‘ඉන්දීය බොරදියේ මාළු බාන’ යෝගා ගුරු බාබා රාම්දේව්

‘ඉන්දීය බොරදියේ මාළු බාන’ යෝගා ගුරු බාබා රාම්දේව්
Spread the love

ඉන්දියානු යෝගා ගුරු බාබා රාම්දේව් විශාල ව්‍යාපාරික අධිරාජ්‍යයක් පවත්වාගෙන යයි

කොවිඩ් වසංගතය මර්දනය කිරීමට ඇති ප්‍රබල අභියෝග අතර මිත්‍යාව සහ දේශපාලන න්‍යාය පත්‍ර ඉදිරයෙන්ම සිටින බව රහසක් නොවෙයි. එය අද ගෝලීය ප්‍රශ්නයක් බවට පත්වෙලා තිබෙනවා. මේ නිසා වෛද්‍යවරු ඇතුළු විශේෂඥයෝ දැඩි පීඩාවටයි පවත්ව සිටින්නේ.

මේ අතර කොවිඩ් වසංගතයෙන් අසීමිතව බැටකන ඉන්දියානුවන් තව දුරටත් ඊනියා දෙවියන් සහ යෝගීන්ගේ සරණ පතා යාම සමාජ අර්බුදයක් බවටත් කොවිඩ් වසංගතය මැඩපැවැත්වීමට ප්‍රබල බාධයක් බවටත් පත්ව තිබෙන බව ඉන්දීය මාධ්‍ය කියනවා.

ඉන්දියාවේ මේ මිත්‍ය ප්‍රකාශනයේ බලකණුවක් වන්නේ යෝගා බාබා රාම්දේව් කියන පුද්ගලයා බවයි ඉන්දීය මාධ්‍ය කියන්නේ. ව්‍යාපාර අධිරාජ්‍යයක් පවත්වා ගෙන යන මේ යෝගියාට ආර්ථික – දේශපාලන මෙන්ම සමාජයීය බලයක් ද තිබෙනවා. ඒ නිසා තත්ත්වය වඩාත් සංකීර්ණ වී තිබෙනවා.

මේ අතර නූතන වෛද්‍ය විද්‍යාවට එරෙහි මතභේදාත්මක ප්‍රකාශ සම්බන්ධයෙන් ඉන්දියාවේ වෛද්‍යවරු යෝගා ගුරු බාබා රාම්දේව්ට එරෙහිව චෝදනා එල්ල කළ බව අලුත්ම මාධ්‍ය වාර්තාවල සදහන් වෙනවා.

‘‘නවීන ඖෂධ ගැනීමෙන් හා ඔක්සිජන් සිලින්ඩර ලබා ගැනීමට තැත් කිරීම නිසා රෝගීන් දස දහස් ගණනක් කෝවිඩ් ආසාදනයෙන් මිය ගිය බව‘‘ ඔහු මෑතකදී ප්‍රකාශ කළා.

මේ ප්‍රකාශයට එරෙහිව වහාම ඉන්දීය සෞඛ්‍ය ඇමතිවරයා ප්‍රතිචාර දැක්වීමෙන් පසු ගුරු සිය ප්‍රකාශය ඉල්ලා අස්කර ගත්තා.

නමුත් සමහර රෝග සඳහා නවීන වෛද්‍ය විද්‍යාවෙන් ප්‍රතිකාරයක් නොලැබීම නිසා ඔහු සඳුදා නැවතත් නවීන වෛද්‍ය විද්‍යාවට දෝෂාරෝපණය කිරීමට පටන් ගත්තා.

නවීන වෛද්‍ය විද්‍යාව, ඇලෝපති (allopathy) ලෙසද හැඳින්වෙනවා. නවීන බටහිර වෛද්‍ය විද්‍යාව ඉන්දියාවේ සෞඛ්‍ය සේවා පද්ධතියේ කොඳු නාරටිය වන නමුත් ආයුර්වේදය සහ හෝමියෝපති වැනි විකල්ප ප්‍රතිකාර ක්‍රම ද ඉන්දියාවේ බෙහෙවින් ජනප්‍රියයි. රාම්දේව් වැනි බොහෝ පිරිස් සාම්ප්‍රදායික ඖෂධ නිෂ්පාදන විකිණීම සදහා සාර්ථක ව්‍යාපාර ආරම්භ කර තිබෙනවා.

