදෙස්හි පිහිටි කුඩා ව්‍යවසායකත්ව ගොදුරුවීමේ අවදානමට සහසම්බන්ධ පොදු අභියෝග වෙති.  එමෙන්ම දුර්වල මූල්‍ය කළමනාකරණය හා සම්බන්ධ සැලකිය යුතු අස්ථාවරත්වය හේතුවෙන් බොහෝ ප්‍රදේශයන්හි කුඩා ව්‍යවසායකත්ව සැලකිය යුතු ණය සමුච්චයකරණයකට ගොදුරුවනු ඇත. විශේෂයෙන් ස්වාභාවික විපත් ඇති ප්‍රදේශවල පිහිටි කුඩා ව්‍යවසායකත්ව සාමාජිකයින් අතර ආදායම් මට්ටම් සහ සංවර්ධන ප්‍රතිඵල වල අනෙකුත් සාධනීය ලක්ෂණ තුළ ඉහළ වෙනසක් දැකිය හැකිවේ. මෙම තත්ත්වයන් බහුලවම දැකිය හැක්කේ කෘෂිකර්ම සහ ධීවර කර්මාන්තය ඇසුරු කරගෙන වෙති.

    කෙසේ වුවද කාර්මිකරණයට ආධාර කිරීම සඳහා මාරු කළ හැකි අතිරික්තයක් නිපදවීමේ හැකියාව කෘෂිකර්මාන්තයට (සත්ත්ව පාලන අංශයද ඇතුළුව) සහ ධීවර කර්මාන්තයට ඇතත් එය ආපසු හැරවිය නොහැකි ලෙස එම අංශයන්හි සංවර්ධනයට ද හානි නොවන අයුරින් සිදු කළ යුතු කාර්යයකි. කෘෂි කර්මාන්තය සහ ධීවර කර්මාන්තය ප්‍රාථමික අදියරේ නිපැයුම් අංශයන් පමණක්ය යන ගතානුගතිකත්වයෙන් මිදී එහි අතිරික්තය නිමි අගය ඉහල දැමීමේ කර්මාන්ත අංශයකට පැවරීම ඔස්සේ ද්විතීයික නිෂ්පාදන අංශය පුළුළ් කිරීම සඳහා ඉඩප්‍රස්ථා පුළුළ් ලෙස විවර කරගත යුතුවේ. විශේෂයෙන්ම කෘෂිකර්මාන්තයට යොදාගනු ලබන වපසරියට වඩා සාගර කළාපය තුල ධීවර කර්මාන්තයට විශාල විභවයක් පවතී. එබැවින් සංවර්ධන ක්‍රියාවලිය තුළ කෘෂි හා ධීවර කර්මාන්තය සහ ඒවායින් වියුත්පන්න කරගත හැකි කර්මාන්ත අතර නිවැරදි සම්බන්ධතාවයක් සොයා ගැනීමට සාධනීය උපාය මාර්ග වෙත තිරසාර දැක්මකින් යුතුව යොමුවීමට අප දැන්වත් ක්‍රියාකළ යුතුවේ. ඒ උදෙසා ජාතික සංවර්ධන ක්‍රියාවලියේ එක් එක් අංශ සහ අන්තර් ජාතික සබැදියාවන් යටතේ එම තත්ත්වයන් ව්‍යුහාත්මක කොන්දේසිමත ගලපා ගැනීමට සිදුවනු ඇත. කෘෂිකර්මාන්තය හෝ ධීවර කර්මාන්තය කෙරෙහි ඒකපාර්ශවිකව අවධානය යොමු කිරීමෙන් විශ්ලේෂකයින්හට ඒවා අතර ඇති සංකීර්ණ හා ගතික අන්තර්ක්‍රියා පරීක්ෂා කිරීමට නොහැකි වේ. එම නිසා සම්පත් ප්‍රවාහයේ ශක්‍යතා සහ ආර්ථික සංවර්ධනයේ සුවිශේෂී ගමන්මග කෙරෙහි ඒවායේ විවිධ බලපෑම ගවේෂණය කිරීමේ වැදගත්කම ඔවුන්ට ග්‍රහණය කර ගැනීමට නොහැකි වී තිබේ. එබැවින් විවිධ සංවර්ධන ක්‍රියාකාරීත්‍වයන් හා විභවයන් අවබෝධ කර ගැනීමට උත්සාහ කිරීමේදී එකී අංශ තුළ සම්පත් පරිහරණය මෙන්ම අංශ අතර සම්පත් වෙන් කිරීම ගැන ද අවබෝධයෙන් හා අවදානයෙන් සොයා බැලිය යුතුව ඇත.

    දේශීය වශයෙන් කාර්මිකරණය සඳහා කෘෂිකාර්මික හා ධීවර කර්මාන්තයේ දියුණුව පූර්ව අවශ්‍යතාවක් ද නැත්නම් ඒ දෙකම සමකාලීන ක්‍රියාවලීන් විය හැකිද යන්න පිළිබඳ සලකාබැලීමේදී එම අංශයන්හි කාර්ය සාධනය රටක කාර්මීකරණය කෙරෙහි විශාල බලපෑමක් ඇති කරන බව අවිවාදාත්මකවේ. උදාහරණයක් ලෙස චීනයේ හා නොර්වේ යන දෙරට සාර්ථක කාර්මීකරණයක් සාක්‍ෂාත් කර ගැනීම සඳහා කෘෂිකාර්මික හා ධීවර නිෂ්පාදන මාරු කිරීම සහ භාවිතය සම්බන්ධ ගැටළු විසඳා ගත් ආකාරය විමසා බැලීම වැදගත්වේ. මෙරට කාර්මික සංවර්ධනයේ ආරම්භක අවධියේදී මෙය විශේෂයෙන් වැදගත් අධ්‍යනය කිරීමක් වනු ඇත. කාර්මික අංශයක් සාර්ථක ලෙස ස්ථාපිත වූ පසු කෘෂිකාර්මික හා ධීවර නිෂ්පාදන අතිරික්තය ආයෝජනය සඳහා නිෂ්පාදකයින් ඒ කෙරෙහි වැඩිපුර නැඹුරුවීම අපේක්ෂා කළහැකිවේ.

    ඒ අනුව කෘෂිකාර්මික  හා ධීවර කර්මාන්තයේ නිෂ්පාදන අතිරික්තයක් වෙනත් ආර්ථික අංශ වෙත මාරු කළ හැකි ක්‍රම කිහිපයක් දැකිය හැක. ස්වේච්ඡාවෙන් හෝ අනිවාර්යයෙන්, දෘශ්‍යමාන වන හෝ නොවන ආකාරයෙන්. කෘෂිකාර්මික ධීවර කර්මාන්තයේ අතිරික්තයක් මාරු කිරීම සඳහා උචිත  යාන්ත්‍රණයන් සකසා ගැනීමට පවතින සම්පත් හුවමාරුවේ විවිධත්වය නිදර්ශනය කිරීම සඳහා පමණක් නොව සාපේක්ෂව යම් සංවර්ධන ඉලක්ක සපුරා ගැනීම සඳහා වඩාත් සුදුසු හෝ කාර්‍යක්ෂම ක්‍රම විශ්ලේෂණය කිරීම ඔස්සේ සංවර්ධන උපාය මාර්ගයෙන් හඳුනාගෙන හොඳම හැකියාව ඇති අංශය වෙත ඒවා මාරු කිරීම සඳහා වඩාත් ගැලපෙන ක්‍රමවේදයන් උපයෝගීකර ගැනීම වඩා වැදගත් වේ. එමෙන්ම දේශීය වශයෙන් සංවර්ධන උපායමාර්ගය පිළිබඳ හඳුනාගැනීමේදී අවධානය යොමු විය යුතු විශේෂිත කරුණක් වන්නේ පළාත් අතර සාමුහිකතාවයන් සාක්‍ෂාත් කර ගන්නේ කෙසේද සහ උපරිම කරන්නේ කෙසේද යන්නයි. ඒ අනුව නාගරික පැල්පත් හා වතු ආශ්‍රිත වේවා ග්‍රාමීය හෝ වෙරලබඩ වේවා දුප්පතුන් අතර පොහොසතුන් බුක්ති විඳින ප්‍රගතියේ ඵල සාධාරණ ලෙස බෙදාහැරීම සහතික කරන්නේ කෙසේද යන්න පිළිබඳව නිර්ණායක සැලසුම් කළ යුතුවේ. තවදුරටත් සංවර්ධන මූලෝපාය ප්‍රවර්ධනය කරන එවැනි සාධාරණ සැලැස්මක් ක්‍රියාත්මක කිරීමට වඩාත් සුදුසු කුමන පන්තිය ද යන්න හඳුනා ගැනීම දෙවනුව කළ යුත්තකි.

    එහෙයින් ප්‍රතිපත්ති සම්පාදකයින් සලකා බැලිය යුතු ප්‍රශ්න අතර කෘෂි හා ධීවර කර්මාන්තයේ නිරතවන පුද්ගලයින් වෙත සෘජුවම ප්‍රමාණවත් දිරි ගැන්වීම් ලබා දෙන්නේ කෙසේද, නිෂ්පාදන ඉලක්ක එකතැන පල්වීමක් සිදු නොවන බවට වග බලා ගන්නේ කෙසේද සහ එය සහතික කර ගන්නේ කෙසේද යන්න සළකාබැලිය යුතුවේ. එමෙන්ම කාර්මීකරණ ක්‍රියාවලියක් සඳහා මෙම අංශ අතර අනුපූරකතාවයන් ශක්තිමත් කිරීම සඳහා කෘෂි හා ධීවර අංශ සහ කර්මාන්ත අතර සබඳතා වර්ධනය කළ යුතු ආකාරය කාලීනව නිර්ණය කළ යුතු බව පැවසිය හැක.

    මෙම කරුණු සැලකිල්ලට ගෙන දේශීය නිෂ්පාදන ප්‍රවර්ධනය කිරීම සෑම රජයක් විසින් දිගටම කරගෙන යා යුතුවේ. එමෙන්ම වෙළඳ හිඟය අඩු කිරීම සඳහා සේවා අංශය ඇතුළුව දේශීය ආර්ථිකය බාහිර ලෝකයට තවදුරටත් විවෘත කිරීම සඳහා දේශීය හා ජාත්‍යන්තර සේවා සපයන්නන් සඳහා තවතවත් සේවා හා සැපයුම් අංශය පුළුල් කළ යුතුවේ. දේශීය වශයෙන් ස්ථාපිත ආර්ථික හා වෙළඳ නීති ලිහිල් කර ව්‍යාපාරික පරිසරය තවදුරටත් වැඩිදියුණු කිරීම ඔස්සේ තිරසාර ආර්ථික සංවර්ධනයේ ප්‍රතිලාභ අප රටට අත්පත්කර ගැනීමට ක්‍රියා කල හැකිය. අවසාන වශයෙන් ප්‍රශ්නය පැන නැඟෙන්නේ එවැනි ජාතික සංවර්ධන ව්‍යාපෘතියක් ඉදිරියට ගෙන යාමට අවශ්‍ය රාජ්‍ය  යාන්ත්‍රණයට අදාල පුද්ගලයින්ගේ නිළධාරී මානසිකත්වයෙන් බැහැරට යොමුකර ගතහැකිද යන්නයි.

    එම්. එම්. පාලිත මහින්ද මුණසිංහ

     

     

  • SMEs Guide SL: SMEs ක්ෂේත්‍රයට සහන දෙන ‘ආණ්ඩුවේ සහන පැකේජය’ මෙන්න !

    SMEs Guide SL: SMEs ක්ෂේත්‍රයට සහන දෙන ‘ආණ්ඩුවේ සහන පැකේජය’ මෙන්න !

    ආර්ථික ස්ථායීකරණ ක්‍රියාවලිය සහ ජනතාවට යෝජිත සහන පැකේජයන් පිළිබඳ මාධ්‍ය සාකච්ඡාවක් අද (26) පෙරවරුවේ ජනාධිපති මාධ්‍ය කේන්ද්‍රයේදී පැවැත්විණි. කම්කරු අමාත්‍ය හා ආර්ථික සංවර්ධන නියෝජ්‍ය අමාත්‍ය ආචාර්ය අනිල් ජයන්ත ප්‍රනාන්දු සහ මුදල් හා ක්‍රමසම්පාදන නියෝජ්‍ය අමාත්‍ය ආචාර්ය හර්ෂණ සූරියප්පෙරුම මෙම මාධ්‍ය සාකච්ඡාවට සහභාගී වූහ.

    කුඩා හා මධ්‍ය පරිමාණ ව්‍යවසායකයින්ට පහසුකම් සැලසීම සහ පරාටේ නීති සහනය දීර්ඝ කිරීම සම්බන්ධයෙන් මෙම මාධ්‍ය සාකච්ඡාවේ දී කරුණු හෙළි කළ අතර ඒ සම්බන්ධයෙන් නිකුත් කළ මාධ්‍ය නිවේදනයේ මෙසේ සඳහන්වේ.

    පරාටේ නීති සහනය දීර්ඝ කිරීම – හුදෙක් පරාටේ නීතිය ක්‍රියාත්මක කිරීමේ දිනය කල් දැමීම වෙනුවට, මෙම දිගුකාලීන ගැටලුව සඳහා පිළිගත හැකි විසඳුම් සොයා ගැනීම සහතික කිරීම සඳහා රජය පාර්ශ්වකරුවන්ගේ කණ්ඩායම් සමඟ සාකච්ඡා පැවැත් වීය. එහි ප්‍රතිඵලයක් ලෙස, පරාටේ නීතිය ක්‍රියාත්මක කිරීම මේ වන විට 2025 මාර්තු 31 දක්වා දීර්ඝ කර තිබේ.

    සහන පැකේජය – ව්‍යාපාර සඳහා සහන ලැබෙන්නේ කාලය දීර්ඝ කිරීමෙන් පමණක් නොවේ. මහ බැංකුවේ දත්ත අනුව, රුපියල් මිලියන 25ට අඩු ණය ප්‍රාග්ධනයක් ඇති ණය ගැනුම්කරුවන්ගෙන් 99% කට, තම ණය මුදල් බැංකු සමඟ නැවත සාකච්ඡා කර, ගෙවීම් සැලැස්මකට එකඟ වීමට මාස 12ක සහන කාලයක් ලබා දී තිබේ.රුපියල් මිලියන 25 සහ 50 අතර ණය ගැණුම්කරුවන් සඳහාද මාස 9ක දිගුවක් ලබා දී ඇති අතර, අනෙකුත් ණය ගැණුම්කරුවන් සඳහා මාස 6ක දිගුවක් ලබා දී ඇත.

