X-PRESS PEARL නෞකාවේ ව්‍යසනයේ අලුත්ම තත්ත්වය කියන සුපිරි කතා 05ක්

X-PRESS PEARL නෞකාවේ ව්‍යසනයේ අලුත්ම තත්ත්වය කියන සුපිරි කතා 05ක්
Spread the love

කොළඹ වරායට ආසන්න මුහුදේදී විනාශයට පත් වූ X-PRESS PEARL නෞකාව ගැන මහජන උනන්දුව තව දුරටත් දැල්වෙන සිදුවීම් දිනපතා වාර්තා වෙනවා. ඒ එහි පරිසර විනාශයට අමතරව වන්දි ලබා ගැනීම සහ වගකිව යුත්තන්ට නිසි දඩුවම් ලබාදීම ගැනයි. එසේම නෞකාව විනාශයෙන් වළක්වා ගැනීමට තිබූ අවස්ථාවන් පැහැර හැරීම ගැන ද වාර්තා වෙනවා.

මේ අතර X-PRESS PEARL නෞකාවේ කන්ටේනර් බහාලුම් 1486ක් පැවැති බවත් ඒ අතර අන්තරායකාරී ද්‍රව්‍ය අඩංගු කන්ටේනර් 81ක් පැවති බව සමුද්‍රීය පරිසර ආරක්ෂණ අධිකාරියේ සහාපති, නීතිඥ දර්ශනී ලහදපුර මහත්මිය මාධ්‍ය වෙත පවසා තිබෙනවා.

මේ අතර පරිසරවේදීන්ගේ අවධානය මේ අන්තරායකාරී කන්ටේනර් ගැන මෙන්ම නෞකාවේ පැවැති බව කියන ඉන්ධන මෙට්‍රික් ටොන් 300 ගැනත් අවධානය යොමු තිබෙනවා. ඔවුන් කියන්නේ ඉදිරියේදී තෙල් විසිරීමක් සිදුවිය හැකි බවයි. ඊට ප්‍රතිචාර දක්වන සමුද්‍රීය පරිසර ආරක්ෂණ අධිකාරිය පවසන්නේ එමගින් සිදුවිය හැකි හානිය අවම කිරීම සඳහා අවශ්‍ය පියවර ගෙන ඇති බවයි.

Over Rs 50 bn saving from milk powder import drop in 2020 | Daily News

නොසැලකිල්ල නිසායි මේක වුණේ – මාස්ටර් ඩයිවර්ස් සභාපති ආරියසීල වික්‍රමනායක

මේ අතර ජාත්‍යන්තර පිළිගත් දේශීය සමාගමක් වන මාස්ටර් ඩයිවර්ස් සමාගමේ සභාපති ආරියසීල වික්‍රමනායක ‘අනින්දා‘ පුවත්පත සමග කළ ප්‍රකාශයක් ගැන බොහෝ දෙනකුගේ අවධානය යොමුව තිබෙනවා. ඔහු අනිද්දා පුවත්පත සමග පවසා ඇත්තේ නෞකාව විනාශයට පත් වුණේ අදාළ සිදුවීම කළමනාකරණයට එක් වූ බලධාරීන්ගේ නොසැලකිල්ල නිසා බවයි.

එස්ක්ප්‍රස් පර්ල් නෞකාව විශාල නෞකාවක් වීම නිසා එය ගිනිගැනීමෙන් පසු සමබරතාව පවත්වාගෙන ඇදගෙන යෑමට හැකියාවක් නොතිබුණු බවත් නැව මෙලෙස ගිලී යෑම සිදු වුණේ නොසැලකිල්ල නිසා බවත් මාස්ටර් ඩයිවර්ස් සමාගමේ සභාපති ආරියසීල වික්‍රමනායක පැවසීය.

නැව ගිනිගැනීමෙන් පසු, කන්ටේනර් පෙට්ටි මුහුදට වැටීමෙන් බර අඩු වූ බව ඔහු කීය. පුංචි නැවක් ගිලීමට නොදී සමබරතාව පවත්වාගනිමින් ඇදගෙන යෑම සඳහා බාහිරින් හයිඩ්‍රොලික් ටැංකි යෙදවීමේ හැකියාව තිබෙන නමුත් මෙවැනි දැවැන්ත නැව්වලට බාහිරින් හයිඩ්‍රොලික් ටැංකි යෙදවිය නොහැකි බව ඔහු පැහැදිලි කළේය. මෙවැනි විශාල නැව්වල සමබරතාව සඳහා හයිඩ්‍රොලික් ක්‍රමවේද තිබෙන බව ඔහු කීය.

