Blog

  • මෙවර මහ කන්නයේදී වී අස්වැන්න මෙට්‍රික් ටොන් මිලියන 3.2 ක්!

    මෙවර මහ කන්නයේදී වී අස්වැන්න මෙට්‍රික් ටොන් මිලියන 3.2 ක්!

    පසුගිය මහ කන්නයේ කුඹුරු හෙක්ටයාර් 7,42,000ක් අස්වද්දා ඇති අතර එමගින් වී මෙට්‍රික් ටොන් මිලියන 3.2ක අස්වැන්නක් අපේක්ෂා කරන අතර, යල කන්නයේදී එය මෙට්‍රික් ටොන් මිලියන 1.8ක් වනු ඇති බවත් ඒ අනුව අපේක්ෂිත මුළු අස්වැන්න මෙට්‍රික් ටොන් මිලියන 5ක් බවත් එය ලංකා ඉතිහාසයේ වැඩිම වී අස්වැන්න වනු ඇති බවත් කෘෂිකර්ම අමාත්‍ය මහින්දානන්ද අලුත්ගමගේ මහතා පැවසීය.

    වී මිලදී ගැනීමේ ක්‍රමවේදය වෙනස් කොට ගොවීන්ට ඒ මොහොතේම මුදල් ලබා දී වී මිලදී ගැනීමට කටයුතු ආරම්භ කර ඇති බවද එමගින් අතරමැදියන්ගේ මැදිහත්වීම අවම කර ගත හැකි වනු ඇති බවද අමාත්‍යවරයා පැවසීය.

    ඒ මහතා මේ බව සඳහන් කළේ ඊයේ (09) පාර්ලිමේන්තුවේදී පැවති  කෘෂිකර්ම අමාත්‍යාංශයීය උපදේශක කාරක සභාවේදීය.

    රටේ පරිභෝජනයට ප්‍රමාණවත් තරම් වී නිෂ්පාදනය කර තිබුණද එ්වා මිලදී ගැනීමේදී තුන්වන පාර්ශවයන් මැදිහත් වීම නිසා මිල පාලනය කිරීම ඉතා අපහසු වී ඇති බව ‍කාරක සභාවේදී අනාවරණය වූ අතර එම තත්ත්වය අනෙකුත් භෝග දක්වා ව්‍යාප්ත වීමේ අවධානමක් පවතින බවද සඳහන් විය. රජයක් ලෙස මෙම තත්ත්වය විධිමත් කිරීම සඳහා කඩිනමින් කටයුතු කරන බව මෙහිදී අමාත්‍යවරයා පැවසීය.

    රට පුරා පිහිටා ඇති සියලු ගොවිජන සේවා මධ්‍යස්ථාන නවීකරණය කිරීම සඳහා ප්‍රතිපාදන ලබා දෙන  බව ද අළුත්ගමගේ මහතා පැවසීය. ඒ අනුව ඉදිරි කාලය තුළදී රට පුරා පිහිටා ඇති ගොවිජන සේවා මධ්‍යස්ථාන සියල්ල නවීකරණය කොට මෙරට කෘෂිකර්මාන්තය දියුණු කිරීම සඳහා එමගින් වැඩි දායකත්වයක් ලබා ගැනීමට කටයුතු කළ හැකි වනු ඇති බවද අමාත්‍යවරයා සඳහන් කළේය. ඒ අනුව සිය ආයතන වල  පවතින අඩුපාඩු දන්වා එවන ලෙස සියලු ගොවිජන සේවා මධ්‍යස්ථාන වෙත දන්වා යවා ඇති බවත් දැනටමත් ගම්පහ දිස්ත්‍රික්කයේ ගොවිජනසේවා මධ්‍යස්ථාන නවීකරණය කිරීමට රුපියල් මිලියන 4.2ක් ලබා දී ඇති බවද එහිදී අනාවරණය විය.

    ගොවීන් සඳහා කෘෂි රක්ෂණ ක්‍රමයක් ආරම්භ කිරීමට රජය සූදානම්ව ඇති අතර මේ වන විට භෝග 06ක් සඳහා රක්ෂණය නොමිලේ ලබා දීමට ද සැලසුම් කොට ඇති බවත් අනෙක් ‍අයට මසකට රුපියල් 600ක් වැනි සුළු මුදලකට රක්ෂණය ලබා ගත හැකි බවත් අමාත්‍යවරයා වැඩි දුරටත් සඳහන් කළේය.

    කෘෂිකර්ම අමාත්‍යාංශයට බඳවා ගන්නා නිලධාරීන්ට විධිමත් පුහුණුවක් ලබා දීම අනිවාර්ය බවත් එය පසුගිය කාලය පුරාම අතපසු වූ ඉතා වැදගත් කරුණක් බවත් මෙහිදී සාකච්ඡා කෙරිනි. ගොවීන් වෙත නවීන තාක්ෂණය ගමන් නොකිරීමට ප්‍රධානතම හේතු එය බව සඳහන් කළ අමාත්‍යවරයා එම පුහුණුවීම් මේ වන විට ආරම්භ කොට ඇති බවද පැවසීය.

    පළමු වතාවට ලංකාවේ කාබනික පොහොර නිෂ්පාදනය කිරීම සඳහා කොමර්ෂල් පොහොර සමාගම කාබනික පොහොර නිශ්පාදන සමාගමක් බවට පත් කොට තිබේ. එමගින් ගොවීන් හට කාබනික පොහොර භාවිතය හුරු කිරීමට ඉදිරියේදී කටයුතු ආරම්භ කිරීමට නියමිතව තිබේ.

    පුරන් කුඹුරු නැවත අස්වැද්දීම සඳහා අක්කර එකකට රුපියල් 40,000ක පොළී රහිත ණයක් ලබා දීමට අමාත්‍යාංශය දැනටමත් කටයුතු කරමින් සිටී.එයට අමතරව ඒවා එළි පෙහෙළි කර ගැනීමට පවා ප්‍රතිපාදන ලබා දිය හැකි බවද මෙහිදී සඳහන් විය.

    මෙම රැස්වීමට කෘෂිකර්ම අමාත්‍ය මහින්දානන්ද අළුත්ගමගේ, රාජ්‍ය අමාත්‍ය මොහාන් ප්‍රියදර්ශන ද සිල්වා, පාර්ලිමේන්තු මන්ත්‍රීවරයන් වන ඩිලාන් පෙරේරා, චන්දිම වීරක්කොඩි, එච්. නන්දසේන, අනුප පස්කුවෙල්, මධුර විතානගේ, රෝහණ දිසානායක, උදයකාන්ත ගුණතිලක, කුලසිංහම් දිලීපන්, උපුල් මහේන්ද්‍ර රාජපක්ෂ, අමරකීර්ති අතුකෝරළ, සිවඥාණම් ශ්‍රීතරන්, කින්ස් නෙල්සන්, අසංක නවරත්න, ගාමිණි වලේබොඩ, මංජුලා දිසානායක, ඩයනා ගමගේ, කෝකිලා ගුණවර්ධන සහ කෘෂිකර්ම අමාත්‍යාංශයේ නිලධාරීන් පිරිසක් සහභාගී වූහ.  

  • කොදෙව්වන් සමග ටෙස්ට් තරගාවලිය ඇරඹෙයි !

    කොදෙව්වන් සමග ටෙස්ට් තරගාවලිය ඇරඹෙයි !

    බටහිර ඉන්දීය කොදෙව් පිලට එරෙහිව පැවැති විස්සයි-20 ක්‍රිකට් තරගාවලියෙන් පසු දෙරට අතර පැවැත්වෙන තරග 3 කින් සමන්විත එක්දින තරගාවලිය මාර්තු මස 10 වැනිදා ඇන්ටිගුවාහි ශ්‍රීමත් විවියන් රිචර්ඩ්ස් ක්‍රීඩාංගණයේදී ආරම්භ වේ. දිවා තරගයක් ලෙසින් පැවැත්වෙන මෙම තරගය ශ්‍රී ලංකා වේලාවෙන් රාත්‍රී 7.00 ට ආරම්භ වනු ඇත.

    ශ්‍රී ලංකාවට එරෙහිව විස්සයි 20 තරගාවලිය 2-1 ක් ලෙස ජය ගැනීමට බටහිර ඉන්දීය කොදෙව් කණ්ඩායම සමත් විය. එහෙත් 2016 වසරේ සිට මේ දක්වා දෙරට අවස්ථා 5 කදී මුණ ගැසී තිබෙන අතර ඒ සෑම අවස්ථාවකදීම ශ්‍රී ලංකා කණ්ඩායම ජය ගැනීමට සමත්ව සිටියි. දෙරට අතර ආරම්භ වන මෙම ද්වී පාර්ශ්වික තරගාවලියේ සත්කාරක වාසිය භාවිතයට ගනිමින් එම පරාජිත ගමනට තිත තැබීමේ අටියෙන් කොදෙව්වන් තරග බිමට අවතීර්ණ වනු ඇත.

    එමෙන්ම පෙර පැවැති විස්සයි-20 තරගාවලිය ජය ගැනීමට සමත්ව සිටීම කොදෙව් කණ්ඩායමේ මානසික මට්ටම ඉහළ නංවන්නක් බවට පත්ව තිබෙන අතර එය ඔවුන්ට හිමි අමතර වාසියකි. තත්ත්වය එවන් තලයක පවතිද්දී කොදෙව්වන්ගේ හිසරදය බවට පත්ව සිටින්නේ තුන් ඉරියව් ක්‍රීඩක වනිඳු හසරංග වේ. අවසන් වුණු විස්සයි-20 තරගාවලියේදී පමණක් නොව මීට වසරකට පමණ ඉහත කොදෙව් කණ්ඩායම ශ්‍රී ලංකාවේ තරග වැදි එක්දින තරගාවලියේදීද වැඩි දක්ෂතා දක්වමින් ශ්‍රී ලංකා කණ්ඩායම 3-0 ක තරගාවලි ජයක් කරා රැගෙන යෑමට වනිඳු හසරංග සමත්වූවේය.

    අන්තර්ජාතක ශ්‍රේණිගත කිරීමේ තමන් රැඳී සිටින ස්ථානය ආරක්ෂා කර ගැනීම සඳහා මෙම තරගාවලියේ ජය පරාජය බලපෑමක් සිදුනොකරන නමුත් දෙරට අතර පවතින ප්‍රසාද ලකුණු පරතරයේ වෙනසක් පමණක් සිදුවනු ඇත. අදාළ ශ්‍රේණිගත කිරීමේදී ප්‍රසාද ලකුණු 85 ක් ලබා සිටින ශ්‍රී ලංකාව 8 වැනි ස්ථානයේ සිටද ප්‍රසාද ලකුණු 74 ක් ලබා සිටි බටහිර ඉන්දීය කොදෙව් කණ්ඩායම 9 වැනි ස්ථානයේ සිටද අද තරගයට අවතීර්ණ වනු ලබති.

    ප්‍රසාද ලකුණු 11 ක පරතරයක් සහිතව ආරම්භ වන තරගාවලියේ සියළුම තරග ජය ගැනීමට ශ්‍රී ලංකා පිල සමත් වුවහොත් ප්‍රසාද ලකුණු සංඛ්‍යාව 87 දක්වා ඉහළ යනු ඇත. එසේ වුවහොත් කොදෙව් පිලේ ලකුණු සංඛ්‍යාව 74 සිට 72 දක්වා පහළ යනු ඇත. තත්ත්වය ඊට හාත්පසින්ම හෙවත් තරාවලිය 3-0 ක් ලෙස ජය ගැනීමට කොදෙව්වෝ සමත්වුවහොත් ඔවුන්ගේ ප්‍රසාද ලකුණු සංඛ්‍යාව 78 දක්වා ඉහළ යන අතර ශ්‍රී ලංකාවේ ප්‍රසාද ලකුණු සංඛ්‍යාව 80 දක්වා පහළ බසිනු ඇත.

    විස්සයි-20 තරගාවලිය මඟ හැරුණු දසුන් ශානකද මේ වන විටත් කණ්ඩායම සමඟ එකතු වී සිටියද පළමු තරගය සඳහා සහභාගිවීමේ අවස්ථාව ඔහුට අහිමිවනු ඇත. පළමු තරගයේදී දිමුත් කරුණාරත්න නායකත්වය දරමින් කණ්ඩායම හා එක්වනු ලබන නමුත් දෙපිළේ පිතිකරණ ශක්තිය සංසන්දනයේදී කොදෙව් පිල ඉදිරියෙන් සිටීම පිළිගත යුතුය. එහෙත් විස්සයි-20 තරගාවලියේදී ජාත්‍යන්තර වරම් දිනාගත් පැතුම් නිස්සංක සහ අෂේන් බණ්ඩාර ද පිතිකරුවන් වශයෙන් දක්ෂතා දැක්වීමට සමත්වීම, ශ්‍රී ලංකා කඳවුරෙන් සුභදායක ලකුණකි.

    ශ්‍රී ලංකාසංචිතය – දිමුත් කරුණාරත්න (නායක), දිනේෂ් චන්දිමාල්, අශේන් බණ්ඩාර, දුෂ්මන්ත චමීර, අකිල ධනංජය, වනිඳු හසරංග, නිරෝෂන් දික්වැල්ල, අසිත ප්‍රනාන්දු, නුවන් ප්‍රදීප්, ඕෂධ ප්‍රනාන්දු, ධනුෂ්ක ගුණතිලක, සුරංග ලක්මාල්, ඩිල්ෂාන් මධුශංක, ඇන්ජලෝ මැතිව්ස්, කමිඳු මෙන්ඩිස්, රමේෂ් මෙන්ඩිස්, පැතුම් නිස්සංක, තිසර පෙරේරා, ලක්ෂාන් සඳකැන්, දසුන් ශානක.

    බටහිර ඉන්දීය කොදෙව් සංචිතය – කිරන් පොලාර්ඩ් (නායක), ඩැරන් බ්‍රාවෝ, ෂායි හෝප්, ෆේබියන් ඇලන්, ජේසන් හෝල්ඩර්, අකීල් හොාසේන්, අල්සාරි ජෝෂප්, එවින් ලුවිස්, කයිල් මේයර්ස්, ජේසන් මොහොමඩ්, නිකොලස් පූරාන්, රොමාරියෝ ෂෙපර්ඩ්, කෙවින් සින්ක්ලෙයාර්.

  • ‘කලා – බලලු වැවේ ආඩම්බරය’ රේවත විදුලි වැටට බිලි

    ‘කලා – බලලු වැවේ ආඩම්බරය’ රේවත විදුලි වැටට බිලි

    ශ‍්‍රී ලංකාවේ අලි – මිනිස් ගැටුමේ තවත් ඛේදවාචකයක් සටහන් කරමින් කලාවැව හා බලලු වැව රක්ෂිතයේ ‘රේවත’ නමින් ප්‍රසිද්ධ ඇතා විදුලි සැර වැදී මියගොස් තිබෙනවා. කැකිරාව, අලියාවැටුණු වැව ප්‍රදේශයේ බඩඉරිඟු හේනක ඇද තිබූ විදුලි රැහැනක ගැටීමෙන් පෙරේදා (08) රාත්‍රියේ රේවත ඇතා මියගිය බවට සැකකරන බවයි වනජීවී නිලධාරීන් සඳහන් කළේ.