    රජය විසින් යෝජනා කරන ලද සහ මහ බැංකුව මඟින් ක්‍රියාත්මක කරනු ලබන මෙම සහන පැකේජය, අඩු පොලී අනුපාත, ආපසු ගෙවීම් කාලයෙහි දිගුව, ණය ශ්‍රේණිගත කිරීම් ලිහිල් කිරීම සහ තක්සේරු ආරවුල් විසඳීම සඳහා විනිවිද පෙනෙන යාන්ත්‍රණයක් සැපයීම වැනි වැදගත් පියවර කිහිපයකින්ද සමන්විතය. ආර්ථිකය තුළ කුඩා හා මධ්‍ය පරිමාණ ව්‍යවසායකයින්ගේ සක්‍රීය දායකත්වය සහතික කිරීම මෙම සහන ක්‍රියාමාර්ගයන්හි ප්‍රධාන අරමුණ වේ.

  • මූඩීස් ආයතනයත් ශ්‍රී ලංකාවේ ණය ශ්‍රේණිය ඉහළ දමයි

    මූඩීස් ආයතනයත් ශ්‍රී ලංකාවේ ණය ශ්‍රේණිය ඉහළ දමයි

    මූඩිස් ජාත්‍යන්තර ණය වර්ගීකරණය ආයතනයත් ශ්‍රී ලංකාවේ දිගුකාලීන විදේශ විනිමය ශ්‍රේණිය ඉහළ දැමීමට පියවර ගෙන තිබේ. මේ බව රොයිටර් පුවත් සේවය විසින් අද (23) පස්වරුවේ නිවේදනය කළේය.

    එහි දැක්වෙන්නේ, පසුගිය සතියේ අමෙරිකානු ඩොලර් බිලියන 12.55 කට අදාළ විදේශ ස්වෛරීත්ව බැඳුම්කර හිමියන් ණය ප්‍රතිව්‍යුහගතකරණයට අවසර දීමත් සමග මෙම පියවර ගෙන ඇති බවයි.

    ශ්‍රී ලංකාවට විදේශීය ණය ගෙවීමට නොහැකි බව නිල වශයෙන් ප්‍රකාශ කිරීමත් සමග ජාත්‍යන්තර ණය වර්ගීකරණ ආයතන ශ්‍රී ලංකාවේ ණය ශ්‍රේණිය පහළ දමනු ලැබීය.

    කෙසේ වෙතත් ජාත්‍යන්තර මූල්‍ය අරමුදල සමග ණය වැඩසටහනකට එළැඹීමෙන් පසු ශ්‍රී ලංකාවේ විදේශීය ණය ප්‍රතිව්‍යුහගතකරණ වැඩපිළිවෙළක් ආරම්භ කෙරිණි.

    එය පසුගිය සතියේ අවසන් අදියරට පැමිණියේ විදේශ ස්වෛරීත්ව බැඳුම්කර ප්‍රතිව්‍යුහගතකරණයට ආයෝජකයින් කැමැත්ත පළ කිරීමෙන් පසුවයි.

    එමෙන්ම ශ්‍රී ලංකාවේ පැවති ණය ශ්‍රේණිය ඉහළ දැමීමට ෆිච් ජාත්‍යන්තර ණය ශ්‍රේණිගත කිරීමේ ආයතනය ද පසුගියදා කටයුතු කර තිබුණි.

  • ඩිමෙන්ශියා වසංගතයකට මුහුණ දීමට ශ්‍රී ලංකාව සූදානම්ද ?

    ඩිමෙන්ශියා වසංගතයකට මුහුණ දීමට ශ්‍රී ලංකාව සූදානම්ද ?

    ඩිමෙන්ශියාව / Dementia යනු ආදරය කරන කෙනෙකුගේ පෞරුෂය, පුරුදු සහ දින චර්යාව විශාල ලෙස වෙනස් විය හැකි ඉතා කණගාටුදායක රෝගයකි. පවුලේ සාමාජිකයින්ට තමන් කලින් දැන සිටි පුද්ගලයාගෙන් පරිණාමය වූ මෙම “නව පුද්ගලයා” හඳුනාගෙන කටයුතු කිරීම අතිශයින් පීඩාකාරී වනු ඇත.

    ඩිමෙන්ශියා පුද්ගලයින් විශාල වශයෙන් අසරණ වන අතර වඩාත් ලෞකික කාර්යයන් සඳහා පවා රැකවරණය අවශ්‍ය වේ. ඩිමෙන්ශියා රෝගීන් සඳහා නිවෙස් බලා ගැනීම ප්‍රධාන අභියෝගයක් බවට පත්වෙමින් පවතින දිගුකාලීන පවුල් ජීවන තත්වයන් තුළ, ඩිමෙන්ශියාවෙන් පෙළෙන දෙමාපියන් පවා ඔවුන්ගේ නිවෙස්වලින් පළවා හරින ලද හෝ කාමරවල සිරකර තබා ඇති ආකාරය පිළිබඳ කතන්දර සාක්ෂි ඕනෑ තරම් තිබේ.

    “ලෝකයේ වේගයෙන්ම වයස්ගත වන රටක් බවට ශ්‍රී ලංකාව පත්ව තිබෙනවා. 2014 දී 12%ක් වූ වයස අවුරුදු 60ට වැඩි ජනගහනයක් ශ්‍රී ලංකාවේ ජීවත් වූ අතර එය අග්නිදිග ආසියාවේ එම වයස් කාණ්ඩයෙන් වාර්තා වන විශාලත ම ප්‍රතිශතය වේ. ජනගහන ප්‍රක්ෂේපණවලට අනුව, 2050 වන විට මෙම අනුපාතය 28.5% දක්වා ළඟා වනු ඇත.

    ඩිමෙන්ශියාව සඳහා වන ප්‍රධාන වෙනස් කළ නොහැකි අවදානම් සාධකය ලෙස වයස්ගත වීමත් සමඟ, ශ්‍රී ලංකාව තුළ ඩිමෙන්ශියා වසංගතයක් ඇති වීම නිසැක ය.

    ඇල්සයිමර් සංගමය (https://www.alz.org/alzheimers-dementia/what-is-dementia) ප්‍රකාශ කරන පරිදි ඩිමෙන්ශියාව තනි රෝගයක් නොවේ. ඇල්සයිමර් රෝගය ඇතුළු විවිධ රෝග සමඟ ජීවත් වන කෙනෙකුට අත්විඳිය හැකි රෝග ලක්ෂණ එකතුවක් විස්තර කිරීමට එය සමස්ත යෙදුමකි.

    ඩිමෙන්ශියාවේ සමාජීය බලපෑම් අතරට අපකීර්තිය සහ ඩිමෙන්ශියා රෝගීන් වෙනත් පුද්ගලයින්ට සමාන ලෙස නොසැලකීම ඇතුළත් වේ. ඩිමෙන්ශියා තත්ත්වයන් ක්‍රමයෙන් නරක අතට හැරීම සෞඛ්‍ය, මූල්‍ය තත්වයන්, රැකියා තත්ත්වය සහ අවට සිටින අය සමඟ ඇති සබඳතා කෙරෙහි සමස්ත බලපෑමක් ඇති කරන අතර ආත්ම අභිමානය කෙරෙහි ද අහිතකර බලපෑමක් ඇති කළ හැකි ය.

    ඩිමෙන්ශියාව වාර්තා වන්නේ “මානසික හැකියාවන් ක්‍රමයෙන් පිරිහීමට හේතු වන මොළයේ ආබාධ සමූහයක් ලෙසයි. රෝගය වර්ධනය වන විට, ඩිමෙන්ශියාවෙන් පෙළෙන පුද්ගලයින්ට පහත සඳහන් දෑ අත්විඳිය හැකිය:

    මතක ශක්තිය නැතිවීම: මෑත සිදුවීම්, නම් සහ නව මතකයන් මතක තබා ගැනීමේ දුෂ්කරතා, සන්නිවේදන දුෂ්කරතා, කතා කිරීම, තේරුම් ගැනීම, කියවීම සහ ලිවීම දුෂ්කරතා.

    චලන ගැටළු: එහා මෙහා යාමට අපහසු වීම, සමබරතාවය නැතිවීම සහ ඇවිදීමට අපහසු වීම.

    හැසිරීම් වෙනස් වීම: ආවේගශීලීව ක්‍රියා කිරීම, ආක්‍රමණශීලී වීම හෝ නින්දට බාධා ඇති වීම, පෞරුෂ වෙනස්වීම්, උනන්දුව නැති වීම, සංවේදනය නැති වීම, හෝ ඔවුන්ගේ පෞරුෂයේ පැතිකඩ වෙනස් වීම.

    මායාවන්: නොපෙනෙන දේවල් දැකීම හෝ ඇසීම.

    නොසැලකිලිමත්කම: ඔවුන්ගේ මුත්‍රාශය සහ බඩවැල් පාලනය නැති වීම හේතුවෙන් නොදැනීම මුත්‍රා සහ අශූචි පිටවීම.

    දෛනික කාර්යයන් කිරීමට අපහසු වීම: කාර්යයන් සම්පූර්ණ කිරීමට වැඩි කාලයක් ගත කිරීම, කෑමට සහ බීමට අපහසු වීම, හෝ කන බොන ආකාරය අමතක වීම.

    සමාජ දුෂ්කරතා: සමාජ තත්වයන් දුෂ්කර වීම හෝ සබඳතා කෙරෙහි ඇති උනන්දුව නැති වීම.

    ඩිමෙන්ශියාව සඳහා ප්‍රතිකාරයක් නොමැත. නමුත් සමහර ප්‍රතිකාර මගින් රෝග ලක්ෂණ පාලනය කිරීමට උපකාරී වේ. ඩිමෙන්ශියාවෙන් පෙළෙන පුද්ගලයන්ට සාමාන්‍යයෙන් මිතුරන්ගෙන් හෝ ඥාතීන්ගෙන් උපකාර අවශ්‍ය වනු ඇති අතර අනාගතය සඳහා කල්තියා සැලසුම් කිරීම වැදගත් වේ.

    ඉතා කණගාටුදායක රෝගයක්

    ඩිමෙන්ශියාව යනු ආදරය කරන කෙනෙකුගේ පෞරුෂය, පුරුදු සහ දින චර්යාව විශාල ලෙස වෙනස් විය හැකි ඉතා දුක්ඛිත රෝගයකි. පවුලේ සාමාජිකයින්ට මෙම “නව පුද්ගලයා” හඳුනා ගැනීම සහ ඔවුන් සමඟ කටයුතු කිරීම අතිශයින් පීඩාකාරී වනු ඇත.

    ඩිමෙන්ශියා පුද්ගලයින් විශාල වශයෙන් අසරණ වන අතර වඩාත් ලෞකික කාර්යයන් සඳහා පවා රැකවරණය අවශ්‍ය වේ. ඩිමෙන්ශියා රෝගීන් සඳහා නිවෙස් බලා ගැනීම ප්‍රධාන අභියෝගයක් බවට පත්වෙමින් පවතින (වැඩි වැඩියෙන් වෙනස් වන දිගු පවුල් ජීවිතයේ තත්වයන් තුළ) ඩිමෙන්ශියාවෙන් පෙළෙන දෙමාපියන් පවා ඔවුන්ගේ නිවෙස්වලින් පළවා හරින ලද හෝ කාමරවල සිරකර තබා ඇති ආකාරය පිළිබඳ කතන්දර සාක්ෂි ඕනෑ තරම් තිබේ.

    සාම්ප්‍රදායික ආගමික විශ්වාසයන් ඩිමෙන්ශියාව ආරෝපණය කිරීමට නැඹුරු වන්නේ ‘කර්ම විපාකයක්’ හෝ ‘පුද්ගලයාගේ ඩිමෙන්ශියාව නොතකා දෙවියන් වහන්සේ පුද්ගලයෙකුට දිගට ම ප්‍රේම කරන තත්වයකට’ ය. තර්කය කුමක් වුවත්, පීඩාවට පත් පුද්ගලයා තවමත් මිනිසෙක් වන අතර අනෙක් ඕනෑම මිනිසෙකුට මෙන් ආදරය, සැලකිල්ල සහ දයාව අවශ්‍ය වේ.

    එක්සත් ජනපද ජාතික සෞඛ්‍ය ආයතනවල ජාතික වෛද්‍ය පුස්තකාලයේ වාර්තාවක් පවසන්නේ “ඩිමෙන්ශියාව පිළිබඳ කරන ලද අධ්‍යයනයකට අනුව, ශ්‍රී ලංකාවේ අර්ධ නාගරික සහ උප නාගරික ජනගහනයෙන් ඩිමෙන්ශියාවේ ව්‍යාප්තිය 4%ක් බව සොයා ගන්නා ලද බවයි. කලාපයේ සිදු කරන ලද අධ්‍යයන හා සසඳන විට, මෙම ව්‍යාප්තිය ඉතා ඉහළ මට්ටමක පවතින අතර, සංවර්ධිත රටවල් හා සමගාමීව ශ්‍රී ලංකාව තුළ හොඳින් ස්ථාපිත සෞඛ්‍ය සේවා පද්ධතියක් තිබියදීත්, ශීඝ්‍රයෙන් ව්‍යාප්ත වන වයෝවෘද්ධ පුද්ගලයින්ගේ වෛද්‍ය හා සමාජීය ගැටලු විසඳීමට එය යොමු වී නොමැත. ඩිමෙන්ශියා රෝගීන්ගේ වර්තමාන තත්ත්වය පිළිබඳ පර්යේෂණ මත පදනම් වූ දැනුමේ හිඟකම නිසා මෙම තත්ත්වය වඩාත් නරක අතට හැරේ.

    ඩිමෙන්ශියා රෝගීන් සහ ඒ ආශ්‍රිත වෛද්‍ය හා සමාජීය ගැටළු කළමනාකරණය කිරීම සඳහා ශ්‍රී ලංකාව දේශපාලන හෝ සමාජීය සූදානමක්, යටිතල පහසුකම් හෝ පුහුණු කාර්ය මණ්ඩලයක් නොමැති බැවින් මෙම සංඛ්‍යාලේඛන සහ ප්‍රකාශ ඇත්තෙන්ම බිය උපදවන සුළුය. ඩිමෙන්ශියාව ආශ්‍රිත තත්ත්වයන් පිළිබඳ සමාජය තුළ ඉතා අල්ප දැනුමක් ඇති අතර, මෙම මාතෘකාව පිළිබඳ ප්‍රමාණවත් පර්යේෂණ නොමැති බැවින් රට තුළ ඩිමෙන්ශියා රෝගීන්ගේ ප්‍රමාණය ඉහළ යමේ පුළුල් අවධානමක් පවතී. ප්‍රධාන වශයෙන් ග්‍රාමීය ජනගහන පසුබිමක මෙම තත්ත්වය සිතුවාටත් වඩා දරුණු විය හැකි අවස්ථා තිබේ. මෙම කලබලකාරී තත්ත්වය සහ අනෙකුත් රෝගවලට වඩා බෙහෙවින් වෙනස් සත්කාරක ප්‍රවේශයක් අවශ්‍ය වන මෙතෙක් නොසලකා හැර ඇති මානසික තත්ත්වය හමුවේ, ඩිමෙන්ශියාව හා සම්බන්ධ බොහෝ වෛද්‍ය හා සමාජීය ගැටලු විසඳීම සඳහා ප්‍රතිපත්ති සැකසීමක් සහ දිගුකාලීන සැලැස්මක් වර්ධනය කිරීමට ශ්‍රී ලංකාව ඉතා ඉහළ ප්‍රමුඛතාවයක් ලබා දිය යුතුය.

