චීන්නුත් වද වෙන්න පටන් අරන් !

චීන්නුත් වද වෙන්න පටන් අරන් !
Spread the love

අලුත්ම ජන සංගණන දත්ත මගින් උපත් අනුපාතයේ දැඩි පහත වැටීමක් පෙන්නුම් කිරීමෙන් පසුව, පවුලකට දරුවන් තිදෙනෙකු හදා ගැනීමට අවසර දීමට චීන රජය පියවර ගෙන තිබෙනවා.

චීනය සිය දශක ගණනක් පැරණි ‘එක් දරු ප්‍රතිපත්තිය‘ 2016 දී අවලංගු කර දරුවන් දෙදෙනකු හදා ගැනීමට මවුපියන්ට අවසර දුන්නා. නමුත් නව නීතිය මගින් ද බලාපොරොත්තු වූ පරිදි දරු උපත් ඉහළ නැංවීමට අසමත් වීම සමගයි නව තීන්දුව ගෙන ඇත්තේ.

නවතම පියවර ජනාධිපති ෂී ජින් පිං විසින් දේශපාලන මණ්ඩල රැස්වීමකදී අනුමත කළ බවයි චීන රාජ්‍ය මාධ්‍ය පවසන්නේ. එය “අපේ රටේ ජනගහන ව්‍යුහය වැඩිදියුණු කිරීමටත්, වයස්ගත ජනගහනයක් සමඟ ක්‍රියාකාරීව කටයුතු කිරීමටත්, මානව සම්පත්වල වාසිය පවත්වා ගැනීමටත් උපකාරී වන ආධාරක පියවරයන් සමඟ පැමිණෙනු ඇති බවයි ” චීන රාජ්‍ය ගුවන් විදුලිය ෂින්හුවා පැවසුවේ.

මිනිසුන් ප්‍රතික්‍රියා කරන්නේ කෙසේද?

“උපත් ප්‍රතිපත්තිය ලිහිල් කිරීම ඵලදායී නම්, වර්තමාන දරුවන් දෙදෙනාගේ ප්‍රතිපත්තිය ද ඵලදායී බව ඔප්පු විය යුතුව තිබුණි,” කොමර්ස්බෑන්ක් හි ජ්‍යෙෂ්ඨ ආර්ථික විද්‍යාඥ හාවෝ ෂෝ රොයිටර් පුවත් සේවයට පැවසුවා.

“නමුත් දරුවන් තිදෙනෙකු ලැබීමට කැමති කවුද ? මූලික ගැටළුව වන්නේ ජීවන වියදම වැඩියි. විශේෂයෙන් නාගරික ජනතාව මේ නව තීරණයෙන් උත්තේජනයක් ලබයි කියලා හිතන්න බැහැ‘‘ ඔහු වැඩි දුරටත් පැවසුවා.

ආර්ථික විද්‍යාඥ ෂිවේ ෂැං රොයිටර් සමග පැවසුවේ ක්ෂණික බලපෑම “ධනාත්මක නමුත් කුඩා විය හැකි” බවයි.

“දිගු කාලීන බලපෑම රඳා පවතින්නේ දරුවන් ඇති දැඩි කිරීමේ පිරිවැය රජයට සාර්ථකව අඩු කළ හැකිද යන්න මතයි. විශේෂයෙන් අධ්‍යාපනය හා නිවාස” යනුවෙන් ආර්ථික විද්‍යාඥයා පැවසුවා.

සමාජ මාධ්‍යවලට අනුව රජයේ නව තීරණය ගැන චීන ජාතිකයින් අතර එතරම් උනන්දුවක් දැකගත නොහැකියි.

මයික්‍රො බ්ලොග් අඩවියක් වන වීබෝහි එක් සමාජ මාධ්‍ය පරිශීලකයෙක් පැවසුවේ “අපට දරුවන් තිදෙනෙකු සිටිය හැකියි. නමුත් ගැටලුව වන්නේ මට එක් දරුවෙකු පවා අවශ්‍ය නොවීමයි‘

“බොහෝ යෞවනයන් දැනටමත් තමන් ගැන සැලකිලිමත් වීම එතරම් වෙහෙසකර බව ඔබ දන්නවාද?”