    රේවත ඇතාගේ පශ්චාත් මරණ පරීක්ෂණ කටයුතු එම ස්ථානයේදී වනජීවී පශු වෛද්‍ය නිලධාරීන්ගේ ප්‍රධානත්වයෙන් පැවත්වුණු අතර එම ඇතා අවුරුදු 50ක් 55ක් පමණ වයසැති බවත් කලාවැව සහ බලලු වැව ඇත් පන්තියේ වැඩිමල්ම ඇතා බවත් වනජීවී නිලධාරීහු සඳහන් කළා.

    වසර 50ක පමණ කාලයක් මෙම ඇතා ගල්කිරියාගම, පුබ්බෝගම, කලා බලලු වැව ආදී ප්‍රදේශවල සැරිසරමින් ඇති බවද මෙම ඇතා මීට පෙර කිසිදු පුද්ගලයෙකුට පහරදීමක් හෝ ඉඩම්වලට පැන වගා හානි සිදු කිරීමක් හෝ පිළිබඳ වාර්තා වී නැතැයිද වනජීවී නිලධාරීන් පැවසුවා.

    අනුරාධපුර පණ්ඩුලගම වනජීවී කාර්යාලයේ පශු වෛද්‍ය, වනජීවී පශු වෛද්‍ය චන්දන ජයසිංහ ඇතුළු කණ්ඩායමක් හදිසි මරණ පරීක්ෂණ සිදු කළා.

    2021 වසරේ ජනවාරි 01වැනි දින සිට ඊයේ (09) දිනය දක්වා ගත වූ දින 68ක කාලය තුළදී අලි, ඇතුන් 61 දෙනෙකු මරණයට පත්වී තිබෙන අතර මෙම කාලය තුළදී අලි මිනිස් ගැටුම නිසා පුද්ගල මරණ විසිහතරක්ද සිදුව තිබෙනවා.

    මෙම කාලය තුළදී වැඩිම අලි මරණ ප්‍රමාණයක් සිදුව ඇත්තේ පොළොන්නරුව වනජීවී කලාපය තුළ වන අතර, මෙම කලාපය තුළින් අලි මරණ 17ක් සිදුව තිබෙන අතර පසුගිය 2020 වසර තුළදී අලි ඇතුන් 322 දෙනෙකු මරණයට පත්ව තිබෙන අතර, එම වසර තුළදී අලි මිනිස් ගැටුම නිසා පුද්ගල මරණ 113ක් සිදුව තිබෙනවා.

    ඡායාරූපය lanka truth ඇසුරිණි

  • සමෘද්ධිලාභී පවුල් ලක්ෂ 2ක් සවිබල ගැන්වීමට රු මිලියන 10,000ක්

    සමෘද්ධිලාභී පවුල් ලක්ෂ 2ක් සවිබල ගැන්වීමට රු මිලියන 10,000ක්

    සමෘද්ධිලාභීන් ආදායම් ලාභීන් බවට පත්කිරීම සදහා වන  වැඩපිළිවෙල යටතේ රු මිලියන 10,000ක මුදලක් සමෘද්ධිලාභී පවුල් ලක්ෂ 2ක් සවිබල ගැන්වීම සදහා මේවන විට වෙන්කොට ඇති බව සමෘද්ධි,ගෘහ ආර්ථික,ක්ෂුද්‍ර මූල්‍ය , ස්වයංරැකියා සහ ව්‍යාපාර සංවර්ධන   රාජ්‍ය අමාත්‍ය ෂෙහාන් සේමසිංහ මහතා ඊයේ ( 09) පාර්ලිමේන්තුවේදී පැවසීය.

    අද පාර්ලිමේන්තුවේ පැවති මුදල් අමාත්‍යාංශයේ උපදේශක කාරක සභා රැස්වීමේදී රාජ්‍ය අමාත්‍යවරයා  පවසා සිටියේ ගරු අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මහතාගේ උපදෙස් පරිදී  මෙම මුදල වෙන්කොට   ඇති බවයි.

    එසේම සෞභාග්‍යයේ දැක්ම ප්‍රතිපත්ති ප්‍රකාශනයට අනුව සමෘද්ධි නිලධාරීන්ගේ විශ්‍රාම වැටුප ඇතුළු රාජ්‍ය සේවයේ අයිතිවාසිකම් ඔවුනට ලබා දීමට කටයුතු කරන බවද   රාජ්‍ය අමාත්‍ය ෂෙහාන් සේමසිංහ මහතා  මෙහිදී පැවසීය.

    අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මහතාගේ ප්‍රධානත්වයෙන් පාර්ලිමේන්තුවේ පැවති මුදල් අමාත්‍යාංශයේ උපදේශක කාරක සභා රැස්වීමේදී  අග්‍රාමාත්‍යවරයා විසින් ඉහත ගැටලුවලට විසදුම් ලබාදීමේ ප්‍රගතිය විමසා සිටි අවස්ථාවේදී රාජ්‍ය අමාත්‍යවරයා ඊට පිළිතුරු දෙමින්   මේබව පවසා සිටියේය.

    සමෘද්ධි අධිකාරිය දෙපාර්තමේන්තුවක් බවට පත්කිරීමේදී නිලධාරීන් සේවක අර්ථසාධක අරමුදල් කොටසක් හෝ සම්පූර්ණ වශයෙන් ඉල්ලා ඇති බැවින් ඒ සම්බන්ධව ඉදිරි තීරණ ගැනීම සදහා කැබිනට් මණ්ඩලයට ඉදිරිපත් කිරීමට නියමිත බවද මෙහිදී මුදල් අමාත්‍යංශ සහ භාණ්ඩාගාර ලේකම් එස් .ආර්. ආටිගල මහතා අනාවරණය කළේය.

    පාර්ලිමේන්තු මන්ත්‍රී ජගත් කුමාර මහතා මෙහිදී පෙන්වා දුන්නේ සමෘද්ධි දෙපාර්තමේන්තුවක් බවට පත්කිරීමේදී නව සේවකයන්ගේ වැටුප් අඩු නොකරන බවට එවකට සහතික වුවද පසුගිය රජය මගින් වැටුප් අඩු කිරීමට කටයුතු කර ඇති බවයි.තවද දෙපාර්තමේන්තුවක් බවට පත්වීමේදී සේවකයන්ගේ  උසස් වීම්වල පවතින ගැටලු විසදීමේ අවශ්‍යතාවයද මෙහිදී සාකච්ඡාවිය.ඒඅනුව රාජ්‍ය පරිපාලන අමාත්‍යාංශයේ මැදිහත් වීමෙන් සහ කළමනාකරණ සේවා දෙපාර්තමේන්තුවේ මැදිහත් වීමෙන් කඩිනම්න් විසදීමට පියවර ගන්නා බව රාජ්‍ය අමාත්‍ය ෂෙහාන් සේමසිංහ මහතා පැවසීය.

    තවද සමෘද්ධි නිලධාරීන්ට මැතිවරණ සදහා මුහුණ දීමට අපේක්ෂකත්වය ලබා දීම සම්බන්ධයෙන්ද මෙහිදී සාකච්ඡා විය.එහිදී ගරු අග්‍රාමාත්‍යවරයා පෙන්වා දුන්නේ එය වඩාත් විධිමත් ක්‍රමවේදයකට අනුව පමණක් සිදුවිය වියයුතු බවයි.

    එසේම සමෘද්ධි ලාභීන්ගේ සංඛ්‍යාව තවදුරටත් වැඩි නොකර ඔවුන් සවිබල ගැන්වීමේ අවශ්‍යතාවයද මෙහිදී සාකච්ඡාවු අතර රාජ්‍ය අමාත්‍ය ෂෙහාන් සේමසිංහ මහතා ප්‍රකාශ කර සිටියේ කි‍සිසේත්ම දැනට සිටින සමෘද්ධිලාභීන් සංඛ්‍යාව වැඩිනොකරන බවත් කිසිදු ආකාරයකට දේශපාලන මැදිහත්වීමෙන් තොරව මනා විනිවිද බවකින් සමෘද්ධි සහනාධාරය ලබා දීමට  කටයුතු කරන බවත්ය.

     මුදල් හා ප්‍රාග්ධන වෙළඳපළ සහ රාජ්‍ය ව්‍යවසාය  ප්‍රතිසංස්කරණ රාජ්‍ය අමාත්‍ය අජිත් නිවාඩ් කබ්රාල් මහතා ,පාර්ලිමේන්තුවේ නියෝජ්‍ය කාරක සභා සභාපති අංගජන් රාමනාදන් , හර්ෂද සිල්වා , ජගත් කුමාර ,මහාචාර්ය රංජිත් බණ්ඩාර , සුදත් මංජුල ,සහන් ප්‍රදීප් ඇතුළු මන්ත්‍රීවරු පිරිසක්ද  මෙම අවස්ථාවට  සහභාගී වූහ.

    ඊට අමතරව රාජ්‍ය නිලධාරීන් නියෝජනය කරමින් ,මුදල් අමාත්‍යාංශ සහ භාණ්ඩාගාරික ලේකම් එස්. ආර්. ආටිගල මහතා ඇතුළු මුදල් අමාත්‍යාංශයේ ඉහළ නිලධාරීහු පිරිසක් ද මෙම අවස්ථාවට සහභාගිව සිටියහ.

  • කෝප් කමිටුවේ සභාපති චරිත හේරත්ගෙන් ආන්දෝලනාත්මක ප‍්‍රකාශයක්

    කෝප් කමිටුවේ සභාපති චරිත හේරත්ගෙන් ආන්දෝලනාත්මක ප‍්‍රකාශයක්

    පොදු ව්‍යාපාර පිළිබඳ කාරක සභාවේ (කෝප්) නව වැනි සැසි වාරයේ පළමු වැනි වාර්තාව එම කාරක සභාවේ සභාපති පාර්ලිමේන්තු මන්ත්‍රී මහාචාර්‍ය චරිත හේරත් මහතා විසින් අද(10) පාර්ලිමේන්තුවට ඉදිරිපත් කරනු ලැබීය.

    එහිදී අදහස් දැක්වූ කාරක සභාවේ සභාපති පාර්ලිමේන්තු මන්ත්‍රී මහාචාර්ය චරිත හේරත් මහතා අවධාරණය කළේ වර්තමානය වන විට රාජ්‍ය මූල්‍ය පරිපාලනය අධික්ෂණය කිරීම සම්බන්ධයෙන්  පාර්ලිමේන්තුව සතු බලය ඇතැම් අවස්ථාවලදී අභියෝගයට ලක්ව ඇති බවයි.

    ලක්විජය බලාගාරය සමබන්ධ විගණන වාර්තාව ඊට නිදසුනක් වශයෙන් ගෙන හැර දැක්විය හැකි බවද බවද හෙතෙම පැවසීය.

    මෙහිදී අදහස් දැක්වූ පාර්ලිමේන්තු මන්ත්‍රී එස් එම් මරික්කාර් මහතා පැවසුවේ නීතිමය ප්‍රතිපාදන කඩකරමින් ඇතැම් ‍රාජ්‍ය ආයතන කටයුතු කරන ආකාරය පොදු ව්‍යාපාර පිළිබඳ කාරක සභාවේදී නිරීක්ෂණය වූ බවයි. මේ සම්බන්ධව විශේෂ අවධානය යොමු කළ යුතු බවද හෙතෙම පෙන්වා දුන්නේය.

    ඇතැම් රාජ්‍ය ආයතන විගණකාධිපතිවරයාගේ විගණනයට යටත් නොවීම පිළිබඳව ගැටලු සහගත තත්ත්වයක් මතුව ඇති බවද මෙහිදී මන්ත්‍රීවරයා අවධාරණය කළේය.

    මෙහිදී අදහස් දැක්වූ පාර්ලිමේන්තු මන්ත්‍රී ප්‍රේමනාත් සී. දොලවත්ත මහතා පැවසුවේ පොදු ව්‍යාපාර පිළිබඳ කාරක සභාවේ කටයුතු අපක්ෂපාතීව සිදු කිරීමට කටයුතු කරන බවයි.

    එමෙන්ම කෝප් කාරක සභාව, කෝපා කාරක සභාව මෙන්ම මහජන පෙත්සම් කාරක සභාව රාජ්‍ය ආයතන වෙත ලබා දෙන්නාවූ නිර්දේශ ඉටු කිරීම සම්බන්ධව ගැටළු මතුව ඇති බව මෙම අවස්ථාවේදී අදහස් දැක්වූ පාර්ලිමේන්තු මන්ත්‍රී ශාන්ත බණ්ඩාර මහතා පැවසීය.

    මේ සම්බන්ධව අදහස් දැක්වූ කතානායක මහින්ද යාපා අබේවර්ධන මහතා පැවසුවේ ඉදිරි ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සංශෝධනය මඟින් මෙම ගැටළු වලට විසඳුම් සෙවීමට අවධානය යොමුකරන බවයි . පවතින තත්වයට  විසඳුම් ලබාගත හැක්කේ ඉදිරි ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව තුළින් පමණක් බවත් බවත් කතානායක වරයා පෙන්වා දුන්නේය .

  • සීනි බදු වංචාව කෝටි 1590ක් බව මුදල් අමාත්‍යාංශය කියයි

    සීනි බදු වංචාව කෝටි 1590ක් බව මුදල් අමාත්‍යාංශය කියයි

    ආන්දෝලනාත්මක ගැසට් නිවේදනයක් මගින් සීනි ආනයනයේදී පනවා තිබූ බදු මුදල රුපියල් 50 සිට ශත 25 දක්වා අඩු කිරීමේ තීන්දුව නිසා පසුගිය කාල සීමාව තුළදී රජයට අහිමි වී ඇති මුදල රුපියල් බිලියන 15.9ක් බව මුදල් අමාත්‍යංශය අද (09) පාර්ලිමේන්තුවේ මුදල් කාරක සභාවට ඉදිරිපත් කරනු ලැබූ වාර්තාවක් මගින් අනාවරණය වුණා.

    2020 ඔක්තෝබර් 14 සිට 2021 පෙබරවාරි 20 දක්වා කාලය තුළ එක් ආයතනයක් මෙරට සීනි ආනයනයෙන් 39.02 % ක් සිදු කර තිබෙන බවත් තවත් ආයතන 06ක් මෙරට සීනි ආනයනයෙන් 46%ක් සිදු කර තිබෙන බව එම වාර්තාවේ සදහන් වෙනවා. එසේම මෙරට සීනි ආනයනයෙන් 85%ක් සිදු කර තිබෙන්නේ ආයතන 07ක් විසිනි. 

    විපක්ෂය කියන්නේ මේ බදු වංචාව බැදුම්කර වංචාවටත් වඩා වැඩි බවයි.

  • බඩු මිල ගැන ප්‍රශ්න කළ විට ‘බන්දුල’ මාධ්‍යවේදියෙකුට පෙනේ පුප්පයි

    බඩු මිල ගැන ප්‍රශ්න කළ විට ‘බන්දුල’ මාධ්‍යවේදියෙකුට පෙනේ පුප්පයි

    2005-2015 මහින්ද රාජපක්ෂ ආණ්ඩු සමයේ ද ප්‍රබල කැබිනට් අමාත්‍යධුරයක් දරමින් සිටියදී ‘රුපියල් 2500කින් පස් දෙනකුගෙන් යුතු පවුලකට මාසයක් ජීවත් වීමට පුළුවන්‘ යැයි ද ඊට පසුව ‘බඩු මිල අඩු කිරීමට ශක්‍රයාගේ පුතා වයිමාටවත් බෑ‘ යැයි කී වත්මන් වෙළෙද ඇමැති බන්දුල ගුණවර්ධන අද (9) ප්‍රසිද්ධියේ ජනමාධ්‍ය වේදියෙකුට නින්දා කරමින් බැණ වැදුණා.