    ලෝක බැංකුවට අනුව, 2022 දී ශ්‍රී ලංකාවේ ජනගහනයෙන් 80.97% ක් ජීවත් වූයේ ග්‍රාමීය ප්‍රදේශවල ය. ග්‍රාමීය අංශය රටේ දුප්පත් ජනතාවගෙන් පහෙන් හතරකට නිවහන වන අතර ඔවුන්ගෙන් අඩකට ආසන්න ප්‍රමාණයක් කුඩා පරිමාණ ගොවීන් වේ. ශ්‍රී ලංකාවේ නාගරික ජනගහනය සාපේක්ෂව කුඩා වන අතර නාගරික ප්‍රදේශවල ජීවත් වන්නේ ජනගහනයෙන් 18% ක් පමණ වේ. කෘෂිකාර්මික සංවර්ධනය පිළිබඳ ජාත්‍යන්තර අරමුදල (International Fund of Agricultural Development – IFAD) පවසන්නේ ග්‍රාමීය ජනගහනය විශාල වුව ද, මෙම කණ්ඩායම තුළ සෞඛ්‍ය හා සමාජ ආර්ථික ගැටලු පිළිබඳ පර්යේෂණ හිඟයක් පවතින බවයි.

    ග්‍රාමීය ප්‍රදේශවල ඩිමෙන්ශියාව ඇති පුද්ගලයින්ට රැකවරණය සඳහා සීමිත ප්‍රවේශය සහ ග්‍රාමීය ප්‍රදේශවලට ප්‍රාථමික සත්කාර, විශේෂිත සත්කාර සහ වෙනත් ආධාරක සේවා සඳහා දේශීය සැපයුම්කරුවන් අඩු සහ සම්පත් අඩු වීම ඇතුළුව බොහෝ අභියෝගවලට මුහුණ දෙයි. මෙය ප්‍රමාද වූ රෝග විනිශ්චය සහ ප්‍රතිකාර සඳහා හේතු විය හැකිය. ප්‍රවාහන ගැටලු ග්‍රාමීය ප්‍රදේශවල තවත් ප්‍රධාන අභියෝගයකි. මන්ද දුර ගමන් සහ ප්‍රවාහන ගැටලු රැකවරණයට ප්‍රවේශ වීම දුෂ්කර කරයි. ග්‍රාමීය ප්‍රදේශවල පමණක් නොව, ගෘහස්ත සහ බාහිර යන දෙඅංශයෙන්ම සහ මූලික වශයෙන් වර්තමාන රැකවරණ සපයන්නන් වන පවුලේ සාමාජිකයන් ඇතුළුව රැකවරණ සපයන්නන් සඳහා මුළු රටෙහිම උපකාරක සේවා නොමැත. දැනට, (ලේඛකයා දන්නා පරිදි) ඩිමෙන්ශියා රෝගීන් රැකබලා ගැනීම සඳහා වෘත්තීය පුහුණුව ලත් පුද්ගලයින් සිටින විවේක මධ්‍යස්ථාන රට තුළ නොමැත.

    සමාජ හුදකලාව ග්‍රාමීය ප්‍රදේශවල බහුලව දක්නට ලැබෙන අතර, එමඟින් පවුල්වලට අන් අය සමඟ සම්බන්ධ වීමට සහ ප්‍රජා සම්පත් භාවිතා කිරීමට අපහසු වේ. මේ සම්බන්ධයෙන්, ආගමික විශ්වාසයන් සහ මානසික තත්වයන් ඇති පුද්ගලයින්ගේ සාමාන්‍ය අපකීර්තිය ඇතුළු විශ්වාසයන් සහ ආකල්ප, පවුලේ අය, මිතුරන් හෝ විධිමත් සැපයුම්කරුවන්ගෙන් උපකාර පැතීම කෙරෙහි බලපාන අතර මෙය ඩිමෙන්ශියා සත්කාරයේ ප්‍රමාණවත්භාවයට සෘජු බලපෑමක් ඇති කරයි. ඩිමෙන්ශියා සහ ඩිමෙන්ශියා සත්කාර පිළිබඳ අධ්‍යාපනය සඳහා සීමිත සම්පත් වලින් පැන නගින ග්‍රාමීය ප්‍රදේශවල සීමිත අධ්‍යාපනය සහ අධ්‍යාපනයේ ඌනතාවයට සම්බන්ධ සාමාන්‍ය සමාජ ආකල්ප, ඩිමෙන්ශියාව මානසික තත්වයන්ට හේතුව ලෙස හඳුනා ගැනීම සහ පීඩාවට පත් වූවන් රැකබලා ගැනීම ඇතුළුව ඩිමෙන්ශියාවට ප්‍රධාන බලපෑමක් ඇති කරයි. ග්‍රාමීය ප්‍රදේශවල වැඩිහිටි පුද්ගලයින් වැඩි ප්‍රමාණයක් සිටින අතර, එහි ප්‍රතිඵලයක් ලෙස ඩිමෙන්ශියා රෝගය වැඩි වශයෙන් පැතිර යයි.

    ගෝලීය තත්ත්වය

    ලෝක සෞඛ්‍ය සංවිධානයට අනුව දැනට ලොව පුරා මිලියන 55කට අධික ජනතාවක් ඩිමෙන්ශියාවෙන් පෙළෙන අතර ඔවුන්ගෙන් 60%කට වඩා ජීවත් වන්නේ අඩු සහ මධ්‍යම ආදායම් ලබන රටවල ය. සෑම වසරකම මිලියන 10කට ආසන්න නව රෝගීන් සංඛ්‍යාවක් වාර්තා වේ.

    මොළයට බලපාන විවිධ රෝග සහ තුවාල හේතුවෙන් ඩිමෙන්ශියාව ඇතිවේ. ඇල්සයිමර් රෝගය ඩිමෙන්ශියාවේ වඩාත් සුලභ ආකාරය වන අතර එය 60-70% ට දායක විය හැකි ය.

    ඩිමෙන්ශියාව දැනට මරණ සඳහා හත්වන ප්‍රධානතම හේතුව වන අතර ගෝලීය වශයෙන් වැඩිහිටි පුද්ගලයින් අතර ආබාධිතභාවය සහ යැපීමේ ප්‍රධාන හේතුවකි.

    2019 දී, ඩිමෙන්ශියාව සඳහා ගෝලීය වශයෙන් ඩොලර් ට්‍රිලියන 1.3ක ආර්ථිකයක් වැය වන අතර, මෙම වියදම්වලින් දළ වශයෙන් 50%ක් පමණ දිනකට සාමාන්‍යයෙන් පැය 5ක රැකවරණයක් සහ අධීක්ෂණයක් සපයන අවිධිමත් රැකබලා ගන්නන් (උදා. පවුලේ සාමාජිකයන් සහ සමීප මිතුරන්) විසින් සපයනු ලබන රැකවරණය සඳහා ආරෝපණය වේ.

    කාන්තාවන් සෘජුව හා වක්‍රව ඩිමෙන්ශියාවට අසමාන ලෙස බලපා යි. ඩිමෙන්ශියාව හේතුවෙන් කාන්තාවන් වැඩි ආබාධිත-ගැළපුම් ජීවිත වසර සහ මරණ අත්විඳිති, නමුත් ඩිමෙන්ශියාවෙන් පෙළෙන පුද්ගලයින් සඳහා සත්කාර පැය 70%ක් ද සපය යි.

    ශ්‍රී ලංකාවේ ප්‍රාථමික සෞඛ්‍ය ආරක්ෂණ ප්‍රතිසංස්කරණ

    ශ්‍රී ලංකා සෞඛ්‍ය අමාත්‍යාංශයේ සංවිධාන සංවර්ධන අධ්‍යක්ෂ වෛද්‍ය සුසී පෙරේරා පවසන්නේ, “දිවයින පුරා පවතින රජයේ සෞඛ්‍ය පද්ධතියක් හරහා නොමිලේ ලබා ගත හැකි ශ්‍රී ලංකාවේ ප්‍රාථමික සෞඛ්‍ය සේවා ආකෘතිය, විශ්වීය සෞඛ්‍ය ආවරණයක් සැපයීම සඳහා හොඳ පදනමක් සාදයි. කෙසේ වෙතත්, බෝ නොවන රෝග (NCDs) වල අධික බර, වැඩිහිටි සත්කාර අවශ්‍යතා වැඩි වීම සහ නිදන්ගත රෝග සඳහා සාක්කුවෙන් වියදම් වැඩි වීම මගින් මෙම පද්ධතිය වැඩි වැඩියෙන් පීඩනයට ලක්ව ඇත. විශ්ව සෞඛ්‍ය සේවාවන් සියල්ලන්ටම යහපත් තත්ත්වයෙන් පවත්වාගෙන යාමට රජයේ කැපවීම අඛණ්ඩව පවතින අතර වෙනසක අවශ්‍යතාව හඳුනාගෙන ඇත. සීමිත සම්පත් ලබා දී තාර්කික සත්කාර ආකෘතියක් වඩාත් හොඳින් ස්ථාපිත කළ හැක්කේ කෙසේද යන්න රජය දැන් ගවේෂණය කරමින් සිටී’’

    රෝගියාට හොඳම සහය ලබා දිය හැකි ආකාරය

    මේ සම්බන්ධයෙන්, පද්ධතියක් සලකා බැලිය යුතු බව හැඟෙන්නේ රෝගියාට ඔහුගේ හෝ ඇයගේ ජීවිතය කළමනාකරණය කිරීමට සහය වන්නේ කෙසේද සහ රෝගියා සහ භාරකරුවන් ජීවත් වන සමීපත ම පවුල සහ ප්‍රජාව කෙසේ ද සහ කෙසේද යන්න යි. අපකීර්තියට පත් කිරීම, සමීප පවුලේ සාමාජිකයන් පවා රෝගීන් ප්‍රතික්ෂේප කිරීම, සුදුසු නවාතැන් සහ පහසුකම් නො මැතිකම වැනි ආශ්‍රිත අභියෝග රෝගීන්ට ලබා දිය හැකි ය. මේ සියල්ලේ දී, ඩිමෙන්ශියා රෝගීන්ට සමීප පුද්ගලයින් කෙරෙහි ඇති වන ආතතිය හා පීඩනය නො සලකා හැරිය නො හැකි අතර එය නො සලකා හැරිය නො හැක්කේ එය රෝගීන් අවාසනාවන්ත ගොදුරක් බවට පත්වීමට තුඩු දෙන බරපතල රැළි බලපෑමක් ඇති කරන සහ ඇති කළ හැකි ප්‍රධාන අභියෝගයක් වන බැවිනි.

    රෝගීන්, පවුල් භාරකරුවන්, විශාල ප්‍රජාව සහ වින්නඹු මාතාවන්, සෞඛ්‍ය නිලධාරීන්, ග්‍රාම සේවක නිලධාරීන්, විවිධ පළාත් සභා ඇතුළු ග්‍රාමීය මට්ටමේ සේවා සපයන්නන් අතර සැලකිය යුතු මානසික සහ සම්බන්ධීකරණ කාර්යභාරයක් ඉටු කළ හැකි සමාජවල සිටින අය දෙස බැලීමේදී නිලධාරීන්, සියලු ආගමික නිකායන්ට අයත් පූජකවරුන් වේ. ඔවුන් සාමාන්‍ය ජනතාවට සමීපතම සහ මහජනතාව වඩාත් විශ්වාසය හා විශ්වාසය තබා ඇති නිසා සමාජය තුළ ප්‍රධාන කාර්යභාරයක් ඉටු කළ හැකිය. මේ සම්බන්ධයෙන් ගත් කල, ජනගහනයෙන් බහුතරයක් බෞද්ධයන් බව සලකන විට, බෞද්ධ පූජ්‍ය පක්ෂයට සහ ග්‍රාමීය විහාරස්ථානවලට ඩිමෙන්ශියා උපස්ථායකයින් සඳහා අත්‍යවශ්‍ය කාර්යභාරයක් ඉටු කළ හැකිය.

    කර්ම විපාකයක් ලෙස ඩිමෙන්ශියාව ආරෝපණය කර රෝගීන්ට, උපස්ථාන කරන්නන්ට සහ ඩිමෙන්ශියා රෝගීන්ගේ පවුල්වලට අවශ්‍ය සැනසීම ලබා දෙනවාට වඩා, බුදුදහමේ මූලික කුලීකරුවෙකු වන මෙත්තා, ආදරය පිළිබඳ පිළිවෙත පැහැදිලි කිරීමට බෞද්ධ පූජක පක්ෂයට සහ බෞද්ධ විහාරස්ථානවලට මඟ පෙන්විය හැකිය. රැකවරණය ලබා දීමේ ප්‍රවේශයන් අත්‍යවශ්‍යයෙන්ම ප්‍රාථමික සෞඛ්‍ය සේවා ආයතන සහ විශේෂඥයින් මෙන්ම ක්‍රිස්තියානි පල්ලි, හින්දු කෝවිල්, ඉස්ලාම් පල්ලි සහ බෞද්ධ විහාරස්ථාන ඇතුළු සියලුම ආගමික නිකායන් සහ ආයතනවල පූජකවරුන් වැනි සමාජ නායකයින් සම්බන්ධ වූ ඒකාබද්ධ ප්‍රයත්නයක් විය යුතු ය.

    ඩිමෙන්ශියාව යනු මානසික රෝගයක් වන අතර එය කුමක්ද යන්න හඳුනා ගත යුතු අතර, එම තත්ත්වය ඇති පුද්ගලයින්ට නිසි සැලකිල්ලක් දැක්විය යුතුය. මෙම අවාසනාවන්ත මානසික තත්ත්වයෙන් පීඩා විඳීමට ධනවත් හෝ බලවත් කිසිවකුට ප්‍රතිශක්තියක් නොමැති බව මතක තබා ගත යුතුය.

    ft.lk හි පසුගිය 21 වැනිදා පළ වූ Sri Lanka ready to face a possible dementia epidemic? යන ලිපියේ දළ සිංහල පරිවර්තනයකි.

  • උසස් තත්ත්වයේ කිරි ගවයින් සහ ශුක්‍රාණු ආනයනය කිරීමට කැබිනට් අනුමැතිය

    උසස් තත්ත්වයේ කිරි ගවයින් සහ ශුක්‍රාණු ආනයනය කිරීමට කැබිනට් අනුමැතිය

    රටේ කිරි නිෂ්පාදන හැකියාවන් ඉහළ නැංවීම සඳහා උසස් තත්ත්වයේ ගවයින් සහ ගව ප්‍රවේණි ද්‍රව්‍ය ලබා ගැනීම සඳහා රජයෙන් ‘රජයට ගනුදෙනුවක්’  (Government-to-Government transaction) කිරීමට අමාත්‍ය මණ්ඩලය පසුගිය බදාදා අනුමැතිය ලබා දුන්නේ ය.

