කොන්දේසි කිහිපයකට ගිවිසුම් ගතව යටත්ව එක්සත් ජාතික පෙරමුණේ ජනාධිපති අපේක්ෂකයා ලෙස නමට එක්සත් ජාතික පක්ෂයේ නියෝජ්‍ය නායක සජිත් ප්‍රේමදාස මහතා පත් කිරිමට අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතා එකඟතාව පල කර තිබේ.
ඊයේ(24) රාත්‍රි අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතාගේ ප්‍රධානත්වයෙන් පැවැති එක්සත් ජාතික පක්ෂයේ ජ්‍යෙෂ්ඨ සාමාජිකයින්ගේ හමුවකදී මෙම එකඟතාව පල කර ඇති බවයි අමාත්‍ය ලක්ෂ්මන් කිරිඇල්ල මහතා සඳහන් කළේය.
අරලියගහ මන්දීරයේ පැවැති එම සාකච්ඡාව සදහා ලක්ෂ්මන් කිරිඇල්ල අමාත්‍යවරයාට අමතරව කබීර් හෂිම්, රවී කරුණානායක, නවීන් දිසානායක, රංජිත් මද්දුමබණ්ඩාර, මලික් සමරවික්‍රම යන අමාත්‍යවරුන් ද සහභාගී වී සිට ඇති බව සඳහන්ය.
කෙසේවෙතත් සජිත් ප්‍රේමදාස මහතාට ජනාධිපති ධුර අපේක්ෂකත්වය ලබාදීමේදී කොන්දේසි කිහිපයක් ඉදිරිපත් කර ඇති බවත්, ඒවාට ගිවිසුම් ගත විය යුතුබවටත් වාර්තා වෙයි.
විධායක ජනාධිපති ධුරය අහෝසි කිරිම, අග්‍රාමාත්‍යධුරය අපේක්ෂකයා රනිල් වික්‍රමසිංහ මහතා වීම ඇතුළු කොන්දේසි කිහිපයක් ඊට ඇතුළත් බව එක්සත් ජාතික පක්ෂ ආරංචි මාර්ග සඳහන් කළේය.
මේ අතර එක්සත් ජාතික පක්ෂයේ කෘත්‍යාධිකාරි මණ්ඩලය හෙට පෙරවරු 10.00ට සිරිකොත පක්ෂ මූලස්ථානයේදී රැස්විමට නියමිතයි.
මෙහිදී එක්සත් ජාතික පක්ෂයේ ජනාධිපති ධුර අපේක්ෂකයා සදහා කෘත්‍යාධිකාරි මණ්ඩලයේ අනුමැතිය ලබා ගැනිමට නියමිත බවයි එක්සත් ජාතික පක්ෂයේ ජ්‍යෙෂ්ඨ අමාත්‍යවරයෙකු සඳහන් කළේ.
එසේම සජිත් ප්‍රේමදාස මහතා ජනාධිපති අපේක්ෂකයා ලෙස තරඟකොට ජනාධිපතිවරණයෙන් පරාජයට පත්වුවහොත් දැනට තිබෙන ඔහුගේ නියෝජ්‍ය නායකධුරයද අහිමිවී යන අතර යළි කිසිඳු ලෙසකින් පක්ෂයේ නායකත්වය සඳහා තරඟ කිරීමේ අවස්ථාවද අහිමි වේ. තවද සජිත් කල්ලියේ සාමාජිකයින් පරාජයෙන් පසු එම පරාජය පිළිගෙන පසුපෙළ නියෝජනය කිරීමද අනිවාර්යය බව දන්වා ඇති අතර සජිත් ඊට එකඟ වී ඇති බවටද වාර්තාවේ.
තවද යම් හෙයකින් සජිත් ප්‍රේමදාස මෙම යෝජනාවලට එකඟව ජනාධිපති අපේක්ෂකත්වය භාර ගත හොත් ඔහුට මේ දක්වා සහයෝගය සහ ඉදිරිය සැලසුම් කළ ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතාට වැලේ වැල් නැති වනු ඇති බව දේශපාලන විචාරකයෝ පවසති.