විල්පත්තුව යළි බිහිසුණු අනතුරක – සම්පූර්ණ කතාව මෙන්න !

විල්පත්තුව යළි බිහිසුණු අනතුරක – සම්පූර්ණ කතාව මෙන්න !
Spread the love

ඉදිරි කාලයේ පැවැත්වීමට නියමිත මැතිවරණ ඉලක්ක කර ගෙන රට තුළ ජාතිවාදී අරගල ඇති කිරීමෙන් මැතිවරණ ජයග්‍රහණය කිරීමේ අරමුණ මත නැවත වරක් විල්පත්තු ජාතික වනෝද්‍යානය කේන්ද්‍ර කර ගෙන ගැටළු නිර්මාණය කිරීමට ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ සූදානම් වේ. එම සැලැසුම මේ වන විට ඉතා සූක්ෂම ව සකස් කර ක්‍රියාත්මක කිරීමට පෙරමුණ ගෙන සිටින්නේ, සිල්වත් සමාජයක් උදෙසා ජාතික ව්‍යාපාරයේ විහාරගල විජයකිත්ති හිමි, පුත්තලම දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රි මුස්ලිම් ජාතික සන්ධානයේ අලි සබ්රි රහීම් හා ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ පාර්ලිමේන්තු මන්ත්‍රි, ග්‍රාමීය ආර්ථික රාජ්‍ය අමාත්‍ය, කේ. කාදර් මස්තාන් ඇතුළු පිරිසකි.  

මේ වන විට ඔවුන් ගේ සැලැසුම වී ඇත්තේ 2010 වසරේ දී නාවික හමුදාව විසින් නීති විරෝධී ව බලහත්කාරයෙන් විල්පත්තු ජාතික වනෝද්‍යානය තුළින් කිලෝමීටර 35 ක් විහිදෙන පරිදි සකස් කළ නමුත් අධිකරණය විසින් පොදු භාවිතය සඳහා තහනම් කළ මාර්ගය විවෘත කර ගැනීම සඳහා බලපෑම් කිරීම ය. ඒ සඳහා ජූලි මස 07 වන ඉරිදා පුද්ගලයන් 300 ක ගෙන් පමණ සමන්විත පිරිසක් ජාතික වනෝද්‍යානයට නීති විරෝධී ව ඇතුළු වී තහනම් කළ මාර්ගය භාවිත කිරීමට සූදානම් වේ.

අධිකරණය විසින් විල්පත්තුව හරහා අලුතින් ඉදි කරන ලද මාර්ගය භාවිත කිරීම තහනම් කර ඇත්තේ නීති විරෝධී ව ඉදි කරන ලද මාර්ගයක් වීම හා ඒ තුළින් විල්පත්තු ජාතික වනෝද්‍යානයේ පැවැත්මට හානි කර බලපෑම් ඇති විය හැකි බව සඳහන් කරමිනි. මෙම අධිකරණ නියෝග උල්ලංඝනය කරමින්, අධිකරණය හෑල්ලුවට ලක් කරමින්, නීතියේ ආධිපත්‍යය අභියෝගයට ලක් කරමින් මෙම කණ්ඩායම් විසින් අයුතු ලෙස ජනතාව ඒකරාශී කරමින් සිදු කිරීමට නියමිත මෙම නීති විරෝධී ක්‍රියාව තුළින් නැවත වරක් රට තුළ ජාතිවාදී අරගල ඇති වීමේ අවධානමක් උද්ගත විය හැකි ය.

විල්පත්තු ජාතික වනෝද්‍යානයේ උතුරු ප්‍රදේශයේ නාවික හමුදාව විසින් මරිච්චික්කඩ්ඩි, කරඩික්කලි හා මොල්ලිකුලම් නම් ගම්මානවල පාරම්පරික ව බුක්තිවිදි ජනාවාස, වගා බිම් හා වැව් බලහත්කාරයෙන් අත්පත් කර ගෙත කඳවුරු හා හෝටල් පවත්වාගෙන යාම නිසා එම ගම්මානවල ජනතාව අවතැන් ව සිටී. මෙය පදනම් කර ගෙන රිශාඩ් බදියුදීන් හිටපු අමාත්‍යවරයා විල්පත්තු ජාතික වනෝද්‍යානයට උතුරින් පිහිටි කල්ආරු වනාන්තරය නැතහොත් වර්තමානයේ මාවිල්ලු සංරක්ෂණ වනාන්තරය විනාශ කර ජනතාව පදිංචි කිරීම සිදු කෙරින. නමුත් නාවික හමුදාව විසින් අවතැන් කළ ජනතාව නැවත පදිංචි කිරීම සඳහා විල්පත්තු ජාතික වනෝද්‍යානය හා සම්බන්ධ වනාන්තර පද්ධති විනාශ කිරීම නතර කර එම ජනතාව ගේ පාරම්පරික භූමිය නැවත එම ජනතාවට ලබා දීමට බලපෑම් නොකර මේ ආකාරයෙන් වනෝද්‍යානයට හානි කර බලපෑම් ඇති වන නීති විරෝධී ක්‍රියා සිදු කිරීමට වගකිවයුතු දේශපාලඥයන් කටයුතු කිරීම ඉතා ම ගැටළු සහගත ය. එයින් පෙනී යන්නේ ඔවුන් ගේ උත්සාහය වී ඇත්තේ අයිතිවාසිකම් අහිමි වූ ජනතාව ගේ ජීවත් වීමේ අයිතිය සුරක්ෂිත කිරීම නොව ජාතිවාදී අරගලයක් රට තුළ ඇති කිරීම මෙන් ම ලංකාවේ පැරණිත ම හා සුවිශේෂී ම ජාතික වනෝද්‍යානයක් හා ජාත්‍යන්තර වැදගත්කමකින් යුත් රැම්සාර් තෙත් බිමක් ලෙස ද ප්‍රකාශයට පත් කර ඇති විල්පත්තු ජාතික වනෝද්‍යානය විනාශ කිරීමට සැලැසුම් සකස් කිරීම ය.