    මෙම මුලපිරීම අයවැයෙන්  2023 සහ 2024 වසර සඳහා මිලියන 100ක් වෙන් කර ඇත.

    කැබිනට් ප්‍රකාශක සහ අමාත්‍ය වෛද්‍ය නලින්ද ජයතිස්ස මහතා පැවසුවේ සහිවල් වර්ගයට අයත් ගවයන් පස් දෙනකු සහ නිල්රවි අභිජනනයෙන් දෙදෙනකු ඇතුළුව සරු පිරිමි ගොනුන් හත් දෙනෙකු ශ්‍රී ලංකාවට සැපයීමට පකිස්ථාන වෙළඳ සංවර්ධන අධිකාරිය එකඟ වී ඇති බවයි. මෙම ගවයින් වර්ග දෙකම කිරි නිෂ්පාදනය සහ අභිජනන වැඩසටහන් වැඩිදියුණු කිරීමේ ජානමය හැකියාව සඳහා ප්‍රසිද්ධය. පකිස්ථානයෙන් ආරම්භ වූ සහිවල් අභිජනනය එහි තාපයට ඔරොත්තු දීමේ හැකියාව සහ ඉහළ කිරි අස්වැන්න සඳහා ප්‍රසිද්ධ වන අතර නිල්රවි අභිජනනය එහි ශක්තිමත් භෞතික ලක්ෂණ සහ නිවර්තන දේශගුණයට අනුවර්තනය වීමේ හැකියාව සඳහා සැලකේ.

    සතිපතා පැවති කැබිනට් රැස්වීමෙන් පසු  මාධ්‍ය හමුවට එක්වෙමින් ඔහු කියා සිටියේ ඉන්දියාවේ ජාතික කිරි සංවර්ධන මණ්ඩලයෙන් ගව ශුක්‍රාණු මාත්‍රා 20,000ක් මිලදී ගැනීමට ද කැබිනට් අනුමැතිය හිමිවූ බවයි. මෙම ප්‍රවේණි ද්‍රව්‍ය රට පුරා කිරි අස්වැන්න සහ ගව පට්ටිවල ගුණාත්මකභාවය ඉහළ නැංවීම අරමුණු කරගත් කෘතිම සිංචන වැඩසටහන් සඳහා සහාය වනු ඇත.

    කෘෂිකාර්මික අංශය ශක්තිමත් කිරීම සහ ආනයනික කිරි නිෂ්පාදන මත යැපීම අවම කිරීමේ රජයේ දැක්ම සමඟ සමපාත වන බැවින්, උසස් ජානමය ද්‍රව්‍ය හඳුන්වාදීම කිරි කර්මාන්තයේ නිෂ්පාදනය ඉහළ නැංවීමට අපේක්ෂා කෙරේ.

     

  • SMEs Guide SL: නව නීති හේතුවෙන් රසකැවිලි කර්මාන්තය බරපතළ අර්බුදයක

    SMEs Guide SL: නව නීති හේතුවෙන් රසකැවිලි කර්මාන්තය බරපතළ අර්බුදයක

    • නව නීතිය ජනවාරී 01 වැනිදා සිට බලාත්මකයි – නමුත් කර්මාන්තකරුවෝ නීතිවලට සූදානම් නැහැ

    • ලංකා රස කැවිලි නිෂ්පාදකයින්ගේ සංගමය (Lanka Confectionery Manufacturers Association – LCMA) පවසන්නේ සමාගම්, විශේෂයෙන්ම කුඩා හා මධ්‍ය පරිමාණ ව්‍යවසායකයින්, මිල අධික සහ ප්‍රායෝගික නොවන අවශ්‍යතා හේතුවෙන් අනුකූල වීම සමඟ අරගල කරන බවයි

    • නව රජය තවමත් පාර්ශ්වකරුවන් අවිනිශ්චිතභාවයට පත් කර ඇති ගැටලු පිළිබඳව අවධානය යොමු කර නොමැති බව LCMA අවධාරණය කරයි

    • පාරිභෝගික සෞඛ්‍යය සහ කර්මාන්තයේ ශක්‍යතාව සමතුලිත කිරීම සඳහා ඇතැම් වගන්තිවලට සංශෝධන සඳහා පාර්ශ්වකරුවන් ඉල්ලා සිටී

    ‘ඇසුරුම් කළ ආහාර (packaged food) ලේබල් කිරීම සහ ප්‍රචාරණය කිරීම’ සඳහා හඳුන්වා දී ඇති නව නීති මාලාව සම්බන්ධයෙන් රසකැවිලි කර්මාන්තකරුවෝ දැඩි කනස්සල්ල පළ කරති.

    මෙම නව නීති 2025 ජනවාරී 01 වැනි දා සිට ක්‍රියාත්මක වීමට නියමිත ය.

    2022 දී සෞඛ්‍ය අමාත්‍යාංශය විසින් හඳුන්වා දුන් සහ 2023 පෙබරවාරී 14 වැනිදා ගැසට් පත්‍රයේ ප්‍රකාශයට පත් කරන ලද නව රෙගුලාසිවලට අනුකූල වීම සම්බන්ධයෙන් ඇසුරුම් කළ ආහාර නිෂ්පාදනයේ යෙදී සිටින කර්මාන්තකරුවෝ උභතෝකෝටිකයකට පත්ව සිටින බව ලංකා රසකැවිලි නිෂ්පාදකයින්ගේ සංගමය (LCMA) වැඩි දුරටත් පැවසීය.

    මාධ්‍ය වෙත අදහස් දක්වමින් LCMA හිටපු සභාපති S.M.D. සූරියකුමාර් මහතා පැවසුවේ ‘යටිතල පහසුකම් නොමැතිකම හේතුවෙන් ශ්‍රී ලංකාව තුළ ඇතැම් වගන්ති අනුගමනය කළ නොහැකි බැවින් බොහෝ සමාගම්, (විශේෂයෙන් කුඩා හා මධ්‍යම ප්‍රමාණයේ ව්‍යවසායන්) නව රෙගුලාසිවලට අනුකූලව කටයුතු කිරීමට අරගල කරන බවයි.

    ඔහුට අනුව, උසස් පරීක්ෂණ සහ විද්‍යාගාර පහසුකම් අවශ්‍ය වන සවිස්තරාත්මක පෝෂණ ලේබල් කිරීම  (detailed nutritional labelling), නිෂ්පාදන නියැදීමේ දැඩි ප්‍රොටෝකෝල සහ වෙළඳ ප්‍රචාරණය සඳහා සීමා කිරීම් වැනි අවශ්‍යතා සමාගම්වලට අනුකූල වීමට අපහසු නීති වේ.

    “සියලු රසකැවිලි නිෂ්පාදකයින්, ආහාර ඇසුරුම්, සැකසුම් සමාගම් කනස්සල්ලට පත්ව සිටින්නේ පාරිභෝගිකයින්ට ඇත්ත වශයෙන්ම ප්‍රතිලාභයක් නොමැති සමහර ක්ෂේත්‍ර ඇති නිසයි. අපි පසුගිය රජය සමඟ ඉතා ශක්තිමත්ව සාකච්ඡා කළා. සීනි පරීක්ෂාව නිසා විශාල වශයෙන් මුදල් පිටවීම වැනි ප්‍රායෝගික දුෂ්කරතා අපි පැහැදිලි කළා. මම හිතන්නේ බොහෝ කුඩා හා මධ්‍ය පරිමාණ ව්‍යවසායකයින්ට  මෙම නව නීති දරාගත නොහැකියි. පාරිභෝගික සෞඛ්‍යය ආරක්ෂා කිරීම සඳහා වන කිසිදු රෙගුලාසියකට අපි විරුද්ධ නැහැ. ප්‍රචාරණය වැනි ක්ෂේත්‍රවල යම් පාලනයක් තිබිය යුතු බව අපි පිළිගන්නවා. නමුත් කර්මාන්ත සහ පාරිභෝගිකයන් යන දෙඅංශයේම ආරක්‍ෂාව සඳහා ඇතැම් වගන්ති ඇත්ත වශයෙන්ම සාකච්ඡා කර වෙනස් කළ යුතුයි,” සුර්යකුමාර් මහතා වැඩිදුරටත් පැවසීය.

    ප්‍රධාන ආහාර අධිකාරිය (Chief Food Authority) විසින් අනුමත නොකළහොත් දැන්වීම් පත්‍රිකා, නොමිලේ සාම්පල, සෙල්ලම් බඩු හෝ කාටූන් චරිත සහ ප්‍රසිද්ධ පුද්ගලයින් භාවිතා කිරීම හරහා වයස අවුරුදු 12ට අඩු දරුවන්ට ආහාර ප්‍රවර්ධනය කිරීම තහනම් කරන වගන්තිය ඔහු පෙන්වා දුන්නේ ය.

    තම දරුවන්ට කැමැත්තෙන් නිෂ්පාදන ලබා දිය හැකි මව්වරුන් ද ඇතුළුව සියලුම වයස්වල පුද්ගලයින් එක්රැස් වන උත්සව සහ සැණකෙළි වැනි එළිමහන් අවකාශයන්හි මෙම නිෂ්පාදන ප්‍රවර්ධන බොහෝ විට සිදු කරන බැවින් මෙම නීතිය අකාර්යක්ෂම බව ඔහු පෙන්වා දුන්නේ ය.

    නව රජය තවමත් මේ සම්බන්ධයෙන් අවධානය යොමු කර නොමැති තත්ත්වයක් තුළ, 2025 අවසාන දිනය එළඹීමත් සමඟ රජයේ පැහැදිලි කිරීම් සහ සහාය අපේක්ෂාවෙන් සිටින බැවින් කර්මාන්තකරුවෝ දැඩි කනස්සල්ලට පත්ව සිටින බව සූරියකුමාර් වැඩි දුරටත් පැවසුවේ ය.

    “අපි පුළුවන් තරම් උත්සාහ කරනවා ඉක්මනින්ම ඇමැතිවරු සහ බලධාරීන් හමුවීමට. මීට පෙර අපි සාකච්ඡා කර යම් යම් දේවලට එකඟ වූ නමුත් තවමත් එම ගිවිසුම් කිසිවක් සඳහන් කිරීමට නිල තහවුරු කිරීමක් හෝ ගැසට් පත්‍රයක් ලැබී නැහැ. දැන් අපි කොහොමත් ඒක කරන්න පුළුවන් තත්ත්වයක නැහැ. මොකද ජනවාරි 1 වෙනිදා ගොඩක් ළඟයි. ඒ නිසා හැමෝම ඇත්තට ම කලබල වෙලා රජයෙන් යම් පැහැදිලි කිරීමක් බලාපොරොත්තුවෙන් ඉන්නවා” සූරියකුමාර් අවධාරණය කළේය.

    සෞඛ්‍ය අමාත්‍යාංශය විසින් ශ්‍රී ලංකාව තුළ ආහාර ඇසුරුම්කරණය සඳහා වන නව රෙගුලාසි සකස් කර හඳුන්වා දෙනු ලැබුවේ 2005 දී රට තුළ අනුගමනය කරන ලද ආහාර (ලේබල් කිරීම සහ ප්‍රචාරණ) රෙගුලාසි වෙනුවට ය.

    නව මාර්ගෝපදේශ මඟින් අනිවාර්ය ලේබල් කිරීම, භාෂා පිරිවිතර, අමුද්‍රව්‍ය ලැයිස්තුගත කිරීම සහ ශුද්ධ අන්තර්ගතයන් ප්‍රකාශ කිරීම වැනි ප්‍රධාන අවශ්‍යතා කිහිපයක් ගෙනහැර දක්වයි.

    රීති මුලින් 2024 ජනවාරි 1 සිට බලාත්මක වීමට නියමිතව තිබූ නමුත් නව නිර්ණායකවලට අනුකූල වීමට කර්මාන්තවලට වැඩි කාලයක් ලබා දීම සඳහා ක්‍රියාත්මක කිරීමේ දිනය 2025 ජනවාරි 1 දක්වා දීර්ඝ කරන ලදී.

  • සියලු වර්ගයේ පිළිකා වලට තිත – රුසියාවෙන් නව එන්නතක්

    සියලු වර්ගයේ පිළිකා වලට තිත – රුසියාවෙන් නව එන්නතක්

    පිළිකාව බොහෝ විට සුව කළ නොහැකි රෝගයක් වන අතර ජනතාව එයට බිය වෙති. එහෙත් රුසියාව පසුගිය දා කළ විශේෂ ප්‍රකාශය පිළිකාවට තිත තබයි ද ? රුසියාව ප්‍රකාශ කර ඇත්තේ සියලුම වර්ගයේ පිළිකා වැළැක්වීමට හැකි පිළිකා එන්නතක් තමන් විසින් සොයා ගෙන ඇති බවයි.

    රුසියාවේ නිවේදනයට අනුව, මෙම එන්නත පිළිකා මර්දනය කිරීමට සාර්ථක බව පූර්ව සායනික අත්හදා බැලීම් වලදී ඔප්පු වී ඇත. මෙම එන්නත ශරීරයේ ප්‍රතිශක්තිකරණ පද්ධතිය කෙතරම් ශක්තිමත් කරයි ද යත් ඕනෑම සෛලයක් පිළිකා සෛලයක් බවට පත්වීමට පටන් ගත් වහාම ශරීරයේ ප්‍රතිශක්තිය මඟින් එම සෛලය විනාශ කරයි.

    කලකට පෙර රුසියානු ජනාධිපති ව්ලැඩිමීර් පුටින් රූපවාහිනියේ ප්‍රකාශයක් නිකුත් කරමින් කියා සිටියේ පිළිකා එන්නත් සහ නව පරම්පරාවේ ප්‍රතිශක්තිකරණ ඖෂධ ​​නිර්මාණය කිරීමට රුසියාව සමීපව සිටින බවයි.

    දීර්ඝ කාලයක් පුරා ඇමරිකානු සහ යුරෝපීය රටවල පිළිකා එන්නතක් සොයා ගැනීමේ දැඩි තරඟයක් පවතින අතර සෑම දිනකම එහි යම් වර්ධනයක් සිදුවෙමින් පවතින බව වාර්තා වේ. Moderna සහ Merck සමාගමේ පිළිකා එන්නතෙහි තුන්වන සාර්ථක අත්හදා බැලීම ද සිදු කර ඇත. නමුත් මෙම එන්නත පැමිණීමට 2030 දක්වා කාලය ගතවනු ඇත. එවන් තත්වයක් තුළ රුසියාවේ මෙම නිවේදනයෙන් සියලු දෙනා පුදුමයට පත් වී ඇත.

    මේ සම්බන්ධයෙන් සිය ස්ථාවරය පැහැදිලි කරමින් මුම්බායි හි සයිෆී රෝහලේ ශල්‍ය පිළිකා රෝග විශේෂඥ වෛද්‍ය මොහොමඩ් ටහර් මිති සමඟ අප කතා කළ විට ඔහු මෙසේ පැවසුවේ ය, “රුසියානු මාධ්‍ය විසින් නිකුත් කරන ලද ප්‍රවෘත්ති නිවේදනයේ අත්හදා බැලීම් පූර්ව සායනික අත්හදා බැලීම් ලෙස සඳහන් කර තිබෙනවා. එයින් අදහස් කරන්නේ එය විශාල වශයෙන් පරීක්‍ෂා කර නොමැති බවයි. කෙසේ වෙතත් එය සිත් ඇදගන්නා සුළු වන අතර වැඩිදුර දත්ත සහ පරීක්ෂණ මගින් ප්‍රතිකාර කෙරෙහි එහි සමස්ත බලපෑම තක්සේරු කළ හැකියි”.