    කහ මිල ඉහළ යෑම සම්බන්ධයෙන් බන්දුල ගුණවර්ධන වෙළඳ ඇමතිවරයාගෙන් අද පැවැති මාධ්‍ය සාකච්ඡාවකින් පසු මාධ්‍යවේදියෙකු ඉහළ යන බඩුමිල ගැන ප්‍රශ්න කළා.

    මාධ්‍යවේදියා එහිදී විමසා සිටියේ මාස 6ක් 7ක් තිස්සේ ජනතාව බඩු මිල වැඩි වීම දරාගෙන සිටින බවත් වෙළඳපොලේ කහ හිඟයක් පවතින බවත් සතොස වැනි ආයතන තුළ එවැනි අත්‍යවශ්‍ය ද්‍රව්‍ය පහසු මිලට නොමැති බවයි.

    එම මාධ්‍යවේදියාගේ ප්‍රශ්නයට ප්‍රතිචාර දක්වමින් අමාත්‍යවරයා දැඩි ආවේගාත්මක සහ සුපුරුදු නින්දාසහගත ස්වරයෙන් “උඹට දරාගෙන ඉන්න බැරි වුණාට, ජාවාරම්කාරයින්ට දරාගෙන ඉන්න බැරි වුණාට මිනිස්සුන්ට දරාගෙන ඉන්න පුළුවන්. කොන්ත්‍රාත් කරන්න එපා සහෝදරයා. ඉස්සෙල්ලා ඇත්ත දේ කරන්න. කොන්ත්‍රාත් කරන්න ඔන නම් වෙන කාත් එක්ක හරි කරන්න.” යනුවෙනි.

  • මානාළියක් වීමට සැරසෙන ඔබ දැනගත යුතුම සුපිරි රීති 09ක්

    මානාළියක් වීමට සැරසෙන ඔබ දැනගත යුතුම සුපිරි රීති 09ක්

    සුන්දර මනාලියක් වෙන්න හැම යුවතියක්ම හීන දකින බව අපි දන්නවා. ඒ වගේම ඔබ ඒ වෙනුවෙන් බොහෝ සැලසුම් සකසනවා වගේම සූදානම් වෙනවා. ඔබේ ජීවිතේ සොදුරුම දවසෙ ඔබ සුවිශේෂී ලෙස දකින්න හැම යුවතියක්ම කැමතියි. ඒ වෙනුවෙන් ඔබ බොහෝ මුදල් වගේම කාලය ශ්‍රමය වැය කරනවා නේද?

    ඒ නිසාමයි ඒ දවස තවත් ලස්සන කරගන්න ප්‍රවීණ රූපලාවණ්‍ය ශිල්පිනියක වන, මාළඹේ, Salon AKROO හි ප්‍රවීණ රූපලාවණ්‍ය ශිල්පිනී අනූධා දහනායක මහත්මිය ඔබට උපදෙස් ගෙන එන්නේ.

    මෙන්න මේ විදියට සූදානම් උනොත් ඔබේ දිවියේ සොදුරුම දවස තවත් ලස්සන එකක් කරගන්න ඔබට හැකියාව ලැබේවි.

    1. මාස 6කට පෙරවත් සූදානම්වීම වැදගත්

    ඹබ විවාහය සැලසුම් කිරීම අවම මාස 6කට පෙරවත් පටන්ගැනීම වැදගත්. උත්සවයේ අනෙක් අංග වගේම ඔබ කැමති ඔබට ගැළපෙන රූපලාවණ්‍ යශිල්පියා හමුවෙන්න. ඔහු හෝ ඇය සමග ඔබේ අවශ්‍යතාව කතාබහ කරන්න. ඔවුන්ට හැකියාව තියෙනවා ඔබට වඩාත් ගැළපෙන සහ ඔබට අවශ්‍ය දේ වෘත්තීය පළපුරුද්ද සහ දැනුම මත තෝරා බේරා දෙන්න.


    2. මුහුණ පමණක් නොවේ මුළු සිරුරටම අවධානය දෙන්න

    ලස්සන ගැන කතා කරනකොටම ඔබට මුලින්ම මතක් වෙන්නෙ මුහුණ. ඒත් මනාලියක් වෙන්න සූදානම් වන ඔබ මුළු සිරුරේම සම පිළිබද සැලකිලිමත් වීම වටිනවා. මේ නිසා ඔබ ඔබේ රූපලාවණ්‍ යශිල්පියාගේ උපදෙස් අනුව කටයුතු කිරීම වැදගත්.

    3. ශරීර හැඩය පවත්වා ගැනීම

    ඔබේ ශරීරයේ හැඩය මේ වෙන කොටත් ඔබට අවශ්‍ය ප්‍රමාණයට, ලහැඩයට නැත්නම් ඒ ගැන විශේෂ අවධානයක් දෙන්න. ඒ පිළිබද අවශ්‍ය උපදෙස් ලබා ගන්න. මාස කිහිපයක් මේ සදහා අවශ්‍ය වන නිසා කල් ඇතිව ශරීර සුවතා අභ්‍යාස ආරම්භ කිරීම ඔබට පහසුවක් වේවි.

    4. වියළි සමට තිත තබන්න.

    ඔබට ඇත්තේ වියළි සමක් නම් ඒ සදහා අවශ්‍ය සත්කාර කිරීම අත්‍යවශ්‍ය වෙනවා. මංගල දිනයේදී ඔබ මොනතරම් මේකප් භාවිතා කළත් ඔබට ඇත්තේ වියලි සමක් නම් සුන්දර පෙනුමක් ලබා ගැනීම පහසු නැහැ. මේ නිසා නිතර සම පිරිසිදු කිරීමෙන් අනතුරුව මොයිස්චරයිස් කිරීම වැනි සත්කාර මගින් ඔබේ සමේ මෘදුබව රැකගැනීමට හැකියාව තිබෙනවා.

    5. හැකි තරම් ජලය පානය කරන්න

    සුන්දරත්වය රැකගන්න නම් ජලය පානය කිරීම අනිවාර්යය වෙනවා. අවම වශයෙන් ඔබ දිනකට වතුර ලීටර 2ක්වත් පානය කළ යුතුයි. හැකි තරම් ජලය පානය කිරීම ඔබේ මංගල දිනයට වගේම එදිනෙදා සෞඛ්‍ය සම්පන්න ජීවිතයක් ගත කරන්නත් මග පාදනවා.

    6. දැඩි හිරු එළියෙන් ආරක්ෂා වෙන්න

    මංගල උත්සවය වෙනුවෙන් ඔබට බොහෝ රාජකාරි පැවරුනත් ඒ සියල්ල මැද්දේ ඔබේ සම ආරක්ෂා කරගන්නත් අමතක කරන්න එපා. හිරු රශ්මියෙන් පිලිස්සුන සම යථා තත්වයට පත් වෙන්න කාලයක් ගතවන නිසා හැකි තාක් සුදුසු Sun protection ආලේපන භාවිතා කරන්න.

    7. නිය පිළිබදවත් සුළුවෙන් හිතන්න එපා.

    යුවතියන් සුන්දරත්වය ගැන සැලකිලිමත් වුනත් ඔවුන්ට මගහැරෙන දෙයක් තමයි දෑත් සහ දෙපාවල නිය පිරිසිදුව අලංකාරව පවත්වා ගැනීම. දිනපතා නිය පිරිසිදු කිරීම වගේම අවශ්‍ය පරිදි සකස් කර සත්කාර කිරීම මගින් මංගල දිනයට විශේෂයෙන් මුදල් ගෙවා නිය අලංකරණය කරගැනීමට ඔබට අවශ්‍ය වෙන්නෙ නැහැ.

    8. හිසකෙස් සත්කාර කරන්න

    ඔබේ හිසකෙස් අවශය දිග ප්‍රමාණයට ඔබේ රූපලාවණ්‍යශිල්පියා හෝ ශිල්පිණිය සමග සාකච්ඡා කර සකසා ගන්න. සතියකට වරක් තෙල් සත්කාර වැනි සත්කාර කිරීම තුළින් මංගල දිනයේදී ඔබේ හිසකෙස් සැකසීමට පහසුවක් වගේම ඔබේ පෙනුම වැඩි කරන්න හේතු වෙනවා.

    9. අනවශ්‍ය රෝම ඉවත් කරන්න

    මංගල දිනයට සමීපම දිනයක් යොදා ගෙන ඔබේ රූපලාවන්‍ය ශිල්පියාගේ හෝ ශිල්පිනියගේ උපදෙස් මත මුහුණේ බෙල්ලේ සහ පිටතට නිරාවණය වන සමෙහි අනවශ්‍ය රෝම ඉවත් කිරීම සිදු කරන්න. මෙමගින් ඔබේ සම පැහැදිලි වගේම භාවිතා කරන මේකප් හොදින් සම මත දීර්ඝ වෙලාවක් රැදී සිටීමත් සිදු වෙනවා.

    සටහන – මධුභාෂිණී උරේෂා

  • කාන්තාවන් අතර සුලභ රෝගය ‘PCOS’ ගැන ඔබ දැනගත යුතුම කරුණු

    කාන්තාවන් අතර සුලභ රෝගය ‘PCOS’ ගැන ඔබ දැනගත යුතුම කරුණු

    “මගේ කොණ්ඩය අසාමාන්‍ය විදිහට වැටෙන්න ගත්තා. ඒ වගේම ඇඟේ බර හොඳටම වැඩි වුණා. උසට හරියන බරට වඩා කිලෝ දහයක් වැඩි වුණා. මම මහා ගොඩක් කෑම කන කෙනෙක් නෙමෙයි. පීරියඩ්ස් හැදෙන එකත් මාස හතරකට නතර වුණා,” වෙනූ ලෙස හඳුන්වන මෙන් ඉල්ලීමක් කළ කාන්තාවක සිය අදහස් බෙදා ගත්තාය.

    “අදාළ ටෙස්ට් කළ පසු මට පොලිසිස්ටික් ඕවරි සින්ඩ්‍රම් කියන රෝග තත්වය තියෙනවා කියලා දොස්තරලා හඳුනාගත්තා. මම ඊට කලින් එහෙම දෙයක් ගැන කවදාවත් අහල තිබුණේ නැහැ. නමුත් මේක කාන්තාවන් අතර අතිශය බහුල, ඒ වගේම උපදෙස්, ප්‍රතිකාර අවශ්‍ය රෝගයක් කියලා පසුව දැනගත්තා.”

    පොලිසිස්ටික් ඩිම්බ සින්ඩ්‍රෝමය (Polycystic ovary syndrome /PCOS) යනු කුමක්ද?

    Polycystic ovary syndrome

    පොලිසිස්ටික් ඩිම්බ සින්ඩ්‍රෝමය (PCOS) යනු කාන්තාවන් තුළ ඇතිවන හෝමෝන අසමතුලිතතා තත්ත්වයකි.

    කාන්තාවන් කොපමණ සංඛ්‍යාවකට PCOS ඇතිදැයි නියත වශයෙන් දැන ගැනීම අපහසුය. නමුත් සෞඛ්‍ය සේවා දත්තවලට අනුව එය ඉතා සුලභ යැයි සිතන අතර ලෝකයේ සෑම කාන්තාවන් 100 දෙනෙකුගෙන් හත් දෙනෙකු තුළම මෙම තත්වය දැකිය හැකිය.

    ශ්‍රී ලංකාව තුළ මේ සම්බන්ධයෙන් නිසි ගණනයක් සිදු කර නොමැති නමුත්, සෑම කාන්තාවන් පස් දෙනෙකුගෙන් එක් අයෙකු තුළවත් මෙම තත්වය දැකිය හැකි යැයි ප්‍රසව හා නාරිවේද විශේෂඥ වෛද්‍ය එස් සිවසුමිත්‍රන් පැවසීය.

    මෙම තත්වය දැරියක මල්වර වීමේ සිට ආර්ථව හරණය දක්වා ඕනෑම අවස්ථාවක ඇති විය හැකිය.

    කෙසේනමුත්, මෙම කාන්තාවන්ගෙන් අඩකට වඩා පිරිසකට කිසිදු රෝග ලක්ෂණයක් නොමැත.

    මෙහිදී සිදුවන්නේ ඩිම්බකෝෂ වල මිලිමීටර් 8 (දළ වශයෙන් අඟල් 0.3ක්) දක්වා වූ හානිකර නොවන කුඩා බිබිළි (follicles) විශාල ප්‍රමාණයක් අඩංගු වී තිබීමය.

    මේ හේතුවෙන් ඩිම්බ මේරීම නිසි ලෙස සිදු නොවන අතර, නිසියාකාරව ඩිම්බ මෝචනය නොවේ.

    ‘ඩිම්බකෝෂවල ගෙඩි ඇතිවීම නැත්නම් ඉදිමීම’ යනුවෙන් ද මෙම තත්වය සාමාන්‍යය ව්‍යවහාරයේ හඳුන්වයි.

    “බටහිර වෛද්‍ය විද්‍යාවේ Polycystic Ovary Syndrome/ Disease (PCOS/PCOD) යනුවෙන් සඳහන් රෝගී තත්ත්වය ඩිම්බ නොමේරීමේ රෝගී තත්වයක් වන අතර, ආයුර්වේද වෛද්‍ය ග්‍රන්ථ වල එක් නිශ්චිත නමක් සඳහන් කර නැහැ,” යැයි සීමාවාසික ආයුර්වේද වෛද්‍ය කේශානි රන්දිමා පැවසීය.

    “මෙය ස්ත්‍රියකගේ ආර්තව චක්‍රය හා බැඳුනු රෝගී තත්වයක් නිසා ආයුර්වේද වෛද්‍ය විද්‍යාවේ සඳහන් “ආර්තව ව්‍යාපත්” අතර “ආර්තව ක්ෂය” යටතේ මෙම රෝගයට අදාල රෝග ලක්ෂණ පිළිබඳව විස්තර කෙරෙනවා.”

    “ආයුර්වේදයේ ආර්තව යන වචනයෙන් ස්ත්‍රී බීජ (ඩිම්බ), ස්ත්‍රී අම්බු (හෝර්මෝන) සහ ඔසප් වීමේදී පිටවන රුධිරය නිරූපනය කරනවා. මෙම රෝගී තත්වයේදී ස්ත්‍රී බීජ, ස්ත්‍රී අම්බු සහ ඔසප් රුධිරය යන ත්‍රිත්වයේම වෙනස් කම් සිදුවන නිසා ආර්තව ව්‍යාපත් යටතේ සඳහන් කර තිබෙනවා,” ආයුර්වේද වෛද්‍යවරිය තවදුරටත් පැහැදිලි කළාය.