විල්පත්තු ජාතික වනෝද්‍යානය වටා ප්‍රදේශයේ වර්තමානයේ ක්‍රියාත්මක වන සංවර්ධන ව්‍යාපෘති හේතුවෙන් හා මහ පරිමාණ වාණිජ වගා ව්‍යාපෘති හේතුවෙන් දැඩි තර්ජනයකට ලක් ව තිබේ. ඒ අතුරෙන් ප්‍රධාන වන්නේ පහළ මල්වතු ඔය වාරි ව්‍යාපෘතිය හා අවුරා ලංකා සමාගමේ කෝමාරිකා වගා ව්‍යාපෘතියයි. මීට අමතර ව ජාතික භෞතික සැලැස්මට අනුව මන්නාරම කර්මාන්ත පුරය ඉදි කිරීම හා කල්පිටියේ සිට කිලිනොච්චිය දක්වා වෙරළ තීරයේ ක්‍රියාත්මක කිරීමට නියමිත සංචාරක ව්‍යාපෘතිය නිසා ද මෙම වනෝද්‍යානය අවධානමට ලක් ව තිබේ. මෙම ව්‍යාපෘති හා සමගාමී ව විල්පත්තු වනෝද්‍යානය තුළින් මාර්ගය සකස් කිරීම හා එය විවෘත කර ගැනීමට දරන උත්සාහය අතර ඇති සම්බන්ධය අවබෝධ කර ගැනීම ද ඉතා ම වැදගත් වේ. මේ ආකාරයෙන් බලයට පත් වන ආණ්ඩු විසින් උත්සාහ දරන්නේ ද වත්මන් හා අනාගත පරපුරේ රැකවරණය සඳහා ප්‍රකාශයට පත් කර ඇති මෙම ස්වාභාවික සම්පත් ආරක්ෂා කිරීම වෙනුවට අධිකරණ නියෝග හා අණ පනත් උල්ලංඝනය කරමින් හෝ මෙම රක්ෂිතවල ඉඩම්, සංවර්ධන හෝ ආයෝජන ක්‍රියාවලීන් හෝ ඒ සඳහා වන යටිතල පහසුකම් සැපයීම සඳහා හෝ යොදා ගැනීමට ය. ඒ සඳහා බලයේ සිටින ආණ්ඩුව විවිධ අවස්ථාවල විවිධ දේශපාලඥයන් හා විවිධ සංවිධාන සම්බන්ධ කර ගෙන උත්සාහ දරනු ලැබේ.

විල්පත්තුවේ නීති විරෝධී මාර්ග ඉදි කිරීමේ ඉතිහාසය

ඈත අතීතයේ සිට ම විල්පත්තුව ජාතික වනෝද්‍යානය පිළිබඳ ව දෙස් විදෙස් සංරක්ෂණවේදීන්, සිංහරාජ අඩවිය මෙන් ම මහත් අභිමානයකින් යුතු ව කතා කළේ ය. ඒ අන් කිසිවක් නිසා නොව ලාංකීය ඉතිහාසයේ අක්මුල් සැඟවගත්, වන ජීවීන්ගෙන් පරිපූර්ණ වියළි කලාපීය පරිසර පද්ධති සංකීර්ණයක් වූ නිසා ය. වසර තිහක කාලයක් පැවති රුදුරු එල්.ටී.ටී.ඊ. ත්‍රස්තවාදය තුරන් වීමත් සමඟ ම මෙම වනෝද්‍යානය තව දුරටත් දෙස් විදෙස් වන සත්ත්ව ලෝලීන් ගේ අවදානයට යොමු වනු ඇතැයි අප විශ්වාස කළෙමු. නමුත් සිදු වූයේ ඊට හාත්පසින්ම වෙනස් දෙයකි. පුත්තලම හා මන්නාරම අතර සම්බන්ධතාවය ඇති කිරීම සඳහා යැයි සඳහන් කරමින් 2010 වසරේ දී විල්පත්තුව ජාතික වනෝද්‍යානය හරහා වනාන්තර, විල්ලු හා පුරාවස්තු පිරි භූමි ප්‍රදේශ ගොඩ කරමින් හා කැණීම් කරමින් මාර්ග දෙකක් ඉදි කෙරින. මෙම මාර්ග දෙක ම ඉදි කෙරුනේ පරිසර නීති උල්ලංගනය කරමින් නාවික හමුදාව විසිනි. ඒ සඳහා අවශ්‍ය මූලික ක්‍රියාමාර්ග ගෙන ඇත්තේ නැවත පදිංචි කිරීමේ අමාත්‍යංශයෙනි. පාර්ලිමේන්තුවෙන් සම්මත වූ පරිසර නීති, රාජ්‍ය අංශය විසින් ම මෙලෙස අමු අමුවේ උල්ලංගනය කරද්දී වනජීවීන්ට සිදු වූයේ  අසරණව බලා සිටීම පමණි. එවකට පැවති ආණ්ඩුවේ බැසිල් රාජපක්ෂ අමාත්‍යවරයා ඇතුළු පිරිසක ගේ අවශ්‍යතාව මත නාවික හමුදාවෙන් සිදු කළ නීති විරෝධී මාර්ග සංවර්ධන ව්‍යාපෘතියෙන් පසු ව විල්පත්තු වනාන්තර පද්ධතියට බලපෑම් එල්ල වන නීති විරෝධී ක්‍රියා අඛණ්ඩ ව වර්ධනය විය. වර්තමානයේ නීති විරෝධී ව භාවිත කිරීමට ඉල්ලීම් කරන්නේ ද නාවික හමුදාව විසින් ඉදි කළ මෙම නීති විරෝධී මාර්ග යයි.