    රුසියානු මාධ්‍යවල සඳහන් වන ආකාරයට වත්මන් එන්නත ප්‍රතිකාර අරමුණු සඳහා නිෂ්පාදනය කරනු ඇත.

    ගැබ්ගෙල පිළිකා ඇති කළ හැකි HPV වෛරසයට එරෙහි එන්නත හෝ සිරෝසිස් සහ අක්මා පිළිකා ඇති කළ හැකි HBV එන්නත වැනි එන්නත් දැනටමත් වෙළඳපොළේ ඇති අතර සුදුසු නම් මෙම එන්නත් ලබා ගත යුතුය.

    අනෙකුත් අවයව වලට පැතිරීමට පෙර හඳුනා ගන්නේ නම් සියලුම පිළිකා සම්පූර්ණයෙන්ම සුව කිරීමට අවස්ථාවක් තිබෙන බව විශේෂඥ වෛද්‍ය මතයයි.

    ඉහත සඳහන් කළ එන්නත් වලට අමතරව පිළිකාව වළක්වා ගැනීමේ වෙනත් සාධනීය පියවර වන්නේ දුම්කොළ, මධ්‍යසාර භාවිතය සහ තරබාරුකම වැළැක්වීමයි.

    යෝජිත එන්නත පුද්ගලාරෝපිත ඖෂධයක් වනු ඇති අතර එවැනි බොහෝ ඖෂධ සහ ප්‍රතිකාර අද වන විට (අවම වශයෙන් ඒවායේ පේටන්ට් බලපත්‍රය අවසන් වන තුරු) ඉතා විශාල මිලකට අලෙවි වේ.

    වෛද්‍ය ශ්‍යාම් අගර්වාල් පැවසුවේ රුසියානු එන්නත සම්බන්ධ මානව අත්හදා බැලීම් පිළිබඳව මෙතෙක් කිසිවක් ප්‍රකාශ කර නොමැති බැවින් මෙම එන්නත කොපමණ මාත්‍රාවක් තිබේද සහ කුමන වර්ගයේ රෝගීන් සඳහා එය භාවිතා කරන්නේද යන්න තේරුම් ගත යුතු බවයි. මෙම එන්නත නිවැරදිව තේරුම් ගත හැක්කේ මිනිසුන් පිළිබඳ අත්හදා බැලීම් වල දත්ත පැමිණි විට පමණක් බව ද ඔහු පෙන්වා දුන්නේ ය. එවැනි දේ කිරීමට බොහෝ කාලයක් ගතවන බව ද සත්‍යයකි. න්‍යායාත්මකව, එය මේ මොහොතේ නිවැරදි බව පෙනේ. රුසියානු විද්‍යාඥයින් මෙහිදී සාර්ථකත්වය ලබා ගන්නේ නම්, ඔවුන්ට නොබෙල් ත්‍යාගය පවා හිමි විය හැකිය.

    රුසියාවේ ඉල්ලීම කුමක්ද?

    රුසියානු සෞඛ්‍ය අමාත්‍යාංශයේ විකිරණවේද වෛද්‍ය පර්යේෂණ මධ්‍යස්ථානයේ සාමාන්‍ය අධ්‍යක්ෂ Andrey Kaprin පැවසුවේ පිළිකාවට එරෙහිව රුසියාව mRNA එන්නත නිපදවා ඇති අතර එය රෝගීන්ට නොමිලේ බෙදා හරින බවයි. වසංගත රෝග හා ක්ෂුද්‍රජීව විද්‍යාව පිළිබඳ ගමලෙයා ජාතික පර්යේෂණ මධ්‍යස්ථානයේ අධ්‍යක්ෂ ඇලෙක්සැන්ඩර් ගින්ට්ස්බර්ග් පවසා ඇත්තේ මෙම එන්නතෙහි පූර්ව සායනික අත්හදා බැලීම අතිශයින් සාර්ථක වී ඇති අතර එය පිළිකා සෛලවල වර්ධනය සහ එහි පරිවෘත්තීය අවධිය මර්දනය කරන බවයි. මෙම එන්නත නිෂ්පාදනය කිරීමේ දී කෘත්‍රිම ස්නායුක ජාලවල සහාය ලබා

    මූලාශ්‍රය: indiantvnews.com

  • පොල් හිඟයට 90%කට වගකිව යුත්තේ කවුද ? සුපිරි හෙළිදරව්ව

    පොල් හිඟයට 90%කට වගකිව යුත්තේ කවුද ? සුපිරි හෙළිදරව්ව

    මේ වසරේ මුල් මාස තුන තුළ අත්විඳින ලද අධික උෂ්ණත්වය ශ්‍රී ලංකාවේ දැනට පවතින පොල් හිඟය උග්‍ර කිරීමට හේතු වී ඇති අතර, රිලා ගහනය වැඩි වීමත් සමඟ මෙ තත්ත්වය තව දුරටත් උග්‍ර වූ බව රුහුණු විශ්වවිද්‍යාලයේ බෝග විද්‍යා අංශයේ ප්‍රධානී සහ ජ්‍යෙෂ්ඨ කථිකාචාර්ය මහාචාර්ය කේ.කේ.අයි.යූ අරුණකුමාර මහතා පැවසීය. 

    මහාචාර්ය අරුණකුමාර හෙළි කළේ ශ්‍රී ලංකාවේ වාර්ෂිකව වගා කරන පොල් පැල සංඛ්‍යාව මිලියන හතක් දක්වා පමණක් පහත වැටී ඇති බවයි.

    ගෝලීය වශයෙන්, රටවල් 92ක් පොල් වගා  කරන අතර, ශ්‍රී ලංකාව සිව්වන ස්ථානයේ සිටී. කෙසේ වෙතත්, ඉන්දියාව සහ පිලිපීනය වැනි රටවල් සැලකිය යුතු ලෙස විශාල ප්‍රමාණයක් පොල් නිෂ්පාදනය කරයි.

    “ඉන්දියානු කෘෂිකර්ම පර්යේෂණ කවුන්සිලයේ නවතම වාර්තාවකින් පෙන්නුම් කළේ මාර්තු සිට ජුනි දක්වා පවතින ඉහළ උෂ්ණත්වය පොල් අස්වැන්න කෙරෙහි අහිතකර ලෙස බලපෑ බවයි. ශ්‍රී ලංකාවේ පොල් ගස් සඳහා සුදුසුම උෂ්ණත්වය සෙල්සියස් අංශක 27-28 පමණ වෙනවා. උෂ්ණත්වය සෙල්සියස් අංශක 33 ඉක්මවන විට පොල් පරාගණය අඩු වන අතර එමඟින් අස්වැන්න අඩු වෙනවා”

    මහාචාර්ය අරුණකුමාර සඳහන් කළේ අධික උෂ්ණත්වය හේතුවෙන් දෙරටේම පොල් අස්වැන්න අඩුවීම හේතුවෙන් ඉන්දියාවට සමාන අභියෝගවලට ශ්‍රී ලංකාව ද මුහුණ දෙන බවයි.

    “රිලවුන් සහ දඬු ලේනුන්ගේ ගහනය හදිසියේ වැඩි වී ඇත්ද යන්නත් අපි සොයා බැලිය යුතුයි. කාලයත් සමඟ ඔවුන්ගේ සංඛ්‍යාව ක්‍රමයෙන් වර්ධනය වී ඇති බව සාක්ෂිවලින් පෙනී යනවා.  රටේ පොල් අස්වැන්නෙන් 10%ක් පමණ රිලවුන්, දඬුලේනුන් සහ වෙනත් පළිබෝධකයන් විසින් විනාශ කරනවා. රිලවුන් ඔවුන්ගේ ජනගහනය පාලනය කිරීමට ස්වභාවික විලෝපිකයන් නොමැතිකම නිසා වැඩිම හානියක් රිලවුන් සිදු කරනවා” ඔහු තවදුරටත් පැවසීය.

    සත්ත්ව ගහනය තුලනය කිරීමේ වැදගත්කම මහාචාර්යවරයා අවධාරණය කළේය.

    “මිනිසුන් ස්වභාවධර්මයට බාධා කරන විට, සමතුලිතතාවය පවත්වා ගැනීම සඳහා අනෙකුත් සත්ත්ව ගහනය පාලනය කළ යුතුයි. මේ ක්‍රමය වෙනත් රටවලත් අනුගමනය කරනවා,” ඔහු වැඩිදුරටත් පැවසීය.

    2020 සහ 2021 වසරවල වගා කර ඇත්තේ 2012 වසරේ සිටුවන ලද පොල් ගස් සංඛ්‍යාවෙන් හතරෙන් එකක් පමණක් බව ද ඔහු පෙන්වා දුන්නේ ය. පසුගිය වසර 25 තුළ පොල් වගාවට කැප වූ භූමි ප්‍රමාණය හෙක්ටයාර් මිලියන 1.1ක් වූ අතර එහි වර්ධනයක් සිදු වී නොමැත. පොල් වගා කරන භූමි ප්‍රමාණය අඩුවීමට විවිධ සාධක බලපා ඇති අතර එය වත්මන් පොල් හිඟයට හේතු වී ඇත.

    “වර්තමාන පොල් හිඟය හදිසියේ ඇති වූ ප්‍රශ්නයක් නොව පසුගිය වසර 25 ක වර්ධනයේ ප්‍රතිඵලයක්. ඉදිරියේදී වර්ෂාපතනය වැඩි වීමත් සමඟ හිඟය යම් ප්‍රමාණයකට අඩු විය හැකියි. කෙසේ වෙතත් ප්‍රමාණවත් පොහොර ලබාදී අස්වැන්න වැඩිකර ගැනීමට රජයේ මැදිහත්වීම අවශ්‍යයි” ඔහු සඳහන් කළේය.

    අනාගත හිඟතා විසඳීම සඳහා, මහාචාර්යවරයා පියවර කිහිපයක් ගෙනහැර දැක්වීය:

    1. රිලවුන් සහ දඬු ලේනුන් ඇතුළු පළිබෝධ ගහනය පාලනය කිරීම.
    2. වඩා හොඳ වගා පිළිවෙත් තුළින් පොල් අස්වැන්න වැඩි කිරීම.
    3. අනාගත ඉල්ලුමට සරිලන පරිදි නව පොල් ගස් සිටුවීම ඉහළ නැංවීම.

    “මෙම ගැටලුව විසඳීම සඳහා සතත්ව ගහනය කළමනාකරණය කිරීම සඳහා කෙටි කාලීන ක්‍රියාමාර්ග සහ පොල් වගාව ව්‍යාප්ත කිරීම සඳහා දිගුකාලීන උත්සාහයන් අත්‍යවශ්‍යයි” යනුවෙන් මහාචාර්ය අරුණකුමාර වැඩි දුරටත් ප්‍රකාශ කළේය.

  • වඳුරු සහ රිලා වසංගතයට පාර කැපුවේ කවුද ? ‘සුපිරි හෙළිදරව්ව’ මෙන්න

    වඳුරු සහ රිලා වසංගතයට පාර කැපුවේ කවුද ? ‘සුපිරි හෙළිදරව්ව’ මෙන්න

    මෙරට ඇස්තමේන්තුගත වඳුරන් ලක්ෂ 3න් 50,000ක් පමණ ගම්වල සහ නාගරික ප්‍රදේශවල වාසය කරමින් ගැටලු ඇති කරන වෛද්‍ය චමිත් නානායක්කාර පවසයි.

    300,000 වඳුරන් අතරින් 250,000 ක් වනාන්තරවල දක්නට ලැබෙන අතර, විලෝපනය සහ සීමිත ආහාර ලබා ගැනීම හේතුවෙන් වනාන්තරවල ජීවත් වන්නේ වඳුරන්ගෙන් සියයට 15ක් පමණක් බව ද වෛද්‍ය නානායක්කාර වැඩි දුරටත් පෙන්වා දෙයි.

    කෙසේ වෙතත්, ගම්වල සහ නාගරික ප්‍රදේශවල ජීවත් වන වඳුරන් විලෝපිකයන්ට මුහුණ නොදෙන හෙයින් සහ ආහාර බහුල ලෙස ලබා ගත හැකි හෙයින් ඉහළ වර්ධනයක් පෙන්නුම් කරන බව ද ඔහු හෙළි කළේ ය. මේ නිසා නගරවල සහ ගම්වල වඳුරන්ගේ පැවැත්ම සියයට 30 දක්වා ඉහළ ගොස් ඇති බවත්, විලෝපිකයන් සිටින නිසා වනාන්තර තුළ වඳුරන්ගේ ගහනය ස්වභාවිකව පාලනය වන බවත් ඔහු පැවසීය.

    මිනිස් ක්‍රියාකාරකම් නිසා ඇතැම් සත්ව ගහන වැඩි වී ඇති බැවින් මෙම ගහනය විද්‍යාත්මකව කළමනාකරණය කිරීමට කැපවූ ආයතනයක් ස්ථාපිත කළ යුතු බව ද වෛද්‍ය චමිත් නානායක්කාර අවධාරණය කළේ ය.

    වෙනත් රටවලට සතුන් අපනයනය කිරීමෙන් හෝ මරා දැමීමට ඉඩ දීමෙන් ප්‍රශ්නය විසඳෙන්නේ නැති බව ඔහු පැවසීය. බොහෝ රාජ්‍ය ආයතන විවිධ විසඳුම් යෝජනා කර ඇතත් මෙම ක්‍රියාමාර්ග විද්‍යාත්මක ප්‍රවේශයන් මත පදනම් වී නොමැති බවට ද ඔහු පෙන්වා දුන්නේ ය.

    මේ සම්බන්ධයෙන් සිය ස්ථාවරය පැහැදලි කරමින් වෛද්‍ය නානායක්කාර මෙසේ ද පෙන්වා දුන්නේ ය, “මිනිසුන් සත්ව වාසස්ථාන ආක්‍රමණය කර තිබෙනවා. එහි ප්‍රතිඵලයක් ලෙස එම වාසස්ථානවල ජීවත් වූ සතුන් එක්කෝ ජනාකීර්ණ ප්‍රදේශවලට සංක්‍රමණය වී තිබෙනවා. එසේම ඇතැම් විශේෂ සිය ගහනයේ වැඩිවීමක් මෙන් ම අඩුවීමක් වැනි ඔවුන්ගේ ගහනයේ වෙනස්කම් අත්විඳ තිබෙනවා. සත්ත්ව ගහනය තුළ සමතුලිතතාවයක් තිබිය යුතුයි. ආහාර දාමයේ කිසියම් ස්ථානයක් හිස් වුවහොත් හෝ නැති වුවහොත්, එය අසමතුලිතතාවයකට තුඩු දිය හැකි අතර එය අනෙකුත් විශේෂවල අධික ජනගහනයට හේතු විය හැකියි”

     

    මෙම ගැටලුවලට මානුෂිකව විසඳුම් සෙවීම සඳහා විද්‍යාත්මක ආයතනයක් පිහිටුවීමේ අවශ්‍යතාව ආචාර්ය නානායක්කාර මහතා අවධාරණය කළේය. “වෙනත් රටවල් විසින් ගනු ලබන ක්‍රියාමාර්ග අධ්‍යයනය කරමින් සහ නවීන තාක්‍ෂණය භාවිතා කරමින් සත්ව ගහනය පාලනය කිරීම සඳහා මානුෂීය ක්‍රමවේද අනුගමනය කළ යුතුයි” ඔහු පැවසීය.