    Eating Disorders and Women With PCOS

    PCOS හි ප්‍රධාන ලක්ෂණ තුන නම්:

    • අක්‍රමවත් ඔසප් වීම් හෝ ඔසප් වීම සිදු නොවීම – මෙයින් අදහස් වන්නේ ඩිම්බ මේරීම නිසි ලෙස සිදු නොවීම සහ නිසියාකාරව ඩිම්බ මෝචනය නොවීමය.
    • ඇන්ඩ්‍රොජන් වැඩිවීම – ඔබේ ශරීරයේ “පිරිමි” හෝමෝන ඉහළ මට්ටමක පවතින අතර එමඟින් මුහුණ හෝ ශරීරයේ අධික ලෙස රෝම වර්ධනය වීම වැනි ශාරීරික සංඥා ලබා දෙනු ඇත.
    • පොලිසිස්ටික් ඩිම්බකෝෂ – ඔබේ ඩිම්බකෝෂ විශාල වී ඒවා මත දියර පිරුණු බිබිළි විශාල ප්‍රමාණයක් තිබීම (නමුත් මෙය ඩිම්බකෝෂවල ගෙඩි ඇතිවීමක් ලෙස හැඳින්විය නොහැකිය)

    අවම වශයෙන් මෙම ප්‍රධාන රෝග ලක්ෂණවලින් දෙකක් හෝ තිබේ නම්, ඔබට PCOS යන රෝග තත්වය තිබෙන බවට වෛද්‍යවරුන් විනිශ්චය කරනු ඇත.

    Polycystic ovary syndrome

    PCOS තවත් රෝග ලක්ෂණ තිබේ ද?

    පොලිසිස්ටික් ඩිම්බ ප්‍රදාහය හේතුවෙන් කාන්තාවකට පහත සඳහන් රෝග ලක්ෂණ ද ඇතිවිය හැකිය:

    • හිසකෙස් තුනී වීම හා ගැලවී යාම
    • සිරුරේ බර වැඩිවීම
    • මුහුණේ හෝ සිරුරේ අධික ලෙස රෝම වර්ධනය වීම
    • කුරුලෑ ඇති වීම
    • ගෙල මහත් වී කළු පැහැ ගැන්වීම
    • භාවමය ගැටලු, සාංකාව හා විෂාදය වැනි තත්ත්වයන්
    • ගැබ් ගැනීමට අපහසු වීම
    • ගබ්සා වීම
    • දෙවෙනි කාණ්ඩයේ දියවැඩියාව ඇති වීමේ ඉහළ අවදානම

    කෙසේනමුත්, මෙම රෝග ලක්ෂණ පුද්ගලයාගෙන් පුද්ගලයාට වෙනස් විය හැකි අතර, කාලයත් සමග ද රෝග ලක්ෂණවල වෙනස්කම් සිදු විය හැකිය.

    එමෙන්ම, මේ කිසිදු ලක්ෂණයක් මතු නොවුණු PCOS රෝගීන් ද සිටින බව වෛද්‍ය එස් සිවසුමිත්‍රන් පැවසීය.

    Polycystic ovary syndrome

    “දරුවෙක් හදාගන්න සෑහෙන වෙහෙසක් දරන්න වුණා. මට පොලිසිස්ටික් ඕවරි සින්ඩ්‍රම් තත්වය තියෙනවා කියලා වෛද්‍යවරු කිව්වා. මේක අපි සාමාන්‍යයෙන් කියනවා වගේ වඳ තත්වයක්ම නෙමෙයි, නමුත් දරුවෙක් පිළිසිඳ ගැනීම ටිකක් අපහසු වෙන තත්වයක් කියලා මට ඔවුන් පැහැදිලි කළා,” මීගමුව ප්‍රදේශයේ පදිංචි 37 හැවිදිරි කාන්තාවක පැවසුවාය.

    “දැන් මට දරුවෝ දෙන්නෙක් ඉන්නවා. මට තියෙන රෝග ලක්ෂණය තමයි ඇඟ සහ මූණ පුරා මයිල් සෑහෙන්න වැවෙන එක. පීරියඩ්ස් වල දී ලේ පිට වුණේ බින්දුවක් වගේ. හැබැයි දරුවෝ හදන්න ලෑස්ති වෙනකම්ම මම දොස්තර කෙනෙකුට පෙන්නුවේ නැති නිසා තත්වය ටිකක් නරක අතට හැරුණා,” ඇය තවදුරටත් පැවසුවාය.

    PCOS ඇතිවීමට හේතුව කුමක්ද?

    PCOS ඇතිවීම සම්බන්ධයෙන් නිශ්චිත හේතුවක් නොදන්නා නමුත් එය බොහෝ විට පාරම්පරික ජානවලින් ඇති විය හැකියි.

    මෙම තත්ත්වය ඇති කාන්තාවන්ගෙන් විශාල පිරිසට PCOS රෝගී තත්වය ඇති මවක්, ඥාතීවරියක් හෝ සහෝදරියන් සිටීමට ඉඩ ඇත.

    එමෙන්ම, එය ශරීරයේ අසාමාන්‍යය හෝමෝන මට්ටම් සහ ඉන්සියුලින් ඉහළ යාම ද මෙම තත්වය ඇතිවීම හා සම්බන්ධ වේ. ඉන්සියුලින් යනු ශරීරයේ සීනි මට්ටම පාලනය කරන හෝමෝනයකි.

    PCOS ඇති බොහෝ කාන්තාවන්ගේ ශරීරය ඉන්සියුලින් ක්‍රියාකාරිත්වයට ප්‍රතිරෝධී වන අතර මෙය මඟහරවා ගැනීම සඳහා ඉහළ ඉන්සියුලින් ප්‍රමාණයක් නිපදවීමක් සිදුවේ.

    මෙය ටෙස්ටොස්ටෙරෝන් වැනි හෝමෝන නිෂ්පාදනය හා ක්‍රියාකාරිත්වය වැඩි කිරීමට දායක වේ.

    එමෙන්ම, අධික බර හෝ තරබාරු වීමෙන් ද ඔබේ ශරීරය නිපදවන ඉන්සියුලින් ප්‍රමාණය වැඩිවේ.

    Polycystic ovary syndrome

    “තරබාරු කෙනෙක්ගේ ශරීරයේ කොටස්වල, විශේෂයෙන්ම උදරයේ මේදය තැන්පත් වෙනවා. එවිට වැඩි ඉන්සියුලින් ප්‍රමාණයක් ශරීරයට අවශ්‍ය වෙනවා. එහෙම ඉන්සියුලින් අවශ්‍යතාව වැඩි වෙනකොට එහි ක්‍රියාකාරිත්වයට ප්‍රතිරෝධයක් ඇතිවෙනවා. එතකොට ශරීරය තව ඉන්සියුලින් නිපදවන්න ගන්නවා. එයින් තවත් ශරීරය මහත් වෙනවා,” වෛද්‍ය එස් සිවසුමිත්‍රන් පැහැදිලි කළේය.

    PCOS ඇත්දැයි දැනගන්නේ කෙසේද?

    වෛද්‍යවරයා ඔබේ සිරුර සහ රෝග ඉතිහාසය ගැන අවධානය යොමු කරන අතර, රුධිරය පරීක්ෂාව සහ ‘අල්ට්‍රාසවුන්ඩ් ස්කෑන් (ultrasound scan)’ පරීක්ෂණයක් ද සිදු කරනු ඇත.

    “අල්ට්‍රාසවුන්ඩ් ස්කෑන් එකක් කියන්නේ කිසිම සංකූලතා නැති පරීක්ෂණයක්. ඩිම්බකෝෂවල මෝරලා නැති, පිට වී නැති බිත්තර බිබිළි විදිහට තිබෙන ආකාරය මේ පරීක්ෂණයෙන් බලා ගන්න පුළුවන්. සමහර විට ඩිම්බකෝෂ මහත් වෙලා තියෙනවා නැත්නම් වතුර පිරිණු ගැටිති වගෙත් තියෙන්න පුළුවන්.”

    “අල්ට්‍රාසවුන්ඩ් ස්කෑන් එකෙන් අපිට ගොඩක් දුරට මේ රෝගී තත්වය විනිශ්චය කරන්න පුළුවන්, හැබැයි ඒක මතම තීරණයකට එන්න අපහසුයි. අපිට අනික් ලක්ෂණත් අනිවාර්යයෙන් සොයා බලන්න වෙනවා. හෝමෝන් පරීක්ෂණයක් ද සිදු කරන්න පුළුවන්. ඒ වගේම ශරීරයේ ඉන්සියුලින් තත්වයේ බලපෑම නිසා ඉන්සියුලින් පරීක්ෂණයක් ද සිදු කර මේ රෝගය සොයා ගන්න පුළුවන්,” වෛද්‍ය එස් සිවසුමිත්‍රන් පැවසුවේය.

    බුබුලු ලෙස පෙනෙන ගැටිති යම් ප්‍රමාණයක් තිබීම ගැටලුවක් නොවන අතර, ඔබේ වයසට සාපේක්ෂව වැඩිපුර ප්‍රමාණයක් තිබීම මෙම රෝගී තත්වය යැයි සැක කිරීමට ඉඩ ඇත.

    PCOS සුව කළ හැකිද?

    මෙය සුව කළ නොහැකිය. නමුත් එය පාලනය කර ගත හැකිය.

    ඉහත සඳහන් කළ රෝග ලක්ෂණ ඇත්නම් ඔබ වෛද්‍යවරයෙකු හමු වී උපදෙස් ගැනීම ඉතා වැදගත්ය. එම උපදෙස් අනුව රෝගය පාලනය සඳහා යම් පියවර අනුගමනය කළ හැකිය:

    • ඔබ උසට සාපේක්ෂව ශරීරයේ බර වැඩි නම්, එය අඩුකර ගැනීමෙන් රෝග ලක්ෂණ අවම කර ගත හැකිය. ඒ සඳහා නිසි ව්‍යායාම සහ ආහාර පාලනය අත්‍යවශ්‍ය වේ.
    • අක්‍රමවත් ඔසප් වීම, හෝමෝන උපත් පාලන පෙති හා වෙනත් ඖෂධ මගින් කළමනාකරණය කළ හැකිය. නමුත්, මෙය ලබා ගත යුත්තේ වෛද්‍යවරයෙකුගේ නිර්දේශ මත පමණි.
    • ශරීරයේ අධික රෝම ඉවත් කිරීමේ ක්‍රම භාවිත කළ හැකිය. උදාහරණ: වැක්ස් කිරීම, ලේසර් කිරීම හෝ වෙනත් රෝම ඉවත් කිරීමේ ක්‍රම. එමෙන්ම, මෙය ඖෂධ මගින්ද පාලනය කළ හැකිය.
    • අධික ලෙස හටගන්නා කුරුලෑ බිබිලි ද ඖෂධ මගින් පාලනය කළ හැකිය.
    • නිරෝගීමත් ජීවන රටාවක් අනුගමනය කිරීම, සමබර ආහාර වේලක් නිසි වෙලාවට ගැනීම.
    Polycystic ovary syndrome

    “මට පොලිසිස්ටික් ඕවරි සින්ඩ්‍රම් කියලා දැනගත්තේ අවුරුදු දහ අටේදී. ඒ කාලේ දීපු කිසි බෙහෙතක් මම ගත්තේ නැහැ. ඒ වගේම කිසිම සෞඛ්‍ය උපදෙසක් පිළිපැද්දේ නැහැ. අද මට වයස 35ක්. ලෙඩේ සෑහෙන වැඩි වෙලා දැන් මට බොහොමයක් සෞඛ්‍ය ගැටළුවලට මුහුණ දෙන්න වෙලා. මම ඉල්ලන්නේ හැමෝගෙන්ම මේ ගැන දැනුවත් වෙන්න, සෞඛ්‍ය තත්වය හොඳින් පවත්වාගෙන යන්න කියලා,” මේ වන විට විදෙස් රටක දිවිගෙවන ශ්‍රී ලාංකික කාන්තාවක බීබීසී සිංහල සේවයට පැවසුවාය.

    මෙය ‘වඳ’ තත්වයක් ද?

    PCOS රෝගී තත්වය සහිත කාන්තාවෝද එවන් තත්ත්වයක් නොමැති කාන්තාවන් ලබන දරුවන් ගණනම ලබති.

    එහෙත් ගර්භණී වීමේ දී ඔවුනට අතිරේක වෛද්‍ය උපදෙස්, ප්‍රතිකාර අවශ්‍යය වන බව වෛද්‍යවරු පවසති. එහෙයින්, රෝගය කළින් හඳුනාගෙන නිසි ප්‍රතිකාර ලබා ගැනීම ඉතා වැදගත්ය.

    මේ පිළිබඳ තවදුරටත් පැහැදිලි කළ සීමාවාසික ආයුර්වේද වෛද්‍ය කේශානි රන්දිමා පැවසුවේ, “මේ රෝගය නොසලකා හැරියොත් හෝ නිසි ප්‍රතිකාර නොකලහොත් ඒ නිසා කෙනෙකුට මදසරුභාවය හෝ වන්ද්‍යභාවය (subfertility or infertility), ගර්භනී කාලයේ ඇතිවන දියවැඩියාව (Gestational diabetes), ගබ්සා වීම් හෝ නොමේරු දරු උපත් සිදුවීම (abortions or premature childbirths) මෙන්ම අධිරුධිර පීඩනය (Hypertension ), හෘද රෝග (Heart diseases) වැනි රෝග රාශියකට මුහුණ දීමට ද ඉඩ තිබෙනවා,” යනුවෙනි.

    Polycystic ovary syndrome

    ආයුර්වේද උපදෙස් මොනවාද?

    ආයුර්වේද වෛද්‍ය කේශානි රන්දිමා මේ පිළිබඳ වැඩිදුරටත් පැහැදිලි කළාය:

    ඩිම්බ නොමේරීමේ රෝගයෙන් වැලකීමට පිළියම් වශයෙන්,

    • දිනපතා සමබර ආහාර වේලක් ගැනීම
    • ආහාර වේල සදහා වැඩිපුර එළවළු, පළා වර්ග සහ පලතුරු වර්ග එකතු කරගැනීම
    • දිනපතා ව්‍යායාම කිරීමෙන් ශරීරයේ උසට සරිලන බරක් පවත්වා ගැනීම
    • සතියකට වරක් වත් කොල කැද පානය කිරීම
    • හැකිතරම් උෂ්ණ, අම්ල හා විදාහී ආහාරවලින් වැලකීම (ඉස්සෝ ,දැල්ලෝ ,බල මාලු, අන්නාසි, අච්චාරු වැනි)
    • ශරීරය සිසිල් කරන ආහාර පාන ගැනීම
    • හැකිතරම් මානසික නිදහස්බව සහ සුවතාවය පවත්වා ගැනීම
    • ක්ෂණික ආහාර සහ පෙර පිසින ලද මස් වර්ග ආහාරයට ගැනීම හැකිතරම් සීමා කිරීම

    “එක් එක් පුද්ගලයා සඳහා විශේෂිතවූ චිකිත්සා පද්ධතියකින් සමන්විත ආයුර්වේද වෛද්‍ය විද්‍යාවේදී මෙම රෝගය සඳහා සාර්ථක ප්‍රතිකාර පවතිනවා. ඒ අතර එක් එක් පුද්ගලයගේ ප්‍රකෘතිය, දෝෂ තත්ත්වය සහ රෝග ලක්ෂණ අනුව සිදුකරන මෘදු ශෝධන ප්‍රතිකාර, නස්‍ය ප්‍රතිකාර, වස්ති ප්‍රතිකාර, ශරීරයේ අග්නි දීපනය සදහා වන ප්‍රතිකාර, හෝමෝන අසමතුලිතතාවය නිවැරැදි කිරීම සඳහා ඖෂධ ලබාදීම, ඩිම්බ මේරීම සදහා ශරීරය තුළට ඖෂධ ලබා දීම හා බාහිරින් සිදුකරන ප්‍රතිකාර විශේෂ වෙනව,” වෛද්‍යවරිය පැවසුවාය.