පාලන් තුනකින් සමන්විත ව විල්පත්තුව ජාතික වනෝද්‍යානය හරහා ඉදි කළ, සාවද්‍ය ලෙස පරණ මන්නාරම මාර්ගය යැයි සඳහන් කළ මාර්ගයේ දිග වනෝද්‍යානය තුළ දී පමණක් කිලෝමීටර 35 කි. මෙම මාර්ගය එළුවන්කුලම ප්‍රදේශයේ කලා ඔයෙන් (විල්පත්තුව ජාතික වනෝද්‍යානයේ දකුණු මායිමෙන්) ආරම්භවන අතර උප්පුආරු (මෝදරගම් ආරු), පූකුලම් ප්‍රදේශය දක්වා (විල්පත්තු ජාතික වනෝද්‍යානයේ උතුරු මායිම) විහිදේ. කලා ඔයේ සිට කරුවලකුඩා, පොම්පරිප්පු, පෙරිය ඔප්පුවිල්ලු, පෙරිය විල්ලු, සින්න ඔප්පුවිල්ලු, මොල්ලිකුලම, මයිල විල්ලු, කාලි විල්ලු, පූකුලම් හරහා මෝදරගම්ආරු දක්වා ජාතික වනෝද්‍යානය තුළ මාර්ගය ඉදි කර ඇත. මෙම මාර්ගයේ සිට වනාන්තරය තුළට තවත් මාර්ග ජාලයක් ඉදි කර තිබුණි. මේ සඳහා විල්පත්තුව ජාතික වනෝද්‍යානයේ වනාන්තර හා විල්ලු ඉතා විශාල ප්‍රමාණයක් වැනසීම සිදු කර තිබේ. වනෝද්‍යානය තුළ තැනින් තැන වනාන්තර හා විල්ලු පරිසර වල විශාලවල වල් හාරා මාර්ගය සැකසීමට පස් ලබා ගැනීම ද සිදු කෙරින. පූකුලම් ප්‍රදේශයේ ජාතික වනෝද්‍යානය තුළ අක්කර 8 කට වඩා වැඩි ප්‍රදේශයක වනාන්තර එළි කර පස් කඳු කපා, විශාල වලවල් හාරා මාර්ගය ඉදිකිරීමට පස් ලබා ගැනුනි. මෙම ප්‍රදේශයේ කොටියා හෙවත් දිවියන් ගැවසුණු බවට සාධක පවා අප ගේ නිරීක්ෂණයන්ට ලක් විය. පස් ලබා ගැනීමට කැණීම් කළ මෙම විශාල වලවල් අලි – ඇතුන් ගේ මර උගුල් බවට පත් විය.

සාවද්‍ය ලෙස පරණ මාර්ගය හා අලුත් මාර්ගය එකක් යැයි සඳහන් කිරීම

අලුතින් ඉදි කළ මෙම මාර්ගය සමහරුන් හඳුන්වන්නේ පරණ මන්නාරම මාර්ගය ලෙස ය. තවත් අවස්ථාවක A32 මාර්ගය ලෙස ද හැඳින් විය. 2010 හා 2011 වසරවල දී මෙම මාර්ගයේ තැනින් තැන B379 මාර්ගය ලෙස සඳහන් කළ පුවරු දක්නට ලැබුණි. නමුත් මේ සියල්ල සාවද්‍ය ය. පරණ මන්නාරම මාර්ගය ලෙස ඈත ඉතිහාසයේ දී සඳහන් වූ කරත්ත පාරක් විල්පත්තුව හරහා විහි දී තිබී ඇත. නමුත් මෙම මාර්ගය බොහෝ කලක සිට පොදු ජනතාව ගේ භාවිතයෙන් ඉවත් වී ඇති අතර එය ජාතික වනෝද්‍යානය ප්‍රකාශයට පත් කරන විට ජාතික වනෝද්‍යානයට අයත් ව තිබේ. නමුත් මෙම මාර්ගය බහුල ව ජනතාව විසින් භාවිතයට ගත් මාර්ගයක් ලෙස පැවත නැත. ඊට හේතුව මෙම කරත්ත මාර්ගය කිලෝමීටර 40 ක් පමණ වනාන්තරය තුළින් ව්‍යාප්ත ව පැවතීමයි. ඉතිහාසගත කරුණු විශ්ලේෂණාත්මක ව විමසා බැලීමේ දී පෙනී යන්නේ ඉතා සුළු පිරිසක් පමණක් මෙම මාර්ගය ඈත ඉතිහාසය තුළ ඉදහිට භාවිතයට ගෙන  ඇති බවකි. නමුත් දැනට අළුතින් ඉදි කර ඇත්තේ මේ මාර්ගය ලෙස සාවද්‍යව සඳහන් කරමින් වෙනත් අළුත් ම මාර්ගයකි. මෙම මාර්ගය පිළිබඳ ව නිවැරදි තතු මාර්ග සංවර්ධන අධිකාරියේ ද සඳහන් ව නොමැත. එසේ තිබිය දී වැරදි කරුණු ගෙනහැර දක්වමින් අන්තවාදී පිරිස් ඉදිරි යටි අරමුණකින් යුතු ව විල්පත්තුව දෙකඩ කරමින්, වනජීවී වාසස්ථාන වනසමින් මෙම මාර්ගය ඉදි කිරීම සාධාරනීකරණය කෙරිනි.