‘දැන ගියොත් කතරගම-නොදැන ගියොත් අතරමග’ යනුවෙන් යෙදුමක් ඇති බව සඳහන් කරමින් ඔහු පැවසුවේ ගිනිගැනීමෙන් පසු ඇදගෙන යෑම වෙනුවට නැව ගිනිගැනීමට පෙර බේරගැනීමේ හැකියාව තිබුණු බවය.

නැව් ඇදගෙන යෑම තමන්ගේ ආයතනයේ ප්‍රධාන කටයුත්තක් බවත්, මෙවැනි අවස්ථාවල මැදිහත්වීම තමන්ගේ ආයතනය වසර ගණනාවක් තිස්සේ වෘත්තීයමය වශයෙන් සිදු කරන බවත් ඔහු කීය.

නැව ගිනිගත් මොහොතේ සිට මෙම විෂය පිළිබඳ දැනුමක් ඇති තමන්ගේ ආයතනය වැනි පාර්ශ්වයන්ගේ සහයෝගය ලබා නොගත් බවත්, නිසි ක්‍රියාමාර්ග නොගෙන නැව ගිනිගෙන අවසන් වන තුරු නිසි ප්‍රතිචාරයක් දැක්වීමට අසමත් වූ බවත් ඔහු පැවසීය. තම ආයතනයේ සහයෝගය මුල්ම මොහොතේ ලබා ගත්තේ නම් ගින්න නිවා නැවේ බඩු භාණ්ඩ පවා බේරාගැනීමේ ඉඩක් තිබුණ බව ඔහු ප්‍රකාශ කළේය‘‘ (ජූනි 04 වැනි දින අනිද්දා පුවත්පත)

නැවේ ගින්නෙන් වූ හානිය සම්බන්ධව වරාය වෘත්තීය සමිති ජනාධිපති කොමිෂන් සභාවක් ඉල්ලයි

මේ අතර X-PRESS PEARL නැව ගිනිගෙන මුහුදුබත්වීම සම්බන්ධව වගකිවයුත්තන් සොයා දඬුවම් පැමිණවීම, සිදුව ඇති හානිය පිළිබඳව විධිමත් සොයා බැලීමක් සිදු කිරීම, අගතියට පත් පාර්ශවවලට වන්දි ලබා දීම ආදී කරුණු සඳහා කඩිනමින් ජනාධිපති කොමිෂන් සභාවක් පත්කරන ලෙස සමස්ත ලංකා වරාය පොදු සේවක සමිතිය ජනාධිපතිවරයාගෙන් ඉල්ලා සිටිනවා.

මේ සම්බන්ධව එම සංගමයේ ලේකම් නිරෝෂන් ගොරකානගේ සිය අත්සන සහිතව ඊයේ (04) ජනාධිපතිවරයා වෙත ලිපියක් යොමුකර තිබෙනවා. ජාත්‍යන්තර නාවික ක්ෂේත්‍රය තුළ කොළඹ වරායට විශාල කීර්තියක් අත්කරගෙන ඇති බවත් එය අතීතයේ සිටි විෂය පිළිබඳව අවබෝධයක් සහිත ඇමතිවරුන්, සභාපතිවරුන්, කීර්තිමත් නිළධාරීන් හා අති දක්‍ෂ සේවකයින්ගේ සාමූහික මැදිහත් වීම්වල ප්‍රතිඵල මත සිදු වූවක් බවත් නිරෝෂන් ගොරකානගේ එම ලිපිය මගින් පෙන්වා දෙනවා.

එක්ස් – ප්‍රේස් පර්ල් නෞකාවෙන් පරිසරයට සිදුව ඇති හානිය අධ්‍යනයට බ්‍රිතාන්‍යයේ තාක්ෂණික සහාය ඉල්ලයි

ශ්‍රී ලංකාවේ බ්‍රිතාන්‍ය මහ කොමසාරිස් සාරා හල්ටන් මහත්මිය (Sarah Hulton) සහ ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා අතර හමුවක් අද (04) පෙරවරුවේ ජනාධිපති කාර්යාලයේදී පැවැති අතර එහිදී ජනාධිපතිවරයා නෞකාවේ ගින්න ගැන පරීක්ෂණ පැවැත්වීම බ්‍රිතාන්‍යයේ සහාය ඉල්ලා සිටි බව ජනාධිපති මාධ්‍ය ඒකකය විසින් නිකුත් කළ නිවේදනයක සදහන් වුණා. (එක්ස් – ප්‍රේස් පර්ල් නෞකාවෙන් පරිසරයට සිදුව ඇති හානිය අධ්‍යනයට බ්‍රිතාන්‍යයේ තාක්ෂණික සහාය ලබා දෙන ලෙස ජනාධිපතිතුමා ඉල්ලා සිටියේය – මාධ්‍ය නිවේදනයෙන් උපුටා ගන්නා ලදි)

ගිනිගැනීම සම්බන්ධ මූලික අයිතිවාසිකම් පෙත්සමක්

මේ අතර එක්ස්ප්‍රස් පර්ල් නෞකාව ගිනිගැනීම නිසා හටගෙන ඇති පරිසර හානිය සහ ජනතාවට එල්ලවී ඇති බලපෑම වෙනුවෙන් පරිසර හිමිකම් කණ්ඩායම් වන පාරිසරික යුක්තිය පිළිබඳ මධ්‍යස්ථානය සහ ධීවරයින් ක්‍රියාකාරීන් විසින් අද (04) මූලික අයිතිවාසිකම් පෙත්සමක් ගොනු කළා.

