මේ වන විට පාලනයකින් තොරව පෘථිවිය වටා කක්ෂයේ ඇදී යන චීන රොකට්ටුව පෘථිවි වායුගෝලයට පාලනයකින් තොර යළි ඇතුළු වීමකට සූදානම් වන අතර එය ගොඩ බසින්නේ කොතැනටදැයි විද්‍යාඥයෝ නොදනිති.
1990 පසු ටොන් දහයකට වඩා බර කිසිවක් හිතාමතාම කක්ෂයේ ඉතිරි කර පාලනයකින් තොරව නැවත පෘථිවියට වැටීමට ඉඩ හැර නොමැත. නමුත් ටොන් 21ක් බරැති ‘ලෝන්ග් මාර්ච් 5බී’ ඉදිරි දින කීපය තුළ, මෙතෙක් එලෙස ගොඩබැසීමට හරින විශාලතම රොකට්ටුව බවට පත්වනු ඇත.
මීටර් 5ක් (අඩි 16ක්) පළල සහ දිග මීටර් 30කින් (අඩි 98ක්) යුතු එම රොකට්ටුව, චීනයේ නව අභ්‍යවකාශ මධ්‍යස්ථානයේ කොටසක් (මොඩියුලයක්) අප්‍රේල් මස අවසානයේදී කක්ෂයට ගෙන යාම සඳහා භාවිත කර තිබේ. එය දැන් පෘථිවිය දෙසට කක්ෂගතව පැයට කිලෝමීටර 27,600 ක වේගයෙන් ඇදී යයි.
බීබීසී විද්‍යා වාර්තාකරු ජොනතන් ඒමොස් පවසන්නේ එය ඇදී යන කලාපය සමකයට අංශක 41ක් උතුරට හා දකුණට විහිදෙන බවය. උතුරින් නිව්යෝර්ක්, ඉස්තාන්බුල් සහ බෙයිජිං ද, දකුණින් වෙලිංටන් සහ චිලී දක්වා එම කලාපය විහිදේ.
“ඔබ මෙම කලාපයට උතුරින් හෝ දකුණින් ජීවත් වන්නේ නම් මෙය ඔබ මතට වැටෙන්නේ නැහැ. ඔබ ජීවත් වන්නේ සමකයට ආසන්නව එම කලාපය තුළ නම්, ඔබ මතට මොනයම් හෝ දෙයක් වැටීමට ඇති ඉඩකඩ ඉතා අල්පයි. පෘථිවියෙන් 70%ක් සාගරයෙන් වැසී තිබෙනවා. එබැවින් නැවත ගමනේ දේ ගිනිගෙන විනාශ වුණේ නැත්නම් එය ජලයට පතිත වෙන්න ඉඩ තිබෙනවා,” ඔහු පැවසීය.
2020 මැයි මාසයේ චීනයෙන් ලෝන්ග් මාර්ච් 5බී රොකට්ටුවක් දියත් කළ අවසාන අවස්ථාවේ දී බටහිර අප්‍රිකානු අයිවරි කෝස්ට් රාජ්‍යයේ ගම්මානවලට එහි සුන්බුන් වැටී තිබිණි. එහි දී කිසිවෙකුට හානියක් නොවූවත්, මීටර් 12ක් (අඩි 39) ක් දිග ලෝහ පයිප්පයක් ද එසේ වැටුණු සුන්බුන් අතර තිබිණි.
මැයි 10 වෙනි දින පමණ වන විට රොකට්ටුව කඩා වැටෙනු ඇතැයි විද්‍යාඥයින් බලාපොරොත්තු වේ. ඒ, එම දිනට එක් දිනක් හෝ දෙකක් පෙර හෝ පසු විය හැකි බවට ගණන් බලා ඇති ප්‍රමාද දෝෂයකට ඉඩ හරිමිනි. නමුත් එය පෘථිවියට වැටීමට පැයක පමණ ආසන්න වන තෙක් එසේ පතිතවන්නේ කොතැනදැයි ඔවුන් නිසැකවම දැන නොසිටිනු ඇත.
‘ඇස්ට්‍රියාග්‍රාෆ්’ ලෙස නම් කළ සිතියමක් සඳහා එක්සත් ජනපද රජය අරමුදල් සපයා ඇති අතර එයින් අභ්‍යවකාශයේ ඇති, මිනිසුන් විසින් නිපදවන ලද සියලුම වස්තූන් සොයා ගැනීමට ඉඩ සලසයි. එවැනි වස්තූන් 26,000ක් පමණ ඇත.
මෙම ව්‍යාපෘතියට සම්බන්ධ ටෙක්සාස් විශ්ව විද්‍යාලයේ අභ්‍යවකාශ ඉංජිනේරු මහාචාර්ය මොරිබා ජා පැවසුවේ “එම වස්තූන් ස්මාර්ට් ජංගම දුරකතනයේ සිට අභ්‍යවකාශ මධ්‍යස්ථානයක් දක්වා විශාලත්වයෙන් යුක්ත වෙනවා. ඒ අතර ක්‍රියාකාරී චන්ද්‍රිකා 3,500 ක් තියෙනවා. අනෙක් සියල්ල කැලි කසළ,” යනුවෙනි.
20 වන සියවසේ දෙවෙනි භාගයේදී අභ්‍යවකාශ ගවේෂණය ඉහළ යාමත් සමඟ අභ්‍යවකාශ සුන්බුන් ප්‍රමාණය වැඩි වෙමින් පවතින අතර එය ක්‍රියාකාරී චන්ද්‍රිකාවලට තර්ජනයක් විය හැකිය. පැරණි රොකට් කැබලි ඇතුළු විශාල වස්තූන් 200ක් පමණ තිබෙන අතර, ඒවා “කාල බෝම්බ” ලෙස හැඳින්විය හැකි බව මහාචාර්ය මොරිබා ජා පැවසීය.
“පිහිටීම, යාත්‍රණය සහ වේලාව, මූල්‍ය ගනුදෙනු, කාලගුණ අනතුරු ඇඟවීම් වැනි සේවාවන් සපයන චන්ද්‍රිකාව ඕනෑම අවස්ථාවක දී මෙම සුන්බුන් සමග ගැටී අක්‍රිය විය හැකිය. එබැවින් අභ්‍යවකාශය පදනම් කරගත් සම්පත්වලින් සැලකිය යුතු කොටසක් අහිමි වී මානව වර්ගයාට දැඩි බලපෑමක් එල්ල වනු ඇත.
චීන රොකට්ටුව ඇස්ට්‍රියාග්‍රාෆ් සිතියමේ සොයාගත හැකි අතර එය CZ-5B ලෙස නම් කර තිබේ.
එය සෑම මිනිත්තු 90 කට වරක් පෘථිවිය වටා ගමන් කරන නමුත් බොහෝ විචල්‍යයන් සහ ගණනය කිරීම් සිදු කළ යුතු බැවින් රොකට්ටුව වැටෙන ගමන් මාර්ගය සැලසුම් කිරීම දුෂ්කර වී තිබේ.
එබැවින් මේ වන විට විද්‍යාඥයන් එහි බැස්ම නිරීක්ෂණය කරමින් සිටින්නේ එහි, ඉතා ආසන්න පෘථිවියට නැවත පිවිසීම අපේක්ෂා කරමිනි.
Text by bbc sandesaya