විල්පත්තුව ජාතික වනෝද්‍යානයේ වනාන්තර හා පුරාවස්තු වනසමින් පරිසර නීති උල්ලංගනය කරමින් සිදු කළ නව මාර්ග ඉදි කිරීම් කටයුතු එතෙකින් නතර නොවුනි. විල්පත්තු ජාතික වනෝද්‍යානයේ වෙරළ තීරය දිගේ මන්නාරම සිට පුත්තලම දක්වා සම්බන්ධතාවය ඇති කිරීමට තවත් අළුතින් මාර්ගයක් ඉදි කිරීම ආරම්භ විය. මෙම මාර්ගය හා මුහුදු වෙරළ අතර කලාපය සංචාරක පුරවරයක් බවට පරිවර්තනය කිරීමට  සුදානම් විය. ඒ සඳහා සියලු සැලසුම් සකස් කර අවසන් ව තිබුණි. ඒ වන විට බැසිල් රාජපක්ෂ අමාත්‍යවරයා වශයෙන් කටයුතු කළ ආර්ථික සංවර්ධන අමාත්‍යංශයෙන් එම ප්‍රදේශයේ සංවර්ධන කටයුතු ඇරඹීමට ආයෝජකයන්ට ද ආරාධනා කර තිබුණි. ඒ අනුව හොර රහසේ මාර්ග ඉදි කරනු ලැබුවා සේම සංචාරක හෝටල් ඉදි කිරීමේ කටයුතු ද ආරම්භ කිරීමට සූදානම් විය.

වෙරළබඩ මාර්ගය ඉදි කිරීම සඳහා විල්පත්තුව ජාතික වනෝද්‍යානයේ වෙරළ තීරයේ ව්‍යාප්ත ව ඇති වැලි කඳු, කටු පදුරු සහිත ලදු කැලෑ බිම්, වියළි මිශ්‍ර සදාහරිත වනාන්තර, වෙරළබඩ පරිසර පද්ධති සහ පුරාවිද්‍යාත්මක වටිනාකම් සහිත විශාල භූමි ප්‍රදේශ ඩෝසර් යන්ත්‍ර මගින් සම්පූර්ණයෙන් ම විනාශ කර දමා තිබුණි. කිලෝමීටර 40 ක් පමණ විල්පත්තුව ජාතික වනෝද්‍යානය තුළ ව්‍යාප්ත ව ඇති මෙම වෙරළබඩ මාර්ගය සැකසීමට මීටර 70 කට වඩා පළලින් යුත් විශාල වනාන්තර තීරයක් විනාශ කෙරින. විජය රජු ගොඩබට තම්බපණ්ණිය, මහා ශිලා යුගයට අයත් පුරාවිද්‍යාත්මක වටිනා බිම් ප්‍රදේශ මෙම දැවැන්ත මාර්ගය ඉදි කිරීම සඳහා ඩෝසර් යන්ත්‍ර ආධාරයෙන් සම්පූර්ණයෙන් ම විනාශ කර දැමුණි. මේ හේතුවෙන් සිදු වන දැවැන්ත විනාශය අවබෝධ කර නොගත් පුද්ගලයන් පුත්තලම හා මන්නාරම අතර සම්බන්ධතාවය ඇති කිරීමට කෙටි ම මාර්ගය ලෙසත් සංචාරක කර්මාන්තය වෙරළ තීරයේ ව්‍යාප්ත කිරීම සඳහාත් වන ඉදිරි දැක්මකින් යුක්තව මෙය සාධාරනීකරණය කෙරින. ඊනියා සංවර්ධනයේ නාමයෙන් මෙසේ සාධාරනීකරණය කරන්නේ ලෝකයේ දියුණු ශිෂ්ඨාචාරයක අක්මුල් ජගත් ප්‍රජාව වෙත ගෙන යාමට ඇති එක ම සාධක සහිත භූමියක් බව ඔවුන් අවබෝධ කර ගෙන නොතිබුණි.

2010 වසරේ දී ආරම්භ කළ විල්පත්තු වන විනාශය හා නීති විරෝධී ක්‍රියා මින් නොනැවතුනි. 2014 වසරේ දී වනෝද්‍යානය තුළ පූකුලම් හා මෝදරගංආරු හරහා ඉදි කළ මොල්ලිකුලම් පාලම අතර සීමාවේ කිලෝමීටරයක් පමණ දිගින් හා කිලෝමීටර 5 ක පමණ පළලින් යුත් විශාල වනාන්තර ප්‍රදේශයක් නාවික හමුදාව විසින් කම්බි කණු යොදා වෙන් කෙරින. ඊට අමතර ව ඒ හා සම්බන්ධ ව පවතින ජාතික වනෝද්‍යානය මායිමේ පිහිටි අක්කර 1000 කට වැඩි විශාලත්වයකින් යුත් වනාන්තර ප්‍රදේශයක් වෙරළ සීමාව ද ඇතුළත්වන පරිදි වෙන් කර තිබූ භූමියට අයත් විය. මේ සම්පූර්ණ වනාන්තර ප්‍රදේශය ආවරණය වන ලෙස පස් බැම්මක් ඉදි කර එම භූමිය තුළ දැවැන්ත සංචාරක ව්‍යාපෘතියක් ක්‍රියාත්මක කිරීමට සැලසුම් කෙරින. මෙම ප්‍රදේශය බහුල වශයෙන් අලි ගැවසුම් ප්‍රදේශයකි. මෙම වෙන් කළ වනාන්තරය කොටස්වලට බෙදී වෙන් වන ආකාරයට මාර්ග ජාලයක් සකස් කර තිබුණි. මෙම මාර්ග පද්ධතියේ සම්පූර්ණ දිග කිලෝමීටර 3 ක් පමණ වූ අතර පළල මීටර 10 – 15 අතර විය. එම සම්පූර්ණ ප්‍රදේශයේ ම වනාන්තර, ඩෝසර් යන්ත්‍ර භාවිතයෙන් එළි කර තිබුණි. තවත් ස්ථානයක අක්කර 3 ක පමණ වනාන්තරය ප්‍රදේශයක් පස් ලබා ගැනීම සඳහා එළි පෙහෙළි කර කැණීම් කෙරින. මෙම ප්‍රදේශයේ ජීවත් වූ නිජබිම් අහිමි වූ අලි – ඇතුන් සකස් කළ මාර්ග දිගේ ගමන් කර ඇති බවට සළකුණු ප්‍රදේශය පුරා ම දැක ගත හැකි විය. මෙම නීති විරෝධී ක්‍රියා එම කාල වකවානුවේ අනාවරණය කිරීමත් සමඟ නතර කිරීමට හැකි විය.