සාම්ප්‍රදායික වෛද්‍ය ක්‍රම ප්‍රවර්ධනය කිරීම සඳහා ඉන්දිය මධ්‍යම ආණ්ඩුවේ ආයුර්වේද, යෝගා, යුනනි, සිද්ධා සහ හෝමියෝපති (ආයුෂ්) පිළිබද අමාත්‍යාංශයක් ද තිබෙනවා. (Ministry of Ayurveda, Yoga & Naturopathy, Unani, Siddha and Homoeopathy (Ayush) to promote traditional systems)

ඉන්දියාවේ වෛද්‍යවරුන් නියෝජනය කරන ඉන්දියානු වෛද්‍ය සංගමය (The Indian Medical Association (IMA) වසංගතය මධ්‍යයේ ගුරුගේ “සංවේදී” ප්‍රකාශය විවේචනය කර තිබෙනවා.

මිලියන ගණනක් අනුගාමිකයන් සිටින යෝගියෙකුගේ එවැනි ප්‍රකාශ “වගකීම් විරහිත සහ අධෛර්යමත් කරවන ඒවා” බව බීබීසීයට කතා කළ වෛද්‍යවරු පැවසුවා.

මතභේදය කුමක්ද?

ඔක්සිජන් සොයා ගැනීමට උත්සාහ කිරීම ගැන බාබා රාම්දේව් රෝගීන්ට සමච්චල් කරන වීඩියෝවක් මේ මස මුලදී වෛරස් වුණා. ඔහු එම ප්‍රකාශය කළේ කවදාද යන්න පැහැදිලි නැති නමුත් අප්‍රේල් සහ මැයි මාසවලදී නගර කිහිපයක ඔක්සිජන් හිඟය පිළිබඳව ඔහු සඳහන් කරනවා.

“දෙවියන් වහන්සේ අපට නොමිලේ ඔක්සිජන් ලබා දී තිබෙනවා. ඇයි අපි එය හුස්ම ගන්නේ නැත්තේ? දෙවියන් වහන්සේ වායුගෝලය ඔක්සිජන් වලින් පුරවා ඇති විට හිඟයක් ඇති වන්නේ කෙසේද? මෝඩයෝ ඔක්සිජන් සිලින්ඩර සොයති. නිදහස් ඔක්සිජන් හුස්ම ගන්න. හිඟය ගැන ඔබ පැමිණිලි කරන්නේ ඇයි? ඔක්සිජන් සහ ඇඳන් සහ ආදාහනාගාර? ඔහු සමච්චල් ස්වරයෙන් කිව්වා.

ඔහු පසුව මෙම ප්‍රකාශය සමාව ඉල්ලා සිටියත් කොවිඩ් රෝගීන්ගේ වෛද්‍යවරුන්ගෙන් සහ පවුල්වලින් දැඩි විවේචනයට ලක් වුණා.

සති දෙකකට පසුව ඔහුගේ තවත් වීඩියෝවක් මතුවූ අතර, ඔහු වෛද්‍යවරුන් විවේචනය කිරීම සහ කොවිඩ්ගේ මරණවලට දොස් පැවරීම සිදු කළා.

බොහෝ වෛද්‍යවරු ඔවුන්ගේ කෝපය ප්‍රකාශ කිරීම සඳහා ට්විටර් වෙත ගිය අතර සමහරු ඔහුව අත්අඩංගුවට ගන්නා ලෙස බලධාරීන්ගෙන් ඉල්ලා සිටියා.

වෛද්‍ය වෘත්තිකයින් වෙතින් එල්ල වන පීඩනය වැඩිවීමත් සමඟම වෛද්‍යවරයකු වන ඉන්දියාවේ සෞඛ්‍ය අමාත්‍ය හර්ෂ් වර්ධන් ප්‍රකාශයක් නිකුත් කරමින් සිය ප්‍රකාශය ඉල්ලා අස්කර ගන්නා ලෙස බාබා ගුරුගෙන් ඉල්ලා සිටියා.