නෞකාවේ කපිතාන්වරයා සහ කාර්ය මණ්ඩලය රඳවා තබා ගැනීමට අවශ්‍ය පියවර ගන්නා ලෙසත්, නෞකාවේ හිමිකරුවන්ට සහ එහි නියෝජිතයින්ට එරෙහිව අවශ්‍ය සාපරාධී හා සිවිල් ක්‍රියාමාර්ග ගන්නා මෙන් පෙත්සම්කරුවෝ ඉල්ලා සිටිති.

එසේම මෙවැනි ආපදා ඉදිරියේදී වීම වැළැක්වීමට අදාළ නීති හා රෙගුලාසි සැදීමට රජයට නියෝග කරන ලෙස ද ඉල්ලා ඇත.

එක්ස්ප්‍රස් පර්ල් නෞකාව අයත් සමාගමේ ප්‍රධාන විධායක නිලධාරිවරයා විදේශ මාධ්‍ය සාකච්ඡාවකට සහභාගිවෙමින් ඇතිවූ සිද්ධිය පිළිබදව තම කණගාටුව පළ කළේය.

ඔහු පැවසුවේ පවතින සංචාරණ සීමා හේතුවෙන්, සිදුවී ඇති හානිය අවම කරගැනීම සඳහා පිරිසිදු කිරීම වැනි කාර්යයවල යෙදීමට අවශ්‍ය පුද්ගලයින් ලබාදිය නොහැකි වූවත් අවශ්‍ය යාන්ත්‍රික පහසුකම් සැපයීමට දැනටමත් තම සමාඟම කටයුතු කර ඇති බව ඔහු කියා සිටියේය.

පෙත්සම්කරුවන් කවුද?

  • පාරිසරික යුක්තිය පිළිබඳ මධ්‍යස්ථානය (සහතිකය) සීමිත සමාගම,
  • එහි විධායක අධ්‍යක්ෂ විතානගේ දොන් හේමන්ත රංජිත් සිසිර කුමාර
  • විජේතුංග අප්පුහාමිගේ හර්මන් කුමාර
  • අරුණ රොෂාන්ත ප්‍රනාන්දු.

වග උත්තරකරුවන් කවුද?

වග උත්තරකරුවන් 13 දෙනෙකි:

  • සමුද්‍රීය පරිසර ආරක්ෂණ අධිකාරිය
  • ශ්‍රී ලංකා වරාය අධිකාරිය
  • ජෙනරාල් (විශ්‍රාමික) ආර්. එම්. දයා රත්නායක, සභාපති – ශ්‍රී ලංකා වරාය අධිකාරිය
  • ඒ ඩබ්ලිව් සෙනෙවිරත්න, අධ්‍යක්ෂ ජනරාල් – වෙළෙඳ නැව්
  • මධ්‍යම පරිසර අධිකාරිය
  • ඒ. හේමන්ත ජයසිංහ, අධ්‍යක්ෂ ජනරාල් – මධ්‍යම පරිසර අධිකාරිය
  • ආර්.ඒ.එස්. රණවක, අධ්‍යක්ෂ ජනරාල් – වෙරළ සංරක්ෂණය සහ වෙරළ සම්පත් කළමනාකරණ දෙපාර්තමේන්තුව,
  • ආචාර්ය පාලිත කිත්සිරි, අධ්‍යක්ෂ ජනරාල් -ජාතික ජලජ සම්පත් පර්යේෂණ සහ සංවර්ධන ඒජන්සිය,
  • එස්.ජේ. කහවත්ත, අධ්‍යක්ෂ ජනරාල් – ධීවර හා ජලජ සම්පත් දෙපාර්තමේන්තුව
  • රෝහිත අබේගුණවර්ධන – වරාය හා නාවික අමාත්‍ය,
  • මහින්ද අමරවීර – පරිසර අමාත්‍ය
  • ආචාර්‍ය නාලක ගොඩහේවා – රාජ්‍ය අමාත්‍ය – නාගරික සංවර්ධනය, වෙරළ සංරක්ෂණය, අපද්‍රව්‍ය බැහැර කිරීම සහ ප්‍රජා පිරිසිදුකම,
  • එක්ස්ප්‍රස් ෆීඩර්ස් (X-Press Feeders)
  • සී කන්සෝර්ටියම් ලංකා (පුද්) සමාගම – (එක්ස්ප්‍රස් ෆීඩර්ස් හි දේශීය නියෝජිතයා
  • නීතිපති

පෙත්සම්කරුවන් ඉල්ලා සිටින ප්‍රධාන කරුණු මොනවාද?