වනාන්තර කුට්ටි වීම හා මාර්ග අනතුරු හේතුවෙන් වන සතුන් දැඩි තර්ජනයක

නීති විරෝධී මාර්ග සකස් කිරීම සඳහා අක්‍රමවත් පස් කැණීම් හා මාර්ගයේ පස් පිරවීම් හේතුවෙන් වර්ෂා කාලයේ දී ඒ ආශ්‍රිත ව පිහිටි විල්ලුමය තෙත් බිම් සියල්ල ගොඩ වීමට ලක් විය. එපමණක් නොව වනෝද්‍යානය කොටස් වලට වෙන් වන ලෙස සකස් කළ මාර්ග හේතුවෙන් විල්පත්තු ජාතික වනෝද්‍යානයේ බටහිර කොටසේ වනජීවී වාසස්ථාන සම්පූර්ණයෙන් ම කුට්ටිකරණය වූහ. ඉන් සිදු වූ ජෛව විවිධත්ව හානිය සුළු පටු නොවුනි. 2010 වසරේ ජනවාරි මස 24 වන දින මෙම මාර්ගය මහජනතාව සඳහා විවෘත වීමත් සමඟ ම වාහන ගමනා ගමනය ඉතා අධික විය. ඒ දේශීය සංචාරකයන් ගේ පැමිණීම නිසා ය. මේ හේතුවෙන් විල්පත්තුව ජාතික වනෝද්‍යානයේ ජීවත් වන සත්ත්ව ප්‍රජාව වනෝද්‍යානයේ කොටස් දෙකකට කොටු වීම සිදු විය. අලි –  ඇතුන් ගේ වාසස්ථාන ඛණ්ඩනය විය. කොටින් ගේ ගොදුරු බිම් ඛණ්ඩනය වීම හේතුවෙන් එම සතුන් ගේ ගහණ ඝනත්වයට දැඩි බලපෑම් එල්ල විය. මාර්ග අනතුරු හේතුවෙන් මිය යන සත්ත්ව ප්‍රජාව අධික වී තිබුණි. මෙම මාර්ගය වාහන ගමනාගමනය සඳහා විවෘත කිරීමෙන් පසුව මාර්ග අනතුරු හේතුවෙන් මිය ගොස් ඇති සත්ත්ව විශේෂ ගණන අධික බව වාර්තා වුනි. මාර්ගය විවෘත කිරීමෙන් පසු ගෙවීගිය මාස කිහිපයක කාලය තුළ මුවන්, වල් ඌරන් හා වලසුන් වාහනවලට හසු වී මිය ගොස් තිබූ අතර පශ්චාත් මරණ පරීක්ෂණයක් හෝ ඒ පිළිබඳව වනජීවී සංරක්ෂණ නිලධාරීන් දැනුවත් කිරීමකින් හෝ තොරව වල දැමීම් සිදු විය. මීට අමතර ව කුඩා සත්ත්ව විශේෂ බොහොමයක් ම නිරන්තරයෙන් වාහන අනතුරුවලට ලක් වීමෙන් මිය යාම සිදු වුනි. මේවා වනජීවීන් වෙනුවෙන් වෙන් කළ වනජීවී වාසස්ථානයක් තුළ සිදු නොවිය යුත්තකි.

වනෝද්‍යානයට ඇතුළු වූ පිරිස් නීති වීරෝධී ක්‍රියා රැසක

ජාතික වනෝද්‍යානය තුළ අළුතින් ඉදි කළ මාර්ගය භාවිතය තහනම් කිරීමට ප්‍රථම එය කෙටි කාල සීමාවක් භාවිත කළ ජනතාව විසින් වනෝද්‍යානයේ ගස්වැල්වලට හානි සිදු කෙරින. පලු ශාකවල ඵල හටගන්නා කාලයේ දී පලු ගෙඩි කැඩීම සඳහා ජාතික වනෝද්‍යානය තුළ මාර්ගය භාවිත කරන පිරිස් පලු ශාකවල අතු කැපීම සිදු කෙරින. ඒ සඳහා විවිධ හානි කර ක්‍රම ද භාවිත කරනු ලැබුණි. ගස්වලට නැග පලු අතුවල ලණු හෝ කඹ ගැට ගසා අනෙක් කෙළවර වාහනවල ගැට ගසා ඇඳීමෙන් පලු අතු කැඩීම සිදු විය. එවිට පලු ගස්වල විශාල අතු පවා කැඩීම සිදු වූ ආකාරය නිරීක්ෂණය විය. එසේ කඩා දමා තිබූ අතුවල ලංකාවේ වියළි කලාපයේ දක්නට ලැබෙන වර්ණ ප්‍රභේද වැඩි ම ගණනක් සහිත රාස්සන (Vanda tessellata) උඩවැඩියා විශේෂය බහුල ව තිබෙනු දැක ගත හැකි විය. මීට අමතර ව ජාතික වනෝද්‍යානය තුළ සකස් කර ඇති මාර්ගවල මිනිසුන් අනවසරින් ඇතුළු වීම ද සිදු විය. ඒ හේතුවෙන් ජාතික වනෝද්‍යානය තුළ වෙනත් අනවසර ක්‍රියා ද සිදු වුනි. මෙවන් හානි කර ක්‍රියා ජාතික වනෝද්‍යානය තුළ සිදු වූයේ අනවසරින් වනෝද්‍යානය තුළ මාර්ග ඉදි කර ජනතාවට ඇතුළු වීමට ඉඩ ප්‍රස්ථාව ලබා දීම හේතුවෙනි.