රජයේ නව නිවේදනයට පෙර බීබීසීයට කතා කළ එක් බීජිං කාන්තාවක් කියා සිටියේ දරුවෙකු ඇති දැඩි කිරීමේ “නිරන්තර කරදරවලින් තොරව” ජීවිතය ගත කිරීමට ඇයට අවශ්‍ය බවයි.

සංගණනය පැවසුවේ කුමක්ද?

මෙම මස මුලදී නිකුත් කරන ලද ජන සංගණනයෙන් පෙන්නුම් කළේ පසුගිය වසරේ ළදරුවන් මිලියන 12 ක් පමණ උපත ලැබූ බවයි. එය 2016 දී මිලියන 18 ට වඩා සැලකිය යුතු අඩුවීමක් වන අතර 1960 ගණන්වල සිට වාර්තා වූ අඩුම උපත් සංඛ්‍යාවයි.

සංගණනය 2020 අග භාගයේදී පවත්වන ලද අතර එහිදී මිලියන හතක් පමණ සංගණනකරුවන් ගෙයින් ගෙට ගොස් චීන කුටුම්භයන්ගෙන් තොරතුරු ලබා ගත්තා. සමීක්ෂණයට ලක් වූ පුද්ගලයින්ගේ සංඛ්‍යාව සැලකිල්ලට ගත් විට, එය චීනයේ ජනගහනය පිළිබඳ වඩාත් පුළුල් සමීක්ෂණයක් ලෙස සැලකෙනවා. එය අනාගත සැලසුම් සඳහා වැදගත්. සංගණන දත්ත ප්‍රතිඵල නිකුත් කිරීමෙන් පසුව චීනය සිය පවුල් ප්‍රතිපත්ති නීති ලිහිල් කරනු ඇතැයි බොහෝ දෙනා අපේක්ෂා කළා.

චීනයේ උපත් අනුපාතය පහත වැටෙන ආකාරය දැක්වෙන ප්‍රස්ථාරය

චීනයේ පෙර ප්‍රතිපත්ති මොනවාද?

2016 දී රජය විසින් මතභේදාත්මක එක් දරු ප්‍රතිපත්තියක් අවසන් කර යුවළයන්ට දරුවන් දෙදෙනෙකු ලබා ගැනීමට ඉඩ දුන් විට, (වසර දෙකක වැඩිවීමක් තිබියදීත්) රටේ උපත් අනුපාතය පහත වැටීම වළක්වා ගැනීමට දෙදරු ප්‍රතිපත්තිය අසමත් වුණා.

‘‘ද ඉකොනොමිස්ට්‘‘ බුද්ධි ඒකකයේ ප්‍රධාන ආර්ථික විද්‍යාඥ යූ සු මහත්මිය මෙසේ පැවසුවා: “දෙවන ළමා ප්‍රතිපත්තිය උපත් අනුපාතය කෙරෙහි ධනාත්මක බලපෑමක් ඇති කළ නමුත් එය කෙටිකාලීන ස්වභාවයක් පෙන්නුම් කරයි.”

වසර ගණනාවක් තිස්සේ චීනයේ ජනගහන ප්‍රවණතා බොහෝ දුරට හැඩගස්වා ඇත්තේ ජනගහන වර්ධනය මන්දගාමී කිරීම සඳහා 1979 දී හඳුන්වා දුන් එක් දරු ප්‍රතිපත්තියක් මගිනි. එකල නීති උල්ලංඝනය කළ පවුල්වලට දඩ මුදල්, රැකියා අහිමිවීම සහ සමහර විට බලහත්කාරයෙන් ගබ්සා කිරීම් වලට මුහුණ දීමට සිදු විය.