    උදාහරණයක් ලෙස ඔහු පෙන්වා දුන්නේ ඉන්දියාවයි. “ඉන්දියාවේ රිලවුන්ගේ විශාල ගහනයක් සිටිනවා. කෙසේ වෙතත්, ඉන්දියානු රජය ඔවුන්ගේ සංඛ්‍යාව පාලනය කිරීමට ඔවුන්ව මරා දැමීමට පියවර ගන්නේ නැහැ. ඒ වෙනුවට, ඔවුන් විවිධ මාරාන්තික නොවන ක්‍රම භාවිතා කරනවා. උදාහරණයක් ලෙස, ඔවුන් බෝග හානි වැළැක්වීම සඳහා ක්ෂණික ක්‍රියාමාර්ග භාවිතා කරනවා. වඳුරන් බිය ගැන්වීම සඳහා බෙර සහ අධි-සංඛ්‍යාත ශබ්ද භාවිතා කරනවා. අපි එවැනි උදාහරණ වලින් ඉගෙන ගෙන වෙනත් රටවලින් උපදෙස් ලබා ගත යුතුයි. සතුන් මැරීම අවසාන විසඳුම විය යුත්තේ සියලු විද්‍යාත්මක හා මානුෂීය ක්‍රියාමාර්ග අවසන් වූ පසුව පමණයි. එසේ වුව ද, ආහාර දාමයට බාධා නොකිරීමට එය විද්‍යාත්මකව කළ යුතුයි” ඔහු වැඩිදුරටත් පැවසීය.

    ශ්‍රී ලංකාවේ ස්වභාව සෞන්දර්යය, විශේෂයෙන්ම එහි වන සතුන්, විදේශීය සංචාරකයින් ආකර්ෂණය කරන බව ද ආචාර්ය නානායක්කාර සඳහන් කළේය. “අපේ රටේ මෙම අංගය විනාශ කළහොත් එය විදේශ ආදායමට සෘජුවම බලපානවා,” ඔහු අනතුරු ඇඟවීය.

    මේ අතර මාතලේ දිස්ත්‍රික්කයේ රිලා ගහනය පාලනය කිරීම සඳහා නියමු ව්‍යාපෘතියක් ලෙස ව්‍යන්ධිකරණ වැඩසටහනක් දියත් කර ඇත.

    ව්‍යාපෘතිය සඳහා රුපියල් මිලියන 4.5ක් වෙන් කර ඇත. උගුල් භාවිතයෙන් අල්ලා ගන්නා ලද රිලවුන් ආරක්ෂිතව ගිරිතලේ සත්ව සංරක්ෂණ ඒකකය වෙත ප්‍රවාහනය කරන අතර එහිදී ඔවුන් වඳ භාවයට පත් කෙරේ. පසුව, රිලවුන් ඔවුන්ගේ මුල් ස්ථානයට මුදා හරිනු ඇත.

  • රිලා ගහණය පාලනය ගත් ‘සුපිරි’ විසඳුම

    රිලා ගහණය පාලනය ගත් ‘සුපිරි’ විසඳුම

    කෘෂි වගාවන්ට බරපතළ ලෙස හානි කරන රිලා ගහණය පාලනය කිරීම සඳහා ස්ථීරසාර විසඳුමක් ලෙස රිලවුන් වන්ධ්‍යකරණය කිරීමේ නියමු ව්‍යාපෘතිය අද (12) මාතලේ, ඉහළ හරස්ගම ප්‍රදේශයෙන් ආරම්භ කළේය.

    මෙම නියමු ව්‍යාපෘති සඳහා රජය රුපියල් මිලියන 4.5ක මුදලක් වැය කරනු ලබන අතර, ඉදිරියේදී රට පුරා මෙම ව්‍යාපෘතිය ක්‍රියාත්මක කිරීමට නියමිත බව වාර්තා වේ.

    මාතලේ දිස්ත්‍රික්කය තුළ උඟුල් සහ කූඩු යොදා අල්ලා ගනු ලබන රිලවුන් ගිරිතලේ සත්ත්ව සුරැකුම් මධ්‍යස්ථානය වෙත රැගෙන ගොස් වන්ද්‍යකරණය සිදුකර නැවත ඔවුන් අල්ලාගත් ප්‍රදේශයටම මුදා හැරීමටයි කටයුතු යොදා තිබෙන බව ද වැඩි දුරටත් වාර්තා වේ.

  • ජාත්‍යන්තර දූෂණ විරෝධී දින සැමරුම් උත්සවය අමතා ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා සිදු කළ සම්පූර්ණ කතාව

    ජාත්‍යන්තර දූෂණ විරෝධී දින සැමරුම් උත්සවය අමතා ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා සිදු කළ සම්පූර්ණ කතාව

    පසුගිය ජනවරම අපි සෑම දෙනාටම, සමාජයේ අපේක්ෂාව පෙන්නුම් කර තිබෙනවා. විවිධ අවස්ථාවල අපේ රටේ ජනවරම එක එක ආකාරයට ප්‍රකාශයට පත්ව තිබෙනවා. විටෙක යුද්ධය අවසන් වීම හේතු කොටගෙන, ජනවරම ප්‍රකාශයට පත්ව තිබෙනවා. තව විටෙක රටේ ප්‍රජාතන්ත්‍රවාදය සහතික කිරීම වෙනුවෙන් ජනවරමේ ප්‍රධාන ලක්ෂණයක් පිළිඹිබු වෙලා තිබෙනවා. මා හිතන්නේ 2024 වසරේ ජනවරමේ ප්‍රධානතම පංගුව තිබෙන්නේ අල්ලසට සහ දූෂණයට එරෙහි ජනතාවගේ වුවමනාවයි. මෙතැන අල්ලස් හෝ දූෂණ කොමිෂන් සභාවේ නිලධාරීන්, පොලිස් නිලධාරීන්, නීතිපති දෙපාර්තමේන්තුවේ, අධිකරණ සේවාව නියෝජනය කරමින් ඇතුළු ඉතා වැදගත් ක්ෂේත්‍ර ගණනාවක් නියෝජනය කරමින් නිලධාරීන් සිටිනවා. දේශපාලනය නියෝජනය කරමින් මම සිටිනවා.

    එතකොට අපි එකිනෙකාට ව්‍යවස්ථාව තුළ බලය පවරා ති‍බෙනවා. පාර්ලිමේන්තුව විසින් සම්මත කරන ලද නීතිය විසින් අප එකිනෙකාට බලය පවරා තිබෙනවා. ඒ පනත් විසින්, රෙගුලාසි, චක්‍රලේඛ විසින් බලය පවරා තිබෙනවා. අප සෑම දෙනාටම ව්‍යවස්ථාව සහ නීතිය තුළ අප සියලු දෙනාටම බලය පවරා තිබෙනවා. හැබැයි ඒ සියලු බලය උත්පාදනය වී තිබෙන්නේ ජනතාවගේ පරමාධිපත්‍යය කියන බලය තුළින්. එහෙනම් අප බැදී තිබෙන නීතීන්, අපට පවරා තිබෙන සීමාවන්, මේ සියල්ලටම වඩා ජනතාවගේ ජනවරමට සහ එහි පරමාධිපත්‍ය බලයට අප සියලුම දෙනාම යටත්.

    ‘අභිමානවත් ජාතියක ආදර්ශමත් පෙර ගමන්කරුවන් බවට අපි පත් වෙමු. ඒ අපි කියන්නේ අපි වෙන්න ඇතිනෙ. හරි, මෙතැන කවුද අඩු? දේශපාලන අධිකාරිය වශයෙන් මා සිටිනවා. ජනාධිපති ලේකම්තුමා, අග්‍රාමාත්‍ය ලේකම්තුමා ඇතුළු ඉහළ රාජ්‍ය නිලධාරීන් සිටිනවා. ශ්‍රේෂ්ඨාධිකරණ විනිසුරුවරුන් සිටිනවා. පොලිස්පතිතුමා, ආරක්ෂක අමාත්‍යාංශයේ ලේකම්තුමා සිටිනවා. අල්ලස් හෝ දූෂණ කොමිෂන් සභාව භාරව සිටින සභාපතිතුමා ඇතුළු කොමසාරිස්වරුන් සිටිනවා. එහෙනම් තව කවුද අඩු? එහෙනම් ප්‍රශ්නය තිබෙන්නේ කොතැනද? අපි අවංකවම විමසා බැලුවහොත් ප්‍රශ්නය තිබෙන්නේ මෙතැනමයි.

    අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ ෆයිල් එකක් උඩ යන්නෙත් යට යන්නෙත් කොහොමද? වසර 7-8ක් ලිපිගොනු කබඩ් අස්සේ හිර වෙලා තිබෙන්නේ ඇයි? ප්‍රශ්නය මෙතැන නෙමෙයිද?
    මා මේ කියන කරුණු කිසිවක් ඔබ පෞද්ගලිකව ගන්න එපා. අද අපේ සමාජයේ ඛේදවාචකයේ බැරෑරුම්කම. ෆයිල් උඩ යෑම ගැනත්, යට යෑම ගැනත් විමසන්න. අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව යොමු කරන ලිපි ගොනුවක් වසර 7ක් ඒ පිළිබඳව උද්ධෘතයක් නොදී තිබෙන්නේ කොහොමද? ප්‍රශ්නය තිබෙන්නේ කොතැනද? අධිකරණය හමුවේ විභාග වන නඩුවක් මාස 7-8ක් කල් යන්නේ කොහොමද? නැවත දිනයක් ලබා ගැනීම සදහා කල් යන්නේ කොහොමද? මේ සෑම දෙනාටම තම ආයතනයේ එවැනි ප්‍රශ්නයක් මතු වීම පිළිබඳව අදහසක්, හේතුවක් කියන්න පුළුවන්. අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවට කියන්න පුළුවන් මෙතරම් පැමිණිලි සංඛ්‍යාවක් ලැබෙනවා, එනිසා විභාග කොට නිසි පරිදි නඩුවක් පැවරීමට ප්‍රමාණවත් නිලධාරීන් නැහැ කියලා. අල්ලස් කොමිසමටත්, නීතිපති දෙපාර්තමේන්තුවටත් ඒක කියන්න පුළුවන්. ඒ ප්‍රශ්නය තිබෙන්නේ අපෙන් බාහිරව නෙමෙයි.

    අපි සෑම කෙනාම අවංකව ප්‍රයත්නයක් දරන්නේ නොමැති නම් ‘ආදර්ශමත් පෙරගමන්කරුවන් අපි වෙමු‘ අපිම තමයි ප්‍රශ්නය. ඉතිං මෙතැන නම් ප්‍රශ්නය තිබෙන්නේ පොදු ජනයා එහි වගඋත්තරකරුවන් වන්නේ කෙසේද? මෙතැන නම් ප්‍රශ්නය තිබෙන්නේ, දූෂණය, වංචාව අපි මැඩ පවත්වන්නේ කොහොමද? මා හිතනවා අපි පළමු කොටම අපි අපේ හෘද සාක්ෂියෙන් විමසිය යුතුයි. මා ඔබට එක සහතිකයක් දෙන්නම්. දේශපාලන අධිකාරිය ලෙස, මා වෙත පැවරී තිබෙන බලතල මුළුමනින්මත්, අවංකවත් මේ වංචාව හා දූෂණය මැඩ පැවැත්වීම වෙනුවෙන් යොදවනවා. ඒ පිළිබඳව සැකයක් තියා ගන්න එපා.

    එහෙත් මා දන්නවා මාගේ සීමාවන්. මට එයට දේශපාලන අධිකාරියේ නායකත්වය ලබා දෙන්න පුළුවන්. අවශ්‍ය වන යටිතල පහසුකම් සම්පාදනය කර දෙන්න පුළුවන්. අවශ්‍ය වන මූල්‍ය ප්‍රතිපාදන වෙන් කර දෙන්න පුළුවන්. හැබැයි කවුරු විසින්ද එය කළ යුතු වන්නේ? මා හිතනවා එය කළ යුතු වන්නේ මෙතන ඉන්න ඔබ විසින්.

    අපි දැන් සිටින්නෙ එකසිය පහළොස් වැනි තැන. මම හිතන්නේ හරිම තොරතුරු නැති නිසා තමයි එතන ඉන්නේ. හරිම තොරතුරු තියෙනවා නම් ඊට වැඩියි. මෑත කාලයේ ලෝකයේ ආන්දෝලනයට තුඩු දුන් පරීක්ෂණ ගණනාවක් දියත් වුණා. එකක් ඇමෙරිකන් එක්සත්ජනපදයේ සී.අයි.ඒ නියෝජිතයෙක් වන ඉමාම් සුබේරු මුදල් විශුද්ධිකරණ පනත යටතේ සිර දඬුවම් ලැබුවා. ඒ පරීෂණයේදී හෙළිදරව් වෙනවා ඔහුට ශ්‍රී ලංකාවේ මහ බැංකුව විසින් ඩොලර් මිලියන හයක් ලබා දී ඇති බවට. එක්සත් ජනපදයේ නඩුවක් විභාගයට ලක්වෙනවා ලංකාවේ මහ බැංකුව සම්බන්ධ වෙනවා.

    එංගලන්තයේ මහාධිකරණයේ නඩුවක් විභාගයට ලක් වුණා, එයාර් බස් සමාගම ඒ ඒ රාජ්‍යයන්ට එයාර් බස් මිලදී ගැනීමේදී අල්ලස් දීම පිළිබඳව. එක්සත් ජනපදයත්, ප්‍රංශයත්, එංගලන්තයත් ඒකාබද්ධව මේ පරීක්ෂණය සිදු කළා. ඒ පරීක්ෂණයේදී හෙළිදරව් වෙනවා ශ්‍රී ලංකාවේ එයාර් ලංකා එකටත් එයාර් බස් සමාගම අල්ලස් දී ඇති බවට.

    එක්සත් ජනපදයේ නඩුවක් විභාග වුණා ශ්‍රී ලංකාවේ තානාපතිවරයා තානාපති නිවසක් මිලදී ගැනීමේ දී මුදල් විශුද්ධිකරණ පනත යටතේ වරදකරු වුණා. ඔහු අධිකරණයෙන් සමාව ඉල්ලුවා.