  • ධීවරයින්ට හා හානියට පත් ප්‍රදේශවල ධීවර කර්මාන්තයට සිදු වූ පාඩුව වෙනුවෙන් වන්දි ගෙවන ලෙස වගඋත්තරකරුවන්ට උපදෙස්.
  • සංචාරක කර්මාන්තයට හා හානියට පත් ප්‍රදේශවල සංචාරක කර්මාන්තයේ නියුතු අයට සිදුවූ පාඩුව සඳහා වන්දි.
  • විශේෂඥ කමිටුවක් පත් කිරීම මගින් මහජනයාට සිදුවිය හැකි හා සෞඛ්‍යමය බලපෑම් තක්සේරු කරන ලෙසට බලධාරීන්ගෙන් ඉල්ලා සිටින අතර එම මූලික හා අවසාන වාර්තා අධිකරණයට ඉදිරිපත් කර එමගින් නිර්දේශිත අවශ්‍ය පියවර ගන්නා ලෙස බලධාරීන්ට උපදෙස් දෙන ලෙසත්, 2008 අංක 35 දරණ සමුද්‍ර දූෂණය වැළැක්වීමේ පනතේ හෝ වෙනත් නීතිවල විධිවිධාන ප්‍රකාරව වන්දි ලබා ගැනීම සඳහා අවශ්‍ය පියවර ගන්නා ලෙස බලධාරීන්ට උපදෙස් දීම.
  • එම්වී එක්ස්ප්‍රස් පර්ල් නෞකාවෙන් බැහැරවී ඇති ප්ලාස්ටික් පෙති / නර්ඩ්ස් සහ අනෙකුත් සුන්බුන් පරිසර හිතකාමී ලෙස බැහැර කරන ලෙස හෝ නැතහොත් එම අපද්‍රව්‍ය නැවත ප්‍රති අපනයනය කිරීමට 11 වන වගඋත්තරකරු වන එක්ස්-ප්‍රෙස් ෆීඩර්ස් සහ 12 වන වගඋත්තරකරු වන දේශීය නියෝජිත සී කන්සෝර්ටියම් ලංකා වෙත යොමු කිරීම.
  • සියලුම අලාභ හා වන්දි මුදල් කැපවූ ගිණුමකට බැර කරන ලෙසත්, ප්‍රදානය කරන ලද වන්දි සහ / හෝ හානි උපයෝගී කර ගෙවීම් කරන ආකාරය සහ / හෝ භාවිත කිරීමට අදහස් කරන ආකාරය ගැන අධිකරණය දැනුවත් කිරීම.
  • සමුද්‍රීය ආරක්ෂාව වැඩිදියුණු කිරීම සහ ඕනෑම ආකාරයක සමුද්‍ර ව්‍යසනයකට සාර්ථකව හා කඩිනමින් ප්‍රතිචාර දැක්වීම සඳහා ජාතික ප්‍රතිපත්තියක් සහ / හෝ විය හැකි දේ පිළිබඳ සැලැස්මක් සකස් කිරීමට බලධාරීන්ට උපදෙස් දීම.
  • මේ ආකාරයේ තත්ත්වයන්ට මුහුණ දීම සඳහා අදාළ ජාත්‍යන්තර සම්මුතීන් අනුමත කිරීමට අවශ්‍ය මාර්ගෝපදේශ සම්පාදනය කිරීමට, අදාළ ගිවිසුම්වලට එළඹීමට සහ පියවර ගැනීමට බලධාරීන්ට උපදෙස් දීම.

මේ අතර සමුද්‍රීය පරිසර ආරක්ෂණ අධිකාරියේ සභාපතිවරයා ඊයේ (04) මාධ්‍ය හමුවේ පවසා සිටියේ එක්ස් ප්‍රේස් පර්ල් නෞකාවේ විනාශය සමග ඇති වූ පරිසර හානියට වන්දි ලබා ගැනීම සදහා තම අධිකාරිය විසින් සිවිල් නඩුවක් ගොනු කර ඇති බවයි. අපරාධ නඩුවකින් වන්දි ලබා ගැනීම දීර්ඝ කාලයක් ගතවන නිසා මෙවැනි පියවරක් ගත් බව ද ඔවු සදහන් කළා.

සැකසුම – තුෂාර වල්ගම