    Polycystic ovary syndrome

    Text by bbc

  • බස්නාහිර පාසල් ආරම්භය ගැන අවසන් තීන්දුව

    බස්නාහිර පාසල් ආරම්භය ගැන අවසන් තීන්දුව

    මාර්තු 15වන සඳුදා දින බස්නාහිර පළාතේ පාසල් ආරම්භ කරන්නේ 05වන ශ්‍රේණිය, 11වන ශ්‍රේණිය සහ 13වන ශ්‍රේණිය සඳහා පමණක් වන අතර සෙසු පන්ති සඳහා පාසල් ආරම්භ කෙරෙන්නේ අප්‍රේල් නිවාඩුවෙන් පසු අප්‍රේල් 19වන දින බැව් අධ්‍යාපන අමාත්‍ය මහාචාර්ය ජී.එල්.පීරිස් මහතා පැවසී ය.

    අමාත්‍යවරයා මේ බැව් පැවසූයේ අද (09) අධ්‍යාපන අමාත්‍යංශයේ දී පැවති ප්‍රවෘත්ති සාකච්ඡාවකට එක්වෙමිනි.

    මෙහදී වැඩිදුරටත් අදහස් දැක්වූ අමාත්‍යවරයා, අද අප වෙත ලැබී තිබෙනවා සෞඛ්‍ය අධ්‍යක්ෂ ‍ජනරාල්තුමාගේ ලිඛිත නිර්දේශය. ඒ අනුව ලැබී තිබෙන උපදෙස් තමයි ලබන සඳුදා එනම් මාර්තු 15වැනි දින බස්නාහිර පළාතේ පාසල් ආරම්භ කළ යුත්තේ 5, 11 සහ 13 ශ්‍රේණිවලට පමණක් බවයි. සෙසු ශ්‍රේණිවල පන්ති ආරම්භ කරන්නේ අප්‍රේල් නිවාඩුවෙන් පසුව. ඒ නිසා සෙසු ශ්‍රේණි සඳහා පාසල් අප්‍රේල් 19 ආරම්භ කරනවා.
    1වන ශ්‍රේණියේ පන්ති සඳහා සිසුන් මේ වනවිටත් පාසල්වලට ඇතුළත් කරලා තිබෙනවා. නමුත් එම පන්ති තවම ආරම්භ කර නැහැ. බස්නාහිර පළාතේ කොළඹ, කළුතර සහ ගම්පහ දිස්ත්‍රික්කවලට එම පන්තිත් ඇතුලු ව අනෙකුත් සියලු ම පන්ති ඒ අනුව අප්‍රේල් 19 පැවැත්වීමට කටයුතු කරනවා. දිවයිනේ සෙසු ප්‍රදේශවල පාසල් ආරම්භ කිරීම පිළිබඳ කිසිදු ගැටලුවක් නැහැ. ඒ අනුව මාර්තු 15වන දින බස්නාහිර පළාතේ හැර දිවයිනේ සෙසු ප්‍රදේශවල සියලු ම පාසල් සියලු ම ශ්‍රේණි සඳහා විවෘත කෙරෙනවා. යනුවෙන් ද පැවසී ය.

  • කෝප් කමිටුවේ වැනි සැසි වාරයේ පළමු වැනි වාර්තාව හෙට පාර්ලිමේන්තුවට

    කෝප් කමිටුවේ වැනි සැසි වාරයේ පළමු වැනි වාර්තාව හෙට පාර්ලිමේන්තුවට

    පොදු ව්‍යාපාර පිළිබඳ කාරක සභාවේ (කෝප්) නව වැනි සැසි වාරයේ පළමු වැනි වාර්තාව එම කාරක සභාවේ සභාපති පාර්ලිමේන්තු මන්ත්‍රී මහාචාර්‍ය චරිත හේරත් මහතා විසින් හෙට (10) පාර්ලිමේන්තුවට ඉදිරිපත් කරනු ලැබේ.

    එම වාර්තාවට කෝප් කාරක සභාව විසින් විමර්ශනය කරන ලද විගණකාධිපති විශේෂ වාර්තා 06 ක් ඇතුළත් වනු ඇත.

    2009 වසරේ සිට 2016 ජූනි දක්වා නොරොච්චෝලේ ලක්විජය බලාගාරය සඳහා සිමාසහිත ලංකා ගල් අගුරු සමාගම මඟින් සිදු කරන ලද ගල් අගුරු ප්‍රසම්පාදන සම්බන්ධයෙන් පාර්ලිමේන්තුවේ බලශක්ති පිළිබඳ ආංශික අධික්ෂණ කමිටුවේ ඉල්ලීම පරිදි විගණකාධිපති විසින් ඉදිරිපත් කරනු ලබන විශේෂ විගණන වාර්තාව, මධ්‍යම අධිවේගී මාර්ග ව්‍යාපෘතියේ ශක්‍යතා අධ්‍යයනය සහ එම ව්‍යාපෘතිය සඳහා වන ප්‍රසම්පාදන කටයුතු පිළිබඳ විශේෂ විගණන වාර්තාව ඊට ඇතුළත්ය

    මෙයට අමතරව ලක්විජය බලාගාරයේ මෙහෙයුම් කටයුතු හා එහි පාරිසරික බලපෑම සම්බන්ධ විගණකාධිපති විශේෂ වාර්තාව, කැලණි ගඟේ දූෂණය සම්බන්ධ  විශේෂ විගණන වාර්තාව, 2016 වර්ෂය තුලදී ජාතික ලොතරැයි මණ්ඩලයට පරිගණකාශ්‍රිත දිනුම් ඇඳීම සඳහා වූ ලොතරැයිපත් මුද්‍රණය හා භාරදීම පිළිබඳ ප්‍රසම්පාදනය සම්බන්ධයෙන් සිදු කරන ලද විශේෂ විගණන වාර්තාව සහ රාජ්‍ය සේවයේ ඩිජිටල්කරණය කිරීමට අදාළව සීමාසහිත ශ්‍රී ලංකා තොරතුරු හා සන්නිවේදන තාක්ෂණ නියෝජිත ආයතනය ඉටුකර ඇති කාර්‍යභාරය පිළිබඳ විශේෂ විගණන වාර්තාව ඊට ඇතුලත් ය.

  • ඔබේ ලපය ගැන යළි අවධානය යොමු කරන්න: ශ්‍රී ලංකාවේ යළි ‘ලාදුරු’ හිස ඔසවයි

    ඔබේ ලපය ගැන යළි අවධානය යොමු කරන්න: ශ්‍රී ලංකාවේ යළි ‘ලාදුරු’ හිස ඔසවයි

    ලාදුරු රෝගය ශ්‍රී ලංකාවේ නැවත හිස ඔසවමින් පවතින බවටත් ඒ පිළිබඳව ජනතාව මෙන්ම වෛද්‍යවරුන් ද වැඩි අවධානයක් යොමු කළ යුතුව පවතින බවටත් ලාදුරු මර්දන ව්‍යාපාරයේ උපදේශක, ප්‍රජා සෞඛ්‍ය පිළිබඳ විශේෂඥ වෛද්‍ය කපිල පියසේන මහතා අනතුරු අඟවයි.

    ශ්‍රී ලංකාවෙන් ලාදුරු රෝගය සදහටම තුරන් වී ඇතැයි ජනතාව අතර වැරදි මතයක් පවතින අතර වසරකට රට පුරා වාර්තා වන ලාදුරු රෝගීන්ගේ ගණන දෙදහසකට ආසන්න බව විශේෂඥ වෛද්‍ය කපිල පියසේන පැවසීය. ඉන් වැඩිම රෝගීන් පිරිසක් හමුවී ඇත්තේ බස්නාහිර පළාතෙනි.

    “හැමෝම වගේ හිතාගෙන ඉන්නේ ලාදුරු ලංකාවේ නැහැ කියල. ඇතැම් වෛද්‍යවරුන් පවා හිතාගෙන ඉන්නේ ලංකාවේ දැන් ලාදුරු නැහැ කියල. 2019 වසර ඇතුළත රෝගීන් 1661ක් හිටියා. මේ වෙනකොට අවුරුද්දකට 2000ක් විතර රෝගීන් අපිට හමුවෙනවා. මගේ අත්දැකීම අනුව මමනම් හිතන්නේ මේ ගණන මීටවඩා වැඩි වෙන්න ඕනා. ජනතාවගේ සහ වෛද්‍යවරුන්ගේ දැනුවත්භාවය අඩු නිසා බොහෝ රෝගීන් වාර්තා වෙන්නේ නැහැ.”

    Getty Images
    “ළමයෙකුට වයස අවුරුදු පහේදී හෝ හයේදී රෝග ලක්ෂණ මතුවෙනවා කියන්නේ ඒ නිවසේ හෝ අවට තව රෝගීන් ඉන්නවා කියන එකයි”

    2019 වසර තුළ වාර්තා වුණු සමස්ත ලාදුරු රෝගීන්ගෙන් 181 දෙනෙකුම ළමුන් වීම ඉතා අනතුරුදායක තත්ත්වයක් බව වෛද්‍යවරයා පැවසීය.

    “මේක භයානක තත්ත්වයක්. මේ ළමයින්ගෙන් වැඩි ප්‍රතිශතය වයස අවුරුදු 10ත් 14ත් අතර සිටින ළමුන්. ළමයෙකුට වයස අවුරුදු පහේදී හෝ හයේදී රෝග ලක්ෂණ මතුවෙනවා කියන්නේ ඒ නිවසේ හෝ අවට තව රෝගීන් ඉන්නවා කියන එකයි. බොහෝ විට ළමයින්ට බෝවෙන්නේ නිවසින් ඈතක සිටින කෙනෙකුගෙන් නොවෙයි. අනෙක් අනතුර තමයි මේ ළමයින්ගෙන් තවත් ළමුන්ට බෝවෙන්න තියෙන ඉඩකඩ වැඩිවීම.”

    මේ වන විට බොහෝ රෝගීන් පමා වී වාර්තා වීම ද බරපතල ප්‍රශ්නයක් වී ඇති බව වෛද්‍යවරයා තවදුරටත් කියා සිටියේය. පමා වී ප්‍රතිකාර සඳහා යොමු වන රෝගීන් රෝහලට පැමිණෙන්නේ “ආපස්සට හැරවිය නොහැකි” සංකූලතා ද සමඟයි. ලාදුරු රෝගය සුව කළ හැකි නමුත්, ප්‍රතිකාර ගැනීමට පමා වුවහොත් ඒ වනවිට ස්නායු පද්ධතියට සිදු වී ඇති හානි සමඟ එම රෝගියාට ජීවිත කාලයම ගත කරන්නට සිදුවනු ඇත.

    “රෝගීන් හමුවෙන්නෙත් පමා වෙලා. 2019දී රෝගීන් 93 දෙනෙක් ම හමුවෙන්නේ බරපතල සංකුලතා එක්කමයි. සාමාන්‍යයෙන් ලෝක සෞඛ්‍ය සංවිධානයේ නිර්ණායකවලට අනුව මිනිසුන් දසලක්ෂයකට සිටිය හැක්කේ එවැනි එක් ලාදුරු රෝගියක් පමණයි. අපේ රටේ ජනගහනය මිලියන 22ක් නම් අපිට සංකුලතා සහිතව හමුවෙන්න ඕන ලාදුරු රෝගීන් 22ක් පමණයි. ඒත් 2019දී 93 දෙනෙක් හමු වුනා. ඒ කියන්නේ පමා වෙලා වැඩියි.”

    “මේ රෝගය ඉක්මනින් හඳුනාගෙන නිසි ප්‍රතිකාර ගත්තොත් ඉක්මනින් ම සනීප වෙනවා. කිසිම සංකුලතාවයක් නැතිව.” විශේෂඥ වෛද්‍යවරයා ප්‍රකාශ කළේය.

    “මේකේ තියෙන භයානක කම”

    මෙම රෝගයේ ඇති “භයානක කම” සහ කාලය “තීරණාත්මක සාධකයක්” වන්නේ ඇයිදැයි විශේෂඥ වෛද්‍ය කපිල පියසේන පැහැදිලි කළේ මෙසේය.

    Getty Images
    “රෝගය හඳුනාගන්න පමා වන තරමට එහි සංකුලතා වැඩිවෙනවා”

    “මුලින්ම රෝගියෙක් කරන්නේ සමේ රෝග විශේෂඥයෙකු හමුවීම. එයා අවම වශයෙන් තුන් වතාවක් වත් රෝගියා පරීක්ෂා කලාට පස්සේ තමයි ලාදුරු සඳහා පරීක්ෂාවකට යොමු කරන්නේ. මේ සඳහා ගතවන කාලය ඉතාම තීරණාත්මකයි. සාමාන්‍ය ක්‍රීම් එකක් මාසයක් දෙකක් ආලේප කරමින් සිටින අතරතුර මේ රෝගය සම ඇතුළෙන් පැතිරෙනවා. ඒ අතරතුර මේ බැක්ටීරියාව ස්නායු වලටත් හානි කරන්න පුළුවන්. ස්නායුවලට ගියාට පස්සේ තමයි මේකෙන් ඇතිවන අතුරු ආබාධ සියල්ල ම ඇතිවෙන්න පටන් ගන්නේ. අතපය කොරවීම, ඇඟිලි, ඇස්, කන්, නාසා වෙනස් වීම් වගේ දේවල්. රෝගය හඳුනාගන්න පමා වන තරමට එහි සංකුලතා වැඩිවෙනවා. ඒ නිසා කාලය ඉතාම තීරණාත්මක සාධකයක්.”

    “ලාදුරු පවුලකින් කසාදයක්…?”

    ලාදුරු යනු සුව කළ නොහැකි රෝගයක් යැයි සමාජගත වී ඇති දුර්මතය හේතුවෙන් බොහෝ දෙනා අනියත බියක් ඇතිකරගෙන ඇති බව වෛද්‍යවරයා පැවසීය.

    “සමහරු හිතනවා ලාදුරු හැදුණු කෙනෙක් හිටිය පවුලකින් කසාදයක්වත් කරගන්න හොඳ නැහැ කියල.”

    ලාදුරු මර්දන ව්‍යාපාරයේ විශේෂඥ වෛද්‍යවරයා තවදුරටත් කියා සිටියේ ලාදුරු රෝගය සඳහා ප්‍රතිකාර ලබා ගැනීමට අවශ්‍යනම් රජයේ රෝහලකට ම යායුතු බවය. ඒ වෙනුවෙන් කිසිදු මුදලක් අය නොකෙරේ.

    Getty Images

    “මේ රෝගයට බෙහෙත් තියෙන්නේ රජයේ රෝහල්වල පමණයි. පෞද්ගලික රෝහල්වල බෙහෙත නැහැ. ප්‍රයිවෙට් චැනල් කරලා බැලුවත් එයාව ලාදුරු ප්‍රතිකාර සඳහා යොමු කරන්න වෙන්නේ රජයේ රෝහලට.”

    ලාදුරු රෝගීන් කාණ්ඩ දෙකකට වර්ගීකරණය කළ හැකි බව ඔහු පැහැදිලි කළේය.

