ඉන්දීය අභ්‍යවකාශ අභියෝගය 2021

ඉන්දීය අභ්‍යවකාශ අභියෝගය 2021
Spread the love

අතල් නවෝත්පාදන මෙහෙවර (The Atal Innovation Mission- AIM ) (ඒඅයිඑම්) (AIM), නීතී ආයෝගය(NITI Aayog) යනු ඉන්දියාවේ නවෝත්පාදන හා ව්‍යවසායකත්ව සංස්කෘතියක් ප්‍රවර්‍ධනය කිරීම සඳහා වූ ඉන්දීය රජයේ ප්‍රමුඛතම මුලපිරීම වන අතර එය 2016 දී පිහිටුවන ලදී. මේ අරමුණින් AIM මගින් පාසල් තුළ ගැටලු විසඳන නව්‍ය මානසිකත්වයක් ඇති කිරීම සහ විශ්ව විද්‍යාල, පර්යේෂණ ආයතන, පෞද්ගලික හා සුළු හා මධ්‍ය පරිමාණ ව්‍යාපාර  යන අංශයන්හි ව්‍යවසායකත්ව පරිසර පද්ධතියක් ඇති කිරීම සහතික කිරීම සඳහා පරිපූර්ණ ප්‍රවේශයක් ගෙන ඇත. AIM හි සියලුම මුලපිරීම් දැනට තත්‍ය කාලීන(Real time) කළමනාකරණ තොරතුරු පද්ධති(MIS) සහ ගතික උපකරණ පුවරු භාවිතයෙන් ක්‍රමානුකූලව අධීක්ෂණය කෙරේ.

ඉන්දීය පාසල් සිසුන් අතර අභ්‍යවකාශ අංශය සඳහා නවෝත්පාදන අදහස් ප්‍රවර්‍ධනය කිරීමේ අරමුණින් “ඒටීඑල්(ATL) අභ්‍යවකාශ අභියෝගය 2021” දියත් කළේය. මෙය සංවිධානය කරනුයේ අතල් නවෝත්පාදන මෙහෙවර (The Atal Innovation Mission) මගිනි.

එහි අරමුණ වන්නේ 6 සිට 12 වසර දක්වා පන්ති වල සිසුන්ට නවෝත්පාදනයන් සඳහා විවෘත වේදිකාවක් ලබා දීම සහතික කිරීමයි.එමගින් ඩිජිටල් යුගයේ අභ්‍යවකාශ තාක්‍ෂණ ගැටලු විසඳීමට ඔවුන්ට හැකි වේ. මෙම අභියෝගය සැලසුම් කර ඇත්තේ ඉන්දියාව පුරා සිටින සියලුම පාසල් සිසුන්, උපදේශකයින් සහ ගුරුවරුන් වෙනුවෙනි.

මෙම වැඩසටහන දියත් කරන ලද්දේ අතල් නවෝත්පාදන මෙහෙවර(AIM) සමඟ ඉන්දියානු අභ්‍යවකාශ පර්යේෂණ සංවිධානය-Indian Space Research Organisation (ISRO) සහ මධ්‍යම ද්විතීයික අධ්‍යාපන මණ්ඩලය-Central Board of Secondary Education (CBSE) සහයෝගීතාවයෙනි

ඒටීඑල්(ATL) අභ්‍යවකාශ අභියෝගය-2021 අභ්‍යාවකාශ විද්‍යාවේ හා තාක්‍ෂණයේ දායකත්‍වය සැමරීම සඳහා සෑම වසරකම ඔක්තෝබර් 4 සිට 10 දක්වා ගෝලීය මට්ටමින් පැවැත්වෙන ලෝක අභ්‍යවකාශ සතිය හා සමගාමීව පැවැත්විණ.

තරග කොන්දේසි වුයේ සිසුන්ට ක්‍රියාත්මක කළ හැකි විසඳුමක් සාදා ඒ හා සමාන තාක්‍ෂණයක් ද අනුගමනය කළ හැකිය යන්නයි. සාමාජිකයින් තිදෙනෙකු දක්වා කණ්ඩායමක් තුළ විසඳුමක් හෝ නවෝත්පාදනයක් සිසුන්ට තම නවෝත්පාදනයන ලෙස ඉදිරිපත් කිරීමට අවස්ථාව සලසා තිබිණි. තරග අංශය වූයේ අභ්‍යවකාශ ගවේශන විසදුම්ය මෙය අංශ හතරකට එනම්, අභ්‍යවකාශය ගවේෂණය, අභ්‍යවකාශයට ප්‍රවේශවීම, අවකාශයේ රඳවා තැබීම, අභ්‍යවකාශය ප්‍රයෝජනයට ගැනීම වශයෙන් වෙන් කොට තිබිණ

අතල් නවෝත්පාදන මෙහෙවර (The Atal Innovation Mission)හි අධ්‍යක්‍ෂක චින්තාන් වෛශ්ණව් (Chintan Vaishnav)ගේ   මාධ්‍ය නිවේදනය උපුටා දක්වමින් India News Network වාර්තාකොට තිබුනේ, අභ්‍යවකාශ ගවේෂණයට උපකරණ නිර්මාණය කිරීමට තරුණ පාසල් සිසුන් පෙළඹවීමෙන් සිසුන් අතර නවෝත්පාදන කුසලතා වර්ධනය කිරීම මෙම අභියෝගයේ අරමුණ බවයි. අභ්‍යාවකාශ ගවේෂණයට උපකරණ නිර්මාණය කිරීම හා අභ්‍යවකාශ විෂය පිළිබද උනන්දුවක් දක්වන පාර්ශවයන් ගේ  දැනුම වර්ධනයට  මෙම වැඩසටහන මහත් පිටිවහලක් වන බව   එම මාධ්‍ය නිවේදනයේ වැඩිදුරටත් සඳහන් වේ.

India News Network ඇසුරිනි.