එක් දරු ප්‍රතිපත්තිය රට තුළ දැඩි ස්ත්‍රී පුරුෂ අසමතුලිතතාවයකට තුඩු දුන්නා. ඓතිහාසිකව ගැහැනු ළමයින්ට වඩා පිරිමි ළමයින්ට අනුග්‍රහය දක්වන සංස්කෘතියක් තුළ‍ මෙය බලාපොරොත්තු විය යුතු තත්ත්වයක්.

“ පිරිමි ජනගහනයට වඩා විශාල වශයෙන් කාන්තාවන් අඩුවීම විවාහ වෙළඳපොළට, විශේෂයෙන් අඩු සමාජ ආර්ථික සම්පත් ඇති පිරිමින්ට ගැටලු ඇති කරයි” යැයි සිංගප්පූරුවේ ජාතික විශ්වවිද්‍යාලයේ සමාජ විද්‍යා අංශයේ ආචාර්ය මු ෂෙන් පැවසුවා.

ග්‍රැෆික්

උපත් සීමාවන් මුළුමනින්ම ඉවත් කිරීමට චීනයට හැකිද?

චීනයේ නවතම සංගණනයට පෙර විශේෂඥයන් අනුමාන කළේ උපත් සීමාවන් මුළුමනින්ම ඉවත් කළ හැකි බවයි. එහෙත් තවත් අය පෙන්වා දී ඇත්තේ එවැනි පියවරක් “වෙනත් ගැටළු” වලට තුඩු දිය හැකි බවයි. (නගර වැසියන් සහ ග්‍රාමීය ජනතාව අතර ඇති විශාල විෂමතාවය පෙන්වා මෙහිදී අවධානයට ලක් වුණා)

බෙයිජිං සහ ෂැංහයි වැනි මිල අධික නගරවල වෙසෙන කාන්තාවන් දරු ප්‍රසූතිය ප්‍රමාද කිරීමට හෝ වළක්වා ගැනීමට කැමති විය හැකි අතර, ගම්බද ප්‍රදේශවල සිටින අය තවමත් සම්ප්‍රදාය අනුගමනය කරන අතර විශාල පවුල් වලට ඔවුන් වැඩි කැමැත්තක් දක්වනවා.

“අපි ප්‍රතිපත්තිය නිදහස් කළහොත්, නගරවල සිටින අයට වඩා ගම්බද ජනයා දරු ප්‍රසූතියට කැමැත්තක් දැක්විය හැකියි. ඒ සමග වෙනත් ගැටළු ඇතිවිය හැකියි” යනුවෙන් ප්‍රතිපත්ති සම්පාදකයෙක් මීට පෙර රොයිටර් පුවත් සේවයට පවසා තිබුණා. එය ග්‍රාමීය පවුල් අතර දරිද්‍රතාවයට හා රැකියා පීඩනයට හේතු විය හැකි බවයි ඔහු පැවසුවේ.

චීනයේ ජනගහනය පහත වැටීමක් වැනි ඕනෑම බලපෑමක් ලෝකයේ වෙනත් ප්‍රදේශවලට විශාල බලපෑමක් ඇති කළ හැකි බවට විශේෂඥයන් මීට පෙර අනතුරු අඟවා තිබුණා.

විස්කොන්සින්-මැඩිසන් විශ්ව විද්‍යාලයේ විද්‍යාඥයෙකු වන ආචාර්ය යී ෆුක්සියන් පැවසුවේ “චීනයේ ආර්ථිකය ඉතා ඉක්මණින් වර්ධනය වී ඇති අතර ලෝකයේ බොහෝ කර්මාන්ත චීනය මත රඳා පවතී. ජනගහන පරිහානියක බලපෑමේ විෂය පථය ඉතා පුළුල් වනු ඇත.”

බී.බී.සී වාර්තාවකි – සැකසුම – තීක්ෂණ වෙළෙන්එගොඩ