    “ලාදුරු රෝගීන් වර්ග දෙකක් ඉන්නවා. බැක්ටීරියා වැඩි වශයෙන් ශරීරගත වී සිටින රෝගීන් සහ බැක්ටීරියා අඩු වශයෙන් ශරීරගත වී සිටින රෝගීන් ලෙස මේ කාණ්ඩ දෙක හඳුන්වන්න පුළුවන්. බැක්ටීරියා වැඩි ප්‍රමාණයක් ඇඟේ ඉන්න අයගෙන් තමයි රෝගය පැතිරෙන්නේ. අඩු බැක්ටීරියා ප්‍රමාණයක් සිටින රෝගීන්ගෙන් ලාදුරු පැතිරෙන්නේ නැහැ. අපේ රටේ ලාදුරු රෝගීන්ගෙන් 60%කට වැඩි ප්‍රමාණයක් ඉන්නේ බැක්ටීරියා වැඩි කාණ්ඩය. ඒ නිසා මේ රෝගය රටේ ව්‍යප්තවෙන්න තියෙන ඉඩකඩ වැඩියි.”

    ලාදුරු තුරන් කළ හැකි මට්ටමට ශ්‍රී ලංකාව පැමිණ ඇතැයි ලෝක සෞඛ්‍ය සංවිධානය වසර කීපයකට පෙර නිවේදනය කර තිබියදී මෙවැනි තත්ත්වයක් ඇතිවිය හැකිදැයි ප්‍රශ්න කළ විට වෛද්‍යවරයා කියා සිටියේ ජනතාව එම නිවේදනය වැරදි ලෙස තේරුම් ගෙන ඇති බවය.

    Getty Images

    “මිනිසුන් ලක්ෂයකට රෝගීන් 10කට වඩා අඩුනම් අපි කියනවා ලාදුරු රටින් තුරන් කිරීමේ මට්ටමට ඇවිත් කියල. ඒක තමයි ලෝක සෞඛ්‍ය සංවිධානයේ නිර්ණායකය. 1995 දී ශ්‍රී ලංකාව ඒ මට්ටමට ඇවිත් හිටියා. එතකොට මිනිස්සු අතර මතයක් ඇතිවුණා දැන් ලංකාවේ ලාදුරු නැහැ කියල. ඒක වැරදි මතයක්. රටක් ලාදුරු තුරන් කළ හැකි මට්ටමට එනවා කියන්නේ ඒ රටේ ලාදුරු ඇත්තෙම නැහැ කියන එක නෙමෙයි.”

    රෝගියා සමඟ වාසේ…?

    ලාදුරු රෝගියෙකු සමඟ එකම නිවසක වාසය කළ හැකිද? නිවසේ සිට ප්‍රතිකාර ගත හැකිද? බැක්ටීරියාව ශරීරගත වීමෙන් අනතුරුව රෝග ලක්ෂණ පහළවීමට කෙතරම් කාලයක් ගත වේද? විශේෂඥ වෛද්‍ය කපිල පියසේන ඒ සියලු ප්‍රශ්නවලට ලබා දුන්නේ මෙවැනි පිළිතුරකි.

    “මේ රෝගයේ තියෙන විශේෂත්වය තමයි, අද මම ඔයා ළඟින් වාඩිවෙලා හිටිය කියල හෙට ඔයාට ලාදුරු හැදෙන්නේ නැහැ. අද බැක්ටීරියාව ශරීරගත වුනත් අඩු තරමින් අවුරුදු දෙකක්වත් යනවා රෝග ලක්ෂණ මතුවෙන්න. රෝග ලක්ෂණය කියන්නෙත් ඇඟේ එන ලපයක් විතරයි. ඒ ලපය හඳුනා ගත්තේ නැත්නම් තවත් වසර තුනක්වත් ගිහින් තමයි ස්නායු ආබාධ ඇති වෙන්නේ. ඒකත් මුලින්ම ඇඟිලි හිරි වැටීමක් වගේ දෙයක් වෙන්න පුළුවන්.”

    “ඒ වෙනකොට මේ පුද්ගලයා වයසට ගිහින් හිටියොත් එයා හිතනවා මේක වයසට එන ලෙඩක් වෙන්න ඇති කියල. එහෙම නැත්නම්, මේ පුද්ගලයාට දියවැඩියාව තිබුනොත් එයා හිතනවා මේක දියවැඩියාව නිසා හිරි වැටීමක් වෙන්න ඇති කියල. මේ වගේ දේවල් නිසා ලාදුරු කලින් හඳුනා ගැනීම තවදුරටත් අපහසු වෙනවා. ඒ වෙනකොට රෝගය සනීප කළත් අර හානිය ආපස්සට හැරෙන්නේ නැහැ.”

    Getty Images
    සිරුරේ ඇතිවන සෑම ලපයක්ම ලාදුරු ලපයක් නොවේ

    ලපයක් මතුවීමට පෙර රෝගය හඳුනා ගැනීම සඳහා මේ දක්වා සාර්ථක වෛද්‍ය පරීක්ෂණයක් සොයාගෙන නොමැති බව ඔහු පැවසීය.

    ප්‍රතිකාර ලබා ගැනීම ආරම්භ කළ මොහොතේ පටන් මෙම රෝගය තවත් කෙනෙකුට සම්ප්‍රේෂණය වීම නවතින හෙයින් නිවසේ සිටින අන් කිසිවෙකුට බිය වීමට කාරණයක් නොමැති බව වෛද්‍යවරයා අවධාරණය කරයි. එබැවින් රෝගියාට ද නිවසේ සිටම ප්‍රතිකාර කරගෙන යාමට හැකියාව පවතී.

    ප්‍රථමයෙන් ලාදුරු සඳහා සාර්ථක ප්‍රතිකාරයක් සොයාගනු ලැබුවේ, 1940 වර්ෂයේය.

    වර්තමානයේ ලාදුරු රෝගය සුව කිරීම සඳහා බහු ඖෂධ ප්‍රතිකාර (MDT) ලබා දෙන අතර ලාදුරු වර්ගය අනුව මාස 6ක් හෝ 12ක් වශයෙන් ප්‍රතිකාර ලබා දීම සිදුකරයි.

    ලපය:

    සිරුරේ ඇතිවන සෑම ලපයක්ම ලාදුරු ලපයක් නොවේ. නමුත් ලපයක් ඇතිවූ විට ඒ පිළිබඳව සැලකිලිමත් විය යුතුබව වෛද්‍ය උපදේශයයි. ලාදුරු ලපයක් හඳුනා ගන්නේ කෙසේදැයි විමසු විට වෛද්‍යවරයා එය පැහැදිලි කළේ මේ ආකාරයටය.

    “හමේ පාටට වඩා අඩු පාටක් හෝ තද පාටක් විය හැකියි. පැතලි ලපයක් හෝ නෙරා පැමිණි බිබිලක් වැනි ලපයක් විය හැකියි. මුහුණේ එක පැත්තක හෝ දෙපැත්තේම වෙන්නත් පුළුවන්. ශරීරයේ ඕනෑම තැනක විය හැකියි.”

    “මේ බැක්ටීරියාවෙන් එම ලපය මැද ඇති ස්නායු මරා දමන නිසා ලපය මත දැනීමක් නැහැ. ඒ ලපය ඇති ස්ථානවල රෝම කූප නැහැ, දාඩිය දමන්නේත් නැහැ.”

    මේවා පොදු ලක්ෂණ වන නමුත් මීට වඩා වෙනස් වූ ලක්ෂණ සහිත ලපයක් ද ඇතිවීමට ඉඩ ඇති බව වෛද්‍යවරයා අවධාරණය කළේය. එම හේතුව නිසාම වෛද්‍යවරුන්ට පවා මෙය විනිශ්චය කර ගැනීම අපහසු විය හැකි බව ඔහු පැවසීය.

    “ඒකයි අපි කියන්නේ, යන්තමින් හෝ සැකයක් පවතිනවානම් ලාදුරු රෝහල වෙත යොමු කරන්න කියල. එතැනදී අපට විශේෂ පරීක්ෂාවක් කරන්න පුළුවන්.”

    දීර්ඝ ඉතිහාසයක්

    ලාදුරු රෝගය ඇතිකරවන බැක්ටීරියාව මුලින්ම මිනිස් සිරුරට පැමිණියේ කෙසේද යන්න පිළිබඳව තවමත් සොයාගෙන නොමැත. මෙම රෝගයට ඉතා දීර්ඝ ඉතිහාසයක් පවතී. එය වසර 5000ක් තරම් ඈතට දිව යන්නකි. වෛද්‍ය කපිල පියසේන එම ඉතිහාසය සංක්ෂිප්ත කළේ මෙලෙසිනි.

    “බුදු දහමේත් මේක කියවිලා තියෙනවනේ. එක ජාතක කතාවක මට මතකයි මේ ගැන කියවෙනවා. එක්තරා රහතන් වහන්සේ නමකට දානේ බෙදනකොට ඒ මනුස්සයාගේ ඇඟිල්ලක් ගැලවිලා පාත්තරේට වැටුන කියනවනේ. මේ රෝගය එහෙම තමයි. ඇඟිලි පුරුක් ගැලවෙන්නේ කිසිම වේදනාවක් නැතිව.”

    “අද කාලේ කොරෝනා නිසා සති දෙකක් නිරෝධායනය වෙන්න බැහැ කියල සමහරු මැසිවිලි නගනවා. ඒ කාලේ ලාදුරු හැදුනනම් මුළු ජීවිත කාලෙම හුදෙකලා කරනවා.”

    “හැඳල රෝහල පටන් ගත්ත කාලේ රෝගීන් දහස් ගණනක් ඒ රෝහලේ ඉඳල තියනවා. ඇතුළට ආපු කෙනෙක් ආයේ එළියට ගිහින් නැහැ. මැරුණම පෙට්ටියෙන් තමයි එලියට ගෙනිච්චේ. ඒ දවස්වල තිබුණා ලාදුරු කොලනි කියල ස්ථාන වෙන්කරලා.”

    හැඳල නගරයේ පිහිටා ඇති ලාදුරු රෝහලේ ඉතිහාසය ද ලන්දේසි යුගය දක්වා දිව යන බව වෛද්‍යවරයා පැවසීය.

    “ක්‍රිස්තු වර්ෂ 1700 ගණන්වලදී ලන්දේසි කුමාරයෙක් ලංකාවට ඇවිත් තියෙනවා. එයාට ලාදුරු රෝගය හැදිලා. එයාව හුදෙකලා කරලා තියන්න තමයි මේ ගොඩනැගිල්ල හදල තියෙන්නේ. 1708 දී තමයි මුල්ගල තියල තියෙන්නේ. කුමාරයෙක් තියන්න ඕන නිසා මේක ඉතා සුඛෝපභෝගී ලෙස තමයි හදල තියෙන්නේ. මෑතකදී අලුත්යාවැඩියාවක් කරද්දී වහලේ උළුකැට හම්බවුණා. ඒවා හදල තියෙන්නේ ක්‍රිස්තු වර්ෂ 1860දී. අද තියෙන උළුකැටවලට වඩා තවමත් ඒවා ශක්තිමත්.”

    රෝගීන් මිය ගිය විට ඔවුන්ගේ සිරුරු ගෙන යාම සඳහා වෙන්වූ කරත්ත තිබුණු බවත් ඉන් කරත්ත දෙකක් දැනටත් රෝහල තුළ දක්නට හැකි බව වෛද්‍ය කපිල පියසේන පැවසීය.

    ඈත අතීතයේ රෝගීන්ගේ රෙදි සේදීම සඳහා හැඳල ලාදුරු රෝහල තුළ යන්ත්‍රයක් සවිකර තිබුණු බවත් එය ලෝකයේ පැරණිතම රෙදි සෝදන යන්ත්‍රයක් බවත් ඔහු ප්‍රකාශ කළේය.

    “මේක දැන් කාලේ වගේ පොඩි යන්ත්‍රයක් නොවෙයි. විශාල කාමරයක් වගේ යන්ත්‍රයක්. ඒක තමයි ලංකාවේ භාවිතා කළ පළමුවැනි රෙදි සෝදන යන්ත්‍රය.”

    ලාදුරු ගැන ඔබ දත යුතු දේ:

    • ලාදුරු යනු Mycobacterium leprae නමැති බැක්ටීරියාව මගින් බෝවන, නිදන්ගත රෝගයක් වන අතර එය සම සහ පර්යන්ත ස්නායු පද්ධතියට බලපෑම් ඇති කරයි.
    • ශ්වසන මාර්ගයෙන් නිකුත් වන ආසාදිත බිඳිති මගින් මෙම රෝගය ව්‍යාප්ත වීම සිදුවේ.
    • මෙම රෝගය මිනිසෙකුගෙන් තවත් මිනිසෙකුට බෝවිය හැකි අතර මේ සඳහා නිශ්චිත වාහකයෙකු හඳුනාගෙන නොමැත.
    • ප්‍රතිකාර ගන්නා රෝගියකුගෙන් මෙම රෝගය අන් අයට බෝ නොවේ.
    • ලාදුරු රෝගය පහසුවෙන් හඳුනාගෙන ප්‍රතිකාර ලබා දීම හා සුව කිරීම කළ හැක.
    • ලාදුරු රෝග විනිශ්චය ප්‍රධාන වශයෙන් සිදුකරනු ලබන්නේ සායනයේදී රෝග ලක්ෂණ හඳුනා ගැනීම මගිනි.
    • ලාදුරු රෝගයේ ප්‍රධාන රෝග ලක්ෂණය වන්නේ හැඟීම් නොදැනෙන ලප කැළැල් ය.
    • ලාදුරු රෝගයේ ප්‍රධාන ගැටලුවක් වන්නේ දුබලතා ඇති වීම මගින් ඵලදායීතාව අහිමි වීමයි.
    • මෙම දුබලතා ලාදුරු රෝගය නිසා ඇති වන ප්‍රතික්‍රියා හේතුවෙන් ඇති වන අතර ඕනෑ ම අවස්ථාවක, එනම් ප්‍රතිකාර සම්පූර්ණ කිරීමෙන් පසු පවා ඇති විය හැක.
    • කලින් රෝගය හඳුනාගෙන ප්‍රතිකාර කිරීම මගින් මෙම දුබලතා බොහෝ දුරට වළක්වා ගත හැක.

    (මූලාශ්‍ර: ලාදුරු මර්දන ව්‍යාපාරය – බී.බී.සී සන්දේශය)

  • ස්විට්සර්ලන්තයේ ‘බුර්කා සහ නිකාබ්’ තහනම්

    ස්විට්සර්ලන්තයේ ‘බුර්කා සහ නිකාබ්’ තහනම්

    ස්විට්සර්ලන්ත ජනතාව, මුස්ලිම් කාන්තාවන් පළඳින බුර්කා හෝ නිකාබ් ඇතුළු හිස් ආවරණ ප්‍රසිද්ධියේ පැළඳීම තහනම් කිරීමට පක්ෂව ඡන්දය දුන්හ.

    ඉරිදා (මාර්තු 07) පැවති ජනමත විචාරණයේ නිල ප්‍රතිඵලය 48.8% ට 51.2% වශයෙන් දැක්විණි.

    මේ පිළිබඳ යෝජනාව ගෙන ආ දක්ෂිණාංශික ස්විස් ජනතා පක්ෂය (SVP නොඑසේනම්, Swiss People’s Party) සිය මැතිවරණ ව්‍යාපාරය තුළ “අන්තවාදය නවත්වනු” වැනි සටන් පාඨ ඉදිරිපත් කළේය.