    ඒ වගේම පැන්ඩෝරා විමර්ශන පත්‍රිකා එළියට එනකොට ලංකාවේ කට්ටිය ඒක ඇතුළේ ඉන්නවා. පැනමා විමර්ශන පත්‍රිකා එළියට එනකොට ලංකාවේ අය ඒක ඇතුළේ ඉන්නවා. ඕස්ට්‍රේලියාවේ විමර්ශනයක් දියත් වුණා හම්බන්තොට රෝහලට වෛද්‍ය උපකරණ සැපයීමේදී ඕස්ට්‍රේලියානු සමාගමක් විසින් අල්ලස් දී ඇති බවට. එහේ පරීක්ෂණයක් යනවා. මෙහේ හම්බන්තොට මතු වෙනවා.

    අපි අපේ රටේ ඇතුළේ ටික පැත්තකින් තියන්න. මෙහෙමනේ අපේ රටට වෙලා තියෙන්නේ. නමුත්, අපි බැලුවොත් මේ පිළිබඳ සාධාරණ පරීක්ෂණයක් සිදු වී නියමිත වග උත්තරකරුවන් අධිකරණය හමුවට පමුණුවා අප දඬුවම් ලබා දීමට සමත් වී තිබෙනවාද? අපි හැමදෙනාම මෙරටේ පුරවැසියන් විසින් උත්පාදනය කරන ලද බලය, බලයේ මූලයෙන් අපට බලය ලැබී තිබෙනවා. ඔවුන් එක්රැස් කරන ධනයෙන් මහන්සියෙන් ශ්‍රමයෙන් අපට වැටුප් වරප්‍රසාද ලබා දෙනවා. හැබැයි පෙරළා අපි අපේ රටේ පුරවැසියන්ට යුක්තිය හා සාධාරණත්වය ඉටු කර තිබෙනවාද?

    නෑ. අපි පෙරළා කරමින් තිබෙන්නේ බොහෝ තැන්වල ඒ ලැබී තිබෙන බලයෙන් නැවත නැවත උපයෝගී කර ගන්නවා දූෂණයේ යෙදෙන්න. ජනතාව විසින් බලය අපට උත්පාදනය කර තිබෙනවා. ජනතාව විසින් අපට වරප්‍රසාද ලබා දී තිබෙනවා. වැටුප් ලබා දී තිබෙනවා. හැබැයි එය ලබා ගන්නා අය විසින් කරන්නේ කුමක්ද? තමන්ගේ බලයත් තමන්ගේ වරප්‍රසාදත් උපයෝගී කර ගන්නවා නැවත නැවත අල්ලසේ සහ දූෂණයේ යෙදෙන්න. ඒකනේ යථාර්ථය. එහෙම නෙවෙයිද?

    බලය ලබා දෙන්නේ සාධාරණත්වය වෙනුවෙන්. හැබැයි ඒ බලය උපයෝගී කර ගන්නේ අයුක්තිය සඳහායි. පුද්ගලික ප්‍රතිලාභයන් වෙනුවෙන්. ධනය එක්රැස් කිරීම වෙනුවෙන්. එහෙම නම් මේ බලයෙන් ඇති ඵලය කුමක්ද? මම අහන්නේ එච්චරයි.

    ඒ නිසා අපි හැමදෙනාම තිර අධිෂ්ඨානයකට එන්නේ නැත්නම්, අපිට ලබා දී තිබෙන බලය ජනතාව විසින් උත්පාදනය කර ඇති බලයක්. ඒ බලය තුළ ජනතාවට සාධාරණය සහ යුක්තිය ඉටු කළ යුතුයි කියල සැබෑ අදිටනකට එන්නේ නැත්නම් මොන ආයතන ගොඩ නැඟුවත්, මොන නීති සම්පාදනය කළත් ඵලක් නැහැ.

    මා කියන්නේ නෑ නීතිය අනවශ්‍ය බව. මා කියන්නේ නෑ ආයතන ශක්තිමත් නොකළ යුතු බව. නීති ප්‍රමාණවත් නැත්නම් තව අපි නීති සම්පාදනය කරමු. ආයතන ප්‍රමාණවත් නැත්නම් තව ආයතන ගොඩ නඟමු. හැබැයි මොන තරම් නීති සම්පාදනය කළත්, මොන තරම් ආයතන ගොඩ නැඟුවත් ප්‍රමාණවත් නෑ, එහි බලය හොබ වන අය තමන්ට පැවරී තිබෙන යුතුකම හා වගකීම ඉටු කරන්න සූදානම් නැත්නම්. මගේ කාලයේ නම් මම දැක තිබෙන්නේ බොහෝ අය, අවංකව කියන්නේ බොහෝ අය තමන්ගේ බලය අපහරණයේ යොදවනවා.

    තමන්ගේ වගකීම අපහරණය, එහෙම නැත්නම් නීතිපති දෙපාර්තමේන්තුවේ අවුරුදු 07ක් ලිපිගොනුවක් සිර වී තිබෙන්න විදියක් නැහැ. සමහර ලිපි ගොනු ලාච්චුවට දාලා වහපු දවසේ සිට විවෘත කරනේ නැතිව ඉන්න විදියක් නැහැ. අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව ලිපිගොනු, කඩදාසි දිරන තුරු පරීක්ෂණ කරමින් ඉන්න විදියක් නැහැ. එය නීතියේ ප්‍රශ්නයක්. ආයතනයේ ප්‍රශ්නයක් නොවයි. තමන්ට ලැබී තිබෙන බලය තමන් විසින් අපහරණය කිරීම. එය වළක්වා ගැනීමට අසමත් වන තෙක් අපට මේ කාර්යය ජයග්‍රහණය කරන්න බැහැ.

    2021 වසරේ නඩු 69ක් අවසන් කර තිබෙනවා. එයින් නඩු 40ක් ඉල්ලා අස් කර ගෙන තිබෙනවා. එවිට අවසන් වූ නඩු 69න් 40ක් ඉල්ලා අස් කරගෙන තිබෙනවා. ප්‍රසිද්ධ මල්වානේ ඉඩම් නඩුවේ එතනින් එහා සාක්ෂි අත්හිටවනු ලැබුවේ කුමක් නිසාද, ඇතැම් නඩුවල එම පරීක්ෂණ සිදු කළ
    නිලධාරීන් එහි සාක්ෂිකරුවන් ලෙස සටහන් නොවන්නේ කුමක් නිසාද, ශානි අබේසේකර සාක්ෂි දරනවා ඇතියි. ඔහු සම්පූර්ණයෙන් විමර්ශන නිලධාරියා වෙනවා. නමුත් නඩුව ගොනු කරන විට ඔහු සාක්ෂිකරුවෙක් නොවේ නම් මොකක්ද මේ වෙන්නේ.

    2022 නඩු 89ක් පවරා තිබෙනවා. නඩු 45ක් ඉල්ලා අස්කරගෙන තිබෙනවා. ඇයි, අපේ රටේ පුරවැසියන්ට අපි බැඳි සිටිනවා නම් මේ හේතුව අපි කිව යුතු නැද්ද, අදාළ නිශ්චිත නඩුවේදී එම විමර්ශන නිලධාරියා සාක්ෂිකරුවෙක් ලෙස සටහන් නොකරන්නේ කුමක් නිසාද, අපි ජනතාවට බැඳී සිටිනවා නම් මෙය පැහැදිලි කළ යුතුයි. ඇතැම් නඩුවල සාක්ෂිකරුවන් කැඳවන්නේ නැතිව නඩු ඉවත් වෙන්න අරින්නේ කුමක් නිසාද, අපි ජනතාවට බැඳි සිටිනවා නම් මෙය පැහැදිලි කළ යුතුයි. අපි නඩු ඉල්ලා අස්කර ගන්නේ ඇයි කියා ජනතාවට පැහැදිලි කළ යුතුයි. ලිපි ගොනු අවුරුදු 07ක් 08ක් ලාච්චු අස්සේ සිර වී තිබෙනවා නම් ඇයි එසේ සිදු වන්නේ කියා අප ජනතාවට පැහැදිලි කළ යුතු නැද්ද?

    ඒ නිසා මේ සමස්ත දේහයම පද්ධතියක් ලෙස කඩා වැටී තිබෙනවා. යළි අපේ රට ගොඩනඟනවා නම් මේ සමස්ත පද්ධතියම ප්‍රතිෂ්ඨාපනයට ලක් කළ යුතුයි. එසේ නොමැතිව කුඩා නීතිමය ප්‍රතිසංස්කරණයකින්, කුඩා ආයතනික ප්‍රතිව්‍යුහගතකරණයකින් පමණක් මේ කාර්යය සම්පූර්ණ කර ගන්න බැහැ. එයට පුළුවන් මගේ අවුරුදු 05ක් ගත කිරීමට පමණයි. නමුත් මෙම ක්‍රමය වෙනස් කරන්න නම් මේ සමස්තය යළි ප්‍රතිෂ්ඨාපනය කළ යුතුයි. එසේ නොමැතිව මෙම ජයග්‍රහණ අත්පත් කරගන්න බැහැ. පෞද්ගලිකව මා ප්‍රයත්න දරනවා මේ සමස්ත පද්ධතියම යළි ප්‍රතිෂ්ඨාපනය කර මේ රාජ්‍ය සුවපත් රාජ්‍යයක් බවට පත් කිරීමට. එයයි මගේ අපේක්ෂාව. මම සිතනවා අපි මේ අවස්ථාවේ මෙය කිරීමට අසමත් වුවහොත් අපේ රටේ ජනතාව හීනයකින්වත් සුබ රාජ්‍යයක් පිළිබඳ සිතන්නේ නැහැ.

    මෙම 2024 වසරේ ජනවරමේ ජනතාව තැබූ අපේක්ෂාවන් හා බලාපොරොත්තු ඉටු කිරීමට අප අසමත් වන්නේ නම් අපේ ජනතාව හීනෙන්වත් සුබ සිහිනයක් දකින්නේ නැහැ. උතුර,නැගෙනහිර, සිංහල, දෙමළ, මුස්ලිම් බේදයකින් තොරව සියලු ජනතාව එක තැනකට පැමිණ සුබ අරමුණක්, සුබ අපේක්ෂාවක් වෙනුවෙන් බලයක් පිහිටුවා තිබෙනවා. ඒ අරමුණ, ඒ අපේක්ෂාව ඉටු කිරීම අප අසමත් වුවහොත් මම නැවත නැවත කියනවා ජනතාව නැවත කිසි දින සුබ දවසක් ප්‍රාර්ථනා කරන්නේ නැහැ.

    ඒ නිසා එම කාර්යය ඉටු කිරීමට අපට වගකීමක් තිබෙනවා. එම කාර්යය ඉටු කිරීම සඳහා පෞද්ගලිකව මා වෙතත්, අපේ ආණ්ඩුවටත් පැවරි ඇති කාර්යභාරය අපි නිසි පරිදි ඉටු කරනවා. හැබැයි, ඔබගේ සහාය අත්‍යවශ්‍යයි. විමර්ශන සිදු කරන ආයතන, සහාය දක්වන ආයතන, එම විමර්ශනයන් විභාගයට ලක් කොට තීන්දු තීරණ ලබා දෙන ආයතන නිසි පරිදි මීට සක්‍රීය දායකත්වය ලබා නොදෙන්නේ නම් අපට තවත් දශක ගණනාවක් දූෂණ විරෝධි දිනය සමරන්න පුළුවන්. අපි සියලු දෙනාට සැදැහැ සිතින් පැමිණ දූෂණ විරෝධි දිනයේ වාඩි වී ඊට සහභාගි වුණා කියලා අත්පොළසන් දී පිටවී යන්න පුළුවන්.

    හැබැයි අපි වෙනස් කිරීමට සූදානම් නම් ලබන වසරේ අපට යමක් කළ, මෙය ජයග්‍රහණය කළ හැකි දෙයක් කියා සමරන්න පුළුවන්. හැබැයි අපේ සභාපතිතුමා සඳහන් කළ පරිදි 2012 වසරේ තිබූ ලකුණු මට්ටම 40යි. එය 2024 වන විට 34 දක්වා අඩු වී තිබෙනවා නම් අපි ඊළඟ දිනය මෙතන වාඩි වී සැමරිය යුතුද? දූෂණයට ලක් වූ රාජ්‍යයක් ලෙස තව තවත් ඉදිරියට ඒම අපට දෙසැම්බර් 09 වනදාට සමරන්න පුළුවන්

    අපි දැන්, 2012 ඉඳන් සැමරුවා නම් අපි සමරන හැම වසරක් පාසාම මොකක්ද සිදු වි තිබෙන්නේ? සමරන හැම වසරක් පාසාම සිදු වී තිබෙන දේ තමයි තිබුණ තැනට වඩා දූෂණය ඉහළට යනවා. අපි දෙසැම්බර් 09 වන දා සමරනවා. නරක නෑ. හැබැයි මම කියන්නේ අපට සැමරීම සඳහා අයිතිය ලැබෙන්නේ දිනය විසින් නෙමෙයි. ඒ දිනයට තියෙන අභිප්‍රායයන්ට සහ අපේක්ෂාවන්ට මොන තරම් ප්‍රමාණයකින් අපි සාධාරණය ඉටු කර ගන්න සමත් වුණාද නැද්ද කියන එක මත. එසේ නොවන්නේ නම් මම හිතනවා සැදැහැ සිතින් ඊළඟ අවුරුද්දෙ දෙසැම්බර් මාසයේ 09 වන දා අපි වාඩි වෙලා සැමරීමෙන් ඵලක් නෑ. සමරන්නෙ අපි අලුත් අධිෂ්ඨානයකට නම්, අලුත් තිරණාත්මක හැරවුමකට නම් ඒ සැමරීම අපි ඒ පතුලෙන්ම ඒ සැමරුම කළ යුතුයි කියල මම විශ්වාස කරනවා. ඒ නිසා මම හිතන්නේ අපි ඊළඟ දිනය සැමරිය හැකි වන්නේ පුරවැසියන්ට, අපි මේ කුඩා ශාලාවකට එකතු වෙලා අපිට සමරන්න පුළුවන්. කවදත් පුළුවන් වෙයි. හැබැයි, පුරවැසියන්ට ඒ සැමරීම පිළිබඳව යම් අදහසක්, යම් භක්තියක්, යම් ගෞරවයක්, යම් වටිනාකමක් නිර්මාණය වන්නේ පුරවැසියන්ට ඒ පිළිබඳව විශ්වාසදායක ක්‍රියාමාර්ගවල අප නිරත වුණොත් විතරයි. ඒ නිසා මම හිතනවා, මේ ඇවිල්ලා ඔබ සතුව තියෙන පැමිණිලි ප්‍රමාණය මම දන්නවා. ඒ පැමිණිලිවල නම් ගම් දන්නවා. මතක තබාගන්න. ඒ පැමිණිලි දාපු කාල වකවානු ගැන අදහසක් තිබෙනවා. ඒ පැමිණිලිවල චූදිතයන් කවුද කියල අපට යම් දළ අදහසක් තිබෙනවා. හැබැයි මම ෆයිල් එක කියවල නැතත් අදහසක් තිබෙනවා. හැබැයි ෆයිල් එක බර වෙනවද? ෆයිල් එක සැහැල්ලු වෙනවද කියල තීරණය කරන්නෙ ෆයිල් එක ඇතුළෙ තියෙන කෙනාගෙ නම නම් මොකක්ද ඇති ඵලේ? අපේ විනිසුරුතුමා කිවුව අඩුම තරමෙ මේ ආර්ථිකයට තීරණාත්මක ලෙස බලපෑමක් කරන ප්‍රධාන ටිකවත් අපි ඉක්මන් කරල කරන්න ඕන. හැබැයි මා ගාව තියෙනවා මාර්තු 06 වාර්තාව, ඉද්දෙවෙල මැතිතුමා පාර්ලිමේන්තුවේ නියෝජ්‍ය ලේකම් විදිහට පාර්ලිමේන්තුවේ කතාවක් කළා. මා පෙන්වා දෙන්නම්.