මේ ආකාරයෙන් වනෝද්‍යානය තුළ මාර්ගය භාවිතය හේතුවෙන් තවත් හානි කර ක්‍රියා රැසක් දැකගන්නට ලැබුණි. විල්පත්තුව ජාතික වනෝද්‍යානය තුළ ක්‍රියාත්මක ආරක්ෂක අංශවලට අයත් නිලධාරීන් ගේ වාහනවලින් දඩමස් ප්‍රවාහනය කර ඒවා කොන්ඩච්චිකුඩා ප්‍රදේශයේ වෙළඳසැලක තිබිය දී හමු විය. මෙය අප ඉතා වගකීමෙන් යුතු ව ලියා තබන අතර ඒ පිළිබඳ ව සාක්ෂි සහිත ව අප අදාළ අංශ එම කාල වකවානුවේ දී දැනුම්වත් කෙරිනි.

ජාතික වනෝද්‍යානය තුළට ආක්‍රමණික ශාක ව්‍යාප්ත වීම

අළුතින් ඉදි කළ මාර්ග හේතුවෙන් ජාතික වනෝද්‍යානය තුළට ආක්‍රමණික ශාක ව්‍යාප්ත වීමේ දැඩි අවධානමක් ඇති විය. වනෝද්‍යානය මැදින් සකස් කළ මාර්ගයේ ජාතික වනෝද්‍යානයෙන් පිටත ප්‍රදේශ නිරීක්ෂණය කළ අවස්ථාවේ දී අපට පෙනී ගියේ ගිනි තණ (Megathyrsus maximum) හා ගඳපාන (Lantana camara) යන දැඩි ආක්‍රමණික ශාක විශේෂ ව්‍යාප්ත ව ඇති බවයි. මෙම ශාකවල බීජ වාහනවල රෝදවල තැවරී ජාතික වනෝද්‍යානය තුළට ව්‍යාප්ත වීමේ හැකියාව පවතී. එසේ ව්‍යාප්ත වුවහොත් වනෝද්‍යානයේ කටු පදුරු සහිත ලදු කැලෑ බිම් ගඳපාන ශාකයේ ආක්‍රමණයටත් විල්ලු පරිසර පද්ධති ගිනිතණ ශාකයේ ආක්‍රමණයටත් ලක් විය හැකි ය.

විල්පත්තුව ජාතික වනෝද්‍යානයේ දකුණු මායිමේ, විශේෂයෙන් ම පුත්තලම සිට එළුවන්කුලම දක්වා ප්‍රදේශයේ වෙරළාශ්‍රිත පරිසර පද්ධතිවලට දැඩි තර්ජන එල්ල කරන ආක්‍රමණික ශාකයක් වන කලපු අන්දර (Prosopis juliflora) ශාකය ව්‍යාප්ත ව තිබේ. මෙම ශාකය විල්පත්තුව ජාතික වනේද්‍යානයේ වෙරළබඩ තීරය දිගේ ඉදි කර ඇති මාර්ගය ඔස්සේ ජාතික වනෝද්‍යානය තුළ වෙරළබඩ පරිසර පද්ධතිවලට ව්‍යාප්ත විය හැකි ය. එසේ ව්‍යාප්ත වුවහොත් වෙරළබඩ පරිසර පද්ධති දැඩි තර්ජනයකට ලක් විය හැකි බව අප විසින් එම කාල සීමාවේ දී අවධාරණය කෙරින. වර්තමානය වන විට අප සඳහන් කළ ආකාරයෙන් ම කෙටි කාලයක් මෙම මාර්ගය විවෘත කර තැබීම හේතුවෙන් ජාතික වනෝද්‍යානය තුළ මෙම මාර්ග ආශ්‍රිත ව පිහිටි පරිසර පද්ධති තුළ ගිනි තණ ශාකය ව්‍යාප්ත වී තිබෙනු නිරීක්ෂණය කළ හැකි විය.