    මෙය මුස්ලිම් ජනතාවට “අඳුරු දිනයක්” වූ බව ස්විට්සර්ලන්තයේ ප්‍රමුඛ ඉස්ලාමීය කණ්ඩායමක් විසින් හඳුන්වා දෙනු ලැබිණි.

    “අද තීරණය පැරණි තුවාල විවර කරන්නක්, නෛතික අසමානතාව පිළිබඳ ප්‍රතිපත්තිය තවදුරටත් පුළුල් කරන්නක් මෙන්ම බැහැර කිරීම සම්බන්ධයෙන් මුස්ලිම් සුළුතරයට යැවුණු පැහැදිලි සංඥාවක්,” යැයි සඳහන් කරමින් නිවේදනයක් නිකුත් කළ මුස්ලිම් ප්‍රජාවේ මධ්‍යම මණ්ඩලය, මෙම තීරණ අධිකරණය හමුවේ අභියෝගයට ලක්කරන බව කියා සිටියේය.

    කාන්තාවන් පැළඳිය යුත්තේ කුමක්ද යන්න නිගමනය කිරීම රාජ්‍යයට අයත් කාර්යයක් නොවන බව දක්වමින් තහනමට එරෙහිව ස්විස් ආණ්ඩුව තර්ක කර තිබිණි.

    ජර්මනියේ ලුසර්න් විශ්ව විද්‍යාලය කළ පර්යේෂණයකට අනුව, ස්විට්සර්ලන්තය තුළ කිසිවකු හෝ බුර්කාව නොපළඳින තරම් වන අතර කාන්තාවන් 30 දෙනෙක් පමණ නිකාබය පැළඳ සිටියහ. මිලියන 8.6ක් වන ස්විට්සර්ලන්තයේ ජනගහනයෙන් 5% ක පමණ මුස්ලිම් ජනතාවක් වෙති. ඉන් බොහෝමය තුර්කිය, බොස්නියා සහ කොසොවෝ යන රටවල සම්භවය සහිත වූවෝ වෙති.

    BBC

    රටේ පවතින සෘජු ප්‍රජාතන්ත්‍රවාදී ක්‍රමයට අනුව, සිය කටයුතු සම්බන්ධයෙන් ස්විට්සර්ලන්ත ජනතාවට සෘජු මැදිහත්වීමක් කිරීමේ හැකියාව ලබාදී තිබේ. විවධ කරුණු සම්බන්ධයෙන් සිය ඡන්දය භාවිත කිරීම සඳහා ජාතික හෝ කලාපීය වශයෙන් වන ජනමත විචාරණ සඳහා නිතර ඔවුහු සහභාගී කර ගැනෙති.

    මෙය ස්විස් ජනමත විචාරණයක දී ඉස්ලාම් සම්බන්ධ වූ පළමු අවස්ථාව නොවේ. 2009 දී ආණ්ඩුවේ උපදෙස්වලට එරෙහිව ගිය ස්විස් පුරවැසියෝ, මුස්ලිම් දේවස්ථානවල කුළුණු ඉදිකිරීම තහනම් කිරීමට ඡන්දය භාවිත කළහ. SVP පක්ෂය ඉදිරිපත් කළ යෝජනාවකින් කියැවුණේ අදාළ කුළුණු ඉස්ලාමීයකරණය පිළිබඳ ලකුණක් වන බවකි.

    ඉරිදා ජනමත විචාරණයට පදනම් වූ යෝජනාවෙන් සෘජුව ම ඉස්ලාම් පිළිබඳ සඳහනක් නොකෙරුණු අතර මුහුණු ආවරණ පැළඳි ප්‍රචණ්ඩකාරී වීථි උද්ඝෝෂකයින් නැවත්වීම ඉන් අපේක්ෂා කෙරිණි. කෙසේවෙතත් ජනමත විචාරණය “බුර්කා තහනම” ලෙස විශාල වශයෙන් සඳහන් කෙරිණි.

    මුස්ලිම් කාන්තාවන් නිරූපිත පෝස්ටර මෙන්ම මෙම ජනමත විචාරණ ප්‍රචාරක වැඩපිළිවෙල කනස්සල්ල ඇතිකරන්නක් වූ බව ස්විට්සර්ලන්ත මුස්ලිම් ප්‍රජාවේ සාමාජිකා සනිජා අමෙති බීබීසී සමග පැවසුවාය.

    “තමන් අවමානයට ලක්වූ බව මෙන්ම මේ සමාජයේ කොටසක් නොවන බවක් ස්විට්සර්ලන්තයේ සිටින බොහෝ මුස්ලිම්වරුන්ට දැනේවි. තමන් අයත් නොවන මුල්ලකට ඇද දැමුවා සේ දැනේවි. අපි, පෙනුමෙන් මේ පින්තුරවල ඉන්න කාන්තාවන් වගේ නෙවෙයි.” ඇය සඳහන් කළාය.

    කෙසේවෙතත්, මුස්ලිම් ප්‍රජාවට අයත් වෙනත් අය මෙම තහනමට සහය දක්වයි.

    “සමහරවිට ඉස්ලාම් භීතිකාව” මෙම වැඩපිළිවෙල පසුපස තිබිය හැකි යැයි තමන් සිතූ බව බර්න් නගරයේ වෙසෙන ඉමාම් මුස්තාෆා මෙමෙති බීබීසී සමග පැවසීය. නමුත් මෙය ස්විට්සර්ලන්තයේ සිටින මුස්ලිම් කාන්තාවන් නිදහස් කිරීමට ඉවහල් විය හැකි බැවින් තමන් එම තහනමට සහය දුන් බව ඔහු කීය.

    මුස්ලිම් හිස් ආවරණ “අන්තගාමී බවේ සංකේතයක්, දේශපාලනික ඉස්ලාමය යුරෝපයේ වේගයෙන් ප්‍රමුඛව මතුවෙමින් තිබෙන අතර ඊට ස්විට්සර්ලන්තයේ ඉඩක් නැහැ” යැයි SVP පක්ෂයේ මන්ත්‍රීවරයෙකු මෙන්ම ජනමත විචාරණ කමිටුවේ සභාපති වොල්ටර් වොබ්මාන් ඡන්දයට පෙර පැවසීය.

    “ස්විට්සර්ලන්තයේ අපගේ සම්ප්‍රදාය වන්නේ ඔබ ඔබේ මුහුණ පෙන්වන්න. එය අපගේ මූලික නිදහස් තත්ත්වයන් පිළිබඳ ලකුණක්” ඔහු සඳහන් කළේය.

    යෝජිත තහනමට එරෙහිව අදහස් පළකරන ඇම්නෙස්ටි ඉන්ටර්නැෂනල් ආයතනය, “මෙය ප්‍රකාශනයේ නිදහස හා ආගමට ඇතුළත් කාන්තා අයිතිවාසිකම් උල්ලංඝනය කරන භයානක ප්‍රතිපත්තියක්” යැයි කියා සිටියේය.

    ප්‍රසිද්ධියේ ඉස්ලාමීය හිස් ආවරණ පැළඳීම යුරෝපයේ අනෙකුත් රටවල ද අර්බුදකාරී මාතෘකාවක් බවට පත්ව ඇත. ප්‍රසිද්ධියේ පූර්ණ වශයෙන් මුහුණ වැසෙන ආවරණ පැළඳීම ප්‍රංශය විසින් 2011 වසරේදී තහනම් කරන ලද අතර එවැනි පූර්ණ හෝ අර්ධ වශයෙන් තහනම් පැනවීමට නෙදර්ලන්තය, ඩෙන්මාර්කය, ඔස්ට්‍රියාව හා බල්ගේරියාව ද පියවර ගෙන තිබිණි.

    බී.බී.සී ඇසුරිණි

  • අතේ තිබුණු T20 තරගාවලි ජයග්‍රහණය ශ්‍රී ලංකාවෙන් ගිලිහෙයි

    අතේ තිබුණු T20 තරගාවලි ජයග්‍රහණය ශ්‍රී ලංකාවෙන් ගිලිහෙයි

    පන්දු 6 කදී වේගවත් ලකුණු 21 ක් රැස් කළ පසු පෙළ පිතිකරු ෆේබියන් ඇලන් සංචාරක ශ්‍රී ලංකා පිලට එරෙහිව කූලිජ්හි අද (08 දා) පැවැති තෙවැනි විස්සයි-20 තරගයෙන් කඩුලු 3 ක ජයක් කරා බටහිර ඉන්දීය කොදෙව් කණ්ඩාය කැඳවාගෙන ගියේය.

    මෙම ජයග්‍රහණයත් සමඟ දෙරට අතර පැවැති විස්සයි-20 තරගාවලිය 2-1 ක් ලෙස ජය ගැනීමටද කොදෙව් ක්‍රීඩකයෝ සමත්වූහ.

    ලකුණු 132 ක ඉලක්කයක් හඹා ගියද වනිඳු හසරංග ප්‍රමුඛ ශ්‍රී ලංකා පන්දු යවන්නෝ කොදෙව් පිතිකරුවන්ට දැඩි පීඩනයක් එල්ල කිරීමට සමත්වීම නිසා අවසන් පන්දුවාර 12 දී ලකුණු 20 ක් ලබාගැනීමේ අභියෝගය කොදෙව් කණ්ඩායම මත පැටවිණ. එහෙත් අකිල ධනංජය විසින් ක්‍රියාත්මක කරන ලද 19 වැනි පන්දුවාරයේදී දැවැන්ත හයේ පහර 3 ක් එල්ල කළ ෆේබියන් ඇලන්, ශ්‍රී ලංකාව අතේ තිබූ ජයග්‍රහණය උදුරා ගත්තේය. ජයග්‍රාහී හයේ පහර ඇලන්ගේ පිත්තෙන් එල්ල වන විට කොදෙව් ලකුණු පුවරුවේ පන්දු 6 ක් සහ කඩුලු 3 ක් ඉතිරිව තිබිණ.

    පිත්තෙන් දක්වන ලද දක්ෂතා වලට අමතරව පන්දු යැවීමේදී සිය පන්දුවාර 4 ලකුණු 13 කට සීමා කරමින් එක් කඩුල්ලක් දවා ගැනීමටද ඇලන් සමත්වූවේය. ඔහු විසින් ක්‍රියාත්මක කරන ලද පන්දුවාර 4 න් 3 ක්ම පවර් ප්ලේ අවස්ථාවේදී යවන ලද ඒවා විය. එම දක්ෂතාවය හේතුවෙන් පවර් ප්ලේ අවස්ථාවේදී ශ්‍රී ලංකාවට රැස්කරගත හැකි වූයේ ලකුණු 27 ක් වන අතර එහිදී කඩුලු 3 ක්ම දැවී යෑම දැවැන්ත පාඩුවක් විය. තුන් ඉරියව්වෙන්ම දක්වන ලද දක්ෂතාවය හේතුවෙන් මෙම තරගයේ වීරයා සම්මානයෙන්ද ෆේබියන් ඇලන් පිදුම් ලැබීය.

    පවර් ප්ලේ අවස්ථාවට හිමි පන්දු 36 දී කඩුල්ලක් දැවී ලකුණු 53 ක් රැස් කරමින් සාර්ථක ප්‍රවේශයක් ලබා ගැනීමට කොදෙව් පිතිකරුවන් සමත් වුවද වනිඳු හසරංගගේ පන්දු යැවීමට කැඳවීමත් සමඟ යළිත් වරක් කොදෙව් පිතිකරුවෝ පසුපසට තල්ලු වූහ. එහිදී සාර්ථක වුණු වනිඳු එවින් ලුවිස් සහ ලෙන්ඩ්ල් සිමන්ස්ගේ කඩුලු දවා ගනිමින් තරගයේ වාසිය ශ්‍රී ලංකා පිල දෙසට හරවා දීමට සමත්වූවේය. සිය සහායකයා ලබාගත් ආරම්භය එලෙසින්ම පවත්වාගත් චයිනමන් පන්දු යවන ලක්ෂාන් සඳකැන් පිට පිට පන්දු දෙකකදී රොව්මන් පවෙල් සහ ඩ්වයින් බ්‍රාවෝගේ කඩුලු ද සමඟ දවාගත් කඩුලු 3 ත් දුෂ්මන්ත චමීර දවාගත් කඩුලු 2 ත් හේතුවෙන් කොදෙව් හඹා යෑමට දැඩි බලපෑමක් එල්ල කළේය. පළමු තරගයේ පරිදිම දැවැන්ත ප්‍රහාරයකට ලක් වුණු අකිල ධනංජයගේ පන්දුවාර 4 දී ලකුණු 52 ක් උදුරා ගැනීමට කොදෙව් පිතිකරුවෝ සමත්වූහ.

    ප්‍රථමයෙන් පන්දුවට පහර දුන් ශ්‍රී ලංකා කණ්ඩායමේ ඉදිරි පෙළ පිතිකරුවන් සිව් දෙනෙකු අඩු ලකුණු සංඛ්‍යාවන් වලට දැවී ගියද 5 වැනි කඩුල්ලට එක් වුණු දිනේෂ් චන්දිමාල් සහ අෂේන් බණ්ඩාර ලකුණු 85 ක් රැස් කරමින් ගෞරවනීය ලකුණු සංඛ්‍යාවකට ඔසවා තැබූහ. පන්දු @ කදී වාර්තා වුණු මෙම නොබිඳුණු සම්බන්ධතාවය වාර්තා වූයේ විස්සයි-20 තරග වලදී ශ්‍රී ලංකා පිතිකරුවන් යුගලයක් 5 වැනි කඩුල්ල වෙනුවෙන් රැස් කරන ලද ඉහළම ලකුණු සබඳතාවය ලෙසිනි. එම සම්බන්ධතාව මත නියමිත පන්දුවාර 20 අවසනදී කඩුලු 4 කට ලකුණු 131 ක් රැස් කිරීමට ශ්‍රී ලංකාවට අවස්ථාව විවර විය.

    පළමු තරග 2 ට ම වඩා මන්දගාමී වුණු කූලිජ් තණතීරුවේදී ඇලන්ට අමතරව වැඩි වාසි ලබා ගත් කෙවින් සින්ක්ලෙයාර් ශ්‍රී ලංකා පිතිකරුවන්ගේ ලකුණු රැස් කිරීම අඩපණ කළේය. පන්දු යැවී ෆේබියන් ඇලන් පෙරළා රැකගත් සුපිරි උඩ පන්දුව හේතුවෙන් පෙර තරගයේ වැඩිම ලකුණු ලාභියා වුණු ගුණතිලකගේ ඉනිම ලකුණු 9 කදී නිමාවට පත්විය.

    එසේ ලබා ගත් සාර්ථක ආරම්භය 10 වැනි පන්දුවාරය වන තෙක්ම රඳවා ගැනීමට කොදෙව් පන්දු යවන්නන් සමත්වීම නිසා ලකුණු පුවරුව ලකුණුඅ 47 කට කඩුලු 4 ක් ලෙසින් සටහන් විය. කෙසේ වෙතත් චන්දිමාල්ට එක් වුණු අෂේන් බණ්ඩාර හයේ පහර 2 ක් සහ හතරේ පහර 3 ක් සමඟින් පන්දු 35 කදී ලකුණු 44 ක් රැස් කරමින් ලකුණු ලබා ගැනීම වේගවත් කළේය. බණ්ඩාර සමඟ ඉනිම හමාර වන තෙක්ම කඩුල්ලේ රැඳී සිටි චන්දිමාල් හතරේ පහර 3 ක් සමඟින්පන්දු 46 කදී ලකුණු 54 ක් ලබා සිටියේය.