“නවීන වෛද්‍ය විද්‍යාව සහ එයට අනුයුක්ත වෛද්‍යවරු මිලියන ගණනකට නව ජීවිත ලබා දී තිබෙනවා. මිනිසුන් නවීන වෛද්‍ය විද්‍යාත්මකව නිෂ්පාදනය කළ ඖෂධ පානය කිරීමෙන් මිය ගිය බව ඔබ පැවසීම අවාසනාවන්ත තත්ත්වයක්. මෛ සටන ජය ගත හැක්කේ එකමුතු උත්සාහයකින් පමණක් බව අප අමතක නොකළ යුතුයි. මෙම යුද්ධයේදී අපගේ වෛද්‍යවරුන්, හෙදියන් සහ අනෙකුත් සෞඛ්‍ය සේවකයින් ජනතාවගේ ජීවිත බේරා ගැනීම සඳහා තම ජීවිතය පරදුවට තබමින් සිටිනවා. මෙම අර්බුදයේදී මානව වර්ගයාට සේවය කිරීම සඳහා ඔවුන් දක්වන කැපවීම අසමසම හා ආදර්ශවත් “සෞඛ්‍ය අමාත්‍ය හර්ෂ් වර්ධන් ප්‍රකාශයක් නිකුත් කරමින් කියා සිටියා.

පසුගිය ඉරිදා බාබා රාම්දේව් ට්විටර් පණිවුඩයක් මගින් සිය මතභේදාත්මක ප්‍රකාශය ඉල්ලා අස්කර ගත් නමුත් දිනකට පසුව ඔහු ඉන්දීය වෛද්‍ය අමාත්‍යාංශය වෙත ලිපියක් නිකුත් කරමින් දියවැඩියාව හා අධි රුධිර පීඩනය ඇතුළු රෝග 25 ක් සඳහා නවීන වෛද්‍ය විද්‍යාවට ප්‍රතිකාරයක් නොතිබුනේ මන්දැයි විමසුවා.

මෙය යළිත් වෛද්‍යවරුන් කෝපයට පත් කිරීමට හේතුවක් වුණා. කෝවිඩ් රෝගීන් දහස් ගණනකට ප්‍රතිකාර කර ඇති ප්‍රකට විශේෂඥ වෛද්‍ය ඒ. ෆාතාහුදීන් බීබීසීයට පැවසුවේ ‘‘එවැනි ප්‍රකාශ මගින් සදාකාලික හානියක් සිදුවන බවයි‘‘.

“වසරකට වැඩි කාලයක් තිස්සේ මා වැනි සෞඛ්‍ය සේවකයින් යුද්ධයට සමාන තත්වයක සේවය කරනවා. අපි දස දහස් ගණනක් ජීවිත බේරා ගෙන තිබෙනවා. එවැනි ප්‍රකාශ කියවීම ඇත්තෙන්ම අවාසනාවන්ත තත්ත්වයක්. සමස්ත වෛද්‍ය පද්ධතියටම කරන අපහාස හා හානියක්” ඔහු පැවසුවා.

නූතන වෛද්‍ය විද්‍යාව වසර ගණනාවක් තිස්සේ නිරන්තර පර්යේෂණ හා අධ්‍යයනවලින් විකාශනය වී ඇති බව වෛද්‍ය ෆතහුදීන් මහතා පැවසීය. “අපි සාක්ෂි පදනම් කරගත් භාවිතයන් අනුගමනය කරන්නවා. ඕනෑම වේලාවක, පර්යේෂකයන් දහස් ගණනක් ප්‍රතිකාර ලබා ගැනීමට කටයුතු කරමින් සිටිනවා. පිළිකා ප්‍රතිකාර සඳහා අප ලබා ඇති ප්‍රගතිය දෙස බලන්න. අප නිරන්තරයෙන් පරිණාමය වී ඉගෙන ගත යුතුයි‘‘

බිහිසුණු වසංගතයක් මධ්‍යයේ ඖෂධ සහ එන්නත් පිළිබඳව අපට විශ්වාසයක් තිබිය යුතු විට එවැනි ප්‍රකාශ මිනිසුන්ගේ මනස තුළ සැකයක් ඇති කරන බවද ඔහු පැවසුවා.

බාබා රාම්දේව් කවුද?