ලුණුගම්වෙහෙර, බුන්දල, උඩවලව වැනි ජාතික වනෝද්‍යානවල ව්‍යාප්ත ව ඇති ආක්‍රමණික ශාකවන හඳපාන, ගිනිතණ හා කලපු අන්දර ශාක ඉවත් කිරීම සඳහා විශාල මුදලක් වනජීවී සංරක්ෂණ දෙපාර්තමේන්තුවට දැරීමට සිදු ව තිබේ. ඒ ඔස්සේ ඇති වී තිබෙන අනෙක් තර්ජන නම් මෙම ජාතික වනෝද්‍යානවල ජීවත්වන සතුන් ගේ ගොදුරු බිම් හා වසම් ප්‍රදේශ සීමා වීම හේතුවෙන් එම සතුන් ගේ ගහනයන් දැඩි ලෙස තර්ජනයට ලක් ව තිබීමයි. මීට අමතර ව එම ජාතික වනෝද්‍යාන ආශ්‍රිත ප්‍රදේශවල අලි – මිනිස් ගැටුම දැඩි ලෙස වර්ධනය වීමට ද හේතු වී ඇත්තේ ජාතික වනෝද්‍යානය තුළ ආක්‍රමණික ශාක ව්‍යාප්තිය හේතුවෙන් සතුන් ගේ ආහාර බිම් සීමා වීම ය. මෙම තත්ත්වයට විල්පත්තුව ජාතික වනෝද්‍යානය ද අනාගතයේ දී ගොදුරු කිරීමට මෙම මාර්ගය විවෘත කිරීම හේතු විය හැකි ය.

වනෝද්‍යානයේ ජෛව සම්පත් හා පුරා වස්තු අනතුරේ

විල්පත්තුව ජාතික වනෝද්‍යානය යනු වනෝද්‍යාන සංකීර්ණයකි. කොටස් පහකින් යුක්ත විල්පත්තුව ජාතික වනෝද්‍යානයේ පළමු කොටස ප්‍රකාශයට පත් කළේ 1938 පෙබරවාරි 25 වන දා ය. අනුරාධපුරය හා පුත්තලම දිස්ත්‍රික්ක දෙකට අයත් එහි භූමි ප්‍රමාණය හෙක්ටයාර 54953.2 කි. ඉන්පසුව 1967.04.28 වන දින හෙක්ටයාර 7021.4 ක් ද, 1969.08.27 වන දින හෙක්ටයාර 22981.4 ක් ද, 1969.12.05 වන දින හෙක්ටයාර 25252.9 ක් හා 1973.12.07 වන දින හෙක්ටයාර 21484.8 ක් වශයෙන් කොටස් 5 ක් ලෙස විල්පත්තුව ජාතික වනෝද්‍යානය ප්‍රකාශයට පත් කර තිබේ. අද වන විට ඊට අයත් සම්පූර්ණ වනාන්තර ප්‍රමාණය හෙක්ටයාර 131693.7 කි. මීට අමතර ව විල්පත්තුව ජාතික වනෝද්‍යානය තවත් වනාන්තර ගණනාවක් හා සම්බන්ධ වෙමින් විශාල වනජීවී වාසස්ථානයක් ගොඩ නැගී ඇත. එනම් විල්පත්තුව උතුරු අභය භූමිය, තම්බෝව අභය භූමිය, මාවිල්ලු සංරක්ෂණ වනාන්තරය හා වීරක්කුලිචෝලේ වන රක්ෂිතය වැනි රක්ෂිත වනාන්තර ය. මෙසේ විල්පත්තුව හා සම්බන්ධ ව ගොඩ නැගී ඇති අනෙක් වනාන්තර පරිසර පද්ධති හේතුවෙන් වනජීවීන් අති බහුතරයකට ලැබුණු රැකවරණය හා කලා ඔය, මෝදරගංආරු, කල් ආරු වැනි ගංඟාවන් ගේ ජල පෝෂක ප්‍රදේශවලට ලැබුණු රැකවරණය මෙම මාර්ගය ඉදි කිරීම සඳහා එළි පෙහෙළි කළ වනාන්තර හා පස් කැපීම හේතුවෙන් බලපෑමට ලක් වී ඇත.

ලෝක සංරක්ෂණ සංගමය මගින් 2006 වසරේ දී සකස් කළ Resource Inventory of Wilpattu National Park නම් වාර්තාවට අනුව විල්පත්තුව යනු විවිධ පරිසර පද්ධති අති බහුතරයකින් සැදුම්ලත් ජාතික වනෝද්‍යානයකි. වියළි මිශ්‍ර සදාහරිත වනාන්තර, කටු පඳුරු සහිත ලඳු කැළෑ, ගංඟාශ්‍රිත වනාන්තර, තෙත් විල්ලු තෘණ භූමි, වියළි පතන තෘණ භූමි, පිටාර තැනි, වගුරු බිම්, වැව්, කඩොලාන, ලවණ වගුරු, වැලි කඳු හා වෙරළබඩ පරිසර මෙහි දැක ගත හැකි ය. මෙම විවිධ වූ පරිසර පද්ධති වලින් කුල 123 කට අයත් මල් පිපෙන ශාක විශේෂ 623 ක් පමණ වාර්තා වී ඇත. ඉන් විශේෂ 27 ක් ලංකාවට ආවේණික වේ. සමනලුන්, මත්ස්‍යයන්, උභයජීවීන්, උරගයන්, පක්ෂීන් හා ක්ෂීරපායීන් යන සත්ත්ව කාණ්ඩ හයට අයත් විශේෂ 328 ක් පමණ විල්පත්තුවෙන් වාර්තා වන අතර ඉන් විශේෂ 21 ක් ලංකාවට ආවේණික වේ.

විල්පත්තුව යනු වනජීවී වාසස්ථාන හා ගංඟාවන් ගේ ජල පෝෂක ප්‍රදේශයක් පමණක් නොව පුරා විද්‍යාත්මක වටිනාකම් රැසකින් සමන්විත භූමියකි. ඉන්දියාවෙන් පැමිණි විජය රජු ගොඩබට තම්බපන්නිය පිහිටා ඇත්තේ ද විල්පත්තුව ජාතික වනෝද්‍යානයේ ය. විජය රජු ගේ ආගමනයට පෙර කුවේණිය තුළින් ඉස්මතු වූ ලාංකේය සංස්කෘතියේ අක් මුල් රැදී ඇත්තේ ද විල්පත්තුව ජාතික වනෝද්‍යානය තුළ ය.