    දෙරට අතර පැවැත්වෙන තරග 3 කින් සමන්විත එක්දින තරගාවලිය ලබන 10 වැනිදා විවියන් රිචර්ඩ්ස් ක්‍රීඩාගණයේදී දිවා තරගයක් ලෙසින් පැවැත්වෙනු ඇත.

  • ‘ලුණු අඩුවෙන් – රස වැඩියෙන්’ – ලුණු භාවිතය ගැන දැනුවත් කිරීම ඇරඹේ !

    ‘ලුණු අඩුවෙන් – රස වැඩියෙන්’ – ලුණු භාවිතය ගැන දැනුවත් කිරීම ඇරඹේ !

    ලුණු භාවිතය පිළිබඳව ජනතාව දැනුවත් කිරිමේ සතිය මාර්තු අද (08) ආරම්භ වුණා. එය ලබන 14 වැනිදා දක්වා ක්‍රියාත්මක වෙනවා. මෙ වසරේ තේමාව “ලුණු අඩුවෙන් – රස වැඩියෙන්” යන්නයි.

    ශ්‍රි ලංකාවේ සිදුවන මරණ වලින් 83%ක් බෝනොවන රෝග නිසා සිදුවේ. එයින් 34% සිදුවන්නේ හෘදය හා රුධිර වාහිනි සම්බන්ධ රෝග තත්ත්වයන් නිසා වන අධික රැධිර පිඩනය,හෘදයාබාධ සහ ආඝාතය (අංශභාගය) නිසාය. අධික රුධිර පිඩනය ඇතිවිමට ප්‍රධාන හේතුව ලෙස පර්යේෂණ වලින් තහවුරු වී ඇත්තේ අධික ලුණු භාවිතයයී.

    අධික සිනි භාවිතය නිසා දියවැඩියාව ඇති වන බව බෝහෝ දෙනා දැනසිටියත්, අධික තෙල් සහිත ආහාර  හා අධික ලුණු භාවිතය නිසා අධික රුධිර පිඩනය ඇති වන බව බොහෝ දෙනා නොදනිති.

    එමෙන්ම  ආහාර රස  කිරිමට ලුණු අධිකව භාවිතයේ අහිතකර ඵලවිපාක ගැන ප්‍රජාවට එතරම් අවබෝධයක් නැති බව පෙනී යයී. අධික රුධිර පීඩනයට ලක් වු පසුව ලුණු අඩු  ආහාර  ගැන අවධානය යොමු කළත් ඊට පෙර ඒ ගැන දක්වන සැලකිල්ල ඉතා අඩුය.ලෝකය පුරාවට මෙන්ම ලංකාවේ ද ජනතාව එක් පුද්ගලයෙක් සඳහා  දිනකට ලෝක සෞඛ්‍ය සංවිධානය නිර්දේශ කරන   ලුණු ප්‍රමාණය ග්‍රෑම් 5ට (කැපු තේ හැඳි 01 ක ප්‍රමාණය) වඩා දෙතුන්  ගුණයක ලුණු ආහාරයට ගනිති. ලංකාවේ එම ප්‍රමාණය දිනකට ග්‍රෑම් 9 සිට 12 දක්වා ප්‍රමාණයක් දක්වා වන ඉහළ අගයකි.

    ලුණු භාවිතය අඩු කිරිම තුලින් වසරකට ලෝකයේ සිදුවන මරණ වලින් මිලියන 2.5ක් අඩුකර ගත හැකි බව පෙන්වා දී ඇත.

    Is processed food bad for you? Study says yes, absolutely | Well+Good

    අප ලුණු වැඩිපුර ආහාරයට ගන්නේ කෙසේද ?

    1. බත් පිසින විට ලුණු එකතු කිරිමෙන්
    2. අධික ලෙස සකස් කල ආහාර (Ultra Processed Foods) එනම් රෝල්ස්, පැටිස්, ප්‍රේස්ටිස් සහ පීට්සා වැනි දේ ආහාරයට ගැනිමෙන්
    3. බේකරි නිෂ්පාදන, බිස්කට් වැඩිපුර ආහාරයට ගැනිමෙන්
    4. පෙර පිසින ලද ආහාර (pre-cooked) වන සොසේජස්, මීට් බෝල්ස්, චිප්ස් වැනි ආහාර වලින්
    5.  “රයිස්”, කොත්තු, බිරියානි වැනි කැම වර්ග නිතර භාවිතයෙන්
    6. කරවල, හාල්මැස්සන් චට්නි, ටින් කල ආහාර නිතර භාවිතයෙන්

    අධික ලුණු භාවිතයේ අහිතකර ප්‍රතිඵල මොනවාද ?

    1. අධික රුධිර පිඩනයට ඉතා අඩු වශයෙන් ගොදුරු විම නිසා හෘදයාබාධ ,ආඝාතය.කාලික වකුගඩු රෝග වලට ගොදුරු විමේ අවධානම වැඩිවීම.
    2. අමාශයේ පිළිකාවන්ට ගොදුරුවිමේ අවධානම
    3.  ඔස්ටියොපොරොසිස් නැතිනම් අස්ථි ගෙවීයාමේ තර්ජනයට ලක්විම (ඒ හේතුවෙන් අස්ථීවල ඇති කැල්සියම් දියවි‍ම නිසා අස්ථී තුනිවිම හේතුවෙන් භග්න ඇතිවිම)
    4.  “ඇදුම” වැනි රෝගි තත්ත්වයන් ඇතිවිමට ඇති අවධානම හා ඇදුම රෝගින්ගේ රෝගි තත්ත්වය උත්සන්න වීමට ඇති අවධානම වැඩිවිම.
    Eating Vegetarian Diet during Pregnancy - Nutrition & Menu Plan

    ආහාරයෙන් ගන්නා ලුණු ප්‍රමාණය අඩුකරන්නේ කෙසේද ?

    •  බත් පිසින විට ලුණු එක් නොකිරිමෙන්.
    • කෑම මේසයේදි ලුණු එකතු කිරිමෙන් වැලකිම. ඒ වෙනුවට ස්වභාවික රසකාරක
    • ලෙස,මින්චි,කොත්තමල්ලි කොළ එකතු කිරිම හා කුරුඳු, කරපිංචා, රම්පෙ, සේර,     ඉඟුරු, කොත්තමල්ලි සුදුරු, සුදු ලුණු, සියඔලා, දෙහි වැනි දැ ආහාර පිසින විට එකතු කිරිම.
    •  ලුණු එකතු කරන ලද කෙටි කෑම වර්ග වන චිප්ස්, ඇට වර්ග, බේකන්, චිස් හා පෙර සකස්  කල  ආහාර හැකිතාක් අවම කිරිම.
    • එළවළු සහ පළතුරු වැඩිපුර අනුභව කිරිම (දිනකට එළවළු / පළතුරු 05 ක් වත්)05. හැකි තාක් දුරට  ලුණු අධික සෝස් වර්ග භාවිතය අඩු කිරිම.
    • ආහාර ලේබලයේ ඇති වර්ණ සංඥා (රතු, කහ,කොළ) කියවා ආහාර මිළදි ගැනීමට හුරු කිරිම.

    අපි ලුණු අඩුවෙන් – රස වැඩියෙන් ආහාර අනුභව කරන්නේ නෙසේද ?

    • ලුණු එකතු කරනු වෙනුවට ස්වභාවික රසය දනවන සුදු ලූණු, ඉඟුරු, ලූණු , දෙහි , සියඔලා මෙන්ම කොත්තමල්ලි,  සූදුරු, උළුහාල්, ගම්මිරිස්, කුරුඳු, කරපිංචා, රම්පේ, සේර හා අබ ආහාර පිසින විට එකතු කරමු.
    • විවිධ රස ඇති පළතුරු එලවළු සලාද පිළියෙල කරන විට එකතු කරමු

    ඕනෑම පුරුද්දක් වෙනස් කරන්නට සති 2-3 ක කාලය ප්‍රමාණවත්

    • ඒ නිසා වැඩිපුර ලුණු කැමට හුරු වු ඔබේ දිවට අඩුවෙන් ලුණු කැමට පුරුදු කරන්න.
    • සිතන්න, වැඩිපුර ලුණු රසට ඇබ්බැහි වී අධික රුධිර පිඩනයට ගොදුරු වෙනවාද, නැතිනම් ජිවිත කාලය පුරාවට නියමිත සෞඛ්‍ය  ආරක්ෂිත රුධිර පිඩනය පවත්වාගෙන යනවාද යන්න පිළිබඳව.
    • මවක, ගෘහනියක වන ඔබට, පවුලේ ආහාර වේලට ලුණු අඩු කිරිම තුලින් පවුලේ සියළු දෙනාම සෞඛ්‍ය  සම්පන්න කරවිමේ වගකීම, යුතුකම ඉටු කිරිමට හැකි බව.
    • බල ගන්වන්න ඔබේ දරුවා, ලුණු අඩුවෙන් ආහාරයට ගන්න, ලුණු අඩු ආහාර ගන්න,අනාගතයේදි අධික රුධිර පිඩනය,හාදයාබාධ,ආඝාතය (අංශභාගය) අවධානම අඩු පුද්ගලයෙකු වන්නට.
    •  ගෙදර හදන කෑම වේල තුලින් සෞඛ්‍ය සම්පන්න ජිවන රටාවකට යොමු වෙමු.

    බෝ නොවන රෝග ඒකකය – සෞඛ්‍ය අමාත්‍යාංශය – වෛද්‍ය ශාන්ති ගුණවර්ධන, ප්‍රජා වෛද්‍ය විශේෂඥ බෝ නොවන රෝග ඒකකය – සෞඛ්‍ය අමාත්‍යාංශය

  • බස්නාහිර පාසල් ආරම්භය ගැන තීන්දුව දින 2කින් – අධ්‍යාපන ඇමති

    බස්නාහිර පාසල් ආරම්භය ගැන තීන්දුව දින 2කින් – අධ්‍යාපන ඇමති

    දරුවන්ගේ ජීවිතයේ වටිනා කාලය අපතේ නොයවා තම කටයුතු ඉදිරියට කරගෙන යාම සඳහා අවශ්‍ය පහසුකම් සහ අධ්‍යයන වටපිටාව සකසා දීමට අධ්‍යාපන අමාත්‍යංශය කැපවී සිටින බවත් ඒ නිසා ම 2021/03/15වන දින එනම් ලබන සඳුදා දිවයිනේ සියලු ම පාසල් විවෘත කිරීමට සූදානම් බව ත් සෞඛ්‍ය නිර්දේශවලින් අනතුරු ව බස්නාහිර පළාතේ පාසල් ද විවෘත කෙරෙනු ඇති බැව් අධ්‍යාපන අමාත්‍ය මහාචාර්ය ජී.එල්.පීරිස් මහතා පැවසී ය.

    අමාත්‍යවරයා‍ මේ බැව් පැවසූයේ අද (08) දින බත්තරමුල්ල වෝටර්ස් එජ් හෝටලයේ දී පැවති ප්‍රවෘත්ති සාකච්ඡාවක් අමතමිනි.

    එහිදී වැඩිදුරටත් අදහස් දැක්වූ අමාත්‍යවරයා,

    දිවයිනේ සියලු ම පාසල් ආරම්භ කිරීම සඳහා මේ වනවිට සැලසුම් සකස් කරලා ඉවරයි. නමුත් බස්නාහිර පළාතේ පාසල් විවෘත කිරීම සම්බන්ධව මේ වනවිට සෞඛ්‍ය අමාත්‍යංශයේ නිර්දේශ අපි ඉල්ලලා තිබෙන්නේ. සෞඛ්‍ය බලධාරීන්ගේ අවධානයෙන් පසුව හැකි දින දෙකක් වැනි කාලයක් තුළ එම නිර්දේශ ලබා දෙනු ඇතැයි අපි විශ්වාස කරනවා. ඒ අනුව කොළඹ, ගම්පහ සහ කළුතර දිස්ත්‍රික්කවල පාසල් විවෘත කිරීමට ත් අපි සූදානම්. මේ වනවිට ඒ සම්බන්ධ ව සෞඛ්‍ය අධ්‍යක්ෂ ‍ජනරාල්තුමාගේ අනුමැතිය අපි ඉල්ලා තිබෙනවා. දවස් 02ක් ඇතුළත එම තීරණය ලැබෙනු ඇතැයි අප පලාපොරොත්තු වෙනවා.

    අධ්‍යයන පොදු සහතිකපත්‍ර සාමාන්‍ය පෙළ විභාගය මේ වනවිට පැවැත්වෙමින් තිබෙනවා. එය තව දින දෙකකින් එනම් මාර්තු 10වන දින අවසන් වෙනවා. මෙවර ශිෂ්‍ය ශිෂ්‍යාවන් 622000ක් මේ විභාගයට පෙනී සිටිනවා. ඉතා ම සාර්ථක ව අ.පො.ස උසස් පෙළ විභාගය, 05ශ්‍රේණිය ශිෂ්‍යත්ව විභාගය ත් මේ විදියට ම පවත්වා අවසන් කරන්නට අපට හැකි වුණා. මේ පිළිබඳ සෘනාත්මක සහ අසුබවාදී අදහස් ප්‍රකාශ කරන අයට අපි සවන් දුන්නා නම් මේ විභාගය පවත්වන්නට අපට හැකියාව ලැබෙන්නේ නැහැ.

    රටේ ජනතාව අපෙන් බලාපොරොත්තු වුණු දේ සහ බලාපොරොත්තු වන දේ නිවැරදිව ඉටු කරන්නට අපි කැපවී සිටිනවා. රජය මේ අසීරු මොහොතේත් දැඩි තීරණ ගත්තේ අපේ දරු දැරියන්ගේ අනාගතය පිළිබඳ සලකා බලලා. මේ අසීරුතාවයන් මැද්දේ අපේ සහ රටේ අනාගතය වෙනුවෙන් අපේ නිලධාරීන්‍ සහ සියලු දෙනාගේ සහයෝගය ඇතිව කටයුතු කරන්නට අපට හැකියාව ලැබුණා.

    විභාගය පවත්වාගෙන යන කාලය තුළ එනම් දවස් 09ක් ආසාධිත දරුවන් 56ක් පෙනී සිටියා. ඒ දරුවන් විශේෂ මධ්‍යස්ථාවවලට යොමු කරන්නට අපිට හැකි වුණා. එවැනි මධ්‍යස්ථාන 40ක් රට පුරා පිහිටුවලා තිබුණා. සෑම විභාග මධ්‍යස්ථානයක ම විශේෂ පන්ති කාමරයක් සූදානම් කරලත් තිබුණා. නිරෝධායනයට ලක්වුණු සිසුන් 321ක් විභාගයට පෙනී සිටියා.

    අපි රජයක් විදියට සහ අමාත්‍යංශය විදියට දුර දිග බලලා මේ සියල්ල ඉතා සාර්ථක ව සැලසුම් කළ බව කියන්නට කැමතියි. ප්‍රථම දවස් තුනේ උත්තර පත්‍ර ඇගයීමට දැනුත් සූදානමින් සිටින්නේ. මේ සියල්ල කරන්නේ විභාග ප්‍රතිඵල ‘ජුනි’ මාසයේ ලබා දීමට සහ අ.පො.ස උසස් පෙළ පන්ති ‘ජූලි’ මාසයේ අරම්භ කිරීමට. යනුවෙන් ද පැවසී ය.