X-PRESS PEARL නිලධාරීන්ට සිතාසි නිකුත්කිරීම අධිකරණය ප්‍රතික්ෂේප කරයි

X-PRESS PEARL නිලධාරීන්ට සිතාසි නිකුත්කිරීම අධිකරණය ප්‍රතික්ෂේප කරයි
Spread the love

X-PRESS PEARL නෞකාවේ ගින්න ඇතැවී තිබුණේ නයිට්‍රික් අමිලයෙන් බවට තොරතුරු අනාවරණ වුවත් එම ගින්න ප්‍රථමයෙන් ඇමෝනියා අමිලයෙන් හටගෙන ඇති බවට දැනට කරන ලද විමර්ෂණවලදී හෙළි වී ඇති බව අපරාධ පරීක්‍ෂණ දෙපාර්තුමේන්තුව අද (07) අධිකරණය දැනුම් දුන්නේය.

පැමිණිල්ල වෙනුවෙන් අධිකරණයේ පෙනී සිටි අපරාධ පරීක්‍ෂණ දෙපාර්තමේන්තුව කරුණු ඉදිරිපත් කරමින් සඳහන් කර සිටියේ X-PRESS PEARL නෞකාවේ වගකිය යුත්තන් හිතාමතාම යම් කරුණු වසන්කිරීමක් සිදුකර අප රටේ මුහුදු සීමාවට පැමිණ ඇති බව මෙතෙක් කරන ලද විමර්ෂණවලදී තහවුරු වී ඇති බවය.

නෞකාවේ කපිතාන්වරයා ඇතුළු නිලධාරීන්ගෙන් ලබාගත් සියලුම ප්‍රකාශ එකිනෙකට පරස්පර බවත් ඒ හේතුවෙන් වැඩි දුරටත් විමර්ෂණ සිදුකෙරෙමින් පවතින බවත් අපරාධප පරීක්‍ෂණ දෙපාර්තමේන්තුව අධිකරණයට දැනුම් දුන්නේය.

X-PRESS PEARL නෞකාවේ ගිනිගැනීමේ සිද්ධිය සම්බන්ධයෙන් වන මහේස්ත්‍රාත් පරීක්‍ෂණය අද (07) යළි කොළඹ අතිරේක මහේස්ත්‍රාත් ශිලනි පෙරේරා මහත්මිය හමුවේ කැඳවූ අවස්ථාවේදී මෙම කරුණු ඉදිරිපත් විය.

නොෟකාවේ මෙරට නියෝජිත ආයතනය නෞකාවේ කපිතාන්වරයා වෙත යවා තිබූ ඊමේල් කීපයක් මකාදමා ඇති බවට තොරතුරු හෙළිවී ඇති බවත් ඒ හේතුවෙන් එම ඊමේල් ලිපිනයට අයත් ‘ආරක්‍ෂිත ඊමේල් ගෙනුව’ තම දෙපාර්මේන්තුවට ලබාදෙන ලෙසට නැවේ දේශීය නියෝජිතයාට නියෝගයක් නිකුත් කරන ලෙස ද අපරාධ පරීක්‍ෂණ දෙපාර්තමේතුව අධිකරණයෙන් ඉලීමක් කළේය.

නෞකාවේ කපිතාන්වරයා සහ මෙරට නියෝජිතයා ඇතුළු එහි කාර්ය මණ්ඩලයේ දස දෙනකුට සිතාසි නිකුත් කරන ලෙස අපරාධ පරීක්‍ෂණ දෙපාර්තමේන්තුව අධිකරණයෙන් ඉල්ලීමක් කළේය.

මෙම සිද්ධියට අදාළව සමුද්‍රිය දූෂණ වැලැක්වීමේ පනත ප්‍රකාරව ඉහත නිලධාරීන්ට අධිකරණයේ පෙනී සිටින ලෙසට සිතාසි නිකුත්කිරීමේ බලයක් මෙම අධිකරණයට නොමැත බව විත්තිකරුවන් වෙනුවෙන් පෙනී සිටි නීති මණ්ඩලය අධිකරණයට කරුණු ඉදිරිපත් කළේය.

විත්තිකරුවන් වෙනුවෙන් පෙනී සිටි නීති මණ්ඩලය අධිකරණයට කළ කරුණු සැලකිල්ලට ගත් මහේස්ත්‍රාත්වරිය අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව විසින් කළ ඉල්ලීම ප්‍රතික්ෂේප කළ නමුත් X-PRESS PEARL නෞකාවේ වී.ඩී.ආර්. යන්ත්‍රයේ දත්ත පිළිබඳව තව දුරටත් පරීක්‍ෂණ සිදුකරගෙන යෑමට ද මෙහිදී අපරාධ පරීක්‍ෂණ දෙපාර්මේන්තුවට අවසර ලබාදුන්නාය.

මුහුදේ ගිලෙමින් ඇති X-PRESS PEARL නෞකාවේ ආරක්‍ෂාව තර කරන ලෙස නාවික හමුදාවට නියෝගයක් නිකුත් කිරීමට ද අතිරේක මහේස්ත්‍රාත්වරිය පියවර ගත්තාය.

පැමිණිල්ල වෙනුවෙන් නීතිපතිවරයා නියෝජනය කරමින් නියෝජ්‍ය සොලිසිටර්ජනරාල් මාධව තෙන්නකෝන් මහතා සමඟ අපරාධ පරීක්‍ෂණ දෙපාර්තමේන්තුවේ අධ්‍යක්‍ෂවරයා ප්‍රමුඛ නිලධාරී මණ්ඩලය අධිකරණයේ පෙනී සිටියහ.