සම්පත් ගුණතිලක විසින් 2006 වසරේ දී සකස් Archaeologically important sites in Wilpattu National Park නම් වාර්තාවට අනුව විල්පත්තුව ජාතික වනෝද්‍යානය තුළ පුරා විද්‍යාත්මක වටිනාකම් සහිත ප්‍රදේශ 68 ක් පමණ හඳුනාගෙන තිබේ. ඒ අතර පොසිල සහිත ප්‍රදේශ, ප්‍රාග් ඓතිහාසික න්‍යෂ්ඨාවශේෂ සහිත භූමි, ඉපැරණි සොහොන් බිම්, මෙසෝලිතික යුගයේ ගල් ආයුධ සහිත ස්ථාන මෙම ජාතික වනෝද්‍යානය තුළින්  හමු වී තිබේ. පොම්පරිප්පු ප්‍රදේශයේ හමුවන මහා ශිලා යුගයේ සොහොන් බිම්වල අඩි 3½ ක් පමණ උස විශාල මැටි වළංවල බහා ලූ මිනී අළු බඳුන් හමු වේ. මේවා මධ්‍ය ශිලා යුගයේ බලංගොඩ මානවයාට වඩා දියුණු මිනිස් ශිෂ්ටාචාරයේ සාධක හමුවන බිම් ය. මෙම අක්‍රමවත් නීති විරෝධී මාර්ග සංවර්ධනය හා වනෝද්‍යානයේ කැණීම් හේතුවෙන් මෙවන් පුරා වස්තු රැසක් අහිමි විය. මේ සියල්ල නැවත අනතුරට ලක් වන ආකාරයෙන් තීන්දු තීරණ ගැනීමට හෝ නීති විරෝධී ක්‍රියා වනෝද්‍යානය තුළ සිදු කිරීමට කිසිදු කණ්ඩායමකට අවස්ථාව ලබා දිය යුතු නැත.

ජාතික වනෝද්‍යානයට නීති විරෝධී ව ඇතුළු වීම වැළැක්වීම

විහාරගල විජයකිත්ති හිමි, අලි සබ්රි රහීම් හා කේ. කාදර් මස්තාන් ඇතුළු පිරිස මේ වන විට ජනතාව සංවිධාන ගත කරමින් සිටින්නේ ජූලි මස 7 වන ඉරිදා බලහත්කාරයෙන් ජාතික වනෝද්‍යානයට ඇතුළු වී මෙම මාර්ගය භාවිත කිරීමට ය. මෙය 2022 අංක 07 දරන පනතින් අවසන් වරට සංශෝධිත වන සත්ව හා වෘක්ෂලතා ආරක්ෂක ආඥාපනත උල්ලංඝනය කිරීමකි. මෙම පනතේ 5(1) උප වගන්තියට අනුව අවසර පත්‍රයක බලය යටතේ හැර ජාතික වනෝද්‍යානයකට ඇතුළු වීම හා රැදී සිටීම නීති විරෝධී වේ. මෙවන් නීති විරෝධී ක්‍රියාවක නිරත වන පුද්ගලයකු පනතේ 67ආ.(1) උප වගන්තියට අනුව වරෙන්තුවක් නොමැතිව අත්අඩංගුවට ගත හැකි ය. එය  සංඥේය වරදකි. පනතේ 63 වන වගන්තියට අනුව එවන් ක්‍රියාවක නිරත පුද්ගලයකු මහේස්ත්‍රාත් අධිකරණයකට ඉදිරිපත් කිරීමෙන් පසු ව වැරදිකරුවකු කරනු ලැබූ විට පනතේ 10(ඈ) උප වගන්තියට අනුව රුපියල් පහළොස් දහසකට නොඅඩු හා පනස් දහසකට නොවැඩි දඩයකට හෝ වසර 2 ත් 5 ත් අතර සිරදඩුවමකට හෝ මෙම දඩුවම් දෙකට ම යටත් කළ හැකි ය. මීට අමතර ව මෙවන් වරදක් සිදු කිරීම සඳහා ආධාර හෝ අනුබල ලබා දෙන පුද්ගලයකු ද පනතේ 59 වන වගන්තියට අනුව අත්අඩංගුවට ගත හැකි අතර වැරදිකරුවකු කරනු ලැබූ විට මෙම දණ්ඩනයන්ට ම යටත් කළ හැකි ය.

මෙම මාර්ගය විවෘත කර ගැනීමේ අරමුණින් ජාතික වනෝද්‍යානයට අනවසරින් ඇතුළු වී නීති විරෝධී ලෙස ක්‍රියා කරන ඕනෑ ම පුද්ගලයකුට එරෙහි ව වනසත්ව හා වෘක්ෂලතා ආරක්ෂක ආඥාපනත ක්‍රියාවේ යෙදවීමට වනජීවී සංරක්ෂණ දෙපාර්තමේන්තුව කටයුතු කළ යුතු ය. එසේ නොමැති වුවහොත් නීතියේ ආධිපත්‍යය, ප්‍රජාතන්ත්‍රවාදී පාලන ව්‍යුහය, නීතියේ සමානාත්මතාව යන සියල්ල බිඳ වැටී නීතියේ පාලනය කෙරෙහි සමාජයට ඇති විශ්වාසය අහිමි වී යනු ඇත.

සජීව චාමිකරඉඩම් හා කෘෂිකර්ම ප්‍රතිසංස්කරණ ව්‍යාපාරය

Post Comment