    එක අවුරුද්දක අල්ලස් කොමිසමේ දඩුවම් ලබා දීල තියෙන්නෙ පීසී මහත්තුරු දෙන්නයි, ග්‍රාම සේවක මහත්තයයි එස් අයි මහත්තයෙකුයි ලිපිකරුවෙකුයි, තව දෙන්නෙක් ඉන්නවා මට මතකය මදි. තව දෙන්නෙක් විතර හිටියා. ඒ කියන්නේ කාටද ? නීතිය ක්‍රියාත්මක වෙලා තියෙන්නෙ මකුළු දැලක් වගේ පොඩි සත්තු පැටලෙනවා. ලොකු සත්තු මකුළු දැල බිඳ ගෙන යනවා. ඉතින් එහෙම නීතියක් තිබෙන බව, එහෙම ක්‍රියාත්මක වෙන බව, මේ රටේ පුරවැසියන් දන්නවා. මා දන්නවා මට වඩා තීතිය පිළිබඳ හසළ අත්දැකීම් සහිත ඒ ක්ෂේත්‍රයේම වැඩ කරපු, ඒ ක්ෂේත්‍රයේම අත්දැකිම් සහිත අය ඉන්නවා. හැබැයි, අපි කවුරුත් දන්නවා නීතිය ක්‍රියාත්මක වෙනවා වගේම නීතිය සාධාරණව ඉටු වෙනවා බවට ජනතාවගේ විශ්වාසය ගොඩනැඟිය යුතුයි. මම කියන්නේ අද ජනතාව තුළ එහෙම විශ්වාසයක් නෑ.

    මේ නිසා, ඒ වගේම යුක්තිය ඉටු කිරිම සඳහා ප්‍රමාද වීම් එක පැත්තකින් යුක්තිය ඉටු කිරිමක් නොවන්නේය. යුක්තිය ඉතා ඉක්මනින් ඉටු කිරිම තමයි යුක්තියට කළ යුතු සාධාරණත්වය. යුක්තිය ඉටු කිරීම ප්‍රමාද වීමක් යුක්තිය ඉටු කිරිමක් නොවන්නේය කියා අපි විශ්වාස කරනවා. ඒ නිසා මා විශ්වාස කරනවා අපි අපිම ප්‍රශ්න කර ගත යුතු දවස ඇවිත් තිබෙන්නෙ. අපි අපිම අවංකව මේ කාර්යයට මොන තරම් ප්‍රමාණයකින්, අපි උර දෙන්න සූදානම්ද? නැද්ද? යන ප්‍රශ්නයට අපි ඇවිල්ලා තියෙනවා. මම දන්නවා ඔබගේ ආයතන, ඔබගේ කාර්යයන් මේ බිඳ වැටීමට ලක් වුණේ ඔබගේම තනි ස්වකැමැත්තක ප්‍රතිඵලයක් හැටියට මෙතනට පත් වුණා නොවෙයි. ස්වභාවික ඉරණමක ප්‍රතිඵලයක් නෙවෙයි මේ ආයතන පද්ධතිය මෙතන බිඳ වැටෙන්න. මේ සියලු ආයතන පද්ධතියම මෙතන බිඳ වැටෙන්න ප්‍රධානම හේතුව අපේ රටේ අප්‍රසන්න දේශපාලන සංස්කෘතිය. මා දන්නවා අල්ලස් කොමිසමේ හිටපු අධ්‍යක්ෂ ජනරාල්වරයා එක රැයින් ජනාධිපති ලේකම් කාර්යාලයට කැඳෙව්වා ඉතිහාසෙ. මතක ඇති, රණසිංහ කියල මහත්තයෙක් කුරුණෑගල හිටපු, ටයි කෝට් ඇඳපු මහත්තයෙක් මතක ඇති, එක රැයකදි එක අමාත්‍යවරයකු පිළිබඳ පරීක්ෂණය දියත් කරන්න කිවුවයි කියල මොකක්ද වෙලා තියෙන්නෙ අපේ රටේ මේ තිබෙන ඉතාමත් අප්‍රසන්න දේශපාලන සංස්කෘතිය අපේ රටේ සියලු ආයතනික පද්ධතීන්වල තිබෙන හරයාත්මක වටිනාකම් දූවිලි බවට පත් කරල විනාශ කරල තිබෙන්නේ. සෑම ආයතන පද්ධතියක් කෙරෙහිම පුරවැසියන්ගේ තිබෙන විශ්වාසය බිඳ වැටිල තිබෙන්නෙ. හැම ආයතන පද්ධතියක්ම තමන්ට තිබෙන තමන්ගේ බලය පිළිබඳ විශ්වාසය බිඳ වැටිල තිබෙන්නෙ. හැම ආයතන පද්ධතියකම මේ ආයතන පද්ධතිය මෙහෙය වන්නාට පැවරී තිබෙන වගකීම පිළිබඳව දිය කරල තිබෙන්නෙ. ඇයි? මේ දේශපාලන සංස්කෘතිය හින්දා. ඒ නිසා අපේ විනිසුරුතුමා කී පරිදි අපි හිතන්නෙත් නෑ අවුරුද්දෙන් දෙකෙන් මුළුමනින්ම මේක අනික් පැත්තට හසුරවන්න හැකි වෙයි කියල. හැබැයි අපි යහපත් ප්‍රයත්නයක් දරනවා. ඊළඟ පරම්පරාවට මේ වැඩේ පවරන්නෑ. අපේ පරම්පරාව මෙය සාර්ථක කර ගැනීම සඳහා පොර බදපු මිනිස්සු හැටියට, මේ වෙනස් කිරීම සඳහා පොර බදපු මිනිස්සු හැටියට අපි අපේ කාර්යය අවසන් කිරීමට නියමිතයි.

    අපි අපේක්ෂා කරනවා අපේ කාලයෙ මේක අවසන් කරන්නට. හැබැයි, අපි දෙන්න ඕන මුලාරම්භයක් යහපත් දිශාවට මේක පරිවර්තනය කරන්න. අන්න ඒ මූලාරම්භය දෙන්න දේශපාලන අධිකාරියක් ලෙස අපි ලෑස්තියි. මම ඔබගෙන් ඉල්ලන්නේ මෙතන ඉන්නේ ඒ පිළිබඳ විශේෂ වගකීම් කණ්ඩායමක්. මම ඔබගෙන් ඉල්ලා සිටින්නේ, මේකට සහය දෙන්න. මෙතන එක් රැස් වී සිටින අපි මේක කරන්නේ නැත්තම්, ඈත දෙහිඅත්තකණ්ඩියේ ජීවත් වෙන ගොවියද මේක කරන්නෙ? එහෙම නැත්තම් ගමේ ඉන්න සාමාන්‍ය පුරවැසියද මේ කාර්යය කරන්නෙ? මේ කාර්යය කරන්න තියෙන්නෙ අපිට. අපි මේ කාර්යය කිරීම සඳහා මැදිහත් වෙන්නේ නැත්තම් මේ කාර්යය කිසිවෙක් විසින් කරන්නේ නෑ. ඒ නිසා මා හිතනවා ඔබට මේ පැවරී තිබෙන කාර්යභාරය ඉටු කිරීම සඳහාත්, ලබන වසරේ දෙසැම්බර් මාසේ 09වන දා අපට වාඩි වෙලා මේ දිනය සමරන්න පුළුවන් වටිනාකමක් එකතු කර ගැනීම සඳහාත්, සියලු දෙනා වැඩ කරමු කියා ඉල්ලා සිටිමින් මම නතර වෙනවා. බොහොම ස්තුතියි! හැම දෙනාටම.

  • නාඩු තොග 225යි, සිල්ලර 230යි:  ජනපතිගෙන් සහල් ව්‍යාපාරිකයින්ට උපදෙස්

    නාඩු තොග 225යි, සිල්ලර 230යි: ජනපතිගෙන් සහල් ව්‍යාපාරිකයින්ට උපදෙස්

    පිළිනොපදින අයට දැඩි ක්‍රියාමාර්ග – ජනපති අවධාරණය කරයි

    • සුදු කැකුළු කිලෝවක් රුපියල් 215ක තොග මිලටත්, 220ක සිල්ලර මිලටත් පාරිභෝගික ජනතාවට
    • ආනයනික නාඩු සහල් කිලෝවක සිල්ලර මිල රුපියල් 220 යි
    • සම්බා කිලෝවක තොග මිල රුපියල් 235යි, සිල්ලර මිල රුපියල් 240යි
    • කීරි සම්බා කිලෝවක තොග මිල රුපියල් 255 යි, සිල්ලර මිල රුපියල් 260යි
    • දිනපතා සහල් මිල වෙනස් කිරීම සම්බන්ධව ජනපති විමසයි
    • දිනපතා සහල් මෝල්වලින් පිටවන සහල් කිලෝ ප්‍රමාණය ගණනය කිරීමට ද පාරිභෝගික අධිකාරියට උපදෙස්

    නාඩු සහල් කිලෝවක් රුපියල් 225ක තොග මිලටත්, රුපියල් 230ක සිල්ලර මිලටත් පාරිභෝගික ජනතාවට ලබා දීමට ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා සහල් ව්‍යාපාරිකයන්ට උපදෙස් දුන්නේය.

    මේ පිළිබඳ ඉදිරි දින දහය තුළ අවධානයෙන් කටයුතු කරමින්, ඊට පටහැනිව කටයුතු කරන සහල් මෝල් හිමියන් සම්බන්ධව දැඩිව නීතිය ක්‍රියාත්මක කරන ලෙස ද ජනාධිපතිවරයා පාරිභෝගික අධිකාරියට දැනුම් දුන්නේය.

    ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා මේ බව සඳහන් කර සිටියේ, වෙළෙඳ, වාණිජ, ආහාර සුරක්ෂිතතා සහ සමූපකාර සංවර්ධන අමාත්‍යාංශයේ නිලධාරීන් හා සහල් ව්‍යාපාරිකයන් සමඟ ජනාධිපති ලේකම් කාර්යාලයේ අද (07) පැවැති සාකච්ඡාවේදීය.

    අපේ රටේ වැඩිම ආයෝජනයක් සිදු කරන්නේ මහාමාර්ග අමාත්‍යාංශයට බවත්, ඉන්පසුව වාරිමාර්ග හා කෘෂිකර්ම ක්ෂේත්‍රයන්ට බවත් පෙන්වා දුන් ජනාධිපතිවරයා වැඩිපුරම සහනාධාර ලබා දීම සිදු කරනු ලබන්නේ ද ගොවි ජනතාවට බව කියා සිටියේය.

    වී මිලදී ගැනීම සඳහා ව්‍යාපාරිකයන්ට අඩු පොලී පහසුකම් යටතේ බැංකු ණය ලබා දී ඇති බවද සිහිපත් කළ ජනාධිපතිවරයා, එබැවින් ජනතාවගේ සහල් අයිතියට අත නොතබන ලෙස සහල් ව්‍යාපාරිකයන්ට පැවසීය.

    ඒ අනුව සහල් මිල පහත පරිදි නියම කර තිබේ.

    • නාඩු සහල් කිලෝවක තොග මිල රුපියල් 225යි. සිල්ලර මිල රුපියල් 230යි.
    • සුදු කැකුළු කිලෝවක තොග මිල රුපියල් 215යි . සිල්ලර මිල 220යි.
    • ආනයනික නාඩු සහල් කිලෝවක සිල්ලර මිල රුපියල් මිල 220 යි
    • සම්බා කිලෝවක තොග මිල රුපියල් 235යි. සිල්ලර මිල රුපියල් 240යි.
    • කීරි සම්බා කිලෝවක තොග මිල රුපියල් 255 යි. සිල්ලර මිල රුපියල් 260යි.

    දිනපතා සහල් මිල වෙනස් කිරීම සම්බන්ධව මෙහිදී සහල් මෝල් හිමියන්ගෙන් ප්‍රශ්න කළ ජනාධිපතිවරයා දිනපතා සහල් මෝල්වලින් පිටවන සහල් කිලෝ ප්‍රමාණය ගණනය කිරීමට ද පාරිභෝගික අධිකාරියට උපදෙස් දුන්නේය .

    එසේම සහල් සම්බන්ධ ගැටලුව රජය සමඟ සුහදව විසඳා ගැනීමට කටයුතු කරන ලෙස ද ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා මෙහිදී ව්‍යාපාරිකයන්ට ආරාධනා කළේය.

    වෙළෙඳ, වාණිජ, ආහාර සුරක්ෂිතතා සහ සමූපකාර සංවර්ධන අමාත්‍ය වසන්ත සමරසිංහ,ජනාධිපති ලේකම් ආචාර්ය නන්දික සනත් කුමානායක, වෙළෙඳ, වාණිජ, ආහාර සුරක්ෂිතතා සහ සමූපකාර සංවර්ධන අමාත්‍යාංශයේ ලේකම් ඒ. විමලේන්තිරාජා මහතා, කෘෂිකර්ම, පශු සම්පත්, ඉඩම් සහ වාරිමාර්ග අමාත්‍යාංශයේ ලේකම් ඩී.පී. වික්‍රමසිංහ, සංවර්ධන මූල්‍ය දෙපාර්තමේන්තුවේ අධ්‍යක්ෂ ජනරාල් මලරමති ගංගාතරන්, කෘෂිකර්ම දෙපාර්තමේන්තුවේ වැඩබලන අධ්‍යක්ෂ ජනරාල් ආචාර්ය එස්.කේ. වාසල, පාරිභෝගික කටයුතු පිළිබඳ අධිකාරියේ සභාපති හේමන්ත සමරකෝන්, වී අළෙවි මණ්ඩලයේ සභාපති ඒ.එම්.යු. පින්නලන්ද, හෙක්ටර් කොබ්බෑකඩුව ගොවි කටයුතු පර්යේෂණ හා පුහුණු ආයතනයේ අධ්‍යක්ෂ ඒ.එල්. චන්දික යන මහත්වරු ඇතුළු පිරිසක් මෙම අවස්ථාවට එක්ව සිටියහ.