ඔහුගේ රූපවාහිනී යෝග පංති නිසා ඔහු කීර්තියට පත් වුණා. මිලියන ගණනක් ඔහු පසුපස ගිය අතර යෝගා සහ සෞඛ්‍ය සම්පන්න දිවිපෙවෙතක් ප්‍රවර්ධනය කිරීම පිළිබඳව ඔහුට ලොව පුරා ප්‍රශංසාව හිමි වුණා.

2006 දී ඔහු දේශීය ඖෂධ විකිණීම සඳහා Patanjali Ayurveda නම් දැවැන්ත ව්‍යාපාරික සමාගමක් ආරම්භ කළ අතර වසර කිහිපයකට පසු එය පිටි, සබන්, තෙල්, බිස්කට්, වැනි විවිධාකාර දේශීය ඖෂධ අලෙවි කරන ඉන්දියාවේ ප්‍රකට ව්‍යාපාරයක් බවට පත් වුණා. දේශීය වෛද්‍ය විද්‍යාව පදනම් කරගත් ව්‍යාපාරික අධිරාජ්‍යයක් ගොඩනැගීම සඳහා ඔහුගේ ජනප්‍රියත්වය පරිවර්තනය කිරීමට ඔහු සමත් වුණා.

කොරොනිල් සහ ස්වාසරි ටැබ්ලට්
කොවිඩ් මර්දනය කිරීමට උපකාර වන බව කියන ඖෂධයක් බාබාගේ සමාගම විසින් නිෂ්පාදනය කළේය. මෙය විද්‍යාත්මකව තහවුරු නොකළ නිෂ්පාදනයකි.

ඔහුගේ ව්‍යාපාරයේ ව්‍යාප්තිය ද හින්දු ජාතිකවාදී භාරතීය ජනතා පක්ෂය 2014 දී බලයට පත්වීම සමග සමපාත වීම විශේෂත්වයක්. බාබා රාම්දේව් භාරතීය ජනතා පක්ෂයට සහ අගමැති නරේන්ද්‍ර මෝදිට විවෘතව සහයෝගය ලබා දී ඇති අතර පක්ෂය වෙනුවෙන් ප්‍රචාරක ව්‍යාපාරයේ නිරත වුණා.

ව්‍යාජ කෝවිඩ් සුව කිරීමේ හිමිකම්

Patanjali Ayurveda සමාගම පසුගිය වසරේ ජුනි මාසයේදී සාම්ප්‍රදායික ඉන්දියානු වෛද්‍ය විද්‍යාවේ භාවිතා කරන ඖෂධ පැළෑටි එකතුවක් වන Coronil නිෂ්පාදනය කළ අතර එයට කොවිඩ් සුව කළ හැකි බව කියා සිටියා. නමුත් එය ප්‍රතිකාරයක් ලෙස ක්‍රියා කරන බව පෙන්වීමට දත්ත නොමැති බව රජය පැවසීමෙන් පසු කොවිඩ් වෛරසයට එරෙහි ඖෂධයක් ලෙස අලෙවිකරණය නතර කිරීමට සිදුවුණා නමුත් එය නිෂ්පාදනය තහනම් නොකළ අතර ‘ප්‍රතිශක්තිකරණ ඖෂධයක් ‘‘ ලෙස අලෙවි කළ හැකි බව රජය පැවසුවා.

පෙබරවාරියේදී පතංජලී ආධාරකරුවන් කියා සිටියේ කොරොනිල් ලෝක සෞඛ්‍ය සංවිධානය විසින් අනුමත කර ඇති බවයි.

පෙබරවාරි මාසයේදී බාබා රාම්දේව් සමඟ පැවති උත්සවයකට සහභාගී වීම පිළිබඳව ඉන්දීය සෞඛ්‍ය අමාත්‍යව ආචාර්ය වර්ධන් විවේචනයට ලක් වුණා.

කොරොනිල් එක්සත් රාජධානියේ සමහර වෙළඳසැල් වල අලෙවි වන බව සොයා ගත් අතර එක්සත් රාජධානියේ ඖෂධ නියාමන අධිකාරිය කියා සිටියේ එවැනි ඖෂධයක් සදහා තමන් අනුමැතිය ලබාදී නැති බවයි.

බී.බී.සී. වාර්තාවක් ඇසුරින් සකස් කළේ – තීක්ෂණ වෙළෙන්එගොඩ