ඇෆ්ගනිස්ථානයේ තලේබාන් ආණ්ඩුව පිළිගන්නේද නැද්ද ? – ඉන්දීය රජයේ ස්ථාවරය

ඇෆ්ගනිස්ථානයේ තලේබාන් ආණ්ඩුව පිළිගන්නේද නැද්ද ? – ඉන්දීය රජයේ ස්ථාවරය
Spread the love

කාබුල්හි නව රජයක් පිහිටුවන කිසිදු පාර්ශ්වයක් පිළිබඳව මේ වන විට පැහැදිලි බවක් නොමැති බව ඉන්දීය විදේශ කටයුතු අමාත්‍යාංශයේ ප්‍රකාශක අරින්දම් බග්චි ඊයේ (27) පැවැති සතිපතා මාධ්‍ය හමුවකදී පැවසීය.

ඇෆ්ගනිස්ථානයේ තලේබාන් නායකත්වයෙන් යුත් රජයක් ඉන්දියාව පිළිගන්නේද නැද්ද යන ප්‍රශ්නයකට පිළිතුරු දෙමින් ඔහු කියා සිටියේ “ඇෆ්ගනිස්ථානු භූමියේ තත්ත්වය අවිනිශ්චිතයි. මූලික වශයෙන් සැලකිලිමත් විය යුත්තේ මිනිසුන්ගේ ආරක්‍ෂාව ගැනයි. දැනට, කාබුල්හි රජයක් පිහිටුවන කිසිදු පාර්ශ්වයක් ගැන පැහැදිලි නැහැ. මම හිතන්නේ පිළිගැනීම සම්බන්ධයෙන් අපි ඉක්මන් විය යුතු නෑ. කාබුල් හි නව රජය තුළ නියෝජනය කරන්නේ කවුරුන්ද යන්න තවත් ප්‍රශ්නයක්. ඇෆ්ගන් දේශපාලනයේ අනෙකුත් අංශ ඒ සඳහා නියෝජනය වේද යන්න පිළිබඳව බොහෝ කතා පැතිර ගොස් තිබෙනවා” යනුවෙන් විදේශ අමාත්‍යාංශ ප්‍රකාශකයා පැවසීය.

ඔහු කියා සිටියේ ඉන්දියාව සාමකාමී, සමෘද්ධිමත් ප්‍රජාතන්ත්‍රවාදී ඇෆ්ගනිස්ථානයක් බලාපොරොත්තු වන බවයි.

“අපි දැනට එය හොඳින් නිරීක්ෂණය කරමින් සිටිනවා. ඇෆ්ගනිස්ථානයේ ඉවත්කිරීම් වල ආරක්‍ෂක තත්ත්වය සහ එය දිග හැරෙන ආකාරය පිළිබඳව වර්තමානයේ වැඩි අවධානය යොමු වී තිබෙනවා. අනෙක් රටවල් ද එසේ කරමින් සිටිනවා ”

පසුගිය බ්‍රහස්පතින්දා පෙරවරුවේ, විදේශ කටයුතු ඇමති එස් ජයිශංකර් ඇෆ්ගනිස්ථානයේ තත්වය පිළිබඳව සර්ව පාක්ෂික හමුවකට කරුණු දක්වමින් අවධාරණය කර සිටියේ ‘‘ඇෆ්ගනිස්ථානු ගැටලුව සම්බන්ධයෙන් වැදගත් පාර්ශවකරුවන් සහ අනෙකුත් රටවල් සමඟ එකවර කටයුතු කරමින් සිටින විට ඉන්දියාවේ වත්මන් ස්ථාවරය වන්නේ ‘තත්ත්වය දෙස විමසිල්ලෙන් බලා සිටීම‘‘ බවයි.

indianewsnetwork.com